Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මනෝ වෛද්‍යවරයා කියූ අනාවැකි

$
0
0
දෙසැ 1, 2017 01:00

මනෝ විද්‍යාවේ CID හාස්කම්
සත්‍ය කතාවක පස්වන කොටස

මේ පුද්ගලයා විදේශයක හෝ විදේශ හා දේශීය සිරිත් විරිත් සමඟ මිශ්‍රිත ප්‍රජාවක සිය ළමා කාලයේ හැදී වැඩී ඇත. මොහුගේ ලේඛන තුළ, අමෙරිකාවේ එදිනෙදා භාවිත කටවහර හෝ නොවියත් වහර භාවිතාකොට නැති බැවිනි. බැලූ බැල්මට පෙනෙන්නේ ස්වකීය භාෂාවෙන් ලියා පසුව ඉංග්‍රීසියට පරිවර්තනය කෙරූ භාෂා ශෛලියකි.

උමතු බෝම්බයාගේ සැබෑ චරිතය කුමක්දැයි ඉව ඇල්ලීම පිණිස පොලිසිය විසින් එකතු කරන ලද සාක්ෂි, අපරාධ, මනෝවිශේෂඥයකු ලෙස මට ප්‍රමාණවත් විය. භින්නෝන්මාදය නම් මානසික අක්‍රමිකතාවයේ විස්තර කෙරෙන චරිත ලක්ෂණ සියල්ල බෝම්බකරුවෙකුට මුවා වී සිටින අහිංසකයා තුළ ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

මේ අපරාධකරු මායාව සමඟ මුළාවට වැටී සිටියේය. එනම් සත්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවතට ගිය කිසියම් විශ්වාසයක්, මතවාදයක් හෝ අදහසක ඔහු අරක්ගෙන සිටී. වෙනස් කළ නොහැකි ඒ මායාව නම් එකම වංකගිරියේ නැවත නැවත රවුම් ගැසීම හේතුකොටගෙන තමාගේ ඇට්ටර වූ මතයම පරම සත්‍යය ලෙස විශ්වාස කිරීමයි. ඒ සත්‍යය ජයගැන්වීම වෙනුවෙන් ඔහු කැප විය, ඇප විය. ඉතාමත් ක්‍රමානුකූල ක්‍රමයකට සංවිධිතව පිළිවෙළවීම හා සූදානම් විය. දුෂ්කරතා, විරෝධතා බාධා කොතරම් පැමිණියත් තමා කැප වූ ඒ ශ්‍රේෂ්ඨ පාරිශුද්ධත්වය වෙනුවෙන් ඕනෑම දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව තම ජීවිතය කැප කරමින් සිටියේය.

උමතු බෝම්බයා විසින් තමාට සිදු වූවා යැයි සිතූ, අයුක්තිය කුමක්ද යන්න හෝ කවරදා සිදුවූයේ ද යන්න කිසි කෙනෙක් නොදැන සිටියේය.

එය කිසිදු ඔප්පු කිරීමකින් තොරව ඔහුගේ දෝෂාරෝපණයක්ම විය. මේ මායාව හෝ සත්‍යයේ සේයාව ඔහු තුළට ඇතුළුවන්නට ඇත්තේ; සිය පළමු බෝම්බය ඇටවූ 1940 වර්ෂයේ විය හැකි ය. සමහරවිට 1930 පමණ ඈත අතීතයකට එය දිව යන්නටත් පුළුවන.

පළමු බෝම්බය, සෘජුව හා නොපැකිළ එල්ල කළේ කොන් එඩිසන් වෙතය. අවුරුදු දහයකට පසු ඔහුගේ මායා මුළාව වඩාත් පුළුල් වී වැඩී ගියත් එහි මූලික සිද්ධාන්තය වෙනස් වී නැත. තමාට වූවා යැයි සිතෙන අයුක්තිය වෙනුවෙන් ඔහු බෝම්බ පුපුරුවමින් සිටියේ කොන් එඩිසන්ට පමණක් නොවේ; නිව්යෝර්ක් නගරයටම ය. මෙයින් මට පෙනී ගියේ, උමතු බෝම්බයා පෙ‍ෙළන භින්නෝන්මාදය; අන්තරායකාරී ලෙස එහෙත් ස්ථාවරවම, පුද්ගලයාට ද නොදැනී, නරක අතට වැඩෙමින් පැවති බවය.

උමතු බෝම්බයාට මේ මානසික රෝගය අවුරුදු දාසයක් හෝ ඊට තරමක් වැඩි කාලයක් තිබී ඇති බැවින්, මෙය ඔහුගේ කල්ගිය හෙවත් නිදන්ගත රෝගයකි. මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව මේ නිදන්ගතිය මුළු ජීවිත කාලයටම පැවතිය හැකිය.

තමන් වෙළී සිටින මුළාව වෙනුවෙන් ස්ථිරසාරවම කැපවීමත්, මෙවැනි භින්නෝන්මාදී රෝගීන් තුළ දක්නට පුළුවන. ඒ වෙනුවෙන් පළිගැනීමට හෝ කෝන්තර දිගින් දිගටම පවත්වා ගැනීම අතින් ඔවුන් ලෝක සූරයින් ය. අප කාටත් පුද්ගලයින් හා සංවිධාන සමඟ “යකා නගින” අවස්ථා එළඹුණත් බොහෝදෙනෙකුගේ කෝපය කෙමෙන් කෙම ලිහිල්වීම සාමාන්‍යයකි. උමතු බෝම්බයාට, භින්නෝන්මාදයේ සලකා බැලෙන රෝග ලක්ෂණ අදාළ ය. ඔහුට කෝන්තරය ඇතුළු වී ඇත්තේ 1940 ගණන්වලදීය. 1950 ගණන් වනතුරුම වඩ වඩාත් දරුණු බෝම්බ නිපදවන්නට වූයේ කොන්තරය ද වඩාත් දරුණුවීමත් සමඟය.

උමතු බෝම්බයාගේ මනස වෙනස් කිරීම සඳහා කවරෙකු හෝ උත්සාහ ගනු ලැබුවේ යැයි සාක්ෂි ලැබී නැත. එබඳු උත්සාහයක් දැරුවා වුවද එය කිසි විටෙක සාර්ථක නොවන්නක් බව ද මම දැන සිටියෙමි. භින්නෝන්මාදීන් තම මායා මුළාවන් ආරක්ෂා කර ගන්නේ බලවත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙනි. ඔවුන්ගේ මායා මුළාව සැකසී ඇත්තේ අනුමානයෙන් අල්ලාගත් කේන්ද්‍රීය පදනමක් සහිතවය. භින්නෝ මාදියා නිතරම හිතුවේ අන් සියලු අය තමාට විරුද්ධ කුමන්ත්‍රණයක නියැළී සිටින බවය. කවරෙකු හෝ ඔහුගේ මේ කේන්ද්‍රීය තර්ක පදනමේ න්‍යෂ්ටියට හානි කිරීමට උත්සහ දැරූ විට ඔහුගේ කරුණු ගෙන හැර දැක්වීම තර්කානුකූලව පරිපූර්ණ වන්නේය. කරුණු කාරණා සහිතව සුපිරිම අන්දමට හේතු දක්වන්නේය.

මෙවන් රෝගීහු නිතර පාහේ, සුපිරි බුද්ධිමත් බවක් හා කරුණු කාරණා ඒත්තු ගැනීමක් - සංජානනයක් පෙන්නුම් කරති. තම කේන්ද්‍රීය තර්කය ඔප්පු කිරීම පිණිස, වදෙන් පොරෙන් සංවිධානය කරගත් කරුණු චතුරව ඉදිරිපත් කරති.

භින්නෝන්මාදියකු සමඟ ඔබ වීදියක් දිගේ පහළට ඇවිද යන අතර ඔහු ඔබට මෙසේ කියයි; “ඔයාට මං කිව්වනෙ හැම වෙලේම කවුරු හරි මගෙ පස්සෙන් පන්නනව කියල. හෙමීට පස්ස බලන්න‍; මගෙ පස්සෙන් නිතර පන්නන කෙනා තමයි ඔය එන්නෙ”.

ඔහු ආපසු හැරී බලයි, ස්ථිරවම ඔබේ පිටුපසින් කෙනෙක් එනවා ඔබ දකියි. මේ හඹා එන්නා අමතක කර ඔබේ ගමන් සගයාගේ මතයට එරෙහිව ඔබට තර්ක කිරීමට බැරිය. ඔබ දෙපළට පිටුපසින් එන්නා හැබෑ පුද්ගලයෙකි. නමුත් යථාර්ථය පිළිබඳ ඔබේ අරුත් ගැන්වීමේ වෙනසක් ඇත. එනම් පිටුපසින් එන්නා පිළිබඳ ඔබ සිතන්නේ; ඔබ දෙදෙනා මෙන්ම මාවත දිගේ පහළට ගමන් ගන්නා තවත් පදිකයෙක් කියා පමණි. නමුත් භින්නෝන්මාදයෙන් පෙළෙන්නා විසින් එකී මගියා අර්ථකථනය කර ගන්නේ, දුර්දාන්ත අරමුණක් සඳහා තමා හඹා එන පුද්ගලයෙක් ලෙසය.

භින්නෝන්මාදියා, හඳුනාගන්නේ ව්‍යාධිකවය. තමන්ගේ ඇතුළාන්තයට කේන්ද්‍රගත පුද්ගලයෙක් ලෙසය. මනෝ වෛද්‍ය විද්‍යාවේ එම තත්ත්වය හඳුන්වන්නේ ස්වරූපරාගය යනුවෙනි. ඊට හේතුව, ඔහු හෝ ඇය තමාටම වසඟව සිටීමයි. එයින් අදහස් කරන්නේ, තමන්ගේ ප්‍රේමය රැඳවෙන වස්තූන් හෝ සංකල්ප තමන් විසින්ම ආරක්ෂා කිරීමේ මායාමය අත්‍යවශ්‍යතාවකි. එකී පුද්ගලයාගේ ජීවන පැවැත්වේ මුදුන් මුල එයයි;ඒ මුල කපා දැමුවහොත් ඔහු කඩා වැටේ.

මට ස්ථිර වූ කාරණය වූයේ උමතු බෝම්බයා භින්නෝන්මාදියෙක් බවය. ඉන්ස්පෙක්ටර් ෆිනී හා ඔහුගේ රහස් පරීක්ෂක සගයන් දෙදෙනා වෙත හැරුණු මම එය මෙසේ ස්ථිර කළෙමි.

“මේ පුද්ගලයා භින්නෝන්මාදයේ අන්තයට ගිහිල්ල”

“ඔව්” හිස සලමින් ඉන්ස්පෙක්ටර් ෆිනී එය අනුමත කළේ, ඔහුගේ නිරීක්ෂණය ද එයම වන බව හඟවමිනි.

ඉන්ස්පෙක්ටර්ගේ ප්‍රතිචාරයෙන් මම උද්‍යෝගිමත් වීමි. රහස් පරීක්ෂක නිලධාරීන්ට අවශ්‍ය දීර්ඝව දිග්ගැස්සෙන මගේ “දේශනය” නොවන බව තේරුම් ගතිමි. එහෙත් පොදු භින්නෝන්මාදයෙන් උමතු බෝම්බයා විශේෂිතව නිගමනය (ආපෝහනය) කිරීම පිණිස මට තවදුරටත් සාරාංශිතව හෝ කරුණු ප්‍රකාශ කිරීමට ඉතිරිව තිබුණි. රහස් පොලිස් නිලධාරීන්ගෙන් ඈණුම් විරෝධයක් හෝ නොවුණු බැවින් මගේ ආපෝහනය තවදුරටත් කරගෙන ගියෙමි.

මේ රෝගයේ තවත් ලක්ෂණයක් තමයි තමන්ගේ අසමත්කම් හෝ දුර්වලතා පිළිගන්නවා වෙනුවට, තමා විසින් මුලිනුපුටා දැමීමට වෙහෙසෙන දුෂ්ටයාගේ හෝ දුෂ්ට ක්‍රියාකාරීත්වයේ දරුණු ක්‍රියාකාරකම්වලට දෙස් දෙවොල් දී වරද පැටවීම, තමාට පටහැනි මේ බලවේග ඔහුව පෙළීම රහසින් රැක සිටී යැයි සිතී, මේ දුෂ්ට බලවේගයන්ට මුහුණදීම සඳහා තමා කුමනාකාරයෙන් හෝ කවරෙකුටත් වඩා සන්නද්ධ විය යුතු බව කල්පනා කිරීම.

මේ රෝගීන් නිතර දෙවේලේ - හැම තැනකදීම “කචල්” දාගන්නා පුද්ගලයින් නෙවෙයි. ඔහුගේ පළිගැනීම දියත් වන්නේ සමාජය විසින් පිළිගන්නා ලද විලාසිතාවකට අනුව ඇතැම් රෝගියෙක් ඉතා සුළු දෙයට පවා නඩු මඟට බැස උසාවියෙන් උසාවියට ජීවිත කාලය පුරාම රස්තියාදු වෙනව. එසේ නොවන්නේ නම්, කිසිම වැදගැම්මකට නැති වාචාල පණ්ඩිතයින්ගේ දේශපාලන කල්ලියකට එකතු වේවි. තවත් සමහරු නීති මායිමට බොහෝ ඈත දුරින් තම කටයුතු තබා, ඉතාමත් කුඩා දේවල් ගැන පවා අතිශය සූක්ෂම සුපරීක්ෂාකාරීත්වයකින් පසුවෙනවා; විවේචනයට ඇති බිය නිසා අනිසි කිසි දෙයක් කරන්නේ නැහැ.

“මෙයින් අදහස් කරන්නෙ, මේ රෝගීන් කවුරුත් සහාසික අපරාධවලට එළඹෙන්නේ නෑ කියලද ඩොක්ටර්!” ඉන්ස්පෙක්ටර් ෆිනී පහත් ස්වරයකින් විමසුවේය.

“ජනප්‍රිය මතය නම් එහෙම තමයි; මම, රහස් පොලිස් නිලධාරියාට මේ කරුණ හොඳින් පැහැදිලි කළෙමි. “අන්තිම උපාය විදිහට විතරයි, සහාසිකත්වය පාවිච්චි කරන්නෙ; තමන් බලාපොරොත්තු වන ‘යුක්තිය’ සම්පූර්ණයෙන්ම අහිමි වුණාට පස්සෙ, තදබල අපරාධවලට යනව. මරාගෙන මැරෙන අපරාධ වැල් පිටින් ඇරඹෙන්නෙ ඒ විදියටයි” මගේ අවසන් නිගමනය ද එකතු කළෙමි.

“උමතු බෝම්බයා කියන පුද්ගලයා ඉන්නෙ මේ අන්තිම අදියරේ”

එලෙස මගේ පළමු අනාවැකිය පළකිරීමෙන් පසු තත්පර කිහිපයක් නිහඬව මම ඊළඟ අනාවැකිය හිතින් ගොනු කළෙමි. එහිදී මා උපකාරයට ගත්තේ අති විශිෂ්ට ජර්මන් මනෝවෛද්‍ය විද්‍යාඥයකු වූ අර්නස්ට් ක්‍රෙට්ෂමර්ගේ එක් සුවිශේෂ පර්යේෂණ ඵලයකි.

එයින් කියැවුණේ ඕනෑම පුද්ගලයකුගේ ශාරීරික පෙනුම සමඟ ඔහුගේ පෞරුෂය බැඳ පවතින නිසා, කිසියම් මනෝ අක්‍රමිකතාවකින් පෙළෙන පුද්ගලයින් සියලු දෙනා වෙන් වෙන්ව හඳුනාගත හැකි වුවත් ඔවුන් ජීවිතයේ යම් යම් සිද්ධිවලට මුහුණදීමේදී හා චරිත ලක්ෂණවලින් ද සමාන වන්නාක් මෙන්ම සිරුරේ උස, මහත ආදී ලක්ෂණවලින් ද සමාන වන බවය.

“මේ පුද්ගලයාගෙ සිරුර කිසිම අඩුපාඩුවකින් තොරව වැඩිල තියෙනව? මම මගේ දෙවන අනාවැකිය ආරම්භ කළෙමි. ඉන සහ උසේ අනුපාතය නියම අනුපාතයෙන් වැඩිල තියෙනව. මහත අතින් බලනකොට කෙට්ටුත් නෑ - තරබාරුත් නෑ”

ෆිනී නළල රැළි ගැන්නුවේය. සිවිල් ඇඳුමින් සැරසී සිටි අනෙක් රහස් පොලිස් පරීක්ෂකයින් දෑස් විවෘත කරගෙන සිටියේ, මා පවසන ‍දේ විශ්වාස කිරීමට බැරි ගානටය.

“ඔබ කොහොමද ඔය තීරණයට ආවේ?” ඉන්ස්පෙක්ටර් ෆිනී ‍මට ප්‍රශ්නයක් එල්ල කළේය.

ඉතා කෙටියෙන්, අර්නස්ට් ක්‍රෙට්ෂමර් ගැන මම ඔහුට පැවසුවෙමි. මානසික රෝහල්ගතව සිටි භින්නොන්මාද රෝගීන් දසදහසක් දෙනා ඔහුගේ අධ්‍යයනයට භාජනය විය. එයින් ආසන්න වශයෙන් සියයට 85 දෙනෙකුගේ සිරුරේ ස්වරූපය ක්‍රෙට්ෂමර් හැඳින්වූ ආකාරයට මලල ක්‍රීඩක ස්වරූපයේ ශාරීරික වර්ගයට අයත් විය. අනෙක් 15 දෙනාගේ සිරුරු ස්වරූපය වෙනස් වුවත් “සාමාන්‍යකරණ සිද්ධාන්තය” මා සමඟ විය. ක්‍රෙට්ෂමර්ට අනුව වාසනාව මගේ පැත්තට හැරී තිබුණි. ශාරීරික පෙනුම අතින් ඔහු ඉදිරිපත් කර තිබූ තර්ක 20 න් 17 ක්ම උමතු බෝම්බයාට අදාළ කිරීමට මට පහසු විය.

ඉන්පසු කිසියම් අවදානමක් මා තුළ හොල්මන් කරද්දී පවා බෝම්බයාගේ වයස ගැන මම අනාවැකියක් පළ කළෙමි. ‘මේ පුද්ගලයා මැදි වයසෙ කෙනෙක්’

සිවිල් ඇඳුමින් සැරසී සිටි රහස් පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රකාශය ඇදහිය නොහැකි බව පැහැදිලිය. එහෙත් ඉන්ස්පෙක්ටර් නැවත මා විචාරන්නට පටන් ගත්තේය. “ඔබතුමා එයාගෙ වයස ගණන් හැදුවෙ කොහොමද?”

“හොඳයි, මම පැහැදිලි කරන්නම්; භින්නෝන්මාදය පුද්ගලයා තුළ වැඩෙන්නෙ හරි හෙමින්. නමුත් රෝගය උත්සන්න වෙන්නෙ අවුරුදු තිස් පහේදි විතර, මේ පුද්ගලයා නොකඩවා අවුරුදු 16 ක් තිස්සේ බෝම්බ තැබීමේ ඉඳල තියෙනව”.

වයස අවුරුදු 35 ට කලින් භින්නෝන්මාදය පුපුරා ගිය සිද්ධීන් ද වාර්තා වේ. නමුත් එය රෝග වර්ධනයේ සාමාන්‍ය තත්ත්වය නොවේ. උමතු බෝම්බයාගේ වයස ගැන මාගේ නිගමනය වැරදි විය හැක. එහෙත් මා සිතූ පරිද්දෙන්, යමක් සිදුවිය හැකිවීමේ සිද්ධාන්තය මා සමඟය.

“හොඳ තර්කයක්” තද කල්පනාවකින් පසුව ඉන්ස්පෙක්ටර් කීවේය. “ඔබ හරි. ඔහු මැදිවියේ. දැන් අපිට තියෙන්නෙ ඔහුගෙ වයස ඉලක්කම්වලින් හදාගන්න. ඔබට කියන්න පුළුවන්ද, අවුරුදු කීයකට පහළද, අවුරුදු කීයකට ඉහළද කියල”.

“ඔහොමම පොඩ්ඩක් ඉන්න මම හිතල කියන්නම්”

බොහෝ වේලාවක් රහස් පොලිස් නිලධාරීන් නිහඬව, නිසොල්මන්ව වාඩි වී මගේ වචන පිට‍වනතෙක් ඉවසීමෙන් බලා සිටියහ. ඒ අතරතුර මම උමතු බෝම්බයාගේ ලිපි අධ්‍යයනය කළෙමි. කාලය පිළිබඳ ඇබිති හැඟීමක්වත් මට ඇතිවූයේ නැත. මේ මිනිසාගේ මනසට කිමිදීමට මම උත්සාහ කළෙමි.

මේ ලිපි ඉතාමත් පැහැදිලිව හා පිරිසිදුව අතින් මුද්‍රණයකොට තිබුණේ කිසිදු හදිසියක් නොමැතිව විවේක සුවයෙනි. මෑකූ පැල්ලම්, කැපූ වචන හෝ තීන්ත පැල්ලම් එවැනි නැත. විචක්ෂණ සැලසුම්කරුවකු හා පිළිවෙළට වැඩ කිරීමේ පුරුද්දට ඇලී ගිය මිනිසෙකුගේ නිර්මාණ මා ඉදිරියේ විය. මෙලෙස ක්‍රියාකාරකම්, මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව භින්නෝන්මාදයේ සම්ප්‍රදායන් ලෙස පිළිගැනීම මතවාදයට තුඩුදිය හැක. නමුත් පුපුරා නොගිය බෝම්බ නිමවා තිබූ ‘හස්ත කර්මාන්තය’ ශිල්පය අනුව මේ ලිපි ලිවීම හා මුද්‍රණය කිරීම අතර සෘජු සබඳතාවක් පැවතුණි. මේ සාධකය ඔස්සේ, මා මනස දුටු රූප රාමු පෙළ වූයේ, කොන් - එඩ් හෝ වෙනත් සමාගමක මේ තීක්ෂණ, නියම සේවකයා තම රාජකාරී කර ඇති බවත්, ඔහු තම සේවස්ථානයේ කාහටත් ආදර්ශයක් ලෙස රැකියාවේ නියුතු වූ බවත් ය.

ඔහු තම රාජකාරියේ වැඩ උසස්ම තත්ත්වයෙන් නිමාකොට ඇත. හරියට තත්ත්පරයටම සේවයට පැමිණි පිටවී ගොස් ඇත. හොඳින් රැවුල බා ඉතාමත් පිරිසිදුව, පිළිවෙළට ඇඳුම් කැඩුම් කොට ඇත. කලහයන්ට හෝ දබරයන්ට පැටලී නැත. බීමත්කම හෝ වෙනත් කිසිම කාලකණ්ණි ජවනිකා ඉදිරිපත්කොට නැත. සිදුවූවා යැයි කියන අයුක්තිය දක්වා ඔහු කාටත් ආදර්ශ සමාගම් සේවකයෙකු වූවාට කිසිදු සැකයක් නැත.

ඔහුගේ මේ ලිපි උච්ච ස්වරය නඟන්නේ තමාට වූ අයුක්තියක් පිළිබඳවය. “නීච ක්‍රියා” ලෙස ඔහු එය හැඳින්වීය. ලිපිවලින් ඔහු නිතර පවසන අනෙක් කාරණය වන්නේ; තමා රෝගී වී ඇති බවත්, ඒ රෝගයට වගකිවයුත්තේ කොන් - එඩ් සමාගම හෝ “වෙනත් අයයි.” මේ “අයුක්තිය” ලෙස ඔහු සඳහන් කරන්නේ, ඔහුට සේවස්ථානය තුළදී කිසියම් අනතුරකට හෝ රෝගයකට මුහුණදීම හේතුකොටගෙන රැකියාව හැරයාමට හෝ රැකියාවෙන් පහකිරීම යන කාරණාය යන්න සැලකිල්ලට ගැනීම ගැන මම කල්පනා කළෙමි. මේ කාරණය ගැන මීට පෙර පොලිසිය උනන්දු වී ඇත. කොන් - එඩ් සමාගමේ ලිපි ගොනු පරීක්ෂාවට ඔවුන් යොමු වී තිබුණේ ඒ නිසාය. එහෙත් අනතුරු හා ලෙඩවීම් හේතුකොටගෙන සේවයෙන් පහකළ හෝ ඉල්ලා අස්වූ පුද්ගලයින්ගේ ලිපිගොනු අතිමහත්ව පැවතිය බැවින් පොලිසියේ බලාපොරොත්තුව බිඳ වැටී තිබුණි.

මේ කරුණු කාරණා ගැන සිතන අතරම මගේ වම් අතෙහි වැලමිට යට තබාගෙන සිටින සිද්ධි අධ්‍යයන පොතේ අවශ්‍ය සටහන් තැබීමට ද මම උත්සුක වුණෙමි. මේ වන විට එදින සැඳෑ අහසේ හිරු ගිලෙමින් තිබිණි. රහස් පොලිස් නිලධාරින් තිදෙන සෙළවීමක් හෝ නැතිව මා දෙස බලාගෙන වාඩි වී සිටියහ.

ලිපි අධ්‍යයනය නිමා කළ මට අවබෝධ වූයේ බෝම්බකරුට හොඳ අධ්‍යාපනයක් ලැබී ඇති බවය. එය විශ්වවිද්‍යාල මට්ටමේ නොවුණත්, උසස් විද්‍යාලයක විය හැකිය.

බොහෝ දුරට මේ පුද්ගලයා විදේශයක හෝ විදේශ හා දේශීය සිරිත් විරිත් සමඟ මිශ්‍රිත ප්‍රජාවක සිය ළමා කාලයේ හැදී වැඩී ඇත. මොහුගේ ලේඛන තුළ, අමෙරිකාවේ එදිනෙදා භාවිත කටවහර හෝ නොවියත් වහර භාවිතාකොට නැති බැවිනි. බැලූ බැල්මට පෙනෙන්නේ ස්වකීය භාෂාවෙන් ලියා පසුව ඉංග්‍රීසියට පරිවර්තනය කෙරූ භාෂා ශෛලියකි. උදාහරණයක් වශයෙන් “නීච ක්‍රියා” යන යෙදුම ගන්නට පුළුවන. එය වික්ටෝරියානු එංගලන්තයේ නවකතාකරුවන් සුලබව යොදාගත්තක් මිස විසිවන සියවසේ අමෙරිකාව භාවිතා නොකරන්නකි.

එසේම ඔහුගේ ලිපි තුළ නිතර නිතර යොදන “කොන් එඩිසන්” යන්න නිව්යෝර්ක් වැසියන් දශක ගණනාවක සිට වහරන්නේ “කොන් එඩ්” යන කෙටි නමිනි. ඇත්ත වශයෙන්ම වසර ගණනාවක් සේවය කළ තම සමාගමේ කෙටි නම උසුරුවන්නට බැරි වන්නේ ඇයි? එසේ වී ඇත්තේ මොහුගේ කන වෙනත් වර්ගයක වචන අවස්ථානුකූලව හැඩගස්වා ගැනීමට අපොහොසත් වී ඇති බැවිනි.

සිංහල කළේ
සමුනි සමරකෝන්

සඳුදා : විරූපී ඩබ්ලිව්. අකුර ඔස්සේ දිගහැරුණු පරීක්ෂණය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles