Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඉරිසියාව කියන්නෙත් මාර ලෙඩක් bro...

$
0
0
ජුනි 26, 2021 01:00

මිනිසා නිර්මාණය වී ඇත්තේ මනස සහ ශරීරය යන කොටස් දෙකේ එකතුවක් ලෙසයි. අපගේ ජීවිත කාලය තුළ විවිධ හේතු මූලයන් මත ශරීරය රෝගී වන්නා සේම විවිධ හේතු සාධක පදනම් කරගෙන මනස ද රෝගී බවට පත් වේ. මේ ආකාරයට මනස පදනම් කරගෙන නිර්මාණය වන්නා වූ රෝග මානසික රෝග වශයෙන් හැඳින්වේ. වර්තමානය වන විට මානසික රෝග ගණනාවක් ම සොයාගෙන ඇති අතර, ඉරිසියාව ද එක්තරා මානසික රෝගයක් බවට හඳුනාගෙන තිබේ.

විශේෂයෙන්ම කායික රෝගාබාධවලින් මිදී සැලකිය යුතු කාලයක් ආරක්ෂා විය හැකි වුව ද ඉරිසියාව වැනි මානසික රෝගාබාධවලින් මිදී මොහොතක් හෝ ජීවත් වීම මිනිසාට දුෂ්කරය. බටහිර දර්ශනයෙහි මනෝවිද්‍යාව තුළ මානසික රෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමව බෞද්ධ දර්ශනය තුළ මනස පිළිබඳ අතිශය සියුම් විග්‍රහයන් පැවතිණි. මානවයාගේ මානසික ලක්ෂණ පිළිබඳ ඉතා ගැඹුරින් විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ; රහතන් වහන්සේලා හැර අන් සියල්ලෝම අසාමාන්‍ය චර්යාවන්ගෙන් සමන්විත වූවෝ යැයි දේශනා කළ සේක. "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා"සියලුම පෘථග්ජනයෝ උන්මත්තකයෝ ය යනුවෙන් දැක්වීමෙන් එම කාරණාව වඩාත් පැහැදිලිය. පංචස්කන්ධයට ගෝචර වන අරමුණු කෙරෙහි අතෘප්තිමත් මනසින් පිපාසිතව හඹා යෑමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාගේ දෛනික ජීවන රටාවේ විවිධ චර්යා විෂමතා, විකෘතිතා ඇති වේ. මෙහිදී ඉරිසියාව නම් වූ චෛතසිකය ප්‍රමුඛත්වයක් ගනී. මේ ඉරිසියාව නමැති හැඟීමෙන් සිදු කෙරෙන්නේ අන්‍යයන් සමඟ තමාව සංසන්දනය කිරීමකි. එසේත් නැතිනම් අන්‍යයන් සමඟ තරග කිරීමකි. මේ කාරණා දෙකට යටත් නොවන ඇතමුන් ස්වයං අමනාපයෙන් පෙළෙයි. නිදර්ශනයක් ලෙස ඇය ලස්සන නිවසක් මිල දී ගත්ත ද මට කිසි දිනක එවැනි නිවසක් මිල දී ගත නොහැකි යැයි සිතීම පෙන්වා දිය හැකිය. මේ ආකාරයට ඉරිසියාව නමින් හඳුන්වන මේ හැඟීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. එමෙන් ම ඉරිසියාව අධික ලෙස පවතින සහ අවම වශයෙන් පවතින මිනිසුන් ලෙස සියලු මිනිස් වර්ගයා කාණ්ඩ කළ හැක.

තමා සතු නොවන දෙයක් තවත් අයකු සතු වීම, එවැනි දේ තමා සතු කර ගැනීමට නොහැකි වීම, තමා සතු වන දෙයට වඩා අන්සතු දෙයට ආශා කිරීම යන කාරණා පදනම් කරගෙන ඇති වන නුරුස්සුම්සහගත සිතුවිල්ල ඉරිසියාවයි. එනම් පෙනුම, අඳින පලඳින ආකාරය, අධ්‍යාපන මට්ටම, රැකියාව, සමාජ මට්ටම, සමාජයේ පිළිගැනීම ආදිය තමා සමඟ සංසන්දනය කිරීමට යෑමෙන් ඉරිසියාව දලු ලා වැඩීමක් සිදු වේ. මේ ආකාරයට තවත් අයකුගේ සතුට, දියුණුව, පෙනුම දැකීමෙන් බොහෝ දෙනාගේ සිතේ ඉරිසියාව ඇති වේ.

ඉරිසියාව නමැති පිළිල සිතක ඇති වූ පමණින් ගැටලු ඇති නොවේ. නමුත් මේ හැඟීම සිතේ ඇති වූ විට මිනිසුන් කරන විරුද්ධවාදීකම් නිසා ගැටලුකාරී ප්‍රශ්න නිර්මාණය වේ. ආදරය, බය, වේදනාව, තරහව, රාගය සහ යමක් දැඩි ලෙස සිතින් අල්ලා ගැනීම, තමන් සතුව නොපවතින දෙයක් අන් අයකු සතු වීම යන කාරණා ඉරිසියාවේ මූල බීජ අවස්ථාවන්ය. ආසාවෙන් රැස් කරගත් දේ තමාගෙන් ගිලිහී යෑම, තමාට වඩා කුමන හෝ ක්ෂේත්‍රයකින් තමා ආශ්‍රය කරන කෙනකු ඉදිරියෙන් සිටීම යනාදී වශයෙන් වූ විවිධ කාරණාවන් පදනම් කරගෙන ඕනෑම කෙනකු තුළ ඉරිසියාව ඇති විය හැකිය. විශේෂයෙන්ම කිසිදු කාර්යයක් නොකොට කම්මැළිකමින් කල් ගෙවන මානවයා තුළ ඉරිසියාව වැඩියෙන් දැකිය හැකිය. නමුත් තම දියුණුව වෙනුවෙන් මහන්සි වන, කැපවන පුද්ගලයා තුළ ඉරිසියාව ඇති වන්නේ අල්ප වශයෙනි. එසේම පුද්ගල සිතුවිලි අතර ඉරිසියාව නම් හැඟීම මූලිකත්වය ගැනීමෙන් බිහිසුණු අපරාධ පවා සිදු විය හැකිය. වස විෂ කැවීම, සැඟවී මිනිස් ඝාතනයන් සිදු කිරීම, පහර දී පලා යෑම, සොරකම් කිරීම, දේපළ විනාශ කිරීම සහ හදි හූනියම් වැනි ගුරුකම් කිරීමට ද යොමු වීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම මෙවැනි ක්‍රියා බොහෝ විට දක්නට ලැබෙන්නේ අධික ඉරිසියාසහගත පුද්ගලයන් තුළිනි. මීට අමතරව පොදුවේ හදවත් තුළ ඇති වන ඉරිසියාව නිසා අදාළ පාර්ශ්වයන් පහත් කොට සැලකීම, නිතර අනෙකා කෙරෙහි තරහින් සිටීම, ඔවුන්ව මඟ හැරීම, කතා කිරීම අඩු කිරීම, තැන තැන ගොස් වැරදි කීම, අසත්‍ය ප්‍රචාරය කිරීම යනාදි ක්‍රියාවන් සඳහා තමා නිරායාසයෙන්ම පෙලඹේ.

ඉරිසියාවෙන් පෙළෙන පුද්ගලයාගේ අදහස් කිලිටිය. එවැන්නා අපිරිසුදුය. යම්කිසි පුද්ගලයකු ඉරිසියාවෙන් පෙළෙන විට එම පුද්ගලයාගේ මුහුණෙහි සැබෑ ලස්සන ස්මතු නොවීම, පැහැපත් බව අඩු වීම, මිනිසුන් අතර පිරිහීමට ලක්වීම, නිතර කායික රෝගවලට ගොදුරු වීම, මානසික වශයෙන් දුර්වල වීම මෙන්ම නින්දේදී භයානක සිහින දැකීම පවා සිදු වේ. එසේනම් අප තේරුම්ගත යුත්තේ තව කෙනකුට ඉරිසියා කිරීම මඟින් අප අපටම ස්වයං හානියක් කරගන්නා බවය.

පිළිලයක් තරමටම හානිදායක ඉරිසියාව යම් පුද්ගලයකු සතු වේ නම් එවැනි පුද්ගලයන් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ තමාගේ වර්තමාන තත්ත්වය තේරුම් ගැනීමය. එනම් තමාගේ අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම තේරුම් ගෙන නිහතමානී සිතින් සියල්ල දෙස මධ්‍යස්ථව බැලීම කළ යුතුය. තවදුරටත් ඉරිසියාසහගත සිතුවිල්ලෙන් අන්‍යයන් දෙස බැලීමෙන් තමාට අලාභයක් මිස ලාභයක් නොවන බව අවබෝධ කරගත යුතුය. තමා තුළින් තමාව නිර්මාණය කර ගැනීමට වෙහෙස විය යුතුය. දක්ෂතා හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කර ගනිමින් තමා විසින්ම තමාව නිර්මාණය කර ගැනීමට මහන්සි විය යුතුය. එවිට ඔබ කිසිවකුටත් ඉරිසියා කළ යුතු වන්නේ නැත. නමුත් ඔබට ඉරිසියා කරන්නන් පිරිසක් බිහි වේවි. එබඳු අවස්ථාවන්හිදී තමාට ඉරිසියා කරන පුද්ගලයන්ව හඳුනා ගනිමින් ඔවුන් සමඟ සුහදව කතා කිරීම සහ ඔවුන් ඉදිරිපිට තමා පිළිබඳ පුරසාරම් කතා කිරීමට යෑමෙන් වැළකී සිටිය යුතුය.

පොදුවේ ගත් කල ඉරිසියාසහගත සිතුවිල්ල සෑම මනුෂ්‍යයෙක් තුළම දැකිය හැකි නමුත් එම සිතුවිල්ල අවම කර ගැනීම තුළින් තමාට තමාව දැකීමට සහ තමාව නිර්මාණය කර ගැනීමට අවකාශය හිමි වනු ඇත. හැකි සෑම විටම සරල අයකු වීමෙන්, ධනාත්මක ලෙස ජීවිතය දෙස බැලීමෙන්, වර්තමානය තුළ ජීවත් වීමෙන්, සුබවාදී අදහස් ඇති කර ගැනීමෙන් සහ නිරතුරුව තමා වටිනා පුද්ගලයකු බව විශ්වාස කිරීම තුළින් ඉරිසියාසහගත හැඟීම පාලනය කළ හැකිය. මීට අමතරව භාවනා ක්‍රම සහ විධි අනුගමනය කිරීමට ද පුළුවන.

මයුමි තරුශිකා හරිස්චන්ද්‍ර,


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>