Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හොරු ගෙනියපු ආදරය

$
0
0
ජුනි 26, 2021 01:00

තෙරුවන් සරණ යෑමට පින් රැස් කර ගන්නා මිනිසුන් ජීවත්වන මේ ලංකාදීපයේ උදේ හවා බණ පිරිත් ඇසෙන මවුපියන්ගේ ගුණ ගයන තවත් රටක් නැති තරම්ය. නිර්මාණය වන කලාකෘති ගත්ත ද මවුපිය ගුණ සිහි කරන මවුපියන්ට නොසැලකීමෙන් අත්වන ඵලවිපාක ගැන පහදා දෙන නිර්මාණය. මෙසේ උතුම්ව මවුපියන්ගේ ගුණ සිහි කළ ද බොහෝ මවුපියන් මහමඟ දමා යන්නේත් නොයෙක් කෙනෙහිලිකම් කරන්නේත් වැඩිහිටි නිවාසවලට රැගෙන යන්නේත් මේ ලක් පොළොව මත සිටින දරුවන්මය. බුදුන් සමයේ මවුපියන්ට නොසැලකූ දරුවන්ට අත්වුණු ඉරණම ගැනත් එම පාපකර්මයේ බරපතළකමත් බුදු බණෙහි සඳහන් වේ. කනගාටුවට කරුණ වන්නේ එසේ සඳහන් කළ ධර්මය දැන දැන මවුපියන් මහමඟ දමා යෑමේ, පහර දීමේ, වැඩිහිටි නිවාසවලට ගෙන ගොස් දැමීමේ පුවත් වාර්තා වීමය.

කලලයක් කුසට ආ බව දැන ගත් දිනයේ පටන් මව සහ පියා නොයෙක් කැප කිරීම් කරති. මව කන කෑමෙන් අඳින පලඳින විදිහෙන් ගමන බිමනෙන් පවා ආරක්‍ෂා වන අතර පියා දිවා රෑ වෙහෙසා දහඩිය වගුරුවා හරි හම්බ කරන්නේ ඔවුන් විඳි දුක් දරුවාට නොදෙන්නටය. නමුත් මෙසේ කැපකිරීම් කරන මවුපියන්ව කැත කුණු අත ගා කරදඬු උස් මහත් වූ පසු නොරුස්සයි. අවවාද දුන්නද ඒවා පිළිනොගනී. කෙසේ හෝ මවුපියන් හොඳින් උගන්වා ඉහළ පෙළේ රැකියාවකට යොමු කළ පසු මවුපියන්ට සිදු වන්නේ දරුවාගේ නිවෙසේ බැළමෙහෙවර කිරීමටය. නැත හොත් දරුවාගේ කීම අසා වැඩිහිටි නිවාසයකට යෑමට හෝ මහ පාරට බැසීමටය. මෙසේ මවුපියන්ට නොසලකන දරුවන් සිටින අධම සමාජයක් බවට නූතනය වන විට පත්ව ඇත.

මෙරට කොතරම් වැඩිහිටි නිවාස තිබේද? එහි සිටින මවුපියන් සමඟ කතා කරන විට හදවත් නැති දරුවන් ද ඔවුන් මේ ලෝකයට බිහි කර ඇත්තේ යන්න ගැටලුවක් වේ. එම පිරිසගෙන් දරුවන් ගැන විමසූ විට ඔවුන් ඉහළ පෙළේ රැකියා කරන හෝ විදෙස්ගත වී සිටිය බව අසන්නට ලැබේ. ඔවුන් කවදා හෝ දරුවන් මුනුබුරු මිනිබිරියන් දැකීමට ආසාවෙන් සිටින බව කියයි. තව ද බොහෝ මවුපියන් පිළිගත් රැකියාවල නිරත වී විශ්‍රාම ගත් අය වෙති. මොවුන් තමාට ලැබුණු වැටුප සම්පූර්ණම දරුවන්ගේ යහපත වෙනුවෙන් වැය කොට අවසානයේ සිදු වී ඇත්තේ වැඩිහිටි නිවාසයකට වී සිටීමටය. නැත හොත් දරුවන්ගෙන් ගුටිබැට විඳගෙන සිටීමට හෝ මහමඟ සිඟමන් යෑදීමටය. තම මවට පියාට නොසලකා ඔවුන්ව නිවෙසින් පන්නා දමා සුරසැප විඳීමට තරම් මිනිස් සිත දරුණු වූයේ කෙසේද?

දරුවකුගේ යහපතට දියුණුවට ඊර්ෂ්‍යා නොකර හදවතින්ම ආශිර්වාද කරන දෙපළ වන්නේ තමාගේ මව පියා පමණි. මේ මිනිස් ජීවිතය සදාකාලික නැත. අපට කොයි මොහොතේ මේ ජීවිතය හැර දමා යෑමට සිදු වේද යන්න කවුරුක් නොදනී. මෙලොවින් හැර යන දාට මිල මුදල් යාන වාහන ඉඩකඩම් ගෙන යෑමට නොහැකිය. රැගෙන යා හැකි එකම දේ වන්නේ කුසල් පමණි. මිනිස් ආත්මයක් ලබන්නට ඉහත භවයන්හි මහා කුසල් රැස් කළ යුතුය. එසේ රැස් කරගෙන ලැබූ මිනිසත් භව තම මවුපියන්ට නොසලකා හැර මේ අත්භවයට පමණක් සීමා කරගන්නේ ඇයි?

මවුපියන් ඔබගෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ. ඔවුන්ගේ එකම සැනසුම වන්නේ ජීවත්ව සිටිනා තාක්කල් දරුවන් සමීපයේ ආදරයෙන් කරුණාවෙන් සතුටින් සිටීම පමණි. ඔබ තම මවුපියන්ට නොසලකා හරිනවා තම දරුවන් දකින්නේ නම් ඔබේ දරුවත් අනාගතයේ ඔබට සිදු කරන්නේ ඒ දේම බව සිහි තබා ගන්න. ලේ කිරි කර පොවා රටට බරක් නොවී ජීවත් වීමට හුරු කළ සහ සමාජය, ජීවිතය ගැන කියා දුන් මවුපියන්ව රැකබලා ගැනීම දරුවන්ට හැකිනම් එම දරුවා කළගුණ දන්නා උතුම් දරුවෙකි. ඔවුන්ගේ ගුණ සුවඳ හොඳින් හඳුනන දරුවන් මෙලොවට බිහි වී මවුපියන්ට තළාපෙළන මහමඟ වැඩිහිටි නිවාසවල දමා යන පුවත් හෙට දිනයේ නොඇසේවා....

 

උමේෂා ජයසූරිය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>