බස් එකකට නැඟපු වෙළෙන්ඳෙක් දවසක් අපූරු කතාවක් කිව්වා. ඒ මනුස්සයා විකුණන්න ආවෙ මොනවද කියලා හරිහැටි මතක නැති වුණාට කියපු කතාව නම් බස් එකෙන් බහිනකන් හිත හිතා ඉන්න කාරණාවක් වුණා. ඔහු කිව්වා 'මේ ලෝකෙ මාන්නයෙන් වැඩිම මිනිස්සු ඉන්නෙ ලංකාවෙ'කියලා. ඒක කිව්වෙ මොන පදනමක් සමීක්ෂණයක් මතද කියලා වැටහීමක් නැති වුණත් ඒක මසුරන් වටින කතාවක් බව නම් පිළිගන්නම වුණා.
ඇත්තටම ලංකාවෙ මිනිස්සු වෙනස්. ලෝකෙ අනිත් රටවලට වඩා ආගන්තුක සත්කාර ආදියෙන් ලංකාව ඉන්නෙ බොහොම ඉස්සරහින්. මේ ආඩම්බරය පිටුපස්සෙ මොකක්දෝ කළු දුමාරයක් බැඳිලා. බටහිර රටක කාලෙකට පස්සෙ යාළුවෙක් මුණගැහුනම මොනවා අහනවා ඇත්ද? "හොඳින් ඉන්නවද? අද හරිම ලස්සනයි."කියලා කියන්නෙ කිසිම පැකිළීමක් නැතුව. ලංකාවෙ මිනිස්සු යාළුවෙක් නෑදෑයෙක් හම්බ වුණොත් අහන්නෙ ටිකක් වෙනස් ප්‍රශ්න. 'තාම මැරි කළේ නැද්ද? බබාලා නැද්ද?'වගේ දේවල්. ඉස්සරට වඩා ටිකක් සුදු වෙලා නම් අපේ මිනිස්සු අහන්නෙ 'ඇයි සුදුමැලි වෙලා වගේ?'කියලා. ටිකක් මහත් වෙලා නම් අහන්නෙ 'මොකද ඔයා ඉදිමිලා... අසනීපයක්ද?'කියලා. කොණ්ඩෙ කපලා හිටියොත් කියයි ඉස්සර කොණ්ඩෙ වවලා තිබුණ විදිහ ලස්සනයි කියලා. හැබැයි ඉස්සර කොණ්ඩෙ ලස්සනයි කියලා එයාලා කවදාවත් කියලා නැතුව ඇති. අපේ රටේ මිනිස්සු හොඳ දෙයක් ලස්සන දෙයක් දැක්කම අගය කරන්න මැළි වෙනවා. ඒක මිනිස්සුන්ගෙ මාන්නය. විභාග ප්‍රතිඵල ආවොත් අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ අමුතුම ප්‍රශ්න. 'කැම්පස් යන්න පුළුවන් ද? අපරාදෙ ආර්ට්ස් කරන්න තිබුණෙ. ආර්ට් කලා නම් එක පාරින් කැම්පස් යන්න තිබුණා'වගේ විවිධ අදහස් පහුගිය ටිකේම අහන්න ලැබුණා. තමන්ට සමත් වෙන්න අපහසු බව දැන දැනත් අමාරු විෂයන් කරන සමහර උදවියගෙ ඔළුවලත් මාන්නය පිරිලා. සයන්ස් මැත්ස් කරලා ෆේල් වුණත් නම්බුයි වගේ විකාරරූපී අදහස් කියන ඇතැමුන් කලා විෂයන් කරලා විශ්වවිද්‍යාලයට තේරුණත් හෑල්ලු කරන්න තරම් මාන්නයෙන් ඉදිමිලා.
ඒ විතරක් නෙවෙයි තමන්ගෙ ඇත්ත ප්‍රතිඵල කියන්න මිනිස්සු ලැජ්ජයි. ප්‍රතිඵල පොඩ්ඩක් හරි වැඩි කරලා තමයි කියන්නෙ. ඒ වගේම තමන්ගෙ හරි වයස වෛද්‍යවරයෙක්ටවත් පවසන්න පැකිළෙනවා. දරුවෙක් ගමේ පාසලට යෑම ඇතැමුන් සලකන්නෙ පහත් විදිහට. ඇතැම් මවුපියන් තමන්ගෙ දරුවාගේ ඉංග්‍රීසි දැනුම අල්ප බව දැන දැනත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න බල කරනවා. දරුවා කලා විෂයන් කරන්න කොච්චර ආස වුණත් විද්‍යා ගණිත කරන්න කියලා අසමත් වෙලා විඳවන දරුවෝ ඕන තරම්. තමන්ගෙ දරුවට විශ්වවිද්‍යාල වරම් අහිමි වුණොත් 'අපේ පුතා කැම්පස් තේරුණත් යවන්න නෙමෙයි හිටියෙ. එයාව ප්‍රයිවට් කැම්පස් එකකට යවනවා. ගවර්මන්ට් ඒවයෙ රැග් එක දෙනවා. අපේ පුතාව රට යවනවා පිටරට යුනිවර්සිටි එකකට"වගේ අදහස් මාන්නයෙන් ඉදිමුන මිනිස්සුන්ගෙ ආකල්ප.
හොඳ දෙයක් දැක්කොත් පැකිළෙන්නෙ නැතුව ඒ දේ අගය කරන්න. වැරැද්දක් දැක්කොත් දෙපාරක් හිතන් නැතුව වරද පෙන්වලා දෙන්න. මාන්නයෙන් මත් වෙලා මිනිස්සුන්ට බොරු කියලා විශ්වාසය පළුදු කරගන්න එපා. අඩියෙන් අඩිය ඉහළට යන්න හදන මිනිස්සුන්ගෙ කකුලෙන් අදින් නැතුව ඔවුන්ට අත දෙන්න. මවුපියන්ගේ මාන්නය හින්දා දරුවන්ගේ ආශාවන් බලාපොරොත්තු බිඳලා හිත් රිදවන්න එපා. ලංකාවෙ මිනිස්සු මෙහෙමයි කියලා අපේ මිනිස්සුම කියන තැනට වැටෙන්නෙ නැතුව මාන්නයෙන් අන්ධ වුණ ඇස් ඇරලා පියවි ලෝකය දිහා බලමු. රටම වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි ඔබ වෙනස් වෙන්න. එතකොට රට ඉබේම වෙනස් වෙයි.
චමෝදි පෙරේරා