තමිල්නාඩු හිටපු ප්‍රධාන ඇමතිනී ජයලලිතා ජයරාම් තම මව යැයි පවසමින් බෙංගලෝරයේ කාන්තාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ගොනු කර තිබේ. අමෘතා හෙවත් මංජුලා යන නමින් පෙනී සිටින තිස් හත් හැවිරිදි මේ කාන්තාව, ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරය ඉල්ලා ඇති බව වාර්තා වේ. අමෘතා හෙවත් මංජුලාගේ පෙත්සම සලකා බැලූ දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය, එම ඉල්ලීම කර්ණාටක මහාධිකරණය වෙත යොමු කරන මෙන් පෙත්සම්කාරිනිය වෙනුවෙන් පෙනී සිටින ඉන්දිරා ජායිසින්ග් නීතිඥවරියට දන්වනු ලැබිණ. මදන් බී. ලොකූර් සහ දීපාක් ගුප්තා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම තීන්දුව ලබා දුන් බව ඉන්දියාවේ පළවන'ද හින්දු'පුවත්පත වාර්තා කර තිබුණේය.
ඉන්දීය ව්‍යවස්ථාවේ 32 වන වගන්තිය ප්‍රකාරව අමෘතා සිය පෙත්සම ගොනුකර තිබිණ. ඒ අනුව අදාල ඩී.එන්.ඒ. පරික්ෂාව සිදු කිරීමට නම් හිටපු ප්‍රධාන ඇමැතිනියගේ දේහය, එය මිහිදන් කෙරුණු මරීනා වෙරළ තීරයෙන් ගොඩ ගත යුතුව ඇත. ජයලලිතාගේ දේහය ගොඩ ගන්නේ නම් එය ලබන 5වැනිදාට (දෙසැම්බර් 5 වැනිදාට) පළමුව සිදු කළ යුතු බව පෙත්සම්කාරිය පවසන්නීය. එයට හේතු වශයෙන් ඈ ඉදිරිපත් කරන්නේ ජයලලිතාගේ මරණයෙන් වසරක් පිරෙන දා වයිෂ්නවා ඉයෙන්ගාර් - බ්‍රාහ්මණ ප්‍රජාවෙහි සම්ප්‍රදායන් අනුව දේහය වෙනුවෙන් වත්පිළිවෙත් පැවැත්වීමට නියමිත බවකි. මේ අනුව අමෘතාට කර්ණාටක මහාධිකරණයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ලබාගැනීමට සිදුවනු ඇත. නමුත් ඈ කර්ණාටක මහාධිකරණය වෙත පිවිසියේද පිවිසෙන්නේද යන්න ගැන සඳහනක් නැත.
ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වන වගන්තිය ප්‍රකාරව එරට සෑම පුරවැසියකුටම ගෞරවනීය ලෙස ජීවත්වීමටත්, තමන් බිහිකළ මව ගැන තොරතුරු දැනගැනීමටත් අයිතියක් ඇත. එමෙන්ම එන්.ඩී.තිවාරි නඩුවේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ දැක්වෙන්නේ නියම දෙමව්පියන් භාරයේ නොසිට වැඩෙන දරුවකුට ඔහුගේ හෝ ඇයගේ හෝ කැමැත්ත පරිදි තමන්ගේ අනන්‍යතාවය දැනගැනීමේ අයිතියක් ඇති බවකි. මෙකී තීන්දුව පූර්වාදර්ශය ලෙස සැලකීමේදීත් ව්‍යවස්ථාවේ 21 වන වගන්තිය ප්‍රකාරවත් අමෘතාට තම මව ජයලලිතා දැයි සොයා බලන්නට බාධාවක් නැත.
තමිල්නාඩු හිටපු ප්‍රධාන ඇමතිනී ජයලලිතා ජයරාම් සමාජයේ පෙනී සිටියේ අවිවාහක කාන්තාවක ලෙසයි. නමුත් ඈ සිනමාව තුළත් දේශපාලනයේත් වරින් වර විවිධ පුද්ගලයන් සමඟ ප්‍රේම සබඳතා ගොඩ නඟා ගත්තාය. අමෘතා, ජයලලිතා - ශෝභන් බුබූ සිනමා තාරකා දෙකෙහි නිර්මාණයක්ද යන්න සැක සහිත කාරණයකි. කෙසේ වුවත් අමෘතා සිය තාත්තා ගැන සොයා බලන්නට වෙහෙසෙන්නේ නැත. ඇයට ගැටලුව අම්ම ගැන පමණි.
සිනමාවෙන් දේශපාලනයට පිවිස දේශපාලනය තුළ ස්ථාවර බවක් සාදාගත් පසු ඈ සමස්ත ඉන්දීය අන්නා මුන්නේත්‍ර කසාගමය තුළ පමණක් නොව ඉන් බැහැරත් හැඳින්වුණේ 'අම්මා'වශයෙනි. එහෙව් ගැහැනිය සැබෑවටම අම්මා කෙනෙකු වීද යන ගැටලුවට දැන් උත්තරයක් අවශ්‍යව තිබේ.
වාර්තාවලින් හැඟවෙන ආකාරයට ජයලලිතා, අමෘතාව වැදුවත්, හදා නැත. උපන් අවස්ථාවේදීම හෝ එයට ආසන්න දිනයකදී හෝ අමෘතාව, ෂයිලජා නමැති කාන්තාවකට හදා වඩා ගැනීමට භාර කර ඇත. ෂයිලජා එවකටත් විවාහක ගැහැනියකි. සාරති නමැති කෙනකු සමඟ ෂයිලජා විවාපත්ව සිටි බව සඳහන් වේ. ෂයිලජාට ලබා දී තිබෙන්නේ ඉන්දියාවේ මයිලපෝරේහි ජයලලිතාට අයත් නිවෙසේදී, 1980 වසරේ අගෝස්තු 14වැනිදා උපත ලැබූ ගැහැනු ළමයකු හෙවත් අමෘතාවය. එවක් පටන් අමෘතා, ෂයිලජා - සාරති සෙවනේ වැඩී තිබේ. ෂයිලජා 2015 වසරේදීත්, සාරති පසුගිය මාර්තු මාසයේදීත් ජීවිතක්ෂයට පත් වූහ.
අමෘතා තමන්ගේ නියම මව ජයලලිතා බව දැනගන්නේ, ජයලලිතා මරුමුවට පත්ව ටික කලක් ඇවෑමෙනි. රහස අනාවරණය වන්නේ අමෘතාගේ ඥාති නැන්දලා දෙදෙනකු වන එල්.එස්. ලලිතා සහ රන්ජනී රවීන්ද්‍රනාත් යන අයගෙනි. එම නැන්දලා දෙදෙනා ජයලලිතාටත් ඥාතිත්වයක් ඇති අයයි. එම ඥාතීන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව තමන්ගේ සැබෑ මව කවරකුදැයි අසා දැනගැනීමට හදාවඩා ගත් මව අමෘතා අසල ඒ වනවිට නොසිටියාය. හදාවඩා ගත් පියාත් මරණ මංචකයට ඇද වැටී සිටියේය. මේ අතර තමන් අරන් හදාගත් මව - ෂයිලජා ජයලලිතාගේම සොයුරියක් බවත් අමෘතාට දැනගන්නට ලැබී තිබේ. මේ අනුව අමෘතා ගැන මෙන්ම අමෘතා හදා වඩා ගත් මව ගැන තොරතුරුත් වසන් කර ඇති බව පැහැදිලිය.
අවිවාහක ගැහැනියක වූ තමන් දරුවකු බිහිකර හදා වඩා ගැනීම සමාජ අපවාදයට ලක්වන්නට හේතුවක් බැවින් ජයලලිතාම සිය දියණිය, ෂයිලජාට දරුකමට දී ඇති බව අනාවරණය වේ. ජයලලිතා තම දියණිය ෂයිලජාට භාර කළේ ෂයිලජා තම සොයුරිය බව දැනගෙනම විය යුතුය. ෂයිලජාද, සාරතීද, ජයලලිතාගේ ලොකු අම්ම කෙනෙකු වන ජයලක්ෂ්මීද, ජයලලිතාද මේ රහස රකින්නට දෙවියන් ඉදිරියේ එදා දිවුරා පෙරොන්දු වී ඇත. එමෙන්ම ජයලලිතා දරුවකු ප්‍රසූත කළ බව අනාවරණය නොකරන්නට එම පවුලේ සියලුදෙනාම පියවර ගෙන ඇති බවත් පෙත්සමෙන් අමෘතා පෙන්වා දී තිබිණ.
කෙසේ වුවත් අමෘතාට ජයලලිතාව කිහිප වරක් මුණ ගැසී ඇත. මේ මුණගැසීම් සිදුව තිබෙන්නේ ජයලලිතාට අයත් පොඑස් ගාර්ඩ්න් නිවසෙහිදී බව සඳහන් වේ. මසකට අධික කාලයක් පොඑස් ගාර්ඩ්න්හි නැවතී සිටි මතකයක් තමන්ට ඇති බව අමෘතා හෙළි කර තිබුණාය. තමන් මුණගැසුණු එවන් අවස්ථාවලදී ජයලලිතා මවකගේ සෙනෙහස පාමින් තමන්ට සැලකූ අන්දම අමෘතාට තවමත් අමතක නැත. තමිල්නාඩු ප්‍රාන්තයේ නියෝජ්‍යය ප්‍රධාන අමාත්‍යය ධුරය දරණ ඕ. පනීර්සෙල්වම්, අමෘතා ගැන මෙන්ම ජයලලිතාට සම්බන්ධ රහස් සියල්ලක්ම වගේ ද දන්නා බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජයලලිතා, පනීර්සෙල්වම්ට අමෘතාව තම දියණිය හැටියට එක් අවස්ථාවකදී හඳුන්වා දී ඇති බවත් එම වාර්තාවල දැක්වේ. එවැනි හඳුන්වාදීම්වලින් පවා ජයලලිතා තම මව බව අමෘතා එකල අවබෝධ කරගෙන සිට නැත.
මේ අතර 'නිව්ස් 18'වෙත අදහස් දක්වමින් අමෘතා කියා තිබුණේ තමන්ට ජයලලිතාගේ මුදල් හෝ අන් කිසිඳු ධනයක් හෝ අවශ්‍ය නැති බවකි.
“ඇය මගේ මව. මට ඕනෑ, මුළු ලෝකයටම ඒක සනාථ කරන්න පමණයි. ඒ හැර අන් කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ. මගේ අම්ම ජයලලිතා, හැම වෙලාවේම කරදර වුණේ මට කාගෙන් හරි හිරිහැරයක් වෙයි කියලා. එනිසා සමාජයට රහසිගතව ඈ මට වැඩෙන්න ඉඩ සැලසුවා” යැයි අමෘතා පවසා තිබිණ.
ජයලලිතා අසනීපව චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී අමෘතා, ජයලිතාව බලන්නට ගොස් ඇත. සසිකලාගේ ආරක්ෂක නිලධාරීහු අමෘතා රෝහලෙන් පන්නා දැමූහ. ජයලලිතාගේ දේහය රජාජි ශාලාවට රැගෙන ආ කල ප්‍රධාන ඇමැතිනියට සිය අවසන් ගෞරවය දක්වන්නට අමෘතා එහි ගොස් තිබේ. තම අවසන් ගෞරවය දක්වන්නට අමෘතාට ඒ අවස්ථාවේදීත් ඉඩ ලැබී නැත.
අමෘතා නමැති ගැහැනියක කරන ප්‍රකාශය ගැන කලබලයට පත් ජයලලිතාගේ සොයුරාගේ දියණිය මේ දිනවල පවසන්නේ තමන් අමෘතා කියා කෙනකු නොදන්නා බවකි. යම් විධියකින් අමෘතාට තම මව ජයලලිතා බව ඔප්පු කරන්නට ඉඩක් ලැබුණහොත් ජයලලිතාගේ සොයුරාගේ දියණිය මෙන්ම සසිකලාගේ පිරිසත් සෑහෙන අමාරුවක වැටෙනු නිසැකය.
ජයලලිතාගේ ජීවිත කතාව ගැන දන්නා කවුරුත් සඳහන් කරන්නේ ජයලලිතාට එක් සහෝදරයකු පමණක් සිටි බවකි. එම සහෝදරයා ප්‍රකටව ඇත්තේ ජයකුමාර් ජයරාම් යන නමිනි. ජයලලිතා ඉපදී දෙවසර ඉක්ම යන විට ජයලලිතාගේ පියා ජීවිතක්ෂයට පත් වී ඇත. සැමියාගේ මරණින් පසු ජයලලිතාගේ මව - වේදවල්ලි දරුවන් දෙදෙනාත් කටුව තම මවුපියන් වසන නිවෙසට යළි පැමිණියාය. ලඝු ලේඛනය සහ යතුරු ලියනය හදාරා සිටි වේදවල්ලි පවුලේ මතු දියුණුව සඳහා 1950දී පමණ රැකියාවකට ගොස් ඇත. වේදවල්ලිගේ බාල සොයුරිය - අම්බුජාවල්ලි චිත්‍රපටවල සහ නාට්‍යවල රඟපාමින් සිටි නිසා වේදවල්ලිටත් රඟපෑමේ අවස්ථාව හිමි වන්නේ මෙකලය. ඒ අනුව 1952දී පමණ වේදවල්ලි රංගනයට එක් වී ඇත. වේදවල්ලි රංගනයට පිවිසෙන්නේ සන්ධ්‍යා යන ආරුඪ නාමයකිනි. මේ අක්කා නගෝ දෙදෙනා මදුරාසියේ නවාතැන් ගෙන රඟපෑමේ යෙදුනාහ. වේදවල්ලිගේ පළමු දරුවන් දෙදෙනා ඇගේ මවුපියන් භාරයේ ඒ වනවිට සිට ඇත. මෙයට ආසන්න කාලයකදී වේදවල්ලිගේ තෙවන දරුවා උපත ලබන්නට ඇතැයි කියා විශ්වාස කෙරේ. ඇතැම් තැනෙක දැක්වෙන අන්දමට ස්වාමියාගේ මරණින් පසු වේදවල්ලි සිය මවුපියන් වෙත පැමිණ ඇත්තේම ගැබිනියක ලෙසය. කන්නඩ සහ ද්‍රවිඩ මාධ්‍ය ආයතන රැසකට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් ෂයිලජා පසු කලෙක සඳහන් කර තිබුණේ කුඩා කාලයේදීම තමන් දරුකමට හදා ගන්නට දමෝදර් පිල්ලෙයි නම් කලා අධ්‍යක්ෂවරයා වෙත ලබා දී ඇති බවකි. තමන් කුඩා කල සන්ධ්‍යා නමැති නිළිය තමන්ව බලන්නට සතියට දෙතුන් වර නිවෙසට ආ ගිය අන්දම ද ෂයිල්ජාට මතකය. එවැනි අවස්ථාවලදී සන්ධ්‍යා තමන්ට චොකලට් ආදිය ගෙනත් දුන් බවත් ෂයිලජා මාධ්‍යට පවසා තිබිණ.
තමන් සන්ධ්‍යා නමැති නිළියගේ හෙවත් ජයලලිතාගේ මවගේ දියණියක බව කියන්නට ෂයිලජා සතුව සාක්ෂි තිබුණේ නැත. එසේ වුවත් ජයලලිතා තමන්ගේම සොයුරිය බව ඒත්තු ගන්වන්නට ෂයිලජාට වුවමණාවක් තිබිණ. ඊට අවස්ථාවක් සලසා දෙන මෙන් ෂයිලජා මේ සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් මාධ්‍යයෙන් ඉල්ලා සිටියාය. මියයන තුරුම ෂයිලජාට එම අවස්ථාව ලැබුණේ නැත. කෙසේ වුවත් සන්ධ්‍යා, ෂයිලජා, අමෘතා සහ ජයලලිතා වටා ගෙතී ඇති මේ කතාවේ අග මුල ලිහා ගත යුතුව නැත. එතෙක් එය අභිරහසකි.
“අම්මා ආඩා අම්මු ජයලලිතා” නමැති කෘතිය රචනා කළ දූරදර්ශන් මාධ්‍යවේදී එන්.කේ. මොහාන්රාම් ජයලලිතලාගේ පවුල ගැන පවසන්නේ ද එයටම සමාන කතාවකි.
“ජයලලිතා කියන්නේ මහා අභිරහස් කාන්තාවක්. මේ පොත ලියන්න ගත්ත අවස්ථාවේදී මයිසූර්හි, බොංගලෝර්හි සහ චෙන්නායිහි සිටින ඇගේ ඥාතීන් විශාල පිරිසක් මම හමු වුණා. ඒ අය ඈ ගැන තොරතුරු ලබාදීමත් ජයලලිතා ගැන කතා කිරීමත් ප්‍රතික්ෂේප කළා. මම ෂයිලජා සහ අමෘතාත් මුණ ගැසුණා. ඔවුන් කියන්නේ හිස තෝන්තු කරන කතාවක්. නමුත්, ඔවුන් කියන කතාව සත්‍යයක් බව මට කියන්න බැහැ"යනුවෙනි.
මංජුලා විජයරත්න