අතු පතර සලිත කරමින් හමා යන සුළඟේ සිසිලසක් නැත්තේ ය. එහෙත් ඒ වියළි සුළං පොද වැස්සක පෙර නිමිත්තක් නොවේද? සියොළඟ දවාලන අව්වද වැහි අව්වක් බව කියන්නී මුතු නැන්දාය.
“ගොයම පීදෙනකොට වහින් නැති වැස්ස ගොයං කපනකොට වහිනවා.... ගොයියා හිඟමනට වට්ටන්ඩ තමා වැස්ස වලාහක දෙයියාත් දත කන්නෙ...”
“අපේ ගොයියා නිකංම නිකං තලගොයියෙක් වෙලා ඉවරයි නැන්දේ” යි නොකී මම මේසිරිබර සිරිලක ගොවියාට අත්ව ඇත්තා වූ සන්තෑසිය සිහි කළෙමි.
වී වගාව ප්‍රධානම ගොවිතැන වුවද වර්තමානයේ කුඹුරු ඉඩම්වල කෙසෙල් වගාකරන්නට ගොවියෝ පෙළඹී සිටිති. ඒ වී වගාවට වැයවන මුදලත් වී විකිණීමෙන් ලැබිය හැකි ලාබයත් අතර පරතරය කන්නයෙන් කන්නයට ඉහළ යන බැවිනි. වියදම වැඩිය. ලාබය අඩු ය. තරුණ පරපුර කුඹුරට බසින්නට මැළිවන යුගයක ශ්‍රම බළකායක් කොයින්ද? බත් කටක් කන්නට හා පුරුද්දට මිසක වී වගා කරන්නට පලපුරුදු ගොවියෝ පවා ඒ හැටි කැමැත්තක් නොදක්වති. එහෙයින් ගොයම් කැපිල්ලට හා පෑගිල්ලට ‘බූතයා’ හා ‘සුනාමිය’ ගෙනා උදවිය ද අමාරුවේ වැටී සිටිති. විශාල මුදලක් ගෙවා ගෙන ආ එකී යන්ත්‍රෝපකරණ තවදුරටත් ආදායම් උපයාගත හැකි මෙවලම් නොවේ.
වී ගොවිතැන වේවා වෙනත් ඕනෑම වගාවක් වේවා රජයේ මැදිහත්වීම සහිතව ගොවියා තෘප්තිමත් කරන අතරේම පාරිභෝගිකයාද පීඩාවට පත් නොකරන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුව තිබේ. එහෙත් අධ්‍යාපනයට සේම කෘෂිකර්මාන්තයටද රජය සතුව පැහැදිලි හා තිරසාර ප්‍රතිපත්තියක් ඇත්තේ නැත. ආණ්ඩු මාරු සමඟ වෙනස්වන ප්‍රතිපත්ති රටකට හිතකර නොවේ.
ගොවියකු සිය දරුවන් ගොවිතැනට යොමුවනවාට කැමැත්තක් නොදක්වන්නේ මන්දැයි කියා රජය වටහාගත යුතුය.
සම්ප්‍රදායික ගොවිතැන තාක්ෂණයෙන් පොහොසත් කළ යුතු බව කෘෂිකර්මාන්තය බාර වගකිවයුත්තන් සිහි තබා ගත යුතුය. ඒ සඳහා අවශ්‍යවන ජලය ගොවියාට ගැටලුවක් වන්නේ නම් එයද කෘෂිකර්මාන්තයේ දියුණුව කෙරෙහි බලනොපාන්නේද...? අප තරම් ජලය අපතේ හරින රටක් ලෝකයේ තවත් නැතිවා නිසැකය. පෙර රජ දරුවන් තැනූ වැව් නඩත්තු කිරීමට පවා අපි අපොහොසත් වී සිටින්නෙමු. වැවක් හෑරීමේදී සිදුවන අක්‍රමිකතා හා ඒ කාර්යය නිසියාකාරයෙන් කළේ දැයි සොයා බලන්නට කෙනෙක් හෝ ක්‍රමයක් නොමැතිවීම හේතුකොටගෙන එය හුදෙක් ජාවාරමක් බවට පත් වී තිබේ.
කුඹුර හා ගොවියා ජනමාධ්‍යයට පවා සිහිපත්වන්නේ සිංහල අලුත් අවුරුදු සමයේ පමණි. රූපවාහිනි තිරයේ කඩවසම් ගොවියා, රූමත් ගෙවිලිය හා සරුසාර කුඹුර යථාර්ථයට කොතෙක් නම් දුරද...
දිනපතාම පාහේ ගිනි අව්වට පිළිස්සෙන ගොවියාගේද නිසිකලට ජලය හා පොහොර නොලබන කුඹුරේද ඔය ජනමාධ්‍ය හුවාදක්වන තරමේ රූසිරියාවක්ද සෞභාග්‍යයක්ද නැත්තේ ය. යථාර්ථය වසන් කරමින් මේ මහ පොළොවේ නොවන සුරංගනා ලෝකයක් මවාපාන්නට අපේ ජනමාධ්‍ය වෙසෙස් සමත්කමක් දක්වන බව දැකිය හැක.
“ටී.වී.එකේ අවුරුදු මාර ලස්සනයි නේද අම්මා... ඔංචිලි පදිනවා , රබන් ගහනවා... හැබැයි අපි නම් අවුරුද්දට දකින්නෙ බීලා බීලා වැනි වැනී යන මිනිස්සු, කැට ගහන්ඩ ගිහිල්ලා ගහ මරාගන්න කොල්ලෝ , කැවිලි හදන්ඩ කොඳු කඩාගෙන දුක්විඳින ගෑනු... බයික්වල හයියෙන් ගිහිල්ලා මැරෙන අතපය කඩා ගන්න කොල්ලො...”
පොඩි පුතා කියාගෙන ගියේ හැම සිංහල අලුත් අවුරුදු සමයකම අප අත්විඳින දෑය.
අවුරුදු අවුරුදු කියමින් පුරුෂ පක්ෂය ඇල්කොහොල් දියරයෙන් සංතෘප්ත වන අතරේ අවුරුදු සිරිත් විරිත් ඉටු කරන්නට නොමඳ වෙහෙසක් දරන්නේ කාන්තා පක්ෂයයි. ටියුෂන් මේනියාව හේතුකොටගෙන නව යොවුන් පරපුරටද අලුත් අවුරුද්දක් කියා දෙයක් ඇත්තේම නැති තරම්ය.
අවුරුද්දක් නිරුවතින් හිටියා වාගේ අලුත් අවුරුද්දට ඇඳුම් ගන්නටම දඟලන පොරබදන ජනතාව ඇඳුම් සාප්පු නොව පොත් සාප්පු අබියස ඒ පරිද්දෙන් පෙළ ගැසෙන්නේ නම් , අවුරුදු තිළිණය ලෙස පොතක් තෑගි කරන්නට පුරුද්දක් ඇතිකරගන්නේ නම් යහපත් රටක් පිළිබඳව අපේක්ෂා තවදුරටත් දල්වාගන්නට අවස්ථාව අප කාටත් ලැබෙන බව සහතිකය.
ශාන්ති දිසානායක