Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඉස්කෝ­ලෙට අංගම් පොර

$
0
0
අප්‍රේ 10, 2018 01:00

“මටත් ජොබ් එකක් ලැබෙන්න වාගෙයි යන්නේ...’’ කියමින් උන්නැහේ පත්තරය උස්සා ගෙන දුව ගෙන ආවේ බොහොම සන්තෝසයෙනි.

“ ඒ මොකද උන්නැහේ.... විස්සාසභංගෙන්වත් මොකක් හරි වාසියක් ඇවිල්ලද?’’ කියා ඇසුවේ ටොම්සන් මහත්තයාය.

“ නෑ... නෑ... ටොම්සන් මහත්තයා.. එහෙම දෙයක් නෙවෙයි. ඔන්න ඉස්කෝලේ විෂය මාලාවට අංගම් පොර ඇතුළත් කරන්න යනවා... ’’

“ මොකක් කිව්වා...? අංගම් පොර... එච්චරයි අඩු වෙලා තිබුණේ.. ඒකත් දැන් හරි එහෙනං..’’ කියමින් ඇම්බන් මහත්තයාත් එතැනට ආවේය.

“ නෑ... නෑ.. එහෙම කියන්න එපා.. ඇම්බන් මහත්තයා.. දැන් ඔය ඉස්කෝලේ කරාටේ තියෙනවා.. එතකොට ජිම්නාස්ටික් තියෙනවා... එතකොට දිවිලි පැනිලි හෙමත් තියෙනවා.. ඇයි හෙල්ල විසි කිරිල්ල.. සෙල්ලම් වැඩක්ද? ඇයි යකුලිය දැමිල්ල... ඒකත් ඒ වගේ තමයි.. මේවා ඇත්තටම ඉස්කෝලේ උගන්නන්න ඕනැ ඒවා තමයි... මෙච්චර කල් දැම්මේ නැති එකයි වැරැද්ද.. ඕන්න ඒක මතක් වුණෙත් මේ මැද පළාතේ ලොකු කට්ටියට තමයි...’’ කියා උන්නැහේ කීවේය.

“ ඒ මොකක්ද මැද පළාතේ ලොකු කට්ටිය මොකක්ද කරලා තියෙන්නේ...? කොහොමත් ඒ වගේ ලොකු ගොල්ලෝ නම් අංගම් පොර ඉගෙන ගන්න එක හොඳයි.. මොකද ඔය සභා රැස්වීම්වල හෙම සිද්ධ වෙන ගහ ගැනිලි දිහා බලාපුවාම. අඩු ගානේ ආත්මාරක්ෂාවටත් හොඳයි...’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ අනේ ටොම්සන් මහත්තයා.. කතා කරලා බලන්නකෝ මේ අංගම් පොර ඉස්කෝලේ විෂය මාලාවට දාන්න කියලා ඔය අධ්‍යාපනේ ලොකු කන්තෝරුවට යෝජනා සම්මත කරපු ලොක්කෙක්ගෙන්.. මොකක්ද මේකේ අග මුල කියලා.. එතකොට අංගම් පොර උගන්නන්න ගුරුවරු ගන්නත් වෙනවා නේ.. එතකොට මටත් යන්න පුළුවන්... මාත් මේ කල්පනා කර කර හිටියේ මං දන්න අංගම් පොර සාස්තරේ කාටද කියලා දෙන්නේ කියලා... දැන් එතකොට ගෝල පරම්පරාවක් හදා ගන්න මටත් පුළුවන් වේවි.’’ කියා උන්නැහේ බොහොම සන්තෝසෙන් කීවේය.

ඒ අතරේ ටොම්සන් මහත්තයා අර මැද පළාතේ අධ්‍යාපන ලොක්කෙකුට දුරකථනයෙන් කතා කළේය.

“ දැන් ඔය අංගම් පොර කොහොමද ඉස්කෝලේ විෂය මාලාවට දාන්නේ කියලා පොඩ්ඩක් කරුණු කාරනා ටිකක් දැන ගන්න පුළුවන්ද?’’ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ නෑ... අපි අංගම් පොර පාසල් විෂය මාලාවට දාන්න කියලා අර ලොකු දිසාපාමොක් කන්තෝරුවට තමයි දන්නලා තියෙන්නේ.. මොකද මේක අභාවයට යනවා නේ.. ’’ කියා අධ්‍යාපන ලොක්කා උත්තර බැන්දේය.

“ හැබැයි ඒක නම් හැම අතින්ම හොඳයි... ඉස්සෙල්ලාම ඔය විදුහල්පතිතුමන්ලාට අංගම් පොර ඉගැන්නුවොත් හොඳයි. මොකද? අර එන් ජී ඕ කාරයොයි, මාධ්‍යයි එකතු වෙලා විදුහල්පතිවරුන්ගේ කොන්ද කඩලා නේ තියෙන්නේ.... ඒ නිසා ආත්මාරක්ෂාවට අංගම් පොර දැන ගෙන ඉන්න එක කෝකටත් හොඳයි... ඒ වුණාට මං මේ දන්නේ නැති නිසා අහන්නේ.... ඔය වාගේ වෙන ක්‍රීඩා හෙමත් පාසල් විෂය මාලාවේ තියෙනවාද?’’

“ මොකද නැත්තේ? ඇයි ඔය කරාටේ සූරයෝ හෙමත් ඉස්කෝලවලින් බිහි වෙන්නේ... ඉතින් අපේ රටේම ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් නේ අංගම් පොර කියන්නේ.... ඒකෙනුත් ඉස්කෝලවලින් සූරයෝ බිහි වෙන එක කොච්චර හොඳද?’’

“ නෑ.. මං මේ දන්නේ නැති හින්දා අහන්නේ.... ඔය කරාටේ හරි ජිම්නාස්ටික් හරි වෙන ක්‍රීඩාවක් හරි තියෙන්නේ ඉස්කෝලේ විෂය නිර්දේශවල නෙවෙයි කියලා දන්නේ නැති අධ්‍යාපන ලොක්කෝ ද මැද පළාතේ ඉන්නේ... ?’’ කියා ටොම්සන් මහත්තයා නුහුරට ඇසුවේය.

‘‘ ඇත්තද? ඒවා විෂය නිර්දේශවල නැද්ද? එතකොට කොහොමද ඉස්කෝලවල ළමයින්ට ඕවා උගන්නන්නේ? ’’

‘‘මේක නේ මහත්තයා... ඕවා අයිති වෙන්නේ පාසල්වල විෂය බාහිර ක‍්‍රියාකාරකම් ගොඩට නේ... එහෙම ඒවා විදුහල්පති කැමති නම් ඕනැ නම් කලාපෙනුත් අනුමත කර ගෙන ඉස්කෝලවල පටන් ගන්න පුළුවන්. ඒක ඒ හැටි මහ ලොකු දෙයක් නෙවෙයි නේ.. දැන් ඔය සමහර ඉස්කෝල හිමාලය කන්ද නගින්න යන්නේ.. මොකද ඒකත් විෂය නිර්දේශයක තියෙන එකක්ද?’’

“ අනේ මේ ටොම්සන් මහත්තයා මේ ගැන කියා දීපු එක නම් බොහොම හොඳයි... දැන් බලන්ඩකෝ මේ අධ්‍යාපනේ භාර කවුරුවත් මේ වගේ දෙයක් අපට කියා දුන්නේ නෑ නේ.... ’’

“ හරි මහත්තයා.... දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ... ඕක ගැන අරයාගෙන් මෙයාගෙන් අමුතුවෙන් අවසර ගන්න ඕනැ නෑ... ඕක මැද පළාතේ ඉස්කෝල කීපයක නියාමක වැඩ සටහනක් හැටියට පටන් ගන්න.. හැබැයි ආවාට ගියාට නෙවෙයි... මේ ගැන හොඳ සැලැස්මක් හදලා... පුහුණුකරුවන් තෝරලා... පුහුණු පාඨමාලාවක් හදලා... ළමයින්ගේ ආරක්ෂාවට කටයුතු සම්පාදනය කරලා.. ඒ විතරක් නෙවෙයි මේකට පොරොන්දු පත්‍රයකුත් හදන්න ඕනෑ... ඒකට තමයි අධ්‍යාපනේ පළාත් විෂයයක් හැටියට වෙන් කරලා තියෙන්නේ... ඒ බලතල පාවිච්චි කරන්න බැරි නෑ නේ... ඕනැ නම් අපෙත් ඉන්නවා අංගම් පොර පුහුණු කරන්න පුළුවන් හොඳ ගුරුන්නාන්සේ කෙනෙක්... එයාවත් දෙන්නම් ඕනැ නම්... එහෙනම් ආයේ පස්සේ කතා කරන්නම් කෝ....’’ කියා ටොම්සන් මහත්තයා දුරකථනය විසන්ධි කළේය.

‘‘මං ඒක තමයි කිව්වේ.. මටත් පත්වීමක් ගන්න පුළුවන් වෙයි කියලා... ’’කියා උන්නැහේ මහත් සතුටින් කීවේය.

බන්දුල පී දයා­රත්න


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles