දමයන්ති ජයසූරිය
මීට වසර පනකට පෙර ගුවන් විදුලි ළමා මණ්ඩපයේ ළමා ගායන ශිල්පිනියක් ලෙසින් කලා ලොවට අවතීර්ණ වූ ඇය ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, කැසට්පට හා සංයුක්ත තැටි මඟින් තම ගායන හැකියාවන් ඔස්සේ රසික හදවත් පිනවීය. සම්මානනීය ගායන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත් වුවද නිහතමානීත්වය හා සරළ බව ඇය තුළ නිරන්තරයෙන් තිබෙන ලක්ෂණයකි. දීර්ඝ කාලයකට පසු බොදු ගී සමුච්චයක් සමඟින් ඔබ හමුවට එන ඇය දමයන්ති ජයසූරිය ය.
ප්‍රේම ගී, ළමා ගී, දේශාභිමාන ගී, සරළ ගී, ජන ගී හා විරහගී තුළින් ගතවූ වසර පනහ ඇය සිය මිහිරි හඬින් රසික හදවත් ආමන්ත්‍රණය කළාය. මෙවර ඇය අලුත් මාවතක් ඔස්සේ රසික ඔබ සැමට ගී සමුච්චයකින් සංග්‍රහ කිරීමට සූදානමින් සිටින්නීය. ඒ බොදු ගී ගායනයෙහි ‘සිත නිවන ගී’ නමින් නම් තබා තිබෙන මෙම සංයුක්ත තැටිය උදාවන වෙසක් පොහොය නිමිත්තෙන් ජනගත කිරීමට සැරසෙන මොහොතක ඒ පිළිබඳ ඇය හා කතා කිරීමට අදහස් කළෙමි.
කළබලකාරී, ඝෝෂාකාරී සංගීත රැල්ලක් හමා යන මෙවන් පරිසරයක ඊට හාත්පසින්ම වෙනස් වූ සංගීත රිද්මයක් ඔස්සේ අවතීර්ණවීමට හේතුව මම ඇයගෙන් විමසුවෙමි.
‘මම කුඩා කාලයේ ඉඳලම බෞද්ධ පරිසරයක හැදී වැඩුන කෙනෙක් නිසා මම කවදත් ආගම දහමට ලැදියි. මම එදා ඉඳලම ජීවත් වෙන්නේ බෞද්ධ දර්ශනයේ තිබෙන මැද මාවතෙයි. ඒ නිසා මට විශාල අපේක්ෂාවන් නැහැ. මම කාලයක් තිස්සේ ‘සිතුම් පියස’ බෞද්ධ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙලා භාවනා වැඩසටහන් කරනවා.’සිතුම් පියස’ බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරමින් ආගමික කටයුතු මෙහෙයවන හන්තානෙ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ තමයි ‘බෞද්ධ ගී’ එකතුවක් කළොත් හොඳයි නේද කියා පළමු වරට අදහස දුන්නේ.
ඇය තම කුළුඳුල් බොදු ගී සමුච්චය ‘සිත නිවන ගී’ ඇරඹීම හේතු වු කරුණ පැහැදිලි කළාය. ඇගේ හඬ ඉතා පැහැදිලි තැන්පත් වූවක් බව ඇය සමඟ කතාබස් කිරීමේදී මට දැනුණි. ඒ හඬ හැඟුම්බරයි. ඇගේ ප්‍රකාශනයන්ට ඇහුම්කන්දීමට මා දෙසවන් ද ප්‍රිය කළේය. ඒ තරමට අව්‍යාජ වූ තැන්පත් මිහිරි හඬක් ඇය සතුය. බොදු ගී ගායනය තුළින් ජන හද සනසාලන්නට ඇගේ හඬ කොතරම් උචිතදැයි මට සිතුණි.
‘මම විවිධ තේමාවන් යටතේ විවිධ ගී ගායනා කළ කෙනෙක්. අනිත්එක මට ජනප්‍රිය වෙන්න වුවමනාවක් තිබුණෙත් නැහැ. මට ඕන වුණේ මගේ හැකියාවෙන් සමාජයට මෙහෙවරක් කිරීමට පමණයි. දැන් පවතින වේගරිද්මයේ ඝෝෂාකාරිබව මම එතරම් කැමැත්තක් නැහැ. අනික මම යන මාවත ඒ රැල්ලට කොහෙත්ම ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා මම පසුගිය දිනවල ගීත ගායනයෙන් ටිකක් ඈත් වෙලා ආගම දහමත් එක්ක ‘සිතුම් පියස’ මඟින් රට පුරා පවත්වන මිනිසුන්ගේ මානසික සුවතා හා මානසික සංවර්ධන වැඩසටහන්වලට සහභාගි වෙමින් කාලය ගත කළා. අපි එවැනි වැඩසටහන් බොහොමයක් කරල තිබෙනවා. මේ වැඩසටහන්වලදී ළමා පරපුර, තරුණ පරපුර, වැඩිහිටි පරපුර සමඟ සමීපව කටයුතු කරන්නත් අවස්ථාව ලබෙනවා. එතෙන්දී මට වැටහුන දෙයක් තමයි මේ සෑම දෙනාම කුමක් හෝ මානසික පීඩනයකින් පසු වෙන බව.”
මිනිසුන්ගේ මානසික සුවතාව වෙනුවෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඇයට ඒ වෙනුවෙන් තම ‘හඬ ‘ ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් ලැබීම ගැනද ඇය අදහස් ප්‍රකාශ කළාය.
“මානසික සුවතා හා වර්ධන වැඩසටහන් වලදී ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ කරන දේශන අතරවාරයේ මාතෘකාවට අනුව කවි, ගීත ගායනා කරන්නත් මට අවස්ථාව ලැබෙනවා. එයින් එම වැඩසටහන් ඉතා සාර්ථකව මිනිසුන්ගේ සිත්වලට කාවදිනවා. ඒ නිසාම වෙන්න ඇති ස්වාමීන් වහන්සේ මට මෙවැනි ගී සමුච්චයක් එළිදැක්වීමට යෝජනා කරන්නත් හේතුව. අපේ කණ්ඩායමත් දායක දායිකාවන් හැමෝමත් ස්වාමීන්වහන්සේගේ යෝජනාවට කැමැත්ත දුන්නා. ඒ අනුව මටත් මේ කාර්ය ආරම්භ කිරීමට උනන්දුවක් ඇතිවුණා.
ඊට පස්සේ මොකද වුණේ? ‘සිත නිවන ගී’ ට පන දෙන්න ක්‍රියාත්මක වුණේ කෙසේදැයි මම ඇගෙන් විමසුවෙමි.
‘මගේ ස්වාමියා ඒ. ඩී. රංජිත් කුමාර පුතා නුවන් සමඟ මම මේ ගැන කතා කළා. ඔවුන් මගේ වෑයමට උපරිමයෙන් සහය දුන්නා. ඇත්තටම ඔවුන්ගේ සහයෝගය හා සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානයට සම්බන්ධ හන්තානේ ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාගේම නොමසුරු සහයෝගය හා දිරිගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි ‘සිත නිවන ගී’ සමාජගත වෙන්නේ.”
දමයන්ති ජයසූරියනම් ප්‍රවීණ ගායන ශිල්පිනිය මෙතෙක් ගායනා කළ ගී දෙස බලන කල්හි මෙවැනි බොදු ගීත ගැයීමේදී ඇය තෘප්තිමත්දැයි මට විචාලීමට සිතුණි.
‘මම මෙතෙක් ගායනා කළ ගීත සියල්ලටමත් මම කැමැතියි. ආදරෙයි. ඒත් මෙවර මම ගායනා කළ බොදු ගීත වලින් ලැබූ ආත්මීය සුවය, සැනසීම නම් කිසි දිනක ලබල නැහැ. ඒ තරමට මේ ගීත මගේ සිතත් නිවා සැනසුවා. මේ ගීත පටිගත කිරීමේදී පවා සමහර අවස්ථාවලදී මගේ දෙනෙතට සතුටු කඳුළු මටත් නොදැනීම ආ වාර අනන්තයි.
ඒ තරමටම මේ ගීතවල ගැබ්වෙලා තිබෙන අදහස හා තනු නිර්මාණ සංවේදියි. ඒ නිසා මම මෙතෙක් ගායනා කළ ගීත අතරින් මේ බොදු ගී සමුච්චය ගැන තෘප්තිමත් වෙනවා.”
මෙවැනි ‘සිත නිවන ගී’ දයාබර රසික පිරිසට තිළිණ කිරීමට මීට පෙර සිදු වූවානම් හොඳ නේදැයි මට සිතුනි. ඒ බව මම ඇයට පැවසුවෙමි.
‘ඔව්’ මටත් එහෙම හිතුන වාර අනන්තයි. මම ගායනා කරන නිසා මේ ගීත හොඳයි කියා කියනවා නෙවෙයි. ඒ තරමටම මේ ගීතවල රසය අපමණයි. අපි හැමෝගෙම පූජනීය වස්තුව අම්මා. අම්මා ගැන මෙතෙක් නොඇසූ තේමාවන්, මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය, සඟමිත්තා තෙරණියගේ චරිතය වගේ බෞද්ධ කාන්තා චරිත හා කුඩා, තරුණ, වැඩිහිටි සැමට ආදර්ශය ගෙනෙන ජීවිත ස්වභාවය ඉස්මතු වෙන බුද්ධාලම්භන ප්‍රීති ප්‍රමෝදය වඩන ඉතා අලංකාර රසවත් ගී කීපයක් මගේ ‘සිත නිවන ගී’ තුළින් අසන්න පුළුවන්’
මෙම ගීත සමුච්චය තුළ අන්තර්ගතය ඇය එලෙස ප්‍රකාශ කරද්දී සිත නිවන ගී සඳහා නිර්මාණ දායකත්වය දුන්නේ කවුදැයි මට දැනගැන්මට ඇවැසි වීමි.
‘ගී පදවැල් හරහා සිත් නිවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහ නාහිමි, කුලරත්න ආරියවංශ, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ජයම්පති අල්ගම, පූජ්‍ය මඩපාත ධම්මසාර හිමි, පූජ්‍ය වෙන්නපුවේ චන්දානන් හිමි දායක වුණා වගේම එම පදවැල් වර්ණවත් කරන්න ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය ලයනල් අල්ගම, ආචාර්ය නන්දා මාලිනී, එච්. එම්. ජයවර්ධන, එම්. වයි. චූලසිංහ, අජිත් දර්ශන ජයවීර, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් මිරිහාන මනරම් තනු නිර්මාණය කර සංගීතවත් කළා. සහය ගායනයට විශාරද එඩ්වඩ් ජයකොඩි දායකත්වය දැක්වුවා.”
දමයන්ති ජයසූරිය ගායන ශිල්පිනියගේ ‘සිත නිවන ගී’ බොදු ගීතාවලිය සංයුක්ත තැටිය ජනගත කිරීමේ චාම් උත්සවය අප්‍රේල් 23 වැනිදා සවස 5.00 ට කොළඹ හැව්ලොක් පාරේ සම්බුද්ධත්ව මාවතේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර එදින පැවැත්වෙන ‘සිත නිවන ගී’ සංගීත සුයාමය සඳහා මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි හා කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණිය විශේෂ දේශන පැවැත්වීමට නියමිතය. ජානක ෆොන්සේකා ප්‍රධාන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායම එදින සංගීතය මෙහෙයවයි.
පුරා දශක පනහක් ජන හද ගී තුළින් අමන්දානන්දයට පත්කළ දමයන්ති ජයසූරිය ගායන ශිල්පිනියගේ ‘සිත නිවන ගී’ බොදු ගී සමුච්චය වෙසක් පොහොය වෙනුවෙන් ඔබට ලැබෙන තිළිණයකි. එය අසන්න. එතැනින් නොනැවතී විඳින්න. එවිට ඔබේ සිත නිවී සැනසෙනු නොඅනුමානය.
සටහන - නිශාන් මෙන්ඩිස්