ඵලදායීතාව සමාජය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවකි. එයිනුත් S5 සංකල්පයට හිමිවන්නේ ඉහල ස්ථානයකි. ජපනුන් ලොවට දායාද කල S5 සංකල්පය තුළින් ඵලදායීතාව නිසි පරිදි සංවර්ධන කලා මෙහෙයවන්නට මනා පිටිවහලක් ලැබෙයි.
S5 සංකල්පය තව දුරටත් දියුණුව කරා මෙහෙයවමින් ලාල් ෆොන්සේකා මහතා විසින් සම්පාදනය කරන ලද 'පාසලට 6S + 3R 'කෘතිය ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය වෙත බොහෝ දෙනෙක් එල්ල කරනු ලබන අවම සඵලමත්භාවය සහ අකාර්යමක්ෂතාවයට කදිම විසැඳුමක් සපයන, මඟපෙන්වීමක් සහිත කෘතියකි. පාසලකින් සිදුවිය යුතු මෙහෙවර වන්නේ පැමිණෙන දරුවන්ගේ නැණ නුවණ දියුණු කොට අධ්‍යාපනික සංවර්ධනයක් ඇති කරමින් ඔවුන්ගේ ගුණ දහම් සහ යහපත් සමාජ ආචාරධර්ම වර්ධනය කර, පලදායී අනාගත පුරවැසියන් පිරිසක් බිහි කිරීමයි. ඒ සඳහා පාසල් පද්ධතිය තුළ සියලු දෙනා සාමූහිකව අධිෂ්ඨාන පූර්වකව කටයුතු කළ යුතු ය. සෑම ආයතනයක්, ගෘහයක් සඳහා ම මෙන්ම පාසල සඳහා ද කළමනාකරණ ක්‍රමවේදයක් ලෙස 5s සංකල්පය භාවිතා කළ හැකි ය. ජපනුන්ගේ කාර්මීකරණය සහ සාක්ෂරතාවය වඩාත් වේගවත් කිරීම උදෙසා සකස් කළ 5s ද ලෝකයේ බොහෝ රටවල් තුළ අතිශයින් ජනප්‍රිය වී ඇත. මේ 5s සංකල්පය තුළ අන්තර්ගත වන්නේ
සෙයිරි- අනවශ්‍ය දේ ඉවත් කිරීම
සෙයිතොන්- පිළිවෙළකට තබා ගැනීම
සෙයිසො- පිරිසුදු කිරීම
සෙයිකෙට්සු- සම්මතකරණය කිරීම
ෂිත්සුකේ- ශික්ෂණය සහ පුහුණුව යන සංකල්ප පහයි.
"පාසලට 6S+3R"කෘතිය මඟින් මේ S5 ට අමතරව තවත් එකක් එකතු කොට තිබේ. අමතර S අකුරෙන් පෙන්වා දෙන්නේ
සේෆ්ටි- ආරක්ෂාවයි. මේ s6 සංකල්පය පාසලට අවශ්‍ය වන්නේ ගුණගරුක යහ ගුණයෙන් පිරුණු කාර්යක්ෂම හා ඵලදායි දරුදැරියන් පිරිසක් බිහි කිරීම සඳහායි.
පාසල තුළ 6S සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රථමයෙන් ගුරු මණ්ඩලය දැනුම්වත් කළ යුතු ය. අනතුරුව දෙමාපියන් සහ දරුවන් දැනුවත් කොට මේක්‍රමය දැනටමත් භාවිත වන වෙනත් පාසල් උදාහරණයට ගනිමින්, එම පාසල්වල මට්ටමට සිය පාසලත් ගොඩ නංවා ගැනීමට ක්‍රමානුකූලව ක්‍රියාත්මක විය යුතු ය. මෙය ක්‍රියාත්මක කිරීමට පෙර තත්ත්වය පිළිබඳ ඡායාරූප සටහන් තබා ගැනීම මඟින් සහ දරුවන් තරගයකට පෙලඹවීමෙන් පසු තත්ත්වය පිළිබඳ විමසා බැලීමේදී එහි යහපත් සහ සාර්ථක භාවය දැක ගැනීමට හැකි වේ. තරගකාරීව මෙය පවත්වාගෙන යෑම තුළින් උනන්දුව සහ උද්යෝගය වර්ධනය වන නිසා දරුවන් මේ කෙරෙහි යොමු වීම වැඩි දියුණු වේ. එමඟින් බිහිවන දරුවා මතු දිනක සිය පෞද්ගලික ජීවිතය, වෘතීය ජීවිතය මේ ඔස්සේ පලදායී සඵලතා මට්ටමකට සංවර්ධනය කර ගනු ඇත.
s6 සංකල්පයෙහි වැදගත්ම කොටසක් ලෙස සෙයිරි එසේත් නැතිනම් පිරිසිදු කිරීම හැඳින්විය හැකි ය. සෙයිරි දිනයක් සංවිධානය කිරීම මඟින් පාසල තුළ ඇති අනවශ්‍ය දෑ ඉවත් කොට පරිහරණය කිරීමට හැකි දේ නිසි ලෙස පවත්වාගෙන යමින් කළමනාකරණය වෙත යොමුවිය හැකි ය.
සෙයිරි ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සෙයිතෝන් එසේත් නැතිනම් පිළිවෙළකට තබා ගැනීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත. ඕනෑම දෙයක් දුටුමතින් හඳුනාගත හැකි ආකාරයට පිළිවෙළකට තබා ගැනීම මඟින් කාලය සහ මානසික සමබරතාව යහපත් මට්ටමකට ගෙනආ හැකි ය.
සෙයිසො තුළින් පාසලේ තමන් භාවිතා කරන උපකරණවල ජීව කාලය ඉහළ නංවා පරිහරණය කිරීමට සිසුන් යොමු කළ හැක.
සෙයිකෙට්සු තුළින් මෙතෙක් සිදුකළ ක්‍රියාවලිය දිගින් දිගටම පවත්වාගෙන යෑම අදහස් කරයි. ෂිට්සුකේ තුළින් පෙන්වන විනයානුකූල බව සහ පුහුණු කිරීම මඟින් ලැදියාවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට කිරීමට සිසුන් හුරු වේ.
මේ සියල්ල හපත් ලෙස ක්‍රියාත්මක වුව ද, අවසාන S අකුරෙන් හඳුන්වන safety (ආරක්ෂාව) අතිශයින්ම වැදගත් ය. පාසල් ළමයින්ගේ ආරක්ෂාව උදෙසා අනාරක්ෂිත ළිං , වලවල්, විදුලි රැහැන්, ගොඩනැඟිලි , ක්‍රීඩා උපකරණ ආදිය හඳුනාගෙන ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම, මහා මාර්ගයෙහි ගමන් කරන සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම ආදී දේ මඟින් ආරක්ෂාව තහවුරු කිරීම කළ යුතු ය.
ඉහත කරුණු නිවැරැදිව කාර්යක්ෂම ආකාරයෙන් පවත්වාගෙන යෑම මඟින්, සිසුන්ට යහපත් මානසිකත්වයකින් සුවදායී ලෙස අධ්‍යාපන කටයුතු කළ හැකි, පාසල් පද්ධතියක් නිර්මාණය කළ හැකි ය.
දිල්රූ