Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අපේ කට්ටියට පේරාදෙණියේදී ගුටි

$
0
0
අප්‍රේ 11, 2018 01:00

ඒ කාලේ 'අපේ කට්ටියේ'නාට්‍ය බලන්න පතී එනවා යනවා. සමහර වෙලාවට නාට්‍යයක් ඉවරවෙලා අස් පස් කරද්දී උදව් වෙනවා. ඔහොම හිතවත් වෙලා අපිත් එක්කම අපේ නාට්‍යවල පෝස්ටර් ගහන්නත් පතී, බර්ටි, තෙන්නෙ ආදීන් එනවා. ඒ වෙද්දී පතීලා හිටියේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ. කොළඹදි 'අපේ කට්ටියේ'නාට්‍යයක් වූ 'හරිම බඩු හයක්'නාට්‍ය බලලා ඒක නුවර පෙන්නන්න සංවිධානය කරන්න පතී කැමති වුණා.

බොහෝ දෙනෙකු විසින් '70 දශකය යනු ලාංකේය කලා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය'ලෙස හඳුන්වනු ලැබුවද, නාට්‍ය කලා ක්ෂේත්‍රය තුළ ඊට තල්ලුවක් ලබාදී ඇත්තේ 60 දශක‍යේ සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ කට්ටිය'යි. ආරියවංශ රණවීර විසින් 'හඬ' 2012-ජනවාරි-මාර්තු කලාපයකට ලියූ ලිපියක මෙසේ දැක්වෙයි.

''අපේ කට්ටිය'ප්‍රමුඛ නව නාට්‍යකරුවන් නාට්‍ය රචනයට හා අධ්‍යක්ෂණයට එළඹෙන්නේ මේ මහත් ආයාසයෙන් ලද, ව්‍යුත්පත්තිය විසින් සකස් කළ මනස් සහිතවය. ඔවුන්ගේ මැදිහත්වීම, තනි මගක ගමන් කරන්නට නියමිතව තිබූ ගමනකට විකල්ප මාර්ගයක් සැපයීමක් විය."

මීට අමතරව සයිමන් නවගත්තේගම විසින් 'ප්‍රේක්ෂා'සඟරාවට ලියූ ලිපියක මෙසේ සඳහන්ය.

''පනහ, හැට දශකවල සිංහල වේදිකාවේ ඇතිවූ පෙරළිය අද දක්වාම ක්‍රම විකාශය වෙමින් විද්‍යමාන වෙයි. නූතන තරුණයෝ 'නාට්‍යය'කියන්නේ මොකක්දැයි ඉගෙන ගන්නේ මෙම ප්‍රවාහයේ නූතන ප්‍රතිඵල නැරඹීමෙනි. එහෙත් තමන්ගේ නිර්මාණ කාර්යයෙහිලා 'අපේ කට්ටියේ'බලපෑම ඔවුහු නොදනිති. මේවා තෝරා බේරා හෙළිකරන ස්වාධීන විචාර කලාවක් අපේ ‍රටේ නැති බැවිනි. අපේ වේදිකාවට 'අපේ කට්ටියේ'ප්‍රවාහයට අමතර විලාසිතාවක් වශයෙන් අලුතින් එක්ව ඇත්තේ 'නූතන බටහිර රංග ශිල්ප උපක්‍රම'පමණකි.(ප්‍රේක්ෂා 1-1995)

මෙවන් සුළු උපුටා දැක්වීම් දෙකක් මූලාරම්භයේදීම දක්වන්නට සිදුවූයේ මාලිනී වීරමුණිට පතී හමුවීමේ පසුබිම 'අපේ කට්ටිය'වන බැවිනි.

"ඒ කාලේ 'අපේ කට්ටියේ'නාට්‍ය බලන්න පතී එනවා යනවා. සමහර වෙලාවට නාට්‍යයක් ඉවරවෙලා අස් පස් කරද්දී උදව් වෙනවා. ඔහොම හිතවත් වෙලා අපිත් එක්කම අපේ නාට්‍යවල පෝස්ටර් ගහන්නත් පතී, බර්ටි, තෙන්නෙ ආදීන් එනවා. ඒ වෙද්දි පතීලා හිටියේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ. කොළඹදි 'අපේ කට්ටියේ'නාට්‍යයක් වූ 'හරිම බඩු හයක්'නාට්‍ය බලලා ඒක නුවර පෙන්නන්න සංවිධානය කරන්න පතී කැමතිවුණා. පතීලා ඒක සංවිධානය කළේ 'පුෂපදානෙ රඟහලේ'. මේ වැ‍ඩෙත් එක්ක අපිත් එක්ක තවත් සමීප වුණා"මාලිනී වීරමුණි කියයි.

'හරිම බඩු හයක්'ලෙස සූගතපාල ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දේ ඉතාලි ජාතික නාට්‍යකරු ලුයිජි පිරැන්ඩලෝගේ නාට්‍යයකි. මාලිනී වීරමුණිට අමතරව මෙම නාට්‍යයට ටෝනි රණසිංහ, ප්‍රේමා ගනේගොඩ, වික්‍රම බෝගොඩ, අනුර ගනේගොඩ, කමනී ගනේගොඩ, නවනන්දන විජේසිංහ, ජිනදාස පෙරේරා, හේමප්‍රිය අතපත්තු, පියසේන අහංගම, චන්ද්‍රකාන්ති ද සිල්වා, නාමෙල් වීරමුණි, ෆිලීෂියා ෆොන්සේකා යනාදීන් දායකවී තිබේ.

මේ යුගයේදී ආතර් යූ අමරසේනගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත්වූ 'විසිතුර'නමැති චිත්‍රකතා පත්තරයේ ටෝනි - ප්‍රේමා යුවළගේ නිරූපණයන්ගෙන් යුතු චිත්‍රකතාවක් පළවිය. ඊට ඡායාරූප සපයන ලද්දේ 'අපේ කට්ටිය'සමග සමීප ඇසුරක් පැවැත්වූ එවක ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වූ රැලෙක්ස් රණසිංහ නොහොත් 'අපේ කට්ටියේ'භාෂාවෙන් කිවහොත් 'රැලා'ය. පුෂ්පදානයේ පතීලා සංවිධානය කළ නාට්‍ය සඳහා කොළඹින් මහනුවරට යන කණ්ඩායමේ හුන් 'රැලාට'අතරමගදී එනම් පේරාදෙණියේදී ටෝනිගේත්, ප්‍රේමාගේත් ඡායාරූප ටිකක් ගැනීමට අවශ්‍ය විය. වාහනය පාරේ නවතා පාරෙන් තරමක් උසැති සරසවි පරිශ්‍රයේ බිම් කණ්ඩියක ටෝනි-ප්‍රේමා එක් එක් ස්වරූපයෙන් සමීප කොට ඡායාරූප ගනිමින් සිටියදී සරසවි සිසුන් පිරිසක් 'හූ'තබා තිබේ. ඉන් ඉක්බිතිව සිදුවූ දේ පිළිබඳ මාලිනී වීරමුණිගේ හඬින් කිවහොත් මෙසේය.

"ඒ වෙද්දි පතී, බර්ටිලා, කැල්ලපතලා පුෂ්පදානෙ වැඩේ සංවිධානය කරනවා. අපේ කණ්ඩායමේ අය පෙරාදෙණියේ කැම්පස් එකේ ෆොටෝ ගන්නවා. කොල්ලො පැත්තක ඉඳන් හූ කියනවා. මේ වෙලාවෙ නවනන්දන ලී කෑල්ලක් අතේ තියාගෙන ඒක බිමට ඇන ඇන කන්ද උඩට නැඟගෙන ගියා. කොල්ලො ටික හිතුවේ ඒ අයට ගහන්න පොල්ලක් අරන් එනවා කියලා. උන් ටික රංචුව එකට පැනලා අපේ පිරිසට ගැහුවා. ඊට පස්සෙ ඒක දැකලා වාහනේ හිටපු අපිත් දුවගෙන ගියා. නාමෙලුත් ගියා. නාමෙල්ටත් දෙක තුනක් වැදුණා. ඒත් එයාව අඳුරගත්ත ළමයෙක් ඇවිත් 'මේ අපේ සර්නෙ කියලා සමාව අරන් ෂේප් වුණා. ඒත් ඉතිං අපේ සෑහෙන පිරිසක් හොඳට ගුටිකෑවා. කට්ටිය ටිකක් බීලා හිටියේ. වැඩේ දුරදිග යන්න ඒකත් බලපාන්න ඇති. රැලෙක්ස් පිංතූර ගත්තත් ගොඩක් වෙලාවට ඉන්නෙ බීලා. අපේ පිරිසෙත් වැඩිදෙනෙක් එහෙමයි. ෂෝ එකට යද්දිත් බීලා. අපි නාට්‍ය කෙරුවෙ විනෝදෙට වගේනේ. කාටවත් ලොකු බරපතළකමක් දැනුණේ නෑ. එදා රඟපාද්දි 'ඇඟ ටිකක් රිදෙනවා කියලා අතරින් පතර කට්ටිය හෙමින් කියනවා. ඒත් ගුටි කෑව බවක් කියන්නේ නෑ. ඔය සිද්ධිය නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ"

'අපේ කට්ටිය'සමග ධර්මසේන පතිරාජට පැවති සමීප සම්බන්ධතාව නිසාත්, මාලිනී වීරමුණිගේ රංගන කෞෂල්‍ය කෙරෙහි ඇතිවූ පැහැදීමත් නිසාම පසු කලෙක හෙතෙම ඇයට කතා කළේය.

"මාලිනී, මං අයනෙස්කෝගෙ 'පුටු'කරන්න යනවා. ඔයාට එන්න පුළුවන්ද?

"වෙන කවුද මාත් එක්ක එකතුවෙන්නේ?

"කොස්තා."ඒ පතීගේ තෝරාගැනීමය.

එය වඩාත් නිවැරැදි තෝරාගැනීමක් බැව් නාට්‍යයේ සාර්ථකත්වය විසින් පිළිඹිබු කෙරිණි. විමල් කුමාරද කොස්තා යනු ඒවන විට 'අපේ කට්ටිය'ට පසු කාලීනව එකතු වූ සාමාජිකයෙකි. ධර්මසේන පතිරාජ කලක් සුගතපාල ද සිල්වාගේ 'හිත හොඳ අම්මණ්ඩි'නාට්‍යයේ වේදිකා පරිපාලක ලෙස කටයුතු කළේය. ඩබ්ලිව්. ජයසිරිද එවක 'නැට්ටුක්කාරී'නාට්‍යයේ වේදිකා පරිපාලකය.

"පසු කාලීනව ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්නපු ගොඩක් අය ඒ කාලේ අපේ නාට්‍යවල ට විවිධ විදිහට උදව් වෙච්චි අය. දැන් වෙද්දි ජයසිරි ඉන්න තැන දැක්කම ඇත්තටම ආඩම්බරයි. එයා දක්ෂතම නළුවෙක්."ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් පතී විසින් අයනෙස්කෝගෙ 'පුටු'නාට්‍යයට තමා හා කොස්තා තෝරාගැනීම පිළිබඳ ඇය බෙහෙවින් සතුටු වූවාය. ‍ඒ වන විටත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු අත්දැකීම් ගොන්නක් තිබුණද, පතී සමග 'පුටු'නාට්‍යයට සම්බන්ධවීම ඇයට අලුත් අත්දැකීමකි.

"අපි පුහුණුවීම් කළේ රෝයල් එකේ ප්‍රාථමිකයේ. උදේ වරුව ඉස්කෝලෙ නිසා හවස 2ට තමා පුුහුණුවීම් කරන්නේ. හැමදාම වගේ කොස්තා එන්නෙ පරක්කු වෙලා. අපි එතකන් පිටපත කියවාගන්නවා. මට වේදිකා නාට්‍යවල අත්දැකීම් තිබ්බත් පතී එක්ක වැඩකරලා අත්දැකීම් තිබ්බෙ නෑ. එයා අනික් නාට්‍ය අධ්‍යක්ෂවරු වගේ නියෝග දෙන්නෙ නෑ. පිටපත කියවලා එයාට ඕන මොන විදිහෙ රංගයක්ද කියලා පැහැදිලි කරලා දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එයා ඒ රංගනයෙන් සෑහීමට පත්වෙන්නෙ නැත්නම් ළඟට ඇවිත් හිත නොරිදෙන විදිහට කරුණු කියනවා. ආයෙමත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. බණින්නෙ නෑ. කෑගහන්නෙ නෑ. හරිම සංයමයකින් තමා වැඩේ කරන්නේ. එහෙම නාට්‍ය අධ්‍යක්ෂවරුන් හරිම අඩුයි"ඇය සිහිපත් කරයි.

යූජින් ඉයනෙස්කෝගෙ 'ද චෙයාර්ස්'හෙවත් 'පුටු'නාට්‍ය රචනා වන්නේ 1952 දීය. එනම් දෙවෙනි ලෝක යුද්ධයෙන් වසර හතකට පසුවය. පතිරාජ විසින් එම නාට්‍ය පිටපත සිංහලට නඟා ප්‍රතිනිර්මාණය කරනු ලබන්නේ 1971 දීය. මාස තුනක පමණ පුහුණුවීම් කාලයකින් පසු 'ජාතික නාට්‍ය උළෙල'වෙනුවෙන් එහි මංගල දර්ශනය පැවැතියේ 1971 මාර්තු මස 19 දාය. මාලිනී වීරමුණි එදින සිහිපත් කළාය.

"අපිට ගොඩක් අය හිටියෙ නෑ. අපිට කැපෙන සුළු පිරිසක් තමා හිටියේ. වේදිකා සැරසිලි, ඇඳුම් නිර්මාණ කටයුතු වගේම වේෂ නිරූපන කටයුතු කෙරුවේ ගාමිණී වික්‍රමසූරිය. එයා මට දාපු විශාල නාසය රඟපාන අතරතුරදී ගැලවී ගියා. ඒත් ඒක නාට්‍යයේ ගලායාමට බාධාවක් වුණේ නෑ. මමත් කිසිදෙයක් නොවුණු ගාණට වැඩේ කරගෙන ගියා"

එවක නාට්‍යයේ කටයුතු වලට එක්වූ සියලුදෙනාම එකම පවුලක් මෙන් ඉතාමත් සහයෝගයෙන් යුතුව කටයුතු කළ බවත්, මුදල් මත නොව සාමූහික හැඟීම ප්‍රමුඛ කොටගෙන කටයුතු සිදුවූ බවත් ඇය අවධාරණය කළා.

"ඩොනාගේ (ඩොනල්ඩ් කරුණාරත්න) බිරිඳට (ශිරාණි කරුණාරත්න) පුංචි කාර් එකක් තිබුණා. මට මතක විදිහට වොක්ස් වැගන් එකක්. නාට්‍යයට ඉස්කෝලෙ පුටු පටවාගෙන ආවෙ ඒකෙ. නාට්‍ය දර්ශනය ඉවරවෙලා ඒවා ආපහු පටවගෙන ගියෙත් ඒකෙමයි. ඩ්‍රයිව් කළේ ශිරාණි. ඒ කාලෙ ඩ්‍රයිවින් පුළුවන් එයාට විතරයි. ඒවාට එයාලා සල්ලි ඉල්ලුවෙත් නෑ. අපි දුන්නෙත් නෑ. වැඩේ ලස්සනට කරලා ඉවරවුණාම ඔක්කෝම අස්පස් කරලාම තමයි එයාලා යන්න ගියේ"

1971 මාර්තු මස 12 වෙන දින සිට 27 වන දින දක්වා කොළඹ ලුම්බිණී රඟහලේදී පැවති 'ජාතික රාජ්‍ය නාට්‍ය උළෙලේ'හොඳම පරිවර්තිත නාට්‍යයට හිමි සම්මානය දිනා ගැනීමට පතිරාජගේ 'පුටු'නාට්‍යයට හැකිවිය. එහි සංගීතය ප්‍රේමසිරි කේමදාසගේය. කථකයා වූයේ දයා තෙන්නකෝන්ය.

අපේ කට්ටිය'තුළ එවක පැවති පවුලක් වන් 'සහෝදරත්වය'පසු කලෙක කෙමෙන් පළුදුවී ගිය සැටි මාලිනී සිහිපත් කළාය.

"කණ්ඩායම පුළුල් වෙද්දී අපේ අදහස් එක්ක පෑහෙන්නෙ නැති කට්ටිය ආවා ගියා. අපට තහංචි දාන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ ඒ අදහස් උදහස් මත ගැටීම් එක්ක පස්සෙ කාලෙක 'අපේ කට්ටිය'විනාශ වුණා. ඒත් මුල් කාලෙ අපි එකතු වෙලා කළ කී දේවල් කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ දේවල් ආයෙ කරන්නත් බෑ"

මාලිනී වීරමුණි වැඩිදුරටත් කියා සිටියාය.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

හෙට - පතීගේ නාට්‍යය ඉංග්‍රීසියෙන් කළ හැටි...


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>