Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සීතල ක්‍රීඩ­කයෝ නොවු­ණොත්...

$
0
0
අප්‍රේ 24, 2018 01:46

දේශපාලනයේ සිට ආගමික ස්ථානය දක්වා වංචාව සහ දූෂණය පහසුකමක් වී ඇත්තේ තවදුරටත් නොදියුණු යැයි සැලැකෙන රටවල පමණක් නොවේ. යකාගේ හැටියට විමානයත් විමානයේ හැටියට යකාත් වැනි රවුමක යමින් පිරිහීමකට පත්වෙමින් පවතින ක්‍රමය තුළ අපි එකිනෙකාට ඇඟිලි දිගු කරන්නන් වීමු. ස්ත්‍රී දූෂකයන්, හොරුන්, මංකොල්ලකරුවන්ට ඡන්දය දුන්නේ ඇයි, දුසිල්වත් ආගමික නායකයන්ට අනුග්‍රහ දක්වන්නේ ඇයි, නුසුදුසු නයකයන්ට ආයතන පාලනය කරන්නට ඉඩ දෙන්නේ ඇයි, යනුවෙන් අපි නිතර ප්‍රශ්න කරන්නෙමු.

වෙන කවුද ඉන්නේ කරන්න? කාටද ඡන්දය දෙන්නේ? කාවද පත් කරගන්නේ? පිළිතුරු නැතිව අප අතරමං වෙන තැනකි. ඉන්නා යකුන්ගෙන් වඩා අඩු වංචාකාරී, දූෂිත යකා තෝරා ගැනීම ඇර වෙන විකල්පයක් නැති තැනකට ක්‍රමය පත් වෙද්දි, එසේ බලයට පත්වෙන යකුන්ගේ හැටියට විමානය හදා ගැනීමට ඉඩ දී අපි තව තවත් සැඟවී ගන්නෙමු. නො එසේ නම් අපිත් ඒ ක්‍රමයට එකතු වෙන්නෙමු. නැත්නම් ඔහේ මැරෙනතුරු ජීවත් වෙන්නෙමු.

අපි බොරු මවාපෑමක් කරන්නෙමු. ක්‍රමය තුළ අපත් ඉන්නා බව ප්‍රතික්ෂේප කරමින් ක්‍රමයේ වැරදීම තමා හැර අනෙකාගේ වරද බව අපි පෙන්වන්නට උත්සහ ගනිමු. ක්‍රමය පිළිසකර කිරීම, වෙනස් කිරීම අනෙකාගේ වගකීම බව අපි නිතර උලුප්පා දක්වන්නෙමු. අනෙකා ද එසේ ඇඟිලි දිගු කරද්දී ක්‍රමය තුළ අප ද වන බව දන්නා නිසා අපි ඇස් වසා ගන්නෙමු. එසේ ඇස් වසා ගෙන අනෙකාට අප නොපෙනෙන බව සිතූවත් ඇත්තටම වන්නේ ඉර වැසීමට අත ඇල්ලීම වැනි දෙයකි.හෙළුවෙන් ඉන්නා විට ඇස් වසා ගත්තාට වැඩක් නැති බව දැන දැනත් අනෙකාට දෝෂාරෝපණය කිරීමේ ක්‍රීඩාවේ යෙදෙන අප ඇත්තටම බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ඡන්දයකදී තමන් වඩා යහපත් බුද්ධිමත් ඡන්දදායකයකු යැයි සිතා ගනිමින් අපි මැතිවරණය දවසට ඡන්දය ඉල්ලන අකුරු නොදන්නා වංචාකාරී ත්‍රීරෝදරථ රියදුරාටවත්, කසිප්පු විකුණන දාමරිකයාටවත්, බැංකු පිටින් කොල්ල කන ව්‍යාපාරිකයාටවත් කැමැත්ත නොදීම පිණිස තීරණයක් ගනී. ඒ අතර බිරියානි පැකැට්ටුවට, කෝලා බෝතලයට, රුපියල් කිහිපයක නෝට්ටුවකට, අරක්කුවලට, ආතල් එකට ඡන්ද රැස්වීමට යන, රස්සාවකට, පලි ගැනීමකට පොරොන්දුවක් දෙන, නැතිනම් නොමඟ යැවීමකට අසුවෙන පිරිසක් තමන් කැමැති දූෂිත වංචාකාරී නුසුදුස්සන්ට රටක් ජනතාවක් පාලනය කිරීමට බලය පිරිනැමීමක් සිදු වේ.

උගත් යැයි කියාගන්නා, දන්නා යැයි කියගන්නා අය පහසුවෙන් ලැජ්ජාවක් නැතිව ඡන්දය ප්‍රකාශ කළ අයට වරද පටවයි. ඡන්දය ඉල්ලීමත්, ඡන්දය ප්‍රකාශ කිරීමත් පහත් කුලහීන හෝ දරුණු අපරාධකාරී ක්‍රියාවක තත්ත්වයට දමා ඒ දෙස සාවඥව බලා විවේචනය කිරීමට පමණක් ‘අපි‘ පැනගෙන ඉදිරියට එන්නෙමු.

අනෙක් වෙලාවට අපි අපේ වැඩක් බලාගෙන ආත්මාර්ථකාමීව කල් ගත කරන්නට හැකි යැයි සිතා ඉන්නෙමු. දියුණු රටවල නම් එසේ සිටීමට හැකියාවක් ඇත. නොදියුණු රටක ඉන්නා කෙනෙක් නම් දියුණු රටකට යා ගැනීමට තමන්ට ක්‍රමයක් සකසා ගැනීමක් කර ගනු ඇත.

මේ ‘ක්‍රමය‘ පිළිසකර කිරීමට හෝ වෙනස් කිරීමට ඉඩක් හෝ කෙනෙක් නැති බව අපි මහා සද්දයෙන් කියන්නෙමු. නමුත් කිසිවක් නොකරන්නෙමු.

අපේක්ෂකයාගේ නායකත්ව ගුණත්වය විමසා බැලිය යුතු බව ‘අපි‘ දන්නෙමු. රටේ ඇති ගැටලු සහ ඒවා විසඳීමට අපේක්ෂකයා වෙතින් ඉටුවිය යුතු යැයි බලාපොරොත්තු වෙන විසඳුම් අපි දන්නෙමු. අපේක්ෂකයාගේ පසුබිම අපි හඳුනමු. අපේක්ෂකයා විසින් පාලනය කළ හැකි, විසඳිය හැකි ගැටලු, දියුණු කළ හැකි අංශ ගැන අවබෝධයක් ඇත්තෝ වෙමු. උගත්, දැනුවත්, සුදුසු අපේක්ෂකයන් නැති බවත් අපි දන්නෙමු.

නමුත් අපි අපේ ලෝකවල ආත්මාර්ථකාමී ලෙස හැසිරෙනවා මිස ක්‍රමය වෙනස් කිරීමට, පිළිසකර කිරීමට ඇති දැනුමත්, හැකියාවත් රටට ලෝකයට ලබා දෙන අපේක්ෂකයකු, නායකයකු වීමට අකමැති වෙමු. ඒ කරන්නට අහසින් පුද්ගලයන් පහළ නොවෙනා බව දැන දැනත් අපි ඔහේ අහක බලා සිටිනා වගකීම ඉටු නොකරන යුතුකම් ඉටු නොකරන ප්‍රශ්නය අනෙකා අතට/කකුළට පාස් කර දමන සීතල ක්‍රීඩකයෝ වෙමු.

උසස් අධ්‍යාපනය ලබා දේශපාලනය, ආර්ථිකය, නීතිය, තාක්ෂණය, විද්‍යාව, කලාව මෙකී නොකී බොහෝ කාරණා ගැන විද්වතුන් වී ඇති අය තමන් ඉපදී ඇත්තේ දේශපාලනය, නායකයන් වීම වැනි දෙයින් ඉවත්වී සිටීමට යැයි මවා ගනිමින් අරුමෝසම් ජීවන ශෛලියක් අනුගමනය කරන්නේ තමන්ගේ දැනුම හැකියාව අහිංසක ජනතාව නඟා සිටුවීමට යොදා ගැනීම පාපයක් වැනි තැනකට ඇද දමමින්ය.

ආගමික, ජාතික, ගෝත්‍රික දෘෂ්ටිවාදය බදා නොගත්, පාරම්පරික පවුල්වලට ගැති නොවූ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, සැබෑ ජනතා නියෝජනය වෙනුවෙන් බුද්ධිමත්, අවංක, දැනුවත් දේශපාලන ගමනක ජනතාව ගෙන යෑමට නම් එවැනි සුදුස්සන් ඡන්දය ඉල්ලා තමන්ව නායකත්වයට පත් කර ගත යුතු නොවේද? බුද්ධිමත් ඡන්දදායකයන් වීමෙන් පලක් වන්නේ තෝරා ගැනීමට බුද්ධිමත්, දැනුවත්, සුදුසු, සමර්ථ ඡන්ද අපේක්ෂකයන් සිටියොත් පමණි. තමන් වෙසෙන රටට ගැළපෙන එහි මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවා දියුණුව කරා ගෙන යෑමට සුදුසු ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ගොඩනැඟීමට නායකයන් වීමට ඉදිරිපත් වීමට නිර්භය පිරිසක් ලෝකයට අවැසි වී ඇත. බුද්ධිමත් ඡන්දදායකයන් බිහිවන්නේ බුද්ධිමත් ඡන්ද අපෙක්ෂකයන් සිටින්නේ නම් පමණි

 

හිමාලි එන්. ලියනගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>