Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සාහිත්‍යයට වඩා මම පර්යේෂණයට බරයි

$
0
0
අප්‍රේ 25, 2018 01:00
පාතේගම ඤාණිස්සර හිමි

ලේඛකයා කියන්නෙ ලියන කෙනා. ලේඛකයාට විචාරකයෙක් වෙන්න බෑ. මං කලින් කිව්වා අද තියෙන්නෙ බලන සමාජයක් කියලා. හැමදේම ලස්සනයි. පැහැබරයි. සමහරු පිට කවරය දැකලත් පොත් ගන්නවා. හැබැයි, පොත්පත් කියවලා යමක් ගන්නවාද කියන එක මැන ගන්න බෑ. ඒක සෙවීම තේරුමකුත් නෑ. ලේඛකයාගේ කාර්යය ලිවීම. කියැවීම පාඨකයා සතුයි. කියවන පාඨකයො තරමක් අඩු බවක් පෙනෙන නිසා , ලේඛකයො ලියන ශෛලිය හා අනුගමනය කරන විධික්‍රම ගැන නම් අවධානයට ගත යුතුයි.

බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන‍‍ ‘කර්මය’ තේමා කර ගනිමින්, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් රචනා කළ නවතම පොත් පෙළ පිළිබඳ කරන ලද සංවාදයකි මේ.

කර්මය හා කර්මය විපාක දීම තේමා කර ගනිමින් ඔබ වහන්සේ ඉදිරිපත් කළ අලුත් ම පොත් පෙළ ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද?

මගේ අලුත් ම පොත් පෙළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්මය පල දෙන හැටි පිළිබඳ ලියැවුණු පොත් පෙළක්. පළමු පොත කර්මය පල දෙන හැටි, දෙවැන්න කර්මය සහ විපාකය තුන්වැනි පොත කර්මයේ අරුමය, සතරවැන්න කර්මය සහ ධර්මය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුන් දේ ලැබෙනවා කියලයි. සමාජයට අයහපත දුන් කෙනා අයහපතත්, යහපත දුන් කෙනා යහපතත් පලය වශයෙන් ලබනවා.

මේ පොත් පෙළේ තියෙන්නේ ඒ ලබපු දේ ගැන කළ අධ්‍යයන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රේතවත්ථු කියන බණ පොතේ විභාගයකුත් තියෙනවා. එයට සමගාමීව වර්තමාන සමාජයේ අයහපත් දේ කරමින් ජීවත් වුණ මිනිස්සු ඒවායේ ප්‍රතිඵල මෙලොවදීම ලබන විදිහ අවුරුදු 14 ක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල මේ පොත් පෙළේ අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්මය දිට්ඨ ධම්මවේදනීය වශයෙන් විපාක දෙන අවස්ථා අපට දකින්න පුළුවන් කියන දේ එයින් පැහැදිලි වනවා.

මේ පොත් හතර ඔය කාරණා මොන විදිහටද විශ්ලේෂණය කරන්නෙ කියලා සංක්ෂිප්තව පැහැදිලි කළ හැකිද?

ප්‍රේතවත්ථු කියන බණ පොතේ එක කතාවක සඳහන් වෙනවා, පංච පුත්‍ර කාරක ප්‍රේතී වස්තුව කියලා එකක්. දවසට දරුවො පස් දෙනා කමින් තමයි ඇය ජීවත් වෙන්නේ. කාන්තාවක් යම්කිසි දෙයක් හොරකම් කරලා, ඒක හසුවුණාට පසුව හොරකම් කළේ නැත කියලා දිවුරනවා. ඇයට කර්මය පටිසන් දෙනවා. එය කර්මය විපාක දීමක්. ඒ වගේම සමාජයේ අයහපත් දේ කරමින්, අයහපත් පතුරවමින් ජීවත් වුණු කරිඤ්ඤං සෝමෙට කියලා කෙනෙක් ගැන මා කළ අධ්‍යයනයක් මෙහි සඳහන්. ඔහු මිය යන්නේ මහා අන්ත්‍රයේ රෝගයකින්. මේ විදිහට කර්මය විපාක දීම ගැන සිදුකළ අධ්‍යයන, කතාන්දර ශෛලි‍යෙන් ඉදිරිපත් කළා.

ධර්මය ගැන පොතපත ලියැවෙන අතර වුණත් මේ වගේ ගැඹුරු දහම් කරුණු ගැන පර්යේෂණ කරලා පොත් පත් ලියැවෙන්නෙ අඩුවෙන් නේද?

‍මගේ පොත් වැඩි වශයෙන්ම පර්යේෂණ පැත්තට බරවුණු පොත්. ගීත නිර්මාණ හා සාහිත්‍ය නිර්මාණ පොත්වලට අමතරව වැඩිපුර ලියලා තියෙන්නෙ එවැනි පොත්. ගිය අවුරුද්දෙ ‘බුදුසමය හා අපරාධ විද්‍යාව’ පොතට රාජ්‍ය සම්මාන හිමි වුණා. සමාජය පිළිබඳ පර්යේෂණ මඟින් දකින්නට ඕනෑ කියන දේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමඟ අපට ලැබුණු දෙයක්. යමක් කරනවා නම් ඒ පිළිබඳ න්‍යායාත්මකව වගේම, පර්යේෂණාත්මකවත් විග්‍රහ කරල බලලා කළ යුතුයි. ලේඛකයෙක් නිකම්ම තමන්ට හිතෙන හිතෙන දේ ලියලා සමාජගත කරනවා නම්, ඒක ඒ ලේඛකයාගේ ලේඛකත්වයට, ගරුත්වයට හානියක්.

බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මය දුන්නේ, සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා කළ පර්යේෂණවල ප්‍රතිඵල හැටියටයි. ඒ නිසා, බුදුහාමුදුරුවන් පෙන්වා දී ඇති ආකාරයට විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට සමාජයට කරුණු ඉදිරිපත් කළ යුතු බවයි මගේ අදහස.

ඒත්, වර්තමානයේ බිහිවන බොහෝ කෘති, එබඳු පර්යේෂළණාත්මක වටිනාකමක් නැති ඒවා නේද?

අපේ සමාජයේ ඇතැම් ලේඛකයෝ පර්යේෂණ අත්දැකීම්වලින් තොරව, තමන්ගේ සිතිවිලි කෘතිවලට අන්තර්ගත කරලා, ඔහේ කියාගෙන යනවා අපට දකින්න පුළුවන්. ඒ වගේම, ඒවා පාඨකයාට කියවන එකත් හරි ම නීරසයි. මම ඒ ලේඛකයන්ට දොස් කියනවා නෙමෙයි. යමක් ලියනවා නම්, කියනවා නම්, ඒ පිළිබඳ අප දෙවරක් හිතිය යුතුයි. කෘතියක් මඟින් තමන්ගේ හැඟීම් දැනීම් ප්‍රකාශ කරනවා නම්,ඒ පිළිබඳත් සිතිය යුතුයි. ඒ වගේම, යමක් කරද්දි කියවන්නාගේ හිතසුව පිණිස එය කිරීම ගැනත් අප හිතන්න ඕනැ. කියවන්නා පොතක් කියැවීම සඳහා ගත කරන කාලය ප්‍රයෝජනවත් එකක් විය යුතුයි. ඒ වගේ මම කියැවූ සමහර ධර්ම කෘති කියවද්දි, ඒක කියවන්න ගත කළ කාලය පවා අපරාදෙ නේද කියලා මට හිතුණු අවස්ථා තියෙනවා. මගේ පොත් පාඨකයා අතට පත් වෙන්නෙ මම ලේඛකයෙක් හැටියට පර්යේෂණාත්මක පැත්තට බරවීමේ ප්‍රතිඵලයක් හැටියටයි.

කර්මය බුදුදහමේ මූලික ඉගැන්වීමක් වගේම, ගැඹුරින් වටහා ගත යුතු ධර්ම කාරණාවක්. කර්මය පිළිබඳ සාමාන්‍ය පාඨකයාට ඉදිරිපත් කිරීමේදී ඔබ වහන්සේ ලේඛකයෙක් විදිහට යම් උපක්‍රම භාවිත කරනවාද?

ලේඛකයෙක් ලියන්නේ, කියවන්නාට කියැවීමටයි. මේ කාරණය ගැන ‍ලේඛකයා විමසුම් නුවණින් බලන්න ඕනැ. එහෙම නැති වුණහම, පාඨකයාට බරපතළ අසාධාරණයක් වෙනවා. ඒ සදහා, මුල, මැද, අග සම්බන්ධයක් ඇතිව, කියවන්නාට කියැවීමට හිතෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනැ. හිත හිත ලියන අවස්ථා, ධර්ම කෘතිවල පවා තියෙනවා.

අපේ පාඨකයන් බොහෝ වෙලාවට කියවන්නෙ,කියවන්න පහසු පොත්. විශාල ප්‍රමාණයේ පොත් කියවන්න එතරම් කැමැත්තක් නෑ. ලේඛකයෙක් හැටියට මගේ ශෛලිය සරලව කතාන්දර ශෛලියෙන් කීමයි. මගේ බස් වහර සරලයි. ළෙංගතුයි. ලියන දේ, ඒ ඒ අවස්ථාව අනුව, ඉලක්ක කරන පාඨක ප්‍රජාව අනුව වෙනස් වෙනවා. මේ පොත් පෙළ සරලව ඉදිරිපත් කළේ, ලේඛකයන්ගෙ සමාජ වගකීම ගැන කල්පනා කරලයි. හොඳ කියවන පිරිසක් ඇති කර ගැනීම, ලේඛකයන්ගේ සමාජ වගකීමක්. අද මිනිස්සු ජීවත් වෙන්නේ ෆේස්බුක් සමාජයකයි. ඔවුන්ගේ කියැවීම නීරස වෙලා. ඒ වගේ යුගයක, පොත-පත කියවන පාඨක පිරිසක් අලුතෙන් නිර්මාණය කරගැනීම ලේඛකයාගේ සමාජ වගකීමක් . කියවන සමාජයට වඩා අද තියෙන්නේ ඇසින් බලන සමාජයක්. කියවන සමාජයට කලින් අපට තිබුණේ කතාව අහලා ඒකෙ දැනුම උකහා ගත් සමාජයක්. පසුව එය කියැවීමත් පසු කරගෙන අද වෙද්දි බැලීම දක්වා ගිහින්. යමක් බලලා ලබන දැනුම සහ පොතක් කියැවීමෙන් ලබන දැනුම වෙනස්. ඒ නිසා, පාඨක පිරිසක් බිහි කරගත යුතුයි කියන අදහසක් මට ඇති වුණා. ඒ වගේම, බුදු දහමේ උගන්වන ප්‍රධාන තේමාව කර්මය. අද සමාජයේ කියවන පිරිසට සරල බස් වහරකින් ඒ ධර්මය කියා දීමත් මට අවශ්‍ය කළා. ජනප්‍රිය ව්‍යවහාරයේදී යමක් වැරැදුණහම,'මේ ඉතින් කරුමෙ තමයි'කියලා හැම දේම කර්මයට බාරදෙන තත්ත්වයක් තියෙනවා.

මිනිසුන් හැම‍දේටම 'මේ මගේ කරුමෙ තමයි'වගේ අදහස් ඉදිරිපත් කරනවා. ඒක බුදුදහමට මොන තරම් එකඟද?

කර්මය කියන වචනය අපේ ජන සමාජයේ භාවිත වෙන්නෙ සිද්ධියක අවසානය ගැන දැක්වීමේදියි. වෙන කරන්න කිසිම දෙයක් නැති වුණහම කර්මයට බාර දෙනවා. ලෙඩක් සනීප කර ගන්න හැම දෙයක්ම කරලා බැරි වුණහම කියනවා, කර්මය තමයි කියලා. හැම සිද්ධියකම අවසානය තමයි කර්මය කියලා කියන්නේ. සියල්ල බාර දෙන්නෙ කර්මයට. සිද්ධියක අවසානය කියන්න සමහර වෙලාවට කර්මයට වඩා සුදුසු වචනයක් නෑ. අපේ සමහර උගත්තු, සියල්ල කර්මයට බාර දෙනවා කිය කියා නොයෙක් දේ කිව්වට, බුදු බණේ කියන්නෙ කර්මය නිසා පුද්ගලයා උස් පහත් බවට පත් කරන බවයි. කර්මය සහ කරුමය අතර වචනවල පුංචි වෙනස්කම් තියෙනවා. ඒත්, කර්මයට අනුව තමයි සියල්ල සිදුවන්නේ.

කියැවීමෙන් වැඩි දෙනා දුරස් වී ඇතැයි චෝදනාවක් එක පැත්තකින් තියෙනවා. අනෙක් පැත්තෙන් වැඩි වශයෙන් දහම් පොත පතත් ඇතුළුව පොත්පත් කියවන පිරිස වුණත් ඒවායේ තියෙන දේ ජීවිතයට ගන්නවාද කියන ප්‍රශ්නය මතු වෙනවා නේද?

ලේඛකයා කියන්නෙ ලියන කෙනා. ලේඛකයාට විචාරකයෙක් වෙන්න බෑ. මං කලින් කිව්වා අද තියෙන්නෙ බලන සමාජයක් කියලා. හැමදේම ලස්සනයි. පැහැබරයි. සමහරු පිට කවරය දැකලත් පොත් ගන්නවා. හැබැයි, පොත්පත් කියවලා යමක් ගන්නවාද කියන එක මැන ගන්න බෑ. ඒක සෙවීම තේරුමකුත් නෑ. ලේඛකයාගේ කාර්යය ලිවීම. කියැවීම පාඨකයා සතුයි. කියවන පාඨකයො තරමක් අඩු බවක් පෙනෙන නිසා , ලේඛකයො ලියන ශෛලිය හා අනුගමනය කරන විධික්‍රම ගැන නම් අවධානයට ගත යුතුයි.

‘ධර්ම දානය උතුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පොත් පෙළ සමාජගත කරද්දි මේ කාරණය පිළිබඳත් කල්පනා කළාද?

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ උන්වහන්සේ උගන්වන්නේ පරාර්ථචර්යාව සඳහා හුරු පුරුදු වෙන්න කියලයි. ඒ කියන්නේ, පරහිත පිණිස වැඩ කරන්න හුරු පුරුදු වෙන්න කියලයි. තමන්ගේ ශ්‍රමය සමාජයේ අන් අයගේ හිත සුව පිණිස යෙදවීම ඉන් අදහස් කළා. තමන් හරි හම්බ කරගත් දෙයින් දෙන්නෙ ආමිස දාන. ආගමික සමාජය තුළ දැනුම දීම , ධර්ම දානය කියලත් කියන්න පුළුවන්.

ධර්ම දානය කරන්න ඕන කියන චේතනාවෙන් ම මං පොත් ලිව්වේ නෑ. මට, සමාජය ගැන, අත්දැකීම් සමඟ ලබා ගන්නා දැනුම අවශ්‍යයි. සමාජය ගැන කතාබහ කරද්දි අපට ඒ ඥානය අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයයි. ඒ නිසා, ධර්ම දානය කියන අදහසින්වත්, ඒක පිළිගන්න කියන අදහසෙන්වත් නෙමෙයි මං මේ පොත් ලියලා තියෙන්නේ. කැමැති කෙනකුට ඒවා කියවලා, ධර්මය ගැන වටහා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, තව තවත් සමාජයට අවැඩක්, අයහපතක් වන දේම කර කර ඉන්නත් පුළුවන්. ඒකට හේතුව, හැමෝම දිව්‍ය ලෝකයට යන්නෙ නෑ. අපායට යන්නත් කවුරු හරි ඉන්න ඕනැ. මං මේ පොත් පෙළ රචනා කළේ, නිදහසේ කියවලා නිදහස් දැනුම ලබා ගන්න පුළුවන් වෙන විදිහටයි.

සංවාදය ධම්මික සෙනෙවිරත්න
ඡායාරූපය-ශාන් රූපස්සර


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>