Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ජනතාවාදී පුස්තකාල

$
0
0
අප්‍රේ 28, 2018 01:00
මංජුලා විජයරත්න

පුස්තකාල හිඟකම ලෝකයේ කවර කලාපයකත් තිබෙන ගැටලුවකි. අප්‍රිකා කලාපය තුළ මේ ගැටලුව තදින්ම කැපී පෙනේ. නයිජීරියා ජාතික ෆුන්මි ඉලෝරි මෙයට වසර කිහිපයකට පෙර තම ප්‍රදේශයේ දරුවන්ට පුස්තකාල පහසුකම් සැලසුවේ “බාස්කට්” එකක පොත් ටිකක් අහුරාගෙන ගෙයින් ගෙට යමිනි. ඇගෙන් ඒ පහසුකම භුක්ති විඳිය හැකි වුණේ නයිජීරියාවේ ලාගොස් ප්‍රාන්තයේත් සීමිත පෙදෙසක දරුවන්ට පමණි. අද ඈ නගරයෙන් නගරයට ගෙයින් ගෙට යන්නේ බස්රථ හතරක පුරවාගත් පොත් කන්දරාවක් සමඟිනි. ඒ පොත් කන්දෙහි අඩු තරමින් පොත් දහ තුන්දහසක්වත් තිබෙන බව ඈ පවසන්නීය. ඇගේ ජංගම පුස්තකාල සේවයේ ළමා පාඨක පිරිස තුන්දහසක් පමණ වන බව සඳහන් වේ.

“... සෑම ප්‍රජාවකටම පුස්තකාල තියෙන්න ඕනෑ. නයිජීරියා සමාජයේ මහජන පුස්තකාල නැති අඩුව මම දැක්කා. පුංචි ළමයින්ට පොත් හොයාගෙන ඈත තියෙන පුස්තකාලවලට යන්නත් බැහැනේ ...” ඈ පවසන්නීය.

බාස්කට් එකෙන් බස්එකට ගොඩකරගත් ජංගම පුස්තකාල සේවාව නිසා දරුවන්ගේත් දරුවන්ගේ අම්මලා තාත්තලාගේත් නුවණැස පෑදී ඇති බව ඇගේ අදහසයි. ඒ නිසා ඔවුහු හැම කෙනෙකුම ෆුන්මි ඉලෝරිගේ “අයි රීඩ්” ජංගම පුස්තකාලය දෙස ධනාත්මකව බලති; එයින් ප්‍රයෝජන ලබති.

බස් රථ සතියකට හතළිස් හතර තැනෙක නතර කෙරේ. ඒ පාසල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතවය. සමහර අවස්ථාවලදී “අයි රීඩ්” බස් රථ නයිජීරියාවේ ලාගොස් පළාතේ සීමා පැන ගම්බද පෙදෙස්වලටත් යයි. ඒ, ගම්බද පාඨකයන්ගේ කියවීමේ අවශ්‍යතා වෙනුවෙනි. ෆුන්මිගේ අදහස ඉදිරි පස් වසර තුළ “අයි රීඩ්” බස් රථ 14ක් දක්වා පුළුල් කිරීමටය. ඒ අතර තුර ඈ දරුවන්ට වැඩමුළු පවත්වමින් ගීත, කතන්දර, නාට්‍ය ආදිය ගැනත් උගන්වන්නීය.

“... පළවෙනි වතාවට බූරුවකු පිට උඩ මාව දැක්ක මිනිස්සු මට හිනා වුණා...” යැයි පවසන්නේ “බිබ්ලිබුරෝ” බූරු පුස්තකාල සේවාව පවත්වාගෙන යන ලුවිස් සෝරියානෝය. ඔවුගේ පුස්තකාල සේවාව දැකිය හැකි වන්නේ කොලොම්බියාවේ උතුරදිග පෙදෙස්වවලදී ය. මෙයට විසි වසරකට පළමුව ඔහු “ඇල්ෆා” සහ “බෙටෝ” යන බූරුවන් පිට පොත් ප්‍රවාහනය කරන්නට පටන් ගත්තේ, දෑතේ පොත් දරාගෙන ගෙයින් ගෙට ගිය ජංගම පුස්තකාල සේවාවට සමුදෙමිනි. එකල ගුරුවෘත්තියේ ද නියැලී සිටි ඔහු පොත් රැගෙන ගියේ ඔහුගේම සිසුන් වෙතය. බූරු පුස්තකාලයක් ආරම්භ කරන්නට මුල් වුණේ ඔහු ගමන් කරන කඳුකරයේ මෝටර් රථයක්වත් ධාවනය කරවන්නට බැරිකම නිසාය.

“... පොත පත වැඩ දුර්වල ළමයින්ගේ ගෙවල්වලට මම පොත් අරගෙන ගියා. හුඟක් ළමයින්ට පොත් පත් හිඟයි කියලා. මම තේරුම් ගෙන තිබුණේ. පොත් ඔසවාගෙන තමයි මම මුලින්ම ඇවිද්දේ. .පස්සේ තමයි බූරුවන් යොදාා ගත්තේ. ..”

අද ඔහුගේ බූරු පුත්කාල සේවාවෙන් පොත් 300ක් පමණ ප්‍රවාහනය කෙරේ. ඔහු පවසන අන්දමට එක බූරුවකුට පොත් 150ක් පමණ රැගෙන යා හැකිය. ලුවිස්ගේ පුස්තකාල සේවාව, කොලොම්බියා රජයට පුස්තකාල ස්ථාපනය කරන්නට උත්ප්‍රේරකයක් ද වී ඇත. ඒ නිසා අලුතින් පුස්තකාල දෙක තුනක් හැදුණත් තවමත් බූරු පුස්තකාලය වැඩ නවත්වා නැත.

යුධයෙන් පීඩා වින්ඳත් සිරියාවේ අලෙප්පෝ පළාතේත් ගම්බද පළාත්වලත් දරුවන් පොත් කියවිල්ල අත්හැර නැත. සිරියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ඩාරි තිරසාර සංවර්ධන සංවිධානය පොත් කියවන දරුවන් වෙනුවෙන් ජංගම පුස්තකාල සේවාවක් ආරම්භ කර තිබේ. ඔවුන් පොත් රැගෙන යන්නේ ඉස්ලාමික දේවස්ථාන, පොදු ස්ථාන සහ පාසල් ආදියටය. “ඉඩ්ලිබ්” නමැති මේ වැඩපිළිවෙළ දැන් එරට ඇතැම් ප්‍රදේශවල දරුවන් අතර බෙහෙවින්ම ජනප්‍රිය ය. ඔවුන්ගේ පාඨකයන් සංඛ්‍යාව 4000 දක්වා පුළුල් වී ඇත. එහි නිලධාරීහු පොත් 2000ක පමණ එතුවක් පවත්වාගෙන යති. බෝම්බ සහ බර අවි ප්‍රහාරවලින් පොත් බේරා ගැනීම ඔවුන්ට මහත් දුෂ්කර වී ඇත. පොළොව යට තනා ඇති ආරක්‍ෂිත පුස්තකාලයක් තුළ පොත් තැන්පත් කර තබා ගැනෙන බව සඳහන් වේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට සිරියාවේ දරුවන් මිලියන 1.75කට අධ්‍යපානය අහිමි වී තිබිණ. එසේ වුවත් අවස්ථාව ලද එක් නිමේශයකට වුව පොතක් අතට ගෙන කියවන්නට ආශා ඇති දරුවන් එහි වෙසෙන බව ජංගම පුස්තකාල වැඩපිළිවෙළේ කළමනාකාර තැන - මලෙක් රෙෆායි පවසයි.

“... මේ පුංචි දරුවන්ට තමන්ගේ අනාගතය හොයාගන්න අපි උදව් කරනවා. ...” කියා ඔහු පවසයි.

බීබ්බස් ජංගම පුස්තකාල සේවාව තිබෙන්නේ නෙදර්ලන්තයේ ය. දොළොස් වසරකට පළමුව එරට සාන් ප්‍රදේශයෙන් මේ පුස්තකාල සේවාව ඇරඹිණ. බීබ්බස් ජංගම පුස්තකාල සේවාව එන්නේ මීටර 12ක් දිග බහාලුම් පෙට්ටියක ඇසිරූ පොත් සමඟිනි. එහි රාක්ක මත පොත් පිළිවෙලට අසුරා ඇත. ඒ නිසා එහි පිවිසෙන කෙනෙකුට සැබෑ පුස්තකාලයකට සමාන අත්දැකීමක් අත්විඳිය හැකිය. බීබ්බස් ජංගම පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව දස දහස ඉක්මවන බව එහි කාර්යය මණ්ඩලය පවසති. ප්‍රමාණයෙන් විශාල බැවින්, ජනාකීර්ණ පෙසේවල ඇති වීදි හරහා පාඨකයන් සොයා යන්නට ඒ පුස්තකාලයට හැකියාවක් නැත.

අල්ජසීරා ඇසුරෙනි


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>