රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති සූරියගොඩ සිරිධම්ම නාහිමි
සන්නිවේදනය එක් පුද්ගලයකු තවත් පුද්ගලයකුට හෝ පිරිසකට හෝ කණ්ඩායමකට අදහස්, තොරතුරු, ආකල්ප බෙදාහැරීමට යොදාගන්නා ක්‍රම ශිල්පයයි. මේ අයුරින් සමාජ සම්බන්ධතාවය, එකමුතුකම හා සංවර්ධනය පුළුල් කළ හැකි අතර අදහස් හුවමාරු කර ගැනීමට ද බොහෝ සෙයින් ඉවහල් වේ. ඈත අතීතයේ සිට මේ සඳහා විවිධ මාධ්‍ය යොදාගත් බව පැහැදිලිය. සන්නිවේදනය අතර ජනසන්නිවේදනය වැදගත්ය. ජනතාව සඳහා මේ මඟින් ඉටුවන්නේ ඉමහත් සේවාවකි. වර්තමානයේ මේ සඳහා විවිධ මාධ්‍ය ක්‍රියාත්මක වන බව ප්‍රකට කරුණකි.
සන්නිවේදනය සරල වශයෙන් අංග කිහිපයකින් සමන්විත වේ. එනම් සන්නිවේදකයා, සංදේශය, මාධ්‍ය හා ග්‍රාහකයායි. නමුත් මෙය සර්ව සම්පූර්ණ බෙදා දැක්වීමක් නොවේ. සන්නිවේදකයා පිළිබඳව සලකා බැලීමේදී බුදුරජාණන් වහන්සේට එම කාර්යයෙහිලා හිමිවන තැන විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.
පොදුවේ සලකා බලන විට මහජන සබඳතා පවත්වන සන්නිවේදකයකු තුළ තිබිය යුතු ගුණාංග කිහිපයකි. මනා පෞරුෂයකින් යුක්ත වීම, අන් අයට සවන් දීම, නම්‍ය මනසකින් යුක්ත වීම, කීර්ති නාමය පැතුරුණු, නොකැළැල් චරිතයකින් පරිපෝෂිත, පහසුවෙන් සම්බන්ධතා ගොඩනඟා ගත හැකි, යුතුකම් ගරු කරන, සමාජ ආචාර ධර්ම පිළිපදින, දෑ කුල ආදියෙන් නොබෙදුන, ස්ථානෝචිත නැණ නුවණ ඇති අයෙකු වීම වැදගත්ය. බුදුපියාණෝ ද සන්නිවේදන ක්‍රියාවලියෙහි නිරතවුණු ශාස්තෲවරයෙකි. ඒ අනුව උන්වහන්සේ සන්නිවේදනයෙහි දැක්වූ විශේෂ කුසලතා විමසා බැලීම කාලෝචිතය.
ක්‍රි. පූ. හයවන සියවසේ මහජනතාවගේ හිතසුව පිණිස දෙලොව අභිවෘද්ධිය පිණිස නවතම මත ඉදිරිපත් කළ භාරතීය චින්තකයෝ විරල නොවූ බව බ්‍රහ්මජාල, සාමඤ්ඤඵල වැනි සූත්‍රගත කරුණුවලින් සනාථ වේ. එම ආගමික නායකයෝ පිරිස් පිරිවරාගෙන තම අදහස් බෙදාහල බව ද ප්‍රකටය. එහෙත් කෙනෙකුගේ ප්‍රකාශයක් විශ්වාස කරනු ලබන්නේ ප්‍රකාශකයා සමාජය තුළ දිනාගත ඇති විශ්වාසතාවයේ ප්‍රමාණයටය. බුදුපියාණන් ධර්ම සන්නිවේදකයකු ලෙස මහජනතාවගේ කීර්තිරාවය දිනාගෙන සිටි බවට අස්සලායන සූත්‍රය සාක්ෂි දරයි.
සන්නිවේදකයා සමාජයේම එක් පුරුකක් වුවද අන් අයට වඩා වෙනස් කෙනෙකි. සෙසු අයට වඩා සමාජය දෙස නැවුම් දෘෂ්ටිකෝණයකින් බලයි. යම් සිද්ධියක් පිළිබඳව ගැඹුරින්, තීක්ෂණ අයුරින් විග්‍රහ කිරීමේ ශක්‍යතාව ඔහුට ඇත. යම් සන්දේශයක් නිකුත් කළ යුත්තේ කල්යල් විමසීමෙනි. එම කරුණ සම්බන්ධයෙන් බුදුපියාණන් අග්‍රගන්‍ය සන්නිවේදකයෙකු ලෙස දීඝ නිකායේ සිහනාද සූත්‍රය කරුණු දක්වයි. උන්වහන්සේ ශ්‍රාවකයනට සංදේශයක් නිකුත් කරනු ලබන්නේ සුදුසු කාලය පරීක්ෂා කිරීමෙනි. එමෙන්ම එම සංදේශය මඟින් සත්‍යම පවසයි. දෙලොව යහපතම පෙන්වා දෙයි, ධර්මයට විනයට අනුකූලයි යනාදී වශයෙන් එහි සවිස්තරව දැක්වෙයි.
සදාචාරවත් සන්නිවේදකයා වෙත පැමිණ පරීක්ෂා කිරීමේ හැකියාව, කරුණු විමසා සැක දුරුකර ගැනීමේ හැකියාව මෙන්ම සන්නිවේදනය කරන අදහස් තර්කානුකූල ද කියා විමසීමට හැකිවිය යුතුය. ඉහත සඳහන් ලක්ෂණවලින් බුදු සිරිතම උප ලක්ෂිතය. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පළමුව ස්වකීය ශිෂ්‍ය උත්තර බ්‍රාහ්මණයා ලවා බුදුන් වහන්සේ පිරික්සා දෙවනුව තමා විසින්ම පරීක්ෂාකොට සැක දුරුකර ගත් බව බ්‍රහ්මායු සූත්‍රයෙන් පැහැදිලි වේ.
සන්නිවේදකයාගේ ප්‍රසන්න බවත්, දක්ෂ බවත්, මධුර ස්වරයත්, ශෛලියත් ග්‍රාහකයා ඇඳ බැඳ තබාගැනීමෙහිලා සමත් වේ. එම ලක්ෂණවලින් පිරිපුන් සන්නිවේදකයෙකු ලෙස තථාගතයන් වහන්සේ එදා සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වූහ. උන්වහන්සේ සතුව පැවති බ්‍රහ්මස්වරය මනහරය. එම හඬ පැහැදිලිය. ශ්‍රාවකයන්ගේ කන්පුරා පැතිරේ. එමෙන්ම මධුරය. අවබෝධ කරගැනීමට පහසුයි. සරලය. ශ්‍රවණයෙන් ප්‍රිය උපදවන අතර ශ්‍රාවක පිරිසට පමණක්ම ඇසේ. බැහැරට විසිරී අපතේ නොයා තමන්ට දේශනා කරන විශේෂ දෙයක් ලෙස ශ්‍රාවකයන්ට වැටහේ. එසේම අර්ථාන්විතය. ශ්‍රාවකයන්ගේ මනසෙහි නින්නාද දෙමින් සැපත උදාකරයි. බුදුන්වහන්සේ ධර්ම සන්නිවේදකයෙකු ලෙස අගය කළ හැක්කේ මෙවැනි සුවිශේෂී ගුණාංගයන් නිසාය.
දක්ෂ දේශකයකු මෙන්ම සන්නිවේදකයෙකු සරල තැන සිට ගැඹුරු තැන දක්වා ග්‍රාහකර ගෙන යා යුතුය. එසේ නොවේ නම් දන්නා තැනින් නොදන්නා තැනට පියමං කළ යුතුය. එහිදී ද බුදුපියාණෝ ස්වකීය ශ්‍රාවක පිරිස සරලම දාන කථාවේ සිට විමුක්ති රසය දක්වා යොමුකිරීමට සමත් වූහ. එසේම උන්වහන්සේගේ සංදේශය සියලු අංගයන්ගෙන්ම පරිපූර්ණය. ඒ බව උන්වහන්සේ දෙසූ ධර්මය මුල මැද අග යන තුන් තැන්හිදීම පරිපූර්ණ ලෙස ඉදිරිපත් වූ බවට සාධක අපමණය.
සන්නිවේදනයක් නිරවුල් වූ තරමට, අනුපිළිවෙලින් ගලා යාමක් ඇති කල්හිම ශ්‍රාවකයාගේ මනදොළ සපිරේ. ඒ බව මනාව වටහාගත් බුදුපියාණෝ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ක්‍රමයට ඒ ඒ අයගේ චරිත ස්වභාවය, පරිසර ස්වභාවය, සමාජ පරිසරය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කරුණු ගෙනහැර පෑහ. මෙයද ධර්ම සන්නිවේදකයෙකු වශයෙන් බුදු සිරිතේ කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි.
ශ්‍රාවක පිරිස අවබෝධ කරගෙන සන්දේශය ඉදිරිපත් කිරීම නිපුණ සන්නිවේදයකුගේ සුවිශේෂතාවයකි. රාග, ද්වේෂ, මෝහ, විතක්ක, බුද්ධි, ශ්‍රද්ධා වශයෙන් පුද්ගල සන්තානය තුළ ක්‍රියාත්මක වන මනෝභාව හයක් බුදුහිමියෝ පෙන්වා දෙති. ඒ ඒ මනෝභාවයන්ගෙන් යුත් පුද්ගලයනට උචිත ලෙසින් කරුණු ගෙනහැර පෑමේ කුසලතාවය බුදු සිරිත තුළින් මතුකර ගත හැකිය.
ස්වකීය අදහසට අනුකූලව මෙන්ම සෙසු අයගේ මතයට නම්‍යවෙමින් ද, ගැටලුවට උචිත අයුරින් ද, අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ද සම්බුදු පියාණෝ කෘතහස්ත සන්නිවේදකයෙකු ලෙස අදහස් හුවමාරු කර ගැනීමෙන් ජනාදරයට පත් වූහ. ග්‍රාහක සිත ක්‍රමයෙන් සන්නිවේදකයා වෙතට යොමු කර ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා සිත සුදුසු තත්ත්වයට නංවාගෙන (කල්ල චිත්තං) නම්‍යශීලී කරගෙන (මුදු චිත්තං) කෙලෙස්වලින් සිත නිරාවරණය කරගෙන (විනිවරණ චිත්තං) ප්‍රාණවත් තත්ත්වයට නංවාගෙන (උදග්ග චිත්තං) සිත ප්‍රසන්න භාවයට හරවාගෙන (පසන්න චිත්තං) අරමුණු ඉටුකරගෙන ග්‍රාහකයා තෘප්තිමත් තත්ත්වයට පත්කිරීමේ අපූර්වත්වය බුදුන් වහන්සේගේ විශිෂ්ට සන්නිවේදනය අර්ථවත් කරයි.
විවිධ ක්‍රම ශිල්ප අනුගමනය කරමින් ජනතාවට අවශ්‍ය දැනුම, අවබෝධය, ආකල්ප, කුසලතා වර්ධනය ප්‍රගුණ කිරීම පළපුරුදු සන්නිවේදකයකුගේ වගකීම වේ. උක්ත කරුණේදී ද බුදුහිමියන්ගේ ක්‍රියාකලාපය කැපී පෙනේ. දේශන ස්වරූපයත්, දේශන සාකච්ඡා ස්වරූපයත්, ඇතැම් විටක ප්‍රශ්නෝත්තර ශෛලියත් මඟින් ස්වකීය අර්ථාන්විත ප්‍රකාශනය ජනතාව හමුවේ තැබූහ. එය ඇසූ දහස් සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවෝ උන්වහන්සේ වෙත එළඹුණහ. ඒ පිරිස අතර සොරු ද, මිනීමරුවෝ ද, කුලීනයෝ ද, කුලහීනයෝ ද වූහ.
සන්නිවේදකයා සංදේශය ජනතාවට ගෙන ඒම සඳහා විවිධ මාධ්‍ය භාවිතා කරන අතර සඳහා යම් යම් ආධාරක ද උපයෝගී කර ගනියි. බුදුපියාණෝ ද සන්නිවේදන ක්‍රියාවලියේදී ශ්‍රව්‍ය ආධාරක මෙන්ම දෘෂ්‍ය ආධාරක ද භාවිතා කළහ. ඛේමා බිසවගේ රූප මදය දුරැලීම සඳහා එබඳුම රූපයක් මවා ඒ මඟින් අනිත්‍යතා සංකල්පය අවබෝධ කරවීමේ දෘෂ්ටාන්තයක් බුදුදහම තුළ දක්නට ලැබේ. චුල්ලපන්ථක, කිසාගෝතමී, නන්ද වැනි අය ද සත්‍ය අවබෝධ කරගත්තේ දෘෂ්‍ය ආධාරක භාවිතා කරමින් කරුණු පැහැදිලි කළ නිසාය.
උසස් සන්නිවේදකයා නිතිපතා ග්‍රාහකයාගේ ප්‍රශංසාවට ලක්වේ. ඔහුගේ කීර්තිරාවය පැතිරෙයි. ශ්‍රාවකයාගේ නිති පැසසුමට පාත්‍ර වූ සන්නිවේදකයන් අතර බුදුපියාණන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. උන්වහන්සේගේ සන්නිවේදන ක්‍රියාවලියට නතු වූ ග්‍රාහක පිරිස එම පණිවුඩය මඟින් තම සිත තුළ ජනිත වූ සතුට පළකළ අවස්ථා බෞද්ධ පොතපතේ සුලභව දැකගත හැකිය.