ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට ඩොලර් අවශ්‍යය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යනු ශ්‍රී ලංකාවේ මුල් බැස ගත් ප්‍රධාන සාම්ප්‍රදායික අපනයන ක්ෂේත්‍රයකි. මේ, දෙපාර්තමේන්තුව රටට ඩොලර් ගෙන ඒමට ගනු ලබන වෑයම ඇතුළු කරුණු පිළිබඳ එහි අධ්‍යක්ෂ ඡනරාල් ඒ.පී.පී දිස්නා සමඟ කළ සාකච්ඡාවකි.
- අපේ භෝගවලට විදෙස් වෙළෙඳපොළෙන් හොඳ ඉල්ලුමක්
- නව වගාකරුවන්ට දැනුම හා තාක්ෂණය
- අලුත් භෝග වර්ග හඳුන්වා දී ගොවීන් අතර බෙදා දෙනවා
සුළු අපනයන භෝග ක්ෂේත්‍රය රටට ඩොලර් ගෙන්න සම්බන්ධ වන්නේ කොහොමද?
සුළු අපනයන භෝග ක්ෂේත්‍රය සැකසිලා තියෙන්නේ රටට ඩොලර් ගේන්න තමයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන භෝග 15ක් තියෙනවා. ඉන් බහු වාර්ෂික කුළු බඩු භෝග 05ක් තියෙනවා. කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා, කරදමුංගු ලෙසින්. මීට අමතරව කෝපි සහ කොකෝවාත් තියෙනවා. බුලත්, පුවක්, කහ ඉඟුරු, පැගිරි, සේර, වැනිලා යනාදියත් තියෙනවා. ඒ වගේම මේ භෝගවලට අදාළ තෙල් වර්ගත් තියෙනවා. මේ නිෂ්පාදනවලින් 70%ක් 80%ක් විදෙස් වෙළෙඳපොළට යනවා. ඒ ඒ භෝග අනුව වෙනස් වෙනවා. ගම්මිරිස් 70%ක් පමණ විදෙස් වෙළෙඳපොළට යනවා. මේ විදිහට රටට ඩොලර් ගේන්න පුළුවන් අපනයනය මූලික කර ගත් කෘෂිකර්ම රාටවක් තමයි, මේ අපනයන භෝග සම්බන්ධ කෘෂිකර්මාන්තය කියන්නේ. මෙයට සුළු අපනයන භෝග කියලා කියනවා. අපනයන කෘෂි භෝග කියලත් කියනවා. මෙය ශ්‍රී ලංකාවේ මුල් බැස ගත් ප්‍රධාන සාම්ප්‍රදායික අපනයන ක්ෂේත්‍රයක්.
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ලැබූ අපනයන ආදායම කෙසේද?
කොරෝනා වසංගතය තිබුණත් පසුගිය වසරේ සමස්ත අපනයන කෘෂි භෝග අපනයනයෙන් අපි මෙට්‍රික් ටොන් 61,000ක් ආනයනය කරලා රුපියල් මිලියන එක් ලක්ෂ දෙදහක් අපනයන ආදායම විදිහට ගත්තා. එය ඩොලර්වලින් ගත්තොත් ඩොලර් මිලියන 517ක්. මේ වසරේ ජූනි දක්වා අපට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව මෙට්‍රික් ටොන් 26,572ක් අපනයනය කරලා තිබෙනවා. එයින් කුරුඳු මෙට්‍රික් ටොන් 7063ක් අපනයනය කරලා තිබෙනවා. එයින් රුපියල් මිලියන 23,503ක් අපනයන ආදායම ලැබිලා තිබෙනවා. මෙය ඩොලර්වලින් නම්, ඩොලර් මිලියන 84ක්. ගම්මිරිස් මෙට්‍රික් ටොන් 6146කින් රුපියල් මිලියන 11,090ක් ද එය ඩොලර්වලින් නම් ඩොලර් මිලියන 42ක් ලැබිලා තිබෙනවා. ඊට අමතරව පුවක්වලින් මෙට්‍රික් ටොන් 8,297ක් යවලා තිබෙනවා. එයින් ලබපු අපනයන ආදායම රුපියල් මිලියන 4616ක් ලැබිලා තියෙනවා. එය ඩොලර්වලින් නම් ඩොලර් මිලියන 32ක්. මේ ආකාරයට අපි ආදායමක් ලැබුවා.
අපේ ප්‍රධාන ගැනුම්කරුවා කවුරුද?
මෙය නිෂ්පාදනය අනුව වෙනස් වෙනවා. ගම්මිරිස්, කරාබු, සාදික්කා වගේ දේවල් 70%ක් විතර යන්නේ ඉන්දියාවටයි. ඊට අමතරව මැද පෙරදිග රටවලටත් යනවා. පොඩි ප්‍රමාණයක් ඇමෙරිකාවට යනවා. කුරුඳුවලින් 40%ක් විතර යන්නේ මෙක්සිකෝවටයි. 75%ක් යන්නේ ලතින් ඇමෙරිකානු කලාපයේ රටවලටයි. ඊට අමතරව ඇමෙරිකා එක්සත් ඡනපදයටත් කුරුඳු යම් ප්‍රමාණයක් යනවා. ඉන්දියාවටත් යම් ප්‍රමාණයක් යනවා. බුලත් ගත්තොත් 95%ක් යන්නේ පාකිස්තානයටයි. පුවක්වලින් 90%ක් පමණ යන්නේ ඉන්දියාවටයි. ඒ වගේම අපි ළඟ විවිධ තෙල් වර්ග තිබෙනවා. කුරුඳු තෙල්, කුරුඳු පොතු තෙල්, ගම්මිරිස් තෙල්, කරඳමුංගු තෙල්, පැඟිරි තෙල්, සාදික්කා වගේ තෙල් වර්ග මෙට්‍රික් ටොන් 314ක් අපි රට යවලා තිබෙනවා. එයින් ඩොලර් මිලියන 14ක් අපි අරගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් යුරෝපයට, ඇමෙරිකාවට සහ ඉන්දියාවටයි අපි තෙල් අපනයනය කරන්නේ.
අපේ සුළු අපනයන භෝගවලට විදෙස් වෙළෙඳපොළේ ඇති ඉල්ලුම වෙනස් වෙනවාද?
ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙනවා. පසුගිය වසරේ කුරුඳු ඉල්ලුම හොඳයි. පසුගිය වසර 10 ගත්තොත් සමහර අයගෙන් මෙට්‍රික් ටොන් 300ක් 400ක් ලැබෙනවා. සමහර අයගෙන් 1000ක් වෙනවා. එන්න එන්න වැඩිවීමක් තියෙනවා. ගම්මිරිස්වල නම් අපේ නිෂ්පාදන ඉහළ පහළ යෑමක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ටොන් 20,000-25,000ක ප්‍රමාණයක් සාමාන්‍ය තත්ත්වය යටතේ නිෂ්පාදනය වෙනවා. සමහර අවුරුදුවල එය 15ට විතර බහිනවා. දේශගුණික තත්ත්වය මත තමයි මේ නිෂ්පාදන රඳා පවතින්නේ. මේවා අපි 'බල්ක්'සමූහය ලෙසට භාණ්ඩය ඒ විදිහටම යවනවා. ගෝනි මළුවල හෝ වෙනත් විශේෂිත පොලිතින් මළුවලත් යවනවා.
ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න අපට හැකිද?
මීට වඩා අපට සපයන්න පුළුවන්. අපනයන කෘෂිකර්ම දෙමාර්තමේන්තුව හැටියට අපි කරන්නෙත් ඒක තමයි. නිෂ්පාදන වැඩි කිරීම සඳහා අවශ්‍ය පැළ සහන මිලට දීම, නව වගා ඇති කරන්න අවශ්‍ය දැනුම සහ තාක්ෂණය පෙන්වා දෙමින් නිෂ්පාදන වැඩි දියුණු කරන්න දිරි දෙනවා. නව වගා කරුවන්ගෙනුත් විශාල ඉල්ලුමක් වගේම උනන්දුවකුත් තියෙනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂි භෝග අපනයනයට මැදිහත් වන්නේ කෙසේද?
අපි සේවා සපයන ආයතනයක්. අපි නිෂ්පාදන වැඩි කරන්න දායක වෙනවා. වගාකරුවන්ට පැළ දීම, තාක්ෂණික පහසුකම් සැපයීම සහ දිරි දීම කරනවා. ඒ වගේම පවත්නා වගාවල අඩු පාඩු මඟ හරවා වැඩි ඵලදාවක් සඳහා උපදෙස් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ගොවීන් පුහුණු කිරීම්, අඩු තැන්වලට සිටුවන්න පැළ දීම, අවශ්‍ය තාක්ෂණික උපදෙස් දීම් කරනවා. මෙවැනි සංවර්ධන කටයුතුවලට අමතරව අපේ පර්යේෂණ අංශයක් තියෙනවා. අලුත් භෝග වර්ග හඳුන්වා දී ගොවීන් අතර බෙදා දීම එයින් සිදු කරනවා. ඒ වගේම රෝගවලට විසඳුම් සැපයීම වැනි කාරණාත් මේ අංශයෙන් සිදු වෙනවා. පවත්නා පසු අස්වනු තාක්ෂණය හා ගුණාත්මක සකස් කිරීම් යනාදියට උපදෙස් සපයනවා. පුහුණු කිරීම්වලට අමතරව ප්‍රදර්ශන ද පවත්වනවා. මෙමඟින් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට අපි උත්සාහ කරනවා. අගය එකතු කළ නිෂ්පාදන විදිහට කාබනික වගා ක්‍රම වගේ දෑ ප්‍රචලිත කරනවා. බඩු පිටරට යවන්න ගුණාත්මක සහතික දෙන්න උදවු කරනවා. අපේ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය සහ සංවර්ධන අංශය යනුවෙන් ප්‍රධාන අංශ 2ක් තියෙනවා. උතුරු පළාතේ දිස්ත්‍රික්ක හා නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හැර අප දෙපාර්තමේන්තුව හරහා දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික් කාර්යාල ක්‍රියාත්මක වෙනවා. ඒවායේ සහකාර අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර නිලධාරී බැඟින් ඉන්නවා. ඒ අයට ඉලක්කයක් තියෙනවා, ඔවුන් අදාළ ක්ෂේත්‍රයට යනවා. වගා කරුවන් හා ඍජු ලෙස සම්බන්ධවෙන්නේ මේ අයයි. ඒ වගේම පර්යේෂණ ම්‍ය්‍යස්ථාන 07ක් තියෙනවා. පුහුණු හා ගැටලු නිරාකරණය මෙිවායින් සිදු කෙරනවා. මාධ්‍ය හරහාත් ගොවි දැනුම අපි ප්‍රචලිත කරනවා.
ඒ වගේම අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව හැර අනෙක් සියලුම දිස්ත්‍රික්කවල ගොවිජන සේවා මධ්‍යස්ථානවල අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරියෙක් සිටිනවා. අපේ සියලු කෘෂි වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ මේ නිලධාරීන් මඟිනුයි. බිම් මට්ටමෙන් ගොස් ගොවියන් හමු වී අවශ්‍ය සෘජු සම්බන්ධතාවය දෙන්නේ මේ නිලධාරීන්. ගොවීන්ට අවශ්‍ය පැළ තාක්ෂණ එක තාක්ෂණික දැනුම උපදෙස් ආදී ආදී සියලු දේ නොමිලේ දෙනවා. ඒ නිසා වන වගාවට අලුතෙන් යොමු වෙන්න කැමැත්තක් දක්වන ගොවියකුට වුවත් තමාට අවශ්‍ය සියලුම තොරතුරු මේ නිලධාරීවරයාගෙන් ගත හැකියි.
මීට අමතරව දෙපාර්තමේන්තු වැඩසටහන් යටතේ නව වගාකරුවන් සහ වගාවෙන් වැඩි දියුණු කිරීම සඳහාත් අපි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පසු අස්වනු තාක්ෂණය, අතුරු නෙළා ගන්නා ආකාරය, ඉන්පසුව නෙළා ගන්නා ආකාරය, පස සකස් කරන ආකාරය ඒවාට අවශ්‍ය පහසුකම් උපකරණ පමණක් නොවෙයි වගාවට සිදුවන හානි වගාවේ රෝග යනාදියට ද අවශ්‍ය උපදෙස් මේ වැඩසටහන් හරහා ලබා දෙනවා. භෝග අපනයනය සඳහා GMP සහතික වැනි සහතික දීම සහ අවශ්‍ය වන අනෙකුත් පහසුකම් සැපයීමත් අපි සිදු කරනවා.
කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට ඍඡු වෙළෙඳපොළක් සැකසී තිබේද?
සෑම දිස්ත්‍රික්කයම බොහෝ කලක් සිට සැකසුණු වෙළෙඳපොළක් සැකසිලා තියෙනවා. ගම්වල අය ගනුදෙනු කරන්නේ මේ වෙළෙඳපොළ හරහායි. ප්‍රධාන නගරයෙන් ප්‍රධාන ගැනුම්කරුවකුට විකිණෙනවා. ඒ වගේම සමහර අය ගම්වල ඇවිදලා කුළු බඩු එකතු කරන විදියකුත් තියෙනවා. වෙළෙඳපොළට අපි සම්බන්ධ වෙන්නේ නෑ.
ආර්ථික අර්බුදය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කුමන බලපෑමක් කරනවාද?
ශ්‍රී ලංකාවට වර්තමානයේ උදා වී තිබෙන තත්ත්වය හමුවේ අපටත් යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. එයින් ප්‍රධාන වශයෙන් අපේ සැකසුම් ක්ෂේත්‍රයට බලපෑම් එල්ල වෙලා.
ඈත පිටිසර ඉඳලා කොළඹට භෝග ගේන්න ප්‍රවාහන අපහසුතා, සුළු ප්‍රමාණ ලෙසින් ගම්වල බඩු එකතු කරන්නන්ට, සැකසුම්කරුවන්ට විවිධ කාලීන හා ප්‍රායෝගික අපහසුතා පැන නැඟිලා තියෙනවා. ඒ වගේම අපේ අමුද්‍රව්‍ය වියළීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය කරන භූමිතෙල් ලබා ගැනීමේ අපහසුවක් තියෙනවා. භූමිතෙල් ආධාරයෙන් ක්‍රියාත්මක වෙන වියළුම් යන්ත්‍ර අපි ළඟ තිබුණත් ඒවාට අවශ්‍ය කරන භූමිතෙල් හිඟයි. ඒ නිසාම ඒවා සපයා ගැනීමත් අසීරු තත්ත්වයක්.
අපේ සැකසුම් මධ්‍යස්ථානවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම, නිෂ්පාදන ප්‍රවාහනයට අවශ්‍ය කරන ඩීසල් සපයා ගැනීමත් අපි මුහුණ දීලා තියෙන ගැටලුවක්. දැන් දැන් රටේ ඉන්ධන අර්බුදය තරමකට නිරාකරණය වෙමින් පවතිනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ගැටලු ටික ටික විසඳේවි කියලා. මොන ප්‍රශ්නය ගොඩ නැඟුණත් කොහොම හරි අපි මේ ක්ෂේත්‍රය කරගෙන යනවා.
ගම්මිරිස් කිලෝව මේ දිනවල රුපියල් 1800ක් පමණ මිල වෙනවා. කරාබු මිල රුපියල් 2627ක්. සාදික්කා රුපියල් 1333යි. කුරුඳු හොඳම වර්ගය රුපියල් 5137යි. සාමාන්‍ය ඒවා රුපියල් 2700-3000ක් වෙනවා. එ් නිසා සුළු අපනයන භෝගවලට යොමු වුණොත් කාටත් හොඳ ආදායමක් ගන්න පුළුවන්.
ශ්‍යාමා සමරසිංහ