Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සිකුරු මාරුව ඔබට කොහොමද?

$
0
0
අගෝ 17, 2022 01:00

- වතුරෙන් රෝග බෝවෙන කාලයක්
- දේශපාලන පෙරළි ඇති කරයි
- ලග්න රැසකට සුබයි

අරුන්දතිය හෙවත් සිකුරු තාරකාව අශුභ පල දෙනු ලබන ග්‍රහ තාරකාවක් නොවේ. එනිසාම සිකුරුට ගුරුගේ පුත්‍රයා යන විරුදාවලී නාමයම ජ්‍යෝතිෂයේ දී ඇත. ජන්මියාගේ දිවියේ පිරිසුදු ප්‍රේමය, ආලය, ඔපය, පිරිසුදුභාවය ආදී ගති සම්පත්තීන් නොඅඩුව නිබඳව ලබා දෙන්නියකි. දවල් උපන්නවුන්ට මවු වන මෙම සිකුරු බලවත් අයට මුළු ජීවිත කාලය පුරාවට සැපසේ එක ලෙස ගත කරන්නට තරම් ශක්තිය දෙනු ඇත. කේන්ද්‍ර පත්‍ර පරීක්ෂාවේදී වුවද සිකුරුගේ අශුභතාවයක් දකින්නේ කලාතුරකිනි.

සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් භාවයකින් තවත් භාවයක් හැර යෑමට දින 30 කට ආසන්න කාලයක් යොදා ගනු ඇත. මෙතෙක් කාලයක් පුරාවට මිථුන රාශියේ රැඳී සිටි සිකුරු අගෝස්තු 07 දින 05.20 ට එම මිථුන රාශියෙන් මිදී කටක රාශිය කරා ගමන් කළේය. සම/සතුරු/මිත්‍රතා හේතු පාදක කර ගැනීමේදී සතුරු තත්ත්වයන් පෙන්නුම් කරන සිකුරු මේ ගමන් මඟ පාදක කර ගැනීමෙන් සමස්තයක් වශයෙන් ඉදිරි මසක පමණ කාලයක් පුරා ජලයෙන් බෝවන රෝග රට පුරාත්, විශේෂයෙන් උතුරු මැද පළාත් කේන්ද්‍ර කොට ගනිමින් වකුගඩු රෝග උත්සන්න කරන තත්ත්වයන් ඉස්මතු වනු ඇත. එසේම කලා ක්ෂේත්‍රයේ යම් බලවත් වර්ධනයකට තුඩු දෙන කාරණා යෙදෙන අතර, කලාකරුවන් මතුව වැඩෙන අවස්ථාවන් රට තුළ ඉදිරි මස තුළ ජනිත වේ. එසේම ඉදිරි කාල සීමාවේදීත් රටේ බොහෝ රාජ්‍ය ආයතන රට තුළ ගැටලුකාරීත්වයන් මතු කරන අතර, රටේ පාලන තන්ත්‍රයට ඒවාට නිසි විසඳුම් දීම ද තරමක් ගැටලුකාරී වනු ඇත. ඒනිසාම දේශපාලන කරළියත් බොහෝ හාස්‍යයට ලක් වන තත්ත්වයන් මතු වී වැඩෙනු ඇත.

එක් එක් රාශින්ට සිකුරුගේ ගමන් වෙනස කෙබඳුදැයි විමසීමට ලක් කරමු.

මේෂ ලග්නය

කරදරකාරිව තිබූ බොහෝ කටයුතු බොහෝ දුරට අඩු වී යනු ඇත. දරුවන්ගෙන් ද සිතට සහනය උදා කරනු ඇත. රැකියාවේ උසස්වීම් පවා ඇති විය හැකිය. ශාස්ත්‍රිය කටයුතු බලවත් කර ගැනීමට හැකියාව පවතී. නිවෙසේ පැවති ආර්ථික අපහසුතා තරමක් අවම වී යනු ඇත. අශුභතාවලින් මිදීමට - කිරි සහිත ගස් වර්ග සිටුවන්න.

වෘෂභ ලග්නය

නීතිමය ප්‍රශ්න හමුවේ පීඩා විඳින්නට සිදු වේ. බලාපොරොත්තු කාරණා ඉටු කර ගන්නට හැකියාව පවතින්නේ සුළු වශයෙනි. දරුවන් ලෙඩ කරවයි. මංගල අවස්ථා හෝ වෙනත් පවුලේ උත්සව අවස්ථා වෙනුවෙන් කාලය යොමු කරවන්නට අවස්ථාව හිමි වේ. අශුභතාවලින් මිදීමට - නිල් පාට රෙදි දන් දෙන්න.

මිථුන ලග්නය

අසල්වාසී පීඩාවන් හේතුවෙන් මානසික තත්ත්වය පහළ වැටෙනු ඇත. සෙම් ආදී රෝග ඉස්මතු වේ. ළඟින් සිටි හොඳම කියන යහළුවකු අමනාප වන තත්ත්වයන් උද්ගත වේ. ලැබීම්වලට වඩා වියදම් අධික වන කාරණා කටයුතු යෙදේ. අශුභතාවලින් මිදීමට - පතිනි මවුන්ට පූජා පවත්වන්න.

කටක ලග්නය

කලබලකාරී ගති පැවතුම්වලින් සිත වෙලා ගනී. ඉඩම් ආරවුල් ආදිය තරමක් තදින් ඇති වේ. පුණ්‍ය කටයුතු වෙනුවෙන් යෙදවෙන්නට සිත් දුන්න ද කෙසේ හෝ එම කාරණා අතපසු වී යනු ඇත. දරුවන් ලෙඩ කරවන අවස්ථාවන් පැමිණෙන අතර ප්‍රවේශම් වන්න. අශුභතා වලින් මිදීමට - සත් දිනක් බෝධි පූජා පවත්වන්න.

සිංහ ලග්නය

දානමය පින්කම්වලට සම්බන්ධ වීමේ අවස්ථාව සැලසෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නේ නම් ඒවාට බාධා පීඩා එල්ල වනු ඇත. බෝවන රෝග නිවෙසේ අන් අයට හෝ තමාට එල්ල වීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් අවමන් විඳින්නට සිදුවේ. මුදල් අස්ථානගතවීම් ඇති විය හැකිය. අශුභතාවලින් මිදීමට - මෙහෙණි ආරාමයකට පුද සත්කාර සිදු කරන්න.

කන්‍යා ලග්නය

ජලය සම්බන්ධ දෙයින් පීඩාවට පත් වන්නට සිදුවේ. රජයේ නිලධාරීන් සමඟ මුසුව කටයුතු සිදු කරන්නට සිදුවේ. ආරක්ෂක අංශයේ යෙදී සිටින අයට යහපති. විභාග ආදියට යොමු වන්නට සිදු වන අතරම ඒවායින් සාමාන්‍ය පල නෙළා ගැනීමට හැකියාව උදා වනු ඇත. අශුභතාවලින් මිදීමට - කුරුල්ලන්ට ආහාර දෙන්න.

තුලා ලග්නය

ආත්ම විශ්වාසය හීන වී යනු ඇත. එහෙත් විවාහක නම් ශුභ පල දිවියට ලැබෙනු ඇත. යහපත් ලැබීම් තරමක් ප්‍රමාද කරනු ලබන අතර, විශේෂයෙන් ආදායම් ලැබීම්වලට එම තත්ත්වය බලපානු ඇත. කලක සිට යටගියා වූ රෝග තත්ත්වයන් ප්‍රබල ලෙස මතු විය හැකිය. අශුභතාවලින් මිදීමට - නා පැළ සිටුවන්න. වතාවත් සිදු කරන්න.

වෘශ්චික ලග්නය

බලාපොරොත්තු සුන් වෙයි. එදිනෙදා කටයුතුවලටත් බාධා ගෙන දෙනු ලබන කාල සීමාවකි. විභාග ආදීයට පෙනී සිටින්නේ නම් දුෂ්කරතා මතු වේ. විවාහකයන්ට රෝග පීඩා ගෙන දීමෙන් පවුලේ කටයුතු තරමක් අවුල් වී යෑමට ඉඩ ඇත. රෝග පීඩාදිය ද නිතර මතු වේ. අශුභතාවලින් මිදීමට - කිරිපලු වෘක්ෂයකට සාත්තු කරන්න.

ධනු ලග්නය

සතුන්ගෙන් පීඩා විඳීන්නට සිදු වේ. සතුරු කරදර ද නිතර මතු වේ. තමා සතුව පවත්නා කෘෂි වගාවන් නිස්කාරණේ විනාශ වී යන්නට හේතු වනු ඇත. කලත්‍රයාගේ ඥාතීන් අසනීප වෙයි. විදෙස් ගමන්වලට සිත් යෙදෙන මුත් ඒවායින් බලවත් ශුභ පල ලබන්නට හැකියාවක් නොමැත.

අශුභතා වලින් මිදීමට - ධාන්‍යවලින් සෑදූ ආහාර අසරණයින්ට දෙන්න.

මකර ලග්නය

මංගල යෝග උදාවේ. දරුවන්ගේ කටයුතුවලින් සතුටු විය හැකි කරුණු යෙදේ. සෙම් - පිත් ආදී රෝග තත්ත්වයන් මතු විය හැකි අතර ප්‍රවේශම් වන්න. තමා යටතේ පවත්නා ස්වයං රැකියා ව්‍යාපාර ආදිය අඩාළ වන කරුණු යෙදේ. අශුභතාවලින් මිදීමට - මවුපියන්ට උවටැන් කරන්න.

කුම්භ ලග්නය

යාන වාහන, ඉඩකඩම් මිල දී ගැනීමට ඉතා ශුභ කාල සීමාවකි. දරු සම්පත් පිළිබඳ සිහින මල් පල ගැන්වේ. පින්වත් දරුවන් ලැබීමට සුදුසු කාල සීමාවක් වන්නේය. අඹු - සැමි අසිරිය ඇති වී සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව සැලසේ. අශුභතාවලින් මිදීමට - කෙටි පිරිතක් කියවා ගන්න.

මීන ලග්නය

බලාපොරොත්තු නොවන අයුරින් වස - විෂ හානි හෝ වෙනත් අසාත්මිකතා මතු වීමට ඉඩකඩ ඇත. විවාහ ආදියෙන් ලැබිය යුතු දේපළ සම්බන්ධ ලැබීම් ලැබිය හැකි අතරම, ඒවාට බාධා ගෙන දීම් ද සිදු විය හැකිය. කට පරිස්සම් කර නොගැනීමෙන් විපත්වලට ගොදුරු විය හැකිය.

අශුභතාවලින් මිදීමට - අසරණ දරුවන්ට පාසල් උපකරණ දෙන්න.

ජ්‍යෝතිෂවේදී, වාස්තු විද්‍යාවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ, (භාරත භාෂ්කර ශිරෝමණි / ජ්‍යෝතිෂය පරම හංස)
මුළු දිවයිනටම සාම විනිසුරු කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර දෙහිඕවිට.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles