Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

විවාහයේ තොරතුරු හෙළි කරන විවිධ පිහිටීම්

$
0
0
අගෝ 17, 2022 01:00

විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ ඇති වැදගත් අවස්ථාවකි. එය කෙනෙකුට රෝස මල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර වෙනත් අයකුට එය කටු පඳුරුවලින් පිරුණ වන වදුලක් සේ කටුක විය හැකිය. එය තමන්ගේ පෙර පින් අනුව සිදු විය හැක්කකි. විවාහය පිළිබඳව තොරතුරු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව වගේම ඔබේ අත්ලේ පිහිටි රේඛා හා සලකුණු මඟින් ද අනාවරණය වෙයි. විශේෂයෙන් ඒ පිළිබඳව විවාහ රේඛා ප්‍රධාන වේ. අත්ල අයිනේ සුලඟිල්ල මුලටත් (බුධ මණ්ඩලය) හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හැඳින්වෙයි. සම්බන්ධතා රේඛා නමිනුත් මේවා හඳුන්වයි.

යමකුගේ අතේ මෙවැනි රේඛා කිසිවක් නොමැති නම් ඔහු හෝ ඇය තුළ කිසිවකු කෙරෙහි ප්‍රේම හැඟීම් නොමැති බැව් කියැවේ. මෙවැනි රේඛා කීපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇයගේ සිත දුටු දුටුවන් කෙරෙහි යොමු වන ස්වභාවයක් ඇත. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි රේඛාව වාසනාවන්ත විවාහයක් ප්‍රකට කරයි.

විවාහ රේඛාවේ කෙළවර හෘදය රේඛාව දෙසට බෑවුම් වූයේ නම් එය අශුභදායක තත්ත්වයකි. සහකාරයා හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් එමඟින් පෙන්නුම් කෙරේ. අග බෙදුණු කරුවක් මෙන් පිහිටි විවාහ රේඛාව ද (1) විවාහ ජීවිතයේදී අඹුසැමි අඬදබර ඇති වීම හෙළි කරයි. වෙන් වීමට හේතුව ස්වාමිපුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා දුර ප්‍රදේශයක හෝ විදේශ රටක වූයේ නම් ප්‍රශ්නයක් ඇති නොවේ. එහෙත් එකට ජීවත් වීමේදී සාමය නැති වූ නිසාම හෝ ප්‍රේමය පලුදු වීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ.

විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම ඉක්මන් විවාහයකට මෙන්ම ප්‍රේමය මුල්කොටගත් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. විවාහ රේඛාව දෙකඩ වීම ද (2) විවාහයේ හෝ ප්‍රේමයේ බිඳ වැටීමක් පෙන්නුම් කිරීමකි. විවාහ රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින්ව නොගැඹුරු වී නම් මුලදී පැවති ආදරය පසුව හීන වී යයි. (3) විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දූපත් සටහන් දර්ශනය වේ නම් විවාහ ජීවිතය බලවත් අවාසනාවන්ත සිද්ධීන්ගෙන් ගහන එකක් විය හැකිය. විවාහ රේඛාවේ කෙළවර තරුවක ලකුණක් වී නම් (5) ප්‍රේම සම්බන්ධය දබරයකින් කෙළවර විය හැකිය. විවාහ රේඛාවේ කෙළවර කීර්ති රේඛාවට සම්බන්ධ වී ඇත්නම් ඔහුට හෝ ඇයට ධනවත් අයකු හා විවාහ වීමට ඉඩ ලැබෙයි. (4) එහෙත් විවාහ රේඛාව කීර්ති රේඛාව ඡේදනය කරයි නම් (කැපී ඇත්නම්) අශුභයි. විවාහය නිසා නොයෙකුත් දූෂමාන, අපකීර්ති ආරංචි පැතිර යෑම එයට හේතු වේ.

අත්ලක විවාහ රේඛා වැඩි ගණනක් පිහිටීම සම්බන්ධතා වැඩි ගණනක් පෙන්නුම් කිරීමකි. එම රේඛා අතරින් පැහැදිලිව පෙනෙන දිග රේඛාව විශේෂයෙන් විවාහය පෙන්නුම් කරයි. විවාහ රේඛාව ද වෙනස්වන සුලුය. එම රේඛා සැලකිල්ලෙන් පරික්ෂා කර එවැනි අසුබ සිදුවීම් ඇත්නම් එවැනි සිදුවීම් හා අවස්ථා මැඬපවත්වා ගැනීමට උත්සාහ ගත යුතුය. උත්සාහයේ නිසිඵල ලැබෙන විට රේඛාවන් ක්‍රමයෙන් වෙනස් වනු ඇත.

කෙනකුගේ දෛව රේඛාව (1) ශීර්ෂ රේඛාව (2) මත දී අවසන් වේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවනුයේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව එය අවුරුදු 35ට පළමු සිදුවනු ඇත.

දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන් වේ නම් එය ප්‍රේම සම්බන්ධතාවකින් සිදුවිය හැකිය.

විවාහ ජීවිතය පිළිබඳව සැලකීමේදී විවාහ රේඛා හැරෙන්නට තවත් ස්ථාන කීපයක්ම පරීක්ෂා කිරීම වැදගත් වෙයි. සිකුරු මණ්ඩලය, ගුරු මණ්ඩලය හා හෘදය රේඛාව එයින් ප්‍රධාන වන අතර දෛව රේඛාව පිළිබඳව ද සැලකිල්ල යොමු කළ යුතුය. සිකුරු මණ්ඩලය තුළ දැල් සලකුණ, තිත් සලකුණු කොටු හා තාරකා ලකුණු වැටීම විවාහ ජීවිතයට සුබ නොවේ. වඩාත් උස්ව පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි අයකු තුළ කෙළිලොල්, විනෝදකාමී ගතිය සීමාව ඉක්මවා වැඩි වීමත් යහපත් විවාහයකට බාධා ගෙන දෙයි.

එසේ වුවද මනා ලෙස පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි අය කාගේත් සිත්ගන්නා සේම යහපත් විවාහයකට හේතු වේ. සිකුරු මණ්ඩලයේ කොඩියක සලකුණක් වේ නම් එය රාජයෝගයකි. එය සිංහාසන යෝගයේ එක් අවස්ථාවක් ලෙස සැලකේ. උසස් තනතුරු, සැපපහසු වාහන නිවාස ලාභ ලබන මහා ධන යෝගයකි. මත්ස්‍ය සලකුණද (මාළුවා) සිකුරු මණ්ඩලයට ඉතා භාග්‍යමත් සලකුණක්, රේඛා බණ්ඩි ගැසීමෙන් පිහිටන මෙම මත්ස්‍ය ලකුණ විවාහ ජීවිතයේ සතුට මෙන්ම අනේක විධ භව භෝග සම්පත් ලැබීමට ද හේතු වෙයි. කාන්තාවකගේ අතක එම මත්ස්‍ය ලකුණක් පිහිටියේ නම් ශාස්ත්‍රීය නියමය වන්නේ ඇයට ලක්ෂ්මි යෝගය උදාවන බවයි. වාසනාවන්ත පුරුෂයකුට බිරිය වන ඇය සුපින්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය.

දඹරඟිල්ල මුල පිහිටි ගුරු මණ්ඩලය ද විවාහයට වැදගත් ස්ථානයක්, ඔබේ අතේ පිහිටි ගුරු මණ්ඩලය මත ඉතා පැහැදිලි පුංචි කතිර ලකුණක් පිහිටියේ නම් ඔබ හැබෑම වාසනාවන්තයෙක්. ආදරවන්තයින්ගේ කතිරය හෙවත් වැලන්ටයින් කතිරය නමින් එය හඳුන්වයි. මෙම කතිරය වෙනත් බාධක රේඛාවලින් තොරව පැහැදිලිව තිබීම වඩාත්ම සුබ ඵල ගෙන දෙයි. ඔබේ අත්ලේ මෙම කතිර සලකුණ ඇත්නම් ඔබට උගත් ධනවත් ආදරණීය පෙම්වතියක් හෝ පෙම්වතෙක් ලැබීම නිසැකය. අත්දෙකේම මෙම ලකුණ පැහැදිලිව පිහිටියේ නම් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම සාර්ථක වන බව සාමුද්‍රක ශාස්ත්‍රයේ සඳහන් වෙයි. එය පසු කලෙක මැකී ගියහොත් යුග දිවියේ සතුට පළුදු වීමට ද හේතු විය හැකිය.

හෘදය රේඛාවේ සිට පහළට වැටෙන රේඛාවලින් ප්‍රේම සම්බන්ධතා හා මිත්‍රත්වය වැනි කටයුතු කඩා වැටෙන බව පෙන්වන අතර හෘදය රේඛාව ශනි මණ්ඩලය පහළින් ශීර්ෂ රේඛාව මතට වැටීම විවාහයේ අසාර්ථක බව පෙන්නුම් කිරීමකි. ගුරු මණ්ඩලය යට දී හෘදය රේඛාව පහතට වැටීම තමන්ට නොගැළපෙන අයකු හා විවාහ වීමෙන් විපත් ගෙන දේ. ගුරු මණ්ඩලය දක්වාම දිවෙන හෘදය රේඛාව ද විවාහයට සුබ ඵල දේ. මැණික්කටු සන්දියෙන් පටන් ගන්නා දෛව රේඛාව ත්‍රිශුල සලකුණකින් අවසන් වීම වඩාත් වාසනාවන්ත සලකුණකි. එහෙත් එම රේඛාව අත්ල මැදදි දෙකඩව කැඩී පැවතීම ජීවිතය නව මඟකට පෙරළීමකි. එය දෙවෙනි විවාහයක් විය හැකිය.

පෙර සඳහන් කළ ලකුණු අනුව විවාහයේ සුබ අසුබ ඵල එසේ වුවත් අත්ලේ පිහිටි ග්‍රහ මණ්ඩල හා වෙනත් රේඛා අනුව එම පල අපල අවම විය හැකිය. එහෙයින් කෙනෙකුගේ පලාපල ප්‍රකාශ කිරීමට පළමු සමස්තයක් ලෙස අත්ලම පරීක්ෂා කිරීම වැදගත් වෙයි.

හිඹුටානේ පියතිලක ද අල්විස්


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>