Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දිනෙන් දින උත්සන්න වන ආසියාවේ බලපොරය

$
0
0
අගෝ 20, 2022 01:00

ආසියාවේ බල අරගලය උත්සන්න වෙමින් පවතී. දශක ගණනාවක සිට ආසියාවේ බලවතුන් වන රුසියාව, ඉන්දියාව, චීනය සහ ජපානය අතර විවිධ කරුණු අරභයා උණුසුම් තත්ත්වයන් නිර්මාණය වූ අතර. වර්තමානය වන විට රටවල් රැසක සිදු කෙරෙන ක්‍රියාකාරකම් හේතුවෙන් ඉන්දියාවත්, ජපානයත් චීනය කෙරෙහි පසුවන්නේ බලවත් අප්‍රසාදයෙන් යුතුවය. අවස්ථා ගණනාවකදී ඉන්දියාව සහ චීනය අතර විරසකභාවයක් ඇතිවුවද, රාජතාන්ත්‍රික මට්ටමෙන් ඒවා විසඳ ගැනීමට දෙපාර්ශ්වයම උපක්‍රමශීලීව කටයුතු කර තිබිණි.

එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමේ අවදානම මත අමෙරිකාවේ උදහසට ලක්වී සිටින අතර, පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවේ නැංගූරම් ලෑම හේතුවෙන් ඉන්දියාවේ දෝෂාරෝපණයට ද ලක් වී සිටී. පසුගිය මාසයකට ආසන්න කාලයක් පුරා ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වූයේද මේ කරුණු ද්විත්වය අරභයා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

දශක ගණනාවකට පසු තායිවානයේ සංචාරය කරන අමෙරිකාවේ ඉහළ මට්ටමේ නිලධාරිනිය ලෙස එරට කතානායිකාව නැන්සි පෙලෝසි එරට දෙදින සංචාරයක නිරතවූයේ සති දෙකකට පෙරය. ඒ වන විටත් තායිවාන අහස් කුසත්, මුහුදු සීමාවත් උල්ලංඝනය වන අයුරින් සිය ප්‍රහාරක ගුවන් යානා සහ නාවික යුද අභ්‍යාස සිදුකරමින් සිටි චීනය සිය අප්‍රසාදය හා කෝපය එසේ පිටකළ අතර, මේ වන විට එය තව දුරටත් වර්ධනය වී ඇතැයි වාර්තා වේ.

දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසට අනුව චීනය සිදු කරන්නේ දෙබිඩි පිළිවෙතකි. ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටින තායිවානය තවදුරටත් චීනයේ කොටසක් බව පුන පුනා කියමින් අමෙරිකාවේ කතානායිකාව එහි සංචාරය කිරීම විවේචනය කරන අතරතුරදීම ඉන්දියාවේ අප්‍රසාදය ගණනකට නොගෙන ඉන්දීය සාගරය ඔස්සේ ඔත්තු බැලීමේ නෞකාවක් ශ්‍රී ලංකාවට එවා ඇතැයි බටහිර දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ඉන්දියාවේ විරෝධය මැද ශ්‍රී ලංකාවට පැමිණි යුවැන් වැන්ග් 5 නමින් හඳුන්වනු ලබන පර්යේෂණ නෞකාව බටහිර රටවල් සහ මාධ්‍ය හඳුන්වනු ලැබුවේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසටය. එය ඉන්දීය සාගරය සියුම් ලෙස විමර්ශනයට ලක් කිරීමට භාවිත කරනු ලබන නෞකාවක් බව ඉන්දීය සාගර කලාපයේ විද්‍යාඥයන් පිළිගත යුතුව ඇතැයි ඊයේ පෙරේදා ඉන්ඩියා ටුඩේ පුවත්පත සඳහන් කළේය. ඉන් නොනැවතී මෙය චීන අධිරාජ්‍යවාදයේ බියකරු ස්වරූපය පෙන්නුම් කරන්නක් බවත්, ඉහළ මට්ටමේ තාක්ෂණයෙන් යුතු උපකරණ හා සංවේදක ඇන්ටෙනාවලින් සමත්විත වීමත් නිසා කලාපයේ සෙසු රටවල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඉතා ඉහළ බවත් එම පුවත්පත වාර්තා කර තිබේ.

නැන්සි පෙලෝසිගේ සංචාරයේ උණුසුම පහව යෑමටත් පෙර අමෙරිකාවේ තවත් දූත පිරිසක් තායිවානයට පැමිණීම හේතුවෙන් චීනයේ කෝපය දෙගුණ තෙගුණ වූයේ ඒ අතරතුරදීමය. චීන හමුදාවට තායිවානය වටා සිය යුද නෞකා රඳවා තබමින් දිගින් දිගටම යුද අභ්‍යාසවල නිරත වීමට එය හොඳටම ප්‍රමාණවත් සිදු වීමක් බවට පත් වී ඇත. පෙලෝසිගේ සංචාරයෙන් පසු එරටින් තවත් දූත පිරිසක් තායිවානයට පැමිණීමෙන් අමෙරිකාව සිදු කර ඇත්තේ අභිමානයට කැළලක් බවත්, එය තම රට සැහැල්ලුවට ලක් කිරීමත් බවත් චීන රජයේ අදහස වන්නට ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති. චීන නෞකා අඛණ්ඩව යුද අභ්‍යාසවල නිරතවීමටත්, තායිවානය වටා මිසයිල එල්ල කරමින් බිය ගැන්වීමටත් පියවර ගැනීමේ හේතුව ද එය බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

 

සදෙව් රත්නායක

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>