ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මඟ තුළ පෙරළිකාර චරිතයක් මෙන්ම රජුන් තනන්නෙකු ලෙස ද හැඳින්විය හැකි මංගල පින්සිරි සමරවීර අභාවප්‍රාප්තව අදට (අගෝස්තු 24)දාට වසරක් සපිරේ. දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 65ක්වූ අතර හෙතෙම කොවිඩ්-19 වයිරසය ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී නොසිතු මොහොතක ඔහුට තම දිවියට සමු දෙන්නට විය.
මංගල පින්සිරි සමරවීර උපන්නේ 1956 අප්‍රේල් 21 වැනිදා මාතරදීය. ඔහුගේ පියා වූ මහානාම සමරවීර එම වසරේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා විය. එහෙයින් දේශපාලන ගුණ සුවඳ ඔහුට දැනෙන්නට පටන් ගත්තේ තිඹිරිගෙයි සිටමය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මංගල අනතුරුව පිවිසියේ ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයටයි. එහිදී ඔහු ඇඳුම් නිර්මාණ හා තාක්ෂණය පිළිබඳව බී.ඒ. ගෞරව උපාධිය ලබා ගන්නට සමත් විය. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වූ මංගල, ලන්ඩනයේ අධ්‍යාපනය ලබන සමයේදීම ලන්ඩන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවට බැඳී එහි සහකාර ලේකම් තනතුර මෙන්ම භාණ්ඩාගාරික තනතුර ද හොබවන්නට සමත් විය. ලන්ඩනයේ අධ්‍යාපනය අවසන් කළ ඔහු 1988 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයට සම්බන්ධව කටයුතු කළේය.
දේශපාලන පිවිසුම
කුඩා කල සිටම දේශපාලන පවුල් පරිසරයක හැදී වැඩුණු මංගල ලන්ඩනයේ අධ්‍යාපනය හදාරන අවධියේදී දේශපාලනයට සම්බන්ධව සිටිය ද ඔහු ජවසම්පන්න ලෙසින් දේශපාලනය හා අනුගත වූයේ සිය පියාගේ අභාවයෙන් පසුවය. 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මංගල ඒ සමයේදී දැවෙන සිත් ගණනාවකට සවියක් වන්නට සමත් විය. හෙතෙම 88-89 භීෂණ සමයේදී අතුරුදන් වූ තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටියේ 'මව් පෙරමුණ'ක්‍රියාකාරී සංවිධානය පිහිටුවා ගනිමිනි.
උපන්ගෙයිම දේශපාලනයේ 'අ 'යනු 'ආ'යනු කියූ මංගල සමරවීරගේ දේශපාලන ගමන්මඟ සම්බන්ධයෙන් කතා කිරීමේදී එහි ඇතුළාන්තය විමසා බැලීම වටී. ඔහු විදෙස් අධ්‍යාපනය ලබන සමයේදී ලන්ඩනයේ ශ්‍රිලනිප ශාඛාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. තම පියාගේ දේශපාලන ආභාෂයත් සමඟ තම උපන් ගම වූ මාතර දිස්ත්‍රික්කයේ තරුණ සංවිධායකවරයකු වශයෙන් 1983දී ශ්‍රීලනිප හා සම්බන්ධ විය. ඒ, එජාප ආණ්ඩුව තම බලය සතර දිග ව්‍යාප්ත කර සිටි කාලයයි. ඒ සියලු බාධකවලට එරෙහිව මංගල තම දේශපාලන අත්පොත් තබන්නට සමත් විය. 1983 වර්ෂය යනු ශ්‍රී ලංකාව වර්ගවාදය යන මාතෘකාව ලොවට එක් කළ වර්ෂයකි. මේ සියලු ගැටුම් හා ප්‍රශ්නකාරී ක්‍රියා මැද තම දේශපාලන ගමන දියත් කළේ කිසිඳු ජාතියකට හෝ ආගමකට භේදයක් නොවන අයුරිනි .
වෙඩි හඬ මැද පිපුණු සුදු නෙළුම
එමෙන්ම 88-89 කාලයේ ලෝකය පුරා ව්‍යාප්ත වූ පුවත වූයේ ශ්‍රී ලංකාව තුළ 60,000ට වඩා තරුණ තරුණියන්ගේ අතුරුදන්වීමයි. එය ලෝකයේ පුවත් අතර නිරන්තරයෙන් කතාබහට ලක් වූ මාතෘකාවක් විය. ඔවුන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කතා කළ මංගල 'මව් පෙරමුණ'නම් සංවිධානයක් බිහි කිරීමට කටයුතු කෙළේය. ඒ සඳහා එවක ක්‍රියාකාරී දේශපාලන නායකයකු මෙන්ම පසුකාලීනව අග්‍රාමාත්‍යවරයකු, ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂගේ නායකත්වය ඔහුට මහත් පිටිවහලක් විය.
වසර 30කටත් වඩා කාලයක් ශ්‍රී ලංකාවේ සංවර්ධනය මෙන්ම මානව හිතවත්කම් අසුරා දැමූ එක් කඩඉමක් වූයේ වර්ගවාදී යුද්ධයයි. මේ සියලු කටයුතු මැද අසරණභාවයට පත් ද්‍රවිඩ ජාතිකයන් වෙනුවෙන් හඬක් නැඟීමට ඉදිරිපත් වූ සිංහල දේශපාලන නායකයකු වශයෙන් මංගල සමරවීර හැඳින්විය හැකිය. එම අර්බුදයට විසඳුමක් වශයෙන් 'සුදු නෙළුම'ව්‍යාපාරය ගොඩනැඟීම ඔහුගේ එක් කටයුත්තකි. එකී ව්‍යාපාරය ගොඩනැඟීමේ මූලික අරමුණ වූයේ එල්ටීටීඊ සංවිධානය උතුරේ දමිළ ජනතාවගෙන් හුදෙකලා කිරීමයි. එය ඔහුගේ දේශපාලන ජීවිතයේ එක් කඩඉමකි.
තම පාර්ලිමේන්තු ගමන් මඟ තුළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමට මහත් කාර්යභාරයක් ඉටු කරන්නට මංගල සමත් විය. ඒ සමඟ 1994 පිහිටවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රමුඛ රජයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා වශයෙන් තම දේශපාලන ගමනේ පළමු අමාත්‍ය ධුරය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ විදුලි සංදේශ සේවාවන්හි මහත් පෙරළියක් කිරීමට සමත් විය. ඒ හා සමඟම නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට ද මංගල සමත් විය. විශේෂයෙන් කොළඹ නගරය පෙර නොවූ විරූ ලෙස පිළිසකර කරමින් අලංකාරවත් කිරීම සඳහා කටයුතු කිරීම ද සඳහන් කළ හැකිය. 2001-2004 වර්ෂයන් තුළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ මංගල තමා නියෝජනය කළ පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීමත් සමඟ වරාය හා ගුවන් සේවා, මාධ්‍ය අමාත්‍ය ධුරයත් ලබා ගැනීමට සමත් විය. එමෙන්ම 2005 වර්ෂයේදී ඔහු විදේශ අමාත්‍යවරයා වශයෙන් මහත් කාර්යභාරයක් ඉටු කරන්නට සමත් විය. නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධුරය හෙබවූ මංගල සමරවීර තම අමාත්‍ය ධුරය තුළ එතෙක් කිසිදු මුදල් ඇමතිවරයකු නොකළ අයුරින් එහි කටයුතු වෙනස්කම්වලට ලක් කිරීමට ද කටයුතු කළේය.
ශ්‍රිලනිපයෙන් ඉවත්වීම
2007 වර්ෂයේදී ශ්‍රිලනිප (මහජන) පාර්ශ්වය ලෙස පක්ෂය පිහිටුවා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්නකු ලෙස කටයුතු කරන්නට ඔහු ක්‍රියා කළේය. එහි දිගුවක් ලෙසින් 2010 වර්ෂයේදී සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිටුපසද ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. ඉන්පසුව යහපාලන ආණ්ඩුව සමඟ එක්වූ මංගල සමරවීරය 2015-2017 වර්ෂවල විදේශ අමාත්‍ය ධූරය හොබවන්නට සමත් විය.
කෙසේ වෙතත් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී මිය යෑමට පෙර ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාව හැරදා අන් රටවලට යාමෙන් ලංකාවට අත්වූ ඉරණමයි. එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ විවෘත ආර්ථිකයත් සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ප්‍රමුඛව ආයෝජකයන් විශාල ප්‍රමාණයක් පැමිණි බවත් 1983දී සිදු වූ 'කළු ජූලිය'සමඟ ඔවුන් තමන්ගේ ව්‍යාපාර හැරදා සියලු දෙනාම මැලේසියාවට ගොස් ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කළ බවත්ය. 1983දී 'කළු ජූලිය'නොතිබුණේ නම් අදටත් එම ව්‍යාපාරිකයන් ලංකාවේ තම ව්‍යාපාර කටයුතු සිදුකරන බවත් එසේ වූයේ නම් ශ්‍රී ලංකාවේ කටුනායක අද වන විට ඉලෙක්ට්‍රොනික නගරයේ වශයෙන් හැඳින්විය හැකි බවය. ජාතිවාදී ආගම්වාදී කටයුතු නිසා එම අවස්ථාව ලංකාවට මඟ හැරිගිය බව ඔහුගේ මතයයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ මංගල සමරවීර මහත්මා දේශපාලනඥයකු වශයෙන් ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවෙන බව නො අනුමානය.
රජිත බස්නායක