Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඔබ නැතිවිට දරුවාට දැනෙන්නේ මොනවද?

$
0
0
අප්‍රේ 30, 2018 01:00

 

ඔබේ ආදරණීයන් ළඟ නැතිවිට දැනෙන හැඟීම කොතරම් වේදනාබරද? එය ඔබේ දරුවාටත් දැනෙන බව ඔබ සිතුවාද? අම්මා, අප්පච්චී ගෙදර නැති වෙලාවල දරුවා දිවාසුරැකුම් මධ්‍යස්ථානයක, සේවකයෙක් ළඟ හෝ අසල්වැසියෙක් ළඟ රැඳෙන විට, දරුවාගේ ආදරණීයන් වන ඔබ නැතිවීම නිසා ඇතිවන හැඟීම ගැන ඔබ කල්පනා කළාද? දරුවාගේ ආරක්ෂාව තහවුරු වුවත්, දරුවාගේ මානසික ආරක්ෂාව ගැන ඔබ මොහොතක්වත් සිතුවේ නෑ නේද?

ආදරණීය මවුපියන් විදේශගත වීම, රැකියාව සඳහා පිට ප්‍රදේශවල සේවය කිරීමට සිදුවීම නිසා, දරුවන් සමඟ මාපියන්ට සිටීමට ඇති කාලය අහිමි වීමෙන්, දරුවා මානසිකව කඩා වැටේ. ඒ නිසා ඇතිවන තත්ත්වය ගැන මවුපියන් විදිහට ඔබ සිතිය යුතු ය. මෙහි දී සිග්මන් ෆ්‍රොයිඩ් ආදී මනෝ විද්‍යාඥයන් පවසා ඇත්තේ, දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට, මුල් කාලයේ ඔවුන්ගේ චර්යා අවස්ථා හොඳින් සිදුවිය යුතු බව ය. එහි දී මවගේ, පියාගේ ආදරය, අවධානය දරුවා වෙත යොමුවිය යුතු වේ.

මෙය, මාග්‍රට් මීඩ්ගේ සමාජ ගවේෂණ පර්යේෂණයක් වන මුණ්ඩුගුමාර්, ඇරපෙස්ට් ගෝත්‍ර දෙක මුල් කරගෙන කළ පර්යේෂණ මගින් හෙළිදරව් කරගෙන ඇත. එක් ගෝත්‍රයක දරුවන් රණකාමීව, රළු හැසිරීම් ඇතිව සැදිය යුතු නිසා, එම මවුවරු දරුවාට නිසිලෙස මවු කිරි ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර, දරුවා තනිකර දමා, විවිධ වැඩවල නිරත විය. ඔවුන්, දරුවා තනිව වැඩෙන්නට ඉඩ දී ඇත. එහෙත්, අනෙක් ගෝත්‍රයේ දරුවාට අවශ්‍ය නිසි මවු කිරි හා පෝෂණය, ආදරය ලැබිණි. මව දරුවා පිටේ එල්ලාගෙන සිය කටයුතුවල නිරත විය. සෑම මොහොතකම දරුවාගේ අවශ්‍යතා ගැන සොයාබලා, ආදරණීයව රැක බලා ගැණිනි. මේ හේතුවෙන් එම දරුවන් වඩාත් මෘදු හැඟීම් සහිත, කායික, මානසික නිරෝගී දරුවන් බවට පත් විය.

එහෙත්, නූතන සමාජ, ආර්ථික වටාපිටාව සහ තරගකාරී සමාජ සංස්කෘතික රටාවත් සමඟ, මාපියන් පමණක් නොව, දරුවන් ද එයට ගොදුරු වී ඇත. මේ හේතුවෙන් මාපියන්ට තම ආදරණීය දරුවා සමඟ සිටීමට කාලය නැති වී ඇත. විවිධ හේතු කාරණා යෙදී, දරුවාගේ ළමා කාලය සතුටින් ගෙවීමට ඇති කාලය අහිමි කර තිබේ.

නූතන දරුවාට පෙර පාසලේ සිට ඉංග්‍රීසි ඉගැන්වීමට පෙලඹවීම, මාපියන්ගේසමාජ තත්ත්වයට අනුව දරුවා හැඩ ගැස්සවීම නිසා, දරුවන්ට මුල් අවුරුදු 8-10 නැතීවී යයි. මනෝ විද්‍යාඥයන්ට අනුව, දරුවාට දෙවැනි භාෂාවකින් ඉගෙනීමට හුරු කළයුතු වන්නේ අවු.10-12 කාලයේ දී ය. එසේ ම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළ මාපියන්ගෙන් ඈත්ව වැඩෙන දරුවා, යන්ත්‍රයක් මෙන් ක්‍රියා කිරීමට පොලඹවයි. මෙයින් දරුවා ඉගෙනුමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්ත ද, හිතක් නැති පුද්ගලයකු බවට පත් වේ. ගුණධර්ම පිරිහී ඇති සමාජයක් ඇතිවන්නේ මේ මඟිනි. සමාජ සංවර්ධනය ඇති වීමට නම්, බුද්ධිමතුන්ගෙන් මෙන් ම ගුණ දහමින් යුතු පුද්ගලයන්ගෙන් පෝෂණය විය යුතු ය. එහෙත් මේ තත්ත්වය හේතුවෙන් දරුවා නූතන ලෝකය තුළ යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරයි. ඒ, මුල් ළදරු කාලය තුළ මාපියන් ද දරුවාට අවශ්‍ය ආදරය නොදුන් නිසා විය හැකි ය. මේ හේතුවෙන් දරුවා මුරණ්ඩු වේ. කේන්තිකාරයෙක් වීම නිසා, මාපියන් කියන දේ නොඅහන දරුවකු යැයි චෝදනාවට ලක් වේ. ගුරුවරුන්ට මේ චෝදනාව, එල්ල කිරීමට පෙර, තමා අතින් දරුවා එම තත්ත්වයට පත්ව ඇතිද යන්න විමසා බලන්න.

විවිධ හේතු කාරණා නිසා, දරුවා මවුපියන්ගෙන් මානසිකව ඈත් වේ. නිදසුනක් ලෙස, පාසලේ සම වයසේ දරුවන් සමඟ ඉතා හොඳින් කතා කරන ගුරුවරුන්ගේ ඉතා හොඳ සිසුවා, නිවෙස තුළ නිහඬ චරිතයක් වී, මාපියන් කියන දේ එලෙසම කරමින් සිටී. නැතිනම්, නිවෙස තුළ නිහඬ චරිතයක් වී සිටිමින්, මාපියන්ගේ අවවාද නොසලකන, මුරණ්ඩු චරිතයක් බවට පත් වේ. අදහස් හිතේ තෙරපාගෙන ජීවත් වෙයි. මොහොතක් සිතන්න. ඔබේ ආදරණීයයන්ට ඔබ අවශ්‍ය මොහොතේ, ඔබ ඔවුන් සමඟ සිටින්න. දරුවන් තනි කරන්න එපා.

 

ධනුෂ්ක ආරියවංශ
මනෝඋපදේශක හා
මානව හැකියා සංවර්ධන උපදේශක,


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>