- ගොවීන්ට හොඳ මිලක් ලැබෙනවා
- රට පුරා අස්වනු නෙළීම් විසිරිලා
- මෙවර යලට අපේක්ෂා කළ ප්‍රමාණයෙන් 70%ක් පමණ අස්වැන්නක් ලැබේවි
- අපි ඉහළ මිලකට වී මිල දී ගන්නවා
- පාරිභෝගිකයා රැකීමත් අපේ වගකීමක්
මෙවර යල කන්නයේ සාර්ථක අස්වැන්නක පෙරමං ලකුණු පෙනෙන්නට තිබේ. ඇරඹුමේදී දක්නට ලැබුණාට වඩා ඉතා වැඩි වගා බිම් ප්‍රමාණයක් පසුව වගා කෙරුණේ බීජ, ජලය, පොහොර ඇතුළු පහසුකම් ලැබීමෙනි. ඒ අනුව මේ වන විට එම අස්වනු නෙළීම ඇරඹී ඇත. මේ ඒ පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ සභාපති, නීල් ද අල්විස් මහතා සමඟ කළ සාකච්ඡාවකි.
කොහොමද දැන් වී මිලදී ගැනීමේ තත්ත්වය?
සාර්ථකයි. තවම රට පුරා අස්වනු නෙළීම් විසුරුණු තත්ත්වයක් තිබෙන්නේ. වෙනදා එකටම මුළු රටේම අස්වනු නෙළීම් කෙරෙද්දී එම තොග මිලදී ගැනීම් වෙනුවෙන් ඇප කැප වීමට වැඩි කෘෂිකර්ම නිලධාරි ගණනක් යෙදෙවිය යුතු වුවත් දැන් එසේ නොවෙයි. එය සීමිත කෘෂිකර්ම නිලධාරින් යොදවමින් නොපමාව වී මිලදී ගැනීමේ අපගේ කාර්යභාර්යයේදී පහසුවක් වෙනවා.
අස්වනු නෙළීම් කෙරෙන ප්‍රදේශ අනුව ඒ ඒ නිලධාරීන් සේවයේ යොදවමින් අපි ඉහළ මිලකට වී මිල දී ගැනීම් කරනවා. මෙවර යල ට අපේක්ෂා කළ ප්‍රමාණයෙන් 70%ක් පමණ අස්වැන්නක් ලබනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.
ඒ වුණත් රජයේ සහතික මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවකුයි ගොවීන්ගෙන් ඇසෙන්නේ?
ජනමාධ්‍ය හරහා එවැනි කතා අසන්නට ලැබෙනවා. ඒ වුණත් මෙවරත් ගොවි සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව සහභාගි කරවාගෙනමයි රජය සහතික මිලක් තීරණය කළේ. එවිට අදහස් උදහස් සියල්ල සලකා බලා, ගොවීන්ට වී කිලෝවකින් රුපියල් 37.50ක පමණ ආදායමක් ලැබෙන විදියටයි වී මිල තීරණය කළේ.
අනෙක, වී මිලදී ගැනීමට අදාළ බැනර් වී අලෙවි මණ්ඩලය ප්‍රදර්ශනය කළ වහාම පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක වීමෙන් වී මිල ඉහළ නැංවෙන බව ගොවීන් හොඳින්ම දන්නා කරුණක්. ඒ අනුව හොඳ මිලක් ගොවීන්ට ලැබෙමින් තිබෙනවා. අනෙක, මේ වන විට ගොවීන් අලෙවිය සඳහාමයි වගා කරන්නේ. රුපියල් හතළිස් ගණන්වල පැවැති වී කිලෝවක මිල රජයෙන් කෙටි කලක් තුළ ඉතා ඉහළ අගයකට ගෙනැවිත් තිබෙනවා.
එසේ නම් ගොවීන් දැන් මැසිවිලි නඟන්නේ ඇයි? අස්වනු නෙළීමේ කාර්යයේදී වියහියදම් වැඩි වුණේම නැද්ද?
ප්‍රවාහන වියදම්, ඛනිජ තෙල් මිල ඉහළ යෑම් ආදියේ බලපෑම් නැතිව නෙවෙයි. එහෙත් ඒ පිළිබඳත් කලින් සියලු පාර්ශ්ව සමඟ කතාබහ කිරීමෙන් එම ගණන් ද ගැලපීමෙන් පසුවයි මෙවර සහතික මිල නියම කළේ. අනෙක, ආදායම කෙතරම් තිබුණත් මඳි කියන හැඟීම පොදුවේ මිනිසුන් කාටත් ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් රජයේ වගකිවයුතු ආයතනයක් විදියට අපිට එක පැත්තක් විතරක් බලන්න පුළුවන්කමක් නැහැ. පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක්. ඒ වෙනුවෙන් අපි කිසිසේත් පසුබට වෙන්නේ නෑ.
ඒ වුණත් රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇරඹුමේදීම හබක් වුණා කියලයි සමහරු කිව්වේ?
මං කලින් කිව්ව විදියට තවම රට පුරා අස්වනු නෙළීම් විසුරුණු තත්ත්වයක් තිබෙන්නේ. අස්වනු නෙළීමට අනුවයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉකුත් 18 වැනිදා වන විට අඩු ප්‍රදේශ ගණනකයි අස්වනු නෙළීම් කෙරුණේ.
අපිත් එවකට විවෘත කර තිබුණේ ගබඩා 53ක් පමණයි. එහෙත් ඊට දින 10කට පසුව 95ක් දක්වා එම ගණන වැඩි කර තිබුණා. ඒ කාල වකවානුවේදී පමණක් වී මෙට්‍රික්ටොන් 5465ක් වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිල දී ගෙන තිබුණා. ඒ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. රට පුරා දිස්ත්‍රික් 19ක ගබඩා 367ක් වී අලෙවි මණ්ඩලය සතුයි. තවත් අතිරික්ත ගබඩා පහසුකම් ප්‍රාදේශීය ලේකම්වරු හරහා වෙන් කරවා ගැනීමටත් අපට පුළුවනි. අපහසුවකින් තොරව මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් ගබඩා කළ හැකි තරමට අපට ඉඩකඩ පවතිනවා.
කොතරම් මුදලක් මෙවර රජයේ වී මිලදී ගැනීම්වලට වෙන් කෙරෙනවා ද?
රුපියල් මිලියන 2000ක්. රාජ්‍ය බැංකුවක් මඟින් ඒ වෙනුවෙන් දැනට මූලික වශයෙන් එම මුදල් වෙන් කර තිබෙනවා. ඒ අනුව ගොවීන්ට කල් නොයවා අතට මුදල් ලැබෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. කුඩා ගොවි කණ්ඩායම් අස්වනු ඒකරාශි කර අපට දැනුම් දුන් විටත් ඒ තැනටම ගොස් අස්වනු මිල දී ගැනීමටත් කටයුතු යොදා තිබෙනවා. එසේම, ගොවීන් ළඟම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට වී තොග ගෙනැවිත් දීමට උනන්දුවෙන් කටයුතු කරන බවත් පෙනෙනවා.
ගොවියා ප්‍රවාහන වියදම් දරාගෙන වී තොග ගෙනැවිත් දීම වෙනුවෙන් කලින් කළ ගෙවීම මෙවර කපා හැරියා ද?
කොහෙත්ම නෑ. මං කලින්ම කිව්වානේ අපි එක්රැස් වී, ගොවි සංවිධාන, රාජ්‍ය නිලධාරින් ඇතුළු විවිධ පාර්ශ්වවලින් සැදුම්ලත් කමිටුවකින් වී මිල පිළිබඳ තීරණය කළ වග, එවිට ප්‍රවාහන වියදමත් ඇතුළත් කිරීමෙන් පසුවයි අපි වී මිල පිළිබඳ තීරණයට එළැඹුණේ. ඒ ඇතුළු ගොවින් වගා පාළුවීම් ආදී ව්‍යසනවලදී අගතියකට පත් නොවන ආකාරයේ විධිමත් වැඩපිළිවෙළක් රජය නිරතුරුව ක්‍රියාත්මක කරනවා.
ඒ කෙසේ වුවත් උද්ධමනය යටතේ ඉදිරියේදී සහල් මිලත් ඉහළ යන වගටයි සමහරු අනතුරු අඟවන්නේ?
ඊට ඉඩක් නැහැ. වෙළෙන්දන්ට හිතුමතේ මිල ඉහළ නැංවීමට රජය ඉඩ තබා නැහැ. මෙවර වී මෙට්‍රික්ටොන් 30,000ක් පමණ ආරක්ෂිත තොග වශයෙන් තබා ගෙන තිබෙනවා. කිසිවකු හිතාමතා තොග සැඟවීමක් හෝ ඒ හරහා මිල ඉහළ යැවීමකට උත්සාහ දැරුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ මඟපෙන්වීම අනුව වී අලෙවි මණ්ඩලයත් සූදානමින් සිටිනවා.
ජනතාවට මින් පෙර පැවැති කටකතා අමතක නැතිව ඇති. ඒ කිව්ව විදියට සහල් කිලෝව තුන්හාර සියයක් දක්වා මිල වැඩිවීමට කෘෂිකර්ම අමාත්‍යංශය ඉඩ තැබුවේ නැහැ. ඒ නිසා මෙවරත් ඒ රාජ්‍ය වගකීම අකුරටම ඉටු කිරීමට අප කටයුතු කරනවා.
ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරමුද?
ටික කලෙකට පෙර PMB RICE වෙළෙඳ නාමයෙන් යුතුව ඉස්තරම් තත්ත්වයේ නැවුම් සහල් සහන මිලට වෙළෙඳපොළට නිකුත් කෙරුණා. කලක් නැවතී තිබුණු එම වැඩපිළිවෙළ කෘෂිකර්ම ඇමැතිවරයාගේ උපදෙස් අනුව මෙවර නැවත ක්‍රියාවට නංවා තිබෙනවා. 5Kg, 10Kg ආදී වශයෙන් ආකර්ෂණීය ඇසුරුමකින් රාජ්‍ය වගකීම යටතේ අපි අලුත්ම, නොකැඩුණු සහල් වෙළෙඳපොළට නිකුත් කරනවා.
සතොස, සමුපකාර මෙන්ම වෙනත් සුපිරි වෙළෙඳසල් හරහාත් ජනතාවට ඒවා ලැබෙනවා. හදබිම අධිකාරිය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන යටතේ රාජ්‍ය සේවකයන් ඇතුළු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්යබහුල ජනතාවට රාජකාරි නිම වී නිවෙසට යන ගමන් රාජ්‍ය අංශයේ වෙනත් නිෂ්පාදන සමඟ PMB RICE මිල දී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
අපි දැන් යොමු වන්නේ වී මෝල් හිමියන් දෙසටයි?
වී අලෙවි මණ්ඩලයට පැවරෙන රාජ්‍ය වගකීම යටතේ විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් රැක ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ අනුව අප මිල දී ගන්නා වී තොග සහල් බවට පත් කරන්න 400ක් පමණ වන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට දෙනවා. එම තොග අපි ඒ අයගෙන් ඉහළ මිලකට නැවත ගන්නවා. එයින් එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙනවා. රට පුරා සිටින මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළකුත් දැන් ක්‍රියාත්මකයි.
ඉදිරි මහ කන්නය වෙනුවෙන් කල්තබා සූදානම් විය යුතු වගත් විද්වතුන් පෙන්වා දෙනවා?
ඔව්. කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වද්දමින් ඒ මෙහෙවරට ගොවීන් සූදානම් වන බවත් පෙනෙනවා. පොහොර සහනාධාර, කාබනික පොහොර සහ සෙසු පහසුකම් සපයමින් රජය ඊට ඇප කැප වී සිටිනවා.
ඡායාරූපය - මාලන් කරුණාරත්න