Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හිරු නොබසින රාජ්‍යයෙන් සදහටම බැස ගිය මහ රැජන

$
0
0
සැප් 10, 2022 01:00

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරීටය හෙබවූ දෙවැනි එළිසබෙත් රැජන පසුගිය බ්‍රහස්පතින්දා ස්කොට්ලන්තයේ බැල්මොරල්හිදී මිය ගියාය. 96 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජන අභාවයට පත් වන විට, ඇය යටතේ අගමැතිවරුන් පහළොස් දෙනකු දිවුරුම් දී තිබුණි.

එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් උපත ලැබුවේ ලන්ඩනයේ මෙෆෙයාහි බෲවන් මාවතේ අංක 17 දරන ස්ථානයේදීය. ඒ, 1926 අප්‍රේල් මස 26 වැනිදාය. ඒ, V වැනි ජෝර්ජ් රජුගේ පාලන සමයේදීය. ඇයගේ පියා ජෝර්ජ් රජුගේ පුත්‍රයෙක් ලෙස පිළිගැනීමට ලක් වූයේය. වර්තමානය වන විට ඇය රැජනක් ලෙසින් නම් කළද, ඇය උපත ලැබුවේ මාලිගාවක හෝ ධන කුවේරයකුට හෝ අයත් විසල් වතු යායක පිහිටි මන්දිරයක නොවේ. ඇය, ලන්ඩනයේ ජනාකීර්ණ වීදියක පිහිටි සාමාන්‍ය තට්ටු නිවෙසකදී සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටුවාය. විශේෂත්වය වූයේ ඇයගේ මාපියන් මේ නිවෙසට පැමිණ තිබුණේ ඇය ඉපදීමට සති කිහිපයකට පෙරදී වීමය. රාජකීය පවුලක් වුවද එකල මූල්‍යමය සාධකය බොහෝ දෙනා අතර සුලභ නොවූ කාල වකවානුවක් විය. මෙලෙස ඇය උපත ලැබුවද, උපතේ සිට ලියැවී තිබුණේ සාමාන්‍ය කුමරියක ලෙස ජීවත්වනු ඇතැයි යන්නය. එයට හේතු වූයේ, V වැනි ජෝර්ජ් රජුගේ දෙවැනි දියණියට කිසිදු දිනක රජකම ලැබෙනු ඇතැයි කිසිවකු විශ්වාස නොකළ හෙයිනි.

උසස් අධ්‍යාපන කටයුතු

දෙවැනි එළිසබෙත් කුමරියගේ එකම සොයුරිය වූ මාග්‍රට් කුමරිය උපත ලැබුවේ 1930 වසරේදීය. ඔවුන් දෙදෙනාම තම නිවෙසේදී අධ්‍යාපනය ලැබීම විශේෂත්වය විය. අන් අයට නොලැබෙන සියලු සැප සම්පත්වලට හිමිකම් ලද කුමරිය, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අසීමිත ලෙස ප්‍රියතාවක් දැක්වූවාය. අධ්‍යාපනය ලබන අවධියේදී ඉතිහාසය, භාෂාව හා සාහිත්‍යය, සංගීතය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළාය. මේ අතර කාලවකවානුවේදී V ජෝර්ජ් රජු මිය යෑමෙන් පසු ‘VI ජෝර්ජ්’ ලෙස රාජකීය නාමය ලැබීමට, දෙවැනි එළිසබෙත් කුමරියගේ පියාට හැකි විය. ඒ සමඟම එළිසබෙත් කුමරියට සහෝදරයකු නොසිටි හෙයින්, තම පියාගෙන් පසු රජකම ලබා ගැනීමේ වරප්‍රසාදය ඇයට නිරායාසයෙන්ම ලැබිණි. කුමරිය තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රවේශ වූයේ, ඊටන් විද්‍යාලයෙන් පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුවය. ඒ සමයේදීම ඇය ප්‍රංශ භාෂාව ඉගෙනීමටද සමත්කම් දැක්වූවාය. ඒ අතරම ඇය කුඩා කල සිට ප්‍රියතාවක් දැක්වූ තවත් කොට්ඨාසයක් වූයේ, අශ්වයන් සහ සුනඛයන්ය.

දෙවැනි ලෝක යුද සමයේ මතක

1939 සැප්තැම්බර් මස පළමු ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ බ්‍රිතාන්‍යයද එයට අවතීර්ණ වීමෙන් පසු, ලන්ඩනයට ගුවන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති විය. මේ නිසා එළිසබෙත් කුමරිය සහ මාග්‍රට් කුමරිය ලන්ඩනයෙන් පිටමං කර කැනඩාවට යැවිය යුතු යැයි යෝජනා විය. එහෙත් එළිසබෙත් කුමරියගේ මවගේ දැඩි විරෝධතාව මත එය ප්‍රතික්ෂේප වූයේ, තමා නොමැතිව දරුවන් කිසිවෙකුත් රටින් පිට නොවන බවත්, ඇයද තම ස්වාමියා නොමැතිව ලන්ඩනයෙන් පිට නොවන බවත් පැවසීමෙනි. මේ නිසා දෙවැනි ලෝක යුද සමයේදී ඔවුන් තිදෙනාටම රැඳී සිටීමට සිදුවූයේ ස්කොට්ලන්තය බැල්මොරල් මාලිගාවේය. මේ අතර එළිසබෙත් කුමරිය ප්‍රථම වරට BBC ගුවන්විදුලි සේවය ඔස්සේ 14 හැවිරිදි වියේ සිටියදී ප්‍රථම වරට ගුවන්විදුලියෙන් ප්‍රකාශයක් කිරීමට සමත් වූවාය. ඒ, 1940 වසරේ දිනෙක BBC ගුවන්විදුලි සේවය ඔස්සේ ප්‍රචාරය වූ BBC children hour ඔස්සේය. යුද්ධය පැවැති කාල සමයේදීම වයස අවුරුදු 18 පමණ වන විට ඇය රියැදුරු සහ කාර්මික ශිල්පය පිළිබඳ පුහුණුව ලබා ගත්තාය. ඉන් මාස කිහිපයකට පසුව කනිෂ්ඨ නිලධාරිවරියක ලෙසද පත් වූවාය.

පිලිප් කුමරු හමුවීම

ඇයගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරු මුල් වරට ඇයට හමු වූයේ, ඇය වයස අවුරුදු අටක සිඟිත්තියකව සිටියදීය. ඒ 1934 වර්ෂයේදීය. දෙවැනි වරට ඇයට ඔහු හමුව තිබුණේ 1937 වසරේදීය. යළිත් 1939 වසරේදී ඇයට පිලිප් කුමරු හමු වන විට ඇය දහතුන් හැවිරිදි වියේ පසු විය. පසු කාලීනව ඇය පවසා ඇති පරිද්දෙන් ඒ සමය වන විට ඇය ඔහු සමඟ ආදරයෙන් බැඳී තිබුණි. වයස අවුරුදු 18 පමණ වන විට ඔහු සමඟ පෙම් හසුන් පවා හුවමාරු කරගත් බව ඇය පවසා තිබුණාය. එම ප්‍රේම පලහිලව්වත් සමඟින් 1947 ජුලි 9 වැනිදා ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. විවාහ වන විට ඇයගේ වයස අවුරුදු 21කි. මේ සමය වන විට යුද කටයුතු හේතුවෙන් බ්‍රිතාන්‍යය යථා තත්ත්වයට පත්ව නොතිබුණි. එබැවින් ඇයගේ මඟුල් ඇඳුම් සකසා ගැනීම සඳහා අමුද්‍රව්‍ය මිල දී ගැනීමට සලාක කූපන් පත් පවා අවැසි විය. කෙසේ වෙතත් විවාහ උත්සවයේදී ලොව පුරා ඔවුන්ගේ හිතවතුන් මෙන්ම රාජ­්‍යතාන්ත්‍රික මට්ටමින් ත්‍යාග 2500ක් පමණ ලැබී තිබුණි.

වර්තමානයේ බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු දැරීමට වරම් හිමි වූ චාල්ස් කුමරු උපත ලැබුවේ 1947 වසරේදීය. ඔහු ඉපදීමට පෙර සිටම රජු විසින් ඔවුනට බලපත්‍රයක් ලබා දී තිබුණේ, පුතකු හෝ දියණියක උපත ලැබුවොත් රාජ කුමරකු හෝ කුමරියක ලෙස හෝ හැඳින්විය හැකි පරිද්දෙන් ඔවුන්ගේ නම් භාවිත කළ හැකි බවය. ඒ නිසා එතැන් සිට චාල්ස් කුමරු හැඳින්වූයේ රාජ කුමරකු වශයෙනි. දෙවැනි එළිසබෙත් කුමරියගේ දියණිය වූ ඈන් කුමරිය උපත ලැබුවේ 1950 වර්ෂයේදීය.

පනහ දසකය ආරම්භ වන විට දෙවැනි එළිසබෙත් කුමරියගේ පියා වන VI ජෝර්ජ් රජු අසනීප විය. ඔහු නියෝජනය කිරීම පිණිස ඇයට නොයෙකුත් ප්‍රධාන උත්සවවලට පෙනී සිටීමට සිදු විය. මේ නිසාම ඇයට විවිධ රටවලට පවා සංචාරය කරන්න සිදු විය. VI ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය එංගලන්තයේ නව රැජන ලෙසින් කිරුළු දරන්න විය. ඇයට ඒ බව සැළ වූයේ කෙන්යාවේ නිවාඩු නිකේතනයක සිටින විටදීය. රජුගේ අභාවය සමඟ වගකීම් රාශියක් තම හිස මත රැඳි කාන්තාවක බවට පත් වන්නට ඇයට සිදු විය. නව රැජන ලෙසින් ඇයගේ නම ප්‍රකාශයට පත් වීමත් සමඟ, ‘දෙවැනි එළිසබෙත් රැජන’ ලෙසින් හැඳින් විය. ඇය, තම දේශ සීමාවෙන් එපිට පිහිටි යටත්විජිතවල රාජ්‍ය නායිකාව වූවාය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගණනාවකද මූලිකත්වයට පත් වූවාය. එක්සත් රාජධානියට අමතරව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, පැපුවානිව්ගිනියාව, සොලමන් දූපත්, බාබඩෝස්, ජැමෙයිකා, ශාන්ත ලුසියා යන රටවලද රැජන ලෙසින් ඇය කටයුතු කරන්න වූවාය. එම නිසා සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුරට පත් කෙරුවේ ඇයගේ නියෝජිතයකු වීමද විශේෂත්වයකි. සිය ජීවිත කාලය පුරාම පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වෙනුවෙන් පෙනී සිටි ඇය, වරක් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය ඉවත දැමූ විට ඒ සම්බන්ධයෙන් මහත් සතුටට පත්ව, 1995 වර්ෂයේදී එහි සංචාරයකද නිරත වූවාය.

විවේචන

ලොව කවර දිශාවක සිටියද, ඕනෑම අයෙකුට කුමන හෝ හේතුවක් මූලික කර ගනිමින්, චෝදනා එල්ල වීම සාමාන්‍ය දෙයකි. රැජනටද එය පොදු කාරණාවක් විය. 1997 වසරේදී ඩයනා කුමරිය හදිසි අනතුරකින් මිය යෑමත් සමඟ දෙවැනි එළිසබෙත් රැජනට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල විය. එයට හේතු වූයේ, ජනතාව ලන්ඩනය පුරාම පුෂ්පෝපහාර සහ ඉටිපන්දම් මඟින් බකිංහැම් මාලිගය වටා සිටිමින් ඩයනා කුමරිය සමරද්දී, ඇය මේ සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොදැක්වීමය. කෙසේ වෙතත් අවසානයේ ඩයනාට උපහාර කිරීමක් වශයෙන්, මිය ගිය ඩයනා කුමරියට ගෞරවය පුද කරමින් ඇය රූපවාහිනී සජීවී විකාශයකට සම්බන්ධ වූවාය. මේ අනතුරත් සමඟ කිරුළ පිළිබඳ ගැටලුවක් මතු වෙමින් පැවතිණි. මේ අතර කාලයේදී රැජන සහ පිලිප් කුමරුගේ 60 වැනි විවාහ සැමරුමද සමරන්නට විය.

වැඩිම කාලයක් කිරීටයේ

බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසය තුළ වැඩිම කලක් රාජකීයත්වයේ සිටින්නිය ලෙස දෙවැනි එළිසබෙත් රැජන 2015 සැප්තැම්බර් 9 වැනිදා පත් වූයේ, තම මී මිත්තණිය වූ වික්ටෝරියා රැජන අභිභවා යමිනි. ඉන් වසරකට පසු ඇය තවත් එක් කඩඉමකට පැමිණියේ, සිය 90 වැනි උපන්දිනය සමරමිනි. කාලය කවරාකාරයෙන් ගලා ගියද, බ්‍රිතාන්‍ය රජ පවුලට තිබූ සෙනෙහස මහ ජනතාවගෙන් ඒ ආකාරයෙන්ම ලැබිණි. සිය රිදී ජුබිලිය සමරන මොහොතේදී ඇය ඉන් වසර 30කට පමණ ඉහත කළ කතාවක් යළි සිහිපත් කරන්න සමත් විය.

ඇයට වයස විසි එකේදී ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කළ බවත්, එය යහපත් ආකාරයෙන් අවසන් කර දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවත් ඇය එහිදී ප්‍රකාශ කළාය. ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, මෙය ඇය තරුණ වියේදී දෙවියන් වහන්සේගෙන් ඉල්ලූ පොරොන්දුවක් වුවත්, එම පොරොන්දුවේ එක වචනයක් සම්බන්ධයෙන් හෝ තමා මේ මොහොතේ කනගාටු නොවන බවය.

රැජන අසනීප වෙයි

රැජනගේ වයසත් සමඟ කෙමෙන් කාලය ගෙවී යද්දී, ඇයගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයද තරමක් අඩපණ වන්නට විය. පසු ගිය ජූලි මාසයේදී ඇය අසනීප තත්ත්වයට පත් විය. ඇය කොවිඩ් වයිරසයේ බලපෑමටද ලක් වූවාය. රෝගීව සිටින අවස්ථාවේ ඇය පිළිබඳ නිවේදන නිකුත් කළේ බකිංහැම් මාලිගාවේ සිටිමින්ය. පසු ගිය කාලය පුරා එහි සිට නිවේදන නිකුත් වූයේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පවසමිනි. එංගලන්තයේ පත්වූ නව අගමැතිනියද පසුගිය 6 වැනිදා රැජන ඉදිරියේ දිවුරුම් දුන්නාය. එදින පවා දෙවැනි එළිසබෙත් රැජන යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටිමින් ඡායාරූපවලට පවා පෙනී සිටියාය.

බකිංහැම් මාලිගයේ අවසාන නිවේදනය

දෙවැනි එළිසබෙත් රැජනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් හෙයින් බැල්මොරල් මාලිගාව වෙත රැජනගේ සියලු ඥාති හිතමිත්‍රාදීහු පැමිණ සිටියහ. ඇය ජුලි මාසයේ සිට ස්කොට්ලන්තයේ පදිංචිව සිටියේ ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙනි. රැජනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් හෙයින් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තැබීමට ඔවුන් උත්සුක විය. මෙතෙක් දිනක් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බකිංහැම් මාලිගයෙන් ප්‍රකාශයට පත් කළද, අවසානයේදී ඔවුනට සිදු වූයේ එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරීටය හෙබවූ දෙවැනි එළිසබෙත් රැජනගේ අභාවය ප්‍රකාශයට පත් කිරීමටය. ඒ අනුව දෙවැනි එළිසබෙත් රැජන සම්බන්ධයෙන් අවසාන නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබුණි. ඒ, 'රැජන අද පස්වරුවේ බැල්මොරල්හිදී සාමකාමීව අභාවප්‍රාප්ත වූවාය’ යනුවෙනි.

රජිත බස්නායක


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>