හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ පළන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන පෙරේදා (08) අභාවප්‍රාප්ත වූවාය. ඇබර්ර්න්හි ස්කොට්ලන්ත වතුයායේ පිහිටි බල්මොරල් මාළිගයේ දී ඇය අභාවප්‍රාප්ත වූ බවට බකිංහැම් මාළිගය නිවේදනය කර තිබේ. 70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජන අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියෙහි පසුවූ අතර, රෝගාතුරව සිටි දෙවැනි එළිසබෙත් රැජනගේ අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලුම සාමාජිකයන් ඈ වටා රැස්ව සිටීම ද විශේෂත්වයක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලය බිහිවීම කෙරෙහි වැදගත් කාර්යභාරයක් දෙවැනි එළිසබෙත් මහ රැජන අතින් ඉටුවිය. මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු රජුගේ වැඩිමහල් දියණිය වූ දෙවැනි එළිසබෙත් රැජනට බ්‍රිතාන්‍ය කිරීටයේ රාජ්‍යත්වය හිමි විය. ඇය ලොව රටවල් බොහෝ ප්‍රමාණයක සංචාරය කර තිබෙන අතර, ඒ අතරින් රැජනගේ ලංකා සංචාරය අපට ඉතා වැදගත්ය. එය ලක් ඉතිහාසය වර්ණවත් වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
වර්ෂ 1954 අප්‍රේල් 10 වැනිදා දෙවැනි එළිසබෙත් රැජන ප්‍රථම වරට ලංකා පොළොවේ පය තැබුව ද වසර 1952 ජනවාරි මස ඇය ලංකා සංචාරයක් සඳහා පිටත්වූවාය. එහෙත් තම පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ හදිසි අභාවය හේතුවෙන් ලංකා සංචාරය අවලංගු කර නැවත සිය රට බලා පිටත්වීමට ඇයට සිදුවිය.
ඉන්පසු එළිසබෙත් මහ රැජන 1954 අප්‍රේල් 10 වැනිදා ලංකාවට පැමිණ අප්‍රේල් 21 වැනිදා දක්වා ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කරමින් විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගි වෙමින් කාලය ගත කළාය. එදා ලංකාවට පැමිණි රැජන ඉතා ගෞරවයෙන් කොළඹ දී පිළිගන්නා ලදී. ඇය සංචාරයේ යෙදුණේ තනිව නොව ඇගේ සැමියා වන එඩින්බරෝ ආදිපාදතුමා ද සමඟ ‘ගොතික්’ නම් නෞකාවෙනි.
අප්‍රේල් 11 වැනිදා රාජකීය යුවළ වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී සුවිශේෂී පිළිගැනීමේ උත්සවයක් එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා විසින් පවත්වා තිබිණි.
එම විශේෂ උත්සවය රාත්‍රීයේ දී පවත්වා ඇති අතර, එදින දහවල් කාලයේ දී රාජකීය යුවළ “විජය” නෞකාව නැරඹීය. රැජනගේ 28 වැනි උපන් දිනය ඇය සැමරුවේ ලංකා මාතාවගේ සෙවණේය. එය ද ඉතා සුවිශේෂී සිදුවීමකි. සංචාරය අතරතුර කාලයේ දී යෙදී තිබුණු මහ සිකුරාදා දිනයේ ඇය නුවරඑළියේ “හෝලි ට්රිනිට්” දේවස්ථානයේ දී ආගමික කටයුතුවල නිරත වෙමින් විශේෂ දේව මෙහෙයකට ද සහභාගි වූවාය.
මේ රාජකීය සංචාරයේ වැදගත්ම සිදුවීම යෙදී තිබුණේ අප්‍රේල් මස 12 වැනි දිනදීය. නිදහස් ලංකාවේ තුන්වැනි වාරයේ දෙවැනි පාර්ලිමේන්තුව විවෘත කිරීම ද එදිනට නියමිතව තිබූ අතර, එය නිදහස් චතුරස්‍රයේ දී සිදුවිය. ඉතා අලංකාරවත් ලෙස නිදහස් චතුරස්‍රය වෙත පිවිසෙන මාර්ගය සරසා තිබුණි. ජාතික ගීයෙන් සහ මඟුල් බෙර වාදනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සැසිවාරය විවෘත කරන ලද්දේ දෙවැනි එළිසබෙත් රැජන විසිනි. එහිදී ඇය රජයේ ඉදිරි වැඩසටහන පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව රජය වෙනුවෙන් ස්තූති කතාව පැවැත්වීම සභානායක, ආහාර හා කෘෂිකර්ම ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් කර තිබෙන අතර, ස්තූති කතාව සිංහල භාෂාවෙන් පැවැත්වීම ද සුවිශේෂී සිද්ධියක් විය. එය සැබවින්ම අංග සම්පූර්ණ කතාවක් විය. ඇය මෙසේ පාර්ලිමේන්තුවේ ස්තූති කතාව ඇසීමට රැඳී සිටීම ද විශේෂ සිද්ධියක් විය. අප්‍රේල් 14 වැනිදා උඩවැඩියා මල් ප්‍රදර්ශනයක් නැරඹීමට ගිය රාජකීය යුවළ ලංකා කලා මණ්ඩලය රීගල් සිනමාහලේ ඉදිරිපත් කළ නැටුම් සංදර්ශනයක් ද නැරඹුවෝ ය.
අප්‍රේල් 15 වැනිදා ලංකාවේ විශේෂ දුම්රියකින් රැජන පොළොන්නරු සංචාරයකට එක්වූවාය. එහිදී පොළොන්නරුවේ ගල් විහාරය, පරාක්‍රමබාහු රජ මාලිගාව, පරාක්‍රම සමුද්‍රය සහ සරස්වතී මණ්ඩපය ඇගේ අවධානයට යොමු වී ඇත. ඉන් පසු රැජන සීගිරිය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා ඇයට එහි වැදගත්කම පැහැදිලි කර දී ඇත. සවස මාතලේ සංචාරයෙන් පසුව ඇය දුම්රියෙන් නුවරඑළිය බලා පිටත් වූවාය.
අප්‍රේල් 19 වැනිදා රැජන ප්‍රමුඛ රාජකීයයෝ දළදා වහන්සේ නැරඹීම සඳහා මහනුවර දළදා මන්දිරය වෙත පැමිණියහ. එහිදී රැජන තම පාවහන් ගලවා ධාතු මන්දිරයට ඇතුළු වී ඉමහත් භක්තියකින් යුතුව දළදා වහන්සේ නැරඹුවාය. එදින රාත්‍රියේ දී පත්තිරිප්පුවේ සිට රැජන පෙරහර ද නැරඹුවාය. අප්‍රේල් 20 වැනිදා පේරාදෙණිය මල්වත්තට ගිය රැජන එහි සිරි නරඹා සමරු වෘක්ෂයක් ද රෝපණය කළාය. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී එදිනම දුම්රියෙන් කොළඹ බලා පිටත්වූවාය.
අප්‍රේල් 21 වැනිදා රැජනගේ විසිඅටවැනි උපන් දිනය යෙදී තිබීම සුවිශේෂී මතක සටහනක් විය. තවද එදිනම රැජන විසින් අගමැති කොතලාවල මහතා ප්‍රිවිකවුන්සල සහිත ධුරයකට පත් කිරීමෙන් අගමැති කොතලාවල මහතාට ගෞරවය පුද කළාය. කොළඹ නැව් ජැටිය ‘රැජන ජැටිය’ නමින් නම් කරන ලද්දේ ද එදිනමය. මෙදින ශ්‍රී ලංකාවට විශේෂත්වයක් ගෙන දෙන නිවේදනයක් දෙවැනි එළිසබෙත් රැජන විසින් ප්‍රකාශයට පත්කරන ලදී. එනම් මෙතෙක් ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ විස්කවුන්ට් සෝල්බරි සාමි මහතාගේ නිල කාලය අවසන් වන බැවින් 1954 ජූලි මස 17 වැනි දින සිට නව අග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් ඔලිවර් අර්නස්ට් ගුණතිලක මහතා පත්කරන ලද බවයි.
නිදහසින් පසුව ප්‍රථම සිංහල අග්‍රාණ්ඩුකාරවරයාගේ පත්වීම ද මෙසේ සිදුවීම විශේෂත්වයකි. එළිසබෙත් මහ රැජන දෙවැනි වරට ලංකාවට පැමිණියේ වික්ටෝරියා ව්‍යාපාරය විවෘත කිරීම සඳහා වර්ෂ 1981 දී ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදීය. එයින් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයාව සිටියදී 2013 වසරේ නොවැම්බර් මාසයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මහ රැජන සහභාගිවීමට නියමිතව සිටිය ද ඒ අවස්ථාව වන විට ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ඇය නියෝජනය කරමින් චාල්ස් කුමරු ශ්‍රී ලංකාවට පැමිණියේය.
ලෝකයේම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද සිය සංවේගය පළකර සිටී.
සටහන - මහින්ද අලුත්ගෙදර