Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ලොවක් ආදරය කළ මහ රැජන

$
0
0
සැප් 10, 2022 01:00

අවුරුදු 70කුත්, දින 214ක කාලයක් පුරා මහා බ්‍රිතාන්‍යයේ කිරීටය දැරූ දෙවැනි එලිසබෙත් රැජන මෙලොවින් නික්ම ගියාය. ‘මහ රැජන’ කී පමණින් මුලු ලොවම හඳුනන මෘදු හදවතක් ඇති මේ මිත්තණිය මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව රටවල් පනස් ගණනාවක් නියෝජනය වන පොදු රාජ්‍ය මණ්ඩලයේත් නායිකාව ද වූවාය. තරුණ හදවත්වල ආකර්ශනීය චරිත බවට පත්වී ඇති කේම්බ්‍රිජ් හී ආදිපාද යුවළ විලියම් කුමරු සහ කේට් කුමරියගේත්, දඟකාර හැරී කුමරුගේ සහ මේගන් කුමරියගෙත්, තවත් කුමර කුමරියන් රැසකගේ මිත්තණිය ලෙසත් ආදරයට පාත්‍ර වී සිටි ඇය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේත්, ඇන්ඩෘ, ඈන් සහ එඩ්වඩ්ගේත් දයාබර මෑණියෝ ය.

එමෙන්ම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර කඳුළක් ඉතිරි කොට සැඟවී ගිය ඩයනා කුමරියගේ නැන්දම්මාය. මේ සියල්ලට වඩා ඇය 13 හැවිරිදි වියෙහි පසුවෙද්දිම සිත සොරාගත් එඩින්බරෝහී ආදිපාද පිලිප් කුමරුගේ සෙනෙහෙවන්ත බිරිය වූවාය.

සයවැනි ජෝර්ජ් රජ්ජුරුවන් හා එලිසබෙත් මවු රැජනගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමල් දියණිය ලෙස 1926 දී උපන් මේ සුදු කුමරිය එකළ රාජකීය පවුලේ පැවැති සිරිතට අනුව අධ්‍යාපනය ලැබුවේ නිවසේදීමය. එහෙත් අධ්‍යාපනය අතින් කිසිදු අඩුපාඩුවක් නොදැක්වූ ඇය සිය පිය රජුගේ ඇවෑමෙන් මහා බ්‍රිතාන්‍යයේ කිරීටයට හිමිකම් කීවාය. එවකට සිහසුන දරූ ඇගේ සීයා වන පස්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රජකමට පත්වීමට නියමිතව සිටියේ එලිසබෙත් කුමරියගේ මහප්පා වූ වේල්සයේ කුමාරයා හෙවත් එඩ්වඩ් කුමරු ය. ඉන් අනතුරුව ඇගේ පියා වන ඇල්බට් කුමරුත්, ඊටත් පසුව එලිසබෙත් කුමරියත් රජකමට පෝලිමේ සිටියහ. අනතුරුව ඇගේ සීයාගේ අභාවයත් සමඟ එඩ්වඩ් කුමරු සිහසුනට පත්වූවත් බ්‍රිතාන්‍යයේ රාජකීයත්වයට නොගැළපෙන ලෙස දික්කසාද වූ අමෙරිකානු කාන්තාවක සමග පෙම් හබයක් ඇති කර ගැනීම මත මාස කිහිපයකින්ම ඔහුට රජකම අතහරින්නට සිදුවිය. ඊළඟට ඇගේ පියා රජ වූ අතර, එලිසබෙත් කුමරිය ඔටුන්න හිමි කුමරිය බවට පත්වූවාය. 25 හැවිරිදි වියේදී ඇය සිහසුනට පත්වූයේ 1952 දී ඇගේ පිය රජුගේ අභාවයෙන් පසුවය.

එදා සිට මහ බ්‍රිතාන්‍යයේ රජ පවුලේ දුක සැප සියල්ල උපේක්ෂා සහගතව විඳ දරා ගනිමින් බකින්හැම් මාලිගය සිය වාසස්ථානය කරගත් මහා රැජන කාගෙත් ආදරයට පාත්‍ර වූයේ ඇය සතු අසාමාන්‍ය චරිත ලක්ෂණ හා මානුෂික ගුණාංග නිසාය. යහපත් හා කීකරු දියණියක ලෙසින් ඇය සිය පිය රජුගෙත් මවු රැජනගෙත් විශ්වාසය දිනාගත්තා පමණක් නොව මහ බ්‍රිතාන්‍ය රජ වංශයේ ගෞරවයත් ආරක්ෂා කරගැනීමට සමත් වූවාය. ඇය සිය මව මෙන්ම අතිශය එඩිතර තරුණියක වූවාය.

ඇයට පළමුවරට පිලිප් කුමරු මුණගැසෙන විට යාන්තම් අවුරුදු 13 පසු කළා පමණි. එවකට ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ කුමරු ලෙස හැඳින්වූ 18 හැවිරිදි පිලිප් කුමරු හා නව යොවුන් වියෙහි පසු වූ එලිසබෙත් කුමරිය අතර හුවමාරු වූ පෙම් හසුන්පත් අදත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ඒවාය.

වසර 70ක් පුරා බ්‍රිතාන්‍යයේ ඔටුනු පළන් මහ රැජන එතෙක් මෙතෙක් ගත කළ දීර්ඝ කාලපරිච්ඡේදයේදී සිදු කළ සමාජ මෙහෙවර අප්‍රමාණය. ඒවා බොහෝමයක් ඇය විසින් සිදුකොට ඇත්තේ කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව බැව් බොහෝ අය කියති. තම නිල දරු දැරියන් හා මුනුබුරු මිනිබිරියන් හැරුණුවිට ලොව පුරා තවත් දරුවන් රැසකට කැපකාර මාතාවක් ලෙස ඇය කටයුතු කළාය. ආදරයත්, දයාවත් බෙදා දුන්නාය. බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ඇයට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් මේ දයාවේ මිත්තණියගේ අභාවයෙන් කඳුළු සලන්නේ එබැවිනි.

ෆවුස් මොහොමඩ්


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>