රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න
ඖෂධ, වෛද්‍ය උපකරණ හිඟවීම, නේවාසික රෝගීන්ට ආහාර සැපයීමේ ගැටලු ආදී කරුණු මේ දිනවල වැඩිපුර කතාබහට ලක් වේ. ජාතික රෝහල සහ දිස්ත්‍රික් මහ රෝහල් ඇතුළු රජයේ රෝහල් පද්ධතිය එහිදී බොහෝවිට ඉලක්ක වනු දක්නට පුළුවන. ඒ පිළිබඳ අපි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතාගෙන් කරුණු විමසමු.
l කොහොම තැනකද මේ වන විට මෙරට ඖෂධ හිඟය තිබෙන්නේ?
පැති කිහිපයකින් ඊට ප්‍රවේශ විය හැකියි. එකක් තමයි අපේ රට සතුව පවතින ඖෂධ තොග නිමවෙමින් පැවතීම. ඒ අඩුව පුරවන්නට අලුතින් ඖෂධ තොග ප්‍රමාණවත් තරම් නොලැබීමයි අනෙක. එසේම, ඊට කඩිනම් විසඳුම් සෙවීමට දැනට පවතින ක්‍රමවේදය දිගු කාලීන එකක් වීමත් අපේ රටට මේ මොහොතේ පවතින බාධා අතර වෙනවා.
මේ අවස්ථාවේ කරන ඇණවුම් වලට අනුව එම තොග මෙහි ළඟා වන්නට දිගු කලක් ගත වෙනවා. ඒ අනුව මෙරට බටහිර ඖෂධ සම්බන්ධයෙන් හොඳ තැනක නොසිටින බව කිව යුතුයි. ඒක අවදානම්කාරි තත්ත්වයක්. ඉදිරි දෙසතිය තුළදී තවදුරටත් පවතින තොග අවසන් වීමට නියමිතව පවතින බවත් වාර්තා වෙනවා.
l එහිදී වඩාත් බැරෑරුම් රෝගී කාණ්ඩ ඔබ හඳුන්වා දෙන්නේ කොහොමද?
පිළිකා නාශක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, ළමා සිරප් වර්ග, ශ්වසන අපහසුතා සඳහා දෙන ඖෂධ, හෘද රෝගීන්ගේ ඖෂධ, අපස්මාරය සඳහා ඖෂධ, දියවැඩියාව සඳහා ඔසු ආදී වශයෙන් පෙන්වා දිය හැකියි. පිළිකා රෝගීන් ප්‍රධානයි. එයින් පිළිකා රෝගීන්ගේ ඖෂධ පිළිබඳ තත්ත්වය ඉතා බැරෑරුම්.
පිළිකාව කියන්නේම ඉතා බැරෑරුම් දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. මූලික අවස්ථාවේදී මිසෙක ඔඩුදිවූ පසුව පිළිකාවට පිළියම් යෙදීම අතිශය අසීරු කාරණයක් වන වග වෛද්‍යවරු නිතර ප්‍රකාශ කරන කරුණක්. විශේෂයෙන්ම පියවුරු පිළිකා, ළමා පිළිකා රෝගී තත්ත්ව ආදියට ප්‍රතිකාර වශයෙන් දෙන ඖෂධ හිඟයක් මෙරට පවතිනවා.
පිළිකා අවදානමක් පිළිබඳ මුලික ලක්ෂණ ඉස්මතු වූ වහාම ඊට ප්‍රතිකාර කළ යුතු වෙනවා.
එහෙත් මේ වන විට මෙරට හිඟ ඖෂධ අතර එවැනි ඖෂධ විශේෂ ගණනාවක්ම පැවැතීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි කරුණක්. ඒ අනුව ජීවිත අවදානමක් ඇතිවන තත්ත්වයක් තවම දක්නට නැති වගක් පවසමින් පිළිකා ඖෂධ හිඟය නොසලකා හැරීමට කිසිවකුට නොහැකියි.
අනෙක පිළිකා රෝගීන්ට දිය යුතු ඖෂධ එකකට දෙකකට නෙවෙයි, 60%කට පමණ මේ තත්ත්වය වක්‍රව බලපා තිබෙනවා.
එපමණක් නෙවෙයි, පිළිකා රෝගී තත්ත්වයට නොකඩවා පිළියම් කළ යුතුයි. යම් හෙයකින් අතරමඟදී ප්‍රතිකාර කඩ වුවහොත් නැවත මුල සිටම ආරම්භ කළ යුතු වෙනවා. එය එසේ වුවහොත් අඩු ආදායම්ලාභීන් වන බහුතරයක් ආර්ථික වශයෙනුත් දැඩිව පීඩාවට පත් වෙනවා.
දේශීය වශයෙන් මේ බොහෝ ඖෂධ හා උපකරණ මෙරට නිපදවන්නේ නෑ. ඉතින් ආර්ථික වශයෙන් පීඩාවට පත්වී සිටින මිනිසුන්ට ලෙඩ රෝග සුව කර ගැනීමට නොහැකිව අත්වන පීඩාවත් සුළුපටු නැහැ. පුළුන්, ගෝස්, ඩෙක්ස්ට්‍රෝස් ආදියේ අඩුපාඩු පිළිබඳත් අසන්නට ලැබෙනවා.
රාජ්‍ය මට්ටමෙන් ඒ ද්‍රව්‍ය මිලදී ගැනීම සීමා වූ විට පුද්ගලික අංශයට තනිව අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටත් හැකියාවක් නැහැ. වෙනදා රජයේ රෝහල්වල ඖෂධ හා උපකරණ ආදිය හිඟවූ අවස්ථාවල පුද්ගලික අංශයෙන් මිලදී ගෙනවිත් ජනතාව අවශ්‍යතා සපුරා ගත්තා. දැන් පුද්ගලික අංශයේ මිල ගණන් ඉතා අධික වීමත් එසේම, ඇතැම් අවස්ථාවල වෙළෙඳපොළේ මුදල් ගෙවා එම ද්‍රව්‍ය ගැනීමට හැකියාවක් නැති වීමත් බහුලව දක්නට ලැබෙනවා.
l තවදුරටත් විස්තර කළොත්?
මෙරට බොහෝ දෙනකු බෝ නොවන රෝග වලින් පෙළෙන වගත් සෞඛ්‍ය දත්ත අනුව පෙනෙනවා. මරණ සලකා බැලුවත් ඒ තත්ත්වය එහෙමමයි. ඉතින් මේ වාතාවරණය යටතේ වැඩිහිටියන් බොහොමයක් අතර පැතිරී තිබෙන බෝ නොවන රෝග අවදානම් බොහෝ විට නිට්ටාවට සුව කළ නොහැකියි.
ඖෂධ මඟින් එම රෝග තත්ත්ව පාලනය කිරීමක් තමයි කෙරෙන්නේ. එහෙත් ඊට අඛණ්ඩව එම ඖෂධ භාවිත කළ යුතුමයි. එසේම රජයේ රෝහල් වල එම ඖෂධ තොග ප්‍රමාණවත් පරිදි නොපවතී නම් අඛණ්ඩව එම ඖෂධ පොදු මහජනතාවට නොලැබී යනවා. එහි අවදානම වන්නේ එම ජනතාවගේ බෝ නොවන රෝග අවදානම උත්සන්න වීමයි. එවිට රෝහල් ගත කළ යුතු වෙනවා.
එහෙත් නේවාසිකව ප්‍රතිකාර ලැබීමේදීත් නිසි පරිදි ඖෂධ නැති ගැටලුව නැවත ඇති කෙරෙනවා. ඒ අනුව ශ්‍රම බළකායෙන් සැලකිය යුතු පිරිසකට මෙරට ආර්ථික දුෂ්කරතා පවතින මෙකල ඉතා අසීරු අඩියකට වැටෙනවා. උදාහරණයක් ගතහොත්, අපස්මාර රෝගීන්ට දෙවසරක තරම් කාලයක් නොකඩවා ප්‍රතිකාර ලැබිය යුතුයි.
එහෙත් මේ තත්ත්වය යටතේ ඒ තැනැත්තන්ටත් ඖෂධ අඩුපාඩුයි. අනෙක අක්ෂි කාච හිඟය. ඇසේ සුද ඉවත් කිරීමෙන් පසුව නිර්දේශ කරන අක්ෂි කාච හිඟය පිළිබඳත් නිසි අවධානයක් තවම බලධාරින්ගෙන් ඉටුවී නැති බවත් කිව යුතුයි. ඉන්දියානු ණය ක්‍රමය යටතේ මිසෙක වෙනත් පිළියම් බලධාරින් මේ කෙරෙහි ඉදිරිපත් කරනු දක්නට නැහැ.
l මේ අනුව ශල්‍යාගාරවල කටයුතු අඩපණ වීමේ අවදානමක් පිළිබඳත් කතාබහට ලක් වෙනවා?
ඔව්. එහිදීත් ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය හිඟය බලපා තිබෙනවා. අක්ෂි ශල්‍යකර්ම, හෘද සැත්කම් ආදියට ඉන් දැඩි බලපෑම් ඇති කෙරෙනවා.
බලධාරින් මේ සඳහා ඉදිරිපත් කරන පිළියම් සාධනීය බවක් පෙනෙනවාද?
පැලැස්තර විසඳුම් මිසෙක ස්ථිරසාර නෑ. දිගින් දිගට පරිත්‍යාග මඟින් යම්තාක් දුරකට ඖෂධ ලැබුණත් ඉන් ගැටලු නිරාකරණය කළ නොහැකියි.
l එහෙත් අනපේක්ෂිත ගැටලු පරිත්‍යාග වශයෙන් ලැබෙන ඖෂධ හරහා ඇතිවිය හැකියි නේද?
එසේ විය හැකියි. එය එසේ නොවන්නට නියාමන ආයතන වග බලා ගත යුතුයි. අනවශ්‍ය ඖෂධ තොග රට තුළ එක්රැස් වීම ඒ නිසා විය හැකියි. එසේම මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ ඒ හරහා රටට ඇතුළු වන්නටත් පුළුවන්. එපමණක් නෙවෙයි, අන්තරායකර ඖෂධ රට තුළට ඒමේ අවදානමත් එසේමයි. සුනාමි උවදුරින් පසුව ආධාර වශයෙන් මෙරටට ලැබුණු ඇතැම් ඖෂධ එක් වරක් පමණක් භාවිත කොට විනාශ කර දැමිය යුතු ඒවා. එවැනි කරුණු පිළිබඳ මෙරට අවධානය යොමු කළ යුතු වෙනවා.
නුවන් මහේෂ් ජයවික්‍රම