Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හිරු නොබසින අදිරදයෙන් පුන්සඳ බැස යයි අවමංගලෝත්සවයට ආරාධිතයෝ 500ක්

$
0
0
සැප් 19, 2022 01:00

දෙවැනි මහා ලෝක යුද්ධයෙන් පසු විශාලතම ආරක්ෂක සැලසුම

 

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ රාජ්‍ය අවමංගලෝත්සවය අද (19) ජාත්‍යන්තර ප්‍රජාව අතර වැඩිම අවධානයක් දිනා ගන්නා සිදුවීම බවට පත් වී ඇත. ලොව පුරා මිලියන ගණනාවක ජනතා ආකර්ෂණය දිනා ගනු ඇතැයි අනාවැකි පළ වී ඇති රැජනගේ අවමංගලෝත්සවයේ සැලසුම ඊයේ විදෙස් මාධ්‍ය පෙළගස්වා තිබිණි. වින්ඩ්සර් මාලිගාවේ දේවස්ථානයේදී රජ පවුලේ සාමාජිකයන්ගේ අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාවට පෙර වෙස්ට්මිනිස්ටර් ඇබේ සහ ලන්ඩනය පුරා තවත් විවිධ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ දහයකට ආසන්න ජනතාවක් පෙළ ගැසෙනු ඇතැයි තක්සේරු කර ඇති අතර, බීබීසී, ෆෝක්ස් නිව්ස් සහ ස්කයි නිව්ස් අවමංගලෝත්සවය සජීවිව ලොව පුරා විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

වෙස්ට්මිනිස්ටර් මාලිගාවේ මහජන ගෞරවය සඳහා වෙන් කර දී තිබූ කාල සීමාව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පෙරවරු 6.30ට අවසන් වන අතර, අනතුරුව දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථාන ශාලාව වෙත රැගෙන යනු ලබයි. විශේෂ කාලතුවක්කු ගැලක තැන්පත් කරනු ලබන රැජනගේ දේහය රාජකීය ගෞරව සහිතව වෙස්ට්මිනිස්ටර් ඇබේ ශාලාව වෙත ගෙනියනු ලබන අතර, රාජකීය පවුලේ සාමාජිකයන් ඒ පසුපසින් ගමන් කරනු ඇත.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පෙරවරු 11.00ට අවමංගලෝත්සවය නිල වශයෙන් ආරම්භ වන අතර, රාජ්‍ය නායකයන්, සම්භාවනීය අමුත්තන් මේ අවස්ථාවට එක්වනු ඇත. ඉන් අනතුරුව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවකින් රැජනගේ දේහයට අවසන් වරට ගෞරව කිරීමෙන් පසු අවසන් කටයුතු ආරම්භ කෙරේ. වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට හයිඩ් පාක් කෝනර් වටරවුම හරහා වෙලින්ටන් ආරුක්කුව අසලට දේහය ළඟා වීමට නියමිත පස්වරු 1.00ට පමණය. මඟ දෙපස මහජනතාවට අවසන් වරටත් ගෞරවය දැක්වීමේ අවස්ථාව සලසා දෙමින් ද, සෑම මිනිත්තු පහකට වතාවක් හයිඩ්පාක් කෝනර් වටරවුම අසල ආචාර වෙඩිමුර පවත්වමින් ද රැජනගේ දේහයට අවසන් වරටත් ගෞරවාචාරය දක්වනු ඇත.

වෙලිංටන් ආරුක්කුව අසලින් රැගෙන යනු ලබන රැජනගේ දේහය වින්ඩ්සර් මාලිගාවට ළඟා වීමට නියමිතව ඇත්තේ පස්වරු 3.00ටය.

අනතුරුව රාජකීය පවුලේ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් වින්ඩ්සර් මාලිගාවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී කැපකිරීමේ දේව මෙහෙය පැවැත්වෙන අතර, බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පස්වරු 7.30ට එළිසබෙත් රැජනගේ දේහය පවුලේ දේව මෙහෙයකින් පසු සාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ පිහිටි රාජකීය මෘතදේහ තැන්පත් කිරීම සඳහා වෙන් කර ඇති පහළ කුටියේ ඇගේ ආදරණීය සැමියා වූ පිලිප් කුමරුගේ සොහොන අසලින්ම තැන්පත් කෙරේ. ඇගේ සොහොනෙහි කිරිගරුඬ පුවරුව ‘දෙවැනි එලිසබෙත් 1926-2022‘ ලෙස සටහන් කෙරෙනු ඇත.

අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රමුඛ ලෝක නායකයන් 70ක් ඇතුළුව විදේශීය සම්භාවනීය අමුත්තන් 500කට ආසන්න සංඛ්‍යාවක් මහ රැජනගේ අවමංගලෝත්සවයට සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්, සෙසු රටවල් සහ ස්වයං පාලන රාජ්‍යයන් 200කට ආසන්න සංඛ්‍යාවකින් ලන්ඩන් නුවරට පැමිණෙන සම්භාවනීය අමුත්තන් අතර ජනාධිපතිවරු, අගමැතිවරු, රජවරු, රැජනන් සහ සුල්තාන්වරු ඇතුළු විශාල පිරිසක් වෙති.

ජපාන අධිරාජ්‍ය නරුහිතෝ සහ රැජන මසාකෝ ඇතුළු රටවල් රැසක රාජකීය පවුල් ඒ අතර වෙති. ස්පාඤ්ඤයේ ෆිලෙප් රජු සහ ලැටීෂියා රැජන, නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු සහ බිසව, බෙල්ජියමේ පිලිප් රජු සහ මැටිල්ඩා රැජන, ටොංගා දේශයේ 6 වැනි ටුපෝව් රජු, ස්වීඩනය, ඩෙන්මාර්ක්, නෝර්වේ රජපවුල් ද ඊට ඇතුළත්ය. රැජනගේ අවමංගලෝත්සවය සඳහා පැමිණෙන රාජ්‍ය නායකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව බකිංහැම් මාලිගාව නිවේදනය නොකළද ඊට ප්‍රංස ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්, ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා, බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ, හංගේරියංවේ ජනාධිපතිනිය කැතලින් නොවැක්, ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර්, කෙන්යාවේ ජනාධිපති විලියම් රුටෝ, අයර්ලන්තයේ අගමැති මයිකල් මාටින්, ඔස්ට්‍රියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන්, ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොග්, ෆින්ලන්තයේ ජනාධිපති සවුලි නිනිස්ටෝ, තුර්කියේ ජනාධිපති රිසෙප් තයිප්, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා, පාකිස්තානයේ අගමැති ශෙබාස් ෂරීෆ්, ඉන්දියාවේ ජනාධිපතිනිය ද්‍රෘපදි මුර්මු මහත්ම මහත්මීහු ආරාධිතයෝ අතර වෙති.

චීන ජනාධිපති ෂි ජින්පිං ආරාධනාව පිළිගෙන තිබුණද, චීනයේ උයිගර් ප්‍රජාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ප්‍රකාශ නිකුත් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසකට චීනයේ සම්බාධක පැනවීම හේතුවෙන් ඇති වූ ගැටලුව මත චීන නියෝජිතයන්ට රැජනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට වෙස්ට්මිනිස්ටර් ශාලාවට පැමිණීම තහනම් කර ඇති බැවින් ෂි ජින්පිං වෙනුවට උප ජනාධිපති වැං කුයිෂං අවමංගලෝත්සවයට සහභාගි වන බව තහවුරු කර ඇතැයි වාර්තා වේ. මේ වන විට ජාත්‍යන්තර සම්බාධකවලට ලක් වී ඇති ඉරානයේ නියෝජනය තානාපති මට්ටමින් පමණක් සිදුවන බවත් වාර්තා වේ.

 

රාජ්‍ය නායකයෝ රැසකට ආරාධනා නෑ

රැජනගේ අවමංගලෝත්සවයට ආරාධනා නොලැබූ ලෝක රාජ්‍ය නායකයන් අතර රුසියාවේ ව්ලැදිමිර් පුටින් කැපී පෙනේ. යුක්රේන අර්බුදය හේතුවෙන් ඔහුට පමණක් නොව බෙලරුසියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද ආරාධනා නොලැබූ රාජ්‍ය නායකයන් අතර කැපී පෙනේ. මීට අමතරව සිරියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්තාන වැනි බ්‍රිතාන්‍ය සමඟ පූර්ණ රාජතාන්ත්‍රික සබඳතා නැති රටවල් රැසකට ද රැජනගේ අවමංගලෝත්සවයට ආරාධනා කර නැත. හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි මියැන්මාරයේ හමුදා රජයට ද ආරාධනා කර නැත. උතුරු කොරියාවේ නායක කිම් ජොං උං සහ නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඕර්ටෙගෝ ද ආරාධනා නොලැබූ රාජ්‍ය නායකයන් අතර වෙති. මේ දෙරටෙහිම තානාපතිවරුන්ට පමණක් ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

 

ජෝ බයිඩ්න් වේලාසනින්ම එයි

රැජනගේ අවමංගලෝත්සවයට සහභාගි වීමට ආරාධනා ලැබූ ලෝක නායකයන් අතුරින් වැඩි අවධානයට ලක් වී සිටින අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් සිය බිරිය ජිල් බයිඩ්න් සමඟ ඊයේ ලන්ඩන් නුවරට පැමිණි අතර, රැජනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු තුන් වැනි චාල්ස් රජු සහ සෙසු ලෝක නායකයන් සමඟ විශේෂ හමුවකට ද එක් වීමට නියමිතව තිබිණි. ජෝ බයිඩ්න්ට අමතරව කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රෘඩියු, ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තෝනි ඇල්බෙන්සි සහ නවසීලන්තයේ අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් ද වේලාසනින්ම ලන්ඩන් නුවරට පැමිණ සිටි අතර, රැජනගේ අවමංලෝත්සවයට අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ ‘දි බීස්ට්’ නමින් හඳුන්වන සුප්‍රකට ලිමොසින් මෝටර් රථය භාවිත කිරීමට විශේෂ අවසරයක් ලැබීම කැපී පෙනේ. සෙසු ලෝක නායකයන් හෙළි නොකරනු ලබන ස්ථානයක සිට විශේෂ ආරක්ෂිත රථ මඟින් වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රැගෙන යෑමට නියමිතය.

අඟල් අටක පමණ වානේ තහඩුවලින් ආවරණය වූ බයිඩ්න්ගේ මෝටර් රථය සියලු ආකාරයේ ආරක්ෂක පද්ධතිවලින් සන්නද්ධ රථයකි. යම්කිසි ප්‍රහාරයකදී කඳුළු ගෑස් එල්ල කිරීමටත්, සතුරන් හඹා ඒමේදී එය වැළක්වීමට මාර්ගය පුරා ලිහිසි තෙල් විසුරුවීමටත් විශේෂ මෙවලම් ඊට ඇතුළත්ය.

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු එංගලන්තයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයකට සැලසුම් කර ඇති විශාලතම ආරක්ෂක සැලසුම එලිසබෙත් රැජනගේ අවමංලෝත්සවය වෙනුවෙන් සකස් කර තිබේ. ලෝක රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහභාගි වන බැවින් ලන්ඩන් නුවර පොලිස් ප්‍රධානි ඇතුළු ඉහළ මට්ටමේ ආරක්ෂක ප්‍රධානින් මේ ආරක්ෂක සැලසුම සකස් කර ඇති අතර, එවැනි ආරක්ෂිත වැඩපිළිවෙළක් එරට රාජ්‍ය අවමංගලෝත්සවයකට ක්‍රියාත්මක වී ඇත්තේ 1965 දී එවකට හිටපු අගමැති වින්ස්ටන් චර්චිල්ගේ අවසන් කටයුතු සඳහා පමණක් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ලන්ඩන් නුවර ආරක්ෂාව වෙනුවෙන් පොලිස් හමුදා තුනක් රාජකාරියේ නිරතවීමට සැලසුම් කර ඇත. මෙට්‍රොපොලිටන් පොලිසිය, ලන්ඩන් සිටි පොලිසිය සහ බ්‍රිතාන්‍ය ට්‍රාන්ස්පෝර්ට් පොලිසිය මේ ඒකාබද්ධ ආරක්ෂක වැඩසටහනට එක්වී සිටී.

මීට අමතරව බ්‍රිතාන්‍ය දේශීය හා විදේශීය බුද්ධි අංශ, එම්-15 සහ එම් -16 ත්‍රස්ත විරෝධී විශේෂ බුද්ධි ඒකක ද ඊට ඇතුළත් වේ.

අද දිනයේදී අවමංගලෝත්සවය පැවැත්වෙන ප්‍රදේශය ආවරණය වන පරිදි ඒ අවට පිහිටි සියලුම උස් ගොඩනැගිලිවල මුදුනේ ස්නයිපර් තුවක්කුකරුවන් යොදවා ඇති අතර, අවට පිරික්සුම් ඩ්‍රෝන යානා රැසක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දසදහසකට අධික නිලඇඳුම් සහිත පොලිස් නිලධාරීන් ද, සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ජනතාව අතර ගැවසෙමින් ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කරනු ඇත. බෝම්බ ඉව කිරීමට පුහුණුව ලැබූ හමුදා සුනඛයන් අවට ප්‍රදේශය පුරා අඛණ්ඩ මෙහෙයුම්වලට යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ජනතාව හසුරුවීමට පෞද්ගලික ආරක්ෂක සමාගම්වල නිලධාරීන්ගේ ද සහාය ලබා ගැනීමට නියමිතය.

මීට අමතරව නිලඇඳුම් සහිත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ නිලධාරීන් 2,500ක් ආරක්ෂාව සඳහා යොදවා ඇත.

 

ෆවුස් මොහොමඩ්


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>