Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මට ස්වර පෙනෙනවා සංගීත් නිපුන් ජයන්ත අරවින්ද

$
0
0
සැප් 20, 2022 01:00

සංගීත් නිපුන් ජයන්ත අරවින්ද මෙරටට අමුත්තකු නොවේ. ඔහු ප්‍රවීණ සංගීතඥයෙකි. සංගීත අධ්‍යාපනඥයෙකි. මෙරටවේදිකා නාට්‍ය කලාව පිළිබඳ කතා කරන විටදීත් නිතර ඔහුගේ නම කියැවේ. ඒ, මනමේ, සිංහබාහු, මහාසාර, තවත් උදෑසනක්, රත්නාවලී, පෙමතෝ ජායතී සෝකෝ ආදී නාට්‍ය සංගීත නිර්මාණයෙනි. ඒ හැරෙන්නට සංගීත කෘති රැසක් දායාද කළ ජයන්ත අරවින්දව මහාචාර්ය සුචරිත ගම්ලත් රටට හඳුන්වා දුන්නේ නාදපති වශයෙනි. අපි දැන් ඔහු දෙසට හැරෙමු.

l මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ ඔබ මොකද හිතෙන්නේ?

සතුටුයි. විශේෂයෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍ර ඇසුරට ලැබීම මා ලද භාග්‍යයක්. ඒ හරහා මට අලුත් මඟක් පෑදුණා කිවුවොත් හරි. සංගීත විෂයයට ඉහළ දායකත්වයක් දීමට මට හැකි වුණා. අදටත් මං සංගීතය සමඟයි ජීවත් වෙන්නේ. 1989 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය දැරූ කාලයේදී ක්‍රීඩා හා විෂය බාහිර අංශයේ කොටසක් විදියටයි සංගීත විෂය පැවතුණේ. ඉන් මුදාගෙන වෙනමම සංගීත අංශය පිහිටුවීමට හැකියාව ලැබුණා. ශනි දින බහු ශිල්ප මධ්‍යස්ථාන 100ක් රටපුරා පිහිටුවීමට ලැබීමත් මා ලද භාග්‍යයක්. ඒ අනුව පාසල් පද්ධතියේ සෞන්දර්ය විෂය ප්‍රවර්ධනයට කළ හැකිවූ සේවය මං සදාතනිකව සිහි කරනවා. ඒත් ඒ කාලේ ශනිදා වාසනාව කියලා සමහරු මට නමකුත් පටබැන්ඳා. (සිනාසෙයි)

 

l ඒ කොහොම වුණත් සංගීත විෂයයට පරිබාහිර දැනුම් සම්භාරයක් එකතු කිරීමටත් ඔබට හැකිවූ බව බොහෝ දෙනකු කියනවා?

ගී සී පද, සිංහල නාඩගම් සම්ප්‍රදාය, සරල ශාස්ත්‍රීය ගීත රසාස්වාදය, සංස්කෘති ( චතුර් මාසිකය), රත්නාවලී නාට්‍ය ගීත සංග්‍රහය වැනි කෘති සම්පාදන කටයුතුවල නියැළීමට මට හැකියාව ලැබුණා. මට මගේ පියා වින්සන්ට් සෝමපාල හරහා කලා ලෝකයට පිවිසෙන්නට මඟ පෑදු‍ෙණ් පුංචි සන්දියේදීමයි.

මට අවුරුදු 15දී විතර බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජනගේ ලංකාගමනය සිදු වුණේ. ඒ, 1954 වර්ෂයේ අප්‍රේල් මාසයේදීයි. එතුමිය වෙනුවෙන් පැවැති ප්‍රසංගයට මං වයලීන වාදකයකු විදියට එක් වුණා. එදින සිතාර්, වයලීන් ඇතුළු වාද්‍ය භාණ්ඩ රැසක් වාදනයට ප්‍රවීණ ශිල්පීන් රැසක් එක් වුණා.

 

l මුද්‍රා නාට්‍ය එතරම් පොදුජන ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොවුණු කලාවක් නේද?

ඔව්. එකලත් ඒක එහෙමමයි. ඒ පිළිබඳ එතරම් වැටහීමක් ප්‍රේක්ෂකයාට නැතිකමයි ඊට හේතු වුණේ. නැටුම්නේ ඒකේදී ප්‍රධාන වෙන්නේ. ප්‍රේමකුමාර එපිටවලගේ තිත්ත බත, තවම මගේ මතකයේ රැඳෙන මුද්‍රා නාටකයක්. වැස්ස වැනි ස්වාභාවික සංසිද්ධි නර්තනයෙන් එළිදක්වද්දී හරි විචිත්‍රයි.

ඒත් වාදනයට වැඩි දෙනෙක් ප්‍රියකළා.

 

l ඔබ විදෙස්ගතවත් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා නේද?

මට එංගලන්තයේදී සෞන්දර්ය විද්‍යාව වැඩිදුර හැදෑරීමටත් අවස්ථාව ලැබුණා. තවත් වතාවක් ජපානයේදී ආසියාතික රටවල, රට රටවල ජනසංගීතය එකට එකතු කරගෙන ඒ සියල්ල වාදනය කරමින් කළ ප්‍රසංගය අපූරු අත්දැකීමක්. යුනෙස්කෝවේ මැදිහත් වීමෙන් පැවැත්වූ එයින් පසුකලෙක සංගීත සංයුක්ත තැටියක් එළි දැක්වුණා. තවමත් එය සුරැකිව මා සතුව තිබෙනවා. වතාවක් මට බ්‍රිතාන්‍ය සංගීත කෞතුකාගාරයට ඇතුළු වන්නට අවස්ථාව ලැබුණා. එහිදී මං කුරුලු නාද පිළිබඳ විමසුවාම ඔවුන් එක් සංයුක්ත තැටියක් වාදනය කළා. ඉතා මිහිරියි. ඊට සවන් දීමෙන් පසුවයි මං දැන ගත්තේ එය ශ්‍රී ලාංකේය කුරුලු කෙවිල්ලන්ගේ හඬ පටිගත කිරීමක් කියලා. මට ස්වර පෙනෙනවා. කවුරුහරි ගීතයක් මුමුණද්දී ඒ තනුව ඉබේම මගේ හිතේ මැවෙනවා.

 

නුවන් මහේෂ් ජයවික්‍රම


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>