බණ්ඩි රාල
ජයේ උන්නැහේගේ ලොකු පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. පොඩි පුතා කැනඩාවේ. දුව විතරක් ලංකාවේ. ඒත් අනුරාධපුරය පැත්තේ ටිකක් දුර ගම්මානයක. ඊයේ පෙට්ටි කඩේට දුම්වැටි කීපයක් ගන්න ආව ජයේ උන්නැහේ මට ගෙනාවෙ අලුත් ආරංචියක්.
“මං මේ අපේ ගේ ටිකක් ලොකු කරලා හදන්න හිතාගෙන ඉන්නෙ. බණ්ඩිට පුළුවන්කමක් තියෙනවනම් හවස් කාලෙ ඒ පැත්තෙ ඇවිත් ඒ වැඩේ කොහොම කරොත් හොඳද කියලා පොඩි උපදෙසක් දෙන්න පුළුවන්නම් වටිනවා“ ජයේ කීවා.
“උදව්වක් හැටියට නම් ඒක කරන්න බැරිකමක් නෑ. ඒත් ඇයි මේ හදිසියේ ගෙවල් ලොකු කරන්න හදන්නේ. දැන් ගෙදර ඉන්නෙ ඔහෙයි බිරින්දෑවයි විතරයි. නිදන කාමර හතරයි, සාලයයි, කුස්සියයි, සැලකිය යුතු ඉඩක් එක්ක ඉස්තෝප්පුවයි, වාහන දෙකක් විතර නවත්තන්න පුළුවන් ලොකු පෝටිකෝවයි. තව මොනවද බන් ඕන“ මං ඇහුවා.
“එහෙම නෙවෙයි ඉතිං කාලයේ තාලයට අපිත් හැදෙන්න එපායැ. උඹ ඇවිත් යන්න වරෙන්කෝ“ එහෙම කියලා ජයේ උන්නැහේ යන්න ගියා.
මං ඒ ගැන කල්පනා කර කර ගෙදරට ඇවිත් අපේ මායියට කතාව කීවා. මායියා ගත් කටටම කියා සිටියේ 'හම්බ කරන සල්ලි වලට කරන්න දෙයකුත් එපායැ'කියලයි. එහෙම කියලා තප්පරයක්වත් යන්න කලින් එයාගෙ ප්‍රතිචාරයේ අගට මෙහෙම කෑල්ලකුත් එකතු කළා.
“අපේ ගෙදරට නම් තව කාමර කෑල්ලක් හැදුවට වැඩි නෑ. මොකද ඉතිං පොඩි එකා කසාද බැන්ද කාලෙක නෑදෑයෙක් එහෙම ආවම නතර වෙන්න තියෙන්න එපායැ.“ මං සුටුස් ගාලා එතැනින් මාරුවුණා. ඒත් ඔළුව නිකම්ම නිකම් කරකවලා අතෑරියා වගේ ගතියක් දැනෙන්න වුණා.
ලංකාවෙ ගෙවල් කියන්නේ මිනිස්සුන්ට වැටිලා ඉන්න හදන වාසස්ථාන විතරක් නෙවෙයි. ඒවා තියෙන්නෙ තමන්ගෙ හීනමානය වහගන්න, සමාජ තත්ත්වය පෙන්වන්න, කෑලි කෑලි කුලියට දීලා ආදායම් මාර්ගයක් කරගන්න විතරක් නෙවෙයි, තව තව ගොඩාක් දේවල්වලටයි. පාරට පේන ලොකු ගෙවල් දැක්කම මගෙත් එක්ක යන මායියා වුණත් කියන්නේ 'මේ ගෙදර නම් හොඳ සල්ලි කාරයෙක්ගෙ වෙන්න ඕන', කියලයි. ඒත් මට නම් අහස උසට දුවන වහලවල්, මීටර් සිය ගණන් ඈතට ඇදෙන බිත්ති දැක්කම දැනෙන්නේ 'මේ ගෙදර ඇතුළත කොච්චර හිස්කමක් ඉතුරුවෙලා තියෙයිද, කියලයි. ඒ වගේ මහ ලොකු ගෙවල්වල කාමර හත අටක් තිබ්බට එච්චර මිනිස්සු ඉන්න විදිහක් නෑ. අනිත් කාමර තියෙන්නෙ වහල දාලා. අනිත් අතට ඒ වගෙ ගෙයක පිටට තියෙන ඔපය තරමට ඇතුළත කළමනාකරණය කරගන්න බෑ. අතුගාලා, සෝදලා පිරිසිදු කරගන්න වුණත් සෑහෙන පිරිවැයක්. ලොකු මහන්සියක්. ගොඩක් වෙලාවට ඒ වගේ ගෙවල්වල ඇත්තො කරන්නෙ තමන් නිදාගෙන්න කාමරයයි, ඉස්තෝප්පු කෑල්ලයි, සාලෙයි, කුස්සියයි, නාන කාමරයයි විතරක් දවසට දෙපාරක් විතර අතුගාලා සෝදලා තියාගන්න එක. ඉතිං ඉතුරු ඒවා ඔක්කොම හිස්.
“මේ ගෙවල් කතා කරනවා කියලා උඹට දැනෙන්නෙ නැද්ද?“ මං දවසක් අඩියක් ගහලා වැනි වැනී ගෙදර එන අතරේ මාත් එක්ක හිටපු ප්‍රසිද්ධ කලාකාරයෙක්ගෙන් ඇහුවා.
“උඹට පිස්සුද? නැත්නම් හොඳටම වැඩිද?“ එයා ආයෙම මගෙන් ඇහුවා.
“එහෙම නෙවෙයි බන්. මේ ගෙවල් දිහා බැලුවම උඹට දැනෙන, ඒවා විසින් කියන පණිවිඩයක් උඹට තේරෙන්නෙ නැද්ද?“ මං ආයෙම ඇහුවා.
“උඹට හොඳටම වැඩියි. යං තව ටිකයි ගෙදරට“ යාළුවා මගෙ ඉණ පැත්තෙන් අත දාලා තමන්ගෙ පැත්තට ටිකක් ඇදලා බර කරගත්තා. මං ඊට වැඩිය දෙයක් එයත් එක්ක කතා කරන්න ගියේ නෑ. කලාවත් එක්ක එදිනෙදා ගැටගැහිච්චි කෙනෙකුට පවා කලාත්මකව දෙයක් කීවම තේරෙන්න නැත්තෙ මගෙම සන්නිවේදන දුර්වලතාවක් හින්දා වෙන්න ඇති. එහෙම කියලා හිත හදාගෙන එදා මං ගෙදරට ආවා.
“ලොකු ලොකු ගෙවල් හදලා තමන් පුංචි කාලෙ අත් වින්දෙ නැති සතුටක් ඒවායෙ තියෙයි කියලා මිනිස්සු විශ්වාස කරනවා. තමන්ගෙ නැතිබැරිකම්, කුහකකම්, හීනමානය වෙනුවනේ ඒ ගොඩනැඟිලි ද්‍රව්‍ය කතා කරලා ඒ හිස්කම වහලා දෙයි කියලා ඒ අය හිතනවා. ඒත් ඒ ගැන දන්න අයට ඒ වහලවල්, බිත්ති විසින් කියන්නෙ මුන් කොච්චර හිස් මිනිස්සුද කියන එක විතරයි“
මං එදා වැනි වැනී ඇවිත්ම දොරට තට්ටු කළා.
“මං හිතුවා රෑ වෙද්දි මෙහෙම සක්කර වට්ටමක් අල්ලලා ඇති කියලා. මල්ලියෙ ඔන්න ඔය කාමරයටම තල්ලු කරලා දාලා පලයන්“ අපේ මායියා, මාත් එක්ක ආව කලා ක්ෂේත්‍රයේ දැවැන්තයාට කීවා. එයා යන්න ගියා. මං කාමරයේ තනිවුණා.
“ගෙදරට කෙනෙක් ආවම තේ එකක් හදලා දෙන්න සීනි, තේ කොළ ටිකක් ගෙදර නෑ. මෙතන කණමදයා වගේ බීගෙන එන්න සල්ලි තියෙනවා“ මායියා, සුපුරුදු කන්නලව්ව පටන් ගත්තා. මං ඇඳෙ හොඳට ගුලිවුණා.