ශාන්ති දිසානායක
රුදුරු හිරුගෙන් නොනවත්වා බැටකමින් වුව ගහකොළ නව දලුමල් උපදවන රඟ ඉතා අපූරුය. අතු ඉති ළදලු නෙත ගැටෙන වාරයක් පාසා සියුම් චමත්කාරයකින් සිත පිරී යයි.
වඩ වඩා ගිනියම් වන අව්ව, හැන්දෑවේ මහ වැසි වසින බවට ඉඟි කරයි. අතු පතර සැඟව නද දෙන කොවුලා මගේ කොල්ලෝ අවුස්සන බව මම නොමනාපයෙන් නොව මනාපයෙන් සිතමි.
“ඊයෙ නාමල්ලත් රෙදි ගන්න ගිහිං අම්මේ...”
බඩපිස්සා ශෝකී හඬින් කියයි.
හරියට කෙසේ හෝ අද දවස ඉක්ම යන්නට පෙර ඇඳුම් මිලදී නොගතහොත් හෙට දවසේ සියලු රෙදි සාප්පු අතුරුදන්ව යන බවට හෝ සාප්පු පිරුණු රෙදිපිලි හමාර වන බවට උපන් සැකයෙන්ද බියෙන්ද ඇළලෙමින් වගේ ය.
“ඔව් අම්මා... අපි විතරයි තව ඇඳුම් ගත්තෙ නැත්තෙ...”
පුංචි පුතාද බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන් කලෙක මෙන් දෙබැම හකුලා ගනියි.
“මොකද්ද අනේ මේ රටට මේ වෙලා තියෙන්නෙ. ඇඳුම් ගන්න තියෙන උනන්දුව පොතක් පතක් ගන්න හොඳ නාට්‍යයක්, චිත්‍රපටියක් බලන්න නැත්තෙ මොකද? පිස්සුවෙන් වගේනෙ රෙදි සාප්පුවලට කඩා පනින්නෙ මේ ගොල්ලො...”
මගේ අප්‍රසාදය උණු අළු අහුරක් සදිසිය. අළු ඉස කඩි කුලප්පු කරගත් මට කොල්ලන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්නට දෑත ප්‍රමාණවත් නොවීය.
“අම්මා නං මහ අමුතු අම්මා කෙනෙක්... අමුතු කතාමයි අම්මා ළඟ තියෙන්නෙ...”
වඩාත් තදින් කිපුණේ මද්දුය.
“ඒ කියන්නෙ මේ සැරේ අවුරුද්දට අපි ඇඳුම් ගන්නෙ නැද්ද?”
“අනේ එතකොට අපි අලුත් අවුරුදු දවසෙ අඳින්න ඕන පරණ ඇඳුම්ද?”
නිවුන් පුතුන්ගේ ශෝකයද කෝපයද මට හිනාවට කරුණකි.
“හරි හරි... කැකිරාවෙ ආච්චි අම්මලා නැන්දලා ඔයාලට සල්ලි දුන්නනේ අවුරුද්දට ඇඳුම් ගන්න කියලා. මාත් ඒකට සම්මාදම් වෙන්නම්. පොඩි අයියත් එක්ක ගිහිං අරං එන්නකෝ...”
පොඩි පුතා ඒ රාජකාරිය කැමැත්තෙන් බාර ගත්තේ ය.
“ඇඳුම් ගන්න සාප්පු යන එක තමා මම අකමැතිම දේ”
අනුරාධපුර යාමට ලකලෑස්තිවෙන දරුවන්ට සහාය වෙමින් මම වරදකාරී හඬකින් කීවෙමි. දරුවන් සමඟ නොයෑමෙන් මා වරදක් කරන්නේදැයි පසුතැවිල්ලෙන් මම හේබා ගියෙමි.
“ඔව් ඉතිං... පොත් සාප්පුවකට ගිහිල්ලා පොත් තෝරන්න කිව්වොත් නං අම්මා උඩ පැනගෙන යයි...” යි බඩපිස්සා සරදම් කළේය.
“ඒක තමා මගේ ලොකුම හීනය. මොකද ඔයාලා හිංදා මට ඒ හීනය හීනයක්ම වෙලානේ... මං පොතක් ගන්නෙ කොහොමද කොල්ලො පස් දෙනෙක්ට කප්පරක් දේවල් ගන්න තියෙද්දි...” යි කී මම හිනැහුණෙමි.
සිය සහෝදරයන් පමණක් නොව ලක්ෂාන්, කසුන්, මිහිඳු, තරිඳු ද කැටිව යාමට සිදුවීම පිළිබඳව පොඩි පුතා කවර හෝ අමනාපයක් දැක්වූයේ නැත.
“පොඩි අයියෙ මාත් එනවා...” යි කී හැම කොල්ලෙක්ම මේ සාප්පු සවාරියට එක් කරගන්නට ඔහු මැළි නොවීය.
“අනේ පොඩී පරිස්සමට... සෙනඟත් වැඩියි... වාහනත් වැඩියි... අනතුරුත් එමටයි... ළමයි ටික සේරම පරිස්සම් කරගෙන එන්න ඕන... එක ළමයෙකුට හරි සීරිමක්වත් වෙලා තිබුණොත් ඔයාට ගමට එන්න නෙමේ පැනල යන්න තමා වෙන්නෙ...” යි මම දිගින් දිගටම කියා සිටියෙමි.
“අම්මා බයවෙන්න එපා. අපි ලස්සනට ගිහිල්ලා ලස්සනට එනවා...” යි පොඩි පුතා පොරොන්දු විය.
නිරුපද්‍රිතව හා වැස්සට පෙර කොල්ලෝ පැමිණෙනතුරු මම මඟ බලා සිටියෙමි. වෙනදා මෙන්ම ගෙදර දොරේ වැඩපල කළද මගේ සිත මෙන්ම දෑතද සැලිණ.
අන්තිමේදී දවස අවසානයේ අතක් බරට රෙදි මලුත් ඔසවාගෙන ගෙට ගොඩවූ කොල්ලෝ ගමනේ විස්තර කියන්නට වූ කල මම සොම්නසින්ද සිනහවෙන්ද උතුරා ගියෙමි.
“හරි වැඩේනෙ අම්මෙ... කසුන් රුපියල් පන්සීයක් දීලනේ ටිකට් එකක් ගත්තෙ. ඉතිං අනුරාධපුරේට කිට්ටු වෙනකොට මං කිව්වා ඉතුරු සල්ලි ඉල්ලගන්න කියලා. මෙන්න කසුන් කියනවා ඉතුරු සල්ලි ගන්න ඕන ඊළඟ බස් එකෙං කියලා...” යි චූටි පුතා කී කල අපට සිනහව නවතාගත නොහැකි විය.
“මිහිඳුට වෙච්ච වැඩේ තමා ෂෝක්... ඒ රෙදි සාප්පුවට ගිහිං අපි රෙදි බලල එළියට ආවා හිතට ඇල්ලුවේ නැති නිසා ... රෙදි සාප්පුවේ එක් කෙනෙක් මිහිඳුව බලෙන්ම ආපහු ඇතුළට එක්ක ගිහිල්ලා කොහොම හරි රෙදි ඇඟේ ගැහුවනේ...”
එකිනෙකාගේ එකිනෙකට වෙනස් කතන්දර අසමින් මම තේ වත්කළෙමි.
“අනේ පොඩි පුතා ඔයාට ගොඩක් ස්තූතියි... මල්ලිලා විතරක් නෙමේ අහළපහළ ළමයිනුත් එක්කගෙන ගිහිල්ලා රෙදිත් අරං දීලා පරිස්සමට එක්ක ආවට...”
මම නඩේ ගුරාට ස්තූති කළෙමි.
“ඒ වුණාට පොඩි අයියා අපට වංචා කළා අම්මා...”
නිවුන් පුතුන් චෝදනා කරන කල ඔහු හිනැහුණේය.
“ඔව් ඉතිං... මාත් ඇඳුමක් ගත්තා තමා... මේ ඇටිකිච්චො පරිස්සම් කරගෙන ආවට මටත් ලාබයක් වාසියක් තියෙන්න එපැයි...”
“එයාගෙ සල්ලිවලිං නෙමේ අම්මා... අපේ සල්ලිවලිං අරං තියෙන්නෙ...”
“හරි හරි... කොහොම හරි ඔයාලට ඕන කරන හැම දේම ගත්තනේ... ඉතිං එච්චරයි... ලේසි වැඩක්ද අනේ ඔයාලට ඇඳුම් අරං දෙන එක... එක සැරයක් මට තිත්ත වුණා සාප්පුවෙන් සාප්පුවට ඇවිදලා...”
ඔවුන් අඬදබර කරගනු ඇතැයි බියෙන් මම වහා මැදිහත් වීමි.
“ඇත්තට කොහොමද පොඩි පුතා ඔයා මෙච්චර අමාරු වැඩක් මෙච්චර ලස්සනට කළේ...?” යි මා ඇසුවේ මා දවාළු කුහුල නිසාමය.
“අම්මගෙ ප්‍රිය වචන හරියන්නෑ අම්මා කොල්ලො මෙල්ල කරන්ඩ... මම වචන දෙක තුනයි කිව්වෙ... ගියා ගත්තා ආවා...” යි පොඩි පුතා ආඩම්බරයෙන් කීවේය.
“ඒ මොකක්ද?”
මම අප්‍රමාණ විමතියෙන් හඬ ගෑවෙමි.
“ඔව් අම්මා... මුං තෝරනවා තෝරනවා ඉවරයක් නෑ... මං ඉතිං අනික් අයට ඇහෙන්නැති වෙන්න සැර කළා.”
“සැර කළා...?”
“ඔව්... ගන්නවනං ගනිව් නැත්තං මරනවා ගහලා... ඔච්චරයි කිව්වෙ...”
අයාගත් දෑසින් මම පුටුවක් මත කඩා වැටුණෙමි.