Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කේන්දරේ අප්සට් නළුවෙක් ඕනෑ

$
0
0
මැයි 1, 2018 01:00

 70 දශකයේ ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන්ම ධර්මසේන පතිරාජගේ 'අහස් ගව්ව'චිත්‍රපයටද රංගනයෙන් දායකවූ සෝමසිරි දෙහිපිටිය, එවක සේවය කරමින් සිටියේ මහාමාර්ග දෙපාර්ත‍මේන්තුවේ කොළඹ කාර්යාලයකය.ලයනල් වික්‍රමට ඔහු හමුවීම යනු, පසු කලෙක පතීට 'විකී'හමුවීමේ ආරම්භය සනිටුහන් වීමකි. ඒ බැව් සිහිපත් කරන 'විකී'අයියා කියන්නේ මෙවැන්නකි.

"මහාමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙක් විදිහට මං රාජ්‍ය සේවයට ඇතුළු වුණේ 1969දි. 1970දි මට කොළඹට මාරුවක් ලැබුණා. කොළඹ අපේ කාර්යාලයෙ ගබඩා පාලක සෝමසිරි දෙහිපිටිය. එයා මගෙත් එක්ක බොහොම හිතවත්. දවසක් අපි කතා කර කර ඉන්නකොට 'උඹේ උසත් එක්ක බලනකොට උඹ චිත්‍රපටිවලට එන්න පුළුවන් කියලා මට හිතෙනවා. සුදුසු පෙනුමක් තියෙනවා. කැමති නැද්ද? කියලා එයා ඇහුවා. ඒ වෙද්දි මං ඉස්කෝලෙ නාට්‍යයකවත්, ගමේ වෙසක් නාට්‍යයකවත් රඟපාලා නෑ. ඉතිං මං 'පිස්සුද? මට පුළුවන්ද ඕව කරන්න කියලා ඇහුවා'. නෑ නෑ 'විකීට'පුළුවන්. මං 'විකීට''කරුමක්කාරයෝ'එකේ 'බේබි මහත්තයාගෙ'චරිතය අරන් දෙන්නම්. වරෙන්කො යන්න මාත් එක්ක සෝමසිරි දෙහිපිටිය"

ගුණදාස අමරසේකරගේ 'කරුමක්කාරයෝ'නවකතාව ඇසුරින් ආචාර්ය තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 'කරුමක්කාරයෝ'චිත්‍රපටයේ රූගත කිරීවම් සිදුවූයේ බළන්ගොඩ, කල්තොටය. පැවසූ පරිදිම සෝමසිරි දෙහිපිටියගේ හඳුන්වාදීම මත ලයනල් වික්‍රමට එහි රඟපෑමට අවස්ථාව උදාවිය. රූගත කිරීම් අතරතුර එහි කැමරා අධ්‍යක්ෂඩොනල්ඩ් කරුණාරත්න හමුවීමටපතී පැමිණියේ 'බඹරු ඇවිත්'චිත්‍රපටය වෙනුවෙන් ඩොනල්ඩ්ගෙන් දින කිහිපයක් වෙන් කර ගැනීමටය. කතා බහ අතරතුරදී කිසිවකු 'මේ විකීත් නුවරනෙ. පතී, හම්බවෙලා නැද්ද?'යි ලයනල් වික්‍රමට පතී හඳුන්වා දුන්නේය.

"පතී ධර්මරාජයේ මං කටුගස්තොට සෙන්ට් ඇන්තනීස්. ඒත් අපි හැමෝම "වළ බහින්නෙ"නුවර. ඉතිං කතා බහ කරගෙන යද්දී පතීගේ ළඟම යාළුවො මං අඳුරනවා. මගේ ළඟම යාළුවොත් පතී අඳුරනවා.අපි ගැන, යාළුවෝ ගැන ටිකක් කතා කරලා අපි ගොඩක් සමීප වුණා.පස්සෙ දවසක සෝමසිරි දෙහිපිටිය හරහාම මට ගාමිණී ෆොන්සේකාගෙ 'සාගරයක් මැද'රඟපාන්න අවස්ථාව ලැබුණා. එහෙම චිත්‍රපටි පහක හයක රඟපාන්න ලැබුණා. ඔහොම ඉඳිද්දී පතී දවසක් මට කතා කෙරුවා"විකී අයියා සමඟ එතැන සිදුවූ සංවාදය සාරාංශ ගත කළොත් මෙපරිදිය.

"විකී'ඇක්ට් කරන බව දැනගත්තෙ 'කරුමක්කාරයෝ'එකෙන්. විකීට හොඳට ඇක්ට් කරන්න පුළුවන් බව 'සාගරයක් මැද'එකෙන් දැනගත්තා. බැරිද මාත් එක්ක වැඩකරන්න?

"පතී මං ආණ්ඩුවේ රස්සාවත් කරන ගමන් නොවැ මේවා කරන්නෙ වෙලාව මදිවෙයි"

"අපොයි ඔය සෝමසිරිත් යස අගේට ඔය දෙකම බැලැන්ස් එකේ ගෙනියන්නෙ. විකීටත් එහෙම පුළුවන්නෙ"

මෙම කතා බහෙන් හා පතීගේ බලකිරීමත්, උනන්දු කරවීමත් නිසාම පසුව ලයනල් වික්‍රමට පතීගේ පළමු ටෙලි නාට්‍ය වන 'ගඟුලෙන් එගොඩට'හි රඟපාන්නට අවස්ථාව උදාවිය. ලක්ෂ්මන් මෙන්ඩිස්, සිරිල් වික්‍රමගේ, චාන්දනී සෙනෙවිරත්න යන අයගේත් මෙන්ම තමාගේද පළමු ටෙලි නාට්‍ය අත්දැකීම එය බැව් හෙතෙම අද දවසේද, ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

1988 ජනාධිපතිවරණයෙන් පසුව ආර් ප්‍රේමදාස ජනාධිපතිධූරයට පත්විය. ඉක්බිතිව 'විකීලා'සේවය කරමින් සිටි මහාමාර්ග දෙපාර්තමේන්තුව අහෝසි කොට එය 'අධිකාරියක්'බවට පත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක විය. මේ නිසාම එතෙක් මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ පිරිස් සඳහා තෝරාගැනීමක් ලැබිණි. කැමතිනම් කෙතරම් කාලයක් ඉදිරියට තිබුණද, සම්පූර්ණ විශ්‍රාම වැටුප ලබමින් විශ්‍රාම යා හැකිවිය. එසේ නොවන්නේනම් අලුත ස්ථාපිත කෙරෙන 'අධිකාරිය'යටතේ අඛණ්ව සේවය කළ හැකි විය. නමුත් පෙර පැවති වැටුප් තල හා වරප්‍රසාද යම් පමණකට කප්පාදුවී තිබිණි.මේවන විට විකීට කලා ක්ෂේත්‍රයේ යම් හඳුනාගැනීමක් තිබුණු නිසා, පූර්ණකාලීනව කලා කටයුතුවල නිරතවීමේ වටපිටාව සැකැසෙමින් තිබුණු අතර පතී, විටින් විට තමා සමඟ පූර්ණකාලීනව වැඩ කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරමින් සිටියේය.

ටික දිනකට පසු පතී, ඔහුට කතා කළේය.

"මම නාට්‍යයක් කරන්න යනවා. මහාචාර්ය නිමල් සේනානායක තමා ඒක ලියන්නේ. විකීට පුළුවන් ඒකෙ 'ආතර් හාමු'ගෙ චරිතය කරන්න."පතී කීවේය.

"චිත්‍රපටි පහ හයක රඟපෑවට ඒවා සුළු චරිතනෙ. මට මේ වගේ එක්ක කරන්න බැරිවෙයි"විකී, අදිමදි කළේය.

"ඉස්සරවෙලා ඔයා පිටපත කියවන්න. ඇක්ට් කරවන එක මං කරන්නම්'පතී අවධාරණය කළේය.

"හා මං එන්නම්"

'ඇල්ල ළඟ වලව්ව(1988) රූගත කිරීම් ආරම්භ විය. දින දෙක තුනක් ගෙවෙද්දී පතී ඔහුට තවත් වගකීමක් පැවරුවේය. ඒ මෙම ටෙලිනාට්‍යයේම 'නිෂ්පාදන විධායක'ලෙස කටයුතු කරන ලෙසය. රැකියාවේ අවසන් අදියර එළඹිණි. අවසානයේ ඔහු, රජයේ සේවයෙන් පූර්ණ විශ්‍රාම යාමට තීරණය කළේය.එහෙත් කරුණු කාරණා ඔහු සිතූ තරම් සරල නොවීය. ඒ අතීතය සිහිපත් කරමින් ලයනල් වික්‍රම කතා කළේය.

"ඇල්ල ළඟ වලව්ව"කරන කාලෙ මට දැනුණේ මං තාම හරිම ආධුනිකයි කියලා. කලින් චිත්‍රපටිවල පොඩි පොඩි චරිත කරලා තිබ්බට මේක මට ටිකක් අමාරුයි. මොකද මට හම්බවුණේ ප්‍රධාන චරිතයක්. අයිරාංගනී සේරසිංහ කියන්නෙ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මගෙ පළවෙනි බිරිඳ. ඒවගෙ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම මට අභියෝගයක්.රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ ඒ අයත් ඒ වෙද්දිත් ක්ෂේත්‍රයේ දැවැන්තයෝ.මට ඒ අයත් එක්ක හැරෙන්නවත් අමාරුයි. ඒ වෙලාවෙ පතී මාව දිරිමත් කරමින් ගොඩක් දේවල් කියලා දුන්නා."ඒ අය සාමාන්‍ය කට්ටිය. විකීත් දැන් නළුවෙක්නෙ.මේ පළවෙනි එක නෙවෙයිනෙ"පතී නිතර කීවා. එහෙම කියන ගමන් අනිත් අය එහෙට මෙහෙට වෙනකල් ඉඳලා පැත්තකට එක්කරගෙන ගිහින් "සංවාදය ගෙනියන්නෙ මේ විදිහට.හරිම සාමාන්‍ය විදිහට සැහැල්ලුවෙන් ටිකක් හයියෙන්. මේ විදිහට මුහු වෙන්න.කැමරාව දිහා මෙහෙම බලන්න. මට ආයෙ ආයෙමත් ඉගැන්නුවා. මං ඉගෙන ගත්තා. කීව දේවල් ඔළුවට ගත්තා. අන්න ඒකයි පතී මගෙ ගුරුවරයා, මිත්‍රයා, සහෝදරයා කියලා කියන්නෙ."විකී අයියා අවධාරණය කළේය.

'ඇල්ල ළඟ වලව්වේ'රඟපෑමට අමතරව නිෂ්පාද විධායක ලෙස කටයුතු කරනු ලැබුවේද, ලයනල් වික්‍රම නිසා රූගත කිරීම් සැලසුම් කිරීම මෙන්ම අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වගකීමද ඔහුට තිබිණි. තිරයේ අප දුටු ටෙලි නාට්‍යයේ වලව්ව අසල දිය ඇල්ලක් තිබුණද, රූගත කිරීම් කළ කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ ඇල්ලක් තිබුණේ නැත. ඇල්ල තිබුණේ වලව්වට කිලෝමීටර් 15-20ක පමණ දුරින් 'මඩොල් කැලේ'වූ ප්‍රදේශයේය. ඒ නිසාම වලව්ව අසල ඇල්ල පවතින බව ඇඟවීමට ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රයෝග යෙදීමට පතීට සිදුවූ අතර ඔහුගේ අවශ්‍යතාව අනුව පහසුකම් සැලසීම විකීගේ වගකීම විය. මේ නිසාම ඇතැම් රංගන ශිල්පීන් සොයා ගැනීමේදීත්, ඔවුන් සමඟ කටයුතු කිරීමේදීත් සිදු වූ අමතක ‍නොවන අත්දැකීම් ගණනාවක් ඔහු අප හමුවේ දිගෑලි කළේය.

"ඇල්ල ළඟ වලව්ව'කරද්දි සිරිල් අයියගෙ (සිරිල් වික්‍රමගේ) අයිය හැටියට හාමුදුරු කෙනෙක් ඕන වුණා. වලව්වෙන් එළෙව්වම යන්නෙ සිරිල් වික්‍රමගේ හාමුදුරුවො ළඟට. 'මගේ හතර කේන්දරේ පාලුවෙච්චි නිසා මාව දැම්මා මහණකමට. උඹට ආතක් පාතක් නැති නිසා වලව්වට වැඩට දැම්ම'කියලා ඒ සහෝදර හිමිනම කියනවා. ඒ චරිතය හොයාගන්න සෑහෙන්න අමාරු වුණා."විකී අයියා කියයි.

පතී ඒ සඳහා කෙනෙකු තෝරාගෙන නොඒම නිසා ඉදිරි රූගත කිරීම් සැලැසුම් අවුල්වී තිබිණි.මේ පිළිබඳ පතී සමඟ ගිය කතා බහ විකී අයියා සිහිපත් කළේය.

"කොයි වගේ කෙනෙක්ද පතීට ඕන'විකී ඇසුවේය.

'මේ හතර කේන්දරේ පාලුවෙච්චි කෙනෙක්"

"මට එහෙම කීවට තේරෙන්නෙ නෑ."

"ඒ කියන්නෙ නියඟයට අහුවෙච්චි කෙනෙක් වගේ මූණ. ඇඟපත කේඩෑරි වෙච්චි"

"මං දන්න කෙනෙක් නම් ඔළුවට එන්නෙ නෑ"

"නෑ විකී.මගෙ ක්ලාස් එකේ එහෙම එකෙක් හිටියා. ඌ නුවර වික්ටරි එකට බොන්න ඇවිත්, ප්‍රසන්න ජිම් එක ළඟ ඉන්නවා මං දැකලා තියෙනවා. අපි යමු ඌ හොයාගෙන"

පතී ඉස්සරවිය. විකී පසුපසින් වැටිණි. නිෂ්පාදන කණ්ඩායමේ කටයුතුවලට ටෝයෝටා වර්ගයේ පිකප් රථයක් තිබිණි. විකී රියදුරු අසුනේ රථය ධාවනය කළ අතර පතී අනෙක් පස ඉදිරි අසුනේ වටපිට බලමින් යමින් සිටියේය.

පේරාදෙණියෙ පාලම පසුවී ටික දුරක් ඉදිරියට ගිය විට කටුගස්තොට බස් නැවතුම්පළ අසලදී පතී, කෑ ගැසුවේය.

'විකී, විකී, අන්න අරූ ඉන්නවා ඔහොම නවත්තපන්"පතී, පිකප් රථය පාරෙන් අයිනට ගෙන නැවැත්වීය. පතී, රථයෙන් බැස ගොස් කෙට්ටු මිනිසෙක් කැටුව ආවේය.

"මං අඳුරන්නෙ නැති කෙට්ටු හීන්දෑරි මනුස්සයෙක් එක්ක ආවා. ඇවිත් මට ඌ ගැන විස්තරයක් කීවා. ''මූ මගෙ පංතියේ හිටියෙ. මූට ඉගෙන ගන්න ඕන වුණෙ නෑ, හොඳට සල්ලි තියෙනවා, මාවනැල්ලෙ ගෙවල්. හොඳ සල්ලි කාරයෝ. අලිත් ඉන්නවා එහෙම විස්තරයක් කියලා 'හරවපන් වික්ටරි එකට, කීවා ඉතිං අපි එතෙන්ට ගියා.විකී අයියා කියයි.

මහනුවර 'වික්ටරි'මත්පැන් හලේ මධුවිතක් සප්පායම් වන අතරේ පතී, අලුත් මිත්‍රයා ඇමතීය.

"උඹේ කොණ්ඩෙ බූ ගාන්න පුළුවන්ද" ?

"ඇයි පතී"? කෙට්ටු මිත්‍රයා විමතියෙන් විමසුවේය.

"නෑ මේ පුංචි චරිතයක් තියේ මගෙ නාට්‍යයක කරන්න"

"හා. මට පුළුවන්'ඔහු කීවේය.

"එහෙනම් තට්ටෙ ගාගෙන අනිද්දට වරෙන් කෑගල්ලෙ වික්‍රමසිංහ වලව්වට"

කතා බහ එතැනින් නිමාවිය. තිදෙනාම හොඳට සප්පායම් වී එළියට බටහ. පසුව අලුත් රංගන ශිල්පියා බස්නැවතුම්පළ අසලින් බස්සවා පතී සහ විකී ගෙදර පැමිණියහ. තම ටෙලියට සොයමින් සිටි රංගන ශිල්පියා හමුවීම නිසා පතී සිටියේ ඉමහත් තෘප්තියෙනි. හෙතෙම අන් කිසිවෙකු නොව පසු කලෙක ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස නමක් තැබූ දක්ෂ රංගන ශිල්පියෙකුවූ ඩී.බී ගංගොඩතැන්නය.

හෙට- හිමිනම සූර්පිට ගල්තලාවේ නිදි....

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>