Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වේශ නිරූපණ ශිල්පියා අතුරුදන්

$
0
0
මැයි 3, 2018 01:00

 ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම හෙවත් 'විකී'යනු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමීප මිත්‍රයෙක් මෙන්ම ඔහුගේ ටෙලිනාට්‍ය නිර්මාණ රැසක නිෂ්පාදන විධායක ලෙස කටයුතු කළ අයෙකි.ඔහුගේ අත්දැකීම් ඇසුරින් මෙම ලිපිය සැකැසිණි.මේ එහි 3 වන කොටසයි.

 

පතී කොළඹ රැකියාව කළද එකල සෑම සතියකම සිකුරාදා දිනයේ මහනුවර නිවසට පැමිණියේය. ඒ දිනවල කාලය ගෙවී ගිය අන්දම පිළිබඳ විකී අයියා නැවතූ තැනින් යළි කතා බහ ආරම්භ කළේය.

"ඒ අසූ ගණන්වල අග. ඒ කාලයේ අපි දෙන්නා හැම සිකුරාදම කොළඹින් එනවා. මට ඒ කාලෙ රතුපාට ටොයොටා ෆියට් පිකප් එකක් තිබුණා. මම තමයි පැදගෙන එන්නෙ. අපි දෙන්න හැමදාම නුවර ගෙදර එනකොට නවය හමාර දහය වෙනවා. ආයෙ කොළඹ යන්න පිටත් වෙන්නේ සඳුදා උදේට. උදේම පතී මෙහේ එනවා. අපේ වයිෆ්ගේ (ස්වර්ණා වික්‍රම) අම්මා සඳුද උදේට, මාළු ඇඹුල් තියල් හදලා, පොල් සම්බෝල එක්ක රතු හාලෙ බත් උයලා තියෙනවා. පතී ඕක කන්න හරි කැමතියි. (අම්මා දැන් නෑ.) පතී, "අම්මා,කෝ බත් එක"කියලා අහගෙන තමයි එන්නෙ. අම්මගෙ බත් එක රෙඩි නැත්නම්, කොළඹ එන ගමන් මගින් කොහෙන් හරි කනවා."හෙතෙම අතීතය සිහිපත් කරමින් කියා සිටියේය.

88-89 භීෂණ යුගය එළඹෙන විට මේ ගමනේ කාල සටහන වෙනස් කරන්නට පතීටත්,විකීටත් සිදු විය. සිකුරාදාට කල්වේලා ඇතිව කොළඹින් පිටත්වෙන්නට ඔවුන්ට සිදු වූයේ රාත්‍රී හතට පෙරාතුව නුවර‍‍ට ළඟාවිය යුතුව තිබුණු බැවිනි.

"ජේවීපී එකෙන් ගෙදරට ලියුම් දාලා රෑ හතට කලින් මහත්තයට ගෙදරට එන්න කියන්න කියලා වයිෆ්ට කියලා ගිහින් තිබුණා.හැමදාම කොළඹින් කලින් ආවත් ටිකක් හත පහුවෙනවා. දවසක් අපි එද්දි හත පහුවුණා. මාව ගෙදරින් දාලා පතී මගේ වාහනේ අරන් ගැටඹේ පැත්තට යද්දී පාර හරහා කොට දාලා වහලා. වාහනය නවත්තලා කවුද කියලා අහලා. මාව මේ පැත්තෙ කොල්ලො හොඳට දන්න නිසා 'විකීව'දාන්න ගියා ටිකක් පරක්කු වුණා මං පතී'කියලා කියලා. මගෙ වාහනෙත් කොල්ලො අඳුරනවා.ඊට පස්සෙ උන් දෙතුන් දෙනෙක් පතීත් එක්කම පිකප් එකට නැඟලා නුවරට යනකල් මඟ නවත් නවත්ව කොට අයින් කර කර ගිහින් තිබුණා.පතී, පහුවදා උදේම ඇවිත් කීවා 'මචං ආයෙ නම් ඒ කට්ට කන්න බෑ. මං උඹත් එක්ක එන්න ඉන්නෙ නෑ කියලා'. ඒත් එක්කම 'මං දෙන්නෙක් අඳුරගත්තා. මුන් ඇස් දෙක විතරක් පේන්න මූණ වහගත්තට ගමේ පොඩි උන්නෙ බන්. හැංගෙන්න කරන විගඩම් දැක්කම හිනාත් යනවා'කීවා. කොහොම හරි එදා ඉඳලා සිකුරාදාට අපි එද්දි හතට කලින් එන්න කොළඹින් කල්වේලා ඇතිවම පිටත් වුණා"

එදින පාඩමක් ඉගෙන ගත් බැවින් යළිත් එවැනි සිදුවීම්වලට මුහුණ නොදීමට දෙදෙනාම අදිටන් කරගත්හ.ඒ නිසාම යළිත් එවැනි අකරතැබ්බයකට මුහුණදීමට ඔවුන්ට සිදු නොවීය.

"ඉස්සර පතීයි, මාලනියි, ළමයි දෙන්නත් එක්ක නිතර මෙහේ එනවා යනවා.අපේ ළමයි දෙන්නා එක්ක වැටිලා පොඩි උන් සෙල්ලම් කර කර ඉන්නවා.එයාලා ගලහ පාරේ ගෙයක් අරන් ඉඳිද්දී අපිත් එහේ යනවා. ඒ කාලෙ අපි හුඟක් කිට්ටුවෙන් ආශ්‍රය කෙරුවා.එක දවසක් පතී, 'ෂෙල්ටන් සහ කාන්ති'කියලා හොඳ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා, ඒක කරන්න යන්නෙ, සල්ලි ටිකක් දාන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා.ප්‍රධාන නිෂ්පාදක හැටියට සල්ලි දාලා තිබ්බෙ මිත්‍රරත්න හේරත්. ඒත් ඒ වෙද්දි කරලා සිංදු පහ විතරයි.ඊට පස්සෙ මහා මාර්ග දෙපාර්තමේන්තුවේම මාත් එක්ක වැඩකෙරුව සුනිල් කියලා යාළුවෙකුයි, කරුණාරත්න කියලා යාළුවෙකුයි, මමයි ඒකට සල්ලි දැම්මා."

පතීගෙ මොන චිත්‍රපටය ආර්ථික වශයෙන් ආදායම් නොලැබුවත් 'ෂෙල්ටන් හා කාන්ති'ජනප්‍රිය රැල්ලත් එක්ක යන ස්වරූපයන් පෙන්නුම් කරමින් තිබිණි.ජනප්‍රිය අර්ථයෙන් 'සිංදු පහයි- ෆයිට් තුනයි'වර්ගීකරණය තුළද, ජනප්‍රියත්වයට ආවඩන වර්ගයේ ගීත පහක්ද ඒ වනවිටත් පටිගත වී තිබිණි. එහෙත් 83 කළු ජූලියේ ජාතිවාදී ගිනිදැල් මැදින් එම චිත්‍රපටය විනාශ වී ගියේය.

"මං පස්සෙ දවසක විජයගෙන් (විජය ස්ටූඩියෝහි අධිපති) ඇහුවා, පතීගේ 'බඹරු ඇවිත්, පාරදිගේ ගනිද්දී මේක ගන්න බැරිවුණාද කියලා. 'ඒ වෙලාවෙ හැටියට අතට අහුවුණු ඒවා ගත්තා මිසක් මොකුත් කල්පනාවට ආවෙ නෑ'කියලා එයා කීවා. පස්සෙ පතිත් කීවා,'මට හරි දුකයි .. හා හා පුරා කියලා විකී සල්ලි දාපු එක'කියලා. මොනවා කරන්නද ඒක එහෙමම ගියා"

ඇතැම් සිදුවීම්වලින් මැකී යන්නේ ඉතිහාසයේ පරිච්ඡේදයක් විය හැකිය.පතීගේ සිනමා කලා ඉතිහාසය තුළ 'ෂෙල්ටන් හා කාන්ති'කුමන ආකාරයෙන් ස්ථාන ගත විය හැකිව තිබුණේදැයි අපට අද දවසේ උපකල්පනය කිරීමට හෝ නොහැකිය.

"සිර කඳවුර'ටත් ඒ දේම වුණා. ඒත්, මං ඒකට සල්ලි දැම්මෙ නෑ. හැබැයි මේන් රෝල් එකක් කළා. ඒක ඒ කාලෙ සිද්ධ වෙච්චි ඇත්ත කතාවක්.සමන් වීරමන් තමයි නිෂ්පාදකයා විදිහට සල්ලි දැම්මෙ. ඒකෙ මං උපාලි අත්තනායකව මරනවා. මරලා, වයිෆ්ට මස් ගෙනත් දෙනවා. 'බයිට් එකට හදලා දෙන්න කියලා.වයිෆ් හැටියට රඟපෑවේ ගීතා කුමාරසිංහ.සෝමසිරි දෙහිපිටිය, අමරසිරි කලංසූරිය වගේ අනිත් හැමෝම ක්ෂේත්‍රයේ දැවැන්තයෝ."

ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කරන ලද නමුත් ලාංකේය ප්‍රේක්ෂකයාට නරඹන්නට වරම් අහිමිවුණු 'සිරකඳවුර'සහ 'ෂෙල්ටන් සහ කාන්ති'යන චිත්‍රපටවලට සිදු වූයේ කුමක්දැයි අවම වශයෙන් දැනගන්නට ඇත.එහෙත් එසේ සිදු වූයේ කුමක්දැයි යන්න පවා දැන ගැනීමට හැකියාවක් නැති නිර්මාණද, පවත්නා බව අප විසින් අමතක නොකළ යුතුය.එරික් ඉලියප්පආරච්චි විසින් රචිත පිටපතකට අනුව අධ්‍යක්ෂණය කළ 'මී පැණි සහ අළු'ටෙලි නාට්‍යය එවැන්නකි. එකී නිර්මාණය පිටුපස සංසිද්ධි ගැන විකී අයියාට කියන්නට හැකි දේ බොහෝය.

'මී පැණි සහ අළු'එකෙත් ලොකේෂන් බලන්න පතිත් එක්ක මාත් ගියා. පතී මට කීවේ 'කල්පිටියෙ තමා අපි 'බඹරු ඇවිත්'කළේ, මගේ මේ ටෙලියටත් එහෙ හොඳයි ගිහින් බලමු'කියලයි.අපි ගියා. ලොකේෂන් බලලා වැඩේ සෙට් කළා. ප්‍රසන්න විතානගේ තමා වැඩේ සම්බන්ධීකරණය කළේ. 'කුකුළු කෙටවීමක්'ගැන කතාවක්.එක පොර කුකුළෙකුගෙ අයිතිකාරයෙක් හැටියට තමා ලක්ෂ්මන් මෙන්ඩිස් වැඩ කළේ. මාත් ආගන්තුකයෙක් හැටියට පොඩි චරිතයක් කළා.ඒකෙත් නිෂ්පාදන විධායක හැටියට හිටියේ මම. ප්‍රසන්නත් අපිත් එක්ක කනවා.බොනවා. කතා බහ කරනවා. විනෝද වෙනවා. වැඩේ ගැන අහනවා. අපිත් කියනවා. ඔය විදිහට වැඩේ ගියා.

සිරිල් වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, විශාඛා සිරිවර්ධන, ලක්ෂමන් මෙන්ඩිස් වගේ හොඳම සෙට් එකක් හිටියේ. නාට්‍යයත් හොඳටම ආවා. ඒත් පෙන්නුවෙ නෑ."

ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු මෙන්ම පසු නිෂ්පාදන කටයුතුද නිමාවීමෙන් පසු අවස්ථා කිහිපයකදීම පතී විකීට ඒ පිළිබඳ සිහිපත් කරමින් පවසා ඇත්තේ එම ටෙලිනාට්‍යය නිෂ්පාදනයට මුදල් යෙදවූ පුද්ගලික රූපවාහිනී නාලිකාවෙන් ඒ පිළිබඳ විමසා බලන ලෙසය. ඒ අනුව තමා අවස්ථා කිහිපයකදීම,කටයුත්ත සම්බන්ධීකරණය කළ ප්‍රසන්න විතානගේට දුරකථන ඇමතුම් ලබාදෙමින් විමසා සිටි නමුත් ඒ පිළිබඳ සතුටුදායක ආරංචියක් නොලැබුණු බැව් විකී අයියා කියයි. "බොස් ගාව තියෙන්නෙ"කියලා තමා එයා කීවෙ. හත් අට පාරක් කතා කරලා මමත් වැඩේ අතෑරලා දැම්මා. චිත්‍රපටි හතක් හදන්නත් ඒ ආයතනයෙන් සල්ලි දුන්නු බව දන්නවා.අද වෙනතුරු රිලීස් වුණේ නෑ. ඒත්, පස්සෙ දවසක ප්‍රසන්නගේ 'ඉර මැදියම'චිත්‍රපටය එද්දි ඒකෙ ලොකේෂන් එක, සෙට් එක අර කලින් අපේ ටෙලියේ ලොකේෂන් සෙට් බව දැනගන්න පුළුවන් වුණා. එහෙම දේවලුත් ඔය අතර සිද්ධ වුණා"ඔහු වඩ වඩාත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීණ රංගන ශිල්පිණී ගීතා කුමාරසිංහ නිෂ්පාදනය කළ 'වාසුළී'චිත්‍රපටයද, සිදුවූයේ කුමක්දැයි අභිරහසක් වූ පතීගේ තවත් නිර්මාණයකි. එහෙත් රූගත කිරීම් අතරතුර සිදු වූ බොහෝ දේ නම් විකී අයියාට මතකය.

"වාසුළී'එකේදි ගීතාට ඒ චිත්‍රපටියෙ අන්තිම වෙනස් කරන්න ඕන වුණා. ඒත්, පතී ඒකට කැමති වුණේ නෑ.නිෂ්පාදිකාවයි, ප්‍රධාන නිළියයි දෙකම ගීතා. චිත්‍රපටියේ එයා හිටියෙ වැල්ලෙ කෙල්ලෙක් හැටියට.චිත්‍රපටියේ අවසානය වෙනස් කරගන්න 'වාසුලී'ලීව කෙනාට කතා කරලා තිබුණා.එයා ඒකට එකඟවෙන්නේ නැතිව පරුෂ වචනයෙන් බැණලා එළවගෙන තිබුණා.'ආයෙ නම් විකී, මං යන්නෙ නෑ. නිකමට වත් යන්නෙ නෑ, කියලා එයා මට කීවා."තිරපිටපත් රචකයාට එවැනි අත්දැකීමකට මුහුණදෙන්න‍ට සිදුවනවිට වෙස්ගැන්වීම් ශිල්පියාටද, එවැනිම අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවිය.

"සුරවීර කියලා අපේ මිත්‍රයෙක් තමා මේකප් ආර්ටිස්ට්. එයා මේකප් කළේ පතී කීව විදිහට. චරිතයට ඕන විදිහට."ගීතගෙ මුණෙ තැනක පරණ ඇක්සිඩන්ට් එකක් වෙච්චි කැළැලක් තිබ්බා. ඒක පේනවට එයා කැමති නෑ. ඒ නිසා එයාට මේකප් කළාම එයා කාමරයට ගිහින් එයාට ඕන විදිහට මේකප් එක වෙනස් කරලා පැච් එක වහ ගන්නවා. ඉතිං මේකප් එක හරියට නැතුවම පතී, සුරවීර‍ට උපදෙස් දෙනවා. අන්තිමට සුරවීර ඇත්තම සිද්ධිය පතීට කීවා.ඊට පස්සෙ පතී, ගීතාට එන්න කියලා බොහෝම හොඳින් කරුණු පෙන්නලා දුන්නා.

"මේ මේකප් දැමිල්ල සිද්ධවෙන්නෙ චරිතයට ඕන විදිහට. ඒ නිසා ඒක ඒ විදිහට තිබුණාවෙ"කියලා පතී අවධාරණය කළා. 'හරි හරි..පතී"කියලා ගීතා ගියා. පහුවදා මේකප්වලට ගිහින් සුරවීර ගීතගෙ කාමරේ දොරට තට්ටු කළාම එයාටත් පරුෂ වචනයෙන් බැණලා එළවගෙන තිබුණා.ඊට පස්සෙ මනුස්සයා අපි ළඟට ආවා.මොකුත්ම නොකියා ආයෙම යන්න ගියා. මේකප් බොක්ස් එකත් එතනම දාලා ගිහින් තිබුණා. එදා ෂූටිං කැන්සල්. මේකප් ආර්ටිස්ට් කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරු වුණා. සුරවීර ආයෙ පැත්ත පළාතෙ ආවෙ නෑ. ඊට පස්සෙ ඇඹුල්දෙණිය කියන මේකප් ආර්ටිස්ට් වැඩේට කැමති කරවාගත්තා.හොඳම සිද්ධිය ඒක නෙවෙයි, සුරවීර දාල ගියපු මේකප් බොක්ස් එක ගීතා අරන් ගිහින් තිබුණා.ඊට පස්සෙ එයාගෙ ගෙදර ගිහින් සමාව අරන් තමා මේකප් බොක්ස් එක ආපහු ගන්න වුණේ."

විටෙක කටුක වූත්, තවත් විටෙක මිහිරිවූත් අත්දැකීම් දෙස අද දවසේ උපේක්ෂා සහගතව බලමින් විකී අයියා වැඩිදුරටත් කියා සිටියේය.

හෙට - තේ බොන්න ගිය කඩේ මේස පුටු උස්සන් ආ හැටි....

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>