Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

වෙළෙඳ පොළ ඉලක්ක

$
0
0
නොවැ 21, 2017 01:00

 2018 අයවැය ලේඛනය පිළිබඳව චෝදනා, යෝජනා, මල් පොකුරු සහ ගල් මුගුරු තවමත් එල්ලවෙමින් තිබේ. අය වැය ගැන කතා කිරීම හා අදහස් පළ කිරීම පාර්ලිමේන්තුවට පමණක් සීමාවූ දෙයක් නොවේ. රටේ වාණිජ මණ්ඩල, ව්‍යාපාරික අංශ මාධ්‍ය, ගොවි සංවිධාන, මෙන්ම සාමාන්‍ය මහජනතාවට ද අවසාන වශයෙන් පාරිභෝගික ජනතාවට ද අයවැය ගැන සිය අදහස් පළ කිරීමට අයිතියක් තිබේ.

පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳව මෙවර අයවැය විවාදයේ දී ද අදහස් පළ විය. රටේ ජනගහණය වැඩිවීමත්, ආහාර නිෂ්පාදනයට බාධා එල්ලවීම නිසා නිෂ්පාදනය පහළ වැටීමත්,  ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යෑමත්, ඇතැම් අංශවල පවතින අකාර්යක්ෂමතාවත් ජීවන වියදමට හේතු වේ.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ගමන් මග ඇරැඹුණේ 2015 වසරේ අගභාගයේ , එනම් 2015 නොවැම්බර් 20 දා එවක මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනය සමඟිනි. එම අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  11ක මිල පහළ දමන ලදී.

ළදරු කිරි පිටි මිල රුපියල් 100 කින්ද, දේශීය කිරි පිටි ග්‍රෑම් 400 කිරි පැකට්ටුව රුපියල් 30 කින්ද, පරිප්පු කිලෝවක මිල රුපියල් 169 දක්වාද, කඩල කිලෝව රුපියල් 169 දක්වාද, හාල් මැස්සන්කරවල මිල රුපියල් 410 දක්වා ද මිල අඩුකර ජනතාවට සහන සලසන ලදී.

2015 යහපාලන අයවැය ලේඛනය ආහාර ද්‍රව්‍ය මිල අඩුකිරීමට පෙරාතුව සතියේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙය් පරිප්පු කිලෝවක මිල රුපියල් 180 ක්වූ අතර දඹුල්ල, කැප්පෙටිපොළ  සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දිගටම පැවතුණේ ඉහළ මිල ගණන්වල ය.

බෝංචි කිලෝව රුපියල් 235 මිල මට්ටමේ ද කැරට් කිලෝව රුපියල් 235 මිල මට්ටමේ ද, තක්කාලි කිලෝව රුපියල් 175 මට්ටමේ ද බිත්තරයක් රුපියල්  15 මට්ටමේ ද වියළි මිරිස් රුපියල් 306 ඉහළ මට්ටමේ ද රැඳී තිබුණි.

ආර්ථික සහන

එහෙයින් ජීවන වියදම් බර අඩුකිරීමේ ප්‍රථම උත්සාහය 2015 නොවැම්බර් 20 වැනිදා අයවැය ලේඛනය මඟින් හඳුන්වා ‍දෙන ලදී. ගෑස් සිලින්ඩරයකින් රුපියල් 150ක් අඩු කළ අතර භූමිතෙල් ලීටරයකින් රුපියල් 10ක් අඩු කරන ලදී. වී සඳහා සහතික මිලක්ද, ටින් මාළු සහ කරවල සඳහා සහන මිල ගණන්ද ඉදිරිපත් විය.

ධීවර කර්මාන්තය දියුණු කිරීමේ පියවර ද නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීමට ද, දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ දැමීමේ ව්‍යපාරයක් සඳහා උත්සුකවීම ද ආහාර සුරක්ෂිත භාවය සඳහා ගබඩා පහසුකම් ඇරඹීම ද ජීවන වියදම අඩුකිරීමේ උත්සාහයන් අතර කැපී පෙනේ.

දේශීය ආහාර නිෂ්පාදනය වැඩිකරන්නේ නැතිව මිල පාලනයක් මඟින් භාණ්ඩ මිල පහළ දැමීමක් අ‍පේක්ෂා කරන පිරිස් ද සිටිති. ජාත්‍යන්තරය වාණිජ සබඳතා අතින් වඩ වඩා කිට්ටු ‍වෙමින් සිටින අතර රුසියාව, තුර්කිය සහ ඉතාලිය යන දේශපාලන සම විසම රටවල් දැවැන්ත ගෑස් නළයකින් එකිනෙකාට සම්බන්ධ‍ වෙමින් අනාගත බලශක්ති අර්බුදයකට පිළියම් සොයති. අග්නිදිග ආසියාව පුරා සංවෘත ආර්ථිකයන්හි බැමි පතුරු ගැලවෙමින් තිබේ. වියට්නාමය සිය දැවැන්ත ඛනිජ නිධි සම්භාරය ප්‍රංශ හා ජර්මානු සමාගම් සමඟ ඒකාබද්ධ විවෘත ව්‍යාපාර ජාලයක් වෙත යොමු කරමින් සිටී. ඇමෙරිකා චීන වෙළෙඳ පරතරය අඩුවන පරිදි ගනුදෙනු වඩ වඩා ලිහිල් කරන බවට චීනය ගිය සතියේ ඇමෙරිකාවට සහතික විය.

හෝචිමිං, ජනරාල් ගියේප් වැනි අව්‍යාජ දේශපාලන නායකයන් ඇමෙරිකානු තර්ජනයනට මුහුණ දෙමින් ඉදිකරන ලද වියට්නාමය සිය ඛනිජ සම්පතින් උපරිම පල නෙළා ගැනීමටත්, ගෑස් හා ද්‍රව ඉන්ධන අංශය දියුණු කිරීම සඳහා ප්‍රංශය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමටත් සූදානම් වේ.

ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි අපනයනය කිරීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කළ පමණින් ශ්‍රී ලංකාවේ ජාති හිතෛෂි ඇතැම් පිරිස් විරෝධතාවනට පෙළ ගැසෙති. ‍මේ විරෝධතා නිසාම රටට ගලා ඒමට තිබූ විදේශ ආයෝජන අඩාළ වූ අතර ඇතැම් කර්මාන්තකරුවෝ මේ රටින් ඉවත්ව වියට්නාමයේ කර්මාන්ත ඇරැඹූහ.

දේශීය ආහාර මිල ගණන් අඩුකර ගැනීමේ දී දේශීය නිෂ්පාදනය වැඩිකර ගත යුතුවේ. පසුගිය කාලය පුරා දැඩි කාලගුණක විපරීත ක්‍රියාකාරිකම් රැසකට ද, නියං සහ වැසි විපත්වලට ද කෘෂි අංශය මුහුණ දුන්නාය. පිට පිට කන්න තුනකට මුහුණ දුන්නා පමණක් නොව වැසි රටාවේ සරදමට ද මුහුණ දීමට ලංකාවේ ගොවියාට සිදුවිය.

2015 අනුරාධපුර කාලගුණ කලාපයේ වැසි දින සංඛ්‍යාව දින 131ක් වුවත්, 2016 දී එය වැසි දින 76 දක්වා අඩු විය. එම කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මි. මීටර් 2221 සිට මි. මීටර් 1035 දක්වා අඩු විය. ත්‍රිකුණාමල කාලගුණ කලාපය 2015 දී වැසි දින 110ක් වාර්තා වූ නමුත් 2016 වැසි දින සංඛ්‍යාව දින 73 දක්වා අඩුවිය. අදාළ කාල පරාසය තුළ වර්ෂාපතනය මිල මීටර් 2030 සිට මිලි මීටර් 996 දක්වා අඩු විය. හම්බන්තොට කලාපයේ වාර්ෂික වැසි දින සංඛ්‍යාව 2015 දී දවස් 118කි. 2016 දී එය වැසි දින 74 දක්වා අඩු විය. බණ්ඩාරවෙල කලාපයේ 2015 වැසි දින සංඛ්‍යාව දින 180කි. එහෙත් එය 2016 වසරේ දී දින 101 දක්වා අඩු විය. වර්ෂාපතනය 2015 දී මිලි මීටර් 2015 ක් වුවද, 2016 වර්ෂාපතනය මිලි මීටර් 862කි. රත්නපුරයේ 2015 වැසි දින ගණන 236 කි. එය 2016 දී දින 204 දක්වා ද, වර්ෂාපතනය මිලි මීටර් 3464 සිට මිලි මීටර් 2833 දක්වා ද අඩු විය. මේ දක්වා ඇත්තේ උදාහරණ කීපයක් පමණි.

මෙබඳු විපරීත වැසි රටාවක් හා කාලගුණික විපර්යාසයක් හමුවේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය කෙසේද?

2015 ලොකු ලූනු වගාවට යටවූ හෙක්ටයාර් 5618ක වගා බිම් ප්‍රමාණය 2016 දී හෙක්ටයාර් 3900 දක්වා අඩු විය. වියළි මිරිස් නිෂ්පාදනය සඳහා 2015 දී යටවූ ‍හෙක්ටයාර් 13029 බිම් ප්‍රමාණය 2016 දී හෙක්ටයාර් 15267 දක්වා වැඩිවුවද, බඩඉරිඟු වගාවට 2015 දී යටවූ හෙක්ටයාර් 69971බිම් ප්‍රමාණය හෙක්ටයාර් 67630 දක්වා අඩු විය. කුරක්කන් වගාවට 2015 දී යටවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 6950 සිට හෙක්ටයාර් 6151 දක්වා අඩු විය.

නිෂ්පාදන ගැටලු

උඳු, කවුපි, තල, සහ මුං වගාව සඳහා යටවූ බිම් ප්‍රමාණය ද 2016 දී අඩු විය. මෙවැනි තත්ත්වය මත ආහාර ද්‍රව්‍ය මල ගණන් ඉහළ යෑමෙන්ම, ආහාර ද්‍රව්‍ය ආනයනය අවස්ථා ඉහළ යෑමද වළක්වා ගත නොහේ.

මාස් කන්නයේ වගා කටයුතු දැන් ඇරැඹී ඇති අතර පසුගිය කන්නයට වඩා වැඩි බිම් ප්‍රමාණයක් වී වගාවට යටවන බවට සැකයක් නැත.

2015 මාස් කන්නයේ වී වගාවට හෙක්ටයාර් 773000ක් යටවූ නමුත් අස්වැන්න නෙළා ගත්තේ හෙක්ටයාර් 659000ක ප මණය .2016 මාස් කන්නයේ හෙක්ටයාර් 756000 ක් දක්වා වගා කළ බිම් ප්‍රමාණය අඩුව අස්වැන්න නෙළාගත් බිම් ප්‍රමාණය හෙක්ටයාර 667000දක්වා අඩුවිය.

2015 යල මහ ‍දෙකන්නයේ වී වගාව හෙක්ටයාර් 1254000කි. අස්වනු නෙළාගත් භූමි ප්‍රමාණය හෙක්ටයාර 1088000කි. වසරේ අස්වැන්න මෙට්‍රික්ටොන් 4819000කි . එහෙත් 2016 වී අස්වැන්න මෙට්‍රික් ‍ටොන් 4420000 දක්වා අඩුවීම නිසා සහල් අපනයනය කිරීමට ද සිදුවිය. මෙබඳු තතත්වයක් මත ආහාර ද්‍රව්‍ය මිල ගණන් පහත ‍හෙළීමට විකල්පයක් වන්නේ ආහාර ද්‍රව්‍ය ආනයනය මඟින් වෙළෙඳ පොළ හසුරුවා ගැනීමය. ඒ සඳහා විශාල ජාතික ධනයක් ද වැය විය.

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ දියුණුවක් අත්කරගත් කර්මාන්තයක් වූයේ උක් කර්මාන්තය හා ඒ ආශ්‍රිත දේශීය සීනි කර්මාන්තයයි.

2016 වසරේ උක්දඬු මෙට්‍රික් ටොන් 812000ක් අඹරන ලදුව, සීනි මෙට්‍රික් ටොන් 62000 ක් නිෂ්පාදනය කරගන්නා ලදී. නිරි වගාව සහිතව උක්වගාවට යටවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 11,7 84 කි.

උක් කර්මාන්තය පණ ගසාගෙන එත්ම දැන් ගොවි විරෝධතා හිස ඔසවාගෙන එයි. ‍ගොවි මහතුනගේ විරෝධතා උත්සන්න වෙත්ම උක් කර්මාන්තය දියුණු කිරීම ලෙහෙසි වන්නේ නැත. දේශීය සීනි කර්මාන්තය දියුණු කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා පාකිස්ථානය සමඟ ද සාකච්ඡා පැවැත්වීය. ඉතා කුඩා ප්‍රමාණයේ සීනි නිෂ්පාදනාගාර සංකල්පය මත පකිස්ථානු සීනි කර්මාන්තයේ දියුණුව රඳා පවතී.

ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂ 110 ක් ආයෝජනය කරමින් කන්තලේ සීනි කර්මාන්තය නගා සිටුවීමේ ගිවිසුමක් ද දැන් ක්‍රියාත්මකය.

ආයෝජක මණ්ඩලය මගින් ද අනුමත කළ එම ගිවිසුමේ පාර්ශ්වකරුවකු වන්නේ බැංගලෝරයේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර් සීනි සමාගමයයි.

උක් වගාව සීනි නිෂ්පාදනය, බලශක්ති ප්‍රභව සහ කිරි නිෂ්පාදන යන අංශයන්ගෙන් මෙරට කාර්මික හා කෘෂිකාර්මික සංවර්ධනයට සම්බන්ධවන විදේශීය ආයෝජකයා මෙම ව්‍යවසාය තුළින් ඍජු රැකියා අවස්ථා 1200 ක් සැපයීමට ද අදහස් කරයි.

වාර්ෂිකව මෙට්‍රික්ටොන් 72,000ක සීනි නිෂ්පාදනයක් ඔවුනගේ ඉලක්කයයි. මෙවැනි ව්‍යාපෘතියක් ද රට ඉදිරියේ ඇති සමයක උක් වගාවේ නියුතු වගා කරුවනගේ විරෝධතා රටේ ඉදිරිගමනට බාධාවක් නොකර ගත යුතුව තිබේ.

2018 අයවැය ලේඛනය කාන්තා හිතවාදී යැයි කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කාන්තා හිමිකාරීත්වය සහිත ව්‍යාපාරික අංශ සඳහා සාධාරණ පොලී පදනමක් මත ණය මුදල් සැපයීම කන්තා ව්‍යවසායකත්වයට අතහිත දීමකැයි එම වාණිජ මණ්ඩලය කියයි.

පරිප්පු, අර්තාපල් සහ හාල්මැස්සන් වැනි ආහාර ද්‍රව්‍ය සඳහා සහන සැලසීම ග්‍රාමීය කාන්තාවට කරන ලද සැලකිල්ලක් යැයිද, එකම කවුළුවකින් ව්‍යාපාර ලියාපදිංචියට ඉඩ සැලසීම අනවශ්‍ය ප්‍රමාද දුරලීමකැයි ද එම වාණිජ මණ්ඩලය තවදුරටත් සඳහන් කර තිබේ.

සීනි බද්ද

විවිධ ව්‍යාපාරික සංසද 2018 අයවැය පිළිබඳ සාකච්ඡා මණ්ඩප පැවැත්වීමට ඉදිරිපත් ‍වේ. මේ හැම සාකච්ඡාවකදීම කියැවුණේ ඍජු විදේශ ආයෝජනය එක්සත් ජනපද ‍ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම සහ අපනයන ඉලක්කය ‍ඩොලර් බිලියන 20 දක්වා ඉලක්ක කිරීම අයවැයේ උත්සාහයක් වී තිබෙන බවයි .

මූල්‍ය වෙළෙඳ පොළ තුළ කිරීමට යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වන බවට ආයෝජකයනගේ සහ ‍බ්‍රෝකර්වරුනගේ විශ්වාසය පළ වේ.

සීනි ග්‍රෑමයට සත 50 බැගින් වන බද්දක් පැනවීම සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස්, නෙස්ලේස් සහ කාගිලිස් ලංකා යන සමාගමයන්ගෙ ලාබ අඩුවීමට හේතුවන බවට එම ආය තනයන්ගේ කොටස් හිමියෝ අදහස් පළ කරති.

බාල ළමා පරපුර අතර පැතිරෙන දියවැඩියාව පාලනය කිරීමට සීනි භාවිතාව අඩුකිරීමේ උත්සාහයක් මේ යෝජනාව මඟින් ඉදිරිපත්වන බවට තර්ක කරන්නෝද ‍ ‍මේ අතර වෙති. මුදල් ඇමැතිවරයාද ඒ මතයේ සිටියි. බාල පරපුර අතර දියවැඩියා රෝගය බහුලවීම රට ඉදිරියේ ඇති තවත් ව්‍යසනයකි.

අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වීම සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යළි සක්‍රීය විය .

පසුගිය සඳුදා කොටස් මිල දර්ශකය ඒකක 41 කින්ද, අඟහරුවාදා ඒකක 53 කින්ද, බදාදා ඒකක 28 කින්ද පහත වැටුණි. බ්‍රහස්පතින්දා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 24 කින් ඉහළ ගිය අතර සිකුරාදා ඒකක 34 කින් ඉහළ යෑම නිසා මිල දර්ශකය ඒකක 6483 තුළ ස්ථාපිත විය.

දුම්කොළ සමාගමය එක කොටසකට රුපියල් 17.50ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කළාය. සිකුරාදා රොයිටර් වාර්තාව ප්‍රකාශ කළේ ජේ. කේ. එච්. කොටස් සක්‍රීය වීම නිසා වෙළෙඳ පොළ ඉදිරියේදීත් සක්‍රීය වන බවයි. පසුගිය සතියේ වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 4.6කි.

කරුණාරත්න අමරතුංග


බුද්ධ ටැටූ කතාවේ නොදකින පැත්ත

$
0
0
නොවැ 21, 2017 01:00

 බුද්ධ රූපයකට සමාන රූපයක් ටැටූ එකක් ලෙස අතේ කොටා ගත් විදේශ කාන්තාවක් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රටෙන් පිටුවහල් කරනු ලැබී ය. ඇය එම තීරණයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි තීන්දුව අනුව ඇයගෙන් සමාව ගැනීමටත් ඇයට වන්දි ගෙවීමටත් නියම විය.

ඒ ගැන ආරංචිය සමග, විමසන මනසකට ප්‍රශ්න කීපයක් ඇති වීම ද නිගමනය කීපයක් ඇති වීම ද වැළැක්විය නොහැකි ය. මේ ලිපියේ අරමුණ, ඒ නිගමන හා ප්‍රශ්න විමසීම හරහා, අපට වැරදී ඇති හා වැරදීමට නියමිත තැන් කීපයක් ගැන සංවාදයක යෙදීමට ය.

පළමුව රටේ පහළ අධිකරණයට සාපේක්ෂව ඉහළ අධිකරණය තවමත් පළල් ලෙස සලකා තීන්දු ගන්නා බව මෙයින් ගම්‍ය වේ. එය සතුටට කරුණකි. පහළ අධිකරණය ගන්නා වැරදි තීන්දුවක් සම්බන්ධයෙන් යම් සහනයක් තවමත් ලංකාව තුළ ලබා ගත හැකිය යන අදහස ම සතුටට හේතුවකි.

පැන නැගුණු එක් ප්‍රශ්නයක් නම් එසේ පිටුවහල් කරනු ලබන්නේ කුමන නීතියක් යටතේ ද යන්න ය. ඒ පහළ උසාවියට වැරදුන තැන සොයන්නට ය. එසේ වැරදුනේ ඇයි කියා සොයා බලන්න ය. ඒ නැවතත් එහෙම වැරදි නොකර ඉන්නට ය. නඩු තීන්දුව දී ඇත්තේ ඇය රට තුළ රැඳී සිටීමෙන් රටේ බහුතරයකගේ ආගමික හැගීම්වලට රිදවිය හැකි බව සලකා බලා ය. කෙනෙකුගේ ඇඟේ ‍කොටා ඇති පච්චයකින් තව පිරිසකට රිදෙන්නේ කෙසේ ද යන්න සලකා බැලුවේද නැද්ද යන්න පැහැදිලි නැත.

දන්තධාතුව වැඩම වූ හැටි

ඇය ටැටූ කර ගෙන ඇත්තේ බුද්ධ රූපයක් යැයි සහසුද්දෙන් කිව හැක්කේ කාට ද? ඉන්දියාවේ බොහෝ ආගමික ශාස්තෘන්ගේ රූප බුද්ධ රූපයට සමාන ය. ඒ සියල්ල ඉන්දීය සිත්තරුන් විසින් නිර්මාණය කරන ලද කලා කෘතීන් මිස බුදුන්ගේ ඡයාරූප නොවේ. ඒ නිසා ඇය ටැටූ කර ගෙන ඇත්තේ බුද්ධ රූපයක් ම දැයි නිශ්චය කළේ කවුරුන් ද?

දෙවැනුව බෞද්ධයන්ගේ හැඟීම්වලට රිදෙන්නේ බුද්ධ රූපයක් ටැටූ කර ගැනීම හරහා බුදුන්ට අගෞරවයක් වන්නේ නම් ය. එසේ වූයේ යැයි නිගමනයට පැමිණියේ කෙසේ ද? ඇය ම පසුව කියා ඇති විදිහට ඇය බෞද්ධයෙකි. ඇය එම රූපය කොටා ගෙන ඇත්තේ බුදුන්ට ඇති ගෞරවය නිසා ය. ක්‍රිස්තියානි දහම අදහන්නන් ජේසූස් වහන්සේගේ රූප මාලයක එල්ලා බෙල්ලේ එල්ලා ගන්නේ ජේසූස් වහන්සේට අගෞරව පිණිස නොවේ. ගෞරව පිණිස ය. ඇයගේ මේ ටැටූ ව අගෞරවයක් ලෙස ගන්නේ කෙසේ ද? එක් එක් රටවල මිනිසුන් ගැහැනුන් ගෞරව දක්වන්නේ වෙනස් අයුරිනි. එහෙම වෙනසක්වත් ඇතැයි පිළිගන්නට, එහෙම වෙනසකට ගරු කරන්නට, අපට නොහැකිව ඇත්තේ මන් ද?

ඇතැම් විට එසේ නිගමනය කර ඇත්තේ ඇය කාන්තාවක් නිසා විය හැකි ය. මා එසේ කියන්නේ දැන් කාලයේ ගැහැනිය බොහෝ දෙයින් බැහැර කිරීමට ආගමික ස්ථානවල පුරුද්දක් ඇතිවෙමින් තිබෙන නිසා ය. ඒ දැන් කාලයේ ප්‍රචලිත ව ඇති බමුණු මතයක් මිස පුරාණ ලංකාවේ තිබුණු මතයක් නම් නොවේ. (අප යමින් තියෙන්නේ ඉදිරියට නොව පස්සට ය. පෙර නොවූ බමුණු මත දැන් පහළ වන්නේ ඒ නිසා ය.)

දන්ත ධාතූන් වහන්සේ ලංකාවට ගෙන ආවේ හේමමාලී කුමරියගේ කෙස් කළඹේ සඟවාගෙන ය. එහෙත් දළදා මාලිගාව තුළ සමහර ස්ථාන කාන්තාවන්ට අකැප ය. ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ආවේ සංඝමිත්තා තෙරණිය ය. එහෙත් ඒ බෝ මළුව ම කාන්තාවන්ට අකැප ය.

ටැටූ එක නරක වන්නට ඇත්තේ එදා පැරණි ලංකාවේ නොතිබුණු දැන් පවතින බමුණු බුද්ධාගමට අනුව විය හැකි යැයි සිතුනේ ඒ නිසා ය.

ඇතැම් විට මේ කාන්තාව මෙසේ බුද්ධ රූපයක් අතේ කොටා ගෙන යෑමෙන් හිරිහැරයට ලක් වෙතැයි සද්භාවයෙන් පොලීසිය හා අධිකරණය කටයුතු කළා යැයි කෙනෙකුට හිතන්නට ද අවකාශ තිබේ.

එවිට මතුවන කාරණය නම් මේ කාන්තාව මෙසේ පිටුවහල් කරන්නේ නැතිව ඇයගෙන් මේ රූපය වසා ගෙන සංචාරයේ යෙදෙන ලෙසට කාරුණිකව ඉල්ලන්නට අපට නිහතමානිත්වයක් නො තිබුණේ ද යන්න ය. ප්‍රශ්නය අප මුලින් කී පරිදි ඇයට ම වන කරදරයෙන් බේරා ගැනීමට නම් කරන්න තිබුණේ ඒක ය. එහෙත් එහෙම වුවමනාවක් තිබුණු බවක් අපට වාර්තා වන්නේ නැත.

මේ නඩුව ගොනු කර ඇත්තේ සංචාරක පොලීසියවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවවත් නොවේ. අපේ රටේ සාමාන්‍ය පොලීසිය ය. එයින් පෙනී යන්නේ අදාළ ස්ථානවලට යොමු නොකරම ඉක්මනින් ඇයට දඬුවම් කර පිට කිරීමේ වුවමනාවක් ද බුද්ධාගමේ නාමයෙන් යමක් කරන්නට අවස්ථාවට සම්බන්ධ වූ අයට ඊටත් වැඩි වුවමනාවක් ද තිබෙන්නට ඇති බව ය.

ලෝකය ඉදිරියේ පල්ලම් බැහීම

සමහර අය කැමති තමන් බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින බව කියන්නට ය. පෙන්වන්නට ය. මේ ඒ සඳහා හොඳම අවස්ථාවකි. ඇතැම් විට එය අපමණ කැමැත්තෙන් භාවිතා වුණා වෙන්නට ද පුළුවන. ඒ නිසා ම ඔවුන් තාවකාලික වීරයන් වූවා ද විය හැකි ය.

එහෙත් ඒ සියල්ලෙන් වුණේ ලෝකය ඉදිරියේ අප ද සවුදි අරාබිය දක්වා පල්ලම් බැහීම ය. ආගම නිසා නිදහස අහිමි කරගත් ජාතියක් හැටියට ලෝක සිතියමේ ලකුණු කර ගැනීම ය.

ඒ පාප කර්මයෙන් පමා වී හෝ අප ගලවා ගැනීම ගැන ඒ විදෙස් කාන්තාවට අපි අපේ තුතිය පුද කළ යුතු ය. ඇය රටේ උසස් අධිකරණයට තමන්වත් අඩු තරමින් එසේ නොවේ යැයි කියන්නට අවස්ථාවක් ලබා දුන්නා ය. ඒ නිසා ම ඇයට අපේ ගෞරවය හිමි විය යුතු ය. ඒ අවස්ථාව භාවිතා කළ උත්තර අධිකරණයට ද අපේ ප්‍රණාමය හිමි විය යුතු ය.

එසේ වන්නේ මේ වන්දිය ගෙවීම සඳහා පිණ්ඩපාතේ වඩින්නට සංඝයා වහන්සේලා තීරණය නොකරන්නේ නම් පමණකි. නැත්නම් වන්නේ නැවත වතාවක් අප ආපස්සට යෑම ය. නා ගැනීම ය. අප එසේ කීවේ බොහෝ දේට මුණිවත රකින සංඝයා වහන්සේලා බොහෝ දෙනෙකු මෙවැනි තැනක ආවේගශීලිව ඉදිරිපත් වෙනු දැක ඇති නිසා ය.

අපේ රටේ මිනිසුන් කොහොමටත් සුද්දන්ව ආණ්ඩු මට්ටු කරන්නට ලැබෙන්නේ නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කැමති ය. ඒ උන් අපට කළ දෙයට ප්‍රති උත්තර දීමේ අවස්ථාව ලැබෙන නිසා ය. විශේෂයෙන් උන් අපේ රටේ දී, අප කියන විදිහට හිටියා ම, අපට නම්බුවක් ලැබේ යැයි අපට හිතෙන්නේ ය.

ඒ වුණත් අප තේරුම් ගත යුත්තේ මේ එන්නේ අප ආණ්ඩු මට්ටු කළ සුද්දා නොවන බව ය. අපට විදේශ විනිමය ගෙන එන සංචාරකයින් බව ය. ආණ්ඩුව වෙනම සංචාරක පොලීසියක් ඇති කර තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයට අවැඩක් නොවන හැටියට විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් විසින් පමණක් මේ සංචාරකයින් සමග කරන ගනුදෙනුවක් කළ යුතු නිසා ය. ඒ නිසා ම මේ ගැන සංවේදී වීමට අපේ රටේ සාමාන්‍ය පොලීසිය ද ජනතාව ද අප විසින් පුරුදු පුහුණු කළ යුතු ය.

වගකිව යුත්තේ

සුද්දා සමග ගනුදෙනුවේ දී අතීත වග සිහිපත් කරමින් හීනමානයක් ඇති කර ගැනීම වෙනුවට ඔවුන් ලෝකයේ අප වැනි ම සහෝදර ජන කොට්ඨාසයක් ලෙස බැලීමට අපට උගත යුතු ය. එවිට බොහෝ ප්‍රශ්න මග හරවා ගත හැකි ය. ඔවුන් අමාරුවේ දමා ගාන කපා ගැනීමට මාන බලන මිනිසුන් කරන්නේ සුද්දාට හිරිහැරයක් වීම පමණක් නොවේ. මේ රටට මුදල් ගෙනෙන සංචාරක ව්‍යාපාරයට හතුරු කමකි. ඒ කෝණයෙන් මේ දෙස බලන්නට ජනතාව පෙළඹවිය යුතු ය. මේ සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය භාරව ඇති කප්පරක් ආයතනවලට ද වගකීමක් පැවරේ. ඒ සංචාරකයන්ට නිදහසේ හැසිරිය හැකි සුහද පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජන මනස වෙනස් කිරීමට උර දීම ය.

අපේ රටේ භාෂාවෙන් කියතොත්, අජාන් බ්‍රහ්මවංශ හිමියන්, සංඝයා වහන්සේ කෙනෙකුට අමතරව, සුද්දෙක් ද වෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය ද උන්වහන්සේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ය. ඒ කියන්නේ නිකම් සුද්දෙක් නොව පට්ට සුද්දෙක් බව ය.

එක් ජනමාධ්‍යවේදියෙකු උන් වහන්සේ අමාරුවේ දමනු පිණිස ප්‍රශ්නයක් නගා තිබේ. ඒ ඔබ වහන්සේ ඉදිරියේ දී කවුරුන් හෝ සද්ධර්මය අඩංගු පොතක් කක්කුස්සිවලකට විසි කළොත් ඔබ වහන්සේ කුමක් කරන්නේ ද යන්න ය. මඳක් කල්පනා කළ උන්වහන්සේ කීවේ තමන් පයිප්ප වැද්දුම්කරුවෙකු කැඳවන බව ය. හේතුව පැහැදිලි ය. මේ නිසා සිදු විය හැකි ලොකු ම ප්‍රශ්නය නළ මාර්ගය අවහිර වීම ය. වෙනත් විදිහකින් උන් වහන්සේ කීවේ ඉතිරිය ඒ තරම් සැලකිය යුතු නැති බව ය. අපේ රටේ දී නම් උත්තරය හාත් පසින්ම වෙනස් වන්නට ඉඩ තිබේ.

මේ කතාව අපට කියන්නේ සුද්දන්ගෙන් පමණක් නොව සුදු හාමුදුරුවන්ගෙන් ද ඉගෙනීමට බොහෝ දේ අපට තිබෙන බව ය. ආගමකට අපහාස කිරීමට ඔවැනි ක්‍රියාවලින් බැරි බව ය. බුදු රජුන්ට අපහාස කිරීමට පින්තූරයක් ඇඟේ කොටා ගැනීමෙන් බැරි බව ය.

බෞද්ධ හාමුදුරුවරු

බොහෝ පන්සල්වල එල්ලා ඇති දැන්වීම්වලින් කියන්නේ පාවහන් හිස් වැසුම් ගලවා ඇතුළු වන ලෙස ය. වල්පොල රාහුල ධර්මායතනය අභියස එවැනි දැන්වීමක් නැත. ඒ වෙනුවට ඇත්තේ ජාති ආගම් කුල බේද පසෙක තබා ඊට ඇතුළු වන ලෙස ය. ඉගෙන ගන්නට සුද්දා ම වුවමනා නැති බවත් අපේ ධර්මධර භික්ෂූන් වහන්සේලාගෙන් ද අපට ඉගෙනුමට දේ ඇති බවත් ඒ දැන්වීමෙන් අපට ලැබෙන පණිවුඩය ය. එහෙත් අවාසනාවට අප රටේ බහුතර භික්ෂූන් වහන්සේලා අයත් වන්නේ ඒ කුලකයට නොවේ. ඊටත් අමතරව අප කී වර්ගයේ ස්වාමීන් වහන්සේලාට මාධ්‍ය තුළ ඉඩක් නොලැබේ. ඔවුන් කුණු නොඅවුස්සන නිසා ය. ඒ නිසා ඔවුන්ගේ වචනය අසන්නට අප වාසනාවන්ත නැත. අපට සුදු හාමුදුරුවන්ගෙන් ඉගෙනීමට සිදු ව ඇත්තේ ඒ නිසා ය.

සුදු කාන්තාව සම්බන්ධ සිද්ධියේ දී අමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වල්පොල පියනන්ද හිමිගේ මැදිහත් වීම ද අගය කළ යුතු ය. උන්වහන්සේ ප්‍රශ්න කළේ ටැටූ සලකුණක් සහිතව තායිලන්තයෙන් වැඩම කරන හිමිනමකුත් මෙසේ පිටුවහල් කිරීමට ශ්‍රී ලාංකිකයන් විසින් කටයුතු කරනු ඇත් ද යන්න ය. උන්වහන්සේ තවදුරටත් ප්‍රශ්න කර සිටියේ සිවුරක් දරණ නිසා වෙනස් යැයි සලකා සංඝයා වහන්සේ කෙනෙක් අමෙරිකාවෙන් පිටුවහල් කරනු ලබන්නේ නම් එය සාධාරණ ද යන්න ය. උන් වහන්සේ ඇරෙන්නට මේ ගැන හඬ අවදි කළ හාමුදුරුවන් සිටියා නම් ඒ අල්ප ය. උන්වහන්සේගේ හඬට ද අවසර ලැබී තිබුණේ සිංහල පත්තරයකින් නොව ඉංග්‍රීසි දි අයිලන්ඩ් පත්තරයෙන් ය.

බුදු දහම වෙනුවෙන් කැරලි ගැසූ කතක්

මේ කාන්තාව ජීවත් වන්නේ ක්‍රිස්තියානි රටක ය. බුද්ධ රූපයක් පච්ච කොටා ගැනීමෙන් ඇය ගෙන ඇත්තේ අවදානමකි. ඇයගේ සමාජය ඉදිරියේ වෙනත් ආගමිකයෙක් හැටියට පෙනී සිටීම ම අවදානමකි. ඒ රටවල මිනිසුන් වෙනස්කම් දරා ගන්නට අපට වඩා පුරුදුව ඇති නිසා එහි දී ගන්නා අවදානම අපේ රටකට වඩා අඩු විය හැකි ය. එහෙත් එය පැහැදිලි අවදානමකි. සෙසු අයට වඩා වෙනස් ලෙස පෙනී සිටින්නන්ට කවර සමාජයක වුව සියුම් ප්‍රශ්න ඇති වේ. ඒ නිසා ඇය සැලකිය යුත්තේ බුදු දහම වෙනුවෙන් කැරලි ගැසූ කාන්තාවක් හැටියට ය. ඒ බව මතු කර පෙන්වීමට ද උන්වහන්සේ සිය ලිපිය මගින් උත්සහ දරා තිබිණි.

එහෙත් එහෙම පැත්තක්වත් තිබිය හැකි යයි කරදිය වළල්ලෙන් එහාට පියා නගා නැති අපේ දූපත් වැසියන්ට දැනුණේ නැත. තායිලන්තයේ බුද්ධ රූප මාලයකට ගොනු කිරීම ද ශරීරයේ ටැටූ කිරීම ද සිරිතකි. ඔවුන්ගේ විශ්වාසයට අනුව බුදුන් තමන් ආසන්නයේ, නිතර නෙත ගැටෙන මානයේ, සිටීම ම බුදුන් අනුගමනය කිරීමට පොළඹවන්නකි. මිනිසුන් වෙනස් බව නොදකින, ඒවා නොඉවසන, කෙනෙකුට තායිලන්තය පෙනෙනු ඇත්තේ බුදුන්ට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන්ගේ දේශයක් ලෙස ය.

මේ ටැටූ සිද්ධිය පිළිබඳව ලංකාවේ වෙසෙන බෞද්ධ භික්ෂූන් පමණක් නොව බහුතරයක් බෞද්ධ විද්වතුන් ද මුවින් නොබැණ සිටියේ ඔවුන්ගේ ඥානය ද මෙසේ ගැට ගසා ඇති නිසා ය. නිවහල් නැති නිසා ය. එය කාන්තාවක්, විශේෂයෙන් ඒ බොහෝ දෙනෙකුට අදාළ නැතැයි සැලකෙන විදෙස් කාන්තාවක්, හා සම්බන්ධ පෞද්ගලික ප්‍රශ්නයක් හැටියට ගත්තා විනා ගැඹුරින් විමසිය යුතු සංවාද කළ යුතු ප්‍රශ්නයක් ලෙස සැලකිල්ලට යොමු වුණේ නැත. යම් හඩක් නැගුනා නම් ඒ මූණු පොත වැනි සමාජ ජාලා තුළ ය.

ඒ සංවාදය තුළ පවා අප දුටුවේ ටැටූ කළ කාන්තාව පමණක් නොව ඇය වෙනුවෙන් පෙනී සිටි, හැගීම්වලින් වියුක්තව තර්කයට ආයාචනා කළ, මිනිසුන් ද කුණුහරුපවලින් සංග්‍රහ ලැබූ බව ය.

පටු අදහස්වලින් නිදහස් සෙවීම

තාගෝර් විසින් දුටු මහගමසේකරයන් විසින් වචනයට නැගුණු ගීයක් මෙහි දී අපේ මතකයට නැගේ. ඒ ගීයෙන් කියන පරිදි මෙය තර්කයේ නිර්මල ජල ධාරාව ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නොපෙනී ගිය තවත් අවස්ථාවකි. හැගීම්වලින් ප්‍රලය වුණු කල ඇත්ත යුක්තිය පැහැදිලිව පෙනෙන්නේ නැත. එහෙම සමාජයක බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිය නොහැකි ය. ඥානය පටු අදහස්වලින් බැඳ තැබූ විට එයට සත්‍යය දකින්නට නොහැකි ය. අමරදේවගේ කටහඬින් ගැයෙන පටු අදහස් නම් පවුරින් ලෝකය යන ගීය නැවත නැවතත් අප ඇසිය යුත්තේ ඒ නිසා ය.

නඩු පැවරීම මගින් ද නඩුව ජය ගැනීම මගින් ද අපේ විදෙස් මිතුරිය ටැටූ කතාව පිටුපස ඇති ඛේදවාචකය නැවතත් සංවාදයට භාජනය කළ හැකි, කළ යුතු, යමක් ලෙස ජන ගත කර තිබේ. අපව මේ ගැන ලියන්නට පෙළඹුණේ ද ඇය විසින් මතු කළ ඒ පණිවුඩය ය. රතු එළිය ය.

(මේ ලිපියේ සඳහන් ඇතැම් තොරතුරු ලබා ගත්තේ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වීරකෝන් විජේවර්ධන මහතාගේ ඩේලි එෆ්ටී හි පල වූ ලිපියකිනි. එවැනි තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එතුමාට ද අපේ ස්තුතිය හිමි විය යුතු ය.)

නිශාන්ත කමලදාස

කටුගෙයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය (අවසන් කොටස)

$
0
0
නොවැ 21, 2017 01:00

රහස් පරීක්ෂණ නිමාව දකී

සොරාගත් කඩු කස්තාන බෑගයට වඩා දිග බැවින් කංගැට්ටාට නිසි ලෙස අසුරාගැනීමට නොහැකිවිය. ඒ නිසාම පැරණි කඩු තල නවා හෝ කඩා අසුරාගත් බවත්, කඩු කස්තාන 9ක් ගත් නමුත් එක් කඩු කස්තානයක් පමණක් නැවීමට හෝ කැඩීමට නොහැකිව ශක්ති සම්පන්නව පැවති නිසා ආරක්ෂාව සඳහා මිට එළියට පෙනෙනසේම එය රඳවා ගත් බවත් ඔහු සඳහන් කර ඇත. එලෙස හොඳ තත්ත්වයේ පැවති කඩුව නුගවෙල අදිකාරම් භාවිතා කළ කඩුව බැව් පසුව අනාවරණය විය.

“මං ඒක ගත්තෙ කවුරු හරි මුරකාරයෙක්, සිකුරුටිකාරයෙක් පැන්නොත් ඌට ඒකෙන් ඇනලා මාරුවෙන්න මිසක් වෙනදේකට නෙවෙයි“

කංගැට්ටාට කඩුව සම්බන්ධයෙන් පැවතියේ එවන් අදහසකි.

මේ අයුරින් බෑගයේ අසුරාගනු ලැබූ කෞතුක භාණ්ඩද සමග කංගැට්ටා ලී දොරවල්වල කොණ්ඩිපට්ටම් ගලවා පිටවෙන්නට උත්සාහ දැරුවද, අතරමැද ශක්තිමත් යකඩ දොරක්ද තිබිණි. කුමක් හෝ හේතුවකට මීට පෙරාතුව පැමිණි කිසිදු අවස්ථාවක එවැන්නක් ඔහුගේ අවධානයට ලක්ව නොතිබිණි. දැන් කෙසේ හෝ පිටව යා යුතුය. එහෙත් එය කඩා බිඳ දමන්නට තබා හිතන්නටවත් නොහැකිය. යකඩ දොර උළුවස්සට සවිකොට පැවති ශක්තිමත් සරනේරු අතර අලුතින් සවිකරන ලද තහඩු සරනේරුවක්ද ඇති බව කංගැට්ටාගේ නිරීක්ෂණයට ලක්විය. පැරණි ඒවා තරමටම එය ශක්තිමත්ව පැවතිය නොහැකි බව අනුමාන කළ ඔහු ඉස්කුරුප්පු නියනෙන් ඊට තට්ටු කර බැලුවේය. ඔහුගේ අනුමානය නිවරදි විය. තරමක් වෙර යොදා ඇල්ලිමෙන් සරනේරුව බුරුල් කර ගැනීමට ඔහුට හැකිවිය. ඉක්බිතිව දොර සහ සරනේරුව අසළින් තමාට රිංගිය හැකි තරමට ඈත් කොට එළියේ කුටියට පිවිසි ඔහු රැගෙන ආ බෙඩ් ෂීට් එක කෑලි 8ට ඉරා එකට ඇඹරුවේය. අනතුරුව කෞතුකාගාරයෙන්ම ගලවා ගත් කම්බිය සහිත වයරයක් සමග බෙඩ් ෂීට් තීරුව එකට අමුණා ශක්තිමත්ව සෑදූ රැහැනින් පළමුව බෑගය බිමට බෑවේය. දෙවනුව තමන් බහින්නට යාමෙන් වයරය කොතැනක හෝ විදුලි කාන්දුවක ගෑවි ඔහුට විදුලි සැර වැදුණි. ඒ නිසාම ක්‍රමානුකූලව බැසීමට නොහැකිව ඔහු වීසිවී ගොස් බිම වැටුණි.

“හොඳ වෙලාවට සර්, ඉස්සරලාම වැදුණේ කකුල් දෙකමයි. හිට්ටවෙලා තමයි ආයෙම වැටුණේ. ඒ නිසා හානියක් වුණේ නෑ. පොඩ්ඩක් සීරුණා එච්චරයි.“

“තමුන් ඔය කියන විදිහට වැටිලා තියෙන්නෙ මුර කුටියක් ළඟට නේද?

“ඔව් සර්. හරියටම චෙක්පොයින්ට් එක ඉස්සරහට. ඒත් කවුරුවත් පේන්න හිටියෙ නෑ. වැටුණු ගමන්ම මං නැගිට්ටෙ නෑ. ඒ සද්දෙට නිදාගෙන හිටපු මුරකාරයෙක් හරි නැගිටියිද කියලා ටිකක් අවධානයෙන් හිටියා. ඒත් එහෙම වුණේ නෑ. ඒ හින්දා හීන් සැරේ රූටලා බෑගය ළඟට ගිහින් ඒකත් අරන් මං අර ඉස්කෝලෙ ළඟ තාප්පෙන් පැනලා පාරට ආවා. පාරෙ ඇවිදගෙන දිගටම ආවා“

කංගැට්ටාගේ බෑගයේ නුගවෙල අදිකාරම්ගේ කඩුවේ මිට ඔහුගේ හිස දක්වාම ඉලිප්පී තිබුණි. වුවමනාවෙන් බලන ඕනෑම කෙනෙකුට ඔහුගේ ගමනේ හා මේ බෑගයේ අමුත්තක් තිබුණි. නෙළුම්පොකුණ රඟහල ආසන්නයට පැමිණෙනවිට 119 රාත්‍රී මුර සංචාර පොලිස් ජීප් රථයක් නවත්වා තිබුණි. එහෙත් කංගැට්ටාට තම ගමනට එයින් කිසිදු බාධාවක් එල්ල නොවුණි.

“ඩ්‍රයිවර් සීට් එකේ හිටපු පොලිසියෙ මහත්තයා සුක්කානමට ඔළුව තියාගෙන නිදාගෙන හිටියා. තවත් එක්කෙනෙක් ඉස්සරහ සීට් එකේ ඇළවෙලා හිටියා. එස්.අයි මහත්තයෙක් විතරක් ජීප් එකට හේත්තුව දාගෙන ඈත බලාගෙන හිටියා. මං සද්ද නැතුව එතනින්ම එන්න ආවා“

“එතනදි බයක් හිතුනෙ නැද්ද?“

“නෑ සර්. එස්.අයි මහත්තයා මාව දැකලා හිනාවුණා. ඉතිං මමත් හිනාවෙලා එන්න ආවා“

“සමහරවිට ඒ අය කුරුදුවත්ත පොලීසියේ වෙන්න ඇති. මං කටුගෙයි ඉස්සරහ ගෙදර වැඩ කරද්දි මහරෑටත් පාරෙ ඉඳගෙන ඉන්නවනේ. ඒ හින්දා මාව දැකල පුරුදු කෙනෙක් හින්දා සැකකෙරුවෙ නැද්ද දන්නෙ නෑ“ කංගැට්ටා කියයි.

“බැරි වෙලාවත් තමුන්ට එන්න කියලා බෑග් එක චෙක් කරානම්“

“එහෙම වුණානම් මේ ආයුධවලින් මූණටම දමා ගහලා මං දුවනවා. මං ඒ ටිකේ පාරවල් හොඳට දන්නවා. පොලිස් මහත්තුරු ඇහැරලා ඇස් පිහදාලා බලද්දි මට මාරුවෙන්න පුළුවන්. ඒ හින්දා මට බයක් දැනුණේම නෑ“

පොලිස් ඇසටද, ලක්නොවී ඔහු නගරශාලාව ඉදිරිපස පාරෙන් අනෙක්පස පවත්නා ප්‍රසිද්ධ රාත්‍රී හෝටලයට වැදී හොඳහැටි කෑවේය. තේ එකක්ද ගෙන්වාගෙන බීවේය. එහි බිල ගෙවා නිවී සැනසිල්ලේ හෝටලයෙන් එළියට බසින ලද කංගැට්ටා තරමක් දුරින් නවතා තිබුණු ත්‍රී රෝද රථයට අත වනා ළඟට ගෙන්වා ගත්තේය.

“මල්ලි, කොටුව බස්ටෑන්ඩ් එකට කීයද?

“මේ වෙලාවෙ නම් සර් පන්සීයක්වත් ඕනෑ‘ මැදියම් රැයද, නික්ම ගොස් පැවති නිසා හසුවූ ගනුදෙනුකරුගෙන් ගාණ කඩා ගැනීමේ කුලී රථ සේවයේ සුපුරුදු ක්‍රියාදාමය ඔහු හොඳින් දැන සිටියේය.

“කමක් නෑ යන්“ ඔහු බෑගයද පටවාගෙන ත්‍රී රෝද රථයට ගොඩවිය.

පිටකොටුව බස්නැවතුම් පළ අසළට සමීප වන විට ඔහු වහාම අතින් තට්ටුවක් දමා රියදුරා නැවැත්වීය.

“බස්ටෑන්ඩ් එකටම ඕන නෑ මල්ලි. ඔන්න ඔය කළුවර දිහායින් බස්සන්න“ ත්‍රී රෝද රථය පාරේ අයිනකට කර නැවැත්වීමෙන් පසු ඉල්ලූ පන්සීය වෙනුවට දාහේ කොළයක් ඔහු රියදුරා අත තැබීය. ‘පිස්සු පොරක්‘යයි සිතූ ත්‍රි රෝද රථ රියදුරා දහසේ නෝට්ටුව සාක්කුවට දාගෙන ත්‍රී රෝද රිය නැවත හරවා ගත්තේය. එම දහසේ නෝට්ටුව ‘ස්පෙසිමන්ට්‘ ලෙස සටහනක් තබන ලද කෞතුකාගාරයෙන් සොරාගත් නෝට්ටුවක් බැව් ත්‍රී රෝද රථ රියදුරා දැනගන්නේ පසුවදාය. පසු කලෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම මුදල් නෝට්ටුවද, නැවත සොයාගැනීමට සමත්විය.

පිටකොටුව බස්නැවතුම්පළේ රැඳී සිටින කංගැට්ටා එදින උදෑසනින්ම සියඹලාපේ බස් රථයක නැඟී නිවස බලා එයි. කෞතුකාගාරයෙන් සොරාගන්නා ලද රන් හා රිදී කාසි කිහිපයක් ස්වර්ණාභරණ සාප්පු කිහිපයකට විකුණන ඔහු සෙසු කඩු මිටවල් කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ට විකුණයි. පසු කලෙක මෙම සිද්ධියේ පරීක්ෂණ ආරම්භ කිරීමට මූල සාක්ෂියක් සැපයෙන පිළියන්දල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සොයාගනු ලබන කෞතුක භාණ්ඩද, මේ අයුරින්ම කංගැට්ටා විසින් අලෙවි කරන ලද භාණ්ඩ බැව් කිව යුතුය. මේ අයුරින් කෞතුක භාණ්ඩ අලෙවි කර ලැබූ මුදලින් මත් කුඩු මිලදී ගැනීමට මෙන්ම කරවල ව්‍යාපාරික කටයුතු සඳහාද යෙදවූ බවට ඔහු විසින් පසුව අනාවරණය කරන ලදී. තම සහෝදරයෙකු අනුරාධපුර ප්‍රදේශයේ කුඹුරක් සීසෑමේදී හමුවූ නිධානයකින් මෙම රන්, රිදී, මැණික් ආදිය හමුවූ බව පවසා කෞතුක භාණ්ඩ ඇතැමුන්ට අලෙවිකර ඇති අතර තවත් සමහරුන්ට වෙනත් බොරු පවසා මෙලෙස ගනුදෙනු කර ඇති බව හෙළිදරව් විය. ඒ අනුව ගල්ගමුව ප්‍රධාන වීදියේ ස්වර්ණාභරණ අලෙවිසැලකට රු.30,000ක මුදලකට කෞතුක භාණ්ඩ තොගයක් අලෙවි කර තිබුණි. එම ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුට මොහු පවසා ඇත්තේ තමා අනුරාධපුරයේ දේවාලයක කපු මහතෙකු ලඟ ආවතේවකරුවකු ලෙස සේවය කරමින් සිටියදී ආගමික වතාවත් ඉටුකිරීමට යොදාගත් කෞතුක භාණ්ඩ කිහිපයක් තමා සන්තකව පවතින බව හා කපු මහතා මියගොස් ඇති බැවින් එකී භාණ්ඩ තමා ළඟ තිබීමෙන් ප්‍රයෝජනයක් නොවන බැවින් ඒවා අලෙවි කරන බවයි. කෙසේ වෙතත් මෙම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා ළඟ තිබී කස්තාන කඩුවක කොටස් 03ක්, කස්තාන කඩුවක මිටෙහි කොටස් කිහිපයක්, නුගවෙල අදිකාරම්ගේ බස්තම්වල යයි අනුමාන කළ හැකි කොටස්වලින් උණු කරන ලද රන් කැබැල්ලක් සහ රිදී කැබැල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. ඔහු විසින් තමාට කංගැට්ටාගෙන් ලැබුණු තවත් භාණ්ඩ කිහිපයක් අටළුගම, මීගහමුල පදිංචි ඔහුගේම මුස්ලිම් ජාතික මිත්‍රයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට හැකිවිය. ඒ අනුව එකී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා ළඟ තිබී මොහොමදියන් කාසි 05ක්, පනම් කාසි 26න් යුතු මාලයක්, දකුණු ඉන්දීය පනම් කාසි 33ක්, කුඩා ගල් 07න් යුතු රන් මුදුවක්, කුඩාගල් 13න් යුතු රන් මුදුවක් සොයාගැනීමට හැකිවිය. මීට අමතරව කංගැට්ටාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව ගොස් අලව්ව, ඉන්ධන පිරවුම්හළකට දී තිබුණු රු.5000ක කාසියක්ද සොයාගැනීමට හැකිවිණි.

කෞතුකාගරයේ කෞතුක භාණ්ඩ සොරකම් කරන ලද්දේ 2012 වසරේ මාර්තු මස 17 දාය. සොරාගන්නා ලද කඩු කස්තානවල තල ජූනි මාසයේ 10 වන දින තමන් විසින් බියගම, ඩිමෝ හංදියේ කසළ බඳුනකට දැමූ බව කංගැට්ටාගේ ප්‍රකාශය මගින් තහවුරු විය. ඒ අනුව එකී කසළ එකතු කිරිමේ වගකීම පැවරී ඇත්තේ බියගම ප්‍රාදේශීය සභාවට බැව් දැනගැනීමෙන් පසු පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා, එකී ප්‍රාදේශීය සභා කාර්යාලයට ගොස් කසළ එකතු කිරීම සිදුවන ස්වරූපය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගන්නා ලදී. කසළ එකතු කරනු ලබන්නේ කුමන ට්‍රැක්ටර්වලින්ද, ඒවායේ එදින රාජකාරි කරන ලද්දේ කවුරුන්ද, එම කසළ එකතු කරනු ලබන්නේ වර්ගීකරණය කරමින්ද, ඒවා බැහැර කරනු ලබන්නේ කොහාටද? යන්න එහිදී අවධානයට ලක්විය. මෙහිදී බියගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහය නොමඳව ලැබුණු බවද කිවයුතුය.

ඒ අනුව කසළ එකතු කිරිමේදී කාඩ්බෝඩ් හා කඩදාසි වෙන් වශයෙන්ද, ප්ලාස්ටික් හා පොලිතින් වෙන් වශයෙන්ද, යකඩ කැබලි වෙන්වද, සෙසු දිරාපත් වන දේ වෙන්වද එකතු කරන බැව් තහවුරු විය. එදින ඒ ඒ කසළ එකතු කරන කම්කරුවන් විසින් යකඩ කැබලි ආදිය හමුවුවහොත් ඒවා අලෙවි කරන ප්‍ර දේශයේම පැරණි යකඩ මිලදි ගන්නා කඩ දෙකක් පවත්නා බවද තහවුරු විය. ඔවුන් විසින් ඒවා කිරුම් බරට මිලදී ගෙන ගොඩට වීසි කර දමනු මිස ඒවා කොහෙන් ලබාගත්තේද, කවුරුන් විසින් ලබාගත්තේද යන්න විමසීමක් නොකරයි. සෙසු ඉඳුල් හා දිරාපත් කුණු කසළ මල්වාන කසළ අංගණයට බැහැර කරනු ලබයි. මෙම සිදුවීම් ජාලය සමීපව නිරීක්ෂණය කළ පොලිස් පරීක්ෂකවරයා 2012 ජූනි මස 10 වන දින රාජකාරියේ නිරතව සිටි කම්කරුවන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ගෙන් එක් අයෙකුට මෙසේ පැවසීය.

“මං හෙට උදේ එනවා. කඩු ටික ගෙනත් තියන්න“

පසුදින කාර්යාලයට පැමිණි පොලිස් පරීක්ෂකවරයාට බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“ඉන්ස්පෙක්ටර් මහත්තයා අපේ එක්කෙනෙකුගෙන් කඩු වගයක් ඉල්ලුවද? අන්න එයා කඩු 3ක් ගෙනල්ලා..මිනිහා අහිංසකයා ඔය යකඩ කෑලි දැකලා දෑකැත්තක් හදන්න කියලා තියාගෙන“ සභාපතිවරයා දැනුම්දුන්නේය.

“මං තව ටිකකින් එන්නම්. ඒ ටික අරන් තියන්න“ පොලිස් පරීක්ෂකවරයා, එදින දහවලේ බියගම ප්‍රාදේශීය සභා කාර්යාලයට ගියේය. එකී කම්කරුවා, පොලිස් පරීක්ෂකවරයා ඉදිරියට පැමිණියේය.

“සර්ට කියන්න මං කඩු තල නවයක් ගත්තා. 7ක් යකඩ බඩුවලට වික්කා. දෙකක් දෑකැත්තක් හදන්න තියාගත්තා. අනිත් එක ගොඩක් ලස්සන හින්දා ලස්සනට තියා ගත්තා. “ඔහු කීවේය.

“මොකක්ද ලස්සනට තියාගත්තේ? පොලිස් පරීක්ෂකවරයා එකී කඩු තලය හොඳින් පරීක්ෂා කර බැලුවේය. එය නුගවෙල අදිකාරම්ගේ කස්තාන කඩුවේ තලයයි. කංගැට්ටා විසින් තම ආරක්ෂාව සඳහා පිටතට ගෙනා බව කියූ කඩුවේ තලයයි. මෙම කඩුතල සියල්ල පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අචාර්ය සෙනරත් දිසානායක මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා කෞතුකාගාරය සන්තකයේ පැවති පෞරාණික කඩු කස්තානවල කොටස් බව ඔහු විසින් ලිඛිත ප්‍රකාශයක් මගින් තහවුරු කරන ලදී.

ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටාගේ ඇඟිලි සලකුණු, අතුල් සහ පතුල් සලකුණු සටහන් ලේඛකාධිකාරීවරයාට යොමුකොට තිබිණි. කෞතුකාගාර සොරකම සිදුවූ දිනයේ එම ස්ථානයෙන් ලබාගත් ඇඟිලි සලකුණු හා අතුල් පතුල් සලකුණු පරීක්ෂණ වාර්තාවන්ද, ලේඛකාධිකාරී වෙත යොමු කොට ඒවා සැසඳේදැයි පරීක්ෂා කරන ලදී. ඒ අනුව එකී සලකුණු සැසඳෙන බව ලේඛකාධිකාරීවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරුකර තිබිණි. එදින කෞතුකාගාර භූමියෙන් හමුවූ සැකකරුගේ යයි සැක කළ භාණ්ඩ සියල්ල සැකකරු විසින් භාවිතා කළ භාණ්ඩ බැව් අධිකරණයේදී තහවුරු වූ අතර සැකකරු විසින් දමා ගොස් තිබුණු හිස් වැසුම සැකකරු භාවිතා කළ නමුත් වෙනත් අයෙකුට අයිති හිස් වැස්මක් බවද සොයාගන්නා ලදී. ඒ අනුව එකී හිස්වැසුමේ සැබෑ හිමිකරු වූයේ ගල්ගමුව, දිවුල්ගනේ ප්‍රදේශයේ පදිංචි ලලිත් අශෝක හේරත් නමැති අයෙකි.

ලංසාගේ ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටාගේ හැඳුනුම්පත ඔහු සන්තකයේ නොවීය. එය කොහේ ඇත්දැයි සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූයේ එකී හැඳුනුම්පත කොච්චිකඩේ ප්‍ර දේශයේ ඉන්ධන පිරවුම්හලක හිමිකරුවෙකු ළඟ ඇති බවයි. එය සොයාගෙන යනවිට දැක ගැනීමට හැකිවූයේ ‘සැකකරුගේ ඡායාරූපයක් සහිතව මොහු ගැන තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලා‘ මුද්‍රණය කළ පෝස්ටර් ඇළවීමට ගිය ගමනේදී පෝස්ටර් ඇළවීමට ඉඩදිය නොහැකි බවට අපරාධ පරීක්ෂණ නිලධාරීන් සමග ගැටුමකට පැමිණියේ මෙම ඉන්ධන පිරවුම්හළේ හිමිකරු බවයි. කංගැට්ටා ටික දිනක් මෙම ඉන්ධන පිරවුම්හලේ සේවය කර ඇති අතර එම හිමිකරු නිසි වැටුපක් ලබා නොදුන් බැවින් පිරවුම් හලේ සීසීටීවී කැමරාව කොට්ටං අත්තක් නවා වසාදමා එතැනින් රු. ලක්ෂයක මුදලක් රැගෙන පලාගොස් ඇති බව සැලවිය. තමන් ළඟ සේවයට පැමිණෙන්න්ගේ හැඳුනුම්පත හිමිකරු බාරයේ තබාගෙන නිවාඩු ලබා යනවිට පමණක් එය හිමිකරුට ලබාදීම ඔහුගේ ක්‍රමවේදයයි. මේ අනුව කංගැට්ටා එතැනින් පලාගියද, ඔහුගේ හැඳුනුම්පත ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සන්තකයේ තිබිණි. තමාට කළ කෙනෙහිලිකමට පලිගැනීමේ චේතනාවෙන් සිටි හිමිකරු, පොලිස් නිලධාරීන් විසින් ඔහු අල්ලාගනු ලැබුවහොත් තමාට එකී අවස්ථාව අහිමිවන බැවින් පොලිස් නිලධාරීන්ට සහයදීමට මැලිවූ බව හෙතෙම පසුව ප්‍රකාශ කළේය.

ජාතික අපරාධයක් වන ජාතික කෞතුකාගාරයේ සොරකම සිදුකළ ලංසාගේ ප්‍රියන්ත මේදිස්, බලඔළුවා හෙවත් කංගැට්ටා යන අයත්, එම කෞතුක භාණ්ඩ සන්තකයේ තබා ගත් හා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයින් කිහිපයක් විනාශ කළ පුද්ගලයින් සියලුමදෙනා සම්බන්ධයෙන් මේවන විට නිසි ලෙස විමර්ශන පවත්වා අදාළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාට යොමුකර තිබේ. එහෙත් නීතිපතිවරයා, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

රංජිත් විජේබණ්ඩාර

ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි

$
0
0
නොවැ 22, 2017 01:00
වසන්ත ප්‍රිය රාමනායක

වර්තමානයේ නැවතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමයක් ගැන අසන්නට ලැබේ. එහි පෙර පැවති දෙකටම වඩා වෙනස්කම් කීපයක් දක්නට ලැබේ. උතුරේ ජනතාව නියෝජනය කරන දෙමළ සන්ධානය ඊට සක්‍රීයව දායක වීම හා පෙර අවස්ථා දෙකටම වඩා මහජන කථිකාවතක් ඇරඹීම ඉන් ප්‍රධානය.

1948 නිදහසින් පසු මේ වන විට ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් සම්මත කරගෙන ඇත. එය සිදුවූයේ එතරම් දුරදිග ගිය මහජන කථිකාවතකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය උපයෝගී කරගෙන බව පැහැදිලිය. සාමාන්‍යයෙන් සිදුවිය යුතුව තිබුණේ මහජන කථිකාවතකින් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමයි. මීට හොඳම උදාහරණය ද.අප්‍රිකාවයි. එහෙත් අපේ රටේ සිදුවූයේ එහි අනෙක් පැත්තයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බහුතර බලය පමණක් උපයෝගී කර ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කර ගැනීමය.

1972 ව්‍යවස්ථාවෙන් ප්‍රධාන වශයෙන්ම සිදුවූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාව නිදහස් වී රට ලැබූ නිදහස සම්පූර්ණ කර ගැනීමය. ඊට උතුරේ දේශපාලන පක්ෂවල නියෝජනයක් ද සිදුනොවුණි. එදා සමගි පෙරමුණු රජය සතු වූ තුනෙන් දෙකේ ශක්තිය මේ සඳහා උපයෝගී කරගැනුණි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහයට ‘ඒකීය’ සංකල්පය හා බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය ස්ථාපිත වන්නේ 1972 ව්‍යවස්ථාව මඟිනි. ඒ සමගින්ම එම ව්‍යවස්ථාව අනුමත වන්නේ සුළුජන කොටස්වල නියෝජනයෙන් තොරවය. පසුකලෙක නිර්මාණය වූ ජනවාර්ගික අර්බුදය හා තිස්අවුරුදු සිවිල් යුද්ධයට ද මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ද වගකිව යුතුය.

ජනමතය යටයාම

1978 සිදුවූයේ ඊටත් වඩා අන්තයට යමින් පොදු ජනමතය හා සුළු ජනමතයෙන් ඈත්වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකි. එතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යූහයම වෙනස් වූ හා උඩු යටිකුරු වූ ස්වරූපයක් 1978 ව්‍යවස්ථාවේ දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත වීම සිදුවන්නේ මෙමඟිනි. මෙම විධායක ජනාධිපතිවරයා කෙළින්ම මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, පාර්ලිමේන්තුව හා පළාත් පාලන ආයතනවලට සමානුපාතික නියෝජනය ආදේශවීම 1978 ව්‍යවස්ථාවෙන් සිදුවූ මූලික ව්‍යූහාත්මක වෙනසක් ලෙසින් සැලකේ.

එසේම ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ක්ෂේත්‍ර දෙකම විධායක ජනාධිපති ධුරයට අවනත වීමේ ස්වරූපයක් පසුකලෙක එමඟින් දක්නට ලැබුණි. ඇමෙරිකාවේ ජනාධිපති වරයාටත් නොමැති බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතුව පවතිනවාය යන මතය රට තුළ ප්‍රචලිත වීමත්, එය ඒකාධිපති ස්වරූපය ආරෝපණය වූ බලයක් ලෙසින් හැඳින්වීමටත් සමහරු පෙලඹුනි.

වර්තමානයේ නැවතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමයක් ගැන අසන්නට ලැබේ. එහි පෙර පැවති දෙකටම වඩා වෙනස්කම් කීපයක් දක්නට ලැබේ. උතුරේ ජනතාව නියෝජනය කරන දෙමළ සන්ධානය ඊට සක්‍රීයව දායක වීම හා පෙර අවස්ථා දෙකටම වඩා මහජන කථිකාවතක් ඇරඹීම ඉන් ප්‍රධානය. එහෙත් මෙවැන්නක් වුවද කොතෙක් දුරට සාර්ථක වන්නේ දැයි කියන්න දන්නේ නැත.

මේ වන විට ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සම්පූර්ණ කිරීමට ආසන්නය. එහෙත් තවමත් ශ්‍රී ලංකාව ජනතාව අතර පුළුල් කථිකාවතකට හා සංවාදයකට යොමු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට නොහැකි වූ රටක් ලෙසින් ලෝක ඉතිහාසයට එක්ව තිබේ. එයම පවතින සංහිඳියාවේ ප්‍රශ්නයට හා සමෘද්ධිමත් රටක් නොවීමේ පසුබිමට ද හේතු වී තිබේ. යන්තම් පහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්වීම, වුවද සිදුවූයේ මෑත කාලයේදීය.

පසුගිය දා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ගෙවී ගිය සිවිල් යුද්ධය නිසා රටට අහිමි වූ මුදල රු. බිලියන 200ක් පමණ වන බවය. මේ නිසා නැතිවූ මිනිස් ජීවිත ප්‍රමාණය ලක්ෂයකට අධිකය. අහිමි වූ දේපළ වටිනාකම තවත් බිලියන සිය ගණනක් විය හැක. මේවා සම්බන්ධයෙන් තවමත් නිවැරදි තක්සේරුවක් සිදුකර නොමැත.

විශේෂයෙන්ම 1978න් පසු උඩුයටිකුරු වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමක්‍රමයෙන් ජනතාවට වග කියන පාලන ව්‍යූහයන් බවට පත් කිරීමේ යම් යම් ප්‍රතිසංස්කරණ මේ අතරතුර සිදු නොවෙනවාම නොවේ. මේ වන විට මුළු රටම සූදානමින් සිටින පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද ක්‍රමය එවන් එක් ප්‍රතිසංස්කරණයකි.

දැනට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය 1978 ව්‍යවස්ථාවේ ආකෘතියට අනුව සිදුවූවකි. එනම් කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු වෙනුවට අදාළ පළාත් පාලන බල ප්‍රදේශයටම බලපාන පරිදි සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පත්වේ. මේ නිසා නිෂ්චිතව ගමට වග කියන මන්ත්‍රීවරයකු පත් නොවුණි.

1978ට පෙර පැවතියේ ගමට වග කියන ගමේම කෙනෙක් ‘මැම්බර් මහතා’ යන නමින් අදාළ ගම්සභාවට, සුළු නගර සභාවට හෝ නගර සභාවට පත්වීමයි. විශේෂයෙන් ගම්සභාවලට පත්වූ මැම්බර් මහතා මේ අය අතුරින් ප්‍රචලිතය. ඔහු දීමනාවක් නොලැබූ එවැන්නකට ගැති නොවූ ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලනඥයෙකි. විශේෂයෙන්ම තම ධනය වැය කරමින් දේශපාලනය කළ අයෙකි.

මැම්බර් මහතා

තමන්ට අයත් දේශපාලන බල ප්‍රදේශය නැතිනම් ගම් සභා ආසනය කුඩා වූ නිසා ඔහුට වැඩ කිරීමේ කාර්ය පහසු විය. එසේම නිතර නිතර අදාළ ප්‍රදේශයේ ජනතාව හමුවන, හමුවිය හැකි අයෙක් විය. මේ නිසා එතරම් දේශපාලන භේදයකින් තොරව ගමට වැඩ කරන සුන්දර දේශපාලනඥයෙක් ලෙසින් ‘මැම්බර් මහතා’ ප්‍රචලිත වුණි. දේශපාලන පක්ෂයට වඩා නෑ හිතවත්කම්, ගමේ සමිති සමාගම්වල වැඩ කිරීමෙන් හදාගත් පෞරුෂය ගම්සභා අසුනක් ජයගැනීම සඳහා මෙම පිරිසට පහසුවක් වුණි. එසේම අදාළ ගම්සභිකයා ගමේ දේශපාලන සබඳතා ඉක්මවා ගිය විවිධ සබඳතාවලින්ගොඩනැගුන අයෙකි.

එසේ වුවද ගමේ පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම බැහැර වූ බවක් මින් අදහස් නොවේ. එහෙත් පක්ෂ දේශපාලනය බොහෝ තැන්වල ද්වීතික කරුණක් බවට පත්ව තිබුණි. ජනප්‍රියත්වයක් සහිත ජනතාව සමඟ වැඩ කිරීමේ හැකියාවක් තිබූ විවිධ සමිති සමාගම් නියෝජනය කළ ජනප්‍රිය චරිතවලට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසින් ගම් සභාවකට, සුළුනගර සභාවකට හෝ නගර සභාවකට පත්වීමේ ඉඩක් මේ ක්‍රමය යටතේ පැවතුණි. සාමාන්‍ය බයිසිකලයකින් ගමේ සැරිසැරූ මැම්බර් ලෙසින් විරුදාවලිය ලත් ගමේ සුන්දර දේශපාලනඥයා අතුරුදහන්වූයේ 1978 ව්‍යවස්ථාව සමඟිනි.

වසර 40කට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන යහපාලන රජය යටතේ එම පැරණි ක්‍රමයට ආවේණික කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙකු ලැබීමේ නව පළාත් පාලන මැතිවරණ සම්ප්‍රදායක් නැවතත් අපට ලැබී තිබේ.

මේ සඳහා ඇරඹුමක් ලෙසින් අදාළ පළාත් පාලන පනත සංශෝධනය වී නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීම ඇරඹුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. එහෙත් වත්මන් යහපාලන සමයේ ඊට අදාළ සීමානිර්ණ කටයුතු හා ඒ හා සම්බන්ධ ගැටලු නිරාකරණය වී ඇත. ඊට ප්‍රජාතන්ත්‍රවාදීව සෑහෙන කාලයක් ගතවී තිබේ. කලක් ගතවී හෝ ජනතාව බලාපොරොත්තු වන ආකාරයට නිවැරදිව යමක් සිදුවන්නේ නම් එය වැදගත්ය.

අලුත් මැතිවරණ ක්‍රමය

වත්මන් මැතිවරණ ක්‍රමය පැරණි ක්‍රමයම නොවේ. කේවල හා සමානුපාතික නියෝජනයන් දෙකම මුසුවූ මිශ්‍ර ක්‍රමයකි. මෙමඟින් ස්ථිරවම පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශයකට එක් මන්ත්‍රීවරයෙක් ලැබේ. එය සමහර විට ග්‍රාමසේවා වසම් එකක්, දෙකක් හෝ තුනක් එක්ව ගොඩනැගෙන කොට්ඨාසයකි. පවතින පසුබිමට සාපේක්ෂව බලන කල කුඩා මැතිවරණ කොට්ඨාසයකි. මීට අමතරව අදාළ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා පරාජිත ඡන්ද නැතිනම් කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙක් පත් නොවන ඡන්දවලින් සමානුපාතික නියෝජනයෙන් ද මන්ත්‍රීවරුන් කණ්ඩායමක් නව පළාත් පාලන බල ප්‍රදේශවලට පත්වේ. ්‍

මෙය නැවුම් දේශපාලන අත්දැකීමකි. මෙමඟින් එක් මන්ත්‍රී කොට්ඨාසයක්වත් ජය ගැනීමට නොහැකි දේශපාලන පක්ෂයකට කොට්ඨාස සියල්ලේම ඡන්ද එකතු කර සමානුපාතික නියෝජනයක් මඟින් මන්ත්‍රීවරුන් කීපදෙනෙක් පත්කර ගැනීමේ හැකියාව උදාවේ. මෙය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයකි.

එහෙත් මේ සඳහා (සමානුපාතික නියෝජනයට) කොට්ඨාස මට්ටමින් පත්වන මන්ත්‍රීන් ප්‍රමාණයට අමතරව 40%ක ප්‍රතිශතයක් වෙන්වීම එතරම් යහපත් නැත.

මේ නිසා මෙවර මැතිවරණයෙන් පළාත් පාලන බල ප්‍රදේශවලට පත්වන මන්ත්‍රීන් සංඛ්‍යාව පැවති ප්‍රමාණයට වඩා දෙගුණයකට ආසන්න වී තිබෙන්නේ ද 40%ක් මන්ත්‍රීවරුන් මනාප ක්‍රමයට පත්වීම නිසාය. මේ නිසා අදාළ සභා අස්ථාවර නොවී පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න පැනනැගිය හැකිය. එහෙත් පළාත් පාලන මැතිවරණය අවසන් වී, ප්‍රතිඵල නිකුත්වී අදාළ සභාවන් පවත්වනතුරු මේ පිළිබඳ අනාවැකි පළ කළ නොහැකිය.

මේ වන විට මුළු රටම නව ආරේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටී. මෙය වසර 40කට පසු ග්‍රාමීය හා නාගරික ජනතාවට ලැබෙන අලුත් අත්දැකීමක් රැගත් මැතිවරණ ක්‍රමයකි. මන්ත්‍රීවරුන්ගේ පඩිනඩි දීමනා සමගින් මේ සඳහා රට වශයෙන් පෙරට වඩා වැඩි මුදලක් වැය විය හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් කල එය වැඩි මුදලක් නොවේ. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික බව කිව මනාය. පහසුවෙන් ලබාගතහැක්කේ ඒකාධිපති ක්‍රමයක් පමණි.

යහපාලන ආණ්ඩුව දූෂිතයන් රකිනවාද

$
0
0
නොවැ 22, 2017 01:00

මැති ඇමැති නිලධාරීන් කරන ලද සියලු දූෂණ හා මිනීමැරුම් ආදියේ ලිපි ගොනු මහින්ද තබාගෙන එමඟින් මුළු රාජ්‍ය තන්ත්‍රයම බියගන්වා තමන්ට හා තම පවුලේ සාමාජිකයනට ජාතික ධනය රිසිසේ කොල්ලකෑමට අවස්ථාව උදාකරදී තිබුණි. මේ දූෂිත පාලන ක්‍රමය නිසා මුළු සමාජයම දූෂිතයන්ගේ සහ දූෂණයෙන් පිරුණු සමාජයක් බවට පත්විය.

2015 ජනවාරි 05 වැනිදා සිදු වූ දේශපාලන පෙරළිය නිදහස ලැබීමෙන් පසුව අප රට සිදු වූ වැදගත්ම සිද්ධියක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. කිසිවකුට පරාජය කළ නොහැකි යැයි සිතා සිටි රාජපක්ෂ ජුන්ටාව අන්ද මන්ද කරමින් මෙරට හැට‍දෙලක්ෂ පනස්දහසකට අධික ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට ඔසවා තැබීම ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් ගත් අතිශය තීරණාත්මක බුද්ධිමත් තීන්දුවකි. එදා අප රටේ අහිංසක බුද්ධිමත් ජනතාව එම තීන්දුව නොගත්තා නම් අද අපේ රටට තවත් ‘රොබට් මුගාබේ’ කෙනෙක් ලැබෙන්නට ඉඩ තිබුණි.

යහපාලන රජය බලයට පත් වී දැනට මාස 34ක් පමණ ගත වී ඇත. මේ කාලය තුළ රජය ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් සෑහෙන කොටසක් ඉටු කර ඇත. ප්‍රධාන වශයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, අධිකරණය හා පොලිසිය ස්වාධීන කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වන ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම ආදී ව්‍යවස්ථාමය අණපනත් පාර්ලිමේන්තුව මඟින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම් අතින් යහපාලන ආණ්ඩුව සිය යුතුකම හා වගකීම ඉටු කර ඇත. 2015 ජනවාරි 08 යහපාලන රජය බලයට පත් කළ ජනතාව බලාපොරොත්තු වූයේ දූෂණය, භීෂණය, නාස්තිය තුරන් කර සැමට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් බිහි කළ හැකි ආණ්ඩුවක් බිහි කර ගැනීමයි.

ජනතා ප්‍රසාදය හීන වීම

අද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ මාධ්‍ය නිදහස දෝරේ ගලන ආණ්ඩුවක් පැවැතියද මහජනතාව බලාපොරොත්තු වූ දූෂණය හා නාස්තිය පිටුදැකීමට රජය ගනු ලබන තීරණ පිළිබඳ මහජනතාවගේ එතරම් ප්‍රසාදයක් නැත. විශේෂයෙන් රාජපක්ෂ සමයේ කරන ලද දූෂණයන් හා වංචාවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන නමුත් ඒවා ‘ඉබි ගමනින්’ ක්‍රියාත්මක වන බවට ජනතාව මැසිවිලි නඟති. පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සහ ඔහුගේ සහචර මැති ඇමැතියන් ඔවුනට කට්ටඩිකම් කළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආදිය මඟින් මේ දූෂිතයන්ට එරෙහිව නීත්‍යානුකූල විමර්ශන පවත්වා පරීක්ෂණ වාර්තා 125කට අධික ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. පසුගිය වසර දෙක ඇතුළත මේ දූෂණය පිළිබඳ නඩු අසා දඬුවම් පැමිණවූයේ සිල් රෙදි බෙදාදීමේ වංචාවට හසු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේකම් වූ ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වූ අනූෂ පැල්පිට යන විත්තිකරුවන් දෙදෙනාට පමණි. එම චූදිතයෝද එක් දිනක්වත් සිර කුටියක නොරැඳී ඉතා සුවසේ බන්ධනාගාර රෝහලේ ගත කොට ආශ්චර්යමත් ලෙස ඇප ලැබී අද නිදහස් සුවය විඳිමින් සිටිති. රුපියල් ලක්ෂ 6000ක රජයේ මුදල් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා වැය කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට තීරණය කළ උගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මේ දූෂිතයනට අවුරුදු 3ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 1000ක දඩයක් නියම කරමින් අධිකරණ ඉතිහාසයේ ඉතාම වැදගත් නඩු තීන්දුවක් ලබා දුනි. මේ අතරට අඹ ගෙඩි 3ක් කඩා ගත් මහලු කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවට පසුගිය දා පුවත්පත් වාර්තා පළ වී තිබුණි. යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ නීතිය සෑම දෙනාටම සාධාරණව ක්‍රියාත්මක කරන බවයි. නමුත් සමාජයේ දිළිඳු ජනතාවට නීතිය සාධාරණව ඉටු වන බවක් පෙනෙන්නට නැත. මෙය මුළු මහත් සමාජයම කණස්සල්ලට පත්වන කාරණා බවට පත් වී ඇත.

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ශිරන්ති රාජපක්ෂ, නාමල්, යෝෂිත, රෝහිත, බැසිල්, ගෝඨාභය ආදී සියලුම පවුලේ සාමාජිකයන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී එම චෝදනා විධිමත් ලෙස විමර්ශනයට ලක් කොට අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට උගත් නීති විශාරදයන් ලවා එම චෝදනා හා විමර්ශන වාර්තා නිරීක්ෂණය කොට නීතිපතිවරයා විසින් මොවුනට එරෙහිව නඩු පවරා ඇත.

මහින්ද රාජපක්ෂ සිය ජනාධිපතිවරණය සඳහා ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 150කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණ සෙවීම පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම මඟින් දීර්ඝ කාලයක් විමර්ශනය කර ඔහුට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කෙරිණි. මීට අමතරව ජනාධිපතිවරණ රැස්වීම් සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනීමටත් එම ආයතනයට රුපියල් මිලියන 1500ක් නොගෙවීම සම්බන්ධයෙන් ද විමර්ශනය කර නඩු පවරා ඇත. අද දක්වා මේ නඩුවලට සිදුවූයේ කුමක්දැයි යන්න අභිරහසක් වී ඇත.

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමේ රුපියල් කෝටි 40 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනය සිදු කළ අතර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මඟින් ද මේ දූෂණ පිළිබඳ විමර්ශන කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා මේ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂිදීමට ගිය නමුත් ශිරන්ති රාජපක්ෂට එවක කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේ සාක්ෂි ලබාදීමට අවසර ලබාදී තිබුණි. මේ සිද්ධිය සිවිල් සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

කළු සල්ලි සුදු කිරීම

මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ද දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇත. නාමල් රාජපක්ෂ සිය නීති සමාගම මඟින් කරන ලද කළු සල්ලි සුදු කිරීමේ නීති විරෝධී ක්‍රියාවලින් රුපියල් මිලියන ගණනාවක් අයුතු ලෙස උපයාගෙන ඇති බවට පොලිස් විමර්ශන මඟින් තහවුරු වී ඇත. මේ නඩු නිතිපතාම කල්යෑම සාධාරණත්වය බලාපො‍රොත්තු වන ජනතාවගේ කණස්සල්ලට හා දැඩි පිළිකුලට ලක් වී ඇත. රජය පවසන්නේ අධිකරණයේ කටයුතුවලට තමන් ඇඟිලි නොගසන බවයි. කරුණු කාරණා කෙසේ වුවද නඩුවලට උසාවි ගොස් එන අතරමඟදී මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මොවුන්ගේ පුරුද්දක් වී ඇත. මයික් අල්ලන එක් මාධ්‍යවේදියෙක්වත් මේ චූදිතයන්ගෙන් උසාවි පැමිණි කාරණය විමසන්නේ නැත. මේ චුදිතයන් මහා වීරයන් සේ පවසන්නේ දේශපාලන පළිගැනීම් සඳහා තමන්ට මේ චෝදනා ඉදිරිපත් කරන බවයි. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව වසර ගණනාවක් මේ දූෂණ පිළිබඳ විමර්ශනය කර B වාර්තා මඟින් සාක්ෂි සහිතව සියලු දූෂණයන් පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබියදීත් චූදිතයන් පවසන්නේ මේ චෝදනා දේශපාලන පළිගැනීම් සඳහා ඉදිරිපත් කර ඇති ඒවා බවයි. මාධ්‍යකරුවන් ද ප්‍රශ්න කරන්නේ දූෂණ චෝදනා ගැන නොව හම්බන්තොට වරාය විකිණීම, මත්තල ගුවන්තොටුපළ විකිණීම, තෙල් ටැංකි විකිණීම ආදී කරුණු පිළිබඳවයි. මොවුන් උසාවියට පැමිණි කාරණය කිසිදු මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරන බවක් පෙනෙන්නට නැත. රජයේ දේපළ බිලියන ගණනින් කොල්ලකා ඒවා පොලිස් පරීක්ෂා මඟින් ඔප්පු වී තිබියදීත් තමන් සටන් කරන්නේ ජනතා දේපළ රැක ගැනීමට බව වීරයන් සේ මේ දූෂිතයන් පවසන අතර, ඒවා ප්‍රධාන සිරස්තල බවට පත් කිරීමට සමහර මාධ්‍යකරුවෝ සැදී පැහැදී සිටිති. මෙය යහපාලන ආණ්ඩුව මඟින් ලබාදුන් මාධ්‍ය නිදහස වෛශ්‍යා වෘත්තියේ යෙදීමක් බඳුය.

යෝෂිත රාජපක්ෂ ද රජයේ මුදල් සහ දේපළ අවභාවිත කිරීමට සම්බන්ධව චෝදනාවලට ලක්වී බන්ධනාගාරගතව දැනට ඇප පිට සිටින පුද්ගලයෙකි. CSN නාලිකාවට රුපියල් මිලියන ගණනින් යෙදවූ ආකාරය නාවික හමුදාවේ නිලතල දරමින් සිටින විට පෞද්ගලික විද්යුත් නාලිකා පවත්වාගෙන යෑම අයුතු ලෙස උපයාගත් මුදල්වලින් දෙහිවල ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ අත්පත් කර ගැනීම මොහුට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවලින් සමහරකි. මේ දේපළ ඩේසි මිත්තණියගෙන් ලැබුණු බව යෝෂිත පවසයි. ඇය පවසන්නේ දිනක් පුද්ගලයෙක් මැණික් මල්ලක් ගෙනත් දී පසුව මැණික් මල්ල ඉල්ලාගෙන මුදල් මල්ලක් දී ගිය බවයි. ලෝක ඉතිහාසයේම මෙබඳු විශ්මිත සිදුවීමක් අසන්නට නැත. ඩේසි මිත්තණියගේ සාක්ෂිය ඇය ගෙතූ කථාවක් විය නොහැකිය. ඉහළින් ලැබූ නීති උපදෙස් අනුව මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඇත.

මේ නඩුවත් දිනෙන් දින කල්යනවා විනා විභාගයට ගැනීමක් සිදුවන බව පේනතෙක් මානයකවත් නැත. ජනතාව දොස් පවරන්නේ ආණ්ඩුවටය. සමහරු පවසන්නේ රනිල් මහින්ද ඩීල් නිසා මේ නඩු ප්‍රමාද වන බවය. තවත් සමහරු හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ නිසා නඩු ප්‍රමාදවන බවට චෝදනා කරති. කරුණු කාරණා කෙසේ වුවද දූෂිතයන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමීව සිදුවන බවට ජනතාව කරන චෝදනාව සැහැල්ලුවෙන් බැහැර කළ නොහැක.

බැසිල් රාජපක්ෂටද දූෂණ චෝදනා කප්පරක් ඉදිරිපත් වී ඇත. සුප්‍රසිද්ධ මල්වානේ මාලිගාව පිළිබඳ බැසිල්ට ඉදිරිපත් වී ඇති චෝදනා ඉතා බැරෑරුම් ඒවා වුවද මේ දේපළ තමන්ට අයත් නොවන බව ප්‍රසිද්ධියේ කීමට තරම් බැසිල් නිර්භය වී ඇත. අධිකරණය මගින්ද මේ දේපළ රජයට පවරා ගැනීමට එක්වරක් යෝජනා කර තිබූ අතර තවත් වරෙක ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට තීන්දු කර තිබුණි. ඉදිරිපත් වී ඇති කාරණා අනුව බැසිල්ගේ බිරිඳ පුෂ්පා මේ මාලිගාව තැනීමට සුප්‍රසිද්ධ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණසේකරගෙන් නැකත් ලබාගත් බවත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩිට නිවාස සැලසුම හා ඉදිකිරීමට අවශ්‍ය උපදෙස් ලැබුණු බවත් පුවත්පත් වාර්තාවල සඳහන් විය. කොතරම් සාක්ෂි තිබුණද බැසිල්ගේ මේ දේපළ පිළිබඳ නිරවුල් තීන්දුවක් මේ දක්වාම ලැබී නැත.

ඥ‍ාතීන්ගේ නමට දේපළ

මාතර බ්‍රවුන්හිල් (Brown Hill) ඉඩම සහ ගෙය අත්පත් කර ගැනීම පිළිබඳ බැසිල්ට චෝදනා ඉදිරිපත් වී ඇත. පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ බැසිල්ගේ පිටරට සිටින ‍ඥාතියකුගේ නමට මේ දේපළ බැසිල් විසින් මිලට ගෙන ඇති බවයි. මීට අමතරව දිවි නැඟුම අරමුදලේ රුපියල් බිලියන ගණනින් වංචාවක් සිදුවී ඇති බවට චෝදනා ලැබී බන්ධනාගාරගත වී මාස ගණනක් සිටියත් එක් දිනක්වත් සිර මැදිරියක සිටීමට තරම් බැසිල් අවාසනාවන්ත වී නැත. අමෙරිකාවේ සිට දිවයිනට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේ කටු කම්බි වැටවල් උඩින් පැනගෙන පැමිණි නමුත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එක්වරම බන්ධනාගාර රෝහලට ඇතුළු වෙයි. ඉන්පසුව කොළඹ මහ රෝහලේ ඇති සුඛෝපභෝගී මර්චන්ට් වාට්ටුවේ නේවාසික රෝගියකු ලෙස මාස ගණනාවක් සනීප ගනී. අධිකරණයට ගෙන යනු ලබන්නේ ගිලන් රථයකිනි. විනිසුරුවරයා ගිලන් රථයට පැමිණ සුව දුක් විමසා නැවත බන්ධනාගාරගත කරයි. නමුත් යන්නේ මර්චන්ට් වාට්ටුවටය. මේ විහිලු තහළු මේ රටේ ජනතාව විඳ ගන්නේ කෙසේදැයි විමතියට කරුණක් වුවත් කරුණු කාරණා සිද්ධවූයේත් සිද්ධවන්නේත් ඒ ආකාරයටය. ඇප ලැබුණු පසු සියලු රෝග නිවාරණය වී නැවතත් රට වටේ යයි. දැන් අලුත් පොහොට්ටු පක්ෂය පිහිටුවාගෙන 2020 රාජ්‍ය බලය අල්ලා තමන්ට එරෙහිව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට දඬුවම් කරන බවට ද තර්ජනය කරමින් සිටී. බැසිල්ට විරුද්ධව මහාධිකරණයේ නඩු රාශියක් පවතින අතර එම නඩු ද දින නියමයක් නැතිව විවිධ හේතු දක්වමින් කල් දමමින් සිටී.

අනාගත ජනාධිපතිවීමට සිහින දකිමින් සිටින අමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විවිධ මිනීමැරුම් හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා රාශියක් එල්ල වී ඇත. මේ චෝදනාවලින් ප්‍රධානතම දූෂණ චෝදනාව වන්නේ පසුගිය යුද සමයේ දී රුසියාවෙන් මිලට ගත් ජෙට් යානා ගනුදෙනුවකදී ඩොලර් මිලියන ගණනක් කොමිස් මුදල් ලබාගැනීමේ චෝදනාවයි. ‘වීරකැටිය ව්‍යාපෘතිය’ නමින් බොරු ව්‍යාපෘතියක් පෙන්වා පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ රුපියල් මිලියන 95ක් වැය කොට ඩී. ඒ. රාජපක්ෂ හා ඔහුගේ බිරිඳගේ සොහොන් කොත් සෑදීම පිළිබඳව ගෝඨාභයට එරෙහිව චෝදනා එල්ල වී ඇත. අනෙක් රාජපක්ෂවරුන්ට මෙන් නොව ගෝඨාභයට මිනීමැරුම් පැහැර ගැනීම් පිළිබඳ චෝදනාව එල්ල වීම විශේෂ කරුණකි. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ පැහැරගෙන යෑම, වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා සිසුන් තිදෙනකු ඝාතනය කිරීම, පුත්තලම ධීවරය ඝාතනය කිරීම, කටුනායක රොෂෙල් චානක ඝාතනය, 2012 වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, පෝද්දල ජයන්ත, කීත් නොයර්, තෙන්නකෝන් ආදී මාධ්‍යවේදීන්ව පහර දී අත පය කඩා දැමීම ආදී චෝදනා රාශියක් ගෝඨාභයට එරෙහිව එල්ල වී ඇත.

බිලියන ගණනින් කොමිස්

ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් බිලියන ගණනක කොමිස් මුදල් ලබාගැනීම වැනි දූෂණ චෝදනාවලට ද මොහු ලක් වී සිටියද මේ දක්වා මොහුට විරුද්ධව නඩු පවරා නීතිමය පියවර ගැනීමට බලධාරීන් අපොහොසත්වීම ද යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාව එල්ල කරන තවත් චෝදනාවකි. මොහුට විරුද්ධව ඇති නඩු විභාග නිරන්තරයෙන්ම කල්යෑම සාධාරණය පතන ජනතාවගේ කණස්සල්ලට හා කෝපයට ලක්වී ඇත. ‘සියලුම කුණු බේරුවල බොක්කට’ කීවා සේ ජනතා අපවාදය එල්ල වී ඇත්තේ යහපාලන ආණ්ඩුවටය.

රාජපක්ෂවරුනට එරෙහිව එල්ල වී ඇති චෝදනා ගණන පිළිබඳ විමසා බලන විට මොවුන් සමාජයේ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව හැසිරෙන්නේ කෙසේදැයි ලැජ්ජා බය ඇති සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයකි. රාජපක්ෂලාගේ විවරණය අනුව මේ සියලු චෝදනා දේශපාලන පළිගැනීම් නම් රජයේ නීතිපති ඇතුළු නීතිඥ මණ්ඩලවල සාමාජිකයන්, පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීන් අධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියල්ලම ඒකපාක්ෂිකව කටයුතු කර ඇත. රටේ පවතින නීතියට අභියෝග කිරීමට තරම් දූෂිතයන් මිනීමරුවන් එඩිතර වී ඇති බවත් මෙයින් ගම්‍ය වේ.

රාජපක්ෂ පවුල හැරුණු විට ඔහුගේ ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරු රාශියක් දූෂණ චෝදනාවලට ලක්වී සමහරු බන්ධනාගාරගත වී සිට අද ඇප මත මුදා හැර ඇත.

රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං රුපියල් මිලියන 400 වත්කම් ඉපැයූ ආකාරය තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා අල්ලස් කොමිසම විසින් නඩු පවරා එම නඩු විභාගයට දින නියම කර ඇත. මහින්ද රාජපක්ෂ සමයේ මොහුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන කටයුතු සිදුකරන විට නාගයකු දෂ්ඨ කිරීම නිසා පරීක්ෂණයට පැමිණීමට නොහැකි බව දන්වා පරීක්ෂණයට ඉදිරිපත් නොවීය. එම විමර්ශන මහින්ද රාජපක්ෂ රජය සදාකාලිකව හමස් පෙට්ටියට දා තිබුණි.

ශ්‍රීලනිප උප සභාපතිවරයකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් ලබාගැනීම හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කරන ලද නීති විරෝධී පත්කිරීම් සම්බන්ධව දැනට මහාධිකරණයේ නඩු පවරා ඇත.

හිටපු සමුපකාර හා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව දූෂණ චෝදනා රාශියක් එල්ල වී බන්ධනාගාරගතව සිට දැනට ඇප පිට සිට මොහුට විරුද්ධව නඩු 5ක් පමණ මහාධිකරණයේ විභාගවීමට නියමිතය.

අල්ලස් චෝදනා

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ද අල්ලස් කොමිසමේ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් චෝදනා රාශියක් ගොනු කොට මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා රජයේ ඉඩමක් පුද්ගලයකුට නීති විරෝධී ලෙස ලබාදී රුපියල් මිලියන 64ක් අල්ලස් ගැනීම පිළිබඳව මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී.

මහින්ද රාජපක්ෂගේ බැගේජ් බෝයි (Baggage Boy) ලෙස රාජපක්ෂ පවුලේ අය හැඳින් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රුපියල් බිලියන ගණනාවක රජයේ මුදල් අවභාවිත කොට තමාගේ සමාගම්වලට යෙදවීම සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය කොට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට දැනට ඇප මත නිදහස්ව සිටී.

ප්‍රභාකරන්ට රුපියල් මිලියන 800ක කප්පම් ගෙවීමට අතරමැදියකු ලෙස ක්‍රියා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ද බන්ධනාගාරගතව සිට දැනට ඇප පිට නිදහස්ව මහාධිකරණ නඩුවලට පෙනී සිටීමට නියමිතව සිටී. උතුරේ නිවාස ව්‍යාපෘතියකට රජයේ මුදල් රුපියල් මිලියන 600ක මුදල් ලබාගෙන එකම ගෙයක්වත් සාදා නැති බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශ හිතෛෂියා ලෙස ජනතාව ඉදිරියේ පාරම්බාන මහින්දගේ අග්‍ර පුරෝහිතයකු වන විමල් වීරවංශ රජයේ වාහන 41 අවභාවිතය කිරීම, රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස තම ඥාතීන්ට ලබාදීම, ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම හා තම බිරිඳ සමඟ එම ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කොට විදේශ සංචාර කිරීම යන චෝදනාවලට ලක්වී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව මහාධිකරණ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටී.

ඇල්වතුර පවා නිවා බොන බව පවසන පිවිතුරු හෙළ උරුම නායක (සභාපති ලේකම් මාධ්‍ය ප්‍රකාශක) උදය ගම්මන්පිල මහතා ද ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් (Brian Shaddick) සතු සමාගමකින් රුපියල් මිලියන 21 කොටස් වංචා සහගතව විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිට දැනට ඇප පිට නිදහස්ව මහාධිකරණ නඩු විභාගයට පෙනී සිටිමින් සිටී.

මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල, සරත් කුමාර ගුණරත්න, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු රජයේ මුදල් දේපළ අවභාවිතය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය ඉදිරියේ නඩුවලට පෙනී සිටී.

මහින්ද රාජපක්ෂගේ මැති ඇමැතිවරුන් හැර ඔහුගේ වටේ සිටි උසස් රාජ්‍ය නිලධාරීන්වන ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට, අජිත් නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර මහාමාර්ග ඇමැති හිටපු ලේකම් රංජිත් ප්‍රේමසිරි වෛද්‍ය නිහාල් ජයතිලක, ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, මහින්දගේ මස්සිනාවන අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය වරායේ හිටපු සභාපති වික්‍රම හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා යන පුද්ගලයන් ද රාජ්‍ය දේපළ මංකොල්ල කෑම පිළිබඳ චෝදනාවලට ලක්වී බන්ධනාගාරගතව අද ඇප පිට නිදහස්ව මහාධිකරණ නඩුවලට චූදිතයන් ලෙස ඉදිරිපත් කර ඇත. මහින්ද රාජපක්ෂගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු කණ්ඩායමක් රුපියල් කෝටි 4500ක් වංචා කිරීම නිසා අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙති.

මේ කරුණු විස්තර සහිතව ඉදිරිපත් කළේ යහපාලන රජය දූෂිතයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ඇතැම් අන්තගාමී කොටස් ඉදිරිපත් කරන චෝදනාවලට පිළිතුරු වශයෙනි. චූදිතයන්ට එරෙහිව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග ඉතා මන්දගාමීව සිදුවන බවට බොහෝ දෙනා දරන මතය අසාධාරණ යැයි පැවැසිය නොහැක. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කරන නීතිය සැමට සාධාරණව ඉටු කිරීමට බැඳී සිටින යහපාලන ආණ්ඩුවකට පවතින නීති රාමුවෙන් පරිබාහිරව අත්තනෝමතිකව ක්‍රියා කිරීමට නොහැකි බව ද සිහි තබාගත යුතු කරුණකි. රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසා ඇති පරිදි ‘ආණ්ඩුව වෙනස් වුවද රාජ්‍ය තන්ත්‍රය වෙනස්වී නැති බව’ මෙහි දී විශේෂයෙන් සඳහන් කිරීම වටී.

නීතිය සර්ව සාධාරණව

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ යහපාලන ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට පමණක් නොව යහපාලන ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ යැයි චෝදනා ලැබ ඇති එහි ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට එරෙහිවද නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක කිරීමයි. හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ බෑනාට එරෙහිව තිබූ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම, හිටපු ගුවන් සේවා අධ්‍යක්ෂ ප්‍රියංකර ජයරත්න ඇමැති ධුරයෙන් ඉවත් කිරීම, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කැබිනට් සාමුහික වගකීම කඩකිරීම නිසා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම, දැනට විදේශ ඇමැති තිලක් මාරපන ඇවන්ගාඩ් දූෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් නිසා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම, ඇමැති ෆවුසිට එරෙහි වාහන අවභාවිතය සම්බන්ධයෙන් නඩු පැවරීම ආදී සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුව දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගල‍යාගේ තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනඒමට තරම් නිර්භය වීමයි.

රාජපක්ෂ සමයේ මැති ඇමැති නිලධාරීන් කරන ලද සියලු දූෂණ හා මිනීමැරුම් ආදියේ ලිපි ගොනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තබාගෙන එමඟින් මුළු රාජ්‍ය තන්ත්‍රයම බියගන්වා තමන්ට හා තම පවුලේ සාමාජිකයනට ජාතික ධනය රිසිසේ කොල්ලකෑමට අවස්ථාව උදාකරදී තිබුණි. දූෂිතයන්ගේ ලිපිගොනු තමා ළඟ තිබෙන බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි. මේ දූෂිත පාලන ක්‍රමය නිසා මුළු සමාජයම දූෂිතයන්ගේ හා දූෂණයෙන් පිරුණු සමාජයක් බවට පත්විය. මේ දූෂිතයන් හා දූෂණයන් සාධාරණව කිරීමට ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත්වීම කෙතරම් ‍ශෝචනීය තත්ත්වයක්ද? රාජපක්ෂලා හොරකම් කලා තමයි ඒත් සංවර්ධන වැඩ කළා යැයි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ලවා දේශනා කරවීමට තරම් රාජපක්ෂලා නින්දිත තත්ත්වයට පත්ව තිබුණි.

යහපාලන ආණ්ඩුවට එරෙහිව එල්ලවන ප්‍රධානම චෝදනාවක් වන දූෂිතයන්ට එරෙහි ක්‍රියාමාර්ගයන් මන්දගාමීවීමට යහපාලන ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන් ද වගකිවයුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් නඟන චෝදනාවකි. හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ බොහෝ සිවිල් ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්වූ පුද්ගලයෙකි. අවුරුදු දෙකහමාරක් පමණ ඉතා වැදගත් ඇමැති ධුරයක් දැරූ මොහු රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කොතරම් උනන්දුවෙන් තම කටයුතු කළාද කිවහොත් ‘තමා අධිකරණ ධුරයේ සිටින තාක්කල් ‘ගෝඨාභය’ අත්අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි’ වහසි බස් දෙඩීමට පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගැනීමට තරම් නිර්භීත විය. එමෙන්ම ගෝඨාභය සමඟ එක්වී රුපියල් බිලියන ගණනක් නාවුක හමුදාවට පාඩු කළ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමඟ අමෙරිකාවේ පවුල් පිටින් විනෝද සවාරි ගැසූ බවද ඡායාරූප සමඟ පුවත්පත්වල පළ විය.

දූෂිතයන් ආරක්ෂා කළ අධිකරණ ඇමැතිවරයකු යටතේ මේ තරම්වත් නඩු ප්‍රමාණයක් රාජපක්ෂවරුන්ට එරෙහිව‍ ගොනු කිරීමට ක්‍රියා කළ පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා එම විමර්ශනවලින් පසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය කටයුතු සිදු කළ නීතිපති දෙපාර්තමේන්තුවට ජාතියේ ගෞරවය හිමිවිය යුතුය. එමෙන්ම පක්ෂ පාට පවුල් බලය ධන බලයට හිස නොනමා විමර්ශනවලට බලපෑම් නොකොට එම විමර්ශන සර්ව සාධාරණව ඉටු කිරීමට එම ආයතනවලට ස්වාධීනව ක්‍රියා කිරීමට අවස්ථාව ලබාදුන් ජනපති ඇතුළු යහපාලන රජයට ජනතාවගේ ගෞරවය හිමිවීම අතිශයින්ම සාධාරණය.

සුමේධ සූරියආරච්චි 

දුර ඉලක්කයකට රට යොමු කළ අයවැය

$
0
0
නොවැ 22, 2017 01:00
අසේල කුරුළුවංශ

පසු විපරමක් තිබුණොත් හොඳයි

එළඹෙන වසර සඳහා රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් රටේ ඉදිරි ගමන් මඟ කොයි ආකාරයට රජය සැලසුම් කරන්නේද යන්න පිළිබඳ යම් චිත්‍රයක් අයවැය වාර්තාව මගින් ලබා ගත හැකිය. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 71 වන අයවැය ලේඛනය වන අතරම යහ පාලන රජය බලයට පත්ව ඉදිරිපත් කරන තුන්වන අයවැය ය.

මෑත කාලයේ ඉදිරිපත් වූ අයවැය ලේඛන හා සැසඳීමේදී මෙය යම් ප්‍රශස්ත මට්ටමක පවතින බව කිව හැකිය. ඒක පුද්ගල ආදායම ඉදිරි වසර තුළ ඇමරිකානු ඩොලර් 5000 ක අගයක් දක්වා ඉහළ දැමීම රජයේ අරමුණවී තිබේ. දැනට පවතින තත්ත්වය අනුව එම ඉලක්කය සපුරා ගැනීම පිණිස ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දහසකින් පමණ වැඩි කරගත යුතුය. ආර්ථික වර්ධනය 5 % ක් දක්වා ඉහළට ගෙන එද්දී උද්ධමනය 6 % ක් බවට පත් කර ගැනීමද රජය අයවැයෙන් අපේක්ෂා කරන තවත් ඉලක්කයකි. අයවැය හිඟය වසර 2020 වන විට දළ ජාතික නිෂ්පාදනයෙන් 3.5 % දක්වා අඩු කර ගැනීමත් අපනයන ආදායම දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයක් බවට පත් කර ගැනීම කෙරෙහිද රජයේ විශේෂ අවධානයක් යොමුව ඇත. විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නංවා ගැනීමත් දශ ලක්ෂයකට රැකියා අවස්ථා සැපයීමත් ඇතුළු කරුණු ගණනාවක් අන්තර්ගත මෙම අයවැය සංවර්ධනාත්මක ඉලක්ක සහිත හොඳ අයවැයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

ආර්ථික වශයෙන් රටේ යම් පිබිඳීමක් ඇති කළ හැකි යෝජනා මේ තුළ අඩංගුව තිබේ. ව්‍යවසායකත්වය ඉහළ නැංවීම පිණිස කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස විශේෂ පහසුකම් හා ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් වන අතරම රටේ සංවර්ධන ගමන් මඟ ශක්තිමත් කිරීමට එය ප්‍රබලව බලපාන්නා වූ කරුණකි. ව්‍යවසායකත්ව පුහුණුව පිළිබඳද විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට රජය සැලසුම් කර තිබීම අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රබලව බලපායි.

ඉදිරි දැක්ම

අයවැය ලේඛනය තුළ ඉදිරි දැක්මක් පැහැදිලිව පෙනෙනන්ට තිබෙන අතර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායද ඊටම ඇතුළත්ව තිබීම ඉතා වැදගත් කරුණකි. දියුණු වෙමින් තිබෙන රටවල් අද ආර්ථික දියුණුව පිණිස යම් යම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී මුහුණ දෙන ප්‍රබලතම ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඒවායින් සිදුවන පරිසර හානිය අවම කර ගැනීමයි. අද ලෝකයේ බොහෝ රටවල් වායූ දූෂණය, ජල දූෂණය, වනාන්තර ගහණය අවම වීම වැනි ගැටලු රැසකින් පීඩා විඳින තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබේ. රජය මෙම අයවැය තුළින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනේදී පරිසර හිතකාමී අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර තිබීම යහපත් ලක්ෂණයකි.

වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමත්, විදුලියෙන් ක්‍රියා කරන හා දෙමුහුන් වාහන ප්‍රවර්ධනය කිරීමත් හොඳ යෝජනාය. රජයේ වාහන සියල්ල වසර 2025 වන විටත් රටේ සියලුම වාහන වසර 2045 වන විටත් දෙමුහුන් හා විදුලියෙන් පමණක් ක්‍රියා කරන වාහන බවට පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මෙම ඉලක්ක වෙත යෑමේදී ජනතාවගේ ජීවන මට්ටම සියලු අංශවලින් ප්‍රමාණාත්මකව ඉහළට ගෙන ඒම පිණිස ක්‍රියා කිරීම රජයේ වගකීමක් වන අතර එසේ නොවුණහොත් මේවා ඉලක්කවලට පමණක් සීමා වනු ඇත. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනම ඒකකයක් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමටද අවධානය යොමුව තිබෙන අතර එවැනි යෝජනාවක් සිදුව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වරටය.

මෙය අයවැය යෝජනා ක්‍රියාත්මක වන්නේද නැත්ද යන්න සොයා බැලීම සඳහා වන පසු විපරම් ඒකකයක් තිබේ නම් වඩා හොඳය. මෙතෙක් කල් පැවැති රජයන්, අයවැය වාර්තා මගින් ඉදිරිපත් කළ යෝජනා ඉෂ්ට නොකළ බව ජනතාව පැත්තෙන් නැගෙන චෝදනාවකි. ඉලක්කම් හරඹයක් පමණක් දක්නට ලැබෙන විශ්වාසයක් නැති ලියවිල්ලක් බවට අයවැය පත්වීම නිසා ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් පැවැති උනන්දුව ක්‍රමයෙන් හීන වී ගියේය. මෙය පසුගිය දශක කිහිපය තුළ බලයේ සිටි සෑම පක්ෂයකටම එල්ල වන්නා වූ චෝදනාවකි. එම පසුබිම තුළ අයවැය ඉලක්ක සපුරා ගනු පිණිස පසු විපරම් ඒකකයක් ඇති වන්නේ නම් හොඳය. අයවැය යෝජනා කෙතරම් හොඳ වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමට රජය උනන්දු නොවන්නේ නම් අයවැය යථාර්ථයක් නොවන්නේය. දශක ගණනාවක සිට ශ්‍රී ලාංකීය ජනතාවට මේ සම්බන්ධව අත්දැකීම් පැවතීම නිසා ඔවුන් අද සියල්ල දෙස අවිශ්වාසයෙන් බලන්නට පෙළඹී තිබීම නිවැරැදි කළ හැක්කේ රජයටම පමණි.

රජය සැලසුම් කර තිබෙන ඉලක්ක ගත වැඩසටහන්වලට සමපාත වන අයුරින් අයවැය සකස් කර තිබීම තවත් වැදගත් ලක්ෂණයකි. රජය 2025 වන විට ළඟා වීමට අපේක්ෂිත ඉලක්ක හා ඒවා සාක්ෂාත් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග අඩංගු ඉදිරි දැක්මක් සහිත ලියවිල්ලක් විෂන් 20-25 නමින් පසුගියදා ඉදිරිපත් කෙරිණි. මෙවර අයවැය සම්පාදනයේදී එම ඉදිරි දැක්ම සැලකිල්ලට ගෙන තිබෙන බවක් පෙනෙනන්ට තිබේ. පිස්කල් ප්‍රතිපත්ති පිළිබඳ ස්ථායිකරණ තත්ත්වයක් අවශ්‍ය බවට යෝජනාවක් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. රජය බදු ආදායම් තුළින් රාජ්‍ය වියදම් ආවරණය කරගත යුතු වීම එහි මූලික ලක්ෂණයකි. ඒ සඳහා රජය මුල්‍ය වියදම් පාලනයක් කර ගැනීම අනිවාර්යය කරුණකි. ඒ සඳහා මූල්‍ය විනයක් ඇති කර ගැනීම වැදගත්ය. මෙය විෂන් 20-25 තුළ අන්තර්ගත කරුණකි. මහ බැංකුවද මේ පිළිබඳ අවධානය යොමුකර ඇත. අයවැය තුළින්ද පිස්කල් ප්‍රතිපත්ති පිළිබඳ ස්ථායිකරණ අඩිතාලම දමා තිබේ.

අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5 % ක් දක්වා ඉදිරි වසර තුළ අඩු කිරීම සඳහා සැලසුම් මෙහි අන්තර්ගතව තිබේ. තවදුරටත් එම අගය 2020 වන විට 3.5 % ක් දක්වා පහතට ගෙන ඒම රජයේ අරමුණය. මේ අකාරයට රාජ්‍ය වියදම් සීමා කරමින් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කිරීමේදී ආර්ථිකයට සංකෝචනාත්මක බලපෑමක් ඇතිවිය හැකිය. සුබ සාධන සඳහා රජය වැය කරන වියදම් ක්‍රමයෙන් අඩු කර ගැනීමේ ප්‍රවණතාවක් අයවැය තුළ දක්නට පුළුවන. රාජ්‍ය අංශයේ රැකියා පිළිබඳද අයවැයේ කතාවක් නොමැත. සහනාධාර වෙනුවට රක්ෂණ ක්‍රම හදුන්වා දෙමින් රජය යම් ආකාරයකට මෙතෙක් පැවැති සුබසාධන වැඩසටහන්වලින් මිදීමට ගන්නා උත්සාහය මෙහි අන්තර්ගතය. එය වැරැදි යැයි කිව නොහැකිය. බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මකය. පුද්ගල ආදායම් මට්ටම සලකා සේව්‍යයා හා සේවකයා යන දෙපාර්ශ්වයම එකතුව මෙම වැඩසටහන අවබෝධයෙන් ගෙන යා යුතු එකකි. මෙම රක්ෂණ ක්‍රමය විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් වෙනුවෙන් හඳුන්වා දී ඇත. රජය ක්‍රමානුකූලව අදාළ සුබසාධන වැඩසටහන්වලින් ඉවත්ව යන බවට ඉඟි, මෙම අයවැයේ දක්නට ලැබෙයි.

උද්ධමනය

උද්ධමනය 6 % ක පමණ මට්ටමක පවත්වා ගැනීම තරමක් ඉහළ අගයකි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල උද්ධමනය අඩු කිරීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එම රටවල උද්ධමනය 3 % -3.5 % පමණ අගයක පවතී. උද්ධමනය 6 % ක අගයක පවතිද්දී ස්ථිර ආදායම් ලබන අය යම් අපහසුතාවකට පත්වීම වැලැක්විය නොහැක. මෙමගින් ආදායම් බෙදී යාමේ විෂමතා ඇතිවීමට ඉඩක් තිබේ. පොළී අනුපාත ඉහළ යෑමටද මෙය හේතු විය හැකිය.

නිදහසින් පසු සෑම රජයකින්ම ජනතාව සහන බලාපොරොත්තු විය. සුබ සාධන මානසිකත්වයෙන් ජනතාව මුදවාලීමට කිසිදු රජයක් ක්‍රියා නොකළ අතර ජනතාව අද රටක් සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා ඉවහල් වන අයවැයකට වඩා වැඩි මනාපයක් දක්වන්නේ සුබ සාධන වැඩි අයවැයකටය. ජනතාව සෑම විටම අපේක්ෂා කරන්නේ රජය මගින් නොමිලේ මොනවා හෝ ලබා ගැනීමටය. රජය නඩත්තු වන්නේ ජනතා බදු වලිනි. ආණ්ඩුව කරනුයේ ජනතාව ගන්නා බදු මුදලින්, පෙරළා ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමයි. දරිද්‍රතාවයෙන් පෙළෙන හා ස්වාභාවික විපත්වලට ලක්ව, අසරණ වූ අය සඳහා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. අවශ්‍ය අවස්ථාවක මිස රජය ප්‍රතිපත්තියක් ලෙස සුබසාධන වැඩසටහන් දියත් කිරීම අවශ්‍යම දෙයක් නොවන්නේය. ආයෝජන වැඩි කරමින්, ව්‍යසායකත්වය පුළුල් කරමින් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩසටහන් රජය ක්‍රියාත්මක කළ යුතුය. නිදහසින් පසු මෙරට ආණ්ඩු බලයට පත් වූ ආකාරය සැලකීමේදී ජනතාව උදෙසා බලයේ සිටි හා බලයට පත්වීමට අපේක්ෂාවෙන් පසු වූ පක්ෂ, දියත් කළ හා දියත් කරන බවට පොරොන්දු වූ සුබසාධන වැඩසටහන් ප්‍රමුඛත්වයක් ගත් බව නොරහසකි. සුබසාධන මත දේශපාලන බලය තීරණය වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ජනතාවට වැඩිපුර සහන දෙන, රජයන් බලයට පත් කිරීම උදෙසා, ජනතාව ක්‍රියාකරන බව පැහැදිලිව දක්නට ලැබිණි. සහනාධාර ලබා දී බලය තහවුරු කර ගැනීමට රජයන් උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ රටේ දියුණුව ඇණ හිටීමය. සහනාධාර වෙනුවට ව්‍යවසායකත්ව වැඩසටහන්වලට ජනතාව පෙළඹවීම යහපත්ය. එය බඩගින්නේ සිටින පුද්ගලයකුට මාළු කෑල්ලක් දෙනු වෙනුවට බිලි පිත්තක් දීම වැනිය. මුදල් ඇමැතිවරයා අයවැයට පෙර ඉදිරිපත් කළ එම අදහස බොහෝ දුරට අයවැය තුළ අන්තර්ගතය.

රජයකට ණය ලබා ගැනීමට බොහෝ විට සිදු වන්නේ සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටය. අද රටට දරගත නොහැකි ණය කන්දරාවක් ගොඩගැසී තිබේ. හැට, හැත්තෑව හා අසූව දශකවල මෙම තත්ත්වයෙන් බැහැරව ගොස් කටයුතු කරන්නට පසුබිම උදාකර ගත හැකිව තිබූ නමුත්, එය ක්‍රියාත්මක නොවිණි. රජයන් විශාල ලෙස සහන දීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ රටේ යටිතල පහසුකම් ඇති කිරීම සඳහා වන සංවර්ධන ව්‍යාපෘති දිනෙන් දින කල් යෑමය. පසුව එම වැඩසටහන් වෙනුවෙන් විශාල ලෙස ණය ගැනීමට රජයන්ට සිදුවිය. අවසානයේ සිදු වූයේ රට ණය උගුලක සිරවීමය. ව්‍යවසායකත්වය පුළුල් කිරීම, කාර්මික හා කෘෂිකාර්මික දියුණුව ඇති කිරීම, ශ්‍රම බළකාය පුහුණු කිරීම, වෘත්තීය දැනුම ලබා ගැනීම සඳහා වන අවකාශ ඇති කිරීම වැනි වැඩසටහන් වෙනුවෙන් වැය කරන මුදල් එක් පැත්තකින් අනාගත ආයෝජන වනු ඇත. ඉලෙක්ට්‍රොනික මෝටර් රථ ජනතාව අතර ප්‍රචලිත කිරීම තුළින් විශාල ලෙස පරිසරය ආරක්ෂා වීමක් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා වැලි ගොඩදැමීම, වන සංහාරය, ජල මූලාශ්‍රවලට හානි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ.

කෙසේ වුවත් ඉලෙක්ට්‍රොනික මෝටර් රථ සඳහා විදුලි ආරෝපණ ස්ථාන රට පුරා ඇති කිරීම ප්‍රමුඛත්වය ලබාදී කළ යුතු කරුණකි. නැතහොත් ජනතාව ඊට යොමු වීමේ ශීඝ්‍රතාව අඩුවිය හැකිය. අයවැය තුළින් මෙම යටිතල පහසුකම් ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට ඇත.

අපනයන ආදායම දෙගුණ කිරීම සඳහා යෝජනාවක් ඇතත් එය සාක්ෂාත් කර ගැනීම සම්බන්ධ විධිමත් ක්‍රියාමර්ග අයවැයේ නොමැත. අපනයන ආදායම වැඩි කර ගැනීමටත් ආයෝජකයන් ගෙන්වා ගැනීම ඉහළ නැංවීමටත් අවශ්‍ය උපාය මාර්ග අයවැය තුළ අන්තර්ගත වූයේ නම් හොඳය. බැංකු මගින් සිදුකරන රුපියල් දහසකට වැඩි ගනුදෙනු සඳහා ශත 20 ක් අය කිරීම සිදුවන්නේ මූල්‍ය ආයතනයෙන් බව රජය පවසා තිබේ. එසේ වන්නේ නම් හොඳය. එය ගනුදෙනුකරු වෙත පැටවෙන්නේ නම් ඉන් සිදුවන්නේ නව ගැටලු නිර්මාණය වීමයි. මෙවර අයවැයේ බදු පැනවීම් බොහොමක නිශ්චිත ක්‍රමවේදයක් දක්නට ලැබෙයි. මත්පැන් සඳහා මධ්‍යසාර ප්‍රතිශතය අනුවත් වාහන සඳහා ඇන්ජින් ධාරිතාව අනුවත් බදු පැනවීම ඊට උදාහරණය. අවශ්‍ය නම් මෙය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යා හැකි පැහැදිලි ක්‍රමවේදයකි.

බදු සංයුතිය වෙනස් කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබුණත් ඒ සඳහා පසුබිම සැකසීමක් මෙම අයවැය තුළ දක්නට නොලැබෙයි. ඍජු බදු ප්‍රතිශතය අඩුකර වක්‍ර බදු ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා වන රජයේ අරමුණ ක්‍රියාත්මක කිරීමට නව සැලසුම් අවශ්‍ය බව මෙම අයවැය පෙන්වා දෙයි. ආයෝජකයන්ට හා ව්‍යවසායකයන්ට සහන දෙන විට ඔවුන් බදුවලට ඇතුළත් කර ගැනීම අසීරුය. මෙය එක් පැත්තකින් විවෘත ආර්ථික ප්‍රතිපත්ති පුළුල් කරන අයවැයකි. මෙහි අනිසි ප්‍රතිඵල ඇතිවීමද වැලැක්විය නොහැකිය. විවෘත ආර්ථිකය 1977 හඳුන්වාදීමෙන් පසු අදායම් බෙදී යාමේ විෂමතාවක් නිර්මාණය විය. ඊට සමාගාමීව සුබසාධන වැඩසටහන් කිරීමට රජයට සිදුවිය. රජය මේවා ගැන අවබෝධයෙන් පසුවීම අතිශයින් වැදගත්ය.

ආයෝජන ප්‍රවර්ධනය

ව්‍යවසායකත්වය පුළුල් කිරීමේදී හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති බාධා ඉවත් කිරීම අතිශයින් වැදගත්ය. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවසර ලබා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ව්‍යාපාරයට අදාළ අවසර ලබා ගැනීම පිණිස ආයතන විසි ගණනකට යෑමට සිදුවෙයි. ඒවා එකිනෙකට සම්බන්ධ නොවීම නිසා මේ වෙනුවෙන් විශාල වියදමක් මෙන්ම කාලයක් ගත කරන්නට සිදුවෙයි. මෙය ව්‍යවසායකයන් හා ආයෝජකයන් අධෛර්ය කරන්නට හේතුවකි. මේවාට විසදුම් නොදී ව්‍යවසායකත්වය පුළුල් කිරීම අසීරුය. වාර්ෂිකව ගෙවිය යුතුව තිබෙන විදේශ ණය ප්‍රමාණය මෙරට දළ දේශීය ආදායමෙන් 76 % කි. වසර 2001-2002 සමයේ මෙය පැවතියේ 102 % ක පමණ අගයකය. පසුගිය වසර තුනක කාලය මුළුල්ලේ මෙම අගය 76 % ක අගයේම පැවතිණි.

ණය ගෙවීම සඳහා ණය වී තිබෙන තත්ත්වයෙන් අපි මිදිය යුතුව තිබේ. පසුගිය කාලයේ ලබා ගත් ණය වෙනුවෙන් මුදල් වාරික ගෙවීම ඉදිරි දෙවසර තුළ කළ යුතුය. රට සංවර්ධනය කරන අතර මෙම ණය ගෙවීම අභියෝගයකි. එය ජය ගැනීම සඳහා මුදල් නිසි පරිදි කළමණාකරණය කිරීම අතිශයින් වැදගත්ය. මධ්‍ය ආදායම් උගුලින්(Middle Income Trap) නිදහස් වීම අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයකි. ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි රටක් දියුණුව කරා ගමන් කරමින් ආර්ථිකයේ පැහැදිලි වෙනසක් ඇති කර ගැනීම පිණිස මධ්‍ය ආදායම් උගුලින් මිදීමට නම් ඒක පුද්ගල ආදායම ඩොලර් 12600 සීමාව ඉක්මවිය යුතුය.

මැලේසියාව වැනි රටවල් මේ වන විට මෙම සීමාව පසු කරන්නට සූදානම්ව සිටින්නේ එම අගය ආසන්නයට ළඟා වෙමිනි. අප මෙම අයවැයෙන් අපේක්ෂා කරන්නේද ඩොලර් 5000ක ඒක පුද්ගල අගයකට ළඟා වීමටය. මෙම පසුබිම තුළ මධ්‍ය ආදායම් උගුලින් පැන ගැනීම අපට අභියෝගයකි. සුබසාධන නැති වූ විට, විරැකියාව ඉහළ ගිය විට, දේශපාලන අස්ථාවර භාවයක් ඇති වීම මෙරට දේශපාලන සංස්කෘතියේ ස්භාවයයි. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කරමින් වංචාව දූෂණය නැති කරමින් ඉදිරි ගමනක් යෑමට අවශ්‍ය මාවත අයවැය තුළ දක්නට ලැබෙයි. රජය ඉදිරි කාලය තුළ කටයුතු කරන ආකාරය තුළින් අයවැය යථාර්ථයක් වන්නේද නොවන්නේද යන්න තීරණය වනු ඇත.

අපේ වෙදකම ලොවට යා කරන ට්‍රෙඩ්මෙඩ් ඉන්ටර්නැෂනල් 2017 ශ්‍රී ලංකා

$
0
0
නොවැ 22, 2017 01:00
දුමින්ද අලුත්ගෙදර

පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනය මේ මස 23 සිට 25 දින දක්වා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ක්ෂේත්‍රයන් හි පර්යේෂණාත්මකව ඔප්පුකොට ඇති ගෝලීය වටිනාකම් සහිත අත්දැකීම්, දැනුම හා කුසලතා හුවමාරුකර ගැනීම අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම මෙකී ප්‍රදර්ශනයේ අරමුණ වේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ව මේ ප්‍රදර්ශනය පැවැත්වීමට මූලිකත්වය ගෙන තිබේ.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වනුයේ, විවිධ වෛද්‍ය ක්‍රමයන් හි නිපුණතාවයක් දක්වන්නා වූ වෛද්‍යවරුන් හට තමන් සතු සුවිශේෂී වූ ඥාන සම්භාරය විද්‍යාත්මක ක්‍රමය පාදක කරගනිමින් පර්යේෂණාත්මකව එළි දැක්වීමට හා රාජ්‍ය, පෞද්ගලික ව්‍යවසායකයන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමය.

මෙකී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට අමෙරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය හා තායිලන්තය යන රටවල්වල විද්වතුන් හා දේශීය විද්වතුන් පවත්වනු ලබන විද්වත් දේශන 48ක්ද ඇතුළත් ය.

සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන්ට තම පර්යේෂණ පෝස්ටර් මගින් හා වාචික මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකි අතර ඉදිරිපත් කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තරව තෝරා ගන්නා ලද ඒ ඒ විෂය සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් දක්වන විද්වත් මණ්ඩලයක් මගින් විද්‍යාත්මක අගය මත පදනම්ව විමර්ශනය කර තෝරා ගනු ලබයි.

මේ ප්‍රදර්ශනයට පාරම්පරික හා අනුපූරක වෛද්‍යවරුනට සහභාගී වී තම හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පවසයි. ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මහාචාර්යවරයා මෙසේ අදහස් පළ කරයි.

‘අපේ රටේ දේශීය ඖෂධ පැළෑටි සහ ශාක වර්ග 3500කට වඩා තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. මේවායින් 25%ක් පමණ ප්‍රමාණයක ශාක අපේ රටටම ආවේණික වූ ඒවා. අපේ රටේ ආර්ථිකය නඟා සිටුවන්න මේ දේශීය ඖෂධ පැළෑටි ඕනැවටත් වඩා වටිනවා. අපේ ගමේ තියෙන ඖෂධවලට ජාතික ආර්ථිකයක් හදන්න ඕන. ඒ අදහස සෞඛ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ ප්‍රදර්ශනයක් කරන්න තීරණය කරලා තියෙන්නේ.

අතීතයේ අපේ වෙදමහත්තුරු ස්වභාවික ශාක භාවිතා කරලා බෙහෙත් හදා ගත්තා. එදා කෘමිනාශක තිබුණේ නෑ. ඒ වගේ දේවල් ස්වභාවධර්මත් එක්ක සමාන්තරව අරගෙන ගියා. ඒ දේශීයත්වය යළි පණගන්වන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. අපේ සම්මන්ත්‍රණ භූමියේ වෙළඳ කුටි 120ක් තියෙනවා. ඒ වගේම ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වීමට කටයුතු කරනවා. කිසිදු අය කිරීමක් නෑ. ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්නත් පුළුවන්‘

මහාචාර්යවරයා පවසන පරිදි, මෙකී සම්මන්ත්‍රණයෙන් අනතුරුව දේශීය ඖෂධ නිෂ්පාදනවලට ලෝක වෙළඳ පළට ඇතුළු විය හැකි මාර්ගයක් නිර්මාණය කිරීමට සැලැසුම් කර තිබේ. අද වෙළඳ පොළේ තිබෙන කෘත්‍රිම ආලේපන නිසා මෙරට කාන්තාවන් රෝගී බවට පත් කර තිබෙන අතර එකී නිෂ්පාදනවල ශරීරයට අහිතකර රසායනික රැසක් තිබේ. එහෙත් අපේ රටේ දේශීය නිෂ්පාදන ආලේපන තුළින් එවැනි අතුරු ආබාධ ඇති නොවන බවට තහවුරු වී තිබේ.

අද වන විට ලෝකයේ රූපලාවන්‍ය ආලේපනවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 999කි. ඒත් අපේ රටේ ඇති දේශීය නිෂ්පාදනවලට වෙළෙඳපළක් නිර්මාණය වී නොමැති හෙයින් සියල්ල විදෙස් රටවලින් ආනයනය කෙරේ. ඊට විකල්පයක් ලෙස අපේ නිෂ්පාදන දිරිමත් කිරීම අත්‍යවශ්‍යය. ඒ නිසා පාරම්පරික වෙද මහතුන්ට මේ ප්‍රදර්ශනයට පැමිණ දැනුම හුවමාරු කරගනිමින් තම හැකියාවන් ප්‍රදර්ශනය කර නිෂ්පාදනයක් කිරීමේ අවස්ථාව හිමිකරගත හැකිය.

ස්වභාවික නිෂ්පාදනවල වටිනාකම හා වැදගත්කම දිනෙන් දින ඉහළ යන අතර, ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කෘත්‍රිම නිෂ්පාදන ජනතාව රෝගී කර තිබේ. එසේම මෙරට කෘෂිකර්මාන්තය ද කෘමිනාශක හා රසායනික භාවිතයෙන් තොරව කළ හැක්කේ කවර අයුරින්දැයි අධ්‍යයනය කිරීමට මෙය ට්‍රේඩ්මෙඩ් 2017 වේදිකාවක් තනා තිබේ. මෙරට ආර්ථිකය දේශීය නවෝත්පාදන හරහා ශක්තිමත් කිරීමට වෑයම් කරන විශිෂ්ට ගණයේ සම්මන්ත්‍රණයක් බවට පරිවර්තනය වනු නිසැකය.

සාහිත්‍යකරණයේදී ආගම් ගැටලු නෑ

$
0
0
නොවැ 22, 2017 01:00
ධම්මික සෙනෙවිරත්න

බෞද්ධයෙක් හැටියට ඩ වින්චි කෝඩ් මං දකින්නෙ, මේ බෞද්ධ රටේ අපි බෞද්ධයො. ඒ තරම් පිරිසිදු දර්ශනයක් කොපමණ වෙනසට ලක් කරලා තියෙනවාද කියන තැනින්. ඒ වෙනසට ක්‍රිස්තියානි ආගම වගේ ඉස්ලාම් දහමත් ලක්වෙලා. කුරානයේ කොතැනකවත් අයි.එස්.අයි.එස්. ලාට මිනී මරන්න කියලා නෑ.

ඩැනියෙල් ජෙරාඩ් ඩෑන් බ්‍රවුන් ගේ 'ද ඩ වින්චි කෝඩ්'නවකතාව ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. 2006 වසරේදී එය සිනමාවට ද නැඟිණි. මේ කෘතිය ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධන විසින් සිංහලයට පරිවර්තනය කරනු ලදුව, පසුගියදා නිකුත් විය.

‘ද ඩා වින්චි කෝඩ්’ සාහිත්‍ය ලෝකයේ පමණක් නොව, ඉන් පරිබාහිරවත් ආන්දෝලනයට තුඩු දුන්, ඒ ව‍ගේම විශාල පාඨක අවධානයක් දිනාගත් කෘතියක්. මේ කෘතිය පරිවර්තනය කිරීමට ඔබ කල්පනා කළේ ඇයි?

‘ද ඩ වින්චි කෝඩ්’ නවකතාව නිකුත් වූ කාලයේ පටන්ම ඒ ගැන මගේ අවධානය යොමුවෙලා තිබුණා. ඊළඟට චිත්‍රපටයත් ආවා. ඒක ශ්‍රී ලංකාවේ තහනමට ලක් වුණා. කොහොම නමුත් චිත්‍රපටය එන්න කලින් ම මම පොත කියවලා තිබුණා.

එක් පැත්තකින් ගත්තොත්, පරිවර්තන කෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොහොම ඛේදනීය තත්ත්වයක් තියෙනවා. ලෝකයේ යම් කෘතියක් නිකුත් වුණහම, ඒ සමඟම වගේ එය සිංහලට පරිවර්තනය කිරීමේ අසීරුතා ඇති වෙනවා. ඊට බලපාන්නේ වැඩි වශයෙන්ම ප්‍රකාශන අයිතිය පිළිබඳ ගැටලු. මේ අයිතිය ලබා ගැනීමට අපට ඔවුන්ට ගෙවන්න වෙන්නෙ ඩොලර්වලින්. එහෙම බාධකයකුත් ඩ වින්චි කෝඩ් සම්බන්ධයෙන් තිබුණා. ඒත්, ඒ සියල්ල මඟහරවාගෙන මේ පොත ශ්‍රී ලංකාවේ පාඨකයන් අත තැබීමට, ඒ තුළ තිබුණු ආන්දෝලනාත්මක තත්ත්ව බෙහෙවින් ම බලපෑවා. තවමත් ශ්‍රී ලංකාව ඕනෑම ප්‍රශ්නයක් අල්ල ගන්නෙ කොණකින්. ඩ වින්චි කෝඩ් තහනම පිටුපස තිබුණෙත් පැහැදිළි අරමුණක් නෙමෙයි. කොණක් අල්ලා ගැනීමත්, අපට අවශ්‍ය කළා, මෙහි සැබෑ තත්ත්වය පාඨකයන් වටහා ගන්නවා දකින්න . අනෙක තමයි, ලෝකයේ සංසරණය වන නව දැනුම ඔවුන්ට සමීප කරවීම සහ සාහිත්‍යයේ නිම් වළලු පුළුල්වනු දැකීම.

ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හරි මැදිහත්වීමක් කරනවා නම්, ඉතාමත් හොඳයි. ඔවුන්ට පුළුවන් ඒ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරලා මේ සඳහා වැඩපිළිවෙළක් යොදන්න. එහෙම වුණොත් අපේ පාඨකයන්ට අලුත් ම කෘති කියවන්න ලැබේවි.

‘ඩ වින්චි කෝඩ්’ නවකතාව ලිවීම සඳහා ඩෑන් බ්‍රවුන් ගැඹුරු අධ්‍යයනයක් කර ඇති බව පැහැදිළියි. ‍මේ කාරණය ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?

ලෝකය පුරාම ප්‍රධාන ධාරාවේ නවකතා සියල්ලක් පාහේ හොඳ අධ්‍යයනයකින් පසුව ලියැවුණු ඒවා. ශ්‍රී ලංකාවේ පවා සම්මානයට පාත්‍ර වූ ඇතැම් කෘති යම් දුරකට හෝ පර්යේෂණයකින්, අධ්‍යයනයකින් පසුව ලියැවුණු ඒවා. මීට වසර කිහිපයකට පෙර මගෙ අතින් ලියැවුණු ‘සසංකාර’ නවකතාව වුණත් ලියැවුණේ අවුරුදු දෙකක පමණ අධ්‍යයනයකින් පසුවයි. සාර්ථක නවකතාවක් බිහි වීමට නම් හොඳ අධ්‍යයනයක් තිබිය යුතුයි කියන කාරණයත් සමඟ මම එකඟ යි.

ලෝකයේ බිහිවූ විශිෂ්ටම කලා කෘති හා කලාකරුවන් පිළිබඳ කළ මනා අධ්‍යයනයකින් පසුවයි ඩෑන් බ්‍රවුන්, ඩ වින්චි කෝඩ් ලියන්නෙ. මෙහිදී ඔහුගේ බිරියත් ඔහුට විශාල සහායක් ලබා‍ දෙනවා. මේ කෘතියේ සාර්ථකත්වයට වගේම, එය ලොව පුරා ජනප්‍රිය වීමටත් ඒ අධ්‍යයනය මූලික හේතුවක් වුණා කියලා මම සිතනවා.

මෙය පරිවර්තනය කිරීමේදී ඔබටත් සෑහෙන අධ්‍යයනයක් කරන්න සිදුවන්න ඇති?

ඔව්. ඩෑන් බ්‍රවුන්ට තරම් නොවුණත්, මටත් සෑහෙන අධ්‍යයනයක් කරන්න සිදු වුණා. සාර්ථක පරිවර්තනයක් කිරීමට නම්, මුල් කෘතියට ඒ සාධාරණය ඉටු කිරීමට නම් එය එසේ විය යුතුයි. විශේෂයෙන් මෙවැනි කෘතියක් සම්බන්ධයෙන් එවැනි අධ්‍යයනයක්, හැදෑරීමක් අවශ්‍යයි.

මේ කෘතිය විශාල ආන්දෝලනයක් ඇති කළේ, ඉන් යම් ආගමකට අනර්ථයක් සිදුවනවා ය කියන අදහස නිසයි. මෙහි පරිවර්තකයා විදිහට ඔබට එවැනි දෙයක් දැනුණා ද?

නෑ .ඇත්තෙන්ම නෑ. සමහර වෙලාවට පොත කියවන්න කලින් සමහර අය තීරණය කරලා ඉන්න ඇති, මං බෞද්ධයෙක්, මං මෙය පරිවර්තනය කළේ කිසියම් ආගමකට පහර දෙන්න කියලා. නෑ. එහෙම දෙයක් නෑ. මීට වසර කිහිපයකට පෙර පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙනවිට, එතුමන් පිළිබඳ කෘතියක් ලිව්වෙත් මම . සාහිත්‍යකරණයේදී මට එහෙම ආගම පිළිබඳ ගැටලු නෑ. අපි මීට වඩා පුළුල්ව මේ ගැන සිතිය යුතුයි. ඩ වින්චි කේතය ගැන මම පරිවර්තන කාර්ය අවසන් කරලා, පොත අලෙවියටත් ගියාට පසුව ආපසු හැරී බලද්දී මට හිතෙන්නෙ නම් , ශ්‍රී ලංකාව මෙය තහනමට ලක්කරද්දී සහ ලොවපුරා මෙය ආන්දෝලනයට තුඩුදෙද්දී, මේ සියලු දෙනා කොණක් අල්ලා ගත්ත බවයි. ආගමික අන්තවාදය විසින් මෙහෙයවනු ලැබූ පිරිසක් මේ ආන්දෝලනය ඇති කරන්න ඇත කියන එකයි මගේ නම් අදහස.

කිසියම් ආගමකට පහරවදිනවා ය කියන අර්ථයෙන් ගත්තහම, මේ කෘතියේදී බුද්ධාගම පිළිබඳත් ප්‍රශ්න කරන බව අපට අහන්න වෙනවා. එහෙම සමහර තැන්වලදී විවිධ ආගම් පිළිබඳ ප්‍රශ්න කරනවා. එසේ ප්‍රශ්න කිරීම ආගමකට පහරදීමක් කියලා මම නම් හිතන්නෙ නැහැ. බෞද්ධාගමත් ඇතුළුව, ඉතිහාසය විසින් සඟවාගත් කරුණු සෑම ආගමක් පසුපසම තියෙනවා. ආගම, රාජ්‍ය සහ දේශපාලනයත් සමඟ බැඳිලා යම් යම් වෙනස්කම්වලට කාලයත් සමඟ ලක්වෙලා තියෙනවා. එය ප්‍රධාන ආගම් සියල්ලටම පොදුයි. ඒ නිසා, මේ කාරණා ගැන ඩ වින්චි කෝඩ් කෘතියේ කතා කිරීම ආගමකට හෝ ආගම්වලට පහරදීමක් නෙමෙයි. ආගම් අධ්‍යයනය කිරීම,මගේ පොඩි කාලයේ ඉඳන් ම විනෝදාංශයක් වගේ තිබුණා. මං බෞද්ධයෙක් වුණත් ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථ පිළිබඳ මා තුළ වැඩි අවබෝධයක් ඇති බවත් කිව යුතුයි. ඩ වින්චි කෝඩ් කෘතියේ ආන්දෝලනයට තුඩුදුන් සමහර ඓතිහාසික කාරණා ගැන මං ඒකාලයේ පටන්ම දැනුම්වත්ව සිටියා. වතිකානයේ සහ පාප් වහන්සේලාගේ ක්‍රියාකාරකම් ගැන වගේම, ක්‍රිස්තියානි ආගමේ පුනර්භවය ගැන සමහර සඳහන් කිරීම් සහ ඉවත් කිරීම් ගැනත් මට යම් දැනුම්වත්බවක් තිබුණා. බෞද්ධයෙක් හැටියට ඩ වින්චි කෝඩ් මං දකින්නෙ, මේ බෞද්ධ රටේ අපි බෞද්ධයො. ඒ තරම් පිරිසිදු දර්ශනයක් කොපමණ වෙනසට ලක් කරලා තියෙනවාද කියන තැනින්. ඒ වෙනසට ක්‍රිස්තියානි ආගම වගේ ඉස්ලාම් දහමත් ලක්වෙලා. කුරානයේ කොතැනකවත් අයි. එස්. අයි. එස්. ලාට මිනී මරන්න කියලා නෑ.

කෙනකුට ඉතිහාසය හා ආගම අධ්‍යයනය කරන්න හොඳ ම වේදිකාවක් ඩ වින්චි කෝඩ් කෘතිය මඟින් සපයා ඇති බවයි මගේ නම් අදහසය.

මෙය විශාල ප්‍රමාණයේ කෘතියක්. සිංහල පරිවර්තනය පිටු 600කට ආසන්නයි. එසේ වුවත් මෙය වෙහෙසකින් තොරව හා රුචියකින් යුතුව කියවාගෙන යාමට හැකි කෘතියක්. ඒ සම්බන්ධයෙන් පරිවර්තනයේදී ඔබ අනුගමනය කළ යම් විශේෂ උපක්‍රම තිබෙනවා ද?

පරිවර්තකයන් සඳහා යම් යම් නිර්ණායක 1960 පමණ සිට පනවාගෙන තිබෙනවා. මේවා අදටත් පවත්වාගෙන යනවා. ඒත්, මෙහිදී මා ඒ සියල්ල පසෙකින් තැබුවා. ඒකට හේතු තිබෙනවා. සිංහල පාඨකයාට වුණත් මේ කෘතිය කියැවීමේදී අඩුපාඩුවක් නොවීම සඳහා මං යම් යම් උපක්‍රම භාවිත කළා. එකක් සරල බව. මේ කෘතිය අමෙරිකාවේ පොතක් වෙන්න පුළුවන්. ඒත් මං ඒක පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ පාඨකයාට. එතකොට ඔවුන්ට මෙය අසීරුවෙන් තොරව කියවා ගෙන යාමට හැකි විය යුතුයි.

ඇතැම්විට කෙනකුට කම්මැළි හිතෙන්න පුළුවන්. විෂය දෙස වන් මේ දෙසටත් කතාව ගලාගෙන යනවා. එවිට එතැනදී පාඨකයා මෙය අත්නොහරින පරිදි වගබලා ගැනීමට සිදුවෙනවා. මං මේ පරිවර්තනය කරද්දී ඩෑන් බ්‍රවුන් අනුගමනය කළ ශෛලිය වෙනස් කළේ නැහැ. ඒත්, ‍මෙවැනි දේ මම කළා. උදාහරණයක් හැටියට යම් චිත්‍රයක් ගැන ඩෑන් බ්‍රවුන් පාද සටහනක් යොදා තිබුණා නම්, පරිවර්තනයේදී මා එය යෙදුවේ සරල පැහැදිළි කිරීමක් ලෙස. එතැනම එක් වාක්‍යයකින් එවිට පාඨකයාට පාදසටහන කියැවීමට අමුතුවෙන් පිටුව පහළට එන්න අවශ්‍ය නැහැ. මේ උපක්‍රමය ම‍ගේ ඉදිරි පරිවර්තන කාර්යයන්වලදීත් ‍බොහෝ දුරට මං භාවිත කරනවා. මගේ වගකීම තියෙන්නෙ, මගේ යුතුකම මම ඉටු කරන්නෙ, සිංහල පමණක් කියවන පාඨකයාට එසේ නැතිව , ඉංග්‍රීසියෙන් නවකතාව කියවලා, චිත්‍රපටයක් නරඹපු ප්‍රජාවට නෙමෙයි. මුල් කෘතියේ කිසිවක් අඩු නොකර, කෘතියට වගේම සිංහල පාඨකයාටත් කිසිදු අසාධාරණයක් නොකර, මං මේ කෘතිය මේ ‍පොළොවේ පැළ කළා.

ඩෑන් බ්‍රවුන් මේ කෘතිය රචනා කිරීමේදී භාෂාව හසුරු වන්නේ සජීවීව, ගතික ස්වභාවයකින්. ඔහු‍ගේ මේ ශෛලිය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒක ඔහු‍ගේ උපක්‍රමයක්. ඔහු ඒ උපක්‍රමය ඔහුගේ අනෙක් පොත්වලත් පාවිච්චි කරනවා. ‍මේ කෘතිය පරිවර්තනය කිරී‍මේදී මං ඔහු හා සමානව එය සිංහලට ගළපා ගත්තා. සමහර කාරණා ඉදිරිපත් කිරිමේදී සිංහලෙන් එය ගැළපීම අභියෝගාත්මක වුණත්, මං ඒක සාර්ථකව කළා කියලා හිතනවා. මෙතැනදී තිර රචකයෙක් හැටියට මං ලබා ඇති අත්දැකීම් මට හුඟක් ඉවහල් වුණා. ඩෑන් බ්‍රවුන්ගේ මේ නවකතාව තිර රචනයක් වගේ. ඒ නිසා, මේ ක්ෂේත්‍රවල එකට නියැළීමෙන් ලැබූ අත්දැකීම් මෙවැනි කාර්යයකදී හරිම ප්‍රයෝජනවත්.

‘ඩ වින්ඩ් කෝච්’ ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටය ගැන යම් සඳහනක් කරන්න ඔබ කැමැතිද ?

මං හැමදාමත් කියන දේ, ඕනෑම සාහිත්‍ය කෘතියක් කියන්නේ එය ඒ කෘතිය වශයෙන්ම තමයි ගන්න වෙන්නෙ. සිනමාවත් එහෙමයි . සිනමාව කියන්නෙ සිනමාව. මට කියන්න තියෙන්නේ ඩ වින්ච් කෝඩ් චිත්‍රපටයෙන් ඩ වින්චි ‍කෝඩ් පොත කියවන්න උත්සාහ කරන්න එපා කියලයි. ඒ වගේම, ඩ වින්චි කෝඩ් පොතෙන් ඩ වින්චි කෝඩ් චිත්‍රපටය දකින්න උත්සාහ කරන්නත් එපා.

ඡායාරූපය-මාලන් කරුණාරත්න


‘අමුතු කුරුල්ලා’ සැබවින්ම අමුතු කතාය

$
0
0
නොවැ 22, 2017 01:00

රාජ්‍ය සම්මානලාභී ගුණසේකර ගුණසෝමගේ නම දකින හැම විටම මට පානම්පත්තුව මතකයට එයි. ඔහු නවකතා, කෙටි කතා රචකයකු, ළමා කතාකරුවකු මෙන් ම ජනශ්‍රැතිවේදියෙකි. ඔහු ලියූ කෘති කිහිපයක් දෙමළ බසට ද පරිවර්තනය වී ඇත. ඒ සැමටම වඩා සාහිත්‍ය හිතකාමීන්ගේ ආදරය හිමිවන්නේ ‘මායා රංජන් සොයා යාම’ නම් ගවේෂණශීලි කෘතිය යයි මම සිතමි. ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘අමුතු කුරුල්ලා’ දැන් සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත.

ගුණසේකර ගුණසෝම ගුරුවරයෙකි. එබැවින් ගුරුකමේ අගය ඔහු දනියි. දරුවන්ගේ අගය දනී. මා අසා ඇති අන්දමට ඔහු පරමාදර්ශී ගුරුවරයෙකි. එපමණක් නොව, එවැනි පරමාදර්ශී ගුරුවරයකු වූ දිගාමඩුල්ලේ අසිරිය ආශ්චර්ය අපට මවා පෑ මායා රංජන් ගැන අපූරු තොරතුරු සොයා ගුණසෝමයෝ අපට සපයයි. අපි ඒවා සිහිනෙන් ගෑ සුවඳක් සේ ස්පර්ශය කරන්නෙමු. ‘අමුතු කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයට අමුත් කතා හයක් ඇතුළත් ව ඇත. මගේ ලෝකයේ වීරයා - දෙමළෙක් කතා කරයි. අමුතු කුරුල්ලා - චීන සුන්දරී - එතුමො සැපත් වූහ. මී දඩයම මේ කතා ය. මෙහි ඇතැම් කතා අපට හාස්‍යය රසය ඇති කරයි. තව කතාවක් අත්භූත රසයක් දනවයි. ඇතැම් කතාවක් විවාද සම්පන්න ය. ඇතැම් කතාවකින් සමාජයට පිළිලයක් වූ ප්‍රකට සමාජ චරිත නිර්දය පිළිකුලට ලක් කරති. ඇත්තවශයෙන් ම මේවා අමුතු කතා ය. අමුතු ලේඛන ශෛලියකින්, අමුතු තේමා, අමුතු ආකාරයෙන් අපට ඔහු නිර්මාණාත්මකව ඉදිරිපත් කරයි.

‘අමුතු කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයේ මා වඩාත් අගය කරන්නේ ‘මගේ ලෝකයේ වීරයා’ කෙටිකතාවට ය. කතාව ඇරැඹෙන්නේ විශ්‍රාම සුවයෙන් පසුවන වෙඩිසිංහට ටෙලිෆෝන් පණිවුඩයකිනි.

“හෙලෝ... මේ සෙන්ට්‍රල් එකේ ප්‍රින්සිපල් ඔෆිස් එකෙන් කතා කරන්නේ. දහතුන වසරේ තිළිණ වෙඩිසිංහගේ තාත්තට හරි අම්මට හරි කතා කරන්න පුළුවන්ද?

“ඔව්, මේ තාත්තා තමයි කතා කරන්නේ”

“දෙමාපියන්ගෙන් කාට හරි දැන් ඇවිත් ප්‍රින්සිපල් සර් හම්බ වෙන්න කිව්වා.”

වෙඩිසිංහ විදුහල්පති කාර්යාල කාමරය තුළට ඇතුළුවත්ම විදුහල්පති හෙළූ බැල්ම වෙඩිසිංහගේ සිත් නොගනී.

“මං එන්න කිව්වේ වැදගත් කාරණේකට. මිස්ටර් වෙඩිසිංහ ආන් අතනින් ඉඳගෙන ඉස්සරවෙලා මේන් මේක කියවන්න.” පවසමින් මේසය මත තිබූ දිග සුදු කඩදාසි තීරුවක් අතට ගත් විදුහල්පති එය වෙඩිසිංහ අත තැබුවේ හිසෙන් අභිනය පා බිත්තිය අසල වූ පුටු පේළිය ද පෙන්වමින් ය.

එතැන් සිට වෙඩිසිංහ කියවන්නේ පුතා තිළිණ විසින් ලියන ලද සුදු කඩදාසි තීරුවේ පරිගණක අකුරින් ලියූ ලිපියකි. වෙඩිසිංහ කුතුහලයෙන් මේ ලිපිය කියවයි. ලිපියේ මාතෘකාව ‘මගේ ලෝකයේ වීරයා’ ය. ඔහු ලිපිය කියවයි.

“මගේ ලෝකයේ වීරයා මගේ තාත්තා ය.” යනුවෙන් ආරම්භ කර ඇති ඒ රචනයෙන් තිළිණ කියා ඇත්තේ තාත්තා තමාගේ වීරයා වුවද එවැනි වීරයෝ ලෝකයේ විරල බව ය. “මන්ද තාත්තා හරිම අපූරුය; සුන්දරය. ඔහු අව්‍යාජය ය. නිර්භීත ය. ඔහු තම මතය ඍජුව පවසන්නෙකි. යුක්තියට, අසාධාරණයට එරෙහිව නැගී සිටින්නෙකි. මගේ තාත්තා පිළිබඳ මා එසේ පවසන්නේ ඇයි?” තිළිණ ප්‍රශ්න කරයි.

“මගේ තාත්තා පාසලේ ශිෂ්‍යත්ව ටීචර්ට පෑ විරෝධය මට අද මෙන් මතක ය. “මේ ළමයින්ට ඕන තමන්ගේ සුන්දර ළමා ලෝකය මිසක්, ඔය අනුන්ගේ ජනප්‍රිය පාසල් ලෝකය නෙවෙයි.” කියා ටීචර්ට විරෝධය පළ කළේ ය. එයින් නොනැවතුණු තාත්තා, මගේ ශිෂ්‍යත්ව පන්ති හා ටියුෂන් පංති තහනම් කර, එම කාලය මට සෙල්ලම් කිරීමට ලබා දුන්නේ ය. එමෙන් ම, මම මේ පාසලේ එකොළහ පංතියේ සිටියදී, එහි පැවැති පන්ති කවයක දී තාත්තා කළ ප්‍රකාශයක් මගේ මිතුරන් දැනුදු නිතර නිතර සිහිපත් කරයි.

“දැන් වැඩියෙන්ම ඉන්නේ ගුරුවරු නෙවෙයි. ගුරු හොරු. ඒක විශේෂයෙන්ම මේ පාසලට අදාළයි.” යනුවෙනි. පන්තියේ ඉගැන්වීම මඟ හරින ගුරුවරුන් එම දරුවන්ටම ටියුෂන් දෙන බව පවසා , තාත්තා පාසලේ ටියුෂන් ගුරුවරුන් දැඩි විවේචනයට ලක් කළේ ය.

එමෙන් ම අපේ බලදේව ඇමැතිතුමා පසුගිය මහ මැතිවරණයේ දී ඡන්දය ඉල්ලාගෙන අපේ නිවසට පැමිණි විට තාත්තා පැවසුවේ, “ඔබතුමා වැනි අය පාර්ලිමේන්තුවට ගියොත් වැලිකඩ හිර ගෙදරත්, පාර්ලිමේන්තුවත් අතර වෙනසක් නෑනේ. ඒ කිව්වට දැනුත් ඒක එහෙම තමයි. ආන් ඒක වළක්වා ගන්න මේ පාරවත් අපි ඡන්දේ පාවිච්චි කරන්න ඕන. ඒ නිසා ඔබතුමාට මම නම් ඡන්දේ දෙන්නේ නෑ.”

තිළිණගේ ලිපිය දිග ය. එය අවසන් කර ඇත්තේ මෙසේ ය.

“මගේ තාත්තා ගැන තවත් බොහෝ දේ ලිවිය හැකි ය. එය මෙවැනි ලිපියකින් ලියා නිම කළ නොහැකි ය. මගේ තාත්තා මගේ ලෝකයේ වීරයා ය. මගේ තාත්තා ඔබට වීරයෙක් ද? ඔබත් මගේ තාත්තා මෙන් වීරයකු වන්නේ නම් ඔබ ද මගේ ලෝකයේ වීරයෙකි. එමෙන් ම එවිට ඔබ සමස්ත සමාජයේම වීරයකු වන්නේ ය. මන්ද අපෘෂ්ඨවාංශික පුස්සන් පිරී වත්මන් සමාජය අද ඉල්ලා සිටින්නේ, මගේ ලෝකයේ වීරයන් මිස, වෙන අන් කවරෙක් ද?” තිළිණ වෙඩිසිංහ . දහතුන සී.

මේ ලිපිය කියවා වෙඩිසිංහ තම පුතා ගැන කියන්නේ කුමක්දැයි විදුහල්පතිවරයා කුතුහලයෙන් බලා සිටී. වෙඩිසිංහගේ ප්‍රකාශය ගැන පාඨකයා සිටින්නේද කුතුහලයෙකිනි.

‘ලිපිය නම් සත්‍යයයි. ඒ වගේම අක්ෂර වින්‍යාසය, පද බෙදීම වගේ වැරදිත් නෑ වගෙයි. ලිපිය ඉදිරිපත් කිරීමත් හොඳයි. හැබැයි බිත්ති පුවත්පතක ලිපියක් නිසා මේ වගේ අකුරු පුංචි නැතිව තව ටිකක් ලොකු කළා නම් හොඳයි කියලා හිතෙනවා. කොහොම වුණත් ලිපිය හරිම අපූරුයි.”

ඉන්පසු විදුහල්පතිතුමා හා වෙඩිසිංහ ගැටුම දිගටම යයි. මෙය රචනයක් නොව කැළෑ පත්‍රයක් බව පවසා දරුවාගේ අනාගතය ගැන සිතා තිළිණ පාසලින් අස්කර ගන්නා ලෙස කියයි. වෙඩිසිංහ, වෙඩි පුපුරක් මෙන් විදුහල්පතිගේ අල්ලස්, දූෂණ ‍ චෝදනා හඬ ගා කියයි. අන්තිමට ‘මම යනවා මානව හිමිකම්’ පවසා තමන්ට පිටුපා යන වෙඩිසිංහ දෙස බලා සිටින විදුහල්පති තම අත වූ බිත්ති පුවත්පත් ලිපිය කුණු කූඩයට දමයි. මේ කෙටිකතාව ලිපියක් මඟින් කතුවරයා අපූරු නිර්මාණයක් ඉදිරිපත් කරයි.

‘දෙමළෙක් කතා කරයි’ කෙටිකතාවෙන් කියවෙන්නේ ද්‍රවිඩ සිසුවෙකුට ගුරුවරයෙක් දක්වන ඉහවහා ගිය මානව දයාව ය. එම කතාවට චෙකොෆ් කෙටිකතාවක සේයාවක් වැටී ඇත. මෙහි එන ‘අමුතු කුරුල්ලා’ නගරයකට එකවරම කිසිවකු නොසිතූ මොහොතක තම පිල් කළඹ විහිදුවා එක් පාදයකින් සිටගෙන සෙසු පාද දෙක රිද්මයකට චලනය කරමින් මනරම් රංගනයක යෙදෙන්නේ සියල්ලන් පුදුමයට පත් කරමිනි. මේ කුරුල්ලා නගරයේ සිටින බර උසුලන කම්කරුවකු නළලට වසුරු පිඬක් හෙළයි. එය අති දුර්ලභ නීල මාණික්‍යයකි. නගරයේ සිටි පිරිසක් මේ මැණික ඩැහැ ගැනීමට වෙර දරයි. නගරයේ කප්පම් එකතු කරන පාතාල නායකයා කම්කරුවාගේ අතෙහි වූ මැණික ඩැහැ ගනී. ඔහු පිස්තෝලයකින් වෙඩි තබා මිනිසුන් බිය ගන්වයි. මේ දුටු ‘අමුතු කුරුල්ලා’ පාතාල නායකයා හිසට හොටෙන් කොටයි. එවිට ඔහු ලේ රතු පැහැති බල්ලෙක් වෙයි. එතැනට එන පොලිස් නිලධාරියා ද, ඔහු මැණික ගැනීමට යාමේ දී අමුතු කුරුල්ලාගේ කෙටීම නිසා වන්නේද එම ඉරණම ය. මේ ආකාරයට නගරයේ සිටින දුෂ්ට මිනිසුන්ට ඇමැතිතුමෙකුට ද, හොර හාල් විකුණන්නෙකුට ද සිදු වන්නේ ද ඒ ටිකම ය. ඉතිරි අය තම තමන්ගේ දුක සත්‍ය ලෙස කියා බේරුණි. එක් මාධ්‍යයෙක් තම සගයන් වෙනුවෙන් ප්‍රතිඥාවක් දුන්නේ ය.

‘බස මරණ, කැකිරි පළන, ගිරා කරච්චලේ නැති, සූකිරි බටිල්ලන් නැති, කනට මිහිරි, ඇසට පිරිය, සිත සනසන , නුවණ වඩන ඇති සැටියෙන් ගෙනෙන මාධ්‍යයක් ගොඩනඟන්නෙමු.

මේ කෙටිකතාව පැන්ටසියක් ලෙස අපූරුවට විකාශනය වෙයි. එය කෙටි වාර්තා චිත්‍රපටයකට ද අපූරු තේමාවකි. එවැනි අමුතු කතා 8ක රස කතා ‘අමුතු කුරුල්ලා’ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වී ඇත.

ගුණසේකර ගුණසෝම මහතා මට මුල්වරට හමු වූයේ 1999 වසරේදී අම්පාරේදී ය. සුමති සම්මාන උළෙල වේදිකාවට ත්‍රස්ත උවදුරුවලට ලක්වෙමින් තිබූ මායිම් ගම්මානවල පාසල්වල දරු දැරියන්ගේ සාමයේ පණිවිඩය ගෙන එන සංස්කෘතික අංගයක් ඇතුළත් කිරීමට සිතූ අපි, රූපවාහිනියේ ‘වන පස මල’ වැඩ සටහනේ නිෂ්පාදක නිශාන්ත ඔබේවංශ මහතා ද සමඟ අම්පාරට ගියෙමු. මේ ගමනට රෝහණ වීරසිංහ, ආරියරත්න කළුආරච්චි ද එක් වූහ. අම්පාර ඩී.එස්.සේනානායක ජාතික විද්‍යාලයට ගිය අපට, එහි ගුරුවරයකුව සිටි ගුණසෝම ගුණසේකර මහතා හමු විය. පානම්පත්තුවේ ජන ගීයක් ඇසුරෙන් ඒ මහතා රචනා කළ “පායි කොන්ඩුවා” ගීතය එම පාසලේ දූ දරුවන් ගයා, (‘වන පස මල’ වැඩ සටහන රටක් දුටු එම ගීතය) අපි සුමති සම්මාන වේදිකාවට ගෙන ඒමට කතිකා කර ගත්තෙමු. මේ ගීතයට සංගීතය නිර්මාණය කර තිබුණේ ආනන්ද බී වෑදණ්ඩ ය. නර්තන නිර්මාණය චන්ද්‍රා රාජපක්ෂ හා අංග රචනය යමුනා විජේකෝන්ගෙනි.

එදා හඳුනාගත් ගුණසේකර මහතා, අපට ආගන්තුක සත්කාර කරමින් දිගාමඩුල්ල ගැන ද, මායා රංජන් හා නෙල්ලි කැලේ ගැන ද අගනා රසවත් කතා කීවේ ය. ඔහු ඒවා ඉදිරිපත් කළේ ද අපේ සිත් ගන්නා රසවත් ලෙසට ය. මේ ගුරු පියා තම පාසලේ දරු දැරියන් පියකු මෙන් සැලකූ අයුරු අපි දුටුවෙමු. මේ මානව හිතවාදී ගුරුවරයාගෙන් අගනා නිර්මාණ බිහිවීම අරුමයක් නොවේ. ඔහුගේ ‘අමුතු කුරුල්ලා’ කියවූයේ ද එදා පානම්පත්තුවේ මතකය, ඒ සුවඳ විඳිමිනි.

ඒ.ඩී.රන්ජිත් කුමාර

ධනාත්මක කෙල්ලකුගේ ස්වයං-විවේචනය...!

$
0
0
නොවැ 22, 2017 01:00
රන්ජන් අමරරත්න
කරුණා පෙරේරා

මේ කතාවේ දී ධනාත්මක චින්තනයක් සහිත කෙල්ලක් අපට මුණ ගැසෙයි. ඇය ජීවිතයේ අවුල් ලිහාගන්නා ආකාරය ද, ජීවිතය ජයගන්නා ආකාරය ද හරි අපූරු ය. නවකතාව කියවන විට හැ‍ඟෙන්නේ ජීවත්වීමට උත්තේජකයක් සැපයීම කතාකාරයන්ගේ පරමාර්ථය විය යුතු බව ය...!

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට පමණක් සීමා වූ “මෑන් බුකර්” සම්මානය අද වන විට මුළු ලෝකයට ම විවෘත ය. එහෙත්, ඊට අදාළ කෘති මහා බ්‍රිතාන්‍යයේ පොත් සමාගමක් ඔස්සේ ප්‍රකාශයට පත් කළ යුතු ය. කෙසේ වුව මේ තීන්දුව නිසා නව රටාවන්ගෙන් යුතු නවකතා එළිදකින්නට පටන්ගෙන තිබේ. ඉංග්‍රීසි නවකතාවේ නිම්වළලු මේ ඔස්සේ පුළුල් වෙමින් පවතී. එහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු තුනක් පවතී. එක; නවකතාවෙන් සාකච්ඡාවට ගැනෙන විෂය ක්ෂේත්‍ර වෙනස් වීම ය. දෙක; නවකතාවේ ආඛ්‍යාන රටා වෙනස් වීම ය. තුන නවකතාවේ භාෂාව විවිධ රටාවන්ගෙන් යුක්ත වීම ය. 2017 වසරේ මෑන්බුකර් සම්මානය දිනාගත් ‘ලින්කන් ඉන් බ්‍රාවෝ’ ප්‍රබන්ධය රචනා වී ඇත්තේ චිත්‍රපට තිරනාටකයක ආකාරයෙන් ය.

සිංහල ස්වතන්ත්‍ර නවකතාවට ද අලුත් ආඛ්‍යාන රටා, නව වස්තු විෂය හා වෙනස් භාෂා භාවිතය ද අවශ්‍ය වේ. සාම්ප්‍රදායික ලිඛිත භාෂාවෙන් පමණක් නවකතා ප්‍රබන්ධ කළ යුතු යැයි මතයක් ඇතත්; එය පිළිගත නො හැකි ය. එයින් යම් සීමා වීමක් සිදු වේ. සිංහල ස්වතන්ත්‍ර නවකතාව ගතහොත්, එහි අත්හදා බැලීම් සිදුවන්නේ ඉතා කලාතුරෙකින් ය. එය හොඳ ලක්ෂණයක් නො‍ වේ.

ඉහත පූර්විකාව ලියා තැබූයේ සම්මානනීය ලේඛිකාවක වන කරුණා පෙරේරා මහත්මියගේ අලුත් ම ප්‍රබන්ධ කථාව වූ ‘විඩාපත් ඔබ නිසා’ නම් කෘතිය පිළිබඳ විචාර සටහනක් තැබීමට පසුබිමක් හැටියට ය. මේ නවකතාවෙන් රටේ දේශපාලනය ගැනත්; දේශපාලනය පවුල් සංස්ථාවට බලපාන ආකාරය ගැනත්; පවුල් අවුල් නිසා තරුණ ජීවිත මුහුණදෙන අකරතැබ්බ ගැනත් සාකච්ඡා වෙයි. එය සිංහල පාඨකයන්ගේ පොදු කතාවක් හැටියට සැලැකිය හැකි ය.

‘විඩාපත් ඔබ නිසා’ කතාව ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා සුලු අවස්ථා නිරූපණයකින් ය. එය චිත්‍රපට ජවනිකාවක් සේ නිරූපණය වී ඇත.

“උතුමාණෝ පැමිණියහ!”

“නැත!”

“උතුමාණෝ සම්ප්‍රාප්ත වූවෝ ය...! ”

“නලින්ද විජේකෝන් බණ්ඩාර සැපත් වූයේය.”

“නලින්ද ආවා”

“නලින්ද මං ළඟට ආවා!”

කතාවේ ප්‍රධාන චරිතය වූ නාමලී මනතුංග සිය පරණ පෙම්වතා වූ නලින් ද බණ්ඩාර අපහසුවට පත් කිරීම සඳහා ඇය අභිමුවට ගෙන්වාගෙන ඇත. ඇය මේ ස්ථානයේ නායිකාව හා පාලිකාව ය. නායකත්වය හා බලය උපයෝගී කරගෙන පළිගැනීමකට හෝ සිත් රිදවීමකට හෝ සූදානම් වන ඇය, විදුහල්පතිනියකි. වෙනසක් නැත. විදුහල්පතිනියකට කලින් ඇය මනුෂ්‍ය දියණියකි. පොදු ගැහැනියගේ චර්යා රටා ව ද, ඇයගේ මානසික ක්‍රියාකාරිත්වය ද මේ ජවනිකාවෙන් කදිමෙට නිරූපණය වෙයි.

නවකතාවෙන් සංවාදයට ගැනෙන පුළුල් විෂය ක්ෂේත්‍රය අංශ තුනකට බෙදා වෙන්කර ගත හැකි ය.

(I) වාමාංශික දේශපාලනය හා

පවුල් සංස්ථාව

(II) ධනාත්මක චින්තනයක් සහිත

තරුණ පරපුර

(III) පවුල් අවුල් තුළ විඳවන චරිත

නාමලීගේ පියා වන මනතුංග රටේ වාමාංශික දේශපාලනය නිසා, පෞද්ගලික ජීවිතය අසාර්ථක කරගත් තලතුනා මිනිසෙකි. වර්තමානය වනවිට ඔහුට සිදු වී ඇත්තේ ධනපති දේශපාලන ව්‍යාපාරවල අනියම් කම්කරුවකු ලෙස සේවය කිරීමට ය. ඔහු තම දැනුම හා හැකියාව එම ව්‍යාපාර සඳහා අලෙවි කරයි. මෙය හිතට එකඟව සිදුවන දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වමේ දේශපාලනයේ ඇත්ත ස්වාභාවය ගැන නිවැරැදි චිත්‍රයක් කතුවරිය විසින් සටහන් කර තබනු ලැබේ.

“මං මේ එක - එකාට විකිණෙන්නෙ ඇයි කියල ඔයා හිතුව ද? මගේ වගකීම මං කරල නෑ; කියලා මං දන්න නිසා... ඒවගකීම කරලා මැරෙන්න තමයි මං මේ හදන්නෙ”

(පිටුව 81)

වාමාංශික දේශපාලනයෙහි යෙදුණු බොහෝ දෙනකුගේ පෞද්ගලික වගවීම් හා යුතුකම් ඉටු වී නැත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි රටවල පොදු තත්ත්වයක් ලෙස මෙය ගත හැකි ය. මීට අදාළ සිනමා නිර්මාණ ගණනාවක් බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වී ඇත. කතුවරිය මේ තත්ත්වය හොඳින් වටහාගෙන, අතිශයෝක්තියකින් තොරව එය නිරූපණය කරයි.

නාමලීගේ චරිතය ගොඩනගා ඇත්තේ ධනාත්මක චින්තනයක් සහිත ඉදිරිගාමී තරුණියක හැටියට ය. ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු නිවැරැදි ලෙස හසුරුවා ගනී. නාමලීගේ චරිතය ඔස්සේ පාඨකයා යම් ප්‍රහර්ෂයක් ලබයි. ඇයගේ ජයග්‍රහණවලදී පාඨකයා ද ඒ සතුට භුක්ති විඳියි. ජීවිත විවරණයකට වඩා ජීවිතයට උත්තේජකයක් ලබාදීම අද නවකතාවේ මෝස්තරය වී තිබේ. එය වරදක් හෝ අඩුපාඩුවක් ලෙස දැකිය නොහැකි ය. හෙමිං වේගේ වීරයා සංකල්පය තුළ ඇත්තේ ද ජීවිතයට උත්තේජක සැපයීම යැයි කියන්නට පුළුවන.

“ඔය මගේ විදිය...! හැමදේම කල්පනාවට එන්නෙ වැඩේ සිද්ධවෙලා අවසාන වුණාට පස්සෙ. තැනට සුදුසු නුවණ මට නෑ කියල ඒ දවස්වලම මං තේරුම් ගත්තා...”

(පිටුව 34)

නාමලී බුද්ධිමත් තරුණියක බව ඇගේ ස්වයං විවේචනවලින් සනාථ වෙයි. ඇය බුද්ධිමත් නොවූයේ නම්; නාමලී සාර්ථක ගැහැනියක බවට පත්වන්නේ නැත. නූතන තරුණ පරම්පරාවට මේ චරිතය ඔස්සේ පාඩම් ගණනාවක් උගත හැකි ය.

පවුල් අවුල් නිසා ජීවිතය විඳවන බොහෝ පිරිසක් රටේ සිටිති. ඇතැම් අවස්ථාවක මේ ඔස්සේ බරපතළ විනාශ සිදුවන බව ද දැක ගත හැකි ය. මේ කතාවේ දී පවුල් අවුල් නිසා විඳවන චරිත හතරක් අපට හමු වේ. මනතුංග ගැහැනුන් දෙදෙනකු සහවාසයට ගත් තැනැත්තෙකි. අවසානයේ ඔහුට කිසිවකුගේ ප්‍රිය සමාගමය නැතිව යයි. නාමලීගේ මව දෙවන විවාහයකින් පසු පිටරටක පදිංචියට ගොස් සිටී. එහෙත් ඇගේ මුළු අවධානය යොමු වී ඇත්තේ පළමු විවාහයේ දියණිය වෙත ය. නාමලී වෙනුවෙන් බොහෝ කැපවීම් කරන්නට මවට සිදු වී ඇත.

නාමලී යනු මව් සෙනෙහස හා රැකවරණය නොලද තරුණියකි. ඇයට මව් සෙනෙහස අහිමි වන්නේ ජීවිතය පිළිබඳ තීන්දු - තීරණ ගැනීමට මවගේ උපදේශනය හා මඟපෙන්වීම අවශ්‍ය මොහොතක ය. මෙහි එන නැන්දා අවිවාහක ගැහැනියකබවට පත් ව සිටින්නී, සිය මල්ලී නිසා ය. සහෝදරයාගේ අධ්‍යාපනය හා දියුණුව උදෙසා අක්කා ජීවිතය කැප කර තිබේ. ඇයගේ චර්යා රටාවලින් පෙනී යන්නේ, අතීතය පිළිබඳ පසුතැවීමක් ඇති බව ය. පවුල් අවුල් නිසා ශ්‍රී ලංකාවේ ජීවිතවලට සිදු වී ඇති වින්නැහිය පිළිබඳ හරස්කඩක් මේ පොතෙන් උකහා ගත හැකි ය.

කතුවරියමේ නවකතාව රචනා කර ඇත්තේ කෙටි නවකතාවක් හැටියට ය. කෙටි නවකතාව කෙරෙහි වැඩි නැඹුරුවක් මේ දිනවල පවතී. චරිත, ආඛ්‍යාන රටා, භාෂාව හා සිද්ධි ගැළපීමක් කෙටි නවකතාවේ ශිල්ප - ධර්ම අනුව සිදු වී ඇත. අනවශ්‍ය විස්තර -වර්ණනා හා විවරණ කෘතිය තුළ නැත. කතුවරිය මැදින් පැන ඉදිරිපත් කරන විග්‍රහ ද නැත. නවකතාව වේගවත් විකාශනයකින් යුතු අතර, කථන භාෂාව යොදාගෙන ඇත. කථන භාෂාවෙන් කතුවරිය දක්වන හපන්කම් ද මෙහි දී දැකගත හැකි ය.

“ඉතා ඈතක ඔහු වෙසෙයි. මට ඔහු හමු විය නොහැක. ඔහු වෙසෙන මායිමේ කඳු අතරින් සීතල සුළං හමාගෙන ඇවිත් පිපුණුමල් යායවල් සොලවා ආපසු යන ගමනේ චමත්කාරය මට සිතින් මවාගත හැකි ය. ඒත් ඒ හා සමගම මගේ සිත ළඟ දැවටෙන පාළු තනිකම මට හැමදේම අහිමි වී ඇති බව මට මතක් කරයි.”

(පිටුව 96)

කතුවරිය මෙහිලා භාවිත කරන්නේ කථන ලිඛිත මිශ්‍ර භාෂාවකි. එහෙත්, කතාව තුළ බහුලව ඇත්තේ කථන භාෂාව ය. මේ අවස්ථා නිරූපණයෙන් කියැවෙන්නේ, නාමලීගේ සිත තුළ කැකෑරෙන හුදෙකලාව ය. නලින් ද බණ්ඩාර පේරාදෙණියේ ඉගෙනුම ලබයි. ඔහු නාමලීගේ සිහින කුමරා ය. එහෙත් ඔහුගෙන් තොරතුරක් නැත. සරසවිය හා ප්‍රේමය එකට යාවෙන විෂයයන් දෙකකි. නලින්ද නාමලී මඟහරින බවක් පෙනෙයි. එහි බලවත් ශෝකය හා හුදෙකලාව දැනෙන්නේ නාමලීට ය. නාමලීගේ ශෝකය හාතනිකම ඉහත ඡේදයෙන් මනාව නිරූපණය වෙයි. නූතන ඉංග්‍රීසි නවකතාව භාෂාව, චරිත නිරූපණය හා ආකෘතිය කෙරෙහි වැඩ සැලැකිල්ලක් දක්වයි. කරුණා පෙරේරා මහත්මිය ද සරල - සුගම, එහෙත් හැඟීම් සහිත භාෂාවක් කෙරෙහි උනන්දු වී ඇත. ඇගේ සංවාද දෙස බලන විට ද එය පසක් වෙයි.

“ය කෝ මාරබැල්මක් නේ...!

“නෑ ඉතින් කියන්ඩ ආපුදේ

කියපන්කෝ...”

“හරි හරි ඉතින්... ගිරා, කොවුල්, හංස, සැළලිහිණි දැන් චිත්‍රානි සංදේශය...”

(පිටුව 83)

තරුණ පරපුර නියෝජනය සඳහා යොදාගන්නා තාත්වික භාෂාව අප ප්‍රහර්ෂයට පත් කරයි. මෙහි එන සංවාද ඒ චරිතවලින් ම එළියට එන ස්වාභාවික වචන බව පෙනෙයි.

කතුවරිය නවකතාවේ පරණ ශිල්පීය ලක්ෂණයක් ද සිය ආඛ්‍යානය සඳහා යොදා ගනී. එය හැඳින්විය හැක්කේ, නැචුරලිසම් හෙවත් ස්වාභාවික වාදය හැටියට ය. එක්දහස් අටසිය ගණන්වලදී ප්‍රංශයෙන් බිහි වූ මේ කතා රැල්ලෙහි ප්‍රමුඛයා ලෙස සැලැකිය හැක්කේ එමිල් සෝලා ය. ඔහු දක්වන එක් තර්කයක් වන්නේ චරිතවල සිතිවිලි හා හැඟීම් සංස්කරණයකින් තොරව ඉදිරිපත් කළ යුතු බවය. නිය ම චරිත නිරූපණය යනු එම චරිතවල සැබෑ ස්වාභාවයන් නොසඟවා දැක්වීම යැයි මේ රැල්ලේ අය තර්ක කළහ. කරුණා පෙරේරා මහත්මිය නාමලීගේ චරිතය ගොඩනඟා ඇත්තේ ඉහත ශිල්ප ධර්මයට අනුකූල ලෙස යැයි කියන්නට පුළුවන.

මේ කතාවේ දී අපට ධනාත්මක චින්තනයක් සහිත අපූරු චරිතයක් හමුවෙයි. ඒ නාමලී ය. ඇය ජීවිතයේ ජයග්‍රාහී සන්ධිස්ථානයකට ප්‍රවේශ වන්නේ බොහෝ අවුල් - වියවුල් මධ්‍යයේ ය. අවසන් සන්ධිස්ථානය දෙස බලන විට “බුමු තුරුණු” නවකතාව සිහියට නැ‍ඟෙයි. ජීවිතයේ අරුඅත් සොයන පාඨකයකුට මේ නවකතාව අලුත් අත්දැකීමක් වනු ඇත.

හද­වතේ ඇති දේ සත්‍ය ඉල­ක්ක­යයි

$
0
0
නොවැ 22, 2017 01:00
සාරා ජැනට් මාස්

'ද ත්‍රෝන් ඔෆ් ග්ලාස්'කෘතියේ කතුවරිය වූ සාරා ජැනට් මාස් සමඟ writers and artists වෙබ් අඩවිය සිදුකළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. ඇයගේ ප්‍රථම නවකතාව වන මෙය, බ්ලූම්ස්බරි විසින් ප්‍රකාශයට පත් කෙරිණි. 1986 මාර්තු 05 වැනි දින උපත ලැබූ ඇය, නිව්යෝර්ක් ටයිම්ස් හා අ‍මෙරිකා එක්සත් ජනපදයේ හොඳ ම ෆැන්ටසි කතෘවරියකි.

ඔබේ කෘතිවලට බලපෑම් කළ පොත් හෝ ලේඛකයන් කවුද?

සංගීතය, විශ්ෂයෙන් ම චිත්‍රපට සංගීතය , ලිවීම සඳහා මගේ හැඟීම් අවුස්සන්නේ. ඒත්, මම චිත්‍ර ශිල්පය, චිත්‍රපට හෝ රූපවාහිනිය, ගමන් සහ ඉතිහාසය පරිශීලනය හරහා මගේ උනන්දුව වැඩි කර ගන්නවා. මම පොඩි පොඩි පොත් කියවන්න කැමැති වුණා. ඒ වගේම ඒ වගේ පොත් ලියන්නත් මම කැමැත්තක් දැක්වූවා. මට අමතක නොවනම පොත් දෙකක් තමා ගාර්ත් නික්ස් ගේ 'සැබ්රියෙල්'සහ මැකින්ලි ගේ 'ද හීරෝ ඇන්ඩ් ද ක්‍රවුන්'කෘති දෙක. ඔවුන් දෙදෙනාම පුදුමාකාර මනඃකල්පිත ලෝකයක් තුළ කතාව ගොඩනගනවා. මම රොබට් මුන්ෂ්ගේ දරුවන්ගේ නව කතාවක් වන 'ද පේපර් බෑග් ප්‍රින්සස් 'ඒකාලේ මා බොහෝ සේ සංවේදී කළ තවත් කතාවක්.

'ද ත්‍රෝන් ඔෆ් ග්ලාස්'කෘතිය කියවා නැති අය සඳහා, ඒ කෘතිය ගැන ටිකක් අපට කියන්න පුළුවන්ද?

'ද ත්‍රෝන් ඔෆ් ග්ලාස්'කතාවෙන් ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ ඝාතකයකු ගැනයි. විශේෂත්වය වෙන්නේ, ඒ තරුණියක් වීමයි .දුෂිත පාලකයකු ඉවත් කර, නව පාලකයකු පත් කිරීම සඳහා වූ දැඩි තරගයකදී , ඒ දුෂ්ට පාලකයා ඝාතනය කිරීම සඳහා මේ ඝාතකයාට භාර දෙනවා. ඒ සමඟ ගලා යන කතාව තමා මෙහි අන්තර්ගතව තිබෙන්නේ.

ඔබගේ කතාවේ එන සෙලීනා සර්ඩෝතියන් චරිතය සඳහා අදහස එන්නේ කොහොමද?

මට මේ කතාව ගැන අදහස ආ ගමන්ම වගේ, මගේ හිතේ මුලින්ම ගොඩනැඟුනේ සෙලේනා චරිතය. මම ස්ටාර්ට් වෝර්ස් කතා මාලාවේ දැඩි රසිකයෙක්. එහි ආභාෂයත් මේ චරිතයට ලැබෙන්න ඇති කියලා මම හිතනවා.ඇය ඝාතකයෙක්. ඇය මිනිසුන්ට වද දෙන ආකාරය දන්නවා. ඒත් ඇය කියැවීමට ආදරය කරනවා. ඒ අතර සංගීතය හා කලාවටත් ආදරය කරනවා.

මේ දවස්වල මන:කල්පිත කතා බොහෝ සේ ජනප්‍රියයි. මේ හරහා ඔබට සම්පුර්ණයෙන්ම අලුත් ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්.

මන:කල්පිත කතා නිර්මාණ කරුවන්ට දෙන්න තිබෙන අවවාදය මොකක්ද?

පළමුවැනි දේ තමයි, යම් චරිතයක් නිර්මාණය කිරීමට පෙර ඔබම ස්වයං ප්‍රශ්න කිරීමක් කර ගැනීම. උදාහරණයක් විදිහට ඒ චරිතයට අදාළ ඇඳුම්, ඔහුට ඒවා ලැබෙන්නේ කොහොමද ? ඒවා ,ඔහු ගත කරන ජීවිතයට , පරිසරයට අනුව ගැළපෙනවද? ආදිය ගැන සිතිය යුතුයි. ඔබ කැමැති ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒත් හැම දේකටම සම්බන්ධයක් පැවතිය යුතුයි. නැතිනම් පාඨකයාට මෙය කල්පිතයක් ලෙසට නොහැඟෙන විදිහට කතාව ගොඩනැගිය යුතුයි. ඔබ ගොඩනගන ලෝකය තුළ ඇති සියලු දේ අතර ඇති සම්බන්ධය තාර්කික වියයුතුයි. එය සැබවින්ම ඔබ දැන් ජීවත් වන ලෝකය හා සමාන වෙනත් ලෝකයක් විතරයි.ඒ වගේ ම එය කල්පිතයක් බව නොහැඟිය යුතුයි.

ඔබේ ලෝකයට නීති මාලාවක් තිබේද? එම නිර්වචනය සඳහා උපකාර කරන ක්‍රියාවලියක් තිබේද?

මම හිතන්නේ තිබෙනවා. මට අදහසක් පැමිණි හැම විටම මම මුලින්ම එය ලියනවා. මට එය ගැළපෙනවා යයි හැඟුණොත් මම ඒක ඇතුළත් කරනවා.

ඔබ Throne of Glass හි පළමු කොටස මුලින්ම FictionPress.com වෙත ප්‍රචාරය කර , වෙබ් අවකාශයට මුදා හරිනවා. මුළු කෘතියම ප්‍රකාශයට පත් කරන්නේ නැතිව එහෙම තීරණයක් ගත්තේ ඇයි?

ඒකාලේ මට වයස අවුරුදු 16යි. මම ඒක ප්‍රකාශයට පත් කළ යුතු දැයි කියාවත් මම ඒ වෙද්දී දැනන් හිටියේ නැහැ. මට සම්පුර්ණ පොතක් ලියන්න පුළුවන් කියලවත් මට ඒ වෙද්දී හිතුණේ නැහැ. ඒ නිසා මම වැඩිය හිතන්නේ නැතිව ඒක අන්තර්ජාලයට මුදා හැරියා. මම හිතුවටත් වඩා ඒකට ප්‍රතිචාර ලැබුණා. ඊට පසුව තමා මම එම කතාව සම්පුර්ණ කළ යුතු යැයි තීරණය කළේ.

මුලින් අන්තර්ජාලයේ පළ කිරීම නිසා පසුව එය වාසියක් කියා ඔබට හැඟෙනවාද?

අනිවාර්යෙන්ම. මම දැන් හිතනවා මම ඒ මොහොතේ කළේ හරි දේ කියලා. මට එමඟින් අන්තර්ජාල ආශ්‍රිත පාඨකයන් පිරිසක් ලැබුණා. එය හොඳ දෙයක්.

අවසාන වශයෙන්, නවක ලේඛකයන් සඳහා ඔබට දෙන්න තිබෙන උපදෙස කුමක්ද?

ඔබ ආදරය කරන දේ ලියන්න. ඔබ වැඩ කරන්නේ සැබෑ නොවන ඉලක්කයක් සඳහා කියලා බොහෝ මිනිසුන් පවසාවි . ඔබේ හදවතේ ඇති දෙය තමා සත්‍ය ඉලක්කය. අනෙක් අයට එය නොපෙනුණත්, යම් දිනක ඔබේ සාර්ථකත්වය ඔවුන්ට පෙනේවි.

යශෝදා ඉන්දීවරී

මිනිසාට එරෙහිව මිනිසා

$
0
0
නොවැ 22, 2017 01:00
චතුමී පිටිපන

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ‍

අතීතයේ දැනට වර්ෂ හයදහසකට පමණ පෙර රාම රාවණා යුගයේ ලෞකික ධ්‍යානලාභී පුලතිසි ඉසිවරයින් වහන්සේ සමයට අයත් අදට වර්ෂ 5118 ට පමණ පෙර දිව්‍යපර යුගය තුළ වැඩ සිටි චතුර්වේදයෙහි කෙළ පැමිණි අධිගමැති ධ්‍යානගත වූ මහා ඍර්ෂීන් වහන්සේලා වැඩ සිටියහ.

මෙම මහා භද්‍ර කල්පයේ සම්මුති ධර්මතාවයකට අනුව සිවුවන අන්තඃකල්පාවසානයේ අනාගතයේ උදාවන කලියුගය පිළිබඳව ජ්‍යොතිෂවේදයට අනුගතව තන්ත්‍ර කාව්‍යයක සඳහන් වේ. ඒ අනුව සාරභූමි නිස්සාරවීම ද, ඖෂයන් නිරෞෂධ වීම ද, කුලහීනයන් මහන්තත්ත්වයට පත්වීම ද සිදුවේ. එමෙන්ම රජ දරුවන් අර්ථපරායනවීම ද, බමුණන් අයුතු කර්මාන්තයන්හි පිහිටීම ද, භාර්යාවන් හා පුරුෂයන් වෛරීවීම ද, මවුපිය දරුවන් එකිනෙකට වෛර කිරීම ද කලියුගයට ලොව පැමිණ ධර්මය වනාන්තරගත වන්නේය.

යටකී සෘෂිවරුන් අනාගත ලෝකය පිළිබඳව පැහැදිලි කර ඇති කරුණු අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව මෙන්ම නවීන ලෝකයේ සෑම රටක්ම පාහේ මොහොතින් මොහොත උදාවන නා නා විධ විෂම බලවේගයන් තුළින් විනාශමුඛය කරා යන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මේ සම්බන්ධව ජ්‍යොතිෂ ශාස්ත්‍රීය සිද්ධාන්තයනට අනුකූලව විග්‍රහ කිරීමේදී ලෝකයේ ඉදිරි අනාලගතය ගැන සිතීම පවා ශෝකජනකය. භයංකාර බවින් යුතු වන්නේ ය.

වර්තමානයේ නවීන සමාජයේ එදිනෙදා සිදුවන විෂම ක්‍රියාදාමයන්ගේ විපාක වශයෙන් සතර දිසාවෙන් වේගවත්ව හමායන සුළියකට හසුවී ප්‍රදේශයක් විනාශ වන්නාක් මෙන් ද, මහා සමුදුර කැළඹී කුරිරු රළ පහර සතර අතින් වේගවත්ව රටක් යටකර විනාශ වී යන්නාක් මෙන් ද වැනසී යයි. එමෙන්ම, භයානක විෂම වායුවක් ලොව දස දෙස පැතිරීමෙන් සියලු සත්ත්වයන් හිටි අඩියේ මැරී ඇද වැටෙන්නාක් මෙන් ද නවීන ලෝකයේ ශිෂ්ටසම්පන්න සදාචාරාත්මක ගුණාංගයනට දක්වන ප්‍රතිචාරය ක්‍රමයෙන් වැනසී අභාවයට යමින් පවතින්නේය.

පසුගියදා එකම මාසය තුළ ඇතිවූ විෂම සූර්යග්‍රහනයත්, චන්ද්‍රග්‍රහනයත්, ගුරු මාරුව සහ සෙනසුරු මාරුව, කාල සර්ප යෝග වැනි විෂම ග්‍රහ ශක්තීන් තුළින් ඇතිකිරීමට හේතුවන විපත් දැනටමත් ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවන් තත්ත්ව මෙන්ම මීට වඩා හාත්පසින්ම වෙනස් භයානක රෞද්‍ර කෲර වූ විෂමාචාර සංඝට්ඨන අතීතයේ දී ද සිදු වී ඇත. ඒ අනුව එකම මාසය තුළ සිදුවුණ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, ධූම කේතු කාලසර්පයෝග සහිත සෞරග්‍රහ මණ්ඩලයේ ලෝකායන රාශිය තුළ සිවුකොන පාළු වී අෂ්ඨ ග්‍රහ යෝග යෙදීම තුළ කලියුගය උදාවිය හැකිය.

එකම මාසය තුළ සඳුගේ සහ හිරුගේ ග්‍රහණය බැගින් සිදුව එහි බලපෑම ඇති රාජ්‍යයන්හි රජුට සහ රාජ කුමාරවරුනට විපත් සිදුවීම සහ රාජ්‍යයන් හා හමුදාවන් අතර බලවත් ගැටීම් ඇතිවීම සිදු වී ඇත. හිරු හෝ සඳුගේ උදාවෙහි හෝ අන්තයෙහි ග්‍රහණය වී පාපයනට පෙනුණු කල ඒ රාජ්‍යයෙහි රජවරුන්ට හෝ පාලකයින්ට විපත් පැමිණිය හැකිය. ධන ධාන්‍ය විනාශ වීම, විවිධ විපත් පැමිණ ජනතාව විනාශවීම, යාගහෝමාදී ක්‍රියාවන්හි පලහීනවීම සිදු වේ. ග්‍රහනවල අඩක් දර්ශනය වීමෙන් බමුණු බ්‍රාහ්මණ, රන්කරුවන්, ලෝකරුවන්ට විපත් ගෙන දේ. දෙවන කොටසේ ග්‍රහන විපාක ලෙස ගොවිතැනින් රැකෙන්නන්, වෙළෙන්දන්, රජවරුන්, සෙන්පතියන් වැනසීම සිදු වේ. තෙවන කොටස තුළ සිදුවන ග්‍රහනයන් නිසා ශිල්පාචාරීන්, කලාකරුවන්, දුනුවායන්, වඩුවන්, ශුද්‍රයන්, ම්ලේච්ඡයන්, මන්ත්‍රීන් සහ ආදිපාදීනට විපත් ගෙන දේ.

මධ්‍යායනයෙහි හෙවත් සතරවන අංශකයෙහි ග්‍රහන අනුව මධ්‍ය දේශයන්හි රජවරුන්ට, රාජ කුමාරවරුන්ට විපත් ගෙන දේ. විශේෂයෙන් විශ්වාකාශයේ ග්‍රහන පලවිපාක ආකාසය සතරට බෙදූ චතුර් දිසා අනුව අටට බෙදූ අෂ්ඨ ග්‍රහ විපාක, චතුර් දිසා, අට දිසා, අනු දිසා අනුව ග්‍රහන සිදුවන රාජ්‍යයන්, ප්‍රදේශ දර්ශන පථයට අනුව විහිදෙන පලවිපාක විවිධාකාර ලෙස බලපෑම් ඇතිවේ.

පසුගිය දශක තුන හතරක කාලය තුළ අවධානය යොමුකිරීමේදී අප රට තුළම මිනිස් මවු කුසින් නයි, පොළඟුන්, ගවයින්, යකුන් වැනි විරූපී සත්ත්වයින් බිහිවූ බව සත්‍යයකි. මේ අතර ලිංගික විපර්යාසයන් සිදුවීම ද, නයින්, පොළඟුන්, බල්ලන්, බළලුන් පමණක් නොව මිනිසුන් පවා මරා කන රටවල් පිළිබඳව ද වාර්තා විය. මවුපිය දූ දරු, වැඩිහිටි, ගුරු දෙගුරු සබඳකම් ඇත්තේම නැත. බිරිය ස්වාමියා ද, ස්වාමියා බිරිය ද, පුතා විසින් මවුපියන් ද මවුපියන් විසින් දූ දරුවන් ද කෙළෙසා විනාශ කර දැමූ සිදුවීම් ද එමටය. ඒ අතර ස්වභාවධර්මය කැළඹීම තුළින් එදිනෙදා ඇතිකරන අව්ව, වැව්ස, සුළඟ ආදියෙන් සිදුවන කාලීන විපත් සිදුවුණි. මහ පොළොව කම්පාවීම්, මහ මුහුද කැළඹීම් මේ ආදී සෑම සිදුවීමක් ම මෙම කලියුගයේ සිදුවන පොදු ස්වාභාවික සිදුවීම්ය.

වර්තමානයේ ඇති තත්ත්වය තව ඉදිරියට අති බිහිසුණු අන්දමින් වේගවත්ව විනාශය කරා ඇදී යාමට හේතුවන විපත් සහිත මහ ව්‍යසනකාරී ග්‍රහ තත්ත්වයන් සුලබ ලෙස ඉදිරියේදී දර්ශනය වේ. අතීතයේ වසර හයදහසකට පමණ පෙර වර්තමානයේ අද සිදුවන සිදුවීම් මෙන්ම බුද්ධ කාලීන යුගයේ කොසොල් රජු දුටු සිහිනවල විෂම පල විපාක එපරිද්දෙන්ම පලදිය හැකිය. මිනිසාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව සම්පූර්ණයෙන්ම පිරිහේ. මෙම සදහම් දිවයින තුළම තවත් නොබෝ කලකින්ම මිනිසා මිනිසා විසින්ම මරාගෙන කන යුගයකට පත්වන දිනය උදාවනු ඇත. මෙම ඇතිවන විනාශකාරී ස්වභාවයන්ට හේතුව කලියුගයට අයත් ලෝක ස්වභාව ධර්මතාවයයි.

මෙම යුගයට අනුව විසින් සිත් සතන් තුළ ලෝභය, මෝහය, ද්වේෂය රජකිරීම පොදු ධර්මතාවයේ ලක්ෂණය. කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, වස්තු තණ්හාවෙන් පීඩිතව දිනෙන් දින, මොහොතින් මොහොත එකිනෙකා ගහ මරාගන්නා යුගයකි. මේ යුගය තුළ වංචාව, දූෂණය ආදී කිසිදු කරුණක් සම්පූර්ණයෙන් තුරන් කිරීමට බලයේ සිටින හෝ බලයට පත්වන කිසිදු පුද්ගලයකුට මේ යුගයේ කළ නොහැකිය. එය රාජ්‍ය පාලකයින්ගේ හෝ ආගමික පක්ෂයන්හි වරදක් නොව මෙම කලියුගයේ ස්වභාවය බැව් තේරුම්ගෙන බුද්ධිමත්ව තම දිවිමඟ හසුරුවා ගැනීමට සෑම කෙනකුම උත්සුක විය යුතුය.

ඔබට කොහොමද?

$
0
0
නොවැ 22, 2017 01:00

නොවැම්බර් මස 22 සිට 28 දක්වා

මේෂ
විදෙස් ගමන්

ප්‍රතිවාදීන් සමඟ හැලහැප්පිලි ඇති වෙයි. ආවේගශීලී වෙයි. තම සේවාස්ථානයේ කටයුතුවල නායකත්වය ගනී. සාමාජීය කටයුතු සාර්ථක වේ. ව්‍යාපාරහා හවුල් ව්‍යාපාර කරන්නන්ට වාසිදායකය. ‍අපේක්ෂා කරන විදේශ ගමන් යෑමට අවස්ථාව ලැබේ. සුබසාධන කටයුතුවල යෙදේ. අධ්‍යාපන කටයුතුවලට සාර්ථක කාලයකි. ප්‍රධානීන් සමඟ ගැටුම් ඇතිවිය හැක. වෘත්තීය කටයුතුවල පරිපාලන භාරකාරත්වයක් දැරිය හැක. දානමාන, පුණ්‍ය කටයුතු ආදියේ යෙදීමට සිත දෙයි. ආමාශ ආබාධවලට සේම හදිසි ශල්‍යකර්මවලට ද ඉඩ ඇත.

වෘෂභ
හදිසි ධන වාසි

ණය මුදල් අපේක්ෂා කරන අයට එය ඉටුවේ. හදිසි ධන වාසි ඇත. තම සේවා ස්ථානයේ කටයුතු සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාරවලට එතරම් හොඳ නැත. පියා සමඟ විරසක භාවයක් ඇති විය හැක. මඟුල් තුලා කටයුතුවලට එතරම් සුබ නැත. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට වඩා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන්වයි. කලාවේ නිරත වූවන් ප්‍රසිද්ධියට හා පිළිගැනීමට ලක් වේ. කොන්ත්‍රාත් අඩමාන ව්‍යාපාර ආදිය කඩාවැටීම්වලට ලක් විය හැක. දියවැඩියාව, ඉස්මතු විය හැක.

මිථුන
අධ්‍යාපනයට බාධා

සාහිත්‍ය හා කලා අංශවල සිටින අයට ඉස්මතු විය හැක. ප්‍රතිවාදීන් අභිබවයි. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට සුබ සතියකි. ඉඩම් ගැටලු ඇති විය හැක. එබැවින් හැලහැප්පිලි ඇතිවීමට පුළුවන. එහෙත් පරාජය අත් නොවේ. අපේක්ෂිත විදෙස් ගමන් කඩාකප්පල් විය හැක. නැතිනම් ප්‍රමාදයන්ට භාජනය විය හැක. සමස්තයක් වශයෙන් අය පක්ෂය සුබය. බහුවිද ආදායම්මාර්ග කරා යොමුවෙයි. අධ්‍යාපනයට බාධා ගෙන දිය හැක. ආමාශ ආබාධ , රුධිර දෝෂ ඇති වේ. හදිසි ශල්‍ය කර්මයකට ද ඉඩ ඇත.

කටක
විවාහ ගැටුම්

ඒජන්සි, කොන්ත්‍රාත්, කොමිස් සහ සැපයුම් ව්‍යාපාර කරන්නන්ට වාසිදායකය. අසල්වාසීන් සමඟ හැල හැප්පිලි ඇති විය හැක. අන් අය වෙනුවෙන් ඉදිරිපත් වේ. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල මෙන්ම ලේඛණ කටයුතුවල නිරතවූවන්ට හිතකර කාලයකි. අධ්‍යාපනයට සුබ සතියකි. විවහා ජීවිතයේ ගැටුම් ඇතිවෙයි. ඉක්මන්වීම නිසා අවාසිසහගත තත්ත්වයකට පත්විය හැකි. මඟුල් තුලා කටයුතුවල අඩපන වීමක් සිදුවේ. අය පක්ෂය හොඳය. දියවැඩියාව ඉස්මතු විය හැක.

සිංහ
වියදම් අධිකයි

අපේක්ෂා ඉටුකර ගැනීමට බාධා ඇති වේ. ඉඩම්, දේපල හබ ඇතිවිය හැක. බහුවිද ආදායම් කරා යොමු වේ. ආදායම් ලබනවා සේම ඒවා විය පැහැදම් වෙයි. ඉඩ කඩම්, කෘෂිකර්මය ආදිය වෙනුවෙන්ද ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන්ද වැඩි වයදම් පෙනව්යි. අධ්‍යාපනයට සුබයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට නරක නැත. තම අයිතිය වෙනුවෙන් දැඩිව පෙනී සිටියි. සටන් කරයි. විදෙස් ගමන් ප්‍රමාද වේ. සතුන් දෂ්ඨ කිරීම්, ලේ විෂ වීම් ඇති විය හැක.

කන්‍යා
ඥාතින්ගෙන් උදව්

සම්බන්ධීකරණ කටයුතු සාර්ථක වේ. ගිවිසුම් ඇතිකර ගැනීමට, හිතකර අවස්ථාවකි. තම ඥාති සහෝදරයන්ගෙන් උදව් ලබයි. අධ්‍යාපනයට සුබය. ආවේගශීලීභාවය ඉස්මතු වෙයි. එම නිසා අනවශ්‍ය ගැටුම්වලටද යොමුවිය හැක. අසල්වැසියන්සමඟ හෝ තම සහෝදරයන් සමඟ ගැටුමකට මැදිවිය හැක. මුදල් කටයුතුවලදී වංචනීය ක්‍රියාකාරකම්වලට ගොදුරුවේ. කලාවට හිතකර සතියකි. උසස් අධ්‍යාපනයට ඉතා සුබ කාලයකි. රුමෙටික් ආබාධ ඉස්මතුවීමට පුළුවන.

තුලා
කලාවට සුබයි

බොහෝ කාරණා ස්ව උත්සාහයෙන් ඉටුකර ගැනීමේදී වාසනාවද බලපායි. තම කාර්යයන් ඉටුකර ගැනීමට, ව්‍යාපෘති ක්‍රියාත්මක කරවාගැනීමට බැංකු ණය ලබාගත හැක. අපේක්ෂා කරන විදේශීය ගමන් යෑමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපනයට සුබය. හවුල්ව්‍යාපාරවලින් පාඩු ලබයි. අනවශ්‍ය ලෙස ආයෝජන යොදවයි. විදේශීය මූලාශ්‍රවලින් ධනය ලබන අය සාර්ථක වේ. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි අවහිරතා එල්ලවේ. සියලුම වර්ගයේ කලාකරුවන්ගේ ප්‍රගතියක් පෙන්වයි. හදිසි රෝහල් ගතවීමක් යෙදිය හැක. වකුගඩු රෝග ඉස්මතු විය හැක.

වෘශ්චික
පින්දහම් කටයුතු

අය පක්ෂය ඉදිරියෙන් සිටියි. යෙදූ ආයෝජන ඇත්නම් එහි ප්‍රතිලාභද ලබයි. සුබසාධන , දානමය, ආගමික කටයුතුවලට වියදම් කරයි. විදේශීය මූලාශ්‍රවලින් ලබන ධනයද වර්ධනයක් පෙන්වයි. අපේක්ෂා කළ විදෙස් සංචාර ඉටුකරගත හැක. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වඩා සාර්ථක වේ.

ප්‍රභූන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් උපකාර ගැනීමේ හැකියාව ඇත. සුඛෝපභෝගී දෑ සඳහා ද මේ සතියේ වියදම් වැඩිවේ. අඩමාන ව්‍යාපාර, කොන්ත්‍රාත් වැනි දේට ආයෝජන යොදයි.

අපේක්ෂා කරන දුර බැහැර ගමන් හෝ විදේශීය ගමන් වෙතොත් යා හැක. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.

ධනු
රහස් කුමන්ත්‍රණ

ස්ව උත්සාහයෙන් බොහෝ කටයුතු ඉෂ්ට කරගත හැක. වාසනාවද බලපායි. පරිපාලන ක්ෂේත්‍රවල නිරතවූවන්ට අභියෝග මැඩ පැවැත්වීමට සිදුවේ. වැදගත් ලියකියවිලි, පොත්පත් අස්ථාන ගතවිය හැක. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවලන් ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට සුබ දායක සතියකි. උසස් අධ්‍යාපන කටයුතු මන්දගාමී වෙයි. එහෙත් සැලසුම් සහගත ය. සුබසාධන කටයුතුවලට සිත යොමුවේ. කට වරද්දා ගැනීම නිසා පාඩු සිදුවෙයි. රහස් සතුරු කුමන්ත්‍රණ, කේළාම් ස්වරූපයෙන් පැමිණිය හැක. වකුගඩු අමාරු ඇති අය අවධානයෙන් සිටිය යුතුය.

මකර
මානසික පීඩා

මානසික පීඩා ගෙනදෙයි. නින්ද නොයෑම පවතියි. ගුප්ත විද්‍යාවේ පිහිට පැතීමට යොමු වෙයි. ඉඩම් හිමිකර ගැනීමට හොඳ කාලයකි. දුර බැහැර පළාත්වලට වෘත්තීය මාරුවීම් සිදුවිය හැක. එය උසස්වීම් සහිත මාරුවීමකි. වෙළෙඳ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ආදියේ නිරත වූවන්ට පාඩු නැත. අධ්‍යාපනයේ පසු බැසීම් නැත. අය පක්ෂ්‍ය නරක නැත. දානමය කටයුතු, සුබ සාධන කටයුතු ආදියට වියදම්කරයි. ස්නායු ආබාධ මතුවිය හැක.

කුම්භ
පෙම්වතුන්ට සුබයි

මිතුරන්ගෙන් උදව් ලබයි. යම්යම් ව්‍යාපෘතිවලට සහ වෙළෙඳ ව්‍යාපාරවලට ආයෝජන යොදවයි. ලිපි ලේඛනයේ නිරත වූවන්ට කාර්යබහුල සතියකි. වෘත්තීමය උසස්වීමකට මඟ පෑදේ. හදිසි අනතුරු සිදුවිය හැක. කරන කියන වෘත්තීය කටයුතුවලින් හදිසි ඉවත්වීම් ද සිදුවේ.

අධ්‍යාපනයට හිතකරය. කලාවේ නිරතවූවන්ට ජනප්‍රිය විය හැක. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිසහගත සතියකි. මඟුල් තුලා කටයුතුවලට යහපත් ය. පෙම්වතුන්ට නරක නැත. උදරාබාධ හටගත හැක.

මීන
ව්‍යාපාරවලට හොඳයි

ගනු ලබන තීරණ අවාසිසහගත විය හැක. හිඟ මුදල්, පාරිතෝෂික දීමනා වැනි අමතර මුදල් වාසි ලැබේ. ගමනාගමන ප්‍රවාහන වියදම් අධික වේ. වෘත්තීමය අංශවල පරිපාලන බලයක් හෝ උසස්වීමකට නිර්දේශ විය හැක.

අධ්‍යාපනයට හිතකරය. හවුල් ව්‍යාපාරවල නිරත වූවන්ට මේ සතිය සුබදායකය. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල අයට, විදෙස් මූලාශ්‍රවලින් ධනය ලබන අයටප්‍රගතියක් පෙන්වයි. කෙටි ගමන් නිසා පාඩු ලබයි. රුමෙටික් ආබාධ ඇති වේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

කොරියන් ක්‍රමයට ටූනා සැන්විච් හදමු

$
0
0
ඔක්‌ 27, 2016 11:00
නලින් දිල්රුක්ෂ
උදැසන ආහාරයට මෙන්ම සවස තේ පානය වෙලාවට වගේම විනෝද චාරිකාවකදී අමතර ආහාරයකටත් කදිම දෙයකි සැන්විච්.
අද අපි බලමු ඉතා කෙටි වෙලාවකින් සාදාගත හැකි රසවත් ටූනා සැන්විච් හදන ආකාරය. 
මෙහි විශේෂත්වය නම් අද අප හදන්න කියලා දෙන්නේ කොරියන් ක්‍රමයට ටුනා සැන්විච් හදන හැටියි. අවශ්‍ය ද්‍රව්‍ය වගේම හදාගන්නා විදියත් ඉතා පැහැදිලිව පහත විඩියෝවෙන් බලන්න හැකියි.

කඳු තරණය විනෝදය කරගත් ඔබට Basic hiking equipment

$
0
0
ජුලි 5, 2017 09:45
නලින් දිල්රුක්ෂ

අද කඳු තරණය ඇවිදීම කොයි කා අතරත් හොඳ විනෝදාංශයක් වෙලා. ඒත් මේ කඳු තරණ වගේම නොදන්නා පෙදෙසක ඇවිදීම යනු අවදානමක් සහිත ඉසව්. ඉතින් මේ වගේ ගමනකදි අපි අත්‍යවශ්‍ය මූලික උපාංග අප සතු නම් අවදානම බොහෝ සෙයින්ම අඩු කරගත හැකියි. මේ වීඩියෝවෙන් පෙන්නන්නේ කඳු තරණයකදී එහෙමත් නැත්නම් ඇවිදීමකදි අප සතු විය යුතු මූලිකම උපාංග පිළිබඳවයි.


බොන්ඩ් සහ මිස්ටර් ක්ලීන්

$
0
0
නොවැ 23, 2017 01:00

 බොන්ඩ් කියා මහජනයා කලින් දැන සිටියේ ජේම්ස් බොන්ඩ් ගැන පමණක් විය හැකිය. ජේම්ස් බොන්ඩ් යනු නවකතා හා චිත්‍රපට රාශියක කතා නායකයා වූ කල්පිත චරිතයකි. රහස් ඔත්තුසේවා නිලධාරියෙකි. එම කතාවලදී නිතරම කුතුහලය පැවති අතර අරුම පුදුම දේ හෙළිදරව් විය. ඒ සියල්ල කුතුහ‍ලයෙන් කියැවිය හැකි කතන්දරයි.

දැන් අපට බොන්ඩ් කියා දැනගන්නට ලැබෙන්නේ බැඳුම්කර පිළිබඳවය. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවක සිදුවූ බව කියන දූෂණයක් නැතහොත් වංචාවක් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිස‍මේ පරීක්ෂණය දැන් අවසන් ය. එය ද ජේම්ස් බොන්ඩ් කතාවක් තරම්ම කුතුහලය දනවන සිදුවීම්වලින් ගහනවීය. අගමැතිවරයා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී එයට සාක්ෂි ලබාදුන්නේය. එය මෙරට ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවකි. මීට පෙර ඇමැතිවරු තිදෙනෙක් මෙහි සාක්ෂි දුන්නේය. තමන්ට යම් චෝදනා අතන මෙතන එල්ලවී තිබුණේ නම් ඒවා නිවැරදි කරගෙන යාමට දෙදෙනකුට හැකියාව ලැබුණි. එසේ වුවද රජයේ බලගතු ඇමැතිවරයකුව සිටි රවි කරුණානායක මහතාට තම ඇමැතිකම අතහැර යන්නට සිදුවූයේ මෙම කොමිසමේදී හෙළිදරව් වූ කරුණක් නිසාය.

තවත් පැත්තකින් බලනවිට බැඳුම්කර කොමිසම ඉදිරියට ගියේ මේ රටේ ප්‍රධාන පාලක පක්ෂයේ (බහුතර පක්ෂය) නායකයා, සභාපති හා මහලේකම්වරයා වීමද විශේෂත්වයකි. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරිපත්වීම හා කරුණු දැක්වීම අතිශයින් වැදගත් විය. බැඳුම්කර වංචාවක් සිදුවූ බවත්, මහබැංකු අධිපතිවරයා ලවා එය කරවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් විපක්ෂය කිය කියා යෑම ඊට හේතුවයි. කිසිඳු ටෙන්ඩරයක් හෝ වෙන්දේසියක් නැතිව මිලදී ගන්නා ක්‍රමය නවතා දමා බැඳුම්කර වෙන්දේසි කරන ලෙස හිටපු මහබැංකු අධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ අගමැතිවරයා වීම මෙම චෝදනාවට එක හේතුවකි. බැඳුම්කර කොමිසම ඉදිරිපත් කළ ප්‍රශ්න 48කට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ නිර්දෝෂීභාවය මෙන්ම ආණ්ඩුවේ ගෞරවය ද රැක ගත්තේය. ඒ ගැන කොමිසමේ සභාපතිවරයාගේ පැසසුම ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය.

අගමැතිගේ විශ්වාසය

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ ප්‍රශ්නයක් ගැන මුලින්ම වාර්තා වූයේ 2015 පෙබරවාරි 27 වැනිදා නිකුත්කළ බැඳුම්කර සම්බන්ධයෙනි. ඒ වනවිට නව මහ බැංකු අධිපති වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්ව සිටියේය. වෙන්දේසිය කැඳවා තිබුණේ බිලියන එකක මුදලක් ලබාගන්නටය. එසේ වුවද මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි බිලියන දහයකට වැඩි ප්‍රමාණයක් ගෙන තිබිණි. එයින් අඩක් ලබාගෙන තිබුණේ මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම වන පර්පචු‍වල් ට්‍රෙෂරීස් සමාගමයි. විපක්ෂය කියන්නට ගත්තේ මෙය මාමා බෑනා ගේමක් වශයෙනි.

ආණ්ඩුව කල්පනා කළේ විවෘත වෙන්දේසියකදී වංචාවක් සිදුවීයැයි පිළිගත නොහැකි බවයි. එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළ බව පෙනෙන්නට තිබිණ. අගමැතිතුමා මහේන්ද්‍රන් මහතා ආරක්ෂා කරනවිට විපක්ෂය ක්‍රියා කළේ දූෂණයක් සිදුවූ බව කියමින් එහි වගකීම ද රනිල් වික්‍රමසිංහ මහතා පිට පටවන්නටය.

මිස්ටර් ක්ලීන් ලෙස නමක් දිනාගෙන සිටින රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගසන්නට මෙබදු අවස්ථාවක් තවත් නොලැබෙන බව විපක්ෂයේ සියල්ලෝ දැන සිටියහ. ඒ නිසාම තම ප්‍රචාර වඩාත් උත්සන්න කරමින් අගමැතිවරයාත් රජයේ ඇමැතිවරුනුත් මෙයට පටලවන්නට විශාල වෙහෙසක් දැරූහ.

පිල් බෙදුණු තීන්දු

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභා දෙකකින් ද මෙම පරීක්ෂණය සිදුවිය. ඒ දෙකෙහිදීම පෙනෙන්නට තිබුණේ මහබැංකුවේ සැබැවින්ම සිදුවූ‍ දේ සොයනවා වෙනුවට තම තමාගේ අභිමතය අනුව තීන්දු දෙන්නට මෙම දේශපාලනඥයන් යොමු වූ බවකි. කොමිටු තීන්දු ආවේ පක්ෂ වශයෙන් පිල් බෙදුනු තත්ත්වයකිනි.

දෙවන කෝප් කමිටුව බෙදුනේ එජාප මන්ත්‍රීවරුන් එක් පිලකට හා අනෙක් සියලු දෙනා එක් පිලකට වශයෙනි. බහුතරයේ වාර්තාව ‍එලෙස නොපිළිගත් එජාප කණ්ඩායම පාද සටහන් යොදා කීවේ මෙයට අපරාධ පරීක්ෂණ විගණනයක් නැතහොත් අධිකරණමය විගණනයක් (Forensic Audit) අවශ්‍ය බවයි. එම කමිටුවේ බහුතරය කියා තිබුණේ හිටපු මහ බැංකු අධිපති හඳුන්වාදුන් වෙන්දේසි ක්‍රමය නිසා පාඩු සිදුවූ බවයි. එය විගණකාධිපතිවරයා ඉදිරිපත්කළ අදහසයි.

ජනාධිපතිතුමා බැඳුම්කර පරීක්ෂණය සඳහා කොමිසමක් පත්කළේ මෙබඳු ගැටුමක් පවතිද්දීය. කෙසේ වෙතත් මෙම පරීක්ෂණයේදී හෙළිවූ කරුණුවලින් පෙනී ගොස් ඇත්තේ නිවැරදි මතය ඉදිරිපත් කළේ කෝප් කමිටුව නොව පාද සටහන් යෙදූ කණ්ඩායම බවයි. එනම් අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය බව කියූ උදවියයි. මහ බැංකුවේ ඇත්තටම සිදුව තිබෙන අත යට ගනුදෙනු එළියට ආවේ එබඳු පරීක්ෂණයක් සිදුවූ හෙයිනි.

මෙහිදී ජනාධිපති පරීක්ෂණ කොමිසමට විශාල සහයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු බව පෙනෙන්නට තිබිණි. මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පැමිණිල්ලකට අනුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ අපරාධ පරීක්ෂණයක් ආරම්භකොට තිබිණි. බොහෝවිට ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයේ හෙළිකරගත් සාක්ෂි බව පැහැදිලි විය.

කොමිසමේ පරීක්ෂණය අතරවාරයේ වෙනත් ව්‍යාපෘති ද අපට දක්නට ලැබිණි. කොමිසම ඉදිරියේ ඇතැම් රංගනයන් සිදුවූයේ ජනමාධ්‍යයේ අවධානය සඳහාම බව පෙනෙන්නට තිබිණි. එමෙන්ම ඉදිරිපත්වන සාක්ෂි තමන්ට කැමැති ලෙස අර්ථ දක්වා ඉදිරිපත් කරමින් ගෙනගිය දේශපාලන මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීය. වැදගත් කරුණු සඟවා මඩ ගසන්නට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කිරීම එම මාධ්‍ය මෙහෙයුමේ කාර්යය වී තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසමේ පරීක්ෂණය විනිවිද භාවයෙන් යුතුව පැවැති බව පැහැදිලි විය. එහිදී බොහෝ දේ හෙළිදරව් විය. එයින් අප දන්නේ මාධ්‍යයෙහි පළවූ දේ පමණකි. කොමිසමට ඊට වඩා පැහැදිලි සාක්කි ලැබී තිබිය හැකිය. දෙසැම්බර් 8 වැනිදාට එම වාර්තාව ලැබෙනු ඇත. එසේ වුවද මෙතෙක් හෙළිදරව් වූ ‍ඇතැම් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේ වරදක් නැති බව පැහැදිලිය.

මෙහි ප්‍රධාන ප්‍රශ්නය නම් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු බැහැර දුන්නේ කවුද? යන ප්‍රශ්නයයි. පරීක්ෂණයට පෙර ඇඟිල්ල දිගුවී තිබුණේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙතටය. එය තවමත් වලංගුද යන්න කොමිසමේ අවසන් නිගමනයෙන් දැනගත හැකිවනු ඇත.

හෙළි වූයේ මොනවාද?

දැනට අප දන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමඟ ඩීල් දැමූ මහ බැංකු නිලධාරින් පිළිබඳව හෙළිදරව් වී ඇති බවයි. ඔවුන්ගේ සමහරුන්ට අල්ලස් දුන් බවට ද සාක්ෂි ලැබිණි. එම අල්ලස් දීම් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වීමට පෙර සිට සිදුව ඇති බව ද හෙළිදරව් වී තිබේ. මේවා වැදගත් කරුණු බවට සැකයක් නැත. සොයාගත යුත්තේ එම සමාගමෙන් මුදල් ලබාගත් අනෙක් ලිට්ල් ජෝන්ලා හා ෆැට් මෑන්ලා කවුද යන්නයි.

තවත් වැදගත් කතාවක්ද කොමිසම හමුවේ හෙළිදරව් විය. එය නම් බැඳුම්කර ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් සියලු මුදල් එම සමාගමේ හෝ වෙනත් අනුබද්ධ සමාගම්වල ගිණුම්වල තිබෙන බවයි. එම මුදල් වෙනත් සමාගම්වලට මාරුකොට ඇති සැටි මෙන්ම එම ප්‍රමාණයන්ද කොමිසමට දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසිනි.

මෙය ඉතා වැදගත් සාක්ෂියකි. එයින් පෙනෙන්නේ මෙය පර්පචුවල් ට්‍රෙෂරීස් තමන් වෙනුවෙන්ම කළ ව්‍යාපාරයක් බවයි. එය වංචාවක් ද, දූෂණයක් ද, අපරාධයක් ද යන්න ගැන කොමිසමේ තීන්දුව ලැබෙනු ඇතැයි සිතමු. කෙසේ වෙතත් එයට මැති ඇමැතිවරුන් හෝ එජාපය හෝ ගාවන්නට විපක්ෂයේ ඇතැමුන් කරන උත්සාහය මෙම සාක්ෂියෙන් ව්‍යර්ථ වෙයි. එම මුදල් වෙනත් කිසිවකු අතට පත්ව නැත යන්න මෙමගින් තහවුරු වන කාරණයයි. “එජාපයට සල්ලි නැති නිසා මහ බැංකුව බින්ඳා” කියන අයට මෙය කනේ පහරකි. එජාපයට හෝ මැති ඇමැතින් අතට ශත පහක් හෝ ගොස් නැත. ඒ මුදල් අර්ජුන ඇලෝසියස් මහතාගේම සමාගම්වල තැන්පත්ව ඇත. සාක්ෂි ඉදිරිපත් වුණේ එහෙමය. ඊට වඩා වෙනස් යමක් කොතනක හෝ ඉදිරිපත්වූ බවක් දැනගන්නට ලැබුණේ නැත.

අනෙක් කාරණය නම් මෙම ගනුදෙනුවේ, වංචාවේ නැතහොත් දූෂණයේ ප්‍රමාණය පිළිබඳවයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එය ට්‍රිලියන් ගණනක් බවයි. ඒ ගණන හදන්නේ අමුතුම ආකාරයෙනි. “පොලී අනුපාතය වැඩි වුණා - අවුරුදු තිහක පාඩුව මෙන්න” ආකාරයෙනි. ඒ සඳහා ‍යොදාගන්නා සංඛ්‍යා අවිනිශ්චිතය. ඒවා බොහෝවිට හිතළුය.

අර්ජුන ඇලෝසියස් ලැබූ ලාභය ගණනය කොට ඇති බවත් එය මිලියන නවසිය හතළිහක් බවත් කොමිසමේදී කියැවුණු කතාවයි. මහ බැංකුවේ පාඩුව ඊට වැඩිනම් ඉතිරි මුදල් ගියේ කොහේද? කියා ප්‍රශ්නයක් මතුවෙයි. එය මෙම ගනුදෙනුවට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන්ට යා යුතුය. එහි එක පාර්ශවයක් නම් සේවක අර්ථසාධක අරමුදලයි. එසේනම් එයට වාසියක් සිදුවී තිබේ ද? එයද විය නොහැක්කක් නොවේ.

විපක්ෂය කියන්නේ අර්ථසාධක අරමුදලට පාඩුවූ බවයි. එය සිදුවන්නේ සියයට 12.5 කට ඇලෝසියස් ගත් බැඳුම්කර සියයට 12ට අර්ථසාධක අරමුදලට ගැනීමෙනි. පාඩුව පෙන්වන්නේ සියයට දශම පහකි. එසේ වුවද වෙන්දේසියෙන් අර්ථසාධක අරමුදල ගන්නට ගියේ නම් ලංසු තියන්න වෙන්නේ සියයට 12.5ට නොවන්නට ඉඩ ඇත. මහ බැංකුව ගණනය කළ අනුපාතය සියයට 9ක් හෝ 9‍.5ක් විය හැකිය. වෙන්දේසියෙන් ගන්නේ නම් පොලිය එකය. ඉතින් අලෝසියස් එක්ක ඩීල් එක දමාගෙන අර්ථසාධකයටත් ලාභ පෙන්වන්න නිලධාරින්ට හැකියාව ඇත. මෙහිදී සිදුවුණේ එවැන්නක් වීමට හොඳටම ඉඩකඩ තිබේ.

ඇලෝසියස් ගේ අමුතු ගේම

කිසිවකු නිවැරදිකරුවන් හෝ වැරදිකරුවන් හෝ කියා නිගමනය කිරීමට අප ඉක්මන් විය යුතු නැත. එය කොමිසන් වාර්තාවෙන් සිදුවනු ඇත. අප නොදන්න ඇතැම් කාරණාද එමගින් හෙළිවනු ඇත. මේ අප කතා කළේ කොමිසමේ ඉදිරිපත්වූ සාක්ෂිවලින් මැවෙන තත්ත්වය පිළිබඳවය.

කෙසේ වෙතත් ඇලෝසියස් බෑණා වීම ගැන මහේන්ද්‍රන් මහතා වරදකරු කළ නොහැකිය. එය වරදක් නොවුණත් එයට සෑහෙන දඬුවමක් හා හිත් වේදනාවක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිටත් ලබා ඇති බවනම් නිසැකය. අනෙක් අතට මහේන්ද්‍රන් මහතා මාමා වීම ඇලෝසියස් මහතාගේද අවාසනාවකි. මහේන්ද්‍රන් මාමා වීමත් ඔහු මහ බැංකු අධිපතිවීමත් නොවන්නට ඇලෝසියස් මහතාගේ මේ අමුතු ගේම පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු නොවන්නට ද ඉඩ තිබිණි. මෙය මෙතරම් විශාල කුණාටුවක් වූයේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති තනතුරට තෝරා ගැනීමත් ඉන්පසුව මේ මාමා බෑණා ප්‍රශ්නයට දේශපාලන අවධානය යොමුවීමත් නිසාය.

දැන් ඉතින් සියලු මඩගැහිලි අවසන් කරන්නට විපක්ෂයට සිදුවනු ඇත. යහපාලනය තුළ දූෂණය, වංචාව ගැන පරීක්ෂණ සිදුවන්නේ එහෙමය. ඒ සියල්ල එසේ තිබියදී ජනතාවට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ ආණ්ඩු කාලයේ දූෂණ, වංචා චෝදනා පිළිබඳ විමර්ශන ශීඝ්‍රගාමී දුම්රියක වේගයෙන් ඉදිරියට යනවිට පසුගිය රජයේ දූෂණ වංචා පරීක්ෂණ ඉබි ගමනේ යන්නේ මන්ද? කියාය. දැන් ඉතින්වත් එම ප්‍රශ්නයටද උත්තරයක් සොයාගත යුතුව ඇත.

සී. ජේ. අමරතුංග

අධ්‍යාපනයේ නිදහස සහ නිදහස් අධ්‍යාපනය

$
0
0
නොවැ 23, 2017 01:00

 අධ්‍යාපනය පිළිබඳ (විශේෂ කාරක සභාවේ) විධායක සභාව විසින් 1943 දී නිකුත් කරන ලද XXIV සැසි වාර්තාව 1945 සිට ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යන්න අර්ථ ගන්වා තිබේ. අද්‍යතන යුගයේ බහුල ලෙස භාවිත වන වචනය බවට ද නිදහස් අධ්‍යාපනය පත් වී තිබේ. එ‍සේ වුවද එය නිසි පරිදි අර්ථ ගන්වා භාවිත නොකරන අතරම එය පුද්ගල බද්ධ අර්ථකථනයන්ට ලක් වී තිබේ. එබැවින් ඉහත දැක් වූ වාර්තාවෙන් නිර්දේශිත නිදහස් අධ්‍යාපනය විමර්ශනය විය යුතු ය. කන්නන්ගර මැතිතුමන් විසින් නිදහස් අධ්‍යාපනය යනුවෙන් අර්ථ ගැන්වූ අදහස එකල විධායක කාරක සභාවෙන් මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මත කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර ශ්‍රී ලාංකීය නීතිය ලෙස සැලකේ. මෙම ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වනුයේ ශ්‍රී ලංකාවේ පැවති ඕනෑම රාජ්‍ය මන්ත්‍රණ සභාවක මෙන්ම ව්‍යවස්ථාදායක සභාවක හා පාර්ලිමේන්තුවක හා ජාතික රාජ්‍ය සභාවක අනුමත වූ සියලුම නීතිරීති අණපනත් වර්තමානයේ ද නීති ලෙස සැලකෙන බවයි. එබැවින් මෙම වාර්තාව අනුව අර්ථ ගැන්වූ නිදහස් අධ්‍යාපනය යන්න විමසා බැලීම වැදගත් වේ. අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභා සැසි වාර්තාවේ (1943 පිටු අංක 120) නිදහස් අධ්‍යාපනය යන්න අර්ථ දැක්වෙන්නේ මෙසේ ය.

“බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය තෙක්ම (එය ද ඇතුළත් වන සේ) අධ්‍යාපනයේ වියදම රජයේ අරමුදල්වලින් සහ නො‍හොත් පළාත් පාලන මණ්ඩලවල අරමුදල්වලින් දැරිය යුතු යැයි අපි අදහස් කරමු.”

(අ) පෝෂිත වූ ප්‍රාථමික හා කාරක පාඨශාලා සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද, ශිෂ්‍යයින්ට පොත් හා ලිවීමේ උපකරණ ආදිය සඳහා යන වියදම ද පාඨශාලා උපකරණ සඳහා ආධාර මුදලක් ද,

(ආ) පෝෂිත වූ ද්විතීයික සහ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද, ශිෂ්‍යයන්ට ලිවීමේ උපකරණ ආදිය සඳහා යන වියදම ද, උපකරණ ගාස්තුවෙන් අය නොකරතොත් උපකරණ සඳහා ආධාර මුදලක් ද

(ඉ) පෝෂිත අභ්‍යාස විද්‍යාලයක් සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද උපකරණ සඳහා ආධාර මුදලක් ද

(ඊ) විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් එහි පිවිසෙන සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ආධාර මුදලක් ද යනුය.

මේ හැර නිදහස් අධ්‍යාපනය තුළ රජය දරන අධ්‍යාපන වියදමට සුදුසු තැන්වලදී දුප්පත් ශිෂ්‍යයින්ට ඉඳුම් හිටුම් හා කෑමබීම සැපයීමේ වියදම ද ඇතුළත් විය යුතුය. සැලකිය යුත්තක් ඇත.

(i)ඉහත සඳහන් කුමන ආකාරයේ අධ්‍යාපනයක් සම්බන්ධයෙන් වුව ද කුමන ඉගැන්වීම් ගාස්තුවක්වත් අය නොකළ යුතුය.

(ii)උපකරණයන් පිළිබඳ වියදම දැරීම සඳහා උපකරණ ගාස්තුවක් අය කිරීමට ද්විතීයික හා ජ්‍යෙෂ්ඨ පාඨශාලාවලට බලය දෙනු ලැබේ.

ඉහත නිර්දේශය අනුව නිදහස් අධ්‍යාපනය ලෙස සම්මත කර ඇත්තේ ගුරු මණ්ඩලවල වැටුප් ද ශිෂ්‍යයන්ගේ ලිවීමේ උපකරණ සඳහා වියදම ද වේ. මේ අනුව මවුපියන්ගෙන් මුදලක් අය නොකර රජය ඉගැන්වීමේ ගාස්තු දැරිය යුතු වේ. ගුරු වැටුප් ද නිදහස් අධ්‍යාපනය යන්නෙන් අර්ථ ගැන්වේ.

මේ හැර විශේෂ කමිටු වාර්තාව අනුව විශ්වවිද්‍යාලයට පිවිසෙන සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීම හෙවත් එම වියදම ද රජය දැරිය යුතු ය.

විශ්වවිද්‍යාලවලට පිවිසෙන ගුරුවරුන් සම්බන්ධ වැදගත් සඳහනක් මෙහි ඇත. විශේෂ කමිටු වාර්තාවේ 120 පිටුවෙහි “(ඊ) විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පිවිසෙන සියලුම දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ප්‍රමාණවත් ආධාර මුදලක් සැපයේ” යන්නය. මෙහි දී විශ්වවිද්‍යාලයට පිවිසෙන ගුරුවරුන්ට ද ප්‍රමාණවත් මුදලක් වැය කරන බව මෙයින් අදහස් වේ. කන්නන්ගර විශේෂ කමිටු වාර්තාවේ 144 පිටෙහි ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ හා එහි පාඨමාලා පිළිබඳ සඳහන් කරන අතර උපාධිධාරී ගුරු පුහුණුව පිළිබඳ ද දක්වයි. “ලංකා විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරුන් පුහුණු කිරීමේ අංශයක් ද යථා කාලයේ දී පිහිටුවීමට ද ව්‍යවස්ථා පනවා ඇත්තේය.” මේ අංශය සම්පාදනය කරනුයේ උපාධිධාරී ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පමණි. මෙම අංශය 1944දී කොළඹ ලංකා විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කරන ලදී.

විශේෂ කමිටු වාර්තාවේ 120 වන “පිටුවෙහි විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පිවිසෙන සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ප්‍රමාණවත් ආධාර මුදලක් සැපයේ.” මේ අනුව ගුරුවරුන් පුහුණුවීමේදී ද විශ්වවිද්‍යාලවලට පිවිසීමේ දී ද මුදල් සපයන බව අදහස් කෙරේ.

විශේෂ කමිටු වාර්තාවේ පිටු අංක 118 හා 167 වන ඡේදයෙහි දක්වන්නේ “අභ්‍යාස විද්‍යාලයන්හි අධ්‍යාපනය හැම විටම නොමිලේ විය යුතුය” යනුවෙනි. උපාධිධාරී නොවන ගුරුවරුන් අභ්‍යාස විද්‍යාලවලින් පුහුණු කළ යුතු බව විශේෂ කමිටු වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම උපාධිධාරී ගුරුවරුන් විශ්වවිද්‍යාල මඟින් පුහුණු කළ යුතු බව සඳහන් කරයි. විශේෂ කමිටු වාර්තාවේ 226 පිට 367 පරිච්ඡේදයෙහි “උපාධිධරයන් පුහුණු කිරීම විශ්වවිද්‍යාල මඟින් කළ යුත්තකි.” ලෙස දක්වයි.

ගුරු අභ්‍යාස විද්‍යාල ගුරුවරුන් පුහුණුවට මුදල් අය නොකිරීම හා විශ්වවිද්‍යාල මඟින් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ සඳහන් කර ඇත. එහෙත් 1980 දශකය තුළ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පූර්ණකාලීන පාඨමාලාවල පාඨමාලා ගාස්තු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දී තිබේ. වර්තමානයේ ද පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ගුරුවරුන්ගේ පාඨමාලා ගාස්තු ඍජු ලෙසම රජය දරන්නේ නැත. පාඨමාලා ඇතුළත් වන මුල් අවස්ථාවේ පාඨමාලා ගාස්තුව ගුරු ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාලවලට ගෙවිය යුතු අතර පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ලැබූ පසු පාඨමාලා ගාස්තුවෙන් අඩක් රජය විසින් ගෙවනු ලැබේ. මෙයින් ගම්‍ය වන්නේ උපාධිධාරී ගුරුවරුන්ගේ පාඨමාලා වියදම ද රජය දැරිය යුතු බව කන්නන්ගර ප්‍රතිපත්තිවලින් නිර්දේශ කර ඇති බවත් මුල් යුගයේ එය ක්‍රියාත්මක වුවත් වර්තමානයේ ද ඉන් අඩක් රජය ගෙවන බවත්ය.

අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටු වාර්තාවෙහි 118 පිටුවෙහි 168 වන ඡේදයේ මෙසේ දැක්වෙයි. “ජනසම්මත පාලනවාදී ජන සමාජයක අධ්‍යාපනය සියලුම අවස්ථාවල නොමිලේ විය යුතුය.” නිදහස් අධ්‍යාපනයට අදාළ දර්ශනය මෙම අදහස වෙයි. මෙම ඡේදයෙහිම “මොනම සමාජ ක්‍රමයක වුවද අධ්‍යාපනයට සම අවස්ථා සැලසිය යුතුය.” මෙය ඉතා වැදගත් දර්ශනයකි. අධ්‍යාපන ප්‍රතිපත්තියකි. මෙය 1943 වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අන්තර්ගත වූ අතර වර්තමානයෙහි සෑම රටක්ම මෙය පිළිගෙන ඇත. එසේ වුවද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ මෙය ප්‍රතිපත්තියක් ලෙස පිළිගනු ලැබ ඇත. පෞද්ගලික අංශවලට මුදල් ඇති අය සඳහා වෙනම පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරැඹීම මඟින් අධ්‍යාපනයෙහි සම අවස්ථා ලබා දීමේ ප්‍රතිපත්තිය ලංකාවේ මායාවක් වී ඇත. විශේෂ කමිටු වාර්තාවේ 168 වන ඡේදයෙහි (119 පිටුවේ) තවදුරටත් මෙසේ සඳහන් වේ. “තමාට අවශ්‍ය නිසර්ග දක්ෂතා ඇතොත් ජාතියේ ආර්ථික වූද, සමාජීය වූද, දේශපාලනාත්මක වූ ද ඉතාමත් පහත් අඩියේ සිට ඉතාම උසස් අඩියට නගින්නට පුළුවන්කම ලැබෙන පරිදි රාජ්‍යයේ සෑම පුද්ගලයාටම එක සමාන අවස්ථා තිබිය යුතුය. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගත ප්‍රතිපත්තිය විය යුත්තේ ප්‍රකෘති ස්වභාවයෙන් යුතු සියලු ළමයින් ඉගෙනීමෙහි සමාන ඇත්තන් යැයි සැලකීමයි.”

මේ අනුව නිදහස් අධ්‍යාපනයෙන් අර්ථ ගැන්වෙනුයේ ශිෂ්‍යයාගේ නිසඟ හැකියාව දියුණු කිරීමෙන් පහළ සමාජ ආර්ථික මට්ටමේ සිටින අයට ඉහළම සමාජ ආර්ථික මට්ටමට යෑමට අධ්‍යාපනය හරහා ඉඩදීමත්, සෑම අයකුටම අධ්‍යාපනයෙහි සමාන අවස්ථා ලබාදීමත්ය. නිදහස් අධ්‍යාපනයෙන් කන්නන්ගර මැතිතුමා නොමිලේ ඉගෙනීමට ඉඩ ප්‍රස්ථා ලබාදීම ම පමණක්ම නිදහස් අධ්‍යාපනය ලෙස ශ්‍රී ලංකාව තුළ අර්ථ ගන්වා නැත.

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය යන්නට අර්ථය දීමේ දී ළමයාගේ අධ්‍යාපනයට තේරීම ද ඇතුළත් කර ඇත. නිදහස් අධ්‍යාපනය පිළිබඳ ව්‍යවස්ථාදායක මණ්ඩලය ද පිළිගනු ලැබූ, අධ්‍යාපන විධායක කාරකසභාව ද පිළිගත් අධ්‍යාපන විශේෂ කමිටු වාර්තාව විසින් සකස් කර කන්නන්ගර මැතිතුමන් විසින් අර්ථකථනය කළ මෙතෙක් බොහෝ දෙනකු දැන නොසිටි කරුණක් ද විශේෂ කමිටු වාර්තාවේ 120 පිටුවෙහි සම්මත කර තිබේ. “සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය නොදී මේ එක දෙයක්වත් කරගත නොහැකි බැවින් නිදහස් අධ්‍යාපනය සියල්ලටම පළමුවද මුලටම ද ඇති විය යුතුය. නිදහස් අධ්‍යාපනයට නිදහස් වෛද්‍ය සේවය ද අපි එකතු කරමු” යන්න ඉතා වැදගත් නිර්දේශයකි. නිදහස් අධ්‍යාපනයට නිදහස් වෛද්‍ය සේවය ද ඇතුළත් කර ඇත. එහෙත් බොහෝ දෙනකු මෙය අමතක කර තිබේ. එහෙත් පාසල් මට්ටමෙන් මෙය මුල් කාලයේ සම්බන්ධ කර ඇත. අද ද කන්නන්ගර මැතිතුමා සම්මත කළ නිදහස් වෛද්‍ය සේවයේ ‍ශේෂ වූ කොටස් පාසල තුළ තිබේ. පාසල් ළමයින් එන්නත් කිරීම, දන්ත සායනය හා සෞඛ්‍ය වැඩසටහන්වලට පමණක් එය සීමා වී ඇත. අද කිසිවකු නිසි පරිදි ක්‍රියාත්මක නොකළ ද නිදහස් වෛද්‍ය සේවය නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කර ඇතත් එකී නිදහස් අධ්‍යාපනය තුළ එම බලය බිඳී තිබේ.

නිදහස් අධ්‍යාපනය ලෙස නීත්‍යානුකූලව සම්මත කර ගත් බොහෝ දෑ නිදහස් අධ්‍යාපනය ලැබූ දේශපාලනඥයින් විසින්ම විනාශ කර තිබේ. බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන වියදම් රජය මඟින් දැරිය යුතුය හෙවත් මවුපියන්ගෙන් ඉගෙනීමේ ගාස්තු අය නොකළ යුතුය යන්න ද සිදු කරන අතරම ඊට මුළුමනින්ම පටහැනි ලෙස ක්‍රම දෙකකින් අධ්‍යාපනයට මුදල් අය කරනු ලැබේ.

ජාත්‍යන්තර පාසල් මඟින් සිදු කරනුයේ ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් අය කිරීමයි. මෙම ක්‍රමය ක්‍රියාත්මක කරනුයේ එම පනතේ විධිවිධානවලට පටහැනිවය. එනම් ජාත්‍යන්තර පාසල්, පාසල් ලෙස නොව සමාගම් ලෙස ලියාපදිංචි කිරීමෙනි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව අලුතින් පාසල් පිහිටුවීම තහනම් නිසා 1980 සිට 1994 දක්වා කාලය තුළ මෙම ක්‍රමය ආරම්භ කරන ලදී. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ විනාශ කිරීම 1980 සිට ආරම්භ කර ඇත.

නිදහස් අධ්‍යාපනය විනාශ කර ඇති අනෙක් ක්‍රමය ද පාසල් යන සිසුන් සඳහා මුදල් ගෙවා අමතර පන්ති යාමට සිදු විමයි. ළමයා නිදහස් අධ්‍යාපනය ලබන අතර විභාගය කේන්ද්‍රීයව අමතර පන්තිවලට ගෙවති. නිදහස් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය නොකිරීම නිසා රාජ්‍ය අධ්‍යාපනයෙහි විශ්වසනීයභාවය නැති කිරීම තුළින් මෙම ක්‍රමය බිහි විය. මෙම ක්‍රම දෙකම සිදු කරන ලද්දේ දේශපාලන තීන්දුවලින් මිස ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් නොවේ. 1979 දක්වාම රාජ්‍ය අධ්‍යාපනයෙහි හෙවත් නිදහස් අධ්‍යාපනයෙහි වැදගත්කම අවතක්සේරු නොවීය. 1979න් පසුව සමාජවාදී මුහුණුවරක් ගත් අධ්‍යාපන ප්‍රතිපත්ති නව ධනවාදී මුහුණුවරක් ගත් බැවින් අර්ථාන්විතව හෝ අධ්‍යාපන දර්ශනයන්ට පටහැනිව දේශපාලන උවමනා අනුව සකස් වූ නිසා නිදහස් අධ්‍යාපනයට වඩා ධනවාදී අවශ්‍යතා අනුව අධ්‍යාපනය සකස් විය.

ඉංග්‍රීසි යුගයේ අධ්‍යාපනය මෙන් වර්තමානයේ අධ්‍යාපනය මඟින් ද සමාජය විභේදනය කිරීම ආරම්භ කර ඇත. අධ්‍යාපන දර්ශනය තුළ ප්‍රකට හා පිළිගත් මතය වන්නේ අධ්‍යාපන සම අවස්ථා සම්පාදනය වුවත් ජාත්‍යන්තර පාසල් මඟින් ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි සමාජ පන්තියක් මධ්‍ය පන්තික බහුතරයකින් සකස් කරමින් ඇත. නැවත ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි හා සිංහලෙන් වැඩ කළ හැකි ලෙස සමාජ පන්ති දෙකක් නිර්මාණය කර ඇත. වඩාත් ඉල්ලුම පවතින්නේ ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි අයට වීම නිසා නැවතත් සිංහල පමණක් ඇති ගම්බද ප්‍රජාව රැකියා අවස්ථාවලදී පසුපසට යාම පටන්ගෙන ඇත. මේ නිසා ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන සම අවස්ථා නැති කිරීමට හේතු වී ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා ද සිදු වී ඇත්තේ ද මෙම තත්ත්වයම බව පැහැදිලිය. දැනට විදේශ විශ්වවිද්‍යාල ශාඛා විශාල සංඛ්‍යාවක් මෙරට ආරම්භ කර ඇත. ඒවාට ඇතුළත් විය හැක්කේ පාඨමාලා ගාස්තු ලෙස ලක්ෂ ගණනින් ගෙවිය හැකි අයට පමණි. මෙම ක්‍රමය ද නැවත වරක් ධනවතුන්ට හෝ මධ්‍ය පාන්තිකයන්ට අවස්ථා ලබාදීමකි. අධ්‍යාපන සම අවස්ථා සියල්ලන්ට සැපයීම සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ද සෑම අයටම ලබා ගැනීමට වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයන් ආරම්භ කර එම අවස්ථා සැමට ලබා දීමෙන් බොහෝ අයට වැඩි වාසි අත්වෙයි. අධ්‍යාපන සම අවස්ථා සඳහා වරප්‍රසාද ලත් අයට ලැබෙන අවස්ථා නිදහස් අධ්‍යාපනය මඟින් සියල්ලන්ට ලැබෙන ක්‍රමවේද බවට තහවුරු කළ යුතුව ඇත.

මහාචාර්ය ආනන්ද ජයවර්ධන
අංශ ප්‍රධානී, අධ්‍යාපන සමාජ විද්‍යා අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

අර්ජුන් ඇලෝසියස් හිතවතෙක් වුණත් උදව් ඉල්ලුවේ නැහැ

$
0
0
නොවැ 24, 2017 01:00
හෙක්ටර් අප්පුහාමි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

කෝප් කමිටුවත් බැදුම්කර ගනුදෙනුවත් අතර දුරකථන සංවාදවලට නම ගෑවීම. අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට යාම සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කී එජාපයට එරෙහි කුමන්ත්‍රණ කතාව ආදිය පිළිබඳ අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මැති හමුවට එක්වේ.

* අගමැති කොමිසමට යාම ජනතාවට ගෞරවයක්
* සමහර මාධ්‍ය හොරු හංගනවා
* පරණ හොරු ගැන ආණ්ඩුව තීරණ ගන්නෙ නෑ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයක් මඟින් සාක්කි ලබා දුන්නා. අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට මෙලෙස ඉදිරිපත් වීම එජාප මන්ත්‍රීවරයකු ලෙස ඔබ දකින්නේ කෙසේද?

වත්මන් අග්‍රාමාත්‍යවරයා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ලැබීම මා ලැබූ වාසනාවක් වගේම භාග්‍යයක්. මොකද කවුරු මොනවා කිව්වත් අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන අයෙක්. එවැනි අවංකව වැඩ කරන අයෙක් අප දැක නෑ. හැබැයි දේශපාලනයේදී ඔහු බොහෝම සූක්ෂමයි. ඒ සූක්ෂ්මකම ඔහු හැම තිස්සේම පාවිච්චි කරන්නේ ජනතාවගේ හොඳ පැත්තට මිස නරක පැත්තට නොවේ. බැඳුම්කර කොමිසමට අගමැතිවරයාට කවුරුවත් එන්න කීවේ නෑ. අගමැතිතුමා ස්වේච්ඡාවෙන්මයි මේ කොමිසමට ගියේ. අගමැතිවරයාගේ ප්‍රකාශ කොමිසම සාක්කියක් හැටියට බාර ගත්තෙත් නෑ. එතුමා දිවුරුම් ප්‍රකාශයක් මඟින් තමයි තම අදහස් ප්‍රකාශ ‍ෙකළේ. අගමැතිවරයා මෙතනදී ඇත්ත කතාවක් කිව්වා. බැඳුම්කර නිකුත් කළේ ඇත්තටම රටට මුදල් අවශ්‍යතාවක් තිබුණු නිසයි. සමහරු කිව්වේ රටට සල්ලි අවශ්‍යතාවක් තිබුණේ නෑ. නමුත් අවශ්‍යතාවක් මවලා තමයි බැඳුම්කර නිකුත් කළේ කියලා. එතුමා රටට සල්ලි ඕනෑ කරලා තිබුණු විදිහ මෙතනදී කීවා. හැබැයි මෙතනදී සල්ලි අරන් ති‍ෙයන්නේ ටෙන්ඩර් පරිපාටියක් අනුවයි. මහ බැංකුවේ ක්‍රියා පරිපාටියේ අඩුපාඩු තිබුණා නම් ඒවා ගැනයි කතා කළ යුතුව තිබුණේ. ඒත් සමහරු කතා කළේ එක්සත් ජාතික පක්ෂයේ අය හොරකම් කළා කියලනේ. මං හිතනවා අගමැතිවරයා බැඳුම්කර කොමිසමට පැමිණීම එක්සත් ජාතික පක්ෂයට ගෞරවයක්. රටේ ජනතාවට විශාල ගෞරවයක් කියලා. ඇත්ත සිද්ධිය හඳුනාගන්න අවශ්‍ය නම් ඒ හේතු තිබුණේ මෙතන. හැබැයි කාටහරි මඩ ගහන්න, කුමන්ත්‍රණය කරන්න, පක්ෂයක් විනාශ කරන්න ඔළුවේ තියන අය මේක හරි විදියට ග්‍රහණය කර ගන්න එකක් නෑ.

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නම් කියන්නේ බැඳුම්කර කොමිසම එජාපයට එරෙහි කුමන්ත්‍රණයක් කියලයි. ඔබත් ඒ අදහස අනුමත කරනවාද?

මා හිතන්නේ සුජීව ඇමැතිතුමා අදහස් කරන්න ඇත්තේ කෝප් කමිටුව මුලින්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී විගණකාධිපතිතුමා අතින් හා කෝප් කමිටුව අතින් යම් අඩුපාඩුවක් සිදුවුණා. ඒක තමයි මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අඩුපාඩු සිදුව ඇත්තේ 2008 වසරේ සිටයි. නමුත් 2008 සිට පරීක්ෂා නොකර ඇයි මේ පරීක්ෂණ මැදින් පටන් ගත්තේ. මීට පෙර බැඳුම්කර සිද්ධිවල අඩුපාඩු වංචා වැහුවේ ඇයි? ඇයි ඒවා පරීක්ෂා නොකළේ? කවුද මේවා වැහුවේ. කුමක් නිසාද? මෙතන ලොකු වැරැද්දක් ‍තියනවා. ඒක තමයි සුජීව ඇමැතිතුමා මතුකරන්න ඇත්තේ. ඊළඟ කාරණය තමයි කෝප් කමිටුව කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පරීක්ෂණ කරන කාරක සභාව. කෝප් එකට කෙනෙක්ව චුදිතයෙක් කරන්න බලයක් නෑ. මේ බැඳුම්කර සිද්ධියේදී අපට තියෙන්නේ මහ බැංකුව හරියාකාර විදියට කටයුතු කරලා තියනවද කියලා බලන්නයි. මහ බැංකුවේ චක්‍රලේඛන නීතිරීතිවලට අනුකූලව මේ ගනුදෙනුව සිදුවුණාද කියා සොයා බැලීමයි අප කළ යුත්තේ.

අපිට සෘජුවම ප්‍රශ්න කරන්න පුළුවන් පරීක්ෂණ කරන්න පුළුවන් මේ ආයතනික කණ්ඩායම වන මහ බැංකුව ගැන විතරයි. ඉන් එහාට දෙයක් අපිට කරන්න බෑ. ඒ ආයතනයට සම්බන්ධ වන පෞද්ගලික ආයතනයක අයිතිකාරයෙක් ගැන අපිට හොයන්න බෑ. නමුත් කතා කරන්න පුළුවන්. දැන් මේ පරීක්ෂණයෙන් කණ්ඩායම් කීපයක් වැරදිකරුවෝ කරලා ඉවරයිනේ. එහෙම එයාලා වැරදිකරුවෝ කෙළේ කවුද? එහෙම නම් ඉස්සර වෙලාම වැරදිකරුවෝ කරන්න ඕනෑ මහ බැංකුවයි. මහ බැංකුව වැරැද්දක් කරලා නැතිනම් පිට කෙනෙකුට මහ බැංකුවට සම්බන්ධ වෙලා වැරැද්දක් කරන්න බෑ. ඒ කියන්නේ කෙනෙකුට මහ බැංකුවට බැහැලා බැංකුව කඩලා සල්ලි ගෙනියන්න බෑනේ. මහ බැංකුවේ වැරද්ද කෙළේ කවුද? කොයි විදියටද කෙළේ. ඒ ප්‍රශ්නය ගැන කතා කරනවා වෙනුවට දැන් මේ කොහෙවත් යන පාර්ශ්වයක් ගැනයි කතා කරන්නේ. එතකොට ඒ පාර්ශ්වය ගැන කතා කරද්දී මහ බැංකුව සම්පූර්ණයෙන්ම අමතක කරලයි කතා කරන්නේ. 2008 සිට සිදුවූ බැඳුම්කර නිකුත් කිරීමේ වැරදි ක්‍රමවේදය කොහොමද කළේ. පසුගිය දේවල් හොයන්නේ නැතිව මේ කරන ක්‍රමවේදය තුළ එක්සත් ජාතික පක්ෂයට මඩ ව්‍යාපාරයක් ගෙන යන බව පැහැදිලියි.

2008 වසරේ සිට මේ දක්වා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඔබලා ජනාධිපතිවරයා‍ෙගන් ඉල්ලීමක් කළාද?

ඔව් අපි ජනාධිපතිවරයා හමුවී 2008 සිට ‍මේ දක්වා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කොමිසමක් පත්කරන්න කියලා ඉල්ලා සිටියා. ඊළඟට අපි ලිඛිතව ඉල්ලීමක් කළා. හෙජින් ගිවිසුම, ග්‍රීක් බැඳුම්කර සම්බන්ධයෙන් එයාර් ලංකා එක සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත්කර පරීක්ෂා කරන්න කියලා.

ඊට ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?

ජනාධිපතිවරයා ඒවා බාරගත්තා. මං හිතන්නේ ඒවා කරන්න එතුමාට තවම කාලවේලාවක් නොලැබෙන්න ඇති. කොහොම වුණත් ගිය ආණ්ඩුවේ ප්‍රශ්න අදින බවක් අපි දකින්නේ නෑ. අපට එහෙම එකක් පේන්නේ නෑ. ඒවා සම්බන්ධයෙන් හරිහමන් පියවර මේ ආණ්ඩුවෙන් ගන්න බවක් නම් පේන්නේ නෑ.

ඉතිං ආණ්ඩුව කියන්නෙත් ඔබතුමාලමනේ. ඒ වැරදි හොයන්නේ නැත්නම් ඒක ඔබතුමාලගෙම වැරැද්දක් නේද?

ආණ්ඩුව අපේ තමයි. නමුත් වැඩ කටයුතු කිරීමේදී කණ්ඩායම් දෙකක් විදියටනේ කටයුතු කරන්නේ. කාටහරි පුද්ගලිකව මඩ ගහනවා නම් වැරදි චෝදනා කරනවා නම් මං හිතන්නේ ඒක තමයි කෙනෙක් කරගන්නා ලොකුම පාපය. අද රටේ සිද්ධවෙලා තියෙන්නේ හොරු අනිත් අයට හොරු කියමින් විශාල මඩ ව්‍යාපාරයක් ගෙනියන එකයි. එකෙන් අපි වගේ මොනවත් නොකර ජනතාවට වැරදි පණිවිඩයක් යන්න පුළුවන්.

ඔබ කෝප් කමිටුවේ සාමාජිකයෙක්. එලෙස කටයුතු කරද්දී ඇයි චුදිතයෙක් වූ අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබා දුන්නේ?

අර්ජුන් ඇලෝසියස් මා කලින් ඉඳන් දන්නවා. ඔහු චුදිතයෙක් කරලා නෑ.

කොහොමද ඔබ ඔහුව දන්නේ. ඔහු ඔබේ පාසල් මිත්‍රයෙක් ද?

නෑ. නෑ. ඔහු මට හඳුන්වා දුන්නේ මගේ යාළුවෙක් සාදයකදී. මා ඔහුව දන්නේ ව්‍යාපාරිකයෙක් විදියට. මා පාර්ලිමේන්තුවට එන්නත් කලින්. ඒත් කිසිම දවසක ඇලෝසියස් මගෙන් උදව් ඉල්ලන් නෑ. මං උදව් දීලත් නෑ. මං පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු දෙකයි. තවම මං විගණකාධිපති වාර්තා අධ්‍යයනය කරනවා. බැඳුම්කර ගැන මං තාම ඉගෙනගෙන නෑ, මට තව ඉගෙන ගන්න තියනවා. ඉතිං එහෙම තත්ත්වයක ඉන්න කෙනෙක්ගෙන් කවුරුවත් උදව් ඉල්ලන්නේ නෑ. එහෙම හිතනවා නම් ඒක මෝඩ සිතුවිල්ලක්.

රංග බණ්ඩාර රාජ්‍ය ඇමැතිතුමා නම් කියන්නේ කෝප් කමිටුව හමුවේ චෝදනා එල්ල වූ අයකු සමඟ සබඳතා පැවැත්වීම කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ට සුදුසු නැති බවයි.

ඒ එතුමාගේ අදහස වෙන්න ඇති. එතුමා හොරු, වංචාකාරයන්, දූෂිතයන් ඇසුරු නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දේශපාලනඥයෝ. ඒ නිසා හැම කෙනාම ඇසුරු කරනවා. අපිට හොරු කතා කරන්න පුළුවන්, වංචාකාරයෝ කතා කරන්න පුළුවන්. අපි හැම කෙනාටම කතා කරනවා. ඡන්දය ඉල්ලනකොට අපි කියන්නේ නෑ අපිට මහත්වරු විතරක් ඡන්දය දෙන්න කියලා. හැම කෙනාම සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි ඇසුරු කරනවා. ඒත් අපිට කතා කරන අයගේ හැසිරීම අපි දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් වැරදිකාරයෙක් ද, හොරෙක් ද කියා අපි තවම දන්නේ නෑ. සාමාන්‍ය පුරවැසියෙක් විදියටයි ඇසුරු කරන්නේ. ඉදිරි‍ෙය්දී අධිකරණයෙන් වැරදිකාරයෙක් වුණොත් ඒක දැනගන්න පුළුවන්.

පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලට එකතු කළ රුපියල් කෝටි 70 කට වෙච්ච දෙයක් නෑ කියලා කබීර් හෂිම් ඇමැතිතුමා කියනවා. මේ ජනතා මුදල්වලට වුණේ මොකක්ද කියලා හොයන එක ජනතා නියෝජිතයන්ගේ වගකීම නේද?

අපේ රටේ දැන් ගොඩාක් හොරකම් යට ගිහින්. ජනතාවටත් දැන් මේක තේරෙනවා. වෙන එකක් තියා ඒ ගැන කතා කරන්නෙවත් නෑ. මාධ්‍යයෙන්වත් මේ ගැන කතා කරන්නේ නෑ. සමහර මාධ්‍ය හොරුන්ව කොච්චර හංගනවද? සුද්ද කරනවද? අද අපි අලුත් ආණ්ඩුවක් හදලා වෙනත් ක්‍රමවේදයකට රට ගෙනියන්න හැදුවේ. හැබැයි ඒ ක්‍රමවේදය නෙවෙයි තියෙන්නේ. මේ යහපාලනය කියන එක සම්පූර්ණ බොරුවක්. මේකේ යහපාලනයක් නෑ. මේ එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් විතරයි තියෙන්නේ. හැම තැනම ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන ප්‍රශ්න කරන්න ගියොත් මේ රට ප්‍රශ්න කරන රටක් මිස වෙන වැඩක් කරන්න ලැබෙන්නේ නෑ.

එජාප ඇමැතිවරයෙක් හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා උසාවියට බාර නොදී සඟවාගෙන සිටි බවට එල්ලවන චෝදනාව ගැන මොකද කියන්නේ?

පත්තරවලින් දකින ඒවා ඇරෙන්න ඒකේ සත්‍ය තත්ත්වය මා දන්නේ නෑ. තාම අපි ළාබාල මන්ත්‍රීවරු. අපි තාම මේවා ගැන අධ්‍යයනය කරනවා. අපිට තව ගොඩක් ඉගෙන ගන්න තියනවා. අපි දකින දේ නෙවෙයි සමහර සිද්ධීන්වල තියෙන්නේ. දකින දේ අස්සේ වෙනත් දෙයක් තියෙන්නේ. මේ සමාජයේ බොහෝ දේ සිද්ධ වෙන්නේ මතුපිටින් පෙනෙන දේ නෙවෙයි, අභ්‍යන්තරය ඊට වඩා වෙනස්. හොඳම උදාහරණය පාර්ලිමේන්තුවේ කරන කතාවලින් හැන්ඳෑවට රූපවාහිනියේ දාන කතාවලින් පත්තරවල යන ප්‍රවෘත්තිවල එකක්වත් රට වෙනුවෙන් අලුත් යෝජනාවක් තියනවද? තනිකර යන්නේ මඩ. මේක මහ කඩචෝරු දේශපාලනයක්. ජනතාවටත් මේවා දැන් තිත්තයි. පාර්ලිමේන්තුවේ කරන හොඳ යෝජනාවලට මාධ්‍යයෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.

අර්ජුන් ඇලෝසියස් හා කෝප් සාමාජිකයන් අතර සිදුවූ දුරකථන පණිවිඩ මාධ්‍යයට හෙළිදරව් කිරීම ඔබලාගේ වරප්‍රසාද කඩවීමක් ලෙස දකිනවාද?

ඇත්තෙන්ම ඔව්. මම සීයට සීයක් විශ්වාස කරනවා අපේ වරප්‍රසාද කඩ වූ බව. මෙතනදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන පරීක්ෂා කිරීමක් සිදුව නෑ. අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනය පමණයි පරීක්ෂා කර තියෙන්නේ.

එහෙම නම් ඒ තොරතුරු රහසිගතව තියාගන්න ඕනෑ. කොහොමද ඒවා මාධ්‍ය්‍යට ගියේ. කවුද ඒවා එළියට දීලා මාධ්‍ය සංදර්ශනයක් කළේ? මේ දුරකථනයෙන් කතා කළ මන්ත්‍රීවරු හොරු විදියට සලකමින් මාධ්‍ය හැසිරෙන්න පටන් ගත්තේ ඇයි? එතන වැරැද්දක් තියනවා.

පළාත් පාලන ඡන්ද පෙත්සම දෙසැම්බර් 04 දක්වා කල් ගියා. ආණ්ඩුව මේ හදන්නේ මැතිවරණ සිතියම අකුලන්නද?

එජාපය ඡන්දයට බය නෑ. මේ ඡන්දය කල් දාන්න ඕනෑ කාටද කියා ජනතාව දන්නවා. ඒක ජනතාවට කරන විශාල හානියක්.

ගාමිණී බණ්ඩාරනායක 

යා යුතු මඟ කියන නොයා යුතු තැන

$
0
0
නොවැ 24, 2017 01:00

ජීවිතයේ මං පෙත් වරද්දාගත් මිනිසුන් පිරිසක් විසින් ජීවිතයේ මංපෙත් සොයන දරුවන්ට යා යුතු මඟ කියා දෙන ඉතා වටිනා සංවේදී වැඩසටහනක් ගාල්ල බන්ධනාගාරයෙන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන් දැනුවත් කිරීම උදෙසා පවත්වන මෙම ‘නොයා යුතු තැන’ වැඩසටහන ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ අනාගතය සුවඳවත් කරන පාසල් දූ දරුවන් විෂමාකාරි සමාජය විසින් විවිධාකාරයෙන් දුසිරිතට පොළඹවා ගන්නා යුගයක, නැණවත්, ගුණවත්, සංවේදී දරු පිරිසක් බිහි කරන්නටත්, මිනිසකු විසින් කිසි දිනක යාමට නොසිතන හිර ගෙදරින් කෙරෙන මෙම වැඩසටහන අද සමාජය අගය කළ යුතුමය.

නිල ඇඳුම තම ආභරණය කර ගනිමින්, තම තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා රාජකාරි පසෙක තබා කටයුතු කරන නිලධාරින් සිටින යුගයක රාජකාරියෙන් ඔබ්බට ගොස් එමෙන්ම බන්ධනාගාර විෂය පථයට කිසිම ආකාරයකට අදාළ නොවන මෙවැනි වැඩසටහනක් නිර්මාණය කරමින් එය ගමින්ගමට නගරයෙන් නගරයට පාසලෙන් පාසලට රැගෙන යමින් මේ නිලධාරින් කරන සේවය අගය කළ යුතුය.

පාසල් දරුවන් හා පාසල් දරුවන්ගේ මාපියන් දැනුවත් කිරීම සඳහා ආරම්භ කර ඇති ‘නොයා යුතු තැන’ වැඩසටහන පිළිබඳව එහි නිර්මාතෘ ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා මෙසේ පැවසීය.

“වසර විසි පහකට අධික සේවා කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන මට අත්දැකීම් රාශියක් තියෙනවා. බන්ධනාගාර තුළට සහ විවිධාකාර මිනිසුන් ගැන විශේෂයෙන් කියන්න ඕන විවිධ නීති විරෝධී ක්‍රියාවන් අනුව බන්ධනාගාරයට එන පිරිසෙන් 90%ක් පමණ ඉන්නේ සිංහල බෞද්ධ අය. සිංහල. බෞද්ධ සංස්කෘතිය හා උරුමය සමඟ ගොඩනැඟුණු රටකට වන මෙම විනාශය මට හොඳින් තේරුම් ගියා. ඒ වගේම බන්ධනාගාරයේ වැඩිපුරම ඉන්නේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදිවලට දඬුවම් විඳින අය ගාල්ල ප්‍රදේශයේ ඉතාම ශීඝ්‍රයෙන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. තරුණ පරපුර මේවාට පුරුදු වීමේ ප්‍රවණතාවත් එන්න එන්නම වැඩි වෙනවා. දවසින් දවස මේ දූෂණ අපරාධ වැඩි වෙනවා මිසක අඩුවීමක් නැහැ. මේක නවත්වන්න මා වැනි නිලධාරියකුට බැරි වුනාට අවම කර ගන්න පුලුවන් කියල මට හිතුණා. එහෙම හිතල අනාගතයේ සමාජයට පිවිසෙන දූ දරුවන් දැනුවත් කරල ඔවුන්ට මේ විනාශය වටහා දෙන්න ‘නොයා යුතු තැන’ වැඩසටහන නිර්මාණය කළා.

වැඩසටහන මේ වනවිට පාසල් 85 ක පමණ පවත්වාඇති අතර එම සෑම වැඩ සටහනක්ම ඉතා සාර්ථකව පවත්වා ගැනීමට එම විද්‍යාලවල විදුහල්පතිවරුන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කටයුතු කර ඇත. වැඩසටහන පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන මහතා

“වැඩසටහනේදී අපි සිසු දරුවන් දැනුවත් කරනවා. මුලින්ම ගරු අධිකරණයෙන් දඬුවම් ලබාදෙන ආකාරය. ඉන්පසුව කොටු පවුරු තුළ ඔවුන් ගෙවන කටුක ජීවිතය හා මරණ දඬුවම ලබාදෙන ආකාරය ගැන මේ සියල්ල අපි කරන්නේ වීඩියෝ දර්ශන හා සත්‍ය රූප රාමු යොදාගෙන. ඉන් පසුව අපි කතා කරන්නේ, පාසල් යන දූ දරුවන් විවිධ වැරැදිවලට යොමුවන ආකාරය පිළිබඳව, මෙය ඉතා සංවේදී අයුරින් ගලා යන ආකාරයට සකස් කළ වැඩසටහනක්, මේ වැඩසටහනේදී මා සමඟ දේශන ඉදිරිපත් කරන බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරි ජයන්ත අදාසූරිය මහතා විශාරද ගායන ශිල්පියෙක්. ඔහුගේ හඬින් ගීත ගායනා කරමින් තමයි අපි මේ වැඩසටහන මෙහෙයවන්නේ. මේ වැඩසටහන බලල අහල දෙනෙත් කඳුළින් තෙත් කරගෙන තමයි පිරිස විසිරිල යන්නේ.

‘පාසල් ළමයින්ගේ හදවතට කතා කරන මෙවැනි වැඩසටහන් තමයි අද සමාජයට අවශ්‍ය. සිර දඬුවම් විඳින සිරකරුවන් දෙදෙනෙක් මේ වැඩසටහනට යොදා ගන්නවා. ඔවුන් සිය කැමැත්තෙන් තමයි සහභාගී වෙන්නේ. මින් එක සිරකරුවෙක් 2015 වර්ෂයේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනට ඉදිරිපත් වෙලා අවසන් 48 දෙනා අතරට පවා ගියා. බන්ධනාගාරගතව සිටියදී තමයි ඒ කටයුතු කළේ. ඔහු ඒ වැඩසටහනේ දී ගී ගයන රූප රාමු පවා අපි මෙහිදී ඉදිරිපත් කරනවා. මේක ඉතාම සංවේදී අවස්ථාවක්.

මෙම වැඩසටහනේ සහය දේශකයකු ලෙස කටයුතු කරන ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරි ජයන්ත අදාලසූරිය මහතා “මේ වැඩසටහන තුළදී අපේ ඇස්වලට පවා කඳුළු එනවා. ඉතාම සංවේදී වැඩසටහනක්, අද සමාජයේ නොමඟ යන පිරිස වැඩිවෙලා සමාජයෙ හරිමඟට ගැනීමට තමයි අප කටයුතු කළ යුත්තේ.”

ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රධාන පිරිස අපේ අනාගත පරපුර හරි මගට ගැනීමට ගන්නා මෙම උත්සාහය පිළිබඳව 2017 ඔක්තෝබර් මස 23 වන දින දිනමිණ පත්තරේ ‘නිදහස් අදහස්’ විශේෂාංග අතිරේකය යට‍තේ ගා/අමුගොඩ මහා විද්‍යාලයේ විදුහල්පති, ඕ.කේ.ඩී.ජේ.සමන්ත මහතා මෙසේ සටහන් කර තිබුණි. “රටේ අපරාධ හා අනුවේදනීය සිදුවීම් දින දින අසන්නට ලැබේ. මෙවැනි අපරාධ බොහෝ විට සිදුවන්නේ සමාජ අපගාමිත්වයට පත් පුද්ගලයන් අතිනි. සමාජ අපගාමින් බිහි කිරීමේ වරදෙහි වැඩි ප්‍රතිශතයක් පාසල ද බාරගත යුතුව ඇත. එනම් මව්පියන්ගේ ආදරය, කරුණාව අහිමි වූ දරුවන්ට ගුරු මව්පියවරුන්ගේ ආදරය ද අහිමි වුවහොත්, දරුවන් රළු පරුෂ හිත් ඇත්තන් වීම වැළැක්විය නොහැකිය.

ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා තරුණ සිරකරුවන්ගේ ගායන කුසලතා හඳුනාගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් රූපවාහිනි නාලිකාවක රියැලිටි වැඩසටහනකට සහභාගී කරවා දිවයිනේ අවසාන 48 දෙනා අතරට ගෙනයාමට කටයුතු කළ බව ‘නොයා යුතු තැන’ නම් පාසල් වැඩසටහනට පැමිණ 2017.03.10 දින අමුගොඩ මහා විද්‍යාලයේදී පැවසීය. තරුණ සිරකරුවාද මෙම අවස්ථාවට සහභාගී වී ගීත ගායනා කරමින් තමන්ගේ අත්දැකීම් විස්තර කිරීමෙන් එය සනාථ විය. අවාසනාවකට ඔහු සිරකරුවෙකි. පාසල් අධ්‍යාපනය ලැබූ තරුණයෙකි.පාසල තුළදි ගුරුවරයකු ඔහුගේ හැකියාව හඳුනාගෙන ඔහු දිරිමත් කළේනම් ඔහු බන්ධනාගාර ගත වන්නේ නැහැ” යැයි සටහන් කර ඇත.

‘නොයා යුතු තැන’ නමැති අනර්ඝ වැඩසටහන මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රිච්මන්ඩ්, මහින්ද, විද්‍යාලෝක, සවුත්ලන්ඩ්විද්‍යාල ඇතුළු පාසල් 81 පමණ ඉතා සාර්ථකව පවත්වා ඇත. ගාල්ල ප්‍රධාන බන්ධනාගාර නිලධාරිතුමන්ගේ මෙම ක්‍රියාවලිය අප අගය කළ යුතු වන්නේ සමාජයට ඉතා අගනා පණිවුඩයක් ඉන් ලැබෙන බැවිනි. ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරි ජයන්ත සමන් අදාලසූරිය මහතා මෙන්ම මෙම සියලු වැඩකටයුතු සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බන්ධනාගාර නියාමක, තාක්ෂණ පරිගණක ශිල්පී ඩී.ජී.ජී.එල්.සම්පත් මහතා ද සිහිපත් කළ යුතුමය. එසේම සහයක නියාමක හරින් ඩී ගමගේ මහතා ද මෙම වැඩසටහනේදී තම ජීවිත අත්දැකීම් මනාව පිළිබිඹු කරමින් සත්‍ය කතාව පවසන නේවාසික රැඳවි උදයංග පෙරේරා ද සිහිපත් කළ යුතුමය. එසේම මෙම උතුම් කර්තව්‍ය අනුමත කරමින් ඒ පිළිබඳව සිසු දරුවන් යහමඟට ගැනීමට දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගේ 2017/06/09 දිනැති ලිපියක් මගින් සියලු විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.



ප්‍රභාත් විතානාච්චි
දකුණු පළාත් විශේෂ

තෙලන්ගනාවේ විස්කෝතු සුවඳ

$
0
0
නොවැ 24, 2017 01:00

ගොද ගොද ගා උණුසුමේ දඟලන බොයිලේරුවෙන් දුම් කැරැලි පොරකමින් පාව යයි. ඉන් වැක්කෙරෙන ඉරානි තේ කෝප්පයක රස බලමින්, ඔස්මානි විස්කෝතුවක්,කරච්චි බිස්කට් එකක්, බටර් දැවටූ පාන් පෙත්තක් කෑමට, මළ හිරු බැස යන සන්ධ්‍යාවේ ඉරාන අවන්හලකට ගොඩවීමට බොහෝ දෙනා ප්‍රිය වෙති. උසස් තත්ත්වයේ ඉරානි අවන්හල්, මංමාවත් දෙපස ඕනෑ තරම් සොයාගත හැකි ය. එසේත් නැත්නම්, දවසේ මෙහෙ‍වර නිම කර, නිවහනේ මුළුතැන්ගෙට වී, තේ පෝච්චියේ සැකසෙන ඉරානි තේ කෝප්පයක් තොලගාමින් රස විඳීමට ද ඔවුහු දැඩි සේ ප්‍රිය කරති. ඒ, ඔවුන්ගේ සැටිසුබාව ය. එසේත් නැත්නම්, ඉන්දියාවේ හතරවැනියට විශාලම ප්‍රාන්තය වන තෙලන්ගානා වැසියන්ගේ දිනචරියාවේ කොටසක් ය.

මද අඳුර ගලා යන අලුයමින් ම ඇසිපියන් අරිනා ඔවුහු,සිය ප්‍රථම රාජකාරිය බවට පත් කර ගන්නේ, දෙනුන්ගෙන් කිරි දොවා ගැනීම ය. ඉන් අනතුරුව අඩුම කුඩුම සියල්ලම මුළුගන්වාගන්නා ඔවුහු, කුඹුරු වෙත හෝ වගා බිම් වෙත ඇදේ. ඒ අතරේ, මුළුතැන්ගෙයි ඉදෙන රස නහර පිනා යන අහරකි. එය බිරියන්ගේ අතින් සැකසේ.ඔවුන් කෑම සැකසීමේලා ශූර තැනැත්තියන් ය. පවුලේ උරුමයෙන් ම තමන්ට ඉවුම් පිහුම් කටයුතු කෙරෙහි හුරුව ලැබී ඇත.

අතීත තෙලන්ගානා වැසියන් දිනය අරඹන්නේ,මුහුන් යොදා මැටි උඳුන්වල සැකසූ පැතලි පාන්, නාන්, රොටී, කුළුබඩු මිශ්‍රකර, ඌරන්ගේ හෝ බැටලු පාදවලින් සැකසූ උණුසුම් වෑංජන (උණුසුම් පයා)උදෑසනින්ම ආහාරයට ගනිමිනි.

තෙලන්ගානා ප්‍රාන්තයේ අගනුවර වන්නේ හයිද්‍රාබාදයයි. එහි කෑම පිහමන, විවිධ හේතු කාරණා නිසා සුවිශේෂී වේ. මෙහි කෑම පිසුම් ක්‍රම, ප්‍රදේශයේ පවත්නා දේශගුණය, කෘෂිකාර්මික භක්තිවන්තභාවය, සංස්කෘතිය,එදාමෙදාතුර සිටි පාලකයන්ගේ අභිරුචිය, සාම්ප්‍රදායකත්වය, අසල්වාසී ප්‍රාන්තවල බලපෑම වැනි හේතු කාරණා බලපෑමෙන් එක්තරා සංස්කෘතියක් බවට පත්ව ඇත. මේ ප්‍රදේශය ඩෙකෑන් සානුවේ පවතින නිසා, මෙයට හිමිව ඇත්තේ ඩෙකෑන් සංස්කෘතියක් යැයි පැවසෙයි. වර්තමාන හයිද්‍රාබාද් කෑම සැකසෙන්නේ 17 වැනි සියවසේ නිසාම් පාලන සමයේ ආකාරයට බව පැවසේ. මහාරාෂ්ට්‍ර ඉවුම් පිහුම් රටා ඔස්සේ මේ ප්‍රදේශයේ ඉවුම් පිහුම් ක්‍රම ද ඉදිරියට යමින් ඇත. 1803 සිට 1823 දක්වා කාලය, කකටිය රාජ පරම්පරාව විසින් පාලනය කළ අතර, ඉන් අනතුරුව, දිල්ලි සුල්තාන්, බහමානි, කටුබ් ෂාහි සහ මෝගල් වැනි පාලන තන්ත්‍ර යටතේ පැවතිණි. මේ නිසා ම මෙහි දක්නට ඇත්තේ මුස්ලිම් ආහාරපාන ය.

තෙලන්ගානා යනු, අන්ද්‍රා ප්‍රදේශ්, චටිස්ගාර්, කර්නාටක, මහාරාෂ්ට්‍ර සහ ඔඩිෂා යන ප්‍රාන්තවල මායිමේ පිහිටි ප්‍රාන්තයකි. උර්දු බසින් පෝෂණය වූ මෙහි ජනයාට,සෞම්‍ය දේශගුණයක ජීවත් වීමට මඟ සැකසී තිබේ. සෞම්‍ය දේශගුණය නිසා ම, මෙහි වැඩෙන්නේ නැවුම් බවින් මෙන් ම රසයෙන් පිරිපුන් එළවළු සහ පලතුරු ය. මොවුන්ගේ කෑම සැකසීමේ ක්‍රමවේද අතර, තල (සෙසමි) වැනි වියළි තෙල් සහිත ධාන්‍ය භාවිත කිරීම, ආහාර ඝණ කිරීමේ ක්‍රමයක් ලෙස ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍ය වර්ග කුඩා කැබැලි බවට පත් කර භාවිතය, යකඩ තැටිවල දමා බැද ආහාර මෘදු කර ගැනීම සේ ම, ආහාර කුඩු බවට පත්කර , තලප අයුරින් සැකසීම ආදී ක්‍රම, ප්‍රකට ය.

සෙසමි,වියළි පොල්, වියළි මිරිස් මිශ්‍ර කර, පදමට දුරු කුළුබඩු එක්කර සකසන භගාරා මසාලා යනු, මහාරාෂ්ට්‍ර ක්‍රමවේදය අනුගමනය කරමින් සකසන එවැනි ආහරකි. මහාරාෂ්ට්‍රයේ කෑම පිසීමේ සුප්‍රකට ක්‍රමවේදය වන්නේ, ආහාර රසගැන්වීම නිසියාකාරව කිරීම ය. එහිදී ඔවුන් සිය බිම් පෙදෙසේ වැවෙන බොහෝ කුළුබඩු රසකාරක ලෙස යොදා ගනී. සියුම් ප්‍රණීත රසයකින් සහ ආහාරවල ප්‍රියජනක පුසුඹ ලැබ ගන්නේ, ගම්මිරිස්, සියඹලා, කහ, කොත්තමල්ලි වැනි ද්‍රව්‍ය මඟිනි. මොවුන්ගේ මේ ක්‍රමවේදය, හයිද්‍රාබාද් තෙලන්ගානා වැසියන්ගේ රස වෑහෙන අහර තුළ ද දැකිය හැකි ය. භාගරා බයින්ගන්, භාගරා චාවාල් සහ භාගරා ආන්දා යන කෑම වර්ග මොවුන්ගේ මේ සැකසුම් ක්‍රම අනුව යමින් පිළියෙළ කෙරේ.

පොට්ලි මසාලා සහ බොජ්වාරි මසාලාවල මිශ්‍රකර ඇත්තේ, ඖෂධීය සරක්කු රසය ය. ගරම් මසාලාවලට බහුලව මිරිස් භාවිත කෙරේ. මෝගල් පාලන කාලයේදී එළවළු යොදා සකසන ආහාර කෙරෙහි ලැදි බවක් තිබුණ ද, පසුව පැමිණි මරාති කාලයේදී ශාක ආහාර සඳහා ඇති පෙලඹුම අඩු විය.පොල් යොදා ගනිමින් ඉවුම් පිහුම් කටයුතු කිරීම දුලබ වුව ද, කර්නාටක ප්‍රදේශය අවට තෙලන්ගානා වැසියන්, බිඩාර්, ගුල්බර්ගා, රයිචර් වැනි දේ සැකසීම සඳහා වියළි පොල් භාවිත කරයි.

තෙලන්ගානාවේ කෑම ඉතාමත් ම සරල ය. ජීවන රටාව ද සරල ය. ගෝත්‍රික ප්‍රජාව ජොවාරි රොටී සහ මිරිස්, සියඹලා, කුළුබඩු යොදාගෙන සකසන තෝක්කු සැකසීමට දක්ෂයෝ ය. ග්‍රාමීය ජනයා සැර ව්‍යංජන සඳහා දැඩි රුචිකත්වයක් දක්වන අතර, බැටලු පැටවුන්ගේ නොවටනා සත්ව කොටස්වලින් සකසන ජනප්‍රිය කෑම වන තලකුරා සහ බෝටිකුරා වැනි කෑම සඳහා අභිරුචියක් දක්වයි. සමහර මස් වෑංජන සඳහා පහසුවෙන් සහ ප්‍රාදේශීය වශයෙන් සොයාගත හැකි කොළ වර්ග යොදා ගනී. පුන්ටිකුරා, චුක්කාකුරා, මෙන්තිකුරා වැනි මස් වෑංජන, එසේ සකසන ඒවා ය. මස්වලින් සකසන එම වැනි මස් වෑංජන එසේ සාදන ඒවා ය. සමහරවිට වෑංජනයේ වර්ණය පවා කොළ පැහැයට හැරේ.චුක්කකුරා චිකන් යනු එවැනි මස් වෑංජනයකි. එහිදී බොහෝවිට උළුහාල් කොළ, නිවිති වැනි දේ යොදා ගනී.

ලොව හොඳ ම, ඒ වගේ ම නියම රසයෙන් යුතු බිරියානි සැකසෙන්නේ හයිද්‍රාබාද් පුරවරයේ ය .එහි උපත සනිටුහන් වන්නේ ද හයිද්‍රාබාදයේදී ය. නිසි පරිදි කුළුබඩු යොදමින් රසවත්ව බිරියානි සැකසීමට ඔවුන් කවුරුත් අති දක්ෂයෝ ය. තොල ගෑවුණු පමණින් රස නහර පිනා යන ප්‍රණීත රසයක් එහි අන්තර්ගතව ඇත. බොහෝවිට මොනවා හෝ මෘදු පානයක් තොල ගාමින් බිරියානි රස විඳීමට ඔවුහු රුචියක් දක්වති.

කචී ගෝස්ට් කී බිරියානි යනු ඔවුන් සකසන ප්‍රකට බිරියානි විශේෂයකි.බත සහ මස් කුට්ටි වෙන වෙනම පිස ගනිමින් සකසන බිරියානි, බත අලංකාරවත්ව, ඇට වෙන්ව පවතින පරිදි පැවතීම සඳහා පිසින අවස්ථාවේ ගිතෙල් යොදා ගනී. මේ නිසා ම බතේ කාන්තිමත් බවක් විද්‍යමාන වේ. බත බෙරි වීමෙන් ද වළකී.

බිරියානි සැකසීම සඳහා නොයෙක් මස් වර්ග භාවිත කරති. හරක් මස්, ඌරු මස්, කුකුළු මස් , බැටලු මස් යොදා ගැනීම බහුලවම සිදුවේ. ඩෙකෑන් සානුව ආශ්‍රිතව තණ අනුභව කරමින් ජීවත් වන තරුණ බැටලුවන්ගේ මස්, කිරිගරුඬ මෙන් දීප්තිමත්ව බැබලේ. ඒවා කුට්ටි අයුරින් කපා, මෘදු දීප්තිමත් බවක් විද්‍යමාන වනතුරු පදමට තම්බා ගනී. එසේ සකසන ආහාරයට මී කිරි සහ වෙනත් කුළුබඩු, තුනපහ රසකය යොදා ගනී. එමඟින්, වර්ණයත්, සුගන්ධයත් ඉස්මතු වේ. එසේ ම , මේවා සැකසීමට යොදා ගන්නේ අති විශේෂ භාජන ය. එම බඳුන් නිසා උණුසුම නිසි පරිදි පාලනය වෙමින්, හුමාලය අවැසි පරිදි තබා ගැනීමට හැකි සේ ම, ආවේණික රසය ලබා ගෙන බිරියානි සැකසීමට ද හැකි වේ.

සාමාන්‍යයෙන් බාස්මතී එක කොටසකට අඩුම තරමේ එක මස් කොටසක් එක් කරමින් බිරියානි සැකසීම සාමාන්‍ය ක්‍රමය වුව ද, මස් බුදින්නට දැඩි රුචියක් දක්වන්නන්, එක බත් කොටසකට මස් කොටස් දෙකක් එක් කරයි. සමහර මුස්ලිම්වරු, සොෆියානා බිරියානි නමින් මෘදු බිරියානි විශේෂයක් සකසයි.

එළවළු බුරියානි සැකසීමේදී සමාන දුරු , කුළුබඩු , රසකාරක ද්‍රව්‍ය යොදා ගැනීමට ඔවුහු වග බලා ගනිති.

බිරියානි සැකසීමේදී ඊට විශේෂ හැකියාවක් තිබිය යුතු ම ය. බාස්මතීවල දිග සහල් ඇට කැඩී හෝ බෙරිවී හෝ නොතිබිය යුතු ය. පිගන්වලට බෙදීමේදී ද ප්‍රවේශම් විය යුතු ය.බිරියානි නියම රසයෙන් සහ වර්ණයෙන් යුතුව සැකසීමට නම්, එයට වර්ග 21ක් එක්කර එය සැකසිය යුතු ය.එසේ ම, මස් කුට්ටි එකපිට එක යමින් කලවම් නොවී පැවතීම සඳහා ලගාන් බඳුන් භාවිත කරමින් එයට අන්තර්ගත කරන මස් වර්ග සකසාගත යුතු ය.

අති උතුම් රාමදාන් සමයේ හිරු බැස යන සන්ධ්‍යාවේදී,කඩවලින් නැගෙන්නේ හලීම් සුවඳ ය.මුස්ලිම් සහ මුස්ලිම් නොවන්නන් හලීම් කෑමට දැඩි රුචියක් දක්වයි. හලීම් මධ්‍යස්ථානය සෑම වීථියක් පුරාම දැකිය හැකි ය. පවුලේ සැමටම එහි රසය විද ගැනීමට ඒ නිසා බාධාවක් නොවේ. හලීම් සැකසී ඇත්තේ, ජනප්‍රිය අරාබි කෑම වර්ගයක් වන හරිෂා මඟිනි. මෙය, හයිද්‍රාබාද් හමුදාවට නිසාම් හමුදාව විසින් එවකට හඳුන්වා දුන් කෑම විශේෂයකි.ක්‍රමිකව නවීකරණය වූ එම කෑම වර්ගය,හයිද්‍රාබාදයට කදිමට ගැළපුනි.පසුව එය, 'හලීම්'නමින් ව්‍යවහාර විය. වර්තමානය වනවිට හලීම් සැකසීම සිදු වන්නේ, කුකුළු මස්, හරක් මස් සහ ඔටු මස් වැනි විවිධ මස් වර්ග භාවිත කරමිනි. මෑ, කොල්ලු, කඩල ආදී කරල් හට ගන්නා පැළෑටි හා එහි ඇට, කුඩු කළ තිරිඟු සහ කුළුබඩු වර්ග 20ක් සමඟ මිශ්‍ර කර,මේවා මද ගින්නේ සකසයි.මදගින්නේ තම්බා ගන්නා මස්, දිවට මොළොක් රසයක් දැනෙන පරිදි කෑ හැකි ලෙස තලපයක් ආකාරයට සැකසේ. තිරිඟු නිසා ජෙලටින් වැනි ගණ ගතියක් එහි දැකිය හැකි ය. උණුසුම් ගිතෙල්, මින්චි, කොත්තමල්ලි සහ ලෙමන් යොදා ගනිමින් මේ ආහාරය සකසයි. පසුව, වියළි රෝස පෙති සහ පිරිසුදු ගිතෙල් යොදා විශේෂ රසකයකින් යුතුව සෑදීම සිදුවේ. රාමදාන් කාලයට අමතරව මෙය, විශේෂ උත්සව අවස්ථාවලදී ද භාවිත කෙරේ.

හයිද්‍රාබාද් වැසියන්ගේ ආහාර සැකසීමේ විශේෂත්වයක් ලෙස බොහෝදෙනා පෙන්වා දෙන්නේ, විදේශීය ආහාර තම ආහාර වට්ටෝරු සමඟ ගළපා ගනිමින්, තමාට ගැළපෙන ආහාරයක් බවට පත් කර ගැනීම ය .

ග්‍රාමීය තෙලන්ගානා වැසියන් අතර අතිශයින්ම ජනප්‍රිය පානයක් ලෙස රා හැඳින්වීමට පුළුවන. ඉඳි සහ තල් ගස්වලින් හිමිදිරියේ ම කපා ගන්නා රා වඩිය, හෙම්බත් වුණු විටත්, සතුටු සාමීචියේ එක්රැස්වුණුවිට තොලගෑමටත්, පදමට සූර් වීමටත් කදිම ය. තෙලන්ගානා හි උත්සව අවස්ථාවලදී නැතිවම බැරි පානයක් ලෙස ද රා හැඳින්වීමට පුළුවන.

මේ වැසියන්ගේ සාම්ප්‍රදායික කෑම අතර බෝධි කූරා නමැති කෑම විශේෂය හැඳින්විය හැකි ය. එය බැටලු මස් හෝ තමන් රුචියක් දක්වන මස් වර්ග ආශ්‍රයෙන් සකසන අතර, මිරිස්, සියලු ම කුළුබඩු වර්ග, කොත්තමල්ලි කොළ සහ තක්කාලි යොදාගෙන, එයට අමෘර්ත රසයක් එක්කර ගනී. ජොන්නා ‍රොටී හෝ උණු උණුවේ දුම් දමන බත් සමඟ එය ආහාරයට ගනී.

මෝසම් සමයේ දී කරවිල වර්ග යොදාගෙන සකසන, ‍රසවත් මෙන් ම වර්ණවත් වෑංජනයක් ලෙස ‘බොඩක්කර්කායි කුරා’ හැඳින්වීමට පුළුවන. බත් සහ චපාති සමඟ කෑ හැකි මේ කරවිල වැංජනය, ආකර්ෂණීනීය පෙනුමෙන් යුක්ත ය.

කරිම්නගර් දිස්ත්‍රික්කයේ බ්‍රාහ්මණ ප්‍රජාව වෙසෙන ගමක් වන මාන්තානි හි සැකසෙන, ‍ශාක ආහාර පමණක් කන්නවුන්ට විශේෂිත කෑමක් ලෙස ගුම්මාඩි කායා බරාඩා වෑංජනය සුප්‍රකට ය. අළු පුහුල්, කඩල පිටි වැනි, ධාන්‍යකුඩු යොදාගෙන සකසන මේ වෑංජනය, ඔවුන්ගේ ප්‍රධාන වෑංජනයකි.

සංක්‍රාන්ති උත්සව වැනි ආගමික උත්සව අවස්ථාවලදී ‘මාරි ආකු බෝජනම්’ නමින් හඳුන්වන, ආහාර පිළිගැන්වීමේ විශේෂ ක්‍රමයක් ඔවුන් යොදාගනී. තද කොළ පැහැයෙන් බැබලෙන නුග කොළ කඩා, ඒවා ආහාර බෙදිය හැකි ලෙස ඉරටු කැබැලිවලින් වියා, එයට ආහාර බෙදාගෙන කෑම එහිදී සිදුවේ. එවැනි තද කොළ පැහැති කොළ වර්ගයක් යොදාගෙන ආහාර බෙදීම සිදු කරන්නේ, විවිධ වර්ණයෙන් සැකසෙන වෑංජන එහි බෙදූවිට ඇසට ආකර්ෂණයක් ලැබෙන නිසා ය. එම ආහාර, කැපී පෙනෙන නිසා ය.

චව්කි ඩිනර්, ඔවුන්ගේ සුප්‍රකට කෑම අනුභව කිරීමේ ක්‍රමයකි. උස මේසයක මැද තැබූ විශාල තැටියක් බඳු බඳුනකි. එහි හැඳි සහ කෑම පීරිසි තබා ඇත. එහි ප්‍රධාන කෑම මෙන් ම අතුරුපස ද වේ. අවැසි නම් කෑමට රොටී කිහිපයක් ද තබයි.

සකිනාලු, පාප්පු චෙක්කලු, කාරාසෙව්, මෙකෝඩි, කාරා බූන්දි වැනි කටගැස්මට ගතහැකි මුරුක්කු විශේෂ ද, ගුඩාලු, බූන්දි , ලඩ්ඩු, මේසන් ලඩ්ඩු , මලිඩා, ජලෙබි වැනි අතුරුපස වර්ග ද තෙලන්ගානාවන්ගේ රස නහර පිනා යන ආහාර වර්ග ය.මේ කෑම වර්ගවලට අමතරව, ඔවුන් අතින් සැකසෙන ආහාර බොහෝ ය.

උදෑසන දෑස් පියන්පත් ඇරි මොහොතේ සිට, රාත්‍රියේ නෙතු පියන් පියන තුරා, තෙලන්ගානා වැසියන් සිය දෛනික ආහාර වේල් සඳහා අමුතු අමුතු කෑම සකසති. එහි රස බලති.

විශේෂ ස්තූතිය - තෙලන්ගානා සංචාරක සහයෝගිතාවට සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට

ඉරෝෂිණී දීපිකා

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>