Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

වාද්දුව මාදැල් කර්මාන්තයේ හිල්

$
0
0
නොවැ 24, 2017 01:00

අ‍පේ රටේ ආර්ථිකයේ ධීවර කර්මාන්තයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. රට වටා ඇති මහ මුහුද මේ කර්මාන්තයේ පෝෂණයට ලැබුණු මහඟු සම්පතකි. උතුරු, දකුණු, නැගෙනහිර බස්නාහිර, වශයෙන් රට වටා විශාල පිරිසක් ධීවර කර්මාන්තයේ නියැළෙමින් දිවි සරු කර ගනිති; රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකත්වයක් සපයති.

මේ අතර ධීවර කර්මාන්තයට සම්බන්ධ වන්නා වූ තවත් කුඩා කුඩා කර්මාන්තද පවතී. ඒවා ජීවනෝපාය කර ගන්නා පිරිසක් ද සිටිති. මා දැල් කර්මාන්තය මේ අතරින් විශේෂ වූවක් වන අතර විශාල පිරිසකගේ සහභාගීත්වයක් අවශ්‍ය සාමුහික කටයුත්තකි. සාර්ථක මාදැල් කර්මාන්තය සඳහා එකිනෙකාගේ සහයෝගය අවශ්‍යම දෙයක් වේ.

දිවා රෑ නොබලා, අව්ව, වැස්ස නොබලා ඔවුන් මේ සඳහා කරන කැප කිරීම් අප්‍රමාණය. ඔවුන්ගේ මේ උත්සාහයේ අවසානයේ බලාපොරොත්තුව වන්නේ කරදරයක්, බාධාවකින් තොරව මාදැල එළා වැඩි මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීමය. නමුත් කිසියම් හේතුවක් නිසා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වන්නේ නම් එය ඛේදනීය තත්ත්වයකි. මෙවන් ගැටලුවකට මුහුණ දී සිටින පිරිසක් පිළිබඳව සොයා බලන්නට පසුගිය දිනක අපට අවස්ථාව ලැබිණි.

දිවයිනේ වෙරළබඩ ප්‍රදේශයන්හි කෙරෙන මාදැල් කර්මාන්ත අතර බස්නාහිර පළාතේ ඇති වාද්දුව මාදැල් කර්මාන්ත පුරය වෙත අප යන විටද සංචාරක වෙරළ තීරයට ආසන්නව පිහිටා තිබෙන වාද්දුව මාදැල් වැල්ල ඉතා කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. ඒ වෙන කිසිවක් නිසා නොව එදින කණ්ඩායම් දෙකක් ‘මාදැල වටකොට තිබූ බැවිනි.

ධීවර සංස්ථාව යටතේ ලියාපදිංචිව තිබෙන ‘මාදැල්’ පහෙන් දෙකක් පමණක් එදින ක්‍රියාත්මකව තිබූ අතර ඉන් එක් කණ්ඩායමක හිමිකරු නිහාල් පෙරේරා මහතා ය. අනිත් කණ්ඩායමේ අයිතිය ඩී. ආරියදාස මහතාට හිමිවිය. ඔවුන්ගෙන් මෙම කර්මාන්තය පිළිබඳ තොරතුරු දැනගන්නට අප උත්සාහ කළෙමු.

මොවුන් දෙදෙනාගේම කණ්ඩායම් දෙකෙහිම එකසිය පනහකට ආසන්න පිරිසක් කර්මාන්තයේ නියැළී සිටිය බව දැකගත හැකිවිය. එහි හිමිකරුවන් මෙන්ම අනිකුත් පිරිස් දැඩි කාර්ය බහුල මොහොතක නිරත වුවද අප සමඟ කතාබස් කර අප ගිය කාර්යයට සහයෝගය දීමටද අමතක නොකළ හ. නිහාල් පෙරේරා මහතා මුලින්ම අප සමඟ කතාවට සම්බන්ධ විය.

“මම මේ රස්සාව පටන් ගත්තෙ 1984 අවුරුද්දෙ ඉඳලයි. ඊට කලින් මගේ තාත්තා මේ රස්සාව කළා. ඊටත් කලින් මගේ සීයා කළා. පරම්පරාවෙන් පැවත එන රස්සාවක් තමයි මේ. ‍මේ වන විට ම ගේ දැල සමඟ පනහකට අධික පිරිසක් සම්බන්ධ වෙලා රැකියාව කරනවා. පවුල් වශයෙන් ගත්තම හතළිහක් විතර ජීව ත් කරවන්නෙ මේ දැල් කර්මාන්තය. ඒත් දැන් අපට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.”

“අපි අවුරුදු ගණනක් මේ වැල්ලෙ මාදැල් කර්මාන්තය කළ අය. ඒත් මහත්තයෝ මේ රස්සාවෙ ඉදිරිය ගැන නම් හරිම අවිනිශ්චිතයි.”

“ඇයි එහෙම කියන්නෙ. මොකක්ද ඉස්සරහට මේ රස්සාව කරගෙන යන්න තියෙන බාධාව?” මම විමසුවෙමි.

“අපේ වැල්ලට දැන් අවුරුදු දහතුනක දහහතරකට ඉස්සර බත්තලක් ගෙනල්ල දැම්මා. දැන් ඒක අපිට හරිම බාධාවක් වෙලා තියෙන්නෙ. නිදහසේ බයක් සැකක් නැතුව මාදැල් දාන්න බැහැ. ඒක කොහොමහරි මෙතනින් අයින් කර දෙනවනම් අපිට කරදරයක් නැතුව මේ රස්සාව කරගන්න පුළුවන්.”

මොකක්ද මේ ‘බත්තල’ මට ද මෙය ප්‍රහේළිකාවක් වුණා. ඒ නිසාම මම ඒ ගැන තොරතුරු සොයා බැලුවෙමි. දැනගන්නට ලැබුණ තොරුතුරු අනුව මීට වසර පහළොවකට ඉහතදී චීන වරාය තැනීම සඳහා කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිට කොළඹට විශාල කළුගල් ප්‍රවාහනය කළ විශාල යාත්‍රාව ‘බත්තල’ නමින් හඳුන්වයි. ගල් ප්‍රවාහනය අවසන් වූ පසු එම යාත්‍රාව යකඩ සඳහා විකිණීමට ටෙන්ඩර් දමා ඇති අතර ටෙන්ඩරය මඟින් එක් පුද්ගලයකු මෙය මිලට ගෙන තිබේ. ඔහු එම ‘බත්තල’ ඇදගෙනවිත් වාද්දුව මෙම වෙරළ තීරයේ නවනා යකඩ කැපී‍මේ කාර්ය සිදුකර ඇත. ඒ පිළිබඳ ඩී. ආරියදාස මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“වාද්දුව මාදැල් වැල්ලට තිබෙන ලොකුම බාධකය තමයි මේ බත්තල. 2003 සැප්තැම්බර් 19 වෙනිදා තමයි මේ බත්තල ගෙනත් දැම්මේ. ඒකාලෙ රුපියල් 50,000ක මුදලට තමයි මේක වෙන‍්දේසියෙන් අරන් තිබුණෙ යකඩ කපල විකුණන්න තමයි මේක ගෙනාවෙ. ඒ වුණාට ඒගොල්ලො හිතපු තරම් පහසු වුණේ නැහැ. බත්තලේ යට කොටස වැලි වලින් වැහුණා. ඒ නිසා උඩ කොටස යකඩවලට කපල ගන්නත් තවමත් විශාල ප්‍රමාණයක් ඉතිරිවෙලා ති‍බෙනවා.”

ඉතිරිව තිබෙන බත්තල මඟින් ඔවුන්ගේ කර්මාන්තයට සිදුවන බාධාව කුමක්දැයි මම ඔහුගෙන් ඇසීමි.

“මේ බත්තල තියෙන්නෙ හරි යටම අපි දැල් කර්මාන්තය කරන සීමාවෙ මැදමයි. දෙපැත්තෙන් මෙහා නැහැ. දැල් දැම්මත් මේ බත්තලේ පැටලිලා දැල් ඉරෙනවා. දැන් අපට වෙනද වගේ දැල් දමන්න බැහැ. පුංචි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නෙ.”

ආරියදාස මහතා එසේ

පැවසූ විට

“මේ සම්බන්ධව වගකිව යුතු ආයතනවලට දැනුම් දීමක් කළේ නැද්ද?” යි මම ඔහුගෙන් ඇසුවෙමි.

“එවකට තිබුණ රජයටත් දැනුම් දුන්නා. ධීවර සංස්ථාවටත් දැනුම් දුන්නා. වගකිවයුතු හැමටම දැනුම් දුන්නා. ඒත් වැඩක් වුණේ නැහැ මහත්තයෝ. මොකද බත්තල ගත්ත කෙනාට දේශපාලන රැකවරණය තිබුණා. ඒ නිසා මේ බත්තල මෙතනින් ඉවත් කරන්න අදාළ නිලධාරීන්ට වුවමනාව තිබුණත් ක්‍රියාත්මකවීම යටපත් වුණා. අන්තිමට ඒ හැම දේකින්ම අසරණ වුණේ මේ මාදැල් රස්සාව කරන අපියි.”

ආරියදාස මහතා ඉතා කනස්සල්ලෙන් ප්‍රකාශ කරද්දී මාදැල් කර්මාන්තයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ‘මණ්ඩාඩි’ ලෙස ක්‍රියා කරන පුද්ගලයන් දෙදෙනෙකු අපට හමු විය. ඉන් එක් අයෙක් මෙරිල් ප්‍රනාන්දු නම් වූ අතර අනික් පුද්ගලයා සුමතිපාල ප්‍රනාන්දු විය. මාදැල් කර්මාන්තයේ ඔවුන් සතු කාර්ය කුමක්දැයි මම විමසා බැලුවෙමි.

“අපේ රස්සාවේ අපි හඳුන්වන්නේ ‘මණ්ඩඩි’ කියල. එක දැල් කණ්ඩායමකට එක් මණ්ඩඩියෙක් ඉන්නව. මණ්ඩාඩියගෙ රැකියාව තමයි දැල් කණ්ඩායම මෙහෙයවීම. ඒකට හොඳ පලපුරුද්දක් තියෙන්න ඕන. ඒ වගේම කණ්ඩායමෙත් දැල් ආම්පන්නවලත් වගකීම භාර ගන්නත් ඕන.”

ඔවුන් පවසන පරිදි දැල වට කරනවද? ඒ සඳහා මුහුදේ තත්ත්වය හොඳයිද? ප්‍රමාණවත් පරිදි මසුන් ඉන්නවද? යන කරුණුවලට අමතරව මුහුදේ දියවැල් ගම න් කරන ආකාරය හා දිශාව ගැනත් හුළං හමන දිශාව ගැනත් කොපමණ දුරකින් දැල දැමිය යුතුද යන්නත් එම ප්‍රදේශයේ ගැඹුර ගැනත් සහභාගීවන පිරිස හා ඔවුන්ගේ හැකියාව ගැනත් ‘මණ්ඩඩි’ රස්සාවට අයත් අතර මාදැල් වැල්ල පුරා ඔවුන්ගේ අණසක පැතිරෙනු ඇත.

මාදැල්වැල්ලේ වැඩිපුර අද්දැකීම් ලබන පිරිස් අතර මණ්ඩඩි භූමිකාවක විශේෂිත බැවින් ඔවුන්ගෙන් තවත් තොරතුරු දැන ගැනීමට මට රිසිවිය.

“අපේ මාදැල් ජීවිතේ ගෙවීයන දුක්ඛිතම කාල සීමා තමයි මහත්තයෝ මේ කාළ සීමාව, බත්තල මේ වෙරළට ගෙනත් දාපු දවසේ ඉඳල අපට නිදහසේ රස්සාව කරගන්න බැහැ. මේ අවුරුදු ගානට අපේ දැල් කොච්චර කැඩිල ගියාද? අපට මොන තරම් පාඩු වුණාද? මූදේ මාළු ඉන්නවා. ඒත් වටකරන්න බැහැ. දැල් බත්තලේ පැටලිලා කැඩිල යනවා. ඒකෙන් මාළු පිටවෙනවා. මේ නිසා අපි ලොකු අර්බුදයක ඉන්නෙ. කොහොමහරි මේ බත්තල මෙතනින් අයින් කරල දෙන්න කියල තමයි අපි බලධාරීන්ට කියන්නෙ.”

ඔවුන් නඟන දුක් අ‍ඳෝනා කොතරම්ද? ඔවුන්ගේ පීඩිත හැඟීම් කොතරම්ද ඒ සියල්ල ඉවසා ජීවත් වීමට, තිබෙන කුඩා ඉඩෙහි මහ මුහුදත් සමඟ පොර බදති. ඔවුන් විඳින දුක අපට දැනුන නිසාම මා දැල් කර්මාන්තයට හැකි පරිදි උපකාර කරන වාද්දුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයා පෙරේරා මහතා හමුවීමට ගියෙමි. ඔහු මේ කර්මාන්තය හා එහි නියැළෙන්නන් සමඟ බොහෝ සමීපව කටයුතු කරන්නකු නිසා දයා පෙරේරා මහතාගෙන් වාද්දුව මැදැල් කර්මාන්තයට අත්ව තිබෙන ඉරණම ගැන ප්‍රශ්න කළෙමි.

“මමත් මේ ප්‍රදේශයේ කෙනෙක් විදියට මේ මාදැල් කර්මාන්තය කරන පුද්ගලයන්ගේ ගැටලුව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ. මේ මිනිස්සු ඉල්ලන්නෙ ඔය කියන බත්තල ඉවත් කරල දෙන්න කියලයි. මේ වෙරළ සීමාවෙ ලියාපදිංචි මාදැල් පහක් තිබෙනවා. ඊට අමතර තව පොඩි දැල් කණ්ඩායම් කීපයක්ම ඉන්නවා. මේ බත්තල නිසා මේ උදවිය ඉතා අසීරුතාවයකට පත්වෙලයි ඉන්නෙ.” දයා පෙරේරා මහතාද වාද්දුව මාදැල් කාර්මිකයෝ පත්ව තිබෙන අසීරුතාව ගැන පැහැදිලි කළේය. මේ පිළිබඳ ඔහුට යමක් කළ හැකි නේදැයි මා විමසුවෙමි.

මම උපරිම උත්සාහ ගත්තා මේ මාදැල් වරායේ ගැටලුව නිරාකරණය කරන්න. ඒත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. මේ වෙරළේ මාදැල් රස්සාව කරන සියලු දෙනාම මම පුද්ගලිකව හඳුනනවා. වසර ගණනක් මේ පවුල් ‍දෙතුන් සිය කළේ මේ රස්සාව. මේ අය ජීවත් වුණේ මේ රස්සාවෙන්. ඇත්තටම මේ බත්තල ප්‍රශ්නය නිසා මේ උදවිය ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලයි ඉන්නෙ. මම ඒක ධීවර සංස්ථාවටත් දන්වලා තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ගැටලුව විෂය භාර ඇමැතිතුමාටත් අවබෝධකර දීල වාද්දුව මාදැල් කර්මාන්තයේ නියැලී ඉන්න පිරිසට සහනයක් සලසන්න.”

බත්තල නිසා ඇතිවී තිබෙන ගැටලුව නිරාකරණය කිරීමට දයා පෙරේරා මහතා විශාල ප්‍රයත්නයක් දැරූ බව අප හා කතා බහ කළ මාදැල් ධීවරයෝ පැවසූහ . ධීවර සංස්ථාව මේ ප්‍රශ්නය ගැන අනුගමනය කරන්නේ අමුතුම පිළි‍වෙතකි. ධීවරයන් පවසන ආකාරයට ධීවර සංස්ථාව පවසන්නේ බත්තල වාද්දුව වෙරළෙන් ඉවත් කිරීමට ඔවුන්ට නොහැකි බවය. ඒ සඳහා ධීවර ඇමැතිතුමා හමුවී විසඳුමක් ලබාගන්නා ලෙසයි. ධීවර සංස්ථාව මේ ගැටලුව විසඳීම සඳහා කඹඇදිල්ලක නිරතවන බව මාදැල් ධීවරයෝ පවසති. වාද්දුව මාදැල් වෙරළට ගොඩබස්වා යකඩ කැපීමෙන් ඉතිරිව ඇති බත්තල මේ වන විට අඩක් වැලිවලින් වැසී ඇති අතර ඉතිරි කොටස් තවමත් ජලයෙන් යටවී පවති. තව නොබෝ දිනකින් මේ බත්තලේ කැබලි කැඩී ගොස් මුළු වෙරළ පුරාම විසිරී යනු ඇති බවත් එමගින් මාදැල් දමන ප්‍රදේශයම ඇහිරී යන බවත්, එවිට මේ ආකාරයෙන් හෝ මාදැල් වැටලීම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවත් එහි ධීවරයෝ ප්‍රකාශ කරති. මොවුන් සිතන දේ සත්‍යයක් බව අපටද වැටහුණි. තත්ත්වය එසේ වුවහොත් වාද්දුව මාදැල් ධීවර වරාය සම්පූර්ණයෙන්ම අක්‍රීය වනු ඇත. එවිට එයින් ජීවත්වන පවුල් 300ක් පමණ දැඩි අසරණභාවයට පත්වීම වැළැක්විය නොහැකිවේ.

මාදැල් නිෂ්පාදනයද සුළුපටු කාර්යයක් නොවන බව වැටහුනේ එම කර්තව්‍ය සිදුකරන සෝමදාස පෙරේරා මහතා සමඟ කතාබහ කිරීමෙනි. මේ ඔහුගේ අදහසය.

“මේ ප්‍රදේශයේ පවත්වාගෙන යන මාදැල් නිර්මාණය කරන්නෙ මමයි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මම දන්නවා දැලක් හදන්න යන වියදම කොච්චරද කියල. ලක්ෂ 6ක් 7ක් විතර යනවා. ඒත් එච්චර වියදම් කරල හදන දැල් මේ බත්තල නිසා විනාශ වෙනවා. ඒක දරාගන්න අමාරුයි. දැලක් අලුත්වැඩියා කරන්නත් විශාල මුදලක් යනවා. අනිත් එක ඒකට ගතවන කාලයක් වැඩියි. දැල් වටකරන කාලෙදී දැලක් කැඩුණොත් ඒවාරෙටම ඒ දැලෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. එහෙම වුණාම ඒ දැලත් එක්ක වැඩ කරන පනහක් හැටක් විතර පිරිසකට ආදායමක් ලබන්න බැරි වෙනවා.”

සෝමදාස මහතාද බත්තල මඟින් සිදුවන හානිය එලෙස ප්‍රකාශ කරද්දී මේ හානිය අවම කර ගැනීමට කිසියම් උපක්‍රමයක් කළේදැයි මා විමසුවෙමි.

“මීට වසර දහ හතරකට පෙර මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මාදැල් දිගින් කිලෝමීටර් එකහමාරක් දෙකක් පමණ තිබුණා. ඒ කාලෙ දැනට හසුවන මාළු ප්‍රමාණයත් වැඩියි. ඒත් දැන් හදන දැල් එතරම් දිග නැහැ. උපරිම කිලෝමීටරයක් විතර තමයි. එතරම් දිගින් අඩු කරලත් මේ බත්තලේ පැටලෙනවා. මීට වඩා දැල කෙටි කරන්නත් බැහැ. එහෙම වුණොත් වැඩක් නෑ. දැනටත් මාළු ඉතා අඩුවෙන් අහුවෙන්නෙ. මොකද මාළු ඉන්න ප්‍රදේශයට දැල එලුවොත් බත්තලේ පටලැවෙනවා. දැනට දැල එලන හරියෙ මාළු ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ බත්තල ‍මෙතනින් අයින් කරල දෙනවනම් අපට සුපුරුදු විදියට වැඩකරන්න පුළුවන් වේවි.”

වාද්දුව මාදැල් වැල්ලේ සියලු දෙනාගේම ඉල්ලීම දිරාපත් වෙමින් වෙරළේ ගිලා බැස තිබෙන බත්තල ඉවත්කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙසයි. අවසානයේදී ඔවුන් මෙලෙසද ප්‍රකාශ කළහ.

“මහත්ත‍යෝ දිනමිණ පත්තරේවත් අපේ මේ ප්‍රශ්නය ලියන්න. ඒක දැකලවත් වගකිවයුතු අය අපට සහනයක් සළසාවිනේ...”

ජනපතිතුමනි! ධීවර අමාත්‍යතුමනි! ‍වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තනි, වාද්දුව වෙරළ තීරයේ අතහැර දමා තිබෙන අබලන් වූ බත්තල ඉවත් කරදී වසර 14ක් පුරා බ ත්තල නිසා බැට කන වාද්දුව අහිංසක ධීවර ජනතාවට පිහිට වන්න. එය ඔවුන්ට පමණක් නොව සිදුවෙමින් පවතින පරිසර හානියටද පිළියමකි.

වි‍ශේෂ ස්තුතිය

වාද්දුව තල්පිටිය- සැන්ඩා මහතාට

නිශාන් ‍මෙන්ඩිස්
ඡායාරූප එන්. එස්. කේ. ශ්‍රීකාන්ත 


ඇයට තැනක් දෙමු

$
0
0
නොවැ 24, 2017 01:00

යම් රටක් තුළ උත්තරීතර කේන්ද්‍රස්ථානය වනුයේ පාර්ලිමේන්තුවය. ලෝකය පිනවමින් පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට නැංවීමට ඉමහත් මෙහෙවරක් කළ බැව් දන්නෝ විරලය. එමෙන්ම එතුමියගේ සුජාත දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියද විපුල මෙහෙවරක් කළ බැව් අප දනිමු. අජිත් පෙරේරා හා රාජිත සේනාරත්න වැනි සොඳුරු මිනිසුන් මෑත දී පාර්ලිමේන්තු සභා ගැබට කාන්තා නි‍යෝජනය ඇවැසි බැව් ප්‍රකාශ කිරීම මනනන්දණීය යෝජනාවකි.

ඕනෑම දියුණු වූ මිනිසෙක් පිටුපස කාන්තාවක් සිටින බැව් සමස්ත සමාජය පිළිගත් නොබි‍ඳෙන දහමකි. එම නිසා බහුතරයක් කාන්තා නියෝජනය පාර්ලිමේන්තු සභා ගැබට එක් කිරීමට කවුරුත් එකමුතු විය යුතු කාලය එළැඹ ඇත.

වඳුරාමුල්ලවත්තේ-ලයනල් ජයලත්
පානදුර

 

මල් කැකුළු නොතලන්න

$
0
0
නොවැ 24, 2017 01:00

බලන්ගොඩ ප්‍රදේශයේ හතර වසරේ ඉගෙනුම ලැබූ දැරියක් ගෙල වැලලාගෙන මිය ගිය පුවත ඇසීමෙන් දරුවන් සිටින මාපියන් බලවත් සේ කම්පාවට පත්වූහ. හය හතර නොදත් අහිංසක දැරියක් මෙලෙස ගෙල වැලලාගෙන මිය යාම කෙතරම් අභාග්‍ය සම්පන්න ඛේදවාචකයක්ද? ජංගම දුරකතනයක් සොරකම් කළා යැයි ඇයට සිය පාසලේ ගුරුවරියක් චෝදනා කිරීමත්, පාසලේ ළමයින් උසුළු විසුළු කිරීම දක්වාත් දුරදිග ගිය මෙම ප්‍රශ්නය අවසන් වූයේ රටම සුවඳවත් කරන්නට සිටි අහිංසක මල් කැකුලක් අකාලයේ විනාශ වී යාම පමණකි. බල්ලන්ගේ කරෙත් ජංගම දුරකතන එල්ලාගෙන සිටින මෙවන් යුගයක මේ පුංචි දැරියට පරිභව කරමින් ඇය දැඩි චිත්ත පීඩාවකට ලක්කළ ගුරුවරිය පිළිබඳව ඇති වන්නේ පිළිකුළකි. කිරිමැටිතැන්න පාසලේ මොළේ කළඳක්වත් තිබෙන විදුහල්පතිවර‍යකු වෙනත් වගකිවයුතු ගුරුවරයකු හෝ ගුරුවරියක ජංගම දුරකතනය නැතිවීම සම්බන්ධ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුවා නම් මේ අහිංසක දැරියගේ ජීවිතය අදටත් සුරැකිව තිබෙනු ඇත. ලබන වසරේ මෙම දැරිය 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටිනු ඇත. එම විභාගයෙන් සමත් වී මීට වඩා උසස් විද්‍යාලයක ඇය ඉගෙනුම ලබනු ඇත. ඒත් ඇගේ අහිංසක අම්මාගේ ඒ සියලු බලාපොරොත්තු සුනු විසුනුවී ගියේ කෙතරම් ඛේදාන්තයක් ලෙසද? දුප්පත්කමින් අන්ත අසරණ වූ මෙවැනි දරුවන් සිටින පවුල්වල අවසානය මෙය විය යුතු ද?

මීට ඉහත කඳාන ප්‍රදේශයේ පාසල් දැරියක් තම පන්ති භාර ගුරුතුමියකගේ ජංගම දුරකතනයක අසැබි දසුන් නැරඹීම සම්බන්ධයෙන් සිදු වූ ප්‍රශ්නයකින් ඊට චෝදනා ලැබූ එම පාසල් සිසුවිය රාගම ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානිකර ගත් පුවතක් ද මේ මොහොතේ සිහිපත් වෙයි. එම සිදුවීමෙන් ද අවසානයේ රටට අහිමි වුණේ ජාතියේ මල් කැකුලකි. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක දරුවකුද මීට ඉහත ජංගම දුරකතනයක සිද්ධියකට එම විදුහලේ විදුහල්පතිවරයා තරවටු කළැයි සිත්තැවුලට පත් වූ පාසල් දැරියක් සිය දිවි හානිකර ගත්තා ය. මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස අහිංසක දරුවන් දිවි නසා ගන්නට තරම් දරුණු ලෙස මෙම ප්‍රශ්න දිග්ගස්සන්නේ ඇයි? අකාලයේ දිවි අහිමිකර ගන්නා මේ අහිංසක ජීවිතවලට වග කියන්නේ කවුද? අධ්‍යාපන බලධාරින් මෙවන් ප්‍රශ්නවලටමැදිහත් වී මේවා විසඳීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ප්‍රහේලිකාවකි. ඒ වගේම සියදිවි හානිකර ගැනීමට තරම් මේ පුංචි දරුවන්ගේ සිත් දරුණු වූයේ මක්නිසා ද? මේවා සුළුවෙන් බැහැර කළ යුතු ප්‍රශ්න නොවේ. මනෝවිද්‍යාත්මක ඇසකින් බලා පාසල් දරුවන්ගේ සිත් මෙවැනි දැඩි තීරණවලට යොමුවන්නේ ඇයිදැයි විමර්ශනය කළ යුතුය. වත්මන් සමාජය නවීන තාක්ෂණික මෙවලම් සමග දැඩි සම්බන්ධතාවයක් පවතින බව රහසක් නොවේ. මේ හේතුව නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද පොතපතින් ඈත් වී පරිසරයෙන් ඈත් වී හිත මිත්‍රාදීන්ගෙන් ඈත් වී හුදකලා ජීවිත ගතකරනු පෙනේ. මෙලෙස හුදකලාවීම හේතුවෙන් යම් ගැටලුවක් තම ජීවිතයට මතු වූ විට ක්ෂණික තීන්දු තීරණ ගෙන ජීවිත නැතිකර ගැනීමට පෙළඹීමේ නැඹුරුතාවයක් දක්නට ඇත.

මෙවැනි මානසික පීඩාවන්ට ලක්වන පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ගැටලු විසඳාදීම සඳහා ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක සහාය ලබාගැනීම කාලෝචිතය. උපදේශනය තුළින් මානසික පීඩාවන්ට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිතකර දීම සඳහා වූ වැඩපිළිවෙළක් ගම් මට්ටමින් ආරම්භ කළ යුතුය.

රත්නසිරි පතිරණ

 

මැරී ඉපදුණා සේ කියන කතා

$
0
0
නොවැ 24, 2017 01:00

රාජපක්ෂ පවුලේ හා මිතුරු කල්ලියේ මූල්‍ය ආධිපත්‍ය මනාව ප්‍රකට කරමින් සිදු වූ කුප්‍රකට හෙජිං ගනුදෙනුව නිසා රටට අහිමි වූ බව කියන මුදල රුපියල් බිලියන 120කි. නැතහොත් කෝටි 12000කි. එමෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරයා ඍජුව සම්බන්ධ බවට චෝදනා එල්ල වන “ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව” නිසා රටට අහිමි වූ මුලද රුපියල් කෝටි 380ක් බව මාධ්‍ය වාර්තා කළේය. මේ අතර ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් කබ්ලාර් - නාමල් හවුල දැරූ රාජ්‍ය වියදම ගැන මේ දක්වා සංඛ්‍යා ලේඛන කිසිවක් නැත.

මැරිලා ඉපදිලා වගේ කතා කරනවා”යැයි ඇතැම් පුද්ගලයන්ගේ කතා අසන විට අපි කියමු. මෙවැනි මැරී ඉපදුණා වගේ කතාවක් අපට පසුගියදා පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබුණේය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. යහපාලන ආණ්ඩුවේ අයවැය ලේඛනය පතුරු ගසමින් කතා කළ මහින්ද රාජපක්ෂ මහතා ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වර්ගීකරණ රැසක් ගෙනහැර පාමින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරීත්වය බිඳ වැටී ඇති ආකාරයට තහවුරු කිරීමට ආයාස කර වෑයමක් ගත්තේය. රාජපක්ෂ මහතාගේ මේ කතාව ශ්‍රවණය කළ බොහෝ දෙනකු ද කියා සිටියේ “දැන් මහින්ද මහත්තයා කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේනේ” කියාය.

“මහින්ද රාජපක්ෂ මැරී ඉපදිලා වගේ කතා කරනවා යැයි” ජනතාව කියන කතාව සර්ව සාධාරණ වන්නේ රාජපක්ෂ යුගයේදී ලංකාව සම්බන්ධයෙන් දුන් ජාත්‍යන්තර නිරීක්ෂණ හා වර්ගීකරණ වාර්තා ඒ කාලයේ රාජපක්ෂවරු සහ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය කුමන්ත්‍රණ වශයෙන් අර්ථකථනය කරමින් කුණු බක්කියට දැම්ම ආකාරය ජනතාවට අපූරුවට මතක නිසාය. උදාහරණ වශයෙන් ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන්, රාජ්‍ය දූෂණ සම්බන්ධයෙන් පමණක් නොව මානව හිමිකම් සම්බන්ධයෙන් පවා එදා මේ ජාත්‍යන්තර ආයතන විසින් දුන් වාර්තා අද මෙන් මහින්ද රාජපක්ෂ රටේ තත්ත්වය, ආණ්ඩුවේ අසමත්භාවය පෙන්වන කැඩපත් වශයෙන් සැලකුවේ නැත. අද ජාත්‍යන්තර නිරීක්ෂණ වාර්තා, ඇගයීමේ වාර්තා ගෙන හැර පාමින් පාර්ලිමේන්තුව දෙවනක් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතීත පැටිකිරිය මේ ආකාරය.

මේ සංඛ්‍යා ලේඛන ගෙන හැර පෑමෙන් නොනැවතී මහින්ද රාජපක්ෂ තම කතාවේ සමස්තය වචනවලටත් ගොනු කළේය.

“...මේ තත්ත්වය අපට සමාන කළ හැක්කේ ඉතා දැවැන්ත කුණාටුවකට ගොදුරු වී ඇති කුඩා නැවක් කිසිදු පාලනයකින් තොරව මහ මුහුදේ නිදැල්ලේ පාවෙන හා සමාන තත්ත්වයකටය. එපමණක් නොව මේ නැව හසුරවන්නේ වෛරයෙන් හා ක්‍රෝධයෙන් පෙළෙන, එකිනෙකාට යටින් කුමන්ත්‍රණය කරන හිතුවක්කාර කපිතාන්වරු දෙදෙනෙක්ය. එසේ නම්, මේ නැවේ ගමන් කරන මගීන්ගේ ඉරණම ගැන බලාපොරොත්තු තියා ගන්නට අතිශයින් අපහසු බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. එසේ නම් මේ දූෂිත සහ අදක්ෂ පාලකයන් ඉතා ඉක්මනින් ගෙදර යැවිය යුතුමය. එම කාර්යභාරය සතුව තිබෙන්නේ මේ රටේ ජනතාවටය. අපේ රටේ ජනතාව එම කාර්යය ඉෂ්ට කිරීමට මහත් උනන්දුවෙන් සිටින බවත් අපට දැන් පැහැදිලිය” මේ දස වසරක් මේ රට පාලනය කළ ජනතාව විසින් දෙවරක් දැවැන්ත ලෙස පරාජය කළ පාලකයා මැරී ඉපදුණා සේ කියන කතාවය.

පසුගිය කාලය පුරාම වැරදි පිටපත කියවන මහින්ද රාජපක්ෂ මහතාගේ මේ කතාවට කදිම පිළිතුරක් සේම රාජපක්ෂ පාලනයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අන්ත දූෂිතභාවය සාක්ෂි සහිතව පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු බැඳුම්කර කොමිෂම හමුවේ හෙළි කළේය. ආර්ථික විශේෂඥයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා විස්මයට පත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “...ක්‍රියාකාරී අරමුදල් ක්‍රමය යටතේ ඍජු ස්ථානගත කිරීමේ සම්ප්‍රදාය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙනවා. 2008 වසර දක්වා ඒ ක්‍රමය ඔස්සේ බැඳුම්කර නිකුත් කර තිබෙනවා. එය විනිවිදභාවයෙන් තොරයි. 2015 දක්වා තොරතුරු නැහැ. රුපියල් බිලියන ගණනින් මූල්‍ය ගනුදෙනු සිදුවී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නැහැ. පසුගිය පාර්ලිමේන්තුවේ තිබූ ප්‍රශ්නය එයයි. ඒවා පිළිබඳව සොයා බැලිය යුතුයි” අගමැතිවරයා මේ හෙළි කරන්නේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ අත්තනෝමතික හා සැක සහිත පිළිවෙතයි.

යකඩ මල්ලටත් ගුල්ලෝ ගැසූ හැටි

අවුරුදු 08ක් තිස්සේ මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම කිසිදු විනිවිදභාවයකින් නොකළ රාජපක්ෂ ආණ්ඩුව විස්මය ජනක ලෙස (සිදුවිය යුතු පරිදිම) ඒ හා සම්බන්ධ වාර්තා ද තබා නැත. ජනතාව කියන පරිදි “හාල් මල්ලට නොව යකඩ මල්ලටත් ගුල්ලන් ගැසූ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙවැනි දෙයක් සිදුවීම ගැන අප මොහොතකටවත් පුදුම විය යුතු නැත. මන්ද අද දිනපතා අධිකරණය හමුවට ගාටන, අත්අඩංගුවට ගැනීම් වළකන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ ඉල්ලීම් කරන රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් බොහෝ දෙනකු හරහා රාජපක්ෂ පාලනයේ මූල්‍ය කළමනාකරණයේ රඟ අපූරුවට හෙළිවන නිසාය. දූෂණ විරෝධී සංවිධාන කියන ආකාරයට මේ වන විට ඔවුන් විසින් රාජපක්ෂ පාලනයේ දූෂිත ගනුදෙනු පිළිබඳව අදාළ අංශ හමුවේ ගොනුකර ඇති පැමිණිලි සංඛ්‍යාව 1500කටත් අධිකය. ඒ අතර රාජපක්ෂ යුගයේ නිකුත් වූ කෝප් කමිටු වාර්තා සේම ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා කියූ ආකාරයට ඔහු ළඟ ඇති ෆයිල් සංඛ්‍යාව ද එක්කළහොත් රාජපක්ෂ මහතාගේ දශකයකට ආසන්න පාලන සමය තුළ රාජ්‍ය මුදල් අවභාවිතා වූ ප්‍රමාණය, සොරා කෑ ප්‍රමාණය රුපියල් ට්‍රිලියන ගණනක් විය හැකිය. අද යහපාලන ආණ්ඩුව ගෙවමින් සිටින්නේ එදා රාජපක්ෂ ආණ්ඩුව කෑ කෑමවල බිල බව මේ සමඟ අප අමතක නොකළ යුතුය.

අයවැය ගැන බොරු කීම

2010 වසරේ සිට අයවැය පරතරය ක්‍රමයෙන් අඩුකර ගත් බවත්, එහෙත් 2015 දී එය යළි ආපසු හැරුණ බවත් මහින්ද රාජපක්ෂ මහතා කියන්නේය. ඒ අතර හිටපු ජනාධිපතිවරයා සැබෑ අයවැය පරතරය වංචනිකව සැඟ වූ බවට ආණ්ඩුවට චෝදනා ද කරන්නේය. “රජයේ ලේඛනවලට අනුව, අයවැය පරතරය සියයට 7.4ක් ලෙස වාර්තා වුව ද විගණකාධිපතිගේ වාර්තාව අනුව එය සියයට 10.5ක් බව අද ඔහු ප්‍රකාශ කළා. එපමණක් නොව, අප ඉතිහාසයේ පළමුවරට, 2016 ශ්‍රී ලංකා රජයේ ගිනුම් පිළිබඳව තමාට අදහසක්වත් පළ කරන්නට නොහැකියැයි විගණකාධිපතිතුමා වාර්තා කළා. මෙය අතිශයින් බරපතළ චෝදනාවක් වුවත්, යහපාලනය ස්ථාපනය කරන්නේ යැයි පවසා බලයට ආ මේ හවුල් රජය ඒ පිළිබඳව තවමත් කිසිවක් කියලත් නැහැ. කරලත් නැහැ” මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියන්නේය.

මුලින් සඳහන් කළ ආකාරයට නිතරම අනුන්ගේ පිටපත කියවන මහින්ද රාජපක්ෂ මහතාගේ මූල්‍ය ප්‍රකාශනය පමණක් නොව අයවැය ගැන ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිෂම හමුවේ කරුණු හෙළි කරමින් කියා සිටියේ පසුගිය ආණ්ඩුව සංවර්ධනයට ගත් ණය ගැන පැහැදිලි සටහන් නැති බවයි.

“සාමාන්‍යයෙන් ආණ්ඩුවේ සෑම වියදමක්ම අයවැයේ සටහන් විය යුතුයි. එහෙත් පසුගිය කාලයේදී එය නිසි ලෙස සිදු වූයේ නැහැ. ආණ්ඩුවේ වියදම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. එහෙත් පසුගිය වසරවලදී අයවැයෙන් කරන ලද අනුමත කිරීම් විසර්ජන කෙටුම්පත්වල සඳහන් නැහැ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගිවිසුම් පවා තිබෙනවා. ඒ සීමා පවා සඳහන් කර නැහැ. ඒ නිසා අපට ගෙවීම් දෙකක් කරන්න සිදු වුණා. එකක් විසර්ජන පනත් කෙටුම්පත්වල වියදම්. අනෙක්වා එසේ සඳහන් නොවන වියදම්” මේ මහින්ද රාජපක්ෂ යුගයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සැබෑ තත්ත්වයයි.

මේ වංචාකාරී තත්ත්වයට උදාහරණ දෙමින් අගමැතිවරයා සඳහන් කළේ, “මහාමාර්ග සඳහා රුපියල් බිලියන 75ත් 100ත් ප්‍රතිපාදන ගෙවීම් කර තිබෙනවා. උතුරු අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිංගප්පූරු සමාගමකින් අපට ලියුමක් ලැබුණා. එම කටයුතු 2013 වසරේදී 2014 වසරේදීයි සිදුව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කිසිදු සටහන් නැහැ. අපිට තවමත් ගෙවීම් කරන්න තිබෙනවා. ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් සටහන් නැහැ” යනුවෙනි.

අධිකරණ ගානේ ගාටන හේතු

අපට අගමැතිවරයා බැඳුම්කර කොම්ෂම හමුවේ කරන මේ හෙළිදරව්ව වටහා ගැනීම කිසිසේත් අපහසු නැත. මන්ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා පමණක් නොව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවා අද අධිකරණ ගානේ ගාටන්නේ මේ මුල්‍ය කළමනාකරණයේ අපූරුව මොනවට පැහැදිලි කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව අද අති බහුතරයක් ජනතාව ද කියන ආකාරයට 2008 - 2015 මහ බැංකු බැඳුම්කර අලෙවි කිරීම් සේම කෝප් කමිටු වාර්තා ද යළි විමසා බැලිය හැකි පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළහොත් රාජපක්ෂ යුගයේ ආර්ථික හා සංවර්ධන ආශ්චර්යයේ නියම උරුමකරුවන් කවුදැයි නිසි පරිදි වටහා ගැනීමට අවස්ථාවක් ලැබෙන හෙයිනි.

එහෙත් අද අයවැය විවාදයේදී ජාත්‍යන්තර ආයතන උපුටා දක්වන මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන කටක් හොළවන්නේ නැත. ඒ වෙනුවට “කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා වෙනවා” යන අවස්ථාවාදී න්‍යාය භාවිත කරමින් ජනතාව නොමඟ යැවීමට තැත් කරන්නේය.

නිමක් නැති ණය කන්දක්

මහින්ද රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය හා ආර්ථික සංවර්ධන උපාම මාර්ග දැඩිව හෙළා දකිමින් පසුගිය අයවැය කතාවේදී චෝදනා කළේ ආණ්ඩුව දැවැන්ත ණය උගුලක් කරා රට තල්ලු කරමින් සිටින බවයි.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලය පුරාම අවධාරණය කළ ආකාරයට බැඳුම්කර කොමිෂම හමුවේදී තත්ත්වය මනාව පැහැදිලි කරමින් රාජපක්ෂ මහතා කොතරම් සාවද්‍ය ප්‍රකාශ කරන්නේ දැයි හෙළි කළේය.“... අප අදටත් ගෙවිය යුතු ණය ප්‍රමාණය කුමක් දැයි නිශ්චිතව දන්නේ නැහැ. ඒ ගැන තවමත් හොයනවා. අපිට දිගු කාලීන හා කෙටි කාලීන ණය තිබෙනවා. එම කටයුතු නිසි ආකාරයෙන් නොකළහොත් අපි ග්‍රීසිය වාගේ වෙනවා.මේ සියලු ප්‍රශ්න මතු වෙන්න ගත්තේ 2017 වසරේදීයි. ඊට පෙර වසරවල වැරදි තීන්දු තීරණ පියවරවල අර්බුද පටන් ගත්තේ 2017 වසරේදී බව කිව යුතුයි. ලබන වසරේදී පරිණත වෙන ණය පොලී තිබෙනවා. දේශීය ණය වෙළෙඳපොළත් ක්‍රමිකව ඉහළ යනවා. වානිජ ණයත් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසර 2023 දීත් 2027 වසරවලදී පරිණත වන පොලී ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 600-1200ත් ඉක්මවා යනවා”

අගමැතිවරයා මේ කියන්නේ පසුගිය 2015-17 වසරවලදී ගත් ණය ගැන නොවේ. මහින්ද රාජපක්ෂ යුගයේදී ගත් වැරදි ආර්ථික තීන්දු මගින් උරුම කළ ණය උගුල ගැනය. ඒත් පුදුමයට කරුණ වන්නේ අද මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ ගැති මාධ්‍ය ඉතාමත් සාවද්‍ය හා තීක්ෂණ ලෙස මේ සමස්ත ණය කන්ද යහපාලන ආණ්ඩුව වෙත පැටවීමට තැත් කිරීමය. තම පාලන සමයේ සිදු වූ දැවැන්ත මුල්‍ය විනාශය ගැන එක කෙළ බිඳුවකදු ද නොසලා ඉතාම සාවද්‍ය තොරතුරු ජනගත කිරීමට තැත් කිරීමය.

මූල්‍ය කළමනාකරණය යකාට ගිය හැටි

මේ තත්ත්වය අපට ඉතාම ප්‍රකට උදාහරණ කිහිපයක් මගින් පැහැදිලි කරගත හැකිය. ඉන් වඩාත් ප්‍රකට උදාහරණය වන්නේ රාජපක්ෂ යුගයේ සිදු වූ දැවැන්තම දූෂණය - වංචාව වශයෙන් ඇතැමුන් විසින් සලකන ‘හෙජිං ගනුදෙනුවයි”

රාජපක්ෂ පවුලේ හා මිතුරු කල්ලියේ මූල්‍ය ආධිපත්‍ය මනාව ප්‍රකට කරමින් සිදු වූ කුප්‍රකට හෙජිං ගනුදෙනුව නිසා රටට අහිමි වූ බව කියන මුදල රුපියල් බිලියන 120කි. නැතහොත් කෝටි 12000කි. එමෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරයා ඍජුව සම්බන්ධ බවට චෝදනා එල්ල වන “ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව” නිසා රටට අහිමි වූ මුලද රුපියල් කෝටි 380ක් බව මාධ්‍ය වාර්තා කළේය. මේ අතර ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් කබ්ලාර් - නාමල් හවුල දැරූ රාජ්‍ය වියදම ගැන මේ දක්වා සංඛ්‍යා ලේඛන කිසිවක් නැත. අද ගාමිණි සෙනරත් ආදීන් සම්බන්ධ බවට සැක කෙරෙන මූල්‍ය ගනුදෙනු ද එක් කළ විට දස වසරක රාජපක්ෂ පාලනය විසින් අද යහපාලන ආණ්ඩුව ගෙවමින් සිටින සමස්ත ණය කන්දේම පරවේණි උරුමය දරන බව පැහැදිලිය.

එපමණක් ද නොවේ. අද තම පාලනය යටතේ රටට ලැබුණාය කියන විදේශ ආයෝජන ගැන, රුපියල අවප්‍රමාණය නොවී රැක ගැනීම, විදේශ සංචිත ගැන පාරම්බාමින් සාවද්‍ය තොරතුරු වපුරන මහින්ද රාජපක්ෂ මහතා තම පාලන යුගයේ අහිමි වූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය සහ යුරෝපා සංගම් මත්ස්‍ය තහනම සමඟ රටට අහිමි වූ දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණය ගැන එක වචනයක් කතා කරන්නේ නැත.

එහෙත් මේ රටේ ජනතාවට නම් රාජපක්ෂ පාලන සමය තුළ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල පැහැරගත් ආකාරය ගැන, පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල නොසලකා අත්තනෝමතිකව ක්‍රියා කළ ආකාරය ගැන කිසිසේත් අමතක නැත. මේ ගැන යළි යළිත් කරුණු අවධාරණය කිරීම ගැන, කරුණු හෙළි කිරීම ගැන අප අගමැතිවරයාට ස්තූති කළ යුතුය.

රාජපක්ෂ යුගයේ පැවති මේ අත්තනෝමතික තත්ත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිෂම හමුවේ නිසි පරිදි හෙළි කළේය. “...පසුගිය සමයේ එය සිදු වුණේ නැහැ. පාර්ලිමේන්තුවට පිළිතුරු නොදෙමින් තමයි හිටපු මහ බැංකු අධිපතිවරයා කටයුතු කළේ...”රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු අධිපතිවරයා ක්‍රියාකළ අත්තනෝමතික ආකාරයයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මේ අත්තනෝමතික හැසිරීම ගැන අප පුදුම වන්නේ නැත. මන්ද සමස්ත පරිජාලන යාන්ත්‍රණයම තම ඒකාධිපති හස්තය යටතට ගෙන සිටි මේ යුගයේ ශ්‍රී ලංකා මහ බැංකුව ගැන පමණක් නොව රාජපක්ෂ සෙවණැල්ල යටතේ සිටි කිසිදු රාජ්‍ය ආයතනයක් ගැන ජනතාවට විශ්වාසයක් නොතිබූ නිසාය. උදාහරණයක් වශයෙන් මේ යුගයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව ගැන දැඩි ප්‍රශ්න කිරීමක් සමාජය තුළ තිබුණේය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත හා විශ්ලේෂණ ගැන දැඩි කුකුසක් සමාජය තුළ තිබුණේය.

ආදර්ශය ඉදිරියට දෙමුද ?

මේ සමස්ත ක්‍රියාවලිය තුළින් අපට ප්‍රකට වන කරුණ වන්නේ මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව ක්‍රමයක් ක්‍රමයෙන් පසුගිය ආණ්ඩුව විසින් පැටලූ නූල් බෝලය ලිහා ගනිමින් සිටින බවයි. එහෙත් බැඳුම්කර කොමිෂම හමුවේ ස්වේච්ඡාවෙන් සාක්ෂි දෙමින් අගමැතිවරයා දැක්වූ නිර්භීතභාවය සේම යහපාලන පූර්වා දර්ශය වංචා හා දූෂණ සම්බන්ධයෙන් චූදිතයින් බවට පත්ව සිටින රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින් වෙතින් ලබාගත හැකි වෙතැයි අප කිසිසේත් නොසිතිය යුතුය. ඒ වෙනුවට ඔවුන් යහපාලනය විසින් විවෘත කළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් අපයෝජනය කරමින් ජනතාව මුලා කිරීමට තවත් වටයකින් සැරසෙනු ඇති බව පමණක් අප වටහා ගත යුතුය. ඊට හේතුව වන්නේ වෙන කිසිවක් නොව අවස්ථාවාදයෙන් සහ බොරුවෙන් තොර පැවැත්මක් ඔවුන් වෙත නොවන හෙයිනි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මැරී ඉපදුණා සේ කියන කතා තව තවත් අසාගෙන සිටීමට ජනතාව හිත හදාගත යුතුය.

සටහන-භාතිය බරුකන්ද 

අගමැති බැඳුම්කර කොමිසම හරවද්දී ඇමැති වජිර ගාල්ල නිවා දමයි

$
0
0
නොවැ 24, 2017 01:00

පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සාකච්ඡා වන අවස්ථාවට නොවරදවා සහභාගිවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුරුද්දකි. එසේ වූවත් පසුගිය 17 දා එතුමාට නියමිත වේලාවට විවාදයට එන්න ලැබුණේ නෑ. එයට හේතුව නම් මාස හයකට කලින් ලැබුණු ආරාධනයක් අනුව මාවනැල්ලට යාමට සිදුව තිබීමයි. අය වැය විවාදයට සහභාගිවීමට තිබුණත් කලින් පොරොන්දුවී සිටි පරිදි මාවනැල්ල කැප්පෙටිපොල ශ්‍රී අභයරාම විහාරස්ථානයේ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උළෙලට ජනාධිපතිතුමා සහභාගි වුණා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් සහ රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ ඇමැතිවරුන් මේ අවස්ථාවට සහභාගි වී සිටියා.

මෙහිදී කතා කළ කබීර් හෂීම් ඇමැතිවරයා කී‍ෙව් අය වැය විවාදයට යන්න තිබියදී තමන්ගේ මේ කුඩා උත්සවයට ජනාධිපතිතුමා පැමිණීම මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයට කළ විශේෂ ගෞරවයක් හැටියට තමා සලකන බවයි.

මෙහිදි කතා කළ ජනාධිපතිතුමා කීවේ මීට පෙර සිටි ජනාධිපතිවරුන් අය වැය විවාදයේ ජනාධිපති වැය ශීර්ෂය සාකච්ඡාවට නොපැමිණි බවයි. තමන් ජනපති වූ පසුව වසර දෙකේදීම තමන් පාර්ලිමේන්තුවට පැමිණ අය වැය විවාදයේ ජනාධිපති වැය ශීර්ෂ සාකච්ඡාවට සවන්දී විවේචන සියල්ලට සවන් දුන් බව ජනාධිපතිතුමා කීවා.

කබීර් හෂීම් ඇමැතිවරයාගේ බෞද්ධාගමික දැනුම ගැන විශේෂයෙන් සඳහන් කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වෙසක් උළෙල මේ වසරේ පොල්ගහවෙල පැවති අවස්ථාවේ බෞද්ධ දර්ශනය ගැන හොඳම කතාව කළේ කබීර් හෂීම් ඇමැතිතුමා බවද කීවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ වාර්ෂික සමුළුව පසුගිය විසිවැනිදා පැවැත්වුණා. එයට එක්වෙමින් ජනාධිපතිතුමා කීවේ අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන හොඳ වගේම නරකත් තමන් හොඳින් දන්නා බවයි. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමා ලැබූ අත්දැකීම් සෞඛ්‍ය සේවාවේ දියුණුව සඳහා යොදාගැනීමට ඉඩ ලැබුණු බව කී ජනාධිපතිතුමා මෙම ක්ෂේත්‍රයේදී මානව සබඳතා ඉතා වැදගත් වන බවත් පෙන්වා දුන්නා.

වෛද්‍ය විද්‍යාවේ නව පර්යේෂණ සමඟ දවසින් දවස පැයෙන් පැය තත්පරයෙන් තත්පරය සෞඛ්‍ය සේවාව ඉදිරියට යන බවත් මානව සමාජයේ ඉදිරි ගමන වෛද්‍ය විද්‍යා පර්යේෂණ සොයාගැනීම් හා ඒ සඳහා කරන කැපකිරීම් මත රඳා පවතින බවද කීවා.

වෛද්‍ය රසායනාගාර සේවාවේ විශිෂ්ට සේවයක යෙදුණු පිරිසකට සම්මාන ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් මෙහිදි සිදුවුණා.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉවත්වී යහපාලනය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි පියවරක් තැබීමට මේ වනවිට වසර තුනක් ගතවී තිබෙනවා. පසුගිය 21දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැති උත්සවයකදී ජනාධිපතිතුමා මේ බව මතක් කළා. සූර්යබල සංග්‍රාමය යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් සියයක් එක්කිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණා.

මෙහිදී කතා කළ ජනාධිපතිතුමා කීවේ වසර තුනකට පෙර අද වැනි දිනක එවකට පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ රටේ යම් වෙනස්කම් කිරීමට බව හා රටට අවශ්‍ය වූ වෙනස සඳහා බොහෝ දේ මේ වනවිට ඉටුකර තිබෙන බවයි. වෙනස සැපද අහන අයට, ඔව් වෙනස සැපයි කියා තමන් කියන බව කී ජනාධිපතිතුමා ජාත්‍යන්තරය දිනාගෙන ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්කර ගැනීමට තමන්ට හැකිවූ බවත්, විදුලි පුටු හෝ යුද අධිකරණ නොමැති තත්ත්වයක් ගොඩනගා ගත් බවත් සඳහන් කළා. රටට අහිමිව තිබූ බොහෝ දේ දිනාගැනීමට මේ කාලයේ හැකිවූ බවත්, කාට නැතත් ජනතාවට නම් වෙනස හොඳටම සනීප බවත් ජනාධිපතිතුමා පැවසුවා.

අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩී හෝ සී.අයි.ඩී. වැනි ආයතන වලින් ප්‍රශ්න කිරීම සදහා පැමිණෙන ලෙස විපක්ෂයේ දේශපාලකයන්ට දැනුම් දුන් විට එම ආයතන වල ඉහල නිලධාරීන් තම නිවසට කැදවා පිළිතුරු දීමේ සම්ප්‍රදායක් මෑතක දී ඇති වුණා.තවද පසුගිය රජය සමයේ අල්ලස් කොමිසමට එන්නට කී විට නයෙකු කෑ බව පවසා රෝහල් ගත වූ අතීතයක්ද පැවතුනා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සදුදා බැදුම්කර කොමිසමට ගියේ ස්වෙච්ඡාවෙන්. ඊට අදාලව එජාපය තුල පැවති සාකච්ඡාවේදී

අගමැතිවරයා කොමිසමට ගියේ ස්වෙච්ඡාවෙන් බව ඉස්මතු කිරීම අවශ්‍ය බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

තවද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දීද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ බව සඳහන් කළා.

“අගමැතිතුමා ස්චේඡාවෙන් කොමිසමට යන්නේ. එතුමාට හෝ එජාපයට හංගන්න දෙයක් නෑ” කිරිඇල්ල මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කීව්වා.

මීට පෙර බැදුම්කර කොමිසම තුල අගමැතිවරයා ගැන සදහන් වීම තුල අගමැතිවරයා කොමිසමට දැන්වූයේ තමාට පැහැදිලි කිරීම් සිදු කිරීමට අවශ්‍ය බවය. ඒ මත ඔවුන් එවා තිබූ කරුණු 16 කට ඔහු මීට පෙර ලිඛිත පිලිතුරු යවා තිබුණා.අනතුරුව කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ එකී පැහැදිලි කිරීම් වලට අදාලව තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය බවය.

“ මට අවශ්‍යත් එයයි. දෙවැනි වරටත් ලිඛිත කරුණු දැක්වීම වැඩක් නැහැ. මම ගිහිල්ලම පැහැදිලි කිරීම් කරනවා.එතකොට එයාලට හරස් ප්‍රශ්න අහන්නත් ලැබෙනවනේ” අගමැතිවරයා හිතවතුන්ට කියා තිබිණ.අනතුරුව පැවති එජාප සාකච්ඡාවකදී අගමැතිවරයා තම ස්ථාවරය පක්ෂ ප්‍රබලයන්ට කී විට ඔවුන් ඊට එරෙහි විය.

“ඔබතුමාට කොමිසමට එන්න කියලා තියෙන්නේ ඉන්දියානු නිළ සංචාරයට කළින් දිනයේයි. අනික එදා අයවැය ඡන්දයත් තියනවා. පසුව එන බව දන්වන්න”උපදේශකයන් හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කිව්වා.

ඔවුන්ගේ අදහස් අසාසිටි අගමැතිවරයා කීවේ ”නෑ එයාලා එන්න කියපු දිනේට මම යනවා” යයි කිව්වා.

එම තීන්දුවෙන් පසු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු ඇමතිවරු පිරිසක් මෙහෙයුමක් දියත් කළහ. එජාප මැති ඇමතිවරු සියලු දෙනාද එදින කොමිසම පරිශ්‍රයට කැදවා ගැනීම එම මෙහෙයුමට අයත් ‍විය. ඒ ගැන ආරන්චි වූ අගමැතිවරයා කිරිඇල්ල හා ගයන්තට කතා කොට දැක්වූයේ විරෝධයකි.

“අරගොල්ලො වගේ සෙනගනම් ගෙන්නන්න එපා. මැති ඇමතිවරුන්ටත් අයවැය විවාදයට යන්න කියනවා” අගමැතිවරයා කිව්වා.

“නෑ. කැමති අයට එන්න කියමු. සෙනග ගේන්නේ නෑ.”කිරිඇල්ල සහ ගයන්ත ඇමතිවරු කිව්වා.

සදුදා උදේ අගමැතිවරයා මුලින්ම ගියේ අරලියගහ මැදුරටය. එහිදී රාජකාරි කිහිපයක් නිමකළ ඔහු අනතුරුව බැදුම්කර කොමිසම වෙත ගියේ තනිවමය.

දෙස් විදෙස් මාධ්‍ය රැසක් එය ආවරණයට පැමිණ සිටියේය. උදේ 9.50 ට අගමැතිවරයා කොමිසමට ගිය අතර කටයුතු ඇරඹුනේ 10.10 ටය.

එහිදී කොමිසමේ සභාපතිවරයා මූලික ප්‍රකාශයක් සිදු කලේය.

“අගමැතිතුමා කොමිසමට එන ලෙස අපි බල කලේ නෑ.කල ඉල්ලීමට සහාය පල කිරීම ගැන ස්තූතියි.” කොමිසමේ සභාපති කේ.ටී.චිත්‍රසිරි මහතා කීවේය.

එහිදී මහ බැංකු කටයුතු මූල්‍ය නීති පනතට අනුව සිදුවිය යුතු බව දැන සිටියා දැයි ඇසූ විට අගමැතිවරයා කීවේ මෙවැන්නකි.

“ඔව් දැන සිටියා. ඒත් ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු වටත් උපදෙස් දීමේ අයිතිය තියෙනවා. රාජ්‍ය මුදල් වල වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒත් පසුගිය ආණ්ඩු කාලෙ මහ බැංකුව පාර්ලිමේන්තුවට වග නොකියන පසුබිමක් තිබුණා. නීතිපතිගේ බලය ශක්තිමත් විය යුතුයි. භාණ්ඩාගාර ලේකම් හා සෙසු නිලධාරීන්ට අපි නිසි උපදෙස් දීල තිබුනේ.”

අගමැතිවරයාගෙන් විමසූ ප්‍රශ්න වලට ඔහු තව දුරටත් කීවේ. “ විනිමය හෝ පොලී අනුපාත තීන්දු කිරීමේ වැඩ වලට අපි මැදිහත් වුනේ නැහැ.පසුගිය කාලේ අයවැයෙන් අනුමත කල දේ විසර්ජන කෙටුම්පත් වල සදහන් නැහැ.මූල්‍ය අරමුදල සමග මූල්‍ය සීමා ගැන ගහපු ගිවිසුම් පවා කඩ කර තිබුණා” අගමැති කීවා.

පෙ.ව.11.15 ට පැයක ප්‍රශ්න කිරීම්වලට පිලිතුරු දී හමාර කල අගමැතිවරයා පිටතට පැමිණ මාධ්‍ය ඇමතුවා.

“ යහ පාලනය ඉදිරියටම ගෙනියනවා. මම විතරක් නෙමෙයි කොමිසම තවත් ඇමතිවරුත් ප්‍රශ්න කලා. අඩුපාඩු වෙන්න පුළුවන්. එත් අපි හරි පාරේ යනවා.” අගමැති කීවා.

අනතුරුව ඔහු කෙලින්ම පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තු කටයුතු නිසා කොමිසමට පැමිණීමට නොහැකි වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාප පිරිසක් කාර්යාලයේ රැදී සිටිමින් අගමැතිවරයා උණුසුම්ව පිලිගත්තා පමණක් නොව විවිධ ප්‍රශ්නද අසන්නට වුණා.

“ මෙච්චර කල් ආණ්ඩුවට අවාසි දේයි මාධ්‍යවල ගියේ. ඔබතුමා ගිය වෙලාවේ ඉදල වාසි දේවල් යන්නේ අදෘශ්‍යමාන බලවේගයක් නිසාද”එදින කොමිසමටද ගිය දයා ගමගේ ඇසුවේ සිනා සෙමිනි.

“ කොමිසමේ හා නීතිපති දෙපාර්තුමේන්තු නියමයෙන් අපේ මන්ත්‍රිවරුන්ගේ දුරකථන ඇමතුම් ගැන පරීක්ෂා කර තියෙනවා.ඒ රහස් මාධ්‍ය වලට දුන්නේ කවුද මාධ්‍ය ඒවා පලකලේ කුමන පදනමෙන්ද? මම මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් උදේ පාර්ලිමේන්තුවේදී මතු කලා.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා ඔහුට ස්තූති කළා.

“ කොමිසමේ ඉදලා පාර්ලිමේන්තු එන විට ප්‍රබල ව්‍යාපාරිකයෙක් මට කතා කළා. නීතිපති උපදෙස් අනුව ඔබතුමා පර්චුවෙල් එකේ බල පත්‍ර අවලංගු කලානම් මහබැංකු ඇතැම් නිළධාරීන්ගේ වැඩ නැවැත්තුවා නම්, සී අයි ඩී පරීක්ෂණ ඇරඹුවා නම් ඒ නීතිපතිම ඔබතුමා කූඩුවට නංවලා ප්‍රශ්ණ කිරීම පුදුමයි කියලා එයා කිවුවා. මේක තමයි විශ්මිත යහපාලනය කියලා මම උත්තර දුන්නා “අගමැති කීව්වා.

“අපි පාර්ලිමේන්තු සභා ගැබටත් යමු” කිරිඇල්ලගේ යෝජනාවට එකග වූ අගමැති එහි ගිය විට නිමල් සිරිපාල ඇතුඵ ශ්‍රීලනිප මැති ඇමතිවරු කොමිසමට යාම අගය කරමින් කතා බහ කළහ.

පසුදා උදයේම අගමැතිවරයා ඉන්දියානු නිළ සංචාරයකට පිටත් විය. එහිදී එරට ජනපති අගමැති ඇතුඵ නායකයන් හමුවීමටද පස්වන ලෝක සයිබර් සමුළුවට එක්වීමටද නියමිතය.

“ පළාත් පාලන ඡන්ද ගැසට් එකට විරුද්ධව උසාවිය අතුරු තහනමක් දීලා” ලක්ෂ්මන් කිරිඇල්ල රවි කරුණානායක ඇතුලු කිහිපදෙනෙක් නව දිල්ලිය අමතා අගමැතිවරයා දැනුවත් කලහ.

“ ඡන්ද කල් දානවට එජාපය එකග නෑ.ඒ ගැන කියල වහාම නිවේදන නිකුත් කරන්න. ප්‍රවෘත්ති සාකච්ඡා සූදානම් කරල රට දැනුවත් කරන්න.මම ආවාම ඊලග පියවර ගැන කතා කරමු.” අගමැතිවරයා කීවේ කණස්සල්ලෙන්.

බ්‍රහස්පතින්දා දිසාපතිවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන අතරතුර ගාල්ල ගිංතොට ප්‍රදේශය උණුසුම් වී තිබිණා. වජිර ඇමතිවරයාගේ දුරකථනයට කිසිදු විවේකයක් ලැබුණේ නෑ. ජනාධිපතිලේකම් හා අගමැතිලේකම්වරයාත් දිසාපතිවරුනුත් සිටිය දී ගිංතොට සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි දැනගන්නට ලැබිණා. පොලිසිය කීවේ මේ ගැටුමට මුල්වී ඇත්තේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු බවයි.

''එයා එක්සත් ජාතික පක්ෂයේ මනත්‍රී කියලා බලන්න එපා. මගේ මිනිහෙක් කියලා එයා කිව්වට කමක් නෑ. වැරදි දෙයක් කරලා තියෙනවානම් ඉක්මනට අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එයා ආණ්ඩුවට සම්බන්ධනම් කොහොමත් වැරදි කරන්න ඉඩ දෙන්න බැහැ."ඇමතිවරයාගේ උපදෙස් දුන්නා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අගමැති රනිල් වික්‍රමසිංහමහතාටත් එතැන සිටම සිද්ධිය ගැන පැවසූ වජිර ඇමතිවරයා ගිංතොට ප්‍රදේශයට පොලිසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් යෙදවීමට කටයතු කළේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරයාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් සම්බන්ධ කරගනිමිනි.

ගැටුම පවතින අතරතුර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ද ගිංතොට ප්‍රදේශයට ගොස් සිටියා.

සෙනසුරාදා ගාල්ලට කාර්යබහුල දිනයක් වුණා. ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උදෑසන සියලු ආගමික නායකයන්ගේ ගේ හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. එහි දී සියලු පාර්ශවයන් මැදහත් වී මේ තත්ත්වය සාමකාමීව විසඳා ගත යුතුයැයි තීරණය වුණා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර හා හිටපු අමාත්‍යවරයකුවන ගුණරත්න වීරකෝන් මහත්වරු ද මේ රැස්වීමට සහභාගී වී සිටියා.

වජිර ඇමතිවරයා, දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු සමග සිදුවූ හානිය බැලීමට ගිංතොට ගියා. ඇමතිවරයා මුළින් ම ගියේ හානියට පත්වූ සිංහල පවුල්ජීවත්වන නිවාස කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහාය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එතැන සිටියා.

ඉන් අනතුරුව ඔවුන් ජුම්මා මුස්ලිම් පල්ලියට ගිය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රමේෂ් පතිරණ හා මොහාන් පී. ද සිල්වා මහත්වරු ද පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ද පල්ලියට පැමිණියා.

මේ ස්ථානයට රාවුෆ් හකීම් ඇමතිවරයා ද පැමිණියා.

අනතුරුව ගිංතොට මහ පල්ලියට ගිය වජිර එහි සිටි පුද්ගලයන්ට සංසුන්ව සිටින ලෙසත් ඉදිරියේ දී මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සහය වන ලෙසත් ඉල්ලා සිටියා. මේ අතර ලැබුණු පණිවිඩයකින් කියැවුණේ බොදුබල සේනාවේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිංතොට ථූපාරාමයට පැමිණ ඇති බවයි. ඇමති වජිර වහාම එහි ගියා.

''ඥාණසාර හාමුදුරුවෝ මම හොඳට දන්නවා. දැන් මෙතැන කවුරුවත් කලබල කරන්න අවශ්‍ය නැහැ. මම හාමුදුරුවන්ව හමුවෙලා මේ ප්‍රශ්නය විසඳාගන්නම්."

''හාමුදුරුවනේ මේක පොඩි ප්‍රශ්නයක් දුරදිග යාමක්නේ. අද හවස අපි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා. සියළු පාර්ශ්ව එතැනට එනවා. ඔබ වහන්සේත් ගිංතොට පන්සලේ සුමේධ හාමුදුරුවන්ටත් මම ආරාධනා කරනවා එන්න කියලා. "

එසේ හිමිවරුන්ට දිසාපති කාර්යාලයට පැමිණෙන්න යැයි ආරාධනා කළ ඇමති වජිර එතැනින් ඉවත්ව යද්දී පන්සලට රැස්ව සිටි පිරිස අතරින් විරෝධයක් එල්ලවන්නට වුණා. ආපසු හැරුණු ඇමතිවරයා සියල්ලන්ටම දෑත් එක්කරමින් ආචාර කළ අතර ''සුවපත් වේවා"යැයි ද කියනු ඇසුණි.

එදින ම සවස පැවැත්වූ සාකච්ඡාව සඳහා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ද රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණ සිටියා. ඥාණසාර හිමිගේ පැමිණීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට ගැටළුවක් තිබුණ ද පසුව එය සාකච්ඡා කර විසඳා ගැනීමට ඇමතිවරයා සමත් වූණා. ඉන්පසු රැස්වීම ආරම්භ කෙරුණා.

ජාතිවාදය වපුරන බවට චෝදනා ලැබ සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහි දී සියලු දෙනා සංසිදෙන ආකාරයේ කතාවක් කළා.

''මේක පුංචි කොල්ලන් අතර ඇතිවූ පුංචි සිද්ධියක්. ඒත් අපිට ඉන්න හැටියක් නැහැ. හැමෝම අපිට කෝල් කර කර අහනවා. මේක ජාතිවාදී කරගන්න එපා. පොලිසිය සතුව තියනෙ තුවක්කුවලට වඩා මේ ජංගම දුරකථනය අද ප්‍රබල ආයුධයක් වෙලා. මේකෙන් තමයි හැමදේම බලන්නේ. වැඩි හරියක් බොරු කියනවා. එක්කෙනෙක් මැරුණා කියනවා. මේවා ඔක්කොම බොරු. මේ බොරුවලට රැවටෙන්න එපා. අපිට අපේ හාමුදුරුවරු සහ බෞද්ධ ජනතාව සමග සාකච්ඡා කරලා මේ දැන් පල්ලියේ මවුලවිතුමන්ලාත් ඉන්න නිසා ඒ අයත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නය බේරාගන්න පුළුවන්"

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ කතාවට කවුරුත් එකඟ වූණා.

ගිංතොට ථූපාරාමයේ වැඩවාසය කරන අම්බලන්ගොඩ සුමේධ හිමියන් ද එහි දී අදහස් දක්වමින් කියා සිටියේ මෙය සාකච්ඡාකර විසඳාගත හැකි සුළු ප්‍රශ්නයක් බවයි. දෙපාර්ශවයම එකඟ වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටත් තීරණය කෙරුණා. තත්ත්වය පාලනය කර සම්පූර්ණයෙන් ම සාමය ස්ථාපිත කරනතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තැබීමට ද අවශ්‍යනම් ඇඳිරිනීතිය රාත්‍රී කාලයේ යෙදීමට ද තීරණය කෙරුණා.

සියල්ල සාර්ථකව අවසන් වූ පසු ඇමති වජිර යළි කොළඹ යාමට සූදානම් වුව ද සාගල රත්නායක ඇමතිවරයා කොළඹ සිට ගාල්ලට එන බව දැන්වූයෙන් ඔහු බලාපොරොත්තුවෙන් නතර වූණා. මේ අතර අමාත්‍ය වජිර සමග සුහද කතාබහක නිරතවීමට ගාල්ලේ මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලැබිණා.

''මේ සිද්ධියේ දී ඇත්තටම මම ඔයාලට ස්තූති කරන්න ඕන. මාධ්‍ය ඉතාමත් ම හොඳින් හැසිරුණා. කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න වැඩ කළා. නමුත් මේ ෆේස්බුක් වගේ දේවල යන බොරු නිසා තමයි ප්‍රශ්න මතුවෙන්නේ."ඇමතිවරයා කීවේය.

ගිංතොට ප්‍රදේශයට ගිය සාගල රත්නායක අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ද සමගිනි. අමාත්‍යවරු තිදෙනා එක්වී යළි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

පසුදා උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලට පැමිණියා. ඒ ගිංතොට සිද්ධිය නිරීක්ෂණය කිරීමේ අරමුණෙනි. අගැමතිවරයා සමග සාගල රත්නායක ඇමතිවරයා ද සිටියා. ඇමති වජිර ද ගාල්ලේ දී අගමැතිවරයාට එක්වුණා.

අගමැතිවරයා ගාල්ලේ රැඳී සිටින කාලය පැයක් පමණ බව කලින්ම දන්වා තිබුණා. ඒ නිසා එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සියල්ල සූදානම් කෙරුණා. ගාල්ලට හෙලිකොප්ටරයෙන් පැමිණි අගමැතිවරයා ඇමති වජිර හා සාගල සමග වාහනයෙන් කෙළින්ම ගිංතොට නිවාස හානි සිදුවූ සිංහල පවුල් කිහිපයක් හමුවීමට ගියා. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මුස්ලිම් ජාතික පවුල් කිහිපයක් ද හමුවීමට අගමැතිවරයා අමතක කළේ නැහැ.

ගිංතොට සිට කෙලින්ම හෙලිකොප්ටරය නවතා තිබූ සමනල ක්‍රීඩාංගණයට පැමිණි අගමැතිවරයා කොළඹ බලා පිටත්වූණා.

පළාත් පාලන මැතිවරණයට සියල්ල සූදානම්ව තිබියදී එහි සභික සංඛ්‍යා තීරණය කිරීමට පසුගිය පෙබරවාරි 17 දා නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ ගැටලුවක් මුල් කරගෙන අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත්වීම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට විමතියට කරුණක් වුණා. මුලින් පෙනී ගියේ එය ඡන්දය කල් දැමීම සඳහා උත්සාහ දැරීමට පදනමකින් තොරව ඉදිරිපත් කළ පෙත්සමක් බවයි. කෙසේ වෙතත් කරුණු හැදෑරීමේදී පෙනී ගියේ එම ගැසට් නිවේදනයේ සැබැවින්ම වරදක් තිබෙන බවයි. එය දැන සිටි පිරිසක් මාස ගණනාවක් බලා සිට පළාත් පාලන ඡන්දයට දින නියම වන්නට ඔන්න මෙන්න කියා තිබියදී අධිකරණයට ගොස් අතුරු තහනම් නියෝගයක් ලබාගත් බව පෙනී යනවා.

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පැහැදිලි ලෙසම සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවයි. ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දැන දැනම වැරදි ගැසට් නිවේදනයක් නිකුත්කොට ඇති බවටත්, පසුව ආණ්ඩුව සැලසුම්සහගතව අධිකරණයට ගොස් අතුරු තහනමක් ලබාගෙන මැතිවරණය කල් දමා ගත් බවටත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා. ජවිපෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. යහපාලනය ගැන කතා කළාට වැඩක් නැති බවත්, ඡන්දය කල්දැමීම යහපාලනය නොවන බවත් ජවිපෙ නායකයා කීවා. මෙවැනි ප්‍රශ්න විසඳාගැනීමට තිබෙන්නේ මහ පාරේදී බවද ඒ සඳහා සියලු පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ එකතුවීමට සූදානම් බවද ඒ මහතා පැවැසුවා.

සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතිබව මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා.ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සමුළුවකට එක් වෙමිනි.රාජපක්ෂ මහතා කීවේ නව ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාපාරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන නිසා ඔහු‍ව අත්අඩංගුවට ගැනීමට යන බවයි.

කෙසේ වෙතත් ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගී ඇති බොහෝ චෝදනා අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ඉදිකිරීමක් සඳහා රජයේ මුදල් වැය කිරීමේ ප්‍රශ්නයක්ද තිබුණා. එය ගැන විමර්ශන නැවතී තිබුණේ ඒ සඳහා නිකුත් කළ නියෝගයේ අත්සන ගෝඨාභය රාජපක්ෂ මහතාගේමද යන්න තීරණය කිරීමේ ප්‍රමාදයක් නිසායි. දැන් එය තහවුරු කරගෙන තිබෙනවා. එම නිසා ආරංචි පැතිර යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිත බවටයි. 

 

ලෙහෙසියටත් පහසුවටත් අලුත් මෘදුකාංග

$
0
0
නොවැ 25, 2017 01:00

මීට දශක ගණනාවකට පෙර දිනෙන් දින ක්ෂේත්‍රයට එක් වන පරිගණක තාක්ෂණය එසැණින් මෙරටට පැමිණි අතර ඒවා සමඟ පැමිණි විදෙස් මෘදුකාංග මතම අපට අපේ කාර්යයන් කර ගැනීමට සිදු විය.

කෙමෙන් කෙමෙන් මෙරට වැඩිපිරිසක් පරිගණක තාක්ෂණය කෙරෙහි නැඹුරුවීම නිසා මෙරට තුළම මෘදුකාංග නිර්මාණ ශිල්පීන් විශාල වශයෙන් බිහි වන්නට විය. මේ වන විට පරිගණක ආශ්‍රිත විවිධ ක්ෂේත්‍රයන් හි කාර්යයන් කර ගැනීමට අවැසි බොහෝ මෘදුකාංග මෙරට තරුණ පිරිසක් අතරින් නිර්මාණය වී ඇත.

මෙම තරුණ නිර්මාණකරුවන් අතරින් පරිගණක වැඩසටහන් නිර්මාණකරුවකු සහ පද්ධති පරිපාලකවරයකු (IT Administrator) වන පසන් රජිත වීරසේකරට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔහු මේ වනවිට පරිගණක වැඩසටහන් 40 ගණනක් පමණ නිර්මාණය කර ඇති අතර ඒවා අතරින් බොහොමයක් එදිනෙදා අවශ්‍යතා ඉතා පහසුවෙන් ඉටු කර ගැනීමට හැකි ආකාරයේ ඒවාය. එදිනදා ජීවිතයට අවශ්‍ය තොරතුරු, අධ්‍යාපන අවශ්‍යතා, විනෝදය, දැනුම මිනුම, අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඇතුළු තවත් ක්ෂේත්‍ර රාශියක කටයුතු කරගත හැකි පරිගණක වැඩසටහන් 35 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ අතින් නිර්මාණය වී තිබේ.

පසන්ගේ පරිගණක වැඩසටහන්වල ඇති පරිශීලකයාට තවත් එක් සුවිශේෂී මෙම වැඩසටහන් කිසිවක් පරිගණකයේ පිහිටු වීමට අවශ්‍ය නොවීමයි. මෙම වැඩසටහන් සියල්ල අඩු බරින් යුත් වැඩසටහන් ලෙස තනි ගොනුවකින් ක්‍රියාත්මක වන ලෙස නිර්මාණය කර තිබේ. එපමණක් නොව මෙම වැඩසටහන් කිසිවක් ක්‍රියාත්මක කරවීම සඳහා බාහිර සහායක වන සිංහල අකුරු,යුනිකේත හෝ,ඩොට් නෙට් පරිගණකයේ පිහිටුවීමට අවශ්‍ය නොවේ. එසේම මෙම වැඩසටහන් සියල්ල ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති එක්ස්. පී. සිට නවතම වින්ඩෝස් 10 දක්වා ම සහාය දැක්වීම ද සුවිශේෂීය.

වර්තමානයේ පද්ධති පරිපාලකයකු ලෙස සේවය කරන පසන් පරිගණක විද්‍යාවේ බොහෝ ක්ෂේත්‍රයන් හි අධ්‍යාපනය ලැබූ හසල ප්‍රායෝගික දැනුමක් ඇති නිහඩ නිර්මාණකරුවකු වන අතර පරිගණකයට අහිතකර වෛරස් හෝ වෙනත් කිසිඳු අනතුරු රහිත මෙම පරිගණක වැඩසටහන් ඔහු සියල්ල ලබාදෙනුයේ නොමිෙල්ම වීම තවත් සුවිශේෂී ලක්ෂණයකි. ඔහු විසින් නිර්මානය කළ මෘදුකාංග වසර ගණනාවක සිටම තොරතුරු තාක්ෂණ වෙබ් අඩවි, බ්ලොග්, ෆෝරම් හා මුහුණු පොත හරහා සංසරණය වෙමින් පවතී. පහත දැක්වෙන්නේ පසන් රජිත විසින් නිර්මාණය කළ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරවන පරිගණක වැඩසටහන් කිහිපයකි. එසේම මෙම ලින්කුව (https://pasansoft.yolasite.com/)හා www.facebook.com/pasansoftSLAppsමඟින් පහත සදහන් මෘදුකාංග ඇතුළු පසන් විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග සියල්ලම නොමිලේම බාගත කර ගත හැකි. එසේම එහිදී නැගෙන ගැටලු වේ නම් ඒවා ඔහුගෙන් විමසා විසඳා ගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබේ.

Metric Convertor

මෙම වැඩසටහන සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට වුවමනා වූ විටක භාවිත කළ හැකිය. මෙයින් දිග, බර, වර්ගඵලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිත වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකකවලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.

මෙය ඉතා කුඩා වැඩසටහනකි. පරිගණකයේ පිහිටුවීමට වීමට හෝ සිංහල අක්ෂර පිහිටුවීමට අවශ්‍ය නැත. ඩබල් ක්ලික් කළ සැණින් විවෘත වේ.

Sinhala-English Portable Dictionary

මෙම කුඩා සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂ මෘදුකාංගය ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කිරීමෙන් භාවිත කළ හැකිය. 8 MB වන ඉතා කුඩා මෘදුකාංගයකි. Pen Drive හි තබා ගෙනම භාවිත කළ හැකි අතර භාවිත කිරීමට පෙර ඒ සමඟ ඇති සිංහල ෆොන්ට් එක ඔබේ පරිගණකයේ Control Panel හි Fonts folder එකට කොපි කර ගත යුතුය. නව වින්ඩෝස් සංස්කරණවල ක්‍රියාත්මක නොවූවොත් Compatibility mode එකෙන් ක්‍රියාත්මක කර ගත හැකිය.

Speaking Periodic Table

මෙම පරිගණක වැඩසටහන සාමාන්‍ය පෙළ, රසායන විද්‍යාව හදාරණ උසස් පෙළ සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් ඉලක්ක කර නිර්මාණය වූවකි. අවර්තිතා වගුවේ තොරතුරු මොහොතකින් ලබා ගත හැකි වැඩසටහනකි. මෙම වැඩසටහන කතා කරන නිසා (Speaking) අවර්තිතා වගුව මතක තබා ගැනීමට ආධාරකයක් ලෙසද යොදා ගත හැකිය. පරිගණකයේ පිහිටුවීමට අනවශ්‍යය. ඩබල් ක්ලික් කළ සැනින් විවෘත වේ.

Electronics Plate

ඉලෙක්ට්‍රොනික විද්‍යාව හදාරන සහ ඒ අංශයේ සේවය කරන්නන්ට හා උසස් පෙළ භෞතික විද්‍යාව (Physics)කරන අයට වැදගත් වැඩසටහනකි. පිහිටුවීමට අවශ්‍ය නැත. ක්ලික් කළ සැනින් ක්‍රියාත්මක වේ.

Maths Game

කුඩා කළ සිටම පරිගණකයට හුරුව සිටින සිසුන්ට ගණිතයට යොමු කරවීමට සමත් පරිශීලක හිතකාමී ගණිතමය වැඩසටහනකි. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම්වල දක්ෂයෙක් වීමට මං පෙත් විවර කරන මෙම වැඩසටහන පිහිටුවීමකින් තොරවම විවෘත කළ හැකිය. සිංහල මෘදුකාංගයකි.

Roman Numeral Converter

යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුණු ලිවීමට රෝම ඉලක්කම් භාවිත වේ. පාසල් ළමුන්ට ද ප්‍රාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් රෝම ඉලක්කම් පිළිබඳ දැනුම ලබා දේ. දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිත වේ. තරමක් සංකීර්ණ අංක ක්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔරලෝසුවල සහ පොත්වල දක්නට ලැබේ. රෝම ඉලක්කම් ක්‍රමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M). මෙම මෘදුකාංගය මඟින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි.

Telephone Codes Seeker

මේ කුඩා වැඩසටහන මඟින් ලෝකයේ රටවල්වල දුරකතන කේත අංක හා ලංකාවේ සියලුම ප්‍රදේශවලට අදාළ දුරකතන කේත අංකයන් සියලුම දුරකතන ජාලයන් සඳහා මොහොතකින් බලා ගත හැකිය.

Maths Box

පාසල් ලමුන්ට ප්‍රයෝජනවත් වන ඉතා කුඩා මෘදුකාංගයකි. මෙමඟින් ගෝල, සිලින්ඩර, කේතුවල වර්ගපල, පරිමා වැනි දෑ සොයා ගත හැකිය.

Reminder Alarm

කාර්යබහුල පරිගණක පරිශීලකයන් වඩාත් පහසුව දනවන වැඩසටහනකි මෙය. කාර්යබහුලත්වය නිසා එදිනෙදාට නියමිත කාර්යයන් අමතක වීම සුලභය. එම තත්ත්වය මඟ හරවා ගැනීමට මෙම ‘‘කාර්යයන් මතක් කර දීමේ‘‘ වැඩසටහන මඟින් ඔබට මතක් කර දිය යුතු පණිවුඩය ඇතුළත් කර එම පණිවුඩය මතක් කර දිය යුතු වේලාව ලබා දී මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කළ හැකිය. අදාළ වේලාව පැමිණි විගසම මෘදුකාංගය මඟින් පරිගණකයේ ස්පීකර්ස් මඟින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පණිවුඩය තිරයේ පෙන්වයි. එම පණිවුඩය OK කරන තුරුම එලාමය නාද වේ. ඉතා කුඩා මෘදුකාංගයකි.‍

Postal Codes Finder

වර්තමානයේ ලිපියක් යැවීමේ දී යවන ලිපිනයට යටින් අදාළ තැපැල් ස්ථානයේ සංකේත අංකය යෙදීම සිදු වේ. එමෙන්ම වෙබ් අඩවිවල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සංකේත අංකය අත්‍යවශ්‍ය වේ. මෙමඟින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ලබා ගත හැකිය. මේ වැඩසටහන ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක ද භාවිත වෙමින් පවතී.

Identity Card Checkers

පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළු කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රියත්වයක් අත් කරගෙන සිටින මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන භාවිත කරනු ලබයි.

Irregular Verbs Finder

ඉංග්‍රීසි භාෂාවේ Irregular Verbs බොහෝ දෙනාට අමතක වනෙ සහ නොදන්නා අවස්ථා තිබේ. එවැනි අවස්ථාවල Irregular Verbs හි Past Tense Verbs, Past Participle Verbs ඉක්මනින්ම දැන ගැනීමට මෙම වැඩසටහන මහෝපකාරී වේ. මේ වැඩසටහන එළිදක්වා ඉතාම කෙටි කාලයක් ඇතුළත බාගත කිරීම් 30,000 කට වඩා සිදුකර තිබේ.

පී.කේ. බණ්ඩාර

අද්භූත බාමා දෝංකාරය

$
0
0
නොවැ 25, 2017 01:00
මංජුලා විජයරත්න

හඳුනා නොගත් විශාල ශබ්දයක් ලෝකයේ ස්ථාන හැට හතරකින් නැඟුණ බව වාර්තා වේ. එකිනෙකට වෙනස් ප්‍රදේශ හැට හතරකට ශබ්දය ඇසී තිබෙන්නේ මේ වසරේ විවිධ අවස්ථාවලදී වීම තවත් විශේෂත්වයකි. අවසන් වරට එකී හඬ ඇසී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන්හි ජීවත් වන නිවැසියන් පිරිසකටය. පසුගිය 18 වැනිදා එය ශ්‍රවණය වූ බව පැවසේ. මෙම අද්භූත ශබ්දය ගැන පළමු වරට තොරතුරු වාර්තා වූයේ පසුගිය ජනවාරි තුන්වැනිදාය. එදින එම හඬ ශ්‍රවණය කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශාන දිග ප්‍රදේශවල ජීවත් වන පිරිසකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, මිසෝරි, ඔරේගන්, ලුසියානා, නිව් යෝර්ක් ආදී ප්‍රදේශ රැසක් තුළ ජීවත් වන පිරිස්වලටත් වසරේ විටින් විට මේ හඬ ඇසුණු බවත් සඳහන් වේ. ඒ හැරුණු විට එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, සිරියාව, පින්ලන්තය වැනි රටවල වැසියන් ද වසරේ විවිධ අවස්ථාවලදී මේ හඬ ශ්‍රවණය කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රදේශයට පසුගියද 14 වැනිදා එම හඬ ඇසීමත් සමඟම එය “බාමා දෝංකාරය”ලෙස නම් එය කෙරිණ. අද්භූත මේ හඬ සම්බන්ධයෙන් විද්‍යාඥයෝ මේ වනවිට පර්යේෂණ පවත්වමින් සිටිති.

ලෝකයේ විවිධ රටවලට මේ හඬ ශ්‍රවණය කරන්නට ලැබුණු ආකාරය අනුව විද්‍යාඥයෝ ඊට විවිධ අර්ථ කතන ඉදිරිපත් කරන්නෝය. පසුගිය 14 වැනිදා ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ වැසියන්ට අද්භූත හඬ ඇසීමත් සමඟම ඇමෙරිකා විද්‍යාඥයන්ගේ අවධානය ඒ දෙසට යොමු වන්නට පටන් ගෙන ඇත. ඇමෙරිකාවේ ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය අති ධ්වනික අහස් යානකින් හෙවත් සුපර් සොනික් යානාවකින් හෝ උල්කාෂ්මයකින් හෝ නැඟුණ ශබ්දයක් වන්නට ඇතැයි කියාය. “දෝංකාරයක් සහිත විශාල ශබ්දයක් අපට ඇසුණා. ඒ ශබ්දය නැඟීමට හේතුවන විශාල ගින්නක්, දුමක් ආදිය රේඩාර්වලට හෝ චන්ද්‍රිකාවලට හෝ හසු වුණු වගක් සඳහන් වෙන්නේ නැහැ. අඩුතරමින් එය භූ කම්පනයක් නිසා ඇති වුණු හඬක් කියන්නත් සාක්ෂි නැහැ”යන අදහස්වලට සිය උපකල්පනයන් ඉදිරිපත් කරමින් එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් ජාතික කාලගුණ සේවාවෙහි නිලධාරීන් ට්විටර් සටහනක් තබා තිබිණ. එහි සඳහන් වූයේ අති ධ්වනික යානාවක් නිසා හෝ මේ වසරේ ඇති වී තිබෙන ලියොනිඩ් උල්කා වර්ෂාවේ උල්කාෂ්මයක් නිසා හෝ මේ ශබ්දය නැඟෙන්නට ඇතැයි කියාය.

උල්කාෂ්ම පිළිබඳ පර්යේෂණ පවත්වන නාසා විද්‍යාඥ බිල් කුකේ දරන්නේද බර්මින්ග්හැම් ජාතික කාලගුණ සේවාවෙහි නිලධාරීන් දරන අදහසටම සමාන අදහසකි. ඔහු පවසන්නේ ද ඇලබාමාහි ඇති වුණු ශබ්දයට හේතුව අති ධ්වනික ගුවන් යානාවක් හෝ විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් යැයි කියාය. එකී විශාල උල්කාෂ්මය දැනට ඇති වී තිබෙන ලියොනිඩ් උල්කා වර්ෂාවට පරිබාහිරව පෘථිවි වායුගෝලය තුළ පුපුරා ගිය එකක් විය හැකි බව විද්‍යාඥ බිල් සඳහන් කරයි. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූ ගර්භ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශබ්දය ඇති වන්නට හේතුව භූ චලනයක් නොවන බවය.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයට ඇසුණු හඬ ගැන ඒ විධියේ අර්ථකතනයක් ඉදිරිපත් කළත් ලෝකයේ සෙසු ස්ථානවලට වසරේ විවිධ කාලවලදී ඇසුණු ශබ්දවලට හේතුවත් එයම විය හැකි යැයි සාධාරණීකරණය කළ හැකිද? වසරේ විවිධ අවස්ථාවන්හිදී පෘථිවි වැසියන් අද්භූත හඬක් ලෙස අත් විඳි තිබෙන්නේ උල්කාෂ්මවල බලපෑමද? එසේත් නැත්නම්, හඬ ඇසුණ සෑම ප්‍රදේශයකින්ම ඒ කියන අවස්ථාවන්හිදී සුපර් සොනික් යානාවන් ගමන් කර තිබුණේ ද? යන ගැටලු පැන නැඟේ. මේ ගැටලුවලට තවමත් නිශ්චිත පිළිතුරු නැත.

පින්ලන්තයේ ලැප්ලෑන්ඩ් ප්‍රදේශය පුරා මේ හඬ පැතිර ගියේ පසුගිය 17 වැනිදාය. හඬ පැතිර යනවාත් සමඟම අහසෙහි ගිනි බෝලයක් ඇති වි තිබෙනු තමන් දුටු බව එහි වැසියෝ සඳහන් කරති. මේ තත්ත්වයම රුසියාවේ කොලා අර්ධද්විපයටත්, නෝර්වේහි උතුරු දිග ප්‍රදේශවලටත් එදින දිස් වී ඇත. සිද්ධිය සියැසින් දුටු ඒ රටවල වැසියන් පවසන්නේ ශබ්දය ඇසුණේ රාත්‍රීයෙහිදී බවත් එම අවස්ථාවේදී අහස දහවලක් මෙන් ආලෝකවත්ව පැවැති බවත්ය.

මෙවැනි ශබ්ද නැඟෙන්නට විවිධ හේතු ඇති බව විද්‍යාඥයෝ පවසති. ඒ අතර එක් හේතුවක් වන්නේ ශබ්දයේ වේගයට වඩා අධික වේගයකින් ගමන් කරන ගුවන් යානා යැයි ඔවුහු පෙන්වා දෙති. එනම්, සුපර් සොනික් අහස් යානාය. යුද අභ්‍යාස නිසාත් මෙවැනි ශබ්ද ඇති විය හැකිය. කිසියම් පිපිරවීමක් සිදු කරන විටත් එබඳු හඬ ඇති වන්නට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ පවසති. අකුණු කුණාටු නැමැති කාලගුණ තත්ත්වය ඇති වූ විටත් මෙවැනි ශබ්ද ඇති වේ. විශාල උල්කාපාත පෘථිවියට ඉහළින් ගමන් කිරීමේදීත් විශාල ශබ්ද ඇතිවන්නට ඉඩ ඇති බව සනාථව ඇත. පිට සක්වල ජීවීන් මෙවැනි ශබ්ද ඇති කරන බව සමහරු පවසති. කෙසේ වුවත් පිටසක්වල ජීවීන් එවැනි ශබ්ද ඇති කරන බව සනාථ කරන්නට කිසිදු සාක්ෂියක් නැත.

මේ වසර පුරාම පෘථිවියේ විවිධ ස්ථානවලට අසුන ශබ්දය මේ හේතුවලින් එකක් වීමට පුළුවන. සමහර විට එයට ඉඳුරාම වෙනස් හේතුවක් වන්නට ද පුළුවන. වසරකට ආසන්න කාලයක් ඉක්ම ගියද ඇසුණු ඒ අද්භූත ශබ්ද ගැන තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුව නැත. විද්‍යාව දියුණු මේ සමයේදී ඇසුණු මෙවැනි ශබ්දයකට හේතුව නිශ්චය කර ගන්නට මිනිසාට තවමත් නොහැකි වීමද එක අතකට පුදුමයකි.

mail online ඇසුරෙනි

මුහුණම තිරය ඇන්ඩ්‍රොයිඩ් දුරකතන

$
0
0
නොවැ 25, 2017 01:00
තඹරු විජේසේකර

2017 වර්ෂය ස්මාර්ට් දුරකතනවල පෙරළිකාර වර්ෂය බවට පත් වුණේ ලොව නම් දැරූ ස්මාර්ට් දුරකතන නිෂ්පාදන සමාගම් විසින් දුරකතන තිරය වටා වූ දාරය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළෙඳපොළට හඳුන්වා දීම සමඟිනි. ඇපල් අයිෆෝන් X සහ සැම්සන්ග් ගැලැක්සි S8 දුරකතන ගැන නිතර දකින්නට ලැබුණත් ඇන්ඩ්‍රොයිඩ් සඳහා මේ ආකාරයට නිපදවන ලද අප්‍රසිද්ධ දුරකතන කිහිපයක් ගැනයි අද අපේ කතාව ගොඩනැගෙන්නේ.

Maze නම් චීන සමාගම ඉතාම අඩු මිලකට දුරකතන මුහුණතේ ඉදිරිපස ඉතා විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිද්දෙන් Maze Alpha ස්මාර්ට් දුරකතනය නිපදවා තිබෙනවා. රුපියල් විසිපන්දහසත්, තිස් දහසත් අතර මිලකට වෙළෙඳපොළට හඳුන්වා දී ඇති මෙහි මීඩියාටෙක් හීලියෝ P25 සැරයක් සහ ගිගා බයිට් 4ක රැම් ධාරිතාවක් තිබෙනවා. එහි නවතම ඇන්ඩ්‍රොයිඩ් වෙලුම වන Nougat පෙර නිමියෙන් ස්ථාපනය කර ඇති අතර මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත වෙනවා. 4000mAh බැටරිය සහ දිශාව 64 ක භ්‍යන්තර ධාරිතාව මෙන්ම මෙමරිකාඩ් පත් ඇතුළත් කිරීමේ හැකියාව මෙහි අගය වඩාත් ඉහළ දමනු ලබනවා. ඒ අනුව මිල සමඟ සසඳන කල මෙය ඕනෑම කෙනෙකුට දැරිය හැකි සහ වැඩක් ගත හැකි දුරකතනයක්.

ජපානයේ ශාප් විසින් ඇපල් අයිෆෝන් දුරකතනය මෙන්ම දුරකතන තිරයේ ඉහළ කට්ටයක් කපන ලද සැලසුමක් සහිත දුරකතනයෙන් පුරාම තිරය දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය වන ශාප් ඇක්වස් S2 හඳුන්වා දුන්නා. මෙම දුරකතනයේ අඟල් 5.5ක ෆුල් HD IPS LCD තිරයක්, ක්වල්කොම් ස්නැප්ඩ්‍රැගන් 630 සකසුවක්, 4GB රැම් ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් සහිතව ඇන්ඩ්‍රොයිඩ් 7.1.1 ධාවනය කරනවා. මෙගා පික්සල් 12ක සහ මෙගාපික්සල් 8ක පසුපස ද්විත්ව කැමරාවක් ඇති මෙහි ඉදිරිපසද මෙගාපික්සල් 8ක කැමරාව අඩංගු කර තිබෙනවා. ගිගාබයිට් 64ක අභ්‍යන්තර ධාරිතාවයක් සහිතව මතක පත් ඇතුළත් කිරීමේ හැකියාවෙන් යුතු මෙය රුපියල් 56,000 සිට 60,000 දක්වා පමණ මුදලකට වෙළෙඳපලට හඳුන්වාදී තිබෙනවා.

ටයිටේනියම් සහ සෙරමික් මතුපිටකින් යුතු එසෙන්ශල් PH-1 දුරකතනය නිෂ්පාදනය කිරීමේ මුලික පියවර ගෙන ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයකු වන ඇන්ඩි රූබින් විසිනුයි. අඟල් 5.7 QHD තිරයක් සහිත මෙය ක්වල්කොම් ස්නැප්ඩ්‍රැගන් 835 ප්‍රොසෙසරයක්, 4GB රැම් ධාරිතාවක්, සහ 3,040mAh බැටරියකින් සමන්විතයි. PH-1 දුරකතනය 128GBක අභ්‍යන්තර ධාරිතාවක් ගෙන එන අතර මෙගාපික්සල් 13ක පසුපස ද්විත්ව කැමරාවන් ගෙන් ද සවිබල ගැන්වී තිබෙනවා.

චීනයේ ක්සියෝමි සමාගමේ දෙවැනි මුහුණත පුරාම තිරය සහිත දුරකතනය වන Mi MiX 2 යනු හැකියාවන් අතින් ඉහළින් සිටින දුරකතනයක්. ස්නැප්ඩ්‍රැගන් 835 ප්‍රොසෙසරයක්, 6GB රැම් ධාරිතාවක්, සහිතව 3,400mAh බැටරියකින් ඇන්ඩ්‍රොයිඩ් 7.1 ධාවනය කරනවා. 4GB, 128GB, සහ 256GB ලෙස අභ්‍යන්තර ධාරිතා මාදිලි කිහිපයක් හඳුන්වා දී ඇති මෙම දුරකතනයේ පසුපස මෙගාපික්සල 12 කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් අඩංගු කර තිබෙනවා. එහි මිල දළ වශයෙන් රුපියල් 85,000 පමණ වෙනවා.

සැම්සුන් සමාගම මෙන්ම එල්ජී සමාගම ද ඔවුන්ගේ සෑම දුරකතනයකටම පාහේ දැන් දාරය රහිත සැලසුම්කරණය අන්තර්ගත කරන බව පෙනී යනවා. LG සමාගමේ ඉදිරි පෙළ G6 දුරකතනයට පමණක් නොව, LG Q6, LG Q6 ප්ලස්, සහ LG Q6a යන අඩු මිල දුරකතනවලට පවා මෙම සැලසුම ලබා දී තිබෙනවා. මේ නිසා ඉතා විශාල මුදලක් වියදම් කළ නොහැකි වුවත් මේ ආකාරයේ සැලසුමකට කැමති කෙනෙකුට පවා එවැනි දුරකතනයක් තමන් සතු කර ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අඟල් 5.5 IPS HD තිරය, ස්නැප්ඩ්‍රැගන් 435 ප්‍රොසෙසරය, 3GB රැම් ධාරිතාව, 3,000mAh බැටරිය සහිත මෙහි ඇන්ඩ්‍රොයිඩ් 7.1.1 මෙහෙයුම් පද්ධතිය අඩංගු කර තිබෙනවා. මතක පත් දැමිය හැකි 32GB අභ්‍යන්තර ධාරිතාවක් ඇති මෙහි මෙගාපික්සල් 13ක පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 5ක ඉදිරිපස කැමරාවක් ද අන්තර්ගත කර තිබෙනවා.


වෙස්-කිලි සහ වස්

$
0
0
නොවැ 25, 2017 01:00

වෙස් තට්ටුවක් හිස පැළඳගත් කාන්තා රුවක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මක කතිකාවක් ඇති කළේය. සංස්කෘතික අනන්‍යතාවක් සහිත නර්තන කලාවක් ඇති නිසා මේ වෙනස බොහෝ දෙනෙකුට විපරීත සිදුවීමකි. තවත් අයෙකුට එය කාන්තාවන්ට සහ පිරිමින්ට සම තැන ලබා දීම යන නූතන සංකල්පය ශක්තිමත් කරවන්නකි. මෙහි වැරදි නිවැරදිතා ගණනින් කෙසේ වෙතත් මේ හරහා ඉස්මතු වූ ඔද්දල් චරිත නම් අප්‍රමාණ ය.

'අපිට තිබ්බෙත් මෙච්චර ය. එය ඉවරෙට ම ඉවරය'යනාදී වශයෙන් දුක් අඳෝනා දෙන බොහෝ දෙනා බෙර පදයක්වත් අසා නැති අය වෙති. ජනප්‍රිය අන්තර්ජාල සංස්කෘතියට එකතු වීමේ අරමුණෙන් යම් සිදුවීමකට කොන්දේසි විරහිතව ම එරෙහි වීම සමාජ රැල්ලයි. මොවුන්ගේ ප්‍රධාන තර්කය ගැහැනිය වෙස් බැඳීමෙන් කිලි සහ වස් වදින බවයි. බෞද්ධ සංස්කෘතියක් කර පින්නාගෙන මේ සිදුවීමට කිලි සහ වස් එකතු කර ගැනීමෙන් ම මේ සංස්කෘතික හේවායින්ගේ බුද්ධි මහිමය ප්‍රකට වේ. කිලි සහ වස්වලට ඉඩක් බෞද්ධ සංස්කෘතිය තුළ නොමැත.

ස්ත්‍රීවාදිනියෝ සහ ඔවුන්ට එරෙහිවන්නෝ යන දෙපිරිසම මෙම සිදුවීමෙන් උපරිම වින්දනයක් ලබති. වෙස් තට්ටුව බැන්ද පමණින් පිරිමින් හා සම තැනක් ලැබූ බවට ඔජ වැඩීම ස්ත්‍රීත්වයටත් කරන අගෞරවයකි. උඩරට නර්තන සම්ප්‍රදාය තුළ විශේෂයෙන් කාන්තාවන් කොන් කිරීමකට ලක් කර නොමැත. ඔවුන්ට ම අනන්‍යය වූ වෙස් බැඳීමක් වන පාහිම්පත් පැළඳීම පිරිමින්ට වෙස් තට්ටුව පළඳවන සේම සිදු කරයි.

දෙපිරිසට ම සම තැන ලබා දීම නොපිළිගන්නා උදවියට කීමට බොහෝ කතන්දර ඇත. සොබාදහමෙන් කිසිවිට කාන්තාව සහ පිරිමියා මානසිකව සහ ශාරීරිකව සමතැනේ ලා නොමැත. ඒ නිසා ගැහැනිය සීමා නොපැන මේ අලුතින් පැළඳූ වෙස් තට්ටුව ගලවා තබා ගැහැනියගේ මොළය හැඳි මිටේ නිසා සුපුරුදු අං තට්ටුව හිස ලා ගැනීම මැනවි. නැටිල්ලත් පසෙක ලා කුස්සියේ බිත්ති හතරට සිර වී සිටීම වඩාත් මැනවි.

කෙළවරක් නොමැතිව රට පුරා සිදු කෙරෙන නර්තන තරඟ ද මේ සංස්කෘතික නව්‍යකරණයට හේතුවකි. නව්‍යකරණයකට වඩා විපර්‍යාසයකින් කෙළවර වන මේ තරඟ ආරම්භ කරන්නේ පාසල් අවධියේ සිට ය. සම්ප්‍රදාය බිඳුවක් නොකෙළෙසා කරන තරඟවලට ජයග්‍රහණ නැත. කුඩා කාලයේ පටන් සම්ප්‍රදායයන් බිඳ දමමින් කටයුතු කරන ප්‍රජාවක අවසන් ප්‍රතිඵලය මෙවැන්නක් වීම එක් අතකින් අරුමයක් නොවේ.

සමහර විශ්වවිද්‍යාලවල නවක වද සමයේදී ගැහැනු ළමයින්ට ඇඳීමට නිශ්චිත ඇඳුමක් ඇත. ඒ ඇඳුමට පිටින් නූල් පොටක් හෝ ඇඟ රැදුණොත් කර්ණ රසායන වාග් මාලාවක පහස ලැබීමට පුළුවන. උපහාසයට කරුණ නම් මේ වෙස් තට්ටු කතාන්දරය සම්බන්ධයෙන් ඉහත ශිෂ්‍යයන්ගේ මතයයි. රැඩිකල් බව අතේ තබාගෙන ඉපදුණු නිසාත් බොහෝ වෙලාවට සංස්කෘතිය සහ ආගමික සංකල්ප බැහැර කරන නිසාත් ගැහැනිය හිස මත රැඳි වෙස් තට්ටුව ඔවුනට හොඳ ය. නමුත් විශ්වවිද්‍යාල භූමිය තුළ කාන්තාවට වෙස් තට්ටු තියා හරිහමන් රෙදි කෑල්ලක් ඇඟ ලා ගැනීමට නොහැකි ය.

සියල්ලට ම හිමි පොදු ධර්මතාව වන වෙනස් වීම සම්ප්‍රදායටත් පොදු ය. නමුත් එය එසේ වූ පමණින් එය බලෙන් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ද නොමැත.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

අගාධයට ඉහළින්

$
0
0
නොවැ 25, 2017 01:00

සෝවියට් ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ්

කොපමණ වෙලාවක් සිහි නැතිව සිටියේදැයි මම නොදනිමි. මට දැනුණ පළමු හැගීම වුයේ මා නැවුම් වාතය ආශ්වාස කරන බවයි. ඇස් විවෘත කළ මට මා වැටි සිටි ස්ථානයේ බිමට නුදුරුව විදුලි බුබුලක් දැල්වෙනු දැකීමෙන් මවිතයට පත් වීමි.

'පුදුම වෙන්න එපා'මට මහාචාර්ය වැග්නර්ගේ කටහඬ ඇසිණ. මේ බිම ඉක්මනින්ම සිවිලිම බවට හැරේවි. ඔබට මොනවද හිතෙන්නෙ?'

'ටිකක් හොඳයි. ස්තුතියි'

'හොඳයි. එහෙනම් නැගිටින්න'ඔහු කතා කරමින්ම මගේ අතකින් අල්ලා ගත්තේය. මම ඉහළට එසවුන අතර හෙමිහිට පහතට ආවෙමි.

'එන්න. මම ඔබට මගේ පොළොව යට ඇති රසායනාගාරය පෙන්වන්නම්'

එහි කාමර තුනක් තිබු අතර ඉන් දෙකකටම කෘත්‍රිම ලෙස ආලෝකය ලබා දී තිබේ. තුන්වැන්න වඩා විශාල කාමරය වූ අතර එහි සිවිලිම හෝ බිම වීදුරුවලින් නිමකර ඇත. එහෙත් එය මට හරියටම කිව නොහැකිය. මන්දයත් අප මෙම අත්දැකීම් ලබන අවස්ථාව වන විට අප බරින් අඩු තත්ත්වයක පසු වූ බැවිනි.

කාමර වටා ඇවිදිම අධික වෙහෙස ගෙන දෙන කටයුත්තක් විය. අපි කැරකැවෙමින් ගෘහ භාණ්ඩ අල්ලමින් සහ තල්ලු කරමින්, මේසවල හැප්පෙමින් සමහර අවස්ථාවල උඩ විසිවෙමින් එකිනෙකාගේ අත්වලින් අල්ලාගෙන ගමන් කළෙමු. අගල් කීපයක් ගමන් කරන විටම අප එකිනෙකාගෙන් දුරස් වූ අතර ඔවුන්ව අල්ලා ගැනීමට අපට කිසිදු බලයක් නොවීය. බොහෝ අවස්ථාවල අපේ සමබරතාව බිඳි ගියේය. අප තල්ලු කරන උපකරණ අප සමඟම ගමන් කළේය. කාමරය මැද පුටුවක් පා වුණ අතර ජලය පිරුණු වීදුරු පසෙක විය. ඒවායේ තිබු ජලය විදුරුව වටා රවුමක් මෙන් රැඳී තිබිණ.

අනතුරුව මට සිව්වෙනි කාමරයේ දොර දක්නට හැකි විය. ඉන් වේගයෙන් කැරකැවෙන ශබ්දයක් නිකුත් විය. එහෙත් වැග්නර් මට ඊට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය. සමහර විට පෘථිවියේ කැරකැවීම පාලනය කරන යන්ත්‍ර එහි තබා තිබිය හැකි බැවිනි.

කෙසේ වෙතත් ඉක්මනින්ම අපේ පාවීම අවසන් වී අපි වීදුරු සිවිලිම වෙතට පහළ බැසීමු. ඉන්පසු අපේ බිම වන්නේ එම සිවිලිමයි. අපට එහෙ-මෙහෙ යාම අවශ්‍ය නොවූයේ අනෙක් සියල්ල දැනටමත් තිබු තැන්වල තිබු බැවිනි. කාමරයට ආලෝකය ලබා දෙමින් විදුලි බල්බය අපේ හිසට ඉහළින් විය. මුළු කෙටි රාත්‍රියම ඒ ආකාරයෙන් ගෙවී ගියේය.

වැග්නර් සියල්ල බලා සිටියේය. අපට සෑහෙන ප්‍රමාණයට ඔක්සිජන් බෝතල් සහ ටින් කළ අහාර සහ ජලය ලැබිණ. ගෘහ සේවිකාව කඩ සාප්පු නොයන්නේ ඒ නිසා වන්නට ඇතැයි මම සිතුවෙමි. දැන් අපි සිවිලිමේ එහා-මෙහා ගියෙමු. එහි ගමන් කිරීම ඉතා පහසුය. ඇත්තම කිවහොත් අපේ දෙපා ඉහළින් පා විය. මිනිස්සු ඕනෑම දෙයකට හුරුවෙති. මම මෙම ක්‍රමය සැහැල්ලුවෙන් බාර ගතිමි. මම මගේ දෙපා දෙස බැලූ විට විනිවිද පෙනෙන ගන වීදුරු අතරින් අහස පෙනිණ. අහසේ ප්‍රතිබිම්බය පෙනෙන කැඩපතක් මත සිටගෙන සිටින ලෙසක් මට දැනිණ.

සමහර අවස්ථාවල එයින් අස්වාභාවික හෝ භයානක බවක් දිස් විය.

තමන්ට අමතක වූ වෙඬරු ගැනීමට නිවසට යා යුතු බව ගෘහ සේවිකාව පැවසුවාය.

'එහෙත් ඔබට බැහැ'මම කිවෙමි. 'මම කිව්වෙ ඔබව වැටේවි. දැන් ඔක්කොම කනපිට පෙරළිලා. අවුල් ජාලයක් වෙලා'

'මම පොළොවේ තියෙන රාක්කය අල්ලගෙන ඉන්නම්. ඒක කරන්නෙ කොහොමද කියල මහාචාර්යවරයා මට උගන්වල තියෙනවා'මම අත්වලින් ඇවිදීමට ඉගෙන ගතිමි. එක් කාමරයක සිවිලිමේ රාක්ක දක්නට තිබේ.

මහාචාර්ය වැග්නර් ඇත්තටම සියල්ල දෙස බලාගෙන සිටියි.

'මම කාන්තාවකගෙන් මෙවැනි නිර්භීතකමක් බලාපොරෙත්තු වුෙණ් නැහැ. ඉහළින් ඇති අප්‍රමාණ ඉඩ ප්‍රමාණයේ ජීවිතය පරදුවට තබා අත්වලින් ඇවිදීමි. ඉතින් අපට වෙඬරු ලබා ගත හැකි වේවි'

'ඒත් මේ සියල්ල හරි අවදානම්'මම කීවෙමි.

'ඔබ හිතනවාට වඩා බොහොම අඩුයි'වැග්නර් විරුද්ධත්වය දැක්විය. 'අපේ බර තවමත් නොවැදගත්. එය බිංදුවෙ සිට වැඩිවෙන්න පටන් ගන්නවා. ඔබ දන්නවද? අපට නැගිට සිටින්න අවශ්‍ය වන්නෙ සුළු මාංශපේශී ශක්තියක් විතරයි. අනෙක මමත් ඇයත් එක්ක යනවා. මම මගෙ සටහන් පොත එතන දාල ඇවිත්'

'ඒත් පිටත් වාතය නැහැනෙ?'

'අපි පළඳින හිස් වැසුම්වල වාතය තියෙනවා'

ගැඹුරු මුහුදේ කිමිදීමට යන අය මෙන් සැරසුන ඔව්හු ගමන් ආරම්භ කළහ. ඔවුන් පසුපස වූ ද්විත්ව දොර වැසී ගියේය. අනතුරුව මට ඇසුනේ පිටත දොර වැසෙන ශබ්දයයි.

බිම වාඩි වූ මම ගනකම් වීදුරුවේ මුහුණ ඔබා ගතිමි. මම ඔවුන් ඉදිරියට යන අයුරු මවිතයෙන් බලා සිටියෙමි. පිටත ගෝලාකාර හිස් වැසුම් පැළඳගත් දෙදෙනෙක් අත්වලින් ඇවිදිමින් රාක්ක අල්ලමින් නිවස වෙත යන අයුරු පෙනිණ. ඔවුන්ගේ දෙපා අහසේ පාවේ. අද්භූත දර්ශනය ගැන සිතා ගැනීමත් අපහසුය.

එය ඉතා පහසු බව මම සිතුවෙමි. එහෙත් ඇය පුදුමාකාර ගැහැනියකි. එහෙත් ඇයට හිස කැරකැවිල්ල හැදුණොත්....... මේ අතර වැග්නර් සහ ගෘහ සේවිකාව ඒ ආකාරයෙන්ම ගොස් පියගැට නැග නිවස තුළට වැදී නොපෙනී ගියහ.

නැවතත් ඔවුන් පිටතට එමින් සිටියහ.

යමක් සිදු වන විට ඔවුන් අඩක් දුර ගමන් කර තිබිණ. එම සිදුවීමෙන් මගේ කොඳු නාරටිය දිගේ ශීතලක් ගලා ගියේය. ගෘහ සේවිකාව අතින් වෙඬරු භාජනය ගිලිහී ගිය අතර ඇය එය අල්ලා ගැනීමට උත්සාහ දැරුවාය. ඒ නිසා ඇය අල්ලාගෙන සිටි රාක්කයෙන් ඇගේ අත ගිලිහී ගොස් ඇය අගාධය තුළට වැටිම ආරම්භ විය.

වැග්නර් ඇයව බේරා ගැනීමට උත්සාහයක් දැරුවේය. ඔහු වහාම ඉණ බැඳි ලණුවෙන් කොනක් රාක්කයේ ගැටගසා ගෘහ සේවිකාව පසුපස යන්නට විය. අවාසනාවත්න ගැහැනිය වැටෙමින් සිටියේ හෙමිහිට බැවින් වැග්නර්ට ඇගේ වැටීම වළක්වා ඇයව අල්ලා ගැනීමට හැකි විය. ඔහු අත දිග හැර ඇයව අල්ලා ගත්තත් කේන්ද්‍රපසාරි බලය නිසා ඇය ඉවතට විසි විය. නැවතත් ඇය වෙත ළඟා වීම අසීරු විය. ඔවුන් අතර වු පරතරය වර්ධනය විය. වැග්නර් ලණුවේ එල්ලී හෙමිහිට උඩට නගිමින් පොලව වෙත එන්නට විය.

අවාසනාවන්ත ගැහැනිය අත් වනමින් ආධාර ඉල්ලන අයුරු පෙනිණ. අනතුරුව රාත්‍රිය එළඹි මරණයේ දර්ශනය තිරයෙන් වැසී ගියේය.

ඇයට හැඟෙන්නට ඇති දේ සිතමින් මම වෙව්ලා ගියෙමි. ඇයට කුමක් වේවිද? ඇගේ මළ සිරුර එය පසුකර යන තවත් ග්‍රහ ලෝකයකට හසුවන තුරු අභ්‍යාවකාශයේ ඇති ශීතල නිසා නරක් නොවී පවතිනු ඇත.

මා මගේ සිතිවිලිවල කොතරම් කිමිදි සිටියේද යත් වැග්නර් මා අසළටම පැමිණ සිටින බව දැන නොසිටියෙමි.

'අලංකාර මරණයක් 'ඔහු සන්සුන්ව පැවුසවේය.

කතාකර ගත නොහැකිව මම දත්මිටි කෑවෙමි. මේ මිනිසා කෙරෙහි වූ කෝපය මා තුළ නැවතත් වර්ධනය විය.

මා යට විහිද ඇති අගාධය ගැන මම භිතියෙන් කල්පනා කරමින් සිටියෙමි. ප්‍රථම වරට මට අවබෝධ වූයේ මා ඉහළින් ඇති නිල් අහස කෙළවරක් නැති අගාධයක් බවයි. අපි එම අහසේ එල්ලී සිටිමු. පෘථිවියත් හිස් අවකාශයේ එල්ලී තිබේ. පෘථිවිය අපගේ ශරීර පමණක් නොව මනසද අල්ලාගෙන සිටී. දැන් එම බැඳිම් ගිලිහෙමින් පවතියි. අහසේ ඇති කෙළවරක් නැති ආගාධයේ අපි එල්ලී සිටියෙමු.

මා සිතමින් සිටින අතරතුර අතිවිශේෂ සිදුවීම් මා ඉදිරියේ සිදු වන්නට විය. පොළොවෙන් ගැලවුණ ගල් ඉහළට විසි වන්නට විය. සියලු කඳු ගැට කැඩී බිඳී යන්නට විය. දිවා හා රාත්‍රි ඉක්මනින්ම වෙනස් වන්නට විය. හිරු අවකාශයේ සැගවී ගිය අතර රාත්‍රිය එළඹිණ. අනතුරුව තාරකා වේගයෙන් ගමන් කරන්නට විය. ඉන් අනතුරුව යළිත් හිරු සහ තාරකා, හිරු එළිය වැටී තිබියද ක්‍ෂතිජය අනාවරණය වනු පෙනිණ. වියලී ගිය මුහුද සහ ප්‍රදේශ විනාශ වි යන අයුරු මම දුටුවෙමි. ලෝකයේ අවසානය අත ළඟ බව මම දැන ගතිමි.

එහෙත් පෘථිවිය මත තවමත් මිනිස්සු සිටිති. අපේ ගුවන් විදුලියේ හඬ ඇසිණ. පෘථිවිය සෑම අංශයකින්ම මුඩු බිමක් බවට පත්ව තිබේ. සෑම තැනකම විනාශය දක්නට ඇත. එයින් ගැලවී ඇති එකම ස්ථානය රැන්ගල් දිවයිනේ පිහිටි ගුවන් විදුලි මධ්‍යස්ථානයයි. එයින් සංඥා නිකුත් වන අතර පිළිතුරු අපේක්‍ෂා කරයි. එහෙත් කිසිදු පිළිතුරක් නොලැබේ. ගුවන් විදුලි තරංග හිස් අවකාශය හරහා ගමන් කරයි. පොළොව නිහඬය. අහස නිහඬය. දිවා සහ රාත්‍රී කෙතරම් ඉක්මනින් වෙනස් වූයේද යත් සියල්ල නොපැහැදිලි විය. හිරු, අඳුරු පසුබිමක ගිනි දැල්ලක් මෙන් වේගයෙන් ගමන් කරයි. පෘථිවිය ආවරණය කර තිබු අහස් නිල් වියන අතුරුදන්ය. චන්ද්‍රයා කුඩා වෙමින් පෘථිවියෙන් ඈතට ගමන් කරන අතර වැඩි වෙලාවක් යන්නට පෙර එය දැක ගැනීමට නොහැකි විය.

බිම ඇති වීදුරු තට්ටුව වෙව්ලමින් ඉදිරියට නෙරා එන බව මට හැගිණ. ඉක්මනින්ම එය නැති වී ගොස් මාව අගාධයට වැටීමට ඉඩ තිබේ.

'මා අසල හීන් හඬින් කතා කරමින් සිටින්නේ කවුද? ආහ්.......මහාචාර්ය වැග්නර්'

මම අමාරුවෙන් නැ‍ඟී සිටියෙමි. වේගයෙන් කැරකැවෙන පෘථිවිය නිසා මගේ ශරීරය කෙළින් තබා ගත නොහැකිය. මම අමාරුවෙන් හුස්ම ගතිමි.

'ඔව්'මම කෙළ ගැසුවෙමි. 'ඇයි ඔබ මෙහෙම දෙයක් කළේ? ඔබ මිනිස් වර්ගයා විනාශ කළා. පෘථිවිය මත ඇති ජීවය විනාශ කළා. ඔබට ඒකට පිළිතුරු දෙන්න සිදුවේවි. ඔබ වහාම පෘථිවියේ කැරකැවීමේ වේගය අඩු කළ යුතුයි. එහෙම නැත්නම්.......'

එහෙත් මහාචාර්යවරයා හිස සැලුවා පමණකි.

'කතා කරන්න'මම අත් ඉහළට ඔසවා කෑගැසුවෙමි.

'මට කළ හැකි දෙයක් නැහැ. මගේ ගණන් බැලීම්වල වරදක් වුණා විය හැකියි.'

'එහෙමනම් ඔබ එම වරදට දඬුවම් ලැබිය යුතුයි'මම කෑගසමින් කෝපයෙන් පිපිරෙමින් වැග්නර් වෙතට පැන ඔහුගේ ගෙලින් අල්ලා ගතිමි. ඒ මොහොත්ම බිම වීදුරු තට්ටුව පුපුරා ගිය අතර මා වැග්නර් බෙල්ලෙන් අල්ලාගෙන සිටියදීම අගාධයට වැටෙමින් සිටියෙමි.

මතු සම්බන්ධයි.

අනුවාදය
බොබී ජී. බොතේජු

මිසිස් ගෝලාකාරගේ ඩිජිටල් උනන්දුව

$
0
0
නොවැ 25, 2017 01:00

මිසිස් ගෝලාකාර ඔපීසියේ ඉන්නා රාජකාරි අධිකම චරිතයකි. එකදාස් නමසිය බර ගණන්වල ඉපදුණු මිසිස් ගෝලාකාර මුලින්ම රස්සාවට එනකොට 'අපට තිබුණේ අනේ ටයිප් රයිටර්'කියා කියන්නේ අලුතින් ආ අයි.ටී. ඔපිසරයා හිටවා ගිය කිරි කිරි කම්පියුටරය පත්තු කරගන්න දඟලන ගමන්ය.

තමන්ට අලුතින් කොම්පියුටරයක් ලැබෙන්නට යන වග දැනගත් දා සිට මිසිස් ගෝලාකාරට ප්‍රශ්න බොහෝ විය. ප්‍රශ්නයෙන් වැඩි හරියක් විසඳා ගැනීමට මිසිස් ගෝලාකාර අලුත් අයි.ටී.ඔපිසරයාගේ පරිගණක පංතියට ලියාපදිංචි වූවාය.

සතියක් විතර අයි.ටී. ඔපිසරයාට වද දී කම්පියුටරය පත්තු කරන්නටද නිමන්නටද ඉගෙන ගත් මිසිස් ගෝලාකාර, පුතා ගෙදර නැති වෙලාවක සිය දක්ෂතා මැන බැලීම සඳහා පුතාගේ කාමරයට රිංගා පරිස්සමට වයර් අතරින් අඩි තබා ගොස් අයි.ටී. ඔපිසරයා කියාදුන් පිළිවෙලට ප්‍රධාන ස්විචය දමා ඊට පස්සේ ටී.වී. එක වාගේ ඇති කොටසට එහා පැත්තෙන් තිබූ කෙට්ටු උස පෙට්ටියේ ඉදිරිපස ඇති බොත්තම එබුවාය. මිසිස් ගෝලාකාරට දැන් ඉතා සතුටුය. අයි.ටී.ඔපිසරයා කිව්වා වාගෙම පෙට්ටියේ දැන් නිල් පාට පොඩි බලුප් එක පත්තු වෙයි. දැන් ඉතින් තව ටිකකින් ටී.වී. එක වාගේ කෑල්ල පත්තු වෙනු ඇත. විනාඩි දෙක තුනක් යනකම් බලාසිටි මිසිස් ගෝලාකාර කලබලයෙන් ආයෙමත් දෙතුන් වතාවක් බොත්තම ඔබා බැලුවාය. ඒත් කොම්පියුටරය පත්තු වෙන පාටක් නැති නිසා මිසිස් ගෝලාකර හෙමීට කාමරයෙන් ලිස්සා ගොස් හවස පුතා එනතුරු බලාගෙන සිටියාය.

මිසිස් ගෝලාකරගේ පුතා ගෙට ගොඩ වූවා පමණි. 'අනේ චූටි පුතේ අර කම්පියුටරේ කැඩිලනෙ. පත්තු කරගන්න බැලුවට පත්තු වුණේ නෑ.'මිසිස් ගෝලාකාර කියන ටිකට චූටි පුතාට හීන් දාඩිය දමා මුහුණේ ලේ සිඳී ගොස් අවසානය. චූටි පුතා කඩාගෙන බිඳගෙන කාමරයට දුව ගොස් බලයි. 'ඇයි අම්මෙ, මේ හරිනෙ. මේ ඕන් වෙන්නෙ කම්පියුටර් එක.'ටික වෙලාවකින් චූටි පුතා කියයි. 'ඉතිං අනේ, මම අර බොත්තම එබුවට පත්තු වුණේ නෑනෙ.'මිසිස් ගෝලාකාර විමතියෙන් අසයි. 'අයියෝ අම්මෙ, මොනිටර් එක ඕෆ් කරලා තිබුණේ, මේන්න මේ බොත්තම ඔබලා බලන්න මොනිටරේ ලයිට් එන්නෙ නැතිනම්.'චූටි පුතා කියන්නේ හිනාවෙන ගමන්ය. මිසිස් ගෝලාකාර එවැනි මහත් ගැටලු රාශියකට මුහුණ දුන් පසු දැන් යාන්තමට කොම්පියුටරේ පත්තු කර ගැනීමේ ක්‍රියාදාමය ඉතා හොඳින් ප්‍රගුණ කර ඇත.

කොම්පියුටරය පත්තු කර ගැනීමට, නිවීමට, ෆෝල්ඩරයක් සෑදීමට ඉගෙන ගත් මිසිස් ගෝලාකාර මේ දවස්වල අයි.ටී.ඔපිසරයාගෙන් 'ඔෆිස් පැකේජ් එක'ඉගෙන ගන්නීය. නාහය උඩ කණ්ණාඩිය අටෝ ගන්නා මිසිස් ගෝලාකාර දන්නා සෙල්ලම් දමා කොහොම හරි ටයිප් කරන සුදු පිටුවක් ඕන් කර ගන්නීය. මිසිස් ගෝලාකාර ටයිප් කරන ඒවා 'රිකවර්'කර ගැනීමටත්, 'සේව්'කිරීමටත් 'සේව්'කළ ලේඛන ඇත්තේ කොහේද කියා සොයා දීමටත් ඔපීසියේ වෙනම කොලු ගැටව් කීප දෙනෙක්ම නිල වශයෙන් පත් කර ඇත. පැයක් දෙකක් පමණ ඇහේ කළු බෝල දෙක එකට ඇලෙන තරමේ අවධානයකින් දුම් දාගෙන ටයිප් කරන මිසිස් ගෝලාකාර හදිසියේම ඔපීසියේ නිල වශයෙන් පත් කරගත් ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නම අඬගායි.

'අනේ...මම ටයිප් කරපු එක නැතිව ගියා! අනේ මං සේව් කරපු එක කොහෙද නෑනෙ!'ආදී විලාප ඇහෙන්නට පටන් ගත් විටම ඔපීසියේ නිල පත්වීමක් දුව විත මිසිස් ගෝලාකාරගේ අයි.ටී. ගැටලුව වහා විසඳා දිය යුතුය.

මිසිස් ගෝලාකාරගේ යාළුවා මිස් ත්‍රිකෝණාකාර එයාගේ මිතුරියගේ වයසින් අඩකටත් වඩා අඩුය. එයා සහශ්‍රයට කිට්ටුව ඉපදුණු නිසා කොම්පියුටර් සහතිකයක් එක්කම ඔපීසියේ වැඩට ආ තැනැත්තියකි. ඔපීසියේ ඊමේල් සහ ෆැක්ස් ආදිය ගැන කටයුතු කරන්නේ මිස් ත්‍රිකෝණාකාරය. මිසිස් ගෝලාකාර කඩිමුඩියේ මිස් ත්‍රිකෝණාකාර වෙත දුව එයි. 'අනේ මේ...මට ඊමේල් එකක් යවාගන්න ඕනෙ.'මිසිස් ගෝලාකාරගේ ඕනෑම කොම්පියුටර් වැඩකට බෑ නොකියා හා කියන මිස්. ත්‍රිකෝණාකාර ඊ ගහේ වේගයට ඊමේලය කොටා යවාත් අවසන්ය. 'ඊමේල් එක ගියාද මේයා'කියා වැඩේ තහවුරු කරගන්නා මිසිස් ගෝලාකාර තකහනියක් කාටදෝ දුරකතන ඇමතුමක් දුන්නාය. 'මේ, අනේ මම අර ඊමේල් එක එව්වා. බලන්න හොඳේ. ඊ මේල් එක ලැබුණද කියලා මට මැසේජ් එකක් තියන්න.'මිසිස් ගෝලාකාර කියන්නේ ඇහි පියක්වත් ගහන්නේ නැතිවය.

ඊ මේල් යවා කෝල් එකක් දී එය එවා ඇතැයි කියන්නේ අපේ ලංකාවේ කට්ටිය විතරදැයි පර්යේෂණායක් පැවැත් වීමට තරම් වටිනා කාරණයකි. ඔපීසියේ ෆැක්ස් මැෂිමට කට්ටිය සලකන්නේද සැක කටයුතු පුද්ගලයෙක් ගාණටය. උදේම හතර වටේ කාර්යාලවලින් ඇමතුම් එයි. 'අපි එවපු අර ෆැක්ස් එක හම්බ වුණාද? අපි ෆැක්ස් එකක් එව්වා හම්බ වුණාද?'කියා අහන්නේ ෆැක්ස් පණිවුඩය අතරමග හිර වී ඇත්නම් තල්ලු කර එවන්නට වාගේය. තාක්ෂණය පිළිබඳ අපගේ ශාංකාව තවමත් හෙල වී නැත. ලියුමක් ලියා, කෙල තලියක් ගා මුද්දරයක් අලවා, ලියාපදිංචි තැපෑලෙන් ලේඛනයක් යවනවා තරම් ඊ මේල් යැවීම 'හිතට දැනිල්ලක්'සහ 'ඇහැට පෙනිල්ලක්'නැති නිසා තවමත් බොහෝ ලේඛන යාම් ඊම් සිදු කරන්නේ හෙමින්-ගොළුබෙල්ලා පිට තැපෑලෙනි.

මෑත කාලයේ පටන් බොහෝ රජයේ ආයතන ඩිජිටල්කරණය කිරීමට පියවර රාශියක් ගැනීම ඉතා යහපත් චලනයක් ලෙස දැකිය හැකිය. එහි පියවරක් ලෙස එක්තරා මූලික රෝහලක රෝගීන්ට නොම්මර නිකුත් කිරීම පරිගණක ආශ්‍රිතව කරන්නට උත්සාහයක් අවාසනාවන්ත ලෙස අඩාල වූයේ ඉතා උනන්දුවෙන් රෝගීන්ට නොම්මර සපයන රෝහල් සුළු සේවකයින් පිරිසක් සිය රැකියාවට මේ අලුතෙන් ගේන කොම්පියුටර් කෑලි නිසා තට්ටු වෙන එකට දැක්වූ විරෝධයක් මතය. අපට තව බොහෝ කාලයක් නොම්මර ගන්නට පෝලිමේ සිටීමට සිදුවනු ඇත. ඒ අතරතුර අපට මිසිස් ගෝලාකාරලා තව බොහෝ වුවමනාය.

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 

සුරූපී හයවැන්නිය

$
0
0
නොවැ 25, 2017 01:00
චම්පිකා දීපානි රණසිංහ
මනූෂි චිල්ලර්

ලක්ෂ්මී, සරස්වතී දෙවඟනන්ගේ රූ සිරියෙන් ප්‍රභාවත් වුණු භාරත දේශයේ සුන්දරියන්ට ලොවක් දිනන්නට තරම් රූ සපුවක් හිමිවන්නේ ජන්මයෙන්ම ය. 1951 ජූලි 29 වැනිදා ඇරඹුණු ලෝක රූප රාජිනී තර‍ගයේ වැඩිම වරක් එනම් හයවරක් අංක එක වීමට ඉන්දියානු තරුණියන් වරම් ලැබුවේ ඒ නිසා ය. මින් පෙර හය වරක් වැනිසියුලානු තරුණියන් ද රූ රැජන කිරුළට හිමිකම් කියා ඇත. දැන් ඉන්දියානුවන් සහ වැනිසියුලානුවන් රූ රැජනන් ලොවට බිහි කිරීම අතින් සමතැනක සිටී. දැන් දෙරට අතර රූ රැජනන්ට ඇත්තේ කරට කර සටනකි.

විසි හැවිරිදි මනූෂි චිල්ලර් තම දේශයට කිරුළ ගෙන ආවේ දාහත් වසරකට පසුව ය. වසර 2000 දී ලෝක රූප රාජිනිය වූයේ ප්‍රියංකා චොප්රා ය. පුරා දාහත් වසරක ඇවෑමෙන් මනූෂි රුවින් රටට හයවැනි වරටත් අභිමානය ගෙනාවාය.

ලෝ රූ රැජන කිරුළට හිමිකම් කීමට පෙර ඉන්දියානු රූමතියන් මිස් ෆෙමිනා තරගයට ඉදිරිපත් විය යුතුය. තරගයෙන් ජය ලැබෙන්නේ මිස් ෆෙමිනා ලෙස කිරුළ පලන් සුරූපිනියට යි. මනූෂි 2017 ෆෙමිනා කුමරිය යි. එම තරගයේ මිස් ෆොටෝ ජෙනික් වූයේ ද ඇය ය. දැන් 2017 ලෝක රූප රාජිනියයි. හර්යානා ප්‍රාන්තයේ උපත ලැබූ මනුෂිගේ පියා වෛද්‍ය මිත්‍ර බාසු චිල්ලාර් විද්‍යාඥයෙකි. මව වෛද්‍ය නීලම් චිල්ලාර් ස්නායු රසායන අංශයේ ප්‍රධානියා ය. සහකාර මහාචාර්යවරියකි. මනූෂි බාලිකාවක් වන භාගත් පූල් සිං රජයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඉගෙනුමට මෙන්ම නර්තනයට ද හපනියකි. පාරම්පරික නර්තන ශිල්පීන් වූ රාජා සහ රාධා රෙඩ්ඩි යටතේ ඇය කුචිපුඩි නර්තනය ද හැදෑරුවාය. එපමණක් නොව ජාතික රංග පාඨශාලා‍වේද ශිෂ්‍යාවක වූවාය.

මෙවර තරගයේ ‘බියුටි විත් අ පර්පස්’ තරගයේ සම ජයග්‍රාහිකාව වූවා ය. ‘බියුටි විත් අ පර්පස්’ තරගයේ ජය ලබන්නේ සමාජ සේවා කටයුතුවල නිරත වීමෙනි. චීනයේ හෛනෑන් දූපතේ පැවැත් වූ ලෝක රූප රාජිනී තරගයේදී ඇය චීන ගම්මාන විස්සකට ගොස් කාන්තාවන් පන්දහසකට වැඩි ගණනකට මාසික සුවතාව ගැන දැනුවත් කළාය. ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක ලෝක රූප රාජිනියක ලෙස කිරුළු පැළඳූ පළමු අවස්ථාව මෙය නොවේ. රීතා ෆරියා 1966 වසරේදී ලෝ රූ රැජන කිරුළ භාරත දේශයට රැගෙන ආවේ කිරුළට හිමිකම් කී පළමු ආසියානු කාන්තාව වෙමිනි. ලෝක රූ රැජන වූ පළමු වෛද්‍යවරිය ද ඇයයි.

රීතා ගෝවේ තරුණියක වූ රීතාට රූ රැජන වූ පසු මෝස්තර නිරූපණයට රඟපෑමට ආරාධනා ලැබුණද ඇය දිගටම වෛද්‍ය විද්‍යාව හැදෑරුවාය. ඉන්දියාවෙන් වෛද්‍ය උපාධිය ලැබූ පසු ඇය ලන්ඩනයට ගොස් කිංග්ස් කොලීජියෙන් වැඩිදුරටත් ශිල්ප හදාරා තිබේ. පසුව වෛද්‍ය ඩේවිඩ් පවල් සමඟ විවාහ වූ රීතා සාර්ථක යුග දිවියක් ගත කරන්නීය. දෙදරු මවක වූ ඇය දැන් හැත්තෑ හතර හැවිරිදි ය. 1998 දී ෆෙමිනා මිස් ඉන්ඩියා තරගයේ විනිසුරුවරියක ලෙස සහ ලෝක රූප රාජිනී තරගයේ විනිසුරුවරියක ලෙස කිහිපවරක් ද ඇය සහභාගී වී තිබේ.

රීතාගේ ජයග්‍රහණයට දිගු කලකට පසු යළි රූ රැජන කිරුළේ අභිමානය දිනා ගැනීමට ඉන්දියාවට වරම් ලැබුණේ 1994 දී ය. දකුණු අප්‍රිකාවේ සන් සිටි නගරයේ පැවැත්වුණු ලෝක රූප රාජිනී තරගයේ තරගකාරියන් 87 ක් පරදවා ජයග්‍රාහිකාව වූයේ විසි එක් හැවිරිදි අයිශ්චර්යා රායි ය.

අයිශ්වර්යා කිරුළට කොපමණ අභිමානයක් ගෙන ආවද කිවහොත් ඇය 2014 ලෝක රූ රැජන තරගාවලියේ අති සාර්ථක රූප රාජිනිය ලෙස යළි කිරුළු දැරුවාය. ඇය එම කිරුළ ලබා ගැනීමට පැමිණියේ සැමියා අභිෂේක් බච්චන් සහ දියණිය ආරධ්‍යා සහ මව බ්‍රින්දා රායි සමඟයි. දැන් හතළිස් හතර හැවිරිදි අයිශ්වර්යා බොහෝ දෙනකු හැඳින්වූයේ ‘ලෝකයේ සොඳුරුතම කාන්තාව’ ලෙසය. රංගන ශිල්පිනියක ලෙස සාර්ථක වෘත්තීය දිවියකට හිමිකම් කියන ඇය හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක හිමිකාරියකි. 2003 වසරේදී ඇය කාන්ස් සිනමා උළෙලේ ජූරි සාමාජිකාවක ද වූවා ය.

තවත් රූමත් භාරත දියණියක වූ ඩයනා හේඩ්න් 1997 වසරේ ලෝ රූ රැජන කිරුළේ හිමිකාරියයි. හතළිස් හතර හැවිරිදි ඩයනා ද මෝස්තර නිරූපණ ශිල්පිනියක හා රංගන ශිල්පිනියක ලෙස වෘත්තීය ජීවිතය ඇරඹුවද අයිශ්වර්යා තරමටම සාර්ථක ශිල්පිනියක වීමට වරම් ලැබුණේ නැත. ඇය අමෙරිකාවේ කොලින් ඩික් සමඟ 2013 සැප්තැම්බරයේදී විවාහ වූවා ය.

යුක්තා මුකේ රුවක කිරුළ රටට ගෙන ආ සිව්වැන්නියයි. 1999 වසරේ කිරුළේ හිමිකාරිය වූයේ ඇයය. සත්ත්ව විද්‍යාව පරිගණක විද්‍යාව හදාරා තිබුණද ඇයද රූ රැජන වූ පසු තෝරා ගත්තේ රංගන ක්ෂේත්‍රය ය. රූ රැජන වීමට පෙර ඇය හින්දුස්ථාන රාගධාරී සංගීතය හදාරා තිබිණි.

හතළිස් හැවිරිදි යුත්තේද නිළියක ලෙසින් සාර්ථක වූයේ නැත. ඇයගේ යුග ජීවිතය ද අසාර්ථක විය. යුක්තා නිව්යෝර්ක් ව්‍යාපාරිකයකු සමඟ 2008 දී විවාහ වූවාය. එක් දරු මවකව සිටියදී ඇය ඔහුගෙන් 2013 දී වෙන් වූයේ සැමියාට ගෘහස්ථ හිංසනය පිළිබඳ චෝදනා එල්ල කරමිනි. වර්තමානයේදී ඇය භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවකි. ලෝ රූ රැජනන් වූ ඉන්දීය දියණියන් අතරින් අයිශ්වර්යා රායි සහ යුක්තා මුඛේ දෙනෙත් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී සිටිති.

වසර 2000 පැවති පනස් වැනි ලෝ රූ රැජින තේරීමේ තරගයේදී පස්වැනි වරට භාරතයට රූ කිරුළ ගෙනාවේ ප්‍රියංකා චොප්රාය. ඉන්දියානු හමුදාවේ කායික රෝග වෛද්‍යවරුන් වූ අශෝක්, මධූ ප්‍රියංකාගේ මාපියන් ය. ප්‍රියංකා කුඩා වියේ සිටම දස්කම් පෑවේ ගායනයට හා කතක් නර්තනයට ය. නව යොවුන් වියේදී අමෙරිකාවේ අධ්‍යාපනය ලැබීමට ගිය ප්‍රියංකා මුහුණ දුන්නේ කටුක අත්දැකීම්වලටයි. ඇය පන්තියේ අප්‍රිකානු අමෙරිකානු සගයන්ගෙන් ඇති තරම් බැට කෑවා ය. ප්‍රියංකාගේ පාද ද අපහාසයට ලක්විය. මෑතකදී ඇය කියා සිටියේ තම පාද වෙළෙද නිෂ්පාදන 12ක් සඳහා තෝරාගත් බවය.

රූ රැජන වූ පසු ප්‍රියංකා අධ්‍යාපනයට සමුදුන්නාය. අද ඇය බොලිවුඩයට පමණක් නොව හොලිවුඩයටද නැතිවම බැරි තාරකාවකි. ජාතික, ෆිල්ම්ෆෙයාර් සම්මාන ලාභිනියකි. ප්‍රියංකා ගිනස් පොතට ඇතුළත් වුණේ එක් සිනමා පටයක චරිත 12ක් නිරූපණය කිරීම නිසාය. ඒ ‘වොට්ස් යුවර් රාශි?’ සිනමා රංගනයෙනි. ගායිකාව ලෙස ද දැන් ඇය ජනප්‍රිය ය. අයිශ්වර්යා මෙන්ම ප්‍රියංකා ද ලොව බලවත්ම කාන්තාවකි. ටයිම් සඟරාව මඟින් ඇය ලොවට බලපාන කාන්තාවන් සිය දෙනා අතරට නම් කර තිබිණි. ෆෝබ්ස් සඟරාව මඟින් 2017 වසරේදී තිස්පස් හැවිරිදි ඇය ලොව බලවත්ම කාන්තාවන් සියය අතරට නම්කර ඇත. 2001 වසරේ ඉහළම ඉන්දියානු සිනමා තාරකාවන් පහ අතර ෆෝබ්ස් සඟරාව මඟින් අයිශ්වර්යාව නම් කළේය. 2004 දී ටයිම් සඟරාව මඟින් ඇය ලොවට වඩාත් බලපෑ පුද්ගලයන් අතරට නම් කර තිබිණි.

මනූෂී චිල්ලාර්ගේ ඉරණම ලෝ රූ රැජන කිරුළත් සමඟ කෙසේ විස‍ඳේවිද? ඇය රීතා මෙන් වෛද්‍යවරියක වේවිද? එසේ නැත්නම් ප්‍රියංකා , අයිශ්වර්යා මෙන් සුපිරි තාරිකාවක් වේවිද?

අන්තර්ජාලයෙනි

මිය ගියත් හැර නොයන සුරතල්ලු

$
0
0
නොවැ 25, 2017 01:00

දරුවකුට මෙන් සලකමින් දැඩි ස්නේහයෙන් රැක බලාගත් සුරතලකුගේ වියෝව ඔහුගේ හිමිකරුවන්ට ගෙන දෙන වේදනාව හා කම්පනය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ජීවිතයේ වරක් හෝ සුරතලකුගේ හිමිකරුවකුව සිටියා නම් එබදු අහිමිවීමකින් ජීවිතයේ ඇතිවන හිඩැසේ තරම දන්නේ එවන් අත්දැකීමක් ලැබුවකුම පමණි. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි පදිංචිකරුවකු වන ‘මාර්කස් මයිකලෝවිට්ස්‘ යනු එවන් අයකුටවේදනාවෙන් ඇඳුම් දෙන සිතට, සහනයේ පවන් සලන විශ්වකර්මයකුම වනු ඇත. ඒ මියගියත් ඒ ආදරණීය සුරතලා හැමදාටම ළඟින් තබාගැනීමේ වරම ඔහු ලබාදෙන නිසාය. මියගිය සුරතලුන් ජීවත්ව සිටින ආකාරයෙන්ම සංරක්ෂණය කෙරෙන ‘අධිශීත වියළීමේ‘ ක්‍රමයේ හසළ නිපුණයකු වන මාර්කස්, වාර්තා වන ආකාරයට එලෙස එබඳු සංරක්ෂණයක නියැලෙන එකම පුද්ගලයා බවයි පැවසෙන්නේ.

1999 වසරේ සිට වෘත්තීය වශයෙන් සත්ත්ව මළසිරුරු සංරක්ෂණයේ නියැලෙන මාර්කස් සුරතලුන් සංරක්ෂණයට අතගැසුවේ 2010 වසරේදී ය. මාර්කස් පවසන ආකාරයට ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ ‘අධිශීත වියැලීමේ‘ සංරක්ෂණ ක්‍රියාවලියේ නිරත දැවැන්තමයා මෙන්ම එකම පුද්ගලයාය. සාමාන්‍යයෙන් වසරකදී සුරතලුන් අසුවක් පමණ අධිශීත වියැළීමෙන් සංරක්ෂණය කරන මාර්කස්ගේ සත්ත්ව මළසිරුරු සංරක්ෂණ ව්‍යාපාරයෙන් එය තුනෙන් එකක ප්‍රතිශතයකි. ඔහු පවසන ආකාරයට ඔහු මෙම ක්‍රමය භාවිතයෙන් බහුලවම සංරක්ෂණය කරන්නේ මුවන් හා වල් ඌරන් වැනි දඩයම් සතුන් වුවත්, වැඩිම ආත්ම තෘප්තියක් ලබන්නේ සුරතලුන් සංරක්ෂණය කිරීමෙනි. එය හුදෙක් දඩයම් සතුන් සංරක්ෂණයට වඩා සංකීර්ණවූත්, මනා සංයමයකින් සීරුමාරුවට කළ යුත්තක් බව මාර්කස් පවසන්නේ පළපුරුද්දෙනි. ආධාරකයකට සවිකළ සත්ත්වයාගේ සම පමණක් දඩයම්කරුවකුට ප්‍රමාණවත් වුවත්, සුරතල් සතුන්ගේ හිමිකරුවන් එවැන්නකින් සෑහීමට පත්වන්නේ නැත. සුරතලුන් සංරක්ෂණය කිරීමේදී එම සත්ත්වයා ජීවත්ව සිටියදී දැක්වූ හැඟීම් ප්‍රකාශන හා ඉරියව් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන්නේ එනිසා ය.

දිග කලක් තමන් සමඟ එකට ජීවිතය බෙදාහදාගත් සුරතලා ජීවත්ව සිටියදී බහුලවම උහුගෙන් ප්‍රකාශවූ හැඟීම් හා ඉරියව් මරණයෙන් පසුව වුවද, එයාකාරයෙන්ම පළවනු දැකීමට හිමිකරුවන් දක්වන්නේ ඉමහත් උනන්දුවකි. මේ නිසා තමාගේ ක්‍රියාන්විතය මාර්කස් හඳුන්වන්නේ සුරතලාගේ ද්විමාන ඡායාරූපයක් වෙනුවට ත්‍රිමාණ ඡායාපිටපතක් නිර්මාණය කිරීමක් ලෙසය. එනම් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ සුරතලා ජීවමානව සංරක්ෂණය කිරීම මතයි. බෙහෙවින්ම ආදරය කළ මිය ගිය සුරතලා, ආදාහනය හෝ භුමිදානය කිරීමේ වේදනාකාරී විකල්පය වෙනුවට අධිශීත වියැළීම මඟින් හැමදාටම තමන් ළඟින්ම තබා ගනිමින් සුරතල් කිරීමේ හැකියාව හිමිකරුට ලැබේ. එය මියගිය සතුන් පුළුන් පුරවා සංරක්ෂණය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට යන්නකි. අධිශීත වියැළීම මඟින් සත්ත්වයාගේ ස්වරූපයට හා සැකැස්මට කිසිඳු හානියක් සිදුනොවන සේ සංරක්ෂණය කෙරෙන නිසයි. සත්ත්වයාගේ සිරුරේ අභ්‍යන්තරයේ වන කිසිඳු කොටසක් මෙහිදී ඉවත් කෙරෙන්නේ නැත. සම්පුර්ණ සිරුරම එයාකාරයෙන්ම සංරක්ෂණය කෙරෙන්නේ සාමාන්‍යයෙන් මළසිරුරක සිදුවන වියෝජන ක්‍රියාවලිය මුලුමනින්ම අත්සිටුවමිනුයි. මේ නිසා අධිශීත වියැළීමට ලක්කළ සත්ත්වයකු මියගිය සත්ත්වයකු ලෙස නරඹන්නකුට හැඟෙන්නේ නැති වීම මෙහි විශේෂත්වයයි.

අධිශිත වියැළිමේදී සිදුවන්නේ වියළි අධිශීත කුටීරයක් තුළදී සත්ත්ව මළසිරුර ඉතා පහළ ඌෂ්ණත්වයකට හා රික්තක ක්‍රියාවලියකට ලක්කිරීමයි. ඒ සඳහා රික්තක කුටීරයක් තුළ මළසිරුර තැන්පත් කොට ඌෂ්ණත්වය -50 °C දක්වා අඩු කෙරේ. සත්ත්වයා රික්ත කුටිරය තුළට බහාලන්නේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාරව තීරණයවූ කිසියම් ඉරියව්වකින් උහුව ආධාරකයක් ඇසුරෙන් සකස් කිරීමෙන් පසුවය. සිරුරෙන් වාෂ්පීකරණය වන තෙතමනය, වායුවක් බවට හරවා රික්තක කුටීරයෙන් ඉවත් කෙරෙන අතර සත්ත්වයා යළිත් කාමර ඌෂ්ණත්වයට පත්වීමට ඉඩ හැරේ. මාර්කස් පවසන ආකාරයට සාමාන්‍යයෙන් බළලෙකු හෝ කුඩා ප්‍රමාණයේ සුනඛයකු මෙලෙස සංරක්ෂණය කිරීමට සති 8 – 12 දක්වා කාලයක් ගතවිය හැක. එම කාලය සේම වැයවන මුදලද තීරණය වන්නේ සත්ත්වයාගේ ප්‍රමාණය හා උහුව පිහිටුවනු ලබන ඉරියව්ව අනුවය. ඇතැම් විට ප්‍රමාණයෙන් විශාල සුනඛයකු අධිශීත වියැළීමට ලක් කිරීමට මාස පහක් වුවද ගත විය හැක. මාර්කස්ට අනුව අධිශීත වියැළීම අපහසුම සත්ත්ව ඛාණ්ඩය වන්නේ රැළි හා නැවුම් දාර සහිත බුල්ඩෝග් වර්ගයේ සුනඛයන්ය. කිලෝග්‍රෑම් හතරක් බරැති සුරතලෙකු සඳහා ඇ. ඩොලර් එක්දහස්දෙසියයකි‍. එතැන් සිට වැඩිවන සෑම කිලෝග්‍රෑමයක් සඳහාම ඇ.ඩොලර් එකසිය පනහ බැගින් අය කෙරේ. කිලෝග්‍රෑම් දහය ඉක්මවු පසු එම අගය ඇ.ඩොලර් හැත්තෑපහ දක්වා අඩුවන වන අතර, අත්තිකාරමක් ලබා ගැනීම ඔහුගේ සිරිතයි. ඒ ඇතැම් සුරතලුන්ගේ හිමිකරුවන් නව සුරතලකු හදාවඩා ගැනීමට ගත් පසු අහිමිවු සුරතලා වෙනුවෙන් එතරම් විශාල මුදලක් වැය කිරීමට පැකිලීම නිසයි. මේ වන විට ඔහු සුරතලකු වෙනුවෙන් අය කර ඇති ඉහළම මුදල වන්නේ ඇ.ඩොලර් හාරදහස් පන්සියයකි.

තම සුරතලා ජීවත්ව සිටියදී ප්‍රියකළ ඉරියව්වෙන් මළසිරුර සංරක්ෂණය කිරීමට හිමිකරුවන් ස්වභාවයෙන්ම ප්‍රිය කරන්නෝය. නමුත් මාර්කස්ගේ උපදෙස් වන්නේ වඩාත්ම සුදුසු වන්නේ වැතිරී සිටින ඉරියව්ව බවයි. ඒ ඉන් මියගිය සත්ත්වයාට වඩාත් ස්වභාවික පෙනුමක් ලැබෙන නිසාම පමණක් නොව ගතවන කාලයත් මුදලත් අවම විම නිසයි. එලෙස සුරතලෙකු අධිශීත වියැළීමට ලක්කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සත්ත්වයා මියගිය වහාම ඔහුව වකුටුවූ ඉරියව්වකින් මුද්‍රිත ජල බෑගයක බහා අධිශිතකරණයේ තැබීම අත්‍යවශ්‍ය ය. අධිශීත වියැළීමට ලක්කළ සුරතලකු රැකබලා ගැනීමද අපහසු නැත. බෙහෙවින් සැහැල්ලු වන මොවුන්ව මසකට වතාවක් මඳ තෙතැති රෙදි කැබැල්ලකින් පිස දැමීම ප්‍රමාණවත්ය. නමුත් දැඩි උණුසුමින් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව මාර්කස් අවධාරණය කරයි. ඒ කවරක් වුවත්, මියගිය සුරතලා හැමදාටම ජීවමාන ස්වරූපයෙන් තමා ළගින්ම තබා ගැනිමට ලැබිමේ තෘප්තිය අන් කිසිවකට සමකළ නොහැකි බව දන්නේ සුරතලුන්ට බෙහෙවින්ම ආදරය කරන්නන් පමණි.

රුක්ලන්ති පෙරේරා

සර්බි හමුදාපතිට කළකම් පළ දේ

$
0
0
නොවැ 25, 2017 01:00
මංජුලා විජයරත්න
රැට්කෝ එම්ලැඩික්

බොස්නියා සර්බි හිටපු හමුදාපති රැට්කෝ එම්ලැඩික්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වූ බව පසුගිය දා වා‍ර්තා විය. ඔහුට එරෙහිව මේ දඬුවම නියම කෙරුණේ හේග් නුවර ස්ථාපිත එක්සත් ජාතීන්ගේ අධිකරණය මඟිනි. එක්දහස් නවසිය අනූ ගණන්වල පැවති බොස්නියා යුද්ධයේදී සමූල ඝාතන කිරීම සහ විවිධ ආකාරයේ කෘරකම් සම්බන්ධයෙන් චෝදනා 11ක් හිටපු ජනරාල්වරයාට එරෙහිව නැඟී තිබිණ. එම චෝදනාවලින් 10කටම ඔහු වරදකරු බව හේග් අධිකරණය පසුගිය දා තීරණය කර තිබුණේය. දැනට හැත්තෑ හතර වැනි වියෙහි පසුවන රැට්කෝ එම්ලැඩික්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කෙරෙන බව එම නඩු විභාගය අවසානයේදී ප්‍රකාශයට පත් කෙරිණ.

දඬුවම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී රැට්කෝ එම්ලැඩික් අධිකරණ ශාලාව තුළ නොසිටි බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබුණේය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹීමත් සමඟම එයට එරෙහිව කරුණු දක්වමින් අධිකරණ කටයුතුවලට බාධාකාරී ලෙස රැට්කෝ කෑගසන්නට පටන් ගෙන තිබේ. “ඕවා ඔක්කොම බොරු. ඔබලා මේ අධිකරණ ශාලාවේදී කියූ සියලු දේ බොරු” කියා හෙතෙම උස් හඬින් කෑ ගැසූ බව මාධ්‍ය වර්තාවල දැක්වේ. මේ නිසා රැට්කෝ එම්ලැඩික් අධිකරණ ශාලාවෙන් ඉවත් කරන්නට බලධාරීහු පියවර ගත්හ. රැට්කෝ එම්ලැඩික් අධිකරණ ශාලාව තුළ මෙවැනි කලබැගෑනියක් කරන්නට පටන් ගත්තේ ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළෙන නිසා නඩුවට අදාළ ක්‍රියා පටිපාටිය නවත්වන මෙන් රැට්කෝගේ නීතිඥයන් විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟයි. තමන් වැරදිකරු වූයේ නොකළ වැරදිවලට යැයි රැට්කෝ පවසන බව තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥයෝ මාධ්‍යට දැනුම් දුන්හ. එනිසා හෙතෙම අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවත් නීතිඥයෝ ප්‍රකාශ කරති.

බොස්නි සර්බි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ රැට්කෝ එම්ලැඩික් 1995 වසරේදී ශ්‍රේබ්‍රෙනිකාහි සමූල ඝාතනයකට ඍජුවම සම්බන්ධ වූයේය. එහි මරා දැමුණු පුද්ගලයන් සංඛ්‍යාව 7000කට අධික බව වාර්තාවල දැක්වේ. ඝාතනයට ලක් වූයේ පිරිමින් සහ පිරිමි ළමුන් පිරිසකි. එකී ඝාතනයන් සිදු වූයේ එක්දහස් නවසිය අනූ ගණන් මුල භාගයේ සිටම පැවති බොස්නියා යුද්ධයේදී ය. බොස්නියාව සහ හර්සෙගෝනියාව පමණක් නොව සර්බියාව, ක්‍රොඒෂියාව සහ යුගොස්ලාවියාවත් එවකට මේ යුද්ධයට සම්බන්ධ වී සිටි බව දැක්වේ. යුද්ධය බෙහෙවින්ම දරුණු මට්ටමක පැවැතියේ 1992 – 1995 අතර කාල පරිච්ඡේදය තුළදී ය. ජෙනරාල් රැට්කෝ එම්ලැඩික් මතු කී සමූල ඝාතන කර තිබෙන්නේ 1995 වසරේදී පමණ බව සඳහන් වේ. හිටපු ජෙනරාල්වරයාගේ ක්‍රියාකලාපය විස්තර කරන විචාරකයන් පවසන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වුණු දරුණුතම සැහැසිකම් සිදුවුණේ ජනරාල් රැට්කෝ එම්ලැඩික් යටතේ බවයි. 'බොස්නියාවේ මස් වැද්දා'නැත්නම් 'බොස්නියාවේ වධකයා'යන නම්වලින් එවකට හැඳින්වුණු රැට්කෝට ඒ වනවිටත් සියලු වැඩ වැරදෙමින් තිබිණ. ඒ, යුගොස්ලාවියා යුද්ධවලදී සිදුවුණේ යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබූ බැවිනි. “බොස්නියාවේ ජනරාල් වධකයා” ඍජුවම සහ වක්‍රව මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට හවුල් වි ඇති අන්දම සාක්ෂි විමසීම්වලදී අනාවරණය වන්නට පටන් ගෙන තිබිණ.

මේ අතර, 1996 වසරේදී, එවකට බොස්නියා සර්බි ජනරජයේ ජනාධිපතිවරයා විසින් රැට්කෝ සේවයෙන් නෙරපන ලදී. එතැන් පටන් රැට්කෝ ගත කළේ රහසිගත ජීවිතයකි. භාවිතයට ගනිමින් තිබුණේද ව්‍යාජ නාමයකි. අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙරුණත් රැට්කෝ අත්අඩංගුවට ගැනීම මේ නිසා දුෂ්කර වූයේය. දහසය වසරක් පුරා අධිකරණය මඟ හරිමින් සිටි රැට්කෝ 2011 වසරේදී අත්අඩංගුවට ගැනෙන්නේ සර්බියාවේ උතුරු දිග පෙදෙසක කුඩා ගම්මානයක ජීවත්වෙමින් සිටියදී බව දැක්වේ. එවකට ඔහු සිටියේ ඥාති සහෝදරයකුගේ නිවසෙහිය. සර්බියාවේ විශේෂ පොලිස් බලඇණියක් ඔහු අත්අඩංගුවට ගැනීමේ කාර්යය ඉටු කළහ. රැට්කෝ ජීවත්වන ස්ථානය සැක හැර තහවුරු කරගෙන සිටි පොලිස් නිලධාරීහු 2011 වසරේ මැයි මස 26වැනිදා ගම්මාන වටලා රැට්කෝ සිටි නිවෙසට දොර කඩාගෙන ඇතුළු වූහ. පොලීසිය මෙහෙයුම දියත් කර තිබුණු ආකාරය අනුව රැට්කෝට තවදුරටත් කට්ටි පනින්නට ඉඩක් ලැබුණේ නැත. අත්අඩංගුවට ගත් හිටපු ජෙනරාල්වරයා බෙල්ග්‍රේඩ් නුවරට රැගෙන එනු ලැබිණ.

බෙල්ග්‍රේඩ්හි මහාධිකරණයට පැමිණවීමෙන් පසුව රැට්කෝ නෙදර්ලන්තයේ හේග් නුවරට ගෙන එන ලදී. ඒ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබිණ. එසේ වුවත් 2012දී ඔහුට එරෙහි නඩු විභාගය ආරම්භ කරන්නට බලධාරීහු තීරණය කර තිබුණි. එතැන් පටන් ඔහුට එරෙහි නඩුව විභාග කෙරිණ. රැට්කෝ එම්ලැඩික්ගේ නායකත්වය යටතේ යුද හමුදා සාමාජිකයන් අපරාධ විශාල සංඛ්‍යාවක් සිදු කර ඇති බව නඩු විභාගයේදී සනාථ විය. නිවාස සහ මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම, කාන්තාවන් සහ ගැහැනු ළමයින් සමූහ වශයෙන් දූෂණය කිරීම, අතිශය දරුණු හිංසනයන් පමුණුවමින් පුද්ගලයන් ඝාතනය කිරීම, අමානුෂික හිරිහැර ලබාදෙමින් පුද්ගලයන් අත්අඩංගුවේ තබා ගැනීම යන වැරදි ඒ අතර ප්‍රධාන ය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, විනිශ්චය මඬුල්ලේ සභාපති තැන්පත් අල්පොන්සු ඔරේ විනිශ්චයකාරතුමන් මේ වැරදි ගැන සභාවට පැහැදිලි කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එදා විපතට පත් වූවන්ගේ ඥාතීන් තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටි බව සඳහන් වේ. රැට්කෝ එම්ලැඩික්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කෙරුණු බව ප්‍රකාශයට පත් වූ ඇසිල්ලකින් මියගියවුන් සිහිකර එම ඥාතීන් සැනසුම් සුසුම් හෙළනු දැකිය හැකි විය.

මුගාබේගේ මිල වැඩි බිරිය

$
0
0
නොවැ 25, 2017 01:00

නිර්ධන පන්තියේ උපත ලැබුව ද කිසිඳු වැර වෑයමකින් තොරව එකවර විශාල ධනස්කන්ධයකටත් අසිමිත බලයකටත් හිමිකම් කී කල සමාජයට පිළිලයක් වන්නේ කෙසේද කියා පෙන්වූවාය. දරිද්‍රතාවයේ ගිලීගිය රටක ජනපති ආර්යාව ලෙස ඇය ගතකළ සුඛිත මුදිත අධි සුඛෝපභෝගී ජීවිතය රටවැසියන්ට පමණක් නොව ලෝකයටම රහසක් වූයේ නැත. මන්ද ඇගේ අසීමාන්තික ලෙස වියදම්කාරී නාස්තිකාර මිලදී ගැනීම් සියල්ලම පාහේ කෙරුණේ ජාත්‍යන්තර මට්ටමේ සාප්පු සවාරිවලදී ජාත්‍යන්තරයේ නම ගිය සාප්පු සංකීර්ණවලදි නිසයි. භාණ්ඩයේ වටිනාකමටත් වඩා එහි සන්නාමයේ යශෝරාවයට මුල්තැන දී මිල නියමවන මෙබඳු නිෂ්පාදන මිලදී ගැනීමට ඇය කෙතරම් ඇබ්බැහිව සිටියාද යත්, ඇගේ නමට ‘ගුචි‘ යනුවෙන් උපසර්ගයක්ද එක්විය. ලොව ජනප්‍රියම මිල අධික විලාසිතා සන්නාමයක් වන ‘ගුචි‘ නිෂ්පාදන සඳහා ඇය දැක්වූ ලොල්බව ඉන් වැඩිවූවා මිස අඩු වූයේ නම් නැත.

තුන්වන ලෝකයේ රටක් වන සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති ආර්යාව ලෙස ගුචි ග්‍රේස් ගතකළ නාස්තිකාර ජීවිතයම පමණක් දරිද්‍රිතාවයේ ගිලුණු රටවැසියන් අතර ඇය අපුලට ලක්වීමට ප්‍රමාණවත්ය. නමුත් ඇය රටවැසියන් අතර පිළිකුලට ලක්ව සිටින්නේ වියපැහැදම් නිසාම පමණක් නොවේ. වසර හතළිහකට ආසන්න කාලයක් සිම්බාබ්වේ රාජ්‍යයේ නායකත්වය හොබවන ජනපති රොබට් මුගාබේගේ බලකාමයට ඇයද උල්පන්දම් දෙන්නියක ලෙස ද ප්‍රකටව සිටින නිසාය.

දරුවකුද සමඟ මෙලොව තනිවී අඟහිඟකම්වලින් බැට කමින් සිටි තරුණ මවකගේ සිට ධන හා බල කාමයෙන් මත්වු දුෂිත නායකත්වයකට පත්වීම දක්වා ගිය ගුචි ග්‍රේස්ගේ ගමන ආදර කතාවකින් පන්නරය ලැබූවකි. ධනපති පන්තියේ කිරුළු පැලලඳීමට ප්‍රථම කුකුළු මස් වෙළෙන්ඳියක වූ ග්‍රේස්ට මුගාබේ මුණ ගැසෙන්නේ ඔහුගේ ලඝුලේඛිකාවක ලෙස සේවයට බැඳීමත් සමඟයි. එම අවධිය මුගාබේගේ ජීවිතයේද වේදනාත්මක කාලපරිච්ඡේදයකි. ඒ ඔහුගේ එවකට බිරියවූ සැලී පිළිකාවෙන් රෝගාතුරව අසාධ්‍ය තත්වයේ පසුවීම නිසයි. ජනපතිවරයාගේ දුර්වල මානසික තත්ත්වයද සිය වාසියට පෙරළා ගනිමින් ග්‍රේස් ඔහු සමඟ ඇසුරකට යොමු වූවාය. සිය බිරිය මරණය අබියස සිටිත්දීම ග්‍රේස් සමඟ තමා සබඳතාවකට මුල පිරූ බව වරක් මුගාබේ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබිණි. එම සම්මුඛ සාකච්ඡාවේදීම ග්‍රේස් කියා තිබුණේ තමා එකල අතිශයින්ම ලජ්ජාශීලි තරුණියක වුවද ජනපතිවරයාගේ ප්‍රේමණීය ඉල්ලීම අහක දැමීමට නොහැකි වූ බවයි. ඒ වන විට ඔහු විවාහකයකුව සිටීමත්, බිරිය මරණාසන්නව සිටීමත්, තමාට වඩා වසර හතළිස් එකකින් වැඩිමහලු වීමත් යම් අපහසුතාවක් ඇති කළද ග්‍රේස් ඔහු ප්‍රතික්ෂේප කළේ නැත. සැලී මිය යන විටත් ග්‍රේස්ගෙන් මුගාබේට දරුවන් දෙදෙනකු ලැබී තිබුණු අතර ඇගේ මරණයෙන් සිව් වසරකට පසු, 1996දි මුගාබේ ග්‍රේස් සමඟ යුගදිවි ගමන් ඇරඹීය. සිම්බාබ්වේ වැසියන් අතර ‘සියවසේ විවාහ මංගල්‍ය‘ ලෙස ප්‍රකටවූ රෝබට්-ග්‍රේස් විවාහයද අතිශයින්ම වියදම්කාරී මහා පරිමාණ උත්කර්ෂවත් සංසිද්ධියක් විය. එවක් පටන් ගෙවුණු ජනපතිවරයාගේ ජීවිතයේ සෑම වසරක්ම අතිශය වියදම්කාරී උත්සව හා සැමරුම් සාදයන්ගෙන් අඩුවක් වූයේ නැත. ඒ සියල්ල පිටුපස සිටියේ ග්‍රේස් බව, සෑම පුද්ගලයන් දසදෙනකුගෙන් හත්දෙනකුම දිළින්දන් වන සිම්බාබ්වේ රාජ්‍යයේ වැසියන්ට අරුමයක් වූයේ නැත. මීට තෙවසරකට පෙර සැමරුණු මුගාබේගේ අනූවැනි ජන්ම දින උත්සවය සඳහා පමණක් පවුම් මිලියන තුනකට ආසන්න මුදලක් වියැපැහැදම් කෙරුණේ නිර්ලෝභී ලෙසය. ඒ උත්සවය පැවැත්වුණු ශාලාව වෙත විහිදුණු මාර්ගය පිළිසකර කිරීමට පමණක් අත දිගහැර වියදම් කළ පවුම් පන්ලක්ෂයද ඇතුළත්වය.

දෙවරක් නොසිතා තම සුඛ විහරණය වෙනුවෙන් වියදම් කිරීමට ජනපති සැමියා පොළඹවන අතරවාරයේදීම තම වියදම්ද සිත්සේ කරගෙන යාමට ගුචි ග්‍රේස්ට කිසිඳු බාධාවක් වූයේ නැත. සාප්පු සවාරි යාමේ අංක එකේ රසිකාවියක වන ගුචි ග්‍රේස් වරක් පැරිසියේදී සිදුකළ එබඳු එක සවාරියකදී පමණක් පවුම් එක්ලක්ෂ විසිදහසක් වියදම් කර තිබුණාය. ඒ සිම්බාබ්වේ වැසියන් මිලියන 7.2ක් කුසගින්නෙන් පණ අදිමින් සිටියදී වීම ඛේදනිය ය. ‘සාප්පු සවාරි ආර්යාව‘ ලෙසද සිම්බාබ්වේ වැසියන් අතර උපහාසාත්මකව ප්‍රකටව සිටින ගුචිගේ සුඛෝපභෝගි වියදම් 2014 වන විට වසරකට පවුම් මිලියන දෙකක් දක්වා ඉහළ ගොස් තිබිණි. එම වසරේදී පමණක් ඇය කළ මිලදී ගැනීම් අතරට ‘ෆෙරාගමෝ ‘ සන්නාමයේ පාවහන් යුගල හැටදෙකක්, ගුචි පාවහන් තිස්තුනක්, පවුම් අසුදහසක් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් මෙන්ම දියමන්ති මුදු දොළහක්ද ඇතුළත්ය. මුගාබේ සමඟ සැමරු ඇගේ විසිවන විවාහා සංවත්සරය වෙනුවෙන් මිලදී ගත් දියමන්ති මුදුව සඳහා පමණක් ගුචි ග්‍රේස් පවුම් නව ලක්ෂයක් වියදම් කළේ ඇඟට පතට නොදැනීය.

‘ඩොල්චේ ඇන්ඩ් ගැබානා‘, හැරඩ්ස්, ගුචි, ෆෙරාගමෝ වැනි සුපිරි සන්නාමයෙන් යුතු සාප්පු සංකීර්ණවල කරක් ගැසීම විනෝදාංශය කරගත් ගුචි ග්‍රේස්ගේ ඒ ඇබ්බැහිය වාරණයට ලක්වූයේ 2002දී ය. ඒ මුගාබේ පවුලට යුරෝපයට පැමිණීමට තහනමක් පැනවීම නිසයි. එවක් පටන් ඇය චීනයේ හා මැදපරෙදිග කලාපයේ සවාරි යමින් සිය සුඛෝපභෝගී මිලදී ගැනීම් අඛණ්ඩව කරගෙන ගියාය. පාවහන් හා දියමන්ති අබරණ ඒ අතර විශේෂ ය. වරක් ඇය ලන්ඩනයේ සිටියදී ඇගේ මෙම නාස්තිකාර මිලදී ගැනීම් සාධාරණීකරණය කරන්නේ කෙසේද කියා මාධ්‍යෙව්දියකු ඇසූ ප්‍රශ්නයකට ඇය ලබාදුන්නේ පුදුමාකාර බොළඳ පිළිතුරකි. “මගේ දෙපා හරිම පටුයි. ඒ නිසා මට පලඳින්න පුළුවන් ෆෙරාගමෝ පාවහන්ම පමණයි.“ ගුචි ග්‍රේස්ගේ පිළිතුර විය. ඇගේ මේ ඉවක් බවක් නොමැතිව වියදම් කිරීමේ උමතුවට රුකුල්දෙන ධන උල්පත පිහිටා ඇත්තේ සිම්බාබ්‍වේ හා මොසැම්බික් අතර පිහිටි දේශ සීමාවට යාබදව ය. එහි පිහිටි ‘මරාන්ග්‘ දියමන්ති ආකරවලින් ලැබෙන ආදායමට මුලුමනින්ම හිමිකම් කියන්නේ මුගාබේ පවුලයි. දැඩි රැකවල් මධ්‍යයේ චීනයේද සහාය ඇතිව සරුවටම සිදුකෙරෙන දියමන්ති ඉල්ලම් ගොඩගැනීමේ ව්‍යාපාරයෙන් සිම්බාබ්වේ වැසියන්ට නම් අත්වූ සුගතියක් නැත. දියමන්ති නිධිවල තක්සේරුගත වටිනාකම පවුම් බිලියන අටසියයක් බවට ගණන් බලා ඇති අතර එහි වැඩිම ප්‍රතිශතයක් ආයෝජනය කෙරී ඇත්තේ ගුචි ග්‍රේස්ගේ සංඛ්‍යාවෙන් තුන්දහසක් වූ පාවහන් එකතුවට බව රහසක් නොවේ.

විවාහ වූ අලුත ලජ්ජාශීලි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඈ එකල ද ප්‍රසිද්ධියේ සමාජ සේවා කටයතුවල නිරතවත්දී අප්‍රසිද්ධියේ මිල අධික සාප්පු සවාරි යාම පුරුද්දක් කොටගෙන සිටියකි. නමුත් ලජ්ජාව ඇගෙන් පළා යාමට වැඩි කලක් ගත වූයේ නැත. ඇයම වරක් කියා තිබුණේ ඇයට ඒ සඳහා මඟපෙන්වුවේ සිය සැමියා බවයි. “ජනපති මුගාබේ සමඟ ජීවත්වන්නට මම පටන්ගත්තේ හුඟක්ම ළාබාල වයසකදි යි. නමුත් ඔහු මා ගැන ඉවසීමෙන් කටයුතු කළා. අද මම සිටින තත්ත්වයට පත්වීමට මා හැඩගැස් වූයේ ඔහුයි.“ එම හැඩගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 වන විට ඇය සිම්බාබ්වේ දේශපාලන කරළියේ පමණක් නොව සිය සැමියාගේ අනුප්‍රාප්තිකයා දක්වා සීග්‍රගාමී ගමනක් පැමිණ සිටියාය. ඒ සඳහා ඇයට අවශ්‍ය පසුබිම පවා සකස් කර දුන්නේ ජනපති මුගාබේ යි. සාප්පු සවාරි හැර අන් කිසිවක් කෙරෙහි දැනුමක් නුවූ ග්‍රේස්ට ආචාර්ය උපාධියක් පවා ප්‍රධානය කරමින් ඇයට පාලන පක්ෂයේ කාන්තා ශාඛාවේ නායකත්වයට යාමට මුගාබේ මඟ හෙළි කර දුන්නේ ආදරයේ නාමයෙන් විය හැක.

රුක්ලන්ති පෙරේරා


ඉ‍ගෙන ගනිමින් කෑම ගන්න

$
0
0
නොවැ 25, 2017 01:00
මදාරා මුද­ලිගේ

පරිසර සෞන්දර්ය විචිත්‍රවත් කරන මිනිසුන්ට විවේකය ගත කිරීම සඳහා ලෝකයේ බොහෝ උද්‍යාන ඉදි කර තිබේ.එහෙත් සුලබව දක්නට ලැබෙන උද්‍යාන සම්ප්‍රදායෙන් එහා ගිය උද්‍යාන තිබෙන්නේ අතළොස්සකි. එවැනි උද්‍යානයක් පිළිබඳව පසුගිය දිනක වාර්තා වී තිබිණි.

"FICO Eataly World Bologna"යනුවෙන් නම් කරන ලද ලෝකයේ ප්‍රථම ආහාර උද්‍යානය ඉතාලියේ බෝලෝන්ගාහි ඉදි කර ඇත. මෙහි නිර්මාතෘ ඔස්කා ෆැරිනිටි ය. අක්කර විසි පහක භූමි ප්‍රමාණයක ඉදි කර තිබෙන මෙම උද්‍යානයෙහි ආපන ශාලා හතකි. එපමණක් නොව ,මෙහි ලෝකයේ විවිධ වර්ගයේ ආහාර ඇතුළත් ආහාර කුටි, වීදී ආහාර කුටි,සහ ආහාර පිසීමේ පන්ති ද පිහිටා ඇත. ගොවිපළවල වගා කරන ආහාර ඒ අවස්ථාවේදීම පිසින ආකාරය මෙම උද්‍යානයට පැමිණෙන පුද්ගලයින්ට දැක ගැනීමට පුළුවන. විශේෂයෙන් ම හේන්වල වගා කර තිබෙන ධාන්‍ය වර්ගවලින් පැස්ටා පිළියෙළ කරන ආකාරය මෙහි දී කියා දෙනු ලබන්නේ ලෝකයේ දක්ෂ සුපවේදීන් විසිනි. තව ද මෙහි දී සතුන් දෙසීය දෙනෙක් සහ ශාක වර්ග දෙදාහකට අධික ප්‍රමාණයක් දැක ගත හැකි ය. මෙම උද්‍යානයට පැමිණෙන පුද්ගලයින්ට පීසා එකක් තමන් විසින් ම සකස් කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙනු ලබයි. ඉතාලියට ආවේණික ආහාර වෙළෙඳසැල් පමණක් නොව ලෝකයේ විවිධ රටවල ආහාර වෙළෙදසැල් එකසිය පනහකට අධික සංඛාවක් මෙහි දැක ගත හැකි ය. ඒ සියල්ලම ඉදිකර ඇත්තේ එකිනෙකට වෙනස් ආකෘතිවලට අනුගතව ය.

මෙම උද්‍යානයෙහි චීස් පිළියෙළ කිරීමේ පංති,බීර සැකසීමේ පංති,පැස්ටා සැකසීමේ පංති පිහිටා තිබීම ද විශේෂත්වයකි. තව ද මෙම උද්‍යානය තුළ ලොව විශාලතම ගොවි වෙළෙඳපළ ද තිබේ. වර්තමානයේ පවතින ආර්ථික ක්‍රමෝපායන්ට සරිලන ආකාරයට අනුව මෙම ආහාර උද්‍යානය සකස් කර තිබීම මෙහි විශේෂත්වය බව ඉතාලි මාධ්‍ය වර්තා කරනු ලබයි. වෙළෙඳ සැල්වල්වල දක්නට ලැබෙන ආහාරපාන සකස් කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දීම නිසා මිනිසුන් ආහාර වැඩිවශයෙන් පරිභෝජනය කිරීමට ඇල්මක් දක්වන බව ද මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම ආහාර උද්‍යානයට ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ ඇතුළු විය හැකි ය. එසේ වුවත් වෙළෙදසැල්වල තිබෙන ආහාර සඳහා මෙන් ම පවත්වන පංති සඳහා ද මුදල් අය කරනු ලබයි. නැරඹීම සඳහා වසරකට මිලියන හයක සංචාරකයින් පැමිණෙන බව ඉතාලි විශ්ලේෂණ වාර්තා මඟින් පෙන්වා දී තිබේ.මෙම උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ට මෙම උද්‍යානය ඇතුළත ගමන් කිරීම සඳහා බයිසිකලයක් ලබා දෙනු ලැබේ.

ලෝකයේ ප්‍රථමවරට මෙවැනි නවීන සංකල්පයකට අනුගතව මෙවැනි උද්‍යානයක් ඉදි කිරීම සම්බන්ධව මාධ්‍යට පිළිතුරු දෙමින් උද්‍යානයේ හිමිකරු ඔස්කා ෆැරිනිටි ප්‍රකාශ කළේ "මම හිතන්නේ මෙම උද්‍යානය තමයි ආහාර ලෝකයේ ආහාර පිළිබඳව ඉගෙන ගන්න තිබෙන හොඳම ස්ථානය. ඒ වාගේ ම විවිධ වර්ගයේ ආහාරවල ඉතිහාසගත කරුණු පිළිබඳවත් මෙහිදී හොදින් අධ්‍යනය කරන්නට පුළුවන්"යනුවෙනි.

අන්තර්ජාලය ඇසුරිණි

යළිත් ඡන්දයක් දුර්වල ආණ්ඩුවක්?

$
0
0
නොවැ 25, 2017 01:00
ධම්මික සෙනෙවිරත්න

ඇන්ජලා මර්කෙල් වැටඋඩ 

වසර 12ක් වන ඇන්ජලා මර්කෙල් චාන්සලර් පදවිය දැරූ කාලසීමාව තුළ ලොව බලවත් නායක නායිකාවන් අතර ඉදිරියටම පැමිණීමට තරම් සමත් වූවාය. මැතිවරණයෙන් පසු නිර්මාණය වූ අස්ථාවර ස්වභාවය යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියට එල්ල කරන්නේ අනර්ථකාරී බලපෑමකි.

ජර්මන් ‍ෆෙඩරල් මැතිවරණයෙන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගම් පක්ෂයට (CDU) තනිව බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට වරමක් නොලැබිණි. එබැවින් යළිත් වරක් සභාග ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර සංගමය, එහි සහෝදර පක්ෂය වන ක්‍රිස්තියානි සමාජ සංගමය (CSU), ව්‍යාපාර හිතවාදී FDP පක්ෂය හා හරිත පක්ෂය අතර සාකච්ඡා වට ගණනාවක් සිදුවිය. සංක්‍රමණික ප්‍රශ්නය හා බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීමෙන් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සාකච්ඡා මේසයෙන් නැඟිට යාමත් සමඟ මීළඟ සභාග ආණ්ඩුව පිළිබඳ අපේක්ෂා බිඳවැටී තිබේ. ඒ සමඟ, තුන්වතාවක් චාන්සලර් පදවිය හෙබවූ ඇන්ජලා මර්කෙල්ට සිව්වන වතාවටද එම ධුරය දැරීමට නොහැකිවන තත්ත්වයක් නිර්මාණය වී පවතී. සාකච්ඡා මේසයෙන් ඉවත් වීමට කරුණු පැහැදිලි කරමින් FDP නායක ක්‍රිස්ටියන් ලින්ඩ්නර් කියා සිටියේ, ඊට එක්වූ සිව් පාර්ශවය අතර රට නවීකරණය කිරීම සම්බන්ධයෙන් පොදු දැක්මක් නොවූ බව සහ විශ්වාසය ගොඩනැඟීමක් ද සිදුනොවූ බවය. නරක අන්දමින් ආණ්ඩු කිරීමට වඩා ආණ්ඩු නොකිරීම යහපත් බව ඔහු අවධාරණය කර තිබිණි.

සභාගයේ ප්‍රශ්න

ජර්මනියේ මීළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා වෑයම්කළ මෙම සභාගය ප්‍රකට වූයේ ජැමෙයිකා සන්ධානය වශයෙනි. හේතුව එම පක්ෂවල වර්ණ ජැමෙයිකා ජාතික ධජයේ වර්ණවලට සමානවීමය. ඉකුත් වසර 04 තුළ ජර්මනිය පාලනය කළ සභාගයේ පාර්ශ්වකරුවකු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය (SPD) මෙවර මර්කෙල්ගේ පක්ෂය සමඟ සන්ධානගත වීමෙන් වැළැකී සිටියේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක මාටින් ෂූල්ස් ප්‍රකාශ කරන්නේ, මෙවර මහා සභාගය ප්‍රතික්ෂේප කිරීමට ඡන්ද දායකයා කටයුතු කර ඇති බවය. ෂූල්ස්ගේ නායකත්වය යටතේ නව සභාගයක් බිහිකිරීම පිළිබඳ මේ දිනවල අවධානය යොමු වී තිබේ. යළිත් වරක් ප්‍රධාන දේශපාලන පක්ෂ 2 අතර සභාගයක් ගොඩනැඟිණි නම් අන්ත දක්ෂිණාංශික AFD පක්ෂය ෆෙඩරල් පාර්ලිමේන්තුවේ තුන්වැනි ප්‍රධානම පක්ෂය ලෙස විපක්ෂය නියෝජනය කිරීමට ඉඩ තිබිණි.

සංක්‍රමණික හා සරණාගත අර්බුදය ජර්මනියේ මතභේදාත්මක දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව ඇති අයුරු මෙහිදී මනාව පැහැදිලි වේ. 2015 – 2016 වකවානුව තුළ පමණක් එරටට ඇතුල්කරගත් සංක්‍රමණිකයන් ගණන මිලියන 1.2කි. එලෙස ජර්මනියේ දේශසීමා විවෘත කිරීම වසර 50කට වැඩි ඉතිහාසයේ පළමු වරට මෙවර පාර්ල‍ිමේන්තුවට පිවිස තුන්වැනි බලවේගය බවට ද පත්ව සිටින අන්ත දක්ෂිණාංශික AFD පක්ෂයේ දැඩි විවේචනයට ලක්විය. දේශගුණික විපර්යාස පිළිබඳ මාතෘකාවේදී ද මීළඟ ආණ්ඩුව නිර්මාණය කිරීමට වෑයම් කළ ප්‍රධාන ධාරකාවේ පක්ෂවලට එකඟතාවකට එළැඹීමට නොහැකි විය.

ඇතැම් විචාරකයන්ගේ අදහස වන්නේ මර්කෙල්ගේ නායකත්වය යටතේ නව සභාගය ගොඩනැඟීම අසාර්ථක වීම ඇයගේ පරාජයක් වන නමුත්, රටේ ජයග්‍රහණයක් බවය. එලෙස සන්ධානගත වීමට වෑයම් කළ පක්ෂ අතර ප්‍රධාන කාරණා සම්බන්ධයෙන්වත් පොදු එකඟතාවක් නොවීම රටට අහිතකර බව ඔවුහු පෙන්වා දෙති. ප්‍රතිපත්තිමය වශයෙන් ද එම පක්ෂ අතර විශාල පරස්පරයක් පවතී. එවැනි සභාගයකින් රටට අත්වන සෙතක් නොමැති බව ඔවුන්ගේ අදහසය.

හරිත පක්ෂයේ පරිසරවේදීන් සහ FDP පක්ෂයේ වෙළෙඳ පොළවාදීන් එකම මේසයක සිට සාකච්ඡා කිරීම පවා පරස්පර සහගත බව පෙනෙන්නට තිබිණි. කෙසේවුවද එවැනි සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් එම පක්ෂවලට ජනවරමක් ද ලැබී නොමැති බව එම විචරකයන්ගේ අදහසය.

සුළුතර ආණ්ඩුවක්

උද්ගතව ඇති තත්ත්වය යටතේ ජර්මනියට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ඇත්තේ දෙකකි. එක්කෝ නැවතත් මැතිවරණයකට යා යුතුය. නැතහොත් සුළුතර ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ප්‍රධාන පක්ෂ අතර සභාගයක් බිහිකිරීමේ අපේක්ෂා බිඳවැටීමත් සමඟ ඇන්ජලා මර්කෙල් සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සලකාබලමින් සිටින බව ද ජර්මනියෙන් ලැබෙන වාර්තාවල සඳහන් ය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ජර්මනිය දේශපාලන මෙන්ම ආර්ථික ස්ථාවරත්වයක්ද ගොඩනඟාගනිමින් ලොව බලවත් රාජ්‍යයක් ලෙස පෙරට ඒමට සමත් විය. වසර 12ක් වන ඇන්ජලා මර්කෙල් චාන්සලර් පදවිය දැරූ කාලසීමාව තුළ ඇය ලොව බලවත් නායක නායිකාවන් අතර ඉදිරියටම පැමිණීමට තරම් සමත් වූවාය. මැතිවරණයෙන් පසු නිර්මාණය වූ මෙම අස්ථාවර ස්වභාවය යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියට එල්ල කරන්නේ අනර්ථකාරී බලපෑමකි. නව සභාගය බිහිකිරීමේ ප්‍රයත්නය බිඳවැටීමත් සමඟ යූරෝවේ අගය පහත වැටිණි.

අර්බුදයෙන් ගොඩඒමට ‍නම් හිටපු යු‍රෝපා පාර්ලිමේන්තු ප්‍රධානියාද වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක මාටින් ෂූල්ස්, නැවතත් ඇන්ජලා මර්කෙල් සමඟ සන්ධානගත විය යුතු බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. මෙහිදී ෂූල්ස්ට පීඩනයක් එල්ලවන බව පැහැදිලි කාරණයකි. කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ඔහු සහ ජනාධිපති ස්ටෙයින්මෙයර් අතර ද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මෙහිදී ෂූල්ස්ට තීරණය කිරීමට සිදුවනු ඇත්තේ තමාගේ නායකත්වයෙන් නව සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රයත්නය පෙරට ගෙනයනවා ද නැතිනම් පෙර පරිදි මර්කෙල්ගේ සභාගයට එක්වනවාද යන්නය.

ජනපතිගේ ඉල්ලිම

මැතිවරණයේදී පසුබෑමට ලක්වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට ෂූල්ස් ගත් තීරණයට ඔහුගේ පක්ෂ‍යේම මන්ත්‍රීවරු 30 දෙනකු පමණ එරෙහි විය. එම මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙහිදී සිය නායකයා නම්‍යශීලී විය යුතු බවයි. කෙසේ වුවද ෂූල්ස් අවධානය කරන්නේ රටේ නිර්මාණයවී ඇති වත්මන් අර්බුදකාරී වාතාවරණයට තම පක්ෂය වගකිවයුතු නැති බවය. ඉදිරි සති කිහිපය තුළ රට වෙනුවෙන් ගත හැකි හොඳම විසැඳුමක් සොයාගැනීමට හැකිවන බව තමාට හොඳටම විශ්වාස යැයි ඔහු කියා සිටී.

ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර්, යළි සාකච්ඡා අරඹන ලෙස ජැමෙයිකා සන්ධානයේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මේ පිළිබඳ එම පක්ෂ නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වමින් සිටින බව ද සඳහන් වේ. ‍තම ස්ථාවරයන් පිළිබඳ යළි සමාලෝචනය කරන ලෙස හා ආණ්ඩුවක් බිහිකිරීම ගැන කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇත. ජර්මනියේ හිටපු මුදල් අමාත්‍ය වුල්ෆ්ගැන්ග් ස්තෝබල් ද සියලු පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, මෙම අර්බුදකාරී අවස්ථාවේ ධනාත්මක භූමිකාවක් ඉටුකරන ලෙසය. යුරෝපය සහ සෙසු ලෝකය මෙහිදී ජර්මනිය දෙස බලා සිටින බව අමතක නොකළ යුතු යැයි ඔහු පවසා තිබිණි. ස්තෝබල් ජර්මන් පාර්ලිමේන්තුවේ ද ප්‍රධානියාය.

වසර 2005 පටන් ජර්මනියේ බිහිවූ සභාග ආණ්ඩු තුනටම නායකත්වය දුන්නේ චාන්සලර් ඇන්ජලා මර්කෙල්ය. මේ වනවිට ජර්මනිය සිතාබලමින් සිටින්නේ සිව්වැනි සභාගය ද ඇයගේ නායකත්වයෙන් ගොඩනඟනවා ද යන කාරණයයි.

දේශපාලන පිටියේ ප්‍රපාතයක් හරහා කඹයක් මනින් ගමන් කිරීමට සිදුව ඇති ඇන්ජලා මර්කෙල්ට මෙහිදී විකල්ප කිහිපයක් අනුගමනය කිරීමට හැකියාව පවතී. එහෙත් ඒ කිසිවක් ප්‍රශස්ත ඒවා යැයි කිව නොහැකිය. කෙසේ වුවද, එම විකල්ප අතර එකක් නම් සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමය. එහෙත්; ඇය පවසා ඇත්තේ වඩා සුදුසු විකල්පය වනු ඇත්තේ නැවත මැතිවරණයකට යාම බවය.

මැතිවරණය පැවැත්වුණේ සැප්තැම්බර් 24 වැනිදාය. නැවත මැතිවරණයකට යාම ගැන ඉන් මාස 3ක් ගතවීමටත් පෙර සලකා බැලීමට සිදුව ඇත. මර්කෙල් හමුවේ ඇති තවත් විකල්පයක් තමා ප්‍රධාන පක්ෂ හවුල්කරගනිමින් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට තවදුරටත් වෑයම් කිරීමය.

අැන්ජලාගේ ජනප්‍රියත්වය

ජනර්මන් ව්‍යවස්ථාවට අනුව චාන්සලර් පදවිය සුදුස්සකු සඳහා පත් කිරීමේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ (බුස්ඩෙස්ටාග්) අනුමැතිය අවශ්‍යය. එහිදී ඡන්ද විමසීමක් වට 3ක් දක්වා පැවැත්වීමට හැකියාව තිබේ. ඉන් පසුව ද ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැඟීමට යම් පාර්ශ්වයක් අසමත්වන්නේ නම් නැවත මැතිවරණයකට යා යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කරනු ඇත. ඉදිරි සති කිහිපය තුළ මේ ක්‍රියාදාමය දැකගැනීමට බොහෝදුරට හැකිවනු ඇත.

ඇන්ජලා මර්කෙල්ගේ පාලනය සම්බන්ධයෙන් ජර්මනිය යම් සන්ධිස්ථානයකට එළැඹ සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් විචාරකයන්ගේ අදහස මර්කෙල් යුගය නිමාවන ලකුණු පහළවී ඇති බවය. එය සෙමෙන් වුවද සිදුවෙමින් ඇති බව ඔවුන්ගේ අදහසය. ඇන්ජලා මර්කෙල් තවමත් ජර්මනියේ ජනප්‍රිය ය. ජර්මනියේ පමණක් නොව ගෝලීය දේශපාලනයේද තවමත් ඇය බලපෑම් කළ හැකි චරිතයකි. එහෙත්; සිය සිව්වැනි ධුර කාලය ඇරැඹීමට ඇයට හැකිවේද යන්න නම් අවිනිශ්චිතය.

FASHION

ලෝකයේ ඒඩ්ස් වැඩි ම රටවල්

$
0
0
නොවැ 27, 2017 01:00

එච්.අයි.වී (ඒඩ්ස්) ගැන වැඩිපුර කතා කරන ලෝක (ඒඩ්ස්) දිනය යෙදී තිබෙන්නේ සෑම වසරකම දෙසැම්බර් පළමුවැනිදාට ය. ඒ නිසා, ලෝකයේ එච්.අයි.වී,(ඒඩ්ස්) පැතිර ඇති ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කරන්නට අපි මෙවර කල්පනා කළෙමු.

ලෝකයේ විවිධ රටවල් තුළ එච්.අයි.වී (ඒඩ්ස්) ව්‍යාප්තව ඇති ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි අංශය හෙවත් සී.අයි.ඒ. සංවිධායන නිකුත් කළ නවතම වාර්තාවක් ඇසුරෙන් අපේ ලිපිය සකස් වේ. වාර්තාව සකස් කරන්නට සමීක්ෂකයන් පාදක කරගෙන තිබෙන්නේ, ඒ ඒ රටෙහි වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් සංඛ්‍යාව ය.

සී.අයි.ඒ. සංවිධානය පෙන්වා දෙන අන්දමට මිලියන 36.7කට ආසන්න එච්.අයි.වී (ඒඩ්ස්) ආසදිතයෝ පිරිසක් මේ වනවිට ලෝ පුරා වෙසෙති.

තත්ත්වය වඩාත් බරපතළ මුහුණුවරක් ගන්නේ , අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණු දිගින් පිහිටි ප්‍රදේශයේ බවත් දැක්වේ. එහි වෙසෙන පුද්ගලයන්ගෙන් 60%කට ආසන්න සංඛ්‍යාවක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බව වාර්තාව පෙන්වා දෙයි. එච්.අයි.වී (ඒඩ්ස්) අසාදිතයන් කිසිවකු නොමැති බව වාර්තා වී තිබෙන්නේ නෝර්වේ රාජ්‍යයට අයත් දූපත් සමූහයෙහි ඇති ස්වැල්බාර්ඩ්වලිනි.

මතු දැක්වෙන්නේ , වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බහුල රටවල් 10යෙහි පෙළ ගැස්මයි.

1 ස්වාසිලන්තය

වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් ඛණ්ඩයේ පිරිස අතර එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ ස්වාසිලන්තයේ ය. එම වයස් කාණ්ඩයේ පසුවන ස්වාසිලන්ත වැසියන්ගෙන් 27.20%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බව අනාවරණය වී ඇත. වර්ග කිලෝමීටර 17,364ක භූමි භාගයකින් සමන්විත ස්වාසිලන්තයේ ජනගහනය 1,343,098ක් පමණ වේ. මේ පිරිසෙන් 220,000ක් පමණ දෙනා එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය. එච්.අයි.වී (ඒඩ්ස්) නිසා සෑම වසරක් පාසාම සාමාන්‍යයෙන් පුද්ගලයන් 3,900ක් පමණ එහි මරණයට පත්වන බව වාර්තාවේ දැක්වේ. එරට වැසියකුගේ උපරිම ආයු අපේක්ෂාව අවුරුදු 50.9කි.

2 ලෙසතෝ

ලෙසතෝහි වෙසෙන වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් ඛණ්ඩයේ පිරිසෙන් 25%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බව වාර්තාවෙහි සඳහන්ව ඇත. වර්ග කිලෝමීටර 30,355කින් සමන්විත එහි ජනගහනය 2,203,821ක් පමණ වේ. මේ ජනගහනයෙන් 330,000ක් පමණ එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයෝ වෙති. වසරකට සාමාන්‍යයෙන් 9,900කට ආසන්න පිරිසක් එච්.අයි.වී (ඒඩ්ස්) නිසා එහි ජීවිතක්ෂයට පත්වන වන බව දැක්වේ. ලෙසතෝ වැසියකුගේ උපරිම ආයු කාලය වසර 42ක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන වැඩසටහන 2006 වසරේදී ප්‍රකාශ කළේය.

3 බොට්ස්වානා

වර්ග කිලෝමීටර 581,730කින් සමන්විත බොට්ස්වානාහි ජනගහනය 2,250,260ක් පමණ වේ. වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බොට්ස්වානා ජාතිකයන්ගෙන් 20.90%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන්ය. එරට සිටින එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් සංඛ්‍යාව 360,000කට අධික බව දැක්වේ. සෑම වසරක් පාසාම සාමාන්‍යයෙන් පුද්ගලයෝ 3,900කට අධික පිරිසක් එච්.අයි.වී (ඒඩ්ස්) නිසා ජීවිතක්ෂයට පත් වෙති. බොට්ස්වානා ජාතිකයකුගේ උපරිම ආයු කාලය වසර 50.04ක් පමණ වේ.

4 දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාවට උතුරෙන් තිබෙන්නේ නැමීබියාව, බොට්ස්වානා සහ සිම්බාබ්වේ යන රාජ්‍යයන් ය. එරටට නැඟෙනහිරෙන් සහ ඊශාන දිගින් තිබෙන්නේ මොසැම්බික් රාජ්‍යය සහ ස්වාසිලන්තයයි.ලෙසතෝ රාජ්‍ය මුළුමනින්ම වටවී තිබෙන්නේ දකුණු අප්‍රිකාවෙනි. මේ අනුව පෙනෙන්නේ, ලොව එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් වැඩි ම ප්‍රමාණයක් වෙසෙන රටවල් දකුණු අප්‍රිකාව වටා ඇති බවකි. වර්ග කිලෝමීටර 1,221,037ක විශාලත්වයක් ඇති දකුණු අප්‍රිකාවේ ජනගහන 54,956,900ක් පමණ වේ. වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන දකුණු අප්‍රිකා වැසියන්ගෙන් 18.90%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය. එරට ජනගහනයෙන් 7,100,000ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බවත් දැක්වේ. මේ නිසා වසරකට එච්.අයි.වී (ඒඩ්ස්) නිසා මියයන පුද්ගලයන් සංඛ්‍යාව සංඛ්‍යාව 110,000ක් පමණ වන බව වාර්තාව පෙන්වා දෙයි.

5 නැමීබියාව

අප්‍රිකා මහාද්වීපයේ දකුණු දිගට වන්නට පිහිටි නැමීබියාව වර්ග කිලෝමීටර 825,615ක් තරම් විශාලැති රාජ්‍යයකි. එහි ජනගහනය 2,113,077ක් පමණ වන බව දැක්වේ. වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන නැමීබියා ජාතිකයන්ගෙන් 13.80%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන්ය. එහි වෙසෙන එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් සංඛ්‍යාව 230,000කට අධික බැව් දැක්වේ. වසරකට සාමාන්‍යයෙන් පුද්ගලයෝ 43,00ක් පමණ එච්.අයි.වී (ඒඩ්ස්) නිසා එහි මරුමුවට පත් වෙති. නැමීබියා ජාතිකයකුගේ උපරිම ආයු කාලය වසර 64ක් පමණ වේ.

6 සිම්බාබ්වේ

මේ වනවිට දේශපාලන අර්බුද රැසකට මැදිව සිටින සිම්බාබ්වේ රාජ්‍යයත් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් වැඩිම පිරිසක් වෙසෙන රටවල් ලයිස්තුවේ ඇත.

වර්ග කිලෝමීටර 390,757ක සරියකින් යුත් සිම්බාබ්වේ රාජ්‍යයේ ජනගහනය 16,150,362ක් පමණ වේ. එරට ජනගහනයෙන් ලක්ෂ13ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන්ය. එච්.අයි.වී (ඒඩ්ස්) නිසා වසරකට ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 30,000කට අධික බැව් දැක්වේ. වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන සිම්බාබ්වේ වැසියන්ගෙන් 13.50%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය. සිම්බාබ්වේ වැසියකුගේ උපරිම ආයු භුක්ති විඳීම වසර 60ක් පමණ වේ.

7 සැම්බියාව

අප්‍රිකා මහාද්වීපයේ දකුණු දිගට වන්නට පිහිටා තිබෙන සැම්බියාව වර්ග කිලෝමීටර 752,618කින් සමන්විත රාජ්‍යයකි. එහි ජනගහනය 16,591,390ක් පමණ වේ. සැම්බියාවේ ජනගහනයෙන් ලක්ෂ 12ක් පමණ එච්.අයි.වී (ඒඩ්ස්) ආසදිතයන් ය. අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන සැම්බියා ජාතිකයන්ගෙන් 12.40%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බව අනාවරණය වේ. එච්.අයි.වී (ඒඩ්ස්) නිසා වසරකට මියයන සැම්බියා ජාතිකයන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 21,000 ඉක්මවයි. එරට වැසියකුගේ උපරිම ආයු අපේක්ෂාව වසර 51.83කි.

8. මොසැම්බික් රාජ්‍යය

වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මොසැම්බික් ජාතිකයන්ගෙන් 12.30%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය. 28,829,476ක් වන එරට ජනගහනයෙන් දහ අට ලක්ෂයකට අධික පිරිසක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයෝ වෙති. වසරකට සාමාන්‍යයෙන් 62,000කට ආසන්න මොසැම්බික් වැසියෝ සංඛ්‍යාවක් එච්.අයි.වී (ඒඩ්ස්) නිසා ජීවිතක්ෂයට පත් වෙති.

9. මලාවි රාජ්‍යය

ගිනිකොණ දිග අප්‍රිකා රාජ්‍යයක් වන මලාවිය වර්ග කිලෝමීටර 118,484කින් සමන්විත රටකි. එහි ජනගහනය 18,091,575ක් පමණ වේ. රටේ ජනගහනයෙන් මිලියනයකට අධික පිරිසක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය. වසරකට සාමාන්‍යයෙන් මලාවි වැසියෝ 24,000ක් පමණ එච්.අයි.වී (ඒඩ්ස්) නිසා ජීවිතක්ෂයට පත් වෙති. වයස අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ මලාවි වැසියන්ගෙන් 9.20%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය.

10. උගන්ඩාව

නැඟෙනහිර අප්‍රිකා රාජ්‍යක් වන උගන්ඩාව වර්ග කිලෝ මීටර 241,038ක විශාලත්වයක් සහිත රාජ්‍යයකි. එහි ජනගහනය 41,487,965ක් පමණ ය. ජනගහනයෙන් ලක්ෂ 14ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් බව දැක්වේ. සෑම වසරක් පාසාම 28,000කට අධික උගන්ඩා ජාතිකයෝ සංඛ්‍යාවක් එච්.අයි.වී (ඒඩ්ස්) නිසා ජීවිතක්ෂයට පත් වෙති. වයස් අවුරුදු 15ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන උගන්ඩා වැසියන්ගෙන් 6.20%ක් එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයන් ය. එරට වැසියකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 53.45 පමණ වේ.

 

අන්තර්ජාලය ඇසුරෙනි

මංජුලා විජයරත්න 

පිස්සු ගෙදර හිතන මහත්තයා

$
0
0
නොවැ 27, 2017 01:00

‘පිස්සු ගෙදර’අහල පහළ අය ඒ ගෙදර නම් කෙරුවේ එහෙමයි.

පිස්සු ගෙදර, තුන්දෙනෙක් ජීවත් වෙනවා කියලා විතරයි අසල්වැසියො දැනගෙන හිටියේ. ඒ හැර කිසිදෙයක් ඔවුන් දන්නේ නෑ.

පිරිමියා මැදි වයසෙ, සැර පරුෂ තැනැත්තෙක් ගෑනු දෙන්නම වයසකයි.

මේ තුන්දෙනා අතරෙ තියෙන්නෙ මොන විදිහෙ සම්බන්ධයක්ද කියන එක අභිරහසක්.

පිරිමියා ගැන කෙනෙක් කිව්වෙ ගෑනු දෙන්නම බිරියන් කරගත්තු බහුබාරියෙක් කියලා. ඒත් තවත් කෙනෙක් අනුමාන කෙරුවෙ, එක් ගෑනියකුගෙන් උපන් අවජාතක පුතෙක් කියලා.

ඒත් යන්ත්‍ර මන්ත්‍ර මායා වැඩ ගැන බියක් තිබුණ වැඩිමහල් අය කල්පනා කෙරුවෙ වෙනත් විදිහකට. ඔවුන් අමුතු ඇවතුම් පැවතුම් ඇත්තන් දිහා බැලුවෙ වපර ඇහෙන්. මේ පිරිසට ගෑනු දෙන්නා මායාකාරී මන්ත්‍රකාරියන් වුණා.

මේ සිද්ධාන්ත ගැන හැම ඉරිදටම වගේ පිළිකනු ගානේ, වැට අයින්වල, ගරාවැටුණු ඉස්තෝප්පුවල නැවත නැවත රස කර කර වාද විවාද පැවතුණා. මේ කර්මාන්ත කම්කරුවන්ගේ ගෙවල් මැදින් දිග ඇදී ඇති පාර දිගේ එහා මෙහා යන හැමෝටමත් පිස්සු ගෙදර හා එහි වාසීන් ගැන කුමක් හෝ මතයක් තිබුණා.

කොහොම නමුත් හැමෝම පොදුවේ එක කාරණයක් පිළිගත්තා. ඒ තමයි ගරා වැටුණ අළු පාට මේ තට්ටු තුන ඇතුළේ කිසියම් රහස්‍යමය අවැඩක්; පාපකාරී කෙරුවාවක් සිද්ධ වෙනවා කියන එක. මොකද, ඉදිරි දොරේ සදා අගුල් දාලා තිබුණා. ජනෙල් වැහුණ තිර නිසා කිසිවකුට ඇතුළත විනිවිද දකින්න බැරිවුණා. ඊටත්, හොඳින් තීන්ත ගා නඩත්තු කරන ලද කටුකම්බි වැටෙන්, අසල්වැසි ගෙවල් හා පිස්සු ගෙදර අතර පරතරය වැඩි කළා.

මේ අද්භූත තුන්දෙනා අවුරුදු තිහකට අධික කාලයක් පිස්සු ගෙදර පහත මාලයේ ජීවත්වෙලා තියෙනවා. ඒත් ඇතුළෙ ක්‍රියාත්මක රහස කාටවත් එළිදරව් වෙලා නෑ.

කාලගුණය යහපත් ඇතැම් හවසක පාර දිගේ මේ මැදිවියේ පිරිමියා සක්මනේ යෙදෙනවා. උස; සාමාන්‍යයි. තරමක් මහතයි; ඒත් තරබාරු නැහැ. හිසකෙස් වැලි පාටයි; තුනීයි. ඔබ කවුරු වුණත් ඔහුට ආචාරයක් කෙරුව නම් ප්‍රසන්න සිනාවක් එක්ක සමාචාර කළා. ඒත්, වචනයක් හෝ හුවමාරු කරගන්නට නතර වෙන්නෙ නම් නැහැ.

ඔහු නිතර සක්මන් කෙරුවෙ බර කල්පනාවක් එක්ක. අත්දෙක පස්සට බැඳගෙන බිම බලාගෙන. මේ හින්දා ඔහුට කොලු කුරුට්ටන් දැමූ නම ‘හිතන මහත්තයා’.

වියපත් ගැහැනු දෙන්නගෙ විනීතකම අඩුයි. පාරෙදි අගරු විදිහට ඔළුව වනනවා විතරයි. මේ දෙන්නම රැකියාවක් කරලා තියෙනවා. එක්කෙනෙක් තඹ කර්මාන්ත ශාලාවෙ ලිපිකාරිනියක්; අනෙක් කෙනා ගාංචු ෆැක්ටරියෙ පයින් පාගන මැෂිමක් ක්‍රියාකරවන්නියක්.

පෙනුණු විදිහට නම් හිතන මහත්තයට රස්සාවක් නෑ. ඒත් මාසෙකට වරක් දෙවරක්, මිටියකින් තහඩුවකට තලන සද්දයක් අහළ පහළ අයට ඇහිලා තියෙනවා. ඒ හඬ ඇහෙන්නේ; නිවසට යාබද පුංචි ගරාජයෙන්. මේ ගරාජය හදපු තහඩු මළකඩ කාලා. ඒත් පිටස්තරයකුට කිසිම විදිහකින් ඇතුළත දකින්න බෑ.

බොහෝවිට යකඩ තලන සද්දෙ ඇහුණ දවස්වලට හිතන මහත්තයා ගරාජයෙන් එළියට එන්නෙ ඩයිම්ලර් වර්ගයේ ඔහුගෙ ආදරණීය පුංචි කාර් එකත් එක්ක. ඒක හරිම පිරිසිදුයි. ඉටියෙන් ඔප කරලා; දිලිසෙනවා.

හරිම පරෙස්සමෙන් ගරාජය වහලා, දොර ලොක් කරනවා. කිසිම හදීසියක් නැතිව කාර් එක මිදුල හරහා පොදු පාරට හරවලා නොපෙනී යනවා.

හවස් වනතුරු, එහෙම නැත්නම් දෙගොඩහරිය වෙනතුරු හිතන මහත්තයා ආපසු එන්නෙ නෑ. කොහෙද යන්නෙ? මොනවද කරන්නේ? අහළ පහළ අයට ප්‍රශ්න පිට ප්‍රශ්න!

පිස්සු ගෙදර ඉහළ මහල් දෙක කාලයෙන් කාලයට කුලියට දෙනවා. තේරීම තමයි, ළමයි නැති පවුල්! ඒත් අලුතින් එන්නන් වැඩි කලක් ගෙවෙන්න කලින් ආපහු යන්නෙ කුලිය ඉහළ නිසා නෙවෙයි.

‘හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.’

කුලියට ඉඳල කෙටි කලකින් බඩු අස්කරගෙන යන එක් තැනැත්තියක් අසල් වැසියන්ට කිව්වා. ඇයත් සැමියත් දෙවන තට්ටුව කුලියට අරගෙනයි හිටියේ.

‘මහ රෑටත් ඒ තුන්දෙනා පහළ තට්ටුවෙ තාලෙකට ඇවිදිනවා. නැත්නම් පියානෝවෙන් භයානක සංගීතයක් වාදනය කරනවා. සමහර දවසකට හිතන මහත්තයා ගැරේජ් එකට ගිහිල්ලා තහඩුවක් තලනවා.... තලනවා.. ඉවරයක් නෑ. ඒත් එයා හදන දෙයක් නම් පේන්න නෑ. එළියට එන්නෙ හිස් අතින්.

පුදුමයෙන් ඇවිස්සුණු අහළ පහළ උදවිය ළමයි දාලා ඔත්තු බලන්න උනන්දු වුණා.

එක ඔත්තු කතාවක් මෙහෙමයි: සාතන් නමදින පුංචි පල්ලියක් විදිහටයි, විසිත්ත කාමරය පිළියෙළ කරලා තියෙන්නේ. කළු යක්ෂයට පූජාව කැප කරන හින්ද මුළු කාමරේම කළුම කළුවෙන්; පාපිසි, තිර රෙදි, ඇතිරිලි, පහන් රඳවන, පුටු, අල්තාරය, දොර, ජනෙල් ඔක්කොම කළුයි.

මේ කළු කතාවෙන් පස්සෙ පුංචි කෙල්ලන් දෙන්නෙක් ඔත්තු බලන්න යැව්වා. දෙන්නා ජනෙල් තුළින් ඇස් යවන්න ඉඩක් හෙව්වා. එක් යක්ෂ ගෑනියක් පැන්නෙ නැතැයි; ඉස්සරහ දොර පැත්තෙ ඉඳලා! අතේ තිබ්බ මොකකින්දෝ තරවටු කරලා! කෙල්ල කියන විදිහට ඒක මන්ත්‍රකාරියන්ගේ මායා පොල්ලක්!

මේ සිද්ධිය වූ දවසෙම රාත්‍රියේ එක කෙල්ලකට කම්මුල්ගාය හැදුණා. අනිත් කෙල්ල සතියකට පස්සෙ හිමගොඩේ ලිස්සලා දකුණු අත කැඩුණා. මේ අකරතැබ්බයෙන් පස්සෙ කිසිම ළමයෙක් පිස්සු ගෙදර වැට පනින්න බය වුණා.

ඒත්, එක දවසක් සෙල්ලම් කර කර හිටපු කොළු කුරුට්ටන් දෙන්නකුගේ අතින් තහනම් වත්තට ටෙනිස් බෝලය විසිවුණා. ඒක රෝල් වුණේ හිතන මහත්තයාගෙ ගැරේජ් එක අයිනට. කුරුට්ටන් දෙන්න බියෙන් සැකෙන් බඩ ගාගෙන ඒ දිහාට ඇදුණා. ඕපාදූපවලට බර වැඩි කොල්ලා ගැරේජ් තහඩුවක පුංචි සිදුරකින් ඇහැක් තියලා බැලුව විතරයි; ඇතුළෙ හිටපු හිතන මහත්තයා ගැස්සිලා හිටගත්තා. රත්තරන් කණ්ණාඩි රවුම් දෙක ඇතුළෙ තිබුණ එයාගේ ලා නිල් පාට ඇස් දෙක රතු පාටට දිලිසුණා.

“කොල්ලනේ තොපි මොකද හොර ගල් අහුලන්නේ?“ හිතන මහත්තයා හිතන්නෙම නැතුව ගෝරනාඩුවක් කළා.

‘ඔත්තු බලනව. ඈ? තොපි ඔත්තු බලනවා?

කුරුට්ටො දෙන්නා කවදාවත් නැති වේගයකින් දුවන්න ගත්තා.‍

‘පුංචි ඔත්තුකාරයො ... සර්ප පැටව්’

කොල්ලන් පස්සෙන් පන්නන ගමන් හිතන මහත්තයා බෙරිහන් දුන්නා.

‘ආයෙත් ඔත්තු බලන්න ඇවිත් අහුවුණොත් එදාට තොපිට හුඟක් කරදර වෙන්න වෙයි! මතක තියා ගනිල්ලා හැමෝටම කරදර වෙයි.! ඔව් හැමෝටම.

 

***

නිව්යෝර්ක් නගරයේ මගේ කාර්යාල පුටුවේ මම වාඩිවී සිටියෙමි. ඒ 1956 වර්ෂයේ අග භාගයේ සීත සෘතුවේ එක් දිනකදීය. මා ඉදිරි අසුනේ වාඩිව සිටියේ ඉන්ස්පෙක්ටර් හාවඩ් ඊ ෆිනීය. ඔහු නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂකවරයාය.

ඉන්ස්පෙට්කර් ෆිනී නොඋස්, තරබාරු දැඩි මිනිසෙකි. වෘත්තීය ජයග්‍රහණ රාශියක් අත්පත් කරගත්තද ඉතා සුළු වචන ප්‍රමාණයක් පාවිච්චි කරන නිලධාරියෙකි. මගෙන් වචනයක් පිටවන තුරු ඔහු මා දෙස බලා සිටියේය. මා දෑස් දල්වා සිටියේ ඔහු විසින් මගේ මේසය මතට දැමූ ලිපිගොනුවේ ඡායාරූප හා ලිපි දෙසය.

උමතු බෝම්බයා ලෙස නම් කරන ලද භයානක අබිරහස් අපරාධකරු අනාවරණය කරගැනීමට ඉන්ස්පෙක්ටර් ෆීනී සතුව ඇති එකම හෝඩුවාව වන්නේ මේ ඡායාරූප හා ලිපි එකතුව පමණී.

1940 සිට අවුරුදු දාසයක් පුරා උමතු බෝම්බයා විසින් නිවසේ සාදන ලද බෝම්බ, මහජනයා රොද ‍බඳින නිව්යෝර්ක් නගරය වටා වැදගත් ස්ථානවල පුපුරවමින් සිටී. ආරම්භයේදී මේ බෝම්බ කුඩා වූ බැවින්, නගරය ඒවා දෙස හෙළුවේ නොසැලකිලිමත් බැල්මකි. නමුත් උමතු බෝම්බයා තම නව නිෂ්පාදනවල විශාලත්වය හා බලය ක්‍රමානුකූලව ඉහළ නංවමින් පැමිණ මේ මොහොත වනවිට නගරය බියෙන් වෙලා හමාරය.

ඔහු සිය අමුතු කාර්යභාරයේදී අඩුම තරමින් බෝම්බ තිහක් පමණ නිපදවා තිබේ. ඒවායින් ඇතැම් ඒවා පුපුරාගියේ නැත. රහස් පොලිසිය විසින් මේවා තියුණු විභාගයකට ලක් කළ අතර ඡායාරූපද ගන්නා ලදී. ඇතැම් අවස්ථාවලදී උමතු බෝම්බයා විසින් ලියා එවන ලද ලිපි පොලිසියට පුවත්පත්වලට හා වෙනත් අය වෙත ලැබී තිබේ. මේ සියල්ල රහස් පොලිසිය සතුව ඇත. ඉතිරිව ඇත්තේ අභිරහස සොයා ගැනීමය.

මාගේ කාර්යාලයෙන් පිටත, නිව්යෝර්කය යෝධ ව්‍යාපාර ලුහුබඳිමින් සිටියේය. පුටුවෙන් නැඟිට ජනේලය වෙත ගොස් තට්ටු දාහතකින් පහළ ඇති නගරය වෙත දෑස් යොමු කළෙමි. සියලු මංමාවත් කාර් සහ ලොරිවලින්ද, පදික ‍වේදිකා පදිකයින්ගෙන්ද පිරී ගොස් ඇත. මිලියන ගණනක් මහජනයා නිව්යෝර්ක් නගරයේ ජීවත්වන අතර තවත් මිලියන ගණනක් දිනපතා පැමිණ පිටවී යති. පහත සිටින මොවුන් අතරින් කවරෙක් හෝ උමතු බෝම්බයා විය හැක.

කාර් එකක් අසල මිනිසෙක් සිටගෙන සිටියේය. තවත් මිනිසෙක් දොරකඩක විවේක සුවයෙන් සිටියේය. තවත් මිනිසෙක් මාවතක් දිගේ සක්මන් කරන අතර අවට ඇති ගොඩනැගිලි දෙස උවමනාවෙන් බැලුවේය. මේ හැමකෙනෙක්ම මංමාවත්වල රැඳී සිටියේ කුමන හෝ හේතුවක් ඇතිවය. සමහරවිට පිළිගත හැකි හෝ නොහැකි හේතුවක් නිසා විය හැක. සමහරවිට බෝම්බයක් තැබීමට විය හැක. උමතු බෝම්බයා ගැන දන්නේ කරුණු ස්වල්පයක් බැවින් නගරයේ රැඳී සිටින ඕනෑම කෙනෙක් සැකකරුවකු ලෙසින් අහඹුව අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ. අවුල් හැඟීම්වලින් පිරුණු මම නැවත මේසය වෙත ආවෙමි.

මෙකල මා නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික මනෝ චිකිත්සක කටයුතුවල යෙදුණ අතරම මානසික සුවතාවය පිළිබඳ රජයේ සහකාර කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළෙමි. රහස් පොලිසිය විසින් ඔවුන්ගේ කාරණයන් නිරාකරණය කර ගැනීම සඳහා මගෙන් උපදෙස් පැතූ පළමු වතාව මෙයයි.

මේ අවස්ථාවට මගපෑදුණේ මා මිත්‍ර කැප්ටන් ජෝන් ක්‍රෝනින් නිසාය. ඔහු අතුරුදන් පුද්ගලයින් සම්බන්ධ නිව්යෝර්ක් කාර්යාංශයේ ප්‍රධානියාය. කැප්ටන් ක්‍රෝනින් සහ මම පොලිස් ප්‍රධානීන්ගේ සම්මේලනයේ කථිකයින් ලෙස සහභාගි වුණෙමු. අපි එකිනෙකා හොඳින් දැන සිටියෙමු. මගේ විෂය සහ උනන්දුතා ගැන මෙන්ම අපරාධ වරදකරුවන් සමඟ මගේ පළපුරුද්ද ගැනද හොඳ දැනුවත්භාවයක් ඔහුට තිබුණි. එබැවින් ඉන්ස්පෙක්ටර් ෆිනීට මා ගැන ඔහු සිහිපත් කොට ඇත.

අවුරුදු දාසයක් ගෙවී ගොස් ඇතත් උමතු බෝම්බයා නීතියේ රැහැනින් බැඳ ගැනීමට ඉන්ස්පෙක්ටර් ෆිනී අසමත්ව සිටියේය. ‍මේ නිසා ඔහුට එක් අතකින් උසස් නිලධාරින්ගෙන් හානිකර බලපෑම් ඇතිවෙමින් පැවති අතර තමා තුළින්ම කළකිරීමක්ද පැන නැගී තිබුණි. මේ අනුව උමතු බෝම්බයා කොටුකර ගැනීමට තමාට ලැබෙන ඕනෑම පිදුරු ගසක එල්ලීමට ඉන්ස්පෙක්ටර් ෆිනී සූදානම්ව සිටියේය. කෙසේ හෝ ඔහු මගේ ඇ‍ඟේ එල්ලුනේය.

ඉන්ස්පෙක්ටර් ෆිනී දැන් මගේ මේසය ඉදිරිපිට වාඩිවී සිටින්නේ ඔහු කැටුව පැමිණ තවත් රහස් පොලිස් නිලධාරින් දෙදෙනකුද සමඟය. ඔහුගේ සුපරික්ෂාකාරී, කඩිසර හා තීරණාත්මක තීන්දු ගැනීමේ ගතිය, මා හිතට කාවැදී ගියේය. තමන් අදහස් කරන දේ, වචන නාස්ති නොකර ඉදිරිපත් කරන ඔහුගේ භාෂා විලාසයද මා හිත් ගත්තේය. මීට පෙර කිසිදිනක මට ඔහු මුණගැසී නැත. නමුත් ඉන්ස්පෙක්ටර් ෆිනී කිසියම් විශ්වවිද්‍යාලයකින් අධිකරණ මනෝචිකිත්සාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනා ඇති බව මෙන්ම විද්‍යාඥයින්ගේ හා පරිපාලකයින්ගේද පුළුල් ගෞරවයට ඔහු පාත්‍රවී සිටි බවද දැන සිටියෙමි. (පසු කාලයේදී ඔහු පොලිස් සේවාවේ හා කොමිසන් සභාවල ඉහළ තනතුරු දැරීය)

ඉන්ස්පෙක්ටර් ෆිනී පහසුවෙන් අවනත නොවන, දක්ෂ දැඩි මිනිසෙකි. එම නිසා මනෝ වි‍ශ්ලේෂණවාදී දෙබිඩි කතාවලින් ඔහු රැවටීමට මා උත්සාහ නොගන්නා බව මම දැන සිටියෙමි. ඔහුට අවශ්‍ය වන්නේ සෘජු පිළිතුරු පමණි.

හිත එකලස් කරගත් මම ඉන්ස්පෙක්ටර් ෆිනී රැගෙන ආ ලිපි තීක්ෂණව කියවා බැලුවෙමි. ඒවා මට ඉතාමත් සරල කාරණයක් පැහැදිලි කර දුන්නේය. එනම්, නිව්යෝර්ක් නගරය සමස්තයක් ලෙස සලකා බැලුවහොත් එහි තුළ හෝ මායිමේ එක්තරා මිනිසෙක් සිටින්නේය. ඔහු උමතු රෝගියෙකි.

ඔහු විසින් 1940 නොවැම්බර් මස 16 දින ඉතා හොඳින් නිමවූ සිය පළමු බෝම්බය, මෑන්හැට්න්හි බටහිර හැටහතර වැනි වීදියේ පිහිටි කොන්සොලිඩේටඩ් එඩිසන් සමාගමේ ගොඩනැගිල්ලක ජනෙල් පඩියක් මත මෙවලම් පෙට්ටියක සඟවා තබා තිබිණි. තඹ බට කැබැල්ලක් තුළට වෙඩිබෙහෙත් පුරවා සැකසූ මෙය බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පොලිස් ඒකකය විසින් පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ එකී වෙඩිබෙහෙත් රයිෆල් උණ්ඩ තුළින් රැගෙන ඇති බවයි. ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. බෝම්බය ඔතා තිබූ සුදු කඩදාසියේ සටහනක් ලියා තිබුණි.

‘කොන් - එඩිසන් කපටියනි; මේ තොපටයි’

මේ සටහන ගැන පොලිසියේ කුතුහලය ඇවිස්සෙන්නට විය. බෝම්බය පිපුරුණා නම්, සටහන සහිත කඩදාසිය විනාශ වෙයි. එය විනාශ වේ යැයි බෝම්බකරු අදහස් කළාද? ඔහු මෙය ලියනු ලැබුවේ තම හිතේ තෙරපෙන චිත්තවේගයක් පිටකිරීමෙන් සහනයක් ලැබීමට පමණක්ද? කොන් එඩිසන් සමාගම මේ සටහන කිසිදා නොකිය වූ බව ඔහු දැන ගන්නේ කෙසේද? එසේ නොමැතිනම් ඔහු යථාර්ථයෙන් බොහෝ ඈත දුර සිටින්නෙක්ද? එලෙසද නොවන්නේ නම්, ඔහු හිතාමතාම බෝම්බ පුස්සක් බවට පත්කිරීමට කටයුතු කළේද? එසේත් නැත්නම් ඔහු මෙය සිදුකළේ කෙන් - එඩිසන් සමාගම හුදෙක් බියගැන්වීමටද?

කොන්සොලිඩෙටට් එඩිසන් සමාගම යනු නිව්යෝර්ක් නගරයට විදුලි බලය සපයන්නාය. කොන් එඩ් සමාගම සේවකයින් දහස් ගණනකින් හා පාරිභෝගිකයින් දස ලක්ෂ ගණනින් සමන්විත දැවැන්ත ඒකාබද්ධ සංවිධානයකි. දිනපතා ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේදී ඕනෑම සුවිසල් සමාගමකට මෙන්, නිරන්තරයෙන්ම මිනිසුන් සමග හිත් පළුදුවල වාද විවාදවල පැටලීමට කොන්. එඩ් සමාගමටද සිදුවේ. රැකියා පිළිබඳ සේවකයින් සමගත්, බිල් පිළිබඳව පාරිභෝගිකයින් සමගත්ය.

පොලිසිය අනුමාන කර තිබුණේ බෝම්බකරු සමාගම හා සිදුවූ කිසියම් අමනාපයක්, කෝන්තරයක් දක්වා දුර ගොස් ඇති බවයි. ඔහුගේ කෝපය පිටාර ගැලීමේ හේතුව සමහරවිට හේතුසහගත වූවා විය හැක. ඇතැම්විටෙක සිතින් මවාගත් අසාධාරණයක් වීමට බැරිකමක්ද නැත. නමුත් අනුමාන කිරීමට බැරි බරපතළ කාරණය වූයේ මේ පුද්ගලයා කවරෙක් දැයි ඉව ඇල්ලීමට පවා හෝඩුවාවක් නැතිවීමයි.

සමාගම් සේවකයින්ගේ පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමට ගත් උත්සාහයේදී මෑතකදී සේවයෙන් පහකළ, වැටුප් වැඩිවීම් ප්‍රතික්ෂේප කළ හෝ වෙනත් අන්දමකින් සේවකයින් කෝප වූ කාරණා සම්බන්ධ ලිපි ගොනු සිය ගණනක් පොලිසියේ අවධානයට යොමුවිය. එලෙසම බිල්පත්වල ගණන් හිලව් ගැන, විදුලිය බිඳවැටීම් හා වෙනත් පාරිභෝගික ආරවුල් පිළිබඳ ලිපිගොනුද සිය ගණනින් ඇති බව පොලිසියට පෙනී යන්නට විය.

හෙට - පොලිසියේ බලාපොරොත්තුව කණපිට පෙරළෙයි

සිංහල කළේ

සමුනි සමරකෝන්

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>