Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

දිය­කාවා වෙරළ පුරා

$
0
0
ඔක්‌ 5, 2018 01:00

ඈත මුහුදේ නාවික හමුදා යාත්‍රා පෙළක් විසින් ත්‍රස්ත කඳ­වුර නිරී­ක්ෂ­ණය කෙරෙනු පෙනේ. ඒ අත­ර­තුර ගුවන් හමුදා ප්‍රහා­රක යාත්‍රා­ව­කින් කොමාන්ඩෝ පැර­ෂුට් භට­යන් පෙළක් ඉහළ අහසේ සිට හෙමින් සීරුවේ බිමට පතිත වී ත්‍රස්ත­යන්ගේ ඇස් වසා කඳ­වුර අවට ස්ථාන ගත­වෙයි. තවත් ගුවන් හමුදා ප්‍රහා­රක හෙලි­කො­ප්ට­ර­ය­කින් විශේෂ බළකා සෙබ­ළු පිරි­සක් ගැඹුරු මුහු­දට පතිත වී ඩිංගි බෝට්ටු­වක් ආධා­ර­යෙන් වෙරළ සමී­ප­යට සේන්දු වී සිටිති. එළැ­ඹෙන සෑම තත්ප­ර­යක්ම අවි­නි­ශ්චි­තය. මොහො­ත­කින් දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල වන බව ඉර­හඳ සේ විශ්වා­සය.

චණ්ඩ හිරු­රැස් නිල්වන් මුහුදු තීරය පුරා පතිත වී එහි සුන්ද­ර­ත්වය දෙගුණ තෙගුණ වී තිබිණි. ඉඳ­හිට නැගෙන රළ හෙමින් සැරේ සුදු­වැල්ල සිප­ග­නි­මින් යළි මුහුද දෙසට ඇදී යයි. ත්‍රි’මළය කුච්ච­වේලි මුහුදු තීරය වෙන­ද­ටත් වඩා දැඩි නිහඬ බවක් ඉසි­ලු­වේය. එහෙත් මේ නිහඬබව අත­ර­තුර යම් අන­තු­රක සේයා­වක් ද පෙනෙ­න්නට තිබිණි. මුහුදු වෙරළ ආස­න්නයේ ත්‍රස්ත­වාදී කඳ­වු­රක් ඉදිව තිබුණු හෙයින් කඳ­වුර තුළ ත්‍රස්ත­වා­දීන් නවීන ගිනි­අ­වි­ව­ලින් සන්න­ද්ධව ප්‍රහා­ර­යක් එල්ල වුව­හොත් මුහු­ණ­ දීම සඳහා විම­සි­ල්ලෙන් සිටින බව පෙනේ. කොයි මොහො­තක හෝ හමුදා ප්‍රහා­ර­යක් එල්ල වන බව ඔවු­නට වැටහී තිබුණ ‍ෙස්ය. ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරී­මට ඔවුන් සූදා­න­මින් සිටියේ එබැ­විනි. රටේ ආර­ක්ෂාව වෙනු­වෙන් ඕනෑම අභි­යෝ­ග­ය­කට මුහු­ණ­ දී­මට කැපවී සිටින ත්‍රිවිධ හමු­දා­වට මෙම ත්‍රස්ත කඳ­වුර ගැන යම් හෝඩු­වා­වක් ලැබී ඇත. එය හරි­ය­ටම තහ­වුරු කර­ගත් හමු­දාව ක්ෂණි­කව කඳ­වුර විනා­ශ­කි­රීම සඳහා සැල­සුම් සකස් කරයි.

ඈත මුහුදේ නාවික හමුදා යාත්‍රා පෙළක් විසින් ත්‍රස්ත කඳ­වුර නිරී­ක්ෂ­ණය කෙරෙනු පෙනේ. ඒ අත­ර­තුර ගුවන් හමුදා ප්‍රහා­රක යාත්‍රා­ව­කින් කොමාන්ඩෝ පැර­ෂුට් භට­යන් පෙළක් ඉහළ අහසේ සිට හෙමින් සීරුවේ බිමට පතිත වී ත්‍රස්ත­යන්ගේ ඇස් වසා කඳ­වුර අවට ස්ථාන ගත­වෙයි. තවත් ගුවන් හමුදා ප්‍රහා­රක හෙලි­කො­ප්ට­ර­ය­කින් විශේෂ බළකා සෙබ­ළුන් පිරි­සක් ගැඹුරු මුහු­දට පතිත වී ඩිංගි බෝට්ටු­වක් ආධා­ර­යෙන් වෙරළ සමී­ප­යට සේන්දු වී සිටිති. එළැ­ඹෙන සෑම තත්ප­ර­යක්ම අවි­නි­ශ්චි­තය. මොහො­ත­කින් දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල වන බව ඉර­හඳ සේ විශ්වා­සය.

ගත වූයේ නිමේ­ෂ­යකි. කුච්ච­වේලි ප්‍රදේ­ශය දෙද­රුම් කව­මින් පළමු ගුවන් හමුදා ප්‍රහා­රය ත්‍රස්ත කඳ­වු­රට එල්ල­කෙ­රුණි. අඳුරු දුම් වලා­ව­කින් මුලු කඳ­වු­රම වැසී යයි. ත්‍රස්ත­වාදීහු එක පෙළට ප්‍රති­ප්‍ර­හාර එල්ල කරති.

යුද හමුදා කොමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබ­ළුන්ගේ දැවැන්ත ප්‍රහාර හමුවේ බංකර් එකින් එක අහිමි කර­ග­නි­මින් ත්‍රස්ත­වා­දීහු හිස් ලූලු අත දුවති. පලා­යන අත­ර­තු­රද හමු­දාව වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරයි. හමුදා ප්‍රහාර හමුවේ මැරී වැටෙන ත්‍රස්ත­වා­දීන්ගේ සිරුරු කඳ­වුර භූමිය පුරා විසිරී ඇති අයුරු ඈතට දිස්වෙයි. ත්‍රස්ත කඳ­වුරේ සියලු මර්ම­ස්ථාන යුද හමුදා ග්‍රහ­ණ­යට හසුව ඇත. මුළු කඳ­වු­රම එකම ගිනි ජාලා­වකි. සන්නද්ධ රථ පෙළක් වැලි දූවිලි අවු­ස්සා­ගෙන ත්‍රස්ත කඳ­වුර වට­කර ඇත. ත්‍රස්ත­වා­දීන්ට දැන් කිසිදු ගැල­වී­මක් නැත. මුළු කඳ­වු­රම හමුදා ග්‍රහ­ණ­යට හසුවී හමා­රය.

කොමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබළු ඒ ආකා­ර­යට විජ­ය­ග්‍රා­හීව සිය මෙහෙ­යුම අව­සන් කළහ. බට­හිර ක්‍රියා­දාම සිනමා පට­යක් සේ පාඨක ඔබ වෙත ‍මෙලෙස දිග­හැ­රුනේ දිය­කාවා 2018 යුද අභ්‍යා­සයේ අව­සන් ක්‍රියා­න්වි­ත­යයි. 9 වැනි දිය­කාවා ඒකා­බද්ධ යුද අභ්‍යා­සය මෙවර ආරම්භ වුණේ මින්නේ­රිය ප්‍රදේ­ශ­යෙනි. පුරා දින විස්ස­කට ආසන්න කාල­යක් පැවැති මෙම ඒකා­බද්ධ යුද අභ්‍යා­ස­යට යුද ගුවන් නාවික හමුදා නියෝ­ජ­නය කළ අතර ඕස්ට්‍රේ­ලි­යාව, බංග්ලා­දේ­ශය, බ්‍රසී­ලය, චීනය, ප්‍රංශය, ජපා­නය, ඉන්දි­යාව, ඉන්දු­නී­සි­යාව, මල­යා­සි­යාව, නේපා­ලය, නයි­ජී­රි­යාව, පකි­ස්තා­නය, රුසි­යාව, සිංග­ප්පූ­රුව, සුඩා­නය, තුර්කිය, එක්සත් රාජ­ධා­නිය, අමෙ­රි­කාව, සිම්බාබ්වේ රට­වල් නියෝ­ජ­නය කර­මින් හමුදා නිල­ධා­රිහු රැසක් සහ­භාගි වී සිටි­යහ. දිය­කාවා යුද අභ්‍යා­සය IX – 2018 සඳහා යුද හමුදා සෙබ­ළුන් 2500 නාවික හමුදා සෙබ­ළුන් 400 ක් සහ ගුවන් හමුදා 200 ක් විදෙස් හමුදා සාමා­ජි­ක­යන් සහ නිරී­ක්ෂ­ක­යන් 100 ක් සහ­භාගි වූහ. යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් මහේෂ් සේනා­නා­යක මහ­තාගේ මඟ­පෙ­න්වීම යටතේ කිලි­නො­ච්චිය ආර­ක්ෂක ‍ෙස්නා ආඥා­පති මේජර් ‍ෙජන­රාල් නිශ්ශංක රණ­වන මහතා ඇතුළු විශේෂ කමි­ටු­වක් මඟින් මෙවර දිය­කාවා ඒකා­බද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යා­සය මෙහෙ­ය­වනු ලැබිණි.

අපේ වීරෝ­දාර රණ­වි­රු­වන් 2009 මැයි මාසය වන­තුරු වසර 30 කට ආසන්න කාල­යක් මාතෘ භූමිය භෞමික අඛ­ණ්ඩ­තා­වය ස්වෛරී­ත්වය ආරක්ෂා කර­දීම වෙනු­වෙන් කළ කැප­කි­රීම් අපට කිසි දින­යක අම­තක කළ නොහැක. විශ්ව­යම විස්මිත කළ අපේ රණ­වි­රු­වන් ලොව සිටින දක්ෂ­තම හමු­දාව බව අමු­තු­වෙන් කිව යුතු නැත.

කුච්ච­වේලි මුහුදු තීරයේ පැවැති දිය­කාවා IX – 2018 ඒකා­බද්ධ යුද අභ්‍යා­සය තුළින්ද ලොවට පසක් කළේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමු­දාව ඕනෑම සතුරු ප්‍රහා­ර­ය­කට නොබි­යව ප්‍රති­ප්‍ර­හාර එල්ල කර මාතෘ භූමිය රැක­ගැ­නී­මට සූදා­න­මින් සිටින බවයි.

මූලික වශ­යෙන් සැල­සුම් සක­ස්කි­රීම, පූර්ව සූදා­නම, තාක්ෂ­ණික භාවි­තය, සමා­යෝ­ජ­නය, අණ­දීම, පාල­නය, යුද්ධෝ­පාය ක්‍රම, ශිල්පීය ක්‍රම සහ කාර්ය පටි­පා­ටි­යන් මෙන්ම විශේෂ මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කිරිම ආදිය කෙරෙහි පුළුල් අව­බෝ­ධ­යක් ලබා­දීම මෙම දිය­කාවා ඒකා­බද්ධ යුද අභ්‍යා­සයේ මූලික අර­මුණ වූ බව මෙම අභ්‍යා­සයේ අධ්‍යක්ෂ නිශ්ශංක රණ­වන මහතා සඳ­හන් කළේය. දස වැනි දිය­කාවා යුද අභ්‍යා­සය නව ක්‍රමෝ­පා­යන් රැසක් සමඟ 2019 වස­රේ­දීද මුළු­දෙනු ඇත.

වර්ත­මා­නයේ රට තුළ යුද­මය වාතා­ව­ර­ණ­යක් නොමැති වුවද ඕනෑම හදිසි අව­ස්ථා­ව­කට මුහු­ණ­දීම සඳහා ශ්‍රී ලංකා යුද හමු­දාව කැපවී සිටින බව යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් මහේෂ් සේනා­නා­යක මහතා සඳ­හන් කළේය. සමාප්ති උළෙල ඇමතූ යුද හමු­දා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද සඳ­හන් කළේය. ත්‍රිවිධ හමු­දාව යනු අප මාතෘ භූමියේ ශක්තිය හා අභි­මා­න­යයි. අප සෑම­වි­ටම නැවත යුද්ධ­යක් ඇති නොවේ යැයි සිතා කට­යුතු කර­න­වාට වඩා ඕනෑම අභි­යෝ­ග­ය­කට මුහු­ණ­දීම සඳහා සූදා­නම්ව සිටීම අපේ පරම යුතු­කම බවද යුද හමු­දා­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

දිය­කාවා 2018 යුද අභ්‍යා­සයේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස මෙවර කට­යුතු කළේ කිලි­නොච්චි ආර­ක්ෂක සේනා මුල­ස්ථා­නයේ ආඥා­පති මේජර් ජෙන­රාල් නිශ්ශංක රණ­ව­නයි. ඔහු මෙම මෙහෙ­යුමේ සමස්ත සැලැ­සුම පිළි­බ­ඳව දැක්වූයේ මෙවන් අද­හ­සකි.

අප සැල­සුම් කළ ආකා­ර­ය­ටම ඉතා නිවැ­රැ­දිව සාර්ථ­කව මෙම යුද අභ්‍යා­සය අව­සන් කර­න්නට හැකි­වුණා. මෙවර සැලැස්ම වුණේ ප්‍රති­ත්‍ර­ස්ත­වාදී සට­න්ක්‍රම උප­යෝගී කර­ගෙන සතු­රාට පහ­ර­දෙන්නෙ කොහො­මද කියන එකයි. මෙය ඉතා සංකීර්ණ යුද අභ්‍යා­ස­යක්. ත්‍රිකු­ණා­ම­ලය, මඩ­ක­ළ­පුව, කුරු­ණෑ­ගල, මහි­යං­ග­නය, මාතලේ, කොළඹ වැනි ප්‍රදේශ ආව­ර­ණය වන පරිදි පිය­ව­රෙන් පිය­වර ඉදි­රි­යට ගියාම 2002 – 2017 කාලය තුළ අප රට තුළ කොටි ත්‍රස්ත­වා­දය ඇතුළු අනි­කුත් බැරෑ­රුම් අව­ස්ථා­වන් අධ්‍ය­ය­නය කර­මින් 2018 දිය­කාවා යුද අභ්‍යා­ස­යට සූදා­නම් වුණා. ලංකාවේ ඕනෑම පළා­තක සිදු­විය හැකි ත්‍රස්ත ප්‍රහා­ර­යක් හෝ වෙන­යම් බැරෑ­රුම් අව­ස්ථා­ව­කට නොබි­යව මුහු­ණ­දීම සඳහා ප්‍රායෝ­ගි­කව මුහුණ දෙන්නේ කොහො­මද කියලා හමු­දා­වන්ට අව­බෝධ කර දුන්නා.

ඒ වගේම දේශ­පා­ලන නාය­ක­ත්ව­ය­ටත් මේ හරහා අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට මෙම මෙහෙ­යුම උප­යෝගී කර­ග­න්නට පුළු­වන්. ඒ කියන්නෙ අපේ හමු­දා­වන්ගේ ශක්තිය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කර­ගැ­නීම සඳහා ඔවු­නට නවීන යුද උප­ක­රණ මෙන්ම ලොව දියුණු තාක්ෂ­ණය ලබා­දිය යුත්තේ කෙසේද යන්නත් මෙම මෙහෙ­යුම මඟින් රටට පෙන්වා දුන්නා.

උදා­හ­ර­ණ­යක් හැටි­යට කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළට හදිසි ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල වුව­හොත් ඒ සඳහා ක්ෂණි­කව ක්‍රියා­ත්මක වී ජීවිත හා දේපළ බේරා­ගැ­නීම මෙන්ම හැකි­තාක් සතු­රන් නොමරා අත්අ­ඩං­ගු­වට ගැනීම පිළි­බ­ඳව මෙම යුද අභ්‍යා­සය මඟින් සෙබ­ළුන්ට අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට පුළු­වන්.

විශේෂ ක්‍රියා­න්විත සෙබ­ළෙකු නිර්මා­ණය කිරීම මෙහි මූලික අර­මුණ බව මේජර් ජෙන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

යුද හමුදා විශේෂ බළ­කාය, කොමාන්ඩෝ රෙජි­මේ­න්තුව, ගුවන් සංග්‍රා­මික බළ­සේ­නාව, යාන්ත්‍රික පාබල රෙජි­මේ­න්තුව මෙන්ම ගුවන් හා නාවික හමුදා ඒකා­බ­ද්ධව මෙම යුද අභ්‍යා­සය ක්‍රියා­ත්මක කළා. අති­ශය දක්ෂ සෙබ­ළුන් සිටින නිසා එල්ල­වන ඕනෑම අභි­යෝ­ග­යක් ජය­ගැ­නී­මට අපට හැකි­යාව තිබෙන බව මට විශ්වා­සයි.

2019 10 වැනි දිය­කාවා යුද අභ්‍යා­සය මීට වඩා වෙනස් ක්‍රමෝ­පා­යන් සමඟ ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කරන බව සඳ­හන් කළ මේජර් ජෙන­රා­ල්ව­රයා සාමාන්‍ය පාබල රෙජි­මේ­න්තු­වල ප්‍රහා­රක ශක්තිය තව­දු­ර­ටත් දියුණු කිරීමේ අර­මු­ණින් විශේෂ ක්‍රියා­න්විත කීප­යක් ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට අද­හස් කරන බවද පැවැ­සීය. එහිදී විශේෂ ක්‍රමෝ­පා­යන් කීප­යක් දැක­ගැ­නී­මට හැකි­වන බවද හේ කීය.

සට­හන රත්න­සිරි පති­රණ
ඡායා­රූප ගයාන් පුෂ්පික


මැති­ව­ර­ණ­යට අපේ ක්‍රමයක්

$
0
0
ඔක්‌ 5, 2018 01:00

ඉදි­රි­යෙහි පැවැ­ත්වී­මට නිය­මිත පළාත් සභා­වල ස්ථාවර භාවයරැකී­මට හා ජන­වර්ග නියෝ­ජ­නය තුල­නය කිරීම සඳහා 50:50 අනු­පා­ත­යක් හා බෝනස් ආසන 5 ක් ලබා­දීම වැනි අවි­ද්‍යා­ත්මක පිය­වර සීමා නිර්ණ වාර්තාව මගින් නිර්දේශ කර තිබිණ.සීමා නිර්ණ ක්‍රියා­ව­ලිය තුළම ජන­ග­හ­නය,භූමිය,ජන­වර්ග,නාග­රික හා දරි­ද්‍ර­තා­වය වැනි විච­ල්‍ය­යන් සැල­කි­ල්ලට ගෙන ඇති බැවින් අප­ක්ෂ­පාති මැති­ව­රණ ක්‍රම­යට අම­තර බල­පෑම් සිදු නොකළ යුතුය. තවද, විටි­න්විට, අවි­ධි­මත් ලෙස අනු­පාත හා බෝනස් ආසන සංඛ්‍යා­වන් වෙන­ස් කි­රී­මෙන් පැහැ­දිලි වන්නේ එම තීරණ, නියැදි සාක්ෂි (Empirical Evidence) ඇතුළු නිසි පර්යේ­ෂ­ණ­ය­නට භාජ­නය වී නොමැති බවය.එහි අනිසි ප්‍රථි­ප­ලය නම් 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් ප්‍රඥ­ප්තියේ සමා­නා­ත්ම­­තා­වයේ වග­න්තිය අනුව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රම­යක් තුළ සෑම ඡන්ද­ය­ක­ටම ලැබිය යුතු සමාන වටි­නා­කම අහිමි වීමය.

‘ශ්‍රී ලාංකික’ අන­න්‍ය­තා­වය කුළු ගන්ව­මින් රටෙහි සන්හි­දි­යාව ඇති කිරී­මට වෙර දරන මොහො­තක, සර්ව ජන මැති­ව­රණ සඳහා මෙවැනි ජන­වර්ග බෙදීම් උලුප්පා දක්වන සමී­ක­රණ ඉදි­රි­ප­ත් වීම අති­ශ­යින් ඛෙද­ජ­න­කය. ඉන් සිදු වන්නේ, අපගේ ජාතික ප්‍රශ්නය හිඟ­න්නාගේ තුවා­ලය මෙන් තවත් ඉදි­රි­යට පව­ත්වා­ගෙන යාමය. මේ පිළි­බ­ඳව අප ගැඹු­රින් කල්පනා කළ යුතුය.

ඡන්ද දාය­ක­යන් වශ­යෙන් අප අපේක්ෂා කරන්නේ පක්ෂ­යක හෝ කණ්ඩා­ය­මක හුදු ජය­ග්‍ර­හ­ණ­යක් නොව ආණ්ඩු පක්ෂයේ හා විප­ක්ෂයේ මත­වා­ද­වල සුමක සංක­ල­න­යක් තුළින් රටට වඩාත් හිත­කර යෝජනා අනු­මත කරවා ගැනී­මය.සිය­ලුම පක්‍ෂ විසින් මෙම ආය­ත­න­ව­ලට වෘත්තීය මට්ටමේ, දේශ­පා­ලන උග­තුන්ගේ නම් යෝජනා කර­න්නේ­නම්, ඔවුන් රටෙහි දියු­ණු­වට මුල් තැන දෙමින් කට­යුතු කර­නවා නොඅ­නු­මා­නය. (මෙය සාක්ෂාත් කර­ගැ­නී­මට නම්, මැති­ව­රණ කොමි­සම විසින් අපේ­ක්ෂ­ක­යන් සඳහා අනි­වාර්ය සුදු­සු­කම් උප­මා­න­යන් පනවා නීති ගත කළ­යු­තුය.) අනෙක් අතට, එක් පක්ෂ­ය­කට විශාල බහු­ත­ර­යක් ලැබී­මෙන්, දැනු­වත්ව හෝ නොදැ­නු­වත්ව ඔවුන් ඒකා­ධි­පති තීර­ණ­යන්ට යොමු­විය හැක. නූතන ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක එක් වෑය­මක් විය යුත්තේ එවැනි ප්‍රව­ණ­තා­ව­යන් වැළැ­ක්වී­මය . එවිට, ‘අස්ථා­වර ‘ නොහොත් ‘එල්ලෙන’ යන වදන් අපගේ දේශ­පා­ලන ශබ්ද කෝෂ­යෙන් ඉවත් වනු ඇත.

ඉහත සඳ­හන් කළාක් මෙන් ප්‍රජා­තන්ත්‍ර වාදයේ තවත් වැද­ගත් අංග­යක් නම් සෑම චන්ද­ය­ක­ටම සමාන වටි­නා­ක­මක් සහ­තික කිරී­මය. එවිට, ජාති ,ආගම් හා කුල බේද වලින් තොරව සමා­නා­ත්ම­ක­තා­වය මූලික කර­ගත් ‘ශ්‍රී ලාංකික’ අන­න්‍ය­තා­ව­යක් ගොඩ නැගෙනු ඇත.රටෙහි කැකෑ­රෙ­මින් පව­තින ජාතික ප්‍රශ්න­යට මූලික විස­ඳුම මෙයයි. ‘සුළු­ත­ර­යට එරෙ­හිව බහු­ත­රය’ යන පටු ආක­ල්පය තුළ රැඳෙ­මින්, ‘සුළු­ත­රය’ ලේබ­ලය යටතේ විශේෂ සහන හිඟා කෑමට හෝ ‘බහු­ත­රය’ කියා හඳු­න්වා­ග­නි­මින් සුලු­ත­ර­යට සහන ලබා දී බාල තෘප්ති­යක් විදී­මද මනු­ෂ­ය­ත්ව­යට නොගැ­ලපේ. එබැ­වින්, සීමා නිර්ණන වාර්තා­වට අනුව සැම දිස්ත්‍රි­ක්ක­ය­කම ජන­ග­හ­න­යට පද­නම්ව ආසන සංඛ්‍යාව පූර්ව- තීර­ණය කර,අදාළ පක්‍ෂ ලබා ගත් වලංගු චන්ද සංඛ්‍යා­වට අනු­පා­ති­කව ඔවු­නට හිමි ආසන සංඛ්‍යාව ගණ­නය කිරී­මෙන්, සැම ඡන්ද­ය­ක­ටම සමාන වටි­නා­ක­මක් ලබා දීම තහ­වුරු කළ හැක.ඉන් පසුව, මැති­ව­රණ කොමි­සම විසින් අනු­මත කරන ලද යෝජිත ‘පක්‍ෂ දිස්ත්‍රික් කුස­ලතා’ නාම යෝජනා ලයි­ස්තු­වෙන් නියෝ­ජි­ත­යන් ස්වයං­ක්‍රී­යව පත්කළ හැක.මෙම සරල ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මෙන් මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ පල­දා­යි­තා­වය වැඩිවී කාලය හා ශ්‍රම­යද ඉති­රි වේ. රජ­ය­ටද විශාල මුදල් සම්භා­ර­යක් එලෙ­සම ඉති­රි වේ.ජාතික ප්‍රශ්න­යට විස­ඳු­මක් ලැබී­මෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තවත් තහ­වු­රු වේ.

ඉහත සඳ­හන් කරුණු අප­ක්ෂ­පා­තීව සලකා,යෝජිත අනු­පාත හා බෝනස් ආසන ක්‍රම­ව­ලින් තොරව පළාත් සභා ඡන්දය පැවැ­ත්වී­මට කට­යුතු කර­න­මෙන් ජනතා පර­මා­ධි­ත්ව­යට ගරු කරන දේශ­පා­ලන අධි­කා­රි­යෙන් හා බල­ධා­රී­න්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

බර්නාර්ඩ් ප්‍රනාන්දු - මොරටුව

කාර්මික ඉගෙ­නු­මට ප්‍රමි­ති­යක් දෙන්න

$
0
0
ඔක්‌ 5, 2018 01:00

බට­හිර සුදු ජාති­ක­යන් 1815 දී ශ්‍රී ලං­කාව සම්පූර්ණ ලෙස අත්ප­ත්කර ගැනී­මෙන් අන­තු­රුව ඔවුන්ගේ මූලික අව­ශ්‍ය­තා­ව­යන් වූයේ සිය මව්ර­ට­වල් සංව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය සියලු සම්පත් සිය යට­ත්වි­ජිත රාජ්‍ය­යන් තුළින් සපු­රා­ගැ­නී­මයි.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාව තුළ තේ, රබර්, පොල් සහ කුරුඳු, ගම්මි­රිස්, එන­සාල්, කරා­ඹු­නැටි, කොකෝවා වැනි සුළු අප­න­යන භෝග වගා­වන් දියුණු කර මව් රට­ව­ලට අවශ්‍ය විදේශ විනි­මය උප­යා­ග­න්නට කට­යුතු කරන ලදී. මෙම වැඩ­ක­ට­යුතු තව­දු­ර­ටත් සංවි­ධා­නය කර ගැනී­මේදී මෙම නිෂ්පා­දන කාර්ය­යන් ක්‍රම­ව­ත්කර ගැනී­මට අවශ්‍ය කාර්මික ශිල්පීන් සකස් කර ගැනී­මට දැඩි අව­ශ්‍ය­තා­ව­යක් මතු­විය.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 1893 වර්ෂ­යේදී මර­දාන ටෙක්නි­කල් හංදියේ සිසුන් 25 දෙන­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් මර­දානේ පිහිටි දුම්රිය අංග­න­යක පිහිටි කෝපි ගබ­ඩා­වක් තුළ සිලෝන් ටෙක්නි­කල් කොලේජ් නමින් කාර්මික විද්‍යා­ලය ආරම්භ කරන ලදී. එතැන් පටන් ලංකාවේ කාර්මික අධ්‍යා­ප­නය ප්‍රච­ලි­ත­ව­න්නට පටන් ගන්නා ලදී.

කෙසේ වෙතත් මුල්කා­ල­යේදී ඉංග්‍රිසි ජාතීන්ගේ මැදි­හ­ත්වීම තුළින් මෙම ක්ෂේත්‍රය යම් දියුණු මට්ට­ම­කට රැගෙ­න­විත් ඉන් අන­තු­රුව දේශීය පුද්ග­ල­යන් අතට මෙම ක්ෂේත්‍රය පත්වී දැඩි අර්බු­ද­කාරී තත්ත්ව­ය­කට ඇද­වැටී ඇත.

ඒ සඳහා ප්‍රධාන වශ­යෙන් බලපා ඇති කරුණු පහක් සඳ­හන් කරන අතර මේ පිළි­බඳ පර්යේ­ෂ­ණා­ත්ම­කව අධ්‍ය­ය­නය කරන අය­කුට සිදුවී ඇති විනා­ශය හේතුව මැන­වින් විග්‍ර­හ­ක­ර­ගත හැකිය.අධ්‍යා­පන ක්ෂේත්‍ර­යට නුසු­දුසු පුද්ග­ල­යන් ඒ ඒ කාල­ව­ක­වානු බලා­ත්මක වූ දේශ­පා­ලන පසු­බිම තුළ කාර්මික අධ්‍යා­පන ව්‍යව­ස්ථාව (1986 වස­රේදී) සකසා සුදු­සු­කම් අඩු පුද්ග­ල­යන්ට මෙම ක්ෂේත්‍ර­යට ඇතු­ළත් විය හැකි පරිදි මඟ සල­සා­දීම අධ්‍යා­පන කට­යුතු සම්බ­න්ධ­යෙන් උප­දේ­ශක මහ­තුන් යාව­ත්කා­ලීන කර­වීම, හුදු­ප්‍ර­ති­ලාභ ලබා ගැනීමේ අර­මු­ණින් පම­ණක් රාජ­කාරි කට­යු­තු­වල නිර­ත­වීම, ශිෂ්‍ය අධ්‍යා­ප­න­යට වඩා නිල­ධා­රීන්ගේ උව­ම­නා­වන් සපු­රා­ගැ­නී­මට කට­යුතු කිරීම, පරි­පා­ලන ඥානය අවම වීමට කාර්මික විද්‍යා­ල­වල අධ්‍යා­පන කට­යු­තු­වල නිර­ත­වීම, පරි­පා­ලන කට­යුතු සඳහා දෙපා­ර්ත­මේ­න්තු­වට සම්බ­න්ධ­වී­මේදී පරි­පා­ලන දැනුම නොමැති නිසා වර්ත­මා­නය වන විට කාර්මික අධ්‍යා­පන පරි­පා­ලන ගැටලු රැස­ක් මතු වී ඇත. මොවුන් කිසි­වෙක් ඊ.බී. විභාග නොලි­යන අතර ඒ සඳහා දින තුනක මාස­යක කරන ලද පුහු­ණු­වක් ඊ.බී. විභා­ග­යට සකසා ගැනීම නිසා මෙම අර්බු­දය මතු වී ඇත. එමෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ කාර්මික අධ්‍යා­පන පරි­පා­ලන සේවය යනු­වෙන් අව­ස්ථා­වක් සේවා ව්‍යව­ස්ථාව තුළ ස්ථාන­ගත නොකි­රී­මත් අත්දැ­කීම් බහුල ආය­තන තුළ සේවය කරන නිල­ධා­රීන්ට ‍ මෙම සේව­යට පැමි­ණී­මට සීමිත තරග විභා­ග­යක් නොපැ­වැ­ත්වීම යන හේතු ගැටලු උද්ග­ත­වී­මට හේතු වී ඇත. උදා­හ­ර­ණ­යක් ලෙස පාස­ල්වල උග­න්වන ගුරු­ව­රුන් පරි­පා­ලන සේව­යට පැමි­ණෙන්නේ නම් ඔවුන් අනි­වා­ර්ය­යෙන්ම අධ්‍යා­පන පරි­පා­ලන සේවා විභා­ගය ලිවිය යුතුය. නමුත් මෙම ව්‍යව­ස්ථාව තුළින් එවැනි විධි­වි­ධාන ඇති­කර නොමැති නිසා ගැටලු රැසක් මතුවී ඇත.

දැඩි ‍ගෝත්‍රවාදී වෘත්තිය සමා­ගම් ක්‍රියා­ව­ලි­යක් මෙම තේමාව තුළ දිය­ත්වීම පද්ධ­තිය මෙලෙස විනාශ වී යාමට බලපා ඇති එකම හා ප්‍රධා­න­තම බල­වේ­ගය බවද සඳ­හන් කළ හැකිය. එම බල­පෑම් තුළින් සුදු­සු­කම් ඇති දක්ෂ නිල­ධා­රින්ට ඉදි­රි­යට පැමි­ණීමේ මඟ මෙම වෘත්තීය සංගම් විසින් අහුරා තිබීම මෙම ඛේද­නීය ඉර­ණ­මට හේතු­වකි.

ලෝකයේ වෙන­ස්වන තාක්ෂ­ණ­යට අනුව වෙන­ස්වී­මට මොවුන් අක­මැ­ති­ වීම තුළ මෙම කාර්මික හා කාර්මික විද්‍යාල ක්ෂේත්‍රය තුළ හුද­ක­ලා ­වීම වැළැ­ක්විය නොහැකි තත්ත්ව­යකි. මේ ගැන සියලු බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු­විය යුතුය.

සමින්ද උදය කුමාර

දුම්රිය ගාස්තුවේ වරදක් ඇත්නම් නිවැරැදි කරනවා

$
0
0
ඔක්‌ 5, 2018 01:00

වැඩි වූ දුම්රිය ගාස්තුව රට තුළ මහත් ආන්දෝළනයක් ඇතිකර තිබේ. කලින් නිවේදනය කළ අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ නංවා ඇති බවද සමහරු කියති. එකී තත්ත්වය ඇතුළුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු ගැනත්, දුම්රියේ, ගමනාගමන මණ්ඩලයේ, සිවිල් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය, ගැටලු සහ අනාගතය පිළිබඳත් අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැති හමුවට එක්වේ.

දුම්රිය ගාස්තු වැඩිවීම ගැන විවිධ චෝදනා එල්ලවෙනවා. ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 15%ක් වුණත් 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් ගාස්තු වැඩිවෙලා නේද?

ගාස්තු වැඩිවීමේ ක්‍රමවේදය හදන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. ඔවුන් කියන්නෙ මේ වැඩිවීම මේ ආකාරයෙන්ම වියයුතුයි කියල. ගාස්තු වැඩිවීමේදී යම් අසාධාරණයක් වෙලාද කියල පරීක්ෂණයක් කරන්න අමාත්‍යාංශ ලේකම්වරයට මම නියෝග කළා. යම් අසාධාරණයක් වෙලා තියෙනවනම් ඒක නිවැරදි කරන්න පියවර ගන්නවා.

ජීවන ගැටලුවක හිරවෙලා ඉන්න රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් මේ ගාස්තු වැඩිවීමත් එක්ක දැඩි පීඩනයකට ලක්වෙලා. මේ ගාස්තු වැඩිවීම මේ වෙලාවෙ නොකළ යුත්තක් හැටියටත් මත පළවෙනවා?

මම එහෙම හිතන්නෙ නැහැ. දුම්රිය ගාස්තුයි බස් ගාස්තුයි අතර ලොකු වෙනසක් තියෙනවා. දුම්රිය ගාස්තු අවුරුදු 08කින් වැඩිවුණේ නැහැ. බස් ගාස්තු හැම අවුරුද්දකම වැඩිකරනවා. දුම්රිය දුවන්නෙත් තෙල්වලින්, දුම්රිය වතුරෙන් දුවන්නෙ නැහැ. දුම්රිය සේවක පඩිනඩිත් වැඩිකළා. සීසන් ටිකට් කොච්චර ලාභද? දුම්රියෙ යන එක බස් එකේ යනවට වඩා 50%ක් තවමත් ලාබයි.

ඔබ කිව්ව වසර අටකින් දුම්රිය ගාස්තු වැඩිවුණේ නැහැ කියල. ඒත් දුම්රිය මඟීන් කියන්නෙ මීට වසර අටකට පෙර මඟීන්ට තිබුණු පහසුකම් ටිකවත් දැන් දුම්රියෙ නැහැ කියලයි?

ඒක මම පිළිගන්නෙ නැහැ. දැන් යාපනයෙ යන්න කොච්චර ලස්සන දුම්රියක් තියෙනවද? දුම්රියෙන් යන්න අවස්ථා ගණන වැඩිකරල තියෙන්නෙ. දුම්රියෙන් යන්න මගීන් කැමතියි දුම්රියෙ දියුණුවට විශාල වැඩකොටසක් අපි කළා. උඩරට දුම්රිය ධාවනයට අලුත් දුම්රිය දැම්මා. තවත් දුම්රිය මැදිරි 160ක් මිලදී ගන්න ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මකයි. තව අවුරුද්දක් යනකොට අපිට තව දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ලැබෙනවා.

දුම්රිය ධාවනය නිසි තත්ත්වයක නැහැ. අඩුම තරමින් කාර්යාල දුම්රිය ටිකවත් නියමිත වෙලාවට ගමනාන්තයට ළඟාවෙන්නෙ නැහැ කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ?

ලංකාවෙ දුම්රියට වඩා එංගලන්තෙ දුම්රිය ගාස්තු කොච්චර වැඩි ද? තුට්ටුදෙකට අශ්වය අරගෙන හිතන තරම් උඩින් පන්නන්න බැහැ. අපේ දුම්රිය සේවය ඉතාම ලාභදායි. ඒ මුදලෙ හැටියට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙ වෘත්තීය සමිති අරගල හින්ද තමයි ඔය කාර්යාල දුම්රිය හරියට එන්නෙ නැත්තෙ. ඔය වෘත්තීය සමිති අතර ප්‍රශ්න තියෙනවා. ඒව විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා. මේ තියෙන වෘත්තීය සමිති සංස්කෘතිය එක්ක සේවා සපයනකොට අපහසුතා ඇතිවෙනවා. අලුත් දුම්රිය ගෙනාවත් වෘත්තීය සමිති සංස්කෘතිය වෙනස් වෙනතුරු ඕවට පිළියම් නැහැ.

ඔබ වෘත්තීය සමිතිවලට දොස් නැඟුවත් දුම්රිය වෘත්තීය සමිති කියන්නෙ ඔබ වෘත්තීය සමිති එක්ක කතාකරන්නෙ නැහැ කියලයි?

කවදද ලෑස්තිවෙලා නැත්තෙ? සාකච්ඡා කොච්චර දුන්නද? සාකච්ඡා සම්මන්ත්‍රණ මේව ඔක්කොම තියලත් ඒගොල්ලො ස්ට්‍රයික් කරනවනම්, මට ගිහිල්ල කෝච්චි එලවන්න බැහැනෙ. මට ගාඩ් කෙනෙක් වෙන්න බැහැනෙ. ඔය චෝදනාව මම පිළිගන්නෙ නැහැ.

අපහසුතාවන්ට පත්වෙන මගීන්ට සහනයක් වෙන්න, ඔබේ වැඩපිළිවෙළ මොකක් ද?

දුම්රියෙ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රියදුරු ප්‍රශ්නය. මේ අමාත්‍යාංශය මම බාරගත්තට පස්සෙ දුම්රිය රියදුරන් 150ක් බඳවාගත්තා. රියදුරෙක් පුහුණුකරන්න අවුරුදු 4ක් යනවා. දැන් ඒ අය පුරුදු වෙනවා. ගාඩ්ල 200කට වැඩි සංඛ්‍යාවක්, දුම්රිය ස්ථානාධිපතිවරු 200කට වැඩි සංඛ්‍යාවක් ගත්තා. ප්‍රථම වතාවට තාක්ෂණික අංශයට ජර්මන්ටෙක්නිකල් එකෙන් පාස්වෙච්ච 180ක් ගත්තා. දුම්රිය සේවක උසස්වීම් දෙනවා. වෙන ඇමැතිවරු මොකද කළේ. කාන්තාවො දුම්රිය කම්කරුවො හැටියට ගත්තා. ඒ අයට සිල්බරකොටයක්, රේල් පීල්ලක්, ගල් තාච්චියක් උස්සගන්න බැහැ. නිකන් ඉන්නවා. මේ අය මට වැඩක් නැහැ. වෙනත් අමාත්‍යාංශවලට ගන්න කියල මම කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා. ඒත් කිසිකෙනෙක් මේ අයව ගන්න ඉදිරිපත් වුණේ නැහැ. වැඩකරන්න පුළුවන් මිනිස්සු මට දෙන්නෙ නැතුව මම කොහොමද වැඩකරන්නෙ.

ඉන්දියාවෙන් ගෙන්නපු දුම්රිය බලවේග කට්ටල ඉතා කෙටිකාලයකදී අබලන් තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නෙ?

නැහැ... නැහැ... එහෙම වෙලා නැහැ. ඒක බොරුවක්.

ඔබ එහෙම කිව්වත් මගීන් කියන්නෙ...

නෑ... නෑ... මට ගිහින් පෙන්නන්නකො කොයි මැදිරි ද අබලන්වෙලා තියෙන්නෙ කියල.

ඉන්දියාවෙන් මෑතක ගෙන්වපු රතු පැහැ දුම්රිය...

නෑ... නෑ... දැන් අපි පාවිච්චි කරන්නෙ අවුරුදු 30කට ඉස්සර‍ ගෙන්වපු රුමේනියානු මැදිරි. අලුතින් ගෙනාපු දුම්රිය මැදිරි හොඳ තත්ත්වයෙ තියෙනවා.

දුම්රිය ස්ථාන නවීකරණය ඉතාම මන්දගාමී තත්ත්වයක තියෙන්නෙ. මේ නිසා මගීන් බොහෝ අපහසුතාවන්ට ලක්වෙනවා?

පර්ස් එකේ සල්ලි තියෙන හැටියට එපැයි බඩුගන්න. දුම්රියට ලැබෙන මුදල් ප්‍රමාණයෙ හැටියට තමයි ඒව කරන්නෙ. තුට්ටු දෙකට අපි දුවල මේව කරන්න ඕන. මෙහෙම දුවලත් අවුරුද්දකට මිලියන 6000ක් පාඩුයි. රජයේ අය-වැයෙන් අපිට දෙන මුදලින් මේව කරන්න ඕන. ඒහින්ද ප්‍රාතිහාර්යපාන්න අපිට පුළුවන් කමක් නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුවෙ බිඳවැටීමක් තියෙනවා. විනයක් නැහැ. දුම්රිය අතරමග දාල යන තත්ත්වයට දුම්රිය දෙපාර්තමේන්තුව පත්වෙලා. මෙහෙම වුණේ ඇයි?

ඒක ඇත්ත. එහෙම වෙන්නෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හින්ද.

විදුලි දුම්රිය ගැන බොහොම කාලෙක ඉඳන් කතාවෙනවා. මෑතකත් මේ ගැන කතාවුණා. මේ දුම්රිය කවදද අපේ රටට එන්නෙ...?

විදුලි දුම්රි‍ය නෙවෙයි. සමහර ලයින් ඉලෙක්ට්‍රිසිටි කරල විදුලියෙන් දුවන්න කටයුතු කරන්නයි හදන්නෙ. දැනට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන ශක්‍යතා අධ්‍යයනය කරනවා. මේව මේ දවසින් දෙකෙන් කොත්තුරොටි හදනව වගේ පැය දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ශක්‍යතා අධ්‍යයනය කරන්න ඕන. ට්‍රැක් හදන්න ඕන. සිග්නල් සිස්ටම් වෙනස් කරන්න ඕන. මේව දන්නැති මිනිස්සු කයිවාරු ගහල කතා කළාට, විෂය ගැන දන්න අය මේ ගැන දන්නවා.

මේ විදුලි දුම්රිය කතාව එක්ක කොමිස් මුදල් කතාවකුත් කියවෙනවා. ඒ කතාවෙ ඇත්ත මොකක් ද?

ඒක මගෙ අමාත්‍යාංශයට අයිති නැහැ. ඒ ව්‍යාපෘතිය කරන්නෙ මගෙ අමාත්‍යාංශයෙන් නෙවෙයි.

සිවිල් ගුවන්සේවා අධිකාරියෙ වැඩි පිරිසක් විදෙස්ගත වෙන්නෙ ප්‍රදර්ශන, සැණකෙළි, සංදර්ශනවලටලු. මේ විදේශ සංචාරවලින් ලංකාවට ලැ‍බිච්ච දෙයක් නැහැ කියලයි කියන්නෙ?

සිවිල් ගුවන් සේවය ගැන නොදන්න මෝඩයො තමයි ඕව කියන්නෙ. අයිකාවෝ කියල සංවිධානයක් ලෝකයෙ තියෙනවා, මේ සංවිධාන‍ෙයන් රටක සිවිල් ගුවන් සේවාවේ ප්‍රමිතීන් නියම කරල තියෙනවා. ඒ ප්‍රමිතීන් අනුව අපේ නිලධාරීන් අවශ්‍ය පුහුණුව, අවශ්‍ය අත්දැකීම් ලබාගන්න ඕන. අයිකාවෝ එකට අනුව ගිය අවුරුද්දෙ අග්නිදිග ආසියාවේ පළවෙනිය වුණේ අපි. එහෙම කරන්න පුළුවන් වුණේ මේ පුහුණුවීම් හරහා නිලධාරින්ගෙ තාක්ෂණික හා වෘත්තීය මට්ටම ඉහළ නංවපු හින්දයි. ලංකාවෙ ඉඳන් ඒ අත්දැකීම් ලබාගන්න බැහැ.

විගණන වාර්තාවලින් කියන්නෙ ඔය කතාව නෙවෙයි. මේ පුහුණුවීම් ලබාගෙන තියෙන්නෙ අදාළ අංශවල අය නෙවෙයි. ඒ නිසා මේ පුහුණුවීම්වලින් ආයතනයට පලදායී ප්‍රතිලාභ ලබාගන්න බැරිවුණා කියලයි.

විගණනයෙන් කරන්න ඕන මුදල් අවභාවිතාවක් වුණානම්, මේ ආයතනයෙන් පිටරට යන අයගෙ ප්‍රමාණය වැඩියි. අයිකාවෝ නීතිරීති රෙගුලාසිවලට අනුව විදෙස් සම්මන්ත්‍රණ වැඩමුළුවලට අපි සහභාගීවෙලා නිලධාරීන්ගේ දැනුම වැඩිකරන්න ඕන.

මේ පුහුණුවීම්වලට යන්නෙ අදාළ වෘත්තීන්වල අය නෙවෙයි කියලත් චෝදනාවක් තියෙනවා?

නෑ... නෑ... ඒ... ඒ... ක්ෂේත්‍රවල අදාළ අය තමයි යවන්නෙ. තවමත් සිවිල් ගුවන්සේවාවේ නිපුණත්වයෙන් සමන්විත නිලධාරීන් අපිට නැහැ. ඒ හින්ද සභාපතිතුමාට තුන්වෙනි වතාවටත් සේවා දිගුවක් දුන්නා. එතුමගෙ සුදුසුකම්වලට අදාළ කෙනෙක් පිටරටින් ගෙනාවොත් රුපියල් මිලියන දෙකකට වැඩි පඩියක් දෙන්න ඕන. ලංකාවෙ අය අඩු පඩියකට රටට වැඩ කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන.

ඔබ ඔය කියන කතාවට අදාළ චෝදනාවකුත් තියෙනවා. පසුපෙළක් හදන්නෙ නැතුව සේවා දිගු දෙමින් නිලධාරීන් තියාගෙන ඉන්නව කියලයි කියන්නෙ?

පසුපෙළක් හදන්න බැහැනෙ. ඔයැයි දන්නැහැනෙ පසුපෙළක් හදන්න තියෙන ප්‍රශ්න. ඔක්කොම මහ ලොකුවට කියනව පසුපෙළක් හැදුවෙ නැහැ කියල. හදන හදන මිනිහ පිටරට යනවා. මෙහෙ රුපියල් ලක්ෂයෙ පඩිය ගන්න කෙනාට පිටරට ගුවන් සේවාවෙ ලක්ෂ 25ක් පඩි හම්බවෙනවා. ඉතිං පසුපෙළක් හදන්න විදියක් නැහැ. මේක තමයි බුද්ධිගලනය. මේ සේවාවෙ බුද්ධිගලනය වැඩියි. ඒවට පිළිතුරු හොයන්න අමාරුයි.

මුදල් අමාත්‍යාංශය, වැටුප් කොමිසමේ නිර්දේශවත් නැතුව අඩුම තරමින් කැබිනට් අනුමැතියක්වත් නැතිව සිවිල් ගුවන්සේවාවෙ නිලධා‍රීන් 15 දෙනෙකුගෙ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩිකරල තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒ ගැන පැමිණිල්ලක් ආවොත් මට හොයල බලන්න පුළුවන් එහෙම වුණොත් වැරදිකරල තියෙන අයට දඬුවම් ලැබෙයි.

ගුවන්තොටුපළ සේවා සඳහා පුරප්පාඩු තිබියදීත් බඳවාගැනීම් කරන්නෙ නැහැ කියල චෝදනාවක් තියෙනවා?

වෙන ඇමැතිවරු වගේ දේශපාලන හෙංචයියො දාගෙන ආයතන පුරවන්න මම වැඩකරන්නෙ නැහැ. බොහොම අරපිරිමැස්මෙන් මම වැඩ කරන්නෙ. ගුවන්තොටුපළේ පිරිස අඩුයි කියල කිසිම පැමිණිල්ලක් අපිට නැහැ.

ලංකා ගමනාගමන මණ්ඩලය ඔබේ කාලයේ යම් ප්‍රගතියක් ලබන බව කියනවා. ඒ ගැන මොකද කියන්නෙ?

දසක දෙකකට විතර පස්සෙ ලංගම ලාභ ලබන්න පටන්ගත්තා. ඉස්සර ලංගම සේවකයන්ට නියම වෙලාවට පඩි දුන්නෙ නැහැ. දැන් අපි වෙලාවට පඩි ගෙවනවා. අර්ථසාධක, ප්‍රසාද දීමනා වෙලාවට ගෙවනවා. මිලියන 12ක් විතර වෙච්ච හිඟ අර්ථසාධකය අපි ගෙව්වා. දැන් ඩිපෝ ලාභ ලබනවා. වෙන ඇමැතිවරු වගේ අනවශ්‍ය විදියට ලංගමට මිනිස්සු රිංගවල මම ලංගම විනාශ කළේ නැහැ.

මේ තත්ත්වයට ලංගම ‍ගේන්න ඔබ මොකද ක‍ළේ?

වැඩක් නැතුව රස්තියාදුවෙමින් හිටපු වැඩිපුර සේවකයින් 3500ක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම යටතේ දීමනා දීල අයින් කළා. පරිපාලනය ප්‍රතිසංස්කරණය කළා. ටිකට් වංචා නැති කරන්න මැෂින් දුන්නා. ඒත් තවමත් වංචා වෙනවා. මේ වංචා නැතිකරගත්තොත් තවත් ලාභ ලබන්න පුළුවන්.

වඩාත් හොඳ මහජන සේවාවක් සපයන්න ලංගමට ප්‍රමාණවත් බස් රථ නැහැ කියලත් කියනවා?

රාජ්‍ය අංශයෙ 40%යි පෞද්ගලික අංශයෙ 60%යි අපේ රටේ ගමනාගමන නිර්ණායකය මේක තමයි. වැඩිපුර බස් තියෙනවනම් වැඩි සේවාවක් අපිට දෙන්න පුළුවන්. අලුත් බස් ගන්න සල්ලි ඕනනෙ. දැන්නෙ ලාභ ලබන්න පටන්ගත්තෙ.

දුමින්ද සම්පත්
ඡායා - සිරිපාල හල්වල

මෛත්‍රී - මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්

$
0
0
ඔක්‌ 5, 2018 01:00

ලෝක ළමා දිනය යෙදී තිබුණු ඔක‍්තෝබර් පළමුවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාගෙන තිබුණේ ගාල්ල, බලපිටිය රේවත පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීම සඳහායි. උදෑසන එහි ගිය ජනාධිපතිතුමා “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකර තිබූ තාක්ෂණ විද්‍යාගාරය මෙන්ම ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්කිරීමට එක්වුණා. ඉන්පසුව විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවා. පියසේන ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම ඇමැතිවරුන්ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මැතිතුමා ද ඇතුළු පිරිසක් එම අවස්ථාවට සම්බන්ධ වී සිටියා.

එහි දී කතාකළ ජනාධිපතිතුමා කීවේ සිංහල දරුවන් මෙන්ම මුස්ලිම් දරුවන් ද එකට ඉගෙන ගන්නා මෙම පාසල ජාතියටම ආදර්ශයක් වන බවයි. සරසවිවල නවකවදය අද ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඛේදවාචකයක් වී ඇති බව කී ජනාධිපතිතුමා, මෙබඳු ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ලෝකයේ කොහේවත් නැති බව ද කීවා.

දරුවන් ගහකොළට සතා සීපාවාට ආදරය කිරීමට යොමු කළ යුතු බව කී ජනාධිපතිතුමා, අද බොහෝ දරුවන් අම්මා තාත්තාටත් වැඩිය ආදරය කරන්නේ ජංගම දුරකථනයට බව ද පෙන්වා දුන්නා.

අඟහරුවාදා ජනාධිපතිතුමා ගියේ එතුමාගේ මහගමසේකර මාවතේ නිල නිවස ආසන්නයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයටයි. එම විද්‍යාලයේ අලුතින් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

“මෙම විද්‍යාලයේ අල්ලපු වැටේ ඉන්න මම මේ දරුවන්ගේ දස්කම් දකිනවා. අහනවා. දරුවො සතුටුවෙනකොට තමයි අපි කවුරුත් සතුටු වෙන්නේ, යැයි ජනාධිපතිතුමා එහි දී කීවා.

අධි තාක්ෂණික මෙවලම් සමඟ දිගු කාලයක් සිටීම නිසා‍ත් අනවශ්‍ය භාවිතය නිසාත් ජනතාව රෝගී වී ඇති බව මෙහි දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. තාක්ෂණය දියුණු වෙද් දී මිනිසුන් රොබෝවරුන් බවට පත්ව ඇතැයිද ඒ හේතුවෙන් ආධ්‍යාත්මය පහළට වැටී ඇතැයිද ජනාධිපතිතුමා කීවා.

පොලිස්පතිවරයාගේ හැසිරීම පසුගිය දිනවල මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍යයේද කතාබහට හා විවේචනයට ලක්ව තිබූ කරුණක්. අඟහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද මෙම ප්‍රශ්නය මතුවුණා. එහි දී ජනාධිපතිතුමා තම කෝපයත් අප්‍රසාදයත් පළකළා. පොලිස්පතිගේ සිට පහළට පොලිසියේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත්, පොලිස් නිලධාරින්ගේ විනය පිරිහීමක් සිදුව තිබෙන බවත් ජනාධිපතිතුමා එහි දී කීවා. පොලිස්පතිගේ වැඩ නිසා වැඩියෙන්ම බැනුම් අහන්නේ තමාත් අගමැතිතුමාත් බව ද ජනාධිපතිතුමා පැවසුවා.

28 වැනි සමථ දින ජාතික උත්සවය පසුගියදා පැවැතියේ කොළඹ අරලියගහ මන්දිරයේදීයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් එය සංවිධානයකොට තිබුණා. වසර 25කට අධික කාලයක් සමථකරණයේ යෙදුණු සමථ මණ්ඩල සාමාජිකයන් 360 දෙනෙක් හා සමථ මණ්ඩල ආරම්භයේ සිට මේ දක්වා අඛණඩව සේවය කළ හතරදෙනෙක් මෙහි දී ඇගයීමට ලක්වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට තලතා අතුකෝරළ ඇමැතිතුමියද සහභාගී වී සිටියා.

සම්පත් පිරුණු මෙම රට පෙරට ගෙනයාමට හොරකම, වංචාව, දූෂණය බාධාවක් බවත්, දූෂණය, නාස්තිය පිටුදැකීම පහළින් මෙන්ම ඉහළින්ද සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

සමථකරණය ගෞරවනීය සේවයක් බවත්, එය අධිකරණ කටයුතුවලට පහසුවක් බවත් තලතා අතුකෝරළ ඇමැතිතුමිය සභාව අමතමින් ප්‍රකාශ කළා.

පොලිසිය ගැන කතා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද අවස්ථාවක් උදාවුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහි දී කතාකරමින් අගමැතිතුමා කීවේ පැමිණිල්ලක් කළ පසු පැය ගණන්, දින ගණන් බලා නොඉඳ ඒ මොහොතේම ක්‍රියාත්මක වන පොලිස් සේවයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවයි. අද මෙරට තුළ පොලිසිය විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් දැන් පොලීසියට දේශපාලනඥයන්ගේ බලපෑමෙන් තොරව නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබී ඇති බවත් අගමැතිතුමා කීවා. ස්වාධීන පොලිස් කොමිසම යටතේ ක්‍රියාත්මක වන පොලිසියට දේශපාලන ඇඟිලි ගැසීම් නැති බව ද අගමැතිතුමා පෙන්වා දුන්නා.

නාත්තන්ඩිය පිලාකටුමුල්ල පුෂ්පාරාමාධිපති නාත්තන්ඩිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශ්‍රී පඤ්ඤාසෝම නාහිමියන්ට පුත්තලම හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර පිරිනැමීම පිළිබඳ පුණ්‍යෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියෝ උත්සවයේ මූලසුන හෙබවූවා.

එහි දී කතාකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ විදෙස් ආක්‍රමණ හමුවේ පවා රැකගත් මහා විහාර සම්ප්‍රදාය වෙනසකට ලක්කිරීම විශාල හානියක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කාරණා ඒ අයුරින්ම ඉටු කරමින් ථේරවාදී බුදුදහම රැක ගැනීම සඳහා ජාතික රජය කැපවී ක්‍රියාකරන බව ද අගමැතිතුමා එහි දී ප්‍රකාශ කළා.

නෝර්වේ රාජ්‍යයේ හා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා උදෑසන පිටත්ව ගියා. ධීවර හා ජලජ සම්පත් ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාත් කාවින්ද ජයවර්ධන හා හේෂා විතානගේ මන්ත්‍රීවරුන්ද අගමැතිවරයාගේ සංචාරයට එක්ව සිටිනවා.

ධීවර කර්මාන්තය ඉහළින්ම කරන සාර්ථක රටක් ලෙස නෝර්වේ රාජ්‍යය කීර්තියක් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාළු ටින් කර අපනයනය කිරීම සඳහා එරටින් විශාල කර්මාන්ත ශාලාවක් ලබා ගැනීමට සාකච්ඡා කිරීම අගමැතිතුමාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වනවා. මෙරට සංහිඳියා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නෝර්වේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

නෝර්වේ සංචාරයෙන් පසුව අගමැතිතුමා බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා පිටත්වනවා. ඒ එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ විශේෂ ආරාධනයකට අනුවයි.

මේ අතර අමාත්‍ය මණ්ඩලයට තවත් දෙදෙනකු පත්කර ගැනීම ගැන මේ දිනවල සාකච්ඡාවක් සිදුවනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම නිසා ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවූ දයාසිරි ජයසේකර මහතාට අමාත්‍යධුරයක් ලබාදීමත් ඒ සමගම රවී කරුණානායක මහතාට අහිමි කළ අමාත්‍ය ධුරය යළි ලබාදීමත් යෝජනා වී තිබෙනවා. රවීට අමැතිකම ලබාදීමට මීට පෙර විරුද්ධ වූ ජනාධිපතිතුමා මෙවර එම විරුද්ධත්වය ඉවත් කරගෙන තිබෙන්නේ දයාසිරිට නැවත ඇමැතිකම ලබාදීමේ යෝජනාවත් සමගයි. කෙසේ වෙතත් එජාපයේ ප්‍රධානීන් අඟහරුවාදා රැස්වී තීරණය කළේ නීතිපතිවරයා රවී කරුණානායක ඇමැතිවරයා සම්පූර්ණයෙන් නිදහස් කරන තෙක් හෝ ඔහුට නඩු පවරන තෙක් ඔහුගේ ඇමැතිධුරය යළි ලබා නොදිය යුතු බවයි.

ලෝක ජනාවාස දින නිල උත්සවය මෙවර පැවැත්වුණු නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේ 131 වැනි උදා ගම්මානය වන “ජගත් නිවහන්ගම” ජනතා අයිතියට පත් කිරීමද සිදු කළා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ අමුත්තන් රැසක් මෙන්ම 4, 000 කට නොඅඩු ජනකායක් මෙම උත්සවයට එක්ව සිටියා. ‘බලන්න ඉන්දික මේ වැදගත් දිනයේ දී ලෝකෙ පුරා සැණකෙළි පවත්වන එකයි කරන්නේ. ඒත් ලංකාවේ අපි විතරයි ඒ වෙනුවෙන් උදා ගම්මාන හදලා, ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් දෙන අර්ථවත් වැඩක් කරන්නේ. බලන්න අද මෙතනම පවුල් 3, 000 කට ප්‍රතිලාභ ලබා දෙනවා. මේ වැඩ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, හැබිටාට් සංවිධානයවත් තඹ සතයක් අපට දෙන්නෙ නෑ” සජිත් කියද් දී ඉන්දික කීවේ “ඇත්ත තමයි ඇමැතිතුමා. ඒවයින් කෙරෙන්නේ හුළං බෝල කතා විතරයි” කියායි.

සජිත් කීවේ “ ඔය ආයතන මානව අයිතීන් රැකගැනීම වෙනුවෙන් කියලා මුදල් වියදම් කරනවා. මිනිස්සුන්ට ඉඩම්, ගෙවල් ලබා දීමත් මානව අයිතිවාසිකම් තහවුරු කිරීමක්. ඒ වෙනුවෙන් අර කියපු ආයතන කිසිම උපකාරයක් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ” යනුවෙන්. තරු හතේ හෝටල්වලට වෙලා ඉංග්‍රීසියෙන් සම්මන්ත්‍රණ තියලා, ප්‍රිය සම්භාෂණ පවත්වලා මේ දිනය සමරන අයට ඒකෙ ගැඹුර ගැන අල්ප මාත්‍ර අවබෝධයක්, අර්ථයක් නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, හැබිටාට් සංවිධානයවත් අපේ නිවාස වැඩසටහන්වලට මූල්‍යාධාර ලබා නොදෙනවා නම් මම ලබන අවුරුද්දේ ඉඳලා ලෝක ජනාවාස දිනය සමරනවා වෙනුවට රටේ පළාත් නවයම ආවරණය කරලා දැවැන්ත උදා ගම්මාන වැඩපිළිවෙළක් දියත් කරනවා” සජිත් කීවා.

බ්‍රහස්පතින්දා උදෑසන නිල සෙවණ කාර්යාලය දෙකක් විවෘත කිරීමට යක්කලමුල්ලට ගිය වජිර අබේවර්ධන අමාත්‍යවරයා ඩොලරය වැඩිවීම ගැන කතා කළා. එහි දී ඔහු කියා සිටියේ ඩොලරය රුපියල් 200 දක්වා වැඩි වුණත් ඒ ගැන ජනතාව බිය නොවිය යුතු බවයි. මෙය ලෝකයේ සියලුම රටවලට බලපා ඇති ප්‍රශ්නයක් බවත් ඩොලරට කොතරම් වැඩි වුවත් කෙසෙල් අල, බතල කොළ කන යුගයකට මේ රට තල්ලු නොකරන බවත් ආර්ථිකය කලමනාකරණය කිරීමේ හැකියාව රජය සතු බවත් ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළා.

එදිනම රාත්‍රියේ ඇමැති වජිර යාපනයට ගියේ පසුදා පැවැත්වෙන චාවකච්චේරි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහනට සහභාගී වීමට. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටස් දෙකකට කඩා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බිහිකරන බවයි. එලෙසම ශ්‍රී ලංකාවේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20ක් අලුතින් බිහිකිරීමට කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

පසුදා චංකානයි නිල මෙහවෙර පැවැත්වෙන උත්සවයට තවත් අමුත්තකු පැමිණියා ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල ඇමතිවරයා. ඇමැති දෙපළ එකතු වී නිල මෙහෙවර වැඩසටහන යාපනයේ පවත්වද් දී යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් ද දැඩි උනන්දුවකින් මේ සඳහා එක්ව සිටියා.

ලෝක ළමා දිනය දා කරෙයිනගර් නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙද් දී ඇමැති වජිර අබේවර්ධන ළමා සොල්දාදුවන් ගැන කතා කළා. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධය පැවැති කාලයේ උතුරේ ළමා සොල්දාදුවන් බුරුතු පිටින් සිටියත් අද ඒ ප්‍රශ්නය විසඳී ඇති බවයි. නමුත් තවමත් ළමයින් පිළිබඳ ප්‍රශ්න ඉතිරිව තිබෙන බවත් උතුරේ ළමයින් ළමා ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමේ ප්‍රවණතාව බරපතළ ගැටලුවක් බවත් ඇමැති වජිර කීවා.

එහි දී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ළමයින් ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙසයි. එමෙන් ම දරුවන් ආරක්ෂා කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ළමා විෂය භාර නිලධාරීන් දැඩි උනන්දුවකින් ක්‍රියාකළ යුතු බව ද අමාත්‍යවරයා කීවා. අතීතයේ යම් යම් සිත් අමනාපකම් හා සැකය නිසා ඇතිවූ යුද්ධය වැනි ප්‍රශ්න හේතුවෙන් ඇති වූ තත්ත්වයන් මතු ඇති නොවිය යුතු බවත් මාපියන්ගේ වැරදිවලට දරුවන් වන්දි ගෙවීම නොවිය යුතු බවත් ඇමතිවරයා කීවා.

එදින තවත් සුවිශේෂී දෙයක් සිදුවුණා. නිල මෙහවෙර ජනපති ජනතා සේවය යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ වීමත් සමඟ රජයේ වියදමින් විවාහ කර දුන් මෙතෙක් අවිවාහකව සිටි අඹු සැමි ජෝඩු අතරින් 150 වැනි ජෝඩුව විවාහ කරවීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල අත්සන් තැබුවා.

බදාදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් පැමිණ සිටියා. ඔවුන් එහි පැමිණ තිබුණේ ඉදිරියේ දී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවකට. සවස 3.00ට පමණ ආරම්භ වූ මේ සාකච්ඡාව රාත්‍රී 8.00 පමණ වනතුරු ඇමැති වජිරගේ ද සහභාගීත්වයෙන් පැවැත්වුණා.

"මේ රටේ සොරකම වැඩිම තැනක් හැටියට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හඳුන්වන්න පුළුවන්. ඒ ගැන මම විෂය භාර අමාත්‍යවරයා හැටියට දුක් වෙනවා. නමුත් මේ තැන අපි කොහොම හරි හදන්න ඕනෑ. "ඇමතිවරයා කීවා.

ඉදිරියේ දී ඉඩම් ඔප්පු ලියාපදිංචි එක් දින සේවාවක් ආරම්භ කිරීම, ඉඩම් ඔප්පු ලබාදීමේ දී වඩාත් ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීම, පත්ඉරු ආරක්ෂා කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම ආදී නව තාක්ෂණික ක්‍රමෝපායයන් රැසක් ගැන මෙහි දී සාකච්ඡා කෙරුණා.

ජවිපෙ නායකයන්ගේ අවධානය ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වෙත යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන් සාකච්ඡාවක නිතර වුණා. ”දවසින් දවස බඩු මිල ඉහළ යනවා. බදු බර වැඩිවෙනවා. ආණ්ඩුව තෙල් සූත්‍රයක් ගෙනත් ඉන්ධන මිල වැඩිකරනවා. එකෙන් සියලූම භාණ්ඩ මිල විතරක් නෙවෙයි බස්ගාස්තු ත්‍රීවිල් ගාස්තු වැඩිවෙනවා. ජනතාව විශාල අසීරුතාවකින් තමයි ජීවත් වෙන්නේ. ජනතාවගේ විරෝධයක් ආණ්ඩුවට තියෙනවා. මේ ඇත්ත විරෝධය ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශයට පත්කරන්න ඕනෑ.” ටිල්වින් සිල්වා කීවා.

”අපි වෘත්තීය සමිති විදියට දැනටමත් සටනක් ආරම්භ කරලා තියෙන්නේ ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙන්න කියලා. ඒ වගේම වතු සේවකයින්ට දිනක වැටුප වැඩිකරගන්න අරගලයක් ආරම්භ කළා. ගොවි ව්‍යාපාරයත්, ධීවර ව්‍යාපාරත් වෙනම සටන් ක්‍රීයාමාර්ග යනවා. මේවා සියල්ල ඒකාබද්ධ කරලා කොළඹ ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කරමු.” ලාල්කාන්ත යෝජනා කළා

"රාජපක්ෂ කණ්ඩායම ජනතා විරෝධතා විහිළුවට ලක්කළා. ඒකෙන් වුණේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඉස්මතු වුණු එක නෙවෙයි. විරෝධතාව විනෝදතාවයක් වුණු එකයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සැබෑ ජනතා විරෝධතාවයක් කරලා ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතියට වටිනාකමක් දෙන්න. විනයගරුක, සටන්කාමී සැබෑ ජනතා විරෝධතාවයක් සංවිධානය කරන්න පුළුවන් ජවිපෙට කියලා ජනතාව දන්නවා.” බිමල් රත්නායක කීවා.

ඒ අනුව ‘බඩුමිලෙන්, බදු බරෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය’ යන තේමාවෙන් උද්ඝෝෂණය සංවිධානය කිරීමට තීරණය වුණා. ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ජවිපෙ බලමණ්ඩල දැනුවත් කිරීමටත් වෘත්තීය සමිති මට්ටමින් වැඩබිම් දැනුවත් කිරීම්ද ගොවි සහ ධීවර සමිති ව්‍යාපාර සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද තීරණය වුණා.

ජර්මන් ජාතික දින උත්සවය පසුගිය 03වෙනිදා ජර්මන් තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ සඳහා දේශපාලනඥයින්ටද ආරාධනා ලැබී තිබුණ අතර ජවිපෙ නියෝජනය කරමින් එහි සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. උත්සවය අතරතුර එයට සහභාගි වීමට පැමිණ සිටි ජීඑල් පීරිස් විජිත හේරත් මන්ත්‍රීවරයාට හමුවුණා. ”කොහොමද මන්ත්‍රීතුමා. විස්ස ගැන අලූත් තත්ත්වය මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකතුමාට ලැබුණා කියලත් කියනවා නේද? මොකක් වෙයි කියලද හිතන්නේ.” ජීඑල් පීරිස් විජිතගෙන් විමසුවා.

ගොඩක් වෙලාවට ජනමතවිචාරණයකට යන්න වෙයි කියලා හිතෙනවා” විජිත කීවා. ”ඔව්, මටත් එහෙම තමයි හිතෙන්නේ” ජීඑල් පීරිස් කියා සිටියා. ”එහෙම වෙන එක හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ 2/3න් විතරක් සම්මත වුණොත් ආයේ වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන විස්ස අහෝසි කරන්නත් පුළුවන්. නමුත් ජනමත විචාරණයකට ගිහින් ජනතාවගේ කැමැත්තෙන් සම්මත කරගත්තාම ආපහු හකුළන්න බැරිවෙනවා. අපි කියන්නෙත් මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතුව ජනතාවට භාර දෙමු කියලා” විජිත හේරත් කියා සිටියා.

ආණ්ඩුව දුම්රිය ගාස්තු වැඩිවීම ප්‍රකාශයට පත්කළේ 15%ක් බවයි. නමුත් පසුගිය 01වැනිදා දුම්රිය ගාස්තු වැඩිවීමෙන් පසුව ගාස්තු වැඩිවීම 15%කට වඩා අධික බව ජනතාව අතර කතාබහ වෙන්නට පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජවිපෙ මන්ත්‍රීවරුන්ටද කියා සිටියේ කුමක් හෝ දෙයක් මේ සම්බන්ධයෙන් කරන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකටද මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන ලෙස කියා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර දිසානායක වෘත්තීය සමිතිවලින් විමසුවේ ගාස්තු පිළිබඳව තොරතුරු දැන ගැනීමටයි.

රඹුක්කනට තිබූ ගාස්තුව රු.70 සිට රු.105 දක්වා 50%න්ද නාවලපිටිය ගාස්තුව රු.120 සිට රු.160 දක්වා 33%න්ද නානුඔය ගාස්තුව රු.160 සිට රු.215 දක්වා 34%න්ද වැඩිවී තිබෙන බව වෘත්තීය සමිති උදාහරණ ලෙස පෙන්වා දුන්නා. අඩුම තරමේ ගාස්තුවක් වැඩි කළාම ඒ ප්‍රතිශතය නිවැරදිව ගණනය කරලා ජනතාව දැනුවත් කරන්නවත් මේ ආණ්ඩුවට බැහැ” අනුර දිසානායක කීවා. මේ අතර මෙම ගාස්තු අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමටද ජවිපෙ නායකයා බලාපොරොත්තුවෙන් සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සම්මුතියක් සඳහා ඒකාබද්ධයේ පිරිසක් හා ශ්‍රීලනිපයේ පිරිසක් අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. කෙසේ වෙතත් ඒකාබද්ධය තුළම ඒ පිළිබඳව මතගැටුමක් හටගෙන තිබෙනවා. වාසුදේව නානායක්කාර මහතා පසුගියදා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ රනිල් බලයෙන් පහකිරීමට නම් මෛත්‍රී මහින්ද සමගි වීම අත්‍යවශ්‍ය බවයි. එයට විරුද්ධ වී සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද වාසු ප්‍රකාශ කළා.

දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ලබා ගැනීමට තමන් උත්සාහ දරන බවයි. ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තමන් කතා නොකරන බව කී ගුණවර්ධන මහතා කීවේ ඊට පෙර පවත්වන මහ මැතිවරණයකින් මහින්ද අගමැති කරන බවයි. මහින්ද විධායක අගමැති වන අතර මෛත්‍රී ජනාධිපති ධුරයේ නාමික බලයක් සහිතව රඳවා ගැනීම මෙම උත්සාහය දරන්නන්ගේ අරමුණයි.

ශ්‍රීලනිපයේ පහළොවේ කණ්ඩායමේ එස්. බී. දිසානායක මහතාද මෙම උත්සාහයේ යෙදී සිටිනවා. ඔහු එම උත්සාහය දරන්නේ ශ්‍රී.ල.නි.ප.යේ සිටියදීම වුවද ඔවුන්ගේ කණ්ඩායමේ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ තවත් පිරිසක් මේ වනවිටත් ඉල්ලා ඇත්තේ තමන්ට ඒකාබද්ධ විපක්ෂයෙන් ආසන සංවිධායක ධුර ලබාදෙන ලෙසයි. ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා තවමත් පිළිතුරක් දී නැහැ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රී හා මහින්ද අතර සම්මුතියකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය විරුද්ධ වීම මහින්දට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ මෛත්‍රී ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි. තමන්ට බලයට ඒමට අතදුන් රනිල්ට මෛත්‍රී කළ දේ ඔහු තමන්ටත් කරනු ඇතැයි එම පිරිස කියා සිටිනවා.

මෙලෙස අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබිය දී මහින්ද රාජපක්ෂ මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා මෙරටට පැමිණියා. ඔහු පොදුජන පෙරමුණේ සංවිධාන වැඩකටයුතු ආරම්භ කළා. බැසිල්ගේ අදහස වී ඇත්තේ දැන් කළ යුත්තේ තම සංවිධාන ශක්තිය තවත් දැඩිකර ගැනීම බවයි. හදිසියේ ආණ්ඩු පෙරළීමකට උත්සාහ දරා අසාර්ථක වීමෙන් තම ඉදිරි ගමන අඩාල වන බව බැසිල්ගේ අදහස වී තිබෙනවා.

එමෙන්ම මෛත්‍රී සමඟ සංධානයකින් තම කණ්ඩායමට විශාල වාසියක් අත්නොවන බව බැසිල්ගේ අදහස වී තිබෙනවා. මෛත්‍රී පිලට පළාත් පාලන මැතිවරණයේ තිබූ ශක්තියද දැන් නැති බවත් බැසිල්ගේ තක්සේරුවයි. එමෙන්ම මෛත්‍රී මහින්ද සන්ධානයක් ඇතිවුවහොත් මෛත්‍රී සමඟ ඉතිරිව සිටින පිරිසද ඔහු අතහැර යනු ඇති බව බැසිල් පෙන්වා දී තිබෙනවා.

මේ අතර බැසිල් සැලසුම්කොට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම සම්මේලනය පැවැත්වීමටයි. එහි දී පක්ෂයේ නිලධාරි මණ්ඩලය පත්කිරීමටත් පක්ෂ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතා පත්කරගැනීමටත් සැලසුම්කොට තිබෙනවා. එවිට මහින්ද තම අනුශාසකයකු ලෙස තබාගැනීම ශ්‍රීලනිපයට ප්‍රශ්නයක් වනවා. තමන් දෙගොල්ලෝම එකම පක්ෂයේය යන කතාවද අවසන් වනවා. එලෙස බැසිල් රාජපක්ෂ මහතා සැලසුම්කොට ඇත්තේ ශ්‍රීලනිපය සමඟ තිබෙන පෙකණිවැල කපාගැනීමටයි.

‘වාස්තු විද්‍යාත්මක’ පිරිත් මණ්ඩප

$
0
0
ඔක්‌ 5, 2018 01:00

පසුගියදා, පානදුර ප්‍රදේශයේ ප්‍රමුඛ නිමි ඇඳුම් අලෙවිසලක් සුභසාධන කටයුත්තක් ලෙස පිරිත් පින්කමක් සංවිධානය කරන ලදී. එහිදී ලද මේ අත්දැකීම නූතන ආගමික සංස්ථාව තුළ සිදුවෙමින් තිබෙන තවත්අවිචාරී ප්‍රවණතාවක් වන හෙයින් ඒ පිළිබඳ තත්ත්වය සටහන් කිරීම මැනවැයි කල්පනා කරමි.

එම පිරිත් සජ්ඣායනය සඳහා ඇරයුම් ලද පානදුර නල්ලූරුව ප්‍රදේශයේ ඇති විහාරස්ථානයක විහාරාධිපති හිමි අදාළ ආයතනයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ,පිරිත් සජඣායනයේදී නියමිත පරිදි බෙර වාදන ප්‍රමිතිය හා ශබ්ධය ලබා ගැනීම සඳහා තමන් නම් කරන බෙර වාදන කණ්ඩායමේ සේවය ලබා ගන්නා ලෙසත් ඊට රු. 20,000 ක මුදලක් අවශ්‍ය වන බවත් ය.

තවද පිරිත් මණ්ඩපය සැකසිය යුත්තේ නියමිත පරිදි කෝණ පිහිටන අයුරින් හා වාස්තු විද්‍යාත්මක’ කරුණු සලකා බලමින් වන බැවින් එයද තමන් නම් කරන ස්ථානයෙන් සම්පාදනය කර ගත යුතු බවත්ය.

පෙනෙන්නට ඇති පරිදි මෙම නිර්දේශ පිටුපස යම් මූල්‍යමය වාසි ඇති බවට අනුමාන කළ හැකිය.

පිරිත් යනු බුදු දහම අනුව නම් යම්කිසි උපදේශාත්මක සජ්ඣායනයකි. එය යාතුකර්මයක් හෝ දෙවියන් සතුටු කරන්නා වූ යාදින්නක් හෝ දේව කන්නලව්වක් හෝ එසේත් නැත්නම් මන්ත්‍ර ජප කිරීමක් හෝ නොවේ. එවැනි යාදින්නක්, ජප කිරීමක්, කන්නලව්වක් නම් දෙවියන් හෝ වෙනත් එවැනි යමකු උපරිම ලෙස සතුටු කරවන අයුරින් ඒ අවශ්‍ය ප්‍රමිතියෙන්” හෝ ඉහළ සැලකිල්ලෙන් යුතුව ඒ දේවල් ඉටු කිරීමට බැතිමතුන් පෙළඹෙනු ස්වභාවිකය. මෙය එවැනි දෙයක් නොවන කල මෙවැනි මෝස්තර හිතු හිතු මනාපෙට එකතු කරමින් උත්කර්ෂවත් හා වර්ණවත් අවස්ථාවක් ලෙසට පිරිත් පරිණාමය කර ගැනීම අප අර්ථ ගන්වා ගන්නේ කෙලෙසද?

පිරිත් මණ්ඩපය නියමිත පරිදි "වාස්තු විද්‍යාත්මකව” සකස් නො කළොත් එහි වටිනාකම අහෝසි වී යන්නේද ? නියමිත ආනිසංස” ලැබීමට වාස්තු විද්‍යාත්මක කෝණ අනුව පිළියෙළ කළ යුතු බවට පිටක පොත්වල සඳහන් වී ඇත්දැයි නොදනිමි, වාස්තු විද්‍යාව නම් අවිද්‍යාව මෙවැනි ආගමික අවස්ථාවලට ඉදිරියේදී තවදුරටත් අනුකලනය කරමින් විශාල පිරිවැයක් සහිත ව්‍යාපෘතියක් ලෙසට මේවා පරිණාමය වනු ඇත. මක්නිසාද මේ කිසිවක් ප්‍රශ්න කිරීම ආගම් විරෝධී කුමන්ත්‍රණ ලෙසට ඔවුන් විසින්ම අර්ථ ගන්වා ඒ අනුව "බැතිමතුන්” කුපිත කිරීම ඔවුන් ගේ ඊළඟ උපක්‍රමය වන නිසාය. විහාරස්ථානයක් අධික ශබ්ධ විකාශන යොදා ගැනීම පිළිබඳව පැමිණිලි කළ අසල්වැසියකුගේ නිවසකට ගල් ප්‍රහාරයක් එල්ල වූ පුවතක් පසුගියදා වාර්තා වුණි.සියයට සියයක්

රටේ ප්‍රචලිතව ඇති :ජ්‍යෝතිෂය වැනි වාස්තු විද්‍යාව නම් අවිද්‍යාව සමාජයේ බොහෝ දේවල් කෙරෙහි පසුගාමී ආකාරයෙන් බලපාන ආකාරය පිළිබඳ එක් උදාහරණයකි මේ. ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ලෝකය පිළිගත් හා දිනෙන් දින දියුණු වන විෂය ක්ෂේත්‍රය වන්නේ විශ්වවිද්‍යාලවල ඇති ඉංජිනේරුමය පාඨමාලාවක් වන Architecture නම් දැනුම් පද්ධතියයි. එවන් වාස්තවික ප්‍රත්‍යක්ෂ දැනුමක් තිබියදී කිසිදු ගැඹුරක්, පදනම් දැනුමක් නොමැති හුදු විශ්වාසයක් පමණක් වන මේ මිථ්‍යාව සමාජ ප්‍රගමනයට අකුල් හෙළන ආකාරය පහදා දෙන ව්‍යාපාරයක් නොමැති වීම ලංකාවේ ඛේදවාචකයකි.

විශ්වයේ යම් තරුවක හෝ ග්‍රහලෝකයක පිහිටීම අප දක්වන්නේ වඩා විශාල තාරකා පද්ධතියකට සාපේක්ෂවය. එසේ නොමැතිව තරුවකට, ග්‍රහලෝකයකට මතුද නොව මන්දාකිණියකට පවා නිරපේක්ෂ පිහිටුමක් හෝ දිශාවක් නැත.එසේ වූ විශ්වයේ නිවැරදි දිශා හෝ නිවැරදි කෝණ හෝ කියා යමක් නැත.පෘථිවිය මතුපිටදී අපි කරනු ලබන දිශා පිළිබඳ මිනුම් සියල්ල පෘථිවියට සාපේක්ෂව ගනු ලබන ඒවාය.

දියුණු ලෝකයේ නිවසක් හෝ කිසිදු දැවැන්ත ඉදිකිරීමක් හෝ ඊනියා වාස්තු විද්‍යාව නම් මිථ්‍යාවක් අනුව සැලසුම් කරන්නේ නැත. එසේ වාස්තු විද්‍යාව නොසලකා ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දියුණු ලෝකයේ ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වලට විශේෂ විපතක් සිදුවී නැත.

මඩ කතා බොරු කතා චෝදනා

$
0
0
ඔක්‌ 5, 2018 01:00

මේ කාලෙම වගේ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමයේ සභාපති වශයෙන් මට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආර්. සම්සුදීන් මහතාගෙන් මහ කොමසාරිස් නිවසේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා.

ඒ කාලයේ ඔස්ට්‍රේලියාවෙ ලංකා මහ කොමසාරිස් එල්මෝ සෙනවිරත්න මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ඥාතියෙක්. ඒ සාකච්ඡාව කැන්බරා සිංහල ප්‍රජාවේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයකු වන ව්‍යුහාත්මක ඉංජිනේරු තිස්ස ද සිල්වා මහතා ගේ නිවසේ පවත්වන බව පසුව මට දැනුම් දුන්නා. ඒ රැස්වීමට සහභාගි වූ සියලු දෙනාම පාහේ සිංහල ජාතිකවාදීන් බව මට පෙනුණා.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් එල්මෝ සෙනෙවිරත්න මහතාත් නියෝජ්‍ය මහ කොමසාරිස් ආර්. සම්සුදීන් මහතාත් එතැන හිටියා. භාෂා ප්‍රශ්නය සාකච්ඡා කරද්දී දිවයිනේ බහුතරය කතා කරන භාෂාව වන සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු බව සාකච්ඡාවට මුල පුරමින් මහ කොමසාරිස්වරයා කිව්වා. ඉන්දියාව උදාහරණයක් හැටියට පෙන්වල ඒ රටේ එකම රාජ්‍ය භාෂාව හින්දි බව ඔහු පැවසුවා.

ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වුණත්, ඉංග්‍රීසි භාෂාව ජාතික රාජ්‍ය භාෂාවක් ලෙස උගන්වන බවත්, හැම ප්‍රාන්තයකම රාජ්‍ය භාෂාව ඒ ප්‍රාන්තයේ බහුතර ජන කොටස කතා කරන භාෂාව බවත් පවසා මට මහ කොමසාරිස්වරයා නිවැරදි කරන්න සිදු වුණා.

ඉන්දීය ජාතිකයෝ සේරම වගේ තමන් පළමුවෙන් ඉන්දියානුවකු ලෙස සලකන්නෙත් අඩු තරමින් භාෂා තුනක් පමණ හසුරුවන්නට හැකි වී ඇත්තෙත් ඒ නිසා බව මම පෙන්වා දුන්නා. 1956 ක්‍රියාත්මක කරන ලද ‘සිංහල පමණයි’ භාෂා ප්‍රතිපත්තියෙ තිබුණ බොහෝ අඩුපාඩු නිසා දෙමළ ජන කොටස්වල දුක් ගැනවිලි ආමන්ත්‍රණය කරන්නට අසමත් වුණු බව මම කිව්වා. මගේ අදහස් දැක්වීමත් සමඟම සංවාදය උණුසුම් වුණා. අවසාන ප්‍රතිඵලයකින් තොරව සාකච්ඡාව අවසන් වුණා. ඊළඟ දවසෙ සිංහල ප්‍රජාවේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයා මට කතා කරලා ඉදිරියට පවත්වන රැස්වීම්වලට මගේ සහභාගිත්වය අනවශ්‍ය බව කිව්වා.”

“මේ සිද්ධියට පසුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් එල්මෝ සෙනවිරත්න මහතාගේ නිවසේ පැවැත්වෙන සාකච්ඡාවකට නැවතත් මට ආරාධනා කෙරුණා. සාකච්ඡාවට හිටියේ එල්මෝ සෙනවිරත්න මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් ආර්. සම්සුදීන් මහතා, සැම්සන් අබේගුණවර්ධන මහතා සහ ඒ කාලයේ මෙල්බර්න් නුවර ‘ස්පර්’ නමැති අන්ත ජාතිකවාදී සංවිධානයේ සභාපතිවරයා ව සිටි වෛද්‍ය නිහාල් සෙනරත් හීනටිගල මහතා. සුහද සංග්‍රහයකින්, කතාබහකින් සහ එක්තරා විදිහකට මාව ‘මුරුංගා අත්තේ තබන්නට’ උත්සාහ කිරීමකින් පසු මට කරන ලද ආරාධනාව වූයේ ‘ස්පර්’ සංවිධානයට සමාන්තර සංවිධානයක් කැන්බරා නුවර ගොඩනඟන්නට මට මූලිකත්වය ගත හැකිද යන්නයි. මගේ හෘදය සාක්ෂියට එකඟ ව එය කළ නොහැකි බව මම ඒ අයට කිව්වා.

1994 දී අපි කැන්බරා නුවර ‘ශ්‍රී ලංකාවේ සාමය උදෙසා සංවාද මණ්ඩපය’ යනුවෙන් සාකච්ඡාවක් පටන් ගත්තා. ඒ මණ්ඩපයම 1996 දී ශ්‍රී ලංකාවේ ‘සාමය සඳහා වූ මිතුරෝ’ නමින් ලියාපදිංචි කළා. ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණ යුක්තිගරුක විසඳුමක් වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ ගමන් ම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිටි විවිධ ජන කොටස් දැනුවත් කරන්නත් කටයුතු කළා.

1995 ආණ්ඩුවයි කොටි සංවිධානයයි අතරෙ සාම සාකච්ඡා කඩා වැටුණට පස්සෙ, කැන්බරාවල මතු වෙලා තිබුණ නොසන්සුන් තත්වය සමනය කරන්න බලාපොරොත්තුවෙන් සියලුම ජන කණ්ඩායම්, ඇදහිලි කණ්ඩායම් එකතු කරල සර්ව ආගමික මෙහෙයක් පවත්වන්නට කටයුතු කළා. අපි මේ කටයුත්ත සඳහා නොමිලේ ලබා ගන්නට කැන්බරාවල ශාලාවක් සෙවුවා. නමුත් කොහේවත් ලබා ගන්න ශාලාවක් තිබුණේ නැහැ.

අවසානයේ මානුකා ප්‍රදේශයේ සාන්ත පෝල් දේවස්ථානයේ රැස්වීම් ශාලාවක් සම්පුර්ණයෙන් නොමිලේ ලබා ගන්නට අපට පුළුවන් වුණා. මෙම සර්ව ආගමික මෙහෙය පවත්වන්නට ශාලාවෙ ඉඩ තිබුණේ නොවැම්බර් 26 වෙනිදා පමණයි. අපි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට, ප්‍රධාන ආගමික බිෂොප්වරුන්ට, පූජකවරුන්ට, භික්ෂූන් වහන්සේලාට, වෙනත් විවිධ ආගමික මත දරන කණ්ඩායම්වලට ආරාධනා කළා. සර්ව ආගමික මෙහෙය පවත්වන දවසට කලින් දවසෙ ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන්න අපි මෙම කටයුත්ත සංවිධානය කරන බවට කැන්බරාව පුරාම කටකතාවක් පතුරවන්න පටන්අරගෙන තිබුණා.

ඒ කාලේ අපි කිසි කෙනෙක්, අඩු තරමින් දෙමළ ප්‍රජා නායකයන් වත් දැනගෙන හිටියෙ නැහැ .ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 දා බව. මහ කොමසාරිස්වර එල්මෝ සෙනවිරත්න මහතා මේ සර්ව ආගමික මෙහෙයට සහභාගි වෙන එක වළක්වන්නට බොහොම ලොකු උත්සාහයක් ගත්තා. අවස්ථාවට සහභාගි වෙන්නට පෙර, එය ප්‍රභාකරන් සමරු රැස්වීමක් නොවන බවට සහතිකයක් මහ කොමසාරිස්වරයාට අවශ්‍ය වුණා. මම ඒ පිළිබඳව ඔහුට පුද්ගලිකව ම සහතික වුණා.

සිංහල, දෙමළ, බර්ගර් සහ මුස්ලිම් ජන කොටස් වගේම ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාත් නිව් සවුත් වේල්ස් කටුම්බා බෞද්ධ විහාරස්ථානයෙ විජයබාපුර තපෝධන ස්වාමීන් වහන්සේත් සර්වාගමික මෙහෙයට සහභාගී වුණා. මුලින්ම කැන්බරා කැම්බා පන්සලේ ආගමික වතාවත් පවත්වපු අපේ ඇරයුම මත මෙම ආගමික මෙහෙයට සහභාගි වුණ ඒ ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේට ඉන් පස්සේ කරපු දේ නින්දාසහගතයි. මේ බොහෝ භික්ෂූන් වහන්සේලා ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නෙ තාවකාලික වීසා මත. තපෝධන ස්වාමීන් වහන්සේත් පැමිණියේ ඒ ආකාරයටමයි. ආගමික මෙහෙයට සහභාගි වුණ නිසා උන් වහන්සේගේ වීසා සදහා අනුග්‍රහ දක්වපු සංවිධානය වීසා දීර්ඝ කරන්නට ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා සර්ව ආගමික මෙහෙයෙන් පස්සේ උන් වහන්සේට ඔස්ට්‍රේලියාවෙන් පිටව යන්නට සිදු වුණා.”

“ සර්ව ආගමික මෙහෙයේ දී ප්‍රභාකරන්ගේ නම වත් සඳහන් කෙරුණේ නැති වුණාට කැන්බරා නුවර ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූ බවට ලංකාවේ පුවත්පත්වල පළ කළා. මහ කොමසාරිස් එල්මෝ සෙනවිරත්න මහතාටත් සැලකුවේ ඒ අන්දමට මයි. කොටි සංවිධානයට අනුකූලතාව දක්වන බවට මට චෝදනා කරපු මුල්ම අවස්ථාව ඒක. ඔවුන් එල්ල කරපු අභූත චෝදනා අතර මම කොටින්ට සල්ලි දෙනවා, කොටි සංවිධානය මට සල්ලි දෙනවා, කොටින්ගෙ සල්ලිවලින් මම වාහන ගන්නවා, මම කැන්බරා රජයෙන් කැන්බරා දෙමළ සංගමයට අරමුදල් ප්‍රදාන අරගෙන දෙනවා… වැනි චෝදනා තිබුණා. මම ඒ වෙන කොට අරමුදල් ප්‍රදානයත් ගන්න උදව් කරල තිබුණේ කැන්බරා ශ්‍රී ලංකා නාට්‍ය පාසලට පමණ යි. නමුත් මෙල්බර්න් නුවර පාදක කරගත් අන්ත ජාතිකවාදී සංවිධානයක් ඔස්ට්‍රේලියාවේ විශේෂ ගුවන්විදුලි සේවයේ සිංහල අංශය යොදා ගනිමින් පැය භාගයකට ආසන්න කාලයක් මට එරෙහිව නොයෙක් ආකාරයේ මඩ ගැසීම් කළා.

එවකට රැකියාවක් නොමැතිව හෝ නොකර හිටපු ඇතැම් අන්ත ජාතිකවාදී සහ ජාතිභේදවාදී අය දුරකතනය යොදා ගෙන නොකඩවා කටකතා පැතිරෙව්වා. ‘ශ්‍රී ලංකාවේ සාමය සඳහා මිතුරෝ’ හෝ ‘ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය’ මගින් පවත්වන රැස්වීම්වලට සහභාගි වෙන්න එපා කියල බියවැද්දීම් කළා. ඔවුන්ගේ කටයුතු ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික වාදයට එරෙහි දේවල් වුණත් ඇතැම් විට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කළේ එවැනි දේ අනුමත කරන අන්දමට. සාමයට, එකමුතුවට, සංවාදයට එරෙහි කොටස්වලට එවැනි දිරි ගැන්වීම් ලබා දීමෙන් ඔස්ට්‍රේලියාව තමන්ගේම ප්‍රතිපත්ති කෙලෙසා ගත්තා.

අපි පුවත්පත් නිවේදන නිකුත් කරලා, දේශන හා සම්මන්ත්‍රණ සංවිධානය කරලා අන්තවාදී කණ්ඩායම් ගෙන ගිය විවිධ පච ප්‍රචාරවලට පිළිතුරු දුන්නා. නමුත් කට කතා ඇතැම් දෙනා අන්ධ විදියට විශ්වාස කළා. අපේ කටයුතුවලට අනුකූලත්වයක් දක්වපු අයට එවැනි කටයුතුවලට සහභාගි වෙන්න එපා කියල තර්ජන කළා. ශිෂ්‍යත්ව ලබාගෙන ඇවිත් ඉන්න ශිෂ්‍යයන් අපේ කටයුතුවලට සහභාගි වුණොත් ඔවුන් කොටි හිතවාදීන් විදියට හංවඩු ගහල ශිෂ්‍යත්ව අහෝසි කර දමන බවටත්, කටුනායක ගුවන් තොටුපලෙන් ආපසු ලංකාවට ගොඩ බැස්ස වහාම හතරවැනි තට්ටුවට කෙළින්ම දක්කා ගෙන යන බවටත් තර්ජනය කළා. අවාසනාවකට වගේ ඇතැම් ජාතිවාදී සහ ජාතිකවාදී කොටස් හිතා මතාම කරපු මේ වගේ කටයුතු නිසා ජන කොටස් අතරෙ එකමුතු කම ගොඩ නඟන්න දරපු උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකි වුණේ නැහැ.

කොහොම වුණත් ‘ශ්‍රී ලංකාවේ සාමය සඳහා මිතුරෝ’ සංවිධානයේ ආරාධනාව පිළිඅරගෙන බොහෝ දෙනෙක් එහි ප්‍රජාව ඇමතුවා. කුඩා බණ්ඩාර බිබිලෙ, මහාචාර්ය කාලෝ ‌‌ෆොන්සේකා, ආචාර්ය අර්ජුන පරාක්‍රම, කුමාර් පොන්නම්බලම්, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, බර්නාඩ් විජේදෝරු, ආචාර්ය නිමල්කා ෆනැන්ඩු, වසන්ත රාජා, එස්. ජේ. එමානුවෙල් පියතුමා, එස්. චන්ද්‍රසේකරන් පියතුමා, ආචාර්ය සිරි ගමගේ, මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ, ඇන්ටන් මුතුකුමාරු, ආචාර්ය ජේම්ස් ජප්, ආචාර්ය ජෝන් පවර්ස් මහත්ම මහත්මීන් එවැනි කිහිප දෙනෙක්.

මේ සියලුම අවලාද, අපවාද මැද මම 1990 අග භාගය වන විට කැන්බරා නුවර බොහෝ ප්‍රජා කටයුතු කළා. මගේ ප්‍රජා කටයුතු අගය කළ අය, (විශේෂයෙන් ‘ට‍්‍රාන්සැක්ට්’ සංවිධානය) ඒ කටයුතු ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශ රජයේ මහ ඇමතිවරියගේ පිළිගැනීමට ලක් විය යුතු බවට මගේ නම යෝජනා කර තිබුණා. මහ ඇමතිවරියගේ පිළිගැනීමට ලක්වෙන අයට සහතික පත්‍ර ප්‍රදානය කරන්නට නියමිත දවසේ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ කැම්බා බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ ප්‍රධාන කාරක සභිකයනුත් පන්සලේ වැඩ සිටි භික්ෂූන් වහන්සේත් මගේ ප්‍රජා කටයුතු පිළිගැනීමට ලක් කිරීමට එළිපිටම විරෝධය පාමින් සභාවෙන් ඉවත්ව ගියා. එසේ කරන්නට ඔවුන්ට අයිතිය තිබුණත් මා කල්පනා කරන්නේ, ඔවුන් එයින් ප්‍රදර්ශනය කළේ කුහකත්වය, තණ්හාව සහ වෛරී සහගත බව කියායි. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ එවැනි ලක්ෂණ බෞද්ධ ලක්ෂණ ලෙස ප්‍රදර්ශනය කිරීම මුළු මහත් බෞද්ධ සංහතියටම කරන නිගාවක්.

ඔස්ට්‍රේලියා අගනගර ප්‍රදේශයේ හොඳම ප්‍රජා ක්‍රියාකාරිකයෙක් වශයෙන් මා පිළිගැනීමට කටයුතු කෙරුණ අවස්ථාවේ සියලුම සිංහල බෞද්ධ ජාතිකවාදීන් සහ ජාතිභේදවාදීන් එකතු වී ඒ පිළිගැනීම සම්බන්ධව කටයුතු සංවිධානය කළ 2CC ගුවන් විදුලි සේවයට දුරකතන පණිවුඩ දෙමින් එය වැළැක්වීමට බොහෝ වෙහෙස ගත්තා. මෙවැනි හතුරුකම්වලට මුහුණ දෙන්නට සිද්ධ වුණත් හොඳම ප්‍රජා ක්‍රියාකාරිකයන්ගේ අවසාන වටයට මගේ නමත් තෝරා ගෙන තිබුණා.”

සිසිර යාපා
සඳුදා - කැන්බරා නුවර නිදහස් උත්සවය

පිදුරු ගහේ එල්ලීම

$
0
0
ඔක්‌ 5, 2018 01:00

“දියේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා” වාගේ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බවට වහසි බස් දොඩමින් ක්‍රියාත්මක කළ පාගමන්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සහ කොළඹ වැටලීම ආදි සියලු සැලසුම්වලින් දැඩි සේ අසාර්ථකත්වයට පත් වූ ඒකාබද්ධ කල්ලිය පසුගිය සති කිහිපය පුරාම එල්ලී සිටින්නේ “රුපියල අවප්‍රමාණය වීම” නම් පිදුරු ගහෙයි.

ගසාගෙන යන සැඩ පහරින් බේරීම සඳහා පිදුරු ගසක එල්ලී සිටියත් ඒකාබද්ධ කල්ලිය, විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති හේතු ගැන කරන විග්‍රහ නම් නිමක් නැහැ. තම දේශපාලන අවස්ථාවාදීත්වය සහ කුහකත්වය මනාව ප්‍රදර්ශනය කරමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදීත් තම දස අවුරුදු පාලනය ගැන පාරම්බාමින් ඉදිරිපත් කරන විග්‍රහ අතිශයින් සාවද්‍ය බව, ජනතාව නොමඟ යවන ඒවා බව රාජපක්ෂ යුගය ගැන දන්නා කියන ජනතාවට පැහැදිලි කරුණක්.

ඒත් මේ සාවද්‍ය හා පම්පෝරි කතා මගින් තව දුරටත් සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට හැකි බව ඒකාබද්ධ කල්ලිය විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ එකම බොරුව සිය වරක් නොව දහස් වරක් වුවද අඛණ්ඩව, නිර්මාණශීලීව ප්‍රකාශ කිරීමට මේ කල්ලිය නොබියව සූදානම් නිසයි. බිල්ලන් මැවීමෙන් තොර පැවැත්මක් නැති බව දන්නා නිසයි.

කිඹුල් කඳුළු හෙළීම

රුපියල අවප්‍රමාණය වීම ගැන කරුණු පැහැදිලි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තම නොහැකියාව මනාව ප්‍රදර්ශනය කළ මහින්ද රාජපක්ෂ මහතා එමගින් සිදු වූ නින්දාව මකා ගැනීමට දෝ පසුගිය 25 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. “රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය” යන ශීර්ෂ පාඨය යටතේ නිකුත් කළ මේ මාධ්‍ය නිවේදනය මගින් රාජපක්ෂ මහතා රුපියල අවප්‍රමාණය වීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වලතා නිසා නිර්මාණය වූ හුදකලා සිදුවීමක් බව හුවා දැක්වීමට දැඩි වෙහෙසක් ගෙන තිබුණා.

“යහපාලන ආණ්ඩුව බලයට පැමිණිදා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවණතාවක් පැවතුණි. එය අද වන විට භයානක නායයෑමක් දක්වා වර්ධනය වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළයාම යැයි ආණ්ඩුවේ ප්‍රධානීහු කියති. මගේ ආණ්ඩු කාලය තුළ 2007-2008 වසරවලදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හේතු කොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් කඩා වැටුණි.

එදා ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වග බලා ගැනීමට අපේ ආණ්ඩුව සමත් විය. 2007 - 2008 වසරවලදී මුළු ලෝකය පුරාම හමාගිය දරුණු ආර්ථික අර්බුදයක් තිබුණු බවක් වත් බොහෝ ශ්‍රී ලාංකිකයන් දැන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62ක් වූ අමෙරිකානු ඩොලරය 2009දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94ක අගයක පැවතියේය” මේ මහින්ද රාජපක්ෂ මහතා තම පාලන යුගයේ ප්‍රථම භාගයේදී පැවැති තත්ත්වය සමස්ත දශක පාලනය සමඟ තුලනය කිරීමට දක්වන උත්සාහයයි.

මහින්ද රාජපක්ෂ යුගයේ මේ තත්ත්වය ගැන කිසිවෙකුගේ තර්කයක් හෝ විවේචනයක් නැහැ. රට තීරණාත්මක යුද්ධයක නිරත වෙමින් සිටියදී ජනතාව අතරින් ද ආර්ථිකමය කාරණා ගැන මැසිවිලි ඉදිරිපත් වුණේ නැහැ. විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ද ආණ්ඩුවේ යුද ක්‍රියාවලියට පූර්ණ සහාය දුන්නා මිස ළඳරු රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ තදියමකින් පෙළුණේ නැහැ. ඒත් ජනතාව දැඩිව ප්‍රශ්න කළේ යුද ජයග්‍රහණයෙන් පසු උදා වූ රාජපක්ෂ යුගයයි. රට උකස් කරමින් ප්‍රදර්ශනකාමී සංවර්ධනය ආරම්භ කළ ඊනියා රාජපක්ෂ පාලනයයි. එම නිසා 2010න් පසු ආරම්භ වූ රාජපක්ෂ දෙවැනි ඉනිමට ඉහත සඳහන් කිසිදු තර්කයක් අදාළ නැහැ.

මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවැනි ඉනිම ආරම්භ වූ 2011 වර්ෂයේදී රුපියල් 110.57ක් වූ විනිමය අනුපාතය 2012දී රුපියල් 127.60ක් දක්වා එක්වරම රුපියල් 17කට ආසන්න අගයකින් අවප්‍රමාණය වුණා. මේ යුගයේ ලෝකයේ කිසිඳු ආකාරයක ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. එසේ නම් 2012 රුපියලේ සිදු වූ දැවැන්ත බිඳ වැටීම සම්පූර්ණයෙන් රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵලයක් බව අපට පැහැදිලියි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්තය වන ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමට හේතු වූ යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමි කර ගැනීම වැනි ඍජු ආණ්ඩුවේ දුර්වලතා මගින් උද්ගත වූ මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා කළ දේ ගැන මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා හෙළි කළා.

ඒ ඩොලර් බිලියන 4.1ක සංචිත අමනෝඥ ලෙස මුදා හැරීම මගින් රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීමට පියවර ගැනීමයි. මෙවැනි තත්ත්වක් තුළ පවා මේ තත්ත්වය අඛණ්ඩව පැවති බව ද අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව 2008දී රුපියල් 108.33ක් වූ විනිමය අනුපාතය 2014 මහින්ද රාජපක්ෂ යුගය අවසානයේදී රුපියල් 130.56 දක්වා රුපියල් 22කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබෙනවා. 2015 ද සැලකිය හැකි වන්නේ රාජපක්ෂ පව් ගෙවූ වසරක් වශයෙන් හෙයින් ආසන්න වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි යුගය වශයෙන් සැලකෙන 2010-15 යුගයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 113.06 සිට 135.94 දක්වා අඛණ්ඩව අවප්‍රමාණය වීමකට ලක්ව තිබෙනවා. අද රුපියල අවප්‍රමාණය වීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනතාව හමුවේ සුදනන් වීමට කැසකවන රාජපක්ෂ - කබ්රාල් හවුල මේ අවප්‍රමාණය වීම් හා ඒ යට සැඟවුණ ආර්ථික අගතීන් ගැන ජනතාව හමුවේ කරුණු පැහැදිලි කළ යුතුයි.

කොළ කඩා පෑම

තම දශක පාලනය ආරම්භක තෙවසර තුළට ගොනු කිරීම මගින් සමස්ත චිත්‍රය පූර්ණ විකෘතියකට ලක් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරයක් අපට දැකිය හැකියි. මෙය හිතමතාම ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක් බව සඳහන් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන 2007-2008 යුගය ගැන තර්ක කිරීමක් අනවශ්‍ය වන්නේ රාජපක්ෂ පාලනය ආරම්භ වූ (2005) යුගයේ ලංකාව ණය කන්දක සිර කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පියවර නොගෙන තිබූ නිසා මිස රාජපක්ෂ මහතාගේ විශ්මකර්ම හැකියාවක් නිසා නොවෙයි. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර 2005 වර්ෂයේ වෙළෙඳ ශේෂය (අපනයන ආදායම් හා ආනයන විදයම් අතර වෙනස) රුපියල් මිලියන -207.503ක් වූ අතර මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයත් සමඟ එම හිඟය වේගයෙන් ප්‍රසාරණය වූ ආකාරය අපට හඳුනාගත හැකියි.

ඒ අනුව 2006දී වෙළෙඳ ශේෂය රුපියල් මිලියන -296,687 දක්වා ද, 2007දී එය රුපියල් මිලියන -399,516 දක්වා ද, 2008දී රුපියල් මිලියන -561,622 දක්වා ද දැවැන්ත හිඟයක් (ඍණ ශේෂයක්) බවට පත් වූ ආකාරය අපට නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව බලයට ආරම්භක තෙවසර තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෙවුම් ශේෂ හිඟය රුපියල් මිලියන -207,503 සිට 561,622 දක්වා එනම් රුපියල් මිලියන -354,119කින්, එනම් සියයට 125ක ආසන්න අගයකින් ප්‍රසාරණය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ අවසාන වර්ෂය වශයෙන් සැලකිය හැකි 2014දී ගෙවුම් ශේෂ හිඟය වාර්තා වන්නේ රුපියල් මිලියන -1,037,766ක් වශයෙනුයි. මහින්ද රාජපක්ෂ මහතා පාලනය භාර ගන්නා විට පැවති මිලියන - 207,503ක් වූ ගෙවුම් ශේෂ හිඟය දස වසරක ඇවෑමෙන් සියයට 500කට ආසන්න අගයකින් වර්ධනය වූ බවක් අපට මේ අනුව වටහා ගත හැකියි. අද වත්මන් ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුදය ගැන උපදෙස් දෙන්නේ මේ ආකාරයේ ආර්ථික කළමනාකරණයක් කළ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම වීම හාස්‍යයට කරුණක්.

පදනමක් නැති චෝදනා

රුපියල අවප්‍රමාණය වීම ගැන වත්මන් ආණ්ඩුවට චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තම පාලන යුගයේ පැවති නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීම වත්මන් ආර්ථික අර්බුදයට හේතුව බවයි. “ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමෙරිකානු ව්‍යාපාරික ආයතනවලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිෂ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් අමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිෂ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලුනු, අර්තාපල්, පලතුරු, එළවළු, කුකුල් මස් හා ඇතැම් කාර්මික නිෂ්පාදන මේ රටේම නිපදවා ආනයනය අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආණ්ඩුවට ද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙළවරක් නැති නිදහස් ආනයනික ප්‍රතිපත්තියකි. ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීමේ කිසිදු උපාය මාර්ගයක් ඔවුන්ට නැත.

මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවට චෝදනා කරන්නේ ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීමේ කිසිදු උපාය මාර්ගයක් වත්මන් ආණ්ඩුවට නැති බවයි. එහෙත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා හිතමතාම වත්මන් ආණ්ඩුව විසින් ආනයනය අඩු කොට අපනයනය වර්ධනය කිරීම සඳහා ගන්නා සුවිශේෂ ක්‍රියාමාර්ග ජනතාවගෙන් වසං කිරීමට වංක උත්සාහයක නිරත වන ආකාරයක් අපට දැකිය හැකියි. “විෂන් 2025” තුළ ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු වී තිබෙන්නේ අපනයන සංවර්ධනය කෙරෙහිය.

“අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නෙමු. මිලියන 20ක් පමණ වන පාරිභෝගිකයන්ගෙන් සමන්විත දේශීය වෙළෙඳපොළක් ශ්‍රී ලංකාව සතු වන අතර, තිරසාර, ඉහළ සහ දිගු කාලීන වර්ධනයක් සඳහා විදේශීය අංශයේ ඉල්ලුම මත රඳා පැවතීමට සිදුවන බව මූලික යථාර්ථයක් ලෙස අපි හඳුනා ගෙන ඇත්තෙමු. ගෝලීය නිෂ්පාදන ජාලය තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා සුරක්ෂිත කිරීම උදෙසා අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට උපාය මාර්ගිකව පත් කරන්නෙමු. මේ පුළුල් දැක්මක් සහිත ප්‍රවේශය දේශීය ආර්ථිකයේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ලබන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබසෙත සලසනු ඇත” (විෂන් 2025, පිටුව 11)

2025 දැක්ම අනුව යමින් ක්‍රියාත්මක “ව්‍යවසාය ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මගින් ද අපනයන සංවර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රබල උත්තේජනයක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය තෙවසර අනුගමනය කළ ප්‍රශස්ත පියවරවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉතිහාසය ඉහළම අපනයන ආදායම ලෙස අපනයන ආදායම ඩොලර් බිලියන 11.3ක් දක්වා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව (2014දී 1,453,176ක්) අපනයන ආදායම 2016 දී රුපියල් මිලියන 1,536,167 දක්වාත් 2017දී රුපියල් මිලියන 1,732,440 දක්වා වර්ධනය වී තිබෙනවා. වත්මන් ආණ්ඩුවට අපනයන සංවර්ධනය පිළිබඳ දැක්මක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා නඟන චෝදනාවට පදනමක් නැති බවත් එය ජනතාව නොමඟ යැවීමේ ප්‍රයත්නයක් බවත් මේ අනුව අපට පැහැදිලි වෙනවා.

ආණ්ඩුව ආනයන අධෛර්මයත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පියවර ගෙන නැති බවට මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව ද පදනම් විරහිත එකක් බවයි පෙනී යන්නේ. මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන සියලුම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ (අපි වවලයි අපි කන්නේ වැනි) දේශීය නිෂ්පාදනය හැකිතාක් පුළුල් කරමින් ආනයන පාලනය කිරීම වෙනුවෙනුයි.

උදාහරණයක් ලෙස පසුගිය නියඟ තත්ත්වය තුළ දේශීය ඉල්ලුම සම්පූර්ණ කිරීම හා මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා පසුගිය 2017 වර්ෂයේදී විදේශයන්ගෙන් සහල් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වුණා. එය මෙට්‍රික් ටොන් 7, 48,000ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඊට සමගාමීව දේශීය ඉල්ලුම ඉහළ යාම නිසා තිරිඟු මෙට්‍රික්ටොන් 1, 250,000ක් ද, ආනයනය කිරීමට සිදු වුණා. එහෙත් මොරගහකන්ද - කළුගඟ, වයඹ ඇළ ඇතුළු දැවැන්ත වාරි සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීම සමඟ ඉදිරියේදී මේ ආනයන විශාල වශයෙන් අඩු කිරීමට හැකියාව ලැබෙන බව පැහැදිලියි. මහින්ද රාජපක්ෂ යුගයේ කෘෂිකාර්මික සංවර්ධනයට අත්‍යවශ්‍ය වාරි සංවර්ධනය පැහැර හැරීම නිසා 2015-17 නියඟ තත්ත්වයට මුහුණදීම අසීරු වූ බව අප මෙහිදී වටහා ගත යුතු කරුණයි.

දෙපිට කාට්ටු කතා

ආනයන පාලනය සඳහා බදු පැනවීම ආදිය නොකරන බවට මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව ගැන ද මෙහිදී අපි අපගේ අවධානය යොමු කළ යුතුයි. මන්ද මෙය හිතාමතාම ජනතාව නොමඟ යැවීමට කරන ප්‍රකාශයක් බව පැහැදිලි වන නිසයි. උදාහරණයක් ලෙස ආණ්ඩුව පසුගියදා ආනයනික රෙදිපිළි හා ඇඟලුම් මත සියයට 15ක බදු පැනවීමක් කළ විට රාජපක්ෂ කල්ලියේ ප්‍රබලයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා කිඹුල් කඳුළු හෙළමින් කියා සිටියේ මේ බදු පැනවීම් මගින් පමුණුව ඇතුළු ලක්ෂ 10කට පමණ උන්හිටි තැන් පවා අහිමි වන බවයි.

ඒ සමඟ කිරිපිටි, සීනි ඇතුළු ආනයනික භාණ්ඩ මත බදු පැනවූ වහාම ඒවායේ මිල ඉහළ යාම දඩමීමා කර ගන්නා රාජපක්ෂ කල්ලිය “ජීවන වියදම ඉහළ යන බව ” කියමින් ජනතාව කුපිත කරවීමට වෑයම් කරන බව අප අමතක කළ යුතු නැහැ. ඒ නිසා “කෙළවරක් නැති නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන” බවට චෝදනා කරන මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු කරුණ වන්නේ යම් බදු පැනවීමක් සිදු වූ වහාම හනුමාගේ භූමිකාව රඟපාන රාජපක්ෂ කල්ලිය සමඟ මෙවැනි ප්‍රවේශයක් වෙත ආණ්ඩුව පිවිසෙන්නේ කෙසේද ? යන ප්‍රශ්නයයි.

“ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම් විදේශ ණය පරිමාව ඉතා ප්‍රවේශමෙන් පාලනය කළ යුතුය” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට උපදෙස් දෙන්නේ කුමන පදනමක සිටදැයි ජනතාවට පැහැදිලි කළ යුතුයි. මන්ද රාජපක්ෂ පාලනය ක්‍රියාත්මක කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු දැවැන්ත හම්බන්තොට සංවර්ධනයේ ඍජු වන්දි ගෙවමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව නිසයි. කිසිදු ඵලදායී ආර්ථික ප්‍රතිඵලයක් ලබා නොදුන් මේ සුදු අලි නඩත්තු කිරීමේ මුළු බරම දැන් දරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව විසිනුයි.

 වත්මන් ආණ්ඩුවට මේ වන විට ගෙවමින් සිටින සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 80ක් ඍජුවම රාජපක්ෂ යුගයේ කෙටි කාලීන ණය බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව රාජපක්ෂලා ලකුණ දා ගත් සියලුම වැඩවලට බිල ගෙවන්නේ වත්මන් ආණ්ඩුව බව පැහැදිලි කරුණක්. කිසිදු ඵලදායි ආර්ථික ප්‍රතිපත්තියකින් තොරව ගෙන ගිය රාජපක්ෂ දශක පාලනයේ අඳුරු සෙවණැලි තවදුරටත් ආර්ථිකය තුළ හොල්මන් කරමින් සිටින බවක් මේ අනුව අපට වටහා ගත හැකියි.

රාජපක්ෂ යුගයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූ පී.බී. ජයසුන්දර මහතාට “ආර්ථික ඝාතකයා” යැයි චෝදනා කරමින් මුළු රටක් හිනැස්සූ විමල් වීරවංශ, හෙජින් සූදුව, ග්‍රීක බැඳුම්කර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආදි නාස්තිකාර ව්‍යාපෘති සඳහා ජාතික ධනය කාබාසිනියා කළ අජිත් නිවාඞ් කබ්රාල් ආදීන්ගෙන් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රීඩා කිරීමට කැසකවන තෙවැනි ඉනිම ගැන ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව අපගේ අදහසයි.

භාතිය බරුකන්ද


දශක 3ක් පුරා ජීවිත පාට කරන දිසානායක පරපුරේ දිසාපාමොක්ලා

$
0
0
ඔක්‌ 5, 2018 01:00

ජී විතයට පාටක් අවශ්‍යයි. අපි හැමෝගෙම ජීවිත එක්තරා අවස්ථාවකදී නතර වෙනවා. ඒත් ජීවිතයේ කවදාහරි දවසක පාටක් හොයාගන්න... එහෙමත් නැතිනම් කළුසුදු ජීවිතයකට පාටක් දෙන්න පුළුවන් නම්...ඔබේ ජීවිතය ලෝකයටම ආදර්ශයක් වේවි. ඒ වගේ පාට කළ ජීවිත අතරමඟදී නතර වුණත් එහි සුන්දරත්වය, සුවඳ මිනිස්සුන්ගේ හදවත්වල හැමදාම ඉතිරිවේවි.

ජීවිතවලට ‘කලර්’ එකක් ඕනෙමයි. ඒක තමයි ජීවිතයට සැබෑ සතුට ගෙනෙන්නේ. අපේ ජීවිත කාලයේ සැඳෑ සමයේදී ආපහු හැරිලා බලද්දී කවදාහරි දවසක ජීවිතය පාට කළ සිදුවීමක් ඔබේ මතකයට නැගෙනවද...? එවැනි සුන්දර මතකයක් ඔබේ ජිවිතයේ තිබෙනවද..?

ඒ ‘කලර්‘ එක තමයි අපි මේ හොයන්න උත්සාහ ගන්නේ. ජිවිතය ගැටගසා ගන්න එදිනෙදා බඩ වියත රැක ගන්න කෝටි සංඛ්‍යාත ජීවිත මේ ලෝකය පුරාම පුදුමාකාර විදිහේ දුකක් විඳිනවා. ඒ ජීවිත සටනේ එක්තරා කඩඉමකදී අපි අසරණ වෙනවා. එහෙමත් නැතිනම් තනිවෙනවා. තවත් අතකින් කියනවානම් පසුබසිනවා. මානසිකව වැටෙනවා. මේ හැම වතාවකදීම ජීවිතය අලුතින් පටන්ගන්න..ජීවිතයට අලුත් පාටක් හොයාගන්න තරම් ධෛර්ය සම්පන්න හිතක් තියේනම් ඔබ දිනුම්. මුලු මානව වර්ගයාම එකම ඇට මස් ලේ නහරවලින් හැදුණු සත්ව කොටසක්. අපිට හිනාවෙන්නත් පුළුවන්. අඬන්නත් පුළුවන්. ඒත් සමහරු ජීවිත කාලය පුරාම අඬනවා. අන්න ඒ ජිවිතවලට පාටක් වෙන්න..ඒ අඳුරු ජීවිතවලට පාටක් හොයාදෙන්න ඔබට පුළුවන්ද..?

දහස් සංඛ්‍යාත හැඩතල ඔස්සේ ඔබේ ආත්මයට කතා කරන්නට පාටවලට හැකි බවට ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ඔස්කා වයිල්ගේ අපුරු කියමනක් තිබෙනවා. මිනිස්සුන්ගේ කළුසුදු ජිවිත පාටවලින් පුරවන්න හැකි නම් ලෝකය කොයිතරම් සුන්දර වේවිද...? අපේ කළුසුදු ජීවිත ඒ වගේ අපූරු පාටවලින් හැඩ කරන්න.. අපි අහන දකින හිස් ජීවිත එවැනි පාටවලින් පුරවන්න ඔබ දිරිගන්වන්නයි ‘ජීවිත සහ පාට‘ ඉසව්ව වෙන්වෙන්නේ. මේ ඉසව්වට එක්වෙන්න ඔබටත් ආරාධනා!

fawzdinamina@gmail.com
............................................

ටියුෂන් කඩවලට මෙරට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. අපේ රටේ අධ්‍යාපන රටාවේ අඩුලුහුඬුකම් පුරවාලීම කෙසේවෙතත් තම තමන්ගේ අතමිට සරුකරගැනීමේ ජීවනෝපායක් ලෙස නම් මේ වෘත්තියේ නියැලෙන්නෝ අපමණය. ඒ අතර වානිජ පරමාර්ථ දෙවැනුවට තබා පාසල් දරුවන් වෙනුවෙන් නිසි ක්‍රමවේදයකින් යුතුව පෞද්ගලික පන්ති පවත්වනු ලබන ගුරුවරුන්ද නැතුවා නොවේ. මුදල දෙවැනුවට තබා දරුවන්ගේ අනාගතය පැහැපත් කිරීම මූලික කරගනිමින් එවැනි සමාජ මෙහෙවරක නිරත වන අපූරු දිසාපාමොක් සොයුරන් දෙදෙනකු කොලොන්නාවේ සිටිති. දිනිඳු අධ්‍යාපන ආයතනය නමින් උපකාරක අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන මේ දෙසොයුරන් දුමිඳු සහ උපුල් දිසානායක නම් වෙති.

වසර 1989 සිට පුරා දශක 3ක් කොලොන්නාව පළාතේ දරු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටින දිසානායක සොයුරන්ගේ මූලික අරමුණ වී ඇත්තේ විෂය පද්ධතිය තුළින් පමණක් නොව ගුණවත් මෙන්ම නැණවත්භාවයෙන් යුතු දරුවන් සමාජයට බිහි කිරීමය.

‘අපි ප්‍රචාරය, ප්‍රසිද්ධිය හඹා ගියේ නැ. අපේ තිබුණු මේ ලක්ෂණ නිසා ඒවා නිරන්තරයෙන් ගලාගෙන ආවා. ඒවා මුදල්වලින් ලබාගත්තුවා නෙවෙයි. විෂය පථය පමණක් නෙවෙයි. ගුණ නැණ දෙක සමාජයට යහපත් පුරවැසියෙක් බිහි කිරීම අපේ පරමාර්ථය වුණා. ගුණවත් නැණවත් දරුවෙක්. අපේ තේමාව ඒකයි. අද මාපියන්ටත් එවැන්නක් නැති කාලයක්. එයාලා බලන්නෙත් නැණවත් උගත්බව දරුවාට ලබාදෙන්න විතරයි. ගුණවත්භාවය අමතක කරලා.’ එසේ කියන්නේ දිසානායක ඇදුරන්ගේ බාල සොයුරු උපුල් දිසානායකය. දිනිඳු අධ්‍යාපන ආයතනයේ ඉතිහාසය විෂය උගන්වනු ලබන්නේ උපුල් විසිනි.

1989 යනු මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ හැල හැප්පීම් ගණනාවක් සිදුවූ කාල වකවානුවකි. එවැනි කාලයක පවා දරුවන් වෙනුවෙන් දිනිඳු අධ්‍යාපන අධ්‍යාපන ආයතනයේ රාත්‍රී පන්ති පැවැත්විණි.

‘අපි දෙන්නා කල්පනා කලේ මේ පළාතේ සංස්කෘතිය අපි වෙනස් කරනවා කියලා. රාත්‍රී 8 වෙනකල් පන්ති ආරම්භ කළේ ඒ අනුවයි. කිසිම බාධාවකින් තොරව පවත්වාගෙන ගියා. අපි මේ පන්ති ආරම්භ කළේ සද්භාවයෙන්. පාට,පක්ෂ, ආගම් භේදයකින් තොරව අපි අපි ළඟට එන දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඒ ඉගැන්වීමේ ප්‍රතිඵලයක් හැටියට අපි එදා ආරම්භ කළ පන්ති නිහතමානි ආඩම්බරයෙන් කියන්නේ කොලොන්නාවේ එදා ඒ විදිහට ආරම්භ කළ පන්ති අද රෑ 10 වෙනකල් පන්ති පැවත්වෙනවා.’

‘1989 මාර්තු මාසයේ ආරම්භ කළ ගමන තමයි මේ දක්වා එන්නේ. මේ ගමනේදි මට ආරම්භ අත්වැලක් දුන්නා මගේ සහෝදරයා එයා දුමිඳු දිසානායක. එතුමයි මායි එකතුවෙලා මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ කාලේ අද වගේ විශාල පරිමාණයේ පහසුකම් තිබුණේ නෑ. රට භණයකින් ඇවිලී ගිය කාලයක්. ඒ කාලේ 89 කියන්නේ ඉතා භයානක කාලයක්. නමුත් ඒ කාල සීමාවෙදිත් අපි මනා ශික්ෂණයකින්, විනයකින් යුතුව කටයුතු කළා. ඒ නිසා තමයි අද වසර 30ක අඛණ්ඩ කාලයක් මේ උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ රැඳෙන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම කියන්න ඕන වැදගත්ම කාරණාව තමයි සහෝදර බැම්ම කියන එක අංක එකට පවත්වාගෙන යනවා. මම විවාහ වෙලා මේ වෙනකොට වසර 19ක් අවසානයි. මගේ සහෝදරයා විවාහ වෙලා අවුරුදු 27ක් විතර වෙනවා. පවුල් දෙකටම කාන්තාවන් දෙදෙනෙක් එකතුවුණාට අපේ සහෝදර බැඳීම බිඳ වැටුණේ නෑ. ඒක තමයි මේ ආපු ගමනේ ප්‍රධානම රහස. ටියුෂන් ක්ෂේත්‍රය කියන්නේ ඉතාමත් තරගකාරී ක්ෂේත්‍රයක්. කොලොන්නාව ආසනයේ මගේ මතකය හරි නම් ලංකාවේ ප්‍රබලතම උපකාරක පන්ති ජාලාවක් ක්‍රියාත්මක වන පළාතක්. දිනිඳු උසස් අධ්‍යාපන ආයතනය අපි ආරම්භ කරන කොට මේ ප්‍රදේශයේ අපට ආසන්න වශයෙන් තරගකාරි ටියුෂන් පෞද්ගලික ආයතන තිබුණේ නෑ. අද වෙනකොට ලංකාවේ විශාල පරිමාණයේ ටියුෂන් පැවැත්වෙනවා සේම කොලොන්නාව ආශ්‍රිතව සුළු, මධ්‍යම හා විශාල පරිමාණයෙන් ටියුෂන් පැවැත්වීම සිදුවෙනවා.

අපේ තාරුණ්‍යය අවසන් වෙලා. තාරුණ්‍යය අවසන්වීමත් එක්ක අපි පරිණතභාවයට පත්වෙන කොට තාරුණ්‍යයට අභියෝගයක් වන පරිදි තව දුරටත් ටියුෂන් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීම ‍ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. මොකද අද ටියුෂන් ක්ෂේත්‍රයට විශාල පිරිසක් එන්නේ ව්‍යාපාරයක් මුල් කරගෙන. අපේ ආයතනයට ඉගැන්වීම් සඳහා ගුරුවරුන් එනකොට පවා අපෙන් අහන මුල්ම ප්‍රශ්නය ළමයි කීදෙනෙක් ඉන්නවද කියලයි. මේක තමයි අද ඇත්ත කතාව.

නමුත් මීට දශක තුනකට කළින් අපි ටියුෂන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනකොට ළමයි කියන සාධකය අපිට දුෂ්කර වුණා. ඒ කාලේ අද වගේ ප්‍රචාරණ කලාව මහ පරිමාණයෙන් තිබුණේ නෑ. අන්තර්ජාල පහසුකම් තිබුණේ නෑ. පුවත්පත් තමයි තිබුණේ. නමුත් අපිට ප්‍රාග්ධනයක් තිබුණේත් නෑ. එවැනි පසුබිමක් තුළ ගුණාත්මක අධ්‍යාපනයක් තමයි අපි ආරම්භ කළේ.

ඒක මේ පළාතට ආලෝකයක් වුණා. මුලින් කිව්වා වගේ 89 භීෂණ යුගයේ ආරම්භ කළ මුල් කාලයේදි අපි දිනකට පන්තිවාර දෙකක් පැවැත්වුවා. ඒ කියන්නේ හවස 4 සිට 6 දක්වා එක පන්ති වාරයක්. 6 සිට 8 දක්වා තව පන්ති වාරයක්. එතකොට අද වගේ පෞද්ගලික බස් රථ සේවාව දියුණු නෑ. ත්‍රිරෝද රථ ගොඩාක් අඩුයි. රටේ එවකට පැවැති තත්ත්වය නිසා විවිධ බලපෑම් එල්ල වුණා.’ උපුල් දිසානායක එසේ කියයි.

උපුල් දිසානායක කොළඹ 3, බිෂොප් විදුහලේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අංශ භාර ප්‍රධාන ගුරුවරයෙකි. ජාතික පාසල් ගුරුවරයකු ලෙස ඔහු වසර 20ක සේවා කාලයක් ගෙවමින් සිටී. හෙතෙම ජාතික අධ්‍යාපන ආයතනයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය පරිණතභාවය ලබාගත් වෘත්තීය ගුරුවරයෙකි. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජවේදි ගෞරව උපාධිධාරියෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරලා ගෞරව සාමාර්ථයක් ලැබුවෙකි.

සාරධර්ම පසෙකලා මුදල් මත යැපෙන බොහෝ උපකාරක පන්ති ගුරුවරුන් දිසානායක සොයුරන්ගේ ඉගැන්වීම් වෙනම මුහුණුවරක් ගත්තකි.

අපේ අධ්‍යාපන ආයතනය වසර 30ක පැවැත්මට ඒකත් ලොකු සාධකයක් තමයි විනය කියන එක.‘ උපුල් සඳහන් කරයි. ඔහු මහනාම විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකි.

‘මම හොඳ දහම් පාසල් අධ්‍යාපනයක් ලැබුවා. සමස්ත ලංකා මට්ටමෙන් දක්ෂතා දැක්වුවා. ඒ පන්නරය ගුරු වෘත්තියට ලැබුණා. විනය තමයි ප්‍රධානතම සාධකය මේ විදිහට දශක 3ක් පවත්වාගෙන ඒමට. මුදලට වඩා අංක එකට අපි විනය බලනවා.’

‘මුදල් මත පදනම්වුණු වත්මන් ටියුෂන් සංස්කෘතියේ මේ ආයතනය ඒකට මුල් තැනක් දීලා නැ. මම ආගමික අංශයට සම්බන්ධවෙලා ඉන්න පුද්ගලයෙක්. සියළු ආගම් සඳහා ඒ සමාජසේවා කටයුතුවලට දායක වෙනවා. ඒ සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. ඒකත් ලොකු ශක්තියක් මේ විදියට රැඳිලා ඉන්න. ආගමික පිටුවහල ඉතාම වැදගත්. සල්ලි පස්සේ දුවන සමාජයක, ටියුෂන් ගුරුවරයකුට වඩා මානුෂික ආගමික ප්‍රතිරූපයක් අපිට වටපිටාවේ තිබෙනවා. ඒවා අපිට මාපියන්ගෙන් ලැබුණු දායාද.

අපෙන් ඉගෙන ගත්තු අය අද සමාජයේ ඉහළ තලයේ වැජඹෙනවා. වෛද්‍යවරු, ඉංජිනේරුවරු,,ගණකාධිකාරිවරු. රජයේ ඉහළ තනතුරු. දේශපාලන බල අධිකාරියේ පවා ඉන්නවා. පරම්පරා දෙක තුනක දරුවෝ අප සමග සම්බන්ධ වෙනවා.

‘වසර 30ක් අඛණ්ඩව ගුණ නැණ සහිතව අපි ආදර්ශමත් පවත්වාගෙන යනවා. අයිස්ක්‍රිම් දන්සලක් දෙනවා. අතිවිශාලව. කිසිම දරුවකුගෙන් සතයක්වත් අය කරන්නේ නෑ. ගංවතුර තර්ජන දෙකක් ආවා පහුගිය කාලයේ. ඒවායේදී අපි නොමිලේ පොත්පත් ලබාදීම, නිල ඇඳුම් ලබාදීම, පාවහන්, පාසල් බෑග් ලබාදීමෙන් සමාජ සත්කාරක වැඩසටහන්වලට සෘජුවම සම්බන්ධ වෙනවා.’ උපුල් දිසානායක පැවැසීය.

උපුල්ගේ වැඩිමල් සොයුරු දුමිඳු දිසානායකය. ඔහු වෘත්තියෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකි. මේ අධ්‍යාපන ආයතනයේ ගණිතය විෂය උගන්වනු ලබන්නේ දුමිඳු විසිනි.

කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන ගණිතය අංශයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසුව උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ 1986 වසරේදිය.

‘මම 1985 දෙසැම්බර් වලදි විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට එකතු වෙනවා. ඊට පස්සේ ඒක ශ්‍රී ලංකා ටෙලිකොම් බවට පත්වුණා. අද දක්වා මම රැකියාවේ නිරතව සිටිනවා. ටියුෂන් සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයක් නෙවෙයි මගේ තියෙන්නේ. අවුරුදු 32ක් පුරා මම රැකියාවේ නිරතව සිටින ගමන්ම 6 පන්තියේ සිට 11 පන්තිය දක්වා ගණිතය විෂය උගන්වනවා. මේක තරගකාරි ක්ෂේත්‍රයක්. මගේ සහෝදරයා වෘත්තීය ගුරුවරයෙක් වුණාට මම වෘත්තිය ගුරුවරයෙක් නෙවෙයි.’ දුමිඳු එසේ කියයි.

‘එසේ තිබියදි මම විෂය නිර්දේශ හොයාගෙන, ගුරු අත්පොත් හොයාගෙන තවමත් සාර්ථකව කරගෙන ටියුෂන් පන්ති කරගෙන යනවා. එක ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා අපේ ආයතනයේ පන්ති පැවැත්වෙනවා. අපි මුදල් පසුපස හඹා යන ටියුෂන් ආයතනයක් නම් මේ වෙද්දී මීට වඩා දියුණු වෙන්න තිබුණා. අපි මාපියන්ගේ දුක, කඳුළ හඳුනනවා. අපිට දැනෙනවා. අපේ පන්තිවලට එන්නේ මේ පළාතේ අහිංසක මාපියන්ගේ දරුවන්. අපිට පුළුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න. නමුත් ඒ තුළ අහිංසක මාපියන්ගේ දරුවන්ට ආර්ථික අපහසුතා තියෙන දක්ෂ පිරිස අතහැරලා යන්න පුළුවන්. ගුණ ධර්ම සාරධර්ම පදනම් කරගෙන, ඒවා මුලික කරගෙනයි අපි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. අපේ පන්තියට අවුරුදු 25ක් පිරුණු මොහොතේ හාමුදුරුවරු 25 නමක් පන්තියට වැඩම කරලා අටපිරිකර 25ක් පූජා කරලා දානමය පින්කමක් කළා. ඒ වගේම ඒ පන්සලේ කන්දේ විහාරේ සමාජ සත්කාරක සේවාවනුත් අපි ඒ විදිහට කරගෙන යනවා. මම නිහතමානීව ආඩම්බර වෙනවා වෙනම ක්ෂේත්‍රයක ඉඳගෙනත් මේ කාර්ය සාර්ථකව කරගෙන යාම ගැන දරුවන්ගේ හා මාපියන්ගේ සිත් දිනාගනිමින්.’ ඔහු සඳහන් කළේය.

මෙරට වත්මන් වානිජ රැල්ලට එක්වූ උපකාරක පන්ති පද්ධතිය තුළ මේ අධ්‍යාපන ආයතනය දශක 3ක් පුරා දරුවන්ගේ අනාගතය පැහැපත් කරමින් ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ දිසානායක සොයුරන්ගේ අරමුණු හා බලාපොරොත්තු මුදල් මත පදනම් නොවීම හේතුවෙනි.

සටහන

ෆවුස් මොහොමඩ්

 

අමෙරිකාවට එරෙහිව ඉරානය උසාවියට

$
0
0
ඔක්‌ 6, 2018 01:00

අමෙරිකාව විසින් ඉරානය මත පනවා ඇති සම්බාධක ආහාර, ඖෂධ ඇතුළු මානුෂීය ආධාරවලට සිවිල් ගුවන් සේවා සම්බන්ධයෙන් බල නොපැවැත්විය යුතු බවට අන්තර්ජාතික අධිකරණය (ICJ) නියෝග කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සය පාර්ශ්වික සම්මුතියෙන් ඉවත්වීමට අමෙරිකාව කටයුතු කළේ ඉකුත් මැයි මාසයේදීය. ඒ සමඟම ඉරානයට එරෙහිව නව සම්බාධක ද ප්‍රකාශයට පත් කෙරිණි. එක්සත් ජාතීන්ගේ සංවිධාන යාන්ත්‍රණයට අයත් යුක්තිය පසිඳලීමේ හා සාමාජික රටවල් අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලය සහිත ‍නෛතික ව්‍යුහය අන්තර්ජාතික අධිකරණයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටක් ලෙස එහි තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් ඇතත් එය බලගැන්වීම සඳහා බලපෑම් කිරීමට අන්තර්ජාතික අධිකරණයට බලයක් නොමැත. අතීතයේදී අන්තර්ජාතික අධිකරණය මඟින් ලබා දුන් තීන්දු ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී තිබේ.

තීන්දුව පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව කියා ඇත්තේ එය ඉරානයේ පරාජයක් බවය. තමන් දැනටමත් මානුෂීය ආධාරවලට ඉඩ දී තිබූ බව ද එහි වැඩිදුරටත් දැක්විණි. කෙසේ වුවද මේ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව දැඩි ආර්ථික පීඩනයක් එල්ල කිරීමට කටයුතු කරමින් සිටියදීය. අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පවසන පරිදි ඉරානය තම රාජ්‍යයේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් බලපෑම් කර ඇති පසුබිමක අමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමට නීත්‍යානුකූල අයිතියක් තිබේ. එසේ තිබියදී ඉරානය අන්තර්ජාතික අධිකරණය හමු‍වට ගියේ දේශපාලනමය වශයෙන් හා ප්‍රචාරාත්මක වාසියක් ලබාගැනීමේ අරමුණෙන් බව ද ඔහු පවසා තිබිණි.

වැඩකට නැති ගිවිසුම

අමෙරිකාව සහ ඉරානය අතර කන්සියුලර් සහ ආර්ථික සබඳතා ගිවිසුමක් ඇතිකර ගැනුණේ 1955 දීය. එයට එම වසරේදීම අපරානුමැතිය ලැබිණි. ඉරානය ගිවිසුමට පටහැනි වූ බව පෙන්වා දුන් රාජ්‍ය ලේකම්වරයා වොෂින්ටනයට ඉන් ඉවත්වීමේ හැකියාව තිබූ බව ද පැවසීය. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳවැටුණ ද මෙම ගිවිසුම දිගටම බලපැවැත්විණි. අමෙරිකාව ඉන් ඉවත්වනු ඇතැයි ද රාජ්‍ය ලේකම්වරයා කියා තිබේ.

ඉරාන විදේශ ඇමැති ජවාඩ් ෂරීෆ් මෙම අධිකරණ තීන්දුව නීතියේ පාලනය ලැබූ ජයග්‍රහණයක් බව පවසා සිටී. එමෙන්ම එය සම්බාධක ඇබ්බැහියෙන් පෙළෙන අමෙරිකා ආණ්ඩුව ලැබූ තවත් පරාජයක් බව ද ඔහු පවසා තිබිණි.

සය පාර්ශ්වික සම්මුතියෙන් අමෙරිකාව ඉවත්වුවද බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, චීනය සහ ඉරානය තවදුරටත් ඉන් බැඳී සිටිති. අමෙරිකාව ගත් ඒකපාර්ශ්වික තීරණය සෙසු පාර්ශ්වකරුවන්ගේ දෝෂදර්ශනයට ද ලක්විය. තවදුරටත් මෙම එකතුව තුළ ක්‍රියාකරන ලෙස අමෙරිකාවට ඉල්ලීම් ද ඉදිරිපත් කෙරිණි. එහෙත් වොෂින්ටනයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ඉරානය සහ අමෙරිකාව අතර ආර්ථික හා කන්සියුලර් සබඳතා ඇතිකර ගනිමින් ගිවිසුමට එළැඹෙන විට, ඉරාන අගමැතිවරයා වූයේ මොහොමඩ් මොසැඩන්ය. ඔහු CIA සහාය ලැබූ කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරිණි. ඉරානය අන්තර්ජාතික අධිකරණයේදී තර්ක කළේ අමෙරිකානු සම්බාධක හේතුවෙන් එම ද්විපාර්ශ්වික ගිවිසුම උල්ලංඝනය වූ බවය.

අන්තර්ජාතික අධිකරණය 15 දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයකින් යුතු විය. ඉරානයේ ඉල්ලීම වූයේ, සම්බාධක ඉවත්කර ගන්නා මෙන් අමෙරිකාවට නියෝග කරන ලෙසිනි. එයට අධිකරණයේ අනුමැතිය නොලැබිණි.

අන්තර්ජාතික අධිකරණයේ තීන්දුව ඒකමතික එකකි. මේ මඟින් ඉරානය නිවැරදි බව තහවුරු වන බව ද තම රටට එරෙහි අමෙරිකා සම්බාධක නීතිවිරෝධී මෙන්ම කෲර සහගත බව ද ඉරානය පවසයි. අමෙරිකා සම්බාධක හඳුන්වා දිය හැක්කේ ආර්ථීක ආක්‍රමණයන් වශයෙන් බව ද ඉන් පෙන්වා දී තිබිණි.

ඉරානයේ චෝදනාව

සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අන්තර්ජාතික අධිකරණය දෙරටටම නියෝග කළේ ගැටුමකට හේතුවන කවර හෝ ක්‍රියාවලින් වළකින ලෙසය. තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර බී. බී. සී. යට සාකච්ඡාවක් ලබාදෙමින් ඉරාන විදේශ ඇමැතිවරයා සඳහන් කළේ, අමෙරිකාව රෙජීම වෙනස් කිරීමේ වැඩපිළිවෙළක නිරතවන බව සහ වැරැදි පුද්ගලයන්ට ඇහුම්කන්දීමේ පිළිවෙතක පිහිටා සිටින බවය.

රුසියා‍ෙව් කනස්සල්ල

අමෙරිකා සම්බාධකවල පළමු වටය මඟින්ම ඩොලරයට, රත්‍රං, වානේ සහ මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලට බලපෑම් ඇතිවිණි. ඉරානයේ සම්ප්‍රදායික බුමුතුරුණු හා පලස් කර්මාන්තයට ද එය දැඩි බලපෑමක් ඇතිකළේය. සමස්තයක් ලෙස ඉරාන ආර්ථිකයට ඉන් විශාල පීඩනයක් එල්ල විය.

වොෂින්ටනයෙන් එල්ල වී ඇති තර්ජන නොතකා හරිමින් ඉරානයත් සමඟ ගනුදෙනු කරන ලෙස යුරෝපා සංගමය සමාගම්වලින් ඉල්ලා තිබේ. රුසියානු විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ ප්‍රකාශයකින් කියැවුණේ ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීම පිළිබඳ දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවය. අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කියා සිටින්නේ මෙම සම්බාධකවල ඊළඟ වටය නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කරන බවය. අන් කිසිවක් නිසා නොව ලෝක සාමයේ නාමයෙන් තමන් ඉල්ලා සිටින්නේ ඉරානය සමඟ ගනු-දෙනු කිරීමෙන් වළකින ලෙස බව ඔහු සෙසු රටවලට දන්වා තිබිණි. කිසියම් රටක් ඉරානය සමඟ ගනු-දෙනු කරන්නේ නම් අමෙරිකාව සමඟ ගනු-දෙනු නොකරනු ඇතැයි ද ඔහු අනතුරු අඟවා තිබේ.

ගනු-දෙනු කිරීමෙන් වළකින ලෙස අමෙරිකා ජනාධිපතිවරයා එලෙස බලකර සිටින්නේ ලොව පස්වැනි විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයා සමඟය. ඇතිවී තිබෙන තත්ත්වය දැනටමත් තෙල් මිල තීරණය කිරීමට බලපා තිබේ. එය මීටත් වඩා වැඩි බලපෑමක් ඇතිකරනු ඇත්තේ සම්බාධකවල දෙවැනි වටය ක්‍රියාත්මක වීමත් සමඟය. වරාය මෙහෙයුම් සහ බලශක්තිය ද අදාළ වන්නේ දෙවැනි වටයටය. ඔපෙක් සාමාජික රටක් ද වන ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමෙන් වළකින ලෙස අමෙරිකාව ලොව සෙසු රටවලින් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම නොතකා හරිමින් ගනු-දෙනු කිරීම යනු දඬුවමට ලක්වීමට ඉඩ තිබීම බවට ද අමෙරිකාව අනතුරු අඟවා ඇත.

යුරෝපා සංගමය

අමෙරිකාවේ මිතුරු බලවත් රටවල් පවා මෙම ඉල්ලීමට කන්දීමට සූදානම් බවක් නොපෙනේ. යුරෝපා සංගමය දැනටමත් එම ඉල්ලීම නොතකා හැර ඇත. චීනය ද අමෙරිකා සම්බාධක අනුමත නොකරන බව ප්‍රකාශ කර තිබේ. ඒ අතරට ඉරානයෙන් තෙල් ගනුදෙනු නොකරන ලෙසට ලැබී ඇති ඉල්ලුම් නොතකා හරින ලෙසට තම සමාගම්වලට දැනුම් දී ඇත. බෙයිජිං හා ටෙහෙරානය අතර සමීප වාණිජ සබඳතා ගොඩනැඟී පවතී. ඉනුත් බලශක්ති ක්ෂේත්‍රය ප්‍රමුඛය.

ඉරානයේ විශාලම තෙල් ගැනුම්කරුවා චීනයයි. දිගටම සිය ව්‍යාපාර කරගෙන යන බව චීනය පැහැදිලිව කියා සිටී. ඉරානය සමඟ ගනු‍-දෙනු පෙරට ගෙන යන බව රුසියාව ද පවසා ඇත. ජාත්‍යන්තර ප්‍රජාව ද එලෙස කරනු ඇත යන්න රුසියාවේ විශ්වාසයයි.

ඉරාන තෙල් සැපයුම මුළුමනින් අඩාල කිරීමට අමෙරිකාවට නොහැකි බව ඉරානය කියා සිටී. ඉරානයට එරෙහිව අමෙරිකාව යුද කාමරය සූදානම් කර ඇති බව ද ඉරානය කියා තිබිණි. එහි සිරවීමට තමන්ට අවශ්‍යතාවක් නැති බව ද සටන් බි‍ෙම්දී ශිල්ප දැක්වීමට සූදානම් බව ද එම ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉරානයේ තෙල් සැපයුම වළකාලීමට අමෙරිකාව ක්‍රියාකළ හොන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය අනතුරු ඇඟවූයේය. එම සමුද්‍ර සන්ධිය ලෝක ඛනිජ තෙල් පරිවහනයේදී අතිශයින්ම වැදගත් තැනක් හිමිකරගන්නා ස්ථානයකි.

අමෙරිකාව මෙලෙස යළි පනවා ඇත්තේ මීට දෙවසරකට පෙර ඉවත් කළ සම්බාධක ය. අමෙරිකාව කියා සිටින්නේ තමන් වෑයම් කරන්නේ ඉරානය පරමාණුක අවියක් නිපදවීමෙන් වළකාගැනීමට බවය. පරමාණුක අවි නිෂ්පාදන පිළිබඳ පළවන කතා බැහැර කරන අතර ඉරානය තම බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් එවැනි වැඩපිළිවෙළක් තිබිය යුතු බව ද පවසයි.

සම්බාධක හේතුවෙන් ඉරානයේ උද්ධමනය ඉහළ ගොස් ඇත. හසන් රවුහානිගේ ආණ්ඩුවට එරෙහිව මාස කිහිපයක් තිස්සේ මහජන විරෝධතා පැන නැඟී තිබේ. ඇතැම් මූලාශ්‍රවලට අනුව ඉරානයේ තෙල් අපනයනය 2016 වසරේදී ඇ. ඩො. බිලියන 36 කි. මේ වසරේ එය ඉන් 2/3 දක්වා පහත වැටී තිබුණේ සම්බාධක හේතුවෙනි. යුරෝපා සංගමය හා ඉරානය අතර 2017 වස‍රේදී වෙළෙඳාම ඇ. ඩො. බිලියන 23 කි. ඉන් 1/3 ක් තෙල් වෙළෙඳාමට අදාළය.

ධම්මික සෙනෙවිරත්න

රටත් ජනතාවත් වෙනුවෙන් කැප වූවා මිස ගෞරව සම්මාන පතා කිසිදා වැඩ කළේ නෑ

$
0
0
ඔක්‌ 6, 2018 01:00

ක්‍රිසන්ති විතාරණ

රටත් ජනතාවත් ගැන සිතා රාජ්‍ය පාලනය පිළිබඳ වන සියලු වගකිීම් නිසි පරිදි මෙහෙය වූවා මිස කිසිම දිනක සම්මාන හෝ ගෞරව නාම පතා ගෙන කටයුතු කළේ නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය. ජනාධිපති ධුරය දරමින් සිටි කාලයේ දී ප්‍රංශයේ සෝබොන් විශ්ව විද්‍යාලයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඇය වෙත පිරිනැමුණු ගෞරව ආචාර්ය උපාධි පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවධාරණයෙන් යුතුව පැවැසුවාය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ පවසා සිටියේ ප්‍රංශ රජය විසින් ඇය වෙත පිරිනැමුණු කමාන්ඩර් ඔෆ් ද ෆ්‍රෙන්ච් ලෙජන් ඔෆ් ඔනර් ( commander of the French legion of Honour) සම්මානය පිළිගැනීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් මරින් ෂුහ් මහතා මෙම සම්මානය හිටපු ජනපතිනිය වෙත ‍ගෞරව පෙරදැරිව පිළිගන්වනු ලැබීය.

ඉහළ පෙළේ දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, අමාත්‍යවරුන් ඇතුළු අති විශේෂ සම්භාවනීය ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ පැවැති මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය:

මෙම ගෞරවනීය සම්මානය මා වෙත පිරිනැමීම පිළිබඳව ප්‍රංශ ජනාධිපතිතුමාට සහ රජයට මුලින්ම මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මෙම අවස්ථාව උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීම පිළිබඳවශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් මාරි ෂු මහතාටත් මගේ විශේෂ ස්තූතිය හිමි වෙනවා.

ප්‍රංශ රජය විසින කමාන්ඩර් ඔෆ් ද ෆ්‍රෙන්ච් ලෙජන් ඔෆ් ඔනර් සම්මානය ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිනිය වන මා වෙත පිරිනැමීමට ප්‍රංශ රජය තීරණය කර ඇති බවතානාපති ෂූ මහතා මා වෙත දැනුම් දුන් අවස්ථාවේ මා මවිතයට පත් වුණා. ඒ වගේම ප්‍රංශ රජයේ අවධානය මා වෙත ලක් වී ඇති බව මා දැන සිටියේත් නැහැ.

ජනපති ධුරය දරන කාලයේ විශ්වවිද්‍යාලවලින් මා වෙත පිරිනැමුණු ගෞරව උපාධි ප්‍රතික්ෂේප කරමින් ආචාර්ය උපාධියක් පිළිගත යුත්තේ නිබන්ධනයක් සහ අදාළ පර්යේෂණ කටයුතු සිදු කර ක්‍රමවත් මාර්ගයකම විය යුතු යන ස්ථාවරයේ එදා සිටි මා අද මේ කමාන්ඩර් ඔෆ් ද ෆ්‍රෙන්ච් ලෙජන් ඔෆ් ඔනර් සම්මානය පිළිගැනීමට තීරණය කළා. දීර්ඝ, දුෂ්කර සහ කැපවීම පිළිඹිබු කෙරෙන රාජ්‍ය පාලනය වෙනුවෙන් නායකයන් වෙත මේ සම්මානය පිරිනැමෙන බව මා හොඳ‍ාකාරවම දැන සිටීම මීට හේතුවයි.

මම මගේ මවු රට වන ශ්‍රී ලංකාව සහ ජනතාව වෙනුවෙන් දශක ගණනාවක් කැප වීමෙන් ජීවිත අවදානම් අවස්ථා බව නොතකා සේවය කර ඇති නිසාත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම උදෙසා කටයුතු කර ඇති නිසාත් ලොව පුරා ඉටු කළ තවත් නොයකුත් මානව හිතවාදි කාර්ය භාරයන් නිසාත් ප්‍රංශ රජය මේ ගෞරවය පිදීමට මා සුදුසුකම් ලැබූ බව පිළිගෙන ඇතැයි මා විශ්වාස කරනවා .

මාගේ දෙවැනි නිවහන ලෙස සැලැකෙන ප්‍රංශය වැනි රටකින් මගේ සේවය ඇගයීමට ලක් කිරීම පිළිබඳව මම සුවිසල් සතුටකට මෙන්ම ආඩම්බරයටත් පත්වෙනවා.

මගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුවූයේ ප්‍රංශයේ සෝබොන් විශ්වවිද්‍යාලයේදීයි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දෙමින් ප්‍රංශ රජය විසින් අද මාගේ පෞරෂය දැනුමෙන් නොසැලෙන අප්‍රතිහත ධෛර්යෙන් යුතු ස්ථාවරයකට ගෙන ඒමට ආධාර කළා.

සියලු මිනිසුන් නිදහසේ ජීවත් වීම සහ සමානාත්මතාවයේ වටිනාකම් සහිත නව අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව සෝබෝන් විශ්ව විද්‍යාලයේදි මා වෙත පිරිනැමුණා. එහිදි විවිධත්වය පිළිබඳ අවශ්‍යතාව සහ අලංකාරය ගැන ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වුණා.

මා මවුපියන්ගෙන් ඉගෙන ගත් සදාචාරාත්මක සාරධර්ම -මිල මුදල් පිළිබඳ අවංකත්වය, මා විශ්වාස කරන කරුණු කෙරෙහි නොසැලෙන කැපවීම, පක්ෂපාතීත්වය හා මිත්‍රත්වය - පැරිසියානු ශිෂ්‍ය ජීවිතයේ පූර්ණ නිදහසක් ලබා දීමට අවස්ථාව ලබා දුන්නා.

ශ්‍රී ලංකා රජය එකල ව‍ිදෙස්ගතව උපාධි අපේක්ෂකව සිටි ශිෂ්‍යයන්ට මෙරටින් විනිමය ලැබීමට අවසර නොදුන් නිසා ශිෂ්‍යත්ව දීමනා කලමනාකරණය කර ගැනීමට මම පුරුදු වුණා. ඒ කාලයේ බොහෝ සිසුන් මෙන් විශ්වවිද්‍යාල ආපන ශාලාවෙන් ආහාර සපයා ගැනීමටත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමටත් කටයුතු කළ අතර නාට්‍ය හා බැලේ සඳහා මුදල් ඉතිරි කර ගැනීමට ආහාර වේල් මග හැරියා. ඒ වගේම රැකියා කිරීමට ඉගෙන ගත්තා. ඉංග්‍රීසි උගැන්වීම, දරුවන් රැක බලා ගැනීම, විශ්වවිද්‍යාලය අතුගෑම, පිඟන් සේදීම වැනි දේත් කළා.

දුප්පත් වීමෙන් සිදු වන දේ උගෙන ගත්තා. තරුණ අවදියේ සිට මා තුළ දක්නට ලැබුණ සටන්කාමී බව තීව්‍ර කර ගැනීමට මා උගෙන ගත්තා. උද්ඝෝෂණ සඳහා සේවකයන් සංවිධානය කිරීම සහ උදෑසන වෙහෙසට පත් වන තුරු සංවාද සහ රැස්වීම් වල නිරත වුණා.මා හට සෑම ජනවර්ගයකටම අයත් තරුණයන් අතර ජනවාර්ගික, ආගමික, දේශපාලනික සහෝදරත්වය පිළි්බඳ නිදහස් චින්තනයේ පුදුමාකාර පිපිරීමක්.

ප්‍රංශ පොලීසියට මා දක්නිනට අවශ්‍ය බව කීමට පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු වරක් මා ඇමතූ දිනය මට සිහිපත්වෙනවා. අපේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු කරුණාවෙන් මා සමඟ පොලිසියට ගියා. රජයට විරුද්ධ කටයුතු වලට සම්බන්ධ වීම නැවැතුවේ නැත්නම් මා ගුවන් යානයක දමා පිටුවහල් කරන බව ඔවුන් තදින් කියා සිටියා. නිදහස් හා ලිබරල් චින්තනයේ බීජ මගේ පියා විසින් වපුරනු ලැබූ අතර තරුණ බලවේගයන් වෙත මා ඇද දමා තිබුණා.

ශ්‍රීි ලංකාවට නායකත්වය ලබා දීමේ වරප්‍රසාදය වෙනුවෙන් මා ප්‍රංශයට බොහෝ සෙයින් ණයගැති බව මා සිතනවා. ප්‍රගතිශීලී පිළිවෙත් සඳහා ක්‍රියාකාරී ගැඹුරු බුද්ධිමය උත්තේජනයක් මා ප්‍රංශයේදි ලබා ගත්තා.

ම‍‍ා වෙත පිරිනැමුණු මේ සම්මානය යහපත් ලෝකයක් බිහි කිරීිමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සිය ජීවිත කැප කළ සියලු දෙනාට පිළිගැන්වීමට මා කැමතියි. එසේම ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් දිවි පිදූ සියලු තරුණ ජීවිත වලට ද මෙම සම්මානය කැප කරනවා.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් මරින් ෂුහ් මහතා,

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වෙත ප්‍රංශයේ ඉහළම සම්මානය ප්‍රදානය කිරීමේ අවස්ථාවට පැමිණි ඔබ සාදරයෙන් පිළි ගන්නවා.

හිටපු ජනපතිතුමියගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපවීම සහ ඇගේ කැපී පෙනෙන නායකත්වය මෑත ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රධාන චරිතයක් බවට ඇය පත්කළා. ඇයගේ පෞරෂයේ අධිෂ්ඨානශීලීත්වය නිර්භය බව සහ විවෘතභාවය පැහැදිළිය. දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරා දරුණුතම පුද්ගලික සහ සාමූහික දුෂ්කරතා පැවැති කාලය තුළ පවා, ඇය රට වෙනුවෙන් කැප වූවා. ඇයට ප්‍රංශය සමඟ පුද්ගලික හා සුවිශේෂ සබඳතා තිබෙනවා.

හිටපු ජනපතිතුමියනි රට වෙනුවෙන් ඔබ සිදු කළ කැපී පෙනෙන සේවය හා කැපවීම් සමහරක් සිහිපත් කිරීමට මට අවස්ථාව ලබ‍ා දෙන්න.

ඔබ උපත ලැබූයේ රාජ්‍ය සේවයට ගැඹුරින් කැප වූ දේශපාලනයට සම්බන්ධ වූ පවුලක. ඔබේ පියා වන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වුණා. ඔබගේ මව, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 දී ලොව ප්‍රථම අගමැතිනිය වූවා.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඔබ අධ්‍යාපනය ලැබූ වා.

මැතිනියනි, පුදුමයි, නමුත් විශිෂ්ට තේරීමක්: ඔබ ඔබගේ උසස් අධ්‍යාපනය සඳහා ප්‍රංශය තෝරා ගැනීම. ප්‍රංශය වර්තමානයේ ජනප්‍රිය ගමනාන්තයක් වුවද, එවකට ශ්‍රී ලාංකික සිසුන්ගේ පළමු තේරීම නොවන බව මම සිතනවා. නීතිය හා දේශපාලනය සඳහා ප්‍රංශයේ ප්‍රවීණත්වය පුළුල් ලෙස පිළිගැනීමක් නිසා තවමත් හොඳ තේරීමක්.

ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වන පෝල් සෙසේන් සහ ප්‍රංශ ලේඛකයෙකු වන එමේල් ෂෝලාගේ උපන් ගම වූ ප්‍රංශයේ දකුණු පස පිහිටි සුන්දර එක්සන් පළාතේදි දේශපාලනය පිළිබඳ අධ්‍යාපන කටයුතු ඔබ ආරම්භ කළා. එතැන් සිට 1967 දී ඔබ ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තා. 1970 දී ඔබ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර ආචාර්ය උපාධියක් සඳහා ඇතුළු විය.

1974 දී ශ්‍රී ලංකාවට ආපසු පැමිණි පසු ඔබ ඔබේ පියා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ පක්ෂයේ කාන්තා සංගමය ඒකාබද්ධ කරමින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශකයකු ලෙස 1976 සිට 1979 දක්වා ඔබ සේවය කළා.

ඔබ දේශපාලන දිවියක් අනුගමනය කළ අතර 1993 දී ඔබ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් විය. 1994 අගෝස්තු මාසයේදී ඔබේ අම්මාගේ පියවර අනුගමනය කරමින් ඔබ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙකු ලෙස තේරී පත්විය.

එපමණක් නොව, මාස කිහිපයකට පසු, 1994 නොවැම්බරයේ දී ඔබ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම හා මෙතෙක් බිහිවූ එකම කාන්තා ජනාධිපති බවට පත්විය. 1999 දී ඔබ නැවත ජනපති ධුරයට පත්වූ අතර 2005 වන තුරු ජනතා සේවයට කැපවූවා.

ජනාධිපතිතුමියනි, සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ ජාතියක් හමුවේ අභීතව අන්තවාදයට විරුද්ධව කතා කිරීමෙන් සහ රාජතාන්ත්‍රික විසඳුම් ප්‍රවර්ධනය කරමින් ඔබ ඔබගේ දේශයට සාමය ගෙන ඒමට උත්සාහ කළා. 1995 දී ඔබ රටේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී සංවිධානයක් සමඟ සටන් විරාමයක් ලබා ගෙන දේශපාලන සංවාදයක් ආරම්භ කළා. මෙම රාජතාන්ත්‍රික ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ආයෝජනයන්ට 1997 වර්ෂයේදී එකතු විය.

සාමකාමී, පරිපූර්ණ හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැඟීම සඳහා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට ඇති කැමැත්ත මගින් ඔබගේ අභිලාෂයන් ද සංලක්ෂිත විය.

2000 දී ඔබ සහ ඔබේ රජය, සංස්කෘතික සංවාදය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා.

ඔබේ පුද්ගලික හා දේශපාලන ජීවිතය තුළදී, බොහෝ අවස්ථාවලදී ඔබ සහ ඔබගේ පවුලේ අය භයානක සිද්ධීන් වලට මුහුණ දෙනු ලැබීය. ඔබ මෙම ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය ධෛර්යය හා ගෞරවය සහිතව, ඔබගේ රටට සේවය කිරීම සඳහා දේශපාලනයට වඩාත් වැඩි වශයෙන් දායක වී සිටියා.

1999 දෙසැම්බරයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔබට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය.ඉන් බියට පත් නොවූ හා නොසැලුණු ඔබ නැවත වරක් ශක්තිමත් ලෙස නැගී සිටියා. ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ඔබ නැවත ජනාධිපති ධුරයට පත්විය.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ එකම අභියෝගය යුද්ධය නොවේ. 2004 දෙසැම්බරයේදී සුනාමියෙන් රට විනාශයට පත් විය. නැවත වරක්, මෙරට වෙනුවෙන් බිහිසුණු මොහොතක දී එක්සත්කම සහ සහෝදරත්වය ප්‍රවර්ධනය කළාය. පශ්චාත් සුනාමි මෙහෙයුම් ව්‍යුහය උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම ඔබ නිර්මාණය කළා.

ඔබ ජනාධිපති ධුරයේ දෙවරක් කටයුතු කිරීමෙන් පසු 2005 නොවැම්බර් මාසයේදී විශ්‍රාම ගියාය.

කෙසේවෙතත්, ඔබ තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා වන සීබීසී පදනම සහ දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතනය වන අතර, ලාභ නොලබන සංවිධාන දෙකක් සඳහා වඩා පුළුල් හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා වැඩ කරනු ලබයි.

2015 සිට, ඔබ ජාතික එක්සත්බව සහ සංහිඳියාව සඳහා කාර්යභාරය මෙහෙයවන අතර, ප්‍රතිසංධානය සඳහා ජාතික ප්‍රතිපත්ති ගොඩ නැංවීම හා ක්‍රියාත්මක කිරීමට එක් විය.

, ඔබ ප්‍රංශයේ සමීප මිතුරෙකි, අපේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දායක විය. 1948 දී නිල සබඳතා ස්ථාපිත කරන ලදී. 1954 දී ශ්‍රී ලංකාව තුළ පළමු Alliance française නිර්මාණය කරන ලදී. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ නගර 5 ක් තුළ බලගතු විදේශ සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ භාෂා පාසලක් වේ. විද්වතුන් සහ බුද්ධිමතුන් ප්‍රංශ භාෂාව ඉගෙන ගෙන ශිෂ්‍යත්ව ලබා ගත්හ. ඔබ එම සම්බන්ධතා නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීමට උපකාර කරන ලදී. ඔබ අපේ රටේ බොහෝ වරක් සංචාරය කර තිබෙනවා,

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනය, කිරසර සංවර්ධනය සහ ආර්ථික හුවමාරු පිළිබඳව බෙදා ගැනීමට බොහෝ දේ තිබෙනවා. දෙරට අතර ප්‍රතිඵලදායක සම්බන්ධතා ඇති කිරීමෙහි ලා ඔබ වඩාත් විශාල මෙහෙවරක් සිදු කරනු ලැබුවා.

ඔබේ සුවිශේෂී වෘත්තීය මාර්ගය සහ පෞද්ගලික කථාව ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්භීතකම හා විශ්වාසය පිළිබඳ උදාහරණයකි.

සෑම බාධකයක්ම ගෞරවය හා ශක්තියෙන් ඔබ ජයගත් අතර සංවාදය වැඩි දියුණු කළා. ඔබ සෑම දෙනාගේම සිත් ඇදගන්නා, ආනුභාව ලත් කාන්තාවක් .ඔබ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව විශේෂ, විශ්වාසදායක හා ඵලදායී ලෙස සම්බන්ධ කර ගත්තා.

මේ සියලු හේතූන් මත ප්‍රංශ ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම commander of the French legion of Honour ඔබ වෙත පිරිනමානවා

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු චිකන් ෆයි

$
0
0
ඔක්‌ 8, 2018 01:00

 

 

හොදි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කටු ඉවත් කළ කුකුල් මස් (තීරු කපාගත්) ග්‍රෑම් 250යි

අල ග්‍රෑම් 100යි

බටර් ස්වල්පයක්

ඔලිව් තෙල් ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කජු ස්වල්පයක්

ලුණු අවශ්‍ය පමණ

සැල්දිරි

හොදි සාදන ක්‍රමය

අල, ලුණු දමා තම්බා ගන්න. ඉන් පසු කොටු හැඩයකට කපා ගන්න. බඳුනක් ළිප තබා, එයට බටර් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමන්න. එයට සැල්දිරි සහ ලූණු දමා මිශ්‍ර කර, තීරු කපා ගත් කුකුල් මස් දමා තෙම්පරාදු කරන්න. එම තෙම්පරාදුවට කජු, ලුණු, ගම්මිරිස් එකතු කරන්න. අවසානයේ තම්බාගත් අල එක්කර, ළිපෙන් බා ගන්න.

බනිස් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 100යි

සීනි ග්‍රෑම් 25යි

කිරිපිටි ග්‍රෑම් 20යි

බිත්තරයක්

මාගරින් ග්‍රෑම් 150යි

ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

පිටි,සීනි,කිරිපිටි සහ බිත්තර එකට දමා අනා ගන්න. පසුව මාගරින් සහ ලුණු එයට එක්කර, නැවත හොඳින් අනා ගන්න. අනාගත් පිටි බෝලය විනාඩි 15ක් පමණ වසා තබන්න. ඉන් පසු නැවත ගෙන, කුඩා කොටස්වලට වෙන් කර, තමන්ට කැමැති හැඩයකට බනිස් ගෙඩිය සාදාගෙන, ඒ තුළට කලින් සාදාගත් හොදි පුරවන්න. දැන් සෙන්ටිග්‍රේඩ් අංශක 150ක උෂ්ණත්වයේ විනාඩි 25ක් පමණ බේක් කර ගන්න.

සටහන - කාංචනා සිරිවර්ධන

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා

සුජාතා ජයරත්න

 

බෝත­ල­යෙන් ඉත්තෑ පෝච්චි

$
0
0
ඔක්‌ 8, 2018 01:00

කාර්යබහුල ජීවිතයට අස්වැසිල්ලක් ලබා ගන්න, නිවෙස හොඳ ම තැනක්. නි‍වෙසේ ගෙවත්ත කියන්නේ, සුන්දරම ස්ථානයක්. මල් වර්ග වවලා අලංකාරවත් විදිහට ගෙවත්ත තබා ගන්න, ඕනෑම කෙනෙක් කැමැතියි. පෝච්චිවල සිටුවන ඇතැම් මල් හා විසිතුරු පැළ වර්ග, ගෙවත්තට දෙන්නේ අලංකාරයක්.

විවිධාකාරයේ මල් පෝච්චි වෙළෙඳ පොළේ තිබෙනවා. සිමෙන්ති මල් පෝච්චි වෙනුවට ප්ලාස්ටික් මල් පෝච්චිත් වෙළෙඳ පොළේ දකින්න ලැබෙනවා. ඉවත දමන මෙගා ‍බීම බෝතලයෙන් ඒ වගේ ලස්සන පෝච්චියක් නිර්මාණය කර ගන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඒ විතරක් නෙමෙයි, ‍ඉත්තෑවකුගේ හැඩයට මේ මල් පෝච්චිය නිර්මාණය කර ගන්න පුළුවන් කියලත් ඔබ දන්නේ නෑ නේද?‍‍

මුලින්ම හිස් මෙගා බීම බෝතලයක් අරගෙන, කඳ කොටසින් ඍජුකෝණාස්‍ර හැඩයට කොටසක් කපා ඉවත් කරන්න. ඒ මල් පෝච්චියේ කට. බෝතලේ මූඩිය ගලවන්න එපා. මූඩිය ඉත්තෑවාගේ මුව කොටස කියලා පෙනෙන ආකාරයට කළු වර්ණය ගල්වලා, ඉත්තෑවට ඇස් දෙකකුත් නිර්මාණය කරන්න. දැන් ඒ තුළට පස් පුරවලා, පඳුරු හැඩයට වවාගන්න පුළුවන් මල් හෝ විසිතුරු පැළ ඒ තුළ සිටුවන්න. විසිතුරු පැළයක් නම්, වර්ධනය වෙන කාලයේදී ගෝලාකාර හැඩය එනතුරු කප්පාදු කරන්න. වටකුරු පතොක් පැළ වර්ග මේ සඳහා කදිමයි. ඉත්තෑවාගේ කූරු ස්වභාවය ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා. පුංචි පුංචි ඉත්තෑ පෝච්චි ඔබේ ගෙවත්ත අලංකාරවත් කරලා තියන ආකාරය, ටික දිනකින් ඔබට පෙනේවි.

චින්තා රණසිංහ

සිරු­රට ගුණ මෝර තෙල්

$
0
0
ඔක්‌ 8, 2018 01:00

අධික තෙල් භාවිතය සිරුරට කොහොමටත් හිතකර නැත. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත් කරදෙන තෙල් වර්ගයක් ලෙස මෝර තෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝර තෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකි ය.

ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කිරීම

මෝර තෙල්වල අන්තර්ගත විටමින් ඩී මගින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරයි. වයස්ගත වීමත් සමඟ දුර්වල වන ඇටමිදුළු ශක්තිමත් කිරීමට, මෝර තෙල් උපකාරී වේ. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෝර තෙල් ,වයස්ගත පුද්ගලයන්ට වගේ ම, ක්‍රීඩකයන්ටත් අතිශයින් වැදගත් බව සඳහන් වේ.

පියයුරු පිළිකා මර්දනය

පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගන්නට මෝර තෙල් ගුණදායක බව, සෞඛ්‍ය පර්යේෂණ මඟින් මේ වනවිට තහවුරු වී තිබේ. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, මෝර තෙල්වල පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවයි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට අතිශයින් ගුණදායක තෙල් වර්ගයක් හැටියට මෝර තෙල් හඳුන්වා දී ඇත.

හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි

මෝර තෙල්වල ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති නිසා, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කෙරේ. එසේ ම, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමබරව පවත්වා ගන්නටත් ඒවා උපකාරී වේ. අනෙක් තෙල් වර්ගවලට සාපේක්ෂව, මෝර තෙල් ශරීරයට අතිශයින් හිතකර බව සෞඛ්‍ය පර්යේෂකයන් සඳහන් කරයි.

මානසික සෞඛ්‍යයට හිතකර වීම

ඔමේගා 3 පෝෂණ සංඝටකය මනසෙහි සංකූලතා අවම කරන්නට සම්‍ත් බව ඔබ දැන සිටියා ද? සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝර තෙල් භාවිතයෙන් අඩු කර ගත හැකි ය. එමෙන්ම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූල බව පාලනය කිරීමට ද මෝර තෙල් උපකාරී වේ.

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි

බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළි වී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය කළ හැකි බවයි. ශරීරයේ ඉන්සියුලීන් මනාව පාලනය කරන්නට ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් වේ. මේ නිසා, මෝර තෙල්වල අඩංගු විටමින් ඒ මඟින් දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි ය.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නොබෙල් සාම ත්‍යාග­ලාභී අම­ර­ණීය චරිත

$
0
0
ඔක්‌ 8, 2018 01:00

ලෝකයට විශිෂ්ට මෙහෙයක් කළ අය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයන් ප්‍රදානය කෙරෙන අන්දම ගැන මේ දිනවල වැඩිපුර අසන්නට, දකින්නට ලැබේ. නොබෙල් සාම ත්‍යාගලාභීන් අතර අමරණීයත්වයට පත් චරිත කිහිපයක් ගැන මේ සටහන තැබෙන්නේ, එය නිමිති කරගෙන ය.

1. මාරි කියුරි (1867 - 1934)

විසිවැනි සියවසේ බිහිවුණු අග්‍රගණ්‍ය විද්‍යාඥවරියක ලෙස මාරි කියුරි මැතිනිය හඳුන්වන්නට පුළුවන. ඈ පෝලන්ත ජාතික කාන්තාවකි. රසායන විද්‍යාඥවරියක හැටියටත් භෞතික විද්‍යාඥවරියක හැටියටත් ඈ ලෝකයට දායාද කළ දැනුම අපමණ ය. නොබෙල් සාම ත්‍යාගය දෙවරක්ම හිමි කරගන්නට ඇයට හැකි විය. ඈ නොබෙල් සාම ත්‍යාගය පළමුවරට දිනාගත්තේ 1903 වසරේදී ය. ඒ වසරේදී භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය පියරේ කියුරි, හෙන්රි බෙකරල් සහ මාරි කියුරි යන විද්වතුන් තිදෙනා අතට පත් කෙරුණු බව සඳහන් වේ. ඉන් අට වසරකට පසුව එනම් 1911දී - රසායන විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ මාරි කියුරි වෙත ය. විකිරණශීලිතාව පිළිබඳ නියමය ඉදිරිපත් කිරීම, විකිරණශීලි සමස්ථානික වෙන් කිරීමේ තාක්ෂණය හඳුන්වා දීම, පොලෝනියම් සහ රේඩියම් යන මූල ද්‍රව්‍යය සොයාගැනීම යන කාර්ය ඈ අතින් රසායන විද්‍යා ක්ෂේත්‍රයට ඉටුව ඇත. එකිනෙකට වෙනස් කෂේත්‍ර දෙකක සඳහා නොබෙල් සාම ත්‍යාග දෙකක් හිමිකරගත් එකම විද්‍යාඥවරිය හැටියට සැලකෙන්නේ ද ඇයයි.

2. රොබර්ට් කොක් (1843 - 1910)

වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ජර්මානු ජාතික රොබර්ට් කොක්, ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ ද හසල බුද්ධිමතකු විය. බැක්ටීරියා පිළිබඳ විද්‍යාව හෙවත් නූතන බැක්ටීරියා වේදයේ ආරම්භකයා ඔහු ය. ඇන්ත්‍රැක්ස්, ක්ෂය රෝගය සහ කොළරාව යන රෝග ත්‍රිත්වය සම්බන්ධයෙන් හෙතෙම ගැඹුරු අධ්‍යයනයන් සිදුකර ඇත. 1876දී ඔහු ඇන්ත්‍රැක්ස් රෝග චක්‍රය හඳුනා ගත්තේය. ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව පිළිබඳ ඔහු 1882දී ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කළේය. කොළරා රෝගය පිළිබඳ ඔහුගේ අධ්‍යයන, විද්‍යාවට එකතු වන්නේ 1883දී පමණ ය. මේ අධ්‍යයනවලට අමතරව, ක්ෂුද්‍ර ජීවි විද්‍යා ක්ෂත්‍රයේ භාවිතයට ගැනෙන විද්‍යාගාර තාක්ෂණය ද ඔහු අතින් දියුණු විය.

ඇන්ත්‍රැක්ස්, ක්ෂය රෝගය සහ කොළරාව යන රෝග පිළිබඳ ඔහු කළ අනාවරණය, මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් බව විවාදයෙන් තොර ය. එම අධ්‍යයන හරහා මතුකර දැක්වූ කාරණා මානව සංහතියේ නිරෝගී සුවය වෙනුවෙන් අදටත් භාවිතයට ගැනේ. වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙයක් කළ විද්වතකු වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමුණේ 1905 වසරේදී ය.

3. මැක්ස් ප්ලන්ක් (1858 - 1947)

ජර්මානු ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වන මැක්ස් ප්ලන්ක් , ක්වන්ටම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් අනාවරණයන් සිදු කළ විද්වතෙකි. පරමාණුක සහ අණු - පරමාණුක ක්‍රියාවලි පැහැදිලි කරමින් ඔහු ලෝකයට නව දැනුම් සම්භාරයක් එක් කළේය. හෙතෙම කෘෂ්ණ වස්තු විකිරණය පිළිබඳ අනාවරණය කළේ ය. ප්ලන්ක් නියතය නමින් හැඳින්වෙන නියතය අර්ථ දක්වා තිබෙන්න් ද ඔහු ය. භෞතික විද්‍යාව විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් පිදෙන නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමුණේ 1918 වසරේදී ය.

4. ඇල්බර්ට් අයින්ස්ටයින්

(1879 - 1955)

සාපේක්ෂතාවාදය, ස්කන්ධ - ශක්ති තුල්‍යතාව පිළිබඳ සමීකරණය, ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම ආදිය භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයට එකතු වුණේ ඇල්බර්ට් අයින්ස්ටයින් නමැති විද්වතා නිසයි. භෞතික විද්‍යාවේ බොහෝ අංශවලට ඔහුගේ නියම සහ අනාවරණ එකතු වී තිබීම විශේෂත්වයකි. ජර්මානු ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූ හෙතෙම, විද්‍යාත්මක නිබන්ධන 50කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇත. ලොව ප්‍රකට විද්‍යාඥයන් අභිභවා යන තරමේ විශිෂ්ට විද්‍යාඥයකු හැටියට ඔහු හඳුන්වන්නට පුළුවන. එමෙන් ම, ඔහු සුප්‍රසිද්ධම විද්‍යාඥයා හැටියටත් සැලකේ. 1999දී ටයිම්ස් සඟරාව "ශත වර්ෂයේ"මිනිසා ලෙස නම් කළේ ද අයිස්න්ටයින් ය. භෞතික විද්‍යා විෂයට විශිෂ්ට මෙහෙයක් කළ විද්වතකු වෙනුවෙන් ප්‍රදානය කෙරෙන නොබෙල් සාම ත්‍යාගය, ඇල්බර්ට් අයින්ස්ටයින්ට පිරිනැමුණේ 1921 වසරේදී ය.

5. ලිනුස් පොලින්ග් (1901- 1994)

අමෙරිකා ජාතික ලිනුස් පොලින්ග් ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයන් විසි දෙනාගෙන් කෙනෙකි. ක්වන්ටම් රසායනය අණුක ජීව විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවල ආරම්භකයකු හැටියට ඔහු හඳුන්වන්නට පුළුවන. රසායනික බන්ධන පිළිබඳ සංකල්ප හෙතෙම ඉදිරිපත් කර ඇත. මූල ද්‍රව්‍යයවල විද්‍යුත් ඍණතාවය නිවැරැදිවම ප්‍රකාශ කිරීමට මුල් වූයේ ද ඔහු ය. මේ අන්දමට රසායන විද්‍යාවට අති මහත් සේවාවක් කළ හෙතෙම , පසු කලෙක න්‍යෂ්ටික අවිහරණය ප්‍රවර්ධනයට අත ගැසුවේය.

රසායන වියාඥයකු හැටියට සිය මෙහෙය නිම කරනවාට අමතරව ඔහු, සාම ක්‍රියාකාරිකයකු හැටියටත්, ග්‍රන්ථ කර්තෘවරයකු හැටියටත් කටයුතු කර තිබේ. ලිනුස් ලියා පළ කර ඇති විද්‍යා පත්‍රිකා සහ ග්‍රන්ථ සංඛ්‍යාව 1200කට අධික ය. එයින් 850ක්ම විද්‍යාව සමඟ සම්බන්ධ වන ලියැවිලි බව සඳහන් වේ. රසායන විද්‍යාව විෂය ක්ෂේත්‍රයට කළ සේවයට ඔහුට 1954 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණ. සාම ක්‍රියාකාරියකු හැටියට ඔහු කළ අනගිභාවනීය සේවය අගැයීමට ලක් වුණේ 1962 වසරේදී ඔහුට නොබෙල් සාම ත්‍යාගය නැවත වරක් පිරිනමමිනි.

6. නොර්මන් බෝර්ලොග්

(1914 - 2009)

අමෙරිකා ජාතික නොර්මන් බෝර්ලොග් ලෝකයට වැදගත් වන්නේ කෘෂි විද්‍යාඥයකු හැටියට කළ මෙහෙය නිසයි. කෘෂි විද්‍යා ක්ෂේත්‍රයට හරිත විප්ලවය යන යෙදුම එකතු කළේ ඔහු ය. ඔහු සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර තිබෙන්නේ තිරිඟු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා ය. ඉහළ අස්වැන්නක් ලබාදෙන තිරිඟු ප්‍රභේධ, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති තිරිඟු විශේෂ හඳුන්වා දෙන්නට ඔහු දායක වී තිබේ. එවැනි විශේෂ මැක්සිකෝව, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල පමණක් නොව අප්‍රිකා කලාපයේ රටවලත් ව්‍යාප්ත කිරීමට හෙතෙම පියවර ගත්තේය. ආහාර අර්බුදයට විසැඳුම් සොයන්නට ලොව බොහෝ රටවලට හැකියාව ලැබුණේ, ඔහු හඳුන්වා දුන් එවැනි බෝග වර්ග හරහායි. හරිත විප්ලවයේ පියා යන අන්වර්ථ නාමයෙනුත් ඔහු හැඳින් වේ.

ලෝක ආහාර සැපයුම වැඩි කිරීමට කළ දායකත්වය ඇගැයීමට ලක් කරමින් ඔහුට 1970 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණ.

7. අර්නස්ට් හෙමින්ග්වේ

(1899 - 1961)

නවකතාකරුවකු, කෙටිකතාකරුවකු සහ මාධ්‍යවේදියකු වශයෙන් විශිෂ්ට සේවාවක් කළ අමෙරිකා ජාතික අර්නස්ට් හෙමින්ග්වේට, සාහිත්‍ය සඳහා ප්‍රදානය කෙරෙන නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ 1954 වසරේදී ය. ඔහු නවකතා හතක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු රචනා කළ "අ ෆෙයාර් වෙල් ටු ආර්ම්ස්" , "ද සන් ඕල්සෝ රයිසස්", "දී ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී"ආදී කෘති පාඨකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් වූ ඒවා සේ සැලකෙයි. එකකට එකක් වෙනස් ශෛලිවලින් රචනා වුණු ඔහුගේ නිර්මාණ, චිත්‍රපටවලටත්, රූපවාහිනී කතා මලාවලටත් නැඟී ඇත. ඔහු ජීවිතක්ෂයට පත්ව දශක ගණනාවක් ගතව තිබුණත් ඔහුගේ නිර්මාණ ලෝකයා තවමත් රස විඳිති.

8. තෙරේසා මව්තුමිය

(1910 - 1997)

ඉන්දීය පුරවැසිභාවය ලබා සිටි තෙරේසා මව්තුමිය, ඇල්බේනියා ජාතික කන්‍යා සොයුරියකි. වසර හතළිස් පහකට අධික කාලයක් එතුමිය අසරණ සරණ සේවයෙහි නියැළුණා ය . දරිද්‍රතාවෙන්, රෝගාබාධවලින් සහ අනාථ තත්ත්වවලට පත්ව පීඩා විඳින ජනයා වෙනුවෙන් ඈ සිය ජීවිතය කැප කළේ , තම ජීවිතය පවා දෙවැනි තැන තබමිනි. අසරණ සරණ ධර්මධාරීන් නැමැති රෝමානු කතෝලික ආගමික සභාවක් පිහිටුවා ගත් ඈ, එය ලෝකයේ සෙසු රටවල ද ව්‍යාප්ත කර හැරියා ය. 2012 වසර වනවිට එය රටවල් 133කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාප්තව තිබිණ. එහි සාමාජිකත්වය ගත් පූජකවරියන් සංඛ්‍යාව 4500කට වැඩි ය. එච්.අයි.වී/ඒඩ්ස්, ලාදුරු ආදී භයානක රෝගවලින් පෙළෙන පුද්ගලයන් සොයා ගොස් ආහාර, බෙහෙත් ආදිය බෙදාදීම පමණක් නොව, ඔවුන්ට සාත්තු සප්පායම් කිරීමටත් මේ සාමාජිකයන් නැඹුරු වී සිටින්නේ, තෙරේසා මව්තුමිය විවර කළ මඟෙහි යමිනි. ලොව ඉහළම සම්මාන වන නොබෙල් සාම ත්‍යාගය තෙරේසා මව්තුමිය වෙත ප්‍රදානය කරමින් ඇගේ අසරණ සරණ සේවය අගැයීමට ලක් කෙරුණේ 1979 වසරේදී ය.


කෝච්චි ගාස්තුව නැග්ගු ව සූත්‍රය

$
0
0
ඔක්‌ 8, 2018 01:00

දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දමන බව දැන් මාස කිහිපයක සිටම මාධ්‍ය මඟින් හෙළි කෙළේය. පසුගිය අයවැයෙන් දුම්රිය ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත්ව තිබුණි. ‍එසේ වුවත් ගාස්තු චක්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇති වූ ගැටලු නිසා මේ ගාස්තු වැඩි කිරීම මාස කිහිපයක් පස්සට ඇදී ගොස් පසුගිය 1 වැනිදා සිට ගාස්තුව ඉහළ නැංගේය.

ගාස්තු වැඩිවීම 15%කින් සිදු වන බව කිව්වත් ඇතැම් ගාස්තු අවස්ථා 60%ක් පමණ දක්වා ඉහළ නැඟ තිබුණි. උදාහරණ ලෙස රුපියල් 25කට තිබූ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 40ක් දක්වා 60%කින් ඉහළ නැඟීම දැක්විය හැකිය.

එසේම රුපියල් 100ක් වූ ගාස්තුව මේ අනුව වැඩි විය යුත්තේ රුපියල් 115ක් ලෙස වන නමුත් එය රුපියල් 130ක් පමණ දක්වා වැඩි වී තිබුණි. ඒ අතර කොළඹ සිට කිළිනොච්චියට රුපියල් 300ක් වූ ගාස්තුව රුපියල් 345ක් ලෙස 15%කින් වැඩි විය යුතු වූ නමුත් රුපියල් 300 සීමාවේ ම තිබුණි.

පැමිණිලි කරන්න දුරකථන අංකයක්

බැලූ බැල්මට මෙය මහා අණ්ඩර දෙමළයකි. ගාස්තු වැඩි කිරීම පැටලිලි සහගතය. එය මඟී ජනයාට පැහැදිලිව පෙනෙන සත්‍යයයි. මේ නිසා වාර ප්‍රවේශ පත්‍ර මිල දි ගැනීමට ගිය මඟීන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සමඟ උණුසුම් වචනද හුමවාරු කර ගත්හ. දුම්රිය ගාස්තුවේ ඇත්ත තත්වය කුමක්ද?

60%ක් පමණ දක්වා වූ ලෙසින් ගාස්තුව වැඩි වූයේ කෙසේද? මේ සඳහා ඇමැතිවරයා 2018 අගෝස්තු මස 24 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අනුමැතිය ලබා දුන්නේද?

දුම්රිය දෙපාර්තමේන්තුව, ගාස්තු වැඩිවීම සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීමට දුරකතන අංක දෙකක්ද ලබා දුන්නේය. නිවැරැදි ලෙසින් වැඩි කෙළේ නම් පැමිණිලි කිරීමට අංක ලබා දුන්නේ ඇයිද යන්න කෙනකුට මතුවිය හැකි සාධාරණ තර්කයකි. මේ ජරමරය ගැන දුම්රිය මඟීන් මෙන්ම පාඨකයන්ද දැනුවත් කිරීම උදෙසා අපි ඒ පිළිබඳ විමර්ශනයක යෙදුණෙමු.

දුම්රිය දෙපාර්ත‍මේන්තුව ගාස්තු සංශෝධන ක්‍රියාදාමය ආරම්භ කර ඇත්තේ 1926 වසරේ සිටය. එතැන් සිට මේ දක්වා දුම්රිය ගාස්තු අය කෙරෙන්නේ දුර අනුවය. 70 දශකයේ අග භාගය දක්වා ඒ දුර ගණනය කෙළේ සැතපුම්වලිනි. සැම දුම්රිය ස්ථානයකටම සැතපුම් අංකයක්ද හිමිව තිබුණි. සැතපුම් ගණනය කෙරෙන්නේ කොළඹ මරදාන දුම්රිය ස්ථාන‍යේ සිටය. උදාහරණ ලෙසින් රාගම දුම්රිය මංසන්ධියට සැතපුම් ගණන 9 කි. එම නිසා එම දුම්රිය ස්ථානයට හිමි අංකය 1009 වේ. ගම්පහ දුම්රිය ස්ථානයට හිමි වූයේ 1016 වන අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 1023 හිමි විය. ඒ දුර අනුවය. ප්‍රධාන මාර්ගයේ හෙයින් එක් දහස් ගණන්වලින් මෙය ආරම්භ වන අතර මීගමුව මාර්ගයේ නම් ඒ අංකය හිමි වන්නේ 4025. 4029 ආදි වශයෙනි.

කිලෝමීටර භාවිතයට ගැනීමත් සමඟ දුර ගණනය කිරීම ද කිලෝමීරයට අනුව සිදු කෙරිණි.

දුම්රිය ගාස්තු සංශෝධනයකදී (අඩු හෝ වැඩි කිරීමක් විය හැකිය) ඒ ගණනය කිරීම සිදු කෙරෙන්නේ එක්තරා චක්‍රාකාර ක්‍රමයටය. එනම් බොහෝ දුරට වර්තමාන විදුලි බිල්පත් හෝ ජල බිල්පත් හෝ ගණනය කරන අයුරින්ය. එහෙත් ජල හා විදුලි බිල්පත් භාවිතය වැඩි වන විට ඒකකට අය කිරීම සිදු වන නමුත් දුම්රිය ගමනාගමනයේදි දුර වැඩි වන විට ඒකකයට (කිලෝමීටරයට) අය කිරීම අඩු වේ.

මේ ගණනය කිරීම කලාප 5කට බෙදා සිදු කෙරේ.

පළමු කලාපය ලෙස අදාළ ඕනෑම දුම්රිය ස්ථානයක සිට කිලෝමීටර් 10ක් දක්වාය. දෙවන කලාපය ලෙස දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 11 සිට 50 දක්වාය. තුන්වන කලාපය ලෙස කිලෝමීටර් 51 සිට 100 දක්වාය. 4 වන කලාපය ලෙස කිලෝමී‍ටර් 101 සිට 200 දක්වාය. 5 වන කලාපය සිට කිලෝමීටර් 201න් ඔබ්බටත් ගණනය කිරීම් සිදු කෙරේ.

මේ ගුණන වගුව යටතේ පළමු කලාපයට මේ දක්වා එක් කිලෝමීටරයට අය කෙළේ රුපියල් 1.10 කි. දෙවන කලාපයට කිලෝමීරයට රුපියලකි. තුන්වන කලාපයට කිලෝමීරයට ශත 85 කි. හතරවන කලාපයට කිලෝමීරයට ශත 65 කි. පස්වන කලාපයට කිලෝමීරයට ශත 50 කි.

ගාස්තු නැංවීමේ සාම්ප්‍රදායික ක්‍රමය

ඒ අනුව කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 15ක දුරකින් පිහිටි දුම්රිය ස්ථානයකට ගමන් කරන මඟියකුට ගෙවිය යුතු ගාස්තුව වූයේ පළමු කිලෝමීටර් 10ට රුපියල් 1.10 ක් හා දෙවන කිලෝමීටර් 5ට රුපියලක් වන එකතුව ආසන්න ඉහළ රුපියල් 5 ගුණාකාරයට යමිනි. ඒ අගය 11.00+5.00 = 16.00 (වැටයීමේදී රුපියල් 20.00කි)

මේ ගණනය කිරීම එදා සිට අද දක්වාම දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාස්තු සංශෝධනයේදී ක්‍රියාත්මක කෙරෙන අතර මෙවරද ක්‍රියාත්මක කර ඇත්තේ ඒ හරහාය. මෙවර ගාස්තු වැඩි කිරීම ගණනය කිරීමේදි කිලෝමීටරයකට අය කළ රුපියල්1.10 ක මුදල 15%කින් වැඩි කර ඇත. ඒ වැඩි කිරීමේදී රුපියල් ආසන්න ඉහළ ශත 10ට කිලෝමීටරයට අය කිරීම අගයා ඇත.

15% වෙනස් වූ ආකාරය

ඒ අනුව පළමු කිලෝමිටරයට වැඩි කළ 15%ක මුදල(1.10 X 15%) රුපියල් 1.26ක් විය යුතු වන අතර වැඩි කිරීමේදී ආසන්න ඉහළ ශත 10ට අගයා රුපියල් 1.30ක් ලෙසින් ගණනය කර පළමු කිලෝමීටර 10ක පිහිටි දුම්රිය ස්ථානයට ගමන් කරන්නකුට කිලෝමීටර් 10 කිලෝමීටරයට අය කරනු ලබන මුදල (රු. 1.30) ලෙසින් ගාස්තු නිර්ණය වන අතර, රුපියල් 13.00 ගාස්තුව ආසන්න ඉහළ රුපියල් 5 ගුණාකාරයට අගයා රුපියල් 15ක් ලෙසින් ගණනය කර ඇත‍.

උදාහරණයක් ලෙසින් කොළඹ කොටුවේ සිට රාගම දක්වා කිලෝමීටර් 16ක පමණ දුරක් තිබෙන හෙයින් පළමු කිලෝමීටර 10ට රුපියල් 13.00ක්ද දෙවන කිලෝමීටර් 7ට රුපියල් 1.20 ගණනේ රුපියල් 1‍.20 X 6 = 7.20 රුපියල් 20.20ක් වන අතර එය ආසන්න ඉහළ අගයට වැටයීමේදී රුපියල් 20.20 රුපියල් 25ක් ලෙසින් අය කෙරේ.

කොළඹ සිට ගම්පහට ගමන් කරන්නෙකුට ඒ අනුව පළමු කිලෝමීටර් 10ට රුපියල් 13ක් හා ඉතිරි කිලෝමීටර් 19ට රුපියල් 1.20 බැගින් රුපියල් 22.80ක් අය කිරීමෙන් ගම්පහ දක්වා ගාස්තුව රුපියල් 13.00+ 22.80 ක් එනම් 35.80ක් ලෙසින් ගණනය කර ඉහළ ආසන්න රුපියල් 5ට වැටයීමේදී රුපියල් 40.00ක් ලෙසින් ගණනය කෙරේ.

මේ අයුරින් කිලෝ මීටර් 100ක් දුරින් පිහිටි දුම්රිය ස්ථානයකට ගමන් කිරීමේදී පළමු කිලෝමීටර් 10ට රුපියල් 13ක් ද දෙවන කිලෝමීටර් 50ට රුපියල් 1‍20ක් බැගින් රුපියල් 60ක්ද, ඉතිරි කිලෝමීටර් 40ට එක් කිලෝමීටරයට රුපියලක් බැගින් රුපියල් 40ක්ද, එකතු කර ප්‍රවේශ පත්‍රයේ මිල වන්නේ 13.00+60.00+40.00 ලෙසින් රුපියල් 113.00කි. එය ඉහළ ආසන්න අගයට වටයා රුපියල් 115ක් වේ. මේ අයුරින් දෙවන පන්තියේ කිලෝමීටරයක් වෙනුවෙන් රුපියල් 2.30ක්ද 1 වන පංතියේ කිලෝමීටරයක් වෙනුවෙන් රුපියල් 4.20 ක්ද ලෙසින් පළමු කලාපයට ගණනය කිරීම් සිදු කර ඇත.

දුම්රිය ප්‍රවේශපත්‍ර මිල වැඩි වූයේ ඒ අයුරිනි. එහෙත් මඟීන් බලාපොරොත්තු වූයේ තමන්ගෙන් මෙතෙක් අය කළ ප්‍රවේශප ත්‍රයෙන් 15%ක් පමණක් වැඩියෙන් අය කරමින් නව ප්‍රවේශ පත්‍රය ලැබෙනු ඇතිය කියාය. දුර අනුව ගණනය කිරීම යනු ආයතනික වශයෙන් මෙන්ම තාක්ෂණික ලෙස ද විධිමත් ක්‍රමවේදයකි. එසේ වුව මඟියා ‍මේ ක්‍රමයෙන් අන්දුන්කුන්දුන්ය.

මඟියාට දුර අනුව ගණනය කිරීම හෝ කිලෝමීටරයකට අය කිරීම හෝ ආසන්න අගයට වැටයීමෙන් වැඩක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ තමන්ගේ පොකැට්ටුවට වැයවෙන ග‍ණන ගැන දැන ගැනීමටය.

මඟියා 15%ක් වැඩියෙන් ප්‍රවේශ පත්‍රයක මිල වැඩිවීම බලාපොරොත්තුව සිටින වි ට එය 40%ක් 50%ක් 60% වූ විට තරු විසිවූයේ එබැවිනි. එකම පවුලේ ස්වාමියා හා භාර්යාව සේවයේ යෙදි සිටී නම් මේ අවස්ථාවේදී ඔවුන් දැඩි අසීරුතාවකට පත් වනු ඇත.මේ ගාස්තු චක්‍රය කෙසේ වුවත් ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 15%ක් පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

එසේ වුවත් රුපියල් 20.10ක් වන ගාස්තුව රුපියල් 25.00ක් ලෙසින් වැටයීම මෙන්ම රුපියල් 35.20ක් වන ගාස්තුව රුපියල් 40.00ක් ලෙසින් අය කිරීම කෙතරම් යුක්ති සහගතද සාධාරණය යන්න ගැන සිතිය යුතුය.

පහසුකම් වැඩි නොකර මේ ලෙසින් ගාස්තු පමණක් වැඩි කිරීම ගැන මඟී ජනතාව නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. අවම වශයෙන් දුම්රිය ප්‍රමාදය අවම කිරීම හෝ දුම්රියේ අත්‍යවශ්‍ය පහසුකම් පවා නොතිබීම ගැන දුම්රිය බලධාරීන් මීට වඩා සිතිය යුතුය.

තාරක වික්‍රමසේකර

නිෂ්පාදන ආර්ථිකයකින් ඩොලරයේ අභියෝගය ජයගන්න පුළුවන්

$
0
0
ඔක්‌ 8, 2018 01:00

*බදුවලින් විතරක් රට දියුණු කරන්න බැහැ
*රුපියල දුර්වල වීමෙන් ආණ්ඩුව වාසි ගත්තා
*ආර්ථිකයත් පුරවැසියාත් දෙකම හදන්න ඕන
*2015 වෙනස නිවැරැදිව භාවිත වුණේ නැහැ
*දැන් ඉදලත් කොස්සත් රටින් ගෙන්වනවා
*මේ විදිහට ගියොත් රට අගාධයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක විධායක කමිටු සාමාජික-ජාතික විද්වත් සංවිධානය

නිදහසින් පසුව මෙරට මුහුණ දුන් විවිධ අර්බුදවලට හේතුව ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම බව නිතර කියැවෙන මතයකි. ජාතික විද්වත් සංවිධානය යනු විවිධ ක්ෂේත්‍ර සඳහා රටට ජාතික වැඩපිළිවෙළක් ගොඩනැඟීම සඳහා ක්‍රියාකාරිව කටයුතු කරමින් සිටින කණ්ඩායමකි. ඔවුන් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව හමු වී ඒ සඳහා යෝජනා ද එකතු කරමින් සිටිති. මේ ඒ පිළිබඳ ජාතික විද්වත් සංවිධානයේ කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක එහා ඉවුරට කරුණු දැක්වූ ආකාරයයි.

* රට මුහුණ පා ඇති අභියෝග ජය ගන්න පෙරමුණ ගන්න ඕන කියලා ජාතික විද්වත් සංවිධානය කියනවා. රට මුහුණ දී ඇති තත්ත්වය ඔබ දකින්නෙ කොහොම ද?

වර්තමානය වන විට මේ රටේ රුපියල අවප්‍රමාණය වීමේ වේගය ඉහළ ගිහින් තියෙනවා. අපේ රටේ නිෂ්පාදන කොතරම් ප්‍රමාණයක් අපනයනය කරලා විදෙස් විනිමය උත්පාදනය කරනවාද කියන එක, මුලින්ම සොයා බලන්න ඕන. ආනයනික භාණ්ඩ වෙනුවෙන් අපේ රට කොයිතරම් මුදලක් රටින් පිටට යවනවාද කියන එක ගැනත් සොයා බලන්න ඕන. මේ දෙක අතර පරතරය තමයි රුපියල අවප්‍රමාණය වීමට බලපාන ප්‍රධාන හේතුව. අපේ රටේ අපනයන ආර්ථිකය දුර්වලවීම නිසා රට ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ තත්ත්වයෙන් ගොඩඑන්න නම්, අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන.

* අපේ රටේ නිෂ්පාදනයට යන වියදම වැඩි නිසා විදෙස් රටවලින් ආනයනය කිරීම වාසි සහගතයි කියලා නේද කියන්නේ?

මෑත කාලයේ මේ රටට ගෙන්වන භාණ්ඩ දිහා බැලුවොත්, කොස්ස, ඉදල පවා විදෙස් රටවලින් ගෙන්වනවා. ඒ වගේ දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්, එවැනි භාණ්ඩත් විදෙස් රටවලින් ගෙන්වීම, ශක්තිමත් ආර්ථිකයක් නැති අපි වගේ රටකට හිතකර නෑ. ඒ නිසා දිගුකාලීනව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතුයි. රට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනයේ දී සීමා පැනවිය යුතුයි. අපේ රටට භාණ්ඩ ගෙන්වන රටවල ඇති අමුද්‍රව්‍ය, ලාභ ශ්‍රමය නිසා ඒ රටවල නිෂ්පාදන මිල අඩුයි. ඒවා ගෙන්වන එක අපේ රටට ලාභයි. නමුත් ලාභ අපේක්ෂාව නිසා දේශීය නිෂ්පාදන වෙළඳපොළ බිඳ වැටිලා. ඒ නිසාම විශාල විනිමය ප්‍රමාණයක් විදෙස් රටටවලට ගෙවන්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට දිගුකාලීනව දේශීය නිෂ්පාදන දිරිගන්වලා, ආනයනය කරන ආදේශක භාණ්ඩවලට කෙටි කාලීනව සීමා පැනවිය යුතුයි.

* ආනයනික භාණ්ඩ මත පැනවෙන සෙස් බද්ද තවදුරටත් ඉහළ දමනවා යැයි මුදල් අමාත්‍යවරයා නිවේදනය කළා. එහෙම කරන්නේ, ආනයනික භාණ්ඩ අඩපණ කරන්න නේ ද?

රුපියල දුර්වලවීමත් එක්ක ඇති වුණ අර්බුදය ආණ්ඩුව ප්‍රයෝජනයට ගන්නේ, රාජ්‍ය ආදායම වැඩි කරගන්න. අපේ රටේ බදුවලින් 81%ක්ම, භාණ්ඩ මත පනවපු බදු. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය තියෙන රටක බදු පැනවීම ගැටලුවක් නෙවෙයි. ඒත්, මේ බදු ඇත්තටම යෙදෙවෙන්නෙ කුමකට ද කියලා අපි හොයන්න ඕන. අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනතාව ගෙවන බදු මුදල් නිවැරැදිව යෙදෙවෙනවද කියන එක අද ප්‍රශ්නයක්. 1948 දී ඩොලරයක් රුපියල් 4ට තිබුණා. 1977 වෙනකොට රුපියල් 27 දක්වා වැඩි වුණා. 77න් පස්සෙ, අද වෙනකොට ඩොලරය රු. 170 ඉක්මවන තැනට ඇවිත්. මේ කාලය තුළ බදු පැනවීමෙන් විතරක් මේ රට දියුණු කරන්න බැරි වුණාය කියන එක පාලකයෝ තේරුම් ගන්න ඕන. ඒ නිසා දේශීය නිෂ්පාදන වෙළඳ පොළට එකතු කරන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඕන. ඒකට අවශ්‍ය පසුබිම හදන්න අපි විද්වත් සංවිධානය විදිහට සැලැසුම් ප්‍රතිපත්ති නිර්මාණය කරනවා.

*1948 ඉදලා මේ රට පාලනය කළේ දේශීය නායකයෝ, 72 මැතිනිය ජාතික ආර්ථිකයක් ගැන කතා කළා, 77 දී විවෘත ආර්ථිකය ගෙනාවා. මේ ක්‍රම රටට හිතකර නෑ කියලද ඔබ කියන්නේ?

70 වසරක් මේ රට පාලනය කළ පාලකයන්ම, තියෙන ක්‍රමය විවේචනය කරනවා. පාලන ක්‍රමය පවත්වාගෙන ආව අයම අද කියන්නෙ, මේ විදිහට තවදුරටත් ඉදිරියට ගියොත් රට අගාධයට ඇද වැටෙනවා කියලයි. මේ රට නැවත වරක් නිවැරැදි දිසාවට තල්ලු කිරීමේ වැඩපිළිවෙළක් ඕන කියන තර්කය අපිට තියෙනවා. ඒකට ආර්ථිකය කියන කාරණය ගැන විතරක් කතා කරලා වැඩක් නෑ. යහපත් පුරවැසියෙක් නිර්මාණය කරන්නෙ කොහොම ද කියලත් හොයලා බලන්න ඕන. ආර්ථික වශයෙන් ශක්තිමත්, සෞන්දර්යාත්මක, නීතිගරුක පුරවැසියෙක් නිර්මාණය කරගන්න පුළුවන් නම්, මේ රට ලස්සන කරන්න අමාරු නෑ.

අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, පරිසරය, ප්‍රවාහනය, ජාතික සංහිඳියාව වගේ ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ප්‍රතිපත්ති සැලැසුම් සකස් කරන්න ඕන කියන තැන ජාතික විද්වත් සංවිධානය ඉන්නවා. මේ සියලු ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති සකස් කරන්න අපට පුළුවන්. මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න, කැපවුණ දේශපාලන නායකත්වයක් අපට ඕන. අපේ රටේ ජාතික ප්‍රතිපත්ති ගැන කතා කළේ අද ඊයේ නෙවෙයි. පහුගිය කාලයේ ජාතික ප්‍රතිපත්ති සැකසුණා. ඒත් ඒවා යථාර්ථයක් කරගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් ලැබුණේ නෑ. ඒ නිසා ඒ කාලයේ සැකසුණු සියලු ප්‍රතිපත්ති හුදු ලියවිලි බවට පත්වුණා. ඒ නිසා අපි මේ රටේ විද්වතුන්ට, ව්‍යාපාරිකයින්ට, වෘත්තිකයන්ට මේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරන්න ආරාධනා කරන ගමන් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟන්නත් ආරාධනා කළා.

* ජනතාව කීප වතාවක් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනඟන්න කියලා පැවැති පාලන බලය වෙනස් කළා. නැවත වරක් ඒ දේ කරගන්න පුළුවන් දේශපාලන ශක්තිය ලැබෙයි ද?

2015 දී සිදු වූ දේශපාලන පෙරළිය මම දකින්නේ, පැවැති පාලනය ඉවත් කිරීමට කුමන හෝ බලවේගයක් පාලනයට ගෙන ඒමක් විදිහටයි. එදා පැවැති පාලනයට එරෙහිව ඒකරාශී වුණ බලවේගයකින් අලුත් පාලනයක් ආවා. ඒ මැතිවරණයේ දී ප්‍රතිපත්තියක් සැකසුණත්, ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් කැපවුණ දේශපාලන ව්‍යාපාරයක් දකින්න ලැබුණේ නෑ. අලුත් පාලනයේ මුල් කාලයේ රටට අවශ්‍ය සාධනීය පියවරවල් ගත්තත්, ටික කාලයක් ගතවුණාම පේන්න ගත්තේ, 2015 දී කිව්ව, කාරණාවලට පටහැනිව යන පාලනයක්.

එදා නායකත්වයට තෝරා ගත් පුද්ගලයා එක්ක, නිවැරැදි, සංවිධානාත්මක බවක් තිබුණා නම්, අද ආණ්ඩුවෙන් මේ තත්ත්වය දකින්න ලැබෙන්නෙ නෑ. 2015 දී ජනතාව ලබාදුන් වෙනස නිවැරැදිව භාවිත කරගන්න බැරිවීම, දේශපාලන ඉතිහාසයේ සිදු වූ අත්වැරැද්දක්. ඉදිරි ජනාධිපතිවරණයක දී ඒ අත්වැරැද්ද නොවිය යුතුයි කියන කාරණය ජාතික විද්වත් සංවිධානය තියෙනවා. ඒ නිසාම අපිට වැඩපිළිවෙළක් සහිත බහුජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලන අධිකාරියක්, සිවිල් සංවිධානත් ඒකරාශි කරලා අපි බහුජන ව්‍යාපාරයක් ගොඩනඟනවා.

* නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රජය පාර්ශ්වයෙන් ගේනවා කියලා නිවේදනය කළා. ඔබ අදහස් කරන බහුජන ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සැලැසුම් අලුත් ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන්න පුළුවන් නේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පසුගිය අවුරුදු දෙක තුන තුළම පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ අදහස් පළ කළා. ඒ කණ්ඩායම් අතර මත කීපයක් තියෙනවා. දැනට ඉදිරිපත් කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ, මත කිහිපයක එකතුවක්. නිශ්චිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කුමක්ද කියලා ඉදිරිපත් කරලා නෑ. විධායක ජනාධිපතිධුරය සම්පූර්ණයෙන් අහෝසි නොවුණත්, ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට බලපෑම් කරන බලතල විධායකයට එන්න ඕන කියන මතයේ ජාතික විද්වත් සංවිධානය ඉන්නවා.

* සංවිධානයේ මතය ඉදිරියට ගෙනියන්න තියෙන වැඩපිළිවෙළ මොකක් ද?

මම කලින් කිව්ව ක්ෂේත්‍ර දහයේ ගුණාත්මක බව වැඩි කරන්න ප්‍රතිපත්ති සැලැසුම් නිර්මාණය කරන්න ඕන. ඒකට අපි ආරාධනා කළ විද්වතුන් ඒකරාශි වෙලා ඉන්නවා. විද්වතුන් විතරක් ඒ ප්‍රතිපත්ති සැලැසුම් නිර්මාණය කිරීම යෝග්‍ය නැති නිසා, අපි මේ දිනවල දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ ගිහින් ජනතා අදහස් ලබා ගන්නවා. මහජන අදහස්වලටත් ඇහුම්කන් දීලා ඒ ඒ ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති හා සැලැසුම් නිර්මාණය කරගන්න සාධක එකතු කරනවා. මේ වෙනකොට දිස්ත්‍රික්ක 8ක ජනතාව හමුවෙලා අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා අදහස් අරගෙන තියෙනවා.

අපි විශ්වාස කරන දේ තමයි, ජනතාවට මේ කාරණා ගැන අවබෝධකරලා දුන්නට පස්සේ, නැවත වරක් මේ රට නිවැරැදි මාර්ගයට ගන්න පුළුවන් කියන එක. මෙහෙම හදන වැඩපිළිවෙළ 2019 දී අපි මහජනතාවට ඉදිරිපත් කරනවා. ඒ කාලය තුළ දී මේ වැඩපිළිවෙළට තවදුරටත් එකතු කරන්න ඕන කාරණා මොනවද කියලා මහජන මතයක් ගොඩනඟනවා. ඒ අනුව මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ කොහොම ද කියන එක ගැනත් මතවාදයක් ගොඩනඟනවා. ඊට පස්සේ, නිර්මාණය කරන ප්‍රතිපත්ති සැලැසුම් ක්‍රියාවට නංවන්න අවශ්‍ය දේශපාලන අධිකාරියේ වුවමනාව හා කැපවීම තියෙන කණ්ඩායමකට හෝ පක්ෂයකට අපේ සහාය ලබා දෙනවා.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - චමින්ද නිරෝෂණ 

කළ යුත්තේ කුමක්ද?

$
0
0
ඔක්‌ 8, 2018 01:00

‘පොලීසිය ගැන මට කනගාටුයි. පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා, මීට කලින් හිටපු කිසිම පොලිස්පතිවරයෙක් මෙහෙම හැසිරිලා නැහැ. පොලීසියක් තියෙනවාද කියලත් දන්නේ නෑ. පොලිස්පතිවරයා කරන පිස්සු වැඩ නිසා බැණුම් අහන්නේ, මමයි අගමැතිතුයි. මේවාට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

පොලිස්පතිවරයාගේ හැසිරීම හරිම ලජ්ජා සහගතයි. රට තුළ අපරාධ වැඩිවෙලාකියලා මාධ්‍ය වාර්තා කරනවා. මේවාට දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ’.

මෙයාකාරයට දැඩි ලෙස පොලිස්පතිවරයා විවේචනය කළේ වෙනත් කිසිවකු නොව මීට වසර තුනකට පමණ පෙර දී පොලිස්පතිවරයා එම තනතුරට පත්කළ මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපතිවරයා විසින්ය. ජනාධිපතිවරයා මෙම විවේචනය එල්ල කළේ පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

මේ දිනවල ආණ්ඩුව මුහුණ දී තිබෙන අර්බුද අතුරින් ඉතාම බරපතළ එකක් ලෙස පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලුව පෙන්වා දියහැක. පොලිස්පතිවරයාගේ හැසිරීම් රටාව සහ ඔහු කරන කියන දෑ සමාජයේ සෑම කෙනකුගේම පාහේ පිළිකුලට ලක්ව තිබෙන තත්ත්වයක් මේ වනවිට දැකිය හැකිය.

මෙහි ප්‍රතිඵලය පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කරන මෙන් ඉල්ලා සිටින ජනමතයක් ඇතිවීමය. පොලිස්පතිවරයා තවදුරටත් තනතුරේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුවට බරපතළ ලෙස දොස් කියන තත්ත්වයක් මේ වනවිට දැකිය හැක. සමහරු මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට නොව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්‍ෂයටය. ඒකාබද්ධ විපක්‍ෂය මේ සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය මෙයට නිදසුන්ය. එම කණ්ඩායම කියා සිටින්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සහ ඔහුගේ පාර්ශ්වයට අවශ්‍ය වූවද එසේ කිරීම වලක්වාලමින් පොලිස්පතිවරයා ආරක්‍ෂා කරන්නේ අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය බවය.

සත්‍ය තත්ත්වය වන්නේ පොලිස්පතිවරයාගේ හැසිරීම හා කියුම් කෙරුම්වලින් අපහසුතාවයට පත්ව තිබෙන්නේ ආණ්ඩුව පමණක් නොවන බවය. ආණ්ඩුව හා සමානවම නැතිනම් එයටත් වඩා වැඩියෙන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය අපහසුතාවයට පත්ව ඇත. හේතුව පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ හිතවතකු බවට සමහරු කරන හංවඩු ගැසීමත් එම හේතුවෙන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය පොලිස්පතිවරයා ආරක්‍ෂා කරනවාය යනුවෙන් ඉදිරිපත් වී ඇති චෝදනාව ජනසමාජයේ බොහෝ අය විශ්වාස කිරීමට පෙළඹීමය.

ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වී තිබෙන ආණ්ඩුවක් එක් රාජ්‍ය නිලධාරියෙකුගේ අත්තනෝමතික හැසිරීම හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට හා පිළිකුලට භාජනය වනවා නම් එම නිලධාරියා වහාම තනතුරින් ඉවත් කළ යුතු බව යළි යළිත් කිවයුතු නොවේ. මෙවැනි නිලධාරියකු ආරක්‍ෂා කිරීමට යම් පුද්ගලයකු හෝ දේශපාලන පක්‍ෂයක් විවෘතව හෝ ආවෘතව කටයුතු කරන්නේ නම් එයද බරපතළ අපරාධකාරී ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්‍ෂයට එල්ල කර ඇති චෝදනාව සාධාරණ සහ යුක්ති සහගත එකක්ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. හේතුව පොලිස්පතිවරයා පත්කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාමය සහ අනෙක් නීතිමය විධිවිධාන අනුව සෘජුව හෝ වක්‍රව ඊට සම්බන්ධ වීමට හෝ ඇඟිලි ගැසීමට පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්‍ෂයකට ඇති හැකියාව අතිශයින්ම සීමිත වීමය.

පොලිස්පති තනතුර ව්‍යවස්ථාපිත රාජ්‍ය සේවා තනතුරකි. වෙනත් ආකාරයකට කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කර ඇති රාජ්‍ය තනතුරු අතුරින් එකකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම තනතුරුවලට පත්කිරීම් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි.

මේ සම්බන්ධයෙන් අදාළ වන ව්‍යවස්ථාපිත විධිවිධානයන්හි ඒකීයභාවයක් දැකිය නොහැක. හේතුව ඒවා වරින් වර කරන ලද ව්‍යවස්ථා සංශෝධන මගින් වෙනස් කිරීමය. මේ අතුරින් ප්‍රථම එක වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 වන වගන්තියයි. එම වගන්තියට අනුව ‘නීතිපතිවරයා, පාබල, නාවික, ගුවන් හමුදාවන්හි ප්‍රධානීන්, සහ පොලිස් හමුදාවේ ප්‍රධානියා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් ලිඛිත නීති මගින් දැක්වෙන රාජ්‍ය සේවයේ තනතුරු සඳහා පත්කිරීම් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි’.

මෙයාකාරයට දැක්වෙන තනතුරු සඳහා කවරෙක් කුමන නිර්නායක පදනම් කරගෙන පත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු ආකාර සංවරණ විධිවිධානයක් දක්වා නොතිබුණ අතර ඒ අනුව එම සෑම පත්කිරීමක්ම කරනු ලැබූයේ ජනාධිපතිවරයාගේ තනි අභිමතය අනුවය.

2000 වර්ෂයේ ක්‍රියාවට නැංවූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහත දැක්වූ 54 වන වගන්තිය වෙනස් කළ අතර නව විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් කළයුතු ව්‍යවස්ථාපිත පත් කිරීම් කළ යුතු වූයේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමඟ ඒකාබද්ධවය. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමහර තනතුරු සඳහා පත්කිරීම් කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ කිරීම් වලට යටත්වය. එම පත්කිරීම් පහත සඳහන් පරිදි වේ.

1. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්

3. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින්

4. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින්

5. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින්

6. මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයින්

7. සීමා නීර්ණය කිරීමේ කොමිෂන් සභාවේ සාමාජිකයින් පහත දැක්වෙන තනතුරු සඳහා පත් කළ යුත්තේ ජනාධිපතිවරයා ඒ සඳහා කරන නිර්දේශවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබුන හොත් පමණි.

1. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකරු සහ අනෙක් විනිශ්චයකරුවන්

2. අභියාචනාධිකරණයේ සභාපති සහ අනෙක් විනිශ්චයකරුවන්

3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැරුන විට අනෙක් සාමාජිකයින්

4. නීතිපතිවරයා

5. විගණකාධිපතිවරයා

6. පොලිස්පතිවරයා

7. ඔම්බුඩ්ස්මන්වරයා

8. පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා

2010 වර්ෂයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් සම්මත කොට ක්‍රියාවට නැංවූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා තිබූ සංවරණ ආපස්සට හරවන ලද අතර ඒ අනුව පොලිස්පතිවරයා සහ අනෙකුත් ව්‍යවස්ථාපිත රාජ්‍ය නිලධාරීන් පත්කිරීම සෘජුවම ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලය යටතට පත් කරනු ලැබීය. 2015 වර්ෂයේ දී යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාපිත රාජ්‍ය නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන ලද වෙනස් කිරීම් අහෝසි කරමින් 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවන ලද විධිවිධාන යළි බලාත්මක කරනු ලබන ආකාරය දැකිය හැක. මේ අනුව අද පවතින විධිවිධාන අනුව පොලිස්පතිවරයා පත්කිරීම ජනාධිපතිගේ කාර්යයක් වූවද එය කළ යුත්තේ ජනාධිපති විසින් පොලිස්පති තනතුරට නිර්දේශ කරන තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළහොත් පමණි. පොලිස්පතිවරයා පත්කිරීම සම්න්ධයෙන් අදාළ වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මෙසේ වූවද ඒ සෑම විධිවිධානයක් සම්බන්ධයෙන් දැකිය හැකි කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ විශ්‍රාම යාමට ප්‍රථමයෙන් පොලිස්පතිවරයකු තනතුරින් ඉවත් කරන ආකාරය පිළිබඳව කිසිදු සඳහනක් ඒවා තුළ දක්වා නොතිබීමය.

ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට නොහැකිව තිබෙන්නේ අගමැතිවරයා හෝ එක්සත් ජාතික පක්‍ෂය නිසා නොව ඉහතින් දැක්වූ ව්‍යවස්ථා අර්බුදය නිසා වන බවය. එසේනම් පොලිස්පතිවරයා ඉවත් කරන්නේ කෙසේද? මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය ලෙස නීතිවේදීන් පෙන්වා දෙන්නේ 2002 වර්ෂයේ දී සම්මත කරන ලද අංක 5 දරන ව්‍යවස්ථාපිත නිලධාරීන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතය. මෙම පනතේ දක්වා තිබෙන විධිවිධානවලට අනුව පොලිස්පතිවරයකු තනතුරින් පහකිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබේ. එයින් එකක් වන්නේ, පනතේ 3 වන වගන්තියේ අ, ආ, ඇ හෝ ඈ යන හේතුවලින් එකක් හෝ කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෑහීමට පත්වන්නේ නම් ඒ මත පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමය. එම හේතු වන්නේ

අ. වස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම

ආ. ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකි වීම

ඇ. සදාචාරාත්මක වරදකට හෝ රාජද්‍රෝහීවීම හෝ අල්ලස පිළිබඳ වරදකට වරදකරු වීම

ඈ. ශ්‍රි ලාංකික පුරවැසිභාවය අත්හැරීම

දෙවන ක්‍රමය වන්නේ පහත දැක්වෙන හේතූන් එකකට හෝ කිහිපයකට පොලිස්පතිවරයා වරදකරුවකු වන්නේ නම් ඒ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනාවන් අනුව පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීමය.

ඉ. දූෂණ හෝ විෂමාචාරය පිළිබඳ වරදකරුවකු වීම

ඊ. තනතුර අවභාවිතා කිරීම පිළිබඳ වරදකට වරදකරු වීම

උ. සිය රාජකාරි නොසලකාහැරීම පිළිබඳ වරදකරුවකු වීම

ඌ. සිය ධුරය පක්‍ෂපාතීව යොදාගැනීම පිළිබඳ වරදකට වරදකරු වීම මේ සඳහා පළමුවෙන්ම කළයුතු වන්නේ පාර්ලිමේන්තුවේ මුලූ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 1/3 ට නොඅඩු සංඛ්‍යාවක් විසින් ඉහත සඳහන් චෝදනා සම්බන්ධයෙන් විමර්ෂනය කර බලා වාර්තා කිරීම පිණිස කමිටුවක් පත්කරන මෙන් ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එම යෝජනාව සම්මත කිරීමය. ඒ අනුව විමර්ශන කමිටුව පත්කළ යුතු අතර එය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. එම තිදෙනා විය යුත්තේ අග්‍ර විනිශ්චයකරු විසින් පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෙක් (සභාපතිවරයා), පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්‍ෂ නායකවරයා විමසා කථානායක විසින් පත්කරන නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් හෝ රාජ්‍ය පරිපාලන කළමනාකරණය පිළිබඳ විද්වතෙක්ය. මෙම කමිටුව විසින් අදාළ චෝදනාවලට පොලිස්පතිවරයා වරදකරු බවට තීරණය කළහොත් මී ළඟට කළ යුත්තේ පොලිස්පතිවරයා තනතුරෙන් පහකළ යුතු බවට දැක්වෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට බහුතර ඡන්දයෙන් සම්මත කිරීමය. අනතුරුව එම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළයුතු අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම කළ යුත්තේය.

ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ ධුරය දරන පොලිස්පතිවරයකු විශ්‍රාම යාමට ප්‍රථමයෙන් තනතුරෙන් ඉවත් කිරීම පහසු කාර්යයක් නොවන බවය. එය අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් හා සම්බන්ධ දෙයකි. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. වර්තමාන පොලිස්පතිවරයා තනතුරේ තබා ගැනීම හෝ ඉවත් කිරීම අගමැතිවරයාට හෝ එක්සත් ජාතික පක්‍ෂයට කිසිසේතම කළහැකි දෙයක් නොවන බවය. මේ තත්ත්වය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ඔවුන්ට සහාය දක්වන සෑම අයෙක්ම තේරුම් ගත යුතුය. මෙම කරුණ අරභයා ජනතාව නොමග යැවීම ඒකාබද්ධ විපක්‍ෂය විසින් දැන්වත් නතර කළ යුතුය. ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නොව ඉහතින් දැක්වූ පරිදි පොලිස්පතිවරයාට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමය. නැතිනම් එවැනි යෝජනාවක් ගෙන එන මෙන් ආණ්ඩුවට බලකර සිටීමය. අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දරන ස්ථාවරය මැන ගැනීමට ඇති හොඳම ක්‍රමය එය බව අවසාන වශයෙන් කිවහැකි ය.

බන්දුල ගුණවර්ධනගේ පොට්ටනියේ බර

$
0
0
ඔක්‌ 8, 2018 01:00

අභිනවයෙන් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු 'ගුරුවරුන් අරඹයා තමුන්ගේ දැක්ම'ගැන විද්‍යුත් මාධ්‍ය හරහා වගාඩම්බර හා අලංකා‍රෝක්ති සහිත 'මනරම් දෙසුම්'පැවැත්වූ හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගුරුවරුන්ටත්, ඔවුන්ගෙන් පංති කාමර තුළදී ඉගෙන ගන්නා දරුවන්ටත් ප්‍රායෝගික අර්ථයෙන් කෙටිකාලීනව හා දිගු කාලීනව කිසිදු වැදගම්මක් නැති, එහෙත් න්‍යායාත්මකව යම් තරමක වටිනාකමක් ඇතැයි කෙනෙකුට කිව හැකි 'අනවශ්‍ය නිරර්ථක බරක්'ගුරුවරුන්ට දායාද කළේය. වෙනත් කිසිඳු හරයාත්මක යමක් බිංදු මාත්‍රයකින් හෝ ඉටුකළේ නැත. ධුරයෙන් සමුගත්තේ බෙරේ පලුවකුත් නැතිකොට නටපු නැටුමකුත් ඡායාමාත්‍රව හෝ ශේෂ නොකොටය. එය පුද්ගලයෙකු ඉලක්ක කරගෙන කළ ද්වේශ සහගත ප්‍රකාශයක් ලෙස නොසලකන ලෙස 'පොහොට්ටු බැතිමතුන්'ගෙන් පළමුකොටම ඉල්ලා සිටිනු කැමැත්තෙමි. මක්නිසාදයත් අද වන විට හිටපු ඇමැති බන්දුල පොහොට්ටු බැතිමතුන්ගේ 'සැරියුත් මුගලන්'කෙනෙකු වී ඇති හෙයිනි.

ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහු සතු දැනුම සිය දේශපාලන අභිලාෂය වෙනුවෙන් කිසිඳු ලැජ්ජාවකින් තොරව අවභාවිත කරන ආකාරය ඉකුත් දිනෙක රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහාචාර්ය ආංශු මාරසිංහ නග්න කරන නමුත්, සිංගප්පූරු - ශ්‍රී ලංකා ආර්ථික නැත්නම් වෙළෙඳ ගිවිසුම ගැන බන්දුල ඇතුළු නඩය සමාජගතකොට ඇති දුර්මත දුරලීමට එම තතු රාජ්‍ය මාධ්‍ය මඟින් තවදුරටත් ඉදිරිපත් කරන ආකාරයක් දැකිය නොහැකි විය. ඒ ඒ මොහොතේ තමා සිටින දේශපාලන කඳවුරේ අභිමතාර්ථය වෙනුවෙන් සිය ආර්ථික විද්‍යා දැනුම හිටපු ඇමැති බන්දුල වෛශ්‍යා වෘත්තියේ යොදවනුයේ කිසිඳු හිරිකිතයකින් තොරවය. මේ ඊට එක් නිදසුනකි.

විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටියදී 1993-03-12 වෙනි දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී කතා කරමින් 'රක්ෂණය විකුණනවාට වඩා පස් කාලා මැරෙන එක හොඳයි'යැයි කී හිටපු ඇමැති බන්දුල සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන විටදී එවක පැවති ආණ්ඩුවේ ඇමැතිවරයෙකුව සිටි හෙයින් එය ඉතා ඵලදායී ආර්ථික තීරණයක් ලෙස හඟමින් 'ගොළුවා කසාය බිව් න්‍යායෙන්'සිටියේය. මහින්ද පාලන සමයේ නිශ්ශබ්ද විලියම් කෙනකුගේ භූමිකාව රඟදක්වමින් සිටි බන්දුල අද තරු පහේ යහපාලනයක් නැහැයි කියමින් මරළතෝනි දෙයි.

සිය ධුර කාලය තුළ ගුරු සේවා ව්‍යවස්ථාව නවීකරණය කළ හිටපු අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල උසස්වීම් දීමේදී ගුරුවරුන්ට කාර්යක්ෂම 'කඩඉම් විභාගයක්'හඳුන්වා දුන්නේය. ස්වයංක්‍රීයව 'පිනට'උසස්වීම් කරනවාට වඩා විභාගයක් මඟින් ඇගයීමක් කර උසස්වීම් ලබාදීම පිළිගත යුතු තත්ත්වයකි. ඒ ගැන තර්කයක් නැත. එහෙත් එය මහ පොළොවේ ක්‍රියාත්මක වන වෛෂයික යථාර්ථයට අනුකූලව සිදුවිය යුතුය. එසේ නොමැතිව විභාගයක් තිබිය යුතු වූ පළියට තිබීමෙන් ගුරුවරයාට හෝ ගුරුවරයාගෙන් පන්තියේ ඉගෙන ගන්නා දරුවාට අත්වන සෙතක් නැත. මක්නිසාදයත් ගුරුවරයාගේ කාර්යභාරය, ගුරු වෘත්තිය ස්ථානගත වී ඇති සන්දර්භය තුළ කාර්යාලයක මෙන් ලිපි ලේඛන සහිත ගොනුවකට සීමා නොවන සජීවී දරුවන් කැලකට කේන්ද්‍රවන පටිපාටියකට කොටුවන්නක් වන බැවිනි.

කාර්යක්ෂමතා කඩඉම මේ සජීවී දරුවාට බද්ධ වූ පරීක්ෂාවක් විය යුතු ඒ නිසාය. ඊට ප්‍රායෝගිකව නිශ්චිත නිවැරැදි පටිපාටියක්, යාන්ත්‍රණයක්, ක්‍රමවේදයක් නිර්මාණය කිරීම දුෂ්කර නම් 'ලෙඩා මළත් බඩ ශුද්ධයි'වර්ගයේ කාර්යක්ෂම කඩඉම් විභාගයක් එල්ලනවාට වඩා පැවති ක්‍රමයටම 'පිනට'උසස් කිරීම සිදුකළාට වෘත්තීය ස්වභාවය අනුව පවක් නැත.

'හිරමණේ කොහේ ගියත් පොල් ගාන්නා සේ'කවර ශ්‍රේණියක කවර පියවරේ හිටියත් ගුරුවරයාගේ කාර්යය හා බලතල ස්ථාවර නිශ්චිත දෙයක් වනවා විනා අන් වෘත්තීන්ගේ මෙන් බිංදු මාත්‍රයකින් වෙනස් නොවේ. රැකියාවට ආදා පටන් විශ්‍රාම යන තෙක්ම වෘත්තීමය රුචිය, සන්නිවේදන කුසලතාවය, පෞර්ශත්වය, දැනුම, ස්වයංවිනය, සංවේදීතාවය, සහකම්පනය වැනි සාධක මත අඩු - වැඩි වශනේ සඛ්‍යතා - ඌණතා පළකරමින් එකම තලයක ක්‍රියාත්මක වන ඒකීය එකක්ම වන බැවිනි.

යථොක්ත සංරචකයන් පිළිබඳ යථාර්ථයට හා තථ්‍යලෝකයට සමපාතවන ආකාරයේ නිවැරැදි විනිශ්චයක් කළ නොහැක. ගුරු උපදේශකවරයකු හෝ වෙනත් අධීක්ෂකවරයකු විනාඩි හතළිහක කාලපරිච්ඡේදයක් තුළ ගුරුවරයා පන්ති කාමරයේ උගන්වන ආකාරය බලා සිට සම්මත ප්‍රශ්නාවලියක් සහිත පෝරමයක් පුරවා ගොනුගතකොට පුරෝකථන දීම නිශ්ඵල කාර්යයකි. පන්ති කාමරයක් තුළ CCTV කැමරාවක් සවිකොට අඩු තරමින් මාසයක් තුළ ගුරුවරයා උගන්වන ආකාරය විමර්ශනය කිරීමේ ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා ප්‍රායෝගිකය.

හිටපු ඇමැති බන්දුල ශූරීන්ගේ 2014-10-23 දින අංක 1885/38 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව එවක අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු 2015-10-14 දිනැති චක්‍රලේඛයට අනුව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I, 2-II හා II පන්තිවලට අයත් ගුරුවරුන්ට නිර්දේශ කර තිබෙන කාර්යක්ෂමතා කඩඉම් සඳහා මතු දක්වන ‍'මොඩියුල'සම්පූර්ණ කිරීමට නියමිතය. එනම්,

මොඩියුල 01 - ආයතන සංග්‍රහයේ ගුරුවරයකුට අදාළ මූලික කරුණු සහ රාජ්‍ය සේවකයකු දැනගත යුතු මූලික කරුණු හා මුදල් රෙගුලාසිවල සරල කරුණු.

මොඩියුල 02 - ගුරු ආචාර ධර්ම

මොඩියුල 03 - පන්ති කළමනාකරණය හා සිසුන් හඳුනාගැනීම. මොඩියුල 04 - ඉදිරිපත් කිරීමේ ශිල්පීය ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇතුළුව) මොඩියුල 05 - දින සටහන් සති සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම.

මොඩියුල 06 - ඵලදායීතා හා තත්ත්ව ශිල්පීය ක්‍රම මොඩියුල 07 - අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය. මොඩියුල 08 - අධ්‍යාපනයට සම්බන්ධ අණපනත් හා අධ්‍යාපන ඉතිහාසය. මොඩියුල 09 - ව්‍යවහාරික ඉංග්‍රීසි මොඩියුල 10 - විෂය සමගාමී ක්‍රියාකාරකම් හා පාසල් ව්‍යාපෘති මොඩියුල 11 - කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමඟ සබඳතා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි හා කළමනාකරණ තීරණ ගැනීම. මොඩියුල 12 - ළමා සෞඛ්‍ය හා පෝෂණය මොඩියුල 13 - ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන දැනුම මොඩියුල 14 - මනෝ විද්‍යා උපදේශනය මොඩියුල 15 - අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සංවිධාන ව්‍යුහය, ඒ සඳහා සබඳතා පැවැත්වීම, උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය මොඩියුල 16 - පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්‍රම මොඩියුල 17 - අන්තර් පුද්ගල සබඳතා සහ ආකල්ප වර්ධනය මොඩියුල 18 - මානව සම්පත් කළමනාකරණය මොඩියුල 19 - නොවිධිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා මොඩියුල 20 - කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය

එක් මොඩියුලයක් සතිඅන්ත දින 03ක් තුළ ක්‍රියාත්මක කරන අතර, අවසන් දිනය ඇගයීම් හා සහතික පත්‍ර ප්‍රදානයට වෙන්කර තිබේ.

සැසියකට සහභාගි කරගන්නා උපරිම සංඛ්‍යාව 50 කි. මෙහිදී පැන නඟින ගැටලු ගණනාවකි. මේ ඉන් කීපයක් පමණි.

පළමුවැන්න ගුරුවරුන් 50 බැගින් කලාප කාර්යාලයකට එක බැගින් ඇති ගුරු මධ්‍යස්ථානයකට කැඳවා එක මොඩියුලයකට දින 03 ක් බැගින් සති අන්තයේ පමණක් පංති පවත්වා මේ මොඩියුල ආවරණය කිරීමට කොපමණ කලක් ගතවේද? ගුරුවරුන් දෙලක්ෂ විසිපන්දාහක් පමණ සිටින අතර පැන්ෂන් ගියාට පසුවද මේ විභාග කිරීමට ඒ අනුව ගුරුවරුන්ට සිදුවෙනු ඇත.

දෙවනුව මොඩියුල තුළ එන බොහොමයක් මාතෘකා ගුරු විද්‍යා, පීඨවලදීත්, අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලා තුළදීත් විෂයයන් වන න්‍යායාත්මක විෂය කාරනාවන්මය. මේ ශාස්ත්‍රීය කාරණා නැවත පුනරුච්චාරණය කිරීමෙන් අපේක්ෂා කරනුයේ කවරක්ද?

තෙවනුව ඇතැම් මාතෘකා ගුරුවරයාගේ සාමාන්‍ය බුද්ධිය වැඩිකර ගැනීමට හොඳ වුවත්, පන්ති කාමරයේදී දරුවන් සමඟ සෘජුව ගනුදෙනු කරනවා හැරුණුකොට ගුරු වෘත්තිය ස්ථාපනය වී ඇති සන්දර්භය තුළ ඒ දැනුමෙන් ගුරුවරයාට ප්‍රායෝගික අර්ථයෙන් වැදගත්කමක් ‍තිබේද?

සිව්වැන්න වන්නේ, දින දෙකක් ඉංග්‍රීසි ඉගෙනගෙන තෙවැනි දින ඇගයීමකට ලක්කොට ලබාදෙන සහතිකය හිමිකරගත් පසු එතැන් පටන් ඉංගිරිසිය වහරන්නටත්, ලියන්න කියන්නටත් හැකියාවක් ලැබේ යැයි සිතිය හැකිද?

පවතින සමාජ ආර්ථික රටාව තුළ සිය විෂයානුබද්ධ දැනුම වැඩිකර ගැනීමට හා යාවත්කාලීන කරගැනීමට පෙළඹුමක් නොමැති පසුබිම තුළ ඒ සඳහා යම් වැඩපිළිවෙළක් යෙදීම නොකොට පැරණි ශාස්ත්‍රීය කාරණා හෝද හෝදා මඩේ දැමීමෙන් පංති කාමර තුළ ගුරුවරයාගෙන් ඉගෙන ගන්නා දරුවාට අංශුමාත්‍රයක හෝ වැදගත්කමක් ලැබෙන්නේද?

'ගුරුවරයාට උගන්වන්න වෙලාවක් නෑ. කඩදාසි පුරවන්නයි වෙලා තියෙන්නෙ. මම මේ තත්ත්වය වෙනස් කරනවා'යි ධුරයට පත්වීමෙන් පසු මාධ්‍යවලට ඇවිත් කී හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල අටවා ගිය මේ නිරර්ථක නිශ්ප්‍රයෝජන 'අටමගලය'ගැන වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දැනුවත්ව නැතැයි සිතමි.

අපේ ගුරු සංගම් ද ජනප්‍රිය මාතෘකාවල එල්ලී මාධ්‍ය වීරයන් ලෙස කැපී පෙනෙනවා විනා ඇත්ත 'ගුරු ගැටලු'බලධාරීන්ගේ අවධානයට යොමුකිරීමට උනන්දුවන ආකාරයක් පෙනෙන්නට නැත. නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවීම අත්හිටුවීමට ක්‍රියාකරනවායි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍යවල පළවන විට එය සත්‍ය බැව් තහවුරු කිරීමට හා ඒ මඟින් ඇමැති අකිලට අවි අමෝරා ඒමට උත්සුකවන්නවුන් පවා මේ ඇත්ත ගැටලු ගැන උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. උසස් අධ්‍යාපන නිලධාරීන් බහුතරය ද පෙරහැරේ යන 'කච්චියටම'අතගසනවා පමණි.

ගුරුවරයාගේ 'ඇත්ත ගැටලු'අධ්‍යාපනයට සම්බන්ධ දේශපාලන බලධාරීන් අභියස ප්‍රක්ෂේපණය නොවේ. බොහෝ විට සංදේශනය වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් සිටින 'ගුරු හොරුන්ගේ'දුශ්කෘත්‍යයක් පිළිබඳ අලංකාරෝක්ති හැඩගැන්වීම් සහිත පුවත් හා 'ව්‍යාජ ගුරු නළුවන්ගේ'ආරුඪ කරගත් ආරෝපිත පරමාදර්ශී රංගනයන් සහිත පුවත් මිස මහපොළොවේ ක්‍රියාත්මක වන වෛශයික යථාර්ථයට සමීප පුවත් නොවේ යැයි නිරනුමානවම සඳහන් කළ හැකිය.

කිව යුතු 'ගුරු ගැටලු'බොහෝය. ඒ ඔක්කොම දිගහැරීමට මෙය අවස්ථාවක් නොවේ. මේ ගුරු ගැටලු එක තැන පල්වෙන තත්ත්වයක පවතින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය උගතුන්ගෙන් ගහන වුවත්, වියතුන්ගෙන් විරල තත්ත්වයක නිමග්නව පවතින නිසාය.

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය අනුව වියතකු යනු තර්කානුකූලව සිතන්නටත්, තේරුම් ගන්නටත් ශක්‍යතාවයක් ඇත්තාය. ඒ අර්ථයෙන් ඇමැති අකිල වියතෙක් ලෙස අපට හඳුන්වාදිය හැකිය. එමෙන්ම දකුණේ අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර ද වියතකු වන බව අදාළ නොවූවත් මෙහි සටහන් කර තැබීම යුතුකමකි. ඒ අනුව හිටපු ඇමැති බන්දුල ගුරුවරුන්ගේ හිස මත තබාගිය මේ 'පොට්ටනිය'ලිහා බලා විමර්ශනාක්ෂියෙන් බලා සුදුසු පරිදි ක්‍රියා කරන මෙන් ඇමැති අකිලගෙන් ගෞරව පෙරදැරිව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

තුෂාන් රාජවසම්

බුදුන් අනුදත් තිරසර සංවර්ධනය

$
0
0
ඔක්‌ 8, 2018 01:00

සංවර්ධනය යන්න අපට හුරු පුරුදු වචනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙය නිර්මාණය කර ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා විශාල වෙහෙසක් සිදුකර තිබේ. මුල් අවධියේදී සංවර්ධනය යන පදයෙන් ඉදිරිපත් වූ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගත්තේ ප්‍රගතිය, අභිවෘද්ධිය වැනි පදය. එසේම සංවර්ධනය යන සංකල්පය ආරම්භයේදී වැඩි වශයෙන් සම්බන්ධ වූයේ ආර්ථික විද්‍යාවටය. එය ජීව විද්‍යාවෙන් හා මනෝ විද්‍යාවෙන් ලබාගත් අදහසක් සේ සමහරු සලකති.

විද්‍යාත්මක දියුණුව නොතිබූ පැරණි ලෝකය සංවර්ධනය යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ අධ්‍යාත්මික දියුණුව බව පෙනේ. අධ්‍යාත්මික දියුණුව අර්ථවත් වූයේ ආගමික ඉගැන්වීම් මඟිනි. විද්‍යාත්මක දියුණුවත් සමඟ ඇති වූ කාර්මිකකරණය හා නාගරීකරණය හේතුවෙන් මිනිසුන් වඩාත් යහපත් ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම සංවර්ධනය යන අදහසට එම අර්ථකථනයත් එක්වීමට හේතු විය. ඒ අනුව භෞතික සම්පත් වර්ධනය සංවර්ධනය ලෙස සලකන ලදී. මහාමාර්ග, ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර හා උපකරණ වර්ධනය වීම සංවර්ධනයේ ලක්ෂණයක් ලෙස සැලකීම ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1960න් ඇරඹී දශකය ජගත් සංවර්ධන දශකය ලෙස නම් කළේය. මෙතැන් සිට සංවර්ධනය යන පදය ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට විය. එහි අරමුණ වූයේ රටක දළ ජාතික නිෂ්පාදිතය හා ඒකපුද්ගල ආදායම් වැඩි කිරීමයි. මෙයට අමතරව සංවර්ධනය විවිධ ආකෘතිද ඉදිරිපත් විය. තුන්වන ලෝකයේ සමහර රටවල් ධනවාදී රටාව අනුගමනය කළ අතර තවත් රටවල් සමාජවාදී ආකෘතියක් අනුගමනය කළහ. තවත් සමහර රටවල් ධනවාදී හා සමාජවාදී යන මිශ්‍ර ආර්ථික ක්‍රමයක් යොද ගත්හ.

1974 එක්සත් ජාතීන්ගේ කොකෝයෝක් ප්‍රකාශයට අනුව සංවර්ධනයට ආහාර, නිවාස, ඇඳුම් පැළදුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා අයිතිය, වෘත්තීය අයිතිය හා වෘත්තීය තුළ සෑහීමකට පත්වීම වැනි මූලික අයිතීන් අඩංගු විය යුතුය. මේ අනුව හැත්තෑව දශකයෙන් ඇරඹි දෙවන සංවර්ධන දශකයේදී ආර්ථික වර්ධනයට වැඩිමනක් දෙයක් සංවර්ධනයෙන් අපේක්ෂා කළේය. 1980 තුන්වෙනි දශකය තුළදී මානව වර්ධනය දෙසට යොමු විය. මෙයින් අදහස් කරන ලද්දේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පහසුකම් වැඩි දියුණු කිරීම මගින් මිනිසුන්ට තමන්ට අවශ්‍ය සංවර්ධනය ළඟා කර ගතහැකි බවයි.

කෝපන්හේගන් නුවර 1995 මාර්තු මස පැවති සමාජ සංවර්ධනය පිළිබඳ ලෝක මහා සමුළුව සමාජ සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයකි.

විවිධ සංවර්ධන අරමුණු ඔස්සේ තම ඉලක්ක ළඟාකර ගැනීමට උත්සාහ කළද එයින් පාරිසරික ගැටලු රාශියක් නිර්මාණය විය. ඒ අනුව පාරිසරික ගැටලු සමුදායට පිළියමක් ලෙස තිරසර සංවර්ධනයක අවශ්‍යතාව ඉස්මතු විය. රටක තිරසර සංවර්ධනය යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් ආර්ථික දියුණුව පමණක් නොවේ. තිරසර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ ආර්ථික, සාමාජික, පාරිසරික, සෞඛ්‍ය හා ආධ්‍යාත්මික ආදී සෑම ක්ෂේත්‍රයක්ම ඇතුළත් වන සංවර්ධනයකි. පරිසරය හා සංවර්ධනය පිළිබඳව ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කළ දෙවන ලෝක සංරක්ෂණ ක්‍රමෝපායන් මගින් තිරසර සමාජයක පැවතිය යුතු මූලධර්ම 7ක් ඉදිරිපත්කොට ඇත. ඒවානම්,

1. ජීවීන් කෙරෙහි ගරුත්වයකින් සැලකීම

2. මානව ජීවිතයේ ගුණය වර්ධනය කර ගැනීම.

3. පෘථිවිතලයේ ජීව ගුණය හා විවිධත්වය සංරක්ෂණය කිරීම.

4. මිනිස් ක්‍රියාකාරම් පෘථිවියට දැරිය හැකි පමණට සීමා කිරීම.

5. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම.

6. තමන් ජීවත්වන පරිසරය පිළිබඳව උනන්දුවීමට ඉඩකඩ ලබාදීම.

7. ලෝක සහයෝගිතා වැඩපිළිවෙළක් සකස් කිරීම යනුවෙනි.

මේ අනුව මිනිසා මූලික කරගෙන තිරසර සංවර්ධනය සිදුවිය යුතු බව පැහැදිලිය. එයින්ම තිරසර සංවර්ධනයේ බෞද්ධ දෘෂ්ඨිකෝණය පැහැදිලිය. බුදුදහමට අනුව පුද්ගල සංවර්ධනය මෙලොව හා පරලොව සුගතිය පිණිස විය යුතුය. එනම් බුදු සමයට අනුව තිරසර සංවර්ධනය ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එනම්,

1. අභ්‍යන්තර තිරසර සංවර්ධනය

2. බාහිර තිරසර සංවර්ධනය යනුවෙනි.

මෙයින් පැහැදිලි වන කරුණක්නම් තිරසර සංවර්ධනයේදී ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ අවධානය යොමුකළ යුතුබවයි. මිනිසා හා සමාජය සදාචාරයෙන් පිරිහුණහොත් එහි කිසිවකුටත් වාසය කිරීම උගහටය. මිනිසා සදාචාරයෙන් පරිපූර්ණ නොකොට රටක් සංවර්ධනය කිරීම තුළින් සදාචාර සම්පන්න ජන සමාජයක් ඇති තිරසර සංවර්ධනයෙන් යුතු රටක් නිර්මාණය වන්නේ නැත. අපරාධ අවමවූ ශීලාචාර දැහැමි සමාජයක් ගොඩනැගීමට තිරසර අභ්‍යන්තර සංවර්ධනය අත්‍යාවශ්‍ය වේ. එය ආධ්‍යාත්මික පැතිකඩයි.

සමාජ සුභසාධන ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය ද ඉන් අපේක්ෂා කෙරේ. මෙහිදී බෞද්ධ තිරසර ආර්ථික සංවර්ධනය, බෞද්ධ තිරසර අධ්‍යාපන සංවර්ධනය, බෞද්ධ තිරසර සෞඛ්‍ය සංවර්ධනය සහ ‍බෞද්ධ තිරසර සමාජ සංවර්ධනය යනුවෙන් මුඛ්‍ය කරුණු 04ක් යටතේ සිදුවිය යුතුව ඇත.

බුදු සමයේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් හිමිව ඇත. මිනිසත්කමට හෝ ජීවී අජීවී පරිසරයට බාධා නොවන ලෙස ආර්ථිකමය දියුණුව ළඟාකර ගතයුතුය. තිරසර ආර්ථික සංවර්ධනයේදී සමාජයට හෝ පුද්ගලයාට විපත් නොවන අයුරින් ධනය ඉපැයීම කළ යුතුය. සාහසික නොවිය යුතුය.

බෞද්ධ තිරසර සංවර්ධනයේ වැදගත් පැතිකඩක් ලෙස තිරසර බෞද්ධ අධ්‍යාපන සංවර්ධනය හැඳින්විය හැකිය. තිරසර බෞද්ධ අධ්‍යාපනයේ මූලික කාර්යභාරය වනුයේ කෙලෙස් දහමින් අවුරා ඇති මිනිස් සිත හික්මවා බුද්ධි වර්ධනයට පත් කිරීමයි. මෙහිදී ගුරු ශිෂ්‍ය භූමිකාව ද වැදගත් කාර්ය කොටසක් ඉටුකරනු ලැබේ. රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත සැකසීමේ පූර්ණ වගකීම ගුරුවරයා සතු ප්‍රමුඛ වගකීමකි.

ඕමල්පේ සෝමානන්ද හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>