ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ප්‍රජාතන්ත්‍රික එකමුතුවේ සමකැඳවුම්කරු.
ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතන විසින් රටේ ජනතාවට හා ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකර ඇති බලපෑම කුමක් ද යන්න සහ ජනතාව එකී ආයතන සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කෙබඳුද යන්න මේ මොහොතේ සාකච්ඡාවට ලක්වීම වැදගත්ය.
පසුගිය දශක තුනක පමණ කාලයක් තිස්සේ නියෝජන සම්ප්‍රදාය නැතහොත් පාර්ලිමේන්තුව කේන්ද්‍රකරගත් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මකවීමේ ක්‍රියාදාමය විවිධ මට්ටම්වලින් අඩපණ වූ අයුරු අපට නිරීක්ෂණය කළ හැකිය. පාර්ලිමේන්තුවට තේරීපත්වන නියෝජිතයන් පිළිබඳ ගැටලු මතුවීමට පටන් ගැනීම, ඒ ඔස්සේ එම නියෝජිතයන් කොතරම් දුරට ජනතා අභිලාෂ නියෝජනය කරනවාද යන්න, පාර්ලිමේන්තුවට තෝරාපත්කර යවන නියෝජිතයන්ගේ සුදුසුකම් පිළිබඳ ජනතාවට හැඟීමක් නොතිබීම නිසා නුසුදුස්සන් තෝරාපත්කර යවන්නේය යන කාරණය, අපේක්ෂකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය ජනතාවට මැදිහත්වීමක් කළ නොහැකිවීම වැනි කාරණා පාර්ලිමේන්තුවේ පරිහානියටත්, අර්බුදය තවත් තීව්‍ර කිරීමටත් බලපෑ බව පැහැදිලිය.
පක්ෂ විසින් තෝරාගත් අයකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම හැරුණුවිට ජනතාවට තමන්ට අවශ්‍ය අයකු තෝරා පත්කර ගැනීමට හැකියාවක් නොමැත. ඒ සඳහා දේශපාලන ආචාර ධාර්මික ක්‍රමවේදයක් අනුගමනය නොකෙරේ. පාර්ලිමේන්තුව මුළුමනින්ම ජනතාවගෙන් වියෝවූ මැතිවරණ කාලයට පමණක් ජනයා සමීපයට යන මෙන්ම මැතිවරණයෙන් පසුව මුළුමනින්ම ජනයා අමතක කර, නොතකාහැර කටයුතු කරන හිතුවක්කාරී ඒකාධිකාරී ආයතනයක් බවට පත්ව ඇත.
ඓතිහාසික අර්බුදයක්
පාර්ලිමේන්තුව එසේ අර්බුදකාරී තත්ත්වයට පත්වනවිට ජනසමාජයද බරපතළ ලෙස දේශපාලන ආචාරධර්ම නොතකාහරින, ව්‍යාපාරික හා වෙළෙඳ අරමුණු මිස සදාචාරය හා ආචාරධර්ම පිළිබඳ කිසිඳු හැඟීමක් නොමැති කොටසක් බවට පත්විය. මේ තත්ත්වය යටතේ දේශපාලනය හා ජනසමාජය තුළ නිර්මාණවිය යුතු ගුණාත්මක බව වෙනුවට ඉතා අර්බුදකාරී තැනකට ගමන්කර ඇත. එය දැවැන්ත දේශපාලන අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් ලෙසද මේ මොහොතේ වෙනත් අයුරකින් ප්‍රකාශයට පත්වෙමින් තිබේ. පාර්ලිමේන්තු නියෝජිතයන් එය දකින්නේ ව්‍යවස්ථා අර්බුදයක් ලෙසය. මා මෙය දකින්නේ ඓතිහාසිකව හා ක්‍රමානුකූලව වර්ධනය වූ අර්බුදයක මතුවීමක් වශයෙනි.
ඇතැම් අය එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් ලෙස හඳුන්වයි. අප කැමැති වුවද අකමැති වුවද පාර්ලිමේන්තු සම්ප්‍රදාය එන්නේම ලිබරල් දේශපාලන - ආර්ථික මාදිළියක් වශයෙනි. 1950, 60 හා 70 දශකයේ මුල් භාගයේ අපේ රටේ වුණත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය යම් ගුණාත්මක තත්ත්වයක පැවතිණි. නිදසුනක් ලෙස සමාජ ව්‍යාකූලතා නිසා අපේ රටේ අගමැතිවරු ඉල්ලා අස්වී තිබේ.
53 හර්තාලය අවස්ථාවේ 9 දෙනකු පමණ ඝාතනය වූ අතර ඇතිවූ තත්ත්වය හමුවේ අගමැති ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්විය. 56 මාර්තු මැතිවරණයෙන් පසු රාජාසන කතාව පරාජයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. අපට එබඳු සම්ප්‍රදායක් තිබිණි. නමුත් 1975න් පසු දෙවසරක් වැඩිපුර පාර්ලිමේන්තුව දීර්ඝ කර ගැනීම, 77දී බලයට පත් එ.ජා.ප. රජය පාර්ලිමේන්තුව වසර 6කින් දීර්ඝ කරගැනීම, පාර්ලිමේන්තුවට තමන්ට රිසි ලෙස හැසිරවීමට හැකි පිරිස්වලින් පුරවා දැමීම ආදී පියවර මඟින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැවැතිය යුතු ධනේශ්වර හෘදසාක්ෂියවත් අපේ පාර්ලිමේන්තුවට අහිමි කෙරිණි. ඒ අහිමිවීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයකට වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස අනුගමනය නොකිරීම හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නඟාසිටුවීමට හැකි සමාජ පරිසරයක් ගොඩනඟාගැනීමට අසමත්වීම, අර්බුද වශයෙන් දැකීම නිවැරදිය. එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් නොවේ, සමස්ත සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලියේ ඇතිවූ අර්බුදයකි.
වත්මන් පාර්ලිමේන්තුව දෙස අවධානය යොමුකරනවිට සමස්තයක් ලෙස එය විකෘතියක්, විකාරයක් බවට පත්වී තිබේ. මෑතකාලීනව, මේ විකෘතිය ආරම්භ වූයේ 2015 ජනවාරි 9 වැනිදාය. ආසන 42ක් පමණක් තිබූ එජාපයට අගමැති ධුරය ලබාගැනීම එහි මුලය. එහිදී බහුතරයක් වූ සන්ධාන මන්ත්‍රීවරු නිහඬව සිටීමත් සමඟ ඇතිවූ විකෘතිය නඩත්තු වෙමින් ඉදිරියට පැමිණියේය. 2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසු මේ විකෘතිය තවත් වැඩිවිය. විපක්ෂ නායක තනතුර සැබෑ විපක්ෂයට නොව ආණ්ඩු පක්ෂයේම පාර්ශ්වකාර පක්ෂයක් ලෙස පෙනීසිටිමින් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට උපකාරී වූ දෙමළ ජාතික සන්ධානයට ලබාදෙන ලදී.
දේශපාලන ව්‍යාපෘති
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ලබාදුන්නේ ජවිපෙටය. ඔවුන්ද නොනිල ආකාරයෙන් කරගන්නේ එජාපයේ දේශපාලන ව්‍යාපෘතිය ආරක්ෂා කිරීම බව දැන් පැහැදිලිවී තිබේ. මේ ක්‍රියාමාර්ග දෙකම පෙර කී පාර්ලිෙම්න්තු සම්ප්‍රදායට අනුව විකෘතීන්ය. මැතිවරණයෙන් පරාජයට පත්වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඔවුන්ට ඇමැති ධුර පවා ලබාදීම ද විකෘතියකි. ශ්‍රී ලාංකිකයකු නොවන මෙරට ඡන්ද බලය පවා නොමැති, සිංගප්පූරු පුරවැසියකුට නෛතික හෝ සදාචාරාත්මක වගකීමද නොතකා හැර මෙරට ආර්ථිකයේ මර්මස්ථානය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය ලබාදුන්නේය. එයද විකෘතියකි. මේ ආදී වශයෙන් බලනවිට 2015 ජනවාරි 9 වැනිදා සිට පාර්ලිමේන්තු සම්ප්‍රදාය බරපතළ ලෙස විකෘතියට ලක්විය.
මේ වනවිට එය විකාරරූපී මෙන්ම හාස්‍යජනක විකෘතියක් බවට පත්ව ඇති අයුරු දිස්වේ. මේ ආණ්ඩුව වත්, අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලයවත්, සභානායකවරයාවත් පිළිනොගන්නා බව කථානායකවරයා කියා සිටී. පිළිනොගන්නා පාර්ලිමේන්තුවක ඔහු නියෝජනය කරන එජාපෙ සහ ජවිපෙද, ටී.එන්.ඒ. ද එක්ව ගෙනඑන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට කථානායක ක්‍රියාකරයි. අගමැතිවරයකු නොමැතිනම් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ තර්කානුකූල පදනම කුමක්ද?
එපමණක් ද නොව එසේ ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායකවරයා සම්මත කරන්නේ ශබ්දයෙනි. එනම් කට සැර අයගේ ශබ්දය සැලකිල්ලට ගනී. සමහරු ශබ්ද නොකරන අය බව අපි දනිමු. මේ සම්මත කර ගැනීම ද විකෘතියකි. තවත් කාරණයක් නම් ස්ථාවර නියෝග අත්හිටුවීමට සුමන්දිරන් මන්ත්‍රීවරයාට තිබූ හදිසියයි. ඇතැම් අවස්ථාවල සමහර ස්ථාවර නියෝග අත්හිටුවීම සිදුවේ. එහෙත්, මෙබඳු විශේෂ අවස්ථාවක ස්ථාවර නියෝග මුලුමනින් අත්හිටුවීම යනු පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවසන් කිරීමකි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා වන්නේ ස්ථාවර නියෝගවලිනි. එය නොතැකීමද විකෘතියකි.
කථානායකවරයාගේ පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය වීම තවත් කාරණයකි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කථානායකවරයා සෑමවිටම මධ්‍යස්ථ විය යුතුය. එහෙත් එය සිදුවී නැත. එසේ බලනකල මේ සියල්ල විකෘතියක් මෙන්ම හාස්‍යජනක ද වේ. මෙසේ හැසිරෙමින්ම ඔවුන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව උත්තරීතර බවය. එහෙත් ඔවුන් නොදන්නා දෙයක් හෝ දැන දැනම වසන්කරන දෙය නම්, උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍ය බවය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ජනතා පරමාධිපත්‍යයට යටත්ය. අධිකරණය පවා ඇත්තේ ජනතා පරමාධිපත්‍යට ඉහළින් නොවේ. එසේ තිබියදී පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන අය ඒ, උත්තරීතර බව රැකෙන්නේ දියවන්නා ඔය මැද සුන්දරව එය ඉදිකර ඇති නිසා නොවන බව දැනසිටිය යුතුය. එහි සිටින අයට උපරිම පහසුකම් ඇති නිසා හෝ පවුල්වල අයටත් සමඟ දේපළ, ඉඩකඩම් හරිහම්බ කර ගැනීමට හැකි නිසා, නොවන බවද දැනගත යුතුය.
ජනතාවට පිටුපෑම
පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ එය ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරනවා නම්ය. එහෙත්, අපට පෙනෙන්නේ ජනතා පරමාධිපත්‍ය වෙන එකක් බව සහ පාර්ලිමේන්තුවේ බල තුලනය තව එකක් බවය. පාර්ලිමේන්තුව ජනයාගෙන් ඈත්වී ඇති අයුරු දිස්වේ. තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනයාගේ නොවේ. පිරිසක් පාර්ලිමේන්තුව අල්ලාගෙන සිටී. තව පිරිසක් අරලියගහමන්දිරය අල්ලාගෙනය. තවත් පිරිසක් අගමැති කාර්යාලය අල්ලාගෙනය. ජනාධිපති කාර්යාලය අල්ලාගෙන තව පිරිසකි. එසේ වුවද මේ ආයතන සියල්ල මේ රටේ ජනතාවගේය.
මේ කිසිවෙක් ජනතාවට වගකියන්නේද? දැන් ජනතාව කළ යුත්තේ මේ සියල්ලම අපේ ඒවා අපට දීපල්ලා යැයි හඬනැඟීමය. මෑතකාලීනව පාර්ලිමේන්තුවේ මෙතරම් හාස්‍යජනක විකෘතියක් අපි නම් නොදුටුවෙමු. එය හාස්‍යයක් පමණක් නොව ඛේදවාචකයකි. වඩා භයානක එයය. මේ නාටකය හාස්‍යයෙන්ම කෙළවර වන්නේ නම් ගැටලුවක් නැත. එහෙත් මෙය කෙළවර වන්නේ ඛේදවාචකයකින් නම්? රටේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍ය, ජනසමාජයේ එදිනෙදා පැවැත්ම ආදී මේ සියලු දෑ වත්මන් තත්ත්වය යටතේ බරපතළ අර්බුදයකට ගමන්කළ හැකිය. මේ රාජ්‍ය තවත් සෝමාලියාවක් කිරීමේ ඉරණමට සමකළ යුතු නැත. මේ ව්‍යාකූලත්වය තවදුරටත් ඉදිරියට යාම යනු එවැනි ඉරණමක් රටට අත්වීමකි.
රට එවැනි බියකරු ඉරණමකින් ගලවාගැනීමට නම් කෙටිකාලීන හා දිගුකාලීන විසැඳුම් ගතයුතුව ඇත. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයට ඉහළින් ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බව තහවුරු කිරීමට ඇති කෙටිකාලීන විසැඳුම් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යාමය. පාර්ලිමේන්තු මැතිවරණයකින් තොරව මේ ප්‍රශ්නය කෙටිකාලීනව විසඳාගත නොහැකිය. 5 වැනිදා විශ්වාසභංගයක් රැගෙන ආවද, වෙනත් පක්ෂයක් පාර්ලිමේන්තුවේ බලය පිහිටුවුවද අර්බුදය අවසන් වන්නේ නැත. එය ඉදිරියට යනු ඇති අතර බරපතළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනු ඇත.
නිදසුනක් ලෙස ටී. එන්. ඒ. හා එජාප එක්ව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් විපක්ෂයේ නායකයා කවුරුන්ද? එවිට විපක්ෂ නායක ධුරය ලැබෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටය. එනම් ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වේ. අර විදියේ සන්ධානයකට මුහුණපෑමට සිදුවන්නේ එවැනි විපක්ෂයකටය. මේ පසුබිම තුළ ජවිපෙට සිය දේශපාලන සුජාතභාවය රැකගැනීමට නම් යම් දේශපාලන භූමිකාවක් රඟදැක්වීමට සිදුවේ. ඔවුන්ට එජාපය සමඟ සිටගැනීමට නොහැකිවනු ඇත. මෙවැනි පසුබිමක යළි පාර්ලිමේන්තුවේ නිර්මාණය වන්නේ ව්‍යාකූල තත්ත්වයකි. එසේනම් පාර්ලිමේන්තුවේ මෙම ව්‍යාකූලතාවය වළක්වාගැනීමට අප මහමැතිවරණයකට යා යුතුමය. කෙසේ වුවද එය කෙටිකාලීන විසැඳුමකි.
වත්මන් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සංශෝධනය කළයුතු බොහෝදෑ තිබේ. පාර්ලිමේන්තුව ඇමැතිවරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් කිරීමට අප, ජනයා බලගැන්විය යුතුය. ජනාධිපතිවරයාට වෙනමම අමාත්‍ය මණ්ඩලයක් පත්කරගැනීමට හැකිවන පරිදි මේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. නැතිනම් නව ව්‍යවස්ථාවක එම විධිවිධාන ඇතුළත් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු ලෙස පත්කරගත හොත් ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවිය යුතුය. හේතුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි හැසිරවීමට හැකිවන්නේ ද, පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාව හැසිරවීමට හැකිවන්නේ ද පාර්ලිමේන්තුවත් සමඟ ජනාධිපතිවරයාට කිරීමට සිදුව ඇති ඇමැති ගනුදෙනුව මුල්කරගෙනය. එය නතර කළ යුතුය.
ගැළපෙන ක්‍රමය
මීට හොඳ උදාහරණයක් නම් අමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රමයයි. අපේ රටට ගැළපෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකි. අමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයට මුදල් පණත් සම්මත කළ හැකිය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට ද බලපෑම් කළ හැකිය. සංවරණ හා තුලන මූලධර්ම යනුවෙන් සාකච්ඡා කරන්නේ මෙයයි. පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක් බවට පත්කර ගැනීමට නම් එය ඇමැතිවරු නැති පාර්ලිමේන්තුවක් විය යුතුය.
ඊළඟ කාරණය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපය. වරක් පමණක් මන්ත්‍රී ධුරය දැරූ කිසිවකුටත් විශ්‍රාම වැටුප නොගෙවිය යුතුය. එක දිගට වාර දෙකක් මන්ත්‍රී ධුරය දැරුවේ නම් විශ්‍රාම වැටුප් හිමිකම ඇතැයි පිළිගැනීම සුදුසුය. විශ්‍රාම වැටුපක් ගෙවීමේ අවශ්‍යතාවක් නැතත් එය දියයුතු නම් කළ යුත්තේ එලෙසිනි. ඒ සමඟම මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළහැකි වාර ගණන දෙවරකට සීමා කළ යුතු ය.
ජනාධිපතිවරයාට ඇති සීමාව මන්ත්‍රීවරුන්ටද පැණවිය යුතුය. දෙවරක් මන්ත්‍රී ධුරය දැරීම යනු දස වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමය. එකී කාලසීමාව ජනතාවට සේවය කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. නමුත් සිදුවී ඇත්තේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ, පවුල්වල, පරම්පරාවල නින්දගම් බවට පාර්ලිමේන්තුව පත්වීමය. අප පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළද තියෙන්නේ නින්දගම් දේශපාලනයකි. හැමදාමත් පාර්ලිමේන්තු යන පිරිස 1947 පටන් රටට හෝ ජනතාවට විශාල දෙයක් කර ඇතැයි පෙනෙන්නේ නැත. එබැවින් අලුත් කණ්ඩායම් පාර්ලිමේන්තුවට යා යුතුය. සමාජය පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති, ප්‍රතිපත්ති සම්පාදනය ගැන අවබෝධයක් ඇති, ජනයාගේ යහපැවැත්ම හා සහජීවනය ගැන හෘදයසාක්ෂියක් ඇති පිරිස් පාර්ලිමේන්තුවට යා යුතුය. පාසි නොබැඳෙන්නේ පෙරළෙන ගලේය.
පාර්ලිමේන්තුව ජනතාපරමාධිපත්‍ය නියෝජනය කරන තැනක් බවට පත්කරගත හැක්කේ මෙවැනි වෙනස්කම් හා ක්‍රියාමාර්ග කරා යොමුවීමෙනි. පාර්ලිමේන්තුව නිසියාකාර සැකසීම යනු අන් සියලු ආයතන හරියාකාර හැසිරවීමට හැකියාව ලැබීමකි. එම දිගුකාලීන පියවරට යාමට පෙර ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුමය. ඒ; රටේ ජනයාගේ පරමාධිපත්‍ය හා පාර්ලිමේන්තුවේ බලතුලනය සමානකර ගතයුතු බැවිනි.
ධම්මික සෙනෙවිරත්න