චිතගොං ප්‍රදේශයේදී ඇති වූ සිදුවීම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් වාර්තාවල සඳහන් විය. බංග්ලාදේශ ජාතික පක්ෂ (BNP) හා විපක්ෂයේ ජාතික එක්සත් පෙරමුණට එරෙහිව හිංසාකාරී ක්‍රියා සිදු වූ බවට මානව හිමිකම් කණ්ඩායම් චෝදනා නගති. මාධ්‍ය නිදහසටද බලපෑම් එල්ල වූ බව තවත් චෝදනාවකි.
බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති ෂීක් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කළ නිල ප්‍රතිඵලයට අනුව ඡන්දයෙන් තෝරාගන්නා මන්ත්‍රීන් 300 දෙනාගෙන් 288 දෙනකුම තේරී පත්ව සිටින්නේ එම සන්ධානයෙනි. ප්‍රධාන විපක්ෂය වන, හිටපු අගමැතිනිය බෙගම් ඛලීඩා ෂියාගේ නායකත්වය යටතේ ඇති ජාතික පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 7ක් පමණි. පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 350ක් වන අතර ඉන් 50ක් කාන්තා නියෝජනය සඳහා වෙන්ව ඇත. ආණ්ඩු බලය පිහිටුවීම සඳහා දිනාගත යුතු ආසන සංඛ්‍යාව 151කි. එම අවමයට වඩා 100 කටත් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට අවාමි ලීගය ප්‍රමුඛ සන්ධානය සමත්ව සිටී.
නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් ලේකම් කාර්යාලයේ ලේකම් උදීන් අහමඩ් අවාමි ලීගයට සිය සුබපැතුම් එක් කළේය. ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතු විපක්ෂ දේශපාලන පක්ෂ මෙම ප්‍රතිඵලය පිළිනොගන්නා බව කියා සිටී. මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවූ බව ඔවුන්ගේ අදහසය. එය යළි පැවැත්විය යුතු බවට විපක්ෂය හඬ නැඟුවද නැවත මැතිවරණය පැවැත්වෙන්නේ නැතැයි අගමැතිනිය පවසා තිබිණි.
විපක්ෂ චෝදනා
මිලියන 160ක ජනගහනයකින් සමන්විත මුස්ලිම් බහුතරයක් සිටින දකුණු ආසියාතික රාජ්‍යයක් වන බංග්ලාදේශයේ අගමැති ධුරය සඳහා ෂීක් හසීනා මෙවර තේරීපත්වන්නේ සිව්වැනිවතාවටය. මෙම මැතිවරණය පැවැත්වුණේ අගමැතිනියගේ ප්‍රධාන ප්‍රතිවාදනිය වන 17 අවුරුදු සිරදඬුවමක් බුක්තිවිඳිමින් ඇති පසුබිමකය. එසේම මෙය විපක්ෂ ප්‍රබලයන් 50 කට ආසන්න සංඛ්‍යාවකට මැතිවරණයට තරග කළ නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබියදී පැවැති මැතිවරණයක් බවට ද විපක්ෂ දේශපාලන පක්ෂ චෝදනා කරති. විපක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනක් පූර්ව මැතිවරණ සමය තුළ අත්අඩංගුවට පත්වූ බවද වාර්තා විය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 17 දෙනකු පමණ මියගොස් තිබිණි.
බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) මහලේකම් සයදි මුවාසිම් හුසේන් අලාල් මැතිවරණය ‘විහිළුවක්’ බව කියා සිටිද්දී අවාමි ලීගයේ (AL) මහලේකම් මහබුබුල් අලාම් හනීෆ් කියා සිටින්නේ මැතිවරණය සතුටුදායක අන්දමින් පැවැත්වුණු බවය.
ඉකුත් ඉරිදා පැවැති මෙම මැතිවරණය එරට මැතිවරණ ඉතිහාසයේ 11 වැනි මහමැතිවරණයයි. මිලියන 104ක ඡන්ද දායක සංඛ්‍යාවක් එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
පිටපිටම තුන්වැනිවතාවටත් අගමැති ධුරයට පත්ව සිටින ෂීක් හසීනාට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද සුබපැතුම් පණිවිඩයක් එවා තිබේ. ඇය එරටට ලබාදෙන නායකත්වය පිළිබඳ සතුට පළකර තිබූ ඔහු සාමය හා සමෘද්ධිය ඉදිරියට ගෙනයාමට හැකිවෙතැයි අපේක්ෂා පළකර තිබිණි.
ඉන්දීය කොන්ග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි ද ෂීක් හසීනාට සුබපැතුම් එක්කර තිබේ. මෝදිගේ සුබපැතුම් පණිවිඩයේ, “මෙම ප්‍රතිඵල මඟින් ඔබගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ලබා ඇති දියුණුව පිළිබිඹු වන බව” සඳහන් විය.
ඉරාන ජනාධිපති හසන් රොහානිද ෂීක් හසීනාගේ විශිෂ්ට නායකත්වය ඇගැයීමට ලක්කරමින් සුබපැතුම් එක්කර තිබිණි. චීන ජනාධිපති ෂී ජිංග් පිංග් මෙන්ම අගමැති ලී කකියැන්ද බංග්ලාදේශ අගමැතිනියට සුබපැතූ ලෝක නායකයන් අතර සිටිති. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ඇයට සුබපැතුම් එක්කර තිබිණි.
මානව හිමිකම් ප්‍රශ්න
මැතිවරණය වෙනුවෙන් විශාල ලෙස ආරක්ෂක විධිවිධාන යොදා තිබූ අයුරු දැකිය හැකිවිය. 600,000ක පමණ ආරක්ෂක භට පිරිසක් එම රාජකාරි සඳහා යොදවා තිබිණි. එසේ වුවද චිතගොං ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් වාර්තාවල සඳහන් විය.
බංග්ලාදේශ ජාතික පක්ෂ (BNP) හා විපක්ෂයේ ජාතික එක්සත් පෙරමුණට එරෙහිව හිංසාකාරී ක්‍රියා සිදුවූ බවට මානව හිමිකම් කණ්ඩායම් චෝදනා නගති. මාධ්‍ය නිදහසටද බලපෑම් එල්ලවූ බව තවත් චෝදනාවකි. ප්‍රකට ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියකු වන ෂහිදුල් අලාම්, අල් ජසීරා නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ආණ්ඩුව විවේචනය කළ බවට චෝදනා නඟමින් අත්අඩංගුවට ගැනීමද මේ විවේචන අතර තිබේ. මාස 4කට පසු ඉකුත් නොවැම්බර් මාසයේදී ඔහු නිදහස් කෙරිණි.
“මැතිවරණ අක්‍රමිකතා” සිදුවූ බවට අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කළේය යන චෝදනාව මත ඩකා ට්‍රිබියුන් පුවත්පතේ මාධ්‍යවේදියකු වන හෙදායත් හුසේන් මොල, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ වාර්තාවේ දකුණු කුලානා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාවට වඩා ඡන්ද 22419ක් ප්‍රකාශ වී තිබූ බව සඳහන් විනැයි පවසන පොලිසිය එය අසත්‍ය පුවතක් බවද ඇත්ත වශයෙන්ම එහි ප්‍රකාශ වී තිබුණේ ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාවෙන් 80%ක් බවද කියා සිටී. ඉකුත් වසරේදී සම්මතවූ නව නීතිවලට අනුව මෙවැනි වරදකදී 14 අවුරුදු සිර දඬුවමක් නියමවිය හැකිය. තවත් මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය කර ඇතැයි පොලිසිය සඳහන් කර ඇත.
යුරෝපා සංගමය හා අමෙරිකාව හිංසාකාරී සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කරන ලෙස මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වුවද මැතිවරණය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා අගමැතිනි ෂීන් හසීනා ප්‍රතික්ෂේප කරයි. විපක්ෂ දේශපාලන පක්ෂ ඉල්ලා සිටින අන්දමට බාරකාර රජයක් යටතේ යළි මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ඇය කියා සිටී. 98% තරම් අතිවිශාල ප්‍රතිශතයක් ලබමින් මැතිවරණය ජයග්‍රහණය කර තිබියදී මැතිවරණය පිළිබඳ එල්ලවන චෝදනා කොපමණ සාධාරණද යන පැනයද මෙහිදී පැන නගී.
විපක්ෂය දුර්වල මට්ටමක තිබියදී මෙම මැතිවරණය පැවැත්වීම පාලක පක්ෂයට වාසිදායක වූ බව පෙනෙන්නට තිබේ. ජාතික පක්ෂයේ නායිකා ඛලීඩා ෂියා සිරභාරයේ සිටින්නේ දේශපාලනිකව එල්ල කළ අසත්‍ය චෝදනා මත බව එම පක්ෂ ආධාරකරුවන්ගේ අදහසය. ඛලීඩා ෂියා 73 වැනි වියේ පසුවේ. ඇයට මැතිවරණ තහනමක් ද පැණවී ඇත.
දස වසරක් තිස්සේ බලයේ සිටින අගමැතිනි ෂීක් හසීනා අධිකාරිවාදී පාලනයක් ගෙනයන බවට ඇතැම් විවේචකයෝ චෝදනා නගති. කෙසේ වුවද ඇයගේ නායකත්වය යටතේ බංග්ලාදේශයේ ආර්ථිකය ඉහළට ඔසොවා තැබීමට හැකිවීම කැපීපෙනෙන කාරණයකි. මේ වනවිට එරට ඇඟලුම් අපනයන කර්මාන්තය දෙවැනි වන්නේ චීනයට පමණි. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය විය. මේ තත්ත්වය මෙවැනි අතිවිශාල ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීම කෙරෙහි බලපාන්නට ඇතැයි අනුමාන කිරීම අහේතුක නොවේ.
බංග්ලාදේශය යනු ලොව 8 වැනි වැඩිම ජනගහනය සහිත රාජ්‍ය යකි. රොහින්ගයා සරණාගත ප්‍රශ්නය හේතුවෙන් මෑත භාගයේදී එරට කෙරෙහි වැඩි ජාත්‍යන්තර අවධානයක් එල්ල විය. අගමැතිනි ෂික් හසීනා බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයාගේ දියණියයි. එරට පාකිස්තානයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1971 දීය. ඒ; රුධිරය වැගිරූ අරගලයකින් අනතුරුවය. 1991 වසරේ සිට ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු පිහිටුවීම සඳහා මැතිවරණ පැවැත්වීම සිදුවිය. එවක් පටන් මාරුවෙන් මාරුවට බලයට පත්වූයේ ජාතික පක්ෂය හා අවාමි ලීගයයි.
ආරම්භයේ පටන්ම මේ මැතිවරණ සමකාමීව පැවැති ඒවා වූයේ නැත. සෑම මැතිවරණයකදීම ප්‍රධාන පක්ෂ දෙකෙහි ආධාරකරුවන් අතර ගැටුම් ඇති විය. මීට පෙර පැවැති මැතිවරණය (2014) ප්‍රධාන විපක්ෂය වර්ජනය කර තිබිණි. එය තනි අශ්වයාගේ රේස් එකක් බවට පත්වූ සෙයක් දිස්විය. එවර අවාමි ලීගය ලබාගත් ආසන සංඛ්‍යාව 214කි. මෙවර එය ඊටත් වඩා ආසන 75කින් පමණ ඉහළ ගියේය.
තනි පක්ෂ බලය
සිව්වැනි වරටත් බංග්ලාදේශයේ බලයට පත්වන ෂීක් හසීනා මෙතෙක් ගෙන ආ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයනු ඇත. එය එරටට හිතකර එකක් බව පෙනෙන්නට තිබේ. මෙවර ප්‍රතිඵලයත් සමඟ විපක්ෂය සිටින්නේ අතිශය දුර්වල මට්ටමකය. ඔවුන් ඉදිරිපිට ඇත්තේ අභියෝගාත්මක දේශපාලන ගමනකි. ඛලීඩා ෂියා ඉකුත් වසර මුලදී බන්ධනාගාරගතවීම මෙන්ම බ්‍රිතාන්‍යයේ ජීවත්වූ ඇයගේ පුතු තවත් 19 දෙනකු සමඟ ෂීක් හසීනා ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ජීවිතාන්ත සිරදඬුවමකට ලක්වීම වැනි කාරණා ඔවුන්ට අවාසිදායක ලෙස බලපාන බව පැහැදිලිය.
ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වාදෙන පරිදි බංග්ලාදේශය තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් බවට පත්වෙමින් තිබේ. ෂික් හසීනාට මුහුණදීමට විපක්ෂයක් නැති තත්ත්වයක් ඇතිවී තිබේ. සංවර්ධනයේ චක්‍රය ඉහළට නැඹුරු වනවිට ප්‍රජාතන්ත්‍රවාදය පහළට නැඹුරු වෙමින් ඇතිබව ඇතැම් විචාරකයෝ පවසති. එයද ඉහළට හැරවීම අගමැතිනි ෂීක් හසීනාට අභියෝගයක් වනු ඇත.