Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

අල්ලස් මුදලින් සන්තෝසමක්

$
0
0
ජන 8, 2019 01:00

ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයේ මැක්ඩොනල්ඩ් සමඟ පැවති පළමු හමුවේදී වඩාත්ම කතා කළේ නගරාධිපති එරිචෙට්ටිය. කැසිනෝ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් විස්තර කළ මැක්ඩොනල්ඩ් කියා සිටියේ, අබ්දුල්ගේ නමට ඉදිරියෙන් අපරාධ චෝදනා කිසිවක් හෝ ලියැවී නැතිනම් බලපත්‍රය ලබාගැනීම ‘කජ්ජක්‘ නොවන බවයි. මැක්ඩොනල්ඩ් අබිමුවෙහිදී නගරාධිපතිගේ බල පරාක්‍රමයද වෙනදාට වඩා වැඩි බැව් කාටත් ඇත්තටම දැනෙමින් තිබුණි. එරිචෙට්ටිටම ගනුදෙනු කතාබස් කරගන්නට ඉඩදී මැක්ඩොනල්ඩ් ජනේලය අසලට ගොස් වෙටරන් අධිවේගී මාර්ගය දෙස බලා සිටියේය. ඒ අතර අල්ලස් මුදල් බහා තිබූ කවරය විවෘත කළ මැකාති එය කාටත් පෙනෙන්නට මේසය මත තැබුවේය. එරිචෙට්ටි සහ මැක්ඩොනල්ඩ් සැකයෙන් සළිත කළ අනපේක්ෂිත යමක් සිදුවුණේ එවිටය.

මුදල් ලබාගැනීමට නගරාධිපතිවරයා හම් කවරයට අත දිගුකරද්දීම මැකාති අසුරු සැණෙකින් එය වසා දමා, කිසිදු ගරු සරුවක් නැති ගාණට එය යළි තමා වෙතට ඇදගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ සෘජුව මැක්ඩොනල්ඩ්ගේ අතට අල්ලස ලබාදීමටය. නගරාධිපති ද මැක්ඩොනල්ඩ්ද මැකාති දෙස බැලුවේ පුදුමයෙනි. කිසිවක් සිදුනොවූ ගාණට තවත් මිනිත්තු කිහිපයක් කතා බහෙන් ගෙවී ගියේය. අවස්ථාව බලා මැකාති යළිත් වරක් හම් කවරය විවෘත කර මුදල් පෙන්වූ අතර එය ගැනීමට මෙවරත් එරිචෙට්ටි ඉදිරිපත් විය. යළිත් වරක් මුදල් ප්‍රදර්ශනය කිරීම ගැන මැක්ඩොනල්ඩ් පුදුම වූ බවක් ඇඟවූවත් එය ලබා ගැනීමට හේ කිසිදු උත්සාහයක් ගත්තේ නැත. එරිචේට්ටි අත දිගුකරද්දීම කවරය තමා වෙතට ඇදගත් මැකාති සැණෙකින් එය වසා දැමීය. බලා සිටින්නකුට එය පෙනුණේ කුඩාවුන් දෙදෙනකුගේ සෙල්ලමක් මෙනි. මෙවර මැක්ඩොනල්ඩ් මැකාති වෙත හෙළුවේ දවා හළු කරන බැල්මක් වුව, ඉන් සැළුණු බවක් මැකාතිගෙන් පළවුණේ නැත. යළිත් කතාබහ නැවතුණු තැනින් ඇරඹී ගලාගෙන ගිය අතර, මුදල් ගැන ඇතිවූ අපහසුදායක සිද්ධිය ගැන කිසිම සඳහනක් කෙරුණේ ද නැත.

සංවාදය අතරතුර යළි කවුළුව වෙත ගිය මැක්ඩොනල්ඩ් මඳ වෙලාවක් පිටත බලා හිඳ යළිත් මැකාති දෙස බැල්මක් හෙළුවේය. අල්ලස දෙන්නට සුදුසුම වේලාව එය බැව් තීරණය කළ මැකාති, එරිචෙට්ටිගේ අතට එය ලබාදී හමුව යාන්තම් කෙළවර කළේ, එතරම් කැමැත්තකින් නොවේ. අල්ලස් දීමේ ජවනිකාව එතැනින් නිමා වුණත්, මැක්ඩොනල්ඩ් හා මැකාති සිටියේ කෝපයෙන් පුපුරමිනි. දෙදෙනා කෙළින්ම ගියේ ලොන්ග් අයිලන්ඩ් කාර්යාලයෙන් සැතපුම් කිහිපයකට ඈතින් පිහිටි ‘හොලිඩේ ඉන්‘ හෝටලයටය. ඒ වෙයින්බර්ග් හා ඇමරොසෝ සමඟ කලින් කතාකරගත් හමුවකට සහභාගි වීමටය. මැකාති සමඟ පැවති නින්දා සහගත හමුව ගැන මැක්ඩොනල්ඩ් හා එරිචෙට්ටි කළ චෝදනාවලින් අබ්දුල් නියෝජිතයින් දෙදෙනාගේ කන් පිරෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත.

“අර මැකාති කියන බූරුවා හිතාගෙන ඉන්නේ මම කවුරු කියලද? එක පාරක් නම් කමක් නැහැ. මිනිහා දෙපාරක්ම සල්ලි පෙන්නලා ආයේ ඩැහැ ගත්තා. මිනිහා හිතුවද දන්නේ නැහැ මම ඒකාගේ දෙපතුල ළඟ වැටිලා සල්ලි ඉල්ලයි කියලා. මට වුණේ ලොකු අපහාසයක්. මම ඕකව තියන්නේ නැහැ. පාඩමක් උගන්නලයි පස්ස බලන්නේ. “

මැක්ඩොනල්ඩ්ගේ ගෝරනාඩුවට පොහොර දැමීමට එරිචෙට්ටිද එකතු වූයේ තමාට සිදුවූ මදිපුංචිකම වහගන්නටය. අල්ලස් ගනුදෙනුවේ නින්දාවට තවත් උල්පන්දම් දෙන්නට සිතූ එරිචෙට්ටි නෞකා අංගණ සාදයේදී මැකාතිගේ හැසිරීම ගැන සිතේ ඇතිව තිබූ කහටත් මෙම දෝෂාරෝපනයටම මුදා හැරියේය.

“කෙනත් කියන කතාව සහතික ඇත්ත. මිනිහාට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් කවදාවත් හැදෙන්නේ නැහැ. වැදගත් කියන අයට සලකන්න ඕනේ විදිහ මිනිහා දන්නේ නැහැ. එක්කෝ ගණන් ගන්නේ නැහැ. එදා අර පාටියේ තත්වෙත් දියාරු වුණේ මිනිහාගේ කමකට නැති ඇඳුම හින්දයි. නිකම් ටී ෂර්ට් කෑල්ලකුයි, පචවෙච්ච කලිසමකුයි ඇඳගෙන මිනිහා ආවේ ගරාජ් පාටි එකක් කියලා හිතාගෙනද ? අනික් අය ඉස්සරහා අපිත් නිකම් බාල්දු වුණා. අනික මිනිහා දෙයක් කිව්වොත් කිව්වාමයි. කවදාවත් හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. මෙල්, ඕන් මම දැන් කිව්වා, මේ ඇන්ජෙලෝ එරිචෙට්ටි ආයේ නම් ඔය මුස්පේන්තුවා එක්ක වැඩ කරන්නේ නැහැ. “

මැක්ඩොනල්ඩ් හා එරිචෙට්ටිගේ පළුදු වූ ආත්මාභිමානය නඟාසිටුවීම සඳහා තවත් පැයක් පමණ සැනසිලි බස් දොඩන්නට වෙයින්බර්ග්ට හා ඇමරොසෝට සිදුවිය. කතාව ගජරාමෙට යන අතර ඩොලර් ලක්ෂයක අල්ලස බහාලූ හම් කවරය තිබුණේ හෝටලයෙන් පිටත නවත්වා තිබූ එරිචෙට්ටිගේ අගුලු ලෑ මෝටර් රථය තුළය. අවසානයේ නිව් ජර්සි හොර රජුන් දෙදෙනා නම්මා ගැනීමට හැකිවුණේ මින් ඉදිරියට අබ්දුල් - යසීර් මහා ද්විත්ව මගඩි මෙහෙයුමේ පාලනය සියතට ගන්නා බවට ඇමරොසෝ දිවුරුම් දීමෙන් පසුය.

“මෙල් ඔයාලට කලිනුත් කිව්වානේ, මැකාතිගේ වැඩ ගැන අබ්දුල් කළකිරිලයි ඉන්නේ. වැඩිකල් යන්න කලින් ඔක්කොම මගේ අතට එන එක ෂුවර්. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඒකේ ගාස්තුවට හරියන්න මම කෙනත්ට අබ්දුල්ගේ ඇට්ලන්ටා කැසිනෝ එකේ හොඳ ජොබ් එකක් දෙන්නයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඔය කොමිසමෙන් හම්බවෙන තුට්ටු දෙක වගේද කැසිනෝ එකක හයි පෝස්ට් එකකින් හම්බවෙන ගාණ. පඩියත් එක්ක තව කීයක් හරි යටිමඩි ගහගන්නත් පුළුවන්නේ.“

“නියමයි ටෝනි, නියමයි. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ ඕකටනේ.“

ඇමරොසෝගේ එම ආකර්ශනීය යෝජනාව කෙනත් මැක්ඩොනල්ඩ් එක පයින් පිළිගත්තේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමිනි. මැක්ඩොනල්ඩ්ට ඇමරොසෝ සමඟ තමාගේ අනාගතය කැසිනෝවෙන් විසඳෙන්නට යන ආකාරය ගැන හිතේ හැටියට කතා කරගන්නට ඉඩදී, එරිචෙට්ටි හෝටලෙන් පිටතට වෙයින්බර්ග් රැගෙන ගියේ පෞද්ගලික කතාබහකටය. කතාව අතරතුර එරිචෙට්ටි වෙයින්බර්ග්ගේ අතට පත්කළේ නිව් ජර්සි රාජ්‍ය ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින්ගේ විස්තර රැගත් පත්‍රිකාවකි. එහි සඳහන් දහතුන් දෙනකුගේ නම්වලට ඉදිරියෙන් එරිචෙට්ටි හරි ලකුණු දැම්මේය. ඒ අතර ව්‍යවස්ථාදායකයේ ඉහළම කෙරුම්කාරයෝ වූහ.

“මේ දහතුන්දෙනාම සල්ලිවලට ගන්න පුළුවන් අය. මේ ලැයිස්තුවේ ඉන්නේ ඒ අය වගේම සල්ලිවලට ගන්න පුළුවන් ෆෙඩරල් එකේ කට්ටිය. එයාලා ඔක්කෝගේම බලපුළුවන්කාරකම් සල්ලිවලට යටයි. මට ගාණ දෙනවා නම් ඒ ඔක්කෝම ඔයාගේ කකුල් දෙක ගාවට ගෙනත් දෙන්න පුළුවන්.“ එරිචෙට්ටි පැවසුවේ ගණනකට නැතිවය.

ඊට පසුදින එරිචෙට්ටි යළිත් වෙයින්බර්ග් ඇමතුවේ පෙරදා ඔහුත් ඇමරොසෝත් එක්වී නිරූපණය කළ දුක්ගන්නාරාළ භූමිකාව වෙනුවෙන් ස්තූති කිරීමටය.

“මම දෙයියන්ට පින් දුන්නා මෙල්, ඔයායි, ටෝනියි එකතුවෙලා ඊයේ කෙනත්ගේ හිත හදපු එක ගැන. එයා ඔයාලා ගාවට එනකොට මළ පැනලයි හිටියේ. මම හිතුවේ නැහැ සක්කරයාටවත් මෙල්ල කරන්න පුළුවන් වෙයි කියලා. මොනවා වුණත්, කෙනත් කියන්නේ හොඳ පපුවක් තියෙන මනුස්සයෙක්. ඔයාට මම මේ කතාව කියන්නේ මිනිහා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් කරන්න. ඔන්න මිනිහා ඊයේ යන ගමන් කේස් එකේ තිබ්බ ඩොලර් ලක්ෂය ගණින්න ගත්තා. මිනිහාගේ මූඩ් එක හොඳවෙලා තියෙන වෙලාවේ මම හීන් සීරුවේ ටෝනිගේ අර කතාව කියලා බැලුවා. බෝට්ටුවේ වැඩේ හින්දා ටෝනි අතමාරුවක් ඉල්ලා ගන්න බැරිව හිරවෙලයි ඉන්නේ කියලා. දෙයියම්පා අර සල්ලි ගොඩෙන් ගෙඩි පිටින්ම කෙනත් ඩොලර් විසිපන්දාහක් ඇදලා ගත්ත. ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මට ඒක දීලා, “මෙන්න මේක ගිහිල්ලා ටෝනිට දෙන්න. අර මැකාති කියන මුස්පේන්තුවත් එක්ක බැලුවම මිනිහා සලකන්න වටින මිනිහෙක්. මගේ අතේ දැන් සල්ලි තියෙන එකේ ඒකට කරන්න දෙයක් තියෙන්නත් එපැයි.“ කියලා කිවුවා. ඕන්න අදහන්න වටින මිනිස්සු, නැද්ද මෙල්.“

නගරාධිපතිගේ ප්‍රශංසාවට එකඟ වන්නට වෙයින්බර්ග්ට සිදුවුණේ, කෙනත් මැක්ඩොනල්ඩ් කර තිබුණේ මහඟු පුණ්‍ය කර්මයක් බැවිනි. එය එක් අතකින් නගරාධිපති විසින් වෙයින්බර්ග්ට හා ඇමරොසෝට කලින් දී තිබුණු පොරොන්දුවක් ඉටු කිරීමක්ද විය. එවන් පොරොන්දුවක් එරිචෙට්ටි විසින් දී තිබුණේ වෙයින්බර්ග් හා ඇමරොසෝ ඔහුට කලින් ගොතා ඇදබා තිබුණු බේගලයක් නිසා ඇතිවූ අනුකම්පාවෙනි. කතාවට අනුව නැවේ හටගත් ගින්න ඇමරොසෝගේ නොසැලකිල්ල නිසා හටගත්තකි. ගින්න එන්ජින් කාමරයටත් පැතිරී යාම නිසා සිදුවු හානිය පිළිසකර කිරීමට ඩොලර් විසිපන්ලක්ෂයක් පමණ වැයවන බව වෙයින්බර්ග්ගේ අදහස විය. නමුත් අලුත්වැඩියාව සිදුකළ යුතුව තිබුණේ අබ්දුල්ට රහසිනි. මන්ද අබ්දුල් ගින්න ගැන දැනගත්තොත් ඇමරොසෝගේ රැකියාව පවා අනතුරේ වැටීමට ඉඩ තිබුණු නිසාය. මේ නිසා තමාටම මුදල් සොයාගැනීමට සිදුවීම නිසා ඇමරොසෝ මුහුණ දී සිටියේ සුළුපටු අර්බුදයකට නොවේ. අවස්ථාවේ හැටියට තමාද යම් උපකාරයක් කළ යුතු බව සිතූ එරිචෙට්ටි මුදල් සොයාදීමට ඉදිරිපත්ව තිබුණේ, මිත්‍රත්වය ප්‍රකාශ කිරීමක් ලෙසිණි. වෙයින්බර්ග් මෙන්ම ඇමරොසෝද හඳුනාගෙන කෙටි කලකින්ම එරිචෙට්ටිගේ හිත දිනාගැනීමට සමත්ව සිටියේය. නගරාධිපතිගේ සැලැස්ම වූයේ මැක්ඩොනල්ඩ්ට ලබාදෙන අල්ලසෙන්ම නැවේ පිළිසකර කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් විසිපන්දහස කොටා ගැනීමයි. තමාගේ සාක්කුවටත් නොදැනී මිතුරන්ගේ හිතත් සතුටු කිරීමට එය කදිම උපායක් බව වෙයින්බර්ග්ට වුවද ප්‍රතික්ෂේප කිරීමට පුළුවන්කමක් තිබුණේ නැත.

අනුකම්පාවත්, මිත්‍රත්වයත්, වංචාවත් සමසේ මිශ්‍රව ඇමරොසෝගේ අතට ආ ඩොලර් විසිපන් ලක්ෂය බෘස් බ්‍රේඩිගේ අතටත් එතැනින් ජෝන් ගුඩ්ගේ අතටත් මාරුවිය. නෞකා සාදයට සහභාගි වූ ආරාධිතයන්ගේ නවාතැන් සඳහාත්, කෑමබීම සඳහාත් රජයට දැරීමට සිදුවූ වියදම් පියවා ගැනුණේ එම ඩොලර් විසිපන්දහසෙනි. ඊට කාර්පෙන්ටියර් සිය හෝටල් කාමරයේ දුරකතනයෙන් ලබාගත් ඇමතුම්වලට වැයවී තිබුණූ ඩොලර් අටසීයයද ඇතුළත් විය. වෙයින්බර්ග්ගේ බුමුතුරුණු පිරිසුදු කරන මිතුරාට නැවේ දැලි ඉවත් කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු චෙක්පත පවා ගෙවා දැමීමට කෙනත්ගේ අල්ලසෙන් ලැබුණු එම අතමාරුව ප්‍රමාණවත් විය. කෙටියෙන් කිව්වොත් මහා නෞකා සාදයේ සියලු වියදම් දරා තිබුණේ ඊට සහභාගි වූ ආරාධිත හොර මැරවරයන් විසින්මය.

“ගුඩ්, මුල ඉඳලාම මම කිව්වේ නැද්ද, ඔයාට වද වෙන්න අබ මල් රේණුවක තරම් දෙයක්වත් ඉතුරු කරන්නේ නැහැ කියලා. දැක්කනේ පාටියට ඔයාට තඹ සතයක්වත් වියදම් කරන්න සිද්ධ වෙන්නේ නැති විදිහට මම වැඩේ ෂේප් කරපු හැටි. මේවට කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කපනවා කියලා.“

ගුඩ් දෙස බලා ඇසක් වසා ඉඟි මැරූ වෙයින්බර්ග් පුරාජේරු දෙඩෙව්වේ සර්ව සාධාරණ හේතු ඇතිවය. සාදයෙන් තවත් යහපත් දෙයක් සිදුවිය. ඒ මැකාති ඇබ්ස්කැම් මෙහෙයුමෙන් ඉවත්කොට බියුරෝවේ වෙනත් විමර්ශන සඳහා යෙදවීමට ගුඩ් පියවර ගැනීමයි. පටිගත කළ හඬ පටවලට සවන් දුන් ගුඩ්ට අමාරුවෙන් වුවත් එවැනි තීරණයක් නොගෙන සිටීමට හැකියාවක් නොතිබිණි. වෙයින්බර්ග් මුල සිටම මැකාතිට විරුද්ධව එල්ල කළ චෝදනා එරිචෙට්ටි ඇතුළු තවත් වංචනිකයන් ගණනාවකගෙන්ම එල්ලව තිබිණි. එවැනි හොරු රැළක් සමඟ වැඩ කිරීමට තරම් මැකාති අවංක වැඩිය. ගුඩ් හිත හදාගත්තේ එලෙස සිතමිනි.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - සෙනෙට්වරයාගේ නොනිවෙන ගින්න


බෝම්බයක් ඉතුරුයි ශාන්ති කර්මයක්

$
0
0
ජන 8, 2019 01:00

චාමික හත්ලහවත්ත

"බෝම්බයක් ඉතුරුයි"කියන්නේ ශාන්තිකර්මයක්. එය නූතන ශාන්තිකර්මයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහි තියෙන්නේ, ආතුර වූ ඔබට, මට, රටට කරන ශාන්තිකර්මයක් විදිහට තමයි හඳුන්වා දියහැක්කේ. යුද්ධයට සම්බන්ධ වුණු, යුද්ධය විජයග්‍රහණය කළ සොල්දාදුවෙක් මූලික කරගෙන තමයි මෙහි කතාව ගොඩනැගිලා තියෙන්නේ. සොල්දාදුවාගේ වීරත්වය අගයන ශ්‍රී ලාංකේය ජන සමාජය වෙනුවෙන් කරන ශාන්තිකර්මයක්. ඒ කියන්නේ, සොල්දාදුවාව අප යුද වීරයෙක් විදිහට ඔසවා තබනවා, නමුත් ඔහුට විඳින්න වුණු පීඩනය,පීඩන තත්ත්ව ගැන අපේ සමාජයේ නිවැරදි කියවීමක් නෑ කියලා තමයි මා විශ්වාස කරන්නේ. "බෝම්බයක් ඉතුරුයි"තුළින් කතා කරන්න සූදානම් වෙන්නේ ඒ පිළිබඳව.

අපි ඇත්තටම යුද වීරයෙක් බලාපොරොත්තු වෙනවනේ. රට බලාපොරොත්තුවෙන්නේ, බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ යුද වීරයෙක්. අපි හිතමු රටට ඕන හමුදා නීතියක් කියලා. මේ සමස්ථ ශ්‍රී ලාංකේය ජන සමාජය වෙනුවෙන්ම කරන ශාන්තිකර්මයක් විදිහට තමයි, මා මේ නාට්‍යය සරලවම හඳුන්වා දෙන්නේ. "බෝම්බයක් ඉතුරුයි"නාට්‍ය ඇතුළේ කතාවෙන්නේ මා දන්නා හඳුනන පුද්ගලයකුට සිදුවූ ඇත්තම ඇත්ත කතාවක්. ඔහු අදටත් වර්තමාන සමාජයේ ජීවත්වෙනවා. ඔහු පිළිබඳ ඔහුගේ කතාන්දරය, ඔහුට වුණු සිදුවීම්, අත්දැකීම් ඔහුගේ ජීවිතය, සොල්දාදු ජීවිතය ගැන.

ඒ පුද්ගලයා කාලයක් සොල්දාදුවෙක් විදිහට හිටියා. ඔහු විරයෙක් විදිහට පිළිගත්තා. ඒත් අද ඔහුව ඒ පිළිගැනීම නෑ. මේ සියල්ල එක්ක හමුදා සොල්දාදුවකුට වෙලා තියෙන ගැටලු, ඇත්ත කතාවක් පාදක කරගෙන "බෝම්බයක් ඉතුරුයි"කතාව මතුපිටින් ගලාගෙන යනවා.

l කලාකරුවා යුද්ධය අනුමත කරන්නේ නෑ. ඒත් ඔබ "බෝම්බයක් ඉතුරුයි"හරහා යුද වීරයෙක් ගැන කතාකරනවා?

අප කලාකරුවන් විදිහට යුද්ධය කියන භීෂණය, පීඩනය කොහෙත්ම අනුමත කරන් නෑනේ. හැබැයි මෙහෙමයි අපි එහෙම අනුමත නොකළාට සමස්ත සමාජයම ඒ තුළ තියනවනේ. මා කියන්නේ ඒ පිළිබඳව මා දකින්නේ, අර නිකන් සාම්ප්‍රදායික මතවාද දෙකම ප්‍රතික්ෂේප කරපු පැත්තක්. මා සොල්දාදුවා යුද වීරයෙක් විදිහට දකින එකයි, ඔහු පිළිබඳව වැරදි විදිහට බලන මතවාද දෙකෙන්ම මිදිලා මේ පිළිබඳ මධ්‍යස්ථ මතයකින්, ඇත්ත ශ්‍රී ලාංකේය සොල්දාදුවා ගැන දකින්න ඕනේ නම්, ඇත්ත කතාන්දරයකට යන්න ඕන කියලා මා විශ්වාස කළා.

මා හිතන විදිහට අප විශ්වාස කරන ගොඩක් මතවාදත් එක්ක මට සංවාදයක් කරන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා.

කවුරු හෝ කියන්න පුළුවන් මේක දේශපාලන ව්‍යාපෘතියකට හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ලබාගෙන කරන නිෂ්පාදනයක් කියලා. කිසිම විදිහකින් මට "බෝම්බයක් ඉතුරුයි"නාට්‍ය සඳහා බලපෑමක් නෑ.

l "රජා මං වහලා"අධි යථාර්ථවාදී ශෛලියේ නාට්‍යයක්. ඔබගේ අලුත්ම නාට්‍යයත් අධි යථාර්ථවාදී ද?

"බෝම්බයක් ඉතුරුයි"නාට්‍යය බොහෝවිට යථාර්ථවාදී නාට්‍යයක්. "රජා මං වහලා"නාට්‍යයේදීත් අධි යථාර්ථවාදයම භාවිතා කළා කියලා කියන්න බෑ. මෙහෙමයි, විවිධ ශෛලීන් කිහිපයක එකතුවක්. මෙහි කතාන්දර තුනක් අඩංගුයි. ඒ කතා තුනට ශෛලීන් තුනක් භාවිතා කළා. උදාහරණයක් විදිහට සුරංගනා කතාව ෆැන්ටසියක් විදිහටත්, ප්‍රේමතිලකගේ කතාව යථාර්ථවාදී කතාවක් විදිහටත්, රජකතාව නාට්‍ය ධර්මී විදිහටත් යොදාගත්තා. ඒ තුනම එකතු කරලා කරපු නිෂ්පාදනයක් තමයි "රජා මං වහලා"කියන්නේ.

"බෝම්බයක් ඉතුරුයි"කියන මේ නාට්‍ය බොහෝවිට යථාර්ථවාදියි. හැබැයි මා යථාර්ථවාදී කතාන්දරය ගේන්න භාවිතා කරන භාවිතාව වෙනස්ම එකක්. විශේෂයෙන්ම මා විශ්වාස කරනවා, සෞන්දර්ය භාවිතාවයක් තියෙන්න ඕන කියලා. සංගීතය, නර්තනය, විශේෂයෙන් වේදිකා පසුතලය පිළිබඳව මා විශ්වාස කරනවා. දෙබස්ම විතරක් නොවේ මූලික දේ. අපි බොහෝවිට අද දවසේ නාට්‍ය කියවාගන්නේ දෙබස්වලින්. නළු නිළියන්ගේ රංගනය තුළින් සාත්වික, ආංගික අංගත් භාවිතා කරනවා. මොකද අර්ථය තවත් ප්‍රතිනිර්මාණය කරන්න.

බොහෝවිට ලංකාවේ විචාරකයන් පවා නාට්‍යයක් කියවාගන්නේ දෙබස්වලින්. රංගනයෙන් නළුවෝ ඉදිරිපත් කරන අර්ථය, පසුතල නිර්මාණ ශිල්පියා ඉදිරිපත් කරන අර්ථය, රංගන වස්ත්‍රවලින් ඉදිරිපත් කරන අර්ථය, නර්තනය ප්‍රමුඛ රංග වින්‍යාශයෙන් ඉදිරිපත් කරන අර්ථය ගැන කතාවෙන්නේ නෑ. මා කියන්නේ ඒ අංග ගැනත් කතා කරන්න ඕනේ. එසේ නොමැතිව නාට්‍යයක් විචාරය කිරීම බොහෝවිට වැරදියි.

උදාහරණයක් විදිහට "රජා මං වහලා"නාට්‍ය නිෂ්පාදනයේ දී මා භාවිතා කළා බැරල්. බැරල්වල ශබ්දය එනවා. ඒ ශබ්දය බොහෝවිට අපිට බෝම්බවලින් ඇහිච්ච ශබ්ද මතකයට එනවා. "බෝම්බයක් ඉතුරුයි"නාට්‍යයෙදී සියලු අංග පාව්චිචි කරන්න උත්සාහ කරනවා. ඉන් බොහෝවිට කියවා ගැනීමක් වෙනවද කියන එකේ ගැටලුවක් තියනවා. මේ නාට්‍යයේදී පෙට්ටි ටිකක් භාවිතා කරනවා. ඒ හරහා වෙනම අර්ථයක් ප්‍රති නිෂ්පාදනය කරනවා.

l "බෝම්බයක් ඉතුරුයි"හරහා ඔබ ප්‍රේක්ෂකයාට දෙන්න හදන්නේ කුමක්ද?

"බෝම්බයක් ඉතුරුයි"කියන්නේ, මෙයින් යමක් දෙනවට වැඩිය මේක ශාන්ති කර්මයක් කියලයි මා විශ්වාස කරන්නේ. ශාන්තිකර්මයක් කියන්නේ මෙයින් අපි සැහැල්ලුවෙනවා. භාව විශෝධනයක් වෙනවා. බොහෝවිට ග්‍රීසියේ සිටම වෙන්නේ මේකනේ. හුදු දැනුමක් දෙනවට වැඩිය, දැනුම රස වින්දනය ප්‍රමුඛ වෙච්ච භාව විශෝධනයක් පිළිබඳ අදහසක් තමයි, මා මේ නාට්‍යයෙන් ලබා දෙන්න උත්සාහ කරන්නේ.

l "රජා මං වහලා"ප්‍රොසීනියම් සීමාව උල්ලංඝනය කරනවා. මේ නාට්‍යයත් ඒ සීමාව කඩා ගෙන යයිද?

පැහැදිලිවම. ඒ කියන්නේ, මා විශ්වාස කරන්නෑ මෙහෙම දෙයක්. කොහොම වුණත් අපට හම්බවෙන්නේ ලංකාවේ නාට්‍යයක් පෙන්වන්න ගියොත් ප්‍රොසීනියම් නේ. දැන් "රජා මං වහලා"වල පවා පුළුවන් තරම් උත්සාහ කළා ප්‍රොසීනියම් වේදිකාව කඩලා දාන්න. මේ නාට්‍යයේදීත් පුළුවන්තරම් උත්සාහ කරනවා, ප්‍රොසීනියම් වේදිකාවේ සිට එය බිඳ දමමින් නිර්මාණය කරන්න. මොකද ප්‍රොසීනියම් එක තුළ හිරවෙනවා කියන්නෙම, අපි පෙළ රචනා කරන ගමන්ම එහි නිරතවෙනවා කියන එකයි. බොහෝවිට පෙළ ප්‍රොසීනියම් වේදිකාවට රචනා කළාට නාට්‍ය නිෂ්පාදනයේදී පිටපත වෙනස් වෙනවා. දවසින් දවස වෙනස් වෙනවා. එකතු කිරීම් ඇති වෙනවා. එසේ කරන ගොඩනැන්වීම් බිඳ ගැනීම මත කරන ගොඩනැන්වීම් තමයි. "බෝම්බයක් ඉතුරුයි"නාට්‍යයේ ගොඩක් භාවිතා කරන්නේ.

l ඔබ ටෙලි නාට්‍ය තරු වේදිකාවට කැන්දගෙන එනවා. එහෙම කරන්නේ නාට්‍ය දර්ශන වාර වැඩිකර ගැනීමටද?

මෙහෙමයි, මේ නාට්‍යයේ රඟපාන්නේ ටෙලි නාට්‍ය නළු නිළියොම කියලා කියන්න බෑ. "රජා මං වහලා"නාට්‍යයේදී උමයංගනා වික්‍රමසිංහ පමණයි ටෙලිනාට්‍ය නිළියකට හිටියේ. අනෙක් අය සියල්ලෝම වේදිකාවේ නළු නිළියන්. උමයංගනා ගැනීම එක සාධකයක් වුණා. නමුත් ඒක පළවෙනි සාධකය නොවේ. මට ඕන වුණා "රජා මං වහලා"නාට්‍යය සඳහා ප්‍රේමණීය මුහුණක්. ආදරය කරන්න හිතෙන මුහුණක්. උමයංගනා වික්‍රමසිංහ, ඇත්තටම ඒ සාධකය වුණේ ටෙලි කියන එකම නෙවේ. ඒකත් එක්ක මා නාට්‍යකරුවෙක් විදිහට උත්සාහ කරන්න ඕනේ. නාට්‍යයක්, රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කිරීමට නොවේ. නාට්‍යයක් ජනතාව අතරට රැගෙන යා යුතුයි. "රජා මං වහලා"රාජ්‍ය නාට්‍ය අළෙල අවසන් වෙලා. අදටත් දුවනවා. ප්‍රදර්ශනයේදී මේ දේ මා පාවිච්චි කරනවා.

ඒ සඳහා විතරක්ම නෙවේ, උමයංගනාගේ තිබෙන ස්වරූපය "රජා මං වහලා"නාට්‍යයේ ප්‍රේමතිලකගේ කතාවේදී හොඳට ගැලපෙනවා. ප්‍රේමතිලක, තමා ආදරය ඉල්ලන තරුණියට පිහියකින් අනින දර්ශනයක් තියනවා. මේ දර්ශනය ප්‍රේක්ෂකාගාරයටත් දැනෙන්න ඕනේ. එහිදී උමයංගනාගේ මුහුණ වඩාත් හොඳින් ගැලපුනා. එහෙම නැතුව බෑ. ඒ නිසා මට එහෙම මුහුණක් උවමනා වෙලා තිබුණා සහ ඇත්තටම උමයංගනාත් එක්ක වැඩ කරන්න පහසුයි කියන එකත් බොහෝ දෙනා කිව්වා. ඇයත් එක්ක වැඩ කිරීම පහසුවක්. මා හිතන්නෑ ඇය තරමට මහන්සිවෙයි කියලා නිළියක්. වේදිකා නාට්‍ය නිළියක් තරමටම ඇය මහන්සි වෙනවා. කැපවෙනවා. ඇයත් එක්ක වැඩ කරන්න පහසුයි. ඇයට අවශ්‍යයි අත්දැකීම් ලබාගන්න, හැදෙන්න, ගොඩනැ‍න්වෙන්න. ඉතින් ඇය උත්සාහ කරනවා, වැරදි පිළිගනිමින් හොඳින් සංවර්ධනය වෙන්න.

"බෝම්බයක් ඉතුරුයි"නාට්‍යයේ අනෙක් නළු නිළියන් පවා මේ නාට්‍ය සංවර්ධනය කරන්න විශාල දායකත්වයක් ලබාදෙනවා. සියලුදෙනාම එක එකාවගේම මහන්සි වෙනවා. කැප වෙනවා. නාට්‍ය ගොඩනැන්වීම සඳහා.

l මේ මොහොතේ මෙරට වේදිකා නාට්‍ය කලාව ගැන ඔබට තෘප්තිමත් විය හැකිද?

මා නම් සතුටු නෑ. මොකද දන්නවද? හිතන්න වේදිකා නාට්‍ය කලාව වැටිලා කියන එක ගැන මෙහෙම අඬලා දොඩලා වැඩක් නෑ. රාජ්‍ය මට්ටමින් මෙයට මැදිහත් විය යුතුයි කියලා මා විශ්වාස කරනවා. හැම වසරකදීම ඉල්ලනවා. ඒක ලැබෙන්නේ නෑ. ඕකට කෑගහලා, බැන බැන ඉඳලා වැඩක් නෑ. අපි අපේ කාර්ය කළාම ඉවරයි. රාජ්‍ය නාට්‍ය උළෙලට හෝ ඊට පස්සේ ලැබෙන අන්තර් ජාතික නාට්‍ය උළෙලට ලැබෙන අවස්ථා තුළින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා, ගම් දනව්වල වේදිකා ගත කරන්න.

අනෙක් නාට්‍යකරුවොත් මේ සඳහා උත්සාහ කරනවා. සියලුම නාට්‍යකරුවන්, පුළුවන් තරම් නාට්‍ය වේදිකාගත කරන්න උත්සාහ කරනවා. එහෙත් ඊට වැඩිය දෙයක් සිදුවිය යුතුයැයි විශ්වාස කරනවා.

උදාහරණයක් විදිහට, අපි නාට්‍ය නිෂ්පාදනය කරනවා සහ ප්‍රදර්ශනය කරන්න සමාජ මාධ්‍ය, ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍යවලින් සහයෝගය අරගෙන පුළුවන් තරම් ප්‍රචාරයක් දෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ ලැබෙන සම්මාන හරහා ඒ ප්‍රචාරණය මුවහත් කරගෙන අපි නාට්‍ය ගෙනියන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. අද පවා "රජා මං වහලා"යනවා. මා පමණක් නෙවේ, අනෙකුත් නාට්‍යකරුවොත් මේ සඳහා උත්සාහ දරමින් සිටිනවා.

අන්තර්ජාතික නාට්‍ය උළෙලවල්වලට අපිට ආරාධනා ලැබෙනවා. සමහරවිට රාජ්‍ය අනුග්‍රහය ඒකට ලැබෙනවා. අපිට පුළුවන් ප්‍රමාණයෙන් කරනවා. අදටත් වේදිකා නාට්‍ය කරන්නේ ඒ නිසානේ. රජයෙන් අනුග්‍රහය ලැබෙන් නෑ කියා දුක් වෙන්නේ නෑ. නමුත් මම අදටත් විශ්වාස කරනවා, රජයෙන් එහෙම දෙයක් වෙන්න ඕන කියලා. මීට වැඩිය කලාව සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕන. නාට්‍ය කලාව අධ්‍යාපනය සම්බන්ධයෙන් මැදිහත්වීමක් අවශ්‍යයි. අපි මේ සඳහා රජයට යෝජනා කරනවා. අඬා වැළපෙන්නේ නෑ. මා වැඩ කරනවා සහ අනෙක් වැඩවලට සහයෝගය දෙනවා.

l බොහෝ විට කොළඹට පමණක් කේන්ද්‍රගතවෙලා තියෙන වේදිකා නාට්‍ය කලාව නරඹන්න එන්නේ එකම මුහුණු ටිකක්. මේ නාට්‍ය කලාව කවද්ද ජනතාව අතරට රැගෙන යන්නේ?

කොළඹ නාට්‍ය පෙන්වීමේදී එකම පිරිසක් තමයි දකින්න ලැබෙන්නේ. අපි පුළුවන් තරම් ගම්දනව්වලට යනකොට අනිවාර්යයෙන්ම එළියේ විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. මා විශ්වාස කරනවා තවදුරටත් මේ කලාව ව්‍යාප්ත කළ යුතුයි කියලා. අප විසින් හෝ රාජ්‍ය මැදිහත්වීමකින් ගම්දනව් පුරා පෙන්විය හැකි වැඩපිළිවෙළකට යායුතුයි කියන විශ්වාසය මට තියනවා. එළිමහන්වලට ගිහිල්ලා ඒ ප්‍රේක්ෂකයොත් එක්ක, ගනුදෙනු තරමින් ඒ දේවල් එක්ක ඇසුරු කරමින්, ඒ ජීවිත ගැන අත්දැකීම් ලබමින් කරන වැඩක් ගැන මා විශ්වාස කරනවා සහ ඒ පිළිබඳව මා හිතමින් සිටිනවා.

අපිට පුළුවන්නම් දරුවොත් එක්ක ගම්දනව් පුරා යන්න. එහෙම වැඩපිළිවෙළක් ගැන අදහසක් තියනවා. විශ්වවිද්‍යාලයත් එක්ක සාකච්ඡා කරලා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහර නාට්‍ය තියනවා, බොහෝවිට "රජා මං වහලා", "බෝම්බයක් ඉතුරුයි"වගේ නාට්‍ය එළිමහනට ගිහිල්ලාත් පෙන්වන්න පුළුවන් තත්ත්වයකට හදාගත හැකියි. ඇත්තටම එහෙම ගම්දනව් පුරා ගෙනියන්න පුළුවන් මීට වැඩිය සරල ක්‍රමයක් ගැන අපි විශ්වාස කරන්න ඕන කියලා හිතනවා. "බෝම්බයක් ඉතුරුයි"නාට්‍ය ගම්දනව්වලත් ප්‍රදර්ශනය කරන්න මා බලාපොරොත්තු වෙනවා.

අනුසාර මාහිංගොඩ

පොඩිම තැනින් වැඩේ පටන් ගන්නවා

$
0
0
ජන 8, 2019 01:00

නිශ්මං රණසිංහ

l දරුවන් වෙනුවෙන් නාට්‍ය පාඨමාලාවක් ආරම්භ කළ බව දැනගන්න ලැබුණා?

වයස අවුරුදු 10-18 අතර වයස් කාණ්ඩවල දරුවන් වෙනුවෙන් නාට්‍ය පාඨමාලාවක් ආරම්භ කළා. පාඨමාලාව අවසානයේ දිගු සහ කෙටි නාට්‍ය දෙකක් ඒ දරුවන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් කරන්නයි සූදානමින් ඉන්නෙ. එම පාඨමාලාවට රංගනයට අමතරව පිටපත් රචනය, අධ්‍යක්ෂණය , ආලෝකකරණය, අංගරචනය, පසුතල නිර්මාණය වැනි සියලු දේ අන්තර්ගතයි. ලංකාවේ බොහෝ පාසල්වල නාට්‍යයක් හරියාකාරයෙන් නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න සහ නාට්‍ය කලාව ඉගෙනගන්න පහසුකම් නෑ. ඒ නිසාම පාසලේ දී කෙරෙන නාට්‍ය නිර්මාණයක දී හෝ දරුවකුට තමන්ගේ හැකියාවන් සහ නිර්මාණශීලිත්වය පෙන්වීමට හැකි වන විදිහටයි අපි මේ පාඨමාලාව ඉදිරියට අරගෙන යන්නෙ. පාඨමාලා ආරම්භ වෙලා දැනට සති දෙකක් පමණ වෙනවා. තවමත් බඳවාගැනීම් අවසන් කරලා නෑ. සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.00 සිට සවස 12.00 දක්වා තලවතුගොඩ, හෝකන්දර පාරේ ගුණවර්ධන ගාඩ්න්ස්හි act4 හි පංති පැවැත්වෙනවා. මේ පාඨමාලාවේ පළවෙනි ඉලක්කය කෙටි නාට්‍යයක් නිර්මාණකොට ඉදිරිපත් කිරීමයි. පසුව දිගු නාට්‍යයක් ඉදිරිපත් කරනවා. අද වන විට මේ වයස් කාණ්ඩවල දරුවන් සිටින්නේ එක්තරා යාන්ත්‍රික තත්ත්වයක. ඒ හැමදේම එක්ක වෙලාව හොයාගෙන, ඉඩ ලැබෙන විදිහට පුහුණුවීම් කරලා තමයි දිගු නාට්‍ය ඉදිරිපත් කරන්න වෙන්නෙ. කෙටි නාට්‍ය අපි නිර්මාණය කරන්නේ මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඉලක්ක කරගෙනයි.

l නාට්‍ය කලාවට ඔබේ ප්‍රවිශ්ටය සිදු වූ ආකාරය පිළිබඳ මතකය අවධි කළොත්?

ජාතික තරුණ සේවා සභාව හරහා නාට්‍ය පාඨමාලාවක් හදාරමින් තමයි මම මේ ක්ෂේත්‍රයට පය තියන්නෙ. පසුව මහාචාර්ය සාලමන් ෆොන්සේකා යටතේත්,තවත් ගුරුවරු යටතේත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගිහින්, නාට්‍යකරණය සම්බන්ධයෙන් බොහෝ දේ හදාරමින්, දැනුම ලබාගනිමින් නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන හැටි ඉගෙනගත්තා. යෞවන සම්මාන උළෙලේදී සහ රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන ලැබුවා. ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් හැටියට ආපු ගමනේ මගේ ජීවිතේ වෙනස් ම අත්දැකීම ලැබුවේ සහ නිර්මාණකරුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම ලොකුම පන්නරය ලබාගත්තේ වැලිකඩ බන්ධනාගාරය ඇතුළෙ වීරයො මරන්න බෑ වේදිකානාට්‍ය සහ තවත් වේදිකානාට්‍ය කිහිපයක් ඉදිරිපත් කිරීමෙන්.

l ඒ අවස්ථාව ඔබට ලැබුණු ආකාරය ගැන සිහිපත් කළොත්?

වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ නිර්මාණශීලි හැකියාවන් නාට්‍යමය පැත්තට යොමු කිරීමට මට ආරාධනා කළේ වැලිකඩ බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයෙක් වන ගාමිණී ජයසිංහ මහත්මයා. එහිදී නාට්‍යකරණය පිළිබඳ හැදෑරීමක් තබා නාට්‍යක් නරඹලාවත් නැති පිරිසක් සමඟ නාට්‍යකරණය සම්බන්ධයෙන් වැඩ කරන්නෙ කොහොමද කියන කාරණය මට පැහැදිලි වුණා. යම් යම් තැන්වලදී මා තුළ වූ ශිල්පීය දැනුම වෙනස් ම ආකාරයකින් භාවිත කරන්න සිද්ධ වුණා. ඒ වගේම අලුත් අත්හදාබැලීම් ඔස්සේ බොහෝ දේ ඉගෙනගත්තා. නාට්‍ය පිළිබඳ හැදෑරීමක් හෝ වැඩි ඇල්මක්, බැඳීමක් නොමැති ව සිටි පිරිසක් තුළ නාට්‍ය කලාව සම්බන්ධයෙන් ආදරයක් සහ විශ්වාසයක් ඇති කරන්නත්, ඔවුන්ගේ හැකියාවන් යොදාගනිමින් නාට්‍ය කලාව පෝෂණය කිරීමටත් ලැබීම බොහොම වටිනා අවස්ථාවක්. බොහෝ නාට්‍යකරුවන්ට ලබන්න බැරි වුණ අත්දැකීමක්. ඒ නිසා මම ඒ කාලය ඇතුළත තවත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථා අතහැරියා සහ අතහැරුණා. රැඳවියෙක් තරමට ම බන්ධනාගාරයට හුරු වුණා. ඒ කැපවීම නිසා මම නාට්‍යයක ශිල්පීන් සාධනීය ආකාරයට මෙහෙයවිය හැකි පුද්ගලයෙක් බවට මං තුළ ම විශාල ආත්ම විශ්වාසයක් ඇති වුණා.

l ඔබ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ නිර්මාණකරණයට දායක වූ නිර්මාණකරුවෙක්?

බුද්ධික දමයන්තගේ “අධිපතියාගේ මරණ මංචකය”,විරාජ් කෝදාගොඩආරච්චිගේ “ඕදිය” ,“ට්‍රම්පට්”, “සිමියොන්”,ජර්මන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් කළ “දොන් දියාගෝ”,ප්‍රියන්ත ලලිත්ගේ “අමාවක ඇවිත්”,ධම්මිකා තුෂාරි වික්‍රමසිංහගේ "පොදු සහතික”,මගේ වේදිකා නාට්‍ය නිර්මාණ වූ “ගැලවිජ්ජා”සහ “විරයො මරන්න බැහැ”, ඊ. එම්.ඩී.උපාලිගේ “වන තාරාවි” වැනි නාට්‍යවලට රංගනයෙන්, ඇඳුම් නිර්මාණයෙන්,වේදිකා පරිපාලනයෙන්,රංග වින්‍යාසයෙන්,පසුතල සැකසුමෙන් වැනි විවිධ විෂයන් ඔස්සේ දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම “ගමරාලගේ දේවාලය”,”නෙට්බෝල්”,”සිංහයා සහ වහලා” ළමා නාට්‍ය නිර්මාණය කළා. “ගුවනින් ආ බෝනික්කා” නාට්‍යයේ රංගන උපදේශනය සැපයීම සිදු කළා. ධම්මික පිරිස්ගේ “හතේ කණ්ඩායම” නාට්‍යය වෙනුවෙන් පිටපත් රචනයෙන්, සහය අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වෙන්නත් ”සමනලුන්ට වෙඩි තියන්න” කලා අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වෙන්නත් පුළුවන්කම ලැබුණා.

මම ප්‍රසංග කළමණාකරණයෙන් සජීවි ප්‍රසංගයන්වලටත් දායකත්වය ලබා දීලා තියෙනවා. නිලාර් එන් කාසිම්ගේ "කිරිකෝඩු හිතට",නවරත්න ගමගේ ගේ "සඳ එළියෙන් දෝතක්",කරුණාරත්න අබේසේකර දශ වර්ෂ පූර්ණ ප්‍රසංගය,කිත්සිරි ජයසේකරගේ "අමීෂා",සිරිල් පෙරේරාගේ "සිරිපොද වැස්ස"ඒ අතරින් කිහිපයක්.

l නිර්මාණකරණය තුළින් හැම විටම ඔබේ ස්පර්ශ කළේ වැඩි අවධානයක් යොමු නොවුණු සමාජ කණ්ඩායම්?

නාට්‍යකරුවෙක් විදිහට වැඩ කරද්දි සහ මගේ දැනුම බෙදාහදාගනිද්දි මම බොහෝ වෙලාවට වැඩ කළේ සමාජයේ වැඩි අවධානයක් යොමු නොවුණු පිරිසක් සමඟයි. පාසලක් තෝරාගත්තත්, වැඩි අවාධානයක් යොමු නොවුණු පාසල්වල තමයි වැඩියෙන් වැඩ කළේ. 2016 අවුරුද්දෙ විතරක් මට මගේ දුවගේ ඉල්ලීම පරිදි ඇගේ පාසල වූ දේවි බාලිකා විද්‍යාලයේ නාට්‍ය පුහුණුවීම් කටයුතු මෙහෙයවන්න අවස්ථාව ලැබුණා. ඒ වසරේදී දේවි බාලිකා විද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට හොඳම නිළිය සහ හොඳම සහය නිළිය සම්මානයන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙන් ලබාගැනීමට සහයවෙන්න අවස්ථාව ලැබීම සතුටක්. මා තුළ ජීවත්වන මනුස්සයා හැම විටම මාව යොමු කරන්නේ අලුත් තැනකින් අලුත් යමක් නිර්මාණය කරන්නයි. නාට්‍ය කලාවට වැඩිපුර යොමු නොවුණු සහ ඒ පිළිබඳ වැඩි හැදෑරීමක් නැති පිරිසක් කොහොමද ඒ සඳහා යොමු කරන්නේ කියන කාරණයට මම වැඩි අවධානයක් දෙන්නේ ඒ නිසයි. රංගනය සම්බන්ධයෙන් නළුවාවාගේ හෝ නිළියගේ චරිතය ආකර්ෂණීය ලෙස යොදාගැනීමට මට වැඩි අවධානයක් යොමු කරන්න සිදු වුණා. ඒ වගේම භෞතික සම්පත්වල අඩුපාඩුකම් ඇති තැන්වලදී ඒවා මගහරවා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන්නටත් ස්වයං හැදෑරීමක් කරන්න වුණා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසාන වටයට තේරීපත් වුණු බන්ධනාගාර රැඳවියන්ගේ රංගනයෙන් පෝෂණය වූ“ සිංහයා සහ වහලා” නාට්‍ය ගත්තම ඒ නාට්‍ය ඇතුළෙදි රංගන ශිල්පියාගේ ඇඳුම ම තමයි පසුතල නිර්මාණ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වුණේ. පසුතල නිර්මාණය සහ ඇඳුම් නිර්මාණය කියන කාරණා දෙකම එහිදී ඇගයීමට ලක් වුණා. එක ම ඇඳුමක් තමයි ඇඳුම් නිර්මාණයටත් පසුතල නිර්මාණයටත් යොදාගෙන තියෙන්නෙ. නමුත් එය අවස්ථානූකූලව පසුතල නිර්මාණයක් සහ අවස්ථානූකූලව ඇඳුමක් විදිහට දකින්න පුළුවන් වීම හේතුවෙන් ඒ කාරණා දෙකම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙදි ඇගයීමට ලක්වෙනවා.

l මේ දිනවල වැඩි අවධානයක් ලබාදෙන්නේ කුමන නිර්මාණ කටයුතුවලටද?

මං ලියූ කවි එකතු කරමින් ඉන්නවා. ඒවා ඉදිරියේදී පොතක් විදිහට එළිදැකීමේ ඉඩක් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ තහනම් උත්තේජක ලබාගත්තා කියන චෝදනාව යටතේ රන් පදක්කම අහිමි වූ මංජු වන්නිආරච්චිගේ ජීවිතය සහ ඒ සිදුවීමේ ඇතුළාන්තය පිළිබිඹු වන නවකතාවක් මම රචනා කළා, “රන් කඳුළ” නමින්. පසුව “රේල්පීලි” නමින් යොවුන් නවකතාවක් රචනා කළා. දැන් නැවතත් නවකතාවක් ලීවීමට අවධානය යොමු කරලයි ඉන්නෙ. නමුත් වැඩි අවධානයක් දීලා තියෙන්නෙ ළමා නාට්‍යය නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ අතරතුර කාලය ලැබෙන විදිහට තමයි නවකතාව එළිදැක්විය හැකි දිනය තීරණය වෙන්නෙ.

කාංචනා සිරිවර්ධන

ගවේෂණ පුවත්පත් කලාවේ අමරණීය දැවැන්තයා

$
0
0
ජන 8, 2019 01:00

මෙරට ගවේෂණ පුවත්පත් කලාවේ විප්ලවීය වෙනසක් කළ ලසන්ත වික්‍රමතුංග නම් වූ ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ සහ ඉරුදින පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මාධ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව ලොවෙන්ම සමුගෙන අද දිනට වසර දහයක් සපිරෙයි.

2009 වසරේ ජනවාරි 8 අද වැනි දිනක මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව ඒ මිලේච්ඡයන් විසින් බිල්ලක් බවට පත්කරගත් ලසන්ත වික්‍රමතුංග මහතා නිහඬ කළද ඒ මහතා විසින් පුවත්පත් ලෝකයේ පත්‍රකලාවේ තැබූ පෙරළිකාර නාමය කිසි දිනෙක කිසිවකුවත් අමතක කළ නොහැක.

පැහැදිලි ඝාතකයකු ‍තවමත් සොයාගැනීමට පරීක්ෂණ අංශවලට නොහැකි වුවද මෙම අමානුෂික ඝාතනය සිදුකළ අපරාධකරුවන් කවුද යන්න පරීක්ෂණ අංශ දැනගෙන සිටියද ඔවුන්ට තවමත් නිදැල්ලේ සිටීමට ඉඩහැර ඇති බව නොදන්නා කෙනකුද නොමැත.

2009 ජනවාරි 8 වැනි දින පෙරවරු 9.20ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතා සිය නිවසේ සිට අත්තිඩියේ පිහිටි ද සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් යමින් සිටියදී නිවස ආසන්නයේ සිටම යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් ඔහුව ලුහුබැඳ තිබුණි. තමාට අනතුරක් සිදුවන්නට යන බවට යම් සැකයක් ඇතිවී තිබූ ලසන්ත වික්‍රමතුංග මහතා ඒ බව සිය හිතවතකුට ද පවසා තිබුණි. කෙසේවෙතත් ඒ සම්බන්ධව එතරම් සැළකීමක් නොදැක්වූ ලසන්ත, ඒ අවස්ථාවේ ඔහු ඝාතනයකට ලක්වනු ඇතැයි හෝ තම ජීවිතයට එතරම් බරපතළ හානියක් සිදු කෙරෙනු ඇතැයි නොසිතන්නට ඇත. ඒ අවස්ථාවේ එසේ සිතුනානම් ඔහු කාර්යාලය වෙත නොව සිය මෝටර් රථය පොලිසියක් වෙත හරවන්නට ඉඩ තිබුණි.

ඒ කෙසේ වෙතත් ඝාතකයන් එදා කෙසේ හෝ ලසන්තයන්ව බිලිගන්නට සැළසුම් කර තිබෙන්න ඇත. ඒ ඉලක්කය සපුරාගනු පිණිස ලොව ම්ලේච්ඡතම ත්‍රස්ත සංවිධානයක් සතුවවත් නොතිබූ දකුණු අප්‍රිකාවේ දරුණු ත්‍රස්ත කණ්ඩායමක් සතුව පමණක් භාවිත වූ විශේෂතම උල් ආයුධයක් ලසන්ත ඝාතනය වෙනුවෙන්ම ගෙන්වා එම ආයුධය ලසන්ත ඝාතකයන් අතට දී තිබුණේ ඒ නිසාම විය හැකිය. එක් පහරක් එල්ල කරනවිට උල් පහක් එළියට එන ඒ විශේෂිත වූ ආයුධයද සමඟ එදින ලසන්ත ලුහුබැඳ සිටි ඝාතකයන් දෙදෙනා එම විශේෂ වූ උල් ආයුධයද රැගෙන ලසන්ත ලුහුබැඳ පැමිණ ඔහුගේ කාර්යාලයට තවත් සුළු දුරක් තිබියදී ඔහු ගමන්ගත් මඟ අහුරා පාර හරස් කර වහ වහා යතුරුපැදිය ලසන්තයන් සිටි පෙදෙසට ගෙන එම උල් ආයුධය මෝටර් රථයේ වීදුරු පසාරු කරගෙන ගොස් ලසන්තගේ සිරුරට අනිනු ලැබූවේ තවත් ඔහුට ජීවත්වීමට ඉඩක් නොතබමින්ය.

තවත් සුළු වේලාවක් ගතවීමට පෙර ලසන්ත රෝහල්ගත කළද බරපතළ ලෙස ප්‍රහාරයට ලක්ව සිටි ඔහු සමස්ත පත්‍ර කලා ලෝකයෙන් පමණක් නොව දැයෙන්ම සමුගත්තේය.

ලසන්ත නිහඬ කරවීම යනු ඝාතකයන් නොව ඝාතන සැළසුම දියත්කළ පිරිසගේ අරමුණ වූයේ ගවේෂණ පුවත්පත් කලාව හරහා මේ රටේ අස්සක් මුල්ලක් නෑර බලවතුන් හෝ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් විසින් සිදුකරන දූෂණ, වංචා හෙළි කරන ලසන්ත නිහඬ කරවීමයි. ලසන්තයන් මෙවැනි බරපතළ දූෂණ වංචා මූල්‍ය ගනුදෙනු ගණනාවක අගමුල නෑර සියලු තොරතුරු සිය සන්ඩේ ලීඩර් පුවත්පත හරහා රටේ ජනතාවට දැන ගැනීමට ඉඩහරිනවිට ඒවා සිදුකළ සහ ඒ පිටුපස සිටින සෑම සියලු කෙනෙකුටම මරු පහරක් වැදුණා හා සමාන විය. සෑම සති අන්තයකම ලසන්ත අලුතින් හෙළිකරන්නේ ඊළගට කුමක් ගැනද යන්න දැන ගැනීමට ඇතැම් පිරිස් විසින් පෞද්ගලික බුද්ධි අංශ නිලධාරින් පවා යොදා තිබුණි. මෙම බුද්ධි අංශ යැයි කියාගත් ඔත්තුකරුවෝ ලසන්ත යන එන තැන් කරන කියන දේ පිටුපස ලුහුබඳින්නට වූහ.

සාමාන්‍යයෙන් දක්ෂ ගවේෂණ මාධ්‍ය කලාවේ නියැළෙන මාධ්‍යවේදියකු කිසිවිටෙකත් වගකීමකින් තොර අඩුපාඩු සහිතව ප්‍රවෘත්තියක් හෝ වාර්තාවක් පළ කරන්නේ නැත. එම වංචාවේ හෝ වේවා අපරාධයේ හෝ වේවා එය පළ කරනු ලබන්නේ එහි සියලු කරුණුවලට අදාළ ලිඛිත හෝ වෙනත් ඔප්පු කළ හැකි සාක්ෂි අතැතිවය.

ලසන්තගේ ගවේෂණාත්මක වාර්තාකරණයේ ප්‍රධාන ලක්ෂණය වූයේද එයයි. ඔහුට යම් ඉවක් මත සිද්ධියක් වාර්තා කිරීමට සිතුනහොත් ඔහු ඉතා සූක්ෂම පරිදි එහි සෑම තොරතුරක්ම සොයාගනී. එපමණක් නොව කෙසේ හෝ එය ඔප්පු කරගත හැකි සියලු ලිඛිත ලේඛන පවා කුමක් හෝ ක්‍රමයක් මත සියතට පත්කර ගැනීමද ලසන්තයන්ගේ දක්ෂතාවයේ සුවිශේෂී ලක්ෂණයකි.

එවන් වූ කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සියලු සාක්ෂි ඇතිව ලසන්තයන් විසින් හෙළිකළ දූෂණ වංචා පුවත්පතේ පළවූ පසු කිසිදු අවස්ථාවක එම වාර්තාවෙන් ඉලක්ක වූ පුද්ගලයන්ට ඒවා ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය.

ඒ ආකාරයෙන් ලසන්ත කෙළවරක් නොමැතිව රට තුළ සිදුවන බොහෝ සිදුවීම්, රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ වංචා, ජාත්‍යන්තරව සිදුවෙන විවිධ වූ ගනුදෙනු බරපතළ අපරාධ මේවාට සම්බන්ධවූ පිරිස රාජ්‍ය නිලධාරින් පවා යම් යම් අවශ්‍යතාව මත සිදුකරන විවිධ ගනුදෙනුවලදී කොමිස් ගැසීම්, ටෙන්ඩර් මගඩි, විදෙස් බැංකුවල මුදල් තැන්පත් කිරීම ඇතුළු සෑම දෙයක්ම වාර්තා කරමින් සිටියේය. ඒ කාලයේ සිදුවූ විශේෂම ගනුදෙනුවක් වූ මිග් යානා ගනුදෙනුවද ඒ ආකාරයෙන් වාර්තා කිරීමට කටයුතු කරමින් සිටි එවැනි ගනුදෙනුවකි.

මේ ආකාරයෙන් ලක්ෂ නොව‍ කෝටි ගණනින් සිදුවන මූල්‍ය ගනුදෙනු හරහා බැංකු ගිණුම්වලට මුදල් ලැබෙනවිට ලසන්ත ඒවායේ අගමුල සොයාගෙන හෙළි කිරීම නිසා ඒ වරප්‍රසාද ලබන්නන්ට එය මරු පහරක් විය.

ඒ නිසාම ලසන්ත ඝාතන සැළසුම කිහිපදෙනකු අතරේ සූක්ෂම ලෙස සැළසුම්කෙරෙමින් පැවතුනි.

එහි අවසානය වූයේ ලසන්තයන් ඉතා කෲර ලෙස ඝාතනයට ලක්වීමයි.

ලසන්ත ඝාතනය කෙරුණ එම සති අන්ත පුවත්පතේද ලසන්ත විසින් හෙළි කිරීමට සූදානම් කර තිබී ඇත්තේ එවැනිම බරපතළ මූල්‍ය වංචාවකට අදාළ තොරතුරු වෙයි. එහෙත් ලසන්ත ඝාතනය වුවද එම ප්‍රවෘත්තියද එම සති අන්තයේ පළ කෙරුණි.

ලසන්ත ඝාතනයත් සමඟ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ ප්‍රබලම පුරුක පුවත්පත් කලාවට අහිමි විය. මුදලට, විදේශ සංචාරවලට වෙනත් වරප්‍රසාදවලට යටවී මාධ්‍ය වාර්තාකරණයට තිත තබන මාධ්‍යවේදීන් අතරින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඔවුන‍්ගේ රුපියල් ශතවලින් ගසාකන විවිධ පුද්ගලයන්ගේ දූෂණ වංචා හෙළිකළ ලසන්ත කෝටිපතියකු නොවීය. ඔහුටත් මුදල් වරප්‍රසාද ලබාගෙන පැත්තකට වී සිටින්නට හැකියාව තිබුණි. එහෙත් සැබෑ මාධ්‍යවේදියකුගේ සැබෑ ලක්ෂණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් ඉතා නිහඬ ජීවිතයක් ගත කරමින් කිසිම තර්ජනයකින් හෝ නොසැලී මරණ මොහොත දක්වාම නිර්භයව සිටි ලසන්තයන් එදා 2009 ජනවාරි 8 වැනිදා අවසන් හුස්ම හෙළුවේ සුපිරිසුදු මාධ්‍ය ජීවිතයේ ගෞරවය ආරක්ෂා කරගනිමින්.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීමෙන් පසු අදට වසර දහයක් වනතෙක්ම නියම ඝාතකයන් තවමත් නිදැල්ලේ සිටියි. දැනට සිදුවී ඇති පරීක්ෂණවලට අනුව එදා ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නියමාකාරයෙන් පරීක්ෂණ සිදුවී නැති බවට ඔප්පුවිය. ලසන්තගේ ඝාතන පරීක්ෂණ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේ සළකා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ සිදුකරමින් එම පරීක්ෂණ වෙනත් අතකට හරවා තිබූ බව ඔප්පුවී හමාරය.

ලසන්තගේ ඝාතනයට අදාළ පොලිස් පරීක්ෂණ සටහන් පොත්වල ලේඛන,ලසන්තයන්ගේ බොහෝ තොරතුරු ඇතුලත් දිනපොත කා අතට පත්වූවාද ඒවා සැඟවූණේ කෙසේද කා අතින් ද යන්න හෙළිවී හමාරය.

ලසන්ත ඝාතනයට යොදාගත් විශේෂ ගිනිඅවිය මෙරටට ගෙන එන්නට ඇත්තේ කවුද යන්න සම්බන්ධ තොරතුරු ලැබී ඇත.

එම ඝාතන පරීක්ෂණ වෙනත් අතකට පත්කළේ කෙසේද යන්න මේ සෑම දෙයකටම අදාළ පරික්ෂණ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට පැමිණි අය පැදවූ යතුරුපැදියට අදාළ තොරතුරු හෙළිදරව් වී ඇත. ඒ සියල්ල එසේ සිදුවී තිබියදී එතැනින් එහාට යාමක් නොමැත. සියල්ල අතරමඟ නැවතී තිබේ. මේ ඝාතනය එකිනෙක කණ්ඩායම් විසින් සිදු කළ බවට එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්නා අතර අපරාධකරුවෝ නිදැල්ලේ සිටිති.

2015 වසර වනවිට ලසන්ත ඝාතන පරීක්ෂණවලට තිත තැබී තිබිණි. වර්තමාන රජය බලයට පත්වූ පසු යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ හරහා බොහෝ තොරතුරු හෙළිකර ගනු ලැබිණි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයද සිදුවෙයි. එහෙත් ලසන්ත ඝාතන සැළසුමේ සහ ඝාතනයේ අවසානය තවමත් හෙළිවී නොමැත.

සටහන - විජයානි එදිරිසිංහ

රටම හැඬවූ ‘චාලි’ගේ ඉරණම

$
0
0
ජන 8, 2019 01:00

මුළු රටක්ම කම්පා කරවන ඉතාමත් දරුණු ‍ම්ලේච්ඡ ක්‍රියාවක් මීට දින කිහිපයකට පෙර අපට දකින්නටත්, අසන්නටත් ලැබුණි. ඒ මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිව‍සේ කූඩුකර සිටි සුනඛයකු එම කූඩුවට ගිනි තබා මරාදැමීමේ අමානුෂික ක්‍රියාවයි.

මෙම අමානුෂික ක්‍රියාවට සම්බන්ධ එය සිදු කළැයි සැක කරන අපරාධකරු දැන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහුට රුපියල් පනස්දහසක ශරීර ඇප ලැබුණි. ලබන ජනවාරි මස 10 වැනි දිනට යළි නඩුව කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබිණි.

සැකකරු අත්අඩංගුවට ගත්තා හෝ නැතිවා වේවා මෙම භයානක අපරාධය මේ වගේ රටක කිසි‍සේත් සිදුවිය යුතු නොවේ. බෞද්ධ රටක අහිංසක සතකු කූඩුවක සිටියදී එම කූඩුව පිටින්ම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කිරීමට තරම් පෙලඹෙන ම්ලේච්ඡ මිනිසුන් ද අප අතර සිටින බවට හොඳම නිදසුනකි මේ.

මීට පෙරද මෙවැනිම දරුණු අපරාධයක් සිදුවූයේ යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේදීය. ගමකට කඩාවැදුණු පැටව් දැමූ දිවි මවකට ගමෙන් පැන යාමට ඉඩ නොතබා එම ගමේ මිනිසුන් යැයි කියාගත් ම්ලේච්ඡ පිරිසක් විසින් එම දිවියා වටකර පොලුවලින් පහර දී අමු අමුවේ මරා දමා එම දිවියාගේ සිරුර කරමත තබාගෙන ඡායාරූප ගැනීමට, වීඩියෝගත කිරීමට තරම් අමානුෂික වූහ.

අමු අමුවේ කුඩා දරුවන්, බිරින්ඳෑවරුන්, සැමියන් පමණක් නොව දෙමාපියන් පවා ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තාවන නමුදු කූඩුවකට කොටු වූ සුනඛයකු මේ ආකාරයෙන් අමු අමුවේ ගිනි තබා ඝාතනය කිරීමේ සිදුවීම් ද ඉහත දිවියාගේ ඝාතනයට සමාන තවත් බරපතළ අපරාධයක් වෙයි.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ මීගමුව ව්‍යාපාරිකයාගේ නිවසේ කූඩුකර සිටි එම ÒචාලිÓ නමින් හඳුන්වන ලැබ්රඩෝර් රිට්රීවර් වර්ගයේ වයස අවුරුදු දෙකක් පමණ වන සුනඛයා එදා රාත්‍රියේ හතර අතින් පිපිරෙන රතිඤ්ඤා හඬට දැඩි බියකින් කෑගසන්නට වී ඇත. එහෙත් අලුයම කාලයේදී එම සුනඛයා අමුතුම අනතුරක හඬින් කෑගසනු ඇසුණු නිවැසියන් වහා දොර ඇර බලන විට සුනඛ චාලි කූඩුකර සිටි කූඩුව එකම ගිනි ජාලාවක් බවට පත් වී තිබී ඇත. නිවැසියන් වහ වහා ගින්න නිවා දමා සත්ත්ව රෝහලකට ගෙන ගියත් ඒ වන විට ‍බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටි ඒ අහිංසක සතා මරණීය වේදනාවෙන් කෑ මොර දෙමින් සිට අවසානයේ මියගොස් තිබුණි.

මෙවැනි අහිංසක සත්වයකුට මේ ආකාරයේ අමානුෂික ක්‍රියාවක් කරන්නට තරම් සිත් ඇති ම්ලේච්ඡ පුද්ගලයන් මවකගේ කුසකින් ඉපදුනා ද යන්න පවා සිතිය නොහැකිය. මේ ආකාරයෙන් එම සත්ත්වයාට ගිනි තැබීමට තරම් මේ පුද්ගලයාගේ සිත තුළ පැවැති වෛරය, ක්‍රෝධය කුමක්ද?

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූයේ මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා මහතා විසිනි. ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වූයේ මේ අපරාධය එම නිවසට යාබද නිවසේ පදිංචි තරුණයකු විසින් සිදුකළ බවයි. කෙසේ වෙතත් මේ සුනඛයා නිතරම කෑ ගසන නිසා එය අල්ලපු ගෙදර පිරිසට වධයක් වී තිබී ඇත. මේ හේතුව නිසාම දෙපිරිස අතර එතරම් ඇයි හොඳයියක් තිබී නැත. මෙම සැකය නිසාම ව්‍යාපාරිකයා එම අපරාධයට අල්ලපු ගෙදර අය සැක කළේය.

මෙම අපරාධ සිද්ධිය වීමට සති දෙකකට පමණ පෙර එම සුනඛයාට කවුරුන් හෝ විසින් වස කවා තිබිණි. මේ වස ශරීරගත වීමෙන් සුනඛයා බරපතළ ලෙස රෝගාතුර වී තිබිණි. එහෙත් නිවැසියන්ගේ ප්‍රතිකාර නිසාම යළි හිස එසවූ මෙම සුනඛයාට යළිත් එවැනි ඛේදවාචකයකට මුහුණදීමට සිදුවෙතැයි ව්‍යාපාරික පවුල සිතුවේ නැත. එහෙත් මේ සත්ත්වයාට මුහුණ දෙන්නට සිදුවූයේ මහ පොළොව නුහුලන ඛේදවාචකයකටය. එම සත්ත්වයාට ප්‍රතිකාර කරන ලද ස්ථානයෙන් හෙළිකරගත් තොරතුරුවලට අනුව එම සුනඛයාගේ සම්පූර්ණ සිරුරම ගින්නෙන් දැවී සිරුරු අභ්‍යන්තරය ද දරුණු ලෙස තැම්බී තිබී ඇත. දරුණු පිලිස්සුම් තුවාලවලින් එම සිරුර හම ගැලවෙමින් තිබී ඇත.

ඒ අපරාධය කළ පුද්ගලයා සමඟ තවත් පිරිසක් වේ නම් නීතියෙන් ලැබෙන දඬුවම කුමක් වුවත් ස්වභාවධර්මයාගෙන් හෝ ඒ පාපයට ඔහුට ගැලවීමක් නම් නොමැත.

පොලිසියට මේ පැමිණිල්ල ලැබීමත් සමඟ මීගමුව පොලිසිය දැඩි කැපවීමකින් යුතුව අපරාධකරු සොයා පරීක්ෂණ සිදු කළහ. යාබද නිවසේ පුද්ගලයකුගේ ඇඟිලි සලකුණු පවා රැගෙන සොකෝ පොලිස් නිලධාරීන් ද කැඳවා පුළුල් පරීක්ෂණයක් සිදුකරනු ලැබිණි. ඒ අතරතුර එම ඝාතන සැකකරුවකු මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්විය.

මෙම පුද්ගලයා ‍එම සුනඛයා සිටි ව්‍යාපාරික නිවසේ වත්තේ, ගෙදරදොර වැඩ කිරීමට එන පුද්ගලයෙකි. ඔහු එය සිදුකළ බවට යම් තොරතුරු ලැබීම මත සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අතර එම ව්‍යාපාරික නිවසට යාබද නිවසේ සැකකරන තරුණයාගේ ඇඟිලි සලකුණු ආදිය විමර්ශනය සඳහා යවා ඇත. සොකෝ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ ද අනුව මෙසේ 35 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත් ව්‍යාපාරික නිවසේ සී.සී.ටී.වී. කැමරා නොතිබීම සත්‍ය සැකකරු අත්අඩංගුවට ගැනීමට බාධාවකි. ඒ කෙසේ වෙතත් පොලිසිය මේ සිද්ධිය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරගෙන යන බව පොලිසිය කියයි.

සත්ත්ව හිංසනය, සතුන් දඩයම් කිරීම, හොර රහ‍ෙස් ඝාතනය කිරීම අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වුවත් සතුන් ආරක්ෂා කිරීම, ඔවුන් ඝාතනයට එරෙහිව කටයුතු කිරීම මෙන්ම සතුන් වෙනුවෙන් සිදුකෙරෙන අවිහිංසාවාදී වැඩසටහන් ද විශාල වශයෙන් සිදුවෙයි. දඩයම් කිරීම, අලි ඇතුන් ඝාතනය පමණක් නොව මෙම ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයකුටම නිදහසේ ජීවත්වීමට ඇති පරිසරය ද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

සත්ත්ව හිංසනයට එරෙහිව කටයුතු කරන ජාත්‍යන්තරය හා සබැඳි බොහෝ සංවිධාන පවා තිබේ. එවන් වූ ‍තත්ත්වයක් තුළ නීතිය කෙසේ වෙතත් මෙවැනි හිංසන ක්‍රියාවන් තවදුරටත් සිදුවීමට ඉඩ නොතබා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

සත්ත්ව හිංසනය හා සම්බන්ධ වූ අපරාධ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ 1957 වසරේ සිට ක්‍රියාත්මක වන 1996 සුළු සංශෝධනයකට ලක්වූ නීති පද්ධතියකි. ඒ අනුව සත්ත්ව හිංසනයට වරදකරු වූ පුද්ගලයකුට දඬුවම් වශයෙන් ලැබෙන්නේ රුපියල් සියයක දඩයක් සහිත සුළු දඬුවමකි. එහෙත් මෙහිදී සිදු වී ඇත්තේ බරපතළ අපරාධයකි. සත්ත්ව හිංසනය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන අනර්ථය යටතේ අපරාධකරුට දඬුවම් නියමවනු ඇත. කෙසේ වෙතත් සත්ත්ව හිංසනයට අදාළ නීති සංශෝධනය වීම අත්‍යාවශ්‍ය කරුණකි.

සත්ත්ව හිංසනය සතුන් සුරතලයට ඇතිකරන නිවැසියන් විසින් සිදුවන බව ද අමතක නොකළ හැකි කරුණකි. සතුන් යනු නිදහසේ ජීවත්වීමට නියමවූවන්ය. මෙම සතුන් ගැටගසා කූඩුකර තිබීම තුළින් ද සත්ත්ව හිංසනයක් සිදුවන බව අමතක නොකළ හැකි දෙයකි. සුනඛයන් පිළිබඳව ගතහොත් නිවෙස්වල ගැට නොගසා නිදහසේ ගැවසීමට ඉඩහැර ඇති සතුන් සමාජයට කරදරයක් වන අයුරින් හැසිරෙන්නේ නැත. නිවෙස්වල ගැටගසා කූඩුකර ඒ සතාගේ නිදහස කූඩුවකට සිරකර ඇතිවිට එම සත්ත්වයා විශේෂයෙන් සුනඛයන් ඉන් ඉවතට යාමට අවශ්‍ය වූ විට නිරතුරුවම කෑ ගසයි. බොහෝ විට අවට පරිසරයේ ජීවත්වන පිරිසට මේ තත්ත්වය වධයක් වන අවස්ථා බොහෝය. රෝගාතුරව සිටින පිරිස, අධ්‍යාපන කටයුතුවල යෙදෙන පිරිස පමණක් නොවේ කුඩා දරුවන් පවා නිදිකරවා ගැනීමට නොහැකි වන අවස්ථා බොහෝය. ඊට වගකිවයුත්තේ එම සුනඛයා කූඩුකර සිටින නිවැසියන්ය. හේතුව නිදහසේ සිටින්නට මෙලොවට බිහිව සිටින සතකු කූඩුකර දවසේ පැය 24 සිරකර තැබීමම කිසිසේත් අනුමත කළ නොහැකි දෙයකි. එම කූඩුව තුළ සිටින ‍එම සුනඛයා සුළු වේලාවකට කූඩුවෙන් ඉවතට ගෙන යළි කූඩුකර තැබූ වේලාවේ පටන් කෑ ගසන්නේ එම සතාට නිදහස අවශ්‍ය නිසාය. බොහෝ නිවැසියන් මේ ආකාරයෙන් එම සතාට නිවසේ නිදහසේ සිටින්නට ඉඩ නොහැර මේ ආකාරයෙන් කූඩුකර සිරකර තැබීම ද බරපතළ සත්ත්ව හිංසනයකි. එම හිරිහැරයෙන් මිදෙන්නට සතකු දවස පුරා දඟලන්නේ එය බරපතළ හිරිහැරයක් නිසාය. එහෙත් නිවැසියන් ඒ තත්ත්වය තේරුම් නොගෙන තව තවත් ඒ සතා ගාල්කර තබයි.

පසුගිය දිනක සතියකට විදෙස් රටකට ගිය එක්තරා පවුලක් එම නිවසේ සුරතලයට ඇතිකළ සුනඛයා කූඩුවට දමා ඉබි යතුරු දමා කෑම සහ වතුර ටිකක් තබා විදේශගත වී තිබුණි. දවස් කිහිපයක් යන විට එම සුනඛයා කෑගසා බැරි වූ තැන සිහිසුන්ව කූඩුව තුළ ඇදවැටී තිබුණි. අවට පදිංචිකරුවන් එම කූඩුව කඩා සුනඛයා බේරාගෙන ප්‍රතිකාර ලබා දී තිබුණි. මෙවැනි සිද්ධීන් ද බරපතළ සත්ත්ව හිංසනයන්ය. කුරුල්ලන් අල්ලා අත්තටු කපා කූඩු කිරීම, ගවයන් තිරික්කල් තරගවලට යෙදීම මේවාද බරපතළ සත්ත්ව හිංසනයන්ය.

විශේෂයෙන් මහමඟ හෝ නිවසක කූඩු නොකර සිටින සුනඛයකු කිසි විටෙකත් නොනවත්වා කෑ ගසන්නේ නැත. එහෙත් කූඩුකර ඇති සුනඛයා උදේ සිට රෑ වන තෙක්, රෑ සිට එළිවෙන තෙක් කූඩුවෙන් ඉවතට යාමට කෑගසයි. එසේ නම් කූඩු කිරීම නවත්වා නිදහසේ ඇතිකරන්නේ නම් මෙම තත්ත්වයෙන් ඔවුන් මුදාගෙන පරිසරයට සිදුවන, අවට වාසීන්ට සිදුවන හානිය ද නවත්වාගත හැකි වනු ඇත.

සටහන - විජයානි එදිරිසිංහ

අධ්‍යාපන කුමන්ත්‍රණය

$
0
0
ජන 8, 2019 01:00

පෞද්ගලික පාසලක දැරියක් අපොස උසස් පෙළ කලා අංශයෙන් උසස්ම ප්‍රතිඵල හිමි කරගෙන තිබීම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ තැති ගැන්මට හේතු වී තිබේ. ඔහු කියන්නේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇති බව ය. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමි වී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කර ඇත. පුංචි බොරැල්ල වජිරාරාරමයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,“අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරය උසස් පෙළ ප්‍රතිඵලත් සමග මේ රජය විසින් වයා තිබෙනවා. මේක විශාල කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය ඇති වූ දවසේ සිට පසුගිය උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉතාම යටින් ක්‍රියාත්මක වූ දැවැන්ත කුමන්ත්‍රණයක කූටප්‍රාප්තිය අපොස උසස්පෙළ ප්‍රතිඵල සමග ලැබී තිබෙනවා. ඒ ප්‍රතිඵලය රජයේ පාසල්වල පරිහානිය පෙන්නුම් කරන බවත් රජයේ පාසල් අභිබවා යන්නට පෞද්ගලික පාසල්වලට ඉඩකඩ සලසමින් රජය හිතාමතාම කුමන්ත්‍රණයක යෙදෙන හැටි ඉන් ප්‍රකටවනවා“ යනුවෙන් කියා ඇතැයි ද වාර්තා විය.

පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාගේ තැති ගැන්ම තනි පුද්ගලයකුගේ මනස් විකාරයක් ලෙස බැහැර කළ නොහැකි ය. එය අප රටේ සෑහෙන පිරිසකට ඇති වී තිබෙන තැති ගැන්මකි. ඡන්ද පදනමක් ඇති දේශපාලනඥයකු ඒ තැතිගැන්මට පියාපත් දුන්නා පමණි. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විකාරයක් ලෙස සලකා එය ඉවත නොදමා අප එය විමසිය යුත්තේ ඒ නිසා ය.

සහේතුක බිය

රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන් ද මීට සමාන තැති ගැන්මකින් ක්‍රියාකරනු මහපාරේ දෛනික දර්ශනයක් වන තරමට ම අපි පසුගිය සමයේ දුටුවෙමු. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටව යන තම සගයින් තමන්ට උරුම ස්ථානයන් උදුරා ගනු ඇතැයි යන බිය නිසාය.

ඔවුන් බිය වන්නේ පොදු විභාගයක දී තමන් තරමට දස්කම් දක්වා නැති (මෙය වඩාත් අදාළ විශ්වවිද්‍යාලවලට ය) තම සගයින් ගැන ය. එය එසේ වන්නේ ඇයි? අප සාමාන්‍යයෙන් බිය වන්නේ අපට වඩා දක්ෂ අය ගැන ය. එසේ තිබිය දී මේ බිය අහේතුක නොවන්නේ ද?

නැත. ඒ බිය සහේතුක ය. එකක් එසේ පිටවන අයට ඉංග්‍රීසි බස හසුරුවන්නට පුළුවන. අනිත් අතට ඔවුන් සල්ලි කාරයින්ගේ දරුවන් ය. බලපුළුවන්කාරයින්ගේ දරුවන් ය. ගම්බද පාසලක එහෙමත් නැතිනම් කොළඹ වුව තිබෙන නගරයක පාසලක ඉගෙන ගන්නා දරුවන්ට වඩා රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා බොහෝ ළමයින්ට වඩා ඔවුන් සමාජශීලි ය. අඩු වශයෙන් ඔවුන් ඒ තරමට කුළෑටි නැත. බිය නැත.

ඇත්තටම ඉගැන්වීමට වඩා මේ පාසල් අතර විශාලම වෙනස ඇත්තේ මේ සංස්කෘතියේ ය.

සාමාන්‍ය ජනතාවට ඒ ජනතාවගේ දරුවන්ට මෙය ඔරොත්තු නොදෙන තත්වයක් විය හැකි ය. ඒ නිසා බන්දුල ගුණවර්ධන මහතාගේ කතාව තේරුමක් නැති වුව ද එම ලේබලය අලවා ඉවතට දැමිය නොහැකි ය.

අප තේරුමක් නැති කතාවක් යැයි කියන්නේ මේ දස්කම දක්වා ඇත්තේ එක් අංශයක එක් සිසුවකු බැවින් එයින් මෙවැනි සාමාන්‍යකරණයක් කිරීම බන්දුල ගුණවර්ධන වැනි උගතකුට තරම් නොවන නිසා ය. එසේ තිබිය දී ද අපි ඔහුගේ කතාවට වැදගත්කමක් දෙන්නේ ඔහු එයින් තමන්ගේ ඡන්ද පදනමේ සිතැඟි හා භීතිකා ගැනත් ඔවුන්ගේ සැක සංකා ගැනත් ඒවාගේ පදනම කුමක් වුව ද පෙනී සිටින බව පෙනෙන නිසා ය.

මීට සමාන බියක් රාජ්‍ය බැංකු සේවකයන්ට පෞද්ගලික බැංකු ආගමනයට ඉඩ දුන් වකවානුවේ දැනුණු බව අපට මතක ය. ඔවුන් නිකම් සිටියේ නැත. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සටන් කරන ලෙස ම ඔවුහු ඊට එරෙහි ව සටන් වැදුනහ. එහෙත් පෞද්ගලික බැංකුවල ආගමනය සිදු විය. සම්පත් බැංකුව එහි සමාරම්භකයා ය. එය දොරට වැඩියේ රාජ්‍ය බැංකුවලට නොතිබුණු තාක්ෂණය ද දෝතට ගෙන ය. මුදල් ඕනෑම වෙලාවක බැංකුව ඇතුළට නොගොස් ගත හැකි ඩෙබිට් කාඩ් පත හා ඊට පහසුකම සැපයූ ඒ. ටී. ඇම් මැෂින් සමග ය.

එතැන් පටන් සිදු වුණේ බැංකු ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස් වීම් ය. වැඩි දියුණු වීම ය. රාජ්‍ය බැංකු ද තරගයට අවතීරණ වූයේ ය. මෙතෙක් එපා වාහෙට හොදි බෙදූ රාජ්‍ය බැංකු ඒකාධිකාරය ද ජනතාවට වඩා සමීප සේවාවක් සැපයීමට උත්සුක විය.

අදටත් නව්‍යකරණයේ මුල් පියවර තබන්නේ පෞද්ගලික අංශයේ බැංකු ය.

ප්‍රධාන දෙය තරගය ය. තරගයේ ජය ඝෝෂා නිදා සිටින අය ඇහැරවන සුළු ය. තමන්ටත් ජය පතා වෙහෙසෙන්නට තරගයට එතෙක් අවතීර්ණය නොවූ අයට ද ඉන් උත්තේජනයක් සැපයෙන්නේ ය.

අදටත් තරගයේ වඩාත් ඉදිරියෙන් සිටිය හැක්කේ රජයට ය. ඒ කිසිදු පෞද්ගලික ආයෝජකයකුට නැති ආර්ථික ශක්තියක් ඊට තිබෙන නිසා ය. ඒත් දෘඪ බව නිසා රාජ්‍ය ආයතන නව්‍යකරණය වන්නේ නැත. ඒ නිසා ම නව්‍යකරණයේ ධජය ගෙන යනු ඇත්තේ වඩා නම්‍යශීලී පෞද්ගලික අංශය විසින් ය. එහෙත් ඉක්මනින් එම නව්‍යකරණයන් කොපි කිරීමේ හැකියාව රජයට තවමත් තිබේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ආයතන තරගයට බිය විය යුතු නැත. ඇත්තට ම ඔවුන් තරගය සාධනීය සාධකයක් ලෙස බාර ගත යුතු ය.

පෞද්ගලික පාසල්වලට දැරිය නොහැකි ආයෝජනයක් කිරීමට රජයට හැකියාව තිබේ. රටේ බොහෝ දේ නියාමනය කිරීමේ හැකියාව ද ඊට තිබේ. ඒ සියල්ල තිබිය දී පෞද්ගලික පාසල් නම් කුරුමිට්ටාට රජයේ පාසල් නම් යෝධයා බිය වීම ම අරුමයකි.

මුණිදාස කුමාරතුංග ලියූ හීන් සැරය පොත කිය වූ අය කුඩා දෙයක ශක්තිය ගැන දනිති. අලියා මෙල්ල වූයේ කටුස්සා ඉදිරියේ ය. ඇතැම් විට රජයේ පාසල් නෙමැති අලියා පෞද්ගලික පාසල් නමැති කටුස්සාට බිය වුණා විය හැකි ය. එහෙත් ඒ කතාන්දරය ඉක්මවන ප්‍රායෝගික යථාර්ථයක් අප හමුවේ ඇත. එය නම් අලියාට රිංගිය නොහැකි කුඩා ගුල්වලින් රිංගා කටුස්සකු සොයා ගන්නා පාර ඔස්සේ එය වඩාත් එලිපෙහෙලි කර ගනිමින් දිනක අලියාට ද ගමන් කළ හැකි වීම ය.

රජයේ පාසලකට කළ නොහැකි අත්හදා බැලීමක් පෞද්ගලික පාසලකට කළ හැකි ය. එය සාර්ථක වන්නේ නම් රජයේ පාසල්වලට ද එය යොදා ගත හැකි ය. ඒ අර්ථයෙන් ද මේ තරගයට අමතර වටිනාකමක් තිබේ.

පුරුදු පාර හා අලුත් පාර

එහෙත් රටේ කරුමයට බොහෝ දෙනා කැමති පුරුදු පාරේ යන්නට ය. වෙන පාරවල් විවෘත වීම ම ඔවුනට අභියෝගයක් වන්නේ ය. තමන් දන්නා ශිල්පයෙන් පමණක් මේ අලුත් පාර ජය ගත හැකි ද යන්න ගැන ඔවුන්ට ඇත්තේ ප්‍රශ්නයකි. අමතර වෙහෙසක් දැරීමට කොහොමත් බර සාර අයට අමාරු ය. ඔවුන්ට හෙළවෙන්නට අමාරු නිසා ය. කටුස්සා පෙන්නූ අලුත් පාරේ ඒ විදිහට යන්නට අලියාට අමාරු ය. ඌට සිදුවන්නේ පාර තමන්ට යා හැකි මට්ටමට එළිපෙහෙලි කර ගැනීමට ය. දැනටමත් එළිපෙහෙලි කර ඇති පාරක් තිබිය දී නව පාරවල් එළිපෙහෙලි කර ගැනීමට වෙහෙසිය යුත්තේ ඇයි? යන ප්‍රශ්න පැන නගින්නේ ඒ නිසා ය.

පෞද්ගලික පාසල් සමඟ තරග කිරීමට ඉංග්‍රීසියට හුරු විය යුතු ය. නව තාක්ෂණයට හුරු විය යුතු ය. සිසු දරුවන්ට දැනුම පොවනු වෙනුවට ඔවුන් තුළ දැනුම සොයා යන කුතුහලයක් ඇති කළ යුතු ය. කීකරුව හීලෑ කරගෙන ගාල් කරගෙන සිටිනු වෙනුවට ඔවුන්ට නිදහස දීමට හිත හදා ගත යුතු ය. ප්‍රශ්න කිරීමට අවසර දිය යුතු ය. ක්‍රියාකාරිත්වයට රුකුල් දිය යුතු ය. බලය පැවරිය යුතු ය. නිදහස හා ඉඩ හසර දිය යුතු ය. ඒ සියල්ල අලුත් වැඩ ය.

පන්තියකට ගොස් දන්නා හැටියට පාඩමක් කියා දී අහගන ඉන්නා අයට අහගන්නටත් අනිත් අයට රහසින් රිසි දේ කරන්නටත් ඉඩ සැලසූ රජයේ ගුරුවරයකුට මේ වෙනස දරා ගැනීම අමාරු ය.

ඒ නිසා සිදු විය හැක්කේ සිසුන් හා මාපියන් ද ඉස්සර කරගෙන පෞද්ගලික පාසල්වලට එරෙහි විප්ලවය ගුරුවරන් විසින් ආරම්භ කිරීමට ය. බන්දුල ගුණවර්ධන යනු ළඟ එන ඒ පෙරහැරේ කස කාරයකු විතර ය.

අප කොහොමටත් තරගයට කැමති නැත. එය අපේ ලේවලම ලියැවී ඇති දෙයක් වන්නට ද පුළුවන. ගුණදාස කපුගේ සිය අපූරු හඬින් ගයන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන ගීය තුළ තියෙන්නේ තරගයට ඇති අපේ අකමැත්ත ය.

අප රජයෙන් අපේක්ෂා කරන්නේ මේ “අනවශ්‍ය“ තරගයෙන් අපව ගලවා ගැනීමය. අපට නිදහස දීමය. ඒ සඳහා මැදිහත් වීම ය. ඒ වෙනුවට රජය කරන්නේ නෑසු කන් ඇතිව නොපෙනෙන ඇස් ඇතිව ඉඳීම ය. ඔන්න අවසාන ප්‍රතිඵලය! කලාවේ දක්ෂම ශිෂ්‍යයා බිහිව ඇත්තේ පෞද්ගලික පාසලකිනි. දැන් තරගය තමන්ට දැනෙන එකක් නැතැයි සිතා නිදා සිටි අය ඇස් ඇර බලන වෙලාව ය. බන්දුල ගුණවර්ධන නම් දේශපාලනඥයා මෙසේ ජනතාවගේ හද ගැහෙන රාවය අඳුනාගෙන කරන මේ මැදිහත් වීම දෙස අප බැලිය යුත්තේ ඉහත කරුණු සිත් හි දරාගෙන ය.

තහංචි

මේ අනියමින් කියන්නේ තරගයෙන් දිනාගෙන එන අයගේ තටු දැම්මම කපා දමන ලෙස ය. ඉතිරි පදක්කම් ටිකත් උන් විසින් උදුරා ගැනීමට පෙර ක්‍රියාත්මක වන ලෙස ය. එසේ කිරීමට උනන්දුවක් ආණ්ඩුව තුළ නොතිබීම පිටුපස‍ නිදහස් අධ්‍යාපනය ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක, හෝඩුවාවක් ඇතැයි නොකියා කීම ය. ඒ තුළින් දේශපාලන වාසියක් ගැනීම ය. විපතට පත් අය වෙනුවෙන් පීඩාවට පත් වූ අය වෙනුවෙන් පෙනී සිටීම තුළ වාසියක් ගැනීම ය. උන්ගේ ඡන්දයට ඉව ඇල්ලීම ය.

රජයේ පාසල්වලට තම දරුවන් යැවීමට සිදු ව ඇති මාපියන් පෞද්ගලික පාසල්වල සිසුන් සමග තරගයේ දී තම දරුවන්ට විය හැකි අසාධාරණය ගැන සංවේදී වීම වැරදි නැත. එහෙත් කළ යුත්තේ පෞද්ගලික පාසල් රජයේ පාසල් තත්වයට පිරිහෙළීමට උද්ඝෝෂණය කිරිම නොවේ. ඒවා වසා දමන ලෙස උද්ඝෝෂණය කිරීම හෝ ඒවායේ පැවැත්මට ඉඩ දීම ගැන රජයට ඇගිල්ල දිගු කිරීම හෝ නොවේ. පුද්ගලික පාසල්වල සාධනීය ගුණ රජයේ පාසල් තුළ ද ඇති කිරීම ය.

ජපානය කළේ අමෙරිකාවට බැණ වදිමින් වෛරයෙන් පසු වීම නොව. ඔවුන්ගෙන් උගෙන ඔවුන්ට ද වඩා ඉහළින් අමෙරිකාව කළ කටයුතු කිරීමට කැප වීම ය. අමෙරිකාවට බැණ වදිමින් කාලය කා දමමින් සිටි චීනය ද අවසානයේ තෝරා ගත්තේ ඒ මග ය.

පෞද්ගලික මාධ්‍ය ආගමනය මාධ්‍ය ලෝකයේ පෙරළියක් ඇති කළේ ය. නව හඳුන්වාදීම් රැසක් ඒ අතර තිබුණේ ය. රාජ්‍ය මාධ්‍යවලට ද සිදු වුණේ ඒ එළිපෙහෙළි කර මග යන්නට ය. එහෙත් කොපි කිරීමේ දී අප පරිස්සම් විය යුතු බව මාධ්‍ය සම්බන්ධයෙන් සිදු වූ දේ දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ ය. රාජ්‍ය මාධ්‍යයකට සමාජ වගකීමක් තිබේ. කොපි කරනවා යැයි කියා ඒ වගකීමෙන් නිදහස් වීමට ඊට නොහැකි ය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ඔය එසේ ම වනවා ඇත. පෞද්ගලික පාසල්වල කටයුතු එකට එකක් කොපිකර ලෝකය ජය ගන්නට අපට නොහැකිය. ඒ පාසල් පද්ධතිය තුළ ඇති සාධනීය දේ මෙන්ම එම පද්ධතිය බිහිකිරිමේ දී සිදුව ඇති අඩුපාඩු ද විමසිය යුතු ය. ඒවා මග හැර මේ කොපි කිරීම කළ හැක්කේ කෙසේ දැයි නිර්මාණාත්මක ව සිතිය යුතු ය. දුප්පත් දරුවන් ද ඇතුළු සැමට අධ්‍යාපනය සැලසීමේ සමාජ වගකීම රජයේ පාසල්වලට අමතරව දැරීමට සිදු ඇති බව දැන ඒ වෙනස්කම් කළ යුතු ය.

කළ යුත්තේ කුමක් ද?

පුරෝගාමියකු මග හෙළි කළ විට ඒ මග යෑම සෙසු අයට පහසු ය. තමන්ට කලින් ගමනාන්තය කරා යෑමට කටයුතු කළේ යැයි දොස් පවරනු වෙනුවට අප කළ යුත්තේ මග පාදා දීම ගැන කෘතඥ වෙමින් ඒ මග යෑම ය. අප කලින් සඳහන් කළ පරිදි නිසි පරිස්සම ඇති ව නව මග ගමන් කිරීම ය. ;එහෙත් ලංකාවේ ඇතැම් කුහක මිනිසුන් කරන්නේ කලින් ගිය අය දෙස ඉරිසියාවෙන් බැලීම ය. වෛර කිරීම ය.

එළි පෙහෙලි කළ මගක යන කෙනකුට මග එළි කළ පුරෝගාමියාට මෙන් අතරමං වීම් සිදුවන්නේ නැත. එහෙත් මට කලින් එයා ගියා කියමින් දෙස් දෙවොල් තියන්නට ඉතිරි කාලය වැය කරන කෙනකුට ඒ මාර්ගයෙන් වැඩක් නැත. ඔහු කරනු ඇත්තේ පුළුවන් නම් තවත් කෙනකුට යන්න බැරි වන සේ අලුත් මග වසා දැමීම ය.

රජයේ පාසල් කියා තිබුණ ද ඒ පාසල් සියල්ල එක වගේ නැත. සමහරක් රාජකීය ය. ඇතැම් ඒවා ජනාධිපති පාසල් ය. තවත් ඒවා ජාතික ය. එහෙම වෙනසක් සහ ඒවාට ඇතුළත් වීමට අයුක්ති සහගත තරගයක් පවත්වා ගෙන යන ගමන් ඒ තරගය තුළ බලපුළුවන්කාරයන්ට ජය ගන්නට ක්‍රම සහ විධි සකස් කර තිබෙන ගමන් පෞද්ගලික පාසල් වහන්නට කියන්නට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අයුක්ති සහගත රාජ්‍ය පාසල් පද්ධතිය වෙනස් කිරීමට ආණ්ඩුවට බලපෑම් නොකරන කෙනකුට ද ඒ අයිතිය නැත.

ඒ නිසා ම පෞද්ගලික පාසල්වලට ඇඟිල්ල දිගු කරන කවරකුට වුව ද ඒ පාසල් ඇති කිරීමට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් නොකර ඒවාට විරුද්ධ විය නොහැකි ය.

තාක්ෂණය දියුණුවන වේගය අනුව තවදුරටත් අධ්‍යාපන ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට ආණ්ඩුවට නොව පෞද්ගලික පාසල් පද්ධතියට ද නොහැකි වනු ඇත. ඩේටාවලට වියදම් කළ හැකි නම්, ඉංග්‍රීසි දැනුම තිබේ නම්, වෙනත් වියදමකින් තොරව ඉගෙන ගැනීමේ ඉඩ, අන්තර්ජාලය විසින් සපුරා ඇති පරිසරයක අද අප ජීවත් වන නිසා ම මේ සියල්ල දෙස වෙනත් ආකාරයකින් බලන්නට අපට නුදුරේ හැකි වනු ඇත. එතෙක් අධ්‍යාපනය, මේ තියෙන අවුල් ජාලයෙන්, බේරා ගැනීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ යුතු ය. දැලි පිහිය අසුවුණු වඳුරා මෙන් අනුන් කප්පාදු කිරීමට දස අතේ වනමින් තිබෙන පිහිය වෙනුවට තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට වෙනත් නිර්මාණාත්මක උපකරණ කට්ටලයක පිහිට පැතිය යුතු ය.

පෞද්ගලික පාසල, නිදහස් අධ්‍යාපනය වළලන්නට ආ භූතයකු නොව, අප වැටී සිටින නින්දෙන් නැගිටුවන්නට පැමිණි තරගකරුවකු ලෙස සැලකිය යුතු ය. ඒ පද්ධතිය සමග හැගීම් වලින් ප්‍රලය නොවූ බුද්ධිමය ගනුදෙනුවකට යෑමට අප හිත හදා ගත යුතු ය.

ත්‍රිපිටකය ජාතික උරුමයක් වීමේ අවශ්‍යතාව

$
0
0
ජන 8, 2019 01:00
අධ්‍යාපනපති ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමි
හස්ථිශෛලපුර ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය

2500 සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලය මඟින් සංස්කරණය කර, ශ්‍රී ලංකා ජනරජය මඟින් එළිදක්වා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රි ලාංකේය ශාසන වංශ කථාව ගැන සිහිපත් කරන විට අපේ මතකයට නැ‍ඟෙන්නේ, භාරතයේ විසූ ප්‍රතාපවත් ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයකු වන ධර්මාශෝක රජ දවස කළ තෙවැනි ධර්ම සංගායනාව සහ තදනුබද්ධව භාරතයේ මගධ දේශයෙන් බැහැර ප්‍රදේශවලට බුදුරදුන්ගේ පිවිතුරු ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ධර්ම දූතයන් වහන්සේලා පිටත් කර හැරීමේ සුවිශේෂී වැඩපිළිවෙළ ය. ඒ නිසා ම, මහා මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රධාන කිහිප නමක් ශ්‍රි ලංකාවට වැඩම ‍කෙරිණි. අපේ වංශ කථාවක දැක්වෙනුයේ, දෙවැනිපෑතිස් රජුට එම දූත පිරිස මිහින්තලා වනයේ දී මුණගැසුණු බව එසේ සිදුවන සිංහලද්වීපයේ බුදුසමයේ සහ බුදු සසුනේ ආරම්භය, ක්‍රමයෙන් මෙරටෙහි රජදරුවන් පැවිදි වී, ධර්මය ප්‍රගුණ කර, මුල්බැසගත් භික්‍ෂු ශාසනයක් බවටත්, නරපතියන් පිළිගත් ශ්‍රේෂ්ඨ ධර්මයක් බවටත් පත් විය. පසුව, අනෙකුත් රාජ්‍ය පාලකයන් ද, සාමාන්‍ය ජනතාව ද පිළිගත්, මෙරටෙහි මුල් බැසගත් දර්ශනයක් සහ ආගමක් බවට, එය වැඩිකල් නොගොස්ම පත්ව තිබේ.

ආගමික අනන්‍යතාව

ඒ සියල්ලෙහිම විශිෂ්ට ප්‍රතිඵලයක් ලෙස, එදා සිංහලද්වීපය නම් වූ මේ ර‍ටේ, සුචරිතවත් මිනිසුන් වාසය කළ නිසාවෙන්, ධර්මද්වීපයක් බවට ප්‍රසිද්ධියට පත් විය. එමෙන් ම, බුදුදහම කේන්ද්‍ර කරගත් ආර්ථිකමය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වීම නිසාවෙන්, විදෙස් රටවලට පවා බෙහෙවින් සහල් අපනයන කර, පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත් විය. එ‍සේ ම, ථෙරවාදී බුදුසමය පිළිගත් ලොව ප්‍රකට බෞද්ධ සංස්කෘතියක් හිමි සුවි‍ශේෂී රටක් ‍ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ලෙසින් ලොව ප්‍රකට වී ඇති මෙරටෙහි පවතින බුදුසමයත්, බුදු සසුනත්, බෞද්ධ සංස්කෘතියත්, ඒ හා බැඳුණු ජාතිකත්වය සහ ආගමිකභාවයත්, ආර්ථික සහ අධ්‍යාපනික රටාවත් යන සියල්ලම, බෞද්ධ දර්ශනය සහ එයින් සැකසුණු බෞද්ධාගමික ක්‍රියාකාරකම් මුල් කරගෙන ම ගොඩනැ‍ඟී ඇති බව නොරහසකි.

මේ සියල්ලටම මූලාධාර වූයේ, නැත්නම් ප්‍රධාන හේතු සාධකය වූයේ, පාලි භාෂා විෂයික ථේරවාදී බුදු දහම මේ රටෙහි මුල්බැස ගැනීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ නිසා ම, මේ රටේ ජාතික සහ ආගමික අනන්‍යතාව සුරක්‍ෂිත කර ගැනීමට, පාලි ත්‍රිපිටකය සහ තදාශ්‍රීත ධර්මය සංරක්‍ෂණය කර ගැනීමේ වි‍ශේෂ අවශ්‍යතාවක්, එදා සිටම පැණ නැගුණි. ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බලපෑ වි‍ශේෂ හේතු සාධක ද බොහෝ ය. බුදු දහමත්, බුදු සසුනත් වෙසෙසින් පාලි ත්‍රිපිටක ධර්මයත්, මේ රටේ සුරක්‍ෂිත කර ගැනීමට වෙසෙසින් අවශ්‍ය වුයේ, ඒවායෙහි බිඳවැටීමකට බලපෑ යම් යම් හේතු සාධක ය. ඒ අතර

ඒ ඒ වකාවානුවල, සිංහලද්වීපය තුළ යුදමය වාතාවරණ පැවතීම, වි‍ශේෂ‍යෙන් සූරතිස්ස රජුගෙන් පසු කාලය, වළගම්බා රජුගේ කාලය, මිත්‍රසේන රජුගේ කාලය, 5 වැනි මිහිඳු රජුගෙන් පසු කාලය, පළමු වැනි විජයබා රජුගෙන් පසු කාලය, එළාර රජුගේ රාජ්‍ය කාලය, පළමු වැනි පරාක්‍රමබාහු රජ දවස දැක්විය හැකි ය. එසේම බැමිනිතියාසාය, එක්නැළි සාය වැනි ආහාර පාන දැඩි සේ හිඟ වීමෙන් ‍ගෙවී ගිය මහත් දුෂ්කර කාලපරිච්ඡේද පැවතීම, එළාර, චෝල, පාණ්ඩ්‍ය වැනි විදේශීය රටවලින් සහ විදේශීය පාලකයන්ගෙන් වරින්වර එල්ල වුණු ආක්‍රමණ, වෛතුල්‍යවාද, අභයගිරි සම්ප්‍රදාය, සාගලික සම්ප්‍රදාය වැනි මහාවිහාර සම්ප්‍රදායට අනුගත නොවන වෙනත් බෞද්ධ සම්ප්‍රදායවල බලපෑම් ව්‍යාප්ත වීම , රාජධානි වරින්වර වෙනස් වීම, වසර දහසකට අධික කාලයක් පැවැති අනුරපුර රාජධානියෙන් පසුව, ලංකාවේ විවිධ ප්‍රදේශවල, ඊට වඩා කෙටිකාලීන රාජධානි ඇතිවීම, රට තුළ බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිකාංග ප්‍රවර්ධනයට සහාය නොදුන් ලජ්ජිතිස්ස, චෝල නාග සහ මහාවිහාර වැනසීමට උත්සුක වූ මහසෙන් ආදීන්, පාලකයන් බවට පත්ව සිටීම, පාලන අධිකාරියේ රජවරුන්ගේ සහ රැජණියන්ගේ, රාජමහේෂිකාවන්ගේ, නිරතුරු වෙනස්කම් සහ කෙටිකාලීන පාලන ක්‍රම පැවතීම, වි‍ශේෂ‍යෙන්, අනුලා, ලිලාවතී, සෝමාවතී, කල්‍යානවතී ආදි රැජණන්ගේ කෙටි කාලීන සහ දුර්වල පාලන ක්‍රම සඳහන් කළ හැකි ය. එසේ ම සමහර රජවරුන් පාලි ත්‍රිපිටකාගත බුදුසමය සහ බෞද්ධ සංස්කෘතිකාංගවලට වඩා, වෙනත් බෞද්ධ සම්ප්‍රදාය පිළිගෙන කටයුතු කිරීම වැනි පෙරදි සඳහන් කළ විවිධ සම්ප්‍රදායන්ට අනුගත වූ මහසෙන්, එළාර ආදී රජවරුන්ගේ කාල දැක්විය හැකිය.

ඉතිහාසගත තොරතුරු

හින්දු ආගමික රජවරු, වෙසෙසින්ම මහනුවර යුගයේ සිටි නායක්කර් වංශික බොහෝ රජවරුන් සහ දුසිරිතට යොමූ වූ ශ්‍රි වික්‍රමරාජසිංහ ආදී රජවරු සිහසුන් දැරීම., පසු කාලයේ දී යුරෝපීයයන්ගේ ආගමනය සහ ඉංග්‍රීසින් මෙරට යටත් කර ගැනීම නිසා, ඒ ඒ ජාතීන් බලහත්කාරයෙන් සහ හිංසාකාරී ලෙස ක්‍රිස්තියානි, කතෝලික ආගමික ව්‍යාප්තියක් ඇති කිරීම ද මීට හේතු වූ කරුණු අතර වේ.

තේපිටකාගත බුදුසමය හරය කරගෙන ගොඩනැගුණු ‍මේ විශිෂ්ට දහම සහ තදානුසාරී සංස්කෘතියට හානිකර වූ එම කරුණු සහ තත්ත්ව කොතෙකුත් තිබු‍ණත්, ඒ ඒ යුගවල සිටි ජනතාව ද, රාජ්‍ය පාලකයන් ද, වෙසෙසින්ම යතිවරයන් වහන්සේලා ද ඒකරාශි වී, ඒවා වළක්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේ.

ත්‍රිපිටකය ද, තදනුබද්ධ ඉගැන්වීම් ද, සංරක්‍ෂණය සහ පෝෂණය සඳහා සුවිශාල කාර්ය සමුදායක් සිදු වූ බව සහ සිදු කළ බව ඉතිහාසගත තොරතුරු මගින් වටහාගත හැකිව තිබේ. එසේ ඇති කරන ලද වැඩපිළිවෙළ, වර්තමානය වන විට ද බෙහෙවින් ක්‍රියාත්මක වේ. රජය ද, මහ ජනතාව ද, මහා සංඝ රත්නය ද, ඒවා සංරක්‍ෂණය කර පවත්වා ගෙන යෑමට උත්සුක වී කටයුතු කරන අයුරු දැකිය හැකි ය. ඒ සියලූ කාර්ය එසේ සිදු වුව ද, මෙරටෙහි මෙතෙක් පැවැති බෞද්ධාගමික සම්ප්‍රදායික කාර්ය සමුදායට එරෙහිව සහ එබඳු තත්ත්වවලට කිසිසේත් නොගැළපෙන, එහෙත් බෞද්ධාගමික ස්වරූපයෙන් ම යම් යම් කාර්ය සිදු කිරීමට, වර්තමානය වනවිට ගිහි පැවිදි බොහෝ දෙනා කටයුතු කරනු පෙනේ.

බෞද්ධ සංස්කෘතිකාංග

පෙර රජ දවස මහාවිහාරිය සම්ප්‍රදායට එරෙහිව සහ විරුද්ධව බෞද්ධාගමික ස්වරූපයෙන් යම් යම් සම්ප්‍රදාය ගොඩනගා ගෙන ක්‍රියාත්මක වු ආකාරයෙන්, වර්තමානයේ ද එවැනි දෑ සිදුවන අයුරු පෙනෙන්නට තිබේ. ගසක කඳේ ඇතිවන පණුවා, එම ගසේ කොළ ද, අතු ද කා දමා ගසම විනාශ කරන්නාක් මෙන්, ඒවා ඉතා සූක්‍ෂ්මව, රහසිගතව, උපක්‍රමශීලීව ගොඩනගා ගනිමින්, ශ්‍රි ලාංකේය සමාජය ක්‍රමයෙන් වර්තමානය දක්වා ඉදිරියට රැගෙනවිත් ඇත. මේ නිසා, පාලි ත්‍රිපිටකය සහ තදාශ්‍රිත අටුවා ටීකා ආදියෙන් ඉදිරිපත් කළ ඉගැන්වීම් ද විකෘති කොට දක්වමින් සහ මෙතෙක් මෙරටෙහි පැවතගෙන ආ බෞද්ධ සංස්කෘතිකාංග ද විකෘති කරමින් බරපතළ ධර්ම විනය සහ සංස්කෘතික විනාශයක් කිරීමට පිරිසක් උත්සාහ දරනු පෙනේ. ඒවායින් කීපයක් මෙසේ ය.

1. සම්ප්‍රදායිකව පිළිගෙන ආ අටුවා සහ පෙළ දහමට අනුගත සූත්‍රපිටකාගත ඉගැන්වීම් විකෘති කරමින් ඉදිරිපත් කිරීම.

2. සම්ප්‍රදායිකව පිළිගෙන ආ සහ පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇති බුදු සිරිතට අදාළ ස්ථාන වෙනස් කරමින් සහ විකෘති කරමින් ඉදිරිපත් කිරීම.

3. සම්ප්‍රදායිකව මෙතෙක් කලක් තේපිටකාගත ඉගැන්වීම්වලට අනුගතව සහ ධර්ම ගෞරවය ද ඇතිව සිදුකර ගෙන ආ දහම් දෙසුම් ක්‍රම වෙනුවට, විනෝදකාමී සහ විකෘතිමය ස්වරූපයෙන් දහම් දෙසන ක්‍රම ඇතිකරලීම.

4. භික්‍ෂුන් වහන්සේලා විසින් සහ ගිහි බෞද්ධ ජනතාව විසින් මෙතෙක් කලක් පෙළ දහමට අනුගතව සහ දිගු ඉතිහාසයක සිට ලංකාවේ පවත්වා ගෙන ආ විහාරස්ථාන ඉදිකිරීම් ක්‍රම සහ විහාරස්ථාන නාම භාවිතයන් වෙනස් කිරීම.

5. මෙතෙක් කලක් විහාරස්ථානවල ගොඩනැගුණු බුද්ධ ප්‍රතිමා සහ භික්‍ෂු ප්‍රතිමා ක්‍රමයට වෙනස්ව තම තමාට සිතැඟි පරිදි ප්‍රතිමා කලාවක් ගොඩනැගීමට උත්සුක වීම.

6. ක්‍රමයෙන් යථොක්ත පරිදි විකෘති කළ ධර්මය සහ ධර්ම සංකල්පනා ආශ්‍රිත වූ ග්‍රන්ථ රචනා කර, ප්‍රචාරය කරමින් මහජනතාව නොමග යැවීම.

7. වර්තමානයේ දක්නට ලැබෙන විවිධ විද්‍යුත් මාධ්‍ය උපයෝගි කර ගනිමින්, විකෘති කළ ධර්මය සහ විකෘති කළ බුද්ධ චරිතයක් ප්‍රචාරය කිරීම.

8. තේපිටකාගත ධර්ම විනයට අනුගත නොවන පරිදි විකෘතිමය ස්වරූපයෙන් පැවිදි උපසම්පදා ආදිය සිදු කිරීම් සහ විනයට අනුගත නොවන ලෙස භික්‍ෂු චර්යා පවත්වාගෙන යාම.

9. තේපිටකාගත සම්ප්‍රදායික ක්‍රමයන්ට එරෙහිව එසේ ක්‍රියාකරන පැවිදි පිරිසකට, ඒ ඒ නිකාය සහ පාර්ශ්ව හෝ මූලස්ථාන මගින් දෙනු ලබන අවවාද නොතකා කටයුතු කිරීම සහ ඔවුන්ගේ පැවිදි උපසම්පදා ලේඛන අවලංගු කළ ද, පැවිදි වෙසින්ම සිටිමින්, මහජනතාව නොමග යැවීම.

10. විකෘති කොට ඉදිරිපත් කරන ධර්ම විනයට සහ ශාසනික කාර්යයන්ට අනුබල දෙන ආයතන ද, ගිහි පිරිසක් ද ගොඩනැගීම.

11. එසේ පිරිස් බලය ගොඩ නගමින්ම නොයෙකුත් ක්‍රම මඟින් ධනය සූක්‍ෂ්ම ලෙස උපයා ගනිමින්, ඒවාට ඇවැසි පහසුකම් සැකසීම.

මේ සියල්ල වර්තමානය වන විට පාලි තේපිටකාගත ඉගැන්වීම්වලට සහ සම්ප්‍රදායික ශාසන ධර්මවලට මහත් ගැටලූකාරි ඒවා බවටම පත්වී ඇත. හෙළ රජ දවස මෙන් වර්තමානයේ ද විවිධ ස්වරූපයෙන් සහ නූතන සන්නිවේදන සහ තාක්‍ෂණික ක්‍රමවලට ද අනුගත වෙමින් එළිබැස ඇති මේ සියල්ලම, මහත් අභියෝග ලෙස හඳුනා ගත යුතුව ඇත. එබැවින්, ශාසනික සම්ප්‍රදායික චාරිත්‍ර සහ විධික්‍රම ද, තේපිටක ධර්ම සංරක්‍ෂණ ක්‍රම ද උපයෝගි කරගෙන, ත්‍රිපිටකය සහ තත් ඉගැන්වීම් තව දුරටත් අනාගත පරපුරට සංරක්‍ෂණය කර දායාද කිරීම සඳහා, පාලි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරලීමේ අවශ්‍යතාව වර්තමානය වන විට බෙහෙවින් පැන නැ‍ඟී තිබේ.

ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

වසර ගණනාවක සිට මේ ගැටලූකාරී තත්ත්ව, මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන ත්‍රෛ නිකායික මහා සංඝරත්නය ද, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය ඇතුළු සියලූ ගිහි පැවිදි බොහෝ සංවිධාන ද, බෞද්ධ උපදේශක සභා ද වෙසෙසින් පෙන්වා දීම නිසා, බුදු සසුන් ලැදි ධර්ම විනය සුරක්‍ෂිත කර ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගත් ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්, ශ්‍රි ලංකා ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛස්ථානය ද වෙසෙසින්ම සැලකිල්ලට ගෙන, උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලස්වා ඇත.

පෙර රජ දවස මාතලේ අලූවිහාරයේ දී ඓතිහාසික වශයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ එම සුවිශේෂි අවස්ථාව නැවතත් සිහිපත් කර දෙමින්, පසුගිය 05 වැනිදා මාතලේ අලූවිහාරයේ දී ම මේ ජාතික මහෝත්සවය පැවැත්වීම, ශ්‍රී ලාංකේය ඉතිහාසයට එක්වන අතිශයින් වැදගත්ම සිදුවීමකි. එසේ ජාතික උරුමයක් බවට පත් කළේ, 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලක් රජය මඟින් විද්වත් මහායතීන්‍ද්‍රයන් වහන්සේලා අතරින් තෝරා ගත් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය, මහත් වෙහෙසක් දරා, ගෞරවයෙන් යුතුව සම්පාදනය කර, ලක් රජය මඟින් ම එළිදැක්වූ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව බව, වෙසෙසින් සිහිපත් කළ යුතු ය. ඒ සඳහා පාදක වූයේ, ග්‍රන්ථාරුඪ කර, මෙතෙක් කලක් ඉතිහාසයේ රැකගෙන ආ ත්‍රිපිටක ග්‍රන්ථ සමුහය බව ද අප අමතක නොකළ යුතුව ඇත.

තිරසර දැක්මේ හරිත නගරය

$
0
0
ජන 9, 2019 01:00
වසන්ත ප්‍රිය රාමනායක

ලග්ගල නව නගරය ඒ හා සමාන අනෙක් නගරවලට සාපේක්ෂව අංගසම්පූර්ණ දැවැන්ත නගරයකි. මහා විද්‍යාල, කනිටු විද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙළෙඳ සංකීර්ණ, මහජන පොළ, නව රෝහල, පොදු ක්‍රීඩාංගණ, බස් නැවතුම් පොළක්, තැපැල් කාර්යාලයක් හා බැංකු ආදී වශයෙන් නගරයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් ලග්ගල සමන්විතය.

අපේ ඉතිහාසයේ යුග සීමා ඉක්මවූ සොබා දහමේ නිමැවුම්ද, මිනිස් ශ්‍රමය මුසුවූ නිමැවුම් ද අතර මහවැලි ගංගාව කැපී පෙනේ. එය ඉන්දියාවේ ගංගා නදී මෙන්ම ශුද්ධ ජලයෙන් යුක්ත වූ පූජනීය ගංගාවක් ලෙස මෑත යුගයේ පවා ගැමියන් විශ්වාස කළ බැව් පෙනේ.

දිවයිනේ භූමිභාගයෙන් හයෙන් එකක පමණ ප්‍රදේශයකින් යුත් මහවැලි ගංගා මණ්ඩලය විශාලත්වයෙන් ශ්‍රී ලංකාව පුරා ව.කි.මීටර් 10,448ක් (ව.සැ. 4034) වඩා වැඩි ප්‍රදේශයක පැතිර ඇත. ශ්‍රී ලංකාවේ එක් ගංගාවක් ආශ්‍රිත වැඩිම පෝෂක ප්‍රදේශය අයත් වන්නේද මහවැලි ගංගාවටය. මහවැලි මහ සැලැස්ම නිමවූ විට එහි දියවර පැතිරෙන දිස්ත්‍රික්ක අතර අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක මෙන්ම වව්නියාව, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්ක ද අයත් වෙනු ඇත.

මේ වනවිට පුරා වසර 40ක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති මහවැලි මහ යෝජනා ක්‍රමයේ අවසන් ව්‍යාපෘතිය ලෙසින් සැලකුණේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයයි. එහෙත් පසුගිය සමයේ නොසලකා හරින ලද්දේද මෙම ව්‍යාපෘතියම බව පෙනේ. එසේම බොහෝ අය සිතාගෙන සිටියේ ද මධ්‍ය කඳුකරය ආශ්‍රිත මහ වේලි නිමවීමත් සමග මහවැලි ව්‍යාපාරයේ වැඩ කටයුතු අවසන් වී ඇති ලෙසිනි. එදා කඩිනම් මහවැලිය ලෙසින් හැඳින්වූයේ ද මේ වේලි පහ ආශ්‍රිත සංවර්ධනයයි. රජරට සිට උතුර දක්වාද, නැගෙනහිරින් ත්‍රිකුණාමලය මඩකලපුව දක්වාද, දැවැන්ත කෘෂි ප්‍රදේශ ජලයෙන් තෙත් කරනු ලැබීමට නියමිතව පැවතියේ මහවැලියේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම තුළිනි. එහෙත් විදුලියට ප්‍රමුඛත්වය දෙමින් ඇරඹි කඩිනම් මහවැලිය ගොවිතැනට හා බීමට ජලය පිළිබඳ කාරණය දෙවැනි තැන ලා තිබුණි.

රජරට ගොවිතැන

රජරට ජනතාවට ගොවිතැනට හා බීමට ජලය ලැබෙන මහවැලි මහ සැලැස්මේ අවසන් යෝජනා ක්‍රමය ලෙසින් සැලකෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සැලසුම් අදියරෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට පටන්ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙනි. එතුමා පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙසින් පාර්ලිමේන්තුවට පත්වූ දා සිටම මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය ඇරඹීම සම්බන්ධයෙන් නැඟූ හඬ ක්‍රියාවට නැගෙන්නේ 2005 පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේය. අවසනේ එහි සක්‍රීය ක්‍රියාකාරිත්වය ඇරඹෙන්නේ 2015 ජනවාරි 8 වැනිදායින් පසු මෛත්‍රී යුගයේදීය. එදා මෙදාතුර මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයේ මූලික වේලිවල කාර්යයන් අවසන් කිරීමට මෙන්ම මෛත්‍රී දුටු සිහිනය ප්‍රායෝගිකව නිම කිරීමට වසර 4ක කාලයක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් වත්මන් රජයට හැකිවීම රටේ සංවර්ධනය පැත්තෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි. එසේම රටේ කෘෂි ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි.

මෙය දැවැන්ත පියවරක් වන්නේ උතුර, රජරට හා වයඹ උතුර කලාපවල වියළි කර්කශක බව හා එම ප්‍රද්ශවල ජීවත්වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ප්‍රබල බලපෑමක් කිරීමට ‍මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සමත්වීම නිසාය. මෙහි ඇළ මාර්ග නිමවී යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2023 දීය.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මගින් රඳවාගනු ලබන අක්කර අඩි 660,000 පමණ වන ජල ධාරිතාවෙන් 90%ක්ම වෙන්වන්නේ රජරට, උතුර නැගෙනහිර හා වයඹ උතුර ජනතාවගේ කෘෂි හා පානිය ජල අවශ්‍යතා වෙනුවෙනි. මෙය මහවැලි මහ සැලැස්මේ අනෙක් ව්‍යාපෘතිවල දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මෙමඟින් පෝෂණය වන ලොකු හා කුඩා වැව් ගණන 1601කි.

මේ සා විශාල දැවැන්ත යෝජනා ක්‍රමයක් මේ මහ පොළොවේ ස්ථාපිත කිරීමට යම් සුවිශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ යුතුය. එසේම රට වෙනුවෙන් එසේ ජලයෙන් යටවන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට යම් කැපකිරීමක් කිරීමට සිදුවේ. වැඩිවශයෙන්ම එම කැප කිරීම කිරීමට සිදුවූයේ පැරණි ලග්ගල නගරය ආශ්‍රිතව එම නගරයෙන් සේවා පහසුකම් බුක්ති විඳින ජනතාවටය. ඊට හේතුව කළුගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ ඉදිවීමයි. එහි දිග මීටර් 618කි. උස මීටර් 68කි. මේ නිසා ලග්ගල නගරය සම්පූර්ණයෙන්ම වාගේ ජලාශයට යටවන හෙයින් නව නගරයක් ඉදිකිරීමට සිදුවිය.

මේනිසා ඉවත් කරනු ලැබූ පවුල් 3000ක් කළුගඟ පහළ නිම්නයේ පදිංචි කිරීමට සිදුවිය. ඒ සමඟම අංගසම්පූර්ණ නව නගරයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයට අයත් ප්‍රධාන කාර්යයක් වී තිබුණි. විවෘත කිරීම් සියයකට අධික ප්‍රමාණයක් සමගින් ඊයේ (2019 ජනවාරි 8) දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වූයේ එම නව ලග්ගල නගරයයි. නැතිනම් මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය දැයට තිළිණ කරනු ලබන නව නගරයයි. ඊට අදාළ විවිධ විවෘත කිරීම් ඊයේ දිනයේම මැති ඇමතිවරුන් අතින් සිදු විය.

ජනපති පදවිප්‍රාප්තිය

ජනාධිපති පදවිප්‍රාප්තියට සිව් වසරක් සපිරෙන දින රටේ ප්‍රධාන නගරයක් විවෘත කිරීමට ලැබීම ද සුවිශේෂ සිදුවීමකි. මෙය මෛත්‍රීපාල සිරිසේන දැක්මට අදාළ තිරසර සංවර්ධන කතිකාවතේ හරිත නගරයක් වීම තවත් විශේෂත්වයකි.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සඳහා අත්පත් කරගත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4148කි. මින් පෞද්ගලික ඉඩම් හෙක්ටයාර් 631ක් අයත් වේ. ජලාශ දෙකට යටවන ග්‍රාම නිලධාරි වසම් 23ට අයත් නිවාස ගණන 3500කි. නිවසක් අහිමි වන එක් පවුල් ඒකකයක් සඳහා ගොඩ ඉඩම් අක්කර 1/2ක් හා මඩ ඉඩම් අක්කර 1 1/2ක් ලබා දී තිබේ.

හෙක්ටයාර් 75ක වපසරියකින් යුත් නවීනතම පහසුකම්වලින් හෙබි ලග්ගල නව නගරය ඉදිවන්නේ ජලාශයට යටවන පැරණි නගරය හා ඒ ආශ්‍රිතව ජීවත්වූ පවුල් 3000ක් වෙනුවෙනි. නගරය උදෙසා පමණක් කරනු ලබන සමස්ත ආයෝජනය රු. මිලියන 4500කි. මෙහි රාජ්‍ය ආයතන සඳහා පමණක් ගොඩනැගිලි 112ක් ඉදිකර තිබෙන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රු. මිලියන 2043කි.

ලග්ගල නව නගරය ඒ හා සමාන අනෙක් නගරවලට සාපේක්ෂව අංගසම්පූර්ණ දැවැන්ත නගරයකි. මහා විද්‍යාල, කනිටු විද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙළෙඳ සංකීර්ණ, මහජන පොළ, නව රෝහල, පොදු ක්‍රීඩාංගණ, බස් නැවතුම් පොළක්, තැපැල් කාර්යාලයක් හා බැංකු ආදී වශයෙන් නගරයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් ලග්ගල සමන්විතය.

පැරණි නගරයේ සිට මාතලේ නගරයට ගමන් කිරීමට මෙතෙක් ගතවූ කාලය පැය 4 1/2කි. එසේම දඹුල්ලට පැය 4කි. නව ලග්ගල නගරය එම ගමන් කාලය පැය 1 1/2කට සීමාකර ඇත. එමෙන්ම දඹුල්ල වාණිජ නගරයට පැයකින් ළඟා විය හැකි අයුරින් නව මාර්ග පද්ධතියකින් නව ලග්ගල නගරය සමන්විත වේ. දඹුල්ල, මාතලේ, මොරගහකන්ද, වස්ගමුව, ගිරාඳුරුකෝට්ටේ සිට මහියංගණය දක්වා පහසුවෙන් ළඟාවිය හැකි මාර්ග පද්ධතියක් මගින් ලග්ගල නව නගරය දිවයිනේ අනෙක් ප්‍රදේශ සමග කෙටි කාලයකින් සම්බන්ධ වීමට නියමිතය. මේ අනුව මොරගකන්ද කළුගඟ ව්‍යාපාරය නිසා සිය වාසස්ථාන සමඟින් පැරණි නගරය අහිමිවන ලග්ගල ජනතාවට ඊට වඩා පන්සිය ගුණයකින් යුත් නව නගරයක් දායාද කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් වත්මන් රජයට හැකිවී තිබේ. මෙහි ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විටින් විට පෞද්ගලිකවම මැදිහත්වීම නිසා ජනතාවගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නව නගරය සැලසුම් කිරීමට හැකිවීම එම ජනයා ලැබූ භාග්‍යයකි.

වන්දි මුදල්

එසේම ලග්ගල පැරණි නගරය ඇතුළුව ඉඩම් අහිමි වූ ජනතාවට මේ රටේ වැඩිම තක්සේරුවක් සහිතව වන්දි මුදල් ලබාගැනීමට ද හැකිවී තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රු. කෝටි 1100කි. නව ගම්බිම්වල පදිංචිවන ජනයාට එහි වගාදිගා කරමින් යමක් උපයාගන්නා තුරු නව නගරය අවට පදිංචි වූ පවුල්වලට ආධාර කිරීමට ද මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සමත්වී තිබේ. රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් සිය ගම්බිම් පරිත්‍යග කිරීමට කැපවූ ජනතාවට කිසිදු අඩුවක් නොවන අයුරින් පමණක් නොව සිය දිවියේ ඉතිරි කොටස ගෙවීගිය කාලයට වඩා වාසනාවන්ත අයුරින් ගෙවා දැමීමට හැකි පසුබිමක් සැකසී තිබීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි. එය ජනයා ඉවත් කරනු ලබන ඉදිරි සංවර්ධන ව්‍යාපෘතිවලට ද ආදර්ශයකි.

නගරයේ එකතුවන කැළිකසළ මඟින් කාබනික පොහොර හා ජීවවායු නිපදවීමට අවැසි තාක්ෂණික සහාය පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ලබාදී ඇති පසුබිමක විදුලිය නිපදවීම සඳහා සූර්ය බලශක්තිය උපයෝගී කරගැනීමේ වැඩපිළිවෙළක් ද ලග්ගල නව නගරය ඇසුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද දැනගැනීමට තිබේ.

මේ අනුව මෙවර ජනපති පදවි ප්‍රාප්තියේ සිව්වැනි වසර සැමරෙන්නේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මඟින් බිහිවන හරිත නගරයක් නිර්මාණය කරමිනි. එය 2015 ජනවාරි 8 පෙරළියෙන් බලාපොරොත්තු වූ තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමකි.


අලුත් ව්‍යවස්ථාවේ අනාගතය

$
0
0
ජන 9, 2019 01:00
අසේල කුරුළුවංශ

සියලු සිංහලයන් සිංහලුන් නොවන්නා සේම, සියලු දෙමළුන් දෙමළද නොවන බව මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතා වරක් ප්‍රකාශ කළේය. එය සත්‍යයකි. අද සියලු ජාතීහු එකිනෙකට මිශ්‍රව සිටිති. සියලු ජන කොටස්වලට තමන්ගේය කියා දැනෙන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම අපේ වගකීමය. එක් ජන කොටසක් අමතක කර හෝ ඔවුන්ට අසාධාරණයක් කරමින් ව්‍යවස්ථාවක් සකස් කිරීම පවතින ප්‍රශ්න තවත් උග්‍ර වීමට හේතුවනු ඇත. දේශපාලනඥයන්ට අවශ්‍යව තිබෙන්නේ රටේ ප්‍රශ්න විසඳීමට පෙර පක්ෂවල ප්‍රශ්න විසඳා ගැනීමටය. ගෙන ඒමට කටයුතු කරන බව කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දැන් එහි ගොදුරක් බවට පත්ව තිබේ.

මෙරට වාසය කරන සියලු ජාතීන්ට අයත් ජනතාව ශ්‍රීලාංකීය ජාතියක් ලෙස සාමයෙන් හා සමඟියෙන් ඇද බැඳ තැබිය හැකි ජාති, ආගම්, වර්ග ‍හෝ සමාජ පසුබිම පිළිබඳ කිසිදු භේදයක් නොසැලකෙන නව ව්‍යවස්ථාක් සකස් කිරීම සඳහා වන වැඩපිළිවෙළ සම්බන්ධව යළිත් කතා බහක් ඇතිව තිබේ. පළාත් පාලන මැතිරවණය හා එහි ප්‍රතිපලය සමඟ මෙම වැඩපිළිවෙළ යම්තාක් දුරට අකර්මණ්‍ය විය. පසුව යළිත් ඒ සම්බන්ධයෙන් රජය යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී අගමැති වෙනස ඔස්සේ මතුවූ දේශපාලනික අර්බුදයත් සමඟ ඒ පිළිබඳ පැවැති උනන්දුව යළිත් යටපත්ව ගියේය. පසුගිය ජනපතිවරණය සමයේදී රටට ගැලපෙන නව ව්‍යවස්ථාක් සකස් කරන බවට පොදු අපේක්ෂක හා ඔහු වටා ගොනුවූ පක්ෂ නායකයින්ද සිවිල් සංවිධානද ජනතාවට පොරොන්දුවක් ලබා දුන්හ. අගමැතිවරයා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 09 දාය.

දේශපාලන අර්බුදය

පාර්ලිමේන්තුව විසින් එම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්ථනය විය. එම කටයුත්ත සිදුවී වසර එකහමාරකට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. අතුරු වාර්තාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනා හා විවේචන පදනම් කර ගනිමින් සකස් කළ විශේෂඥ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සුපුරුදු පරිදි මේ සමඟ ෆෙඩරල් හා රට දෙකඩ කිරීමේ කතා බහ කරළියට පැමිණ ඇත. මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම් පතක් නොවන බව මුලින් තේරුම් ගත යුතුව තිබේ. නව ව්‍යවස්ථාව කෙටුම් පත් කිරීමට පෙර මෙම වාර්තාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ විධිමත් කතා බහක් සිදුවීම අත්‍යවශ්‍ය කරුණක් වන නමුත් එවැන්නක් සිදු නොවන ලකුණු දැන් සිටම දක්නට ලැබෙයි. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය බෝලය එන්නටත් පෙර බැට් කරන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් අවශ්‍ය බව පසුගිය දිනවල රටේ පැවැති දේශපාලන අර්බුද තුළින් යළිත් තහවුරු විය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස කටයුතු කරන බව පිළිගෙන ඇත. කතානායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන අතර නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන විසි එක් දෙනකු ගෙන් යුත් මෙහෙයුම් කමිටුවේ සභාපති වන්නේ අගමැතිවරයාය. ව්‍යවස්ථායක සභාව යටතේ මූලික අයිතිවාසිකම්, අධිකරණ පද්ධතිය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය, මධ්‍ය පර්යන්ත සබඳතා ලෙස අනු කම කමිටු පැවතිණි. ඒවා මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සකස් කිරීම සඳහා සාමාන්‍ය ජනතාව, සිවිල් සංවිධාන, විද්වතුන් ඇතුළු නොයෙක් සංවිධාන මගින් ලබාදුන් යෝජනා හා අදහස් වෙන් වෙන් වශයෙන් ගෙන සමාලෝචනය කරනු ලැබීය. පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නියෝජිතයින් මෙම කමිටු හයෙහි සාමාජිකයින් ලෙස කටයුතු කළහ. රාජ්‍ය හා මූල්‍ය කමිටුවේ සභාපතිවරයා වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාය. ඔහු සභාපතීත්වය දැරූ කමිටුව මගින්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව සඳහා වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබිණි. එහෙත් එකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්ම ඇමැතිකම් දරා දැන් විපක්ෂයට ගොස් සිටින කමිටු සාමාජිකයන් ඉහත ක්‍රියාවලිය සම්බන්ධව වැරදි චිත්‍රයක් රටට පෙන්වීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්ත්වයකි.

ආණඩුවට ව්‍යවස්ථා

නිදහස් ශ්‍රී ලංකාවේ මෙයට ප්‍රථම සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම ඒ වනවි‍ට බලයේ සිටි පක්ෂයේ හෝ පක්ෂවල අවශ්‍යතාව මත සකස් කළ ඒවාය. මේ නිසා එම ව්‍යස්ථා සියලු ශ්‍රීලංකිකයින්ට පොදු නොවූ ව්‍යවස්ථා බවට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ සංශෝධන පිට සංශෝධන ගෙන එමින් රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සිදු වීමය. බලයේ සිටින පක්ෂය හා බලයේ සිටින පුද්ගලයා ශක්තිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ආරම්භ කරමින් 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගෙනආ ජනරජ ව්‍යවස්ථාවත් සමඟ බ්‍රිතාන්‍යය කිරීටයෙන් මිදී ශ්‍රීලංකාව ජනරජයක් වීම නිසා මෙරට ජනතාව ඉන් සියුම් ආස්වාදයක් ලැබීය. රට ඒකාධිපති දිශාවකට යොමු කිරීම සඳහා වන පදනම එමඟින් වැටුණු පසු ජේ. ආර් ජයවර්ධන ජනපතිවරයා වත්මන් ඒකාධිපති ව්‍යවස්ථාව ගෙනඑමින් විධායක ජනපති ක්‍රමය හඳුන්වා දුන්නේය. මෙම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරන ප්‍රතිසංස්කරණ නොගැලපෙන බව පැහැදිලිය. ගතවූ දශක හතරක කාලය තුළ මෙම ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධන දහ නවයෙන් තුනක් හැරෙන්නට සෙසු සියල්ල ජනතාවාදී නැත. දහතුන් වන, දාහත් වන හා දහනව වන ව්‍යවස්ථා සංශෝධන හැරෙන්නට සෙසු සංශෝධන මගින් සිදුවූයේ පාලකයා හා ඔහුගේ පක්ෂයේ බලය තහවුරු වීමය. දාහත් වන සංශෝධනය මගින් ජනතාවට ලැබුණු ජයග්‍රහණ සියල්ල දහඅට වන ව්‍යවස්ථා සංශෝධය මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කණපිට හැරවූයේ තමන් වෙත තව තවත් බලය ළඟා කර ගනිමිනි. පවතින ව්‍යවස්ථාවට අණ්ඩ දැමීමෙන් එක් ප්‍රශ්නයක් යටපත් වන විට තවත් ප්‍රශ්නයක් මතුවන තත්ත්වයක් දක්නට ලැබුණු අතර නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව බරපතළ ලෙස පැන නැඟීමට එය හේතුවක් විය.

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවීම යන කරුණු සම්බන්ධව දෙමළ සන්ධානය ඇතුළු සියලු පක්ෂ ගැටලුවකින් තොරව එකඟතාවන්ට එළඹ තිබෙන බව අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මෙම කරුණු විකෘති කර ජනතාව නොමග යැවීම පිණිස පිරිසක් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම බලය පිළිබඳ උමතුවෙන් මිස රට ගැන හැඟීමකින් නොවන බව අප තේරුම් ගැනීම වැදගත්ය. රට ගැන නොසිතා බලය පිළිබඳව පමණක් සිතන දේශපාලන සංස්කෘතියක් පවතිත්දී ජනතාව ජාති, පක්ෂ හා ආගම් බේදයෙන් තොරව එක‍ට එකතු කර එක් ගමනක් යෑම අසීරුය. මෙවැනි දේශපාලන සංස්කෘතියක් මතුවීම සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ප්‍රතිපාදන සපයා තිබේ. මෙය වෙනස්කර ගැනීමෙන් යහපත් වූ දේශපාලන ගමනකට මාර්ගය සැලසෙන බව දන්නා බල ලෝභි දේශපාලනඥයන් කිහිප දෙනකු මෙම වැඩිපිළිවෙළ අවුල් කිරීමට පියවර ගනිමින් සිටිති. ඊට ඇතැම් භික්ෂූන් වහන්සේගේද සහය ලැබී තිබීම ඇත්තෙන්ම කණගා‍ටුවට කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් තවමත් සකස් නොමැතිව තිබියදී ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නට කරන උත්සහය දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. වර්ග වාදයෙන් බලයට පැමිණීමට උත්සාහ කරන දේශපාලනඥයන් විසින් මවා පෙන්වන බිල්ලන්ට අවර ගනයේ ජනමාධ්‍ය ආයතන හුස්ම සිටී. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ සියලු මහජන නියෝජිතයින් පිළිගෙන තිබියදී අද වනවිට මුලින් නව ව්‍යවස්ථාව වෙනුනේ පෙනී සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුද හොරගල් අහුලන්නට පටන් ගෙන සිටිති. ඒ තුළ මුළුමනින්ම දක්නට ලැබෙන්නේ දේශපාලන අවස්ථාවාදය මිස වෙනකක් නොවේ.

අවංක වුවමනාව

එක්සත් ජාතික පක්ෂයද නව ව්‍යවස්ථාව ගෙන ඒම පිණිස අවංකව කටයුතු කළ බවක් පෙනෙන්නේ නැත. යහ පාලන ආණ්ඩුව බලයට පත්ව මේවන විට වසර හතරකට ආසන්න කාලයක් ගතව තිබේ. මුල් කාලය තුළ කළ යුතුව තිබූ දෙය අවසන් භාගයේ කිරීම සඳහා ඉඩ පවතින්නේ ඉතා අවම මට්ටමකය. වත්මන් පාර්ලිමේන්තුව තුළින් නව ව්‍යවස්ථාවක් සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට හැකිවේ යැයි සිතිය නොහැකිය. වත්මන් ක්‍රියාකලාපය තුළින් ඒබව පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන.

රටට අවශ්‍ය බෙදී සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකතු කරන ව්‍යවස්ථාවකි. අවස්ථාවාදී දේශපාලනඥයින් හා ඔවුන්ට ආවඩන භික්ෂූන් වහන්සේලා අද ව්‍යවස්ථාව පිළිබඳ බිල්ලන් මවමින් කරන්නේ තව තවත් ජනතාව බෙදීමය. සියලු සිංහලයන් සිංහලුන් නොවන්නා සේම සියලු දෙමළුන් දෙමළද නොවන බව මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතා වරක් ප්‍රකාශ කළේය. එය සත්‍යයකි. අද සියලු ජාතීහු එකිනෙකට මිශ්‍රව සිටිති. සියලු ජන කොටස්වලට තමන්ගේය කියා දැනෙන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම අපේ වගකීමය. එක් ජන කොටසක් අමතක කර හෝ ඔවුන්ට අසාධාරණයක් කරමින් ව්‍යවස්ථාවක් සකස් කිරීම පවතින ප්‍රශ්න තවත් උග්‍ර වීමට හේතුවනු ඇත. දේශපාලනඥයන්ට අවශ්‍යව තිබෙන්නේ රටේ ප්‍රශ්න විසඳීමට පෙර පක්ෂ වල ප්‍රශ්න විසඳා ගැනීමටය. ගෙන් ඒමට කටයුතු කරන බව කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දැන් එහි ගොදුරක් බවට පත්ව තිබේ.

අවසන් ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ සකස් කර නොමැති අවස්ථාවක රට බෙදන, බුද්ධාගමට හිමි තැන නැති කරන ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට කරන ප්‍රකාශ හුදු දේශපාලන වාසිය සඳහා කරනු ලබන ඒවා බව අප තේරුම් ගත යුතුය. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට පෙර ඒ පිළිබඳ ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ගියහොත් ඊට ජනතා අනුමැතිය ලැබෙනුයේ ද ලබා ගත හැක්කේ ද එවිටය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ පිරිසට අවශ්‍යව තිබෙන්නේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒම වලක්වා ගැනීමටය. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එයට විරුද්ධව ඡන්දය දීමෙන් ඔවුන්ගේ ඡන්ද පදනමට බලපෑමක් වන බව දන්නා නිසා ඔවුන් උත්සාහ කරන්නේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියද වළක්වා ගැනීමටය. ඔවුන් එය කරන්නට පසුබිම සකස් කර ගනිමින් සිටින්නේ සිංහල බෞද්ධ ජන විඥානයට කතා කරමිනි. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හා බෞද්ධාගමට හිමි ආරක්ෂාව අහිමි කෙරෙන බව දැක්වෙන කතා කරළියට පැමිණෙන්නේ එම පදනම නිසාය. කවර අරමුණක් පෙරදැරිව ව්‍යවස්ථා විරෝධීන් කටයුතු කළද, අලුත් ව්‍යවස්ථාවට අකුල් හෙළීම යනු රටේ අනාගතයට අකුල් හෙළීමකි.

ඈත දුර ඈත ආව ගිය නගරයක කතාවක්

$
0
0
ජන 9, 2019 01:00
කාංචනා අමිලානි
ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද, ප්‍රකට පරිවර්තිකාවකි. වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් පරිවර්තනය කරමින් පරිවර්තන සාහිත්‍යයට ප්‍රවිෂ්ට වූ ඈ අතින්, මේ වන විට කෘති 40 ට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය වී ඇත. ගංගා විසින් රචිත ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව 'සුවඳ තො‍ටුපොළ'නිකුත් වූයේ 2008 වසරේ දී ය. අභිනවයෙන් නිකුත් වූ 'ඈත දුර ඈත'ඇගේ දෙවැනි ස්වතන්ත්‍ර නවකතාවයි. මේ ඒ අරභයා කළ හෘද සංවාදයකි.

සාහිත්‍ය සමාජය ඔබ දන්නේ පරිවර්තිකාවක් විදිහටයි. තමන්ගෙ දෙවැනි ස්වතන්ත්‍ර නවකතාව ජනගත වෙද්දි, ඒ භූමිකා වෙනස ඔබ දකින්නේ කොහොමද?

මම බොහෝ කාලයක් තිස්සේ පරිවර්තන විතරක් කරපු නිසා, පාඨකයා මා දන්නෙ පරිවර්තිකාවක් විදිහට විතරයි. මගේ පළමු වැනි ස්වතන්ත්‍ර නවකතාව 'සුවඳ තො‍ටුපොළ'ගත්තත්, මම කරපු පරිවර්තන කියවපු තරම් පිරිසක් ඒක කියවලා නැහැ. ඒ නිසා ම මට 'පරිවර්තිකාව'කියන භූමිකාවෙන් එහාට යාමේ ගැටලුවක් මතු වෙන්න පුළුවන්. ඒත්, ලේඛිකාවක් විදිහට පරිවර්තන කළාට, හැම තිස්සෙම මට කියන්න මගේ ම කතාවක් තියෙනවා. මට ඒ කතාවත් පාඨකයට කියන්න ඕන වෙනවා.

මගේ පළමු වැනි පොත, 'සුවඳ තො‍ටුපොළ'බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාර නොලැබුණු පොතක් කියන්නත් පුළුවන්. 'ඈත දුර ඈත'කියන්නේ, පරිවර්තකයා කියන ලේබලයෙන් පොඩ්ඩක් අයින් වෙලා, ස්වතන්ත්‍ර ලේඛිකාවක් විදිහට යම් සතු‍ටුදායක තැනකට මා අරන් යන පොතක් වේවි කියලා හිතනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍ය ගැන ඔබ මොකද හිතන්නේ? අපේ ප්‍රබන්ධ සාහිත්‍ය මේ වෙනකොට ස්ථානගත වෙලා තියෙන්නේ කොහේද? ඇත්තටම අපට එහෙම තැනක් තියෙනවද?

මම අවුරුදු 18 ක් ජීවත් වුණේ හොංකොංවල. ඒ නිසා ම, ශ්‍රී ලංකාවෙ පොත් බොහොමයක් ම වගේ කියවන්න ලැබුණේ නැහැ. විටින් විට ශ්‍රී ලංකාවෙන් ලැබුණු පොත් කියෙව්වා විතරයි. අවුරුදු 18 ට පස්සේ ශ්‍රී ලංකාවෙ ජීවත් වෙන්න ආවහම තමයි මම සිංහල පොත් ක්‍රමානුකූලව අරගෙන කියවන්න ගත්තේ. අපේ සාහිත්‍ය එක තැනකට කො‍ටු වෙලා ඉන්නෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. අපේ හැම කතාවකම තාම ඉන්නෙ වැ‍රැහැලි ඇඳගෙන, කොණ්ඩෙ කඩාගෙන, සැමියගෙ තාඩන-පීඩන ඉවසගෙන ඉන්න දුක්බර ගැහැනියමයි. අපේ හැබෑ ලෝකේ දැන් ඉන්නේ ඒ ගැහැනියම නෙමෙයි නේද කියලා මම හැම තිස්සෙම කල්පනා කරනවා. කාලයත් එක්ක දැන් අපි ඉස්සරහට ගිහිල්ලනෙ ඉන්නේ. ඒත් , අපේ සාහිත්‍ය ඇතුළේ ඉස්සරහට ගිය ගැහැනිය කෝ? මේ අදහස ඉක්මවා ගිය ගැහැනු අපේ නූතන සාහිත්‍ය පොත් ඇතුළේ ඉන්නවා. ඒත්, බහුතරය මම කලින් කියපු විදිහයි.

අපි සාමාන්‍යයෙන් ජාතියක් විදිහට ඉස්සරහට යන ගමන්ම, සාහිත්‍යයෙන් ආපස්සට යන්න කැමැතියි. අපට තියෙන්නෙ, ඉවරයක් නැති අතීතයක් ගැන උදම් ඇනීමක්. අනෙක, ශ්‍රී ලංකාවෙ සාහිත්‍යයේ තියෙන්නේ 'ට්‍රෙන්ඩ්'. මොකක් හරි ජනප්‍රිය වුණ ගමන්ම, හැමෝම ලියන්නෙ අන්න ඒ ජනප්‍රිය මාතෘකාව ගැනයි. එහෙම වෙන්න එක හේතුවක් විදිහට මම අනුමාන කරන්නේ, අපි මේ පුංචි දූපත ඇතුළේ හිරවෙලා ඉඳීමයි. ඒත්, රටෙන් එළියට යන කෙනා ලේඛකයෙක් නොවෙන්න පුළුවන්. අපි හිතින් මවාගෙන ලියන එක වෙනම දෙයක්. ඒත්, ඒක යම් සීමාවකට යටත් වෙනවනේ. හැබැයි අත්දැකීම් එහෙම නෙමෙයි. ඒවා වැඩෙනවා. එහෙම වෙනස් නිර්මාණ නො එන්නෙ, අත්දැකීම් මදකම කියලා මම හිතනවා.

'සුවඳ තො‍ටුපොළ'වගේම, මගේ අලුත් නවකතාවත් ශ්‍රී ලංකාවෙ කතාවක් නෙමෙයි. වෙන රටක සිද්ධ වෙච්ච, මිනිස්සුන්ගෙ කතාවක්. කෑම බීම වෙනස්. තැන් වෙනස්. කරන දේ, සිතුම් පැතුම් වෙනස්. වෙන රටක් එක්ක අනුගත වුණහම, මිනිස්සු හිතන දේ පවා වෙනස් වෙන එක ස්වභාවිකයි.

පොත් ප්‍රකාශකයෝ, විචාරකයෝ, සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය බලපෑම් කරන්නෝ, නියම්-අනියම් ආකාරයකින් උත්කර්ෂයට නඟන පොත් ටික තමයි අපට නිතර පේන්න තියෙන්නේ. ඒත්, මේ සියල්ලම හොඳ හෝ විශිෂ්ට ඒවා නෙමෙයි. මීට පරිබාහිරව හොඳ නිර්මාණ බොහොමයක් හැංගිලා තියෙනවා සහ හංගනවා. එතකොට මේ හැංගුණු අල්පමාත්‍රය ගැන කතා කරන්න කවුරුත් නෑ. එහෙම කතා නොකරන අල්පය අතරේ තියෙන හොඳ නිර්මාණ මඟ හැරීමෙන්, අපේ ප්‍රබන්ධ සාහිත්‍යයේ නව ප්‍රවණතා මඟ හැරිලා යනවාද?

මඟ ඇරෙන පොත් අතර ඉතා ම හොඳ නිර්මාණ තියෙන්න පුළුවන් සහ තියෙනවා. සාහිත්‍ය ඇතුළේ තියෙන කල්ලිවාදය නිසා, නරකක් වෙන්නේ. කිසියම් ලේඛකයකුගෙ වටේ ඉන්න පිරිස, ඒ ලේඛකයා ලියන්නෙ මොකක් හරි කමක් නෑ, ඒකට ආවඩනවා. එතකොට ඒ පොත හැම තිස්සෙම උඩට එනවා. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ජාලවල. දැන් ටික කාලෙක ඉඳන් කොයි වෙලේ බැලුවත්, අපේ මූණ ඉස්සරහා 'එක ම පොත'ප්‍රදර්ශනය වෙනවා. ඒකෙන් වෙන්නේ, පොත් සාප්පුවකට ගියත්, අර නිතර නිතර පේන පොත අතට ගන්න එකයි. වෙනස් තේමාවක්, වෙනස් ආකෘතියක්, වෙනස් ලේඛකයෙක් ලියපු ඊට වඩා හොඳ පොත්, අර ක්‍රමය නිසා යටපත් වෙලා යන එකයි. ලේඛකයකුටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපේ රටේ ලේඛකයන්ට නියෝජිතයොත් නැති නිසා, එක්කො ලේඛකයා, එක්කො ප්‍රකාශකයා පාඨකයා දැනුම්වත් කරන්න ඕනැ. සමහර විට ප්‍රකාශකයා මොකුත්ම කෙරුවෙ නැත්නම් , ලේඛකයට වෙන්නේ පොත ප්‍රචාරණය කරන්න, පත්තරවල සම්මුඛ සාකච්ඡා ඉල්ල ගන්න, දොරට වැඩීමක් තියන්නයි වෙන්නේ. එහෙම ශක්තියකුත් නැති කෙනෙක් ඉන්නවා කියලා නිකමට හිතමු . එතකොට එයාගෙ පොත කොතැනින්ද මතු වෙන්නේ? කොයි ක්‍රමයෙන් ද පාඨකයාට යන්නෙ කියන එක ප්‍රශ්නයක්. මේ නිසා ම, සමහර හොඳ පොත් නිකන්ම යටපත් වෙලා යනවා. ඒක හරි ම අවාසනාවක්.

'ඈත දුර ඈත'ආවෙ කොහේ ඉඳන්ද? අවුරුදු ගණනක් තිස්සේ ඔබ මේ කතාව කපමින් කොටමින් ලියනවා. හොංකොංවල ජීවත් වෙන මිනිස්සු දිහා ඈතින් සහ ළඟින් බලමින් ලියූවක් කියලා මම කිව්වොත්, ඔබේ පිළිතුර මොකක්ද?

මගේ පළමු වැනි ස්වතන්ත්‍ර නවකතාව ලියලා අවුරුදු 10 කට පස්සෙයි දෙවැනි පොත එළියට එන්නේ. මේ පොත අන්තිම සංස්කරණය කරලා දැන් ඉවරයි කියලා මම හිතුවේ 2016 දි. ඊට පස්සෙත් අත් පිටපත ඔහේ තියාගෙන හිටියා. මේ අවුරුද්දේ 'ඈත දුර ඈත'පබ්ලිෂ් කරනවා කියලා හිතුවට පස්සේ, ආයෙමත් කියවලා සංස්කරණය කළා. මට මේ වැඩේදි සංස්කාරකවරයෙක් හිටියෙ නෑ. හැබැයි පැතුම් පුංචිහේවා එක්ක සෑහෙන දේ සාකච්ඡා කරමින් තමයි, අන්තිම සංස්කරණය කළේ. වැඩිපුරම අම්මයි, මමයි තමයි පොත සංස්කරණය කරන වැඩේ කරමින් හිටියේ. 2016 සංස්කරණය කරපු පොතේ පි‍ටු 570 විතර තිබ්බා. ඒත් අන්තිමට මුද්‍රණය කරන්න යවද්දි, ආයෙ ආයෙ කතා කරමින් පි‍ටු 300 ගණනක් වෙනකන් සංස්කරණය කළා. ප්‍රධාන කතාවට අදාළ නෑ කියලා හිතෙන තැන්, නැවත කියැවෙන තැන් කියවමින් අයින් කරලා දැම්මා.

'සුවඳ තො‍ටුපොළ'ලියනකොට මමත් හොංකොං ගිය අලුත. එතකොට මට ඕන වුණේ හොංකොං කියන නගරය නැවුම් ඇහැකින් දකින විදිහ පෙන්නන්නයි. ඒක මට ලියන්න ඕන වුණේ, සංචාරක කතාවක් වගෙයි. 'ඈත දුර ඈත'ට එනකොට ඒ හැඩය සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. අවුරුදු 18ක් හොංකොංවල ජීවත් වෙනකොට, වැඩිපුර මිනිස්සු ආශ්‍රය කරනකොට, ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන ගැඹුරින් දැනගන්නකොට, වෙනත් දෙයක් කියන්න මට ඕනැ වුණා. කොච්චර සුඛෝපභෝගී, සුපිරි නගරයක් වුණත්, සල්ලි ප්‍රධාන කර ගත්ත නගරයක් වුණත්, මානුෂික සම්බන්ධතා හරි ම නොගැඹුරුයි.

මිනිස්සුන්ට ඒ නගරය ආව ගිය තැනක් විතරයි. ඒත්, අවුරුදු 18 ට පස්සේ ශ්‍රී ලංකාවට ආවහම, ඒ කාලෙ හිටපු අය මට හම්බ වුණා. තාම ඒ අය ඒ තැන්වල ඉන්නවා. ඒත්, හොංකොංවලදි කෙනෙක්ව ආයෙ දෙවැනි වතාවට අපට හම්බ වෙන්නෙම නැති වෙන්න පුළුවන්. හරියට නිකන් ගඟක් වගේ. ඔහේ ගලාගෙන යනවා. කොච්චර සෙනඟ හිටියත්, නොගැඹුරු සම්බන්ධතා ඇතුළේ කෙනෙක් හුදෙකලා වෙනවා. හැමෝම යනවා එනවා විතරයි. සමහර විට සම්ප්‍රදායික කෙනෙක් වුණත්, මේ ප්‍රවාහයට අහු වුණාට පස්සේ, දන්නෙම නැතිව ඔහේ ගහගෙන යනවා.හරි තැනකට ඇවිල්ලා, නිශ්චිත තැනක හිටගන්න තරමක කාලයක් ගත වෙනවා. මට කියන්න ඕනෑ වුණේ මෙන්න මේ කතාවයි.

හොංකොං රටේ ශ්‍රී ලාංකේය සරණාගතයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ගෘහ සේවිකාවන්ගේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ අය ඉන්න තැන් නැතිව, වීසා නැතිව දුක් විඳිනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මැද පෙරදිග කියලනේ කියන්නේ. ඒත්, හොංකොංවලත් විශාල වශයෙන් ශ්‍රී ලාංකේය සරණාගතයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ දේ ගැනත් කියන්න වුවමනාවක් තිබුණා.

'සංස්කාරකවරු'එක්ක වැඩ කරන්න අපේ රටේ ලේඛකයෝ තරමක් මැළි වෙනවා. ඒත්, ලෝකයේ සෙසු රටවල සංස්කාරකවරු කියන්නෙ අත්‍යවශ්‍යම පිරිසක්. ඔබ සංස්කාරකවරු එක්ක වැඩ කරන්න කැමැතිද? පොතකට සංස්කාරකවරයෙක් ඉන්න එකෙන් වැඩියෙන් තියෙන්නෙ වාසි ද? අවාසි ද?

සංස්කාරකවරයෙක් ඉන්න එකේ කිසි නරකක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. දැන් ලෝකෙ ලේඛකයෝ බහුතරයකටම සංස්කාරකවරයෙක් ඉන්නවා. ඒක එක්තරා සේවාවක්, වෘත්තියක්. සංස්කාරකවරු සපයන ආයතන තියෙනවා. අපිට පුළුවන් අපේ පොත එහෙම ආයතනයකට අරගෙන ගිහිල්ලා, සංස්කාරකවරයෙක්ගෙ සේවය ගන්න. අපි එයා එක්ක සමීපව වැඩ කරන්න ඕනැ. මගේ මතය ලේඛකයකුට සංස්කාරකවරයෙක් ඕනා කියන එකයි. මම ලේඛකයෙක් විදිහට මගේ ඔළුවට එන සියලු දේ ලියන්නයි උත්සාහ කරන්නේ. ආයෙත් කියවනකොට අනවශ්‍යයි කියලා කිසි ම දෙයක් නොපෙනෙන්න පුළුවන්. ඒත්, සංස්කාරකවරයෙක් එක්ක වැඩ කරනකොට වෘත්තීමය විදිහටයි නවකතාව දිහා බලන්නේ. මගේ පොත සංස්කරණය කරද්දි පැතුම්, ජනක විශේෂයෙන්ම මගේ අම්මා වෙනස් විය හැකි තැන් මට පෙන්නුවා. ඒවා හරි වැදගත්. මම සීයට සීයක් ඒ අය කියන ඒවට එකඟ නොවෙනවා වෙන්න පුළුවන්. ඒත්, සංස්කාරකවරයෙක් පෙන්නලා දෙන කරුණු මට වැදගත් වෙන්න පුළුවන්.

සංස්කාරකවරයෙක්ගෙ සේවය ලබා ගන්න ඕනෑ කියන එකට, මම සියයට සීයක් රෙකමදාරු කරනවා. 'සුවඳ තො‍ටුපොළ'මගේ පළමු වැනි නවකතාව දිහා ආයෙ හැරිලා බැලුවහම, මම සංස්කාරකවරයෙක් එක්ක වැඩ කළා නම්, ඒ පොත වෙනමම තැනකට ගේන්න තිබ්බා කියලා මට හිතෙනවා.

ශ්‍රී ලංකාවෙ සාහිත්‍යය හුදෙකලා වෙලා කියලා මම හිතනවා. ස්වදේශීය භාෂාවකින් ලිවීමත්, ඒවා වෙනත් භාෂාවලට පරිවර්තනය නොවීමත් ලොකු අඩුවක් නේද? මේ භාෂා පාලම නොහැදීමෙන් අපිම මවාගත් ලෝකෙක තනිවෙලා ඉන්න එකෙන්, අනාගතයට පලක් නෑ නේද?

අපේ, ඉංග්‍රීසියෙන් ලියන සිංහල ලේඛකයොත් ඉන්නවා. හැබැයි, ඒගොල්ලොත් තරමක් හුදෙකලායි. දූපතක් වීම මේකට එක හේතුවක්. අපේ පොත් ඉංග්‍රීසියට හරි, වෙනත් භාෂාවකට හරි පරිවර්තනය කරන එක ගැන හිතුවොත්, ඊ ළඟට එන ප්‍රශ්නෙ කී දෙනෙක් සිංහල දන්නවද? කියන එකයි. ඉංග්‍රීයෙන් හරි, ස්පාඤ්ඤ භාෂාවෙන් හරි සිංහලට පෙරලන්න, ඒ භාෂා දන්න අය ඉන්නවා. ඒත් කෝ සිංහල දන්න අය? මේ දේ ප්‍රධානම ප්‍රශ්නයක්. ඊ ළඟට, මෙහෙම පරිවර්තනය කරන පොත් කොහොමද ජාත්‍යන්තරව අලෙවි කරන්නේ? හරියට බැලුවොත් , අපි අන්තර්ජාතිකව වැඩ කරන ප්‍රකාශන ආයතනයක් හොයා ගන්නත් ඕනැ. මේවා ප්‍රායෝගික ප්‍රශ්න. අපේ රටේ තියෙන ප්‍රකාශන ආයතන, අන්තර්ජාතික ප්‍රකාශන ආයතන එක්ක බැලුවහම ඉතා ම කුඩායි.

අලුත් මානයකින් හිතන්න පො‍ලඹවන පොතක්

$
0
0
ජන 9, 2019 01:00

සෙංකොට්ටන්, මාණික්කාවත, එතෙර රොන්සුණු, ඇහි පියන් ඇහැරිලා වැනි සම්මානිත ග්‍රන්ථ රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, මේ දිනවල කියවන කෘතිය පිළිබඳ අදහස් දක්වන්නේ මෙසේ ය.

ඔබ මේ දිනවල කියවන කෘතිය?

මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ‘නෙරපු රජ - ශ්‍රී වික්‍රම රාජසිංහ ප්‍රත්‍යාවලෝකනය’ කියන පොත තමයි මම මේ දවස්වල කියවන්නෙ. මෙතුමා ප්‍රථමයෙන්ම මෙය THE DOOMED KING – A REQUIEM FOR SRI VIKRAMA RAJASINHA නමින්ඉංග්‍රීසියෙන් රචනා කර තිබෙනවා. එය සිංහලයට පරිවර්තනය කළේ එච්. ජී. දයා සිසිරයන් විසින්. මහාචාර්ය ඔබේසේකරයන්ගේ දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කෘතිය බිහිවෙලා තිබෙන්නෙ. මෙය විශ්ලේෂණාත්මක කෘතියක් .

ඔබ එහි දකින විශේෂත්වය?

අපි දන්න ශ්‍රී වික්‍රම රාජසිංහ කතාව , 1818දී ශ්‍රී ලංකාව විදේශිකයන්ට බාර දෙන ඒ පසුබිම, ඇහැලේපොළ කුමාරිහාමි කතාව, මද්දුම බණ්ඩාරගේ කතාව අපේ ජනකතා ලෙස තිබෙනවා. ඒත්, ගණනාත් ඔබේසේකරයන්ගේ මේ ‘නෙරපූ රජ’ කියන පොත ඇතුළේ, අප අසා තිබෙන ජන ජීවිතයේ සහ පොත්වල තිබෙන ඉතිහාසය සම්පූර්ණ වෙනස් එකක් විදිහටයි කියැවෙන්නෙ. ඒ කියන්නෙ, අපි ඒ දන්න කතාවලට වඩා වෙනස් විදිහට, ඔහු මේ කෘතිය තුළ මේ කරුණු ඔප්පු කර පෙන්වනවා. මේ පොත ඉතා ම වැදගත් සහ විශේෂයි කියලා, ඒ නිසා මම හිතනවා.

ඔබ මේ කෘතියට කැමැති ඇයි?

අපි මෙතෙක් අසා තිබෙන දෙයට වඩා වෙනස් විදිහේ සත්‍යයක් ගෙන එන්න, මේ කෘතිය මඟින් ඔහු උත්සාහ ගෙන තිබෙනවා. එය විධිමත් ලෙස පෙළගස්වා තිබෙනවා. සෑම කරුණකටම පාදක සටහන් සහ උපුටා ගැනීම්, අනුමාන කිරීම් ඉතාමත් විශ්වාසනීය තලයක තිබෙනවා. ඉතිහාසය කියන්නෙ හැම විටෙකම අඩක් ප්‍රබන්ධයක්. ප්‍රබන්ධයක කරන අයගේ සිතුම් පැතුම්, චින්තනය, රුචි අරුචිකම්, එයට ඇතුළත් වෙන්න පුළුවන්.

එවැනි ඉතිහාසයක් විශේෂයෙන් මෙරට වැදගත් දේශපාලන සංධිස්ථානයක් හරහා අහන දකින ඉතිහාසය, ඊට වඩා එහා ගිහිල්ලා එහි ඇතුළෙ තිබෙන සත්‍ය කතාව එළිදක්වන්න ගත් උත්සාහයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

“ජාතියක් ලෙස රැකෙන්නට නම්, අසත්‍ය යටකර සත්‍ය මතු කර ගත යුතුයි” කියා එහි එක් ස්ථානයක තිබෙනවා. මේ පොත කියවද්දි, ප්‍රබන්ධ සාහිත්‍යයේ, නැතිනම් පැරැණි ජනකතා, ඉතිහාස කතා ප්‍රබන්ධ සමඟ කෙතරම් එකතු වී තිබෙනවාද කියා වැටහෙනවා. ඒකට උදාහරණ මේ පොතේම එක් තැනක සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම කියන තුනම හරියටම පෝය දවසට සිදුවුණා කියන එක, සාහිත්‍යකරුවාගේ ප්‍රබන්ධ‍යක්. ඒත්, අපි ඒක ප්‍රබන්ධයක් විදිහට සලකන්නෙ නෑනෙ. අපි ඒක පරම සත්‍යයක් විදිහටයි පිළිගන්නෙ. ඒ නිසා, ඕනෑම ඉතිහාස කතාවක් ප්‍රබන්ධයක් සමඟ එකතුවීමෙන්, කාලයත් සමඟ ඒවා හුදු විශ්වාසයන් බවට පත් වෙනවා.

අපගේ අවසන් රජු වන රාජසිංහ වටා ගෙතී තිබෙන සියලු ම කතා, අදහස්, පොත්පත්, මතිමතාන්තර වැඩි වශයෙන් ප්‍රබන්ධයට ළං වෙලා තිබෙනවා. අන්න ඒක නැති කරලා, එහි තිබෙන සැබෑ සත්‍යය මතු කරන්න ගත් උත්සාහයක් විදිහට ‘නෙරපු රජ’ පොත හදුන්වන්න පුළුවන්. ඒ හේතු මත මං මේ පොතට කැමැතියි.

මේ කෘතියෙහි එන, ඔබ වඩාත් සිත්ගත් අවස්ථාව මොකක්ද?

මෙහි එවැනි විශේෂ අවස්ථා කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි, ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගුවා කියන සිද්ධිය. ඒක ඒ විදිහට වෙන්නට විදිහක් නෑ කියලා, මෙතුමා මේ පොත ඇතුළෙ පෙන්වා තිබෙනවා. අනෙක් අවස්ථාව තමයි, ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරුවා කියන කතාව සිදුවෙන්නට බැහැ කියා මෙහි ඔප්පු කර තිබෙනවා. ඒ වගේම, මද්දුම බණ්ඩාර පුංචි ළමයා දංගෙඩියට හිස තැබුවා කියන කතාව, එසේ විය නොහැකි බව මේ පොත තුළ ප්‍රකට කරනවා.

ඒ වගේ ම , ‘නෙරපු රජ’ කෘතියෙන් අනාවරණය වන වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. දේශපාලන කුමන්ත්‍රණවල සැඟවුණු සැබෑ ස්වරූපය, ජෝන් ඩොයිලිගේ සියලු දේශපාලන කුමන්ත්‍රණවලට හසුවූ අපේ මුතුන්මිත්තෝ, සිංහල ප්‍රභූන්ගේ වස්තු හා බල තණ්හාව, උඩරට ගිවිසුමේ සැකමුසු තැන්, බලය උදෙසා වන අමානුෂික පාවාදීම්, ඇහැලේපොළ චරිතයේ යථාර්ථය, විදේශිකයෙක් වූ රාජසිංහ රජුගේ ජීවිතයේ අවාසනාවන්ත ඉරණම වැනි කරුණු මේ පොත ඇතුළෙ ඉතාමත් පැහැදිලි ලෙස අනාවරණය කෙරෙනවා. ඒ වගේ ම මං පෙර කියවූ ප්‍රබන්ධවලින් ඉදිරිපත් කෙරුණු ‍දේ, ඒ ආකාරයට සිදුව නැති බව මේ කෘතිය මඟින් නිශේධ වෙනවා. ඒ හැම අවස්ථාවක්ම එසේ නොවුණා ය කියන්නට ගත් වෑයම, මේ පොත ඇතුළෙ කැපිලා පේනවා. හැම දේට පිළිබඳවම කරුණු දක්වමින්, ඒවා සනාථ කිරීමට කටයුතු කරන නිසා, කෙනකුට අපි දකින ලෝකය ඒ විදිහටම දකින්නෙ නැතිව, වෙනස් ආකාරයකින් දකින්න අවශ්‍ය පසුබිම, අමුද්‍රව්‍ය මේ පොත ඇතුළෙ තිබෙනවා කියලා මට හිතෙනවා .

කෘතියෙහි සාහිත්‍යමය වශයෙන් වැදගත්කම කොයි වගේද?

මෙය පර්යේෂණ කෘතියක්. ඒ පර්යේෂණය තුළ සාහිත්‍යකරුවකුට හෝ පාඨකයකුට හෝ ලබන්න පුළුවන් ‍වැදගත්ම දේ තමයි, සත්‍ය කියන කාරණය. පර්යේෂණයකින් වේවා, ප්‍රබන්ධයකින් වේවා, වෙනත් විශ්ලේෂණයකින් වේවා, සමාජ සත්‍ය කියන කාරණය ප්‍රකට කරන්න යම් ලේඛකයෙක් උත්සාහ කරනවා නම්, ඒක ඉතාමත්ම වැදගත් කියලා මං හිතනවා. ඒ නිසා, බොහෝවිට අපි දන්න කරුණු කාරණාවලම සැබෑ පැතිකඩ ප්‍රකට කරන නිසා, මේ කෘතිය ඕනෑම පාඨකයකුට වැදගත්. මේ කරුණු හරහා, ඕනැම කෙනකුට වෙනස් ආකාරයකින් හිතන්න, දකින්න පුළුවන් .

යශෝදා ඉන්දීවරී

 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

මගේ ප්‍රබන්ධවල සත්‍ය සිදුවීම් තිබෙනවා

$
0
0
ජන 9, 2019 01:00
මාජෝරි සෙලෝනා

‘ගිලර්’ ඇතුළු සම්මාන කිහිපයකින් ම පිදුම් ලැබූ, සම්මාන සඳහා නිර්දේශ වුණු මෙන් ම, වසරේ වැඩි ම විකුණුම් වාර්තා තැබූ කෘති අතරට පත්, "Y: A Novel"කෘතියේ කතුවරිය වන මාජෝරි සෙලෝනා සමඟ www. abebooks.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබ ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්න පුළුවන්ද ?

මට වයස අවුරුදු 31යි. මම ජීවත් වෙන්නේ ඔහියෝවල. ඒත්, මම ඉපැදුණේ වික්ටෝරියාවල. මම වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. ඉන් පසුව, 'ද මාලාහට් රිවීව්'සඟරාවේ පුහුණු සේවකයෙක් විදිහට රැකියාව කළා. මම දැන් අමෙරිකා - කැනේඩියානු කතුවරයෙක් විදිහට සේවය කරනවා.

"Y: A Novel"හි කථාව කෙටියෙන් කියන්න පුළුවන්ද?

මේ කථාවේ, ප්‍රධාන චරිත තුනක් තිබෙනවා. පළමු කෙනා තමා "වයි". ඔහු තමා අපට මේ කතාව කියන්නේ. ඊ ළඟ චරිතය, "ෂැනෝන්". ඇය කොළොම්බියාවල අත්හැර දැමූ, අලුත උපන් දියණියක්. අනෙක් චරිතය, "යුලා". ඇය ෂැනෝන් ගේ මවයි. "යුලා"විව්ධාකාර ගැටලු රාශියකින් පෙළෙන තරුණ මවක්. කතාව තුළ, ෂැනෝන් කෙමෙන් තරුණ අවධියට පත් වෙනවා. ඉන් පසු ඇයට සමාජයෙන් ලැබෙන පීඩාකාරී දේ, මේ කතාව තුළ ගැබ් වෙලා තිබෙනවා. ඒක හරි ම රසවත් කතාවක්. මුළු කතාවම, මොවුන් තිදෙනා වටා දිව යනවා. එපමණක් නෙමෙයි, මේ මඟින් සමාජයට ආදර්ශයක් සපයනවා. යම් කිසි කෘතියකින් විය යුත්තේත් එය ම බවයි මං විශ්වාස කරන්නේ.

ඔබ මේ කතාවට, සත්‍ය ජීවිත අත්දැකීම් කෙතරම් ප්‍රමාණයක් එක් කරලා තිබෙනවද?

සමහර අවස්ථාවල, යම් යම් සිද්ධි ගොඩ නගන්නේ සත්‍ය සිද්ධි පාදක කරගෙනයි. මම හිතන්නේ බොහෝ කතුවරුන් එය කරනවා. මේ කථාව තුළ සිටින ෂැනෝන් ගේ සුරතල් බලු පැටවූ තිදෙනා, එයින් එක අවස්ථාවක්. මගේ කුඩා කාලයේදීත් මට එහෙම සුරතලුන් සිටියා. මේ කතාව ලියාගෙන යද්දි, මට මගේ ඒ බලු පැටවුන් තිදෙනා මතක් වුණා. ඒ අනුව මං , ඒ සිද්ධිය පාදක කරගෙන කතාව ගොඩනැගුවා. මෙවැනි සිදුවීම් හරහා, මං නැවතත් මගේ ළමා කාලයට පියමං කළා කියන එක, කිව යුතුම දෙයක්. ඒක හරි ම අපුරු දෙයක්. මොකද කෙනකුට ළමා කාලය කියන්නේ හරි ම සුන්දර අවස්ථාවක්. මනසින් හෝ ළමා කාලයට යාමට හැකිනම් කොතරම් හොඳද? නිසැකවම, මේ කෘතියේ සාර්ථකත්වයට මේ සත්‍ය සිදුවීම් බලපාන්න ඇති.

ඔබ ඉපැදුණේ වික්ටෝරියාවල වැන්කවර් දිවයිනේ. ඒත් ඔබ දැන් එහෙ ඉඳන් බොහෝ ඈතින් ජීවත් වෙන්නෙ. ඒ කාලය ඔබට මතක් වෙනවද?

අනිවාර්යයෙන්. මට තවමත් අප වටේ තිබුණු සාගරය මතක් කරනවා. මම මගේ පවුලේ අය එක්ක ඇවිදපු පාරවල් මතක් වෙනවා . මට ඒ කාලේ පරිසරය විඳින්න ඇති තරම් කාලය තිබුණා. හරි ම සුන්දර හා ආදරණීය ළමා කාලයක් තමයි මට උරුම වෙලා තිබුණේ. එවැනි සුන්දර ළමා කාලයක් ලබන්න මම වාසනාවන්තයි. මගේ එවැනි අත්දැකීම් තමයි වර්තමානයේ මගේ කෘතිවලටත් පාදක වෙන්නේ. ඒ සුන්දර සිදුවීම් මා වගේම, පාඨකයන් වෙනම ලෝකයකට රැගෙන යනවා කිව්වොත් නිවැරැදියි.

ඔබ කියැවීමට කැමැති, වෙනත් කෘති මොනවාද?

මෝනා සිම්ප්සන් ගේ 'එනිවෙයා බට් හියර්', 'ද රිමේන්ස් ඔෆ් ද ඩේ', ඉන් ද ස්කින් ඔෆ් ලයන්, බස්ටර්ඩ් අවුට් ඔෆ් කැරොලිනා යන කෘතිවලට සහ අලස්ඩේයාර් ග්‍රේ ගේ 'අන්ලයික්ලි ස්ටෝරීස් මෝස්ට්ලී'යන කෘතියටත් මම කැමැතියි. මේ මම කැමැතිම කෘතිවලින් කිහිපයක් විතරයි. මං සාමාන්‍යයෙන් පොත් කියවන්නෙක්. ඕනෑම වර්ගයක පොත් මං කියවනවා. ඒ අතරින් වඩාත් සිත් ගත් පොත් කිහිපයක් තමයි මේ.

ඔබගේ මේ පොත ලිවීමට උනන්දුව ඇති කරපු වෙනත් පොතක් තිබෙනවද ?

සාමාන්‍යයෙන් මම ලියන වෙලාවට වෙනත් පොත් කියවන්නේ නැහැ . ඒත්, මම ඒ දිනවල අවසානයට කියවූ මැරලින් රොබින්සන්ගේ ‘හවුස්කීපින්’ කෘතිය තරමක් දුරට පාදක වුණා කිව්වොත් නිවැරැදියි.

ඔබ වෘත්තීය කතුවරියක් වීමට පෙර කළ රැකියා මොනවද?

අනෙක් අය වගේම මමත් රැකියා බොහොමයක් කර තිබෙනවා. මගේ වයස අවුරුදු 20 වගේ කාලයේදී, මම බොහෝ අවස්ථාවල පිළිගැනීමේ නිලධාරිනියක් විදියට සේවය කළා. කෙසේ හෝ මම කතුවරියක් වුණේ නැතිනම්, පරිගණක ඉංජිනේරුවරියෙක් වීමට බොහෝ ඉඩ තිබුණා. මම කුඩා කාලයේ පටන්ම, පරිගණකයටත් ඉතා ඇලුම් කළා. මට එහි සියලු දේ හැසිරවීමේ හැකියාව තිබුණා. මගේ මව පැවසුවේ, මං උපතින්ම ඒ හැකියාව රැගෙන එන්නැති කියලයි.

ඔබ සාමාන්‍යයෙන් දවස ගෙවෙන්නේ කොහොමද?

මම සාමාන්‍යයෙන් උදේ නැගිටිනවා . ඊ ළඟට කෝපි එකක් ගන්නවා. මගේ සුරතලත් එක්ක ඇවිදිනවා . මම සාමාන්‍යයෙන් දිනකට පැය අටක් පමණ ලියනවා . හවසට මම මගේ පෙම්වතා එක්ක ඇවිදින්න එළියට යනවා . ඒ සෑම දෙයකින්ම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කර ගන්නවා වගේම, කෘතිවලටත් යොදා ගන්නවා.

නවක කතුවරයන්ට දෙන්න තිබෙන උපදෙස මොක්ද ?

ඔබ යම් කිසි දෙයකට දක්ෂයි කියල සිතනවා නම්, එය විශ්වාස කරන්න. අවසන් ප්‍රතිඵලය ගැන නිතර සිතන්න.

ඔබ විසින් මේතාක් රචනා කළ කෘති මොනවාද?

Hier könnte ich zur Welt kommen: Roman, Hvorfor, Waarom, Chybejici dil ආදී කෘති මං රචනා කර තිබෙනවා. ඒ වගේ ම, මගේ අලුත් ම කෘතිය ‘වයි’. ඒ වගේ ම මං ‘ ඔතෙලෝ’ නමින් කෙටි කතා පොතක් ද රචනා කළා. එයට 2008 වසරේදී Bronwen Wallace Award සම්මානයත් හිමි වුණා.

ඔබගේ ඊ ළඟ නිර්මාණය ගැන කෙටි ඉඟියක් දෙන්න පුළුවන්ද?

ඒ කතාව, පවුලක සිටින පියෙක්, දරුවන් සහ සහෝදරයන් අතර සිදුවන සිදුවීම් මාලාවක් ගැන කියැවෙන කතාවක්.

යශෝදා ඉන්දීවරී

සයිබර් අහසේ; ජංගම තරු දෙකක්!

$
0
0
ජන 9, 2019 01:00
රන්ජන් අමරරත්න
කුසුම්සිරි විජයවර්ධන

කතුවරයා මේ නවකතාව ආරම්භ කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ය. නර්මී සිය කතාව කියාගෙන යයි. එහෙත්, හත් වැනි පරිච්ඡේදයේ සිට වරින් වර දෘෂ්ටිකෝණ මාරු කිරීමට කතුවරයා පෙලඹෙයි. ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය, රංගගත දෘෂ්ටිකෝණය හා මිශ්‍ර දෘෂ්ටි කෝණය ආදී ලෙසින් කතුවරයා දෘෂ්ටි කෝණ මාරුකොට, කතාවට ගැම්මක් ලබා දෙයි.

පාරිසරික කටයුතු හා ඉතිහාස අධ්‍යයන යන විෂය - ක‍්ෂේත්‍රයන්හි ප්‍රකට ලේඛකයකු වන කුසුම්සිරි විජයවර්ධන මහතා, සිය ප්‍රථම නවකතාව එළිදක්වා තිබේ. එහි සිරස ලෙස යොදා ඇත්තේ ‘‍ෆැන්ටසියාව’ යන්න ය. ෆැන්ටසි යන්න වචනයක් ලෙස ද, සංකල්පයක් ලෙස ද ප්‍රකට ය. එලෙස ම ප්‍රබල ය. ෆැන්ටසි යන සංකල්පය කේන්ද්‍ර කර ගනිමින්, අමෙරිකන් නවකතා ගණනාවක් බිහි වී ඇත. එම සංකල්පය ගුරුකොට විචාර සිද්ධාන්ත කිහිපයක් ද බිහි වී ඇත. කුමක් වුව ‘ෆැන්ටසි’ යන්නෙහි සරල අර්ථය වන්නේ, යථාර්ථයෙන් දුරස් යන්න ය.

ඇත්තට පිටුපා ගොඩනඟනු ලබන මායා ලෝකය හැඳින්වීම සඳහා, ෆැන්ටසිය යන්න යොදනු ලැබේ. පුද්ගලයාගේ සුන්දර සිහින විවරණය කිරීම සඳහා ද ‍ෆැන්ටසි යන වචනය යොදා ගනී. පුද්ගල මනසෙහි මැවෙන විචිත්‍ර චිත්තරූප විග්‍රහ කර ගැනීම සඳහා, ‘ෆැන්ටසිය’ යන වචනය යොදාගනු ලබන අවස්ථා ද දැකිය හැකි ය. කුසුම්සිරි මහතා ‍ “ෆැන්ටසියාව” ලෙස වචනයක් නිර්මාණය කරයි. එය විවිධාර්ථ සහිතව භාවිත කළ හැකි බව පෙනෙයි.

නවකතාවකට යොදන නම, නවකතාවේ ආරම්භය, එහි ආරම්භක ඡේදය පමණක් නොව; ආරම්භක වාක්‍යය පවා අතිශයින් වැදගත් වන බව ද, ඉතා පරික්ෂාකාරීව එම සන්ධිස්ථාන ජයගත යුතු බව ද මහාචාර්ය “ස්ටැන්ලි ෆිෂ්” වැනි විචාරකයෝ කරුණු සහිතව පෙන්වා දෙති. විජයවර්ධන මහතා නූතන කතා කලාව පිළිබඳ වැටහීමක් සහිතව නවකතාකරණයට ප්‍රවේශ වී ඇති බවක් එහි සිරසෙන් ද පෙනී යයි.

නූතන පරම්පරාවේ සයිබර් ජීවිතය පිළිබඳ යම්බඳු නිරීක්ෂණයක් මේ කෘතිය ඔස්සේ නිරූපණය වෙයි. ඒ අතර, මනුෂ්‍යත්වය විවරණය කරන වෘත්තාන්තයක් ද ඊට ඇතුළත් ය. එම සාධක දෙකම පාඨක සමාජයට වැදගත් ය. සයිබර් සබඳතා මෙන් ම, සයිබර් තාක්ෂණය ද විටෙක දැඩි විවේචනයට ලක්වෙයි. එහෙත්, සයිබර් ලෝකයෙන් මුළුමනින් ම බැහැරවීමේ හැකියාවක් කිසිවකුට නැත. නූතන ආච්චිලා හා සීයලා පිටරට වසන දරුවෝ කැටුව සයිබර් අවකාශය ඔස්සේ සබඳතා පවත්වති. මීට වසර ගණනාවකට පෙර අපවත්වී වදාළ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියෝ, සිය ජීවිතයේ අවසන් කාලය තුළ පරිගණකය භාවිත කළහ. සයිබර් අවකාශයට නොපිවිසෙන තැනැත්තා හුදෙකලා මිනිසකු ලෙස සැලැකිය හැකි ය.

කතුවරයාගේ අවධානයට ලක් වී ඇත්තේ, අපේ කාලයේ ප්‍රධාන මාතෘකාවකි. ඔහු මීට ‍අදාළ පසුබිම ගොඩනඟා ඇත්තේ ද විවිධාර්ථ මතුවන අයුරින් ය. මහාචාර්යවරයකු, ඇඟලුම් සේවිකාවක, තරුණ පාසල් ශිෂ්‍යාවක, දැන්වීම් ආයතනයක ප්‍රධානියකු, රාජ්‍ය සේවකයකු, වැඩිහිටි මවක ආදී ලෙසින් චරිත ගණනාවක සයිබර් සබඳතා නිරූපණය කරන්නට කතුවරයා උත්සුක වෙයි. සබඳතා යන්නෙන් සයිබර් සන්නිවේදනය පිළිබඳ හැඟීම් හා විවේචන ද අදහස් කෙරේ. පුද්ගලයාට උක්ත තාක්ෂණය බලපාන ආකාරය ද ඊට ඇතුළත් ය.

කුසුම්සිරි විජයවර්ධන මහතා පියවර කිහිපයක් ඔස්සේ නවකතාවට අවශ්‍ය පසුබිම ශක්තිමත් ලෙස ගොඩනඟයි. එය නවකතාවට බරසාර ගතියක් ලබා දෙයි.

(I) සයිබර් ලෝකය

තහවුරු කිරීම

(II) සයිබර් සමාජ

නිරූපණය කිරීම

(III) සයිබර් වෘත්තාන්තයක්

විකාශය කිරීම

(IV) ජීවිතයේ අර්ථ

මතු කිරීම

නවකතාව ආරම්භ වන්නේ විචිත්‍ර දර්ශන පෙළක් පාඨකයා ඉදිරියේ මවමින් ය. එය ආකර්ෂණීය වෙයි. කතුවරයාගේ නිරූපණයට පාඨකයා නිසඟයෙන්ම ගොදුරු වෙයි.

“මම හිටියේ අඳුරු පරිසරයක. ශාලාව වටා රතු, කහ විදුලි බුබුළු නිවි - නිවී පත්තු වුණා. එහි රතු පැහැයෙන් කුෂන් කළ ආසනවල දෙසියයක් පමණ හිඳගෙන. ඉදිරිපස කුඩා වේදිකාවක්. දෙපස ඇති ඩිජිටල් තිර දෙකේ වැටෙන දේවල් කියවන්න මම උත්සාහ කළා...”

(පිටුව < 09)

ප්‍රබන්ධ කථාවේ කැපී පෙනෙන ශිල්පීය ලක්ෂණය වන්නේ නිරූපණය යි. කතාන්දරයෙන් නවකතාව වෙන්කොට හඳුනාගත හැකි එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ද නිරූපණයයි. සිද්ධි, අවස්ථා හා චරිත ආදී ලෙසින් නිරූපණය වර්ගීකරණයට ලක් වෙයි. සාර්ථක නවකතාකරුවා යනු ශූර නිරූපණ හැකියා සහිත තැනැත්තෙකි. සාම්ප්‍රදායික නවකතාවේ නිරූපණ විලාස අනුගමනය නොකරන්නේ වුව, කුසුම්සිරි මහතා ද තමාට ආවේණික නිරූපණ රටාවක් ගොඩනඟාගෙන ඇත. එය සරල ය. එලෙසම ජීවමාන ය.

“මේකි නම් ඉන්නෙ මාර ෆැන්ටසියක”

(පිටුව < 20)

“ඒ කෝපි කාලෙ අම්මෙ!

මේ සයිබර් යුගේ”

(පිටුව < 34)

“මූණු පොතේ ඉන්නෙ නැති ජීවිතේ

අර්ථයක් තියෙනව ද මන්දා?”

(පිටුව < 97)

“දැන් ඉතින් ලව් ලෙටර් යුගයත් ඉවරයිනෙ,

චැට්, වයිබර් මෙසේජ් යුගයනෙ”

(පිටුව < 100)

කතුවරයා ඉතා සියුම් ලෙස සයිබර් ලෝකය තහවුරු කරයි. එහි අර්ථය ගත් කල සමස්ත ලෝකයට ද, අප ජීවත්වන ශ්‍රී ලංකාවට ද සාම්‍යය වෙයි. සමාජ යථාර්ථයක් ලෙස එය පිළිගත හැකි ය.

නවකතාවේ දෙවැනි පියවර වන්නේ, සයිබර් සමාජ නිරූපණය කිරීම ය. ජීවිතය හා නූතන සන්නිවේදනය අතර පවත්නා ගැඹුරු සම්බන්ධය මෙහිලා කතුවරයාගේ අවධානයට ලක් වී ඇත. 1960 ගණන්වල දී සන්නිවේදන විද්‍යාර්ථීන් අතර ප්‍රකට තේමා පාඨයක් වූයේ; සන්නිවේදනයෙන් තොර ජීවිතයක් නැත යන්න ය. (There is no life; Without Communication) මේ තේමා පාඨයෙහි සැබෑ අර්ථය දැන් අපට දැනෙන්නට පටන්ගෙන තිබේ. මිනිසා අවදි වන‍්නේ ද, වැඩ කරන්නේ ද, නින්දට යන්නේ ද සන්නිවේදනය සමඟ ය. මිනිසා උපත ලබන්නේ ද, මරණයට පත්වන්නේ ද සන්නිවේදනය සමඟ ය. මෙහි එන චරිත හා සිද්ධි අප ඒ ලෝකයට සමීප කරයි.

නවකතාවේ එන වෘත්තාන්තයෙන් ප්‍රධාන චරිත දෙකක් ඉස්මතු වෙයි. චරිත දෙක නම්; නර්මී හා රහල් ය. මේ චරිත දෙක විශ්ලේෂණය කිරීම අපේ ජීවිතවලට ඉතා වැදගත් ය. නර්මී යනු වයස අවුරුදු තිහ ඉක්ම වූ තරුණියකි. ඇයගේ ජීවන ක්‍රියාවලියට අදාළ ප්‍රධාන සාධකය වී ඇත්තේ සයිබර් ලෝකයයි. නර්මීගේ සාමාන්‍ය ජීවිතය හා සයිබර් ජීවිතය අතර පරතරයක් තිබේ. ඇයගේ ජීවිතය තුළ පවත්නා ගැටුම එය ම වෙයි. රහල් යනු තළතුනා මිනිසෙකි. ඔහුගේ පළමු ආවාහය අසාර්ථක ය. එහෙත් රහල් යනු ප්‍රසිද්ධ - කැපී පෙනෙන චරිතයකි. එලෙසම, ධනේශ්වර සමාජයට අනුයුක්ත රසවතෙකි. සයිබර් අවකාශය තුළ මේ දෙදෙනා අතර ප්‍රේමයක් හට ගනී.

කතුවරයා මවන නර්මීගේ හා රහල්ගේ ප්‍රේම ලෝකය විසිතුරු ය. පාඨකයාගේ අවධානය නිතැතින් ම ඒ දෙසට ඇදී යයි.

“ඒ කියන්නෙ ඔයා කැමති සදාතනික පෙම් කතාවලට”

“ඒකනෙ මම කොහේ හිටියත් අපේ රටේ සම්ප්‍රදායට කැමති.”

“ඇත්තට ම රහල් අයියෙ මට දැන් ඔයා එක්ක කතා කරන්නෙ නැතිව නින්ද යන්නෙ නෑ.”

“ඒකට කියන්නෙ හදවත් ළංවීම කියල”

(පිටුව < 157)

නර්මී හා රහල් අතර පවත්නා මේ සංවාදය බැලූ බැල්මට ඉතා සරල ය. එහි විශේෂයක් ද නැත. එහෙත්, සංවාදයේ නියම අර්ථ මතුවන්නේ, වෘත්තාන්තය සමඟ බද්ධ කොට විවරණයක යෙදෙන විට ය. චරිත දෙක ම අධ්‍යයනය කිරීමට මේ සංවාදය වැදගත් ය. නර්මී විමසන ප්‍රශ්න හා රහල් ඒවාට ලබාදෙන පිළිතුරු නිරීක්ෂණය කරනවිට, දෙදෙනාගේ අසමානතා ද මතුකර ගත හැකි ය.

මේ වෘත්තාන්තයේ එක් අදියරක් පරිසමාප්තියට පත්වන්නේ දෙදෙනා පවුල් සංස්ථාවට එකතු වීමෙන් ය. ඔව්හු හදිසියේ ම විවාහ වෙති. වෘත්තාන්තයේ දෙවැනි අදියර නිමාවට පත්වන්නේ, විවාහය දෙදරා යෑමෙන් ය. විවාහය දෙදරා යෑමට අදාළ හේතු සාධක නිරීක්ෂණය කිරීමෙන්, ජීවිතය වටහා ගැනීමට අවශ්‍ය බුද්ධිමය සංවාදයක් ගොඩනඟා ගත හැකි ය.

නර්මී; රහල් වැනි පුද්ගලයකු වෙත ආකර්ෂණය වන්නේ කෙසේ ද? ඊට බලපෑ සාධක කවරේ ද? රහල්ගේ කීර්තිය, පෙනුම, නිදහස් අදහස් මෙන් ම, හැසිරීම ද මීට හේතු වන්නට ඇත. සයිබර් අවකාශය ද දෙදනා සමීප වීමට බල පෑ ප්‍රධාන සාධකයකි. නර්මී සයිබර් ලෝකය තුළ කැපී පෙනෙන චරිතයක් වන්නේ වුව; ඇයට සැබෑ ජීවිතයේ පරිණතභාවයක් නැත. ඇය කිසියම් ෆැන්ටසියක ජීවත් වන බව ද පෙනෙයි.

කතාවෙන් මතු කරන තවත් අර්ථ සමූහයක් තිබේ. ඒවා ජීවිතයට තදින් සම්බන්ධ ය. ජීවිතයේ හුදෙකලාව; හුදෙකලාවට බලපාන සාධක මේ කෘතියෙන් උකහාගත හැකි ය. කතුවරයා අවසන් ලෙස කියා සිටින්නේ, ජීවිතයේ පසුබෑමට, පරාජයට ඩිජිටල් තාක්ෂණයෙන් උත්තරයක් නැති බව ය. එය ඇත්තකි. තාක්ෂණය ජීවිතය පහසු කරන්නේ වුව; ජීවිතයේ මූලික ගැටලු විසඳන්නේ නැත. නිදසුනක් ගතහොත් මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය හා තාක්ෂණය අතර බරපතළ වෙනසක් තිබේ.

“මට නිතර දැනෙන තනිකම මොකක් ද?

මට අනෙක් යාළුවන්ට සමීපවීමට බැරි ඇයි?

ඒ අය සිතන විදිහට හැඩ ගැහෙන්න බැරි ඇයි?

මගේ සිත සුපුරුදු මනෝ ලෝකයට ඉගිල්ලුණා”

(පිටුව < 66)

හුදෙකලාව, පාළුව, කාන්සිය, අවිනිශ්චිතභාවය හා තවත් දේ, මානසික ගැටලු ලෙස ලෝකය පුරා පවතී. ඒවා බහුල ලෙසින් බලපවත්වන්නේ දියුණු රටවල යැයි කියන්නට පුළුවන. ජපානය, ජර්මනිය, අමෙරිකාව අද මේ තත්ත්වයට විසැඳුම් සොයමින් සිටිති. ඒ පිළිබඳ පර්යේෂණ මේ රටවල් තුනෙහිම සිදු වෙයි. කුසුම්සිරි මහතා ලෝකයේ පවත්නා සමාජ ගැටලු පවා තම නවකතාවට රාශිභූත කරගෙන තිබේ. එය ප්‍රබන්ධ කථාවේ ද දියුණු ලක්ෂණයකි. 1960 ගණන්වල රචනා වූ සාහිත්‍ය විමර්ශන කෘතිවල පවා නිර්දේශය වන්නේ, වර්තමාන නැතහොත් ජීවමාන මිනිස් ගැටලු නිරූපණය, නවකතාවේ ප්‍රධාන කාර්යයක් විය යුතු බව ය.

කතුවරයා නවකතාවේ ශිල්පීය ලක්ෂණ අතින්ද යම් යම් වෙනස්කම් සිදු කර තිබේ. එම ශිල්පීය වෙනස්කම මූලික වශයෙන් අංශ දෙකකින් විමසුමට ලක්කළ හැකි ය.

(I) දෘෂ්ටි කෝණ වෙනස් කිරීම

(II) භාෂාව කථන රටාවට හැරවීම

කතුවරයා මේ නවකතාව ආරම්භ කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ය. නර්මී සිය කතාව කියාගෙන යයි. එහෙත්, හත් වැනි පරිච්ඡේදයේ සිට වරින් වර දෘෂ්ටිකෝණ මාරු කිරීමට කතුවරයා පෙලඹෙයි. ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය, රංගගත දෘෂ්ටිකෝණය හා මිශ්‍ර දෘෂ්ටි කෝණය ආදී ලෙසින් කතුවරයා දෘෂ්ටි කෝණ මාරුකොට, කතාවට ගැම්මක් ලබා දෙයි.

කතුවරයාගේ භාෂාව සරල ය. එහෙත්, ඒ සරල භාෂාව තුළ අපූරු යෙදුම් තිබේ. එලෙස ම වරද්දාගත් තැන් ද තිබේ.

“ඇය සිරිසිරියාවෙන් සිනහ වුණා ය.”

(පිටුව < 100)

“අතන මෙතනට ආගමන් මෙතන දී”

(පිටුව < 83)

භාෂාවේ අපූරු යෙදුම්වලට නිදසුන් ලෙස ඒවා දැක්විය හැකි ය. භාෂාවේ සදොස් තැන් හෙවත් ගොන්පාට් ලෙස පහත සඳහන් වාක්‍ය දැක්විය හැකි ය.

“නර්මී රහල් සමඟ මහ ගෙදර ගියා ය.”

(පිටුව < 191)

“රහල් උදේම නර්මිත් සමඟ යයි”

(පිටුව < 191)

පක්ෂියා රජවන 2019

$
0
0
ජන 9, 2019 01:00
චතුමී පිටිපන

ජ්‍යෝතීර්වේදී තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

රාජ්‍ය වර්ෂ ක්‍රමය මත ව්‍යවහාරික ග්‍රිනිච් ක්‍රමයට අනුව 2018-12-31 දින රාත්‍රී 12ට අවරුනෙහි 'ඉ'කාර පක්ෂියාගේ රජ බලය කාන්තා රැස බලගන්වන කන්‍යා ගැබින් නව වසරේ උපත සිදුවේ. මේ අනුව නානා විධි ශාස්ත්‍රීය කරුණු රැසක පෙරනිමිතිවලට භාජනය වන පරිදි 2019 නව වසර ජය අංක 5 ට අයත් වේ.

උදාවන නව වසර විංසති ක්‍රමය අනුව ප්‍රභාදි ‍ශෂ්ඨයේ විෂ්ණු විංසතියට අයත් "විකාරි"නමැති සංවත්සරය 2019 අප්‍රේල් මස 14 වන දින අලුත් අවුරුදු උදාවත් සමඟ කාලීන වශයෙන් ආරම්භ වී එම සංවත්සරයට අයත් ක්‍රියාකාරීත්වය විශ්ව තරංග අතර විහිදුවනු ලබයි. වර්ෂය කන්‍යා රාශියෙන් උදාවන අතර එය මේෂ රාශියේ සිට අංක 6ට අයත් වේ. මේ අතර 2018-12-31 රාත්‍රී 12 අංක 3ට ගැලපේ. මේ අනුව 5+6+3 ශේෂය අංක 5ට අයත්ය. වසරේ ජය අංකය 5 වී, උදාරාශිය ශේෂය 6 ට අයත්වීම හා වසර උදාවන මොහොත ශේෂය තුන වී, සියල්ලේ දත්ත නැවත ත්‍රිකෝණ ස්ථානය වූ පහටම අයත්වීම උදාවන නව වසර වාසනාවන්ත වසරක පෙරනිමිත්තක් සේ සැලකිය හැකිය.

එහෙත්, නව වසර උදාරාශිය ආරම්භ වන මොහොත කන්‍යා රාශිය බලගැන්වෙන අතර ලග්නයෙන් දෙවැන්න සඳු සිකුරු ද, තෙවැන්නේ බුධ ගුරු ද, සිවුවැන්නේ රවි ශනි ද, හත්වැන්නේ කුජ, රාහු, කේතු ඡායාකාරකයින් පහ එකොළහ ගෝචරව යෙදී සිටියි. එය ශ්‍රී ලංකා ලග්නය කුම්භයට අනුව භාග්‍යස්ථානය සඳු සිකුරු කර්මස්ථානය බුධ ගුරු අයස්ථානය රවි, ශනි හා ධනස්ථානගත අඟහරු උදාරාශියෙන් හා ලංකා කේන්දරයෙන් මහා වේධ විෂමත්වයට පත්ව සිටී.

මෙම ග්‍රහචාරය අනුව භාග්‍යස්ථානාධිපති සිකුරු අයස්ථානය හිමි සඳු සමඟ භාග්‍යස්ථානයේ සංයෝග වීම, ධනස්ථානයේ අඟහරුගේ පිහිටීම මත ජාත්‍යන්තර වශයෙන් රටේ විවිධාකාර ‍මහා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අනපේක්ෂිත ධනෝපායන මාර්ග ගලාඒමට හේතු වේ. පොදු ජනතාව වෙනුවෙන් අනපේක්ෂිත අයුරින් විවිධාකාර ආධාර, උපකාර, ජනසහන වැඩසටහන් දීර්ඝ වශයෙන් ව්‍යාප්ත කෙරේ. දිළිඳු ජනතාව වෙනුවෙන් සහනාධාර ලැබෙන අතර රටේ කෘෂිකාර්මික අංශවල අන් වසරවලට වඩා ධන ධාන්‍ය, භව භෝග සම්පත්වල ප්‍රගතිය ඇතිකිරීමට හේතු වේ.

ජාත්‍යන්තර වශයෙන් ආධාර උපකාර ගලා ඒම නිසා රටේ ජනතාවට විවිධාකාර අංශයන් තුළින් සහනදායී ප්‍රතිලාභ අධික ලෙස ලැබේ. ඒ නිසා රජයේ ක්‍රියාදාම පිළිබඳව ජනතාවගේ ප්‍රසාදය රජයට නිරන්තරවම ලැබෙනු ඇත. එමෙන්ම, ධනස්ථානය සහ අයස්ථානාධිපති බ්‍රහස්පති නව වසරේ සමාරම්භක රාශිය වන කන්‍යා රාශිය හිමි බුධ සමඟ ශ්‍රී ලංකා කේන්දරයේ කර්මස්ථානගතව සිටියදී නව වසර උදාවීම සහ උදාරාශියෙන් සිවුවැන්න රවි ශනි ගෝචර ගමනෙහි යෙදීම, හේතුවෙන් රටේ උතුර දකුණ දෙපසෙහිම ජනතාව වෙනුවෙන් අතිමහත් වේගවත් සංවර්ධන ක්‍රියාදාමයන් රැසක් ආරම්භ වේ. එමෙන්ම එම ව්‍යාපෘති වේගවත් ලෙස නිමකිරීමට ද අවකාශ සැලසීමට හේතු වේ.

මේ තත්ත්වය තුළ රැකියා විරහිත විශාල පිරිසකගේ රැකියා ප්‍රශ්න විසඳීමෙන් මානසික අසහනකාරීව පීඩිතව, නිකරුණේ කාලය කා දමමින් දිවි ගෙවන පිරිස්වලට යහපත උදා වේ. එහෙත් උදාරාශිය හා ශ්‍රී ලංකා කේන්දරයෙන් සප්තමව යෙදෙන මෙම ග්‍රහවේධය රටේ ප්‍රගතිය පිණිස එක් අතකින් කටයුතු කෙරෙන විට, රවි ශනි යෝගය භූමියට අයත් සිවුවැන්නේ යෙදීම භූමිය සම්බන්ධ බල අරගලයකට හේතුපාදක වීමට පුළුවන. මෙම ග්‍රහ යෙදුම රාජ්‍ය තන්ත්‍රයට අහිතකරය. රජය බලය බෙදීමට ගන්නා යම් යම් උපක්‍රමික දැඩි ක්‍රියාමාර්ග නිසා විපක්ෂ බලවේග රටේ පැන නැඟිය හැකිය. බලවත් උද්ඝෝෂණ, ගැටීම්, ගහ බැණ, මරා ගැනීම් වැනි අති බිහිසුණු විපත්තිකර තත්ත්ව ඇතිවීමට පවා හේතු විය හැකිය. මධ්‍යම පන්තියේ මෙන්ම කම්කරු පන්තියේ ජනබල උද්ඝෝෂණ, තැපැල්, දුම්රිය ගමනාගමන, බැංකු සහ රාජ්‍ය සේවාවන් තුළ මීට පෙර කිසි දිනක ඇති නොවූ අතිමහත් ව්‍යසනකාරී වාතාවරණයක් එක්වරම මතුවිය හැක.

මෙම ග්‍රහචාරය තුළ රවි සෙනසුරුට මැදිව කුජ හිමි රාශියේ සප්තමව යෙදුම රාජ්‍ය තන්ත්‍රයට මෙන්ම විපක්ෂයට අයත් බලවතුන් රාශියකට බලවත් විපත්තිකර තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ ලග්නයෙන් අයස්ථානගත රවි ශනි සහ ධනස්ථානගත කුජ, විශ්ව, මිත්‍ර ග්‍රහ රාශි බවට පත්වුවද එම ස්ථානවලට රවි කුජ, ශනි තිදෙනාම කෲර රාෂ්ට රෞද්‍ර ග්‍රහයින් වේ. මෙම ග්‍රහ බලය තුළ ගුප්තව ගැබ්ව ඇති බලවත්භාවය මත නානා අයුරින් රටේ පොදු කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් කොතෙක් ආධාර උපකාර ලැබුණද ඒවා නිසි කළමනාකරණයකින් ක්‍රියාත්මක නොවීමට හේතු වේ. එම නිසාම අනපේක්ෂිත වංචනික ක්‍රියා බහුල වශයෙන් සිදුවීමට හේතුවනු ඇත.

රවි, කුජ, ශනි, රාහු වැනි ග්‍රහ කිරණ හේතුවෙන් මත්ද්‍රව්‍ය වැනි විෂ සහිත නානාවිධි විනාශකාරී දේ රට පුරා ව්‍යාප්ත වේ. මෙමඟින් වැඩෙන පරපුරේ අනතුරුදායක තත්ත්ව ශීඝ්‍රයෙන් ඉහළ යයි. ඒ අතර, භූමිය හා භූමියේ පැවැත්ම, සිවුවැන්න සහ දහවැන්න, උදාරාශිය ලංකා ජන්ම පත්‍රය 4 - 10 විෂමය යන කරුණුවල බලපෑම මත රටේ ජල ගැලීම්, සුළි සුළං, බෝවන රෝග, සුළි කුණාටු, සතුරු උවදුරු, නොරටුන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියා බහුල වශයෙන් ක්‍රියාත්මක වේ. භූමිය තුළ පෙර නොවූ විරූ අස්වාභාවික අද්භූත සිදුවීම්වලට හේතු වේ.

පුණ්‍යස්ථානාධිපති සිකුරු අයස්ථානය අධිපති සඳු සමඟ පුණ්‍යස්ථානයේ යෙදෙන සංයෝගය තුළින් මිනිස් චින්තන නිරන්තරයෙන්ම අෂ්ට ලෝක ධර්මතාවයන් සමඟ ආගමික චින්තන කෙරේ හැසිරීමට යොමුවීම නිසා පරිබාහිරව යෙදෙන විපත්වලින් බොහෝදුරට ආරක්ෂාව සැලසීමට හේතු වේ. සඳු සිකුරුගේ බලපෑමට කටක රාශියේ ක්‍රියාකාරී කැළඹීම් ස්වභාවය මත රටේ උතුරු නැ‍ඟෙනහිර දෙසින් අධික වර්ෂාවෙන් සාගරය ගොඩ ගැලීමෙන් සාගර ඩැහැගැනීම්වලට භූමිය යටත්වීම නිසා එම ප්‍රදේශයන්හි භූමියේ ප්‍රමාණය වෙනසකට තුඩුදීමට පවා හේතුවිය හැකිය.

විශ්වාකාශයේ ගුරුගේ, බුධගේ බලයට පෘථිවියේ සහ රවි ශනිගේ ක්‍රියාකාරී සංයෝගය අහස් කුස තුළ ගුප්ත බලපෑම් මෙන් ම පෘථිවියට ආසන්නව ම උතුරු හා දකුණු දෙසින් ඇති එහා ලෝක අතුරින් පෘථිවියේ උත්තර ප්‍රදේශ තුළට කුමන ආකාරයකින් හෝ යම් බලපෑමක් ඇතිවී යම් විනාශකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මෙහි බලපෑම පෘථිවියේ බටහිර පැතිකඩට බර වී විහිදී යාහැකිය. අධික සීතල, සුළඟ, ජලය, ගින්න, පිපිරීම, නියඟය හෝ විෂ වායුවක ලක්ෂණ හෝ බාහිර ලෝකයකින් පෘථිවිය කරා ඇදී එන සංඝටක වැනි විෂමතා ඇතිවීමට විෂම කිරණවල බලපෑමක් හේතුවනු ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමාන පාලන තන්ත්‍රය ගෙවී ගිය වසරේ මෙන්ම නව වසරේ ද ශාස්ත්‍රීය, සංහිඳියාවට අදාළව පිළිබිඹු වන කරුණු අනුව පක්ෂව, විපක්ෂව, විරුද්ධව, අවිරුද්ධව යෙදෙන බලපෑම් නිතරම පාහේ ඇතිවීමට හැකිය.

* ශ්‍රී ලංකාවේ නාමික පක්ෂියා ශ්‍රී+ඉ ශබ්දයෙන් යුතු 'ඉ'කාරයට බලවත් වේ.

* 2018-12-31 දින රාත්‍රී 12 ට නව වසර උදාවීමේදී 'ඉ'කාර පක්ෂියා පූර්ණ රජ බලයෙන් යුක්ත වේ.

* රටේ නායකත්වය ද ශ්‍රී+'ඉ'කාරයට බලවත් වේ.

* විධායකය යන නාමයට අයත් වි+ඉ ඉකාර පක්ෂියාට බලවත් වේ.

* නායකත්වයේ නාමයට අයත් මූලාක්ෂර බීජයේ නාමික පක්ෂියා ද 'ඉ'කාරයට බලවත්වේ.

* තම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන විරුද්ධ පක්ෂ යන නාමයට අයත් වි+ඉ ඉකාරයට බලවත් වේ.

* 2019 වසරට අයත් විකාරි නමැති වර්ෂය ද වි+ඉ කාරයට බලවත් වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ නාමික මූල බීජාක්ෂරයට හා නායකත්ව මූල බීජාක්ෂරයට අදාළව අෂ්ටවිධ යෝනි චක්‍රයට අයත් මුළු පංච පක්ෂි බලයම ඉකාරයට අවනත වන අතර 'ඉ'අක්ෂරය දිව්‍ය අක්ෂරයක් බැවින් මෙම ශක්තියට බලවත් අදෘශ්‍යමාන දිව්‍ය ශක්තියක් විරාජමානව ආරූඪ වේ.

මෙහි පක්ෂ විපක්ෂ දෙපසෙහිම පාක්ෂිකභාවය පිළිබඳව ඉන්ද්‍ර, සූර්ය, චන්ද්‍ර, දේව, නාග, සුපර්ණ, රාක්ෂ, ගුරුළු, යාම වේදයට අදාළව විමර්ශනය කිරීමේදී පංච පක්ෂි බලය විෂම වන ආකාරයට බෙදී වෙන් වී ශුන්‍ය වී නොමැත. මෙය මෙම ශාස්ත්‍රය තුළ ඒකායන බලයකින් අෂ්ටවිධ බලය ශක්තිමත්ව බලවත් වූ අවස්ථාවකි. මෙය එසේ මෙසේ බලයක් නොව අදෘශ්‍යමාන දේව බලයක් සහිත ගුප්ත ශක්තියකි. මේ අනුව කෙනකුට බාහිරින් බලා නායකත්වයේ බලාර්ථය තේරුම්කර ගත නොහැකිය.

ඒ අනුව රාජ්‍ය නායකත්වය ඒකායනව මෙහෙයවීමට හේතුවන ප්‍රධාන වශයෙන් උපකල්පිතව බලපාන ස්වකල්පිත විශ්ව ශක්ති බලය ස්වයංභූතවම එකට ඒකරාශීව ක්‍රියාත්මක වීම අතිශය දුර්ලභය.

මේ සතිය ඔබට කොහොමද?

$
0
0
ජන 9, 2019 01:00

ජනවාරි මස 09 වැනිදා සිට ජනවාරි මස 15 වැනිදා දක්වා

මේෂ
විදෙස් ගමන්

පරිපාලනය සමඟ භාරකාරත්වයක් ලබයි. උසස් අධ්‍යාපන කටයුතුවලට හිතකරය. ව්‍යාපාර හා ස්වාධීන රැකියා කරන්නන්ට සුබදායක වේ. සුඛෝපභෝගී දෑ වඩ වඩා මිලට ගනී. රාජතාන්ත්‍රිකයන්ගෙන් උපකාර ලබයි. පියාගෙන් උදව්ද ලබයි. සිසු දරුවන්ට නව පාසල් ලැබෙනු ඇත. විදෙස් ගමන් යෙදේ. නව වාසස්ථාන ලැබීමේ වාසනාව ඇත.

වෘෂභ
පෙම්වතුන්ට සුබයි

හවුල් ව්‍යාපාරවලට හිතකරය. හදිසි ධන යෝග ඇතිවෙයි. ලැබෙන්නට ඇති මුදලක් කෙසේ හෝ ලබාගනී. දුර බැහැර ගමන් යෙදේ. ස්ත්‍රී පාර්ශ්ව හා ගැටුම් ඇතිකර ගනී. අධ්‍යාපන කටයුතු මන්දගාමී වෙයි. පෙම්වතුන්ට සුබ කාලයක් නොවේ. ප්‍රවාහන වියදම් අධිකය. ගුප්තරෝග ඉස්මතු වේ. දියවැඩියාව සේම උගුර, බෙල්ල අමාරු මතුවිය හැක.

මිථුන
කලාවට බාධා

ගනු ලබන උත්සාහයන්ට බාධා ඇතිවෙයි. ව්‍යාපාර කටයුතුවලට සුබය. පුවත්පත් සහ ග්‍රන්ථ ලේඛකයන්ටත් කලාවේදීන්ටත් වැඩ අධික කාලයකි.

සෞන්දර්යාත්මක වැඩවල නිරත කලාවේදීන්ට බාධා ඇතිවෙයි. ප්‍රවාහනය සම්බන්ධ ව්‍යාපාර සඳහා ආයෝජන යොදයි. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. ඉඩම් හබ ඇතිවේ. ඉඩම් මිලට ගැනීමේ, හැකියාව ඇතිවෙයි. නව කොන්ත්‍රාත් වැඩ පැවරේ.

කුම්භ
දුර ගමන් වැඩිවේ

රාජතාන්ත්‍රිකයන්ගෙන් සහයෝගය ලැබිය හැකිය. මංගල කටයුතු සාර්ථක වේ. නිවසට අවශ්‍ය සුඛෝපභෝගී දෑ මිලදී ගනී. පාවිච්චි කරන ලද වාහන බඩුභාණ්ඩ ගැනීමේ ප්‍රවණතාවක් ඇත. ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරවලට ආයෝජන යොදයි. අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවිය හැක. ඉඩම් ගනු දෙනු ඇතිවේ. අපේක්ෂා කරන දුර බැහැර ගමන්වලින් වාසියක් ඇත.

සිංහ
ඉඩම් ගැටලු

ප්‍රභූන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උදව් ගත හැක. පාසල් හා උසස් අධ්‍යාපනයට හිතකරය. ඉඩම් ගැටලු තම වාසියට විසඳාගත හැකි වේ. ලියකියවිලි, ඔප්පු ආදියෙන් තම අයිතිය ගැනීමට ඉඩ සැලසේ. ගන්නා තීරණ තම වාසියට සිටී. ලැබිය යුතු මුදල් කොටස් වශයෙන් ලබයි. වෘත්තීමය වෙනස්කම් ඇතිවේ. ස්නායු ආබාධ, උදරාබාධ ඇතිවිය හැක.

කන්‍යා
කතුන්ගෙන් උපකාර

සති අගවන විට අය පක්ෂය දියුණු වෙයි. ස්ත්‍රීන්ගෙන් උපකාර ලැබිය හැක. උසස්වීම් ලැබේ. වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන්ට හිතකර සතියකි. ව්‍යාපාරිකයන් බහුවිද ක්ෂේත්‍ර කරා විහිදෙයි. ව්‍යාපාරවලට පාඩු නැත. තම වෘත්තීය සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමට සුබ අවස්ථාවකි. තම වෘත්තීය සඳහා විදේශීය ගමන්ද යෙදේ.

තුලා
වන්දනා ගමන්

කට ප්‍රවේශම් කර ගතයුතුය. කොපමන වෙහෙසුනත් ආදායම් තත්ත්වය මදි විය හැක. බහුවිද ආදායම් ක්ෂේත්‍ර ඇතිකර ගැනීමට හොඳ අවස්ථාවකි. වාහන විකුණා ගැනීමටත් අලුත් වාහනයක් ගැනීමටත් හොඳය. වන්දනාගමන් යෙදේ. ප්‍රභූන් හා ඇසුරට වැටේ. ආචාර්යවරුන්ගෙන් උදව් ලබයි. සම්බන්ධීකරණ වැඩකටයුතුවල යෙදේ.

වෘශ්චික
මුදල් වාසි

ස්ත්‍රීන්ගෙන් අපවාද අවලාද ‍එල්ල වේ. ඔවුන් හා ගැටුම් ද ඇතිවිය හැක. හදිසි මුදල් වාසි ඇත. ව්‍යාපාරිකයන්ට සුබ සතියකි. සියලුම වර්ගයේ කලාක්ෂේත්‍රවල නිරතවන්නන්ට සුබ කාලයක්. විදේශීය සංචාර යෙදේ. බහුවිද ක්ෂේත්‍රවල ආදායම් ලැබිය හැක. මංගල කාරණාවලට හිතකර අවස්ථාවකි.

ධනු
නායකත්වය ලැබේ

අධ්‍යාපන ක්ෂේත්‍රවලට ඉතා යහපත්ය. සුඛෝපභෝගී දෑ මිලට ගැනීමටත්, ගමන් බිමන් සඳහාත්, සෞඛ්‍ය කටයුතු සඳහාත් අධික වියදමක් දරන්නට සිදුවේ. උසස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් උදව් ලබයි. මිත්‍රයන්ගෙන්ද මුදල්මය වාසි ලබයි.

තම සහෝදරයන්ගෙන්ද උපකාර ලැබේ. ආත්මාභිමානය සේම ආත්ම ගෞරවයද ඉස්මතු වෙයි. නායක්තවය දිය හැක. සමේ රෝග ඇති වෙයි.

මකර
පදිංචියේ වෙනසක්

සෞන්දර්ය හා කලා ක්ෂේත්‍ර සඳහා ආයෝජන කරයි. ප්‍රවාහන කටයුතුවලටද මුදල් යොදවයි. ඉඩම්, වතුපිටි විකුණා දැමීමේ ගනුදෙනුවලට හිතකර සතියකි. අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමටද අවස්ථා ලබයි. නව වාසස්ථාන ලැබීමේ වාසනාව ඇත. තම පියා සමඟ විරසකවීම් ඇතිවෙයි. සහෝදරයන් හා ගැටුම් හට ගනී. ආමාශ ආබාධ ඇතිවිය හැක.

කුම්භ
විද්වත් උපකාර

වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවන්නන්ට හිතකරය. විද්වතුන්ගෙන් උපකාර ලබයි. බහුවිද ක්ෂේත්‍රවලින් ආදායම් ලැබිය හැක. අධ්‍යාපනයට සුබ කාලයකි. ‍ඉඩම්, වතුපිටි ගනුදෙනුවට විකිණීමේ කටයුතුවලටද වාසිදායක තත්ත්වයකි. පුවත්පත්, ග්‍රන්ථ ලේඛකයන්ට සුබ කාලයකි.

මීන
වෙළෙදාමට සුබයි

අධ්‍යාපනයට හිතකරය. හවුල් ව්‍යාපාර, ස්වාධීන ව්‍යාපාරවලට සුබය. ප්‍රවාහන, ගමනාගමන වියදම් අධිකය. පෙම්වතුන් අපවාදවලට භාජනය වේ. ප්‍රභූන්ගෙන් උදව් උපකාර ලබයි. තම සේවා ස්ථානයේ ඉතා කැපවීමෙන් වෘත්තීය කරගෙන යයි. නිලධාරීන්ගේ අනුග්‍රහයද ලබයි. විදෙස් මූලාශ්‍රවලින් ලැබිය යුතු මුදල් ප්‍රමාදයට භාජනය වෙයි.

ජ්‍යෝතීර්වේදී
පානදුරේ රෝහණ වීරරත්න


සෙනෙට්වරයාගේ නොනිවෙන ගින්න

$
0
0
ජන 9, 2019 01:00

ඇමරිකන් හස්ල් 52

වර්......වර්.............බස්ස්ස්..........ක්ලික්. දුරකතනයේ රිසීවරයද කනේ ගසාගෙන, ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයේ අසුන්ගෙන සිටි වෙයින්බර්ග් මේසය මත තිබුණු හඬ පටිගතකරන උපකරණය දෙස රවා බැලුවේය.

“ෂික් ! කාලකණ්ණි, අබලන් බඩු. වැඩක් කරන්න ගියොත් මෙහෙම්මමයි.“

හඬ පටිගත කරන උපකරණයට පමණක් නොව එය සොයාගත්තවුන්ගේ මවුපියන්ටද හිතෙන් සාප කරමින් වෙයින්බර්ග් අමාරුවෙන් වුවද උත්සාහ කළේ අලුත් කැසට්ටුවක් උපකරණයට රිංගවීමටය. එක් අතකින් දුරකතන රිසීවරය අල්ලාගෙන, තනි අතකින් එවැන්නක් කිරීම ලෙහෙසි නැත. කේන්තිය නිසාවෙන් කටට එන කුණුහරුප මුවින් පිටවන්නට නොදී වළක්වා ගැනීම වෙයින්බර්ග්ට ඊටත් වඩා අමාරුය.

“මොකද්ද ඒ සද්දේ ?“ දුරකතනය එහා පැත්තේ සිටි නිව් ජර්සි නීතිඥ ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග් ඇසුවේ දුරකතන වයරය ඔස්සේ ඇදී එන කුරුකුරුව තවදුරටත් අසාගෙන ඉන්නට බැරිම තැනය.

“මොකක් ? නැහැ, මුකුත් නැහැ. ඒ මේ අපේ මයික්‍රොවේව් එකේ සද්දේ නේ. යක්ෂ බඩු! කොහොමටත් ඒක හරි සද්දයි. දන්නේ නැද්ද, පරණ බඩු. “ වෙයින්බර්ග්ගේ කටට තැනේ හැටියට නිර්මාණශීලී බොරු ගලාගෙන එන්නේ පළපුරුද්දෙනි.

“මොකක් කිව්වා ! මයික්‍රොවේව් එකක් ! ඔයාගේ ඔෆිස් එක ඇතුළේ ?“ ෆෙයින්බර්ග් ඇසුවේ අදහාගත නොහැකි විස්මයෙනි.

“ඔව් පුදුමයි නේද ?“ ෆෙයින්බර්ග්ගේ කුතුහලය සංසිඳුවීමට වෙයින්බර්ග් තව තවත් පොහොර දැම්මේය.“ අපිට ලෝකේ වටෙන්ම කොයි තරම් වැඩ කන්දරාවක් එනවද කියනවා නම් පෙළක් දාට මමයි, ටෝනියි රෑ ගත කරන්නේ මේක ඇතුළේ. අපි කෑමටවත් එළියට බහින්නේ නැහැ. මෙහෙටම ගෙන්නගෙන අවන් එකේ දාලා රත්කරලා ගන්නවා.“

උදුනේ පුදුමය විසඳාගැනීමෙන් ඉනික්බිතිව දෙදෙනාගේ කතාව හැරුණේ සුපුරුදු මුදල් ගනුදෙනුවලටය. ෆෙයින්බර්ග්ගේ ව්‍යාපාරික සගයා වන නිව් ජර්සි නුවර ජ්‍යෙෂ්ඨ සෙනේට් සභික හැරිසන් ආර්ලින්ටන් (පීටි) විලියම්ස් (කනිෂ්ඨ)ගේ ධනෝපායන මාර්ග ඒ අතර ප්‍රධාන මාතෘකාවක් විය. කතාබහ නිමකිරීමෙන් පසු දුරකතනයෙන් නිදහස් වූ ඇසිල්ලේම වෙයින්බර්ග් කළේ කරදරකාරී, හඩ පටිගතකරන රෙකෝඩරයට හොඳවැයින් කුණුහරුප දෙකක් කියා කෝපය පිටකර හැරීමය. කමකට නැති තුට්ටු දෙකේ මෙවලම් වන ඒවා වද දෙන්නේ වැදගත් යමක් පටිගත කරන්නට යෙදුණු විටදීමය. එක්කෝ එය සංවාදයේ මැදක් හරියක් වන තුරු ක්‍රියාත්මක වන්නේ නැත. එහෙමත් නැතිනම් කතාවේ හොඳම හරිය එන විට කුරු කුරු කන්දොස්කිරියාවක් සමඟ අතරමඟ නවතී. ඒ මදිවාට ඒවායේ අනතුරු අඟවන බසරයන් නිතර බර බර ගාන්නේ අනතුරක් ළඟ එන බව කීමට නොව මුලුමහත් ක්‍රියාන්විතයම අනතුරේ හෙළීමටය.

“එපාම කරපු, යක්ෂ රෙකෝඩර්. මට සිද්ධවෙලා තියෙන්නේ මේවත් එක්ක ඔට්ටු වෙවී, ඒවායේ පටි මාරුකරන ගමන්, හිත හිතා කතා කරන්න. ආණ්ඩුව හිතන් ඉන්නේ මේ ඔක්කොම එකපාර තනි මිනිහකුට කරන්න පුළුවන් කියලද ? තුට්ටු දෙකේ ප්ලාස්ටික් කෑලි. වෝටර්ගේට් හුටපටේට නම් පටි මාරු කර කර ඉන්න නික්සන්ට පැයෙන් පැයට නැගිටින්න ඕනේ වුණේ නැහැ. එයාට හැමතිස්සෙම හොඳම බඩු. අපිට තමයි කසිකබල්. නොදකින් විතරක්, ඔලමොට්ටල හැත්ත.“

ගෙවී ගිය දින කිහිපයේම වෙයින්බර්ග් පසුවූයේ අසහනයෙනි. සුළු දෙයකින් වුව ඒ අසහනය කෝපයක් බවට පෙරළීමට වැඩි වෙලාවක් ගියේ නැත. ඔහුගේ මේ අසහනයට සාධාරණ හේතු කිහිපයක්ම තිබුණි. ජීවිතයේ වැඩි හරියක් පුරාවට සිදුවිය යුතු දෑ පාලනය කළේ වෙයින්බර්ග්ය. නමුත් මෑතක සිට ඒ තත්වය වෙනස් වී තිබිණ. ජීවිතයේ බොහෝ දෑ තමාගේ අභිමතය පරිදි සිදුනොවන බවත්, එලෙස සිදුවන දෑ විසින් තමාගේ ජීවිතය පාලනය කරන්නට පටන්ගෙන ඇති බවත් දැනෙන්නට වීම ඔහුගේ අසහනයට හේතුව විය. එවැනි එක් සිදුවීමක් වූ ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටි සිය පවුලේ නිවෙස විකුණා දැමීමට වෙයින්බර්ග්ව පෙළඹ වූයේ ජෝන් ගුඩ්ය. ඒ ඔහුගේ බිරිය වූ මාරිගේත් කුඩා පුතුගේත් ආරක්ෂාව ගැන සිතාය. ඇබ්ස්කැම් පටන්ගත් මුල් අවධියේදී පාතාල මැරයන් අති විශාල පිරිසක් එහි ගැවසුණු අතර, ඒ නිසාවෙන් වෙයින්බර්ග්ගේ වාස දේස පාතාලයට රහසක් වූයේ නැත. නුදුරු දිනකදී ඇබ්ස්කැම් මෙහෙයුම අධිකරණය ඉදිරියට ගිය කළ වෙයින්බර්ග් පවුලේ උදවියගේ ජීවිත අනතුරට ලක්වනු ඇති බවට ගුඩ් බියවුණේ ඒ හේතුව නිසාය.

වෙයින්බර්ග්ගේ හිතට වද දුන් අනෙක් කාරණය මෑතක සිට ඇබ්ස්කැම් මගඩියට හොට දැමීමට අලුතින් ‘ලොක්කෝ‘ කිහිපදෙනකුම එකතුවීමය. ජෝන් ගුඩ් හා ඇන්තනි (ටෝනි) ඇමරොසෝ කවදත් වෙයින්බර්ග් ප්‍රියකළ ඇත්තෝ වූහ. නැඟෙනහිර ප්‍රහාර බළකායේ ටොම් පූචියෝ හා ඔහුගේ සහායක ජෝන් ජේකබ්ස්ද අයත් වූයේ එම ප්‍රියතමයන්ගේ ගොඩටමය. ඒ සියලුදෙනාම වෙයින්බර්ග්ට කවදත් සැලකුවේ එක කණ්ඩායමේ සාමාජිකයකුට ලෙසය. ඔවුන් අතර හැංගි හොරා වැඩ හෝ පාවාදීම් තිබුණේ ද නැත. එකාවන්ව වැඩකළේය. නමුත් තත්වය වෙනස් වුණේ මෙහෙයුම නිව් ජර්සි දේශපාලන පතාකයන්ද වට කරමින් විහිදෙන්නට වූ විටය. නෙවාර්ක්හි ඇමරිකානු නීතිපති රොබට් ජේ. ඩෙල් ටෆෝ සමඟ ඇබ්ස්කැම්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකරන ලෙසට බියුරෝවට මෙන්ම පූචියෝටද නියෝග ලැබී තිබුණේ අධිකරණ දෙපාර්තමේන්තුවෙනි. ඒ අනුව යමින් ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වූ ඩෙල් ටෆෝ සිය සහායකයින් දෙදෙනකු ඇබ්ස්කැම් මොළකරුවන් සමඟ හමුවකට එවා තිබිණි. මුල සිටම මේ දෙදෙනාව වෙයින්බර්ග්ට ඇල්ලුවේ නැත. අනතුරක් ළඟ එන බවට ඉව වැටුණ වෙයින්බර්ග් ඒ ගැන ගුඩ්ට අනාවැකි පළකළේ කල් ඇතිවමයි.

“ගුඩ්, එන පොට නම් හොඳ නැහැ වගේ. ඔය දෙන්නා ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න වෙයි. නැත්නම් අපි ඔක්කෝම මොකක් හරි ජරමරයකට පටලවන එක ෂුවර්.“

කරකැවෙන පුටුවට වී කරකැවෙමින් සිටියත් වෙයින්බර්ග්ගේ සිත තිබුණේ බොහෝ ඈතය. අසල ජනේලයෙන් එපිට බලා සිටි වෙයින්බර්ග්ට කලින් සිදුවූ සිදුවීම් එකින් එක සිහියට නැඟෙන්නට පටන් ගත්තේ චිත්‍රපටයක රූපරාමු පෙළක් ලෙසය. දැන් මේ සිදුවන සියල්ල මීට කලින්ද සිදුවූවා වැනි හැඟීමක් වෙයින්බර්ග්ගේ සිත වෙළා ගනිමින් තිබිණි. ඇත්ත, මේ ජනේලයෙන් එපිට බලාගෙන ඇබ්ස්කැම් වෙනුවෙන් පමණක් තමා කෙතරම් නම් සැලසුම් සකස්කර තිබේද? 1979 වසන්ත සෘතුව නිමාවෙන්නට තිබුණේ මාසයකටත් අඩු කාලයකි. කාලය ගෙවීගොස් තිබුණේ කෙතරම් වේගයෙන්ද ? එහෙත් ඒ වගක් මේ වන තුරුත් දැනුණේ නැති හැටි පුදුමයකි.

‘සෙනේට් සභික හැරිසන් ආර්ලින්ටන් විලියම්ස් (කනිෂ්ඨ)‘ යන නම වෙයින්බර්ග් තම සිතේ එහෙටත් මෙහෙටත් පෙරළුවේ පුද්ගලයා ගැන යම් අදහසක් ගන්නටය. උගත්, නමුත් හොස්ස ළඟින් මැස්සකුටවත් යන්නට බැරි කිපෙනසුළු, බලවතකු වුවත් සෙනේටර් විලියම්ස්ට තිබුණේ දුර්වල පෞරුෂයකි. නෞකා සාදයේදි ඔහු වෙතින් පළවුණේ නිහඬ, එහෙත් තමාට වඩා ප්‍රබලයින් හමුවේ ගැතිවන සුළු ආකල්පයකි. එසේම හේ නිතරම සිටියේ හාමතිනි. කෙතරම් මුදල් ලැබුණත් නිවෙන්නේ නැති සාගින්දරකින් පෙළෙමිනි. ඒ බව වෙයින්බර්ග්ට දැණූනේ ඔහු හමුවූ මුල්ම දවසේදීමය.

විලියම්ස් සෙනේට් සභිකයකු වුවත්, ප්‍රචාරක දැන්වීම්වලින් උලුප්පා පෙන්වන තරම් පිරිසුදු චරිතයක් ඔහුට නැති බව වොෂින්ටනයේ එෆ්.බී,අයි. මූලස්ථානයටද රහසක් වූයේ නැත. ඒ නිසාම සෙනේට්වරයා ගැන හාරා අවුස්සමින් වැඩිදුර විමර්ශනය කිරීමට ඇබ්ස්කැම් නියෝජිතයින්ට බාධාවක් තිබුණේද නැත. අඩුපාඩුවකට තිබුණේ තවමත් සෙනේට්වරයා සමඟ මුහුණට මුහුණ හමුවන, හඳුනාගැනීමේ හමුවක් පැවැත්වීමට නොහැකිවීමය. නමුත් සෙනේට්වරයා නියෝජනය කරන, ඔහුගේ දකුණු අත වැනි වූ ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග් මුණගැස්වීමේ වගකීම නගරාධිපතිවරයා භාරගත්තේය. චෙරිහිල්වලදී පැවති එම හමුවේදි, ෆෙයින්බර්ග් ගැන එරිචෙට්ටි කල් ඇතිවම කියා තිබූ විස්තර නිවැරදි බව ඔප්පු විය. සෙනේට්වරයා වර්ජිනියාවල පිහිටි ටයිටේනියම් පතල ගැන දක්වන උද්යෝගය ගැන විස්තර කළ ෆෙයින්බර්ග් තමාව හඳුන්වා දුන්නේ තමා සෙනේටර් විලියම්ස්ගේ ටයිටේනියම් පතල් නියෝජිතයා ලෙසයි. වර්ජිනියා පතල පිළිබඳ සියලු කටයුතු භාරව තිබුණේ ඔහුටය. සෙනේටර් විලියම්ස් සම්බන්ධයෙන් මතුවූ අනෙක් ගැටලුව වූයේ ඔහු ක්‍රියාත්මක වන්නේ කවර පසුබිමක සිටද යන්නයි.

වංචනිකයකු ලෙස හසළ පළපුරුදුකරුවකු වූ වෙයින්බර්ග් එවැනි තක්කඩිකම්වලදී අනුගමනය කෙරෙන ප්‍රායෝගික මෙන්ම න්‍යයාත්මක මූලධර්මවලටද අමුත්තකු වූයේ නැත. ඊට අනුව මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට නම් සමකාලීනයන් විසින් එවැනි හොරමැරකම් සම්බන්ධයෙන් පිළිගනු ලබන සම්මතවලට අනුව තම ආචාර ධර්ම පද්ධතියද සකස්කර ගැනීම අනිවාර්ය විය. එහි පළමුවැනි නියමය වුණේ, “රැල්ලට අනුව යාමයි“. මෙම නියමය තවත් ටික කලක් යන විට “අනික් අය කරන නිසා තමනුත් කරන“ තත්වයක් දක්වා වර්ධනය වීම අපරාධ ලෝකයේ පිළිගත් සම්මතයයි. අපරාධ හා දූෂණ ලෝකයේ තරගකාරීත්වය එන්න එන්නම වැඩි වෙද්දී දූෂිතයන් එලෙස දූෂිතයන් වීම සාධාරණීකරණය කිරීමට වැඩි වැඩියෙන් හේතු ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිරිතකි.

සෙනේට් සභික විලියම්ස් වූ කලී රටේ තිබූ වඩාත්ම දූෂිත දේශපාලන පක්ෂයක් වූ නිව් ජර්සි ඩිමොක්‍රටික් සංවිධානයේ අයෙකි. එහි සැලැස්ම ගැන කටුසටහනක් ගුඩ් හා සෙසු එෆ්.බී.අයි. නිලධාරීන්ගෙන් ලබාගත් වෙයින්බර්ග් නිව් ජර්සි ඩිමොක්‍රටික් සංවිධානය පිළිබඳ සිය දැනුම සම්පුර්ණ කරගත්තේ එරිචෙට්ටි ඇතුළු සෙසු නිව් ජර්සි දේශපාලනඥයන් ඇසුරෙනි. වෙයින්බර්ග්ගේ පාඩමට අනුව සෙනේට්වරයා නියෝජනය කළ නිව් ජර්සි ඩිමොක්‍රටික් සංවිධානය බිහිවුණේ 1949 දී පමණය. ඉන්පසු එය හැඩගස්වනු ලැබුවේ හිටපු නායක ජෝන් වී. කෙනී හා පාතාලය අතර තිබූ බැඳීමක් ඇසුරෙනි. අමු දුෂිතයකු වූ කෙනී යටතේ නිව් ජර්සි නගරය පැවති වසර විසිඅටක කාලය තුළදී නගරය විකිණුනේ නැති ටික විතරය. පාතාලය හිතේ හැටියට සිය කෙරුම්කාරකම් කරගෙන ගිය අතර, මැරවර අපරාධකාරයෝ නිදැල්ලේ සැරිසැරුවෝය. පසුව නිව් ජර්සි නුවර ප්‍රතිසංස්කරණවාදීන්ගේ පාලනයට නතු වූ කෙටි කාලය තුළ කෙනී ප්‍රමුඛ හෙංචයියන් නීතියට කොටු වුවත් ඔහු සිරබාරයට ගියේ දූෂිත පුරාවෘත්තය අනාගතයට ද ඉතිරි කරමිණි. කෙනීගේ වියෝවෙන් වසර ගණනාවකට පසුවත් නිව් ජර්සි දේශපාලනඥයන් හා පාතාලය අතර සබඳකම් වියැකී නොගියේ එබැවිනි.

මීට දින කිහිපයකට පෙර එරිචෙට්ටි විසින් වෙයින්බර්ග්ට ලබාදුන් අල්ලසට මිලදී ගත හැකි රාජ්‍ය හා ව්‍යවස්ථාදායක බලධාරීන්ගේ ලැයිස්තුවේ සිටියේ කෙනී විසින් දේශපාලනයට හඳුන්වා දුන් යටත්වැසියන් පිරිසකි. කෙනී එලෙස දේශපාලනයට කැන්දාගෙන ආ ඇතැමුන් ඒ වන විට විනිසුරුවරුන්, අභිචෝදකයන් සහ කොන්ග්‍රස් සාමාජිකයන් විය. ඊට සතියකට පමණ පෙර අල්ලසක් දෙන්නට එරිචෙට්ටි කැඳවාගෙන ආ ඩිමොක්‍රටික් පක්ෂ සභාපතිවරයාද කෙනීගේ ලැයිස්තුවෙන් ආ අයකු බව වෙයින්බර්ග්ට මතක් වුණේ එවිටය. සෙනේට් සභික විලියම්ස් වූකලී කෙනීගේ පාර්ශ්වයෙන් වොෂින්ටනය නියෝජනය කළ ලොකුම ඉත්තාය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

හෙට - කාටර්ගේ කනෙන් රිංඟූ සෙනේටර් විලියම්ස්

දුක දිනා ජයගත් දියණිය

$
0
0
ජන 9, 2019 01:00

පසුගිය 2018 අගෝස්තු මාසයේ පැවැති අ.පො.ස.උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් විශිෂ්ට සාමාර්ථ (A) තුනක් ලබාගෙන මාතර දිස්ත්‍රීක්කයේ 23වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ ඌරුබොක්ක ජාතික පාසලේ පී.සුමුදු තරංගා ශිෂ්‍යාව සොයා අපි ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ගෙවාගෙන ඇයගේ නිවෙසට ගියෙමු. ඌරුබොක්ක කටුවන මාර්ගයේ ගොස් මැද අතුරහේන ප්‍රදේශයේ පදිංචි මෙම දිරිය දියණියගේ නිවෙසට යාමට තිබෙන මාර්ගය ඉතා දුෂ්කරය. දැඩි කඳු ප්‍රදේශයක පිහිටි නිවෙසට ළඟාවීම සඳහා තේ වතු මැදින් සහ විශාල ගල් පර්වත මතින් අඩි පාරක යායුතුය. වැසි දිනවලදී එම මාර්ගයෙන් ගමන් කිරීම අසීරු බවත් එවන් දිනවලදී පාසල් යාමට සහ ඒමට අපහසු බව ඇය පැවසුවාය. පදිංචි නිවෙසට ආසන්නයේම මිදුලේ නව නිවෙසක් ඉදිකිරීමට සිමෙන්ති ගඩොලින් බිත්ති බැඳ තිබුණද එහි වහල ගසා සෙවිලි කර ගැනීමට තරම් ආර්ථික තත්වයක් නොමැතිකමින් බිත්තිවල ගඩොල් දිරා නිවෙස ගරා වැටී තිබේ. වහලට ටකරන් ද, බිත්තිවලට ලෑලි ද, බිමට ගොම මැටි ගෑ කුඩා නිවෙසක පදිංචිව සිටින මේ දියණිය මෙවැනි ප්‍රතිඵලයක් ගැනීමට කෙතරම් වෙහෙසෙන්නට ඇති දැයි එහි ගිය අපට දැක ගන්නට ලැබුණි.

දුෂ්කරතා මධ්‍යයේ කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර විශිෂ්ට සම්මාන තුනක් ගැනීම කිසිවකුට ඇදහිය නොහැකිය. ඇය පැවසුවේ ඇයට සහෝදරයන් පස්දෙනකු සහ සහෝදරියන් තුන්දෙනකු සිටින බවත් සහෝදරයන් විවාහ වී වෙනත් පළාත්වල පදිංචිව සිටින බවත් සහෝදරියන් දෙදෙනකු විවාහ වී ඇති බවත්ය. මෙම දියණිය කුඩා කාලයේදීම පියා මියගොස් ඇති අතර මව සියලු බර දරමින් කුලී වැඩ කරමින් දරු පවුල ජීවත් කර ඇත. දැනට නිවෙසේ සිටින්නේ දිරිය දියණියත් මවත් නැගණියත් පමණි.

දියණිය ලැබූ ජයග්‍රහණය පිළිබඳව ඇයගේ මව පොතුවිලගේ කුසුමාවතී මහත්මිය සතුටු කඳුළු පුරවාගෙන දොඩමළු විය.

"මම මේ දරුවට ඉගෙන ගන්න දිරිය දුන්නා. දැඩි ආර්ථික දුෂ්කරතා මැද මගේ දරුවා ලබා ගත්ත ජයග්‍රහණයට මම අද සතුටු වෙනවා."

මෙවන් දැඩි ආර්ථික දුෂ්කරතා මැද උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන තුනක් ගැනීම දක්වා ගිය ගමන පිළිබඳව සුමුදු තරංගා දියණිය මෙසේ පැවැසීය.

"මම මුලින්ම ගියේ මැකිලියතැන්න කනිෂ්ඨ විද්‍යාලයටයි. එම විද්‍යාලයේ 3 වසර දක්වා අධ්‍යාපනය ලබලා පසුව ඌරුබොක්ක ජාතික පාසලට ආවා. මම 3 වසර පන්තියට එනවිට හරියට අකුරු ලියන්න හෝ කියවන්න බැහැ. ඔය ආකාරයට මම 8 වසර දක්වා ආවා. ඒ ආපු හැම පන්තියකම පැවැත්වුණු වාර විභාගවල දී මගේ ලකුණු තිබුණේ පන්තියේ ඉන්න ළමයින්ගෙන් අන්තිමයාට එකක් අඩුවෙන් තමයි. 8 පන්තියේදී මමම කල්පනා කළා ඉගෙන ගන්න උනන්දු වන්න ඕන කියලා. ඒ අනුව 9 වසරේදී බුද්ධාගම විෂයට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හිමි සම්මානය ලබා ගන්න මට පුළුවන් වුණා. ඒ ලබපු ජයග්‍රහණයත් සමගම මම තව තවත් ඉගෙන ගන්න උනන්දු වුණා. ඔය ආකාරයට මම 11 වසර පන්තියේදී පන්තියෙ 6 වන ස්ථානයට ලකුණු ලබාගන්න පුළුවන් තත්වයට ආවා. ඒ අනුව අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් මට ඒ සාමාර්ථ 6 ක්, සී සාමාර්ථ 1 ක්ද එස් සාමාර්ථ 1 ක් ලබාගෙන විභාගය සමත් වුණා. ඒ අනුව මම උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනීමේ කටයුතු සිදු කළා. මම දිනපතා රාත්‍රි 2.00 විතර වෙනකල් පාඩම් කළා. සමහර දිනවල අලුයම දක්වා පාඩම් කළා. අපිට විදුලිය නැහැ කුප්පි ලාම්පුව පත්තු කරගෙන තමයි පාඩම් කළේ. එහෙම පාඩම් කරලා උදේ පාසල් යන්න සුදානම් වනවිට තමයි කුප්පි ලාම්පු දැල්ලෙන් පිටවූ දැලි නාසයේ බැඳිල තියෙනවා දකින්නේ. ඒත් මම උත්සාහය අතහැරියේ නැහැ. නිවෙස ආසන්නයේ විශාල කළු ගලක් තියෙනවා පාසලේ නිවාඩු දවස්වල ඇල් වතුර බෝතලයක් අරගෙන ඒ ගල උඩට ගිහිල්ල ඇල් වතුර බිබී මුළු දවසම පාඩම් කළා. මම මීට වඩා වැඩි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ඒත් මම හිතුවට වඩා විභාගය අමාරු වුණා.

මම අධ්‍යාපනය ලබන අතරතුර ක්‍රීඩාවලටත් සහභාගි වුණා. මීටර් 400 සහාය දිවීමෙන් පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අපිට හැකි වුණා. ඒත් විභාගය ආසන්න වූ නිසා අපේ කණ්ඩායම සමස්ත ලංකා තරගය සඳහා සහභාගි වුණේ නැහැ. නිවාසාන්තර තරගවලින් මම සෑම තරග ඉසව්වකින්ම වගේ ජයග්‍රහණය කරලා තියෙනවා. කලාප තරගවලින්ද මම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මීට අමතරව පන්ති නායක, ශිෂ්‍ය නායක, බාල දක්ෂ කණ්ඩායම, පාසල් ප්‍රථමාධාර අංශය, පරිසර නියමු ආදියෙහි ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කළා. මීට අමතරව විද්‍යාලයීය නෙට්බෝල් කණ්ඩායම සහ එල්ලේ කණ්ඩායම නියෝජනය කරමින් ජයත්‍රහණ ලබා ගත්තා. මේ බාහිර ක්‍රියාකාරකම් සිදු කළේ අධ්‍යාපනයට මුල් තැන දීලයි. මගේ මේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ මගේ අම්මා. දෙවනුව පාසලේ ගුරුවරුන් මට උදව් කළා, ප්‍රදේශයේ පෞද්ගලික පන්තිවල මට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දුන්නා. ඒ සියලු දෙනාටම මම ස්තුති කරනවා.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද විදුලිය නොමැතිව කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා මම මේ ලබා ගත්ත ජයග්‍රහණය වගේම විභාග සමත්වන්න ඉගෙන ගන්න ළමයකුට උපතින්ම සහජ දක්ෂතාවක් නැතිවෙන්න පුළුවන්. ඒකට සුදුසු වටපිටාවක් නැතිවෙන්න පුළුවන් ඒත් අරමුණක් තිබුණොත් ඒකට යන්න ටිකෙන් ටික පරිසරය හැඩ ගැහිල දුර්වල අපිට ආශිර්වාද වෙනවා දවසක ඒ අරමුණට යන්න. ඒ නිසා අපි උනන්දු වෙලා වැඩ කළොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ විභාගය පමණක් නොව ජීවිතය දිනන්නත් පුළුවන්."

මේ දිරිය දියණියගේ අනාගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙන්ම නිවසක් ඉදිකර ගන්න හෝ නිවසක් ලබා දෙන්න පුළුවන් නම් කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය වන්නේය. පවුලේ සාමාජිකයන් බලාපොරොත්තු නොවුණත් ඇය ලැබූ ජයග්‍රහණයට දිය හැකි වටිනාකම එයයි.

සුමුදු තරංගා ශිෂ්‍යාව විශ්ව විද්‍යාලයට ඇතුළත් වී නීතිය උගෙන අනාගතයේදී දක්ෂ නීතිඥවරියක වනු ඇත. අවසාන වශයෙන් සුමුදු තරංගා දිරිය දියණියට දිනමිණ අපි සුබ පතමු.

ඒ.පී.දයාචන්ද්‍ර
ඌරුබොක්ක විශේෂ

කැලණි රජමහා විහාර දුරුතු මහ පෙරහර

$
0
0
ජන 9, 2019 01:00

කැලණි පුරවරය ඓතිහාසික වශයෙන් අනුරපුර පොළොන්නරු යුගයන්ටත් වඩා පැරණිය. සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ කැලණි පුණ්‍යභූමිය ලොව සියලු සිද්ධස්ථානයන්ට වඩා ශ්‍රේෂ්ඨය. ඒ බව පසක් කරවන ඓතිහාසික සාධක එමටය. විජයාවතරණයට පෙර සිට එහි ඉතිහාසය විහිදී ඇති අයුරු සාක්ෂි සහිතව සනාථ කළ හැකිය. විශ්ව සාහිත්‍ය කෘතීන්හි පවා කැලණිය පිළිබඳව සඳහන් වේ.

මහා වංශයේ සඳහන් වන ආකාරයට, සර්වඥයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙන අනවතප්ත විල අසලදී වළඳා බුද්ධත්වයෙන් නව වන වස දුරුතු පසළොස්වක පොහෝදා ලක්දිව සුද්ධ කරනු වස් මෙහි වැඩම කර තිබේ. ලක්දිව ස්වකීය ශාසනය පිහිටා බැබළෙන තැනැකැයි දුටු උන්වහන්සේ මහියංගණයට වැඩ එහි ආධිපත්‍ය ගෙන සිටි යක්ෂයන් ගිරි දිවයින තෙක් ඈත් කර, එහි රැස් වූ දෙවියන්ට ධර්මය දේශනා කොට ඇත. උන්වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වස මහෝදර සහ චූලෝදර යන මාමා සහ බෑනා වන නාග රාජයන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා හටගත් ආරවුල සමථයකට පත් කිරීම සඳහා බක් මස අමාවක් පොහෝ දින නාගදීපයට වැඩම කොට ඔවුන් සමගි කරන ධර්මයක් දේශනා කළ සේක. ඉන්පසු යුද වැද සිටි දෙදෙන සතුටට පත්ව, යුද්ධයට හේතු වූ මිණි පලඟ උන්වහන්සේට පූජා කළහ. එහි වැඩහුන් සර්වඥයන් වහන්සේ නාගයන් පිළිගැන්වූ දිව්‍ය ආහාර පානයක් වළඳා ගොඩ දිය දෙකෙහි වාසය කරන අසූකෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා තිබේ. එකල කැලණියේ මණිඅක්ඛික නම් නාගරාජයකු විය. ඔහු උන්වහන්සේට මෙසේ ආරාධනය කළහ. “ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පා කොට නැවත ගමනකදී මගේ වාසභූමියට (කැලණියට) වඩින සේක්වා”. බුදුන්වහන්සේ එම ආරාධනය පිළිගත් සේක.

බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි සැරියුත් මුගලන් අගසවු දෙනමද සමඟ මහරහතන් වහන්සේ පන්සියයක් සපිරිවරාගෙන කැලණියේ මණි අක් නාරජුගේ වාසභවනයට වැඩි සේක. නාරජු විසින් දැනට කැලණියේ චෛත්‍යය පිහිටා තිබෙන ස්ථානයෙහි කරවන ලද රත්න මණ්ඩපයෙහි වූ මාහැඟි මාණික්‍ය පර්යංකයෙහි බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

කැලණි පූජාභූමියේ දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා අනුව 1925 වසරේදීය. එදින දුරුතු පුන් පොහෝ දිනයක් විය. එම පෙරහර හඳුන්වනු ලැබුවේ ධාතු පෙරහර නමිනි. මෙය එවකට මහ පෙරහරක් වන අතර එහි සර්වඥ ධාතු කරඬුව වැඩමවන ලදී. නැටුම් කණ්ඩායම් හයකින්ද, අලි ඇතුන් දස දෙනකුගෙන්ද පෙරහර සමන්විත විය. පසුව විභීෂණ දෙවොලේ පෙරහර සමඟද අනතුරුව විෂ්ණු පෙරහර සහ කතරගම පෙරහර සමඟ ද එකතු විය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිහිපත් කරනු වස් පැවැත්වෙන කැලණි දුරුතු මහ පෙරහර ආරම්භ වූයේත් හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී පුරෝගාමී දායකත්වය සම්පාදනය කරන ලද්දේ එතුමියගේ පුත්‍ර දොන් වෝල්ටර් විජයවර්ධන මැතිතුමාණන්ය. එතුමාගේ හදිසි අභාවය හේතුවෙන් වසර කිහිපයක් දුරුතු පුණ්‍යෝත්සවය පැවැත්වීමට නොහැකි විය.

1964 එතුමාගේ පුත්‍ර පිලිප් උපාලි විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැවතත් පෙරහර මංගල්‍යය ආරම්භ විය. එතුමාගේ හදිසි වියෝවෙන් පසුව මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, එතුමාගේ පුත්‍ර ශාලිත විජේසුන්දර සහ වර්තමානයේ වෝල්ටර් විජයවර්ධන මැතිතුමාගේ මුණුපුරු ධම්මික ආටිගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහර කටයුතු ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ සමහර පෙරහර බෞද්ධ සංස්කෘතික අංගයන් සහ පෞරාණික පිළිවෙත් අභිබවා වාණිජකරණයට හසුවෙද්දී කැලණි මහ පෙරහර එයින් මිදී පැරණි සම්ප්‍රදාය රැකගනිමින් සියලු චාරිත්‍ර වාරිත්‍ර විධි නොඉක්මවා අති ගෞරවණීය ලෙසත්, අති අලංකාර ලෙසත් පවත්වාගෙන යාමට අපවත්වී වදාළ අතිපූජ්‍ය විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ සහ විචිත්‍රභානී, වත්තල සීලරතන නාහිමිපාණන් වහන්සේ මහත් උත්සාහයක් සහ කැපවීමක් කළහ. එසේම වර්තමාන කැලණි රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ද මෙම පූජෝත්සව කටයුතු මෙහෙයවීමෙහිලා මහත් කැපවීමකින් කටයුතු සම්පාදනය කරන බව සඳහන් කළ යුතුව ඇත. ඒ සඳහා උන්වහන්සේට දායක සභාවේ සහායද නොමඳව ලැබේ.

කැලණි විහාර දුරුතු පූජෝත්සවය සම්බන්ධ පින්කම් මාලාව දෙමසක් පුරා පැවැත්වේ. දෛනිකව පැවැත්වෙන ධර්ම දේශනාවන්ට සමගාමීව සම්ප්‍රදායානුකූල මල් පෙරහරද පැවැත්වෙන අතර පරිත්‍රාණ ධර්ම දේශනාව සිවුදිනක් මුළුල්ලේ පැවැත්වේ. ඉන් අනතුරුව සුවිශේෂ කුල කුමරුවකු විසින් දොරකඩ අස්න පවත්වනු ලැබේ. අනතුරුව එම කුල කුමරු හස්ති රාජයා මත නංවා මහ පෙරහරින් වරාගොඩ ග්‍රාමයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා සම්ප්‍රාප්ත වේ. උඩමළුවේ පෙරහර දුරුතු මහේ 19 දින අත්‍යාලංකාරයෙන් පවත්වනු ලැබේ.

ආචාර්ය පියසිරි පී.මීගොඩ

වතුරත් මිනිස්සුත් අතරමඟ

$
0
0
ජන 9, 2019 01:00
හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

හොරණ නගරයටම පානීය ජලය බෙදා හරින ඇල්ල කන්ද ජල ටැංකියට කිලෝමීටර් 02ක් පමණ දුරින් ඇති මාහේන ගම්මානයට වසර ගණනාවක සිටම පානීය ජලය පිළිබඳ විශාල ගැටලුවක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

පවුල් 25ක් පමණ ජීවත්වෙන මාහේන, දේවාලකන්ද ප්‍රදේශයේ ළිං කපා ගැනීමටද අසීරු තත්වයක් ඇති නිසා හොරණ මොරොන්තුඩුව මාර්ගයේ අතරමඟට පැමිණ තිබෙන ජල සැපයුම දීර්ඝ කර ඔවුන්ටද ජලය ලබා දෙන්නැයි වසර ගණනාවක සිටම ඉල්ලීම් කළත් එය අසාර්ථක වී ඇති බව ඔවුහු පවසති. මෙම වැසියන් ගමට පිවිසෙන අතුරු මාර්ගයේ සිට නිවෙස්වලට බට එලා ජලය ලැබෙන තුරු මග බලා සිටන්නේ ඉතා ඉක්මනින් ජලය ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. දැනට කඳු මුදුනේ පදිංචිකරුවන් පහළ ඇති ළිංවලින් අසීරුවෙන් ජලය ලබා ගන්නා අතර මුළු ගමටම නෑම ඇතුළු අනෙකුත් කාර්යයන් සඳහා ඇත්තේ තුන්දොළ ප්‍රදේශයේ ඇති පොදු පිංපොකුණ පමණක් බවද පෙන්වා දෙති.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමිල සනත් පෙරේර මහතා - "හොරණ ටවුමට මේ ගමේ ඉඳලා කිලෝමීටර් 02යි තියෙන්නෙ. ගමට කිලෝමීටර් 1/2ක් තියෙද්දි පාරෙ ලයින් එක නතර කරලා. අනිත් පැත්තෙන් ලබුගමින් එහාට වතුර තියෙනවා. අතරමැදි මාහේනට තමයි වතුර ටික නැත්තෙ. එදා ඉඳලම මෙහෙම තමයි. පහළ ළිඳක් තියෙනවා. වැඩට ගිහින් ඇවිත් ලොරියෙන් බැරල්වලට වතුර අදිනවා. වාහන නැති අය කොහොමද කරන්නෙ. මේ පැත්තෙ ගල හින්ද ළිං කපන්න බෑ. ලක්ෂ 4ක් 5ක් වියදම් කරල කැපුවත් ඒවයෙ වතුර නෑ. හම්බකරන තරමක් ළිං කපන්න අපට බෑ. පාරේ වතුර ටික පෙනි පෙනි නැති වෙන එක ගැනයි දුක."

කුසුමා අතුකෝරළ මහත්මිය - "මට දැන් අවු 64ක් වෙනවා. තාමත් අපිට තියෙන්නෙ වැහි වතුර ටික විතරයි. පායනකොට ප්‍රාදේශීය සභාව සති දෙකකට සැරයක් එනවා වතුර දෙන්න. ඊට වඩා බෑ කියනවා. ඒ ගේන වතුර බොන්න බෑ. ටොයිලට්වලට තමයි ගන්නෙ. මළගෙයක්, මඟුල් ගෙයක් වුණ ගමන් ප්‍රාදේශීය සභාවෙන් වතුර බවුසර් දෙක තුනක් සල්ලිවලට ගන්න වෙනවා. එකත් ඉෂ්ට වෙනකොට කල් යනවා."

රේණුකා මල්කාන්ති මහත්මිය - "මට පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්නවා. දවසකට වතුර ගොඩක් වුවමනා වෙනවා. මේ කන්දට වතුර ඇදලම අතපය හන්දි කැක්කුම අල්ලලා. නාගන්න, රෙදි හෝදගන්න සේරම එක්ක තුන්දොළේ යනවා. වැඩට යන අය රෑට ටෝච් ගහගෙන නාගන්නෙ . පුදුම දුකක් තමයි අපි විඳින්නෙ."

ප්‍රේමලාල් අතුකෝරළ මහතා - "අවුරුදු 10කට 15කට කලින් සමෘද්ධියෙන් ළිඳක් කැපුවා. කවුරුත් එක්ක බට ලයින් එකත් දාගත්තා. ඒක බොහොම ටික කාලයයි. මෝටරේ පිචිචිලා කියල නතර වුණා. ටැංකියෙන් එකක්ම ගැහුවොත් විතරයි කඳු මුදුනෙ අයට වතුර ගන්න පුළුවන්. ගම්වල අයගෙ නොදැනුවත්කමට ඒ ළිඳ හැදුවෙ කොහිල විලක. ගඩොල්වලින් බැඳල සිලින්ඩර් බැස්සුවෙ. වතුර බොන්න බෑ. මළකඩ රසයි."

ලයනල් අබේපිටිය මහතා - "හොරණ මොරෙන්තුඩුව පාර අයිනෙ ඉඩමක ලක්ෂ 4 1/2ක් විතර වියදම් කරලයි සමෘද්ධියෙන් ළිඳ කැපුවෙ. ඒකට අඩු ගාණේ මෝටරයක් දාලා බාගෙට තමයි වැඩේ කළේ. කන්ද උඩින් හදපු ටැංකියට පොම්ප කරල ගමට බෙදා හරින්න යෝජනා කළේ. ඒ ව්‍යාපෘතිය අසාර්ථකයි. දැන් ළිඳයි මෝටර් කාමරෙයි කැලේට ගිහිල්ලා. ගෙවල්වලට එලා ගත්ත බට ලයින් එක තාම තියෙනවා. පාරෙ වතුර ටික ලැබෙන්න විතරයි ඕනෑ."

කාටර්ගේ කනෙන් රිංඟූ සෙනේටර් විලියම්ස්

$
0
0
ජන 10, 2019 01:00

එෆ්.බී.අයි. අධීක්ෂණ නිලධාරි ජෝන් ගුඩ් පෙන්වා දුන් ආකාරයට සෙනේටර් විලියම්ස්ගේ හොර එළිකරගන්නට නම් අවධානයට ලක්විය යුතු ව්‍යාපෘති දෙකක් තිබිණි. පළමුවැන්න යෝජිත ටයිටේනියම් පතල් ගනුදෙනුවයි. දෙවැන්න කසළ බැහැර කිරීම පිළිබඳ කොන්ත්‍රාත්තුවකි. නිව් ජර්සි නුවර කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව භාරව තිබුණේ දූෂිත නිලධාරීන් රැසකගේ සාක්කුවේ සිටින අයකු ලෙස නම ගිය ජෝර්ජ් කැට්ස්ටය. ඔහු සමඟ සෙනේට්වරයාට තිබූ සබඳතාවද කුතුහලය අවුස්සන්නක් විය.

වෙයින්බර්ග්ගේ පළපුරුදු දැක්මට අනුව වර්ජිනියා ටයිටේනියම් පතල් ගනුදෙනුව හොර මගඩියකි. බ්ලු රිජ් කඳුවැටිය පාමුලට වන්නට පිහිටා තිබූ පතලත්, පිරිපහදු කම්හලත් යන දෙකම අයිතිකරුවන් වූ ‘සිනිමිඩ් සමාගම‘ විසින් කුණුකොල්ලයට විකුණා තිබුණේ ඊට වසර ගණනාවකට ඉහතදීය. එහි වත්මන් හිමිකරුවන් ගැන පැහැදිලි තොරතුරක් දැනගන්නට නොතිබුණත්, වගකිවයුත්තන් ලෙස පතල සම්බන්ධ ලියකියවිලිවල සඳහන්ව තිබූණේ කැට්ස් හා හෙන්රි (සැන්ඩි) විලියම්ස් දෙදෙනාය. සැන්ඩි වූ කලී සෙනේට්වරයාගේ කුළුපග මිතුරෙකි. සැන්ඩිගේ හා කැට්ස්ගේ මාර්ගයෙන් ඒ දෙදෙනාට මුවාවී, පතලෙන් ලැබෙන ආදායම හොර රහසේ බෙදා හදා ගැනීමට සෙනේට්වරයා මෙන්ම ඔහුගේ නීතීඥයා වූ ෆෙයින්බර්ග්ද එක්ව සිටියහ. පුදුමය කිසිදු ආයෝජනයක් නොකරම මේ දෙදෙනා පතලේ ආදායමට හිමිකම් කියන්නේ කුමන පදනමකින්ද යන්නයි.

සැන්ඩි, කැට්ස්, ෆෙයින්බර්ග් හා සෙනේටර් විලියම්ස්ට අවශ්‍ය වූයේ යසීර් ලවා ඩොලර් මිලියන සියයක ණයක් ලබාගන්නටය. ඒ සැවානාහි පිහිටි සිනිමිඩ් සතු දැවැන්ත ටයිටේනියම් කම්හල මිලදී ගන්නටත්, බ්ලු රිජ්හි පිහිටි කලින් විකුණා දැමූ කුඩා කම්හලේ හා පතල සම්බන්ධ හිමිකාරත්වය නිරවුල් කරගන්නටත්ය. ඔවුන සිවුදෙනාගේ තර්කය වූයේ එවැනි ගනුදෙනුවකින් මුලු ඇමරිකාවේම ටයිටේනියම් නමැති විරල ලෝහයේ ඒකාධිකාරය තමන්ට ලබාගැනීමට හැකි බවයි. ඒ තර්කය තහවුරු කරන්නට සෙනේට්වරයාගේ සබ්මැරීන කතාවෙන් ලැබුණේ ලොකු රුකුලකි. ඇමරිකානු රජයේ ආරක්ෂක ව්‍යාපෘතිවලටත්, විශේෂයෙන්ම සබ්මැරීන ඉදිකිරීමටත් නැතිවම බැරි ලෝහයක් නිසා ටයිටේනියම් අධිකාරිය ලබාගැනීම යනු ධන උල්පතක හිමිකරුවන් වීම බවට සෙනේටර් විලියම්ස් නිතර කී කතාව කාටත් ගැම්මක් ගෙනදුන්නේය.

සැන්ඩි සම්බන්ධයෙන් වෙයින්බර්ග්ට කිසි උනන්දුවක් තිබුණේ නැත. දුටු සැණින්ම සිය පළපුරුද්දෙන් සැන්ඩි යනු බංකොලොත් දුබලයකු බව හේ නිගමනය කළ නිසාය. බංකොලොත් වූ පුවත්පතක ප්‍රකාශකයකු ලෙස කලක් සේවය කළ සැන්ඩි නැත්තටම නැති වූයේ බදු ගෙවීමෙන් ලිස්සා යාමට අක්වෙරළ කැසිනෝ අවන්හලක් ඉදිකරන්නට යාමෙනි. අගුලක ඉදිකළ මෙම කැසිනෝව දියේ ගිලීගියේ සැන්ඩිගේ සේසතෙන් භාගයක්ම මුහුදු පත්ලට යවමිනි. ඒ මදිවාට තමන් සමඟ එක්ව ප්ලැටිනම් ආනයනය කිරීමේ ව්‍යාපෘතියකට අතගැසූ මැරවර ව්‍යාපාරික සහකරුවන් දෙදෙනකුගෙන් බැට කෑමටද සැන්ඩිට සිදුව තිබිණි. ඒ තමාගෙන් ඩොලර් ලක්ෂයක් සොරාගන්නට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට එරෙහිව මැරයන් දෙදෙනා කළ පළිගැනීමක ප්‍රතිඵලයක් ලෙසිණි. එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් පෙළකින් පසු සැන්ඩිගේ නම ඈඳුණේ බයෝසෙල් නමැති සමාගමකටය.

නිව් ජර්සි ප්‍රාන්තයේ උතුරු දිගට වන්නට කසළ බැහැර කිරීමේ නව කම්හලක් ඉදිකරන්නට සැන්ඩිට තිබුණේ පුදුමාකාර වුවමනාවකි. බයොසෙල් සමාගම පිහිටට එන්නේ සැන්ඩිගේ එම වුවමනාව සාක්ෂාත් කරදීමටය. සැන්ඩි නව මාදිලියේ කසළ බැහැර කිරීමේ කම්හලක් ඉදිකරන්නට යෝජනා සැකසූ බයෝසෙල් සමාගමේ කොටස් රාශියක් විකුණා තිබිණි. එපමණක් නොව එවන් නවීන පන්නයේ කම්හලක් ඉදිකිරීමට යැයි රජයේ ආර්ථික සංවර්ධන ආයතනයෙන් ඩොලර් මිලියන දහ අටක ණයක් පවා ඔහු ලබාගෙන තිබිණි. සියල්ල කණපිට හැරුණේ කම්හල ඉදිකිරීමට එරෙහිව ප්‍රජා සංවිධානවලින් විරෝධය එල්ල වූ බැවිනි. බයෝසෙල් සමාගම වෙනුවෙන් රාජ්‍ය ආර්ථික සංවර්ධන ආයතනයෙන් එතරම් විශාල ණයක් ලබාදීමට පෙළඹ වූයේ සෙනේටර් විලියම්ස් බවටද චෝදනා එල්ල විය. එහි හිලව්වට සෙනේට්වරයාගේ බිරියට බයෝසෙල් සමාගමේ කොටස් නොමිලේ ලබාදීමට තරම් සැන්ඩි කාරුණික වී ඇති බවටත් කසු කුසු මතුවී තිබිණ.

කෝටිපති ව්‍යාපාරිකයකු වූ ජෝර්ජ් කැට්ස්ට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැති කතාව කැට්ස් සම්බන්ධයෙන් සර්ව සාධාරණය. මහලු වියද ඉක්මවමින් සිටි කැට්ස්ගේ තට්ටය පෑදී තිබුණේ වසර තිහකටත් වැඩි කාලයක් නිව් ජර්සි නුවර ඩිමොක්‍රටික් දේශපාලනඥයන් සමඟ එක්ව දූෂිත ගනුදෙනුවල පැටලෙමින්, හොර වැඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කවර වංචාවකට සම්බන්ධ වුවත් දෛවයේ හාස්කමකට මෙන් කැට්ස්ට චෝදනා එල්ලව තිබුණේ එක් වරක් පමණි. ඒ අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක වංචාවක් සම්බන්ධයෙනි. කෙළින් වැඩ කරන සහ පණ ගියත් මිතුරන් පාවා නොදෙන අයකු ලෙස නිව් ජර්සි දේශපාලන බලවතුන් අතර කැට්ස් නමක් හිමිකරගෙන සිටියේය. ඒ එක්තරා වංචනික ගනුදෙනුවකදී තමාට එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට පුළුවන්කම තිබියදීත්, මිතුරු දේශපාලනඥයකුට විරුද්ධව උසාවියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් නිසාය. එදා සිට කැට්ස්ට නිව් ජර්සි දූෂිත දේශපාලනඥයන් හරහා ගලා ආ කොන්ත්‍රාත්තුවලින් අඩුවක් වූයේ නැත. එලෙස කොන්ත්‍රාත්තු භාරදුන් ප්‍රබලයන් අතර කෙනී හා ජර්සි නගරාධිපතිවරුද සිටියෝය.

කැට්ස්ගේ සබඳතා දූෂිත දේශපාලනඥයින්ට පමණක් සීමා වූයේ ද නැත. වෙයින්බර්ග්ට කැට්ස් කියා තිබූණු ආකාරයට පාතාලයේ ධන කුවේර මේයර් ලැන්ස්කි සහ පීටී ලා ප්ලැකාත් කැට්ස්ගේ ගජ මිතුරෝ වූහ. නෙවාර්ක්, ජර්සි සිටි ඇතුළු ප්‍රමුඛ පෙළේ නගර ගණනාවකම කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තු තිබුණේ කැට්ස් අත ය. නගර සභාවලින් එවන් කොන්ත්‍රාත්තු ලබාගත්තේ නිලධාරීන්ගේ ‘අත පය තැවීමෙන්‘ බව, වෙයින්බර්ග්ට හෙළි කිරීමට කැට්ස් මැලිවූයේ නැත. අල්ලස් දීමෙන් කොන්ත්‍රාත්තු ලබාගැනීමේ මගඩිය කැට්ස් හැඳින්වූයේ ‘හරි දේ හරියට කිරීමක්‘ වශයෙනි. ඒ කැට්ස් වැනි තක්කඩියන්ගේ දැක්මේ හැටියටය.

“ජාඩියට මූඩියට ගැලපෙන හොර බිස්නස් පාට්නර්ස්ලා. පුදුම වෙන්න දේකුත් නැහැ. දෙන්නම හැන්ඩ්ල් කරන්නේ කුණු නේ.“ නොදැනුවත්ම වෙයින්බර්ග්ට කියැවුණි.

ජනේලයෙන් එපිට බලාගෙන කල්පනා සාගරයක ගැලී සිටි වෙයින්බර්ග්ට නෞකා සාදය දිනයේ ලෙෆ්ට් හෑන්ඩ් හි කැබින් කාමරයේ පැවති සතරකන් මන්ත්‍රණය සිහියට ආවේය. එදා වෙයින්බර්ග් කැට්ස්ගේ නම බලෙන්ම කතාවට ඈඳා ගත්තත් ඔහු සමඟ තිබෙන යටිකූට්ටූ සම්බන්ධය හෙළිකිරීමට සෙනේටර් විලියම්ස් හෝ ෆෙයින්බර්ග් මෝඩ වූයේ නැත. දෙදෙනාම කළේ වහෙන් ඔරෝ බසින් කැට්ස් ගැන කියා, වෙයින්බර්ග්ගේ සහ ඇමරොසෝගේ කුතුහලය තවත් ඇවිස්සීම පමණි.

“ඔය පතල් බිස්නස් එකේ කවුරුත් හොඳට අහලා පුරුදු, හොඳ වැඩ්ඩෙක් ඉන්නවා නේද? මිනිහාගේ නම, මේ......මේ........මොකද්ද ...........“ වෙයින්බර්ග් තතනද්දී සෙනේටර් විලියම් මැද්දට පැන්නේය.

“ජෝර්ජිද ?“

“ජෝර්ජි කැට්ස් ගැනනේ ඔය කියන්න යන්නේ ? “ ෆෙයින්බර්ග්ද හොට දැම්මේ විශ්වාසයෙනි.

“ආන්න හරි, මිනිහා තමයි. මිනිහා ගැන මොනවද ඔයාලා දන්නේ?“ වෙයින්බර්ග් ඉලක්කය බලා පළමු ප්‍රහාරය එල්ල කළේය.

“මිනිහා. නියම වැඩකාරයෙක්. ඒකට ඕනකරන බඩුත් සේරම එයා ගාව තියෙනවා.“

“අතදිග ඇරලා වීසි කරන්න සල්ලිත් තියෙනවා.“ ෆෙයින්බර්ග් හා සෙනේටර් කැට්ස් ගැන ගුණ වයන්නට ගත්තේ තරගයට මෙනි. වෙයින්බර්ග් කතාව හරි පාරට ඇදගන්නට අසාර්ථක උත්සාහයක් ගත්තේය.

“වෙන්නත් ඇති. ඒත් මිනිහා ගැන මට දැනගන්න ලැබුණු දේවල් එච්චර හොඳ නැහැ.“

“හ්ම්....ඇත්තම කිව්වොත් එයා මේ.......මේ............

ඔයාට හිතාගන්න පුළුවන්නේ..............නැද්ද මං කියන්නේ...................“ ඒ ෆෙයින්බර්ග්ය.

“මෙහෙමයි, මම ජෝර්ජ් ගැන ගොඩක් දුරට දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ගැන දැනගන්න ඕනේම ටික දන්නවා.“ සෙනේටර් විලියම්ස් කිව්වේ හඬ නඟා සිනාසෙමිනි.

“ජෝර්ජ් ඇත්තටම හොඳ හාදයෙක්. වියදම් කරන්න දෙපාරක් හිතන්නේ නැති, ඒ විදිහේ බිස්නස් කරන අය එක්ක, ඒ විදිහේ බිස්නස් කරන්න ඕනේ නියම පිළිවෙළට කරන, මිනිහෙක්. හැබැයි පගාවට නෙවෙයි.“ විලියම්ස්ගේ හඬ තවමත් සිනහවෙන් බරය.

“කරන්නේ කුණු බිස්නස්.“ ෆෙයින්බර්ග් කතාවට තවත් පොහොර දැම්මේය.

“ඒකනේ මම කිව්වේ. ‘ජරාව‘ නෙවෙයි, කුණු විතරයි ඔය වගේ මිනිස්සු ගැන ඔයා දන්නවනේ. ඉතින්.....................“

ෆ්ලොරිඩාවේ නෞකා සාදයෙන් පසු ඇබ්ස්කැම් පාර්ශ්වයේ සාමාජිකයන් හමුවේ තිබුණු බරපතළ ගැටලුව ටයිටේනියම් පතල සම්බන්ධ කාරණයේදී සෙනේටර් විලියම්ස්ගේ සැබෑ භූමිකාව කුමක්ද යන්නයි. ටයිටේනියම් පතල ගැන මේ තරම් උනන්දුව වන්නේ ඇයිද යන කාරණය රහසක්ව තබාගන්න සෙනේට්වරයා වලිකන්නේ ඇයි ? සල්ලි මත්තෙම නැහෙන කැට්ස් වැනි තක්කඩියකු මෙම පතල් ව්‍යාපාරය ඉවක් බවක් නැතිව තමාගේම මුදලින් නඩත්තු කරන්නේ ඇයි ? ඒ සියල්ලටම වඩා ඇබ්ස්කැම් පාර්ශ්වයට ඔළුගෙඩි හප්පමින් කල්පනා කරන්නට සිදුවුණේ තඹ සතේක ආයෝජනයක් හෝ, සේවයක් හෝ නොදී පතල් ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ගෙඩි පිටින් ලබා ගන්නට සෙනේට්වරයාට ඉඩදී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නයි. පොටක් පාදා ගන්නට අබ්දුල්ගේ කණ්ඩායම කළේ, යළිත් වරක් හඬපට වාදනයන්ට සවන්දීමයි. ඒ කණ්ඩායමට ටොම් පූචියෝත්, ජෝන් ජේකබ්සුත්, ජෝන් ගුඩ්, ටෝනි ඇමරොසෝ හා වෙයින්බර්ග්ද එක්වූහ.

හඬපට වාදන සියල්ල අතරින් පෙනෙන නොපෙනන පරිදි දිවයන සම්බන්ධයක කොනක් මතුකර ගැනුණේ ඒවා විශ්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම රැහැණේ එක් කොණක තිබුණේ ටයිටේනියම්ය. අනෙක් කොණේ සිටියේ එවකට ඇමරිකානු ජනපති ජිමී කාටර්ය. මේ දෙකොණ යා කරන එකම පුද්ගලයා සෙනේටර් විලියම්ස්ය. ඇමරිකානු රජය සිටියේ ටයිටේනියම් ලෝහය නැතිව කිසිවක් කරකියාගත නොහැකි තත්වයකය. සෙනෙට් මණ්ඩලයේ සිවුවැන්නව සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයා ලෙස විලියම්ස්ට කැබිනට්ටුවේ මෙන්ම ජනපති ජිමී කාටර්ගේ අවධානයත්, විශ්වාසයත්, සැලකිල්ලත් හිමිව තිබුණි. කෙටියෙන් කිව්වොත් ජනපති කාටර්ව පවා තම බසට නම්මා ගැනීමේ හැකියාව සෙනේටර් විලියම්ස් සතු විය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - පතල් ඩීල් සහ කුණු කොන්ත්‍රාත් ඩීල්

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>