Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

මහනුවර ගින්නේ නොදුටු පැත්ත

$
0
0
ජන 14, 2019 01:00
අසේල කුරුළුවංශ

දමිත් කුරුඳුහේවා ස්ට්‍රැටජික් රිස්ක් සොලුෂන්ස්
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී,ව්‍යාපාර අවදානම් කළමනාකරණ විශේෂඥ

මහනුවර නගර මධ්‍යයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක පසුගියදා ඇතිවූ ගින්න පිළිබඳ ඉහළ සමාජ අවධානයක් යොමු වූයේ, තම බිරිය හා දරු තිදෙනා බේරා ගැනීම සඳහා එහිදී පියකු කළ වික්‍රමය හේතුවෙනි. තෙවැනි මහලේ ඇති වූ ගින්න ක්ෂණයෙන් ඉහළට ව්‍යාප්ත වීම නිසා, එහි සිටි කුඩා දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුල දිවි බේරා ගත්තේ අනූ නවයෙනි. දරුවන්ගේ පියා අඩි පනහකට වඩා ඉහළක සිට දරුවන් පහළට අතහරිද්දී, පහළ සිටි පිරිස් ඔවුන් අල්ලා ගත්හ. ඉතා සුළු වේලාවක් තුළ සැලකිය යුතු පිරිසක් එම ස්ථානයට රොක් වීම කෙරෙහි ගින්න සිදුවූ වේලාව බලපෑවේය.

සතියේ දිනයක් වීමත්, වේලාව පෙරවරු 7.00 පමණ වීමත්, අඳුර පහව ගොස් හිරු නැගී තිබීමත් යන කරුණු සියල්ල, එම පවුලට ජීවත් වීමේ වාසනාව ගෙන ඒමට හේතු විය. මේ ගින්න රාත්‍රී කාලයක ඇති වූයේ නම්, තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබිණි. හදිසි අවස්ථාවකදී පිට වීම සඳහා දොරටුවක් (Emergency Exit) මේ සිව් මහල් ගොඩනැගිල්ලේ නොමැති වීම බරපතළ අඩුපාඩුවකි. එහි සිටි පුද්ගලයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වූයේ එබැවිනි. මෙරට බොහෝ මහල් ගොඩනැගිලි පවතින්නේ මේ තත්ත්වයේ ම ය.

අඩු සැලකිල්ල

මෙරට ව්‍යාපාරිකයන් පමණක් නොව, සැළසුම් අනුමත කරන ආයතන පවා සුරක්ෂිතතාව (Safety) සම්බන්ධව දක්වන අඩු සැලකිල්ල මෙයින් පැහැදිලි වෙයි. නාගරික ප්‍රදේශවල පවත්නා ඉඩම් සීමිත වීම හා ඉඩම්වල පවතින ඉහළ වටිනාකම හේතුවෙන්, අඩු ඉඩකින් උපරිම ප්‍රයෝජන ගැනීම‍, ව්‍යාපාරිකයන්ගේ අරමුණ වී ඇත. මේ නිසා, හදිසි දොරටු වෙනුවෙන් වෙනම කොටසක් වෙන් කිරීම පවා ඔවුන් දකින්නේ ඉඩකඩ අපතේ යැවීමක් ලෙස ය. හදිසි අවස්ථා එළැඹෙන්නේ, කල්තියා දැනුම් දී නොවේ. අප සෑම අතින්ම සුරක්ෂිත යැයි සිතුව ද, කොයි මොහොතේ හෝ සුළු අත්වැරැදීමකින් ව්‍යසනයක් පැමිණිය හැකි ය. ඇතැම් විට එය ස්වභාවික හේතුවක් නිසා, නැතහොත් අපගේ අත් වැරැද්දක් නිසා සිදුවන්නක් විය හැකි ය. නොසැලකිල්ල ද, අනතුරු සඳහා අප කැඳවා ගන්නා ප්‍රබල හේතුවකි.

සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා, දෛනිකව මෙරටට ජීවිත දහයත්, පහළොවත් අතර සංඛ්‍යාවක් අහිමි වී යයි. මෙයට දශකයකට පමණ ඉහතදී මහනුවර ඩී.එස් සේනානායක මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ සංගීත සංදර්ශනයක් පැවැත් වෙමින් තිබියදී, ගින්නක් ඇතිවිණි. ඉන් එක් පුද්ගලයෙක් මරණයට පත්ව, තවත් දස දෙනකුට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලැබූහ. එම සිද්ධියෙන් මහජන පුස්තකාලයේ ග්‍රන්ථ දහස් ගණනක් ගින්නට අසුව විනාශ වූ අතර, ඉන් සිදු වූ පාඩුව මෙතෙකැයි කිව නොහැකි ය. හදිසි අවස්ථාවකදී පිටවීම සඳහා ස්ථානයක් නොතිබීම නිසා, ඇතුළත සිටි පිරිස සාමාන්‍ය දොරටුවලින් පිටවීමට යාමේදී, තෙරපුමකට ලක් වූහ. මෙයට වසර කිහිපයකට ඉහතදී, මහනුවර කොටුගොඩැල්ල වීදියේ නිමි ඇඳුම් අළෙවිසැළක් ගින්නෙන් විනාශ විය.

මෙය මහනුවරට පමණක් නොව, මෙරට සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන තත්ත්වයකි. ගොඩනැගිලි බොහොමයක, හදිසි අවස්ථාවක පිටවීම සඳහා දොරටු පමණක් නොව, හදිසි අවස්ථාවක පාවිච්චි කළ හැකි ගිනි නිවීමේ උපකරණ පවා ඇත්තේ නැත. මෙකී උපකරණ තිබුණ ද, ඒවා භාවිත කිරීම සම්බන්ධ දැනුම ඇති පිරිස අල්ප ය. ගින්නෙන් හානි වන අවස්ථා අපට නිතර දකින්නට ලැබෙන්නේ නැත. මේ නිසා, අපගේ මනසේ ඒ සම්බන්ධව ඇත්තේ අඩු තැකීමකි. ගින්නකින් හානි වීමට ඇති අවකාශය, මිලියනකට එකක් බවට සාමාන්‍ය මතයක් පවතී. මේ නිසා, ගිනි බිය අත්හැර දැමීම අප සාමන්‍යයෙන් කරන ක්‍රියාවලිය වුවත්, වඩා වැදගත් වන්නේ, ඒ මිලියනය තුළ රැඳී සිටීම මිස, අවාසනාවන්ත එක, බවට පත් වීම නොවේ.

රටක් ලෙස අප සුරක්ෂිතතාව (Safety) පිළිබඳ මෙයට වඩා සැලකිලිමත් විය යුතුව තිබේ. පළමුව සුරක්ෂිතාව (Safety First) වුවත්, අප කටයුතු කරන්නේ එය ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළට ඇද දමමිනි. මේ නිසා, ජීවිත පමණක් නොව, දේපොළ ද විනාශයට පත් වෙයි. සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් නොවීම නිසා නැතිවන දේපොළ, යළි අත්පත් කර ගැනීමේ අවකාශ ඇතත්, එවැන්නකින් අහිමි වන ජීවිත යළි ලබාගත නොහැකි බව, අප තේරුම් ගත යුතු ය. සියල්ලට ප්‍රථම, ‘ආරක්ෂාව’ යන්න වචනයකට පමණක් සීමා කිරීමෙන් පලක් නොවේ. මෙය කුඩා කාලයේ සිට මනස තුළ තැන්පත් කළ යුතු බීජයකි.

ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර සිටින ලෝකයේ රටවල්, පාසල් විෂය මාලාවට මෙය විෂයක් ලෙස ඇතුළත් කර තිබේ. ඒ ඔස්සේ ඔවුන් පාසල් වියේ සිට ම දරුවන්ට ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වීමේ වැදගත්කම හා ඉන් ජීවිතයට හා සමාජයට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධව කියා දෙයි. නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. නීතිය මෙන් ම, සුරක්ෂිතතාව ද (Safety) පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතුව ඇත. නීති කඩන්නට බොහෝ දෙනෙක් පෙලඹෙන්නේ, ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවන නිසා ය. නීති බොහොමයක් හඳුන්වා දී තිබෙන්නේ, ආරක්ෂාව හා සුරක්ෂිතතාව සහතික කිරීම පිණිස ය.

හිස් ආවරණ (Helmet) නොදමා, යතුරු පැදිවල ගමන් කිරීම තහනම් කිරීමේ නීතිය හඳුන්වා දී තිබෙන්නේ, එහි ගමන් කරන්නාගේ ආරක්ෂාව සඳහා ය. ආරක්ෂාව ගැන සැලකිලිමත් වන පුද්ගලයා, හිස් ආවරණ නොදමා ගමන් කිරීමට නොපෙලඹීම තුළ, ඉබේම නීතිය ආරක්ෂා වෙයි. ගොඩනැගිලි ඉදිකිරීමේදී, අදාළ සැළසුමට අනුව ඉදිකිරීම් නොකරන පොදු තත්ත්වයක් ද, රටේ දක්නට ලැබේ. විශේෂයෙන් ගොඩනැගිලි අභ්‍යන්තරයේ කරන ඉදිකිරීම්, අනුමත සැළසුම්වලට පිටින් ගොස් කරන අවස්ථා, අපේ රටේ බහුල ය. ඒවා බොහොමයක් අනාරක්ෂිත ය. සුරක්ෂිතතාව පිළිබඳ සැලිකිලිමත් වන්නේ නම්, ඔවුන් මෙලෙස නීති නොකඩනු ඇත.

ජීවිතය අවදානම

සුරක්ෂිතතාව පිළිබඳ කල්තියා සැලිකිල්ලක් නොදක්වා ඇති ස්ථානයකදී, ආපදා තත්ත්වයකට මුහුණ දීමට වුවහොත්, ජීවිතය අවදානමට ලක්වීමට පවතින ඉඩ වැඩි ය. මහනුවරදී පසුගියදා ඇතිවූ ගින්නේදී, පියා, මව හා දරු තිදෙනා මුහුණ දී තිබුණේ, එවැනි තත්ත්වයකට ය. එම ආපදා තත්ත්වයේදී, සාමාන්‍ය ජනතාව ක්‍රියා කළ ආකාරය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

එහිදී සියලු දෙනා එකාවන්ව කටයුතු කිරීම හේතුවෙන්, ජීවිත හතරක් ගලවා ගැනීමට හැකි විය. ගින්නක් ඇතිවන අවස්ථාවක ගිනි දැල්, දුම හා අධික තාපයක් නිකුත් වෙයි.මෙහිදී නිකුත්වන දුම ආඝ්‍රහනය වීමෙන්, පුද්ගලයෙක් ක්ෂණිකව මරණයට පත් වීමේ අවකාශය වැඩි ය. මේ අවස්ථාවේදී පියා ක්ෂණිකව ගත් තීරණය, පලදැරුවේ ය. ඒ, පහළ සිටි පිරිස නිසි ලෙස ක්‍රියාත්මක වීම නිසා ය. අදාළ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පසුබිම, පරිසරය තුළ නිර්මාණය වී තිබීම, මේ පවුලේ වාසනාව ය. නොඑසේ නම්, මේ ගින්න නිවී යන්නට තිබුණේ, මහා ඛේදවාචකයක් සමඟිනි.

සුරක්ෂිතතාව, නිවෙසේදී,මහ මඟදී මෙන් ම, වැඩබිමේදී ද එක ලෙස පවත්වා ගැනීම වැදගත් ය. අද වනවිට, විදුලිය,ගෑස් භාවිත නොකරන නිවෙසක් නැති තරම් ය. විශේෂයෙන්, ව්‍යාපාරික ගොඩනැගිල්කට පිවිසෙන හා එහි රැඳී සිටින ජන සංඛ්‍යාව ඉහළ ය. විදුලි සෝපාන,ජෙනරේටර්,ගෑස් සහ විවිධ රසායනික ද්‍රව්‍ය වැනි ගින්නක් ඇති වීම සඳහා අවශ්‍ය සාධක ,මේ ස්ථානවල නිතරම පවතී.මේවා නිසා, සුළු අතපසු වීමකින් හෝ ගින්නක් හෝ වෙනත් ආපදාවක් ඇති විය හැකි ය. මෙවැනි ස්ථානයකදී , එවැන්නකින් බලපෑම් එල්ල විය හැකි සංඛ්‍යාව ද ඉහළ ය. මේ නිසා, විශේෂයෙන් ව්‍යාපාරික ගොඩනැගිලි පවත්වාගෙන යන පුද්ගලයන්, තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන පුද්ගලයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස, විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් ය.

මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (K.C.C)වෙළෙඳ සංකීර්ණය තුළ, ගින්නකදී ආරක්ෂා වන ආකාරය පිළිබඳ පෙර පුහුණු වැඩ සටහන්, වාර්ෂිකව සංවිධානය කෙරෙයි. එම අවස්ථාවේ වෙළෙඳ සංකීර්ණයට පැමිණ සිටින පාරිභෝගික ජනතාව පවා, මේ පෙරහුරුව සත්‍යයක් යැයි සිතා, හිදිසි ආරක්ෂිත පියවර අනුගමනය කරති.මේ ආකාර පෙර පුහුණු පවත්වන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයක්ම මෙරට තිබේ.බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ සම්බන්ධව තවමත් වැඩි අවධානයක් යොමු නොකර සිටීම, කනගාටුවට කරුණකි.

හදිසි අවස්ථා

හදිසි අවස්ථා, කල්තියා දැනුම් දී එන්නේ නැත.එවැනි අවස්ථාවක කළ යුතු සුදුසු ම දේ කිරීම, අත්‍යවශ්‍ය කාරණයකි. වැරැදි තීරණයක් ගැනීමෙන් ජීවිතය හෝ ජීවිත අහිමි වීමට පුළුවන.අදාළ තීරණය ගැනීමට ලැබෙන්නේ ඉතා ම සුළු කාලයකි. හදිසි අවස්ථාවක් එළැඹි විට, අත්දැකීමක් නොමැති අයකුට හරි දේ හරි වෙලාවට කිරීම අපහසු ය.මහනුවර යටිනුවර වීදියේ ගින්න ඇති වූ අවස්ථාවේ පියා කටයුතු කළ ආකාරයට, හැමෝටම ක්‍රියා කළ නොහැකි ය.

ඒ ආකාරයෙන් පරිසර සාධක යහපත් ලෙස ගැළපෙන්නේ ද නැත.එසේ නම්, විශේෂයෙන් ගින්නක් ඇති වූ අවස්ථාවක ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පුහුණු අභ්‍යාසවල නිරතව සිටීම වැදගත් ය.බොහෝ විෂයන්ට වඩා මෙය වෙනස් ය. සුරක්ෂිතතාව යන විෂය ගොඩනැගී ඇත්තේ, හදිසි තත්ත්වවලට මුහුණ දී, ඒවායින් ජීවිත ගලවා ගත් අයගේ අත්දැකීම් මඟිනි. ගින්නකදී විපත් අවම කර ගැනීම පිණිස ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව, කිසිදා එවැන්නකට මුහුණ නොදුන් අයකු ගෙන් කරුණු දැන ගැනීමේ හැකියාව අල්ප ය.විෂය කරුණුවලට වඩා මෙහි ඇත්තේ, ප්‍රායෝගික අත්දැකීම් ය. මහනුවර ගින්න මෙරට ප්‍රථම ගින්න මෙන් ම, අවසන් ගින්න ද නොවන්නේ ය.

අතීතයට එක්ව තිබෙන සෑම ආපදාවක් විසින් ම, අපට පාඩමක් කියාදී තිබේ. එම පාඩම නිවැරැදි ලෙස ග්‍රහණය කර ගැනීමෙන්, ආපදාවන් වලක්වා ගැනීම හා එමඟින් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම කළ හැකි ය. එහෙත්, අවාසනාව වන්නේ, එම පාඩම අපි රටක් ලෙස ඉගෙන ගැනීමට දක්වන උනන්දුව අඩු වීම හා මැළිකම ය. මේ සම්බන්ධව රට තුළ ආකල්පමය වෙනසක් ඇති විය යුතුව තිබේ. සුරක්ෂිතතාව සම්බන්ධව අවධානය මෙන් ම, සැලකිල්ලක් දැක්වීමෙන් දෛනිකව රටට අහිමි වන ජීවතවලින්, අඩු තරමින් එකක් හෝ ඉතිරි කර ගැනීමට පුළුවන.

 


ඉහළින්ම ඉන්නේ අපි

$
0
0
ජන 14, 2019 01:00
බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

ඒකාබද්ධ ඇඟළුම් කර්මාන්ත සංගම් සංසදයේ මහ ලේකම් ටියුලි කුරේ

ආර්ථික සුරක්ෂිතතාව පිළිබඳ සාකච්ඡාවේදී අපනයන ආදායම වැදගත් සාධකයක් බවට පත්වෙයි. මෙරට අපනයන ක්‍රමෝපායන් අතර ඇඟළුම් කර්මාන්තය ප්‍රමුඛතම කර්මාන්තයකි. ඇඟළුම් කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත්ත කිරීම මෙරට අපනයන ආදායම පමණක් නොව විරැකියාව‍ටද පිළියමකි.මේ පිළිබඳවත් ඇඟළුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රවණතා පිළිබඳවත් ශ්‍රි ලංකා ඒකාබද්ද ඇඟළුම් කර්මාන්ත සංගම් සංසදයේ මහ ලේකම් ටියුලි කුරේ මහතා සමඟ කළ සංවාදයකි මෙය.

ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය තත්ත්වය පැහැදිලි කළ හැකිද?

ලෝකය තුළ ඇඟලුම් කර්මාන්තය ක්‍රියාත්මක වෙන ආකාරය ක්‍රම කීපයකට අනුව හඳුනා ගත හැකිය. ආසියා, අප්‍රිකා, යුරෝපා, ඔස්ට්‍රේලියා විශේෂයෙන් අග්නිදිග ආසියා, දකුණු ආසියා, මැදපෙරදිග ආදී ලෝකයේ මහද්වීප සියල්ලම ආවරණය වන පරිදි මෙම කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ලෝකයේ අර්ථික බලවතුන් ලෙස හඳුන්වන රටවල් 10 අතරින් රටවල් කීපයක්ම මෙම කර්මාන්තයේ නිරත රටවල් නමුත් අප වැනි රටවල් මෙම කර්මාන්තයේ නිරත වී සිටින ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයටයි ඔවුන් කර්මාන්තයේ නිරත වී සිටින්නේ. කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින ලෝකයේ සෑම නිෂ්පාදකයෙකුටම එක් පොදු සමානකමක් තිබෙනවා. එය නම් ඔවුන්ගේ වෙළෙඳ පොළ බවට පත්වී තිබෙන්නේ “ලෝකයයි” තම රටේ හෝ අසල්වාසී වෙළෙඳපොළක් උදෙසා නොව ලෝක වෙළෙඳ පොළ අවශ්‍යතා වෙනුවෙනුයි ඇඟලුම් නිෂ්පාදනය සිදුවෙන්නේ.

ඔබ පවසන්නේ ඇඟලුම් කර්මාන්තය වඩාත් තරගකාරී බවද?

අපගේ ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම මෙන්ම දියුණුව රැඳී පවතින්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ කොතෙක් දුරට තරගකාරී ලෙස අපගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට හැකියාව පවතීද යන්න මතය.

තරගකාරිත්වය මත වෙළෙඳ පොළ ජයගත යුතු තත්ත්වය උදාවූයේ 2005 වසරින් පසුවයි. 2005 ට පෙර පැවතියේ ලොව ක්‍රියාත්මක වූ බහුවිධ වෙළෙඳ ගිවිසුම්වලට අනුව කෝටා ක්‍රමයකට අනුව නිෂ්පාදන මිලදී ගැනීමයි. උදාහරණයක් ලෙස අපේ රටින් අමෙරිකාව වසරකට කලිසම් 5000 මිලදී ගන්නවා. ප්‍රංශය ෂර්ට් 2500 ක් මිලදී ගැනීමට බැඳී සිටිනවා ආදී වශයෙන් එවිට තරගය පැවතියේ මෙරට එම නිෂ්පාදනය සිදුකරන ආයතන අතර පමණයි.

‍ෙම් ක්‍රමයට අනුව වෙළෙඳ පොළ නිශ්චිතය. ලැබී තිබෙන ඇණවුම නිසිපරිදි නියමිත කාලසීමාවේදී ලබාදීමය කළ යුතු වූයේ. 2005 වසරින් පසුව මෙම කෝටා ක්‍රමය අහෝසි වුණා. ගැනුම්කරුවන් නිශ්චිතව එක් නිෂ්පාදකයකු වෙතින් යැපිය යුතු නෑ. ඔවුන්ට ගැළපෙන නිෂ්පාදන ඔවුන්ට කැමති තැනකින් කැමති ප්‍රමාණය මිලදී ගැනීමේ හැකියාව උදාවුණා. මේ අනුව අපගෙන් ඇඳුම් 1000 ක් මිලදී ගත් කෙනෙකුට කැමතිනම් 5000 ක් වුණත් මිලදී ගැනීමට හැකියාව ලැබුණා. එසේම අප වෙතින්ම නිශ්චිතව ඇඳුම් ගත් කෙනෙක් එම ඇඳුමම ඊට අඩු මිලකට බංග්ලිදේශයේ අලෙවි වෙනවානම් ගැනුම්කරුවන් ඒ වෙතට යොමුවුණා.

මෙහිදී උසස් නිමාව ‘තත්ත්වය’ වැනි සාධක බලපාන්නෙ කෙසේද?

තත්ත්වයෙන් උසස්බව, යුතුව භාණ්ඩ නිෂ්පාදනය මූලිකම කොන්දේසියන්. ඒ අවශ්‍යතාව සෑම නිෂ්පාදකයකුම සපුරා අවසන්, තරඟකාරී බවට එම සාධකය අදාළ වන්නේ නෑ. තරගකාරී බව රැඳී පවතින්නේ වෙනත් සාධක මතයි.

නිෂ්පාදන තරගකාරීව ඉදිරිපත් කිරීමේදී අප සතු ශක්‍යතාවන් මොනවාද?

ආසියානු මෙන්ම අප්‍රිකානු කලාපයේ මෙම කර්මාන්තයේ නියැලී සිටින රටවල් සමඟ සසඳනවිට අප සතු ශක්‍යතාවන් ඉතාමත් ඉහළයි. මේවා කරුණු කීපයක් යටතේ හඳුනාගත හැකියි.

ඉන් පළමුවැන්න ලෙස මම හඳුන්වන්නේ ‘ethical behavior’ රටේ නීති රීති නිසිපරිදි ක්‍රියාත්මක වීම වැඩකරන කම්කරුවන් සඳහා පවතින නීති රාමුවේ ශක්තිමත් බව කර්මාන්ත ශාලාවල පවතින වැඩ පරිසරයේ ඇති සාධාරණ හා මානුෂීය ලක්ෂණ උදාහරණය ලෙස පසුගිය කාලේ අප දුටුවා බංග්ලිදේශයේ අනාරක්ෂිතව ඉදිකළ කර්මාන්තශාලා නිසා එරට සේවකයින් අනතුරට පත්වූ අවස්ථා පිළිබඳව මෙවැනි තත්ත්වයක් අප රටෙහි කිසිදු අවස්ථාවක ඇතිවී නැහැ. මෙවැනි නීති බංග්ලිදේශයට මුලින්ම හඳුන්වා දුන්නේ 2013 දී නමුත් අපේ රටේ කම්කරු නීති පද්ධතිය ශක්තිමත් වූයේ නිදහස ලැබීමට පෙර සිටයි. කලාපයේ රටවල් අතරින් මේ අංශයෙන් අප සිටින්නේ වඩාත් ඉහළ මට්ටමකයි.

1977 ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වීමත් සමඟම විදෙස් ආයෝජන මෙරටට ගලා ආවා. ඒ සමඟ පැමිණියේ මුදල් පමණක්ම නොවේ. ඔවුන් සමඟ ලෝකයේ උසස් ක්‍රමවේද (world best practices) අප වෙතට පැමිණියා. අනෙක් කාරණය ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ අප විසින් ගොඩනඟාගෙන ඇති විශ්වාස හා කීර්තියයි. මෙම කර්මාන්තය ආරම්භක අවදියේදී කර්මාන්තයට අවශ්‍ය සියලු දේවල් ගෙන්වනු ලැබුවේ ගැනුම්කරුවන් හරහායි. උදාහරණ ලෙස රෙදිපිළි, බොත්තම්, නූල්ටික පවා අප වෙතට ලබාදුන්නා. භාණ්ඩය නිමාකොට ඔවුන් වෙත නිසිපරිදි ලබාදීමයි අප කළ යුතු වූයේ. මේ ක්‍රමය හඳුන්වන්නේ No foreign Exchange business නැතිනම් විදෙස් විනිමය වැය නොකොට කරන වෙළෙඳාම ලෙසයි. මෙහිදී ගැනුම්කරුවන් ඔවුන්ගේ මුදල් වැයකොට අප වෙත අමුද්‍රව්‍ය ලබාදී නැවත නිෂ්පාදන මිලදී ගත්තා. එම ක්‍රියාවලිය විශ්වාසය මතයි ගොඩනැ‍ඟෙන්නේ. මෙම ආරම්භක වකවානුවේ සිට ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ අප තබා ඇති විශ්වාසය ඉතාමත් ඉහළයි. මේ නිසාම ලෝකයේ උසස් මට්ටමේ සන්නාම සියල්ලම පාහේ අප සමඟ ගනුදෙනු කරන මට්ටමට, මෙම කර්මාන්තත් නියැලෙන මට්ටමට අප පත්වී තිබෙනවා.

මෙම කර්මාන්තයේදී සේද මාවතේ පිහිටි රටක්වීමේ වාසිය කෙබඳුද?

එම වාසිය ඉතාමත් ඉහළයි. (Gently Delivery) යනුවෙන් අප හඳුන්වන සාධකයට මෙය ඉතාමත් වැදගත්. ඇඟලුම් කර්මාන්තයේදී නියමිත වෙලාවට බෙදාහැරීම ඉතාමත් වැදගත්. ලෝකයේ අනෙකුත් රටවල් දින 26 ප්‍රවාහණයට කාලය ගතකරන විට අපිට ගතවෙන්නෙ දින 20 ක් පමණයි. Speed to the Market යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. ඊට හේතුව අප විසින් අපනයන ක්‍රියාවලිය වඩාත් සක්‍රීයව අඩු කාලයක් සිදුකිරීම සඳහා රජයත් සමඟ සාකච්ඡා කොට ගන්නා ලද පියවරයන්ගේ ශක්තිමත් බවයි.

අප සතු හැකියාවන් බොහෝ වූවද මෙම කර්මාන්තයේ වර්ධන වේගය තවමත් 4% ක මට්ටමකයි පවතින්නේ?

ඒ සඳහා බලපා ඇති සාධක කීපයක් පවතිනවා. ඉන් පළමුවැන්න භාණ්ඩ නිෂ්පාදනයේදී අපගේ නිෂ්පාදන වියදම ඉහළ යාමයි. බංග්ලිදේශය වැනි රටක පවතින ශ්‍රමය ලාභදායි නමුත් අ‍පගේ වියදම ඊට සාපේක්ෂව ඉහළයි. එකම භාණ්ඩය වෙළෙඳ පොළ වෙත තරගකාරීව ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට වැයවෙන මුදල අඩුයි. ඒ නිසාම අපගේ වියදම වැඩිවීම නිසා අප වෙත ලැබෙන ලාභය අඩුයි. බංග්ලිදේශය 7% ක් කර්මාන්තය වර්ධනය වනවිට අපගේ වේගය 4% ක් බවට පත්වී ඇත්තේ ඒ නිසයි.

මෙ කර්මාන්තයේදී ශ්‍රමය හිඟවීම ගැටලුවක් නේද?

බංග්ලිදේශයේ ජනගහනය මිලියන 160. අපගේ මිලියන 20 ය. අනෙක් කාරණය කුමක් හෝ හේතුවක් නිසා කෙනෙකුගේ අවසන් තේරීම ලෙසයි අපගේ කර්මාන්තය තෝරා ගන්නේ. මෙරට උපයන විදෙස් විනිමයෙන් 43% ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව අපි අමතක කර තිබෙනවා. මේ කර්මාන්තය පිළිබඳව ගොඩනගා තිබෙන ආකල්පය ඉතාමත් පහත් මට්ටමක පැවතීම ඊට හේතුවය.

ඔබ පවසන්නේ ආකල්පමය වෙනස් ඇති කළ යුතු බවද?

ඉස්කෝලෙ ඉගෙන ගැනීමට දුර්වල ළමයා අමතා ගුරුවරිය පවසන්නේ ඔහොම ගියොත් ගාමන්ට් තමා යන්න වෙන්නෙ කියායි. මේ රටේ නිෂ්පාදනය වූ සිනමාපට, ටෙලිනාට්‍ය නවකතා ආදියේ දූෂණයට ලක්වුණොත් එසේ වී ඇත්තේ ගාමන්ට් කෙල්ලෙක් ඔවුන් සමාජයේ හඳුන්වන්නේ විවිධ උපහාසාත්මක නම්වලිනි. මේ තත්ත්වයට ජනමාධ්‍යයත් වගකිව යුතුයි. කාන්තාව සවිබලගැන්වීම පිළිබඳ කතාකරන මේ කර්මාන්තයේ වටිනාකම පිළිබඳව අදහස් ආකල්ප ඉදිරිපත් නොවෙන තරම් ඒ නිසා ශ්‍රමය පිළිබඳ ගැටලුව අප කළක් තිස්සේ මුහුණදෙන ගැටලුවක් වී තිබෙනවා.

අභියෝගයන් ජයගැනීමට සැලසුම් සකස්කර දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බව ඔබ පැවසුවා?

බංග්ලිදේශයේ කර්මාන්තශාලා 3000 ක් පමණ තිබෙන විට අප සතුව පවතින්නේ කර්මාන්ත ශාලා 350 ක්. ඔවුන් විසින් ටීෂර්ට් 10000 ක් නිෂ්පාදනය කරනවිට අප නිෂ්පාදනය කරන්නේ 1000 ක් විය හැකිය. නමුත් මේ වනවිට අපි ක්‍රියාත්මක කරන ක්‍රමය වන්නේ නිෂ්පාදනයෙන් පසුව ඊට තවත් වටිනාකම් එකතු කිරීමෙන් නිෂ්පාදන තත්ත්වය වඩාත් ඉහළ නැංවීමයි. උදාහරණ විදියට එම්බ්‍රොයිඩර් ආදී නොයෙකුත් ක්‍රම මේ සඳහා යොදා ගන්නවා. එසේ කිරීමෙන් අඩු නිෂ්පාදන ප්‍රමාණයට වඩා ඉහළ මිලකට අලෙවි කිරීමයි අපගේ ක්‍රමය.

ශ්‍රමය පිළිබඳ ගැටලුවට මුහුණ දෙන්නේ කෙසේද?

ඒ සඳහා ක්‍රියාත්මක කරන ක්‍රම දෙකක් පවතිනවා. ඉන් පළමුවැන්න පවතින ශ්‍රමය වඩාත් කාර්යක්ෂම අයුරින් භාවිත කිරීමය. ඒ සඳහා විශ්වාසය තබන්නේ නවීන තාක්ෂණය පිළිබඳවය.

මෙම කර්මාන්තයට අදාළ ගෝලීය තාක්ෂණය දිනෙන් දින අලුත් වෙනවා. මුලින් වැඩ කීපයක් පුද්ගලයන් කීපදෙනෙක් අතින් සිදුවූවත් එක් මැෂිමකින් වැඩ කීපයක් කළ හැකි ආකාරයේ යන්ත්‍ර පවතිනවා. විශේෂත්වය එහි සේවය කරන පුද්ගලයාගේ හැකියාව වඩා දියුණු මට්ටමක පැවතිය යුතුයි. ඒ අනුව ශ්‍රමය අඩු කිරීමේ වැඩසටහන් ක්‍රමානුකූලව සිදුකෙරෙනවා.

දෙවැනි කාරණය වෙන්නේ බංග්ලිදේශය වැනි රටක් සමඟ හවුල්වී ඉදිරියට මෙම කර්මාන්තය සිදුකිරීමයි. සාමාන්‍යයෙන් ඇඟලුම් භාණ්ඩ නිමකිරීමේදී පියවරයන් 109 ක් පමණ පසුකළ යුතුයි. ඉන් පළමුවැන්න කෙනෙකු විසින් ඇඳුම් පිළිබඳ සිහින දැකීමය. ඉන් අනතුරුව එය නිපදවීමට සිතන රට, දේශගුණික ස්වභාවය අනුව එය සැලසුම් කර ගැනුම්කරුවන්ට ඉදිරිපත් කිරීමයි. මේ අනුව අප දැනට බංග්ලිදේශය සමඟ සාකච්ඡා කරන්නේ ඇඳුම් මැසීමේ පියවර පමණක් එරටදී කර, නැවත මෙරටට ගෙන්වාගෙන අපනයනය කිරීම පිළිබඳවයි. ඔවුන්ගේ කර්මාන්ත ශාලාවන්හි ධාරිතාව විශාල නිසා එම ක්‍රමය වඩා සාර්ථක වේවි. මෙම ක්‍රියාවලිය පිළිබඳව දැනට සාකච්ඡා සාර්ථක මට්ටමක පවතිනවා.

කර්මාන්තයේ දියුණුව සඳහා බදු ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවට ඔබ අවධාරණය කළා?

මේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් ආනයනය කරන ද්‍රව්‍ය විශේෂයෙන් රෙදි. මෙරට රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජකයෝ කැමැත්ත පළ කළත් රෙදි නිෂ්පාදනයේදී පරිසරයට සිදුවන බලපෑම හේතුවෙන් මෙම කර්මාන්ත සඳහා අවසර ලබාගැනීමේදී ගැටලු රැසකට මුහුණපානවා. මේ නිසා අප පවසන්නේ රෙදි ආනයනය කිරීමේදී බදු සහන ලබාදීමට පියවර ගන්නා ලෙසයි. එසේම GSP සහනය ඇති රටවල් වෙතින් රෙදිපිළි ලබාගෙන ඒවායෙන් නිෂ්පාදනය කරන ඇඳුම් යුරෝපය වෙත ප්‍රති අපනයනය කිරීමේ ක්‍රමයක් පවතිනවා. එපමණක් නොවේ ඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම වැනි ගිවිසුම් මගින් ඉන්දියාවේ රෙදි සහන මිලට ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. කොරියාව, චීනය වැනි රටවල් වෙතින්ද මේ ආකාරයෙන් ලබාගත හැකියි.

කර්මාන්තයේ වර්ධනය සඳහා සැලසුම් කර ඇති අන් ක්‍රියාමාර්ග මොනවාද?

මේ වනවිට මංමාවත් මෙන්ම විදුලිය වැනි යටිතල පහසුකම් රට පුරාම ඉතා දියුණු මට්ටමක පවතිනවා. ඒ නිසාම 2016 මෙරටට ඒකපුද්ගල ආදායම් පිළිබඳ සමීක්ෂණයක් අනුව ජනගහනයෙන් 20% ක පමණ ඒක පුද්ගල ආදායම ඉතාමත් අඩුමට්ටමකයි පවතින්නේ. එවැනි පිරිස් සිටින පළාත්වල කර්මාන්ත ශාලා 300 ක් ඇරඹීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා. එය පියවරෙන් පියවර ස්ථාපිත කිරීමය සැලසුම වී ඇත්තේ.

 

කාර්යක්‍ෂම ඖෂධ නියාමන ක්‍රමවේදයක්

$
0
0
ජන 14, 2019 01:00

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර දියත් කිරීමේ ඉසව්ව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සමග එකතුවෙන් හඳුන්වාදෙන මෙම ව්‍යාපෘතියට අදාළව සේවා සම්පාදකයා ලෙස කටයුතු කරනුයේ තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු වන Epic Technology සමූහය විසිනි. මෙම නව ක්‍රමවේදය, eGovernment Solutions නැමැති පුරෝගාමී පරිවර්තනයේ ප්‍රතිඵලයක් වන අතර එමගින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අංශවල ක්‍රියාවලීන් හී කාලය කැපී පෙනෙන ලෙස අවම කරනු ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එතෙක් පැවැති ක්‍රමවේදය විමර්ශනයකට ලක්කරමින් එහි කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව ශ්‍රියානාන්ද රත්නායක සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාරතුමාගේ සමීප සහයෙන් මෙම හඳුන්වාදීම සිදුකෙරිණි.

මෙම නව ක්‍රමවේදයට අනුව Epic Technology සමූහය විසින් හඳුන්වාදෙන, මෙහෙයුම් වියදම් අවම කිරීම සහ නියාමන ක්‍රියාවලියේදී වසරකට වැයවන කාලය මිනිස් පැය දහස් ගණනකින් අඩුකිරීමේ හැකියාව සහිත DoxPro Enterprise Content Management Platform නම් මෘදුකාංග වැඩසටහන යොදමින් end to end Information-as-a-service ලෙසින් හඳුන්වන ක්‍රමවේදයට අනුව විශිෂ්ට නියාමනයක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට හැකියාව ලැබෙනු ඇත.

මෙකී හඳුන්වාදීමේ පළමු පියවර දියත් කිරීම නිමිත්තෙන් අදහස් දක්වමින්, මෙම ව්‍යාපෘතිය ලබාගැනීම මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සමග එක්ව කටයුතු කිරීමට ලැබීම තම සමූහයට ගෞරවයක් යැයි Epic Technology සමූහයේ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා පවසන ලදි. ‘තාක්‍ෂණයේ දේශීය ප්‍රමුඛයා ලෙසින් පොදු මහජනතාවට සෙත සැලසෙන සේ මෙවැනි ක්‍රමවේදයන්ට උත්තේජනය සැපයීම සහ ඒවා උසස් තත්ත්වයට රැගෙන ඒම අපගේ වගකීමක් ලෙසින් දකිනවා’ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඇත්ත නැත්ත

$
0
0
ජන 14, 2019 01:00

ශ්‍රී ලංකාව ව්‍යාපාරක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‍ රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම ආරම්භ කළේ වසර 2018 දීය. මුලින් ණය යෝජනා ක්‍රම අටක් ලෙස ඇරඹි මෙය පසුව ණය යෝජනා ක්‍රමවලට පමණක් සීමා නොවී නව ව්‍යාපාර ඇරඹීමට සූදානම් පිරිසට ඇප ආවරණයක්, අවදානම්වලින් මිදීමට රක්ෂණාවරණයක් තරමට පුළුල් කැරිණි. පුළුල් කිරීමට අපේක්ෂිතය.

ගත වූ කාලපරිච්ඡේදය තුළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ක්‍රම අප රටේ ආර්ථික දියුණුවට කළ බලපෑම, එය ක්‍රියාත්මක කිරීමේදී මතුවී ඇති නව ප්‍රවණතා වඩාත් සාර්ථක වැඩපිළිවෙළක් වීමට කළ යුතු වෙනස්කම් පිළිබඳව කතිකාවක් ගොඩනැගුවෙමු. මේ ලිපිය එහි ප්‍රතිඵලයයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ ‍ෙපාලී සහන ණය යෝජනා ක්‍රමය පෙරටත් වඩා පුළුල් සහ විධිමත්කොට නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට යළිත් බලගැන්වෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු මහතා ප්‍රකාශ කරයි.

වසර 2025 ඉදිරි දැක්ම තුළ ව්‍යවසායක පාරාදීසයක් බවට අප රට පත්කොට තරුණ ව්‍යවසායකයින් බළකායක් නිර්මාණය කිරීමට මේ තුළින් අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සමුද්‍ර ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම්හි පූර්ණ ආර්ථික විභවතාවය (Potential) එකතු කර සමස්ත වර්ධන ක්‍රමෝපායන් මත “නීල” ආර්ථිකයක් සහ පරිසරාත්මක වශයෙන් තිරසාර සියලු ක්‍රමෝපායන් එක්කොට “හරිත” ආර්ථිකයක් තුළ “නීල - හරිත” ආර්ථිකයක් ගොඩනැඟීම රජයේ අරමුණයි. එම අරමුණ ජයගැනීමටත් අතීතයේ පටන් අපේ රටේ ජනතාවගේ පැවැති ව්‍යවසායක හැකියාවන් දියුණු කිරීමටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම බලගැන්වෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන කෘෂි සැකසුම් ආයතන හිමියන්, වාණිජ පරිමාණ ‍ෙගාවිපොළ කටයුතුවල නිරතවූවන් දිරිගැන්වීමට රන් අස්වැන්න, ගොවි නවෝදා වැනි ණය යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ.

ඊට අමතරව “රිය ශක්ති”, “රිය බල සවි”, “දිරි සවිය”, “ජය ඉසුර”, “සොඳුරු පියස”, “මාධ්‍ය අරුණ” නම් වූ නෙක පොලී සහන ණය යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී වේගවත් කරන බව ද අතපත්තු මහතා පැවැසීය.

සූර්ය බලශක්තිය භාවිතයෙන් වැඩි වශයෙන් විදුලිබල අවශ්‍යතාවයන් සපුරා ගන්නා පිරිසක් බිහිකිරීමට මෙන්ම කර්මාන්ත ශාලාවලට වැඩි වශයෙන් සූර්ය බලශක්තිය යොදා ගැනීමට බලගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම අගනේය. ඊට අමතරව වැඩිපුර නිපදවන විදුලි බලය රජය මිලදී ගැනීමටද සූදානම් වීම ජනතාවගේ ප්‍රසාදයට හේතුවී ඇත.

“පවිත්‍ර ගංගා” නමින් අප රටේ ගංගා පද්ධතියේ සුරක්ෂිත සුපිරිසුදුභාවය ඉහළ නැංවීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකය. ඒ තුළින් ගංගා හා ඇළ දොළ අපවිත්‍ර කිරීම් වෙනුවට ඒවාට අපද්‍රව්‍ය බැහැර කිරීම් වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට ණය මුදල් ලබා දේ. ඒ හරහා අලුත් අදහස් හා යෝජනා ක්‍රියාත්මක කොට පරිසරය සුරැකීමට කර්මාන්තකරුවෝ පෙලඹවීම ඉලක්ක කොට ඇත.

රජයේ පොලී සහන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම රජයේ හා පෞද්ගලික අංශ දෙකෙහිම බැංකු හරහා ක්‍රියාත්මකය. මේ ණය යෝජනා ක්‍රමවලින් කඩිනමින් ණය මුදල් ලබාගැනීමට හා ව්‍යාපාර දියුණුවට අවශ්‍ය වෙනත් අතහිතදීම් සිදුකිරීමට 2025 නමින් ක්ෂණික ඇමතුම් දුරකථන සේවාවක්ද ආරම්භ කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සිනමා කර්මාන්තයටත් ණය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
චිත්‍රපට නිෂ්පාදක, එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ අධ්‍යක්ෂ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ සිනමා කර්මාන්තයටත් ලැබෙන සේ එය පුළුල් කළ යුතුයි. දැනට සිනමා කර්මාන්තයේ නිරත පිරිස් වෙත මේ යෝජනා ක්‍රමයෙන් පහසුකම් ලබාගැනීමට අවකාශයක් ලැබී නැහැ. ඒ නිසා අපි රජයට මේ ගැන අපේ ඉල්ලීම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

සිනමා කර්මාන්තය දියුණු කිරීම හරහා පොදුවේ රටේත්, රටේ ජනතාවගේත් ආර්ථික දියුණුව සැලසීම මෙන්ම පොදු ජනතාවගේ විනෝදාස්වාදය හා සතුට, ප්‍රීතිය ඇතිකොට මානසික සුවතාවය ආරක්ෂා කිරීමත් සිදුවෙනවා.

ලෝකයේ ඕනෑම රටක ජනතාවක් මානසික ආතතියෙන් පිරි විවේකය අඩු පිරිසක් නම් ඒ රටේ සංවර්ධනය මන්දගාමී වෙනවා. සිනමා කර්මාන්තයේ දියුණුව සඳහා උදව් කිරීම යනු එක් අතකින් රටේ ජනතාවගේ විවේක බුද්ධිය, ආතතිය දුරු කිරීමටත් මඟක්. ඒ නිසයි අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පුළුල් කර අපට උදව් කරන්න කියන්නෙ.

මිලියන 400ක ණය ලබා දී අවසන් සුජිත් කාරියවසම්
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති

අප බැංකුව මඟින් මේ වනවිටත් මිලියන 4000 ක මුදලක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් වෙත ලබාදී තිබෙනවා.

එපමණක් නොවේ, අනෙකුත් රාජ්‍ය බැංකු සමග සසඳනවිට වුව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම මුදලක් ලබාදුන් බැංකුව වන්නේ අපගේ බැංකුවයි.

අප බැංකුවේ විශේෂත්වය වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදීමේ කටයුතු සඳහාම වෙන් වූ විශේෂිත කවුළුවක් විවෘත කර තිබීමය. ඊට අමතරව මෙම ණය යෝජනා ක්‍රමයේ පාරිභෝගිකයාට ඇති වාසිසහගත බව පිළිබඳව අපි පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ කඳවුරු පවත්වනවා. ඒ මඟින් දැනුවත් වූ බොහෝ දෙනෙක් නව ව්‍යවසායකයන් වීමේ අරමුණින් යුතුව ණය අයදුම් කර තිබෙනවා. ණය ලබාගැනීම සඳහා තවදුරටත් අප වෙත අයදුම්පත් ලබාදී තිබෙනවා. මේ අනුව ඉදිරියේදී බිලියන 6 ක පමණ ණය ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

අපගේ අපේක්ෂාව ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට එසවීමට මෙමඟින් ශක්තියවීමය. එමඟින් රටේ සංවර්ධනයට මෙන්ම රටට ලැබෙන විදෙස් විනිමය ඉහළ දැමීම මූලික අරමුණය.

මගේ පදනම ශක්තිමත් වුණා ආනන්ද තිස්ස ඉලේපෙරුම
ඔමේගා ග්‍රීන් ආයතනයේ සභාපති

මම ව්‍යාපාරික වගාකරුවෙක්. විසිතුරු මල් පැළෑටි අපනයනය කිරීම මගේ ව්‍යාපාරයේ ප්‍රධානම අංගයය. මීට අමතරව දේශීය වෙළෙඳ පොළ සඳහාත් අලෙවි කරනවා.

කෘෂි කර්මාන්තය සම්බන්ධ ව්‍යාපාර ලාභදායි වූවත් කම්කරු ගැටලුවට නිතර මුහුණදීමට සිදුවෙනවා. මේ නිසාම කම්කරුවන් අවම කිරීම සඳහා ලෝකයේ භාවිත වන නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීම සැලසුම් කළා. නමුත් ඒ සඳහා ප්‍රාග්ධනය විශාල වශයෙන් වැයවෙනවා. මම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජයඉසුරු ණය ක්‍රමය යටතේ ලක්ෂ 250 ක මුදලක් ලබාගත්තා. ඒ මඟින් මගේ ව්‍යාපාරය තවදුරටත් නූතන තාක්ෂණයට අනුව සකස් කිරීම සිදුකළා. මේ අනුව කම්කරුවන් සඳහා දෛනිකව වැය වන මුදල් ප්‍රමාණය තරමක් දුරට අවම කරගැනීමට මට අවස්ථාව ලැබුණා. නව ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම පවතින ව්‍යාපාර දියුණු කර ගැනීමටත් මෙම ණය යෝජනා ක්‍රමය වැදගත් බවයි මගේ අදහස.

සමහර බැංකු ණය දීම මඟ අරිනවා
ලලිත් හේවාවසම්

මම සේවය කරන්නේ ඇල්කඩුව වැවිලි සමාගමේ. මගේ හිතවතුන් කීපදෙනෙක්ම මේ ණය ලබාගන්න රාජ්‍ය බැංකු කීපයකටම ගිහින් තිබුණා. ඔවුන්ට ලැබී තිබුණේ නරක ප්‍රතිචාර මමත් මේ ගැන පරීක්ෂා කරන්න ඒ බැංකුවලට ගියා. කාරණය ඇත්ත සමහර බැංකු නිලධාරින් කතා කරන්නේ රජය අපහසුවට පත්වෙන අන්දමින්. මෙම ණය ලබාගැනීම අධෛර්යමත් කිරීමටයි ඔවුන් උත්සාහ ගන්නේ.

පහසුවෙන් අරමුදල්
කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහනාධාර ණය යෝජනා ක්‍රමය තුළින් ජනතාවට පහසුවෙන් අරමුදල් ලබා ගැනීමට බැංකුකරුවන් උනන්දුවී කටයුතු කළ යුතු යැයි කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කෙළේය.

බැංකුවෙත ගොස් ණය ඉල්ලුම් කළ විට විවිධ ලිපිලේඛන, ආදායම් වාර්තා හා තොරතුරු ඉල්ලා සිටින බවත්, ඇතැම් ඒවා ලබාදීමට ජනතාව කටයුතු කළද බැංකු නිලධාරීහු ඒ පිළිබඳව සෑහීමට පත් නොවී අරමුදල් ලබාදීම සිතාමතාම ප්‍රමාද කරන බවද ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

බැංකු මේ ණය යෝජනා ක්‍රමය පිළිබඳ දක්වන උනන්දුව අඩුයි. ඔවුන් මේ යෝජනා ක්‍රම පිළිබඳ ධනාත්මකව බලන්නේ නැති තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. එය වැළැක්වීමට මුදල් ඇමැතිවරයාත්, මුදල් අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරිනුත් කටයුතු කළ යුතුයි. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා හමුවී කරුණු කියන්නත් සූදානම් යැයි ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

සමහර බැංකු නිලධාරීන් නොකෙරෙන වෙදකමට, කෝඳුරු තෙල් පට්ටයක් නොව හත් පට්ටයක් ඉල්ලනවා වාගේ තමයි ණය ලබා ගන්න අය ගිය විට කථා කරන්නේ. ඒක ව්‍යවසායකයින් දිරි ගැන්වීමට වඩා අධෛර්යයට පත් කරවන තත්ත්වයක්.

මේ ණය යෝජනා ක්‍රමය හොඳයි. බැංකු නීතිරීති දැඩියි. ක්‍රමවේදය සංකීර්ණයයි. ඒ තත්ත්වය වෙනස් කොට සරල ක්‍රමවේදයක් ඔස්සේ ණය දෙන්න කටයුතු කරන්න ඕනෑ.

හැබැයි! ණය මුදල් ලබා ගන්නා අපේ ව්‍යවසායකයොත් බැංකුවට බොරු ‍නොකොට අවංක වී ගත් ණය ආපසු ගෙවන්න කටයුතු කරන්න ඕනෑ.

ජයසිරි මුණසිංහ
බුද්ධිකා බ්‍රාහ්මණගේ

දරුවන් වෙනුවෙන් PickMe-නැණ පහන

$
0
0
ජන 14, 2019 01:00

PickMe විසින් 'නැණ පහන'ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සිය විනයගරුක රියැදුරු සාමාජිකයන් ඇගයීම හා ඔවුන්ගේ පාසල් යන දරුවන්ට උපකාර කිරීම වෙනුවෙන් රියැදුරන් 1000 කගේ දරුවන්ට වටිනා පාසල් උපකරණ කට්ටල බෙදා දීම, BMICH හිදී පසුගියදා පැවති උත්සවයකදී දෙවන වරටත් සිදු කරන ලදී. සෑම උපකරණ කට්ටලයක්ම වසරකට අවශ්‍ය පොත්පත් සහ ලිපිද්‍රව්‍ය, පාසැල් බෑගයක්, කෑම පෙට්ටියක් සහ වතුර බෝතලයකින් සමන්විත විය.

මෙම රියදුරන් 1000 තෝරා ගැනීමේදී මුල්‍ය ඉපයීම් දක්ෂතා මතම පදනම් නොවී ඔවුන්ගේ හැසිරීම, ලැබුණු පැමිණිලි, ශ්‍රේණිගත කිරීම් හා යහපත් පැවැත්ම වැනි සාධක උපයෝගී කර ගැනුනි. දරුවන් 2500කට අධික සංඛ්‍යාවකට පාසල් උපකරණ ලබාදුන් මෙම සද්කාර්යය උදෙසා PickMe ආයතනය විසින් රුපියල් ලක්ෂ 45 ක මුදලක් වැය කරන ලදී. මෙයට අමතරව ආයතනය හා පසුගිය වසර 3 1/2 පුරාවට රැඳී සිටි ප්‍රශංසාත්මක ශ්‍රේණිගත කිරීම් හා යහපත් ඇගයීම් ලබාගත් රියදුරන් 50 දෙනෙකු ඇගයීමද සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ pic me විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි මහතා ප්‍රකාශ කලේ "අපගේ සාමාජික රියදුරන් අපගේ ව්‍යාපාරික සාර්ථකත්වයේ අත්‍යවශ්‍ය සාධකයක්. ඔවුන් ගනුදෙනුකාර මගීන් සමඟින් පවත්වාගෙන යන යහපත් සම්බන්ධතාවය පිළිබිඹු කරන්නේද අපගේ ගෞරවය හා අවංකත්වය යන හර පද්ධතින්. එබැවින් මෙම ගුණාංග සිය හැසිරීම මඟින් පෙන්නුම් කල රියදුරු සාමාජිකයන් ඇගයීමට අප විසින් තීරණය කලා"

රක්ෂණය නොකළ නිවාස-කඩ වෙනුවෙන් රජයක් රක්ෂණාවරණ ලබාගත් ලොව ප්‍රථම ආපදා රක්ෂණ ක්‍රමයයි

$
0
0
ජන 14, 2019 01:00

ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ද සිල්වා

රක්ෂණාවරණයක් ලබා නොගත් ජනතාවකගේ නිවාස සහ කුඩා ව්‍යාපාර ස්ථානයන් වෙනුවෙන් රජයක් විසින් රක්ෂණාවරණයක් ලබාගෙන තිබෙන ලෝකයේ ප්‍රථම වැඩසටහන “ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය” බව ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

වසර 2016 දී ශ්‍රී ලංකාව විසින් ආරම්භ කළ මේ ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය” මේ වනවිට මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින බව ද ප්‍රධාන විධායක නිලධාරි ද සිල්වා මහතා කියා සිටියි.

පෝලන්තයේ කටෝවයිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට (කොප් 24) සමගාමීව දෙවැනි ගෝලීය රක්ෂණාවරණ සහයෝගිතා සංසදයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ බවද සනත් ද සිල්වා මහතා පවසයි.

ගංවතුර, නායයෑම්, නියඟ, සුනාමි තත්ත්වයන්ගෙන් ඇතුළු ඕනෑම ස්වභාවික ආපදාවකදී පීඩාවට පත්වන ජනතාවට කිසිදු රක්ෂණ ගාස්තුවක් නොගෙවා වන්දි ලබාගත හැකි එකම වැඩසටහන මෙය බව ද ප්‍රධාන විධායක නිලධාරිවරයා කියයි.

ශ්‍රී ලංකාව වැනි ස්වභාවික ආපදාවන්ට ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතින රටකට මේ රක්ෂණාවරණය ඉතා වැදගත් බව අවධාරණය කළ පෝලන්තයේ පැවැති ගෝලීය සමුළුව සහ අප රටේ ක්‍රියාත්මක රක්ෂණ ක්‍රමය පැහැදිලි කරමින් සනත් ද සිල්වා මහතා මෙසේද කියා සිටියි.

ජාතික රක්ෂණ භාර අරමුදල් පෝලන්තයේ කොප් 24 සමුළුවේදී ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය (NNDIS) මෙම මස පෝලන්තයේ කටෝවයිස් හි පැවැත් වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව (කොප් 24) හා සමගාමීව පැවැති දෙවන ගෝලීය රක්ෂණාවරණ සහයෝගිතා සංසදයේ ප්‍රධාන මාතෘකාවක් විය.

“පලදායි අවදානම් මූල්‍යකරණ විසඳුමක් සඳහා මගපෑදීම” යන තේමාව යටතේ ඉකුත්දා පැවැත්වුණු සමුළුවට ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය (NITF) ද සහභාගි විය. මෙම සංසදය වනාහි දේශගුණ සහ ආපදා අවදානම් මූල්‍ය සහ රක්ෂණ විසඳුම් සඳහා වූ ගෝලීය රක්ෂණාවරණ සහයෝගිතා සංසදයේ වාර්ෂික සමුළුව වේ. ගෝලීය රක්ෂණාවරණ සහයෝගිතාවයේ ඉහළම උපදේශක කමිටුවේ සම සභාපතීන් වන බ්‍රෙන්සන්වෝස් (මාර්ෂල් දූපත් ජනරජයේ මුදල් ඇමැති) සහ ආචාර්ය මරියා ෆ්ලස්බාත් (ජර්මන් ආර්ථික සහ‍යෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්) සහ යුරෝපා සංගමය ඇතුළුව සාමාජික ආයතන දෙසීයකට වැඩි සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මෙම සමුළුව පැවැත්විණි.

පාකිස්තානය, කොලම්බියාව, ශ්‍රී ලංකාව, සැම්බියාව සහ බටහිර අප්‍රිකාව යන රාජ්‍යයන්හි දේශගුණ සහ ආපදා අවදානම් මූල්‍ය සහ රක්ෂණ විසඳුම කෙරෙහි උනන්දුවක් දැක්වීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා සැසිවාර පහකදී සාකච්ඡා කරන ලද අතර ශ්‍රී ලංකාවේ වාරය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජිතයන් සහ රක්ෂණ ආයතනයන් වෙත බාබරා නෙල් (KFW ප්‍රතිපත්ති අධ්‍යක්ෂක) විසින් ශ්‍රී ලංකා ජනගහනයේ දේශගුණ වෙනස්වීම් නිසා වඩාත් බලපාන ජ‍න කොටස්වලට ජාතික රක්ෂණ ක්‍රමය මාර්ගයෙන් නවීන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇරැයුම් කරන ලදී.

ස්වභාවික ආපදාවෙන් බලපෑමට ලක්වන රාජ්‍යයන් පහ අතර ශ්‍රී ලංකාව වඩාත් බලපෑමට ලක්වන රාජ්‍යයක් ලෙස ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇත. 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රක්ෂණාවරණ ලබා නොමැති ජනගහනය ස්වභාවික ආපදාවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය පිහිටුවන ලදී. එහි ආරම්භයේ සිට එම රක්ෂණාවරණ ක්‍රමය එහි ස්ථාවරත්වය කෙරෙහි බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් පවතී. ශ්‍රී ලංකා සැසිවාරයේ, ජාතික රක්ෂණ භාර අරමුදල මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ද සිල්වා විසින් 2016 වර්ෂයේ එහි ආරම්භයේ සිට ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමයේ පවතින අභියෝගයන් හා දියුණුව පැහැදිලි කරන ලදී.

මෙම ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය, ස්වභාවික ව්‍යසනයෙන් මරණයට පත්වීම සහ පුද්ගලයන් අතුරුදන්වීම, හදිසි අවස්ථාවෙන් මුදාගැනීම සඳහා වූ වියදම්, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර ස්ථාන හානිවීම (වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10 ට නොඅඩු), නිවාස විනාශවීම යනාදී අවස්ථාවන්හිදී රක්ෂණාවරණය නොකළ ජනගහනය සඳහා ජාතික භාණ්ඩාගාරයට බරක් නොවී සහනයක් ලබාදීම සඳහා ඇතිකරන ලදී. 2018 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ අවුරුදු දෙකේ ජාතික රක්ෂණ භාර අරමුදල විසින් මෙම රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් බිලියන 5.5 ට වඩා වැඩි වන්දියක් ගෙවන ලද අතර මෙම රක්ෂණ වාරිකය සඳහා ජාතික භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 800 ක් ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවන ලදී. මෙම ක්‍රමය මඟින් රජයට සහ රක්ෂණාවරණ නොලද ජනතාවට වඩාත් ප්‍රයෝජන ලැබී ඇති අතර රජය විසින් ගෙවන ලද රක්ෂණ වාරිකය සහ රක්ෂණාවරණ ගාස්තුව අතර ඇති පරතරය හේතුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලට වඩාත් පීඩනකාරී අභියෝගයක් විය.

KFW විසින් පත්කළ ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ උපදේශක සහ ගෝලීය ව්‍යාපාර උපදේශක සමාගමේ විධායක අධ්‍යක්ෂක, චන්ද්‍රි ගුණවර්ධන විසින් ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදාවන්ට සහ එවැනි අභියෝගයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී මියුනික් රි ආයතනයේ හා රක්ෂණ සංවර්ධන සංසදයේ මිචෙල් රොත්, එයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය පෞද්ගලික සම්බන්ධතාවක් (Public Private Partnership) හරහා පෞද්ගලික අංශයේ විශේෂඥ දැනුම උපයෝගි කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය.

එය ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට සහ ශ්‍රී ලංකාව මහඟු අවස්ථාවක් වූ අතර ජාතික රක්ෂණය මත පදනම් වූ ආපදා අවදානම් මූල්‍ය විසඳුමට ආරම්භයක් වූ ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය සඳහා ‍ෙහාඳ ප්‍රතිචාරයක් ලැබී ඇති බවට ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදී. රක්ෂණාවරණ නොකරන ලද ජනතාව සතු නිවාස සහ කුඩා ව්‍යාපාර ස්ථානයන් වෙනුවෙන් රජයක් විසින් රක්ෂණාවරණයක් ලබාගන්නා ලෝකයේ ප්‍රථම ආකෘතිමය බව ඔහු පෙන්වා දුන්නේය.

ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මංජුල ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලද්දේ, ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය වනාහි ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින ස්වභාවික ආපදාවන්ගෙන් ශ්‍රී ලංකාවේ රක්ෂණාවරණය නොලද ජනගහනය වෙත ආරක්ෂණයක් ලබාදීමට ශ්‍රී ලංකා රජයට වඩාත් වැදගත් වැඩපිළිවෙළක් වන බවයි. KFW විසින් රක්ෂණ විසඳුම් අරමුදල සහ රක්ෂණ සංවර්ධන සංසදය හරහා ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් හා ඒ හරහා ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් වැඩපිළිවෙළක් කිරීමට ලබාදෙන සහාය ඔහු අගය කළේය.

බොන්හි 2017 පැවැත් වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ (කොප් 23) ගෝලීය රක්ෂණ සහයෝගිතාවයේ අරමුණ වූයේ රාජ්‍යයන් දියුණු කිරීමට ශක්තියක් ලබාදීම සහ මිනිස් ජීවිත සහ සතුන් ආරක්ෂා කිරීම, දුප්පත් සහ ආපදාවන්ට ගොදුරු විය හැකි ජනතාව ආපදාවෙන් මුදාගැනීම සහ ආරක්ෂා කිරීමයි. දේශගුණ සහ ආපදා අවදානම් සඳහා මූල්‍ය සහ රක්ෂණ විසඳුම් සම්බන්ධතාවයේ ප්‍රධාන අරමුණ වනුයේ මානුෂීය පීඩාකාරී බලපෑම් අවම කිරීම, දුප්පත් සහ ආපදාවන්ට ගොදුරුවිය හැකි ජනතාව ක්ෂණිකව මුදාගැනීම, අභ්‍යන්තර ජීවන තත්ත්වය වර්ධනය කිරීම යනාදියයි.

මෙය පවතින රාජය්‍යන්හි දේශගුණික සහ ආපදා අවදානම අවම කිරීමට රුකුලක් වන අතර නොයෙක් කොටස්කරුවන්, රාජ්‍යයන්, සමාජ සංවිධානයන්, අන්තර්ජාතික සංවිධානයන්, පුද්ගලික අංශයන් සහ අධ්‍යාපන ආයතනවලට මේ සඳහා ආරාධනා කරනු ලබයි. KFW හි රක්ෂණ විසඳුම අරමුදලේ කාර්යය වනුයේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන්හි ආර්ථිකය සංවර්ධනය කිරීම සහ ස්ථාවර දේශගුණ සහ ආපදා අවදානම අවම කිරීම යනාදියයි. රක්ෂණ විසඳුම් අරමුදල වනාහි KWF විසින් ජර්මානු ෆෙඩරල් රාජ්‍යයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් පිහිටුවන ලද්දකි.

මෙවැනි ගෝලීය සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමටත්, එහිදි අප රටේ විසඳුම් ඇගැයීමට ලක්වීමත් වැදගත් සිදුවීමකි.

 

ජයසිරි මුණසිංහ

2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථික අභියෝග කෙසේ ජය ගනිමුද?

$
0
0
ජන 14, 2019 01:00

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි

වසර 2018 නිමාවිය. එළැඹි 2019 වසර ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වසරකි. ඒ මැතිවරණ ගණනාවක්ම පැවැත්වීමට මේ වසරේ හෝ ඉන්පසුව නියමිතව තිබීම නිසාය. අපගේ මේ උත්සාහය ඒ පිළිබඳව කතිකා කිරීම නොව වසර 2018 වසර රටේ ආර්ථිකය මුහුණ දුන් අභියෝග සහ 2019 මුහුණ දිය යුතු අභියෝග පිළිබඳ කතිකා කිරීමය.

ශ්‍රී ලංකාව 2019 වසරට පා තබන මේ අවස්ථාවේ පසුවෙන ආර්ථික පසුබිම පිළිබඳ අපි මුලින් කතිකා කරමු.

පළමුව පසුගිය වසර කිහිපය පුරා පැවැති දේශපාලන අස්ථාවරත්වය හේතු කොට රාජ්‍ය ආර්ථික සේවය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණි. රටේ ආර්ථික වර්ධනය පහළ ගොස් ඇත. දෙවනුව, අමෙරිකානු මහ බැංකුව විසින් තම පොලී අනුපාතය 2018 දී 1% කින් වැඩි කිරීම සහ වෙළෙඳ පොළට සපයන ඩොලර් මුදල් ප්‍රමාණය අඩු කිරීම තුළින් මූල්‍ය ප්‍රතිපත්තිය ශීඝ්‍රයෙන් දැඩි කිරීමත්, අමෙරිකානු ජනාධිපතිගේ දේශීය ආයෝජන ඉහළ දැමීම පදනම් කර ගත් ආර්ථික ප්‍රතිපත්තියත් හේතුවෙන් විදේශ ආයෝජන විශාල ලෙස අමෙරිකාවට ඇදී යෑමට පටන් ගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් විශාල වශයෙන් ඇදී ගිය විදේශ ආයෝජන හේතුවෙන් රට තුළ දැඩි අරමුදල් හිඟයක්, පොලී අනුපාත ඉහළ යෑමක් සහ රුපියල අවප්‍රමාණයක් (19% ඉක්මවා) ඇතිවී ආර්ථිකය දැඩි අපහසුතා රැසකට මුහුණ දීම ඇරැඹිණි.

තෙවනුව, රජයේ ණය ශ්‍රේණිය මෑතදී පහළ දැමීම හේතුකොට පොලී අනුපාත තවත් ඉහළ යනු ඇත. හතරවනුව, විදේශ මුදල් අර්බුදය හේතුවෙන් රටේ විදේශ සංචිතය දැඩි ලෙස පහළ ගොස් රටේ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් වී ඇත. පස්වනුව, 2019 වර්ෂයේ විදේශ ණය පියවීම සඳහා නව විදේශ ණය ගැනීම, පොලී අනුපාතයන් ඉහළ යෑමෙන් සහ ආයෝජන අරමුදල් හිඟවීමෙන් ඉතා අභියෝගාත්මක වී ඇත. එබැවින්, 2019 ජනවාරි මස ගෙවීමට නියමිත ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම තුළින් රටේ විදේශ සංචිතය සහ රාජ්‍ය මුදල් තත්ත්වය කෙරෙහි දැඩි තර්ජනයක් කෙරෙනු ඇත.

සයවනුව, නව පාරිභෝගික සහන රැසක් ලබා දීමේ පොරොන්දු මත රාජ්‍ය මුදල් තත්ත්වය තවත් ගැටලුකාරී වෙයි. සත්වනුව, අධික විනිමය අනුපාත අවප්‍රමාණය (19% කට වැඩි) පාලනයට මහ බැංකුව අපොහොසත් වී ඇති අතර, නව මුදල් මුද්‍රණය මගින් පොලී අනුපාත පහළ මට්ටමක හෙවත් පිහිටාධාර මට්ටමක (subsidized rate) පාලනය කරයි. ඒ අනුව, අඩු පොලියට මුදල් සැපයීමෙන් ආනයන වැඩිවී මුදල් අවප්‍රමාණය තවත් ඉහළ යනු ඇත.

2019 වර්ෂය- ආර්ථික අභියෝගයන් ඉහත දැක් වූ දුර්වල ආර්ථික පසුබිම, 2019 වර්ෂය තුළ සහ ඉන් ඔබ්බට පහසුවෙන් විසඳිය නොහැකිය. එබැවින්, 2019 වර්ෂයේ ආර්ථික අභියෝගයන් තවත් ඉහළ යනු ඇත. පළමුව, අමෙරිකානු මහ බැංකුව විසින් තම පොලී අනුපාතයන් අඩු වශයෙන් තවත් 0.5% කින් 2019 දී ඉහළ දමන බවට ප්‍රකාශ කොට ඇත. යුරෝපීය මහ බැංකුව ඇතුළු යුරෝපයේ මහ බැංකු රැසක් පසුගිය දශකය පුරා 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම පිණිස අනුගමනය කළ අතිලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති 2019 දී වෙනස් කොට අමෙරිකාවේ මෙන් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන බවට ප්‍රකාශ කොට ඇත. දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහ චීනය සහ අමෙරිකාව අතර ඇති වී ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගැටුම් හේතු කොට 2019 ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය ද පහළ දමා ඇත. ගෝලීය මුල්‍ය දැඩියාව හේතු කොට තව දුරටත් ඇති වන අරමුදල් හිඟය සහ පොලී අනුපාත ඉහළ යෑම ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සහ මිල ගණන් කෙරෙහි අහිත කර ලෙස බලපානු ඇත.

දෙවනුව, විදේශ ආයෝජන හිඟය හේතුකොට මුදල් අවප්‍රණය තව දුරටත් ඉහළ යෑම නිසා ආනයන මිල ගණන් ඉහළ යනු ඇත.

තෙවනුව, ඉදිරි වර්ෂ දෙක තුළ මැතිවරණ යෙදෙන බැවින්, 2019 සහ 2020 රාජ්‍ය අයවැයන් ආර්ථික වර්ධනයට වඩා මහජන සහන කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වන බැවින් ඉහළ යන රාජ්‍ය වියදම් තුළින් පොලී අනුපාත සහ මිල ගණන් කෙරෙහි තවත් අහිත කර ලෙස බලපානු ඇත. හතරවනුව, රාජ්‍ය වියදම් ඉහළ යෑම හේතුකොට රාජ්‍ය ණය ප්‍රමාණය සහ ණය බර තවත් ඉහළ යනු ඇත.

පස්වනුව, දැනට 19% ඉක්මවා ඇති රුපියල අවප්‍රමාණය පාලනය සඳහා ආනයන අඩු කිරීම පිණිස දේශීය ණය සහ මුදල් ඉල්ලුම අඩු කිරීමටත්, රටෙන් ඉවත්ව ගිය විදේශ ප්‍රාග්ධනය නැවත ආකර්ෂණය කර ගැනීමටත්, දේශීය පොලී අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ දැමිය යුතුය. උදාහරණ ලෙස 2000 දී ඇති වූ මූල්‍ය ආතතිය විසඳීම පිණිස ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 20%- 23% දක්වා 10%- 11% කින් පමණ 2000 ජනවාරි සහ 2001 මාර්තු අතර කාලය තුළ වැඩි කෙරිණ. තව ද, ණය සහ විදේශ විනිමය පාලනයන් ද පනවන ලදී. විදේශ වෙළෙඳ හිඟය ඉහළ යෑම සහ විදේශ සංචිත පහළ යෑම වැළැක්වීමට කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දැමීමට වැඩ වැඩි වේගයකින් රාජ්‍ය සුරැකුම් පොලී අනුපාතයන් 2008 දී 18% ක් ද, 2012 දී 11%-12% දක්වා ද ඉහළ යන ලදී.

සයවනුව, ඉහළ පොලී අනුපාත හේතුකොට ආර්ථික වර්ධනය තවත් පහළ යනු ඇත. සත්වනුව, දේශපාලනික අස්ථාවරයන් සහ මැතිවරණ පවත්වන කාලයන් තුළ රාජ්‍ය සේවයකයන්ගේ ක්‍රියාශීලීත්වය පහළ යෑම රාජ්‍ය ආර්ථික සේවය කෙරෙහි දැඩි ලෙස බලපාන බැවින් එය ද ආර්ථික මන්දගාමීත්වය ඉහළ යෑමට හේතුවනු ඇත. විශේෂයෙන්, සෑම අංශයකම නව ප්‍රතිපත්ති ගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය සේවයකයෝ පසුබටකමක් දක්වති. ඊට හේතුව, ඔවුන්ට එරෙහිව කෙරෙන දේශපාලනික චෝදනාවන් සහ පශ්චාත් මැතිවරණ පරීක්ෂණයන්ගෙන් වැළකීම සඳහාය. රජයේ ඕනෑම දෙයකට අවසානයේ චෝදනා එල්ලවන්නේ රාජ්‍ය නිලධාරීන්ටය. විශේෂයෙන් රාජ්‍ය සේවය ලෙස රාජ්‍ය තීරණයන් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරීන්ය. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වනුයේ රජයට එරෙහිවීම නොව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.

මේ කරුණු සමස්තයක් ලෙස ගත් විට, 2019 සහ 2020 වර්ෂයන් හි රට තුළ උද්ධමනකාරී සහ මන්දගාමී ආර්ථික තත්ත්වයක් (stagflation) අවදානම ඇත.

නව ප්‍රතිපත්ති රාමුව කෙසේ විය යුතුද?

මේ ආර්ථික ව්‍යාකූලත්වයෙන් ගොඩ ආ හැකිවන්නේ ශක්තිමත් රජයක් යටතේ ගෝලීය ආර්ථිකය තුළ තරගකාරී ලෙස ආයෝජනය, සම්පත් ප්‍රයෝජනය සහ වෙළෙඳාම ප්‍රවර්ධනය අරමුණු කොට ගත් නව අයවැය, මූල්‍ය සහ විදේශ විනිමය ප්‍රතිපත්ති රාමුවක් යටතේ පමණි. රටේ අනෙකුත් රාජ්‍ය ආර්ථික සේවාවන් ඊට අනුග්‍රාහී ලෙස නවීකරණය කළ යුතුය.

මේ ප්‍රතිපත්ති පිළිබඳ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වභාවිකය. ඊට හේතුව, ආර්ථික සහ ව්‍යාපාර විෂයන් ගණිතය ඇසුරින් ප්‍රගුණ කළ ද, ආර්ථික කළමනාකරණය ගණිතමය විෂයක් නොවන බැවිනි. එහි සාර්ථකත්වය රැ‍ඳෙන්නේ, මහජනයාගේ ව්‍යාපාර වර්ධනය, රැකියා වර්ධනය, ආදායම් වර්ධනය සහ ජීවන තත්ත්ව වර්ධනය සමගාමී රටවලට සාපේක්ෂව කොතරම් දියුණු වේද යන්න මතය. ලෝකයේ දුප්පත් රටවල් පසුගිය දශක හතර තුළ සංවර්ධනය වූ විදේශ ආයෝජනය සහ වෙළෙඳාම පෙරටු කොටගත් ආර්ථික ප්‍රතිපත්ති රාමු පිළිබඳ දැනුමක් බොහෝ දෙනකුට නොමැත. ශ්‍රී ලංකාව 1980 ගණන්වල ගන්නා ලද ආර්ථික සංවර්ධන පිම්ම ඉදිරියට නොගියේ ද එබැවිනි.

මීට හොඳම විසඳුම ඉදිරි මැතිවරණවල දී, විදේශ රටවල් ආදර්ශ කොට ගත් වාර්ෂික ආර්ථික ඉලක්ක සහිත සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් මහජනයා වෙත ඉදිරිපත් කොට ඔවුන්ගේ වරය ලබා ගැනීමයි. එවිට, රාජ්‍ය නිලධාරීන් තම පෞද්ගලික මතයන් ඉවතලා රාජ්‍ය මතය ක්‍රියාත්මක කළ යුතු අතර, තමතම අභිමතයන් අනුව දේශපාලන චෝදනාවන්ට ලක්වන ප්‍රතිපත්ති හිටි වන ගෙන ඒමේ ප්‍රවණතාව ඉවත්වනු ඇත.

නව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහිත හොඳ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම බලාපොරොත්තු විය යුතුය. දේශපාලන නායකයන් ඔවුන්ගේ නීති විශාරදයන් සමඟ එකතුවී තමතමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා කිසි කෙනෙක් නොදන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයන් සහ සංශෝධනයන් කථා කරමින් පරම්පරා පසු කිරීමෙන් මහජනයාගේ ආර්ථිකයට කිසිම සෙතක් නොවේ. දැන් ආර්ථිකය කඩාවැටෙමින් පවතින්නේ ද ඒ නිසාය.

නව ආර්ථික ප්‍රතිපත්තිවල සාර්ථකත්වය මූලික වශයෙන් රැ‍ඳෙන්නේ විනිමය අනුපාත පීඩනය පහළ යෑම, රටින් ඉවත්ව ගිය විදේශ ආයෝජන ආපසු රටට ඒම, මුදල් සහ ණය හිඟය ඉවත් වීම, පොලී අනුපාත පහළ යෑම, විදේශ ආයෝජන රුචිය ඉහළ යෑම සහ දේශපාලනික ස්ථාවරත්වය යනාදිය කොතරම් දුරට සිදුවේද යන්න මතය.

එසේ නැත්නම්, විදේශ ණය ගනිමින් හිඟ අයවැය තුළින් ආර්ථිකය කළමනාකරණය කිරීම ඉදිරි පරපුරට සුබදායී නැත. රට ආර්ථික අර්බුදයකට ඇද දමන මූලික අවදානම් වනුයේ මුදල් අධි අවප්‍රමාණය සහ විදේශ සංචිත පහළ යෑම වන අතර, එය විසඳිය හැක්කේ ඉහළ පොලියට විදේශ ණය ගැනීමෙන් පමණි.

ඊට හේතුව, අදාළ ආර්ථික කළමනාකරණ අධිකාරීන් තම මහජන වගකීම් ඉටු නොකිරීමයි. ඔවුන් ආර්ථිකය පිළිබඳ රජයට දොස් පවරමින් ආර්ථික කළමනාකරණය නීති විශාරදයන්ට පවරති. දේශපාලන නායකයෝ ඔවුන් විසින්ම සකසන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තර්ක කරමින් පසුවෙති. එහෙත්, සියලු ආර්ථික දර්ශක පහළ ගියද, ආර්ථිකය කඩා වැටෙන බවට සමහර ආර්ථික වියතුන් පසුගිය වසර හතර පුරා අනාවැකි පළ කළ ද, මහජනයාට ජීවත්වීම සඳහා ගෝලීය පරිසරයක් තුළ ආර්ථිකය කෙසේ හෝ ඉදිරියට යනු ඇත.

සැකසුම
ජයසිරි මුණසිංහ 

විහිළු තැනීම විහි­ළු­වක් නොවේ

$
0
0
ජන 15, 2019 01:00

මීට කලකට පෙර මා සේවය කළ ස්වාධීන පුවත්පත් ආයතනයේම සිටි තරුණ පත්‍ර කලාවේදියෙකු වූ කොත්මලේ සිරිසේනගේ අප ප්‍රියකළ හොඳ ගුණයක් වූයේ දවසේ පුවත්පත්වල සියලුම කාටුන් කියවා පැමිණ අපට ඒවා රසවත් අයුරින් ඉදිරිපත් කිරීමය. මේ නිසා පුවත්පත්වල කාටුන් බැලීමට වඩා ඒවා කොත්මලේගෙන්ම අසා ගැනීමට අපි පුරුදුව සිටියෙමු. කාටුනය අඳින චිත්‍ර ශිල්පියාට අප හා සිනාසිය නොහැක. පාඨකයන් වන අපද සිනා නඟන්නේ මනසිනි. එහෙත් අද මෙන් රූපවාහිනිය නොතිබූ එකල චතුර ලෙස සවසේ කාටුන් ඉදිරිපත් කරන කොත්මලේ අවසානයේ කාටුන් කාරයාට බැරි සිනහවද පායි. මදක් ඉදිරියට නැමී එළු රැවුල කසමින් සිනාසෙන ඔහු සමඟ අපිදු සිනාසෙමු.

මට මේ පැරණි මතකය යළි අවදිවූයේ මගේ පොත් රාක්කයක් අතර එල්ලා ඇති රාමු කරන ලද පුවත්පත් කාටුනයකට ඇස යොමුවීමෙනි. එය ජේ. ආර්. ජයවර්ධන ජනපති යුගයට සබැඳිය. පුවත්පත ඇත්තය. කාටුන් ශිල්පියා යුනුස්ය. එම කාටුනයේ ඉහළින් ජනපති ජේ. ආර්. රැස්වීමකදී කියූ කතාවක් දැක්වෙන පුවත්පත් වාර්තාවක සිරස්තලයක් දැක්වෙයි. ඒ මෙසේය.

“මා දේශපාලනයට ඇදී ආවේ වේදිකා නාට්‍ය නිසා - ජේ. ආර්.” ඊට පහලින් යුනුස්ගේ ජනප්‍රිය කාටුන් චරිතය වන සරමකින් සහ කමිසයකින් සැරසුණු පොඩි මිනිසා අකුලන ලද කුඩේද ඉහළට ඔසවාගෙන මෙසේ කෑ ගසමින් යයි.

“වේදිකා නාට්‍ය භංග වේවා!”

ජනපති ජේ. ආර්. තම කතාවෙන් අදහස් කළේ රාජකීය විදුහලේ ඉගෙන ගන්නා සමයේ පාසල් නාට්‍යවල රඟපෑම නිසා තමන්ගේ සබකෝලය නැතිවී කථිකත්වය දියුණු වූ බවය. එහෙත් යුනුස් පුවත්පත් සිරස්තලයේ වාසිය තමන්ගේ පැත්තට හරවා ගත්තේය.

දේශපාලන උපහාසය යනු දීර්ඝ ඉතිහාසයක් ඇති රසවත් කතාන්දරයකි. මිනිසාගේ පාලනය උදෙසා එක් මිනිසකු හෝ මිනිස් කණ්ඩායමක් පත්කර ගැනීම ආරම්භවූදා සිටම දේශපාලන උපහාසයද පැන නැඟුණේය.

දේශපාලන උපහාසය මතුවන දෙආකාරයකි. දේශපාලනයේ භාවිතය සහ දේශපාලනඥයන්ගේ ක්‍රියාදාමයන් තුළින්ම පැන නගින උපහාසය එකකි. දෙවැන්න දේශපාලකයන් අරභයා ජනතාව විසින් නිර්මාණය කරනු ලබන උපහාසයයි. දෙවැනි ආකාරය බොහෝ විට රසවත්ය. ජනප්‍රියය. නස්රුදීන්ගේ හෝ අන්දරේගේ කතාවක් තුළ වුව ජනතාව සතුව තිබූ මෙම සියුම් උපහාස ඥානය පිළිබිඹු වෙයි. අද වනවිට අන්තර්ජාලය තුළින් දවසින් දවස නොව මොහොතින් මොහොත දේශපාලන උපහාස, කාටුන් සහ කතන්දර දකින්නට ලැබේ.

උපහාසය යනු අපහාසය නොවේ. අපහාස ලබන්නාගේ කන් රතු වෙයි. සමහරවිට එයින් අපහාස කරන්නාගේ කන් අඩි රත්වෙයි. එහෙත් උපහාසය එසේ නොවෙයි. උපහාසය උපහාස කරන්නාට මෙන්ම ලබන්නාටද සිනාසිය හැකිය. කෙසේ වෙතත් උපහාසයද අපහාසය මෙන් පෙනෙන මුග්ධයන් දේශපාලන ලෝකයේ දුලබ නොවේ. (ජනපති ප්‍රේමදාස යුගයේදී ඉහත කී කාටුන් ශිල්පි යුනුස්ගේ නාසය කපා දැමීමේ සිද්ධියද මෙහිදී සිහිපත්වේ.)

අමෙරිකා එක්සත් ජනපදයේ විසූ සුප්‍රකට නීතිඥයකු හා අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමයේ සාමාජිකයකු වූ ක්ලැරන්ස් ඩැරෝ (Clarence Darrow) පවසා ඇති අන්දමට “සිනාසීමේ ශක්තිය ඔබෙන් තුරන්වේ නම් සිතීමේ ශක්තියද ඔබට අහිමි වනු ඇත.” “If you lose your power to laugh, you lose your power to think.”

උපහාසාත්මක කියුම් බිනීමෙහි හපනකු ලෙස ප්‍රකටව සිටි ඩැරෝගේ ජනප්‍රිය උපහාස වැකි තුනකි මේ.

“මා කුඩා දරුවකුව සිටියදී ඕනෑම මට්ටමේ පුද්ගලයකුට ජනාධිපති විය හැකියයි උගන්වනු ලැබුණි. දැන් මම එය විශ්වාස කරමි.”

“මම කිසි කලෙකත් මිනිසෙකු මරා නැත්තෙමි. එහෙත් ඇතැම් මරණ දැන්වීම් කියවා බොහෝ සතුටක් ලබා ඇත්තෙමි.”

“ඔබ නිවැරදිව ඉංග්‍රීසි කතා කිරීමට ඉගෙන ගත්තා යයි සිතමු. එහෙත් ඔබ එයින් කතා කිරීමට යන්නේ කා සමඟද?”

යුරෝපා හෝ අමෙරිකානු දේශපාලන උපහාස කතාද බොහෝවිට අපේ රටවලට ගැළපෙයි. එක් අමෙරිකානු උපහාස කතාවක් මෙසේය. එහි එක් ප්‍රාන්ත මැතිවරණයකදී අපේක්ෂකයෙක් ගම්බද පෙදෙසක රැස්වීමක් අමතමින් සිටියේය. කතාව මැදදී මහලු ගොවියෙක් නැඟිට ඔහුට බාධා කළේය.

“අපේ කාලෙ නාස්ති වෙනව විතරයි. ඔහේ තවත් මූණු දෙකේ දේශපාලනඥයෙක් විතරයි.” එසේ කියූ ගැමියා රැස්වීමෙන් පිටව ගියේය. ඔහු යන දෙස බලා සිටි දේශපාලනඥයා සභාවෙන් මෙසේ ඇසුවේය. “මහත්වරුනි, මට මූණු දෙකක් තිබුණා නම් අද මේ මූණ දාගෙන මෙතෙන්ට එනවද...”

ඒ අපේක්ෂකයා මැතිවරණය ජයගෙන තිබුණි.

ආසියානු රටවල දේශපාලන උපහාස කතා ශ්‍රී ලංකාවේ අපට වඩාත් සමීපය. දිල්ලියේ එක් සමාජ ශාලාවකට දිනපතා රැස්වන වියපත් මිතුරන් කිහිප දෙනෙකි. ඔවුහු විස්කි වටයක් දෙකක් තොලගාන අතරේ අලුත්ම අලුත් උපහාස කතාද හුවමාරු කරගනිති. ඉන්දියාවේ “කොලම් රජ්ජුරුවෝ” ලෙස හැඳින්වුනු කුෂ්වන්ත් සිං ද මේ මිතුරු සමාජයේ අනිවාර්ය සාමාජිකයකු විය.

“ට්රේන් ටු පකිස්තාන්” වැනි සුප්‍රකට නවකතාද ලියූ කුෂ්වන්ත් උපහාස රසය මහත්සේ ප්‍රිය කළ කෙනෙක් විය. ඔහු උසස් සාහිත්‍ය කෘතීන් රචනා කරන අතරේම වෙනත් පුද්ගලයන්ගේ විහිළු කතා එක්කොට “කුෂ්වන්ත් සිංන්ග්ස් ජෝක් බුක්” නමින් පොත් පෙලක් පළකිරීමට අවසර දුන්නේද එහෙයිනි. කුෂ්වන්ත් සඳහන් කර ඇති අන්දමට විහිළු තැනීම සිනාවට කාරණයක් නොවේ. එය ඉතා බැරෑරුම් කටයුත්තකි.

ස්ටාලින් හා හිට්ලර්ට සම්බන්ධ සිනා කතා හැදුණේ කොමියුනිස්ට්වාදය රුසියාවේත්, පැසිස්ට්වාදය ජර්මනියේත් කිරුලු පැලඳ සිටි කාලයේදීමය. වර්තමාන රුසියාවේ වැඩිපුරම උපහාස කතා හැදෙන්නේ ජනපති පුටින් වටාය. ජෙනරල් සියා උල්හක් පකිස්ථානයේ ආඥාදායකත්වයක් පවත්වාගෙන යද්දී ඔහු වටා ගොඩ නැඟුණු විසිලු කතා පියාපත් ලැබ ලොව පුරා ඉගිල ගියේය. ඉන්දිරා ගාන්ධිගේ හදිසි නීතිය කටවටකර වැට බඳිද්දී ඇය වටා ගෙතුණු උපහාස කතා වැටෙන් පැන රටින් රට පැතිර ගියේය.

බොහෝ දෙනා කැමති අනුන්ට සිනාසීමටය. තමන්ටම සිනාසීමට කැමති අය හැමතැනම නැත. පංජා‍බ් ජාතිකයකු වූ කුෂ්වන්ත් සිං තමාටම සිනාසුණු මිනිසෙකි. ඒ තම ජාතියේම හැටියක් බව ඔහු පැවසුවේ ආඩම්බරයෙනි. කුෂ්වන්ත් තම මරණ දැන්වීමද කල්තියාම ලියා තැබූ අතර එයද සිනාවට කාරණයක් විය.

සිදුවිය හැකි පරිද්දෙන්ම ඉන්දියාවේ සමහරුන්ට කුෂ්වන්ත් සිං දිරෙව්වේ නැත. සමහරුන් ඔහු හැඳින්වූයේ බේබද්දා, කටහැකරයා සහ වල් නාකියා වැනි යෙදුම්වලිනි. කුෂ්වන්ත් ඒවාටද කටපුරා සිනාසුණේය. කුෂ්වන්ත් ඉතිරි කර ගිය උපහාස කතා කීපයකින් මේ නව වසරේ ඔබට සංග්‍රහ කිරීමට සිතුවෙමි.

තානාපති රැකියාව

ඉස්ලාමාබාද්හි ඉන්දියානු තානාපතිව සිටි එස්. කේ. සිං නිරහංකාර, මිත්‍රශීලි පුද්ගලයෙකි. තානාපතිව සිටි අවධියේ සියරට පැමිණි අවස්ථාවක ඔහු තම මිතුරෙකුගේ නිවසක භෝජන සංග්‍රහයකට ගියේය. සතුටු සාමීචියේ යෙදෙන අතරේ ඔහු සිය මිතුරාගේ සිවු හැවිරිදි දියණිය සමඟ කතාවට වැටුණේය.

“දුව ලොකුවෙලා මොනවද කරන්න යන්නේ... සින්දු කියන්න දන්නවද...”

තානාපති සිං දැරියගෙන් එබඳු සාමාන්‍ය “ළමා ප්‍රශ්න” ටිකක් ඇසුවේය. ඇයද ඊට නොපැකිළිව පිළිතුරු දුන්නාය. ඉන්පසු දැරියගේ වාරය එළඹුණි.

“අන්කල් මොනවද කරන්නේ‍...”

“මම ඇම්බැසඩර් කෙනෙක්...”

ඒ ඇසූ දැරිය සිනාමුසුව වටපිට බැලුවාය. සිං, කුතුහලයෙන් යුතුව දැරිය දෙස බැලුවේය.

“අපේ තාත්තගෙ කාර් එකත් ඇම්බැසඩර්...” සිංගේ මුහුණ පුංචි විය!

(ඉංග්‍රීසියෙන් ඇම්බැසඩර් යනු තානාපතිය. ඉන්දියාවේ නිපදවන ජනප්‍රිය හා සුලභතම වාහනයේ නමද ඇම්බැසඩර්ය.)

ඇමති දෙසුම

යුරෝපා රටක පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක දේශනයක් පැවැත්වීම සඳහා, ඉන්දීය ඇමැතිවරයෙකුට ද ආරාධනයක් ලැබුණි. එහෙත් ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා දුර්වලය. එහෙයින් ඔහු තම මාධ්‍ය ලේකම්වරයා ලවා මිනිත්තු තිහක කතාවක් සකස් කර ගත්තේය.

සම්මන්ත්‍රණයට ගිය ඇමැති, පිටපත බලාගෙන සිය කතාව පැවැත්වීය. එහෙත්, නියමිත මිනිත්තු තිහ ඉක්මවා පැයකට ම කතාව දික්ගැසීම ගැන සංවිධායකයෝ දොස් නැඟූහ. ඇමැතිවරයා ද කෝපයට පත්විය. ඔහු තම ලේකම් කැඳවා බැණ වැදුණේය.

“තමුසෙ මාව කෑවා. මිනිත්තු තිහේ කතාව පැයක් කෙරුවෙ මොකද?”

“නෑ ඇමතිතුමා. මම දුන්නේ, මිනිත්තු තිහේ කතාවට තමයි. ඒත් ඔබතුමා කතාව ඉවර වෙලා යටින් තිබුණු ෆොටෝ කොපියත් කියෙව්වනෙ.”

ගින්දර සහ කවි

තෙළිඟු ජාතික ශ්‍රී ශ්‍රී, විප්ලවවාදී කවි ලිවීම ගැන ප්‍රකටව සිටියෙකි. එක් දිනක්, ඔහු හමුවීමට ගිය ආධුනික කවියෙක් ශ්‍රී ගෙන් මෙසේ ඇසුවේය.

“ඔබේ කවි ගින්දර වගේ. මටත් ඒ වගේ කවි ලියන්න උගන්නනවද?”

ඒ ඇසූ ශ්‍රී මෙසේ පිළිතුරු දුන්නේය.

“කවිවලට ගින්දර එකතු කරනවට වැඩිය ලේසියි. ඔබ ලියන කවි ගින්දරට දැමීම, ඒ විදිහ කරල බලන්න.”

ගාන්ධිට අශ්වයෙක්

ඉබාගාතේ ඇවිද යන දිළිඳු පුද්ගලයෙක්, එක් රාත්‍රියක තම නවාතැන කරගත්තේ, මංසන්ධියක පිහිටි මහත්මා ගාන්ධි ප්‍රතිමාවක පාමුළය. මධ්‍යම රාත්‍රියේදී, ගාන්ධි තම සැරයටියෙන් තට්ටු කර, අර පුද්ගලයා අවදි කළේය.

“ගාන්ධිජී... මොකද මාව අවදි කළේ?”

“උඹල වගේ ඉන්දියානුවො ඔක්කොම එකයි. කිසිම කෙළෙහිගුණයක් දන්නෙ නෑ. හැම තැනම මගේ ප්‍රතිමා හදලා. ඒත් ඒ හැම තැනම මම හිටගෙන, නිදහස් සටන කාලෙත් මම කොච්චර පයින් ඇවිද්ද ද?”

ගාන්ධි දොස් කියන්නට වූයේය.

“හරි... හරි... ඉතින් ඔබතුමාට මොනවද ඕනෙ?”

“හැරමිටිය අල්ලගෙන තව කොච්චර කාලයක් මෙහෙම ඉන්නද? මගෙ කකුල් දෙකත් හොඳටම රිදෙනවා. අර ශිවාජිට වගේ මටත් අශ්වයෙක් ගෙනත් දෙනවකො.”

ඒ ඇසූ දිළිඳු පුද්ගලයා, නගරයේ ප්‍රභූන්ගෙ නිවෙස් කරා ගොස්, මෙම සිද්ධිය කියා සිටියේය. කිසිවෙකුත් ඔහු විශ්වාස නොකළහ. එහෙත්, එක් ඇමැතිවරයෙක්, මේ ගැන උනන්දුවක් දක්වා, අර පුද්ගලයා සමඟ ගාන්ධි ප්‍රතිමාව අසලට ගියේය.

“ගාන්ධිජී, මට අශ්වයෙක් නං හොයාගන්ඩ බැරිවුණා. ඒත් ඒ ගැන කතා කරන්ඩ මේ ඇමැතිතුමා කැමති වුණා.”

ඒ ඇසූ ගාන්ධිට යකා නැග්ගේය.

“මිනිහෝ! අස්සයෙක් නැත්තං නිකා ඉඳපං.

බූරුවෙක් මොකටද ගෙනාවේ”

කපිල කුමාර කාලිංග


නීතිය ඉගැ­න්වීම

$
0
0
ජන 15, 2019 01:00

‘දැක්කද ඇම්බන් මහත්තයා අපේ තලතා නෝනා කැබිනට් එකටම ගියානේ ඉස්කෝලේ ළමයින්ට නීතිය උගන්නන්න කියලා.‘ කියා ටොම්සන් මහත්තයා කීවේ පත්තරය බලන ගමන්ය.

‘ඇත්තට එහෙම ගියාද? ‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘ගියා තමයි... දැන් ඉතින් ආයේ හොර බොරු බෑ... උගන්නන්නම වෙනවා..‘ කියා උන්නැහේ කීවේය.

‘ඒ මොකද උන්නැහේ එහෙම කිව්වේ... මෙච්චර කල් හොර බොරු සිද්ධ වුණාද? ‘කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘හොර සිද්ධ වුණාද කියලා නම් මන් දන්නේ නෑ.. හැබැයි බොරුව නම් හරි අපූරුවට සිද්ධ වුණා. ‘ කියා උන්නැහේ පිළිතුරු බැන්දේය.

‘නිකම් බොරු චෝදනා කරන්න එපා උන්නැහේ... ඔය විෂය නිර්දේශ හදන කෂ්ටිය එහෙම හොර බොරු කරන අය නෙවෙයි... හරි ප්‍රමිතියට. හරි ශාස්ත්‍රීය පිළිවෙළට නේ ඒවා හදන්නේ.. අනික නිකම් හිතන්නකෝ මේ රටේ ඉන්න ඔක්කොම බුද්ධිමතුන්, ඔක්කොම පණ්ඩිතයෝ නිකම් නෙවෙයි ඔක්කොම බක පණ්ඩිතයෝ එකතු වෙලානේ ඒවා හදන්නේ... මං මේ කල්පනා කළේ එහෙම එකේ කොහොමද ඔය ඉස්කෝලේ ළමයින්ට නීතිය උගන්නන්න ඕනෑ කියන එක අත් ඇරු‍ණේ කියලා... සමහර විට ඒක ලියාපු කඩදාසියක් එහා මෙහා වෙන්න ඇති... නැතිව නම් ඔය පණ්ඩිතයන්ට එහෙම අත් වැරැද්දක් වෙන්න විදිහක් නෑ... ‘කියා ඇම්බන් මහත්තයා කීවේය.

ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

‘ඇම්බන් මහත්තයාට ටිකක් හිතට අමාරුයි වාගේ.... ඇත්ත කතාන්දරේ නම් නීතිය ගැන දැන ගන්න එක මේ රටේ පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් නේ... ඒක අත් ඇරියාම නෙවෙයි. ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘එහෙම කියන්නේ කොහොමද? එහෙම නම් ඔය තලතා නෝනා අලුතින් යෝජනා අරන් එන්න ඕනැ නෑනේ... ‘ කියා උන්නැහේ කීවේය.

‘අපි එහෙම හිතමුකෝ... ඒ වුණාට මං කැමතියි මේ ගැන ඔය විෂය නිර්දේශය හැදීම භාරව ඉන්න පුරවැසිවික්‍රම මහත්තයාගෙන්ම අහලා බලන්න... ‘ කියා ටොම්සන් මහත්තයා සිය ජංගම දුරකථනය ගෙන පුරවැසිවික්‍රම මහත්තයාට කතා කළේය.

‘දැන් පුරවැසි වික්‍රම මහත්තයා... ඇත්තටම ඔය පුරවැසි විෂය නිර්දේශය හදන කොට අහු වුණේ නැද්ද නීතිය ඉගෙන ගන්න එක නූතන ළමයාට අවශ්‍යයි කියලා..‘ කියා ටොම්සන් මහත්තයා දුරකථනයෙන් ඇසුවේය.

‘ටොම්සන් මහත්තයා දැන ගන්ඩ... මං මේ පුරවැසි විෂය නිර්දේශය හැදුවේ නිකම් නෙවෙයි ලෝකයේ රටවල් විසි හත හමාරක පුරවැසි විෂය නිර්දේශ එකතු කරලා... ඒවා අධ්‍යයනය කරලා... එතකොට මට පෙන්නන්කෝ ඔය එකම විෂය නිර්දේශයකවත් නීතිය උගන්නනවාද කියලා... ඒ හින්දා තමයි අපි උසාවි ක්‍රම, අධිකරණ ක්‍රම ඔක්කොම දැම්මේ... ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය ඒ විතරක් නෙවෙයි මැග්නා කාර්ටා, හබයාස් කොපුස් ආඥාව, අමෙරිකානු නිදහස් ප්‍රකාශනය, රුසියන් චීන විප්ලව ඕවා ඔක්කොම ගැන අපි උගන්නනවා.. ‘ කියා පුරවැසිවික්‍රම මහත්තයා බොහොම බැරෑරුම් ලෙස කීවේය.

‘ඇත්ත ඇත්ත...“ කියා ටොම්සන් මහත්තයා හූමිටි තිබ්බේය.

‘අනික මං ඕනැ කෙනකුට අභියෝග කරනවා මං හදාපු පුරවැසි විෂය නිර්දේශය වැරදියි අඩුපාඩු තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා... ‘කියා පුරවැසි වික්‍රම මහත්තයා දුරකථනයෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් කීවේය.

‘ඒකත් හරි තමයි පුරවැසිවික්‍රම මහත්තයා... එහෙම අර මොකක්ද මණ්ඩලේදිත් අභියෝග කෙරුවා කියලා ආරංචියි... එතකොට ඒකේ ලොක්කා වෙලා හිටිය ගණිත මහත්තයා කිව්වාලු... හරි හරි... අපි මේක අනුමත කරනවා කියලා... එහෙම නේද?“ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘ඔව්... එහෙම තමයි... අනික පුරවැසි කියලා නම දැම්මට ඒකේ තියෙන්නේ ආණ්ඩුක්‍රම නේ... එතකොට මොකටද නීතිය උගන්නන්නේ... හිතනවාද විෂය නිර්දේශ හදනවා කියන එක එසේ මෙසේ වැඩක් කියලා... අනික අපේ ඔක්කොම ලොක්කෝ හොඳයි කියනවා නම් කොහොමද මේ අනික් අය කියන්නේ ඒකේ අඩුපාඩු තියෙනවා කියලා.... ‘ කියා පුරවැසිවික්‍රම මහත්තයා කීවේය.

‘නීතිය පැත්තකට තියමුකෝ පුරවැසිවික්‍රම මහත්තයා... දැන් ඔය පුරවැසි නිර්දේශයේ වැඩ ලෝකය ගැන ජීව දත්ත හදන හැටි ගැන 8, 9 පන්තිවලින් ඉවරයි නේ.. එතකොට 10,11 පන්තිවලට ඒක ඕනැ නැද්ද? අනික 8 පන්තිය කියන්නේ වැඩ ලෝකය ගැන ඉගෙන ගන්න ඕනැ පන්තියක් නෙවෙයි නේ..9, 10,11 පන්තිවලට නේ ඒක ඕනැ කරන්නේ...“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘හරි හරි.... එක එක අයට ඕනැ විදිහට ඕවා හදන්න බෑ... අපේ කණ්ඩායමක් ඉන්නවා... කිව්වොත් කිව්වා.. එච්චරයි... කැමති නම් උගන්නන්න... බැරි නම් උගන්නන්න. ඒකයි අපේ තියරිය... දැන් ඔය තලතා නෝනා කියන නිසාම අපි නීතිය ගැන ටිකක් දාන්නම්... නීතිය ගැන කියා නොදුන්නට අපි උසාවි ගැන කට පාඩම් කර ගන්න දේවල් කොච්චර ඇතුළත් කරලා තියෙනවද? ‘කියා පුරවැසිවික්‍රම මහත්තයා කටහඬ බාල කළේය.

ටොම්සන් මහත්තයා දුරකථනය විසන්ධි කොට ලොකු නෝනාට ගත්තේය.

‘දැන් ඔය ලොකු නෝනා.. පහු ගිය ටිකේම ඔය උසස් පෙළ සන්නිවේදනය විෂය නිර්දේශය විතරක් නේද වැරදියි කිය කියා තිබුණේ. දැන් බැලුවම පුරවැසි නිර්දේශයත් මේ රටේ නූතන දරුවාගේ උවමනාවට අනුව නෙවෙයිනේ හදලා තියෙන්නේ.. දැන් මොකද ඒ ගැන කියන්නේ... ‘කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘අනේ ටොම්සන් මහත්තයා... ඔහොම වද දෙන්න එපා... එහෙන් පත්තරවලින් ලියනවා.. එහෙන් ලියුම් එවනවා... විෂය නිර්දේශ හදන එක කජු කන වැඩක් කියලා හිතනවද? දෙන දේ උගන්නන එක නේද කරන්න ඕනැ... අනික පුරවැසි නිර්දේශයට නීතිය ඇතුළත් නොකළේ නොදැනම නෙවෙයි... දැන ගෙනම තමයි.. මොකද නීතිය පුරවැසියන් දැන ගත්තාම උන්ව ආණ්ඩු මට්ටු කරන්න බොහොම අමාරුයි.. දැන් පේන්නේ නැද්ද මට මේ වෙලා තියෙන දේ... මේකේ ඉන්න උන් ටිකත් මං ආණ්ඩු මට්ටු කර ගෙන ඉන්නේ උන් නීතිය දන්නේ නැති නිසානේ.. එතකොට නීතිය කියලා දුන්නාම කොහොම හිටීද?“ කියා ලොකු නෝනා නාහෙන් ඇඬුවේය.

‘ එහෙම නෙවෙයි... ලොකු නෝනා... දැන් මේ තලතා නෝනා කරපු වැඩෙන් එළියට ඇවිල්ලා ඉවරයි නේ.. විෂය නිර්දේශ හදන්නේ ළමයින්ගේ අවශ්‍යතාවට නෙවෙයි කියන එක... දැන් කාලේ අර කතාවක් තියෙනවා නේ...ඕක ළමයෙකුට දෙන්න කියලා. ඒ ළමයා ළමයින්ට ගැළපෙන විෂය නිර්දේශ හදයි...‘ කියා ටොම්සන් මහත්තය කීවේය.

ලොකු නෝනා දඩාස් ගා දුරකථනය විසන්ධි කළාය.

බන්දුල පී දයා­රත්න

සසං­කාගේ රැළි නොවන් රැළි අතර ඇසුණු තුෂා­රිගේ නොවන කවිය

$
0
0
ජන 15, 2019 01:00

සසංකා විතානගේ තරුණ කිවිඳිය, ජයවර්ධනපුර සරසවියේ ජන සංනිවේදන උපාධියට ශිල්ප ලබන මාණවිකාව කිවිඳියකගේ සිහිනය මල්ඵල ගන්වා ගන්නී ඇගේ පළමු කවි එකතුව ජනගත කිරීමෙනි. කිවිඳියක ලෙස තම කුලුඳුල් කෘතිය පළ කර ගැනීමේ සිහිනයෙන් ඔබ්බට ගිය සිහිනය වන එය පිරිසක් හමුවේ ජනගත කිරීමේ සිහිනය ද සසංකා සැබෑ කර ගන්නී පසුගිය අටවන දා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී විසාල ප්‍රේක්ෂකාගාරයක් හමුවේදී ය. එය අපූරු සොඳුරු අත්දැකීමක් ලෙස මට හැඟුණේ එදින පැමිණ සිටි අමුත්තන්ගේ හරස් කඩක මුහුණු දුටු කල්හිය. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, සසංකාගේ පාසලෙහි ගුරුවර ගුරුවරියන්, කතෝලික පූජකවරු, කන්‍යා සොහොයුරියන්, මාධ්‍යවේදීන්, සරසවි මාණව මාණවිකාවන්, කවිය ප්‍රමුඛ කොටගත් ප්‍රවීණ හා තරුණ සාහිත්‍යවේදීන්, පුද්ගලික අංශයේ විධායක පිරිස්, ඇතුළු සසංකාගේ මුහුණු පොත මිත්‍ර සමාගමය, දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන්ගේ ගේ මුහුණු මෙම හරස් කඩ තුළ මම දිටිමි. ජනප්‍රිය නොවූ තවමත් සරසවි ශිෂ්‍ය මාණවිකාවක වන සසංකා වැනි අංකුර කිවිඳියකගේ නිර්මාණ සංග්‍රහයක් ජනගත කිරීමේ උලෙළක දුටු ප්‍රේක්ෂක සහභාගීත්වය සැබැවින්ම ආස්වාදජනකය. සම්ප්‍රවේශක සිත එෆ් එම් නිවේදක ප්‍රේම්නාත් ගේ කෙටි හා විච්චූරණ තොර වූ ඉදිරිපත් කිරීමෙන් වර්ණවත් වූ ජනගත කිරීම සරල හා චාම් උත්සවයක් වීය. දේශන අතර මැද ඉදිරිපත් වූ උපේක්ෂා විමුක්තිනීගේ ගායනා තුළින් සසංකාගේ කවියෙහි භාවයන් මතු නොවුණු බවයි මගේ හැඟීම වූයේ. එහෙත් ඉන් කවියට හානියක් වී යැයි නොසිතේ. කෙටි හා සරල උත්සවයේ කෙටි දෙසුම් හෙවත් කැෂුවල් කතා පැවරී තිබුණේ සම්මානිත කිවියර සුනන්ද කරුණාරත්නට හා සාහිත්‍ය හා ටෙලිනාට්‍ය නිර්මාණවේදිනී තුෂාරි අබේසේකරට පමණි. ඔවුන් දෙදෙනාම ප්‍රේක්ෂාගාරය හඳුනාගෙන ඊට උචිත දෙසුම් පවැත් වූ බවයි මගේ හැඟීම.

සුනන්ද කරුණාරත්න ඉතා සංක්ෂිප්තව සසංකාගේ කවි සංග්‍රහයෙහි දිදුලන නිර්මාණ කිහිපයක් සනිදර්ශනාත්මකව උපුටා දක්වමින්, ඇගේ කවිය කියවීමට ආරාධනා කළ සෙයක් පෙනිණ. ඔහුගේ දෙසුම කෙටිය. එහෙත් අර්ථවත්ය. ව්‍යක්තය. කවියක තිබිය යුතු යැයි විශ්වාස කෙරෙන මූලික ලක්ෂණ එතෙර කවීන්ගේ ප්‍රකාශන ද උපුටා දක්වමින් ඉල්ලා සිටියේ එම ලක්ෂණ ද සිත්හි තබා ගෙන සසංකාගේ කවිය හඳුනාගන්නා ලෙසයි. ඊට හාත්පසින්ම වෙනස්, එහෙත් සසංකාගේ කවිය මුල් කොට ගෙන කාව්‍යකරණයට ඈ සතු නිර්මාණශීලීත්වය මෙන්ම අනෙකුත් පහසුකම් ද පිරික්සමින් එවන් පසුබිමක් සතු නොවූ ඈත දුර බැහැර පාසල් දරුවකුගේ නිර්මාණයක් ද නිදසුන් කොට දක්වමින්, එය අප හමුවේ එලෙසින්ම ඉදිරිපත් කරමින් තුෂාරි අබේසේකර නිර්මාණකාරිය කළ කෙටි අදහස් සමූහය අප සිත පැහර ගත් බව කිවමනාය. තුෂාරිගේ නිර්මාණ පසුබිමෙහි මාතා, ස්නේහයේ දාසිය වැනි නවකතා ද, හෝපළු අරණ හා පත්තිනි වැනි ටෙලි නිර්මාණ ද අප මතකයට එයි. නිර්මාණාත්මක ගීත රචනයෙහි ද තුෂාරි දස්කම් පාන බව අපි දනිමු. තුෂාරිට හමුවන සසංකා විතානගේ නම් කවිකාරියගේ පසුබිම කුමක් ද? ඇගේ කවිය හඳුනාගත්තෝ කවරහු ද? පාසලේ ගුරුමවක හෝ පියකු විසින් පළමුව හඳුනා ගනු ලැබූ සාර්ථක නිර්මාණකරුවන්, නිර්මාණකාරියන් කොතෙක් වේද? සාහිත්‍යය මතු නොව, අනෙක් බොහෝ කලා ක්ෂේත්‍ර තුළ ද පාසලේ ගුරුවර ගුරුවරියන් විසින් සොයාගත් බොහෝ මිණි කැට ඇති බව නොකිවමනාය. සසංකාගේ කවිය පළමුව හඳුනාගනු ලබන්නේ ඈ අකුරු කළ කැලණිය සාන්ත පාවුළු බාලිකාවේ සිංහල විෂය හදාරන අතර උපකාරක පන්තියක දී සිංහල විෂය ඉගැන්වූ රත්න ශ්‍රී බණ්ඩාර ගුරු පියාණන්ය. සසංකා විසින් ඔහු සිහිපත් කොට ඇත්තේ මෙලෙසය. ‘අයිලයක් හදන්නට ඉගැන්වූ දුයිෂෙන් - රත්න ශ්‍රී බණ්ඩාර ගුරු සඳ නිහඬ - නිසල අහස දෙස බලා ඒ නාමය මම සිහි කරමි. එළි දි දී නිවි නිවී ඔහු තවමත් පායන්නේය.‘ පාසලේ දී ඇගේ කවිතාව දකින ඔහු ඇගේ කවියට අත්වැලක් වන්නේය. ඈ ඉන් නිර්මාණාවේශය ලබන්නී ඉඳ හිට පුවත්පත් කවි පිටුවකට තම නිර්මාණයක් යොමු කිරීමට ද පුරුදුව සිටියාය. එහි ප්‍රතිඵලය වන්නේ එහෙමත් පිරිමි ඉන්නව බං නම් කාව්‍ය නිර්මාණය ලංකා කව්මුතුමිණි කවි පිටුවෙහි පළවීමය. ඉන් උත්තේජනයට පත්ව නිර්මාණ ඉදිරිපත්කිරීමට පෙළඹුණු සසංකාගේ කවියකට ලංකා කවි පිටුවෙහි නිතර ඉඩ වෙන්වූවා පමණක් නොව ඇතැම් සතියක එහි සංස්කාරකගේ තේරීම ලෙස ද ඇගේ කවියක් පළ වන්නේය. ඒ අපූරු නිර්මාණය වන්නේ 'මං අඬන්නෙ නෑ...... ඒත් මම අඬනවා'පද්‍ය පංතියයි. දිවයින වටමඬල කවිමිහිරට මේ නිර්මාණය එක්වීමෙන් පසු ඈ මා අමතන්නීය. කවියෙන් හඳුනා ගත් සසංකාගේ දුරකතන ඇමතුමට මගේ ප්‍රතිචාරය වන්නේ තව තවත් කවි ලියන ලෙස ඉල්ලා සිටීමයි. ඉන් ඔබ්බට ගොස් මා ඇයට පවසන්නේ හොඳ කවි ලියන දන්නා අඳුනා තරුණ කවි කිවිඳියන් වේ නම් ඔවුන්ගේ නිර්මාණ ද කවි පිටුවට යොමු කරන්නැයි ඔවුන්ට දන්වන ලෙසයි. ඇගේ උපකාරක පන්තියේ සිටි එක් ශිෂ්‍ය සොයුරෙකුට ඈ මේ පණිවිඩය දෙන්නීය. ඔහු කළණ දම්සරය. සසංකාගේ මග පෙන්වීමෙන් පාසල් ශිෂ්‍යයකුව සිටිමින් ලංකා කවි පිටුවෙහි තම කවියට ඉඩ සොයාගත් කළණ මේ වනවිට කොළඹ සරසවියේ සිංහල ගෞරව උපාධිය සඳහා අකුරු කරන්නේය. තවමත් හොඳ කවි ලියා කවි පිටුවට එවන්නේය. කිවිඳියක, හොඳ මිතුරියක වන සසංකා සරසවියට යන්නට පෙරම කවිමිහිර කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උලෙළේ කෙටි දේශනයක් පවත්වමින් ඇගේ දේශන කුසලතාව ද ප්‍රකට කළාය. සසංකා ගේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ දීර්ඝ විවරණයක් නොකළ ද තුෂාරි අබේසේකර නිර්මාණකාරිය නිර්මාණයක අන්තර්ගතය, කවියක් ලියවෙන්නේ කෙසේද, වේදයිතයක් සුමට කවියක් බවට පත්කිරීමට කුමක් කළ යුත්තේ ද යන්න පිළිබඳ ඈ ලද අත්දැකීම් ඇසුරින් කළ ඉදිරිපත්කිරීම ද එහි දී ඈ විසින් උපුටා දක්වන ලද නිර්මාණය ද රසික සභාව ග්‍රහණයට හසු කර ගැනීමට සමත් විය. ඇගේ අවසරය පරිදි එම නිර්මාණය ද එහි පසුබිම් කතාව ද පාඨක ඔබට උපුටා දක්වන්නේ කවියක් සංස්කරණය කිරීමට පෙර කෙබඳු හැඩයක් ගන්නේ ද යන්න තෝරා බේරා ගැනීමට ඉන් ඉඩක් ලැබෙන බැවිනි.

තුෂාරි , සසංකාගේ කවිය විවරණය කරමින් ඇයට කවි ලිවීමට ඇති පහසුකම් පිළිබඳ කතා කිරීමෙන් පසුවයි ඇගේ අත්දැකීමේ පසුබිම හා එකී නිර්මාණය අපට ඇසෙන්නට සැලැස්වූයේ. සසංකා නගරයේ ජීවත්වන, වයසින් බාල, සරසවි අධ්‍යාපනයට වරම් ලද, ආර්ථික වශයෙන් අගහිඟකමක් නොපෙනෙන කිවිඳියක් බව පවසන තුෂාරි ඇගේ කවිය බොහෝ වර කියවා කපා කොටා සංස්කරණය කරන ලද කවියක් ලෙස හැඳින්වූවාය. එහෙත් කලකට පෙර මැදවච්චියට එපිට දුෂ්කර ගම්මානයක පාසලක ආරාධනාවෙන් නිර්මාණකරණය පිළිබඳ එහි ළමයින්ට අදහස් කීපයක් පළ කරන්නට ගිය මොහොතක ඈ අත පත් වූ මේ කවිය සසංකාගේ කවිය මෙන් සංස්කරණය වූවක් නොවේ. මේ කවියේ රචකයා සසංකා වැනි චරිතයක් හා කිසි ලෙසකින් හෝ සැසඳිය හැකි චරිතයක් ද නොවේ. එක්වරම අමු කවියක්, විරෝධාකල්ප කවියක් ද සේ අපට හැඟෙන මේ නිර්මාණය පුරා දැවටී ඇත්තේ ජීවන අරගලයක යෙදෙන පුතකුගේ ශෝකාලාපයයි. අව්‍යාජ හැඟුම් සමුදායයි. අප හදවත සසල කිරීමෙන් නොනැවතී අපගේ හදවතට තට්ටු කොට පිළිතුරු සෙවීමට අප පොළඹවන දරුවකුගේ ආත්ම ප්‍රකාශනයයි. සී.ආර්. පොතක කොළයක් පුරා ලියන ලද මේ කවිය තුෂාරි අතට පත්වන්නේ මව් සෙනෙහස පිළිබඳ ඇගේ දේශනයට අදාළ කරුණු කීමෙන් පසුවයි.

 

පුතෙකුගේ කවිය

 

මැඩම් අහන්න!

අපේ ගෙදරට හයිය දොරක් නැත

තිබෙන දොර සුළඟටත් සෙලවෙයි

දොර හොඳට හැදුවොතින්

පසුදාට අප බඩගින්නේය

 

දොර ළඟින් එහාට මෙහාට යන ඡායාවන්

රාත්‍රියෙහි දී මම දකිමි

මොහොතකින් අම්මාගේ කෙඳිරුම් හඬ ඇසෙයි

එවිට එළිපත්තේ ඔත්පළව හිඳින තාත්තා

එක දිගට කහින්නට ගනියි

දොර කිරිස් කිරිස් ගානා ගානේ

තාත්තාගේ කැස්සට ඒ හඬ යටපත් වෙයි

එවිට මගේ පපුව මැද්දෙන්

යකඩ ඉන්නක් රිංගනවා බඳුය

 

මට අම්මා නමක් දා ඇති මුත්

ගමේ හොඳ මිනිසුන් මට කියන්නේ

වේසිගේ පුතා කියලාය

මට දැන් අවුරුදු දහසයකි

මම දැන් කීයක් හෝ හොයන ඉලන්දාරියෙක් වෙමි

ඒ නිසා දැන් මේ වේසිගේ පුතාට

අම්මාට හයියක් වීමට හැකිය

 

ගමේ හොඳ මිනිසුන් මට වේසිගේ පුතා කීවාට

මම උන්ගේ වැට ඉනි තනා දෙමි

කුඹුරුවල දිය කඩිති තනා දෙමි

හරකුන් ද එළුවන් ද බලමි

දැන් මම ගෙදර දොර හයියට හදා

ඊට අගුල ද දමා ඇත්තෙමි

දැන් දොර රෑට හෙලවෙන්නේවත්

කිරිස් කිරිස් ගාන්නේවත් නැත

තාත්තාට ද හොඳ නින්දක් එළිවනතුරු ලැබෙයි

අම්මා ද සනීපෙනි

 

මැඩම් අහන්න

මැඩම්ලා ඔය ඉන්නවා යැයි කියන කොළඹ

හොඳ අම්මලාගේ හොඳ පුතාලා ඒ අම්මලාව

කාර්වලින් ගෙනැවුත්

මහමග බස්සවා අතරමං කර යන්නේ නම්

ඒ හොඳ පුතාලත් මේ වේසිගෙ පුතාත්

අතර ඇති වෙනස ගැන

මැඩම්ට දැනෙන්නේ කොහොමද?

 

මීට වේසිගේ පුතා

රළු,ගොරහැඩි යැයි එක්වර පෙනෙන මේ කවිය යටින් දිවෙන ජීවිතානුභූතිය අපගේ ජීවිත හා බැඳී ඇති යථාර්ථය පිළිබිඹු කරන්නක් නොවන්නේ ද? මේ යෞවන පාසල් ශිෂ්‍යයා විසින් විඳින ලද කටුක අත්දැකීමක් තම හිතට නැගුණු අදහස් මාලාවක් ලෙස ලියා ඇති මුත් සසංකා වැනි කිවිඳියක් විසින් මේ අත්දැකීම අපූරු කවි බසකින් කියනු නොඅනුමානය. මේ කවිය සමග රජත පුස්තක සම්මානිත ළහිරු කිතලගම කවියාගේ කවුළු ඇස පාමුල කෘතියෙහි එන 'තරා නෑ මං අම්මේ 'කවිය මතකයට නැගුණේ සැණෙකිනි. කවියෝ ද කිවිඳියෝ ද ඔවුන්ගේ කවියෙන් ජීවිතය දකිති. අප නොදකින අපගේ ඇසට හසු නොවන ඉතා කුඩා සිදුවීමක් වුව ඔවුන්ගේ කවි ඇසින් මිදී නොයේ. තුෂාරිට මැදවච්චියේ දුෂ්කර ගම්මානයක පාසලක දී හමු වූ කවියාගේ අත්දැකීමට සමාන අත්දැකීම් ළහිරුගේ හෝ ලක්ශාන්තගේ කවියක අපට හමුවේ. සසංකා හෝ කල්පනා, විනූ, ශානිකා ගේ කවියකින් ද එකී ජීවන සුවඳ හමා යනු අපට දැනේ. තීරුව අවසන් කිරීමට පෙර, තුෂාරිට මේ කවියා හමුවීමේ පසු සටහන ලියා තබමි. එය තුෂාරිගේම වචනයෙනි. “ඒක හුඟාක් දුර බැහැර පිහිටි ගමේ ඉස්කෝලයක්. එදා මට තිබුණේ අම්මා ගැන කතා කරන්න. දේශනය ඉවරකරලා මං වේදිකාවෙන් බහින කොට දරුවෝ කීපදෙනෙක් අතර සිටි එක දරුවෙක් මගේ දිහාට කොළ කෑල්ලක් දික් කළා. ඒක අරං කියෙව්වා මිසක් මං ඒක දීපු දරුවා කවුද කියන එක හරියටම දැක්කේ නෑ. ලියා තිබූ කවිය කියවලා ඉවරවෙනකොට මගේ පපුව රිදිලා ඒක පුපුරන්න එන බවකුයි මට දැනුණේ. මං වේගයෙන් හෙව්වා ඒ අපූරු කවියව. ඈතින් ඉඳන් එක දරුවෙක් මං එක්ක හිනා වුණා. මං එයාට හිස වැනුවා මං ළඟට එන්න කියල. එයා ඇවිත් සිනාසෙමින්ම මගෙන් ඇහුවා, 'මැඩම් මාව අඳුනාගත්තා නේ?‘ මං කඳුළු පිරුණු ඇස්වලින් ගොළුවතින් එයා දිහා බලන් හිටියා. අන්තිමේ එයාම කිව්වා ‘මං තමයි මැඩම් හොයපු වේසිගේ පුතා...“

සසංකා විතානගේ අංකුර කිවිඳිය වල්මත් නොවී ඇගේ අනාගත කවි මග සොයා ගෙන තව තවත් අර්ථවත් නිර්මාණ අප වෙත රැගෙන එන්නට සුනන්ද කරුණාරත්න හා තුෂාරි අබේසේකර වැනි ප්‍රවීණයන් දැක් වූ අදහස් සිත රඳවා ගනු ලැබේ යැයි විශ්වාස කරමු.

බුද්ධදාස ගලප්පත්ති

ලියුම් හා පියුම්

$
0
0
ජන 15, 2019 01:00

වට්ටක්කා පළුව කුඩා කැබලිවලට කපන අතරතුර නෙත සනහන ඒ කහ පැහැය ද එහි සුගන්ධයක ද මා කැන්දාගෙන යන්නේ ඈත අතීතතයටයි. කැත්ත මත හිඳගෙන ඉන්නා මා හැත්තෑව දශකයේ අගභාගය වෙත කැටිව යන කාල යානයක් සදිසි. වට්ටක්කා පළුව නොකඩවා ඉස්මතු වන අතීත මතකයන්ගේ ඉමිහිරි බවින් මා පුමුදිත කරවන හේන් යායේ දුව පැන නැටූ කෙල්ලකට ඒ මහ විශාල වට්ටක්කා ගෙඩි අරුමයක් විය.

“අනේ පව් අමමේ...“

නිවුන් පුතුන්ගේ සම්ප්‍රාප්තිය මගේ මතකය සිඳ බිඳ දමයි. එහෙත් මා අතීතයෙන් ආපසු වර්තමානයට තල්ලු කර දමන කොල්ලන් කෙරෙහි නොකිපී “ඇයි? මොකද වුණේ?“යි අසමි.

එක්බඳු රූ සොබා දරන්නෝ එක්බඳුම ශෝකයෙන් අවපැහැ ගැන්වී සිටියහ.

“අම්මට අද ලියුම් ආවද?“

මම හිස සලමි. දිනපතාම පාහේ ලිපි ලබන්නට තරම් තවමත් මම භාග්‍යවන්ත වෙමි. සාමාන්‍යෙයන් කෙනකු තුළ නොරුස්නාසහගත හැඟීහ් පහළ කරවන බිල් හා බැංගු සිහි කැඳවීම් හැරුණු කොට පාඨකයන්ගෙන් ලැබෙන ලිපි මේ මහා ජීවන සංග්‍රාමයේ දී මල් වැස්සකි. සවිය ද දිරිය ද නොමඳව පුදන්නකි.

“සීයාට හරිම දුකයි.“

විටින් විට පැමිණ යන බාප්පා මෙවර ආපසු නොයන හැඩය. එහෙත් ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා වෙනුවට අපි අපමණ සොම්නසින් ඉපිළ ගියෙමු මහලු වියෙහි පසුවුව ද හෙතෙම දවස මුළුල්ලේ කුමන හෝ වැඩවලක නිරතව සිටියි. එද ගී ගයමිනි. ඉහවහා ගිය ප්‍රමෝදයෙනි. කිරි අත්තලා කිරි අම්මලා කප්පරක් එක්ක ළමා විය ගත කළ කෙල්ලකට මේ මහල්ලා නිධානයක් තරමට අහී. මගේ කොල්ලන් පමණක් නොව ගෘහමූලිකයා ද ඒ වියපත් ඥාතියා මහත් සෙනෙහසින් ඉවසීම මට නම් සැබවින් ම සැනසීමකි.

“මට ලියුම් එනවා කියලා සීයා දුක් වෙනනෙ ඇයි?“

මා ඇසුවේ අනුවණ ප්‍රශ්නයකි.

“දුක නැද්ද අම්මා? සීයා කියනවා මට කවුද ඉතිං ලියුම් එන්නේ... යම රජ්ජුරුවෝ එව්වොත් තමා කියලා.“

මම විපිළිසරව බලා හිටිමි. වට්ටක්කා පළුව පිදූ චමත්කාරය වියැකිණි.

“අයියෝ... දැන් මොකද කරන්නේ?“

මට ලිපි ලැබීම හේතුකොට ගෙන මගේ ප්‍රියතම පුද්ගලයෙක් කනස්සල්ලෙන් පසුවන බව දැනගන්නට ලැබීමෙන් මම ද අසහනයට පත්වීමි.

“වෙන මොනවා කරන්න ද... සීයාට ලියුම් ලියනවා මිසක“යි කී කොල්ලෝ මේසය වෙත දිව ගියහ. ගැටලුව වටහා ගැනීම ද ඊට විසඳුමක් සොයා ගැනීම ද පිළිබඳ ඔවුන් දැක්වූ බුහුටි බව මගේ සිත් ගත්තේය.

“ඔයාලා සීයාට ලියුම් ලියනවද? එහෙනම් මාත් ලියනවා.“යි කී මම දිවා බත පවා අමතක කොට කඩදාසියක් සහ පෑනක් සොයා දිව ගියෙමි.

අප ලියන ලද ලිපි තුන කවර තුනක බහාලන්නට ද නොපමාව තැපැල් කරන්නට ද රහසින් සැලසුම් කිරීම එක්තරා වීර ක්‍රියාවක් විය. ඒ රහසිගත සැලසුම අකුරට ම ඉෂ්ට සිද්ධ වීම නිසා නව වසරක් උදා වූ දිනයේ ම අපේ ආදරණීය මහල්ලා එකක් නොව ලිපි තුනක් ලබන්නට තරම් භාග්‍යවන්ත විය. මුව පුරා විහිද පැතිර ගිය සිනහවෙන් යුතුව ඔහු ලිපි විවර කොට කියවන අන්දම අපි වේගයෙන් ස්පන්දනය වන හදින් බලා සිටියෙමු.

“මං ඒත් පුදුම වුණා මට කව්ද ලියුම් එන්නේ කියලා.“

ලිපි කියවූ හෙතෙම සතුටු කඳුළු පිස දමමින් කීවේ මහත් හැඟීම්බර හඬිනි.

“කල්ප කාලාන්තරයකට පස්සේ මට ලියුම් ලැබුණේ...මැරෙන්නඩ කලින් මටත් ලියුමක් ආවනේ දෙයියනේ...“

කොල්ලෝ ඔහු වැළඳ ගනිමින් හැදු වැසි වස්සන කල මම මෙලොව ප්‍රීතිමත් ම අම්මා වීමි. මහල්ලෙක් යනු විෂබීජ ආකරයක් නොවේ. කිසිවක් කර කියාගත නුහුණු පරඬලා පතක් නොවේ. දිගු දිවි ගමන් මඟ අපමණ අත්දැකීම් ලද අපමණ සුඛ දුක්ඛ දෝමනස්සයන් ඉසිළු මිනිසෙකු මිසක.

අපමණ අත්දැකිමී ලද වැඩිහිටියා අවඥාවට, පිළිකුලට හෝ නොතකා හැරීමට ලක්විය යුතු නැත. ඇතැම් වියපත් මවුපියවරුන්ට සිය බිළිඳු මුනුපුරු මිනිබිරියන් ස්පර්ශ කරන්නට පවා ඉඩ නොදෙන දරුවන් සිටිති. ඒ විෂබීජ පිළිබඳ බිය සැක හේතු කොට ගෙනය. එහෙත් යමෙකු වියපත් වූ පමණින් විෂබීජ ආකරයක් වන්නේ නැත. පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් සෑම ශරීරයකම පමණක් නොව සෑම අවකාශයක් තුළම ගිණිය මිණිය නොහෙන ප්‍රමාණයෙන් සිටිති. හිතකර සහ අහිතකර යනුවෙන් වර්ග කළ ද ඒ සියලු ක්ෂුද්‍ර ජීවීන් පරිසරයේ සමතුලිත බව මෙන් ම මේ පෘථිවිය ද ආරක්ෂා කරන බව අපේ අවධානයට හෝ ගෞරවයට ලක් නොවන බව සැබෑය. එහෙත් සදහටම සමුගෙන යන්නට ආසන්නව සිටින වැඩිහිටියා එබඳු අවිද්‍යාත්මක කරුණු ඉස්මත කරමින් පීඩාවට පත් කිරීම මනුෂ්‍යත්වයට නොහොබී.

ලිපි තුනක් ද කොල්ලෝ හතර පස් දෙනෙක් ද එක්ක ප්‍රීතියෙන් හිනැහෙන බාප්පා දකින කල මට පසක් වූයේ ලිපියක බල මහියමයයි; සන්තෘෂ්ටියයි. තාක්ෂණය කොතරම් දියුණු වුව ද ඇඟිලි තුඩින් ලෝකය පුරා කරක් ගැසිය හැකිවුව ද ඒ පැරණි හා අතීතයට අයත් ලිපියකට මිනිස් හදවතක් සොම්නසින් ද ශෝකයෙන් ද ආහ්ලාදයෙන් ද පුරවා දැමිය හැකිය.

“ලියුමකින් කෙනෙක් මොන තරමි සතුටට පත් කරන්න පුළුවන් ද කියන එක මට අද තමා තේරුණේ...“

බඩපිස්සා සිය නිවුන් සොහොයුරා සමඟ කියා සිටියේ හැඟීම්බර හඬිනි.

“හරි පුදුමයි නේද මල්ලි...පුංචි කොලයක්... පෑනක්... මුද්දරයක්... එකතු වුණාම සතුට උපදිනවා කියන එක...“

මම දෙවැන්නා දෙස බැලුවෙමි.

“ආපෝ...අම්මගෙම පුත්තු...අම්මගෙම වචන... කවුරු නැතත් ඒ ඩබල අම්මගේ නම ගෙනියයි...යි ඔහු සුපුරුදු සරදම් හිනාවෙන් පැවසුවේය.

“ලියුම් ලියපු පරම්පරාවක පුරුකක් විදියට මම හොඳටම දන්නවා ලියුමක ආශ්චර්ය. ඕගොල්ලොත් ලියුම් ලියන්න පුරුදු වෙන්න. ලියුම යල් පැන ගිය හා අතීතයට අයත් දෙයක් හැටියට පැත්තකට දාන්න එපා“

ලියුම නොසලකා හරින බාල පරම්පරාව වාදයට නොඑළඹුණෙන් මට සිහිපත් වූයේ සහෝදර කවියකු වන පියන්කාරගේ බන්දුල ජයවීරයනගේ සුප්‍රසිද්ධ කෙටි කවියයි.

“පෙම්වතිය දුර බැහැරක

පියුම් මාමා

ලියුමක් ගෙනත්

ලියුම් මාමා

පියුමක් ගෙනත්“

තෝරා ගත් කෘති කාව්‍ය සංග්‍රහය

පියන්කාරගේ බන්දුල ජයවීර

සැබෑය. ලියුමක් සුවඳින් සපිරි පියුමක්මයි. එවන් පියුමක සුවඳ විඳින්නට ඉඩ හරින්න

ශාන්ති දිසානායක

නිද­හස් දවසේ මුල පුරන නික­සළ ලංකා සංග්‍රා­මය

$
0
0
ජන 15, 2019 01:00

බලවත් රටවලට යටත් වෙලා සිටි ජාතීන් මෑතක සිට සිය නිදහස් දිනය පිළිබඳව අලුතෙන් හිතන්න පටන් අරන්. මෑතක් වන තුරුම ඒ හැම රටක්ම පාහේ නිදහස් දිනය සැමරුවේ ජන සහභාගිත්වයෙන් තොර රාජ්‍ය උත්සව හැටියට. ඒ රටවල් වල ජනතාව වුණත් නිදහස් දිනය සලකන්න පුරුදු වෙලා හිටියෙ සාමාන්‍ය නිවාඩු දවසක් හැටියට. උදාහරණයක් හැටියට ලංකාව වගේ රටක් ගත්තොත් ජාතික උත්සව වශයෙන් සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නැත්නම් වෙසක් මංගල්‍යය හෝ නත්තල වගේ උත්සව පවත්වන්නේ පුළුල් ජන සහභාගිත්වයකින් යුතුවයි. එහෙත් එවන් හැඟීමකින් යුතුව නිදහස් දිනය සමරන්න අදටත් ලාංකික ජනතාව ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඇත්තටම කියනවානම් ජීවිත පරිත්‍යාගයෙන් කළ දිගු සටනක් මගින් විමුක්තිය දිනාගත් රටවල ජනයා හැරෙන්න ප්‍රදානයක් හැටියට නිදහස ලබපු රටවල ජනයාට නිදහස් දිනය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති බව පෙනෙන්නෙ නැහැ. මෙන්න මේ හේතුව නිසා නිදහස් දිනය පිළිබඳව අලුතෙන් හිතන්න අපි වගේ නාමික නිදහසක් ලබපු රටවලට සිදු වී තිබෙනවා.

ඒ විදිහට අලුතෙන් හිතන්න ඉදිරිපත් වුණු තරුණ කණ්ඩායමක් පිළිබඳ පුවතක් පහුගිය දවසකදී සමාජ මාධ්‍ය ජාලයෙන් දැකගන්න ලැබුණා. නිදහස් දිනය නිමිති කරගෙන “නිකසල ලංකා ජාතික සංග්‍රාමය” නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවයි ඒ පුවත හෙළිදරව් කළේ. මේ ජාතික වැඩපිළිවෙළ සඳහා තරුණ පරිසරවේදී සංවිධාන තුනක් එක් වී සිටින බවයි එහි තවදුරටත් විස්තර වුණේ. ඉන් එක් කණ්ඩායමක් තමයි “ග්‍රීන් මැප් ශ්‍රී ලංකා”සංවිධානය. අනිත් සංවිධානය හැඳින්වෙන්නෙ “ග්‍රීන් ස්පයින් රිෆොරස්ට්ට්‍රේෂන් ප්‍රෝගෑම් ” නමින්. තෙවැනි සංවිධානය හැඳින්වෙන්නෙ “සුරකිමු ලංකා” ලෙසයි. මේ සංවිධාන තුනම මේ වන විට රට පුරා පරිසර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති රැසක නිරත වී සිටින බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු විමසන විට දැනගන්නට ලැබුණා.

මේ අලුත් සංකල්පය ගැන ඇති වූ උනන්දුව නිසා එහි තිබූ දුරකථනයකට ඇමතුමක් දී තවදුරටත් කරුණු දැනගැනීමට මම පෙළඔුණා. එහි සඳහන් වූ දුරකථන අංකවල මා කලින් දැන සිටි තරුණයකු වන පැතුම් කර්නර්ගේ නමද සඳහන් වී තිබුණු නිසා මම කතා කළේ ඔහුටයි. පැතුම් කර්නර් තරුණයා මා හඳුනාගත් සැටි කෙටියෙන් හෝ ඔබට කියා සිටිය යුතුයි. වෘත්තියෙන් වෛද්‍යවරයකු වන පැතුම් කලක් යුද හමුදාවෙත් සේවය කළා. උතුරු යුදබිමේ හමුදා වෛද්‍යවරකු ලෙස සේවය කරද්දී ලැබුණු බිහිසුණු අත්දැකීම් අළලා ඔහු පොතකුත් පළ කළා “යුදබිමක වෙද මහිම”නමින්. දැන් ඔහු තවත් තරුණ කණ්ඩායම් කීපයක් එක්ක එකතු වෙලා පරිසර හිතකාමි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

“නිදහස් දවස නිමිති කරගෙන ඔබලා දියත් කිරීමට සැලසුම් කරන අලුත්ම වැඩපිළිවෙළ ගැන විස්තර දැනගන්න කැමතියි.” මම පැතුම්ට ඇමතුමක් දී එසේ කරණු විමසා සිටියා.

“පරිසරය ගැන නොසැලකිලිවීම හේතුවෙන් අපේ රටටයි ජනතාවටයි විශාල වශයෙන් හානි සිදුවෙමින් තිබෙන හැටි අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනෙ. පෙබරවාරි හතරට යෙදෙන නිදහස් දවස රටේම අවධානය පරිසරය සුරැකීමේ වැදගත්කම ඒත්තු ගැන්වීම සඳහා යොදාගන්න අපි කල්පනා කළා. මේ හා අපට උත්තේජනනයක් සැපයූ ආසන්න සිද්ධි දෙකක් තියෙනව. එකක් තමයි මෙවර රුසියාවෙ පැවැත්වුණු ලෝක පාපන්දු තරගාවලිය. මේ තරගාවලිය නරඹන්න ආපු ජපන් ක්‍රීඩාලෝලීන් මුළු ලෝකයටම අපූරු ආදර්ශයක් සපයපු බව ඔබ දන්නවා ඇති. ඒක තමා සෑම තරගයක් අවසානයේදිම ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ක්‍රීඩාපිටිය පිරිසිදු කිරීම. ජපන් ක්‍රීඩාලෝලීන්ගේ ඒ ආදර්ශය සමස්ත ලෝකයේම ඇගයුමට ලක් වුණා. ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් පිරිසකුත් ජපන් තරුණයන්ගෙ ආදර්ශය අනුව යමින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණු අවස්ථාවෙ ශ‍්‍රමදානයක් මගින් එය පිරිසිදු කළා. මෙන්න මේ සිදුවීම් දෙක පරිසරවේදීන් හැටියට අපට අලූත් දේවල් ගැන හිතන්න අනුබල දුන් බව කියන්න කැමතියි.”

පැතුම් තවදුරටත් විස්තර කළ ආකාරයට නිදහස් දවසෙ උදේ 8 සිට හවස 2 දක්වා රට පුරා තිබෙන විවිධ ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන මුළු රටම ආවරණය වන පරිදී පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් දියත් කරන්නයි සූදානම. ගම් හෝ නගර බේදයකින් තොරව ඒ ඒ ප්‍රදේශවල තිබෙන පන්සල්, පල්ලි, පාසල්, සරසවි හා ටියුෂන් පංති ආදි ස්ථාන වටා ඒකරාශි වී සිටින තරුණ ප්‍රජාව මේ ජාතික මෙහෙවර ට යොමු කරවන්නයි පැතුම්ලා බලාපොරොත්තු වෙන්නෙ. මෙසේ මේ කාර්ය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම්වලට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයන්නත් ඔවුන් සූදානම්. මේ වන විටත් රටේ ප්‍රමුඛ පෙළේ ස්වේච්ඡා සංවිධාන රැසක් මේ ව්‍යාපාරයට එක්වීමට කැමැත්ත පළ කරලා. නිදහස් උත්සවය පැවැත්වෙන ගෝල්ෆේස් පිට්ටනිය පිරිසිදු කිරීමට ඉදිරිපත්ව සිටින කොළඹ වෛද්‍ය විද්‍යාලයේ රෝට‍්‍රැක්ට් ක්ලබ් කණ්ඩායම මේ අතර කැපී පෙනෙන සංගමයක්.

මෙවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි ගැටලුවලට මුහුණ දිමේ සූදානම කෙසේදැයි කියා මා පැතුම්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැකවුවා. “අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම අප දැනට හඳුනාගෙන තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා එක්රැස් වන කසළ බැහැර කිරීම. අපත් සමඟ එක් වන ස්වේච්ඡා සංවිධානවලට අපි උපදෙස් දෙනවා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධ වී මෙවැනි ගැටලු කළමනාකරණය කරගන්නා ලෙස. ඒ වගේම තමන් විසින්ම තෝරාගත් ස්ථානයක් නැති ස්වේචඡා සංවිධානවලට අපි කල්ඇතිව තෝරාගන්නා මධ්‍යස්ථාන කීපයකට එක් වන ලෙස දැනුම් දෙනවා. කසළ ප්‍රතිචක්‍රීයකරණය කරන ආයතන එක්කත් සාකච්ඡා කරගෙන යනවා මේ ශ්‍රමදානයේදී එක් වන කසළවලින් යම් ප්‍රයෝජනයක් ලබාගත හැකිද කියා බලන්න. මේ විදිහට කිසිම බේදයකින් තොරව නිදහස් දවසෙ නිවාඩුව අර්ථවත් කටයුත්තක් වෙත ලක්වාසි ජනතාව යොමු කරවීමයි අපේ අරමුණ. ලෝකයේ සුන්දර රටවල් අතරින් එකක් වන අපගේ මවුබිම අනාගත පරපුරටත් එලෙසම බාර දීම අපේ වගකීමක්. ඒ නිසා මේ ජාතික කටයුත්තෙදි අපත් සමඟ එක් වෙන්න කැමති ඕනෑම සංවිධානයකට අප අමතන ලෙස ඉල්ලා සිටිනවා”

මෙපමණ කාලයක් නිදහස් දවස සාමාන්‍ය නිවාඩු දිනයක් ලෙස ගත කිරීමට පුරුදුව සිටි ජනයාට පරිසරවේදී තරුණයන්ගෙ මේ ප්‍රයත්නය අලුත් අත්දැකීමක් වේවායි කියා මා සිතනවා. අත්හදා බැලීමේ මට්ටමෙන් සිද්ධ වන කටයුත්තක් නිසා සුළු සුළු අඩුපාඩු සිද්ධ වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් ඔවුන්ගේ “නිකසළ ලංකා ජාතික සංග්‍රාමය” සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

කමල් පෙරේරා

රබන්-බැරල් සහ පාසල් ක්‍රීඩා

$
0
0
ජන 15, 2019 01:00

අලුත් අවුරුද්දක් ආවේ ය. අලුත් පාසල් වාරයක් ද ඇරඹිණි. මසක පමණ විරාමයකින් පසු පාසල් සේවා බස්රිය, වෑන්රිය යළිත් සුපුරුදු පරිදි නිල ඇඳුමින් සැරසුණු සිසු සිසුවියන් රැගෙන පුරුදු පාරේ දුවන්නට පටන් ගත්තේ ය. පාසල් අසල සෙනඟ ගැවසෙමින් නිවාඩුවේ බෝ වී තිබුණු තාවකාලික පාළුව නිමාවට පත් විය.

ඊයේ පාසල් ක්‍රීඩා පිටියක් අසලින් බස්රියක ගමන් කළ මට ක්‍රීඩා පිටියේ ළමයින් පිරී සිටිනු දක්නට ලැබිණි. පිටියේ මෙපිට කෙළවරේ සමාන්තර ව දිගු දෙපේළියකට ළමයි සැදී සිටිති. ළමා පේළි දෙක අතර ක්‍රියාකාරකම් හරිහැටි නොපෙනේ. මේ පැනුම් පිටියේ දුර පැනීමේ ඉසව්ව සඳහා පුහුණු කරවන අවස්ථාවක් බව ක්ෂණිකව දුටු දසුනින් පවා මට සිතා ගත හැක. තවත් ළමෝ පිරිසක් බේස් ඩ්‍රම්, සයිඩ් ඩ්‍රම්, ට්‍රම්පට්, ක්ලැරිනට්, සෙක්සපෝන් ආදී විවිධ සංගීත ආම්පන්න රැගෙන පිටියේ කොනක රැස් වෙති. ඒ බෑන්ඩ් කණ්ඩායම පුරුදු පුහුණු කරවන්නට පේවෙන අවස්ථාවයි. ආපසු එන අතර පාසල් වෙලාව හමාර වූ පසු තවත් පාසලක් අසල ක්‍රීඩා පිටියක ක්‍රීඩා ඇඳුමින් සැරසුණු ඉහළ පන්තිවල බාලිකාවන් කුඩා බාලිකාවන් තිදෙනා බැගින් පෙළට අචාර පෙළපාළි ගමනේ පෙර පුහුණුව සඳහා ගමන් කරවනු පෙනිණ.

පළමුවන වාරය ඇරඹීමත් සමඟ ම පාසල් ක්‍රීඩා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වෙයි. ඒකාකාරී විෂය නිර්දේශයට ම දැඩි බරක් යොමු කොට සිටින පාසල් දරුවනට සිය විෂය බාහිර ක්‍රියාකාරකම් ප්‍රගුණ කර ගන්නට, පන්ති කාමර ක්‍රියාවලියෙන් බැහැර වී විනෝදාස්වාදයක් ලබන්නට පාසල් ක්‍රීඩා උත්සවය මහෝපකාරී වෙයි. ක්‍රීඩා උත්සවයක පූර්ව ක්‍රියාකරකම් දකින විට, විශේෂයෙන් ම පාසල් තූර්ය වාදක කණ්ඩායම්වල පුහුණුවීම් දකින විට මගේ සිත නිතැතින් ම අතීතයට, ඔව් අවුරුදු තිස් හතරක් පමණ එපිට අතීතයකට දිව යයි.

අවුරුද්ද එක්දාස් නවසිය අසූපහේ මුල් භාගයයි. ජීවිතයේ තුරුණු අවධියේ සිටි මා ගුරු පත්වීමක් ලැබ පොළොන්නරුවට ගියා පමණි. ගුරු මණ්ඩලයේ අති බහුතරයක් තුරුණු වියේ වූවෝ ය. තරුණ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් යහපත් මට්ටමේ ක්‍රීඩා උත්සවයක් පැවැත්විය යුතු බව පාසලට අලුතින් පැමිණ සිටි විදුහල්පතිවරයාගේ අදහස විය. අපි අපේ ගුරු ජීවිතයේ කුළුදුල් ක්‍රීඩා උත්සවයට දැඩි උනන්දුවෙන් පේවෙමින් සිටියෙමු. නිවාස රැස්වීම් පැවැත්වීම, තරග ඉසව් සඳහා ළමුන් තෝරාගැනීම, අයදුම්පත් සකස් කිරීම, ඉසව්වලට තේරීමෙන් කට්ටි පනින කොලු කෙල්ලන් ‍සොයාගෙන ඔවුන් තේරීමේ අවස්ථාවට යොමු කිරීම මේ ඈ සියල්ල අලුත් අත්දැකීම් විය.

එදවස පාසල් තූර්ය වාදක කණ්ඩායම් තිබුණේ සැලකිය යුතු මට්ටමේ ඉස්කෝලවලට පමණි. අප සේවය කළ කනිෂ්ඨයේ ළමයින් හත් අටසියයක් සිටියත් එවන් පාසල්වල දරුවන්ට එදවස උජාරුවට බෑන්ඩ් එකක ගමන් කිරීමේ භාග්‍යය ලැබී තිබුණේ නැත. පසුකාලීනව දේශපාලනඥයෝ තුමූ ම මැදිහත් වී පාසලකට පැමිණි විට උජාරුවෙන් බෑන්ඩ් කණ්ඩායම් පෙරටු කොට ගෙන ගමන් කිරීමේ යහපත තකාදෝ කුඩා පාසල්වලට පවා බෑන්ඩ් ලබා දුන්හ. අද වන විට නම් දහම් පාසල්වලට ද බෑන්ඩ් කණ්ඩායම් තිබේ.

ක්‍රීඩා උත්සවය කැපී පෙනෙන ආකාරයෙන් කරන්නට නම් ආචාර පෙළපාළිය මැනවින් පුහුණු කොට සකස් කළ යුතු බව පොළොන්නරුවේ ඉස්කෝලයේ අපේ අයගේ අදහස විය. එහෙත් ආචාර පෙළපාළිය පුහුණු කිරීමේ දී ඇවැසි රිද්මය සපයා දෙන්නට බේස් ඩ්‍රම් එකක් තිබුණේ නැත. එවැන්නක් ඉල්ලා ගන්නට තැනක් ද නොවිණි. මොනවා හෝ විකල්පයක් සොයා ගත යුතු ය. සොයා ගන්නට හැකි පහසුම විකල්පය වූයේ අවුරුද්දට වටේට වාඩි වී රබන් ගහන්නට ගන්නා රබානක් සොයා ගැනීමයි. ඉතින් ලොකු රබන් දෙකක් ම සොයාගැනිණි. උදෙන් ම රබාන රත් කර ගත් ගෙන කුඩා රිටක අමුණන ලද ටෙනිස් බෝලයකින් තලන විට බේස් ඩ්‍රම් එකක් තරමට ම නොවූවත් එවන්නක් නැති අපට සෑහෙන තරම් හඬක් නැගිණි. රබන් දෙකක් ම වූයෙන් මාරුවෙන් මාරුවට භාවිතා කළ හැකි විය. බේස් ඩ්‍රම් රබානට තාලයට තලන්නට භාවිතා කරන ටෙනිස් බෝලය වෙනුවට විකල්පයක් සෙවිය යුතු බව සමහර ගුරුවරුන්ගේ අදහස විය. මම සති අන්තයක ගමේ ගොස් එන විට පොළොන්නරුවේ නැති ඔට්ටුපාලු රැගෙන ආවෙමි. අපේ ගුරුවරයෙක් ඔට්ටුපාලු තීරු හීනියට කපා කදිම ඔට්ටුපාලු බෝල දෙකක් සැදුවේ ය. ටෙනිස් බෝල මෙන් ම ඔට්ටුපාලු බෝල ද මාරුවෙන් මාරුවට භාවිත විය.

සෑම දිනක ම උදේ වරුවේ පැය කීපයක් ආචාර පෙළපාළිය පුහුණු කෙරිණි. ගුරුවරුන්ට මතු නොව ළමයින්ට ද දර්ශනීය ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමේ අවශ්‍යතාවය තිබිණි. පසුකාලීනව වෙනත් පාසල්වල දී අත්දුටු අද සහභාගී වූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දින කීපයක් යනතුරු නැවත ආචාර පෙළපාළිය සඳහා සොයාගන්නට අපහසු වීමේ රෝගය මෙතැන දී දක්නට නොලැබිණි. දහදිය දෙකන්සයෙන් ගලමින් ආචාර පෙළපාළි පුහුණුවීම් හමාර කළ පසු සරඹ සන්දර්ශනය භාර ගුරුවරියෝ ඒ සඳහා පුහුණුවීම් කරති. මේ අංග දෙකකට ම රිද්මය සපයන්නට ගමෙන් සොයාගත් රබන් දෙක මාරුවෙන් මාරුවට සහාය දෙයි. අපේ පුංචි ඉස්කෝලේ දෑස් අඳ සංගීත ගුරුවරයා ද සිය පෞද්ගලික වයලීනය ද පාසලේ සර්පිනාව හා තබ්ලාව ද රැගෙන බේස් ඩ්‍රම් රබාන ඇති තැනට පැමිණෙයි. ඒ හැකි පමණින් ආචාර පෙළපාළි අවස්ථාව සංගීතවත් කරන්නට ය. අන්ධ ගුරුතුමා ගල්, මුල්, වළවල්, කාණු ආදියේ නොගැටී, නොවැටී අතින් අල්ලාගෙන පිට්ටනියට කැඳවාගෙන එන්නට පොරකන ළමයි බොහෝ ය. එය තමන් සතු වගකීමකැයි උහු සිතත්. එසේ කැඳවාගෙන ඒමෙන් ඉමහත් සතුටක් ලබත්.

කොහොමින් කොහොම හරි ක්‍රීඩා උත්සවය අපූරුවට පැවැත්විණි. පාන් හා සීනි සම්බෝල හදාගෙන කරත්ත බැඳගත් ළමයි ගුරුවරුන් සමඟ මහ වනාන්තරයට ගොස් ලී දඬු කපාගෙන පැමිණ, පිදුරු හෙවිල්ලා ගෙන වඩු කුරුලු කූඩු එල්ලා අලංකාර ස්වාභාවික නිවාස තැනූහ. ක්‍රීඩා උත්සවය අමුත්තන්ගේ, දෙමාපියන්ගේ නොමඳ පැසසුමට ලක්විය. රබන් බේස් ඩ්‍රම්ස් ආධාරයෙන් පැවති ආචාර පෙළපාළියට ද ප්‍රශංසාවේ අඩුවක් නොවී ය.

අපේ ක්‍රීඩා උත්සවයෙන් පසු මට අසල්වැසි අපේ ප්‍රමාණයේ ම, ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඊට ටිකක් පුංචි පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට සහභාගී වන්නට ලැබිණි. ඒ සඳහා අපේ ක්‍රීඩා උළෙලට නොපැමිණි පළාතේ මහජන නියෝජිතයා ද සහභාගී විය. බේස් ඩ්‍රම් විකල්පය සඳහා ඒ අය භාවිතා කළේ ලොකු බැරලයට ය. බැරලයකට තලමින් යන ආචාර පෙළපාළිය මහජන නියෝජිතයාට ඇල්ලුවේ නැති බව පසක් වූයේ ඔහු පැවැත්වූ කතාවෙනි.

“මේ බැරල් එකට තඩිබෑවට වඩා හොඳයි මගෙ ඔළුවට තඩි බෑවනං.” මන්ත්‍රීවරයා කීවේ ය.

බැරල් නාදයට වඩා රබන් නාදය මිහිරි බව ආචාර පෙළපාළි දෙක හිතින් සංසන්දනය කළ මට ද සිතිණි.

“ බේස් ඩ්‍රම් එකක් නැත්නං බැරල් එකකට මිස වෙන මොකකට තලන්න ද? එයාට රිදුන එකත් හොඳයි. දැන්වත් බේස් ඩ්‍රම් එකක් දෙන්නෙ නැතෑ.”

ඒ පාසලේ ගුරුවරයෙක් මා හා කීවේ ය. දේශපාලනඥයා ඒ පාසලට බේස් ඩ්‍රම් එකක් දුන්නාදැයි නොදනිමි.

එදා පාසල්වලට අද මෙන් විශාල සංවර්ධන සමිති ගාස්තු තිබුණේ නැත. වෙනත් ආධාර තිබුණේ නැත. පුංචි පාසල්වල කටයුතු සිදු වූයේ බොහෝ අරපරෙස්සමිනි. චාම් ආකාරයෙනි. කාගේත් කැපවීමෙනි. හැබැයි ඒ හැම දෙයක ම අද නැති සුන්දරත්වයක් නම් තිබිණි.

 මහානාම දුනුමාල

රාජ්‍ය ආදායම් වැඩි කරන්න සුරාබදු වෙත අලුත් ජවයක්

$
0
0
ජන 15, 2019 01:00

රජයේ ආදායම වසරින් වසර වැඩි කර ගැනීමෙන් ජනතා සුබසාධන හා පොදු සංවර්ධන වැඩසටහන්වලට වැය කරන වියදම් ප්‍රමාණය ඉහළ දමා ගත හැකිය. මීට වසර තිහකට පමණ පෙර අප රටේ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 25ත් 30ත් අතර මට්ටමේ පැවැති රාජ්‍ය ආදායම පසුකාලීනව සියයට 10ත් 12ත් අතර මට්ටමකට පහත වැටී තිබුණි.

මේ තත්ත්වයෙන් මිදී රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14 මට්ටම ඉක්මවා ගෙන ඒමට වසර 2015 සිට රජය විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදී. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස දැනට රාජ්‍ය ආදායම ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස සියයට 10 – 11 සිට සියයට 14 – 15 මට්ටමට වැඩිවුවද වසර 2020 වන විට එය සියයට 17 මට්ටමට ළඟාකරගැනීම තම අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මේ අන්දමට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් නවාකාරයකින් බලගැන්විය යුතුය. එහිදීම නිසි ලෙස සුරාබදු ආදායම් රැස්කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් කෙසේ විය යුතුදැයි මෑතක දී පෞද්ගලික අංශයේ වෘත්තිකයන් කණ්ඩායමක් සමීක්ෂණයක් සිදුකළේය.

මේ ලිපිය ඒ ඇසුරින් සකස් කැරිණි.

රටට නිසි ලෙස සුරාබදු ආදායම් නොලැබීයෑම පිළිබඳව කරුණු සෙවීමට කොමිසමක් පත් කළයුතු බව පෞද්ගලික අංශ වෘත්තිකයින් කණ්ඩායමක් වන අප සිදුකළ ගැඹුරු පරීක්ෂණයකින් පසු හෙළිදරව් කරගත හැකි විය.

ඇතැම් සමාගම් නිසි ලෙස සුරාබදු ආදායම් ගෙවනවිට, ඇතැම් සමාගම් බදු නොගෙවා කටයුතු කිරීම වැළැක්වීමට මෙමඟින් පියවර ගතයුතු බවද අපගේ විශ්වාසයයි.

පෞද්ගලික අං‍ශයේ වෘත්තිකයින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද ගැඹුරු පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, නීතිවිරෝධී ලෙස මද්‍යසාර නිෂ්පාදකයින් නිසා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 10 – 12ක් දක්වා සුරාබදු අහිමි වන බවයි.

ඔවුන් සඳහන් කරන්නේ නීතිමය බියර හා අරක්කු නිපදවන ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සහ ලයන් බෲවරි පී.එල්.සී. සමාගම ඒකාබද්ධව රුපියල් බිලියන 80ක් වාර්ෂිකව රජයට ගෙවනු ලබයි. එය සමස්ත සුරාබදු ආදායමෙන් 71%ක් වේ. ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ, නීතිවිරෝධී නිෂ්පාදකයින් බහුතරයක් කිසිදු බදු ප්‍රමාණයක් නොගෙවා රජයට ලැබිය යුතු රුපියල් බිලියන 10 – 12 දක්වා මුදලක් අහිමි කරන බවයි.

පරීක්ෂණය තුළින් සිදු කර ඇති තවත් කරුණක් වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය භාවිතා නොකරන බවත් නව්‍ය පරිචයන් යොදාගෙන නැති බවත් ය.

පරීක්ෂණය පැවැත්වූ පුද්ගලයින් දැක ඇති තවත් කරුණක් නම්, සුරාබදු දෙපාර්තමේන්තුව එහි කාර්යයන්වලට අත පෙවීමට හෝ මැදිහත්වීමට පොලිසියට, පාරිභෝගික කටයුතු අධිකාරිය හෝ වෙනත් කිසිඳු දෙපාර්තමේන්තුවකට අවකාශ සලසාදීමට කාලය එළැඹ ඇති බවයි. දැනට පවත්නා ආකෘතිය, බෙහෙවින් ඵලදායී නොවන බවට ඔප්පු වී ඇති අතර ඒ හේතුවෙන් වාර්ෂිකව රජයට ආදායම් මාර්ගයක් වශයෙන් බිලියන ගණන් අහිමි වී ඇත.

නීති විරෝධී සහ කලවම් බාල කළ නිෂ්පාදන දුර්වල ලෙස පාලනය කිරීම නිසා මෙන්ම නව ප්‍රතිපත්තීන් හඳුන්වා දීමේ නොහැකියාව හේතු කොට ගෙන සුරාබදු දෙපාර්තමේන්තුවට පාරිභෝගිකයින් මිලියන ගණනක් වෙනුවෙන් ආහාර - සුරක්ෂිතතා අංශය තහවුරු කිරීමට සහ ප්‍රමිතීන් හඳුන්වා දීමට සමත් වී ඇත්දැයි ප්‍රශ්නයක් මතුවේ.

ඔවුන් මුදල් අමාත්‍යවරයාට නිර්දේශකොට ඇත්තේ තොරතුරු එක් රැස් කර ගැනීම සඳහා කොමිසමක් පත් කරන ලෙසටත්, මෙම සංවිධානීය මුදල් වංචා කිරීමේ අපරාධය නතර කිරීමට මහජන අදහස් ලබාදීමට උනන්දු කරවීමයි.

මෑතක නිකුත් කරන ලද වාර්තාවලින් ඉස්මතු කර පෙන්වූයේ මද්‍යසාර කර්මාන්තය හා සම්බන්ධ ආදායම් කාන්දුවීම් පිළිබඳ අතිශයින් වැදගත් දර්ශන වෙත අන්ධ දෑස් යොමු කළ අයුරින් පිරිසක් කටයුතු කිරීමය.

එසේම, සාකච්ඡාව සඳහා ඉදිරිපත් කළ හැකි තවත් කාරණයක් සටහන් කරන්නේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, තක්සේරුගත නීතිවි‍රෝධී පරිමාව වෙළෙඳ පොළෙන් සියයට 40කි. එසේම, නීතිමය පරිමාවන් රුපියල් බිලියන 120ක් තුළින් සුරාබදු ආදායමට දායක වෙයි. එනම් සියයට 60ක ප්‍රමාණයක්.

මද්‍යසාර කර්මාන්තයේ මෙම ස්වාධීන ගැඹුරු විමර්ශනය සිදු කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ විශාලතම බීර පෙරන්නා වන ලයන් බෲවරි සිලෝන් පී.එල්.සී. සමාගමෙහි සහ විශාලතම මද්‍යසාර නිෂ්පාදක වන ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගමෙහි වාර්ෂික සමාලෝචන නිකුත් වීමෙන් අනතුරුවය. එම සමාගම්වල වාර්ෂික වාර්තා තුළින් නිතරම චෝදනා කෙරුණේ කර්මාන්තය තුළ අසාධාරණ සම මට්ටමක් පවතින බවයි.

සමාගම් දෙකම, වාර්ෂිකව ඒකාබද්ධ රුපියල් බිලියන 80 කින් දායක වන අතර එය සමස්ත සුරාබදු ආදායම්වලින් සියයට 71කි.

DCSL සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා, කොටස්කරුවන් වෙත නිකුත් කරන 2018 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ, (වෙනත් කරුණු අතර):

“කිසිදු ප්‍රතිපත්තියක් නොමැති අයට වාසි වන පරිදි, අඛණ්ඩව සහ සදාචාරාත්මක නොවන අයුරින් සිදුවන පරිචයන් හමුවේ, අප මෙහෙයුම් සිදු කරනු ලබන්නේ වසර ගණනාවක් තිස්සේ සම මට්ටමක් නොතිබූ කර්මාන්තයක් තුළයි. කර්මාන්තය තුළ මේ සියලු දෝෂ, නීතියෙන් ගැලවීමේ මාර්ග, අඩුපාඩු සහ මිනිසුන් විසින්ම නිර්මාණය කරන ලද අවස්ථා නිසා කර්මාන්තය වගකිවයුතු අධිකාරීන්ගේ අවධානයට යොමු ව තිබේ.

මෙයට විසඳුමක් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්ගේ මැදිහත්වීම යහපත්ය. එතුළින් මෙම ආදායම් ආකර්ෂණයකොට ගෙන ආරක්ෂා කිරීම සිදු වනු ඇති බව පරීක්ෂකයන් පෙන්වා දී තිබේ.

හැරි ජයවර්ධන මහතා විසින් විශේෂයෙන් සඳහන් කර ඇති ප්‍රධාන කාරණා වන්නේ: නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයේ දැඩි ලෙස වැඩිවීමකි. WHO ගෝලීය තත්ත්ව වාර්තාව 2018ට අනුව, එය ශ්‍රී ලංකාවේ 40%ක් වන බව තක්සේරු කොට ඇත.

2018 DCSL වාර්ෂික වාර්තාවේ හැරී ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ: “පසුගිය වසර සමඟ සංසන්දනය කරන විට, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයේ දැඩි ලෙස වැඩිවීමක් සටහන් වී ඇත.”

හෙළි කෙරුණු ආකාරයට විවිධ වර්ගයේ නීතිවිරෝධී මද්‍යසාර නිෂ්පාදන ලබා ගත හැකි අතර භාවිතා කරනු ලබන්නේ වෙනස් භාවිතාකරුවන් දෙකොට්ඨාසයක් විසිනි.

a. නීතිවිරෝධී අරක්කු නිෂ්පාදකයන්

b.මිල අඩු මද්‍යසාර නිෂ්පාදනයක් සොයන පාරිභෝගිකයින්

ඇතැම් නිෂ්පාදන, අරක්කු නිෂ්පාදකයින් විසින් අරක්කු නිපදවීම සඳහාමය. ඔවුන් මද්‍යසාර පාන වර්ග නිපදවා, වාර්තා නොකරන ලද නිෂ්පාදන වශයෙන් බදු ගෙවීම පැහැර හරියි. වාර්තා නොකරන නිතිවිරෝධී නිෂ්පාදන ව්‍යාපාරය සංවිධානීය මාෆියාවකි. එහිදී ස්ථාපිත ඩිස්ටිලර්වරුන් විශාල පරිමාණයේ බදු වංචාවල නිරතව සිටිති.

ලයන් බෲවරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුරේෂ් කේ. ෂා මහතා- සුරාබදු සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයට සහ මුදල් අමාත්‍යවරයාට ප්‍රශංසා හිමි විය යුතුය. දැනට පවතින සුරාබදු ආඥාපනත නව්‍යකරණය කිරීම ඊළඟ පියවර වශයෙන් සිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙම නීති හඳුන්වා දෙන ලද්දේ 1913දී වන අතර දැන් ඒවා නවීන ව්‍යාපාරවලට පහසුකම් සැලසීමට හා නියාමනය කිරීමට උපකාරි නොවේ. එදා සිට වසර 105කට පසුව, වෙනත් බොහෝ නීතිරීති සහ රෙගුලාසි හඳුන්වා දී තිබේ. මේවා, ආඥාපනතෙන් පිටත පිහිටයි. ඒ නිසා ඒවා බොහෝ ව්‍යාකූලත්වයන් ඇති කරන අතර නොගැලපෙන අර්ථ නිරූපණවලට මඟ පාදයි. එමෙන්ම සමහර අවස්ථාවලදී කුලී ද සොයයි. තවද, මේ නීතිරීති සහ රෙගුලාසි බොහොමයක් - ආඥාපනත මෙන්ම තවදුරටත් අදාළ නැත. සියලුම නීතිරීති ඇතුළත් නව ආඥාපනතක් අවශ්‍ය වේ.”

මේ අන්දමට නව වෙනස්කම් හා නව ලොවට ගැලැපෙන ප්‍රතිසංස්කරණ හරහා බදු ආදායම් ඉහළ නැංවීමට බලධාරිහු උනන්දු විය යුතුය.

ජයසිරි මුණසිංහ

හඬපටයේ කුරුකුරුවෙන් කුරුමානම වරදී

$
0
0
ජන 15, 2019 01:00

 “ජර්සි සිටි නගරාධිපති ටොමී ස්මිත් කියන්නේ මගේ කපාපු පළුව. අපි දෙන්නාට දෙන්නා බොක්කෙන්ම ෆිට්. මන්ත්‍රණ සභා සාමාජික ඩේව් ෆ්‍රීඩ්ලන්ඩුත් මං වෙනුවෙන් පණ වුණත් දෙයි. එතකොට හඩ්සන්වල ඩිමොක්‍රටික් ලොක්කා වැලී ෂීල්, එයාත් මට බොක්කෙන්ම ඉන්න පොරක්. අපි තුන් හතරදෙනා අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඇලෙක්ස් (ෆෙයින්බර්ග්), පීටී (සෙනේටර් විලියම්ස්) ඉන්නෙත් ඒ ගොඩේ. ඔයා හිතාගන්න ලෝකේ ඉන්න හොඳම වැඩකාරයෝ අද ඔයාට අහුවෙලා කියලා.“

හොලිඩේ ඉන් හෝටලයේදී, වෙයින්බර්ග් හා ඇමරොසෝ හමුවේ, කැම්ඩන් නගරාධිපති ඇන්ජෙලෝ එරිචෙට්ටි කළ පුරාජේරු කතාව ජෝර්ජ් කැට්ස් අනුමත කළේ අඩ වශයෙනි.

“වැඩකාරයෝ වෙන්න ඇති. හැබැයි කියන තරම්ම ෆිට්ද කියලා නම් ෂුවර් නැහැ. මට ආපු ආරංචියේ විදිහට ඔහේලා අතරේ තියෙන්නේ එකාට එකා පාවලා දෙන පුදුම තරගයක්. මම නම් අහලා තියෙන්නේ තමන්ගේ බෙල්ල බේරගන්න අනික් එකාව දංගෙඩියට වුණත් යවන්න ඔහෙලා ඔට්ටුයි කියල.“

“මොනවාද ජෝර්ජි මේ කතා? ඒක කොහෙත්ම විශ්වාස කරන්න බැහැ. කවුරු වුණත් ඔයාට කියලා තියෙන්නේ බේගලයක්.“ එරිචෙට්ටි විමතිය පළකළේ බලා සිටි කාටත් තමන් ගැන විශ්වාසය දනවන අයුරිනි.

ඉන් සතියකට පසුව යෝජිත ටයිටේනියම් පතල් සංස්ථාවේ හවුල්කරුවෝ පිරිස පළමු සැසිවාරයට, නිව්යෝක් නුවර, පියරේ අවන්හලේදී එකතුවිය. දිවා භෝජන සංග්‍රහයක් සමඟ පැවති මෙම හමුවේදී වැඩිමනත්ම සාකච්ඡාවට ලක්වූයේ සංස්ථාවේ කොටස් නිකුත් කිරීම පිළිබඳය. තමාගේ කොටස් හිමිකාරත්වය ගැන ප්‍රසිද්ධියට පත් කළ යුතුද, නැද්ද යන්න පිළිබඳ සෙනේට්වරයා සිටියේ අවුලකට මැදිවය. සියල්ලන්ගේ අදහස් විමසා තීරණයක් ගැනීමට හේ තීරණය කළේය.

“මම දැන් ඉන්න තත්ත්වේ අනුව නීතියට වැඩ කරනවා නම්, මගේ කොටස් ගැන මම විවෘතව කියන්න ඕනේ. හැබැයි මේ වෙනකම් මේ පතල් ජොබ් එක සීමාවෙලා තිබ්බේ කට වචනෙට විතරනේ. අපි මේ වෙනකම් කිසිම ස්ටොක් එකක් හැන්ඩ්ල් කළේත් නැහැ.“

“ඒත් ළඟදීම ඒක එහෙම වෙනවානේ. එතකොට ............“ ජෝර්ජ් කැට්ස්ගෙන් එවැනි සීනිබෝල කතා කියා ලිස්සා යාම අසීරුය.

“එහෙම වුණොත් ඒක ඒ වෙලාවට බලාගමු.“ එරිචෙට්ටි කීවේ ඇහෙන නෑහෙන හඬිනි.

“මම ඉන්නේ ඒ වගේ නීතිමය දේවල්වලට තමයි. හරි නම් සෙනේට්තුමාත් එක්ක මේ ගැන කතා කරන්න ඕනේ මමයි.“ ෆෙයින්බර්ග්ද කතාවට හොට දැම්මේය.

“ඒත් මම හිතන්නේ තාම ඒකට කල් වැඩියි. මේ පතල් බිස්නස් එක හරියටම සෙට්ල් වෙනකම් සද්ද නැතිව ඉන්න එක තමයි හොඳ.“ විලියම්ස්ගේ හොර හිත ගැන වෙයින්බර්ග්ට කේන්ති ආවත් ඊට විරුද්ධත්වය පෑම වෙලාවේ හැටියට සුබ නැති බැව් තීරණය කළ හේ සෙනේටර් විලියම්ස්ට විකල්ප යෝජනාවක් ගෙනාවේය.

“ඔයා වෙනුවට වෙන කෙනෙක්ව මේකට යොදවන්න ඔයාට පුළුවන්. එතකොට ඔයා කොයි පැත්තෙනුත් බේරිලා “

“ඔයා කියන දේ මට තේරෙනවා. මම ඒ වගේ දේවල් ගැන නොදන්නවා නෙවෙයි. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.“

හතරවෙනි රෝල් පාන් ගෙඩියේත් හොඳ හැටි බටර් තවරමින් සිටි වෙයින්බර්ග් කල්පනා කරමින් හුන්නේ, ඉන් දිනකට පෙර පියරේ අවන්හලේදී පැවති එම හමුවේදී සෙනේටර් විලියම්ස් කියූ දේවල්ය. කතාබහක වැදගැම්මකට නැති කුණුරොඩු ඉවතලා කතාවේ සාරය පෙරා වෙන්කර ගන්නට වෙයින්බර්ග්ට තිබුණේ පුදුමාකාර හැකියාවකි. එදා පැවති කතාවේ තෙල් බොර හැර, සාරය වෙන්කර ගත් විට සෙනේටර් විලියම්ස් වහෙන් ඔරෝ බසින් කියූ දෑ තේරුම්ගැනීම වෙයින්බර්ග්ට බටර් තැවරූ පාන් පෙති ගිලිනවාටත් වඩා පහසු විය. තමාට පතල් සංස්ථාවේ කොටස් හිමිකාරත්වය ඇති බව ප්‍රසිද්ධ කරන්නට සෙනේටර් කැමති නැත. නමුත් තමා නීතියට වැඩකරන බව අනුන් ලවා ඒත්තු ගන්වාගන්නට ඔහුට අවශ්‍යයය. ඔහුට එදා එය වැඩි කරදරයක් නැතිවම ලැබිණි. සෙනේට්වරයාගේ අනාගත වැඩපිළිවෙළ ගැන ඔහුගේ සටකපට නීතිඥයා ෆෙයින්බර්ග් කළ සිත් අදනාසුලු කතාව, කවුරුත් ඊට පෙළඹවීමට ප්‍රධානම හේතුව විය.

එදා හමුවේදී සෙනේට්වරයා කතා කළේ අඩුවෙනි. ප්‍රශ්නයක් මතුවූ විට, ඔහු වෙනුවෙන් හැමවිටකම පාහේ පිළිතුරු බැන්දේ ෆෙයින්බර්ග්ය. නමුත් වෙයින්බර්ග් කියන ආකාරයට අතිශය වැදගත් තීරණාත්මක කියමනක් විලියම්ස්ගේ කටින් කියවාගැනීමට එදා ඔහුට පුළුවන්වී තිබුණි. නමුත් පරහට තිබුණේ එය කවුරුත් එකවර කතා කරන අවස්ථාවකදී කියැවී තිබීමයි. වෙයින්බර්ග් ඇබ්ස්කැම් හි අනාගතය තීරණය කරන ඒ සුවිශේෂි ප්‍රශ්නය අසා තිබුණේ සංවාද කිහිපයක් බරටම යන අතරවාරයේදීය . අසා තිබුණේ අලුතෙන් පිහිටවූ පතල් සංස්ථාවට රජය ලවා කොන්ත්‍රාත්තු ලබාදීමට රජයට පෙළඹවීම් කිරීමට ඔහු ඉදිරිපත් වන්නේද යන්නයි. වෙයින්බර්ග් එකහෙළාම කියා සිටියේ ඊට සෙනේට්වරයා එකඟ වූ බවයි. නමුත් කරුමයකට මෙන් එය හඬපටයේ සටහන්වී තිබුණේ නැත. සටහන්ව තිබුණත් තෝරා බේරා ගැනීමට හැකි තත්වයක් තිබුණේ නැත.

“ ගුඩ්, ඔන්න වැඩේ හරි. පස්ස ගගහා හිටපු සෙනේට්කාරයා අන්තිමේදී කොහොම හරි ලණුවත් එක්කම මගේ ඇම ගිල්ලා. මිනිහා කිව්වා ආණ්ඩුව ලවා ටයිටේනියම් එකට වැඩ අරන්දෙන ජොබ් එක එයා තිතටම කරන්නම් කියලා. ඔක්කොම ටේප් එකේ රෙකෝඩ්වෙලා ඇති. දැන් බඩු අපේ අතේ.“

පියරේ අවන්හලේ පැවති හමුවෙන් පසු අබ්දුල් කාර්යාලයට පැමිණි වෙයින්බර්ග්, ගුඩ් ඇතුළු පිරිසට මහත් උජාරුවෙන් කියා සිටියේය. නමුත් හඬපටය එකම අවුල් ජාලයක් විය. එකවර සංවාද කිහිපයක් පටිගතවීම නිසා කවුරු කුමක් කියන්නේ දැයි තෝරා බේරා ගැනීමට නොහැකිවීම එක් හේතුවකි. අනෙක නම් වෙයින්බර්ග් හැමදාමත් කරන පැමිණිල්ල වන වැදගත්ම යමක් සිදුවන විට පටිගත කරන යන්ත්‍රය ක්‍රියා විරහිතවීමයි. වෙයින්බර්ග්ගේ ඇම ඇමිණු ප්‍රශ්නයත්, ඊට සෙනේට්වරයා දුන් පිළිතුරත් සෙසු කතාබහ සමඟ කැලතී දියාරුවී තිබිණි. ඇතැම් කොටස් ඇහෙන්නේම නැති තරම්ය. සාක්ෂි ලෙස අධිකරණයකට ඉදිරිපත් කිරීමට එවැන්නක් ප්‍රමාණවත් නැති බව ගුඩ් දැන්වූ විට වෙයින්බර්ග්ට පිස්සු නොහැදුණා පමණි.

“ කාලකණ්ණි! මම කොයිතරම් නම් කිව්වද හරිහමන් ටේප් රෙකොඩර් අරන් දෙන්න කියලා. මගේ මහන්සිය ඔක්කොම වතුරේ. කොයි තරම් නම් පෙරුම් පුරලද මේ පාර ඔය සෙනේට්කාරයාව ට්‍රැක්එකට ඇදලා අරන් ඇම ගිල්ල ගත්තේ. “

“මෙල් ඉවසන්න, අපිට පුළුවන් අලු........“

“ගුඩ් මම තවත් ඔය ඔට්ටපාලු පටි කෑලි එක්ක වැඩ කරන්නෙ නැහැ. මේක තමයි අන්තිම පාර. මම ඔය කසිකබල් ටේප් ඔක්කොම ගිනි තියනවා. “ වෙයින්බර්ග්ගේ හඬේ ගැබ්ව තිබුණේ තර්ජනාත්මක බවකි. ගුඩ් හා ඇමරොසෝ එක්ව ඇවිලෙන්නට ගිය ගින්න මෙල්ල කර ගත්තේ සෑහෙන වෙර දැරීමකින් පසුවය.

“ ඔයාගේ හිතේ වේදනාව අපිට තේරෙනවා මෙල්. ඒත් මේ වෙලාවේ ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපිට හොඳටම විශ්වාසයි සෙනේට්කාරයාව කොටුකර ගන්න මීටත් වඩා හොඳ චාන්ස් ඒවි. අපි එතකම් ඉවසමු.“

පතල් සංස්ථාවෙන් ලැබෙන ලාභයේ හිලව්වට ආණ්ඩුවෙන් කොන්ත්‍රාත්තු ලබාදෙන බව සෙනේට්වරයා කොයිම වෙලාවකදීවත් එක එල්ලේ ප්‍රකාශ නොකිරීම ඇබ්ස්කැම් නියෝජිතයින්ට තිබූ ප්‍රධානම ගැටලුව විය. සෙනේට්වරයා වෙනුවෙන් එවැනි පොරොන්දු ලබාදුන්නේ ෆෙයින්බර්ග්ය. තෝල්කයකු ලවා කරන එවැනි ප්‍රකාශ ඇසුරු කරගෙන සෙනේටර් විලියම්ස්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකිරීමට සිතීම විහිළුවකි. කළ යුතුව ඇත්තේ පතල් සහකරුවන් ටිකක් උසිගැන්වීමය. සෙනේට්වරයා පෞද්ගලිකවම එවැනි පොරොන්දුවක් යසීර්ට ලබා නොදෙන්නේ නම්, එමීර්ගෙන් පතල් සංස්ථාවට මුල්‍යාධාර ලැබෙන්නේ නැති බව කීම සෙනේට්වරයා වටා සිටින මුදල් කෑදරයන් කුලප්පු කිරීමට ප්‍රමාණවත්ය. යසීර් හා සෙනේටර් විලියම්ස් අතර හමුවේ වීඩීයෝවක් බියුරෝව අතට ගත් කල කටයුත්ත අවසන්ය.

දෙබිඩි මෙහෙයුමක සාර්ථකත්වය රඳා පවතින්නේ ඊට ඈඳෙන සලකුණුවල කෑදරකම මත බව වෙයින්බර්ග් තරම් හොඳින් දන්නා වෙනත් අයෙක් නැත. යසීර්ගෙන් ණය ලැබෙනවා යනු සෙනේටර්, එරිචෙට්ටි, ෆෙයින්බර්ග්, සැන්ඩි විලියම්ස් හා කැට්ස් යන මේ තක්කඩියන් හැමදෙනකුටම මිලියන දාහත බැගින් මිල කෙරුණු ඩොලර් මිලියන සියයක වටිනාකමකින් යුතු ටයිටේනියම් සංකීර්ණයේ කොටස් හිමිවීමකි. වෙයින්බර්ග් සහ ඇමරොසෝ පිරිසට අඟවා තිබුණේ, ගනුදෙනුවේ ඉතිරි මිලියන පහළොවේ කොටස් තමන් දෙදෙනා හවුලේ බෙදාහදා ගන්නා බවයි. ඒ යසීර්ගෙන් ණය ලබාදෙන්නට ගත් උත්සාහය වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ ගතමනාවය. හොර රැළ අතරින් සෙනේට්වරයා හැරෙන්නට සෙසු සියල්ලෝම තම තමන්ගේ කොටස් හිමිකාරත්වයේ හිලව්වට ගනුදෙනුව වෙනුවෙන් කිසියම් සේවයක් ලබාදී තිබිණි. ටයිටේනියම් පතල් සංකීර්ණයේ යෝජනාව ගෙනාවේ සැන්ඩි හා කැට්ස්ය. සියලු නීතිමය කටයුතුවලත්, සෙනේට්වරයා නියෝජනය කිරිමේත් වගකීම පැවරී තිබුණේ ෆෙයින්බර්ග්ටය. ණය ලබාගැනීම පිණිස හොරු රැළ, වෙයින්බර්ග් ඇතුළු ඇබ්ස්කැම් පාර්ශ්වයට හඳුන්වා දුන්නේ එරිචෙට්ටිය. ඒ සියල්ලන් අතරින් සෙනේට්වරයා නොවන්නට ටයිටේනියම් පතල් සංකීර්ණය කිසිදා යථාර්ථයක් නොවන්නට ඉඩ තිබිණි. නමුත් සෙනේටර් විලියම්ස්ගෙන් ලැබෙන්නේ කුමන ආකාරයේ දායකත්වයක්ද යන්නට කවුරුත් කටහෙලෙව්වේ නැත

ටයිටේනියම් ගනුදෙනුවේ සෙනේටර් විලියම්ස්ගේ භූමිකාව ගැන එළිපිට කතා කෙරුණේ නැත. එසේ වුවත් සිය කොටස වෙනුවෙන් ඔහු රජය ලවා පතල් සංස්ථාවට හැකි හැම උපකාරයක්ම ලබාදෙන බව වෙයින්බර්ග්ට සැකයක් තිබුණේද නැත. සෙනේට්වරයා ඒ ගැන පෞද්ගලිකව පොරොන්දුවක් දී තිබුණේ නැති නිසා එය හුදෙක් දෙපාර්ශවයේ අවබෝධය මත ඇතිවූ ගිවිසුමක් විය. දූෂිත දේශපාලනඥයන් සමඟ කෙරෙන මෙවැනි ගනුදෙනුවලදී එවැනි කාරණා එළිපිට කතා කිරීම සැලකෙන්නේ ‘අමානුෂික දෙයක්‘ ලෙස බව, වෙයින්බර්ග් වැනි අපරාධ ලෝකයේ පලපුරුදුකාරයකු පවා දැනගත්තේ පතල් ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේදීය. රජයේ කොන්ත්‍රාත්තු මත යැපෙන සමාගමක කොටස්වලට යම් රජයේ නිලධාරියකු නොමිලයේ හිමිකම් කියනවා නම්, ඉන් නොකියා කියන්නේ එම කොන්ත්‍රාත්තු රජය ලවා එම සමාගමට ලබාදීමට ඔහු එකඟවී ඇති බවයි. දූෂිත දේශපාලන ලෝකය තුළ කෙතරම් අමානුෂික ලෙස සැලකුණත් වෙයින්බර්ග්ට උපදෙස් ලැබී තිබුණේ සෙනේට්වරයා ලවා කෙසේ හෝ එම පොරොන්දුව ඔහුගේ කටින්ම ලබාගත යුතු බවටය. එවැන්නක් නැතිව අපරාධ නඩුවක් ගොනු කරන්නට සිතීමත් විහිළුවකි. වෙයින්බර්ග්ට තිබුණේ බරපතළ අභියෝගයකි.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - සෙනේට්වරයාගේ කට අරවන ඇමක්


කුලුඳුල් නිර්මාණයට ප්‍රතිචාර හොඳයි

$
0
0
ජන 15, 2019 01:00

සුනිල් ප්‍රේමරත්න

රංගන ශිල්පියෙකු, තිරපිටපත් රචකයෙකු, සහය අධ්‍යක්ෂකයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසි, සුනිල් ප්‍රේමරත්නයන්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය “ටවුමෙ ඉස්කෝලෙ” නමින් මේ දිනවල තිරගත වේ. ඔහු හා ඔහුගේ සිනමා අධ්‍යක්ෂණ පිළිබඳ සිදු කෙරුණු සුහද සංවාදයයි මේ.

l කෙබඳු නිර්මාණයක්ද?

“ටවුමෙ ඉස්කෝලෙ” කියන්නේ මීට අවුරුදු ගාණකට කලින් සිදු වුණු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මං ගොඩනඟාගත් සිනමාත්මක නිර්මාණයක්. පාසල් නිවාඩු දෙන අන්තිම දවසේ දරුවෙක් වැසිකිලිය ඇතුළෙ හිරවෙලා ඉඳලා දවස් ගාණකට පස්සෙ බේරගත්ත සිදුවීම ඇසුරු කරගෙන ගොඩනැගුණු වෙනම කතාවක් තමයි මේ චිත්‍රපටිය ඇතුළෙ ගලාගෙන යන්නෙ. සමහර වෙලාවට ළමයි අතරත් ඊර්ෂ්‍යාව, වෛරය වගේ දේවල් තියෙනවා. ළමයි ඒ දේවල්වල බරපතලකමක් දන්නෙ නෑ. එක ළමයෙක් දුරදිග හිතන්නෙ නැතුව කරන වැඩක් නිසා තවත් ළමයෙක්ට දවස් ගාණක් පාසලේ වැසිකිලිය ඇතුළෙ හිරවෙලා ඉන්න වෙනවා. ඒ ළමයාගේ අම්මලා තාත්තලා අසරණ වෙලා දරුවව හොයනවා. අන්තිමේදී අර වැරැද්ද කරපු ළමයම ඇවිල්ලා වැසිකිළිය ඇතුලෙ හිරවෙලා ඉන්න ළමයව බේරගන්න විදිහෙ කතාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තරගත වෙන්නෙ.

l කොහොමද මේ දිනවල ලැබෙන ප්‍රතිචාර?

බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.පසුගිය දෙසැම්බර් 20 වන දා තමයි “ටවුමෙ ඉස්කෝලෙ” තිරගත වෙන්න පටන් ගත්තේ. බලන කිසි කෙනෙක් දොසක් කියන්නෙ නෑ. ළමයි, මාපියෝ වගේ ම ගුරුවරුන් පවා විශේෂයෙන් ම නැරඹිය යුතු හොඳ නිර්මාණයක් කියලයි හැමෝම කියන්නෙ.

l මේ ඔබේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය ?

මම මීට කලින් චිත්‍රපට කිහිපයකට තිරපිටපත් ලියලා තියෙනවා. මම මුලින්ම තිරපිටපත් රචනයෙන් සහ සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණේ “අඟරදඟර” චිත්‍රපටියට. ඒතනින් පස්සෙ තව නිර්මාණ කිහිපයකට ම දායක වුණා. “ටවුමෙ ඉස්කෝලෙ” තමයි මගේ කුළුදුල් අධ්‍යක්ෂණය. පස්සෙ මම තව චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. එකක් “වැලිපවුරු”. අනෙක හොල්මන් චිත්‍රපටියක්. “වැලිපවුරු ” චිත්‍රපටයේ මේ වන විට සියලු කටයුතු අවසන්. මාස දෙකතුනකින් ප්‍රදර්ශනයට සූදානම් කරලයි තියෙන්නෙ. හොල්මන් චිත්‍රපටියේ පසු නිෂ්පාදන කටයුතු ටිකක් ඉතිරිවෙලා තියෙනවා. මම මගේ අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ විවිධ තේමාවන් ඔස්සේ. එක සීමාවකට කොටු වෙන්නෙ නෑ. ඒ වගේම හැම චිත්‍රපටියකින් ම මම සමාජයට යම්කිසි ආදර්ශයක් දෙනවා.

l මේ නිර්මාණයට දායක වන පිරිස ගැන කිව්වොත්?

ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙලිෂා යෙනුලි සහ ප්‍රභාෂි පල්ලියගේ දියණියන් දෙදෙනා. යොහානි හංසිකා දියණියත් මේ චිත්‍රපටයේ දක්ෂ විදිහට චරිත නිරූපණයක් කළා. බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, සුසිලා කෝට්ටගේ, රොෂාන් පිලපිටිය, ජගත් ගලප්පත්ති වැනි පළපුරුදු රංගන ශිල්පීන් මේ චිත්‍රපටිය වෙනුවෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

l අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිනමා කෘතියකට දායක වන විට ඔබට මුහුණ දෙන්න සිදු වුණු අභියෝග මොනවාද?

සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට මින් පෙර කටයුතු කරලා තිබුණා වුණත් මේ තමයි මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කළ මුල්ම අවස්ථාව. සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරද්දි මට චිත්‍රපටය ප්‍රදර්ශනයේ දී ඇති වෙන ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණේ නෑ. මේ නිර්මාණයේ දී මම එවැනි අභියෝගවලට අධ්‍යක්ෂකවරයා හැටියට දිගින් දිගටම මුහුණ දුන්නා. දැනටත්, මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතරවාරයේදීත් එවැනි අභියෝගවලට මුහුණ දෙමින් ඉන්නවා. විශේෂයෙන්ම සිනමා ශාලා සම්බන්ධයෙන් ගැටලු බොහොමයක් තියෙනවා. මට හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ මාත් එක්ක වැඩ කරපු ශිල්පීන්ගේ කැපවීම සහ දක්ෂතාව නිසයි. මුලින්ම මේ චිත්‍රපටයේ පිටපත කියවලා බිමල් ජයකොඩි සහෝදරයා මට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. ඔහුගෙන් වගේ ම අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය උපරිමයි. මේ චිත්‍රපටියේ කැමරා ශිල්පියා බුද්ධික මංගලත් විශාල කැපවීමකින්, හොඳ නිර්මාණයක් වෙනුවෙන් මට උපරිම සහයෝගයක් දුන්නා. සංගීතයෙන් මේ නිර්මාණයට ලොකු ආලෝකයක් ලැබුණ බවත් කියන්න ඕනෙ. සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග. මේ චිත්‍රපටයටයි ඔහු පළමු වරට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණේ. පසුව මගේ අනෙක් චිත්‍රපට දෙකටත් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණේ ඔහුයි.

l හොල්මන් චිත්‍රපටිය ගැන විශේෂයෙන් යමක් කිව්වොත්?

ඒ චිත්‍රපටියෙන් දෙන ආදර්ශය අපි පරිසරය ආරක්ෂා කළොත් තමයි අපිට යහතින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ කියන එකයි. හොර ජාවාරම්කාරයන් පිරිසක්, පරිසරය ආරක්ෂා කරන කැලෑ නිලධාරියෙකුගේ පවුල පිටින් ම ඝාතනය කරනවා. කැලෑ නිලධාරියා මැරෙන්නේ ඒ ගැන වෛරයෙන්. ඒ සිදුවීමෙන් අවුරුදු 25කට පස්සෙ තරුණ තරුණියෝ 6 දෙනෙක් ඒ කැලේ ඇවිදින්න යනවා. ඒ අය කැලේ අතරමං වෙනවා. ඔය අතරේ අර කැලෑ නිලධාරියාගේ ආත්මය නැගිටිනවා. අලුත් තාක්ෂණයත් එක්ක ගලාගෙන යන ලොකු වෙනසක් ඒ හොල්මන් චිත්‍රපටියෙන් අපේ ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්.

l ඔබ සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට පළවෙනි පියවර තියෙන්නෙ ළමා සිනමා කෘතියකින්. ඒ සඳහා බලපෑ විශේෂ හේතුවක් තිබෙනවාද?

මගේ ගම නාවලපිටිය. මට අවශ්‍ය වුණා කොළඹ ඇවිල්ලා, සිනමාව ගැන හදාරාන්න. 1981දි චිත්‍රපට ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වුණු මම චිත්‍රපට කිහිපයක රඟපෑවා. නමුත් වෘත්තිය වශයෙන් මට සිදු වුණේ යුදහමුදාවේ තූර්යවාදක කණ්ඩායමට වාදකයෙක් විදිහට ඇතුළු වෙන්නයි. එතනින් පස්සෙ රංගනය වෙනුවෙන් කාලය වැයකරන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. නමුත් චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍යවලට වාදනයෙන් දායක වුණා. 2004දි මම යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සෙ, පාඨමාලා කිහිපයක් හදාරලා, සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කිහිපයක වැඩ කරලයි අධ්‍යක්ෂණයට ප්‍රවිශ්ට වුණේ. දැනටත් මම පාසල්වල තූර්ය වාදක කණ්ඩායම් උපදේශකවරයෙක් විදිහට සේවය කරනවා. අවුරුදු ගාණක් ළමයි එක්කම ඉඳලා මට ළමයින්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාපයන් බොහොම හුරුපුරුදුයි. ඒ නිසයි මම හිතුවේ ළමා චිත්‍රපටියකින්ම පටන් ගන්න ඕනෙයි කියලා.

l ඔබ මේ කලාවට ප්‍රවිශ්ට වීමට බලපෑ හේතුව කුමක්ද?

මම ඉගෙනගත්තේ අනුරුද්ධකුමාර මහා විද්‍යාලයේ. පාසල් යන කාලේ අපේ සිංහල ගුරුවරයෙක් හිටියා බුලත්සිංහල සර් කියලා. සර් තමයි මුලින්ම අඳුර ගත්තේ මට යම්කිසි රංගන හැකියාවක් තියෙන බව. සර් තමයි ඔයාට රඟපාන්න පුළුවන්නෙ අපි පොඩි නාට්‍යක් කරනවා.රඟපාන්න එන්න කියලා මාව ඒ වෙනුවෙන් පොළඹවා ගත්තෙ. රඟපාන්න වගේම පාසල් කාලේදි ම පිටපත් ලියන්නත් පුරුදු වුණා. පවුලෙ මට ඉන්නෙ අයියලා දෙන්නයි අක්කයි නංගියි. අපි හැමෝම චිත්‍රපටි බලන්න හරිම කැමතියි. අයියලා දෙන්නයි මායි එක එක්කෙනාට හොරෙන් යනවා චිත්‍රපටි බලන්න.අන්තිමේ තුන්දෙනාම චිත්‍රපටිය බලලා තියෙන්නේ එකම හෝල් එකේ. පොඩි කාලෙ ඉඳන්ම මට ලොකු චිත්‍රපටි පිස්සුවක් තිබුණා. මුලින් නම් ආසාව තිබුණෙ රඟපාන්න. ඒත් මට මේ කලාවට වැඩිපුර අවධානයක් දෙන්න පුළුවන් වෙද්දි මගේ වයසත් එක්ක බලලා මම තේරුම්ගත්තා මගේ පාර මොකක්ද කියලා. අවසානයේ මම අධ්‍යක්ෂණයට යොමු වුණා.

l ඔබේ මීළඟ නිර්මාණය ගැන මේ වන විට සැලසුම් කරලද ඉන්නෙ?

මං අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට තුනම ප්‍රදර්ශනය වුණාට පස්සෙ තමයි ඊළඟ නිර්මාණයට අතගහන්නෙ කියලයි මම නම් හිතාගෙන ඉන්නෙ. දැනට මේ “ටවුමේ ඉස්කෝලෙ” චිත්‍රපටියේ දර්ශනවාර කිහිපියක් ඔස්ට්‍රේලියාවේ පෙන්නන්න තියෙනවා. මේ නිර්මාණවල වැඩ අවසන් වුණාට පස්සේ වසර අවසානයේ වගේ තවත් චිත්‍රපටියකට යොමුවෙන්නයි මම අදහස් කරගෙන ඉන්නෙ.

කාංචනා සිරිවර්ධන

දැවැන්ත නිර්මාණයකට සූදානම් - ටීෂා

$
0
0
ජන 15, 2019 01:00

“රන්වන් රන්” ගීතයත් සමඟින් ලාංකේය ප්‍රාසාංගික වේදිකාවට නව ආරයක් ගෙන ආ තිසරු පෙරේරා, එහෙම නැත්නම් කවුරුත් දන්න විදිහට කිව්වොත් ටීෂා, හිටිහැටියේම ලංකාවට එන්නෙ ඇගේ රසික ප්‍රජාව වෙනුවෙන් වෙනස්ම විදිහේ ගීතයක වැඩ අවසන් කරන්නයි. මේ කතාබහ ඇගේ ඒ නවතම නිර්මාණයේ වගතුග ගැනයි.

l හිටි ගමන් ලංකාවට එන්න හිතුවෙ ඇයි?

ලංකාවට ආවේ මගේ අලුත් ම ගීතයේ රූප රචනාව කරන්නයි. ඇමරිකාවේ ඉන්නකොට මම සිංහල සිංදුවලට සම්බන්ධ වුණේ නැති හින්දා අලුත්ම විදිහෙ ගීතයක් සහ රූප රචනාවක් කරන්න හිතුවා. සුරේෂ් මාලියද්ද තමයි මේ ගීතය සංගීතවත් කළේ. දැන් ඒකේ රූප රචනාව කරන්නයි මම ලංකාවට ඇවිල්ලා ඉන්නෙ. මං හිතුවා මේ ගීතය ලංකාවෙ ප්‍රේක්ෂකයන් අතරට යැවෙන නිසා රූප රචනාවත් ලංකාවේ අය එකතු කරගෙන කරන එක හොඳයි කියලා.

l අලුත් ගීතයේ රූප රචනාව ගැනත් යමක් කිව්වොත්?

මේක ආදර ගීතයක්. රූප රචනාව නම් මං හිතන්නෙ ලංකාවේ මෙච්චර කාලයක් කරපු රූප රචනා එක්ක ගත්තම ගොඩක් වෙනස් රූප රචනාවක් විදිහට ලංකාවේ ප්‍රේක්ෂයන් අතරට යයි. කොහොමත් අපේ අදහස තිබ්බෙත් ගොඩක් ම වෙනස් දෙයක් කරන්නයි. ඒ වෙනස ප්‍රේක්ෂයො හැමෝටම පුදුමයක් වෙනවටයි මං කැමති. ඒ නිසා දැනට ඒ ගැන වැඩිය මුකුත් නොකියා ඉන්නම්.

l කොහොමද ඉතිං ඇමරිකාවේ ගෙවෙන ජීවිතේ?

ඇමරිකාවේ ගෙවන ජීවිතේ ඇත්තටම ගොඩක් හොඳයි. මම එහෙ රොකෝඩ් ලේබල් එකක් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මේ වෙද්දි ඒ අයත් එක්ක සිංදු විස්සක් කරලා ඉවරයි. මගේ සිංදු එහේ නිතර ඇහෙනවා. ඒ වගේම එහෙදි සංගීත ප්‍රසංග පවත්වනවා. තව අවුරුද්දක ගිවිසුමක් ඒ අයත් එක්ක අත්සන් කරලයි ඉන්නෙ. එහේ ගෙවෙන ජීවිතේ ගොඩක් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නෙ. මේ රූප රචනාවේ වැඩ ටික ඉවර වුණ ගමන් ම මම ආයෙත් ඇමරිකාවට යනවා. මේ පාර ගියාම ආයෙත් මාස තුනකින් විතර ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා, රූප රචනාව මාධ්‍යයට නිදහස් කරන්න.

l සැලකිය යුතු මට්ටමේ ජනප්‍රියත්වයක් ඇති වීගෙන එන විටම ටීෂා ලංකාවෙන් යන්න ගියා. ඇයි ඒ?

මම 2006 තමා සංගීත ක්ෂේත්‍රයට ආවෙ. මගේ “රන්වන් රන්” ගීතය මුල් කාලෙදිම ගොඩක් ජනප්‍රිය වුණා. මම මගේ මුල්ම ගීත ඇල්බම් එක නිකුත් කළේ 2007 අවුරුද්දෙදි. 2008 දි මගේ දෙවනි ඇල්බම් එකත් නිදහස් වුණා. දෙවැනි ඇල්බම් එක නිකුත් කරලා හරියටම මාසයක් වගේ ඇතුළත මම ලංකාවෙන් ගියා. ජනප්‍රියත්වය මට ඒ වෙද්දි සෑහෙන්න දුරට ලැබිලයි තිබුණෙ. නමුත් මට අවශ්‍ය වෙලා තිබුණෙ යමක් කරලා, නම පොඩ්ඩක් මිනිස්සුන්ට මතක හිටින්න තියලා, වැඩිදුර ඉගෙන ගන්න ඇමරිකාවට යන්නයි. ඒක ගොඩක් කලින් ඉඳලා මගේ හිතේ තිබ්බ අදහසක්. ඒකයි මම ගියේ. ඒක තමයි වෙලාව කියලා මට හිතුණා.

l වැඩිදුර ඉගෙන ගන්න ඇමරිකාවට ගිහින් සංගීත කටයුතුවලට සම්බන්ධ වුණ ආකාරය ගැන කිව්වොත්?

ඇමරිකාවේ ගිහින් මම මුලින් ම ව්‍යාපාර කළමනාකරණය ඉගෙනගත්තා. පස්සෙ ගණකාධිකාරිනියක් විදිහට කාලයක් එහෙ වැඩ කළා. ඒ අතරෙ තමයි මට අවස්ථාව ලැබුණෙ ඇමරිකාවේ රෙකෝඩ් ලේබල් එකත් එක්ක එකතු වෙලා සංගීත කටයුතු කරන්න. පස්සෙ මං එහෙදි මගේ සංගීත ජීවිතේ අලුතින් පටන්ගත්තා.

l සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ තව මොනවද ඔබේ අලුත් සැලසුම්?

ලංකාවේ අය වෙනුවෙන් අලුත් නිර්මාණ කිහිපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා. මේ තමයි පළවෙනි පියවර. ටීෂා ආපහු එන්නේ වෙනස් ම ආරෙකින්. ඉස්සර මම හිපොප් සංගීතයයි තෝරගත්තෙ. වෙනම හැඩයක් මම ලංකාවේ ප්‍රාසාංගික වේදිකාවට ගෙනාවා. දැන් ඒකම වෙනස් විදිහකට අරගෙන තමයි මේ පාර එන්නෙ. ඉස්සරහට තව අලුත් අලුත් විදිහේ දේවල් අත්හදා බලන්න හිතාගෙන ඉන්නවා. මුලින් අපි හොයලා බලන්න ඕනෙ ලංකාවේ රසිකයින්ට මොන වගේ දේවල්ද ගැලපෙන්නෙ සහ ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ සංගීතයක්ද කියලා. ඒ අනුව ඉස්සරහට තව සැලසුම් ටිකක් තියෙනවා. හිමි හිමිට ඒ ටිකත් ක්‍රියාත්මක කරන්න ඕනෙ.

l කාලයක් පිටරට ඉඳලා ආයෙමත් ලංකාවට එනකොට කොහොමද ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

දැන් මං පාරෙ එහෙම යද්දි ගොඩක් අය බලනවා. ඒත් එයාලාට හිතාගන්න බෑ. සමහරුන්ට හරියට අඳුරගන්නත් බෑ. මොකද මං ලංකාවේ නෑ කියලා තමයි ගොඩදෙනෙක් දන්නෙ. අනික මං ලංකාවෙන් ගිය කාලෙදි හිටියට වඩා පෙනුමෙනුත් ටිකක් වෙනස් වෙලා. ඉතිං සමහරු මාව දැකලා බය වෙලා වගේ බලන් ඉන්නවා. කතා කරන්නෙත් නෑ. මොකද මම කාටවත් නොකියනේ ආයෙමත් ලංකාවට ආවෙ. නමුත් අඳුරගන්න අය නම් බොහෝ දෙනෙක් ළඟටම ඇවිත් කතා කරනවා. ඒ ගැන හරිම සතුටුයි. සමහරු අහනවා මෙහෙ නවතින්නද ආවෙ කියලත්. මේ සිංදුවත් රූපරචනාවත් ප්‍රේක්ෂකයන් අතරට ගියාට පස්සෙ සමහර විට අමතක වෙලා හිටිය ගොඩ දෙනෙක්ට ආයෙමත් මාව මතක් වෙයි.

l සංගීතය හැරුණම ජීවිතේ වැඩි ඉඩක් දෙන්නෙ මොන වගේ දේවලට?

දැන් නම් ජීවිතේ ලොකුම ඉඩක් වෙන්වෙලා තියෙන්නේ මගේ පවුල් ජීවිතේට සහ මහත්තයාට. මම මෑතකදි තමයි ඇමරිකාවෙදි විවාහ වුණේ. ගොඩක් හොඳ සහයෝගයක් මට මගේ මහත්තයාගෙන් ලැබෙනවා. ඔහු නිසා තමයි විශේෂයෙන්ම මේ ගීතයත් මම කරන්නෙ. නැත්තම් මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ ආයෙමත් ලංකාවට ඇවිල්ලා, ගීතයක්වත් රූප රචනාවක්වත් කරන්න. ඔහු තමයි මාව මේ වෙනුවෙන් උනන්දු කළේ. ඒ සහයෝගය නැත්නම් මේ ගීතය නිර්මාණය වෙන්නෙ නෑ. සංගීත කටයුතුවලට අමතරව මම චිත්‍ර අඳිනවා. ගීත රචනා කරනවා. මං ඇමරිකාවෙදි කරන්න හිතන් ඉන්න ඊළඟ ගීත ඇල්බම් එකට අවශ්‍ය වෙන ගීතත් මමයි ලියන්න ඕනෙ. ඒ දේවල්වලට තමයි ජීවිතේ වැඩි ඉඩක් වෙන්වෙන්නෙ.

l කාලෙකට පස්සෙ ලංකාවට එනකොට, ලංකාවේ හැදිලා තියෙන සංගීත රැල්ල ගැන මොකද හිතන්නෙ?

මට ඇත්තටම කියන්න බෑ අපේ මේ තියෙන සංගීත රැල්ල හොඳයි හෝ නරකයි කියලා. මොකද මම ඒ ගැන අධ්‍යයනයක් කරලා නෑ. නමුත් නිකමට වගේ මෙහේ ජීවත් වෙන අයගෙන් අහලා බැලුවා, මේ සංගීත රැල්ල ගැන ඒ අය මොනවද හිතන්නෙ කියලා දැනගන්නත් එක්ක. නමුත් කාගෙන්වත් ඒ සම්බන්ධයෙන් ධනාත්මක අදහස් අහන්න ලැබුණෙ නෑ. මම දන්නෙ නෑ පෞද්ගලිකව කොහොමද ඒක විස්තර කරන්න ඕනෙ කියලා. මම ලංකාවෙ නෙවෙයිනෙ දැන් පදිංචි වෙලා ඉන්නෙ. ඒ නිසා මෙහෙ සංගීත රැල්ල ගැන මට වැඩි අවබෝධයක් නෑ. නමුත් මෙහේ අය කියන දේවල් ඇහුවම හිතෙන්නෙ දැන් තියෙන ඒකාකාරී අලුත් සංගීත රැල්ල ගැන කාගෙවත් වැඩි කැමැත්තක් නෑ කියලයි.

කාංචනා සිරිවර්ධන

සමජාතීය මිරිඟුව

$
0
0
ජන 15, 2019 01:00

එක අත්තේ වහන්නේ එක් වර්ගයක කුරුල්ලන් ය. අප කැමති අප වගේ අය සමග කාණ්ඩ ගැසීමට ය. එක් ව සිටීම ට ය. එය පහසු ය. අප හරි වැරදි යැයි දකින දේ උන් ද හරි වැරදි යැයි දකින නිසා ලොකු කෝන්තර ඇති වෙන්නට ඉඩක් එවන් තැනක නැත. තේ බොන්නට ගියත් අප හොයන්නේ දන්න අඳුනන අය ය. පදිංචි වෙන්නට ගියත් එහෙම ය.

සිංහල බොහෝ දෙනකු කියන කතාවක් නම් එක් මුස්ලිම් මිනිහෙක් පදිංචියට ආවොත් ඉන් පසු මුළු පළාතම මුස්ලිම් ග්‍රහණයට අසුවන බව ය. එසේ කියන සමහරු කියන්නේ ඒ ප්‍රජාව එය කුමන්ත්‍රණකාරීව සිදු කරන බව ය. දෙමළ ජනතාවට ද ඊට සමාන චෝදනා තිබේ. ඒ චෝදනාවට අනුව වැල්ලවත්ත උන් විසින් ග්‍රහණයට ගෙන ඇත්තේ ය. ඒ වෙන එකක් නිසා නොව, ඔවුන්ගේ කුමන්ත්‍රණයක් නිසා නොව, එක අත්තේ වහන්නේ එක කුරුල්ලන් නිසා ය. සිංහල කොලනි ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ ද ඒ අනුව ය. ඒ කුමන්ත්‍රණය කර එක පැත්තකට එකතු වුණා නොවේ. එක ජාතියේ කුරුල්ලන් වැහීමට එක අත්තක් සොයා ගැනීමේ ස්වභාවික සංසිද්ධියේ ප්‍රතිඵලයකි.

සමජාතීය මිනිසුන් සොයන අපට වෙනත් ජාතිකයන් සමග මුහුවන්නට සිදු වුණාම නිසඟ ප්‍රශ්නයක් ඇති වේ. ඒ මේ ජාතිකයන්ගේ හැසිරිම අපට දිරවාගත නොහැකි වීම ය. විවිධත්වය ඔරොත්තු නොදීම ය. එයට උත්තර හොයන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් යන මතයේ පිළිසරණ යටතේ ය. වෙනත් ජාතිකයන් හිටියාට කමක් නැත. ඒ ප්‍රධාන ජාතිය වූ අප සමග මුසුවෙලා ය. ඔවුන් ද කළ යුත්තේ අප කරන වැඩ ය. නොකළ යුත්තේ අප නොකරන වැඩ ය. උදාහරණයක් ලෙස අප හරක් නොමරන්නේ නම් ඔවුන් ද හරක් නො මැරිය යුතු ය. අප හරක් මස් නො කන්නේ නම් ඔවුන් ද හරක් මස් නොකෑ යුතු ය. උන් ඇඳුම් ඇඳිය යුත්තේ අප අඳින ලෙස ය. උන් කෑම ගතයුත්තේ අප ගන්නා විදිහට ය. ඒ නිසා හලාල් අරහං ය.

විෂම ජාතිත්වය තොලොංචි කිරීම

උන් සිටිය යුත්තේ මතු වී නොව සැඟවීගෙන ය. අපට තර්ජනයක් නොවන ලෙස ය. වෙනත් අනන්‍යතාවක් හදාගෙන නොවේ. මතුපිටින්වත් අප මෙන් පෙනෙන විදිහට ය.

පදිංචි වෙනවා නම් වෙනම කලාප හදාගෙන නොවේ. එසේ ඉන්නවා නම් අප අතර පැතිරී යන අයුරිනි. උන් එකට සිටීම ම අපට තර්ජනයකි.

දකුණේ ඇතැම් අය වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ බලහාත්කාරයෙන් මුහු කිරීමේ විසඳුම ය. ඒ කියන්නේ සිංහල අය උතුරේත්, දෙමළ අය දකුණේත් පදිංචි කරවිම හරහා රටපුරා සමජාතිත්වය ඇති කිරීමට ය.

සංචාරකයන්ට ද සමාන තහංචි දැමීමට අපි ඉක්මන් වී ඇත්තෙමු. ඒ සංචාරක ව්‍යාපාරය ද පරදුවට තබමිනි. ඒ වෙරළේ පවා බිකිණි ඇඳීමට වැට බැඳීමට තැත් කිරීම හරහා ය. සංචාරක කර්මාන්තයේ බලපෑම හමුවේ එසේ සඳහන් බිල්බෝඩ් ඉවත් කර ගනු ලැබූව ද එයින් අදහස් කළේ උන් මෙහි එනවා නම් අප වගේ සිටිය යුතු බව ය. එසේ නොකිරීම අපට තර්ජනයක්ව ඇති බව ය. ඒ ගැන අප නොසතුටින් ඉන්නා බව ය.

නවකවදය තුළ උත්සාහ කරන්නේ ද විෂම ජාතිත්වය නැති කිරීම ය. සැවොම එක කෝවක් තුළ දමා නිම කිරීම ය. ජේෂ්ඨ උත්තමයන් විසින් නියම කරන ඇඳුම් පැළඳුම් මිස අන් ඒවා තහනම් කරන්නේ ද මේ සමජාතිත්වය ඇති කිරීමට ය.

පාසලක යුනිෆෝම් පැනවීමෙන් ද කෙස්වල සිට සපත්තු දක්වා සියල්ල සමජාතීය කිරීමෙන් සිදු කරන්නේ ද මේ කාර්යය ම ය. මේ සමජාතිත්වය උග්‍රව පැවති රටක් වූයේ චීනය ය. ඒ රට කළේ පාසලින් නොනැවතී රටපුරා සැමට යුනිෆෝම් ඇන්දවීම ය. මාඕගේ සිට සැවොම ඇන්දේ එකම ඇඳුමකි. එය පිරිමි ගැහැනු වශයෙන් වත් වෙනස් වූයේ නැත. දැන් ඒ පැරණි අස්සයා චීනය විකුණා දමා ඉවර ය. එහෙත් තවමත් මේ සමජාතිත්වයට ඇති ඇල්ම අපේ රටෙන් නම් ඉවත්ව ගොස් නැත.

පාසල යුනිෆෝම් ඇන්දීමෙන් ප්‍රදර්ශනය කළ සමජාතිත්වය අධ්‍යාපනය තුළ ප්‍රකාශයට පත් වුණේ සැමට එක විභාගයක් ලෙස ය. ශිෂ්‍යත්වය පොදු විභාගයකි. අපොස සාපෙ යනු පොදු විභාගයකි. විවිධ දක්ෂතා තිබෙන දරුවන් මෙසේ පොදු විභාගයකින් මැනීමෙන් කරන්නේ අපරාධයක් බව අධ්‍යාපන විශේෂඥයන්ටවත් ඊනියා විද්වතුන්ටවත් දැනෙන්නේ නැත.

දැන් පහව ඇතත්, වමත්කාරයන්ට එරෙහිව සමාජයක් ම යුද ප්‍රකාශ කළේ ද මේ සමජාතිත්වයට එරෙහිව ජනගහණයෙන් කුඩා ප්‍රතිශතයක් දකුණ ප්‍රතික්ෂේප කරමින් කැරලි ගැසූ නිසා ය. මේ සමජාතිත්වය තුළ සමලිංගිකයන්ට හෝ සංක්‍රාන්ති ලිංගිකයන්ට ඉඩක් නැත. උන් මේ සමජාතිත්වය ඇති කිරීමට බාධාවන් නිසා ය. වෛද්‍ය විද්‍යාවේ මැදිහත් වීම් නිසා වමත්කරුවන්ට එරෙහි සමාජ ප්‍රහාරයන් අවසන් වී තිබෙන මුත් වෙනස් ලිංගික නැඹුරුතාවන් සම්බන්ධයෙන් තවමත් අප ඉන්නේ අතීතයේ ය. ඒ පිළිබඳව ද එය අතිශයින් ස්වභාවික බවට වෛද්‍ය මතයක් තිබුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් සමාජය දක්වන විරෝධතා අවසන් වී නැත.

රුචි අරුචිකම්

ඇතැම් අය ආර්ථික ප්‍රශ්නවලට උත්තර දෙන්නට යන්නේ ද මේ සමජාතිය යොදා ගනිමිනි. මෑතක දී රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ එක් විද්වතකු කියා සිටියේ ලංකාවේ හාල් අතිරික්තයක් තිබිය දී තිරිඟු පිටි ගෙන්වීම රජය විසින් කරනු ලබන අනුවණකමක් බව ය. ඔහු නොකියා කීවේ ලංකාවේ හැම කෙනකුම වේල් තුනට ම බත් කෑ යුතු බව ය. ඒ කතාවට අනුව එක් එක්කෙනාට වෙන වෙනම රුචි අරුචිකම් තිබිය නොහැකි ය. තිබිය යුත්තේ එකම රුචි අරුචිකම් ය. වෙනත් රුචි අරුචිකම් තිබේ නම් වී ගොවියා රැක ගැනීමට ඒවා ඉවත දැමිය යුතු ය.

ඇතැමුන් සමාජ ප්‍රශ්නවලට උත්තර දෙන්නට යන්නේ ද මේ සමජාතිය යොදා ගනිමිනි. ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම් කරන සමහර විද්වතුන්ගේ අදහස වන්නේ අපරාධ රැල්ල මැඩ පැවැත්වීම උදෙසා සැම දෙනාටම දහම් පාසල් යෑම අනිවාර්යය කළ යුතු බව ය. ඒ දහම් පාසල් හා අපරාධ අතර සම්බන්ධයක් ඇති ද යන වගවත් නොවිමසා ය.

ඇතැම් අය මේ සමජාතිත්වය අන්තයට ම ගෙන යන්නට ද සූදානම් ය. ඔවුන්ට අනුව මේ රට සිංහල බෞද්ධ රටකි. ඒ නිසා සෙසු අය ද ජිවත් විය යුත්තේ ඒ සිංහල බෞද්ධ රාමුව තුළ ය. ඊනියා සිංහල බෞද්ධයන් ඉඩ දෙන සීමාව තුළ ය. එසේ සිටින්නට අකමැති අය රට හැර යා යුතු ය.

මේ නම් සිඟිති ආතල් මිසක ගැඹුරක් ඇති ප්‍රකාශයන් නොවේ.

සමාන යැයි කියන අය සමාන ද?

මේ තත්වය දිගින් දිගට පවත්වා ගෙන යෑමට අපට නොහැකි ය. අප ඉන්නේ ශ්‍රීඝ්‍රයෙන් ගෝලීයකරණයට ලක් වෙන ලෝකයක ය. අපට දැන් ගනුදෙනු කිරීමට සිදු ව ඇත්තේ අප රටට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින චීන ජාතිකයන් ද ඉන්දියානුවන් ද බංග්ලාදේශ ජාතිකයන් ද සමග ය. මැදපෙරදිග සහ කොරියාවේ රැකියා කරන ලාංකිකයන්ට ද ඕස්ට්‍රේලියාවට කැනඩාවට අමෙරිකාවට සංක්‍රමණය කර ඇති ශ්‍රී ලාංකිකයන්ට සිදු ව තිබෙන්නේ ද තමන්ගේ නොවන මිනිසුන් සමග හරි හරියට ගැටෙමින් ජීවත් වීමට ය.

එපමණ ද? නැත. සිංහලයන් කියන අය සමජාතියය ද? ඔවුන් කුල වශයෙන් බෙදී නැද්ද? ආගම් වශයෙන් බෙදී නැද්ද? උඩරට පහතරට වශයෙන් බෙදී නැද්ද? බෙන්තර ගඟෙන් එහා දකුණෙ සිංහල මිනිසා රජරට බැද්දේ සිංහල මිනිසාට සමාන ද? ගම්බද සිංහල මිනිසා නගරයේ උපත ලද සිංහල මිනිසාට සම ද?

එසේ බෙදී ඇත්තේ සිංහල පමණක් ද? උතුරේ දෙමළ මිනිසා නැගෙනහිර දෙමළ මිනිසා හා සම ද? වෙල්ලාල කුලයේ දෙමළ මිනිසකු අඩු කුලයේ දෙමළ මිනිසකුට සම ද?

මුස්ලිම් ජාතිකයන් සියල්ලෝ එක සම ද? කොළඹ හැදී වැඩුණු මුස්ලිම් ජාතිකයකු නැගෙනහිර මුස්ලිම් ජාතිකයකුට සමාන කළ හැකි ද? මොට්ටැකිලි පලඳින හා නොපලඳින මුස්ලිම් කාන්තාවන් ලෙස අඩු වශයෙන් දෙවර්ගයක්වත් දකින්නට අපට පුළුවන.

වෙනසට ගරු කිරීම

බෞද්ධයින් කියා සමජාතීය පිරිසක් වෙද්ද? ඕල්කට් බෞද්ධයොත් ධර්මපාල බෞද්ධයොත් යනුවෙන් දෙකොට්ඨාසයක්වත් ඇති බව අපි දනිමු. සංඝයා වහන්සේලා ලෙස හැඳින්වෙන සමජාතීයය පිරිසක් අපේ රටේ වෙද්ද? අබසරණ නිකායේ ස්වාමීන්වහන්සේලා හා ඊට අයත් නොවන ස්වාමීන්වහන්සේලා වශයෙන් අඩු වශයෙන් දෙපිරිසක් අපි දකින්නෙමු. බාහිරින් නම් උර වසා සිවුර අඳින ස්වාමීන් වහන්සේලාත් එසේ නොකරන ස්වාමීන්වහන්සේලාත් ලෙස දෙකොට්ඨාසයක්වත් අපි දකිමු. නිකාය භේදය ගත්තොත් දුවන්න වෙන්නේ කරදිය වළල්ලෙන් එහාට ය. ඒ එහි ආරම්භය විදේශ සම්භවයකට සම්බන්ධ නිසා නොවේ. මේ නිකාය අතර පවතින භේදයන් ඒ තරමට ප්‍රබල නිසා ය.

වයස්ගත පුද්ගලයකු තරුණයකුට සම කළ හැකි ද? උගත් පුද්ගලයකු නූගත් පුද්ගලයකුට සම කළ හැකි ද? ගැහැනියක පිරිමියකුට සම කළ හැකි ද?

බුදුන් වහන්සේ කියූ ලෙස එක තණ පතක් තව තණ පතකට සම කළ නොහැකි ය. එහෙව් ලෝකෙක අපි මේ හොයන සමජාතිත්වය ම මිරිඟුවක් නොවන්නේ ද?

අපි වෙනස් ය. සමාන යැයි කියන මිනිසුන් අහසට පොළොව මෙන් වෙනස් ය. විෂම යැයි කියන මිනිසුන් අදහස් අතින් ඇතැම් විට සම ය. එහෙව් වටපිටාවක මේ හොයන සමජාතිත්වය කුමක් ද?

අවශ්‍ය වන්නේ මේ වෙනස්කම්වලට ගරු කිරීම ය. ඒවා සමග ගනුදෙනු කිරීම ය. ඒ වෙනස්කම් නිසා ම අප එකිනෙකා සතුව ඇති ශක්තීන් සැම දෙනාගේ අභිවෘද්ධීය සඳහා යොදා ගැනීම ය. දුර්වලකම් ඒ මගින් තුනී කර ගැනීම ය.

බොහෝ දෙනා වෙනස්කම් දෙස බලන්නේ කවුද මුදුනා යන්න නිශ්චය කිරීමට ය. එය අතිශය මෝඩ ප්‍රවේශයකි. වඩා ශක්තිමත් රූස්ස ගහක් ද කුඩා වැලක් දැයි කෙනකුට කිව හැකි ද? කුඩා වැලක් තනි අතකින් ආයුධයකින් පවා තොරව කඩා දැමිය හැකි ය. එහෙත් රූස්ස ගසක් සම්බන්ධයෙන් අපට එවැන්නක් කළ නොහැකි ය. එතෙකුදු මහා සුළඟකින් වැලට හානියක් නොවන මුදු රූස්ස ගස ඉගිලී වැටෙන්නට පුළුවන. එහෙව් තැනක වඩා ශක්තිමත් කවුදැයි සෙවීමේ තේරුමක් නැත.

විෂමතා සොයමින් වඩා ලොකු කුමක් දැයි සෙවීම වෙනුවට හැම දෙයකම ඊට ආවේණික ශක්තියක් ද ආවේණික දුර්වලකමක් ද තිබෙන බව දැන ඒවා සමග ගනුදෙනු කිරීම වඩා නුවණක්කාර ය.

සුන්දරත්වය ඇත්තේ විවිධත්වය තුළ ය. කෝවිලේ පෙරහැර ද පල්ලියේ මංගල්ලය ද පන්සලේ පහන් කූඩුව ද නැරඹීමට අපට එක රටක් තුළ හැකියාව ලැබී ඇත්තේ ඒ නිසා ය. එක් එක් ජනවර්ගයකට අයත් විවිධ ආහාර පරිභෝජනයට අවස්ථාවක් අප ලබන්නේ ඒ නිසා ය.

ශක්තිය ඇත්තේ විවිධත්වය තුළ ය. මුස්ලිම් මිනිසුන් වෙළෙඳාමේ දක්ෂ වෙද්දී සිංහල මිනිසුන් නව නිපැයුම් සඳහා දක්ෂ නම් එතැන ඇත්තේ එක්ව වැඩ කර දෙජාතිය ම දිනවිය හැකි සංකලනයකි. අප සමජාතිත්වය ඇති කරනු වෙනුවට කළ යුත්තේ මේ වෙනස පිළිගෙන ඊට ගරු කර අප සැමගේ අභිවෘද්ධීය පිණිස ඒ වෙනස් කම් එක් වී යොදා ගැනීම ය.

මා කැමති මගේ ආයතනය තුළ සිංහල අය පමණටම දෙමළ මුස්ලිම් අය පමණක් නොව අමතරව විදේශිකයන් ද සිටිනවාට ය. සිංහල අලුත් අවුරුදු දිනයක වැඩක් කරගන්නට ඕනෑ වුණොත් මගේ දෙමළ, මුස්ලිම් හා විදේශික සගයන් මගේ සහායට එනවා ඇත. තෛපොංගල් දිනයේ දී දමිළ සගයන් අහිමි වුව ද සිංහල හා මුස්ලිම් සගයන් උදව්වට සිටිනවා ඇත.

මා කැමති බෞද්ධයින් තරමට ම හින්දු ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමිකයන් ද සිටිනවාට ය. ඒ අතරට නිරාගමිකයන් ද එක් කර ගැනීමට පුළුවන් නම් වඩාත් හොඳ ය. හැදී ගෙන එන කපුටු බෝ ගහක් කපන්නට බෞද්ධයකු අදිමදි කරද්දී වෙනත් ආගමිකයකු හෝ නිරාගමිකයකුට ඒ වැඩේ පැවරිය හැකි ය. මේ ජාතික ආගමික විවිධත්වය සම්බන්ධයෙන් මතුපිට පෙනෙන සිල්ලර කාරණා ය. ඊට වැඩි දායකත්වයක් ඔවුන්ගේ වෙනස් දිවි පෙවෙත් හා වෙනස් දැනුම හරහා ආයතනයට ලබා ගත හැකි ය. විශේෂයෙන් අපේ බහුවාර්ගික බහු ආගමික රටේ වෙසෙන විවිධ ජාතීන්ට හා ආගම්වලට අයිති පාරිභෝගකයන් හා සේවාලාභීන් හඳුනා ගැනීම සඳහා සහ ඒ එක් එක් ජන කොටසේ සංවේදීතා හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි ය.

ස්වදේශිකයන් රට හඳුනන නමුත් පිටරැටියෙක් සිතන්නේ කෙසේ දැයි දන්නේ නැත. විදේශිකයා මේ රටේ නැති අප නුදුටු අපට නුහුරු දේ අපට හඳුන්වා දෙනු ඇත. ඒ නිසා අප සතු විසඳුම් වඩා පුළුල් පරාසයක විහිදෙනු ඇත. අපේ රටේ මිනිසුන් සැනසුම නිවන හොයන නිසා ඔවුන් සතු ජවයේ සීමාකම් තිබිය හැකි ය. එහෙත් ගතිකත්වය වෙනස සොයන විදේශිකයකු ඊට වඩා වෙනස් හැසිරීමක් පෙන්නුම් කරනු ඇත.

විවිධත්වයේ වාසි

මා කැමති රජයේ පාසල්වල අධ්‍යාපනය ලැබූ අය තරමටම ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ අය ද හැකි නම් මගේ ව්‍යාපාරයකට එකතු කර ගැනීමට ය. පටු ජාතිකත්වයේ සීමාවන්ගෙන් ඔබ්බෙහි තිබෙන දේ බැලීමට ඔවුන් අපට උදව් වනු ඇත. ඒ දේශීය උරුමයේ වැදගත් තැන් රජයේ පාසල්වලට ගිය අයගේ සැලකිල්ලට ලක් වෙද්දී ය.

ස්වභාව ධර්මය පවා විවිධත්වයට පක්ෂපාත බව සැලකිල්ලෙන් බැලුවොත් පෙනී යන්නේ ය. දක්ෂම දරුවන් උපදින්නේ හැකිතාක් විෂම මාපියන් යුගලයකට ය. උදාහරණයක් ලෙස සම කළු අප්‍රිකානු ජාතිකයෙක් සම සුදු යුරෝපීය ජාතිකයකු හා එක්වීමෙන් ලැබෙන දරුවෙකු පවුලට සමීප තවකෙකු හා සම්භෝගයෙන් ලැබෙන දරුවෙකුට වඩා ශාරීරිකව ද මානසිකව ද ශක්තිමත් කෙනෙකු බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. බරක් ඔබාමා එයට ඇති එක් ජීවමාන උදාහරණයකි. ඔහු අප්‍රිකානු ජාතික කළු පියෙකුට දාව ඇමරිකානු ජාතික සුදු කාන්තාවකගෙන් උපත ලැබූවෙකි. එවැනි අහඹු උදාහරණවලින් පමණක් නොව නිසි සමීක්ෂණයෙන් ලද සංඛ්‍යා ලේඛන ඇසුරෙන් ද මේ බව සනාථ වී ඇත.

තවදුරටත් සමජාතිත්වය සොයන අයට මග හැරෙන්නේ විවිධත්වයේ ඇති මේ අපූරු ශක්තිය ය. ලංකාවට රටක් හැටියට ඉදිරියට යා හැක්කේ පරණ කල් ඉකුත්ව ගිය බර පොදි විසි කර දැමීමෙනි. සමජාතිත්වය විසි කළ යුතු තවත් එවන් එක් බර පොදියකි.

බාගෙට ඉදිකිරීමේ ජාතික අපරාධය

$
0
0
ජන 15, 2019 01:00

මහාචාර්ය වසන්ත මාම්පේආරච්චි - සිවිල් ඉංජිනේරු අංශය මොරටුව විශ්වවිද්‍යාලය

පසුගිය දිනවල අැති වූ ගංවතුරින් උතුරේ මෑතකදී ඉදිකළ මහාමාර්ග පදාස පිටින් සෝදා පාලු වී විනාශ වී ඇති අයුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ජනතාව නැගූ චෝදනාව වූයේ මාර්ග ඒ ආකාරයෙන් සේදී යාමට හේතුව ඉදිකිරීම්වල ප්‍රමිතියේ අඩුපාඩු බවයි.

මාර්ගයක් සැලසුම් කරන විට පාර්ශ්වකරුවන් කිහිපදෙනකු සම්බන්ධ වේ.මාර්ග සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතම කාර්යභාරය වන ඉදිකිරීම් සැලසුම ගොඩනැංවීම සඳහා උපදේශකත්වය සහ නිර්මාණකරුවකු තෝරා දීම සිදු කරනු ලබන්නේ අදාළ මාර්ග සංවර්ධන අධිකාරිය මඟිනි.නිර්මාණකරුවකු ලැබුණු පසු ඇස්තමේන්තු කරගත් නිර්මාණය, එම ඇස්තමේන්තුවට අනුව විවිධ වෙනස්කම්වලට ලක් කරයි. උදාහරණයක් වශයෙන්, පාර කාපට් කිරීම සහ කානු පද්ධතිය සකස් කිරීමේ දී ලබා දී තිබෙන ඇස්තමේන්තු මුදල ප්‍රතිපාදනවලට වඩා වැඩි වූ විට, පාර කාපට් කිරීම හෝ කානු පද්ධතිය සකස් කිරීම යන කාරණාවලින් ඉටු කර ගැනීමට හැකි වන්නේ එකක් පමණි. එහි දී ඇතැම් අවස්ථාවල මාර්ග කාපට් දැමීම කළත් කානු පද්ධතිය නිසි පරිදි නිර්මාණය කිරීමට නොහැකි වී අර්බුදකාරී තත්ත්වයක් හටගැනීමට පුළුවන. ඒ හේතුවෙන් මාර්ගවල ගමන් කරන මගීන්ට මෙන් ම වාහනවලට ද අහිතකර බලපෑම් එල්ල විය හැකි ය.

නිර්මාණ සමාලෝචනය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගීමේ දී අනිවාර්යයෙන් ම තවත් පාර්ශ්වයක් විසින් ව්‍යාපෘතියේ නිර්මාණ හා සැලසුම විශ්ලේශනය සිදු කළ යුතු ය. ඒ මගින් ව්‍යාපෘති සැලසුම්වලදී සිදු වන බොහෝ අඩුපාඩු මඟ හරවා ගැනීමට පුළුවන . මාර්ග සැලසුම් නිර්මාණකරුවා තම ව්‍යාපෘතියෙහි ගුණාත්මකභාවය,තාක්ෂණික වශයෙන් විකල්ප තිබෙනවා ද, මාර්ග ආරක්ෂාව සැලසෙනවා ද,මාර්ගය පාවිච්චි කරන සියලු දෙනාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙනවා ද යන්න පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගත යුතු ය. මාර්ග සැලසුම් නිර්මාණයේ දී අනිවාර්යයෙන් ම “නිර්මාණ සමාලෝචනය ( Desing Review)” සිදු කළ යුතු වේ. ඒ වුවත් වර්තමානයේ දී එලෙස සිදු වන්නේ අල්ප වශයෙනි. මාර්ග සැලසුම් පමණක් නොව සෑම සංවර්ධන සැලසුමකදීම නිර්මාණ සමාලෝචනය කිරීමෙන් බොහෝ අඩුපාඩු මඟ හරවා ගැනීමට පුළුවන.

ඇතැම් විදේශ රටවල මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඒ අයුරින්ම ශ්‍රී ලංකාවට නොගැළපේ. උදාහරණයක් වශයෙන් විදේශ රටවල මංතීරු යොදා ඇති අන්දම සහ අප රටේ මංතීරු යොදා තිබෙන අන්දම දෙයාකාර ය. එලෙස අප රටට නොගැළපෙන නිර්මාණ මගින් පෙර නොතිබූ මාර්ග තදබදයන් පවා ඇති විය හැකි ය.

උප‍දේශකවරුන් සහ කොන්ත්‍රාත්කරුවන්

සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශකවරුන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් දැවැන්ත කාර්යයභාර්යයක් ඉටු වේ. ව්‍යාපෘතියට අදාළව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ වගකීම ඔවුන්ට භාර වී තිබේ. මූලික සැලසුම් අවස්ථාවේ සිට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අවස්ථාව දක්වා උපදේශකවරුන්ගේ සහ කොන්ත්‍රාත්කරුවන්ගේ දැනුම සහ අවබෝධය වඩාත් වැදගත් වේ. සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව, තීන්දු තීරණ නිසි පරිදි නොගන්නා විට නිර්මාණයේ වැඩ අවසන් කිරීමට කල් යාම, ප්‍රමිතිය අඩු වීම දැක ගත හැකි ය. තව ද පරිසර සාධකවලට නොගැළපෙන සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේ දී දැක ගැනීමට හැකි වේ.

දැනුම සහ පළපුරුද්ද

උපදේශකවරුන්ට සංවර්ධන සැලසුම් සකස් කිරී‍මේ දැනුම සහ පළපුරුද්ද අනිවාර්යයෙන් ම තිබිය යුතු ය . ඔවුන් තම ක්ෂේත්‍රය පිළිබඳ මුලික සුදුසුකම් සපුරා තිබීම වඩාත් වැදගත් ය. තව ද ඔවුන් තමන්ගේ තිබෙන දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා ( Continious Professional Development ) පාඨමාලා හැදෑරීමට යොමු වීම ද විශේෂයෙන් ම සිදු කළ යුතු ය. කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකවරුන් තම කාර්යයමණ්ඩලයේ සිටින සාමාජිකයන්ගේ දක්ෂතා මැනවින් හඳුනාගත යුතු ය. තව ද ව්‍යාපෘතිවල සේවය සඳහා කාර්යයමණ්ඩලය තෝරා ගැනීමේ දී ඔවුන් අනුමත කරන ලද කාර්යයමණ්ඩලය ව්‍යාපෘතිය අවසන්වන කාල සීමාව වන තෙක් සිටිනවා ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු ය . එමෙන් ම එම ශ්‍රමිකයින් මේ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ දී ඉදිරිපත් කළ සුදුසුකම් පසුකාලයේ දීත් ( ව්‍යාපෘතිය සිදු කරන අතරතුර කාලයේ දී ) ඒ අයුරින් ම තිබේ දැයි මැනවින් සොයා බැලිය යුතු වේ . ඒ මන් ද යත් ව්‍යාපෘතිය ආරම්භයේ දී සිටි ශ්‍රමිකයින් ව්‍යාපෘතිය අවසාන වන කාල සීමාවේ දී නොසිටින්නට හැකි නිසාවෙනි. තව ද සංවර්ධන ව්‍යාපෘතිවල රාජකාරී කරන ශ්‍රමිකයින් තාක්ෂණයත් සමඟ ඒ අයගේ දැනුම යාවත්කාලීන කර ගැනීම වඩාත් වැදගත් ය. ව්‍යාපෘතිවලට සම්බන්ධ කාර්යයමණ්ඩල ශ්‍රමිකයින් වැඩිදියුණු වන තාක්ෂණයත් සමඟ තමන්ගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට උනන්දු විය යුතු ය. ශ්‍රී ලංකාවේ දැනට ඒ අදාළ ක්ෂේත්‍රය සඳහා වාර්ෂිකව පවත්වන පුහුණු වැඩමුළු තිබේ. ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපදේශකවරුන් සහ කොන්ත්‍රාත්කරුවන් තම කාර්යයමණ්ඩල ශ්‍රමිකයින් එම වැඩමුළු සඳහා යොමු කිරීමට වග බලා ගත යුතු වේ. සාර්ථක වූත්, දිගුකල් පැවැත්මෙන් යුක්ත වූත් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එමගින් මහත් බලපෑමක් ඇති වේ.

අමෙරිකාව වැනි දියුණු රටවල ව්‍යාපෘති සඳහා යොදනු ලබන කාර්යයමණ්ඩල ශ්‍රමිකයින් පිළිබඳ අධීක්ෂණයන් සිදු කරනු ලබන්නේ අල්ප වශයෙනි. ඒ වුවද කාර්යයමණ්ඩල ශ්‍රමිකයින් සඳහා ඉහළ අන්දමේ ගුණාත්මක පුහුණුවක් ලබා දේ. සැබවින් ම සිදු විය යුත්තේ ද එයම ය. එහෙත් ශ්‍රී ලංකාවේ සිදු ‍නොවන්නේ ද එයම ය.

ප්‍රමිතිකරණය

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග, නාගරික මාර්ග, අධිවේගී මාර්ග යන සැලසුම් ව්‍යාපෘති සඳහා ඒ ඒ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ සම්මත තාක්ෂණික නියාමන වෙන් වෙන්ව හඳුනා ගැනීමක් සිදු වී නොමැත.ඒ අදාළ ව්‍යාපෘති මට්ටමට අනුව අදාළ කාර්යමණ්ඩල ශ්‍රමිකයින්ට Techinal Specification පිළිබඳ පුහුණු දැනුමක් තිබිය යුතු ය. විශේෂයෙන් ම අමුද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සහ අමුද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳව දැනුම යාවත්කාලීන කර ගැනීම සිදු කළ යුතු ය. සංවර්ධන ව්‍යාපෘතිය නිර්මාණය කරන භූගෝලීය වපසරිය පිළිබඳව මතුපිටින් පමණක් නොබලා තීරණ ගත යුතු ය. ඒ හා බැදුණු පාරිසරික හා සමාජීය කරුණු සැලකිල්ලට ගත යුතු ය.

සංවර්ධන ව්‍යාපෘතියට අදාළ අමුද්‍රව්‍ය සඳහා මූලික අනුමැතිය දුන් පසු , එම ව්‍යාපෘතිය ආරම්භ කළ දිනයේ සිට අවසානය දක්වා ලබා දෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත අමුද්‍රව්‍ය ද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතු ය. කිසිදු විටක අනුමැතිය ලබා දුන් පසු අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳව නොසොයා සිටීම නොකළ යුතු වේ. ඒ මන් ද යත් අනුමැතිය ලබා ගැනීමට පෙර ගුණාත්මක තත්ත්වයේ වැලි,ගල්, සිමෙන්ති දක්නට ලැබුණ ද, ඉන් පසුව එම අමුද්‍රව්‍යවල වෙනස්කම් සිදු විය හැක. ඒ හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන අමුද්‍රව්‍ය පිළිබඳ නිරතුරුව නිරීක්ෂණය කළ යුතු ය .

කොන්ත්‍රාත්කරුවන්ගේ වගකීම

බොහෝ විට මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වගකීම ලබා දෙනු ලබන්නේ මාස 06 ක් හෝ අවුරුද්දක කාලසීමාවක් සඳහා පමණි. එහෙත් එම ව්‍යාපෘතිවලින් අවුරුදු 10-15 අතර කාලයක් දක්වා ප්‍රතිලාභ බලාපෙරොත්තු වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ වගකීම් කාලය කෙටි වූ විට , ඒ සීමීත කාලය තුළ දී අදාළ ව්‍යාපෘතියේ ගැටලුවක් සිදු නොවුණ ද, පසුකාලීනව ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමේ ප්‍රවණතාවයක් තිබිය හැකි ය. කොන්ත්‍රාත්කරුවන්ගේ වගකීම් කාල සීමාව අවුරුදු 03- 05 දක්වා වැඩි කරලීමට හැකියාව තිබේ නම් ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා තාක්ෂණය , කම්කරුවන් සහ අමුද්‍රව්‍යවල සාධනීය බව පිළිබඳව විශ්වාස කළ හැකි ය.

තව ද , සංවර්ධන ව්‍යාපෘති සැලසුම සහ ගොඩනැගීම ( Design and Construction ) එකම ආයතනයකට භාර දීම මගින් ව්‍යාපෘතිවල දිගු කාලීන පැවැත්ම රඳා පවත්වා ගැනීමට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවල වගකීම් එක් එක් පාර්ශ්වයන්ට භාර දීම මගින් දිගු කාලීන පැවැත්ම පිළිබඳ විශ්වාසය අඩු විය හැකි ය. සැලසුම සහ ගොඩනැගීම එක් පාර්ශ්වයකට දිගු කාලීන වගකීමකට යටත්ව ලබා දීමේන් ඒ අදාළ ආයතනය විසින් සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි පවතින විශ්වාසදායීබව මැනවින් තහවුරු කර ගත හැකි ය .

අඩුපාඩුකම් සහිත සංවර්ධන ව්‍යාපෘති මඟින් ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් නිසි පරිදි ලබා දීමට නොහැකි වනවා මෙන් ම ප්‍රමාද වීමක් ද සිදු වේ. තව ද දේශපාලන මැදිහත්වීම් තුළින් උපදේශකවරුන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට යම් බලපෑමක් සිදු වේ. අදාළ සංවර්ධන ව්‍යාපෘතිය නිමකළ යුතු දිනය එම, සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ කාල සීමාවේ දීම ප්‍රකාශයට පත් කළ විට ද, අඩුපාඩුකම් සහිත, ගුණාත්මකභාවයෙන් අඩු ව්‍යාපෘති නිර්මාණය වීමට පුළුවන .සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු විවෘත කිරීමේ දිනය වෙනුවෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම ද නොකළ යුතු ය. අධික ලෙස මුදල් වැය කිරීමෙන් සිදු වන්නේ අවැඩකි.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සංවර්ධන ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ ස්ථරය දක්වා වූ සේවකයින් නිසි පරිදි තම දැනුම වැඩි දියුණූ කර ගනිමින් තම සේවාව අවංකව ඉටු කිරීමට වගබලා ගත යුතු වනවා සේම ඔවුන්ගේ සාධනීය මට්ටම පිළිබඳව නිවැරදි අධීක්ෂණයක් අදාළ බළධාරීන් විසින් සිදු කරනවා නම් දිගුකල් පවතින , ගුණාත්මකබවින් යුත් දැනට පවතින ක්‍රමවේදයන්වල ගුණාත්මකබව වැඩිදියුණු වන අන්දමේ සංවර්ධන ව්‍යාපෘති ගොඩනැංවීමට පුළුවන.

සටහන -මදාරා මුදලිගේ 

අනාගත අයිතිය දරුවන්ට

$
0
0
ජන 16, 2019 01:00

පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාම කාලය පාසල් අවධියයි. අවුරුදු 5 සිට 18 දක්වා කාල සීමාව පාසල් අවධියට අයත් වේ. ළමා විය, නව යොවුන් විය, මෙන් ම යොවුන් විය ආරම්භය දක්වා ම දරුවන් ජීවිතයේ වැඩි කාලයක් පාසල තුළ ගත කරන බැවින් පාසල් අවධිය පුද්ගලයකුට වඩාත් වැදගත් වෙයි. නව යොවුන් විය යනු සංක්‍රාන්ති සමයකි. මෙම සංක්‍රාන්ති සමය පසු කරමින් ළමා වියෙන් නව යොවුන් වියට එළඹීමේ දී ලෙස කායික, මානසික වර්ධනය ශීඝ්‍ර සිදු වේ.මෙය සැබවින්ම ස්වභාවික ක්‍රියාවලියකි. මෙම ස්වභාවික ක්‍රියාවලිය තුළ වෙනස්වීම්වලට මුහුණ දෙමින් පරිපුර්ණ පෞරුෂයකින් යුක්ත ව වැඩිහිටියකු ලෙස සමාජගත වීම සඳහා යහපත් ආකල්ප සහ පුරුදු, විවිධ අත්දැකීම් ලබා ගන්නේ පාසල් අවධිය තුළදී ය.

පාසල් අවධියේ පසුවන දරුවන් මව්පියන්ගෙන් යැපෙන අතර දරුවන් ජීවත් වීම සඳහා අවශ්‍ය පොදු කුසලතා විධිමත්ව මෙන් ම අවධිමත්ව පාසලෙන්, මව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් සහ සමවයස් කණ්ඩායම් තුළින් ලබා ගනී. ඒ අනුව ඔවුන් ගතානුගතික පාරම්පරික දැනුම,දේශීය දැනුම ලබා ගන්නා අතර ස්වයං ආත්ම කථනය තුළින් අලුත් ආකාරයකට සිතීමට පෙළෙඹේ. නමුත් වර්තමානයේ වාර්තා වන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසු නව යොවුන්වියට එළඹෙන්නන් තුළ ජීවත් වීමේ කුසලතා ( Life Skills ) දුර්වල මට්ටමක පවතින බව ය.

ජීවන කුසලතා

විසි එක්වන සියවසේ සාර්ථකව ජීවත් වීම සඳහා සන්නිවේදන හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව, පවත්නා තත්ත්වය හා වෙනස් වීම්වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව මෙන් ම ඒ අනුව හැඩගැසීම, ආතති කළමනාකරණය, ආවේග, චිත්තවේග පාලනය, නායකත්වය හා වගකීම් දැරීම, නායකත්වය පිළිගැනීම, කණ්ඩායම් සමාජිකයකු ලෙස සාර්ථකව කටයුතු කිරීම, තමාගේ වගකීම් ඉටු කිරීම, සංවේදී වීම,සමාජයේ විවිධ කොටස් සමඟ සංහිඳියාවෙන් ජීවත් වීම, ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී ව එකිනෙකාට උදව් කිරීම යනාදී ‍ වශයෙන් යහපත් ජීවන කුසලතා වර්ධනය කර ගැනීම අවශ්‍ය වේ.

බටහිර රටවල් මෙන් නොව අප රටේ පැරණි සමාජයේ සිටම පවුලේ සමාජිකයන් අතර බැඳීම ශක්තිමත් ය. පවුල තුළ බැඳීම, ආදරය, පවුලේ අනෙක් අය පිළිබඳ සොයා බැලීම, යනාදිය අපේ සංස්කෘතිකමය ලක්ෂණ වේ. නමුත් වර්තමානය වන විට පවුල් පරිසරය පෙරට වඩා වෙනස් ය. අපේ දරුවන්ට තම පවුලෙන් ලැබෙන යහපත් චර්යා ලක්ෂණ සහ පුරුදු ඇති වීම අඩු වී තිබේ. අද වන විට දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් පීඩාකාරී තරඟයකට පිවිසීම මෙයට එක් හේතුවකි. දරුවන් මෙන් ම මව්පියන් සහ ගුරුවරු ද මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයේ කොටස්කරුවන් බවට පත් ව ඇත. ‍මේ හේතුවෙන් අධික ලෙස පීඩා විඳින්නේ පාසල් දරුවන් ය. ඒ හේතුවෙන් මානසික සෞඛ්‍ය පිරිහීම ප්‍රධාන වශයෙන් සිදුවේ වේ. පාසල් දරුවන් යාන්ත්‍රික ජීවන රටාවකට කුඩා කාලයේ පටන් ම ගොදුරු වීම දක්නට ලැබේ. දරුවන්ට හොඳ නින්දක්, නියමිත වෙලාවට ආහාර වේලක්,සුදුසු ව්‍යායාම, සැනසිලිදායක පරිසරයක් නොමැතිව ජීවිත අඳුරු වී ඇත.මෙම දැඩි තරගකාරීත්වය නිසා දරුවන්ට ක්‍රීඩා කිරීමට පවා අවස්ථාවක් නොලැබේ. ආගමික, සංස්කෘතික උත්සවවලට සහභාගීවීමට අසල්වැසියන්, ඥාති හිතමිතුරන් මුණගැසීමට පවා ඉඩ නොලැබේ. එපමණක් නොව දරුවන්ට ස්වභාවික පරිසරය සමඟ ගැටෙමින් සතුට අත්විඳීමට පවා වේලාවක් නොමැති තත්ත්වයක් දක්නට ලැබේ.

දරුවන් විනෝදය සඳහා හෝ තනිකම මඟ හරවා ගැනීම සඳහා තමන්ගේ සම වයස් කණ්ඩායම් ඇසුරට යොමු වන අතර සමහර අවස්ථාවල දී වැරදි ක්‍රියාවලට පවා යොමු වේ. පාසලේ දී අවශ්‍ය කරන පිළිගැනීම නැති වීම, සාධනය අඩු වීම නිසා පවුලෙන් අයහපත් ප්‍රතිචාර ලැබීම සිදුවේ. මේ නිසා ඔවුන් ඇතැම්විට දුම් බීම, මත්ද්‍රව්‍ය භාවිතය, නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවලට පෙළඹේ. මුදල් සොයා ගැනීමේ අභිලාෂයෙන් නීති විරෝධී ක්‍රියා සහ සොරකම් කිරීමට ද පෙ‍ළඹීම නිසා පසුකාලීනව නොයෙකුත් ගැටලුවලට ද මැදි වී අවසානයේ සමාජ විරෝධී කණ්ඩායම්වලට එකතු වීමෙන් ඔවුන්ගේ අනාගතය සම්පූර්ණයෙන් ම අඳුරු වේ.

ජීවිත සංවිධානය

ළමා විය යනු පුද්ගලයකුගේ ජීවිතයේ සුන්දර, නිදහස් කාලපරිච්ජේදයකි. එයට පසුව එළඹෙන්නේ අභියෝගවලට මුහුණ දෙන අවධියකි. එම නිසා එම සුන්දර ළමා අවධිය, දරුවන්ට රිසි සේ අත්විඳීමට නොලැබීම අභාග්‍යසම්පන්නය. වයසින් වැඩෙත්ම නිරන්තර වෙනස්වීම්වලට මුහුණ දෙමින් ජීවත් වීමේ සංකීර්ණ බව වැඩි වේ. එම නිසා නව යොවුන්වියට මෙන් ම යොවුන් වියට එළඹෙන විට විවිධ අභියෝගවලට මුහුණ දීම සදහා කුඩා කාලයේ සිට ම ජීවිතය සංවිධානය කර ගැනීමට පුරුදු පුහුණු විය යුතු ය‍. මෙහි දී චිත්ත‍වේග පාලනය, නිවැරදි තීරණ ගැනීමට හුරු කිරීම ඉතාම වැදගත් ය. මනෝවිද්‍යාත්මක සලකා බැලීමේ දී චිත්තවේග විශාල ප්‍රමාණයක් තිබේ. සරලව ගත් විට, සතුට, කෝපය, දුක, බිය, විස්මය, අපේක්ෂාභංගත්ව හැඟීම, උද්‍යෝගය, බලාපොරොත්තු තබා ගැනීම, වේදනාව, යනාදිය දැක්විය හැකි ය. පුද්ගලයකුගේ ජීවිතයේ දී මෙම චිත්තවේග ධනාත්මකව මෙන් ම සෘණාත්මකව බලපායි. සතුට, උද්‍යෝගය ධනාත්මක වශයෙන් බලපාන අතර, බිය, ශෝකය, කෝපය, දුක, වේදනාව, අපේක්ෂාභංගත්ව හැගීම් සෘණාත්මකව බලපායි.

දුක, ශෝකය යන චිත්තවේග නිසා පුද්ගලයා සමාජය තුළ තනි වේ. උදාහරණ වශයෙන්‍ යම් පුද්ගලයකු සිනාසෙන විට එම පුද්ගලයා සමඟ සිනා වීමට පිරිස සිටීමත්, එම පුද්ගලයා හඬන විට එම පුද්ගලයා සමඟ හැඬීමට කිසිවකු නොසිටීමත් පෙන්වා දිය හැකි ය. මෙසේ සමාජයේ තනිවීම තුළ දැඩි ආතතියට පත්වීම නිසා ආවේග පාලනය කර ගැනීමට නොහැකිව පුද්ගලයකු ඉක්මන් තීරණ ගැනීමට පෙළ‍‍ඹේ. මේ තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුණහොත් පුද්ගලයා මානසික පීඩනයට සහ ආතතියට පත් ව, චර්යාමය ලක්ෂණ වන සමස්ත පෞරුෂය පවා වෙනස් වීමට ලක් වේ. මෙහි දී විනාශකාරී හැඟීම් ඇති වී, තමන්ව විනාශ කර ගැනීමට මෙන් ම අනෙකුත් සමාජයේ විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමට පෙළෙඹේ. ‍පුද්ගලයකුගේ චිත්තවේග පාලනය කර ගැනීමට හැකි වන්නේ තමන්ගේ හැකියා, අත්දැකීම් තුළින් චිත්තනය සුබවාදීව හැසිරවීම මඟිනි. මේ සඳහා වැඩිහිටියකුගේ උදව් අවශ්‍ය විය හැකි අතර සවන්දෙන්නකු මඟින් ඉතා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට ගත යුතු ය. පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා සෞන්දර්යාත්මක වින්දනයට, සමාජ කටයුතුවල යෙදීමට, ක්‍රීඩා ආදී පොදු කටයුතුවල යෙදීමට අවස්ථාව සලසා දිය යුතු ය. එමෙන් ම සම වයස් කණ්ඩායම්වල සුබවාදී ඇසුරක් ද ඔවුනට අවශ්‍ය වේ.

පාසල් විෂය නිර්මාණය වී තිබෙන්නේ සමබර පෞරුෂ වර්ධනය සිදු වීමට හැකි වන පරිදි ය. මොළයේ වම් පස සහ දකුණු පස සමබරව වර්ධනය වී ක්‍රියාත්මක වන ආකාරයට පාසල් පාඨමාලාවට විෂයයන් ඇතුළත් කර තිබේ. මොළයේ වම්පස ගණිත, මිණිත, තර්කානුකූල, විශ්ලේශණාත්මක කාර්යයන් සඳහාත්, මොළයේ දකුණු පස වින්දනාත්මක, සෞන්දර්යාත්මක, ක්‍රීඩා වැනි චාලක කාර්යයන් සඳහාත් ක්‍රියාත්මක වේ. පාසල් විෂය මාලාව තුළ මොළයේ දෙපසම සමබරව ක්‍රියාත්මක වන පරිදි විවිධ විෂයයන් දරුවන්ට හැදෑරීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ සමඟම සාරධර්ම, අගය පද්ධතීන් දියුණු කර ගැනීමට අවස්ථාව සැලසේ. මේ අනුව පාසල් විෂය මාලාව තුළින් පුර්ණ පෞරුෂයක් අත්කර ගැනීමට අවස්ථාව ඇති කර තිබේ .

සමබර පෞරුෂය

එළඹෙන විෂය මාලා සංශෝධන තුළින් අපි තව දුරටත් දරුවන්ගේ සමබර පෞරුෂය වර්ධනයට, ජීවන කුසලතා අත්පත් කර ගත හැකි චර්යාමය වෙනසකට පාසල තුළින් හොඳ අත්තිවාරමක් දැමීමට බලාපොරොත්තු වෙමු.

දරුවන්ගේ සෑබැ දක්ෂතා, ළැදියා හදුනාගෙන , ඒ අනුව ඔවුන්ගේ අනාගතය සැලසුම් කරගත හැකි පරිදි ඔවුන්ගේ තෝරා ගැනීම්වලට ඉඩ ලබා දිය යුතු ය. සාමාන්‍යයෙන් පාසලේ ප්‍රාථමික, ද්වීතියික, අවධියේ දී සිසුන් සඳහා පොදු විෂය මාලාවක් ක්‍රියාත්මක වේ. ජ්‍යෙෂ්ඨ ද්වීතියික අවධිවල දී ඔවුන්ගේ තේරීම පරිදි විශේෂ විෂය මාලාවකට යොමු වේ. වර්තමාන විෂය මාලාව බොහෝ විට ශාස්ත්‍රීය අංශයට වැඩි බරක් දී තිබෙන බව පිළිගත යුතු ය. ප්‍රායෝගික දක්ෂතා ලබා ගන්නට දරුවන්ට තිබෙන්නේ සීමීත ඉඩකඩකි. ඇත්ත වශයෙන් ම පවතින විභාග ක්‍රමය හේතුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට සිසුන් යොමු වන්නේ නැත. මෙහි දී සිදු වන්නේ විෂය සන්ධාරයට ප්‍රමුඛත්වය ලබා දීමය. එම විෂය සන්ධාරය පාසලේ දී හෝ පෞද්ගලික පන්ති මගින් සම්පූර්ණ කරගෙන විභාග සඳහා සූදානම් වී ඉහළ ප්‍රතිඑල ලබා ගැනීමට දරුවන් පෙළඹෙන බැවින් වර්ධනය විය යුතු ප්‍රයෝගික හැකියා, බලාපොරොත්තු වන ආකාරයෙන් ම දරුවන් තුළ වර්ධනය වන්නේ නැත. දරුවන් ශාස්ත්‍රීය වශයෙන් දැනුම අත්පත් කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙමින්, එම ගබඩා කර ගන්නා දැනුම, විභාගවලදී මුදා හැරීමට යොමු වී සිටී. අනාගත වෘත්තියකට හෝ අනාගත කාර්යයන් සඳහා අවශ්‍ය කරන හැකියා සහ ආකල්ප, විශේෂයෙන්ම වැඩ ලෝකය පිළිබඳ හොඳ ආකල්ප සිසුන් තුළ වර්ධනය වීම අඩු වීම නිසා වැඩ ලෝකයට ගැළපෙන පරිදි වෘත්තිකයන් බවට පත්වීමේ දී ඔවුන් තුළ අඩුපාඩුකම් දක්නට ඇත.

වෘත්තීය මාර්ගා්පදේශය

පොදු විෂය මාලාවක් හැදෑරීම තුළ එක් එක් සිසුවාගේ විවිධ විශේෂිත හැකියා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත. උසස් අධ්‍යාපනය සඳහා පවතින තරගයේ දී, අත හැරෙන්නන්ට තම අනාගතය සාර්ථක කර ගැනීමට විකල්ප ක්‍රමවේද මේ දක්වා නොපැවතුණි. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව වෘත්තීය විෂයමාලාව ඔස්සේ නියාමන මට්ටමින් 12 සහ 13 ශ්‍රේණිවල ආරම්භ කළ වෘත්තීය විෂය ධාරාව සමග වෘත්තීය විෂය 26 ක් ජ්‍යෙෂ්ඨ ද්වීතියික අවධියට හඳුන්වා දීම තුළින් දරුවන්ට තම අනාගත වෘත්තියකට පිවිසීමට අවශ්‍ය කරන ප්‍රායෝගික හැකියා, දැනුම් පදනම තුළ ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. දහතුන් වසරකට සහතික කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහනට එකතු වන සිසුහු ප්‍රථමයෙන් පොදු විෂය සංරචකයන් ඔස්සේ පහත දැක්වෙන පොදු කුසලතා සමග වෘත්තීය මාර්ගෝපදේශය ද ලබා ගනිති.

*සන්නිවේදන කුසලතා ( සිංහල / දෙමළ)

*ව්‍යාපාර ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා

*සෞන්දර්යාත්මක රසවින්දන කුසලතා

*තොරතුරු හා පරිගණක තාක්ෂණය

*පුරවැසිභාවය ආශ්‍රීත කුසලතා

*සමාජ යහපැවැත්ම උදෙසා කුසලතා

*සෞඛ්‍ය හා ජීවන කුසලතා

*ව්‍යවසායකත්ව කුසලතා

තව ද වෘත්තීය විෂය ක්ෂේත්‍ර 07 ක් ඔස්සේ , වෘත්තීය විෂය 26 කට අදාළ දැනුම සහ ප්‍රයෝගික කුසලතා ද ලබා ගනී. එම වෘත්තීය ක්ෂේත්‍ර වනුයේ,

*සෞඛ්‍ය හා සමාජ සේවා

*සමාජ - සංස්කෘතික අධ්‍යයනය

*නිර්මාණකරණය

*පරිසර ආශ්‍රීත අධ්‍යයනය

*කෘෂි හා ආහාර තාක්ෂණවේදය

*තාක්ෂණික අධ්‍යයනය

*සංචරණය හා ආගන්තුක සත්කාරය

වෘත්තීය විෂයය හැදෑරීමේ දී පාසලේ දී ලබා ගන්නා දැනුම පදනම් කරගත් ප්‍රායෝගික කුසලතාවලට අදාළව සිසුන් කර්මාන්තශාලාවල දී ප්‍රායෝගික පුහුණුවකට යොමු කරනු ලැබේ. අපොස සාමාන්‍ය පෙළ අවසන් කර, ජ්‍යෙෂ්ඨ ද්වීතීයක මට්ටමේ ශාස්ත්‍රීය විෂය ධාරාවට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන එමෙන් ම පාසලෙන් ගිලිහී, අනාගත වෘත්තියකට ඇතුළත් වීමට හැකියාව නොලබන සිසුන් විශාල පිරිසකට මෙමගින් ඉතා හොඳ අනාගතයක් උදා වේ. මෙම සිසුන්ට වෘත්තීය විෂය ධාරාව හදාරා අවසානයේ දී සහතිකයක් පිරිනැමෙන අතර ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ 04 වන මට්ටම ( NVQ Level 4 ) ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සියල්ල සලකා බැලීමේ දී නව විෂය මාලා සංශෝධන තුළින් ශ්‍රී ලංකාවේ සෑම දරුවකුටම තමන්ගේ දක්ෂතාවයන් සහ ලැඳියාවන්ගෙන් අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දීමට පුළුවන.

මදාරා මුදලිගේ

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>