Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

සංචාරක කර්මාන්තයට අත්වැල්

$
0
0
මැයි 7, 2019 01:00

ආර්ථික විග්‍රහය

ආයෝජක සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සැලකිල්ල යොමුවන දර්ශක කීපයකි. ඒ අතරින් ගෝලීය ත්‍රස්ත දර්ශකය ද පරිහරණය කිරීමට දැන් දැන් ඔවුහු පෙළඹී සිටිති. හේතුව රටක 'ව්‍යාපාරික සෞඛ්‍යයේ'නාඩි වැටීම එම දර්ශකය තුළින් පෙන්නුම් කිරීමයි.

ගෝලීය ත්‍රස්ත දර්ශකයේ 2018 වාර්තාව පවසන අන්දමට '1970 සිට 2017 කාලය තුළ ලොව පුරා ත්‍රස්ත ක්‍රියා 1,70,000 ක් වාර්තාව තිබේ.'එම වාර්තාවට අනුව 2017 වසර තුළ පමණක් ත්‍රස්ත ක්‍රියා නිසා සිදුවූ ආර්ථික හානිය අමෙරිකා ඩොලර් බිලියන 52 කි. ත්‍රස්ත ක්‍රියා නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 18814 කි. ත්‍රස්ත ක්‍රියා උග්‍ර වූ 2014 වසරේ මේ නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 6466 කි. නයිජීරියාවේ මරණ සංඛ්‍යාව 5950 කි. පකිස්තානයේ මරණ 912 කි. 2016 වසරේ රටවල් 67 කින් ත්‍රස්ත ක්‍රියා වාර්තා වී තිබේ.

ලෝක ත්‍රස්තවාදයේ එසේත් නැතිනම් ගෝලීය ත්‍රස්තවාදයේ නවතම ඉලක්කය ශ්‍රී ලංකාවයි. ආගමික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ එම ප්‍රහාරයෙන් දේශීය මෙන්ම විදේශීය පිරිස් ඛේදජනක ලෙස විනාශ වූහ. සිදුවූ භෞතික සම්පත් හානිය තවම හරිහැටි ගණන් බලා නැත. සිදුවූ එක මරණයකට රුපියල් දසලක්ෂය බැගින් දැන් වන්දි ගෙවීම් සිදුකරයි. පුනරුත්ථාපනය කළ යුතු දේපොළ හා ව්‍යාපාර වෙනුවෙන් ද දැවැන්ත වියදමක් දැරීමට ඉදිරියේදී සිදුවේ. මේ සියල්ල සඳහා වැය කළ යුතුව ඇත්තේ රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතු මහජන මුදල් ය.

ගෝලීය ත්‍රස්තවාදය

මුදල් ඇමැතිවරයා කොළඹ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේ ත්‍රස්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවන පාඩුව ඇ. ඩොලර් බිලියන 1.5 ක් පමණ විය හැකි බවයි.

මුදල් ඇමැතිවරයා ඉහත මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේ සංචාරක පැමිණීම සියයට 10 කින් අඩුවුවහොත් ඇ. ඩොලර් දසලක්ෂ 500 ක පමණ පාඩුවක් සිදුවන බවයි.

'අපේ ආර්ථිකය පවතින තත්ත්වයත් එක්ක මේ තත්ත්වයනට මුහුණදී ඉක්මනින් අපට යථා තත්ත්වයට පත්වන්නට පුළුවන්. ඊජිප්තුව වසර එකහමාරක පමණ කාලයක් තුළ යථා තත්ත්වයට පත්වුණා. ඉන්දුනීසියාව, ටියුනීසියාව වගේ රටවල් යථා තත්ත්වයට පත්වුණා. උද්ධමනය අඩුවෙමින් බැංකු පොලී අනුපාත අඩුවෙමින්, රුපියල ශක්තිමත් වෙමින්, අපනයන ශක්තිමත් වෙමින් තියෙන මේ මොහොතේ අපට මෙයට මුහුණ දෙන්න පුළුවන්.'

'ගෝලීය ත්‍රස්තවාදි දර්ශකයට අනුව ලෝකයේ හැම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානමක සිටිනවා. සෑම රටක්ම පාහේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක්වීමේ අවදානමක් තිබෙනවා. අපි මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට ලෝකය සමඟ අත්වැල් බැඳගත යුතු යැයි ඇමැතිවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා ප්‍රකාශ කළ පරිදි 30 වැනිදා තව රටක් ගෝලීය ත්‍රස්තවාදයට ඉලක්ක විය. බුර්කිනා ෆාසේ බටහිර අප්‍රිකාවේ කුඩා රාජ්‍යයකි. එහි පල්ලියකට වඩා වැදුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් පූජකවරයා ඇතුළු හයදෙනෙකු ඝාතනය කර දැමූහ.

අල්කයිඩා සහ අයි. එස්. ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වන ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් 2014 සිට එරට ක්‍රියාත්මක වෙයි. එසේම පිලිපීනයේ මියන්මාරයේ සහ තවත් රටවල් කීපයක ත්‍රස්ත ක්‍රියා ගිය සතියේ වාර්තා විය. ගෝලීය ත්‍රස්තවාදය සෑම තැනකම ක්‍රියාත්මක වන බව මෙමඟින් ඔප්පු වේ. මෙසේ උන්හිටි ගමන් ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම නිසා එබඳු රටවලට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අමාරු වේ. සංචාරක ප්‍රවර්ධනය ද අසීරු වේ.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් සිය ජාතික ආදායම වැඩිකරගන්නා ගමන් සෘජු හා වක්‍ර රැකියා රාශියක් උත්පාදනය කර ගනී. 2017 වන විට සෘජු රැකියා 156363 ක් එමඟින් නිර්මාණය කර තිබූ අතර වක්‍ර රැකියා ප්‍රමාණය 202846 කි.

2017 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2116407 කි. ඔවුනගෙන් ලද ආදායම රුපියල් දසලක්ෂ 598143 කි.

2018 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2333796 කි. පසුගිය සතියේ නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඒ බව පවසයි. මෙය 2017 වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමකි.

2019 මේ වසරේ ජනවාරි මාර්තු තුන්මාසය තුළ සංචාරක පැමිණීම 740600 කි. 2018 ජනවාරි - මාර්තු තුන් මාසය තුළ සංචාරක පැමිණීම 707924 කි. මේ අනුව 2019 පළමු කාර්තුවේ සංචාරක පැමිණීම 2018 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 4.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මැයි 03 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකු සතිපතා දර්ශකය කියයි.

මෙසේ සංචාරක පැමිණීම වැඩිවත්ම ඉන් උපයාගත් ආදායම ද ක්‍රමයෙන් වර්ධනය විය. 2019 ජනවාරි - මාර්තු සංචාරක ඉපැයීම අමෙරිකා ඩොලර් දසලක්ෂ 1390 ක් හෙවත් රුපියල් බිලියන 249.9 කි. 2018 ජනවාරි මාර්තු ඉපැයීම ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 1328 කි. එම මුදල රුපියල් බිලියන 205.7 කට සමානය. 2019 මාර්තු මාසයේ පමණක් සංචාරක ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 458.6 කි. එහෙත් 2018 මාර්තු මාසයේ සංචාරක ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 438 කි. 2019 මාර්තු මාසයේ සංචාරක පැමිණීම 244328 ක් වූ අතර 2018 මාර්තු සංචාරක පැමිණීම 233382 කි.

අඩපණ වූ කර්මාන්ත

මෙසේ සංචාරක කර්මාන්තය එහි ඉහළම අවස්ථාවට ළංවෙමින් තිබියදී කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය. දැන් එය සෘජු හා වක්‍ර රැකියා රාශියක් අඩපණ කර තවත් විශාල පිරිසකගේ ජන ජීවිතය අවුල් කර ඇත. ගමනාගමන අපහසුතා සහ පිටපළාත්වලින් පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවීම නිසා ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් ගොවියෝ සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ගිය සතියේ විරෝධතා පැවැත්වූහ. දඹුල්ල වෙළෙඳ සංකීර්ණය තුළ තත්ත්වය ද එබඳුය. කොළඹදී රැස්වීමක් පැවැත්වූ ආනයනකරුවෝ තමන් මුහුණ දෙන ගැටලු මාධ්‍ය හමුවේ කියා පෑහ. මේ අතර වාණිජ මණ්ඩල ඒකාබද්ධ නිවේදනයක් මඟින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය අගය කළහ.

සංචාරක හෝටල් අංශය සහ ගුවන් ගමන් අංශය පසුගියදා රැස්වීමක් පවත්වා තමතමන්ගේ කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යා යුතු අන්දම සාකච්ඡා කළහ. දිනකට සංචාරකයන් 5000 - 6000 අතර ප්‍රමාණයක් රටට ඇතුල් වුවත් මේ වන විට එම සංඛ්‍යාව දිනකට 2000 දක්වා අඩුව ඇති බව මෙම සාකච්ඡාවේදී කියැවිණි. එසේම පැමිණීම අවලංගු කිරීම් සියයට 10 කින් පමණ වාර්තා වන බව ද ඒ සමඟ කියැවිණි.

ඉන්දුනීසියාව, තායිලන්තය සහ ටියුනීසියා සංචාරක ඉලක්කවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ විට එම රටවල හෝටල සහ ගුවන් ගමන් අංශ එකමුතුව සාකච්ඡාකොට සිය කර්මාන්ත පවත්වාගෙන යෑමට විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කළහ. එසේම හෝටල් සහ ගුවන් ගමන් අංශ දෙක එක්ව පොදු වැඩසටහනකට එකඟවීමේ අවශ්‍යතාව මෙම රැස්වීමේදී අනුමත විය.

ඒ අනුව නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රවේශ පත්‍ර සඳහා සහන ලබාදීම කෙරෙහි ඔවුහු සිය අවධානය යොමු කළහ.

ලෝන්ලි ප්ලැනට් සඟරාව ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව උද්දීපනයක් ලැබුණි. පාස්කුවේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරකයන් අතර ඇතිවූ තැතිගැනීම දුරුකරනු වස් නව ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇරැඹීමේ යෝජනාවක් දැන් ආණ්ඩුව හමුවේ ඇත.

සිලෝන් චෙම්බර්ස් ඔෆ් කොමර්ස් (වාණිජ මණ්ඩලය) ඉතා දීර්ඝ සාකච්ඡාවක් පවත්වමින්, සංචාරක කර්මාන්තය ගැන පමණක් නොව සමස්ත ආර්ථිකයම සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය යෝජනාවලියක් සකසා දැනටම එය ආණ්ඩුවේ වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කර හමාරය. එසේම ඔවුහු ජාතික ආරක්ෂාව සහතික කර ගැනීම පිළිබඳව ද අදහස් පළකර ඇත.

හෝටල් කර්මාන්ත අංශය අවධාරණය කර ඇත්තේ වත්මන් තත්ත්වය නිසා මූල්‍ය සම්පත් හිඟයකට මුහුණ දී ඇති ආයතන ආරක්ෂා කර ගන්නා අන්දමයි. අඩු පොලී ණය සහන, වන්දි ආදිය කඩිනම් කළ යුතු යයි ඔවුහු කියති.

ජාත්‍යන්තර සහාය

ශ්‍රී ලංකාවේ සංචා‍රයේ යෙදීමෙන් වළකින ලෙස රටවල් රාශියක් සිය රටවැසියන්ගෙන් ඉල්ලීම් කර තිබේ. මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා මෙරට සිටින තානාපති ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළ යුතු යැයි ද හෝටල් අංශය රජයෙන් ඉල්ලීම් කර තිබේ.

සංචාරක කර්මාන්තය යළි පුනරුත්ථාපනය කර ගැනීමට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළකට දැන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ කඩිනම් වෙයි.

මැයි මස 21 - 23 දක්වා ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වෙන IMEX සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව සිය සංචාරක කර්මාන්තය යළි නංවාගැනීමේ උත්සාහයක යෙදීමට නියමිතය. රටවල් 86 ක විවිධ මට්ටමේ නියෝජිතයෝ 3962 ක් එහිදී එකට එක්ව සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවලට සහභාගි වෙති.

ප්‍රධාන ගුවන් ගමන් ආයතන, සංචාරක හෝටල් ජාලයන්, සේවා සැපයුම් ආයතන, කලාපීය සංචාරක නියෝජිත අංශ මේ ප්‍රදර්ශනයට සහභාගි වෙති. මැයි මස මුල් සතියේ ස්පාඤ්ඤයේ සැන් සෙබස්තියන්හි පවත්වන ලද UNWTO සාකච්ඡාවේ අරමුණක් වූයේ සංචාරක කර්මාන්තයේ රැකියා උත්පාදනයයි. මෙහිදී ද ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝක ප්‍රජාව හමුවේ තැබුවේය.

ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලබන සංචාරක උදාව ප්‍රදර්ශනය ජූනි 7 - 8 දෙදින පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංචාරක ක්‍රියාකාරීන්ගේ සම්මේලනය, 9 වැනි වතාවට පවත්වනු ලබන මේ ප්‍රදර්ශනය තුළින් ද ශ්‍රී ලංකාව සිය පණිවිඩය ඉදිරිපත් කරනු ඇත.

ඩුබායි හි අප්‍රේල් 28 මැයි 01 දක්වා පවත්වන ලද ඒ. ටී. එම්. සැණකෙළියට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදේශීය නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය පහදාදීමේ නිරත විය. මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය දැන් ක්‍රියාත්මක වෙයි.

ඩුබායි ATM සැණකෙළියේදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 50 ක් පමණ සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව සිය සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සවිස්තරව කරුණු හෙළි කළාය.

සී. එන්. එන්. යූරෝනිව්ස්, කලීජා ටයිම්ස්, ඩුබායි අයි ආදී මාධ්‍ය ආයතන ද ඒ අතර වූහ. 2019 වසර සඳහා අරඹා ඇති කිසිඳු සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් නතර නොකරන බව එහිදී කිෂූ ගෝමස් මහතා මාධ්‍යවේදීන්ට පැවැසීය.

සත් පුද්ගල කමිටුව

මේ අතර සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා පත්කරන ලද සත් පුද්ගල කැබිනට් ඇමැති කමිටුව සිය ප්‍රථම හමුව ඊයේ සඳුදා පැවැත්වීමට නියමිතව තිබුණි. ආරක්ෂාව, මෘදු ණය පහසුකම් සැපයීම සහ විදේශ රටවල් විසින් පනවා ඇති 'ගමන් තහනම්'ඉවත් කිරීම සඳහා මේ කමිටුව කටයුතු කරනු ඇතැයි ව්‍යාපාරික අංශ විශ්වාසය පළ කරති.

හානියට පත් සංචාරක හෝටල් සහ ගොඩනැගිලි පුනරුත්ථාපනයට අවශ්‍ය රක්ෂණ ගෙවීම් දැන් ඇරැඹී ඇත. ෂැන්ග්‍රිලා හෝටලය සඳහා රක්ෂණ ගෙවීම් සිදුවිය. එසේම සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල් සඳහා ද ළඟදීම රක්ෂණ ගෙවීම් සිදුකෙරේ. පෞද්ගලික ගොඩනැගිලි සඳහා රුපියල් දසලක්ෂ 5 ක උපරිමයට යටත්ව රක්ෂණ ගෙවීමට සැලකිල්ල යොමුව තිබේ. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය දැන් සිය ව්‍යාපාරික කටයුතු අරඹා තිබේ.

එක් මරණකරුවකු වෙනුවෙන් රුපියල් දසලක්ෂයක වන්දියක් ද, තුවාලකරුවකුට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ද වන්දි ගෙවීම් දැන් ඇරැඹී ඇත. රක්ෂණ ගෙවීම් සඳහා රුපියල් දසලක්ෂ 500 ක් පමණ වැය වෙතැයි වාර්තා වේ. ආසියානු සංවර්ධන බැංකු සමුළුවේදී එම බැංකු සභාපති ටකිහිකෝ නකාඕ මහතා හමුවූ ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයා සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා සහාය ඉල්ලූ බව පීජී සමුළුවෙන් ලැබෙන ප්‍රවෘත්ති වාර්තා කියයි.

කරුණාරත්න අමරතුංග


ජල සිදුණ මාවුස්සාකැලේ අපුරුව

$
0
0
මැයි 7, 2019 09:30

පවතින වියළි කාළගුණය සමග මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම ඉතා පහළ මට්ටමකට පැමිණ ඇත.

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජලය පතුළටම සිඳී යාමත් සමග ජලාශයේ මධ්‍යයේ මේ දිනවල වර්ණවත් මල් විශේෂයක් පිපී තිබීම ඉතා අලංකාර දසුනක් බවට පත්ව ඇත.

දම්, සුදු හා නිල් පාට වර්ණයන්ගෙන් යුත් මෙම අලංකාර මල් විශේෂය පොකුරකට පිපී ඇති අතර එම ශාඛයේ කටු දක්නට ඇත.

මල් පිපී සති කීපයකින් පරවී බව ප්‍රදේශයේ ජනතාව පවසති.

ජලාශයේ ජලය සිඳී යන සෑම කාලයකදීම මෙම අලංකාර මල් විශේෂය පිපෙන අයුරු දක්නට ලැබිය හැකි බව එය නැරඹීමට පැමිණෙන ජනතාව පවසති.

(ඡායාරූප හා සටහන- මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

අර්බුද සමයේ කාගෙත් යුතුකම

$
0
0
මැයි 8, 2019 01:00
අසේල කුරුළුවංශ

දිගන ප්‍රහාරයේදී අන්තවාදී ලෙස හැසිරුණු බෞද්ධ පිරිස් හික්මවා ගැනීමට මහා සංඝරත්නයට නොහැකි වූයේ ඇයිද යන ප්‍රශ්නය ඇසූ ජාත්‍යන්තරය එම ප්‍රශ්නය හෙට මෙරට ඉස්ලාම් ආගමික නායකයින්ගෙන් අසන්නට ඉඩ ඇත. ඒ සඳහා ලබා දිය හැකි හොඳම පිළිතුර ඔවුන් පෙරට පැමිණ මෙම සිදුවීම් මාලාවට එරෙහිව හඬ නැගීමය. මාවනැල්ල සිදුවීමේදී තමන් අතින් වූ අත්වැරැද්ද නිවැරදි කර ගන්නට දැන් ඉස්ලාම් ආගමික නායකයන්ට අවස්ථාව ලැබී ඇත. තමන් ජීවත්වන සමාජය සුරක්ෂිත කිරීම පිණිස සෑම පුරවැසියකුටම වගකීමක් තිබේ.

ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු අප හමුවේ පැවැති ප්‍රධානතම අභියෝගය වූයේ ජාතීන් අතර සාමය හා සංහිඳියාව ගොඩනැඟීමය. ත්‍රස්තවාදය පරාජය කිරීමටත් වඩා අසීරුවූ කරුණක් වූ මෙය සාක්ෂාත් කර ගැනීම පිණිස පසුගිය සිවු වසරක කාලය තුළ ආණ්ඩුව ප්‍රමාණාත්මක වෙහෙසක් ගත් බව මෙරට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා පිිළිගන්නා කරුණකි. අන්තවාදය පිටු දැක සියලු ජාතීන් සාමයෙන් හා සමඟියෙන් එකට අත්වැල් බැඳගත් සමාජයක් පිළිබඳ සැවොම සිහින දකිද්දී අන්තවාදී අදහස් දරන ආගමික කණ්ඩායමක් නොසිතූ මොහොතක එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් ලාංකික ජනතාව අන්ද මන්ද වී සිටින බව පසුගිය දින කිහිපය තුළ ජනතාවගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් මනාව පැහැදිලි විය. දෙවන පාසල් වාරය සති දෙකක පමණ කාලයකින් කල් දැමීමේ සිට බොහෝ දේ ආපස්සට කැරකී ගියේය. බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ ජීවත් වූ ජනතාව අතරට යළිත් මරණ බිය පැමිණ තිබේ. බහුවාර්ගික රටක එකම සහෝදර කැලක් මෙන් ගොඩනැගෙන්නට උත්සාහ කළ පිරිස් අතර බෙදීම් නිර්මාණය වෙමින් ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් බලන තත්ත්වයක් නිර්මාණය වී ඇත. විදේශ සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ආර්ථිකය ගොඩනැඟීමට ආණ්ඩුව තුළ වූ අපේක්ෂාව සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටීමට ලක්ව තිබේ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු පැවැති ආණ්ඩුවට වඩා ඉදිරියට ගොස් ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟන්නට වත්මන් ආණ්ඩුව පියවර රැසක් ගත්තේය. යම් යම් ජාතිවාදී හා ආගම්වාදී කණ්ඩායම්වල සුළු ක්‍රියාකාරකම් ඉඳහිට ඉස්මතු වුවද සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව සාමකාමී රටක්ය යන පිළිගැනීම ජාත්‍යන්තරය තුළ ගොඩනැඟීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් සංචාරය සඳහා ඉතා ආරක්ෂිත හා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාවට පිිළිගැනීමක් ලබා දුන්නේය. දැන් ඒ සියල්ල කණපිට හැරී තිබේ.

නිවැරදි මග පෙන්වීම

පවතින අර්බුදයයෙන් නැගී සිටීමට ජාතියක් ලෙස අප බොහෝ දේ කළ යුතුව ඇත. ඒ සඳහා මුලින්ම කළ යුතුව තිබෙන්නේ ජාතීන් අතර විශ්වාසය හා සහෝදරත්වය වර්ධනය කිරීමය. ගත වූ සිවු වසරක කාලය තුළ යම් තරමකට එය ගොඩනැඟෙමින් තිබිණි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකට එක්ව අවුරුදු උත්සව සංවිධානය කිරීම, වෙසක් දිනට මුස්ලිම් ජනතාව මූලීකත්වය ගෙන දන්සල් පැවැත්වීම ඇතුළු බොහෝ සමාජ ක්‍රියාකාරකම් නිර්මාණය වූයේ මෙම පසුබිම තුළය. මහනුවර දිගන කේන්ද්‍ර කර ගනිමින් පසුගිය වසරේ මාර්තු මස ඇති වූ ගැටුම් හේතුවෙන් ඇතැම් සිංහල හා මුස්ලිම් පිරිස් අතර ගොඩනැඟුණු යම් යම් අවිශ්වාසයන් සියල්ල තුනීවී ගියේ සිංහල හා මුස්ලිම් ජනතාව එක්ව සිදු කළ මෙම කටයුතු මෙන්ම බෞද්ධ හා ඉස්ලාම් ආගමික නායකයින්ගේ නිවැරදි මඟ පෙන්වීම නිසාය. දිගන සිදුවීමට පසුව ඇතිවූ මාවනැල්ල නගරයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය ජාතීන් අතර ගැටුමක් දක්වා දිග් නොගැසුණේ ආගමික නායකයන් මූලිකත්වය ගෙන ජාතික සමඟිය වෙනුවෙන් දැමූ ශක්තිමත් පදනම නිසාය. එසේ වුවත් දැන් ඒ සියල්ල දෙදරා ගොස් තිබෙන්නේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින දියත් කළ ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙනි. එය ඇත්තෙන්ම කාලයක් පුරා විවිධ අභියෝග හා දුෂ්කරතා හමුවේ ගොඩනඟන ලද සංහිඳියාව නමැති දෙවොලට එල්ල කළ ප්‍රහාරයකි. තවත් ලෙසකින් කියන්නේ නම් සංහිඳියාව නම්වූ කිරි කළයට ගොම එක් කිරීමකි.

මෙම ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයට පත්වන්නා සේම සංහිඳියාවට එරෙහි මෙරට බලවේග ශක්තිමත් වීමක්ද සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහ­ාචාර්ය උපුල් අබේරත්න මහතා පවසයි. එක් පැත්තකින් රට අස්ථාවරත්වයට පත්වෙද්දී සහ තවත් පැත්තකින් සංහිඳියාවට බරපතළ තර්ජනයක් එල්ලවෙද්දී ජාතීන් අතර සාමය වෙනුවට වෛරය ගොඩ නැගෙන පරිසරයක් නිර්මාණය වීමට වැඩි ඉඩක් පවතින බවත් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි. උන්මත්තක තත්ත්වයෙන් කටයුතු කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ ආකාරයෙන් රට තුළ ක්‍රියාත්මක වීමේදී ඊට සාර්ථකව මුහුණ දීම පිණිස ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය ලබා ගැනීමට සිදුවන බවත් සියලු ප්‍රශ්න දේශපාලනික කෝණවලින් බලා විග්‍රහ කිරීමට යාම මෙම අවස්ථාවේ එතරම් යහපත් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි. රට ස්ථාවර කරමින් ඉදිරියට පවත්වා ගෙන‍ යාමට විධායක ජනපති ක්‍රමය තරම් යහපත් දෙයක් නොමැති බව පැවසූ පිරිස් නිහඬ කරන්නට ද මේ ප්‍රහාරය හේතු වූ බව පවසන ඒ මහතා තනි පුද්ගලයකු වටා සියලු බලය කේන්ද්‍රව පවතින අවස්ථාවක ඒ වටා පවතින සෙසු පද්ධතිය අවුල් වන ආකාරය මෙම සිදුවීම තුළින් රටම දුටු බවද කීවේය.

ඉස්ලාම් ධර්මය

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම හා මෙම ත්‍රස්ත ප්‍රහාරය අතර යම් සම්බන්ධතාවක් ගොඩනඟන්නට උත්සාහ කරන පිරිස් පෙන්වා දෙන්නේ මාවනැල්ල සිද්ධියේ සැකකරුවකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සහය ලබාදී තිබෙන බවයි. එම සිදුවීම අවස්ථාවේ මෙරට මුස්ලිම් ජනතාව එකී සිද්ධිය හෙළාදකිමින් අදහස් දක්වන්නට වැඩි උනන්දුවක් නොදැක්වීමේ අවාසනාවන්ත ප්‍රතිඵල අද අත්විඳින්නට සිදුව තිබෙන්නේ ඔවුන්ටමය. එම අවස්ථාවේ අදාළ සිද්ධිය හෙළා දකිමින් අදහස් දැක් වූ මහනුවර ප්‍රධාන මවුලවී ෆස්රූල් රහ්මන් මවුලවී තුමා පවසන්නේ වෙනත් ආගම්වලට අපහාස කිරීම ඉස්ලාම් ධර්මය තරයේ හෙළාදකින බවයි. එය අල්කුරානයේද සඳහන් බව පෙන්වා දෙන මවිලවිතුමා අන් දහමකට නිගරු කිරීම අන්‍ය ආගමිකයකුට හිංසා කිරීම කිසිදු දහමක් කිිසිදු විටෙක පිිළි නොගන්නා බවද අවධාරණය කරයි. අල්ලාහ් හැර ඔවුන් අයදින දැයට නුඹලා බැණ නොවදින්නයි ශුද්ධ වූ අල් කුරානයේ සඳහන්ය. අන් ආගමිකයින් අදහන කිසිවකට බැණ වැදීම හෙළාදකින ඉස්ලාමය, අන් ආගමකට අපහාස වන අයුරින් හෝ අන් ආගමික හැඟීම් ඇවිස්සෙන අයුරින් ක්‍රියා කිරීම සඳහා කිසි විටෙකත් අනුබල නොදෙන බවද එතුමා කියයි. ඉතිහාසය පුරාවට ලාංකීය මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ප්‍රජාවන් සමඟ සාමයෙන් ජීවත් වෙමින් රටේ සංවර්ධනය උදෙසා නන් අයුරින් දායකත්වය පිරිනැමූහ. ආගමේ හෝ ජාතියේ නාමයෙන් අන් ආගමක් අපහාසයට පත්කරන කිසිදු ක්‍රියාදාමයක් මුස්ලිම් ප්‍රජාව කිසි විටෙකත් අනුමත නොකරන බව පවසන මවුලවී තුමා ඉස්ලාමයේ නාමයෙන් සිදු කෙරෙන කවර හෝ අන්තවාදී ක්‍රියාවක් මුස්ලිම් ප්‍රජාව තරයේ හෙළා දකින බවද කීය. මුස්ලිම් ජාතිකයකු ලෙස උපත ලැබ ඇති නමුත් ඉස්ලාම් ධර්මය නිවැරදිව ඉගෙන නොගත් සුළු පිරිසක් ඉස්ලාම් ධර්මය ඉදිරියට දමමින් සිදු කරන මෙම ම්ලේච්ඡ ක්‍රියා ඉස්ලාම් භක්තිකයින් තරයේ හෙළාදකින බවද එතුමා ප්‍රකාශ කරයි.

පුරවැසි වගකීම

මෙම ප්‍රහාරයත් සමඟ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා දියවඩන නිලමේවරයා එක්ව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිිටියේ ජාති, ආගම් දේශපාලන හා පක්ෂ බේද සියල්ල අමතක කර විපතට පත්වූවන්ට පිහිට වන ලෙසත් යළි මෙවැනි විපතක් රට තුළ ඇති නොවීම පිණිස සියලු දෙනා එක්ව වැඩ කරන ලෙසත්ය. ප්‍රහාරය හෙළා දකිමින් මවුලවී තුමන්ලාද අදහස් දැක්වීමට පෙළඹීම සුබවාදී තත්ත්වයකි. දිගන ප්‍රහාරයේදී අන්තවාදී ලෙස හැසිරුණු බෞද්ධ පිරිස් හික්මවා ගැනීමට මහ සංඝරත්නයට නොහැකි වූයේ ඇයිද යන ප්‍රශ්නය ඇසූ ජාත්‍යන්තරය එම ප්‍රශ්නය හෙට මෙරට ඉස්ලාම් ආගමික නායකයින්ගෙන් අසන්නට ඉඩ ඇත. ඒ සඳහා ලබා දිය හැකි හොඳම පිළිතුර ඔවුන් පෙරට පැමිණ මෙම සිදුවීම් මාලාවට එරෙහිව හඬ නැගීමය. මාවනැල්ල සිදුවීමේදී තමන් අතින් වූ අත්වැරද්ද නිවැරදි කර ගන්නට දැන් ඉස්ලාම් ආගමික නායකයින්ට අවස්ථාව ලැබී ඇත. තමන් ජීවත්වන සමාජය සුරක්ෂිත කිරීම පිණිස සෑම පුරවැසියකුටම වගකීමක් තිබේ. එම වගකීම අප කොතෙක් දුරට ඉටු කර තිබෙන්නේද කියන කාරණය අපගෙන්ම අසන්නට තරම් මෙම ප්‍රශ්නය තුළින් අපට ඉඩකඩ විවර වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුවඇටගම ඥනානන්ද හිමියෝ පවසති.

සාමය, සමඟිය හා සහෝදරත්වය පිළිබඳ ජනතාව හමුවේ අදහස් දක්වන පිරිස් එවැනි ප්‍රකාශ කරනු ලබන්නේ සමාජය කෙරෙහි විශ්වාසය තබා බවත් පෙරළා සමාජය තුළින් ඊට පටහැනි දේ සිදු වන්නේ නම් ඉන් සමාජ අවමානයට හා උපහාසයට ලක්වන්නේ අදාළ ප්‍රකාශ කළ අයම බවත් උන්වහන්සේ පවසති. මේ නිසා සාමය, සංහිඳියාව පිළිබඳ කතා කරන පිරිස් ප්‍රායෝගිකය. ඒ වෙනුවෙන් කැපවිය යුතුව තිබෙන බවත් ඉස්ලාම් ආගමික නායකයින් හමුවේ එම අභියෝගය පවතින බවත් ඥානානන්ද හිමියෝ අවධාරණය කරති. පවතින අර්බුදකාරී වාතාවරණය තුළ සිංහල ජනතාව මුස්ලිම් ජනතාව දෙස යළිත් සැකයෙන් බලන්නට යොමුව තිබෙන බැවින් එය හැකි තරම් නිවැරදි කළ හැක්කේ මුස්ලිම් ජනතාවටම බව පෙන්වා දෙන උන්වහන්සේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් අනුගමනය කරන සමාජ ප්‍රශ්නවලට තුඩු දෙන සංස්කෘතික උපාංග බැහැර කිරීම පිණිස තම ආගමිකයින් යොමු කිරීම ඉස්ලාම් ආගමික නායකයින්ගේ වගකීම බවද අවධාරණය කරති.

මෙම මහා ඛේදවාචකය අප මෙතෙක් ගොඩනඟාගෙන පැමිණි ජාතික සුහදතාවට හා අන්තර් ආගමික සංහිඳියාවට මරු පහරක් වුවත් ඉන් අධෛර්යමත් නොවී එය හැරවුම් ලක්ෂයක් බවට පත්කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින් උනන්දු විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති, බදුල්ල රදගුරු ජේ.වින්ස්ටන්.එස් ප්‍රනාන්දු හිමිපාණෝ පවසති. මතුපිට පමණක් අධ්‍යයනය නොකර සෑම ආගමිකයකුම තමන් අදහන ආගමේ හරය සොයා යා යුතුව තිබෙන බවත් එවිට මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා ආගමික නායකයින් කිිසිදු විටෙක අනුමත නොකරන බව සියලු දෙනාට පසක් වනු ඇති බවත් උන්වහන්සේ පවසති.

ආබාධ ඇති අයට බාධා නැති කරමු

$
0
0
මැයි 8, 2019 01:00
මදාරා මුද­ලිගේ

අාබාධ සහිත පුද්ගලයන් යනු රටේ ආර්ථිකයට දායකත්වය සපයන පුද්ගල කොට්ඨාසයක් ලෙස සිතා රජය මඟින් විධිමත් අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ද වැදගත් වේ. සෑම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයකම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් සම්පාදනය කිරීම අනිවාර්ය කළ යුතු වේ. උදාහරණයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම පෙන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගල සංවිධානවලට අනුව ජනගහනයෙන් ආබාධ සහිත පුද්ගලයන් අවම වශයෙන් 10%-12% අතර සංඛ්‍යාවක් සිටින බව පෙන්වා දී තිබේ . මානසික රෝගයක් වශයෙන් හදුන්වන මානසික ආතතිය හා වයස්ගත වීමත් සමඟ ඇති වන මානසික රෝග ඇතුළු නොයෙකුත් ආබාධ සහිත තත්ත්වයන් ශ්‍රී ලංකාවේ සංගණනවලට ඇතුළත් නොවන නමුත් එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික ආතතියද , අබාධිත තත්ත්වයක් ලෙස පිළිගෙන තිබේ.

‍ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල අාබාධ සහිත අනෙකුත් පුද්ගලයන්ට ලබා දෙන පහසුකම්වලට සාපේක්ෂව අන්ධ පුද්ගලයන්ට යම් තාක් දුරකට වැඩි පහසුකම් ලැබේ . රත්මලානේ අන්ධ විදුහල හා අන්ධ අය සඳහා වන වෙනත් විශේෂ පාසල් හේතුවෙන් අන්ධ පුද්ගලයන්ට අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමට ඒ අනුව හැකි වී තිබේ . ශ්‍රී ලංකාවේ අන්ධ දරුවන්ගේ අධ්‍යාපනය අන් ආබාධ සහිත දරුවන් හා සසඳන විට ඉහළ මට්ටමක පැවතීමට හේතුව එයයි. තව ද ඔවුන්ට නවීන තාක්ෂණයත් සමඟ සම්බන්ධ වෙමින් ඒ පිළිබද අවබෝධයක් ලබා ගනිමින් සමාජගත වීමට අවස්ථාව උදා වී තිබේ. උදාහරණයක් ලෙස අන්ධ පුද්ගලයින්ගේ පහසුව සඳහා ජංගම දුරකථනවලට ඇති Phone Accessibility features හඳුන්වා දී තිබීම පෙන්වා දීමට පුළුවන.එමෙන් ම ඡන්දය භාවිත කිරීමේ දී ඔවුන්ට විශ්වාසවන්ත පුද්ගලයකු රැගෙන යාමට නීතීයෙන් ඉඩ සළසයි. නමුත් තමන්ගේ අබාධිත තත්ත්වය පැහැදිලි කර , වෛද්‍ය සහතිකයක් ලබා ගෙන, තමන්ට විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ ඡන්දය දැමීම සඳහා යාම ඔවුනට ප්‍රායෝගිකව අපහසු දෙයක් බවට පත් ව ඇත . තවම ලංකාවේ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් දක්නට ලැබෙන්නේ බ්‍රේල් ක්‍රමය, සහ සුළු ප්‍රමාණයක පහසුකම් වුව ද විදේශ රටවල අන්ධ පුද්ගලයන් වෙනුවෙන් Tactile Art sensory assistance වැනි ක්‍රමය භාවිතා කරනු ලැබේ . විශේෂයෙන් ම අන්ධ පුද්ගලයන්ට අත්‍යවශ්‍ය යමක් ස්පර්ශ කර අවබෝධ කර ගැනීම සඳහා මෙම ක්‍රම ප්‍රයෝජනවත් වේ . ඡන්දය භාවිතා කිරීමේ දී ද අන්ධ පුද්ගලයන් වෙනුවෙන් Audio මාධ්‍ය භාවිතා කරනු ලබයි. මාර්ග සංඥා භාවිතා කිරීමේදී අන්ධ පුද්ගලයන්ගේ පහසුව සඳහා "you can cross now"වශයෙන් හඬ පණිවිඩ ( Voice Messages ) සකස් කර තිබේ.

බිහිරි පුද්ගලයන්ගේ අවශ්‍යතා

ශ්‍රී ලංකාවේ බිහිරි පුද්ගලයන්ගේ තත්ත්වය සතුටුදායක නැත . මෙරට බොහෝ පාසල්වල සංඥා භාෂා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපනයට තිබෙන ඉඩකඩ සීමා වී තිබේ. එහෙත් දියුණු රටවල බිහිරි පුද්ගලයන්ගේ අධ්‍යාපනය සඳහා සංඥා භාෂා පහසුකම් වැඩි වශයෙන් ලබා දේ. පාසල්වලට ඇතුළත් කිරීමේ දී බිහිරි පුද්ගලයන්ට සෑම පහසුකමක් ම ගැටලුවකින් තොරව ලබා දීමට කටයුතු කෙරේ. දියුණු රටවල ‍බිහිරි පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා පහසුකම් ලබා දීමට ඒ රටවල රජයන් විසින් උපරිම දායකත්වය ලබා දේ. ශ්‍රවණ දුර්වලතා සහිත පුද්ගලයන්ගේ පහසුව සඳහා පොදු ස්ථානවල දියුණු තාක්ෂණික මෙවලම් සවි කර තිබේ. උදාහරණයක් වශයෙන් හෝටල්වල හදිසි අවස්ථාවක් ඇති වූ විට,අබාධ සහිත වූවන්ට ඒ බව දැන්වීම සහ Vibrational sensors, Flashlight ආදිය සවි කර ඇත. දියුණු රටවල බිහිරි පුද්ගලයන්ට ලබා දෙන පහසුකම් හේතුවෙන් ඔවුන්ට සමාජගත වීමට වැඩි අවස්ථාවක් හිමි වේ. දියුණු රටවල සිනමාහල්වල දී උප ශිර්ෂ ( Sub Title ) පමණක් නොව පෙළ විස්තරය ( Text Description) පහසුකම ද බිහිරි පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙනු ලබයි. චිත්‍රපටයෙහි සිදු වන සෑම සිද්ධියක්ම පෙළ විස්තරයට (Text Description ) අන්තර්ගත කර ඇත. එමඟින් බිහිරි පුද්ගලයන්ට චිත්‍රපටය පහසුවෙන් අවබෝධය කර ගැනීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ අාබාධ සහිත දරුවන් අධ්‍යාපනය ලබන්නේ එකම පාසලක ය. සමාන පිරිසක් සමඟ සිටීම හේතුවෙන් ඔවුන්ට බාහිර ‍සමාජයට ඇතුළත් වීමට නොහැකි වේ. අාබාධ සහිත දරුවන්ගේ අනාගතයට එය දැඩිව බලපායි. එහෙත් විදේශ රටවල අාබාධ සහිත දරුවන් සඳහා විශේෂ වූ පාසල් නැත . අබාධිත දරුවන් ද සාමාන්‍ය දරුවන් සමඟ එකම පාසලක අධ්‍යාපනය හදාරනු ලබයි. දියුණු රටවල පාසල් වෙන් කර ඇත්තේ උග්‍ර ආකාරයේ අාබාධ සහිත දරුවන්ට පමණි. ආබාධිත දරුවකුට අවශ්‍ය කරන සෑම පහසුකමක් ම මෙම පාසල්වලින් හිමි වේ. බොහෝ පාසල්වල අාබාධිත දරුවකු සඳහා සහාය ගුරුවරයකු ලබා දෙනු ලැබේ . තාර්කික ශක්තිය අඩු අාබාධිත දරුවන්ට පාසල්වල කැල්කියුලේටර භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම නිදර්ශනයකි .

රැකියා අවස්ථා

අධ්‍යාපනය ලැබුව ද ශ්‍රී ලංකාවෙහි අාබාධ සහිත පුද්ගලයන් රැකියා අවස්ථා ලබා ගැනීමේ දී ද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණු දීමට සිදු වේ. උදාහරණයක් ලෙස රෝද පුටුවක් භාවිත කරන උපාධිධාරියකු වූ ටිකිරි කුමාර ජයවර්ධන මහතාට ලංකාවේ අමාත්‍යංශයකට හෝ දෙපාර්ත‍මේන්තුවක රැකියාවක් හිමි වූණේ නැත. ඊට හේතු වූයේ ඒ කිසිදු ගොඩනැගිල්ලකම ඔහුට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් නොමැති වීම ය. පසුව ඔහුට මැතිවරණ කොමිසන් සභාවේ රැකියාවක් හිමි විය. එවැනි සිද්ධීන් පිළිබඳව අවධානය යොමු කර රජයේ සහ පෞද්ගලික ගොඩනැඟිලි ඉදි කිරීමේ දී සහ ප්‍රතිසංස්කරණය කිරීමේ දී අාබාධිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

අාබාධ සහිත පුද්ගලයන් යනු රටේ ආර්ථිකයට දායකත්වය සපයන පුද්ගල කොට්ඨාසයක් ලෙස සිතා රජය මඟින් විධිමත් අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ද වැදගත් වේ. සෑම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයකම ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් සම්පාදනය කිරීම අනිවාර්යය කළ යුතු වේ. උදාහරණයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම පෙන්වා දිය හැකි ය.සමස්තයක් වශයෙන් ගත් කල අප රටේ ramps ( ආනති තළයක් සහිත ප්‍රවේශ මාර්ග ) පවා නිර්මාණය කර තිබෙන්නේ අාබාධිත පුද්ගලයන්ට පහසු අාකාරයට නොවේ. ශ්‍රී ලංකාවේ දුම්රියවල දොරටු පටු වීම, පඩි උසින් වැඩි වීම, හිටඟෙන ගමන් කරන මඟීන්ගේ පහසුව සඳහා ඇතුළත යකඩ කණු ඉදි කර තිබීම ආදිය මඟින් විශේෂයෙන් ම රෝද පුටුවලින් ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ.එසේ ම ශ්‍රී ලංකාවේ කිහිලිකරු, අත්වාරු සහ රෝද පුටු භාවිත කරන පුද්ගලයන්ට පොදු ස්ථානවලට යාමේ දී ද දැඩි අපහසුතා ඇති වේ.

ඒ හේතුවෙන් බොහෝ අවස්ථාවන්වල දී ඔවුන්ට බාහිර පරිසරයට යොමු වීමට නොහැකි වේ.

නමුත් විදේශ රටවල රෝද පුටු භාවිත කරන්නන් ඇතුළු විවිධ ආබාධිත පිරිස් සඳහා බස් රථවල, බස් නැවතුම්පොළවල්වල , දුම්රිය ස්ථානවල සහ දුම්රියවල අදාළ පරිදි ආනති තලයක් සහිත ප්‍රවේශ මාර්ග ඉඳි කර තිබේ . බස් රථවල දොරටුව පළල්ව නිර්මාණය කර තිබෙන්නේ රෝද පුටු භාවිත කරන්නන් ඇතුළු අබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ය. විදේශ රටවල ප්‍රවාහන පද්ධතියේ ජංගම ආනති තළයක් සහිත ප්‍රවේශ මාර්ග ( portable ramps ) සුලභව දැකගත හැකි ය. ශ්‍රී ලංකාවේ ද ආබාධ සහිත පුද්ගලයන් සඳහා පහසුවෙන් ගමන් ගත හැකි බස් ( accessible buses ) නිර්මාණය කිරීම වඩාත් එලදායී වේ.

බොහෝ දියුණු රටවල ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය කරන සියලු දෑ නීතීය තුළින් සම්පාදනය කර ඇත. ඇතැම් පහසුකම් නොමිලේ ලබා දෙන අතර මුදල් වියදම් කර අවශ්‍ය කරන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ගැටලුවකින් තොරව තිබේ. උදාහරණයක් වශයෙන් තමන්ගේ අාබාධිත තත්ත්වයට අදාළව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කළ හැකි වීම පෙන්වා දීමට පුළුවන. ජපානයෙහි අාබාධිත පුද්ගලයකු වී ඉපදීම ද වාසනාවක් කොට සලකනු ලබයි. එහෙත් ලංකාවේ ආබාධ සහිත පුද්ගලයකු වී ඉපදීම ඛේදනීය තත්ත්වයක් බවට පත්ව තිබේ. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතී ශක්තිමත් නැත. අවුරුදු ගණනාවක් ආබාධ සහිත පුද්ගලයන්ට හිමි විය යුතු අයිතිවාසිකම් පිළිබඳව සාකච්ජා පවත්වනු ලැබුව ද ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් වී නොමැත.

ශ්‍රී ලංකාවෙහි 1996 වර්ෂයේ අංක 28 දරණ අබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනතට අනුව අධ්‍යාපනයට, රැකියාවට, සහ පොදු ප්‍රවේශයට ඇති අයිතීන් හදුනාගෙන ඇත. ඊට අමතරව අජිත් පෙරේරා නම් අබාධිත පුද්ගලයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ නඩුවකට අනුව අාබාධ සහිත පුද්ගලයන් සඳහා සෑම රජයේ ගොඩනැගිල්ලකටම පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පැවතීම පිළිගෙන ඇත. එය පෞද්ගලික අංශයට ද බලපා ඇත.

රජයේ වගකීම

කෙසේ වුව ද වර්තමානය වන විටත්, බොහෝ ‍රජයේ සහ පෞද්ගලික ආයතනවලට ආබාධ සහිත පුද්ගලයන්ට ඇතුළු වීමට නොහැකි ය. අප රටේ අයවැය තුළින් ආබාධිත පුද්ගලයන් සඳහා වෙන් කරන මුදල පිළිබඳව එතරම් සැලකිලිමත් නොවුන ද බොහෝ රටවල අයවැය මඟින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු පෙනේ .

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා සෑම පහසුකමක් ම එකවර ලබා දීමට නොහැකි වුවත් අත්‍යවශ්‍ය පහසුකම්වත් සපයා දීමට රජය කටයුතු කළ යුතු ය. එසේ වුවහොත් ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ගේ අබාධිත තත්ත්වය පිළිබඳව පසුතැවීමක් ඇති නොවේ. එසේ පහසුකම් සම්පාදනය කිරීමේ දී පළමුව කළ යුත්තේ කුඩා පරිමාණයේ සැලසුම් සකස් කිරීම ය. උදාහරණයක් වශයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් රෝද පුටු භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් ජන්දය දැමීම සඳහා ඡන්ද පෙට්ටිය උසින් අඩු මේසයක් මත තැබීම පෙන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් බොහොමයකට තනිවම තම කාර්යයන් ඉටු කළ නොහැකි ය. එහෙයින් ඔවුන් අතරින් බොහොමයක් නිවෙස්වලට කොටු වී සිටිති .එය තවදුරටත් එසේ වීමට ඉඩ නොතබා ඔවුන්ගේ මූලික අත්‍යවශ්‍යතා සලකා බලා අවශ්‍ය පහසුකම් සැලසීම කෙරෙහි මෙන් ම විධිමත් මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම ඔස්සේ දීර්ඝ කාලීන වැඩසටහනක් සකස් කළ යුතු ය .

මම කැරැල්ලේ හඬ නිවැරැදිව මතු කළා

$
0
0
මැයි 8, 2019 01:00
ධර්මන් වික්‍රමරත්න

ජවිපෙ දෙවැනි කැරල්ල පැවැති 1986 වසරේ සිට 1990 කාලය අළලා, ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘සටනින් සටන‘ කෘතිය පසුගියදා ජනගත කෙරිණි. මේ එම කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි මේ.

ජවිපෙ 2 වැනි කැරැල්ල ග්‍රන්ථයේ 7 වැනි මුද්‍රණයත් ඉතා ඉක්මනින් එළි දැක්කා. දැන් ඔබේ අලුත් කෘතිය ‘සටනින් සටන’ ඒ ගැන යමක් සඳහන් කළොත්?

ඔව්. එය කාණ්ඩ දෙකකින් යුත් පොත් දෙකේ මුල් කාණ්ඩය. එහි දෙවැනි කාණ්ඩය ‘සටනින් සටන’. මේ ග්‍රන්ථ දෙකටම ප්‍රස්තූත වෙන්නේ, 1986 සිට 1990 දක්වා මෙරට දේශපාලන ‍ක්ෂේත්‍රය තුළ මතු වූ ජවිපෙ 2 වැනි කැරැල්ල පිළිබඳ විස්තරාත්මක විමර්ශනයක්.

පසුගිය කාලයේ ඇතැම් ඉරිදා පුවත්පත්වල ඔබ ලියූ විශේෂාංගවල එකතුවක්ද මේ?

නෑ. මම පසුගිය වසර 15 තුළ, ජවිපෙ කැරලි ඉතිහාසය හා එහි ක්‍රියාකාරකම් ගැන විවිධ පුවත්පත්වල විශේෂාංග කියෙව්වා. ඒවා හැම එකක්ම පාහේ ලියැවිලා තිබු‍ණේ, ගවේෂණාත්මක පුවත්පත් කලාවට අනුව නෙමෙයි. ප්‍රබන්ධනාත්මක විධිහටයි. උදාහරණයකට කිව්වොත්, ලේඛකයාට නන්නාඳුනන තුවක්කුකරුවන් මනසින් පේනවා. නන්දා මාලනියගේ සිංදුවක් ගුවන්විදුලියෙන් ඇහෙනවා. අහුලාගත් හෝ අතේ රෝල් කිරීමෙන් සත්‍යයට ආසන්න සිද්ධි හා පුද්ගලයන් ගැන මේ අරභයා අපමණ පුවත් පත් ලිපි ලියැවුණා. මේවා කියවද්දී, මගේ ළඟ තිබුණු තොරතුරු හා මට ලැබෙමින් පැවැති තොරතුරු ප්‍රකාශ නොකළොත්, එය මගේ වගකීම පැහැර හැරීමක් විදිහට මට දැනුණා. ඒ නිසා මේ පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් කරන ගමන්ම, මම ඒවා පුවත්පත්වලට ලියන්න පටන් ගත්තා.

අවසානයක් නොකොට අතරමඟින් ම ඒවා ප්‍රකාශ කරන්න තීරණය කළේ ඇයි?

එකක් මට මගේ මතවාදය සමාජගත කිරීමට ඉඩ හසර හදා ගන්න එක. අනෙක පාඨකයන්ගේ ප්‍රතිචාර මත මේ කටයුත්තේ ඇතැම් කරුණු ගැන වැරැදි, නිවැරැදි කර ගැනීම.

ලිපි මාලාව යන විට, ඔබට ලැබුණ පාඨක ප්‍රතිචාර කොහොමද? බැරෑරුම් චෝදනාත් ආවද?

මා ඉදිරිපත් කරන කාරණා තහවුරු කිරීමටත්, තව දුරටත් අධ්‍යයනය කරමින් කරුණු කාරණා වැඩිදුර හෙළිදරව් කිරීමටත් හැකිවන ආකාරයට දිවයිනේ හතර දිග් භාගයෙන් ම මට දුරකතන ඇමැතුම් ආවා. උදාහණයක් ගත්තොත්, ශාන්ත බණ්ඩාර සම්බන්ධයෙන් මා එක් අවස්ථාවක කරුණු ප්‍රකාශ කළ විට, එය කිය වූ කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙක්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ශාන්ත බණ්ඩාරගේ උප්පැන්න සහතිකයේ සිට සියලු ම සහතික සුරැකීම සඳහා බොහෝ කලකට පෙර තමාට බාර දුන් බවත්, ඒවා සියල්ල මා හට බාරදීමට සූදානම් බවත් ඔහු කිව්වා. තීරණය කරගත් ස්ථානයකදී ඒ සියල්ල ඔහු මා අත තැබුවා. පරීක්ෂා කිරීමේදී ඒ සියල්ල සත්‍ය පිටපත් බව පෙනුණා. මම ඒවායේ ඡායා පිටපත් ලබා ගත්තා.

පසුගිය වසර ගණනාවකටම මට චෝදනාවක් එල්ලවෙලා තියෙන්නේ, එක ම එක අවස්ථාවකදී විතරයි. ඒ තමා රංජිත් පීරිස් මහතා පුවත්පත් මණ්ඩලයට කළ පැමිණිල්ල. ඉන් කියැවුණේ, ඔහු මිනීමරුවෙක් යැයි මා සඳහන් කර ඇති බවයි. රංජිත් පීරිස් 71 කැරැල්ලට කෑගල්ලෙන් පැමිණි 16 හැවිරිදි ශිෂ්‍යයෙක්. නිදහස් වීමෙන් පස්සෙ ඔහු විජේවීරගේ සමීපතමයෙක් වුණා. ඕමාරගොල්ල කතිකාවතේදී මධ්‍යම කාරක සභාවටත් පත්කර ගත්තා. ඒත්, 82 දී සදාචාරාත්මක ලෙස විනය විරෝධී කාරණාවක් නිසා පක්ෂයෙන් නෙරපුවා. දෙවැනි කැරැල්ලේ දී ඔහු අතුරු හමුදාවල ඔත්තුකරුවෙක් හා කුලී හේවායෙක් විධිහට කටයුතු කළා. කෙසේ නමුත්, ඔහු අපට විරුද්ධ නඩුව ටික දිනකින්ම ඉල්ලා අස්කර ගත්තා.

ඔබ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින්, කැරලිකරුවන්ගේ නෑ හිත මිත්‍රාදීන් හමු වුණා. එයින් බලාපොරොත්තු වුණේ කුමක්ද?

මගේ කටයුත්ත ගවේෂණයක් නිසා, ඔවුන්ගේ පවුල්වල වර්තමාන තත්ත්වය දැන ගැනීමට මට අවශ්‍ය වුණා. මෙහි පළමු කාරණයට මාතලේ පී.තංගරාජා ගැන සඳහන් කරන්න පුළුවන්. විජේවීරගේ අවසානයෙන් පසු ඔහු ඝාතනයට රැගෙන යනවිට, ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක්. ඔහු කටයුතු කළේ පිටකොටුවේ රහස් බිංගෙයක ඉඳගෙන. ඊට පෙර ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායකවරයා විධිහටත් කටයුතු කළා. තංගාගේ විශේෂත්වය තමයි සිංහල, ද්‍රවිඩ හා ඉංග්‍රීසි භාෂා තුනම චතුර ලෙස හැසිරවීමට ඇති හැකියාව. ඔහු මාතලේ සහිරා හා අජ්මීර් විද්‍යාලවල ඉංග්‍රීසි ගුරුවරයෙක් විධිහට සේවය කරලා, 71 කැරැල්ලට සම්බන්ධ වුණා. නිදහස ලබා පැමිණ පක්ෂය වෙනුවෙන් නොකඩවා කටයුතු කළා. ඇගේ සහෝදරියක්, පූර්ණ කාලීනව වැඩ කළා. ඔහුගේ පියා වතු නිලධාරියකුගේ කෝකියෙක්. සහෝදරියන් තිදෙනාගෙන් විවාහ වී තිබෙන්නේ එක් අයෙක් විතරයි. තුන් දෙනාම අන් නිවාසවල ගෘහ සේවිකාවන්. ජීවත් වෙන්නේ ඉතා දුක සේ. ඒ පවුලේ සාමාජිකයන් අභාග්‍ය සම්පන්න විධිහට ජීවත් වන ආකාරය මගේ ඇස් දෙකින් දැක්කා.

ඔබේ වැඩවලදී රහස් පොලිසියේ පුස්තකාල පහසුකම් ලබා ගත්තද?

කොහෙත්ම නෑ. රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් මට කීවේ, මා ළඟ ඇති තොරතුරුවලින් සියයට පහක් වත් ඔවුන් ළඟ නැති බවයි. රොහාන් ගුණරත්නගේ ‘අහිමි විප්ලවය’ උපාධි නිබන්ධනයේ ඉඳලා, සඟරා , පුවත්පත්, පොත් ඔක්කොගෙම පාවිච්චි වුණේ සීමිතව රහස් පොලිසියේ තිබුණු ඡායාරූප. තොරතුරු ගත්තේ අපරාධ යුක්ති කොමිෂන් සභාවෙන් සහ ඊට සමගාමීව වෙනම ඇසූ නඩු වාර්තාවලින්. විජේවීරගේ ‘අප මරා දැමුවද...?’ පොතේ ඉඳලා සියලු ම පොත්වල තොරතුරු පක්ෂග්‍රාහී හා ද්වේශ සහගතයි. සාමාන්‍ය මධ්‍යස්ථ ග්‍රන්ථයකට තියෙන්නෙ විනිශ්චයකාර අලස් ගෙ පොත විතරයි. ඒ පොත්වලින් කරුණු හා ඡායාරූප අරන් මම අලුතින් මොනව ඉදිරිපත් කරන්නද?

නායකය හා සෙසු සියලු සාමාජිකයන් හැටහත් දහස් ගණනක් ඝාතනය වූ තත්ත්වය තුළ ඔබ නව්‍ය ලෙස සත්‍යම කරුණු මුල සිට ගොනු කරන්නේ කෙසේ ද?

මම කුඩා කාලෙ ඉඳල සෑම දිනකම සටහන් තබන්න පුරුදු වෙලා හිටියා. 1984 ඉඳල කර්තෘ මණ්ඩලීය වාර්තාකරුවෙක් විධිහට මා මේ සම්බන්ධයෙන් විශේෂ එකතුවක් හදා ගත්තා. සහෝදර මාධ්‍යවේදීන්ගෙන්; විශේෂයෙන් ඡායාරූප ශිල්පීන්ගෙන් මට සහය ලැබුණා. ඒ සියල්ලටම වඩා මගේ පාඨකයන්ගෙන් හා ඝාතනය වූ කැරලිකරුවන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන්ගෙන් සහයෝගය ලැබුණා. ඒ නිසා මට දැවැන්ත කටයුත්තක් සාර්ථකව නිම කරන්න පුළුවන් වුණා.

ඔබ මේ ග්‍රන්ථ දෙක ම පළ කරලා තියෙන්නෙ කර්තෘ ප්‍රකාශන විධිහටයි. මේවා නිකම්ම ග්‍රන්ථ නෙමෙයි. විශ්වකෝෂ වගේ. වියදමවත් ආපසු ලැබුණද?

අති සාර්ථකයි. පළමු කාණ්ඩයම මුද්‍රණ වාර 7කින් නිකුත් වුණා. එය පුස්තකාලවලට අනුමත පොතක් වශයෙනුත් නිර්දේශ කෙරුණා. මේ වන විට පිටපත් දහදාහ ඉක්මවා පාඨකයන් අතරට ගිහින් තිබෙනවා.

මේ සාර්ථකත්වයට මූලික හේතුව කුමක් ද?

පළමු හේතුව තමයි කැරැල්ලෙන් මියගිය හා අතුරුදහන් වූවන්ගේ සමීප අය. මේ ග්‍රන්ථය නිසා තමුන්ට හා තමුන්ට අහිමි වූ අයට පිළිගැනීමක් ලැබුණා කියා කල්පනා කළා. ඔවුන්ගේ හඬ මතුකරන්නට පුළුවන් වුණේ මේ ප්‍රකාශන දෙකට විතරයි කියා මම හිතනවා.

විශේෂයෙන් ම ඉරිදා පුවත්පත්වලට කරපිංචා, රම්පෙ මට්ටමින්වත් ජවිපෙ කැරලි නැතුව තවමත් පැවැත්මක් නැහැ. ඔබම කියනවා ඒවා අතේ රෝල් කියලා. ඔබේ මේ ගවේෂණාත්මක ප්‍රකාශන නිසා තව අතේ රෝල්වලට කුමක් වේවිද?

අඩු ම තරමින් තව අවුරුදු පහක් ඔය ගමන ඔහේ යයි. ඊට පස්සෙ මම ඉදිරිපත් කරන කරුණු තහවුරු වෙලා ඉවරයි. දැනටමත් මේ ජනමාධ්‍ය මගේ සංඛ්‍යා හා කරුණු ඔවුන්ගෙ වගේ නැවත ලියන්න පටන් අරගෙන. ඒක හොඳ ප්‍රවණතාවක්. බොරු ලියනවට වඩා, කොපි කරලා ඇත්ත ලියන එක අතීතයටත් හොඳයි. අනාගතයට වඩාත් හොඳයි.

සාකච්ඡා කළේ සමුනි සමරකෝන්

දැනුමින් පිරිපුන් ප්‍රභාෂී

$
0
0
මැයි 8, 2019 01:00

සාහිත්‍යමය ගද්‍ය, පද්‍ය, ගීත හා දේශීය ආයුර්වේද ලිපි සංගෘහිතව ජනගත කළ වටිනා කෘතියක් ලෙස, විමල් රූබසිංහ විසින් රචිත ප්‍රභාෂී කෘතිය හැඳින්විය හැකි ය. අනු ශීර්ෂ 140කින් මං සලකුණු කර, පිටු 150කට ලඝු කර, සාහිත්‍යමය, කලාත්මක හා වින්දනාත්මක වපසරියක සිටිමින්, විවිධාකාර වූ ආකල්ප, සංකල්ප ඇති, පාඨක බහුතරයකට ආනන්දයෙන් ප්‍රඥාව තෙක් පියමැනීමට බිහිදොර විවර කර, ග්‍රන්ථයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. මේ ග්‍රන්ථය, අද හතු පිපෙන්නාක් මෙන් මුද්‍රණයෙන් පිටවෙන පොත් අතර, ගල් බොරලු මතින් බිහි වූ මාණික්‍යයක් සේ ප්‍රභාෂ්වර ය.

දිගුකාලීන නිර්මාණාත්මක පසුබිමක් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ, කලක් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ, හිටපු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වූ විමල් රූබසිංහයන්, මේ කෘතියේ ගවේෂණාත්මක නිර්මාණකරු වීම ද විශේෂත්වයකි.

ඔහු, රාජ්‍ය කලාභූෂණ, කිවිපති ආදී සම්මාන රැසකින් පිදුම් ලද, අත්දැකීම් බහුල දේශීය ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ද ප්‍රකට ය. ඔහු, වියතකු, කවියකු, ‍ගේය පද රචකයකු මෙන් ම, බහුශ්‍රැත දේශකයකු වශයෙන් ද ජන විඥානය මනා සේ ස්පර්ශ කළ සොඳුරු මිනිසෙකි. සාහිත්‍ය හා කලා රසවින්දන හැකියාවෙන් පිරිපුන් සංවේදී පරපුරක් බිහි කිරීමේ අදහසින්, අපේ ජන ගී සාහිත්‍යය හා කවිය ගැඹුරු අධ්‍යයනයකින් පසු ලියූ “ප්‍රභාෂී”, සිය ඒකායන අරමුණ මංතල කිහිපයක් ම ඔස්සේ ජන සිත්හි මේ වන විටත් ලැගුම්ගෙන හමාර ය. ජාතික වීරවරයන්, සම්භාවනීය කවි කිවිඳියන්, ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්, ස්වීය නිර්මාණ මඟින් යළිත් අද පරපුරට ඥානය ලබාගත හැකි පරිදි ප්‍රති නිර්මාණය කර, මේ කෘතිය මඟින් සාකච්ඡාවට බදුන් කර ඇති අයුරු ප්‍රශස්ථ මට්ටමක පවතී. මේ ලේඛකයා, පරිසරයට අසීමිත ලෙස ආදරය කරන දුර්ලභ ගනයේ මනුෂ්‍යයෙකි.

“පරිසරය පණ ලෙස රකිමු” යනුවෙන් (28) පිටුවේ සංග්‍රහ කළ එක ම එක කවිය ද ඊට කදිම නිදසුනකි.

අස දිස සිරි සපිරි හෙළ පරිසර කමල
රස කවියක් වැනිය යස ආදර ගඟුල
බස අමොදක්ය සරසවි දෙවඟන මතුල
ලෙස පණ විලස රැක දිවි කර ගමු සපල

සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද හා බැඳුණු සිරිත් විරිත්, වත් පිළිවෙත් ආදිය “හෙළ වෙද සිරිතයි - සුබ නව වසරයි” (පිටුව 71) යන සිරස්තලය යටතේ ශ්‍රී ලංකාවේ අපට වසර දහස් ගණනක ඉතිහාසයේ සිට උරුමව ඇති මහා සංස්කෘතික හා කලා උරුමය සපථ කරන කතිකාවක අනු ඡේද අටක් යටතේ රචනා කර ඇත. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, වත්මනෙහි ලඝුකොට තකන නව පරපුරට, අලුතින් සිතීමට තරම් පූර්වාදර්ශයක් ලබාදෙන පරිදි මෙහි ලියැවී ඇති අයුරු විචිත්‍ර ය.

“වෙදමාමාගෙන් දරුවන්ට තුන - පහ පාඩමක්” යන මාතෘකාවෙන් (90 පිට) සමූහවාචී පද යුගලක් ලෙස තුන - පහ යන්න අප කාටත් දැනෙන පරිදි සටහන් කර ඇති අයුරු, පහත කවියෙන් මනාව පිළිබිඹු වේ.

ලුණු සහ මිරිස් ඇඹුලයි අපේ දරුවනේ
“තුන” ලෙස කුස්සියෙදි කෙටි බසින් කියැවුණේ
සූදුරු ගම්මිරිස් උළු හාල් අරගෙනේ
කොත්තමල්ලි අබ “පහ” ලෙසින් හැඟවුණේ

මෙසේ රසෝත්පාදනයෙන් යුක්තව, සංවේදීව, අර්ථ, දත්ත, තර්ක, විතර්ක විවිධ දෘෂ්ටි කෝණවලින් ස්පර්ශ කිරීමට හැකිවන පරිදි, මුළු කෘතියම යථාර්ථ අනුභූතින්ගෙන් අලංකෘතව, රචකයා පාඨකයා වෙත දායාද කිරීමට සමත් ව ඇත.

සාහිත්‍යය මිනිසා සිය නැණ නුවණින් නිර්මාණය කරගත් දෙයක් යැයි නොබියව පවසන ලේඛකයා, ඒ සම්බන්ධව ඇති නානාවිධ අර්ථකථන නිශේධනය කර, එය ගද්‍ය, පද්‍ය හා චම්පු යනුවෙන් මූලික කොටස් තුනකට විභේදනය කර පෙන්වා දෙයි. මේවා කාව්‍ය යන ඒකීය නාමයෙන් හැදින්වෙන බව ද ඔහු කියයි.

විවිධ ලිපි, සෙල්ලිපි, ලේඛන, ග්‍රන්ථ යනාදිය ගද්‍ය සාහිත්‍යයෙහිලා ගිනිය හැකි බව පවසන ඔහු, පන්සිය පනස් ජාතක පොත, ධර්ම ප්‍රදීපිකාව, බුත්සරණ ආදී ධර්ම ගන්ථත්, සිදත් සඟරාව, සියබස්ලකර ආදී භාෂා සාහිත්‍ය ග්‍රන්ථ, දේශීය වෛද්‍ය විද්‍යා, කලා, ජ්‍යෝතිෂ්‍ය ආදී විවිධ විෂයයන් ආශ්‍රිතවත්, ගද්‍ය පද්‍ය හා චම්පු කාව්‍ය සාහිත්‍ය කෘති නිර්මාණයට පාදක වී ඇති බව පෙන්වා දෙයි.

මෑත ඉතිහාසය තුළ නවකතා, කෙටිකතා ආදී ලෙස තව තවත් නවීනාංග තුළ, එනම් ගද්‍ය සාහිත්‍ය එහිදී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. ලියූ වදනින් , මැවූ හැඟුමින් දෙස බස රැස නැගූ මහා පඬිරුවන ලෙස මාර්ටින් වික්‍රමසිංහයෝ හඳුන්වන ඔහු, සිංහල සාහිත්‍යයේ ප්‍රගමනයටත්, ළමා සාහිත්‍යයේ පුනරුදයටත්, දර්ශන, පරිණාම, මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස, ජීව විද්‍යා හා දෘශ්‍ය කාව්‍යයක්, සිය දිවිමංතලාව තුළ ස්ථාපනය කර කළ අනුපමේය මෙහෙවර යළි අවදි කරවීමට, මේ මඟින් උත්සාහ දරා ඇත. එමඟින් සිදුව ඇත්තේ, වත්මනෙහි තොරතුරු හා පරිගණක තාක්ෂණ මෙවලම් ඔස්සේම පෙරළි කරන නූතන පරපුරට, අතීත විද්වතුන්ගේ ජාතික මෙහෙවර සිහිපත් කිරීමට මේ කෘතිය තුළ සාධනීය අවස්ථාවක් උදාකර දීමකි.

භාෂාවේ සහ සාහිත්‍යයේ අවියෝජනීය සම්බන්ධය, සාහිත්‍ය රසවින්දනය, සාහිත්‍ය නිර්මාණයක භාෂා උත්පාදනය, වින්දනීය - කෞශල්‍යය, ප්‍රතිභාව හා ප්‍රතිචාරය, උපමා උපමේය, ප්‍රයෝග හා උපක්‍රම යන මේ අමරණීය සාහිත්‍යාංගයෝ, ඒ ඒ බුද්ධි මට්ටම්වල පාඨකයන්ට සිය දැක්ම වඩාත්ම පෘථුල ලෙස ව්‍යුත්තාපනය කර ගැනීමට, මේ ග්‍රන්ථය මනා පිටිවහලක් වෙතැයි සිතේ.

අපේ ජන ගී සාහිත්‍යය වෙත ද සාධනීය ලෙස විමල් රූබසිංහ ශූරිහු සිය නිර්මාණාත්මක ඇස විහිදුවා තිබීම අගය කළ යුතු ය. මිනිසා නිපදවාගත් අසමසම මෙවලම වූ භාෂාව කට වහරින් අරඹා, පසුව සංකේත හා රූ රටා ආදියෙන් අලංකෘත කර, ඒවායේ ක්‍රමික විකාශනයෙන් අක්ෂර හෙවත් හෝඩිය නිපදවාගත් බව පවසන ගත්කරු, අනතුරුව වචන මඟින් ලිඛිත තත්ත්වයට ප්‍රසාරණය කොට ජනගත වූ බව පෙන්වා දේ.

ආරම්භයේ දී ලිඛිත භාෂා සාහිත්‍යයක් බිහි වීමට පෙර, විවිධ වූ ජන කොටස් සිය භාෂා සාහිත්‍යයේ ආ ජන ගී අලිඛිතව, මුඛ පරම්පරාගතව භාවිතයට ගත් බව පෙනේ. කෙසේ වෙතත් ජන ගී සහ ජනකවි සාහිත්‍ය, වෙනත් සාහිත්‍යාංගවලට වඩා, පොදු ජනතාව අතර ප්‍රචලිත ය. සංක්ෂිප්ත වශයෙන් දැක්වූ පෙරකී කරුණු තුළ, ජන ගී හා ජන කවිය රටක සාහිත්‍ය යුගයෙන් යුගය පෝෂණය කරන අනවරත ප්‍රවාහයකි. මේ බැව් ප්‍රභාෂී කෘතිය තුළ අත්‍යලංකාර ලෙස, සජීවී නිදසුන් සංකේතවත් කර, විමල් රූබසිංහයෝ පෑ පෙළහර, විවිධ මානසික මට්ටම් නියෝජනය කරන පාඨකයන්ට සිය දැනුම, අවබෝධය පුළුල් කර ගැනීමට බිහිදොරක් වනු නො අනුමාන ය. ප්‍රභාෂී පිළිබඳ පසුවිපරුමක යෙදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා, “වියතකු, කවියකු, ගේය පද රචකයකු පමණක් නොව, ඒ සියල්ලටමත් වඩා හොඳ මිනිසකු ලෙස මට දැනෙන හැඟෙන විමල් රූබසිංහයන් වෙතින්, නුදුරු අනාගතයේදී තව තවත් මෙවන් නිර්මාණ බිහිවනු දැක්ම අපගේ හෘදයාංගම අභිලාෂයයි. අපගේ ප්‍රාර්ථනය ද එයමැ වන්නේම ය“යැයි පවසා ඇත. එහි ද ගැබ්ව ඇත්තේ ද, මේ කෘතිය තුළ පවත්නා යහගුණ ම ය.

ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි

මම නිතරම ඉන්නේ කුතුහලයෙන්

$
0
0
මැයි 8, 2019 01:00
ආචාර්ය නීල් ඩිග්‍රාසි ටයිසන්

අමෙරිකාවේ වෙසෙන ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථ රචකයකු වන ආචාර්ය නීල් ඩිග්‍රාසි ටයිසන්, Merlin's Tour of the Universe, Universe Down to Earth,Just Visiting This Planet, One Universe: At Home in the Cosmos, Cosmic Horizons: Astronomy at the Cutting Edge වැනි ග්‍රන්ථ රාශියක් රචනා කර ඇත. මේ ඔහුගේ නවතම කෘතිය වන “Astrophysics for People in a Hurry” පිළිබද ලේඛකයා සමඟ goodreads.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

ඔබගේ අලුත් ම ග්‍රන්ථ වන “Astrophysics for People in a Hurry” ගැන පොඩි විස්තරයක් කිව්වොත්?

එහිදී මම මූලිකවම අඳුරු ශක්තිය, ග්‍රහලෝක සහ බහු විශ්වයන් ගැන සහ ඒවා අතර සම්බන්ධය ගැන කතා කරනවා. මම මේ කෘතිය විශේෂ පාඨක පිරිසකට වෙන්ව රචනා කළේ නැහැ. විශ්වයේ රහස් පිළිබඳ උනන්දු ඕනෑම කෙනකුට එය කියවන්න පුළුවන්. ඒ වගේම, තාරකා විද්‍යාව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් එය වැදගත් වේවි.

මිනිස්සු විද්‍යාව ගැන දැන ගැනීමට කැමැති නැත්නම්, ඔබ නිරන්තරයෙන් ම විද්‍යාව මිනිසුන් අතරට ගලා යැවීමට උත්සාහ කරන්නේ ඇයි?

අපි සියලු දෙනා එක ම සංගමයක, සංස්කෘතියක හා ශිෂ්ටාචාරයක සාමාජිකයන් කොටසක්. මේ 21 වැනි ශතවර්ෂයේ සිදුවන වෙනස්කම් සමඟ, සාමාන්‍ය මිනිසාගේ විද්‍යා සාක්ෂරතාව සාමාන්‍ය මට්මකින්වත් පැවතිය යුතුයි. එය, ඔබ එදිනෙදා ජීවත් වන විට ගන්නා තීරණ කෙරෙහි බොහෝ සේ උපකාරී වෙනවා. ඒ විධිහට ම, එය අනාගතයේ ඔබේ ජීවන විලාසයට උපකාරී වේවි. විද්‍යාව සමඟ තාක්ෂණය දිගින් දිගටම ඉදිරියට යාවි. ඒත් ඒ සමඟ ඔබ සිටින්නේ කොතැනද? කියන අවබෝධය ඉතා වැදගත්. වෙනස් වන මිනිස් ශිෂ්ටාචාරය සමඟ නොනැසී සිටීමට එය උපකාරී වෙනවා.

Astrophysics for People in a Hurry කෘතියෙහි , 12 වැනි පරිච්ඡේදයට බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඔබ එහිදී කියන්නට උත්සාහ කළේ කුමක් ගැනද?

මම එම ග්‍රන්ථය පුරාවට කතා කරන්නේ විශ්වයේ ඇති සම්බන්ධතාව ගැනයි. එහිදී මම විශ්වයේ වගේ ම මිනිසාගේ ඇති සම්බන්ධතාව පිළිබඳ වෙනත් මානයකින් කතා කරනවා. ඒ වගේ ම,‘cosmic perspective‘ යන සංකල්පය ගැනත් මා කතා කරනවා. එය, එක්තරා ආකාරයකට මිනිසා පිටස්තර ලෝකය සමඟ සම්බන්ධ වන අකාරය පිළිබඳ විග්‍රහ කිරීමක්. ඔබ සහ අනෙක් මිනිස්සු අතර සාපේක්ෂ හැසිරීම සහ ඒ කෙරෙහි බලපාන හේතු වෙනම ආකාරයකින් විස්තර කිරීමක් එහි තිබෙනවා.

විද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන අනෙක් අය සහ විද්‍යා කෘති රචකයන්ගෙන් ඔබට අභියෝගයක් තිබෙනවාද?

ඇත්තෙන්ම නැහැ. මම මෙය කරන්නේ ආසාවට. මට විද්‍යාව ගැන උනන්දුව ඇති වුණේ පාසල් යන කාලෙදියි. ඒ කියන්නේ අවුරුදු නමයේදි විතර. මට වෙනත් කිසි ම දෙයක් කෙරෙහි උනන්දුවක් තිබුණේ නැහැ. පසුව, මම කැමැතිම දේ වන විද්‍යාව සමඟ මට වැඩ කරන්න හැකි වුණා. මම හිතන්නේ, අනෙක් අය සහ මා අතර තරගයක් නෑ කියලයි. ඇත්තටම තරගයක් නැහැ. මගේ අංශයේ වැඩ කරන සෑම දෙනාටම තිබෙන්නේ විද්‍යාව පිළිබඳ කුතුහලයකුයි. ඒ කුතුහලය නිසා ම, සොයායාම් දිගටම සිදු වෙනවා.

ඔබගේ කථන දෙස බැලුවොත්, ඔබ ඒවා ඉදිරිපත් කරන විලාශය සුවිශේෂයි. ඔබ ඉතා උනන්දුවෙන්, සිත්ගන්නා සුළු ආකාරයට වගේ ම, පුදුමාකාර උද්වේගයකින් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ එය ඔබේ අභ්‍යන්තරයෙන් ලැබෙන ඉදිරිපත් කිරීමක් කියලයි. ඒ අදහස නිවැරැදිද?

ඒකට රහස තමයි, ඔබ යමකට ඇත්තෙන්ම ආදරය කරනවා නම්, වෙන දේ බාධාවක් වෙන්නේ නෑ. ඉන්නේ කොහෙද? ඔබ දෙස බලා සිටින අය කවුද? ඔවුන් මොනවා හිතනවද? කියන දේ මට අදාළ නෑ. මම විශ්වය, විද්‍යාව ගැන කතා කරන්න කැමැතියි. ඒ ගැන සංවාද කරන්න මම නිතරම කැමැතියි. සමහර වෙලාවට මම පිස්සුවෙන් වගේ හැසිරෙනවා කියලා මට බොහෝ දෙනෙක් කියලා තියෙනවා.

ඔබගේ ජනප්‍රියත්වය පිළිබඳ ඔබෙන්ම අර්ථකථනයක් ඇසුවොත්....ඔබ කොහොමද එයට පිළිතුරු දෙන්නේ?

ඒ ගැන මට මෙහෙම කියන්න පුළුවන්. මේ වන විට මගේ Twitter ගිණුමෙහි මිලියන 7 කට අධික ප්‍රමාණයක් මා අනුගමනය කරනවා. මං හිතනවා මේ වන විට ලෝකයේ වැඩි ම පිරිසක් ආදරය කරන විද්‍යාඥයා මං කියලා. එලෙස හිතනවිට වැඩ කරන්න පහසුයි. මගේ ග්‍රන්ථවල වෙනස වෙන්නේ, විද්‍යාව තුළ ඇති ගැඹුරු සංකල්ප වුණත්, ඕනෑම කෙනකුට වටහා ගැනීමට පුළුවන් විධිහට, ආකර්ෂණීය ආකාරයට ඉදිරිපත් කිරීමයි. මම මේ වන විට ග්‍රන්ථ රචනයට අමතරව විවෘත කථකයකු ලෙස හා Star Talk නම් ජනප්‍රිය විද්‍යා ටෙලිවිෂන් වැඩසටහන ඉදිරිපත් කරන්නා ලෙසත් කටයුතු කරනවා.

තාරකා විද්‍යාව තුළ ඔබ වැඩියෙන් ම කැමැති සොයා ගැනීම කුමක්ද?

මේ පෘථිවියෙන් පිට වෙනත් ග්‍රහ ලොවක සාක්ෂි සොයා යාම කොයිතරම් අපූරුද? මට වැඩියෙන් ම ආකර්ෂණයක් පවතින්නේ පෘථිවියෙන් පිට වෙනත් ජීවින් ගැන කෙරෙන පරීක්ෂණයි. මෙතෙක් කළ පර්යේෂණවලට අනුව, පෘථිවියෙන් පිට ග්‍රහලෝකවලින් සොයා ගත් ක්ෂුද්‍ර ජීවින් පරීක්ෂා කිරීමේදී, ඔවුන් තුළ DNA නැති බව හඳුනා ගත්තා. ඒ පිළිබඳ මා තුළ පුදුමාකාර කුතුහලයක් පවතිනවා.

ඔබ පොත්වලට අමතරව චිත්‍රපට සහ කතාමාලා හරහා ප්‍රේක්ෂකයන් අතරට යනවා. ඒ ගැන පැහැදිලි කළොත්?‍

මම මෑතකදී සෘජුවම 'ද බිග් බන්ග් තියරි ' (The Big Bang Theory) කතා මලාවට සම්බන්ධ වුණා. එමඟින් මට තවත් ආදරය කරන ප්‍රේක්ෂකයන් ඇතිකර ගන්නට හැකි වුණා. ඊට අමතරව එම කතා මාලාව තුළ තරමක් ගැඹුරු විද්‍යාත්මක සංකල්ප ගැන කතා කරනවා. එයත් අනාගත පරපුරට වැදගත් කියා මං හිතනවා. මීට අමතරව 'ස්ටාර්ගේට්, ඇට්ලැන්ටිස්, මාර්තා ස්පීක්ස්, බෘක්ලින්, ග්‍රැවිටි ෆෝල්ස්, බැට් මෑන් vs සුපර් මෑන්’ වැනි ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණ නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන්නා.

ඔබ බොහෝ සම්මානවලට පාත්‍ර වූ කෙනෙක්....ඒ ගැන කතා කළොත් ?

මේ වනවිට මට ගෞරව සම්මාන 20කට අධික ප්‍රමාණයක් හිමි වී තිබෙනවා. ඒ වගේම මම, ‘ආචාර්ය‘ ගෞරව නාමයෙන් , අවස්ථා ගණනාවකදී ම පිදුම් ලබා තිබෙනවා. මගේ හැකියා පිළිබඳ අවංකවම මට සතුටු වෙන්න පුළුවන්.

ඔබ කොපමණ ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කර තිබෙනවාද?

1989 වසරේදී තමයි මගේ පළමු පොත ප්‍රකාශයට පත් වුණේ. එතැන් පටන් මේ වනතෙක් ග්‍රන්ථ 20කට ආසන්න සංඛ්‍යාවක් සහ පර්යේෂණාත්මක ප්‍රකාශන 13ක් පමණ රචනා කර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉදිරියටත් මේ ආකාරයෙන් ම කටයුතු කරනවා. මේ කටයුත්ත නොනවතින්නක්.

යශෝදා ඉන්දීවරී

මගේ හිත ඇතුළේ හිටපු රාක්ෂයා ලියපං කිව්වා

$
0
0
මැයි 8, 2019 01:00
ජෝර්ජ් ඕවල්

වයස අවුරුදු 5-6 දි පවා වැඩිහිටියෙක් වුණාට පස්සේ ලේඛකයෙක් වෙන එක තමයි මට අයිති රාජකාරිය කියලා මම දැනගෙන හිටියා. වයස අවුරුදු 17-24 අතර කාලෙදි මේ අදහස හිතෙන් අයින් කරලා දාන්නත් මම නොසෑහෙන්න උත්සාහ කළා. ඒත් කාලයක් යද්දි, ලිවීම මට අයිති ස්වාභාවික සිද්ධියක්, ඒකෙන් ගැලවෙන්න හිතන එකේ තේරුමක් නෑ කියලා තේරුණා. අනාගතේ දවසක‍්, නිස්කාන්සුවේ වාඩිවෙලා පොත් ලියන එක මිසක් වෙනත් දෙයක් මට අයිති නෑ කියලත් තේරුණා. ළමයි තුන් දෙනෙක් හිටපු පවුලක මැද ළමයා විදිහටයි මම ඉපැදුණේ. හේතු බොහොමයක් ම නිසා මම හිටියේ හුදෙකලාවක. අනෙක් අය එක්ක ඉන්නකොට තරමක නුරුස්සන ගතියෙන් වගේම එකඟ නොවන ගතියක් පෙන්නපු නිසා, ඉස්කෝලෙ ළමයි අතර ජනප්‍රිය ළමයෙක් වෙන්න මට බැරි වුණා. හුදෙකලා ළමයෙක් විදිහට තනියෙම කතන්දර ගොතන්නත්, හිතින් මවාගත්ත චරිත එක්ක කතා කරන්නත් මම පුරුදු වුණා. මගේ සාහිත්‍ය ජීවිතේ පටන් ගත්තෙම මෙන්න මේ දරුණු හුදෙකලාවයි, අඩු තක්සේරුවයි නිසා කියලා මට හිතෙනවා. අප්‍රසන්න, දුක්බර හැම අවස්ථාවකටම මුහුණ දෙන්න මගේ ළඟ වචන සහ ඒවායෙන් හදාගත්ත බලයක් තිබුණා. මම හදාගත්ත මේ මනෝරාජික ලෝකය ඇතුළේ, හැම අසාර්ථක වීමකටම මූහුණ දෙන්න වචනවලින් හදපු ආයුධ තිබුණා. මම පළමු වැනි කවිය ලියනකොට, මගේ වයස අවුරුදු 04ක් හෝ 05ක්. 1914 දි යුද්දෙ ඉවර වුණාම මම දේශප්‍රේමී කවියක් ලිව්වා. එතකොට මට වයස අවුරුදු 17යි. ඒ කවිය පත්තරේ පළ වුණා. ඊට පස්සේ විටින් විට මම කවි ලිව්වා. කෙටිකතා ලියන්නත් ගත්තා. ඒත් අසාර්ථක වුණා.

මේ කාලෙ අතරතුර මම සාහිත්‍ය වැඩවලට සම්බන්ධ වුණා. නාට්‍ය පිටපත් ලිව්වා. පාසල් සඟරා සංස්කරණය කළා. අවුරුදු 15 කට ආසන්න කාලයක් මේ වගේ සාහිත්‍ය වැඩවල නිරත වෙලා හිටපු එකෙන් වෙනස් විදිහක අත්දැකීම් බොහොමයක් ලැබුණා. මගේ ගැනම නොනවත්වා හිතේ ලියාගෙන යන දින සටහන් පොතක් මගේ ළඟ තිබුණා කියලා කියන්නත් පුළුවන්. කුඩාම කාලෙ, මම තමයි රොබින් හුඩ් කියලා හිතින් මවාගෙන හිටියේ. ඒක හැම පොඩි ළමයෙක්ම කරන දෙයක් වෙන්නත් ඇති. ත්‍රාසජනක කතන්දරයක වීරයා වෙලා, නාසිස්මික ලෝකෙක හිරවෙලා හිටියා. හැම තත්පරේකම මොකක්ම හරි රූප රාමුවක් මගේ හිතේ ඇඳිලා තිබුණා.

'ඔහු දොර තල්ලු කරගෙන කාමරේට ඇතුළු වුණා. කපු දොර රෙද්ද හරහා ඉර එළියේ කහ පාට ආලෝක කදම්බයක් මේසයට වැටිලා. මේසෙ උඩ තීන්ත කූඩුවට එහායින් බාගෙට ඇරපු ගිනි පෙට්ටියක් තිබුණා. තමන්ගේ දකුණු අත කලිසම් සාක්කුවේ ඔබාගෙන ඔහු ජනේලයට විරුද්ධව ඇවිද්දා. කුඩා වීදිය පහළ, බළලෙක් මළ කොළයක් පස්සේ පන්නනවා.'මේ වගේ කතන්දර මම දිගින් දිගටම ලියමින් හිටියා. මේ පුරුද්ද මට අවුරුදු 25 වගේ වෙනකන් තිබුණා. ඒ අතරේ හොඳටම ගැළපෙන වචන හෙවීම දිගටම කළා. කතා ලිවීම දිගටම සිද්ධ වුණා. මම අගය කරපු නොයෙක් ලේඛකයන්ගේ ශෛලිවලින් එක් එක් කාලවල මම ලියමින් හිටියා. හැබැයි ඒ සියලු ම ලියැවිලිවල ඉතා ම ව්‍යක්ත, බිය-සැක නැති භාවයක් තිබුණා. වයස 16 දි විතර තනි වචනවලින් ඇති කරන්න පුළුවන් ප්‍රමෝදය මම හොයා ගත්තා. 'Paradise Lost'කියවලා තනි වචනවල බලය ගැන වගේ ම, ශබ්දය ගැන ලොකු හැඟීමක් මට ඇති වුණා. දැන් ඒ පොත කියවද්දි ඒ තරම් ආනන්දයක් නොදැනුණත්, ඒ කාලෙ මා විස්මයට පත් කරවන ගතියක් ඒ කවිවල තිබුණා. ඒ කාලෙ මගේ කොඳුඇට පේළියටම ඒ වචනවල ප්‍රකම්පනය දැනුණා. දේවල් විස්තර කරන්න ඕනා කොහොමද? මම ලියන්න ඕන මොන ජාතියේ පොත් ද? කියලත් ඒ වෙනකොට දැනගෙනයි හිටියේ. මට ලියන්න ඕන වුණේ ගාම්භීර ස්වාභාවිකත්වයක් තියෙන නවකතා. හැබැයි අවසානය අසන්තෝෂදායක වෙන්නම ඕනැ. කුඩා දේ පවා හොඳින් විස්තර කරන්නත් ඕනැ. වචන, තමන්ට හිමි ශබ්දය ‍රැකගෙන පෙනී හිටින්නත් ඕනා. මේ ඔක්කොම එක්ක මගේ පළමු වැනි නවකතාව 'Burmese Days'ලිව්වෙ මට අවුරුදු 30 දී.

ලිවීම ගැන පසුබිම් කතා ඔක්කොම කියන්නෙ හේතුවක් ඇතිවයි. ලේඛකයගේ අභිප්‍රාය තේරුම් ගන්න නම්, ඔහුගේ අතීත ලිවීම ගැනත් දැනගන්න ඕනැ. ඔහුගේ ලිවීම වර්ධනය වුණ හැටිත් දැනගන්න ඕනැ. ඔහුගේ අත්දැකීම්, විෂය පථය තීරණය වෙන්නේ කොපමණ කාලයක් ඔහු ජීවත් වෙලා හිටියද කියන කාරණය උඩයි. මම ජීවත් වුණ අතිශය කලබලකාරී, විප්ලවකාරී යුගවල පවා මේ කාරණය වෙනස් වෙන්නෙ නෑ. කෙනෙක් ලියන්න කලින් උරා ගන්න සංවේදනවලින්, ඔහුට හෝ ඇයට කිසි විටෙකවත් සහමුලින්ම ගැලවෙන්න බෑ. ඒක ඔහුගේ හෝ ඇයගේ රාජකාරිය වෙන්නෙ ඉබේමයි. ඒකෙන් නොවැඩුණු යුගයක, මුරණ්ඩු විදිහට හිරවෙන්න තියෙන අවස්ථාවෙන් ගැලවෙන්න පුළුවන්. යම් කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ මුල් යුගයේ ලිවීමේ ආභාෂයෙන් සම්පූර්ණයෙන් ම ගැලවුණොත්, ලිවීමට තියෙන ආවේශය මරා ගන්නවා. ලිවීම ජීවන වෘත්තියක් විදිහට නොසලකා පැත්තකින් තිබ්බොත්, හැම ලේඛකයකුටම ලිවීම සම්බන්ධයෙන් පොලඹවන්න හේතු 04ක් තියෙනවා. පළමු වැනි කාරණය, අව්‍යාජ මමංකාරයක් තිබීම. තමන්ගේ බුහුටි බව, තමන් ගැන කතා කරනවා අහන්න කැමැති වීම වගේ ම, තමන්ගේ මරණයෙන් පස්සෙත් මතක තියාගන්න ජාතියේ ලේඛකයෙක් වෙන්න තෘෂ්ණාවක් තියෙන්න ඕනැ. මේ බලාපොරොත්තු ටික ලේඛකයකුට නැහැයි කියලා මවාපාන්න උත්සාහ කරනවා නම්, ඒක එක්තරා ආත්ම වංචාවක්.

ලේඛකයෙක් මේ සියලු චරිත ලක්ෂණ විද්‍යාඥයන්,දේශපාලඥයන්, කලාකරුවන්, නීතිඥයන්, සොල්දාදුවන් වගේ ම, ව්‍යාපාරිකයන් එක්ක ලිවීම හරහා බෙදා ගන්නවා. සරලව කිව්වොත්, මනුෂ්‍යත්වයේ සියුම් උඩු පෘෂ්ඨයෙන් මේ සියල්ල බෙදා හැරෙනවා. මිනිස්සුන්ගේ බහුතරය ඇත්තටම ආත්මාර්ථකාමී නැහැ. අවුරුදු 30 වගේ වෙනකන් විතරයි ඒ හැම කෙනෙක්ම තමන් කේන්ද්‍ර කරගෙන හිතන්නේ. ඊට පස්සේ ඒ අය හිතන්නෙ සහ ජීවත් වෙන්නෙ අනෙක් අය වෙනුවෙන්. ඒ අතරේ සුළුතරයක් ඉතා ම භාග්‍යවන්තව තමන් කේන්ද්‍ර කරගෙන, මරණය තෙක්ම තමන්ට කැමැති විදිහෙ ජීවිත ගත කරනවා. ලේඛකයෝ අයිති වෙන්නේ මෙන්න මේ සුළුතරයටයි. ඒකෙනුත් ඉතාම බරපතළ ලේඛකයෝ විතරක් අහංකාර, මමත්වයෙන් පිරුණු, මුදල් ගැන උනන්දුවක් නැති අය විදිහට ජීවිත ගත කරනවා.

දෙවැනි හේතුව සෞන්දර්යාත්මක උත්තේජනයක් තිබීම. පිටස්තර ලෝකය ගැන අවබෝධයකින් සහ සුන්දරත්වය ගැන සංවේදනා ඇතිව ඉන්න එකයි මෙතැනදි වැදගත් වෙන්නේ. සෑම සිදුවීමකම පෙළගැස්ම වගේ ම, වචන නියමාකාර පිළිවෙළට යොදන්න දැනගන්න ඕනැ. එක් ශබ්දයක අලංකාරය ගැන වගේම, ප්‍රමෝදය ගැනත් හරි අවබෝධයකින් ඉන්න ඕනැ. ගද්‍ය ලිවීමේදී ස්ථාවර බවක් වගේම, කතාවක රිද්මය ගැනත් ලොකු සැලකිල්ලක්, අවබෝධයක් තියෙන්න ඕනැ. වටිනා අත්දැකීම් බෙදා ගන්නත්, කිසිවක් මඟ නොහරින තාලේ උමතුවක් තියෙන්නත් ඕනැ. සෞන්දර්ය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන්, බහුතරයක් ලේඛකයෝ හරි ම උදාසීනයි.

තුන්වැනි හේතුව ඓතිහාසික ආවේශයක් සහිත වීම. අතීත සිද්ධි ඒ විදිහෙන්ම දකින්න පුළුවන්කමක් තියෙන්න ඕනැ. ඒවා පිළිබඳ ඇත්ත තත්ත්වය හාරා අවුස්සලා, අනාගතය සඳහා ගබඩා කරලා තියාගන්න හැකියාවක් තියෙන්න ඕනැ. හතර වැනි හේතුව දේශපාලනික අභිප්‍රායක් තිබීම. 'දේශපාලනික'කියන වචනය හැකි තරම් පැතිරුණු අර්ථයකින් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනැ. ලෝකය යම් යහපත් දිශාවකට තල්ලු කිරීමේ ආශාවෙන් පසුවීමත් වැදගත්. අනෙක් මිනිස්සුන්ගේ සිතීමේ කලාපය වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනැ. කිසි ම පොතක් දේශපාලනික පක්ෂපාතීභවකින් තොර වෙන්නෙ නෑ. කලාවට දේශපාලනය එක්ක ගනුදෙනුවක් නෑ කියන අදහසම ගේන්නෙ, දේශපාලනික චෛතසිකයක්.

පහුගිය අවුරුදු 10 ඇතුළෙම මට ඕන වුණේ සාහිත්‍ය ඇතුළට දේශපාලනය ගේන්න. යුද්ධ කිහිපයක් ඉවර වුණ 1936 න් පස්සේ, මම ලියපු හැම වචනයක්ම කෙළින් ම හෝ වක්‍රාකාරයෙන් ඒකාධිපතිවාදයට විරුද්ධයි. මම පෙනී හිටියේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් වෙනුවෙනුයි. ඒත්, මම ජීවත් වුණ යුගය එක්ක බැලුවහම, ඒකාධිපතිවාදයට විරුද්ධ වීම සහ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් බලාපොරොත්තු වීම විහිළුවක් වගෙයි. හැම කෙනෙක්ම හිතුවේ මේ වගේ දේ ලිවීමෙන් වැලකිලා ඉන්න එක නුවණට හුරුයි කියලයි. හැමෝම තමන්ට ආවේණික ‍රැවටිලිකාර ශෛලියෙන් ලිව්වා. තමන් කාගෙ පැත්තද ගන්නේ, ඒ පැත්තට හැරෙන්න කවුද කියන එක, ඒ කාලෙ තිබුණු ලොකු ම ප්‍රශ්නයයි.

මගේ ලිවීම පටන් ගත්තේ අසාධාරණය ගැන දැනුණු හැඟීම් මාත්‍රයකින්. මම ලියන්න වාඩි වුණහම, කලාත්මක යමක් ලියනවා කියලා කිසිම වෙලාවක හිතුවේ නෑ. බොරුවකින් ලෝකෙ වැහීගෙන යනවා කියලා හැඟීමක් තිබුණු නිසයි මම ලියන්න පටන් ගත්තේ. ඒ බොරුව හෙළි කිරීමේ වුවමනාවකින් සහ බොරුව වෙත අවධානයක් ඇති කිරීමේ වුවමනාවෙන් මම මිරිකිලා හිටියා. ප්‍රධානම අරමුණ වුණේ, මේ සියල්ල ඇහෙන්න සැලැස්වීමයි. ලිවීමේ භාෂාව ‍තෝර ගැනීම සම්බන්ධයෙනුත් නොයෙක් ගැටලු තිබුණා. භාෂාවේ යටි අරුත් සහිතව ලිවීමෙන් ඉක්මනින් තේරුම් ගැනීමේ ගැටලුවකට පාඨකයා හෙලන්න සිද්ධ වෙනවා. ඒත්, සෑම කෘතියක්ම ඉල්ලා සිටින භාෂාවක් තියෙනවා. උදාහරණයක් විදිහට 'ඇනිමල් ෆාම්'ලියද්දි, ඒ යට හංගන්න ඕන දේශපාලනික කතාව ගැන මම ඉතා ම සබුද්ධිකවයි හිටියේ.

සාමාන්‍යයෙන් හැම ලේඛකයෙක් වගේ ආත්මාර්ථකාමීයි, අහංකාරයි, කම්මැලියි. මේ හැම කෙනකුගේම ලිවීමේ අභිප්‍රාය පතුළටම බැස්සහම, හොයාගන්න ලැබෙන්නෙ අබිරහසක්. පොතක් ලියනවා කියන්නේ භයංකාර අත්දැකීමක්. අතිශය වෙහෙසකර කටයුත්තක්. හරියට කාලාන්තරයක් මුළුල්ලේ දරුණු ලෙඩකින් විඳවනවා වගෙයි. තමන්ගේ ඇතුළේ මොකෙක් හරි රාක්ෂයෙක් ජීවත් වෙමින් ලියන්න බල නොකළොත් මිසක්, කිසි ම කෙනෙක් පොතක් ලියන්න පෙලඹෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. 1984 ලියද්දි, මෙන්න මේ රාක්ෂයා මගේ ඇතුළේ වැඩ කළා. පොතත් එක්ක මම කළේ දරුණු සටනක්. මගේ සෞඛ්‍ය හොඳටම පිරිහිලයි තිබුණේ. බාන්හිල්වල කුඩා ගෙදරක ඉඳන් මම ලියන්න පටන් ගත්තේ. නිදන කාමර හතරක්, විසාල කුස්සියක්, ගෑස් කුකරයක්, ලියන මේසයක්, ලන්තෑරුමක්, උයන භාජන කීපයක්, බැටරි රේඩියෝවක් තිබුණා. දුම්කොළ ඔතලා හදාගත්ත සිගරට් අප්‍රමාණයක් නොනැවතීම බිව්වා. ගෙදර ඇතුළේ උණුසුම් වුණාට සෞඛ්‍ය අතින් තරමක අහිතකර තැනක මම හිටියේ. ජෝර්ජ් ඕවල් කියන්නෙ මම ලියන්න පාවිච්චි කරපු නම, මගේ ඇත්ත නම එරික් බ්ලෙයාර්. 1984 පොතට මම මුලින් දාපු නම 'The Last Man in Europe'. 1984 නම ඔළුවට ආවෙ ඊට පස්සේ. ඒත් මගේ ප්‍රකාශකයාගේ අදහස වුණේ, 1984 ඉතා ම ආකර්ෂණීය නමක් කියන එකයි. ඒ නිසා ම අපි පොතට, 1984 කියලා පාවිච්චි කරන්න එකඟ වුණා.

දොස්තර කෙනෙක් හම්බ නොවී, මෝඩයෙක් වගේ මම දිගින් දිගටම ලිව්වා. මට ඕන වුණේ පොත ලියලා ඉවර කරන්න විතරයි. එතකොටත් මගේ අසනීපය මරණීය තත්ත්වයකට ළඟා වෙලයි තිබුණෙ. අන්තිමට මට ක්ෂය රෝගෙ හැදිලා කියලා දැන ගත්තා. ඒ වෙද්දි ක්ෂය රෝගෙට බෙහෙතක් හොයාගෙන තිබුණෙ නෑ. නැවුම් වාතය සහ සාමාන්‍ය කෑම ගන්න කියලයි දොස්තරලා නිර්දේශ කළේ. ඒ අතරේ පරීක්ෂණ මට්ටමේ තියෙන මිල අධික බෙහෙත් වගයක් මට ලැබුණා. ඒ බෙහෙත්වලින් ලැබුණ ගුණයට වඩා වැඩියෙන් අතුරු ආබාධ වැඩි වුණා. මගේ උගුර වණ වුණා. කටේ බිබිළි දැම්මා. කොණ්ඩෙ ගියා. හම ගැලවිලා යන්න ගත්තා. පා ඇඟිලි වගේ ම, නිය බිඳිලා යන්න පටන් ගත්තා. ඒත්, මාස තුනකට පස්සේ ක්ෂය රෝගය සුව වුණා. ඒ බෙහෙත්වලින් වුණේ මීයන්ගෙන් බේරෙන්න නැවක් මූදුබත් කරනවා වගේ දෙයක්. ඒත් ඒ උපාය හරි ගිය එක වටිනවා.

හැම තිස්සෙම මට හිතුණේ ක්ෂය රෝගයෙන් පීඩා විඳින අතරේ, මේ පොත නොලිව්වා නම් වැඩිපුරම හොඳයි කියලයි.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

l http://bit.ly/2GeKoE2

l http://bit.ly/2UkEbvf

l http://bit.ly/2IAwz5w


සාමයේ බලය

$
0
0
මැයි 9, 2019 01:00

 මහාචාර්ය රොබට් ටෙලෙන්ඩර්

අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ සොනෝමා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස “ආගමේ දේශපාලනය“ නම් පාඨමාලාව ඉගැන්වීමෙන් කලකදී මම අතිශය තෘප්තියක් ලැබූවෙමි. එහි සරළ මෙන්ම දළ කල්පිතය කේන්ද්‍රගත වූයේ සමස්ත ප්‍රජාවට බලපානු ලැබූ යම් ආගමක් පදනම් කරගත් යම් විශ්වාසයක් (දේශපාලන) ශක්තිවන්තයන් විශ්වාස කරන දෙය තහවුරු කරනු ලබන්නේ කෙසේද යන්න මතය. මුස්ලිම් දේවස්ථාන, සිනගෝග හා කතෝලික දේවස්ථානවල මගේ සිසුන් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණවල දී මෙම තර්කාංගය ඉතාම වැදගත් අන්තර් දෘෂ්ටියක් බව පැහැදිලිවම ඔප්පු විණි.

වරක් ඉන්දුනීසියාවේ ජාවා නුවර බැන්ඩුන්වල ගත කළ මගේ අධ්‍යයන නිවාඩුවක දී රොටරි සමාජයේ සාමාජිකයන් මගෙන් ඉල්ලීමක් කළේය. ඒ “ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමේ සිද්ධියෙන් පසු ඇමරිකාව විසින් යළි ඉරාකය ආක්‍රමණය කළේ ඇයි ද? යන්න ගැන ඔවුන් අමතා දේශනයක් කරන ලෙසටය. ඒ ගැන මම අවංකවම කිසිවක් නොදන්නා නමුත් ඛනිජ තෙල් ඊට එක් හේතුවක් විය හැකි බවට සැකයක් තිබෙන බවත් කියා සිටියෙමි. ඒ ගැන කතා කරනවා වෙනුවට ‘ඉස්ලාම් සාමය‘ කවරාකාර වේ ද යන්න ගැන කතා කිරීමට මම ඉදිරිපත් වූයෙමි. ඉන් අදහස් කළේ කුමක් ද යන්න ගැන ඔවුන් මහත් උනන්දුවකින් යුතුව පුදුම වූ බව පෙනෙන්නට තිබූ නිසා මම ටිකක් කල්වෙලා ඉල්ලූවෙමි. “මට විනාඩි විස්සක් දෙන්න. මම පොරොන්දු වෙනවා ඔයාලගේ ඊළඟ සැසිවාරයේදී ඒ ගැන කතා කරනවා කියලා.“ ඔවුන් ඊට එකඟ වූ නිසා මම පොරොන්දු ප්‍රකාරව දේශනය කළෙමි.

එදා කළ එම ඉදිරිපත් කිරීම මුළුමනින්ම සකස් වූයේ ආගමික තීරණ ගැනීම පිළිබඳ මම කලකට ඉහත දී ඉගැන්වූ පාඨමාලාව ඇසුරින් වුවත්, කිසිවිටෙක ඉස්ලාම් දහමේ ආකෘතිය වචනයට නැගුණේ නැත. එනමුත් මම ඉස්ලාමය පදනම්ව තිබෙන මහාස්ථම්භ දෙක වන දයානුග්‍රහය (පුණ්‍ය) හා හජ් ඇසුරින් ඉස්ලාමය නිර්මාණය වී ඇති චර්යාත්මක මාර්ගය සංක්ෂිප්තකොට දැක්වූවෙමි. ඒ අනුව ඉස්ලාමය බවට පත්වන්නේ, විශ්වාසයේ ප්‍රජාවක් ලෙස කුරානයට ප්‍රතිචාර දක්වන්නාවූ මුස්ලිම් ලබ්ධිකයන් සමූහයකි.

ඉස්ලාම් දහමේ සම්භවය

අනෙකුත් ප්‍රධාන පෙළේ ආගම් මෙන් නොව මුස්ලිම් ආගමිකයන්ගේ බහුතරය අයත්වන සුන්නි මුස්ලිම්වරුන්ට, පැවිදි පූජකයකු හෝ වෙනත් දේවධාර්මික ධුරාවලියක් හෝ නැත. කුරානය අවබෝධයෙන් ක්‍රියාවට නැංවීම කෙරෙහි ඔවුන් විශ්වාසය තබන්නේ තනි පුද්ගලයන් වශයෙනි. එහිදී ඉස්ලාම් ලබ්ධිකයන්ට චර්යාත්මක පෙළඹවීමක් ලෙස ක්‍රියාකරන්නේ ‘හාඩිත්‘ කියා හඳුන්වන මොහොමද් නබිනායකතුමන්ගේ ප්‍රකාශ හා එතුමන් අනුගමනය කළ චර්යා පුරුදුය. මෙහි වැඩි කොටසක් ලේඛනගත වී තිබෙන අතර ඇතැම් ඒවා නබිනායකතුමන්ගේ මුල්කාලීන හිතමිතුරන් විසින් සනාථ කොට තිබේ. නමුත් අනෙක්වා පසුකාලීනව බිහි වූ එකී විෂයන් ගැන අනියම් ආකාරයකින් කතා කිරීමට හෝ අධිකාරී බලයක් නොතිබූ හුදු පක්ෂග්‍රාහිකයන් විසින් නිර්මාණය කළ ඒවාය. (ක්‍රිස්තියානි ධර්මයේ දී නිතර ඇසෙන ප්‍රකට ප්‍රකාශයක් වන “ජේසුස් කුමක් කරනු ඇතිද?“ යන ප්‍රශ්නය ද මේ හා සමානය.)

අල්ලාහ් දෙවියන් විසින් අනාවරණය කළ දේව වචනය අඩංගු වන්නේ කුරානයේ ම පමණක් බැවින් වෙනත් අයථා-ව්‍යාජ අනුමාන හා උපකල්පන මඟින් එය අපකීර්තියට ලක් කළ නොහැක. විශ්වාසිකයන් සමූහයකගේ පුරුදු මඟින් සිදුකෙරෙන ප්‍රත්‍යක්ෂ කිරීම්, ඉස්ලාම් දහමේ යාවත්කාල වූත්, අද්‍යතන වූත් අර්ථයක් බවට පෙරළන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මේ නිසා සජීවි ධර්මයක් වන ඉස්ලාම් දහම, එකම දෙවියන්ට කැපවන්නා වූත්, එම කැපවීම ක්‍රියාවෙන් ලොවට ප්‍රත්‍යක්ෂ කිරීමට පෙළඹෙන්නා වූත් විශ්වාසිකයන්ගේ චර්යාත්මක සාක්ෂියක් ලෙස පවතී. විද්‍යාවේ එන අභිශුන්‍ය උපකල්පනයක් මෙන් වත්මන් ලෝකය තුළ ඉස්ලාමයද නව අන්තර් දෘෂ්ටීන් නිර්මාණය කළ ද, ඒවා කුරානයේ ඉගැන්වීම් හා සමරූපී බවට ලබාදෙන කිසිදු වලංගු තහවුරු කිරීමක් නොමැති හුදු මානව අර්ථනිරූපණවලින් සමන්විත සමාජීය ප්ලාස්මාවක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිම නීත්‍යානූකූලභාවයක් හිමි චර්යාවන් කවරක් ද යන්න, සාධාරණීකරණ කිරීම සඳහා උපන්‍යසකරුවන්ගේ ගුරුකුල හතරක් බිහිවී තිබේ. වැඩියමක් හෙළිදරව් කිරීමකින් තොරව ම මොවුන් අනුමාන ඉදිරිපත් කළ ද, ඒවා නීත්‍යානූකූල මට්ටමකට ළඟා වීමටවත් සමත් වන්නේ නැත. මෙම ගුරුකුල හෙවත් දර්ශන හතර අතර පවත්නා පරස්පර විරෝධී මත ගැටුම්වලින් කියාපාන්නේ ඒවායේ අර්ථ දැක්වීම් හුදු අනුමාන ම පමණක් බවය. ක්‍රිස්තියානි දහමේ එන කානාන් නීතිය මෙන්ම මෙම දර්ශනවලට ද කිසිවක් සම්බන්ධයෙන් කිසිදු අධිකාරි බලයක් හිමිවන්නේ නැත.

සුන්නි මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම වන්නේ මුස්ලිම් භක්තිකයන් කුරානයේ එන අනාවරණයන්ට බැඳී සිටිය යුතු බවත්, එදිනෙදා සිදුවීම් පැහැදිලි කිරීම සඳහා ඒවා අර්ථ නොදැක්විය යුතු බවත්ය. කාරණා එසේ නම් හැම අවස්ථාවකට ම ඔබින පරිදි යහපත් මුස්ලිම් භක්තිකයකුගේ හැසිරීම කෙසේ විය යුතු ද යන්න කෙනෙකු දැනගන්නේ කෙසේ ද? මෙම කාරණය සම්බන්ධයෙන් දී ඉස්ලාම් දහම පවතින්නේ පිල් බෙදුණු ස්ථාවරයකය.

අනෙක් අතට ආවස්ථිකවාදය තරයේ අවිශ්වාස කරන ෂියා මුස්ලිම්වරුන්ට නබිනායකතුමන්ගේ මරණයෙන් පසු අවශ්‍ය වූයේ, කුරානයේ එන අර්ථදැක්වීම්වලට වඩාත් අඛණ්ඩභාවයක් හා සමබරතාවකි. නබිනායකතුමන්ගෙන් පැවත එන්නවුන්ගේ සම්ප්‍රදායන්ට ‘හඩිත්‘ හි බලය පවරා දීමට ඔවුහු උත්සාහ කළහ.

සුන්නි හා ෂියාවරුන්ගේ මෙම අර්ථ දැක්වීම් එකිනෙක හා ගැටෙන විට යුද්ධයක් පැන නැගුණේ නිරායාසයෙනි. ඒ ඩමස්කස් නුවර සුන්නි උමායාඩ් රාජවංශිකයන් හා මොහොමඩ් නබි නායකතුමාගේ දියණිය, ෆාතිමා හා විවාහපත් වූ එතුමන්ගේ ඥාතියකු වූ කාලිෆ් අලි සමඟ එකතු වූ මැකාවරුන් අතරය. ෆාතිමා සමඟ විවාහයෙන් අලිට හසන් හා හුසේන් නමින් පුතුන් දෙදෙනකු ද වූහ.

සංග්‍රාමයෙන් ජය හිමි වුයේ උමායාඩ්වරුන්ටය. අනෙකුත් සියල්ලන්ම පරාජය වූහ. ජීවග්‍රහණයෙන් ගනු ලැබූ ෆාතිමා යළි භාර දුන්න ද අරාබි සම්ප්‍රදායන්ට අනුව එවැනි පැහැර ගැනීමක් සැලකුණේ නීතිප්‍රකාරව සිදු කළ ස්ත්‍රී දූෂණයක් ලෙසය. සතුරන්ගේ ආධිපත්‍යයෙන්ද, පෘථග්ජනයකු ලෙස ලත් අසීමිත අවමානයෙන් ද යටපත් කරනු ලැබූ අලිට නීත්‍යානූකූල පිළිගැනීම අහිමි විය. ඩමස්කස් නුවර සුන්නි මුස්ලිම්වරු ජයපැන් බොන්නට වන්හ.

සිය ආගමික ගුරුවරුන් ද සමඟ පෙරදිගට පළා ගිය මොහොමඩ් නබිනායකතුමාගේ මුණුපුරන් දෙදෙනා සොයමින් සිරියානුවන් ඔවුන් පසුපස හඹා ගියේ ෂියාවරුන් අනාගතයේදී හෝ නැවත නැඟී සිටීම වැළැක්වීම සඳහාය. එක් අයකු ඉරාකයේ දී ද අනෙකා ඉරානයේ දී ද සුන්නිවරුන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් අනතුරුව ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස දිවි පිදූහ. මොහොමඩ් නබිනායකතුමාගේ පෙළපත ඉස්ලාම් දහමේ වංශාවලියෙන් කටු ගෑවී ගියේ එලෙසය.

කෙසේ වූවද පරාජිතයන් මුළුමනින්ම නැතිවී ගියේ නැත. ඔවුන් කාලිෆ් අලී හා ෆාතිමාගේ පවුලට ළැදි පක්ෂපාතී සුළු ආගමික ෂියා මුස්ලිම්වරුන් ලෙස අඛණ්ඩව පැවතුණි. බහුතරය, සුන්නිවරුන් කුරානය තම වාසියට පෙරළාගෙන ජයපැන් පානය කළහ. සුන්නි හා ෂියා දෙපාර්ශ්වය ම දිගට ම එකිනෙකාගෙන් දුරස් කණ්ඩායම් දෙකක් ලෙස පැවතුණහ. දෙපාර්ශ්වයේ ම සිටින අන්තවාදීන්ගේ විශ්වාසය වූයේ තම තමන්ගේ ප්‍රජා කොට්ඨාසවල සිටින අන්‍යාගාමිකයන් සමූල ඝාතනය කිරීමෙන් ඔවුන් තුරන් කර හැරිය යුතු බවයි. මෙය අදට ද පවතින තත්ත්වයකි.

ඉස්ලාම් දහමේ අද දවස

නීත්‍යානූකූලභාවයක් හිමිකර ගන්නට නම් ඉස්ලාමීය සාමය මෙම ඓතිහාසික ඛේදවාචකයෙන් ගොඩ ආ යුතුව ඇත. නමුත් සියවස් දහ තුනක් පුරාවට මෙම වෙනස සිදු නොවුණි. ෂියා හා සුන්නි මුස්ලිම් කාණ්ඩ දෙකේම සිටින පක්ෂග්‍රාහීන් දැරූ මතය මෙම දුරස්ථභාවය දිගටම පැවතිය යුතුය යන්නයි.

මුස්ලිම් නොවන, ප්‍රොතෙස්තන්ත්‍ර -ක්‍රිස්තියානි- ලුතෙරන් ලබ්ධිකයකු ලෙස ක්‍රිස්තියානි හා යුදෙව් ආගමිවලද පවත්නා මෙවැනි නිකාය භේද මම දැක ඇත්තෙමි. මම මුස්ලිම් ලබ්ධිකයන් වෙනුවෙන් පෙනී සිටින්නකු නොවෙමි. එසේම ආගමික නීති සම්බන්ධයෙන් වන ඔවුන්ගේ පාසල්වලින් ද මම කිසිදු අධිකාරීත්වයක් නොපතමි. මම යෝජනා කරන්නේ හුදෙක්ම අරාබි, යුදෙව් වැනි සියලුම සෙමිටික ආගම්වල පවත්නා සුචරිතවාදීත්වයේ නිරර්ථකත්වය පෙන්වාදීමටය. අප ගැලවීගත නොහැකි ලෙස කරවටක් ගිලී සිටින චිරන්ත දෘෂ්ටියෙන්ද, පුරාතන පෙළඹවීම්වලින් ද, ස්ථිරත්වයෙන් ද මඳක් ඔබ්බට ගොස් චර්යාත්මක වශයෙන් පවත්නා විකල්පයන් වෙත අවධානය යොමු කරන්නේ නම්, ප්‍රධාන පෙළේ සෙමිටික ආගම් තුන පුරාම විසිරී ව්‍යාප්ත වූ සමගි සන්ධානයේ ගිවිසුමක් ලෙස සාමය අත්පත් කරගැනීම අපහසු නොවනු ඇත. නමුත් වැරදි ලෙස වටහා නොගන්න. මම ඉස්ලාමය කේන්ද්‍ර කරගත්තේ ඉලක්කයක් ලෙස නොව, විශ්වීය සමගි සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා හැකියාවැති ආකෘතියක් ලෙසය.

සාමය යනු යුද්ධයෙන් තොර වීම ම නොව ඉදිරියටත් පවත්වාගෙන යාමට වටිනා කියන වඩාත් විපුල, සමෘද්ධිමත් ජීවිතයක් සොයා යාමය. යල් පැනගිය සම්ප්‍රදාය තව දුරටත් සමාජයේ තදබල ලෙස මුල් බැසගත් සම්මත (ධර්මතා) ලෙස එක්රැස් කර තබා ගැනීම මඟින් සිදු වන්නේ දැඩිව වුවමනා කරන සාමය ළඟාකර ගැනීම වළක්වමින්, දැනට පවත්නා තත්ත්වය වඩාත් උත්තරීතරත්වයට පත් කිරීම පමණි. යට ගැසූ පරාජ හා අසමත්කම්වලින් නොසැලුණු සම්‍යක්දෘෂ්ටිකවාදීන් තව දුරටත් සිය විශ්වාසයේ සැබෑ ඇදහීම් නොව එහි තමාගේ අනුවාද දිගින් දිගට ම සාධාරණීකරණය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමේ වෙනසක් සිදු නොවනු ඇත.

කුරානය එය ඩැහැගෙන සිටින විවිධාකාරයේ මතවාදී ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කරගැනීම සඳහා, ඉස්ලාමීය සාමය යනු නියත ලෙස ම කුමක්දැයි අනාවරණය කර ගැනීමට අපි පටන් ගනිමු. ඉස්ලාමය ප්‍රතිනිර්මාණය කිරීමේ නව සංදර්භය පැන නඟින්නේ මුස්ලිම් ප්‍රජාව තුළින්මය. (මුස්ලිම් යන්නෙහි අර්ථයම ගත් කල ඉන් කියැවෙන්නේ “දෙවියන්ට කැපවු අයෙක්“ යන්නයි) ඉස්ලාමය යනු කුරානය විසින් හැඩගැස්වූ පොදුවේ සියල්ලන්ගේ හැසිරීමේ බහුවිධ සමාජීය ප්‍රත්‍යක්ෂ කිරීමක් මිස අන් කිසිවක් නොවේ.

පුණ්‍ය (දයානුග්‍රහය)

යහපත් මුස්ලිම් භක්තිකයකු වීමට නම් යමකු තමාගේ මුදල් හා කාලය අවශ්‍යතාවයෙන් පෙළෙන අයවලුන්ට පරිත්‍යාග කළ යුතුය. එවැනි පරිත්‍යාගයන්ගේ අවශ්‍යතාවයෙන් පෙළෙන දිළින්ඳන් හා ආබාධිතයන් සිය අවශ්‍යතාවය සුදුසු පරිදි යළි නිර්වචනය කිරීමෙන් හා පැහැදිලි කිරීමෙන් එකී අවශ්‍යතාවයට ගැලපෙන විසඳුමක් සොයා ගැනීමට උදව් කළ හැකිය. උදව් පතා කෙරෙන නීත්‍යානූකූල ඉල්ලීම්වලට පිළිතුරු ලබා දීමට උචිත මාර්ග හා අන්තර් දෘෂ්ටීන් අනෙක් අයට තිබිය හැකිය.

වංචාසහගත යාච්ඥා කවරේදැයි හඳුනා ගැනීමට, ප්‍රතිචාර දක්වන්නන් සියලු දෙනාම පාහේ සිය අවශ්‍යතාව පැහැදිලිව විස්තර කර තමාට අවංකව ම අවශ්‍ය කවරක්දැයි අනාවරණය කරගත යුතුය. උදව් ඉල්ලන නමුත් සිය අවශ්‍යතාව නිසි ලෙස වටහා නොගත්තවුන්ට ඒ අනුව ලැබෙන පිළිතුර වනු ඇත්තේ ‘නැත‘ යන්නයි. ඔවුන් උදව් පතා වෙන අතක් බලාගත යුතු වේ. අවශ්‍යතාවයෙන් පෙළෙන්නවුන්ගේ යාච්ඥාවන්ට පිළිතුරු දීම මඟින් එවැනි මුස්ලිම් භක්තිකයන් අල්ලාහ් හෙවත් එකම දෙවියන්ගේ සේවකයන් කරනු ඇත. තමාත්, දෙවියන්ගේ සේවකයනුත් රවටාලන පුද්ගලයන්ට ඒ අනුව සිය අවශ්‍යතාවයන් ගැන බොරු කිරීමේ වරදට පංගුකාරයන් වන්නට සිදුවනු ඇත.

යාච්ඤා සවනට වැකෙන ධනවත් මුස්ලිම් භක්තිකයන් ඇතැම් විට සිකුරාදා දින දේවස්ථානයට පැමීණීම වියදම්කාරී ගමනක් යැයි සිතා ඒ වෙනුවට පෞද්ගලිකව යාච්ඥා කිරීමට පෙළඹීමෙන් ඊට ප්‍රතිචාර දැක්විය හැකිය. එයාකාරයට ඔවුන් එකම දෙවියන්ගේ පවුලෙන්, එනම් කුරානයේ කියැවෙන සියලුම නිර්වචනයන් සිය හැසිරීමෙන් ප්‍රකාශ කරන විශ්වාසිකයන් කොට්ඨාශයක් වන ඉස්ලාමයේ බහුවිධ විද්‍යාමාන වීමෙන් තමන්වම දුරස්ථ කරගනු ඇත.

දිළින්ඳන් හා ආබාධිතයන් මෙන් ඔවුන්ට ද අවශ්‍යතා සඳහා විශ්වාසී ලෙස පිළිතුරු දීම සඳහා නිසි පියවර ගැනීමට බැරි නැත. කෙසේ වුවද පුණ්‍ය ක්‍රියා හෙවත් දයානුග්‍රහය යනු තුටුපඩුරක සංකේතයක් නොව කිසියම් අවශ්‍යතාවයකින් පෙළෙන අයකු වෙනුවෙන් කැපවීම නමැති අර්ථාන්විත ක්‍රියාවකි. ඉන් ලැබෙන ප්‍රතිලාභ එම සේවාදායකයා මෙන් ම සේවාලාභියා ද අතරේ හවුලේ බෙදී යන්නකි. කුරානයේ එන හෙළිදරව්වන්ගෙන් කියැවෙන සාමය හා සහජීවනයෙන් යුතුව ජීවත්වීමට ඉන් එම පුද්ගලයන් දෙදෙනාගේම ජීවිත පෙරළියකට ලක්කරනු ඇත.

මෙකී කරුණු සියල්ල සලකා බලන කල අවශ්‍යතාවයෙන් පෙළෙන අයකුට එලෙස පරාර්ථකාමී හැඟීමෙන් සිය සේවය ලබා දෙන්නා, කතෝලිකයන්ගේ ශුද්ධ වූ බයිබලයේ එන ඕනෑම ප්‍රතිපත්තිගරුක යහපත් යුදෙව්වකු කළ යුතු පරිද්දෙන් ක්‍රියා කළ යහපත් සමාරිතානුවරයාට (යුදෙව් නොවන, හීබෘ නොවන, හා ඊශ්‍රායල් නොවන) වඩා වැඩි වෙනසක් නැති වනු ඇත.

මතු සම්බන්ධයි

(07/05/2019 දින මහාචාර්ය රොබට් ටෙලෙන්ඩර් විසින් ඩේලි නිව්ස් පුවත්පතේ පළ කර තිබූ ලිපිය ඇසුරින් සකස් කෙරිණි.)

පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

ලෝක පාලක සමාජ මාධ්‍ය

$
0
0
මැයි 9, 2019 01:00

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

මාසයකට වරක් ග්‍රාහකයන් බිලියන 2.2 ක් ෆේස්බුක් (Facebook)ජාලය භාවිත කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් ෂකර්බර්ග් පවසයි. එය ලෝක ජනගහනයෙන් තුනෙන් එකකි(1/3). ෆෙස්බුක් රාජ්‍යයක් හෝ මහාද්වීපයක් නොවේ. එහෙත් සමාජ මාධ්‍ය ජාලයක් ලෙස පෙරමුණ ගෙන තිබේ. අනෙක් සමාජ මාධ්‍ය රාජ්‍යයන් හා සැසඳුවොත් WhatsApp හා YouTube වෙත ප්‍රවේශවන ග්‍රාහක ප්‍රමාණය චීන හා ඉන්දියානු ජනගහනය අභිභවයි. Facebook’s messenger app මාසික භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉන්දියාව හා චීනයේ ජනගහනයට සමාන වේ. එමෙන් ම චීනයේ WeChat සහ Weixin සමස්ත ජනගහනයෙන් 76% ක් ඉක්මවා පරිහරණය කරයි. Twitter, Reddit, Instagram, Sina Weibo, QZone චීනයේත් ‍Facebook ආදේශකය (Chinese messaging app QQ) මාසිකව භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලොව තුන්වන ජනගහනය අධික එක්සත් ජනපදයේ සමස්ත ජනගහහය ඉක්මවයි. ලොව විශාල සමාජ මාධ්‍ය වේදිකාව (Messenger, WhatsApp, and Instagram) Facebook සමාගමට අයත් වෙයි. දෙවන ස්ථානය QQ, QZone, සහ WeChat චීනයේ Tencent සමාගමට හිමි වෙයි. ජනගහනය අධික ලොව බොහෝ රාජ්‍යයන් දේශපාලන හා ආර්ථික අර්බුද මත අවදානම් මාවතක ගමන් කරන අතර Facebook සහ Twitter සමාජ මාධ්‍යය සංජාලා නවීකරණය සඳහා සිය අවධානය යොමු කරමින් නිදහසේ ගලා යයි.

එවරස්ට් කඳු මුදුන මත, උතුරු ධ්‍රැව ආර්ක්ටික් ප්‍රදේශයේ පමණක් නොව, සඳ මතු පිට අන්තර් සංජාල පහසුකම් මගින් Wi-Fi තාක්ෂණය ලබා ගත හැක. අභ්‍යවකාශයේ සිට නාසා පර්යේෂණ මධ්‍යස්ථානයට විවිධ සන්නිවේදන පහසුකම් සඳහා රැහැන් රහිත අන්තර්ජාල ( Wi-Fi) සබඳතා ඇත. ප්‍රධාන සංජාල Sband සහ Ku-band යනුවෙන් හැඳින්වෙයි. Sband අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ දුරස්ථ පාලනය සහ ශ්‍රව්‍ය ක්‍රියාවලිය Ku-band දත්ත සහ වීඩියෝ පෘථිවි මධ්‍යස්ථානය වෙත එවනු ලබයි. එමෙන්ම Twitter පණිවුඩ හුවමාරුව ද සිදු වෙයි. 2010 වසර සිට එවරස්ට් කඳු මෂ්තකයේ සිට උස Fi-3G තාක්ෂණය මගින් සන්නිවේදය කිරීමේ හැකියාව Nepalese Telecommunications Company ලබා දී ඇත.

නව තාක්ෂණික පිම්ම

වර්තමානයේ දියුණු ඩිජිටල් තාක්ෂණය හා සමාගම් නව නිපැයුම් පාරිභෝගිකයා ලුහුබඳිමින් සිටියි. එහෙත් එම අත්දැකීම පිළිගැනීමට තවමත් මානව සමාජය මුහුකුරා ගොස් නැති හෙයින් එම නිෂ්පාදන හා සේවාවන් හි අපේක්ෂිත ඵලදායකත්වය නෙළා ගැනීම දුෂ්කරය. තාක්ෂණික කර්මාන්තය හා සමාගම් වෙළෙඳ පොළ නව අදහස් හා මෙවලම් නිරතුරු ව උත්පාදනය කරයි. එම නිෂ්පාදන විවෘත වෙළෙඳ පොළට ප්‍රවේශ වන්නේ ඉතා ක්ෂණිකව හා සමාජය අපේක්ෂා නොකරන මොහොතකය. එනම් එක් නව තාක්ෂණික නිෂ්පාදනයක උපයෝගිතාව සමාජය අවබෝධ කර ගැනීමට පෙර තවත් නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට ප්‍රවේශ වෙයි. වර්තමානයේ වෙළෙඳ පොළ මත නව තාක්ෂණික මෙවලම් ගොඩගැසී ඇත. සැබවින් ම ඇපල් සමාගම නිෂ්පාදනය කළ නව ඩිජිටල් මෙවලම වූ Newton, smartphone වත්මන් සමාජයට වඩා දසක දෙකක් ඉදිරියෙන් සිටී. අභ්‍යවකාශ තාක්ෂණය වසර සියයක් පමණ ඉදිරියෙන් ගමන් කරයි. සංවර්ධනය වූ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් හා සසඳන විට පරිවාර රාජ්‍යයන්ගේ දැනුම හා තාක්ෂණය තවමත් 18 වන සියවසේ රැඳී තිබේ. පරිවාර රාජ්‍යයන් ඉදිරි පෙළ රාජ්‍ය නිමැවුම් හා මෙවලම් උපයෝගිතාවයකින් තොර ව පරිභෝජනය කරන විවෘත වෙළෙඳ පොළ අනුගාමිකයන් පිරිසක් පමණි. ඔවූහු කිසිවිටක සිය අතැති විද්යුත් මෙවලමේ නිෂ්පාදකයෝ නොවෙති.

වෙළෙඳ පොළ ප්‍රතික්ෂේප වීම

ඉදිරි පෙළ රාජ්‍යයන් හා සමාගම් 2017 වසරේ තාක්ෂණික සංවර්ධනයේ ඉතා උසස් වර්ධනයක් ලබා ඇත. කෘත්‍රිම බුද්ධිමත්භාවය (Artificial Intelligence) හඬ හා රූප හැසිරීම විවිධ මාර්ග මඟින් අන්තර් ක්‍රියාකාරිත්වය මත තාක්ෂණික උපාංග විසින් ලබා දෙයි. Amazon සමාගමේ ජනප්‍රිය ප්‍රතිරාව smart ශබ්දවාහිනී උපාංග Alexa digital assistant සමඟ බද්ධ ව ඇත. එහෙත් මෙම තාක්ෂණය තවමත් මානව සමාජයේ උපයෝගිතාව සමඟ නොසැසඳෙයි. ඇතැම්විට වෙළෙඳ පොළ තුළ ඉල්ලුමක් නොමැති හෙයින් බොහෝ තාක්ෂණික සංවර්ධන කාලය ඉක්මවමින් අතුරුදහන් වෙයි. රියදුරෙක් රහිත ස්වයංකී‍්‍රයව ක්‍රියා කරන මෝටර් රථ එතෙක් අප තුළ පැවැති මතයක් වෙනසකට ලක් කරමින් නව තාක්ෂණය විසින් අපව සුරංගනා ලෝකයක් වෙත ප්‍රවේශ කළේය. සැබවින් ම එය යථාර්ථයකි. Google සමාගම විසින් ඉදිරිපත් කළ නව නිපැයුම ලොව සංවර්ධනය වූ රාජ්‍යයන් පවා පිළිගැනීමට මැළි වෙයි. බොහෝ දෙනෙක් ස්වයංක්‍රීය මෝටර් රථ ධාවනය ගැන මවිතයට හා බියට පත් ව සිටිති.

එහෙත් මෙම කම්පනය සමාජය දැනුමෙන් මුහුකුරා නොයාම නිසා හටගත් අනියත බියකි. ඉදිරි දසකය තුළ නව තාක්ෂණික ස්වයංක්‍රීය රථ ධාවනය සාමාන්‍ය සිදුවීමක් බවට පත්වනු ඇත. දැන් සමාගම් සිය සැලසුම් සකස් කරන්නේ අනාගත ස්වයංක්‍රීය රථ වෙළෙඳ පොළ ජය ගැනීම උදෙසාය. ඒ සඳහා සමාජය සකස් කිරීම ඉදිරි පෙළ රාජ්‍යයන් මුහුණ දෙන අභියෝගයයි.

ගූගල් ආයතනය Gboard ජනගත කිරීමෙන් වසර දෙකකට පසු ප්‍රායෝගික යතුරු පුවරුවට දැන් භාෂා 500 ක් භාවිතකිරීමේ හැකියාව ඇත. ගූගල් ආයතනයට අනුව පෘථිවිය මත සිටින ජනගහනයෙන් 90% කට ජංගම දුරකථනය මගින් සිය ප්‍රථම භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව ඉන් ලැබෙයි. ලිවීමේ ක්‍රම 40 කට Gboard මගින් පහසුකම් සැලසෙයි. රෝමන්, සෙරිලික්, දේවනාගරි වැනි බොහෝ අක්ෂර ලිවීමේ හැකියාව නව තාක්ෂණය මගින් උදා කර ඇත. බටහිර බෙන්ගාලයේ වෙසෙන සන්තාලි ආදිවාසියාගේ ලේඛන රටාව වූ ඔල් චිකි පවා සටහන් කිරීම ද සිදු කළ හැක.

බොහෝ මෘදුකාංග (software) සහ සේවා කෘත්‍රිම බුද්ධිමත්භාවය විසින් හඬ, සංගීතය, සිනමාව හා වින්දනය වඩාත් ඉහළ වෙළෙඳ පොළක් දක්වා පරිවර්තනය කර ඇත. ගෝලීය සමාජය යම් දිනක නව තාක්ෂණය HP, Dell, and Qualcomm, Amazon, Google විසින් ඉස්මතු කරන දැනුම පිළිගැනීමට සහ අගය කිරීමට සමත්වන්නේ නම් එහි ප්‍රතිලාභය අත්පත්කර ගත හැක.

කෘති‍්ම බුද්ධිමත්භාවය

දැනුම මත පදනම් නව තාක්ෂණය කෘත්‍රිම බුද්ධිමත්භාවය (artificial intelligence) යැයි අර්ථ ගැන්වෙයි. කෘත්‍රිම බුද්ධිමත්භාවය ඇතැම්විට අන්තර්ජාලය ද අවුලකට පත් කරයි. එහෙයින් බොහෝ දෙනකු එය මඟහැර යාමට වෙර දරති. එහෙත් 2019 මධ්‍යාහනය වන විට චීනය කෘත්‍රිම බුද්ධිමත්භාවයෙන් අමෙරිකාව අභිභවනය කරනු ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි. ජර්මනියේ වොක්ෂ්වැගන් Volkswagen (VWAGY) ආයතනය ස්වයංක්‍රීය වාහන ධාවනය සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධිමත්භාවය සමඟ වැඩ කිරීමට පර්යේෂණ අරඹා ඇත. ජේ. පී. මොර්ගන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ඉතා හොඳ සේවාවාක් ලබාදීමට කෘත්‍රිම බුද්ධිමත්භාවය මත පදනම් නව තාක්ෂණය සඳහා ඩොලර බිලියන 10 ක් ආයෝජනය කර ඇත. පර්යේෂණ වාර්තා අනුව වර්තමානයේ නිෂ්පාදන ආයතන කෘත්‍රිම බුද්ධිමත්භාවය භාවිත කරනුයේ 15% ක් පමණි. සේවකයන් 100.000 වඩා සේවයේ යෙදෙන කර්මාන්තශාලා කෘත්‍රිම බුද්ධිමත්භාවය ඉතා හොඳින් යොදා ගනී. එහෙත් රාජ්‍යයන් මෙම ක්‍රමවේදය භාවිත කිරීමට අපොහොසත්ය. මක්නිසාදයත් කේන්ද්‍රගත බල දේශපාලනය එමගින් විකේන්ද්‍රණය වේ යැයි දේශපාලකයා කල්පනා කරන බැවිනි.

කෘත්‍රිම බුද්ධිමත්භාවයේ වාසි

තොරතුරු සකස් කිරීම, විශ්ලේෂණය සහ ඉතා වේගයෙන් භාවිත කිරීමේ හැකියාව අපරාධ වළකාගැනීමේ හැකියාව, ගමනා ගමන පහසුකිරීම, අනතුරු වළකා ගැනීම, ස්වයං ක්‍රියාකාරී වාහන පාලනය, මූල්‍ය කටයුතු විධිමත් සහ විශ්වාසනීයව මෙහෙයවීම පමණක් නොව රේඩියෝ විකාශනය සඳහා යොදා ගත හැක.

ගෝලීය මාධ්‍යයේ නව සංවර්ධන පසුබිම විමසුමේ දී ග්‍රාහකයා - අවකාශය (පොදු කක්ෂය) සහ විචාරය ඉතා වැදගත්ය. අනාගත ඩිජිටල් මාධ්‍ය භාවිතය වර්තමානයට වඩා බෙහෙවින් ම වෙනස්වෙයි. එමෙන් ම පාඨකයාගේ ස්වභාවය සහ අවබෝධය වෙනස් වෙයි. වර්තමානයේ ග්‍රාහකයා ප්‍රවෘත්ති නරඹන සහ ශ්‍රවනය කරන ප්‍රධාන මූලාශ්‍ර ලෙස රේඩියෝ, පුවත්පත්, සමාජ මාධ්‍ය සහ ටෙලිවිෂනය හැඳින්විය හැක. එය ග්‍රාහකයාගේ මාධ්‍ය හැසිරීම වයස, ස්ථානගත ප්‍රදේශය සහ රසවින්දනය වැනි වෙනත් වුවමනා මත තීරණය වෙයි. ඇතැම්විට එය කාලීන ව වෙනස් විය හැකි අතර මූලාශ්‍ර සපයන මාධ්‍යයේ විශ්වාසය මත රඳා පවතියි.

රාජ්‍යයන් 26 ක පුද්ගලයන් 50.000 ක් සහභාගිත්වයෙන් සිදු කළ සමීක්ෂණයේ දී ඉන් 51% ක් සෑම සතියක ම ප්‍රවෘත්ති ලබාගන්නේ සමාජ මාධ්‍යය භාවිතයෙනි. සෑම දහයෙන් එකක් (1/10) ප්‍රවෘත්ති නැරඹීමේ දී ප්‍රධාන මූලාශ්‍රය ලෙස සමාජ මාධ්‍ය භාවිත කරති. 2018 වසරේ සමාජ මාධ්‍ය සංජාල මගින් ප්‍රවෘත්ති ශ්‍රවණය කිරීම බ්‍රසීලයේ 10% සිට 18% දක්වා ද ඩෙන්මාර්කයේ 6% සිට 12% දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇත.

ඩිජිටල් ප්‍රවෘත්ති වාර්තාව

ලෝකය පුරා බොහෝ පුවත්පත් පාඨකයන් සහ ඩිජිටල් මාධ්‍ය භාවිත කරන්නන් මුද්‍රිත මාධ්‍ය තවමත් ඓතිහාසික තොරතුරු, අතීත රංජනය, අද්භූත ගුප්ත කථා, ඇදහිය නොහැකි ආගමික කථා නීරස ව ඉදිරිපත්කොට කාලය විනාශකරන්නේ යැයි චෝදනා නගති. වර්තමානයේ ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙන හෙයින් ප්‍රවෘත්ති සහ තොරතුරු එහි උණුසුම පහවයාමට පෙර එසැණින් ම කල් ඉකුත් වෙයි. එහෙයින් වේගය, විශ්ලේෂණය සහ නැවුම්බව ප්‍රවෘත්තියක පාඨකයා අපේක්ෂිත මූල සාධක වන අතර කාලය අල්ලාගැනීම සෑම මාධ්‍යයක ම අභ්‍යාසය විය යුතුය. කල් ඉකුත් වූ සහ පිළුණු, සිල්ලර තොරතුරු පාඨකයා වෙත සම්පාදනය කිරීමෙන් පමණක් ඔවුන් ආකර්ෂණය කර ගත නො හැකිය. එකී තත්ත්වය මත තරුණ පරම්පරාව මුද්‍රිත මාධ්‍යයෙන් ඉතා වේගයෙන් ඉවත් වෙමින් සිටිති. තවමත් මුද්‍රිත මාධ්‍යයේ පාඨකයා ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලද දුරස්ථ සහ නාගරික වයෝවෘධයෝය. වත්මන් පාඨකයා අතිශයෝක්ති, නීරසභාවය සහ විශ්වාසයෙන් තොර තොරතුරු ප්‍රතික්ෂේප කරයි. මන්ක්නිසාදයත් ප්‍රවෘත්ති සහ තොරතුරු ගලා එන මුලාශ්‍ර බොහොමයක් ඔවුන් සතු ව ඇති බැවිනි. ඒවායේ නිර්වද්‍යතාවය ඔවූහු සසඳා බලති.

ගෝලීය වෙබ් දර්ශකයේ (Global Web Index)දත්තවලට අනුව ඩිජිටල් ප්‍රවෘත්ති සොයා ග්‍රාහකයා දවසින් වැඩි කාලයක් අවදියෙන් සිටී. මැදිවියේ පුද්ගලයන් දිනකට පැයකට ආසන්න කාලයක් ජංගම දුරකථනයෙන් මාර්ග ගත online සමාජ මාධ්‍ය භාවිතයෙන් ප්‍රවෘත්ති සහ කාලීන පුවත් කියවයි. දහයෙන් හයක් (6/10) වැඩිහිටියෝ සිය ජංගම දුරකථනය කාලීන පුවත් නැරඹීම හෝ ශ්‍රවනය සඳහා භාවිත කරති. 41% ක් විශේෂිත ප්‍රවෘත්ති සම්පාදනය කරන (app) ඇප් භාවිත කරති. රේඩියෝ විකාශන මධ්‍යස්ථානවලට ඉතා විධිමත් ව සහ නිදහස් ව අන්තර්ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිතකිරීමේ අවස්ථාව දැන් උදා වී ඇත. එය නව ශ්‍රාවකයන් සොයායෑමේ හොඳම මාර්ග යයි. ඒ සඳහා ස්වයංක්‍රියාකාරක (software) මෘදුකාංග (now playing) දැන් පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව ඇත. ශ්‍රාවකයා සහ විකාශන මධ්‍යස්ථානය අතර සබඳතාව සහ ප්‍රතිචාරය අතිශයින් ම වැදගත්ය. අනාගතයේ නිර්මාණය වන තාක්ෂණික පිම්ම සඳහා සියලු මාධ්‍ය වර්තමානයේ සුදානම් විය යුතුය.

සංශෝධනය ගැන කතා නොකර ප්‍රතිත්‍රස්ත පනතට බොරුවට බණිනවා

$
0
0
මැයි 10, 2019 01:00
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ එල්ලවන විවේචන, නැ‍ඟෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පැන නැඟී ඇති ගැටලු ආදිය පිළිබද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මෙසේ අදහස් දක්වයි.

* ආරක්ෂක අංශවලට නිදහස දීල තියෙනවා
* මගේ වාසියට කතා කරන්නෙ නැහැ
* අත්අඩංගුවේ ඉන්නෙ හමුදා නිලධාරින් හතරයි
* එල්.ටී.ටී.ඊ. අයි එස් අයි එස් සම්පූර්ණ වෙනස්
* දේශපාලනය ගැන කලකිරීමෙන් ඉන්නෙ
* ෂරියා විශ්වවිද්‍යාලය ආණ්ඩුවට ගන්න ඕන
* අන්තවාදය ගැන අපිත් පැමිණිලි කළා

තව්හිද් ජමාත් සංවිධානය මෙතරම් වර්ධනය වෙනකම් ඒ ගැන ආණ්ඩුවෙ අවධානය යොමු නොවීම ගැන චෝදනා එල්ල වෙනවා?

මේ සංවිධානයෙ ක්‍රියාකාරකම් වර්ධනය වෙද්දි අපි පොලිසියට පැමිණිලි කළා. මාවනැල්ල සිද්ධියෙන් පසුවත් පැමිණිලි කළා. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාත් මාත් විවිධ තොරතුරු ලබා දුන්නා. ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදුවෙනවා කියලයි අපි හිතුවෙ. පාර්ලිමේන්තුවෙත් මේ ගැන කතා කළා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙ මුස්ලිම් මන්ත්‍රීවරු මේ අන්තවාදය ගැන කතා කළා. පොලිස්පතිතුමාටත් පැමිණිලි කළා. කොහොම වුණත් මේ අවාසනාවන්ත සිද්ධිය වුණා.

මේ විපත වළක්වා ගන්න බැරි වුණේ ආණ්ඩුවේ වරදින් කියලයි කියන්නෙ?

හරියටම පරීක්ෂණයක් කරනතුරු මේ ගැන කතා කරන්න මම කැමති නැහැ. මේ වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අපි ඉල්ලුවා. තේරීම් කාරක සභාවෙදි ඉදිරිපත්වෙන කාරණා එක්ක ඉදිරි තීන්දු ගන්න පුළුවන්.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක දේශපාලනඥයන්ගෙ නම් කිහිපයකුත් කියවෙනවා. මේ අයව අත්අඩංගුවට ගන්නෙ නැහැ කියල පූජ්‍ය පක්ෂයත් චෝදනා කරනවා?

විවිධ අය විවිධ දේ කියනවා. යම් කිසි කෙනෙක් වැරදිකරු වුණොත් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න ඕන. චෝදනා කළ පමණින් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න බැහැ.

ජාතික ආරක්ෂාව තුට්ටුවට දාල රණවිරුවන්ගෙන් පළිගත් බවත් මේ නිසා රටේ ආරක්ෂාව බිඳවැටිල තිබුණු බවටත් චෝදනා නැ‍ඟෙනවා?

ඕක තමයි කියන ලොකුම බොරුව. බුද්ධි අංශවල ඉන්න ගණන ඉලක්කම් හැටියට පිටතට දෙන්න හොඳ නැහැ. බුද්ධි අංශයෙ විශාල සංඛ්‍යාවක් අපිට ඉන්නවා. ඔය කතා කියන්නෙ කවුද? ඔවැනි කතා නොකිය යුතුයි. ඒ හරහා ඔවුන් බුද්ධි අංශ අඩපණ කරනවා. ඕව දේශපාලන කතා. පහුගිය කාලෙ වෙච්ච සිද්ධි 7ක් ගැන හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කළා. පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගිහින් කප්පම් ගැනීමේ චෝදනාවට නාවික සෙබළු 15කගෙන් ප්‍රශ්න කළා. ඔවුන්ගෙන් 7ක් අත්අඩංගුවට ගත්තා. මේ ගැන පරීක්ෂණ කරන්න කිව්වෙ හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම ගැන සෙබළු 8 දෙනෙක්, ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සෙබළු 11ක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුද හමුදා නිලධාරීවරයෙක්, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් සිද්ධියට සෙබළු 07ක්, වැලිවේරිය සිද්ධියට සෙබළු 4ක් අත්අඩංගුවට ගත්තා. මේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් ඇප පිට නිදහස් වුණා. මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරෙ ඉන්නෙ හතරදෙනෙක් විතරයි.

ජනතාව ත්‍රස්ත බියකින් පෙළෙනවා. මේ බිය නැති කරන්න ආණ්ඩුව මොනවද කරන්නෙ?

ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න, නීතිය හාසාමය අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තය පත්කරන්න ඕන. ජනාධිපතිතුමා මේ ගැන සලකා බලයි කියල මම හිතනවා. සරත් ෆොන්සේකා මහත්තයගෙ අද්දැකීම් එක්ක මේ තත්ත්වයට මුහුණ දිය හැකි දිගුකාලීන සැලසුමක් හදන්න පුළුවන්.

අත්අඩංගුවට ගත්ත සැකකරුවන් නිදහස් වෙනවා. මේව වෙන්නෙ දේශපාලන බලපෑම් මත කියලත් කියනවා. මෙවැනි තත්ත්වයක සාමාන්‍ය ජනජීවිතය නැවත ගොඩනඟන්න පුළුවන්ද?

මේ අත්අඩංගුවට ගැනීම්වලදී දේශපාලන බලපෑම් වෙනව කියල මම හිතන්නෙ නැහැ. හමුදාපතිවරයත් මේ ගැන ප්‍රකාශ කරල තිබුණා. නමුත් හමුදාපතිවරයා ඒ බලපෑම්වලට යටත් වුණේ නැහැ. ඒක තමයි රටට අවශ්‍ය. මේවට කවුරු හෝ බලපෑම් කරනවා නම් ඒක වැරදියි. ආරක්ෂක අංශ ඒ බලපෑම්වලට යටත් විය යුතු නැහැ. ආරක්ෂක අංශවලට අවශ්‍ය කටයුතු කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා. යුද හමුදාපතිවරයගෙ ප්‍රකාශයෙන්ම ඒ බව ඔප්පු වෙනවා.

රටේ ඇතිවුණු විපතට මුවාවෙලා ආණ්ඩුව ජනතාව මර්දනය කරන අණපනත් කීපයක් පාර්ලිමේන්තුවට ගේන්න හදනව කියලත් කියනවා?

ඔය කතා බොරු. මේ දේශපාලනය ගැන මට හරි කලකිරීමක් තියෙන්නෙ. පියල් නිශාන්ත මන්ත්‍රීතුමා කියනව හමුදාවෙ 11ක් මැරුණා කියල කිව්වේ මම කියල. මේ වගේ බොරු කියන්න මිනිස්සුන්ගෙ කටවල් හැදෙන්නෙ කොහොමද කියල මට හිතාගන්නවත් බැහැ. දේශපාලකයො බොරු හදනවා. ඔය බොරුවත් ඒ වගේ එකක්.

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලි‍මේන්තුවේ සාකච්ඡා වෙනවා?

ජාත්‍යන්තර සබඳතා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙදි පක්ෂ, විපක්ෂ හැමෝම මේ ගැන කතා කළා. දැන් ඔය කතා කරන්නෙ මුල්ම කෙටුම්පත ගැන. ඒ කෙටුම්පත සං‍ශෝධනය වෙලා තියෙන්නෙ. සංශෝධිත කෙටුම්පත ගැනයි කතා කරන්න ඕන.

දැනට තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙ, ජාතික ආරක්ෂාවට ප්‍රමාණවත් වගන්ති සහ ප්‍රතිපාදන තිබියදී අලුතෙන් පනතක් අවශ්‍යද?

තඹ කර්මාන්ත ශාලාවෙ අත්අඩංගුවට ගත්තු සැකකරුවන්ට ඇප දුන්න විනිසුරුතුමා, පොලිසියෙන් ඇහුවෙ ඇපනොදෙන්න හේතු කියන්න කියල. මේ ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. දැනට තිබෙන නීති රීති යටතෙ එහෙම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා. එහෙම නම් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න අලුත් නීති අවශ්‍යයි.

එල්.ටී.ටී.ඊ. ය වගේ දරුණු ත්‍රස්තවාදයක් පරාජය කළෙත් මේ නීති යටතෙම නේද?

ඒ අවස්ථාවෙදි රටේ හදිසි නීතිය දිගින් දිගටම පනවල තිබුණෙ. එල්.ටී.ටී.ඊ. ය දේශීයව තිබුණු ත්‍රස්තවාදයක්. මේ ඇතිවෙලා තියෙන්නෙ ගෝලීය ත්‍රස්තවාදයක්. මේ අය මෙහෙයවන්නෙ කවුද කියලවත් කවුරුවත් දන්නෙ නැහැ. අයි එස් අයි එස් කියනව ඔවුන් සම්බන්ධයි කියල. ඔවුන්ගෙ අරමුණ මොකක්ද කියලවත් දන්නෙ නැහැ. මරාගෙන මැරෙන කට්ටිය එහෙම වෙන්නෙ ඇයි. ඒ අයගෙ බලාපොරොත්තු මොනවද කවුරුවත් දන්නෙ නැහැ. මේ ත්‍රස්තවාදය ගැන වෙනම විදියකට බලන්න ඕන. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වගේ කෙනෙකුට නීතිය හා සාමය දෙන්න කියල අපි ඉල්ලුවෙ ඒ හින්දයි. ආණ්ඩුවෙ සියලු දෙනා අත්සන් කරල ජනාධිපතිතුමාගෙන් මේ ඉල්ලීම කරනවා. රටේ ජනතාවගෙ බලාපොරොත්තුවත් ඒකයි.

ජනතාව අන්දමන්ද වෙලා ඉන්න වෙලාවක අලුත් පනත් ගේන්නෙ විපක්ෂය මර්දනය කරන්න කියලයි කියන්නෙ?

ඔය බොරු. මම ඕව ප්‍රතික්ෂේප කරනවා. එකම බොරුව දිගින් දිගටම කියමින් ඒව සමාජගත කරන එක තමයි විපක්ෂය කරන්නෙ. ඔය ගැන කතාකරන කාලයත් අපරාධයක්.

විපක්ෂය බොරුව සමාජගත කරද්දි ඒකට මුහුණ දෙන්න ශක්තියක් ආණ්ඩුවට නැහැ කියල මම කිව්වොත්?

යම්තාක් දුරකට ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. රාජ්‍ය මාධ්‍යයත් දැන් වාරණයකට ලක්වෙලා. දැන් රාජ්‍ය මාධ්‍ය තුළ ඇත්ත කතා කරන්න අපිටත් බැහැ. මේ රටේ රාජපක්ෂකරණය වෙච්ච මාධ්‍ය ඒ අයගෙ න්‍යාය පත්‍රවලට වැඩ කරනවා. ඇත්ත කතා කරන්න නිදහස තියෙන්නෙ සමාජ මාධ්‍යජාල හරහා විතරයි. මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින්. ජනාධිපතිතුමයි, මාධ්‍ය ඇමැතිවරයයි මේ ගැන වහා මැදිහත් විය යුතුයි. ජාතික ආරක්ෂාවට හානිවෙන කාරණා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කියූ කාරණා වැනි දේවල් පිළිබඳව සොයා බැලීම අවශ්‍යයි.

ආණ්ඩුවෙ සිටියත් රාජ්‍ය මාධ්‍ය නිදහස් නැහැ. රටේ මාධ්‍ය නිදහසක් නැහැ කීම තුළම ආණ්ඩුව මොනවද කරන්නෙ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්?

විවිධ අය තමන්ගෙ වාසියට විවිධ දේවල් කියනවා. මම මගේ වාසියට කිසිවක් කියන්නෙ නැහැ. අපි අතර ප්‍රශ්නයක් තියෙනව කියල ජනාධිපතිවරයම කිව්වා. දින 51 දි මේ රටේ වෙච්ච දේවල් අපි දැක්කා. දැන් ජනාධිපතිතුමා එක පැත්තකට අදිනවා. අපි ආණ්ඩුව කෙළින්කරගෙන යන්න හදනවා. මේක තමයි ප්‍රශ්නය.

විජයදාස රාජපක්ෂ මහත්තය නම් කියන්නෙ අවුරුදු ගණනාවක් තිස්සෙ මේ රටට ආණ්ඩුවක් නැහැ කියලයි?

එතුමා හැමදාම එක එක කතා කියනවා. ඒවට උත්තර දෙන කාලය අපරාධයක්

ඔහු තාමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්?

ඒ ගැන අපි විවිධ අවස්ථාවල කතාකළා. පක්ෂය තීරණයක් ගනීවි.

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ගැන මේ ආණ්ඩුව සොයා බැලීමක් කළේ නැහැ කියලත් චෝදනා එල්ල වෙනවා?

මේ ආයතනයට මහවැලි අධිකාරියෙන් 2013 වසරෙදි අක්කර 35ක ඉඩමක් දෙනවා. මේ ඔප්පුවට ජනාධිපතිතුමා අත්සන් කරන්නෙ 2018 දි. 2013 දි ග්‍රාමීය පුහුණු කිරීමේ මධ්‍යස්ථානය හැටියට අනුමැතිය ලබාගෙන තියෙනවා. ගොවි බිම් ලෙස අවසර ලබා ගත්තත් පස්සෙ බැටිකලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් හැටියට මේ ආයතනය වෙනස් වෙනවා. පස්සෙ කොලේජ් කෑල්ල හැලෙනවා. නැවත බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වෙනවා. මුල් කාලයෙ අරාබි නමකිනුත් මේ ආයතනය හඳුන්වල තියෙනවා. මේ ගැන අපි සොයා බැලුවා. අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවෙ උසස් අධ්‍යාපනය සඳහා වන අනුකාරක සභාවෙදි විමර්ශනයට ලක් කළා. මේ ආයතනයෙ ප්‍රශ්නකාරී තත්ත්ව ගොඩක් තියෙනවා. 2015 දී ඔවුන් ඉල්ලීම් කළත් අද වෙනකන් මේ ආයතනයට අනුමැතිය දී නැහැ. දැන් හොඳම දේ තමයි මේ ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත්කරල මඩකළපුව විශ්වවිද්‍යාලය හැටියට පවත්වාගෙන යාම.

රටේ පවතින තත්ත්වයත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉල්ලන බවත් කියනවා?

රට ආයෙත් භීෂණ යුගයට යයි. සුදුවෑන්වලින් පරීක්ෂණ කරයි. රට ඒකාධිපති පාලනයකට යට වෙයි. කෲරත්වය රජ කරයි. ආයෙත් එවැනි යුගයකට යන්න ජනතාව ලැහැස්ති නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නීතිය හා සාමය, යුක්තිය ඉටුවෙන ජාතික ආරක්ෂාව තරකරගත්ත රාජ්‍යයකට යන්නයි ජනතාවට අවශ්‍ය.

ඡායා සිරිපාල හල්වල

විරු දියණිය

$
0
0
මැයි 10, 2019 01:00

හිසින් ගලවා වෙහෙර දේවි
වසර ගණනක් නික්මුණේ
සිතාගන්නට බැරි ලෙසින්මයි
දෑත් සියුමැලි , රළු වුණේ
එදා දරුවන් කුඩා හින්දම
සිතිත් ගැහි ගැහි පසුවුණේ
ලැබූ පුහුණුව නිමාවක් නැහැ
තවත් තේජස් වැඩි වුණේ

ලැබුනොතින් යළි ඇරයුමක්
මට දෙපාරක් නැහැ සිතන්නේ
මෙදා හිත නිදහසේ හන්දම
පණ වැනියි රට රකින්නේ
රටක් රැක ගන්න පෙරදා
වෙහෙර දේවිය බිලිවුනේ
දිරිය වඩමින් පැවත එන්නෙ
එවන් මහ පරපුරකිනේ

දර්ශනී අරංගල

පරිස්සමින් වැඩ කරන්න

$
0
0
මැයි 10, 2019 01:00

ඇතැම් රූපවාහිනී, ගුවන් විදුලි නාළිකාවන්, චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා සාහිත්‍යය විෂයන් තුළින් අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් යුතුව ආගම් පිළිබඳව ඊට අවමන් වන ආකාරයෙන් තම මත අදහස් ප්‍රකාශ කිරීමට, සාකච්ඡා කිරීමට පියවරෙන් පියවරට ඉදිරියට පැමිණ තිබීම ජනතාවගේ අසතුට ඇතිකරවීමට හේතුවකි. එමෙන්ම ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් පිරිසකගේ පරිශ්‍රමයෙන් යුතුව බැතිමත්ව චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, ගීත රචනාව සහ ගැයීම යන කර්තව්‍යයන්, නිර්මාණයන් ඉටුකරද්දී තවත් පිරිසක් ආගම් භේද ඇතිකරමින් මූලධර්මවාදීන් ලෙස හැසිරීමට සමස්ත කලා ක්ෂේත්‍රය කේන්ද්‍රස්ථානයක් ලෙස තෝරාගැනීම රටට, ජනතාවට අසුබවාදී පෙරනිමිත්තකි.

මීට සත්වසරකට පමණ පෙර ජාතික රූපවාහිනිය තුළින් රාත්‍රියෙහිදී විකාශය වන ලද රියැලිටි සංගීතමය වැඩසටහනක් අතරතුරදී එහි විනිශ්චය මණ්ඩලයෙහි සාමාජිකයෙකු මිහිඳු හාමුදුරුවන්ට කලිසම ඇන්දුවා වගෙයි යනුවෙන් එකල වියෝවී සිටි ප්‍රවීණ සිනමා නළුවෙකු පැවසුවේ යැයි පැවසීමෙන් බොදු බැති සිත් නොසන්සුන්තාවයකට පත්විණි.

එමෙන්ම පෝය දිනයන්හිදී නිසංසල රාත්‍රියෙහිදී සුන්දර දසුනක් ලෙස අහසෙහි දිස්වන සඳ නැරඹීම තුළින් කුඩා දරුවන් ලබනුයේ අපරිමිත වූ සතුටකි, වින්දනයකි. විශ්වයටම සඳ පායා ඇති රාත්‍රියෙහිදී ඒ තුළින් ආලෝකය විඳිමින් සඳ එළියට වෙඩි තියන්න යනුවෙන් නම්කර වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමට තරම් සිත ම්ලේච්ඡ වූයේ ඇයි?

එපමණක් ද නොව සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණකරුවෙකු පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී Òසිදුහත් කුමාරයා ඉපදුණු පසු සත් පියුම් මතින් ඇවිද යෑම අසත්‍යයක් යැයි ප්‍රථම වතාවට ජනතාව දැනුම්වත් වූයේ ඔහුගෙනි.

පසුගිය අවුරුදු සමයෙහිදී එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක සති අන්තයේ රාත්‍රී ප්‍රශ්න විචාරාත්මක තරග වැඩසටහනක් වෙත සහභාගි වෙමින් සිටින අතරතුරේදී එම ළමා තරඟකාරිනිය, බුදු හාමුදුරුවොත් පොඩ්ඩයිනෙ දන්නේ යැයි පවසනු ලැබුවේ එය නරඹමින් සිටින ලද ප්‍රේක්ෂක ජනතාව අන්ද මන්ද කරවමිනි.මෙම සෑම සිද්ධි දාමයක්ම ආගම් භේද ඇතිකරලීමට ආගම දහම පහත්කොට සැලකීමට තුඩු දෙන්නක් බැව් ඒ සැම දැනගත යුතුය. කලාවේ නාමයෙන් ඊට මුවා වී සීමිත පිරිසක් විසින් සිදුකරන මෙම අන්තවාදී ක්‍රියාවන් ප්‍රකාශයන් තරයේ හෙළාදකින අතර එය වහාම නතර කළ යුතුය.

සරත් ලියනගේ, රන්මුතුගල

මතු පරපුර අපි රකිමු

$
0
0
මැයි 10, 2019 01:00

හතළිස් හත් ලක්ෂයක දරුවන් අද පාසල් අධ්‍යාපනය ලබයි. මූලික ශ්‍රේණියේ සිට අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ දක්වා දරුවන් රජයේ මෙන්ම පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය හදාරයි. ජාතික පාසල් - මහ විදුහල් - මිශ්‍ර පාසල් ප්‍රාථමික පාසල් ලෙස පාසල් වර්ග කීපයක් ඇත. සතියේ සඳුදා සිට සිකුරාදා දින දක්වා දින 05 පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යාපන කටයුතු කරනු ලබන්නේ උගත් / වියත් ගුරු මණ්ඩලයක් විසින්ය. පාසල් අධ්‍යාපනය හැර දරුවන්ට ක්‍රීඩා මෙන්ම තම කුසලතා වර්ධනය කර ගැනීමට මහඟු සේවයක් පාසල ඉටුකරනු ලබයි. ලංක‍ාවේ අධ්‍යාපනය, - සෞඛ්‍ය සේවය මෙන්ම නොමිලේ ලබා දීමට රජය කටයුතු කර ඇත. අධ්‍යාපනය සඳහා රු. මුදල් විශාල ප්‍රමාණයක් වැය වේ. එතරම් මහ ධනස්කන්දයක් වියදම් කර රජයක් මහජනතාවත් බලාපොරොත්තු වන්නේ උගත් වියත් යහපත් පුරවැසියන් තම මව්බිමට ලබා දීමටය.

අද වන විටත් අධ්‍යාපනය උසස් අයුරින් පවතින අතර පාසල් දරුවන්ගේ තත්ත්වය ඉතාම අසරණ බව කිවයුතුය. නගරයේ මෙන්ම ගම්බද ප්‍රදේශවලත් පාසල් දරුවන් දැඩි මානසික පීඩාවන්ට ලක්වී ඇත. පාසල් දරුවන්ගේ සිතුම් - පැතුම්, කතා - බහා ගති පැවතුම් මෙන්ම හැසිරීම් රටාවද ඉතා ශීඝ්‍ර වෙනසකට ලක්වී ඇත.

අද දරුවන්ගේ ළමා ලෝකය, වෙනදා තරම් සුන්දර සෞම්‍ය ලෙස දැකිය නොහැක. පාසල් ඇරී ගෙදර එන දරුවා ගෙදරදී ගතකරන්නේ හුදකලා ජීවිතයකි. දෙමාපියන් රැකියාවට ගොස්ය. වැඩ අහවර වී එන වැඩිහිටියන් අතර මග දීම රෑ කෑම හෝටලයකින් නැතිනම්, ත්‍රීවිල් කඩයකින් ලොරි කඩයකින් රැගෙන එයි. ගෙදර උයන්න පිහන්න වේලාවක් නැත. රූපවාහිනි මාලා නාට්‍ය බලන්න තිබෙනවාය. සියලු දෙනාම එකට එක්වී ටී.වී. නරඹන්නේ මැදියම් රෑ වෙන තුරුය. දරුවන්ගේ පාඩම් පොත් බලන්න වේලාවක් නැත. දරුවන් තැන් තැන්වල වැටුණු තැනම නිදිය. ආදරය - සෙනෙහස ළමයින්ට නැත. හෙට උදයට පාසැල් යායුතුය. පාසල් දරුවන් අද යන්ත්‍ර සූත්‍ර බවට පත්ව ඇත. දරුවන් තුන්වනශ්‍රේණියේ සිටම පහේ ශිෂ්‍යත්ව විභාගයට යොමු කරන්නේ ගුරුවරු නොවේය. මාපියන්ගේ විභාගය ලෙස පහේ ශිෂ්‍යත්වය හඳුන්වන්නේ එම නිසාය. සාමාන්‍ය පෙළ විභාගය ඊළඟ පියවරය. පාසල් අවසන් වී ගෙදරට නෑවිත්ම පුද්ගලික පන්තියට යන්නේ සාමාන්‍ය පෙළ තරගයට පුරුදු වෙන්නය. වයස දහ හතර පහළොවේ සිට පාසල් දරුවන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත. මත්ද්‍රව්‍ය වෙළෙන්දා මත් පෙති, මත් ටොෆි, දරුවන්ට විකුණන්නේ පාසල් සමීපයේ ගැවසෙමින්ය. මහ පරිමාණයෙන් පෞද්ගලික පන්ති හැම නගරයකම ඇත. මේ පන්ති අසල මත්පෙති විකිණීම ජයටම සිදුවේ. කිසිම වැඩිහිටියෙක් නැතිනම් ආරක්ෂක නිලධාරියෙක් ජාවාරම් පිළිබඳව සොයා නොබැලීම කනගාටුවට කරුණක්ය.

චන්ද්‍රසිරි ‍ගෝමිස්
කළුබෝවිල

ප්‍රහාරය නින්දිතයි

$
0
0
මැයි 10, 2019 01:00

2019 අප්‍රේල් 21 වැනි දින, එනම් පාස්කු ඉරුදින, පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින් සහ තවත් පුද්ගලයින් 500කට අධික සංඛ්‍යාවකට තුවාල සිදුකර විදේශිකයින්ද ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පල්ලි සහ හෝටල්වලට සිදුකරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය බෙහෙවින් කම්පනයටත් ශෝකයටත් පත්වන ලදී. මෙම කෲර ත්‍රස්ත ප්‍රහාර හරහා, පෙර කිසිදිනක නොවූ විරූ පරිදි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවටත් මානව ආරක්ෂාවටත් සෘජු බලපෑම් එල්ල කර තිබේ.

පරික්ෂාකාරීව සිටින මහජනතාවගේ ද සහය ඇතිව, ප්‍රහාරයෙන් අනතුරුව සිදුකරන ලද විමර්ශනවලදී සන්නද්ධ හමුදා සහ පොලීසිය සිත් තැතිගන්වන සුළු තරම් විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම ගිනි අවි සහ ආයුධ සංඛ්‍යාවක් රටේ විවිධ ප්‍රදේශවලින් සොයාගෙන තිබේ. රටේ පොලිස් ඇඳිරිනීතිය පැනවීමටත්, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.

යම් යම් වැදගත් දේශීය නීති සංශෝධනය කිරීමටත්, එසේත් නැතිනම් නව නීති සම්පාදනයටත් කටයුතු කර අවි සහ උණ්ඩ සම්බන්ධ නීති, යෝජනා සම්මත හා සම්මුති සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සමගින් සම්බන්ධ වන මෙන් සහ, එසේ නැතහොත්, මෙම තත්ත්වය රටේ ත්‍රස්ත භීතිය සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා මගපාදනු ඇති බව නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය ශ්‍රී ලංකා රජයට නිරන්තරයෙන් පෙන්වා දීමට කටයුතු කර තිබේ. පවත්නා දේශීය නීති, දශක හා වර්ෂ ගණනාවකින් අලුත් කර නොමැති අතර, එසේ හෙයින් ඒවා වර්තමානයේ පවතින තත්ත්වයට උපරිම අන්දමින් මුහුණදීමට හැකි මට්ටමක නොමැත. අප විසින් ඉදිරිපත් කළ මෙම අදහස් සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණකි. දැනට බලාත්මකව පවතින ඉපැරණි නීති යොදා ගනිමින් දැනට ලෝකයේ ඉස්මතු වෙමින් පවතින ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණදීම ශ්‍රී ලංකාවට කළ නොහැක්කකි.

පවත්නා වාතාවරණය යටතේ, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පහත දැක්වෙන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා නොපමාව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කිරීම අතිශයින් වැදගත් වනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමටත්, සපලදායී අන්දමින් මහජන සහයෝගය ලබාගැනීමටත්, මහජන ආරක්ෂාව සහතික කිරීමටත්, යාවත්කාලීන කරන ලද නීති අනුව ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණයට හැකියාව ලබාදීමටත්, රජයේ විවිධ ආයතනවලට තම තමන්ගේ රාජකාරිය තුළ වඩාත් සම්බන්ධීකරණයෙන් යුතුව වැඩකිරීමටත්, රටේ සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම රජය සමඟින් සම්බන්ධ වීමට සිවිල් සමාජයට, මාධ්‍යයට සහ මහජනතාවට ඉඩ සලසාදීමටත් එමගින් බෙහෙවින් උපකාර කරනු ඇති බව නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය විශ්වාස කරයි. තවද, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය තුරන් කිරීමටත් නීතිවිරෝධී අවි සහ පුපුරණ ද්‍රව්‍ය තුරන් කිරීමටත් ජාත්‍යන්තර ප්‍රජාව සමඟින් සාධනීය අන්දමින් සම්බන්ධවී උපකාර ඉල්ලා සිටීම සඳහා එමගින් ශ්‍රී ලංකා රජයට උපකාරී වනු ඇත.

විද්‍යා අභයගුණවර්ධන
සම්බන්ධීකාරක-නිරවිකරණය සහ සහ
සංවර්ධනය පිළිබඳ සංසදය


සුළඟේ ගිය වෙසක්

$
0
0
මැයි 10, 2019 01:00

වෙසක් කලාප අවලංගු වීම හරහා තවත් ප්‍රශ්න රැසකට මුහුණදෙන කණ්ඩායම් සිටින වග අප මේ මොහොතේ මතක තබාගත යුතුය.තොරණ සකසන්නට,කූඩු බඳින්නට බැංකුවලින් ණය දෙන්නේ නැත.මේ අහිංසක නිර්මාණකරුවන් තොරණ සකසන්නට,විදුලි බුබුළු මිලට ගන්නට මෙන්ම ඊයම් කෑල්ල මිලට ගන්නට පවා මුදලක් සොයා ගන්නේ අසීරු කටයුත්තක අවසන් ප්‍රතිඵලය ලෙසිනි.ඔවුන් එක්කෝ පොලීයට මුදල් ගනිති.නැත්නම් ණයට අමුද්‍රව්‍ය ලබාගනිනි.මෙම තත්ත්වය යටතේ ඔවුන් ගැන බලන්නට කිසිවකු නැත

වෙසක් ලබන්නට ඇත්තේ තව දින කිහිපයකි.වෙසක් සරසන්නට බලාපොරොත්තු පොදි බඳිමින් වෙහෙස මහන්සි වූ පිරිස මේ වනවිට දෙලොවක් අතර අතරමං වී ඇති බව නොරහසකි.පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සමඟ රටම භීතියට පත්වූ මොහොතක සම්බුදු තෙමගුල සැමරීම සඳහා උත්සව සංවිධානය කිරීම සහ ඒවා පැවැත්වීම පිළිබඳ මේ වනවිට සියලු පාර්ශ්ව එකඟතාවකට පැමිණ තිබේ.ඒ අනුව මාස කිහිපයක් තිස්සේ සැලසුම් කළ බොහෝ වෙසක් කලාප නොපැවැත්වීමට මේ වනවිට සංවිධායක මණ්ඩල විසින් තීරණයකොට ඇත. සෙනඟ බහුල වශයෙන් ගැවසෙන ස්ථාන අවම කිරීමට සහය ලබාදීම මෙහි අරමුණයි.

අප මේ ගවේෂණය සිදුකරනු ලබන්නේ එවැනි තීරණාත්මක මොහොතක ය.මීට මාස පහක හයක සිට වෙසක් සරසන්නට වෙහෙසෙන අයගේ හෙට දවස ගැන සෙවීම මෙම ගවේෂණයේ අරමුණ වේ.වෙසක් උත්සවය සඳහා ප්‍රධානතම අංගය වන වෙසක් තොරණ සියල්ලම පාහේ මෙවර ප්‍රදර්ශනය වන්නේ නැත.වෙසක් තොරණ ඉදිකිරීම සඳහා මාස අටක තිස්සේ වෙහෙසෙන මේ පිරිස ගැටලු රැසකට මුහුණදී සිටින අතර ඔවුනට නොදෙවෙනි ප්‍රශ්න රැසකට සංවිධායක මණ්ඩලද පත්ව සිටී.

"වෙසක් තොරණක් කරනව කියන්නෙ සුලු පටු වැඩක් නෙවෙයි.අපේ සමිතිය තමයි මයෙ හිතේ ලංකාවේ තොරණක් වෙනුවෙන් බිමක්,ගොඩනැගිල්ලක් තියෙන එකම සමිතිය.අපි අවුරුදු හතළිහක් තිස්සෙ එක දිගටම තොරණ ගැහුවා.යුද්ධෙ කාලෙ පවා එකම විදියට තොරණ ප්‍රදර්ශනය කළා.ඒත් මේ තත්ත්වය වෙනස්.ඒ නිසා තොරණ මේ වතාවෙ ප්‍රදර්ශනය කරන්නෙ නෑ.මොකද අපට ආරක්ෂාව ගැන වගකීමක් ගන්න බෑ.ආරක්ෂක අංශ කියන්නෙ වගකීම ගන්න බෑ කියන එක .රටේ තත්ත්වය එක්ක ගත්තම ඒක සාධාරණයි.අපට ඉතිං කරන්න පුළුවන් තොරණ නවත්තන එක විතරයි.

අප සමඟ පළමුව කතා බහට එක්වූයේ අස්ගිරිය බෞද්ධ සමිතියේ සභාපති විතානගේ සුනිල් මහතායි.තොරණක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංවිධානාත්මකම සමිතිය වන එමඟින් වසර හතළිහක් පුරාවට තොරණ ප්‍රදර්ශනයකොට තිබේ.ඒ නිසාම ඔවුන්හට තොරණ ඉදිකිරීම සඳහා වෙනම බිමක් සහ එම සංවිධාන කටයුතු සඳහා ගොඩනැඟිල්ලක්ද සතුය.

"අපි තොරණ සල්ලිවලටම ගන්නවා.ඒ වියදම් කරන මුදල එකවරක් ප්‍රදර්ශනය කරල හොයන්න බැහැ.ඒ නිසා වෙසක්,පොසොන් සහ ඇසල පොහොය තුනටම තොරණ තැන් තුනක පෙන්නල තමා ගාණ කවර් කරගන්නෙ.මෙදාපාර කවුරුත් නොහිතුව දෙයක් සිද්ධවුණා.ඒ නිසා අපිට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියල.මේ තොරණ සඳහා ලක්ෂ අටක් විතර වියදම්වුණා.අපි සම්මාදම් කරන්නෙ නැහැ.ලක්ෂ හතරක් සමිතියේ සල්ලි.ඉතිරි ඒව මගේ සල්ලි.අපි සැලසුම් හදනවා මේ සල්ලි හොයන්නෙ කොහොමද කියල.නමුත් මෙදා පාර අපට විශාල පාඩුවක් විඳින්න සිද්ධවෙනවා.ඒ වගේම ලංකාවෙම තොරණ ඇන්ද හැමෝටම මේ ප්‍රශ්නය තියෙනවා.පොසොන් එකට තොරණ ප්‍රදර්ශනය කරන්න තමා හිතං ඉන්නෙ.නමුත් මූලික වියදම හොයන එක ප්‍රශ්නයක්.

ඔවුන් මැදිව සිටින්නේ ගැටලුවකටය.ගැටලුවෙ පංගුකාරයන් රැසකි.තොරණ,වෙසක් පහන් කූඩු සහ අනෙකුත් විශේෂ සැරසිලි සඳහා මෙම කණ්ඩායම් සූදානම්ව සියල්ල නිමකොට හමාරය.මෙම තත්වය සෘජුවම බලපෑ තවත් කණ්ඩායමක් වන්නේ තොරණ නිර්මාණය කරන ශිල්පීන්‍ ය.තොරණ නිර්මාණය කිරීමට බොහෝ පාර්ශ්වයන්ගේ දායකත්වය ලබාගත යුතුය.අප ඊළඟට කතා බහට එක් කරගන්නේ තොරණ නිර්මාණය කිරීමට සෘජුව දායක වන චිත්‍ර නිර්මාණය කරුවෙකු වන ආනන්ද පද්මලාල් මහතා මෙවර නිර්මාණය කළ තොරණ සංඛ්‍යාව පහකි.නමුත් එම කිසිඳු තොරණක් මෙවර ප්‍රදර්ශනය නොවේ.

"මාස අටක විතර ඉඳල තමයි තොරණ නිර්මාණය කරන්න පටන්ගත්තෙ .මම තොරණ පහක් මේ වෙසක් එකට භාරගත්තා.එම හැම තොරණකටම අපට මුලින්ම හම්බවෙන්නෙ අත්තිකාරම් මුදලක්.ඒ මුදලට අතින් මුදල් එකතු කරල තමා වැඩ ටික ඉවර කරනෙ.තොරණ සැලසුම් කරල රාමු හදල බෝර්ඩ් කපල අඳින්න පටන් ගන්නවා.අප්‍රේල් මාසේ වෙනකොට අපි වැඩ කඩිනමින් නිම කරනවා.මොකද තොරණ සවි කරන වැඩ පටන්ගන්න ඕන නිසා.තොරණ පහම කරල ඉවරයි.සායම් වලට ,ලී වලට වගේම බෝර්ඩ් වලටත් විශාල මුදලක් වැය කරන්න සිදුවෙනවා.එක පාරක් තොරණ ප්‍රදර්ශනය කරල ඒ මුදල හොයාගන්න බැහැ.ඒ නිසා වෙසක්,පොසොන් සහ ඇසළ පොහොයවලට ප්‍රදර්ශනය කරන සැලසුම ඇතුව තමා නිර්මාණය කරන්නෙ.මේ වනකොට හැමෝම අනාථ වෙලා වගේ ඉන්නෙ.මොකද අපි මේ අමුද්‍රව්‍ය ලබා ගන්නෙ ණයට.තොරණ පෙන්නල ඉවරවෙලා තමයි ඉතුරු සල්ලි ලැබෙන්නෙ.මේ ගැටලුව නිසා අපි හොඳටම හිරවෙලා ඉන්නෙ.රටේ තිබෙන තත්ත්වය නිසා කිසිම වෙසක් කලාපයක් පවත්වන්නෙ නැහැ.මූලික වියදමවත් පියවගන්න ක්‍රමයක් අපට නැහැ.

ආනන්ද පවසන්නේ තැන තැන ගොඩගසා ඇති තොරණ අපට පෙන්වමිනි.ඔහුගේ නිවෙසේ සහ අසල්වැසි නිවෙසේ සෑම තැනකම තොරණ කොටස් ගොඩගසා තිබේ.

"වෙන වසරවල මේ වෙනකොට තොරණ ඔක්කොම හයි කරන්න අරන් ගිහිං.සංවිධායක මණ්ඩල ඔක්කොම තොරණ සවිකරන්නෙ නෑ කියල කිවුවා.ඉතිං දැන් මේ නිර්මාණ ඔක්කොම ගොඩගහල තියාගෙන ඉන්නවා.

චිත්‍ර නිර්මාණය කළ සියලුම ශිල්පීනට අත්ව ඇති ඉරණම එකකි.මෙම ගැටලුව හමුවේ අසරණව බලා සිටින විදුලි කාර්මික ශිල්පීන්ද මැදිව ඇත්තේ විශාල ගැටලුවකට ය.විදුලි කාර්මික ශිල්පී ලංකා උදය සාගර මහතා අපට පවසන්නේ මෙවැනි කතාවකි.

"අවුරුදු දහතුනක් තිස්සෙ මම තොරණවල වැඩ කරනවා.තොරණක ලයිට් කරනව කියන්නෙ වෙනම විෂයක්.හරිම ඉවසීමෙන් තමා මේ කටයුතු කරන්නෙ.මේ වැඩවලට සෑහෙන කාලයක් ගතකරන්න වෙනවා.ලයිට් එකින් එක හයි කරල ඒව හරියටම ක්‍රියාකරවන්න ක්‍රමවේදය හදන්න ඕන.ඒ නිසා මාස පහක විතර ඉස්සෙල්ල තමා වැඩ පටන්ගන්නෙ.මේ හැමදේටම අපට ලැබෙන්නෙ අත්තිකාරම් මුදලක්.ඒක බල්බ් ටික ගන්නත් මදි.ඒ නිසා අවට තියෙන විදුලි භාණ්ඩ වෙළඳසල් වලින් ණයට තමා බඩු ටික ගන්නෙ.පිටකොටවෙන් බඩු ගන්න පුළුවන් වුණාට ණයට ගන්න බෑනෙ.ඒ නිසා අවශ්‍ය අවශ්‍ය වෙලාවට දන්න කඩ වලින් තමා ඕන දේවල් ගන්නෙ.වයර්,ඊයම් ,බල්බ් දැන් වෙනදට වඩා ගොඩක් ගණං.ඒත් තොරණක මිල වැඩි කරන්න බැහැ.හරිම අමාරුවෙන් තමා මේ කටයුතු කරන්නෙ.මෙදා තොරණ තුනක වැඩ ඉවර කළා.ඒ වැඩවලට ලොකු ණයත් ගත්තා.ඒ වගේම මාස පහක විතර ඉඳල වෙන කිසිම දෙයක් කළෙත් නැහැ.මොකද අපිට විශ්වාසය තියෙනවා තොරණ ප්‍රදර්ශනය කලාට පස්සෙ මුදලක් ලැබෙනවා කියල.මෙදාපාර ඒ හැමදේම නැතිවෙලා ගියා.මේ රටේ පවතින තත්ත්වය එක්ක තොරණ පෙන්වන්න බෑනෙ.දැන් ඉතිං වෙන මාර්ගයකින් ණය ටික ගෙවන්න තමා ඊළඟ සැලසුම.අපි හැම තොරණක්ම වැඩ නිම කරලයි තිබුණෙ.දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ පොසොන් එකට මේ තොරණ ප්‍රදර්ශනය කලත් ආයෙ වැඩ කරන්න මුදලක් වැයවෙනවා.ඒ මුදලත් හොයන්න ඕනේනෙ.

ලංකා පිළිවෙළට අමුණන ලද විදුලි බුබුළු එකිනෙක ගලවමින් අසුරයි.පාට පාටින් ඉතාමත් සංයමයකින් නිර්මාණය කළ විදුලි බුබුළු මේ වනවිට තොරණින් ගැලවී කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිතුළ ඇසිරෙන්නේ පොසොන් උදාවට බලාපොරොත්තු ඉතිරි කරමිනි.

මානිංගමුවේ ධම්මජෝති හිමි අපට පවසනේ රටෙහි උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් තම විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් සංවිධානය කළ වෙසක් කලාපයද අවලංගු කළ බවයි.

"ඇත්තටම වෙනවදත් වඩා ඉහළින් වෙසක් කලාපය කරන්න තමා අපි සැලසුම් කරල තිබුණෙ.තොරණ,කූඩු ඔක්කොම වැඩ නිමකරලයි තිබෙන්නෙ.නමුත් මේ හැමදේටම වඩා අපේ මිනිසුන් අපට වටිනවා.මේ තත්ත්වය නිසා බොහෝ පිරිසකට ගැටලුවලට මුහුණදෙන්නට සිදුවුණා.තොරණ ,කූඩු ඔක්කොම නිර්මාණය කරල ඉවරයි.හැමදෙනාව සතුටින් වෙසක් සමරන්න තමන්ගේ ශ්‍රමය උපරිමලෙස කැප කළා.නමුත් මේ මොහොතෙ මේ සියල්ල අවලංගු කරනවා හැර විකල්පයක් නැහැ.නමුත් සීල සමාදාන වැඩසටහන වෙනද විදියටම කරන්න අපි සැලසුම්කරල තියෙනවා.ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කරන්න අපි සාකච්ඡා කළා.දැන් පංසලට සිල් ගන්න එන කෙනාවත් පරීක්ෂා කරල ඇතුළට ගන්නයි වෙලා තියෙන්නෙ.ත්‍රස්තවාදය තුරන්වෙලා මේරටට සාමය උදාවෙලා සැක බිය පහවෙන්න කියන ප්‍රාර්ථනාව තමයි මේ වෙසක් පෝදා හැමෝම කරන්න ඕන.

මෙවර වෙසක් පෝදා සැබැවින්ම සැමගේ ප්‍රාර්ථනාව වියයුත්තේ එයය.සැක බිය පහව ගිය රටක සාමයෙන් එකාවන්ව ජීවත්වීමය.

තොරණ නිර්මාණය කළ ශිල්පීන් මෙන්ම සංවිධානය කළ පිරිසද මේ මොහොත වනවිට උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවී ඇත.මිනුවන්ගොඩ රජ මහා විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් පවත්වාගෙන යන පරමධීර ශක්ති සමාජයද මෙවර වෙසක් පොහොය නිමිතිකොට ගනිමින් බොහෝ කටයුතු සංවිධානය කළෝය.නමුත් ඔවුනටද අකමැත්තෙන් වුවද ඒ සියලු වැඩසටහන් අවලංගු කිරීමට සිදුවිය.එම සමාජයේ සභාපති ධර්මනායක මහතා අප සමඟ කතාවට එක්වන්නේ දුකක්ද සිතෙහි දරාගනිමිනි.

"අපි කාලෙක ඉඳන් මේ වැඩසටහන ක්‍රියාවට නංවනවා.මේ වැඩසටහන ඇතුළෙ තිබෙන්නෙ පුදුමාකාර එකමුතුකමක්.ගමේ සෑම දෙනාම එකාවගේ කටයුතු කරනවා මේ වෙසක් වැඩසටහනට.ඒ එකමුතුව වසර පුරාවටම පවතිනවා.අපි විශාල කැපවීමක් කරනවා මේ කටයුතු සඳහා.ඇත්තටම ලොකු දුකක් දැනෙනව මේ කටයුතු අවලංගු වීම ගැන.ඒ වගේම අපි පෙරහැර පවත්වනවා වෙසක් පොහොයට.නැදුන්ගමුවේ හස්තිරාජයා තමයි කරඬුව වඩම්ම්න්නේ.ප්‍රදේශවාසීන් පමණක් නෙවෙයි අවට ප්‍රදේශවල ජනතාවත් මේ අසිරිමත් පෙරහැර නරඹන්න ,ධාතූන්වහන්වහසේ වැඳපුදාගන්න එනවා.ඒ බලාපොරොත්තු මේ වෙසක් එකට නැතිව ගියා.

බලාපොරොත්තු කඩවීම පිළිබඳ ධර්මනායක මහතා කතා කරන්නේ කණගාටුවෙනි.වෙසක් කලාපය ගැන ප්‍රචාරය කිරීමට සකසන ලද දැන්වීම් ඔහුගේ ව්‍යාපාරික ස්තානයේ තැන තැන ගොඩගසා ඇත.ධර්මනායක ධර්මනායක මහතාගෙන් සමුගත් අප ඊළඟට හමුවන්නට යන්නේ මිනුවන්ගොඩ සම්බුධාලෝක වෙසක් කළාපයේ සංවිධායක මණ්ඩලයේ පිරිස ය.ඉතා විශාල ප්‍රදේශයක කළාප දහතුනක් පුරා පවත්වනු ලබන මෙම වෙසක් කළාපය ඉතාමත් සංවිධානාත්මක කටයුත්තකි.වෑගෙව්වේ සිට මැදිකැලේවත්ත දක්වා සංවිධානය කරතිබූ මෙම වෙසක් කලාපයට තොරණ දෙකක්,පහන් කූඩු රැසක් ,ධාතු මන්දිරයක්,භක්තිගීත ප්‍රසංග,කමත මෙන්ම විශේෂිත වැඩසටහන් සංවිධානය කොට තිබුණි.නමුත් මෙම වෙසක් කළාපයද මෙවර අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණයකොට තිබේ.එම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරි ප්‍රියන්ත අතුල මහතා අපට පවසන්නේ රටෙහි පවතින තත්ත්වය මත මෙම වෙසක් කළාපය අවලංගු කිරීමට සිදුවූ බවයි.

"මේ රටේ තියෙන වාතාවරණය එක්ක මිනිස්සු එක්කාසු කරගන්න අපට බැහැ.ඒ නිසා අකමැත්තෙන් අපි මේ කටයුත්ත නවතාදැමුවා.අපේ කළාපයේ සියලුම නිර්මාණ නිමකරලයි තිබුණෙ.මේ ප්‍රදේශවල මිනිස්සු මේ කටයුතු වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වුණා.මුදල් වියදම් කළා.මාස ගණනාවක ඉඳල ඒ අය මේ කටයුතු වෙනුවෙන් සංවිධානය වුණා.මම හිතන්නෙ ඒ සෑමදේකටම වඩා රටේ ආරක්ෂාව අපට වටිනවා.ඒ නිසා මේ හැමදේම ලබන අවුරුද්දට කල තැබුවා.

එම සංවිධානයේ ප්‍රධාන කමිටු සභාපති වනිගරත්න සමරතුංග මහතා අපට කියන්නේ ලබන වසරේ මෙම වෙසක් කළාපය පැවැත්වීමට කටයුතු කරන බවකි.ගමෙහි සාමූහිකත්වය වර්ධනය කිරීම උදෙසා පැවැත්වීමට කටයුතු කළ මෙම වැඩසටහන් පැවැත්වීමට නොහැකිවීම ගැන සියලුදෙනා සිටින්නේ කණගාටුවෙනි.නමුත් රටෙහි උද්ගතව ඇති ත්ත්වය මත මෙම වෙසක් කළාප අවලංගු කරනවා හැර වෙනත් විකල්පයක් නැත.

මෙම වෙසක් කළාප අවලංගු වීම හරහා තවත් ප්‍රශ්න රැසකට මුහුණදෙන කණ්ඩායම් සිටින වග අප මේ මොහොතේ මතක තබාගත යුතුය.තොටණ සකසන්නට,කූඩු බඳින්නට බැංකුවලින් ණය දෙන්නේ නැත.මේ අහිංසක නිර්මාණකරුවන් තොරණ සකසන්නට,විදුලි බුබුළු මිලට ගන්නට මෙන්ම ඊයම් කෑල්ල මිලට ගන්නට පවා මුදලක් සොයා ගන්නේ අසීරු කටයුත්තක අවසන් ප්‍රතිඵලය ලෙසිනි.ඔවුන් එක්කෝ පොලීයට මුදල් ගනිති.නැත්නම් ණයට අමුද්‍රව්‍ය ලබාගනිනි.මෙම තත්ත්වය යටතේ ඔවුන් ගැන බලන්නට කිසිවකු නැතිබව ලියා තැබිය යුතුමය.සංවිධායකයන් සහ සමිතිද මුදලක් සොයාගෙන මෙම කටයුතුවල මූලික වියදම පියවාගන්නේ තොරණ හෝ කූඩු ප්‍රදර්ශනයෙනි.මේ අනුව සංවිධායකයන් සහ නිර්මාණකරුවන් යන දෙකොටසම ප්‍රශ්නය හමුවේ අසරණවී ඇත.

එපම්ණක් නොව පුවක්ගස් කපන්නා,කඩල විකුණන්නා,වෙස්මුහුණු වෙළෙන්දාගේ සිට සාමාන්‍ය කම්‍කරුවා දක්වාම මෙම වෙසක් කළාප නොපැවැත්වීමෙන් අසරණ වේ.

සටහන - චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප - සමන්ත වීරසිරි

මග වැරදි මැඩුමට දඩය වෙනුවට වෙන වැඩ

$
0
0
මැයි 10, 2019 01:00

මහාචාර්ය සමන් බණ්ඩාර
සිවිල් ඉංජිනේරු අධ්‍යයන අංශය මොරටුව විශ්වවිද්‍යාලය

වාහනයක් ලියාපදිංචි කළ විට ඒ පිළිබඳ සියලු තොරතුරු පරිගණක ගත වේ. අදාළ දිනයට රක්ෂණ ආවරණය ලබාගෙන නොමැති රථවාහන මහ මඟ නවතා දඩ ගැසිය යුතු නැත. එසේ ම මෙවැන්නක් අමතක වීමට අතපසු වීමට ඉඩ තබා දඩ ගැසීමට පෙර, රක්ෂණ ආවරණය ලබාගන්නා ලෙස මසකට පෙර කෙටි පණිවුඩයක් මඟින් අදාළ තැනැත්තන්ට සිහි කැඳවීමක් කළ හැකි ය. රථ වාහන මහමඟ නවතා රක්ෂණාවරණය පිරික්සා දඩගැසීමේ අවශ්‍යතාවක් ඇත්තෙන් ම නැත. එසේ පිරක්සුව ද නීතියේ රැහැනට හසු වන්නේ 5%ක් හෝ 10%කි. නමුත් වාර්තාගත තොරතුරු පරිගණකගත ව ඇති බැවින් අදාළ දිනයට රක්ෂණාවරණය ලබාගෙන නොමැති පුද්ගලයන් සියල්ලන් ම දඩයට හසු කරගත හැකිය.

රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනයක් පසුගියදාක නිකුත් වීමත් සමඟ තර්කවිතර්ක,අදහස් හා විරෝධතා බොහෝමයක් පැන නැඟී ඇත.

මෙලෙස දඩ මුදල් වැඩි කොට ඇත්තේ, වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියැදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් රථයක් ඇතුළත් කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන් ඉස්සර කිරීම යන රථ වාහන වැරදි සම්බන්ධයෙනි.

අප පැහැදිලි අවබෝධයක් ලබා ගත යුත්තේ මෙවැනි පියවරකින් අවසන බලාපොරොත්තු වන ප්‍රතිඵලය පිළිබඳ ය. මාර්ග සංඥා සහ මාර්ග නීති යොදා ඇත්තේ අනතුරු අවම කරගැනීම සහ මාර්ගය තදබදය අවම කරගැනීම අරමුණුකොට ගෙන ය. මෙම ක්‍රියාවලියේ ද අවසන් ප්‍රතිඵලය විය යුත්තේ එයයි.

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය බරපතළ වරදකි. ඒ සඳහා අනිවාර්යයෙන් ම යම්කිසි දඬුවමක් පැවතිය යුතු ය. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කරන්නන්ට දඩගැසීමෙන් අපේක්ෂා කරනුයේ රියැදුරු බලපත්‍රයක් නැතිව රථ ධාවනය අවම කිරීමයි. මේ සඳහා පනවන දඩ මුදල වැඩි වූ විට එක අතෙකින් රියැදුරන් වලංගු බලපත්‍රයක් නොමැතිව රථ ධාවනයට පෙළඹීම අවම වේ. ගැටලුව නම් එම වරද සිදු කරන්නන්ගෙන් නීතියේ රැහැනට හසුවන්නේ සුළු පිරිසක් වීමය. බහුතරය මඟහැරී යනු ඇත. නොඑසේ නම් අත යටින් මුදල් දී ලිස්සා යනු ඇත. එසේ වන්නේ පවත්නා ක්‍රමවේදයේ දෝෂයක් හේතුවෙනි. ඊට විසදුම් වශයෙන් වලංගු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය වරදක් බව වටහා ගන්නා තරමට මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුය. එසේම නීතියක් පැනවූ පමණින්, එම නීතියට හසු වන තෙක් බලපත්‍ර නොමැතිව රථ ධාවනයට ඉඩක් ලැබීමද වරදකි. මේ සඳහා ලබාදෙන දඩුවම නීතියේ රැහැනට අසුවන තුරු බලපත්‍ර නොමැතිව ධාවනය සාධාරණීකරණය නොකරන්නක් විය යුතු ය. කෙසේ වෙතත් මෙවැනි වැඩි දඩයකින් බලාපොරොත්තු වන්නේ එවැන්නන් අධෛර්යමත් කිරීමයි.

රක්ෂණාවරණ දඩය

වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය ද නීතියෙන් වරදකි. නමුත් වසරකට වරක් රක්ෂණාවරණය ලබාගැනීම හිතා මතා මඟහරින්නන් සේ ම අතපසු වීමකින්,අමතක වීමකින් මඟහැරෙන්නන් ද දඩයට හසු විය හැකිය. එහිදී යම් සලකාබැලීමක් කිරීම වෙනුවෙන් අපට දැනට භාවිත වනවාට වැඩියෙන් තාක්ෂණය යොදා ගත හැක.

වාහනයක් ලියාපදිංචි කළ විට ඒ පිළිබඳ සියලු තොරතුරු පරිගණක ගත වේ. අදාළ දිනයට රක්ෂණ ආවරණය ලබාගෙන නොමැති රථවාහන මහ මඟ නවතා දඩ ගැසිය යුතු නැත. එසේ ම මෙවැන්නක් අමතක වීමට අතපසු වීමට ඉඩ තබා දඩ ගැසීමට පෙර, රක්ෂණ ආවරණය ලබාගන්නා ලෙස මසකට පෙර කෙටි පණිවිඩයක් මඟින් අදාළ තැනැත්තන්ට සිහි කැඳවීමක් කළ හැකි ය. රථ වාහන මහමඟ නවතා රක්ෂණාවරණය පිරික්සා දඩගැසීමේ අවශ්‍යතාවක් ඇත්තෙන් ම නැත. එසේ පිරක්සුව ද නීතියේ රැහැනට හසු වන්නේ 5%ක් හෝ 10%කි. නමුත් වාර්තාගත තොරතුරු පරිගණක ගත ව ඇති බැවින් අදාළ දිනයට රක්ෂණාවරණය ලබාගෙන නොමැති පුද්ගලයන් සියල්ලන් ම දඩයට හසු කරගත හැකිය. අදාළ දිනයට රක්ෂාණාවරණයන් ලබා නොගන්නා රථවාහන පිළිබඳ පිරික්සා බලා සතියක පමණ කාලයක් ලබා දිය යුතුය. ඉන් පසුව ද රක්ෂණාවරණය ලබානොගන්නේ නම් දඩ මුදල ගෙවීමට නියම කළ යුතු ය. එසේ ම තමන් සතු වාහනය පාවිච්චි නොකරන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවට ද නීතියක් පැනවිය යුතු ය. මෙය වෙනත් රටවල ක්‍රියාත්මක වන්නකි. එවිට එම රථය වෙනුවෙන් නැවත බලපත්‍ර ලබාගැනීම හෝ රක්ෂණය කළ යුතු නැත. රථවාහන ලියාපදිංචි කළ දිනයේ පටන් වාහනයත්,අයිතිකරුත් පිළිබඳ සියලු තොරතුරු පරිගණකගත වන බැවින්, වාහන මඟ නවතා, රක්ෂාණාවරණය පිරික්සීම වෙනුවට තාක්ෂණය සමඟ වඩාත් පහසු ක්‍රමවේද මේ වෙනුවෙන් අපට අනුගමනය කළ හැකිය.

රක්ෂණය කිරීම සම්බන්ධයෙන් සලකා බැලුවහොත්, අද වන විට බොහෝ දෙනකු එය ලබාගැනීමට දක්වන්නේ මැළි බවකි.

යමකුගේ අතින් තවත් අයකුගේ වාහනයක් අනතුරට ලක් වුවහොත් අනෙකාගේ රක්ෂණයෙන් එහි වන්දිය ලබා ගැනීමට ක්‍රියා කිරීමේදී රුපියල් පනස් දහසක වන්දියක් ලබා ගැනීමට ලක්ෂයක් දෙකක් වැය කොට නඩු කීමට සිදු වේ. එහෙත් වෙනත් රටවල තත්වය වෙනස් ය. එම රටවල ඒ වෙනුවෙන් සාර්ථක ක්‍රම අනුගමනය කෙරේ. ‍රථ වාහන රක්ෂණය කිරීමෙන්, බලාපොරොත්තු වන අරමුණ ඉටු නොවන බැවින්, අපේ රටේ බොහෝ දෙනෙක් රක්ෂණාවරණය ලබා ගැනීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. අතපහු වන්නන් සේම වුවමනාවෙන් අතපසු කරන්නන්ද සිටිති.

මත්ද්‍රව්‍ය භාවිත කොට, රථ ධාවනය කිරීම රියැදුරාට දඩ ගසා ගෙදර යැවිය යුතු වරදක් නොවන අතර එහිදී රියැදුරු බලපත්‍රය අහෝසි කළ ද වරදක් නැත. අධික වේගයෙන් රථ ධාවනය තවත් වරදකි.

රථවාහන ධාවනය කළ හැකි වේග සීමා දක්වා තිබේ. එම සීමාව ඉක්මවීමෙන් අනතුරු ළඟා වන බවද අපි දනිමු. නමුත් බොහෝ විට දඩ නියම කරන්නේ, අනතුරුදායක නොවන සහ, වේග සීමා ඉක්මවා යා හැකි ස්ථානවලදී ය.

මහමාර්ගයේ ඇතැම් තැන්වල වංගු ය. පාරවල් අබලන් ය. එබැවින් නියමකොට ඇති වේග සීමාව අනුව සෑම තැනකම රථ ධාවනය ප්‍රායෝගික නැත. අප රටෙහි පවත්නා වේග සීමා නිර්ණය ද යල් පැනගිය එකකි. වෙනත් රටවල කෙරෙන්නේ මාර්ගයේ යම් යම් ස්ථාන අනුව රථ ධාවනය කළ හැකි වේග සීමා දැක්වීමයි. මාර්ගයේ වංගුවක දී වංගුව අනුව, ස්ථානය අනුව සහ මිනිසුන් ගැවසෙන ප්‍රමාණය අනුව වේග සීමා වෙනස් විය යුතු ය. වේගසීමා පුවරු, මාර්ගයේ තැන තැන ප්‍රදර්ශනය කළ යුතු ය. වේග සීමා දැක්විය යුත්තේ සංඥා ලෙසිනි. එය ද ස්ථානය අනුව වෙනස් විය යුත්තකි. අප රටේ නගරයක් තුළ එක් වේග සීමාවකුත්, නගරයෙන් පිට තවත් වේග සීමාවකුත් නිර්ණය කොට ඇති අතර මාර්ගයේ ඇති වංගු ගණන වැනි අවදානය යොමු කළ යුතු බොහෝ කරුණු එහිදී නොසලකා හැර ඇත. එහෙත් මෙම යල් පැන ගිය ක්‍රමය වෙනස් විය යුතුය.

සමහරු, වේගයෙන් රථ ධාවනය කිරීම කිසිසේත් ම කළ නොහැකි තැන්වල මරු කැඳවන වේගයෙන් රිය පදවති. නමුත් වරදට අහුවන්නේ නීතිය උල්ලංඝණය කරන පිරිසගෙන් සුළුතරයකි. නීතිය සියල්ලන්ටම සාධාරණ විය යුතු ය. වෙනත් රටවල සිදු කරනුයේ අවදානම් සහිත ස්ථානවල කැමරා සවිකොට, වේග සීමා ඉක්මවා යන්නන් හසු කර ගැනීමයි. එහිදී කැමරාව පසු කර යන සෑම රථයක් ම ඡායාරූප ගතවන බැවින් කිසිවකුටත් අසාධාණයක් සිදු නොවේ. වරදකරුවන්ට තර්ක විතර්ක ගෙනඑමින් නිදොස් වීමටද ඉඩක් නැත. එහෙත් මෙහිදී අදාළ ස්ථානයේ කැමරා සවි කර ඇති බවට ද දැනුවත් කළ යුතු ය. වේග සීමා ඉක්මවා යන්නේ නම් දඬුවම් කළ යුතු ය. දඩ මුදල නිර්ණය කිරීම වෙන ම කටයුත්තකි. කෙසේ වෙතත් සිදු විය යුත්තේ අනතුරු සහ තදබදය අවම වීමයි. ආණ්ඩුවේ බලාපොරොත්තුව දඩ මුදල් වැඩි කිරීමෙන්, ආදායම වැඩි කරගැනීම නම් එය වෙනත් කතාවකි. සැබෑම පරමාර්ථය, අනතුරු සහ තදබදය අවම කිරීම නම් ඒ සඳහා දඩ වැඩි කිරීමට වඩා වෙනස්, සාර්ථක ක්‍රියාමාර්ගයන් තවත් ඇත.

තාක්ෂණික පහසුව

අද වන විට රියැදුරෝ රථවාහන පොලිසිය මහමග නැති බලා, අධික වේගයෙන් රිය ධාවනය කරති. යම් හෙයකින් මහමඟදී පරීක්ෂාවට ලක් වුවහොත් ඉන් සිදු වන සුළු ප්‍රමාදය මඟහරවා ගැනීමට පෙරටත් වැඩියෙන් වේගයෙන් ධාවනය කරති. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග ඉදිරියේදී රථ වාහන ධාවනයේ දී සිදු වන වැරදි පහසුවෙන් හසු කරගත හැකිවනු ඇත. ඉදිරියේදී භාවිතයට එක්වන රථවාහනවල ම ඇති On board computer මඟින් එම රථය ධාවනය වන වේගය සහ ධාවනයේදී සිදු කරන වැරදි පහසුවෙන් සොයාගත හැකි වේ.

ඇතැමුන් නීතියේ රැහැනින් මිදී පලා යන විට අහම්බයෙන් හසු වන්නකුට සාධාරණ කළකිරීමක් ඇතිවන්නේ, නීතිය ද බලයට සහ ධනයට හිස නමන වග හැඟීයාමෙනි.

රථ වාහන වැරදි සඳහා දඩ සහ දඬුවම් නියම කළ යුත්තේ, රියැදුරන් හට මාර්ගවල රිය ධාවනය කළ හැකි වේග සීමාවන් නිවැරදිව දක්වා, අබලන් මාර්ග පිළිසකර කරවා, මාර්ග සංඥා පුවරු නිවැරදිව ස්ථාන ගත කිරීමෙන් පසුවය. එසේම යමකු වරදකරු කළ යුත්තේ ද දඬුවමට බඳුන් කළ යුත්තේ ද සාධාරණ සාක්ෂිත් සමඟ ය.

බස්රථ සහ ත්‍රී රෝද රථ රියදුරන් දොස් නඟන්නේ පරික්ෂාවට ලක් වන්නේ සහ දඩ ගැසීම්වලට හසු වන්නේ ඔවුන් පමණක් බව පවසමිනි. එය එලෙස නොවන බව පැහැදිලි ව පෙනී යා යුතු ය.

වමෙන් ඉස්සර කිරීමේ වරද සඳහා දඩ මුදල් වැඩි කිරීම ද මේ වන විට වැඩි කතාබහකට ලක් ව ඇත. වමෙන් ඉස්සර කිරීමේ වරද සඳහා ඇත්තේ යාවත්කාලීන නොවුණු පැරණි නීතියකි, වසර ගණනකට පෙර මාර්ගවල පැවතියේ එක් මං තීරුවකි. එවිට යමකු වමෙන් ඉස්සර කිරීම වරදකි. ඉන් අනතුරු බහුල විය හැකි වූ බැවිනි.

නමුත් වර්තමානයේ මංතීරු කිහිපයක් ඇති මාර්ගවලදී ඊට වෙනස් ය. සාමාන්‍ය ක්‍රමය සෙමින් ධාවනය කරන්නේ නම්, වම් පැත්තේ ඇති මං තීරුවේ යා යුතු බවයි. .

නමුත් මංතීරු තුනක් ඇති මාර්ගයක යමෙකු මැදින් රිය ධාවනය කරන බව උපකල්පනය කරන්න. අනෙක් පසින් ගමන් ගන්නා රියැදුරු වේගය මඳක් බාල කරන විට පෙර කී රියැදුරුට ඉස්සර කළ හැකිද නොහැකිද යන්න කොතැනකවත් පැහැදිලිව සඳහන් වන්නේ නැත. තනි මංතීරුවේ දී එක් ආකාරයකුත්, මංතීරු වැඩියෙන් ඇත්නම්, තවත් ආකාරයකුත් වන බව පළමුව පැහැදිලිව විග්‍රහ කරගත යුතු ය.

 

වමෙන් ඉස්සර කිරීම

අධිවේගී මාර්ගයේදී හෙමින් යනවා නම් වමෙන් යෑමටද, ඉස්සර කරන්නේ නම් දකුණෙන් ඉස්සර කිරීමට ද නීති පනවා ඇත. නමුත් සෙමින් ධාවනය කරන්නකු දකුණෙන් ධාවනය කරන්නේ නම් කළ යුත්තේ කුමක්ද? වම් පස ඉඩ තිබියදීත්, වමෙන් ඉස්සර කිරීම වැරදි බැවින් ඉදිරියෙන් ධාවනය කරන්නාගේ පසුපසින් යා යුතුද? වැනි ගැටලු සහගත තැන් ඇත.

තනි මංතීරුවක් ඇති මාර්ගයක එකවිටම වේගයෙන් පැමිණ, වමෙන් ඉස්සර කිරීම සම්පූර්ණයෙන් වැරදි ය. නමුත් එතැනදීත් සමහරුන් වරදට හසු වන අතර තවත් සමහරුන් ලිස්සා යෑම සිදු වේ. කෙසේ වෙතත් පැහැදිලිව ම වමෙන් ඉස්සර කිරීම පිළිබඳ නීතිය කුමක්ද යන්න මහජනතාව දැනුවත්කොට සිටිය යුතු ය. නිවැරදි කරගත යුතු තැන් බොහොමයකි. ඇතැම් ස්ථානවල බස් නැවතුම සඳහන් කොට ඇත. ඊට එහායින් ඇත්තේ තනි ඉරයි. බස් රථයක් නවත්වා ඇති අවස්ථාවක තවත් රියැදුරකු සිය රථය ඉදිරියට ගන්නේ නම් යා යුත්තේ තනි ඉර කපාගෙන ය. එවිට එය මාර්ග නීතී උල්ලංඝණය කිරීමක් වනු ඇත. නොඑසේනම් බස් රථය නවතා තබන තුරු ම අනෙක් රියදුරු ද බසය පසුපසින් ඔහුගේ රථය නවතා ගෙන බලා සිටිය යුතු ය. එවිට මාර්ග තදබදය වැඩි විය හැකි ය. මෙහි හරි වැරැද්ද තෝරා ගැනීම අසීරු කටයුත්තකි.

නීති පැනවුව ද ඇතැම් විට එහි අපැහැදිලි තැන් තිබිය හැක. ඉදිරියට යා යුත්තේ එම අපැහැදිලි තැන් පැහැදිලි කරගනිමින් ය.

දඩ මුදල වැඩි වීමෙන් උද්ගත වන අහිතකර තත්ත්වයක් ලෙස රථ වාහන පොලිස් නිලධාරියාට පගාව දී වරදකරුවන් නීතියෙන් පලා යෑම වළක්වා ගැනීමට ද තාක්ෂණය භාවිතයෙන් නිවැරදි සහ නිසි පියවර ගත යුතු ය. නොඑසේ නම් සිදු වන්නේ වරද හසු වූ විට, ගෙවිය යුතු දඩයට අඩු මුදලක් පොලිස් නිලධාරියාගේ අතමිට මොළවා, නීතියේ රැහැනින් පලා යන්නවුන් සහ නීතියට පිටුපා අල්ලස් ගන්නා නිලධාරීන් දිරිමත් වීමයි. එය එසේ නොවන වගට මහජනතාව තුළ විශ්වාසයක් ඇති වන පරිදි සියල්ල වෙනස් විය යුතු ය.

දඩ මුදල් වැඩි කිරීමේ අපේක්ෂාව, මාර්ග අනතුරු සහ තදබදය අවම කිරීම විනා, ආදායම් වැඩි කරගැනීම නොවිය යුතු ය. නීතියක් පැන වූ පමණින් සියල්ල නිවැරදි වන්නේ නැත.එහි සාර්ථකත්වය පිළිබඳ මැන බැලීමක් ද සිදු විය යුතු ය.

මෙම දඩ මුදල් වැඩි කිරීම සාර්ථක පියවරක් ලෙස දැකිය හැක්කේ, එළැඹෙන වසරේ දී දඩ ගෙවීම් සඳහා හසුවන පිරිස, මෙම වසරට සාපේක්ෂව අඩු වුව හොත් පමණි. එසේ ම එළැඹෙන වසරේ අනතුරු සහ මාර්ග තදබදය මෙම වසරට සාපේක්ෂව අවම වී ඇතිද යන වගද පිරික්සා බැලිය යුතුය. ඒ කිසිවක් එසේ නොවන්නේ නම් මෙය සාර්ථක ක්‍රමයක් නොවන වග වටහා ගැනීමට තවත් උපහැරණ අවැසි නොවනු ඇත.

මෙම නව දඩ මුදල් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව උද්ගත වන තත්ත්වයේ සාර්ථක අසාර්ථක බව නිරන්තරයෙන් මැන බලමින්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුය. සුබදායක වෙනසක් දැකිය හැකි බව පෙනීයන්නේ නම් මේ වෙනුවෙන් විරෝධයක් ද එල්ල නොවනු ඇත. කෙසේ වෙතත් මෙයින් තහවුරු විය යුත්තේ අනතුරු සහ තදබදය අවම වන බවයි. ආදායම වැඩි කරගැනීම එහි පරමාර්ථයක් නොවිය යුතු ය.

සටහන-කාංචනා සිරිවර්ධන

චීන අමෙරිකා වෙළෙඳ හබය

$
0
0
මැයි 11, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න

ලෝක ආර්ථික බලවතුන් දෙදෙනා අතර පූර්ණ වෙළෙඳ යුද්ධයක් ඇති නොවීමට වගබලාගත හැකිවීම ජයග්‍රහණයකි. යම් හෙයකින් වෙළෙඳ යුද්ධයක් ඇතිවීනම් එය දෙරටේ ආර්ථිකයට පමණක් නොව, ගෝලීය ආර්ථිකයට ද බලපානු ලැබේ.

චීනය හා අමෙරිකාව 2018 ජනවාරි 22 වැනිදා සිට වෙළෙඳ යුද්ධයකට අවතීර්ණව සිටී. ඊට හේතු වූයේ දෙරටම එකිනෙකා මත පැනවූ බදුය. ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් කෙරෙන අනතුරු ඇඟවීම් හා වොෂින්ටනයේ නව බදු තර්ජන හමුවේ චීන - අමෙරිකා නියෝජිතයෝ වෙළෙඳාම පිළිබඳ සාකච්ඡා යළි ඇරැඹූහ.

චීන භාණ්ඩ මත ඇ. ඩො. බිලියන 200ක නව බදු ඊයේ සිට පනවන බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබිණි. ඊට සරිලන පරිමාණයෙන් තමන්ද අමෙරිකා භාණ්ඩ මත බදු පනවන බව චීනය ප්‍රතිචාර වශයෙන් පවසා තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) කියා සිටින්නේ මේ තත්ත්වය ගෝලීය ආර්ථිකයට තර්ජනයක් බවය. එය ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයට බලපාන්නක් බැවින් වහා ඊට විසැඳුම් සැපයීමට සිදුවන බව IMF හි අදහසය. නව සාකච්ඡා වටය සහ නව බදු පැනවීම අතර තිබුණේ පැය 7ක වෙනසකි. ජනාධිපති ට්‍රම්ප් කළ සඳහනක් දක්වමින් බී. බී. සී. ය වාර්තා කළේ, සිය චීන සගයා ෂී ජිං පිංග් ගෙන් තමන්ට “ලස්සන ලිපියක්” ලැබී තිබූ බවය. ඉක්මනින්ම තමන් දෙදෙනා අතර හමුවක් සිදුවනු ඇතැයි ට්‍රම්ප් පවසා තිබිණි.

ට්‍රම්ප්ගේ ‍ෙකා්පය

ට්‍රම්ප්ගේ කෝපයේ නිරන්තර ඉලක්කයක් බවට චීනය පත්ව ඇත. දෙරට අතර වෙළෙඳ අසමානත්වය මෙන්ම චීනයේ බුද්ධිමය දේපළ නීති අමෙරිකා සමාගම්වලට ඇති කරන බලපෑම ගැන ට්‍රම්ප් නිතර චීනයට චෝදනා කරයි. චීන වෙළෙඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත්තේ අමෙරිකාවේ නව බදු පැනවීම් පිළිබඳ තදබල ලෙස කනගාටුවන බව සහ ඊට අවශ්‍ය පරිමාණයෙන් ප්‍රතිචාර දැක්වීමට චීනයද කටයුතු කරනු ඇති බවය. දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට විය හැකි හානි විශාල බවටය.

අමෙරිකාවේ නව බදු ඉහළදැමීම් හේතුකොටගෙන චීනයේ නිෂ්පාදන ලෙස එරටට ළඟාවන විදුලි භාණ්ඩ යන්ත්‍රෝපකරණ මෝටර් රථ උපාංග, ගෘහභාණ්ඩ වැනි දේවල මිල 10% සිට 25% දක්වා ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි පැවසේ. චීනය සහ අමෙරිකාව ලොව ප්‍රධාන ආර්ථික බලවතුන් දෙදෙනාය. එබැවින් මෙම ගැටුමේ බලපෑම් ඔවුන්ගේ සීමාවෙන් ඔබ්බට පැතිරීම ද නොවැළැක්විය හැකි ය.

වෙළෙඳ යුද්ධය ඇරඹූ ජනාධිපති ට්‍රම්ප්ගේ මූලික අපේක්ෂාව වුව, චීන වෙළෙඳ පොළ අමෙරිකා අපනයන සඳහා තවදුරටත් විවෘත කළයුතු බවය. එහි තවත් අපේක්ෂා කිහිපයක් ද තිබුණි.

වොෂින්ටනයේදී පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගිවන චීන නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ උප අගමැති ලියූ හේ ය. අමෙරිකානු නියෝජිත පිරිස රොබට් ලයිට්ෂර්ගේ ප්‍රධානත්වයෙන් යුතුය. සාකච්ඡා, ඇරැඹෙනවිට යුරෝපා කොටස් වෙළෙඳපොළ සයවන සතියටත් පහළ අගයක් පෙන්නුම් කරමින් තිබුණි. එසේ වුවද අමෙරිකාව හා චීනය සාකච්ඡා මේසයට පැමිණීම ආයෝජකයන්ගේ බලාපොරොත්තුවක් ඇතිකිරීමට බලපා ඇත්තේ මේ සතිය තුළදීම කිසියම් සම්මුතියකට එළැ‍ඹීමට හැකිවනු ඇතැයි යනුවෙනි. සාකච්ඡා ඇරැඹෙන විට චීනයේ කොටස් වෙළෙඳ පොළද දසවැනි සතියටත් පහළ අගයක් පෙන්නුම් කරමින් තිබිණි.

ලෝක ආර්ථික බලවතුන් දෙදෙනා අතර පූර්ණ වෙළෙඳ යුද්ධයක් ඇති නොවීමට වගබලාගත හැකිවීම ජයග්‍රහණයකි. යම් හෙයකින් වෙළෙඳ යුද්ධයක් ඇතිවීනම් එය දෙරටේ ආර්ථිකයට පමණක් නොව, ගෝලීය ආර්ථිකයට ද බලපානු ලැබේ. දෙරටේ නායකයන් අතර සාකච්ඡා දුරකතනයෙන් සිදුවනු ඇති බව වාර්තා වී තිබේ. ඊට දිරිගැන්වූයේ ෂී එවූ ලිපිය බව පැහැදිලිය. ට්‍රම්ප්ට ඒ බව ප්‍රකාශ කර තිබිණි.

චීන, අමෙරිකා වෙළෙඳ සාකච්ඡා ඉහළ සාර්ථකත්වයක් අත්කරගැනීමට නම් කිසියම් සම්මුතියකට එළැඹීමට හැකිවිය යුතුය. සති අන්තය වනවිට ඊට අවශ්‍ය පසුබිම ගොඩනැ‍ඟෙමින් තිබිණි. චීනයේ පළවන ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබූ පරිදි චීනය ගැටුමට බියවන්නේ නැත. මානසිකව මෙන්ම භෞතිකවද චීනය සිය ප්‍රතිවාදියා වන අමෙරිකාවට වඩා සූදානමින් සිටින බව එහි සඳහන් විය. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි බ්‍රහස්පතින්දා ඇරැඹි සාකච්ඡා වටය චීන - අමෙරිකා හතළිස්වසරක සබඳතාවල කිසියම් සන්ධිස්ථානයකි. එය ප්‍රායෝගිකව සිදුවීමම විශාල කාරණයක් බව ඔවුන්ගේ අදහසය. සාකච්ඡා මේසයේදී කවරක් සිදුවුවද එකට අසුන් ගැනීමට හැකිවීමම වැදගත්ය.

ජනාධිපති ට්‍රම්ප්ගේ ‘අමෙරිකාව පළමුව’ (America First) වැඩපිළිවෙළ මෙන්ම තීරුබදු ඉහළ දැමීම ලෝක ආර්ථිකයට සැලකිය යුතු බලපෑම් ඇතිකර තිබේ. ඒ වසරකට වැඩි කාලයකදීය. එමෙන්ම චීනය ඊට දැක්වූ ප්‍රතිචාරය අමෙරිකා ආර්ථිකයටද බලපෑම් සහගත විය. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන පරිදි චීනය එරට ආර්ථිකයට සිදුකළ බලපෑම නිවැරදිව හඳුනාගැනීමට ට්‍රම්ප්ට හැකි වීම වැදගත්ය. මැතිවරණ ව්‍යාපාරයේදී අමෙරිකා ආර්ථිකය ඔසොවා තැබීම සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දු ඉටුකිරීමට ට්‍රම්ප් වගබලාගත් බව පෙනෙන්නට තිබේ. කෙසේවුවද, එහිදී ඔහු දැඩි ස්ථාවරයක සිටි බව පෙනිණි. සාර්ථක සාකච්ඡා වටයක් සිදුකිරීමට හැකිවීම එවැනි පසුබිමක දෙපාර්ශවයේම ජයග්‍රහණයකි.

ජනාධිපති ට්‍රම්ප් පවසන පරිදි දෙරට අතර සම්මුතියක් ඇතිවීමට ආසන්න තැනකට සාකච්ඡා ගමන්කර තිබේ. කෙසේවුවද තීරුබදු ඉහළ දැමීම් හකුළා ගැනීමට අමෙරිකාව සූදානම් නැති බව පෙනේ. මීට පෙර දෙවතාවකදීම එය පමාකළ බවද අමතක නොකළ යුතුය. චීන ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදුවීමද මෙහිදී අපේක්ෂා කෙරේ. අමෙරිකාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් ට්‍රම්ප්ගේ ආර්ථික වැඩපිළිවෙළට සහාය පළවෙමින් ඇත. එයද වැදගත් කාරණයකි.

ට්‍රම්ප්ගේ ආර්ථික අවිවලට චීනය ද ප්‍රතිචාර දක්වමින් සිටී. අමෙරිකා නිෂ්පාදන මිලදී ගැනීමෙන් වැළැකී සිටීම එක් අවියකි. ඊට රාජ්‍ය මට්ටමින්ම දිරිගැන්වීම සිදුවේ. ට්‍රම්ප‍්ගේ තීරුබදු ඉහළ දැමීම්වලට තීරුබදු ඉහළ දැමීමෙන් පමණක් නොනැවතී එම හානිය අවම කර ගැනීමට චීනයද හැමවිටම වෑයම් කර තිබෙන අයුරු පිළිබිඹු වේ.

හිටපු CIA ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රපුස් පවසන පරිදි, ට්‍රම්ප් එල්ලකරමින් සිටින තීරුබදු තර්ජනය ගැන බෙයිජිං දැඩි අවධානයකින් පසුවේ. ඉදිරි වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වැනි සාධකද මෙහිදී වැදගත් බව ඔහු පෙන්වා දේ.

ලස්සන ලියුම

ෆිම් රේටිගේස් ආයතනය පෙන්වා දෙන්නේ අමෙරිකානු පාරිභෝගිකයන්ට භාණ්ඩ සඳහා ඉහළ මිලක් ගෙවීමට ද රැකියා අවස්ථා අහිමිවීමට මුහුණපෑමටද සිදුවනු ඇති බවය. එවැනි තත්ත්වයක් ජනාධිපති ට්‍රම්ප්ගේ ඊළඟ මැතිවරණ ව්‍යාපාරයට බලපෑමට ඉඩ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මූල්‍ය වෙළෙඳපොළ සතුව සෑම පැයකදී පාහේ අවධානයෙන් සිටින බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ උපදේශකවරයා වූ ස්ටෙපන් මුවර් පවසයි. මක්නිසාදයත් කොටස්වෙළෙඳ පොළ හා ආර්ථිකයේ කඩාවැටීමක් සිදුවුවහොත් එය දෙවන වරට බලයට පත්වීම සඳහා දැඩි බලපෑම් ඇති කරන බව ඔහු දන්නා හෙයිනි. පවතින අර්බුදකාරීත්වය විසඳා ගැනීම සඳහා ට්‍රම්ප් කිසියම් පීඩනයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. එකී පීඩනයට විසැඳුමක් සෙවීමට ඔහුට මඟපෙන්වීමක් කරන්නට ද ඉඩ ඇත. මේ සෑම කාරණයක් ගැනම බෙයිජිං බලධාරීහු අවධානයෙන් පසුවන බව පැහැදිලි කාරණයකි.

බ්‍රහස්පතිනදා ඇරැඹි සාකච්ඡා වටය පැය 11ක් පැවති බව මාධ්‍ය වාර්තා කර තිබේ. ගෙවීයන සතිය ආරම්භයේදී අසන්නට ලැබුණේ චීන භාණ්ඩ මත ඇ. ඩො. බිලියන 200ක තීරුබදු පැනවීම සති අගදී සිදුවන බවය. එය ඉවත් කරගෙන නැතත් සති අන්තය වනවිට චීන - අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල ප්‍රගතිය සාකච්ඡාවට ලක්වීම සතුටුදායක තත්ත්වයකි.

සාකච්ඡා ඇරැඹෙනවිට ට්‍රම්ප්ගේ ස්වරය වෙනස්ව තිබීම ඊට විශාල බලපෑමක් ඇතිකරන කාරණයකි. ෂී ජිංග් පිංග් ගේ ‘ලස්සන ලියුම’ එකී වෙනසට හේතු විය. මේ ලියුමේ අන්තර්ගතය හෙළිදරව්වී නැතත් ඊට ඵලදායී යමක් කිරීමට හැකිවී ඇති බව පැහැදිලිය. මේ සාකච්ඡාවටයේ, ඊළඟ පියවර වනු ඇත්තේ දෙරටේ නායකයන් අතර සංවාදයකි... චීන - අමෙරිකා වෙළෙඳ යුද්ධය දෙවන වසරට පිවිසී තිබියදී එය එහි ආරම්භයේදීම වළක්වා ගැනීමට හැකිවේදැයි මෙම සාකච්ඡාවටය හා නායක හමුව ඔස්සේ තීරණය වීමට බොහෝදුරට ඉඩ තිබේ.

සිනමා සිහිනය සාර්ථක වුණේ නැහැ

$
0
0
මැයි 13, 2019 01:00
Nadeesha Alahapperuma

මම හැමදාම ජීවිතයේ ලැබෙන දෙයින් සතුටු වන කෙනෙක්. සමහර වෙලාවට මට ලොකු දේ කරන්න බැරි වෙන්න ඇති. මම මගේ දරුවො දෙන්නා නිසා අවුරුදු පහක් විතර ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියා. මේ කාලයේ මට බොහෝ දේ මඟහැරෙන්න ඇති. මං ආපහු හැරිලා බලද්දි, ලැබුණු දේ තියෙනවා. නොලැබුණු දේත් තියෙනවා. මම සාර්ථක නිළියක් නොවෙන්න පුළුවන්. හැබැයි මම සාර්ථක ගැහැනියක් කියලා මම හිතනවා.

 

 

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීෂා අලහප්පෙරුම, මේ දිනවල විකාශය වන ‘ඔබ නිසා‘ හා ‘තෝඩු‘ ටෙලි නාට්‍යවල එකිනෙකට සමාන චරිත දෙකක් නිරූප‍ණය කරමින් සිටී.

 

එක ම කාල සීමාවක, එක ම විකාශන වෙලාවක, එක ම විදිහේ චරිත දෙකක් නිරූපණය කිරීමේ අත්දැකීම කුමනාකාරද?

තෝඩු සහ ඔබ නිසා කියන ටෙලි නාට්‍ය දෙකේම චරිත, මට එක ම කාල සීමාවක ලැබුණු ඒවා. මේ දෙකම නපුරු චරිත. රසිකයන්ට දැන්, අපි කරන දේ ගැන කෙළින්ම තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්නෙ. ඒ නිසා, නාට්‍ය දෙක ම බලලා, ප්‍රේක්ෂකයො අදහස් දක්වලා තියෙනවා. සමහරු කියනවා, අපි ඔයාට බැණ බැණ තමයි ටෙලි නාට්‍ය බලන්නෙ කියලා. ඒ ප්‍රතිචාර ගැන මම පසුතැවෙන්නෙ නැහැ . මගේ කාර්ය හරියට කළ නිසා නෙ, රසිකයයන්ට එවන් හැඟීමක් දැනෙන්නෙ. නපුරු චරිත දෙකක් ම එක ම කාලෙ රඟපෑවා කියලා ප්‍රේක්ෂකයන්ගෙ ආදරය අඩු වෙලත් නැහැ . දැන් ප්‍රේක්ෂකයො හරි ම බුද්ධිමත් . අපේ ඇත්ත චරිතයයි, නාට්‍යවල රඟපාන චරිතයි සමානයි කියලා හිතන පිරිස් අද නැහැ .

රංගනයට පැමිණ ගෙවෙන වසර පහළොව පුරා ම, ටෙලි නාට්‍යවලට පමණක් ම දායක වෙන්න හේතුවක් තියෙනවද?

සිනමා නිළියක් වෙනවා කියන සිහිනය මටත් තිබුණා . ඒත් ඒක යථාර්ථයක් කර ගන්න ලැබුණෙ නැහැ. ඒකට හේතුව, අපි ක්ෂේත්‍රයට එනකොට සිනමාවේ යම්කිසි කඩා වැටීමක් තිබුණා . අපේ පරම්පරාවෙ බොහෝ අය ටෙලි නාට්‍යවලින් තමයි රංගනයට යොමු වුණේ. මේ පසුබිම තුළ සිනමා නිළියක් කියන තැන ගොඩනගාගන්න අපහසු වුණා. මම ආපු මුල් කාලෙම, ‘හතරදෙනාම සුරයෝ‘ කියන චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. ඒක මට හොඳ අවස්ථාවක්. ඒත්, ටෙලි නාට්‍ය නිළියක් වුණා කියලා මම කොහොමටවත් දුක් වෙන්නෙ නැහැ . අද වෙනකොට ක්ෂේත්‍රයට එන්න බැරිව බලාගෙන ඉන්න අය කොච්චර ඉන්නවද? එහෙම බලද්දි මේ ලැබිලා තියෙන දෙයත් ලොකු අවස්ථාවක්.

අද වෙද්දි රියැලිටි තරග, රූප රාජිනී තරග හා සමාජ මාධ්‍ය ජාලා හරහා රංගනයට එන්න හැකිවී තිබීම යහපත් තත්ත්වයක්ද?

මම හිතන්නෙ සිනමාව, වේදිකාව හෝ ටෙලි නාට්‍ය කියන මොන මාධ්‍යයක වුණත් රැඳිලා ඉන්න පුළුවන් වෙන්නෙ, දක්ෂතාවක් තියෙනවා නම් විතරයි. කොතැනින් මොන විදිහට ආවත්, පැවැත්මක් තියෙන්නෙ දක්ෂකම හා හොඳ පැවැත්මක් තියෙන කෙනකුට විතරයි. ඕනම රැකියාවක, ඒ තුළ පවතින්න ඕන විදිහක් තියෙනවානේ. මේ වෘත්තියත් එහෙමයි. මිනිස්සු එක්ක අපි ගනුදෙනු කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ ගැනයි මම මේ කියන්නෙ. ඇතැමුන්, මේ ක්ෂේත්‍රයේ ඉන්න අය පහත් කර සලකනවා. තමන් තමයි කෙනා කියන මානසිකත්වයෙන් අනෙක් අය නොසලකමින් වැඩ කරනවා . මේ වෘත්තිය සාමුහික වැඩක් නෙ. ඒ නිසා, අපි හැමෝම එක්ක හොඳ විධිහට ඉන්න ඕනැ .

ඔබ පවසන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ පවතින්න නම්, ඔහු හෝ ඇය සුදු චරිතයක් විය යුතුයි කියලද?

ඔය ප්‍රශ්නයට මම මේ විධිහට උත්තරයක් දෙන්නම්. අපි කවුරුවත් සුදු චරිතත් නෙමෙයි. කළු චරිතත් නෙමෙයි. මේ දෙකේම සම්මිශ්‍රණයක් . හැබැයි අපි ජීවත් වෙද්දි, මුළු මහත් සමාජයක් අප දිහා බලාගෙන ඉන්නවා කියලා අපි දැනගන්න ඕනැ. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විදිහට අපට සමාජ වගකීමත් තියෙනවා . දැන් ප්‍රේක්ෂකයො නළු නිළියන්ගේ පුද්ගලික ජීවිත හා රඟපාන චරිත එකට පටලවගෙන නැහැ. හැබැයි සමහර නිළියො, පුද්ගලික ජීවිත ප්‍රසිද්ධ කර ගන්න ගිහින්, තමන්ගෙ නම කැත කර ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා.

කළු චරිතයක් තිරය මත නිරූපණය කරන්න ලැබුණොත්, ඔබ එය බාර ගන්නවද?

ඔව් . එය මට ලැබෙන චරිතයක් විතරයි. ඒ චරිතය වැරැදියි, ඒ විදිහට ජීවත් වුණොත් මෙවැනි විපාක අත්විඳින්න වෙනවා කියන පණිවිඩය සමාජයට යනවා නම්, මම ඒක කරනවා. ඒ මඟින්, එක මනුෂ්‍යයකුට හරි තමන්ගෙ ජීවිතය යහපත් කර ගන්න හිතෙයිනෙ.

අද වනවිට ටෙලි නාට්‍ය හා එහි චරිත පිළිබඳ විශ්වසනීය බව අන්තයටම බිඳවැටිලා නේද?

ඇතැම් අවස්ථාවල රංගන ශිල්පීන්, ශිල්පිනියන්, සමහර පුද්ගලික කාරණා නිසා ටෙලි නාට්‍යවලින් ඉවත් කරන හෝ ඉවත් වන අවස්ථා තියෙනවා. මේ කාරණය නිසා, සමහර වෙලාවට ටෙලි නාට්‍ය නළු නිළියන් ගැන ප්‍රේක්ෂකයන් තුළ තිබෙන විශ්සනීය බව නැතිවෙලා. මේ වගේ දේ මඟින් සමහර විට ප්‍රේක්ෂකයන් අපහසුතාවට පත් වෙනවා කියලා පිළිගන්න වෙනවා. සමහර වෙලාවට එක ම චරිතය, ප්ලාස්ටික් සැත්කමක් කර ගත්තා කියලා වෙනත් කෙනෙක් කරන තැන් තියෙනවා. සමහර වෙලාවට පිටපතේ තියෙන්නෙ මොනවද කියලා උදේ ඒ වෙලාවෙ වෙනකම් අපි දන්නෙ නැහැ . ඔය අතර නළු නිළියන්ට හොඳට සලකන, වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන නිර්මාණ කරන නිෂ්පාදකවරු හා අධ්‍යක්ෂවරුත් ඉන්නවා . ඒ ගැන සතුටක් තියෙනවා.

ඔබ, රංගන ශිල්පිනියක් විධිහට තෘප්තිමත්ද?

මම හැමදාම ජීවිතයේ ලැබෙන දෙයින් සතුටු වන කෙනෙක්. සමහර වෙලාවට මට ලොකු දේ කරන්න බැරි වෙන්න ඇති. මම මගේ දරුවො දෙන්නා නිසා අවුරුදු පහක් විතර ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියා. මේ කාලයේ මට බොහෝ දේ මඟහැරෙන්න ඇති. මං ආපහු හැරිලා බලද්දි, ලැබුණු දේ තියෙනවා. නොලැබුණු දේත් තියෙනවා. මම සාර්ථක නිළියක් නොවෙන්න පුළුවන්. හැබැයි මම සාර්ථක ගැහැනියක් කියලා මම හිතනවා.

ඒ කියන්නෙ ඔබ රංගනයට වෙන් කරලා තියෙන්නෙ, ජීවිතයෙන් අඩු ඉඩක්ද?

රංගනය කියන්නෙ මගේ වෘත්තිය හා මම බෙහෙවින් ම කැමැති දෙය. රංගනය කියන්නෙ මගේ ජීවිතයෙන් බාගයයි. අනෙක් අඩ මගේ පවුල. මම බොහෝ දේ උපේක්ෂාවෙන් බාර ගන්න කෙනෙක්. ජීවිතයෙ අපට ලැබෙන දේ තියෙනවා. නොලැබෙන දේත් තියෙනවා. අධ්‍යක්ෂවරයෙක් මට චරිතයකට කතා කරන්නෙ, මම ඒක හොඳට කරයි කියලා බලාපොරොත්තුවෙන් නෙ. ඒ නිසා මම, මට ලැබෙන චරිතය හොඳට කරනවා. රංගනය කියන එක මතුපිටින් ලස්සනයි කියලා හිතුවට, මේ දේ ලෙහෙසි නැහැ. උදේ පාන්දර ගෙවල්වලින් ගිහින්, මහ රෑ වෙනතුරු විවිධ අපහසුතා එක්ක, අපි ඒ හැම දෙයක් ම දරාගෙන වැඩ කරනවා. අපි අපේ අපහසුතා ගැන කෑ ගහලා කියන්නෙ නැහැ. හැම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් ම මේ කටයුත්තෙදි දැඩි කැප කිරීමක් කරනවා.

ඔබගේ රංගනය සම්මානයට පාත්‍ර වු අවස්ථා පිළිබඳ කතා කළොත්?

මම රංගනයට ඇවිත් ගත වූ පහලොස් වැනි අවුරුද්දටම, බොහොම සීමිත චරිත සංඛ්‍යාවක් විතරයි කරලා තියෙන්නෙ. සංඛ්‍යාත්මකව සඳහන් කරනවා නම්, ටෙලි නාට්‍ය විස්සක විතර රඟපාලා තියෙනවා. රඟපාපු පළමු ටෙලි නාට්‍යයටම මට රයිගම් සම්මාන උළෙලේ සම්මානයක් හිමි වුණා. ඊට පස්සෙ, රූපවාහිනී රාජ්‍ය සම්මානයක් ලැබුණා. පසුගිය වසරේ සුමති සම්මාන උළෙලේදි, සම්මානයක් සඳහා මගේ නම නිර්දේශ වුණා.

ධම්මිකා සුරංජි පති­රණ
 

දුටු තැන අල්ලනු

$
0
0
මැයි 13, 2019 01:00

අබු බාකර් අල් බග්ඩාඩි නම නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය මඟින් ප්‍රචලිත වන්නට පටන් ගත්තේ, පසුගිය පාස්කු ඉරිදා අප රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය මඟින් බාර ගැනීමත් සමඟ ය. මේ වනවිට ලෝකයේ බලවත්  රටවල් මඟින්, දුටුතැන අල්ලා ගැනීමට විමසිල්ලෙන් පසුවන නමගිය අපරාධකරුවන් අතර බග්ඩාඩි ගේ නම ද ඇත. මේ, දුටුතැන අල්ලා ගැනීමට නම්කළ, එබඳු අපරාධකරුවන් කිහිපදෙනකු පිළිබඳ කෙටි විස්තරයකි.

 

1. අයමන් අල් - සවහිරි

(Ayman al-Zawahiri)

 

අල් ඛයිඩා සංවිධානයේ වත්මන් නායකයා හැටියට කටයුතු කරන්නේ අයමන් අල් - සවහිරි ය. අල් ඛයිඩා සංවිධානයේ නායකත්වය දැරූ ඔසාමා බින් ලාඩන් 2011 වසරේදී ඝාතනය වීමත් සමඟම, එහි නායකත්වය අයමන් අල් - සවහිරිට පැවරුණු බව සඳහන් වේ.

1951 ජුනි 19 වැනිදා උපත ලද අයමන් අල් - සවහිරි, ඊජිප්තු ජාතිකයෙකි. කෙන්යාවේ නයිරෝබි නුවර සහ ටැන්සානියාවේ ඩාර් එස් සලාම්හි පිහිටි අමෙරිකා තානාපති කාර්යාලවලට 1998දී බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණේ, අයමන්ගේ මූලිකත්වයෙන් බව සොයා ගෙන ඇත. 2012දී අයමන් අල් - සවහිරි ඉස්ලාමිකයන් වෙත නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ, මුස්ලිම් රටවල සංචාරය සඳහා පැමිණෙන බටහිර සංචාරකයන් පැහැර ගත යුතු බවකි. ඔහු බටහිර ජාතීන් සමඟ ක්‍රියා කිරීමට සැරසෙන භයානකකම, ඔහුගේ මේ ප්‍රකාශයත් සමඟ මුළු මහත් ලෝකයටම අනාවරණය විය.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අයමන් අල් - සවහිරි ගැන නිරන්තර සෙවිල්ලෙන් පසුවෙයි. ඔහු සිටින තැනෙක තොරතුරු ලබාදෙන පුද්ගලයකුට, අමෙරිකා ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් ප්‍රදානය කරන බවත්, අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇත. ඊශානදිග පාකිස්තානයේදී අයමන් අල් - සවහිරි අල්ලා ගැනීමට තිබූ අගනා අවස්ථාවක් තමන්ට අහිමි වූ බව, පාකිස්තාන රජයේ හමුදා 2008 වසරේදී ප්‍රකාශ කළේ ය.

 

2. ඩාවුඩ් ඊබ්‍රහිම් (Dawood Ibrahim)

 

ඉන්දියාවේ මුම්බායි නුවර පාතාල ලෝක අපරාධකරුවකු හැටියටත්, මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙහි නිරත පුද්ගලයකු හැටියටත් ඩාවුඩ් ඊබ්‍රහිම් ප්‍රකට ය. ඉන්දියන් ජාතිකයකු වුවත් හෙතෙම, පාකිස්තානයේ දැනට වාසය කරතැයි ඉන්දීය බලධාරීහු විශ්වාස කරති. එසේ වුවත්, ඩාවුඩ් ඊබ්‍රහිම් පාකිස්තානයේ වාසය කරන බව පාකිස්තාන බලධාරීහු ප්‍රතික්ෂේප කරති. ඔහු එක්දහස් නවසිය අසූ ගණන්වල සිට ඉන්දීය ආරක්ෂක අංශවලට අවශ්‍යව ඇත. ඒ, ඝාතන, පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වැරැදිකරුවකු වශයෙනි. 1993 වසරේදී මුම්බායි නුවර බෝම්බ මාලාවක් පුපුරා ගියේ, ඩාවුඩ් ඊබ්‍රහිම්ගේ සැලැසුමකින් බව ඉන්දීය ආරක්ෂක අංශ විශ්වාස කරයි. මේ බෝම්බ පිපිරීම් මාලාවට බෝම්බ ප්‍රහාර 12ක් ඇතුළත් වූ අතර, ඉන් පුද්ගලයෝ 257ක් ජීවිතක්ෂයට පත් වූහ. 717කට අධික සංඛ්‍යාක් තුවාල ලැබුවෝය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිට මුම්බායි නුවර පවත්වාගෙන යන D - කම්පැනි නමැති සමාගම, ඩාවුඩ් ඊබ්‍රහිම්ට අයත් එකක් බවට මතයක් ඇත.

ඔහු අල්ලා දෙන කෙනකුට, අමෙරිකා ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් ලබා දෙන බව ඉන්දීය සහ අමෙරිකා ආරක්ෂක ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.

 

3. අබු බාකර් අල් බග්ඩාඩි (Abu Bakr al-Baghdadi)

 

ඉස්ලාමික රාජ්‍ය හෙවත් අයි.එස්.අයි.එස්. වශයෙන් හැඳින්වෙන භයානක ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට සැලකෙන්නේ, අබු බකර් අල් බග්ඩාඩි ය. හෙතෙම 1971 වසරේදී උපත ලදැයි කරුණු අනාවරණය කරගෙන ඇත. ඔහු ඉරාක ජාතික සුන්නි මුසෙල්මානුවෙකි. සදාම් හුසේන් ඉරාකය පාලනය කරන අවධියේ සිටම, අබු බාකර් අල් බග්ඩාඩි ඉස්ලාමික විප්ලවීය ක්‍රියාකාරකම්වල නිරතව සිටි බවට සමහරුන් තුළ විශ්වාසයක් ඇත. අමෙරිකා ජාතිකයන් ඉරාකය ආක්‍රමණය කළ 2003 වසර වනතුරුම ඔහු, ඉස්ලාමික පූජකයකු වශයෙන් කටයුතු කළේයැයි තවත් සමහර වාර්තාවල දැක් වේ. 2003න් පසු ඔහු ජමාත් ජයිෂ් අහ්ල් අල් -සුන්නාහ් වා -ල් - සමාෆ්හ් (Jamaat Jaysh Ahl al-Sunnah wa-l-Jamaah) නැමැති සන්නද්ධ කණ්ඩායමක් සමඟ කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.

ඉස්ලාමික රාජ්‍ය පිහිටුවීම වෙනුවෙන් ගෙන යන සන්නද්ධ අරගලයත් සමඟ, අබු බකර් අල් බග්ඩාඩි ලෝකවාසීන්ගේ අවධානයට ලක් වන්නට පටන් ගත්තේ ය. ඒ 2006 වසරේ සිට ය. එහෙත් ඔහු එම සංවිධානයේ නායකත්වයට පත් වන්නේ, එහි නායක අබු ඕමාර් අල් බග්ඩාඩි අමෙරිකා හමුදා ප්‍රහාරයකින් 2010දී මරණයට පත් වීමෙන් පසුව ය. මනුෂ්‍ය ඝාතන, බිය වැද්දවීම්, නොයෙක් විධියේ අපරාධ, ත්‍රස්තවාදී ක්‍රියා අඩියට නායකත්වය ලබාදෙන බැවින්, ඔහු දුටුතැනදී අල්ලා ගතයුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

අබු බකර් අල් බග්ඩාඩි, සිරියාවේ රක්කා නගරයේ සැඟ වී සිටිතැයි කියා මතයක් තිබේ. එසේ ම, අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එල්ල වූ ප්‍රහාරවලින් ඔහු ජීවිතක්ෂයට පත් වී යැයි අවස්ථා කිහිපයකදී අනුමාන කෙරිණ. 2015දී එල්ල වූ එවැනි ප්‍රහාරයක් නිසා, ඔහුගේ සුෂුම්නාව ආශ්‍රිත ප්‍රදේශයට හානි පැමිණුනේ යැයි දැනගන්නට කරුණු ඇත. ඒ අවස්ථාවේදී ඔහු යුරෝපයට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නේදැයි සැකය කරයි. මේ කාරණා පදනම් කරගෙන, අබු බකර් අල් බග්ඩාඩි අංශ භාග තත්ත්වයකට මුහුණ දී සිටිනවා විය හැකි යැයි, ගාර්ඩියන් පුවත්පත 2015 අප්‍රේල් මාසයේදී වාර්තාවක් පළ කර තිබිණි. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාර ගැන කතා කරන්නට ඔහු වීඩියෝවක පෙනී සිටින අන්දම අයි.එස්.අයි.එස්. මාධ්‍ය ඒකකය පසුගිය 29 වැනිදා ප්‍රචලිත කළේ ය.

අබු බකර් අල් බග්ඩාඩි අල්ලා දෙන කෙනකුට, අමෙරිකා ඩොලර් මිලියන 25ක ප්‍රදානයක් පිරිනමන්නට, අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙන් සිටී.

 

4. සෙමියොන් මොගිලෙවිච් (Semion Mogilevich)

 

1946 ජුනි මාසයේ යුක්‍රේනයේදී උපත ලද සෙමියොන් මොගිලෙවිච්, ලෝ පුරා ක්‍රියාත්මක රුසියා මාෆියා සංවිධාන එකමුතුවෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු සතුව අපරාධ සංවිධානයක් ඇත. අවි ආයුධ, මත්ද්‍රව්‍ය ජාවාරම, කොන්ත්‍රාත් පදනමට ඝාතන කිරීම, කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම, වංචා කිරීම සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය ජාවාරම ආදී සකල විධ අපරාධ, ඔහු සතු සංවිධානය හරහා සිදු කෙරේ. රුසියා රජයේ ඉහළ ම පෙළේ දේශපාලනඥයන් සමඟ පවත්වා ගෙන යන සමීපතම සම්බන්ධතා හේතුවෙන්, සෙමියොන් මොගිලෙවිච්ට මේ අපරාධ පහසුවෙන් සහ ආරක්ෂිතව කරගෙන යන්නට ඉඩ ලැබී ඇත. සෙමියොන්, රුසියා ජනාධිපති ව්ලැද්මියර් පුටින් සමඟ ඉතා කිට්ටු සබඳතාවක් පවත්වන බව, රුසියා රහස් ඔත්තු සේවයෙහි හිටපු නිලධාරි ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ, 2006දී කියා සිටියේ ය. මේ ප්‍රකාශය කිරීමෙන් පැය කිහිපයකට පසු, ලිට්විනෙන්කෝට විෂ සහිත විකිරණ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ලිට්විනෙන්කෝ ජීවිතක්ෂයට පත් විය.

සෙමියොන් මොගිලෙවිච් ඉතා නිදහස් අන්දමින් රුසියාවේ ජීවත් වන බව අනාවරණය වේ. බදු නොගෙවීමේ වරදට ඔහුව 2008දී අත්අඩංගුවට ගැනිණ. ඉතා කෙටි කලකින් නිදහස් කරන්නට රුසියා බලධාරීහු එවර වගබලා ගත්හ. 2009 වසරේදී ඇමෙරිකාව නිකුත් කළ අත්අඩංගුවට ගැනීමට අවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සෙමියොන් මොගිලෙවිච්ගේ නම සඳහන් විණ. එහෙත් එම ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කරන්නට අමෙරිකාව 2015 වසරේදී කටයුතු කළේ ය. අපරාධකරුවන් සිය රටට භාරදීමේ ගිවිසුමක්, රුසියාව සහ අමෙරිකාව අතර ක්‍රියාත්මක නොවන බැවින්, අමෙරිකා බලධාරීන් එකී තීරණයට එළැඹුණු බව සඳහන් වේ.

 

5. මැටියෝ මෙසිනා ඩෙනාරෝ (Matteo Messina Denaro)

 

මැටියෝ මෙසිනා ඩෙනාරෝ 1962 වසරේදී ඉතාලියේදී උපත ලැබූවෙකි. ඔහු සිසිලියානු මාෆියා සංවිධානයක ප්‍රධානියා හැටියට මේ වනවිට කටයුතු කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම, ඝාතන, බෝම්බ පිපිරවීම් ආදී අපරාධ ඔහුගේ සංවිධානයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. එහෙත්, මැටියෝ මෙසිනා ඩෙනාරෝව අත්අඩංගුවට ගැනීම, ඉතාලි ආරක්ෂක අංශවලට දුෂ්කර වී තිබේ. ආරක්ෂක අංශ මඟ හැර යෑමට අනුගමනය කළ හැකි ඉතා සියුම් උපක්‍රම සියල්ලක්ම භාවිතයට ගැනීමට ඔහු දක්ෂයෙකි. ඔහුගේ මේ හැසිරීම, නමගිය සෙසු අපරාධකරුවන්ගේ හැසිරීම්වලට වඩා බෙහෙවින්ම වෙනස් වූවකි. මැටියෝ මෙසිනා ඩෙනාරෝ සමාජයේ පෙනී සිටින්නේ ඉතා ඉහළ ම වටිනාකමක් ඇති භාණ්ඩ පරිහරණය කරමින්, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නකු හැටියට ය.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි

 

මංජුලා විජ­ය­රත්න
Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>