අපනයන ආර්ථිකය පුළුල් කර ගනිමින් ඒ සඳහා නවතම වෙළෙඳ පොළවල් සොයාගැනීම ශ්‍රී ලංකාවේ එක් සංවර්ධන උපාය මාර්ගයකි. මේ සඳහා ජාතික අපනයන උපාය මාර්ග සැලැස්මක්ද (NES) දැන් ක්‍රියාත්මකය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගමනාන්තය අමෙරිකා එක්සත් ජනපදයයි. දෙවැනි ගමනාන්තය එක්සත් රාජධානියයි. තෙවැනි ගමනාන්තය ඉන්දියාවයි. 2017 වසරේ සමස්ත අපනයනයෙන් සියයට 25.6 ක දායකත්වයට හිමිකම් පෑවේ අමෙරිකාවයි. එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් දස ලක්ෂ 2909 කි.
2018 වසරේ ශ්‍රී ලංකා අපනයනයෙන් සියයට 25.9 ක දායකත්වය අමෙරිකාවට හිමිවේ. එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් දස ලක්ෂ 3085 කි.
යුරෝපා සංගමය යනු රටවල් 27 ක් ඒකාබද්ධ වූ රාජ්‍ය හවුලකි. ශ්‍රී ලංකාවේ අපනයනයෙන් සියයට 29 ක දායකත්වයට හිමිකම් කියන්නේ යුරෝපා සංගමයයි. දළ වශයෙන් එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් දස ලක්ෂ 3300 ක් පමණ වේ.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. 2018 වසරේ අපනයන ආදායම ඇ.ඩොලර් දස ලක්ෂ 11980 ක් යැයි 2018 මහ බැංකු වාර්තාව කියයි. 2017 අප රට ලැබූ අපනයන ආදායම ඇ.ඩොලර් දස ලක්ෂ 11360 කි. එහෙයින් 2018 අපනයන අංශය වර්ධනයක් වාර්තා කර ඇත.
අපනයන උපාය මාර්ග සැලැස්ම පෙන්වා දී ඇති අන්දමට අපනයන දියුණුව සඳහා නව වෙළෙඳ පොළවල් සොයාගත යුතුව තිබේ. දැන් ශ්‍රී ලංකාව එවැනි නවතම වෙළෙඳ පොළවල් සොයාගැනීමේ උත්සාහයක නිරතව සිටී. ඒ පිළිබඳ මූලික සාකච්ඡා නිමාවී හමාරය. දෙවැනි පියවර වන ගිවිසුම්ගතවීම් ළඟදීම ඇරැඹේ.
දැනට හඳුනාගෙන ඇති නව වෙළෙඳ පොළවල් ලෙස සැලකෙන්නේ මධ්‍යම යුරෝපයයි. පෝලන්තය සහ හංගේරියාව මධ්‍යම යුරෝපයට අයත්ය. මේ දෙරට සෝවියට් සමාජවාදී ආර්ථික මණ්ඩලයට අනුගතව තිබූ රටවල් වුවත් දැන් එම මෝස්තරයෙන් පිට පැන කටයුතු කරති. එපමණක්ද නොව ඔවුහු යුරෝපා සංගමයේද සාමාජිකත්වය ලබා සිටිති. දෙරටේම ආර්ථිකය වඩාත් විවෘතය. මේ දෙරටම ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ ගනුදෙනුවල නිරත වන නමුත් එම වෙළෙඳාම තවම පවතින්නේ ළදරු අවස්ථාවේය.
පෝලන්තය ශ්‍රී ලංකාවෙන් තේ, කුළුබඩු සහ ඇඟලුම් මිලදී ගන්නා නමුත් වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන්නේ එක්සත් ජනපද ඩොලර් දස ලක්ෂ 40 – 48 අතර භාණ්ඩ ප්‍රමාණයකි. 2017 ඇ.ඩොලර් දස ලක්ෂ 48 ක් වටිනා භාණ්ඩ ශ්‍රී ලංකාව විසින් පෝලන්තයට අපනයනය කරනු ලැබූවද සමස්ත අපනයනය සමඟ සසඳනවිට එය සියයට 0.4 ක් තරම් සුළු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව පෝලන්තයෙන් අමෙරිකා ඩොලර් දස ලක්ෂ 13 – 18 අතර වටිනා භාණ්ඩ ආනයනය කරයි. ආනයනය කරනු ලබන භාණ්ඩ අතර කඩදාසි, තීන්ත, රසායනික ද්‍රව්‍ය ආදිය වේ. ද්විපාර්ශ්වීය වෙළෙඳ ගනුදෙනු මඟින් ශ්‍රී ලංකාවට වෙළෙඳ වාසිය හිමිවන නමුත් වරින්වර ශ්‍රී ලංකා පෝලන්ත ව්‍යාපාරික සාකච්ඡා මඟින් මේ වෙළෙඳාම තවත් දියුණු කළ හැකි බව පෙනී ගොස් ඇත.
හංගේරියානු වෙළෙඳපොල
මධ්‍යම යුරෝපයේ අද වනවිට ඉතා ශක්තිමත් ආර්ථික ශක්තියක් සහිත පෝලන්තය දස ලක්ෂ 38.5 ක ජනගහනය සහිත රටකි. ඒක පුද්ගල ආදායම ඇ.ඩොලර් 33374 කි. යුරෝපා සංගමයේ ආර්ථිකයන් අතර පස්වැනි ආර්ථික බලවතා පෝලන්තයයි. 1989 න් පසු අරඹන ලද නව ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා කෘෂි නිෂ්පාදන අතින්ද කාර්මික නිෂ්පාදන අතින්ද පෝලන්තය ඉතා දියුණු මට්ටමක පවතී.
හංගේරියාවද මධ්‍යම යුරෝපයේ යුරෝපා සංගමය තුළ සාමාජිකත්වය ලබාගෙන ඇති රටකි. ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වන නමුත් ශ්‍රී ලංකා අපනයනයේ වාර්ෂික වටිනාකම ඇ.ඩොලර් දස ලක්ෂ 33 ක් පමණය. එය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනය සමඟ සසඳා බලනවිට සියයට දශම තුනකි. 2018 ඇ.ඩොලර් දස ලක්ෂ 5 කට සීමාව තිබූ අපේ අපනයන පරිමාව නොකඩවා ඉදිරියට පැමිණ තිබේ. එහෙයින් අපේ නිෂ්පාදන සඳහා හංගේරියාව ඉහළ පෙළේ වෙළෙඳ පොළක් බවට පත්කරගැනීමට හැකියාවක් ඇති බව මෙතෙක් කරන ලද විමසුම් මඟින් හෙළිවිය.
හංගේරියාව පෝලන්තයට යාබද රටකි. දස ලක්ෂ 10 ක ජනතාවක් වෙසෙන හංගේරියාවද 1989 සෝවියට් බලපෑමෙන් නිදහස්ව නව නිදහස් ආර්ථික මොඩලය තෝරාගත් රටකි. ඒකපුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 16905 කි. රටවල් 188 ක් අතරින් 57 වැනි ආර්ථිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වර්ග කර ඇති හංගේරියාව අපනයන අතින් ලොව 36 වැනි තැනට පත්ව ඇති රාජ්‍යයයි.
යුරෝපා සංගමය
හංගේරියාව විවිධ අයුරින් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර සපයා ඇති නමුත් දෙරට අතර ව්‍යාපාරික කටයුතු තවත් දියුණු කර ගැනීම ශ්‍රී ලංකාවේ උත්සාහයයි. ඒ සඳහා සාකච්ඡා කීපයක්ද මීට පෙර පවත්වා තිබේ.
මේ දෙරටට අමතරව යුරෝපා සංගම සාමාජිකත්වය හොබවන මධ්‍යම යුරෝපීය රටවල් රාශියකි. ලිතුවේනියාව, බෙලාරුස්, යුක්‍රේනය, ස්ලොවැකියාව, චෙක් ජනරජය සහ රුමේනියාව ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා තරගකාරී වෙළෙඳ පොළවල් වනු ඇතැයි වාණිජ මණ්ඩලය කියයි. එසේම පෞද්ගලික සමාගම් ද එම රටවල් සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට වෙහෙසෙන්නේ මේ කලාපය ශීඝ්‍ර ආර්ථික දියුණුවක් අත්කරගනිමින් සිටින නිසාය.
ඇඟලුම් අපනයනයේදී චෙක් ජනරජය, පෝලන්තය සහ ස්ලොවැකියාව ක්‍රියාකාරී වන අතර තේ අපනයනයේදී පෝලන්තය ඉදිරියෙන් සිටී. එහෙත් අපනයන ක්ෂේත්‍රය ගැන සලකා බැලීෙම්දී මධ්‍යම යුරෝපයෙන් මීට වඩා අපනයන අවස්ථා උදාකරගත හැකිව තිබේ.
ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම නව වෙළෙඳ පොළවල් සොයාගැනීම කෙරෙහි උත්සුක වෙයි. හංගේරියාව සහ පෝලන්තය යන රටවල ශ්‍රී ලංකා අපනයනය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ලාංකික ව්‍යාපාරික දූත පිරිසක් එම කලාපයට පිටත්කරන ලදුව දැන් ඔවුහු සාර්ථක ප්‍රතිඵල සහිතව ලංකාවට පැමිණ ඇත. ආහාරපාන, සංචාරක කර්මාන්තය, පොල් නිෂ්පාදන වර්ග, තේ සහ ජල කළමනාකරණය යන විෂයන්ට මේ නියෝජිත පිරිස වාණිජ අවස්ථා උදාකරගත්හ. හංගේරියාවේ බූඩාපෙස්ට් නගරයේදී මේ සාකච්ඡා පැවැත්විණි. හංගේරියා වෙළෙඳ සමාගම් 35 ක නියෝජිතයෝ සාකච්ඡාවට සහභාගි වූහ. ආහාර නිෂ්පාදන, සංචාරක කර්මාන්තය සහ පොල් නිෂ්පාදන කෙරෙහි හංගේරියා නියෝජිතයෝ උනන්දුව පළ කළහ.
පෝලන්තයේ මොර්සෝ නුවර පවත්වන ලද සාකච්ඡාවට පෝලන්ත වෙළෙඳ සමාගම් 40 ක් සහභාගි වූහ. පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පෝලන්ත වාණිජ මණ්ඩලය ඒකාබද්ධව සාකච්ඡා සමුළු සංවිධානය කළහ.
මේ සෑම සාකච්ඡාවකින්ම තහවුරු වූයේ ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා පෝලන්ත සමාගම් උනන්දු වන අන්දමයි. වෙළෙඳ නියෝජිත තනතුරු ලබාගැනීමට සහ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමටද ඔවුහු උනන්දු වූහ. එසේම ආයුර්වේද නිෂ්පාදන කෙරෙහිද ඔවුහු උනන්දු වූ බව වාර්තා වේ.
පෝලන්තයේ මොර්සෝ නුවරදී 2020 දී පෝලන්ත ආහාර දැක්ම ප්‍රදර්ශනය පැවැත්වේ. ආහාරපාන නිෂ්පාදනයේ නියුතු නැගෙනහිර යුරෝපයේ ආයතන සහ සමාගම් 6800 ක් පමණ මේ ආහාර දැක්මට සහභාගි වෙති.
පෝලන්ත ආහාර දැක්ම
මෙම ආහාර දැක්මට ශ්‍රී ලංකාවට ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධ කරවීමට අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි. පෝලන්ත ආහාර දැක්ම සංවිධානය කරන වර්ල්ඩ් ෆුඩ් පෝලන්ඩ් සංවිධානය පවසන අන්දමට පෝලන්තය 2020 වනවිට G 20 ආර්ථික මට්ටමට දියුණුව ලබන රටකි. ඉදිරි දෑවුරුද්ද තුළ එහි ආර්ථික සංවර්ධනය සියයට 2.5 සහ සියයට 2.9 මට්ටමට දියුණු වේ. පෝලන්ත වෙළෙඳ පොළට පිවිසීම මඟින් ලිතුවේනියා, බෙලාරුස්, යුක්‍රේන්, ස්ලොවැකියා, චෙක් ජනරජය, ජර්මනිය සහ රුසියාව යන අසල්වැසි වෙළෙඳ පොළවල් රාශියකට අතපෙවීමේ ඉඩකඩ ලබාගැනීමකි.
ඊස් ඔෆ් බිස්නස් දර්ශකයේ අංක 55 ට පැමිණීමෙන් එරට ව්‍යාපාරික හිතවාදී පරිසරය පැහැදිලි වේ. එහෙයින් මේ ආහාර දැක්ම ව්‍යාපාරික ලෝකයට දැක්මක් සපයන බව එම සංවිධානය කියයි.
2018 පෙබරවාරි මාසයේ මධ්‍යම යුරෝපයට අයත් චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව ද්වාපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා තේ, රබර් ආශ්‍රිත භාණ්ඩ, පොල් සහ පොල් ආශ්‍රිත භාණ්ඩ, ඇඟලුම් යන ශ්‍රී ලාංකික නිෂ්පාදන චෙක් වෙළෙඳ පොළට ඇතුල් කළ හැකි බවත් එරට වෙළෙඳ පොළේ ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් පෙනී ගොස් තිබේ. එසේම ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, මුහුදු ආහාර, සෙරමික් නිෂ්පාදන, දුම්කොළ, පලතුරු සහ එළවළු, සකස් කළ ආහාර සහ ස්වභාවික තෙල් සඳහා ද චෙක් ජනරජයේ විශාල ඉල්ලුමක් පවතී.
චෙක් වාණිජ මණ්ඩලය සහ සිලෝන් චෙම්බර් ඔෆ් කොමර්ස් ලංකා වාණිජ මණ්ඩලය 2018 සැප්තැම්බරයේ ගිවිසුමකට අත්සන් තබා දෙරටේ වාණිජ කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලදී.
මේ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චෙක් ව්‍යාපාරික අංශ කැමැත්ත පළකර ඇතැයි කියැවේ. ඖෂධ නිෂ්පාදනය කෙරෙහි ඔවුනගේ සැලකිල්ල යොමුව ඇතැයිද තවදුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකාව අපනයන කටයුතු පුළුල් කිරීම සඳහා ආයෝජන කලාප රාශියක් පිහිටුවා තිබේ. 2019 වසර අවසාන වනවිට සෘජු විදේශීය ආයෝජනය ඇ.ඩොලර් බිලියනය දක්වා වැඩිකර ගැනීමටත්, අපනයන ආදායම ඩොලර් බිලියන 20 දක්වා වැඩිකර ගැනීමටත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි. ඒ සඳහා වන ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මක්ද ක්‍රියාත්මකයි.
මධ්‍යම යුරෝපීය කලාපීය නව වෙළෙඳ පොළවල් දිනාගැනීම සඳහා තේ, ඇඟලුම්, දුම්කොළ, රබර් නිමි භාණ්ඩ, ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන, පොල් නිෂ්පාදන, ආහාරමය මත්ස්‍ය නිෂ්පාදන, ගමනාගමන උපකරණ, කුළුබඩු, සම්භාණ්ඩ, සකස් කළ ආහාර යන භාණ්ඩ ඉදිරිපත් කළ හැකි යැයි දැනට හඳුනාගෙන තිබේ.
මධ්‍යම යුරෝපය දිනාගැනීම සඳහා වන ව්‍යාපාරික වැඩසටහනට මූලිකත්වය දුන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයයි. එසේම ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලද ක්‍රියාකාරී සහයෝගය පළ කළහ.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම්ද දැන් මියන්මාරය, වියට්නාමය, බංග්ලාදේශය යන කලාපීය රටවල් සමඟ මෙන්ම දකුණු අමෙරිකා මහාද්වීපයේ රටවල් සමඟද ඇඟලුම් ව්‍යාපාරය දියුණු කිරීමේ ආරම්භක වැඩසටහන් දියත් කර තිබේ.
කොටස් වෙළෙඳ පොළ
කොළඹ කොටස් වෙළෙඳ පොළ සතියේ දින පහ තුළම ක්‍රියාත්මක විය. සඳුදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 52 කින්ද, අඟහරුවාදා ඒකක 3.2 කින්ද, බදාදා ඒකක 09 කින් ද, බ්‍රහස්පතින්දා ඒකක 20 කින්ද, සිකුරාදා ඒකක 24 කින්ද පහත වැටුණි. සිකුරාදා ගනුදෙනු අවසන් වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5327 තුළ රැඳී තිබුණි.
මැයි 10 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු සතිපතා වාර්තාවට අනුව පසුගිය සිකුරාදාට පෙර සතියේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5438 කි. වර්ෂයකට පෙර එම දර්ශකය ඒකක 6478 කි. ඉකුත් සතියේ දෛනික පිරිවැටුම රුපියල් දස ලක්ෂ 257 කි. වසරකට පෙර රුපියල් දස ලක්ෂ 801 කි.
පසුගිය සතියේ ලාභාංශ ප්‍රකාශයට පත්කළ සමාගම් මෙසේය.
සිලෝන් හොස්පිටල් පී.එල්.සී. ඩර්ඩන්ස් එක් කොටසකට රුපියල් 3.60 (තුනයි ශත හැටක) ලාභාංශ ගෙවීම මැයි 30 වැනිදා.
සිංගර් ෆිනෑන්ස් කොටසකට රුපියල් 1.10 ක ලාභාංශයක් ගෙවනු ලබන්නේ මැයි 28 වැනිදා.
බයිරහා ෆාම්ස් පී.එල්.සී. එක් කොටසකට ලාභාංශය රුපියල් 4.00 කි. (රුපියල් හතරකි) ගෙවීම මැයි මස 29 වැනිදා.
කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් එක් කොටසකට රුපියල් 2.00 ක (රුපියල් දෙකක) ලාභාංශයක් ගෙවීම මැයි 28 වැනිදා.
ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් කොටසකට රුපියල් 8.50 (අටයි ශත පනහක) ලාභාංශයක් ගෙවීම මැයි 28 වැනිදා.
ලංකා අයි.ඕ.සී. කොටසකට ශත හැත්තෑ පහක ලාභාංශයක් ගෙවීම ජූලි 02 වැනිදා.
මැයි මස 07 – 08 තේ වෙන්දේසියට ඉදිරිපත් වූ තේ ප්‍රමාණය තේ කිලෝ දස ලක්ෂ 6.5 කි. පසුගිය සතියට සාපේක්ෂව එය කිලෝ දස ලක්ෂ 7 ක අඩුවකි.
ඉරානය සමඟ තේ වෙළෙඳාම යථා තත්ත්වයට පත්කරගැනීමට පවතින බාධක දුරලා ගැනීමට ශ්‍රී ලංකාව කීප අංශයෙන් වෙහෙසෙයි.
2019 අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම 166975 කි. මාර්තු මාසයේ සංචාරක පැමිණීම 244328 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකු සතිපතා වාර්තාව කියයි. 2019 අප්‍රේල් සංචාරක ඉපැයීම ඇ.ඩොලර් දස ලක්ෂ 313.4 කි. මාර්තු ඉපැයීම ඇ.ඩොලර් දස ලක්ෂ 488.6 කි.
කරුණාරත්න අමරතුංග