Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

රිද්මාගෙන් මම යළි ජීවිතය ලැබුවා

$
0
0
ජන 16, 2018 01:00

රොෂාන් පිලපිටිය

අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වශයෙන් රොෂාන් පිලපිටිය හඳුන්ව න්න පුළුවන්. වේදිකාව, රූපවාහිනිය, සිනමාව තුළ  තම රං ගන කෞෂල්‍ය පිළිබිඹු කරන රොෂාන් මේ ක්ෂේත්‍ර තුනේම සුන්දර ආදර වන්තයෙක් ‍ලෙසින් අප ඔබ හමුවට පැමිණියේය. එහෙත් සැබෑ ජීවිතයේදී ඔහු ආදරවන්තයෙක් බවට පත් කළ කාලයක් පසුගිය දිනවල නොතිබුණාම නොවේ. අපට මෙන්ම ඇතැම් දේ රොෂාන්ටද උරුම නොවූ අවස්ථා තිබුණි. ඒ නිසාම සුන්දර ආදරයේ අසුන්දර මතකයන් තුළ කලක් ජීවත්වූ රොෂාන්ට මෑත කාලයේ දී අපූරු යෙහෙළියක් මුණ ගැසුණි. යෙහෙළිය යෙහෙළියක්ම වූවා ද නැත. ඇය ඉන් ඔබ්බට ගොස් ඔහුගේ සුන්දර ආදරය සදාකල්හි හිමිකාරිය වූවාය.

ඇය රිද්මා දිසානායක විය. රොෂාන්ගේ ගම් පළාත වූ සුන්දර නුවරම ඇය විසූ ග්‍රාමය පිහිටියේය. ඒ නිසාම රොෂාන් රිද්මා කාලයත් සමඟ ‍හොඳ මිතුරන් වූහ. ඇය ‍රොෂාන් පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුවූ නිසාත් රොෂාන් රිද්මා මනාව අවබෝධ කරගත් නිසාත් ඔවුන්ගේ හිතවත්කම දිනෙන් දින වර්ධනය වූවා මිස විනාශ නොවූහ. මේ නිසාම කාලයාට හොරා රොෂාන්, රිද්මා අතර මිතු දම පසුකරමින් ආදර කතන්දරයක් ගොඩ නැඟුණි. එහි අවසාන ප්‍රතිඵලය ලෙසින් පසුගිය දිනක රොෂාන් පිලපිටිය නම් වූ රංගන  ශිල්පියා රිද්මා දිසානායක නම් වූ සුන්දර යුවතිය සදාතනික ආදරයකට මැදිව විවාහ ගිවිස ගත්හ.

රොෂාන් තම බිරිඳ රිද්මා පිළිබඳ දරන්නේ කුමන ආකල්පයක්දැයි රොෂාන්ගෙන් ඇසීමට මට සිත්විය.

“රිද්මත් මමත් කලක් හොඳ යාලුවො විදියට ළවෙලා හිටියා. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තිබුණා. පසුගිය දිනවල මට උදාවූ තත්ත්වයන් ගැන රිද්මා හොඳින් තේරුම් අරගෙනයි හිටියෙ. ඒ කටුක අත්දැකීම් මත ‍ගෙවූ මගේ අතීත ජීවන ගීතය ගැන රිද්මා ගොඩක් දුක් වුණා. එයාගේ සෑම දෙයක්ම මා සමඟ පැවසුවා. මමත් මගේ සියලු දේම රිද්ම සමඟ පැවසුවා. එයින් අප දෙන්නා අතර හොඳ අවබෝධයක් ඇති වුණා. මෙන්ම විශ්වාසයක් ගොඩනැඟුණා. ඔය ආකාරයට අප දෙන්නට දෙන්නා ළංවුණා. ඒ ළංවීම තමයි මේ වනකොට විවාහයෙන් කෙළවර වුණේ.

ඒ රොෂාන්ගේ මුවින් ගලා ආ සිතිවිලි සමුච්ච යයි.

දෙදෙනාගේ සබඳකමට දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගෙන් ලැබුණේ කුමන අන්දමේ අවසරයක්ද කියා මම ‍රොෂාන්ගෙන් විමසුවෙමි.

“රිද්මගෙ මව්පියන් මම ගැන හොඳ අවබෝධයකින් සිටියා. ඒ වගේ මගේ අම්ම, අප්පච්චිත් රිද්ම ගැන දැන‍ගෙන සිටියා. ඒ නිසා මේ දෙපාර්ශ්වයටම අප දෙන්න ගැන ගැටලු මතුවුණේ නැහැ. අවසානයේදී අපි අපේ අදහස ඔවුන්ට ඉදිරිපත් කළාම දෙපාර්ශ්වයෙන්ම අපට ආශිර්වාදය ලැබුණා.

රොෂාන් රංගන ශිල්පියෙක්. රිද්මා නීතිඥවරියක්වීමට තවමත් අධ්‍යාපන කටයුතු කරන්නියකි. ඇ‍ගේ අධ්‍යාපන කටයුතු සඳහා ‍රොෂාන්ගෙන් කිසිදු බාධාවක් ‍නොවේ. ඇයට ‍හොඳ සහ‍යෝගයක් ලබාදේ. රිද්මාද රොෂාන්ගේ කාර්ය බහුලත්වය වටහාගෙන ‍ ඔහුගේ ක්ෂේත්‍රයට හැකි උපරිම‍යෙන් සහය ලබාදෙයි. දෙදෙනා වෘත්තීන් දෙකක සිටියද, මාවත් දෙකක ගමන් ගත්තද ගොඩනැඟී තිබෙන අන්‍යොන්‍ය අවබෝධය හේතුවෙන් ගමන් මාර්ගයන්හි සාර්ථකව යෙදෙයි. ‍පෙබරවාරි මාසයේදී රිද්මා නව නීතිඥ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා රොෂාන් තමන්ට හැකි උපරිමයෙන් ඇයට සහය ලබාදීම මේ දිනවල සිදුකරයි.

සුන්දර යුවතියක් වූ රිද්මා කෙදිනක හෝ රොෂාන්ගේ වෘත්තියට පිවිසේද යන්න මට සිතුන නිසාම මම ඒ පිළිබඳ විමසුවෙමි.

“රිද්මා කැමැත්තක් නැහැ රඟපෑමට පිවිසෙන්න. හැබැයි එයා කැමතිනම් මගේ ඒ ගැන බාධා කිරීමකුත් නැහැ. ඒක එයාගේ තෝරා ගැනීම. ඒත් ඇය කැමැති ඇගේ දක්ෂතා මත පදනම් වූ නීතිඥ වෘත්තියට. හැබැයි ඇය නීතීඥවරියක් වුවත් ඇය තුළ හොඳ කලා රසයක් තිබෙනවා. ඒ තුළින් ඇය මගේ රංගන දායකත්වයන්ට ප්‍රිය කරනවා. ඇතැම්විට මගේ රඟපෑම් විවේචනයට ලක් කරන අවස්ථාත් නැතුවාම නොවෙයි. ඒක මට විශාල ශක්තියක් ‍වේවි. මගේ බිරිඳ මගේ දක්ෂතා විචාරයට ලක් කිරීම නිසා මට මගේ තිබෙන ඇතැම් අඩුපාඩු හදා ගන්න පුළුවන් ‍වේවි. ඇත්තටම රිද්මා මට ලොකු ශක්තියක්.”

රොෂාන් තම බිරිඳ රිද්මා කෙරෙහි හොඳ විශ්වාසයෙන් හා ගරුත්වයෙන් කතා කරයි. රොෂාන්ට රිද්මා එකතුවීම රොෂාන්ගේ කලා කටයුතුවලට හොඳ ජවයක් ලබාදී ඇති බවත් ඔහුගේ අදහස්වලින් හැඟී යයි.

මේ දිනවල රොෂාන් පිලපිටිය ආලින්දයේ රසවතා වෙමින් ටෙලි නාට්‍ය සතකින් විවිධ චරිත හතක් ඔස්සේ ඔබ හමුවට පිවිසෙන්නෙකි. .

“සුදු අඟුරු”, සිඳු, “මේ මමයි”, “සඳ දිය සිත්තම්”, “තව දුරයි ජීවිතේ”, ‍”කෝටිපතියෝ”, “සල් සපුනා” ආදී කතාවන්හි ඔහු දැකගත හැකිවන අතර වේදිකා නාට්‍ය කීපයක් සමඟින් ද රට වටා සැරි සරයි. ඉතා කාර්ය බහුල දිවියක් ගෙවන රොෂාන්ට හොඳ බිරිඳක් වීම රිද්මාගේ අපේක්ෂාවයි. රිද්මාට හොඳ ස්වාමියකු වීම රොෂාන්ගේ අධිෂ්ඨානයයි. රොෂාන්, රිද්මා සුන්දර නැවුම් කැදැල්ලට සතුට රැගෙන වාසනාව නිරතුරුවම ළඟා වේවායි පතමින් මම ඔවුන් සමඟ කළ සුන්දර සංවාදය අවසන් කළෙමි.

සටහන
නිශාන් මෙන්ඩිස්
ඡායාරූපය-දර්ශණ කෝදාගොඩ


කපටි දොස්තරගේ පුදුම දස්කම්

$
0
0
ජන 16, 2018 01:00

 වෛද්‍ය ග්‍රැන්ජර් හා ඇබග්නේල් අතරවූ ඒ පළමු සංවාදය නිමාවූයේ ග්‍රැන්ජර් විසින් ඇබග්නේල්ට සිය රෝහල නැරඹීමට පැමිණෙන ලෙසට කළ ඇරයුමකිනි. ඇබග්නේල් ලබාදුන් ‘කටට ආ පිළිතුරු‘ ඔහු කෙරෙහි ග්‍රැන්ජර් තුළ යම් ගෞරවයක් මුල්බැස ගැනීමට හේතුව තිබිණි. කිසිදා රෝහලකට ගොස් නොතිබුණු ඇබග්නේල් තමා කොලම්බියා විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ලොස් ඇන්ජලීස්හි උසස්ම රෝහලක් ලෙස නම් දැරූ හාබර් ළමා රෝහලේ සීමාවාසික පුහුණුව ලැබූ බව කී කල ග්‍රැන්ජර්ට අවශ්‍ය වූයේ එක් දෙයකි. ඒ කෙසේ හෝ ඔහු සිය රෝහලට සම්බන්ධ කර ගැනීමටය. ඇබග්නේල්ට තමා සමඟ රෝහලේ දිවා ආහාරයකට එක්වන ලෙසට කළ ඇරයුමෙන් පසු ග්‍රැන්ජර් පිටව ගියේය. ඇබග්නේල්ට සිතුණේම පැන දුවන්නටය. නමුත් ඒ වන විට ඔහුට මේ පළායාමේ ජීවිතය තිත්තව තිබිණි. මුලදි දැණුන ඒ වික්‍රමාන්විත උද්යෝගය තවදුරටත් ඔහුට නොදැනිණි. රිවර් බෙන්ඩ් හි ගතකළ ඒ නිදහස විනෝදකාමී ජීවිතය හැරදා යාමේ අදහස ඔහුට අත්හැරුණේ නොදැනුවත්වමය.

නමුත් ඇබග්නේල් කලක් යන විට ග්‍රැන්ජර්ට ප්‍රිය කරන්නට පටන්ගත්තේය. ඔහු කළ ආරාධනය පිළිගැනිමට තීරණය කළ ඇබග්නේල් එසැණින් වැඩට බැස්සේය. ළමා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් තිබීම මෙම හමුව සාර්ථකවිම සඳහා අත්‍යාවශ්‍ය විය. යළිත් වරක් ඔහු පුස්තකාලවල කරක් ගසන්නට පටන් ගත්තේය. වෛද්‍ය ජර්නල, විශ්වකෝෂ, වෛද්‍ය ලිපි ඇබග්නේල්ට රස මසුවුල මෙන් විය. එසේම ඔහු දක්ෂ සිසු‍වෙක්ද විය.

සති කිහිපයකින් ඔහු ග්‍රැන්ජර් හමුවීමට ‘ස්මිදර්ස්‘ළමා රෝහලට ගියේ දැනුමින් සන්නද්ධවය. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය හදුන්වා දෙමින් ග්‍රැන්ජර් රෝහල පුරා ගෙනගිය සවාරියේදි ඇබග්නේල්ට සිත් ගත් හෙදියක් හඳුනාගැනීමටද අවස්ථාව ලැබිණි. ඇය බ්‍රෙන්ඩා ස්ට්‍රෝන්ග්ය. පළමු ගමනෙන් පසු ඇබග්නේල් ස්මිදර්ස් රෝහලේ නිරන්තර ආගන්තුකයෙක් විය. බ්‍රෙන්ඩා ස්ට්‍රොන්ග් ඊට ප්‍රධානම හේතුව වුවද, රෝහල සතුවූ දැවැන්ත දැනුම් ගබඩාවක් බඳු පුස්තකාලයද ඇබග්නේල්ව ඒ කරා ආකර්ශනය කිරීමට හේතුවිය. කාලය පිළිබඳ හැඟීමක් නැතිව වෛද්‍ය පත පොත පරිශීලනය කරමින් පැය ගණන් පුස්තකාලයේ ගෙවන මෙම තරුණ වෛද්‍යවරයා ස්මිදර්ස් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොමද ගෞරවයට භාජනය වීමට වැඩිකල් ගියේ නැත.

“මෙහේ ගොඩක් දොස්තරලා හිතන්නේ ඔයා හැබෑ දක්ෂයෙක් කියලා. නිවාඩු පිට ඉඳගෙනත් ඔයා ඔයාගේ විෂයේ දැනුම අප් ඩේට් කරලා තියා ගන්න දරන උත්සාහය ගැන එයාලා පුදුම වෙනවා.” වරක් බ්‍රෙන්ඩා එසේ කීවාය.

මේ පිළිගැනීම ඇබග්නේල්ගේ විශ්වාසය යළි වර්ධනයට මනා පිටුවහලක් විය. වෛද්‍යවරයෙක් ලෙස කරන මේ රඟපෑමෙන් ඔහු මහත් තෘප්තියක් ලැබීය. නමුත් රෝහල් පරිපාලක ජෝන් කෝල්ටර් දිනක් ඇබග්නේල් තමා වෙත කැඳවා කළ ඉල්ලීමකින් ඔහු විපිළිසර විය.

“ඩොක්ටර් විලියම්ස් පොඩ්ඩකට මට කතා කරන්න පුළුවන්ද?“

“ඔව් ඇත්තෙන්ම“නමුත් බ්‍රෙන්ඩා සමඟ ගතකළ තවත් ප්‍රීතිමත් දිනයක අවසානයේදි රෝහලෙන් පිටවන්නට සූදානම්වත්දීම කළ මේ ඉල්ලීම ගැන ඇබග්නේල් සිටියේ හිත යටින් පුපුරු ගසමිනි.

“ඩොක්ටර් විලියම්ස්, මේ වගේ ඉල්ලීමක් ඔයාගෙන් කරන්න වටින්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් මේ වෙලාවේ හැටියට මම ඉන්නේ අසරණ වෙලා. ඔයා මට උදව් කරනවා නේද?‘කෝල්ටර්ගේ හඬ ආයාචනාත්මක විය.

“ඔයාට උදව්වක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම සතුටු වෙනවා ඒ ගැන.“එසේ කීවද ඇබග්නේල්ට ඒ ගැන විශ්වාසයක් තිබණේ නැත.

“මගේ ප්‍රශ්නේ මේකයි, ඩොක්ටර්. මෙහේ මධ්‍යම රාත්‍රියේ ඉදන් පාන්දර හතර දක්වා තියෙන රාත්‍රි මුරයේ අධීක්ෂණය කරන්න මට නේවාසික වෛද්‍ය විශේඥයෙක් ඉන්නවා. එයා යටතේ තමයි සීමාවාසික වෛද්‍යවරුන් හත්දෙනායි, හෙදියන් හතළිස්දෙනායි ඉන්නේ. පවුලේ මරණයක් නිසා දැන් එයාට හදිසියේම යන්න වෙලා. එයාගේ වැඩ ආවරණය කරන්න මේ වෙලාවේ හැටියට මට අතිරේක වෛද්‍යවරයෙක් හොයාගන්න අමාරුයි. මෙහේ නීතීයේ හැටියට මට සීමාවාසික වෛද්‍යවරයෙක් අධීක්ෂණ කටයුතුවලට යොදවන්නත් බැහැ. ඔබට මේක කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි, ඩොක්ටර් විලියම්ස්. මම පත්වෙලා ඉන්න අසීරු තත්වය ඔබට තේරේනවා නේද ?“

ඇබග්නේල් හිස වැනුවේ කෝල්ටර්ට වඩා තමා මැදිව සිටින දුෂ්කරතාවේ බරපතළකම අවබෝධ වීමෙනි.

“ඩොක්ටර් ග්‍රැන්ජර් මට කිව්වා ඔයා බොහොම නිදහස් ජීවිතයක් රිවර්බෙන්ඩ්වල ගෙවනවා කියලා. මම ගැන වැරදියට හිතන්න එපා. ඇත්තෙන්ම මට ඊර්ෂ්‍යායි ඔබේ ඒ ජීවිතය ගැන. මේ දවස් දහයේ මම වෙනුවෙන් මේ උදව්ව කරන්න ඩොක්ටර් විලියම්ස්. මම ඔබට ඕනෑතරමක් ගෙවන්නම්. මම බ්‍රෙන්ඩාවත් රාත්‍රි මුරයට එවන්නම්. ඩොක්ටර් ප්ලීස්, මේ උදව්ව කරන්න. මම අසරණ වෙලා ඉන්නේ.“

“කොල්ටර් මහත්මයා මට කණගාටුයි. ඒත් ඔබට උදව් කරන්න මට පුළුවන්කමක් නැහැ.“

“ඇයි බැරි ?“පැහැදිලිවම කෝල්ටර් මෙබඳු ප්‍රතික්ෂේප කිරිමක් ඇබග්නේල් වෙතින් බලාපොරොත්තු වූයේ නැත.

“මේකයි මගේ වෛද්‍ය බලපත්‍රය වලංගු කැලිෆෝනියා ප්‍රාන්තයට විතරයි.....“ඇබග්නේල් කියාගෙන එනවිටම කෝල්ටර් හරස් කැපුවේය.

“ඔයාට ඇත්තටම මෙහේ කරන්න කිසිම දෙයක් නැහැ. රාත්‍රි මුරයට පෙනී හිටින්න විතරයි තියෙන්නේ. ඒ ගැන මම සහතික වෙනවා. කැලිෆෝනියාවේ නිර්ණායක මට්ටම් ජෝර්ජියාවට වඩා කොහොමත් ඉහළයි. ඒ ගැන පොඩ්ඩක්වත් වද වෙන්න එපා ඩොක්ටර් විලියම්ස්. ඔයාට තියෙන්නේ හොඳට විනෝද වෙන්නයි. ඒකට අපි ඔයාට ඊටත් වඩා හොඳට ගෙවන්නම්.“

පසුදිනයේ සිට ඇබග්නේල් වෛද්‍යවරයෙක්, නැත වෛද්‍ය විශේෂඥයෙක් ලෙස වැඩ බාර ගත්තේය. ඇබග්නේල් හැටකට අධික රෝහල් කාර්ය මණ්ඩලයකගේ පමණක් නොව රෝහලේ ළමා වාට්ටුවේත් වගකීම සියතට ගත්තේය. තමාගේ මේ දැවැන්ත බොරුව වසන් කිරීමට ඔහු අපූරු උපායක්ද යෙදීය.

ඒ නිතරම විහිළු තහළුවෙන් සිටින, සම්මත නීති තඹයකට මායිම් නොකරන වගකීම් විරහිත සෙල්ලක්කාරයකු ලෙස පෙනී සිටිමයි. වෛද්‍යවරයෙක් ලෙස තමාගේ අදක්ෂතා මෙමඟින් ආවරණය වනු ඇති බව හේ අනුමාන කළේය. අනුමානය සියයට සියයක්ම නිවැරදි විය. ඔහුගේ ‘වැඩ බැරිකම්‘ ඉන් සැඟවුණා පමණක් නොව සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය අතරම ඇබග්නේල් ජනප්‍රිය චරිතයක් බවට නිතැතින්ම පත්විය. ඔහුගේ පළමුදින රාත්‍රිය අලස වුවත් ප්‍රසන්නව ගෙවී ගියේය. ළමා වාට්ටු‍වේ සිටි අලුත උපන් බිළිඳුන් සේම වයස අවුරුදු දෙකත් දොළහත් අතරවු ළමයින් විසිදෙනෙකුත් ඇබග්නේල්ගේ අධික්ෂණයට භාරව සිටියෝය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : ඩොක්ටර් ඔයාගෙ විහිළු වැඩියි

 

අභියෝගය : අපනයන සටන ජය ගැනීම

$
0
0
ජන 16, 2018 01:00

 ලෝක ආර්ථිකය පිළිබඳ 2018 ලෝක බැංකු විවරණ වාර්තාව පසුගිය සතියේ අඟහරුවාදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රසිද්ධියට පත්කරන ලදී.

ඒ අනුව ලෝක ආර්ථිකය සියයට 3.1ක වර්ධනයක් 2018 වසර තුළදී පෙන්නුම් කරනු ඇත. ආසියා සහ පැසිපික් කලාපීය වර්ධනය සියයට 4.5කි. ශ්‍රී ලංකාව ද අයත් වන්නේ එම කලාපයටය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ද 2018 ශ්‍රී ලංකාව පිළිබඳව මෙයට දෙසතියකට පෙර ප්‍රකාශයක් කරමින් කියාසිටියේ ශ්‍රී ලංකාව සියයට 5.5ක ආර්ථික වර්ධනයක් අත්කර ගන්නා බවය.

ලෝක බැංකු වාර්තාව පවසන්නේ “ආසියාවේ ජවසම්පන්න ආර්ථිකය වීම සඳහා චීනය සමඟ තරග කරන ඉන්දියාව සියයට 7.3ක වර්ධනයක් වාර්තා කරනු ලබන බවයි. චීනය අත්කර ගන්නේ සියයට 6.4කි. පාකිස්ථානය 5.8කි. ආසියා පැසිපික් කලාපය සාමාන්‍ය වශයෙන් 6.2ක වර්ධනයක් ලබනු ඇතැයි’ද එම වාර්තාව කියයි.

ජනවාරි මුල් සතියේ 2018 ආර්ථික ගමන්මඟ පිළිබඳව ප්‍රකාශයක් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා “ජපානය, අමෙරිකාව සහ යුරෝපීය ආර්ථිකය දැන් ශක්තිමත්ව ඇති නිසා ශ්‍රී ලංකාව සිය අපනයන හා ආයෝජන අවස්ථා වැඩිකර ගත යුතු යැයි කීවේය.

අපනයන ප්‍රවණතාව

ජාතික අපනයන ක්‍රමෝපායට අනුව නවතම වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කර අපනයන ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම රජයේ ක්‍රියාපිළිවෙතයි. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රතිපත්ති තුළ අපනයන විරෝධී නැඹුරුතාවක් ද දළ දේශීය නිෂ්පාදනයේ අපනයන කොටස අඩුවෙමින් තිබෙන බව ද පැහැදිලිය.

ගෝලීය අපනයනයෙහි ශ්‍රී ලංකාවේ කොටස 2000දී පැවැති සියයට 0.09 සිට 2016 වසර වනවිට 0.06 දක්වා අඩුව ඇති බව 2025 දැක්ම තුළින්ද පැහැදිලි කර ඇත. එය අපනයන දළ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස 2000දී පැවැති සියයට 33.3 සිට 2016 වසර වනවිට සියයට 12.7 දක්වා අඩුව ඇතැයි ද 2025 දැක්ම තවදුරටත් පැහැදිලි කරයි.

මේ නිසා අපනයන සංයුතිය විවිධාංගකරණය කිරීමත්, අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමත් දැන් සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා අපනයනය පිළිබඳව වාණිජ මණ්ඩල සහ පෞද්ගලික අංශයේ සාකච්ඡා මණ්ඩපයන්හිදී කියැවෙන දෙයක් නම් අපනයනය පරදවා ආනයනය ඉහළ යෑමයි. 2016 පලතුරු අපනයනයෙන් රුපියල් බිලියන 5ක් උපයාගත් නමුත් ඇපල්, දොඩම්, මැන්ඩරින් සහ මිදි යන පලතුරු ආනයනය සඳහා රුපියල් බිලියන 7.3ක් වැයවී තිබේ. පලතුරු මෙ. ටොන් 33,000ක් අපනයනය කළ අතර ආනයනය කළ පලතුරු ප්‍රමාණය මෙ. ටොන් 54107කි. පලතුරු ආනයන අපනයනයේ සිදුවූ වෙළෙඳ හිඟය රුපියල් බිලියන 2.3 කි.

සමහරවිට ඉන්දියා පාකිස්ථානු වෙළෙඳ ගිවිසුම් නිසා එම රටවලින් පලතුරු මිලට ගැන්මට සිදුව ඇතැයි යන මතයක් ද ව්‍යාපාරික අංශයේ සමාජගතව තිබේ. එහෙත් විදේශීය දොඩම්, මැන්ඩරින් ගෙඩියක් රුපියල් 40ක් වනවිට මහියංගන, නාගදීප ජනපද කොලනියේ දොඩම් ගෙඩියක් රුපියල් 10කි. මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ජමනාරන් වගාව අභාවප්‍රාප්ත වන ලකුණු පහළවන බව වගාකරුවෝ කියති. දේශීය උසස් ප්‍රභේදයක් වන මධු නමැති නාරන් වර්ගයට ද වෙළෙඳ පොළක් ස්ථිරව නොමැති බව ගොවියෝ කියති.

නිෂ්පාදන පිරිවැය

කෘෂි අපනයනයේදී දක්නට ලැබෙන තවත් පැතිකඩක් නම් අපේ කෘෂි නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමයි. මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳ මිල ගණන් ඉදිරියේ අපේ නිෂ්පාදන පරාජයට පත්වේ. හොඳම උදාහරණයක් නම් බඩඉරිඟු නිෂ්පාදනයයි.

පදියතලාව, වේවත්ත පාරම්පරිකව බඩඉරිඟු වගාවේ නියුතු ගොවි ජනතාවක් වෙසෙන ප්‍රදේශයකි. ඔවුන් පවසන අන්දමට විදේශීය බීජ ඇට කිලෝ 5ක පැකට් එකක මිල රුපියල් 6000කි. ශ්‍රමිකයකුට රුපියල් 1000 කට අධික දෛනික වේතනයක් දිය යුතුය. දැනට බඩඉරිඟු කිලෝවකින් ගොවියාට ලැබෙන්නේ රුපියල් 40 – 42 අතර මිලකි.

ලංකාවේ බඩඉරිඟු වැඩිවශයෙන් උපයෝගි කරගන්නේ සත්ත්ව ආහාර සඳහාය. බඩඉරිඟු කිලෝවක ජාත්‍යන්තර CIF මිල (පිරිවැය, රක්ෂණ සහ ප්‍රවාහන) කොළඹ වරාය දක්වාම වැයවන්නේ කිලෝවකට රුපියල් 35කි. ඇමෙරිකානු CORN මිල කිලෝවකට රුපියල් 23කි. සත්ව ආහාර නිෂ්පාදන සමාගමකින් ලබාගත් මේ ගණන් හිළවු අනුව විදේශයන්ගෙන් බඩඉරිඟු ගෙන්වා ගැනීම ඔවුනට ලාබදායකය. ලංකාවේ සත්ත්ව ආහාර අංශයේ බඩඉරිඟු අවශ්‍යතාව මෙ. ටොන් 400000 ක් වන නමුත් මේ අවශ්‍යතාව සැපිරීමට දේශීය නිෂ්පාදනය අපොහොසත්ය.

දේශීය කෘෂි නිෂ්පාදනයේ දී ජාත්‍යන්තර මිල ගණන් සමඟ තරග කිරීමට නම් ශ්‍රී ලංකා නිෂ්පාදන ධාරිතාව වැඩි කළ යුතුවේ. බංගලිදේශය මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙමින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට සරිලන තරගකාරිත්වයකට ඔරොත්තු දෙන අන්දමට සිය අපනයන කෘෂිකර්මය යාවත්කාලීන කර ඇත.

මෙවැනි පරිසරයක් මැද වුවද 2017 අවසන් කාර්තුව වනවිට අපේ අපනයන ආදායම ඉහළ ගියේය. අපනයන ආදායම් ඉහළ ගියද, එම ආදායම ඉක්මවා ආනයන වියදම ඉහළ යෑමක් දක්නට ලැබුණි. මේ තත්ත්වය රටක ආර්ථිකයට එතරම් යහපත් නොවන බව ඕනෑම කෙනෙකුට පෙනී යන කරුණකි. 2017 ජනවාරි - ඔක්තෝබර් කෘෂි අපනයන ආදායම සියයට 10 කින් වැඩිව තිබේ.

ජාත්‍යන්තර සම්මුති

රට රටවල ආරක්ෂණවාදී පිළිවෙත් සහ ජාත්‍යන්තර සම්මුතින් ද මේ තත්ත්වයට හේතුවන බව මුලින්ම සඳහන් කෙළෙමු. බඩඉරිඟු, ලොකුලූනු සහ දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මිල පාලන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා භාණ්ඩ 4227ක් තීරු ගාස්තු විරහිතව ඉන්දියා වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමටත් ඉන්දියා භාණ්ඩ 2802 කට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර දීමටත් දෙරට එකඟවී තිබේ. මෙවැනි විටක දේශීය නිෂ්පාදනයට පහරවදින අවස්ථා ද තිබේ. පසුගිය සතියේ වෙළෙඳ පෙ‍ාළේ ආනයනික අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 75ට පහත වැටී තිබුණු අතර දේශීය අර්තාපල් කිලෝවක මිල ඊට වඩා වැඩිව තිබුණි.

පොල් අපනයනය ද ශ්‍රී ලංකා කෘෂි අපනයනයේ විශේෂ ස්ථානයක් ගනී. වාර්ෂිකව ශ්‍රී ලංකාව පොල් ගෙඩි මිලියන දසලක්ෂ 3000 ඉක්මවා නිෂ්පාදනය කරයි. මෙයින් සියයට 60 – 70 අතර ප්‍රමාණයක් දේශීය පාරිභෝජනයට වැය වේ.

පසුගිය ඉඩෝරය නිසා දේශීය පොල් නිෂ්පාදනය පහත වැටුණි. පොල් ආශ්‍රිත කර්මාන්ත රාශියක් අප රටට විදේශ විනිමය උපයයි. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයට පහරවැදීම වළක්වනු සඳහා රජයට ගත හැකිව තිබූ එකම විකල්පය වූයේ පොල් මද අපනයනයයි. පොල් තෙල් කර්මාන්තය, සත්ත්ව ආහාර කර්මාන්තය, පොල් කිරිපිටි කර්මාන්තය, බිස්කට් හා රසකැවිලි කර්මාන්තය ආදී කර්මාන්ත රැසකට මේ නිසා අලාභ සිදුවිය. රැකියා පිළිබඳ ප්‍රශ්න ද ඇතිවිය.

මේ නිසා නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමැතිවරයාට පොල් මද ආනයනය සඳහා ක්‍රියා කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.

පොල් මද මෙට්‍රික්ටොන් 78,000ක් ආනයනය කිරීමට තීරණය වූ අතර එහි පළමු තොගය පිලිපීනයේ සිට පසුගියදා කොළඹට ළඟාවූ වහාම අදාළ කර්මාන්තශාලා වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලදී.

පොල් ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ පොල් හා ඒ ආශ්‍රිත අපනයන කර්මාන්ත සඳහා වන ජාත්‍යන්තර ඉල්ලුම වැඩිවන අවස්ථාවක ශ්‍රී ලංකා පොල් කර්මාන්තයට මේ දුෂ්කරතාවට මුහුණදීමට සිදුවිය.

දිසිදි පොල්, පොල් තෙල්, කොප්පරා, පොල් මද ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන සියයට 34.5 කින් 2016දී වර්ධනය වූ අතර මෙම නිෂ්පාදන අපනයන ආදායම සියයට 4.5 කින් වර්ධනය විය. පොල් ගෙඩි අපනයනය සියයට 130.5කින් වර්ධනය වූ අතර පොල් ක්‍රීම් අපනයනය සියයට 27.1 කින් ද, පොල් කිරි අපනයනය සියයට 38.9 කින් ද වර්ධනයව තිබුණි. මෙසේ අපනයන ආදායම් වැඩිකර ගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට පොල් නිෂ්පාදනයේ පහළ වැටීම බලපෑවේය. එහෙයින් පොල් මද ආනයනය නිසා එම කර්මාන්තය යළි ක්‍රියාත්මකවීමට මගපෑදීය. එසේම මේ ආනයන කටයුතු නිසා දේශීය වෙළෙඳ පොල් මිලට ද එය තදින්ම බලපෑම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් 12 වනදා නිකුත් කළ වාර්තාවනට අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග පොල් මිල රුපියල් 67.50 දක්වා අඩුව තිබුණි. සිල්ලර මිල රුපියල් 73.50කි.

අපනයන පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 12 වනදා නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 ජනවාරි - ඔක්තෝබර් කාලපරාසය තුළ අපනයනය ඇ. ඩොලර් දසලක්ෂ 9399.72 එහෙත් 2016 අදාළ කාලය තුළ ලැබූ අපනයන ආදායම ඇ. ඩොලර් දසලක්ෂ 8641.06 කි. 2016ට සාපේක්ෂව 2017 වැඩිවීම සියයට 14.24කි.

කෘෂි අපනයනය

කෘෂිකාර්මික අපනයනය සියයට 25.6 කින් වැඩි විය. කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 10.86 කි. පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයන ආදායම සියයට 48.63 කින් ද, සම් භාණ්ඩ හා රබර් නිෂ්පාදන අංශයේ අපනයන ආදායම සියයට 10.37 කින්ද වැඩිවූ බව එම වාර්තාව කියයි.

එහෙත් ඇඟලුම් සහ රෙදිපිළි අංශයේ අපනයන ආදායම අදාළ කාලපරාසය තුළ ලබා ඇත්තේ සියයට 5.79ක ප්‍රගතියකි.

අපනයන ආදායම සියයට 14.5 කින් වැඩිවුවද, අදාළ කාලපරාසය තුළ ආනයනය සඳහා ගිය වියදම ඇ. ඩොලර් දසලක්ෂ 16990.91 කි. මෙය ගිය වසරේ ජනවාරි - ඔක්තෝබර් කාල පරාසයට සාපේක්ෂව වියදම් වැඩිවීමකි. මේ ආනයන අපනයන ගැටුම සමහන් කරගැනීමට නම් අපනයන අවස්ථා වැඩිකර ගත යුතුව තිබේ.

2018 වසර ආරම්භ‍වීමත් සමඟ මේ වසරේ අපනයනය වර්ධනයට හේතුවන කරුණු කීපයක් වාර්තා විය. නොවැම්බර් මස පාකිස්ථානයේ කරච්චි නුවර පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වූ ලාංකික සමාගම් කීපයක් සිය අපනයන කටයුතු පුළුල් කිරීමේ අවස්ථා උදාකරගෙන තිබේ. ඇතැම් සමාගම් හවුල් ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. රටවල් 70ක ව්‍යාපාරිකයෝ 775ක් එම සමුළුවට සහභාගි වූහ.

ජපානය, ඉරානය යන රටවලින් පැමිණි වෙළෙඳ දූත පිරිස් ද ශ්‍රී ලංකා නිෂ්පාදන මිලට ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර සියැට් සමාගමය අපනයන අවස්ථා වැඩිකර ගැනීමේ අදහසින් රුපියල් බිලියන 3ක් වැයවන නව වැඩපිළිවෙළක් අරඹයි. විදේශ රටවල් 35ක නියෝජිතයෝ පෙබරවාරි 2, 3, 4 කොළඹ දී පැවැත්වෙන සම්භාණ්ඩ 2018 ප්‍රදර්ශනයට එක්වෙති. මෙය රටට නව අපනයන අවස්ථා උදාකරන ප්‍රදර්ශනයකි.

කරුණාරත්න අමරතුංග

අංගුලිමාල කතා වස්තුව

$
0
0
ජන 16, 2018 01:00

 බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල කතාවස්තුවෙන් ඉගෙනීමට බොහෝ දේ අපට තිබේ. ඒ අප හරි හැටි එම කතාව විවරණය කිරීමට සමත් වෙතොත් ය.

අංගුලිමාලගේ මුල් නම අහිංසක ය. ඒ හෙතෙම අහිංසක දරුවකු වූ නිසා ය. සිය ගුරුවරයා විසින් නොමගට යවනු ලබන්නේ එවැනි කෙනෙකි.

අප දරුවනට කියන්නේ ගුරු උපදෙස් පිළිගන්නා ලෙසට ය. ප්‍රශ්න නොකර පිළිගන්නා ලෙසට ය. ගුරු උපදෙස් ගැන පමණක් නොව පොදුවේ වැඩිහිටියන් ගැන ම එය එසේ විය යුතු යැයි විශ්වාසයක් ඇදහිල්ලක් සමාජ ගත කර තිබේ.

වැඩිහිටියන්ට ඉහළින් කතා නොකළ යුතු බවට ද ඔවුන් ප්‍රශ්න නොකළ යුතු බවට ද ඔවුන් දෙන උපදෙස් ගුරුහරුකම් අවවාද හිස් මුදුණින් පිළිගත යුතු බවට ද නිතර කියනු අසන්නට ලැබෙන්නේ ඒ අනුව ය.

අපේ ඒ අවවාදය ම කොතරම් බුද්ධිමත් ද යන්න මේ කතාවෙන් ප්‍රශ්න කෙරේ. අහිංසක යයි නම්ලත් දරුවකු දරුණු අපරාධකාරයකු වන්නේ වැඩිහිටි ගුරු උපදෙස් අනුගමනයෙන් වීම ම අප වැටී සිටින නිද්‍රාවෙන් අයින් වන්නට අපට බල කරයි.

සැක ඇති තැන ප්‍රශ්න කිරීම

වැඩිහිටියන් පමණක් නොව ගුරු දෙගුරුන් දෙන අවවාද පවා ප්‍රශ්න කරන ලෙස අප දරුවන්ට ඉගැන්විය යුතු බව අංගුලිමාල කතා වස්තුව අපට මෙසේ ඇඟිල්ලෙන් ඇන කියන්නේ ය. අප විසින් සමාජ ගත කර ඇති මතවාදයන් නැවත පිරික්සිය යුතු බව ද එය අපට කියන්නේ ය.

අහිංසක වඳින්න ගිය දෙවාලය අහිංසකගේ හිස මතට කඩා පාත් වන්නේ ය. ඕනෑම ඇදහිල්ලක් විශ්වාසයක් අපට නපුරට හිටිය හැකි බව එම කතා වස්තුව අපට කියන දෙවැනි පණිවුඩය ය. හැම ඇදහිල්ලක් ම ප්‍රශ්න කළ යුතු බවත් හැම විශ්වාසයක් ම නැවතත් පිරික්සිය යුතු බවත් එය අපට මතක් කර දෙන්නේ ය. මෙලෝ හසරක් නොදැන වඳින්නන් වාලේ හැම දේවාලයකට ම වැඳීම ද ඒ අනුව නැවත විමසිය යුතු ය.

මේ කතා පුවත ගුරුවරුන්ට ද පාඩමක් කියා දෙන්නේ ය. ඒ කේලාම් නාසන ලෙස ය. කේලාම් මත පදනම් ව සිසුන් කෙරෙහි කටයුතු නොකරන ලෙස ය.

ඒ අතර එය අප කාටත් තව පණිවුඩයක් දෙන්නේ ය. ඒ තමන්ට අසන්නට ලැබෙන හැම දෙයක්ම සත්‍යය නොවන බවත් දකින හැම දෙයක්ම තව වරක් නොබලා තව පැත්තකින් නොලබා බාර නොගත යුතු බවත් ය. තොරතුරු ද ඒවායේ ඇත්ත නැත්ත උරගා බලනු පිණිස විමසිය යුතු බව ය. තොරතුරු බොහෝ විට විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට මිනිසුන් විසින් නිර්මාණය කරන ඒවා බව ය. ඒවා ඇත්තම නොවන බව ය. වෙනත් මිනිසුන් ගැන තීන්දු තීරණ ගැනීමේ දී අපට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් අප වඩාත් ප්‍රවේසම් විය යුතු බව ය.

මේ සියලු පාඩම් ලෝකයට හෙළි කරමින් අවසානයේ අහිංසක නම් අහිංසකයා මිනීමරුවකු වන්නේ ය. එක් කෙනකු නොව 999 ක් මැරූ මිනිමරුවකු වන්නේ ය. එසේ මරා ඇගිලිවලින් මාලයක් තනා කර පැළඳගෙන ඉන්නා සැබෑ ත්‍රස්තයකු වන්නේ ය. දුටු දුටුවන් බියේ පලා යන භයානක මිනිසකු වන්නේ ය.

තමන්ගේ මෑණියන් වුව මරා ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට වළිකන සිහි විකල්ලෙන් පෙළුණු කෙනකු වන්නේ ය.

එයින් කියවෙන තවත් පාඩමක් තිබේ. හැගීම්වලින් ප්‍රලය කරනු ලැබූ විට කෙනකුට හොඳ නරක අවබෝධ කර ගැනීමට බැරි වන බව ය. අම්මා අප්පා හඳුනා ගැනීමට නොහැකි වන තරමට මනස පිරිහෙන බව ය. ඒ හැඟීම ගුරු ප්‍රේමයම වන්නට වුවමනා නැත.

එය දේශප්‍රේමය ජාති ප්‍රේමය ආගම් ප්‍රේමය හෝ පන්ති ප්‍රේමය විය හැකි ය.ඒ කුමන ප්‍රේමයකින් අන්ධ වුව ද ප්‍රතිඵල එකම ය. තර්කයකට මුහුණ දී ගත නොහැකි වූ විට කුණු හරුප කියාගෙන අම්මා මතක් කරමින් බණින දේශප්‍රේමීන් හා ජාති ප්‍රේමීන් ද අපට පවසන්නේ අංගුලිමාලගේ ගුරු ප්‍රේමයේත් ඔවුන් අනුයන වෙනයම් ප්‍රේමයකත් එහෙමට වෙනසක් නැති බව ය.

අවසානයේ මේ මිනිසා අල්ලා ඔහුව දඬු කඳේ ගසන්නට රජයට බල කරන අපේ යුගයේ ස්වාමීන්වහන්සේ කෙනකු නොවී ඔහු යහ මගට ගැනීම තමන්ගේ වගකීමක් ලෙස බුදුන් වහන්සේ බාර ගන්නේ ය. ආයුධ සන්නද්ධ මිනිසුන් මැරීමට සපථ කර සිටින අපරාධකරුවකු ඉදිරියට ආයුධ නැතිව යන්නට උන්වහන්සේ තීරණය කරන්නේ ය.

මෛත්‍රියේ බලය

නීතියේ සරණ වෙනුවට මෛත්‍රියේ මහා බලය ගැන විශ්වාසය තබන්නට අපට උගන්වමින් උන්වහන්සේ අපරාධකරුවා මෙල්ල කිරීමේ කර්තව්‍ය රජුට නෙපවරා තමන්ට පවරා ගන්නේ ය.

අංගුලිමාල මෙල්ල කිරීමට සේනාව යොදවන්නට රජු කටයුතු කරන්නට පෙරොතුව ගොස් මැදිහත් වන්නේ ය. ඒ සේනාවට සෙත් පිරිත් කියන්නට පිරිත් නූල් බඳින්නට ශෝස්ත්‍ර ගයන්නට ඉදිරිපත් නොවී ඔවුන් යුද්ධ කිරීමේ වගකීමෙන් නිදහස් කොට සාමය ඇති කිරීම තමන් වෙත පවරා ගන්නේ ය.

නයකු මරා නොදමා ඌ හුරතල් කරන්නට යන මෝඩයෙක්ය යන සමාජ අපවාදය ගැන තැකීමක් නොකර ම අංගුලිමාල ඉදිරියට බුදුන් වහන්සේ වඩින්නේ ය.

මේ සියල්ල අපට ඉදිරිපත් කරන විවිධ වර්ගයේ පාඩම් ය. ඒ ඉගෙන ගැනීමට සූදානම් අයට ය.

ඊළගට ඇත්තේ කතාවේ ත්‍රාසජනකම අවස්ථාව ය.

එක් පැත්තකින් ඉදිරියට එන මේ මහණුන් මරා ඉතිරි ඇගිල්ල සම්පූර්ණ කර ගැනීමට සපථ කරමින් හා සූදානමින් පසු වන අංගුලිමාල ය. අනෙත් පස මේ අපරාධකරුවා ගැන සහකම්පාවෙන් ඔහු ඒ පවින් මුදා ගැනීමට අධිෂ්ඨානයෙන් තමන් දිවි ගැන නොතකා වඩින බුදුන් වහන්සේ ය. එක් පැත්තකින් ආයුධ දරා ගත් සිහිය අවුල් කරගෙන දුවමින් පැමිණෙන අපරාධකරුවා ය. අනෙත් පැත්තෙන් මෛත්‍රී සිතින් පමණක් සන්නද්ධව කරුණා පෙරදැරිව සංයමයෙන් ඉදිරියට වඩින බුදුන් වහන්සේ ය.

ඒ අතර පැත්තකින් ජනතාව ය. බුදුන් මරා දමතැයි බියෙන් ඉදිරියට නොවඩින්නැයි ආයාචනා කරනා මිනිසුන්ගෙන් ද මරණය ඉල්ලා ඉදිරියට යන මෙහෙමත් මෝඩයකැයි අපහාස කරනා මිනිසුන්ගෙන් ද සමන්විත ජනතාව ය.

බුදුන් ඒ සියල්ල බැහැර කොට ඉදිරියට වඩින්නේ සහකම්පාවෙන් පිරී ගිය නිවුණු සිතකින් ය.

අංගුලිමාල දමනය

මේ නම් ආශ්චර්යයකි. මා වැනි ආයුධ ගත් ඇඟිලි මාලයක් එල්ලා ගත් මිනීමරුවකු ඉදිරියට ආයුධයක්වත් නැතිව සන්සුන් ගමනින් වඩින්නේ නිකම් මිනිසකු විය නොහැකි ය. මේ නිකම් ම නිකම් මහණෙකු ද නොවිය හැකි ය. අංගුලිමාලගේ සිතේ ඇති වූ සිතුවිලි පරම්පරාව එබඳු වූවා විය හැකි ය. ඔහු අවසානයේ දමනය වුනේ ඔහුට ම දරා ගත නොහැකි වූ මේ මෛත්‍රියට ය.

එයින් අපට ගෙනෙන පාඩම ආයුධවලින් සන්නද්ධ මිනිසුන් මැඩලීමට ආයුධ ම අවශ්‍ය නොවන බව ය. ඒ ආයුධ ගැනීම පිටුපස තිබෙන සාධක පරිස්සමින් අයින් කරන්නේ නම් ආයුධ නොමැතිව ම ඔවුන් ලවා ම ආයුධ බිම තැබීමට කටයුතු කළ හැකි බව ය.

යුද්ධයට යුද්ධයෙන් පිළිතුරු දී ඒ ගැන ඔජ වඩන අපට යුද්ධයට සාමයෙන් පිළිතුරු දුන් බුදුන් වහන්සේගෙන් ඉගෙන ගැනීමට තවත් පාඩම් තිබෙන බව එයින් පෙනේ.

ඊළගට සිදු වන්නේ තවත් ආශ්චර්යයකි. මිනීමරු අංගුලිමාල දමනය වීමෙන් නොනැවතී බුද්ධ ශාසනයට ද එක් වන්නේ ය. ආර්ය මහා සංඝරත්නයේ කොටසක් වන්නේ ය. පසු කලෙක සෙස්සන්ගේ වැඳුම් පිදුම් ලබන මහ රහතන් වහන්සේ කෙනෙක් වන්නේ ය. ඒ පරිවර්තනය කිරීමේ දී බුදුන් වහන්සේගේ සහකම්පනය සහිත මෛත්‍රී සහගත හිත ම මුල් වන්නේ ය.

සෝපාක සුනීත වැනි කුල හීන අයට විවෘත කළ ශාසනය මිනීමරුවකු ලෙස ඉතිහාසයක් ඇති කෙනකුට ද එසේ විවෘත වන්නේ ය.

අපරාධ කාරයකු ශාසනයට ගත්තේ ය යන සමාජ අපවාදය නොතකා අංගුලිමාල එම නමින් ම මහණ කිරීමට බුදුන් වහන්සේ කටයුතු කළේ ය.

අපරාධකරුවන්ට එල්ලුම් ගහ ම ඉල්ලන අපේ සැදැහැති බෞද්ධයින්ට වෙනස් ව අංගුලිමාලට නැවත අවස්ථාවක් දිය යුතු යැයි බුදුන් වහන්සේ සිතූ හ.

මේ තීරණය ද අපට තවත් අගනා පාඩම් දෙකක් ම ගෙන එන්නේ ය. මුල් පාඩම, කෙනකුගේ අතීතය තුළ යම් වැරැද්දක් වූ පලියට ඔහු හෝ ඇය සදාකාලිකව වැරදි කාරයකු ලෙස හංවඩු ගසා සමාජයෙන් ඉවත් නොකළ යුතු බව හා තමන්ගේ වැරදි පිළිගෙන එයට සමාව ගෙන නිවැරදි වීමට කැමති කෙනකුට ඒ සඳහා අවස්ථාව තිබිය යුතු බව ය. දෙවැනි පාඩම, නිවැරදි දේ කිරීමේ දී නැගෙන සමාජ අපවාදයන් ගැන නොසලකා කටයුතු කළ යුතු බව ය.

ජන්මයෙන් උරුම වන කුලයවත් ශාසනයට ඇතුළු වන විට ද අත් හැරීමට අවසර නැති අපේ ධර්ම ද්වීපයේ මිනිසුන්ට ඉන් ලැබිය හැකි පාඩම් බොහෝ ය.

ඒ සියල්ල එතැනින් අවසන් වූයේ නැත.

අංගුලිමාල තෙරණුවෝ සුවිශේෂී වැඩකට ද අත ගැසූ හ. ඒ ලෝකයට නව ජීවිතයක් බිහිකරන්නට සූදානම් ගැබිනි මව්වරුන්ගේ විලි වේදනා අඩු කිරීමට සමත් පිරිතක් දෙසීමට මුල් වීම ය.

ඒ පිරිතෙහි අර්ථය මෙසේ ය.

“ නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැන දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා!” යනුයි.

එයින් කියවෙන්නේ ශාසනයට ඇතුළු වුණු පසු වැරදි නොකළ බව ය. එය සත්‍යය නම් එහි අනුභාවයෙන් රෝගී තැනැත්තේ නිදුක් විය යුතු බව ය. ගර්භයට සෙත් විය යුතු බව ය.

ඉතිහාසය අවසන් කොට ඉවත දමා නැවත උත්පත්තියකට එයින් කෙනකුට අවස්ථාවක් ඇති බව ය. පුනරුත්පත්තියකට ඉඩක් මේ ආත්මය තුළ ම ඇති බව ය.

ජීවිත විනාශ කළ කෙනකු ජීවිතයකට මග කියන කෙනකු බවට, අලුත් ජීවිතයකට මුල පුරන කටයුත්තේ දී ආශිංසනයක කරන කෙනකු බවට, අවසානයේ එසේ පත් වුණේ ය. ඒ පිරිතෙන් ම, පිරිතේ එන අදහසින් ම, අපට ද පාඩමක් උගන්වමිනි. කනගාටුවට කාරණය නම් අංගුලිමාල පිරිතේ ආනිශංස පතන මිනිසුන් ම අංගුලිමාල කතා වස්තුවෙන් ඉගෙනීමට උත්සුක නොවීම ය. ඒ ගැන පුදුම වෙන්නට දෙයක් නැත්තේ බණ ඇසීමෙන් ආනිශංස පතන බොහෝ දෙනකුට බණ අනුව ජීවත් වීමට වුවමනාවක් නැති නිසා ය.

අංගුලිමාල කතා වස්තුව කර්මය පිළිබඳ අප සමාජයේ ඇති මතයට ද අතුල් පහරක් දෙන්නේ ය. ඒ පෙර කරන ලද කර්මයෙන් ගැලවිය නොහැකි බවට අප තුළ ඇති විශ්වාසයට ය. කරුමයක් කර ඇත්නම් කොහේ ගියත් එය පඩිසන් දෙන බවට අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට ය. කර්මය නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙන් ක්‍රියාත්මක වන බවට, ඇතැම් විට ඊටත් එහා ගොස් එය ඩබල් ට්‍රිබල් වී දස දහස් ගුණයකින් වැඩි වී පඩිසන් දෙන බවට, ඇති විශ්වාසයට ය.

අහෝසි කළ කර්මය

හැබෑ කරුමය නම් “මේක අපේ කරුමෙ. මේකෙන් ගැලවෙන්න බෑ“ යන නිශේධනීය සංකල්පය අප තුළ තිබීම ය.

අංගුලිමාල කතා වස්තුව කියන්නේ කර්මය ඉක්මවිය හැකි දෙයක් බව ය. එය ඉවත් කළ හැකි එකක් බව ය. අවශ්‍ය වන්නේ නිවැරදි මාර්ගයට පිවිසීමත් ඒ තුළ උත්සහවන්ත වීමත් ය. කළ යුත්තේ කරුමෙට හෝ ඇතැයි අප සිතන වෙනත් බාහිර බලයකට යටත් වී උකටලී වීමෙන් වැළකීම ය. එය අතික්‍රමණය කිරීමට වෙර දැරීම ය.

අංගුලිමාල කතාව අපට ඉදිරිපත් කරන තවත් පණිවුඩයක් තිබේ. ඒ එවකට ඉන්දියාවේ සිටි මිනිසුන් අද ලංකාවේ වෙසෙන මිනිසුන්ට වඩා බොහෝ සෙයින් දියුණු බව ය. අප එසේ කියන්නේ අංගුලිමාල නම් මිනීමරුවා, ජීවය දෙන ගැබිනි මවකට සුවය සදන පිරිත් දෙසන ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස පිළිගැනීමට තරම් ඔවුන් නිර්භය වූ නිසා ය. ඒ මිනීමරුවා ශාසනයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් බුදුන් වහන්සේ හා උරණ වීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා ය. අඩු වශයෙන් දෙව්දත්වත් ඉදිරිපත් නොවූ නිසා ය. ඔහුට එල්ලුම් ගස උරුම විය යුතු යැයි උද්ඝෝෂණය නොකළ නිසා ය. ඔහු කෙරෙහි සහකම්පනය පළ කිරීමට එදා ඉන්දියාවේ මිනිසුන්ට හැකි වූ නිසා ය.

දැන් අපට මේ ඉගෙන ගත් පාඩම් ඇසුරෙන් කළ හැකි දේ කීපයක් ම තිබේ. එකක් නම් අංගුලිමාල කතා වස්තුව කියවා ලබා ගත් දැනුමෙන් පෝෂණය වී එදා සමාජය ලද දියුණුව අප වෙතද ළගා කර ගැනීමට කටයුතු කිරීම ය.

දෙවැන්න,අපේ ඔළුව තුළ ඇති කුණු කන්දල් ඒ කතා වස්තුවෙන් උගත් පාඩම්වලින් දිරිය ලැබ ඉවත් කර ගැනීම ය.තුන්වෙන්න, අතීතයෙන් ස්වායත්තව,එහි එරෙන්නේ නැතිව, ලගින්නේ නැතිව, අනාගතය ගොඩ නැගිය හැකි බව තේරුම් ගැනීම ය. සිව්වෙනුව, කිසි කෙනකු දෙන උපදේශයක් නොවිමසා බාර ගත යුතු නැතැයි තේරුම් ගැනීම ය.

පස්වෙනුව, වැඩිහිටියන්ට ගරු කළ යුතු යැයි ද ඔවුන්ගේ අවවාද හිස් මුදුණින් පිළිගත යුතු යැයි ද දරුවන්ට දෙන උපදේශය ඉල්ලා අස් කර ගැනීම ය. ඔවුන්ට ද ඒ හැම දෙයක් ම විමසන ලෙස දිරි දීමට ය. සයවෙනුව, අපට ලැබෙන තොරතුරු ද මූලාශ්‍ර සොයමින් නැවත නැවතත් විමසමින් පරීක්ෂා කිරීම ය. සත් වෙනුව, හැඟීම්වලින් ප්‍රලය කරනු ලැබූ විට අම්මා තාත්තා පවා අමතක වන නිසා හැකි තරම් විමසන මනසකින් හැගීම් පාලනය කර ගැනීමට වෙර දැරීම ය. අවසාන වශයෙන්, කරුමය කරුමයක් කර ගන්නේ නැතිව ජීවත් වීමට හිත හදා ගැනීම ය.

නිශාන්ත කමලදාස

වාහන හා ප්‍රවාහන අර්බුදය

$
0
0
ජන 17, 2018 01:00

මේ වසර ආරම්භයත් සමඟම දිවයිනේ දීර්ඝතම ගුවන් පාලම විවෘත විය. එය මීටර් 534ක් දිගැති රාජගිරිය ගුවන් පාලමයි. මෙය කාලාන්තරයක් තිස්සේ රාජගිරිය හන්දිය මැදිකර ගනිමින් පැවැති වාහන තදබදයට විසඳුමක් ලෙසින් කෙටි කලකින් නිමවූවකි. වියදම රු. මිලියන 4700ක් ලෙසින් ගණන් බලා ඇත. නව ගුවන් පාලම සමඟින් රාජගිරිය හන්දිය පුළුල් වී තිබෙන බව පෙනේ.

වත්මන් පාලනය සම්බන්ධයෙන් කර්කශ විවේචන එල්ල කරන පිරිසට මෙය යම් පිළිතුරක් සේ පෙනේ. ඊට හේතුව තවම බෝක්කුවක්වත් හදා නැතැයි පවසන අයට හොඳ පිළිතුරකි. එහෙත් මෙම ගුවන් පාලම ඇසුරින් වුවද මේ රටේ ප්‍රවාහන අර්බුදය ගැන කතා කිරීම වැදගත්ය. රාජගිරිය ගුවන් පාලම වුවද මීට වසර 10කට පෙරවත් විවෘත වීමට තිබූවක් බව පෙනේ. තවත් මෙවන් පාලම් 10ක්වත් නොමැතිව කොළඹ නගරයේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීම පහසු කාර්යයක් නොවනු ඇත. ඒවා වුවද මීට දස වසරකට පෙරවත් ඉදි කළ යුතුව තිබූ බව පොදුවේ කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

කෙසේ නමුත් වත්මන් රජය යටතේ දැන්වත් මේ රටේ ප්‍රවාහන අර්බුදය සම්බන්ධයෙන් සැලසුම්ගත වැඩසටහනකට යොමුවී තිබෙනවා යැයි අසන්නට ලැබීම සතුටකි. ඊට හේතුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දැනටමත් අර්බුදයකට ලක්ව තිබීම නිසාය. ඊට දශක දෙක තුනක් තිස්සේම මේ රටේ පාලනය ගෙන ගිය අය වගකිව යුතුය. එදා වේල ටුවර්ස් ක්‍රමයට හෝ දැවැන්ත ව්‍යාපෘති ගොඩනගමින් ඒවායෙන් දේශපාලන වාසි ලබාගැනීමේ පදනමින් මෙවන් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිය. රටට ඔරොත්තු නොදෙන වාහන කන්දරාවක් කලක් තිස්සේ ආනයනය කිරීම මේ අර්බුදයට හේතු වී තිබේ. එහෙම වෙන්නේ ඇයි?

ත්‍රිරෝද රථ

එක් ප්‍රධාන හේතුවක් වන්නේ පොදු ප්‍රවාහන සේවාවේ බිඳ වැටීමයි. මේ නිසා පෞද්ගලික වාහන ඇසුරින් තම ප්‍රවාහන අවශ්‍යතාව ඉටු කර ගැනීමට මගීහු පෙලැඹී සිටිති. 1950 දී කරනු ලැබූ සංගණනයකින් අනාවරණය වූයේ මේ රටේ ඇති මෝටර් වාහන ප්‍රමාණය 5000ක් ලෙසිනි. එහෙත් මේ වන විට ලක්ෂ 40ක් පමණ වාහන දිනපතා මහාමාර්ගවල ගමන් කරන තත්ත්වයට පත්ව තිබේ. එසේම රට තුළ ලක්ෂ 60කට වැඩි වාහන ප්‍රමාණයක් පවතින බව වාර්තා වේ. මින් 70%ක්ම මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථයි. වර්තමානයේ දක්නට ලැබන අනෙක් ප්‍රවණතාව වන්නේ මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ මාර්ගවල වැඩි වශයෙන් ගමන් කිරීමයි.

මේ වන විට දිනකට ලියාපදංචි වන වාහන සංඛ්‍යාව 1300කට ආසන්නය. මේ නිසා දිනකට පිටරටට ඇදී යන අපේ විදේශ විනිමය රු. මිලියන 1700කි. මීට අමතරව මෙරට වෙළෙඳපොළ තුළ පමණක් වාහන 2000ක පමණ ප්‍රමාණයක් අලෙවි වන බව ද දැනගැනීමට තිබේ. දිනකට වාහන වෙළෙඳපොළ තුළ සැරිසරන මුදල් ප්‍රමාණය රු. මිලියන 9000කට ආසන්නය. මේ මුදල් සැරිසරන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් නොවේ. වාහන මිලයට ගන්නා ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව උදෙසාය. එසේ පෞද්ගලිකව තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට රටක ජනතාව පෙලැඹෙන්නේ පොදු ප්‍රවාහන සේවයේ බිඳවැටීම හා දශක කීපයක් තිස්සේම විධිමත් ප්‍රවාහන සැලැස්මක් හා එවැන්නක් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිකමින් බව පෙනේ.

පෞද්ගලික වාහන

රටක සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායක මැනීමට වාහන මිලදී ගැනීමට ජනතාව පෙලැඹීම හා ඒවායේ වැඩිකම ආර්ථික සංවර්ධනයේ මිණුම් දණ්ඩක් සේ සැලකේ. එහෙත් වර්තමානයේ මෙම මිණුම් දඬු වෙනස් වී තිබෙන බව පෙනේ. එසේම අපේ රටේ පෞද්ගලික වාහන භාවිතය වැඩිවී තිබෙන්නේ ප්‍රවාහනයේ අර්බුදකාරී වාතාවරණය පදනම් කරගෙනය. මේ නිසා ජනතාව කීපදෙනෙකුට හෝ රැකියා සපයන නිෂ්පාදන කාර්යයකට යොමු කළ යුතුව ඇති මුදල් ණය හා ලීසින් ක්‍රමයට හෝ වාහන මිලදී ගැනීමට යොදවන බව පෙනේ. එය කිසිසේත්ම රටේ සංවර්ධනයට දායකවීමක් සේ නොසැලකේ. එසේම හැත්තෑව හා අසූව දශකවල රටක දියුණුව මනින සංකේතයක් ලෙසින් සැලකූ පෞද්ගලික වාහන කොපමණක් රට තුළ තිබේද යන මිණුම්දණ්ඩ වර්තමානයේ වෙනසකට භාජනය වෙමින් පවතී. එහෙත් අද මධ්‍යම පන්තිය කොපමණ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නේ ද යත් රටේ සංවර්ධනය මනින මිණුම්දණ්ඩක් බවට පත්ව ඇත.

ඒ අනුව බලන කල, අද අපේ දුම්රිය සේවයෙන් ප්‍රයෝජන ගන්නේ මගීන්ගෙන් 4%කි. එහෙත් අතීතයේ මේ ප්‍රතිශතය 35%ක් පමණ වූ බව පැවසේ. මේ අතර වර්තමානයේ ලක්ෂ 50ක් පමණ ජනතාව බස්රථ 25000කින් පමණ තම ප්‍රවාහන අවශ්‍යතාවයට පොදු ප්‍රවාහන සේවය උපයෝගී කරගන්නා විට තවත් ලක්ෂ 50ක් පමණ වාහන ලක්ෂ 45කින් එම අවශ්‍යතාව ඉටුකර ගන්නා බව පෙනේ. අප රට තුළ ප්‍රවාහන ක්ෂේත්‍රය අර්බුදයකට යමින් පවතිවනාය කියන්නේ මෙවන් පසුබිමක් නිර්මාණය වී තිබෙන නිසාය.

මේ අතර රජය දුම්රිය හා බස් රථ සේවය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 50කට ආසන්න මුදලක් වැය කරයි. එසේම මෙම සේවා දෙකම ලාභය පදනම් කරගෙන ක්‍රියාත්මක නොවන අතර රජය මේ සඳහා දරනු ලබන වැය බර මගී ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරනු ලබන සුබසාධන වැය බරක් ලෙසින් සලකයි. අනෙක් පැත්තෙන් ජනතාව පොදු ප්‍රවාහන සේවයේ අර්බුදය නිසා තවත් රුපියල් බිලියන 150ක් පමණ පෞද්ගලික ධනය වැය කරති.

දුම්රියේ ගමන

අදත් දුම්රියේ දෙවැනි පන්තියේ ගමන් කරන මගියකුට වුවද කි. මීටර් 1ක් සඳහා වැය වන්නේ රු.2.70ක් තරම් සුළු මුදලකි. සුඛෝපභෝගී බස් රථයකින් යෑමට වැය වන්නේ රු.4.00ක් පමණය. එහෙත් මෝටර් රථයක් පාවිච්චි කරන්නේ නම් කි. මීටරයක් සඳහා සුඛෝපභෝගී බස් රථයක ප්‍රවාහන ගාස්තුව මෙන් දසගුණයක් පමණ වැය වේ. අර්බුදය ඇත්තේ මෙතැනය. එවන් මුදලක් වැයකර හෝ අද දවසේ මාර්ග තදබදය නිසා තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිව මගීහු මහමග පෞද්ගලික මෝටර් රථ, ත්‍රීවීලර් හා බස් රථවල රස්තියාදු වෙති.

කොළඹ වේගය

මේ වන විට කොළඹ නගරයේ සාමාන්‍ය ධාවන වේගය පැයට කි.මීටර් 12කි. වත්මන් ප්‍රවාහන අර්බුදය මේ ආකාරයෙන්ම පවතින්නේ නම් එය 2023 වන විට පැයට කි.මීටර් 6 දක්වා අඩු වීමට ඉඩ තිබෙන බව මේ ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති. ඔවුන්ගේ ගණන් බැලීම්වලට අනුව මේ ප්‍රශ්නයට දීර්ඝකාලීන හා කෙටිකාලීන විසඳුම් ඉදිරිපත් නොවන්නේ නම් 2023 වන විට මේ රටේ ආර්ථිකය අඩපණ වීමට ප්‍රවාහන අර්බුදය හැර වෙන කිසිදු හේතුවක් අවශ්‍ය වන්නේ නැත.

මේ වන විට බස්නාහිර පළාතේ මගීන්ගෙන් පොදු ප්‍රවාහන සේවය උපයෝගී කරගනු ලබන්නේ 52%ක පමණ ප්‍රතිශතයක් යැයි දැනගැනීමට තිබේ. මෙය 60% දක්වා වර්ධනය කිරීම රජයේ අරමුණයි. පොදු ප්‍රවාහන සේවා වෙත මගීන් යොමු කිරීමෙන් තොරව කොපමණ පාරවල් පුළුල් කළත්, ගුවන් පාලම් ඉදිකළත් වාහන තදබදයට සාර්ථක විසඳුමක් සොයාගැනීම අපහසු වනු ඇත. මේ වන විට වාහන තදබදය නිසා ඇතිවන රස්තියාදුව දිවයින පුරා සෑම නගරයකම දක්නට ලැබේ. හැකි තරම් පෞද්ගලික වාහනවලින් තම ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට යෑම ප්‍රශ්නය උග්‍ර කිරීමක් වනු ඇත.

මේ සඳහා උපයෝගී කරගත හැකි එක් ප්‍රධාන පොදු විකල්පයක් වන්නේ දුම්රිය සේවයයි. නිදහසේ සිට මේ දක්වාම දුම්රිය සේවයෙන් ගත හැකිව තිබූ ප්‍රයෝජනය ලබාගෙන නැත. ඒ වෙනුවට සිදුකර ඇත්තේ පවතින අයුරින් එය පවත්වාගෙන යෑම සඳහා පමණක් නඩත්තු කිරීමයි.

කාල නාස්තිය

එහෙත් ලොව පුරාම ප්‍රවාහන අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙසින් දුම්රිය සේවය නිර්මාණශීලීව උපයෝගී කරගන්නා බව පෙනේ. දුම්රියෙන් මගියෙකුට රාගම සිට කොළඹට පැමිණීමට ගතවන කාලය විනාඩි 20කි. බස්රියෙන් පැයකටත් වඩා කාලයක් ගතවේ. ගම්පහ සිට කොළඹට විනාඩි 35ක් ගතවන දුම්රිය සේවාව දියුණු කිරීමෙන් තොරව ඒ සඳහා බස්රියෙන් පැය 1 1/2ක් ගතකිරීමට අපි පෙලඹී සිටිමු. මේ සඳහා පොදු ප්‍රවාහන සේවය වෙනුවට පෞද්ගලික වාහන උපයෝගී කර ගැනීම නිසා සමස්ත ප්‍රවාහන සේවාවම අර්බුදයක් කරගෙන ඇත.

කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ග සේවාවක් බවට පත් කරමින් කොළඹ දිවෙන ප්‍රධාන මාර්ග 7ක් හඳුනාගෙන සැහැල්ලු දුම්රිය මාර්ග ක්‍රියාවලිය මේ සඳහා උපයෝගී කර ගැනීමට රජය බලාපොරොත්තු වේ. එමෙන්ම නගරාන්තරව මහමගට යොමු කරන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කරමින් එහෙත් ඒ කිසිවකු අපහසුතාවට පත්නොවෙන සේ ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමද ආණ්ඩුවේ අරමුණකි.

අර්බුදය රටට හෙළිකරමින් නව යෝජනා ඉදිරිපත් කරමින් සිටින මෙම ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ගේ සහාය මේ සඳහා ලබාගැනීම අදාළ කාර්යය සාර්ථකව ඉටු කිරීමට රුකුලක් වනු ඇත.

 

වසන්ත ප්‍රිය රාමනායක

සංහිඳියාවට ගින්දර තබන්නෝ

$
0
0
ජන 17, 2018 01:00

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධයෙන් මෙරට ජන මාධ්‍ය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් විමසීමට ප්‍රථම මෙරට දේශපාලන පසුබිම පිළිබඳව කිසියම් අධ්‍යයනයකට යා යුතුය. මෙරට පවතින දේශපාලන සන්දර්භය දෙස බලන කළ අපට එය තේරුම්ගත හැකි වන්නේ නොදියුණු නැති නම් අඩු දියුණු දේශපාලන ක්‍රමයකි. එනිසා දේශපාලන පක්ෂ, ආණ්ඩු, ජනමාධ්‍ය මේ හැම සංවිධානයක්ම, සංස්ථාවක්ම, ආයතනයක්ම සමාජ දේශපාලනමය වශයෙන් අඩු දියුණුමට්ටමක පවතී.

මේ නිසා දේශපාලන පක්ෂ වගේම ජනමාධ්‍යද අපි අපේක්ෂා කරන දියුණුව කරා ළඟා වී නැත. මෙම මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ පවතින ප්‍රධාන ගැටලුව වන්නේ එය වෙළෙඳපොළ අරමුණු කරගෙන ක්‍රියාත්මක වීමය. එනම් තොරතුරු වෙළෙඳපොළ (Information Market) තුළ තොරතුරු නිර්මාණය කිරීම, වාර්තා කිරීම, තොරතුරු විග්‍රහ කිරීම ආදී මේ සියල්ලක්ම සිදු වන්නේ වෙළෙඳපොළ අරමුණු කරගෙන වීමය. එනම් මෙරට ජනමාධ්‍ය ආයතන ජනතාව වෙත තොරතුරු ඉදිරිපත් කරන්නේ කිසියම් සත්භාවයකින් නොවේ. එය මුළු මනින්ම හැසිරවෙන්නේ වාණිජ පරමාර්ථයෙනි. මෙහිදී රජයේ මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය කියා හෝ වෙනසක් දැකිය නොහැකිය.

මේවන විට මේරටේ පවතින ප්‍රධානතම සමාජ සංස්කෘතික කාරණය වන්නේ ජාතික සංහිදියාව ගොඩනැඟීමය. නමුත් එය විකිණිය හැකි දෙයක් නොවේ. ඊට වඩා පහසුවෙන් ජාතිවාදය අලෙවි කළ හැකිය. එනිසා ලංකාවේ පවත්නා මාධ්‍ය අතරින් අති බහුතරයක් විකිණීමට අසීරු සංහිදියාවට වඩා පහසුවෙන් විකිණිය හැකි ජාතිවාදය නමැති සංකල්පය විකුණමින් සිටී.

ෙදකොනේ අන්තවාදය

මේ රට තුළ සිංහල අන්තවාදීන්ට වගේම දෙමළ මුස්ලිම් අන්තවාදීන්ටත් විශේෂ වීමට අවකාශ සලසා දී ඇත්තේ මේ මාධ්‍ය වෙළෙදාම විසිනි. උදාහරණයකට දකුණේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සිංහල ජාතිවාදී බලවේගයත්, උතුරේ ක්‍රියාත්මක අන්තවාදී දෙමළ ජාතිවාදී බලවේගයත් ඊට සම්බන්ධ ප්‍රවෘත්ති පළකරමින් පෝෂණය කරන්නේ මේ වෙළෙඳාම පමණක් අරමුණු කරගත් මාධ්‍ය ආයතන ය. සත්‍යට ප්‍රථම මොවුන් මාර්කට් කරන්නේ අසත්‍යයි. එය සත්‍ය මාර්කට් කිරීමට වඩා පහසු පහසු බැවිනි. මන්දයත් අසත්‍ය යනු බුද්ධිමය කාරණයක් නොවන නිසාත් එය හැඟීම් මත පදනම් වී ඇති නිසාත් එමඟින් මිනිසුන් ආමන්ත්‍රණය කිරීම පහසුය.

එසේම එය ආකර්ශණීය වේ. එනමුත් ජාතික සංහිඳියාව ඇති කිරීමට නම් බුද්ධිමය වශයෙන් දායකත්වය ලබා දිය යුතුය එය ඉතාම අපහසු අසත්‍ය තරම් ආකර්ෂණීය නොවන දෙයකි. එනිසා මේ රටේ බහුතර මාධ්‍ය ක්‍රියාකරන්නේ තමන්ගේ වාණිජ පරමාර්ථය ඉෂ්ටකර ගැනීම උදෙසා ජාතිවාදය උත්කර්ෂයට නැංවීමටය. එනිසා බහුතර මාධ්‍ය සංහිඳියාව හෝ ආණ්ඩුව හෝ එහි ක්‍රියාකාරීත්වයේ පවතින අඩුලුහුඩු කම්හෝ කතා නොකොට පහසුවෙන් විකිණිය හැකි ජාතිවාදය උත්කර්ෂයට නැංවීමට ක්‍රියා කරමින් සිටිති. එනිසා මේරටේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු තැනකට පැමිණ තිබේ.

සැබෑ මාධ්‍යයක අරමුණ විය යුත්තේ ජන සමාජය ආකල්ප අතින්ද සමාජමය, සංස්කෘතිකමය අතින්ද ආකල්පමය අතින්ද යහපත් තැනකට විතැන් කිරීමය. නමුත් මෙරට මාධ්‍ය ඒ පිළිබඳව සිතා බලාවත් තිබෙනවා දැයි සැක සහිතය. ඔවුහු ජාතිවාදය තොරම්බල් කරමින් සිටිති. ජාතිවාදය ඉස්මතු කිරීම සඳහා ඔවුන් අන්ත දුෂ්ට හා අන්ත ම්ලේච්ඡ තත්වයකට ගමන් කරමින් තිබෙනු අපට දැක ගත හැකිය.

රටේ පවතින මූලික දේශපාලන අවශ්‍යතාව වන්නේ ජාතිවාදය පිටුදැකීම හා ජාතික සංහිඳියාව තහවුරු කිරීමය. නමුත් මෙරට මාධ්‍ය බොහෝමයක් ජාතික සමඟිය ඇති කිරීමට පිටුබලයක් සපයන කිසිදු කතිකාවක් හෝ වැඩසටහනක් නිර්මාණය කිරීමට අපොහොසත් වී ඇත. ඉන් ගම්‍ය වන්නේ ඔවුන් තුළ එවැනි පරමාර්ථයක් නැති බව සහ ඒ පිළිබඳ සැලකීමක් හෝ නොදක්වන බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් විද්‍යුත් නාළිකාවෙත ඇඟිල්ල දිගු කළ හැකි වුවද මුද්‍රිත මාධ්‍යයයේ තත්ත්වයද ඊට දෙවෙනි නොවේ. උතුරේ දෙමළ සමාජය මුහුණ දෙන ගැටලු පිළිබඳ හෝ දකුණේ සමාජය මුහුණ දෙන ගැටලු පිළිබඳව හෝ රටේ ජනතාවට කිසිදු අවබෝධයක් නැත. ඇත් නම් ඒ තැන තැන සිදුවන අපරාධ, මංකොල්ල කෑම්, මිනී මැරීම්, ස්ත්‍රී දුෂණ, පැහැරගෙන යෑම්, රිය අනතුරු වැනි ඍණාත්මක ආකල්ප වර්ධනය කරන ප්‍රවෘත්ති ගැන පමණය.

උදාහරණයකට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම පිළිබඳව මෙරට මාධ්‍ය හැසිරුණ ආකාරය සිහියට නගා ගන්නේ නම්, ඔවුන් ඊට ගෙනා විවේචන ප්‍රචාරය කිරීමට ගත් උනන්දුව ඒ පිළිබඳව පළ කළ සාධනීය මතයන්ට ලබාදුන්නේදැයි විමසා බලනු වටී. මෙරටේ පුරවැසියන් ජාතික ගීය ඕනෑම භාෂාවකින් ගැයීමට හැකි විය යුතුය. ජාතික ගීය සිංහලෙන් විතරක් තිබෙන්නට ඕනෑ යැයි කෙනෙක් කියන්නේ නම් එතනදීම ඔවුන් අනෙක් භාෂා වහරන පිරිස පිටමන් කර අවසන්ය. එවිට ජාතික සමඟියක් ගොඩනැඟිය නොහැකිය. ඇත්තෙන්ම මෙවැනි සංවේදී අවස්ථාවලදී මාධ්‍යයයේ කාර්යය විය යුත්තේ මිනිසුන් තුළ පවතින පහත් හැඟීම් කුළුගැන්වීම නොව ඒවා ආකල්පමය වශයෙන් වෙනස් කිරීමට අනුබල දීමය.

යුද්ධයේ පීඩාව

වසර තිහකට අධික කාලයක් තිස්සේ ඇදී ගිය අමානුෂික යුද්ධය අපට මනුෂ්‍යත්වය වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නැත. ඉන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජාතීන් එක සේ පීඩා වින්දේය. එසේ නම් නැවත එවැනි පසුබිමක් ඇති නොවන පරිදි හැම ජාතියකටම හැම ජනවර්ගයකටම යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය එක හා සමානව හිමිවන ආකාරයේ සමාජයක් නිර්මාණය කළ යුතුය. එහි ප්‍රධාන භූමිකාව හිමිව ඇත්තේ ජනමාධ්‍ය වෙතය. එහෙත් අවාසනාවකට මේ වන විටත් බහුතර මාධ්‍ය තුළින් එවැනි තත්ත්වයක් අපි නොදකිමු. එනිසා අනාගත පරම්පරාවට අපි බාරදීමට සැළසුම් කර ඇත්තේ කවරාකාරයේ රටක්ද යන්න නැවත සිතා බැලිය යුතුය. ඒ අභියෝගය අන් කවරදාකටත් වඩා අප අභිමුවට පැමිණ තිබේ.

කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන මේ ජාතික ප්‍රශ්නයට මේ රටේ වාමාංශික පක්ෂ ප්‍රධාන වශයෙන් වගකිව යුතුය. එහි අදහස අනෙක් පක්ෂ ඊට වගකිව යුතු නැත යන්න නොවේ. ඔවුනුත් නියත වශයෙන්ම වග කිවයුතුය. එහෙත් වැඩකරන පන්තියේ දේශපාලනය නියෝජනය කරන දේශපාලන ප්‍රවාහයක් ලෙස අනෙකුත් පක්ෂවලට වඩා වැඩි වගකීමක් ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් වම්මු මත පැවරී තිබේ. විශේෂයෙන්ම පැරණි සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ මීට වගකිව යුතුය. වාමාංශික පක්ෂයක අරමුණ විය යුත්තේ ජාතික සංහිඳියාව හා ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමය. නමුත් මේ රටේ ඉතිහාසයේ පටන් එය එසේ වී දැයි කල්පනා කර බැලිය යුතුය.

1956 සිංහල ජාතිවාදී බලවේගය විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කළ මොහොතේ වාමාංශික නායකයකු වූ කොල්වින් ආර්ද සිල්වා ප්‍රකාශ කර සිටියේ භාෂා දෙකම රාජ්‍ය භාෂාව කරන ලෙසය. “ එක භාෂාවක් නම් රටවල් දෙකකි. භාෂා දෙකක් නම් එක රටකි.

එනිසා මේ රට තනි රටක් වශයෙන් පැවතීමට නම් භාෂා දෙකම සමානව පිළිගත යුතුයි කියාය. මෙලෙස ඉතා වැදගත් ප්‍රකාශයක් ඒ මොහොතේ වාමාංශික නායකයකු ලෙස කොල්වින් ආර් ද සිල්වා කළද 1972 ව්‍යවස්ථාවේ නිර්මාපකයා ලෙස ඔහු ඒ වෙනස්කම ව්‍යවස්ථාට ඇතුළත් නොකළේය. ඒ අනුව 72 ව්‍යවස්ථානු කූලව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් විය. එසේම බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේද එම ව්‍යවස්ථාව හරහාය.

ඒ අනුව මේ රටේ ජාතිවාදය පෝෂණය කිරීම ගැන වාමාංශික නායකයින් සම්පුර්ණයෙන්ම වග කිවයුතුය. සිංහල බෞද්ධ ජාතිවාදය ඉස්මතු කිරීමට දායක වූයේ මේ පැරණි සමසමාජ, කොමියුනිස්ට් නායකයින් ය. නමුත් කාල් මාක්ස්ගේ දර්ශනය අනුව වාමාංශිකයන් ගේ මූලික අරමුණ විය යුත්තේ සකල ලෝකවාසී නිර්ධන පන්තියේ එක්සත්කමය. එය රටක් සම්බන්ධයෙන් ගත් කළ සකල දේශවාසී නිර්ධන පන්තියේ එක්සත් කම යැයි කිව හැකිය. ඒ අනුව වාමාංශික ව්‍යාපාරය යනු නිර්ධන පංතික ව්‍යාපාරයක් මිස ජාතිවාදී පක්ෂයක් නොවේ.

වම දකුණ වීම

ඔවුන් සැළකිය යුත්තේ මොන ජාතියේද යන්න නොව කුමන පන්තියේද යන්න පමණය. නමුත් ලංකාවේ වාමාංශික ව්‍යාපාර මුල්කාලීනව ජාතිවාදයට විරුද්ධව ක්‍රියා කළද පසුකාලීනව ඉතාම අවාසනාවන්ත ආකාරයෙන් ජාතිවාදයට නැඹුරු විය. එනම් වාචිකව ඔවුන් කුමක් ප්‍රකාශ කළද ඔවුන් අවසානයේ පෙනී සිටියේ ජාතිවාදය වෙනුවෙනි. එහි කූටප්‍රාප්තිය ලෙස 72 ව්‍යවස්ථාව පෙන්වා දිය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණද ජාතීන් අතර සමානාත්මතාවය පිළිබඳව කුමක් පැවසුවද යුද්ධය මොහොතේ ඔවුන්ගේ ස්ථාවරය වූයේ දේශපාලන විසඳුමකට නොගොස් එල්.ටී.ටී.ඊය යුදමය වශයෙන් පරාජය කිරීමය. එහිදී අහිංසක දෙමළ ජනතාවට අත්වන ඉරණම පිළිබඳව කිසිදු වගවීමක් ඔවුන් තුළ නොවීය. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ වාමාංශික පක්ෂය හැරුණු කළ මෙරට කිසිදු වාමාංශික පක්ෂයක් ජාතියක් සතු ස්වයංනීර්ණ අයිතිය පිළිගත්තේ නැත. ඒ අනුව පැවසිය හැක්කේ මෙරට වාමාංශික ව්‍යාපාරය ඊනියා වාමාංශික ව්‍යාපාර බවයි.

ඔවුන් වක්‍රාකාරයෙන් ජාතිවාදය පෝෂණය කරන ඊට රුකුල් දෙන ව්‍යාපාරයන්ය. මොවුන් සැබැවින්ම ප්‍රතිසංස්කරණවාදී හා ඉන් එහාට නොගිය ඊනියා වාමාංශික පක්ෂ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු රැඩිකල් ජාතිකවාදී පක්ෂයකි. සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිසංස්කරණවාදයට නැඹුරු වූ පක්ෂ වන අතර, ඔවුන් ජාතික තලයට සීමා වී ශ්‍රී.ල.නි.ප වැනි සිංහල ජාතිකවාදී දේශපාලන පක්ෂ සමඟ සභාග දේශපාලනයට අවතීර්ණ විය. එනිසා මෙරට වාමාංශික ව්‍යාපාරයක් පවතිනවායැයි පිළිගැනීමට අසීරුය.

අද ජනතා විමුක්ති පෙරමුණ සුළුධනේෂ්වර පක්ෂයක් ලෙස මෙවැනි ස්ථාවරයක පසු වීම අපේක්ෂා කළ හැකි වුවද ඔවුන් මීට ප්‍රථම වාමාංශික පක්ෂයක් ලෙස පෙනී සිටින කාලයේ ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන කල වුව එය වාමාංශික පක්ෂයක් ලෙස පිළිගත නොහැකිය. එයද ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් විය. ඔවුන් සැබෑ වාමාංශික පක්ෂ වූවා නම් යුද්ධය වෙනුවෙන් නොව සංහිදියාව වෙනුවෙන් පෙනීසිටීම අනිවාර්යයකි. නමුත් එසේ වූ යේ නැත. එනිසා ඊට එරෙහි වූ සුළු වාමාංශික පක්ෂ කිහිපයක් පමණක් අද වන විට ඉතිරිව ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිති.

ගත යුතු මග

මුල් කාලයේ සිටම මේ වාමාංශික ව්‍යාපාරය නිවැරදි ස්ථාවරයක සිටියේ නම් දෙමළ ජනතාවට ආයුධ ගැනීමට සිදුවන්නේ නැත. එකල දෙමළ ජනතාවගේ විශාල ආකර්ෂණයක් සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලට තිබුණි. නමුත් 1960 ගණන්වල සභාග ආණ්ඩු ඇති කිරීමට මූලිකත්වය ගැනීමෙන් ඒ ජනප්‍රසාදය ඔවුන්ට අහිමි විය. ඊට ප්‍රධානතම හේතුව ඔවුන් සභාගයට ගොස් ජාතිවාදය වැලඳ ගැනීමය. මෙනිසා ඔවුන් දේශපාලනික වශයෙන් අසරණ විය. පසු කාලීනව වෙනම ඊළාම් රාජ්‍යයක් දිනා ගැනීම උදෙසා කළ සටනට එක් පැත්තකින් මෙම පැරණි සමසමාජ කොමියුනිස්ට් ආදී වු වාමාංශික පක්ෂ වගකිව යුතුය.

මේ තත්ත්වය වෙනස් කර ගැනීමට නම් මුලින්ම කළ යුතු වන්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමය. එනම් රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමය. ඒ සඳහා නව ආඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය. එහි ප්‍රධානම කාරණය විය යුත්තේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාමාර්ග ඇතුළත් කර ඒවා නිර්භීතව ක්‍රියාත්මක කිරීමය. මෙහිදී අප අවධානය යොමුකළ යුතු කාරණාව වන්නේ ඊට එරෙහිව සිංහල ජාතිකවාදී බලවේග නැඟී සිටීමය.

එය අනිවාර්යයකි. ඒ විරෝධතාවය නොතකා සෑම ජාතියකටම සෑම ආගමකටම සිය අයිතිවාසිකම් තහවුරු වන පරිදි දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍යය. මේ දී ජනතාව දැනුවත් කරමින් ඊට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කිරීමට මාධ්‍ය සතුව විශාල වගකීමක් ඇත. එසේ නැතිව ජාතික සංහිඳියාවක් ඇති කිරීම සදා සිහිනයක්ම වනු නියතය.

 

සංවාද සටහන සහ ඡායාරූපය
රසික කොටුදුරගේ 

පුංචි ඡන්දය විස්ථාපනය වූ දේශපාලන ආභාසයක්?

$
0
0
ජන 17, 2018 01:00

පළාත් ආණ්ඩුවක වංක මිනිසුන් සිටිනවා යන්නෙහි තේරුම ජාතික ආණ්ඩුව තුළත් වංක මිනිසුන් සිටින වගයි -රිචර්ඩ් නික්සන්

පළාත් පාලන මැතිවරණය උණුසුම්ය. කෙනෙක් මෙය ආණ්ඩුවේ ගෙවුණු වසර 2 පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටිති. තවකෙක්, ආණ්ඩුවට පාඩමක් උගැන්වීමට මෙය අවස්ථාවක්කර ගත යුතු බව කියා සිටිති. ගමේ - නගරයේ පාලනය අතටගෙන ආණ්ඩු පෙරළියකට මගපාදාගත යුතු බව කියන කොටසක්ද වෙති. වඩාත් හාස්‍යජනක දේ වන්නේ පසුගිය රෙජීමයේ භීෂණ - දූෂණ ක්‍රියාවන් හෙළිදරව් කොට ඒවාට සම්බන්ධ උදවියට දඬුවම් පමුණුවන බව කියමින් බලයට පත් තව කෙනෙක් ඒ සම්බන්ධයෙන් නිද්‍රාගතව සිට ආණ්ඩුව ඇතුළත සුද්ධ පවිත්‍ර කිරීමට යැයි කියමින් දේශපාලන පිදුරු ගසක් ලෙසට මෙම මැතිවරණය තුළ එල්ලී සිටීමයි. ඒ සඳහා ආණ්ඩුවේ ඇතැමුන්ම ඉණිමන් සලසා දීමත් කුතුහලය දනවන්නක් වේ.

යුද්ධය යළි යළි වෙළෙඳාම් කිරීම, ජීවන වියදම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නය සහ රට බෙදීමේ භීතිකාව, බැඳුම්කරය, මතට තිත ආදී මාතෘකා පක්ෂ - විපක්ෂ දේශපාලකයින්ගේ ගැලවුම්කරුවා බවට පත්ව තිබෙන බව පෙනීයයි. ජාතික දේශපාලනයේ උණුසුම් මාතෘකා ගමට සහ නගරයට කාන්දුකොට තමන්ගේ දේශපාලන අභිලාෂ (උප්පරවැට්ටි) ඉටුකර ගැනීමේ කෙටි මගක් පාදා ගැනීමට ඔවුහු යුහුසුළුව ක්‍රියාකරමින් සිටිති.

ඒ කිසිවෙක් ගම නගරය දියුණු කරන්නේ කෙසේද ඒ පිළිබදව තමන් සතු සැලසුම් මොනවාද යන්න ගැන කතා නොකරති. අඩු වශයෙන් මේ මොහොතේ ගමේත් - නග‍රයේත් ඇති දැවෙන ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව හෝ කතා නොකරති. ඔවුන් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ දේශපාලන විනය තමන්ට අවශ්‍ය පරිදි සකස‍ා එය මෙම මැතිවරණය තුළින් එළියට ගැනීමය. තව කෙනෙකුගේ බිඳීගිය හෝ ඇල්මැරුණු දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීම පිණිස ප්‍රාදේශීය දේශපාලකයින් වුව යුහුසුළුව ක්‍රියා කරන්නේ ජාතික තලයේ දේශපාලකයන්ගේ මනදොළ සපුරා තම ඉදිරි පිම්ම ගැන තිබෙන සිහිනය ඇල්ලීම සඳහාය . එනිසා මෙම මැතිවරණය විස්ථාපනය වූ දේශපාලන අභ්‍යාසයක් ලෙස සැලකීම නිවැරදි යැයි සිතමි. එනම් සැබෑ දේ ආමන්ත්‍රණය කිරීම නොව වෙනත්‍ දෙයක් කරමින් සිටීමය.

මෙම මැතිවරණය වෙනදාට වඩා උණුසුම්වීමට තවත් හේතුවක් වී ඇත්තේ නව ක්‍රමය යටතේ තෝරාපත් කරගන්නා සභික සංඛ්‍යාව දෙගුණයක් වී තිබීමයැයි කිව හැක. (එය නම් තම ගොඩ වැඩිකර ගැනීමේ කදිම අවස්ථාවකි) එනම්, මහනගරසභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341ක් සඳහා සභික ධුර 8293ක් දක්වා ඉහළ නැග තිබීමයි. මහ නගර සභා 24ක්, නගරසභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඊට ඇතුළත්ය. පැවැති ක්‍රමය යටතේ සභික ප්‍රමාණය වූයේ 4327කි. එක්සත් නිදහස් සංධානය සඳහා ධුර 2639ක්ද, එක්සත් ජාතික පෙරමුණට ධුර 1157ක්ද, දෙමළ ජාතික සංධානයට 282ක්ද, ජනතා විමුක්ති පෙරමුණට 74ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ධුර 72ක් සහ ස්වාධීන 77ක් ආදී වශයෙනි. මිලියන 15.8ක් වූ ජනතාව මෙම ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබීමද සුවිශේෂී තත්ත්වයකි.

මෙම මැතිවරණයේ මා දකින වඩා සාධනීය ලක්ෂණයක් වනුයේ ස්ත්‍රී නියෝජනය 25% අනිවාර්ය වී තිබීමයි. ඒ අනුව මෙවර පළාත් පාලනය යටතේ ස්ත්‍රී සභික පිරිස 2000කට ආසන්න ප්‍රමාණයක් වනු නිසැකය. එසේ වුවද ස්ත්‍රී හඬ මැතිවරණ ව්‍යාපාරය තුළ තවමත් ඉස්මතුව පෙනෙන බවක් නොපෙනේ. නමුදු ඔවුනගේ භූමිකාව තම ප්‍රදේශවල ප්‍රශ්න සාධනීය ලෙස සහ අහිංසාවාදී ලෙස ආමන්ත්‍රණය සඳහා වනු ඇතැයි විශ්වාස කරමි.

පළාත් පාලන ක්‍රමය මඟින් ජනතාව බලාපොරොත්තුවන කාරණා කීපයක් වන්නේය. අප දන්නා පරිදි මධ්‍යම ආණ්ඩුව බෙහෙවින්ම තම අවධානය යොමුකරන්නේ ජාතික තලයේ කාරණය සම්බන්ධව පමණි. එනම්, රාජ්‍යයේ ජාත්‍යන්තර කටයුතු, විදෙස් පිලිවෙත්, රාජ්‍යයේ ආරක්ෂක කටයුත්ත, ආර්ථික හැසිරවීම, විදෙස් ණය සහ රාජ්‍යයේ අනාගතය සැලසුම් කිරීම, විරැකියාව, ජාතික ගැටලුව ආමන්ත්‍රණය කිරීම, ක්‍රමානුකූල ලෙස ගොඩනැංවූ සාපරාධීකාරී දේශපාලනයෙන් රාජ්‍යය මුද‍ාගැනීම ආදී දේ සඳහාය.

නමුදු ප්‍රජා න්‍යාය පත්‍රය තමන්ගේ ආසන්න ප්‍රශ්න විසඳාගැනීම සඳහා නාභිගත කිරීම සාමාන්‍ය දෙයකි. තමන්ගේ මංමාවත් දියුණු කර ගැනීම, අපද්‍රව්‍ය බැහැරකිරීම, සනීපාරක්ෂක කටයුතු, ඩෙංගු ඇතුළු වෙනත් සෞඛ්‍ය ගැටලු, පරිසරය පිළිබඳ ගැටලු සහ තම දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු ආදී දේ කෙරෙහිය. තමන් පළාත් පාලන ආයතන සඳහා ගෙවන බදුවලට සාපේක්ෂව ඒවා මඟින් සේවාවන් සැපයෙන්නේද යන්න විමසිලිමත්වීමත් ප්‍රජාව සතු කාර්යයකි. වෙනත් වචනවලින් කිවහොත් ආණ්ඩුකරණය (Governance)පුළුල් පරාසයක ක්‍රියාත්මක කිරීමය.

එනම්, තමන්ගේ වැඩ කටයුතු තමන් විසින්ම කරගන්නා තත්ත්වයට ජනතාව සවිබල ගැන්වීමය. එය වනාහී ආණ්ඩුවේ (Government) කර්තව්‍යයට වඩා එහා ගිය දෙයකි. රාජ්‍ය ආයතන සහ පළාත් ආයතන නිලධාරීන් නිලධාරිනියන් එක් පසකින්ද, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සමාජය සහ දේශපාලන පක්ෂ අනෙක් පසින්ද සිදුකරන අන්තර් ක්‍රියාවලියකට සක්‍රීය ලෙස දායකවීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසද එය සැලකිය හැක.

පුරවැසියන් හැටියට රාජ්‍යයේ සාර්ථකත්වය සඳහා දායක වීම අප සැමගේ වගකීමකි. ඒ සඳහා තීරණ ගැනීමේ සහ සහභාගී වීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට අප සැමට අවකාසයක් තිබිය යුතු ය. වසර පහක් සඳහා නියෝජිතයකු පත්කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. නියෝජිතයින් තෝරාගැනීමේදී ප්‍රජාව සතුව ද න්‍යාය පත්‍රයක් තිබිය යුතු ය. ඒ න්‍යාය පත්‍රයට ශබ්දය (Noise) පමණක් තිබුණාට මදිය. ක්‍රියාකාරී සහභාගිත්වයක්ද ලබාගත යුතු ය.

පළාත් ආයතනවලට මහා පරිමානයේ ආර්ථික සහ සමාජ යටිතල සංවර්ධනය සහ සේවා සැපයීම් කළ නොහැකි බව අපි දනිමු. ආර්ථික සංවර්ධන සැලසුම් සකස්කිරීම ඒවා ක්‍රියාවට නැංවීම, කළමනාකරණය සහ සම්බන්ධීකරණය ආදිය ජාතික මට්ටමින් කරනු ලබන්නේ මධ්‍යම රජය විසින් බවත් අපි දනිමු. සාමාන්‍යයෙන් මධ්‍යම ආණ්ඩුවේ පුරුද්ද වන්නේ වැඩසටහනක් දියත්කොට නිහඬවීමය. ඒවායේ ප්‍රතිලාභ හෝ විපාක විඳීම පිළිබඳ ගැටලුවලට පළාත් ප්‍රජාව මුහුණ දිය යුතු වන්නේය.

ඒ නිසා එවැනි සංවර්ධන කටයුතු පිළිබඳවද අවදියෙන් සිටීම පමණක් නොව ඒවාට සම්බන්ධවීම කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් වන්නේය. මක්නිසාද යත්, රාජ්‍යයේ ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ පළාත් ආර්ථිකය ශක්තිමත් වන තරමට වන නිසා ය. ඒ නිසා පළාත් ආර්ථිකය කෙසේ විය යුතුද යන්න පිළිබඳව පළාත් පාලන ආයතනවලටද දැක්මක් තිබිය යුතු වේ. පළාත් පාලන වපසරිය දියුණු කරගැනීමෙහිලා එහි දිශානතිය (Local Direction) පළාත් තීරණගැනීමේ (Local Decision making) ක්‍රියාවලිය, මෙන්ම සැලසුම් ඉදිරියට ගෙනයාම (Forward planning) පළාත් ආර්ථිකය (Local Economy) ආයෝජනවල තත්ත්වය (Condition for investment), සහ සේවා සැපයීම් (Service providing) ආදී සියලු දේ කෙරෙහි අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

පළාත් පාලන ක්‍රමය මඟින් අලුතින් දේශපාලන නායකත්වයක් පුහුණුකිරීමද සිදුකරන බව සැබවි. මෙම නායිකාවන් සහ නායකයින් අභිෂේක ලද (Anointed) උදවිය නොව ප්‍රජාව තුළින් ඉස්මතු වන්නාවූ පුද්ගලයින්ය. පළාත් පාලන ආයතනයක් සාර්ථක වන්නේ ගුණාත්මක නායකත්වයක් (Quality Leadership) ඊට ලැබුණොත්පමණි. එසේම පලාත්පාලන භූමිය එම නායකයින් ප්‍රශ්න කරන ප්‍රජාතන්ත්‍රවාදී භූමියක්ද විය යුතු වන්නේය.

එම නියෝජිතයින් සතු වගකීම විය යුතු වන්නේ ජනතාවගේ අවශ්‍යතා සදිසි (Visible) කොට ඒවාට ප්‍රතිචාර දැක්වීම, ජනතාව දැනුවත් කිරීම, සජීවිකරණය, සංවිධාන කිරීම, පහසුකම්කරණය, ජනතාවගේ සම්පත් කළමනාකරණ කුසලතා පෝෂණය කිරීම සහ ස්වයං‍පාලන කුසලතා දියුණු කිරීමය. ඒ මගින් තමන්ගේ සහ ජනතාවගේ ස්වයංවර්ධනය, ආත්ම විශ්වාසය මෙන්ම සංවර්ධනයේ කොටස්කරුවන් වීමටද අවස්ථාව උදාවන්නේය. ඔවුන් විසින් ජනතාව සංවර්ධනයේ ප්‍රතිලාභවාදීන් බවට පත් කිරීමටද අවකාස සලසනු ලබන්නේය.

ඉහත කී කාරණා අනුව මෙවර පළාත් පාලන මැතිවරණය මගින්පළාත්පාලන ක්‍රමයෙන් බලාපොරොත්තුවන නිශ්චිත අරමුණු අපට ළඟා කරගත හැකිද යන ප්‍රශ්නය අප අභිමුඛව පවතී.

මහා ගස්වල මුදුන් මුල අම්මා

$
0
0
ජන 17, 2018 01:00

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි උපාලි සමරසිංහගේ අභිනව කෘතිය “මගෙ අම්මා” පොත් පෙළෙහි දෙවැනි කොටස සහ පළමු කොටසේ දෙවැනි මුද්‍රණය පසුගියදා ජනගත කෙරිණි. මේ සාකච්ඡාව එය නිමිති කරගෙන ය.

* ලේඛනයේදි ඔබ වඩාත් සැලකිල්ලක් දක්වන්නේ?

මානව හිතවාදි දේ ලියන්න. එහෙම කරන්නේ, සමාජය සුන්දර තැනක් කරන්න. ඒවායින් සමාජය යම් කිසි පැහැසර ඉලක්කයක් කරා ගෙන යන්න පුළුවන්. අද සමාජයේ මිනිස්සු හැම පැත්තෙන්ම හෙම්බත් වෙලා. ඒ අතරේ මානව දයාව හොයනවා. ඒ නිසයි අද අම්මාවරුන් පිළිබඳ කතිකා වැදගත් වෙන්නේ. අම්මලා මහමඟ දාලා මහලු නිවාසවල ගාල් කරලා. වනාන්තරවල අතරමං කරලා. තැන් තැන්වල දාලා දරුවෝ පැන යනවා. මෙය ඛේදවාචකයක්. සමහරවිට උසාවිවලට ගෙනාවත්, අම්මලා අපට නඩත්තු කරන්න බෑ කියන පුතාලත් ඉන්නවා. මේ දේ නිර්ලජ්ජිත ක්‍රියාවක්. අම්මා කෙනෙක් ගැබිනියක් වූ මොහොතේ පටන්, දරුවා ගැන සැලකිලිමත් වෙනවා. පරෙස්සම් වෙනවා. වාඩිවෙන්නේ පිළිවෙළට. ආසාදන ඇති කෑම කන්නේ නෑ. උණු වතුර ටිකක්වත් බොන්නේ නෑ. දරුවා වෙනුවෙන් කැප කරනවා. දරුවන් හදා ගන්න මහා යුද්ධයක් කරනවා.

වර්තමානය වනවිට තාත්තලා යොදාගෙන තියෙන්නේ, පුතාගේ දරුවා පාසල් යවන්න ‘බෝයි කොල්ලෙක්’ විදිහටයි. අම්මා කුස්සි අම්මා කෙනෙක් කරලා. මොවුන්ගේ ගුණය, වටිනාකම වර්ණනා කිරීම, හෙළිදරව් කිරීම විශාල සමාජ වගකීමක් කියලා මට හිතුණා. ඒක තමයි මා , මට පුළුවන් හැටියට කළේ.

* පුවත්පත්වල පළ වූ ලිපි ලේඛන, කෘතියක් විදිහට පළ කිරීම ගැන ඔබගේ අදහස?

පුවත්පත්වල පළවෙන ලිපි එකතැනක සංග්‍රහ වීම යම් බඳු වටිනාකමක්. හැබැයි තෝරා බේරා ගැනීමක් හා සංශෝධන සහිතව එය කළ යුතුයි. මහාගත්කරු මාටින් වික්‍රමසිංහයන් පුවත්පත්වලට ලියූ ලිපි බොහොමයක් එතුමන්ගේ පොත්වලට එකතු වී තිබෙනවා. ඒක අනවශ්‍ය කටයුත්තක් නෙමෙයි. හැබැයි, පුවත්පතකට ලියනවට වඩා වැඩි වෙහෙස මහන්සියකින් ලේඛන රීතියට පොත සකස් කරගත යුතුයි. එසේ නොවුණොත්,එය හුදු පල් ලියැවිල්ලක් වේවි.

මේ සංග්‍රහ ඉතා පරෙස්සමින් ‍තෝරා බේරාගෙන සංශෝධන සහිතව කළ කටයුත්තක්. පාඨකයන්ගේ පැත්තෙන් ඔවුන් එවැනි සාරගර්භ ලිපි සංග්‍රහයක් ආකාරයට බලාපොරොත්තු වෙනවා. ඒකට අද සමාජ පිළිගැනීමක් ලැබිලා. මම එහෙම කියන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සම්මාන උළෙලේ, පුවත්පත් සඳහා ලියූ ලිපි සංග්‍රහවලට වෙනමම සම්මානයක් පිරිනමන නිසයි.

* ‘මගේ අම්මා’ කෘතියට අන්තර්ගත වන්නේ, කලක් ජාතික පුවත්පතක පළ කරන ලද ලිපි ගොන්නක්. ඔබේ කෘතියේ ඇති සුවිශේෂතාව කුමක්ද?

මහා ගස් වගේ හැදුණු විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන් හැමෝගෙම මුදුන් මුල, ඔවුන්ගේ දුප්පත් අම්මාවරුන්. මේ පොතට පාදක වෙන්නෙත් එවැනි පිරිසකගේ දිරිය මවුන් ගැනයි.

ලෝකයේ හෘදයාංග ආමන්ත්‍රණයේ මුලකුර තමයි අම්මා. ඕනෑම මිනිස් සත්වයෙක් මුලින්ම අමතන්නේ 'අම්මා'කියලා. මේ ලෝකේ ඕනෑම අම්මා කෙනෙක් ඉන්නේ, තමන්ගේ දරුවන් වෙනුවෙන්. ඇය ජීවිතය පවා කැප කරන්නේ, පෙරලා අබැටක් හෝ බලාපොරොත්තුවෙන් නෙමෙයි.

මහා ගස් වගේ ජීවත් වන විවිධ ක්ෂේත්‍රවල නිපුණ විද්වතුන් ඉන්නවා. ඒත්, ඔවුන්ගේ මුදුන් මුල, අකුරු නූගත් අම්මා. සමහර මහාචාර්යවරුන් ඉන්නවා. කුඩා කාලේ පාසල් යන්න බෑ කියා අඬද්දී, මේ දුප්පත් අම්මා තමයි පාසලට ඇදගෙන ගිහින් අකුරු ඉගැන්නුවේ.

ගුණසේන ගලප්පත්ති නාට්‍ය වේදියාගේ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයේ මෙන්න මෙහෙම ගීතයක් තියෙනවා.

බිළිඳු තොළඟ කිරි පවස උරන්නයි

ලමැඳ දෙතන පුඩු උඩට හැරෙන්නේ

දූ දරු සම්පත් ඇඟ ලා ගන්නයි

පළල උකුල පටු ඉඟට ලැබෙන්නේ”

තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මාගේ ශරීර පිහිටීම් පවා ස්වභාවිකව සැකසෙනවා .මේ කවියෙන් කියැවෙන්නෙත් ඒ ගැනයි.

අම්මාවරුන් ගේ ගුණ සුවඳ විවිධ ක්ෂේත්‍රවල නිපුණයන් හරහා ගවේෂණාත්මකව, සමාජ මානව විද්‍යාත්මකව, කිසියම් හැදෑරීමක් කළා. අම්මාගේ සෙනෙහස උගත්, නූගත් කියලා වෙනසක් නෑ. ඒ සෙනෙහසයි අම්මා පොතට ගෙනාවේ.

* ‘මගේ අම්මා’ කෘතියට අන්තර්ගත වෙන්නේ, විවිධ ක්ෂේත්‍රවල නිපුණයන්ගේ අම්මාවරුන්ගේ ගුණ සුවඳයි. මෙහි සංවේදී කතාත් ඇති නේද?

ජෝ අබේවික්‍රම මහත්තයා, අපෙන් සමුගන්නට පෙර මුද්‍රිත මාධ්‍යයට සාකච්ඡාවක් කළා නම්, ඒ අවසන් සාකච්ඡාව කළේ සිළුමිණ පුවත්පත සමඟයි. ඒ අම්මා ගැනයි. රත්නපුර ලෙල්ලො පිටියෙ හිටි සමහර මිනිසුන්ගේ ඉරියව් පුංචි ජෝ අනුකරණය කර පෙන්වීම දැකපු අම්මා කියනවා, ‘හැබැයි රජෝ උඹ නම් හොඳ නාට්‍යකාරයෙක් වෙනවා’ කියලා.

එහෙම තමයි අම්මා ජෝට කියන්නේ. රත්නපුර බස් නැවතුම් පොළේ නිතර හමු වූ සැරපරුෂ බස් රථ රියැදුරෙක් මේ අම්මටයි, පුතාටයි නිතර දකින්න ලැබෙනවා. අම්මා දවසක් පුතාට කියනවා.

“පුතේ, මේ මිනිහා සැර වුණාට හරි කෙළින් මනුස්සයා. යුතුකම් දන්නවා. හාමුදුරුනමක්, ගැබිනියක් බස් එකට නැග්ගාම අසුනක් නොදුන්නොත්, ඒ මගියාට මේ මනුස්සයාගෙන් ගුටි කන්න වෙන්නේ වදන් කස පහරින්.”

කුඩා ජෝ මේ කියමන කොයි තරම් දුරට හිතේ කාවද්දා ගත්තද කියනවා නම්, ඔහු සිනමාවට පැමිණ විකට මුද්‍රාවෙන් මිදී, චරිතාංග නිරූපණයට පැමිණි පසු, සිනමාවේදී ඩී.බී.නිහාල් සිංහයන්ගේ වැලිකතර සිනමා පටයේ ගෝරිං නමැති මුදලාලිගේ චරිතය ඔහු ගොඩනඟන්නේ, අර සැරපරුෂ බස් රථ රියැදුරුගේ ඉරියව් මඟිනුයි. ජෝගේ අම්මා , වැලිකතර චිත්‍රපටය බලපු දවසේ ජෝ මහත්තයට කියනවලු “පුතේ, උඹ අර බස් ඩ්‍රැයිවර් නේද කොපි කළේ” කියලා.

ඩී.බී. නිහාල්සිංහ වැනි ප්‍රතාපවත් පුරුෂයෝ, මා ඉදිරිපිට අම්මා ගැන කියද්දී අඬලා තියනවා. මහා පත්‍ර කලා ඇදිරිඳු ඩී.බී. ධනපාලයන්ගේ පුත්‍රරත්නය වූ ඩී.බී. නිහාල්සිංහ, තමන්ගේ අම්මා, අන්න රතී මාතාව ගැන බොහෝ දේ කිව්වා. වෙනත් ජාතියක කෙනෙක් වුණත් ඇය සහජීවනය ගැන කියා දෙන්න තමන් පන්සල් ගෙන ගිය හැටිත්, ලොකු හාමුදුරුවන් සමඟ ඇය කතා කළ ගැඹුරු දහම් කරුණුත්, ඔහුගේ හිත මානව සමාජය කෙරේ බෙදීමක් නැති කරන්න තරම් හේතු වුණා.

ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය මා ඉදිරියේ අම්මා ගැන කියමින් ඇඬුවා. ඔහුගේ තාත්ත හා සහෝදරයන් අතර කිසියම් මතබේදයක් සිද්ධ වෙලා, තාත්තගේ පිත්තල සරනේරු ව්‍යාපාරයෙන් අයින් වෙනවා. ඒ වෙලාවේ රවින්ද්‍රගේ පියාගේ අතේ තියෙන්නේ ඉතා සුළු මුදලක්. තමන් දන්නා ව්‍යාපාරය කර ගන්න ඒ මුදල ප්‍රමාණවත් මදි. ඒ නිසා කුලියට ගත් ගෙදරක, කරන්ට් එකත් නැතුව, කුප්පි ලාම්පුවේ එළියෙන් මහා රාත්‍රිය මුළුල්ලේ රවීන්ද්‍රගේ අම්මා, අර පිත්තල සරනේරු සකස් කරන ක්‍රියාදාමයේ යෙදුණා. ඒ වෙලාවෙත් ඇය ගැබිනියක්. මහා රාත්‍රියේ පිත්තල උණු කරන ගිනියම් රස්නය විඳිමින් දුක් විඳින අම්මාගේ කුසයේ සිටියේ කවුරුන්දැයි මා රවීන්ද්‍ර රන්දෙණියගෙන් අසා සිටියා. ඔහු කිව්වේ එදා අම්මාගේ කුසේ හිටියේ තමා බවයි.

ලතා වල්පොල වගේ ගායන ශිල්පිනියක් , ගීත කෝකිලාවක් , මේ ලංකාවට බිහි වෙන්නේ නෑ ඇගේ අම්මා නැත්නම්. ලතා වල්පොලගේ තාත්තා , දුව කලාවට යනවට කැමති වුණේ නෑ. එවැනි කටයුත්තකට ඇය ගියා කියලා ආරංචි වුණොත්, උයාගත්ත බත් මුට්ටිය පොළොවේ ගහනවා. ඒත්, ඒ අභියෝග අතරේ ලතා වල්පොල මහත්මියගේ අම්මා ලතාගේ හැකියාව ඉදිරියට ගෙනියන්න බොහෝ සේ කැප වෙනවා. මේ අම්මා, ලතාව ඉන්දියාවේ චිත්‍රාගාරවලට පවා එක්කගෙන යනවා. ඇගේ අම්මා එවැනි කැප කිරීමක් නොකළා නම්, ශ්‍රී ලංකාවට ලතා වල්පොල වැනි ගායිකාවක් අහිමි වෙනවා.

අම්මලා ගැන මේ වගේ සංවේදි කතා අනන්තවත් මගේ මේ අම්මා පොතට අඩංගු වෙලා තියෙනවා. මෙරටට මහා ගස් වැනි දැවැන්තයන් දායාද කරන්න අම්මලා විඳි දුක් දෝමනස්ස, මගේ ඉදිරියේ මේ දැවැන්තයන් ප්‍රකාශ කරලා තියෙනවා.

* මෙවැනි පොතපත හරහා සමාජයට බලපෑමක් කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

පොත් ලිවීමෙන් සමාජය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කියන මතය අද නෑ. අද පොත්වල තියෙන සන්නිවේදන කාර්ය කරන්නෙ වෙනත් මාධ්‍ය මඟින්. හැබැයි ඒ වගේ නිසි පාලනයක් නෑ. නිසි ප්‍රමිතියක් නෑ. සමාජ මාධ්‍ය ගත්තොත්, බොහෝ වේලාවට ඒවායේ ලියලා තියෙන සමහර කාරණා, පොදු වැසිකිළික ලියලා තියෙන දේ වගෙයි. පොත්වල කිසියම් ආකාරයක ප්‍රමිතියක් තියෙනවා. හැබැයි ලෝකයේ ප්‍රාග් විප්ලවීය පොතපත සමාජ ශෝධනය සඳහා උදවු වුණා. ලියෝ තොල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි, ගොගොල්, දොස්තොවුස්කි, ඇන්ටන් චෙකෝෆ් වැනි සාහිත්‍යධරයන්ගේ පොතපත විප්ලවය සඳහා යම් ආකාරයකට දායක වුණා. එදා පැවතියේ පොත් පමණයි. ඒ නිසා, යම් ප්‍රමිතිගත ඉලක්කයක් සඳහා එය මෙහෙයවන්න දේශපාලන නායකයන්ට හැකි වුණා. ඒත් අද එහෙම නෑ. අද එහෙම වෙලා තියෙන්නේ මාධ්‍ය ප්‍රසාරණය නිසයි. ප්‍රමිතියක් නැතිකම නිසා , වර්තමානය වනවිට, හොඳ දේ වගේම නරක දේත් එළියට එනවා. ඒ නිසා , සමාජය වෙනස් කරන්න, යම් මෙහෙවරක් කරන්න සාහිත්‍යවේදියාට, කලාකරුවාට පුළුවන්කමක් තිබුණත්, ඊට බාධාවක් තිබෙන බව අප තේරුම්ගත යුතුයි.

* සාහිත්‍ය පරිශීලනය කරන පාඨකයන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා ද?

පැහැදිලිවම. සාහිත්‍ය පරිශීලනය කරන පිරිසක් රටේ ඉන්නා බව, කොළඹ පොත් ප්‍රදර්ශනය සාර්ථක වීමෙන් පෙනෙනවා. ඒත් වෙනත් අරමුණු සඳහාත් එතැනට රොද බඳින පිරිසකුත් ඉන්නවා. අද බුද්ධ ධර්මය, දර්ශනය, මානව හිතවාදී ලේඛන වැඩියෙන් විකිණෙනවා. එයට හේතුව, සමාජයේ එක පැත්තක වැරැදි දේ සිදු වුණත්, ධනාත්මක දේ තාම අප අතැර ගිහින් නෑ.

* ‘මගේ අම්මා’ කෘතිය හරහා මෙරට සමාජය හමුවේ ඔබ තබන්නට උත්සාහ කරන්නේ මව් ගුණ සුවඳ ගැනයි. එහෙත් තම දරුවා මහ මඟ දමා යන අම්මාවරුන් පිළිබඳත් අද සමාජයෙන් අසන්නට ලැබෙනවා නේද?

“නානත්ථ කායා - නානත්ථ සංඥා”

කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක් එක් ශරීර, කර්මානුරූපව කුසල් අකුසල් ගෙවන්න මව හා පුතා වෙලා ඉපදෙන්න පුළුවන්. ඒවා ජාතක කතාවලත් තියෙනවා. මෙය බුද්ධ කාලෙටත් එකයි. අදටත් එකයි. ඒත් , අද ඒක විශේෂයෙන් සිදු වෙනවා. ඒකට හේතුව , සාහිත්‍ය රස වින්දනයක් නැති නිර්වින්දන පරපුරක් සිටීමයි.

සමාජ ජාලා , වෙබ් අඩවි, මුහුණු පොත වැනි නූතන තාක්ෂණයේ වැරැදි මඟ පෙන්වීම් හරහා අපේ සංස්කෘතික සෝදා පාළුව සිදු කරමින් සිටිනවා. ඒ හරහා බිහිවන අනාගත අම්මලා, තාත්තලා නෙමෙයි, දූ දරුවන් කොහොම වේවිද කියලා අප දන්නේ නෑ. චීන කියමනක් තියෙනවා ‘අඳුරට සාප කරමින් ඉන්නවට වඩා, එක ඉටි පහනක් හෝ දල්වන්න’ කියලා. අප කරන්නේ යම් විදිහකින් සමාජය සුවපත් කරන එබඳු වෑයමක්.

 

සංලාපය
අනුසාර මාහිංගොඩ
ඡායාරූපය-ශාන් රඹුක්වැල්ල


ප්‍රතික්ෂේප වීම කියන්නේ නැවත ආරම්භ කිරීමක්

$
0
0
ජන 17, 2018 01:00

බර්නිස් එල්. මැක්ෆැඩ්න්

සම්මානලාභී කර්තෘ බර්නිස් එල්. මැක්ෆැඩ්න්, ලෝකය පුරාම කතා බහට ලක්වුණ ග්‍රන්ථ කිහිපයක්ම නිර්මාණය කර තිබේ. ඒ අතරින් Sugar, The Warmest December, Gathering of Waters නම් කෘති විශේෂිත ය. මේ අතරින්, Gathering of Waters කෘතිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ “ කර්තෘගේ හොඳ ම තේරීම 2012 ” යටතට ද ඇතුළත් විය. මේ ලේඛිකාව සමඟ WritersDigest.com වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

* සම්මානයට පාත්‍ර වූ අවස්ථා ගැන ඔබට කියන්න පුළුවන්ද?

ඔබ වැඩියෙන්ම වටින සම්මානය වුණේ 2012 වසරේදී. ඒ, “The New York Times Editors’ Choice Books” නම් සම්මානයට හිමිකම් කීමට ලැබීමයි. ඊට අමතරව මම තුන් වතාවක් Hurston/Wright Legacy සම්මානයට පත් වුණා. ඒ වගේම මම ‘ඇමෙරිකානු පුස්තකාලවේදීන්ගේ සංගමය හරහා සම්මානයට පත්‍ර වුණා.

* ඔබ ගැන වගේ ම ඔබේ ආරම්භය ගැන විස්තර කරන්න පුළුවන්ද?

මගේ ගෙදර ජීවිතය ගොඩක් කැලඹිලි සහගතයි. මේ නිසා ම මම පුස්තකාලයේ බොහෝ කාලයක් ගත කළා. ඒක මට ආරක්ෂිත නිවහනක් වගේ දැනුණා. මම පොත් සහ මගේ ලිවීම් කටයුතුවලින් රැකවරණය ලබා ගත්ත කෙනෙක්. මට වයස අවුරුදු නවයේ ඉඳන් ම ලේඛිකාවක් විය යුතු බව දැන සිටියා. මම කුඩා අවදියේදී මගේ අම්මාගේ ජැකී කොලින්ස් පොත් සොරකම් කරලා, ඒවා අනුකරණය කරමින් නැවත ලියන්නට උත්සාහ කර තිබෙනවා. අම්මා ඒවා කියවන අතර භීතියට පත් වූ අවස්ථාත් තිබුණා.

*මේ දවස්වල ඔබගේ වැඩ කටයුතු සිදු වෙන්නේ කොහොමද?

මම මේ දවස්වල ජීවත් වෙන්නේ බෲක්ලින්වල. මේ දිනවල මම අලුතෙන් නවකතාවක් කරන්න කරුණු සොයනවා. ළඟදීම එහි වැඩකටයුතු ආරම්භ කරනවා.

* ඔබගේ අන්තිම නවකතාව මොකක්ද?

ද බුක් ඔෆ් හාලන් (The Book of Harlan)

* මුල්ම වරට ප්‍රකාශන නියෝජිතයකු සමඟ සම්බන්ධ වුණ ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද?

මට වයස අවුරුදු 25 ක් වෙද්දී මගේ පළමු නවකතාව කළා. එය “Suga” ලෙස නම් කෙරුණා. අවුරුදු දහයකට වැඩි කාලයක් අතරතුර, Suga විවිධ නියෝජිතයන් වෙත මා ඉදිරිපත් කළා. හැම එකකින් ම මා ප්‍රතික්ෂේප වුණා. මම ප්‍රතික්ෂේප ලිපි 25ක් ලැබුවා. ඒත් මම කිසි ම මොහොතක අතහරින්න හිතුවේ නෑ. ඒකට හේතුව මට ඕනෑ වුණේ, මම කැමැති වුණේ ලේඛනයට නිසයි. මම මගේ පළමු නියෝජිතයා වෙත පෙබරවාරි 9 වැනි දිනක තමයි විමසුම් ලිපියක් යැව්වේ. එදා තමයි Alice Walker ගේ උපන්දිනයත් තිබුණේ. එදා මට වාසනාවන්ත දිනයක් වුණා. මට නියෝජිතයෙක් ලැබුණු පසුව සති දෙකකට පසු මට පොත් දෙකක ගනුදෙනුවක් ලබා ගැනීමටත් හැකි වුණා.

* ඔබ රචනා කළ නව කතා අතරින්, ඔබ වැඩියෙන් ම ප්‍රිය කරන්නේ කුමන නිර්මාණයටද?

මම ඒවා සියල්ලටම වෙනස් වෙනස් ආකාරවලින් ආදරය කරනවා . මම එක පොතක් තෝර ගන්න ඕනේ නම්, “Suga”ගැන කියන්නම් . “The Warmest December” වලටත් මම බොහොම කැමැතියි. ඒකට හේතුව , ඒ කතාව මගින් මගේ පවුල ගැන කියවෙන නිසයි.

* ඔබගේ ලිවීමේ ක්‍රියාවලිය සිදුවන අකාරය ගැන පැහැදිලි කළොත්?

මම ලිවීම සහ පර්යේෂණය එක ම මොහොතේ සිදු කරනවා. මම මගේ උනන්දුව වැඩි වීම සඳහා බොහෝ දේ කියවනවා. ඒ අතරින් කවි නිර්මාණවලට මම බොහොම කැමැතියි. මම ඇවිදීමට බොහෝ කාලයක් ගන්නවා. මම ඇවිදින අතරතුරේ තමයි ලිවීමට අවශ්‍ය කරන බොහෝ කරුණු මනසට ඇතුළත් කර ගන්නේ. සමහර වෙලාවට මම ඇවිදලා නවතිද්දී, මම දන්නේ නෑ මම කොහෙටද ඇවිත් ඉන්නේ කියලා. මගේ නිර්මාණවල ප්‍රධාන සාධකය තමයි මගේ පර්යේෂණ සහ මගේ ඇවිදීම.

* සාමානයෙන් ඔබ නවකතාවක් අවසන් කියලා තීරණය කරන්නේ, දැන ගන්නේ කොහොමද?

මට ලිවීම කියලා දැනෙන්නේ විවිධ මිනිස්සු මා හමු වීමට මගේ නිවෙසට පැමිණෙනවා වගේ හැඟීමක්. මම ලියනවා කියා කරන්නේ, ඒ එන මිනිසුන්ගේ හඬ පටිගත කිරීමක්. කාලයක් ගත වෙද්දී මට දැනෙනවා මගේ නිවෙස දැන් පිරිලා කියලා. මම ඒ මොහොතෙ නවකතාවේ අවසානය විය යුතු යැයි තීරණය කරනවා. මෙය මටම ආවේණික සිද්ධියක් කිව්වොත් නිවැරැදියි.

* ඔබේ කතාවල ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන චරිතය කුමක්ද?

මට එක් චරිතයක් නැහැ. ඒත් , මම හැම කතාවකම පාහේ වැඩියෙන්ම ඇලුම් කරන්නේ ප්‍රධාන චරිතයට නෙමෙයි, එම චරිතය සම්බන්ධ වන දෙවැනි චරිතයටයි.

* නවක නවකතා නිර්මාණකරුවන්ට ඔබට දෙන්න පුළුවන් උපදේශය කුමක්ද?

මිනිසුන් සිතන්නේ ප්‍රතික්ෂේප කිරීම නරක දෙයක් බවයි. ප්‍රතික්ෂේප වීමක් , ජීවිතය නැවතත් ආරම්භ කිරීමක් විය හැකියි. එමඟින් කෙරෙන්නේ, ගින්නකට තවත් පෙට්‍රල් දැමීමක් හා සමාන දෙයක්. එය ඔබේ සිහිනය නම්, එය සැබෑ කර ගන්න.

යශෝදා ඉන්දීවරී

සමාජය විනිවිද දකින මනෝප්‍රතිධාන

$
0
0
ජන 17, 2018 01:00

 

කර්තෘ: එච්.එම්.කේ.බී.හේරත්
ප්‍රකාශනය:සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම

එච්.එම්.කේ.බී.හේරත් ලේඛකයාගේ ‘මනෝප්‍රනිධාන’ නම් කාව්‍ය සංග්‍රහය ඔහුගේ ප්‍රථම පද්‍ය කෘතියයි. මීට පෙර 'ගොවි ජන උදානය'නම් නවකථාව ද, කෘෂිකර්ම පුහුණු කටයුතු සඳහා අත් පොතක් ද ,ප්‍රකාශයට පත් කර ඇති මේ ලේඛකයා , මෙවර ඔහුගේ අලුත් අත්දැකීම් සම්භාරය කාව්‍ය සංකල්පනාවලින් හැඩ ගස්වා, කාව්‍ය සංග්‍රහයක් ලෙස එළි දක්වා තිබේ. මෙහි දී පද්‍ය රචනය සහ සාහිත්‍ය ධර්මතා පිළිබඳ මනා පරිචයක් ඇති කවියකු පරිදි කවි සංකල්පනා හැඩ ගස්වා ඇත.

නූතන යුගයේ විවිධ පද්‍ය කාව්‍ය අතර මේ කාව්‍ය සංග්‍රහය ජනතාවට ප්‍රයෝජනවත් වන පරිද්දෙන් නිර්මාණය කර තිබේ. විවිධ මාතෘකා යටතේ සපයා ඇති පද්‍ය රචනා සතළිස් දෙකකින් සමන්විත වන මේ කාව්‍ය සංග්‍රහය, සඳැස් සහ නිසදැස් පද්‍ය රචනාවලින් යුක්ත ය. කාව්‍ය ආකෘතිය කවි සංකල්පනා අර්ථවත් ආකාරයට ඉදිරිපත් කිරීමේ දි බාධකයක් නො වන බව පෙන්වමින් සඳැස් සහ නිසදැස් ආකෘති මිශ්‍ර කරමින් ලියූ පද්‍ය රචනා ද මෙහි දක්නට ලැබේ.

කවියා තෝරාගෙන ඇති වස්තු විෂය ගත් විට, දළ වශයෙන් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන විෂමතා මාතෘකා කොට ගත් පද්‍ය රචනා විස්සක් ද, ජීවිතයේ ස්වභාවය දැක්වෙන රචනා දහයක් ද, ළමා ලෝකය, බුදු ගුණ, මව් පිය ගුණ ආදිය සම්බන්ධ තවත් පද්‍ය රචනා දොළසක් ද ඇතුළත් වන සේ මේ කාව්‍ය සංග්‍රහය සකස් කර තිබේ.

මේවා අතරින් වර්තමාන සමාජය වස්තු විෂය කොට ගත් පද්‍ය රචනාවලට, පැරැණි සමාජ රටාවේ බිඳ වැටීම, වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අපරාධ රැල්ල, ආර්ථිකයේ බිඳ වැටීම, පරිපාලන දුර්වලතා, දිළිඳු බව හා ඉන් අත මිදීමට ජනතාව දරන ප්‍රයත්නය ආදිය මාතෘකා වී තිබේ.

ජීවිතයේ ස්වභාවය දැක්වෙන පද්‍ය රචනාවලට සමාජයේ ගුණ ධර්ම වියැකී යෑම නිසා මිනිසුන් කෙරෙහි දක්නට ලැබෙන කලකිරීම, උදාසීනත්වය, බලාපොරොත්තු බිඳ වැටීම, ජීවිතයේ අසාර්ථකත්වය, අසරණ භාවය, මිනිසුන්ගේ ව්‍යාජත්වය, බුදු දහමින් සැනසුමක් අත් කරගත හැකි ආකාරය ආදි කරුණු මාතෘකා වී තිබේ.

ළමා ලෝකය චිත්‍රණය කරන අවස්ථාවේ දී, අනාගත දරුවන් සඳහා නිර්මාණය වන ලෝකයේ ඇති භයානකත්වය, එහි දී දරුවන්ට අත් විය හැකි දුක්මුසු ඉරණම ආදිය ද බුදු ගුණ විවරණය කෙරෙන අවස්ථාවල දී වර්තමාන මනුෂ්‍යයාට බුදු දහමින් සැනසීමක් අත් කරගත හැකි ආකාරය ද ආදි වශයෙන් මාතෘකා යොදාගෙන අලුත් ම කාව්‍ය සංකල්පනාවලින් පද්‍ය රචනා නිර්මාණය කර තිබේ. මේවා හුදෙක් කියවා පසෙක තැබිය යුතු පද්‍ය රචනා වශයෙන් නොව, පාඨකයාට යමක් කල්පනාවට ගත හැකි කරුණුවලින් පෝෂණය වී තිබීම වැදගත් ලක්ෂණයකි. කවියා ප්‍රකාශ කරන දේ පිළිබඳ පාඨකයාට කල්පනා කිරීමට යමක් ඉතිරි වී ඇති අතර, ඒවායින් සමාජ යථාර්ථය (සත්‍යය) පැහැදිලි කෙරෙයි. ජීවිතයට යම් අරුතක් එකතු කර ගැනීමට ද එමඟින් අවස්ථාව සැලසී තිබේ.

වර්තමාන සමාජය ගැන ලියැවෙන පද්‍ය රචනාවල දී මිනිසුන්ගේ හැසිරීම් රටාවලට ඇති ව්‍යාජත්වය, පරිපාලකයන්ගේ වංචාකාරි ගුප්ත ස්වභාවය, සමාජයේ ගුණ ධර්ම පිරිහී යෑම නිසා අනාගත දරු පරපුරට අත්වීමට යන අවාසනාවන්ත කල දසාව,කවියාගේ සියුම් උපහාසයට ලක් වී ඇති ආකාරය සිත් ඇද ගන්නා සුළු ය. “විලේ පියුමන් පිපී ගිය දා කෙරෙති එහි බුහුමන් විලේ මැඩියන් පිරී ගියදා කෙරෙති එහි අවමන්”, “අට්ටික්කා මල් (කවුන්සිලේ සංවාද)”, “දෙවියෝ පලා යති” වැනි මාතෘකාවලින් ම ඒ සියුම් උපහාසය ගම්‍යමාන වේ. දෙවියන් ඉදිරියට යන බැතිමතුන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේ ඉටු කිරීමට නො හැකි නිසා, දෙවියන්ටත් දේවාලයෙන් පලා යෑමට සිදු වී ඇති බව කවියා කියන්නේ, මිනිසුන්ගේ මානසික පරිහානිය මනා ව පිළිබිඹු කරමිනි. මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ප්‍රාර්ථනා දෙවියන් ඉදිරියේ තබන මිනිසුන් පිළිබඳ එහි දී ඇති වන්නේ ජුගුප්සාජනක හැඟීමකි. බුදු සිරිත ද කිසියම් ප්‍රමාණයකට සම්බන්ධ කරගෙන රචනා කර ඇති “අට්ටික්කා මල්(කවුන්සිලේ සංවාද)” නම් කවි පෙළ සකසා ඇත්තේ, දියවන්නාවෙන් වත් එතර වීමට නො හැකි ව ජනතාවට වැදි බණ දෙසන පරිපාලකයන්, ජීවත් වන සමාජය ව්‍යාජත්ය, දුෂ්ටත්වය, අකාරුණිකත්වය ආදි අමානුෂික අදහස්වලින් පිරී ඉතිරී ගොස් ඇති බව පෙන්වා දීමට ය.

ජීවන අරගලයට මුහුණ දී සිටින ජනතාව විඳින දුක් ගැහැට සිතට කා වදින ආකාරයට ඉදිරිපත් කොට ඇති “පැතුවේ යොමා සැපදුක් දෙක මතු මත්තේ - මේ බවේ තමා දුක සැප යන දෙක ඇත්තේ” නම් කවි පෙළ වර්තමාන සමාජයට වැදගත් ආදර්ශයක් ලබා දෙන්නකි. වසර පහක් යන තුරු නැවත ආපසු නො එන බව දැනුම් දෙමින් සැමියකු වෙත බිරියක එවනු ලැබෙන ලිපියක් ගැන කවියා ප්‍රකාශ කරන්නේ, බිරිය නැති සැමියාටත් වඩා දරුවන් තිදෙනාට විඳින්නට සිදු වන දුක් ගැහැට ගැන අවධානය යොමු කරවමිනි. කවි පෙළ අවසාන වන විට දරුවන්ගේ අනාගතය පිළිබඳ පාඨකයාට ද දුක් සුසුම් හෙළීමට සිදු වෙයි. මෙවැනි අවස්ථාවල දී කවියා සමාජයෙන් උගත් පාඩම් සමාජයට ම ආපසු ලබා දෙන්නේ, ස්වකීය අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමිනි.

මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය ගැන ලියැවෙන පද්‍ය පන්තිවල දී, වර්තමාන සමාජයට ඉතා වැදගත් වන කරුණු රාශියක් කවි සංකල්පනාවලින් හැඩ ගස්වා ප්‍රකාශයට පත් කර තිබේ. බොහෝ මිනිසුන්ගේ අපේක්ෂාව නම්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල් ආදි උපභෝග සැප සම්පත්වලින් ආඪ්‍යව, මෙලොව ජීවිත ගත කිරීමට ය. ඒවා ලබා ගැනීමට ඔවුන්ගේ මුළු ජීවිත කාලයම යොදවයි. කොතෙක් සැප සම්පත් එකතු කළත්, ජීවිතයේ අවසන් මොහොතේ දී සිදු වන්නේ කුමක් ද යන්න ඔවුනට කල්පනා කළ නො හැකි ය. වයස්ගතව හෝ අකාලයේ අබල දුබලකමක් නිසා ‍‍හෝ එක් තැන් වී ජීවත් වීමට සිදු වුවහොත්, මිනිසකුට මුහුණ පෑමට සිදු වන දුක්බර ස්වභාවය ගැන අවධානය යොමු කරමින්, ජීවිත පිළිබඳ කෙරෙන අර්ථකථනය ඉතා ම සරුසාර හැඟීම්වලින් පෝෂණය වී තිබේ. ‘මහල්ලෙකුගේ අවුරුද්ද’, ‘මනෝතරංග’, ‘යෂ්ටි පරමා සබා’ (සැරයටිය පරම මිතුරා ය.) ‘වැඩි හිටි නිවාසය’, ‘තිළිණයකි’, ‘විලේ පියුමන් පිපී ගිය දා...’, ‘ඇතුගල බුදුරුව’, ‘ජීවිතය කියන්නේ මරණයේ මාවත යි’, ‘මරණය සුන්දර යි’, ‘කායගතා සතිය’, ‘සුසංයත සංවාදය’ ආදි පද්‍ය රචනා රාශියක් මේ ගණයට ඇතුළත් කළ හැකි ය.

එච්.එම්.කේ. බී. හේරත් කවියා විවිධ මාතෘකා යටතේ සපයා ඇති පද්‍ය පන්ති සමූහය, නූතන කවියන්ට කාව්‍ය රචනා සඳහා වස්තු විෂය, කාව්‍ය ආකෘතිය හා කාව්‍ය භාෂාව කවර ආකාරයකින් භාවිතයට ගත යුතු ද යන්න වටහා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙයි. වර්තමාන සමාජ අත්දැකීම් කවි බසට නැගීමේ දී, සෞන්දර්යයෙහි පමණක් නො රැඳී, සුගතිගාමී ක්‍රියා මාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර, පද්‍ය රචනා කළ යුතු බව අවබෝධ කර දෙන බැවින්, අරමුණ, අන්තර්ගතය ආදිය සකස් කර ගැනීම සඳහා ද මේ කාව්‍ය සංග්‍රහය නූතන කවියනට ප්‍රයෝජනවත් වෙයි.

 

පී.බී.ඒකනායක
සේවා සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

නදීකාට මොනර බිත්තර කොයින් ද?

$
0
0
ජන 17, 2018 01:00
රන්ජන් අමරරත්න

නදීකා බණ්‍ඩාරගේ දෙවැනි ප්‍රබන්ධ කතාව වන 'මොනර බිත්තර'කෘතිය විෂය ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ විග්‍රහයට ලක්කළ හැකි බව පෙනෙයි. එක; ඇය විසින් භාවිත කරන නිදහස් ආඛ්‍යාන රටාව වන්නේ ය. එය සිංහල නවකතාවට අලුත් විලාසයක් එකතු කරයි. දෙක; සිංහල ස්ත්‍රීවාදී ලේඛනය වන්නේ ය. සිංහල ස්ත්‍රීවාදී ලේඛනයේ අලුත් ඉසව්වක් ද ඇය විසින් මතු කරනු ලැබේ. කෘතියට සංගෘහිත කර ඇති කේ. කේ. සමන් කුමාරගේ (සර්පයා) දීර්ඝ විවරණයෙන් ස්ත්‍රීවාදී ලේඛනයේ න්‍යාය හා භාවිතය ද; ඒ තුළ නදීකාගේ ලියැවිල්ලට හිමි වන ආස්ථානය ද විග්‍රහ කර තිබේ. එබැවින් අපගේ වැඩි අවධානය යොමු වන්නේ, කතුවරියගේ ආඛ්‍යාන රටාව කෙරෙහි ය.

කතාවෙන් මතු කරන්නේ, අපේ සමාජ ක්‍රියාකාරකම් තුළ ස්ත්‍රිය දරන පීඩනය හා වේදනාව යි. ඒ වේදනාව වරෙක ප්‍රතිරෝධයක් කරා ද, වරෙක වෛරයක් කරා ද ගමන් කරයි. කතානායිකාව සිය ආදරවන්තයා, පියා, මව හා දරුවා යන සංකේත සමඟ කරන සංවාදවලින් ඒ බව සනාථ වේ. ඇතැම් සංවාදයක මුළුමනින් ම පරිකල්පිත ය. ඇතැම් සංවාදයක් මුළුමනින්ම ස්වභාවික ය. මේ සංවාද මතු කිරීමේ දී අතීතය, වර්තමානය හා අනාගතය රේඛාවලින් වෙන් කරන්නේ නැත. කතාව එක ම දෘෂ්ටිකෝණයක් තුළ සිරගත කරන්නේ ද නැත. උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ දෘෂ්ටි‍ කෝණ මත ද, රංග කෝණ දෂ්ටිය මත ද කතාව රඟ දැක්වෙයි.

නවකතාව ආරම්භ වන්නේ පැරැණි ලන්දේසි රෝහලේ රාත්‍රියක සැමරුම් අවස්ථාවක් වෙතින් ය. අද එය රෝහලක් නොවේ. රෝහලක් හෝටලයක් බවට පරිවර්තනය වී ඇත. කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ සිද්ධිය, නදීකා බංඩාරගේ සැලැකිල්ලට ලක් වන්නේ පරම්පරාවක වෙනසක් හැටියට ය. නවකතාවක ආරම්භය හා ඊට අදාළ පසුබිම ඉතා වැදගත් ය. එය පාඨකයා මුළුමනින් ම ග්‍රහණයට ගෙන, විස්මයට පත් කරන සිදුවීම්වලින් සමන්විත කිරීමට නදීකා සමත් වෙයි.

'හෝටලයේ පිටත කොරිඩෝවේ සුදු තරුණියක හා තරුණයකු වයින් තොලගානවා. තරුණිය වරින්වර තරුණයාගේ දෑත් ඇගේ දෙතොල්වලින් සිපගන්නවා. ඈ ඔහුගේ පෙම්වතා හෝ සැමියා හෝ වෙනත් ඕනෑම කෙනකු හෝ වෙන්ඩැති. ඈ ඇඳලා ඉන්නෙ ජිප්සි කොලරයකින් යුක්ත මිනි ගවුමක්.'

(පිටුව - 07)

නදීකා බංඩාර සිය චරිත නිරූපණයේදී එම චරිත හුවා දක්වන ආකාරය සිත්ගන්නාසුලු ය. චරිත නිරූපණයේදී බටහිර නවකතාව අනුදක්වන විශේෂ ලක්ෂණ හයක් තිබේ.

(I) චරිතය පිළිබඳ කෙටි විස්තරය.

(හඳුන්වාදීම)

(II) චරිතය නිශ්චය කළ හැකි විස්තර ය.

(III) විශේෂ ශාරීරික ලක්ෂණ හා ඇඳුම්

(IV) චරිතයක හැසිරීම් හා ක්‍රියාකාරකම්

(V) චරිතවල සංවාද (ඔවුන්ගේ ප්‍රශ්න හා

උත්තර)

(VI) චරිතවල මානසික ක්‍රියාකාරීත්වය හා

සිහින

නදීකාගේ කෙටි වාක්‍ය සහිත නිරූපණවලින් චරිතයක බාහිර පෙනුම මෙන් ම ඇතුළාන්තය ද එනම්; චරිතවල සිතුම් - පැතුම් හා හැඟිම් ද යම් පමණකින් වටහාගත හැකි ය. සාර්ථක චරිත නිරූපණය පාඨකයාට හොඳින් දැනෙයි. පාඨක ආකර්ෂණය ‍රඳවා ගනියි. මෙහි එන කතා නායිකාවට නමක් නැත. එහෙත් ඇය අපගේ මුළුමහත් අවධානය දිනාගන්නේ විශ්වාසයක් ද සමඟ ය.

නදීකා බංඩාරගේ ආඛ්‍යානයෙහි ඇති අමුත්ත ශිල්පීය ලක්ෂණ කිහිපයක් ඔස්සේ විමසුමට ලක් කළ හැකි ය.

(I) නිරූපණ

(II) භාෂාවේ උත්ප්‍රාසය

(III) පාඨකයාගේ පරිකල්පනයට ඉඩදීම

(IV) මැවීම හා සංකේත භාවිතය

චරිත හා අවස්ථා නිරූපණයේදී වරෙක වේදිකා රංගයක විලාසය පවතී. තව වරෙක චිත්‍රපට තිරනාටකයක විලාසය පවතී. කතුවරිය සිය කතාවේ සිදුවීම් ඔස්සේ මැවෙන රූපාවලියක් කෙරෙහි විශ්වාසය තබාගෙන ඇති බවක් පෙනෙයි. ගැහැනියගේ උමතුභාවය, ලිංගිකත්වය හා වේදනාව නිරූපණයේදී කතුවරිය වඩාත් නිදහස් ය. වඩාත් හැඟුම්බර ය.

'මට දරුවො එපා. දැන් මම මොකක්ද කරන්නෙ? මට බැහැ. මට ඕන වුණේ දැරියගේ හැඟීම්වලින් ගැලවෙන්න. ඈ දැනගෙන හිටියා. ඈ පුංචියි'

(පිටුව - 51)

නදීකා භාෂා භාවිතයේදී උත්ප්‍රාසය උපාය මාර්ගයක් ලෙස යොදා ගනී. එය නවකතාවේ මෙන් ම නූතන පත්‍රකලාවේ ද එක් විලාසයක් ලෙස පවතී.

'විශේෂයෙන් ශෝකී වූ විට ඈ හැසිරෙන්නේ කෝප වූවකු ලෙස නිසා, ඒක තවත් අමාරුයි. ඈ ළඟින් ම ඇසුරු කළ අය ඇගේ මෙම ගතිය දැන සිටියා. ඈ වඩා කෝපයෙන් නම් ඒ ඈ වඩා ශෝකයෙන්. මක්නිසාදයත්; තමා ශෝකයෙන් බව කිසිවකු දැනගන්නවාට ඈ කැමැති වූයේ නෑ'

(පිටුව - 24)

'ආදරණීය දෙවියන් වහන්ස, අපි ඉන්නෙ රජවරු වගේ. ඒකට අපි කඹුරනවා හැම මොහොතේම'

(පිටුව - 48)

කතුවරිය සිය භාෂා ප්‍රයෝග ඔස්සේ බොහෝ තැන්වලට ද, බොහෝ චරිතවලට ද විවේචන එල්ල කරන බවක් පෙනෙයි. එය පාඨකයාගේ බුද්ධියට තට්ටු කිරීමක් ලෙස සැලැකිය හැකි ය. අරුන්දතී රෝයි ද සිය ප්‍රබන්ධ කතා දෙකෙන් ම මේ කාරිය ඉටු කරන බව කිව හැකි ය.

නූතන නවකතාවේ තවත් එක් විලාසයක් වන්නේ, පාඨකයාගේ චින්තන ලෝකය කෙරෙහි අවධානය යොමු කිරීම ය. පාඨකයාට විනිශ්චය කිරීම සඳහා යමක් ඉතිරි කිරීම හා ඔහුගේ පරිකල්පන ලෝකය අවදිකිරීම මේ මඟින් සිදුවේ. නදීකා බණ්ඩාර සිය කතා නායිකාව නාමකරණයකට ලක් කර ඇත්තේ ද පාඨකයාගේ පරිකල්පනයට ඉඩ දෙමින් යැයි සිතන්නට පුළුවන. එකිනෙක නම්වලට ද අනන්‍ය හැඟීම් හා හැඩතල තිබෙන්නට පුළුවන. ඊට අනුව පාඨකයා ප්‍රධාන චරිතය නම් කර ගනු ඇත. එයත් හොඳ උපාය මාර්ගයකි.

නදීකා බංඩාර සිය ආඛ්‍යානයේදී මැවීමට හා සංකේත භාවිතයට වැඩි නැඹුරුවක් දක්වා ඇත. දේවල් හා හැඟීම් මැවීම සඳහා ප්‍රබන්ධ කථාවේ පරණ විලාස මෙන් ම, අලුත් විලාස ද භාවිත කරයි. වරෙක ඇය විඥානධාරා සංකල්පයට සමීප වෙයි. තව වරෙක ඉන්ද්‍රජාලික සංකල්පයට සමීප වෙයි. මේ ශෛලීන් සුසංයෝග කිරීමේදී කතුවරියට පැටලෙන අවස්ථා ද තිබේ. කොහොමටත් මේ කතුවරිය සිය කතාවේ ගැළපීම් ගැන මීට වඩා පරෙස්සම් සහගත වූයේ නම් වටී.

වඩාත් වැදගත් වන්නේ, නදීකාගේ ප්‍රකාශනයෙහි අර්ථ සමුදාය යැයි කියන්නට පුළුවන . මීට දින කිහිපයකට පෙර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්යවරයකු විසින් සමීක්ෂණ වාර්තාවක් එළිදක්වන ලදී. එම සමීක්ෂණ වාර්තාවෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් බලපවත්වන ගෘහස්ථ හිංසනය කදිමට විස්තර කර තිබිණි. ජංගම දුරකථන, ෆේස්බුක් ආදී නූතන සන්නිවේදන භාවිතයන් නිසා කාන්තාවන්ගෙන් 26%ක් හිංසනයට ලක්වන බව සමීක්ෂණය පෙන්වා දෙයි. ‘මිස් කෝල්’ නිසා ද පවුල් ආරවුල් ඇතිවී තිබේ. මෙහිලා ගැටුමට මුල් වන ප්‍රධාන සාධකය වන්නේ පුරුෂ පාර්ශ්වය තුළ හටගන්නා සැකය බව සඳහන් වේ. සැකය එක අතෙකින් කාම ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලයක් හැටියට සැලැකිය හැකි ය.

පුරුෂ පක්ෂය ගැන බලනවිට පහරදීම්වලට පෙලඹෙන හේතු ලෙස දක්වා ඇත්තේ, මත්පැන් භාවිතය, මුදල් පිළිබඳ ගැටලු හා අසහනයයි. සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් 63%ක් 117 ක් පාරකට වඩා පුරුෂයාගේ පහරකෑමට ලක් වී ඇත. ගැටලුවෙහි භයානක තත්ත්වය එයින් පැහැදිලි වේ. පහරකෑමට ලක්වන ස්ත්‍රීන්ගෙන් වැඩි දෙනකුගේ හිස හා මුහුණ දරුණු ලෙස අනතුරට ලක් වී ඇත. ඇතැම් පුරුෂයෝ කොසු මිටෙන් හා දොර පොලුවලින් පහර දෙති. තවත් පුරුෂයෝ බලහත්කාර ලිංගික හැසිරීම්වල නිරත වෙති. නදීකාගේ නවකතාවෙන් මේ ඛේදවාචකයේ වෙනත් පැතිකඩක් සාකච්ඡා වෙයි. ස්ත්‍රිය ලිංගිකත්වය කෙරෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? දරුවන් ලැබීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? පුරුෂයා ලිංගිකත්වය කෙරෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? පුරුෂයා දරුවන් ලැබීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ‍මේවා අඩු වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට නදීකා උත්සාහ දරයි. ඒ අතින් බලන විට ප්‍රබල සමාජ සංවාදයකට අවශ්‍ය බීජ මෙහි පවතී.

මොනර බිත්තර ප්‍රබන්ධයේ කතා නායිකාවගේ ජීවිතය දෙස එබී බැලුවහොත්, ලිංගිකත්වය, පවුල ආදරය, දරුවන් හා අපේ සම්ප්‍රදාය පිළිබඳ බොහෝ දේ වටහා ගත හැකි ය. අපේ සම්ප්‍රදාය තුළ ලිංගිකත්වය විමර්ශනයට ලක් වන්නේ නැත. එය රීතිවලින් බැඳ පසෙකට තල්ලු කර තබා ඇත. ප්‍රශ්න කිරීම් නැත. විශේෂයෙන් ස්ත්‍රියට ඒ ගැන ප්‍රශ්න කිරීම තහනම් ය. නදීකා ඊට තදබල ලෙස විරෝධය දක්වන බවක් පෙනෙන්නට තිබේ. අපේ උසාවි තුළ දිනකට දික්කසාද නඩු විශාල ප්‍රමාණයක් විභාග වෙයි. ඒවායින් මතුවන ඇතැම් සාධක සමාජය වෙත වාර්තා වන්නේ අඩුවෙන් ය. බොහෝමයක් දික්කසාද නඩුවලට ලිංගික ප්‍රශ්න සම්බන්ධ වී තිබේ. එහෙත් ඒවා නඩුමඟට එන්නේ වෙනත් ප්‍රශ්න හරහා ය. එයින් ද පෙනී යන්නේ ලිංගික කරුණු පිළිබඳ සාකච්ඡාවකට අපේ සමාජය සූදානම් නැති බව ය.

නදීකාගේ මුල් නවකතාව මෙන් ම දෙවැනි නව කතාව ද, ජීවිතය හා ලිංගිකත්වය ගැන නිදහස්ව කතා කරයි. ඇය ඒ අතින් පමණක් නොව, නවකතාවේ ශිල්පීය අංග භාවිතය සම්බන්ධයෙන් වුව රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. නොබියව හා නොවහල්ව ලේඛනයේ යෙදෙන පිරිසක් අද අපට වුවමනා කර තිබේ. ඒ අඩුව පිරවීමට තවත් නදීකලා අවශ්‍ය වේ.

 

 

කුජ ශනි ට බය ද?

$
0
0
ජන 17, 2018 01:00

තරුණියකගේ කේන්දරයේ කුජ හා ශනි යන ග්‍රහයන් දෙදෙනා එකම කොටුවක සටහන්ව තිබුණොත් බොහෝ ජ්‍යෝතිෂවේදීන් කියා සි‍ටින්නේ “විවාහය නරකය කියාය. එහෙත් මෙය මිථ්‍යාවකි.කුජ-ශනි යෝගයට බිය විය යුතු නැත.මෙය කණවැන්දුම් යෝගයක්ද නොවේ‍.

කේන්ද්‍රයේ කුමන හෝ භාවයකු කුජ හා ශනි එක්ව සිටීමෙන් කුජගෙන් සත් වැන්නේ ශනි තැන්පත් වීමෙන්, කුජගෙන් 4 වැන්නේ ශනි තැන්පත් ව සිටී නම් එය කලත්‍ර නාශක යෝගයක් සේ සැලකී, එම පිහිටීම පවතින කේන්ද්‍ර හිමියකු සමඟම විවාහ වීමට උපදෙස් දීම සුලභ දෙයක් බවට පත්ව ඇත.

කුජ හා ශනි එක්ව සිටීම රාජ යෝගයක් බව ගර්ග හර්ෂීන් පවසා ඇත. ගර්ග සෘෂි නියමය ඉසිකර ලිත් කතෘ ඩබ්.ඒ‍ ඩී.ඒ.වික්‍රමසිංහ මහතා සිය කෘතිවලින් එළිදක්වා ඇත.

කුජ ශනි එක්ව සිටි කේන්ද්‍රයේ දෙවැන්න, තෙවැන්න, සයවැන්න, නවවැන්න හා දසවැන්න, එකොළොස්වැන්න භාවවලදී රාජ යෝගයකි. මෙම භාවයන්හි තැන්පත් කුජ, ශනි ජන්මියාට ශාරීරික, මානසික ප්‍රීතීය, නිර්භීත බව, සත්‍යවාදී බව ඇති කරන බැවිනි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ගර්ග මහර්ෂීන් කිසිදු භාවයක තැන්පත් කුජ, ශනි නිසා විවාහ සහකරුට විපත් පැමි‍ණෙන බව සඳහන් කර නොතිබීමයි. භාව දොළොසේ කුජ, ශනි තැන්පත් වීමේ ප්‍රථීපල ලිපිය අවසානයේ සඳහන් වේ.

ස්ත්‍රී කේන්ද්‍රයක සත්වැන්නේ, අට වැන්නේ කුජ, ශනි රාහු, රවි යන ග්‍රහයින් තැන්පත් වීම පුරුෂ මර යෝගයක් බව භාව කුතුහලය ලඝු ජාතකය, ජ්‍යෝතිෂ සාර යනාදී ග්‍රන්ථයන් අපට පෙන්වා දේ. මේ පිහිටීම ලග්නයෙහි හා සඳුගෙන් පරීක්ෂා කළ යුතුවේ.

ස්ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක ලග්නය, සතර, සත, අට දොළොස යන තැනක කුජ සිටීම පුරුෂ මර යෝගයක් වන අතර පුරුෂ කේන්දරයක වේ නම් ස්ත්‍රී මර යෝගයක් බවද කේන්ද්‍ර දෙකෙහි මෙම පිහිටීම වේ නම් දෝෂ භංග වන බව ද කියැවේ.

කුජගෙන් වන දෝෂ ශනි සිටීමෙන් ද දෝෂ භංගවන බව කියවෙන අතර අනෙක් පාපීන් රවි, රාහු, ශනි, කුජ ද එම දෝෂය වළකන බව කියයි.

අද කුජ දෝෂය අහෝසි වන ක්‍රම පිළිබඳව බොහෝ දුරට සැලකිල්ලක් ‍දක්වයි. විශේෂයෙන්ම උච්ච ස්වක්ෂේත්‍ර, නීච කුජගෙන් හෝ ගුරුගේ දෘෂ්ඨියට යොමුවන කුජගේ දෝෂය නොසැලකේ.

එහෙත් කුජට, ශනි එක් වූ පසු මෙම ග්‍රහයින් දෙදෙනාගේ දෝෂය අනෙක් කේන්ද්‍රයේ ද කුජ හා ශනි එක්ව සිටීමෙන්ම හැර වෙනත් අයුරකින් දෝෂ භංග නොවන බව නූතන ග්‍රන්ථවලින් පෙන්වා දෙයි.

කුජ සත් වැන්නේ තැන්පත්වීම ගැන අධ්‍යයනය කරමු. කුජ සය වැන්නේ කාරක ග්‍රහයා වේ. සය වැන්න බ්‍රහ්මචර්යාව නිවේදනය කරයි. කුජගේ මරණකාරක ස්ථානයද සත්වැන්නයි. මේ අනුව සත් වැන්නේ තැන්පත් කුජට සත් වැන්නේ කාර්යයන් ඉෂ්ඨ කළ නොහැක. මෙහිදී ගුරු, බුධ දකී නම් කුජගේ දෝෂය අහෝසි වේ.

විශේෂයෙන්ම උච්ච, ස්වකේෂ්ත්‍ර කුජ තමන් තැන්පත් භාවයේ කරුණු වර්ධනය කරයි. කුජ හා ශනි සංයෝගය කේන්ද්‍රයේ කුමන භාවයක වුව ද දෝෂ සහිත බව හෝ පුරුෂ මර යෝගයක් බව පවසයි. එහෙත් ඒ සඳහා කිසිදු හේතුවක්, අදහස් දැක්වීමක්, ඉදිරිපත් නොකරයි.

කුජ, ශනි ලග්නයේ නම් සත්වැන්න දකින අතර දෙවැන්න ද විවාහය ගැන කියැවෙන ස්ථානයකි. එහෙත් ශනි, කුජ තෙවැන්නට හෝ පස්වැන්න‍ට, සය වැන්නට, නවවැන්නට, එකොළොස්වැන්නට‍, දෝෂ ගෙන දෙන ආකාරය පැහැදිලි නොකරයි.

සම්භාව්‍ය ජ්‍යෝතිෂ පොත ගතෙහි සඳහන් නොවන මෙම ජ්‍යෝතිෂ නීති රීති අකුරටම පිළිපදිමින්, පොරොන්දම් පරීක්ෂා කරන ජ්‍යෝතිෂවේදීන් විවාහ වීමට හැකියාව ඇති තරුණ තරුණියන්ගේ පෙම් සබඳතා බිඳ දමමින් තරුණ පරපුරට කරනුයේ බලවත් වරදකි.

සය වැන්න අධිපති සත් වැන්නේ වීම, සත්වැන්න අධිපති සය වැන්නේ හෝ අට වැන්නේ වීම, අටවැන්න අධිපති සත්වැන්නේ වීම, විවාහ දෝෂ වුව ද අවිවාහක දෝෂ නො‍වේ.

ඉදිරිපත් කළ විවාහය අහිමි වනුයේ සැබෑ ප්‍රවෘජ්‍යා යෝග පවතී නම් පමණි.

විශේෂයෙන්ම කේන්ද්‍රයක පවතින අනෙක් දෝෂ බලවත් වූ ගුරුගේ දැකීමෙන් අහෝසි වන බව කියයි.

විවාහ ප්‍රදීපිකා කතුවරයා රවි, කුජ, ශනි, රාහු , කේතු, යන පාපග්‍රහයින් ලග්නය, දෙවැන්න, සතර වැන්න, සත්වැන්න, අට වැන්න හා දොළොස්වැන්නට පැමිණීම වෛධව්‍ය දෝෂ බව දක්වයි. කේන්ද්‍රස්ථානවල බලවත් ශුභයින් තැන්පත්වීම, තෙවැන්න, සය වැන්න හා එකොළොස්වැන‍්නේ බලවත් පාපින් තැන්පත් වීමත්, අශුභ ස්ථානගතව වෛධව්‍ය දෝෂ ගෙන එන ග්‍රහයා ගුරුගේ දාෂ්ටියට යොමු වීමත් සියලු දෝෂ දුරලන බවයි.

විවාහ පරීක්ෂ‍ා පොත ද ඉහත අදහසම ඉදිරිපත් කරන අතර විවාහ පරීක්ෂා, විවාහ ප්‍රදීපිකා හෝ ‍දෛවඥ කාමධේනු, රාමකටක, මුහුර්ථ චින්තාමනී යන සම්භාව්‍ය ග්‍රන්ථයන්හි කුජ හා ශනි එක්ව සිටීමේ විශේෂ දෝෂයක් පෙන්වා නැත.

විශේෂයෙන්ම කේන්ද්‍ර ත්‍රිකෝණ ආධිපත්‍ය ලැබූ කුජ, ශනි එක්වීමෙන් පවා වෛධව්‍ය යෝග යෙදිය හැකි ද යන කරුණු ගැන විමසිලිමත් විය යුතුය. මෙම කුජ, ශනි එක්ව සිටින අනෙක් කේන්ද්‍රයේ කිසිදු ආකාරයකින් කුජ, ශනි සබඳතාවය නැති ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන පිරිස් ඕන තරම් සිටිති.

දෙවන ඉතා වැදගත් කරුණ වනුයේ කුජ, ශනි එක්ව සිටින එහෙත් ගුරුගේ දැකීමෙන් උපචය රාශීන්හි තැන්පත්වීමෙන්, නවාම්ශ පහකට වඩා දුර වීමෙන් දෝෂය නොමැති කේන්ද්‍ර හිමියන් මෙම දෝෂය නිවැරදිව යෙදී ඇති අයකු හා විවාහ වුවහොත් සැබැවින්ම ඔවුන්ට විපතක් වීමේ, විවාහය බිඳ වැටීමේ දෝෂයක් ඇතිවනු ඇත.

උප පදයෙන් දෙවැන්න පීඩා වීමෙන්, ප්‍රථම සබඳතාවය බිඳ වැටෙන , විවාහය අසාර්ථක වන පිහිටීම සම්භාව්‍ය ග්‍රන්ථ ඇසුරින් අධ්‍යයනය කරන ජ්‍යෝතිර්වේදීන් බිහිකිරීම ජ්‍යෝතිෂ උගතුන් සතු වගකීමකි.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී‍
කිරින්දේ ඩී.ඒ. වික්‍රමසිංහ

රේඛා

$
0
0
ජන 17, 2018 01:00

ඔබට සහකරුවකු හෝ සහකාරියක ලැබේද? නොලැබේද? ලැබුණත් යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැකිද? අතරමඟදි පවුල් ජීවිතය කඩා වැටේද? නැතහොත් වෙනත් මොනයම් හෝ කාරණයක් සිදුවේද යන වග තමාගේ අත්ලෙහි පවතින්නාවූ රේඛා සලකුණු ආදියෙන් තීරණය කරගත හැකිවේ. සුළැඟිල්ලට යටින් පිහිටා ඇති විවාහ රේඛාව සුළැඟිල්ලට වඩාත් කිට්ටුව පිහිටා තිබේද එම තැනැත්තා තම සහකාරිය තෝරා ගනු ලබන්නේ ආදරයට වඩා දේපල ධනය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එනම් සහකාරිය තමාට නොගැළපෙන අයකු වුවත් දැවෑද්ද බලාගෙන විවාහයට පත්වේ. විවාහ රේඛාවන් කිහිපයක් පිහිටා තිබිම කිහිප දෙනකුට ආලය කරන ලකුණකි. යම්කිසි ස්ත්‍රියකගේ එක් විවාහ රේඛාවක් පමණක් පිහිටියේද එම තැනැත්තිය එක් පුරුෂයකු සමඟ පමණක් විවාහයට එළැඹේ.

විවාහය ගැන විමසා බැලීමේදී සිකුරුගේ පර්වතය ගැන අවබෝධයක් තිබීම ද වැදගත් වේ. අත්ලෙහි මහපට ඇඟිල්ල යට පිතෘ රේඛාවෙන් වටව පවතින්නා වූ කොටස සිකුරුට අයත් වේ. යම් කිසි පුද්ගලයකුගේ අත්ලෙහි සිකුරුගේ මණ්ඩලයෙන් රේඛාවක් සෙනසුරුගේ මණ්ඩලයෙන් රේඛාවක් සෙනසුරුගේ මණ්ඩලය වෙත පැමිණ එම රේඛාවේ අවසානය අතුවලට බෙදී පවතීද එම පුද්ගලයාගේ විවාහය අවාසනාවන්තය.

සිකුරුගේ මණ්ඩලයෙහි දූපතක සටහනක් යෙදී ඉන් නැඟුණු රේඛාවක් රවි මණ්ඩලය වෙතට යයිද එම තැනැත්තාගේ විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වනු ඇත. සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන්නා වූ රේඛාව පීතෘ රේඛාවත් මාතෘ රේඛාවත් කපාගෙන බුධ මණ්ඩලයට යයිද එම ස්ත්‍රිය ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයකු සමඟ විවාහයට පත්වනු ඇත.

සිකුරු මණ්ඩලයෙන් පටන් ගන්නා රේඛාව සෙනසුරුගේ පර්වතය වෙත පැමිණ යකඩ වැස්සක් බඳු සටහනකින් අවසන් වීම හෝ සම්බන්ධ ව පැවතීම ද එම පුද්ගලයාගේ විවාහ ජීවිතය අවාසනාවන්ත වන බවට ලකුණකි. සුලැඟිල්ල යට පිහිටි විවාහ රේඛාව නැමී හෘද රේඛාව හා සම්බන්ධ වේද එම තැනැත්තා ස්ත්‍රීන් සමඟ ආදර සම්බන්ධතාවල නිරත වූවෙකි. විවාහ රේඛාව මත අග කරු සටහනක් පවතීද එම තැනැත්තාගේ විවාහ ජීවිතය වැඩි කාලයක් ගත වීමට මත්තෙන් කැඩී යයි. විවාහ රේඛාව යටින් විවාහ රේඛාවට විරුද්ධ අතට කෙටි රේඛා දෙකක් පවතීද එම තැනැත්තා හට ලැබෙන්නා වූ සහකාරිය යම්කිසි රෝගයකින් පෙළෙන අයකු වේ. විවාහ රේඛාව මත කතිර සටහනක් පවතී නම් දරුවන් පිළිසිද ගැනීමේ ප්‍රශ්නයකට මැදිවේ.

විවාහ රේඛාව සුළඟිල්ල දෙසට උස්ව පිහිටියේද තමා හට ලැබෙන්නා වූ අය තමාට වඩා ‍උසස් අයකු වේ. තමාට වඩා තත්ත්වයෙන් පහළ අයකු ලැබෙනුයේ විවාහ රේඛාව පහතට වක්‍රව පිහිටා තිබීමෙන්ය. විවාහය නිසා තමන්ගේ රැකියාව නවතා දැමීමට සිදු වූ අයද අනන්තවත් සිටිති. එම අයගේ අත්ල පරීක්ෂා කර බැලීමේදී විවාහ රේඛාවේ අග තවත් රේඛාවකින් කැපී පවතින ආකාරය දැක ගත හැකිවේ. කොතරම් විවාහ යෝජනා ලැබුණත් අවිවාහකව සිටින අයද සමාජයේ සිටී. එවැනි අයගේ අත්ලෙහි විවාහ රේඛාව මත දූපත් සලකුණු දෙකක් පවතිනු දැක ගත හැකිවේ. විවාහ රේඛාවේ මුල දූපතක් පැවතීම ද විවාහය ප්‍රමාද වීමට හේතුවකි.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමසිංහ

ශක්තිමත් ගමනක් යෑමට දෙපාර්ශ්වය එකඟ වෙයි

$
0
0
ජන 17, 2018 01:00

යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට වඩාත් අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඊයේ (16) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරණය වී තිබේ. අනවබෝධයෙන් කෙරෙන විවේචන සම්බන්ධව කැබිනට් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර ‍ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු නැවත කැබිනට් හමුව පැවැත්වී තිබේ.

යම් යම් අනවබෝධ‍යන් හේතුවෙන් දෙපාර්ශ්වය අතර හටගෙන තිබෙන පරස්පරතා වඩාත් බුද්ධිමත්ව සහ ප්‍රශස්ථව කළමනාකරණය කොටගත යුතු බවත්, රටට ජයග්‍රහණ උදා කර දීමේ ස්වර්ණමය අවස්ථාව සඳහා පක්ෂ දෙකම ඉවසිලිමත්ව කටයුතු කළ යුතු බවත් දෙපාර්ශ්වයේම නායකයෝ අවධාරණය කරති. නායකයන් ෙදපළගේ එම තීරණය කැබිනට් සාමාජිකයෝද ස්ථිර කර සිටිති. 

සැක දුරු වීමේ වාසිය

$
0
0
ජන 18, 2018 01:00

ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ පසුගිය රජයේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාමාර්ග මන්දගාමීව සිදුවීමයි. 2015 ජනාධිපතිවරණයේදී කීවේ, ගුවන්තොටුපළ වසා හොරුන් අත්අඩංගුවට ගන්නා බවයි. එවැන්නක් සිදුවූයේ නැත.

යහපාලන ආණ්ඩුවක සහජීවන දේශපාලනයක් ක්‍රියා‍ත්මක කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය අනාගතයේ තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ හා උත්සාහය අතහැර නැති බව කවුරුත් දන්නා කාරණයකි. එහිදී දේශපාලන චක්‍රය කැරකෙන කාල වකවානු දැන සි‍ටීම දෙපාර්ශ්වයටම වැදගත්ය.එනම් දේශපාලන බලය වෙනස්වන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැවත්වෙන කාලය දැනගෙන සිටිය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් පසුගිය දිනවල කියමින් සිටියේ මී ළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2021 දී බවයි.ජනාධිපතිවරයා‍ගේ නිල කාලය වසර හයක් බව ඔවුන්ගේ මතය වී තිබිණි. විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයා ඊයේ පෙරේදා කීවේ එම කතාවයි. ඔවුන් සිතා සි‍ටියේ ජනාධිපතිවරයා වසර හයක් බලයේ සිටියද පාර්ලිමේන්තුව වසර පහකින් අවසන් වන නිසා මී ළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවයි.

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් ය යන මතයට පදනම වූයේ එතුමා දිවුරුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සං‍ශෝධනය යටතේ වීම හා 19 වන සංශෝධනය සම්මත කරන ලද්දේ එම දිවුරුම් දීමෙන් පසුව වීමයි.කෙසේ වෙතත් එජාපය හා වෙනත් පක්ෂවල මතය වී තිබු‍ණේ ජනාධිපතිතුමාගේ නිලකාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව තීරණය විය යුතු බවයි.ඒ අනුව නිල කාලය වසර පහකට සීමා විය යුතුව තිබිණි.

විවිධ කතා

පසුගියදා ජනාධිපති මෛත්‍රීපා‍ල සිරිසේන මහතා ක්‍රියාත්මක වුයේ මෙම කරුණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තීන්දුවක් ලබාගැනීමටය. එය විවිධ පිරිස් විවිධාකාරයෙන් අර්ථ දැක්වුවද මෙම ප්‍රශ්නය කොයි මොහොතක හෝ විසඳාගත යුතුව තිබිණි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සපයා ඇති විධි විධානය වන්නේ මෙබඳු ගැටලුකාරී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමයි. ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද්දේ එම විධිවිධාන යටතේය.

ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය ජනාධිපතිවරයා වෙත දන්වා යැවූ අතර ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කොට ඇති බවයි. එම තීන්දුවෙන් පසුව මෙතෙක් තිබූ අවිනිශ්චිත භාවය දැන් අවසන් විය යුතුව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 2021 දක්වා බලයේ සිටිය හැකි බව සිතා සිටි මැති ඇමැතිවරුන්ට දැන් මෙම තීන්දුව අනුව සිදුවන දෙයට සූදානම් වීමට සිදුවනු ඇත. එනම් වසර පහකින් එන ජනාධිපතිවරණයට මුහුණදීමයි. ඒ සඳහා කළයුතු සියලු දේ ඉදිරි කෙටි කාලය තුළ සිදුකළ යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ නිල කාලය ගතවන්නට පෙර මාස දෙකකට පසුව හා මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇත. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිලකාලය 2020 ජනවාරි 8දා අවසන් වන්නේ නම් 2019 නොවැම්බර් 8 වනදාට පසුව හා දෙසැම්බර් 8දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

මැතිවරණ වසරක්

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම හා භාරදීම අතර සති දෙකක් හා නාමයෝජනා භාරගැනීම හා ජනාධිපතිවරණය අතර සති හතරක් සිට හයක් දක්වා කාලයක් තිබිය යුතුය. එම අනුව සලකා බලන විට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන වසරේ අගෝස්තු, සැප්තැම්බර් මාසවල සිදුවිය යුතුය.

මෙහි තේරුම නම් ලබන වසර මැතිවරණ වසරක් බවට පත්වන බවයි. වසර මැද වනවිට දේශපාලන බලවේග ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් විය යුතුය. එහි තේරුම නම් ආණ්ඩුකරණයේ බොහෝ කටයුතු ඒ වනවිට අවසන්ව තිබිය යුතු බවයි. එනම් යහපාලනයේ සියලු අතපසුවූ කටයුතු මෙම අවුරුද්දකුත් මාස කිහිපයක කාලයේදී අවසන් කොට තිබිය යුතුය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ජනවරම ලබාගත් අරමුණු හැකිතාක් දුරට ඉටුකිරීමට ඒ වන විට හැකිවිය යුතුය.

මෙම ප්‍රශ්නයේදී යහපාලනයට සම්බන්ධ ප්‍රධාන දෙපාර්ශ්වයම සිටින්නේ එකම බෝට්ටුවේ බවද කිව යුතුව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දායක වූයේ ඉතා සුළු පිරිසකි. එසේ වුවද එජාපයත්, වෙනත් පක්ෂ හා සංවිධානත් එම කාර්යයට කර ගසා ක්‍රියාත්මක විය. එබැවින් එම ජනවරමේ අරමුණු ක්‍රියාවට නැගීමේ වගකීම ජනාධිපතිතුමාගේ පාර්ශ්වයට මෙන්ම එජාපයට ද පැවරී ඇත. මහජනයා මෙහිදී මෙම දෙපාර්ශවයේම ක්‍රියාකාරීත්වය හා කැපවීම මැන බලනු ඇත.

මීට පෙරද මෙම ලිපි පෙළ මගින් පෙන්වා දී ඇති ආකාරයට යහපාලනයේ ඇතැම් අරමුණු ජනවාරි 8 බල පෙරැළිය මගින්ම ඉටු කරගනු ලැබීය. බියෙන් තොරව ජීවත්විය හැකි නිදහස් රටක් නිර්මාණය වීම එමගින් සිදුවිය. ඉන්පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මඟින් ජනාධිපති ධුරයේ බලතල සීමාකිරීම, ස්වාධීන කොමිසන් සභා පත්කිරීම ආදී තවත් වැදගත් ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉටුකරගනු ලැබීය.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැඩි දෙනෙකුගේ අවධානයට අවශ්‍ය තරම් ලක් නොවූවද එය යහපාලනයේ දැවැන්ත පියවරකි. එමගින් මෙරට දූෂණය පිටුදැකීමට විශාල පිටුවහලක් සලසනු ඇත. මෙම අයිතිය ප්‍රයෝජනයට ගැනීමට මහජනයා හා ජනමාධ්‍ය වැඩි වැඩියෙන් පෙළඹෙන විට එහි අගය කාටත් වැටහෙනු ඇත.

විගණන පනතද තවත් වැදගත් පියවරකි. එය තවමත් ක්‍රියාත්මක නැතත් සම්මත කොට ක්‍රියාවට නැගීම ඉක්මනින්ම කළ යුතුව ඇත. එයද වැදගත් ඉදිරි පියවරකි. මැතිවරණ ක්‍රමයේ වෙනසක් කිරීම මහජනයාගේ තවත් ප්‍රධාන ඉල්ලීමක්ව තිබිණි. දැන් පළාත් පාලන ආයතන සඳහා නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මකය. මනාප ක්‍රමය අහෝසිකොට ඇති මෙම ක්‍රමය මගින් කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් ලැබෙනවා මෙන්ම සමානුපාතික ක්‍රමයටද ඉඩකඩ ලබාදී තිබේ.

ඡන්ද පොරොන්දු

මෙම නව මැතිවරණ ක්‍රමය පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද ක්‍රියාත්මක කිරීම ඉදිරි වසර එකහමාර තුළ කළ යුතුව ඇත. එය ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. මේ සඳහා නව නීති සම්පාදනය කොට ක්‍රියාවට නැගිය යුතුය. දැන් එයට විශාල කාලයක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි. එසේ නම් දැන් කළ යුතුව ඇත්තේ ලහි ලහියේ ක්‍රියාත්මක වී මෙම කටයුතු අවසන් කිරීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ක්‍රියාවට නැගීම යහපාලනය මගින් වූ ප්‍රධාන පොරොන්දුවකි. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරවීමට පෙරමුණු ගත් මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් සිදුවූයේ ජනාධිපති ධුරයේ බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීම පමණකි. එය අහෝසි කිරීම පිළිබඳ ප්‍රශ්නය තවමත් ඉතිරිව පවතී.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ කටයුතු බොහෝදුරට ඉටුකොට ඇත. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කරමින් අනුකමිටු යෝජනා ලබාගෙන ප්‍රධාන කමිටුවේ වාර්තාවක්ද සකස්කොට ඇත. එකඟතා ඇතිකරනු හා මතභේදයට ලක්වූ කරුණුද හඳුනාගෙන අවසන්ය. දැන් තිබෙන්නේ මත භේදයට ලක්වූ කරුණු ඉක්මණින් සාකච්ඡාකොට සම්මුතියකට පැමිණීමයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ශ්‍රීලනිපයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ කැමැත්තක් නැති බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස යෝජනාද සම්මත කොට තිබිණි. ඒ කෙසේ වෙතත් වත්මන් තත්ත්වය වෙනස් බව ඒ සියලු දෙනාට තේරුම් ගැනීමට සිදුවනු ඇත. ඔවුන් සිතූ පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් නොවන බව දැන් පැහැදිලිය. ඊළඟ මහා මැතිවරණය කැඳවීම කළ හැක්කේ වත්මන් ආණ්ඩුවට වසර හතර හමාරක් ගතවූ පසුවය. එනම් ජනාධිපතිවරණයෙන් පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සමඟ මේ සමස්ත චිත්‍රය වෙනස් වී ඇති බව කවුරුත් තේරුම් ගත යුතුය.

ඉදිරි වසරකුත් මාස ගණනක කාලය තුළ මෙ‍රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ගැනීමට සිදුවන තීන්දුවක් වන්නේ තවත් විධායක ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා ලබන වසර අග මැතිවරණයට මුහුණ දෙන්නේ ද නැතහොත් වෙනත් ක්‍රමයක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කඩිනම් කරනවාද යන්න පිළිබඳවය. එහිදී ජනාධිපතිවරණයකදී වාසිය ඇත්තේ කාටද යන්න පිළිබඳවද දේශපාලන පක්ෂ තම තමන්ගේ තක්සේරුවකට පැමිණෙනු ඇත. තේරුම් ගතයුතු ප්‍රධාන කාරණය නම් විවාද කරමින් සිටින්නට කාලයක් නැති බවයි. තවත් කල් මරන්නට බැරි බවයි. තවත් කල් මරන්නට හැදුවහොත් එබඳු දේශපාලන පක්ෂවලට සිදුවන්නෙත් ජනතා අප්‍රසාදයට ලක් වන්නට බවයි.

අප්‍රසාදයේ අක්මුල්

ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් ගොඩනැගී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ පසුගිය රජයේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාමාර්ග මන්දගාමීව සිදුවීමයි. 2015 ජනාධිපතිවරණයේදී කීවේ ගුවන්තොටුපළ වසා හොරුන් අත්අඩංගුවට ගන්නා බවකි. එවැන්නක් සිදුවූයේ නැත. දැන් පෙනෙන්නේ චුදිතයන්ට නිදහසේ රට යන්නටත් එන්නටත් ඉඩ ලැබී ඇති බවකි. කෝටි ගණන් මුදල් වංචා ගැන පරීක්ෂණ කොට වාර්තා ලබාදී ඇතත් ඉදිරි පියවර ගැනී‍මක් සිදුවී නැත. පසුගිය රජය කාලයේ සිදුවූ දූෂණ ගැන ජනාධිපති කොමිසමෙහි කළ පරීක්ෂණ වාර්තා 34ක් නීතිපති ළඟය. එෆ් සී අයි ඩීය භාරදී ඇති ලිපිගොනු සංඛ්‍යාව 97කි. එයින් බොහොමයකට සිදුවූ දෙයක් නැත.

සැනසීමට ඇති එකම කාරණය නම් දේශපාලනඥයන් කිහිප දෙනෙකුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපයේදී ආරම්භ වන බව වාර්තා වීමයි. කෙසේ වෙතත් සමස්ත ක්‍රියාවලිය යන්නේ ඉබි ගමනිණි. භාණ්ඩාගාර බැඳුම්කර ගැන පරීක්ෂණ කරන විට තිබූ විනිවිදභාවය හෝ කාර්යක්ෂතාවය රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ හා අපරාධ සම්බන්ධ පරීක්ෂණවලදී දකින්නට නැති බව මහජනයා නඟන මැසිවිල්ලකි. එසේ චෝදනා කිරීමට හොඳටම හේතු ඇති බවද පැහැදිලිය.

දැන් ඉතින් ආණ්ඩුවට තවත් කල් මරන්නට ඉඩක් නැත. පසුගිය කාලයේ දූෂණ, වංචා, මෙන්ම අපරාධ කළ උදවියට එරෙහිව ඉබිගමනින් යන පරීක්ෂණ නීතිමය හා අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කොට ප්‍රතිඵල ලබාගැනීමට ඉතිරිව ඇත්තේ කෙටි කාලයකි. එබැවින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

ජනාධිපති ධුර කාලය පිළිබඳ අධිකරණ තීන්දුවෙන් එල්ලකොට ඇති අභියෝගය වන්නේ ඉතිරි කෙටි කාලය තුළ මෙම කටයුතු සියල්ල ඉටුකර ගැනීමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණදිය හැකිවන්නේ ඉහත කී අභියෝග ජයගැනීම මගිනි. එක්සත් ජාතික පක්ෂයටද මෙහිදී තම වගකීම් ඉටුකිරීමේදී ගැලවීමක් නැත. මහජනයා සියල්ල අවධානයෙන් බලා සිටිනු ඇත.

සී.ජේ. අමරතුංග


තැනක් නැතත් අපිත් රස්සාව කරනවා

$
0
0
ජන 18, 2018 01:00

යක්කල කිරිඳිවැල පාර ත්‍රීවීල්

අපි පළමුවෙන්ම ඉල්ලන්නේ අපට ස්ථිර රථගාලක් මේ වසරේවත් ලබා දෙන්න කියලයි. මේ ත්‍රීරෝද රථ සංගමය ස්ථිර කරල දෙන්න කියල නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, නගරාධිපතිතුමාට හා අදාළ රජයේ වගකිවයුතු බලධාරීන්ට දන්වල ඉල්ලීම් කරල තියනව. අපි ලොකු ඉඩක් නොවෙයි ඉල්ලන්නෙ පොඩි ඉඩක්. අපිට කියල ස්ථිර තැනක්. කාටවත් කරදරයක් නැතිව අපේ පාඩුවෙ මේ රස්සාව කරගෙන යන්න.

අපි මෙවර ත්‍රීවීල් මිතුරන් සොයා යක්කල කිරිඳිවැල පාරේ ත්‍රීරෝද රථ රියැදුරු මහතුන්ගේ රථගාල අසල නැවතුණෙමු. මෙය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උප නගරයකි. මෙම රථගාලට ආසන්නව හතරමං හන්ධියක් පිහිටා ඇත. එය එක අතකට මහනුවරටත්, අනෙක් අතට කොළඹටත්, කිරිඳිවැලටත්, ගම්පහටත් දිවෙන හතරමං හන්ධියකි. මෙම උප නගරය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුවිශේෂී පූජනීය ස්ථානයන් වන පිලිකුත්තුව පන්සලත්, හැවනිවෙල රජමහා විහාර‍යත්, මාලිගාතැන්න ඓතිහාසික රජමහා විහාරයත් නගරයට ආසන්නව පිහිටා තිබීමය. වලගම්බා රජදවසේ පටන් පැවත එන මෙම පූජනීය ස්ථාන වැඳ පුදාගැනීම සඳහා සැදැහැවතුන් මෙන්ම විදේශිකයින් ද ඇදී එති. විශේෂයෙන් පුරපසළොස්වක් පොහෝ දිනවලදී අතුරු සිදුරු නැති තරමට මේ නගරය සැදැහැවතුන්ගෙන් පිරී යන ‍බව අපට ගම්මුන්ගෙන් දැනගත හැකි විය. ඉරිදා දිනවල පැවැත්වෙන සති පොළට ‍දිවයිනේ සතර දිග්භාගයෙන්ම වෙළඳුන් ඇදී එන නිසා පසළොස්වක පෝ දිනය මෙන්ම ඉරිදා දිනය ද යක්කල, කිරිදිවැලට සුවිශේෂී දිනයකි.

මෙවර එම ප්‍රදේශයේදී අපට ප්‍රථමයෙන්ම මුණගැසුණු මිතුරා වූයේ කිරිඳිවැල පාරේ පිහිටි ත්‍රීරෝද රථ සංගමයේ සභාපති එස්. ඒ. බී. දිසානායක මහතාය. මේ ඒ මහතාගේ අදහස් කිහිපයකි.

"මම දැනට මෙම ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් සුපුරුදු පරිදි මගේ රැකියාවත් කරගෙන මෙතැන ඉන්නවා. අපි කරන්නෙ ‍රැකියාවකට වඩා සමාජ සත්කාරයක්. මේ පාරේ දිනපතාම රදාවානටත්, කිරිඳිවැලටත් යාමට සෑහෙන සෙනඟක් එනවා. බස් එකක් ප්‍රමාද වෙනකොට අපි තමයි ඒ අයට බොහෝදුරට පිහිට වෙන්නෙ. අනිත් අතින් මෙහි ඇති පූජනීය ස්ථාන දැකබලා ගැනීමට පැමිණෙන අයත් ඉන්නවා. අපි ඒ අයගෙත් හොඳ හිත දිනාගෙන ඒ අය අවශ්‍ය තැන්වලට ‍රැගෙන යනවා. මොන දේ කළත් අපට තවම ස්ථිර රථගාලක් නම් ලබාදීල නැහැ. අපි මේ පාර දෙපැත්තෙ තියන පොඩි ඉඩක තමා අපේ මේ ත්‍රීරෝද 52 ම ගාල්කර ගන්නෙ. නමුත් රාත්‍රී 10 න් පසුව කිරිඳිවැල පාරෙ බස් ගමනාගමනය නවත්වනවා. මධ්‍යම රාත්‍රිය පසුවෙනතුරුත් අපිමයි ජනතාවට පිහිට වෙන්නෙ. හැබැයි ඡන්දයක් ළඟාවෙනකොට පළාත් සභාවලට තරග කරන අපේකෂයන් අපි ළඟට එනවා. පොරොන්දු ගොඩක් අපට දෙනවා. විශේෂයෙන්ම ත්‍රීරෝද රථගාල අපට නොවරදවාම ලබා දෙනව කියල පොරොන්දු වෙලා ඒ අයගෙ ස්ටිකර් සහ පෝස්ටර් අපේ ත්‍රීවීල්වල අලවගෙන ගිහින් සහයෝගය දෙන්නත් කියනව. අපිත් ඒ වගේම ඒ අයට සහයෝගය දෙනවා. අවුරුදු ගාණක් මේ විදියට ගියා. නමුත් අපිට තවම ස්ථිර රථගාලක් ලැබිල නැහැ. අපි හිතනව මෙවර මැතිවරණයෙන් පස්සෙවත් දිනන අපේක්ෂකයො අපිට රථගාලක් ලබා දේවි කියල"

"නමුත් පසුගිය දිනවලදී එරංග සේනානායක සභාපතිතුමා අපට ලබා දෙනව කියල පොරොන්දු වුණ ත්‍රීරෝද රථගාල මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියනව එහෙම දෙන්න බැහැයි කියල. මේ විදියට තමයි දේශපාලනඥයො මාරුවෙන ගාණෙ ඒගොල්ලන් දුන්න පොරොන්දුත් වෙනස් වෙන්නෙ. හරියට හිසරදයට කොට්ට මාරු කරනව වාගෙ තමා පක්ෂ මාරුවෙන්නෙ. ආයෙමත් පරණ අයම එනවා. යනවා. අපේ රථගාලෙ ප්‍රශ්නය කිසිදාක විසඳෙන පාටක් නැහැ. මෙහෙම ගියොත් මේ වෘත්තියෙන් යැපෙන පවුල් 52 ක් ත්‍රීවීල් රියැදුරන් රැකියා විරහිතයින්ගේ ගොඩට එක්වෙනු නියතයි"

ධර්මසිරි මහතා

"මම යක්කල කිරිඳිවැල පාරේ තියෙන ත්‍රීරෝද රථගාලෙ තමා සේවය කරන්නේ. දැනට මම මෙතැන සේවය කරන්න ඇවිත් අවුරුදු 15 ක් විතර වෙනව. අපි හරිම සමඟියෙන් තමා එකා වගේ මෙතැන සේවය කරන්නෙ. අපි දැනට සමිතියක් පිහිටුවාගෙන තියෙනවා. ඒකෙන් අපි සමාජ සත්කාර ගොඩක් කරල තියෙනව. ලේ දන්දීමේ ව්‍යාපාර දෙක තුනක් කළා. රෝද පුටු පරිත්‍යාග කිරීම් කීපයක්ම දැනට කරල තියෙනව. මේ හැම දෙයක්ම කරන්නෙ කිරිඳිවැල පාරෙ තියෙන පැපොල්ගහදෙණිය ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ තමා අපි මේ ත්‍රීරෝද රථ සංගමය පවත්වාගෙන යන්නේ. නමුත් පසුගිය ආණ්ඩුවෙන් මහින්ද මහත්තය අපට පෙට්‍රල් සහනයක් දෙනව කියල පොරොන්දුවක් දීල තිබුණා. නමුත් ඒ පොරොන්දුව කඩ කළා. අපට ඒක ලැබෙන්නෙ නැහැ. නමුත් අපේ රටේ බලයට පත්වෙන පක්ෂ දෙකයි තියෙන්නෙ. ඒත් ඒ දෙගොල්ලම කරන්නෙ බොරුවමයි. නිල් පාටයි, කොළ පාටයි දෙකම එකයි කියල තමයි අපට කියන්න වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුවත් එහෙම තමා අධ්‍යාපනය කාල දැම්ම. කෘෂිකර්මය නැතිකරලම දැම්ම. රටින් එළවළු ගේනවලු. පොහොරත් අද හෙටම ගෙන්නල දෙන්නම්ලු. පොල් ගණන් වැඩි නම් පොලුත් සහන මිලට ආනයනය කරල දෙන්නම්ලු. නමුත් එදා වේල හොයාගෙන රජයට බරක් නැතිව ත්‍රීවීල් රැකියාව කරගෙන ජීවත්වන අපි ගැන කිසිදාකදීවත් බලන්නෙ නැතිලු කියල තමයි දැන් අපිට කියන්න වෙලා තියෙන්නෙ. රජයේ පාලකයො දැනගත්තොත් හොඳයි ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් කියල. මහ මුහුදට දත නියවගෙන ඉන්න රටක් නොවන බව"

උපුල් නිශාන්ත මහතා

"මම රැකියාව කරන්නෙ කිරිඳිවැල පාරෙ තියන හිතමිතුරු පාර්ක් එකේ. මේ 2018 අවුරුද්ද ලබනකොටම අද පළවැනිදා අපි හොඳ පුණ්‍යකර්මයක් කරල වැඩ ආරම්භ කරන්න ඕනෑ කියල අපි සියලුදෙනාම එකතුවෙලා හරිම සමඟියෙන් එක්සිත්ව මේ බෝධිරාජයාණන් වහන්සේ ගාවට පැපොල්ගහදෙණිය ශ්‍රී ජයවර්ධනාරාමයේ මුදිතවංශ ස්වාමීන් වහන්සේ සාධුනාද මධ්‍යයේ වැඩමවාගෙන ඇවිත් මේ බෝධි පූජාව පවත්වල උන්වහන්සේට අටපිරිකරක් පූජා කරල තමයි නව වසරේ වැඩ ආරම්භ කරන්න ගත්තෙ. අපි පළමුවෙන්ම ඉල්ලන්නේ අපට ස්ථිර රථගාලක් මේ වසරේවත් ලබා දෙන්න කියලයි. මේ ත්‍රීරෝද රථ සංගමය ස්ථිර කරල දෙන්න කියල නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, නගරාධිපතිතුමාට හා අදාළ රජයේ වගකිවයුතු බලධාරීන්ට දන්වල ඉල්ලීම් කරල තියනව. අපි ලොකු ඉඩක් නොවෙයි ඉල්ලන්නෙ පොඩි ඉඩක්. අපිට කියල ස්ථිර තැනක්. කාටවත් කරදරයක් නැතිව අපේ පාඩුවෙ මේ රස්සාව කරගෙන යන්න"

රොෂාන් වීරසිංහ මහතා

"මමත් කිරිඳිවැල පාරෙ අපේ මේ හිතමිතුරු ත්‍රීරෝද රථගාලෙ තමයි සේවය කරන්නෙ. ඉතින් අපේ මේ සංගමයේ භාණ්ඩාගාරික හැටියටත් සේවය කරනව. අපේ ප්‍රදේශයටත් දැන් සීඝ්‍ර නගර සංවර්ධනයක් ඇවිල්ල තියනව. ඇත්ත වශයෙන්ම කියනව නම් රටේ සංවර්ධනය මේ වගේ සිදුවෙන එක හරිම හොඳයි. ඉතින් දෙපැත්තම පළල්වෙමින් පාරවල් කැඩෙනකොට අපි ‍අපේ රැකියාව කරගෙන යන්නෙ කොහෙද? අපි කියන්නෙ අපිට ස්ථිර තැනක් වෙන්කරල දෙන්න කියලයි. අපි මේ කරන්නෙ ස්වයං රැකියාවක්. නමුත් අපි දුම් සහතික ගන්න ඕනෑ. වාහන ලියාපදිංචිය, රක්ෂණ සහතිකය ගන්න ඕනෑ. මේ සියල්ලමත් අරගෙන පාරෙ යනකොට දුප්පත් අපට රථවාහන පොලීසියේ නීතිත් වැඩියි. අපට දඩකොළ ලියනව. අපි මේ ඔක්කොටම යටත්වෙලා රුපියල් 1000/- වගේ මුදලක් හම්බ කරල කොහොමද මේ ඔක්කොම කරන්නෙ. අපිට රජයේ සේවය කරන අයට වගේ අර්ථසාධක නැහැ. බෝනස් නැහැ. ඇරියස් නැහැ. මේ හොයාගන්න තුට්ටු දෙකෙන් තමයි ඔක්කොම දේවල් කරන්න වෙලා තියෙන්නෙ. අපි LED ලයිට් එකක් හයිකරගෙන වාහනේ දිව්වොත් රථවාහන පොලීසියෙන් ලියනව ත්‍රීරෝද රථවලට මේ ලයිට් එක ඔරිජිනල් ඇවිල්ල නැහැ කියල. හැබැයි ලොකු ලොක්කන්ගෙ වාහනවලට මේ නීති මොනවත් නැහැ. හැම නීතියක්ම පනවන්නෙ දුප්පත් ජීවිකාව කරගෙන යන ත්‍රීරෝද රථයටම තමා"

ඉන්දික ප්‍රසාද් කුමාර

"මම මගෙ වෘත්තිය කරන්න කිරිඳිවැල පාරෙ පරණ ඉරිදා පොළ තිබුණ තැන. මම දැනට රැකියාව කරන්න පටන් අරන් අවුරුදු 14 ක් විතර වෙනව. අපි කියන්න කැමයිති මුළු රටේම ඉන්න සියලුම ත්‍රීරෝද රථ රියැදුරන්ට රජය මඟින් මොකක් හරි සහනයක් ලබල දෙන්න කියල. අපෙන් මේ වෙන සේවය මොන වගෙ සේවයක්ද කියල බලල අපේ මේ වෘත්තියට ස්ථිරත්වයක් ලබා දුන්නොත් එහි වටිනාකම කියල නිමකරන්න බැහැ. අපි මෙතෙන්ට ඇවිත් උදේ 7 සිට රාත්‍රී 11 වනතුරු වැඩ කරනව. ගිනි අව්වෙ, වර්ෂා කාලයට තෙමි තෙමී තමා රැකියාව කරන්නෙ. මොන තරම් මගී සංඛ්‍යාවකට අපි සේවයක් කරනවද, අපෙන් මේ වෙන සේවය ලංගමයෙන්වත් ලැබෙනව කියන්න අමාරුයි. ඒ කියන්නෙ මගියෙක් මහ වැස්සෙ වාහනයට ගොඩකරගත්තාම ඒ මගියා නොතෙමා ගෙයි මිදුලටම ගෙන ගොස් ඇරලනව. බස් රථයකින් ඒ සේවය සලසන්න අමාරුයි. බොහෝ වෙලාවට අපේ වාහනවල මුදල් පසුම්බි, සෙලියුලර් දුරකථන දමා යනවා. අපි පසුවදාම ඒ අය සොයලා ඒ අයගෙ අතටම ලබා දෙනව. ඒ අය අපට තෑගි බෝග පවා ගෙනත් දුන්න අවස්ථා බොහොමයි. මේ නිසාම තමා මගී ජනතාව අපි කෙරෙහි තබා ඇති විශ්වාසය දිනෙන් දින වැඩිදියුණු වෙන්නෙ"

ප්‍රාදේශීය මාධ්‍ය සහෝදරවරුනි...පාඨකයිනි...ඔබේ ප්‍රදේශයේ ත්‍රීවීල් මිතුරන්ගේ වගතුග අපට කියන්න ඔබටත් පුළුවනි. ලිපිය සැකසීමට පෙර 0112429245 දුරකථන අංකය ඔස්සේ අපට දැනුම් දී , e-mail-magathota.dinamina@lakehouse.lkයන ඊමේල් ලිපිනයට හෝ දිනමිණ විශේෂාංග අංශය, ලේක්හවුස් මන්දිරය, ඩී.ආර් විජයවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලිපිය සහ පින්තූර (රියැදුරන් පහ‍ළොවකට වැ‍ඩි ප්‍රමා‍ණයක් සහ ත්‍රීවීල් රථ ගාල්හි පින්තූර සහිතව) අප වෙත යොමු කරන්න.

අපේක්ෂක ලැයිස්තුවට දූෂිතයන් එක්වීම

$
0
0
ජන 18, 2018 01:00

පාලනයට දූෂිතයන් හවුල් කර නොගත යුතුය යන මතය විද්වත් කථිකාවක් බවට පත්වූයේ අද ඊයෙක නොවේ. පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මේ මාතෘකාව ඉස්මතු වූයේ එවැනි තැනැත්තන්ගෙන් රටට සිදු වූ හානිය පැහැදිලිව පෙනෙන්නට තිබුණ හෙයිනි. එහෙත් මෙවරද දූෂිතයන් පන්සියයක් පමණ අපේක්ෂකයන් වී ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය පිටුදැකීමේ සමාජ වගකීම පිළිබඳ විද්වත් පිරිස් දක්වන අදහස් වෙනුවෙන් මෙවර දේශපාලන කොලෝසියමේ ඉඩ වෙන්වේ.

දූෂිතයන් එන්නේ ප්‍රධාන පක්ෂවලින්
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහචාර්ය සිසිර පින්නවල

මෙවර මැතිවරණයටත් දූෂිතයෝ ඉදිරිපත් වෙලා?

දේශපාලන පක්ෂ මේක කරන්නේ නොදැනුවත්ව නොවෙයි. දැන් බලන්න ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට මොකද වුණේ. ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියන නීතිය ශ්‍රීලංකා නිදහස් පක්ෂය දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන තමයි එයාව ඡන්දයට ඉදිරිපත් කළේ. මේ අය හිතනවා පත් වුණාට පස්සේ නීතිය ඔය කියන විදිහටම ක්‍රියාත්මක වෙන එකක් නැහැ කියලා. අපේ රටේ ගොඩක් නීති තියෙන්නේ නමට විතරක් නිසා පක්ෂ නියෝජිතයෝ මේවා ගණන් නොගෙන සිටීම කාලයක පටන් දකින්නට ලැබුණා. බලයේ සිටින අය තමන්ට ඕන විදිහට නීති හදා ගත්තා.

ඇත්තටම මේ රටේ දේශපාලනඥයන්ට හා සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. මේ පාරත් හොරු, මිනිමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න බව දැන ගන්න ලැබෙනවා. මැතිවරණ කොමිසම ඍජුව ඉන්නා බවක් පේන්න තිබීම යහපත් තත්ත්වයක්. නීතිය කොහෙන් හෝ කෙළින් නොවුණොත් මේ වැරදි අනාගතයේදීත් සිදුවේවි.

දූෂිතයො මැතිවරණවලට ඉදිරිපත් කිරීම වැරදි බව දැන දැනත් පක්ෂ ඒ වැරැද්දම කරන්නේ ඇයි?

නාම යෝජනා දීමේදී පක්ෂවලට පුළුවන් මේ වගේ පිරිස්වලට අවස්ථාව නොදී ඉන්න. නොයෙක් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ප්‍රධාන පක්ෂවලින් බව අප අමතක කරන්න හොඳ නැහැ. පක්ෂ නායකයන් මහජනතාව නොමඟ යවන්න සාදාචාරය ගැන මහ ඉහළින් කතා කළාට ප්‍රායෝගිකව ඒක සිදු කරන්න කැපවෙන තත්ත්වයක් පේන්න නැහැ. දේශපාලනඥයන් බහුතරයක් නීති විරෝධී වැඩවලට සම්බන්ධ වන තත්ත්වයක් දකින්න ලැබෙන නිසා ඔවුන් ළංකර ගන්නේ ඒවාට සහය දෙන පිරිසක්. මැතිවරණයක් අවාම ඒ අයට කරන උදව්ව තමයි අපේක්ෂකකමක් දෙන එක.මේ තත්ත්වය අපි කාලයක පටන් දැක තිබෙනවා.

මේ දූෂිතයෝ පත්වුණොත් ඔවුන් කරන වැරැදි තව වැඩිවෙයි නේද?

අනිවාර්යයෙන්ම ඒක වෙනවා. තමන් කරන වැරදි තවත් ඉහළින් කරන්න බලපත්‍රයක් විදිහට තමයි මේ අය මන්ත්‍රී ධුර පාවිච්චි කරන්නේ. ලංකාවේ නඩුවක් අහලා ඉවර කරන්න කොච්චර කාලයක් යනවද? නඩුව ඉවර වෙනකොට මන්ත්‍රී ධුරයේ වරප්‍රසාද සෑහෙන කාලයක් බුක්ති විඳින්න පුළුවන් කියලා මේ අය දන්නවා. තීන්දුවක් දුන්නම ඊළඟට ඇපීල් කරනවා. වැරදිකරුවෙක් වෙන්න නම් නීතියෙන් ඒක ඔප්පු කරන්න ඕන, නැත්නම් ඔහු සැකකරුවෙක් පමණයි කියලා කියන වචනය අල්ලගෙන තමයි මේ අය වැඩ කරන්නේ. පැහැදිලිව පේනවා වරදක් කරලා තිබෙන බව. ඒත් නීතිය ඉදිරියේ ඔප්පු වෙනකල් කියලා හැම වරප්‍රසාදයක්ම ලබා ගන්නවා. මම කියන්නේ යම් චෝදනාවක් එල්ල වී ඇත්නම් ඒකෙන් නිදහස් වෙනකල් මේ අයට ඡන්දය ඉල්ලන්න අවස්ථාව නොදී ඉන්න ඕන කියලයි.

මෙවැනි පිරිස් ප්‍රතික්ෂේප කරන්න ජනතාවටත් වගකීමක් තිබෙනවා නේද?

වගකීමක් තිබුණත් ඒ වගකීම ජනතාව විසින් ඉටු කරන තත්ත්වයක් පේන්න නැහැ. මොකද ජනතාව අද ඡන්දය පාවිච්චි කරන්න පෙළඹිලා තිබෙන්නේ තමන්ට ලැබෙන පෞද්ගලික වාසි ගැන හිතලයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් මන්ත්‍රීවරයාට කියලා ඒකට උදව්වක් ගන්න පුළුවන් නම් අපි ඒ මනුස්සයා මොන නීති විරෝධී වැඩක් කළත් ඡන්දය දෙනවා. හැබැයි මේ කෙටිකාලීන පුද්ගලික වාසියෙන් වැඩක් වෙන්නේ නෑ. මොකද මේ දූෂිතයෝ කරන වැරැදිවලින් උදව්ව ලබා ගත් තැනැත්තා වගේම සමස්ත සමාජයම පීඩාවට පත්වෙනවා.


බුද්ධිමතුන් නැති පාලනයක මෙහෙම දේවල් වෙනවා
- රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආචාර්ය ෂම්මික ලියනගේ

පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

රාජ්‍යයක කුඩා බල ප්‍රදේශයක ක්‍රියාත්මක වන ආයතන ව්‍යුහයක් සඳහා සුදුසු නියෝජනයක් ලබා දීම සඳහා කරන කටයුත්ත තමයි පළාත් පාලනය කියන වචනයේ දළ අදහස. ලංකාවේ පළාත් පාලන ආයතන කියන ඒවායේ ආරම්භය පණ්ඩුකාභය රජ සමය දක්වා දිව යනවා. 1818 කැරැල්ලෙන් පසුව පණ්ඩුකාභය රජ දවසේ සිට පැමිණි මේ ග්‍රාමීය නියෝජන ක්‍රමයේ හිඩැසක් ඇති වෙනවා. නැවතත් 1856 නැවත මේ ගම් සභාව පිහිටුවනවා. 1980 සංවර්ධන සභා ආරම්භ කරලා, ඒ ආරම්භයේ සිටම මේ ප්‍රාදේශීය පළාත් පාලන ව්‍යුහය ඉතා දූෂිත තැනකට පත්ව තිබෙනවා. මේ ව්‍යුහයන් ඇතුළේ ක්‍රියාත්මක විය යුතු මූලික දේ තමයි සප්ත අපරිහාණි ධර්ම. නමුත් මේ වන විට ගුණ ධර්මයක් නැති පරිහානි ධර්මයන් තමයි වර්ධනය වී තිබෙන්නේ.

මේ මැතිවරණයටත් දූෂිත අපේක්ෂකයන් 500ක් පමණ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙනවා. දූෂණය තරයේ ප්‍රතික්ෂේප කරන කථිකාවක් තිබියදීත් එසේ වීමට කුමක් ද?

ප්‍රාදේශීය වශයෙන් බැලුවහොත් මේ පළාත් පාලන ආයතනවලට විශාල වගකීම් සම්භාරයක් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම සියලු ක්‍රියාකාර කම් මූලික ලෙස බද්ධ වෙන්නේ පළාත් පාලන ආයතන සමගයි. මේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන පුද්ගලයන් වගකීම් විරහිත ක්‍රියා කලාපය සහ ඔවුන්ට පළාත් පාලන ආයතන යාන්ත්‍රණය පිළිබඳ දැනුවත් ද කියන එක විශාල ගැටලුවක්. පළාත් පාලන ආයතන සඳහා පත්වන අයගේ පුහුණුව සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටුවා තිබෙනවා. නමුත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වුවත් එහි කාර්යභාරයන්, පටිපාටි පිළිබඳ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා වන විධිමත් යාන්ත්‍රණික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් පේන්න නෑ.

රටේ උගත් බුද්ධිමත් පිරිස දේශපාලනයෙන් ඈත්වීමත් දූෂිතයන්ට පාලනයට ඉඩ දීමක් වගේ නේද?

ලංකාවේ පළාත් පාලන ගම්සභා සහ ප්‍රාදේශීය සභා ගත්තම ඒවාට තේරී පත් වන අයගේ කිසිදු ප්‍රමිතියක් නෑ. බොහෝ ප්‍රදේශවල ඉදිරිපත් වී තිබෙන්නේ ගංජා කාරයෝ, කසිප්පු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ වැනි ගමේ හයිකාරයෝ ටිකක් තමයි. ගමේ ඉන්නවා ගමේ හයිකාරකම් තියෙන පිරිස. පළාතට එනවා පළාතේ හයිකාරකම් තියෙන පිරිස. මහ දේශපාලනය ඇතුළේ ලොකු හොරු ටික ඇවිල්ලා තියෙනවා. ගමේ සිට දියවන්නාව දක්වාම වඩාත් දූෂිත, ප්‍රචණ්ඩ, සාහසික පිරිස් ටිකක් එන කොට උගත් හා බුද්ධිමත් ප්‍රවාහය දේශපාලනය හා ප්‍රායෝගික දේශපාලන භාවිතාවෙන් විශාල වශයෙන් ඈත් වී තිබෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , මහාචාර්යවරුන් ඉන්නේ විශ්වවිද්‍යාලවලින් පිට. රටෙනුත් පිට. ඒ නිසා විදග්ධ නොවූ දේශපාලනයක් මේ රටේ භාවිතයට පැමිණ තිබෙනවා.

ඔබ වැනි උගතුන් නැවත මීට සම්බන්ධ විය යුතුයි නේද?

මේ රට ගොඩනැඟීමට නම් ජාතික රාජ්‍යය තුළ ඇති රේඛීය අමාත්‍යාංශ, පළාත් අමාත්‍යාංශ විශ්වවිද්‍යාලත් සමග බද්ධ වී කටයුතු කළ යුතුයිනේ. එහෙත් මම අහන්න කැමතියි මොන අමාත්‍යාංශයද විශ්වවිද්‍යාල ගුරුවරු වන අපට කතා කරලා තියෙන්නේ කියලා? මොන ගුරුවරයාටද කතා කරලා තියෙන්නේ ඔබේ දැනුම පාවිච්චි කරලා මේ වැඩකටයුතු ටික කරලා දෙන්න කියලා. ඒ ඒ විෂයයන්ට අදාළ අමාත්‍යාංශවල , දෙපාර්තමේන්තුවල අදාළ පර්යේෂණ සිදු විය යුතුයි. ඒවා අමාත්‍යාංශ සමග බෙදා ගත යුතුයි. එහෙම වැඩ පිළිවෙළක් නෑ. මේක දුන්න දුනුගමුවේ..ඊතළ කිතලගමුවේ..රාළ මීගමුවේ..මුවෙක් හැඬුවයි සබරගමුවේ..වගේ. කිසිම සම්බන්ධයක් අපි දකින්නේ නෑ.

මේ දේවල් නිවැරදි කිරීමට අවස්ථාවක් නැද්ද?

ප්‍රශස්ත පළාත් පාලනයක තිබිය යුතු ගුණාංග වත් මේ පිරිස දන්නේ නෑ. ප්‍රාදේශීය බල ප්‍රදේශයක් ඇතුළේ සහභාගිත්ව සංවර්ධනයක් තිබෙනවද? ජනතාව එක්ව සාකච්ඡා කර ජනතා කමිටු තුළින් ද අදහස් ගන්නේ? උදාහරණයක් කියනවා නම් මම ලංකාගම ගිය අවස්ථාවේ එහි ජනතාවගේ අවශ්‍යතාවය පාර. නමුත් ලබා දුන්නේ තෙකලා විදුලිය. අනෙක සම්මුතියෙන් කටයුතු කිරීම. මෙහි විසම්මුතිය තමයි සම්මුතිය වී තිබෙන්නේ. වගවීමක් තිබෙනවාද? මේවාට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. කෝටි ගණන් වංචා දූෂණ කළ මිනිසුන් මෙවර මැතිවරණයටත් ඉදිරිපත් වී තිබෙනවා. චීනය වැනි රටවල කුණු ජාතික සම්පතක්. අපේ රටේ අයට දැනුම නෑ. කුසලතාවය නෑ. දන්න එකම දේ කොන්ත්‍රාත් සහ සල්ලි.

ප්‍රධාන පක්ෂ වලින් නැතුව ස්වාධීන කණ්ඩායමක් ලෙස උගත්, බුද්ධිමත් කණ්ඩායමකට ඉදිරිපත් විය හැකියි නේද?

මේ වන විට අපේ රට අල්ලස් දූෂණයෙන් හතර වැනි තැනට ඇවිල්ලා තියෙන්නේ. ගෝලීය වශයෙන් අපේ රටේ අභිමානය ගිලිහිලා තියෙන්නේ. දේශීය වශයෙන් සංවර්ධන මූලෝපායන් පිළිබඳ දැනීමක් නෑ. පළාත් පාලන විධීන් විද්‍යාත්මක නෑ. පළාත් පාලන කොට්ඨාස අතර විනිවිදභාවයක් නෑ. මහජන ප්‍රතිචාර ලබා ගැනීමේ වැඩසටහන් හැදිලා නෑ. කාර්යක්ෂමතාවයක් නෑ, සාධාරණභාවයක් නෑ. නීති ගරුක බව නෑ. මෙන්න මේ දේශපාලනය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස අපේ තිබෙන්නේ අන්ත කළකිරීමක්. අපි ආචාර්ය උපාධිය අරගෙන විශ්වවිද්‍යාලවල උගන්වනවා විතරයි. රටේ පරිපාලනයට, ජාතික සංවර්ධනයට අපේ දායකත්වය ගන්නේ නෑ. අපිත් මේ බලා ඉන්නේ ඊළඟ ගුවන් යානය කොහෙන්ද එන්නේ කියලා.


පක්ෂවලින් පරණ වරදම කරනවා
- කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

 මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් 500කට පමණ විවිධ චෝදනා ඇති බැවින් ඔවුන් මැතිවරණයෙන් දිනුවත් මන්ත්‍රීධුර ලබා දීමේ අවදානමක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති පවසා තිබෙනවා. මේ ගැන මොකද හිතන්නේ?

ඒක සත්‍ය කතාවක්. ස්ථාන මාරුවක් ලබාගෙන යා යුතු කෙනෙක්, එහෙම නැතිනම් රැකියාවකින් ඉල්ලා අස්වෙලා තරග කළ යුතු කෙනෙක්, අපරාධමය වරදකට චෝදනා එල්ල වෙලා දඬුවම් ලබා ඉන්න කෙනෙක් වැනි පුද්ගලයන් තමයි නුසුදුස්සෝ වෙන්නේ. මේ අය ඡන්දය ඉල්ලන්නෙ කරුණු සඟවලා නම් ඒ පුද්ගලයා ජනතා කැමැත්තෙන් පත්වුණත් මන්ත්‍රී ධුරය දරන්න බැරි වෙනවා. ඒ පුද්ගලයා සියලු දෙනාගෙන්ම බේරී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නත් බොරු කිරීමේ වරදට දඬුවම් ලබන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම දඩ ගැසීමේ හැකියාවත් තියෙනවා.

රටේ උගත්, බුද්ධිමත් පිරිසක් සිටිද්දී ඇයි පක්ෂවලින් මෙවැනි පිරිස්වලට අපේක්ෂකකම් ලබා දෙන්නෙ?

මේ වැරැද්දට විරුද්ධව අපි මේ තරම් පෙනී හිඳිද්දිත් දේශපාලන පක්ෂ මෙවැනි වැරැදි කරන්නෙ ඇයි කියන ගැටලුව අපටත් තියෙනවා. මැතිවරණ ක්‍රමයේ තිබෙන වෙනස පිළිබඳ අවබෝධය අඩුකම නිසා තවමත් පක්ෂවලින් මෙවැනි දූෂිතයන්ට තැන ලබා දෙනවා. ගාල්ලේ නම් එවැනි දූෂිත අපේක්ෂකයන් තනිවම ගෙයින් ගෙට ගිහින් ඡන්දේ ඉල්ලන්නේ නෑ. මිනිස්සු ඒ අයට ගහලා එලවනවා. බොහෝ තැන්වල දාලා තියෙන අපරාධකාරයෝ කැම්පේන් කරන්නෙ නෑ.

සමස්ත ඡන්දදායකයාගේ මේ මොහොතේ වගකීම මොකක්ද?

මැතිවරණයට උනන්දුවක් නෑ කියන කතාව නම් බොරුවක්. වෙනදා වගේ මනාප යුද්ධයක් නැති හින්දා මැතිවරණ ව්‍යාපාරය ජනතාවට පේන්නෙ නැතිකමක් නම් තියෙනවා. පසුගිය සති දෙක තුළ උතුරු නැඟෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 17ක මම ඇවිද්දා. වැඩිපුරම උනන්දුව තියෙන්නෙ උතුරු පළාතේ ජනතාවට. ගමේ ජනයාට උපතේ සිට මරණය දක්වා ඇති ගැටලු විසඳන්න පුළුවන් හොඳම පුද්ගලයා තෝරා ගැනීමයි ජනතාව කළ යුතු වන්නෙ. ඒ වගේම ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා සහ පක්ෂය කියන කාරණා දෙකම එක හා සමානව කිරලා මැනලායි ඡන්දය පාවිච්චි කළ යුතු වන්නෙ. මේ සැරේ අපි කළ යුත්තෙ හරි අපේක්ෂකයා පත්වන විදියට ඡන්දය ප්‍රකාශ කිරීමයි.

මෙවර මැතිවරණ නීති-රීති උල්ලංඝනය කිරීම්වල තත්ත්වය කෙබඳුද?

මෙදා සැරේ නීති උල්ලංඝනය කිරීම් ලොකුවට වාර්තා වෙන්නෙ නෑ. ඒත් පෝස්ටර් ගහනවා. පෝස්ටර් ගැහුවා කියලා සමහරු පෝස්ටර් අලවලා තියෙන්නෙ ඒ පුද්ගලයාගේ කොට්ඨාසයෙන් පිට. ඒක ඉතින් වැඩකට ඇති දෙයක් ‍නොවේ.

ස්වාධීන කණ්ඩායම් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙන උගත්, බුද්ධිමත් පිරිස තෝරා ගැනීමේ හැකියාවක් ඡන්දදායකයාට තියෙනවා නේද?

කුඩා පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වලටත් අතිවිශාල බලයක් ලැබෙන එක මෙවර මැතිවරණ ක්‍රමයේ තියෙන හොඳ දෙයක්. මේ මැතිවරණ ක්‍රමය නිසා මෙදා සැරේ ඡන්දය හාත්පසින්ම වෙනස්. සමහර තැන්වල දේශපාලන පක්ෂ හත, අටක් හෝ ස්වාධීන කණ්ඩායම් කීපයක් අතර ලොකු තරගයක් පවතිනවා. ඒ හරහා ස්වාධීන කණ්ඩායම් වගේම කුඩා පක්ෂවලටත් ලොකු බලයක් ලැබීමට ඉඩ ප්‍රස්ථාව වැඩියි. ඒක තමයි මේ මැතිවරණ ක්‍රමයේ තිබෙන ඉතාම හොඳ තත්ත්වය. සාමාන්‍යයෙන් පක්ෂ, ස්වාධීන කියා වෙනසක් නැහැ. හොඳ පුද්ගලයන්ට ජයග්‍රහණය කිරීම පහසුයි. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය හරහා කුඩා පක්ෂ වගේම ස්වාධීන පුද්ගලයන්ටත් පාලන තන්ත්‍රයට එක්වීමට ලොකු හැකියාවක් පවතිනවා.


දූෂිතයන් ප්‍රතික්ෂේප කරන්න
- රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්. ඩබ්ලිව්. අමරසිංහ

පසුගිය දිනවල ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා දූෂණ චෝදනා තිබෙන සහ දූෂිත ක්‍රියාකාරකම්වල නිරත කිසිවෙකුට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදෙන ලෙස. ඒ දේ සිදු වී තිබෙනවද?

මේ මැතිවරණයට ග්‍රාමීය වශයෙන් තමයි අපේක්ෂකයන් ඉදිරිපත් වෙන්නෙ. නායකත්වය විවිධ තරාතිරම් තුළින් සමාජයේ මතුවෙනවා. සමාජයේ සිදුවන වෙනස්වීම් මත තිබූ සම්භාව්‍ය බව ගිලිහිලා ගිහින්. යම් යම් ක්‍රමවලින් පෝසත් වූ පිරිස් අද නායකත්වයට පැමිණෙමින් ඉන්නවා. ආර්ථික හා පිරිස් බලයෙන් ශක්තිමත් අය යොදවලා වැඩිපුර ඡන්ද ලබාගෙන බලය තහවුරු කරගන්න තමයි දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. ඒ නිසා සමාජයේ විවිධ අපචාර හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයනුත් අපේක්ෂකත්වය ලබාගෙන තිබෙන බව හෙළිදරව් වීගෙන යනවා. ඇත්තටම ඒ තත්ත්වය සිදු නොවිය යුතු දෙයක්. අපට ඒ දේ කිසිසේත් අනුමත කරන්න බැහැ.

මේ තත්ත්වය මත අනාගතයේදී රටේ පළාත් පාලන ක්‍රමයට මොන වගේ තත්ත්වයක් උදා වේවිද?

මැතිවරණයට ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන් දූෂිතයන් නොවේ. ඒත් එවැනි පුද්ගලයන් නැතිවමත් නොවෙයි. ජනතා නියෝජනයට සුදුසු, උගත්, දූෂිත ලේබල්වලින් තොර, යහපත් බුද්ධිමත් පුද්ගලයන් තෝරා බේරාගෙන පත්කිරීම එක මහජනතාවගේ වගකීමක්.

කාන්තා නියෝජනය සඳහා 25% කට අවස්ථාව ලබාදීම ඔබතුමා දකින්නේ කොහොමද?

ඒක හරි වැදගත්. මොකද කාන්තාවෝ කියන්නෙත් ග්‍රාමීය ක්ෂේත්‍රය තුළ ප්‍රාදේශීය මට්ටමින් අවංකව කැපවීමකින් වැඩ කරන්න පුළුවන් පිරිසක්. එවැනි අයගේ දායකත්වය ලබාගෙන ග්‍රාමීය වශයෙන් තිබෙන අවශ්‍යතා සපුරා ගැනීම අවශ්‍ය වෙනවා.

තරුණ පිරිස නියෝජනය නොවීම මොන විදියට බලපායිද?

තරුණ පිරිස කියන්නෙ කායිකව මෙන්ම මානසිකව වැඩ කිරීමේ හැකියාවක් තිබෙන අය. විශේෂයෙන් තරුණ අවශ්‍යතා වගේම වෙනස්වන සමාජීය අවශ්‍යතා ගැන අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් නිසා ඒ අය වෙනස්වන ලෝකයත්, සමාජයත් සමඟ කටයුතු කරන්න උත්සාහ ගන්නවා. අපට මතකයි 1971 දී තරුණ අරගල ඇති වුණේත් තරුණ කොටස් දේශපාලනය තුළත් රටේ ආර්ථික වර්ධන ක්‍රියාදාමය තුළත් නොසලකා හැරපු නිසා ඇති වුණ අපේක්ෂා භංගත්වය නිසයි. රටේ පාලනය එක පරම්පරාවකට පමණක් සීමා නොකර තරුණ පිරිස් සම්බන්ධ කර ගැනීම වැදගත් දෙයක්.

මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂවලට අමතරව ස්වාධීන අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී සිටිනවා. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද?

මෙවැනි ස්වාධීන කණ්ඩායම් හෝ පුද්ගලයන් වශයෙන් ඉදිරිපත් වන පිරිස් අතර ජනතා නියෝජනයට සුදුසු අය සිටීමට පුළුවන්. ඇතැම් ඡන්දදායකයන් ප්‍රධාන දේශපාලන පක්ෂ වෙතින් ඉවත්ව ඡන්දයෙන් වැළකී සිටීමට පියවර ගන්නා අවස්ථාවක මේ ස්වාධීන අපේක්ෂකයන්ට ඔවුන්ගේ අවධානය යොමුවීමටත් ඉඩ තිබෙනවා. කෙසේ හෝ ජනතා පරමාධිපත්‍යය රකිමින් කටයුතු කරන අවංක ක්‍රියාශීලී නායකයන් පත්කර ගැනීම තමයි ජනතාවගේ ජයග්‍රහණය වෙන්නෙ.

ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ජයග්‍රහණය කළත් ජනතා අපේක්ෂා ඉටුකර ගැනීමට නොහැකි බව ඇතමෙක් කියනවා. එහි සත්‍යයක් ‍තිබේද?

වෙනත් පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම් වලින් පත්වන නියෝජිතයන් රජයට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. එ්ත් වැඩ කරන්න බැරි වෙන්නේ නෑ. ආණ්ඩුව වෙන් කරන ප්‍රතිපාදන මේ අයටත් ලැබෙනවා. ඒ වගේම තම හැකියා මත අභියෝග ජයගනිමින් වැඩ කරන්න මේ අයට පුළුවන් වෙන්න ඕනේ.

මෙවැනි අවස්ථාවක ඡන්දදායකයාට තිබෙන වගකීම මොකක්ද?

වඩා සුදුසු පුද්ගලයන් පත් කරගන්න මේක හොඳ අවස්ථාවක්. දූෂිතයන්ව පරදවන්න ජනතාවට අතීතයෙන් ලැබුණ අත්දැකීම් ඕනෑවටත් වැඩිය තියෙනවා.

අසේල කුරුළුවංශ
ක්‍රිසන්ති විතාරණ
අමිල මලවිසූරිය
නිශාන් මෙන්ඩිස්

ශ්‍රී ලාංකික තානාපති නිලධාරීන් අල්ලසට යට වෙලා

$
0
0
ජන 18, 2018 01:00

* වීසා ලබා ගැනීමට ජනපතිතුමනි උදව් කරන්න
* දකුණු කොරියානු ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ට චෝදනාවක්
* කූට ලේඛණ සකසා ලාංකිකයකු කොරියාවෙන් බලෙන් පිටුවහල් කරලා
* කොරියානු රජය /තානාපති කාර්යාලය වැරැදි නෑ

එච්.එම්.අයි.ජී නවරත්නන බණ්ඩා වන මා දකුණු කොරියාවේ අවුරුදු 5 ක් පමණ සේවය කළෙමි.එරට මාගේ අවසාන සේවා ස්ථානය වුයේ ජෙයිඑන්දි (jeanddi) 063-2620672-3 නම් සමාගමේ කාර්යාලයයයි. එහිදී එම සමාගමේ සේවිකා කුසොක්හියෙන් (ko sukhyun) 01028705335, 063-2620672 සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගතිමි.එරටදී ඇය විවාහ කර ගැනීම සදහා අවශ්‍ය ලියකියවිලි ද සම්පුර්ණ කර ගතිමි. විවාහ වීම සදහා අවශ්‍ය මුදු , මාල ,කරබු සහ නොයෙක් දේ තෑගි වශයෙන් ඇයට ලබා දුනිමි.

කොරියන් තරුණිය සහ මාගේ විවාහයට ඊර්ෂ්‍යා කළ කීප දෙනෙක් ද එම සමාගමේ සේවය කළහ.එම පිරිස කොරියාවේ ප්‍රධාන පෙළේ ආයතනයකින් අයුතු ලෙස මුදල් ඉපයීමේ ක්‍රියාකව නිරතව සිටි සිටි සේවා අංශයක සේවක පිරිසකි.

කෙසේ වෙතත් මාගේ විවාහයේ කටයුතු කර ගැනීමට ආර්ථිකමය ගැටලු රැසක් ඇති වීය.පසුව මා හට කොරියාවේ රැඳී සිටීමට හිමිව තිබු වීසා කාලය ඉක්මවීම නිසා මා සති කීපයක් යළිත් වීසා කාලය දීර්ඝ කරන තුරු අනවසරයෙන් කොරියාවේ රැදී සිටියෙමි.ඒ මාස 5ක පමණ කාලයකි. එම කාල සීමාවේහිද මා හට විවාහ වීමට නොදී සමහරු ප්‍රශ්න ඇති කළහ.මට එරෙහිව බොරු පැමිණිල්ලක් කොරියාවේ පොලිස් ස්ථානයකට ඉදිරිපත් කිරීමට තවත් පිරිසක් කටයුතු කළහ. එහිදී මා පොලිස් බාරයට පත් වීය. පොලිස් නිලධරීහු අසත්‍ය ‍චෝදනා තුනක් සදහා ( බොරු වැරැදි 3 ක්) මගෙන් කට උත්තර ලබා ගත්හ. පසුව මා ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයකට බාර කළේය.

පසුව කොරියාවේ මා සේවය කළ ජෙයිඑන්දි සමාගම සහ මාගේ පෙම්වතිය (කුසොක්හියෙන්) මා එම ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගැනීම සදහා ඉමහත් වෙහෙසක් ගත්හ. ඒ සදහා සමාගමේ නීතීඥයෙක් ද මා රඳවා සිටි ආගමන විගමන කඳවුරට පැමිණියේය. එම නීතිඥයා සදහා මුදල් ගෙවනු ලැබුවේද රැඳවුම් මධ්‍යස්ථානයේ මා බාරව සිටි කළමණාකරු මගිනි.ඊට හේතුව කෙළින්ම එම නීතීඥ මහතාට මුදල් ගෙවීමට මට පහසුකම් නොතිබීමය.

මා සේවය කළ ජෙයිඑන්දි (jeanddi )සමාගමත් පෙම්වතියත් සමාගමේ කාර්ය මණ්ඩලයත් මට උපදෙස් දුන්නේ ලංකාවට නොයනා ලෙසත් නිදහස් කර ගන්නා තෙක් කඳවුරේ රැදී සිටින ලෙසත්ය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් ආගමන රැදවුම් මධ්‍යස්ථානයේ නිලධාරීහු ඇතැම් අවස්ථාවල මා හට උදව් කරන බවට පොරොන්දු වී මගෙන් මුදල්ද ලබා ගත්හ.රැඳවුම් මධ්‍යස්ථානයේ කළමනාකරු හැර සෙසු ප්‍රධාන නිලධාරීහු මා හට නැවැත ලංකාවට නොයන ලෙසත් කොරියාවේ රැදි සිටීමට උදව් කරන බවටත් පොරොන්දු වුහ.එම නිලධාරීන් මට කොරියන් භෂාව ඉගෙන ගැනීම සදහා පොත් පත්ද ලබා දුණි.

කොරියානු ආගමන විගමන මධ්‍යස්ථානයට මා ඇතුළු කරන ලද්දේ 2015/01/29 දිනය.රැඳවුම් කඳවුරේ මම අවුරුදු දෙකක කාලයක් රැදී සිටියෙමි. එම කාලයේදී මාගේ පෙම්වතිය වන (කුසොක්හියෙන්) හට දිනපතා දුරකථනයෙන් ඇමැතීමි. හැකි සෑම අවස්ථාවකම ඇයට තෑගි ලබා දුනිමි. 2015/02/14 දින බ්‍රේස්ලට් එකක් ,2016/02/24 කරබු ජෝඩුවක්, මල්, චොකලට් ආදියද ඇය වෙත යවන ලදී.ඒ සෑම අවස්ථාවකදීම පෙම්වතිය කියා සිටියේ රැදවුම් මධ්‍යස්ථානයෙන් මා නිදහස්ව පැමිණෙන තෙක් ඇය බලා සිටින බවය.රැදවුම් මධ්‍යස්ථානයේ සිටිය දී පමණක් පෙම්වතිය වෙනුවෙන් සහ සේවය කළ සමාගමේ නීතීඥ මහතා වෙනුවේන් රුපියල් ලක්ෂ 30 කටත් අධික මුදලක් වියදම් වීය.මා පත්ව සිටි අසරණකම නිසා එම මුදල් ලබා දුන්නේ රැඳවුම් කඳවුරේ නිලධාරී මහතුන් වෙතය.

ඒ වන විට මා කොරියාවේදී උපයා ගත් සියලු මුදල් වියදම් වීය.මා නිරතුරු උත්සාහ කළේ කෙසේ හෝ රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් වීමටය.අනතුරුව රැකියාවක් සොයාගෙන යම් මුදලක් උපයා ගෙන පෙම්වතිය කසාද බැඳීමටය.කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයට අයත් රැඳවුම් මධ්‍යස්ථානයේ බහුතර නිලධාරීන්ගේ තීරණය වුයේ මා නිදහස් කිරීමටය.කෙසේ වෙතත් කඳවුරේ රැදී සිටින අතරතුර ඇතැම් නිලධාරීන්ගේ පහරදීම්වලට සහ විවිධ තර්ජනවලටත් මා ලක් වීය.ඔවුන් කියා සිටියේ කොරියාවේදී මානව හිමිකම් සහ පොලිස් අපරාධ විමර්ශන අංශවලට පැමිණිලි නොකරන ලෙසය.

කඳවුරෙන් නිදහස් වීම සඳහා මා හට පසුබිම සැකසී තිබියදී කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කඳවුරට කැඳවනු ලැබීය. එරට නීති රීති අනුව මා හට නැවැත කොරියාවේ විසා ලැබීමට හැකියාව උදා වී තිබු බව මා වෙත අගමන විගමන කඳවුරේ නිලධාරීහු පැවසුහ. මා හට නැවත කොරියානු වීසා ලැබීම කූට ලෙස වැලැක්වුයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසිනි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් රැදවුම් මධ්‍යස්ථානයේ මා භාරව සිටි ශ්‍රී ලාංකික නිලධාරීයා කොරියාවේ මා සේවය කළ සමාගමේ විරෝධය ද නොතකා කූට ලියකියවිලි සකසා තිබුණි. පසුව කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් ඉන්චොන් ( inchon )ගුවන්තොටුපළට කූට ලේඛණ ඉදිරිපත් කොට මා බලහත්කාරයෙන් 2017/01/12 දින කොරියාවෙන් පිටුවහල් කරන ලදී.(inchon) ඉන්චොන් ගුවන්තොටුපලට පැමිණි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කසුන් නමැති නලධාරීයා සහ තවත් නිලධාරියෙක් මට ගුවන්තොටුපළේදී අසභ්‍ය ලෙස බැණ වැඳුණාහ .

එම නිලධාරියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකි.ඒ වන විට මා කොරියාවේ නීතිය පසිඳලිමේ ආයතන රැසකට විවිධ පැමිණිලි 49 ක් පමණ ඉදිරිපත් කර තිබිණි. විශේෂයෙන්ම කොරියාවේ (jonju) ජොන්ජු උසාවියේත් (thejon) තේජෝන් උසාවියේත් මට සිදු වු අසාධාරණය සම්බන්ධව නඩු විභාග වෙමින් තිබිණි.කොරියානු නීති රීති අනුව කොරියානු අධිකරණයක නඩු විභාග වෙමින් තිබියදී එරටින් පිටුවහල් කිරීම නීතීයට අනුකූල නොවේ.එහෙත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරීන්ගේ උවමනාවට මා බලහත්කාරයෙන් පිටුවහල් කළේය.අවුරුදු 2 ක කාලයක් ශ්‍රී ලාංකික ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ රැදී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැනද යමක් කිව යුතුමය.

2015/04/30 වන දින ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සේනානායක මහතා කඳවුරට ගෙන්වන ලද්දේ මා හට නැවැත වීසා ලබා දීම සඳහාය.එහෙත් ඔහු කටයුතු කළේ දැඩි පිළිකුල් සහගත ලෙසය.මා හට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් කොරියාවේ මානව හිමිකම් ‍‍හෝ අපරාධ විමර්ශන අංශවලට පැමිණිලි නොකරන ලෙස ද ඔහු කියා සිටියේය. සේනානායක මහතා මා හට නැවැත වීසා ලබා ගැනීමට උදව් කරන බවට පොරොන්දු වීය.එහෙත් ඔහු කළේ මා හට යළිත් වීසා ලබා ගැනීමට තිබු ඉඩ ප්‍රස්ථා අහිමි කිරීමය.හෙතෙම සම්පුර්ණයෙන්ම උදව් කළේ කොරියාවේ ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයේ කළමනාකරුටය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටියදී මා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දුරකතනයෙන් කීප වරක් අමතා උදව් ඉල්ලා සිටියෙමි.මා සම්බන්ධ සියලු විස්තර ද තානාපති කාර්යාලයට ලබා දුනිමි.ඒ සෑම අවස්ථාවකම කොරියාවේ සිටි මාගේ පෙම්වතියගේ තොරතුරු සහ දුරකතන අංක ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීහු ඉල්ලා සිටියහ.එහෙත් ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු මා හට පිළිසරණක් වුයේ නැත.

2016/07/15 වැනි දින තුන්වරක් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කසුන් නමැති නිලධාරියා මාගේ රැඳවුම් කඳවුරට පැමිණියේය. ඊට හේතු වුයේ මා ඒ වන විට කොරියාවේ මානව හිමිකම්, අපරාධ විමර්ශන හා යුක්තිය පසිඳලීමේ ආයතන රැසකට කර තිබු පැමිණිලි ය.කොරියාවේ යුක්තිය පසිඳලීමේ ආයතන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබුණේ මා හට උදව් කර සිදුව ඇති අසාධාරණය නිවැරැදි කරන ලෙසටය.එහෙත් ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයේ කසුන් නමැති නිලධාරියාගේ දැඩි පිළිකුල්සහගත කටයුතු නිසා මා හට අසාධාරණයක් වීය.කසුන් නමැති නිලධාරියා මට තර්ජනය කර සිටියේ කොරියාවේ මානව හිමිකම් හෝ අධිකරණ කටයුතු සදහා පැමිණිලි නොකරන ලෙසය.

රැදවුම් මධ්‍යස්ථානයේදී මා විවිධ පහරදීම් හා තර්ජනයන්ට ලක් වීය. කසුන් නමැති නිලධාරියා මට තර්ජනය කරමින් කියා සිටියේ කිසිවක් මානව හිමිකම් හෝ අපරාධ විමර්ශන පොලීසිවලට පැමිණිලි නොකරන ලෙසය.2017/01/12 වන දින බලහත්කාරයෙන් පිටුවහල් කළ අවස්ථාවේ දී දකුණු කොරියාවේ (Inchon) ඉන්චොන් ගුවන් තොටුපලට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනෙක් පැමිණියහ. ඉන් එක් අයෙක් කසුන් නමැති නිලධාරියා වන අතර, අනෙකා තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් වන බටුගෙදර නමැත්තාය.

මා කොරියාවෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට පැමිණි දිනට පසුදින කටුනායක ගුවන් තොටුපළට පැමිණි පසු කටුනායක සිටි ආගමන විගමන නිලධාරිනියක් මගෙන් බලෙන් අත්සන් ලබාගත්තාය. ඇය මාගේ පියාගෙන්ද බලෙන් අත්සන් ගෙන තිබිණ.

ඉන් පසුව මා යළිත් කොරියාවට යාමේ බලාපොරොත්තුවෙන් (Jeunju) ජොන්ජු ආගමන විගමන කාර්යාලයටත් (Chonju) ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයටත් දුරකථනයෙන් අමතා නැවත කඩිනමින් වීසා සකසා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.කොරියානු බලධාරීන් මා හට ප්‍රකාශ කළේ කොරියානු රජය විසින් මා හට අසාධාරණයක් සිදු කර නැති බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් වීසා ලබා ගැනීමට තිබු අවස්ථා අහුරා ඇති බවත්ය.

එම නිසා යළිත් කොරියාවට පැමිණීමට නම් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උදව් ඉල්ලා සිටින ලෙස කොරියානු බලධාරීහු මා වෙත දන්වා සිටියහ. 2017/03/03 දින දුරකථනයෙන් ඇමතූ විට කොරියානු බලධාරීන් කියා සිටියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් උදව් රැගෙන ඉක්මනින් කොරියාවට පැමිණෙන ලෙසය.ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් ඇමැතූ අවස්ථාවල සියලු විස්තර ලබා දුන් පසු ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමට කොරියාවේ ආගමන විගමන මධ්‍යස්ථාන වලට කතා නොකරන ලෙස තර්ජනය කළහ. වැරැද්දක් කළ තානාපති නිලධාරින් මා හට උදව් කිරීමට තිබෙන අකමැත්ත මත එසේ තර්ජනය කළහ.

කොරියාවේ රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය කළ සියයට 95 ක පමණ නිලධාරී පිරිසක් මට යළිත් වීසා ලබා ගැනීමට උදව් කළ අතර එම පිරිස අභිබවා මට වීසා ලැබීම අහිමි කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සහ එවකට රැඳවුම් මධ්‍යස්ථානයේ කළමනාකරු ය.දැනටත් මට උදව් කළ කොරියාවේ නිලධාරීන් අමතන විට ඔවුන් ප්‍රකාශ කරනුයේ නැවත කොරියාවට පැමිණීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් උදව් සහ වීසා ලබා ගන්නා ලෙසය.

මා මෙවැනි අසරණ තත්ත්වයකට ඇද දැමුයේ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් කීප දෙනෙක් සහ රැඳවුම් මධ්‍යස්ථානයේ මාගේ කළමනාකරුය. 2017/01/12 දින මා කොරියාවෙන් පිටුවහල් කළේ කොරියානු උසාවි දෙකක නඩු විභාග වෙමිත් තිබු මොහොතකය.මාගේ පෙම්වතියගේ බලාපොරොත්තුව වුයේද රැදවුම් කඳවුරෙන් නිදහස්ව මා වීසා ලබා කොරියාවේ රැදී සිටිමින් ඇය විවාහ කර ගනු ඇති බවටය.ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති නිලධාරීන් කො‍රියාවෙන් මා බලෙන් පිටුවහල් කරමින් මා මේ තත්ත්වයට ඇද දැමුයේ ඇතැමුන්ගේ ලාභ ප්‍රයෝජන, අල්ලස් ලබා ගනිමිනි.කොරියන් ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් තමන්ගේ වැරදි වසා ගැනීමට මට එරෙහිව කටයුතු කළහ.කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ දුෂිත ක්‍රියාවන් සොයා බලන ලෙසත් මට සිදු වු අසාධාරණය නිවැරැදි කරන ලෙසත් මා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

මාගේ කොරියානු පෙම්වතිය වන කුසොක්හියොන් මෙනවිය වෙනුවෙන් (Ko Sukhyun) 010-28705335” 063-2620673- 2 රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් වියදම් වී තිබේ.ඇයට කිසිසේත්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිය.ඒ නිසා මා දකුණු කොරියාවට කෙසේ හෝ යා යුතුය.කොරියාවේ සේවය කර උපයා ගත් මුදල් නීතිමය කටයුතු සඳහා වියදම් වී තිබේ.‍යළිත් වීසා ලබා කොරියාවට ගොස් ටික කාලයක් සේවය කර කොරියානු පෙම්වතිය හා විවාහ වීම මාගේ බලාපොරොත්තුවය.

කොරියාවේ ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ දී රැඳී සිටි අවුරදු දෙකක කාලයේදී නඩු ගොනු කිරීමටත් , විවිධ ආයතනයන්ට පැමිණිලි කිරීමටත් , ආගමන විගමන අංශයේ නිලධාරීන් වෙනුවෙන් සහ මා සේවය කළ සමාගම් නීතීඥවරයාට ගෙවීම් සිදු කිරීමටත් රුපියල් ලක්ෂ හතළිහකට අධික මුදලක් වියදම් වීය. කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන්ගේ වැරැදි හේතුවෙන් කොරියාවේ සේවය කර මුදල් ඉපයීමට තිබු අවුරුදු 2 ක කාලයක් නිරපරාදේ මට අහිමි වීය.මට ලංකාවේ නිශ්චල දේපළ හෝ මුල්‍ය තැන්පතු නැත.එබැවින් මා නැවත දකුණු කොරියාවේ සේවය කිරීමට යා යුතු ය.ගෙවුණු අවුරුදු දෙකක කාලයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උදව් නොකිරීම හේතුවෙන් මාගේ අනාගතය විනාශ විය.ඒ නිසා කොරියානු රට තුළ සේවය කිරීමට කඩිනම් වීසා ලබා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා සහ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මැතිතුමා උපකාර කරනු ඇතැයි මා විශ්වාස කරමි.

මා කොරියාවේ යුක්තිය පසිඳලීමේ ආයතන වෙත පැමිණිලි 49 ක් ඉදිරිපත් කොට තිබේ. එහෙත් නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උදව් නොකිරීම හේතුවෙන් කොරියාවේ නීති රීති අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අභිමතය පරිදි එම පැමිණිලි 49 නිෂ්ප්‍රභ කර ඇත.කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වන්නේ නම් එම පැමිණිලි සියල්ල සක්‍රීය කළ හැකි බව කොරියාවේ රැඳවුම් කඳවුරේ නිලධාරීහු මට කීහ.කෙසේ වෙතත් කොරියාවේ ප්‍රධාන පෙළේ උසාවි දෙකක (Jonju / chojone) (ජොන්ජු/ චොන්ජු) මට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතී.එම නඩු කටයුතු සඳහා අනිවාර්යෙන්ම මා උසාවිවල පෙනී සිටිය යුතු ය.එසේ නොමැති වුවහොත් මට බලවත් අසාධාරණයක් සිදු වනු ඇත. එම නිසා මගේ මුළු අනාගතයම රැදී පවතිනුයේ කොරියාවේ වීසා ලබා ගැනීම මතය.

කොරියාවෙන් පිටුවහල් කර වසරකට ආසන්න කාලයක් දැන් ගත වී තිබේ. එහෙත් දැනටත් මා මාගේ පෙම්වතිය සමගින් දුරකථනයෙන් කතා බහ කරමි. ඇය සමග දුරකථනයෙන් කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් සිටිමි.එමෙන්ම මා සේවය කළ කොරියානු සමාගම සමගද ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙන සිටිමි.මාගේ කොරියානු පෙම්වතියත් මා සේවය කළ කොරියන් සමාගමටත් මා කතා කරන සෑම අවස්ථාවකම ඔවුන් පවසනුයේ කෙසේ ‍හෝ වීසා ලබා ගෙන යළිත් කොරියාවට පැමිණෙන ලෙසය.මට යළිත් කොරියාවේ රැකියාව ලබා දීමට මා සේවය කළ සමාගම සුදානමින් සිටී.

කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මට හට උදව් කරන්නේ නම් මට කොරියානු වීසා යළිත් ලබා ගැනීමට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැත.එම ආයතන මා හට උදව් නොකිරීම නිසා මාගේ මුළු ජීවිතයම අඳුරු අගාධයකට වැටෙණු නොඅනුමානය.

මාගේ වයස අවුරුදු 38කි.මට නැවත ලංකාවේ තරුණියක් සමග විවාහ වීමට නොහැකිය.ඒ මා පණ මෙන් අදාරය කරන කොරියානු පෙම්වතිය නිසාය. මුදල් හා සියලු කාලයත් කොරියාවේ ගෑනු ළමයා වෙනුවෙනුත්, ආගමන විගමන නිලධාරීන් වෙනුවෙනුත්, නඩු හබ සහ සියලු දේ වෙනුවෙනුත් වියදම් වී හමාරය.

නීතීඥ ගාස්තු නොගෙවීම නිසා කොරියාවේ චොන්ජු උසාවියේ විභාග වන (2017/296) නඩුව අක්‍රීයවී තිබේ.එම නිසා කොරියාවට ගොස් නීතීඥ ගාස්තු ගෙවා යළිත් උසාවියේ ඇති නඩුව යළි සක්‍රීය කර ගත යුතුය.එමෙන්ම මා විසින් කොරියාවේ යුක්තිය පසිඳලීමේ ආයතන වෙත කර ඇති පැමිණිලි කොරියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අභිමතය පරිදි යළිත් සක්‍රිය කර ගත යුතුය.

ඔනෑම විදෙස් රටක් තවත් රටක තානාපති කාර්යාලයක් ස්ථාපිත කරනුයේ රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සිදු කිරීමට පමණක්ම නොවේ.ඕනෑම රටක ජීවත් වන හෝ රැකියා සිදු කරනු ලබන විදෙස් ජාතිකයන්ට යම් කරදරයක් හෝ ගැටලුවක් ඇති වු විට විදෙස් රටක පිහිටුවා ඇති මව් රටේ තානාපති කාර්යාලය තම මව් රටේ වැසියන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් කොරියාවේ සේවය කළ මා වෙනුවෙන් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කිසිදු උදව්වක් කළේ නැත.ඊට හේතු රැසකි. එම නිසා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරීන් ගැන ගරු ජනාධිපතිතුමාගේත් ගරු විදෙස් කටයුතු ඇමැති තිලක් මාරපන මැතිතුමාගේත් අවධානය යොමු වීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට සිදු කරනු ලබන ගෞරවයකි.

දකුණු කොරියාවේදී
අසාධාරණයට ලක් වු ශ්‍රී ලාංකික
එච්. එම්. අයි. ජී. නවරත්න බණ්ඩා,‍
වි.ග.බ.අංක N 6937894‍.
දු.අ. 0774060106

ඔබේ ගැටලුව අපට එවන්න
රාජ්‍ය සේවය පිණිසයි
විශේෂාංග අංශය - දිනමිණ, ලේක්හවුස් - කොළඹ
Fax - 0112429220

නීති විරෝධී නීතිඥයෙක්!

$
0
0
ජන 18, 2018 01:00

නමවන කොටස

ප්‍රමාණවත් මාසික වේතනයකට අමතරව නීතිඥ වෘත්තිය නිසා ඇබග්නේල්ට නීතියෙන් පලායාමට කදිම ආවරණයක්ද ලැබිණි. පාසලෙන් කට්ටි පැන්න යෞවනයෙක්, චෙක්පත් වංචාකළ අපරාධකරුවෙක්, නීතිපති කාර්යාලයක සේවයේ නිරතවනු ඇතැයි කිසිවකුත් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවන නිසාය. නමුත් ඇබග්නේල්ට මේ ආරක්ෂාව වැඩිකලක් ලැබීමට නොහැකි වූයේ ඔහු නොසිතු ලෙස හාවර්ඩ් නීතීධරයකු ඔහු හා බලහත්කාරයෙන් මිත්‍ර වීම නිසාය.

රෝහලේ රැකියාවට සමුදී සතියකට පසු ඇබග්නේල් ඇට්ලන්ටාවටද සමුදුන්නේය. වැඩි කලක් එකම තැනක රැඳී සිටීම අවධානම් සහගත බව ඔහුට ඉවෙන් මෙන් දැනිණි. පසු කලක ඔහුට දැන ගැනීමට ලැබුණේ එදා ඔහු ගත් ඒ තීරණය බෙහෙවින් ඥාණවන්ත බවය. අනෙක් සියලු වැඩ පසෙක ලා ඇබග්නේල් නමැති මහා රැවටිලිකාර හොර දෙටුවා අත්අඩංගුවට ගැනීමට පමණක් ඉලක්කය ගන්නා ලෙසට එෆ්.බී.අයි. නිලධාරි ෂෝන් ඕ රයිලිට ඉහළින් විධානයක් ලැබී තිබුණේ හරියටම එදාය. පසුකලෙක රයිලි වෘත්තීය වශයෙන් ලැජ්ජාවට පත් කිරීමට කළ හැකි හැම දෙයක්ම කෙරුවද ඇබග්නේල් තුළ රයිලි කෙරෙහි තිබුණේය. ගෞරවයකි. රයිලි යනු තම ඉලක්ක හඹා යන හැබෑම දක්ෂයෙක් වුවත් ඔහු කිසිවිටෙක තමා කෙරෙහි ද්වේශයෙන් එසේ නොකළ බව ඇබග්නේල් පවසයි. දකුණදිග ප්‍රාන්තයකට පැනයාමට ඇබග්නේල් පෙළඹවූ එකම දෙය ඔහු දන්නා හඳුනන සුරූපී ගුවන් සේවිකාවක්වන ඩයෑන් එහි පදිංචිව සිටි නිසාය. ඇට්ලන්ටා ගුවන්තොටුපලේදී දැක හඳුනගෙන සිටි ඩයෑන්ට ඇබග්නේල් තමා හඳුන්වාදී තිබුණේ පෑන් ඇම් ගුවන් නියමු රොබට් කොන්රාඩ් ලෙසය. තමා ගුවන් නියමුවකු වුවද උපාධිය ලැබුවේ නීතිවිද්‍යාලයෙන් බව කී විට ඩයෑන්ට ඔහු සැක කිරිමට හේතුවක් තිබුණේ නැත. ගුවන් විද්‍යාවෙන්ම නොව ඇතැම් නියමුවන් වෙනත් විෂයන්ගෙන්ද උපාධිය ලබා ගුවන්නියමු ක්ෂේත්‍රයට එක්වීම අහඹුවක් නොවන බැවිනි. මේ බව මතක තිබූ ඩයෑන් නගරයට පැමිණ දින කිහිපයකින් ඇබග්නේල් සාදයකට රැගෙන ගියේ ඔහු තමා දන්නා නීතිඥ මිතුරකුට හඳුන්වා දීමටය.

“ඔයාලා දෙන්නා හඳුනාගන්නම ඕනෑ. මේ ජේසන් විල්කොක්ස්. අපේ සහකාර ප්‍රාන්ත නීතිඥයෙක්.“ඇය ඉන්පසු ඇබග්නේල් දෙසට හැරුණාය. “මේ ඉන්නේ බොබ්. එයාත් නීතිඥයෙක්. හැබැයි එයාට කවදාවත් නීතීය ක්‍රියාත්මක කරන්න ලැබිලා නැහැ. මොකද එයා තෝරා ගත්තේ ගුවන් නියමු වෘත්තිය.“

විල්කොක්ස් උනන්දුවට පත්විය.“ඔයා කොහෙන්ද උපාධිය ගත්තේ ?“

“හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන්“ඇබග්නේල් ගණනකට නැතිව පැවසීය. තමා නීති උපාධියක් ලැබිය යුතු නම් එය ඇමරිකාවේ වන උසස්ම විශ්වවිද්‍යාලයෙන් ලැබිය යුතු බව හේ ඇදහීය. විල්කොක්ස්ගේ උනන්දුව දලුලා වැඩිණී.මේ ඔහුට හාවර්ඩ් නීතී උපාධිධාරියෙක් හමුවු පළමු අවස්ථාවය.

“නමුත් ඔයා කවදාවත් නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ලැබුණේ නැහැ. එහෙම නේද?“

“නැහැ. නීති උපාධිය ලැබුණු සතියෙම මට ගුවන් නියමු බලපත්‍රයත් ලැබුණා. පෑන් ඇම් එතකොටත් මාව තෝරාගෙන ඉවරයි. පඩියත් ඩොලර් තිස්දහක් හතළිස්දහක් විතර. ඒක නීතිඥයෙක්ට හීනයක් වගෙයි. අනෙක මම කොහොමටත් පියාසර කරන්න කැමති කෙනෙක්. “

“හරි. ඔයා කොයි කොයි රටවලටද පියාසර කරන්නේ. ලෝකේ වටේම යනවා ඇති නේද ?“

“මම එහෙම කළා සති කිහිපයකට කලින්. දැන් එහෙම නැහැ. කෙටි කාලයකට පෑන් ඇම් එයාල‍ගේ කාර්ය මණ්ඩලය සීමා කළා. ඉතින් මම ජ්‍යෙෂ්ඨයෙකු නොවන නිසා මාවත් කැපුණා. මාස හයක් අවුරුද්දක් විතර නිකන්ම ඉන්න වෙයි. “

විල්කොක්ස්ගේ ඇස් දිලිසෙන්නට විය. ඔහු යම් කිසිවකට අර අදින බව ඇබග්නේල්ට දැනිණි.“කොහාමද ඔයාගේ හාවර්ඩ් ප්‍රතිඵල එහෙම ?“

“ හොඳටම හොඳයි මට හිතෙන හැටියට. මගේ සාමාන්‍යය 3.8යි. ඇයි ?“

“මෙහෙමයි. අපේ නීතිපතිවරයාට එයාගේ කාර්යාලයට නීතිඥයින් ඕනෑකරලා තියනවා. ඇයි ඔයා මෙහේ කඩඉම් විභාගයට මුහුණදීලා අපිත් එක්ක එකතු වෙන්නේ නැත්තේ? ගුවන් නියමුවෙකුගේ තරම් පඩියක් නොලැබුණත් නිකන්ම ඉන්නවට වඩා ඒක හොඳ නැද්ද ? අනෙක ඔයාට නීතිඥයකුගේ පුහුණවත් ලැබෙනවා."

යෝජනාව එකපයින් බැහැර කරන්නට ඇබග්නේල්ට සිතුණත් ඔහු තත්වය කිරා බැලුවේය. එය තවත් එක් අභියෝගයක් ලෙස පිළිගැනීමට ඔහු සිතා ගත්තේය.

“මෙහේ කඩඉම් විභාගයට මුහුණ දෙන්න මට මොනවද උවමනා කරන්නේ ?“

“ඒ තරම් දෙයක් නැහැ. ඔයාගේ හාවර්ඩ් උපාධි සහතිකේ පිටපතක් මෙහේ කඩඉම් විභාග කාර්යාලයට ඉදිරිපත් කරලා විභාගයට අයදුම් කරන්න පුළුවන්. හැබැයි මෙහේ සිවිල් හා අපරාධ නීති ගැන දැනුවත් වෙන්න වෙයි. ඒකට ඕනෑකරන ඔක්කොම පොත්පත් මා ගාව තියෙනවා. ඔයා වෙනත් ප්‍රාන්තයකින් නිසා විභාගය සමත් වෙන්න ඔයාට අවස්ථා තුනක්ම ලැබෙනවා. ඔයාට කරදර වෙන්න කිසිම දෙයක් නැහැ.“

හාවර්ඩ් උපාධි සහතිකය කුමක්දැයි ඇබග්නේල්ට කිසිදු අදහසක් තිබුණේ නැති වුවත් එවැන්නක් ලබා ගැනීම ලෙහෙසි නොවන බව ඔහු දැන සිටියේ.තම සාක්කුවේ ඇති පෑන් ඇම් ගුවන් නියමු බලපත්‍රයද ඇත්ත ලෙස පෙනෙන ව්‍යාජ බලපත්‍රයක් බව ඔහුට සිහිවිය. කිසිදු නියමු පුහුණුවකින් තොරව තමා එවැන්නක් ලැබුවා නම් හාවර්ඩ් උපාධියක්ද එයාකාරයටම ලැබිය නොහැක්කේ මන්ද ? හාවර්ඩ්හි රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවු ලිපියට පිළිතුරු ලෙස ඇබග්නේල්ට නීතිය පිළිබඳ ආචාර්ය උපාධියට අයත් තොරතුරු සියල්ල තැපෑලෙන් ලැබිණි. වැදගත්ම දෙය වුයේ එහි හාවර්ඩ්හි ලාංඡනය ඇතුළත් ලිපි ගණනාවක් තිබීමයි. ව්‍යාජ උපාධි සහතිකයක් නිර්මාණය කිරිමට නම් එවැන්නක් දැක තිබිය යුතුය. එහිදී ඔහුගේ පිහිටට ආවේ ද ඩයෑන්ය. ඔහියෝ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරිනියක් වූ ඇය සිය උපාධි සහතිකයේ ප්‍රටපතක් තමාට පෙන්වීමට පොළඹවා ගැනීමට ඇබග්නේල් සමත් විය. එය පිටු හතරකින් සමන්විත වූවකි.

සිව් වසරක කාලයක් පුරා ඇය සම්පූර්ණ කළ පාඨමාලා, ඒවාට හිමිකරගත් ලකුණු, දින වකවානු, ලබාගත් ශ්‍රේණි, ශ්‍රේණි සාමාන්‍ය, මුලු සාමාන්‍ය හා අවසන් වශයෙන් උපාධිය පිරිනැමුණු දිනය යනාදී සියල්ල එහි ඇතුළත් විය. පිටපත අවසන්කොට තිබුණේ විශ්වවිද්‍යාල රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සනින් හා විශ්වවිද්‍යාල මුද්‍රාවෙනි. ස්පොන්ජයක් වතුර උරා ගන්නේ යම්සේද ඇබග්නේල්ද මේ සියලු තොරතුරු සිය මොළයට හොඳින් අවශෝෂණය කර ගත්තේය. එවැනි දේ සඳහාම අනුවර්තනය වූ මොළයක් ඔහුට තිබිණි.

පසුදින ලිපිද්‍රව්‍ය හා ග්‍රැෆික් කලා උපකරණ අලෙවිසල් කිහිපයක කළ සංචාරය නිමවා ඇබග්නේල් නවාතැනට පැමිණියේ හාවර්ඩ් උපාධි සහතිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සකල කළමනා අතැතිවය. ඒ අතර අද්වකාත්වරු සතු මුද්‍රා තබන මෙන්ම රන්පැහැ මුද්‍රා කිහිපයක්ද විය. කපාකොටා අලවා අවසන් කළ කටු පිටපත, ඡායාපිටපත් යන්ත්‍රයක් තුළින් යැවුවිට ඇබග්නේල් අතට පත් අනුපිටපත ව්‍යාජ උපාධි සහතිකයක් බව සැකකිරීමට කිසිවකුටත් හේතුවක් තිබුණේ නැත.

එය නියම හාවර්ඩ් උපාධි සහතිකයක්මද යන්න ඇබග්නේල්ට දෙගිඩියාවකි. එය හරියටම දැනගත හැකිවන්නේ ප්‍රාන්ත කඩයිම් විභාග කාර්යාලයට ඉදිරිපත් කළ විටය. පුදුමයකට මෙන් කිසිවකුගෙන් බාධා පැමිණියේ නැත. නීතිඥ ලිපිකරුවාගේ අදහස වූයේ හාවර්ඩ් උපාධිධාරියෙක් බැවින් ඊළඟ සතියේදි වුව ඇබග්නේල්ට කඩඉම් විභාගයට මුහුණදී සමත් වීම ඒ හැටි දෙයක් නොවන බවය. නමුත් ඇබග්නේල්ට එය සමත්වීමට හැකිවූයේ තෙවරක් උත්සහා කිරීමෙන් පසුය. විල්කොක්ස්ගේ පෞද්ගලික පුස්තකාලය ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. නීතිය පිරී තිබෙන්නේ ශිල්පීය නිපුණතාවන්ගෙන් බවත්, යුක්තියට සාධාරණය ඉටු නොවන්නේ ඒ නිසාවෙන් බවත් ඇබග්නේල් අනාවරණය කරගත්තේය. තමාගේ මෙම ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වීමට ඔහුට සාධාරණ හේතු තිබිණි. උසස් විද්‍යාල අධ්‍යාපනයවත් අවසන් නොකර නිතීඥයෙක් ලෙස සේවය කිරීමට වලංගු බලපත්‍රයක හිමිකරුවෙක් වීම කෙතරම් ආශ්චර්යයක්ද?

විල්කොක්ස්ද සිය පොරොන්දුව ඉෂ්ඨ කළේය. ඔහු ඇබග්නේල් වෙනුවෙන් ප්‍රාන්ත නීතිපතිවරයා සමඟ සම්මුඛ පරීක්ෂණයක් සූදානම් කළා පමණක් නොව ඔහු රෙකමදාරු ද කළේය. නීතිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකුගේ සහායකයකු ලෙස ඇබග්නේල්ට පත්වීමක් ලැබෙන්නේ එලෙසය. මාන්නයෙන් ඉදිමුණු උඩඟු පුද්ගලයකු වූ මෙම ජ්‍යෙෂ්ඨ නීතීඥයාගේ නොසැලකිල්ලට බඳුන්වූ ඇබග්නේල්ට ඒ නිසාම නීතිඥ වෘත්තියට සරිලන වැඩක් කිරීමට ලැබුණේ කලාතුරකිනි. ජ්‍යෙෂ්ඨයාගේ පණිවුඩ රැගෙන යාම ඇබග්නේල්ගේ දෛනික රාජකාරිය විය. ඩොලර් දොළොස්දහස් අටසියයක වාර්ෂික වේතනයක් ලැබූ ඔහු නීතිපති කාර්යාලයේ හුන් වැඩිම ආදායමැති ‘තැපැල්කරුවා‘ විය. ජ්‍යෙෂ්ඨයා තමාව පහත් කොට සැලකීම ඇබග්නේල් ප්‍රිය කළේ ඒ නිසා ඔහුට නීතිඥ වෘත්තියේ බරපතළ රාජකාරිවලින් ඈත්ව සිටීමට හැකිවු බැවිනි. එහි හිලව්වටත්, සිය ප්‍රධානියාව තවදුරටත් කෝපගැන්වීමේ අරමුණත් ඇතිව ඇබග්නේල් උපරිම සැලකිල්ලෙන් ඇඳුම් පැළඳුම් කළේය. ආදිපාදවරයකුට සරිලන ඇඳුම් අල්මාරියක් ඇබග්නේල් සතුවීම ඊට කදිම පිටිවහලක් විය.

නීතිපති කාර්යාලයේ හුන් හොඳම ජේත්තුකාරයා වූ ඇබග්නේල් සිය සගයන් අතර ජනප්‍රිය ද විය. විනිසුරුවරුන් පවා ‘ඇබග්නේල් විලාසිතා‘ ප්‍රශංසා කිරීමට මැළිවූයේ නැත. වරක් සිය ප්‍රධානියා සමඟ උසාවියේ නඩුවකට පෙනී සිටීමට ඇබග්නේල්ට සිදුවිය. උසාවි කටයුතු මොහොතකට පමාවූ අතරවාරයේදී ඇබග්නේල් වෙත නැඹුරුවූ විනිසුරුවරයා ඔහුගේ විලාසිතා අගය කළේය.

“ඇත්තෙන්ම කොන්රාඩ් මහත්මයා, නීතිඥයෙක් විදිහට මේ උසාවියට එතරම් දායකත්වයක් දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇඳුම් විලාසිතා නිසා උසාවියටත් හොඳ පෙනුමක් ලැබෙනවා. විනිසුරු වගේම උසාවියත් ඔයාව අගය කරනවා.“ ඇබග්නේල් මින් පිනා ගියද ඔහුගේ ප්‍රධානියාට නම් මීමැස්මොර සන්නියක් හැදුණේ නැති ටික පමණි.

ප්‍රමාණවත් මාසික වේතනයකට අමතරව නීතිඥ වෘත්තිය නිසා ඇබග්නේල්ට නීතියෙන් පලායාමට කදිම ආවරණයක්ද ලැබිණි. පාසලෙන් කට්ටි පැන්න යෞවනයෙක්, චෙක්පත් වංචාකළ අපරාධකරුවෙක්, නීතිපති කාර්යාලයක සේවයේ නිරතවනු ඇතැයි කිසිවකුත් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවන නිසාය. නමුත් ඇබග්නේල්ට මේ ආරක්ෂාව වැඩිකලක් ලැබීමට නොහැකි වූයේ ඔහු නොසිතු ලෙස හාවර්ඩ් නීතීධරයකු ඔහු හා බලහත්කාරයෙන් මිත්‍ර වීම නිසාය.

හාවර්ඩ් උපාධිධරයන් යනු විශේෂිත මානව කොට්ඨාසයකි. නිතර හුදකලාවීමට ප්‍රිය කරන එවැන්නකුට නත්තල් ලබන්නේ තවත් හාවර්ඩ් ආදි සිසුවෙක් මුණගැසුණු විටදීය. එවන් විටකදී ඔවුන් එකිනෙකා සමඟ කරන කවර සාකච්ඡාවක් වුවද දිවෙන්නේ එකම අන්තයකටය. ඒ හාවර්ඩ්මය. හාවර්ඩ්වලින් තොර ලෝකයක් ඔවුන්ට ඇත්තේ නැත. ඒ ඇබග්නේල්ට සිතුණු හැටිය. අවසානයේඇබග්නේල්ට මෙම හාවර්ඩ් ගජයාගෙන් ගැලවීමක් නැතිවන තැනටම කටයුතු සිදුවිය. හාවර්ඩ් සම්බන්ධයෙන් ඔහු ඇසු බොහෝ ප්‍රශ්න හමුවේ ඇබග්නේල් නිරුත්තර වත්දී, ඔහුගේ හොර ටික ටික හාවර්ඩ් නීතිධරයාට අසුවන්නට විය. තත්වය අවධානම් බව දැනගත් ඇබග්නේල් හොර රහසේම නීතිපති කාර්යාලයටද ආයුබෝවන් කීවේය. ඒ අවසන් පඩිපත ලබාගැනීමෙන් පසුය.

මේ වනවිට ඇබග්නේල් මාස විස්සකට ආසන්න කාලයක් වෛද්‍යවරයෙක් ලෙසත්, නීතිඥයෙක් ලෙසත් පෙනී හිඳිමින් නීතියේ ඇස් වසා තිබිණි. එම කාලය මුලුල්ලේම ඔහු අතින් එකදු ව්‍යාජ චෙක්පතක් ලියැවුණේද නැත. නීතිඥ වෘත්තියට සමුදීමෙන් පසු කෙටි කලක් ඇමරිකාව පුරා සංචාරය කරමින් සති කිහිපයක නිවාඩුවක් ගතකළ ඇබග්නේල් මෙවර නැවතුණේ යූටා ප්‍රාන්තයේය. අලුත් පිම්මක් පැනීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ ද එහිදීය. එයද මින් පෙර කළ කිසිවකට නොදෙවෙනි අපුරුම රඟපෑමකි.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ රුක්ලන්ති පෙරේරා 

සංගීත චිකිත්සාවෙන් විවර කළ නව දොරටු

$
0
0
ජන 18, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

ජන සංගීතවේදය (Ethnomusicology) යනු ඉතා පුළුල් විෂයය පරාසයකි. නිදසුනක් ලෙස බටහිර සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානි රංගධාරී සංගීතය වැනි එක් විෂයය ධාරාවක් ඉන් ආවරණය කෙරෙන්නේ නැත. ඒ වෙනුවට බටහිර සම්භාව්‍ය, හින්දුස්ථානි, ජන සංගීතය ආදී සෑම ශෛලයක්ම හැදෑරීම ඊට අයත්ය. එය විශ්ව සංගීතය පිළිබඳ හැදෑරීම වශයෙන් හඳුනාගත හැකිය. ජන සංගීතවේදයට දේශීය , කලාපීය, අන්තර් ජාතික ආදී වශයෙන් සීමා මායිම් නොමැත. එකකට එකක් උසස් හෝ පහත් යනුවෙන් වර්ගීකරණය කිරීමට ද නොහැකිය. ජන සංගීතවේදියාට දේශීය සංගීතය ගැන මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ ද අවබෝධයක් තිබිය යුතුය. ජන සංගීතවේදියාගේ ආරම්භය ඇත්තේ දේශීය සංගීතය හැදෑරීම තුළය.

ජනසංගීතවේදයේදී කිසියම් සංස්කෘතියක් තුළ ඒ ඇසුරින් සංගීතය බිහි වන අයුරු හදාරයි. නිදසුනක් ලෙස ගොයම් කවි දැක්විය හැකිය. එතැන සංස්කෘතියක් තිබේ. ජනසංගීතවේදියා හදාරන්නේ හුදෙක් ඵලය නැත්නම් නිෂ්පාදනයට නොවේ. ඊට අදාළ ක්‍රියාදාමයම හදාරයි. එබැවින් ජන සංගීතවේදියාට සමස්තය ගැනම යම් අවබෝධයක් තිබේ.

මෙහිදී අප වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය (Medical Ethno musicology) පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවලදී බොහෝ දුරට එය යොමු වන්නේ ඒ හා සම්බන්ධ විෂයයට හෝ විෂයයන්ට පමණි. වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතවේදය ඊට වෙනස්ය. එහිදී අංශ තුනක් අත්‍යවශ්‍යයෙන්ම සම්බන්ධ වේ.

එනම් සෞම්‍ය ප්‍රවර්ධනය, සංගීතය සහ සංස්කෘතික පසුබිමය. මේ අංශ තුන පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදියාට අවබෝධයක් තිබිය යුතුය. පර්යේෂණද අංශ තුනටම අදාළය. මේවා අතර අන්තර් විෂයයික සම්බන්ධතාවක්ද පවතී.

මෙහිදී වඩාත් මූලික වන්නේ සංස්කෘතික පසුබිම හඳුනා ගැනීමය. ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය නිවැරදිව තෝරා ගත හැකි වන්නේ එමඟිනි. වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය වෛකල්පිත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. එනම් බටහිර වෛද්‍ය විද්‍යාව හෝ ආයුර්වේදය වැනි ප්‍රධාන ධා‍රාවේ ප්‍රතිකාර ක්‍රමවලින් බැහැරය. රෝගියාගේ ස්වභාවය අනුව විවිධ සංගීත සාම්පල යොදමින් ගැලපෙන සාම්පලය තෝරා ගත යුතුය. එහිදී, ජන සංගීතය බටහිර රොක්, පොප් වැනි විවිධ සංගීත ශෛලීන් භාවිත කළ හැකිය. වැදගත් වන්නේ මේ අතරින් රෝගියාට ගැලපෙන ශෛලිය හඳුනා ගැනීමය. රොක් සංගීතය ප්‍රිය කරන අයකුට ජන ගී භාවිත කිරීම ප්‍රතිඵල රහිතය. බටහිර රටවලදී බොහෝ විට භාවිත කරන්නේ බටහිර සම්භාව්‍ය සංගීතයයි. රෝගියා මුස්ලිම් ජාතිකයකු නම් ඔහුගේ සංස්කෘතික ආගමික පසුබිම ගැන අවබෝධයකින් ප්‍රතිකාර ක්‍රමය තෝරාගත යුතුය. සෙසු ආගමික සංස්කෘතික පසුබිම්වලටද එය අදාළය.

ප්‍රතිකාර ලෙස භාවිත කරන සංගීත ශෛලියේ ශබ්ද, නාද රටා ආදියට ද කෙනකු සංවේදී විය හැකි ය. එවිටද එය ඵලදායක බලපෑමක් ඇති කරයි.

සංගීත චිකිත්සාව පිළිබඳ අපේ රටේ ද යම් අවධානයක්, උනන්දුවක් තිබීම වැදගත් කාරණයකි. එය හැදෑරීම සඳහා ද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යම් නැඹුරුවක් පවතී. මේ විෂයය සම්බන්ධයෙන් අපේ රටේ නැඹුරුවක් ඇති වී එතරම් කාලයක් ගත වී නැතත් ඊට වසර 60 – 70 ක ඉතිහාසයක් තිබේ. එබැවින් දියුණු රටවල විධිමත් මට්ටමින් සංගීත චිකිත්සාව භාවිතයට ගැනේ. වෛද්‍ය විද්‍යාලවල, මනෝ චිකිත්සක ආයතන හා සායනවල එය භාවිත වන අයුරු දැකිය හැකිය.

සංගීත චිකිත්සකවරයකු වීමට නම් ඊට බලපත්‍රයක් ලබා ගත යුතු වේ. තමන් සංගීත චිකිත්සකයකු ලෙස හැඳින්වීමට බොහෝ දෙනා කැමැති වනු ඇතත් එම බලපත්‍රය ලබා ගැනීමෙන් තොරව පිළිගත් මට්ටමින් එහි නියැළීමට නොහැකිය.

වසර ගණනාවකට පෙර ආචාර්ය ලසන්ති විසින් මෙරටදී සංගීත චිකිත්සාව පිළිබඳ පර්යේෂණ සිදු කළ අතර වෛද්‍ය රුවන් ඒකනායක ඈ සමඟ පවසා ඇත්තේ මාසයකට වතාවක් රටේ පිළිගත් සංගීතඥයකු කාඩියොලොජි ඒකකයට ගෙන්වා වැඩ සටහනක් පවත්වන බවය. හෘදය සැත්කමකින් පසු සුවය ලබා සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වන අය ද තමන්ට හෘදයාබාධය වැළැ‍ඳෙන විට කරමින් සිටි කාර්යය නැවත කිරීමේදී ඊට බිය වෙති. ඔවුන් ශාරීරිකව සුවය ලබා ඇතත් නියමිත මානසික සුවය ලබා නොමැත. මෙවැනි අයට සංගීත චිකිත්සාව මඟින් සැලසෙන යහපත විශාලය. වැඩ සටහන් නිමාවේදී ඔවුන්ට නිකරුණේ බලා සිටීමට ඉඩ නොදී ප්‍රතිචාර ලබා ගැනීම ද සිදු වේ. එම ප්‍රතිචාරය අත්පොළසන් දී සතුට ප්‍රකාශ කිරීමක්, ගීතය රස විඳීමෙන් පසු තමන්ට දැනුණු හැඟීම වදන්වලට පෙරළීමක් විය හැකිය. මේ කවරක් වුවද වැදගත් වන්නේ ප්‍රතිචාර දැක්වීමය. නාරි හා ප්‍රසව වෛද්‍ය උපාලි මාරසිංහ මහතාද ගැබිනි මවුවරුන් සඳහා පිරිත් හා සංගීතය රස විඳීමට ඉඩ සලසමින් මානසික සැහැල්ලුවක් ඇති කර ගැනීමට ඔවුහු යොමු කළහ. රෝහලේ දරු ප්‍රසූතිය සඳහා සූදානමින් දින කිහිපයක් නතර වී සිටීමට සිදුවන මවුවරුන් ගේ සිත ඇත්තේ ගෙදරය. ස්වාමියා හා දරුවන් ආහාර ගන්නට ඇතිද නැතිනම් කුසගින්නේද වැනි කොතෙකුත් ප්‍රශ්න ඔවුන්ගේ සිතට නැ‍ඟේ. මෙහි දී සිදු වන්නේ ඔවුන් ඉදිරිපිට ඇති විශාල කාර්යයට තවමත් ඔවුන් සිතින් සූදානම්ව නොසිටීමය. එවිට එම කාර්යය අපහසු වේ. වෛද්‍ය උපාලි මාරසිංහ ඊට පිළියමක් ලෙස යෙදුවේ පිරිත් හා යාතු කර්ම ඇතුළු සංගීතය ශ්‍රවණය කිරීමට මවුවරුන්ට ඉඩ සැලසීමය. එමඟින් තම සිත් සන්සුන් කර ගැනීමට ඔවුන්ට හැකි වූ බව පැහැදිළි විය. එය දරුවා බිහි කිරීමේ ක්‍රියාවලිය සැහැල්ලුවෙන් සිදු කිරීමට බලපෑවේය.

එහිදී, මෙය සිදු කළේ සංගීතයට ඇති සං‍වේදී බව තේරුම් ගැනීමෙනි. සංගීත චිකිත්සාව සාර්ථකව භාවිත කළ හැකි තවත් අවස්ථාවක් නම් ආතති කළමනාකරණයයි. අතිශයින් කාර්යබහුල හා සංකීර්ණ සමාජ වටපිටාවක සිටින බොහෝ දෙනකුට ආතතිය ප්‍රශ්නයකි.

ආතතිය ඕනෑම වයසක සිටින අයකුට ඇති විය හැකි තත්ත්වයකි. හුදෙකලා වීම නොතකා හැරීම වැනි නොයෙක් තත්ත්ව නිසා අසරණභාවයට පත් වන්නන් ඉන් අසහනයට පත්ව සිය දිවි නසා ගන්නා මානසික තත්ත්වයකට පවා ඇද වැටේ. එය වළක්වාගත යුතුය. මානසික ව්‍යාකූලතාව නිසා ප්‍රශ්නවලට මුහුණපාන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. විනාඩි 3 – 4 ක ගීතයක් සංගීත ඛණ්ඩයක් රසවිඳි පමණින් එවැනි මානසික තත්ත්වයක සිටින අයකු යථා තත්ත්වයට පැමිණේවි යැයි අපේක්ෂා කළ නොහැකිය. අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමට සිදු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැරසිටමෝල් ලබා ගැනීමෙන් උණ හිසරදයට සහනයක් ලද හැකි බවට විශ්වාසයක් ද ගොඩනැඟී තිබේ. මෙලෙසට පුද්ගලයා ප්‍රිය කරන සංගීත ශෛලිය හඳුනා ගනිමින් මෙය ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම පවුලේ පසුබිම හා සංගීත රුචිකත්වය ද අදාළ කරගත යුතු වේ. ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රිය කරන අයකුට බටහිර සම්භාව්‍ය සංගීතය විඳීමට සැලැස්වීමෙන් ඔහු තව තවත් ආතතියට ලක්විය හැකිය. චිකිත්සකයකු මේ පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ යුතු වන්නේ එබැවිනි. විවිධ සංගීත ශෛලීන් සහ සම්ප්‍රදායන් ගැන චිකිත්සකවරයකුට දැනුවත් බවක් තිබිය යුතු වන්නේ මේ නිසාය.

සංගීත චිකිත්සාව හා වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතය පිළිබඳ තවමත් අපේ රටේ ප්‍රමාණවත් අවබෝධයක් හෝ දැනුමක් ගොඩනැඟී නැත. දේශීය සංගීත සම්ප්‍රදාය ඔස්සේ දැනටමත් අප සතු දැනුමට තව දුරටත් දෙස විදෙස් සංගීත ශෛලීන් හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුමද එකතු විය යුතුය. ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගතව සිටි සහ විදේශ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ හා අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධව සිටි කාල සීමාව තුළ සංගීත ඥානය හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලැබේ. එලෙස ලද දැනුම මෙන්ම අත්දැකීම් අපේ පරපුරත් සමඟ බෙදා ගැනීම කළ යුතුය. විශේෂයෙන් එහිදී වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සමඟ කටයුතු කිරීම වැදගත්ය. සංගීතය පිළිබඳ විවිධ පරාසයන්හි දක්ෂතා ඇති දරුවන් පර්යේෂණ කාර්යයන් සඳහා මෙහෙයවීමද පහසුවෙන් කළ හැකිය. මේ ක්ෂේත්‍රයේ අපේ රට තුළ ඇති හිස්තැන් එමඟින් යම් පමණකින් හෝ පුරවාලීමට හැකි වන බවට දැඩි විශ්වාසයක් තිබේ.

(ආචාර්ය ලසන්ති මනරංජනී සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි)

ඡායාරූපය-නිශ්ශංක විජේරත්න 

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>