Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

බාඳුරා දැන් අමුත්තෙක් නොවේ

$
0
0
ජන 19, 2018 01:00
අසේල කුරුළුවංශ

නිළි රැ‍ජිණ මාලනිත් බාඳුරා මලක් වෙයි

බාඳුරා ගැන අසා තිබුණත් ඒ මල සියැසින් දැක ඇත්තේ ඉතා සුළු පිරිසකි.මාංශ භක්ෂක (Carnivorous) ශාඛයක් ලෙස ප්‍රචලිත බාඳුරා ලංකවේ දැකිය හැක්කේ සිංහරාජය හා සමනල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල පමණි.ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ දැකගත හැකි අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුව තිබෙන්නේ එක් බාඳුරා විශේෂයක් පමණක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති.බාඳුරා ඉතාම සුවිශේෂි පරිසර තත්ත්වයක් යටතේ වැඩෙන දුර්ලභ ශාඛයක් නිසාම එය කොතරම් සුන්දර වුවත් නිවසක විසිතුරු පැළෑටියක් ලෙස වගා කිරීමේ අවකාශ මෙතෙක් නොලැබිණි. වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතට අනුව බාඳුරා නිවසක වගා කිරීමද වරදකි.දැන් සියල්ල වෙනස් වෙමින් තිබේ.විසිතුරු මල් පැළයක් ලෙස බාඳුරා ඔබේ නිවස වෙත එන දිනය වැඩි ඈතක නොවන්නේය.ලෝකයේ ස්වභාවිකව හැඳුණු බාඳුරා විශේෂ සියයක පමණ බීජ උපයෝගී කර ගනිමින් නිර්මාණය කළ දෙමුහුන් බාඳුරා විශේෂ අටක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණු අතර උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේද සහය ඇතිව දේශීය මල් වගාකරුවන් අතර ඒවා මුලින් ප්‍රචලිත කිරීමට නියමිතය. බාඳුරා පුෂ්පය ඉතා වර්ණවත්ය.එමෙන්ම සුවඳවත්ය.එහි පත්‍රවල පිහිටීමද වෙනස්ය.මේ නිසාම කෘමීන් බාඳුරා වෙත ඇදී එයි.ලස්සන හා සුවද පසුපස හමායන කෘමියාට අවසානයේ උරුම වන්නේ මරණයයි.බාඳුරා එක් පැත්තකින් කෘමි උගුලකි. බාඳුරා මල තුළට වැටෙන කෘමියකුට යළි පිටතට එන්නට අවකාශ නොමැත.කොපුවක හැඩය ගන්නා මල පතුලට වැටන කෘමියා එහි ඇති කෙඳිවළ ඇලෙයි.ඉන් කෙසේ හෝ ගැලවුණද මලේ ඇතුළත බිත්තිවල පවත්නා ලිස්සන සුළු ස්භාවය උගේ පිටතට ඒමේ සිහින බොඳ කර දමයි.මේ තුළ මියයන කෘමීන් ජීර්ණය කර අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම බාඳුරා ශාඛයේ ස්භාවයයි.

මෙවන්වූ සුවිශේෂතා රැසකින් සමන්විත මාංශ භක්ෂක (Carnivorous) බාඳුරා පිළිබඳ පාසල් පන්ති කාමයේ කතා කරන අවස්ථා බහුලය.මේතාක් පින්තූරයිකින් හැර සියැසින් දැක ගැනීමට නොහැකිවූ බාඳුරා නව වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී පාසල් පන්ති කාමරයේදීද ළමුන්ට දැක ගැනීමේ භාග්‍යය උදාවනු ඇත.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතව තිබෙන දෙමුහුන් බාඳුරා විශේෂ අට වන්නේ ලේඩි ලක් (Lady luck),බිල් බේයිලි(Bill Bailey),බින්කි(binky),ක්‍රිම්සන් කිස්(crimson kiss),මිමිස් කිස් (mimis kiss),ක්වීන් මාලනී(queen Malani),සුකී(suki) හා සුසාන්(susan) ය.ක්වීන් මාලනී ලෙස එක් බාඳුරා විශේෂයක් නම් කර තිබෙන්නේ ශ්‍රීලංකාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියට ගෞරවයක් ලෙසය.වසර 20 ක පමණ කාලයක් පුරා ලිඳුල ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු දෙමුහුන් බාඳුරා විශේෂ 200 ක් පමණ බිහි කිරීමට ශාඛ විද්‍යාඥයකු වන රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා හා ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය සමත්ව තිබේ.

"මෙතෙක් අපි මේ දෙමුහුන් බාඳුරා විශේෂ විදේශ රටවලට අපනයනය කිරීම පමණයි කළේ.ඇමරිකාව,ජපානය,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකට මේවා අපි වසර 20 ක පමණ කාලයක සිට අපනයනය කළා.ඒ අතරින් ලෝකයේ ජනප්‍රියම බාඳුරා විශේෂ 08 ක් මෙරට මල් වගා කරුවන්ට නිකුත් කිරීමට අපි තීරණය කළා. ශ්‍රීලංකාව තුළ බාඳුරා ප්‍රසිද්ධ කිරීම මගින් එක් පැත්තකින් වනාන්තරවල තිබෙන බාඳුරාවලට තිබෙන තර්ජනය අවම වෙනවා.බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා පවසයි.

"ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ තිබෙනවා.බීජ මගින් දෙමුහුන් බාඳුරා ප්‍රභේද 2000 ක් පමණ නිර්මාණය වී තිබුණත් විස්සක පමණ ප්‍රමාණයකට තමයි වැඩි ආකර්ෂණය තිබෙන්නේ.

අපි ශ්‍රීලංකාවට ආවේනික බාඳුරා විශේෂය කොහොමටවත් දෙමුහුන් කරන්න උත්සහ කළේ නැහැ.විශේෂ කාලගුණික තත්ත්වයක් යටතේ මේවා වැඩෙන නිසා බාඳුරා බෝ

කිරීම ඉතා අසීරුයි.ශ්‍රීලංකාවේ ලිඳුල ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය බාඳුරා පැළ වගාවට ඉතා යෝග්‍යයයි.මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූරු නිමයුමක්.පත්‍රය පටන් ගන්නා ස්ථානයෙන් මලේ කොපුවට ඉහළින් ඝනකම් කුඩා පත්‍රයක් පිහිටා තිබෙනවා.

එය තිබෙන්නේ කොපුව තුළට වැසි ජලය ප්‍රමානය ඉක්මවා වැටීම වලක්වන්නයි.බාඳුරා ඇත්තටම දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.මේ නිසාම ලංකාවේ ජනතාව මේ දෙමුහුන් බාඳුරා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වාවි..."බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ අධ්‍යක්ෂික ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය පැවසුවාය.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සැලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය.. මාංශ භක්ෂක පැළෑටියක් වන බාඳුරා නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීම ශ්‍රීලංකික ජනතාවට අලුත් අත්දැකීමක්.ඕකීඩ්,ඇන්තූරියම් වගේ බාඳුරාද මෙරට තුළ ජනප්‍රිය කරන්න පුළුවන්.ඇත්තටම අපේ රටේ තියෙන්නේ බාඳුරා එක් විශේෂයක් පමණයි.ඒක අපේ රටට ආවේණිකයි.අපේ බාඳුරාවලට තර්ජනයක් නැහැ.වෙනත් රටවල බාඳුරා විශේෂ කිහිපයක් තියෙන නිසා ඒවා අතර යම් සංයෝගයක් සිදුවෙලා මව් පැළෑටියට ආවේණික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.

ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා ඔරිජිනල් එකම තිබෙනවා.මූල පද්ධයක් මගින් පෝෂණය ලබා ගන්නා ශාඛ වල කාලානුරූපිව මූළ පද්ධතියේ වෙනස්කම් සිදු වෙනවා.මේ පැලෑටිය අවශ්‍යය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කෙන්ඩියක හැඩයෙන් යුත් මලට වැටෙන කෘමි සතුන් ගෙන් නිසා බාඳුරා වල වෙනස් වීම් වලට ලක් වන්නේ කොළයයි.පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් 2005 වසරේ ඉඳලා සුවහස් මල් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.කාන්තවන්ට මල් වගාව පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයංරැකියාවක් ලෙස මල් වගාවට යොමු කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ.බාඳුරා මල් ජනතාව අතර ව්‍යාප්ත කිරීමත් ඒ වැඩසටහන හා සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම බාඳුරා දෙමුහුන් ප්‍රබේද 08 ජනවාරී මස 20 දින සිට පෙබරවාරී මස 28 දින දක්වා ලිඳුල වගා බිමෙන් මිලට ගත හැකි බව බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ උපදේශක රන්ජන් ගුණසේකර මහතා පවසයි.


ජනපති අගමැති විවේචනය කරන්න මැති ඇමැතිවරුන්ට අයිතියක් නැහැ

$
0
0
ජන 19, 2018 01:00

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක

පසුගියදා පැවැති කැබිනට් සාකච්ඡාව ඉතා උණුසුම් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇත්තටම එතනදී සිදුවුණේ මොකක්ද?

අමුතු දෙයක් වුණේ නෑ. අපි හවුල් ආණ්ඩුවක් විදියට කටයුතු කරනකොට සාකච්ඡා කළ යුතු දේවල් අපි කැබිනට් හමුවේදී සාකච්ඡා කරනවා. එවැනි සාකච්ඡාවක් තමයි එතනදි සිද්ධ වුණේ. ඊට අමතරව යහපාලන ආණ්ඩුව 2020 දක්වා ආරක්ෂා කර ගනිමින් ඉදිරියටත් ආණ්ඩු කරන්නේ කොහොමද කියන කාරණය තමයි එතනදි සාකච්ඡා වුණේ.

කැබිනට් සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා නැඟිට ගියා කියලත් මාධ්‍ය වාර්තා කර තිබුණ. එහෙම නැඟිට ගිය හේතුව මොකක්ද?

නෑ ඉතිං සාමාන්‍යයෙන් හදිසි අවශ්‍යතාවක් පැන නැඟුනොත් ජනපතිවරයා වුණත් අගමැතිවරයා වුණත් ඇමැතිවරු වුණත් නැගිට යන අවස්ථා ඕනෑ තරම් තියනවා. ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයෙන් එළියට ගියේ නෑනේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්ත්‍රිවරුන් ජනපතිවරයාට චෝදනා කිරීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් අගමැතිවරයාට චෝදනා කිරීමත් නැවැත්වීමට සහයෝගිතා ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිද?

මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් ජනාධිපතිවරයායි, අගමැතිවරයායි. එතකොට ජනපතිවරයා හා අගමැතිවරයා පත්කරගෙන තියෙන්නේ අපිමයි. මේක අපි බොහෝම මහන්සියෙන් පිහිටුවාගත් ආණ්ඩුවක්. එතකොට අපි කාටවත් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ඒ ජනාධිපතිවරයාවත් ඒ අගමැතිවරයාවත් විවේචනය කරන්න පුළුවන් කියලා මා නම් හිතන්නේ නෑ. එතුමන්ලාගේ ආණ්ඩුවේ අපි ඉන්නේ. විෙශ්ෂයෙන්ම අපි මැති ඇමැතිවරුන් වෙලා තියෙන්නෙත් ජනපතිවරයාගෙයි අගමැතිවරයාගෙයි පත්වීම්වලින්. ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විවේචනය කරනවානම් ඒක සදාචාර සම්පන්න නෑ. කාගේ කාගේ අතිනුත් යම් යම් සුළු අතපසුවීම් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියනවානම් එවැනි දේ ඉදිරියේදී සිදුනොවීමට දෙපාර්ශ්වයම වග බලාගන්න ඕනෑ. අපේ ජනාධිපතිතුමායි අපේ අගමැතිතුමායි අපිට විවේචනය කරන්න පුළුවන් කියලා මා නම් කවදාවත් හිතන්නේ නෑ.

එක්සත් ජාතික පක්ෂයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පසුගිය බදාදා හදිසියේම පැවැත්වුණා. මෙහිදී සාකච්ඡා කෙළේ මොනවාද?

මං අවධාරණයෙන්ම කියන්න ඕනෑ කිසිම හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැත්වුණේ නැහැ. සාමාන්‍යයෙන් මාසයකට සැරයක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පවත්වනවා. මීට දින කීපයකට කලින් අපට දන්වලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පසුගිය බදාදා (17) පවත්වන බව. විශේෂ අවධානය යොමුවුණේ පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳවයි.

කැබිනට් එකේ සිදු වූ කලබැගෑනිය ගැන මෙතනදි කතා වුණේ නැතිද?

එහෙම කතා කරන්න කැබිනට් එකේ කලබැගෑනියක් සිදු වුණේ නෑනේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට එජාපයේ සූදානම කොහොමද?

අපි වෙන දේශපාලන පක්ෂ වගේ ජනතා රැලිවලින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන පක්ෂයක් නෙවෙයි. අපි අපේ මැතිවරණ ව්‍යාපාරය මුල සිටම සැලසුම් කරලා පියවරෙන් පියවර ඉදිරියට අරන් ගියා. අපි මැතිවරණය පටන් ගන්නේම මේ පුංචි ඡන්දයට ඉතාම සුදුසු ජනතාව පිළිගත් ජන පදනමක් සහිත සුපිරිසුදු නායකයන් අපේක්ෂකයන් විදියට ‍තෝරා ගැනීමෙන්. ඒ නිසා අපි චෝදනා නැති නවක මුහුණු පළපුරුදු අපේක්ෂකයෝ ගම පිළිගත් චරිත වගේම ගමේ සියලු දෙනාම ගරු කරන කාන්තාවනුත් මැතිවරණයට ඉදිරිපත් කරලා ති‍ෙයනවා. ඒ විතරක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය මුළු රටටම අපේක්ෂකයෝ ඉදිරිපත් කළා.

මැතිවරණයට පෙරම අපි ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා. ඒ තමයි එකම සභාවකවත් නාමයෝජනා ප්‍රතික්ෂේප නොවන විදියට අපි නාමයෝජනා ලබා දුන්නා. අනික් සියලුම පක්ෂවල නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා. අපි අපේක්ෂකයන් දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කළා. අති විශාල ජනකායක් සහභාගි වූ සාර්ථක පක්ෂ සම්මේලනයක් කොළඹදී පැවැත්වූවා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා ඓතිහාසික කන්ද උඩරට දළදා සමිඳුන් වැඩ සිටින දේශයේ අති සාර්ථක ජන රැලියක් පවත්මින් ජන රැලි පැවැත්වීම ඇරඹුවා. අද මා නියෝජනය කරන බෙන්තර ඇල්පිටිය ආසනයේ ඇල්පිටිය නගරයේ දී සාර්ථක ජන රැලියක් පැවැත්වීමට අපේක්ෂා කරනවා. මේ ජන රැලි මාලාව ඉදිරියට යනවා. ඉතාම විධිමත් සංවිධානයක් සැලසුමක් අනුව මේ රැලි පවත්වා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගන්නවා.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන ඇතැම් අපේක්ෂකයන්ට වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය චෝදනා තිබෙනවා. එජාප අපේක්ෂකයන් අතර එවැනි අය නොමැති බවට දෙන සහතිකය මොකක්ද?

එවැනි චෝදනා නැති, වැරදිකරුවන් නොවුණු ජනතාවගේ පිළිගැනීමක් ඇති අය තමයි අපි අපේක්ෂකයන් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ජනප්‍රිය චරිත. ඒ අයට කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා වැරැද්දක් කියන්න බෑ.

අනිකුත් දේශපාලන පක්ෂත් කියන්නේ තම අපේක්ෂකයන් ඉතා පිරිසුදු අය බවයි.

ඒක අතීතය බැලුවම හොඳින් පේනවා. පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙක් කිව්වහම ජනතාවගේ හිතේ ඇඳිලා තිබුණේ මොන ආකල්පයක්ද? අපිට මතකයි ඒ කාලේ ප්‍රවෘත්ති ප්‍රකාශ බලනකොට හැමදාම එක ගමකට එක වැඩක් පෙන්නන්නා සේ නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විවිධ දූෂණ චෝදනාවලට ලක්වෙමින් උසාවිවලට සුදු බෙඩ්ෂීට්වලින් වහලා අරන් ආපු හැටි. ඒ විතරක් නෙවෙයි නූරිවත්තේ වතු අධිකාරිවරයා ඝාතනයට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සම්බන්ධ වී සිටියා. අකුරැස්ස පැත්තේ විවිධ දූෂණ කරලා ඒවායේ සංවත්සර පවත්වපු ආකාරය මේ රටේ ජනතාව දැක්කා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදේශිකයෙක් ඝාතනය කරලා ඔහුගේ පෙම්වතිය දූෂණය කරලා හිර දඬුවම් නියම වුණා. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් යාබද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් අල්ලස් අරන් අහු වෙච්ච අවස්ථා තිබුණා. එහෙම පුද්ගලයෝ තමයි අද ඔය පොහොට්ටුව පක්ෂයේ කැඳවුම්කාරයෝ හැටියටත් කටයුතු කරන්නේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පා පැදියක්වත් නැතිව ඇවිත් ඩබල් කැබ්වල ගියපු හැටි තමයි ජනතාව දැක්කේ. කොන්ක්‍රිට් පාරෙන්, තාර පාරෙන්, ගසාකාලා ව්‍යාපාරිකයෙක් බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පත් වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කල්පනා කළා සුපිරිසුදු පළාත් පාලන අපේක්ෂකයෝ මේ ඡන්දයට ඉදිරිපත් කළ යුතුයි කියලා.

මහින්ද අගමැති කරන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න කියා පිරිසක් කියනවා. ඔබ ඔවුනට දෙන පිළිතුර කුමක්ද?

කුඩා දරුවෙක් පවා දන්නවා පළාත් පාලන මැතිවරණයකින් අගමැතිවරයෙක් පත්කරන්න බැරි බව. වැඩිම වුනොත් නගරාධිපති, උප නගරාධිපති, සභාපති, උප සභාපති පත්කරන්න පුළුවන්. මේක නොමේරූ බොළඳ තර්කයක්. ඒක රටේ ජනතාව දන්නවා. ජනතාව මේ පළාත් පාලන ඡන්දවලදී බලය දුන්නේ බලයේ සිටි පක්ෂයට. මිනිස්සු දන්නවා මේ ඡන්දයෙන් ජනාධිපති වෙනස් ‍කරන්නත් බෑ. අගමැති වෙනස් කරන්නත් බෑ. ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නෑ. 2020 දක්වා පවතින ආණ්ඩුව තමයි තියෙන්නේ. එහෙනම් නිකම්ම නිකම් ස්වාධීන කණ්ඩායමකට හෝ බලයක් නැති පක්ෂයකට ඡන්දයක් දෙන්න ජනතාව සූදානම් නෑ. මාසේ අන්තිමට දීමනාව සාක්කුවේ දාගන්න, මාසයකට සැරයක් කතාවක් කරන මන්ත්‍රීවරයෙක් පත් කර ගන්නද ආණ්ඩුවේ තියන ශක්තිය අරගෙන ගමේ පාර හදන්න, බෝක්කුව දාන්න, ලයිට් එක දාන්න, කුණුටික ඇදගන්න පුළුවන් නියෝජිතයා තෝරාගන්නවද කියල තීරණය කරන්න ජනතාවට ශක්තියක් ති‍ෙයනවා. ඒ නිසා තමයි බලයේ සිටින පක්ෂයේ නියෝජිතයා තෝරාගන්න සෑම පළාත් පාලන මැතිවරණයකදීම ජනතාව කටයුතු කෙළේ.

ගාමිණී බණ්ඩාරනායක 

බාඳුරා දැන් අමුත්තෙක් නොවේ

$
0
0
ජන 19, 2018 01:00

 බාඳුරා ගැන අසා තිබුණත් ඒ මල සියැසින් දැක ඇත්තේ ඉතා සුළු පිරිසකි.මාංශ භක්ෂක (Carnivorous) ශාඛයක් ලෙස ප්‍රචලිත බාඳුරා ලංකවේ දැකිය හැක්කේ සිංහරාජය හා සමනල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල පමණි.ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ දැකගත හැකි අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුව තිබෙන්නේ එක් බාඳුරා විශේෂයක් පමණක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති.බාඳුරා ඉතාම සුවිශේෂි පරිසර තත්ත්වයක් යටතේ වැඩෙන දුර්ලභ ශාඛයක් නිසාම එය කොතරම් සුන්දර වුවත් නිවසක විසිතුරු පැළෑටියක් ලෙස වගා කිරීමේ අවකාශ මෙතෙක් නොලැබිණි. වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතට අනුව බාඳුරා නිවසක වගා කිරීමද වරදකි.දැන් සියල්ල වෙනස් වෙමින් තිබේ.විසිතුරු මල් පැළයක් ලෙස බාඳුරා ඔබේ නිවස වෙත එන දිනය වැඩි ඈතක නොවන්නේය.ලෝකයේ ස්වභාවිකව හැඳුණු බාඳුරා විශේෂ සියයක පමණ බීජ උපයෝගී කර ගනිමින් නිර්මාණය කළ දෙමුහුන් බාඳුරා විශේෂ අටක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණු අතර උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේද සහය ඇතිව දේශීය මල් වගාකරුවන් අතර ඒවා මුලින් ප්‍රචලිත කිරීමට නියමිතය. බාඳුරා පුෂ්පය ඉතා වර්ණවත්ය.එමෙන්ම සුවඳවත්ය.එහි පත්‍රවල පිහිටීමද වෙනස්ය.මේ නිසාම කෘමීන් බාඳුරා වෙත ඇදී එයි.ලස්සන හා සුවද පසුපස හමායන කෘමියාට අවසානයේ උරුම වන්නේ මරණයයි.බාඳුරා එක් පැත්තකින් කෘමි උගුලකි. බාඳුරා මල තුළට වැටෙන කෘමියකුට යළි පිටතට එන්නට අවකාශ නොමැත.කොපුවක හැඩය ගන්නා මල පතුලට වැටන කෘමියා එහි ඇති කෙඳිවළ ඇලෙයි.ඉන් කෙසේ හෝ ගැලවුණද මලේ ඇතුළත බිත්තිවල පවත්නා ලිස්සන සුළු ස්භාවය උගේ පිටතට ඒමේ සිහින බොඳ කර දමයි.මේ තුළ මියයන කෘමීන් ජීර්ණය කර අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම බාඳුරා ශාඛයේ ස්භාවයයි.

මෙවන්වූ සුවිශේෂතා රැසකින් සමන්විත මාංශ භක්ෂක (Carnivorous) බාඳුරා පිළිබඳ පාසල් පන්ති කාමයේ කතා කරන අවස්ථා බහුලය.මේතාක් පින්තූරයිකින් හැර සියැසින් දැක ගැනීමට නොහැකිවූ බාඳුරා නව වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී පාසල් පන්ති කාමරයේදීද ළමුන්ට දැක ගැනීමේ භාග්‍යය උදාවනු ඇත.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතව තිබෙන දෙමුහුන් බාඳුරා විශේෂ අට වන්නේ ලේඩි ලක් (Lady luck),බිල් බේයිලි(Bill Bailey),බින්කි(binky),ක්‍රිම්සන් කිස්(crimson kiss),මිමිස් කිස් (mimis kiss),ක්වීන් මාලනී(queen Malani),සුකී(suki) හා සුසාන්(susan) ය.ක්වීන් මාලනී ලෙස එක් බාඳුරා විශේෂයක් නම් කර තිබෙන්නේ ශ්‍රීලංකාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියට ගෞරවයක් ලෙසය.වසර 20 ක පමණ කාලයක් පුරා ලිඳුල ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු දෙමුහුන් බාඳුරා විශේෂ 200 ක් පමණ බිහි කිරීමට ශාඛ විද්‍යාඥයකු වන රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා හා ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය සමත්ව තිබේ.

"මෙතෙක් අපි මේ දෙමුහුන් බාඳුරා විශේෂ විදේශ රටවලට අපනයනය කිරීම පමණයි කළේ.ඇමරිකාව,ජපානය,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකට මේවා අපි වසර 20 ක පමණ කාලයක සිට අපනයනය කළා.ඒ අතරින් ලෝකයේ ජනප්‍රියම බාඳුරා විශේෂ 08 ක් මෙරට මල් වගා කරුවන්ට නිකුත් කිරීමට අපි තීරණය කළා. ශ්‍රීලංකාව තුළ බාඳුරා ප්‍රසිද්ධ කිරීම මගින් එක් පැත්තකින් වනාන්තරවල තිබෙන බාඳුරාවලට තිබෙන තර්ජනය අවම වෙනවා.බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා පවසයි.

"ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ තිබෙනවා.බීජ මගින් දෙමුහුන් බාඳුරා ප්‍රභේද 2000 ක් පමණ නිර්මාණය වී තිබුණත් විස්සක පමණ ප්‍රමාණයකට තමයි වැඩි ආකර්ෂණය තිබෙන්නේ.

අපි ශ්‍රීලංකාවට ආවේනික බාඳුරා විශේෂය කොහොමටවත් දෙමුහුන් කරන්න උත්සහ කළේ නැහැ.විශේෂ කාලගුණික තත්ත්වයක් යටතේ මේවා වැඩෙන නිසා බාඳුරා බෝ

කිරීම ඉතා අසීරුයි.ශ්‍රීලංකාවේ ලිඳුල ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය බාඳුරා පැළ වගාවට ඉතා යෝග්‍යයයි.මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූරු නිමයුමක්.පත්‍රය පටන් ගන්නා ස්ථානයෙන් මලේ කොපුවට ඉහළින් ඝනකම් කුඩා පත්‍රයක් පිහිටා තිබෙනවා.

එය තිබෙන්නේ කොපුව තුළට වැසි ජලය ප්‍රමානය ඉක්මවා වැටීම වලක්වන්නයි.බාඳුරා ඇත්තටම දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.මේ නිසාම ලංකාවේ ජනතාව මේ දෙමුහුන් බාඳුරා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වාවි..."බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ අධ්‍යක්ෂික ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය පැවසුවාය.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සැලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය.. මාංශ භක්ෂක පැළෑටියක් වන බාඳුරා නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීම ශ්‍රීලංකික ජනතාවට අලුත් අත්දැකීමක්.ඕකීඩ්,ඇන්තූරියම් වගේ බාඳුරාද මෙරට තුළ ජනප්‍රිය කරන්න පුළුවන්.ඇත්තටම අපේ රටේ තියෙන්නේ බාඳුරා එක් විශේෂයක් පමණයි.ඒක අපේ රටට ආවේණිකයි.අපේ බාඳුරාවලට තර්ජනයක් නැහැ.වෙනත් රටවල බාඳුරා විශේෂ කිහිපයක් තියෙන නිසා ඒවා අතර යම් සංයෝගයක් සිදුවෙලා මව් පැළෑටියට ආවේණික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.

ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා ඔරිජිනල් එකම තිබෙනවා.මූල පද්ධයක් මගින් පෝෂණය ලබා ගන්නා ශාඛ වල කාලානුරූපිව මූළ පද්ධතියේ වෙනස්කම් සිදු වෙනවා.මේ පැලෑටිය අවශ්‍යය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කෙන්ඩියක හැඩයෙන් යුත් මලට වැටෙන කෘමි සතුන් ගෙන් නිසා බාඳුරා වල වෙනස් වීම් වලට ලක් වන්නේ කොළයයි.පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් 2005 වසරේ ඉඳලා සුවහස් මල් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.කාන්තවන්ට මල් වගාව පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයංරැකියාවක් ලෙස මල් වගාවට යොමු කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ.බාඳුරා මල් ජනතාව අතර ව්‍යාප්ත කිරීමත් ඒ වැඩසටහන හා සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම බාඳුරා දෙමුහුන් ප්‍රබේද 08 ජනවාරී මස 20 දින සිට පෙබරවාරී මස 28 දින දක්වා ලිඳුල වගා බිමෙන් මිලට ගත හැකි බව බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ උපදේශක රන්ජන් ගුණසේකර මහතා පවසයි.

සටහන
අසේල කුරුළුවංශ

 

සංවර්ධනය කැලේ දෙහිවල වළේ

$
0
0
ජන 19, 2018 01:00

 ගාලු පාර දිගේ කොළඹට පැමිණෙද්දී අගනුවරට ඇතුලු වන දොරටුව ලෙස දෙහිවල නගරය හඳුන්වා දිය හැකිය. තවත් ආකාරයකට කියතොත් කොළඹ නගරයෙන් පසු වැඩිම ජනගහණයක් සිටින නාගරික බල ප්‍රදේශය දෙහිවලය ගල්කිස්ස මහ නගරය ය. රත්මලාන සහ දෙහිවල මැතිවරණ බල ප්‍රදේශ දෙක මුල් කරගත් මෙම ප්‍රදේශයේ ලක්ෂ ගණනක් ජනතාවක් වාසය කරති. තවත් පිරිසක් එදිනෙදා රාජකාරී කටයුතු සඳහා නගරයට එති. එහෙත් මෙම නගරයේ ඇති ජනතාව වෙත ලැබෙන පොදු පහසුකම් කණගාටුදායකය. අවුරුදු හැත්තෑ පහකටත් එහා කාලයක සිට මහ නගරයක් ලෙස දෙහිවල හඳුන්වා දුන්නද එහි තවමත් මහ නගර ලක්ෂණ දක්නට නැත. කාලයෙන් කාලයට විවිධ පාට ගත් දේශපාලන පක්ෂ දෙහිවල නගරයේ බලය ලබා ගත්තද නගරයට සැලසුම් සහගතව සේවයක් සැලසුණේ නැත. එදා සිට සිදු නොවුණු යුතුකම් නිසා අද වන විට මෙහි නූතන යුගයට නොගැලපෙන පසුගාමී ලක්ෂණ රැසක් දක්නට තිබේ.

දෙහිවල ගැන මුලින්ම රට දැන ගත්තේ සත්වෝද්‍යානය නිසාය. සති අන්තයේ සහ නිවාඩු දිනවල මෙතැනට දස දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණෙති. එහෙත් මෙම ස්ථානයේ වාහන ගාල් කිරීම සඳහා නිසි රථ ගාලක් නැත. පැමිණෙන සියලු වාහන ගාල් කරන්නේ උද්‍යානය අවට පාරවල්වලය යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ගාල් කරන්නේ උද්‍යානය ඉදිරිපිට මහ මගය. මේ නිසා කාර්ය බහුල දිනවල මෙහි විශාල තදබදයක් ඇත.එහෙන්ම මෙහි අනෙක් භයානකම කරුණ බවට පත්ව ඇත්තේ බස් රථවල පැමිණෙන පාසල් දරුවන්ට පාර මාරු වීමේදී අනතුරු දායක තත්ත්වයක් ඇතිවේ. එහෙත් මෙතෙක් මේ ගැන කිසිවකු ගේ නිසි අවධානය යොමු වී නැත. මෙහි සිටින වෙෙළඳසල් හිමියන් කියන ආකාරයට වෙළෙඳසල් ඉදිරිපිට වාහන ගාල් කිරිමේ අවසාන ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ එදිනෙදා වෙළෙඳාම පවා අවහිර වී ඔවුනගේ ආදායම් මාර්ග ඇහිරී යාමය. මේ හැම කරුණක්ම දෙහිවල වැසියන්ට විශාල කරදරයක් බවට පත්ව තිබේ.

මෙම ප්‍රදේශයට ආසන්න සරණංකර පාර ආශ්‍රිතවද ඇත්තේ මෙයට සමාන තත්ත්වයකි. එම මාර්ගයේ ඇති ජාත්‍යන්තර පාසල ඉදිකර ඇත්තේ පදික වේදිකාවට මායිම්වන ආකාරයටය. පාසල් දරුවන්ට බැසීමට ඇත්තේ කෙළින්ම මහ මඟටය. පාසල් අවසන් වන විට මෙහි මඟ දිගට වාහන ගාල් කරති. නාගරික නීතිය අනුව ගොඩනැලගිල්ලක් ඉදිකිරීමට ප්‍රධාන මාර්ගයේ සිට අඩි දහයක්වත් තිබිය යුතුය. එහෙත් මෙම නීතිය මේ නගරයේ ස්ථාන රාශියකදී උල්ලංඝණය වී තිබේ. නගර වැසියන් කියන ආකාරයට එයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ නගරය පාලනය කළ බලධාරීන් කාලයෙන් කාලයට තම පුද්ගලික රුචි අරුචි කම් අනුවය.පාසල පමණක් නොව උත්සව ශාලාවක්ද මේ ආකාරයට ඉදිකර තිබේ. ශාලවේ උත්සවයක් ඇති දිනයක පැමිණෙන වාහන ගාල් කරන්නට තැනක් නැත.උත්සව ශාලාවක් වැනි තැනක අනිවාර්යෙන්ම රථ ගාලක් තිබිය යුතුය. සාමාන්‍ය නීතිය අනුව එවැනි පහසුකමක් ලබා දිය නොහැකි නම් එවැනි තැනකට බලපත්‍රයක් නිකුත් කරන්නේ නැත. එහෙත් විශ්මයට කරුණනම් අවශ්‍ය සියලු අවසර ලබා ගැනීමට මෙහි අය සමත් වීමය.

වර්තමානයේදී පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම මෙන්ම එය අවහිර වන ආකාරයට කටයුතු කිරීම නොකළ යුතුය. එහෙත් දෙහිවලදී මේ සම්මත උල්ලංඝණය කරන්නන් ඕනෑ තරම් සිටිති. දෙහිවල සිට ගල්කිස්ස දෙසට යද්දී ඇති පදික වේදිකාවට සමහර කඩ බක්කි ඇත්තේ පදික වේදිකාවේය. එහෙත් මේ ගැන පියවරක් ගැනීමට බලධාරියකු නැත. ඇතැම් තැන්වල පදික වේදිකාවේම වෙළෙඳාම් කරන පිරිසක් සිටිති. ඔවුන් මේ ආකාරයට ජීවනෝපාය සලසා ගැනීම අසාධාරණ නොවුණද පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම වෙනුවට වෙනත් විකල්ප තැනක් ලබා දීමට කටයුතු කරනවා නම් එය වඩාත් සුදුසු දෙයකි. එහෙත් මෙතෙක් ඒ ගැන කිසිදු අවධානයක් යොමු වි‍් නැත.

දෙහිවල නගරයේ කාර්යබහුල කාලයේදී පදික වේදිකා අවහිරව තිබීමේ ප්‍රතිඵලය බවට පත් වන්නේ මගීන් මාර්ගයේ පා ගමනින් යාමය.එය අනතුරකට අත වැනීමකි. පදික වේදිකාව ආක්‍රමණය කර සිටින වෙළෙඳුන්ගෙන් අප විමසු විට ඔවුන් කියන්නේ තමන්ට විකල්පයක් නැති නිසා පදික වේදිකාව තෝරා ගත් බවය. පදිකයන් කියන්නේ වෙළෙඳුන් නිසා තමනට පදික වේදිකාව අහිමි ව ඇති බවය.

දෙහිවල නගරය මැද ඉදිවන නව ගොඩනැගිලි පවා නාගරික සම්මත නීතිය අනුව ඉදිනොවන බව බව බොහෝ අය චෝදනා කරති. අපද කළ නිරීක්ෂණ අනුවද මෙම තත්ත්වය තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණි.

මෙම තත්ත්වය පමණක් නොව දෙහිවල නගරයේ ඇති ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇත්තේ බස් රථ ගාල් කිරීමට තැනක් නොමැති වීම සහ සෙසු වාහන ගාල් කිරීමට තැනක් නොමැති වීම යන කරුණුය. දුම්රිය පොළ මාර්ගයේ බස් රථ ගාල් කරන නිසා එම මාර්ගයේ ඇතිව ඇත්තේ අනාරක්ෂිත තත්ත්වයකි.එම තත්ත්වය වඩාත් උග්‍ර අතට පත් වන්නේ උදේ සහ සවස් කාලයේය. එහෙත් මේ ගැන කිසිවකුගේ අවධානය යොමුව නැත. දෙහිවල මතුපිටින් දියුණු ලක්ෂණ පෙන්නුම් කළද එහි ඇතුළත ඇත්තේ හැත්තැ දශකයේ තිබු නගරයක ශේෂයන්ය. අද වන විට ගුවන් පාලම යට කොටසේ ඇතැමුන් වාහන ගාල් කරනු ලබයි.එහෙත් එම තත්ත්වය නගරයේ තදබදයට විසඳුමක් ලබා දෙන්නේ නැත.

කොළඹ මුවදොර ඇති කොළඹට පමණක් දෙවන වන බව කියන දෙහිවල ප්‍රදේශය වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීම සියලු බලධාරීන්ගේ වගකීමකි.එම වගකීම තේරුම් ගෙන වැඩ කරන පිරිසක් ඉදිරි කාලයේදී හෝ දෙහිවලට ලැබෙතැයි නගර වැසියෝ ඇස් දල්වා බලා සිටිති.

එම් එස් සිල්වා මහතා

මම දෙහිවල අවුරුදු පනහක සිට ඉන්නවා.ඒත් ලොකු දියුණුවක් නැහැ. හැම දේම වෙන්නේ පගාවට. මේ තරම් අපිළිවෙල නගරයක් විදිහට දෙහිවල තියෙන්නේ ඒ හින්ද. අතමිට සල්ලි තියෙනවා නම් එච්චරයි. නගර පාලකයෝ ඕනැ දෙයක් කර දෙනවා.

හේමසුන්දර මහතා

දෙහිවලට අභරණයක් විදිහටයි සතුන් වත්ත සලකන්න පුළුවන් වෙන්නේ.ඒත් ඒ දේ හරියට ප්‍රයෝජනයට අරන් නැහැ.අද වෙද්දි දෙහිවල සතුන් වත්ත ගම් වැසියන්ට කරදරයක් වෙන තැනක් වෙලා. සති අන්තෙට මෙතැනට ලොකු සෙනගක් එනවා.ඒ අයට ඉන්න විවේක ගන්න වාහන නවත්වන්න තැනක් නැහැ.මේ ගැන ගමේ අපි කීවම නිලධාරීන් එකිනෙකාට බෝලය පාස් කර ගන්නවා. අපිට කවදාවත් විසැඳුමක් නැහැ.

ගාමිණි මහතා

අපි ඉල්ලන්නෙ මේ ටවුම ටවුමක් විදිහට තියා ගන්න කියලා.මේ දවස්වලනම් ගොඩක් අය එනවා දෙහිවල හදන්න.ඒත් ඡන්දයෙන් පස්සේ කවුරුත් නැහැ.ඒ නිසා අපට අද කවුරුත් විශ්වාස නැහැ. ඒත් නගර වැසියෙක් විදිහට ඉල්ලන්නේ මේ නගරය පිළිවෙල තැනක් බවට පත් කරන්න කියලා.

අනුර කුරුවිටගේ මහතා

දෙහිවල නගරය සුන්දර නගරයක් කරන්න පහසුයි.මුහුදු වෙරළ , සතුන් වත්ත ඇතුලු බොහෝ දේවල් තියෙනවා.මේ සඳහා නිලධාරින් විතරක් නොවෙයි.නගර වැසියන්ටත් වගකීමක් තියෙනවා. අපි සැවොම එකතු වෙලා මේ නගරය හදන්න ඕනැ.

සටහන
උදිත ගුණවර්ධන
ඡායාරූප - රංජිත් අසංක

කල්ලක ලෙන ගැන සැලකිල්ල මදි

$
0
0
ජන 19, 2018 01:00

 ලක්දිව බෞද්ධයන් අතර මලියදේව මහරහතන් වහන්සේ දෙවැනි වන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ට පමණි. ඓතිහාසික ලේඛනවල සඳහන් වන ආකාරයට මලියදේව රහත් වහන්සේ තුන්පිටකය ඉගෙන ගත්තාවුද කමටහන් වඩා රහත්වුද ශුද්ධ භුමිය සංගමුව මහාවිහාරයයි. මෙයටඅමතර 12 වන සියවසේ දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු අතර සිදු වුණ සමගි සන්ධානය පිහිටුවා ඇත්තේද ‍මෙම විහාරයෙහි බව චුලවංශ‍යේ සදහන් වෙයි.

මෙම විහාරය පැරණි යුගයේ කල්ලක මහා විහාරය. කල්ලක ලෙන,කලු මහ වෙහෙර. කාලවේල විහාරය මණ්ඩලාරාම , මණ්ඩලාරාමක මහා විහාරය මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි සංගමුව විහාරය නමින් හඳුන්වා ඇත . මෙම සංගමුව රජමහා විහාරය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ ගොකරැල්ල නගරයට නුදුරුව මැද්දකැටිය වැව ආසන්නයේ සුන්දර පරිසරයක පිහිටි ගල්තලාවකය.

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල නගරය පසුකර ඇති දොළොස්දාහ හන්දියෙන් දකුණට ඇති පාරේ සැතපුම් දෙක හමාරක් පමණ ගිය විට මැද්ද කැටිය වැව හමුවෙයි.

වැව අසලින් ඇති කුඩා පාරේ ටික දුරක් ගියවිට හමුවන මෙම වැව තනා ඇත්තේ අනුරාධපුර යුගයේ ක්‍රි.ව.459 සිට 477දක්වා රට පානය කල ධාතුසේන රජතුමා. බව පුජාවලියෙහිද සඳහන් වෙයි මෙම පැරණි යුගයේ හඳුන්වා ඇත්තේ සංගමුව වැව වශයෙනි වැව ආසන්නයේ මේ ඓතිහාසික විහාර ස්ථානය පිහිටා ඇත.මෙම විහාර ස්ථානය පිහිටි ගම පැරණි යුගයේ හඳුන්වා ඇත්තේ කල්ලක ගාමය වශයෙනි.

. මෙම විහාරයේ ක්‍රි.පු..අවධියට අයත් පුර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ගල්ලෙන්වලින් සමන්විතය,දොළොස්වන සියවස තෙක් ලියවුණු ගිරිලිපි වලින් යුතු විශාල ප්‍රදේශයක පැතුරුණු නෂ්ඨාව ශේෂද දක්නට ඇත.දැනට කටාරම් කොටා ඇති ගල්ලෙන් දහතුනක් සොයාගෙන ඇත. සංගමු මහා විහාරය ක්‍රි.පු.අවධියට අයත් ලෙන් විහාරයකී.

සද්ධාතිස්ස රජු විසින් මෙම ස්ථානයේ තිබුගල් ගුහාවක් විහාර ස්ථානයක් බවට පත්කර තිබේසංගමු මහා විහාරය පර්වත හයකින් වටවුනු ස්ථානයක පිහිටා ඇත. සංගමු මහා විහාරයෙහි විහාර කන්ද යනුවෙන් හඳුන්වනු ලබන කන්දේ දැනට වැඳුම් කරන විහාර මන්දිරය ඉදිකර තිබේ. එය මහනුවර යුගයට අයත්වෙයි.

දොළොස්වන සියවසේ දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු අතර සිදුවුණු සමගි සන්ධාන සාම ගිවිසුම මණ්ඩලගිරි විහාරයේ ගල්පිටකයක කොටවනු ලැබු බව වුලවංශයේ සඳහන්වේ.. විහාර ස්ථානයට යෑම සදහා පැරණි මාර්ගය තිබී ඇත්තේ ගල්තලාව මතිනි එදා විහාර ස්ථානයට නැගීම සදහා ගලින් කොටා පඩි ඉදිකර තිබී ඇත. එය චුලවංශයේ මෙසේ සඳහන්වෙයි.. "සංගමුව මහා විහාරයට නැඟිම සඳහා ඇති එකම මාවත නැ‍නෙහිර ගල්පර්වතයෙනි. ගලින් මතු කළ පියගැට පෙළෙහි පියගැට ‍එකසිය දෙකක් නැඟිමෙන් පසු පියගැට පෙළේ මුදුනෙහි මේ ලිපිය හමුවෙයි.මෙම ලිපිය කියවන්නට පියගැට පෙලෙන් ගොස් ආපසු හැරි නැ‍ගෙනහිරට මුහුණලා සිට ගැනිමට සිදුවෙයි.මේ සෙල්ලපිය ගලෙහි කෙට විම සඳහා උපදෙස් දුන් අය ලිපිය කියවන්නා නැ‍නෙ හිර බලා කියවිය යුතු ආකාරයට උපදෙස් දීඇති බව කැලණීය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ඩබ්ලිව්.විමල් විජේරත්න මහතාවිසින් ලියන ලද මලියදේව රහතකන් වහන්සේ වැඩ විසු මණ්ඩලාරාම මහා විහාරය නමැති කෘතියේ සදහන්වේ. බස්නාහිර බලා එය කියවීමෙන් අශුභයක් සිදුවෙනවා කියලා එකල විශ්වාසයක් තිබි ඇත..

මහාවංශයේ 70 වෙනි පරිච්ජේදයේ මානාභරණ ගජබාහු හා පැරකුම් රජවරුන් අතර හටගත් ගැටුම් පිළිබඳ විස්තර කර තිබේ. කීර්ති ශ්‍රී මේඝගන් පසුව දක්ෂිණ දේශයේ බලය පරාක්‍රමබාහු යටතට පත් විය .එතනින් නො නැවතුණ පරාක්‍රමබාහු තම මස්සිනා වු ගජබාහු සමඟ සටනන් වැදී පොළොන්නරුවද යටතට ගත්හ. ඒ අවස්ථාවේදී පරාක්‍රමබාහුගේ සේනාව නගරයට කොල්ල කෑමට පටන් ගත් නිසා රට වැස්සෝ රුහුණේ මානාභරණ රජු හමුවී පොළොන්නරුව බේරා දෙන ලෙස ඉල්ලා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට සිතු ඔහු ගජබා රජු බේරා ගන්නා ආකාරයට පොළොන්නරුවට ගොස් යුද කර ජය ගෙන ටික දිනකට පසු ගජබා රජු සිරකර රට අල්ලා ගත්තේය. මානාභරණ රජු ගජබා රජු මරවන්නට සැරසුණි. ගජබා රජු බියට පත්ව පින්වතා හැර මට අන් ආරක්ෂාවක් නැහැ. දුක් ගින්නෙන් තැවෙන මා ඹබ වහන්සේගේ කරුණා ජලයෙන් ඉස සනසනු මැනවි කියා පරාක්‍රමබාහු රජුට පණිවිඩයක් යැවීය. පරාක්‍රමබාහු මනාභරණ සමඟ නැවත යුධ වැදී පොළොන්නරුව අල්ලා ගත්තා. ගජබාහු රජු බේරා ගන්න අවස්ථාවේදි ඔහුට විරුද්ධඅ ය පැරකුම් රජු කෝප කරවා නැවත වරක් ගජබා රජු අල්ලා ගැනිම සඳහා සේනාව මෙහෙයවීය. ගජබා රජු මහා සංඝරත්නය වෙතගොස් පිහිට ඉල්ලීය. මහා සංඝරත්නය ගිරිතලේ සිටි පැරකුම්වෙත ගොස් බණ කියා ගජබාහු රජු මහලු බවත් පුතෙකු හෝ සොහොයුරෙකු නැති බවත් මැරෙන තුරු ඔහුට රජකම කරන්නට ඉඩදිය යුතු බව සමගි සන්ධානයක් ඇති කළා.මේ ලිපිය තමයි සංගමුව මහා විහාර ස්ථානයේ පිහිටුවා තියෙන්නේ එම ලිපියයි.

යහපතක්වේවා.ශ්‍රීමත් මහා සම්මත පරම්පරාවෙන් නොසිඳි පැමිණ සත්යතය ම දනය කොට ඇති (අපි) ගජබාහු පරාක්‍ර මබාහු ඥාති සොහොයුරෝ(දෙමස්සිනෝ)වෙමු.

අප කළ මේ පොරොන්දුවට (අනුව) දිවි කෙළවර දක්වා (අප දෙදෙනා) සටන් නොකරමු. අප දෙදෙනාගෙන් පළමුව මැරුණකුගේ (රාජ්‍යය) නොමැරි ජිවත්වන්නාට අයිතිය. ------එක්කෙනෙක් -----මේ රාජ්‍යය වැනසෙන අයුරින්---- අප දෙනොගෙන් එක් කෙනෙකුට සතුරු වු රජ කෙනෙක් ඇත්නම් ඔවුහු අප දෙදෙනාට සතුරුය. මෙයට( ගිවිසුමට ) විරෝධයක් (විරුද්ධ යමක්) අප කළොත් තුණුරුවන්ගේ ආඥාව කඩ කළෝ(ඉක්ම වුවෝ) වෙමු. අපායෙන් නොමිදුණෝවෙමු.

මෙයට අමතරව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා ඇති තවත් සෙල් ලිපියක්ද ඇත..

.මෙම විහාරය සංගමුව රජමහා විහාර ස්ථානයේ විහාරාධිපතිව වැඩවසන්නේ අලුත්ගම මංගල ස්වාමින් වහන්සේය.

විහාර ස්ථානයේ ඇති පහළ මළුවේ චෛත්‍යයක් ඇතත් .අද එය ගරා වැටී පවතී. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නිසා නිතරම මෙම චෛත්‍යය ශුද්ධ පවිත්‍ර කිරිම සිදුකෙරෙයිනවා. වෙනත් චෛත්‍ය යක් නොමැති නිසා ප්‍රදේශයේ ජනතාව ගරා වැටී ඇති චෛත්‍ය ය වන්දනාමාන කරනවා. පැරණි බෝධි වහන්සේගේ වට බැම්ම කඩා වැටී කඩා වැටිලා. මෙම භුමියේ සෑම තැනම පැරණි නටඹුන් තියෙනවා. ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණිම් කරලානැහැ. විහාර මන්දිරය කන්දක් උඩතමයි පිහිටලා තියෙනවා.. එහි තියෙන පැරණි බුදුපිලිම වසර 17 ක පමණ කාලයක් නිදන් සොරුන් කඩා දමලා තිබීලා මේවසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කර දුන්නා.එයත් කර දුන්නේ දිනමිණ පුවත මාර්ගයෙන් පෙන්නලා දුන්නායින් පසුවයි. ඉතුරු අඩු පාඩු ලබන වර්ෂයේ සකස් කර දෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවා. විහාරයට නුදුරු ගල් පොත්තේ පිහිටි දිය පොකුණ කිසිම නියං සමයක නොසි‍දෙයි..

පොකුණට යාබදච ගල්තලාවේ ඊතලයක් සහ දුන්නක සංකේතයක් දක්නට තියෙනවා. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින් ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම විහාර ස්ථානයේ පුරාවස්තුන් පිළිබදව අවදානය යොමු කරන ලෙස දායක සභාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා..

සටහන සහ-ජායාරුප
බී.ඒ.එන්.ශාන්ත කුමාර කටුපොත විශේෂ

 

හොර මහාචාර්ය වැඩ පටන් ගනී

$
0
0
ජන 19, 2018 01:00

 යූටා වූ කලී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට නම් දැරූ ප්‍රාන්තයකි. කිසිදිනෙක විශ්වවිද්‍යාලයකට පය නොගැසුවද උපාධි කිහිපයකටම හිමිකරුවකු වූ ඇබග්නේල් විශ්වවිද්‍යාලයක් දැනහඳුනා ගැනීමට ඇත්නම් මැනවයි සිතුවේය.විශ්වවිද්‍යාල කිහිපයකම කරක් ගැසු ඔහුට එක් විශ්වවිද්‍යාලයකට සිත බැඳුනි. ඒ එහි රූමත් සිසුවියන් සුලබ වූ නිසාය. කෙසේ හෝ බ්‍රිගුහැම් යන්ග් විශ්ව විද්‍යාලයේ සිසු වරම් ලැබිය යුතු බවට අධිෂ්ඨානය කළ ඇබග්නේල් අවසානයේදි නතර වුයේ එහි මහාචාර්යයකු වීමෙනි. ඊට අවස්ථාව ලැබුණේ අහම්බෙන් මෙන් නෙත ගැටුණ පුවත්පත් දැන්වීමක් නිසාය.

දැන්වීමෙන් කියැවුණේ වසන්ත සෘතුවේදි මහාචාර්යවරුනගේ හිඟයක් පවතින හෙයින් මාස තුනක කාලයකට තාවකාලික සමාජවිද්‍යා මහාචාර්යවරයෙක් ලබා ගැනීමට එක්තරා විශ්වවිද්‍යාලයක් බලාපොරොත්තු වන බවයි. රූමත් සිසුවියන් පිරිවරාගත් පංති කාමරයක තමා උගන්වන ආකාරය මනැසින් මවාගත් ඇබග්නේල් දෙවරක් නොසිතා විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයාට ඇමතුමක් ගත්තේය.

“ ආචාර්ය ග්‍රිම්ස්, මම ෆ්‍රෑන්ක් ඇඩම්ස්, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය. ඔබලාගේ විශ්වවිද්‍යාලයට සමාජ විද්‍යා වරයෙක් පිළිබඳ ගුරුවරු අවශ්‍යවෙලා කියලා මම දැන්වීමක් දැක්කා.“

“ඔව්. හැබැයි අපට ඕනෑ තාවකාලික ගුරුවරයෙක්, මාස තුනකට . ඔයාට උගන්වලා පළපුරුදුකම් එහෙම ඇති කියලා මම හිතනවා ?“ ආචාර්ය ග්‍රිම්ස් පිළිතුරු දුන්නේ ප්‍රවේසමින් වචන තෝරා ගනිමිනි.

“අපොයි ඔව්. හැබැයි ඒ කාලකෙට ඉස්සර. ඇත්තම කියනවා නම් ආචාර්ය ග්‍රිම්ස් මම ට්‍රාන්ස් වර්ල්ඩ් එයාර්වේස්වල ගුවන් නියමුවෙක්. ( මේ වන විට ඇබග්නේල් පෑන් ඇම් නියමු බලපත්‍රයට අමතරව ට්‍රාන්ස්වර්ල්ඩ් එයාර්වේස් හි ව්‍යාජ බලපත්‍රයක් ද සකස්කරගෙන තිබිණි. ) මාස හයක කාලයකට එයාලා මාව සේවයෙන් නිදහස් කළා. මගේ ඇතුළු කනේ හටගත්ත ආසාදනයක් නිසා. මොකද ගුවන් නියමුවෙක්ට ශ්‍රවණ හැකියාව කොතරම් වටිනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. නිකම් ඉන්නවාට වඩා විවේක මාස හය කිසියම් ඵලදායි දෙයකට යොදවන්නයි මට ඕනෑ. ඔයාලගේ දැන්වීම දැක්කම මට ආයෙත් පංති කාමරයකට යන්න හිතුණා. ට්‍රාන්ස්වර්ල්ඩ්වලට යන්න කලින් මම නිව්යෝක් සිටි කොලීජීයේ, සමාජ විද්‍යා මහාචාර්යවරයෙක් හැටියටත් වැඩ කළා“

ඇබග්නේල්ගේ විස්තරය ආචාර්ය ග්‍රිම්ස්ගේ සිත ඇද ගැනීමට හේතු විය. ඔහුද ගුවන් නියමුවන්ට බෙහෙවින් ප්‍රිය කළ අයෙකි. ඇබග්නේල්ව සම්මුඛ පරීක්ෂණයකට කැඳවන විටත් ඔහුව තෝරාගැනීමට ග්‍රිම්ස් තීරණය කොට අවසන්ය.

“ ආචාර්ය ඇඩම්ස් ඔයා අපේ තනතුරට ගැලපෙන අපේක්ෂයෙක් කියලා මට විශ්වාසයි. ඇයි හෙට උදේ කාර්යාලයට ඇවිත් මාව මුණ ගැහෙන්නේ නැත්තේ? අපිට තවත් හොඳට මේ ගැන කතාකරන්න පුළුවන් වෙවි.“ ග්‍රිම්ස්ගේ කටහඩ උද්යෝගයෙන් පිරී තිබිණි.

“මගේ සතුටත් ඒකම තමයි. පොඩි දෙයක් මට දැනගන්න අවශ්‍යයයි. මම යූටාවලට අමුත්තෙක් නිසා මෙහේ දේවල් මට තාම අලුත්. විද්‍යාලයේ ගුරු තනතුරකට අයදුම් කරද්දී ඉදිරිපත් කරන්න ඕනෑ ලියකියවිලි මොනවද ?“

“කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකේ පිටපතක් හොඳටම ප්‍රමාණවත්. කොලිජියෙන් රෙකමදාරු ලිපි දෙකකුත් ලබා ගන්න පුළුවන් නම් තවත් අගෙයි.“

“ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය කියන ඩොකියුමන්ට් මට ගෙදරින් ගෙන්න ගන්න වෙනවා. මොකද මෙහෙට එනකොට ආපහු ගුරු වෘත්තියට යන බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැනේ.“ ඇබග්නේල් පැවසුවේ වෙනත් අරමුණක් යටි සිතේ ඇතිවය. තමා මේ කතා කරන්නේ ලෝකයෙන් භාගයක්ම ගොනාට ඇන්දූ මහා පරිමාණ වංචාකරුවකු සමඟ බව සැක කිරිමට ග්‍රිම්ස්ට හේතුවක් තිබුණේ නැත.

“මට තේරෙනවා. අපි හෙට උදේ මුණ ගැහෙමු මහත්මයා.“ ග්‍රිම්ස් දුරකතන සංවාදය නිම කළේ බලාපොරොත්තු සහගතවය.

නවාතැනට ගිය සැණින් ඇබග්නේල් වැඩට බැස්සේය. කොලොම්බියා විශ්වවිද්‍යාලය අමතා ලිපියක් යවමින් පාඨමාලා විස්තර ඉල්ලූ ඇබග්නේල් නිව්යොක් සිටි විද්‍යාලයේ රෙජිස්ට්‍රාර්වරයාටද ලිපියක් පිළියෙල කළේය. ඒ ඔවුන්ගේ විද්‍යාලයේ ගුරු තනතුරකට තමා සලකා බලන ලෙසට ඉල්ලමිනි. පසුදිනයේ ආචාර්ය ග්‍රිම්ස් සමඟ පැවති හමුව ප්‍රසන්න සාර්ථක රස සාගරයක් විය. ඒකාකාරී නීරස රැකියාවෙන් හෙම්බත්ව සිටි ආචාර්ය ග්‍රිම්ස්, සිය ගුවන් ගමන් වික්‍රමයන්ගෙන් ප්‍රබෝධමත් කිරීම ඇබග්නේල්ට සුළු දෙයක් විය. ග්‍රිම්ස් සමඟ දිවා භෝජනය නිමාවද් දී ඇබග්නේල්ට මහාචාර්ය තනතුර ලැබී තිබුණි.

ඊළඟ සතිය ඇබග්නේල්ට කාර්යබහුල විය. ඔහු බලාපොරොත්තුවූ පරිදි ම පිළිතුරු ලිපි අදාළ විද්‍යාල දෙකෙන්ම ලැබී තිබුණේ එම විද්‍යාලවල ලාංඡන මුද්‍රිත ලිපි ශීර්ෂවලය. ව්‍යාජ උපාධි සහතිකයක් සමඟ රෙකමදාරු ලිපි දෙකක් පිළියෙල කර ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ යතුරු ලියනයක්, කතුරක්, විනිවිද පෙනෙන ටේප් හා ඝන කඩදාසි පමණි. අවසන් ප්‍රතිඵලය දුටු ඇබග්නේල් තමා ගැනම උපන් සියුම් ආඩම්බරයකින් කිතිකැවිණි. සිය උපාධි නිබන්ධනය ලෙස ඔහු තෝරා ගත්තේ සමාජ විද්‍යාවත් ගගන විද්‍යාවත් සංකලනය වු මාතෘකාවකි. “උතුරු ඇමරිකාවේ ග්‍රාමීය ජනතාව කෙරෙහි ගුවන්විද්‍යාවෙන් ඇති කරන සමාජවිද්‍යාත්මක බලපෑම“ නම්වු එය ග්‍රිම්ස්ව ප්‍රමෝදයට පත්කරන බවට ඔහුට සැකයක් නොවීය. නමුත් ආචාර්ය ග්‍රිම්ස් හෝ සමාජවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙම ලියවිලි දෙස වරක් හෝ ඇස් ඇර බැලීමට කරදර වූයේ නැත. මන්ද ඇබග්නේල් විසින් ඔවුන්ගේ සිත්වල තමා ගැන පින්තාරු කොට තිබූ චිත්‍රය ඒ සියල්ලටම වඩා විශ්වසනීය වූ බැවිනි.

“ඔයාට පංති දෙකක් භාර දෙනවා. සති හයේ සෙමෙස්ටර් දෙකක්. එක සෙමෙස්ටරයකට ඩොලර් එක්දහස් හයසීයයි. උදේ වරුවේ ලැබෙන්නේ පළමු වසරේ පන්තිය. පැය එකහමාර ගානේ

සතියට දවස් තුනයි. දවල් වරුවේ දෙවන වසර. ඒත් පැය එකහමාර ගානේ සතියට දවස් දෙකයි. මට සතුටුයි ඔයා ශක්තිමත් තරුණයෙක් වීම ගැන. ඔයාට හුඟක් මහන්සි වෙන්න වෙයි.“ සමාජ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානි ආචාර්ය වැන්ඩර්හොෆ් එසේ පැවසුවේ ඇබග්නේල්ට පාඨමාලාවන්ට අදාල මුද්‍රිත පොත්ද ලබා දෙමිනි.

ඇබග්නේල්ගේ ප්‍රිතියට සරිලන ලෙස පංති සියල්ලේම බහුතරය සමන්විත වූයේ ගැහැනු ළමුන්ගෙනි. එම වසන්ත සෘතුව ඔහුගේ මෙන්ම ඔහුගේ සිසුන්ගේද ජිවතවල විනෝදාත්මකම කාල පරිච්ඡේදය විය. රාත්‍රියේ ඊළඟ දිනයට නියමිත පාඩම් හොඳින් කියවාගත් ඇබග්නේල්ට තෝරාගත් කොටස් පංතිය හමුවේ විස්තර කරදීම අසීරු නොවිය. ඔහු කිසිවිටෙක පොතට සීමාවූ හේතු විෂය දැනුම කෙරෙහි පමණක් විශ්වාසය තැබුවේද නැත. පාඩමෙන් මිදීගොස් අපරාධ, බිඳීගිය පවුල්වලින් බිහිවන දරුවන් මුහුණදෙන ගැටලු වැනි කාලීන සමාජ තත්ව පිළිබඳව ඇබග්නේල් කළ විවරණ, සිසුන් අමන්දානන්දයට පත් කළේය. මෙවැනි විස්තර කතනයන් අතිශයින් තාත්වික වූයේ ඇබග්නේල් ඒවා සිය ජිවිත අත්දැකීම් පාදක කර ගනිමින් ගෙන හැර පෑ බැවිණි. සති හය අවසන් වන විට ඇබග්නේල් සිසුන්ගේ පමණක් නොව ආචාර්ය ග්‍රිම්ස් හා වැන්ඩර්හොෆ්ගේද ප්‍රියතමයකුව සිටියේය. සිසුන් පනස්දෙනෙක් පමණ පෞද්ගලිකව ඇබග්නේල් හමුව ඔහුට සමුදුන්නේ ඔහුගේ ඉගැන්වීම් කෙතරම් විනෝදාත්මකදැයි ප්‍රශංසා කරමිනි.

“දිගටම අපිත් එක්ක ඉන්න ෆ්‍රෑන්ක්. අපිට සමාජවිද්‍යා මහාචාර්යවරයෙක්ගෙ ස්ථිර පුරප්පාඩුවක් තිබුණොත් අහසින් බස්ස ගන්න අපි දෙවරක් හිතන්නේ නැහැ.“ ග්‍රිම්ස් ඔහුට සමුදුන්නේ එසේ කියමිනි.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ - රුක්ලන්ති පෙරේරා

සඳුදා : චෙක් පතක් කළ ඇබැද්දිය

යුරෝපා හවුල එපා කියද්දී තෙරේසා මේ යන්න හදයි

$
0
0
ජන 20, 2018 01:00

 බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට එරට ජනයා ජනමත විචාරණයේදී ගත් තීන්දුව පරිදි එම ඉවත්වීමට අදාළව සපුරාලිය යුතු පාර්ලිමේන්තුමය ක්‍රියාදාමයේ අවසන් කඩුල්ලත් පැනීමට හැකි වී තිබේ. ඒ; පාර්ලිමේන්තුව (House of Commons) 324 ට 295 ක් වශයෙන් එම තීරණය අනුමත කිරීමෙනි. ‍මීට අදාළ පනත තෙවෙනිවර කියැවීම සහ විවාදය පසුගිය 17, 18 දෙදින තුළ පැවැත්විණි. ඡන්ද විමසීම සිදුකෙරුණේ ඉන් අනතුරුවය. මෙහි ඊළඟ පියවර වශයෙන් එය සාමි මන්ත්‍රී මණ්ඩලයට (House of Lords) යොමුකෙරෙනු ඇත. 2019 මාර්තු 29 වැනිදා සිට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ක්‍රියාත්මක වේ.

l වෙන්වීමේ ගිවිසුම අනුමත වීම

සාමි මණ්ඩලයේ වැඩිදෙනකු තවදුරටත් යුරෝපා සංගමයත් සමඟ බැඳී සිටිය යුතුය යන මතයේ සිටිති. එමෙන්ම තෙරේසා මේ අගමැතිනියගේ ආණ්ඩුවට එහි බහුතර බලය ද නැත. පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගැනීම ද ආණ්ඩුවට අභියෝගයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී සංශෝධන කිහිපයක් ගෙනඒමට ද සිදුව ඇත. ඉකුත් මාසයේදී ආණ්ඩු පක්ෂයේ කැරැලිකාරී මන්ත්‍රීවරු 11 දෙනකු ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබූ නිසාද බ්‍රික්සිට් පනතට කුමක් සිදුවනු ඇතිදැයි බොහෝදෙනා අවධානයෙන් බලා සිටියහ. කම්කරු පක්ෂය ඡන්දය ප්‍රකාශ කළේ පනතට එරෙහිවය.

අදාළ ක්‍රියාදාමයේ මෙම අදියර සම්පූර්ණ කිරීමත් සමඟ ඊළඟ අදියරට ගමන් කිරීමට යු‍රෝපා සංගමය හා බ්‍රිතාන්‍ය එකඟව සිටිති. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණය සංගමයේ සතුටට හේතුවක් නොවීය. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තවදුරටත් තමන් සමග එක්ව සිටින ලෙසයි. බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පනත සම්මතවීමෙන් පසුවද යුරෝපා කොමිසමේ ප්‍රධානී ජින් ක්ලෝඩ් ජන්කර් ප්‍රකාශ කළේ සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව වුවද අනාගතයේදී යළි එක්වීමට බ්‍රිතාන්‍ය තීරණය කළහොත් ඊට සහාය දැක්වීමට තමන් සූදානම් බවය. බ්‍රිතාන්‍යයේ මෙම තීරණය හේතුවෙන් දෙපාර්ශ්වයටම අත්කර දෙනු ඇත්තේ පරාජය බව ඔහුගේ අදහසය. එය මහා විනාශයක් වශයෙන් යුරෝපා සංගමය හඳුන්වා තිබේ. බ්‍රිතාන්‍ය ජනතාව සහ ආණ්ඩුව මීට වෙනස් මඟක් මෙහිදී අනුගමනය කළා නම් වඩා සුදුසු බව ද ජන්කර් පවසා තිබිණි.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් ද පවසා ඇත්තේ තවදුරටත් යුරෝපා සංගමයත් සමඟ එක්ව සිටීමට බ්‍රිතාන්‍ය හිත වෙනස් කරගන්නේ නම් ඒ තීරණය තමන් සතුටින් බාරගන්නා බවය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම් පිළිබඳ කටයුතු කරන ලේකම්වරයා වන ඩේවිඩ් ඩේවිස් හඳුන්වා ඇති පරිදි මෙය ව්‍යවස්ථාදායක ක්‍රියාදාමයේ තීරණාත්මක අදියරයකි. එහි එක් අවසන් අදියරක් සාර්ථකව නිමාවීම ඔහුගේ ප්‍රසාදයට ලක්විය. මෙය මේ ක්‍රියාදාමයට අදාළව ඓතිහාසික සන්ධිස්ථානයක් බව ද ඔහු පෙන්වා දී ඇත. යම් හෙයකින් පනත සම්මත නොවූයේ නම් ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය ජනයා ලබා දුන් තීන්දුව ඵල රහිත නොවීමට ඉඩ තිබිණි. මෙය කොපමණ සංකීර්ණ ක්‍රියාදාමයක් වීද යන්න පැහැදිලි වන්නේ ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැය 80 ක් පැවැත්වීමෙන් මෙන්ම පනතට නව වගන්ති හා ඇමුණුම් 500 කට වැඩියෙන් ඉදිරිපත් කිරීමට සිදුවීමෙනි. මේ පිළිබඳ ඉතා ඵලදායී පාර්ලිමේන්තු විවාදයක් සිදුවූ බව ඩේවිස්ගේ අදහසය.

l ඡායා ඇමැති කී කතාව

යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ කටයුතු කරන කම්කරු පක්ෂයේ ඡායා ඇමැතිවරයා (ලේකම්වරයා) වන සර් කීර් ස්ටාමර් පවසන පරිදි මෙම ක්‍රියාදාමයේ බරපතළ අඩුපාඩු තිබේ. විපක්ෂය පෙන්වා දුන් කාරණා ආණ්ඩු පක්ෂයේ සැලකිල්ලට ලක්නොවූ බව ඔහුගේ මතයයි. කෙසේ වුවද සංශෝධන, ඇමුණුම් ආදිය විශාල ප්‍රමාණයක් තිබුණු බව බැහැර කළ නොහැකිය.

යුරෝපා සංගමයෙන් වෙන්ව යාම පිළිබඳ ඓතිහාසික ජනමත විචාරණය පැවැත්වුණේ 2016 ජූනි 26 වැනිදාය. එවක කම්කරු පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා වූ ඩේවිඩ් කැමරන් තවදුරටත් යුරෝපා සංගමයත් සමඟ එක්ව සිටිය යුතුය යන මතයේ සිටිමින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේය. එරට ජනතාව කම්කරු පක්ෂ ආණ්ඩුවේ එම ස්ථාවරය ප්‍රතික්ෂේප කළහ. 51.9% දෙනා කියා සිටියේ බ්‍රිතාන්‍ය ඉවත්විය යුතු බවයි. 48.1% දෙනා තවදුරටත් එක්ව සිටිය යුතු යැයි කියා සිටියහ. මේ තීරණයත් සමඟ අගමැති කැමරන් ධුරයෙන් ඉල්ලා අස්වී වේලාසනින් ගෙදර ගියේය.

පසුගිය පාර්ලිමේන්තු විවාදයේදී කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ, පසුපෙළ මන්ත්‍රීවරයකු වන සර් විලියම් කෑෂ් පෙන්වා දුන්නේ මෙම පනත මඟින් බ්‍රිතාන්‍ය ජනයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේද කැමැත්ත පිළිබිඹු වන බවය. ඔහු සාමි මණ්ඩලයෙන් ඉල්ලා සිටියේද, ජනමත විචාරණයේදී ලද තීන්දුව බාරගනිමින් ඉදිරියට යන ලෙසය. ඇතැම් දේශපාලනඥයන්ගේ අදහස මෙය තරුණ ඡන්ද සම්බන්ධයෙන් බලපෑම් සහගත කාරණයක් වනු ඇති බවය. කෙසේ වුවද මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරය නම්, ජනතාව ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක වීම තුළ තරුණ ජනයාගේ මතය ද නියෝජනය වන බවය.

l ජාතිකවාදී තීරණයක්

බ්‍රිතාන්‍යයේ තීරණය ආරක්ෂාව, ආර්ථිකය, සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය ආදී වශයෙන් සෑම ක්ෂේත්‍රයකම වාගේ බලපෑම් සහගත වන බව විශ්ලේෂකයන්ගේ අදහසය. සිය තීන්දුව ලබාදීමේදී බ්‍රිතාන්‍ය ජනයාගෙන් බහුතරය දැරූ අදහස වූයේ, එක්ව සිටීමෙන් තමන්ට වන යහපතක් නැති බවයි. ජාතිකවාදී ස්ථාවරයක සිටිමින් ඔවුන් මෙහිදී සිය මතය ප්‍රකාශ කළ බව පැහැදිලි විය. අමෙරිකානුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නායකයා වශයෙන් තෝරාගැනීම ද මෙවැනි තීරණයකි. ආරක්ෂාව, ආර්ථිකය ආදී ක්ෂේත්‍රවල බ්‍රිතාන්‍යයේ උද්ගතවූ අර්බුදකාරී තත්ත්වලට මේ බැඳීම ද හේතු වූ බව මත පළවී තිබිණි. නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියෙන් ප්‍රශ්නාර්ථ ලකුණක් තැබීමට බ්‍රිතාන්‍යයේ බහුතර ජනයා ක්‍රියාකළ බව පෙනෙන්නට ඇත. තව තවත් විවෘත වීම පිළිබඳ යුරෝපා සංගමයේ යෝජනා ඔවුහු මෙහිදී බැහැර කළහ.

බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස සිටිය යුතු බව හිටපු අගමැති ඩේවිඩ් කැමරන් දැරූ ස්ථාවරයයි. එම මතය ජයග්‍රහණය කරවීමට ඔහු ජනමත විචාරණයේදී කැපවිය. එහෙත් බහුතර ජනයා සිටියේ ඊට වෙනස් මතයේය. ජනතා මතය ප්‍රකාශයට පත්වීමත් සමඟ අගමැති කැමරන් පරාජය බාරගෙන ඉවත්විය. තෙරේසා මේ බලයට පත්වූයේ ඔහුගේ ඉතිරි ධුර කාලය වෙනුවෙනි. මෙම ක්‍රියාදාමය පෙරට ගෙනයාමට සිදුවූයේ ඇයටය. මේ වන විට ඇය ඉටුකරමින් සිටින්නේ තමන් වෙත මෙන්ම තම රජයට පැවැරී ඇති එම කාර්යභාරයයි.

බ්‍රිතාන්‍යයේ තීරණය ප්‍රධාන වශයෙන්ම එරට ආර්ථීකයට කවර බලපෑමක් ඇතිකරනු ඇතිද යන්න මෙන්ම යු‍රෝපා සංගමයට කෙලෙස බලපානු ඇති ද යන්න ඉදිරි කාලය තුළ දැකගත හැකිවනු ඇත. බොහෝදුරට බ්‍රිතාන්‍යයට වඩා එම බලපෑම් කටුක වනු ඇත්තේ යුරෝපා සංගමයටයි. ඔවුන් බ්‍රිතාන්‍ය රඳවා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක යෙදී සිටින්නේ මේ යථාර්ථය හොඳින් දන්නා බැවිනි. සෙසු සාමාජික රටවලට ද එම බලපෑම් ඊට සමානුපාතිකව විඳදරා ගැනීමට සිදුවනු ඇත.

l දෙවන වටයේ කුමක් වේද ?

කෙසේ වුවද, මේ තීරණය නිසා බ්‍රිතාන්‍යයට යහපත පමණක් අත්කර දෙනු ඇතැයි කීමට ද නොහැකිය. එහෙත්, ජනතාව ගෙන ඇත්තේ වඩා සුදුසු මෙන්ම ප්‍රායෝගික තීරණය බව පෙනෙන්නට තිබේ. තමන්ට මුහුණදීමට සිදුවූ දුෂ්කරතා, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ සැක සංකා සහිත තත්ත්ව වැනි කාරණා ඔවුන් එවැනි තීරණයක් කරා මෙහෙයවන්නට ඇත.

ඉවත්වීමට අදාළ සාකච්ඡාවල දෙවන වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසර අගභාගයේදීය. ඒ අතර ඇති මාස කිහිපයක කාලපරාසය තුළ පනත සාමි මණ්ඩලයේ අනුමැතියට යොමු කෙරේ. දැනට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි වුවද ජනමත විචාරණයෙන් ලැබුණු තීන්දුව ආපසු හැරවීමට සාමි මණ්ඩලය ක්‍රියාකරනු ඇතැයි සිතීමට අපහසුය. වැඩිදෙනා ඊට අකමැතිවීමට ඉඩ ඇතත්, ජනමතයට හිස නමනු ඇතැයි අපේක්ෂා කළ හැකි වේ.

යුරෝපා සංගමයේ තවත් ප්‍රබලයකු වන ප්‍රංශය තවදුරටත් එය සමඟ එක්ව සිටිය යුතුය යන මතයේ සිටී. එම මතය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එමැනුවෙල් මැක්‍රන්ට ජනාධිපතිවරණයේ විශාල ජයක් අත්විය. තවදුරටත් යුරෝපා සංගමය එක්ව තබාගැනීමට ඔහු බලයට පත්වීමෙන් පසු පෙරට ආවේය.

කෙසේ වුවද, යුරෝපා සංගමය තවදුරටත් බ්‍රිතාන්‍ය රඳවා ගැනීමට දුටු සිහිනය බොඳව ගොස් තිබේ. බ්‍රිතාන්‍යයට මේ තත්ත්වය අර්බුදයකින් තොරව විසඳා ගැනීමට හැකිවේදැයි ලෝකයේ අවධානය යොමුව ඇත.

ධම්මික සෙනෙවිරත්න

නූතන ජීවිතයේ සයිබර් හිරිහැර

$
0
0
ජන 20, 2018 01:00

 මිතුරුකම් වර්ධනය කරගැනීමේ අරමුණින් ඇරඹි ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ අඩිපාරේ යමින් මේ වන විට විවිධ නම්වලින් යුත් සමාජ ජාලා රාශියක්ම නිර්මාණය වී ඇත. එහෙත් ඒ කිසිදු සමාජ ජාලයකට ෆේස්බුක් ඉක්මවා යෑමට නොහැකිව තිබේ. කෙසේ වෙතත් මිතුරුකම් වර්ධනය කර ගැනීමේ අරමුණින් බිහි වුණු ප්‍රථම සමාජ ජාලයේ අරමුණ මේ වන විට විවිධාකාර කැපීම් කෙටීම්වලට භාජනය වෙමින් එම මූලික පරමාර්ථයෙන් බැහැරව සමාජ ප්‍රගමනයට වඩා අවගමනය කරා මෙහෙයවමින් සිටින සෙයක් දක්නට ලැබෙයි.

ඊට හොඳම නිදසුන වන්නේ වසරින් වසර සමාජ ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වර්ධනයක් දක්නට ලැබීමයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන පරිගණක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන අන්දමට 2017 වසරේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ප්‍රමාණය 3600 ක් පමණය. ඒ අතරින් 3100 ක් පමණම ව්‍යාජ සමාජ ජාලා ගිණුම් සම්බන්ධයෙනි. එපමණක් නොව ඡායාරූප වෙනස්කම් කර අන්තර්ජාලයට මුදා හැරීම්, මුරපද වෙනස් කිරීම් සහ රවටා මුදල් ගසා කෑම් ද ඉහත පැමිණිලි 3600ට අයත්ය. එමෙන්ම මරණ තර්ජන සහ ජීවිත හානි සහ චරිත හානි සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි රැසක් පැමිණ ඇති බවට පැවසේ.

මුහුණට මුහුණ නොපෙනෙන මාධ්‍යයක් වන සමාජාලාවන් හි ඕනෑම කෙනෙකුට ව්‍යාජ ගිණුමක් තනා ඕනෑම කෙනෙකු හා මිත්‍ර වී හිරිහැර අපහාස සිදු කිරීමේ අවකාශය තිබේ. බොහෝ දෙනා සමාජ ජාලාවන් රැසක පරිශීලකයන් වුවත් ඒ පිළිබඳ නිසි දැනුමක් නොමැති වීම ද මෙසේ විවිධ පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වීමට සිදුව තිබේ.

සමාජජාලා හිරිහැර නැතිනම් සයිබර් බුලීන්ග් (Cyberbullying) යනු ජංගම දුරකතනයක්, පරිගණකයක් හෝ ටැබ්ලට් වර්ගයේ පරිගණයක් උපයෝගී කර ගනිමින් සිදු කරන හිරිහැර හෝ අපහාස ය. එම හිරිහැරය කෙටි පණිවුඩයක්, වගන්තියක්, පරිගණක වැඩසටහනක් හෝ සමාජාලාවක්, එකමුතුවක් හෝ ක්‍රීඩාවක් යොදාගෙන ජනතාවට නැරඹිය හැකි, හුවමාරු කළ හැකි, සම්බන්ධ විය හැකිය. එසේම කෙනෙකුට සෘණාත්මක හැගීම් දැනවිය හැකි, හිංසාකාරී හෝ අනර්ථකාරී, ව්‍යාජ තොරතුරු රැගත් දෑ අන්තර්ජාල හිංසනයට අදාළ වේ. එසේම වෙනත් පාර්ශ්වයකට හෙළි වීමෙන් ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් විය හැකි, කෙනෙකුගේ පුද්ගලික සහ රහසිගත තොරතුරු හෙලි කිරීමට අන්තර්ජාල හිරිහැර ගොන්නට ඇතුළත් වේ.

ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ස්නැප්චැට් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය, ජංගම දුරකතන හරහා යවන කෙටි පණිවුඩ ,ක්ෂණික පණිවුඩ සහ ඊමේල් භාවිතයෙන් අන්තර්ජාල හිරිහැර සහ අපහාස සිදුවිය හැකිය.

අන්තර්ජාලය හරහා හිරිහැර හෝ අපහාස සිදුවන අන්දම පිළිබඳ දැනුවත්වීමෙන් එයින් මිදීමට සහ ඊට එරෙහිව ක්‍රියාකිරීමට හැකියාව ලැබේ.

අන්තර්ජාලය හරහා දැනුවත්වම කෙනෙකුට හිරිහැරයක් හෝ අපහාසයක් සිදු වන අන්දමේ අදහස් පළ කිරීම හෝ ඕපාදූප හෝ කටකතා පළ කිරීම, කෙනෙකු බියට පත්වන අන්දමින් තර්ජනය කිරීම හෝ මරා දමන බවට තර්ජනය කිරීම, අපහාසයක් සිදුවන අන්දමේ ඡායාරූප හෝ වීඩියෝ මුදා හැරීම, ජාතියකට, කුලයකට, ආගමකට අපහාස වන අන්දමින් තොරතුරු පළ කිරීම, දැනුවත්වම අපහාස වන අන්දමින් කෙනෙකුට එරෙහිව වෙබ් පිටු නිර්මාණය කිරීම, කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වන අන්දමේ පෞද්ගලික තොරතුරු, ලිපින, ණය පත් මුර පද, දුරකතන අංක හෙළි කිරීම් ආදිය අන්තර්ජාල හිරිහැරයන් ලෙස සැළැකේ.

අන්තර්ජාල හිරිහැර නිසා සිය දිවි නසා ගැනීම්, නිරන්තර කෝපය, විෂාදය, අපරාධ සඳහා යොමු වීම් සහ යොමු කිරීම්, සමාජ සබදතා බිද වැටීම් ආදිය සිදුවිය හැකිය.

විශේෂයෙන්ම පසුගිය කාලයේ දී අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් පෙළක් වූයේ පෙම් සබඳතා බිඳී ගිය පසු ඔවුන්ගේ අතිශය පුද්ගලික අවස්ථාවලදී ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමයි. එසේත් නැතිනම් අන්තර්ජාලය මුදා හරින බවට තර්ජනය කරමින් තරුණියන් අපහරණය කිරීම් ය. එසේම පාසැල් සහ විශ්වවිද්‍යාලවලත් මුළුගැන්වුණු ශිෂ්‍ය ශිෂ්‍යාවනට සමාජ ජාලා හරහා අපහාස කිරීම් පාසැල් පද්ධතිය තුළ දක්නට ලැබෙන ලක්ෂණයක් වන අතර අනෙක් සිසුන් හා සමාන පහසුකම් නොමැති සිසුන්ට අවමානයට ලක් කිරීමයි. නිදසුන් ලෙස ඇදුම් පැළදුම්, නවීන ජංගම දුරකතන, ලැප්ටොප් වැනි දෑ නොමැති සිසුන් දැක්විය හැකියි.

ව්‍යාජ සමාජ ජාලා ගිණුම් තනා පිටස්තරයන්ගේ තමන්ගේ මිතුරු මිතුරියන්ගේ පුද්ගලික තොරතුරු හෙළිකර සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ කිරීමෙන්ද සමාජයේ බොහෝ දෙනා හිරිහැරයට ලක් වන තවත් අවස්ථාවකි.

ශාරීරික ආබාධිත තත්ත්වයන් ද මුල්කරගෙන අන්තර්ජාලය හරහා අපහාස උපහාස කිරීම් සිදු කෙරේ. එපමණක් නොව සමලිංගිකයන්ට ද සමාජයෙන් එල්ල වන්නේ අපහාස සහ උපහාසය ය.

එසේම තමන්ට වඩා උසස් අය ආශ්‍රය කිරීම නිසා ඉන් ඇති වන ඊර්ෂ්‍යාව නිසා ද අන්තර්ජාල හිරිහැර කිරීම් සිදුවේ. වර්තමානයේ බොහෝ විට දේශපාලන, ආගමික සහ ජාතියේ වෙනස්කම් අලලා සිදුකරන අපහාස උපහාස සමාජ ජාලා හරහා හුවමාරු වන බව අත්දැක ඇතුවාට සැක නැත.

අන්තර්ජාලය හරහා හිරිහැරයකට හෝ අපහාසයට දිගින් දිගටම ලක් වන බවට හදුනා ගැනීමේ ලක්ෂණ ඇත. එම ලක්ෂණ නිරීක්ෂණය කරන්නෙකුට අදාළ හිරිහැරයට ලක් වන්නා එම ගැටලුවෙන් ගලවා ගෙන ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාව ඇත.

සැලකිය යුතු ලෙස ජංගම දුරකතනය හෝ පරිගණකය භාවිත කරන ප්‍රමාණය අඩුවීම හෝ වැඩිවීම, දරුවකු නම් චිත්තවේගාත්මක හැසිරීම් ප්‍රකට කිරීම් දැකිය හැකිය. නිරන්තරව සිනාසීම, කේන්තිය හෝ නොසන්සුන් බවක් දක්වයි. තමන් භාවිත කරන ඩිජිටල් උපකරණයේ මුහුණත පිටස්තරයන්ගෙන් සැගවීම, තමන් නරඹන දේ පිළිබද අනෙකුන් සමඟ කතා බහ කිරීමට මැලීවීම ද, සුපුරුදු සමාජ ජාලා ගිණුම් වසා දැමීම හෝ නව ගිණුම් විවෘත කිරීම, පෙර පරිදි සමාජගතව කටයුතු නොකර සැගව සිටීමට උත්සාහ දැරීම සහ වැඩිහිටියෙක් නම් මත්පැන් පානයට යොමු වීම හෝ මත්පැන් පානය කරන්නෙකු නම් වෙනදාට වඩා ඊට යොමු වීම වැනි ලක්ෂණ අන්තර්ජාලය හරහා හිරිහැරයට ලක් වන්නන්ගේ මූලික ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

අන්තර්ජාල හිරිහැරයට ලක්වීමෙන් වැළැකී සිටීමට ගත හැකි පියවරන් රැසකි. කිසිවකු තමන්ට අපහාස හා උපහාස කරන්නේ නම් ඊට ප්‍රතිචාර නොදක්වා සිටීම ඊට ගත හැකි හොඳම පියවරකි. ප්‍රතිචාර දැක්වීමෙන් අදාළ පුද්ගලයා ධෛර්යමත් වී තව තවත් එම කාර්යය සදහා පෙළැඹෙයි. තමන්ට දරා ගත නොහැකි ලෙස හිරිහැර සිදුවන්නේ නම් ඒ සියලු දේ ස්ක්‍රීන් ෂොට් ලෙස ලබාගෙන හිරිහැරයට ලක්වීම ගැන විශ්වාසවන්තයකු දැනුවත් කර සහාය පැතිය යුතුය. සමාජ ජාලාවන්හි නම් තමන්ට අපහාස කරන පුද්ගලයාව අන්ෆ්‍රෙන්ඩ් කර නැතිනම් බ්ලොක් කර ඉන් මිදිය හැකිය.

මෙවැනි හිරිහැරයක් වීමට ලක් නොවී සිටීමට නම් ප්‍රසිද්ධ නොවිය යුතු ඡායාරූප, මුරපද, වීඩියෝ දර්ශන තමන්ට පමණක් තබා ගැනීම සේම තමන්ගේ අතිශය පුද්ගලික කාර්යයක් සිදු කරන්නේ නම් එම අවස්ථාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝ ගත නොකිරීම හෝ තමන් සිටින ස්ථානය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම ද වැදගත් වේ.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් සමාජ ජාලාවන්හි හිරිහැරයට, අපහාසයට උපහාසයට ලක්වීමෙන් වැළැකී සිටිය හැකිය. කුණු රසට බහුතරයක් දෙනා කැමැත්තක් දක්වන හෙයින් අනුන්ගේ පුද්ගලික ජීවිතවලට එබීමට බොහෝ දෙනා බලා සිටිති. එවැනි සිද්ධීන් හරහා පහත් වින්දනයක් ලැබීම ද මුදල් ඉපැයීමට ද වර්තමානය අන්තර්ජාලය හරහා මාර්ග හෙළි පෙහෙළි වී ඇති හෙයිනි. එම නිසා තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තම තමන් සතු කාර්යයක් වන නිසාය.

පී.කේ. බණ්ඩාර


හිම මිදුණු ඇහි පිල්ලමක් යට

$
0
0
ජන 20, 2018 01:00

 සයිබීරියාවේ ඔයිමයාකොන් ගම මිහිමත පවත්නා අරුම පුදුම තැනකි. ඒ, එය රුසියාවේ මොස්කව් නුවර සිට සැතපුම් 3,300 ඈතින් පිහිටා ඇති තවත් දුෂ්කර ගමක් නිසා පමණක් නොව මිනිසුන් ජීවත් වන අඩුම උෂ්ණත්වය සහිත ප්‍රදේශය ද වන බැවිනි. ඔයිමයාකොන්හි උෂ්ණත්වය කෙතරම් පහළ මට්ටමක පවතින්නේදැයි කිවහොත්, සයිබීරියාවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය, නගරයේ උෂ්ණත්වය මනින්නට සවිකර තිබූ නවතම විද්‍යුත් උෂ්ණත්වමානයත් ක්‍රියාවිරහිත වී ඇත. ගම්මානයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක ඍණ 62 දක්වා පහළ වැටී ඇත. තවත් සමහරුන්ගේ මතය වී තිබෙන්නේ ගම්මානයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67 දක්වා පහළ බැස ඇති බවයි.

සෑම ජනේරුවේම සිදුවන උෂ්ණත්ව පහළ වැටීම මේ ගම්මානයට ආගන්තුක නැති වුව මේ ජනේරුවේ උෂ්ණත්වය පහළ වැටීම වාර්තාගත එකක් බව පැවසේ. වාර්තාගත ලෙස උෂ්ණත්වය අඩු වුණු 1933 වසරේදීවත් මේ තරම් වැටීමක් සිදු වූයේ නැත. 1933දී එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67.7 දක්වා පහළ වැටිණ.

මේ තරම් අඩු උෂ්ණත්වයක ඔයිමයාකොන්හි ජීවත්වීම ලෙහෙසි පහසු යුද්ධයක් නොවේ. ඔයිමයාකොන්හි අතළොස්සක් වූ මිනිසුන්ගේ ජීවිත සරල සහ සුගම නැත්තේ ද එනිසාමය. ඇසිපියවත් හෙළන්නට බැරි තරමටම හිම ඔවුන්ගේ ඇහිපිය කෙළවරටම පැමිණ තිබේ. සුදෝ සුදු හිම කැට ප්‍රිය දසුනක් බව සැබැවි. එසේ වුවත් ඇහිපිය හිම මෙන් බරවීම කෙසේ උහුලන්නද?. පෑන්වල තීන්ත ගල් ගැසී ඇත. යළි පණ ගන්වා ගන්නට බැරිවෙතැයි යන බිය නිසා ඔවුහු දවස පුරාම මෝටර් රථය පණ ගන්වා තබති. මියගිය කල මිහිදන් කිරීම ද පහසු නැත.මිහිදන් කරන තැන අයිස් දිය කර හරින්නට පළමුවෙන්ම සිදුවේ. එය කරන්නේ හිම තට්ටු හාරා ඒ තුළ ගිනිමැල ගැසීමෙනි. තනා ගත් වළ විශාල කරගන්නට කරන්නේ සිදුර පසෙක ගල්අඟුරු දැල්වීමයි. දැවුම දින කිහිපයක් පුරා කරන්නට සිදු වේ. දේහය මිහිදන් කෙරෙන්නේ මේ ජරමර සියල්ල අවසානයේදී ය.

ඒ දුක් කරදර මැද 'අමුතුම සැනසීම්'ද නැත්තේ නොවේ. මේ කියන සැනසීම් තිබෙන්නේ ගම්මානයට ඇති එකම වෙළඳපොළෙහි ය. මාළු ආදී දේ ශීතකරණ තුළ බහා තබා ගනිමින් අලෙවි කරන්නට මේ වෙළඳපොළේ වෙළඳුන් වද විඳිය යුතු නැත. මාළු ආදිය නරක් වීමට ඇති හැකියාවත් පහළ බැවින් ශීතකරණ නැති වෙළඳපොළක් එහි දක්නට ලැබේ.

ඔයිමයාකොන් ගම්මානයේ මිනිස්සු පන්සියයක් පමණ ජීවත් වෙති. මේ පිරිස නිතරම ආහාරයට ගන්නේ මස් සහ මාළු සහිත ආහාරය. “ද වොෂින්ටන් පෝස්ට්” පුවත්පත වාර්තා කරන ආකාරයට එළවලු සහ පළතුරු ආදියෙන් සමන්විත ආහාර වේලක් භුක්ති විඳින්නට ඔවුන්ට ඉඩක් නොලැබෙන තරම්ය. නොපිසූ දිග මාළු පෙති මෙන්ම නොපිසූ පිනිමුව මස් ද අශ්වයන්ගේ අක්මාව ද ඔවුහු මැකරෝනි සමඟ සුලභව ආහාරයට ගනිති. අයිස් කැට අශ්ව රුධිරයත් ඔවුන්ගේ ජනප්‍රිය ආහාරයකි. මස් සහ මාළු යෙදූ සුප් පානයටත් ඔවුහු රුසියෝය. එවැනි ආහාර වේලකින් හැර දෛනිකව අවශ්‍ය ශක්තිය ලබා ගත නොහැකි බව ඔයිමයාකොන් වැසියෝ පවසති. ශීතල නිසා ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට මධ්‍යසාර ඔවුන් අතර සුලභ ය.

ජල අවශ්‍යතා සපුරා ගත හැකිව තිබෙන්නේ ඔවුන්ගේ ගමට ආසන්නයේ පවත්නා උණුදිය බුබුළකිනි. මේ උණුදිය බුබුළේ ජලය මිදෙන්නේ නැති බව වාර්තා වේ. එසේ වුවත් නාන කාමර තුළට ජලය ලබාගැනීමක් නම් . හේතුව බට හරහා ජලය ලබාගන්නට නොහැකි වීමය. ඒ නිසා නාන කාමරයක සිදුකළ යුතු සියලු කටයුතු බාහිර පරිසරය තුළදී ඉටුකර ගනිති. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 52ට වඩා අඩු දිනවල හැර අනිත් දිනවල ප්‍රදේශයේ පාසල වසා දමන්නට බලධාරීන් කටයුතු කරන්නේ නැත. ගහ කොළ පමණක් නොව මහා මං ද හිමෙන් වැසී ඇති නිසා ඔයිමයාකොන් ගම්වැසියන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ ඉතා අඩුවෙනි. ඔයිමයාකොන් වැසියන්ගේ ජීවිත තවත් කවර තරමේ කාලයක් ඉදිරියට ගලාගෙන යනු ඇත්දැයි කිසිවකු දන්නේ නැත. ගෝලීය කාලගුණ විපර්යාස හේතුවෙන් ඔවුන්ට බලපාන උෂ්ණත්වය දිගින් දිගටම අඩුවන්නට පටන් ගතහොත් ඔයිමයාකොන් ගම්මානය ඉදිරි පරම්පරාවලට නිජබිම නොවන්නට වුව හැකිය.

මංජුලා විජයරත්න 

ට්‍රම්ප් රත් කළ 'ගින්දර සහ කෝපය'

$
0
0
ජන 20, 2018 01:00

 ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරි - ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්‘ නමැති මෙම ආන්දෝලනාත්මක කෘතිය ට්‍රම්ප් හා ඔහුගේ සමීපතමයන් ඇඳාගනිමින් ධවල මන්දිරයේ බිත්තිවලින් මෙතෙක් කල් පිටතට නොගියාවූ රහස් රාශියක් ප්‍රසිද්ධියට පත්කරන්නකි. ෆයර් ඇන්ඩ් ෆියුරිහි අන්තර්ගතය සැබවින්ම ‘වහා ගිනිගන්නාසුලුය’. ට්‍රම්ප් සම්බන්ධයෙන් සතුටු වීමට හැකි ස්වල්ප වූ හෝ යහපත් දෙයක් ඉතිරිව තිබුණා නම්, එයද දවා හළු කිරීමට මෙම පොත සමර්ථ ය. ධවල මන්දිරය ඒ ගැන කෙතරම් කබලවූවාද යත් පොත ප්‍රකාශයට පත් කිරීම අත්සිටුවන ලෙස බලකරමින් ට්‍රම්ප්ගේ නීතිඥයා එහි ප්‍රකාශකයා වන ‘හෙන්රි හෝල්ට්‘ සමාගමට එරෙහිව නීතිමය පියවර ද ගත්තේය. නමුත් එකම ප්‍රතිඵලය වූයේ නියමිත දිනයටත් පෙරම පොත ප්‍රකාශයට පත්කිරීමට ප්‍රකාශකයා කටයුතු කිරීමය. හෙන්රි හෝල්ට් සමාගම මෙම පොත හඳුන්වා දුන්නේ ‘ඇමරිකාවේ ජාතික තත්වයට අසමසම දායකත්වයක් ලබාදුන් නිර්මාණයක්‘ ලෙසය. ට්‍රම්ප් ඇතුළු ඔහුගේ ධවල මන්දිර නීතිඥයින් විසින් මෙම පොත තොටිල්ලේදීම මරා දැමීමට උත්සාහ ගත්තේ ජාතික ආරක්ෂාව පදනම්කරගෙන නොවීමද කැපී පෙනෙන්නෙකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයෙන් ගෙනයන මර්දනකාරී පිලිවෙත ට්‍රම්ප්ගේ ආත්ම අභිමානය හා ප්‍රතිරූපය පළුදු වනු ඇතිය යන බිය පදනම් කරගත්තකි.

ෆයර් ඇන්ඩ් ෆියුරි ප්‍රකාශයට පත්වීම නිසාවෙන් ට්‍රම්ප් හැරුණු කොට බරපතළම ප්‍රතිවිපාක ලැබුවේ ට්‍රම්ප්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයා වන ‘ස්ටීව් බැනන්ය‘. ඒ මයිකල් වුල්ෆ්ගේ ගින්දර මෙන් දවන සුලු හෙළිකිරීම් රාශියකටම පදනම් වී ඇත්තේ බැනන්ගේ ප්‍රකාශ නිසාය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරිහි‘ කොඳු නාරටිය සකස්ව තිබෙන්නේ ට්‍රම්ප් සම්බන්ධයෙන් බැනන් විසින් කළ ගිනි පුපුරු වන්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශවලිනි. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ අදටත් උණුසුම පහව ගොස් නැති 2016 වසරේදී ට්‍රම්ප් ටවර්හිදී රුසියානු නියෝජිතයින් සමඟ කළ සාකච්ඡා ය. ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු සමඟ බෑණනුවන් ජෙරාඩ් කුෂ්නර්ද සහභාගී වූ මෙම හමුව, ට්‍රම්ප් ජනපති ධූරයට පත්කිරීමට රුසියාව මැදිහත්වූ බවට චෝදනා එල්ලවීමට මුල් විය. ෆයර් ඇන්ඩ් ෆියුරි හි බැනන් විසින් මෙම හමුව හඳුන්වා දෙන්නේ ‘ජාති මාමක නොවූ දේශ ද්‍රෝහී කුණුහරුපයක්‘ ලෙසය. කලකදී ට්‍රම්ප් ගිනි සිලුවේ භාරකරු වූ බැනන් පසුගිය සතිය වන විට ඇමරිකානු දේශපාලන කරළිය තුළ සිය තත්ත්වය රැක ගැනීම සඳහා පණ අදිමින් සිටියේ ‘දේශපාලනික දිවි සුරැකුම් යන්ත්‍රයක‘ පිහිට ලබමිනි. බැනන් සමඟ වූ සියලුම සබඳතා කපා හැරියා පමණක් නොව, ‘හෙළි නොකරන ලද එකඟතාවයක්‘ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සියලු සේවා අත්හිටුවීමේ ලිපියක්ද ට්‍රම්ප් පරිපාලනයෙන් ඔහුට යවා තිබේ. ඒ අනුව ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ට්‍රම්ප් පමණක් නොව බැනන්ද සිටින්නේ ගිනි ගොඩක ය.

සියලු විප්‍රයෝගවල නිර්මාතෘ වන මයිකල් වුල්ෆ් සියල්ලේ අවසන් ගෞරවයද තමාටම පිරිනමා ගනිමින් බැනන් හා ට්‍රම්ප් අතර වන සමානකම හුවා දක්වා තිබුණේ මෙලෙස ය. “ ජනපතිවරයකුට සුදුස ලෙස කතා කිරීමට ට්‍රම්ප් නොදන්නවා නම්, බැනන් උපදේශකයා ලෙස ට්‍රම්ප්ටම ගැලපෙනවා. ජනපති උපදේශකයකුට ඔබින ලෙස කතා කිරීමට ඔහුද නොදත් නිසාය.“ට්‍රම්ප්ගේ යුදෙව් ආගමික බෑණනුවන් වන කුෂ්නර් හා බැනන් අතර පැවති යුදෙව් හා යුදෙව් නොවන්නන් මුල්කර ගත් ආකල්පමය ගැටුමක්ද ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ හෙළි වේ. දැනට මරිකාව වෙළාගෙන තිබෙන වාර්ගික හා ආගමික ගැටුම් ධවල මන්දිරයටද ව්‍යාප්තව ඇති බව හෙළි කිරීමට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. ට්‍රම්ප්ගේ සමීපතමයින් හා විවිධ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයින් ට්‍රම්ප්ගේ අදක්ෂකම හුවා දක්වමින් අපහාසාත්මක යෙදුම්වලින් ඔහුව හඳුන්වා ඇති ආකාරද ෆයර් ඇන්ඩ් ෆියුරි හී දැක්වේ. සැකෙවින් ගතහොත් මේ දක්වා ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඇතුළත වසන් කරමින් ඇද තිබූ තිරය ෆයර් ඇන්ඩ් ෆියුරි විසින් ඔසවා තිබෙන්නේ ට්‍රම්ප් හොඳින්ම හඳුනන පුද්ගලයන්ට ඔහු ගැන කතා කිරීමට ඉඩ හැරීමෙනි. තමා කිසිදිනක වුල්ෆ්ට කතා කර නැති බව කියන ට්‍රම්ප්, එහි ඇතුළත් සියල්ල ‘පට්ටපල් බොරු හා වැරදි අර්ථකථන‘ ලෙස පවසමින් සාවඥ ලෙස බැහැර කොට තිබේ. එබඳු මත ගැටුම් හා ආන්දෝලනාත්මක සිදුවීම් පාඨකයින් පොත මිලදී ගැනීමට උනන්දු කිරීමට මිස අධෛර්යවත් කිරීමට හේතුව නැත. පොත උණු කැවුම් මෙන් අලෙවි වන්නට වූයේ හෙන්රි හෝල්ට් ප්‍රකාශන සමාගමේ වසර එකසිය පනස් එකක ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ ‘ප්‍රබන්ධ නොවන‘ පොත ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. ධවල මන්දිරය එලෙස ගිනි ගනිද්දී සිනහ උපදවන සිදුවීමක්ද වාර්තාව තිබිණි. ඒ ට්‍රම්ප්ගේ රහස් හෙළි කරන පොත මිලදී ගැනීමට පාඨකයින් අතර හටගත් උමතුවක් බඳු උද්වේගයේ ද එනමින්ම යුතු වෙනත් පොතක් වැරදීමකින් මිලදී ගැනීමට බොහෝදෙනකු පෙළඹවයි. ට්‍රම්ප්ගේ අපවාදයෙන් එලෙස වාසි ලැබුවේ කැනේඩියානු ජාතික ලේඛකයකු මෙන්ම ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකුද වන ‘රැන්ඩල් හැන්සන්ය.‘ 2009දී ප්‍රකාශයට පත්වූ ඔහුගේ ‘ෆයර් ඇන්ඩ් ෆියුරි‘ කෘතිය දෙවන ලෝක යුද සමයේදී ජර්මනියට බෝම්බ හෙළීම පාදක කර ගත්තකි. සිදුවු පටලැවිල්ල නිසා රැන්ඩල්ගේ පොත එක් රැයකින් ‘බෙස්ට්සෙලර්’ ලැයිස්තු තුනකම අංක එකට පත්ව තිබිණි. පොත් දෙක පටලවා ගත්තවුන් රැන්ඩල්ගේ පොත කියවා පුදුමය පළ කර තිබුණේ ඒ ගැන ධවල මන්දිරය මෙතරම් කලබලව සිටින්නේ මන්දැයි සිතාගත නොහැකි වූ නිසාය. ඒ අතර ට්‍රම්ප්ව ප්‍රිය කරන ඇතැම් පාඨකයින් කියා තිබුණේ ඔවුන් ඕනෑකමින්ම රැන්ඩල්ගේ පොත මිලදී ගත්තේ වුල්ෆ්ගෙන් පළිගැනීමට බවයි. ෆයර් ඇන්ඩ් ෆියුරි අලකලංචියෙන් වැඩිම වාසි ලැබූ රැන්ඩල් පටලැවිල්ල ගැනත්, ට්‍රම්ප් අපවාද ගැනත් චෝදනා නඟන්නේ නැත.

ෆයර් ඇන්ඩ් ෆියුරි කරන හෙළිකිරීම් අතරින් වඩාත්ම කතා බහට ලක්ව ඇත්තේ ට්‍රම්ප්ගේ තෙවැනි හා වත්මන් බිරිය මෙලානියා සම්බන්ධ සිදුවීමකි. මයිකල් වුල්ෆ්ට අනුව ඇය සිය සැමියා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව දැනගත් විට හඬා තිබේ. ඒ සතුටට නොව ශෝකයටය. ට්‍රම්ප් ජනපතිවූ විට තමාටද ජනපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ ඔහු සමඟ විසීමට සිදුවීම ගැන හටගත් ශෝකය ඇයට ඒ මොහොතේ ප්‍රබලව දැනුණු බවට වුල්ෆ් කරන ප්‍රකාශය විවාදාත්මකය. කොහොමටත් ජනපති ට්‍රම්ප් හා මෙලානියා අතර වන සම්බන්ධය සමීප වූවක් නොවන බව රහසක් නොවේ. ජෝන්. එෆ්. කෙනඩිගෙන් පසු සිය බිරියගෙන් වෙන්ව නිදන කාමරයක නිදන්නට පටන්ගත් ජනපතිවරයා ට්‍රම්ප් ය. ඔහු සිය කාමරයට අගුලක් මෙන්ම අමතර රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද ඔහු ලබාගෙන තිබීමද අසාමාන්‍ය වූවකි. වුල්ෆ් කරන අනාවරණවලට අනුව සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඇල්ලීමට ට්‍රම්ප් කිසිවකුට ඉඩ දෙන්නේ නැත. ඔහු මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නෙ සිය දත් බුරුසුව සම්බන්ධයෙනි. පෞද්ගලික බඩු ස්පර්ශ කිරීමට එරෙහිව දැඩි නීති පැනවීමට ට්‍රම්ප් පෙළඹී ඇත්තේ තමාට වස දෙනු ඇත යන සිටින අනියත බිය නිසාය. ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලෙන් පමණක් ආහාර ගන්නේද එම බිය නිසාම ය. එසේ මයිකල් වුල්ෆ්ට අනුව ට්‍රම්ප් පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි විශ්වාසය තබන්නෙකි. හොඳම නිදසුන ඔහුගේ සමීපතම සහායකයින් දෙදෙනා දියණිය ඉවැන්කා හා කෙලී ඈන් කොන්වේ ය. ට්‍රම්ප්ගේ, එම තෝරා ගැනීමට හේතුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වඩාත් පක්ෂපාතී හා විශ්වාසනීය බවට ඔහු තුළ වන පිළිගැනීමයි.

ජෙරාඩ් කුෂ්නර් හා ඉවැන්කා ට්‍රම්ප් හිටපු එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පෙළඹවු බව තවත් ආන්දෝලනාත්මක චෝදනාවකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට අනුව රුසියාවේ මැදිහත්වීම් ගැන එෆ්.බී. අයි ආයතනය විසින් සිදුකළ විමර්ශනවල අවසානය කෙබඳු වනු ඇත්ද කියා ඉවැන්කා හා කුෂ්නර් සිට ඇත්තේ දැඩි බියකිනි. පවුලේ ආදායම්ද විමර්ශනයට ලක්වනු ඇතැයි බියවු කුෂ්නර් කළ පෙළඹවීම් හමුවේ ට්‍රම්ප් කෝමි ඉවත් කිරීමට තීරණය කොට ඇත්තේ කිසිවකුගේ අදහස් විමසීමකින් තොරවය. දේශපාලන විචාරකයින්ට අනුව කෝමි එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම වූකලී ජනපති ධුර ඉතිහාසයේ තනි කැමැත්තට ගත් වැදගත්ම ක්‍රියාමාර්ගයකි.

ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ සාකච්ඡාවට ලක්කරන තවත් විවාදාත්මක සිදුවීමක් වන්නේ සෞදි අරාබියේ මෑතභාගයේදී සිදුවූ බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයයි. ඊට මුල්වුයේ ට්‍රම්ප් හා කුෂ්නර් බවට වුල්ෆ් චෝදනා කරන්නේ ට්‍රම්ප් කළැයි කියන ප්‍රකාශයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි. ජනපති ධුරයට පත්ව කළ පළමු විදේශ සංචාරයේදී සෞදි අරාබිය බලා ගිය ට්‍රම්ප්, ඇමරිකාව වෙනුවෙන් ඩොලර් බිලියන එකසිය දහයක අවි ගිවිසුමකට අත්සන් කර තිබේ. එකල සෞදියේ ආරක්ෂක ඇමැති ‘මොහොමඩ් බින් සල්මාන්‘ කුමරු සෞදියේ ඔටුන්න හිමි කුමරු බවට පත්වීමට ආධාර කර ගත්තේ ට්‍රම්ප් පවුල සමඟ ගොඩනඟාගත් එම මිත්‍රත්වයයි. හිටපු ඔටුන්න හිමි කුමරු වන ‘මොහොමඩ් බින් නායෙෆ්‘ අත්අඩංගුවට ගනිමින් බලය අල්ලා ගැනීමට කළ මෙම කුමන්ත්‍රණය පිටුපසින් ක්‍රියාත්මක වූයේ ට්‍රම්ප්ගේ අදිසි හස්තය බවට වුල්ෆ් කරන හෙළිදරව්ව, සෞදිඅරාබියේ දේශපාලනික කුණාටුවක් ඇති කිරීමට හේතුවී තිබේ. මිට අමතරව ට්‍රම්ප්ගේ සමීපතමයින් හා ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරීන් ට්‍රම්ප් යනු,‘මෝඩයෙක්‘, ‘පිස්සෙක්‘,‘වැඩකට නැති අඥානයෙක්‘ලෙස හඳුන්වනු ලැබූ අවස්ථා ලැයිස්තුවක්ද මෙහි ඇතුලත්ය.

ෆයර් ඇන්ඩ් ෆියුරි ( ගින්දර හා කෝපය ) යන්නට වඩා හොඳ නමක් ඊට දිය නොහැක. ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් සිටින්නේ ගිනි පුපුරුවලට මැදිවය.

රුක්ලන්ති පෙරේරා

නිදහසට එන එඩ්වර්ඩ් කුමරු

$
0
0
ජන 20, 2018 01:00

 ශ්‍රී ලංකාවේ හැත්තෑ වන නිදහස් සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ එක්සත් රාජධානියේ එඩ්වර්ඩ් කුමරුය. මෙරට ජනයාගේ අවධානයට එතරම් ලක් නොවුණ එඩ්වර්ඩ් කුමරු, චාර්ල්ස් කුමරු තරම් ප්‍රකට චරිතයක් නොවුණ ද බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණගේ බාලම පුත්‍රයාය. වෙසෙක්ස්හි අර්ල්වරයා වන්නේ ද ඔහුය.

1964 වසරේ මාර්තු 10වැනිදා බ්‍රිතාන්‍යයේ බකින්ග්හැම් මාලිගයේදී එඩ්වර්ඩ් ඇන්තනී රිචර්ඩ් ලුවිස් උපත ලැබුවේ බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන තෙවැනි පෙළ සාමාජිකයා වශයෙනි. එසේ වුවත් අද වනවිට ඔහු බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන නව වන සාමාජිකයා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ තෙවැනි දරුවා උපත ලද විට එඩ්වර්ඩ් කුමරුට කිරුළට හිමිකම් කීමට තිබෙන අයිතිය තවත් ඈතට යනු ඇත.

එඩ්වර්ඩ් කුමරුගේ ආරම්භක අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කෙරුණේ බකින්ග්හැම් මාලිගයේදී ය. ඔහු හත් වියට එළඹී 1972 වසරේදී ගිබ්ස් නමැති පාසල වෙත යොමු කෙරිණ. ඉන්පසු එක්සත් රාජධානියේ බර්ක්ෂියර්හි හීදර්ඩොව්න් පාසලෙනුත්, ස්කොට්ලන්තයේ ගෝර්ඩන්ස්ටොවුන් පාසලෙනුත් අධ්‍යාපනය ලැබුවේ ය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව හෙතෙම කෙටි කලක් ගුරුවරයෙක් ලෙස නවසීලන්තයේ වැන්ගනුයි පාසලේ සේවය කළේය. ගුරු සේවය නිම කර එක්සත් රාජධානියට පැමිණ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජීසස් කොලිජියෙන් ශාස්ත්‍රවේදී උපාධියට අදාළ කියැවීම් ද නිම කිරීමෙන් පසු හෙතෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමු දුන් ඔහු බ්‍රිතාන්‍ය රජ පවුලේ උදවිය අතර විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත් සිව්වැන්නා වූයේ එඩ්වර්ඩ් කුමරුයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඔහු රාජකීය නාවුක හමුදාවට යොමු කෙරුණේ පාඨමාලාවක් හැදෑරීම සඳහාය. පුතු එහි අධ්‍යාපනය ලබනු දැකෘම පියා පිලිප් කුමරුගේ සතුට වුවත් 1987 වසරේදී නාවුක පාඨමාලාව අතහැර දමන විට හෙතෙම පාඨමාලවෙන් තුනෙන් එක් පංගුවක්වත් සම්පූර්ණ කර නොතිබිණි‍. මේ නිසා කුමරු පියාගේ දැඩි දෝශදර්ශනයට ද ලක් වුණු බව ඇතැම් මාධ්‍යවාර්තා කර තිබිණ. රජ ගෙදර ඕපාදූප වාර්තා කරන සමහර මාධ්‍ය කියා සිටියේ පිලිප් කුමරු සිය බාල පුතාගේ තීරණය අනුකම්පා සහගතව ඉවසූ බවය. එඩ්වර්ඩ් කුමරු ඊළඟට තෝරා ගත්තේ විනෝදාස්වාද කර්මාන්තයයි. ඔහු සංගීත වැඩසටහන් නිෂ්පාදන සහයකයකු ලෙස කටයුතු කළේය. නිළියක ලෙස වැඩසටහන්වලට දායක වෙමින් සිටි රූතී හෙන්ෂල් කුමරුට හමුවන්නේ මේ රැකියාවෙහි නිරතව සිටියදී බව සඳහන් වේ. කුමරු ඈ සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගත් බවක් පැවසේ. මේ සම්බන්ධය වසර තුනකට ආසන්න කාලයක් පැවති බව සමහර මාධ්‍ය පෙන්වා දෙයි.

වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ද එතරම් සාර්ථක වූයේ නැත. රජ ගෙදර පසුබිම් කරගෙන ඔහු 1987දී පමණ නිර්මාණය කරන ලද “ද ග්‍රෑන්ඩ් නොකවුට් ටුවර්නමන්ට්” නමැති රූපවාහිනි වැඩසටහනට දෙවන එළිසබෙත් රැජිණගේ බලවත් විරෝධය එල්ල විය. හැලහැප්පීම් මැද වැඩසටහන් නිෂ්පාදනයේ නිරතව සිටි එඩ්වර්ඩ් කුමරු තමන්ගේම යැයි කියන සමාගමක් ආරම්භ කරන්නේ 1993 වසරේදීය. මේ සමාගමෙන් කෙරුණේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන සමාගමක් වන එය නම් කර තිබුණේ “අර්ඩෙන්ට් ප්‍රඩක්ෂන්ස්” යනුවෙනි. වාර්තාමය වැඩසටහන් රාශියකුත් නාට්‍යය කිහිපයකුත් නිෂ්පාදනය කරන්නට මේ සමාගමට හැකි විය. වුවත් සමාගමේ කටයුතුවලට එඩ්වර්ඩ්ගේ රාජකීයභාවය හරහට හිටියේය. මූල්‍යමය ලාභයන් ලබා ගැනීමට රාජකීය නාමය අයථා ලෙස භාවිතයට ගන්න බව පවසමින් කුමරුට දෝශාරෝපණ එල්ල වන්නට පටන් ගැනිණ. බ්‍රිතාන්‍ය තුළදී හොඳ නමක් දිනාගන්නට බැරිවුණු මේ සමාගමේ ඇතැම් නිෂ්පාදන ඇමෙරිකාව ආදී රටවලට විකුණා දමන්නට එඩ්වර්ඩ් කුමරු ක්‍රියා කළේය. කෙසේ වුවත් ඒ රටවලදී එම වැඩසටහන් කුණු කූඩයට තල්ලු නොවූ බව කිව යුතුය. මේ අතර 2001 වසරේදී අර්ඩන්ට් සමාගමේ සේවකයන් දෙදෙනෙක් විලියම් කුමරුගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ල කෙරෙන හැසිරීමක නිරත වූහ. එකල විලියම් කුමරු, ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ එකල අධ්‍යාපනය ලබමින් සිටියේය. සමාගම් සේවකයන්ගේ මේ නොමනා හැසිරීමෙන් කෝපයට පත් විලියම් කුමරු ඒ සම්බන්ධයෙන් රජ ගෙදර බලධාරීන්ට ඍජුවම පැමිණිලි කළ බව සඳහන් විය. මේ සිද්ධියත් සමඟ සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වුණු එඩ්වර්ඩ් කුමරු සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂ ධුරයට පත් වූයේය. එයින් වසර හතකට පමණ පසුව එනම් 2007 වසරේදී එඩ්වර්ඩ් කුමරුගේ අර්ඩන්ට් සමාගම දිය කර හැරිණ. ඒ වනවිට එඩ්වර්ඩ් කුමරු දෙවන එළිසබෙත් රැජිණගේ රාජකාරී කටයුතුවලට පූර්ණ සහය ලබාදීමට නිල වශයෙන් එකඟව සිටියේය.

එඩ්වර්ඩ් කුමරු විවාහ වූ සොෆි රිස් - ජෝන්ස් සමඟය. ඇය මහජන සම්බන්ධතා විධායක නිලධාරිනියකි. විවාහය 1999 ජුනි 19වැනිදා ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදු කෙරිණ. ඔවුන් ලුයිසේ වින්ඩ්සර් නම් දුවකගේත් ජේම්ස් නම් පුතකුගේත් මවුපියෝ වෙති.

එඩ්වර්ඩ් කුමරු අද වනවිට නියැලී සිටින්නේ දෙවන එළිසබෙත් රැජිණගේත් පිලිප් කුමරුගේත් රාජකාරි කටයුතුවලය. අනූ හය හැවිරිදි පිලිප් කුමරු සිය රාජකාරි වැඩවලින් වැඩි ප්‍රමාණයක් පවරා තිබෙන්නේ එඩ්වර්ඩ් කුමරුට බව කියැවේ. චාර්ල්ස් සහ ඇන්ඩෘ කුමාරයන් දෙදෙනාටත් ඈන් කුමරියටත් වඩා පිලිප් කුමරුට සමීප එඩ්වර්ඩ් කුමරු බව බොහෝදෙනාගේ මතයයි.

මංජුලා විජයරත්න 

හිරේ ගිය බූරුවන් සහ බළල් තානාපති

$
0
0
ජන 20, 2018 01:00

 පුදුම හතට එක් නොවූ පුදුම දේ මේ සජීවී ලෝකයේ කොතරම් සිදුවෙනවාද? අප පොළොවේ පයගසා සිටින ලෝකයේ ‍මෙවැනි ‍දේ සිදුවෙනවාද කියා සිතා ගැනීමටත් නොහැකි තරම් ය. මේ එවැනි කිහිපයක් පිළිබඳ සටහනකි.

සිරගත වූ බූරුවෝ

මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය . කමලේෂ් තම සතුන් නිදහස් කර දෙන මෙන් කොතෙක් ඉල්ලා සිටියත් කිසිවකු ඊට සවන් දී නැත. දේශපාලන මැදිහත්වීම සිදුවූයේ ඉන් අනතුරුවය.සිරගෙදර අධිකාරි කියා සිටියේ මෙය අතිසංකීර්ණ ගැටලුවක් බවය.

“බූරුවෙක් හිරේ දමන්නනීතියක් නැහැ. ඒත් අයිතිකරුට පාඩමක් උගන්නනයි මෙහෙම කළේ. කීපවතාවක්ම අවවවාද කළත් ගණන් ගත්තේ නෑ. අධිකාරිවරයා පැවසුවේය. පැළෑටි කෑ බූරුවන්ට සිව් දිනක සිර දඬුවමක් ලැබිණි.

කාසියේ අවාසිය

අසූ හැවිරිදි කියූ 2017 ජුනි මාසයේ දකුණු චීන ගුවන් සමාගමක යානයකින් ෂැංහයි සිට ගුවැංෂෞ වෙත පවුලේ සාමාජිකයන් සමඟ ගමන් කරමින් සිටියාය. ඇය හිටි හැටියේම ගුවන් යානයේ එන්ජිමට කාසි විසි කළේ වාසනාව උරගා බැලීමටය. මෙය දුටු මගී න් ගුවන් යානයේ නිලධාරීන්ට ඒ ගැන දැන්වීය . පොලීසිය ඇය අත්අඩංගුවට ගත් නමුදු වයස ගැන සලකා නිදහස් කරන ලදී. ගුවන් යානයේ මගීන් 15ක් සිටියහ. යානය පිටත්වීමට නියමිතව තිබුණේ ප . ව. 12.40ට නමුත් මේ සිදුවීම නිසා යානය පිටත් වුණේ පැය 5කට වඩා පමා වීය. ඇය විසි කළ කාසිවල වටිනාකම යූ ආන් 1.7 කි. (අමෙරිකානු සත 25) විය. මිත්තණියගේ වාසනාව උරගා බැලීම නිසා සිදුවූ පාඩුව ඩොලර් දහස් ගණනකි.

ඤාව් රාජතාන්ත්‍රිකයා

ජෝර්දානයේ බ්‍රිතාන්‍යයේ තානාපති කාර්යාලයේ ඉතිහාසයේ පළමු වරට බළලකුට රාජතාන්ත්‍රික තනතුරක් ලැබිණි. පත්වීම සිදු කෙරුණේ 2017 නොවැම්බර් 15 වැනිදාය. ඌ පත්කර ඇත්තේ මීයන් ඇල්ලීමටය. ඌට දැනටමත් ලක්ෂයකට ආසන්න ට්විටර් අනුගාමිකයන් පිරිසක් සිටිති.

‘ලෝරන්ස් ඔෆ් ඇබ්ඩවුන්’ ඌට ලබාදී ඇති නමයි. පළමු ලෝක යුද්ධයේ ටී . ඊ. ලෝරන්ස් සිහිවීමට ඒ නම තබා ඇත. තානාපති ධුරයත් සමඟ බළලාගේ සන්තෘෂ්ටිය වැඩිවී පුෂ්ටිමත්ව තිබෙන නිසා ට්විටර් අනුගාමිකයන් ඌට ව්‍යායාම කරවන ලෙසට උපදෙස් ද එවයි.

මකුළු කුසගින්න

මිනිසුන්ට වඩා මකුළුවන් ආහාර ගන්නා බව විද්‍යාඥයන් සොයා ගත්තේ ද පසුගිය වසරේදී මාර්තු මාසයේදීය. ඒ අනුව මකුළුවන් වසරකට ගොදුරු ටොන් මිලියන අටසියයක් ගිල දමනු ලැබේ. පෘථිවියේ මකුළු විශේෂ 45,000 ක් පමණ ජීවත්වෙති.

ලොව මිනිස් ජනගහනය ටොන් මිලියන 450ක් මස් හා මාළු කෑමට ගන්නා බව ගණන් බලා තිබේ. තල්මසුන්ට ද වඩා මකුළු කුසගින්න දැඩිය. තල්මසකු වසරකට ‍ටොන් මිලියන 280 - 500ක ආහාර ප්‍රමාණයක් ගනී. බොහෝ මකුළුවන් කෑමට ගන්නේ කෘමීන්ය.

ගෝලීය උණුසුම අඩුකරන තෙල් කෑම

තෙල් කෑම අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දිය වැඩියාව, පිළිකා, ආඝාතය වැනි බොහෝ බෝ නොවෙන රෝගවලට හේතුවකි. තෙල්වල අහිතකර බව ‍හේතු වන්නේ මිනිසාට පමණක්ද? 2017 නොවැම්බරයේදී විද්‍යා පර්යේෂකයන් හෙළි කළේ ගැඹුරු තෙලේ බැදීම මිනිස් ගතට අහිතකර නමුත් ඉන් ගෝලීය උණුසුම අඩුවන බවය. ගැඹුරු තෙලේ බදින විට පිටවන දුම අහසේ වලාකුළු සෑදීමට හේතුවේ.

රොබෝ හාමුදුරුවෝ

රොබෝවරුන් උපන් දේශය රොබෝවරුන්ට අවමංගල්‍ය කටයුතු කිරීමේ වගකීම භාර දුන්නේ ද 2017 වසරේ ය. ඔවුන් පත් කර ඇත්තේ පෙපර් රොබෝය. රොබෝවරුන් නියෝජනය කරන්නේ බෞද්ධ හිමි නමකගේ කාර්ය භාරයය. පරිගණක හඬින් සූත්‍ර දේශනා කරමින් බෙර වයමින් රොබෝවරුන් බෞද්ධ ආගමික චාරිත්‍ර ඉටු කරනවා දැකීම ඉදිරියේදී අරුමයක් නොවනු ඇත.

ජපානයේ රොබෝවරුන් තනිකම නැතිකිරීමට, වියපත් අයට උපකාර වීමට, විනෝදය ගෙන දීමට සහකරුගේ සහකාරියගේ කාර්ය කිරීමට පමණක් නොව අවමංගල්‍ය චාරිත්‍ර කිරීමට ඉදිරිපත්වීම සහනදායක පුවතකි. ජපානයේ අවමංගල්‍ය උළෙලක වියදම පවුම් 20,000 ඉක්මවයි. එහෙත් පෙපර් රොබෝ අය කරන්නේ පවුම් 350ක් පමණි. ජපන් ජනගහනය සීඝ්‍රයෙන් වයස්ගත වීම නිසා එරට මුහුණපා ඇත්තේ විශාල අර්බුදයකටය. එසේම බෞද්ධ භික්ෂූන්වහන්සේලාට අඩු ආදායමක් ලැබීම නිසා විහාර කර්තව්‍යයන්ට අමතරව වෙනත් කාර්යයන්හි නිරතවීමට ද සිදුවී තිබේ.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

චෙක්පතක් කළ ඇබැද්දිය

$
0
0
ජන 22, 2018 01:00

 

“ෆ්‍රෑන්ක් ඇබග්නේල් කියන්නේ වැසිකිළි කඩදාසියක චෙක් එකක් ලියලා, ඒක ඇමරිකානු කොන්ෆෙඩරේට් රාජ්‍ය භාණ්ඩගාරයට රේඛනය කරලා, ඒකේ ‘ඔ.බ. ඇන්දවිලා‘ කියලා අත්සන් කරන්න විතරක් නෙවෙයි, හොං කොං රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කරලා ඒක මුදල් කර ගන්න වුණත් පුළුවන් තරමේ තක්කඩියෙක්.“ වරක් හූස්ටන්හි හිටපු පොලිස් ප්‍රධානියා එසේ පැවසීය. වංචාවෙන් බැංකු නිලධාරින් අපහසුතාවට පත්කොට ඔවුන් අමාරුවේ දැමීමට අරමුණක් නොතිබුණත් ඇබග්නේල්ගේ එබඳු මගඩිවලින් බරපතළ ලෙස බැටකෑවේ බැංකු නිලධාරින්ය. හොර චෙක්පත් මුදල් කිරීම සම්බන්ධයෙන් ඇබග්නේල් ඒ වන විටත් අපමණ ප්‍රගතියක් ලබා තිබුණත් චෙක්පත් වංචා සම්බන්ධයෙන් මහාචාර්ය උපාධිය ලැබුවේ කැලිෆෝනියාවේ යුරේකා නගරයේදීය. පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි යුරේකා නගරය ධීවර කර්මාන්තයට ප්‍රකට වුවත් ඇබග්නේල්ගේ සිත බැඳුණෙ ප්‍රමාණයෙන් කුඩා එම නගරයේ තිබූ සාපේක්ෂව වැඩි බැංකු ගණන නිසයි. ගුවන්යානයේ ජම්ප් අසුනට පසු ඇබග්නේල් වඩාත්ම ප්‍රිය කළේ බැංකුවලට ය.

තමා වෛද්‍යවරයෙක් ලෙසත්, ඉන්පසු නීතිඥයෙක් ලෙසත් ගතකළ දෙවසරකට ආසන්න කාලය පුරාවටම ඇබග්නේල් හොර චෙක්පත් ලිව්වේ නැත. ලියන්නට අවශ්‍යතාවයක් තිබුණේද නැත. ධර්මිෂ්ඨව ගෙවුණු එම කාලය අවසන් වන විට ඇබග්නේල්ට පුද්ගලික මට්ටමේ හොරචෙක් පත් මුදල් කිරීම සම්බන්ධයෙන් වූයේ උදාසීන හැඟීමකි. අඩු අවධානමකින් ඊට වඩා වාසිගෙන දෙන චෙක්පත් වංචාවක් කෙරෙහි ඇබග්නේල් සිත යොමු කිරීමට පටන් ගත්තේ ඉන්පසුවය. පඩි චෙක්පත් මුදල් කිරීමට ලැබීම කෙතරම් ආකර්ශනීයද ? එය පෑන් ඇම් පඩි චෙක්පතක් වනු දැකීම ඇබග්නේල්ගේ පරම පැතුම විය. ඒ සඳහා කදිම සැලසුමක්ද ඔහුට තිබුණි. ඇරත් තමා පෑන් ඇම් සමාගමට පක්ෂපාතී නොවන හොරෙකු බව දැන් කාටත් කිව නොහැකි බව මෙනෙහි කළ ඇබග්නේල් සිත යටින් සිනාසුණේය. යළිත් ‘හොරබඩු‘ සාප්පු සවාරියේ ගිය ඇබග්නේල් එවර මිලට ගත්තේ හිස් චෙක්පත් පොතක්, අයි.බී.එම්. විද්‍යුත් යතුරු ලියනයක් ( මෙය මිලදී ගත්තේ කුලී පදනම පිට ය. ) විවිධ කාබන් ඝණත්වයෙන් යුතු අතිරේක රිබන් කාට්රිජ් කිහිපයක්, ඇලවිය හැකි අංක හා අකුරු ඇතුළත් චුම්බක පටි කිහිපයක් මෙන්ම කුඩාම ප්‍රමාණයේ සෙල්ලම් පෑන් ඇම් ගුවන් යානා ආකෘති රැසකි. නවාතැනට ගිය ඔහු ‘මහා පෑන්ඇම් චෙක්පත් වංචාව“ ඇරඹුවේ හිස් චෙක්පත මුදුනේ ගුවන් යානා ආකෘතියකින් ගලවාගත් පෑන් ඇම් ලාංඡනයක් ඇලවීමෙනි.

චෙක්පත යතුරුලිනයට රිංග වූ ඇබග්නේල් එහි අදාළ තැන්වල පෑන් ඇම් ලිපිනයත්, මුදල් ලැබිය යුතු තැනැත්තා ෆ්‍රෑන්ක් ඇබග්නේල් බවත්, බැංකු ශාඛාව ‍‘චේස් මෑන්හැටන්‘ ලෙසත්, සඳහන් කළේය. එය වියදමට ලබාදෙන චෙක්පතක් බවද එහි සඳහන් කිරීමට හේ අමතක නොකළේ, සැබෑ පෑන් ඇම් පඩිපතක් මීට වඩා වෙනස් විය හැකි බව අනුමාන කළ නිසාය. ඩොලර් 568.70ක් ලෙස, තමාට ගෙවිය යුතු මුදල සඳහන් කළ ඇබග්නේල්, මෙම මගඩිය සඳහා වැයවු මුදලට සාපේක්ෂව එය සාධාරණ මුදලක් බව නිගමනය කළේය. අවසන් ලෙස චේස් මෑන්හැටන් බැංකුවේ ෆෙඩරල් දිස්ත්‍රික්කය, ෆෙඩරල් දිස්ත්‍රික්ක හඳුනාගැනීමේ අංකය හා පෑන්ඇම් ගිණුම් අංකය ඇතුළත් අංක පෙළ චුම්බක අංකපටිය ආධාරයෙන් ඇලෙව්වේය. දෙපැයක් පුරා කෙතරම් වැර වෑයමෙන් නිර්මාණය කළද අවසන් ප්‍රතිඵලය සාර්ථක වංචාකරුවකු ලෙස ඇබග්නේල්ට සෑහිමට පත්විය හැකි මට්ටමක තිබුණේ නැත.

පරණ ඇඳුමක් වුවද වටිනා ලොම් කබායකින් ආවරණය කර ගත්විට විලාසිතා දැක්මකට වුවද ඉදිරිපත් විය හැකි බව හෙතෙම දත්තේය. ලියුම්කවරයක් ගෙන එහි මුදුන පෑන් ඇම් ලාංඡනයකින් හැඩකළ ඇබග්නේල් එය තුළට කඩදාසි කැබල්ලක් රුවා එය සිය නමටම තැපැල් කළේය. මෙම ක්‍රියාදාමයේදි තැපැල් සේවයෙන් ඇබග්නේල්ට හොඳ සහයක් ලැබිණි. යළි ඔහු වෙත ආ ලියුම් කවරයේ මුද්දරය මතවූ තැපැල් මුද්‍රාව ඔහු බලාපොරොත්තුවූ පරිදිම තැපැල් කළ ස්ථානය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි බොඳව තිබිණි. යළිත් සිය පෑන්ඇම් ගුවන්නියමු නිල ඇඳුමට බැසගත් ඇබග්නේල් ලියුම් කවරයේ බහාගත් චෙක්පතද අතැතිව, ළඟම බැංකුවට පිය මැන්නේය. එහි සිටි බැංකු සේවිකාවන් අතරින් සිත්ගත් එක් තැනැත්තියක් තෝරාගත් හේ ඇයට කිට්ටු කළේය.

“හායි! මම ෆ්‍රෑන්ක් විලියම්ස්. ලොස් ඇන්ජලීස්වලට යන ගමන්, පොඩි විවේකයක් ගත කරන්නයි නැවතුනේ. කරුණාකරලා මේ චෙක්එක මාරුකරලා දෙන්න පුළුවන්ද ? මගේ හැඳුනුම්පත විතරක් ඇති නේද ? එසේ කියූ ඇබග්නේල් සිය හොර චෙක්පත ඇයට ඉදිරිත් කළේ එය බහා තිබූ කවරය ඇයට පෙනෙන පරිදි උඩු අතට හරවමිනි. ඇය සහතික ලෙසම එය දුටුවාය. හොර චෙක්පත පරීක්ෂා කරන බවක් පෙන්වුවද ඇගේ අවධානය යොමුව තිබුණේ තමන් ඉදිරියේ සිටගෙන සිටින කඩවසම් ගුවන් නියමුවා වෙතය. ඇය අධෛර්ය කිරීමට ඔහුට ද අවශ්‍ය වූයේ නැත. යුරේකා නගරයේ තමා වැන්නන් විරල බව සිතූ ඇබග්නේල් ඇයව තවදුරටත් උනනන්දු කළේ ඇය සමඟ ප්‍රීතිමත් සංවාදයකට මුල පුරමිනි.මාරු කර දුන් මුදල් සමඟ පෑන් ඇම් ලියුම් කවරය ද රැගෙන යාමට ඇබග්නේල් පරෙස්සම් විය. ඔහු සිතූ පරිදිම එය සිය ව්‍යාජ චෙක්පතේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට උදව්වක් විය. එසේම තවත් වටිනා නියමයක් සිය පළමු ව්‍යාජ පෑන් ඇම් චෙක්පත මාරු කිරීමේදී ඔහු අනාවරණය කර ගත්තේය. ඒ බැංකු නිලධාරින්ගේ ( විශේෂයෙන්ම කාන්තාවන්ගේ) අවධානය ග්‍රහණයකර ගන්නේ චෙක්පතේ පෙනුම විසින් නොව එය රැගෙන එන්නාගේ පෙනුම විසින් බවය.

සිය කඩවසම් පෞරුෂයත්, ශෘංගාරය වෑහෙන චතුර කතාබහත් ඇමට දී ඕනෑම හොර චෙක්පතක් ක්ෂණයකින් මුදල් කරගත හැකි බව දැන් නම් ඇබග්නේල්ට සක්සුදක් සේ පැහැදිලිය. එදින එළිවන පාන්දර යාමය තෙක් නිදි වරමින් ඇබග්නේල් තවත් ව්‍යාජ චෙක්පත් කිහිපයක් සකස් කළේය. පසුදින ඒවා යුරේකා නගරයේ පිහිටි බැංකු කිහිපයක් අතර විසිරුවා හැරි ඔහුගේ ඉලක්කය වූයේ, සිය පළමු ව්‍යාජ චෙක්පත ප්‍රතික්ෂේප වී ආපසු ලැබීමට පෙර යුරේකා නගරයෙන් පිටවීමටය. නමුත් අනපේක්ෂිත ලෙස සිදුවු අත්වැරදීමක් නිසාවෙන් ඇබග්නේල්ට සිතුවාට වඩා කලින් යුරේකාවට සමුදීමට සිදුවිය. ඔහු නීතියෙන් අනූනවයෙන් ගැලවුණු අවස්ථාවක් ලෙසද එය ඇබග්නේල්ගේ මතක පොතේ රතු අකුරින් ලියැවුණකි.

ව්‍යාජ අනන්‍යතාවලින් කෙතරම් පෙනී සිටියද ඇබග්නේල්ට කිසිවිටෙක හෝ තම සැබෑ අනන්‍යතාව අමතකව ගියේ නැත. සිය ජීවිතයට අනතුරක් නැතැයි හැඟෙන හැම විටෙකම සිය සැබෑ නමින් පෙනී සිටීමට ඔහු මැලි වූයේ නැත. මේ අකරතැබ්බයට මුහුණ දීමට සිදුවූයේද ඔහුගේ ඒ පුරුද්ද නිසාය. දිනක් මුහුදු ආහාර පිරිනැමෙන අවන්හලකට වැදී උණු උණු මාළු බැඳුමක රස බලමින් සිටි ඇබග්නේල් ධීවරයෙක් සමඟ කතාවට වැටිණී.

“ හායි! මම ටොම්.මම ඔයා දැකලා නෙවෙයි, ඔයා කන මාළුවා දැකලයි ආවේ. ඇත්තම කිව්වොත් මම තමයි මාළුවා අල්ල ගත්තේ. සෑහෙන සටනක් දෙන්න වුණා මෙයා ඔය පිඟානට ගේන්න. “

“ෂා නියමයිනේ! මෙයා නම් ඇත්තටම රස මාළුවෙක්. ඔයා නම් හැබෑම දක්ෂයෙක් වෙන්න ඕනෑ.“ ඇබග්නේල් ධීවරයාගේ කතාවට රුකුල් දුන්නේය.

“වෙන්න ඇති. හැබැයි මම ඊටත් වඩා දක්ෂයි පරණ කාර් හැඩදාලා ගන්න. ඇත්තම කියනවා නම් මම කාර් පිස්සෙක්.“ ධිවරයා පැවසුවේ සිනාසෙමිනි.

“මටත් ඒ කාලේ තිබුණා අපේ තාත්තා අරන්දීපු පරණ 1950 ෆෝඩ් එකක්. අරන් දෙනකොට ඒක නිකන්ම යකඩ ගොඩක්. සති දෙකක් තිස්සේ මම ඒකට හොඳට සැලකුවා. කොච්චර හොඳට සැලකුවාද කියනවා නම් මම ඒක පදවාගෙන යනකොට කෙල්ලෝ කාර් එක පස්සෙන් එන්න ගත්තා.“

“නියමයි. මමත් දැන් හදන්න අරන් තියනේනේ ඔය කියන ජාතියේ ෆෝඩ් එකක්. ඇයි ඔයා මට ඔයාගේ කාර් එකේ ෆොටෝ එකක් පෙන්නන්නේ නැත්තේ. මටත් පුළුවන් වේවි ඔයාගෙන් යම් අදහසක් ගන්න.“

“කණගාටුයි. මගේ ඔක්කොම ෆොටෝස් තියෙන්නේ නිව්යෝක්වල.“

“ඕ! ඒත් ඇයි මට ඹයාගේ ලිපිනය දෙන්නේ නැත්තේ? මට පුළුවන් වේවි නිව්යෝක් ආපු වෙලාවක ඔයාවයි ඔයාගේ කාර් පොඩ්ඩයි බලාකියාගෙන යන්න. “ ධීවරයාගේ උනන්දුව රතු ඉර පැනලාය. එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව අවමයක් බව දත් ඇබග්නේල් සිය ඇත්තම විස්තර දීමට පැකිළුණේ නැත. සාක්කු පීරා කොලයක් සෙවූ ඔහුට අතට ආ හිස් චෙක්පතක පිටුපස පැන්සලකින් සිය නම ෆ්‍රෑන්ක් ඇබග්නේල් ලෙසත් නිව්යෝක්හි වෙසෙන සිය පියාගේ ලිපිනයත් කුරුටු ගෑවේය. නමුත් පැන්සල එතරම් තදපැහැවූවක් නොවු නිසා ලියැවිල්ල එතරම් පැහැදිලිව පෙනුණේ නැත. හදිසියේම ආ දුරකතන ඇමතුමකට පිළිතුරු දීමට ගිය ධීවරයා ලද පණිවුඩයෙන් කෙතරම් කලබල වූවාද යත් ඔහුට ඇබග්නේල්ගේ ලිපිනය ලබාගැනීම අමතක විය. චෙක්පත සාක්කුවේ ඔබාගත් ඇබග්නේල් යළි නවාතැනට ගියේ එදින සැන්ඳෑවේ ඔහු යොදාගෙන තිබු ආදරණීය සැලසුම් ගැන සිතමිනි.

පසුදින තවත් චෙක්පත් තුනක් මුදල් කරගත්තද ඇබග්නේල්ට එදින රාත්‍රිය වන තුරු පෙරදා තමා අතින් සිදුව තිබුණු බරපතළ වරද සිහිවූයේ නැත. මේ වන විට ඔහු යුරේකා හා ඒ අවට වූ සියලුම බැංකු සිය ව්‍යාජ පෑන් ඇම් චෙක්පත්වලින් සංතෘප්ත කොට අවසන්ව සිටි බැවින් තවදුරටත් එහි රැඳී සිටීම නිෂ්ඵල මෙන්ම අවධානම් සහගත විය. යුරේකා නගරයේදි සිය තනිය මැකූ පෙම්වතියගෙන් සමුගැනීමට ඔහු ඇයව රාත්‍රී භෝජනයකට ගියේය. ඒ වෙරළාසන්නයේ වූ මුහුදු ආහාර පිළිගන්වන අවන්හලකටය. එහි ගතකළ සුන්දර රාත්‍රියේ ඔහුට ඒ වග නමුත් සිහිවිය. ඒ ජනේලයෙන් එපිට ගොඩට පැමිණි ධීවර බෝට්ටුවක් දුටු විටය.

ඔහුට තරු විසි විය.තරුණ ධීවරයාට දීමට චෙක්පතක් පිටුපස ලියු තමාගේ ඇත්තම නම, ලිපිනය! ඔහු ඒ චෙක්පතට කළේ කුමක්ද ? එය ඉරා දැමුවේද ? නැත. යළි එය තමා සිය සාක්කුවට ඔබා ගත් බව ඔහුට සිහිපත් විය. විනාශයක මහත! එම චෙක්පතට කුමක් සිදුවීද? සිය පෙම්වතියගෙන් හරිහැටි සමුගැනීමට පවා ඔහුට නිනව්වක් තිබුණේ නැත. සිය නවාතැනට ගිය ඇබග්නෙල් එය පීරමින්, පෙරළමින් චෙක්පත සෙවීය. එය ඔහුගේ නවාතැනේ එය නැත. අවසානයේදි අකමැත්තෙන්, ගැහෙන හදින් වුවද ඔහුට නිගමනයට එළැඹීමට සිදු විය.එම දෛවෝපගත චෙක්පතද පෑන් ඇම් කොට බැංකුවකට දී ඇත. පෙරදින ගිය බැංකු තුනෙන් පළමුවැන්නට තමා එය දුන් බව ඔහු අනුමාන කළේය. මන්ද එය සිය හිස් චෙක්පත් ගොන්නේ උඩින්ම තැබූ බව ඔහු දැන සිටි නිසාය. එය තවමත් යුරේකාහි ඇති බව ඔහු විශ්වාස කළේය. නිව්යෝක් හි පිහිටි බැංකුවේ මූලස්ථානයට එය යැවීමට තවමත් කල් වැඩිය. මොනයම් උපක්‍රමයකින් හෝ එය සියතට ගැනීම අත්‍යවශ්‍ය විය.. නැතහොත් එය තමාගේ සියලු මවාපෑම්වල අවසානය මෙන්ම සිරගෙදර කම්බි කූරු ගැනීමට සිදුවන දිනයක එළැඹුම බව ද හේ දත් නිසාය.ඇබග්නේල් වෙව්ලන්නට විය.තමාට තවමත් වයස විස්සක්වත් නැත. හිරගෙදර යාමට තමා තවමත් ලාබාල වැඩි බව සිතූ ඇබග්නේල් යළිත් සිතන්නට පටන් ගත්තේය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ

රුක්ලන්ති පෙරේරා 

ඉන්දීය රඟ­බිමේ රතු එළි

$
0
0
ජන 23, 2018 01:00

ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ ප්‍රථම චිත්‍රපටය වූ “රාජකීය වික්‍රමයේ” ප්‍රධාන නළුවා වූයේ, ආචාර්ය එන්. එම්. පෙරේරා ය. කෙසේ වෙතත් එම චිත්‍රපටය ප්‍රදර්ශනය නොවීය. පසු කලෙක, ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වූයේ ද ඔහුමය. ඉන්පසු කිසිවිටෙක ඔහු රඟපෑමටවත්, සිනමාවටවත් සම්බන්ධ වූයේ නැත.

මට මේ පූර්විකාව ලිවීමට සිතුණේ, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය එහි ආරම්භයේ සිටම සිය මතවාදය ජනතාව අතරට ගෙනයාම සඳහා නාට්‍ය කලාව යොදාගත් ආකාරය පිළිබඳ ලිපියක් කියැවීමෙන් පසුය. 1942 දී ඉන්දීය ජනතා නාට්‍ය සංවිධානය (IPTA) පිහිටුවනු ලබන්නේ, කොමියුනිස්ට් පක්ෂයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙනි. එය එරට ජාතික මට්ටමේ ප්‍රථම නාට්‍ය සංවිධානයද විය.

ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ කලා හා සංස්කෘතික කටයුතු ගැන දැක්වූයේ මහත් උදාසීන බවකි. ශ්‍රී ලංකා‍වේ ප්‍රථම චිත්‍රපට නළුවාටම, සිනමාව යනු ජනතාව අතර ප්‍රබල දේශපාලන ප්‍රතිරූපයක් ගොඩනංවා යා හැකි මාධ්‍යයක් බව අමතක විය. එම්. ජී. ආර්. ලා ජය ලලිතලා සිනමා ප්‍රතිරූප තුළින් දකුණු ඉන්දියාවේ බලය අල්ලා ගනිද්දී, ශ්‍රී ලංකාවේ වාමාංශිකයන්ට පාර්ලිමේන්තුවේ ආසන කීපයක් දිනා ගැනීමත් මහත් දුෂ්කර කාර්යයක් විය. එම පක්ෂවල එකම ප්‍රචාරක මාධ්‍ය වූයේ පුවත්පතයි. එහෙත් සමකාලීන සෙසු පුවත්පත් සමඟ තරග වැදිය හැකි ජාතික පුවත්පතක් බිහි කර ගැනීමටද ඔවුනට නොහැකි විය. යම් තරමකින් හෝ සාර්ථක වූයේ, “ඉරිදා ඇත්ත” හා “ඇත්ත” පමණි. එසේ සෙසු වාමාංශික පක්ෂ ස්වර්ණමය අවස්ථාවක් මඟහැර ගනිද්දී, දිගු කලකට පසුව හෝ ජනතා විමුක්ති පෙරමුණ සංස්කෘතික අංශය කෙරෙහි උනන්දු වෙමින් “විමුක්ති ගී” ගීත ප්‍රසංගය ඉදිරිපත් කළේය. පසුව එම වැඩපිළිවෙළ කෙටි නාට්‍ය උළෙලක් දක්වා ම දිගු විය.

කලාකරුවකු ලෙස පෙනී සිටීමෙන් යම් ජන ප්‍රසාදයක් ලබා ගත හැකි යැයි සිතීමට තරම්වත් නුවණක් තිබූ මෙරට නායකයෙක් (වාමාංශිකයකු නොවේ) ප්‍රකට කලාකරුවන්ගේ ප්‍රතිභාව කොල්ලකමින්, වෙස්වලාගත් නමුදු එය අසාර්ථක වූයේ ඔහු හාස්‍යයට ලක්වෙමිනි. ලාංකීය දේශපාලනයේ කෞටිල්‍ය‍යෙකු ලෙස හැඳින්වුණු තවත් නායකයෙක් “සාජන්ට් නල්ලතම්බි” තම මන්දිරයටම ගෙන්වා නරඹමින් සිය රසිකත්වයට නිගාකර ගත්තේ ය.

මුල් කාලීන ඉන්දීය නාට්‍යයද අධිරාජ්‍ය විරෝධි, නිදහස් සටහනට සිය උපරිම දායකත්වය ලබාදුනි. එහෙත් බටහිර රංග කලාවේ හා ඔවුන්ගේ සම්භාව්‍ය කෘතීන්ගේ ආභාෂය ලැබීමට ඔවුහු පසුබට නොවූහ. ශ්‍රී ලංකාව මෙන් ඉංග්‍රීසිය පසෙකට කර, සිංහල පමණක් ඉහළට ඔසවා තැබීමේ මුග්ධ ජාතිකවාදී ක්‍රියාවක නොයෙදුණ ඔවුහු දුන් උපරිම පල නෙළා ගත්හ.

වර්තමාන ඉන්දීය ලේඛකයන්, ලෝකප්‍රකට වී සිටින්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියමිනි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ග්‍රන්ථ ප්‍රකාශනයෙහි යෙදෙන රටවල් අතුරින් ඉන්දියාව සිටින්නේ ඉදිරි පෙළෙහිය. ඉංග්‍රීසියෙන් නාට්‍ය ලියන හා නිෂ්පාදනය කරන, නාට්‍යකරුවන් එංගලන්තය, අ‍මෙරිකාව වැනි රටවල ක්‍රියාකාරීව සිටින අයුරු, මෙම විශේෂාංගයෙන් මීට පෙර කීපවතාවක්ම පෙන්වා දුනිමි.

ඉංග්‍රීසි උගත්, වාමාංශික නැඹුරුවකින් යුත් ඉන්දීය මධ්‍යම පාංතිකයන් බොහෝදෙනකුගේ සහාය ජනතා නාට්‍ය සංවිධානයට (IPTA) ලැබුණි. විශේෂයෙන්ම බෙංගාලි හොම්බේබෝ ප්‍රාන්ත හා පළාත්වල කලාකරුවෝ සහ බුද්ධිමත්හු ඒ සඳහා වඩාත් උනන්දු වූහ. “ඉප්ටා” හි පුරෝගාමී නාට්‍යකරුවකු වූ බිජාන් භට්ටාචාර්ය “නබානා (“Nabana”) නාට්‍යය නිර්මාණය කළේ බෙංගාල ගායනය පසුබිම් කර ගෙනය. ධනේශ්වර ක්‍රමය තුළ, අසරණ ගැමියා සූරාකෑමට ලක්වන අයුරු ඔහු තේමාකර ගත්තේ ය.

උත්පාල් දත් වැනි නාට්‍යකරුවන්ගේ නිර්මාණයන්ට මාක්ස්වාදී දර්ශනය ඍජුවම බලපා තිබුණා. ගීතයෙන් හා නැටුමින් තොර “වේදිකාවක්” ඉන්දියාවේ නොමැති තරම්ය. ශාන්ති වර්ධන්, නරේන්ද්‍ර ෂර්මා වැනි නර්තන ශිල්පිහුද, රවි ශංකර් වැනි සංගීතවේදිහුද සිය සහාය “ඉප්ටාවේ” ප්‍රධාන ධාරාවට ලබාදුන්හ.

ඉන්දියාව යනු විවිධ සංගීත සම්ප්‍රදායන්, නාට්‍ය ශෛලීන් හා භාෂාවන්ගෙන් සමන්විත, උප සංස්කෘතීන් බහුල අර්ධ මහාද්වීපයකි. 1953 දී ඇරැඹුණු “සංගීත් නාට්‍ය ඇකඩමිය” මඟින් කේරළ, තෙලිඟු , ඇසෑම්, ඔරියා, මලයාලම්, කර්ණාටක, ගුජරාට හා මදුරාසි ආදී විවිධ ජන ප්‍රාන්තයන්හි නාට්‍ය හා රංග කලා ශෛලීන් එකම සෙවණකට ගෙන ඒම සිදුවුණි. ප්‍රධාන ධාරාවේ සිටි නාට්‍යකරුවෝ ඉන් මහත් ආස්වාදයක් හා ආභාෂයක් ලැබූහ. විජායි ටෙන්ඩුල්කාර් නිර්මාණය කළ “ගාෂිරාම්” (Ghashiram) තුළින් නූතන නාට්‍යයට ජන කාව්‍ය ලක්ෂණ මිශ්‍ර වූ අයුරු විද්‍යාමන වෙයි. 1976 දී ඌෂා ගංගුලි හා කමල් ගංගුලි යුවළ එක්ව පිහිටුවාලූ ‘රංග කර්මී’ නාට්‍ය සංවිධාන ය, හින්දි නාට්‍ය පෝෂණයෙහිලා මහත් වැඩ කොටසක් ඉටු කළේය.

සංවිධානගතව වැඩ කිරීම ඉන්දීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ස්වභාවයකි. එම නාමාවලිය දිගුය. එහෙත්, බදාල් සිර්කාර්ගේ ‘සතාවේදී‘ (කල්කටා) ආර්. පී. ප්‍රසන්නගේ ‘සමුද්‍යා‘ (කර්ණාටක) සහ සෆ්දූර් භෂ්මිගේ “ ජානම්” (දිල්ලිය) ඒ අතුරින් අවධානයට ලක් කළ යුතු සංවිධාන තුනකි.

රංගන ශිල්පියකු, ගීත රචකයකු, නාට්‍ය රචකයකු හා අධ්‍යක්ෂවරයකු වූ සෆ්දාර් හෂ්මි, මාක්ස්වාදී ආස්ථානයක සිටිමින්, වීදි නාට්‍ය කලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ඉන්දීය දේශපාලන නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබුද්ධයකු විය. 1989 ජනවාරි දෙවැනිදා උත්තර් ප්‍රදේශ්හි ගාසියාබාද්හි වීදි නාට්‍යයක් රඟ දක්වමින් සිටියදී, එහි කඩා වැදුණු ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැර ප්‍රහාරයකට ගොදුරුව ඔහු මිය ගියේය. සෆ්දාර්ගේ අවසන් කටයුතුවලින් පසු ඔහුගේ බිරිය මෝලි ශ්‍රී හෂ්මි නාට්‍ය කණ්ඩායමද සමඟ පෙර රඟදැක්වුණු ස්ථානයටම පැමිණ නාට්‍ය අතරමඟ නතර වූ තැන සිට යළි රඟ දැක්වූයේ සිය සැමියාට උපහාර පිණිසය.

සෆ්දාර්ගේ ‘ජානම්’ නාට්‍ය සංවිධානය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සමඟ ඍජු සබඳතාවයක් පැවැත්වීය. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය මැතිවරණ වංචා දූෂණයන්ට චෝදනා ලැබූ අවධියේ, සෆ්දාර් Kursi, Kursi, Kursu ( පුටුව, පුටුව, පුටුව) නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එහි එන රජු තම සිහසුන අතහැරීමට කොතෙක් උත්සාහ කළත් එය ඔහු යන යන තැන ඇදෙයි. දේශපාලන උපහාසයක්වූ “කුර්සි, කුර්සි” දිල්ලියේ “බෝට් ක්ලබ්” අංගනයෙහි එකදිගට දිනපතාම රඟ දැක්වුණි.

ඉන්දිරා ගාන්ධි, හදිසි නීතිය පැනවීමෙන් පසු වීදි නාට්‍ය රඟ දැක්වීම අපහසුවූයෙන්, සෆ්දාර්, දිල්ලි විශ්වවිද්‍යාලය ඇතුළුව තවත් සරසවි දෙකක ඉංග්‍රීසි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන්නට විය. 1978 දී හදිසි නීතිය ඉවත් කළ පසු “දේශපාලන රඟබිමේ” යළි ක්‍රියාත්මක වූ සෆ්දාර් “යන්ත්‍රය” (Machine) නමින් නාට්‍යයක් නිපදවිය. එය එක් අවස්ථාවක, දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගි වූ වෘත්තීය සමිති රැස්වීමකදී රඟ දැක්වුණි. එහෙත් සෙනඟ ගැන ඔහු කරදර නොවීය. නාට්‍ය පෙන්වන තැන කුමක්ද කියන දේ නෙ‍වෙයි වැදගත් ‍වෙන්නෙ, නාට්‍යකරුවා ජනතා හිතවාදී දෘෂ්ටියක පිහිටා සිටීමයි වඩා වැදගත් කොට සැලකිය යුත්තේ.” සෆ්දාර් භෂ්මි‍ගේ “ජානම්” සංවිධානය මඟින් වීදි නාට්‍ය 24ක් පමණ නිපදවුණු අතර, වැඩ කරන ජනතාව පදිංචි ස්ථාන, කම්හල් සහ වෙනත් වැඩබිම්වල දර්ශන වාර 4,000ක් පමණ පැවැත්වුණි.

සාෆ්දාර් ඝාතනය කෙරෙන අවස්ථාවේ, ඔහු රඟ දක්වමින් සිටියේ “හල්ලා බොල්” (ඔ‍බේ හඬ අවදි කරන්න) නමැති වීදි නාට්‍යයි. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ සාමාජිකයකු වූ මුකේෂ් ශර්මාගේ මැර පිරිස එහි කඩා වැදී පොලු පහර දී මේ වටිනා මනුෂ්‍යයා මරා දැමූහ. එහෙත් ‘ජානම්’ හි ගමන නතර කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත.

ඉන්දීය මාධ්‍යවේදියෝ සහ නාට්‍යකරුවෝ, දිගින් දිගටම මෙම ඝාතනයට එරෙහිව හඬා නැඟුහ. වසර 14කට පසුව, මුකේෂ් ෂර්මාද ඇතුළුව දහදෙනකුට මිනීමැරීමේ වරදට නීතියෙන් දඬුවම් ලැබුණි.

2018 ජනවාරි 01දා, දිල්ලියේ මීදුමින් වැසිගිය පෙදෙසක, සෆ්දාර් භෂ්මිගේ 29 වැනි ගුණ සමරු උළෙල පැවැත්වුණි. දවස පුරාම පැවැති එම උළෙලට සහභාගි වූ ඉතිහාසඥයකු හා සිනමාකරුවකුද වශයෙන් ප්‍රකට, සෆ්දාර්ගේ සොහොයුරු ‍සොහායිල් භෂ්මි සිය දෙසුමේදී, මෙසේද සඳහන් කළේය.

“සෆ්දාර් ඝාතනය වැනි දේ අදටත් මේ රටේ සිදු වෙනවා. ජනතාවට ඔවුන්ගේ සිතේ තිබෙන අදහස් කියා පෑමට ක්‍රමයක් නෑ. ඔවුන් කැමති දෙයක් කෑමට, කියවීමට, නැරැඹීමට හැකියාවක් නැහැ. නිර්මාණකරණයේ නිදහසට කෙරෙන බාධා අද දක්නට ඇති ලොකුම තර්ජනයයි. මේ නිසා එදාටත් වඩා සෆ්දාර් අවශ්‍ය වන්නේ අද දවසටයි.

සැබෑවකි. සෆ්දාර්ලා අවශ්‍යවන්නේ ඉන්දියාවට පමණක්මද නොවේ! 

කපිල කුමාර කාලිංග

ආලෝ­කය

$
0
0
ජන 23, 2018 01:00

උඳුවප් අහස ලලනා වෙස්ගෙන ඇතුවා වාගෙයි. මන්දාරම හාත්පස පැතිර යන්නේ වහින්නට ඔන්න මෙන්න බවක් හඟවමිනි. පොද වැස්සකට පස්සේ නිකිණි අහස වාගේ ආලෝකමත් වෙයි. හිටි හැටියේ මහ වැස්සක් ඇදහැලෙයි. එහෙත් ඉතා ඉක්මනින් එය තුරල් වෙයි. මේ වහා වෙනස්වන උඳුවප් අහසත් එක්ක ජල්ලි අල්ලන්නට සිදුවී‍ෙමන් මම හෙම්බත් වෙමි. තෙත රෙදි ගෙට එන යෑමත් අව්ව පතිතවූ සැණෙහි යළි රෙදි වැල වෙත දිව යෑමත් ආකාසයත් ගෘහණියත් අ‍‍තරේ කෙළි සෙල්ලමක සිරි දැරුවේය.

මගේ වෙහෙසත් නොරිස්සුමත් තුනී කර දැමුවේ ජානකී අක්කාය. ඇගේ ළෙන්ගතු ස්වරය සැනසුමක්ම විය.

ජානකී කරුණාරත්න මගේ ආදරණීය පාඨකයන් අතුරින් අයකු පමණක් නොවේ. නිබඳ මා අමතන මගේ දුක සැප සොයන මේ සංවේදී හා කාරුණික යෙහෙළිය හෙළිකළ පුවතද සැබැවින්ම අරුත්බර විය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ වන තදබදය පිළිබඳව මැසිවිලි නැ‍ඟෙන අතරේ පුස්තකාලයක් ආරම්භ කිරීම පිළිබඳ පුවත අස්වැසිල්ලක් නොවේද? පොතපත ඥානය පමණක් නොව දයාව සහ කරුණාව ද වඩවාලයි. සවන්දීමට මෙන්ම උපේක්ෂාසහගත වීමටද අප පුරුදු පුහුණු කරවයි.

54A පොල්වත්ත ග්‍රාමනිලධාරි වසමේ යුනයිටඩ් යෞවන සමාජ පුස්තකාලය වෙනුවෙන් වෙහෙසෙන්නන් අතරේ ග්‍රාම නිලධාරි දුමිඳු සුදර්ශන, සභාපති මනෝජ් ධනුක, ලේකම් පසිඳු සචින් මෙන්ම මැල්ලවගෙදර ජානකී කරුණාරත්න ද මහත් භක්ත්‍යාදරයෙන් සඳහන් කළ යුතුයි.

තරුණ සේවා සභාවද මේ යුනයිටඩ් යෞවන සමාජ පුස්තකාලය සඳහා ලබාදුන් මුදල් පරිත්‍යාගය පිළිබඳව ජානකී අක්කා මහත් කෘතවේදී සිතින් සිහිපත් කළාය.

මාහිංගමුව සේවා පියස අසල ඉදිකළ යුනයිටඩ් යෞවන සමාජ පුස්තකාලයට පොත්පත් පරිත්‍යාග කරන්නැයි ජානකී අක්කා ඉල්ලා සිටියේ මහත් උවමනාවෙනි.

යුනයිටඩ් යෞවන සමාජ පුස්තකාලය, මාහිංගමුව, වැල්ලවගෙදර යන ලිපිනයට පොතක් යවන්නට තරම් කාරුණික වන්නේ නම් එය පොත් කියවීමේ පිපාසයෙන් පෙළෙන බොහෝදෙනකු‍න්හට සිහිලැල් දිය දෝතක් වනවා නො අනුමානයි.

076 8517629 හා 077 2112951 දුරකතන අංකයන්ට ඇමතීමෙන් යුනයිටඩ් යෞවන සමාජයේ සභාපති සහ ලේකම් ලෙස කටයුතු කරන මනෝජ් ධනුක ද පසිඳු සමින්ද ද සම්බන්ධ කර ගනිමින් මේ සත්කාර්යයට දායක වන්නයි ඉල්ලා සිටිමි.

අපරාධ ආදියෙන් අඩුවක් නැති අපේ රටට මෙවන් පුස්තකාල වැඩි වැඩියෙන් උවමනා කෙරේ. නෙත් පිටු අතරේ අජීවී අකුරු සජීවී මනුෂ්‍ය චරිත අපට මුණගස්වන අත‍රම ජීවිතයේදී ලෝකයේද හරස්කඩක් අපූරු අන්දමින් මවාපායි. ඉතිං මේ අභිනවයෙන් ඉදිකළ පුස්තකාලයට පොතක් පරිත්‍යාග කිරීමෙන් වචනයෙන් කියා ලියා නිම කළ නොහෙන තරමේ කුසල් සම්භාරයක් රැස්කරගන්නා වග අමුතුවෙන් කිවයුතු ද? මානව යහගුණය හා පොතපත එකට බැඳී නැද්ද...? ඔව් සත්තකින්ම!

ශාන්ති දිසා­නා­යක


සීත හිමේ කැල්ග­රිය හා රොකී කඳු­ක­රය

$
0
0
ජන 23, 2018 01:00

කැනඩාවේ ඇල්බටා (Alberta) ප්‍රාන්තයේ පිහිටි කැල්ගරිය සුලකල පුරදෙරණකි. කඳුවැටිවලින් ද මිටියාවත්වලින් ද සමන්විත මෙය කැනඩාවේ නිසසල ප්‍රාන්තයක් ලෙස හැඳින්විය හැකි ය.

එළඹුණ සීත සමයේ මේ ඇල්බටා ප්‍රාන්තයේ ගත කිරීමේ අවස්ථාව මම ලදිමි. ඇල්බටා ප්‍රාන්තයේ සීත සමය කැනඩාවේ මොන්ට්‍රියල් නගරබඳ ප්‍රදේශවල දී කලකට පෙර මා ලද අද්දැකීම්වලට වඩා වෙනස් වූයේ මන්දාරම් අඳුරට වඩා හිරු එළිය ද පැහැදිලිව දක්නට ලැබීමයි.

රොකී කඳුකරය බද කැල්ගිර නුවර

සීත සමය එළඹෙයි හිම තවර කර

ලිස්සන ගමනකට හුරු වූ දන මෙපුර

කාලය සමය සමගින් පොරකති නිතර

 

ගේදොර අවට මෙනුවර දන අවදි කළ

තියු ගී ගැයූ මේපල් අතුරිකිලි වල

ගහවැල මල් වරා පලබර නොමැති කල

කොයිරට කැදැල්ලට ගියෙදෝ කුරුලු කැල

කැනේඩියානු රොකී කඳුකරයට ආසන්න නගරයක් වන්නේ කැල්ගරියයි. හිම පතිත සීත සමයේ කැල්ගරි නුවර සිට වැන්කුවර් බලා දිවෙන රොකී කඳුවැටි අතරින් වැටී ඇති අධිවේගී මාර්ගයේ ගමන් කිරීම ත්‍රාසය දනවන අවදානම් ගමනකි.

ලිස්ස ලිස්සා මෙම අවදානම් ගමන යෑමට පසුගිය නත්තල් සමයේ අවස්ථාව ලදිමි. කැල්ගරි නුවර පදිංචි මගේ මද්දුම දියණිය උදාරා සහ බෑණනුවන් වන ප්‍රසන්න මේ ගමන සංවිධානය කළහ. උවිනි පියුමා, ශාන්ත රත්නායක සහ සවින් හා සුනෙර මුනුපුරෝ ද මෙයට එක්වූහ.

රෝබී කඳුකරයේ ලේක් ලුවිස් (Lake Louise) විල ගමනාන්තය විය. ලේක් ලුවිස් විල වෙත යායුත්තේ බැන්ෆ් (Banff) ජාතික වනෝද්‍යානය ඔස්සේ ය. බැන්ෆ් ජාතික වනොද්‍යානය වර්ෂ 1885 වසරේ ඇරැඹි කැනඩාවේ ප්‍රකාශිත පැරණිම වනෝද්‍යානයයි.

සිත්කලු රොකී කඳු වැටි අතරින් වැටෙන

මාවත දුර පෙනේ ලිස්සන යන ගමන

විල්දිය මිදී දිස්වේ හිම ගත වරුණ

දුටුවෙමි බැන්ෆ් නගරය සැදි කඳු අරණ

කැල්ගරි සිට ඇදෙන මාවතේ දෙපස තණබිම්වල තැන තැන වල් බුදින හරකුන්ගේ දසුන කෙලවර වනවාත් සමඟ මාවතේ වම්පසේ හිරුරැස් පතිත කඳු ගැටවල හෙවණැලි මනරම් රටා මැවී ය.

කැන්මෝ (Canmore) කඳු පාමුල නිම්නයේ සැදි කුඩා ටවුමකි. හිම තැවරුණු කඳු ගැට පෙළින් මවන්නේ රමණීය පරිසරයකි. කැන්මෝ පෙදෙස පසුකර යන ගමනේ අපේ ආස්වාදජනක අරමුණ වූයේ බැනෆ් ටවුම වෙත ළඟාවීමයි. බැනෆ් ටවුම යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

බැනෆ් ටවුම ප්‍රදේශය සොබාවික කෙලි බිමක් සේ සැලකිය හැකිය. හිම කඳු නගින්නන්ගෙන් ද වනගත මංමාවත් ඔස්සේ විනෝදයට බයිසිකල් පැදයන්නන් හිමේ කඳවුරු බැඳ සුවය විඳින්නන්ගෙන් ද මෙම පෙදෙසේ අඩුවක් නොවීය.

බැනෆ් ටවුම කෞතුක මෙන් ම සංස්කෘතික වශයෙන් ද වැදගත් වන කුඩා කඳුකර ගම්මානයකි. ටවුමේ කඩ සාප්පු, දේවස්ථාන, මංමාවත් අමුතුම කෞතුක වටිනාකමක් පෙන්වයි.

බැනෆ් ජාතික වනෝද්‍යානයේ වෙසෙන සතුන් අතර හිම වලසා විශේෂිත ය. වනෝද්‍යානය අනේකවිධ ශාක විශේෂයන්ගෙන් ගහණය. ඇල්පයින් ගස සීත සමයේ නොමැරෙන ගසකි.

මිටියාවතක කොළනැති ඇල්පයින් ගස

පෙන්වයි සොබා දහමේ ගැඹුරුම රහස

හිම මත හිරු එළිය පතිතව ඇති දවස

රිදී වතින් දිලිසෙයි වනගත පියස

බැනෆ් ටවුම වටා ඇති ගම්මානවල ආදීවාසී ජනකොස් ද ජීවත් වෙති. ඔවුහු අසල ‘බෝ‘ නිම්නයේ ද (Bow Valley) පැතිර ඇති ස්ටෝනි නකෝඩා (Stoney Nakoda) ජනකොටස මෙන්ම සූ ටිනා ආදිවාසීහු ද (Tsuu Tina Nation) මේ අතර ප්‍රධාන වෙති.

බැනෆ් වනෝද්‍යානයේ ම පිහිටි ලේක් ලුවිස් ස්වාභාවික විල මේ සොබාදහම් නිකේතනයේ අපූර්ව විල්තලයකි. සීත සමයේ හිම මිදී ගිය හිම තලාව මත ක්‍රීඩා කරන ක්‍රීඩාලෝලී දනට කදිම කෙළි බිමකි.ඉහත්තාවේ කඳුවැටිය රිදීවන් විල් තලාවට පසුබිම්ව අපූරු අලංකාරයක් මවාපායි.

මෙහි උණුදිය උල්පත් සීත සමයේ දී ද පුරුදු උණුසුමෙන් ගලා බසී.

බැනෆ් වනෝද්‍යානය හා ඒ අවට ගම්බිම්වලින් පැන නැඟුණු සාහිත්‍යයක් ද ඊටම ආවේනික කලාවන්ද පවතී.

නත්තලසහ ජනේරුවට යුහුසුළුව සූදානම බැනෆ් හා ඒ අවට නුවරුන් අතර දක්නට ලැබිණි. ග්‍රාමීය කැරොල් ගායනා ප්‍රසංග හා හෝටල් සංගීත කණ්ඩායම් ද නව අවුරුදු ප්‍රසංග සඳහා කල් ඇතිව සුදානමක් පැවතිණි.

රොකී කඳුකර ගම්මානවල සිට නැවත කැල්ගරි එන ගමන වඩාත් දුෂ්කර එකක් වූයේ හිමපතනය වැඩිවීම නිසාය. පාරෙන් ඉවත පැන පහළ බෑවුම්වලට ඇඳහැළුණු රථවාහන ගණනාවක් ආපසු එන අතරමඟ දැකගත හැකි විය.

කැනේඩියානු රොකී කඳුකරය සොබා දහමේ මධුර කාව්‍යයක් බඳු ය.

සුනිල් සරත් පෙරේරා 

පෙළ පොතේ කත­න්ද­රය‍

$
0
0
ජන 23, 2018 01:00

‘‘ටොම්සන් මහත්තයා දන්නවද පෙළ පොත් ගන්නේ කොහෙන්ද කියලා...?‘‘ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ඔය කියන්නේ ඉස්කෝලේ පෙළ පොත් නේ.. ඒවා ඉස්කෝලෙන් නේ දෙන්නේ... ඉතින් වෙන කොහෙන්වත් මොකටද ගන්නේ....“ කියා ටොම්සන් මහත්තයා ආපිට ඇසුවේය.

‘‘ නෑ.. මට නෙවෙයි ටොම්සන් මහත්තයා... මේ දන්නා කෙනෙක් මට කිව්වා මේ පෙළ පොත් වගයක් සල්ලි දීලා අරන් දෙන්න කියලා... “

‘‘ මොකක් කිව්වා... ඉස්කෝලේ පෙළ පොත් සල්ලි දීලා ගන්න.... ඔන්න අපි ඉස්කෝලේ යන කාලේ නම් පෙළ පොත් සල්ලි දීලා තමයි ගත්තේ.. මොකද ඒ කාලේ ඔය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කියලා එකක් තිබුණේ නෑ නේ... දැන් ඉතින් එහෙම නෑ නේ... ඉතින් මොකද මේ පෙළ පොත් ගන්න යන්නේ උන්නැහේ.?“ ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ මට නම් කිව්වේ ඒ දරුවට හම්බ වුණේ පරණ පෙළ පොත්ලු... ඒකයි අලුත් පෙළ පොත් ගේන්න කියලා මට කිව්වේ... අපි යමුද ටොම්සන් මහත්තයා ඔය පෙළ පොත් විකුණන සාප්පුවක් පැත්තේ.. “ කියා උන්නැහේ කීවේය.

අන්තිමේ තිදෙනාම පෙළ පොත් සාප්පුවකට ගියේය. එතන එකම පෝළිමකි. සෙනග සූ ගාලා පිරිලාය. පුදුම පෙළ පොත් ගැනිල්ලකි. ටොම්සන් මහත්තයා එතැන පොත් ගනිමින් සිටි අම්මා කෙනෙක් සමඟ කතා කළේය.

‘‘ ඇයි? ඉස්කෝලෙන් පෙළ පොත් දුන්නේ නැද්ද? “

‘‘ නෑ නේ.. කොටසකට හම්බු වුණා. ඒත් කොටසකට හම්බු වුණේ නෑ.. ඉතින් සල්ලි දීලාවත් පෙළ පොත් අරන් දෙන්න කියලයි ආවේ...“

ටොම්සන් මහත්තයා තවත් තාත්තා කෙනෙක් සමඟ කතා කළේය.

‘‘ මේකනේ මහත්තයා... අපේ දරුවා ඉන්න පන්තියේ සමහර පෙළ පොත් ලැබුණේම නෑ.. ඉතින් දරුවා අඬනවා පෙළ පොත් නෑ කියලා.. ඒ සැරේ මං ආවේ සල්ලි දීලාවත් අඩු පෙළ පොත් අරන් යන්න..“

තවත් අම්මා කෙනෙක් ටොම්සන් මහත්තයා සමඟ කතා කරමින් මෙසේ කීවේය.

‘‘ මගේ දරුවට හම්බු වුණේ පරණ පෙළ පොත්. අනික් අයට අලුත් පෙළ පොත් ලැබුණා. ඉතින් මගෙ දරුවා අඬනවා පරණ පොත් ලැබිච්චි එකට. මං මේ ආවේ කීයක් හරි දීලා අලුත් පෙළ පොත් ගිහිල්ලා දෙන්න.“

‘‘ මේක නම් හරිම අපූරු කතන්දරයක් ඇම්බන් මහත්තයා... එහෙන් පෙළ පොත් ලැබිලාම නෑ.. එහෙන් පරණ පෙළ පොත් ලැබිලා... මොකක්ද මේ අලකලංචිය...? “

‘‘ අපි අහල බලමුකෝ... ඔය පෙළ පොත් විකුණන මහත්තුරු නෝනලා ගෙන්...“

ටොම්සන් මහත්තයාත්, උන්නැහේත් ඇම්බන් මහත්තයාත් පෙළ පොත් විකුණන මහත්තුරු නෝනලා ඉන්න පැත්තට ගියෝය.

‘‘ මං මේ පෙළ පොතක් ගන්න ආවේ... ඒක නෑ නේ මහත්තයා... “ කියා එතැන සිටි තාත්තා කෙනෙක් කීවේය.

‘‘ අර තියෙන්නේ වීදුරුවේ ගහලා දුරකථන අංක.. අපේ අනික් ශාඛාවල තියෙනවාද කියලා අහලා බලන්න.. අපිට කරන්න දෙයක් නෑ.. ඇවිල්ලා තියෙන පොත තමයි අපි විකුණන්නේ... “ කියා එතැන සිටි මහත්තයෙක් කීවේය.

‘‘ මං මේ ආවේ අර සන්නිවේදනය ගුරු අත්පොත ගන්න... පරණ විෂය නිර්දේශයම නේ ලබන අවුරුද්දටත් ක්‍රියාත්මක වෙන්නේ... ඒ වුණාට ඒ ගුරු අත්පොත නෑ නේ...“කියා එතැන සිටි තවත් අම්මා කෙනෙක් ඇසුවේය.

‘‘ ඒක නම් නෑ තමයි... “

‘‘ නෑ තමයි කියලා හරි යනවද?“

‘‘ මොනවද හරි යන්නේ නැත්තේ... ඒක විතරක් නෙවෙයි.. අලුත් විෂය නිර්දේශවල ගුරු අත්පොත්වත් තවම ගහලා නෑ.. “

‘‘ එතකොට ඒවා ලැබෙන්නේ කවදාද?“

‘‘ මං හිතන්නේ ඊළඟ විෂය මාලා සංශෝධනය කරන කාලෙට ඒවා එයි. එතකොට ලැබුණාම ඇතිනේ..“

‘‘ එතකොට අර සන්නිවේදනය ගුරු අත්පොත නැතිව කොහොමද ඉස්කෝලේ ගුරුවරු උගන්නන්නේ...“

‘‘ ඇයි.? ඉස්කෝලවල ඉන්න ගුරුවරු ගාව තියෙනවා නේ.. ඒ ගොල්ලෝ මාරු වෙලා යනකොට ඒ දීලා යන්න එපායැ...“

‘‘නෑ.. එහෙම නෙවෙයි මහත්තයා... අලුතින්ම පටන් ගන්න ඉස්කෝලෙකට කොහොමද ගුරු අත්පොත ලබා ගන්නේ...? කියා අතුරු ප්‍රශ්නයක් නැගුවේය.

‘‘ ඒක නම් ප්‍රශ්නයක් තමයි.. ඒ වුණාට අපිට කරන්න දෙයක් නෑ.. අපි කරන්නේ මෙතෙන්ට ලැබෙන පොත් විකුණන එක විතරයි... ගිහිල්ලා අර ප්‍රකාශනේ ලොකු මහත්තයාගෙන් අහලා බලන්න.. එයා තමයි මේකට හරි උත්තරයක් දෙන්න ඕනෑ... ‘‘ කියා පෙළ පොත් විකුණන මහත්තයා කීවේය.

ටොම්සන් මහත්තයා. ඇම්බන් මහත්තයා දෙස බලා යන්තමට සිනහසුණේය.

‘‘ ඒ මහත්තයාගෙන් නම් අහලා වැඩක් නෑ... ඒ මහත්තයා කියයි සන්නිවේදනය ගුරු අත්පොත නැත්නම් සිංහල ගුරු අත්පොතෙන් උගන්නන්න කියලා.. අපි යමු උන්නැහේ.... “ කියා ටොම්සන් මහත්තයා ආපිට හැරුණේය.

‘‘ ඒක නම් හරියටම හරි මහත්තයා... ‘‘ කියා එතැන සිටි අම්මා කෙනෙක් කීවාය.

‘‘ මට දැන ගන්න ලැබුණු විදිහට නම් පෙළපොත්වලට යන වියදම අඩු කරන්න තමයි මේ පරණ පෙළ පොත් ආයෙත් බෙදලා දෙන්නේ.. ඒ වුණාට මට නම් ප්‍රශ්නේ.. ඒ පරණ පෙළපොත් බෙදා දෙන්නේ මොන ඉස්කෝලවලටද? මොන ළමයින්ටද? කියලා චක්‍ර ලේඛනයක් නැතිකම.. එහෙම තිබුණා නම් අඩු ගණනේ මානව හිමිකම් පැමිණිල්ලක්වත් කරන්න තිබුණා... “

‘‘ ඒක නම් ඇත්ත තමයි.. ඔය පරණ පෙළ පොත්වලට යන වියදම වගේද ඔය පෙළ පොත් බෙදීමේ උත්සවේට යන වියදම.. ඒවා එකතු කළා නම් අලුත් පෙළ පොත් වැඩියෙන් ගහන්නත් තිබුණා... නැද්ද මං කියන්නේ? ““ කියා උන්නැහේ කීවේය. 

බන්දුල පී දයා­රත්න

අරක්කු බියර් වාද අස්සේ කාන්තාව යළිත් කුස්සි­යට

$
0
0
ජන 23, 2018 01:00

කාන්තාවන්ට අසමාන ලෙස සැලකීම හා පුරුෂාධිපත්‍යය පිළිබඳ නව සංවාදයක් දැන් නැවතත් ඇරඹි තිබෙන බව පෙනෙනවා. මේ නව සංවාදයට තුඩු දුන් ප්‍රමුඛ හේතුකාරකය ලෙස කාන්තාව හා මත්පැන් අරබයා පැන නැඟුණු ගැටලුසහගත තත්ත්වය හඳුන්වා දෙන්න පුළුවන්. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනිමට හා මත්පැන් අලෙවිසලක සේවය කිරීමටත් පැනවි තිබූ තහංචිය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ගෙන තිබූ තීරණය විවිධ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක් වුණා. ජනාධිපතිවරයා සැණින් එය අවලංගු කර දැමුවේ මතින් නිදහස් රටක් යන සිය ව්‍යාපෘතිය සිහිපත් කරමින්. කොහොම වුණත් මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වුණේ මෙය ආර්ථික හා සමාජයීය වශයෙන් ගැඹුරු ලෙස සාකච්ඡාවට ලක් කරනු වෙනුවට හුදු දේශපාලන හා සදාචාරවාදී දෘෂ්ටි කෝණයකින් පමණක් බලා ගත් ජනප්‍රිය දේශපාලනික තීරණයක් බවයි. කොහොම වුණත් අප මීට පෙර බීර මිල අඩු කිරීම පිළිබඳව මතු වූ සංවාදයේදී අදහස් දැක්වූ පරිදි කාලානුරූපව ජන සමාජයක ඇති වන රුචි අරුචිකම් හා ආකල්පමය වෙනස්කම් නීති රීතිවලින් පමණක් පාලනය කරන්න බැරි බව මේ කාරණයෙදිත් යළි තහවුරු වෙනවා.

ජනාධිපතිවරයා මේ චක‍්‍රලේඛය අවලංගු කිරිමට ගත් තීරණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කවින්ධ්‍යා තෙන්නකෝන් නම් සිසුවියක් ට්විටර් පණිවිඩයක් මගින් ජනාධිපතිවරයාට මෙසේ කියා තිබුණා. ඇය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර තිබුණේ තමා අධ්‍යාපනය ලබන අතරවාරයේ අමතර රැකියාවක් වශයෙන් මත්පැන් අලෙවිහලක සේවය කරන බවයි. කාන්තාව ඇතමුන් සිතන තරම් දුර්වල කෙනෙක් නොවන බවයි ඇය තව දුරටත් පෙන්වා දි සිටියේ. මේ අදහස් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී තිබුණා. ඇතැම් අය සමාජ මාධ්‍ය ජාල මගින් කියා තිබුණේ මෙයත් පුරුෂාධිපත්‍යය ශී‍්‍ර ලාංකික සමාජය වෙතින් ප්‍රකාශිත වූ තවත් අවස්ථාවක් ලෙසයි. එසේම තවත් පිරිසක් තර්ක කර තිබුණේ අවදානම්සහගත රැකියාවල නිරත වෙමින් මෙරට ප්‍රධාන ආදායම් මාර්ග තුනටම දායක වන කාන්තාවගේ මෙහෙවර අඩු තක්සේරුවට ලක් කිරීමක් හැටියටයි. ප්‍රධාන ජාතික ආදායම් මාර්ග තුන ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ මැද පෙරදිග, ඇඟලුම් හා තේ කර්මාන්තය යන ක්ෂේත්‍රවල කාන්තාවගේ දායකත්වයයි. මේ අනුව කවින්ධ්‍යාගේ අදහස අනුමත කරන පිරිසක්ද මේ සමාජයේ සිටින බව පෙනෙනවා.

කාන්තාව හා මත්පැන් භාවිතයේ නිදහස පිළිබඳව කරුණු දැක්වීමේදී වැඩි වශයෙන්ම ඉදිරියට පැමිණියේ ගිහි පැවිදි පුරුෂ පක්ෂය වීමත් බෙහෝ දෙනකුගේ විවේචනයට ලක් වූ කාරණයක්. මාතෘකාවට මුල් වූ කාන්තා පක්ෂයෙන් මේ කතාබහට එතරම් මැදිහතවීමක් සිදු වුණේ නැහැ. මේ සංවාදයට සෘජුවම මැදිහත්වීමට ඔවුන් තරමක් පසුබට වූ සැටියක්ද දකින්න ලැබුණා. මෙයත් කාන්තාව විෂයෙහි වත්මන් සමාජය දක්වන අඩු සැලකිල්ලේ ප්‍රතිඵලයක් විය හැකියි. එසේ වුවත් මේ මාතෘකාව හේතුවෙන් කාන්තාව කෙරෙහි බලපාන වෙනත් ගැටලු දෙස සමාජ අවධානය යොමු කරවාගන්න අවස්ථාවක් උදා වූ බවකුත් පෙනෙනවා. මත්පැන් භාවිතය පිළිබඳ ප්‍රශ්නය වත්මන් සමාජය හමුවේ කාන්තාව මුහුණ දෙන ප්‍රමුඛතම ප්‍රශ්නය නොවන බවයි මේ අවස්ථාව ප්‍රයෝජනයට අරං අදහස් පළ කළ සමහර කාන්තාවන් කියා තිබුණේ. ඡන්ද අපේක්ෂක ලයිස්තුවල සියයට විසිපහක කාන්තා නියෝජනය අනිවාර්ය කිරිමට තරම් කාන්තාවන් කෙරෙහි විශ්වාසයක් තැබූ දේශපාලන නායකයන්ට වෙනත් ක්ෂේත්‍රවලදී කාන්තාව අසාධාරණයට ලක් වී ඇති සැටි නොපෙනීම ලජ්ජාවට කරුණක් බවයි ඔවුන් කියා තිබුණේ.

විශේෂයෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ඉතා වැදගත් හා ගරු කටයුතු වෘත්තීන් ලෙස සමාජය හමුවේ පින්තාරු කර තිබෙන නීතිය, ගෘහ නිර්මාණ ශිල්පය හා ජනමාධ්‍ය වැනි අංශවල රැකියාවන්හි නිරත කාන්තාවන්ට දෙවැනි ගනයේ පුරවැසියන් හැටියට සැලකීම මගින් ලිංගිකත්වය පදනම් කරගෙන මිනිසුන් උස් පහත්කොට සැලකිමේ තිරස්චීන ලක්ෂණ පෙන්නුම් කිරීමක් බවයි. නීති ක්ෂේත්‍රයේ කාන්තාවක් ආධුනික නීතිඥවරියක් වශයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයකු යටතේ සේවය කරන විට ගෙවනුයේ රුපි.10000ක පමණ වැටුපක් බවත් ඒ රැකියාවේම නියුතු පිරිමි ආධුනිකයකුට රුපි. 20000ක් ගෙවන බවත් ඔවුන් පවසනවා. මේ අසමාන සැලකීම නීතීඥ කාර්යාලවල සේවය කරන ලිපිකාරිනියන්ටද එසේම කෙරෙන බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

ගෘහ නිර්මාණ ශිල්පයත් මෙසේම ගැහැනු පිරිමි වෙනස අනුව වැටුප් වෙනස් වන වෘත්තියක් ලෙස සැලකෙනවා. වරලත් ශිල්පියෙකුට රුපි.150000ක පමණ වැටුපක් ලැබෙන විට සමාන සුදුසුකම් ඇති ශිල්පිනියකට ලැබෙනුයේ රුපි.100000ක පමණ වැටුපක්ලූ .මෙවැනි ගරු කටයුතු වෘත්තීන් හී ලිංගභේදය අනුව වැටුප්තල උස් පහත් කිරීම මෙබඳු නම් කර්මාන්ත ශාලා හා වතුකරය වැනි සේවාවන්වල නිරතව සිටින සේවිකාවන්ට අත්ව ඇති ඉරණම ගැන කවර කතාද?

මෑතකදී ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවට විරෝධය පළ කරමින් බීබීසී ගුවන් විදුලියෙන් ඉල්ලා අස් වූ ක්‍රැරී ග්‍රේසි නම් මාධ්‍යවේදිනිය කර තිබූ ප්‍රකාශය අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද නොසලකා ලිංගිකත්වය මත වැටුප් හා වෙනත් අයිතිවාසිකම් තිරණය කරන ආයතනවලට එල්ල කළ අපූරු අභියෝගයක් ලෙස සැලකිය හැකියි. ‘‘මම අවුරුදු 30ක් බීබීසියේ සේවය කළා. මා හා සමානම සුදුසුකම් ඇති පිරිමියකුට ගෙවන වැටුපෙන් අඩකුයි මට ගෙවන්නේ. මේක රහසිගත හා නීති විරෝධි වැටුප් ගෙවීමේ සංස්කෘතියට එරෙහිව මා කරන සටනක්‘‘. ශ්‍රී ලංකාවේ නම් හුඟක් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදිනියන්ට වගේම මාධ්‍යවේදීන්ටත් බෙදන්නේ එකම හැන්දෙන් නිසා වැටුප් හා අයිතිවාසකම් දිනා ගැනීමට ඔවුන් දෙපිරිසටම එකතු වෙන්න සිදු වෙන බවද මේ අවස්ථාව් මතක් කළ යුතුයි.

කිසියම් සමාජයක සංවර්ධන මැනීමේදී භාවිත කළ හැකි මිණුම් දඬු කිහිපයක් තිබෙනවා. ඒ සමාජය කාන්තාව කෙරෙහි දක්වන ගරුත්වය හා සැලකිල්ල ඉන් ප්‍රධාන එකක්. අපේ රටේ මතුපිටින් කාන්තාව පූජනීය වස්තුවක් ලෙස ආලේප කර තිබුණත් භාවිතයේදී ඈ ඇද දමන්නේ කුස්සිය මුල්ලටම නොවේද කියන ප්‍රශ්නය මත්පැන් චක්‍රලේඛ අර්බුදය මගින් සමාජය ඉදිරියේ යළිත් මතුකර තිබෙන බවයි මගේ නම් අදහස.

කමල් පෙරේරා

මෙල්බර්න් කොළඹ ගු වනේ තනිවී ඇන්ජ­ලින් හමුවී

$
0
0
ජන 23, 2018 01:00

පහළොස්වන සඳුදා සවස 16.55 පැයට මෙල්බර්න් සිට කොළඹට පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් යූඑල් 605 ගුවන් යානය ගුවනට නැංගේ පස්වරු 17.30 පමණ පැයටය. මා එහි මගියෙකු වී හෝරා දහයක පමණ දිගු ගුවන් ගමනකට සැරසුණු කල සිත දුකින් ද ඇස කඳුලින් ද තෙත් වූ බව කිව යුතුය. මාසයක තරම් කාලයක් මෙල්බර්න් හා සිඩ්නි නුවර ( දින කිහිපයක් ) නිවාඩුව ගෙවුණේ වාගීෂ පුතු, ඔහුගේ මිත්‍ර සමාගම හා මගේ ශ්‍රී ලාංකික මිත්‍ර සමාගමයේ මිතුරු මිතුරියන් රැසක් සමඟය. අප දෙදෙනාගේ උපන් දිනය එක්ව සැමරීමේ ඕනෑකම තිබුණේ වාගීෂට වුව ද, වසර කිහිපයක් එක දිගට වැඩ කිරීමේ වෙහෙසින් මඳකට හෝ මිදෙන්නට මා තුළ ද කැමැත්තක් නොතිබුණා නොවේ යැයි කිව යුතුය. අවසාන වරට වසර 2014 දී සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර උළෙලට පැරීසියට ගිය ගමනින් පසු එතෙර යන්නට නොලැබූ බැවින්ද පුතු මෙන්ම මිතුරන්ද හමුවී ඔවුන් හා දවසැරීම ආස්වාදජනක අත්දැකීමක් වනු ඇතැයි මා තුළ දැඩි විශ්වාසයක් වීය. එය එලෙසින්ම විඳගන්නට ලැබිණැයි ගුවන් යානයට ගොඩවූ මොහොතේ සිතුණු මුත් එයම සිත පෙළන දුකක් වේ යැයි නොසිතූවෙමි. මෙල්බර්න්හිදී මගේ සන් මිත්‍ර ජයශ්‍රී චන්ද්‍රජිත්, බිරිඳ දීපාලි, දියණි මිලංකා, හා මගේ නාට්‍ය ජීවිතයෙහි අංගරචනය හා ආශ්‍රිත අනෙකුත් කලාංශ ගුරුවර, පද්මකුමාර එදිරිවීර හා ඇඹණි සිරිමාවෝ චන්ද්‍රසිංහ ද වරින්වර මා රැක බලා ගත්හ. සිඩ්නි නුවර ආගන්තුක සත්කාර නොඅඩුව ලැබුණේ පෙරදා ටයර් සංස්ථාවේ සේවය කළ සමයෙහි මිත්‍ර සමාගමයට එක්වූ ශාන්ති කොරතොට හා ඔහු බිරිඳ චූලනී ගෙන් මෙන්ම සාහිත්‍ය කලා රසික සහෘදයෙකු වූ සිසිර ගෝවින්නගේ සුමිතුරාගෙනි. 2018 වසර එළැඹෙන මධ්‍යම රාත්‍රියෙහි ලොව අසිරිමත්ම ගිනිකෙළි දැක්ම නැරඹීමට සිසිර මා කැඳවාගෙන ගිය මොහොත, කිලෝමීටර දහයක් පමණ පා ගමනින් ගොස්, හෝරා තුනකට නොඅඩු කාලයක් ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් මැද සිටගෙන සිටිමින් විනාඩි පහළොවක්වත් කාලයක් නොවුණු අසිරිමත් ගිනිකෙළි දැක්ම කිසිදින අමතක නොවන මතකයකි. සිඩ්නිහිදී හමුවූ නාට්‍ය සගයා චම්පා බුද්ධිපාල සමඟ ගෙවුණු රාත්‍රිය ද මතකයේ වේ.

මෙල්බර්න් නුවර වාගීෂගේ විසාල මිත්‍රසමාගම ද මගේ මිත්‍ර සමාගමෙහි සාමාජිකත්වය දරන්නන් වන ආනන්ද කරුණාරත්න, ප්‍රිෂාදි, විලාඩ්, සන්ධ්‍යා, විජේ, රේණුකා, අතුල, තිළිණි ,හිතාදර මිත්‍ර සෝමපාල හේවාකපුගේ දියණි හා බැනණුවන්, ලංකා හා සුදින්නා , යශෝදරා හා කුසුම්සිරි, මිතුරු සිරිල් ගුණරත්න, රාජපක්ෂ රාජා, ආදීන්ගේ ආරාධනා එකකුදු ප්‍රතික්ෂේප කළ හැකි ඒවා නොවීය. මෙල්බර්න් නුවර සිංහල පාඨකයන් වෙනුවෙන් පළ කරනු ලබන සිහනද පුවත්පතෙහි කර්තෘ හා 3 ඉසෙඩ් ප්‍රජා ගුවන් විදුලියේ සංස්කාරක හා ප්‍රධානී විල්ෆ්‍රඩ් සිරිවර්ධන පහන පුවත්පතෙහි හා විශ්වවාහිනී රූපවාහිනී නාලිකා ප්‍රධානී බන්දු දිසානායක මෙන්ම 3 ඉසෙඩ් ZZZ ගුවන්විදුලිය ඔස්සේ අඩ හෝරාවකට ආසන්න කාලයක් මා සමග වූ පිළිසඳර ඉදිරිපත් කළ සිසිර දිසානායක, මාධ්‍යවේදී ගේය පද රචකයා ද මෙල්බර්න් නුවර මතක අතර වේ.

ඔවුන්ගෙන් සමුගැනීමට පෙරදා ඔවුන්ගේ රසික සහෘද සමාගමWaverley Senior Citizens Club - Promoting Positive Life Styles for seniors විසින් සංවිධාන කරන ලද ගී රස විනිස සඳහා කෙටි දෙසුමකට මා හට ආරාධනා කරන ලද එහි නියමු උපා උපදාස සගයා සිහිපත් කරනු වටී. ඊට සහභාගීවීමට පැමිණ සිටි අප මිත්‍ර මනමේ නාටකයෙහි ප්‍රථම පොතේගුරු ශ්‍යාමන් ජයසිංහ ගේ අහඹු මුණ ගැසීම ද මගේ මතකය 1969 මනමේ දෙවන නිෂ්පාදන වකවානුව තෙක් ඇදී යන්නක් වීය. මෙවන් මිත්‍ර සමාගමයකින් හා පුත්‍ර සමාගමයකින් පසුව ගුවනෙහි තනි වූ මොහොතක දැනෙන ,මහට දැනුණු තනිකම, ප්‍රියයන්ගෙන් සමුගැනීමේ සොව කෙසේ තුනී කරගන්නෙම්දැයි සිතමින් සිටින මොහොතක දී ය මහට ඇන්ජලීන් ගුණතිලක නම් වූ සිංහල සරල ගීතයෙහි හා විශේෂයෙන්ම සිංහල චිත්‍රපට යුග ගී ගායනාවෙහි කිරුළු නොපළන් රැජිණ බවට අවිවාදාත්මකව පිළිගැනෙන ගායිකාව හමුවන්නේ.

හෝරා දහයකට නොඅඩු ගුවන්ගමනක දී කුමක් කළ යුතුද? ගුවනට ඉගිලී මොහොතකින් කවුළුවෙන් පහළ දුටු විදුලි එළියෙන් ආලෝකවත් වූ නගර ගොඩනැගිලි පියසි නොපෙනී ගොස් හිස්ම හිස් ගුවනෙහි තනිවන මොහොතක සිත දැවටෙන පාළුව කෙසේ විස්තර කළ හැකිවේද? සිත අතරමං වූ මොහෙතෙහිය, ආසනය ඉදිරියෙහි වූ කුඩාතිරයට එබී බලන්නට සිතුණේ. කිසිවක් නරඹන්නට සිතක් නොවූ මුත්, ගීතයක් අසමින් දෑස් පියාගන්නට රිසි වූයෙන් ගායක ගායිකා නාමාවලියෙහි බොහෝ මිතුරු මිතුරියන් නොව කිසිදා හමු වී නොහඳුනනා එහෙත් පාසල් සමයේ සිට ඇගේ ගීයට පෙම් බැඳි මගේ ප්‍රියතම ගායිකාවක වන ඇන්ජලින් ගුණතිලකගේ ගීතාවලිය තෝරාගැනීමට ආසන්න හේතුවක් වූයේ ඈ කලක සිට රෝගීව එක්තැන්ව සිටින පුවත හා පසුගිය දිනෙක ඈ ඇගේ දිවි මග සැත්තෑ අටවන විය පසු කළ පුවත ද නෙත ගැටුණු බැවිනි. ඈ නිසැක වශයෙන්ම යුග ගී ගායනයෙහි විශිෂ්ටතම ගායිකාවක වන්නීය. චිත්‍රපට යුග ගී තුළ ඇගේ මිහිරි අපූරු හඬ ඇසෙන්නට බොහෝ කලකට පෙර මොරිස් දහනායක සමඟ ඈ ගැයූ අන්න ඕලු මලක් නිල්දිය මත පාවෙලා ගීතය පාසල් සමයේ සිට මා මතකයෙහි වූ ඇන්ජලින් ද ලැනරෝල් ගේ මුහුණ ද ගැයුම ද යළි සිහියට නැගිණි. ඇන්ජලින්ගේ මාධුර්යයෙන් සපිරි දිගු පරාසයකට විහිදී යන කටහඬෙහි රැඳුණු තාරුණ්‍යයේ ස්වරය ඈ දෙවියන් විසින් ලද දායාදයක්ම නොවේ දැයි මම කල්පනා කළෙමි.

ඇයටම අනන්‍ය වූ ඒ අපූරු මිහිරි ගායනය ඇගේ ගායන ජීවිතයෙහි ඇරැඹුමෙහි දී ඇසුණු ගුවන්විදුලි හෝ වෙනත් සරල ගීයක මතු නොව චිත්‍රපට පසුබිම් ගායනාවට එක්වී ගායනා කොට ඇති සිය ගණනක් යුග ගීත තුළ අපට ඇසෙන්නේ ඇගේ හඬ කිසිම දිනෙක අප මතකයෙන් ඈත් කළ නොහැකි ඈත් නොවනා හෘදයංගම බැඳීමකිනි. මල් සිනා නගන්න සුසුදු ආදරේ, පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස, හිතේ එකක් තියා එකක් කියන්නෙපා, බංගළි වළලු ගෙන එන්නැයි පොරොන්දුව, දුහුලැල් සාරි ගෙන එන්නැයි පොරොන්දුව, සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ, මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හා තවත් එවන් මිහිරි සරල ගී රාශියක් මගේ මතකයට එක් වූවද ගුවන් යානයෙහි වූ ගීතාවලියෙහි වූයේ මිනිත්තු පනස් අටක් පමණ කාලයක් තුළ වාදනය වූ දහසයක් පමණ වූ සීමිත ගී කිහිපයකි. ඇගේ ගීත සඳහා ගේය පද රචනා කළ නිර්මාණකරුවන් අතර පෙරමුණෙහිම සිටින්නේ අන් කවරකු හෝ නොව, ආරම්භක සිංහල ගීත පෝෂණයෙහි ලා අමිල මෙහෙවරක් කළ කරුණාරත්න අබේසේකර ගේය පද රචකයා බව නොරහසකි. ඔහු විරචිත ඇන්ජලින් ගැයූ සරල ගීයක ගැඹුරු අර්ථයක් නොවේ යැයි තර්ක කළ හැකි වූවද, ඒ බහුතර ගී ශ්‍රාවක හද ආමන්ත්‍රණයට සමීප වූ ජනප්‍රිය ගී බවට පත්ව තිබීම පවසන්නේ ඇන්ජලින්ගේ හඬ පරාසයට උචිතම ගී රචනා කොට ඇත්තේ කරුණාරත්න අබේසේකර බවයි. ඇන්ජලින්ගේ ගී අතර මා වඩාත්ම සිත්ගත් මේ ගීයෙහි වුව ගැඹුරු අරුතක් නොවූව ද එය ඇගේ ගායනා ස්වරයෙන් හදට ළංවූ ගීතයක් බවට පත්ව ඇතැයි සිතමි.

කවදා හෝ සසර කතර අතර මගක දී

දුටුවා ඔබ මට අමතක නොවන තැනක් දී

එතැන් පටන් එන්නෙමි සෙවණැල්ල විලසිනී

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ

පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ

ඔබ පණිවුඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ

දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්

ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන්

කුරුල්ලෙකු අතේ පණිවුඩ එවන්නැයි ඉල්ලීම, අඳුරු ලොවට සඳ පායන්නැයි ප්‍රාර්ථනා කිරීම ‍යෞවන ප්‍රේමවන්තියකගේ බොළඳ සිතිවිලි ලෙස හැඟුණ ද, එකී වදන් තුළ අද අපට ඇහෙන නිස්සාර අරුත්සුන් ගීත රචනාවකට වඩා විඳින්නට හැකි මිහිරක් සැඟවී තිබෙනු පෙනේ. කරුණාරත්න අබේසේකර ප්‍රමුඛ ඇන්ජලින්ට ගේය පද රචනා කළ පිරිස අතර, ප්‍රෙමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, ඔගස්ටස් විනායගරත්නම්, සෝමපාල ලීලානන්ද, අජන්තා රණසිංහ ආදීන්ගේ නම්ගම් දකිමි.

ඇන්ජලින් ගුණතිලක නම් වූ කෙවිලියගේ මධුර ස්වරයෙහි මිහිර, ශ්‍රාවක අප සිත්හි නිදන්ගත කොට ඇත්තේ ඈ විසින් චිත්‍රපට සඳහා ගායනා කොට ඇති ජනප්‍රිය, මිහිරිතම යුග ගීත අතරෙහිය. පරපුරින් පරපුරට, යුගයෙන් යුගයට ඇන්ජලින් ඇගේ මිහිරි, දුලබ, මාධූර්යය පිරි කටහඬ කරා අප ආකර්ෂණය කරනු ලබන්නී ප්‍රධාන වශයෙන් එච්.ආර්.ජෝතිපාල සමඟ ගායනා කොට ඇති චිත්‍රපට යුග ගීත සමුදායෙනි. ඔහු හැරුණු කල, ඇගේ යුග ගායනාව විචිත්‍ර කළ, වර්ණ ගැන්වූ පිරිමි කටහඬ අතර මිල්ටන් මල්ලවාරච්චි මෙන්ම හරූන් ලන්ත්‍රා ද සිටිනු දකිමි.

සිංහල චිත්‍රපට සංගීතය නවමු මගකට රැගෙන ආ, සැබෑ සිනමා සංගීතය යනු මේ යැයි පළමුවරට අපට කියාදුන් කේමදාස මාස්ටර්ගේ පසුබිම් සංගීතයෙන් ඇන්ජලින්ගේ හඬ පෝෂණය වූවා මෙන්ම ඔහුගේ සිනමා සංගීත නිර්මාණ සඳහා ද ආලෝකයක් ලැබිණ. ළසඳා චිත්‍රපටයේ එන ධර්මසිරි ගමගේ රචනා කළ, කේමදාසගේ සංගීතයෙන් වර්ණවත්ව ඇන්ජලින් ජෝතිපාල හා ගැයූ මා ප්‍රාර්ථනා ආශාවෝ ගීතය පමණක් වුව ඇන්ජලින් කේමදාස සුසංයෝගයෙහි මිහිරි ඵල සඳහා එක් නිදසුනකි. රූප රාමුවෙහි ප්‍රධාන නිළිය, මාලිනී ද, නීටා ද, ජානකී ද, සුමනා ද, ගීතා ද, ශ්‍රියානි ද යන කවරෙකු හෝ වේවා, ඇන්ජලින් ගේ ගායනාව එකී ඕනෑම නිළියකගේ රංගනය, ගීතමය ජවනිකාව පරිපූර්ණ චිත්‍රපට ගී ජවනිකාවක්, රූප රාමුවක් බවට පත්කරන'යුරු විස්මිතය.

මා ප්‍රාර්ථනා ආශාවෝ

ආරාධනා ඇසුණා දෝ

පෙර ආත්මයේ පැතුවාදෝ

මේ ආත්මයේ හමුවී දෝ....

කේමදාස මාස්ටර් ඇන්ජලින්ගේ මිහිරි හඬ පරාසයෙහි සැඟව තිබූ ගායන කුසලතාව මතුකර ගත්තා සේම හින්දි ගීත තනු ඇසුරින් ජනප්‍රිය වූ සිංහල චිත්‍රපට ගීතය දේශීය සංගීතය හා ස්වතන්ත්‍ර තනු මගින් ජනප්‍රිය කරවීමෙහි ලා පුරෝගාමී වූ සරත් දසනායක වැනි සංගීතඥයකු විසින් ඇන්ජලින් ජෝති සුසංයෝගයෙහි නොමියෙන නිර්මාණාවලිය අපට දායාද කොට තිබෙනු නොවේද? අමර පෙම් ලතාවේ රන් මලක් සිනාසේ හෝ පාට පොදක් තිලක ලා නළල් තලාවේ වැනි චිත්‍රපට ගීත අපේ මතකයේ රැඳී ඇත්තේ ජෝතිපාලගේ හඬ මෙන්ම ඊට මුසු වූ ඇන්ජලින්ගේ ප්‍රේමාන්විත හඬම නිසාය. ඇගේ හඬින් අප විස්මිත කොට ඇත්තා වූ චිත්‍රපට යුග ගායනා අතර ජෝතිගේ හඬ මෙන්ම මිල්ටන් මල්ලවාරච්චිගේ හඬ ද හරූන් ලන්ත්‍රාගේ හඬ ද ඇසේ. කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ( මිල්ටන් ) සුළං කුරුල්ලෝ ( හරූන් ලන්ත්‍රා ) ඒ අතර ජනප්‍රිය ගීත වේ. ඇන්ජලින්ගේ චිත්‍රපට යුග ගායනා අතර අප හදෙහි රැඳුණු මේ ගී කිහිපය වූවත් ඇගේ ගායනයෙහි චමත්කාරය, රූප රාමුවක් සඳහා ඖචිත්‍යය ප්‍රකට කරන නිර්මාණ වේ. හද විමන් දොරින්, මීදුම් ගලා කන්දේ, සඳ තනිවෙලා අහසේ, ඈත දිලිසෙන හිරු සඳු, මල් වැහි සීතල මල් වැස්සේ, හොඳ සිරියාවයි ආකාසේ, ඉර හඳ වැඳලා සිතුම් පැතුම් සඳ ආදරේ, හා තවත් බොහෝ චිත්‍රපට යුග ගායනා ඇන්ජලින් සලකුණ සටහන් කොට ඇති ගීත වේ.

එහෙත් අරුමය වන්නේ ඇන්ජලින්ගේ ගායනය පිළිබඳ සැබෑ කතිකාවක්, විචාරයක්, රස විඳීමක් පිළිබඳ හෝ ඇයට පිරිනැමුණු සම්මානයක් පිළිබඳ හෝ අසන්නට නොලැබීමයි. අන්තර්ජාලයේ හෝ ඇන්ජලින්ගේ වතගොත ඇගේ නිර්මාණාවලිය, චරිතාපදානය සොයා ගැනීමට ඇති පහසුකම් ඇත්තේම නැත්තා සේය. හෘද සාක්ෂියට එකඟව, තම අදීනත්වය රැකගනිමින් ජීවත්වන ඇන්ජලින් වැනි ගායිකාවකට සම්මාන හෝ උපහාර අවශ්‍ය වේ යැයි නොසිතමි. මන්ද යත් ගායක ජෝතිපාල මෙන්ම ඇයද ජනතා ගායිකාව ලෙස මෙරට ශ්‍රාවක ජනප්‍රසාදයට පත් වී සිටින්නියක බැවිනි.

බුද්ධදාස ගලප්පත්ති

එදා ඡන්දෙ දුන්නෙත් මෙදා දෙන්නෙත් එහෙ­මයි!

$
0
0
ජන 23, 2018 01:00

මේ කාලේ එක පක්ෂවල එක එක අපේක්ෂකයන්, අපේක්ෂිකාවන් තම තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර ගෙනයන විදිහ දිහා ඈතින් ඉඳන් බලාගෙන ඉන්න ගියාම ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඇතැම් පක්ෂවල අපේක්ෂක, අපේක්ෂිකාවන්ගෙ පෝස්ටර්වල ආදර්ශ පාඨ ගත්තමත් ඒවායෙන් කියවෙන වගේම නොකියවෙන දේවලුත් ඉගෙන ගන්න පුළුවන්. බුකියේ ප්‍රසිද්ධියට පත්වුණු එක් අපේක්ෂිකාවක් ‘තණ කොළ කපන අක්කා‘ කියලා තමාව හඳුන්වාගෙන තිබීම පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනු දකින්නට ලැබුණා. තමන්ගේ ප්‍රදේශයේ තමන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඒ අයුරින් නම් ඒ බැව් නොකියා තමන්ට තමන් ප්‍රසිද්ධියට පත්කර ගැනීමට වෙනත් උපාය උපක්‍රම තෝරා ගැනීමට වෙහෙසෙන්නේත්, වියදම් කරන්නේත් කුමකටදැයි මට නම් හිතාගන්න බෑ. ‘තණ කොළ බුදින අයියලා‘ වෙනුවට පිරිමින්ගෙ යයි කියන වැඩ කරන ගැහැනියක් කියන්නෙත්, තමන් කරන රස්සාව ගැන ගෞරවයක් තියෙන එකත් මදිද? මට නම් හිතෙන්නෙ එහෙමයි. පෙට්ටිකඩේ කළු ජෙමාත් කියන්නෙ ඒ වගේම දෙයක් තමයි.

‘‘රස්සාවෙ උස් පහත්කම් ගැන බැලූ බැල්මට පෙනෙන්න තිබුණත්, ඒක මිනිස්සු උස් පහත් කරලා සලකන්න හේතුවක් නෙවෙයි. අනික කසළ එකතු කරන මනුස්සයාට වුණත් තමන්ගෙ රස්සාව ගැන අභිමානයක් තියෙනවා“ කළු ජෙමා කියන්නෙ එහෙමයි.

“දැන් ජෙමාට ඡන්දෙ ඉල්ලන්න ලැබුණොත්?"ඉස්කෝලෙ මහත්තයා එහෙම ඇහුවා.

“පෙට්ටි කඩේ කළු ජෙමා"කියලා මිසක් කොහොම පෝස්ටර් ගහන්නද? එහෙම කියලා ජෙමා බූලියත් අරන් වතුර එකක් පුරවාගන්න මීටර් සීයක් හමාරක් ඈතින් තියෙන කරාමය ළඟට ගියා. ඒ අතරේ වෙද මාමා ආවා.

“කෝ ජෙමා?"

“වතුර එකක් අරන් එන්න ගියා මාමේ“

“මං එද්දි සෑහෙන ගැන්සියක් පෝස්ටර් ගහනවා. අර ඉස්කේලෙ ළඟ තාප්පෙ පුරවලා. ටිකක් කිට්ටුවෙලා බැලුවම පෝස්ටරේ තියෙන්නෙ ‘කසළ ප්‍රශ්නයට විසඳුම් දෙන පරිසර හිතකාමී....‘ කියලා. මං ටිකක් ළංවෙලා පෝස්ටර් ගහන කොල්ලෙකුගෙන් ඇහුවා, ‘ඔහොම පෝස්ටර් වනන කොට ඔය කියන කතාව පිළිගන්න පුළුවන්ද“ කියලා.

“ඉතිං?"මමත් කිට්ටු වුණා කීව දේ දැනගන්න.

“මේකෙ කිසිම වැරැදක් කියන්න පුළුවන්ද?"

කියලා මිනිහ මගෙන් ආපිට ඇහුවා.

“හිහ් හිහ් හී, මෙහෙමත් මිනිස්සු. තමන් ගහන පෝස්ටරයේ ඉන්නෙ මොකාද, මොනවද කරන්නෙ, ඒකෙ ගහල තියෙන වාක්‍ය යේ තේරුම මොකක්ද කියලවත් දන්නෙ නැති උන්. අනේ මන්දා මුන් ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩවෙලා තියෙනවද කියලා? ඉස්කෝලෙ මහත්තයා හිනාවෙවී කීවා.

“මං ඒකත් ඇහුවා“ වෙද මාමා කීවා.

“මොකක්ද?

“ඔයාල ඉස්කෝලෙ ගිහින් තියෙනවද, කියලා?

“ඉතිං?

“ගිහින් තියෙනවා. ඉස්කෝලෙ මහත්තයාලගෙ ඉස්කෝලෙම තමයි. ඉස්කෝලෙ මහත්තයාගෙනුත් ඉගෙන ගෙන තියෙනවා කියලා කීවා“ වෙද මාමා එහෙම කියද්දී ඉස්කෝලෙ මහත්තයාගෙ මූණ රතුවුණා. ඊටත් පස්සෙ කළුම කළු වුණා. ඒ වෙද්දි ජෙමා ආයෙමත් කඩේට ආව නිසා තේ එකේ ගාස්තුව ගෙවලා ඉස්කෝලෙ මහත්තයා එතැනින් වාෂ්පවුණා.

"බණ්ඩි උන්නැහේ දන්නවනෙ, එහා ගමේ පන්සලේ දෙවෙනි උන්නාන්සෙ."වෙදමාමා කතාවක් කියන්න පටන් ගන්න බවක් පෙනෙන්න තිබ්බා.

"ඔව්. මං දන්නවා, අර පිරිවෙනේ උගන්වන උන්නාන්සෙ නොවැ. ඒත් වැඩිය දානාමනවලට නම් වඩින්නෙ නෑ මයෙ හිතේ"මං කීවා.

"ආන්න හරි. දානයකට, බණකට තියා ගමේ මළ ගෙදරක පාංශුකූලෙකටවත් වඩින්නෙ නෑ. ඒත් මේ ළඟක ඉඳලා ලොකු උන්නාන්සෙට ආරාධනා කෙරෙන ධර්ම දේශනාවලටත් උන්වහන්සේගෙන් බලෙන්ම ඉල්ලගෙන වඩිනවා."

"ආහ්. ඒ මොකද?"

"මොකද ඉතිං උන්නාන්සෙත් මේ සැරෙ ඡන්දෙට ඉල්ලනව නොවැ"වෙදමාමා වෙනසට හේතුව කීවා.

මං හෙමින් හෙමින් ගෙදර එන්න ආවා. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ මුලින්ම සර්ව ජන ඡන්ද බලය ලැබුණු කාලයේ මිනිසුන්ගෙන් ඡන්දය ඉල්ලා ගැනීම වෙනුවෙන් කරපු උප්පරවැට්ටියක් ගැන කතාව මට ආයෙම මතක් වුණා. එක අපේක්ෂකයෙක් තමාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා දෙහි ගෙඩිය බැගින් තමන්ගෙ ඡන්ද බල ප්‍රදේශය පුරා ගෙයක් ගෙයන් ගානේ බෙදලා තිබුණා.

'දෙහි ගෙඩියේ පාටට ඡන්දය දෙන්න'කියලා තමයි අපේක්ෂකයා ඉල්ලා තිබුණේ. ඡන්දය ප්‍රකාශ කරන දවසේ හම්බවුණු හැමෝම කීවේ 'ඔන්න අපි නම් මහත්තයටම තමයි දුන්නෙ'කියලා. ප්‍රතිඵලය ආවම අපේක්ෂකයා පරාදයි. ඒත් මිනිස්සු කීවේ 'අපි මහත්තයටම තමයි දුන්නෙ. දෙහි ගෙඩියේ පාටට'කියලයි. බලද්දි වෙලා තිබුණේ දෙහි ගෙඩිය ළඟ තියාගත්තු මිනිස්සු, දෙහි ගෙඩියට ඡන්දය දුන්නත් ඒ වෙද්දි කොළ පාටට තිබුණු දෙහි ගෙඩිය කහ පාට වෙලා තිබුණු නිසා මිනිස්සු ඡන්දය දීලා තිබුණේ 'කහ වර්ණය'ට වීමයි. එවක ඡන්ද ක්‍රමය සැකසී තිබුණේ 'වර්ණ පෙට්ටි'ක්‍රමයකින්. ඒ නිසා 'කහ වර්ණයෙන්'ඉදිරිපත්වූ අපේක්ෂකයාට ආයාසයකින් තොරවම ජයග්‍රහණය හිමිවී තිබුණා.

ඒ කතාවට අද දවසේ හිනා ගියත්, හොඳින් හිතා බැලුවම අද දවසේ ඡන්දය ප්‍රකාශ කරන විදිහ දැක්කමත් හිනා යනවා තමයි.

බණ්ඩි රාල

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>