Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

රට යන්නේ කොයි තැනට ද?

$
0
0
ඔක්‌ 2, 2019 01:00
දුමින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම් පක්ෂය වැඩි වී තිබේ. එවැනි පසුබිමක වෘත්තිය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් ඉටු කිරීමට හැකි ද යන්න පිළිබඳ නැවත සිතා බැලිය යුතු ය. ඇතැම් විට ලක් රජයට මෙවැනි ඉල්ලීම් දිය නොහැකි බව දන්නා නිසා ම වර්ජන රැල්ලක් මතු කරලීමේ ඉඩකඩ තිබේ. ඊට හේතුව, රජය සෑම අතින් ම අසරණ කළ හැක්කේ එවැනි ක්‍රියාවලියක් තුළින් නිසා ය. මේ සෑම අර්බුදයකින් ම ගොඩඒමට නම් සෑම සියලු දෙනා ම එකතු වී සැලැසුම් සකස් කිරීම ඉතාමත් වැදගත් ය.

රටේ දේශපාලන අර්බුදයක් පවතින මොහොතක, රාජ්‍ය අංශයේ සේවයේ නියුතු බොහෝමයක් සහ වෘත්තීය සංගම් වැඩ වැරුමකට යාම කාලෝචිත ද යන ප්‍රශ්නයට බොහෝ දෙනකුට ඇත්තේ පැහැදිලි පිළිතුරක් නොවේ. රට තුළ පවතින වර්ජන රැල්ල ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගෙන සිදු වන්නක් බව පෙනේ.

වෘත්තීය මට්ටමින් අරගල කිරීමට හේතු වූ කාරණා අද ඊයේ පැවත එන්නක් නොවේ. දීර්ඝ කාලයක සිට පැවැත එන වෘත්තීම ය ගැටලු ය. විසඳාගත නොහැකිව මතු වූ අර්බුද රැසක් ලෙස මෙය පෙන්නුම් කළ හැකිය. මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් උපාධිය ලැබ පිටව යන්නන්ගේ ගැටලුව වසර තිහකට ආසන්න කාලයක් පැවැත එන්නකි. වසර හතරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ ඉන් අනතුරුව රැකියාවක් බලාපොරොත්තුවෙන් තවත් වසර ගණනාවක් අරගල කරන්නට උපාධිධාරින්ට සිදු වී තිබේ. එය දියුණුවන රටකට, මැදි ආදායම් ලබන රටකට විශාල ගැටලුවකි.

දේශපාලනය

එපමණක් නොව, පවතින රජයන් සියලු ම උපාධිධාරින් බඳවා ගනුයේ, කිසියම් සැලැස්මකට අනුව නොවන බව පෙනෙන්නට ඇත. පසුගිය රජය සමයේ උපාධිධාරින් රජයේ සේවයට බඳවා ගැනීමේ දී ඔවුනට නිසි රාජකාරියක් හෝ නිශ්චිත කාර්යාලයක් හෝ නොතිබුණු බව නොරහසකි. එයින් පෙන්නුම් කරනුයේ මේ රාජ්‍ය සේවයට හෝ උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීමට නිශ්චිත ක්‍රමවේදයක් හෝ වැඩපිළිවෙළක් මෙතෙක් ගොඩනැඟී නොමැති බව ය. ඇතැම් රැකියාලාභීන් රැකියා ස්ථානයට යා යුත්තේ, සතියට එක් දිනක් පමණි. එයින් රටේ ජාතික ආර්ථිකයට ද බලපෑම් ඇති වේ. ක්‍රමවේදයක් නොමැති එවැනි බඳවා ගැනීම් කරන පාලකයන් සිටින හා සිටි රටක අර්බුද එකිනෙක පටලවාගෙන අනාගතයට රැගෙන විත් තිබෙන ආකාරයක්, වත්මන් ශ්‍රී ලංකාවෙන් පෙන්නුම් කරන්නේ ය.

විශ්වවිද්‍යාල තුළ ද අධ්‍යයන සහ අනධ්‍යයන ලෙස බෙඳීමක් නොවන ආකාරයට වියවුල් සහගත තත්ත්වයක් මතු වී තිබේ. ආචාර්යවරුන්ට තිබුණු දීමනා සහ වරප්‍රසාද යනු වෘත්තියට අදාළව හිමි විය යුතු දෑ ය. වෛද්‍යවරයාට වුව විදෙස් රටක අධ්‍යාපනය ලබා දෙන්නේ නම්, එය වෘත්තිය නිපුණත්වය ලබා දීමට හා පුහුණුව ලබාදීම වෙනුවෙන් සිදුවන්නකි. වත්මන වන විට මෙකී වෘත්තින්වලට මෙන්ම අනෙකුත් වෘත්තීන්වලට ලබාදිය යුතු වරප්‍රසාද බොහොමයක් අඩපණ කර ඇති බවක් දක්නට ලැබේ. දැනට වසර දහයක පමණ කාලයක සිට විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ම පාහේ හසුරුවනු ලබනුයේ, දේශපාලන හස්තය මඟිනි. එය එසේ වීම තුළ විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ වශයෙන් අරාජික වීම නොවැළැක්විය හැකිය.

අනෙක් කාරණය වන්නේ, ශ්‍රී ලංකාව තුළ තිබුණු විශ්වවිද්‍යාල පහ වෙනුවට විශ්වවිද්‍යාල 16ක් බවට පත් කිරීම කාලෝචිත ද යන්න ය. ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් ප්‍රමාණවත් නොවන අවස්ථාවක එවැනි පරිවර්තනයක් කිරීම ඒ තරම් සුදුසු පියවරක් නොවේ. වියුතුන් බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් මේ රට අතහැර ගොස් ඇති කාල වකවානුවක ගත් තීරණ කාලෝචිතද යන්නත්, බිහි වෙන නව තනතුරුවලට පත් වන්නේ කවරෙක්ද යන්නත් යළි යළිත් සිතන්නට තිබුණි. එකී තනතුරුවලට පත් කළ හැකි, සුදුසුකම් සහිත පුද්ගලයන් නො සිටිය ද පාලකයන් එකී තනතුරුවලට කවරකු හෝ පත් කරන්නේ, දේශපාලන සබඳකම් සහිතව ය. මේ සිද්ධි ශ්‍රී ලංකාව තුළ කාලයක් පුරා සිදු වෙන බව දක්නට ලැබෙන්නකි. එහෙත් අවාසනාවකට ඒ සම්බන්ධයෙන් විචාර බුද්ධියෙන් සංවාදයක් හෝ ගොඩනඟන්නට කිසිවකුත් ඉදිරිපත් නොවීම අභාග්‍යයකි.

ශ්‍රී ලංකාව වැනි රටක් වසර 30ක යුද්ධයකට මැදි වීම එතරම් පහසු කාර්යයක් නොවේ. අවුරුද්දක්, දෙකක් යුද්ධයක් කළ හැකිමුත්, වසර 30ක කාලයක් යුද්ධයකට ගොදුරුවීම රටේ සෑම ක්ෂේත්‍රයක් ම පසු පසට ගමන් කරවන්නකි. වසර 30ක් පුරාවට යුද කළ හැකි රටක් ලෝකයේ නැති තරම් ය. එහෙත්, රටේ ජාතික ප්‍රශ්නය නිසි ලෙස අවබෝධ කර ගන්නේ නම් එය, විසඳාගත නො හැකි ප්‍රශ්නයක් ද නොවේ. භාෂා ප්‍රශ්නය ද විසඳිය හැකි ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ ඇත්තේ භාෂා තුනකි. වසර 10ක් තුළ මෙකී ප්‍රශ්නය විසඳිය හැකි මුත්, වසර 70ක් පුරා එය විසඳා ගැනීමට උත්සාහ කර නොමැති නිසා, රටක් ලෙස මහජනතාව වරින් වර අර්බුදයට තල්ලු කර තිබෙන්නේ ය.

අද වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පිටව යන උපාධිධාරීන්ගෙන් කීයෙන් කී දෙනකුට භාෂා දෙකක් හසුරුවන්නට හැකි දැයි සොයා බැලුවහොත් එය ඇත්තේ අවම මට්ටමක ය. භාෂා තුනක් කතා කරන රටක විශ්වවිද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන්ට භාෂා දෙකක් හසුරුවන්නට නොහැකි වීම කනගාටුවට කරුණකි. මේ ප්‍රශ්නයට හේතුව ඇත්තේ විද්‍යාර්ථීන්ගේ නොවන වග පැහැදිලි වුවත්, පාලකයින් ඊට අවශ්‍ය විසඳුම් පවා නොදී අයාලේ යාමට ඉඩ හැර තිබීම රටේ ජාතික ප්‍රශ්න ය මඟහැර යාමකි.

ශ්‍රී ලංකාව තුළ කලින් කලට පැන නඟින අර්බුදවලට විසඳුම් ලබා දීම අපහසුදෙයක් නොවනමුත්, පාලක පක්ෂ ඊට මැදිහත් නොවී සිටීම අර්බුද උඩුදුවන්නට හේතුවක් වී ඇත. වත්මන ගත්කල, වෘත්තීය සමිති දේශපාලනීකරණය වී තිබීම තවත් එක් ප්‍රධාන ගැටලුවකි. සාමාන්‍යයෙන් වෘත්තිය සමිතියක් පිහිටුවන්නේ, යම් ප්‍රශස්ථ අදහසක් සහිතව ය. එක් එක් ක්ෂේත්‍රවල සේවයේ යෙදී සිටින තම සාමාජිකයන්ගේ සේවා තත්ත්වයන් සහ වෘත්තිය තත්ත්වය ඉහළ නංවා ගැනීම වෘත්තිය සමිතියක ප්‍රමුඛ අරමුණ වන්නේ ය. නමුත්, ඒ ආකාරයෙන් ම වෘත්තිය සමිති, සංගම්, සංවිධාන ක්‍රියාත්මක නොවන්නේ පාලකයෝ ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් නිසා ය. අද දක්නට ලැබෙන්නේ කම්කරුවන්ගේ අයිතීන් හෝ සේවා සුරක්ෂිතතා පැත්තකින් තැබූ වෘත්තිය සමිති ක්‍රියාවලියකි. ශිෂ්‍යයාට තිබෙන ප්‍රශ්නයත් එවැන්නකි. අද වෘත්තිය සමිති ක්‍රියාවලිය හැසිරිය යුත්තේ කවර ආකාරයෙන් ද යන්න අවබෝධ කර ගැනීමටවත් නොහැකි තරමට වියවුල් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මේ වන විට අරගල කරන වෘත්තියවේදීන්ගේ වෘත්තීය සම්බන්ධ කාරණාවලට පමණක් සීමා නොවුණු ඊට දේශපාලන කාරණා එකතු වූ පසුබිමක් තුළ දැඩි වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ හේතුවෙන් රාජකාරි සඳහා පිටත් වන පුද්ගලයින්, පාසල් සිසු සිසුවියන් මහ මඟ අතරමංවන තත්ත්වයක් ද ඇතිව තිබේ. මේ තත්ත්වය නිසා ජනතාවගේ මනස වියවුල් වී, පීඩනයක් සහ කලකිරීමක් ඇති කරවන පරිසරයක් ද නිර්මාණය වී තිබෙන්නේ ය. කෙසේ නමුත්, යම් වෘත්තිමය ක්ෂේත්‍රයක ගැටලුවක් උද්ගත වී ඇත්නම් එය විසඳා ගැනීමට අනිවාර්යයෙන් ම ක්‍රමෝපායන් ඇත. එකී ක්‍රම සහ විධි භාවිත කරමින් බලධාරීන් එම ගැටලු විසඳීමට කටයුතු කළ යුතුය. අනෙක් පසින්, මේ සඳහා වගකිව යුත්තේ කවරෙක් ද? ඔවුන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ ජනතාවට පැහැදිලි විය යුතු ය.

එවැනි පසුබිමක වත්මන වන විට, රාජ්‍ය මූල්‍ය ගැන කතා කරන්නටවත් නොහැකි තරමට අර්බුදයකට ලක් ව ඇති බවක් දක්නට තිබේ. එය ඉබේ ඇති වූවක් නොව අප විසින් ඇති කරගන්නා ලද එකකි. නිසි කළමනාකරණයක් නොමැති, පාලකයින්ගේ මතයට පමණක් ඕනෑ අයුරින් පාලනය කිරීම වැනි කාරණා නිසා අර්බුදයෙන් අර්බුදයට තල්ලු වෙමින් තිබේ. අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දෙස බැලුවහොත් දකුණු ආසියාවේ මේ තරම් ණය කන්දක හිරවුණ තවත් රටක් සොයා ගත නොහැකි ය. මේ වන විට ණය ගෙවා දැමීමට පවා නොහැකිව අසරණ වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

වෘත්තීය සමිති

ණය ගෙවා දැමීමට නොහැකි වීම, ශ්‍රී ලංකාවේ ඵලදායි අංශය බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවකි. අය - වැය ලේඛනය දෙස බැලීමේදී හදිසි අවස්ථාවක වැය කිරීම සඳහා වෙන් කරන මුදලක් නොමැත. මේ වන විට ශ්‍රී ලංකාවේ ආදායමට වඩා වියදම් පක්ෂය වැඩි වී තිබේ. එවැනි පසුබිමක වෘත්තිය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් ඉටු කිරීමට හැකි ද යන්න පිළිබඳ නැවත සිතා බැලිය යුතු ය. ඇතැම් විට ලක් රජයට මෙවැනි ඉල්ලීම් දිය නොහැකි බව දන්නා නිසා ම ඇතැම් විට වර්ජන රැල්ලක් මතු කරලීමේ ඉඩකඩ තිබේ. ඊට හේතුව, රජය සෑම අතින් ම අසරණ කළ හැක්කේ එවැනි ක්‍රියාවලියක් තුළින් නිසා ය. මේ සෑම අර්බුදයකින් ම ගොඩඒමට නම් සෑම සියලු දෙනා ම එකතු වී සැලැසුම් සකස් කිරීම ඉතාමත් වැදගත් ය. එසේ නොවන්නට වෙනත් විකල්පයක් නොමැත. මෙතැනදී ජාතික එකඟතාවයක් ඇති කරගත යුතුයි. ඒ දේ කරන්නට ජනමාධ්‍යයට හැකියාවක් නොමැති වී තිබෙන්නේ, ජනමාධ්‍ය එක් පක්ෂයක් වෙනුවෙන්, එක් පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටීම ය. එවිට ජාතික එකඟතාවයකට යා නොහැකියි.

එසේ නොවී, සියලු මාධ්‍යයන් එකඟ වී ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය සහය පළ කරනවා නම් මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්නය විසඳා ගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවේ.

අවම ශීලාචාරයක් හෝ ජනමාධ්‍යයට ඇත්නම් අපේ රට බේරා ගැනීම පහසු ය. එහෙම නැති රටක අර්බුද විසඳා ගැනීමට උත්සාහ දැරීම පහසු නොවේ. රට අභියෝගාත්මක තත්ත්වයට මුහුණ පා සිටින්නේ නම්, ජනතාවත් අසීරුතාවලට ලක් වී ඇත්නම්, සියලුම ක්ෂේත්‍ර යම් එකඟතාවයකට ආ යුතු ය. ඒ ජාතික එකඟතාවය විය යුත්තේ සාමූහිකව රට මුහුණ පා ඇති ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ සිතා බැලීමට ය. ජනමාධ්‍යය ද ඒ සඳහා කටයුතු කළ යුතු අතර සීමාවකින් තොරව සහය පළ කළ යුතුය. එවිට ශ්‍රී ලංකාවේ ඇති වී ඇති මෙකී අර්බුද එකිනෙක විසඳා ගැනීමට පහසුවක් වනු ඇත.


ඊළඟට වෙන දේ මම දන්නෙත් නෑ

$
0
0
ඔක්‌ 2, 2019 01:00
සිඩ්නි ෂෙල්ඩන්

සිඩ්නි ෂෙල්ඩන් ප්‍රකට නවකතාකරුවෙකි, සිනමා තිරපිටපත් රචකයෙකි. ළමා කතා රචකයෙකි. වයස 50දී නවකතා ලිවීම පටන් ගත් හෙතෙම, ඉතා ම අනපේක්ෂිත ලෙස ජනප්‍රිය විය. නවකතා 18ක් ලියූ ඔහු, ගිනස් ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි. ඒ ලෝකයේ වැඩි ම භාෂා ගණනකට පරිවර්තනය වූ නවකතාකරුවා ලෙසිනි. ඔහුගේ නවකතා මිලියන 300ට අධික පිටපත් ප්‍රමාණයක් අලෙවි වී තිබේ. භාෂා 51 ට පරිවර්තනය වී ඇත. අතිශය ජනප්‍රියත්වයට පත් ඔහුගේ නවකතා අතර Master of the Game, The Other Side of Midnight, Rage of Angels, Tell Me Your Dreams සහ Morning, Noon, and Night මුල් තැනක් ගනී.

එතකොට මට වයස 19යි. යුනිවර්සල් ස්ටූඩියෝ එකේ සතියකට ඩොලර් 17ක පඩියකට කාර්යබහුල චිත්‍රපට නිෂ්පාදකයෝ වෙනුවෙන් චිත්‍රපට සාරාංශ ලිවීමයි මගේ රස්සාව වුණේ. ඒ කාලෙ මම පාන්දර 03 ට නැගිටලා මගේ කතන්දර වෙනම ලියනවා. මෙහෙම ලියපු මුල් කතන්දර හතර විකුනුණේ නෑ. හැබැයි පස්වැන්න ඩොලර් 500ට විකුණගන්න පුළුවන් වුණා. ඊට පස්සෙ ලේඛකයෙක් විදිහට සුළුවෙන් නමකුත් හැදුණා. ඊටත් පස්සේ ගුවන් හමුදාවට බැඳිලා, දෙවැනි ලෝක යුද්දෙ ගුවන් නියමුවෙක් විදිහට සේවය කළා. යුද්දෙ ඉවර වුණාට පස්සේ ආයෙමත් ලිවීමට බැස්සා. බ්‍රෝඩ්වේ නාට්‍ය තුනකුත් එක දිගට ලිව්වා. හොලිවුඩ් ගිහින් "The Bachelor and the Bobby-Soxer."නමින් චිත්‍රපටි තිරපිටපතකුත් ලිව්වා. ඊටත් පස්සේ මාස 12 ක කොන්ත්‍රාත්තුවකට රචකයෙක්, නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක් විදිහට හොලිවුඩ්වල වැඩ කළා. 

මගේ පළමු වැනි නවකතාව ලියැවුණේ අහම්බයකින්. මට නවකතා ලියන්න පුළුවන් කියලා කවදාවත් හිතුවෙ නෑ. දවසක් මට එක්තරා කතන්දරයක් ඔළුවට ආවා. එක්තරා මනෝචිකිත්සකයෙක්ව මනුෂ්‍යයෙක් මරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒත් ඔහු ඒ බව දන්නෙ නෑ. ඔහු තමන්ගේ විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙක් නම් තමන්ව මරන්න ඉන්නෙ කවුද? කියලා ඔහු දැනගෙන ඉන්න ඕනා කියලා මම හිතුවා. මේ කතන්දරය චිත්‍රපට තිරපිටපතකට ලියන්න නම්, මිනීමරුවගෙ මනස වැඩ කරන විදිහ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනා. ඒත් ඒක හිතන තරම් ලේසි නැති බව මට තේරුණා. ඒ නිසා මම නවකතාවක් විදිහට ලියන්න තීරණය කළා. එතකොට මිනීමරුවගේ හිත වැඩ කරන විදිහ හොඳින් විස්තර කරන්න මට පුළුවන් කියලා තේරුණා. 'The Naked Face'නවකතාව ලියවුණේ එහෙමයි. ඒත් ප්‍රකාශකයෝ පස් දෙනෙක්ම අත් පිටපත ප්‍රතික්ෂේප කළා. හයවැන්නා, විලියම් මොරෝ නවකතාව ප්‍රකාශ කරන්න කැමැති වුණා. මම ලියපු නවකතා 16 පහුකාලීනව ප්‍රකාශයට පත් කළෙත් ඔහුමයි. 'The Naked Face'මුද්‍රණය වුණාට මට විශේෂ ලාභයක් ලැබුණේ නැහැ. ඒත් නවකතාව මුද්‍රණය වුණාට පස්සේ මට අප්‍රමාණ නිදහසක් දැනුණා. ඒ නිදහස තිර පිටපත් ලිවීමෙන් ලැබුණෙ නැහැ. 'මට මේ පේළිය හරියට කියවන්න බැහැ'කියලා නළු-නිළියන්ගෙනුත්, 'අපි මේ දර්ශනය කඳු උඩ තිරගත කරන්නෑ, අපි ඒකට මිටියාවතක් පාවිච්චි කරන්න හිතුවා'කියලා අධ්‍යක්ෂකවරුන්ගෙනුත් අහගැනීමට කොහෙත්ම සමාන කරන්න බැහැ. මම වාඩිවෙලා මගේ දෙවැනි නවකතාවත් ලියන්න පටන් ගත්තා. මගේ දෙවැනි නවකතාව වුණේ "The Other Side of Midnight". ඒකෙන් මගේ මුළු ජීවිතේම උඩු-යටිකුරු වුණා.

සාමාන්‍යයෙන් බොහොම නිදහස්, ශක්තිමත් ගැහැනුන්ගේ චරිත ලියන්න මම කැමැතියි. මගේ නවකතා බහුතරයක ප්‍රධාන චරිතවලට අවිඥානිකවම ‍තෝරගෙන තියෙන්නෙත් ගැහැනුන්වයි. බොහොම සංවේදී සහ තනිව වැඩ කිරීමේ ලක්ෂණ ඇති ගැහැනු මම බොහොම අගය කරනවා. ඒ වගේ චරිත ලියන්නත් මම සෑහෙන ප්‍රිය කරනවා. මුලින්ම චිත්‍රපටිවලට තිරනාටක ලියමින් ලේඛනය පටන් ගත්ත නිසා ම, සිදුවීම් විස්තර කිරීමේ අපහසු කාරිය මට බොහොම පහසු වුණා. නාටකීය විලාසයකින් මම ලියන්න පුරුදු වෙන්න ඇත්තේ තිරනාටක රචනයේ තිබ්බ ආභාෂය නිසා වෙන්න ඇති. ඒක මට ලොකු වාසියකුත් වුණා. මං කැමතියි බොහොම කුතුහලාත්මක නවකතා ලියන්න. චරිත අනතුරේ හෙලන්න. ඔවුන් අති භයානක තත්ත්ව වෙත තල්ලු කරලා අන්තිම මොහොතේ බේරා ගන්න. නවකතාව අවසානය වෙනකන්ම පාඨකයා කුතුහලයෙන් පීඩිත කිරීමට මං කැමැතියි. ඒක තමයි මගේ අති විශේෂ වට්ටෝරුව.

නවකතා ලිවීමේදී මම අනුගමනය කරන ශිල්ප ක්‍රම ටිකක් වෙනස්. කිසි ම වෙලාවක මම කතා වස්තුවක් ඔස්සේ මගේ ලිවීම ගොඩනංවන්නෙ නැහැ. මගේ ලිවීම මුළුමනින්ම රදා පවතින්නේ චරිත මත. එක චරිතයකට ජීවය පිඹලා ඒ චරිතයට තවත් චරිතයක් එක්ක සංවාදයේ යෙදෙන්න පොලඹවලා, ඊට පස්සෙ සිද්ද වෙන සිද්ධි දාමයයි මම ලියන්නේ. හරියටම කිව්වොත් නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සේ පාඨකයා තරමටම මමත් දන්නෙ නෑ ඊළඟට මොකද වෙන්නෙ කියලා. ඊළඟට සිද්ධ වෙන දේ කතාව ලිවීමෙනුයි මම හොයා ගන්නේ. නවකතාවක පළමු වැනි ක‍ටු සටහන ලියලා ඉවර වුණාම මම ආයෙත් කතාවෙ මුලට ගිහිල්ලා මුළු කතාවම නැවත ලියන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ කතාව තව දුරටත් සරසනවා. සංස්කරණය කරනවා. හැම නවකතාවක්ම නැවත ලියන්න අවමයෙන් අවුරුද්දක්වත් යනවා. නැවත ලිවීමෙන් පස්සේ තමයි මගේ ප්‍රකාශකයා පවා නවකතාවේ සැකිල්ල දකින්නේ.

ඒ වගේම මගේ නවකතාවල ඉන්න අතොරක් චරිත එක්ක බොහොම සංවේදී සම්බන්ධකමුත් මම හදා ගන්නවා. ඉඳහිටලා මගේ බිරිය ඇලෙක්සැන්ඩ්‍රා මගේ ලියන කාමරේට ඇවිල්ලා අහනවා 'ඇයි ඔයා අඬන්නෙ?'කියලා. ඈ එහෙම ඇහුවහමයි මම සිහි එලවගන්නේ. නවකතාවෙ ඉන්න කුඩා පිරිමි දරුවා මියයන මොහොතයි ඒ වෙලාවෙ මම ලියමින් උන්නේ. ඔහුගේ මරණය වෙනුවෙනුයි මම කඳුළු සලමින් ඉඳලා තිබුණේ. කොහොමත් කුඩා කාලෙ ඉඳන්ම මගේ ජීවිතේ දුකෙන් බර වෙලයි තිබුණේ. නිතර දුකට පත්වෙන ගතියක් ළමා කාලෙ ඉඳන් ම මගේ චරිතය ඇතුළේ හැංගිලා තිබ්බා. කොටින්ම කියනවා නම් වයස 17දි මට සියදිවි නසාගන්න ඕන වුණා. මම නිතරම මානසික අවපාතෙකින් උන්නේ. ජීවිතයේ මීට වඩා කරන්න දෙයක් නැති බවින් මම පීඩා වින්ඳා.

මට ලියන්න ආභාෂය ලැබුණු ලේඛකයෝ ලියපු දේ අද වෙනකොට බහුතරයක් කියවන්නෙ නැතුවත් ඇති. ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ‍තෝම්ස් වොල්ෆ්, ජේම්ස් තර්බර්, බූත් ටාර්කින්ටන් ඒ අතරේ ප්‍රධානයි. මේ අය ලියපු පොත් දැන් පුස්තකාලවල කියවන්න තියෙනවද කියලා මම දන්නෙ නැහැ. ඒ වගේම චාර්ල්ස් ඩිකන්ස්වත් අමතක කරන්නම බැහැ. ඔහු තමයි යුගයේ දක්ෂයා.

මම කියවන කොට මගේ ලේකම් යතුරු ලියනය කරනවා. සාමාන්‍යයෙන් දවසකට පි‍ටු 50ක්වත් මගේ ලේකම්වරියගේ උදව්වෙන් ලියාගන්න උත්සාහ කරනවා. ඈ උසාවි වාර්තාකාරිණියක්. ඒ නිසා ම ඈ දන්නවා ඉක්මනින් ලිවීමේ වැදගත්කම. නවකතාවක් ලියන්න පටන් ගත්තහම අවුරුද්දක් හෝ දෙකක් සම්පූර්ණයෙන් ම ඒ වෙනුවෙන් මම කැප කරනවා. සමහර වෙලාවට ඒක අවුරුද්දක් ඇතුළත නවකතා දෙකක් හෝ තුනකුත් ලියපු අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් නවකතාවක් හොඳම තත්ත්වයට ආව බවට සෑහීමකට පත් වෙනකන්ම මම නැවත ලියනවා. එහෙම නොකළොත්, මගේ පාඨකයන්ට වංචා කළා වගේ හැඟීමකින් මා නොසන්සුන් වෙනවා.

මම තරුණ කාලේ කෙටිකතා ලිව්වා. මේ කෙටිකතා පළ කරන්න නොයෙකුත් සඟරා, පුවත්පත් ආදියට යවලා දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණා. ඒත් මම අධෛර්ය වුණේවත්, ලිවීම අතහැරියේවත් නැහැ. මම දැනගෙන හිටියා ලිවීම මට අත් හරින්න බැරි තරමින් වටින බව. හරි කාලය ළඟා වෙනකන්ම මම ලිව්වා. නවක ලේඛකයන්ට දෙන්න තියෙන එක උපදෙසක් තමයි, තමන් ලේඛකයෙක් වෙන්න ඉන්න බව දන්නවා නම්, කිසි ම දවසක ඒ සිතුවිල්ල වෙනස් කරන්න, තමන් අධෛර්යවත් කරන්න කිසි කෙනකුට ඉඩක් තියන්න එපා. ඔබව නැවැත්වීමට හැකි ඔබටම පමණයි.

ලේඛකයෙක් වීමේ සිහිනය ඔබේ ඇතුළාන්තයේ තියෙනවා නම් කළ යුතු පළමු දේ, නොනවත්වාම ලිවීමයි. සෙසු පුද්ගලයන් ලියපු දේ කියවන්නත් අමතක කරන්නෙපා. විශේෂයෙන් ම වඩා ප්‍රකට, සාර්ථක ලේඛකයෝ ලියන දේ කියවමින් ඉගෙනගන්න. ඔවුන් ඒ විෂයෙහි ප්‍රවීණයන් වෙලා ඇත්තේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒක නවක ලේඛකයන්ට හරි ම වැදගත් අභ්‍යාසයක්.

නවකතාවක චරිත උපද්දවන කොට, ඔබේ පරිකල්පනය මෙහෙයවන අතරෙම ඊට අදාළ පසුබිමත් විමසන්න මතක තියාගන්න. චරිතයක් ඉපැද්දීම එතරම් පහසු නැහැ. ඒ චරිතය නවකතාව පුරාම ඇවිදින්න ගත්තහම, ඔබට බොහොම සූක්ෂ්මව ඒ චරිතයත් එක්ක දුර ගමන් යන්න සිද්ධ වෙනවා. ඔබ අකමැති බොහෝ දේ ඔබ විසින් නිමවපු චරිත කරනවා. ඒ හැම දේටම සූදානමින් සිටීමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව සබුද්ධිකව තීරණ ගැනීමේ ශක්තියත් ඔබ සතු විය යුතුයි. නවකතා ලියන්න හෝ තිරපිටපත් ලියන්න අදහස් එන්නෙ කොහෙන්ද කියලා බොහෝ දෙනෙන් නිතරම මගෙන් ප්‍රශ්න කරනවා. ලියන්න අදහස් කොහෙන් එනවද කියලා නිශ්චිතවම කියන්න ඇත්තටම මම දන්නෙ නැහැ.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

https://cnn.it/2nUyCt4 
https://cbsn.ws/2n1YQd7 
http://bit.ly/2ncbMgq 

නිරහංකාර සන්ධ්‍යා ගැන පවසන ‘සිනමාවේ නොමියෙන දෑස’

$
0
0
ඔක්‌ 2, 2019 01:00

වසර හතළිස් පහකට ආසන්න කාලයක් සිනමාව හා සක්‍රීයව සම්බන්ධ වී සිටින, අත්දැකීම් බහුල, දක්ෂ සිනමා ලේඛකයකු ලෙස සුනිල් ලීනස් හැඳින්විය හැකි ය. සිනමා ලෝලී සාමාන්‍ය රසිකයා වෙනුවෙන් කැප වූ ඔහු, මෙරට සිනමාවේ එවකට ආකර්ෂණීය ම, ජනප්‍රිය ම හා දක්ෂත ම නිළියක වූ සන්ධ්‍යා කුමාරිගේ ජීවිත කථාව අන්තර්ගත කරමින්, ‘සිනමාවේ නොමියෙන දෑස‘ නමැති කෘතිය සම්පාදනය කර ඇත. එම කෘතිය පිළිබඳ කළ සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකසිනි.‘‘

සන්ධ්‍යා කුමාරිගේ ඇස් දෙක හරිම ලස්සනයි. සිංහල සිනමාවේ අදටත් මම දැකලා නැහැ ඇයගේ ඇස් දෙක තරම් ලස්සන ඇස් දෙකක්. ඇයගේ මුහුණෙත් අමුතුම ලස්සනක් තියනවා. ඒ හින්දා තමයි මම මේ කෘතියට සිනමාවේ නොමියන දෑස කියලා නම තිබ්බේ.

සන්ධ්‍යා කුමාරි‍ පිළිබඳ කෘතියක් මෙතෙක් කවුරුත් සම්පාදනය කරලා නැහැ. ඇය ජීවත් වෙලා ඉන්න කාලයේදී ආරියරත්න කහවිට මහත්මයා මට කෘතියක් කරන්න කියලා කිව්වා. සන්ධ්‍යා කුමාරිත් ජීවත් වෙලා ඉන්න කාලේ, ඇයගේ විස්තර බොහෝමයක් මා සමඟ ප්‍රකාශ කර තිබුණා. සන්ධ්‍යා කුමාරි සහ ආරියරත්න කහවිට යන දෙදෙනාම 25 වැනි ගුණ සැමරුම මේ වසරේදී තමයි යෙදී තිබුණෙ. ඒ වාගේම ඔවුන් දෙපළ ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි දක්ෂයන් දෙන්නෙක්. මම මේ කෘතිය සම්පාදනය කළේ මේ සියලු කාරණා සලකමිනුයි.“ සිනමා ලේඛක සුනිල් ලීනස් එසේ පවසයි.

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ නවක නිළියන්ට, සන්ධ්‍යා කුමාරිගේ ජීවිත කථාවෙන් ගත හැකි චරිතාදර්ශ, මේ කෘතියෙහි ඔහු දක්වා ඇත. 60 දශකයේ වැඩි යෙන් ම ආදායම් ඉපැයූ, නියමාකාරයේ වෘත්තීමය නිළියක් ලෙස ඇය, ඒ කා‍ලයේ කැපවීමෙන් වැඩ කළ බව ඔහු පවසයි.

“නිරහංකාරකම ඇය තුළ නිරන්තරයෙන් තිබුණා. ඇය පිළිබඳ පුවත්පතක ලිපියක් පළ කළහම, ඒ ලිපිය ලිව්ව පුද්ගලයාට කථා කරලා ස්තූති කිරීම ඇයගේ පුරුද්දක්. කොතැනක දැක්කත් කථා බහ කරන ඇය තුළ, ආඩම්බරකම ගෑවිලාවත් තිබුණේ නැහැ.

ආඩම්බරකමක් නැතුව, දැක්ක තැන කථා කරලා, සෑම එක්කෙනෙක් එක්කම සහයෝගයෙන් වැඩ කිරීමේ ගුණාංගය ඇය සතුව තිබුණා . වර්තමානයේ නිළියන් ඕන තරම් ඉන්නවා. අද බලපු නිළිය නෙමෙයි හෙට ඉන්නේ. ඉස්සර ඒ වගේ නෙමෙයි. නිළියක් සොයා ගන්න හරි ම අමාරුයි. ඒත් හිටපු නිළියන් සුළුතරය ඉතාමත් දක්ෂයි වගේ ම නිහතමානියි. 

තිරගත වූ චිත්‍රපට පිළිබඳ කතා සාරාංශ හා කාර්මික තොරතුරු අන්තර්ගත කරමින්, "සිංහල සිනමාව "කෘති සම්පාදනය කරන විටදී, මට නිළියන් හමු වී ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවලදී ඇතැම් නිළියන් මට මුණ ගැසෙන්න බැරි වුණා. සන්ධ්‍යා කුමාරි වගේ ආඩම්බරකමක් නැතුව, දැක්ක තැන කථා කරලා, සෑම එක්කෙනෙක් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න හැමෝටම බෑ. අදටත් සන්ධ්‍යා කුමාරිගේ සිනමා රසිකයන් බොහෝ දෙනෙක් ඇය පිළිබඳ කථා කරනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වැඩිමහල් අය. කළුතර ප්‍රදේශයේ සන්ධ්‍යා කුමාරිගේ එක් රසිකයෙක් ඇය රඟපාපු චිත්‍රපටවල ගීත එකතුවක් මට ගෙනවිත් දුන්නා. මමත් ඇයගේ රසිකයන්ට මට හැකි ආකාරයට මගේ ළඟ තිබෙන චිත්‍රපටවල ගීත සහ දර්ශන ලබා දෙනවා.

මම ලබන වසර වනවිට "ලාංකික සිනමාවේ සුපිරි තරු"නමැති කෘතිය සම්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මම අසනීපව සිටිද්දි, රොෂාන් වෙදගමගේ මා බලන්න ආවා. සන්ධ්‍යා කුමාරිගේ ජීවිත කථාව ඇතුළත් කරලා අපි ග්‍රන්ථයක් කරමු කියලා ඔහු පැවසුවා. ‘විජය කුමාරතුංග ( සිනමාව සහ දේශපාලනය )‘ කියන මම කලින් කළ කෘතිය ඔහු කියවලා තිබුණා. ඔහු නිසා තමයි මට මේ කෘතිය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එළි දක්වන්න අවස්ථාව ලැබුණේ. මම ඔහුට විශේෂයෙන් ස්තූති කරන්න අවශ්‍යයි. මම මෙතෙක් ලියූ කෘතිවලින් හොඳ ම කෘතිය මෙය කියලා මට කියන්න පුළුවන්.“ ලේඛකයා අවසන තමා අතින් බිහි වූ නිර්මාණ පිළිබඳ එලෙස පැවසුවා ය.

සටහන- මදාරා මුදලිගේ 
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

අපරාධ කතා යළි කරළියට!

$
0
0
ඔක්‌ 2, 2019 01:00
රන්ජන් අමරරත්න

ඉන්දියාවේ ආධුනික පත්‍රකලාවේදියෙක් ප්‍රවෘත්ති යනු කුමක්දැ’යි සිය ගුරුවරයාගෙන් විමසා සිටියේ ය. ගුරුවරයා ගත්කටටම කියා සිටියේ අපරාධ අයිෂේ! අපරාධ! යන්න ය. අපරාධ කියැවීමට ඇති ආකර්ෂණය වෙනත් කිසිදු විෂයයකට නැත. නවකතාවට වුව පොදු ලක්ෂණයක් ලෙස එය සැලැකිය හැකි ය.

මංජුල සේනාරත්න මහතාගේ “12 -12 -12” නවකතාව රහස් පරීක්ෂක කතා ගණයට අයත් ප්‍රබන්ධයෙකි. අපරාධ කතා, අබිරහස් කතා, අද්භූත කතා, රහස් පරීක්ෂක කතා යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රබන්ධ විශේෂයන්හි පොදු ලක්ෂණ කිහිපයක් පවතී. කතාවේ වේගවත් ගලායෑම, කිසියම් අපරාධයක් හෝ විශේෂ සිද්ධියක් හෝ හෙළිදරව් කිරීම, සිද්ධි තත්වාකාරයෙන් නිරූපණය කිරීම, සරල භාෂාව ඒ අතර ප්‍රධාන වෙයි. මංජුල මහතාගේ ප්‍රබන්ධය තුළ ද එම ලක්ෂණ නොඅඩුව දැකිය හැකි ය.

රහස් පරීක්ෂක කතාවලට සිංහල සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමිව තිබිණි. එය සිංහල පාඨක සමාජය ශීඝ්‍රයෙන් පුළුල් කළ අතර, පොත් අලෙවිය ඉහළ තලයකට ගෙන ගියේ ය. එහෙත් හැත්තෑව - අසූව දසකවලින් පසුව රහස් පරීක්ෂක කතා සම්ප්‍රදාය සිංහල සාහිත්‍යයෙන් අතුරුදන් විය. සිංහල පාඨක සමාජය සංකෝචනය වීමටත්, පොත් අලෙවිය අඩුවීමටත් හේතු සාධකයක් ලෙස එය පවතී. අද වන විට රහස් පරීක්ෂක කතා සිංහලෙන් පළවන්නේ නැති තරම් ය. එය බලවත් පාඩුවකි. මෙබඳු පසුබිමක් යටතේ යළිත් රහස් පරීක්ෂක කතාවක් සිංහලෙන් පළවීම අතිශය වැදගත් ය.

මේ කතාවට පාදකවන්නේ සත්‍ය සිදුවීමකි. එය සමාජය කම්පන යටපත් කරන බලවත් අපරාධයක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. අපරාධ සිද්ධිය පිළිබඳ යම් කියැවීමක් සිංහල සමාජය තුළ ද තිබිණි. ඊට හේතුව ප්‍රංශයේ - පැරිස් නුවරදී සිදුවන අපරාධයට සිංහල පවුලක් ගොදුරුවීම ය. අපරාධය පිළිබඳ යම් හෙළිදරව්වක් සිංහලෙන් ද පළ වී තිබිණි. කතාව වඩාත් ප්‍රබල තැනකට පත්වන්නේ ද, පාඨක ආකර්ෂණය ඒ කෙරෙහි දැඩි ලෙස යොමුවන්නේ ද හේතු දෙකක් නිසා ය. පළමු හේතුව නම්; පැරිස් පොලීසිය අපරාධකරුවා පසුපස හඹායෑම ය. දෙවන හේතුව නම්; අන්තර්ජාතික වශයෙන් ප්‍රකට මිනීමරුවකු අපරාධය සිදුකර තිබීම ය.

මංජුල සේනාරත්න මහතා රහස් පරීක්ෂක කතාවකට සරිලන උපමාන ස්පර්ශ කරන්නේ වුව, ඉන් ඔබ්බට ගොස් කතාවට සමාජමය වටිනාකමක් ලබාදීමට ද, එහි කලාත්මක හැඩය ඔපමට්ටම් කිරීමට ද උත්සුක වෙයි. එහි ලා කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ.

I රහස් පරීක්ෂක කතාවට නව මානයක් ලබාදීම

II විදේශගත ශ්‍රී ලාංකිකයන් උදෙසා සමාජ - කතිකාවක් ඇති කිරීම.

III රහස් පරීක්ෂක කතාවේ ආකෘතිය වෙනස් කිරීම

IV අපරාධ සිද්ධිය පිළිබඳ පුළුල් ගවේෂණයක නිරතවීම.

මේ ගණයට අයත් ප්‍රබන්ධ අංශ කිහිපයකින්ම ගර්හාවටත්, විවේචනයටත් ලක් විය. කාමය හා ප්‍රචණ්ඩත්වය හුවා දැක්වීම, කිසිදු සමාජ - සාධනීය සාධකයක් එම කතාවලින් උකහාගත නොහැකි වීම හා සාහිත්‍යමය වටිනාකමක් නොවීමත්, උක්ත නවකතා සඳහා එල්ල වී ඇති චෝදනා අතර ප්‍රමුඛ වෙයි. කෙනකුගේ මතයට අනුව මේ ප්‍රබන්ධ ඔස්සේ පාඨකයා උසස් වින්දනයෙන් ඈත් කරයි. ඒ හැරෙන්නට මිනිසා අපරාධ - ක්‍රියා සඳහා පොලඹවයි. එහෙත් යුරෝපීය විචාරයේ දී අපරාධ නවකතා අගය කළ අවස්ථා තිබේ. අමෙරිකාව, ජපානය වැනි රටවල ප්‍රකාශන සමාගම් හා සාහිත්‍ය සංවිධාන හොඳ ම අපරාධ කතාවලට සම්මාන ලබා දෙන ප්‍රතිපත්තියක් ද අනුගමනය කරයි.

මංජුල සේනාරත්න මහතාගේ නවකතාව ගතහොත් ඉහත චෝදනාවලින් නිදහස් කළ හැකි ය. කතුවරයා ඉතා සංයමයකින් යුතුව සිය කතාව ගොතන අතර, උද්වේගකර අවස්ථා එහි නැත. පොදුවේ ගත් කල මනුෂ්‍යත්වය පිළිබඳ පුළුල් වැටහීමකින් යුතුව නවකතාව රචනා කර ඇත. අපරාධය කෙරෙහි සියුම් කම්පනයක් පාඨක සිත්හි මතුවන අතර, මිනීමරුවා අල්ලා ගැනීමේ උනන්දුවක් ද, ඔහුට නිසි දඬුවම් ලැබිය යුතු ය යන හැඟීමක් ද කෘතිය අපට ඇති කරයි. කතුවරයා සමාජ - විවරණ සහිත නවකතාවක ආකාරයෙන් මේ කෘතිය රචනා කර තිබේ. එය විශේෂයකි.

ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් විදේශගතව ජීවත් වෙති. මැද පෙරදිග රටවල්, යුරෝපීය රටවල් ලෙසින් එය මූලික වර්ගීකරණයකට යොමුකළ හැකි ය. මේ හැරෙන්නට ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව හා ලතින් අමෙරිකානු රටවල ද තව පිරිසක් ජීවත් වෙති. කුමන ආකාරයකින් නිරික්ෂණය කළ ද, ඔවුන්ගේ ජීවිත ආගන්තුක වෙයි. සාංස්කෘතික අර්බුද, භාෂා ප්‍රශ්න පමණක් නොව; නෛතික ආරවුල් ද ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරන බව පෙනෙයි. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ අතර අභ්‍යන්තරික ගැටලු ද පවතී. රහස් පරීක්ෂක කතාවක් ගොතන අතර එම ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්නට ද කතුවරයා සමත් වී ඇත.

නිදහස් ජීවිතයක් පතා ප්‍රංශයේ - පැරිස් නුවරට යන රෝහිතට හා කල්පනාට එහි දී සිය අපේක්ෂා ඉටු කර ගැනීමට ඉඩ - ප්‍රස්ථා ලැබෙන්නේ නැත. පවුලේ ගැටලු සේ ම, සාංස්කෘතික ගැටලු ද ඔවුන්ගේ ජීවිත අවුල් කරන බව පෙනෙයි. මේ තත්ත්වයට විදේශගත වන බොහෝ දෙනා මුහුණ දෙති. අමෙරිකාවේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ හා ප්‍රංශයේ ජීවිත ආශ්චර්යයෙන් පිරී ඇතැ’යි මතයක් ඇති’මුත්, එහි ඇත්ත තත්ත්වය එය නොවේ. රෝහිතට ලැබෙන්නේ රාත්‍රී කාලයේ සේවය කළ යුතු රැකියාවකි. කල්පනාට දරු දෙදෙනකුගේ වැඩ නිමාකොට පෞද්ගලික ෆාමසියක රැකියාවක් කිරීමට සිදු වී ඇත. රාත්‍රිය ගෙවීයන්නේ අඹු - සැමියන්ගේ සම්මුඛ වීමකින් තොරව ය. මෙහි බලපෑම ද හේතු කොට රෝහිත අනියම් සබඳතාවක පැටලෙයි.

“ඔයාට බැරිද දවල් කාලයේ රස්සාවක් හොයාගන්න?” ඇය ඇසුවා ය.

“පුළුවන්... ඇයි....?”

“මං කැමැතියි ඔයා රෑට ගෙදර ඉන්නවනං, දැන් අවුරුදු අටක ඉඳන් ඔයා රෑට වැඩ. අනෙක් මිනිස්සු වැඩ ඇරිලා ගෙදර එනකොට ඔයා වැඩට යනවා. මේ ජීවිතේ මට දැන් ඇතිවෙලා”

(පිටුව <16)

‍රෝහිත හා කල්පනා අතර සිදුවන ඉහත සංවාදය ඔවුන්ගේ පවුල් සංස්ථාවේ ගැටලු පිළිබඳ විවරණයකින් සමන්විත ය. සංවාදය අවසන් වන්නේ පඩිය ගැන හිතන්න එපා! ජීවිතය ගැන හිතන්න යන කල්පනාගේ උපදේශනයකින් ය. නිදහස් හා සමෘද්ධිමත් ජීවිතයක් අපේක්ෂාවෙන් විදේශ ගතවන බොහෝ දෙනෙක් මේ ගැටලුවට මුහුණ දෙති. එහෙත් ඒ පිළිබඳ විවෘත සංවාදයක් නැත. කතුවරයා ඉඟි කරන්නේ එබඳු සංවාදයක් තිබීම වැදගත් බවට ය.

රහස් පරීක්ෂක කතාවක් විකාශය වන සාම්ප්‍රදායික විලාසය වන්නේ අපරාධය නිරූපණය, අපරාධකරුවා හඹායෑම, සාක්ෂි ගොනුවීම, අපරාධකරුවා නීතියේ රැහැනට කොටුකර ගැනීම යනා දී ක්‍රමානුකූල ගැටලු නිරාකරණයක් හා හෙළිදරව්වක් ගෙන ඒම ය. එහි තව විශේෂයක් වන්නේ, ක්‍රියාදාම අවස්ථා නිරූපණයක් පැවතීම ය. බැලූ - බැල්මට එය සරල ආකෘතියක් බව වටහාගත හැකි ය. එහෙත් මංජුල සේනාරත්න මහතාගේ ආකෘතිය සංකීර්ණ ය. කතාවට ප්‍රවේශයක් ඇති අතර ඉන් නිරූපණය වන්නේ රෝහිතගේ හා කල්පනාගේ ශ්‍රී ලාංකේය පවුල් පසුබිම ය. කෙටි පරිච්ඡේදයකින් ප්‍රවේශය නිමාවට පත්වන’මුත් එම පසුබිම් නිරූපණය කතාවට පුළුල් අර්ථයක් ගෙන එයි.

කතාවෙන් නිරූපණය වන්නේ අපරාධකාරයා හඹායෑම හා සාක්ෂි ගොනුකිරීම පමණක් ම නොවේ. අපරාධය පිළිබඳ විවිධ දෘෂ්ටි - කෝණවලින් බැලීමට කතුවරයා උත්සුක වෙයි. අපරාධය සමාජයට කර ඇති බලපෑම විවරණය කිරීමට ද, ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දක්වන ප්‍රතිචාර නිරූපණය කිරීමට ද කතුවරයා උත්සුක වෙයි. එය අපරාධ නවකතාවල දක්නට නො ලැබෙන ලක්ෂණයකි. කතුවරයා වරින් - වර කතාවේ පසුබිම ද, අවස්ථා පෙළ ගැස්ම ද වෙනස් කරයි. පැරිස් නුවර සිට ශ්‍රී ලංකාවේ යක්කලට එන කතුවරයා නැවත ස්පාඤ්ඤයට යයි. අවසන් ලෙස මිනීමරුවාගේ දෑතට වලංගු වැටෙන්නේ ස්පාඤ්ඤයේ මාලාගා නගරයේ හෝටලයක අවන්හල තුළදී ය. කතුවරයා සත්‍ය සිද්ධියක් නිරූපණය කරන්නේ වුව ඊට විස්මය හා රමණීයත්වය එකතු කරයි. එය සාර්ථක ප්‍රබන්ධකරුවකුගේ ලක්ෂණයකි.

“12 -12-12” නවකතාව රචනා කිරීම සඳහා සැලැකිය යුතු පරිශ්‍රමයක් දරා ඇති බව පෙනෙයි. ප්‍රංශ නීතිය, පැරිස් පොලීසියේ ක්‍රියාකාරකම්, ඔවුන්ගේ ප්‍රතිපත්ති හා හැසිරීම් පමණක් නොව; ආයතන හා ස්ථානවල යථා - ස්වරූපය නිරූපණය කිරීම සඳහාත් දීර්ඝ හා සූක්ෂ්ම පර්යේෂණයක නිරත වී ඇති බව පෙනෙයි. කතුවරයා තම නිරීක්ෂණ ගැන වෙන ම සටහනක් ද තබා ඇත. එය පාඨක විශ්වාසය දිනා ගැනීමට සමත් ය. සිංහල ස්වතන්ත්‍ර නවකතා බොහොමයක ඇති ප්‍රධාන දුර්වලතාවක් වන්නේ, ඒවා බොහෝවිට කතුවරුන්ගේ හිතලු පමණක් වීම ය. සාර්ථක නවකතාවක් යනු දීර්ඝ ගවේෂණයක ප්‍රතිඵලයක් බව විචාරක මතය යි. විශ්ව සම්භාවනාවට පාත්‍රවූ ප්‍රබන්ධ දෙස බලන විට ද එය තහවුරු වෙයි.

මංජුල මහතාගේ කතා කලාව තුළ පවත්නා තවත් විශේෂතා දෙකක් පිළිබඳ සඳහන් කළ යුතු ය.

I චරිත නිරූපණය

II සරල භාෂාව

නූතන විචාරක මතයට අනුව ප්‍රබන්ධ කථාවේ කැපී පෙනෙන ලක්ෂණ දෙක වන්නේ ද චරිත නිරූපණය හා නිර්මාණාත්මක ‍භාෂාව යි. කතුවරයා එය හොඳින් වටහාගෙන ඇති බවක් පෙනෙයි.

සේනාරත්න මහතාගේ මේ ප්‍රබන්ධය ඔස්සේ මතුවන ප්‍රධාන චරිත දෙකක් තිබේ. පළමු චරිතය වන්නේ රහස් පොලිස් පරීක්ෂකවරියක වන මැඩම් නතාලි මුණියේ ය. අනෙක් චරිතය වන්නේ පැරිස් පොලිසියේ ප්‍රධානයා වන කපිතාන් ගැරෝන් ය. මේ චරිත දෙක වීර චරිත දෙකක් ලෙස හෝ පරමාදර්ශී චරිත දෙකක් ලෙස හෝ හැඳින්විය හැකි ය. මැඩම් මුණියේ අපරාධකරුවා හඹා යන ආකාරය,ඇය අපරාධය විග්‍රහ කරගන්නා ආකාරය ඉතා සුක්ෂ්ම ය. ඇයගේ ශූර බුද්ධිය ඔස්සේ අපූරු ගැහැනියක් චිත්‍රණය වෙයි.

මැඩම් මුණියේගේ මානව සම්බන්ධතා හා ඇගේ පරිපාලන දක්ෂතා පාඨකයාගේ ගෞරවයට ලක්වෙයි. ඒ හැර ඇය සුන්දර එහෙත් අභීත ගැහැනියකි. මේ ගැහැනියට ආදරය කරන්නට පාඨකයා පෙලඹෙයි. කපිතාන් ගැරෝන් යනු නීතියට හිස නමන එහෙත් දේශපාලකයන්ට හිස නොනමන සෘජු ප්‍රතිපත්ති සහිත අවංක නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමහරකු නීතිය නමන්නට වෑයම් කරන අතර පැරිස් පොලිස් ලොක්කෝ නීතිය තවත් තහවුරු කරති. කපිතාන් ගැරෝන් වැනි නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා පොලිසියට බොහෝ දේවල් උගත හැකි ය.

මංජුල සේනාරත්න මහතාගේ භාෂාව හා ශෛලිය නවකතාවකට උචිත මටසිලිටි ආරක් ගනී.

ඔහු ආටෝප- සාටෝප නැති සරල - සුගම භාෂාවක් හා ආකර්ෂණීය ශෛලියක් භාවිත කරයි.

“අමෙරිකානු ගැහැනිය තම ජීවිතයේ පරම සත්‍ය ප්‍රකාශ කරනා විට මර්වාන් පරම අසත්‍ය කියා සිටියේ ය. ඔවුන් දෙදෙනාගේ ම සිනා හඬින් වරෙක අවන්හල පිරිණි. අවට සිටියෝ පවා ඔවුන් දෙස හැරී බැලූ හ. මේ අමෙරිකානු රූමතිය අද රාත්‍රී යහනට නම් කියාපු වස්තුවකි. මේ සිතිවිල්ල මනසට ආ විගසම මර්වාන් ඇගේ සුරත පිරිමදින්නට පටන් ගත්තේ ය. ඇය ඔහුට අනුබල දෙන්නී වමතින් ඔහුගේ වත පිරිමැද්දේ ය.”

(පිටුව <399)

මතුපිටින් පෙනෙන්නේ අසිරිමත් - ප්‍රේමණීය දර්ශන පෙළකි. එහෙත් යථාව නම් තවත් විනාඩි කිහිපයකින් අපරාධකාරයාගේ දෑතට මාංචු වැටීම ය. කතුවරයා එම අවස්ථාව අපූරුවට නිර්මාණය කරයි. කෘතියේ ඇතැම් පරිච්ඡේදවල සුළු වියරණ දොස් පවතී. සංස්කරණයක දී ඒවා පහසුවෙන් ම නිවැරැදි කරගත හැකි ය.

කතුවරයා නිමවා ඇත්තේ අසීරු කාර්යයකි. මුළු සිදුවීම් මාලාවට ම ගතවන්නේ දින කිහිපයක් පමණි. මේ දින කිහිපය පාදක කොට ජීවිතය පිළිබඳ අලුත් කියැවීමක් මතු කිරීමට කතුවරයා උත්සුක වෙයි. නවකතාව අවසන් කර ඇත්තේ පාඨකයාට යමක් සිතන්නට ඉතිරි කරමින් ය. සමසෙට් මෝම් වැනි රචකයන්ගේ කතා කලාව අප සිහියට නැගේ.

ජනාධිපතිවරණයට ලිට්මස් පරීක්ෂණයක්

$
0
0
ඔක්‌ 2, 2019 01:00

රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් කතා කරන එහෙත් ප්‍රායෝගික නොවන පිරිස් හඳුනා ගැනීමට මේ කාල තුළ ඉඩ ප්‍රස්ථාව නිර්මාණය වී තිබේ. දේශපාලකයන් සහ පක්ෂ අතර ගැටුම් ඇති කර නොගනිමින් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සේවය ලබා දීමට උත්සහා කරන පරමාධිපත්‍ය අගයන නායකයකු පත් කර ගැනීම සිදුවිය යුතුය.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ජනතාව රටේ අනාගතය පිළිබඳ තීරණ ගතයුත්තේ ඉතාම වගකීම් සහගතවය. එම වගකීම වත්මන් ආණ්ඩුව පලවා හැරීම හෝ වෙනත් පක්ෂයක් බලයට ගෙන ඒමට උත්සාහ දැරීමද නොවේ. වගකීම වන්නේ අභියෝග හමුවේ සෘජුව මුහුණදිය හැකි, ක්‍රියාත්මක විය හැකි පැහැදිලි සැලසුමක් සහිත විනිවිදභාවයකින් යුතු මහත්මා දේශපාලනයක් සමාජගත කිරීමයි. ඒ සඳහා ඉදිරි මැතිවරණ රැල්ල පමණක් ඉලක්ක කර ගැනීම සාර්ථක කටයුත්තක් නොවේ.

ශ්‍රී ලංකා‍ව වැනි බහුවාර්ගික රටක මහා ජාතිය හා සමානව සුළු ජාතිය කෙරෙහි ද අවධානය යොමු නොකිරීම, එදා සිට අද දක්වා දේශපාලනික නායකයන් මුල සිටම වරද්දවා ගත් තැනක් ලෙස සඳහන් කළ හැකිය. පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ආරම්භක අවදියේදී වාර්ගික ජාතිකත්වය වෙනුවට වර්ග වශයෙන් බෙදීම, රට තුළ ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වීමට සෘජුව බලපෑම් කළේය. එම වරදට අතීතයේ සිට වර්තමානය දක්වා පත් වූ නායකයන් වගකිව යුතුය. සිවිල් ජාතිකත්වයකින් තොරව බහුවාර්ගික සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් නොපවතින බව රටේ සියල්ලන්ම අවබෝධ කරගත යුතුය. මෙය යටත් විජිත සමයේදී මෙන්ම ඉන් පසුවද ජනතාව හුදු ප්‍රේක්ෂකයන් ලෙස ජීවත්වීමේ ආදීනවයකි.

වර්තමාන ලංකාවේ තරගකාරී පක්ෂ ක්‍රමය තුළ එක පක්ෂයක හෝ සන්ධානයකින් තවත් පක්ෂයකට හෝ සන්ධානයකට බලය මාරු කෙරුණු මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහයන් මෙන්ම මාධ්‍ය නිදහස ආදි සම්බන්ධයෙන් සලකා බලන විට ජනතා පරමාධිපත්‍යයට ගරු කරනවාද යන්න ගැටලු සහගතය. 

අපේක්ෂකයන් තේරීම

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉතාම ඈත අතීතය දක්වා කාල වකවානුව තුළ රටේ දේශපාලනය යහපත් වාතාවරණයක පැවති බවට දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. ඒ බව දේශීය මෙන්ම විදේශීය දේශපාලනඥයන්ගේ මත පිරික්සා බැලීමෙන් අවබෝධ කරගත හැකිය.

මැතිවරණයකදී මෙරට ඡන්දදායකයා තම පාලකයා තෝරා ගැනීමේ අයිතිය ගැන සිතා කටයුතු කරන ආකාරයක් දැකගත නොහැකිය. ඒ වෙනුවට ඇත්තේ පක්ෂවලට වුවමනා ලෙස අපේක්ෂකයකු පත්කර මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමය. අතීතයේ මෙන්ම වර්තමානයේදීද මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ රට පිළිබඳව අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුවය. මේ බව පහුගිය ආණ්ඩුවල සහ පවතින ආණ්ඩුවල ක්‍රියාපටිපාටිය විමර්ශනය කිරීමේදී පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඥාති සබඳතා මත හෝ තම පක්ෂවලට වාසි සහගත වන ආකාරයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන පාලකයන් පත්කර ගැනීම ජනතාවට කරන අසාධාරණයකි.

රටක් වශයෙන් ජනතාව අපේක්ෂා කරන ප්‍රතිඵලය උදා වීමට නම් මැතිවරණ ක්‍රමයේ සාධනීය බවක් තිබිය යුතුය. එහෙත් සමස්ත මැතිවරණ ක්‍රියාවලිය තුළම සාධනීය බවක් දක්නට නොලැබේ. මෙම තත්ත්වය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මහජන ඉල්ලුමක් නොමැති පාලකයන් පත්වීමයි.

දේශපාලන ක්‍රියාදාමය තුළ යමකු බලය හා තානාන්තර ලබා ගැනීමට පමණක් කටයුතු කරන්නේ නම් එවැන්නකු නායකයකු වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් ද යන්න ජනතාවම තීරණය කළ යුතුය. 80 දශකය මුල් භාගයේදී දේශපාලනිකව පුපුරා යන තත්ත්වයක් නිර්මාණය කරමින් නිසි රැකියා අවස්ථා නැති තරුණ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගත්තේ බලය නැමැති සාධකය පමණක් සමාජය තුළ හැසිරවීම නිසාය. මෙරට තරුණ පිරිස් සන්නද්ධ මාවතකට, කැරලිකාරීත්වයට සහ ත්‍රස්තවාදයට යොමු කිරීමට මෙම සාධක බලපෑම් කළේය.

අධිකාරීවාදී නායකත්වය සමාජයෙන් මූලිනුපුටා දැමීමට නම් රටේ ජනතාව එකට එක්විය යුතුය. ජ‍ාතිය, කුලය, බලය සහ නිලය මුල්කර ගනිමින් පමණක් කටයුතු කිරීම සමස්ත පුරවැසියාගේම පරිහානියට හේතු විය.

ඡන්දදායක වගකීම

ඉදිරි ජනාධිපතිවරණයේ දී පත්වන කවර හෝ නායකයකුට ධුර කාලයෙන් පසු දෝෂාරෝපණය නොකිරීමට නම් සිය ධුර කාලය තුළ ඔහු ඵලදායි ක්‍රියාවලියකට යොමු කරවා ගත යුතුය. රටේ බුද්ධිමතුන්හට මේ පිළිබඳව විශාල වගකීමක් තිබේ. විය යුත්තේ දිවා රෑ සමාජ මාධ්‍යවල අපේක්ෂකයන්ට හා ඔවුන් වෙනුවෙන් බෙදුණු ජනයා විවේචනය කිරීම නොව අපේක්ෂකයන්ට මෙන්ම රටේ ජනතාවට මඟ පෙන්වීමය.

දේශපාලනික අස්ථාවරත්වය හමුවේ තමන් වැටී සිටින ප්‍රපාතයෙන් ගොඩගැනීමට තිබෙන පදනම් වැඩපිළිවෙළ කෙබෙඳුදැයි ජනාධිපති අපේක්ෂකයන්ගෙන් විමසීමට ජනතාවට අයිතියක් ඇත. ජාතික ආරක්ෂාවට, සංහිඳියාවට බාධාවක් නොවන අයුරින් හැසිරීම දේශපාලනඥයන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙති. එහිදී පුරවැසියා නරඹන්නෙකු නොවිය යුතුය. සාමාන්‍යයෙන් මෙතෙක් රට තුළ සිදු වූයේ ජනතාවට පක්ෂවලින් තෝරා දෙන අපේක්ෂකයන්ට ඡන්ද එකතුකර දී ජයග්‍රහණය කරවීමයි.

අපේක්ෂකයෝ මැතිවරණවලට පෙර ඉටු කළ හැකි මෙන්ම නොහැකි පොරොන්දුද ජනතාවට ඒ වෙනුවෙන් ලබා දුන්හ. මෙතෙක් පත් වූ පාලකයන් ජන සහාය ලබා ගෙන ඡන්දයෙන් ජයග්‍රහණය කළ පසු උක්ත ප්‍රශ්න මගහැර ගොස් ඇති බව කවුරුත් දන්නා කරුණකි. පාලකයන් එසේ නොකළ යුතුය යන සාකච්ඡාව ඇරඹීමට අද වඩාත් හොඳ අවස්ථාවක් උදා වී ඇත.

ඉදිරි මැතිවරණයේදී පක්ෂ - විපක්ෂ භේදයකින් තොරව සියලු අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවීමට කටයුතු සූදානම් කිරීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයකි. දේශපාලනය තුළින් ජනතා සේවයට පැමිණෙන බහුතරයක් අය ජයග්‍රහණය කිරීමෙන් පසු ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම්, ව්‍යාපාර කිරීමේ අරමුණු මූලික කරගනිමින් කටයුතු කරන අවස්ථා ඇත. මිනිසුන්ගේ ජීවිත හෝ අයිතිවාසිකම් පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් බලය කේන්ද්‍රගත කර ගැනීමට අපේක්ෂකයාට ඇති අපේක්ෂාව ජනතාව සවිඥානිකව තේරුම්ගත යුතුය. අන්තවාදය, වර්ගවාදය වැනි දෙයින් ජන ජීවිත පෝෂණය වූ සමාජයක වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සරල කටයුත්තක් නොවුණද ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම සමස්ත රටවැසියාට මෙන්ම බලයාන්ත්‍රණයට ද තිබේ.

ඉහත වැඩපිළිවෙළ හරහා දේශපාලන අපේක්ෂකයන්ගේ අනාගත සැලසුම්, න්‍යාය පත්‍ර අභියෝගයකට ලක් නොකරන අතර ඔහුට හෝ ඇයට සිය දේශපාලන ජීවිතය තුළ සිය පෞරුෂය ගොඩ නගා ගැනීමට එකම වේදිකාවක් මතදී අවස්ථාව සලසා දෙයි. අපේක්ෂකයන් සියලු දෙනාම එකම වේදිකාවක සිට මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් මත, යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ජනාධිපති අපේක්ෂකයන්ට මෙහිදී උදා වේ.

දෙවන පෙළ නායකත්වය

ඉහත අදහස වෙනුවෙන් රටේ දෙවන පෙළ නායකත්වයක් ගොඩ නැඟී ඇති ආකාරය දැකගත හැකිය. විද්වතුන්, කලාකරුවන් මෙන්ම විවිධ රැකියා ක්ෂේත්‍රයන්හි නියැළෙන පිරිස් ඊට එක් වී සිටිති. අපේක්ෂකයන් සමඟ මහජන ප්‍රශ්න විසඳීම වෙනුවෙන් සෘජුව ගිවිසුම්ගත වැඩපිළිවෙළකට යාම අවසාන අදියර වේ. මහජනයා හා අපේක්ෂකයන් අතර මහජන සේවා ඉටුකර ගැනීමෙහිලා අර්ථවත් සම්බන්ධීකරණයක් ගොඩනංවා ගැනීම ඒ තුළින් අපේක්ෂා කරන තවත් කාරණයකි.

සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ජනතාවට හා ජනතා සංවිධානවලට මානව අයිතිවාසිකම්, විධායක ජනාධිපති ක්‍රමය, ජාත්‍යන්තර ප්‍රශ්න, ව්‍යවස්ථා වෙනස, ස්වාධීන රාජ්‍ය සේවය, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් මෙන්ම වංචා දූෂණ රහිත රටක් ගොඩනඟා ගැනීමට ඉදිරි මැතිවරණ මහඟු අවස්ථාවකි. ආදායම හා වියදම ගලපාගත නොහැකි සමයක විශාල ලෙස පරිහානියකට ලක් වූ ආර්ථිකය නැවත ගොඩ නගා ගැනීමට මෙන්ම ආර්ථික සාර්ථකත්වය මතුකර ගන්නට ද මෙය හොඳ අවස්ථාවක් වේ.

ඕනෑම පුද්ගලයකුට දේශපාලකයකු වීමට හැකි වුවත් සැබෑ දේශපාලනඥයකු හමුවන්නේ කලාතුරකිනි. බොහෝ දේශපාලකයන් පුහුණු වී ඇත්තේ වැඩියෙන් කතා කිරීමටත් අඩුවෙන් වැඩ කිරීමටත්ය. ප්‍රජාතන්ත්‍රවාදයත්, සංහිඳියාවත් එකට එක්කර ගනිමින් ශ්‍රී ලංකාව අභිවෘද්ධියක් කරා ගෙන යාම දේශපාලනඥයාගේ කාර්යයකි. ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, කෘෂිකර්ම, අධිකරණ ආදී විවිධ ක්ෂේත්‍ර මෙහිදී අවධානයට යොමු විය යුතුය. 

ජනතාව විසින් පත්කර ගන්නා ආණ්ඩුව ජන අභිමතාර්ථය අනුව තීරණ ගැනීමේ ව්‍යුහය සකස් කර ගන්නේ නම් රටේ අර්බුද ඇති වන්නේ නැත. මේ සියල්ල අකර්මන්‍ය වී ඇත්තේ බලයට එන නායකයන් බලයට පැමිණි පසු රට ගොඩනැඟීමට උනන්දුවක් නොදැක්වීම නිසාය. ජනතා හිතවාදී අණපනත් සම්මත කිරීම පවතින ඒවා සංශෝධනය කිරීම සඳහා දේශපාලන න්‍යාය සකස්කර ගැනීම, ආදී වශයෙන් සාක්ෂාත් කරගත යුතු ඉලක්ක හා විසඳාගත යුතු ප්‍රශ්න බොහොමයක් දේශපාලන පක්ෂ හමුවේ පවතින බව පැහැදිලිය. රටේ සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා එම අභියෝගය විහිදී යන අතර නිවැරදි විසඳුම් ලබා ගැනීමේ අරමුණින් රටේ ජනතාව බලා සිටිති.

ජනාධිපතිවරණයට සම්බන්ධ විවිධ අපේක්ෂකයන් මැතිවරණ න්‍යාය පත්‍රවල මූලික රාමු අනාවරණය කරමින් සිටිති. ජාතික ආරක්ෂාව ගොඩනැගීම මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමේ පොරොන්දුව මත දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරිපත් කරන ආකාරයක් ද දැකගත හැකිය.

මෙරට අරාජික තත්ත්වයට ඇද දැමීමට රටේ දේශපාලකයන් පමණක් නොව රටේ සමාජ චින්තනය දියුණු කිරීමෙහිලා කටයුතු කරන ඇතැම් උගතුන් ද වගකිව යුතුය. මෙම තත්ත්වය නැවත සකස්කර ගනිමින් සමාජ ශෝධනයක් කිරීම තම වගකීමක් ලෙස සිතා රටේ සියලුම පුරවැසියන් කටයුතු කළයුතුය.

මානව හිමිකම් උල්ලංඝනයට සෘජුව සම්බන්ධ වී ඇති ඕනෑම අයකු පක්ෂ නායකත්වයේ තබා නොගැනීමට සියලුම පක්ෂ කටයුතු කිරීමෙන් දූෂණය, වංචාව, ප්‍රචණ්ඩත්වය, ජාතිවාදීත්වය රටෙන් තුරන් කර දැමීමට පිටිවහලක් වන බව මේ මොහොතේ අවබෝධකර ගැනීම වැදගත් වේ. නිලධාරිවාදි, පවුල්වාදි, හමුදාවාදී ආකාරයෙන් හැසිරෙන නායකයන් නෙරපා දැමීමෙන් පක්ෂය නැවත ප්‍රතිසංවිධානගතකර ගැනීම පහසු වේ. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට එය හේතුවක් වේ.

පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේද ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟාගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් තමන්ගේ කැපවීම සියලු පක්ෂ සනාථ කළයුතුය. පක්ෂ නායකයන් මෙන්ම සෙසු සාමාජිකයන්ට එම ප්‍රතිපත්තිවලින් බැඳී සිටීමට කටයුතු කළ යුතුය.

වර්තමාන දේශපාලන අපේක්ෂකයන් තිරසාර විසඳුම් පටිපාටියක් ඉදිරිපත් කරන්නේ ද යන්න මෙරට ජනතාව උපේක්ෂාවෙන් බලා සිටිති. ජනතාව නිදහසට ආදරය කරන බව බලධාරීන් අවබෝධකරගත යුතුය. එසේ නොවන්නේ නම් ජනතාව ප්‍රචණ්ඩ ආකාරයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට සූදානම් වීමට වුවද ඉඩ ඇත. ප්‍රතිඵලය අතිශය විනාශකාරි විය හැකිය. ශක්තිමත් ආයතනික ව්‍යුහයක් මෙන්ම, ජනතාව වෙනුවෙන් කැපවෙන දේශපාලන නායකත්වයක් රටේ ජනතාව විසින්ම ගොඩනගා ගතයුතුය. ඊට සුදුසු ප්‍රතිපත්තියක් ඇති නායකයකු බවට පත්වීමට මැතිවරණ අපේක්ෂකයන් ක්‍රියාකළ යුතුය. මෑත කාලය තුළදීම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරීමට කටයුතු නොකළහොත් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් වන ව්‍යසනයෙන් රට බේරාගත නොහැකිය. ඕනෑම ආණ්ඩු වෙනසක් සාමකාමී වීම මෙන්ම බලසම්පන්න වීම රටේ ජනතාව අපේක්ෂා කරයි.

පූර්ව මැතිවරණ සමයේ එළිදැ‍ක්වෙන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශද, අත්සන් කරන පොරොන්දු ගිවිසුම්වල නෛතිකභාවයක් තිබීම අනිවාර්ය කරුණකි. මෙම වේදිකාව තුළ සත්‍ය සහ ජනතා ප්‍රශ්න මගහරින්නට කිසිදු අයකුට අවස්ථාවක් හිමි නොවීමද විශේෂත්වයකි.

ඕනෑම රටක වඩාත් උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. දේශපාලන වශයෙන් රටේ ඇති වී තිබෙන අරාජික තත්ත්වය අවසන් කිරීමට පරමාධිපත්‍ය හිමි ජනතාව විසින්ම තම නියෝජිතය‍ා පත් කරගත යුතුය. ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් ජනතාව කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට රට තුළ අවකාශය නිර්මාණය වෙමින් පවති. ඇතැම් පුද්ගලයන්ගේ පක්ෂග්‍රාහිකත්වය හේතුවෙන් රට අර්බුද රැසකට තල්ලු වී ඇත. රට අපකීර්තියට පත් කිරීම, රට අස්ථාවර රටක් බව ‍ලෝකය ඉදිරියේ පෙන්වීම සඳහා උත්සාහ කරන පුද්ගලයන් හඳුනාගත යුතුය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් කතා කරන එහෙත් ප්‍රායෝගික නොවන පිරිස් හඳුනා ගැනීමට මේ කාල තුළ ඉඩ ප්‍රස්ථාව නිර්මාණය වී තිබේ. දේශපාලකයන් සහ පක්ෂ අතර ගැටුම් ඇති කර නොගනිමින් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සේවය ලබා දීමට උත්සහා කරන පරමාධිපත්‍ය අගයන නායකයකු පත් කර ගැනීම සිදුවිය යුතුය.

පක්ෂ - විපක්ෂ දේශපාලනික කණ්ඩායම්වල ඉතිහාසය මත පමණක් වත්මන් දේශපාලකයන් පිළිබඳ විශ්වාසය තැබීම නොකළ යුතුය. රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට එය ප්‍රමාණවත් සාධකයක් නොවේ. තම සැලසුම් සම්පූර්ණකර ගැනීමට ඇතැම් පාලකයන් විවිධ තුරුම්පු යොදා ගන්නා අවස්ථා ජනතාව හඳුනාගත යුතුය. නැතහොත් අසාධාරණයට ලක්වන්නේ ඡන්දය ලබා දුන් ජනතාවමය. එයට බිම් මට්ටමින්ම ශක්තිමත් පදනමක් දැමු විට පක්ෂ, දේශපාලකයන්ට හෝ ව්‍යාපාරිකයන්ට වුවමනා දෙය නොව රටේ ජනතාවට වුවමනා දෙය ඉටු කරවා ගත හැකිය.

රාජ්‍ය හා ඇතැම් ආයතන ක්‍රම තුළ පවතින අකාර්යක්ෂමතාවය හා දූෂණය පිටු දැකීමට මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීමේ අරමුණ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැසිය යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දේහය කා දමන සහ විනාශ කරන දේශපාලන පිළිලයක් වෙනුවට නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීමේ වගකීම රටේ ජනතාව සතුය.

පමුදිනී සමරනායක

අපි අයිත්මා­‍තොව් දන්නෙ ගුරු ගීතයෙන් විතරයි

$
0
0
ඔක්‌ 2, 2019 01:00
වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

සියවසක් පවත්නා දවස ග්‍රන්ථයෙන් වාරණයට ලක්වූ කොටස ඔහු නැවත ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූවා. ඒත් විචාරකයො කියන්නෙ මෙය වෘත්තාන්ත කතාවක් බවයි. ජමිලා සුදු නැව, ධවල ධූම යාත්‍රාව, අම්මා සහ මිහිකත ගත්විට ඒවා කෙටි නවකතා. හැබැයි ‘සිය වසක් පවත්නා දවස දිග නවකතාවක්. ඒක ඔහුගේ පළමු දිග නවකතාව. මේ කෘතිය කෙටි කතාවක්. ඒක සමහරු දකින්නෙ ඔහුගෙ වෙනම කතා කලාවක් විදිහටයි.

වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ, මීට පෙර චිංගීස් අයිත්මාතොව්ගේ ‘ධවල ධූම යාත්‍රාව’, බොරිස් අකුනින් විසින් රචිත ‘ඔර්ලොව් දියමන්තියේ ශාපය’ යන කෘති රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කර ඇත. මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී ඔහු පරිවර්තනය කළ ‘ඔර්ලොව් දියමන්තියේ ශාපය’ කෘතිය හොඳ ම පරිවර්තිත නවකතාවට හිමි සිරිල් සී. පෙරේරා සම්මානයෙන් පුදලැබීය. ඔහුගේ නවතම පරිවර්තන නවකතාව වන චිංගීස් අයිත්මාතොව්ගේ, ‘චිංගීස් ඛාන් පරදවාලූ සරෝසෙක් බිමේ දුක් ගීතය’ කෘතිය පිළිබඳ කතාබහකි මේ.

• රුසියානු සාහිත්‍යයේ වෘත්තාන්ත කතා කලාව සහ අයිත්මා­‍ෙතාව් ලකුණ පිළිබඳ කතා කළොත්?

අයිත්මා­‍ෙතාව් කියන්නෙ කාලයත් සමඟ සිදුවීම් මාලාවට සාපේක්ෂව වෙනස්වන ලේඛකයෙක්. ඒත් ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ජනප්‍රිය ඔහුගේ ‘ගුරු ගීතය’ කෘතියයි. ඒකෙ පරමාදර්ශය යහපත. ඒත් කාලයාගේ ඇවෑමෙන් සෝවියට් දේශය තුළ සිදුවන වෙනස්කම්වලදී පෙන්වන්නෙ යහපත පරයා නපුර ඉදිරියට එන හැටි. නපුර පරදා යහපත පිළිබඳ මුලින් කී අයිත්මාතොව්, කාලයත් සමඟ ලෝකයේ යහපත පරදා නපුර ඉදිරියට එන හැටි පවසනවා. සෝවියට් දේශය බිඳ වැටීමට පෙර සෝවියට් සමාජ ක්‍රමය වෙනස් වෙද්දි, වෙළෙඳ ආර්ථිකය පැමිණීමත් සමඟ මිනිසුන්ගේ සාරධර්ම බිඳවැටෙන හැටි ඔහු දැක්කා. ඒ ගැනත් ඔහු ලිව්වා. බලය ලබාගෙන, බිඳ වැටුණු සෝවියට් නව රාජ්‍යවල බලයට එන්නෙ නව නායකත්වයක්. ඒත් ඔවුන් බලයට තිබෙන ගිජුකම, පාලනයට දැනුමක් නැතිවීම, අධ්‍යාපන තත්ත්වය, වගේ කරුණු දිහා බලද්දි, පරිසර දූෂණය, මානව, කාන්තා අයිතිවාසිකම් වැනි ගෝලීය වගකීමක් තිබෙන ප්‍රශ්න විසඳීමට තරම් ඔවුන්ට හැකියාවක් නෑ කියන මතය අයිත්මාතොව් අවසාන කෘතිය වනවිට ඉදිරිපත් කරනවා. 

අපේ සමාජය තුළ, ඔහුගේ සෑම කෘතියක් ම නිසි පරිදි ජනගතවෙලා නෑ. අපි තවමත් ගුරු ගීතයේ නැවතිලා ඉන්නවා. ඒත් එතැනින් එහාට ගිය ඔහුගේ දර්ශනයක් තිබෙනවා. ගුරු ගීතය කෘතියෙන් පස්සෙ අංශක 180 කට හැරිලා ඔහු, ඔහුගේ සමාජ, දේශපාලන ප්‍රබන්ධකරණය වෙනස් කළා. ඒත් ඒ ගැන අපේ රටේ සමාජය තුළ තවමත් ශාස්ත්‍රීය කතිකාවතක් නෑ. අපට අපේ ප්‍රශ්න එද්දි, විශේෂයෙන් ගෝලීයකරණය පිළිබඳ ප්‍රශ්න, ඒවාට දේශපාලන නායකත්වය මුල්තැන දිය යුත්තේ කොහොමද? ඒ සඳහා අවබෝධයක් නැති දේශපාලන නායකත්වය වැනි‍ දේ ගත්තහම, මොහුගේ කෘති අපටත් වැදගත්.

• අපේ පාඨකයන්ට, අයිත්මා­‍ෙතාව්ගෙ කෘති කියවන්න ලැබෙන්නෙ, මුල් කෘතියම නෙමෙයි. එය ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා, නැවත සිංහලට නැගීමෙනුයි. ඔබ රුසියන් කෘතිය කියවලා, එහි සාහිත්‍ය රසය විඳලා පරිවර්තනයට යොමුවන කෙනෙක් හැටියට, මේ පරිවර්තනවල වෙනසක් දකිනව ද?

පොඩි වෙනසක් තියෙනවා. ඕනෑම කෘතියක් වෙනත් භාෂාවකට පෙරළීමේදී, ඒකෙ මුල් කෘතියේ වාක්‍ය රටාව, අන්තර්ගතය වෙනස් වෙනවා. අනෙක භාෂාව. රුසියන් භාෂාව කියන්නෙ සිංහල බස වගේම පොහොසත් භාෂාවක්. රුසියන් නිර්මාණ ඉංග්‍රීසියට ගැනීමේදී භාෂාවේ පොහොසත් බව යම් අඩුවීමක් දකිනවා. ඒක අපේ බසට නැවත පෙරළීමේදී නැවතත් අඩුලුහුඬුතා ඇති වෙනවා.

මුල් කාලයේදී එරට කෘති සෝවියට් දේශයෙන් ම ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. සෝවියට් වත් පිළිවෙත්, චාරිත්‍ර, ඒ සංස්කෘතිය දන්න අය තමයි එහිදී පරිවර්තනය කළේ. එහිදී ඔය තත්ත්වය දකින්න ලැබුණෙ ඉතාමත් ම අඩුවෙන්. දැන් ඒවා ඉංග්‍රීසියට හරවන්නෙ එංගලන්තය, අමෙරිකාව වගේ රටවල ආභාෂය තියෙන අය. එතකොට වෙන්නෙ සෝවියට් ඌරුවෙන් ඇන්ග්ලෝ සැක්සන් ඌරුවට ඒක ගෙන ඒමයි. ඒවා සිංහලට පරිවර්තනය වුණහම දකින්න ලැබෙන්නෙ ඇන්ග්ලෝ සැක්සන් ඌරුව. නම් භාවිත වෙන්නෙ ඉංග්‍රීසි විදිහට. ඒකත් ප්‍රශ්නයක්. අපට පරිවර්තනය වෙද්දි ඉදිරිපත් වෙන්නේ වෙනින් නමක්. අනෙක ඒ අයට ඒ රටේ සංස්කෘතික අංග පිළිබඳ වැටහීමක් නෑ. එම කෘතිය ශ්‍රී ලංකාවෙ පරිවර්තනය කරන්නන්ටත් යම් කිසි වචනයකට සෝවියට් දේශය, එහි සංස්කෘතිය ගැන අවබෝධය නැහැ. ඉංග්‍රීසි පරිවර්තකයා ඒ වචනයට පාදක සටහනක් දාලා නම්, ඔහු ඒක සිංහලට පරිවර්තනය කරනවා. නැත්නම් සොයා බලලා දාන්නෙ නෑ. ඒත් දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂ කුරණ, පියසේන මානෙල්ගම වැනි අය පරිවර්තනය කරනකොට, ඒ අය සෝවියට් දේශයේ ඉඳන් ම පරිවර්තන කළා. ඒ අය ඒ සමාජය දැනගෙන, එයට බද්ධවෙලා සිටි නිසා, පාදක සටහන් යොදලා යම් යම් දේ විස්තර කළා. ඒත් එසේ නොවන පරිවර්තකයන්ගෙන් ඒක වෙන්නෙ නෑ.

• මේ කෘතිය, අයිත්මාතොව්ගෙ වෘත්තාන්ත කතා කලාව විද්‍යමාන වන එක් ඉසව්වක් බව, විචාරක මතයයි. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

‍මොහුගේම සුදු නැව ධවල ධූම යාත්‍රාව කියන කෘති මඟින් වෘත්තාන්ත කතා කලාව නිරූපණය වෙනවා. මේ කෘතියත් ඒ ගණයට වැටෙන බව සමහර විචාරකයො අදහස් දක්වනවා. අයිත්මාතොව් හිතන්නෙ මෙය වෘත්තාන්ත කතාවක් නොවන බවයි.

• මෙය, ‘සියවසක් පවත්නා දවස’ කෘතිය උදෙසා ලියැවුණු නවකතාවට වෘත්තාන්තයක් බවටත් විචාරක මත ඉදිරිපත් වෙනවා නේද?

සියවසක් පවත්නා දවසක්, ග්‍රන්ථයෙන් වාරණයට ලක්වූ කොටස ඔහු නැවත ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූවා. ඒ මේ කෘතියයි. විචාරකයො කියන්නෙ මෙය වෘත්තාන්ත කතාවක් බවයි. ජමිලා සුදු නැව, ධවල ධූම යාත්‍රාව, අම්මා සහ මිහිකත ගත්විට ඒවා කෙටි නවකතා. හැබැයි ‘සිය වසක් පවත්නා දවස දිග නවකතාවක්. ඒක ඔහුගේ පළමු දිග නවකතාව. මේ කෘතිය කෙටි කතාවක්. ඒක සමහරු දකින්නෙ ඔහුගෙ වෙනම කතා කලාවක් විදිහටයි. ඒ වගේම ඔවුන්ගෙ සංස්කෘතියෙ විශේෂත්වයක් තමයි ජනප්‍රවාද. ඒවා කතාවට එකතු කරලා කතාව ගොඩනැගීම ඔහුගේ කතා කලාවේ විශේෂ ලක්ෂණයක්. ඔහු එය කරන්නෙ අරමුණු දෙකක් ඇතිවයි. එකක් තමයි, සෝවියට් දේශයේ රුසියානු භාෂාවත් සමඟ රුසියානු සංස්කෘතිය පැතිරෙනකොට, ඒ අයගෙ සංස්කෘතිවලට යම් බලපෑමක් ඇතිවෙලා, කාලයාගේ ඇවෑමෙන් මේවා නැතිවෙලා යයි කියලා සිතීම. ඒකට හේතුව, සෝවියට් දේශය බිඳවැටෙයි කියලා ඒ කාලෙ ඔහුන් නොසිතීමයි. ඒක වාර්තා කිරීමේ පියවරක් විදිහට ඔහු මේ ක්‍රමය යොදා ගත්තා. අනෙක වාරණය. වාරණය මඟඅරින්න, කීමට අවශ්‍ය දේ වක්‍රව කියන්න, ජනප්‍රවාදයක් ගෙනත් කතාවට ඈදුවහම, කාටවත් ඒක වාරණය කරන්න බැහැ. මේ නිසා ඔහු වෘත්තාන්ත කතාව වගේම, ජනප්‍රවාද කතා කලාවට ගෙන ආවා.

• මේ කෘතිය තුළ තියෙන්නෙ, වාරණයට ලක්වූ කොටස වෙනස් කර නැවත පළ කිරීමක් ද?

නෑ. සෝවියට් දේශය ආරම්භ වුණාට පස්සෙ, ඔවුන්ගෙ කතාවල විවිධත්වය නැති වෙනවා. පක්ෂයට අනුගත දේ විතරයි ලියන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කළේ සමාජ යථාර්ථවාදයයි. එහිදී ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන්. ඒත් ඒවායේ අවසානය, සමාජවාදයට ධනාත්මක කරලා ලිවිය යුතුයි. උදා: ‘වානේ පන්නරය ලැබූ හැටි’ කෘතිය ගත්තොත්, සමාජවාදී ක්‍රමයට අනුගත වූ වීරයෙක් අවසානයේ ගොඩනගනවා.

ඒත් ගර්බචොව් බලයට ආවට පස්සෙ මේ ක්‍රමය නැති කළා. ඕන පුද්ගලයකුට, ඕන ඉසව්වක් ඔස්සේ ලිවීමට හැකියාව ලබා දුන්නා. ඒ කාලෙ වාරණ අයින් වුණහම, වාරණයට ලක්වූ සමාජ යථාර්ථවාදයෙන් පිටපැනපු කෘති නැවත පළවෙන්න ගත්තා. ‘චණ්ඩ මාරුතයක, පාඨකයා කියන වෙරළට ගලායන යාත්‍රාවකට අධිභාරයක් පටවන්න කැමැති නෑ.’ යනුවෙන් ඔහු පැවසුවේ, මේ කොටස සිය වසක් පවත්නා දවස කෘතිය තුළ තිබුණා නම්, එය පළවන්නේ නැති බව පැවසීමටයි. මේ කොටස ඉවත් කළ නිසා, එය කෘතියක් විදිහට පළ කරන්න හැකිවුණා කියන එකයි. පොත ගත් අයට අලුත් පොතක් ගන්න කියන්න බැරි නිසා, මේ කෘතිය ඔහු පළ කළා. ඉදිරියේදී සංස්කරණයක් එද්දි ඔහු මේ කොටස එයට එකතු කළා.

• ඔහුගේ ලේඛන කලාව කාව්‍යාත්මකයි. ඔහුගේ මුල් කෘතිවල මිහිර විඳි ඔබ, ඒ විචිත්‍ර බස දකින්නෙ කොහොම ද?

සමාරෝපණය යොදා ගැනීමට ඔහු හරි ම දක්ෂයි. මිනිසුන් කියවන්න අකමැති සමාජ, දේශපාලන දේ කතා කළත්, ඒ තුළ පරිසර වර්ණනා මිනිසුන්ගෙ ජීවිත හරිම සුන්දර විදිහට ඉදිරිපත් කරනවා. ඔහු කිර්ගීසියානු සහ මධ්‍යම ආසියානු සංස්කෘතිය ඉලිප්පීමට ජනප්‍රවාද යොදා ගන්නවා. ස්ටෙප්ස් තණභූමි, මිනිසුන්ගේ ජීවන රටා, වත්පිළිවෙත් ඒ ජනප්‍රවාද හරහා අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරනවා. එය හරි ම සුන්දරයි.

• පසුගිය වසරේ පළවූ ‘ඔර්ලොව් දියමන්තියේ ශාපය’ කෘතිය මෙවර ගොඩගේ සාහිත්‍ය උළෙලේදී හොඳ ම පරිවර්තනයට හිමි සම්මානය දිනා ගත්තා.

නව රුසියානු ප්‍රවණතා හඳුන්වා දීමට උත්සාහ ගැනීම, රුසියන් බසින් ඍජුව පරිවර්තනය කිරීම, ව්‍යක්ත සිංහලෙන් කෘතියක් ඉදිරිපත් කිරීම කියන කාරණා සම්මානය දීමට හේතුපාඨය විදිහට දක්වා තිබෙනවා. ඒ ගැන සතුටුයි.

සාකච්ඡා කළේ- ඉරෝෂිණී දීපිකා 
ඡායාරූප - ශාන් රූපස්සර

ව්‍යාජ දේශප්‍රේමය

$
0
0
ඔක්‌ 3, 2019 01:00

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය.

ශරීරය අභ්‍යන්තරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පවතින වග මහලු මිනිසෙක් සිය කුඩා මිනිබිරියට කියා සිටියේය. එය වෘකයන් දෙදෙනෙක් අතර සටනකි. එකෙක් රාක්ෂයකි. ඔහු වෛරය, ක්‍රෝධය, නො ඉවසීම, මමත්වය, කෑදරකම, අනවබෝධය, මුග්ධභාවය. ආගමික අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය නියෝජනය කරයි. අනෙකා ඉතා යහපත්ය. හෙතෙම විමුක්තිය සතුට, සාමය, ආදරය, ඉවසීම, අවබෝධය, මනුෂ්‍යත්වය, අනුවේදනය, සංවේදිබව සහ සහකම්පනය නියෝජනය කරයි. මේ වෘකයෝ දෙදෙනා ඔබේ ශරීරය තුළ ද සටන් කරති. අන් හැමගේ ම සිරුර අභ්‍යන්තරයේ ද සටන් වදින්නේයැ යි මහල්ලා කුඩා දැරියට පැහැදිලි කළේය.

‘’මේ දෙදෙනාගෙන් කවරෙක් ජයග්‍රහණය කරන්නේ දැ?’’ යි කුඩා දියණිය මහල්ලාගෙන් විමසුවාය. ‘’ඔබ කවා පොවා ඇතිදැඩි කරන වෘකයා අවසානයේ ජයග්‍රහණය කරන්නේ යැයි’’ මහල්ලා ඉතා සරළ ව පැවසුවේය. පරම්පරා ගණනාවක් තුළ අප විසින් කවා පොවා නඩත්තු කළ නපුරු වෘකයා ප්‍රචණ්ඩකාරී ව සහ උමතු ලෙස ආපසු හැරී සමස්ත සමාජය විකා දෑමීමට සැරසෙයි. ‘’දරුව... දැන් නුඹ කුමක් කළ යුතු ද? නපුරු වෘකයාගේ ස්වරූපය හා ස්වභාවය කෙබඳු දැ’’ යි මහල්ලා කුඩා දියණියට පහදා දුන්නේය.

ඒ කෙසේද යත්... ‘’දරුව...අප විසින් කවා පොවා ඇතිදැඩි කළ නපුරු වෘකයා පරපෝෂිත­‍ෙයකි. වෘත්තීය ආහාර බුදින්නෙකි. නොතිත් ආශාවන් නිසා ලද දෙයින් තෘප්තිමත් නොවූවෙකි. මහත් තණ්හාවෙන් කිසිදා නිම නොවන කොන්ක්‍රීට් මන්දිර ගොඩනැගූවෙකි. කිසිවක් අතහැරීමට නොදත් කුම්භකරණයෙකි. අනෙකාගේ වෙනසට හා සංස්කෘතියට ගරු නො කරන ෆැසිස්ට්වාදියෙකි. අප සතු සියලු වස්තුව දරුවන්, ස්ත්‍රීන්, බවබෝග හා ධනය වරදානයක් සේ මංකොල්ල කා අපට ම දෙස් දොවොල් තැබූ වසලයෙකි. දැන් මේ පරපුටු වෘකයා ඉහඳ පණුවකු මෙන් සියල්ල කා දමා දැවැන්තයකු ලෙස වෘක රාජ්‍ය වරප්‍රසාද යටතේ නැ‍ඟී සිට අනුභවය සඳහා ඔබේ මංශය ඉල්ලයි. දරුව..දැන් නුඹ කුමක් කළ යුතු ද?’’

‘’දරුව... බලය නමැති මායාවෙන් සමස්ත සමාජය ආයාශයෙන් වෙළා ගත් හෙයින් මෙම පරපුටු වෘකයා තෝරාගැනීමක් නැති සමාජය විසින් සුරුවමක් ලෙස ඉහළට ඔසවා ඇත. මාංශ පිපාසයෙන් පෙළෙන මේ වෘකයා කොන්ක්‍රීට් පුරවරයෙන් එළි බැස ගම් නියම් ගම් සැරිසරමින් අනෙක් මානවයන්ට එරෙහි ව ප්‍රචණ්ඩත්වය වපුරයි.

වහසි බස් දොඩවයි. යටත් වැසියන් මායාවෙන් උමතු කොට වෘක අනුගාමිකයන් බවට පරිවර්තනය කරයි. උමතු රෝගයෙන් ඔත්පළ වූ කය මිස මස්තිෂ්කය නැති අවමාණුෂික වෘක බැතිමතුන් ළිං මැඩියන් සේ විකල් මනසින් ශිෂ්ටාචාරයේ වධක භූමියේ අයාලේ සැරිසරයි. අන්ධ අනුකාරකයාගේ මොළය කා දැමීම සඳහා උන් විසින් ම සාදා ගත් සිර කුටි තුළ ගාල් කොට ඔවුන්ට කිසිවක් ප්‍රශ්න නො කළ හැකි සේ මුඛවාඩම් දමා නිද්‍රාගත වට්ටෝරු වපුරයි. සියල්ලෝ ම විකල් මනසින් වෘකයාට දණ්ඩ නමස්කාර කොට වහල්භාවය වැලඳගනිති. යටත්වැසියා ගතානුගතික වහල්භාවයෙන් මිදීමට අන් සරණක් නොමැති ව තම දරු මුනුබුරන් ද පරම්පරාවෙන් පරම්පරාවට වහල්භාවයේ ම ගිල්වා දමයි.’’

ජාතිකවාදි උන්මාදය

බොහෝ ගම්, නියම්ගම්, පුරවර පුරා බල දේශපාලන සහ ආගමික දේශප්‍රේමය උතුරා වාන් දමයි. එහි අනෙකාට එරෙහි වහසිබස් මුසු වෛරයක් මිස ප්‍රේමයක් නම් නො වෙයි. සමස්තය අත්පත් කරගැනීමේ කෑදරකම මුසු මුග්ධභාවය සහ අවමානුෂික ප්‍රචණ්ඩත්වයක් ප්‍රදර්ශනය වෙයි. තමා දෙපා රඳවා සිටින බිම්කඩකට ප්‍රේම කරයි. අන්සියල්ල පිළිකුල් කරයි. දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ ෆැසිස්ට්වාදයේ පීතෘභූමිය (දේශප්‍රේමය) නැතිනම් ආර්ය සංකල්පයට එරෙහි ව ජර්මන් නාට්‍යකරු ‘බර්ටෝලට් බ්‍රෙච්ට්’ ලියූ කෙටි සටහනක මෙම උමතුව උත්ප්‍රාසයෙන් මෙලෙස අනාවරණය කරයි. කේ මහතා නිෂ්චිත රාජ්‍යයක ජීවත්වීම අවශ්‍ය යැයි නො සිතයි. ‘’මම සෑම තැනක ම සංචාරය කිරීමට උනන්දුවෙන් සිටිමි’’ යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

එක් දවසක සතුරන් විසින් අත්පත් කර ගත් ඔහු ජීවත් වූ රාජ්‍යයේ නගරයකට හෙතෙම පිටත් ව ගියේය. සතුරු පාර්ශ්වයේ එක් නිලධරයකු ඔහු වෙතට පැමිණ පදිකවේදිකාවෙන් ඉවත්වන ලෙස අණ කළේය. පදික වේදිකාවෙන් ඉවත් වූ හෙතෙම ඒ මිනිසා ගැන පමණක් නොව ඔහු පැමිණි රටට ද ශාප කරන වග අවබෝධ කර ගත්තේය. එය පෘථිවිය මතුපිටින් ඉවත් කළ යුතු යැයි ඔහු තීරණය කළේය. ඔහු තමාගෙන් මෙලෙස විමසුවේය. ‘’මම මේ මොහොතේ ජාතිකවාදියෙක් (දේශප්‍රේමියෙක්) වුව හොත් ? අනෙක් ජාතිකවාදියාට ප්‍රතිප්‍රහාර එල්ල කරමි. ඒ හෙයින් උමතුව ඉවත් කර ගත යුතුය. හැමකෙනෙක් ම ප්‍රතිප්‍රහාර දක්වන්නේ (දේශප්‍රේමී) උමතුවෙනි.’’ සැබවින් ම 21 වන සියවසේ දේශප්‍රේමය සහ ජාතිකවාදය යනු උමතුවකි.

පිළුණු වදන්

බල දේශපාලනය විසින් පටු සීමාවක් මත දිගේලි කළ දේශප්‍රේමය, භූමිපුත්‍ර, මාතෘභූමිය, පිතෘභූමිය වැනි සංකල්ප කල්ඉකුත් ව පිළුණු වු වදන් ලෙස 21 සියවසේ දී අභාවයෙන් අභාවයට ගමන් කරයි.දේශගුණික විපර්යාසය ගෝලීය උණුසුම සහ සමස්ත පෘථිවියේ පාරිසරික බිඳවැටීම හමුවේ සියලු මානව මානවිකාවන්ගේ මාතෘභූමිය යනු සමස්ත ග්‍රහලෝකයයි. පෘථිවිය යනු සියලු ජීවීන්ගේ නිවහනයි. ඉන් කුඩා කොටසක් රාජ්‍යයක් ලෙස රැකගැනීමට වෙරදෑරීම අනුවණකමකි.එමෙන් ම මංකොල්ලකාරී වෙළෙඳ පොළ ආර්ථිකය සමස්ත පෘථිවිය ම අමුද්‍රව්‍යයක් ලෙස නව ලිබරල්වාදී කෝව තුළ හැඩගැසූ විට එකීය රටක් ගැන දෙඩවීම මරාණාසන්න රෝගියකුගේ කෙඳිරිල්ලට සමානය. ස්වාධිපත්‍යය යනු පැරණි ශබ්දකෝෂයක අරුත්සුන් වදනකි.

භූ දේශපාලනික යුගයේ විදේශ ආක්‍රමණ යන වදන බලවතුන්ගේ විදේශ ප්‍රතිපත්ති නමැති න්‍යායපත්‍රයේ ආශ්‍රයෙන් ඈත් කළ සුවපත් කළ නො හැකි වසංගත රෝගියකි. එහෙත් ඉතා ලාභදායී දේශපාලන කර්මාන්තය (political industry) සිය මංකොල්ලකාරී පැවැත්ම සඳහා දේශප්‍රේමය නමැති වදන වංචනික ව යොදා ගනියි. දේශප්‍රේමය ගැන දොඩන කිසිවෙක් මහපොළවට ආදරය නොකරයි. ලද සෑම අවසරයක දී ම සොබා සම්පත් කොල්ලකෑම ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි. එහෙයින් දේශප්‍රේමය යනු නිදැල්ලේ මංකොල්ල කෑම සඳහා යොදාගන්නා ඉන්ද්‍රජාලික උපාය මාර්ගයකි.

තාගෝර් මතය

යටත් විජිත පාලනයට එරෙහිව ඉන්දියාව නිදහස් අරගලය සඳහා ඉතා සුදුසු භාෂාවක් සොයමින් සිටින මෙහොතේ දී ‘රබීන්ද්‍රනාත් තාගෝර්’ ගෝලීය ඒකීයත්වය හා මානවයා ලෝකයේ ප්‍රගමනයට තමා විසින්ම විවෘත විය යුතුය යන මතවාදය ඉදිරිපත් කළේය. මෙම විශ්වීය මතවාදය සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කිරීම නිසා ‘තාගෝර් විශ්ව කාව්‍යක්කාරයා’ universal poet යැයි හඳුන්වනු ලැබීය. මෙම දාර්ශනික පදනම ඉන්දියානුවාගේ ලෝක දැක්ම වෙනස් කළේය. නිදහස් අරගලය තුළ මානවයාගේ විශ්වීය දැක්ම නිවැරදිව අවබෝධ කර දෙමින් එහි ගමන් මඟ සකස් කළේය. එහෙත් පටු පක්ෂ දේශපාලනය, ගතානුගතික ආගමික නියෝජිතයෝ සහ වංචනික ප්‍රභූ පංතිය මෙම මතවාදය දැඩි ලෙස පිළිකුල් කළහ. ඔවූන්ගේ අවස්ථාවාදී බල දේශපාලනය විසින් පොදු ජනයා සර්වාංග ශික්ෂණ මතවාදය හා විශ්ව මානවියත්වය වෙත ලඟාවීමට තිබූ සියලු මාර්ග අසුරා බාධක පැමිණ වීය. ඒ සඳහා ඔවූහු දේශප්‍රේමය සහ ජාතිකවාදය නමැති මෙවලම භාවිත කළහ.

තාගෝර් මතවාදය දැඩි ලෙස විවේචනය කරන කණ්ඩායම් සමාජ විප්ලවය ඉතා ක්ෂණිකව අත්පත් කර ගත හැකි සරල ක්‍රියාවකැයි කල්පනා කළහ. එහෙත් ප්‍රගතිශීලී හා නිර්මාණශීලී ශික්ෂණවේදයකින් තොරව සමාජය වෙනස් කිරීම හිතළුවක් සහ මානසික උන්මාදයකි. සමාජ ගිලානත්වය දේශපාලන රෝග ලක්ෂණයකි. බලය අත්පත් කර ගැනීම නමැති අන්ධ විප්ලවය පටු විකෘති ක්‍රියාදාමයකි. ගෝලීය අරමුණක් සහිත මනුෂ්‍යත්වය පිරිපුන් අධ්‍යාපනය වෙනසක පෙරගමන්කරුවාය. තාගෝර් ව්‍යාජ ජාතිකවාදයට එරෙහි විය. දේශපාලන, ආගමික හා වාණිජ සංවිධානවලට යෙදිය හැකි අනෙක් නාමය ජාතිකත්ව යැයි තාගොර් අවධාරණය කළේය. ජන ජීවිතය ඒකාබද්ධ කළ හැකි ශක්තිමත් වෙළුම ජාතිකත්ව යැයි කෑදර බල දේශපාලනය විශ්වාස කරයි. සැබවින්ම එය මනුෂ්‍යයත්වයේ විකෘතියකි. සමාජ සංහිඳියාව කෙලෙසා දමන භයානක වසංගතයකි. පාදඩ පංතියේ බලය අත්පත් කරගැනීමේ කූඨ දේශපාලන අභිලාෂය දේශප්‍රේමය නමැති රසකාරකය ආලේප කළ මත්ද්‍රව්‍යයකි.

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක් ම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය. සැබවින් ම මොවුන් උභය ජීවියා මෙන් ම පරිනාමයේ විකෘතියකි. එහෙයින් මංකොල්ලකරුවන්ගෙන් රාජ්‍ය මුදා ගැනීම කූඨ මැතිවරණ මගින් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීම හිතළුවකි. එය නිර්දේශපාලනයේ මුග්ධභාවය යි.

‘’ඔබ රාජ්‍ය බලය පාදඩ කණ්ඩායම්වලින් ඉවතට ගැනීමට වෙර දරයි. නමුත් මෙම ක්‍රමය පාදඩ කණ්ඩායම්වලින් පිටතට ගැනීම ඉතා දුෂ්කරය. මක්නිසාදයත් යුද්ධය කිසි දිනක පරහිතකාමිත්වය සඳහා සටන් නො වදියි. එය බල ආධිපත්‍යය උදෙසා සටන් කරයි. වාණිජ වුවමනාවන් සඳහා පෙනී සිටියි. එළඹෙන සෑම දිනක ම කෑදරකම හා ප්‍රචණ්ඩත්වය අප අතරින් ඉහළට එසවෙයි. එය ශිෂ්ටාචාරයේ අර්බුද යයි. මෙම ව්‍යසනය අඛණ්ඩ ව පවත්වාගෙන යාම සඳහා අපි වෙර දරන්නෙමු. එය වහල්භාව ය’’ යි.

බොස්නියාව

උක්ත සන්දර්භය තුළ සෑම රට වැසියෙක් ම සිරකරුවෙකි. ව්‍යාජ දේශප්‍රේමී මංකොල්ලකරුවාගේ ග්‍රහණයට නතු වූ ප්‍රාණ ඇපකරුවෙකි. දේශප්‍රේමය යනු සොබාදහමේ න්‍යායන්ට අනුව හැසිරෙන යාන්ත්‍රණයක් නො වෙයි. එය කෑදර මංකොල්ලකාර පංතියක් විසින් බලහත්කාරයෙන් අටවාගත් පීඩන යන්ත්‍රයකි. ව්‍යාජ දේශප්‍රේමය යනු අහිංසක ජනයාගේ ඉහමොළ විකා දමන ඉහඳ පණුවෙකි.

අද්‍යකාලීන ලෝක සිතියම මත අර්බුදකාරී රාජ්‍යයන් පමණක් නොව දියුණු රාජ්‍යයන් තුළ පවා බල දේශපාලන ආධිපත්‍ය උසුලන්නේ පාදඩ ධනේශ්වරයයි. මෙම පංති ව්‍යුහය හොර ජාවාරම්කරුවන්, කූඨ බුද්ධිමතුන්, පාතාල නියෝජිතයන් හා අත්වැල් බැඳගත් ඉහළ පෙළේ හමුදා නිලදරුවන්ගෙන් සමන්විත පොදු සම්පත් මංකොල්ලකරුවන්ගේ සංවිධානයකි.

බිඳී ගිය යුගෝස්ලාවියාවෙන් අගනා උදාහරණයක් උපුටා ගත හැකිය.

‘’යුද සමයේ බොස්නියාවේ විවිධ දේශපාලන කණ්ඩායම් ටයි කෝට් පැලඳ සිටිය ද ඔවුහූ හුදෙක් ම පාතාල නියෝජිතයෝය. ජගත් ප්‍රජාව මෙය හොඳින් ම දැන සිටියේය. නමුත් මුරටොවික් ඇතුළු බොස්නියන් රාජ්‍ය නිලධරයෝ යුරෝපයේ සාප්පු සවාරි ගොස් එක්සත් ජාතීන් ගැන විශ්වාසය රඳවති. එහෙත් බොස්නියාව තුළ එම එක්සත් ජාතීන්ට නිගරු කොට රටින් පිටමංකරන බවට තර්ජනය කරති’’. ජනපති ‘රදොවාන් කරාඩිෂෙක්’ පුහුණු මානසික වෛද්‍යවරයෙකි. උප ජනපති ‘නිකෝලා කොල්ෂෙවික්’ ෂෙක්ස්පියර් නාට්‍ය පිළිබඳ මහාචාර්වරයෙකි. පසු ජනපතිවරයා ජීව විද්‍යා මහාචාර්යවරයෙකි. සැමකෙක් ම උසස් අධ්‍යාපන සුදුසුකම් ඇත්තෝය. බටහිර අධ්‍යාපනය ලැබුවෝය. සැබවින් ම ඔවුහූ මානසික රෝගීන් නොවූහ. එහෙත් අවාසනාවට ඔවුහූ කූඨ යුද්ධයේ වීරයෝ වුහ.

‘’යුද්ධය මිනිසා සංවේ දී මානවයකු නො කරයි. එය මිනිසා තිරිසනකු බවට පරිවර්තනය කරයි”.‍

ව්‍යාජ දේශප්‍රේමය ඒ සඳහා ඉතා හොඳ තොතැන්නකි.

ආර්ථික ව්‍යාධිය මැතිවරණ ප්‍රතිපත්ති

$
0
0
ඔක්‌ 3, 2019 01:00

ලසන්ත සෝමරත්න
වරලත් මූල්‍ය විශ්ලේෂක සහ මූල්‍ය අවදානම් කළමනාකරු

ආර්ථික ප්‍රතිපත්ති විය යුත්තේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම, අපගේ අපනයන තරගකාරීත්වය වැඩි කිරීම, රජය ආයෝජක හිතකාමී වීම, අපනයන කර්මාන්ත හා සේවා වෙත සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීම, අපනයන වැඩි කිරීම, රැකියා උත්පාදනය ඉහළ නැංවීම සහ පුරවැසියාගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ විශාල ඍජු බදු ආදායමක් ලබා ගැනීමට හැකි ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් ගොඩනැගීම සහ ඒවා කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීමය.

2019 නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සම්පාදකයන් යුහුසුළුව ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීමේ යෙදී සිටිති. ආර්ථික කරුණු සියලුම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් හි කේන්ද්‍රීය ස්ථානයක් ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාව වර්තමානයේදී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4.000 කට ආසන්න අගයක් සහිත රටක් වන අතර, කෙටිම කාලයක් තුළ ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීම අපගේ අපේක්ෂාව වේ.

ආර්ථික ප්‍රගතිය

නිදහස ලබා වසර 70 පසුකරන මෙම වසරේදී අප රට ප්‍රධාන සන්ධිස්ථානයක් වෙත ළඟා වී ඇති බව පෙනෙයි. නිදහසින් පසු අප යම් තරමක ආර්ථික ප්‍රගතියක් ලබා ඇතත්, නිදහස ලබා ගන්නා අවස්ථාවේ අප රටට සම මට්ටමේ සිටි වෙනත් රටවල්වලට සාපේක්ෂව ආර්ථික සංවර්ධනය අතින් අප පසුගාමී වී ඇත. අද වන විට දකුණු ආසියානු කලාපය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම වර්ධන වේගය වාර්තා කරන අතර එය මුළු ලෝකයේ හොඳම වර්ධන කලාපය බවට පත්ව ඇත. කෙසේ වෙතත් අපටම අවේණික වූ ගැටලු හේතුවෙන් අප රට කලාපීය වර්ධන අපේක්ෂාවන්ගෙන් වෙන්වී ඇත. එවැනි තත්ත්වයක් යටතේ එළඹෙන ජනාධිපතිවරණය හැරවුම් ලක්ෂයක් ලෙස සලකනු ලබන අතර, නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කර ක්‍රියාත්මක කළහොත් අපරට ආර්ථික සමෘද්ධිය කරා ගෙන යා හැකිය. ආර්ථික ප්‍රතිපත්ති අවධානය යොමු කළ යුත්තේ ආර්ථිකයේ ව්‍යූහාත්මක අභියෝග ආමන්ත්‍රණය කිරීම මෙන්ම ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමේ තර්ජනයෙන් අපගේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ය.

රාජ්‍ය මුල්‍ය හිඟයක් සහ ජංගම ගිණුම් හිඟයක් සහිත ආර්ථිකයන් බොහෝ විට හැඳින්වෙන්නේ “ද්විත්ව හිඟයන්” ලෙස ය. ශ්‍රී ලංකාව පසුගිය දශක ගණනාවක් තිස්සේ අයවැය හිඟයක් සහ ජංගම ගිණුම් හිඟයක් පවත්වාගෙන යයි. අඩු ඵලදායිතාවයකින් යුත් රාජ්‍ය අංශ, රාජ්‍ය මූල්‍ය ආදායමෙන් වැඩි කොටසක් ගිලදමයි. අසාමාන්‍ය ලෙස විශාල වක්‍ර බදු හේතුවෙන් රටේ අඩු ආදායම් උපයන ජන කොටස මත අධික බදු බරක් පැටවී ඇත.

රාජ්‍ය මූල්‍ය ආදායම

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ගෙවීමට සහ ණය සඳහා පොලී පිරිවැය ගෙවීමට වන වියදම්, දශක ගණනාවක් තිස්සේ විශාල ලෙස වර්ධනය වී තිබේ. රාජ්‍ය මූල්‍ය හරහා අත්‍යවශ්‍ය පොදු භාණ්ඩ සැපයීම අභියෝගයක් වී තිබේ. ඉහළ බදු අය කරන රාජ්‍යයක් වුවද, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය මූල්‍ය ආදායම වසර ගණනාවක් තිස්සේ ක්‍රමිකව පහත වැටී ඇත. අඩු රාජ්‍යට මූල්‍යය ආදායම සහ ඉහළ වියදම්වල ප්‍රතිඵලයක් ලෙස රජයේ වියදමින් සැලකිය යුතු කොටසක් සඳහා අඛණ්ඩව මුදල් යෙදවීම නව ණය ගැනීම් මඟින් සිදු කරනු ලබයි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ රජයේ ණය ගොඩ ගැසී, ණය බර ඉහළ යාමයි.

අනෙක් අතට පසුගිය දශක කිහිපය තුළ අපනයන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන නැත. ඊට වෙනස්ව, ආනයන වියදම් අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබේ. මෙය අතීතයේ දී අනුගමනය කරන ලද අදූරදර්ශී සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල පලයකි. එවැනි ප්‍රතිපත්ති රටේ ආර්ථික තරගකාරිත්වය සහ අපනයන පහතට ඇද දමා ඇත.

ආර්ථිකය තුළ වෙළෙඳ නොවන භාණ්ඩ නිෂ්පාදනය කිරීම විශාල වශයෙන් ඉහළ අගයකට ළඟා වී ඇත. සාම්ප්‍රදායික අපනයනකරුවන් පැවැත්ම සඳහා අරගල කරමින් සිටින අතර ස්වකීය පැවැත්ම සඳහා දේශීය වෙළෙඳපළට සේවය කරන අංශවලට පිවිසීමට සිදු වී ඇත. සාම්ප්‍රදායික අපනයනකරුවන් අභිබවා යාමට දේශීය වෙළෙඳපළට සේවය කරන අනෙකුත් තරගකරුවන්ට හැකි වී ඇත. රටේ සාමාන්‍ය ආදායමේ වර්ධනය වැඩි වැඩියෙන් ආනයනික භාණ්ඩ සඳහා ඉල්ලුම ජනනය කරයි. ආනයන සඳහා ඇති ඉල්ලුම අපනයනය කරන ප්‍රමාණයට වඩා වැඩි බැවින් විනිමය අනුපාතය අඛණ්ඩව පහත වැටී ඇත. ආනයන හා අපනයන අතර (භාණ්ඩ හා සේවා යන දෙකම) ස්ථීර පරතරයක් තිබේ නම් විනිමය අනුපාතය දිගු කාලීනව අවප්‍රමාණය වීම සිදුවේ.

මෙම තත්ත්වය මගහැරීමට අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති කවරේද? ආර්ථික ප්‍රතිපත්ති විය යුත්තේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම, අපගේ අපනයන තරගකාරීත්වය වැඩි කිරීම, රජය ආයෝජක හිතකාමී වීම, අපනයන කර්මාන්ත හා සේවා වෙත සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීම, අපනයන වැඩි කිරීම, රැකියා උත්පාදනය ඉහළ නැංවීම සහ පුරවැසියාගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ විශාල ඍජු බදු ආදායමක් ලබා ගැනීමට හැකි ලෙස ආර්ථිකය ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් ගොඩනැගීම සහ ඒවා කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීමය.

අපනයන තරගකාරිත්වය වැඩි දියුණු කිරීම:

දූරදර්ශී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. විනිමය අනුපාත ප්‍රතිපත්තිය අනිකුත් කලාපීය තරගකාරී ආර්ථිකයන්ට සාපේක්ෂව අප රටේ අපනයන තරගකාරිත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීම ඉලක්ක කර ගත යුතුය.

අපනයන තරගකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා දේශීය ශ්‍රම බලකාය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයට භාජනය කිරීම අත්‍යවශ්‍ය අංගයකි.

කම්කරු ප්‍රතිසංස්කරණ:

තරුණ ශ්‍රම බලකායේ සංඛ්‍යාව හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු වේ. ශ්‍රම වෙළෙඳපළ සංචලතාව වැඩි දියුණු කිරීම සඳහා නීති පැනවිය යුතුය. මිනිස් ශ්‍රමය බහුල ලෙස යොදාගන්නා නිෂ්පාදන කර්මාන්තවල ශ්‍රම හිඟය උග්‍ර බැවින් කලාපීය රටවලින් නුපුහුණු ශ්‍රමිකයන් ආනයනය අවශ්‍ය වේ. නුපුහුණු ශ්‍රමිකයන් යොදා ගන්නා කර්මාන්ත සඳහා අවශ්‍ය ශ්‍රමය ආකර්ෂණය කර ගත හැකි ආකාරය මැදපෙරදිග කලාපයෙන් හෝ සිංගප්පූරුවෙන් අපට ආදර්ශයට ගත හැකිය. අපගේ නව පරපුර, එනම් තරුණ තරුණියන් රට තුළ රඳවා තබා ගැනීමට නම්, ඔවුන්ගේ නිපුණතා මට්ටම සහ සේවා නියුක්තිය වැඩි දියුණු කිරීම අවශ්‍ය වේ. දේශීය තරුණ තරුණියන්ගේ අධ්‍යාපන මට්ටම සහ සේවා නියුක්තිය වැඩි දියුණු කිරීම සඳහා වන ප්‍රතිපත්තිවලට වැඩි බරක් තැබිය යුතුය.

මතු සම්බන්ධයි.

*කතුවරයා දේශීය සහ අන්තර්ජාතික මුල්‍ය වෙළෙද පොළ තුළ දීර්ග අත්දැකීම් ලබා ඇත්තකු වන අතර මුල්‍ය සහ අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ සුදුසු කම් ලබා ඇත. මෙම ලිපියේ දැක්වෙන අදහස් ලේඛකයාගේ අදහස් වන අතර කිසිදු ආයතනයක නිල ප්‍රතිපත්තිය හෝ ස්ථාවරය පිළිබිඹු නොකරයි.

 

 

 

 

 

 

 


තිලකේ සහ සමරේ

$
0
0
ඔක්‌ 3, 2019 01:00

සැඳෑ හිරුඑළිය රූස්ස සියඹලා ගස මතට පතිත වී තිබුණේ රන්වන් ආලේපයක් ලෙසිනි. සියවසක් ඉක්මවූ බව නිසැක සියඹලා ගස පිහිටා තිබුණේ ‘තිලකෙ’ ලාගේ වත්තේ වැට මායිමට මදක් මෑතිනි. ඉන් ඔබ්බේ දකුණු පසින් මාවවුලන් නිබඳ ගෙඩි කන්නට පැමිණෙන උසැ’ති මී ගසක්ද දක්නට ලැබිණි. බෑවුම් සහිතව පිහිටා ඇති ‘තිලකෙ’ලාගේ වත්තේ, නිරිත දිග පැත්තේ තවත් නාඹර සියඹලා ගසක් සාඩම්බර විලාසයෙන් නැගී සිටියේය.

රූස්ස සියඹලා ගසේ ඇඹරී ගිය දැවැන්ත මුල් පොළොව මතුපිටින් දිස්වුණේ පිඹුරු රාජයන්ට සමාන අයුරිනි. ඇතැම් දවසක ඒ මුලක සිදුරක් සෑදුනු තැනක නපුරු පෙනුමෙන් යුතු මී ගවයකු ගැටගසා උන්නේ ය. තදින් වැසි වසින කාලවල ගව ගොමවලින් හා මුත්‍රවලින් නැගෙන දුර්ගන්ධය අපුල හැඟීම් දැනවීය.

එහෙත් මේ දිනවල නම් සති ගණනාවකින් වැසි වැටී නොතිබිණි. මී ගවයකු නොබඳින ලද රූස්ස සියඹලා රුක් මුල පවිත්‍ර විය. කෙළවරක් නැතිව පිපුණු සියඹලා මල් ගසේ අතු පුරා දක්නට ලැබිණි. නිරතුරුව පාවාඩයක් සේ දිස්වුණු බිම පතිත සියඹලා මල් ළමුන්ගේ රස බොජුනක්ද විය.

ගමේ පාසලේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ‘තිලකේ’ සහ ‘සමරේ’ කලණ මිතුරෝ වූහ. සිහින්, උස පැහැපත් සිරුරින් යුතු ‘තිලකේ’ බොකුටු, තඹ පැහැයට හුරු කෙස් කලඹක් ඇති, දඟකාර දරුවකු විය. ඔහුගේ මිත්‍රයා වූ ‘සමරේ’ සාමාන්‍ය දරුවකුට වඩා මිටි, බොහෝ පැහැපත් සිරුරින් යුතු, සන්සුන් ළමයකු වූයේ ය. ඔහුට පෙනුම වඩාත් සමාන වූයේ ජපන් ජාතිකයකුටය. නමුත් ජපනුන්ට උරුම සිහින් දෙතොල් නම් ‘සමරේට’ උරුම වූයේ නැත.

එදින සවස් වරුවේ ‘සමරේ’ , ‘තිලකේ’ ගේ ගෙදරට ගියේ සෙල්ලම් කිරීම සඳහාය. ‘තිලකේ’ ළඟ තිබූ මෝටර් රථයක පරණ ටයරයක් දැක්කීමෙන් මද වේලාවකට පසු ඔවුන්ට ඒ සෙල්ලම එපා විය.

‘මචං සමරේ මරු සෙල්ලමක් තියෙනවා. අපි යංකො වත්ත පිටිපස්ස පැත්තට.”

ඉන්පසුව ඔවුහු රූස්ස සියඹලා ගස දෙසට සේන්දු වූහ. මීට මාස ගණනකට කලින් ගසේ අතු කීපයක් කපා දමා තිබිණි. ඊට හේතුවූයේ, ඊට යාබද වත්තට පවා විශාල අතු විහිදී තිබීමයි. එසේ කපා දමා තිබූ වට ප්‍රමාණයෙන් අඩි දෙකක් පමණ වූ සියඹලා කොටයක්, පොළොවට අඩි තුන හමාරක් තරම් උසින් එල්ලී තිබුණේය. පොරොවෙන් කපන ලද අත්තේ කෙළවර තවමත් පොත්තෙන් ගසට යන්තමින් සම්බන්ධ වී තිබිණි. කීරි ගැසී ගිය එම කොටස කපා වෙන් කර පහළට දැමීමට කිසිවකු උනන්දු වී තිබුණේ නැත.

‘තිලකේ’ එල්ලෙමින් තිබූ එම සියඹලා කොටය වෙත ළඟා විය. ඉන්පසුව දෑතින් වෙර යොදා එය තල්ලු කළේය. එවිට එය තරමක් ඉදිරියට පැද්දිනි.

‘ටයර් දක්කලා මට දැන් එපා වෙලා. අපි මේ කොටේ පදිමු. මේක ටොප් සෙල්ලම!”

ඔහු කීවේ උදාරම් කටහඬිනි. වයස අවුරුදු එකොළහක් වුවත්, ‘තිලකේ’ ඉලන්දාරියකු ලෙසින් හැසිරීමට වග බලා ගත්තේය. ඔහු නිවසේ සිටින විට හෝ ‍ගමේ ඇවිදින විට නිතරම, කලවා ප්‍රදර්ශනය වන අයුරින් සරම ඇඳීමට පුරුදුව සිටියේය. මෙදිනද ‘තිලකේ’ නිල් පැහැ ඉරි වැටුණු පිජාමා සරමක් හැඳ, කැසපට කවා උන්නේ ය. ඔහුගේ උඩුකය නිරුවත් වුවද, හිසේ අළු පැහැති තරමක් විශාල තොප්පියක් පැළඳ සිටියේය. ඒ දිනවල තිරගත වූ සිංහල සිනමා පටයේ ප්‍රධාන නළුවාද එවැනිම තොප්පියක් පැළඳ සිටියේ දකුණු ඇස මදක් ආවරණය වන පරිද්දෙනි.

‘සමරේ’ හැඳ සිටියේ චීත්ත රෙද්දෙන් මැසූ, ඉලාස්ටික් පටි ඉණට යෙදූ ජංගියක් සහ ඒ මෝස්තරයේ රෙද්දකින්ම මැසූ කමිසයකි. එහි මුද්‍රණය කර තිබුණේ, විවිධ ඉරියව්වලින් සිටින කුඩා තාරා පැටවුන්ය. එක්දහස් නවසිය හැත්තෑවේ දශකයේ එවැනි චීත්ත රෙදි පවා මිලදී ගැනීමට තිබුණේ සමූපකාරයෙන් පමණි. ‘තිලකේ’ නම් පාසැල් ගියේද සරම හා කමිසය හැඳගෙනය.

“ඔන්න මචං බලාපං මගේ වැඩ!”

එසේ කී ‘තිලකේ’ සියඹලා කොටයේ එල්ලුනේ වවුලෙකු විලාසයෙනි. ඉන් පසුව දකුණු පාදය පොළොව මත තැබූ ඔහු තරමක් වාරුගෙන යළිත් කොටයේ එල්ලී අඩි කීපයක් පෙරට ගියේ ය. මෙසේ කීප වරක් සියඹලා කොටය ඔංචිල්ලාවක් සේ පදින විට ඉහළින් බාගෙට සවිවී සිටි තැනින් “කිරි කිරි” හඬක් නික්මිණි.

“දැන් සමරේ ඔයාගේ වාරේ. ඇවිල්ල මේ කොටේ පදින්න. මාත් ඕනි නම් සපෝට් එකක් දෙන්නම්.”

‘සමරේ’ මදක් කල්පනා කළේ ය. කොටයේ විශාලත්වය හා එය එල්ලී තිබුණු අනතුරුදායක විලාසය ඔහුගේ සිත් නොගත්තා විය යුතුය.

“අනේ මචං මට නං බෑ. ඕක කඩා වැටෙන්නත් පුළුවන්. ඔයත් ඔය වැඩේ නවත්තන්න.”

ඒ ඇසූ ‘තිලකේ’ තොප්පිය දකුණු ඇස තරමක් වැසෙන සේ සකස් කර, උජාරුවෙන් මෙසේ පිළිතුරු දුන්නේ ය.

“අයියෝ ඔයා නම් මාර බයගුල්ලෙක්. ඔයාට බැරිනම් ඉතිං මං බලකරන්නෙ නෑ. ඒත් මායි මගේ අනික් යාළුවො නම් හැමදාම මේ කොටේ එල්ලිලා ඔංචිලි පදිනවා. ඔය කෙල්ලොත් එක්ක හදන කෙළි ගෙවල් වගේ නෙවෙයි. මෙව්වා තමයි නියම කොල්ලන්ගෙ සෙල්ලං!”

එහෙත් ඒ අවමන් වදන්වලින්වත් ‘සමරේ’ ගේ තීරණය වෙනස් වූයේ නැත. මෙයින් තරමක් අසතුටට පත් ‘තිලකේ’ යළිත් දෑතින්ම අල්ලා කොටය ඉදිරියට පද්දන්නට විය. ඒ අතරේ ඔහු තරමක් දුරින් උන් ‘සමරේ’ අමතා මෙසේ කීය.

“ඔන්න ‘සමරේ’ මං මේ කොටේ පද්දනවා. මොකක් හරි වෙලා මේක කඩාගෙන එහෙම වැටුණොත් මචං උඹ පැනගනිං හරිද?”

එසේ කියූ ‘තිලකේ’ මුළු වැර වීරිය යොදා සියඹලා කොටය තල්ලු කළේය. එය තරමක් ඉදිරියට පැද්දුනේ ‘කිරි කිරි’ හඬක්ද සමඟිනි. යළිත් වරක් සියඹලා කොටය පද්දන විට එය මෙතෙක් වේලා ගසට සම්බන්ධ වී තිබූ තැනින් නිදහස් විය. අසුරු සැනින් සියඹලා කොටය කැරකී පහළට ආවේ කිසිදු ශබ්දයකින් තොර මාර දූතිකාවක සේය.

‘සමරේ’ මේ ව්‍යසනය දෑහින්ම දුටුවේය. ඔහු ‘තිලකේ’ අනතුරු ඇඟවූ විලසින්ම වේගයෙන් ඉවතට පැන ගත්තේය. එහෙත් කොටයේ මුල කීරි ගැසුණු කොටස පැමිණි වේගයට එතැනින් පැන ගැනීමට ‘තිලකේ’ ට අවකාශ මද විය. එය කෙලින්ම ඔහුගේ දකුණු කකුලේ කලවා පෙදෙසට පහත් විය. මොහොතකින් මුළු කකුලම හිරි වැටී ගියා සේ ‘තිලකේ’ ට දැනිණි. ‘සමරේ’ කෙතරම් බියට පත් වූවාදැයි කිවහොත් ඔහුට විලාප තැබීමටවත් නොහැකි විය. නමුත් ඔහුගේ මුව ඇරී තිබුණේ ය.

‘තිලකේ’ ගේ වත්තට අල්ලපු ඉඩමේ පදිංචිව උන්නේ ඔවුන්ගේ පාසලේම සේවය කළ ගුරු මහත්මියකි. ඇය ඔවුන්ට හෝඩියේ පංතියට ඉගැන්වූවාය. කුමක්දෝ ශබ්දයක් සියඹලා ගස දෙසින් නික්මෙනු ඇයට ඇසිණි. ඇය වේගයෙන් ගස මුලට දිව ආවාය.

ඇයගේ නෙතට හසුවන විට තිලකේගේ කලවා ඇටය පොඩිපට්ටම් වී තිබිණි. පුදුමාකාර ලෙස කලවා ප්‍රදේශය දෙගුණයක් මහත් වී තිබුණේ, මෙතෙක් නහරවල සංසරණය වූ රුධිර ධාතුව එක් සැනින් එකම තැනකින් මුදා හැරෙන්නට නියමිත වූ බැවින් විය යුතුය. ගුරුතුමිය විලාප නැගුවේ මහ හඩිනි.

‘අප්පේ... තිලකේ කොටේට යටවෙලා අනේ ඉක්මනට වරෙල්ලා!”

හිරි වැටුණු කකුල දෙස යන්තමින් හැරී බැලූ ‘තිලකේ’ තමන් මුහුණ දුන් අනතුර හොඳින් වටහා ගත්තේය. තමන්ට හෝඩියේ පංතියට අකුරු ඉගැන්වූ ගුරුතුමිය විලාප දෙන අයුරු ඔහුට යන්තමින් ඇසුණේය. රතු ලෙයින් පෙගුණු කලවයේ තවමත් රැඳී තිබෙන නිල්පැහැ පිජාමා සරම සකසා ගන්නට මෙන් සැරසුණු ‘තිලකේ’ සුදුමැලි දෙතොලින් මෙසේ කොඳුළේ්ය.

‘නෝන මහත්තයෝ! මගේ කකුල යට වුණා. මගේ කකුල නම් ඉවරයි වගේ!

 

Tiniwick 2705@gmail.com

අඳුනන අයත් එක්ක ජොබ් එක අමාරුයි

$
0
0
ඔක්‌ 3, 2019 01:00

කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ත්‍රීවීල්

කටුවන බළකොටුව පිළිබඳ ඓතිහාසික සටහන් අනුව ක්‍රි:ව 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන්නට යෙදුණු මෙය දිග පළලින් අඩි 150 ක් වන චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උස වන අතර එහි අභ්‍යන්තරය දළ වශයෙන් අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විතය. විශාල ගල් කුට්ටි යොදා ගනිමින් හුණු බදාමයෙන් ප්‍රාකාරය තනා ඇත. ගොඩනැඟිල්ලට ප්‍රවේශ දොරටු තිබී ඇත්තේ එකක් පමණි. එහි වම් පසින් බළකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැඟිල්ලක් තිබී ඇති අතර එහි ඔරලෝසුවක් ද සවිකර තිබී ඇත. කටුවන නගර මධ්‍යයේ පිහිටා ඇති කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලම මෙම ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නා බළකොටුව පිහිටා තිබේ. එනිසාම මෙවර දිනමිණ මගතොට මිතුරෝ විශේෂාංගය වෙනුවෙන් අප කථාබහට එක් කර ගන්නට සූදානම් වෙන්නේ ඉතාමත්ම රමණීය වටපිටාවක් ඇති සුන්දර කටුවන නගරයේ බළකොටුව අසල ත්‍රිරෝද රථ ගාලේ මිතුරන් කිහිපදෙනෙකි.

මහනුවර රාජ්‍ය සමයේ උඩරට රාජ්‍යයත් මුහුදු බඩ ප්‍රදේශයත් වෙන් කරන ලද වැදගත් මුරපොළක් ලෙසට සැලකුණු මායිම් ප්‍රදේශයක් වු කටුවන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවට අයත් වේ. වලස්මුල්ල සිට මිද්දෙණිය දක්වා ගමන් මාර්ගයේ පිහිටා ඇති කටුවන මේ වන විට දියුණු වෙමින් පවතින ඓතිහාසික වශයෙන් වැදගත් නගරයකි. එහි ඓතිහාසික වැදගත්කම ඉස්මතුවන ප්‍රධානතම හේතුව ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද ඉපැරැණි බලකොටුව ය.

ලන්දේසි ජාතිකයින් විසින් රට අභ්‍යන්තරයේ ඉදිකරන ලද බලකොටු අතරින් වඩාත් සුරක්ෂිතව පවත්නා බලකොටුව වශයෙන් කටුවන කොටුව සැලකිය හැකිය. කටුවන බළකොටුව ඉදි කිරීමේදී මූලික වශයෙන් අංශ දෙකක් කෙරෙහි අවධානය යොමුකොට තිබේ. එනම් දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමත්, සිය වාණිජ අරමුණු ඉටු කරගැනීමේදී කලාපීය මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමත් ය.

අවට ප්‍රදේශයේ පිහිටීම ද බළකොටුවක් නිර්මාණය කිරීම උදෙසා මනා යෝග්‍යතාවයක් පෙන්නුම් කරයි. පොදුවේ සලකා බැලීමේදි අවට රැළි බිම් සහිත භූමි ලක්ෂණ පෙන්නුම් කළ ද බටහිර හා වයඹ දිග මායිම්වල තරමක් උස කඳු පංති පිහිටා තිබේ. රම්මලකන්ද, හිඟුරකන්ද, කරවිලකන්ද ඒ අතරින් කැපී පෙනේ. බළකොටුවට නැගෙනහිර දෙසින් වූ බිම්කඩ වෙරළ ඉම දක්වා සමතලා භූමි ප්‍රදේශයක් ලෙස පැතිර යයි. මේ භූමි ලක්ෂණය ද බළකොටුවේ වැදගත්කම වඩාත් ඉස්මතුවීමට හේතු වී තිබේ.

කටුවන බළකොටුව පිළිබඳ ඓතිහාසික සටහන් අනුව ක්‍රි:ව 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන්නට යෙදුණු මෙය දිග පළලින් අඩි 150 ක් වන චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උස වන අතර එහි අභ්‍යන්තරය දළ වශයෙන් අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විතය.

විශාල ගල් කුට්ටි යොදා ගනිමින් හුණු බදාමයෙන් ප්‍රාකාරය තනා ඇත. ගොඩනැඟිල්ලට ප්‍රවේශ දොරටු තිබී ඇත්තේ එකක් පමණි. එහි වම් පසින් බළකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැඟිල්ලක් තිබී ඇති අතර එහි ඔරලෝසුවක් ද සවිකර තිබී ඇත.

කටුවන නගර මධ්‍යයේ පිහිටා ඇති කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලම මෙම ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නා බළකොටුව පිහිටා තිබේ. එනිසාම මෙවර දිනමිණ මගතොට මිතුරෝ විශේෂාංගය වෙනුවෙන් අප කථාබහට එක් කර ගන්නට සූදානම් වෙන්නේ ඉතාමත්ම රමණීය වටපිටාවක් ඇති සුන්දර කටුවන නගරයේ බළකොටුව අසල ත්‍රිරෝද රථ ගාලේ මිතුරන් කිහිපදෙනෙකි..

රුවන් චතුරංග මහතා

"අපිට මේ වීල් පාක් එකේ තියෙන ප්‍රධාන ගැටලු තමයි මනුස්සයෙක් හයර් එකක් යන්න මෙතනට ආවාම වීල් එකට නගින්න බැහැ. හරියට පදික වේදිකාවක් නැහැ. වර්ෂාවක් වැස්සොත් මේ පළාතම මඩ වෙනවා. ඒ වගේම තමයි රෑට මේ ස්ථානයට ලයිට් එකක් නැහැ. එන කෙනා කවුද කියලා හඳුනාගන්නත් බැහැ. අපිට ඒ අයගේ මූණුවත් හරියට පේන්නෙ නැහැ. මොන වගේ පුද්ගලයො ද ඇවිල්ලා නගින්නෙ කියලා අපි දන්නෙ නැහැ. ඒ නිසා මේ පිළිබඳව වගකිව යුතු අංශවල අවධානය යොමු කරලා මේවට පිළියමක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්."

එම්.නුෂාන් ප්‍රියංකර මහතා

"මම දැනට අවුරුදු 09 ක පමණ ඉඳලා මේ ත්‍රී රෝද රස්සාව කර ගෙන යනවා. මට පොඩි කලෙ ඉඳලම ලොකු ආශාවක් තිබුණා ත්‍රී රෝද රථයක් පදවන්න. ඉතින් ඒ ආසාවන් එක්කම තමයි මම ත්‍රී රෝද රථයක් ලීසිං කරලා ගන්න පෙළඹුණේ.

දැන් සෑම ගෙදරකම වාගේ මොකක් හරි වාහනයක් තියෙනවා. ඒ නිසා අපේ ත්‍රී වීල්වලින් හයර් එකට ගමන් බිමන් යන්න එන කට්ටිය ගොඩක් අඩු වෙලා. ඒ නිසා අපි දවසේ හරි හම්බ කර ගන්නා කුලියත් දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. සමහර දවසට නම් හොඳ ආදායමක් ලැබෙනවා. ඒත් සමහර දවසට නම් එතන හිටියට කිසිම ආදායමක් ලැබෙන්නෙ නැතිව යනවා.

එක දවසක් රෝහල් හන්දියේ ඉඳලා අවුරුදු 38 ක විතර පිරිමි කෙනෙක් මගේ ත්‍රී වීල් රථයට නැගලා හයර් එකක් යමු කියලා ගියා. ඉතින් මමත් ඒ මනුස්සයව දාගෙන එයාගෙ ගෙදර ළඟට ගිහින් බැස්සුවා. පස්සෙ මම ටික දුරක් ඇවිත් නිකමට වගේ පස්සෙ සීට් එක දිහා බැලුවම මට පෙනුණා ෆෝන් එකකුයි ෂොපින් එකක ඔතාපු පාර්සලයකුයි තියෙනවා. මම ගිහින් බස්සලා ආපු මනුස්සයාගෙ තමයි මේ බඩු ටික කියලා මට තේරුණා. මම ඉක්මනට හරවාගෙන ගිහිල්ලා කිව්වම තමයි ඒ කෙනාටත් මේ තිබිච්ච දේවල් ගැන මතක් වුණේ. පස්සෙ ඒ කෙනා මට ෂොපින් කවරෙ ඔතාපු පාර්සලය ලිහලා පෙන්නුවා. ඒකෙ තිබුණෙ රුපියල් 14000 ක්. ඒ කෙනා මට ගොඩක් ස්තුති කෙරුවා.

අපිට හැමදාම හයර් නැහැ. ඒ නිසා මේ ත්‍රී රෝද රථ රස්සාව කරන අපි වගේ දුප්පත් අය හොයලා රජයෙන් මොනවා හරි සහනාධාරයක් ලබා දෙන වැඩපිළිවෙළක් කරනවා නම් ඒක අපිට ලොකු ශක්තියක් වෙනවා."

එස්.ජී.චතුරංග මහතා

"අපි ඉන්න මේ ගම්බද පළාත්වල හයර් දුවන්න හරි අමාරුයි. වැඩිපුර ඉන්නේ දන්නා කියන කට්ටිය. ඒ අයගෙන් හරියට හයර් එකට මුදලක් ගන්නත් බැහැ. දෙන්නෙත් නැහැ. හරියට නියමිත ගාස්තුව ඉල්ලුවම තරහ වෙන අවස්ථාත් තියෙනවා. මේ පාර්ක්‌ එකේ ගොඩක් අය ඉන්න හින්දා දන්නා හඳුනන කිහිප දෙනකුගේ හයර් විතරයි මට එන්නේ. සමහර අවස්ථාවල එක පවුලේ හත් අට දෙනෙක් ආවොත් ඒ ඔක්කොම එකට නැගලා එක ගමනට යන්න හදනවා. අපි බැහැයි කිව්වම ඒ අය අපිත් එක්ක තරහ වෙනවා. මේක හරිම අමාරු ජොබ් එකක්. දැලි පිහියෙන් කිරි කනවා වගේ. තරහ කරගෙනත් බැහැ. නොකරගෙනත් බැහැ. කොහොම වුණත් අමාරුවෙන් හරි හයර් එකක් දුවලා කියක් හරි හොයාගන්න තමයි අපි මහන්සි වෙන්නේ."

අසෝක මදනායක මහතා

"මම මුලින්ම පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරත වුණා. ඒක කරන්න ඕන බොහොම වගකීමකින්. මොකද උදේ පාන්දරින්ම නැගිටලා වෙලාවට ළමයි පාසලට ගිහින් දාන්න ඕන. ඒ වගේමයි හවසට පාසල් අරින වෙලාවට හරියටම ගිහිල්ලා ඒ ළමයි අරගෙන එන්නත් ඕන. ඒත් පස්සේ කාලෙක මට වුණ සිදුවීමකුත් එක්ක මම පාසල් ළමයි හයර් කරන එක නැවැත්තුවා. දැන් මේ පාක් එකට ලැබෙන හයර් එකක් කරගෙන ඉන්නවා."

 

සටහන හා ජායාරූප
රෝහණ ආරියරත්න
හම්බන්තොට විශේෂ

සංස්කරණය
 චතුමී පිටිපන

වර්ජන සහ පුරවැසියා

$
0
0
ඔක්‌ 3, 2019 01:00

ජනපතිවරණය ගැන ඉව දැනුණ මොහොතේ සිට මෙරට පැතිරී යන වර්ජන රැල්ල පුරවැසියන්ට ඇති කර ඇති පීඩාව මෙතෙකැයි කිව නොහැකිය. මහජනතාව ඇපයට ගෙන, ගෙනයනු ලබන මේ වර්ජන හේතුවෙන් පාසල් දරුවාගේ පටන් සියලු ජන කොටස් අසීරුතාවට පත්ව, රටේ නිෂ්පාදනය, සංවර්ධනය, අධ්‍යාපනය යනාදී සියල්ලද කඩා වැටී ඇත. මෙම වර්ජනවලින් ජනතාව ගලවා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගතයුතු පියවර කුමක්ද? වර්ජනවලදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට නොහැකිද? යනාදී ගැටලු සම්බන්ධයෙන් විද්වතුන් දක්වන අදහස් වෙනුවෙන් මෙවර දේශපාලන කොලෝසියමේ ඉඩ වෙන්වේ.

*************

වැරදි තීරණ නිසා විසමතා ඇතිවෙලා

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ධම්මික හේරත්

රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන වර්ජන රැල්ලට විවිධ වෘත්තීන්ට අයත් කණ්ඩායම් රැසක් සම්බන්ධ වීම නිසා සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ලවී තිබෙනවා. ඕනෑම රටක රාජ්‍ය සේවය තුළ සමානිත හා සමාන්තර සේවාවන් පවතින අතර, විශ්වවිද්‍යාල ආරම්භ කළ දා පටන් රාජ්‍ය සේවය තුළ විශ්වවිද්‍යාල මහචාර්යවරු මෙහි සුපිරිම කොටස ලෙස සැලකුණා. විගණාකාධිපති, අගවිනිසුරු, විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරු වගේ සේවාවන් සමාන්තර සේවා ලෙස සැලකෙනවා. මේ සමාන්තර හා සමානිත සේවාවල නිරත අය තම තමන්ගේ සාපේක්ෂ තත්ත්වය වෙනස් වනවාට අකමැතියි. තත්ත්වය පහළට වැටීම හා වැටුපේ සිදුවන සාපේක්ෂ අඩුවීම මුල් කරගෙන තමයි ප්‍රශ්නය මතු වන්නේ.

මෑතක සිදුකළ වැටුප් ඉහළ දැමීමත් සමඟ විනිශ්චයකාරවරුන්ගේ හා නීතිපති දෙපාර්තුමේන්තුවේ වැටුප සෙසු සාමාන්තර සේවාවන්ගේ වැටුපට සාපේක්ෂව විශාල ලෙස ඉහළ ගියා. සමාන්තර සේවා අතරින් එක් අංශයක් පමණක් මෙලෙස ඔසවා තැබීමට රජය ගත් තීරණය බරපතළ වරදක්. නීතිපති හෝ රජයේ අධිනීතිඥයකු වීමට වඩා විශේෂඥ වෛද්‍යවරයකු වීම අසීරුයි. වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසු දරුවන් උසස් පෙළ විභාගයේදී දැඩි තරගයක් දීලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්නේ. එලෙස ඉතා තරගකාරී විභාගයකින් සාර්ථකම ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාලයට ඇතුළුවී එහිදීත් සුවිශේෂ දක්ෂතා දක්වමින් ඉහළින් සමත්ව තව දුරටත් අධ්‍යාපනය ලබමින් විශේෂඥ වෛද්‍යවරයකු වන අයකුට වඩා නීතිපතිගේ වැටුප ඉහළින් තිබීම සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා.

පැහැදිලිවම මේ අර්බුදය මතුව තිබෙන්නේ ආණ්ඩුව ගත් වැරදි තීන්දු නිසා. එසේ වූ පමණින් මේ ආකාරයෙන් ජනතාව දැඩි පීඩනයකට ලක් කිරීම නිවැරදි යැයි කීමට පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ දැන් ආණ්ඩුව කළ යුතු හොඳම දේ සාකච්ඡා මණ්ඩලයක් පත් කිරීමයි. මේ ගැන පුළුල් අධ්‍යන්‍යයක් කළ යුතුයි. දැන් කාර්යාල කාර්ය සහයක ලෙස වැඩ කරන අය සියලු දීමනා සහිතව රුපියල් හැට දහසකට ආසන්න වැටුපක් ලබා ගනිද්දී උපාධිධාරි ගුරුවරයකුගේ වැටුප රුපියල් 45000. 00 යි. මේ විසමතා ඉවසමින් රාජකාරියට කැපවෙන්න කවුද කැමැති. වර්ජන හා උද්ඝෝෂණ කරමින් සාමාන්‍ය ජනතාව තළා පෙළා රාජ්‍ය සේවයේ එක් කණ්ඩායමක් වැටුප් වැඩිකර ගනිත්දී එවැනි ක්‍රියාමාර්ගවලට නොයන ක්ෂේත්‍රවල අයගේ වැටුප එතනම තියෙනවා.

පසුගිය කාලය පුරා සිදුවූ මෙවැනි දේ නිසා වර්ජන, උද්ඝෝෂණ වැනි දේ නොකර වැටුප් වැඩිකර ගත නොහැකි බවට මතයක් සමාජගත වුණා. මේ වර්ජනය තුළ කිසිසේත් අනුමත කළ නොහැකි දේවල් දක්නට ලැබුණා. කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොකර දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය ඊට උදාහරණයක්. දිවයිනේ නොයෙක් ප්‍රදේශවල සිට අගනුවරට රැකියා සඳහා එන විශාල පිරිසක් ඉන්නවා. සිකුරාදා ගම්බිම් බලා මේ අය අතරින් වැඩි දෙනෙක් යන්නේ දුම්රියෙන්. මගී ජනතාව මේ වර්ජනය නිසා මොන තරම් පීඩාවක් වින්දද?

මේ වැටුප් විසමතාව නිසා ඇතිවූ ගැටලුවට විසඳුම් ලබාදිය යුතුව තිබෙන්නේ තාර්කිකවයි. ලබාදුන් වැටුපක් යළි අඩු කරන්න බැහැ. ඇත්තටම මේක නිවැරදි කරනවා නම් කරන්න ඕන වැටුප් විසමතාව ඇති වීමට හේතුවූ ක්ෂේත්‍රවල වැටුප් අඩු කිරීමෙනුයි. නැත්නම් අඩු වැටුප් ඇති සමාන්තර ශ්‍රේණිවල වැටුප් ඉහළට ගේන්න ඕන. රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඒක කරන්නත් බැහැ. විවිධ තලවල අය නියෝජනය වන කමිටුවක් මගින් ආණ්ඩුව මේ ප්‍රශ්නය ගැන නිසි අධ්‍යයනයක් සිදුකර පිළිගත් විසඳුමක් යෝජනා කළ යුතුව තිබෙනවා. බොහෝ විට මේ කමිටු සකස් වන්නේ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගෙන්. රටේ රැකියා කරන පිරිස් අතර ඔවුන්ද එක් කොටසක් නිසා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් ගෙන් පමණක් සැකසුණු කමිටුවකින් සාධාරණ තීන්දුවක් අපේක්ෂා කළ නොහැකියි. විවිධ ක්ෂේත්‍රවල අය මේ කමිටුවට ඇතුළත් විය යුතු වන්නේ ඒ නිසයි.

මේ වරද නිවැරදි කරගන්න පුළුවන් එක ක්‍රමයක් ලෙස වැටුප් ලබන පුද්ගලයාගෙන් පසු අදාළ තනතුරට පත්වන පුද්ගලයාට අඩු වැටුපක් නිර්දේශ කිරීම වැනි ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කළ හැකියි. මූලික උපාධිය තිබෙන පුද්ගලයකුට රාජ්‍ය අංශයේ කොතන රාජකාරී කළත් වැටුපේ වෙනසක් තියෙන්න බැහැ. වෘත්තිය සුදුසුකම, ජීවිතයට ඇති අවධානම, අදාළ වෘත්තිය සඳහා රටේ ඇති ඉල්ලුම, විදේශීය රටවල ඒ සඳහා ඇති ඉල්ලුම වැනි කරුණු පදනම් කර ගනිමින් එක් එක් වෘත්තීන්ගේ වැටුප් යම් ප්‍රමාණයකට වෙනස් වීමට පුළුවන්. කෙසේ හෝ විධිමත් පදනමක් මේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රටේ තිබිය යුතුයි.

ඡන්දයක් පවතින අවස්ථාවක ආණ්ඩුව අපහසුතාවට පත්කර කෙසේ හෝ වැටුප් වැඩිකර ගන්නවා කියන තැනට වර්ජකයන් ගමන් කිරීම සදාචාර සම්පන්න නැහැ. භාණ්ඩාගාරයේ මුදල් නොමැති තත්ත්වයක් තුළ රජයේ සේවකයින්ගේ වැටුප් පවා ගෙවීමට සිදුව තිබෙන්නේ සුරකුම් පත් විකිණීමෙන්. බදු මුදල්වලින් ලැබෙන ප්‍රමාණය ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. බලය තිබෙන 30% කණ්ඩායමක් සමස්ත මුදලින් 70% ක් ලබා ගනිත්දී සෙසු 70% ට ඉතිරි වන්නේ 30% ක පමණ මුදලක් පමණයි. ආණ්ඩුවක් අර්බුදයකට පත්වන්නේ ප්‍රතිපත්ති මත පිහිටා වැඩ නොකරන විටයි. ප්‍රතිපත්තියක් මත වැඩ කරනවා නම් ආණ්ඩුවට කොන්දක් ඇතිව තීරණ ගන්න හැකියාව ලැබෙනවා. මේ මොහොතේ ඡන්දය ගැන සිතා අර්බුදයට පැලැස්තර විසඳුමක් දීමට ගියහොත් සිදු වන්නේ මේ ප්‍රශ්නය තවත් දික් ගැසීමයි. ඒ ගැන හොඳින් තේරුම් ගෙන රජය කටයුතු කළ යුතුව තිබෙනවා. ජනතාව පත්වෙලා ඉන්න අර්බුදයට සහන සලසන්න ආණ්ඩුවට පුළුවන් වෙන්නේ මේ විදියට කටයුතු කිරීමෙන් තමයි. නැත්නම් මේ ගැටලුව දිගින් දිගටම එනවා. පැලැස්තර ගැසීමෙන් වැඩක් නෑ.

අසේල කුරුළුවංශ

*************

වෘත්තීය සමිති නායකයො ප්‍රභාකරන් වගේ

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රභාත් ඒකනායක

මේ වර්ජන රැල්ල නිසා වෘත්තිකයන්ට වගේම සමස්ත පුරවැසියන්ටම ඇති වී තිබෙන පීඩනය මෙතෙකැයි කියන්න බෑ. රට සම්පූර්ණයෙන්ම ආපස්සට ගෙනියන්න මේ වර්ජකයන්ට පුළුවන්. දැන් තියෙන්නේ වර්ජන මාෆියාවක්. මේ සියලු වර්ජනවලට මුහුණ දෙමින් සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආණ්ඩුව යම් කිසි සහනශීලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. දුම්රිය වර්ජනය නිසා ජනතාවට නිසි වෙලාවට රාජකාරියට වාර්තා කරන්න අමාරුයි. මෙතැනදී සේවකයන් ප්‍රමාද වෙන්නේ ඔවුන්ගේ වැරැද්දෙන් නොවේ. ඒ නිසා වැඩ කිරීමට ඇති නිශ්චිත වෙලාව සම්බන්ධයෙන් වෘත්තිකයන්ට යම් සහන සලසන්න රාජ්‍ය අංශය කටයුතු කරන්න ඕනේ. පෞද්ගලික අංශයේ සේවකයන් ගැනත් ඒ කළමනාකාරිත්වය යම් සහන පියවර ගැනීම වැදගත්.

පැය අටේ වැඩමුරය ගැන තදින්ම සැලකීම මේ අවස්ථාවේ යෝග්‍ය වෙන්නේ නෑ. නියම වෙලාවට වැඩට එන්න සේවකයන්ට බෑ. ඒ නිසා ප්‍රමාද වෙන වෙලාවට යම් සහනයක් දෙන්න රාජ්‍ය ආයතන කටයුතු කරන්න ඕනේ. බොහෝ දුර බැහැර ඉඳලා එන සේවකයන් ඉන්නවා. ඒ අයට යම් විදියක නිවාඩු අනුමත කිරීමක් කරන්න වෙයි. නිවෙසේ සිට ඔන්ලයින් ක්‍රමයට රාජකාරී කරන්න පුළුවන් විදියක් තියෙන හැම ආයතනයක්ම එහෙම කරන්න ඕනේ. සේවකයාට මිත්‍රශීලිව සලකන ක්‍රමයකට තමයි ආයතන කටයුතු කරන්න ඕනේ. ඒක වර්ජනයක් තිබුණත් නැතත් කළ යුතුයි.

දියුණු රටවල සේවකයාව කාර්යාලයටම ගෙන්වා ගන්නේ නෑ. නිවෙසේ සිටිමින් රාජකාරිය කරන්න ඒ අයට පුළුවන්. හැම ආයතනයක්ම ඒ තාක්ෂණය ලබා ගැනීම වැදගත්. ඒ වගේම හැකි සෑම ආයතනයක්ම තමන්ගේ සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන්න ඕනේ. සමහර ආයතනවල සේවකයන් මොන වර්ජනය තිබුණත් වැඩට එන්න ඕනේ. මොකද ඒ සේවය අත්‍යවශ්‍යයි. එවැනි වර්ජනය නිසා ප්‍රමාද වී එන අය රාත්‍රී කාලය වෙනතුරු වැඩ කරනවා නම් ඒ අයට ප්‍රවාහන පහසුකම් සපයන්න අනිවාර්යෙන්ම ඒ ආයතන කටයුතු කරන්න ඕනේ. නැති නම් උදේ හවස දෙකේම ප්‍රවාහන පහසුකම් සපයන්න කටයුතු කිරීම සේවකයන් පැත්තෙන් කරන සහන සැලසීමක්.

සේවකයන්ට මේ විදියට සහන සලසන අතරේ වෘත්තීය සමිති පැත්තෙනුත් ආණ්ඩුව යම් පියවර ගන්න ඕනේ. ඉල්ලීම් සාධාරණ නම් ඒ ඉල්ලීම් ලබාදීමට ඉක්මනින් පියවර ගැනීම වැදගත්. ඉල්ලීම් අසාධාරණ නම් ඒ සම්බන්ධයෙනුත් සෘජු තීරණ ගැනීමත් ඉතා වැදගත්. මේ වෙලාවේ ඉල්ලන ඉල්ලීම් කිසිම විදියකින් අනුමත කරන්න බෑ. විශ්වවිද්‍යාලවල වැඩ කළ පමණින් විශ්වවිද්‍යාල අනධ්‍යයන මණ්ඩලයට අධ්‍යයන මණ්ඩලයට කරන ගෙවීම් ලබා දෙන්න බෑ. විශ්වවිද්‍යාලයක වුණත් සේවයට ඇවිත් තියෙන්නේ සාමාන්‍ය පෙළ විතරක් පාස් වෙලා නම් ආචාර්ය මහාචාර්යවරයකුට ගෙවන පඩිය ගෙවන්න බෑ.

මේක තේරුම් ගන්න ඕනේ. දුම්රිය වර්ජකයන්, ගුරුවරුන්, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ඇතුළු මේ සියලු දෙනා කරන ඉල්ලීම් අසාධාරණයි. අනෙක යම් ඉල්ලීමක් ඉල්ලගන්න තියෙනවා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. හිතුමතේ වර්ජනය කරලා ජනතාව අපහසුතාවට පත්කරන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් වැටුප් ගන්න සේවකයන්ට අයිතියක් නෑ. මිනිසුන්ගේ කඳුළු දැකලාවත් උණු වෙන්නේ නැති හදවත් තියෙන නිලධාරින් හා සේවකයන්ගේ ඇති පලේ මොකක්ද? මේ වගේ සේවකයන් නෙරපා හැරිය යුතුයි කියලයි මම නම් කියන්නේ.

ඡන්ද නොලැබෙයි කියලා බයේ ආණ්ඩු තීරණ ගන්නේ නෑ. ඒ නිසා මුළු මහත් ජනතාව අපහසුතාවට පත්වෙනවා. ආයෝජකයෝ මේ පැත්ත බලන්නේ නෑ. එක එක වෘත්තීය සමිතිවල දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව නැටවෙන රූකඩ වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ අයගේ වැඩ තහනම් කරලා වැඩ කරන්න පුළුවන් සේවකයන් සේවයට යොදවන්න ඕනේ. අලුත් සේවකයෝ බඳවා ගෙන සේවය කාර්යක්ෂම කරන්න ඕනේ.

ඒ වගේම ඡායා කැබිනෙට්ටුවක් වගේම ඡායා සේවක මණ්ඩලයක් පවත්වාගෙන යන්න අලුතෙන් පත්වෙන ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඕනේ. විශේෂයෙන් දුම්රිය වැනි ප්‍රවාහන සේවා සඳහා පුහුණුව ලත් වෙනත් කණ්ඩායමක් සූදානම් කරගන්න ඕනේ. මේ මාෆියාවට යට වීම රට ආපස්සට ගෙනියන වැඩක්. ඒ නිසා ආණ්ඩුව සෘජු, නිවැරැදි තීරණ ඉක්මනින් ගැනීම ඉතා වැදගත්. වෘත්තීය සමිති නායකයන් ප්‍රභාකරන්ලාට සමානයි. ප්‍රභාකරන් තම ආරක්ෂාවට බිල්ලට තියාගත්තේ අසරණ මිනිස්සු. වෘත්තීය සමිති නායකයොත් බිල්ලට අරන් තියෙන්නේ ජනතාව. ඒ නිසා මේ අය ගැන සෘජු තීරණ ගන්න ඕනේ.

සුමේධා නවරත්න

*************

පළමුව රට ගැන හිතන්න ඕනේ

* ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ කථිකාචාර්ය ප්‍රසාද් වීරසිංහ

රාජ්‍ය සේවකයින්, වෘත්තීයවේදීන්, කම්කරුවන්, ගොවීන් ඇතුළු සමස්ත වැඩකරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ සේවයට අනුකූලව තමන්ට ලබා දී තිබෙන අයිතිවාසිකම් පාලකයෝ නොදෙන අවස්ථාවල ඒවා ලබා ගැනීම උදෙසා අරගල කළ යුතුයි. නමුත් එවැනි අරගලයකට යාමේ දී අපි රටේ ආර්ථික, දේශපාලන, සමාජ වපසරියෙහි කාලීනත්වය ගැන අවබෝධ කර ගෙන සිටීම වැදගත් වෙනවා.

අපේ රටේ ආර්ථික අර්බුදයක් පවතින බව සියලු දෙනා දන්නවා. ඒ අර්බුදය විශේෂයෙන් පසුගිය දා එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ඉතා උග්‍ර වුණා. රටේ දේශීය ආදායම් උත්පාදනයට දායක වන සියලු ක්ෂේත්‍ර මේ නිසා පසුගාමී තත්ත්වයකට පත් වුණා. ඒ වගේම මේ වන විට රටේ දේශපාලන වශයෙන් ද යම් අස්ථාවරත්වයක් දක්නට ලැබෙනවා. ජනාධිපතිවරණයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. එවැනි සමාජ වපසරියක් තුළ මේ ගෙන යන වැඩවර්ජන රැල්ල ගැන කතා කරන විට වැඩවර්ජනවලට සුදුසුම මේ අවස්ථාව ද කියන ගැටලුව තිබෙනවා.

පාලකයන් ද තමන්ගේ වගකීම හරිහැටි අවබෝධ කර ගත යුතු වෙනවා. විශේෂයෙන් සේවකයන්ට ලබා දෙන්නට පොරොන්දු වු සහන ඒ අයුරින් ම ලබා දීම පාලකයන්ගේ යුතුකමක්. අද දුම්රිය වැඩවර්ජනය ගතහොත් දුම්රියේ සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයන්ට සිදුව තිබෙන අසාධාරණ තත්ත්වය ගැන පාලකයන් හිතන්නේ නැහැ. දුම්රිය නොමැති වීමෙන් ඔවුන් දුරබැහැර සිට බස් රථවලින් සේවයට පැමිණෙනවා. එහිදී ඔවුන්ට නියමිත කාලයේ දී සේවයට වාර්තා කරන්න නොහැකි වෙනවා. එවිට එම සේවකයන්ට සහනයක් ලැබෙනවා ඉතා අඩුයි. ඔවුන්ගේ ප්‍රමාදය සාධාරණව බලා ඔවුන්ට සහනයක් දෙන්න අවශ්‍යයි. නමුත් ඇතැම් ආයතන එසේ කරන්නේ නැහැ. දුම්රිය වැඩවර්ජනයෙන් වගේම මෙවැනි තත්ත්වයන් තුළදීත් අසාධාරණයට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව පමණයි. සේවකයන්ගේ ඉල්ලීම් ගැන අවධානය යොමු නොකර සිටිමෙන් සේවකයන් ඒවා දිනා ගන්න අරගලවලට යනවා. ඒ නිසා මහජනතාව අසීරුතාවයන්ට පත් වෙනවා.

ආර්ථික, දේශපාලන විපරිණාමයක් පවතින මේ අවස්ථාවේ පාලකයන් වගේම සේවකයන් ද පළමුව රට ගැන හිතා කටයුතු කළ යුතුයි. විශේෂයෙන් පළමුව රට ආර්ථිකමය වශයෙන් හා දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයකට පත් කළ යුතුයි. සේවකයන්ගේ ඉල්ලීම්, ගැටලු දෙස සාධාරණව බලා සේවකයන් සාකච්ඡා මේසයක් කරා යොමු කරවා ගෙන ඔවුන්ගේ ගැටලු නිරාකරණයට මාර්ගය විවර කර ගත යුතුයි. බොහෝ අවස්ථාවල සේවක ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම ඉතා මන්දගාමීයි. මේ නරක තත්ත්වය අදටත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් පැවතීමටද හේතුවක් වෙනවා. මුලින්ම රට දේශපාලන වශයෙන් ස්ථාවර කර ගෙන ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් රට ගොඩනගන්නට කටයුතු කළ යුතුයි.

අද ඇතැම් වෘත්තීය අරගල දින 20 ත් පසු වෙලා. මේ අයගේ වැඩවැරීමෙන් සිදු වන්නේ රට ආපස්සට යාම. මෙයට වැරදිකාරයන් සේවකයන් පමණක් නොවෙයි. ඔවුන්ගේ ඉල්ලීම්වලට කන් නොදෙන රජයත් වගකිව යුතුයි. වැඩවර්ජන නිසා දිනක පාඩුව කොපමණක්ද, මේ ගැන වහාම රජය අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. එවැනි වකවානුවක රජයට හැකිනම් මේ ඉල්ලීම් ලබා දෙන්න ඊට හොඳම කාලය මෙයයි. නමුත් රජය මේ ඉල්ලීම්වලට සංවේදී නොවන්නේ කුමක් හෝ ගැටලුවක් තිබෙන නිසා බව අනුමාන කරන්න පුළුවන්. එය ආර්ථික ගැටලුවක් හෝ නීතිමය ගැටලුවක් විය හැකියි. එසේ නම් රජය කළ යුතු වන්නේ මේ ඉල්ලීම් නොසලකා හැර තව දුරටත් සේවකයන් අරගලවලට ගෙන යාම නොවෙයි. අරගල නිසා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම නොවෙයි. සේවකයන් සාකච්ඡා මාර්ගයට රැගෙන යාමයි. ඒ හරහා කඩිනමින් සේවක ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීමයි. එසේ නොවන්නේ නම් දිගින් දිගමට රට ආපස්සට යනවා. ජනතාව පීඩාවට පත් වෙනවා. රාජ්‍ය සේවා කඩාවැටීමට ලක් වෙනවා. රට ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පත් වෙනවා. ඒ නිසා ආණ්ඩුව වහා ජනතාවත් රටත් ගැන සිතා තීන්දු තීරණ ගතයුතුයි. ඒ තීරණවලින් නැවත අර්බුදයකට නොයන්න නම් මේ සම්බන්ධයෙන් දැනුම ඇති විද්වත් පිරිස සමගත් සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත යුතුයි.

සමන්මලී ප්‍රියශාන්ති

*************

ජනතාවත් තම අයිතිය වෙනුවෙන් සංවිධාන වෙන්න ඕනෙ

* රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය උපාලි පන්නිලගේ

උද්ඝෝෂණ සහ වර්ජන දෙස දෙපැත්තකින් බැලිය යුතුයි. එක් පැත්කින් මේ නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. අනෙක් පැත්තෙන් වර්ජනය කරන සේවකයන්ගේ ඉල්ලීම්. මේ කියන කාරණා දෙකම ගැඹුරින් විමසා බැලිය යුතුයි.

ඕනෑම කාරණයක දෙපැත්තක් තිබෙනවා. අද වෙන කොට පාර්ශ්ව රැසක් උද්ඝෝෂණයන් හා වර්ජනවල නිරත වෙනවා. එහි මූලික අරමුණ ඔවුන්ගේ වැටුප් විසමතාවලට විසඳුම් ලබාගැනීමයි. වඩා අපහසුතාවට පත්වෙන පාර්ශ්වයන් තමයි ඔවුන් සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නේ. ඒ කියන්නේ තමන්ගේ සේවය ලබා ගන්නා මහජනතාව තමයි ඇපයට තියාගන්නේ. ප්‍රවාහන වර්ජකයෝ මගීන්, ගුරුවරු ළමයින් යනාදී වශයෙන් එක් එක් කණ‍්ඩායම් තමන්ගේ සේවය ලබා ගන්නා පිරිසට එම සේවය නොදී අත්හරිනවා. එය අතීතයේ ඉදන් සිදු වුණ දෙයක්.

හැබැයි මෙතන තිබෙන ඊළඟ ප්‍රශ්නය තමයි රටක මැතිවරණයක් එද්දි මෙවැනි උද්ඝෝෂණ හෝ වර්ජනය කිරීම හරිද වැරදි ද කියන එක. මෙහිදී විපක්ෂය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑම සඳහා මෙවැනි දේ කරනවා කියන සැකය ඇතැම් අය තුළ මතුවෙමින් තිබෙනවා. බටහිර ලෝකයේ නම් මෙවැනි උද්ඝෝෂණ හෝ වරජනවල නියැළෙද්දි ඊට බලපාන අනෙක් පිරිසට හානියක් සිදු නොවන අයුරින් එය ඉටු කරන ක්‍රමවේදයන් සකස් කර තිබෙනවා. ඒ මඟින් ජනතාව හෝ සේවකයන් අපහසුතාවයට පත් නොකර ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගන්නවා. අපේ රටේ එවැනි ක්‍රමවේදයන් නැති නිසා තමයි මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ. දුම්රිය සේවකයන් මඟීන් යොදා ගන්නවා. ගුරුවරුන් ශිෂ්‍යයන් යොදා ගන්නවා. අනෙක් නිලධාරීන් තමන්ගෙන් සේවය ලබාගන්නන් යොදා ගන්නවා. වෘත්තීය සමිති ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගන්න මෙවැනි දේ කරනවා වගේ අපේ රටේ මඟියන්, අනෙක් සේවා ලබාගන්න පිරිසත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන දේයි මම විශ්වාස කරන්නේ.

තමන්ට වෙන අසාධාරණය වෙනුවෙන් ඔවුන්ද සංවිධාන වී පෙනී සිටිය යුතුයි. එහෙත් එවැනි තත්ත්වයක් නැති නිසා තමයි මඟීන්ට, සේවා ලබාගන්නන්ට මෙවැනි පීඩාවන්ට පත් වෙන්න සිදු වී තිබෙන්නේ. උදාහරණයක් කියන්නම්. විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය උද්ඝෝෂණය කරද්දි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බලන් ඉන්න දරුවන්ගේ කාලය ඈතට යනවා. උපාධිය අවසන් කර ශ්‍රම බලකායට යන්න ඉන්න පිරිසගේ කාලය ඈතට යනවා. මින් රටක ආර්ථිකයට, සමාජය විශාල බලපෑමක් සිදුවෙනවා. රටක් බිඳ වැටීමයි ඒ මඟින් සිදුවන්නේ. මේ සඳහා රජයක් වශයෙන් පළමු සැලසුම අසාර්ථක නම් ඊට දෙවැනි සැළසුමක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය කියන ජන ජීවිතයට තදින් බලපාන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළ යුතුයි. එහෙම නැත්නම් මේ සේවා සහය දිය හැකි පාර්ශ්වයන් යොදා ගෙන ඔවුන්ගෙන් වැඩ ගත යුතුයි. පසුගිය කාලයේ මෙවැනි වර්ජන රැළි එද්දි ත්‍රිවිධ හමුදාවේ සහාය අරගෙන එම සේවාවන් පවත්වාගෙන ගියා. එක්කෝ රජය එවැනි ක්‍රියාමාර්ගවලට ගොස් මගීන් අපහසුතාවයට පත් වීමෙන් වලක්වා ගත යුතුයි.

ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශ්වයම මේ විදියට නිශ්ශබ්දව ඉද්දී මේ දෙපිරිසටම අපහසුතාවට පත්වෙන්න වෙනවා. ඒ නිසා ආණ්ඩුවත් මහජනතාවත් මේ වර්ජනවලට මුහුණ දෙන්න සංවිධානය වීම ඉතා වැදගත්.

නුවන් කොඩිකාර

වර්ජන තිබුණට සුදුවෑන් නැහැ

$
0
0
ඔක්‌ 4, 2019 01:00
දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ

වර්ජන රැල්ල සහ ආණ්ඩුව ඒවාට පිළිතුරුදීමට පමාවීම, ආණ්ඩු පක්ෂයට එල්ල වී ඇති දූෂණ චෝදනා සහ එම චෝදනා සම්බන්ධව ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග, ඉදිරි ජනපතිවරණය ආදිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ අදහස් දක්වයි.

* ලැබුණු නිදහස ජනතාව තේරුම්ගෙන නැහැ 
* චෝදනා කරල මදි ඔප්පු කරන්න ඕන 
* ජනපති අපේක්ෂකයො වත්කම් බැරකම් ලබාදෙන්න ඕන 
* එජාපය අයිති පාක්ෂිකයින්ට 
* වර්ජකයන් ගැන ජනතාව තේරුම් ගනියි 
* මහබැංකු ගනුදෙනු සියල්ල හොයන්න ඕන

යහපාලන ආණ්ඩුවේ දුර්වලකම් හේතුවෙන් විපක්ෂයට ඉදිරි මැතිවරණ වාසිදායක වෙලා කියල යෝජනා කළොත්?

විරුද්ධ පක්ෂ ශක්තිමත් වුණා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. ඒ අය එහෙම ශක්තිමත්වීමක් වෙලා නැහැ. රාජපක්ෂ පවුලෙන් ලාභ ප්‍රයෝජන ගත්තු, ඔවුන් එක්ක විවිධ ව්‍යාපාරවල, වැඩසටහන්වල හිටපු කණ්ඩායම් ඒ අයත් එක්ක ඉන්නවා. ඔවුන් පක්ෂයක් නෙවෙයි. පවුලේ කණ්ඩායමක්. මේක පවුල් ජාලයක්. මේකට අයිතිකාර පවුලක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට අයිතිකාරයෙක් නැහැ. ඒකෙ අයිතකාරයො වෙන්නෙ එක්සත් ජාතික පාක්ෂිකයො. ඔවුන්ගෙ ඉල්ලීම තමයි පක්ෂය ක්‍රියාත්මක කරන්නෙ. යහපාලනයෙ දුර්වලකම් නිසා මේ පවුල වටා මිනිස්සු එකතුවුණේ නැහැ. වැඩ වසම් ක්‍රමයේ ප්‍රාථමික ගති ලක්ෂණ ටික ඒ කඳවුරේ ක්‍රියාත්මක වෙනවා.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ලකළ සියලු චෝදනා බොරු බවට පත්වෙමින් තිබෙනවා කියල මම කිව්වොත්?

ඔබ ඔය කියන කතාව කියන්න තවම කල්වැඩියි.

අධිකරණමය ක්‍රියාවලියෙදි ඔවුන් නිදහස්වෙනවා?

අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතිවූ දුබලතා නිසා එවැනි තත්ත්ව උදාවුණා. ඒව හදාගන්න පුළුවන්. අධිකරණ පද්ධතියේ පවතින ක්‍රමවේදයන්ගේ දුර්වලතා මේ අවුරුදු හතරහමාරෙදි සම්පූර්ණයෙන් හදාගන්න බැරිවුණා.

මේ ක්‍රියාවලිය හදාගන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවද?

අධිකරණය ස්වාධීන කළා. විශේෂ අධිකරණ තුනක් අලුතින් ඇතිකළා. අලුතින් අවශ්‍ය නිලධාරීන් බඳවාගත්තා. උසාවි සංකීර්ණ වැඩිදියුණු කළා. අධිකරණය තවදුරටත් ශක්තිමත් කිරීම හරහා අඩුපාඩු හදාගෙන නීතිමය කටයුතු හරිගස්සගන්න පුළුවන්. ලෝකයෙ සමහර රටවල්වල වගේ අවුරුදු දෙකෙන් සියලු නඩු අවසන් කළ යුතුයි කියන නීතිය අපිට ගේන්න පුළුවන් වුණොත්, අධිකරණයෙ ස්වාධීනත්වය බලන්න පුළුවන්. ඒ වගේම චෝදනා එල්ලවෙච්ච අයට දඬුවම් දෙන්නත් පුළුවන්.

නාමල් කුමාර හඬපටය සිද්ධියේ පරීක්ෂණ නිමවෙන්නත් පෙර තවත් එවැනිම හඬපටයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ශබ්දය සම්බන්ධ පර්යේෂණ කරපු ආචාර්යවරයෙක් හැටියටත්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හැටියටත් මේ හඬපටය සම්බන්ධ ගැටලු කිහිපයක් තියෙනවා. මේ සංවාදයෙ ඇත්තම හඬපටය ගෙන්වා බලන්න අවශ්‍යයි. මේ වෙනකොට මේ සංවාදය ගැන පරික්ෂණයක් කෙරෙනවා. යම් කෙනෙක් වැරදි කරල තියෙනව නම් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕන. චෝනා කරන අයට දඬුවම් කරනව වගේම හරි තොරතුරු ඔප්පු කරන්න බැරිනම් මේ හඬපට දෙන අයටත් දඬුවම් කරන්න ඕන. සමහරු ව්‍යාජ හඬපට හරහා බරපතළ අපරාධ කරනවා. නාමල් කුමාර සිද්ධියට කිසිවක් වුණේ නැහැ. නාමල් කුමාරල ගැන දැන් මිනිස්සු බලන්නෙ උපහාසාත්මකවයි.

දිල්රුක්ෂි ඩයස් සමයේ ඔක්කොම නඩු දැම්මෙ දේශපාලන පළිගැනීම්වලට කියල ජනාධිපතිවරයා කියනවා. මෙය ඉතාම බරපතළ චෝදනාවක් නේද?

ජනාධිපති ප්‍රකාශ ගැන විශාල ගැටලුවක් තියෙනවා. අපිත් එක්ක එකඟවෙච්ච කාරණාවලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ කරන්න අවස්ථා තියෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා වි‍රෝධී වැඩකරන කෙනෙක් බව එතුමා පෙන්නුවා.

හොරු අල්ලන්න ආපු ආණ්ඩුව යටතෙත් දූෂණ වංචා සිද්ධවෙච්ච බවට චෝදනා එල්ල වෙනවා නේද?

චෝදනා කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ චෝදනා ඔප්පු කරන්නත් අවශ්‍යයි. පරීක්ෂණ පවත්වල චෝදනා ඇති අයට දඬුවම් කරන්න ඕන. 

මහින්ද රාජපක්ෂ කඳවුරටත් ඔබේ පාර්ශවයෙන් එල්ල කළේ චෝදනා පමණයි?

චෝදනා විතරක් නෙවෙයි. අපි ඒ ගැන පරීක්ෂණත් කළා. ඔවුන්ට විරුද්ධව පැමිණිලිත් කළා. ඒ පැමිණිලි විභාග කරල වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කිරීම අධිකරණයට බාරයි. පැමිණිල්ලක් දාන එකයි චෝදනා කරන එකයි අතර වෙනසක් තියෙනවා.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත්කළා. ලැබුණු පැමිණිලි ගැන පරික්ෂණත් කළා. බැඳුම්කර සිද්ධිය මේ ආණ්ඩුවට විශාල අපකීර්තියක් ගෙනදුන්නා නේද?

මේ සිද්ධි හරහා වරදක් වෙලා තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න ඕන. ඒවා වළක්වන්න කියල අපි කියන්නෙ නැහැ. මහ බැංකු ඉතිහාසයෙ වෙච්ච මෙවැනි ගනුදෙනු සියල්ල ගැන සොයා බලන්න අවශ්‍යයි. හැමදාම ජනතා බදු මුදල් ගසාකෑම් වෙලා තියෙනවා. මේ හැම එකක් ගැනම සොයන්න අවශ්‍යයි. බැඳුම්කර ගනුදෙනු හැමදාම වෙලා තියෙනවා.

පසුගිය ආණ්ඩුවෙ දූෂණ, චෝදනා පැත්තක තියෙද්දි මේ ආණ්ඩුවෙ දූෂණ චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා නේද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ රාජ්‍ය නිලධාරීන් හෝ වංචා කරනවනම් ඒව හොයන්න ඕන. මේ වංචා කරන්නෙ ජනතාවගෙ බදු මුදල්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම තමන්ගෙ වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන. දීල තියෙන්නෙ මන්ත්‍රීවරු 10ක් විතරයි. ඒව සීල් කරල පාර්ලිමේන්තු මහලේකම් ගාව තිබීම ප්‍රමාණවත් නැහැ. ඒව මහජනතාවට ප්‍රදර්ශනය කරන්නත් ඕන. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අයගෙ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ඉදිරිපත් කරන්න ඕන. රේගුවෙ වැඩකරන සේවකයන්ට ප්‍රසාද දීමනා දෙනවා. ඔවුන් කරන සේවයට වැටුපක් දෙනවා. 2017 – 2018 අවුරුද්දට ලක්ෂ 970 ක ප්‍රසාද දීමනාවක් ගත්තු සේවකයෙක් රේගුවෙ ඉන්නවා. ත්‍යාග ලෙස එක් සේවකයෙකුට මෙතරම් මුදලක් දීම ජාතික අපරාධයක්. මෙහෙම බෙදල දෙන්නෙ ජනතාවට අයිති මුදල්.

ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජන, උද්ඝෝෂණ ඉවරයක් නැහැ. ජනාධිපතිවරණය ආසන්නයෙ කෙරෙන මේ වැඩ වර්ජන ගැන ඔබ මොකද කියන්නෙ?

ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ලැබුණාම ගන්න ප්‍රයෝජන තමයි මේ දකින්න ලැබෙන්නෙ. මේක රටක් හැටියට හොඳ තත්ත්වයක්. වෙනදා නම් සුදු වෑන් එකකින් ඇවිත් මේව මර්දනය කරනවා. එහෙම නැත්නම් වෘත්තිය සමිති නායකයන්ට ගහනවා. යහපාලනය උපරිම ලැබීම හින්දයි මෙහෙම දේවල් වෙන්නෙ. මේ පිටිපස්සෙ දේශපාලනය තිබෙන බවක් පේනවා. ඒ තත්ත්වය වාත්තීය අරගලවලට සුදුසු නැහැ. මේ වැඩ වර්ජන කරන්නෙ කව්ද කියල ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි. මේවා බලහත්කාරයෙන් මර්දනය කරන්න අවශ්‍ය නැහැ. උපවාස කරන්න, උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් හදල දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රටවල එහෙම තියෙනවා. මේ ලැබිච්ච නිදහස තවම ජනතාව තේරුම් අරගෙන නැහැ . ලියන්න, කියන්න, කෑගහන්න දීපු නිදහස ගැන ජනතාව මීට වඩා කල්පනා කළ යුතුයි.

දීපු නිදහසෙන් පොදු මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සිද්ධිවන බවක් පේනවා. එවැනි තත්ත්වයන්ට ආණ්ඩුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ නේද?

මර්දනකාරී ආකාරයේ මැදිහත්විමක් ආණ්ඩුවෙන් සිද්ධවෙන්නෙ නැහැ. සාකච්ඡා සම්මුතීන් සඳහා ආණ්ඩුව ප්‍රබල මැදිහත්වීමක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ සියලුදෙනාට වගකීමක් පැවරෙන බව සියලුදෙනා තේරුම්ගත යුතුයි. හිතාගන්න බැරි නිදහසක් ජනතාවට ලැබුණම ජනතාව ඒක භුක්තිවිඳින ක්‍රමයෙ වෙනස තමයි අපි මේ අත්විඳින්නෙ. එහෙම වුණා කියල නැවත මර්දන හොඳ නැහැ. ඉස්සර නම් ඔබෙයි මගෙයි දුරකථනයත් ටැප්කරලා. දැන් එහෙම නැහැ. ඕනම තැනක ඕනම කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මට ජනාධිපති පවා විවේචනය කරන්න පුළුවන්. ඒ කාලෙ ඔබ මගෙන් අහන ටික ඇහුවනම්, මම ඒකට දෙන උත්තර ඔබ ලියුවනම් අපි දෙන්නටම යන්න වෙන තැන හොයාගන්නත් බැහැ. මේ ලැබිච්ච නිදහසම වැදගත් නැද්ද? ජනාධිපති විවේචනය කරන්න දීපු නිදහසේ ගෞරවය ජනාධිපතිතුමාට දෙන්න ඕන. ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවට උත්තර දෙන්න ආවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන බව ඒකෙන්ම පේනවා. ඒක ලොකු ආදර්ශයක්. අද මොනව කිව්වත් විධායක ජනාධිපතිධුරය අහෝසිකරන්න අවසන් මොහොතේ හරි ජනාධිපතිවරයා මූලිකත්වය ගත්තා. ඒ ගැන එතුමට ස්තුති කළ යුතුයි. විධායකය රටට නොගැළපෙන, නීතිය විනාශ කරන ක්‍රමවේදයක්, විධායක ජනාධිපතික්‍රමය අහෝසිකළ යුතුමයි.

විධායක ජනාධිපති ධුරය අ‍හෝසිකිරීම වෙනුවට සංශෝධනය කර ජනාධිපති ක්‍රමය පවත්වාගත යුතු බවටත් මත පළවෙනවා.?

විධායක ජනාධිපති වෙන්න සිහින දකින සිහින කුමාරවරු එහෙම හිතනවා. සැබෑ ලෝකයෙ අපිට අවශ්‍ය විධායක ජනාධිපති ධුරය අහෝසිකරන නායකයෙක්. එහෙම නොවුණොත් රාජපක්ෂ පවුල වගේ තවත් විවිධ පවුල් මේ රටේ හැදෙයි. ඒ පවුල් බලයට යටවෙච්ච වහල්ලු ටිකක් බිහිවෙයි. ජනතාව වහල්කරණයට පත්වෙයි. පාර්ලිමේන්තුවට බලය ලැබිල, පාර්ලිමේන්තුවෙන් නායකයෙක් පත්වෙන එකට විරුද්ධ ඇයි? පවුල් දේශපාලනයෙන් නායකයො බිහිවෙන එක නතරවෙන්න ඕන.

ඡායා-රංජිත් අසංක

අශික්ෂිත වර්ජන

$
0
0
ඔක්‌ 4, 2019 01:00

ජනප්‍රිය පාසලක් නිමාවන වෙලාවක ගියහොත් රජයේ වාහන කොපමණ සංඛ්‍යාවක් දැකගත හැකිද? රාජ්‍ය සේවයේ සිටින බොහෝ පිරිසක් රාජ්‍ය දේපොළ කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරති. මේ හා සමාන උදාහරණ ඕනෑතරම් දීමට පුළුවන. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තනිකරම සිදු කරන්නේ දේශපාලනයකි. ඔවුන්ගේ වර්ජන බොහොමයක අරමුණ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමය. ආණ්ඩුවෙන් රෝහල්වලට ලබාදෙන ඖෂධ පෞද්ගලික ප්‍රතිකාරවලදී රෝගීන්ට දෙන වෛද්‍යවරු රටේ නැද්ද කියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇසිය යුතුය. රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහල්වලට නොයන විශේෂඥ වෛද්‍යවරු නොමැති බවට එම සංගමය සහතික වන්නේද? වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්නා අතර තම සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මේ වෘත්තිය සමිති කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත.

ජනපතිවරණය සඳහා දින නියම වී තිබිය දී මැතිවරණ උණුසුම ද යටපත් කරමින් වැඩ වර්ජන රැල්ලක් රට පුරා දියත් වෙමින් තිබේ. රාජ්‍ය සේවයේ වැටුප් විසමතා මුල්කර ගනිමින් ආරම්භ කර තිබෙන මෙම වැඩවර්ජනයට රාජ්‍ය සේවයේ ඉහළම සේවකයාගේ සිට පහළම සේවකයා දක්වා වූ පිරිසක් සහභාගි වී සිටිති. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩු විසින් වරින් වර විවිධ ශ්‍රේණිවල වැටුප් ඉහළ දැමීම හේතුවෙන් සමාන්තර ශ්‍රේණිවල බරපතළ වැටුප් විසමතා නිර්මාණය වී තිබෙන බවත් ඒවා කඩිනමින් නිවැරදි කිරීමට රජය ක්‍රියාකළ යුතු බවත් වර්ජකයෝ පවසති. මෙම ගැටලුවට මුල් වූ ආසන්නතම හේතුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය කාලයේ දී සිදුකළ වැටුප් වැඩි කිරීම්ය. මේවන විට නඩු ලක්ෂ හතහමාරක පමණ සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙන අතර ඒවා කඩිනමින් අවසන් කිරීම පිණිස රජයේ නීතිවේදීන්ගෙන් අමතර සේවාවක් අපේක්ෂාවෙන් ඔවුන්ට අමතර වැටුප් වැඩි කිරීමක් සිදු කළ ද ඔවුන්ගෙන් අපේක්ෂා කළ සේවය ඉටු නොවුණු බව රජයේ ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙම ප්‍රකාශය පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ වැටුප් වැඩි කිරීම පිණිස රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති බවය. මෙය දඩමීමා කර ගනිමින් ක්‍රියාත්මක වර්ජන රැල්ල තුළ දේශපාලනයක් ක්‍රියාත්මක බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉදිරි ජනපතිවරණය ඉල්ලක්ක කරගත් වර්ජන රැල්ලක් ලෙස මෙය හැඳින්විය හැකි වන්නේ ඒ නිසාය.

රජයේ අධිනීතීඥවරයකු සියලු දීමනා සහිතව රුපියල් තුන්ලක්ෂ අසූදහසක පමණ වැටුපක් ලබන අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු වන්නේ නම් ඊට තවත් අමතරව රුපියල් පනස් දහසක් පමණ එකතු වෙයි. වෛද්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍යවරයකු සියලු දීමනා සහිතව දෙලක්ෂ පනස් දහසක පමණ වැටුපක් ලබා ගනී. වෛද්‍ය නිලධාරී (පළමු ශ්‍රේණිය) නියෝජනය කරන වෛද්‍යවරයකුට රුපියල් දෙලක්ෂ විසිපන් දහසක වැටුපක් ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයකුට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දහසක පමණ වැටුපක් ද හිමි වෙයි.

වැටුප් ප්‍රශ්න

හිටිහැටියේ මගීන් අතරමං කර දුම්රියෙන් බැස යන දුම්රිය රියැදුරකු සියලු දීමනා සහිතව ලක්ෂ දෙකහමාරක පමණ වැටුපක් ලබා ගන්නා අතර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්යවරයකුගේ වැටුප දීමනා සමඟ 341,000 කි. කථිකාචාර්යවරයකු ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩලයට රුපියල් 62,000 ක මූලික වැටුපක් යටතේ එකතු වන අයකුට සියලු දීමනා සමඟ ලැබෙන වැටුප 176,000 කි. විශ්වවිද්‍යාල කම්කරුවකු සියලු දීමනා සමඟ රුපියල් 58,000 කට ආසන්න වැටුපක් හිමිකර ගනී. රාජ්‍ය සේවකයින් වැටුප් විසමතා ඉවත් කරන ලෙස බලකරමින් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට ආණ්ඩුවට අමතරව රුපියල් බිලියන 115 ක මුදලක් අවශ්‍යය. මෙම මුදල මෙරට ආර්ථිකයට කිසිසේත් දැරීමට නොහැකි බව දන්නා ආර්ථික විශේෂඥයින් ද වර්ජනයට එක් වෙමින් වැඩි වැටුප් ඉල්ලා සිටිති.

සමාන්තර ශ්‍රේණි අතර බරපතළ වැටුප් විසමතා නිර්මාණය වීම එක් එක් වෘත්තිකයින් අතර අසමානතා නිර්මාණය වීමට හේතුවෙයි. වැටුප් වැඩිකිරීමට ජාතික ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම බරපතළ අඩුපාඩුවකි. ඒ ඒ අවස්ථාවල මතුවන ගැටලු සමනය කිරීම පිණිස බලයේ සිටි ආණ්ඩු පැලැස්තර ඇලවීමේ ප්‍රතිඵල වත්මන් ආණ්ඩුවට විඳින්නට සිදුව තිබේ. මේවා නිවැරදි කිරීමට මේ ආණ්ඩුවට ද පැහැදිලි වුවමනාවක් නොතිබිණි. මෙම අඩුපාඩු දැන් මැතිවරණයක් ආසන්න අවස්ථාවක විපක්ෂය ප්‍රයෝජනයට ගන්නා අයුරු වර්ජනය තුළ පෙනෙන්නට තිබේ. මෙම ගැටලුව මේ ආකාරයෙන් ඉදිරියට ඇදී යාමට සැලැස්වීම විපක්ෂයේ අරමුණ බව ආණ්ඩුව තාමත් තේරුම් නොගැනීම අවාසනාවකි. 

වර්ජනය අවසන් වන තැනට විසඳුම් ඉදිරිපත් කිරීම හෝ සාමාන්‍ය ජනතාව පත්ව සිටින පීඩනය නිම කිරීම පිණිස ආණ්ඩුව දැඩි තීන්දු ගත යුතුව තිබේ. ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කල් ගැනීම මගින් සිදු වන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කළකිරීමක් ගොඩනැගීමය. ආණ්ඩු මාරුවක් සඳහා උනන්දු වන පෞද්ගලික මාධ්‍යය වර්ජනයෙන් පීඩා විඳින ජනතාවගේ අදහස් පෙළ ගස්වමින් එම කටයුත්ත අපූරුවට කරමින් සිටියි. වර්ජකයින්ට ජනතාව දක්වන අයහපත් ප්‍රතිචාර නොපෙන්වා ඉන්නට තරම් මේ මාධ්‍ය ආයතන සූක්ෂ්මය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් සෙසු සමාන්තර සේවාවන්ගේ වැටුපට වඩා සැලකිය යුතු අගයකින් ඉහළ දැමීම නිසා හටගත් ගැටලුව විසදීම හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. ඉහළ දැමූ වැටුප් පහත හෙළීම කිසිසේත් කළ නොහැකිය. වර්ජනවල නිරත පිරිස සතුටු කර වර්ජන අවසන් කිරීම සඳහා ඔවුන් ඉල්ලන වැටුප් ලබා දීමට තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැත. මෙම පසුබිම තුළ ආණ්ඩුව පත්ව සිටින්නේ මඟ සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්ත්වයකටය.

දේශපාලනය

ඡන්දයක් අත ළඟ බැවින් ඡන්ද ගැන සිතා ආණ්ඩු මෙවැනි අවස්ථාවල තීන්දු ගන්නා බව වර්ජකයෝ දනිති. ආණ්ඩුවේ ගෙල සිරකරන තත්ත්වයට වර්ජකයෝ දඩබ්බර වී තිබෙන්නේ ඒ නිසාය. අනාගතයේ ආණ්ඩු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන කිසිවකුත් මේ වර්ජනයේ අසාධාරණ පැති පිළිබඳ කිසිවක් කතා නොකරන්නේ දේශපාලන වශයෙන් අවාසියක් සිදුවේ යැයි බියෙනි. මහින්ද ප්‍රමුඛ කණ්ඩායම දැන් කරමින් සිටින්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවයේ එතෙක් පැවැති වැටුප දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙම වර්ජනය දියත් කරමින් සිටින්නේ ලබන වසරේ අවමය රුපියල් 3000 සිට උපරිමය රුපියල් 24000 ක් දක්වා වූ වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවයට ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබියදීය. වර්ජන හා උද්ඝෝෂණවල පවත්නා සෑබෑ අරමුණ කුමක්ද යන්න තේරුම් ගැනීමට ආබාධිත රණවිරුවන් කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ උපවාසය හොඳටම ප්‍රමාණවත්ය. රට ආරක්ෂා කර ගැනීම පිණිස ඔවුන් දිවි හිමියෙන් කැපවූ බවට තර්කයක් නැත. යුද්ධය අවසන් වූයේ රාජපක්ෂ පාලන සමයේදීය. මෙම හමුදා සෙබළුන් ආබාධිත වූයේ ද එම කාලයේදී ය. ජනපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වන විට යුද්ධය නිම වී වසර හයක් ගතව තිබිණි. එම කාලයේ දී ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවට විසඳුම් ලබා නොදුන් මහින්ද රාජපක්ෂ මහතා උපවාසයේ නිරතව සිටි ආබාධිත රණවිරුවන්ට තැඹිලි පොවා ගෝඨාභය මහතා ජනපති වූ පසු ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව කීවේය. මහින්ද මහතාට පෙර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඔවුන් හා සාකච්ඡා කළේය. මහින්ද මහතා පැමිණි පසු සජිත් මහතා ද විවේචනය කරමින් කතා කළ ආබාධිත රණවිරුවෝ මහින්දගේ ආණ්ඩුවක් යටතේ ප්‍රශ්නය විසඳෙන බව සහතික නිසා උපවාසය අත්හරින බව ප්‍රකාශ කළහ. මොවුන්ගේ උපවාසය හා ගෝඨාභය මහතා ජනපති කරවීම අතර සම්බන්ධයක් තිබෙන බව පෙන්වීමට මෙයට වඩා සාක්කි අවශ්‍ය නැත. රටේ වර්ජන ඇති කරවන තත්ත්වට මහින්ද පාර්ශ්වය බලවත් වූයේ කෙසේද යන කාරණය ආණ්ඩුව ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය.

ජන පීඩාව

වැටුප් වැඩිකර ගැනීමට ඇති එකම මඟ උද්ඝෝෂණ, වර්ජන මගින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම බවට මතයක් දැන් රටේ ගොඩනැගී තිබේ. එයට හේතුව වර්ජනය කරන්නෝ තමන්ගේ ඉල්ලීම් දිනා ගනිමින් වර්ජන අවසන් කළ අවස්ථා පසුගිය දශක දෙක තුන තුළ නිතර දක්නට ලැබීමය. වර්තමානයේ පවත්නා වර්ජනවල දක්නට ලැබෙන අමානුෂික ස්වරූපය දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි කර ගැනීමට පුළුවන. දුම්රියෙන් සේවයට යන පුද්ගලයා දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බව දැන ගන්නේ සවස දුම්රියෙන් නිවස බලා යාමට දුම්රිය පොළට පැමිණි පසුය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කෙලින්ම වර්ජනයට එළඹීම තුළ ඇත්තේ ඍජුවම මහජනතාව පීඩාවට පත් කිරීම මිස වෙනත් කාරණයක් නොවේ. මේ වර්ජන මෙහෙයවන නායකයින්ගේ අරමුණ ආණ්ඩු මාරු තුළින් තනතුරු ලබා ගනිමින් වැටුප ඉහළ දමා ගැනීමය. බොහෝ වෘත්තිය සමිති නායකයින් අද මෙවැනි තත්ත්වයකට පත්ව සිටීම කණගාටුවට කරුණකි. මෙම නායකයින් තමන්ගේ වෘත්තිය සමිති සාමාජිකයින් පාවිච්චි කරන්නේ තමන්ගේ අරමුණ වෙත ගමන් කිරීමට ඇති ඉණිමගක් ලෙසිනි. මේ බව වෘත්තිය සමිතිවල සාමාජිකයින් තේරුම් ගැනීම වැදගත්ය. මෙරට රාජ්‍ය ආයතන බොහොමයක කඩා වැටීමට බලපා තිබෙන එක් ප්‍රධාන කාරණයක් වන්නේ වෘත්තිය සමිති නායකයින්ගෙ වැටුප් අසීමිත ලෙස ඉහළ දමා ගැනීමය.

ආර්ථික ප්‍රශ්න

වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස උද්ඝෝෂණ වැඩ වර්ජන කළ යුතුය. ඒවා කළ යුත්තේ සේවකයින්ගේ සුබ සාධනය පිණිස මිස දේශපාලන පක්ෂවල අවශ්‍යතාව මත නොවේ. අද සිදු කෙරෙන බොහෝ වර්ජන පසුපස ඇත්තේ දේශපාලනයකි. වර්ජනයට එක්ව සිටින ඇතැම් පිරිස් මේ වර්ජනය දියත්කර තිබෙන්නේ කුමන කාරණයක් මුල්කර ගෙනද යන කාරණය පවා නොදැන වර්ජනයට එක්ව සිටිති. වැඩි වැටුප් ඉල්ලන ගුරුවරු අතරින් තමන්ගේ රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ගුරුවරු සිටින්නේ කීයෙන් කීදෙනාද යන්න ප්‍රශ්නයකි. අද බොහෝ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුව තිබෙන්නේ පෞද්ගලික පන්තිවලිනි. පාසල් ගුරුවරු අතරින් කී දෙනකු පෞද්ගලික පන්ති පවත්වමින් මුදල් හම්බකරන්නේද?.ඇතැම් ගුරුවරු පාසලේ තමන්ගේ පන්තියේ දරුවන්ටම අමතර පන්ති පවත්වා මුදල් හම්බකරති. ජනප්‍රිය යැයි සම්මත පාසල්වල උසස් පෙළ පන්තිවලට විභාගය ආසන්න කාලසීමාවේදී සිසුන් නොපැමිණෙන බව ප්‍රසිද්ධ රහසකි. ළමයින් පෞද්ගලික පන්තිවලට යොමු කරන්නේ ද පාසල් ගුරුවරුය. තමන්ගේ රාජකාරිය හරිහැටි කර වැටුප් ඉල්ලන්නේ නම් එය සාධාරණය. එසේ වුවත් අද රාජ්‍ය සේවය තුළ වැඩ කිරීමට ඇති පැය අටෙන් සේවය කරනු ලබන්නේ පැය තුනකටත් අඩු කාලයකි. රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාවට ඇත්තේ කලකිරීමකි. වැඩි වැටුප් ඉල්ලීමට පෙර මේවා නිවැරදි කරගත යුතුය.

රජයේ ඉහළ නිලධාරීන් විදේශගතවන අවස්ථා එමටය. ආපදා කළමනාකරණය, ගෝලීය උෂ්ණත්වය සම්බන්ධ ජත්‍යන්තර සමුළුවලට ඔවුන් සහභාගි වෙන්නේ ජනතාවගේ බදු මුදල් ද වැය කරමිනි. ඇත්ත තත්ත්වය නම් මේ සමුළු බොහොමයක් රාජ්‍ය නිලධාරීන්ගේ විනෝද චාරිකා බවට පත්වීමය. ජනප්‍රිය පාසලක් නිමාවන වෙලාවක ගියහොත් රජයේ වාහන කොපමණ සංඛ්‍යාවක් දැකගත හැකිද? රාජ්‍ය සේවයේ සිටින බොහෝ පිරිසක් රාජ්‍ය දේපොළ කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරති. මේ හා සමාන උදාහරණ ඕනෑතරම් දීමට පුළුවන. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තනිකරම සිදු කරන්නේ දේශපාලනයකි. ඔවුන්ගේ වර්ජන බොහොමයක අරමුණ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමය. ආණ්ඩුවෙන් රෝහල්වලට ලබාදෙන ඖෂධ පෞද්ගලික ප්‍රතිකාරවලදී රෝගීන්ට දෙන වෛද්‍යවරු රටේ නැද්ද කියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇසිය යුතුය. රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහල්වලට නොයන විශේෂඥ වෛද්‍යවරු නොමැති බවට එම සංගමය සහතික වන්නේද? වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්නා අතර තම සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මේ වෘත්තිය සමිති කිසිදු අවධානයක් යොමු කරන්නේ නැත.

වෘත්තිය සමිතියක් වර්ජනයකට එළඹිය යුත්තේ පියවර ගණනාවක් පසු කිරීමෙන් අනතුරුවය. බාලතම්පෝ වැනි වෘත්තිය සමිති නායකයින් සෑම විටම වර්ජන කළේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා වන පරිදිය.සාමුහික ගිවිසුම් ඔස්සේ සාකච්ඡා මගින් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඔවුන් නිතර උත්සාහ කළේය. අද වර්ජන දියත් වන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය.

අද රට තිබෙන්නේ ණය උගුලක පැටලීය. මෙතෙක් ආණ්ඩු කළ සැවොම ඊට අඩුවැඩි වශයෙන් වගකිව යුතුව ඇත. ණය අර්බුදයක රට තිබියදී ලබාදිය නොහැකි ආකාරයේ වැටුප් වැඩිවීම් ඉල්ලීමෙන් සිදු වන්නේ රට තවත් අර්බුදයක් වෙත තල්ලු වී යාමය. මේ ආකාර වැටුප් වැඩිවීමක් කර තමන්ට ආණ්ඩු කළ නොහැකි බව දැන දැනත් විපක්ෂය මෙම වර්ජන අනුමත කරමින් සිදු කරන්නේ බොර දියේ මාළු බෑමය. වර්ජනයක් හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව ගැන අපි සැවොම කතා කරන්නෙමු.

මෙම වර්ජන හේතුවෙන් දෛනිකව රටට මූල්‍යමය වශයෙන් සිදුවන අලාභය සම්බන්ධව සමාජයේ වැඩි අවධානයක් නොමැත. දුම්රිය ධාවනය නොකිරීමෙන් දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ ගණනක මුදලක් අහිමි වේ. සමස්ත දුම්රිය සේවාව පාඩු පිට පවත්වාගෙන යන පසුබිමකය. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම නතර වීමෙන්ද එවැනිම පාඩුවක් රජයට සිදුවෙයි. මේ ආකාර වර්ජන දියත්කර යළි සේවාව ආරම්භ කරන විට සිදුවිය යුතු දේ සිදුවී හමාරය. මළ මිනියකට පණ දීමට බලයේ සිටින හෝ බලයට පත්වන කිසිම පාලකයකුට නොහැකි බව මේ වර්ජකයෝ තේරුම් ගත යුතු ය.

ඡායාරූප රුවන් මීගම්මන 
ගයාන් පුෂ්පික

සියවස සමරන වෙල්ලස්සේ මිණි කිරුළ බුත්තල දුටුගැමුණු ජාතික පාසල

$
0
0
ඔක්‌ 4, 2019 01:00
විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය

ජාතික මට්ටමින් පමණක් නොව ජාත්‍යන්තරයේ පවා නමක් දිනාගත් මොනරාගල දිස්ත්‍රික්කයේ කිර්තිමත් විද්‍යාලයක් ලෙස බැබළෙන බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම අභිමානවත් අයුරින් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

1919 තරම් ඈත අතීතයේ දී ආරම්භ වන මෙම විද්‍යාලය එවකට පටන්ගනු ලැබුවේ පොල් අතු සෙවිළි කළ ගොඩනැඟිල්ලකය. මෙම විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි ටි. අලහකොන් මහතාය. මුල්ම ශිෂ්‍යයා වූයේ බුත්තල යුධගනාව ඡනපදයේ අක්කර 100 ප්‍රදේශයේ පදිංචි වී සිටි කිරි බණ්ඩා නමැති දරුවෙකි.

ස්වභාෂා පිරිමි විදුහලක් ලෙස ආරම්භ මෙම විද්‍යාලය හදිසියේ ඇතිවන ගින්නකින් එවකට තිබූ එකම පොල් අතු ශාලාව විනාශ වී ගියේ නොසිතු මොහොතකය.

ඉන්පසු 1922 වසරේ දී ස්ථිර ගොඩනැඟිල්ලක් විදුහලට ලැබුණු අතර එවකට සිටි ශිෂ්‍යයින් ගණන 25කි. එතැන් සිට මෙම විද්‍යාලය ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය වූ අතර 1938 දී මිශ්‍ර පාසලක් බවට ද 1948 වසරේ දී කණිෂ්ඨයක් බවට ද පත්විය. 1951 වසරේ මාර්තු 10 දින මෙම විද්‍යාලයට මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් ලොග් සටහන් පොතේ තැබු ලොග් සටහනක් අදට ද සුරක්ෂිතව දක්නට ඇත.

1956 වසරේ බදුල්ල දිස්ත්‍රික්කයට අයිති බුත්තල රජයේ මහා විද්‍යාලය ලෙස උසස් වන අතර 1959 දී මෝ/බුත්තල ගාමිණී මහා විදුහල ලෙසද, 1964 වර්ෂයේ දී බුත්තල මහා විද්‍යාලය ලෙස ද, 1969 දී මෝ/ දුටුගැමුණූ මහා විද්‍යාලය ලෙස ද එතැන් පටන් කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශයන් ලෙස වෙන් වෙන්ව ද, 1992 මාර්තු 01දින මධ්‍ය මහා විද්‍යාලයක් ලෙස ද, 1993 ඔක්තෝබර් 20 දින ජාතික පාසලක් බවට ද පත්විය.

මේවන විට විද්‍යාලයේ විදුහල්පතිවරුන් 25ක් විදුහල්පති ධුරය හොබවා ඇති අතර වත්මන් විදුහල්පති ධුරය හොබවන්නේ ආර්.එම්. සෙනවිරත්න මහතාය. අද වන විට විද්‍යාලයේ 6-13 දක්වා ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යායවන් 2700ක් සිටින අතර ආචාර්ය මණ්ඩලය 125කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය 25කි.

දරුදැරියන්ගේ විභවතා මතුකර ඔප් නංවමින් අභිමානවත් සිසු පරපුරක් බිහිකිරීම විද්‍යාලයේ දැක්ම වන අතර විසිඑක්වන සියවසට ගැලපෙන තොරතුරු තාක්ෂණ කුසලතාවයන්ගෙන් ද, මානවීය ගුණයෙන් ද හෙබි ආත්ම විශ්වාසය අභියෝගයන්ට මුහුණ දිය හැකි අනාගත පුරවැසියන් බිහිකිරිම විද්‍යාලයේ මෙහෙවර වේ.

ඌව පළාතේ අනෙකුත් සියලු පාසල් අභිබවා යමින් දිවයිනේ ජනප්‍රියතම පාසල් අතර නමක් දිනා ගන්නට විද්‍යාලයීය දරුවන් හපන්කම් දක්වන්නේ එක දර්ශනයක් එක දැක්මක් ඔස්සේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරුමණ්ඩලය ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී ක්‍රියාකාරකම් නිසාය. ඒ හේතුවෙන් ගත වු වසර කිහිපය තුළ දරුවන් 70කට ආසන්න පිරිසකට විදෙස් රටවල සංචාරයන් සඳහා අවස්ථා ලැබුණ අතර එහිදී ද ලබාගත් ජයග්‍රහණයන් අති විශාලය.

අපොස සාමන්‍ය පෙළ ප්‍රතිඵලවල සමත්විමේ ප්‍රතිශතය ඉහළ අගයක් වන අතර A නවය ලබාගන්නා වැඩිම පිරිසක් ඇත්තේද මෙම පාසලේ විමද විශේෂත්වයකි. අපොස උසස්පෙළ ප්‍රතිඵල වලින් 2017 වසරේ ඌව පළාතේ දෙවැනි තැන හිමිකර ගත් අතර සෑම වසරකම සියයකට අධීක සිසුන් පිරිසක් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට මුදා හරින පාසලක් විමත් දිස්ත්‍රික්කයේ උසස්පෙළ ප්‍රතිඵල වලදි ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන වැඩිම ප්‍රමාණයක් හිමිකරගන්නා පාසලක් විමත් විද්‍යා පීඨ සඳහා යන දරුවන් ගණන ද අන් සියලු පාසල්වලට වඩා වැඩි ප්‍රතිශතයක් හිමිකර ගැනීම අන් සියලු පාසල්වලට අභියෝගයක් සේම වෙල්ලස්සට අභිමානයක් වි ඇත්තේ නිරායාසයෙනි.

ශිෂ්‍ය භට කටයුතුවලදි පළාතේ ප්‍රමුඛතම පාසල වන අතර 2013 වසරේ සිට 2019 වසර දක්වා අඛණ්ඩව බලඇණි ශුරතාවය හිමිකරගෙන ඇත්තේ මෙම පාසලයි. නාවික බාලිකා කණ්ඩය 208-19 වසර වලදී සමස්ත ලංකා නියෝජනය කර ඇති අතර ගුවන් ශිෂ්‍ය භට කණ්ඩය ද ලංකාවේ ප්‍රමුඛතම පාසල් රැසක් අභිබවමින් ජයග්‍රහණයන් හිමිකරගෙන තිබේ.

තණකොළ ගසක් වත් නොමැති මෙම පාසලේ ක්‍රීඩා පිටියේ පුහුණූවීම් කර 2016 වසරේ සමස්ත ලංකා මයිලෝ ඇගයීම් කඳවුරේ දී 14න් පහළ රගර් කණ්ඩායම පළිහ ශුරතාවය හිමිකරගත් අතර 2017වසරේ දී 14න් පහළ බඳුන ශුරතාවයත්, 16න් පහළ රගර් කණ්ඩායම බඳුන ශුරතාවයත් දිනා ගැනීමට සමත් විය. 2018 වසරේ පළිඟ ශුරතාවය 16න් පහළ කණ්ඩායම විසින් හිමිකරගත් අතර 2019 වසරේ අර්ධ අවසන් පුර්ව තරගය සඳහා ඉදිරිපත් වූහ.

මෙහිදී බුත්තල යුද හමුදා නිලධාරි පුහුණු මධ්‍යස්ථානයේ විධායක නිලධාරිතුමා දැක්වු සහයෝගය මනා පිටුවහලක් වු බව සිහිපත් කළ යුතුය.

2017 වසරේ දි පරිසර භට ජනාධිපති පදක්කම් 40ක් දිවයිනේ සියලු පාසල් දිනා ගනිද්දි එයින් හතක්ම දුටුගැමුණු විද්‍යාලය විසින් දිනාගත් අතර 2018 වසරේ ජනාධීපති සම්මාන අටක් හිමිකර ගනිමින් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගැනිමට සමත්විය. මේ වසරේ ජනාධිපති සම්මාන හයක් ලබා ගනිමින් දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට මෙම විද්‍යාලයේ දරුවන් සමත් වි තිබේ.

2016 දී ආරම්භ කරන ලද වායු රයිෆල් අංශය සඳහා ඉදිරිපත් වූ සිසුන් සමස්ත ලංකා තරගාවලියේ දී නිපුණ වෙඩික්කරු පදක්කම් දෙකක් හිමිකරගත් අතර 2017 දී නිපුණ වෙඩික්කරු පදක්කම් හතරක් ද, වායු පිස්තෝල අංශය දිවයිනෙන්ම තුන්වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. 2018 වසරේ සමස්ත ලංකා වර්ණ 4ක් ද, නිපුණ වෙඩික්කරු පදක්කම් 4ක් ද හිමිකරගෙන තිබේ. 2016 වසරේ ජූඩෝ ක්‍රීඩාව ආරම්භ කළ අතර එම වසරේම සමස්ත ලංකා පාසල් ආධුනික ජූඩෝ තරගාවලියේ රන් පදක්කමක් ද, 2017 වසරේ රන් හා රිදී පදක්කම් එක බැගින් හිමිකර ගැනිමට සමත්විය.

වසරක් පාසාම නර්තන හා සංගීත තරගවලදී මෙන්ම නාට්‍ය හා රංග කලා තරගවලදී ජයග්‍රහණ රැසක් හිමිකරගත් අතර 2019 වසරේ කතා පුවතක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත්කිරිම අංගයේ ජ්‍යෙෂ්ඨ ද්විතියික අංශය හා භුමිකා රංග යුගල අංශ සඳහා පළාත් හා සමස්ත ලංකා තරග අංශවලින් පළමු තැන හිමිවූයේ එම නිර්මාණවල තිබු ජීව ගුණය නිසාය. 2017 වසරේ සමස්ත ලංකා දෙවැනි ස්ථානයත් 2018 වසරේ දෙවැනි ස්ථානයත් හිමිකර ගනු ලැබූයේ විද්‍යාලිය නර්තන කණ්ඩායමයි. මේ වන විටත් කණිෂ්ඨ අංශයේ සමූහ ගැහැනු නර්තන කණ්ඩායම සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඉංග්‍රීසි භාෂා පළාත් තරග ඉසව් සඳහා දරුවන් 48 දෙනකු සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් කලාපයෙන් හිමිකරගත් ජයග්‍රහණවල ප්‍රතිශතය 94%කි. ඉංග්‍රිසි භාෂාවෙන් වැල් අකුරු ලිවිමේ තරගයෙන් සමස්ත ලංකා පළමු තැන හිමිකර ගැනීමට මතිශා භාකුලි සිසුවිය සමත් වු අතර ඒ 2018 වර්ෂයේදීය. සිංහල භාෂා තරග සඳහා ඌව පළාත් තරග නියෝජනයට දරුවන් 46 දෙනකු සුදුසුකම් ලබා ඇති අතර කලාපයෙන් ඉදිරිපත් වී ඇති තරගකරුවන් 60 දෙනා අතරින් 46 දෙනකුම මෙම විද්‍යාලය නියෝජනය කිරිම විශේෂත්වයකි. කුමාරතුංග මුණිදාස අනුස්මරණ කථික තරගාවලියේ දී සමස්ත ලංකා පළමු ස්ථානය හිමිකරගැනිමට නවෝද්‍යා හේෂානි සිසුවිය සමත් වූවාය.

ජවන හා පිටිය තරගවලදී මෙන්ම කණ්ඩායම් තරගවලදී විශේෂ දක්ෂතා දක්වමින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් හිමිකරගත් මෙම විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායම්වල දරුවන් සිංගප්පූරුව ඇතුළු විදෙස් රටවල සංචාරයන් කිහිපයක් ද හිමිකරගත්තේ ඔවුන් තුළ තිබූ ක්‍රීඩාවේ දක්ෂතාවයන් නිසාමය. 2019 පළාත් ක්‍රීඩා තරගාවලියේ දී 15න් පහළ හා 17න් පහළ කණ්ඩායම් ඌව පළාත් පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් වූ අතර ඔවුන් සමස්ත සම ශුරතාවය ද සතුකරගත්තේ පළමු ස්ථාන දෙකක් හා තෙවැනි ස්ථානයක් හිමිකරගනිමිනි.

චීන මිත්‍රත්ව සංගමය මගින් මෙහෙය වූ කථික තරගයෙන් ඉංශ්‍රිසි මාධ්‍යයෙන් ප්‍රථම ස්ථානය සඳුනි දේවින්දි ශිෂ්‍යාව හිමිකරගත් අතර සිංහල මාධ්‍යයෙන් දෙවෙනි ස්ථානය දිසාලා දේවින්දි විසින් හිමිකරගන්නා ලදී. එහි ප්‍රතිථලයක් වශයෙන් සඳුනි ශිෂ්‍යවට චින සංචාරයක් හිමි වූ අතර වසර හතරක් චිනයේ තම උපාධී පාඨමාලාවන් හැදෑරීමේ දුර්ලභ අවස්ථාවක් විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට හා උප ප්‍රධාන ශිෂ්‍ය නායකයාට හිමිවි ඇත.

ගණිතය, විද්‍යාව හා භුගෝල විද්‍යා අංශ වලින් ඔලිම්පියාඩ් තරගවලට සිසුන් ඉදිරිපත්වන අතර එයින් වැඩිම පළාත් ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත්තේ ද මෙම පාසලයි. වර්තමානයේ මෙම පාසලේ ටයිකොන්ඩෝ හා චෙස් ක්‍රිඩාව ආරම්භ කර ඇති අතර මේ වන විටත් එම කණ්ඩායම් නියෝජනය කරන දරුවන් විශාල පිරිසක් ජයග්‍රහණ හිමිකරගැනිම පාසලේ අභිමානයට කදිම නිදසුනකි.

2013 වසරේ දිවයිනේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය දැනුම මිනුම තරගාවලියේදි මෙම පාසල් කණ්ඩායම දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර එම සමුළුවට ඇඳි නිල ලාංඡනය ඇඳ තිබුණේ ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වු ජගත් ජයසිංහ මහතා විසිනි. සියවසක අශිමානය වෙනුවෙන් අපූරු ගීත දෙකක් ලියැවි ඇති අතර එහි පද රචනය, සංගීතය, තනු නිර්මාණය හා ගායනය සිදුකරනු ලබන්නේ විද්‍යාලයේ ආදි සිසුසිසුවියන් පිරිසක් විසිනි.

භෞතික සම්පත් වැඩිදියුණු කර ගැනිම සඳහා විද්‍යාලිය ආදිශිෂ්‍ය සංගමය විදුහලට ලබාදෙන්නේ මහත් වු දායකත්වයකි. මෙවර සියවස් සමරු උත්සවය වෙනුවෙන් ඔවුන් සුවිශේසි වැඩසටහන් රැසක් නිර්මානය කර ඇත්තේ පාසලට බස් රථයක් ලබාගැනිමේ දැඩි අපේක්ෂාවෙනි.

සියවසක සැමරුම සම්බන්ධයෙන් අදහස් දක්වමින විද්‍යාලයීය විදුහල්පති ආර්.එම්. සෙනවිරත්න මහතා . "අපේ පාසලට සියවසක් සපිරෙන මේ අවස්ථාව වෙනකොට අපි පාසලක් හැටියට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් පෙන්වලා දිවයිනේ කිර්තිමත් පාසලක් බවට පත්වි හමාරයි. ඒ ගෞරවය වර්තමානයේ පාසලේ කටයුතු කරන ආචාර්ය මණ්ඩලයට වගේම හිටපු සියලු විදුහල්පතිවරුන්, ආචාර්යවරුන්, මාරුවීම් ලැබ ගිය ගුරු භවතුන්, ආදි සිසුන් හා මවුපියන් වෙත නිතැතින්ම හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් අපව දිරිමත් කළ හිටපු හා වත්මන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, පළාත් අධ්‍යක්ෂ රත්නායක මැතිතුමා, අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මියට ස්තුතිය හිමිවිය යුතුයි.

අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. සාමූහික හැඟීමක් අපිට තියෙනවා. අදටත් පාසලේ සියලු කටයුතු සිදුවන්නේ කිසිදු නියෝජ්‍ය විදුහල්පතිවරුන් නොමැතිව සියලුදෙනාගේ කැමැත්තෙන් පත්කරගත් සහකාර විදුහල්පතිවරුන් කණ්ඩායමක් සමඟයි.

අපිට ලැබෙන හැම අවස්ථාවකින් ම අපි ජයග්‍රහණ හිමිකරගන්නවා. අපිට ලැබෙන සෑම අවස්ථාවක්ම අපි අතහරින්නේ නෑ.

වත්මන් අධ්‍යපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රුපියල් තුන් කෝටි අසු අට ලක්ෂයක වියදමින් ඉදිවූ තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරිම පසුගියදා සිදුවුණා. ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මැදිහත්විමෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 700ක වියදමින් ඉදිවන සියවස් සමරු ශ්‍රවණාගාරයේ වැඩ මේවන විට සිදුවෙමින් පවතිනවා. සියවසක් සපුරන අපි කණ්ඩායමක් විදිහට සියලු අංශවලින් ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. මේ සියලු කටයුතු වෙනුවෙන් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරු සහ ගුරුවරු එක්ව පිහිටුවාගත් විශ්‍රාමික සංගමය, ආදිශිෂ්‍ය සංගමය නිරන්තර අවධියෙන් ඉන්නවා. අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. නිරන්තරයෙන් සොයා බලනවා . පාසල් සංවර්ධන සමිතියේ මවුපියන් ඕනෑම අවස්ථාවක පාසල වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ ජයග්‍රහණ සියල්ලට ම හේතුව එයයි.

සියවස් සමරු උත්සවය වෙනුවෙන් අපි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අද (04) රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් පිංකමක් පැවැත්වෙනවා. හෙට (05) දා සියක් නමක් විෂයෙහි පිරිනැමෙන සාංඝික දානමය පිංකමක් සංවිධානය වි තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා සිටින සියලුම ආදි දුටුගැමුණුවන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා."

දිනමිණ පුවත්පත මේ සටහන තබන්නේ සියවසක් අභියස සිට ඒ අභිමානය සමරණ දුටුගැමුණු දරුවන්ගේ ඒ අභිමානය වෙනුවෙනි.

ජී.අයි.ආර්. ගරුසිංහ 
වැල්ලවාය විශේෂ

මෙහෙකාර සේවයට දරුවන් එපා

$
0
0
ඔක්‌ 4, 2019 01:00

දරුවන් මාපියන්ට සම්පතකි. දරුවන් නිසා මාපියන්ගේ ලෝකය වඩාත් සුන්දර වෙයි. දරුවකුගේ සිනා හඬ මාපියන්ගේ සියලු ප්‍රශ්න නැතිකර දමයි. නමුත් මාපියන්ගේ සෙනෙහස රැකවරණය අහිමි වූ දරුවන් කොතෙක් අප අතර සිටීද? ඉපදුණු ගමන් දරුවා කුණු කූඩවල කානුවල දමා යන මව්වරුද අප අතර සිටී.

පාරේ සිඟමන් යදින, හාල් ගෝනි, පිටි ගෝනි කර මත තබාගෙන එහා මෙහා යන වීදි දරුවන් අපි අනේක වරක් දැක ඇත්තෙමු. නිවෙස්වල බැලමෙහෙවරකම් කරමින් ස්වාමි දියණියගේ කටුක වද වේදනා විඳින දරුවන් ගැන අසන්නට ලැබේ. නිදහස් අධ්‍යාපනය සෑම දරුවකුටම හිමි තිළිණයකි. මෙය අහිමි වූ විට රටට ඉතිරි වන්නේ මිනීමරුවන් මංකොල්ලකරුවන් සොරුන් වැනි සමාජ දූෂකයින් ය.

අද බො‍‍හෝ මාපියන් දරුවන් මහ මග දමා යන්නේ දරුවා හදා වඩා ගැනීමට සුදුසු සමාජ හෝ ආර්ථික පරිසරය නොමැති නිසාය. මෙලෙස දරුවන් අනාථ වීම වර්තමාන සමාජ පරිහානියට බලපාන ප්‍රධාන සාධකයයි. ගම්බද හෝ මුඩුක්කු පැල්පත් නිවාසවල අසීමිත දරුවන් ප්‍රමාණයක් සිටින නිසා ඔවුන් හදා වඩා ගැනීමට නොහැකිකමින් දරුවන් මෙහෙකාර සේවයේ යොදවති. ඇතැම් නෝනාවරු මහත්වරු දුගී දුප්පත් දරුවන් රැගෙන යන්නේ නගරයේ හොඳ පාසලක අධ්‍යාපනය ලබා දෙනවා යැයි පවසමිනි. මෙසේ රැගෙන යන දරුවා මෙහෙකාර සේවයේ යොදවයි. නැතිනම් පිටරට මිනිසුන්ට මුදල්වලට විකුණති.

මෙසේ රැගෙන යන දරුවාට දෙන වද වේදනා ඉවසා ගත නොහැකිව නිවසින් පලා යන අවස්ථා ද බොහෝය. මෙසේ පලා යන දරුවන් සමාජයේ විවිධාකාර පුද්ගලයින්ගේ ග්‍රහණයට හසුවෙති. මෙසේ ඔවුන්ට හමුවන වැඩිදෙනා අතර යහපත් අය සිටින්නේ කලාතුරකිනි. සොරුන්ගේ මංකොල්ලකරුවන්ගේ අතකොලු බවට පත්වන දරුවෝ ඉන්පසු ඔවුන්ගේ පාප ක්‍රියාවල කොටස්කරුවෝ වෙති. හරි වැරැද්ද පෙන්වාදීමට කිසිවකු නොමැත. හරි වැරැද්ද තේරුම් ගැනීමට නිසි අධ්‍යාපනයක්ද නොමැත. තමන් කළ වැරදි ක්‍රියා අවබෝධ වන්නේ සිරමැදිරියේ කූරු පෙනෙන විටය.

ඇතැම් කපටි කාන්තාවෝ මෙසේ අසරණ වන ගැහැනු දරුවන් රවටා ඔවුන් සළෙලුන්ට අලෙවි කර යහමින් මුදල් උපයති. ගැහැනුන්ගේ අසරණකම අවියක් කරගෙන ආදායම් උපදවන මෙවැනි කාන්තාවෝ අද සමාජයේ බහුලව සිටිතී. මෙසේ මෙහෙකාර සේවයේ යෙදෙන දරුවන්ගේ අනාගතය අහිමි වේ. මෙහෙකාර සේවයේ යෙදෙන ගැහැනු දරුවන් දූෂණයට ලක්වීම, අඩු වයසින් දරුවන් ලැබීම, අනාරක්ෂිත ගබ්සා නිසා ජීවිත අවදානමට ලක්වීම, උපන් බිළිඳාද ඔවුන්ගෙන් උදුරාගෙන වෙනත් අයට හදා වඩා ගැනීමට දීම වැනි සිදුවීම්ද අසන්නට දකින්නට ලැබේ.

2013 සවුදි අරාබි රජය විසින් මිනීමැරුම් චෝදනාව මත හිස ගසා දැමුනු රිසානා නෆීක් යනු බාල වියේ සිටියදීම ව්‍යාජ ලේඛන භාවිතා කර නීතිවිරෝධි අන්දමින් විදේශගත වූ දරුවෙකි. ජනාධිපති මෛත්‍රීපාල සිර‍ිසේන ළමා ශ්‍රමය පිටුදැකීමේ සම්මුතියට 2016 ජුනි 22 දා අත්සන් තැබුවේය. ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය වෙනුවෙන් මෙම අත්සන් තැබීම සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ජංගම දුරකතන වෙත පොදු පණිවිඩයක් එවමින් ළමා ශ්‍රමය එපායි කීම සැමගේ වගකීමක් බව දැනුම් දුන්හ.

ළමා ශ්‍රමය නීතියට පමණක් සීමා නොවේ. මෙය පිටුදැකීම සමස්ත සමාජයේම වගකීමකි. අප රට අනාගතයේ බාරගැනීමට සිටින දරු පිරිසට මෙවන් අපරාධ වූ විට රටට යන කල දසාව ගැන දෙපාරක් සිතිය යුතුය. අවුරුදු දහසයට අඩු ළමුන් මෙහෙකාර ‍ෙස්වයේ යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. මේ සම්බන්ධයෙන් පවතින නීති රාමුව තදින්ම ක්‍රියාත්මක කළ යුතුය. ලක්වැසි සියලුදෙනා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. අනෙක ආර්ථික අපහසුතා ඇති පවුල්වලට සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම තුලින්ද මෙය පාලනය කළ හැකිය. මිහිතලයේ වෙසෙන සියලු ද රුවන් තමන්ගේ දරුවන් ලෙස සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමුන්ට තමන්ගේ දරුවන් ලෙස සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමුන්ට සිනාසිය හැකි හෙටක් උදාවීම වැළැක්විය නොහැකිය.

බී. යූ. මධුෂානී ජයසූරිය, 
ජන සන්නිවේදන අධ්‍යයන අංශය, 
කැලණිය විශ්වවිද්‍යාලය.


අපේ වෙදකමට තැනක් දෙන්න

$
0
0
ඔක්‌ 4, 2019 01:00

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පාරම්පරික ලෙස දිගු ඉතිහාසයකින් පැවත එන ශ්‍රේෂ්ඨ වෘත්තියකි. ගෞතම බුදුන්වහන්සේගේ නිර්මල දහමට අනුව දේවත්වයෙන් සලකමින් සිංහලකම ආරක්ෂා කරගනිමින් වෙද මහත්වරුන් ස්වකීය විෂය කෙරෙහි ඇපකැප වී ක්‍රියාකරන අයුරු ජනතාවට මොනවට පිළිබිඹු වන්නේය.

ඔවුන්ගේ ගෙවත්තෙහි ඔසු උයනකි. නිවස බුදුන් දෙවියන් වඩිනු ලබන ශාන්තභාවයෙන් යුතු කුටියක් බඳුය. කපටිකම, වංචාව, මුසාව, ප්‍රෝඩාව, රැවටීම පමණක් නොව මුදල ප්‍රධාන කොට සැලකීම වෙදදුරුතුමන්ලා ළඟ නොමැත. රඟපෑම් නැත. විනීත සංවරශීලීව කටයුතු කරන අව්‍යාජ ගුණදම් තුළින් පිරිපුන්ය.

ප්‍ර‍දේශයක් පාසා පෞද්ගලික රෝහල්, ඩිස්පෙන්සරි, ෆ‍‍ාමසි වත්මනෙහි රට පුර‍‍ා විහිදී විසිරී ව්‍යප්තව ඇත. එය ශීඝ්‍ර ජනගහන ප්‍රතිශතයට විසඳුමක් ලෙසින් යැයි විවාදයක් නොමැත. අතීත සමයෙහි දී එනම් මීට‍ දශක පහකට පමණ ඉහත දී ශ්‍රී ලංකාව වූ කලී දියුණු රටක් නොවීය. උගත් ජනතාව ද ඉතාමත් ම අඩුය. එහෙත් එම ජනතාව තුළ අපේකම, ගමේකම, ආගන්තුක සත්කාර, ගතිපැවතුම් ආචාර ධර්ම, කළගුණ සැලකීම යන ගුණාංගයන්ගෙන් නම් ඉතාමත්ම උසස් ය.

එවන් වූ මිනිසුන් සහ පරිසරයකින් හෙබි රටකි එකල පැවතියේ. එමෙන්ම සිංහල වෙදකමෙහි නිරත වූ ගමේ වෙද මහත්මයා හට සමාජයෙන් හිමි වූයේ ප්‍රමුඛස්ථානයකි.උසස් පිළිගැනීමකි. එතරමටම ඔහු ඉටුකරනු ලැබුවේ මුදල පිළිබඳව නොතැතූ සේවයකි.

දිවා රාත්‍රී අව්වැසි නොතකමින් මෙබඳු ඕනෑම අවස්ථාවකදී වාහන පහසුකම් ද නොමැතිව දුෂ්කර මෙන්ම කැලෑබද මාවත් තුළින් වුවද අදාළ රෝගියා වෙසෙන නිවස කරා නිවැසියන් පැමිණ වෙද මහතා කැඳවා ගෙන යෑමෙහිදී සෑම විටදීම මනුසත් බැව් සංකල්පයක් ලෙස පිහිටා සි‍ටින ඔහු රෝගීන් සුවපත් කිරීමට යෑමට මැලි නොවන්නේය.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෙද මහතාගේ නිවස වෙත පැමිණෙන රෝගීන් හට ප්‍රතිකාර කරන වේලාවන්, අයකිරීම්, චැනල් කිරීම් දැක්වෙන පුවරු කිසිවක් එහි නොමැත. එකල, කැඩුම් බිඳුම්, සර්පයින් දෂ්ට කිරීම් හා සර්වාංග සහ සෙසු සියලු රෝග සුවකිරීමේ හැකියාවක් වෙද මහතා සතුව තිබිණි. වටිනා අගනා මෙම පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම හා එම පරපුර ආරක්ෂා කරමින් නඟාසිටුවීමට ක්‍රියාමාර්ග, ගෞරව සම්මාන සැකසීමට ප්‍රමුඛස්ථානය ලබාදී කටයුතු කිරීම රජයේ වගකීමක් වන්නේය.

සරත් ලියනගේ - රන්මුතුගල

පොත් දැක්ම ගැන මතයක්

$
0
0
ඔක්‌ 4, 2019 01:00

මේ වසරේත් සාහිත්‍ය මාසය වෙනුවෙන් වාර්ෂික පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළදී සැ.20 දින සිට සැ.29 දින දක්වා පැවැත්වේ. මීට වසර විස්සකට පෙර පෙර ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 21 වෙනි වරටය. දේශීය හා විදේශීය වෙළෙඳ කුටි 400 අධික ප්‍රමාණයක් මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගී වන අතර ඉන්දියාව, ජපානය, චීනය ආදී විදේශීය රටවල් මෙවර සම්බන්ධ වේ. මෙම පොත් ප්‍රදර්ශනයට අදාළව පොත් සල්පිලක් පැවැත්වේ. ඊට ලංකාවේ සුප්‍රසිද්ධ ග්‍රන්ථ ප්‍රකාශන ආයතන සියල්ලම පොත් සල්පිලට සම්බන්ධ වී ඇත. එමෙන්ම ලංකාවේ පරසිඳු ග්‍රන්ථ කතුවරු විසින් ලියන ලද පොත්පත් මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් විදේශීය ග්‍රන්ථ කතුවරුවන්ගේ වටිනා ‍පොත්පත්ද සල්පිලෙන් මිලදී ගත හැක.

මෙම සාහිත්‍ය උත්සවයට විශාල ජනතාවක් විශේෂයෙන් දරුවන් සමඟ සහභාගි වේ. මෙම ප්‍රදර්ශනයට පැමිණෙන සියලුදෙනා පොත් සල්පිලටද සහභාගි වී පොත්පත් සඟරා මෙන්ම අලෙවියට තබා තිබෙන විසිතුරු භාණ්ඩ මිලට ගැනීම දැකිය හැක. මේ සියල්ල හොඳය. නරක නැත. සිත, ඇස, කන පිනවන සුන්දර නැටුම් ගැටුම් ප්‍රදර්ශන භූමියේදී වේදිකාගත වේ. එක් පොත් ප්‍රදර්ශනයෙන් බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන උතුම් සිතුවිලි ප්‍රාර්ථනා මේ දක්වා ඉටුවී නැත. බුද්ධියෙන් නැණ ගුණවලින් යුතු යහපත් අනාගත දරු පිරිසක් රටට පුදකිරීම යන උතුම් පැතුම සඵල කරගැනීමට අද අපොහොසත් වී ඇත.

සාහිත්‍ය මාසයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණ වන්නේ සැමදෙනා තුළ කියවීමේ රුචිය ඇති කර රටට උගත් නැණවත් මෙන්ම සාහිත්‍යයට ප්‍රියකරන පිරිසක් බිහිකිරීමය.

අද පොතපත කියවන අය ඉතාම අඩුය. හොඳින් විමසා බැලූවිට පාර තොටේ බස් රථයේ දුම්රිය තුළ පොත් කියවන අය අද නැත. බොහෝ පුස්තකාල, පොත් පරිශීලනය කරන්නට කිසිවෙක් නොපැමිණෙන නිසා වසා දමා ඇත. නගර සභා, ගම් සභාවලින් පාලනය වන කියවීම් ශාලාවට පත්තර බලන්න එන්නේ සවල්ප දෙනෙකු පමණය. රටේ විහාරස්ථානවල ඇති වටිනා පුස්තකාල පරිශීලනය නොකිරීමෙන් කෞතුකාගාර බවට පත්ව ඇත. එමෙන්ම ලංකාව දස ඇති පාසල්වල තිබෙන පුස්තකාලවල තත්ත්වය ඉතාම දුක්ඛිතය. කනගාටුවට තවත් කරුණක් වන්නේ ලක්ෂ 50 කට අධික පාසල් දරුවන් පොත් පත් කියවා ලබන දැනුම අතහැර ජංගම දුරකතන, පරිගණක, ඉන්ටනෙට් වැනි විද්‍යුත් තාක්ෂණික මෙවලම් භාවිතාවට හුරුව ඇත. එදා බස් රියේ අසුනකට බරවී සන්සුන්ව පොතක් කියවපු කාලය යල් පැන ඇත. අද බස් රියක යන සෑම මගියෙකු ළඟම ඇත්තේ පතක් පොතක් නෙවේ.

කනේ කටේ බෙල්ලේ බැඳගත් ජංගම දුරකතනයයි. විසිවෙනි සියවසේ බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රේෂ්ඨ චින්තකයකු පවසා ඇත්තේ “කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ” යනුවෙනි. කියවීම ඉතා ‍හොඳ වැදගත් අංගයකි. කියවීමෙන් මිනිස් සිත සන්සුන් වේ. බුද්ධිය ඥානය හා ඉවසීම ‍වැනි යහගුණ වර්ධනය වේ. මීට වසර හත අටකට පෙර හවස් වරුවේ ගම්බද මෙන්ම නගරබද නිවෙස් අසලින් ගමන් කරනවිට ඇසුනේ දරුවන් පාසල් පාඩම් පොත් ශබ්ද නගා කියවන හඬය නැතිනම් මිහිරි හඬින් කවි පාඩම් කරන හඬය. අද ‍මේ සුන්දර චමත්කාර බව හොරු අරන් ගොස්ය.

පොත් ප්‍රදර්ශනයට විත් දරුවන්ට පොත් මිලදී ගෙන දෙන අම්මලා තාත්තලාට දරුවන් පොත් කියනවාද කියා සොයා බලන්න වෙලාවක් නැත. අද දරුවන් රූපවාහිනියට වසඟ වී ඇත. පත පොත කියවන්න අවස්ථාවක් නැත. පොත් ප්‍රදර්ශනයෙන් මිලදි ගත් පොත් බැලුවා විතරයි. කියවන්න වෙලාවක් දරුවන්ට නැත. තරුණ තරුණියන් බොහෝදෙනෙක් නවීන විලාසිතා ඇඳුමෙන් සැරසී පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් මිලදී ගන්න නොවේය. ප්‍රදර්ශන භූමියේ පොත් සල්පි‍ලේ ඇති පොත් කඩවල්වල පොත් හැර වෙනත් විවිධ විද්‍යුත් තාක්ෂණික උපකරණ අලෙවියට තබා ඇත. අද වනවිට පොත් කියවීම දරුවන්ට එපාවී ඇත. තරුණ තරුණියන්ද පොත් කියවීමට වඩා ජංගම දුරකථනයට කොමිපියුටර් යන්ත්‍ර, රූපවාහිනියට වහ වැටි ඇත.

චන්ද්‍රසිරි ගෝමිස් 
කළුබෝවිල

 

නාමල් ඔය මල් මල් නැත

$
0
0
ඔක්‌ 4, 2019 01:00

ජල ප්‍රශ්නය විසදිමට නම් විකල්ප ජල ධාරාවක් නාමල්ඔය ජලාශයට හරවා ගත යුතු බව ගොවීන්ගේ යෝජනාවකි. කන්න රැස්විම්වලදී සහ වෙනත් ගොවි රැස්වීම්වලදී ද ගොවි නියෝජිතයින් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ වසර ගණනාවක සිටය. නාමල්ඔය ජලාශයට උතුරු දෙසින් මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාසයේ ජල පෝෂිත ප්‍රදේශවලින් ගලා ගෙන එන කොල්ලැල්ලා ඔය සොරොව්වක් මගින් හරස් කර නාමල්ඔය ජලාශයට විකල්ප ජල ප්‍රවාහයක් ලබා ගත යුතු බව ගොවි සංවිධාන නියෝජිතයින් ගේ යෝජනාව වෙයි.

ගල්ඔය මිටියාවත හරහා මුහුදට ගලා ගිය නාමල් ඔය හරස් කර බැම්මක් බැදීමෙන් නිර්මාණය කරනු ලැබු නාමල්ඔය ජලාශය මගින් දියවර සපයා ගොවිජනපද 10 ක් ආරම්භ කරනු ලැබීය. සේනානායක සමුද්‍රයේ ජල පෝෂිතයට යටවූ ඉඩම්වල පදිංචි ව සිටී ගම්වාසීන් ට අක්කර තුනක් බැගින් ලබා දී නාමල්ඔය ගොවිජනපද දෙකක පදිංචි කරවනු ලැබු අතර කොළඹ, මහනුවර, ගාල්ල , නුවරඑළිය දිස්ත්‍රික්කවලින් තෝරාගත් ගොවීන්ට ගොඩින් අක්කර දෙකක් සහ මඩින් අක්කර තුනක් බැගින් බෙදා දී 1963 දී නාමල්ඔය ගොවිජනපද ව්‍යාපාරයේ පදිංචි කරවනු ලැබීය.

නමුත් එදා සිට අද දක්වා වසර 56 ක් තිස්සේ ගොවිජනපද වාසීන්ගේ මැසිවිල්ලක් වන්නේ යල මහ දෙකන්නය වි වගා කිරීමට ජලාශයේ රැදෙන ජලය ප්‍රමාණවත් නොවන බවයි.

අක්කර අඩි 42750 ක ජල ධාරිතාවය ප්‍රයෝජනයට ගනිමින් නාමල්ඔය ජලාශයෙන් දියවර ලබමින් කුඹුරු අක්කර 4500 ක් යල මහ වගා කිරීම මෙම ගොවි ජනපදයේ මූලික සැලසුම වූ නමුත් ගොවි ජනපදවල වී වගාව ආරම්භයේ දී ම එම සැලසුම වැරදී යාම නිසා ආරම්භ කරනු ලැබු ගොවිජනපද කිහිපයක් වසා දැමීමට පියවර ගනු ලැබු අතර එම වසා දැමු ගොවිජනපදවල පදිංචි කරනු ලැබු ගොවි පවුල් වෙනත් පළාත්වලට ගෙන ගොස් පදිංචි කරවනු ලැබීය. ජලාශයේ පවතින ජල ප්‍රමාණය අනුව අක්කර 3700 ක වී වගා කිරීමට සැලසුම් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

ජලාශය ඉදිකරනු ලැබු වකවානුවේ දී මහ කන්නයේ වී වගාව ආරම්භ කිරීමට ඔක්තොම්බර් මාසයේ සිට ආරම්භ වන මෝසම් වැස්සෙන් ලැබෙන ජලය ප්‍රයෝජනයට ගනු ලැබීය. නමුත් වසර ගණනාවක් තිස්සේ එවැනි සාර්ථක වැසි නොලැබුණ නිසා අක්කර 3700 වගා කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ජලාශවලට නොලැබෙන බව ගොවීහු පවසති.

නාමල්ඔය ජලාශයට ජල පෝෂක ප්‍රදේශයක් නොමැති අතර වැස්සෙන් ලැබෙන ජලය පමණක් ජලාශය තුළ රැඳී පවතී. මෙම ජල ප්‍රශ්නය විසදිමට නම් විකල්ප ජල ධාරාවක් නාමල්ඔය ජලාශයට හරවා ගත යුතු බව ගොවීන්ගේ යෝජනාවකි. කන්න රැස්විම්වලදී සහ වෙනත් ගොවි රැස්වීම්වලදී ද ගොවි නියෝජිතයින් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ වසර ගණනාවකට පෙර සිටය.

නාමල්ඔය ජලාශයට උතුරු දෙසින් මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාසයේ ජල පෝෂිත ප්‍රදේශවලින් ගලා ගෙන එන කොල්ලැල්ලා ඔය සොරොව්වක් මගින් හරස් කර නාමල්ඔය ජලාශයට විකල්ප ජල ප්‍රවාහයක් ලබා ගත යුතු බව ගොවි සංවිධාන නියෝජිතයින් ගේ යෝජනාව වෙයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සන්ධාන ආණ්ඩුවේ වාරිමාර්ග ඇමතිවරයා වූ අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කටයුත්ත සදහා අවශ්‍ය මිනුම් කටයුතු වෙනුවෙන් රුපියිල් ලක්ෂ 3 ක මුදලක් අම්පාර නියෝජ්‍ය වාරි මාර්ග අධ්‍යක්ෂවරයා වෙත ලබා දුන් අතර ඒ අනුව කොල්ලැල්ලා ඔය පිළිබදව ශක්‍යතා අධ්‍යයනයක් කර ව්‍යාපෘති වාර්තාවක් සකස් කරන ලෙස නාමල්ඔය ජලාශය භාරව සිටී ඉංජිනේරු සහකාර නාමල්ඔය ව්‍යාපාර අධිකාරි නිරෝෂන් සිල්වා මහතාට පවරනු ලැබීය. එවකට වාරි මාර්ග අධ්‍යක්ෂවරයාව සිටි ආර්.බී.වික්‍රමරත්න වාරි මාර්ග ඉංජිනේරු ආර්.එම්.පී.කරුණාරත්න යන මහත්වරුන් ද මෙම මිනුම් කටයුතු සදහා වරින් වර සහභාගි වූහ.

නිරෝෂන් සිල්වා මහතාගෙන් මේ පිළිබදව කළ විමසීමක දි ඒ මහතා මෙසේ කීය.

නාමල්ඔය ජලාශයේ සිට කි.මී.08 ක් පමණ දුර උතුරු දිසාවේ සිට මොණරාගල දිස්ත්‍රික්කයෙන් ගලා විත් මඩකළපුව හරහා මුහුදටට වැටෙන කොල්ලැල්ලා ඔය හරස් කර සොරොව්වක් ඉදි කර ඒ හරහා නාමල්ඔය ජලාශයට අවශ්‍යතාවය අනුව ජලය ලබා ගැනීමට හැකියාව ඇති බව සිදු කළ අධ්‍යනවලදී දැන ගැනීමට හැකි වුණා. තමන්ගේ ගමට ඉහළින් ගලාගෙන එන ඔය හරස් කර ගලා එන ජල දහරාව සම්පුර්ණයෙන්ම නාමල්ඔය ජලාශයට ලබා ගැනීමට සුදානමක් ඇතැයි ගම්වාසීන් වැරදි හැගීමක් ඇති කරගෙන තිබුණා. නමුත් ගලා එන සියලු ජලය නාමල්ඔය ජලාශයට අවශ්‍ය වන්නේ නැහැ. සොරොව්වක් ඉදිකර සීමාසහිතව ජලය ලබා ගැනීම කළ හැකි යැයි ද නිරෝෂන් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

නාමල්ඔය ජලාශය අම්පාර දිස්ත්‍රික්කයට අයත් වන අතර කොල්ලැල්ලා ඔය මොණරාගල දිස්ත්‍රික්කයේ සිට ගලාගෙන එයි. මෙම මිණුම් කටයුතු කරන අතර තුර එම ගම්වාසීන් විසින් ඇති කර ගත් සැකයක් මත මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ට සහ රජයේ නිලධාරින්ට පැමිණිලි කිරිම නිසා මෙම කටයුත්තට බාධාවක් සිදුවිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී වාරි මාර්ග ඇමතිවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා කටයුතු කරන අතර තුර නාමල්ඔය ගොවීන් 14 දෙනකුගෙන් යුත් පිරිසක් වාරි මාර්ග ඇමතිවරයා හමුවීමට පාර්ලිමේන්තුවට ගිය අතර එහිදී මෙම ජලය ලබාදීමේ කටයුත්ත ඉටු කර දීමට පොරොන්දු වු බව ගොවීහු පවසති. නාමල්ඔය ගොවිජනතාවගේ බලාපොරොත්තු මෙතෙක් ඉටු නොවුණත් කොල්ලැල්ලා ඔය මගින් විකල්ප ජල ධාරාව ලබා ගැනීමේ උත්සහය අත්හැර නැත.

නාමල්ඔය කෘෂිකර්ම සහකාර බුද්ධික ලක්මාල් මහතා -

නාමල්ඔය ගොවිජනපදයේ වී ගොවිතැනට අමතරව අනෙකුත් අතුරු භෝග වගාවන් කිරිම සදහා ගොවි ජනතාවට අපි සහයෝගය ලබා දුන්නා. නමුත් නාමල්ඔය ජලාශයේ පවතින ජල හිගය නිසා මෙම කටයුතු දිගටම කරගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජලාශයට විකල්ප ජල ධාරාවක් ලබා දෙන ලෙස ගොවීන් කරන ලද ඉල්ලීම සාධාරණයි.

අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ ලියනගේ මහතා -

නාමල්ඔය ජලාශයේ සිට කි.මී.11.5 දුරට ප්‍රධාන ඇළ හරහා ජලය ගලා ගිය අතුරු ඇළ වල දිග කි.මී.4300 ක්. දැනට කරගෙන යන අන්දමට කුඹුරු අක්කර 3700 ක වී වගා කිරීම සදහා යල මහ කන්න දෙකටම අක්කර අඩි 18500 ක ජල ප්‍රමාණයක් අවම වශයෙන් අවශ්‍ය වනවා. ජලාශයේ තැම්පත් කළ හැකි ජල ප්‍රමාණය අක්කර අඩි 42 750 ක්. නමුත් පවතින දේශගුණ තත්වය නිසාත් යල මහ කන්න දෙක වගා කිරිමට නම් ජලාශයට අමතර ජල ප්‍රමාණයක් ලැබිය යුතුයි. ගොවි ජනතාව කරනු ලැබු යෝජනාව වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉවත දමා නැහැ. එම කටයුත්ත ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සැලසුම් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළා.

2බී ජනපදයේ ගොවි නියෝජිත එම්.එල්.දයාපාල මහතා -

නාමල්ඔය ජලාශය යටතේ ගොවි ජනපද 10 ක් ආරම්භ කරනු ලැබු නමුත් මුල් කාලයේ දී ම 3බී,4බී,8බි,9බී ජනපද වසා දමා එම ජනපදවල පදිංචි කළ ජනපදිකයින් ඒවායින් ඉවත් කර වෙනත් ප්‍රදේශවල පදිංචි කරනු ලැබුවා. නාමල්ඔය ව්‍යාපාරය ආරම්භ කළ හෝ විවෘත කළ දිනයත්, එම ව්‍යාපාර ආරම්භ කළේ කවුදැයි කියාවත් සඳහනක් නැහැ. සේනානායක සමුද්‍රය ඉදිකිරීමෛන් පසු ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් නාමල්ඔය ජලාශයේ සහ ගොවිජනපදවල ඉදිකිරීම් කටයුතු සිදු කළා. අම්පාර දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සදහා මෙවැනි තවත් ජලාශයක් තොට්ටම ඉදිකළා. නාමල්ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතුවලට මමත් සහභාගි වුණා. කොල්ලැල්ලා ඔය හරවා නාමල්ඔය ජලාශයට අමතර ජල ප්‍රමාණයක් ලබා ගැනීමේ මුලික මිනුම් කටයුතුවලට මමත් සහභාගි වුණා. නමුත් එම කටයුත්ත ඉටු කිරීමට නොහැකි වුණා .

නාමල්ඔය ව්‍යාපාරය සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු ජස්ටින් කරැණානායක මහතා -

1963 දී නාමල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ගොවීන් ගෙන්වා පදිංචි කරනු ලැබුවා . ජල හිගය නිසා වසා දැමු ගොවි ජනපදවල පදිංචිව සිටි පිරිස් ආපසු වෙනත් ප්‍රදේශවල පදිංචි කරවනු ලැබුවා. එදා සිට අද දක්වාම වී ගොවිතැනේ යෙදෙන ඉතිරි පිරිසට ජල හිගය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. තරුණයින් වශයෙන් මෙම ගොවි ජනපදයට පැමිණි බොහෝ දෙනා මේ වන විට දිවියෙන් සමුගෙන ඇතත් ඉතිරිව සිටින සුළු පිරිසක් සහ ඔවුන්ගේ දරු මුනුපුරන්ගේ ජීවන තත්වය උසස් කර ගැනීම සදහා දැන්වත් රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. කොල්ලැල්ලාඔය හරස් කර නාමල්ඔය ජලාශය අවශ්‍ය ජලය ලබා දීමෙන් එම තත්වය උදාකර ගත හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අඹගහවැල්ල ගොවි නියෝජිත ජේ.එන්.යු.කේ.ජයසූරිය මහතා -

නාමල්ඔය ජලාශයේ සිට කි.මී.11.5 දුරට වතුර ගෙන ගිය පසුවයි අපේ කුඹුරුවලට වතුර ලැබෙන්නේ. ජලාශය ඉදි කරනු ලැබු කාලයට වඩා අපේ ගම්මානවලට වතුර ගෙන යාමට දුෂ්කරතා රාශියක් දැනට පවතිනවා. ප්‍රධාන ඇළ දෙපස සහ ඇළේ පවතින අවහිරතා මගහරවා ගනිමින් අපේ කුඹුරුවලට වතුර ගන්න පැය 24 ක පමණ කාලයක් ගත වෙනවා. පවතින වියළි කාලගුණය නිසා පොළවටත් උරාගනිමින් තමයි පහළට වතුර ගලා බසින්නේ. ජලාශයේ වතුර අඩු නිසා දවස් 05 ක් වතුර නිකුත් කර දවස් 10 ක් වසා තැබීම පසුගිය කන්නවලදි සිදු වුණා. ජලාශයේ වතුර තිබෙනවා නම් එසේ සීමා කළ යුතු නැහැ.

එන්.එච්.බි.සේනාරත්න මහතා - 2බී කොළඹ කොටස

මම වී වගාවට අමතරව එළවළු, කෙසෙල්, පලතුරු , අල බතල සහ වෙනත් අතිරේක භෝග, පළා වර්ග වගා කරනවා. ඇළේ එන වතුරවලින් කුඹුරු වගා කරනවා. අනෙක් වගා කටයුතු සදහා වතුර ලබා ගැනීමට මම කෘෂි ළිදක් කපාගෙන තියෙනවා. මේ දිනවල ඇළේ වතුර වසා ඇති නිසා අපේ ළිඳ හිදිලා. ඒ නිසා වගාවන්ට වතුර ලබා ගැනිමට දුෂ්කරතා ඇති වි තිබෙනවා. එම නිසා මගේ අමතර භෝග වගාව අඩපණ වී තිබෙනවා. ජලාශයට වතුර ලැබෙනවා නම් මේ සියලු බාධක මැඩගෙන අපට ජය ගන්න පුළුවන්.

අම්පාර මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ, දැනට කොළඹ මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කරන සුනිල් කන්නන්ගර මහතා අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත පිණිස බොහෝ යෝජනා ක්‍රියාත්මක කළ කෙනෙකි. එමෙන්ම කළ යුතු වැඩ රාශියක් පිළිබද අදහස් ඒ මහතා සතුව පවතී.නාමල්ඔය ජලාශයේ ජල හිගය නිසා නාමල්ඔය ගොවිජනතාවට සිදු වී ඇති අවහිරය මෙන්ම ඉගිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු අනෙකුත් ජලාශ පිළිබදව ද මහ දිසාපතිවරයා සිය අදහස මෙසේ ප්‍රකාශ කරනු ලැබීය.

අධික වියළි කාලගුණයක් පැවතීම සහ ජලාශවලට නිරන්තරයෙන් ජලය ගලා නොඒම නිසා එම ජලාශ සිඳී ගොස් තිබෙනවා. නාමල්ඔය සහ අනෙකුත් ජනපදවල කුඹුරු සමතලා බිමක පිහිටා නොමැති බැවින් නිකුත් කරන ජලය ඉතා ඉක්මනට කුඹුරුවලට ගාලා යාමක් සිදු නොවන නිසා නාමල්ඔය පමණක් නොව අනෙකුත් ජලාශවලද ජල නාස්තියක් සිදු වනවා. නාමල්ඔයට විකල්ප ජල දහරාවක් සපයා ගන්නා අතර කුඹුරුවලට ඉක්මනින් වතුර ගලා හා හැකි අන්දමට සියලු කුඹුරු ඉඩම් එක මට්ටමකට ගත යුතු බව මගේ හැඟීමයි. දැනට පවතින කාලගුණ තත්වයට මුහුණ දීමට නම් ජලය පරිස්සම් කර ගනිමින් වී වගාව කර ගත යුතුයි.

පියසේන වතුදුර 
දිගාමඩුල්ල සංචාරක

 

‘වැඩකරන’ ජනතාවගේ ශාපය

$
0
0
ඔක්‌ 4, 2019 01:00

සේවය අතහැර ගියා සේ සලකා මීට පෙර අවස්ථාවකදීත් දුම්රිය සේවකයන්ට ලිපි නිකුත් කර තිබෙන බවත් මේ නිසා එවැනි ප්‍රකාශවලින් සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරනවා. පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කරන්නේ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබුණු පසුව බව ද මේ නිසා බලධාරීන් මුලින්ම සිදුකළ යුතු වන්නේ ගැටලුවලට විසඳුම් ලබාදීම බව ද එම සංගම් සඳහන් කරනවා.

වැටුප් විෂමතා ඉවත් කරනතුරු අන්තර්කාලීන දීමනාවක් ඉල්ලා සිටිමින් තිබිය දී දීමනාවක් ලබා දී තව තවත් වැටුප් ගැටලු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඉකුත් 2වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය. දීමනා ලැබිය යුතු පුද්ගලයන්ට දීමනා ලබාදිය යුතු බවත් එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ වැටුප් විෂමතාවක් බවත් එය විසඳීමට කටයුතු නොකර දීමනාවක් ලබාදීම අල්ලසක් බවට පත්වන බව ද වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය. මේ නිසා ගැටලුව විසඳා ගැනීමට ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට ඊයේ (03) සංගමයේ විධායක සභාව රැස්වන බව ද ඒ මහතා කියා සිටියේය.

‘වැඩකරන’ ජනතාවගේ ශාපය

පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව පීඩාවටත් අගතියටත් පත් කළ දුම්රිය වැඩවර්ජනය සහ අද (04) ආරම්භ කිරීමට සූදානම් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය සම්බන්ධයෙන් අදාළ වෘත්තීය සමිති නායකයෝ යැයි කියා ගන්නා ඊනියා දේශපාලන ගැත්තන් කල්ලියක් විසින් මාධ්‍ය හමුවේ කළ ‘පම්පෝරි’ කතා දෙකක් ඉහත සඳහන් වෙනවා.

අවාසනාවට වාගේ මේ ‘කාලකන්නි’ වැඩවර්ජන නිසා අගතියටත්, අලාභයටත් මුහුණ දෙන ‘වැඩකරන’ ජනතාව වැඩවර්ජකයන්ගේ ‘අම්මා මුත්තා’ මතක් කරමින් තබන දෙස් දෙවොල් රට හමුවට ගෙන යන්න ‘පුරවැසි මාධ්‍ය කලාවක් ’ තවමත් නිසි පරිදි සංවිධාන වී නැහැ. ඒත් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධාකාරයේ ‘පෝස්ට්’ හරහා මේ ඊනියා දේශපාලන ගැත්තන්ට තමන් කොතරම් ශාපයකට, උදහසකට ලක්ව සිටින්නේ ද යන්න දැකබලා ගත හැකියි.

මේ ලියුම්කරුට ලිපිය ලිවීම ආරම්භයේදීම මේ වැඩවර්ජන රැල්ල ගැන ඇතිවන්නේ කෝපය සහ පිළිකුල මුසු වූ මානසිකත්වයක්. ඊට හේතු එකක් නොව පහ හයක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙන්නේ මේ කාලකන්නි වැඩවර්ජනය නිසා අහිමි වන ‘අපේ කාලය’ ගැනයි. වෙනදා කොළඹ කාර්යාලයට පැමිණීම සඳහා උදෑසන 6.10ට නිවසින් පිටත් වන ලියුම්කරු පසුගිය දින කිහිපයේම නිවසින් පිටත් වුණේ 5.45ට. වෙනදා උදෑසන ආහාරය ගෙන නිවසින් පිටත් වුණත් මේ දිනවල ඒකත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කාර්යාලයෙන් උදෑසන හා දිවා ආහාරයට ගැනීමට යන අමතර වියදම ද දැරිය යුතුව තිබෙනවා.

ලියුම්කරු පිරිමියෙක් වශයෙන් මුහුණ දෙන මේ අසීරු තත්ත්වයට වඩා සිය දහස් වාරයක් අසීරු තත්ත්වයට කොළඹින් බොහෝ දුර බැහැර කාර්යාලයීය සේවිකාවන් මුහුණ දෙනවා. ඔවුන් කියන්නේ ‘මේ කාලකන්නි වැඩවර්ජනය’ නිසා තමන්ට අමතර පැයක් වේලාසනින් අවධිවීමට සිදුවන බවයි. වෙනදා පෙරවරු 4.30ට පමණ අවදි වී ගෙදර උදවියට ආහාර පිය නිම කරන ඔවුන්ට දැන් පෙරවරු 3.30ට පමණ අවදිවීමට සිද්ධ වෙලා. වැඩකරන ජනතාවගේ මේ වටිනා කාලය කන්නේ ‘කුමන පාපයකට’ දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

මේ සමඟ ලියුම්කරු තවත් පැත්තක් ගැන කතා කළේ ලියුම්කරුගේ කාර්යාලීය මිතුරියක්. දුම්රිය වැඩවර්ජනය නිසා ඇය මේ දින කිහිපයේම රැකියාවට පැමිණ ඇත්තේ යතුරුපැදියේ.

‘පසුගිය ටිකේම උදේටයි හවසටයි හොඳට වැස්ස. ඒත් වැඩට එන්න ඕනෑ නිසා අනෝරා වැස්සේම තෙමී ගෙන ආවා. මට දැන් හොඳටම අසනීපයි. තෙමිලා නිසා. ඊයෙත් නිවාඩු දැම්මා’ ඇය වේදනාවෙන් යුතුව කියනවා.

‘අපි සීසන් එකෙන් තමයි පසුගිය අවුරුදු ගානම ආවේ ගියේ. මොකද බස් එකේ කොළඹට එන්න ගියොත් රුපියල් 350ක් විතර යනවා. ඒත් මේ කාලකන්නින්ගේ වැඩවර්ජනය නිසා පහුගිය දවස් ටිකේම ආවේ බස් එකේ. මාසේ පඩිය නෙමෙයි ළමයින්ට කන්න බොන්න දෙන්න තියෙන සල්ලි ටිකත් දැන් ඉවරයි. ඉතුරු දවස් ටික ගෙවන්න වෙන්නේ ණයට අරන්. මුන් මුන්ගේ පඩිය වැඩිකර ගන්න ගිහින් අපේ ළමයින්ගේ බත්පතට වින කරනවා.......’ ඔහු අවසානයට කිව්ව වචනය ලියන්න බැරි නිසා හිස් තැනක් තියනවා.

දුම්රිය වැඩවර්ජනය ගැන ලක්ෂ 3කට අධික දෛනිකව දුම්රියෙන්ම ගමන් ගන්නා වැඩකරන ජනතාවගේ මේ වේදනාව, ඔවුන් තමන්ට සිදුව ඇති අගතිය ගැන සිතා හෙළන සුසුම් මේ ඊනියා වැඩවර්ජක දේශපාලන බැලයන්ට නොතේරෙන බව හෝ ‘අදාළ’ නැති බව ඇත්ත. ඒත් මේ ඊනියා වැඩවර්ජන පසුපස සිටින ඊනියා දේශපේ‍්‍රමීන්ට සහ ‘විනයගරුක’ යැයි කියන ‘පොල්පොට් පන්නයේ’ආණ්ඩුවක් හදන්න දතකට කන දේශපාලකයන්ට තවත් සති කිහිපයකින් ‘මේ සියලූ පාපයන්ට’ වන්දි ගෙවීමට සිදුවන බව නම් පැහැදිලියි.

ලක්ෂ තුනක් වන්දි ගෙවන්නේ 2500කට

රාජ්‍ය අංශයේ සිදු වෙන වැඩවර්ජන අතරින් වඩාත්ම ආර්ථික සහ සමාජයීය හානියක් සිදුකරන්නේ ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩවර්ජන බවයි ආර්ථික හා සමාජ විද්‍යාඥයෝ කියන්නේ. උදාහරණයක් ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ (දුම්රිය හා ලංගම) සිදුවන වැඩවර්ජනයක දී වැඩකරන ජනතාවට තම සේවා ස්ථානවලට ඒවට නොහැකිවීමෙන් සමස්ත ආර්ථික හ සමාජයීය ක්‍රියාවලියම අඩපණ වන බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂයෙන් ‘විධායක නොවන’ රැකියා කරන සියලූ දෙනාම පාහේ පොදු ප්‍රවාහන සේවා මගින් තම අවශ්‍යතා සපුරා ගැනීම තුළ ‘සමස්තයක්’ ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ (විශේෂයෙන් රාජ්‍ය) සේවා කටයුතු අඩපණ වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ තත්ත්වය අපට වඩාත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට වත්මන් දුම්රිය වැඩවර්ජනයම යොදාගත හැකියි.

‘දුම්රිය දෙපාර්තමේන්තුවේ 2500කගේ වැටුප් විසමතාව නිසා මගීන් ලක්ෂ ගණනක් දැඩි දුෂ්කරතාවට පත්වී ඇත. දුම්රිය ස්ථානාධිපතිවරු දාහක් පමණද, දුම්රිය රියැදුරන් පන්සියයක් පමණද, නියාමකවරුන් පන්සියයක් පමණද, පාලකවරුන් හා ෆෝමන්වරු පන්සියයක් පමණ පිරිසක් කාලයක් තිස්සේ විටින්විට පවත්වාගෙන යන වැටුප් ප්‍රශ්නය නිසා දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට පත්වී ඇතැයිද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් පැවසුවේය.

මොවුන්ගේ මේ ක්‍රියා කලාපය නිසා කාර්යාල බලා ගමන් ගන්නා මගීන්ද, වෙනත් රාජකාරී සඳහා ගමන් ගන්නා මගීන්ද දැඩි අපහසුතාවකට පත්වී තිබේ. මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කරනා අය ආර්ථික අපහසුතාවකට පත්ව තිබේ. තවත් සමහරු දුම්රියෙන් එක් එක් පළාත්වල තම අවශ්‍යතා සඳහා ගමන් කිරීමට දුම්රිය ආසන වෙන්කරවාගෙන ඇ.

අද ඔවුන්ගේ කාර්යයන් අවුල් වී ‍ගොස් තිබේ. සුළු පිරිසකගේ වර්ජනයක් හේතුවෙන් අහිංසක ජනතාව විශාල වශයන් දැඩි පීඩාවන්ට පත්ව ඇතැයි ජනතාව මැසිවිලි නඟති - (දිනමිණ 2019 ඔක්තෝබර් 03)

ඊයේ(03) දිනමිණ පුවත්පත දුම්රිය වැඩවර්ජනය මගින් සමස්ත වැඩකරන ජනතාවම මුහුණ දෙන අපහසුතාව හා අගතිය මනාව පැහැදිලි කරනවා. 2500කට ආසන්න ‘සීමිත’ පිරිසකට දෛනිකව තම රැකියාවට යාමට ඇති අවස්ථාවට අවහිර කිරීම සහ ඔවුන්ට අමතර වියදමක් දැරීමට සිදුවන තත්ත්වයක් ‘හිතමතාම’ නිර්මාණය කිරීම කිසිවෙකුට එකඟවිය හැකි හෝ සාධාරණීකරණය කළ හැකි තත්ත්වයක් නොවෙයි.

යළිත් අවධාරණය කරන්නේ නම් දුම්රිය වැඩවර්ජනයෙන් බැට කන්නේ, වැඩිපුර කීයක් හෝ වැයවන්නේ ‘නිර්දන පන්තියේ’ මිනිසුන්ට මිස තම පෞද්ගලික වාහන හෝ කාර්යාලයීය වාහනවලින් සේවයට වාර්තා කරන කළමනාකරණ හෝ විධායක ශ්‍රේණියේ නිලධාරින්ට නොවෙයි. මීට ඉහතින් සඳහන් කළ සියලු උදාහරණ අයත් වන්නේ මේ තත්ත්වයටයි.

මේ සමඟ පැන නගින ප්‍රශ්නය වන්නේ මෙතරම් සීමිත සහ පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වන පටු අවස්ථාවාදීන් පිරිසකට සමස්ත සමාජ - ආර්ථික යාන්ත්‍රණයම කඩාකප්පල් කිරීමට තවදුරටත් අවස්ථාව ලබාදිය යුතුද ? යන ප්‍රශ්නයි. මන්ද දේශපාලන න්‍යාය පත්‍ර මත මේ වැඩවර්ජන සිදුවන බව පැහැදිලිව ප්‍රදර්ශනය වන තත්ත්වයක සිදුවන මේ සියලු වැඩවර්ජන ‘අවස්ථාවාදී’ ඒවා මිස වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමට ගත යුතු ‘අවසන් අවිය’ ලෙස ක්‍රියාත්මක නොවන නිසයි.

පරාජය කළ යුතුම දේ හඳුනා ගැනීම

දුම්රිය වේවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වේවා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වේවා පසුගිය වසර කිහිපයේ අඛණ්ඩව ක්‍රියාත්මක වුණ වැඩවර්ජන පිටුපස ‘වෘත්තීය අවශ්‍යතාවලට’ කිසිසේත් අදාළ නොවන දේශපාලන ව්‍යාපෘති හා න්‍යාය පත්‍ර තිබුණ බව පැහැදිලි කරුණක්. උදාහරණයක් ලෙස ගතහොත් පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලයේ සිදුකළ සියලූම වැඩවර්ජනවලට එකම හේතුව වුණේ ‘ආණ්ඩු විරෝධය’ පමණයි. ඒ බව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් තැබීමට නියමිතව තිබූ ‘එට්කා’ ගිවිසුමේ සිට ‘සයිටම්’ ආයතනය දක්වා විහි දී තිබුණා. මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන දුම්රිය වැඩවර්ජනය සේම සිදු කරන බවට තර්ජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයත් අයත් වන්නේ මේ ‘දේශපාලන හස්තයන් විසින්’ මෙහෙයවන වැඩවර්ජනවලටයි.

මේක පසුගිය කාලය පුරාම සිදු වුණ තත්ත්වයක් වශයෙනුයි අපට සැලකිය හැකි වන්නේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු නොවූ ආකාරයේ වැඩවර්ජන සහ උද්ඝෝෂණ රැල්ලක් වත්මන් ආණ්ඩු සමයේ සිදු වෙනවා. මේ සඳහා වන හොඳම උදාහරණය තමයි පසුගියදා ආබාධිත සොල්දාදුවන් විසින් කළ උද්ඝෝෂණය. මේ උද්ඝෝෂකයන් විසින් ඉල්ලා සිටි සියලුම දේවල් මහින්ද රාජපක්ෂ - ගෝඨාභය රාජපක්ෂ යුගයේ දී කිසිම අවස්ථාවක සංවාදයට ලක් නොවුණ දේවල්. එදා මේ කිසිම අාබාධිත සොල්දාදුවෙකුට මෙවැනි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන රූකඩ බවට පත් වෙමින් පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දී පාරට බැස්සා. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ තැටිය රත්වුණ වෙලාවේ රොටිය පුච්ච ගන්න වගේම ‘වත්මන් ආණ්ඩුව රණවිරුවන්ට සලකන්නේ නැහැ’ කියන රාජපක්ෂ ප්‍රවාදය යළි යළිත් තහවුරු කිරීමයි. මොකද රාජපක්ෂ බල ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්නේ මේ රණවිරු මානසිකත්වය කේන්ද්‍ර කරගෙනයි. ඒත් මොනයම් හේතුවක් නිසාදෝ මේ වැඩේ පිටිපස්සේ රාජපක්ෂවරු ඉන්න බව ඉතාම නිර්ලජ්ජිත විදිහට පසුගියදා හෙළි වුණා.

‘රණවිරුවන් පවු’ යැයි කියමින් සිටි බහුතරයක් ජනතාව පසුගියදා ‘අනේ අපොයි’ කියන තත්ත්වයට පත්වූ ඒ හාස්‍යජනක රංගනයෙන් පසුව වැඩවර්ජනය හා උද්ඝෝෂණ දෙස මැදිහත් සිතින් බැලූ ජනතාව පවා දැන් සිටින්නේ ‘මේවා දේශපාලන ගේම්’ කියන මානසිකත්වයෙන් බව පැහැදිලිව පෙනී යනවා.

‘ඇත්තමයි අපි හිතාගෙන හිටියේ මේ ආබාධිත සොල්දාදුවෝ උපවාස කළේ ඔවුන්ගේ ඇත්ත ඉල්ලීම් දිනා ගන්න කියලා. අපි දැන් දන්නවා මේවා විජේරාම මාවතේ පිටපත් කියලා’

අාබාධිත සොල්දාදුවන්ගේ උපවාසයට පක්ෂව දැඩිව කතා කළ සහ මුහුණපොත හරහා ඒ පිළිබඳ ‘පෝස්ට්’ රැසක් සමාජගත කළ කොළඹ රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් මේ ලියුම්කරු සමඟ කිව්වා.

මේ සිදුවීම සම්බන්ධයෙන් වගේම පසුගිය කාලය පුරාම සිදු වූ මෙවැනි සිදුවීම් සියල්ල දෙසම මධ්‍යස්ථව බලන සාමාන්‍ය ජනතාව අද කියන්නේ ‘නැති අවුල් ඇති කළේ ’ මේ දේශපාලන හස්තයන් විසින් බවයි.

‘සාමාන්‍ය ජනතාව විදිහට අපිට ලොකු දෙයක් කරන්න බැහැ. ඒත් අපිට තීරණාත්මක මොහොතක අසීමිත බලයක් එනවා. ඒ ඡන්දයේදී. අපි බොහෝ දෙනෙක් 2015 දී දැඩි තීරණයක් ගත්තා. ඒ මේ ගමන නතර කරන්න ඕනෑ කියලා. ඒ තීන්දුවේ අපි තවමත් ඉන්නවා’ තැපැල් ඡන්දය භාවිත කිරීමේ හිමිකම ඇත්තියක කිව්වා.

රට අවුල් නොකළ නම් අපි ගොඩ

මේ වැඩවර්ජන රැල්ලෙන් පමණක් නොව රජය විසින් ගත් බොහෝ සාධනීය ප්‍රවේශ කඩාකප්පල් කරනු දැකීමෙන් කම්පනයට පත් ජනතාව විසින් කරන ප්‍රකාශයක්.

ඔවුන් කියන්නේ රජය විසින් ක්‍රියාත්මක කළ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ බාධා රහිතව කිරීමට අවකාශයට ලැබුණේ නම් රටේ තත්ත්වය මීටත් වඩා යහපත්වීමට වැඩි ඉඩක් තිබුණ බවයි.

ඒ සඳහා ඔවුන් රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප සේම ඍජුව පෞද්ගලික අංශයට සහ ස්වයං රැකියාවල නිරත වන්නන්ට ප්‍රතිලාභ හිමිවන ‘ව්‍යවසාය ශ්‍රී ලංකා ’ වැඩසටහන උදාහරණ වශයෙන් දක්වනවා.

‘අපි රාජ්‍ය අංශයේ සේවකයෝ නෙමෙයි. ඒ නිසා රාජ්‍ය අංශයට සුවිශේෂ වරප්‍රසාදයක් වෙලා තිබුණ අඩු පොළී නිවාස ණය අපිට හීනයක් වෙලා තිබුණේ. අපේ මිතුරන් වන රජයේ සේවකයෝ සියයට හතරට පහට නිවාස ණය අරන් ගෙවල් හදන තාලේ බලල බලා අපි දුක් වුණා. මොකද අපිට නිවාස ණයක් ගන්න තිබුණේ සියයට 16 වාගේ පොළියකට. ඒත් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මට අඩුම පොළියකට නිවාස ණයක් ගන්න පුළුවන් වුණා. මගේ පඩියට ගන්න පුළුවන්කම තිබුණට වඩා වැඩි ගානක් මේ නිසා ගන්න පුළුවන් වුණා. මගේ යාළුවෝ කීප දෙනෙක්ම මේ ණය අරන් ගෙවල් හදනවා’ මේ ලියුම්කරු සමඟ අදහස් දක්මින් දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කිව්වා.

මේ සියලූ දෙනාම කියන පොදු කරුණ වන්නේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල සහ සුබසාධන වැඩසටහන්වල ඍජු ප්‍රතිඵල තමන්ට ලබා ගන්න අවස්ථාව නොලැබුණේ ‘දැනුවත්භාවය’ අඩු වූ නිසා බවයි.

‘අපි ආණ්ඩුව කළ බොහෝ දේවල්වල තොරතුරු දැන ගන්නේ නැහැ. අපි බලන නාළිකාවල ඒ කිසිම දෙයක් ගියේ නැහැ. පස්සෙන් පහුතමයි ගොඩක් දේවල් දැන ගත්තේ. විශේෂයෙන් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගැන අපි ඇත්තටම දැනගෙන සිටියේ නැහැ. දැන් බලාගෙන ගියාම මේකෙන් පළක් අරන් නැත්තේ අපි විතරයි’

ලියුම්කරුගේ කාර්යාලයීය සේවිකාවක් පශ්චාත්තාප වෙමින් කිව්වා.

ඇත්ත සැඟවූයේ ඇයි ?

මේක බොහෝ දෙනෙක් බොහෝ විට අහන ප්‍රශ්නයක්. ඉහතින් සඳහන් කළ ආකාරයට අපි බොහෝ දෙනෙක් ආණ්ඩුව විසින් කළ කිසිම ධනාත්මක දෙයක් ගැන නිසි පරිදි දැනුවත් වෙලා තිබුණේ නැහැ. ගොබෙල්ස් මාධ්‍ය භාවිතය අනුව මෙහෙයවනු ලැබූ රෙජිම මාධ්‍ය පසුගිය වසර පහ පුරාම කළ දැවැන්ත මෙහෙයුම වුණේ ‘ජාතික ආරක්ෂාව අනතුරේ, බලවත් පාලකයෙක් ඕනෑ’ කියන මන්ත්‍රය මැතිරීම පමණයි. ඒත් ලලිත්-කුගන් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවට ප්‍රකාශයක් ගන්න ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයට මහාධිකරණයට කැඳවපු අවස්ථාවේ ‘ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ’ යැයි කියමින් යාපනයට යාම ප්‍රතිෂේප කළ කතාව මේ කිසිම රෙජිම මාධ්‍යකට පුවතක් වුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රකාශයට පත් වුණේ තම දේශපාලන න්‍යාය පත්‍රයට අදාළ පුවතක් පමණක්.

‘පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණේ නැත්නම් අද බොහෝ දෙනකුට යනඑන මං නැහැ’ මේ දේශපාලන ප්‍රහසන දෙස බලාසිටින බොහෝ දෙනෙක් කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැනගෙනයි.

ඒ නිසා අවසාන වශයෙන් කිව යුතු වන්නේ වර්ජන තර්ජන, ඊනියා උද්ඝෝෂණ සහ උපවාස මගින් සේම ගොබෙස්වාදී ප්‍රචාර මගින් ඉහළට ඔසවා තැබූ පිළිම තවත් සති කිහිපයකින් සදාකාලිකව බිමට සමතලා වන බව පමණයි. ඒ සඳහා ‘වැඩකරන ජනතාව’ අන්ත පීඩාවට පත්කරන වැඩවර්ජන පිටුපස සිටීමම හොඳටම ප්‍රමාණවත්.

භාතිය බරුකන්ද

70 වියැති ජවාධික චීනය

$
0
0
ඔක්‌ 5, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න

චීනය යනු ලොව වැඩිම ජනගහනය සහිත රාජ්‍යය ය . එය සංඛ්‍යාත්මකව බිලියන 1.38 කි. භූමි ප්‍රමාණය අනුව සලකනවිට ලොව දෙවැනි විශාලම රාජ්‍යය චීනයයි. ලොව විශාලතම හමුදාව ඇත්තේ චීනයටය. ලොව දෙවැනි විශාලම ආරක්ෂක අය - වැය ඇති රටද චීනයයි. චීනය යනු ලොව විශාලතම අපනයනකරුවාය. දෙවැනි විශාලම ආනයනකරුවාද චීනයයි.

“චීනය නිදා සිටින යෝධයෙක්. අපි ඒ යෝධයාට නිදාගන්න ඉඩ හරිමු. කවදාහරි චීනය නින්දෙන් ඇහැරුණොත් ලෝකය වෙනස් කරාවි...”

එසේ කීවේ නැපෝලියන් අධිරාජ්‍යයාය . දැන් යෝධයා අවදි වී සිටී. ඔහු කී ලෙසම ලෝකය වෙනස් කරන්නට ද පටන්ගෙන ඇත. දේශපාලන, ආර්ථික, තාක්ෂණික හා විද්‍යාත්මක යුද්ධය මෙන්ම සංස්කෘතික වැනි සෑම ක්ෂේත්‍රයකම පාහේ ඒ වෙනස දැනෙන්නට පටන්ගෙන ඇත. ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදුණු 70 වෙනි චීන ජාතික දින සැමරුමේදී ලෝකය දුටුවේ එලෙස අවදි වූ යෝධයාගේ බලය හා ශක්තියය. එහිදී ජනාධිපති ෂී ජිං පිං කීවේ චීනයේ ප්‍රගතිය වැළැක්වීමට කිසිඳු බලවේගයකට නොහැකිවනු ඇති බවය. සභාපති මාඕ සේතුං විසින් චීන මහජන සමූහාණ්ඩුවේ බිහිවීම ප්‍රකාශයට පත්කළ 1949 ඔක්තෝම්බර් 01 වැනිදා පටන් එරට ජාතික දිනය වශයෙන් සැමරේ. එදින එරට ජාතික නිවාඩු දිනයක් ද වේ. ඔක්තෝම්බර් 01 වැනිදා සිට ඇරැඹෙන සතියක කාලසීමාව හැඳින්වෙන්නේ ස්වර්ණ සතිය වශයෙනි. මේ වනවිට ගෙවීයමින් ඇති එම සතියේ චීන ජාතිකයෝ චාරිකාවල යෙදෙමින් හා සැණකෙළි හා සංදර්ශන පවත්වමින් සතුටු වෙති. මේ අතරින් වඩා විශේෂී වන්නේ ජාතික දිනය දා ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම සහ හමුදා ආචාර පෙළපාළියය . එදින පැවැත්වෙන සංස්කෘතික අංග හා ගිනිකෙළි සංදර්ශනද අතිශයින් විචිත්‍රවත්ය. මෙවර ඒවා බෙහෙවින් උත්සවාකාරයෙන් හා වඩාත් අලංකාරවත්ව දිස්වූයේ මෙය 70 වෙනි ජාතික දින සැමරුම වූ බැවිනි.

යුද ශක්තිය

මෙම සැමරුම් අංග අතරින් ලෝක අවධානයට වඩාත් ලක් වූයේ කියන්ආන් මෙන් චත්‍රරස්‍රයේ පැවැති හමුදා සංදර්ශන හා ආචාර පෙළපාළියයි. චීනයේ නවීනතම යුද ශක්තිය එහිදී ප්‍රදර්ශනය කෙරිණි. DF - 41 නවීනතම මිසයිලය මෙන්ම DF-17 බැලස්ටික් මිසයිලයද ප්‍රදර්ශනය විය. DF - 41 ලොව දැනට නිපදවා ඇති දිගුදුර මිසයිල අතරට අයත්ය. චීනයේ සිට අමෙරිකාව ඉලක්ක කිරීමේ හැකියාව ඊට තිබේ. DF - 17 අධික වේගයෙන් ඉලක්කය සොයා යන මිසයිලයකි. මෙහිදී ප්‍රදර්ශනය වූ යුද අවි හා උපාංග අතරින් 40% ක්ම ප්‍රදර්ශනය කෙරුණේ පළමු වතාවට බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. අති නවීන යුද ගුවන් යානා ද අගනුවරට ඉහළ අහසේ දිස්විය.

චීනය තවදුරටත් එක් දේශයක් වශයෙන් පෙරට ගෙනයාමේදී ජාතික එකමුතුබවේ අවශ්‍යතාව ජනාධිපති ෂී ජාතිය අමතමින් අවධාරණය කළේ ය . ඔහුගේ කතාව 1949 ඔක්තෝම්බර් 01 වැනිදා සභාපති මාඕ කළ කතාව සිහිගැන්වූ බව ඇතැම් විචාරකයන්ගේ අදහසය.චීනයේ ඊයේ දවස මිනිස් ඉතිහාසයේ නිධන්ව ඇතැයි කී ඔහු. චීනයේ අද දවස මිලියන සංඛ්‍යාත වන එරට ශ්‍රම බළකාය විසින් නිර්මාණය කරන ලද්දක් බව කීවේ අභිමානයෙනි. එමෙන්ම චීනයේ හෙට දවස වඩා සමෘද්ධිමත් වනු ඇති බව පැහැදිලි යැයි ඔහු කීවේ අපේක්ෂාසහගතවය. සිය කතාවේදී ඔහු හොංකොං ගැන කතා කළේ සුළු වශයෙනි. “එක රටක් - ක්‍රම දෙකක්” පිළිවෙත සමඟ තවදුරටත් චීනය ඉදිරියට යන බව ජනාධිපති ෂී එහිදී යළි අවධාරණය කළේය. මෙහිදී ෂී සමඟ හිටපු ජනාධිපතිවරුන් වන හූ ජින් තාවෝ හා ජියැං ෂෙමින් ද අගමැති ලී කෙකියැංග් ද වූහ.

චීන විප්ලවය ඇරැඹුණේ දෙවැනි චීන - ජපාන යුද්ධය නිමාව දැකීමත් සමඟ 1946 දීය. එමෙන්ම එය චීන සිවිල් යුද්ධයේ දෙවැනි අදියරද වේ. විප්ලවය වසර 4 ක් පුරා පැවැති අතර 1949 දී, ජයග්‍රාහීව අවසානය සලකුණු කළේය. එය ‘විමුක්තිය උදෙසා වන සටන’ යනුවෙන් හැඳින්විණි. විප්ලවය ජයගැනීම යනු කොමියුනිස්ට්වාදය ජයගැනීමද විය. චීනයේ පාලන බලය කොමියුනිස්ට් පක්ෂය අතට පත්විණි. “ චීන මහජන සමූහාණ්ඩුව” විප්ලවයේ ප්‍රතිඵලයකි. එය බිහිවූයේ චීන කොමියුනිස්ට් පක්ෂය අරඹා දශක 3 කට පසුවය. කොමියුනිස්ට්වාදීන්ට සෝවියට් දේශයේ සහාය ලැබුණු අතර ජාති වාදීන්ට අමෙරිකාවේ සහාය ලැබිණි. ජාති වාදීන්ට නායකත්වය දුන්නේ චියැං කයිෂෙක්ය. 1946 ජූලි වනවිට ඔහු සතුව තිබූ පිරිස් බලය මිලියන 4.3 කි. එසේ වුවද මාඕ සේතුං ගේ නායකත්වයෙන් පෙරට ගිය කොමියුනිස්ට්වාදීහු යුද්ධයෙන් ජය ලැබූහ. තායිවාන් දූපතට පසුබැස චියැං කයිෂෙක්ගේ පිරිස් එහි බලය අත්කරගත්හ. පසුව අමෙරිකාවහට හා බටහිර ජාතීන් පිළිගත්තේ කුවෝමින්තාන් පාලනයයි. චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට විප්ලවයෙන් පසු දශක 3ක් පමණ බලා සිටීමට සිදුවූයේද මේ නිසා ය.

සභාපති මාඕගේ නායකත්වයෙන් යුතුව ‘දීඝතම පා ගමන’ දියත් වූයේ 1958 - 60 වකවානුවේදීය. 1966 – 76 දශකයක කාලසීමාව තුළ සංස්කෘතික විප්ලවය දියත් විය. 1976 දී මාඕ ගේ අභාවයෙන් පසු, 1977 දී බලයට පත්වූයේ ඩෙංෂියාඕපිංග් ය. ඔහු රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර ගත්තේය. නිදා සිටි යෝධයා අවදිවීමට පටන්ගත්තේ එවක් පටන්ය. වසර 2010 වනවිට චීනය අමෙරිකාවට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවැනි ආර්ථික බලවතා බවට පත්වීමට සමත්විය. දැනටමත් ලොව වැඩිම විදේශ සංචිත හිමි රට වන්නේ චීනයයි.

හොංකොං විරෝධතා

තායිවානය මෙන්ම හොංකොං දේශයද භෞමික වශයෙන් චීනයට අයත්ය. චීනය එක් දේශයක් ලෙස සලකන්නේ තායිවානය හා හොංකොං ද සමඟය. හොංකොං බලධාරීන් රැගෙන ආ නව උදර්පණ පනතට එරෙහිව ඇවිල ගිය විරෝධතා දැනට මාස 4 ක් තිස්සේ දිග්ගැසෙමින් තිබේ. මේ වනවිට එම පනත හකුළාගෙන ඇති නමුත්, විරෝධතා පෙරට යමින් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. චීනය සිය 70 වෙනි ජාතික දිනය සමරන විට හොංකොං විරෝධතාකරුවෝ සිය චීන විරෝධය ඇවිළවූහ. මාර්ග බාධකවලට ගිනි තබමින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගනිමින් ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන අයුරු මාධ්‍ය වාර්තා කළහ. හොංකොං විරෝධතා ආරම්භවීමෙන් පසු පළමුවරට 18 හැවිරිදි තරුණයකු පොලිස් වෙඩි පහරින් තුවාල ලැබීය. හොංකොං පොලිස් කොමසාරිස්වරයා කීවේ,එම වෙඩි තැබීම නීත්‍යානුකූල මෙන්ම සාධාරණ බවය. තුවාලකරු රෝහල්ගත කෙරිණි. මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේදී 180 දෙනකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිසිය පැවැසීය. 01 වැනිදා, අඟහරුවාදා දින පැවැති විරෝධතා රැළි නගරයේ මෙතෙක් තමන් දුටු ප්‍රබලම ප්‍රචණ්ඩකාරී සිද්ධීන් බව පොලිස් කොමසාරිස්වරයා මාධ්‍යට පවසා තිබිණි. පොලිසිය වෙඩි 6ක් තබා ඇති බව අනාවරණය විය. ඒවායින් වෙනත් කිසිවකුටත් හානි සිදුව නැත. “අපි හැමෝටම වෙඩි තියාපල්ලා” යනුවෙන් විරෝධතාකරුවන් කෑගැසූ බව CNN වාර්තාවක සඳහන් විය.

හොංකොං සැමරුම්

විරෝධතාකරුවන් චීන විරෝධය දියත් කරද්දී හොංකොං වැසියන් චීන ජාතික දිනය සැමරීමට එක් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. චීන ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් හා ගීත ගයමින්ද විවිධ ක්‍රීඩා සංදර්ශන පවත්වමින් ඔවුහු ජාතික දිනය සැමරූහ. හොංකොංහි උසම කඳු මුදුනේ චීන ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමට තරුණ පිරිසක් කටයුතු කරන අයුරුද දිස්විය. 1000 කගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ‘ඩ්‍රැගන්ස් බැක්’ කඳු ශිඛරය තරණය කළේද ජාතික දින සමරුව වෙනුවෙනි. මුහුදු වෙරළට ළඟාවූ 300 පමණ පිරිසක් බෝට්ටුවලින් වින්මෝරියා වරායට ළඟාවූ අතර චීන ජාතික ගීය ගයමින් හා මව්බිම දිනේවා! යනුවෙන් හඬ නඟමින් එය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටැක්සි 2000ක පමණ පෙළපාළියක්ද පැවැත්විණි. හොංකොංහි වැඩබලන ප්‍රධාන විධායක මැතිව් හියුංග් පවසා ඇත්තේ අන්කවරදාටත් වඩා හොංකොං වැසියන් සහයෝගයෙන් ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇති බවය. වෙනස්කම් වෙනුවට එක්සත්ව කටයුතු කළ හැකි පසුබිමක් මත පිහිටිය යුතු බව ඔහු කීවේ එක ඉලක්කයක් කරා ළඟා වන කණ්ඩායමක් එලෙස සිටිය යුතු බව දක්වමිනි.

චීනය යනු ලොව වැඩිම ජනගහනය සහිත රාජ්‍යය ය . එය සංඛ්‍යාත්මකව බිලියන 1.38 කි. භූමි ප්‍රමාණය අනුව සලකනවිට ලොව දෙවැනි විශාලම රාජ්‍ය චීනයයි. ලොව විශාලතම හමුදාව ඇත්තේ චීනයටය. ලොව දෙවැනි විශාලම ආරක්ෂක අය - වැය ඇති රටද චීනයයි. චීනය යනු ලොව විශාලතම අපනයනකරුවාය. දෙවැනි විශාලම ආනයනකරුවාද චීනයයි.

චීන ජනගහනයෙන් මිලියන 100 ක් තවමත් සිටින්නේ ඇ.ඩො. 1 කට අඩු දෛනික ආදායම් මට්ටමේ බව ඇතැම් මූලාශ්‍රවල දැක්වේ. චීනයේ ජාතික ක්‍රීඩාව ටේබල් ටෙනිස් ය. චීනය යනු ලොව වායු දූෂණය අධික රටවල් අතරින් එකකි. චීනයේ ප්ලේස්ටේෂන් භාවිතය තහනම්ය. චීනයේ සෑම දින 5කට වරක් අහස සිඹින මහල් ගොඩනැගිල්ලක් ඉදිවන බව සැලකේ. අන්තර්ජාලයට ඇබ්බැහිවූවන් වෙනුවෙන් චීනයේ ප්‍රතිකාර කඳවුරු පැවැත්වේ. සමස්ත යුරෝපයටම වඩා චීනයේ‍ෙ ආගම් අදහන පිරිස අඩුය.එහෙත් ඉරිදා දිනවල ආගමික ස්ථාන කරා යන පිරිස වැඩිය.

දූෂණ චෝදනාවන්ට වරදකරුවන් වන සමාගම්වල විධායක නිලධාරීන්ට මරණ දඬුවම නියම කරන රටක් ලෙසද චීනය ප්‍රකටය. චීනයේ, මිලියන 10 ට වැඩි ජනගහනයක් සහිත මෙගා නගර 4 ක් තිබේ. ලෝකයේ එවැනි එකම රට චීනයය. වොප්ස්ටික්ස් නිෂ්පාදනය වෙනුවෙන් චීනය වාර්ෂිකව කපා බිම හෙළන ගස් ප්‍රමාණය මිලියන 20ක් බව සැලකේ. ලොව ජීවත්වන සියලු පැන්ඩාවන්ගේ නිජබිම ද චීනයය. ආගම් අදහන ප්‍රතිශතය අවම වුව ද ලොව වැඩිම බෞද්ධ ජනගහනය ඇති රට ද චීනයය. එය මිලියන 244ක් හෙවත් සමස්ත ජනගහනයෙන් 18.2% ක ප්‍රතිශතයකි. ගුවාංඩොගේ, ෂන්ඩොංග්, හෙනාන්, සිචුවාන් හා ජියැංග්ෂු පළාත් රටවල් විනි නම් ලොව වැඩිම ජනගහනය සහිත රටවල් 20 වන්නේ ඒවාය.

යෝධයා නින්දෙන් අවදි වී සිටී. ඒ අවදිවීම ගැන අමෙරිකාව,බටහිර පමණක් නොව ඉන්දියාවද නොරිසිය. එහෙත්, නව සේද මාවත දිගහරිමින් සිටින ජනාධිපති ෂී ජිංග් පිංග් කියන්නේ කවර බලවේගයකට වුවද චීනය නතර කළ නොහැකි වනු ඇති බවය.

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>