Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

අලදෙණියට කොන්ක්‍රීට් කරච්චලයක්

$
0
0
සැප් 27, 2019 01:00

මෙම ප්‍රදේශය ජනාකීර්ණයි. ගෙවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තවත් සේවක සේවිකාවන් සේවය කරන කර්මාන්තශාලාවක් තිබෙනවා. දෙස් විදෙස් ජනතාව එන පැරණි හෝටලයක් තිබෙනවා. මෙවැනි තැනක මෙවැනි කොන්ක්‍රිට් සැකසුම් කර්මාන්තශාලාවක් සැදිම සුදුසු නෑ. අපේ දැනුවත් කිරිම් සියල්ල පුස්සක් බවට පත්වී මෙහි වැඩ කටයුතු ආරම්භ වුණා. සියල්ල සිදුවන්නේ නීතියට පටහැනිව. අදාළ ආයතන විසින් පනවා ඇති සියලු නීති උල්ලංගනය කරනවා අපිට ඇස් පනාපිටම පේනවා. නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය මත ඉදිකිරිම් ආරම්භ වුණා. ඊට පසුවත් අපි දැනුම් දුන්නා. පලක් වෙලා නෑ. අදටත් එහි වැඩ කරගෙන යනවා.

නූතන කාර්මික ශිෂ්ඨාචාරයේ වර්ධනයේ සහ එහි පැවැත්මේ අතුරු ඵලයක් ලෙස ශීඝ්‍ර ලෙස කර්මාන්තශාලා බිහි වෙමින් පවති. කර්මාන්තවලට පදනම් වී ඇත්තේ ආර්ථික ආකල්ප හා වැඩි ලාභ ලැබීම පමණක් හෙයින් පවතින නීතිය මානවයා කර්මාන්තශාලා විශාල ප්‍රමාණයකි. එසේම කර්මාන්තශාලා හේතුවෙන් සිදුවන පාරිසරික හානිය ද ඉහළ ගොස් ඇත.

හාරිස්පත්තුව අලදෙණිය ප්‍රදේශවාසීන් මෙවැනි අත්දැකීමකට මුහුණපාමින් සිටිති.පාරම්පරික උරුමයන් රැකගනිමින් ගොවිතැනින් ජීවිකාව ගෙන ගිය ඔවුන්ගේ නිවෙස් මධ්‍යයේ ඉදිකෙරෙන කොන්ක්‍රීට් සැකසුම් කර්මාන්තශාලාවක් හේතුවෙන් ඔවුහු දැඩි පීඩාවට පත්ව සිටිති. කාලයක් තිස්සේ තම හදවත්වල පුපුරා යන වේදනාව ලොවට කියා පෑමටත් අදාළ බලධරයන්ගේ අවධානය මේ සඳහා යොමු වනු පිනිසත් පසුගියදා ඔවුහු නගර මධ්‍යයේ උද්ඝෝෂණයක්ද කළහ.

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහනුවර කුරුණෑගල මාර්ගයේ ප්‍රධාන මාර්ගයෙන් මීටර් සියයක් පමණ ඔබ්බට එම්.පී.එස් මාර්ගයේ නිවෙස් සිය ගණනකට මැද්දට වන්නට ඉදිවන මෙම කොන්ක්‍රීට් සැකසුම් කර්මාන්තශාලාව මීට මාස කිහිපයකට පෙර වැඩ ආරම්භ කර තිබේ. මෙවැනි දෙයක් ආරම්භ කිරීමට යන බව කණවැකුණු ප්‍රදේශවාසීන් ආරම්භයටත් පෙර සිටම සිය විරෝධය අදාළ අංශ වෙත ලිඛිතව හා වාචිකව ප්‍රකාශ කර තිබෙන නමුත් අද වන විට සියලු පැමිණිලි පුස්සක් බවට පත්වෙමින් කර්මාන්තශාලාවේ වැඩ කටයුතු අවසන් අදියරේ පවතී.

කර්මාන්තශාලාව ඉදිකිරීමේදී ඇතිවන දුවිලි, හා ශබ්දය නිසා අවට ප්‍රදේශවාසීහු දැඩි පීඩාවට පත්ව සිටිති. පෙනි පෙනීම නීතිය උල්ලංඝණය කරමින් ගොඩනැගිලි අහස උසට එසවෙද්දි ප්‍රදේශවාසීන් තම දෛනික කටයුතු පසෙකලා බලධාරින් පසුපස යන්නේ වෙන කර කියා ගතහැකි දෙයක් නොමැති නිසාවෙනි.

මධ්‍යම පරිසරය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභාව, භුවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකගේ අධික්ෂණය සහ අවසරය මත ඉදිකෙරෙන මෙම කර්මාන්තශාලාව මහජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වයන් හමුවේ තව දුරටත් කරගෙන යාම පිළිබඳව ප්‍රදේශවාසීහු විමතිය පළ කරති.

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසියකුවන උපාලි සෙනවිරත්න මහතා

අපි මේ ඉඩම්වල පාරම්පරික පදිංචිකරුවෝ. කර්මාන්තශාලාව ඉදි කෙරෙන බවට කලින් අපිට ආරංචි වුණා. සැතපුම් පහක් පමණ දුරින් පිහිටි මෙම ආයතනයට හිමි මෙවැනිම කර්මාන්තශාලාවක ප්‍රති විපාක අපි හොදින් දන්නවා. එම ප්‍ර දේශයෙන් එම කර්මාන්තශාලාව ඉවත් කරන්න කියල දැඩි විරෝධතාවයක් පැවතුණා. එම කර්මාන්තශාලාව එතනින් ඉවත් කරන්ට යනවා. ඒ පිළිබඳව අපිට ලොකු බයක් දැනුණා . මෙහි ඉදිකිරීම නුසුදුසු බව අප වහාම දැනුවත් කළා. මෙම ප්‍රදේශය ජනාකීර්ණයි. ගෙවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තවත් සේවක සේවිකාවන් සේවය කරන කර්මාන්තශාලාවක් තිබෙනවා. දෙස් විදෙස් ජනතාව එන පැරණි හෝටලයක් තිබෙනවා. මෙවැනි තැනක මෙවැනි කොන්ක්‍රිට් සැකසුම් කර්මාන්තශාලාවක් සැදිම සුදුසු නෑ. අපේ දැනුවත් කිරිම් සියල්ල පුස්සක් බවට පත්වී මෙහි වැඩ කටයුතු ආරම්භ වුණා. සියල්ල සිදුවන්නේ නීතියට පටහැනිව. අදාළ ආයතන විසින් පනවා ඇති සියලු නීති උල්ලංගනය කරනවා අපිට ඇස් පනාපිටම පේනවා. නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය මත ඉදිකිරිම් ආරම්භ වුණා. ඊට පසුවත් අපි දැනුම් දුන්නා. පලක් වෙලා නෑ. අදටත් එහි වැඩ කරගෙන යනවා.

එම් එම් කීර්තිරත්න බණ්ඩා මහතා

අපි මෙහි පාරම්පරික පදිංචිකරුවන්, අපි මේච්චර කාලයක් නිදහසේ ජිවත් වුණා. මෙම කර්මාන්තශාලාව ඉදිවීමත් සමඟ අපේ එදිනෙදා ජිවිතය අවුලෙන් අවුලට පත්වෙලා. අධික දුහුවිල්ලක් එනවා. ඉදිකිරිම් කටුයුතු වලදී විශාල ශබ්දයක් එනවා. අවසර දිලා තියෙන්නේ පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා පමණයි. එහෙත් රාත්‍රී කාලයේත් වැඩ කටයුතු කරනවා. රාත්‍රියට නින්දක් නෑ. දරුවන්ට පාඩම් කටයුතු කරගෙන යන්ට බෑ .

මෙම කර්මාන්තශාලාවට එන පාරත් පෞද්ගලික එකක්. එහෙත් ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගත් බව කියනවා. මෙම මාර්ගයේ ගමන් කරන්ට පුළුවන් සාමාන්‍ය වාහනවලට. කොන්ක්‍රීට් ප්‍රවාහනයට යාමේදී මෙම වාර්ගයත් විනාශ වෙනවා. ඒක ගම් වාසින්ට ලොකු පාඩුවක්. මෙම මාර්ගය හදන්නේ මෙම ගම්වල දානපතියන් විසින්. මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමේදී ටැංකි සැදිමට විශාල වළක් කැපුවා. එහි ගල් වෙඩි දැම්මා. ඒ ගල් වෙඩි නිසා අපට දැඩි පීඩාවක් ඇති වුණා. විශාල ප්‍රමාණයක් පස් ඉවත් කළා. මේ කිසිවකටවත් අවසර ලබා ගෙන නෑ. හිතු පරිදි කරනවා. ජනතාව එන්න එන්නම පීඩාවකට ලක් වෙනවා.

කේ ජි එම් එල් හේමන්තිකා මහත්මිය.

මෙම කර්මාන්තශාලාව ඉදිවන්නේ අපේ නිවස ආසන්නයේ. ගල්වෙඩි දැමීමෙන් අපේ ගෙවල් පිපිරුමට ලක්වුණා. අදටත් ඒ පිපිරුම් තිබෙනවා. අපි ඉක්මනින් අදාළ අංශ දැනුවත් කළා. එනවා යනවා මිස අපිට විසඳුමක් ලැබුන් නෑ. අපේ අම්මා ඇදුම ලෙඩෙක්. මෙහි දුවිල්ල එයාට ගොඩක් නරකයි. අපි අම්මා ගෙදර එහා පැත්තට මෙහා පැත්තට මාරුකර කර ඉන්නවා. අපි මේ ගෙවල්වල නිදහසේ ජීවත් වුණ අය. යන අපවිත්‍ර ජලය නිසා පහළ වෙල් යායම විනාශ වෙනවා. පහළට වන්නට තියෙන්නේ සාරවත් කුඹුරු. අපටත් පරිසර නීති ගැන අවබෝධයක් තියෙනවා. සියලුම පරිසර නීති පෙනි පෙනී උල්ලංගනය වන බව අපට පේනවා. අදාළ අංශ සියල්ල නිහඬව සිටිම පිළිබදව අපට ඇත්තේ දැඩි කලකිරීමක්.

ධම්මිකා පීරිස් මහත්මිය.

අපි ඉන්නේ ආසන්නයේ. මෙහි ඉදිකිරීම් ආරම්භයේදීම මෙහි සේවකයන් සඳහා ඉදිකරන ලද වැසිකිළිය නිසා අපි වතුර බොන ළිඳ විනාශ වෙලා ගියා. මේ ළිද අවුරුදු තිහ හතළිහක් පරණයි. මේ පැත්තේ ජනතාව වතුර නැති කාලයට වතුර බොන්ට ගන්නේ මේ ළිඳෙන්. වැසිකිළිය ළිඳ ආසන්නයේ ඉදිකිරීම නිසා අපවිත්‍ර දෑ නිසා ළිඳ අත්හැර දැමීමට සිදුවුණා. මේ පිළිබඳවත් අපි දැනුවත් කළා. පරිසර අධිකාරියෙන් ඇවිත් උපදෙස් දි තිබුණා. ඒ උපදෙසුත් පිළිපැද නැති බව පෙනී ගිය නිසා අපි වතුර බොන ළිද අත්හැර දැමුවා. අපේ දරුවන්ට නිදහසේ පාඩම් කරන්ට බෑ. අධික ශබ්දයක් එනවා. ශ්වසන රෝග හැදීමේ අවදානම වැඩියි. අපේ අම්මගේ ශ්‍රවණ තත්ත්වය දුර්වලයි. මෙහි ශබ්දය නිසා ඒ තත්ත්වයට මුහුණ දීමේදී අපිත් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. අපේ දරුවන් පාසල් යන්නේ අපේ නෑදැ ගෙවල්වල ඉඳන්. මේ තත්ත්වයෙන් අපිව මුදා ගන්නා ලෙස බලධාරින්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

කේ පි වැලිකන්නගේ මහතා, අධ්‍යක්ෂ(මධ්‍යම පළාත්) මධ්‍යම පරිසර අධිකාරිය

අපෙන් මෙම කර්මාන්තශාලාවට පාරිසරික නිර්දේශය ඉල්ලා තිබුණා. මෙම අවස්ථාවල අපි ශබ්දය සහ දුවිල්ල පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා තාක්ෂණ වාර්තාවක් ලබා ගන්නවා. එය ලබාගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයෙන්. අවශ්‍ය කටයුතු කළා. මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමේදී සහ ඉදිකිරීමෙන් පසු පරීක්ෂණ පවත්වනවා. එහිදි අහළ පහළ නිවෙස් වල අවශ්‍ය උපකරණ සවිකොට පරික්ෂණ පවත්වනවා. කර්මාන්තශාලාවේ යන්ත්‍ර සවිකිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට තාවකාලික අවසරපතක් ලබා දෙනවා. එය දින ගණනකට වලංගුයි. එය ලබා දෙන්නෙත් කාර්මික තාක්ෂණ ආයතනයේ අනුමැතිය පරිදි. මෙහි ප්‍රදේශ වාසින් විටින් විට පැමිණිලි කළා. ඒ සෑම අවස්ථාවකම අපි නිලධාරින් යොමුකළා. සමහර නීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති බවත් පෙනි ගියා . එයට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මෙම ප්‍ර දේශයේ තිබිය යුත්තේ ශබ්දය ඩෙසිබල් පනස් පහයි. දුවිල්ල කියුබික් මිටර් මිලිග්‍රෑම් හාරසිය පනහයි. මෙය ගැසට් නිවේදනයක් මඟින්ම නීති ගත කොට තිබෙනවා. අපි මෙම කර්මාන්තශාලාවේ හිමිකරුට කටයුතු කළයුතු නිති මාලාව ලිඛිතවම දැනුම් දි තිබෙනවා. ජනතාවට පීඩාකාරිවන අයුරින් නිතියට පටහැනිව මෙහි කටයුතු සිදු වුවහොත් අධිකරණයේ නඩු පවරා මෙම කර්මාන්තශාලාව අනිවාර්යයෙන්ම තහනමට ලක්කරනවා.

ආනන්ද ජයවිලාල් , සභාපති . හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව

මෙම කර්මාන්තශාලාව ඉදිකෙරෙන්නේ ඉතාම ජනාකිර්ණ ප්‍ර දේශයක. මෙහි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙලා ඉන්නේ. මෙහි කිසිම කටයුත්තකට මෙම ප්‍රාදේශීය සභාවෙන් අනුමැතියක් ඉල්ලා නෑ. අනුමැතියක් ලබා දිලත් නෑ. මෙම කර්මාන්තශාලාවට යන මාර්ගය ප්‍රාදේශීය සභාවට අයිති නෑ. නීතියට පටහැනිව කටයුතු සිදුවන බව පේනවා. සභාවෙන් වෙළෙඳ බලපත්‍රය ලබා ගත යුතුයි. එම අවසරය අයුදුම් කොට නෑ එම අවසරය අපි ලබා දෙන්නෙත් නෑ. ජනතාව පීඩාවට පත් කෙරෙන අයුරින් කෙරෙන කටයුතු අපි කොහොමත් අනුමත කරන්නෑ.

හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් , ජේ එම් ජේ කේ ජයසුන්දර මහතා ,

මෙම කර්මාන්තශාලාව ඉදිකෙරෙන ප්‍රදේශයේ ප්‍රදේශ වාසින්ගෙන් මට මෙහි සිදුවන දෑ පිළිබඳව පැමිණිලි රාශියක් ඉදිරිපත් වුණා. මම අදාළ අංශයන් දැනුවත් කිරීමට කටයුතු කළා. මෙම කර්මාන්තශාලාව පැමිණිම නිසා මෙහි ජිවත් වු පාරම්පරික ජනතාව දැඩි පිඩාවකට පත්ව ඇති බව පෙනි යනවා. මෙම බොහෝ ජනාකීර්ණ ප්‍ර දේශයක්. මමත් කම්හල නිරික්ෂණය කිරීමට ගියා. ජනතාව පීඩාවට පත්නොවන අයුරින් නීත්‍යානුකූලව කටයුතු සිදුවිය යුතුයි.

තුෂාර ස්වර්ණතිලක මහතා, ව්‍යාපෘති උපදේශක, නාගරික සංවර්ධන අධිකාරිය

මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබූ නීති රීති උල්ලංඝනය කර ඇති බව පෙනී ගියා. අප විසින් නිකුත් කර තිබු සංවර්ධන බලපත්‍රය අවලංගු කළා.

ආයතන කිහිපයක් අනතුරු අඟවා තිබියදිත් කර්මාන්තශාලාවේ කටයුතු එලෙසම ක්‍රියාත්මක වෙමින් පවතී. මහජන හඬට සවන් දී බලධාරින්ගෙන් සාධාරණයක් ඉටුවන තුරු ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.

සටහන-ඉන්ද්‍රාණි තෝරදෙනිය 
ඡායාරූප-රුවන් මීගම්මන


ජනතා පුත්‍රයා සජිත්

$
0
0
සැප් 27, 2019 01:00
දුමින්ද අලුත්ගෙදර
සංඝරත්නයේ ආශිර්වාදය

පිය මඟ යන පුතකු ලෙස හිටපු ජනපති පුත් සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභි ජනයා වෙනුවෙන් තම සේවය ලබා දෙමින් සිටින්නේ ය. තම පියාණන් වූ ආර්. ප්‍රේමදාස මහතා ජනසවිය, ගම් උදාව, වැනි ව්‍යාපෘති තුළින් ජනයාගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කළ ආකාරයෙන් ම ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මහතා 1994 වසරේදී ආරම්භ කළ ‘ජන සුවය පදනම‘ මගින්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන යාම සඳහා අවස්ථාවන් සලසා දුන්නේ ය.

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු පිණිස සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සසුනට අරුණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉතා දිළිඳු විහාරස්ථාන ගොඩනගන්නට වීර්යය සම්පන්න උත්සාහයක නිරත සජිත් ප්‍රේමදාස අන්‍ය ආගමික, අන්‍ය ජාතික ආගමික මධ්‍යස්ථානවලටද දක්වා ඇති මූල්‍යමය දායකත්වය ප්‍රශංසනීයය.

ලක් ඉතිහාසයේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ආර්. ප්‍රේමදාස මහතා එවකට සිදුකරමින් තිබූ සමාජ සේවාවන් ඒ ආකාරයෙන් ම වත්මන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ එක ම අභිලාෂය වී තිබේ. දිළිඳුකම පිටු දැකීම හා නැති-බැරි මිනිසුන් ඇති - හැකි මිනිසුන් කිරීම වැනි සංකල්ප හඳුන්වා දෙමින් තම පියාණන්ගේ අරමුණු යථාර්ථයක් කර ගැනීමට සැබෑ වුවමනාවකින් දේශපාලනයට පිවිසි සජිත් ප්‍රේමදාස මහතා 1994 පැවති මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමු වැනියා වෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්විය. එතැන් පටන් අපරාජිත දේශපාලනඥයකු ලෙස, ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ලබාගත් මන්ත්‍රීවරයා වීම ද විශේෂත්වයකි. 2001 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වී 82% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ ය. 2004 වසරේදී 84%ක ඡන්ද ප්‍රතිශතයක් හා 2010 වසරේ දී 89%ක ඡන්ද ප්‍රතිශතයකුත් ලබා ගත් ඔහු මේ වන විට අමාත්‍ය ධුර කිහිපයක් ම හොබවා වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා දක්වා තම දේශපාලන ගමන් මඟ තරණය කොට තිබේ.

1967 ජනවාරි 12 දින මෙලොව උපන් සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද බම්බලපිටිය වජිරාරාම දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ද ලබා එංගලන්තයේ හා ඇමරිකාවෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත්තෙකි. සිංහල බෞද්ධයකු ලෙස ශාසන මෙහෙවර ඉටු කරමින් වෙහෙර විහාරස්ථාන බොහෝමයකට ආධාර උපකාර කිරීම ඔහුගේ තවත් සද්ක්‍රියාවකි. දුගී දුප්පතුන් වෙනුවෙන් හඬ නඟන මොහු හම්බන්තොට දිස්ත්‍රික්කය තම දේශපාලන දිවියේ ගමන් ආරම්භය කරගනුයේ අතිශය දුෂ්කර ජන ජීවිත ගත කරන මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට ය.

2015 දී පැවැති රජය පෙරළා දැමීමෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශයේ වගකීම තම උරමත හොවා ගන්නා එතුමා කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තම වගකීම් නොපිරිහෙළා ඉටු කරන්නට වෙර දැරීය. සමෘද්ධිලාභීන්ට සහන ක්‍රමයට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙමින් නිවාස ඉදිකර ගැනීමට නිවාස ණය ලබා දුන් අමාත්‍යවරයා දුගී ජනයාගේ සංවර්ධනයේ පෙරගමන්කරුවා ලෙස තම කාර්යයභාර්යය මැනෙවින් ඉටු කරන්නේ ය. ‘සැමට සෙවණ‘ ‘යළි පිබිදෙන උදා ගම්මාන‘ රැසක් මේ වනවිට ජනතා අයිතියට පත්කොට තිබේ. ශ්‍රී ලංකාව පුරා උදා ගම්මාන ලෙස දිළිඳු ගම්මාන, මධ්‍ය පන්තික ගම්මාන, රාජ්‍ය සේවක ගම්මාන, රණවිරු හා පොලිස් ගම්මාන ඉදිවෙමින් තිබේ.

එසේම, සංස්කෘතික අමාත්‍යාංශයෙහි ද වගකීම් බාරගන්නා මොහු සංස්කෘතියේ ප්‍රබෝධය සඳහා බොහෝ තීන්දු තීරණ ගනු ලැබීය. අඩුපාඩුකම් සහිත දහම් පාසල් සඳහා අංග සම්පූර්ණ දහම් පාසල් ශාලා ඉදිකිරීම් ආරම්භ කොට තිබේ. ශ්‍රී ලංකාව තුළ අමාත්‍යවරයකු ලෙස සිදු කළ ශාසනික මෙහෙවර අගයමින් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ‍ගෞරව නාමයෙන් ද පිදුම් ලබන්නේ ය.

ආර්. ප්‍රේමදාස මහතා මේ රටේ නායකත්වයට පත්වීම සැබැවින්ම විප්ලවයක් වූයේ ආර්ථික, සමාජ තහංචි මැඬගෙන, පන්ති, වර්ග, කුලමල වැනි අභියෝග ජය ගනිමින් මේ රටේ ඉහළම තනතුරට පැමිණීම නිසා ය. ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ, එදා බෞද්ධ ජන පදනමකින් යුතු, ග්‍රාමීය ආසන බහුතරයක් ජය ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට ශක්තිය ලැබුණේ ඔහුගේ තිබූ මානව ගුණාංගය නිසා ය. පොදුජන විඥානය හොඳින් තේරුම් ගත් නායකයකු ලෙස ඔහුගේ පුත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට වත්මන් ශ්‍රී ලංකාවේ බොහොමයක් ජනතාව බල කරමින් සිටින්නේ ය.

සියල්ලන්ටම සමානව සැලකීම, සියල්ලන්ටම සමාන අවස්ථා ලබාදීම, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම හා දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සැමදා පෙනී සිටියේ යැයි අමාත්‍යවරයා පවසා ඇත. ඉදිරි ජනපතිවරණයේ දී රටේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටීමට පොදු ජනතාව අතරින් මහත් ඉල්ලීමක් ඇතිවීමට හේතුව බවට පත්ව තිබෙන්නේ ඔහුට ඇති ජන ප්‍රසාදය යි.

ඡායාරූප - ලේක්හවුස් පුස්තකාලයෙනි

මිලිටරිකාරයන්ට මේ රටේ ඉඩ නැහැ

$
0
0
සැප් 27, 2019 01:00
දුමින්ද සම්පත්
ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

රටේ පවතින වර්ජන, උද්ඝෝෂණ රැල්ලට හේතු සහ ඒ සඳහා ආණ්ඩුව ලබාදෙන විසඳුම්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නම් කිරීමට පමාවීම පක්ෂයේ මැතිවරණ සටනට බලපාන ආකාරය, ඇතුළුව රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මෙසේ පිළිතුරු දෙයි.

* 2005 ඡන්දය රනිල් පැරදුණේ ප්‍රභාකරන් නිසා 
* රනිල්ගෙ නායකත්වය පක්ෂයට අවශ්‍යයි 
* පරිණත ශ්‍රීලනිපයට ළදරු පොහොට්ටුව ළඟ දණින් වැටෙන්න බැහැ 
* විදෙස් පුරවැසියකුට ලංකාව පාලනය කරන්න පුළුවන්ද? 
* ආණ්ඩුවක් හැටියට අපි සාර්ථකයි 
* සජිත්ට බිම් මට්ටමේ ඉල්ලුම වැඩියි 
* වර්ජන කරන්නෙ ආණ්ඩුව පෙරළන්න 
* කිසිම ආණ්ඩුවක්  මේ ආණ්ඩුව තරම් පඩි වැඩි කළේ නැහැ

ජනාධිපති සටනට වඩා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සටන ලොකු වෙලා තියෙන්නෙ ඇයි කියලා මුලින්ම ඇහුවොත්?

පිට ඉදන් බලන කෙනෙක්ට එහෙම පේනවා. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයව ඉදිරිපත් කරනවා. මැතිවරණය පවත්වන දින වකවානු දැන් ප්‍රසිද්ධියට පත් කළා. පක්ෂයෙ අපේක්ෂකයා තෝරන්න කමිටුවක් දානවා. ඉදිරිපත්වෙන අපේක්ෂකයන් අතරින් වඩාත්ම සුදුසු අය ගැන කමිටු නිර්දේශය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේක්ෂකයා ගැන තීන්දුව ගන්නවා. ජනාධිපති අපේක්ෂකයා ගැන පක්ෂය හැමදාම තීන්දු ගත්තේ එහෙමයි. රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වුණෙත් එහෙමයි.

ජාතික මට්ටමේ ආයතන ගණනාවක් කරපු සමීක්ෂණවලට අනුව පාක්ෂිකයන්ගෙ වැඩි ඉල්ලුම සජිත් ප්‍රේමදාසට නේද?

ඒ කතාව සත්‍ය වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයෙ ගම් මට්ටමේ, බිම් මට්ටමේ සජිත් ප්‍රේමදාසට ලොකු ඉල්ලුමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකයින්, විද්වතුන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් දැන් මේ ගැන සාකච්ඡා පවත්වනවා. සියලු දෙනාගෙ එකඟතාවයෙන් අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. පක්ෂ අභ්‍යන්තරයෙ බෙදීමක් ඇති නොවෙන විදිහට තීන්දුව ගන්නවා.

දැනටමත් පක්ෂය තුළත් ගම් මට්ටමේ පාක්ෂිකයන් තුළත් සජිත් පිල රනිල් පිල කියල යම් බෙදීමක් තියෙනවා නේද?

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ඔවැනි තත්ත්ව ඇතිවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රී පාල පිල මහින්ද පිල කියල බෙදීම් තියෙනවා. ඔවුන් වෙනම පක්ෂයකුත් හදාගත්තා. දැන් පොහොට්ටුවත් ශ්‍රී ලංකා එකත් ආයෙත් එකතුවෙන්න හදනවා. ළාබාල පොදු ජන පෙරමුණ ළඟ දැවැන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දණින් වැටෙන්න සිද්ධ වෙලා. එක්සත් ජාතික පක්ෂයට එහෙම වෙලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය අයට කිසිම විනය පරීක්ෂණයක් කළේ නැහැ. ලලිත්, ගාමිණී පක්ෂයක් හැදුවා. ඒ නිසා ඡන්ද ලක්ෂ දහයක් පමණ එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා. ඒත් ඒ පක්ෂයට ගිය හැමෝම ආයෙත් එක්සත් ජාතික පක්ෂයට ආවා. 2012 දී සජිත් පිල රනිල් පිල හැටියට බෙදුණා. සිරිකොතට ගල් ගැහුවා. කුරුඳුපොලු කතාවකුත් ආවා. එහෙම වෙලත් අවසානයෙ 2015 හැමෝම එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා. එක්සත් ජාතික පෙරමුණ 2020 ජනාධිපතිවරණයත් දිනනවා. රනිල් වික්‍රමසිංහ පක්ෂය වෙනුවෙන් ලොකු කැප කිරීම් කරපු නායකයෙක්. ඔහුගෙ නායකත්වය මේ පක්ෂයට අවශ්‍යයි.

ජනාධිපතිවරණය අභිමුඛව තියෙද්දි එජාපය කරන්නෙ ප්‍රතිවාදී අපේක්ෂකයව විවේචනය කරනවට වඩා තම පක්ෂයේම අපේක්ෂකයන්ව විවේචනය කර ගැනීම නේද?

ඒක ඉතාම අවාසනාවන්ත අවාසිදායක තත්ත්වයක්. සජිත් ජනාධිපති නම් අගමැති රනිල් වෙන්න ඕන. රනිල් ජනාධිපති නම් අගමැති වෙන්න ඕන සජිත්. මේක මගේ මතය. මේ දෙන්නගෙ එකතුවකින් තමයි එක්සත් ජාතික පක්ෂයෙ ජයග්‍රහණය තියෙන්නෙ. 2015 ආණ්ඩුව ගන්නව කියල රනිල් වික්‍රමසිංහ එදා කියනකොට සමච්චලයට හැමෝම හිනා වුණා. රනිල් වික්‍රමසිංහගෙ උපක්‍රමශීලී නායකත්වයෙන් කාටවත් පරද්දන්න බැහැ කියපු මහින්ද රාජපක්ෂ අපි පැරැද්දුවා. හන්දිගානෙ වේදිකාවල කරන විවේචන අපිට අවාසියි.

පක්ෂ නායකත්වය විවේචනය කරන තත්ත්වයට පක්ෂ සාමාජිකයන් පත් වෙලා ඇතැම් මන්ත්‍රීවරු පවා නායකත්වය විවේචනය කරනවා. මේවායින් පෙනෙන්නෙ පක්ෂ විනය ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පත්වෙලා කියන එක නේද?

ආධුනික පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එවැනි ප්‍රකාශ කරනවා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඇමැතිවරු කවුරුවත් පක්ෂ නායකත්වය විවේචනය කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ පක්ෂයට කළ කැපකිරීම නොදන්න අය එහෙම කරනවා. 2005 මැතිවරණයෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා පැරදුණේ ඡන්ද අනූදාහකින් සිංහල බෞද්ධ ප්‍රදේශවල ඡන්ද 40% ක් ඔහු ගත්තා. හම්බන්තොටින් 41% ක් ගත්තා. වව්නියාව,මුලතිව්, යාපනය, කිලිනොච්චිය, ත්‍රීකුණාමලය වගේ ප්‍රදේශවලින් පැරදුණා. ප්‍රභාකරන් තහනම් නියෝගයකින් රනිල් වික්‍රමසිංහගෙ ඡන්ද අඩු කළේ නැත්නම් ඔහු අදත් ජනාධිපති. පක්ෂ විනය ආරක්ෂා කරන්න ඕන හින්ද තමයි අපේක්ෂකයා තෝරන්න කල් යන්නෙ. නායකත්වයට අවනත, විනය ගරුක පක්ෂයක් අනාගතයට ඉතිරි කරන්න ඕනා. පක්ෂයට නරක පූර්වාදර්ශ දෙන්න හොඳ නැහැ. ඕනම කෙනෙක් කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් නායකත්වයටත් අවනත වෙන්න ඕන.

පසුගිය කාලය පුරා විධායකය හා පාර්ලිමේන්තුව අතර බරපතළ ගැටුම් දක්නට ලැබුණා. මේ ක්‍රමය තුළ ඉදිරියෙදීත් මෙවැනි ගැටුම් ඇතිවිය හැකියි නේද?

19 වැනි සංශෝධනය හරහා වැඩි බලය හිමිවෙන්නෙ පාර්ලිමේන්තුවට. ඉදිරියෙදී පත්වෙන ජනාධිපතිවරයාට අඩුම තරමින් අමාත්‍යංශයක්වත් නැහැ. ජනාධිපතිට බලයක් නැහැ. මේ තත්ත්වය දැන දැනත් මේ ජනාධිපති පොරය ගැන මට පුදුමයි. පහුගිය ඔක්තෝබර් 26 වෙනතුරු අපි ජනාධිපති කියන ආකාරයට වැඩ කළා. ඒ නිසා ආණ්ඩුවෙන් ජනතාවට දෙන සහන පවා කප්පාදු වුණා. ඔක්තෝබර් 26 න් පස්සෙ අගමැති නියෝග තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා සමෘද්ධිය ලක්ෂ හයකට දුන්නා. උපාධිධාරීන් විසි හයදහසකට පත්වීම් දුන්නා. ටැබ් පරිගණක දෙන්න ජනාධිපති විරුද්ධ වුණා. ජනාධිපති බලය අභිභවා ගිහින් ටැබ් පරිගණක දෙන්න කැබිනට් තීන්දුවක් ගත්තා. දැන් ජනාධිපතිට ආණ්ඩුවෙ වැඩ නවත්වන්න බැහැ. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය බලවත්. ජනාධිපති ව්‍යවස්ථාව කැඩුවා. ඊට පස්සෙ සුහදතාව නැතුව ගියා. ගම්පෙරළිය ලක්ෂ තුන්දාහක් ගමට දුන්නා. රන් මාවත් ගමට ආවා. සමෘද්ධි නියාමකයන් ස්ථීර කළා. උපාධිධාරීන්ට රැකියා දුන්නා. තනි ආණ්ඩුවක් හැටියට වැඩකරද්දි අපි සාර්ථක වුණා.

ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන්ට 50% සීමාවට එන්න නොහැකිවන බවටත් මත පළවෙනවා. එවැනි තත්ත්වයකදී ඊට මුහුණ දෙන්න එක්සත් ජාතික පෙරමුණ සූදානම්ද?

ඕක උපකල්පනයක් පමණයි. මෙතෙක් ඉතිහාසයෙ එහෙම වුණේ නැහැ. මෙවරත් එහෙම වෙන්නෙ නැහැ. අපි කොහොමත් 50% ට එහා ඡන්ද ගන්නවා. ඒ ශක්තිය අපිට තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකය නෙවෙයි. ඔවුන් අපේක්ෂකයෙක් දැම්මොත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනගෙ කිට්ටුවටවත් එන්න බැහැ.

රට තුළ වැඩ වර්ජන රැල්ලක් තිබුණත් ආණ්ඩුව නිහඬයි.

රාජ්‍ය සේවයට මේ ආණ්ඩුව තරම් වැඩ කරපු ආණ්ඩුවක් තවත් නැහැ. රාජ්‍ය සේවයෙ වැටුප් වැඩිවීම 120% ක්. ආණ්ඩුව ආපු ගමන් රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කළා. පොලීසියෙ වැටුප් වැඩිවීම 40% ක්. කවදාවත් පොලීසියට එහෙම වැඩිවෙලා නැහැ. මේ ආණ්ඩුව පෙරලන්න කත් අදින අය විවිධ උද්ඝෝෂණ, වර්ජන කරනවා. ගුරුසේවයෙ පළමු පන්තියෙ ගුරුවරයෙක්ගෙ වැටුප රුපියල් අසූදාහක් වෙනවා. විදුහල්පති පරිපාලන සේවයෙ වැටුප ඊටත් වැඩියි. නොයෙක් වරප්‍රසාද දෙනවා කියන අය අවුරුදු විස්සක් තිස්සෙ මොනවද කළේ. සුදුසුකම් තියෙන අයට අද ඉදිරියට යන්න පුළුවන්. දේශපාලන ඇඟිලිගැසීම් නැහැ.

ආබාධිත හමුදා සෙබළුන්ගෙ ගැටලුවටත් හරි විසඳුමක් දෙන්න බැරිවෙලා නේද?

සියලු ඉල්ලීම් දීල තියෙද්දිත් මේ කරන, උද්ඝෝෂණ දේශපාලනිකයි. මහින්ද රාජපක්ෂ කාලෙත් ඔය රණවිරු ගැටලුව තිබුණා. කවුරුවත් පාරට බැස්සෙවත්, උද්ඝෝෂණ කළේවත් නැහැ.

හමුදා සෙබළුන්ගෙ ගැටලුවට ඔවුන්ගෙ ආණ්ඩුවක් යටතේ සති දෙකෙන් පිළිතුරු දෙනවා කියල ජී.ඇල්.පීරිස් කියනවා?

මෙච්චර කල් ඔය කවුරුවත් මේ ගැන අඩුම තරමින් පාර්ලිමේන්තුවෙදීවත් කතා කරල තියෙනවද? ජී.ඇල්.පීරිස් මහත්තය පාර්ලිමේන්තුවෙ නැති වුණත් ගෝලබාලයො දාල හරි ඒ ගැන කතා කරන්න තිබුණනෙ.

අවශ්‍ය විධිවිධාන හදල තිබුණත් වැඩකටයුතු කරන්න කලින් ආණ්ඩුව වෙනස් වුණා. ඒ නිසා ඒ දේවල් කරන්න බැරිවුණා කියලයි පොදුජන පෙරමුණ කියන්නෙ?

2015 න් පස්සෙ ඔය ගැන කවුරුවත් එක වචනයක්වත් පාර්ලිමේන්තුවෙ කතා කළේ නැහැ. එහෙම විධි විධාන හදල තිබුණ නම් ඒ ගැන පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කරන්න තිබුණා. ඔය පට්ටපල් බොරුවක්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීම හරහා එක්සත් ජාතික පෙරමුණට එල්ල විය හැකි බලපෑම කොයි වගේද?

කිසිම බලපෑමක් නැහැ. මිලිටරි නායකයෙක්ට මේ රටේ ඉඩක් නැහැ. ඔහු කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ ගැන හැමෝම දන්නවා. ගෝඨාභය රාජපක්ෂගෙ පුරවැසිභාවය ගැන තවමත් හරි විසඳුමකට ඇවිත් නැහැ. පුරවැසිකම අයින් කරගන්න කරපු ඉල්ලුම්පතේ පිටපතක් විතරයි තවමත් ඔහුට තියෙන්නෙ. අමෙරිකන් පුරවැසියෙක්ට ලංකාව පාලනය කරන්න පුළුවන්ද? එල්.ටී.ටී.ඊ.යුද්ධයෙ දරුණුම කාලෙ අසනීපයි කියල රටින් පැනල ගිය ගෝඨාභය රාජපක්ෂ අමෙරිකන් පුරවැසිකමත් ගත්තා. මහින්ද රාජපක්ෂ දිනුවට පස්සෙ ලංකාවට ආවා. පැරදුණාම ආයෙත් අමෙරිකාවට ගියා. හැම රටකම හමුදා පාලකයො අසාර්ථක වුණා. ලංකාව වගේ මානව හිතවාදී රටක දරදඬු පාලකයෙක්ට ඉඩක් නැහැ.

ඡායා-රංජිත් අසංක

එක්සත් ජාතින්ගේ කතා සභාව

$
0
0
සැප් 28, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න

එක්සත් ජාතීන්ගේ 74 වෙනි සැසියේ තේමාව, ‘දිළිඳුකම පිටුදැකීම, ගුණාත්මක අධ්‍යාපනය, දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගය ඇතුළු කාරණා ජයගැනීමේ බහුවිද ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම’ය. මෙවර සැසියේ න්‍යාය පත්‍රය පිළියෙළ වී ඇත්තේද ඊට අනුගතවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 74 වෙනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝර්ක් නුවරදී ආරම්භ විය. එය ලබන සැප්තැම්බරය දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් ලෝකයේම අවධානය යොමුවන්නේ තවමත් ලොව දැවැන්තම රාජ්‍යතාන්ත්‍රික වේදිකාව වශයෙන් සැලකෙන ලෝක නායකයන් එය අමතන වාර්ෂික පොදු විවාදය දෙසටය. මෙවරද එම විවාද සමය ඉකුත් 24 වැනිදා ආරම්භවූ අතර 30 වැනිදා දක්වා සතියක් පුරා එය පැවැත්වේ. මෙම පොදු වේදිකාව සාමාජික රටවල් 193 නායකයන් යොදාගන්නේ තම රටවලට බලපාන්නාවූ හා ගෝලීය වශයෙන් ජයගත යුතු ප්‍රශ්න හා අභියෝග පිළිබඳ ලෝකයේ අවධානය යොමු කරවීමටය. ඒ අතරින් මෙවර ඉහළින්ම ඇති කාරණා ලෙස පෙනෙන්නේ දේශගුණික විපර්යාස අර්බුද පිළිබඳ අභියෝගය ජයගැනීම, මැදපෙරදිග ගැටුම්කාරිත්වයන්ගේ උණුසුම හා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ක්‍රියාදාමය ලබන මස තුළදී සම්පූර්ණ කිරීම වැනි දෑය.

පොදු විවාදයේදී සෑම රාජ්‍ය නායකයකුටම විනාඩි 15ක කාලයක් හිමිවේ. එසේ වුවද ඇතැම් නායකයන් ඊට වඩා බොහෝ වේලාවක් අමතනු දැකිය හැකිය. පළමුවෙන්ම සභාව ඇමතීමේ අවස්ථාව මෙවර හිමිවූයේ, ඇමසන් වනාන්තරයේ ඇතිවූ ගිනිගැනීම් සමඟ ලෝකයේම අවධානයට ලක්ව සිටින බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සරානෝටය. බොල්සරානෝගේ රජය අනුගමනය කරන ආර්ථික හා පාරිසරික ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක්ව ඇති පසුබිමක එම අදහස් දැක්වීම කැපීපෙනේ.

ක්ලයිමට් ඇක්ෂන් සමුළුව

ඇමසන් වැනි නිවර්තන වැසි වනාන්තරයක මෙතරම් දරුණු ගිනිගැනීම් ඇතිවූයේ ගස් කපා දමමින් දැවැන්ත වනාන්තර විනාශයක් සිදුකිරීම නිසා බව පැහැදිලි වී තිබේ. ඇමසන් යනු ලෝකයම හුස්ම ගන්නා පෙනහළු බව පිළිගැනීමය. එසේවුවද, බොල්සරානෝ කියා සිටියේ, එය වැරැදි අදහසක් බවයි. ඇමසන් ලොවටම නොව තම රටට අයත් සම්පතක් බව ඔහුගේ අදහසය.

මහාමණ්ඩල 74 වෙනි සැසිය ඇරැඹීමට දිනකට පෙර ලෝක නායකයන් 60 දෙනකුට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරකම් (ක්ලයිමට් ඇක්ෂන්) සමුළුව පැවැත්විණි. ඇමසන් ගින්නේ උණුසුම මෙන්ම දේශගුණික විපර්යාසවලට එරෙහිව එතෙක් - මෙතෙක් ලොව වාර්තාවූ දැවැන්තම විරෝධතාවන් සමඟ පැවැත්වීම නිසාද මෙවර සමුළුව ලෝකයේ වැඩි අවධානයට ලක්ව තිබේ.

දේශගුණික විපර්යාස අභියෝගය ජයගැනීමට නම් ලෝක නායකයන් නින්දෙන් අවදිවිය යුතු යැයි හඬ නඟමින් 16 හැවිරිදි ස්වීඩන් දැරියක වන ග්‍රේටා තන්බර්ග්ගේ නායකත්වයෙන් යුතුව ලොව පුරා තැන තැන ළමා හා තරුණ පිරිස්වල ප්‍රධානත්වයෙන් සහ මිලියන සංඛ්‍යාත සහභාගිත්වයෙන් යුතු විරෝධතා පාගමන්වලදී මතුවූ හඬ ග්‍රේටා, ක්ලයිටම් ඇක්ෂන් සමුළුවට ද බලපා තිබේ. මෙම විරෝධතා ක්‍රියාමාර්ග මේ සතිය පුරාමත් සිදුවේ.

‘බ්‍රික්සිටි’ අර්බුදයේ කරවටක් ගිලී සිටින බ්‍රිතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් විවාදයේ ආරම්භක දිනයේම මහාමණ්ඩලය ඇමැතීය. එහෙත්, ඔහුගේ සංචාරය කෙටි කිරීමට සිදුවූයේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ඔක්තෝබර් 31 වැනිදා තෙක් ලබාදී තිබූ කාල ඉලක්කය නීතිවිරෝධී බව පවසමින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ඔහු ගත් පියවර බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් වැළැක්වූ බැවිනි. වාරාවසාන කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ සති 5 කට පසුව වුවද; අධිකරණ තීන්දුවත් සමඟ පාර්ලිමේන්තුව යළි රැස්විණි. උද්ගතව ඇති අර්බුදය හමුවේ මීට පෙර අගමැති දෙපළ වේලාසනින් ගෙදර ගිය පරිදිම ජොන්සන්ගේ කාලසීමාව ද සති කිහිපයකට සීමා වීමටත් ඉඩ තිබේ. ඉකුත් සඳුදා අගමැති ජොන්සන් හා යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් අතර හමුවක් සිදුවුවද ඉවත්වීමට අදාළ අවසන් දිනවකවානු කල්දැමීමට හෝ වෙනත් තීරණයක් ගත් බව වාර්තා නොවේ.

වෙන්සියුලා ජනාධිපති නිකොලස් මදුරෝගේ පාලනයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම ගැන අමෙරිකාව හා ලතින් අමෙරිකා රටවල් කිහිපයක් අතර ද සාකච්ඡා පැවැත්වී ඇත. ඒ එක්සත් ජාතීන්ගේ සමුළුවට සමගාමීවය. එහිදී ඔවුන් වෙනිසියුලාවට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයකටය එකඟ වී නැත.

අමෙරිකාව හා ලතින් අමෙරිකා රටවල් කිහිපයක් වෙනිසියුලාවේ නායකයා ලෙස පිළිගන්නේ, එරට ජනාධිපති තමන් යැයි ඔහු විසින්ම ප්‍රකාශ කරගත් හුආන් ගුවයිඩෝය. එක්සත් ජාතීන්ගේ සමුළුවට රටපුරා ජනාධිපති මදුරෝ’ට සහභාගිවීමට නොලැබී ඇත්තේ රටවල් ගණනාවක් ඔහුට තහංචි පණවා ඇති බැවිනි.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී අමෙරිකා. උතුරු කොරියා සාකච්ඡා යළි ඇරැඹීම ගැන අවධානය යොමු වූ බව වාර්තා වේ. ට්‍රම්ප් කිම් තෙවැනි හමුව ඉදිරියේදී සිදුවීමට නියමිතය. කෙ‍ෙස්ටුවද ඊට පෙරාතුව එහි ප්‍රතිඵලය කුමක් වනු ඇති දැයි දැන ගැනීමට තමාට අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබේ.

රුසියා ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජිංග් පිංග් මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි නොවීම ද කැපී පෙනෙන කාරණාවකි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානුද ඊට සහභාගි නොවේ.

එකී නායකයන් වෙනුවට එයට එක්වන්නේ ඔවුන්ගේ නියෝජිතයන්ය.

එක්සත් ජාතීන්ගේ 74 වෙනි සැසියේ තේමාව, ‘දිළිඳුකම පිටුදැකීම, ගුණාත්මක අධ්‍යාපනය, දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගය ඇතුළු කාරණා ජයගැනීමේ බහුවිද ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම’ය. මෙවර සැසියේ න්‍යාය පත්‍රය පිළියෙළ වී ඇත්තේද ඊට අනුගතවය. එම තේමාවෙන් මතුකර ඇති කාරණා සහශ්‍ර සංවර්ධන ඉලක්කද (MDG) මෙන්ම ධරණීය සංවර්ධන ඉලක්කද (SDG) අතරටද ඇතුළත් වේ.

ඒ යටතේ මෙම සැසියේදීද අවධානයට ලක්වනු ඇති ප්‍රධාන කාරණයක් වනු ඇත්තේ එකී අභියෝග ජයගැනීම සඳහා ලෝකය ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද යන්නයි. මෙවර සැසිය යටතේ ම ලෝක සෞඛ්‍ය, ධරණීය සංවර්ධන ඉලක්ක, සංවර්ධනය සඳහා මූල්‍යකරණය, න්‍යෂ්ටික අවි මුළුමනින් පිටුදැකීම ආදී වැදගත් මාතෘකා කිහිපයක් ඔස්සේ සංවාද හා සමුළු කිහිපයක්ම මේ සතිය තුළදී පැවැත්විණි. ඉන් ඉහළම අවධානයක් දිනාගත්තේ ‘ක්ලයිමට් ඇක්ෂන් ‘ සමුළුවය. මේ වන විට ලෝකයට කතා කිරීමට සිදුව ඇත්තේ මිහිතලය උණුසුම්වීම ගැන නොව මිහිතලය දැවෙමින් තිබීම ගැන බව ඇතැම් විද්වත්හු මෙන්ම පරිසර වේදීහු පෙන්වා දෙති. උණුසුම්වීම කෙළවර දැවීම ආරම්භ වී ඇති බැවිනි. උණුසුම්වීම ගැන වාද, විවාද හා කඹ ඇදිලි සිදුවෙමින් තිබියදීම ඇවිළගිය ගිනිජාලාවල උණුසුම එවැනි මණ්ඩප රත්කිරීමට පටන්ගෙන තිබේ.

මෙවර සැසිය අමතමින් ජනාධිපති ට්‍රම්ප් ගෝලීයකරණ පක්ෂපාතීන්ට කළ අනතුරු ඇඟවීමද කැපී පෙනෙන්නකි. ඔහු කියා සිටියේ, අනාගතය ගෝලීයකරණවාදීන්ට අයත් එකක් නොවන බවය. ට්‍රම්ප් මේ අදහස මතු කළේ. දේශහිතෛශිත්වය පෙරට, තබමින් බව පැහැදිළි වේ. ඔහු පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. ‘ඔබට සාමය අවශ්‍ය නම් ඔබේ ජාතියට ආදරය කරන්න’ යැයි ඔහු ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ වේදිකාව මතදීය. ප්‍රඥාවන්ත නායකයකු නම් සැමවිටම පළමුව ඔසොවා තබන්නේ තම රට සහ රටේ ජනතාව බව ඔහු මෙහිදී කියා සිටියේය. අමෙරිකාවට ස්ථිර සතුරන් නැතැයි කියා සිටි ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමත් ද කළේ , ඔවුන්ගේ වත්මන් ක්‍රියාකලාපය වෙනස් කරගත යුතු බව පවසමිනි. රුධිරයට ඇති ආසාවෙන් ඔවුන් ක්‍රියාකරන බව පැවසු ට්‍රම්ප්, ඊට එරෙහිව ලෝකය එක්විය යුතු බවද කීවේය. ඒ සමඟම ඉරාන ජනතාවගේ අභිලාෂයන් පෙරට තබමින් එරට නායකයන් කටයුතු කළ යුතු බවට පණිවිඩියක්ද දුන්නේය. එහෙත් සම්බාධක ඉවත්කර නොගනු ඇතැයිද ඔහු පැවසුවේ ඒවා තවත් දැඩිවීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමත්ද කරමිනි.

සය පාර්ශ්වික සම්මුතිය

ඉරාන ජනාධිපති හසන් රෙහානි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් හා ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රන්’ හමුවීමද සමුළුව අතරවාරයේ සිදුවිය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමුළුව ඇමැතීමට ටික වේලාකවට පෙර ඉරාන ජනාධිපති වරයා සහ ඔහු අතරද හමුවක් පැවැත්වී තිබිණි. ජනාධිපති රෙහානිගේ ස්ථාවරය වන්නේ 2015 දී ඇතිකරගත් සයපාර්ශවික න්‍යෂ්ටික සම්මුතියට සුළු වෙනස්කම් කිරීමට තමා එකඟ බවය. එහෙත්, ඊට පෙර අමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඔහු කියා සිටී. ජනාධිපති ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වන්නේ පළමුව ඉරානය එම වෙනස්කම් කළයුතුය යනුවෙනි. මේ වනවිට අමෙරිකාව ද සයපාර්ශවික සම්මුතියෙන් ඉවත්ව සිටී. ජනාධිපති ට්‍රම්ප් ගත් එම ක්‍රියාමාර්ගය සෙසු රටවල් අනුමත කරන බවත් පෙනෙන්නට නැත. ජර්මනිය, ප්‍රංශය ආදී රටවල අදහස වී ඇත්තේ තවදුරටත් ඉන් බැඳී සිටිමින් ඉරානය වඩා නම්‍යශීලී පිළිවෙතකට ගැනීම කළයුතු බවය.

සංක්‍රමණික අර්බුදය ආගමික නිදහස වැනි කාරණා ගැනද ජනාධිපති ට්‍රම්ප් කතා කළේය.

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට අමෙරිකාව ඉඩ නොතබන බව කියා සිටි. ඔහු ආගමික නිදහසට ගරු කරන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. චීනය ගැන කතා කිරීමටද ඔහු අමතක කළේ නැත. හොංකොං විරෝධතාකරුවන්ගේ හඬට කන්දෙන ලෙස චීනයෙන් ඉල්ලා සිටින අතරට සිය වෙළෙඳ යුද්ධය වෙනුවෙන්ද පෙනී සිටියේය.

ප්‍රංශ ජනාධිපති මැක්‍රන් සමුළුව අමතරමින් කීවේ, තමන්ද මුළුමනින්ම දේශහිතෛශීභාවය වෙනුවෙන් පෙනී සිටින නමුත් එය සෙසු ලෝකයෙන් හුදකලා වීම ද නොවිය යුතු බවය. නූතන බහුපාර්ශ්විකත්වයක් වෙනුවෙන් ලෝකය පෙනීසිටිය යුතු බව ඔහුගේ අදහසය.

මත්ද්‍රව්‍ය ජාවාරම් ‍පිළිබඳ ගැටලුවේ සිට ආරක්ෂාව දක්වා වැදගත් මාතෘකා ගණනාවක් මෙම 74 වෙනි සැසියේදී ලෝක ජාතීන් සාකච්ඡාවට ගනු ඇත. ඒවා පිළිබඳ යම් යම් එකඟතාවන්ට එළැඹීමද සිදුවනු ඇත. කෙසේ වුවද වඩාත් වැදගත්වනු ඇත්තේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එකඟව ක්‍රියා කිරීම හා ඇති කරගන්නා එකඟතා, තබාගන්නා ඉලක්ක සාර්ථක කර ගැනීමට ප්‍රායෝගිකව ක්‍රියාකාරීමය. එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුළ සිදුවිය යුතු වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ ගැන පවා වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් ඇති පසුබිමක ලෝකයටම එක්ව සැමරීමට හැකි ජයග්‍රහණ දිනා දීම ගැන ඊට ඇති හැකියාව එය තවමත් ප්‍රදර්ශනය කර නැත. එසේ කිරීමට නම් පළමුව එය බලවත් රටවල දඬු අඩුවෙන් ගලවා ගැනීමට හැකිවිය යුතුය.

මගේ හීනය අපේ ගීතය ජාත්‍ය­න්ත­ර­යට ගෙන යාම

$
0
0
සැප් 30, 2019 01:00
උමාරියා සිංහවංශ

 

ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කරමින් රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක ලෙස උමාරියා සිංහවංශ හැඳින්විය හැකිය. විටෙක ළයාන්විත වූ ද විටෙක බලසම්පන්න වූ ද හඬකින් ගීත ගායනා කරන උමාරියා සිංහවංශ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් Aශ්‍රේණියේ ගායිකාවක ලෙස පසුගිය දා ගෞරවයට පාත්‍ර වූවා ය. ඩබ්. ඩී. අමරදේව, නන්දා මාලිනී, ඇන්ජලින් ගුණතිලක, රුක්මණි දේවි, ලතා වල්පොල වැනි ප්‍රවීණයන් ලබාගත් එම ගෞරවය මෙතෙක් ලබා ඇති ළාබාලතම තැනැත්තිය ද උමාරියා ය.

 

 

කෙටියෙන් ඔබ ගැන කිව්වොත්?

මගේ තාත්තා ටෝනි සිංහවංශ. ඔහු බටහිර සංගීතයට යොමුවුණු කෙනෙක්. අම්මා අයේෂා සිංහවංශ. අයියලා දෙන්නත් සංගීතයට හොඳ හැකියාවක් තියෙන අය. මගේ අක්කා උමාරාට තමයි හොඳටම ගීත ගායනා කරන්න පුළුවන්. මටත්, අක්කටත් සංගීතය, ගායනය පිළිබඳව හැම දැනුමක්ම ලැබුණේ අම්මගෙන් තාත්තගෙන්. මම සිංහල නොවෙයි. නමුත් අපි ශ්‍රී ලාංකිකයෝ. මගේ අම්ම තාත්තගේ සිංහවංශ පරම්පරාව එන්නෙ ඉන්දුනීසිය‍ාවෙන්. මම මැලේ ජාතිකයෙක්. මම පුංචි කාලේ ඉඳලම ඉතාමත් සුබවාදීව බලන්න පුරුදුවුණු කෙනෙක්. ධනාත්මකව හිතලා ගැළපෙන විසැඳුම කො‍‍හොම හරි සොයා ගන්නවා. දින කිහිපයකට පෙර මම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවලට විදේශගත වුණා. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මම ලංකාවට අවේ සැප්තැම්බර් 28 වෙනිදා.

ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පීන් වර්ගීකරණය යටතේ Aශ්‍රේණියේ ගායිකාවක ලෙස ගෞරවයට පාත්‍ර වුණා නේද?

මට වචනයෙන් කියන්න බැරි සතුටක් දැනෙනවා. මීට පෙර අමරදේව මාස්ටර්, නන්දා මාලිනි, ඇන්ජලීන් ගුණතිලක, රුක්මණි දේවි, ලතා වල්පොල යන සංගීත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ට මේ ගෞරවය හිමි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මේ ගෞරවය ලබාගත් ළාබාලතම තැනැත්තිය මම වීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

ඔබ සංගීත ක්ෂේත්‍රයට ආවේ භාතිය සහ සංතුෂ් දෙදෙනා සමඟින්?

ඔව්. එතකොට මගේ වයස අවුරුදු 14 යි. අක්කයි මමයි දවසක් භාතිය සහ සංතුෂ්ගේ Studio එකට ගියා සාමය ගැන ගීතයක් ගායනා කරන්න. අක්කා ගීතය ගායනා කරද්දි මමත් ගීතය මුමුණමින් හිටියා. භාතියට ඒක ඇහිලා ගීතයක් ගායනා කරන්න මට ආරාධනා කළා. මම ගායනයට යොමු වුණේ එහෙමයි. මගේ අක්කත් ගීත ගයන්න මාව උනන්දු කළා. ඔවුන් දෙපළ මගේ අයියලා වගේ. පවුලක් වගේ ආදරයෙන්, විශාල බැඳීමකින් අපි තවමත් වැඩ කරනවා. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න මට ඔවුන් ලබා දුන්නු ගුරුහරුකම්වලට මම ගොඩක් ගරු කරනවා. මම අක්කගෙ පස්සෙන් යන එක පුංචි කාලේ ඉඳලම පුරුද්දක්.

භාතිය සහ සංතුෂ් සමඟ අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

අපි අලුත් ගීත කිහිපයක් නිර්මාණය කළා. ළඟදීම ඒ ගීත නිර්මාණ රසවිඳින්න පුළුවන් වේවි. අපි හැමෝම තනි තනිව ඉදිරියට යන ගමන් කණ්ඩායමක් විදිහටත් ඉතාම සහයෝගයෙන් එකට වැඩ කරනවා.

ඔබ පණ්ඩිත් අමරදේව මාස්ටර් එක්ක ගීතයක් ගායනා කළා. එවැනි විශාරද මට්ටමේ ප්‍රවීණයකු සමඟ නැවත ගීතයක් ගායනා කරන්න ලැබුණොත්?

එහෙම දේකට ආරාධනා ලැබුණොත් මම සූදානම්. පණ්ඩිත් අමරදේව මාස්ටර් වගේ ක්ෂේත්‍රයේ දැවැන්තයකු එක්ක ගීතයක් ගායනා කරන්න ලැබීම මම ජීවිතයේ ලබපු භාග්‍යයක්. තරුණ අයට ඒ වගේ අවස්ථා ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මම මියයනතුරු ඒ අවස්ථාව සිහිපත් කරනවා. මගේ ගායන හැකියාව ගැන එදා අමරදේව මාස්ටර් ප්‍රශංසා කළා. ඒ නිසා මම කැමතියි ඒ වගේ ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමඟ වැඩ කරන්න. ගායනයෙන් ඉහළටම ගිය ආශා බොන්ස්ලේ ශංකර් මහදේවයන් වැනි විශාරදයින් ඇසුරු කරන්න ලැබීම භාග්‍යයක්. ඔවුන් ඇසුරු කිරීමෙන් මම මගේ ජීවිතයට සංගීතය පිළිබඳ ගොඩක් දැනුම එකතු කර ගත්තා. මම අවස්ථා කිහිපයකදීම රුක්මණී දේවියගේ ගීත ගායනා කළා.

රුක්මණි දේවියගේ ගීත ගැන ඔබේ අදහස?

ඕනෑම ගීතයක් ගායනා කිරීමේ කටහඬක් රුක්මණි දේවියට තියෙනවා. ඒ හඬට මම ගොඩක් ආදරෙයි. ඒ නිසයි මට රුක්මණි දේවියගේ ගීත ගායනා කරන්නෙ. රුක්මණී දේවිය මගේ ආච්චි රාණි පෙරේරා ඉතා සමීපව ඇසුරු කරලා තියෙනවා. මගේ ආච්චිත් රංගන ශිල්පිනියක්. ප්‍රේම් ජයන්ත් කලාකරුවා මගේ ආච්චිගේ ළඟම ඥාති කෙනෙක්.

ඔබ‍ට භාෂා කිහිපයකින්ම ගීත ගායනා කරන්න පුළුවන් නේද?

ඔව්, මට සිංහල, ඉංග්‍රීසි භාෂාවලට අමතරව ද්‍රවිඩ, හින්දි, ජපන්, චීන අරාබි භාෂාවලිනුත් ගායනා කරන්න පුළුවන්. ඕනෑම ගීතයක් දෙතුන් වරක් පුහුණුවීම් කළොත් මට ගයන්න පුළුවන්.

ජාත්‍යන්තර තරගවලින් ජයග්‍රහණය කරලා තියෙනවා නේද?

 

මම අවුරුදු 19 දී චීනයේ පැවැති ජාත්‍යන්තර තරගයට ගායනා කරලා රිදී පදක්කම ලබා ගත්තා. නැවත තුර්කියේ පැවැත්වුණු ගායනා තරගයක ආසියාව නියෝජනය කළ එකම කෙනා වුණෙත් මම. එදා මට ලෝකඩ පදක්කම හිමි වුණා. පසුව ලෝකයේ ලොකුම සංගීත තරගය වන යුක්‍රේන්වල පැවැත්වුණු තරගයකට මමයි අක්කයි දෙන්නම සහභාගී වුණා. එදා අපි ලෝකඩ පදක්කම් දිනාගත්තා. චීනයේදී ලැබුණු ජයග්‍රහණය මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය.

ක්ෂේත්‍රයට එන්න සහයෝගය ලබාදුන්නේ කවුද?

අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි මට මේ ගමන එන්න මට ශක්තියක් වුණා. පාසල් යන කාලේ උමාරියාගේ සංගීත වැඩ කටයුතු කොහොමද?

මම පාසල් ගියේ ගේට්වේ ජාත්‍යන්තර පාසලට. පාසල් යන කාලේ සංගීතයට වඩා මුල්තැන දුන්නේ අධ්‍යාපන කටයුතුවලට. ව්‍යාපාර, හෝටල් ක්ෂේත්‍රවල රැකියාවක් කරන්න ආසාවක් තිබුණා. තාරකා විද්‍යාව හදාරන්නත් වෛද්‍යවරියක් වෙන්නත් හිතේ තිබුණා. සංගීතය පැත්තට යොමුවීම අහම්බයක්.

ඔබේ අරමුණු මොනවද?

ගායන ශිල්පිනියක් ලෙස ජාත්‍යන්තරය ජයගැනීම මගේ ලොකුම අරමුණ. ශ්‍රී ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට අරගෙන යන්න මම හීන දකිනවා. මම අලුත් දේවල්, වෙනස් දේවල් කරන්න කැමැති කෙනෙක්. කවදාවත් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නෙ නැහැ. මගේ සැමියත් මගේ ගමනට සහයෝගය දක්වන මාව තේරුම් ගත්ත කෙනෙක්.

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ වෙනස්විය යුතු තැන් විදිහට ඔබ දකින්නේ මොනවාද?

ලංකාවේ මිනිස්සුන්ට ගැළපෙන නිර්මාණ කරන්න ඕන. විශේෂයෙන්ම අපේ සංස්කෘතික වටිනාකම්වලට මුල්තැනක් දෙන්න ඕන.

අවසානයේදී ‍ක්ෂේත්‍රයට අලුතින් එන අයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

ඕනෑම ‍ක්ෂේත්‍රයක ඉහළටම යද්දි ප්‍රශ්න එනවා. ඒවාට ඉවසීමෙන් යුතුව මුහුණ දෙන්න ඕන. තමන් කරන දේ වුවමනාවෙන් කරද්දි වරදින්නේ නැහැ. නිහතමානීකම වැදගත්. පුද්ගලයකුගේ ජීවිතය Personal and Proffessional කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යන්න ඕන. ඒ ගැන හොඳ අවබෝධයකින් තමයි ක්ෂේත්‍රයට එන්න ඕන. පොළොවේ පයගහලා ජීවත්වෙන්නත් ඕනෑ.

සංස්කරණය 
චින්තා රණසිංහ
සට­හන
පමු­දිනි සම­ර­නා­යක

 

 

ඔබට සතුට ඕනෑ නම්

$
0
0
සැප් 30, 2019 01:00

 

ඇතැමුන් ඉතා සරල දෙයක් ලෙස හිතන සතුට, සොයා ගැනීම කෙතෙරම් දුෂ්කර ද?. සමහර අයට මුළු ජීවිත කාලයේදී ම නොලැබෙන සතුට තවත් කෙනකුට දුෂ්කර ලෙස සතුට සොයාගත හැකි ය. කාහටත් වුවමණා සතුට ගැන පර්යේෂණවලින් ද තහවුරු වූ එතරම් ප්‍රකට නොවූ කාරණා කිහිපයක් මෙහි දැක් වේ. ජීවිතය සතුටින් තබා ගන්නට වෙහෙස වන ඔබ සැම මේ කාරණා ගැනත් මොහොතක් සිතන්න.

 

1. නිදහස, ඉහළම සංතෝෂයට මඟ පාදයි

සතුට මිලදී ගත නොහැකි ය. නොබෙල් ත්‍යාගලාභී අමාත්‍යා සෙන් මේ සම්බන්ධ කදිම පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. කිසියම් සමාජයක වෙසෙන පුරවැසියන්ගේ ස්වාධීනත්වය ප්‍රසාරණය කළ විට, ඊට අනුරූපව එම පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙන බව ඔහු පවසයි. දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් ආර්ථික අවශ්‍යතාවලට සම්බන්ධ බරපතළ කාරණා කතාකිරීමත්, සමාජයේ සාමාජිකයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කිරීමත් ඵලදායී විය හැකි ය. එහෙත් ඊටත් වඩා වැදගත් වන්නේ මිනිසුන්ට තමන් කැමැති ආකාරයට ජීවත්වීමට ඉඩ ලැබීම බව අමාත්‍ය සෙන්ගේ මතයයි. මිනිසුන්ගේ තෘප්තිය එයින් පුළුල් වී, ඉන් සන්තෝෂයට පත්වන බව ඔහු පෙන්වා දී ඇත.

2. දුරකතන ඇමතුම් පුද්ගල සතුට වැඩිවීමට හේතුවක්!

පුද්ගල සෞඛ්‍ය යහපත්ව තැබීමටත්, පුද්ගල සතුට ඉහළ නැංවීමටත් දුරකතන ඇමතුම් ඉතා වැදගත් බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. දුර බැහැර ප්‍රදේශවල සිටින නෑ සිය මිතුරන්ගෙන් ලැබෙන ඇමතුම්වලින්, ඒවා ලබන පුද්ගලයාගේ හැඟීම් ආමන්ත්‍රණය කෙරෙන බව පර්යේෂකයෝ පවසති. කෙටි පණිවුඩ, පුද්ගල හැඟීම්වලට එතරම් බලපෑමක් නොකරන බවත් සනාතව තිබේ.

3. සුරතල් සතුන්, මිනිස් සන්තෝෂයේ උල්පත්!

සුරතලයට ඇතිකරන සත්තු, මිනිසාගේ සතුට වැඩි කරති. සුරතල් සුනඛයන් සහ බළලුන් වෙනසක් නැතිව මිනිසා සතුටට පත් කරන බව ඇමෙරිකාවේ මියාමි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ පිරිසක් සිදුකළ පර්යේෂණයකින් සනාතව ඇත. කවර ආකාරයේ සතකු වුව සුරතලයට ඇති කිරීම මිනිසුන්ගේ සංතෝෂය වැඩි වීමට හේතුවක් බව මේ පර්යේෂකයෝ අවසානයේදී සඳහන් කරති.

4. සතුටින් සිටින අය අසල හිඳීමත් සතුටකි!

සතුටින් සිටින අය ආශ්‍රය කිරීම මෙන්ම එවැනි අය ආසන්නයේ සිටීම පවා කෙනකුගේ සතුටට හේතුවන බව ෆ්‍රැමින්ග්හැම් හාර්ට් අධ්‍යනයෙන් සනාතව ඇත. සතුටින් සිටින පවුලේ සාමාජිකයකු හෝ ඉතා සමීප මිත්‍රයකු හෝ ඔබ ආසන්නයේ හිඳී නම් ඔබේ සතුට 15.3%කින් පමණ ඉහළ නඟින බව එම පර්යේෂණයෙන් තහවුරු වී තිබේ.

 

 

5. ජීවිතයේ හැම නරකම සිදුවීමකත් සතුටක් ඇත.

ජීවිතයේ නරකම අත්දැකීමක් තුළ වුව දීර්ඝ කාලීන සතුටක් තිබෙන බව ඇමෙරිකාවේ ෆ්‍රැන්ක්ලීන් ඩබ්ලිව් ඔලීන් උසස් විද්‍යාලයේ උගත්තු පිරිසක් කියා සිටිති. එහි අදහස නරකම අත්දැකීමක වුව ධනාත්මක පැත්තක් තිබෙන බව ය. එහෙත් ඒ සතුට හඳුනාගත හැකි වන්නේ අප කීයෙන් කීදෙනාට ද?.

6. නගරයට වඩා ගමේ සතුට ඇත.

විශාලවූත්, සියලු පහසුකම්වලින් යුක්තවූත් නගරවල ජීවත්වෙන්නට බොහෝ අය වැඩි කැමැත්තක් දක්වති. එවැනි නගරයක ජීවත් වන කෙනෙකු සැබෑවටම සතුටින් සිටින්නේ ද?. මේ ගැන පර්යේෂණයක් කළ ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක් කියා සිටින්නේ කුඩා නගර හෝ ගම්බද පෙදෙස්වල හෝ ජීවත් වන අය වැඩි සතුටකින් සිටින බවකි.

7. වැඩි සතුට ද හොඳ නැත!

සතුට වැඩි වූ මිනිසුන් අතින් සිදුවන වැරදි ද වැඩි බව සමහර විද්වත්හු පවසති. වඩාත් මානසික ආතතියකින් පසුවන පුද්ගලයන්, තමන් ජීවත් වන වටපිටාව ගැන ඉතා නිවැරදි දැක්මක් සහිතව ජීවත් වන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. එසේම වැඩි සතුටකින් පසුවන පුද්ගලයන් තමන් ගැන අධිතක්සේරුවකින් ජීවත් වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. තමන් ජීවත් වන වටපිටාව ගැන එතරම් හොඳ දැක්මක් නැති බැවින් ඔවුන් අතින් සිදුවන වැරදි වැඩි බව සඳහන් වේ.

8. ව්‍යයමත් සතුටට හේතුවකි!

කය නිරෝගිව තබා ගන්නට ව්‍යායාම වැදගත් බව රහසක් නොවේ. ව්‍යායාම නිසා මිනිසාගේ මනස ද නිරවුල් වන බව සොයා ගෙන ඇත. මනස නිරවුල් වීම නිසා මිනිසා සංතෝෂයට වේ. පර්යේෂණවලින් තහවුරු වී ඇති අන්දමට දිනකට මිනිත්තු 10ක් ව්‍යායාම කළහොත් ඉන් ඔබේ මනෝභාවයන් හොඳ අතට හැරේ. මානසික ආතතිය අඩු කිරීමටත්, ශාරීරික සහ මානසික ක්‍රියාකාරීත්වයන් ඉහළ මට්ටමකට පැමිණවීමටත් ව්‍යායාම හේතුවන බව බොහෝ පර්යේෂකයෝ කියා සිටිති.

9. එළවලු සහ පලතුරු අනුභව කරන අයට වැඩි සතුටක්!

එළවලු සහ පලතුරු ආහාරට වැඩිපුර එකතු කරගැනීම කොහෙත්ම වරදක් නොවේ. ඕස්ට්‍රේලියාවේ විද්වතුන් පිරිසක් කියා සිටින්නේ එළවලු සහ පලතුරු අනුභවයේ යෙදීමත්, සතුට වැඩිවීමත් අතර සහසම්බන්ධයක් ඇති බවකි.

10. වතුරත්, සතුට වැඩි කරයි!

මිනිස් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළහොත් එමඟින් සිරුරේ ක්‍රියාකාරීත්වයන් පහසු කෙරේ. එය ඔබට දවස පහසුවෙන් ගෙවා දමන්නට හේතුවකි. එවිට ඔබ සතුටෙනි. ඔබ පහසුවෙන් සහ සතුටෙන් සිටින බව ඔබේ මුහුණේ ඉරියව්වලින් පෙනේ. ජලය අඩුවෙන් පානය කර ඔබ විජලන තත්ත්වයෙන් පසුවන්නේ නම් ඔබේ සිරුරේ ක්‍රියාකාරීත්වයන් හරිහැටි සිදුවන්නේ නැත. එවිට ඔබ සිටින්නේ අපහසුවෙනි. දෙතොල් අතරට සිනහවක් නඟා ගැනීම ඔබට අපහසු වනු ඇත.

 

 
මංජුලා විජ­ය­රත්න 
අන්ත­ර්ජා­ලය ඇසු­රෙනි.         

 

 

ග්‍රීන් ටී

$
0
0
සැප් 30, 2019 01:00

 

ග්‍රීන් ටී (green tea) යනු Camelia Sinensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ ගසෙහි පත්‍ර වියළා, විරාංජනය කර සාදනු ලබන පානයකි. එහි අඩංගු රසායනික ද්‍රව්‍ය වන්නේ Catechin Epicatechin, Epigallo Catechin, Epigallocatechin gallate ය. මේවා ඉතා ක්‍රියාකාරී ප්‍රතිඔක්සිකාරක ය. මෙමඟින් ශරීරයේ, රුධිරයේ Glucose (ග්ලූකෝස්) මට්ටම ද හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

මේවා අති කාර්යක්ෂම ප්‍රතිඔක්සිකාරක බැවින්, පිළිකා සෛල නසන ගුණයක්ද ඇත. ඉක්මන් වයස්ගත පෙනුම පාලනය කර දීර්ඝායුෂ ද වැඩි කරන ග්‍රීන් ටී, සම පැහැපත් කර රැළි වැටීම ද පාලනය කරයි. ස්නායු ආවේග පාලනය කර ස්නායු සෛල ගෙවී යාම හා විනාශවීම වළක්වන බැවින් ඩිමෙන්ෂියා හා පාකින්සන් ස්නායු රෝග වළක්වා යාමනය කරයි. මෙම කරුණු නිසා ග්‍රීන් ටී පානය ශරීරයට ඉතා හිතකර ය.

විවිධාකාර ලෙස නිමැවුම් හරහා වෙළඳපොළට එන ඇතැම් ග්‍රීන් ටී වර්ග පිළියෙල කෙරෙන්නේ රසකාරක යොදවමිනි. දොඩම්, නාරන්, අඹ, ස්ට්‍රෝබෙරි, කුරුඳු රසැති ග්‍රීන් ටී ලෙස මේවා නිෂ්පාදන වේ. එවැනි කෘතිම රසකාරක ශරීරගතවීම හානිකර ය. ඒවා හෘද රෝග, පිළිකා ඇතිවීමටද බලපායි. එවැනි ග්‍රීන් ටී නිතර භාවිතය නුසුදුසු ය. පිරිසිදු ග්‍රීන් ටී දිනකට 03ක් භාවිතය සෞඛ්‍ය සම්පන්න වන අතර එය ඉක්මනින් ශරීරයේ බර ද අඩු කරයි. අධික සිහින් සිරුරැති අයට ග්‍රීන් ටී හිතකර නැත. මෙම තේ වර්ගය උදේ ආහාර වේලෙන් පසු පැය ½ සිට පැය 2 දක්වා කාලය තුළ පානය කිරීම වැදගත් හා ප්‍රතිඵල දායක වේ. තවද දිවා ආහාරයෙන් පසුවද, රාත්‍රී ආහාරයෙන් පසුවද පානය කිරීම ඉතා වැදගත් ය. මීට අමතරව ගර්භණී සමයේ ග්‍රීන් ටී පානයට වෛද්‍යවරු අනුමැතිය දී නැත. මන්ද, කලලයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉන් අඩුකළ හැකි බැවිනි.

 

උපදෙස් - ආහාර හා

පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

යශෝදා ඉන්දීවරී

බියර් ටින් එකෙන් අත්ක­මක්...

$
0
0
සැප් 30, 2019 01:00

 

ශක්තිමත්ජනක පාන, බියර් වගේ පානවර්ග බහාලන ටින් එක පරිසරයට මුදා හැරීම කරදරකාරී දෙයක්. පරිසර දූෂණය සහ මදුරු කීටයන් බෝවන්න මේ ටින්වර්ග ඍජු බලපෑමක් කරනවා. එවැනි ටින් නැවත අපේම ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

මෙවැනි ටින් කිහිපයක් විවිධ වර්ණ ස්ප්‍රේ කිරීම තුළින් මල් හෝ පෑන් පැන්සල් වැනි දේවල් බහාලනයක් නිර්මාණය කරගන්න හැකියාව තිබෙනවා. මේ අත්කම් නිර්මාණය කරන්න කැමැති අයට කරන්න තිබෙන්නේ බොහෝම සුළු දෙයක් පමණයි. ඒ, ටින් කිහිපයක් සොයාගෙන ඒවා මදක් මැදින් පොඩි කර, වර්ණ ගන්වා ටින් කිහිපයක් එකට තබා ගම්වර්ගයකින් අලවා ගැනීමයි. ඔබේ නිර්මාණාත්මක හැකියාව යොදලා වර්ණවලට අමතරව ටින් මතුපිට විවිධ රෙදි, රේන්ද, බොත්තම්, ගල්, වැලි, කොළවර්ග අළවා වෙනස් පෙනුමක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ටින් එකක් කියලා හොයාගන්න බැරිවෙන විදියට මේ නිර්මාණය කළොත් ඔබ විශිෂ්ටයි.

 

 

අන්තර්ජාලයෙනි

චින්තා රණසිංහ


බණ්ඩක්කා මෙහෙමත් රසයි

$
0
0
සැප් 30, 2019 01:00
Smashed  Fried Okra

 

පොඩි අයට එළවලු කවන එක අසීරුයි. නමුත් සමහර එළවලු වෙනස් ක්‍රමයට හැදුවොත් දරුවන් කන්න කැමැතියි. මේ, අපි හැමෝටම බණ්ඩක්කා වෙනස් විදියකට රස බලන්න පුළුවන් වට්ටෝරුවක්.

 

* සෝදා ගත් නැවුම් බණ්ඩක්කා ග්‍රෑම් 500

* බටර් මිල්ක් කෝප්ප 1 ක්

* කහ ඉරිඟු පිටි කෝප්ප 2 ක්

* ගම්මිරිස් තේ හැඳි 1 ක්

* රතු මිරිස් කුඩු තේ හැඳි භාගයක්.

* කැනෝලා තෙල් ( බැඳ ගැනීමට )

* ලුණු

 

සාදන ක්‍රමය

හොඳින් සෝදා ගත් බණ්ඩක්කා කරල්වල ඉහළ කොටස (නටුව) කපා අගල් 1 ප්‍රමාණයේ කැබැලිවලට කපා ගන්න. බදුනක් ගෙන එයට බටර්, කහ ඉරිඟු පිටි, ගම්මිරිස්, රතු මිරිස් කුඩු , රස අනුව ලුණු දමා කළවම් කරගත්තු මේ මිශ්‍රණයට, තමන්ගේ කැමැත්ත අනුව කුළු බඩු භාවිතා කරන්නත් පුළුවනි. කපා ගත් බණ්ඩක්කා කැබලි ඉහත මිශ්‍රණයෙහි හොඳින් තවරා ගෙන පසුව කහ ඉරිඟු පිටිවල දවටා ගන්න. අඟල් 2 ක පමණ ප්‍රමාණයේ ගැඹුරු තෙලට දමා කහ ඉරිඟු පිටි වල දවටා ගත් බණ්ඩක්කා ගැඹුරු බැද ගන්න. බණ්ඩක්කා කැබලි රන්වන් පැහැ වනතුරු බැදගන්න. තෙල් බේරා මේ බණ්ඩක්කා බත් වගේම බයිට් වර්ගයක් ලෙසත් ආහාරයට ගත හැකියි.

 

MyRecipes.com වෙබ් අඩවිය ඇසුරිණි.

සටහන- මදාරා මුදලිගේ

රට වෙනස් කරන්න ජනතාවට පුළුවන්

$
0
0
සැප් 30, 2019 01:00

ආචාර්ය අජන්තා පෙරේරා

ෆීජි රටේ ජාතික විශ්වවිද්‍යාලයක (Fiji National University) මහාචාර්යවරියක් ලෙස කටයුතු කළ ආචාර්ය අජන්තා පෙරේරා පරිසරවේදිනියකද වේ. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ ම උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙන, ඇය ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කරන සමාජ සේවිකාවක් ද වේ.

* ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් මෙවර ජනපතිවරණයට ඔබ ඉදිරිපත්වනවා. වසර 20කට පසු ශ්‍රී ලංකාවේ කාන්තාවක් ජනපතිවරණයකට ඉදිරිපත්වන පළමු අවස්ථාව. ඒ ගැන මොනවද කියන්නේ?

හිටපු හැම පාලකයකුට ම, සංවර්ධනය ගැනත්, පරිසරය ගැනත්, රට යා යුත්තේ කවර ආකාරයට ද ගැනත් මම බොහෝ කාරණා අවබෝධ කරදුන්නා.මම ඒ හැම දෙයක් ම කළේ ස්වේච්ඡාවෙන්. මම ආචාර්ය උපාධිය ගත්තේ 1992 වසරේ. කිසිම මුදලක් බලාපොරොත්තු නොවී, මේ රටේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දෙනා සමඟ ඉතා සමීපව වැඩ කළා. ඒ හැම අයකුට ම රට යා යුතු පිළිවෙළ ගැන දැනුවත් කළා.

ඒත්, මම ඉදිරිපත් කළ ප්‍රතිපත්ති දේශපාලකයා ඔහුගේ කරගත්තා මිසක් ජනතාවට වැඩක් කළේ නැහැ. පසුගියදා එල්ල වුණ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ පාලකයෝ හැසුරුණේ ඉතා ළාමක ස්වරූපයෙන්. ඊළඟ කාරණය තමයි එංගලන්තයෙන් ලංකාවට කුණු ගෙනාපු කාරණය. මේවා ජාත්‍යන්තර සම්මුතීන් කඩ කරලා කරපු දේවල්. ඒ නිසා රට ඉදිරියට ගෙනියන්න යහපත් වැඩපිළිවෙළක් ගොඩනඟන්න මම මැතිවරණයට එනවා.

* විදෙස් රටවලින් කුණු ගෙන්වීම ගැන ඔබ සඳහන් කළා. රටේ කුණු ප්‍රශ්නයට විසඳුම් තියෙනවද?

අරුවක්කාලු ප්‍රදේශයේ විශාල ව්‍යාපෘතියක් ඉදි කෙරෙනවා. ඒ ව්‍යාපෘතියට විරුද්ධව මේ රටේ මහජනතාව විරෝධතා පළ කරනවා. එහෙම තිබියදී තමයි එංගලන්තයෙන් කුණු ගෙනාවේ. ළඟදි දවසක මම බ්ලුමැන්ඩන් ප්‍රදේශයේ ජනතාව බලන්න ගියා. එතැනට ගිහින් බලපුවා ම පේන දෙයක් තමයි, ඒ ජනතාව වසර 20කට කලින් ජීවත් වුණ විදිහට ම තවමත් ජීවත් වෙනවා.

මීට කලින් පරිසර ඇමැති විදිහට චම්පික රණවක මහත්තයා ඉන්න කාලේ මේ ජනතාවගේ ජීවන රටාව යහපත් කරන්න කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා දුන්නා. ඇයි ඒවා ගැන හොයලා බැලුවේ නැත්තේ. මොනව ද ඒ ප්‍රතිපත්තිවලට වුණේ? ඒවා ගැන කැපකිරීම් කරලා හදපු ප්‍රතිපත්ති තියාගෙන, මම මැතිවරණයකට ඉදිරිපත් නොවුණේ ඇයි කියලා එදා මට දුක හිතුණා. මේවාට විසඳුම් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ආරාධනය පිළිඅරගෙන ජනපතිවරණයට මම එනවා.

* සමාජවාදය කියන එක ප්‍රතික්ෂේප වෙලා, ශ්‍රී ලංකාවේ වාමවාදී පක්ෂවලින් රාජ්‍ය බලය ගිලිහෙද්දී, ඔබ තෝරා ගත්තු මාර්ගය හරිද?

හරි, ඒකට අවශ්‍ය වෙලා තියෙන්නේ, අපිට අවශ්‍ය ප්‍රතිපත්ති. විදේශිකයන් අපේ රටට මුදල් ටිකක් අරගෙන ආවා ම, ඒ මුදල දිහා බලලා තමන්ට ලැබෙන වාසියත්, රටටත් පොඩි වාසියක් දීලා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති තමයි අද සංවර්ධනය කියලා හිතාගෙන ඉන්නේ. සංවර්ධනය කියන්නේ ගොඩනැඟිලි ටිකක්වත්, වරායවල් ටිකක්වත්, පාරවල් ටිකක්වත් නෙවෙයි.

සමාජවාදී කඳවුරේ කියන්නේ, ඊට හාත්පස වෙනස් දෙයක්. එතැන අපි කතා කරන්නේ පොඩි මිනිසාගේ ඉඳලා, කුඹුරේ ඉන්න මිනිසාගේ ඉඳලා අදහස් අරගෙන කරන සංවර්ධනය. මේක තමයි සැබෑ සංවර්ධනය. නමුත් අවාසනාවකට අපේ රටේ දේශපාලනයෙන් මේ කාරණය ගිලිහිලා ගිහිල්ලා. සමහර ඇමැතිවරු කියනවා, පෝර්ට් සිටිය නිසා ලංකාව ලෝකයේ මුතු ඇටයක් කරනවාලු. කවුද මේවා ඕනෑ කිව්වේ. ලංකාවේ මිනිස්සු ඕනෑ කිව්වෙ නැහැ. මුතු ඇටයක් වෙන්න දෙයක් නෑ. අපේ රට මුතු ඇටයක් වෙලා තිබුණ රටක්. ඒ නිසා අපිට ඕනෑ බිම් මට්ටමේ නැඟී එන හඬයි. ඒකට මම අවුරුදු ගණනාවක් සටන් කළා. අපේ රජවරු වෙස් වලාගෙන කුඹුරේ පැලේ ඉන්න මිනිහාගෙන් ගිහින් ඇහුවා මේ රට යන විදිහ හරිද කියලා. ඇයි අද ඉන්න පාලකයන්ට ඒක කරන්න බැරි.

*ඔබ කතා කරන්නේ ගොවි ජනතාව ගැන, හැබැයි ඩී. එස් සේනානායක මහත්තයා ගල්ඔය ජනපද ව්‍යාපාර ඇති කළා. වත්මන් ජනාධිපතිතුමා මොරගහකන්ද ව්‍යාපාරය අවසන් කළා. ඒ අය ගොවිජනතාව වෙනුවෙන් පෙනී සිටියා නේද?

මම කවදාවත් මේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයින්ට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. මේ දේවල් කරන්න පුළුවන් වුණත් රට තුළ තියෙන ක්‍රමවේදයේ වැරැද්දක් තියෙනවා. ලෝකයේ හැම රටකට ම ගිහින් අපි සල්ලි ඉල්ලලා හිඟා කන තැනට වැටිලා ඉන්නේ. ජනාධිපතිතුමා මම හොඳට දන්න කෙනෙක්. එතුමා වුණත් විදෙස් සංචාරයකට ගිහින් එනකොට කියන්නේ මම ආධාර ගන්න ගිවිසුම් අත්සන් කරලයි ආවේ කියලා.

මේක මහා ලොකු පණිවුඩයක් ද? මේ රට ණය කරන්න ඕනෑ රටක් ද? මෙන්න මෙතැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මේ රටේ පරිසරය දිහා බලන්න, වර්ෂාව ලැබෙන්නේ නැද්ද? කොයි තරම් ගස් වැල් කපලා දැම්මත් ආයෙත් දලු ලා වැඩෙන්නේ නැද්ද? අපේ පස නිසරු ද? සමහර විට හොඳ චේතනාවෙන් අපේ රටේ මහ පුටුවේ ඉඳගන්න අයටත් වෙනත් බලවේග නිසා වරදින්න පුළුවන්. ඒ නිසා මම කොයිම වෙලාවකවත් දේශපාලනඥයන්ට දොස් කියන්නේ නැහැ. මේ තියෙන ක්‍රමවේදය නිවැරැදි වෙන්න ඕනෑ.

* ඔබ කියන කාරණා පැහැදිලියි, අපේ රට ණය බරින් උපරිමය ඉහළ ගිහින් කියලයි කියන්නේ. මෙතැනදී අපේ රටේ පුරවැසියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියලා තියෙනවා?

පැහැදිලිව ම ඒ ප්‍රශ්නය තියෙනවා. එතැන තමයි ලොකු ම ප්‍රශ්නය තියෙන්නේ. අපේ රටේ පුරවැසියන් පොඩි කාලයේ ඉඳල ම පුරුදු වෙලා තියෙන්නේ, කවුරු හරි පැන්සලක් දුන්නත් දණ ගහලා වඳින්න. බොහෝ දෙනෙක් මේක දකින්නේ හොඳ චාරිත්‍රයක් කියලයි. මම කියන්නේ මේක කොඳු කැඩීමේ චාරිත්‍රයක් කියලයි. වැන්දට කමක් නැහැ. නමුත්, දේශපාලනඥයෙක් පොත් පත් ටිකක් බෙදන කොට ඔහුට වඳින්න දරුවාට පුරුදු පුහුණු කරනවා.

ඊට පස්සේ ඔහු හෝ ඇය මත්තේ යැපීමට දරුවාට හුරු කරනවා. අද හැමෝ ම මේ දේ කරනවා. අවුරුදු 80 පුද්ගලයාට ඉඩමක් දුන්නොත් ඒ දේශපාලකයාට දෙකට නැවිලා වඳිනවා. අද අපිට වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ කොඳු කෙළින් කරන්න. අද අපේ රටේ හැම මිනිහෙක්ගේ ම කොඳු කඩලා තියෙන්නේ. අපේ දේශපාලකයෝ කරලා තියෙන්නේ ඒක. ජනාධිපති කෙනෙක් බිහි වෙන්න ඕන තමන් ගැන නොහිතා ජනතාව ගැන හිතන්න. ඒ නිසයි මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ, අපේ ජනතාවට නැවත හිතලා ශක්තිමත්ව නැඟිටින්න පුළුවන් ධෛර්යවන්ත මිනිසුන් ඉන්න රටක් කරන්න මට ඕනෑ. ආයෙත් වරක් මේ අය බලයට ආවොත් මේ රට නාය යනවා වගේ කඩාගෙන යනවා.

* ඔබ අපේ රටේ ජනතාවගේ කොඳු කැඩිලා කියා ඔබ කියන්නේ කොහොමද?

මම පරිසරය ගැන මහන්සි වෙනකොට මට පිස්සු කියලා සමහරු කිව්වා. බඩගින්න තියෙන රටක පරිසරය ගැන හිතන්නෙ කොහොම ද කියලා තවත් සමහරු ඇහුවා. මම ප්‍රතිචක්‍රීයකරණය ගැන එදා කතා කළා. අද වෙනකොට මේ රටේ පරිසරය වෙනස් වෙලා තියෙනවා. තව අවුරුදු 10ක් යනකොට මේ රට සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා තියෙයි. ඒ වෙනකොට මේ රට ලෝකයේ තරග කරන්න පුළුවන් රටක් වෙයි. ඒකට වැදගත් වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය. මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් රට ගැන හිතන්න, රටේ සංවර්ධනය මොකක් ද කියලා හිතන්න, පරිසරය ගැන හිතන්න ජනතාවට පුළුවන්. මේ රට වෙනස් කරන්න ජනතාවට පුළුවන්.

* උතුරේ අම්මලා අතුරුදන් වුණ දරුවෝ හොයනවා, අපේ රටේ ළමා හා කාන්තා ප්‍රශ්න ගොඩගැහිලා. මේ කාරණාවලට ඔබට ඇති විසඳුම මොකක් ද?

මම යුද්ධය කාලේ උතුරේ ජනතාවත් එක්ක වැඩ කළා. මම එල්ටීටීඊ කඳවුරුවලට ගිහිල්ලා පරිසරය ගැන කතා කරලා තියෙනවා. මම උතුරට යන්න හේතුවක් තියෙනවා. අපේ රටේ මිනිස්සු තුවක්කු ගන්නවා නම්, බෝම්බ ගන්නවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ හදවතේ කැකෑරෙන වේදනාවක් තියෙනවා. ඒ මොකක් ද මේ රට මගේ නෙවෙයි ද කියන කාරණය. උතුරේ වේවා, දකුණේ වේවා ඒ කාගේත් හඬ වටිනා හඬක් බවට පත් කිරීම, ඒ හඬට ඇහුම්කන් දීම වැදගත්. අද යාපනය පාලුවට ගිහිල්ලා. යුද්ධ කාලේ තිබුණ ලස්සන අද නෑ. මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය තමයි තම කර්මාන්තවල ප්‍රශ්න. අපි එතැනට තැන දෙන්න ඕනෑ. ඔවුන්ගේ සංවර්ධනය ගැන හිතන්න අපි ඔවුන්ට නිදහස දෙන්න ඕනෑ. කාන්තාවන් සුරක්ෂිත වෙන්න ඕනෑ. ඔවුන්ගේ ඕනෑ එපාකම් මොනවාද කියලා අවබෝධ කරගෙන ඊට සරිලන විසඳුම් දෙන පාලනයක් ගොඩනඟන්න ඕනෑ.

* මේ රටේ දේශපාලනයේ දකින්න ලැබෙන දෙයක් තමයි ජාතිකවාදය. අද බොහෝ ජාතිකවාදී කල්ලි කණ්ඩායම් දේශපාලන බලය ආක්‍රමණය කරලා කියලත් කියනවා, ඔබේ මතය කුමක් ද?

මම හිතන්නේ, අපේ රටේ ජනතාවගේ හැඟීම්වලට ඉතා ලෙහෙසියෙන් කිට්ටු වෙන්න පුළුවන්. අද අපි අනතුරේ කියලා කිව්වා ම අපේ මිනිස්සු බය යි. ගොඩක් රටවල ප්‍රශ්න තිබුණා. ඒ රටවල නායකයින් ඉදිරිපත් වෙලා ඒ ජනතාව සමඟි කළා. අද අපේ රටේ ප්‍රශ්න හැඟීම් තුළින් විසඳන්න ගියා. හැඟීම් තුළින් තීන්දු තීරණ ගන්න බෑ. අපේ රටේ ජාතිවාදය අවුස්සනවා. ඒක මහා පව්කාර වැඩක්. මේ වැඩේ නැවැත්තුවොත් අවුරුද්දෙන් අපේ රට සුරපුරයක් කරන්න පුළුවන්. අපි දියුණුව අත ළඟ තියාගෙන වැනසෙනවා.

* ඔබ ජනපතිනිය වුණොත් මේ රට වෙනස් වෙයි ද?

අනිවාර්යයෙන් ම ඒක කරනවා. මම හරි ආසාවෙන් බලන් ඉන්නේ. මේරට ඉතාමත් කෙටි කාලයකින් හාත්පස වෙනස් රටක් බවට පත් කරන්න. මට මේ රට දියුණු කරන්න 225 දෙනෙක් අවශ්‍ය නැහැ. ඔය 225 දෙනා කතා කරනවා ඇහිලා තියෙනවා ද? ඒ අය පාර්ලිමේන්තුවට යන්නේ දෙන දීමනාව ගන්න.

* අද රාජ්‍ය සේවයේ වර්ජන පිට පිට සිදු කරනවා. මේ රට ඇද වැටිලා තියෙන අගාධයට වෘත්තීය සමිතිත් වගකියන්න ඕනේ නැද්ද?

පහුගිය වකවානුවේ අපේ රාජ්‍ය නිලධාරීන් ඇමැතිවරයාට ඔව් කියනවා මිසක් බැහැ කියන්නේ නැහැ. හැම වෙලාවෙම රාජ්‍ය නිලධාරියා ඇමැතිවරයා අල්ලන්න පුළුවන් ක්‍රමය හොයනවා. ඇමැතිවරයා මොනවට ද කැමැති, මොනව ද ඉල්ලන්නේ. ඒ හැම දේකට ම රාජ්‍ය නිලධාරියා හා හා කියනවා. අත්සන් කරනවා. නිලධාරියා කොයි වෙලාවකවත් ඇමැතිවරයාට ගිහින් මේක මෙහෙම යි වෙන්න ඕනෑ කියලා කියන්නෙ නැහැ.

අපිට හොඳ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ ව්‍යවස්ථාවට වැඩ කරනවා නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. රාජ්‍ය නිලධාරින් බොහෝ අත්දැකීම් තියෙන අය. දේශපාලනඥයා කියන්නේ වසර පහකට බලයට එන කෙනෙක්. එතකොට දේශපාලනඥයා හසුරුවන්න පරිපාලන ක්ෂේත්‍රය තියෙන වගකීමක්. ඒක කෙරෙන්නේ නැති නිසා රට අගාධයට ගියා. රාජ්‍ය පරිපාලකයෝ රැකියාවට බයේ දේශපාලකයාගේ වුවමනා ඉටු කරනවා. ඒ නිසා මේ දේවල් වෙනස් වෙන්න ඕනෑ. මම ඇමැතිවරුත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ නිසා පරිපාලන ක්ෂේත්‍රයේ වෙන්නෙ මොකක් ද කියලා මම දන්නවා.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-කැලුම් ලියනගේ

ස්වභාවික ආපදා ආධාර බෙදමු ද? විසඳුම් සොයමු ද?

$
0
0
සැප් 30, 2019 01:00

ගංවතුරින් හා නියඟයෙන් මෙරට ජනතාව පීඩාවට පත්වීමේ ප්‍රවණතාව දැන් දැන් නිතර අසන්නට හා දකින්නට ලැබෙන තත්ත්වයකි. අධික වැසි ඇද හැලෙන විටම ගංඟා පිටාර ගලා ප්‍රදේශ ජලයෙන් යටවී ජන ජීවිතය අවුලෙන් අවුලට පත්වන බව මෙරට කුඩා දරුවකු පවා දන්නා කාරණයකි. මේ වනවිට ද බස්නාහිර හා දකුණු ප්‍රදේශවල ගම් රැසක ජනතාව ගංවතුරෙන් පීඩා විඳිමින් සිටිති.

දකුණේ ජනතාව එලෙස ගංවතුරින් පීඩා විඳිද්දී උතුරේ ජනතාව නියඟයෙන් පීඩා විඳින අයුරු ද දක්නට ලැබෙයි. රටක් ලෙස අප දැන් සිදු කරමින් සිටින්නේ උවදුරු පාලනය නොකර ඒවායින් සිදුවන ආපදාවන්ට මුහුණ දීමයි. ජලය බැස ගොස් ඊළඟ වැසි සමය උදාවන තෙක් කිසිවක් සිදු නොකර සිට වැසි සමයත් සමඟ ඇතිවන ගංවතුරට මුහුණ දී මියගිය අයට වන්දි ප්‍රදානය කර පීඩාවට පත්වූවන්ට සහන සැලසීම කලක පටන් දක්නට ලැබෙන තත්ත්වයකි. මෙරට මාධ්‍ය ආයතන ද ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන තැනට බලධාරීන් තල්ලු නොකර තමන් ද ආධාර එකතු කරමින් තරගකාරී ලෙස ඒවා ජනතාව අතර බෙදා දෙන වටපිටාවක් දැන් රටේ නිර්මාණය වී තිබේ.

ආකාර දෙක

මෙරට ජනතාව බහුලව පීඩා විඳින ස්වභාවික උවදුරු වන්නේ ගංවතුර, නාය යෑම්, සුළි සුළං හා නියඟයයි. සුනාමි තත්ත්වයන් නිතර ඇති නොවන අතර රටේ පිහිටීම අනුව භූමි කම්පාවලින් මිදීමට ද අපට වාසනාව හිමිව ඇත. උවදුරු දෙයාකාරයකට ඇති වෙයි. ස්වභාවිකව ඇතිවන ඒවා සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන උවදුරු ලෙස මේවා වර්ග කළ හැකිය. ස්වභාවික උවදුරු අපට පාලනය කළ නොහැකිය. නමුත් එම උවදුර නිසා සිදුවන ආපදාව අපට කළමනාකරණය කරගැනීමට පුළුවන. මෙහිදී අපේක්ෂා කරන්නේ අදාළ උවදුර මගින් ඇතිවන ව්‍යසනයේ බලපෑම අවම කර ගැනීමයි.

ආපදා කළමනාකරණය ලෙස අර්ථ දැක්වෙන්නේ මෙම කාරණයයි. මෙරට දැන් සිදුවන ක්‍රියාවලය සැලකීමේදී නිසි ආපදා කළමනාකරණයක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. පසුගිය වසරේ මෙන්ම මේ වසරේදී ද වැසි සමයක දී නගර ජලයෙන් යටවී ජනතාව පීඩාවට පත් වන්නේ ඒ නිසාය. අතීත සිදුවීම් නිසි ලෙස අධ්‍යයනය කරමින් ඒවායින් සිදුවූ බලපෑම යළි ඇති නොවීම පිණිස ක්‍රියාත්මක වීම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වගකීමය. එහෙත් එවැන්නක් සිදු නොවන බව දැන් සිදුවන ක්‍රියාවලිය දෙස බලා සිටියදී පහසුවෙන් අවබෝධ කර ගැනීමට පුළුවන.

සෑම වසරකම නියඟයෙන් හෝ ජලගැලීම්වලින් මෙරට ජනතාව පීඩාවට පත්වන අතර ආණ්ඩුව ද අති විශාල මුදලක් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට වෙන්කරනු ලබයි. මෙයට අමතරව විදේශ රටවලින් ඩොලර් වලින් ද අති විශාල මුදලක් මේ සඳහා මෙරටට ලැබේ. මෙම ක්ෂේත්‍රයට සම්බන්ධව රැකියා කරන ඉහළ බලධාරීන් විදේශ රටවලට ගොස් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සෑම වසරකම පුහුණුව ලබති. ස්වභාවික උවදුරක් හේතුවෙන් ඇතිවන ආපදාව කළමනාකරණය කරනු වෙනුවට බලධාරීන් කරනු ලබන්නේ අමාත්‍යාංශයට වෙන්කරන මුදල්වලින් වන්දි ප්‍රදානය කර ඇඟබේරාගැනීමය.

ආපදාවක් සිදුවූ විගස මොවුන් කරන්නේ එවැන්නක් යළි ඇති නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවට ලබාදෙන වන්දි තීරණය කිරීමය. ආපදාවකදී පීඩාවට පත්වන ජනතාවට වන්දි ලෙස ලබා දෙන්නේ ජනතාවගේම මුදල්ය. දිගින් දිගටම මෙලෙස සිදු කිරීමෙන් රටේ ආර්ථිකයට ඇති වන්නේ අයහපත් බලපෑමකි. මෙය පය බරවායට පිටකර බෙහෙත් බැඳීම හා සමාන ක්‍රියාවකි. ප්‍රශ්නය කුමක්ද යන්න නිසි ලෙස අධ්‍යයනය කර විසඳුම් තීරණය කිරීම වැදගත්ය. අද එවැන්නක් සිදු නොවන බව කණගාටුවෙන් වුව කිව යුතුව තිබේ. ආපදා යළි යළි සිදුවීම වැළැක්වීම පිණිස පියවර නොගෙන යළි යළි වන්දි ප්‍රදානය කිරීමට ප්‍රතිපත්ති සකස් කිරීමෙන් රටට අත්වන ප්‍රතිලාභයක් නොමැත.

ගංවතුර හා නියඟය අපට අලුත් දෙයක් නොවේ. එය පැරණි රජ දවස පටන් පැවැති දෙයකි. අපේ මුතුන් මිත්තන් මේ උවදුරු වලින් වන හානි අවම කර ගැනීම පිණිස කටයුතු කළහ. අද අපට එම කටයුත්ත එලෙස සිදු කිරීමට නොහැකි වීම නිසා වසරකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නියඟයෙන් හා ගංවතුරින් පීඩා විඳින්නට සිදුව තිබේ.

වැසි ජලය

මෙරට වාර්ෂික වර්ෂාපතනයේ එදා සහ අද අගයන් සැලකීමේදී විශාල වෙනස්කමක් දක්නට නොලැබෙයි. වසරකට කියුබික් මීටර මිලියන 130 ක් වර්ෂාපතනයක් රටට ලැබේ. මින් බිලියන 50 ක පමණ ප්‍රමාණයක් ගංගා ඔස්සේ මුහුදට ගලා යයි. බිලියන 40 ක් පමණ ගංඟා, ඇළ දොළ හා වැව්වල රැඳී තිබෙන අතර තවත් බිලියන 40 ක් පමණ මහ පොළොවට උරා ගනී. සංවර්ධනය මුවාවෙන් සිදුවන අවිධිමත් ඉදිකිරීම හේතුවෙන් වන ගහණය ශ්‍රීඝ්‍රයෙන් අඩුවීම නිසා වැසි ජලය කෙළින්ම මහ පොළෙ‍ෙවට ඇද වැටේ. එම වේගයත් සමඟ එම ජලය පොළොවට උරා ගැනීමක් සිදුනොවී ගංගා ඇළ දොළවලට කෙළින්ම එකතු වෙයි.

ව්‍යාපාරික ස්ථාන, නිවාස හා මාර්ග ඉදිකිරීම් පසුගිය දශක කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම ඉදිකිරීම් නිසා අහසට නිරාවණය වී තිබෙන පොළෝ තලය “ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබේ. ගොඩනැඟිලිවල වහල මතට හෝ තාර හෝ කොන්ක්‍රීට් ඇතිරූ මාර්ග මතට වැටෙන වැසි ජලය කානු පද්ධති ඔස්සේ කෙළින්ම ගලා යන්නේ ගංගා, ඇළ දොළ වෙතය. දිරාපත් නොවන පොලිතීන් වැනි අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා කානු පද්ධති අවහිර වීමෙන් වැසි ජලය පිටාර ගලා මාර්ග ඔස්සේ ගලා බසී. සුළු වැස්සකදී පවා මහා මාර්ග යටවීමට ප්‍රධාන හේතුව මෙයයි. පොළොවට උරා ගැනීමකින් තොරව අති විශාල ජල කඳක් වගුරු බිම්වලට පැමිණෙන නිසා එය දරා ගැනීමට පවතින වගුරු බිම්වලටද නොහැකි වන අතර වගුරු බිම් ගොඩ කිරීම සම්බන්ධ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම තවත් බරපතළ ගැටලුවකි.

අතීත තාක්ෂණය

පොළොවට නොවැටී කානු පද්ධති ඔස්සේ ජලාශවලට කෙළින්ම මහා ජල කඳක් එකතු වීම නිසා ඒවා පිටාර ගලන බව තේරුම් ගැනීමට මහා දැනුමක් අවශ්‍ය වන්නේ නැත. චීනය, බංගලාදේශය වැනි රටවල් ද ගංවතුරින් මේ ආකාරයට පීඩා විඳී. නමුත් ඔවුන් නිසි වැඩපිළිවෙළක් ඔස්සේ ඊට මුහුණ දෙනු ලබයි. අද එම රටවල් මෙම ගැටලුවෙන් බොහෝ දුරට නිදහස්ව ඇත. දේශපාලනික වශයෙන් කල්පනා නොකර පාලකයින් රට ගැන සිතා තීන්දු තීරණ ගැනීමත් නිලධාරීන් කැපවීමෙන් හා වගකීමෙන් වැඩ කිරීමත් නිසා ලත් එම ජයග්‍රහණ අපට හිමි නොවීමට ප්‍රධාන හේතුව අපේ දේශපාලනඥයින්ගේ හා නිලධාරීන්ගේ වරදය.

රජ දවස මෙරට වැව් ලක්ෂ ගණනක් තිබූ බව කියැවෙන නමුත් අද වනවිට ඇත්තේ 35000 ක් පමණවූ වැව් සංඛ්‍යාවකි. මෙම වැව් බොහොමයක් ගොඩවීම නිසා වියළි කලාපයට අධික වර්ෂාවක් පවතින අවස්ථාවන්හිදී ජලය ප්‍රධාන වැව් කරා ගමන් කර ඒවා පිටාර ගැලීමත් සමඟ ගම්බිම් යටවීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ප්‍රධාන වැව්වලට අමතරව පවතින සෙසු වැව් ගැඹුරු කිරීම සඳහා යෝජනාවක් රජයට කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනපති උපදෙස් මත එම කටයුත්ත දැන් සිදු වෙමින් පවතී.

පසුගිය දිනෙක මෙම කටයුත්ත අධීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ දැක ගැනීමට ලැබුණේ ගොඩවී තිබෙන වැව් මධ්‍යයේ සමචතුරස්‍රාකාර කොටු කපා පස් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙන බවයි. දේශපාලනඥයින්ගේ හිතවතුන්ට කොන්ත්‍රාත් දීමෙන් ඔබ්බට ගිය රටට වැඩදායි ක්‍රියාවලියක් මෙහිදී ද ක්‍රියාත්මක නොවන බව කණගාටුවෙන් වුව කිව යුතුව තිබේ. තම හිතවතුන්ට කොන්ත්‍රාත් දී ඔවුන් සතුටු කිරීමට එහා ගිය ජාතික වගකීමක් දේශපාලනඥයින්ට තිබෙන බව ඔවුන් තේරුම් ගත යුතුය.

පොළොවට වැටෙන්නා වූ එකම ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට නොයැවිය යුතු යැයි මහාපරාක්‍රමබාහු රජු පවසා තිබේ. එකල අපේ රජ දරුවන් මහ වැසි ලෙස පොළොවට වැටෙන ජලයෙන් පීඩා විඳිනු වෙනුවට ඉන් අපමණ ප්‍රයෝජන ගනිමින් කෘෂිකර්මාන්තයෙන් රට පොහොසත් කළහ. අද වනවිට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබේ. නියඟයෝදී භව භෙෘ්ග සියල්ල විනාශවන නිසා ගොවියාට නියං සහන ලබා දීමට රජයට සිදුව තිබේ. අධික වැසි වැටී ගංගා උතුරා ගිය විට අවතැන් වන ජනතාවට සහන සැලසීම පිණිස මුදල් වැය කිරීමට ද රජයට සිදුව ඇත. මෙය නිමක් නොමැති ප්‍රශ්නයක් ලෙස සෑම වසරකම ශ්‍රී ලාංකීය ජනතාව අත් විඳිති.

පැරණි රජ දවස මෙම ගැටලුව කළමනාකරණය කර ගැනීම පිණිස කටයුතු කළේ යෝධ ඇළවල් නිර්මාණය කරමිනි. ඒවා එක් අතකට යෝධ වැව් ලෙසද විග්‍රහ කළ හැකිය. කිලෝමීටර ගණනක් ඈතට දිවෙන මේ දිගටි වැව් ප්‍රධාන වැව් හා සම්බන්ධිතය. වැසි රහිත කාලවලදී වැව්වල ජලය මේවා ඔස්සේ පහළට ඇදී එන අතර වර්ෂා කාලයේදී මේවා ඔස්සේ ජලය වැව් කරා ගමන් ගනී. සෑම ජල බිඳුවකින්ම ප්‍රයෝජනයක් ගැනීම පිණිස මේ ආකාර විසඳුම් අතීත මිනිසා සොයාගෙන තිබියදී වර්තමානයේ සිදු කරනු ලබන්නේ ජලයෙන් ආරක්ෂා වීම සඳහා විසඳුම් සෙවීමය. එසේ කරන්නට සිදුව තිබෙන්නේ ආපදා කළමනාකරණය පිණිස නිසි වැඩපිළිවෙළක් රටේ තාමත් නොමැති නිසාය. මෙය තේරුම් ගැනීමට බලධාරීන් අවංක නොවන තුරු ප්‍රශ්නය ආනගතයටද මේ ආකාරයෙන්ම උරුම වනු නොඅනුමානය.

සටහන-අසේල කුරුළුවංශ

පංති අරගලයේ රතු තරුව පීටර්

$
0
0
සැප් 30, 2019 01:00

පීටර් කෙනමන් මහතා

(ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමියකු වූද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයකු වූද, පීටර් කෙනමන් මහතාගේ 102 වන උපන් දිනය 2019 ඔක්තෝබර් 03 වන දිනට යෙදී ඇත. කොළඹ, මරදාන හංදිය වටරවුම පීටර් කෙනමන් චතුරස්‍රය ලෙස නම් කිරීම එදින සිදු කෙරේ.)

පීටර් කෙනමන් උපන්නේ 1917 ඔක්තෝබර් 03 වන දා ය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ය.

මෙකල රීඩ් මාවත නමින් හැඳින්වෙන කොළඹ “බෙලයාර්” නම් නිවසෙහි ඔහුට ජන්ම ලාභය දුන් පවුල කිසිසේත් දිළිඳු හෝ නිර්ධන පන්තික පවුලක් නොවී ය. ඔහුගේ පියා ආතර් එරික් කෙනමන් ඒ කාලයේ හොඳ ආදායම්ලාභී බැරිස්ටර් කෙනෙකි. පසුව ඔහු රාජනීතිඥයකු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයකු වී විශ්‍රාම ගැනීමට මඳ කලකට පෙරද අග්‍ර විනිශ්චයකාර ධුරයෙහිද වැඩ බැලුවේය. ඔහු 1958 දී පරලෝසැපත් විය.

1933 දී පීටර් කෙනමන් ශිෂ්‍යයකුව සිටියදී තම මවුපියන් සමඟ මහා බ්‍රිතාන්‍යයේ හා බටහිර යු‍රෝපයේ හය මසක චාරිකාවක යෙදුණේය. ඔහුගේ මේ ප්‍රථම විදේශ සංචාරය යෙදුණේ හිට්ලර් ජර්මනියෙහි බලයට පත්වූ වර්ෂයෙහි ය. තරුණ කෙනමන්ට ලෝකයේ සමහර දේශපාලන ප්‍රශ්න ගැන අවබෝධයක් ලැබුණේ මේ ගමනේ දී ය.

ඔහුට කොමියුනිස්ට්වාදය ගැන කියවන්නට ලැබුණේ පාසල් ජීවිතයේදීම ය. ඒ කාලයේ ලංකාවෙහි සංවිධිත වාමාංශික ව්‍යාපාරයක් තිබුණේ නැත.

තම පියාගේ පුස්තකාලයේ පොත් පරීක්ෂා කර බලමින් සිටි එක් දිනක දී ලෙනින්ගේ අධිරාජ්‍යවාදය නමැති පොත හමු‍විය. ඔහු ඒ පොතින් ඔහු හමුවේ නව ලෝකයක් විවෘත විය.

ඔහු 1936 දී වැඩි දුර අධ්‍යාපනය සඳහා මහා බ්‍රිතාන්‍යය බලා පිටත් වූයේය. පීටර් කෙනමන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් පිටත් වූ කාලයේ කොමියුනිස්ට්වාදයේ සත්‍යය ඔහුට න්‍යායික වශයෙන් අවබෝධ වී තිබිණ. 1939 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ ඔහු දිවයිනට පැමිණෙනවිට ලංකාවේ තත්ත්වය බොහෝ සේ වෙනස් වී තිබිණ.

සමාජවාදී ව්‍යාපාරය බිහිවීම

කැපීපෙනෙන වෙනස වී තිබුණේ සංවිධානය වූ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ව්‍යාපාරයක් ආරම්භ වී තිබීමයි. 1935 බිහිකළ ලංකාවේ ප්‍රථම සමාජවාදී පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයෙන් 1936 වර්ෂයේ දී පැවැති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයින් දෙදෙනකු තේරී පත්ව සිටියහ. ඒ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා පිලිප් ගුණවර්ධනයන්ය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ සමයේදී ලංකා සමසමාජ නායකයින් අතර මතභේදයේ ප්‍රතිඵලයක් ලෙස ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයින් වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස්, උඩුකැන්දවල සිරි සරණංකර හිමි ඇතුළු තවත් අය පක්ෂයෙන් නෙරපනු ලැබූ අතර සමසමාජ පක්ෂයෙන් නෙරපූ දොස්තර වික්‍රමසිංහ ඇතුළු පිරිස සමඟ එක්වූ පීටර් කෙනමන් 1940 නොවැම්බර් මාසයේදී පෑලියගොඩ පැවැති සාකච්ඡාවකින් පසුව එක්සත් සෝෂලිස්ට් පක්ෂය පිහිටුවීමට තීරණය කළහ. පීටර් කෙනමන් එහි ප්‍රධාන ලේකම් ධුරයට පත් විය.

1942 එක්සත් සෝෂලිස්ට් පක්ෂය තහනම් කර දොස්තර වික්‍රමසිංහ සිරභාරයට ගැනීමෙන් පසුව, 1943 ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේදී එහි ප්‍රධාන ලේකම් ලෙස පත්වූයේ පීටර් කෙනමන්ය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ කාර්ය භාරයන් වූයේ කම්කරු ජනතාව සංවිධානය කිරීමය. පීටර් කෙනමන් ඒ සඳහා තම කාලය යොදා කටයුතු කළේය. ඒ කාලයේ මුළු ලංකාවේම ලියාපදිංචි වෘත්තීය සමිති ප්‍රමාණය පනහකට අඩු විය.

ඒ වනවිට කම්කරුවන්ට අයිතිවාසිකම් හෝ වරප්‍රසාද තිබුණේ ස්වල්පයකි. දවසට පැය 10 හෝ 12 ක් වැඩ කළ ඔවුන්ට ලැබුණේ දවසට ශත 60ක් හෝ 70ක් පමණි. කුලීකරුවන් වශයෙන් එකල හැඳින් වූ කම්කරුවන්ට ස්වාමි පක්ෂය හා යටත්විජිත ආණ්ඩුව සලකන ලද්දේ ඉතා පහත් අන්දමිනි. කොමියුනිස්ට්වාදීන්ගේ නායකත්වය යටතේ කොළඹ නගරයේ කර්මාන්ත ආයතන 35ක වෘත්තීය සමිති ගොඩනගා ලංකා කම්කරු සමිති සම්මේලනය නමින් වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් ගොඩනගා තිබුණි. (අද ලංකා වෘත්තීය සමිති සම්මේලනය නමින් හැඳින් වෙයි.) එහි සභාපති වූයේ පීටර් කෙනමන්ය.

කොමියුනිස්ට් පක්ෂය මෙහෙය වීමෙන් 1945 සැප්තැම්බර් මස දී විරැකියාවෙන් පෙළෙන අයගේ හදිසි ප්‍රශ්න සලකා බලන ලෙස ඉල්ලා 25000 කට අධික පිරිසක් පෙළපාලියෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ගමන් කළේය. පොලිසිය පහරදී පෙළපාලිය නතර කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයෙන් පසු කොළඹ නගරයේ ඇතිවූ මහා කම්කරු වැඩ වර්ජනයට මග පෑදුනි. එම වැඩ වර්ජනයට තිස්දහසකට අධික කම්කරු පිරිසක් සහභාගීවිය. එම වැඩ වර්ජනවලදී පීටර් කෙනමන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන ලදී. ඔහු කොළඹ කම්කරු ජනතාව අතර ඉතා ජනප්‍රියභාවයට පත් විය. 1947 පාර්ලිමේන්තු ප්‍රථම මැතිවරණයට පීටර් කෙනමන් ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය තරග කර 3 වන මන්ත්‍රීවරයා ලෙස තේරීපත් විය.

කෙනමන් 1947 දෙසැම්බරයේදී බටහිර කොටහේන කොට්ඨාසය වෙනුවෙන් කොළඹ නාගරික සභාවේ මන්ත්‍රීවරයා වශයෙන් ද තේරී පත් විය. 1959 දෙසැම්බර් මාසය වනතුරුම එම කොට්ඨාසය වෙනුවෙන් නාගරික සභාවෙහි පෙනී සිටියේය. මේ දස වර්ෂය තුළ කොළඹ නාගරික සභාවේ කොමියුනිස්ට් පාක්ෂික කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රියා කළ හෙතෙම නාගරික ප්‍රතිසංස්කරණයන් සඳහා කරනු ලැබූ බොහෝ සටන්වලදී පෙරමුණෙහි සිටියේය. නිවාස තැනීමේ හා මුඩුක්කු නැති කිරීමේ යෝජනා ක්‍රමයක් සම්මත කර ගැනීමටත්, නාගරික බෙහෙත් ශාලාවක් හා පුස්තකාලයක් පිහිටුවා ගැනීමටත් තම කොට්ඨාසයෙහි වෙනත් සමාජ පහසුකම් සලස්වා ගැනීමටත් ඔහු සමත් විය.

කෙනමන්, පාර්ලිමේන්තුව තුළ හා කොළඹ නාගරික සභාව තුළ නොකඩවාම කළ සටනත්, පාර්ලිමේන්තුවෙන් හා නාගරික සභාවෙන් පිටත අරඹනු ලැබූ බොහෝ මහජන ව්‍යාපාරයන්හි කළ සටනුත් නිසා මහත් කීර්තියක් දිනා ගත්තේය. ඒ කොතරම්දයත්, 1952 දී දෙවන පාර්ලිමේන්තු මහා මැතිවරණය අවස්ථාවේ ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 1947 දී ලැබූ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිවිය. ඔහු ඡන්ද 32,346 ක් ලබා ගනිමින් මැද කොළඹ පළමුවැනි මහජන මන්ත්‍රීවරයා විය. ඒ කාලයෙහි කොමියුනිස්ට් පක්ෂය හා කෙනමන් කොළඹ නගරයෙහි කොතරම් ඉදිරියට ගොස් සිටියාද කිවහොත් මේ මැතිවරණයේදී ඒ. ඊ. ගුණසිංහ සිව්වැනි තැනට පත්කොට පාර්ලිමේන්තුවෙන් හා දේශපාලන ජීවිතයෙන් ඔහු සදහට ම පන්නා දැමීමට ඔවුනට හැකිවිය.

ලංකාවේ ප්‍රගතිශීලී වෘත්තීය සමිති හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන සංවිධාන, ලෝක සාම මණ්ඩලය, ලෝක කම්කරු සමිති සම්මේලනය සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ වඩ වඩා සම්බන්ධකම් පැවැත්වීම කොමියුනිස්ට්වරුන්ට හා විශේෂයෙන් පීටර් කෙනමන්ට අතිශය ප්‍රීතියට කරුණකි.

මේ ජාත්‍යන්තර සංවිධාන මුලින්ම ආරම්භ කරනු ලැබූ අවස්ථාවේ කොමියුනිස්ට්වරුන්ගේ නායකත්වය හෝ මගපෙන්වීම ඇතිව සිටි ලංකාවේ සංවිධාන පමණක් එම ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. 1950 වර්ෂයේ “වෝර්සෝ” නගරයේ පැවැත්වූ ලෝක සාම මණ්ඩලයේ රැස්වීමට, 1953 දී වියානා නගරයෙහි පවත්වනු ලැබූ ලෝක සාම මණ්ඩලයේ විධායක මණ්ඩලයේ රැස්වීම සහ 1963 වර්ෂයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙහෙයවීමෙන් භාවනා නගරයෙහි පවත්වනු ලැබූ ජාත්‍යන්තර සම්මේලනවලට ඉහත කී ලාංකීය සංවිධාන වෙනුවෙන් පීටර් කෙනමන් සහභාගී විය.

පීටර් කෙනමන් ලංකාවේ කොමියුනිස්ට් හා වාමාංශික ව්‍යාපාරයේ පිළිගත් නායකයකු වන අතර ම, ජාත්‍යන්තර කොමියියුනිස්ට් හා කම්කරු ව්‍යාපාරයේද ගරු කරනු ලබන සුප්‍රකට පුද්ගලයෙකි. 1957 දී මොස්කව් නගරයේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර කොමියුනිස්ට් හා කම්කරු පක්ෂවල ඓතිහාසික රැස්වීමට සහ වෙනත් ජාත්‍යන්තර සම්මේලනවලට ද සහෝදර මාක්ස් - ලෙනින්වාදී පක්ෂවල රැස්වීම්වලටද සහභාගීවූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත මණ්ඩලවල නායකයා වශයෙන් ඔහු ක්‍රියා කොට ඇත. මේ රැස්වීම්වලදී ඔහු කළ කතා ගෞරවයෙන් පිළිගන්නා ලදී. මේ කතාවලින් බොහෝමයක් විදේශයන්හි පළ කොට තිබේ.

1968 දී ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල සමගි පෙරමුණ ගොඩනැගීමට හා 1970 මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට කොමියුනිස්ට් පක්ෂය සහ පීටර් කෙනමන් විසින් ඉමහත් සේවයක් ඉටු කළේ ය. සමගි පෙරමුණ ආණ්ඩුව විසින් ඉටු කළ වැදගත් කටයුත්ත වූයේ රටේ දේශපාලන නිදහස සම්පූර්ණ කිරීමට හැකි වූ ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමය. පීටර් කෙනමන් නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා වශයෙන් ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කළේය. 1997 ජනවාරි මස 23 වන දින පීටර් කෙනමන් සහෝදරයා අප අතරින් වෙන් වී ගියද ඔහු විසින් මෙරට වැඩකරන ජනතාවට හා සමාජවාදී ව්‍යාපාරයට ඉටු කළ මෙහෙය සදාකල් පවතිනු ඇත.

 

එස්. සුදසිංහ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 

ආර්ථිකයේ නිදිමත හැරීම

$
0
0
ඔක්‌ 1, 2019 01:00

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් සියයට 40ක් ඇඟලුම්ය. 2018 අපේ ඇඟලුම් අපනයනය ඇ. ඩොලර් දසලක්ෂ 5317කි. ඇඟලුම් අංශයේ ඍජු රැකියා ලක්ෂ 3ක් ද වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද සහිත නිසා රටේ සංවර්ධනයට මෙන්ම සමාජ සංවර්ධන කාර්යයේදී ද ඇඟලුම් කර්මාන්තය රැකගත යුතුව ඇත. එහෙත් එසේ කළ හැකිවන්නේ සෙසු රටවල් සමඟ ඉදිරියට යමිනි. එම රටවල් කාර්මික විප්ලවයේ හතරවන පියවරේ ගමන් කරනවිට අපට මන්දගාමී විය නොහැක.

ජනාධිපතිවරණය සහ නව පාලන තන්ත්‍රයක් පිළිබඳව සමාජය තුළ පවතින සංවාදය දැන් වඩාත් උණුසුම්ය. දවසින් දවස ඒ උණුසුම ඉහළ යයි. ඉදිරි පාලනයක ආර්ථික ගමන් මග විමසන සාකච්ඡා මණ්ඩපද ඒ අතර වේ.

මේ සාකච්ඡා මණ්ඩපයන්හිදී දේශපාලනඥයෝද ආර්ථික විද්‍යාඥයෝද, ව්‍යාපාරික ප්‍රජාවද සෙසු විද්‍යාර්ථීහුද තමන්ගේ අදහස් දක්වති. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෝද, සමාජ මාධ්‍යයද මෙබඳු සාකච්ඡා සඳහා “වේදිකා” සකස් කර දෙති. එසේම විවිධ අංශයනට අයත් ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික රැස්වීම්වලදී සහ වාර්ෂික වාර්තා මගින්ද රටේ ආර්ථික ඉදිරි ගමන පිළිබඳ විවරණ ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වැවිලි ප්‍රතිසංස්කරණය, ඩිජිටල්කරණය, ඍජු විදේශ ආයෝජනය ඇඟලුම් කර්මාන්තය මෙන්ම හතරවන කාර්මික විප්ලවය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම ඉකුත් කාලය තුළ සංවාදයට ලක්වූ කරුණු කීපයකි.

ආර්ථික සමුළුව

මේ සාකච්ඡා මණ්ඩප අතරින් වැදගත් තැනක් ගත්තේ ලංකා වාණිජ මණ්ඩලය හෙවත් සිලෝන් චේම්බර්ස් කොමර්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුවයි. කොළඹදී දෙදිනක් පුරා පැවැති සමුළුවට, ප්‍රතිපත්ති සම්පාදකයෝද ව්‍යාපාරික ප්‍රධානීහුද, ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විද්‍යාර්ථියෝද පොදුවේ රටේ අනාගතය ගැන උනන්දුවූ පිරිස්ද සහභාගිව 2025 දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය හැඩගස්වා ගැනීම ගැන සාකච්ඡා කළහ.

චේම්බර්ස් කොමර්ස් ආයතනය සුබසාධක සංගමයක් හෝ එන්ජීඕ නඩයක් හෝ නොවේ. මේ රටේ කෘෂිකර්මාන්තමය සහ වාණිජ කටයුතු නංවා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව 1839 මාර්තු 25 වන දින කොළඹ කුමාරවීදියේ කොමර් හවුස්හිදී පිහිටුවාගන්නා ලද ආයතනයකි. එවක ආණ්ඩුකාරවරයාව සිටි ස්ටුවට් මැකන්සිගේ මෙහෙයවීම පිට පිහිටුවාගත් මේ ආයතනය ලංකාවේ වාණිජ පරිසරය සකස්කිරීමේදී ලෝකයේ සෙසු වාණිජ මණ්ඩල සමඟ ඉකුත් වසර 180 තිස්සේ උරෙන්නුර ගැටී කටයුතු කළ ආයතනයකි.

පෞද්ගලික අංශය මෙවැනි සමුළුවලින් උපරිම ඵලනෙළාගන්නා නමුත් තවමත් රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීමෙන් වැඩිබරක් උසුලන රාජ්‍ය අංශය මෙවැනි සමුළුවකදී කියැවෙන හා ඉදිරිපත්වන නව අදහස් සැලකිල්ලට ගන්නේ නම් රාජ්‍ය ආයතන මෙතරම් පාඩු ලබන්නේ නැත. දූෂණ ඉහවහා යන්නේද නැත.

පෞද්ගලික ආයතන පාලනයේදී ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ආයතන පරිපාලන ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. මෙය CORPORATE GOVERNANCE යනුවෙන් හැඳින්වේ. රටට මහත් බරක්ව ඇති රාජ්‍ය ව්‍යාපාර ද එවැනි පාලනයකට යටත් කළ යුතුය යන්න ආර්ථික සමුළු කීපයකදී අසන්නට ලැබුණි. ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව චේම්බර්ස් කොමර්ස් සමුළුවේදී ද අවධාරණය වූ අතර එහිදී ප්‍රධාන දේශනය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රකාශ කෙළේ ඉදිරි වසර පහ තුළ අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් ඉදිකර ගත යුතු බවයි.

සිලෝන් චෙම්බර්ස් කොමර්ස් සභාපති ආචාර්ය හැන්ස් විජේසූරිය මහතා එම සමුළුවේදී ප්‍රකාශ කෙළේ “දැනට ඇ. ඩොලර් බිලියන 89ක් වන ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වනවිට ඇ. ඩොලර් බිලියන 134ක ආර්ථිකයක් බවට පත්කර ගත යුතුව ඇති බවත්, සියලු අංශයන්ගේ සහාය ඇත්නම් එය අමාරු කාර්යයක් නොවන බවත්ය.

මෙලෙස රටේ ආර්ථිකය පුළුල් කිරීමට අපනයන ආදායම වැඩිකර ගැනීම එක් උපාය මාර්ගයකි. ලෝක ඇඟලුම් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පිළිබඳව සංවාදයකදී අවධාරණය වූ කරුණක් නම් ලෝක ඇඟලුම් කර්මාන්තයට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළුව ඇති අන්දමයි. වෙනත් වචනවලින් කිවහොත් හතරවන කාර්මික විප්ලවයේ අංගෝපාංග ඇඟලුම් කර්මාන්තයට එකතුවී නිෂ්පාදන ධාරිතාව උපරිම තලයට ගෙනයන බවයි.

ජුකී ඔපරේටර්වරු යනුවෙන් කටට හුරු මහන මැෂින් ක්‍රියාකරුවනගේ කටයුතු දැන් රොබෝවරුනට බාරදීම දක්නට ලැබේ. ඇඳුම් මහන රොබෝවරු වඩා ඉක්මනින් විශාල නිෂ්පාදනයකට දායකවෙති. මේ SEWBOTS රොබෝවරු ඇඟලුම් කර්මාන්තයට එක්වූයේ 2012 දීය. ඒ සඳහා පේටන්ට් බලපත්‍රද ලබාගෙන ඇත.

ඇඟලුම් අපනයනයට සම්බන්ධ බොහෝ රටවල් දැන් රොබෝ තාක්ෂණය පිහිට කොට ගනිති. චීනයේ TIANYVAN GARMENTS සමාගමය පිහිටා ඇත්තේ SUZIHON ප්‍රදේශයේය. ලෝක ප්‍රසිද්ධ අඩිඩාස් වර්ල්ඩ්වයිඩ් සමාගමයට ටී ෂර්ට් සපයන ඉහත කී චීන සමාගමය රොබෝවරුනගේ සහායයෙන් දිනකට නිෂ්පාදන ඒකක අටලක්ෂයක් නිපදවීමට සමත්ය.

ඇණවුම් සැපිරීමේ පහසුව සඳහා හෝන්ඩුරාස් මෙක්සිකෝ ආදි රටවලට දැන් අමරිකාවේ ඇඟලුම් ගලාඑයි. එහෙයින් දුරබැහැර රටවලට අපනයන අවස්ථා මඟහැරී යන බවට බියක් පවතී.

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් සියයට 40ක් ඇඟලුම්ය. 2018 අපේ ඇඟලුම් අපනයනය ඇ. ඩොලර් දසලක්ෂ 5317කි. ඇඟලුම් අංශයේ ඍජු රැකියා ලක්ෂ 3ක් ද වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද සහිත නිසා රටේ සංවර්ධනයට මෙන්ම සමාජ සංවර්ධන කාර්යයේදී ද ඇඟලුම් කර්මාන්තය රැකගත යුතුව ඇත. එහෙත් එසේ කළ හැකිවන්නේ සෙසු රටවල් සමඟ ඉදිරියට යමිනි. එම රටවල් කාර්මික විප්ලවයේ හතරවන පියවරේ ගමන් කරනවිට අපට මන්දගාමී විය නොහැක.

තාක්ෂණ විප්ලවය

කාර්මික විප්ලවයේ පළමු පියවර වාෂ්ප බලයයි. දෙවන පියවර තෙල් හා විදුලි බලයයි. තෙවන පියවර, විකල්ප බලශක්තිය සහ පරිගණකයයි. සිව්වන පියවර රොබෝ සහ කෘත්‍රිම බුද්ධියයි. රොබෝ තාක්ෂණය දක්වා ගමන් කළ හැකි අධ්‍යාපන මාර්ගයක් සකස් කරදීම අවශ්‍ය බවද ඇතැම් සාකච්ඡාවන්හිදී කියැවිණි. අපට බොහෝ පසුපසින් සිටි ඉතියෝපියාව රොබෝ තාක්ෂණය කරා මඟ පෙන්වන විද්‍යා, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂයයන්ගෙන් යුතු (STEM) අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් සිටී. ඉතියෝපියාව උප සහරා කලාපය, ආක්‍රමණයට සූදානම් වන්නේ මෑතක සිටය. ශ්‍රී ලංකාවේ රොබෝ තාක්ෂණ හපන්කම් ROBOFETS 2019 තුළින් දැකගැනීමට පිළිවන. අන්තර් ජාතික කම්කරු සංවිධානය සිය WORKING PAPER NO 326 මගින් රෙදිපිළි, ඇඟලුම්, සම්භාණ්ඩ සහ පාවහන් කර්මාන්තයේ අනාගතය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරයි. “තාක්ෂණ විප්ලවය” රැකියා අහිමියට හේතුවන බව එම සමීක්ෂණ වාර්තාවද සඳහන් කරයි.

ඩිජිටල්කරණය පිළිබඳව සමුළුවලදී විවිධ මත පළවේ. ඩිජිටල්කරණය නිසා රාජ්‍ය කටයුතු වඩාත් පහසුවූ බවද, රාජ්‍ය ආයතනයන්ගෙන් බලාපොරොත්තු වූ මහජන සේවාවන් වහා ඉටුකරදීමට රාජ්‍ය අංශයට හැකියාව ලැබුණු බවද ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා දිනමිණට ප්‍රකාශ කරයි.

සිසුන්ගේ සහ ගුරුවරුනගේ ඩිජිටල් සාක්ෂරතාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තොරතුරු සාක්ෂරතාව, රජයේ සේවකයන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය සහ සිසුනගේ තාර්කික විශ්ලේෂණ හැකියාව නැංවීම පිණිස මේ වනවිට වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව ද ලේකම්වරයා කියයි.

ඩිජිටල්කරණය පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීම සඳහා රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ලංකා රාජ්‍ය ජාලය තුළ සිදුකළ වැඩසටහන්වලට අනුව 2018 වසර තුළ රාජ්‍ය ආයතන 860ක් ඩිජිටල්කරණයෙන් සම්බන්ධව තිබේ.

ව්‍යාපාරික සමුළුවලදී ඩිජිටල්කරණය පිළිබඳව අදහස් පළකිරීමේ සාධාරණත්වයක් තිබේ. ඩිජිටල්කරණය තුළින් අඩු පිරිවැයක් තුළින් ගනුදෙනු සිදුකර ගැනීමේ හැකියාවක් ලැබේ. එක කවුළුවකින් සියලු කටයුතු කර ගැනීමේ ක්‍රියාවලිය සහ ඩිජිටල්කරණය අතර ඍජු සබඳතාවක් තිබීමෙන් කාලය ඉතිරිවීමක් මෙන්ම අනවශ්‍ය ලිපි කඩදාසි හුවමාරුවක්ද නවතී.

ඉහත සඳහන් දේ පිළිබඳව කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මගින් උදාහරණයක් සැපයීමට පිළිවන. කොටස් වෙළෙඳ පොළෙන් කොටස් මිලයට ගැන්මක් හෝ විකිණීමක් සිදු කළහොත් එම ගනුදෙනුව පිළිබඳ විස්තර ප්‍රකාශයක් එදිනට සවස්භාගය වනවිට විද්‍යුත් තැපෑලෙන් (ඊමේල් මගින්) ගනුදෙනුකරුවාට ලැබේ. මේ නිසා ලියුම්කවර මුද්දර නාස්තියක් සිදුනොවේ. ප්‍රශ්නය ඇත්තේ රටේ පරිගණක සාක්ෂරතාව අඩු මට්ටමක පැවතීමයි. එය සියයට 27 ක පමණ පහළ මට්ටමක පවති. එහෙයින් ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ පහසුකම් ලබාගැනීමට මහජන උනන්දුවක්ද වර්ධනය විය යුතුය.

අපනයනය සහ ඩිජිටල්කරණය මෙන්ම කෘෂිකර්මාන්තයද වැදගත්ම අංශයකි. කෘෂිකර්මාන්තය අමතක කොට රට සංවර්ධනය කළ හැකිවන්නේ නැත. කොළඹ පැවැති වෘත්තිකයන්ගේ සම්මේලනයට සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කෙළේ ඉදිරි අවුරුදු දහය තුළ කෘෂිකර්මාන්තයේ විශාල පෙරළියක් සිදුවන බවයි.

ඔහු පවසන අන්දමට ලොකුම ප්‍රශ්නය මිනිසාගේ ආහාර රටාව වෙනස්වීමයි. මේ නිසා ලෝක ධාන්‍ය ඉල්ලුම ඉහළ යයි. සත්ත්ව ආහාර සඳහා වන අවශ්‍යතා ඉහළ යෑම නිසාද ධාන්‍ය ඉල්ලුම ඉහළ යයි. අනාගතයේ මේ ගැටලුවට පිළියම් සොයාගත යුතුවේ.

කෘෂිකාර්මික නිෂ්පාදනයන් අතරින් සියයට 20 – 40 අතර ප්‍රමාණයක් පශ්චාත් අස්වනු හානියට පත්ව විනාශ වේ. මේ නිසා නව අන්දමකට කටයුතු කළ යුතුවේ.

අතීතයේ බටහිරට අයත්ව තිබුණු ආර්ථික බලය ක්‍රමයෙන් නැඟෙනහිරට අයත්වෙමින් තිබේ. ඉදිරි වසර 15 – 20 ක කාලය ඇතුළත ඉන්දියාව, චීනය, කොරියාව සහ ඉන්දුනීසියාව බලවත් ආර්ථික ශක්තින් බවට පත්වේ. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයනට ලක්විය යුතුව තිබේ යැයි ද එම සමුළුවේදී කියැවිණි.

විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පාලිත කො‍හන මහතා ප්‍රකාශ කෙළේ අපේ අපනයනයන්ගෙන් සියයට 57ක් බටහිර රටවලට යන අතර සියයට 27ක් එක්සත් ජනපද වෙළෙඳ පොළට පිවිසෙන බවයි. මැදපෙරදිග තවත් වෙළෙඳ පොළක් යැයි කී කොහන මහතා මේ සියලු වෙළෙඳ පොළවල් තුලනය කර ගැනීමට අප පෙලඹිය යුතු යැයිද කීය.

අප්‍රිකාවේ වර්ධනය

අප්‍රිකාව ගැන සඳහන් කළ ඔහු කියා සිටියේ චීන ආයෝජන නිසා අප්‍රිකාව සියයට 6ක ආර්ථික වර්ධනයක් වාර්තා කරන බවයි. අප්‍රිකාව මේ වර්ධනය ලබාගන්නේ වසර 30කට පසුවයි. අපේ විදේශ ප්‍රතිපත්තියේදී ඉන්දියාව අමතක කළ නොහැකි යැයි ද, ඉන්දියානු සාගරයෙන් හිමිව ඇති වාසිය ශ්‍රී ලංකාව විසින් අත්කරගත යුතුව ඇතැයි ද කොහන මහතා තවදුරටත් ප්‍රකාශ කෙළේය.

ඉන්දියාවෙන් පැමිණි නියෝජිතවරියක් වූ දොස්තර වර්ෂා තර්වේදි මහත්මිය පවසා සිටියේ අනාගත ලෝකයේ ආහාර රටාව වෙනස්වන නමුත් සිරුරට අවශ්‍ය පෝෂණය ලබාදෙන ආහාර සඳහා අනාගතයේදී වඩාත් සැලකිලි දැක්විය යුතු බවයි.

එසේ නැත්නම් විකල්ප පෝෂණයන් සඳහා විශාල මුදලක් වැය කිරීමට සාමාන්‍ය ජනතාවට සිදුවනු ඇතැයි ද ඒ මහත්මිය පැවසුවාය. අනාගත ලෝකයේ සිදුවිය හැකි කෘෂිකාර්මික, ආර්ථික හා සාමාජික පෙරළි මේ විද්‍යාර්ථීන් අතින් මනාව ප්‍රකාශව ඇත.

පාලිත කොහන මහතා මේ සමුළුවේදී ප්‍රකාශ කෙළේ මේ කරුණු පිළිබඳව සිතා බලා කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ අනාගත ප්‍රතිපත්ති සකසන්නන්ට බවයි.

මෙවැනි සමුළු ගණනාවක් ඉකුත් සතියේ පැවැත්වුණ අතර ඉදිකිරීම්කරුවන්ගේ වාර්ෂික සමුළුවේදී ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය පිළිබඳවද, වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී වතු වගාවේ අනාගතය පිළිබඳවද කරුණු ඉස්මතු විය.

කොටස් වෙ‍ෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් වූ සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 331 කි. එහෙත් සැප්තැම්බර් 20 වැනි සිකුරාදායින් අවසන් වූ සතියේ දෛනික පිරිවැටුප රුපියල් දසලක්ෂ 1410 කි. වර්ෂයකට පෙර රුපියල් දසලක්ෂ 417 කි.

පසුගිය සතියේ ගනුදෙනු අවසන් වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5771කි. ඊට පෙර සතියේ දර්ශකය 5793 ක්ව තිබූ නිසා ඒකක 22ක අඩුවීමක් දක්නට ලැබුණි.

දේශපාලන උණුසුම මැද කොටස්වෙළෙඳ පොළ සමාන්තර ස්වභාවයක් දක්නට ලැබෙන බවත් එජාප ජනපති අපේක්ෂකයා නම් කිරීම ආයෝජක සිත් තුළට සැනසිල්ලක් ගෙනදුන් බවත් බ්‍රොකර් වාර්තා විශ්ලේෂණ කියයි.

සැප්තැම්බර් 24 – 25 පැවැත්වූ තේ වෙ‍න්දේසියට කිලෝ දසලක්ෂ 6.6 ක් ඉදිරිපත් විය.

අයහපත් කාලගුණය තේ වගාවට අහිතකර අන්දමින් බලපෑම්කර ඇතැයි බ්‍රොකර් වාර්තා කියයි. එසේම කළුතර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිසා තේ නිෂ්පාදනයේ අඩුවක් ඉදිරියේදී ද වාර්තා වනු ඇතැයි තවත් වාර්තාවක් කියයි.

සෑම වගා දිස්ත්‍රික්කයකම සේවක පැමිණීම් අඩුවීම අස්වනු නෙළීමට බාධාව ඇත. රුසියාව සහ ජපානය වෙන්දේසියේදී සක්‍රීය ගැනුම්කරුවෝ වූහ.

මේ අතර ජූලි අපනයනය සියයට 7 ක පසුබෑමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එසේම සීනි මිල ඉහළ ගොස් තිරිඟු මිල පහත වැටුණු බවද එම වාර්තාව කියයි.

 

කරුණාරත්න අමරතුංග

ගින්න හා දුම

$
0
0
ඔක්‌ 1, 2019 01:00

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද විවිධ ය. එය යුද්ධයක් දක්වා පරිවර්තනය කළ හේතු ද විවිධ ය. බහු විධ ය.

ජනපතිවරණයේ උණුසුම ඉහළ යමින් පවතින්නේ ය. එය ම ගින්නකට හේතු විය හැකි ය. ඒ නිසා ගින්න හා දුම ගැන විමසීම කාලෝචිත ය.

ගින්නක් නැතිව දුමක් නොනඟී. මේ අප අසා ඇති, අපට හුරුපුරුදු, පැරැණි කියමනකි. මෙයින් කියවෙන්නේ යම් ඵලයක් ඇති වීමට නම් හේතුවක් තිබිය යුතු බව ය. බුදු දහමේ හේතුඵලවාදයෙන් ද සනාථ කරන්නේ මේ මූලධර්මයම ය.

මේ හේතුඵල සම්බන්ධය අපට වැදගත් වන්නේ පළමුව නරක ඵලයන් ඉවත් කිරීම සඳහා ය. එහෙත් ඵලය පමණක් ඉවත් කර මදි ය. හේතුව තිබෙනතාක් එය නැවත නැවතත් උත්පාදනය වන බැවිනි. ඒ නිසා හේතුව ද මුළිනුපුටා දැමිය යුතු ය. දෙවනුව එය වැදගත් වන්නේ යහපත් ඵලයක් ඇති කිරීමට දායක වන හේතුව දැනගත හැකි නම්, ඒ ඵලය නැවත නැවතත් ලබා ගැනීමට ද ඒ හේතුව ම යොදා ගතහැකි වීම නිසා ය.

ඒ නිසා බොහෝ දෙනකු යමකට හේතුව සොයන්නට උත්සුක වෙති. අප්‍රමාද වෙති.

ගැහැනියක බුදුරුව සහිත සාරිය ඇන්දේ බුදුරුවට නිගරු කිරීම උදෙසා ය. ඒ නිසා ඇය පිරිමියකු වූයේ නම් පොළොවේ ගැසිය යුතු ය. ඒ ද ඵලය හා හේතුව අතර සම්බන්ධය කියවෙන කාරණයකි. ඵලය සාරිය ඇඳීම වන විට හේතුව නිගරු කිරීමේ අදහස ය. මේ බෞද්ධ රටේ බුදුන්ට නිගරු කිරීමට ඉඩ දිය නොහැකි ය. ඒ අනුව තාර්කික උත්තරය සාරිය ඇඳ සිටින තැනැත්තා පිරිමියකු නම් ඔසවා පොළොවේ ගැසීම ය. ගැහැනියක නම් පොලීසියට බාර දීම ය. එතැන සිටි කවරකුටවත්, බාර දුන් පොලීසියටවත්, ඒ ඇරෙන්නට හේතුවක් හොයා ගන්නට බැරි විය.

අප්‍රමාදව හේතුව සොයන්නට යෑමෙන් ඇතිවන ප්‍රතිඵල භයානක විය හැකි ය. වඩා ප්‍රතිඵලදායක විදිහ නම් සංයමයකින් හේතුව සොයා ගැනීමට තත්පර වීම ය. කල් ගැනීම ය.

ඇතැම් තැනක ඵලයක් ඇති වීමට ඇත්තේ එක් හේතුවක් පමණක් නොවේ. හේතු කීපයක්, ඇතැම් විට ගණනාවක් ම, ඒ සඳහා තිබිය හැකි ය.

සාරිය සම්බන්ධයෙන් නම් එහි ඇති රුව බුදුරුවක් බව නොදැනීම ද හේතුවක් විය හැකි ය. අප කලින් ලිපියේ ද ඒ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දේ ලියා ඇති නිසා මේ සංවාදය සඳහා අපි වෙන කරුණක්, එතරම් ම විවාදජනක නොවන කරුණක්, තෝරා ගත්තෙමු. එය අපේ මාතෘකාව සමග ද ගැළපෙන්නේ ය.

කැලෑ ගිනි

ඒ කැලෑ ගිනි ගැනීම ය. කැලෑවක් ගිනි ගැනීමට ද හේතු ගණනාවක් තිබේ. එකක් නම් ලැව් ගිනි ය. ගස් දෙකක් ඇතිල්ලීමෙන් ඇති වන තාපය ගහේ කඳේ අඩංගු ද්‍රව්‍යයේ ජ්වලන (ගිනි ගන්නා) උෂ්ණත්වය ඉක්මවන්නට හේතු වූයේ නම් එතැන පුළිඟුවක් ඇති වන්නේ ය. අවට ගස් වැල් ද වියළි ස්වභාවයක් ගන්නා විට ඒ ගිනි පුළිඟුව පහසුවෙන් ගින්නක් බවට පෙරළෙන්නේ ය. ඇතැම් තැනක කැලෑ ගිනි ගන්නේ වියළි කාලගුණයකදී වදින අකුණක් නිසා ය. වැහි නැති හෙන නිසා ය. ඇතැම් තැනක මිනිසකු බී අවසන් කළ දුම්වැටියක් නිසා ය. තවත් තැනක පහසුවෙන් තම ඉඩමේ වල් පැළැටි ඉවත් කරගන්නට සිතූ මිනිසකු විසින් හිතා මතා ඇති කළ ගින්නක් නිසා ය. තවත් තැනක එය ගස් ටික කපාගන්නට යෙදූ උප්පර වැට්ටියක ප්‍රතිඵලයක් ද විය හැකි ය.

ඒ කුමක් වුව ද මේ සඳහා ප්‍රධාන සංඝටක කීපයක් තිබීම ද අත්‍යවශ්‍ය වෙයි. එකක් නම් ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් පැවතීම ය. කැලෑවක ශාක වියළි ඇති විටක වුවද පෙට්‍රල් තරම් ඉක්මනින් ගිනි ගන්නේ නැත. එහෙත් පෙට්‍රල් ෂෙඩ් ඕසෙට තිබුණ ද පෙට්‍රල් ටැංකි සහිත කාර් තිබුණ ද ඒවා එහෙම ලෙහෙසියකට ගිනිගන්නේ නැත. හේතුව ගින්නක් ඇති කිරීමට අමතර හේතුවක් අවශ්‍ය වීම ය. ඒ ගිනි පුළිඟුව ය. ගිනි පුළිඟුවක් හා ගිනි ගන්නා ද්‍රව්‍යයක් තිබූ පමණින් යමක් ගිනි ගන්නේ නම් දුම් බිබි ළිපකට පිඹින්නට ද ගෘහණියකට සිදු වන්නේ නැත. එසේ අවශ්‍ය වන්නේ ගින්නට අවශ්‍ය තරම් ඔක්සිජන් වායුව ද අවශ්‍ය නිසා ය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ යමක් හට ගැනීමට එක හේතුවක් නොව බොහෝ තන්හි හේතු ගණනාවක් සම්පූර්ණ වීම අවශ්‍ය බව ය.

හදවත්වල ගිනි

බොහෝ දෙනකුට මග හැරෙන්නේ මේ බහුවිධ හේතු තිබිය හැකි ය යන කාරණය ය. එකක් සමග ගනුදෙනු කිරීම පහසු නිසා ඇතැම් විට අප නොදැනුවත්වම එකක් තෝරාගන්නවා විය හැකි ය. ඒ බොහෝ තැනක මතුපිටට පෙනෙන අප දකින පළමු හේතුව ය. ඇතැම් තැනක තමන් ඉන්නා තැන අනුව, තමන් රඟන සමාජ භූමිකාව අනුව, තමන්ගේ පසුබිම අනුව, තමන් නියෝජනය කරන ජන කොට්ඨාසය අනුව, තමන්ගේ දැනුම හා අත්දැකීම් අනුව, තමන්ට වඩාත් පැහැදිලිව දිස්වන හේතුව ය. තවත් තැනක වඩාත් උද්වේගය ඇති කළ හැකි හේතුව ය. තවත් තැනක තමන්ගේ ව්‍යාපාරයට බල ව්‍යපෘතියට වඩාත් වාසිදායක හේතුව ය. තමන්ට වැඩි ලකුණු දාගත හැකි හේතුව ය.

අප කම්පනයට පත් කළ කැලෑ ගිනි දෙකක් ම මෑත කාලයේ අපි අත් දුටුවෙමු. එකක් බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගින්න ය. දෙවැන්න ලංකාවේ පතන කැලෑ ගින්න ය. ඒ අවස්ථා දෙකේ දී ද සිදු වූයේ මෙවැනි එක් හේතුවක් ඉදිරිපත් කරමින් එයම සනාථ කරන තැනකට සමාජයේ මත සකස් කරන්නන් පත්වීම ය. සෙසු බොහෝ දෙනකු කළේ ද නොවිමසාම මේ එක් “කරත්තයකට“ ගොඩ වීම ය.

ගින්දර ඇතිවන්නේ කැලෑවල හෝ ලිප්වල පමණක් නොවේ. ඇතැම් තැනක අපේ හදවත්වල ය. ඇතැම් විට සමාජයේ ජීවත් වන අහිංසක ම මිනිසුන්ගේ ජිවිතවල ය. ඒවා තේරුම් ගැනීම නිකම් ගින්නක් තේරුම් ගැනිමට වඩා අමාරු ය.

මගේ ජීවිත කාලය තුළ එවැනි අතිශය විනාශකාරී වූ ලොකුම ගින්න මා දුටුවේ අසූ තුනේ ජූලි මාසයේ දී ය. එසේ කීමෙන්, ඊට පසු යුද සමයේ දී නැගුණු ගිනිදැල් අඩු තක්සේරු කිරීමක් නොකෙරේ. එහෙත් යුද්ධය වෙනම විමසිය යුත්තකි. එහි වටපිටාව වෙනස් ය. එහි ගතිකයන් වෙනස් ය. එයට ද මේ සිද්ධිය අතිශය තීරණාත්මක බලපෑමක් කළේ ය. එහෙත් මේ ගින්න ඇවිලෙන්නේ යුද බිමේ නොව ඉන් බාහිරව ය. එක තැනක නොව මුළු රටම වෙලා ගනිමින් ය. යුද්ධයේ දී එකක් පසු පස එකක් වැටෙන නගරයන් මෙන් මේ සිද්ධියේ දී නගර ගම් දනව් එකක් පසු පස එකක් එක් වෙමින් මේ ඛේදවාචකය අවසානයේ මුළු රටම අනුක්‍රමයෙන් යටත් කර ගත්තේ ය. වෙන එකක් තබා දැඩිව රැකවල් ලා සිටි වැලිකඩ බන්ධනාගාරයවත් මේ ගින්නෙන් බේරුණේ නැත.

ඉන්පසු ව ද වරින් වර සමාන ගිනි ඇති වුණේ වුව ඒතරම් ම පැතිරීමක් නැතිවම ඒවා සමහන් වනු මම දුටුවෙමි. එහෙත් කවර මට්ටමෙන් හෝ එවන් ගිනි නැවත නැවතත් ඇති වීම පිටුපස තිබුණේ අපට අසූතුනේ ජූලි මාසයේ ඇති වූ ගින්න තේරුම් ගැනීමට තිබූ නොහැකියාව ය. යුද්ධය ද එහිම ප්‍රතිඵලයකි. ඒ නිසා ම ඒ දෙස නැවතත් බැලිය යුතු ය.

ආරම්භය සොල්දාදුවන් දහතුන් දෙනකුට මරු කැඳවමින් බෝම්බයක් පුපුරා යෑම ය. එය මේ ගිනි දැල් ඇවිල වූ ගිනි පුළිඟුව ය.

ගිනි ගන්නා සුළු ද්‍රව්‍යය තිබුණේ නම් සිදු විය හැකිව තිබුණේ ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීම ය. එසේ නම් ගිනි පුළිඟුව එහෙමට ගින්නක් ඇති නොකර නිවී යන්නේ ය. එහෙත් ඒ වනවිටත් ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයයන් ද තිබුණේ ය. ඒ නිසා ගින්න ඇවිලී ගියේ ය. අප සොයා යා යුත්තේ අන්න ඒ ද්‍රව්‍යයන් ගැන ය. ගිනි පුළිඟු ඇති වීම වළක්වාලිය නොහැකි ය. එහෙත් අප විමසිල්ලෙන් සිටිතොත් එයින් ගින්නක් ඇවිලී යෑම අපට නවත්වා ගත හැකි ය. ඒ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයන් ඈත් කර තැබීමෙනි.

ගින්න ඇවිල යෑමේ හේතු

සමහරු කියන්නේ අසූ තුනේ කළු ජූලිය සොල්දාදුවන් දහතුන් දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වූ සාධාරණ කෝපයේ ස්වභාවික ප්‍රතිඵලයක් බව ය. ඉවසා ඉවසා බැරි ම තැන පහර දීමට තීන්දු කළ සිංහලයාගේ කෝපය උතුරා ගිය අවස්ථාවක් ලෙස ය. වෙන එකක් තබා එවකට රාජ්‍ය පාලනය කළ ජේ ආර් ජයවර්ධන ද මේ ඉවසා බැරිව කළ වැඩක් බව කල් පසු වී ජාතිය අමතා කළ තම කතාවට ද ඇතුළත් කිරීමට වග බලා ගත්තේ ය.

ඇතැම්හු කීවේ මෙය ආණ්ඩුව විසින් සැලසුම් සහගත ලෙස මෙහෙයවන ලද්දක් බව ය. ගෘහමූලික ලයිස්තු සහිත ව තෝරමින් පහර දෙන විලාසයක් පහර දුන් අය විසින් ප්‍රදර්ශනය කළ බව ය. ආයුධ අතට ගැනීම ගැන ආණ්ඩුවේ පිළිතුර ඒ තුළ මොනවට කියන ලද බව ය.

සමහරු කීවේ මෙය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ නිරුවත් ප්‍රකාශනයක් වූ බව ය. සිංහල බෞද්ධ මනසේ ජාගරත්වය ලොවට දැක බලා ගත හැකි ලෙස ප්‍රදර්ශනය කරන ලද අවස්ථාවක් හැටියට ය. පහර දීමට කෙලින්ම සම්බන්ධ නොවූ සිංහල බෞද්ධ සැලකිය යුතු පිරිසක් ද නිශ්ශබ්දතාවයෙන් ද ඇතැම්හු වචනයෙන් ද මෙය අනුමත කළ බව ය. ඒ පිළිබඳව සතුටු වූ බව ය. යාපනය පුස්තකාලයට ගිනි තැබබීමෙන් සතුටට පත් වූයේ යම් සේ ද මේ හිංසනයෙන් ද ඔවුන් සතුටට පත් වී සිටි බව ය. මා දන්නා කියන දැන උගත් මිනිසුන් අතර ද හොඳ වැඩේ, ඔහොම කරල මදි උන්ට අමතක නොවන පාඩමක් උගන්නන්න ඕන යාපනේට ම පන්නල දාන්න ඕනෑ යයි කියූ මිනිසුන් ද සිටි බව මට ද මතක ය.

තවත් අය කීවේ මේ පිටුපස සිටියේ කොල්ල කෑමේ අභිලාශයෙන් පෙළුණු මැරයන් බව ය. රස්තියාදුකාරයන් බව ය. කඩ සාප්පු කොල්ල කෑමට ඉදිරිපත් වීමෙන් ඔවුන් සිය අභිලාශය මොනවට ප්‍රදර්ශනය කළ බව ය. දෙමළ මිනිසුන් සොයමින් ඔවුන්ට හිංසා කරන අතරේ, ඔවුන්ගේ දේපළ ගිනිබත් කරන අතරේ, කොල්ල කෑම ද හරි හරියට කෙරුණේ ය.

නිවාසවලට ද වඩා වැඩියෙන් ප්‍රහාරයන් එල්ල වූයේ ව්‍යාපාරික ස්ථාන වෙත ය. ඒ නිසා ම ඇතැම් අය කීවේ මේ පිටුපස සිටියේ තරගකාරී ව්‍යාපාරිකයන් බව ය. වෙළෙඳ පොළේ දී පරාජය කළ නොහැකි ප්‍රතිවාදීන් පරාජය කිරීමට මතු වූ තත්වය පාවිච්චි කළ ව්‍යාපාරිකයන් බව ය. ඉටු කර ගත්තේ ව්‍යාපාරික වුවමනාවන් බව ය. කොල්ල කෑමට සීමා නොවී අඟුරු අළු පමණක් ඉතිරිවන ලෙස පුච්චා දමන ලද්දේ ඒ නිසා බව ය.

මේ සිද්ධි නිසා අගතියට පත් තමන් දන්නා අඳුනන අය පමණක් නොව නොදන්නා අය පවා බේරා ගැනීමට, සිය දිවි නොතකා කටයුතු කළ මිනිසුන් ද දකුණේ සිටි බව කිව යුතු ය. එහෙත් එය අතලොස්සක් වූ අතර ඇති වූ ගින්න මැඩ පැවැත්වීමේහි ලා ප්‍රමාණවත් සාධකයක් ලෙස ක්‍රියාත්මක නොවී ය. එයට එක් හේතුවක් වූයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටි බල ඇණි ද එක්කෝ මේ මෘගත්වයට එක් වී හෝ ඊට අනුබල දෙමින් සිටින අතරතුර, එසේ නොවූ තැනක, අහක බලාගෙන සිටීමට තරම් අකාරුණික වූ නිසා ය. එයින් ද පෙනී ගියේ අප රටේ පැසවමින් පවතින අමනුස්සකමක් තිබෙන බව ය. අන්‍යයන් නුරුස්සන, තමන්ගේ නොවන අය, පරයන්, නොමිනිසුන් ලෙස සලකන, මානසිකත්වයකින් බහුතරය පෙළෙන බව ය.

එය සිංහල ද දෙමළ ද යන භේදයක් නැතිව ම ක්‍රියාත්මක වන බව පෙනුණේ එල්ටීටීය විසින් ඊට පසු ව එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයන් නිසා ය. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කිසිදු සම්බන්ධයක් නැති අහිංසක නිරායුධ මිනිසුන් මරා දැමීමට ඉදිරිපත් වූ නිසා ය. අනතුරුව ඇරඹි යුද සමයේ දෙපාර්ශවයම විසින් ඇහැට ඇහැක් ඉල්ලා සිටිනු ලැබුවේ ය. ඒ ඇවිළුණු ගින්න ඉතිරි කළ ගිනි පුළිඟු මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරි විය. උතුරේ යුද බිමේත් දකුණේ සාම බිමේත් වරින් වර ඒවා නැවත නැවතත් ඇවිල ගියේ ය.

අවසන් ප්‍රතිඵල ලේඛනය

අසූ තුනේ කළු ජූලිය එල්ටීටීයට අවශ්‍ය යුද භටයන් ද තනා දුන්නේ ය. සිංහල දකුණට එරෙහිව මෘගත්වය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෛරී මනස සපයා දුන්නේ ය. එපමණක් නොවේ. එල්ටීටීයට අවශ්‍ය අරමුදල් සපයා දිය හැකි ඩයස්පෝරාවක් ද එය හදා දුන්නේ ය. යුද්ධය වැඩුණේ ද කළු ජූලියේ හෙවනැල්ල යට ය. එහි ආශිර්වාදය ලබමින් ය. ඒ නිසා ම සමහරුන් එය දැක්කේ එල්ටීටීය විසින් සියල්ල හිතාමතා සැලසුම් කර දියත් කරන්නට ඇති බව ය. තමන්ට අවශ්‍ය යුද භටයන් සපයා ගැනීමට ද, අවශ්‍ය අරමුදල් ලබා ගැනීම උදෙසා ඩයස්පෝරාවක් බිහිකිරීමට ද, ප්‍රභාකරන් ඇටවූ සැලසුමක ප්‍රතිඵලය බව ය. එයට දකුණේ සිංහල බෞද්ධයින් මෝඩ ලෙස අසු වූ බව ය.

තවත් සමහරු කීවේ මේ බෝම්බ පිපිරවීම ඉන්දියන් රෝ ඔත්තු සේවය විසින් ලංකාවේ කටයුතුවලට ඉන්දියාවට මැදිහත් වීමට මගක් පාදා ගනු සඳහා ප්‍රභාකරන් ඉත්තකු ලෙස ගෙන සැලසුම් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යාසනයක් ඇති වනු ඇතැයි ඔවුන් කල් තබා නිගමනය කරන්නට ඇති බව ය. 1978 දී හා 1981 දී ඇති වූ ජාතිවාදී හිංසනයන් සැලකිල්ලට ගනිමින් ඔවුන් ඒ තීරණයට එන්නට ඇති බව ය. ඒ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවට පස්ස පෙන්නා, බටහිර දෙසට හැරී තිබීම නිසා, ඉන්දියාව අපේ ආණ්ඩුව සම්බන්ධයෙන් උරණව සිටීම, මෙවැනි මැදිහත් වීමට අවස්ථාවක් පාදා ගැනීම සඳහා ඔවුන්ව පොළඹවන්නට ඇති බව ය.

තවත් සමහරු කීවේ මතුවෙමින් පැවතුණ හිංසනය හේතුවෙන් ආයුධ වෙළෙන්දන් මේ රට ආයුධ විකිණිය හැකි මට්ටමේ යුද්ධයක් ඇති කිරීම කරා තල්ලු කර දැමීමට ඇති ශාක්‍යතාවය දැන හැඳින එය ඉක්මන් කරනු සඳහා කරන ලද මැදිහත් වීමක් ලෙස ය.

තවත් කෙනකු කීවේ රටේ ඌන ආර්ථික සංවර්ධනයක් පැවතීම මේ සියල්ල පිටුපස තිබෙන බව ය. ඒ ආර්ථිකය විසින් ප්‍රමාණවත් තරමේ අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා හෝ ව්‍යාපාරික අවස්ථා ඇතිකර තිබුණේ නැත. ඒ මගින් ඇති කර තිබූ තරුණ අසහනය අවස්ථාවාදී බල ලෝභී දේශපාලකයන් විසින් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කළ බව ය. ඒ උදෙසා එකිනෙකාට විරුද්ධව විවිධ වාර්ගිකයන් උසි ගැන්වීමේ එක් ප්‍රතිඵලයක් ලෙස ඔවුහු මේ කලකෝලාහල අර්ථ දැක්වූහ.

සිද්ධියක් ඇති කිරීමට හේතු සාධක එක පැත්තක ය. ඒ සිද්ධිය වූ පසු එයින් ඵල ප්‍රයෝජන ලබන්නට එන අයගේ මැදිහත් විම් තව පැත්තක ය. මේවා වෙන් කර ගැනීමට නොහැකි ලෙස එකට මිශ්‍ර වීම නිසා මුල් හේතු සොයන්නා අතරමං වන්නේ ය. එකක් නම් පැහැදිලි ය. මේ සිද්ධිය ඇති කළ හේතු විවිධ ය. එය පැතිර ගිය හේතු ද විවිධ ය. එය යුද්ධයක් දක්වා පරිවර්තනය කළ හේතු ද විවිධ ය. බහු විධ ය.

එහෙත් බොහෝ දෙනකු කැමති තමන්ගේ මතය සනාථ කරන හේතු මේ තුළින් දකින්නට ය. අනිත් සියල්ල අමතක කර දැමීමට ය. සමස්ත පින්තූරය, එහි සියළු පැතිකඩත් සමග, අනාවරණය කර ගැනීමට වෙහෙසීම වෙනුවට, ඔවුන් කරන්නේ තම මතයට අදාළ හේතු කාරණා ඉදිරිපත් කරමින්, ඒ තුළ ගැඹුරට යෑමට ය. ගැඹුරට දිගින් දිගට යන විට සිදු වන්නේ පළල තවදුරටත් අඩුවෙන් පෙනීම ය. සෙසු කරුණු නොපෙනී යෑම ය. අතුරු කාරණා මග හැරීම ය.

දුමට හේතුව ගින්නක් බවට විවාදයක් නැත. එහෙත් අපහසු ගින්න ඇති වී එය පැතිර ගියේ කෙසේ දැයි පිළිබඳ එකඟත්වයකට පැමිණීම ය. ඒ අපට, අප සිටින තැනින් මඳකට ඉවත් වී, ඒ ප්‍රශ්නය දෙස බැලීමට නොහැකි නිසා ය. ඒ නිසා ම අපට සිදු ව ඇත්තේ වැරදි ප්‍රතිකාර කරමින් තුවාලය පවත්වාගෙන යෑමට ය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් වැඩක් වන්නේ නැත. එහෙත් අතිමහත් භක්තියෙන් අපි එසේ කරගෙන යන්නෙමු.

නිශාන්ත කමලදාස

පාඩම් වැඩ කිරීමට සුදුසු ම තැන

$
0
0
ඔක්‌ 1, 2019 01:00

පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව සූදානම් වීම වැදගත් ය. එනිසා විභාගයට සූදානම් වීම සහ පාඩම් කිරීම පුරුද්දක් බවට පත්කර ගැනීම අපේක්ෂකයකුට අත්‍යවශ්‍ය කාරණයකි. විභාගයට සූදානම් වීමේ පිළිවෙළ යහපත් ආකල්ප හා ක්‍රියාමර්ග ඇති කර ගැනීම මඟින් පහසුවෙන් විභාගයට මුහුණ දීමට සහ හොඳ විභාග ජයග්‍රහණ ලැබ ගැනීමට ද හැකියාව ලැබේ.

විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම තමන්ට පාඩම් කිරීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව හැඟීමක්, අදහසක් ඇත. ඒ ස්ථානය ඒ ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවට ම පෞද්ගලික වූවකි. ඇතැම් විට එය තම කාමරය තුළ ම සකස් කර ගත් ස්ථානයකි.

එසේ නො වේ නම් නිවසේ වෙනත් ස්ථානයක සකස් කර ගත් ස්ථානයකි. තවද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුස්තකාලයක හෝ වෙනත් ස්ථානයක් කණ්ඩායම් සාකච්ඡා ලෙස කිරීමට යොදා ගත හැකි ය. ඒ කෙසේ වෙතත් තමන් ඉගෙනුම් කටයුතු කරන ස්ථානය නිස්කලංක (quiet), පහසුකම් සහිත(comfortable) සහ අවධානය නොබිඳින ස්ථානයක් (distraction free) වීම අවශ්‍ය ය. එම ස්ථානය තමාට ප්‍රිය ජනක විය යුතු ය. තමා රැඳී සිටීමට කැමති ස්ථානයක් විය යුතුය. කැමති, ප්‍රියජනක ස්ථානයක් ලෙස සකසා ගැනීමට කැපවීම තිබිය යුතුය.

එම ස්ථානයේ තමන් ප්‍රිය කරන චිත්‍රයක් හෝ තම අනාගතය, අනාගත අපේක්ෂාව කියවෙන වැකි කඩක් පැහැදිලිව, පිරිසිදුව, ක්‍රමවත්ව ලස්සනට පෙනෙන්නට තබා ගැනීම ද වැදගත් වෙයි. නමුත් බිත්ති පුරා බොහෝ චිත්‍ර, රූප, ඡායා රූප වැනි දේ අපිළිවෙළකට තැබීම නුසුදුසු ය. එසේ ම පොත පත පාඩම් කරන මේසය නොයෙකුත් පොත් පත් අවුල් සහගත ලෙස තබා තිබීම ද මනසට පීඩාවකි. අත්‍යවශ්‍ය ම පොත්පත් හා ලියකියවිලි, පෑන් පැන්සල් ආදිය පමණක් තමන් සමීපයේ තබා ගැනීම සුදුසු ය.

එසේ ම තම පෞද්ගලික පුස්තකාලයේ පොත්පත් හැමවිට ම පිළිවෙළකට තැබීම ද වැදගත් ය. පාඩම් කරන අතරතුර යම් පොතක් හදිසියේ සොයා ගැනීමට අවශ්‍ය වුවොත් එවිට පහසු වේ. තමන් පාඩම් කරන ස්ථානයට එන විට ම තමන්ගේ සිතට ප්‍රසන්න බවක් ඇති විය යුතු ය. අප්‍රසන්න දේ එම ස්ථානයෙන් ඉවත් කර තැබිය යුතු ය.

වඩා සුදුසු ස්ථානයක අධ්‍යාපන කටයුතු කිරීම මඟින් ඵලදායිතාව වැඩි කර ගැනීමට පුළුවන. එම ස්ථානය තුළ සිටින විට, පාඩම් කරන විට, තම අවධානය බිඳෙන සුලු, වෙනතක යොමු වන සුලු තත්ත්වයක් වේ නම් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව එහි ගත කරන කාලය තුළ සාපේක්ෂ අධ්‍යයන කටයුතු අසාර්ථක වීමට බැරි නැත. එනම් විටින් විට අවධානය වෙනත් බාහිර දේකට යොමු වේ නම් ඒ කාලය අපතේ ගියා වෙයි. එවිට ඒ නාස්ති වූ කාලය ළමයාට පාඩුවකි. පාඩමේ ඵලදායිතාව අඩු වේ. තවද එක් ළමයකු පාඩම් කිරීම සඳහා උචිත යැයි තෝරා ගන්නා ස්ථානය තවත් ළමයකුට එසේ නොවීමට පුළුවන.

එක් අයකු කැමති, ඔහුට ගැළපෙන තැන තවත් අයකුට අකමැති නො ගැළපෙන තැනක් වීමට පුළුවන. උදා : ලෙස එක් ළමයකු දැඩි නිශ්ශබ්ද, පෞද්ගලික නිස්කලංක පරිසරයක් තමාට ගැළපෙන ස්ථානය ලෙස සැලකිය හැකිය. තවත් ළමයකුට එවැනි ස්ථාන අල්ලන්නේ ම නැත. එබැවින් ඒ ඒ ළමයාට ප්‍රියජනක, කැමති, ගැළපෙන ස්ථානය තෝරා ගැනීමටත්, සොයා ගැනීමටත් ඔවුන්ට මග පෙන්විය යුතු වේ. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුතු වැදගත් දෙය නම් තෝරා ගත් පරිසරය තම ඉගෙනීමට, පාඩම් කිරීමට. අභ්‍යාසවලට පිළිතුරු ලිවීමට, මෙහි දී තමන් භාවිත කරන ක්‍රමවේදයට, තම මතක ශක්තියට, සේ ම තමාගේ අවධානයට බාධා නොවන පරිසරයක් විය යුතු බව ය.

දැනට හඳුනා ගෙන තිබෙන ආකාරයට නිස්කලංක, නිහඬ වූ බොහෝ ශබ්දවලින් තොර ස්ථානයක් සුදුසු ම ස්ථානයක් යැයි කිව හැකි නොවේ. ඇතැම් පුද්ගලයන් එසේ නො වන ස්ථානවල, එසේ නො වන පරිසර තුළ ඉතා හොඳින් පාඩම් කර, ඉගෙන ගෙන, විභාග ද සමත් කර ගන්නා බව දක්නට ලැබීම ඊට හේතුවයි. උදා : ලෙස මහජනයා නිතර ගැවසෙන, යන එන පොදු පුස්තකාලවල ඇතැම් අය ඒවා ගණන් නො ගෙන පාඩම් කරති. පොත් පත් කියවති. එවැනි පොදු ස්ථානයක ඇති බාධක එමට ය. විවිධ කතාබහ, ශබ්ද, දර්ශන ඒ අතර කිහිපයකි.

නමුත් ඇතැම් අයට එවැනි ස්ථාන අපහසු නො ගැළපෙන බව අපි දනිමු. එවැනි තවත් ස්ථාන නම් විශේෂයෙන් ම උසස් පෙළ හා උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් කණ්ඩායම් වශයෙන් එකතු වී කුලී නිවසක් හෝ කාමරයක් කුලියට ගෙන "චමරි". ලෙස හැඳින්වෙන ක්‍රමයට සාමූහිකව කරන අධ්‍යයන කටයුතුයි. එක් විෂයයකට හෝ විෂයය කොටසකට වඩාත් දක්ෂයකු අනෙක් අයට පහදා, කියා දෙමින් ද, ප්‍රශ්න විමසමින්, පිළිතුරු දෙමින්, සාකච්ඡා කරමින් පොදුවේ ඔවුන් තම ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගන්නා අවස්ථා ද තිබේ. යමක් නො දන්නා අයකුට කියා දීම තුළින් ද ඒ කියා දෙන තැනැත්තාට ඉගෙනීමක්, මතකයක් ලැබෙන බව කලින් ද පැහැදිළි කර ඇත.

අනෙක සාමූහික කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන විට, එම කණ්ඩායමට හානි කර එනම් ඉගෙනීමට බාධා, අකුල් හෙලන සාමාජිකයෙකු නො වේ නම් එහි ඇති මිත්‍රශීලී තරඟකාරීත්වය තුළ පොදුවේ කාටත් විභාග ජය ගැනීමේ හැකියාව වැඩි විය හැකිය.

ඊළඟට තවත් වැදගත් කාරණයක් නම් කෙනකුගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ තැනැත්තාගේ දිනචරියාව (routine) බලපාන බව සැලකිය යුතු වීමයි. දවසේ එක වේලාවක දී එක ම ස්ථානයක් ඒ සඳහා යොදා ගැනීම වැදගත් වේ. තමාගේ කැමැත්ත හා ගැළපෙන පරිදි උචිත ස්ථානය, සුදුසු පරිසරය වෙනස් කර ගත හැකිය. නමුත් දෛනික කාල සටහනක් තුළ නිශ්චිත කාලයක්, නිශ්චිත ස්ථානයකට වී පාඩම් කිරීම වඩාත් ඵලදායී වේ. උදාහරණ හැටියට උදේ කාලයේ පුස්තකාලයේ, සවස තම නිවසේ ආදී වශයෙනි. සෑම සති අන්තයකම සෙනසුරාදා පුස්තකාලයේ සවස නිවසේ විය හැකිය.

ඉරිදා උදේ නිවසේ සවස පුස්තකාලයේ වුව ද පුරුද්දක් වශයෙන් කළ හැකිය. පාසල් ළමයින් නම් උදේ වරුවත් ඇතැම් විට සවස් වරුවෙනුත් අඩක් පාසලට හා මහ මගට යෙදවීමට සිදුවේ. සවස පැය කිහිපයක් හෝ කෙටි කාලයක් නිවසේ පාඩම් කළ හැකිය. එසේ ම රාත්‍රියට නිවසේ සුපුරුදු අධ්‍යයන කාමරයේ ද දහවලට ගෙවත්තේ ගසක් යට, සිසිල් සෙවනක පාඩම් කිරීම පුරුද්දක් කර ගත ගැකිය. එවිට ඒකාකාරී බවෙන් ද මිදී පාඩම් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා ගත හැකි වනු ඇත. කුඩා අවධියේ සිට ම යම් නිශ්චිත ස්ථානයකට වී පාඩම් වැඩ කිරීමට පුරුදු වී සිටී නම් ඒ පුරුද්ද අත් නො හැර දිගට ම කිරීම වඩා හොඳ ය.

එසේ ම පාඩම් වැඩ කිරීමට පුරුද්දක් ඇති කර ගෙන නැති අයකු නම් එය වහා වෙනස් කර ඒ පුරුද්ද ඇති කර ගත යුතු වේ. ඇතැම් අය රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැය ගෙවී යන තුරුත් පාඩම් වැඩ කරන්නට හුරු පුරුදු වී ඒ අනුව තම දෛනික චර්යව පවත්වා ගනිති. එසේ ම තවත් සමහරු රාත්‍රී අට, නමය වන විට නින්දට ගොස් ඒ වෙනුවට අලුයම් වේලාව ඒ සඳහා යොදා ගනිති. එසේ පුරුදු වී සිටින අය ඒ පුරුදු අනුව වැඩ කිරීම සුදුසු ය.

ඇතැම් අය ඇතැම් අවස්ථාවල තමන් ඉගෙන ගැනීමට කැමති ස්ථාන අනුමත කළ නො හැකිය. උදා : ලෙස රූපවාහිනිය ඉදිරියට වී හෝ ඒ අසල තැනකට වී එය හරියට කළ නොහැකි ය. එවැනි අවස්ථාවල රූපවාහිනියේ දැක්වෙන දේවල් කෙරෙහි අවධානය යොමු වන අතර පාඩම කෙරෙහි අවධානය බිඳී ගිලිහී යනු ඇත. එබැවින් අධ්‍යයන ක්‍රම චර්යාවක් (study routine) හඳුනා ගැනීම හා එය අනුගමනය කිරීම යෙහෙකි. අධ්‍යයනය ජීවිතේ පුරුද්දක් කර ගත යුතු ය. හුරුවන තුරු මුල් අවස්ථාවේ එය තරමක් දුෂ්කර වුවත් කල් යාමේ දී එය සාමාන්‍ය දෙයක් වේ. කෙසේ නමුත් කෙනෙකුට සුව පහසු ලෙස තම අධ්‍යයන කටයුතු (comfortably) කර ගැනීමට සුදුසු ස්ථානයක් සකස් කිරීම අවශ්‍ය වේ.

එසේ නො වූ විට නොයෙකුත් කායික අපහසුතා ද ඒ අනුව මානසික අපහසුතා ද ඇති වේ. විශේෂයෙන් ම කොන්දේ කැක්කුම, අතේ මැණික්කටුව ප්‍රදේශයේ වේදනාව ඇති වීමට පුළුවන. එසේ ම සුළු කායික අපහසුතා කාලයක් යන විට අසහනකාරී රෝග තත්ත්ව බවට හේතු වේ. එසේ ම පාඩම් කරන, පොත් කියවන, අධ්‍යයන කටයුතු කරන ස්ථානයට හොඳ ආලෝකයක් ලැබීම අත්‍යවශ්‍ය ය. පොත්පත්, පෑන් පැන්සල් වැනි අත්‍යවශ්‍ය ම දේ තමාට වහා ලබා ගත හැකි පරිදි සමීපයේ පිළිවෙළකට තබා ගැනීම ද වැදගත් වේ.

කරුණාතිලක හඳුන්පතිරණ


සෞන්දර්ය එක්ක ජීවත් වුණොත් හොඳ දරුවෙක් බිහිවෙයි

$
0
0
ඔක්‌ 1, 2019 01:00

සුධීර නිලංග විතාන

23 වැනි වතාවටත් පැවැත්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සුධීර නිලංග විතාන සමඟ කළ සාකච්ඡාවකි.

* අවසාන වටයේ නාට්‍ය ප්‍රදර්ශනය අවසන්. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ මීළඟ පියවර?

ඉදිරිපත් වුණු නාට්‍ය පිටපත් 184කින් අවසන් වටයට සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන් ම නාට්‍ය 28ක් තෝරාගෙන තිබුණේ දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය වන පරිදි. පළමු වටය ලෙස පිටපත් සමීක්ෂණයත් දෙවැනි වටය ලෙස නිෂ්පාදනය කළ පිටපත් විනිශ්චය මණ්ඩලයට යොමු කිරීමත් සිදු කෙරුණු අතර අවසන් අදියර ලෙස සිදු කෙරුණේ තෝරාගත් නාට්‍ය 28 දිනකට නාට්‍ය 03 බැගින් පසුගිය 20 වැනි දා සිට 28 වැනි දා දක්වා සවස 5.00 සිට මරදාන ටවර් රඟහලේ දී ප්‍රදර්ශනය කිරීම යි. මීළඟට මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය එළැඹෙන ඔක්තෝම්බර් මස 18 වන දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේදී සිදු කිරීමට කටයුතු සූදානම් කෙරෙනවා.

* මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ විශේෂත්වය කුමක්ද?

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ සීමිත සහ විවෘත යන අංශ දෙකක් යටතේ. සීමිත අංශය නියෝජනය කරන්නේ පාසල්. පාසල් නියෝජනය කරමින් බොහෝමයක් නාට්‍ය මෙවර ඉදිරිපත් වෙලා තිබුණා. විශේෂයෙන් කොළඹ කේන්ද්‍ර කරගත් පාසල්වලට අමතර ව අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව වැනි ඉතා දුරබැහැර ප්‍රදේශවල පාසල් පවා මේ සඳහා සහභාගි වුණා. මෙවර ඒ උද්යෝගය විශේෂයෙන් දකින්න ලැබුණා. ඒ වගේ ම උළෙල පුරාවට ම සම්බන්ධ වුණු ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස වුණේ මෙවර නාට්‍ය උළෙලේදී ඉතාමත් ගුණාත්මක නාට්‍ය නැරඹීමේ හැකියාව ලැබුණු බව යි.

* සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමඟ මේ කටයුත්තෙදි අත්වැල් බැඳ සිටින අනෙක් පාර්ශ්ව මතක් කළොත්?

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ඇමතිතුමා සහ ලේකම්තුමා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු විධායක සභාව, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වෙලා තමයි රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සංවිධානය කරන්නේ. ඒ අනුව පසුගිය අවුරුදු දේකේදී ම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සීමිත සහ විවෘත දෙඅංශයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ජයග්‍රහණය කළ නාට්‍ය 06 නාට්‍ය උළෙලක් ලෙස ප්‍රදර්ශනය කිරීම ප්‍රාදේශීය ව සංවිධානය කිරීමත් ඒ සියලු ආයතනවල සහයෝගයෙන් සිදු කෙරුණා. කොළඹට සීමා වුණු ළමා නාට්‍ය ගමට ගෙනිහින්, ගම්වල ඉන්න දරුවන්ට සහ ගුරුවරුන්ටත් රසවිඳින්න අවස්ථාව උදා කර දුන්නා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මතක් කළ යුතුයි මහාචාර්ය ෆැට්‍රික් රත්නායක ප්‍රධාන රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සියලු ම සාමාජිකයින් මේ සඳහා සම්බන්ධ වෙලා වැඩමුළු මාලාවක් පැවැත්වූ බව. ඒ සියල්ලේ ම ප්‍රතිඵල තමයි මෙවර නාට්‍ය උළෙලට සහභාගී වූ නාට්‍යවල ගුණාත්මක භාවය තුළින් දකින්නට ලැබෙන්නේ.

* මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ජයග්‍රාහී නාට්‍ය ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවාද? එසේ නම් එය කොයි ආකාරයෙන්ද සකස් වෙන්නේ?

සංස්කෘතික නිලධාරීන් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331හි ම සේවය කරනවා. ඒ වගේ ම හැම දිස්ත්‍රික්කයකට ම සංස්කෘතික නිලධාරියෙක් ඉන්නවා. මේ නිලධාරීන් තමයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ව සංවිධානය කරන වැඩසටහන්වලදී ශක්තියක් බවට පත්වෙන්නෙ. ඔවුන් හරහා මෙවරත් පසුගිය වසරවල නාට්‍ය ප්‍රදර්ශයන් සංවිධානය නොකෙරුණු ප්‍රදේශවල නාට්‍ය උළෙලවල් සංවිධානය කරන්න සූදානමින් ඉන්නවා. පසුගිය වසර කිහිපය තුළ දිස්ත්‍රික්ක 25 තුළ ම එවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ හැකියාවක් පැවතියේ නෑ.

ඒ නිසා ම මෙවර විශේෂයෙන් ළමා නාට්‍ය උළෙලට අමතරව, රාජ්‍ය නාට්‍ය උළලේ ජයග්‍රාහී නාට්‍යත් දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇති ව ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රදර්ශන වාර සංවිධානය කර තිබෙනවා. එම නාට්‍ය ප්‍රදර්ශනයන් පැවැත්වෙන්නේ සවස් කාලයේ. ඊට සමගාමීව එම දිනවල උදෑසන කාලයේ නාට්‍යකරුවන් සමඟ වැඩමුළු සංවිධානය කිරීමක් ද සිදු කරනවා. මේ වැඩසටහන් දියත් වන්නේ විශාල දැනුම් සහ අත්දැකීම් හුවමාරුවක් එක්ක. ඒ කාරණාවල ප්‍රතිඵල තමයි අපිට දැන් දකින්න ලැබෙන්නෙ. පහුගිය අවුරුදුවලදී විශේෂයෙන් නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරු බොහෝමයක් මේ වැඩමුළුවලට සම්බන්ධ වුණා. ඒ සමඟ නාට්‍ය කලාවේ සැලකිය යුතු මට්ටමේ සංවර්ධනයක් වුණා කියලා අපි විශ්වාස කරනවා. මේ අවුරුද්දෙ ඒ වැඩපිළිවෙළ පෙරටත් වඩා හොඳින් තව දුරටත් පුළුල් කර දියත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

*මෙරට ළමා නාට්‍ය කලාව පවතින ස්ථානය පිළිබඳව සෑහීමකට පත්විය හැකි ද?

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ජයග්‍රහණ අත්කරගත් ඇතැම් නාට්‍යයන් විදේශ නාට්‍ය උළෙලවල් පවා නියෝජනය කළා. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතැම් නාට්‍යවලට ඒ සඳහා අනුග්‍රාහකත්වය දුන්නා වගේ ම තවත් සමහර නාට්‍ය පෞද්ගලික මට්ටමෙන් විදේශ නාට්‍ය විදේශ නාට්‍ය උළෙලවල් නියෝජනය කළා. ඒ අවස්ථාවලදී විදෙස් නාට්‍යකරුවන්ගේ පවා අදහස වුණේ අපේ නාට්‍ය ඉතාමත් හොඳ මට්ටමක තියෙන බව යි. එයින් අදහස් වන්නේ ජාත්‍යන්තරය හා තරගකාරී මට්ටමක තැබිය හැකි තරම් යහපත් මට්ටමින් අපේ නාට්‍යවල ගුණාත්මක භාවය වර්ධනය වෙලා තියෙනවා කියන කාරණාව යි.

විශේෂයෙන් ම ජාත්‍යන්තර අත්දැකීම් ලැබූ නාට්‍යකරුවන් බොහෝමයක් මේ නාට්‍ය කලාව හා සම්බන්ධ වෙලා ඉන්නවා වගේ ම වත්මන් තාක්ෂණික දියුණුවත් සමඟ ඔවුන් විවිධ අධ්‍යයන ද සිදු කරනවා. ඒ කාරණා එක්ක ජාත්‍යන්තර මට්ටමට ම සම කළ හැකි නාට්‍ය නිර්මාණයන් මේ වනවිට අපේ ළමා නාට්‍ය කලාව තුළ බිහිවෙනවා. එය අපට විශාල ආඩම්බරයක්. පෙරට වඩා වැඩි පහසුකම් සහ අවස්ථාවන් හිමිවීමත් සමඟ ම නාට්‍ය කලාවේ දකින්න ලැබෙන්නේ සැලකිය යුතු මට්ටමේ අභිවෘද්ධියක්.

*ළමා නාට්‍ය විෂයට පාසල්වල ඇති උනන්දුව සම්බන්ධයෙන් ඔබේ අදහස?

නාට්‍ය හා රංග කලාව පාසල් විෂය ධාරාවට එක් වන්නේ නවතම විෂයක් විදිහට. නමුත් අද වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව සෞන්දර්ය විෂයන් අතරින් වැඩියෙන් ම ඉල්ලුම් කරන විෂය බවට පත්වෙලා තියෙන්නේ නාට්‍ය හා රංග කලාව. ඒ තුළින් පැහැදිලි වන්නේ නාට්‍ය හා රංග කලාව හැදෑරීමට සිසුන් තුළ වැඩි ප්‍රවනතාවක් ඇති බව යි. නාට්‍ය රංග කලාව කියන්නේ සාමූහික විෂයක්. අධ්‍යාපනයට අමතරව, ඒ විෂය තුළ සිසුන්ට විශාල කාර්යයක් පැවරෙනවා. මේ වන විට අධ්‍යාපන ක්‍රමය පවා පවතින්නේ වෙනස්වීම්වලට ලක්වෙමින්.

ඒ අනුව විශේෂයෙන් ම ගණිතය, භාෂාව වැනි වෙනත් විෂයන් ඉගැන්වීමටත් රංග කලාව උපයෝගී කරගෙන තියෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විදිහට ළමයින් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරනකොට අපිට දැනෙනවා ඔවුන් තුළ මේ නාට්‍ය කලාව සඳහා විශාල උනන්දුවක් ඇති බව. මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා පිටපත් 184ක් ඉදිරිපත් කරලා තිබුණා. මේ වගේ වැඩි ප්‍රමාණයක් ළමා නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් වෙනවා කියන්නේ ම විශාල ජයග්‍රහණයක්.

*නාට්‍ය ඇතුළු කලාවෙන් ළමයා අධ්‍යාත්මික ව සංවර්ධනය කළ හැකි මුත්, ඒ කර්තව්‍ය බලධාරීන් යම් මට්ටමකට පැහැර හැරලා ?

ළමයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් නාට්‍ය කලාවට ලබාදිය හැක්කේ විශාල දායකත්වයක්. ආගමික දර්ශනයකටත් එහා යමින් දරුවා තුළ ශික්ෂණය ඇති කිරීමට නාට්‍ය හා රංග කලාව වැනි විෂයන් ළමා මනසට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඒ නිසා ම මව්පියන් සහ ගුරුවරුන් ඒ ඒ අධ්‍යයන ක්ෂේත්‍රයන්වල විවිධ අත්හදාබැලීම් සිදු කරනවා.

අධ්‍යාපන අමාත්‍යංශයටත් ලොකු වගකීමක් තියෙනවා මේ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ ව වැඩි දායකත්වයක් ලබාදෙන්න. සෞන්දර්ය විෂයන්ගෙන් ඈත්වීම තුළ හරපද්ධතීන්, ශික්ෂණවේදයන් වැනි සියල්ල දරුවන්ගෙන් ඉවත්වෙනවා. පොතපත සහ විභාගය පමණක් ඉලක්ක කරගත් දරුවකු බවට පත්වෙනවා. සෞන්දර්යවාදී සංස්කෘතික දරුවෙක් බිහි කරන්න නම් කලාව අත්‍යවශ්‍යය යි. රජයේ වැඩපිළිවෙළ, රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ආයතනයක් විදිහට අපි බොහෝ දේ ආරම්භ කර තිබෙනවා සහ පවත්වාගෙන යනවා.

ඒ තුළ යම් යම් අභියෝගයනුත් එල්ල වෙනවා. විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් එක්ක තමයි අපිට මේ සියල්ල ගැන කතා කරන්න සිද්ධ වෙන්නෙ. නමුත් අප උත්සාහ කළ යුත්තේ එක් අංශයකින් පමණක් දියුණු වූ දරුවෙකු වෙනුවට හැම පැත්තකින් ම සරුවුණු දරුවෙක් බිහි කරන්න යි. ඒ සඳහා මැදිහත් වන රාජ්‍ය ආයතනත් බොහෝමයක් තියෙනවා. ඒ එක්කම මව්පියන්ටත් විශාල වගකීමක් පැවරෙනවා දරුවන් ව සෞන්දර්ය විෂයන් සඳහා යොමු කරන්න. මව්පියන් හැමවිට ම බලාපොරොත්තු වන්නේ දරුවා වෛද්‍ය, ඉංජිනේරු වැනි පිළිගත් වෘත්තියකට යොමු කරන්න යි.

නමුත් ඒ වෘත්තිය තුළ ගොඩනැඟෙන වෘත්තියවේදියා රටට, සමාජයට, මිනිස්සුන්ට සහ මහපෙළොවට ආදරය කරන වෘත්තියවේදියකු බවට පත්වෙන්නෙ සෞන්දර්ය විෂයන් එක්ක ජීවත් වුණොත් සහ අධ්‍යයනයට පෙළඹුණොත් පමණයි. ඒ නිසා දරුවාගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ඔවුන් සෞන්දර්ය විෂය සඳහා යොමු කිරීම මුළුමහත් ජනසමාජය ම සතු වගකීමක් විදිහටයි මම දකින්නෙ.

 

සංවාදය
කාංචනා සිරිවර්ධන

මූලික අරමුණ සිනමා සංකීර්ණයක්

$
0
0
ඔක්‌ 1, 2019 01:00

ආචාර්ය බුද්ධි කීර්තිසේන

සිනෙසිටි වෝටර්ෆ්‍රන්ට් සිනමා සංකීර්ණය සහ කලා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම මේ මස 4 වන දා පෙරවරු 10 ට කොළඹ බැස්ටියන් මාවතේ floating market පරිශ්‍රයේදී සිදු කෙරේ. ඒ පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බුද්ධි කීර්තිසේන අදහස් දක්වයි.

* සිනෙසිටි වෝටර්ෆ්‍රන්ට් හි අරමුණ මොකක්ද?

මෙහි මූලික අරමුණ සිනමා සංකීර්ණයක් සමඟ කලාගාරයක් ආරම්භ කිරීම. මේක සැලසුම් කරලා තියෙන්නේ පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණය ආශ්‍රය කරගෙන. එහි ඇති ආපනශාලා සහ කුඩා වෙළෙඳ කුටිඅවලට අමතරව මේ වනවිට හිස්ව පවතින ශාලා උපයෝගී කරගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

* සිනෙසිටි වෝටර්ෆ්‍රන්ට් සඳහා පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය තෝරාගන්න හේතුවන්නේ?

එම වෙළෙඳ සංකීර්ණය පිහිටා තිබෙන ආකාරය අනුව එයින් රටට විශාල වටිනාකමක් එකතු කරන්නට පුළුවන්. නමුත් අවාසනාවකට කුමන හේතුවක් නිසා හෝ මේ වනවිට එය සාර්ථක ව්‍යාපෘතියක් නොවේ. පාවෙන වෙළෙඳ සංකීර්ණය පිහිටා තිබෙන්නේ බස් නැවතුම්පොළක් ආශ්‍රිතව. නිතර සෙනඟ ගැවසෙන මෙම ස්ථානය ආදායම් උත්පාදන සහ විනෝදකාමී ව්‍යාපෘතියකට කදිම තෝතැන්නක්. මේ කටයුත්තට අතගැසුවේ, මේ පිළිබඳව ධ්‍යයනය කිරීමකින් පසුවයි.

* මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ ආකාරය පිළිබඳවත් සඳහන් කළොත්?

මෙහි අප සිනමා ශාලා ද්විත්වයක් සහ කලාගාරයක් සමඟ කලාත්මක නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳ කුටි කීපයක් සූදානම් කරනවා. ඇතැම් අවස්ථාවල පිටකොටුවට පැමිණෙන මගීන්ට වැඩි වේලාවක් නිකරුනේ ගත කරන්නට සිදු වෙනවා. එවන් අවස්ථාවක ඔවුන්ට එම කාලය සිනමා පටයක් නැරඹීමට වැනි දෙයක් සඳහා යොදවා ගන්නට මෙමගින් පහසුවෙන් ම හැකියාව ලැබෙනවා. ඒ වගේම මුහුරත් උළෙල, පොත් එළිදැක්වීම්, නාට්‍ය වැනි කටයුතු සඳහා භාවිතා කළ හැකි ශාලාවක් සහිතව මෙය ඉදිවෙනවා. එසේම සිනමාව සහ අනෙකුත් කලා මාධ්‍යයන් පිළිබඳ හැදෑරීමට සහ නැරඹීමට හැකි ආකාරයේ විශාල කලාකාරයකුත් අප විසින් සැලසුම් කර තිබෙනවා.

මේ ව්‍යාපෘතිය cinecity සිනමා සංකීර්ණයේ තවත් එක් ශාඛාවක් මේ වන විට cinecity වෙතට මෙම ඉඩම පවරා දීම අවසන්. අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදිකරීමට සහ නවීකරණයට සූදානම් කරමින් පවතිනවා. ලංකාවේ මුල්ම සිනමා සංකීර්ණය වන cinecity මේ වනවිටත් බොහොම සාර්ථකව පවත්වාගෙන යන ආයතනමය සංවිධානයක්.

 

සංවාදය
දිල්රූ ජයසේකර

සෙන්ටි මීටර් 111කොච්චි කරල

$
0
0
ඔක්‌ 1, 2019 01:00

හිරුණි දිල්ශාරා

සුබවාදී ආකල්ප ජීවිතය ගෙන යන්නේ සුබදායක ගමනාන්තයකට. ජීවිතය විසින් අහිමි කරවන දේට ලොබ නොබැඳ ජීවිතය විසින් හිමි කරවන දේට පෙම් බැඳීමට හුරු වූ හිරුණි දිල්ශාරා වයස අවුරුදු 22ක යුවතියක්. හෝමගම පිහිටි ඇගේ නිවෙසේ වෙසෙන්නේ මව, පියා සහ සොහොයුරන් දෙදෙනාගේ සෙනෙහස විඳිමින්. මීට වසර 06කට පෙර ප්‍රසංග වේදිකාවට පැමිණි ඇය පිළිබඳ කතාබහ වරින් වර අලුත් වීමට, මෑතක දී ඇය ගැයූ ගීත මෙන් ම ඇය උරුමකම් කීමට සැරසෙන ගිනස් වාර්තාව ද හේතුවක්. අඩි 03යි අඟල් 07ක (සෙන්ටිමීටර් 111) උසින් යුතු ඇය ලංකාවේ ප්‍රසංග වේදිකාව දිනූ උසින් අඩු ම ගායන ශිල්පිනිය වන අතර ඇගේ සූදානම ලොව උසින් අඩුම ප්‍රසංග වේදිකා ගායනා ශිල්පිනිය ලෙස ගිනස් පොතට එක්වීමට යි.

කුඩා කල සිට ම හිරුණිගේ හීනය වුණේ නීතිඥවරියක් වීම වුවත්, දෛවය ඇයව ගෙනැවිත් තබන්නේ වෙනත් තැනක. උපතින් ම උරුමකොට ගත් ගායන කෞෂල්‍ය ඈ තුළින් ඉස්මතු වන්නේ ඇයවත් නොසිතූ අන්දමින්. පාසල් අවධියේ ගායනා තරගවලට ඉදිරිපත් වූ හිරුණි කිහිප වරක් ම ජයග්‍රහණයට හිමිකම් පෑවේ සිය හැකියාවට උපරිම වටිනාකමක් ලබාදෙමින්. හිරුණි පැහැදිලි ගමන දුර තියා දුටු මව්පියන් ඇයව සංගීතය හැදෑරීමට ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් වෙත යොමු කරන විට හිරුණි ඉගෙනුම ලැබු‍වේ පාසලේ අට වන ශ්‍රේණියේ. පළමු දිනයේ ම ඒ හැකියාව හඳුනාගත් ඔහු, ඇයට සප්ත ස්වරයන්ගේ අරුමය කියාදෙන්නේ අනාගතයේ දිනෙක ඇය ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට යොමු කළ හැකි බවට හිරුණිගේ පියාට බලාපොරොත්තුවක් ද ලබාදෙමින්. මුල්වරට ප්‍රසංගවේදිකාවේ ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව හිරුණිට ලබාදුන්නේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු යි. ඒ, මීට වසර හයකට පෙර හෝමගම පැවැති මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංගයකදී. සිය මවගේ මිතුරකු මාර්ගයෙන් රොෂාන් ප්‍රනාන්දු හඳුනාගන්නා හිරුණි ඔහුගෙන් ලබාගත් ගුරුහරුකම් ද බොහෝම යි.

මහින්ද බණ්ඩාර විසින් සංගීතවත් කළ "ගන්දර නැන්දා", කීර්ති පැස්කුවල් විසින් සංගීතවත් කළ "කොච්චි කරල"සහ විශාරද උපුල් පෙරේරා විසින් සංගීතවත් කළ "පොත්ත රතට"යන ගීත හිරුණි ගායනා කළේ ප්‍රසංග වේදිකාවට නව හැඩයක් එක්කරමින්. මේ ගීත තුන ම මාධ්‍යවේදී ඇන්ටන් ජේ.ප්‍රනාන්දුගේ පද රචනයන් වීම ද විශේෂත්වයක්. එසේ ම ඩිලාන් රොද්‍රිගු විසින් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ම ලියූ ගීතයකට ද හිරුණි සිය හඬ මුසුකොට තිබෙනවා. එළැඹෙන දෙසැම්බරයේ සිය විශාරද විභාගයේ අවසන් අදියරට මුහුණ දීමට සූදානම් වන ඇය, මේ දිනවල නිර්මාණ කටයුතුවලින් තරමක් දුරට ඈත් ව සිටී. කෙසේ වෙතත් ජනවාරි මස ඇගේ නවතම ගීතය ගැයෙන්නේ අම්මා වෙනුවෙන් බවයි ඇය කියා සිටියේ.

පළමු වරට ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන විටි දැනුණු හැඟීම හිරුණි වචනයට පෙරලුවේ මෙලෙසින්.

“සිංදු කියන්න ආසවක් තිබුණේ පුංචි ම කාලේ ඉඳලයි. ඒ වගේ ම සිංදු කියන එක මට කොහොමත් අලුත් දෙයක් වුණෙත් නෑ. පළවෙනි දවස කියලා මට ගොඩක් ලොකු තැතිගැන්මක් තිබුණෙ නෑ. අමුතු හැඟීමක් දැනුණෙත් නෑ. මුලින්ම සිංදු කියන්න ලැබුණේ ලංකාවේ දැවැන්ත සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමත් එක්ක. ඒක ඇත්තට ම මට ලැබුණු හොඳ අවස්ථාවක්. රොෂාන් අයියා වගේ කෙනෙක්ගේ සහයෝගය ලැබුණා කියන එක ම මම ලබපු දිනුමක් විදිහටයි දකින්නෙ. අද වෙද්දි මම ඇවිත් ඉන්න තැන ගැන මට තියෙන්නේ සතුටක්. ශානිකා වනිගසේකර අක්කාවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. මම ගොඩක් ම ගායනා කරන්නේ ශානිකා අක්කගේ ගීත. මුලින් නම් මම ප්‍රසංග වේදිකාවේ ඇයගේ ගීත ගායනා කරන්න තරමක් බය වෙලයි හිටියේ. මොකද සමහර ගායක ගායිකාවන් කැමති නෑ අලුත් අය ඔවුන්ගේ ගීත ගායනා කරනවටවත්. ඒත් ශානිකා අක්කා මට දවසක් මුණගැහිලා කිව්වෙ ‘ඔයා ඕන තැනක කියන්න පැටියො මගේ සිංදු’ කියලා. ඒ වචන ටික මට ලොකු හයියක් වුණා. මං ශානිකා අක්කගේ සිංදුවක් කියන වීඩියෝ එකක් එෆ්. බී. දැම්මොත් ඇය අනිවාර්යෙන් ම කමෙන්ට් එකක් දෙනවා. ඒ තරම් නිහතමානී කෙනෙක් ඇය.”

හිරුණි වේදිකාවට නැග්ගොත් හැමෝම ඉල්ලන්නේ වේග රිද්ම ගීත. විවාහ උත්සවයකට ගියත් ඒ වගේම යි. නමුත් ඒ හා සමානව ම හිරුණි ශාස්ත්‍රීය සංගීතයත් හදාරනවා. ඉදිරියේදී ඇය ශාස්ත්‍රීය නිර්මාණවලට දායක වීමට සූදානම්. විශේෂයෙන් ම ඇය පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත ගායනා කර පුරුදුපුහුණු වන්නේ කටහඬ සකස් කරගැනීමේ ද අරමුණෙන්.

“මම වතාවක් කුවේට්වල පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට සහභාගි වුණේ සුමිත් අයියගේ උදව්වෙන්. ලබන ජනවාරි මාසේ විතර මගේ සංගීත කටයුතු වෙනුවෙන් ප්‍රංශයට ගිහින් එන්නත් අදහසක් තියෙනවා. සංගීතය නිසා ජීවිතය ගෙවෙන්නේ බොහොම සතුටින්. ඒ වෙනුවෙන් මම මගේ අම්මටයි තාත්තටයි පිං දෙන්න ඕනෙ, මාව මේ ක්ෂේත්‍රයට යොමු කළාට. ඒ වගේ ම කීර්ති සර්, රොෂාන් අයියා සහ මට ශාස්ත්‍රීය සංගීතය උගන්වන ශාස්ත්‍රපති අචින්තා මිහිරාණි ගුරුතුමියවත් බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ.”

සංගීතය හැරුණු විට ඇගේ ජීවිතයේ ප්‍රියතම දේවල් වන්නේ මිතුරුමිතුරියන් සමඟින් ගමන්බිමන් යෑම සහ රට රටවල සංචාරය කිරීමයි. ඇගේ මවගේ බලාපොරොත්තුව වූයේ හිරුණි සංගීතයට මෙන් ම අධ්‍යාපනයට ද එක ලෙස සමත්කම් පෑමයි. හිරුණි වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්. සංගීත ක්ෂේත්‍රයේ මේ තාක් පැමිණි ගමන් මඟ පිළිබඳ තෘප්තිමත් වන ඇගේ සිහිනය දිනෙක ප්‍රසංග වේදිකාවට නැතිව බැරි ගායිකාවක වීම යි. හැකියාව සහ අධිෂ්ඨානය ඇත්නම් සිහින මල්ඵල ගැනෙන දින වැඩි දුරක නොවේ. ජයග්‍රහණයේ මාවත කලඑළි කරනු වස් ඒ හැකියාව, ඒ අධිෂ්ඨානය නිරන්තරයෙන් හේතු වේවා!

 

කාංචනා සිරිවර්ධන

වඩු වැඩෙන් දිවි රකීන මැජික් සීයා

$
0
0
ඔක්‌ 1, 2019 01:00

රංජිත් එම්. පීරිස්

කලාවේ සෑම අහු මුල්ලක්ම අතපත ගාන්නට සෑම කලාකරුවෙකුට හැකියාව ලැබෙන්නේ නැත. ගීතය, සිනමාව, වේදිකාව ආදී බොහෝ ඉසව් ස්පර්ශ කරමින් පනස් වසරක් පුරා කලා ලෝකය තුළ දිගු ගමනක් පැමිණි රංජිත් එම්. පීරිස් එසේත් නැතිනම් මැජික් සීයා බොහෝ දෙනකු දන්නා චරිතයකි.

1965 වර්ෂයේදී ප්‍රවීණ නාට්‍ය හා චිත්‍ර මූර්ති ශිල්පී තිස්ස ගුණවර්ධනයන්ගේ "රාසිංදෙව්"වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ඔහු, අනතුරුව ආර්. ප්‍රේමදාස ශූරීන්ගේ "නරලොවට වැඩක්", සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ "දෝණි"ආදී නිර්මාණ රාශියකට සම්බන්ධ විය. ප්‍රථම වතාවට අභිරූපණ රංගන සංගීතය සමග මුසුකරමින් ජයසේකර අපොන්සු සමඟ නිර්මාණයකට එකතු වන්නට ද තමාට හැකියාව ලැබුණු බව ඔහු පවසයි.

රංජිත් පීරිස් 1974 වර්ෂයේදී වසන්ත ඔබේසේකරයන්ගේ "දියමන්ති"චිත්‍රපටය හරහා සිනමාවට ප්‍රවිෂ්ඨ වෙයි. අනතුරුව "අවුරුදු දා", "පසමිතුරෝ", "තනි තරුව", "සුද්දා"ආදී චිත්‍රපට රාශියක චරිත නිරූපණය කරන්නට ඔහුට අවස්ථාව හිමිවිය. "මලට නොඑන බඹරු"හරහා හෙතෙම නිෂ්පාදන සහකාර සහ සහාය අධ්‍යක්ෂ ලෙස චිත්‍රපට නිර්මාණකරණයට එකතු විය.

ඔහු 1969 දී ගීත ගායනයට ප්‍රවිෂ්ට වන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගේ සහ ඔස්ටින් මුණසිංහයන්ගේ ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ 'කරතබා සිරිබර කුරුසේ'ගීතයෙනි.

"එවකට බී.එස්. මාලනි ලෙසින් හැඳින්වුණ මාලනී බුලත්සිංහල මගේ සහාය ගායිකාව ලෙස කටයුතු කළා. එදා පටන් මේ දක්වා ගීත පණහක් ගායනා කර කැසට් මගින් ජනගත කර තිබෙනවා. 2019 වර්ෂයේ දී ගැයූ 'වීරපුරන්අප්පු'ගීතය මගේ පනස්වන ගීතය. ගීත ගායනයේදී විශාල අසාධාරණකම්වලට ලක් වෙන්නත් මට සිදුවුණා. මගේ නිර්මාණ බොහොමයක් සොරකම් කෙරුණා. එයින් සිදු වූ අසාධාරණයට තවමත් මට සාධාරණයක් ඉටු වී නැහැ. "වඩු වැඩෙන් දිවි රකීන"ආදී ජනප්‍රිය ගීත කිහිපයකම මුල් අයිතිය තිබෙන්නේ මට."

කතන්දර පිටුව, රටරටවල කතා, පියසටහන්, ලොක්කෙ මාමා, අන්දරේ ඇතුළු ළමා ටෙලි නාට්‍ය රාශියක ප්‍රධාන චරිත රඟපාන්නට රංජිත් පීරිස් මහතාට හැකි වී තිබේ. මෙරට පළමුවන රූපවාහිනී සජීවීකරණ වැඩසටහනෙහි "මැජික් සීයා"ලෙස සිරස නාළිකාව තුළින් බොහෝ දෙනකුගේ අවධානය දිනා ගන්නට ද ඔහුට හැකි විය. සෑම රූපවාහිනි නාළිකාවකම ජනප්‍රිය ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු කටයුතු කර තිබේ. ලේඛන කලාව තුළ ද ඔහු සමාජයට වැඩදායී යමක් කරන ලද බව ඔහුගේ සාරධර්ම කතා සහ ළා දළු යන පොත් සාක්ෂි දරයි. දරුවන් වෙනුවෙන් සීඩී පට රාශියක් නිකුත් කර ඇති රංජිත් පීරිස් මහතා වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ ද කටයුතු කර ඇත. කලා ලෝකය තුළ සිදුකළ අද්විතීය මෙහෙය හේතුකොටගෙන කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබන්නට ද රංජිත් පීරිස් මහත්මා වාසනාවන්ත වී තිබේ.

 

දිල්රූ

මගේ චිත්‍ර වැඩි හරියක් රසවින්ඳේ සීයා

$
0
0
ඔක්‌ 1, 2019 01:00

අරුණ නවීන්ද්‍ර

චිත්‍රය තම ආත්මය කරගත් අරුණ නවීන්ද්‍ර, පුවත්පත් කලාවට පිවිසෙන්නේ චිත්‍ර ශිල්පියෙක් වීමේ සිහිනයෙනි. එතැනදී ඔහුට සිදු වන්නේ, පුවත්පත් පිටුසැලසුම් ශිල්පියෙකු වීමටය. ඒ පැමිණි ගමනේ දී ‍අරුණ නවීන්ද්‍ර නතර වෙන්නේ පොත් ප්‍රකාශන ආයතනයක පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු වීමෙනි.

* පිටකවර චිත්‍රය, ඔබ හඳුනා ගෙන ඇති විදිහ ?

එයට කරණා කීපයක් ම තිබෙනවා. මූලිකම දේ තමයි, පොතෙහි අන්තර්ගතය පිලිඹිබු විය යුතුයි. එය කොහොමද විය යුත්තේ? කියන එක තීරණය වන්නේ නිර්මාණ කරුවාගේ නිර්මාණශීලිත්වය අනුවයි. අනිත් කාරණාව තමයි, මේ රටේ වැඩි හරියක් කරන්නේ වනිජමය පරමාර්ථයෙන්.විකිණීමේ අදහසින්. එතනදී, මෙය කොහොමද පාඨකයාට ආකර්ශනය වන්නේ කියන කාරණාව. අනෙක් කාරණාවා තමයි, මෙය කා සඳහාද යන්න.

* චිත්‍රය හදාරා තිබේද ?

නැහැ. මූලික දේ පාසලෙන්ම තමයි.

* ඔබ, චිත්‍ර කලාවට යොමු වෙන්නේ කොහොමද ?

ඒකනම් හරි සුන්දර මතකයක්. ඒ වෙනකොට අපි හිටියේ හසලක. මම පොඩිකාලේ, අපේ තාත්තට රජයෙන් ඉඩමක් ලැබුණා, අනුරාධපුරේ දිස්ත්‍රිකයේ ගල්නෑවත් තඹුත්තේගමත් අතර තිබෙන මුදුන්ගොඩ කියන ගමේ. මම අධ්‍යාපනය ලැබුවේ, හූරීගස්වැව මහා විද්‍යාලයේ සහ තලකොළවැව විද්‍යාලවලින්. මට තුනේ පන්තියට යනකන් අකුරු කිවන්න බැරි වුණා. ඉස්සර දැන් වගේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් පහසුකම් නැහැ. තිබුණේ රේඩියෝ, චිත්‍රකතා පත්තර, ළමා පත්තර, ජාතික පත්තර. අපේ ගෙදර සිත්තර, දසුන, සත්සිරි වගේ චිත්‍ර කතා පත්තර තාත්තා ගන්නවා. ඉතින් මේ චිත්‍රකතා පත්තරවල ඇති චිත්‍ර, මාව අමුතුම ලෝකයට අරගෙන ගියා. මට අකුර කියවන්න බැරි වුණා. ඒ නිසා චිත්‍ර බලන්න පටන්ගත්තා. මම, දැක්ක චිත්‍ර බිත්තිවල ඇන්ඳා. පොත්වල ඇන්ඳා. ඒ චිත්‍ර විඳලා, මව තේරුම් ගත්ත තාත්තා, මට පාට, චිත්‍ර පොත් ගෙනත් දුන්නා. හැබැයි මගේ චිත්‍ර වැඩි හරියක් රසවින්ඳේ සීයා.

* පොත් පිට කවර චිත්‍රය දිහාවට යොමු වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

එහෙම විශේෂ හේතුවක් තිබ්බේ නැහැ. මම, මුලින්ම රැකියාවක් සඳහා පුවත්පත් ආයතනයකට බැඳුනේ චිත්‍ර ශිල්පියෙක් විදිහට. ඊට අමතරව මම ළමා පොත්වලට චිත්‍ර ඇන්ඳා. පිටකවරවලටත් චිත්‍ර ඇන්ඳා. ඒත් කවර එකක්වත් හරි ගියේ නැහැ. පස්සේ මම ඒ ගැන හිතන්න පටන් ගත්තා. අහම්බයෙන් වගේ අවස්ථාවක් ලැබුණා, පිටකවරයක් කරන්න. එය සාර්ථක වුණා. ඊට පස්සේ දිගටම පිටකවර කරන්න අවස්ථාව ලැබුණා.

* ඔබ වෘත්තිය චිත්‍ර කලාව කරන්නෙක්. එයින් ජීවත්විය හැකි වටපිටාවක් මේ රටේ තියනවද?

ඇත්තන්ම ඒ ගැන සතුටු වෙන්න බැහැ. අපේ රටේ වැඩි හරියක් ඉන්න චිත්‍ර ශිල්පීන් ස්වඋත්සහයෙන් තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන එදිරියට ආව අය . ඒ ආව අය යම් තැනක ඉන්නවා. සමහර අය ඒ අවස්ථාව නැහැ.

* ඔබ පොත් කවර චිත්‍රය , තුළ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවද?

ඔව්. පොතේ පිටපත මගේ අතට ලැබුනහම මම කියවනවා. ඊට පස්සේ ඔක්කොම පැත්තකින් තියලා ෆැන්ටසි, එපික්, කැල්ටික් වැනි සංගීත රටා රස විදිනවා. ඊට පස්සේ, කර කර හිටපු වැඩේ කරන ගමන්, හිතන්න ඉඩ හරිනවා. ජීවිතයට පොතේ කාරනා බලපනා ආකාරය හිතනවා. පොතේ අඩංගු සිදුවීම් මොන කාලෙට අයත්ද? එහි චරිත ගැන, චරිත ලක්ෂණ ගැන... මේ හැම දෙයක් ගැනම හිතනවා. එහෙම හිතන්නේ මා මගෙන් අයින් වෙලා. මගේ ශෛලිය, මගේ ආසම අකුරුඅ, මගේ ආසම පාට .. ඒ කිසිම දෙයක් මෙයට ඇතුල් කරන්නේ නැතුව මමත්වයෙන් අයින් වෙනවා. පොත ඉල්ලන දේ දෙනවා.

* ඔබේ, සිහින ?

ඔව්, තියෙනවා. එත් මම මගේ සිහින ගැන කියන්න කැමති නැහැ. සිහින එළියට දැම්මොත් ඒක මගේ හිතින අයින් වෙනවා. එය තවතවත් වර්ධනය වෙනවට මා කැමතියි. ඒ සිහින නිර්මාණයක් විදිහට හෝ වෙනත් විදිහකට සැබෑවක් වෙනවට මම කැමතියි.

 

සංවාදය
අනුසාර

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>