හය වසරට සමත් වූ දරුවාට හය වසරේ සිට නවය වසර දක්වා විෂයන් දහතුනක් හැදෑරීමට සිදුවෙයි. මේ නිසා ඔහුට බාහිර ක්‍රියාකරකම්වලට ඉඩක් නැත. පාසලට හා අමතර පන්තිවලට පමණක් කොටු වීමට සිදුවී ඇත. දැනුමෙහි මතකය පමණක් මැන බැලෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හේතුකොට ගෙන නිර්මාණශීලී, විචාරවත් සමබර පුද්ගලයන් බිහි නොවන බව දෙස් විදෙස් අධ්‍යාපන විද්වතුන් පවසන්නේ අද ඊයෙක සිට නොවේ. එහෙත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තවමත් රටට සහ කාලයට අවශ්‍ය පරිදි වෙනස් වී නැත. මේ ක්‍රමය දිගටම පැවතුණහොත් අපට මුහුණ දෙන්න සිදුවන්නේ කිනම් තත්ත්වයටද? ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැන සාකච්ඡා කිරීමට අද දේශපාලන කොලෝසියම වෙන්වේ.
![]()
මේක මරාගෙන මැරෙන විභාග ක්‍රමයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ප්‍රභාත් ඒකනායක
මේ විෂය නිර්දේශය දරුවන්ට බර වැඩියි කියලා කම්කරුවාගේ සිට අධ්‍යාපන ඇමැති වෙන තුරුම දන්නවා. ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. බෑග් වෙනස් කරනවා. පොත් කොටස්වලට කඩනවා. මේ වගේ ප්ලාස්ටර් විසඳුම් දෙනවා මිස ඇත්තට මුහුණදීලා කළ යුතු දේ කරන්න අපි තවමත් ප්‍රමාද වෙමින් ඉන්නවා. දරුවන්ට මේ විෂය නිර්දේශය බර වැඩියි කියලා හැමෝම පිළිගන්නවා නම් ඒකට විසඳුම් දෙන්න ප්‍රමාද වෙන්නේ ඕනේ නෑ. වහාම මීට පිළියම් යෙදිය යුතුයි. සමබර පෞරුෂයක් සහිත රටේ සංවර්ධනයට අවශ්‍ය පිරිස බිහි කරගන්න නම් මේ අධ්‍යාපනය වහා වෙනස් කරන්න ඕනේ.
පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා පිට වෙන සීයට අනූනමයක් සමබර පෞරුෂයක් තියෙන පුද්ගලයන් නොවේ. අතිබහුතරයක් දරුවන්ට ඉතා සුළු දෙයක් වුණත් දරාගන්න බෑ. ඉතා සුළු සිදුවීමකින් වුණත් මහා කැළඹීමකට පත්වෙනවා. ගැටලුවක් ආවම කතා කරගන්නවත් බෑ. ඒකට හේතුව තමයි මේ මහා විෂය නිර්දේශයකට ළමයි කොටු කරලා තියෙන එක. පාඩම් කරනවා, සටහන් ලියනවා, ටියුෂන් යනවා, විභාග ලියනවා හැරුණම දරුවන්ට බාහිර වැඩ කිසිවක් කරන්න වෙලාවක් නෑ. පාසලේදී දරුවන් ක්‍රීඩා කරනවා නම් ගුරුවරුත් හිතන්නේ ඒ ළමයි කාලය නාස්ති කරනවා කියලා. ලකුණු ටිකක් අඩුවුණු හැටියේ මවුපියන් සියලු බාහිර ක්‍රියාකාරකම්වලින් දරුවන් ඉවත් කරනවා. ක්‍රීඩාව, නාට්‍ය, සංගීතය වැනි වින්දනාත්මක දේවල් දරුවන්ගේ ජීවිතවලින් ඉවත් වෙලා.
පන්ති කාමරයක එක එක විදියේ ළමයි ඉන්නවා. අධි ක්‍රියාකාරී ළමයි ඉන්නවා. ළමයි කියන්නෙ එක විදියකට දිගටම ඉඳගෙන ඉන්න පුළුවන් අය නොවෙයි. විනාඩි හතළිහේ කාලපරිච්ඡේද අටක් එක දිගට දරුවෝ ඉඳගෙන ඉන්න ඕනේ. විවේකය තියෙන්නේ විනාඩි විස්සයි. මුළු කාලයේම දරුවන් අහගෙන ඉන්න ඕනේ. හැබැයි ගුරුවරුන්ට කාල පරිච්ඡේද අටම උගන්වන්න කියලා කිව්වොත් ඒ අය අමාරුයි කියලා නහයෙන් අඩනවා. හැබැයි දරුවෝ ඒ මුළු වෙලාවම ඉගෙන ගන්න ඕනේ.
අනෙක අපට තවම තියෙන්නේ අතීත අධ්‍යාපන ක්‍රමය. ඒ කියන්නේ ජාතක කතා අහගෙන ඉඳලා ඉගෙන ගත්ත ක්‍රමයටම තමා මේ සියලු විෂයන් දරුවන්ට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. දරුවකුට උගන්වන ක්‍රම කීපයක් තියෙනවා. ශ්‍රව්‍ය මාධ්‍ය ඉන් එකක් විතරයි. දරුවන් දැකීමෙන්, ස්පර්ශයෙන්, සුවඳින් වගේම රසයෙන් ඉගෙන ගන්නවා. අපේ සියලු විෂයන් උගන්වන්නේ ශ්‍රව්‍ය ආකාරයෙන්. මේ නිසා අධ්‍යාපනයේ වර්ගීකරණයෙන් අපි නිසි ඵල ලබා ගන්නේ නෑ. අධ්‍යාපනය කියන්නේ දැනුම නොවේ කියලා අපි හැමදාම කියනවා. ඒකට අවබෝධය, භාවිතය, සංස්ලේෂණය, විශ්ලේෂණය, ඇගයීම කියන කරුණු ඇතුළත්. ඒත් විෂය නිර්දේශය බර වැඩි නිසා අපි දැනුමට විතරක් කොටු වෙලා. ඒ කියන්නේ අපි අවතීර්ණ වෙලා ඉන්නේ මරාගෙන මැරෙන විභාග ක්‍රමයකට. රටේ තියෙන දුප්පත්කම නිසා විභාගවලින් තොර අනාගතයක් නෑ කියන තැනට ජනතාව පත්වෙලා. ඒ නිසා තමන්ගේ දරුවන්ට අනාගතයක් ඇති කරන්න නම් කොහොම හරි මේ විභාග පාස් කරවන්න මවුපියන් වෙහෙසෙනවා. රජයට සල්ලි නැති නිසා උසස් අධ්‍යාපනය සීමා කරලා තියෙනවා. මෙතැනදී විභාග සමත් නොවෙන පිරිස අසරණ වෙනවා.
මේ විදියේ ක්‍රමයකින් නිර්මාණශීලි මිනිස්සු බිහි කරන්නේ කොහොමද?
අපිට ගැලපෙන නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් ඇති කරන අධ්‍යාපන ක්‍රමයකට අපි යන්න ඕනේ. සුදු කරපටි රැකියා අපේක්ෂා වෙනුවට වැඩකරන රැකියා බිහි කරන අධ්‍යාපනයක් ඇති කරන්න ඕනේ. හරසුන් විෂයන් ඉවත් කරලා නව විෂයන් හඳුන්වා දෙන්න ඕනෙ. දරුවන් වඩා කැමැති ප්‍රායෝගික විෂයන් ඇතුල් කරන්න ඕනේ. හැබැයි අර සියලු විෂයන් එක්ක මේ ප්‍රායෝගික විෂයනුත් ඉගෙන ගන්න කිව්වොත් නම් තත්ත්වය තවත් බරපතළ වෙනවා. ඒ නිසා දැරිය හැකි වඩා කැමැති විෂයන් සමඟ අධ්‍යාපනය ලබන්න දරුවන්ට ඉඩ දෙන්න ඕනේ.
දැන් දැන් අලුත් විෂයන් රාශියක් බිහි වෙලා තියෙනවා. නව තාක්ෂණික මෙවලම් භාවිතය, පරිගණක, තොරතුරු තාක්ෂණය, මානසික සමතුලිතභාවය, ව්‍යාපාර, හෙද සේවය, පරිසරය, මෝටර් කාර්මික, නව උත්පාදන වැනි විෂයන් සම්බන්ධයෙන් නව රැකියා උත්පාදනය වෙලා තියෙනවා. නව රැකියාවලට දරුවන් යොමුකරන විදියේ වැඩ පිළිවෙළක් අපට ඇත්තේම නෑ.
මේ වෙනස ඇති කරන්න අපට බැරි වුණොත් රටක් විදියට අපි ආපස්සට යන එක වලක්වන්න බෑ. ආකල්ප වෙනසකුත් අවශ්‍යයි. ඒ වගේම පත්වෙන අධ්‍යාපන ඇමැතිවරයා නිර්භීත වෙන්න ඕනේ. කන්නන්ගර මහත්තයාට නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීලා ගෙදර යන්න වුණා. ඊළඟ ඡන්දෙදී එතුමා වෙනුවට පත්වුණේ රේන්දකාරයෙක්. ඒ නිසා බලයට තනතුරට කෑදර නැතිව ජනප්‍රිය තීරණවලට යට නොවී ඇත්තට මුහුණ දෙන්න, පත්වෙන අධ්‍යාපන ඇමැති සහ නිලධාරීන්ට හැකිවෙන්න ඕනේ. දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයට වැඩ කරන්නත් දෙන්න ඕනේ. මේ විප්ලවය එක පාර කරන්න අමාරු වෙයි. ඒත් ටික ටික හරි කරන්න පටන් ගන්න ඕනේ. නැත්නම් ඉදිරියේදී බිහි වෙන්නේ කායික මානසික වශයෙන් ලෙඩවුණ පුරවැසියන්. රටක් ගොඩනඟන්න ඒ අයට බෑ. ඒ නිසා මේ ගැටලුව ගැන තවත් කතා කර කර විතරක් ඉන්නේ නැතිව ඉක්මණින් විසඳුම් සොයන්න ඕනේ.
සුමේධා නවරත්න
![]()
වෙනසක් නොකළොත් රට පස්සට යයි
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු කමිටු සාමාජික ආචාර්ය හර්ෂ සුභසිංහ
ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණීයේ සිට 9 වන ශ්‍රේණිය වෙනතෙක් තියන විෂය නිර්දේශයන් දරුවන්ට දරාගන්න බැරි තරමට විශාලයි. ඒ වාගේම උසස් පෙළ වෙන තුරුත් දරුවන්ට විශාල අන්තර්ගතයන් සහිත විෂය නිර්දේශ තියෙනවා. ඒ අනුව බැලුවම ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම යම් තාක් දුරකට නීරස කාර්යයක්. ඒ ආකාරයෙන් තිබෙන ලංකාවේ විෂය නිර්දේශ දරුවන්ට හිතකර වන ලෙස, එලදායී වන ලෙස මුළුමනින්ම වෙනස් කරන්න ඕන කියලා මම මුල ඉඳලම කිව්වා. ඒ සඳහා දැනට පවතින විෂය නිර්දේශවල ප්‍රමාණය අඩු කරන්න අවශ්‍යයි.
මුල සිටම කටපාඩම් කරලා උත්තර ලියන ක්‍රමවේදය මුළු මනින්ම බැහැර කරලා ප්‍රශ්න විසඳාගැනීම සඳහා අධ්‍යාපනය ලබන්න දරුවන් හුරු කරන්න ඕන. අන්තර්ගතයන් මුලික කර ගත් අධ්‍යාපනය ( contain based ducation) වෙනුවට ප්‍රශ්න විසඳීම ( Problem Based education) මුල් කර ගත් අධ්‍යාපන ක්‍රමවේදයක් ලංකාවේ ඇති කළ යුතු වෙනවා. එතකොට මුල ඉඳලම ප්‍රශ්නයක් විසඳාගැනීම සඳහා අධ්‍යාපනය ලබන්න දරුවන් හුරු වෙනවා.
ලිඛිත අධ්‍යාපනයෙන් මිදී හැකි තරම් ප්‍රායෝගික අධ්‍යාපනයට හුරු කළ යුතු වෙනවා. උදේ පාසල් ගිහින්, සවසට පන්ති ගිහින් දරුවන් නිවෙස්වලට එන්නේ හොඳටම තෙහෙට්ටු වෙලා. ඉන් පස්සේ ඔවුන්ට අමතර ක්‍රියාකාරකමක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එලෙස තරගකාරී ලෙස අධ්‍යාපන කටයුතු පමණක් කර බාහිර ක්‍රියාකාරකම් නොකරන දරුවන් ඉක්මණින් රෝගී වෙනවා කියලා වෛද්‍යවරු පවා සනාථ කරලා තියනවා. එවැනි දරුවන්ට අනාගතයේ යම් දිනයක හෘද රෝග, කොලෙස්ට්‍රෝල්, මානසික ව්‍යාකූලතත්ත්ව වැනි තත්ත්වයන්ට මුහුණු දෙන්න සිදු වෙනවා. එවැනි දරුවන් තරගකාරී අධ්‍යාපන රටාවට යොමු වී කෙසේ හෝ ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියා විභාග ජය ගැනීමට අත්සහ කරනවා මිසක් බාහිර පරිසරයත් සමඟ සම්බන්ධ වී සමාජයේ මිනිසුන් සමඟ සුහඳව ජීවත් වීමට හුරු වෙන්නේ නෑ. මේ නිසා දරුවන්ට අනාගතයේදී සමාජය තුළ පැන නැගෙන ප්‍රශ්න විසඳා ගැනීමට අසීරු වෙනවා. ඒ නිසා විෂය නිර්දේශයේ අන්තර්ගතයන් සීමිත කර බාහිර ක්‍රියාකාරකම්වලට දරුවන්ව වැඩි වශයෙන් නැඹුරු කිරීම අවශ්‍යයි.
අවුරුදු 12 තිස්සේ දරුවන් ඉගෙන ගන්නා අධ්‍යාපනය තුළින් සමාජයට ගිය විට මුහුණ දෙන්න සිදු වන ප්‍රශ්න විසඳ ගන්න බැහැ.
ලෝකයේ තිබෙන ප්‍රශ්නත් දිනෙන් දින වෙනස් වෙනවා. ඒ නිසා අවුරුදු එක හමාරකින්, දෙකකින් වෙනස් කිරීමට හැකි ආකාරයෙන් විෂය නිර්දේශයේ අන්තර්ගතයන් සකසන්න ඕන.
උසස් පෙළට ඉගැන්වෙන ගණිතය, විද්‍යාව, වාණිජ, කලා යන ප්‍රධාන විෂය ධාරාවන්ට අමතරව තවත් විෂය ධාරා හතක්, හත්වන ශ්‍රේණියට ඇතුළත් කළ යුතුයි. ඒ ඔස්සේ දරුවන්ට තමන්ගේ නිපුණතාවයෙන් සහ කැමැත්තෙන් විෂය ධාරාවන් තෝරා ගන්න පුළුවන් වෙනවා. මෙහිදී අනාගත වෘත්තීයන්ට ගැළපෙන, වැඩි රුචිකත්වයකින් යුතු විෂය ධාරා තෝරා ගැනීම වඩාත් වැදගත්. උදාහරණයක් විදිහට සූපවේදය විෂය තෝරා ගත් දරුවකුට උපාධි මට්ටමට පත් වීමට නොලැබුණත් සූපවේදී ක්ෂේත්‍රයේ රැකියාවක් හිමි කර ගැනීමට හැකි වීම පෙන්වා දෙන්න පුළුවන්.
තව අවුරුදු 05 විතර යන විට උපාධි තත්ත්වය වැඩක් නැති වෙනවා. මේ වන කොට ලෝකයේ සාර්ථක බවට පත් වූ පද්ගලයන් බොහෝ දෙනෙක් ගෙදර ඉඳන් ඉගෙන ගත්ත අය. ඒ නිසා දරුවන් තමන්ගේ කැමැත්ත අනුව නිදහස් මනසින් යුක්තව අධ්‍යාපනය හැදෑරීමට ඉඩ කඩ විවර කළ යුතු වෙනවා. ඒ සඳහා මව්පියන්, ගුරුවරුන් මෙන්ම දේශපාලඥයන් අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ රටේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළේ නැත්නම්, ලෝකයේ අනිත් මිනිස්සු හඳට යද්දී ලංකාවේ මිනිසුන්ට ඒ දිහා බලාගෙන ඉන්න සිදු වෙනවා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
මදාරා මුදලිගේ
![]()
බර අඩු වුණොත් සමබර පුරවැසියෙක් බිහිවෙයි
නිශාමනී දීප්තිකා හය වසර දරුවකුගේ මවක්
වර්තමානය වන විට අධ්‍යාපනය අතිශයින්ම තරගකාරී එකක් බවට පත්වෙලා. ඒ නිසාම අපට දරුවන් ඉතාම කුඩා වයසේ සිටම ඒ තරගයට යොමු කරන්නට සිදු වෙනවා. දරුවා ළමා වියේ සිටම තරගකාරී රටාවකට හුරු කිරීම නිසා ඔහුට ළමාවිය අහිමි වී යන බව අපට අවබෝධ වන නමුත් රැල්ලට අනුව දරුවන් ඉදිරියට නොයැව්වොත් පසුකාලීනව ඔවුන්ට ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙන නිසා අකමැත්තෙන් හෝ අපට ඔවුන්ව එම තරගයට යොමු කරන්නට සිදුවී තිබෙනවා. මොකද මේ රැල්ලට ඉගැන්නුවේ නැත්නම් දරුවන්ගේ ලකුණු අඩු වෙනවා. දරුවන් විභාගවලින් අසමත් වෙනවා. එතකොට දරුවන්ට දැනෙන්නේ තමන් හැකියාවන් නැති කෙනෙක් කියලයි. එහෙම වුණාම දරුවන් වගේම අපිත් කඩා වැටෙනවා.
දරුවන් ශිෂ්‍යත්ව විභාග තරගයට යොමු කරන්නේ ළදරු පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සිටමයි. වයස අවුරුදු 8, 9 සහ 10 කාලසීමාව තුළ දරුවන්ට ළමාවිය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. එබඳු තරගයකින් පසුවත් දරුවන්ට ඉදිරියට යන්නට සිදුවන්නේ ජීවිතයේ කුදු මහත් අනෙකුත් සියලු හැඟීම් සහ අවශ්‍යතා පැත්තකට දමමින් තවත් තරගයක් ඔස්සේ නම් එය දරුවන්ට සහ සමස්තයක් වශයෙන් රටට සිදුවන අසාධාරණයක්.
මේ වනවිට පාසලේ හයවන ශ්‍රේණියෙන් පසුව දරුවකු විසින් ඉගෙන ගත යුතු විෂයමාලාව පෙර තිබූ ප්‍රමාණයටත් වඩා වැඩියි. සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂයක් නවයකට පෙනී සිටීමට සිදු වුවත් හයවන ශ්‍රේණියේ සිට එයට වැඩි විෂයන් ප්‍රමාණයක් ඉගෙනගත යුතුයි. ඒ සඳහා දරුවාට වැඩි කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදුවෙනවා. පාසලේදී විෂයන් දහතුනක් විතර ඉගෙන ගන්න ඕනෙ. ඒ විෂයන්වල ගෙදර වැඩ කරන්න ඕනේ. ටියුෂන් යන්න ඕනේ. එයින් ඔවුන්ට ජීවත් වීමට සහ ජීවිතය විඳීමට ඇති අවස්ථාව අහිමි වී යනවා. ජීවිතයේ සමබර බව ගිලිහී යාම නිසා මානසිකව ශක්තිමත් නොවූ සහ ගැටලුවකට සාර්ථකව මුහුණ දීමට නොහැකි මිනිසුන් බිහි වෙනවා. මේ බව දැන දැනත් අපට අපේ දරුවන්ට ටියුෂන් දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මා සිතන ආකාරයට ඇතැම් විෂයයන් තවත් විෂයකට බද්ධ කර ඉගැන්වීමට හැකියාව තිබෙනවා. එසේම පාසලේ 6, 7 ශ්‍රේණිවලදීම අවශ්‍ය විෂය දරුවාට තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙනවා නම් ඔහු එම විෂයෙහි නිපුණයකු බවට පත්වෙන්නට ඒ විෂයය කෙරෙහි වැඩි අවස්ථාවක් ලබා දෙමින් ඉගෙන ගන්නට ඔහුට අවස්ථාවක් ලැබෙනවා.
අප කුඩා කාලයේ අපට අධ්‍යාපනය ලැබීමට අමතරව ක්‍රීඩා කිරීමට, නෑ හිත මිතුරන් සමඟ ගමන් බිමන් යාමට, යම්කිසි විනෝදාංශයක නිරතවීමට අවශ්‍ය තරම් කාලය ඇති තරම් තිබුණා. ඒ නිසාම අධ්‍යාපනය ලැබීම බරක් කරදරයක් ලෙස අපට දැනුණේ නැහැ. සමබර පෞරුෂයක් සහිත මිනිසෙක් බිහිවීමට මේ සියල්ල අත්විඳින්නට ඉඩ තිබිය යුතුයි. ජීවිතය සැහැල්ලුවෙන්ම අත්විඳින්නට ඉඩ ලැබෙන්නේ ළමා වියේදී. වැඩිහිටියන් වූ විට ජීවන බරට උර දෙන්නට සිදුවන නිසා ජීවිතය අනිවාර්යෙන්ම සංකීර්ණ එකක් බවට පත්වෙනවා. මේ සංකීර්ණ බවට පැහැදිලි මනසකින් මූණ දෙන්නටත් සතුටුදායක ළමා වියක් ගතකළ පුද්ගලයකුට ශක්තිය ලැබෙනවා.
ජීවිතය කියන්නේ අධ්‍යාපනය ලැබීමම පමණක් නොවෙයි. අධ්‍යාපනය ජීවිතයට වටිනාකමක් එක්කරන අතිශයින්ම වැදගත් සාධකයක්. නමුත් ජීවත් වීම තුළ එයට එහා ගිය බොහෝ දේවල් අත්දකින්නට දරුවකුට අවස්ථාව ලැබිය යුතුයි. එම නිසා නිසි ක්‍රමවේදයකට අනුව විෂයමාලා සකස් කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබන අතරතුර ජීවත් වන්නටත් ඉඩ අවකාශ ලබා දෙන්නට හැකිනම් එය අනාගතය වෙනුවෙන් කරන සේවයක් ලෙස මා දකිනවා.
දිල්රූ ජයසේකර
![]()
විෂය බර, දරුවන්ට මානසික පීඩනයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍ර කුමාර
අපේ රටේ අධ්‍යාපනය අවසානය රස්සාවක් කියලයි සියලු දෙනා හිතන්නේ. නමුත් රැකියාවක් කියන්නෙ අධ්‍යාපනයෙන් ලැබෙන එක දෙයක් පමණයි. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වෙන්නේ සමබර පුද්ගලයෙක් බිහි කිරීම. අනෙක් අතට වර්තමානයේ යමෙක් බුද්ධිමත් කියන්නේ එළඹෙන නව තත්ත්වයන්ට ඉක්මණින් අනුගත වෙන්න පුළුවන් වූ විටයි. මහත්මා ගාන්ධි අධ්‍යාපනය කියන කාරණාව එච් තුන කියලා කොටස් තුනකට බෙදුවා. ඒ කියන්නේ හදවත, අත සහ හිස කියන සියලු දේ අධ්‍යාපනයෙන් සංවර්ධනය වෙන්න ඕනේ. හදවත කියන්නේ ආකල්ප. අත කියන්නේ කුසලතා. හිස කියන්නේ දැනුම. මේ කියන කාරණා තුනම සම්පූර්ණ වුණාම තමයි මිනිසෙක් සමබර පුද්ගලයෙක් වෙන්නේ. නමුත් හය වසරින් ඉහළ දරුවන්ගේ අධ්‍යාපනයෙ සියයට අනූවක් අවධානය යොමු කරලා තියෙන්නේ දැනුමට.
වර්තමාන ලෝකයේ දැනුම සමාන කරන්නේ ඇඟිලි තුඩකට. ඒ කියන්නේ අන්තර්ජාලය මඟින් ක්ෂණයකින් දැනුම ළඟා කරගන්න පුළුවන්. නමුත් අපි තවමත් මතකයෙන් ලියන විභාග කේන්ද්‍රීය දැනුමෙන් තමයි ළමයා දක්ෂද මනින්න හදන්නේ. මේක ඉතා වැරදි තීරණයක්. දැනුම මතක තියා ගත් පමණින් ළමයකු සමබර පුද්ගලයෙක් වෙන්නේ නෑ. සමබර පුද්ගලයෙක් නොවෙන කෙනාට හොඳ පෞරුෂයක් නෑ. එහෙම පුද්ගලයෙකුගෙන් නව නිෂ්පාදන බිහි වෙන්නේ නෑ.
අපේ අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේම කටපාඩම් කරවන එක. කටපාඩම් කරලා වමාරන්න පුළුවන් කෙනා තමයි අපේ රටේ දක්ෂයා විදියට සලකන්නේ. හය වැනි ශ්‍රේණියේ සිට විෂයන් 13ක් දරුවන් හදාරන්න ඕනේ. එකිනෙකට වෙනස් මේ විෂයන්වල පොත් එක පිට තිබ්බම අඩි එකහමාරක් විතර උසයි. උසුලගෙන යන්න බැරිතරම් බරයි. මේක දරුවන්ට මහා මානසික පීඩනයක්. සිංහල උගන්වන ගුරුවරයාගෙන් ළමයෙක් විද්‍යාව ගැන ප්‍රශ්නයක් ඇසුවොත් කියන්නේ ඕක මගේ විෂය නොවෙයි, විද්‍යා ගුරුවරයාගෙන් අහන්න කියලා. ගුරුවරයා වුණත් අනෙක් විෂයන් ගැන දැනුවත් නෑ. හැබැයි අපි දරුවන්ට කියනවා හැම විෂයම එක වර මතක තියා ගන්න කියලා.
අපේ ප්‍රශ්නපත්‍රවල ආකෘතිය දිහා බලන්න. ඒ සියල්ලෙහි තියෙන්නේ එකම ප්‍රශ්න රටාවක්. කොහෙදීද වුණේ? කවදාදා වුණේ? කවුද? කාගෙද? වගේ ප්‍රශ්න ඇරුණම වෙන මොකුත් නෑ. අවුරුදු 13ක්ම මේ ආකෘතියෙන් පිට පනින්නේ නැති දරුවන්ගෙන් අපි කොහොමද නව නිර්මාණ කරන මිනිස්සු බිහි කරන්නේ? ප්‍රායෝගික පාඩම් තියෙන්නෙත් පොතේ. වයසක අම්මා කෙනෙක් පාරක අතහැර ගියොත් ඒ අම්මාට මොකද කරන්නේ? දවසම පාඩම් කරන ළමයකුට දෙන උපදෙස් මොනවාද? වගේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න එනවා. ලංකාවේ සියලුම ළමයි මේවාට එකම හොඳ උත්තරයක් දෙයි. හැබැයි ඒ ළමයින්ගේ අම්මා තාත්තාම පාරට වැටෙන වෙලාවල් එනවා. මොකද අපි උගන්වලා විතරයි. ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියලා විතරයි. ඒක දැනුම මිසක් ආකල්ප හෝ කුසලතා නොවෙයි. මේ ක්‍රමවේදයෙන් සමබර මිනිස්සු බිහි කරන්න බෑ.
සාපෙළ දක්වා අධ්‍යාපනය මූලික විෂයන් හයකට සීමා කරන්නත් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. ඒ අතර කියවෙනවා නීතිය අනිවාර්ය කරන්න කියලා. නමුත් නීතිය අමුතුවෙන් උගන්වන්න ඕනේ නෑ. භූ ගෝලය උගන්වන කොට ඒකට අදාළ පරිසර නීති ටික උගන්වන්න පුළුවන්. සංගීතය උගන්වද්දී බුද්ධිමය දේපළ වගේ නීති ටික උගන්වන්න ඕනේ. මේ විදියට විෂයන් සරල කරනවා විනා විෂයන් ගැන අමුතු බරක් දෙන්න හොඳ නෑ. ආගම වගේ විෂයකින් අපි මොනවාද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අපි ආගම විෂයෙන් බලාපොරොත්තු වෙන්නේ යහපත් ආකල්ප. ළමයෙක් ආගම කටපාඩම් කරලා ලකුණු සීයක් ගත්තම ඒ දරුවට හොඳ ආකල්ප තියෙනවා කියලා කියන්න අපිට පුළුවන්ද? ඇත්තටම අඩු ලකුණු තියෙන ළමයට ඊට වඩා හොඳ ආකල්ප තියෙන්න පුළුවන්.
විෂයයන්වල තියෙන බර අඩු කරන්න ඕනේ වගේම මේ විෂයයන්වලට දරුවන් දක්වන දක්ෂතා ඇගයීමට ලක්කරන ක්‍රමයක් තියෙන්න ඕනෙ. ඇගයීම් නැතිව ලකුණුවලින් විතරක් දරුවන්ගේ දක්ෂතා මනින ක්‍රමයක හිරවෙලා හිඳීමෙන් රටට ඕනේ කරන මානව සම්පත බිහි කරන්න බෑ. සීයට පනහක් ලිඛිත පරීක්ෂණයට ලකුණු දෙන කොට ඉතිරි පනහ දෙන්න ඕනේ ප්‍රායෝගික පරීක්ෂණයට. සංගීතය නැටුම් වගේ විෂයන්වලට වගේම විද්‍යා විෂයටත් ප්‍රායෝගික පැත්තක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ සියල්ල දන්න ඒ වගේම කිසිවක් නොදන්න මිනිසුන් බිහි වීම.
මේ තරම් විෂය ගොඩක් ඉගෙන ගන්න සිදුවීමෙන් දරුවන්ගේ නිර්මාණාත්මක පැතිකඩ මෙන්ම තාර්කිකභාවය නැතිවෙලා යනවා. අලුතෙන් හිතන්න වෙලාවක්, තර්ක කරන්න වෙලාවක් දරුවන්ට නෑ. සියලු විෂයන්වල කටයුතු කරලා හමාර වෙද්දී දරුවන් හෙම්බත් වෙලා. උදාසීන වෙලා. එහෙම දරුවන්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ආතතියෙන් මිදෙන්න දරුවන් ඉක්මණින්ම ඇදෙන්නේ ජංගම දුරකථනයට.
අද වෙනකොට මේ අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන්, ගුරුවරුන්, වගේම මවුපියන් මහත් පීඩාවට විඩාවට ලක්වෙලා. ජාත්‍යන්තර පොත් සල්පිලේදී වැඩියෙන්ම විකිණෙන්නේ කෙටි සටහන් සහ ප්‍රශ්නෝත්තර පොත් කියලයි කියන්නේ. ප්‍රශ්නෝත්තර පොත් තියෙන පොත් කුටිවල ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග පිරිලා. විභාග කේන්ද්‍රීය විෂයන් රාශියක් තිබෙන අධ්‍යාපන ක්‍රමයකට මුළු සමාජයම යට වෙලා. මවුපියන් යන රැල්ලට යනවා. දරුවනුත් එහෙමයි.
ප්‍රාථමික පන්තිවල ශිෂ්‍යත්වයෙන් බැට කන දරුවාට හය වසර සිට මහා විෂය කන්දරාවකට යට වෙන්න වෙන එක මහා ඛේදවාචකයක්. අපි දැන් මේ ගැන ඕනේ තරම් කරුණු පහදලා තියෙනවා. දැන් තියෙන්නේ විද්වත් මණ්ඩලයක් මඟින් තීරණ ගැනීම. පාලකයන් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඡන්ද පදනම මත ඉඳගෙන නම් මේ තීරණ ක්‍රියාත්මක කරන්න බැරිවෙයි. ඒ නිසා පාලකයන් කරන්න ඕනේ මේ තීරණවල වගකීම විද්වත් කමිටුවට පවරලා තීරණ ක්‍රියාවට නැගීමට නියෝග දීම.
මේ ක්‍රමය වෙනස් නොවුණොත් අපට ඉදිරියේ ලෝකය ජය ගැනීම තවත් අසීරු වෙනවා. විෂයන් මහා ගොඩකින් ලිඛිත පරීක්ෂණයෙන් සීයට සීයක් ලකුණු ගත්ත පමණින් බුද්ධිමතුන් හෝ නිර්මාණශීලි නව නිපැයුම්කරුවන් බිහි වෙන්නේ නෑ. ඒ නිසා ඉක්මණින් මේ ක්‍රමය වෙනස් කරන්න කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රම භාවිතා කරන්න ඕනේ. සමබර පුද්ගලයන් බිහි කරන නව අධ්‍යාපන ක්‍රමයකින් ලෝකය දිනන්න අපට පුළුවන් වෙන්නේ එවිටයි.
සුමේධා