පසුගිය ජනපතිවරණයේදී අපනයන කෘෂි භෝග ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය. එයට හේතු වූයේ ඒ වන විටත් විශේෂයෙන් ගම්මිරිස් කුරුඳු වැනි භෝගවල මිල ඉතා පහළ අඩියකට වැටීම නිසා වගාකරුවන් ආර්ථික වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටීමය. අපනයන කෘෂි භෝග වගාවෙන් ජීවිකාව ගෙන යන ලක්ෂ 10 ක පමණ පිරිසක් මෙරට සිටින අතර රටට විදේශ විනිමය ගෙන ඒම පිණිස ඔවුන් ගන්නා වෙහෙස සුළුපටු නැත. වර්ෂ 2018 සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් කුරුඳු ගම්මිරිස්, සාදික්කා, කරාබු, බුලත්, පුවක් ඇතුළු සියලුම අපනයන කෘෂි භෝග මෙට්ට්‍රික් ටොන් 48151 ක් අප අපනයනය කර තිබේ. එමඟින් උපයන ලද ආදායම රුපියල් මිලියන 64278 කි. මෙම අගය රුපියල් මිලියන ලක්ෂයක් නැතහොත් බිලියන 100 ක් දක්වා ගෙන ඒම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණය. එම ඉලක්කය ජය ගැනීම සඳහා යන ගමනේදී දෙපාර්තමේන්තුවත් අපනයන කෘෂි භෝග වගාකරුවනුත් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ නිෂ්පාදනවලට ලෝක වෙළෙඳ පොළේ හොඳ මිලක් නොලැබීම හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් අඩුවීමය. ගුණාත්මක තත්ත්වයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා දේශීය කුළු බඩුවලට ජත්‍යන්තර වශයෙන් පවත්නා කීර්ති නාමය පසුගිය කාලයේදී ක්‍රමයෙන් පහත වැටීමට ප්‍රධාන හේතුව වූයේ දේශපාලන සබඳතා ඇතිව කූට ජාවරම්කරුවන් සිදුකළ ප්‍රතිඅපනයන ක්‍රියාවලියයි.
අපනයන කෘෂි භෝග සඳහා ශ්‍රී ලංකාව සතු කීර්ති නාමය ප්‍රයෝජනයට ගනිමින් ගුණාත්මකභාවයෙන් අඩු කුළුබඩු වර්ග වෙනත් රටවලින් අඩු මිලට ගෙන්වා ශ්‍රී ලාංකීය ලේබලය යටතේ වෙනත් රටවලට යැවීම සම්බන්ධව විශාල කතාබහක් පසුගිය ආණ්ඩු සමයේ අසන්නට ලැබිණි. මේ හේතුවෙන් රුපියල් දහස ඉක්මවා තිබූ මෙරට වියළි ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 450.00 කටත් අඩු අගයක් දක්වා පහත බැස තිබිණි.
අාදායම පහත වැටීම
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ කුළු බඩු සඳහා ලෝක වෙළෙඳ පොළේ පවත්නා කීර්ති නාමයට හානි කරමින් සිදු කෙරුණු ප්‍රති අපනයන ක්‍රියාවලිය තුළින් දේශීය කුළු බඩු නිෂ්පාදකයා කබලෙන් ළිපට වැටෙද්දී තවත් පැත්තකින් ආණ්ඩුවට විශාල ලෙස බදු මුදල් අහිමි වීමක්ද සිදුවිය. වියට්නාමය වැනි රටවලින් ඉතා අඩු මිලට ගම්මිරිස් නැව් මගින් රැගෙන විත් මෙරට නැව් තොටට ඇතුළු නොකරම ඒවා ශ්‍රී ලංකා ලේබලය යටතේ වෙනත් රටවලට අපනයනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය. සුළු සැකසුම් කිරීමෙන් පසු සිදු කෙරෙන ප්‍රති අපනයනයේදීද කූට වෙළෙඳුන් ගුණාත්මකභාවයෙන් අඩු නිෂ්පාදන ලෝක වෙළෙඳ පොළට යොමු කිරීම මෙරට කෘෂි අපනයන භෝග ආදායම පහත වැටීමට හේතු විය. මේ සියල්ල සලකා බලමින් වත්මන් ආණ්ඩුව අපනයන කෘෂි භෝග 10 ක් ප්‍රතිඅපනයනය හා සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව සිදු කෙරෙන අපනයනය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මේ තීරණයත් සමඟ පහත බැස තිබූ ගම්මිරිස් මිල මේවන විට රුපියල් 450.00 සිට රුපියල් 750.00 දක්වා ඉහළ ගොස් තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
වසර 2017 ට සාපේක්ෂව 2018 වසරේදී කුළු බඩු අපනයනය 19.6% කින් පහත බැස තිබෙන බවත් ඊට සාපේක්ෂව අපනයන ආදායම 11.3% කින් පහත බැස තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පවසයි. එමෙන්ම දේශීය වශයෙන් වගා කළ හැකි අපනයන කෘෂි භෝග ආනයනය කිරීම 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී 12% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් මේ නිසා ආනයන වියදමද 8.9 % කින් ඉහළ ගිය බවත් ඇය පෙන්වා දෙයි.
සිලෝන් සිනමන් (ශුී ලංකා කුරුඳු) හා සිලෝන් පෙපර් (ශ්‍රී ලංකා ගම්මිරිස්) ලෙස ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබූ දේශීය කුළුබඩුවලට අද අත් වී තිබෙන්නේ සිලෝන් ටී (ශ්‍රී ලංකා තේ) වලට අද අත්ව තිබෙන ඉරණමම බවත් මෙයට හේතු වී ඇත්තේ කූට වෙළෙඳුන්ට අවැසි ලෙස කටයුතු කරන්නට දේශපාලන අනුග්‍රහය හිමිවීම බවද ඇය කියයි. අපේ නිෂ්පාදන ජත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ප්‍රතික්ෂේප වීමෙන් රටට ලැබෙන විදේශ විනිමය පහත වැටීම එක් පැත්තකින් සිදු වනවිට තවත් පැත්තකින් මෙම වගා කටයුතුවල නිරත ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙන බවත් මේ නිසා අද වනවිට ගම්මිරිස් ඇතුළු අපනයන කෘෂි භෝග වගාකරුවන් විශාල ප්‍රමාණයක් එම වගාවන්ගෙන් ඈත්ව සිටින බවත් හේරත් මහත්මිය පවසයි.
ඉන්දියාව වැනි රටවල් ප්‍රති අපනයන ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කරනු ලබයි. කළු හා සුදු ගම්මිරිස්වලට වඩා කොළ ගම්මිරිස්වල මිල ඉහළය. අපේ බුබුළු ගම්මිරිස් විශාල ප්‍රමාණයෙන් මිලට ගෙන ඉන්දියාව කොළ ගම්මිරිස් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් ඉහළ ආදායමක් උපයයි.
රටක් ලෙස අපට ද ඒ ආකාර වැඩපිළිවෙළ වෙත යොමු වීමට අවශ්‍යය පසුබිම සැකසීම වත්මන් ආණ්ඩුවේ වගකීම බව හේරත් මහත්මිය පවසයි.
කූට වෙළෙඳුන් කිහිපදෙනකු විසින් සිදු කළ ක්‍රියාවන් හේතුවෙන් ප්‍රති අපනයනය සම්පූර්ණයෙන් තහනම් කළද එය ඉතා විධිමත් අයුරින් සිදු කිරීම කෙරෙහි රටක් ලෙස අප අවධානය යොමු කළ යුතුව තිබේ.එවැන්නක් සඳහා යොමු වීමට අවකාශයක් දැන් නොපවතින බැවින් රජය ගෙන තිබෙන්නේ මේ මොහොතේ ගත හැකි හොඳම තීරණය බව කිව යුතු යැයි ද ඇය කීවාය.
මෙරටින් අපනයනය කරනු ලබන කුරුඳු වලින් 90% ක් පමණ මිලට ගනු ලබන්නේ මෙක්සිකෝවය. ඉතිරි 10 % ක ප්‍රමාණය ලතින් ඇමරිකානු රටවලට අපනයනය කරනු ලබයි. ගම්මිරිස් වැඩි ප්‍රතිශතයක් අපනයනය කරන්නේ ඉන්දියාවටය. කරාබු, සාදික්කා, පුවක් වැනි භෝග වැඩි වශයෙන් මිලට ගනු ලබන්නේද ඉන්දියාව විසිනි. අපේ ප්‍රධාන බුලත් ගැනුම්කරුවා වන පකිස්තානය අපනයන ප්‍රමාණයෙන් 95% ක් මිලට ගනියි. කාබනික නිෂ්පාදන ලෙස ලියාපදිංචි වූ අපනයන කෘෂි භෝග ඇමරිකාව, ජර්මනිය වැනි රටවලට අපනයනය කරන බවත් සුළු ප්‍රමාණයක් වන එය ඉහළ අගයක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි.
ගම්මිරිස් නිෂ්පාදනයෙන් ඉහළින්ම සිටින්නේ වියට්නාමය බවත් එම ගම්මිරිස්වලට වඩා අපේ ගම්මිරිස්වල ගුණාත්මකභාවය ඉතා ඉහළ බවත් පවසන ඒ මහතා අප වසරකට මෙට්‍රික් ටොන් 20000 ක් පමණ අපනයනය කරන බවද ප්‍රකාශ කළේය. වියට්නාමය වසරකට අපනයනය කරනු ලබන ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 250000 කි. ලෝක ගම්මිරිස් වෙළෙඳ පොළින් 50% ක් පමණ වියට්නාමය ආවරණය කරන බවත් ඒ ආසන්නයට හෝ ඒමේ හැකියාවක් මෙතෙක් අපට ලැබී නොමැති වුවත් ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වල ඇති ගුණාත්මක බව නිසා ලෝක වෙළෙඳ පොළ තුළ හොඳ ඉල්ලුමක් තවමත් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
ලෝක වෙළෙඳ පොළේ කුරුඳු අපනයන අංශයෙන් ප්‍රමුඛයා ශ්‍රී ලංකාවය. එය සමස්ත වෙළෙඳ පොළ ප්‍රමාණයෙන් 90% කි.චීනය ඉතිරි ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරන බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා කුරුඳු පසුගිය වසරේ කුරුඳු මෙට්‍රික් ටොන් 17500 ක් අපනයනය කර රුපියල් මිලියන 35000 ක ආදායමක් ඉපයූ බවද කීය.එය අපනයන කෘෂි භෝග අපනයයෙන් පසුගිය වසරේ ඉපයූ ආදායමෙන් 55% කි. 2018 දී ඉතිහාසයේ වැඩිම කුරුඳු අපනයන ආදායම ලබා ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ හීන්කෙන්ද මහතා මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අභියෝගය ජය ගැනීම පිණිස සැළසුම් ක්‍රියාත්මක කර තිබෙන බවද අවාධාරණය කළේය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේත් අදාළ ඉලක්කයට යාමේ හැකියාව තිබෙන බවද ඒ මහතා කියයි.
මෙක්සිකෝ ප්‍රශ්නය
කුරුඳුවලට ආදේශකයක් ලෙසින් පවතින කැසියාවල මිල අඩුය. ඇතැම් රටවල් සත්‍ය කුරුඳු වෙනුවට මෙය භාවිත කරයි. රසය අතින් සත්‍ය කුරුඳු හා කැසියා අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. කැසියාවල කුමරින් නමැති පිළිකා කාරකය තිබෙන බවත් මෙරට කුරුඳු එම රසායනිකයෙන් තොර බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. කුරුඳුවලින් වැඩි ප්‍රතිශතයක් මෙක්සිකෝවට අපනයනය කරන නිසා එරට ආර්ථික කඩා වැටීම් ඍජුවම අපේ කුරුඳු අපනයනයට බලපායි. ඇමරිකාව විසින් මෙක්සිකෝවට ආර්ථික සම්බාධක පැනවූ අවස්ථාවේ මෙක්සිකානු මුදල් ඒකකයේ අගය අඩුවීම නිසා ඔවුන්ට අපේ කුරුඳු වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්නට සිදුවිය. ඒ නිසා මෙක්සිකෝව කුරුඳු මිලට ගැනීම අඩු කිරීම නිසා දේශීය කුරුඳු මිලේ අඩුවීමක් දක්නට ලැබිණි. එයද අපේ අපනයන ආදායම් පහත වැටීමට හේතු වූ බව හීන්කෙන්ද මහතා පවසයි.
මෙරට ගම්මිරිස් වගා කරනු ලබන ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 1 1/2 ක් පමණ වන අතර කුරුඳු වගා කරන සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. දේශීය වශයෙන් කුරුඳු වගා කරනු ලබන වපරිසය හෙක්ටයාර 33500 කි.මෙරට කුරුඳු වගා භූමියෙන් හෙක්ටයාර 11900 ක් තිබෙන්නේ ගාල්ලේය. තවත් 9000 ක් පමණ මාතර පිහිටා තිබේ. රත්නපුර 4300 ක්ද හම්බන්තොට 3300 ක්ද ඇත. කළුතර හෙක්ටයාර ප්‍රමාණය 2505 කි.
ගම්මිරිස් වැඩිම ප්‍රමාණයක් වගා කර තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේය. මහනුවර, බදුල්ල, මොනරාගල හා රත්නපුරයේ ද සැලකිය යුතු ගම්මිරිස් වගා භූමි ප්‍රමාණයක් තිබේ.
දේශීය වශයෙන් වගා කෙරෙන අපනයන භෝග ආශ්‍රිත කර්මාන්තශාලා මෙරට තිබෙන බවත් ඒවාහි අවශ්‍යතාව මත විදේශ රටවලින් ඉඟුරු වැනි භෝග මෙරටට ආනයනය කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. රජය ගෙන තිබෙන තීරණයට අනුව අපනයන කෘෂී භෝග 10 ක් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කුළු බඩු වර්ග සුළු ප්‍රමාණයක් ආනයනය කිරීම ගැටලුවක් නොවුණත් ඒ මුවාවෙන් පසුගිය කාලයේදී විශාල ප්‍රමාණයක් ගෙන ඒම බරපතළ ගැටලුවක් වූ බව පෙන්වා දෙන හීන්කෙන්ද මහතා එම භෝග මෙරට නිෂ්පාදන සමඟ මිශ්‍ර කර වෙනත් රට වලට යැවීම ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වූ බවද කීය. එමඟින් සිදුවූයේ අපේ නිෂ්පාදනවල නියම තත්ත්වය පහත වැටීමයි.
මෙරට ගම්මිරිස්වලට වියට්නාම් ගම්මිරිස් මිශ්‍ර කළ විට එහි ගුණාත්මකභාවය පහළ වැටෙන බවත් වියට්නාම් ගම්මිරිස් මිල මෙරට ගම්මිරිස්වලින් භාගයක් පමණ වන නිසා මෙම මිශ්‍ර කිරීමෙන් අධික ලාභ ලැබිය හැකි බව පෙන්වා දෙන හීන්කෙන්ද මහතා ඒවා ලෝක වෙළෙඳ පොළට ශ්‍රී ලංකා ලේබලය යටතේ නිකුත් වීමෙන් රටක් ලෙස අප බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන් බවද අවධාරණය කළේය. මෙහි එක් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට තිබෙන ඉල්ලුම අඩු වූ බවත් නැති වී ගිය එම කීර්ති නාමය ගොඩනඟා ගැනීම කූට ක්‍රම මගින් ලාභ ලැබීම තරම් පහසු නොවන බවද හෙතෙම කීය.
අනාගත අපේක්ෂා
මෙම තත්ත්වය එන්න එන්නම බරපතළවීම නිසා ප්‍රථම පියවර ලෙස 2019 මාර්තු මාසයේදී කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, සියඹලා හා පුවක් යන භෝග පහ ආනයනය කිරීම රජය මගින් තහනම් කරනු ලැබීය. පසුගිය දෙසැම්බර 05 දින රජය නිකුත් කළ ගැසට් පත්‍රය හා මුදල් අමාත්‍යාංශ නිවේදනය සැලකීමේදී භෝග 10 ක් ආනයනය කිරීම, සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව සිදු කරන ප්‍රති අපනයන තහනම් කර තිබේ. ඉඟුරු, කහ, කරාබු, එනසාල් සහ කරාබු නැටි මෙයට අලුතින් එක්වූ අපනයන කෘෂී භෝගයි. මේවා කුමන ආකාරයෙන් හෝ ආනයනය කිරීම තහනම් බවත් ඇතැම් අවස්ථාවල අපේ වරාය තොටු පොළට නොපැමිණ පිට පාරෙන් වෙනත් රට වලට ශ්‍රී ලංකා ලේබනය යටතේ වෙනත් රටවල නිෂ්පාදන නිකුත් වී තිබෙන බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ වෙනුවෙන් ව්‍යාජ ලිපි ලේඛන පවා සකස් කරමින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවද අවධාරණය කළේය. සුළු පිරි සැකසුම් කර ප්‍රතිඅපනයනයද නිවේදනය මගින් තහනම් කර තිබෙන බැවින් ඉදිරියේදී මෙම තීරණයේ සාර්ථක ප්‍රතිඵල රටක් ලෙස අපට අත්විඳිය හැකි වනු ඇති බවද ඒ මහතා පවසයි. අපනයන කෘෂි භෝග වගා කරන දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගත් මෙම තීරණය නිසා අදාළ නිෂ්පාදන මගින් පවත්වා ගෙන යන කර්මාන්තවලට අපේ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනීමට සිදුවීම තුළින් දේශීය ගොවියාගේ නිෂ්පාදනවලට යොඳ මිලක් ලැබෙනු ඇති බවත් නිසි මිලක් නොමැති නිසා ගබඩා කර තබා ගෙන සිටින ගම්මිරිස් දැන් වෙළෙඳ පොළට නිකුත් වනු ඇති බවත් හෙතමෙ පැවසුවේය. ඒ අනුව මෙය ප්‍රධාන වශයෙන් දේශිය ගොවියා ශක්තිමත් කිරීමට ගෙනා ගැසට් පත්‍රයක් ලෙස මෙය හැඳින්විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
අපේ ගොවීන් බොහොමයක් දෙනා තනි භෝගයක් මත යැපීම නිසා එම භෝගයේ මිල පහත වැටුණු විට ඔවුන්ගේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමක් සිදුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. ලෝක වෙළෙඳ පොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1390.00 ක වැනි අගයක තිබී රුපියල් 450.00 ක් දක්වා පහත වැටුණු අවස්ථාවේ ගොවීන් දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනු ලැබුවේ මේ හේතුවෙනි. ගොවීන් තනි භෝගයක් මත යැපෙන තත්ත්වයෙන් මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මේ මොහොතේ සිදු කරනු ලබන්නේ රජය ගෙන තිබෙන තීරණයේ ප්‍රතිලාභ වැඩි වශයෙන් ගොවියාට ලබා දීම පිණිස ක්‍රියා කිරීමය. එහිදී අලුතින් වගා කිරීම් නොකර පවතින වගාවේ ඵලදායිතාව ඉහළට ගෙන ඒම වඩා යෝග්‍ය බව අපගේ හැඟීමයි. දැනට අතහැර දමා තිබෙන වගා භූමිවල යළි වගා කිරීමට ගොවීන් කටයුතු කරන බවක් දක්නට ලැබෙන බවද හීන්කෙන්ද මහතා පවසයි.
රජය ගත් මෙම තීරණයට ගොවීන්ගේ පැත්තෙන් ඉතා හොඳ එකකි. කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ යටතේ අපටද අපේ නිෂ්පාදනවලට අගය එකතු කිරීමක් සිදුකර අපනයනය කළ හැකිය. ඉන්දියාවට සාපේක්ෂව අපේ කෘෂි භෝග නිෂ්පාදනයට වැයවන පිරිවැය ඉහළය. මහා පරිමාණ වගාවන් සීමාසහිත වීමත් වගා කටයුතුවලට තාක්ෂණය බද්ධ කර ගැනීම ඉතා අවම මට්ටමක පැවතීමත් මෙයට ප්‍රධාන හේතු බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ගම්මිරිස් සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ශාලා පහක් කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ යටතේ මෙරට ස්ථාපිත වන බවත් ඒ මගින් අපේ නිෂ්පාදනවලට අගය එකතු කිරීමක් සිදුකර අපනයනය කිරීමට අවකාශ සැලසුණහොත් මෙරට අපනයන ආදායම අපේක්ෂිත ඉලක්ක කරා ඔසවා තැබීම අසීරු නොවන බවත් ඒ මහතා පවසයි.