මේෂ - ධන ලාභ
අඟහරු හිමි මේෂ ලග්නයෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නාධිපති අඟහරු ග්‍රහයා නව වසර ආරම්භක මොහොතේ ලග්නයෙන් අටවැන්න වෘශ්චික රාශිගතව සිටියි. වෘශ්චික රාශියට අඟහරු ස්වක්ෂේත්‍ර වන අතර රුචක නමැති මහා පුරුෂ යෝග බලය ද, යෙදී ඇත. ලග්නයට උච්ඡ රවි සමඟ බුධ, ගුරු, ශනි, කේතු භාග්‍යස්ථානගතව ඇත. සිකුරු, සෙනසුරු, හිමි මකර රාශිගතව දහවැන්නේ ද සඳු ශනි හිමි කුම්භ රාශිගතව එකොළොස් වැනි භාවයේ සහ රාහු තෙවැනි භාවගතව මිථුන රාශියේ ගෝචරව යෙදී සිටියි.
මෙම ග්‍රහ තත්ත්වය මත ලග්නාධිපති අඟහරු අෂ්ටම බාධක සහිතව අටවැන්නේ ස්වක්ෂේත්‍රව සිටීමෙන් ඔබ කරා එන සියලු කරදර බාධක මැඩ ස්වාර්ථ සුබසිද්ධියට හේතුවන යහපත් ප්‍රතිඵල උදාකිරීමට හේතු වේ.
භාග්‍යස්ථානගතව උසස් චතුර් ග්‍රහයෝගයක් බලවත්ව යෙදීමෙන් දියුණුව, භාග්‍යය, වාසනාව සඳහා කරන කටයුතු බොහෝදුරට සාර්ථක වීමට හේතු වේ. බ්‍රහස්පතී මහා දසාව සහ එම දසාවේ රවි, බුධ, ශනි අතුරු දසා, උපදසා, විදසා ගෙවන අයට ඉතා උසස් දියුණුවකට හේතු වේ. බ්‍රහස්පතී දසා පසුකරමින් සිටින අයට තමන් කරන කරවන අපේක්ෂිත කටයුතු බොහෝදුරට ඉටුවේ. ආරම්භ කර අතරමඟ නතරකර තිබුණු වැඩ නැවත පටන් ගැනීම, ආදායම් තත්ත්වය වැඩි දියුණුවීම, උරුම හිමිකම් ලැබීම හදිසි ධන ලාභ, විභාග ජයග්‍රහණ, විවාහ අපේක්ෂිත අයට යහපත් මංගල යෝග සාර්ථක කරගත හැකි වසරකි.
සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
සුබ වර්ණ - රතු, නිල්
පැලඳිය යුතු මැණික් - රතු කොරල්, රතු මැණික්
අය - 12 වැය 11
*****************
වෘෂභ-මානසික සුවය
සිකුරු හිමි වෘෂභ ලග්නයට අයත් ලග්නාධිපති සිකුරු නව වැන්නේ ශනි හිමි මකර රාශිතව ද, ලග්නයට උච්ඡ හා මුල ත්‍රිකොණගත සඳු ග්‍රහයා කර්මස්ථානගතව ද, භාග්‍යස්ථානය හා කර්මස්ථානය හිමි සෙනසුරු මාරකස්ථානය වන අටවැන්නේ රවි, බුධ, ගුරු, කේතු සමඟ ද රාහු දෙවැනි භාවයේ ද ගෝචරව සිටියදී නව වසර උදාවේ.
වර්තමානය වන විට වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපැවැත් වූ සෙනසුරු අෂ්ටමක ඒරාෂ්ටක කාලය ජනවාරි මස 24 වැනි දින සෙනසුරු මකර රාශීගත වීමෙන් ස්වක්ෂේත්‍ර භාවයට පත්වීමෙන් නිම වේ. පසුගිය වසර, දෙකහමාරක ගත කළ කාලය තුළ තිබූ තද බල මානසික අසහනකාරී බලපෑම් ක්‍රමයෙන් මඟ හැර යයි. තරමක සහනදායී බවක් අති කළ ද, අට සහ එකොළහ අධිපති බ්‍රහස්පති කේතු සමඟ අටවැන්නේ ගෝචරවීම අහිතකරය. මාර්තු මස 29 වන දින සිට බ්‍රහස්පතී මකර රාශිගත වී සෙනසුරු සමඟ සංයෝග වීමෙන් නීච භංග වී ජුනි මස 30 දින දක්වා එහි ගෝචරවීම මධ්‍යස්ථ වශයෙන් යහපත් වේ.
මේ කාලය තුළ හිතේ කණස්සලු ස්වභාවය මඟහැරී ගොස් මානසික සතුට, ප්‍රබෝධය, ආදායම ක්‍රමයෙන් යහපත්වීම සිදුවේ. පුණ්‍ය කටයුතු හා සමාජ කටයුතු කෙරේ සිත් යොමුවීම, පවුලේ සතුට සමාදානය ඇතිවීම, ලෙඩදුක්, සතුරු කරදර, බාධා අවහිරතාවයන් මඟ හැරීම සිදුවේ. රැකියා තරග විභාග, සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණය කරයි. හදිසි ධන ලාභ, දරුවන්ගේ යහපත් අපේක්ෂාවන් ඉටු වේ.
ජුනි 29 සිට නොවැම්බර් 20 දක්වා කාලය තරමක අහිතකරය. විශේෂයෙන් ශනි සිකුරු මහ දසා, අන්තර් දසා ගත කරන අයට යහපත් වේ. රාහු කේතු දසා හිමියන්ට අසුබය.
සුබ දවස් - සිකුරාදා
සුබ වර්ණ - සුදු, ක්‍රීම්, අයිවර්
පැලඳිය යුතු මැණික් - දියමන්ති සහ සුදු මැණික්
අය - 11 වැය 5
*****************
මිථුන - මිශ්‍රපල
බුධ හිමි මිථුන ලග්නයෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නාධිපති හා සිවු වැන්න අධිපති බුධ ග්‍රහයා ගෝචර ගමනින් හත්වැන්න ගතව රවි ගුරු ශනි කේතු සමඟ ද රාහු ලග්න ගතවද සිකුරු අටවැන්නේ ද චන්ද්‍රයා නමවැන්නේද සිටියි. මෙම ග්‍රහ තත්ත්වය ඔබගේ යහපත පිණිස හේතු වුවද ජනවාරි මස 24 වැනි දින සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකය ලබා එය මුළු වසර පුරා බලපැවැත්විම අහිතකර වේ.
කෙසේ නමුදු සෙනසුරු අටවැන්නට ස්වක්ෂේත්‍ර වීම හා සස හා ජය යෝගවට අනුකූලව ද බ්‍රහස්පතීගෙන් යෙදුණ රණ හංස යෝග බලය ද අගහරුගෙන් ලැබුණ රුචක යෝග බලය මත බාධක, කරදර, අවහිරතා කොතෙක් පැන නැඟුන ද ඒවා මැඩ ඉදිරියටම යෑමේ අවකාශය ඇත.
තවද, මාර්තු මස 30 දින සිට ජුනි මාසය දක්වා ශනි ගුරු අටවැන්නෙහි සංයෝග වී නීච භංගවීම තුළින් අෂ්ටම බාධකය මැඩ ජය කොන්තය කරා යෑමට අවකාශ සැලසිය හැකියි.
කෙසේ නමුදු අසුබ පල ලෙස ආර්ථිකය දරා ගැනීමට නොහැකි වන අයුරින් වැයපස අධික වේ. ගුරු ශනි මහ දසා අතුරු දසා ගත කරන අයට හදිසි ධන ලාභ, සිකුරු ගුරු වාසනාවන්ත මංගල යෝග, රාහු, කේතු දසා හිමියනට මුත්‍රා ආබාධ, හදිසි විපත් කරදර බෝවන රෝග ඇතිවිය හැකිය. රවි, බුද, කුජ දසා හිමියනට හා සිසු දරු දැරියනට තරග විභාගවලින් රැකියා ජයග්‍රහණ. අන් අයට මිශ්‍ර පල උදාවේ.
සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ - කොළ සහ කහ
පැලඳිය යුතු මැණික් - මැණික්, පච්ච
අය - 2 වැය 5
*****************
කටක - ප්‍රේම සබඳතා
සිතට හා ආපෝ ධාතුවට අධිපති කෙනකුගේ මානසික පැවැත්ම බල දුබල අබල කිරීමට තරම් මහා ශක්තිමත් බලයක් සතු කටක ලග්නය අධිපති සඳු ග්‍රහයා වර්ෂ, ආරම්භයේ දී සෙනසුරු හිමි කුම්භ රාශිය අටවැන්න ගතව ගෝචරව සිටියි. නව වසර උදාවේදී සඳ අටවැන්න ගතවීම රාහු 12 වැන්න ගතවීම, රවි බුධ ගුරු ශනි කේතු රෝගස්ථානගතවීම හා සිකුරු හත්වැන්නගතව සිටින මොහොතක නව වසර උදාවේ.
ඒ අනුව කටක ලග්න හිමියනට ආමාශගත විෂම රෝගාබාධ තුන අධිපති හයවැන්න ගතවිමෙන් සහෝදර හෝ පවුලේ අසමගියට හේතුවන විරෝධතා ඇතිවේ. යුග දිවියේ ගැටලු, ප්‍රේම සම්බන්ධතා සාර්ථකව ආරම්භ වී අවසානයේ අනපේක්ෂිත මොහොතක වෙන්වීම, රැකියා ස්ථානවල කරදර, ප්‍රධානීන්ගේ අභූත චෝදනාවලට ලක්වේ. ස්ත්‍රී පක්ෂයේ අය නිසා අප්‍රසාදයට හේතුවන අවස්ථා සහ අන්පේක්ෂිත කරදර බාධක හිරිහැර නිතර නිතර පැන නැඟිය හැකිය.
ජනවාරි 25 ශනි 7 දිග්බලවීම මාර්තු සිට ජුනි 29 දක්වා ගුරු එහි විසීම යහපත් පල උදාකිරීමට හේතුවනු ඇත. එතැන් සිට නොවැම්බර් 20 අතර කාලය මධ්‍යස්ථ ලෙස ගෙවී යනු ඇත. කෙසේ නමුදු කරන සෑම ක්‍රියාවක් ගැනම සැලකිලිමත් වීමට වග බලා ගත යුතුය.
සුබ දවස් - සඳුදා, අඟහරුවාදා
සුබ වර්ණ - සුදු, ක්‍රීම්
පැලඳිය යුතු මැණික් - මුතු
අය - 2 වැය 5
*****************
සිංහ - රැකියා දියුණුව
රාජ තේජස, අභිමානය, ආලෝකය, දීප්තිය, බැබලිම දියුණුව, භාග්‍යය, යසස, රත්රන්, මැණික්, ගජමුතු ආදී මහා භාග්‍යසම්පන්න වස්තූන්ට මෙන්ම මහා බල පරාක්‍රමයෙන් යුතු පරිවාර සම්පත් උද්දීපනය, අවංක නිහතමානිබව මහත් අභිමානයෙන් යුතු තේජානුභාව පාලන තන්ත්‍රය - සිංහ ලග්නය හිමි රවිගෙන් නියෝජනය වේ.
නව වසර උදාවේදී බොහෝවිට මෙතෙක් පැවති කරදර ක්‍රමයෙන් දුරුවී යයි. අධ්‍යාපන කටයුතුවල මෙන්ම තරග විභාග, රැකියා කටයුතුවලින් උසස් ප්‍රතිඵල සහිත පල ප්‍රයෝජන සහිත කාලයකි.
ව්‍යාපාර දියුණුව, තනතුරුවල උසස්වීම් නිසි වයසේ පසුවන අයට උසස් විවාහ මංගල සාර්ථකවීම, විදේශ රැකියා, රැකියාවල දියුණුව, පවුලේ දියුණුව, සමඟිය, සමාදානය, හදිසි ධන ලාභ මෙන්ම තමාට හිමි දේ ලැබෙනු ඇත. නඩුහබ, දේපළ ආරවුල් ආදිය ඇති අයට ඒවායින් ජයග්‍රහණය අත්වන අතර වසරේ මුල් කාර්තුව යහපත් වේ.
වසරේ මැද කොටස කරදර හා රෝගාබාධ සහිත කාලයකි. එහෙත් අවස්ථානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් බාධක මැඩ ජයටැඹ කරා යා හැකිය. මාර්තු 24 ජුනි 30 අතර සතුරු කරදර හා ආමාශගත විෂම වායු පීඩා, අජීර්ණාබාධ බලපැවැත්විය හැකිය. ජුනි 30 ඔක්තෝම්බර් 20 අතර යට කී සුබපල සහිත කාලයකි.
සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
සුබ වර්ණ - රන්
පැලඳිය යුතු මැණික් - පද්මරාග
අය - 14 වැය 11
*****************
කන්‍යා - රැකියා ලාභ
කේන්දරයේ සිවුවන ස්ථානයේ ස්වක්ෂේත්‍ර භවින් යුතු චාතුර්මහා ග්‍රහයෝගයක් යෙදීම යහපත් වේ.
ජනවාරි 24 දින සෙනසුරු ත්‍රිකෝණ ස්ථානයක් වූ පස් වැන්න ගතවේ. මාර්තු 29 සිට ජුනි 30 දක්වා කාලය බ්‍රහස්පති, සෙනසුරු සමඟ එක්ව මකර රාශියේ නීච භංගවීම යන ග්‍රහ තත්ත්වයන් ගැන සැලකීමේදී උපතින් ශනි ගුරු බලවත්ව සිිටින අයට යහපත් වේ.
තම දියුණුව සාර්ථකවීම, අපේක්ෂිත රැකියා ලැබීම, යාන වාහන ලාභ, යටපත්ව තිබු කටයුතු නැවත ආරම්භවීම තරග විභාග, රැකියා සම්මුඛ පරීක්ෂණ වලින් දියුණුව අත්වේ. කලක් තිස්සේ අපේක්ෂිත කටයුතු සාර්ථක කර ගැනීමට ලැබීම වැනි ඉතා සුබපල ලැබීමට ද හේතු වේ.
එහෙත් වර්ෂාරම්භයේ යෙදී තිබෙන සම විෂම අධම මධ්‍යස්ථභාවය අනුව පොදුවේ ගෘහවාසීනට නිතර කරදර බාධක, අඬ දබර, සතුරු විපත්, විෂ සහිත සතුන්ගේ උවදුරු, භූමිය තුළ අඳුරු ගති, ඉඩ කඩම් සම්බන්ධ ගැටලු, නීති ප්‍රශ්න, නඩුහබ, නිරපරාදේ ධනය ක්ෂය වී යෑමට හේතුවන අනපේක්ෂිත විපත්, අනතුරු ආබාධ වැනි කරදර පැනනැඟීමට හේතු විය හැකිය.
ජනවාරි 25න් පසු සෙනසුරු ස්වක්ෂේත්‍රභාවයට පැමිණීම යහපත් වුවද මාර්තු 29 ජුනි 30 අතර කාලයේ දී ගැබිනි මවුවරුන්ට ශල්‍යකර්ම කිරීමෙන් දරු උපත් සිදුකිරීම අසුබය. මේ කාලය පපුවේ සහ හෘද කපාඨවල, පෙනහැලිවල ආබාධ, ලේ කැටි ගැසීම්, සෙම් සහ විෂම රෝගාබාධ, මුත්‍රා, වකුගඩු ආබාධ ඇති කළ හැකි බැවින් ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුය.
සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා
සුබ වර්ණ - කොළපාට
පැලඳිය යුතු මැණික් - පච්ච, ගෝමේද
අය - 2 වැය 5
*****************
තුලා- මංගල යෝග
තුලා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු සිවුවැන්නේද, බුධ ගුරු ශනි රවි තෙවැන්නේ කේතු ද සමඟ ද පස්වැන්න ත්‍රිකෝණ වී රාහු සහ නව වැන්න අඟහරු ස්වක්ෂේත්‍රව ගොචරව යෙදී ඇත.
වර්ෂාරම්භයේ සිකුරු උච්ඡව සිටීම යහපත්වේ. ඒ අනුව තම ගෘහස්ථානය වැඩි දියුණු කිරීම, අලංකාරය, කලාත්මක බව, වටිනා උපකරණ ගැනීම, ගෘහ ජීවිතය වාසනාවන්ත ලෙස ගත කිරීම නිසි වයසේ සිටින විවාහ අපේක්ෂිත අයට වාසනාවන්ත විවාහයන් සිදුවීම, යාන වාහන ආදී වටිනා දේ මිලට ගැනීමට අවකාශ සලසා ගත හැකිය. රැකියා බලාපොරොත්තු අයට සුදුසු රැකියා ලැබීම, විදේශගතවීමට අපේක්ෂිත අයට ඒවා සාර්ථක වේ.
ජනවාරි 24 සෙනසුරු ස්වක්ෂේත්‍රව සිවුවැන්නට පැමිණේ. එය මධ්‍යස්ථ ප්‍රතිඵල සහිතය. මාර්තු 29 - ජුනි 29 අතර සුබාසුබ මිශ්‍රපල සහිත කාලයකි. ජුනි 29 - ඔක්තෝම්බර් 20 ගුරු, බුධ, රවි, සිකුරු මහ දසා අතුරු දසා ගත කරන අයට යහපත් වේ.
අයහපත් ප්‍රතිඵල ලෙස සෙම් රෝග, කොලස්ටරෝල් අධිකවීම, ගලනාලය, පිත්තාශය, ස්ත්‍රීන්ට ගර්භාෂ හා පියයුරු ආසාදන ඇතිවිය හැකිය.
සුබ දවස් - අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ - සුදු, ක්‍රීම්, අයිවරි
පැලඳිය යුතු මැණික් - දියමන්ති, සුදු මැණික්
අය - 11 වැය 5
*****************
වෘශ්චික - විදේශගතවීම
අඟහරු හිමි වාශ්චික ලග්නයෙන් ඔබගේ ලග්නාධිපති කුජ ස්වක්ෂේත්‍රව ලග්න ගතව යෙදීමෙන් නව වසර උදාවේ. ධනස්ථාන ගතව බලවත් බ්‍රහස්පති සමඟ චතුර් ග්‍රහයෝගයකි. සිකුරු තෙවැන්න සඳු සිවුවැන්න. රාහු අටවැනි භාවය තැන්පත්ව ඇත.
මෙම ග්‍රහ තත්ත්වය සහ වර්තමානයේ කුජ බුධ ගුරු රවි සිකුරු දසා උපදසා විදසා ගත කරන්නන්ට තම අපේක්ෂාවන් සාර්ථක වේ. සමාජයේ පිළිගැනීම, ගෞරවයට පාත්‍රවීම තරග විභාග රැකියා පරීක්ෂණ උසස් ලෙස ජය ගනී. රැකියා අපේක්ෂා ඒ අයුරින්ම ඉටුවේ. විදේශගත වීමේ අපේක්ෂා සාර්ථකවීම, හදිසි ධනලාභ ජාතික ආගමික සමාජිය ශාස්ත්‍රීය දේශපාලනික වශයෙන් පොදු ජාතික තලයේ සේවාවන්හි නියුතුවීමට ලැබීම, මංගල යෝජනා සාර්ථකවීම ආදිය ඉටුකරගත හැකි වර්ෂයකි. රාහු මහ දසා හිමියනට අසුභය.
විශේෂයෙන් පසුගිය වසර 7 ½ ක කාලයක් ගෙවා ආ සෙනසුරු ලග්න ඒරාෂ්ටක කාලය 2020 ජනවාරි 24 දින අවසන්වීමත් සමඟ ලග්නයෙන් තෙවැන්නට පැමිණ සෙනසුරු ස්වක්ෂේත්‍ර භාවයට පැමිණීම මාර්තු 29 සිට ජුනි මස 29 දින දක්වා බ්‍රහස්පති සෙනසුරු සමඟ තෙවැනි භාව ගතවීම වෘත්තිය කටයුතුවලට බාධා අවහිරතා මතුවීමට හේතු වුවද , මෙහිදී නීච භංග භාවය මත උසස් ප්‍රතිඵල ලැබීමට අවකාශ සැලසේ.
මාර්තු 29 සිට ජුනි 29 දක්වා කාලය තුළ බාධා කරදර විටින් විට ඇති වුවද තම කටයුතු ඉදිරියට කරගෙන යා හැකිය. ජුනි 29 සිට ඔක්තෝබර් 20 දක්වා යහපත් උසස් ප්‍රතිඵල සහිත කාලයකි. එතැන් සිට වසර අවසානය දක්වා යහපත්ය. එහෙත් රාහු අටවැන්නේ ගෝචර ගමන හේතුවෙන් දුර්වලකම් ඇති අයට වකුගඩු, මුත්‍රා, තුනටිය, හන්දිපත් ආබාධ හා හෘදයට හා මොළයට සම්බන්ධ, ලේ කැටි ගැසීම හෝ ස්නායු සම්බන්ධ දුර්වලතා ඇතිවිය හැකිය.
සුබ දවස් - ඉරිදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ - රතු
පැලඳිය යුතු මැණික් - රතු මැණික්, රතු කොරල්
අය - 12 වැය 14
*****************
ධනු - බාධා, කරදර
බ්‍රහස්පති ග්‍රහයාට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබ ලග්නාධිපති ලග්න ගතව ස්වක්ෂේත්‍ර වූ චතුර් ග්‍රහ සංයෝගයකින් සමන්විතව නව වසර උදාවේ.
ඒ අතර සෙනසුරු ලග්න ගතව මිත්‍රව හා දෙවැනි භාවයට පැමිණ ස්වක්ෂේත්‍රභාවයට පත්වේ. නමුත් වසර පුරාවට ලග්න ඒරාෂ්ටකය බලපැවැත්වේ. එබැවින් ශනිගේ ක්‍රියාකාරීත්වය දුර්වල වේ. ගුරු කේතු සංයෝගය නිසා එහි නියම ප්‍රතිඵල නොලැබේ.
මෙම ග්‍රහ ගෝචරත්වය සංයෝගය දෘෂ්ඨි ලකෂණයන්හි ප්‍රතිඵල විෂම වේ. එබැවින් එකට ඇසුරු කරන කලණ මිතුරන්ම කෙනෙහිළිකම් කිරීම, අගරු චෝදනා, ප්‍රහාරාත්මක අනිත්‍ය ප්‍රකාශයන් නිසා විසමගියට හේතුවේ. මේ බලපෑම් මත ආර්ථික ලාභ පිණිස කරන කටයුතු වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ.
අප්‍රේල් මස මුල සිට ජුනි අවසානය දක්වා හදිසි ධන ලාභ, ලොතරැයි දිනුම් හෝ තම උරුම අයිතිවාසිකම් ලැබීමට හේතුවන කාලපරාසයකි.
ජුනි 20 වැනි දින සිට නො. 20 දක්වා තරමක බාධා කරදර සහිත කාලයක් බැවින් හදිසි අනතුරු විපත් ආබාධ සිදුවීමට හේතුවන කාලවකවානුවකි. ප්‍රවේසම් වන්න. රවි, කුජ, ගුරු බුධ දසා ගතකරන අයට සුබ පල ද, රාහු කේතු අසුබ පල ද, අන් අයට මිශ්‍රඵල සහිත කාලයකි.
සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා
සුබ වර්ණ - කහ
පැලඳිය යුතු මැණික් - පුෂ්පරාග
අය - 14 වැය 12
*****************
මකර -රැකියා දියුණුව
ශනි හිමි මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ජනවාරි මස 24 වන දින සිට ලග්නගතව ස්වක්ෂේත්‍රව ශෂ හා ජය යෝග බලයෙන් යුතුව සිටීම, සුබ, අසුබ මිශ්‍රඵල ලබා දීමට හේතුවනු ඇත.
විශේෂයෙන් වසර උදාවේදී 12 වැනි භවයේ ගුරු බුධ රවි සමඟ චතුර් ග්‍රහ යෝගයක් යෙදී ඇත. සිකුරු ලග්න ගතවද සඳු 2 වැනි භාවයේ සහ රාහු 6 වැනි භාව ගතව ගෝචර වී ඇත.
ලග්න ඒරාෂ්ටකයට මැදිව සිටිය ද ලග්නයට ශනි ස්වක්ෂේත්‍රව හා බ්‍රහස්පති ස්වක්ෂේත්‍ර භාවය මත බාධා කරදර අවහිරතාවයන් මධ්‍යයේ ඔබගේ රැකී රක්ෂා, කර්මාන්ත කටයුතු හා ගෘහ ජීවිතය සාර්ථක ලෙස පවත්වාගෙන යා හැකිය.
දුගී මගී යාචකාදීනට උදව් උපකාර කිරීම, රෝගීන්ට පිහිටවීම, ආගමික කටයුතුවල නියැලීම වැනි කටයුතු ඇප කැප වී සිදුකරනු ලබයි. ආර්ථික තත්ත්වය යහපත් වුවද වැයපස අධික වේ. දැඩි ලෝභි භවකින් ක්‍රියාකළ ද ලැබෙන ධනය ක්ෂය වේ. දේපළ, ඉඩකඩම්, යාන වාහන, ණයතුරුස් වී මිලට ගැනීමට ක්‍රියාකරයි. පවුලේ කිට්ටුම ඥාතියකුගේ මරණයක් සිදුවේ. සුබාසුබ මිශ්‍රපල සහිත වර්ෂයක් බැවින් ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම හා අසුබ විපාක මගහැර ගැනීමට අදාළ ශාන්තිකර්ම ගැන උනන්දුවන්න.
සුභ දවස් - සෙනසුරාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුභ වර්ණය - නිල්
සුභ මැණික් - කාකනිල් මැණික්
අය 11 වැය 12
*****************
කුම්භ - ආර්ථික ලාභ
සෙනසුරු හිමි කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති අයස්ථානගතව රවි, බුධ, ගුරු සහ කේතු සමඟ සංයෝගව සිටියි.
විශේෂයෙන් කුම්භ රාශිය හිමි සෙනසුරු ග්‍රහයා අයස්ථානගතවීම හා ධනස්ථානය හිමි බ්‍රහස්පති ද අයස්ථානගතව පස්වැන්නාධිපති අට අධිපති සමඟ හත්වැන්නාධිපති රවි, අයස්ථාන ගතවීමෙන් කුම්භ ලග්න හිමියනට තම බොහෝ අපේක්ෂාවන් අපේක්ෂිත අයුරින්ම ඉටුකරගත හැකි වසරකි.
කුම්භ ලග්න හිමි ව්‍යාපාරික ප්‍රජාවගේ ආර්ථික වර්ධන වේගය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගෙන යා හැකි වන අතර, දේශපාලන අධිකාරියට සම්බන්ධ ගුරු, ශනි, බුධ, සිකුරු දසා අනු දසා ගත කරන්නට ඉතා උසස් ලෙස ජන ප්‍රසාදයට පත්විය හැකිය. තරග විභාග රැකියා ප්‍රශ්න අපේක්ෂිත අයුරින්ම ඉටුකරගත හැකි වර්ෂයකි.
ජනවාරි 25 දිනෙන් පසු කරදර අධික වුවද අවිවේකීව දිවා, රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වී වැඩෙහි යෙදේ. මාර්තු 29 සිට ජූනි 29 දක්වා කාලය තුළ මානසික වදදෙන ප්‍රශ්න අධික වන කාලයක් බැවින්, අන්‍යයන්ට උදව් උපකාර කිරීමේදී සැලකිලිමත් විය යුතු කාලයකි.
ගෘහ ජීවිතය හා පවුලේ සමගිය සතුට වාසනාව හා දියුණුව ඇතිවන කාලයකි. නිසි වයසේ අයට විවාහයන් සිදුවීම, රැකියා කටයුතු යහපත් ලෙස ඉටු වීමට ද හේතු විය හැක.
සුභ දවස්- සෙනසුරාදා, සිකුරාදා
සුභ වර්ණ - රතු, නිල්
පැලඳිය යුතු මැණික් - සුදු, නිල්
අය 8 වැය 5 යි
*****************
මීන - ව්‍යාපාර දියුණුව
ලග්නාධිපති බ්‍රහස්පති කර්මාස්ථානගතව රවි බුධ ගුරු කේතු සමඟ සංයෝගවීමෙන් දෙවැන්නාධිපති භාග්‍යස්ථානයෙහිද, සිකුරු 11 වැනි භාවයෙහිද, සඳු දොළොස් වැන්නෙහි හා රාහු හතර වැන්නෙහි ගෝචරව සිටියදී වසර උදාවේ. 2020 වසර මීන ලග්න හිමියනට ඉතා යහපත් වර්ෂයකි.
රැකී රක්ෂා කටයුතු සාර්ථක වේ. ආදායම් මාර්ග යහපත් වේ. වෙළෙඳ ව්‍යාපාර දියුණු වේ. ගුරු බුධ සිකුරු සෙනසුරු මහදසා උපදසා ගෙවන අයට අපේක්ෂිත දේපළ හෝ ඉඩකඩම් ගැනීමට ලැබේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. නිසි කලවයස් පිරුණු මීන ලග්න හිමියනට යහපත් මංගල යෝග හා ඉක්මන් විවාහ සිදු වේ. රැකියා අපේක්ෂිතයනට රැකියා ලැබීමටද හේතුවනු ඇත.
මෙම වර්ෂය ආගමික කටයුතු කෙරේ අැල්ම, දාන සීල භාවනාදි වත් පිළිවෙත්හි නියුතුවීම වැනි අංශ කෙරේ විශේෂයෙන් ලැදිවන ඉතා වාසනාවන්ත කාලයකි. ජනවාරි 24 දින සෙනසුරාදා අයස්ථාන ගතවී ස්වක්ෂේත්‍රවීම කර්මස්ථානාධිපති බ්‍රහස්පති වර්ගෝත්තම හා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුවීම, අඟහරු භාග්‍යස්ථානයේ ස්වක්ෂේත්‍රව තිබිම වර්ෂාරම්භයේදී වැදගත් වනු ඇත.
සුබ දවස්- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා
සුබ වර්ණ, සුදු, කහ
පැලඳිය යුතු මැණික් - පුෂ්පරාග
අය 11 වැය 2යි
සටහන
චතුමී පිටිපන