Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

දෙන්නෙක් ජනපති

$
0
0
පෙබ 3, 2018 01:00
මංජුලා විජයරත්න
උහුරු කෙන්යත්තා සහ රයිලා ඔඩින්ගා

කෙන්යාවේ විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගා 'ජනතාවගේ ජනාධිපතිවරයා'ලෙස පසුගිය දා දිවුරුම් දුන්ණේය. මේ ‘දිවුරුම‘ සිදු වූයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. කෙන්යාවේ නයිරෝබි නුවර උහුරු උද්‍යානය වෙත එක්රැස් වුණු උද්ඝෝෂණකරුවන් දහස් ගණනක් ඉදිරියේ මේ ‘දිවුරුම්දීම‘ සිදු විය. කෙන්යාවේ වත්මන් ජනාධිපති ධුරය හොබවන උහුරු කෙන්යත්තාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ රයිලා ඔඩින්ගා නායකත්වය ලබාදෙන ජාතික උත්තරීතර සන්ධානය හෙවත් නැෂනල් සුපර් එලයන්ස් පක්ෂයයි.

නීතිමය නොවන රැස්වීම් නවත්වන්නට පියවර ගන්නා බව උහුරු කෙන්යත්තාගේ පරිපාලනය ප්‍රකාශයට පත් කර තිබුණද උහුරු උද්‍යානයට ඒකරාශි වන දහස් ගණන ජනයා විසුරුවා හරින්නට ක්‍රමයක් සංවිධානය කෙරී නොතිබිණ. නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරින් උද්‍යානයේ දක්නට නොසිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. එමෙන්ම කැරලි මර්දන ඒකකයේ නිලධාරින් හෝ එම ඒකකයට අයත් වාහන හෝ උහුරු උද්‍යානය ආසන්නයේ දක්නට ලැබුණේ නැත. රයිලා ඔඩින්ගාගේ දිවුරුම සිදු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ. මේ දිවුරුම ගැන නොදන්නා සියලුදෙනා වෙත නවතම තත්ත්වය ගැන තොරතුරු දක්වමින් ට්විටර් සටහනක් තබන්නට රයිලා ඔඩින්ගා අමතක නොකළේ ය. එම ට්විටර් සටහනෙන් කියැවුණේ “ කෙන්යා ජනරජයේ ජනාධිපති රයිලා අමොලො ඔඩින්ගාගේ නිල ට්විවට්ර් ගිණුම මෙය වේ” යනුවෙනි.

කෙන්යා විරුද්ධ පක්ෂ නායකයාගේ නෛතික නොවන ‘දිවුරුම් දීම‘ එරටේ සාමාන්‍ය රාජකාරී කටයුතුවලට විශාල බාධාවක් එල්ල කර තිබෙන බව වාර්තා වේ. නීත්‍යානුකුල නොවන මෙම දිවුරුම ප්‍රකාශයට පත් කරන්නට සිදුවන බැවින් එරට විශාලතම රූපවාහිනී ආයතනය සහ තවත් රූපවාහිනී නාලිකා කිහිපයක් සිය විකාශ කටයුතු අත්හිටුවා තබා ඇත. මාධ්‍යට කරුණු දක්වමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෆ්‍රෙඩ් මැටියාන්ගි පැවසුවේ ‘දිවුරුම‘ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වනතුරු එම රූපවාහිනී ආයතන විකාශන කටයුතු නොපවත්වන බවකි.

උහුරු කෙන්යත්තා, කෙන්යාවේ පළමු ජනාධිපති ජොමො කෙන්යත්තාගේ පුතෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු සහ විරුද්ධ පක්ෂ නායක ලෙස කටයුතු කළ උහුරු, කෙන්යාවේ ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 2013 වසරේ පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. එම ජනාධිපතිවරණයේදීත් ඔහුට විරුද්ධව තරග වැදුණු ප්‍රධාන අපේක්ෂකයා වූයේ රයිලා ඔඩින්ගා ය. උහුරු කෙන්යත්තාගේ ජය තහවුරු වුණේ ඉතා සුළු බහුතරයකින් පමණක් බව සඳහන් වේ. එවරත් රයිලා ඔඩින්ගා, උහුරු කෙන්යත්තාගේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් අධිකරණයට ගියේය. 50%ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන සිය ජයග්‍රහණය තහවුරු කරගෙන සිටියෙන් උහුරු, කෙන්යාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සාධාරණ බව අධිකරණයෙන් තීන්දු විය.

විවිධ හැලහැප්පීම් මැද පස් වසරක් කෙන්යාවේ ජනාධිපති ධුරය හෙබ වූ උහුරු සිය දෙවන ධුර කාලය සඳහා තරග කරන්නට තීරණය කළේය. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයට තරග කර 54%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නට හෙතෙම සමත් විය. එවරත් ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ රයිලා ඔඩින්ගා ය. ජනාධිපතිවරණය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් කෙන්යාවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති වාෆුලා චෙබුකාති කියා සිටියේ උහුරු කෙන්යාවේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ඇති බවයි. මේ ප්‍රතිඵලවලට එරෙහිව රයිලා ඔඩින්ගා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ගොනු කළේය. එය විභාග කර බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පසුගිය අගෝස්තු මස පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අහෝසි කර නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි. නව ජනාධිපතිවරණය දින 60ක් ඇතුළත පැවැත්විය යුතු බවත් අධිකරණය තීරණය කර තිබිණ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා නැවත ජනාධිපතිවරණයක් පවත්වන ලදී. මැතිවරණ කොමිසම කිසිඳු ප්‍රතිසංස්කරණයක් කිරීමට සමත් නොවූ බව කියමින් මේ ජනාධිපතිවරණය වර්ජනය කරන්නට රයිලා ඔඩින්ගා තීරණය කර තිබිණ. එහි වාසිය ලැබුණේ උහුරු කෙන්යත්තාට ය.

රයිලා ඔඩින්ගාගේ නීත්‍යානුකූල නොවන ‘දිවුරුම‘ බොහෝදෙනකුගේ විවේචනයට ලක්ව තිබේ. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ තත්ත්වය තුළ උහුරු කෙන්යත්තා ජාතික ඒකාබද්ධතාවයක් ගොඩනඟන්නට ක්‍රියා කරනු ඇති බවකි. එය විරුද්ධ පක්ෂ නායකයන්ගේ එකඟතාවය ද ඇතිව ගොඩනැඟෙන්නක් වනු ඇති බවට මත පළවේ. තවත් සමහර විශ්ලේෂකයන්ගේ අදහස කෙන්යාවේ පවත්නා නීති රීති අනුව ක්‍රියාකරන්නට උහුරු කෙන්යත්තා පසුබට නොවන බවකි. එවැනි තත්ත්වයකට පැමිණියහොත් රාජද්‍රෝහී කටයුතුවල නියැලීම සම්බන්ධයෙන් රයිලා ඔඩින්ගාට එරෙහිව චෝදනා නඟන්නටත් ඔහු ඊට වරදකරු කරන්නටත් ඉඩක් ඇත. රාජද්‍රෝහී කටයුතුවල නියැලීමට දඬුවම මරණය බව කෙන්යා නීතියේ සඳහන් වේ.

නීතිවිරෝධී ලෙස ජනාධිපති ධුරයේ දිවුරුම්දීම සඳහා කිසිවකු උත්සාහ දැරුවහොත් එය රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකා කටයුතු කිරීමට ඉඩක් ඇති බව කෙන්යාවේ නීතිපති ගිතු මුයිගායි පසුගිය දෙසැම්බරයේදී ප්‍රකාශ කළේය. නීතිපතිවරයා මේ ප්‍රකාශය කළේ රයිලා ඔඩින්ගාගේ නම ඍජුව සඳහන් නොකරමිනි. ඒ අනුව රයිලා ඔඩින්ගා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නට නීතිමය ඉඩක් ඇත. යථා තත්ත්වය එය වුවත් රයිලා ඒ කිසිවක් මායිම් නොකර කටයුතු කරන බවක් පෙනී යයි. නමුත් ඔහු දැන් ක්‍රියා කරන්නේ කිසිඳු නිශ්චිත වැඩ පිළිවෙළක් නැතිව බව සී.එන්.එන්. මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

“ඔවුන්ට ඔවුන්ගේ අශ්වයෝ අල්ලාගෙන ඉන්න ඉඩ හරින්න. ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා අපි නිවේදනයක් නිකුත් කරනවා. මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්නේ මෙරට ජනයා එකට එකමුතු කරන්න. ජනතා රජයකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැන්නක්” කියා රයිලා ඔඩින්ගා පසුගිය දා ප්‍රකාශ කර තිබිණ. කෙසේ වුවත් රයිලා ඔඩින්ගාට සිය අනුගාමිකයන් අමතන්නට කෙන්යාවේ පවත්නා මාධ්‍ය භාවිතයට ගන්නට මේ වනවිට ඉඩක් නැත. එයට හේතුව එරට ප්‍රධාන පෙළේ රූපවාහිනී ආයතන කිහිපයක්ම සිය විකාශන කටයුතු අත්හිටුවා තිබීමයි. සෙසු මාධ්‍ය ආයතන රයිලාට පක්ෂපාතීව ක්‍රියා කළහොත් ඒවා සීල් තබන්නට උහුරුගේ පාලනය ක්‍රියාකරනවාට සැකයක් නැත.

මේ තුළ ‘ජනතාවගේ ජනාධිපති‘ රයිලා ඔඩිඩින්ගාගේ ගමන කොයිබටද?

සී.එන්.එන්. ඇසුරෙනි


හැට පැන්නත් බැලේ

$
0
0
පෙබ 3, 2018 01:00

ඇතැම් පුද්ගලයින් ගතින් වයසට ගිය ද මනසින් වයසට යන්නේ නැත. තවත් පුද්ගලයින් ගතින් වයසට යෑමටත් පෙර මනසින් වයසට යති. ඒ අතුරින් තමන්ගේ වයස තම අරමුණු කෙරෙහි කිසිඳු විටකවත් අභියෝගයක් කර නොගනිමින් ජීවිතය දෙස ධනාත්මකව බලන්නන් ද සිටිති. වයස පිළිබඳව නොතකා තම දක්ෂතා මුළු ලෝකයටම පෙන්වන කාන්තාවක් පිළිබඳ පුවතක් පිළිබඳව පසුගිය දිනක වාර්තා වී තිබුණි.

ලන්ඩනයේ උපත ලද මදාමි සුසැලී පෝලී සිහින් ශරීරයකින් යුක්ත හැත්තෑ හත් වියැති කාන්තාවකි. අවුරුදු හතේ සිට මදාමි බැලේ නර්තන කලාව කෙරෙහි ඇල්මක් දැක්වීය. ඇය බටහිර නර්තන අංග කිහිපයක් කුඩා කාලයේ සිටම ප්‍රගුණ කිරීමට උනන්දු වූයේ අනාගතයේ දී වෘත්තීය මට්ටමේ බැලේ නර්තන ශිල්පිනියක් වීමට තිබූ ආශාව නිසාවෙනි. ඒ හේතුවෙන් ඇය අධ්‍යාපන කටයුතුවලට වඩා නැඹුරු වූයේ නර්තනය ඉගෙන ගැනීමට ය. ඒ අනුව ඇයට බැලේ නර්තනයෙහි නර්තන විලාසයන් හතක් පිළිබඳව පූර්ණ දැනුමක් ‍ලැබිණ. වර්තමානයේ දී ඇය කයින් වැහැරී ගිය ද නර්තනයන් ඉදිරිපත් කිරීමට කිසිඳු අකමැත්තක් නොදක්වන බව ලන්ඩන් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

එකොළොස්වන වියේ දී මදාමි හට තම බැලේ නර්තන දක්ෂතාව ඉදිරිපත් කිරීම සඳහා කැනඩාවට යාමට අවස්ථාව හිමි විය. එකල මදාමිගේ මවුපියෝ ඇය දැඩි කැමැත්තක් දක්වන බැලේ පුහුණුව සඳහා යොමු කිරීමට කිසිදු අකමැත්තක් නොදැක්වූහ. ඒ හේතුවෙන් මදාමි ලොව ප්‍රකට " Houston Ballet Academy "වෙත ගොස් බැලේ නර්තන ශිල්පය පිළිබඳව වැඩිදුර පුහුණු වුවා ය. කැනඩාවෙහි අවුරුදු දහයක් බැලේ නර්තනය වෘත්තීය මට්ටමින් පුහුණු වූ මදාමි ලන්ඩනයට පැමිණ බැලේ නර්තන පංති පැවැත්වීමට පියවර ගත්තේ තමා උගත් නර්තනය තවත් බෝහෝ දෙනකුට පුහුණු කිරීමේ අරමුණින් යුක්තව ය. ඉන් පසු ඇය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ සංගීතය ශෛලීන් පිළිබඳව දේශන පැවැත්වීමට යොමු විය . එපමණක් නොව ඇය ඇය ටොරොන්ටෝ, මොන්ට්‍රියෙල් , ග්ලාස්ගෝ, ස්කොට්ලන්තය, මින්ස්ටර්, ස්ටුට්ගාර්ට්, කේප් ටවුන් සහ ඩලාස් යන නගරවල වෘත්තීය මට්ටමින් බැලේ නර්තනය ඉගැවීම සිදු කළාය. වර්තමානයේ දී මදාමි ඩලාස් හි රෝයල් බැලට් නර්තන ඇකඩමියේ නර්තන ගුරුවරියක හා නර්තන ශිල්පිනියක ද වේ. වයස අවුරුදු තුනේ සිට හැට නමය දක්වා වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇයගෙන් නර්තනය ඉගෙන ගැනීමට පැමිණෙති. ලෝකයේ පවතින නර්තන ක්‍රමවේදයන් අතුරින් ඉගැනීමට තරමක් අපහසු නර්තන ක්‍රමවේදයක් වන බැලේ නර්තනය මදාමි වැනි මහලු කාන්තාවක් ඉදිරිපත් කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණු කිරීම ලෝකයේ ජීවත්වන සෑම කාන්තාවකටම ආදර්ශයක් සපයන බව ලන්ඩන් මාධ්‍ය වාර්තා කරනු ලබයි.

"මගෙන් නර්තනය ඉගෙන ගන්න පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට සුදුසු ව්‍යායාමයන් සිදු කිරීම සඳහා ධෛර්ය දක්වනවා. ඔවුන් මාගේ වයස පිළිබඳව සැළකිලිමත් වී මා සිදු කරන කාර්යයන් දීර්ඝ කාලයක් සිදු කිරීමට මාව උනන්දු කරනවා.

මම දැන් බෝහෝ වයසයි. මම නර්තන ඉදිරිපත් කිරීමේ දී මා දෙස බලන් ඉන්න පිරිස මට වඩා බෝහෝම තරුණ කට්ටිය. මම ඒ සෑම දෙනකුටම කියන්නේ බැලේ නර්තනය නිවැරදි නිතී රීතී සහ වින්‍යාසයන්ට අනුව කළ යුතු දෙයක් කියලයි. එහෙම කළහොත් ඹ්නෑම කෙනකුට අපුරු බැලේ නර්තන ශිල්පිනියක් වීමට පුළුවන් කියලා මම හිතනවා "යනුවෙන් මදාමි සුසැලී පෝලී පසුගිය දා මාධ්‍යට ප්‍රකාශ කළහ.

අන්තර්ජාලය ඇසුරිණි

මදාරා මුදලිගේ

මාලදිවයින ගැටලු සාගරයක් මැද

$
0
0
පෙබ 3, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

නිදහස ලැබූවන් අතර හිටපු උප ජනාධිපති, ආරක්ෂක ඇමැති මෙන්ම සුළු පක්ෂ නායකයන් දෙදෙනකු, පාලක පක්ෂ මන්ත්‍රීවරයකු, විනිසුරුවරයකු, හිටපු ප්‍රධාන අභිචෝදකවරයා මෙන්ම මුල් පෙළේ ව්‍යාපාරිකයකු ද සිටිති. මේ සිරකරුවන් වහා නිදහස් කරන ලෙස නියෝග කරන අතරම ඔවුන්ට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පවත්වන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ත්‍රස්තවාදී චෝදනා යටතේ සිරගත කර සිටි හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට ‍එරෙහි නඩුව ඉවත දැමූ මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වහා නිදහස් කරන ලෙසට නියෝග කර තිබේ. ඒ සමඟ තවත් දේශපාලන සිරකරුවන් නවදෙනකු ද නිදහස ලැබීය. විපක්ෂ සන්ධානය දිගටම හඬ නැඟුවේ ඔවුන් අයුක්තිසහගත ලෙස සිරගත කර සිටි බව පවසමිනි. ඔවුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ද අහිමිකර තිබිණි.

ඉකුත් බ්‍රහස්පතින්දා අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ, විපක්ෂ සන්ධානය විසින් ජනාධිපති අබ්දුල්ලා දූෂිත හා අයථා පාලනයක් ගෙන යන බවට චෝදනා කර ඔහු තාවකාලිකව ධුරයෙන් ඉවත් කළ යුතු බවට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුවය. මේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් සිදු නොවුණද පෙර කී තීන්දුව ප්‍රකාශයට පත්විණි. ඉකුත් වසරේදී විපක්ෂයත් සමඟ එක්වීම හේතුකොටගෙන තහංචියට ලක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනකුට එරෙහි එම තහංචි ඉවත් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය. මේ සමඟ එරට පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට ලැබී ඇති අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට ද හැකියාව ලැබී තිබේ.

මාලදිවයිනේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අගැයීමට ලක්කර ඇත. ජනාධිපති යාමීන්ගේ දූෂිත, අපරාධකාරී ආඥාදායකත්වයට එරෙහි මළපුඩුවක් ලෙස මෙය හැඳින්විය හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති යාමීන් 58 හැවිරිදිය. 2013 වසරේදී ඔහු බලයට පත්වූයේ හිටපු ජනාධිපති නෂීඩ්ට එරෙහිව ආන්දෝලනාත්මක ජයක් ලබමිනි. විපක්ෂය මර්දනය කරමින් ඔහු ගෙන ගිය වැඩපිළිවෙළට මෙන්ම දූෂණයට එරෙහිව ද වැඩි කලක් ගතවීමට පෙර විරෝධය පළවිය. එම විරෝධතා ක්‍රියාමාර්ග උච්ඡ අවස්ථාවට පැමිණියේ 2015 දී, එරට ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් පළමු ජනාධිපතිවරයා වූ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ත්‍රස්තවාදය යටතේ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත් සමඟය. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරය පවා දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්විය.

නඩුවට විරෝධය

මොහොමඩ් නෂීඩ්ට එරෙහි නඩු විභාගය අසාධාරණ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කියා සිටියේය. මෙම නඩු විභාගයට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාර දියත් විය. ඒ අතරවාරයේදී ද විපක්ෂ ක්‍රියාකාරීන් සිය ගණනක් අත්අඩංගුවට ගැනිණි. මුල්පෙළේ විපක්ෂ දේශපාලන නායකයන් සියල්ලන්ම පාහේ හෝ සිරගත කර නැතිනම් රටින් පිටව සිටියහ. 2016 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට එක්සත් රාජධානිය බලා ගිය හිටපු ජනාධිපති නෂීඩ් ද එරට දේශපාලන රැකවරණ පැතීය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු ට්විටර් පණිවිඩයක් මඟින් හිටපු ජනාධිපති නෂීඩ් එම තීන්දුව අගය කර තිබිණි. අධිකරණ තීන්දුවට ගරුකරමින් ධුරයෙන් ඉවත්ව යන ලෙස ඔහු ජනාධිපති යාමීන්ගෙන් ඉල්ලා සිටි අතර ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව ක්‍රියාකරන ලෙසය.

නිදහස ලැබූවන් අතර හිටපු උප ජනාධිපති, ආරක්ෂක ඇමැති මෙන්ම සුළු පක්ෂ නායකයන් දෙදෙනකු, පාලක පක්ෂ මන්ත්‍රීවරයකු, විනිසුරුවරයකු, හිටපු ප්‍රධාන අභිචෝදකවරයා මෙන්ම මුල් පෙළේ ව්‍යාපාරිකයකු ද සිටිති. මේ සිරකරුවන් වහා නිදහස් කරන ලෙස නියෝග කරන අතරම ඔවුන්ට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පවත්වන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස ලැබීමත් සමඟ විපක්ෂ ආධාරකරුවන් එම සතුට භුක්තිවිඳීමට පටන්ගෙන ඇත. ජනාධිපති යාමීන් ධුරයෙන් ඉවත්විය යුතු බවට ඔවුහු හඬ නඟමින් සිටිති. මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පවත්වන ලෙසට ද ඔවුහු බලකරමින් සිටිති. හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස ලැබීමේ සතුට සමරමින් සිටි විපක්ෂ ආධාරකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කර ඇති අතර කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය දෙසට ගල් ප්‍රහාර එල්ල වූ බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ. මාලදිවයින් පොලිස් ප්‍රධානී අහමඩ් අරීෆ් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ බව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ නීතිපති මොහොමඩ් අනිල්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකිවූ බව ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේය. ආරක්ෂක ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ මේ අන්තරාදායක අවස්ථාවේ තම රැකවරණයට හා ආරක්ෂාවට මුල්තැන දෙමින් පසුවන ලෙසටය. වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති පක්ෂයේ නායකයා වන අහමඩ් නිහාස් ට්විටර් පණිවිඩයක් මඟින් කියා සිටින්නේ පාලක පක්ෂ මන්ත්‍රීවරු තවදුරටත් ජනාධිපතිවරයාට සහාය දක්වන බවය. යාමීන්ගේ ආණ්ඩුව නීත්‍යානුකූල බව පවසා ඇති ඔහු ජනතා ආධිපත්‍ය සුරකින බව ද සඳහන් කර ඇත. කෙසේ වුවද අත්හිටුවා සිටි මන්ත්‍රීවරු 12 දෙනාගේ ආගමනයත් සමඟ බහුතර බලය ඔවුන්ගෙන් ගිලිහෙන බව පැහැදිලිය.

මොහොමඩ් නෂීඩ්ට 13 අවුරුදු සිරදඬුවමක් නියම වී තැබිණි. නිදහස ලැබීමත් සමඟ මේ වසර අගදී, බොහෝදුරට අගෝස්තු - නොවැම්බර් අතර පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඔහුට අවස්ථාව සැලැසී ඇත. තමා ඊට තරග කරන බවට ඔහු දැනටමත් පවසා තිබේ.

ජනාධිපති ගයුම්ගේ දෙවැනියා වූ උප ජනාධිපති අහමඩ් අදීබ්ට සිරදඬුවම් නියම කෙරුණේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට චෝදනා කරමිනි. ජනාධිපතිවරයා සහ ආර්යාව ගමන් ගත් යාත්‍රාවක සිදුවූ පිපිරීම ඝාතන සැලැස්මක් බව ප්‍රකාශයට පත්වූ අතර ඉන් කිසිවකු‍ටත් හානි සිදුවූයේ නැත. දූෂණ චෝදනා යටතේ 2016 වසරේදී ද අදීබ්ට 33 අවුරුදු සිරදඬුවමක් නියම විය. නිදහස ලැබූවන් අතර උප ජනාධිපතිවරයා ද සිටී.

හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් පසුගියදා කියා සිටියේ මේ වසර අග පැවැත්වෙන මැතිවරණයට පෙර පාලන වෙනසක් සිදුවිය යුතු බවයි. මැතිවරණය තෙක් බලා සිටිය යුතු නැතැයි ඔහු අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශයත් සමඟ ඔහු දෙසට ද ආණ්ඩුවේ උදහස වඩාත් එල්ල වී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මැතිවරණය පැවැත්වේද යන්න පවා විශ්වාසයක් නොමැති බව පවසන හිටපු ජනාධිපති ගයුම්, මැතිවරණය පැවැත්වුවද ප්‍රතිඵලය සාධාරණ එකක් වේද යන්න සැක සහිත බව පෙන්වා දී තිබේ. එවැනි පසුබිමක මැතිවරණයක් ගැන කතා කිරීම ඵලරහිත බව ඔහුගේ අදහසය.

තිස් අවුරුද්දක් මාලදිවයිනට නායකත්වය දුන් අබ්දුල් ගයුම්ගේ ප්‍රකාශය පාලක ප්‍රගතිශීලී පක්ෂයේ විවේචනයට ලක්ව තිබේ. මැතිවරණයට පෙර ආණ්ඩුවක් බලයෙන් පහකිරීමට නීත්‍යානුකූලව කතා කළ නොහැකි බව පාලක පක්ෂයේ නියෝජ්‍ය නායක අබ්දුල් රහීම් අබ්දුල්ලාගේ මතයයි. මෙය විහිළුවට ගත යුතු ප්‍රකාශයක් නොවන බව ඔහු පවසා තිබේ. එය පසුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබේදැයි විමර්ශනය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.

පැරැණ්නන්ගේ සන්ධානය

හිටපු ජනාධිපති නෂීඩ් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ මේ ප්‍රකාශයට පසුවය. මේ වන විට නිර්මාණය වී ඇත්තේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති තත්ත්වයක් බැවින් අබ්දුල් ගයුම්ගේ ප්‍රකාශය සත්‍යවීමට ඉඩ තිබේ.

ආණ්ඩුව පෙරළීමට වෑයම් කරන කවරකුට වුවද එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ආරක්ෂක ඇමැති ආදම් ෂරීෆ් ද අනතුරු අඟවා තිබිණි. රජයේ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ රටේ සාමය බිඳ දැමීමට කිසිවකුටත් ඉඩ නොතබන බවය.

ඉකුත් සඳුදා අබ්දුල් ගයුම්ගේ පුත් ෆාරිස් මවුමූන් යළි අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති යාමීන් නියෝග කර තිබිණි. මාලේ අගනුවර පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවස ද එදිනම පොලිසිය විසින් සෝදිසි කරන ලද බව වාර්තා විය.

මේ වන විට හිටපු ජනාධිපතිවරු දෙපළම ජනාධිපති යාමීන්ගේ පාලනයට එරෙහිව සන්ධානගතව සිටිති. එය යාමීන්ට විශාල අභියෝගයක් බව පෙනෙන්නට තිබේ. ගයුම් මෙන්ම නෂීඩ් ද කැපී පෙනෙන නායකයෙකි. එමෙන්ම ජනප්‍රිය නායකයන්ය. නෂීඩ් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාලදිවයිනේ නිර්මාණය වූ අස්ථාවර සහ කැළඹිලි සහගත දේශපාලන වාතාවරණය වර්ධනය වූවා මිස අඩුවක් නොවිණි. මේ වන විට යළිත් එම අස්ථාවර ස්වභාවය උත්සන්න වෙමින් ඇති ලකුණු පළවෙමින් තිබේ.

ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ල වී තිබියදී ඔහු බලයෙන් පහකළ යුතු බවට පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරු දෙදෙනා එක්වය. ජනාධිපති යාමීන් හිටපු ජනාධිපති ගයුම්ගේ අර්ධ සොහොයුරා ද වේ. කෙසේ වුවද ඔවුන් අතර දැඩි දේශපාලන විරසකයක් ගොඩනැඟී තිබේ. ජනාධිපති යාමීන් චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රමණීය සංචාරක පාරාදීසයක් වන මාලදිවයින දැඩි අර්බුදකාරී සමයක සිටී. ඉදිරි මාස කිහිපය තුළ එය කිනම් අයුරකින් නිරාකරණය වනු ඇතිදැයි දැකගත හැකිවනු ඇත. අස්ථාවරත්වය ඉක්මනින්ම පහවයාම රටටත්, ජනතාවටත් හිතකර වනු නොඅනුමානය.

ෂැක්ල්ටන්ගේ වීර චාරි­කාව

$
0
0
පෙබ 6, 2018 01:00

සා‍ක්ෂරතා ලෝකය තුළ, නැෂනල් ජ්‍යොග්‍රැෆික් සඟරාව ගැන අසා නැත්තෙකු සිටී දැයි විශ්වාස කළ නොහැකි තරම්ය. එය ඒ තරමටම සුපතළය. එහෙයින්දෝ ඇතැම් පාඨකයෝ, එහි නාමය,’ ඉන්ටනැෂනල් ජ්‍යොග්‍රැෆික්’ යැයි වෙනස් කළොත් නරකදැයි, කතු මඬුල්ලෙන් විමසා සිටියහ.

එහි ප්‍රධාන සංස්කාරක බිල් ඇලන්, තම ‘වැකිය’ තුළින් ඊට පිළිතුරක් දුන්නේය.

‘ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ අපි, අපේ සඟරාවේ නම පවත්වාගෙන ආවෙමු. ආරම්භයේදී අප සංගමයට සිටියේ සාමාජිකයන් 217කි. ඉන්, අපගේ කොලොම්බියා දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචිකරුවන් වූයේ 31ක් දෙනෙක් පමණි. එහෙත්, වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂාවෙන් පළවන සඟරාව කියවන පාඨකයෝ ලොව පුරාම විසිර සිටිති. ඒ අතරම , වෙනත් භාෂාවන්ගෙන්ද පළ කිරීමට පියවර ගතිමු. 1995 දී ඇරැඹුණු ජපන් භාෂා මුද්‍රණය පසුපසින්, ස්පාඤ්ඤ, ලතින් අමෙරිකානු , ඉතාලි, ඊශ්‍රා‍යල (හිබෲ) හා ග්‍රීක මාධ්‍ය ප්‍රකාශනද එක්වුණි. ඊශ්‍රායලය, අප සඟරාව ඔවුන් බසින් පළ කිරීම ඇරැඹුවේ, එරට 50 වෙනි ජාතික දින උළෙලට සමගාමීවය. එහි පිටපත් 25,000ක්, සතියකටත් අඩු කාලයක් තුළ අලෙවි වුණි. 15,000 කට වැඩි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් අප සංගමයට බැඳුණි. පරිවර්තනය යනු ඉතා බැරෑරැම් වගකීමක් බව දනිමු. සුළු ප්‍රමාදයකින් වැරදි තේරුම් මතුවිය හැකිය. එහෙයින්, සියලු ජාත්‍යන්තර පරිවර්තන අපගේ වොෂිංටන් ප්‍රධාන කාර්යාලයේ අධීක්ෂණයට ලක්වෙයි. මේ අනුව බලන කල, අමුතුවෙන් ‘ඉන්ටර් නැෂනල්’ යැයි කීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.’

අමෙරිකාවේ ජාතික භූ විද්‍යා සංගමයේ (National Geographic Society) මාසික ප්‍රකාශනය වන මෙම සඟරාව ඇරැඹුණේ වර්ෂ 1888 තරම් ඈතකදීය. විද්‍යා, භූගෝල විද්‍යා, ඉතිහාස හා පුරාවිද්‍යා, විවිධ සංස්කෘතීන් පරිසරය ගවේෂණ, චාරිකා යනාදිය විෂය කරගත් ලිපිවලින් සමන්විත වූ මෙය, ඉතා දුබල හා අලංකාර වර්ණ ඡායාරූපවලින් සිය වටිනාකම වැඩි කර ගත්තේය. 2016 වන විට, ලොව පුරා මිලියන 6.1ක් පිටපත් සංඛ්‍යාවක් අලෙවි වුණි. විවිධ භාෂාවන් 40කට පරිවර්තනය කෙරෙයි.

විශාල ඡායාරූප සහිතව පළකෙරුණු ‘ලයිෆ්‘ වැනි ඉතා ජනප්‍රියව පැවති සඟරාවන් ද, රූපවාහිනියේ හා ඉන් අනතුරුව අන්තර්ජාලයේ පැමිණීමෙන් පසු ක්‍රමයෙන් අභාවයට ගියේය. එහෙත් ‘නැෂනල් ජ්‍යොග්‍රැෆික්’ මිලෙන් වැඩි සඟරාවක්ව තිබියදීත් තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ ඊටම ආවේණික ගුණාංග නිසාය.

“නැෂනල් ජ්‍යොග්‍රැෆික්“ සඟරා එකතුවක් තිබීම ආඩම්බරයට කාරණයක් ලෙස සලකන පාඨකයෝ ලොව පුරාම විසිර සිටිති. එය විනෝදාංශයක් කරගත් සමහරු, සඟරාවේ පැරණි පිටපත්ද එක් කර ගැනීමට වෙහෙසෙති.

නැෂනල් ජ්‍යොග්‍රැෆික් ලේඛකයන් කිසිවෙකු ඇස නොගැසුණු, ලොව අඳුරු අහුමුළු සොයා යාමට හපන්නුය. විටෙක, නේපාලයේ තෙත් වනාන්තර මැද, මී කැඩීමෙහි යෙදෙන ගැමියනට එක්වන ඔව්හු, තවත් විටෙක සාගර පත්ලේ රැඳුණු පැරණි නෞකා සොයා යති. සත්ත්ව ජීවිතය මෙන්ම, විද්‍යාවේ නව සොයා ගැනීම්ද ඔවුන්ගේ විශේෂාංග අතර සුලබය. මේ සියල්ල අතරින්, මගේ වඩාත් සිත් ගන්නේ, ‘ට්‍රැවල් රයිටින්’ නොහොත් ගමන් විත්ති ෂානරයට අයත්වන ලිපිය. ඉතා රසවත් ලෙස ලියැවෙන එම ලිපි, ඉතා සුළු තැන් පවා මඟ නොහැර විස්තර කරයි.

වාර්ෂික පොත් අලෙවි තුළින් හෝ පරණ පොත් කඩ තුළින්, අඩු මිලට ලබාගත් ‘ජ්‍යොග්‍රැෆික් සඟරා’ එකතුවක් (විශාල ප්‍රමාණයක් නම් නොවේ.) මගේ පොත් රාක්කයකද කෙළවරක ඇත. සැහැල්ලු කියැවීමක යෙදෙන්නට සිතෙන විවේකි මොහොතක මම ඉන් එකක් දෙකක් ගෙන පිටු පෙරළමි. කාලය ගෙවී යන්නේ මටත් නොදැනුවත්වමය. තමා අතහැර යාමට ඉඩ නොදීම මෙම සඟරාවේ ඇති විශේෂත්වයකි. පසුගිය පොහෝදින, මම නැවත වරක් ‘ජ්‍යොග්‍රැෆික් වශීය’ට හසුවීමි. එහිදී වඩාත් මා සිත් ගත්තේ 1914 දී, දක්ෂිණ ධ්‍රැවය තරණයට යන ඇංග්ලෝ - අයිරිෂ් ජාතික අර්නස්ට් ෂැක්ල්ටන්ගේ වීරාඛ්‍යානයයි.

ධ්‍රැව ගවේෂණ ගැන පෙර අත්දැකීම් ඇති ෂැක්ල්ටන්, තෝරාගත් පිරිසක් සමඟ ‘ද එන්ඩියුරන්ස්‘ (The Endurance) නමැති රුවල් නෞකාවෙන් දක්ෂිණ ධ්‍රැවය බලා පිටත්වෙයි. ඔහුගේ අපේක්ෂාව වන්නේ, ධ්‍රැවාසන්නයට මුහුදින් ගොස්, එතැන් සිට පා ගමනින් හිමබිම තරණයයි. එහෙත් අභාග්‍යයකට මෙන්, නියමිත ගමනාන්තයට සැතපුම් සියයක දුර තිබියදී ඝන අයිස් තට්ටු මැද නැව හිරවෙයි. නැවතත්, නොමිදුණු මුහුද වෙත ළඟා වන අදහසින්, ගවේෂක කණ්ඩායම එක්ව අයිස් මැදින් ඇළ මාර්ගයක් කණිති. එහෙත් එම උත්සාහය අත්හැර දමන්නට සිදුවන්නේ මඳ දුරක් කණිද්දී, අඩි 18 ක් තරම් ඝනකම් අයිස් තට්ටුවක් හමුවීමෙනි.

ෂැක්ල්ටන් ලෙහෙසියෙන් පසුබාන පුද්ගලයෙකු නොවේ. ඔහුගේ නැවට ‘එන්ඩියුරන්ස්‘ (දරා සිටීමේ ශක්තිය) යන නම ලැබෙන්නේ ද පවුලේ ආදර්ශ පාඨය වූ ‘By endurance we conqure‘ (දරා ගැනීමේ ශක්තිය තුළින් ජයග්‍රහණයට) ඇසුරිනි.

නැවේ සිටිනා, ගවේෂකයන් 27 දෙනාගේත්, හිම කරත්ත අදින බල්ලන් 60 දෙනාගේත්, ඌරන් දෙදෙනකුගේ සහ බළලකුගේත් ජීවිත පිළිබඳ වගකීම, ෂැක්ල්ටන් මත පැටවෙයි. ඉදිරි මාස දහයම එකම තැන රැඳී සිටීමට ඔවුනට සිදුවෙයි. කාඩ් ක්‍රීඩාව, පොත් කියවීම, දින සටහන් ලිවීම හා හිම තලාව මත පාපන්දු ක්‍රීඩා කිරීම ඔවුන්ගේ දින චරියාව බවට පත්වෙයි. එහෙත්, බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවකින් තොර ඒ සා දිගු කාලයක්, නැවක සිරවී සිටීම - අධික ශීතාධික පාළු පරිසරයක - දරාගැනීමේ ශක්තියෙන් අනූන මිනිසකුට ම මිස, අන් කෙනකුට කළ හැකි දෙයක් නම් නොවේ. ඉදිරියේදී උද්ගත විය හැකි තත්ත්වයන් දෙකක් ගැන, නැවේ සිටි සැවොම දැන සිටියහ. ඉන් පළමුවැන්න වසන්ත සෘතුව උදාවීමත් සමඟම ක්‍රම ක්‍රමයෙන් අයිස් තට්ටු ‍දියව ගොස් යළි මුහුදු ගමන ආරම්භ කළ හැකිවීමය. දෙවැන්න නම් ක්‍රමයෙන් තම ග්‍රහණය හා පීඩනය තද කරන අයිස් තට්ටුවලට මැදිවන කුඩා නෞකාව, බිත්තර කටුවක් මෙන් පුපුරා කැඩී යාමයි. 1915 ඔක්තෝබර් 26 දා කණ්ඩායමේ ඡායාරූප ශිල්පියා වන ෆ්‍රෑන්ක් හර්ලි, තම දිනපොතේ මෙබඳු සටහනක් තබයි.

“උදෑසන හය වන විට අයිස් තට්ටු ඉමහත් ශක්තියකින් යුතුව නැවට පීඩනයක් එල්ල කරන්නට ගති. නැව සසල වෙමින් ‘කෙඳිරිලි‘ හඬක් නඟන්නට විය. නැවේ තට්ටුවේ ලෑලි ගැලවෙද්දී කවුළු ද දෙදරා පුපුරා ගියේය. මෙම ප්‍රබල හා ශක්තිමත් බලවේගය හමුවේ අපි මහත් අසරණභාවයකට පත්වීමු.“

ටික දිනකට පසු නැව ඇලවෙන්නට පටන් ගනී. නැවියෝ ලී මුක්කු ගසමින් එය නොවැටී තබාගන්නට උත්සාහ දරති. නැවක් යනු නැවියනට මහගෙදරකි. මහා සාගරයේ තනිවන ඔවුනට ඉන් පිටස්තර ලෝකයක් ගැන සිතීමටවත් නොහැකිය. කෙසේ වෙතත් අවසානයේදී අකැමැත්තෙන් වුවත් නැව අතහැර පිටත හිමබිමේ කූඩාරම් අටවා ගැනීමට ෂැක්ල්ටන් තීරණය කරයි.

කුරිරු අයිස් අඬුවට හසුව දිවා රෑ දෙ‍කෙහි නැව නැඟූ හඬ සප්‍රාණික සත්ත්වයකුගේ ශෝකී හඬාවැටීමක් බඳු වී යැයි කණ්ඩායමේ වෛද්‍යවරයා වූ රෙජිනල්ඩ් ජේම්ස් සටහන් කර ඇත.

අනපේක්ෂිත අතරමංවීම තුළ කණ්ඩායම මුහුණපාන බරපතළ ප්‍රශ්නය වන්නේ ආහාර හිඟයයි. නැවේ ආහාර තොග අවසන්ව යද්දී කෑම සලාකය බිස්කට්ටුවකට හා චොකලට් පෙත්තකට සීමා වෙයි. ඉන්පසු ඔව්හු පෙන්ගුයින් පක්ෂීන් හා සීල් මත්ස්‍යයින් දඩයමට බසිති. අවසානයේදී නැවේ සිටි සුනඛයින් ද මරා තම දිවි රැකගැනීමට ෂැක්ල්ටන් තීරණය කරන්නේ ඉතා අසතුටිනි.

ගවේෂණය අසාර්ථක වුණත් තම කණ්ඩායමේ දිවි ගලවා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් දිරිමත්ව කටයුතු කරන ෂැක්ල්ටන් ශක්ති සම්පන්න පුද්ගලයන් පස්දෙනකු සමඟ ජීවිතාරක්ෂක බෝට්ටුවක් ස්ලෙජ් කරත්ත මත පටවා මුහුදු පෙදෙසක් සොයමින් යන්නට පටන් ගනී. අවසානයේදී එය සඵල වුවත් ඔවුන්ගේ කුඩා බෝට්ටුවට යාත්‍රා කිරීමට සිදුවන්නේ වේගවත් සුළං හා උස් රළ පතර සහිත බියකරු මුහුදකය. දුෂ්කර ගමනකින් පසු කුඩා දූපතකට ළඟාවන ෂැක්ල්ටන් සහ පිරිස එහි වැසියන්ගේ උපකාර ලබති. කුඩා නැවක නැඟී තම සගයින් සොයා යන ෂැක්ල්ටන් සියල්ලන්ම ගලවා ගනී. මේ සියලු සිද්ධීන්ට මාස 20 ක් පමණ ගතවී තිබුණි.

ෂැක්ල්ටන්ගේ දින සටහන් ‘SOUTH‘ නමින් ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත. නැවේ සිටි සෙසු ගවේෂකයන්ගේ ද සටහන් පොත් හා දින පොත් ඔවුන් අයත් රටවල කෞතුකාගාරවල තබා ඇත.

ශුභවාදීවීමෙන් සැබෑ ධෛර්යය උපදවාගත හැකි බව (Optimism is true moral Courage) තරයේ ඇදහූ ෂැක්ල්ටන් බොහෝවිට කටයුතු කළේ තම ජීවිතය පරදුවට තබමින් බව ඔහුගේ සගයෝ පසුව සඳහන්කොට ඇත.

ෂැක්ල්ටන්ගේ ‘අවසන් තුරුම්පුව‘ වූ කුඩා ජීවිත ආරක්ෂක බෝට්ටුව ඔහු උගත් ලන්ඩනයේ ඔල්විඩ් විද්‍යාලය තුළ විශ්‍රාම සුවයෙන් පසුවෙයි. ‘නැෂනල් ජ්‍යොග්‍රැෆික්‘ සඟරාවට ෂැක්ල්ටන්ගේ වීර චාරිකාව පිළිබඳ ලිපිය ලියූ කැරලයින් ඇලෙක්සැන්ඩර් ලේඛිකාව, එය සියැසින් දැකගනු පිණිස එහි ගියාය. මිනිසුන් හයදෙනෙකු එම කුඩා යාත්‍රාව තුළ හිඳ, බිහිසුණු මුහුදක් මැද ගොඩබිමක් සොයමින් ගමන් කරන්නට ඇති අයුරු ඇයට මැවී පෙනුණේ දෑස් කඳුළින් තෙත් කරමිනි. කැරලයින් විසින් මෙම දක්ෂිණ ධ්‍රැව වීර චාරිකාව පිළිබඳ ග්‍රන්ථ දෙකක්ම ලියා පළකරනු ලැබුවාය. සා‍ක්ෂරතා ලෝකය තුළ, නැෂනල් ජ්‍යොග්‍රැෆික් සඟරාව ගැන අසා නැත්තෙකු සිටී දැයි විශ්වාස කළ නොහැකි තරම්ය. එය ඒ තරමටම සුපතළය. එහෙයින්දෝ ඇතැම් පාඨකයෝ, එහි නාමය,’ ඉන්ටනැෂනල් ජ්‍යොග්‍රැෆික්’ යැයි වෙනස් කළොත් නරකදැයි, කතු මඬුල්ලෙන් විමසා සිටියහ.

එහි ප්‍රධාන සංස්කාරක බිල් ඇලන්, තම ‘වැකිය’ තුළින් ඊට පිළිතුරක් දුන්නේය.

‘ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ අපි, අපේ සඟරාවේ නම පවත්වාගෙන ආවෙමු. ආරම්භයේදී අප සංගමයට සිටියේ සාමාජිකයන් 217කි. ඉන්, අපගේ කොලොම්බියා දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචිකරුවන් වූයේ 31ක් දෙනෙක් පමණි. එහෙත්, වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂාවෙන් පළවන සඟරාව කියවන පාඨකයෝ ලොව පුරාම විසිර සිටිති. ඒ අතරම , වෙනත් භාෂාවන්ගෙන්ද පළ කිරීමට පියවර ගතිමු. 1995 දී ඇරැඹුණු ජපන් භාෂා මුද්‍රණය පසුපසින්, ස්පාඤ්ඤ, ලතින් අමෙරිකානු , ඉතාලි, ඊශ්‍රා‍යල (හිබෲ) හා ග්‍රීක මාධ්‍ය ප්‍රකාශනද එක්වුණි. ඊශ්‍රායලය, අප සඟරාව ඔවුන් බසින් පළ කිරීම ඇරැඹුවේ, එරට 50 වෙනි ජාතික දින උළෙලට සමගාමීවය. එහි පිටපත් 25,000ක්, සතියකටත් අඩු කාලයක් තුළ අලෙවි වුණි. 15,000 කට වැඩි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් අප සංගමයට බැඳුණි. පරිවර්තනය යනු ඉතා බැරෑරැම් වගකීමක් බව දනිමු. සුළු ප්‍රමාදයකින් වැරදි තේරුම් මතුවිය හැකිය. එහෙයින්, සියලු ජාත්‍යන්තර පරිවර්තන අපගේ වොෂිංටන් ප්‍රධාන කාර්යාලයේ අධීක්ෂණයට ලක්වෙයි. මේ අනුව බලන කල, අමුතුවෙන් ‘ඉන්ටර් නැෂනල්’ යැයි කීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.’

අමෙරිකාවේ ජාතික භූ විද්‍යා සංගමයේ (National Geographic Society) මාසික ප්‍රකාශනය වන මෙම සඟරාව ඇරැඹුණේ වර්ෂ 1888 තරම් ඈතකදීය. විද්‍යා, භූගෝල විද්‍යා, ඉතිහාස හා පුරාවිද්‍යා, විවිධ සංස්කෘතීන් පරිසරය ගවේෂණ, චාරිකා යනාදිය විෂය කරගත් ලිපිවලින් සමන්විත වූ මෙය, ඉතා දුබල හා අලංකාර වර්ණ ඡායාරූපවලින් සිය වටිනාකම වැඩි කර ගත්තේය. 2016 වන විට, ලොව පුරා මිලියන 6.1ක් පිටපත් සංඛ්‍යාවක් අලෙවි වුණි. විවිධ භාෂාවන් 40කට පරිවර්තනය කෙරෙයි.

විශාල ඡායාරූප සහිතව පළකෙරුණු ‘ලයිෆ්‘ වැනි ඉතා ජනප්‍රියව පැවති සඟරාවන් ද, රූපවාහිනියේ හා ඉන් අනතුරුව අන්තර්ජාලයේ පැමිණීමෙන් පසු ක්‍රමයෙන් අභාවයට ගියේය. එහෙත් ‘නැෂනල් ජ්‍යොග්‍රැෆික්’ මිලෙන් වැඩි සඟරාවක්ව තිබියදීත් තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ ඊටම ආවේණික ගුණාංග නිසාය.

“නැෂනල් ජ්‍යොග්‍රැෆික්“ සඟරා එකතුවක් තිබීම ආඩම්බරයට කාරණයක් ලෙස සලකන පාඨකයෝ ලොව පුරාම විසිර සිටිති. එය විනෝදාංශයක් කරගත් සමහරු, සඟරාවේ පැරණි පිටපත්ද එක් කර ගැනීමට වෙහෙසෙති.

නැෂනල් ජ්‍යොග්‍රැෆික් ලේඛකයන් කිසිවෙකු ඇස නොගැසුණු, ලොව අඳුරු අහුමුළු සොයා යාමට හපන්නුය. විටෙක, නේපාලයේ තෙත් වනාන්තර මැද, මී කැඩීමෙහි යෙදෙන ගැමියනට එක්වන ඔව්හු, තවත් විටෙක සාගර පත්ලේ රැඳුණු පැරණි නෞකා සොයා යති. සත්ත්ව ජීවිතය මෙන්ම, විද්‍යාවේ නව සොයා ගැනීම්ද ඔවුන්ගේ විශේෂාංග අතර සුලබය. මේ සියල්ල අතරින්, මගේ වඩාත් සිත් ගන්නේ, ‘ට්‍රැවල් රයිටින්’ නොහොත් ගමන් විත්ති ෂානරයට අයත්වන ලිපිය. ඉතා රසවත් ලෙස ලියැවෙන එම ලිපි, ඉතා සුළු තැන් පවා මඟ නොහැර විස්තර කරයි.

වාර්ෂික පොත් අලෙවි තුළින් හෝ පරණ පොත් කඩ තුළින්, අඩු මිලට ලබාගත් ‘ජ්‍යොග්‍රැෆික් සඟරා’ එකතුවක් (විශාල ප්‍රමාණයක් නම් නොවේ.) මගේ පොත් රාක්කයකද කෙළවරක ඇත. සැහැල්ලු කියැවීමක යෙදෙන්නට සිතෙන විවේකි මොහොතක මම ඉන් එකක් දෙකක් ගෙන පිටු පෙරළමි. කාලය ගෙවී යන්නේ මටත් නොදැනුවත්වමය. තමා අතහැර යාමට ඉඩ නොදීම මෙම සඟරාවේ ඇති විශේෂත්වයකි. පසුගිය පොහෝදින, මම නැවත වරක් ‘ජ්‍යොග්‍රැෆික් වශීය’ට හසුවීමි. එහිදී වඩාත් මා සිත් ගත්තේ 1914 දී, දක්ෂිණ ධ්‍රැවය තරණයට යන ඇංග්ලෝ - අයිරිෂ් ජාතික අර්නස්ට් ෂැක්ල්ටන්ගේ වීරාඛ්‍යානයයි.

ධ්‍රැව ගවේෂණ ගැන පෙර අත්දැකීම් ඇති ෂැක්ල්ටන්, තෝරාගත් පිරිසක් සමඟ ‘ද එන්ඩියුරන්ස්‘ (The Endurance) නමැති රුවල් නෞකාවෙන් දක්ෂිණ ධ්‍රැවය බලා පිටත්වෙයි. ඔහුගේ අපේක්ෂාව වන්නේ, ධ්‍රැවාසන්නයට මුහුදින් ගොස්, එතැන් සිට පා ගමනින් හිමබිම තරණයයි. එහෙත් අභාග්‍යයකට මෙන්, නියමිත ගමනාන්තයට සැතපුම් සියයක දුර තිබියදී ඝන අයිස් තට්ටු මැද නැව හිරවෙයි. නැවතත්, නොමිදුණු මුහුද වෙත ළඟා වන අදහසින්, ගවේෂක කණ්ඩායම එක්ව අයිස් මැදින් ඇළ මාර්ගයක් කණිති. එහෙත් එම උත්සාහය අත්හැර දමන්නට සිදුවන්නේ මඳ දුරක් කණිද්දී, අඩි 18 ක් තරම් ඝනකම් අයිස් තට්ටුවක් හමුවීමෙනි.

ෂැක්ල්ටන් ලෙහෙසියෙන් පසුබාන පුද්ගලයෙකු නොවේ. ඔහුගේ නැවට ‘එන්ඩියුරන්ස්‘ (දරා සිටීමේ ශක්තිය) යන නම ලැබෙන්නේ ද පවුලේ ආදර්ශ පාඨය වූ ‘By endurance we conqure‘ (දරා ගැනීමේ ශක්තිය තුළින් ජයග්‍රහණයට) ඇසුරිනි.

නැවේ සිටිනා, ගවේෂකයන් 27 දෙනාගේත්, හිම කරත්ත අදින බල්ලන් 60 දෙනාගේත්, ඌරන් දෙදෙනකුගේ සහ බළලකුගේත් ජීවිත පිළිබඳ වගකීම, ෂැක්ල්ටන් මත පැටවෙයි. ඉදිරි මාස දහයම එකම තැන රැඳී සිටීමට ඔවුනට සිදුවෙයි. කාඩ් ක්‍රීඩාව, පොත් කියවීම, දින සටහන් ලිවීම හා හිම තලාව මත පාපන්දු ක්‍රීඩා කිරීම ඔවුන්ගේ දින චරියාව බවට පත්වෙයි. එහෙත්, බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධතාවකින් තොර ඒ සා දිගු කාලයක්, නැවක සිරවී සිටීම - අධික ශීතාධික පාළු පරිසරයක - දරාගැනීමේ ශක්තියෙන් අනූන මිනිසකුට ම මිස, අන් කෙනකුට කළ හැකි දෙයක් නම් නොවේ. ඉදිරියේදී උද්ගත විය හැකි තත්ත්වයන් දෙකක් ගැන, නැවේ සිටි සැවොම දැන සිටියහ. ඉන් පළමුවැන්න වසන්ත සෘතුව උදාවීමත් සමඟම ක්‍රම ක්‍රමයෙන් අයිස් තට්ටු ‍දියව ගොස් යළි මුහුදු ගමන ආරම්භ කළ හැකිවීමය. දෙවැන්න නම් ක්‍රමයෙන් තම ග්‍රහණය හා පීඩනය තද කරන අයිස් තට්ටුවලට මැදිවන කුඩා නෞකාව, බිත්තර කටුවක් මෙන් පුපුරා කැඩී යාමයි. 1915 ඔක්තෝබර් 26 දා කණ්ඩායමේ ඡායාරූප ශිල්පියා වන ෆ්‍රෑන්ක් හර්ලි, තම දිනපොතේ මෙබඳු සටහනක් තබයි.

“උදෑසන හය වන විට අයිස් තට්ටු ඉමහත් ශක්තියකින් යුතුව නැවට පීඩනයක් එල්ල කරන්නට ගති. නැව සසල වෙමින් ‘කෙඳිරිලි‘ හඬක් නඟන්නට විය. නැවේ තට්ටුවේ ලෑලි ගැලවෙද්දී කවුළු ද දෙදරා පුපුරා ගියේය. මෙම ප්‍රබල හා ශක්තිමත් බලවේගය හමුවේ අපි මහත් අසරණභාවයකට පත්වීමු.“

ටික දිනකට පසු නැව ඇලවෙන්නට පටන් ගනී. නැවියෝ ලී මුක්කු ගසමින් එය නොවැටී තබාගන්නට උත්සාහ දරති. නැවක් යනු නැවියනට මහගෙදරකි. මහා සාගරයේ තනිවන ඔවුනට ඉන් පිටස්තර ලෝකයක් ගැන සිතීමටවත් නොහැකිය. කෙසේ වෙතත් අවසානයේදී අකැමැත්තෙන් වුවත් නැව අතහැර පිටත හිමබිමේ කූඩාරම් අටවා ගැනීමට ෂැක්ල්ටන් තීරණය කරයි.

කුරිරු අයිස් අඬුවට හසුව දිවා රෑ දෙ‍කෙහි නැව නැඟූ හඬ සප්‍රාණික සත්ත්වයකුගේ ශෝකී හඬාවැටීමක් බඳු වී යැයි කණ්ඩායමේ වෛද්‍යවරයා වූ රෙජිනල්ඩ් ජේම්ස් සටහන් කර ඇත.

අනපේක්ෂිත අතරමංවීම තුළ කණ්ඩායම මුහුණපාන බරපතළ ප්‍රශ්නය වන්නේ ආහාර හිඟයයි. නැවේ ආහාර තොග අවසන්ව යද්දී කෑම සලාකය බිස්කට්ටුවකට හා චොකලට් පෙත්තකට සීමා වෙයි. ඉන්පසු ඔව්හු පෙන්ගුයින් පක්ෂීන් හා සීල් මත්ස්‍යයින් දඩයමට බසිති. අවසානයේදී නැවේ සිටි සුනඛයින් ද මරා තම දිවි රැකගැනීමට ෂැක්ල්ටන් තීරණය කරන්නේ ඉතා අසතුටිනි.

ගවේෂණය අසාර්ථක වුණත් තම කණ්ඩායමේ දිවි ගලවා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් දිරිමත්ව කටයුතු කරන ෂැක්ල්ටන් ශක්ති සම්පන්න පුද්ගලයන් පස්දෙනකු සමඟ ජීවිතාරක්ෂක බෝට්ටුවක් ස්ලෙජ් කරත්ත මත පටවා මුහුදු පෙදෙසක් සොයමින් යන්නට පටන් ගනී. අවසානයේදී එය සඵල වුවත් ඔවුන්ගේ කුඩා බෝට්ටුවට යාත්‍රා කිරීමට සිදුවන්නේ වේගවත් සුළං හා උස් රළ පතර සහිත බියකරු මුහුදකය. දුෂ්කර ගමනකින් පසු කුඩා දූපතකට ළඟාවන ෂැක්ල්ටන් සහ පිරිස එහි වැසියන්ගේ උපකාර ලබති. කුඩා නැවක නැඟී තම සගයින් සොයා යන ෂැක්ල්ටන් සියල්ලන්ම ගලවා ගනී. මේ සියලු සිද්ධීන්ට මාස 20 ක් පමණ ගතවී තිබුණි.

ෂැක්ල්ටන්ගේ දින සටහන් ‘SOUTH‘ නමින් ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත. නැවේ සිටි සෙසු ගවේෂකයන්ගේ ද සටහන් පොත් හා දින පොත් ඔවුන් අයත් රටවල කෞතුකාගාරවල තබා ඇත.

ශුභවාදීවීමෙන් සැබෑ ධෛර්යය උපදවාගත හැකි බව (Optimism is true moral Courage) තරයේ ඇදහූ ෂැක්ල්ටන් බොහෝවිට කටයුතු කළේ තම ජීවිතය පරදුවට තබමින් බව ඔහුගේ සගයෝ පසුව සඳහන්කොට ඇත.

ෂැක්ල්ටන්ගේ ‘අවසන් තුරුම්පුව‘ වූ කුඩා ජීවිත ආරක්ෂක බෝට්ටුව ඔහු උගත් ලන්ඩනයේ ඔල්විඩ් විද්‍යාලය තුළ විශ්‍රාම සුවයෙන් පසුවෙයි. ‘නැෂනල් ජ්‍යොග්‍රැෆික්‘ සඟරාවට ෂැක්ල්ටන්ගේ වීර චාරිකාව පිළිබඳ ලිපිය ලියූ කැරලයින් ඇලෙක්සැන්ඩර් ලේඛිකාව, එය සියැසින් දැකගනු පිණිස එහි ගියාය. මිනිසුන් හයදෙනෙකු එම කුඩා යාත්‍රාව තුළ හිඳ, බිහිසුණු මුහුදක් මැද ගොඩබිමක් සොයමින් ගමන් කරන්නට ඇති අයුරු ඇයට මැවී පෙනුණේ දෑස් කඳුළින් තෙත් කරමිනි. කැරලයින් විසින් මෙම දක්ෂිණ ධ්‍රැව වීර චාරිකාව පිළිබඳ ග්‍රන්ථ දෙකක්ම ලියා පළකරනු ලැබුවාය.

ෂැක්ල්ටන් ආපසු සියරට එන විට පළමුවැනි ලෝක සංග්‍රාමය ඇවිළී මිලියන ගණන් ජීවිත මරුමුවට පත්ව තිබුණෙන්, මේ මිනිසුන් 27 දෙනාගේ කතාවට, කිසිවකුගේ අවධානය යොමු නොවීය.

කලකට පසු, ෂැක්ල්ටන් යළිත් දක්ෂිණ ධ්‍රැව චාරිකාවක යෙදෙයි. එවර ඔහු හෘදයාබාධයකින් මිය යයි. ෂැක්ල්ටන්ගේ ගැලවීමට උපකාරී වූ දකුණු ජෝර්ජියා දූපතේ මුහුදු තීරයේ කුඩා සුසාන භූමියක ඔහු අවසන් නින්දේ පසුවෙයි.

ෂැක්ල්ටන් ආපසු සියරට එන විට පළමුවැනි ලෝක සංග්‍රාමය ඇවිළී මිලියන ගණන් ජීවිත මරුමුවට පත්ව තිබුණෙන්, මේ මිනිසුන් 27 දෙනාගේ කතාවට, කිසිවකුගේ අවධානය යොමු නොවීය.

කලකට පසු, ෂැක්ල්ටන් යළිත් දක්ෂිණ ධ්‍රැව චාරිකාවක යෙදෙයි. එවර ඔහු හෘදයාබාධයකින් මිය යයි. ෂැක්ල්ටන්ගේ ගැලවීමට උපකාරී වූ දකුණු ජෝර්ජියා දූපතේ මුහුදු තීරයේ කුඩා සුසාන භූමියක ඔහු අවසන් නින්දේ පසුවෙයි. 

කපිල කුමාර කාලිංග

පතී නික්ම ගිය පසු

$
0
0
පෙබ 6, 2018 01:00
ධර්ම­සේන පති­රාජ

ආචාර්ය ධර්මසේන පතිරාජ සූරින් අප අතරින් වියෝවීමත් එක්ක රටේ පුවත්පත් ගණනාවක එතුමන් ගැන එක එක විදිහේ ලිපි කිහිපයක්ම ලියැවී පළවී තිබුණා. ඒ අතර ඇතැමුන් කියා තිබුණේ එතුමන්ට ජීවතුන් අතර සිටියදී නිසි ඇගයීමක් නොලැබුණු බවයි. කලාකරුවෙක් මිය ගිය පසු කෙරෙන ශෝකාලාප, ඇගයීම්, උපහාර උළෙලවල්, අනුස්මරණ වැඩසටහන් එක එක විදිහට සිද්ධවෙන බව සැබෑවක්. බොහෝ කලාකරුවන්ට නිසි තැනක්, ගෞරවයක් ලැබෙන්නේ මිය ගිය පසුව බවත් ඇත්තක්. ඒත් ඒ කාරණය පතිරාජට අදාළව ඒ විදිහටම ගළපා ගන්න බැරි බැව් මං පුද්ගලිකව දන්නවා. ඒ මොකද කියනවනම් එතුමන් මිය යන්නට පෙරාතුව රෝගාතුරුව සිටියදී යාපනය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා සම්මාන ප්‍රදානය කොට යාපනයේ ජනතාවට තාමත් ‘පොන්මනී‘ මතක බැව් තහවුරු කරනු ලැබුණා. ඒ මොහොතේ යාපනයේ ද්‍රවිඩ ජනයාගේ ගෞරව බුහුමන් ලැබීමට තරම් වාසනාවන්ත වීමට ඔහුට හැකිවුණා. අනෙක් අතට බොහෝ දෙනෙකු පතිරාජ සූරින් හඳුනා ගනු ලබන්නේ සිනමාකරුවෙකු ලෙස වුවත් ‘කොරා සහ අන්ධයා‘ නාට්‍ය රචනය, ‘පුටු‘නාට්‍ය නිෂ්පාදනය කිරීම ආදිය තුළින් ඔහු ‘නාට්‍යකරුවකු‘ ලෙසින් කළ සේවය අගයමින් මෑත කාලයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවති ඇගයීම් උළෙලත් ඔහුට සතුටට කාරණයක් වූ බව පැහැදිලියි.

‘මං බිස්නස්කාරයෙක් වුණේ නෑ. ලාබ හොයන්න කලා කෘති කරන්න ඕන නෑ‘ පතිරාජ ඒ දවසේත් තමන්ගේ ආස්ථානය ඉතාමත් පැහැදිලිව ලකුණු කළ බැව් ඒ මොහොතට එක්වුණු හැමෝටම මතකයි. අනෙක් අතට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවති උපහාර උළෙලේදීත් ඔහුට නිසි ගෞරවය ලැබුණා සේම ඔහුගේ ආස්ථානය තව දුරටත් පැහැදිලි කිරීමට ඔහුට ඒක ලොකු උදව්වක් වුණා. කොහොම වුණත් මේ කාරණයට අදාළව නැවත නැවතත් කිව හැක්කේ බොහෝ කලාකරුවන්ට තම දිවියේ අවසාන අදියරේ නොලැබුණු විදිහේ සැලකිල්ලක් පතිරාජට ලැබුණු බවයි. ඒත් ඉතිං ඒක පුද්ගලික අදහසක්. හැමෝම ඒකට එකඟ වෙන්න ඕන නෑ.

“මොනව වුණත් සිනමාවට කලාවට හෙවණ දුන්නු පරණ හයිය තියෙන ගස් එක දෙක කඩා වැටීගෙන යනවා. අලුතෙන් ක්ෂේත්‍රයට එන අය ගැන නම් කියල වැඩක් නෑ“ ඉස්කෝලෙ මහත්තයා කියනවා.

“ඇයි ඉස්කෝලෙ මහත්තයා එහෙම කියන්නෙ? ජෙමා ඇහුවා.

“පරණ උදවිය කරපු දේවල්ම අලුත් අයත් කරන්න ඕන කියලා නියමයක් නෑනෙ. අනික ඉතිං එක පිරිසක් කරපු දෙයක් ඒ විදිහටම තවත් පිරිසක් කරන එකෙන් ඇති වැඩකුත් නෑනේ.“ මාත් නිකමට කීවා.

“ඔහෙල ඉතිං හැමදේම බලන්නෙ රුයිතෙට නොවැ“ ඉස්කෝලෙ මහත්තයා කියනවා.

“මං හිතන්නෙ ඉස්කෝලෙ මහත්තයාම තමයි එහෙම බලන්නෙ. ඒ කියන්නෙ අලුත් පරම්පරාව දිහා රුයිතෙටමයි බලන්නේ“ ජෙමා උත්තර දෙනවා.

“මේ ජෙමා, ඔහේට කාපූ බීපු ඒවායෙ සල්ලි එපාද? ඉස්කෝලෙ මහත්තයා විහිළුවට වගේ එහෙම කියාගෙන තමන් බිබී හිටපු තේ කහට කෝප්පයේ අවසන් ස්වල්පය වීසි කරලා සීනි ටික කටට හළා ගත්තා.

“ඇත්තම කියනවනම් ඉස්කෝලෙ මහත්තයා, පතිරාජ මහත්තයා දැවැන්ත නිර්මාණ කීපයක්ම රටට, ලෝකයට දායාද කරලා තියෙනවා. ඒ ගැන අපරාදෙ කියන්න බෑ. අනෙක් අතට මැරෙන මොහොත දක්වාම තමන් විශ්වාස කරපු පරමාදර්ශ, ප්‍රතිපත්ති පාවාදුන්නෙ නෑ. නිර්මාණ කෙරුවේ තමන්ටයි මිනිස්සුන්ටයි මිසක් වෙළෙන්දන්ට නෙවෙයි. අන්න ඒක ඉතාමත් වැදගත්. ඒත් පතිරාජ මහත්තයා කරපු වැඩ අලුත් පරම්පරාවෙ සිනමාකරුවන්ගෙන් බලාපොරොත්තුවීමම වැරැද්දක්. පතිරාජ කියන්නෙ ලංකාවේ සිනමාවෙ එක යුගයක්. ඉතිං ඒ යුගය නියෝජනය කරන්නට ඊයෙ පෙරේදා ක්ෂේත්‍රයට ආව අයට බෑ. ඒත් ඒකෙන් අලුත් පරම්පරාවෙ නිර්මාණකරුවන් දක්ෂයන් නෙවෙයි කියන්න බෑ. ඒ අයට ඒ අය නියෝජනය කරන යුගයේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉඩ දෙන්න ඕන. ඒකෙ වැරැද්දක් නෑ“ මං කීවා.

පෙට්ටිකඩේ හිටපු හැමෝම වගෙ මගේ කතාව අනුමත කෙරුවා. ඉස්කෝලෙ මහත්තයා නිශ්ශබ්ද වුණා මිසක් කතාව අනුමත කළේවත් විරුද්ධ වුණේ වත් නෑ. ඒත් නිශ්ශබ්දතාව ඇතුළේ අනුමත නොකිරීම කියන කාරණය නම් තියෙනවා.

“මොනව වුණත් හරිම සරල මිනිහෙක්. තමන්ගෙ අවසන් කටයුතු පැය විසි හතරක් ඇතුළ තමන්ගෙ ගම් පළාතෙම කරන්න කියලා ඉල්ලලා තිබුණා.“ජෙමා, සීනි බනිසයක් පුංචි රත්තාට දෙන ගමන් කීවා.

“ඒක ඇත්ත. එතුමාව දන්න හැමෝටම පැය විසි හතරක් ඇතුළත නුවරට යන්න බැරි නිසා ගොඩක් දෙනෙක් අවමඟුලට ගියේ නෑ. ඒත් බොක්කෙන්ම යා යුතු බව විශ්වාස කරපු අය කොහොම හරි ගියා.“ ඉස්කෝලෙ මහත්තයා කීවා. මං ඒකට මොකුත් කියන්න ගියේ නෑ.

පතිරාජ සූරින්, මරණින් මතු ජීවිතයක් ගැන හීන දැක්කෙ නෑ. ඒත් එතුමන් මිය ගිය පසු බොහෝ දෙනෙක් එතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ. ඒ මොකද කියනවනම් ප්‍රාර්ථනයකදී සිද්ධවෙන්නේ ප්‍රාර්ථනා කරන කෙනාගෙ විශ්වාසය හා ඇදහීම කල එළි බැසීමක් මිසක් ප්‍රාර්ථනයට ලක්වෙන්නා ඒක විශ්වාස කරනවාද යන්න ඒකට ඒච්චර අදාළ නෑ. අනික භෞතිකවාදීන් යයි කියා ගන්නා පිරිස් ‘සුභ ගමන්‘ වගේ දේවල් කීවත්, ඒ ගමන ‘සුබද, අසුබද? කියලා කවුරුවත් දන්නෙ නෑ. මොකද ගිය කෙනෙක් ගිහින් ඇවිත් ඒ ගැන මොකුත්ම කියලා නැති හින්දා. ඒ හින්දා ඉතිරි කරලා යන ‘දේ‘ ට ‘මතකයට ස්තූතියි‘ කියන එක නම් කොයි අතින් බැලුවත් වටිනවා. මොකද ඇත්තටම ඉතුරු වෙන්නෙ එච්චර නිසා.

බණ්ඩි රාල

පැණි කැවුම්

$
0
0
පෙබ 6, 2018 01:00

හිරුට රිසි පරිදි මහ පොළොව දවාලන්නට ඉඩ නොදෙන වැහි වලාවෝ වහ වහා එක්රැස් වන්නේ සෙබළ බල මුළුවක් පරිද්දෙනි. තුරුලිය අතු පතර සලිත කරවමින් මාරුතය මඳින් මඳ සැඩ වන්නේද අනෝරා වැස්සක් අත ළඟ බව හඟවමිනි. අත්තටු ඇත්තන් මෙන්ම අපා දෙපා සිවුපා සියලු සත් වගද වැස්සකට ලක ලෑස්ති වෙති. එහෙත් නොසිතූ විරූ ලෙස කළු වලාකුළු සී සී කඩ විසිරුවා දමමින් හාත්පස මන්දාරම අකා මකා දමන හිරු අහසත් පොළොවත් ඒකාලෝක කරයි. සුපුරුදු උදාරම් බවින් බැබළෙන හිරු යට ලෝකය නැවතත් පෙර පරිදිම යළි කලහයක ගිලෙයි.

අහසේ සංග්‍රාමයට නොදෙවෙනි පොළොවේ සංග්‍රාමයෙන් විඩාපත් මට ඒ හඬ සැබැවින්ම මිහිරිය. එහෙත් රැව් දෙන සීනු හඬ අතීතයට අයත්ය. පාපැදිය වෙනුවට යතුරු පැදිය භාවිත කරන බැවින් තැපැල්කරුවාගේ ආගමනය දැනුම් දෙන්නේ නළා හඬයි. එය බයිසිකලේ සීනුවක හඬ තරම් දෙකන පිනවන බවක් කිසිසේත් සඳහන් කළ නොහැකි බව සැබෑය. එහෙත් පාපැදියේ වේවා යතුරු පැදියේ වේවා ඔහු ගෙන එන දෙයය වැදගත් වන්නේ. අනේක බිල් හා බැංකුවෙන් එවනු ලබන සිහි කැඳවීම් මනුස්ස ළයක් බර කරවන නමුදු ලිපියක් පාර්සලයක් සතුට හා සෝම්නස පමණක් නොව ධෛර්යයද නොමඳව පුදයි.

තරමක් බරැති පාර්සලය ලබාගන්නට පෙර අත්සන් කළ යුතුව තිබිණ.

‘බෝම්බයක්ද දන්නැ’යි සිසිර මල්ලි සරදම් කළේය.

‘හුඟක් වෙලාවට නං මට එන්නේ පොත් තමා. බලමුකෝ...’යි කී මම මහත් නොඉවසිල්ලෙන් ගෙතුළට ගියෙමි.

පොත් පාර්සලයක් නොවන බව හැඟී ගියෙන් මම මහත් කුතුහලයෙන් පාර්සලය නරඹන්නට වීමි. ඇතුළත තිබෙන්නේ කුමක්දැයි දකින්නට මෙය විවර කළයුතු බව තීරණය කරන්නට මම තරමක කාල වේලාවක් මිඩංගු කළෙමි. දරුවන් සමීපයෙහි සිටියේ නම් දහසකුත්දෑ පවසනු නොඅනුමානය.

‘අම්ම වගේම අම්මගෙ යාළුවොත් ඉන්නෙ ගල් යුගයේ’යි වරෙක දෙවැන්නා හිනැහේ.

‘ඇයි ? ඇති එහෙම කියන්නේ?’යි මම මහත් කුකුසින් ප්‍රශ්න කරමි.

‘නෑ ඉතිං ලියුම් ලිය ලියා තැපැල් කන්තෝරු ගානේ දුව දුවා බොරුවට මහන්සි වෙනවනේද සන්නිවේදනය කොයිතරම් දියුණු ද .. රූපෙන් බල බලා කතා කරන්න පුළුවන්. අම්මලා ඉතිං අත් කැඩෙනකං ලියුං ලිය ලියා දුක් විඳිනවා ...’

ඒ කතාව අනුමත කරමින් මද්දු පමණක් නොව නිවුන් පුත්තුද හිනැහෙති.

‘ඒක දුකක් නෙමේ පොඩි පුතා. මිහිරි වේදනාවක්. ලියුමක් ලියන එකේ... ලියුමක් ලැබෙන එකේ සතුට වේදනාව කුතුහලය ඕගොල්ලන්ට කවදාවත් තේරුම් ගන්න බෑ. ඕගොල්ලන්ගෙ පරම්පරාව තාක්ෂණයේ සන්නිවේදනයේ අග්‍ර පල නෙළනවා තමා. ඒ වුණාට ලියුම්කාරයා ... තැපැල් කන්තෝරුව ලියුම් කියන්නේ මනුස්ස ජීවිතේ පුබුදු කරවන දේවල් මට නම් කවදාවත් එපා නොවෙන පූජනීය දේවල් ඒවා ...’යි මම හැගීම්බරව කියාගෙන ගියෙමි.

මගේ දරුවන් මා දෙස බලා සිටියේ සානුකම්පිත නෙතිනි. හරියට සුව කළ නොහෙන අසාධ්‍ය රෝගියකු නොඑසේනම් උමතු වූවෙකු දෙස හෙළන බැල්මෙනි.

ඒ හැන්දෑවෙන් මේ මද්දහනට පිවිසි මම පාර්සලය සීරුවෙන් විවර කළෙමි. ඊටද යම් තරමක වේලාවක් ගත විය. මන්දයත් ඒ තුළ ඇත්තේ කුමක් හෝ වේවා එය දවටන කීපයක බහා ඉතා පරිස්සමට ඔතා තිබූ බැවිනි. පොලිතීන් දවටනයකින් පවා සුරක්ෂිත කරන්නට වග බලාගත් මෙය පොත් පාර්සලයක් නම් විය නොහැක. මගේ කුකුස කොතරම් බලවත් වී ද කිවහොත් අතැඟිලි සැලිණ.

අන්තිමේදී ප්ලාස්ටික් බඳුනක් දැකගන්නට සමත් වුවද මගේ කුහුල සංසිදුණේ නැත.

“මොනාද ....? මොනාද මේක ඇතුළේ ...?’යි කොඳුරමින් මම එය විවර කළෙමි. ඒ සැණින් හැමූ ප්‍රණීත සුවඳින් මගේ නැහැපුඩු පිරිණ.

බඳුන තුළ බහා තිබුණේ අන් කිසිවක් නොව පැණි කැවුම්ය.

‘කැවුම් ...?’යි මම අප්‍රමාණ විමතියෙන්ද සොම්නසින්ද කෑගෑවෙමි.

‘පැණි කැවුම් !’ යි මා නැවතත් මිමිණුවේ කඳුළු නැඟි දෙනෙතිනි.

‘ලොකු .. පොඩී ... මද්දු පුංචි .... චූටි ....මෙහෙ එන්නකෝ මේ බලන්නකෝ ..... අම්මගෙ යාළුවෙක් ඕගොල්ලන්ට රසම රස කෑමක් එවලා ....’යි මම මහ හඬින් කෑ ගැසුවෙමි. ගෙදරක නොව ගමක සෙනඟ එක්රැස් කරන්නට තරම් මගේ හඬ උස් විය.

‘කැවුම් තැපෑලෙන් එව්ව යාළුවා කව්ද අම්මේ?’ දරුවන්ගේ විමතියටද නිම් හිම් නැත්තේය.

‘මගේ පොත් කියවලා මට කතා කරන ජානකී නැන්දා .... එයාගෙ දුව ප්‍රභාවි ගල්නෑව ඉස්පිරිතාලෙ ඩොක්ට කෙනෙක්.... ඩොක්ට ප්‍රභාවි බලන්න ආව දවසක අපේ ගෙදරත් එනවා කියල ජානකී අක්කා පොරොන්දු වුණා.’යි මම දැරියක මෙන් කියාගෙන ගියෙමි. කැවුම් බඳුන ඔසවාගෙන සිසිර මල්ලි වෙතද දිව ගියෙමි. ඔහු කැවුම කා රස බැලුවේ ‘ අක්කාත් අමුතුයි. අක්කාගෙ යාළුවොත් අමුතුයි’ යි සිනාමුසුව කියමිනි.

දරුවන්ද ඔවුන්ගේ මිතුරන්ද කැවුම් කන අයුරු දකිමින් මා ලද ප්‍රීති ප්‍රමෝදයම ජානකී කරුණාරත්න මගේ ආදරණීය යෙහෙළියද ලැබුවා නිසැකය.

මැල්ලවගෙදර ජානකී කරුණාරත්න තැපෑලේ පිහිටෙන් ඒ සා ඉමිහිරි තෑග්ගක් එව්වේ’ බද්දර මල්ල’ පාඨකයකු වන බැවිනි. ඇය මගේ දරුවන් වෙනුවෙන් ලිපියක්ද එවා තිබිණ. කැවුම් මෙන්ම ඉමිහිරි වූ ඒ ලිපියේ සෙනෙහස පිරී ඉතිරි නොතිබිණිද ?

‘ජානකී නැන්දා හරි හොඳයි නේද අම්මේ ....’ මගේ බඩපිස්සා තවත් කැවුමක් කටේ ඔබාගනිමින් ඇසූ කල අපි හිස් සලා එකඟ වීමු.

ශාන්ති දිසානායක

ශ්‍රී ලංකාව ආශ්ච­ර්යක් වන දවස

$
0
0
පෙබ 6, 2018 01:00

මා මේ සටහන තබන්නේ කරුණාසේන ජයලත් කතුවරයා විසින් ලියැවී, 1966 වසරේදී ශ්‍රී ලංකා සාහිත්‍ය මණඩලයේ හොඳම නවකතාව වශයෙන් සම්මාන ලද 'ගැහැනු ළමයි'නවකතාවට විචාරයක් ලෙස නොවේ. මමද සියලුම අනෙක් ගැහැනුන් මෙන් කිසිදිනෙක නොමියෙන ගැහැනු ළමයකු ඇතුළාන්තයේ දරා සිටිමි. ජීවිතය දෙස නැවත ඉඳ හිටක හැරී බලද්දී ඒ ගෙවුණු කාලයකට වඩා මා වැඩුණු කාලය යැයි මම තේරුම් ගනිමි. මුලින් ගැහැනු ළමයි කතාව කියවද්දී මා වැඩිවියට පැමිණ තිබ්බාදැයි වත් මට මතක නැත. 'කුසුම්'යනු නිර්මල ප්‍රේමයේ එක්තරා වීරවරියක් ලෙස බොළඳ ලෙස තේරුම් ගෙන සිටි බවක් මට සහතිකය. කරුණාසේන ජයලත් යනු, වැඩෙන මාගේ සිතුම් පැතුම් සසළ කළ පරිණත ලිවීමක සැබෑ බලයක් ඇත්තේ එය සරලව ඉදිරිපත් කිරීමෙන් බව තේරුම් කළ නිර්මාණකරුවකු වී මුත් පුස්තකාලයකින් බැහැර ගෙන ආ 'ගැහැනු ළමයි'පිටපතක් කියෑවීමක් මිස මා ළඟ කිසිදිනෙක ඒ පොතේ පිටපතක් තිබුණේ නැත. ගැහැනු ළමයි සිටියේ මගේ මනසේ ඈත කෙළවරකය.

මගේ උපන්දිනයට තෑග්ගක් ලෙස අශා කරන්නේ කුමැක්දැයි මගේ හොඳම යෙහෙළියක විමසූ විට මා ඈට 'ගැහැනු ළමයි'කොපියක් එවැන්නැයි ඉල්ලා සිටියෙමි.

1994 වසරේදි කර්තෘ විසින් ඔහුගේ සටහන (පොත නැවත පළ කිරීමේදි ලියූවක් විය හැක.) දැන් වැඩුණු ගැහැනියක වන මගේ දෙනෙත කඳුළින් පෙඟවීය. දැනටත් වඩා ශ්‍රී ලාංකික ස්ත්‍රියට තමන් වීම දුෂ්කර වූ කාලයක පවා ගැහැනු ළමයාගේ චිත්ත සන්තානය, ඈ වෙත ඇති බාධා, ඇගේ පරිසරය ඈ වෙත කරුණාවන්ත නොවීම නිසා වන අපහසුතාව තේරුම් ගත් පිරිමියකු සමාජය දැනුවත් කිරීමට, ගැහැනු ළමයා දෙස ප්‍රේමයෙන් බලන්නට කරනා ආරාධනාවක් විලාසයෙන් අද මම කරුණාසේන ජයලත් කතුවරයාගේ වචන කියමි. ඔහු පිළිබඳ අපූරූ ආදරයක් මගේ සිතේ ඇති වන්නේ දැන් මා ද ගැහැනු ළමයකුගේ අම්මා කෙනෙක් තරමටම වැඩුණු ගැහැනු ළමයකු නිසා වන්නට ඉඩ ඇත. මගේ දියණිය වෙනුවෙන් වඩා යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරනා මට කරුණාසේන ජයලත් නමැති පිරිමි නිර්මාණ කරුවාගේ ඒ ගැහැනිය ගැන තේරුම් ගැනීම ප්‍රේමය වේ.

කුසුම්, නිමල්, පද්මිනී, පමණක් නොව ඒ කතාවේ එන සෝමා ගැන පවා වඩා තාත්වික දෘෂ්ටිකෝණයකින් බැලීමට මට දැන් පුළුවන්කමක් තිබුණත් වයස, ශක්තිය, ප්‍රමාණය සහ අත්දැකීම යන සෑම කාරණාවකින්ම ගැහැනු ළමයකු එදා මට 'ගැහැනු ළමයි'හුදෙක් ප්‍රේම කතාවක් පමණක් වීය. එදා මේ කතාව සහිත්‍ය සම්මානවලින් පිදුම් ලබද්දී මා ඉපදී නොසිටියත්, එදා මේ කතාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කතාවක් ලෙස අතින් අත යද්දී, චිත්‍රපටි තැනෙද්දී ශ්‍රී ලාංකික වැඩිහිටියා කිසිම පාඩමක් ඉගෙන ගත්තේ නැත්තේ ඇයි ද? එදා ශ්‍රී ලාංකික වැඩිහිටියා ගැහැනු ළමයා පමණක් නොව පිරිමි ළමයා පවා තේරුම් නොගෙන මේවැනි වටිනා නිර්මාණ හුදෙක් සොඳුරු නිර්මාණ පමණක් වන්න ඉඩ ඇර ඉවත බැලුවේ ඇයි?

ගැහැනු ළමයි නවකතාව වානිජ හින්දි චිත්‍රපටියක ඒකාකීතික පිරිසිදු ප්‍රේමයක් මවා නොපෙන්වයි. එය උලුප්පා නොපෙන්වූවත් දුප්පත් වීම, අධ්‍යාපනයට ඇති බාධාව සහ ඒ වටා ඇමිණුනු නොයෙකුත් සංස්කෘතික විලම්බීතවලට හේතුව දේශපාලනික බව කියවන්නාට තේරුම් ගැනීමට ඉඩ දෙයි. නමුත් කිසිවිටෙක රචකයාගේ දෘෂ්ටිවාදය කියවන්නා මත පැටවීමට උත්සාහ නොගනියි. ඒ ඉතාම දක්ෂ නිර්මාණකරුවකුගේ ලක්ෂණයක් සේම පාඨකයාගේ බුද්ධියට ගරු කරන මිනිසකුගේ අවංක ගුණයකි.

'ගැහැනු ළමයි'නවකතාවේ එන 'කුසුම්'චරිතය පවුලේ බර කරට ගෙන බීඩී ඔතනා, ඇගේ සොයුරියගේ දියණියට ලොකුම අම්මා වන, තාත්තාගේ කකුළේ පත්තුව බඳින, අම්මා වෙළඳාමේ ගොස් ගෙට එන විට මූණ සේදීමට වතුර දෙන, දෝතින් වැළැඳ ගැනීමට ඉල්ලන ප්‍රේමයට පිටුපා, පවුලේ නම්බුවත් රකිනා සහ ඒ වෙනුවෙන් තමන්ගේ අනාගත දියුණුව අමතක කරන කෙල්ල මට සිහි කරවන්නේ මැද පෙරදිග ගොස් දස දුක් විඳිනා, ඇඟලුම් කම්හල්වල ශ්‍රමය විකුණන ශ්‍රී ලංකාවේ උතුම් ගැහැනුන්ය.

1966 සිට අද වන තුරු වසර කීයක් ගත වීද? ලිංගික අපරාධයට ලක් වූ පද්මිනීට බලය හා ධනය නිසා නීති විරෝධී ලෙස වූවත් ගබ්සාවක් කර ගැනීමට ඉඩක් ලැබිණි. නමුත් සෝමා, සහ ඇගේ පවුලම අවජාතක ලෙස ගැනුණු දරුවා නිසා ගර්හා විඳිමින් දුකෙන් දුකට පත් කිරීමට ඔවුන්ගේම සමාජය ඉදිරිපත් වේ. මේ කතාව ලියැවී සියවසකින් අර්ධයක් ගතවී මුත් තවත් ශ්‍රී ලංකාවේ ගැහැනියට තමන්ගේ ගර්භාෂයේ අයිතිය නැත. ජාතියකට කන්න අඳින්න දෙන ගැහැනිය උපයන මුදලින් ඇති තරම් බීමට මත්පැන් ගැනීමට පිරිමියාට අයිතිය ඇත. ගැහැනියට සම අයිතියක් නැත.

ගැහැනුන් රජ කරනා රටවල යල් පැන ගිය සිරිත් විරිත් කර පින්නා ගත් නූගත් කුහක පිරිසක් නිසා ගැහැනිය, ගැහැනු ළමයි හෝ කිසිම සුන්දර මිනිස්කමක් තේරුම් ගැනීමට ඔබට බාධාවක් ඇති නොවිය යුතුය. ඔබේ විචාර බුද්ධිය ඔබ සතු එකකි.

මට ගැහැනු ළමයි ගැන මතක් වෙන හැම මොහොතකම, සත්‍යජිත් මාඉටිපේ නමැති සිනමාකරුවා විසින් නිම වුණ 'බොරදිය පොකුණ'නම් චිත්‍රපටිය සිහිවේ.

'ගැහැනු ළමයි'ලියැවී දශක කීපයකට පසුත් නොවිසඳුණු අපගේ ගැහැනු ළමයින්ගේ අවාසනාවන්ත ඉරණම ගැන කතා කරන්නට සත්‍යජිත් මාඉටිපේ වැනි පිරිමි ගන්නා උත්සාහය අගනේය. නමුත් ගැහැනු ළමයි ලියැවී දශක කිහිපයකට පසුත් තවත් කතා කිරීමට තරම් නොවිසඳුණු අවාසනාවන්ත ස්ථානයක් ශ්‍රී ලාංකික ගැහැනු ළමයාට සහ ගැහැනියට හිමිවීම කනගාටුදායකය.

'ගැහැනු ළමයි'නව මුද්‍රණයේ 308 වැනි පිටුවේ කුසුම් මෙසේ තමන්ටම කියා ගනී "දැන් දැන් කඳුළු පිටවෙතැයි මම සිතුවෙමි. දැන් දැන් ඉකිබිඳෙතැයි මම සිතුවෙමි. එහෙත් ධෛර්යය - මට තව දුරටත් පිහිට විය."එදා මෙදා තුර ධෛර්යය පමණක් පිහිට වූ ගැහැනු ළමයාට, බාල සාරියක් ඇඳගෙන මැද පෙර්දිග යෑමට, චීත්ත ගවුමක් ඇඳ ගාර්මන්ට් කම්හලකට යෑමට වඩා වැඩි දෙයක් කළ හැකි ගැහැනියක ලෙස වැඩීමට ඔබ සමාජයක් ලෙස එකතු විය යුතුය. ශ්‍රී ලංකාව ආශ්චර්යක් වන්නේ එදාටය. 

හිමාලි එන්. ලියනගේ

පාසල් ක්‍රීඩා

$
0
0
පෙබ 6, 2018 01:00

‘මේ මැතිවරණ කාලයයි.’ ගතවෙන දවස් හඳුන්වන්නට උචිත ම ශීර්ෂය එයයි. ශීර්ෂයට සරිලන නොයෙක් ක්‍රියාකාරකම් මේ සමයේ බහුල ය. විද්‍යුත් මාධ්‍ය පවා නොබලා ක්‍රියා විරහිත කරන්නට සිතෙන තරමට මැතිවරණ නරනාටකවලින් උපලක්ෂිත ය. ඉතින් මම ඒ ගැන නොලියමි. ඒ ගැන ලියන්නට ගියහොත් ගම හැදීමේ නැතහොත් රට හැදීමේ (කිසිසේත් බලය ලබාගන්නට නොවේ.) ඔවුන්ගේ උදාර අධ්‍යාශයට බාධා පැමිණෙති’යි මට කල්පනා වෙයි.

ඉතින් මම සිරස වෙනස් කරමි. ‘මේ පාසල් ක්‍රීඩා උත්සව කාලයයි.’ පාසල් ක්‍රීඩා උත්සව සමය එළඹ තිබුණ ද එය වෙනදා තරමට ම අපේ සමාජයට නොදැනෙන්නේ මැතිවරණය ගැන සිතන්නට, ඒ අරභයා තර්ක විතර්ක කරන්නට බොහෝ දෙනකුගේ අවධානය යොමු වීම හේතුවෙනි. මැතිවරණය හා පාසල් ක්‍රීඩා උත්සව එකට යෙදීමේ වාසියක් ගැන නම් දන්නා කියන විදුහල්පතිවරයෙක් මා හා මේ ආකාරයෙන් කීවේ ය. “ඡන්දෙයි ස්පෝර්ට් මීට් එකයි එකට ආපු නිසා අපට ලොකු වාසියක් වුණා. දේශපාලන අධිකාරියට ආරාධනා නොකර උත්සවේ කරන්ට පුළුවන්. නැත්නම් ඒ අයට පුළුවන් දින වෙන් කරගන්නයි, එක්කෙනෙක්ගෙන් දින වෙන් කරගත්තහ ම අනෙක් මනුස්සයගෙ උදහසට ලක් වෙන්නයි ‍කරදර ගොඩකට මුහුණ පාන්නට වෙනවා.” (මෙහිදී දේශපාලනඥයන් ගෙන්වා ගෙන ඔවුන් හා පෙරහරේ යන්නට, නිල අවස්ථාවක ඔවුන්ගේ නැති ගුණ වනන්නට ඇතැම් විදුහල්පතිවරුන් දක්වන කෑදර ලෝලත්වය මම නොසලකා හරිමි.)

පාසල් ක්‍රීඩා උත්සව කාලය වූ කලී සුවිශේෂී කාලයකි. පාසල් පරිසරයේ පන්ති කාමරයට කොටු කර ඇති සිසු සිසුවියන්ට ඉන් මිදී වඩා නිදහස් හැසිරීමකට ඉඩකඩ ලැබේ. ඔවුනට නිල ඇඳුමින් මිදී වෙනත් සැහැල්ලු ක්‍රීඩා ඇඳුමකින් සැරසී සිටින්නට මෙන් ම පිට්ටනිය දෑලේ නවතා ඇති අයිස්ක්‍රීම් රථ, බයිට් කරත්ත, ක්ෂණික නූඩ්ල්ස් රථ, මොටයි හා වෙරළු අච්චාරුකරුවන් ආදීන් ගෙනෙන ආහාර වර්ග වෙනදාට වඩා රස විඳින්නට ද අවස්ථාව ලැබේ. තරගවලට සහභාගී වී සහතික ගොන්න වැඩි කරගන්නට ද බෑන්ඩ් කණ්ඩායමට මෙන් ම විවිධ සන්දර්ශනවල කොටස් කරුවන් වන්නට ද ඉඩකඩ ලැබේ. නිවාස ඉදිකිරීම, විවිධ සැරසිලි, ලාංඡන සෑදීම ආදියෙන් සිය කුසලතා වැඩි දියුණු කරගන්නට ලැබෙන ඉඩකඩ ද ශිෂ්‍ය ජීවිතවලට අතිශයින් වැදගත් ය.

ස්පෝර්ට් මීට්, හවුස් මීට්, නිවාසාන්තර ක්‍රීඩා ආදී භාෂා භේද නොතකා යෙදෙන විවිධ පර්යාය පදවලින් හැඳින්වෙන මේ අපූරු කාල වකවානුවේ පාසල් ක්‍රීඩා පිටි අසලින් ගමන් කරන විට ඔල්වරසන් නද, තරග ආරම්භක විධාන හඬ ආදී හඬ පරයා නැ‍ඟෙන පාසල් තූර්ය වාදක කණ්ඩායමේ වාදන අසන්නට ලැබේ. ඇතැම් විට දකින්නට ද ලැබේ. උචිත රිද්මයකින් හෙබි ගීත තෝරාගෙන ඒවායේ අනු වාදන දින ගණනක් තිස්සේ පුරුදු පුහුණු කිරීමට තූර්ය වාදක කණ්ඩායම් භාර ගුරු මහත්ම මහත්මීහු කටයුතු කරත්. ඒ මියුරු සරින් වාදනය කරන්නට මතු නො වේ. රිද්මයට අනුකූල මනහර ගමනකින් යුතු ව පා තබන්නට ය. එසේ ම සන්දර්ශනයක දී පේළි වෙනස් කරමින් පා තබමින් සන්දර්ශන රූ රටා මවන්නට ය.

මෙවර ක්‍රීඩා උත්සව සමයේ දී යටත්පිරිසෙයින් පාසල් දෙකක් අසලින් යන විට ඇසුණු තූර්ය වාදන කණ්ඩායමේ ගී අනුවාදනයක් මගේ සිත කනස්සල්ලෙන් පිරවී ය. අනුවාදනයට අදාළ කරගෙන තිබුණු ගීයේ මුල් කොටස මෙසේ ය.

“රණබිම මැරුණේ සිංහලයෙක් නම් පපුවේ ලේ සලකුණ ඇත්තේ

සතුරට ළය දී මිස නැහැ මැරුණේ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ”

උක්ත ගීතය නවසිය අසූව දශකයේ පමණ ලියැවුණු ‘රණ ගීයක්’සේ උත්කර්ෂයට නඟන ලද ගීයකි. මේ ගීය නිතර ගුවන් විදුලියෙන් ඇසුණු අසූව දශකයේ (ඒ දවස්වල මා සේවය කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසලක ය.) මා සේවය කළ පාසලේ සිටි දෑස් අන්ධ සංගීත ගුරුවරයා මෙසේ කී ය. “රණ ගී යුද සමයක දී හැදෙන එක ස්වාභාවිකයි. ඒත් මේ සින්දුව මොන රණ ගීයක් ද?”

මේ ගීයෙන් දැක්වෙන්නේ ව්‍යාජ්‍යෝක්තියකි. මෙහි කියැවෙන විදිහට සිංහලයෙක් රණබිමක දී මියගිය විට පපුවේ මිස පිටේ ලේ පැල්ලම් නැත. මන්ද ඔවුන් මරණයට බිය නො වී සතුරු වෙඩි පහරට එඩිතර විරුවන් සේ ළය දෙන බැවිනි. සිය ජාතියේ යුද උන්මාදය ඔප් නැංවීමේ අටියෙන් මෙම ගීය ලියන්නට ඇත. එහෙත් සිය සේනාංක මරණයට සූදානම් කරමින් රණබිමට යන සේනාංකයක් හෝ සෙන්පතියෙක් නම් සිටිය නොහැක. එය පැරණි ලෝකයේ ‍යුද ශාස්ත්‍රයකටවත් අනුකූල නො වේ. යුද්ධයේ දී මානව සම්පත අතිශයින් වැදගත් වන බැවින් පරාජයට පත්වන මොහොතක සේනාංකවලට පසු බසින්නට අණ දීම ස්වභාවයයි. මේ ගීයේ කියැවෙන ආකාරයට පරාජයට පත්වන විට පසු නොබැස ඉදිරියට යාමෙන් මානව සම්පත විනාශ කරගන්නා පිරිසක් වෙත් නම් ඔවුහු සැබෑ විරුවෝ නොවෙත්. එවැනි තත්ත්වයකට ජාතියක් පත් කිරීම එම ජාතියට කරන අවමානයකි.

ඒ කාරණය පසෙක තිබියේ වා. මිනිස් ජීවිත විශේෂයෙන් තරුණ ජීවිත බිලිගනිමින් උතුරේ දිගු කලක් තිස්සේ පැවති යුද්ධය අවසන් වී දැන් වසර නවයක් ගත වීමට ආසන්න ය. සමස්ත සමාජයේ වැඩිහිටියන්ගේ සිට ළමයින් දක්වා පැතිර තිබුණු යුද උන්මාදය දැන් කෙමෙන් වියැකෙමින් පවතී. එය අනාගත පරපුරෙන් බැහැර කොට වඩා දියුණු සමාජයක් බිහිකිරීමට කටයුතු කිරීම වැඩිහිටි පරපුරේ යුතුකමයි. සමාජයක් දියුණු වන්නට නම් සාමය හා සහජීවනය අත්‍යවශ්‍ය වෙයි. ළමා පරපුර අනාගතය උදෙසා හැඩගස්වන පාසලක ‘රණබිම මැරුණේ සිංහලයෙක් නම්...’වැනි ගීයක් තූර්ය වාදක කණ්ඩායමේ අනුවාදන ගීයක් බවට පත්කර ගැනීම නොහොබී. මේ පිළිබඳව බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් නැවතත් සිතා බැලිය යුතු ය. 

 මහා­නාම දුනු­මාල


නිද­හසේ වරුණ

$
0
0
පෙබ 6, 2018 01:00

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් තුන් දෙනාම එකතුව උදේ පාන්දරම කළේ මිදුලේ හිටවූ උණ ගසක සිංහ කොඩිය එසවීමයි. සුළඟට අසුව සිංහයා නටන්නට පටන් ගත්තේය.

“ ඇත්තටම ටොම්සන් මහත්තයා මොකද හිතන්නේ නිදහස ගැන... ?” කියා ඇසුවේ උන්නැහේය.

“ නිදහස බොහොම හොඳ දෙයක් නේ... කවුද නිදහසට කැමති නැත්තේ.. දැන් බලන්ඩ ඔය බල්ලෝ දම්වැල් දාලා බැඳ ගෙන ඉන්නවා... උනුත් කැමතියි ඒකෙන් ගැලවිලා නිදහසේ ඉන්න... එතකොට ඔය හරක්.. කරත්තවලට බැඳලා ඉන්නේ... උනුත් කැමතියි ඒකෙන් ගැලවිලා නිදහසේ ඉන්න... ඉතින් මිනිස්සු කොහොමත් කැමතියිනේ නිදහසේ ඉන්න... ” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ ඔව්... ඒක නම් ඇත්ත තමයි... ඒත් තමන්ට කැමති විදිහට බස්තම නිදහසේ කරකවන්න පුළුවන්... අනෙක් තැනැත්තාගේ නාහේ ගෑවෙන කං විතරයි කියලා කවුදෝ කියලා තියෙනවා නේ... එහෙම නේද ටොම්සන් මහත්තයා ?” කියා ඇසුවේ ඇම්බන් මහත්තයාය.

“ ඇයි? ඒ විතරක් නෙවෙයිනේ... වහලා දම්වැලකින් බැඳලා හුඟක් කාලයක් ගියාම දම්වැලට ආදරය කරන්න පටන් ගන්නවා කියලා කතාවක් තියෙනවා නේ.. එතකොට දම්වැල ගලවලා දාලා නිදහස ලැබෙනවාට වහලා කැමති නෑ.... ”

“ ඒක නම් හරිම අපූරු කතාව... කොහොම වුණත් මං මේ කල්පනා කළේ... ඔය නිදහස ලැබිලා ගත වුණු අවුරුදු හැත්තෑවට අපි මොනවාද කළේ කියලා... දැන් බලන්ඩ අපිට ගොඩක් පහු වෙලා සුද්දන්ගෙන් නිදහස ගත්ත මැලේසියාව අද ඉන්නේ කොහොද? ටොම්සන් මහත්තයා දන්නවද වැඩක්.. මේක මේ මගේ යාළුවෙක් කියාපු කතාවක්... ” කියා ඇම්බන් මහත්තයා අලුත් කතාවකට මුල පිරුවේය.

“ ඒක හොඳයි... මේ නිවාඩු දවසේ උදේම කතාවක් අහන එක... මොකක්ද ඇම්බන් මහත්තයාට යාළුවා කිව්වේ...? ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ මේකනේ ටොම්සන් මහත්තයා... මගේ යාළුවා ඔන්න මැලේසියාවේ ඉඳලා තියෙනවා ටික කාලයක්.. එතකොට එක දවසක් දා අසනීප වෙලා එහේ ඉස්පිරිතාලෙකට ගිහින් තියෙනවා.. ඉතින් ඒ දොස්තර මහත්තයා බේත් කරන ගමන් මේ යාළුවා පිට රට කෙනෙක්නේ කියලා දැන ගෙන වංහුං අහලා තියෙනවා... යාළුවා කිව්වාලු මං ශ‍්‍රී ලංකාවේ කියලා... ”

“ ඉතින්.. ඉතින්...”

“ එතකොට දොස්තර මහත්තයා කිව්වාලූ... මං මොකද නොදන්නේ ලංකාව... මං වෛද්‍ය උපාධිය ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්.. කියලා... ඊට පස්සේ හොඳ සිංහලෙන් කතා කරන්න පටන් ගත්තාලූ... ” කියා ඇම්බන් මහත්තයා සිනහසුණේය.

“ ඒක නං හොඳ කතන්දරයක් තමයි.. ඒ කියන්නේ ඒ කාලේ ඒ රටේ උදවිය ලංකාවට ආවා උසස් අධ්‍යාපනය ලබා ගන්න.. දැන් අපේ රටේ අය මැලේසියාවට යනවා උසස් අධ්‍යාපනය ලබා ගන්න... ඔන්න නිදහසේ දියුණුව... කාටද ඉතින් කියන්නේ...? ”

තිදෙනාම කතා කරමින් පාර අද්දරට ආවෝය. සෙනඟ පාරේ එහා මෙහා යමින් සිටියහ.

“ අර එන්නේ සමනල් මහත්තයා නේද? ” කියා උන්නැහේ එක් වරම අත දිගු කර ඇසුවේ ඈතින් සෙමින් ඇවිද ගෙන එන වයසක මහත්තයෙක් පෙන්වමිනි.

“ ඒ මොකද සමනල් මහත්තයා කියන්නේ... මිනිහා පියාඹනවාද? එහෙම නැත්නම් එක එක මල්වලට පියාඹලා ගිහින් තැනින් තැන රොන් ගන්නවාද? මොකක්ද කතන්දරේ ... ” කියා ටොම්සන් මහත්තයා මහත් කුතුහලයෙන් ඇසුවේය.

“ නෑ.. ටොම්සන් මහත්තයා... ඔය මහත්තයාලාගේ තියෙනවා පොඩි සංගමයක්.. ඒකට කියන්නේ සමනල් සංගමය කියලා.. එහෙම කිව්වාට ඒකේ ඉන්නේ ඔක්කොම හැට පැනපු අය... ඒකයි මං සමනල් මහත්තයා කියලා කීවේ... ” උන්නැහේ හක හක ගා සිනහසුණේය.

“ හා.... සමනල් මහත්තයා.. කොහෙද මේ උදේ පාන්දරම... ලොකු ගමනක් යන්න වගේ... ” කියා උන්නැහේ කීවේය.

“ නෑ.. එහෙමමත් නෙවෙයි.. කොහොමත් අපි දැන් සමනල්ලූ වගේනේ.. ඕනැ වෙලාවක ගෙදරින් එළියට බැහැලා යන්න පුළුවන්... ඕනැ වෙලාවක ආපහු එන්න පුළුවන්... දැන් අපි ගැන හොයන්න බලන්න කවුරුවත් නෑනේ...” කියා සමනල් මහත්තයා කොචොක් හිනාවක් දැම්මේය.

“ ඒ කියන්නේ සමනල් මහත්තයා... ගෙදර කාත් කවුරුවත් නැද්ද ? ” කියා ටොම්සන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

“ මොකද නැත්තේ... ඉන්නවා.. ඉන්නවා.. ඒ වුණාට දැන් අපෙන් ඒ හැටි ප්‍රයෝජනයක් නෑ නේ... ඒ හින්දා අපි ගෙදර හිටියත් එකයි... නොහිටියත් එකයි.... අන්න ඒක තමයි නියම නිදහස ටොම්සන් මහත්තයා... ”

“ එතකොට දරු මල්ලෝ ගැන හොයන්නේ බලන්නේ නැද්ද? ” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

” නෑ නේ... අපේ කාලේ තමයි අපි දෙමාපියන්ගේ උපදෙස්වලට වැඩිහිටියන්ගේ උපදෙස්වලට අනුගත වෙලා වැඩ කළේ... දැන් එහෙම නෙවෙයි නේ... දැන් තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියලා තමන් කැමති දෙයක් කරන්න පුළුවන් කියලා තමයි අපේ දරුවෝ හිතන්නේ... තමන් කැමති විදිහට අඳිනවා... තමන් කැමති විදිහට කොණ්ඩෙ කපනවා... ඔය රූපවාහිනී නාලිකාවල ඩාන්ස්වලට යනවා.. ඒවායේ සින්දු තරගවලට යනවා.. සංගීත බලන්ඩ යනවා.. ගිහින් ගහ මරා ගන්නවා.. උන්ගේ නිදහස එහෙම තමයි.. ඒ වුණාට මට එක කනගාටුවක් තියෙනවා... ” කියා සමනල් මහත්තයා බොහොම දුකින් කීවේය.

“ ඒ මොකක්ද සමනල් මහත්තයා... මොකද ලෙඩක් දුකක් ගැනද? ”

“ අපෝ නෑ... ලෙඩ දුක් කියන්නේ මොනවාද? ඒවා මනුෂ්‍යයාට උරුම දේ නේ... ඒක නෙවෙයි ටොම්සන් මහත්තයා... අපිට තියෙනවා ජාතික වගකීමක්.. අපේ රට වෙනුවෙන්... අපේ රට සංවර්ධනය කරන්න පිට රටවලින් මොකෙක්වත් එන්නේ නෑ... පිට රටවල උන් එන්නේ අපේ රටේ සාරය උරා බීලා යන්න.. ඉතින් අපේ රට සංවර්ධනය කරන රාජකාරිය දැන් කා අතේද තියෙන්නේ.. අපේ දරුවෝ අතේ නේ... ඉතින් උන්ට ලැබිලා තියෙන නිදහසින් මොකක්ද උන් කරන්නේ... රට ගැනවත්... රටේ සංවර්ධනය ගැනවත්, රටේ සංස්කෘතිය ගැනවත් උන්ට වගේ වගක් තියෙනවාද? රටටත් වැඩක් නැති... තමන්ටත් වැඩක් නැති මේ නිදහස නිසා මතක තියා ගන්න තව අවුරුදු කීපයක් යන කොට ඔය භූතානය, නේපාලය වගේ රටවල් වුණත් අපිට වැඩිය දියුණු වෙන්න පුළුවන්... එහෙනං මං යන්නං... ” කියා සමනල් මහත්තයා යන්නට ගියේය.

ඇම්බන් මහත්තයාත්, ටොම්සන් මහත්තයාත්, උන්නැහේත් මුහුණෙන් මුහුණ බලා ගත්හ. 

බන්දුල පී දයා­රත්න

සිත සතුට ගෙනාවේ ඔබ­මය මගේ හිතත් ඔබ ළඟ නැව­තිලා

$
0
0
පෙබ 6, 2018 01:00
එඩ්වඩ් ජයකොඩි

වසර කිහිපයකට පෙර එක්තරා රාත්‍රියක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සංගීත රාත්‍රියක්ය. ( මාරම්බරී මුල් ප්‍රසංගයක දී දැයි අමතකය ) එහි දී එඩ්වඩ් ජයකොඩි ගේ ගීතාවලියකට සවන්දෙමින් සිටියේ ඔහුගේ ගායනා අතර මා වඩාත්ම ආදරය කරන ගීතයක් කිනම් මොහොතක හෝ ඔහු ගායනා කරන්නේය යන අපේක්ෂාවෙනි. ඔහු මගේ අපේක්ෂාව සුන් කොට දැම්මේය. ප්‍රසංගය නිමා වී ගෙදර යන අතරතුර මා මිත්‍ර සුනිල් ආරියරත්නට දුරකතනයෙන් කතාකොට එඩ්වඩ් අමතක කළ ගීතය පිළිබඳ සිහිපත් කළ මොහොතේ ඔහු ද මගේ අදහසෙහිම විය.

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී අසන්නට නොලැබෙන එඩ්වඩ්ගේ ගායනාවලියකින් කුමන ඵලක්දැයි මට සිතුණා විය හැකිය. අමරසේන කංකානම්ගේ නම් ගුරුවර ගේය පද රචකයාගේ ගී සංකල්පනාව ඊටම ඔබින ගායන මාධූර්යයකින්, තාරුණ්‍යයයේ හඬකින් ගායනා කළ යුතු වේ නම් ඒ හඬ සතු වූයේ එඩ්වඩ්ටම පමණක් බවයි මගේ හැඟීම වූයේ. නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීයෙන් ශ්‍රාවක අප වෙත ළං කෙරෙන අත්දැකීම ප්‍රේමයේ චමත්කාරය, සුන්දරත්වය අප හදට සමීප කරවන්නකි.

ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ

රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ

සිත සතුට ගෙනාවේ - ඔබම ය

මගේ හිතත්

ඔබ ළඟ නැවතිලා...

කව්සිළුමිණෙහි මධුපානෝත්සව වැණුමෙහි බස අපට සිහිගන්වන අමරසේන කංකානමගේ ගේය පද රචකයාගේ ගීතයෙහි බස ගීතවත්ය. ව්‍යංගාර්ථ පිරි සංකල්පනා සහිතය. ප්‍රේමයේ සුකුමාරත්වය, චමත්කාරය එහි වදනක් වදනක් පාසා විඳින්නට හැකිය. ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ.....ළැමෙහි වෙසෙනා හංසයෝ රැඟුම් පාමින් සිත අවුල් කරයි. මහගම සේකර කවියා ඈත කඳුකර හිමව් අරණේ ගීතයෙහි දී පවසන්නේ රනින් කළ වන් පුළුල් උරයෙන් - හසුන් ළමදේ මුස කරන්නේ යනුවෙනි. සේකරගේ ගීයෙහි නිර්මිත කතුන්ගේ ළමැදෙහි හසුන් මුසපත් වන්නේ නල කුමරුගේ රනින් කළ බඳු පුළුල් උරයට වශීවීමෙනි.

එහෙත් සාමාන්‍ය ජීවිතයෙහි දී සිදුවන්නේ කාන්තාවකගේ පියයුරු නමැති හංසයන් විසින් පිරිමියකුගේ මනස කැලඹවීමයි. අවුල්වීමයි. ගීත රචකයා මෙහිදී මනා සංයමයකින් යුතුව පිරිමි සිත අවුල් කළ පියයුරු පමණක් නොව, ඇගේ දෙතොල් පිළිබඳව ද මහත් රුචියකින් පවසයි. රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ කියායි කවියා අසන්නේ. ගීයෙහි අරුත කුළු ගන්වන්නේ එඩ්වඩ්ගේ යෞවන හඬ පෞරුෂයයි.

එඩ්වඩ් ජයකොඩි නම් වූ මියුරු ගායනාවෙහි හපන්කම් පානා සහෘදයා ගේ එක් ගීයක් පිළිබඳ කෙටි විවරණයකින් මා ප්‍රවේශයකට පිවිසුණේ ඔහුගේ මියුරු ගීතාවලියකින් සැදුණු මාරම්බරී නම් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගයෙහි ශතක සංවත්සරය සටහන් කළ අසිරිමත් සැඳෑවක මිහිර ඔබ හා බෙදාහදා ගන්නටය. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් සියවරක් පැවත්වීමට හැකිවන්නේ නම් එය එක්තරා අන්දමක හාස්කමකි. මන්ද යත්, වර්තමාන ගීතය ගොදුරු කරගෙන සිටින අවර ගණයේ ජනප්‍රිය ගීත රැල්ලෙන් ශ්‍රාවකයා මුදවා ගැනීම අසීරු බැවිනි. මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය, පෙරදා අප රස විඳි සහභාගීවූ ගීත ප්‍රසංග රැසක නම්ගම් මතකයට ගෙන එයි. ශ්‍රවණ ආරාධනා (අමරදේව නන්දා මාලිනී පසුව නන්දා මාලිනී ) ශ්‍රවණ රමණී (අමරදේව ) ස (වික්ටර් රත්නායක ) ස්වර්ණ කුණ්ඩල ( සනත් නන්දසිරි ) සාරංගා ( දයාරත්න අමරා) ගී (ටී.එම්.නීලා හා සෝමතිලක ජයමහ ) ජෝති රාත්‍රිය (එච්.ආර්.ජෝතිපාල ), සඳකඩ පහණ (සුනිල් එදිරිසිංහ ) සී.ටී.ගී හඬ ( සී.ටී.ප්‍රනාන්දු ), නිල් දියවර ( දිවුල්ගනේ ) සොඳුරු අතීතයෙ ( ටී.එම්. ජයරත්න ) කම්පන ( කපුගේ ) ඇසිමිහිර ( සුජාතා ) කවිය ඔබ ( දීපිකා ප්‍රියදර්ශනී ) මේ අතර වේ. මීට අමතරව මගේ මතකයට නො ආ , ප්‍රසංගයක් ද තිබෙන්නට ඉඩ ඇත. එහෙත්, අසන්නට ආසාවෙන් පුලපුලා බලා සිටි අපූර්ව ප්‍රසංගයක් වන්නට තිබූ ගීතාවලියක් රසවිඳීමේ සිහිනය බොඳව ගියේ, අපගේ නිළි රැජිණ, ගීත කෝකිලාව ( පෙරදා) රුක්මණී දේවියගේ ස්වර්ණ ගී ගයන්නට පෙර ඈ දෙව්මව් තුරුලට ගිය බැවිනි. කෙසේ වෙතත් ඉහත ගීත ප්‍රසංග අතර ජනප්‍රසාදය දිනාගනිමින් මෙතෙර නොව එතෙර පවා රසික සිත් අමන්දානන්දයට පත් කළ ප්‍රසංග අතර වික්ටර් රත්නායකගේ ස ප්‍රසංගය මුදුන් මල්කඩ සේ බැබැළෙණු දකිමි. දීර්ඝ කාලයක් පුරා, විසාල ගායන වාර ගණනාවක් සතු අනෙක් ප්‍රසංග අතරට එඩ්වඩ්ගේ මාරම්බරී ශතකය ලෙස එක්වීම සිංහල සුභාවිත ගීතයෙහි අනාගතය දුර්වර්ණ නොවන්නක් බවට පැහැදිලි සාක්ෂියකි.

මාරම්බරී ශතක ප්‍රසංගය හා එක්වී නෙළුම්පොකුණේ ගෙවුණු හෝරා කිහිපය දුලබ සුරාවක් බිව් කලෙක දැනුණු මිහිරකින් යුතු වූ බව පවසන්නට මැළි නොවන්නෙමි. ඔහුගේ හඬ මාධූර්යය ප්‍රේක්ෂාගාරයේ සවණ් මෙන්ම හදවත් ද වසඟයට ගෙන එ ගී මිහිරෙහි මත්ව සිටියාක් බඳු වීය. ගුවන් විදුලි සරල ගීතයෙහි මතු නොව චිත්‍රපට ගීතයෙහි ද ටෙලිනාට්‍ය ගීතයෙහි ද එඩ්වඩ් තම මියුරු ගායනාවෙන් එඩ්වඩ් ලකුණ සටහන් කළ අවස්ථා බොහොමයක්ම අපට සිහිපත් කොට සිටියේ එඩ්වඩ් ජයකොඩි යනු තම ගායනය එක් ගායන ප්‍රභේදයකට අයත් ගී ගැයීමෙහි පමණක් නොව, ශ්‍රව්‍ය මාධ්‍යයෙහි මෙන්ම දෘශ්‍ය මාධ්‍යයෙහි ද ගායනාවට උචිත හඬ පෞරුෂයක් සතු ගායකයෙකු බවයි. ප්‍රසංගය සඳහා තෝරාගෙන නොතිබුණ ද සෙයිලම චිත්‍රපටය සඳහා ඔහු විසින් ශ්‍රියා කාරියවසම් ගායිකාව සමඟ යුග ගීයක් ලෙස ගායනා කළ මේ කොයි යන්නේ රයිගම් යන්නේ ( සුනිල් ආරියරත්න ගී සංකල්පනාව රෝහණ වීරසිංහගේ සංගීතය ) ජන සංගීතයෙහි අපට හුරු පුරුදු නාදරටා සිහි ගන්වන ගායන ශෛලියකින් ගැයුණු ගීතයකි. එවන් ගීයක් වුව ගායනයෙහි දස්කම් දක්වන ඔහුගේ පුළුල් හඬ පරාසය ළමුන් ප්‍රධාන කොට ගත් ළමුන්ගේ අත්දැකීමක් සාහිත්‍ය කෘතියකින් ටෙලිනාට්‍යයක් සේ ප්‍රතිනිර්මාණය වූ කලෙක, ගැයුණු අපූරු ගීයක් දක්වා විහිදුණු බව දනිමි. ටෙලි නාට්‍ය ගී ගායනයෙන් නොනවතින ඔහුගේ සංගීත ඥානයේ හා නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය වේදිකා නාට්‍ය සංගීත නිර්මාණයෙන් ද විශද කොට සිටී. සෙක්කුව, මායාදේවී, මධුර ජවනිකා ( සංගීත නිර්මාණය පමණි. තනු දයානන්ද ගුණවර්ධණ ) දෙවනි මහින්ද, මා වැනි බිළින්දා වැනි නාට්‍ය සඳහා සංගීත නිර්මාණයේ දී රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද එඩ්වඩ්, බොහෝ වේදිකා නාට්‍ය ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද හපන්කම් පෑ බව අපි දනිමු. මාරම්බරී ගීතයම ( කරුණාරත්න සපුතන්ත්‍රීගේ පද ) ප්‍රකට කරන්නේ ඔහුගේ ගායනය, සරල ගීතයෙන් ඔබ්බට ගිය උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙන් ලද දැනුම හා ආභාසය නිසි අයුරු ලද්දෙකු බවයි. මාරම්බරී සඳහා එඩ්වඩ් විසින් තෝරාගත් ගීතාවලිය, ඔහුගේ රුචිය, කැමැත්ත අනුව තෝරාගත්තක් වූවත්, වේදිකා නාට්‍ය ගීයක් ලෙස ගජමන් පුවතෙහි තුට කළ ලෙවන් තෝරාගෙන ගැයූ එඩ්වඩ් ටෙලිනාට්‍ය ගීතයේ එඩ්වඩ් මුද්‍රාව සටහන් කළ අඹ යහළුවෝ ටෙලිනාට්‍යයෙහි ගැයුණු අතිශය ජනප්‍රිය හා සුන්දර ගීයක් ලෙස හැඳින්විය හැකි කටු අකුලේ මල් ඇහැරේ ගීතය (බන්දුල නානායක්කාරවසම්ගේ පද - ආනන්ද ගමගේ සංගීතය ) නොගැයීමෙන් ශ්‍රාවක අපට කළ අසාධාරණයට සමාව දියහැකිදැයි මම තවමත් කල්පනා කරමි. එය ඔහු අතින් සිදුවූ අතපසුවීමක් ලෙස උත්සාහ ගන්නෙමි. රෝහණ බැද්දගේ රචනයෙන් හා සංගීතයෙන් එඩ්වඩ් ගැයූ ගංවතුර ගලා ගීතය ද ඉතා පහසුවෙන් ඇතුළත් කළ හැකිව තිබූ ගීයක් සේ දකිමි.

මාරම්බරී ප්‍රසංගය පවුලේ ප්‍රසංගයක් බවට පත්කොට නොගෙන ඉදිරිපත් කිරීමට ගී පෙළ ගස්වා තිබූ එඩ්වඩ්, චරිතා සමග ගැයූ එක් ගීයක් පමණක් ගායනා කළ ද ඇගේ සංගීත වීඩියෝවක් ඇතුළත් කිරීම කෙතරම් උචිතදැයි නොසිතුවා විය යුතුය. ඔහු පුත්, චන්දීප නිසැක වශයෙන්ම එඩ්වඩ්ගේ ගායනාව හා සංගීතය වඩාත් ගැඹුරින් අධ්‍යයනය කොට මතු දවසේ මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි විශිෂ්ට තාරකාවක් වන බව අනාවැකියක් ලෙස වුව පවසමි. චන්දීප පුතුගේ හඬ එඩ්වඩ්ගේ හඬට ඉඳුරාම වෙනස් එකක් සේ හැඟේ. ඔහුගේ මන්ද්‍රස්වරය ( Base Voice) මා සිත් පැහැරගත් බව සටහන් කරමි. එඩ්වඩ් විසින් තෝරාගෙන ගායනා කරන ලද ගී අතර මෙන්ම නොගැයූ ගී අතර ද අප හද කැලඹූ ගී රැසක්ම වේ යැයි සිතමි. මගෙ කඳුලින් නිමා වූ මාවතේ ( අජන්තා රණසිංහ )රන් හිරු මඬලින් ( බන්දුල නානායක්කාරවසම් ), එපා සඳේ ඔබේ සිනා( කුමාරදාස සපුතන්ත්‍රි ) පලංචියේ ලී ඉරුවේ අපි එකට ( වසන්ත කුමාර කොබවක ) ලතා මඬුල්ලක් කතාකරනවා ( සමන් චන්ද්‍රනාත් වීරසිංහ ) හා තවත් ගී රැසකි. වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, ( කපිල කුමාර කාලිංග ) හඬන්න ළංව ඇති ඔබේ නුවන් හොරා (ධම්මිකා බණ්ඩාර සමග - බන්ධුල නානායක්කාරවසම්ගේ රචනය ) ආදී ගීත ඒ අතර වේ යැයි සිතමි. මාරම්බරිය වර්ණවත් කළ විචිත්‍ර ගායනා අතර, මිණි මිණි පොද වැටේවි ( රත්න ශ්‍රී ), සිරි යහනේ ලණු ඉහිරී ( ලූෂන් ) , සුළඟක් වී ( ආනන්ද හේවා රංහිඳගේ ) ,ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ( කුසුම් පීරිස් )වසන්තයේ අග ( කපිලකුමාර කාලිංග ) ගී කිහිපය වුව එඩ්වඩ් ජයකොඩි නම් වූ අපූරු ගායන පෞරුෂයේ වටිනාකම අපට සාක්ෂාත් කරදෙන බව කිවයුතුය. මැලිබන් ගුවන් තොටිල්ලේ සිට කැරකෙන රෝදේ ( සිරිල් සමරකෝන් ) හා කරදිය ගැඹරේ ( ප්‍රේමකුමාර ජයවර්ධන ) ගීත සමග ගායන ලොවෙහි තීර්ථය සොයා යන නිර්ව්‍යාජ කලාකරුවකුගේ සොඳුරු මුහුණ එඩ්වඩ් තුළින් අපි දකිමු. කපිලගේ සුන්දර ගී සංකල්පනාවෙහි මේ පද මගේ සිහියට නැගෙන්නේ මාරම්බරියේ ගී මිහිරෙහි සොඳුරු මතකය යලි සිහියට නගා ගනිමිනි.

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය

ළවැලි තලාවක විසුල කුසුම් මත

අතින'ත ගෙන පෙර නොකී කතා අසා

අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු

ළා සඳ නැගෙනා හෝරාවේ

බුද්ධ­දාස ගල­ප්පත්ති

ශ්‍රී ලාංකික සාහි­ත්‍යයේ මුස්ලිම් ලකුණ

$
0
0
පෙබ 6, 2018 01:00

ලාංකික මුස්ලිම් ජනයා සන්නිවේදන කටයුතු කරන්නේ දෙමළ බසින්. එසේම දෙමළ භාෂාව ලිවීමේ හා භාෂණයේ මාධ්‍ය හැටියට භාවිත කළ පමණින් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව නැති වෙන්නේ නැහැ. මට එසේ කියන්න සිතුණේ ඇතැම් අය මුස්ලිම් ජනයාගේ සංස්කෘතික අනන්‍යතාව පිළිගැනීමට අකමැත්තක් දක්වන බව නොයෙක් අවස්ථාවලදී අසන්න දකින්න ලැබී ඇති නිසයි. මුස්ලිම් ජනයා සතු ඒ සංස්කෘතික අනන්‍යතාව පෙන්නුම් කිරිමට ඉතාම වැදගත් සාක්ෂි සපයන මාධ්‍යයන් වශයෙන් සැලකිය හැක්කේ ඔවුන් සතු සාහිත්‍ය කලාවන්ය කියා මා සිතනවා.

මෑතකදී මා අතට පත් මුස්ලිම් ජනයාගේ ජීවන තතු පදනම් කරගත් කෙටිකතා සංග‍්‍රහයක් කියවද්දී තමයි මට සිතුණේ ‘පොල් අරඹයි තල් අරඹයි’ කොලමේ මේ ගැන යමක් ලීවොත් හොඳය කියා. මේ කතා සංග‍්‍රහය නම් කර තිබෙන්නේ ‘සැඩ සුළං මැද මඳ පවනක් ’ කියායි. මීට පෙර දෙමළ හා මුස්ලිම් ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ ගණනාවක්ම අපට හඳුන්වා දී තිබෙන ජී. ජී. සරත් ආනන්ද ලේඛකයායි මේ කෘතියත් පරිවර්තනය කර තිබෙන්නේ. ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛක ලේඛිකාවන් දස දෙනකුගේ නිර්මාණ මේ කතා සංග්‍රහයට ඇතුළත් වී තිබෙනවා.

කතා සංග්‍රහයට ඇතුළත් කතා වගේම ඊට එක්කර තිබෙන පෙරවදනත් මා මුලින් සඳහන් කළ මුස්ලිම් ජනයාගේ සංස්කෘතිය පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමට ලොකු රුකුලක් සපයන බව පෙනෙනවා. ‘ශී‍්‍ර ලාංකික දෙමළ සාහිත්‍යයේ මුස්ලිම් ලකුණ’ හිසින් ප්‍රවීණ ලේඛක හා පරිවර්තක දික්වැල්ලේ කමාල් ලියා ඇති පෙරවදන මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සැකමුසු බැලුම් හෙළන අන්තවාදීන්ට කදිම පිළිතුරක් සපයා ඇති බවයි මට හිතෙන්නේ. කමාල් පවසන ආකාරයට ලාංකික ජන කොටස් තුනක් දෙමළ භාෂාව භාවිත කරනවා. එනම් උතුරු නැ‍ඟෙනහිර ජීවත් වන දෙමළ ජනයා, වතුකරයේ ජීවත් වන වතු කම්කරු ජනයා හා දිවයිනේ විවිධ පළාත්වල විසිර සිටින මුස්ලිම් ජනයාත් වශයෙන්.

මෙසේ දෙමළ හා සිංහල ජනතාව සමඟ මුසු වී රටේ විවිධ පෙදෙස්වල ජීවත් වන මුස්ලිම් ජනයා සමස්ත ජනගහනයෙන් සියයට අටක් පමණ වුවද මෙරට සාහිත්‍ය හා කලා නිර්මාණවල සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ලබා දෙන දායකත්වය සුළුපටු නොවන බවයි දික්වැල්ලේ කමාල් පෙන්වා දෙන්නේ. ඒ වගේම දෙමළ බස වහරන ජනයාට රටේ බහුතරයක් වන සිංහලයාගේ සමාජ සංස්කෘතික වටිනාකම් පහදා දීමට මුස්ලිම් විද්වතුන් ඈත අතීතයේ සිටම දායක වී ඇති සැටි ඔහු නිදර්ශන සහිතව පෙන්වා දෙනවා. දෙමළ බසින් රචිත ලාංකික මුල්ම නවකතාව වන 1885දී පළ වූ ‘අසන්බේ සාරිත්තිරම්’හි කතුවරයා මුස්ලිම් ජාතිකයකු වන සිත්ති ලෙබ්බෙ බව ඔහු පෙන්වා දෙනවා.

එය ප්‍රථම සිංහල නවකතාව බිහිවීමටත් පෙරම පළ වීම මගින් මුස්ලිම් ප්‍රජාව සාහිත්‍ය කලා ආදිය කෙරෙහි උනන්දුවක් නැති වානිජත්වයට නැඹුරු ජන කොටසක් ලෙසින් ඇතැමුන් තුළ ගොඩනැඟී ඇති දුර්මතයටද දික්වැල්ලේ කමාල් පිළිතුරු සපයනවා.

ලාංකික මුස්ලිම් කෙටිකතා සිංහල පාඨක සමාජයට හඳුන්වා දීමට සරත් ආනන්ද ලේඛකයා දරා ඇති උත්සාහය වැදගත් වන්නේ මේ පසුබිම මතයි. මේ කෘතිය සඳහා දික්වැල්ලේ කමාල්ගේද සහය ඇතිව සරත් ආනන්ද තෝරාගෙන තිබෙන කතා දහය මගින් මුස්ලිම් කෙටිකතාවේ විකාශනය පිළිබිඹු වීමද අගය කළ යුතු කරුණක්.

ජ්‍යෙෂ්ඨ හා තරුණ නියෝජනය සේම ලේඛකයන් කෙරෙහි සේම ලේඛිකාවන් වෙතද අවධානය යොමු කිරීම හේතුවෙන් මුස්ලිම් ජනතාවගේ සමාජ සංස්කෘතික ජීවිතය පිළිබඳව පුළුල් චිත්‍රයක් නිර්මාණය කිරිමට පරිවර්තකයා සමත් වී ඇති සැටියකුත් දකින්න පුළුවන්.

කතා සංග‍්‍රහයට ඇතුළත් නිර්මාණ දෙකක් වන කේ. එම්. එම්. ෂා හෙවත් පිත්තන් නම් ජ්‍යෙෂ්ඨයාගේ හා ලරීනා අබ්දුල් හක් තරුණ ලේඛිකාවගේ කතා දෙක මීට කදිම නිදසුනක්. පිත්තන් 1921දී නැ‍ඟෙනහිර පළාතේ උපත ලද ලේඛකයෙක්. පිපාසය නමින් ඔහු ලියා ඇති කෙටිකතාවට පසුබිම් වන්නේ දෑවැද්ද සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් තමාට යෝජනා කළ මනාලයා තම අසල්වැසි යෙහෙළියට හිමි වන සැටි දකිමින් ළතැවෙන තරුණියක් පිළිබඳ කතාවක්. එසේම ලරීනා අබ්දුල්ගේ කෙටිකතාවේදී පාඨකයාට මුණ ගැසෙනුයේ නුතන සමාජ ගැටලු හමුවේ ව්‍යාකූලත්වයට පත් තරුණියක් පිළිබඳවයි.

එම්. සමීම්ගේ කතාවද පාඨක සිත් ඇඳබැඳ ගැනීමට සමත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. දුගී බව මෙන්ම සමාජ අසාධාරණයත් මනා ලෙස සිතුවමට නඟා ඇති මෙම කතාවේ වඩාත් අපූර්ව ලක්ෂණය ලෙස මා දකිනුයේ මිනිස් සිත විවරණය කිරීමට ලේඛකයා දක්වන සූරත්වයයි. තම තරුණ බිරිඳගේ දෑස සුවපත් කරගැනීමට අවශ්‍ය මුදල සොයාගත නොහැකිව ළතවෙන දුප්පත් සැමියා වරෙක ඇය ගමේ ධනවතාට පාවා දිමට කල්පනා කරනුයේ වෙනත් විසඳුමක් සොයාගත නොහැකිවයි. ඒත් සමඟම ගෙදර නවාතැන් ගෙන සිටින මහල්ලා සතුව මුදල් ඇති බවත් ඔහුට කල්පනා වෙනවා. එවර ඔහුගේ සිත මෙහෙයවෙන්නේ මහල්ලා මරා ඒ මුදල සොරා ගැනීමටයි. එහෙත් අවසානයේ මහල්ලාම ස්වෙච්ඡාවෙන් තමා සතු මුදල් තරුණ සැමියාට ප්‍රදානය කරනවා. කෙටිකතා කලාවේ ලේඛකයා සතු ශිල්පීය හැකියාව මෙන්ම ජීවන දෘෂ්ටියත් මනා සේ සුසංයෝගි වූ කතාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

මේ කතා සංග්‍රහයට ඇතුළත්ව තිබෙන සෙසු කෙටිකතාද අඩු වැඩි වශයෙන් මුස්ලිම් සංස්කෘතියේ විවිධ පැතිකඩ නිරූපණය කරනවා. දික්වැල්ලේ කමාල්ගේ සැඩ සුළං මැද මඳ පවනක් නම් කතාවේද කාලින ප්‍රශ්නයක් සාකච්ඡාවට ලක් කරනවා. කාත්තන්කුඩියේ ෆාතිමා, එම්. එච්. එම්. ෂම්ස්, ඒ. ඉක්බාල්, එම්. එස්. අමානුල්ලා, කැකිරාවේ සහනා හා බ. ආබ්දින් මේ සංග්‍රහයට නිර්මාණ දායකත්වය ලබා දී ඇති සෙසු ලේඛක ලේඛිකාවන්. මේ කතා සංග්‍රහයට පසු වදනක් සපයන නිලාර් එන්. කාසිම් පවසන ආකාරයටම සිංහල හා මුස්ලිම් ජන සමාජයේ අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීමට සේම ජාතික සබැඳියාවට අත්වැලක් සපයන්නටත් මේ පරිවර්තන කාර්යය ඉවහල් වනු ඒකාන්තයි. 

කමල් පෙරේරා

රස පහසටත් හොර චෙක් එකක්

$
0
0
පෙබ 6, 2018 01:00

 “හොඳයි මම ගාණ දෙගුණ කළොත්, ඩොලර් හයසීයක් කොහොමද?“ ඇබග්නේල් යළිත් සිය වාසනාව උරගා බැලීය. ඇය මෙවර ඔහු දෙස හෙළුවේ විනිවිද යන බැල්මකි.

“ඒක ටිකක් විතර මගේ ගාණට ආසන්නයි. හැබැයි ඔයාගේ තත්ත්වයේ කෙනෙකුට ඒ ගාණ හොඳටම මදි.“ එවර ඇබග්නේල්ට යකා නැග්ගේය. නමුත් ඒ වග පෙන් වූයේ නැත. අපරාධ ක්ෂේත්‍රය සිය වෘත්තීය ලෙස තෝරා ගැනීමෙන් පසු ඇබග්නේල් අනුගමනය කළේ තමා විසින්ම තනාගත් අපරාධ සදාචාරාත්මක ප්‍රතිපත්ති කේතයකි. ඊට අනූකූලව හැම විටෙකම කටයුතු කළ ඔහු කිසි විටෙක තනි පුද්ගලයකු රැවටීමට ලක් කළේ නැත. කෙතරම් තක්කඩියකු වුවත්, ඇබග්නේල් කිසිවිටෙක අසරණ ලිපිකරුවන්, වෙළෙන්ඳන් ද රැවටුවේ නැත. ඔහු නිතරම ඉලක්ක කර ගත්තේ රක්ෂණ සැලසුම්වලින් ආරක්ෂාව සැලසුණු මහා පරිමාණයේ ව්‍යාපාර, බැංකු හා සමාගම්ය. නමුත් චෙරිල් සමඟ කළ මේ කේවල් කිරීම්වලදී ඇබග්නේල්ට සිතුණේ තමා පනවාගත් නීතිවලින් පිට පැනීමට මෙය හොඳම අවස්ථාවක් බවය. චෙරිල් වැනි ධන මෝහයෙන් මත් වූ අවස්ථාවාදී කාන්තාවක එලෙස රැවටීමට ලක්කිරීම ගැන දෙවියන් පවා උරණ නොවනවා නිසැකය. ඇබග්නේල්

“මේ විදියට ගියොත් අපි දෙන්නට හෙට්ටු කර කර හෙට උදේ වෙනකම්ම ඉන්න වෙයි.මම අකමැතිම දේ තමයි මේ කේවල් කිරීම. ඒ වෙනුවට අපි දෙන්නා ඔයාගේ නවාතැනට ගිහින් පැයක් දෙකක් ගත කරලා ආවොත් නරකද ? මම ඩොලර් දාහක් දෙන්නම්.“ ඇබග්නේල් යෝජනා කළේය.

“හොඳයි එහෙනම්. අපි යමු“ඇය ඔහුගේ බසට නැමුණාය.

ඇය හෝටල් කාමරයේ දොර විවෘත කරද්දී ඇබග්නේල් ආපසු හැරුණි. වහා ඔහුගේ අත තරයේ අල්වාගත් ඈ ඔහු වෙත හෙළුවේ දවා අළු කරන බැල්මකි.

“ඒයි! කොහෙ යන්නද ඔය හදන්නේ? දැන් පස්ස ගහන්න නම් හදන්න එපා.“ඇය පැවසුවේ කෝපයෙනි. ඇගේ අත ඉවත් කර ගත් ඇබග්නේල් කපටි බැල් ඇය දෙස බැලීය.

“අනේ අනේ, ඔයා හිතනවාද මම ඩොලර් දාහක් යන එන ගමන් සාක්කුවෙ දාගෙන යනවා කියලා ? මම මේ පල්ලෙහාට ගිහිල්ලා චෙක්එකක් කර ගන්නයි හදන්නේ“

“මේ පාන්දර තුන හමාරට මොන හෝටලයේද චෙක් මාරු කරන්නේ? ඊටත් ඩොලර් දාහක්! ඩොලර් සීයක චෙක් එකක්වත් මාරු කර ගත්තොත් පුදුමයි.“ චෙරිල් මුර ගෑවාය. ඇබග්නේල් සැහැල්ලුවෙන් සිනාසුණේය.

“වෙන්න පුළුවන්.මේ හෝටලේ අයිතිකාරයා මගේ හොඳ යාළුවෙක්.අනෙක මේක එසේ මෙසේ එකක් නෙවෙයි. නිව්යෝක් චේස් මෑන්හැටන් බැංකුවට සහතික කළ චෙක්එකක්. මෙහේ මේවා හරියට රත්රන් වගේ.“ ඇබග්නේල් පැවසුවේ සාක්කුවෙන් ඇද ගත් ඩොලර් එක්දහස් හාරසීයක චෙක්පත ඇයට පෙන්වමිනි.

“කෝ බලන්න“ මහත් ලෝභකමින් එය පරික්ෂා කළ චෙරිල්, ඇබග්නේල් හා එකඟ වූවාය. “ඔව් ඒක රත්රන් වගේ තමයි. ඇයි ඔයා මේක මගේ නමට ලියන්නේ නැත්තේ ?“ “මේක ඩොලර් එක් දහස් හාරසීයක චෙක් එකක්. ඩොලර් හාරසීය එතරම් ගාණක් නොවෙන්න පුළුවන්. නමුත් එකඟතාවක් කියන්නේ එකඟතාවකට. එහෙම නේද? ඇබග්නේල් පස්ස ගැසුවේය.“ ඇයද ඔහු හා එකඟ වුවාය. “ ඒක මගේ නමට ලියන්න.ඩොලර් හාරසීය මම දෙන්නම්.“ චෙරිල් පැවසුවේ සිය ළැමතුරෙහි සඟවාගෙන සිටි පසුම්බියෙන් ඩොලර් සීයේ නෝට්ටු හතරක් පිටතට අදිමිනි.

ඊට පසුව සිදු වූ දේ ඇබග්නේල්ට දැනගැනීමට ලැබුණේ විශ්වාස කටයුතු මාර්ගයකිනි.දින කිහිපයකට පසු චෙරිල්ගේ බැංකුවෙන් ඇය ලබාදුන් චෙක්පත් වලංගු නොවුවක් බව පවසමින් හරවා එවූ කළ ඇය ඒ බව පොලීසියට දන්වා තිබේ. විවිධ පුද්ගලයන් අතින් අතට ඇමතුම මාරුවීමෙන් පසු අවසානයේදී එය නතරව ඇත්තේ ඔ‘රයිලි ළඟ ය. සිද්ධිය පිළිබඳ ඇසු සැණින්ම එය ඇබග්නේල්ගේ තවත් මගඩියක් බව හඳුනාගත්තද ඔ‘රයිලි පසු වුයේ දෙගිඩියාවෙනි. ඒ කාන්තාවක විසින් ඇබග්නේල් සම්බන්ධයෙන් මෙබඳු පැමිණිල්ලක් කළ පළමු අවස්ථාව එය වු නිසාය.

“ඇයි එයා ඔයාට හොර චෙක් එකක් දුන්නේ? “ ඔ‘රයිලි ඇසුවේ ඔහුට ද මෙම සිදුවීම පුදුමයක් වූ නිසාය. නමුත් චෙරිල් සිටියේ හේතු පැහැදිලි කරමින් සතුටු සාමීචියේ යෙදෙන්නට සුදුසු මානසික තත්වයක නොවේ. පිට පිට දෙවරක් රැවටීමට ලක්වූ ඇය, සිටියේ වාවාගත නොහැකි කෝපය නිසා හඬන්නට සූදානම්වය.

“ඒකෙන් ඔහේට වැඩක් නැහැනේ. “ඒ මිනිහා මට ඒක දුන්නා. ඒක හොර චෙක් එකක්. මට ඕනේ හොඳින් හරි නරකින් හරි ඌව අල්ල ගන්න. එච්චරයි".

“මම දන්නවා. නමුත් මට මේ මිනිහව අල්ල ගන්න එයා හිතන විදිහත් වැදගත් වෙනවා. ෆ්‍රෑන්ක් ඇබග්නේල් කියන හොර තක්කඩියට ඔයාගේ විස්තරය හරියටම ගැලපෙනවා. නමුත් මේ වෙනකම් එයා තනි පුද්ගලයකුට හොර චෙක් දීලා නැහැ. එයා කවදාවත් සිල්ලර කඩ හොර චෙක් දීලා නැහැ. මට දැන ගන්න ඕනෑ ඇයි දැන් මෙයා මේ එකපාරටම ලස්සන කාන්තාවකට ඩොලර් එක්දහස් හාරසීයක හොර චෙක් එකක් දෙන්නේ කියලා.? මොකද්ද ඇත්තටම එයාගේ අරමුණ ?“ ඔ‘රයිලි ඇසුවේය. ඕ‘රයිලිද රැවටිලිකාරයෙකි. ඔහු එම භූමිකාව කෙතරම් කදිමට රඟපෑවේ ද යත්, ඇත්තම සිද්ධිය නොකියා සිටීමට චෙරිල්ට නොහැකි විය.

“ඒකා නොමිලේම මගෙන් වැඩේ කර ගත්තට නෙවෙයි මට දුක. මම මීට කලින් ඕනෑතරම් එහෙම කරලා තියෙනවා. නමුත් ඒ පාහරයා මගේ ඩොලර් හාරසීයකටත් විද්දා. “ ඇය කියා තිබුණේ හඬමිනි.

ඇබග්නේල් මයාමි හැර ගියේ චෙරිල්ටත් වඩා වැඩි පාඩුවක් බැංකු නිලධාරිනියන් දෙදෙනෙකුට කරමිනි. ඒ සුන්දර රාත්‍රී දෙකක හුවමාරුවටය. එපමණක් නොව ලැගුම්ගත් හෝටලයට ලබාදී තිබුණේ ද හොර චෙක් පතකි. එහි ඉතිරි මුදල ලෙස ඔහු හෝටලයෙන් ඩොලර් සියගණනක් ලබා ගෙන තිබුණි.

ශීත සෘතුව ඇබග්නේල්ට නිද්‍රාවතරණ කාලසීමාවක් විය.එකී කාලය හේ ගතකළේ වංචාකාරී ජිවිතයට කෙටි කලකට සමු දී අවංක පුද්ගලයෙක් ලෙස අප්‍රකටවය. පසුව එළැඹි වසන්තය ඔහුගේ ජිවිතයට ද යළි වසන්තය ගෙනාවේය. සුරූපි පෑන් ඇම් ගුවන් සේවිකාවන් අටදෙනෙකු තමා සමඟ අහස් නැඟීමට පෙරමඟ බලමින් සිටින බව සිතීම පවා මිහිර දනවන්නක් විය. නිව්යෝක් නුවර බලා පියාසර කළ ඇබග්නේල් තෝරාගත් පිරිසට කෙටි සිහි කැඳවීමේ ලිපි තැපැල් කළේ තමාගේ බොරුව ඒ දක්වාත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද යන බව සැක හැර තහවුරු කර ගැනීමටය. පිළිතුරුවලින් ඔහුගේ විශ්වාසය තහවුරු වූ නිසා සිය විසිතුරු ව්‍යාපෘතිය සැබෑකර ගැනීමේ මහා සංග්‍රාමය හේ පටන් ගත්තේය. එහි පළමු අදියර වූයේ තරුණියන් අටදෙනාට පෑන් ඇම් නිලඇඳුම් සූදානම් කිරීමයි.

පෑන් ඇම් ගුවන් සේවිකාවන් සඳහා නිල ඇඳුම් නිර්මාණය කරන හොලිවුඩ්හි පිහිටි ආයතනයක් ඇබග්නේල් දැනසිටියේය. ගුවන් නියමු නිල ඇඳුමින් පෙනී සිටි ඔහු, පෑන් ඇම් සමාගම යූරෝපයේ අලුතින්ම දියත් කිරීමට යන ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ කළ පූචානම් කතාව සැක කිරීමට ආයතන සේවකයින්ට හේතුවක් තිබුණේ නැත. සති හයකින් තරුණියන් අටදෙනා වෙනුවෙන් නිල ඇඳුම් පමණක් නොව, ඔවුන්ගේ ගුවන් ගමනට අවශ්‍ය කළමනා කට්ටලය බැගින්ද සැපයීමට ඔවුන් එකඟව තිබිණි. ඇඳුම් සූදානම් කෙරෙන අතරවාරයේ පෑන් ඇම් ගබඩාවේ සවාරියක් ගැසූ ඇබග්නේල් ඔවුන් සියලු දෙනාට අවශ්‍ය පෑන් ඇම් ලාංඡන හා පියාපත්ද එකතු කර ගත්තේය. තරුණියන් වෙතින් ගෙන්වාගත් ඡායාරූප යොදා ව්‍යාජ හැඳුනුම්පත්ද තමාම පිළියෙළ කළ ඇබග්නේල් ඔවුන්ට ගුවන් ටිකට්පත්ද මිලදීගෙන තැපැල් කළේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපලට පැමිණිය යුතු දිනයද දන්වමිනි. එදින තරුණියන්ට නවාතැන් පිණිස ගුවන් තොටුපළ අසලින් තරුපහේ හෝටලයක කාමර ද, හෝටලයේ සම්මන්ත්‍රණ ශාලාවද හේ වෙන්කර ගත්තේ පෑන් ඇම් සමාගමේ නමිනි. වැඩිදුර විස්තර අසන කවරෙක්ට වුවද, මෙය පෑන් ඇම් සමාගමෙන් දියත් කෙරෙන අලුත්ම ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස හඳුන්වා දීමට ඇබග්නේල් පැකිලුණේ නැත. තරුණියන් පැමිණීමට නියමිත දින උදෑසනින්ම ගුවන් නියමු නිල ඇඳුමින් සැරැසී ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළේ පෑන් ඇම් මෙහෙයුම් කාර්යාලයට ගිය ඇබග්නේල් එහි කාර්ය මණ්ඩල ප්‍රවාහන සේවයේ කළමනාකාර තැන හමුවිය.

“ අද දෙකට පෑන් ඇම් ගුවන් සේවිකාවො අටදෙනෙක් මෙහෙට එනවා විශේෂ වැඩසටහනකට. මට එයාලව හෝටලයට ගෙනියන්න වාහනයක් ගන්න පුළුවන්ද ?“

“පුළුවන්. අපි ගාව කාර්ය මණ්ඩලය ප්‍රවාහනයට වෙන් කරපු වැගන් එකක් තියෙනවා. මම එයාලව අරගන්නම්. ඔයා කෙළින්ම එතැනටද එන්නේ ?“ කළමනාකාරවරයාගේ කතාවෙන් ඇඟ වුණේ ඇබග්නේල් කළ ඉල්ලීම අසාමාන්‍ය එකක් නොවන බවයි.

“නැහැ. මම මෙතැනට ඇවිත් ඔයත් එක්ක යන්නම්. මම ඒ වෙනුවෙන් මොනවා හරි පෝරමයකට අත්සන් කරන්න ඕනේද ?“

“කිසි දෙයක් නැහැ යාළුවා. අපි දවල් දෙකට හමුවෙමු .“

මේ සියල්ල නැවුම්ම අත්දැකීමක් වු තරුණියන් අටදෙනාට, තමන් රැගෙන යාමට ගුවන්තොටුපලේ ගාල්කර තිබූ පෑන් ඇම් නිල රථය දුටු කල විස්මයෙන් මුර ගෑවුණේ ඉබේටමය. හෝටලයේදී ඔවුන් වෙනුවෙන් පිළියෙළ කොට තිබු නිල ඇඳුම්, කළමනා කට්ටල බෑග් හා හැඳුනුම් පත් ලබා දුන් කල තරුණියන්ගේ විස්මය දරාගත නොහැකි ප්‍රීතියකට හැරී තිබිණි. ප්‍රීති ඝෝෂා නැගීමට හොඳම හේතුව ලැබුණේ ඇබග්නේල් සිය කණ්ඩායමේ අනාගත සැළසුම් හෙළි කළ විටය.

ඔවුන්ගේ ප්‍රවර්ධන සවාරිය ලන්ඩනය, ඇතෑන්ස්, රෝමය, ජිනීවා, මියුනිච්, බර්ලින්, මැඩ්රිඩ්, ඔස්ලෝ, කෝපන්හේගන්, වියානා වැනි යුරෝපයේ වන සුන්දරම නගර සියල්ලම පාහේ ආවරණය කරන්නක් බව ඇබග්නේල් විස්තර කල විට කෙල්ලෝ ප්‍රීති ඝෝෂා නඟන්නට වුහ. ඔවුන් පාලනය කරගැනීමට, සියලු දෙනාටම වඩා වයසින් බාල ඇබග්නේල් සැරපරුෂ පියෙකුගේ පෞරුෂයක් ආරෝපණය කර ගත්තේය. ඇරත් සිය මහා පරිමාණ වංචා සැලසුම සාර්ථක වීමට නම් මේ කියන්නට යන දේව නියමයක් ලෙස තරුණියන් විසින් පිළිපදිනු ලැබීම අත්‍යවශ්‍ය බව ඇබග්නේල් දත්තේය.

“දැන් ළමයිනේ හොඳට අහගන්න. මේ වැඩසටහන ඔයාලට හොඳ විනෝදයක් වේවි. ඒක එහෙම වෙන එක මගෙත් බලාපොරොත්තුවක්, හැබැයි මේකේ වැදගත්කමත් ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනෑ. මම තමයි ඔයාලගේ ප්‍රධානියා.

ඔයාලගෙන් කවුරු හරි නරකට හැසිරුණොත් එයා ගෙදර යවන්න මට සිද්ධ වෙනවා. ඔයාලා හැම තිස්සෙම මගේ නීති උපදෙස්වලට අනුව වැඩ කරන්න ඕනේ. එතකොට කාටවත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ.“ ඇබග්නේල් කතාව මඳකට නවතා තරුණියන් පිරිස‍ දෙස බැල්මක් හෙළුවේ කිසිවෙක් හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ කරයිදෝ යන දෙගිඩියාවෙනි.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : අන්තඃපුරයක් සමඟ ලෝක සවාරියක්

‘එක දවසක අපි’ සිනමාවේ නව හැරවුම් ලක්ෂයක්

$
0
0
පෙබ 6, 2018 01:00

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

l "එක දවසක අපි"මොන වගේ නිර්මාණයක්ද?

මේ චිත්‍රපටයෙන් අපි කතා කරන්නෙ යෞවනය, ආදරය සහ ඒ අතර ඇතිවන ගැටුම් ගැන. යෞවනයේ ආදරවන්තයින් එකතු වෙලා යන ගමනේ දි කෙනෙක් තමන්ගෙ ආදරවන්තයා නැත්නම් ආදරවන්තිය තමන්ට ගැලපෙනවද කියලා බලන්නෙ ඒ හමුවීම සහ අඳුරගැනීම තුළින්. කවදාවත් කිසිම වෙලාවක දි අනිත් කෙනා මොන කුලයේද? මොන පැලැන්තියෙද? ධනවත්ද? දුප්පත්ද? කියලා බලන්නෙ නෑ. එහෙම කිසිම දෙයක් නැතුව තමයි දෙන්නෙක්ගෙ හිත් ඇතුළෙ අවංක ආදරයක් ඇතිවෙන්නෙ. එහෙම ආදරයක් ඇතිවෙලා ගොඩක් දුර ගියාම තමයි විවාහය කියන තැනට ආවට පස්සෙ අර කියපු කාරණා ඔක්කො ම එකින් එක මතුවෙන්නෙ අපේ සමාජෙ. එහෙම අවස්ථාවල දී ආදරවන්තයන් ආදරවන්තියන් ගොඩක් අසරණ වෙනවා. සමහර වෙලාවට දිවිනසා ගැනීම වගේ වැරදිසහගත තීන්දුතීරණවලට ගොඩ දෙනෙක් නැඹුරු වෙනවා. ඒ ගැන තමයි අපි මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ.

l මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්න හිතුවෙ ඇයි ඔබ? මොකක්ද විශේෂත්වය?

මේක ඇත්තටම අද සමාජයේ කාලීන මාතෘකාවක්. ඇත්තෙන් ම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අනුරුද්ධ ජයසිංහ මේ කතාව මගෙ ළඟට අරන් ආවම මගෙ හිතට ඒ කතාව ගොඩක් වැදුණා. අද වෙනකම් මම ඒක අනුරුද්ධට කියලා නෑ. මේ කතාව මගේ හිතට ඒ තරම් දැනෙන්න හේතුව තමයි මේ මටත් ජීවිතේ එක කාලෙකදි ඇත්තට ම මුහුණපාන්න වුණු අත්දැකීමක්. මගේ තරුණ කාලේ දී මට අත්දකින්න වුණ සත්‍ය සිදුවීමක්. ඒ නිසා අනුරුද්ධ මට ඒ කතාවේ සාරංශය කියපු ගමන් මට ඒක හොඳට ම හිතට වැදුණා සහ මම තේරුම් ගත්තා අනිවාර්යයෙන් ම මේ චිත්‍රපටය කළ යුතුයි කියලා.

මේ චිත්‍රපටයෙ එන තරුණයාට සහ තරුණියට මුහුණ පාන්න වුණු ඒ ශෝචනීය ඉරණම මට අත්වුණේ නෑ. මොකද මම ඊට වඩා විකල්ප විදිහක් හිතලා ඒ ප්‍රශ්නෙ මම ම නිරාකරණය කරගත්තා. අද වෙද්දි මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. හොඳ බිරිඳක් ඉන්නවා. මගෙ බිරිඳ ආචාර්ය මධූ ප්‍රනාන්දු. ඇය ව්‍යාපෘති කළමනාකරණය ගැන විශේෂඥවරියක්. මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. ඉතිං මට හොඳ පවුල් ජීවිතයක් තියෙනවා. ඒ වගේ තැනකට මම ආවා. අද සමාජෙ බොහෝ දෙනා මේ වගේ ප්‍රශ්නවලදි ඒ විදිහට මුහුණ දෙන්න බලන්නෙ නෑ. හදිස්සි වෙලා ඉක්මන් තීරණ ගන්නවා. ඒ නිසා අපිට මෑත කාලයේ ගත්තොත් මේ තත්ත්වය හරියට තේරුම් නොගැනීම නිසා තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් ලංකාවේ අපිට නැතිවෙලා තියෙනවා.

l මේ චිත්‍රපටයට දායක වුණු පිරිස ගැන කතා කරනවානම්?

එක දවසක අපි අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක්. මම විධායක නිෂ්පාදනයෙන් දායක වෙනවා. පුබුදු චතුරංග සහ නයනතාරා වික්‍රමආරච්චි තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ සෂික හේරත්. අංග රචනය කරන්නෙ ප්‍රියන්ත එස්. වන්නිනායක. මේ විදිහට තවත් ගොඩ දෙනෙක් මේ චිත්‍රපටයට දායක වෙලා තියෙනවා.

l එක දවසක අපි රූගත කිරීම් සිදු කෙරුණෙ මොන වගේ ප්‍රදේශවලද?

බොහෝ දුෂ්කර ප්‍රදේශවල තමයි රූගත කිරීම් කෙරිලා තියෙන්නෙ. මීට කලින් චිත්‍රපට රූගත නොකළ බොහෝ තැන්වල "එක දවසක අපි"රූගත කිරීම් කළා. සමහර කොටස් රූගත කළේ බයිබල් කන්දෙ මුදුන වගේ ඉතාම දුෂ්කර තැන්වල. බයිබල් කන්දට නගින්න සෑහෙන වෙලාවක් යනවා. බහින්න ගියාමත් සෑහෙන්න වෙලාවක් යනවා. ඒත් මේ කතාවත් එක්ක එහෙම තැන් හොයන් යන්න වුණා අපිට. ගොඩක් වෙලාවට අපි වෙන කිසිම චිත්‍රපටයක නොදුටු ලොකේෂන්වල තමයි මේ චිත්‍රපටය රූගත කළේ.

l "එක දවසක අපි"මොබයිල් චිත්‍රපටයක් නේද? මොකද්ද ඇත්තට ම මේ මොබයිල් චිත්‍රපටයක් කියන්නෙ?

ඉස්සර චිත්‍රපටයක් බලනවා කියලා කිව්වහම බොහෝ අය සිනමා ශාලාවට ගිහිල්ලා විතරයි චිත්‍රපටයක් නැරඹුවේ. අද කාලෙ ගත්තොත් එහෙම අපි ගොඩක් මේ ජංගම දුරකථනය කියන දේට සමීපයි. අපි ගොඩක් දේවල් ජංගම දුරකථනය තුළින් කරනවා. ඒ වගේ ම ජාත්‍යන්තරය ගත්තොත් එක එක ඇප්වලින් අලුත් පරපුරේ ගොඩ දෙනෙක් සමහර වෙලාවට සිනමා ශාලාවලට යන්නෙ නැතුව මොබයිල් එකෙන් චිත්‍රපට බලන්න නැඹුරු වෙලා තියෙනවා. එතකොට මොබයිල් ඇප් එකක් තුළිනුත් අපි අර සිනමා ශාලාවකට ගිහිල්ලා ලබාගන්න රසවින්දනයට යම් කිසි ආකාරයකින් කිට්ටුවට එන්න පුළුවන් රසවින්දනයක් ගන්න පුළුවන් විදිහට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. මේක මොබයිල් ඇප් එකක් තුළින් බැලීම සහ චිත්‍රපට ශාලාවලට ගිහින් බැලීමට යන දෙකට ම සුදුසු විදිහට තමයි තිරගත කරලා තියෙන්නෙ. ඉතිං මේ තමයි ලංකාවෙ ප්‍රථම මොබයිල් චිත්‍රපටය. මේකෙන් පස්සෙ මම තව මොබයිල් ටෙලිනාට්‍යකුත් නිෂ්පාදනය කළා. ඒක තාම විකාශනය වෙලා නෑ.

l මීට පෙර ඔබ දායක වුණු චිත්‍රපට නිර්මාණ ගැන සඳහනක් කරනවා නම්?

මේ මගේ 16 වෙනි චිත්‍රපටය. මීට කලින් මම චිත්‍රපට 15ක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ චිත්‍රපටයෙ විශේෂත්වය තමයි අපි මේ චිත්‍රපටය හදන්න මුලින් ම කතිකාවක් ඇති කරගත්තෙ ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසේ. මේ අවුරුද්දෙ පෙබරවාරි වෙනකම් කියන්නෙ මාස දහයක කෙටි කාලයක්. ඉතිං මේ මාස දහයක කෙටි කාලෙ චිත්‍රපටිය සාර්ථකව නිෂ්පාදනය කරලා, ශාලාවල තිරගත කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. මම හිතනවා ඒක විශේෂ ජයග්‍රහණයක් කියලා. මොකද මේ කාලේ ගත්තොත් අවුරුදු ගණන් පෝලිම්වල තියෙනවනෙ ගොඩක් චිත්‍රපට. ඉතිං එහෙම තියෙන කාලෙක ආරම්භයේ ඉඳලා තිරගත කිරීමට ගත වුණේ මාස දහයක් වගේ කෙටි කාලයක් කියන එක වාර්තාවක්. මම නිෂ්පාදනයෙන් දායක වුණු චිත්‍රපටවලින් මේ වෙනකොට "අනිත්‍යා", "ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ", "රූපාන්තරණ"සහ "නිලංජනා"තිරගත වුණා. මේ තමයි මගේ තිරගත වුණු පස්වෙනි චිත්‍රපටය. තව චිත්‍රපට 11ක් ඉදිරියේ දී තිරගතවීමට නියමිතයි. ඒ අතරින් විශේෂයි චිංගීස් අයිත්මාතව් කියන රුසියානු නවකතාකරුවාගේ ශ්‍රේෂ්ඨ කෘතියක් වෙන "ගුරුගීතය"ආශ්‍රයෙන් නිර්මාණය වුණු චිත්‍රපටය. ඒක අපි නේපාලය, ඉන්දියාව සහ රුසියාව කියන රටවල් තුනේ තමයි රූගත කළේ. ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන් වැඩ නිම කරලා මේ වෙනකොට ජාත්‍යන්තර සම්මාන උළෙලවලට සහභාගි වෙමින් පවතිනවා. ඒ වගේ ම විජය නන්දසිරි මහත්මයාගේ අවසාන චිත්‍රපටයක් වුණු "බ්‍රේකින් නිව්ස්"කියලා ක්ලැසිකල් කොමඩි චිත්‍රපටයකුත් තව "හලෝ මිස්ටර් මම ඩිරෙක්ටර්"කියලා චිත්‍රපටයකුත් ඒ අතර තියෙනවා.

l චිත්‍රපටියකට ප්‍රචාරණය කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්නෙ. එක දවසක අපි ප්‍රචාරණ කටයුතු සිද්ධ වුණේ කොහොමද?

දැනට අපි ෆේස්බුක් එක තුළින් ප්‍රින්ට් මීඩියා සහ ටීවි මීඩියා වැනි මාධ්‍ය තුළින් ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. මේ චිත්‍රපටය පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ගොඩනැගුණු කතාවක්. ඉතිං අපි විශ්ව විද්‍යාලය තුළත් වෙනම ම ප්‍රචාරණ වැඩසටහනක් කරගෙන යනවා මේ චිත්‍රපටය සම්බන්ධයෙන්.

l චිත්‍රපටයේ මංගල දර්ශනයෙන් පසුව ලැබුණු ප්‍රතිචාර කොයි වගේද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මං මුලින් කිව්වනේ මේ චිත්‍රපටය කරන්න මුලින් මගේ ඔළුවට එන්නෙ මේක මමත් අත්විඳපු අත්දැකීමක් නිසා කියලා. ඉතිං මංගල දර්ශනය බැලුවට පස්සෙ මට කිහිප දෙනෙක් ම කතා කරලා කියලා තියෙනවා මේක ඒ අයටත් අත්දකින්න වුණු අත්දැකීමක් කියලා. ඇත්තට ම මේ චිත්‍රපටය බලපු අය කිව්වෙ මේක ළමයි ඉන්න දෙමාපියො නැරඹිය යුතු ම චිත්‍රපටයක්. මොකද ඒ වගේ ප්‍රශ්නයකට කොහොමද මුහුණ දෙන්න ඕනෙ කියන එක මේ චිත්‍රපටිය තුළින් දෙමාපියො වුණත් අවබෝධ කරන්ගන්න ඕනෙ කියලා.

l ඔබ ඇයි චිත්‍රපට නිෂ්පාදනය වගේ ක්ෂේත්‍රයකට පය තියන්න හිතුවෙ?

මගේ සීයා චිත්‍රපට ප්‍රදර්ශකවරයෙක්. ඔහු තමයි හැරන් ද සිල්වා කියන්නෙ. අනුර -අම්බලන්ගොඩ, ප්‍රියංකර - නාරහෙන්පිට ඇතුළුව මගේ සීයට චිත්‍රපට ශාලා ගණනාවක් ම තිබුණා. ඒ වගේ ම මගේ මාමා කෙනෙක් තමයි සිකුරු දසාව කියන චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒ වගේ යම්කිසි ආකාරයකින් කලාවට ලැදි පවුල් පසුබිමක තමයි මම හැදුණෙ. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගනිද්දි චිත්‍රපට සංගමයේ සභාපති, තරුණ ලේඛකයන්ගෙ සංගමයේ සභාපති වගේ තනතුරු දරමින් ගොඩක් සාහිත්‍ය කටයුතුවල නියැලිලා තියෙනවා. ඒකත් එක්ක මගේ පොඩිකාලෙ ඉඳලම ආසාවක් තිබුණා, යම් දවසක් මම එක චිත්‍රපටයක් හරි නිෂ්පාදනය කරන්න ඕනෙ කියලා. ආසාවෙන් තමයි චිත්‍රපට ක්ෂේත්‍රයට ආවෙ. ඉතින් එක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඇවිල්ලා දන්නෙ ම නැතුව 16ක් නිෂ්පාදනය කරලා තියෙනවා මේ වෙද්දි.

l ඔබ පූර්ණකාලීන චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ද?

මම විදුලි සංදේශන සම්බන්ධයෙන් විශේෂඥ උපදේකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේ ම මගේ ව්‍යාපාර කටයුතු ගණනාවක් තියෙනවා. ඇත්තට ම කියනවා නම් සිනමාව කියන්නෙ මගේ ව්‍යාපාරයක් නෙවෙයි. ඒක මම විනෝදාංශයක් විදිහට පටන් ගත්ත දෙයක්. ඒත් ඉතිං දැන් ඒකත් යම්කිසි විදිහකට මගේ එක්තරා ව්‍යාපාරයක් බවට පත්වෙලා.

කාංචනා සිරිවර්ධන

ජෝතිට 82 යි...

$
0
0
පෙබ 6, 2018 01:00

 “එච්.ආර්.ජෝතිපාල උපන්දා ඉඳල මිය යන තුරුම එක එක යුගවල එක එක ආකාරයට උපන් දින සමරන්න ඇති. අද අපි පළවෙනි වතාවට ජෝති නැතුව ජෝතිගේ උපන්දිනය සමරනවා. මට විශ්වාසයි අදින් පසුව මේ බිමේ උපදින දරුවොත් අනාගතේදි මේ මහා කලාකාරයගෙ උපන් දින සමරන්න එකතු වෙන බව...”

1988 පෙබරවාරි 12 වෙනිදාට යෙදුණු අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ පනස් දෙවන ජන්ම දිනය නිමිත්තෙන් මාලිගාවත්තේ ජෝති පිළිරුව විවෘත කර ටවර් රඟහලේ පැවති උළෙල අමතා එසේ පැවසුවේ ආදරණීය කලාකරු විජය කුමාරතුංගයන්ය. තම සහෝදර සුමිතුරු කලාකරුවා ගැන එසේ පවසා දින හතරකට පසුව විජය සාහසික ලෙස ඝාතනය කරනු ලැබීය. එහෙත් විජය කුමාරතුංගයන් 1988 දී පැවසූ එම ‘අනාගත වාක්‍යය’ සැබෑ විය. එච්.ආර්. ජෝතිපාල නමැති අමරණීය කලාකරුවාගේ ජන්ම දිනය 2018 දීද සැමරෙන්නේය.

‘සියලු ජාතීන්ගේ ගායකයා’ ලෙස මම යළි යළිත් ජෝතිව හඳුන්වමි. 1936 පෙබරවාරි 12 වෙනිදා කොළඹ දෙමටගොඩ කැටවලමුල්ලේ ඉපිද මරදාන ප්‍රදේශයේ සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් - මැලේ ආදී සියලු ජාතීන් අතර හැදී වැඩුණු ‘හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල’ යෞවනයේදීම ගායකයෙකු වී ගී ගැයුවේ ඒ සියලු ජාතීන් උදෙසාමය. ඔහුගේ ලෝකයේ කවර හෝ අන්තවාදයකට ඉඩක් නොතිබුණි. ‘මනුෂ්‍ය ජාතිය’ පිනවීම ඔහුගේ කාර්යය විය.

‘ජෝති උපදින්න තිබුණේ ලංකාවේ නොව භාරතයේයි..” යනුවෙන් පැවසුවේ ලෝකපූජිත භාරතීය ගායක මොහමඩ් රාෆි මෙහි පැමිණි වතාවකදීය. ජෝතිගේ උපත භාරතයේ සිදු වූයේ නම් රාෆි මෙන්ම ලෝකපූජිත වී ඔහුද මෙලොවින් සමුගන්නට ඉඩ තිබුණි. එහෙත් භාරත සිනමාවේ මහා ගායකයා රාෆි වෙද්දී සිංහල සිනමාවේ මහා ගායකයා ජෝති විය.

එච්.ආර්. ජේමිස් හා එච්.කේ. පොඩිනෝනා පෙරේරා යුවළ තම කුළුඳුල් පුතුට ‘ජෝතිපාල’ යන නම යෙදීම දෛවෝපගතය. උපතේදී ඔවුන් ඔහුට එම නම යෙදීම ගැන තමන් ඔවුන්ට තුති පුදන බව පණ්ඩිත් අමරදේව ශූරීන් ජෝතිගේ අවමඟුලේදී මෙසේ පැවසීය.

‘ජෝති’ කියන්නේ ආලෝකයයි. ‘පාල’ කියන්නේ පාලනය කරන්නා නැතහොත් පාලකයායි. ජෝති අපේ ගීත ලෝකයේ ආලෝකය මැනවින් පාලනය කළා වගේම මිත්‍රත්වයත් මැනවින් පාලනය කළා. එම නිසා ඔහුට ඒ නම යෙදූ දෙමාපියන්ට මා තුති පුදනවා...”

සැබැවින්ම ජීවත්ව සිටියදී ගී ලොවේ ‘ආලෝක පාලකයා’ වූ ජෝති ඔහුගේ අකල්වියෝවින් තිස් එක් වසරක් සපිරෙන්නට ආසන්න වෙද්දීත් ‘ජීවමාන’ ලෙසින් ගී ලොවේ ආලෝකය පාලනය කරයි. එය ආශ්චර්යයකි. අදද ඔහුගේ සුමියුරු සුගායනය නිතිපතා විවිධ මාධ්‍ය ඔස්සේ රසික ජනතාවගේ සවන් - හදවත් ‍වෙත ගලා යයි. ඔහුගේ සිරුර නොපෙනී ගියා පමණි. හඬින් ඔහු දිනෙන් දින ‘ජීවමාන’ වෙයි.

ජෝති ජීවත්ව සිටියදී ඔහුගේ උපන්දින සැමරුම් බොහෝ විට සංවිධානය කළේද ඔහුගේ මිතුරන් හා අනුගාමිකයන්ය. ජෝතිගේ ගීත ‍ ලොව ප්‍රසංග වල ගැයීම නිසාම ‘පොඩි ජෝති’ නමින් හඳුන්වන තුවාඩ් ජොල්ඩර්ස්මා වෙසෙන්නේ නෙදර්ලන්තයේය. ඔහු මැලේ ජාතිකයෙකි. ජෝතිගේ සමීප අනුගාමිකයෙකි. වරක් ජෝතිගේ උපන්දිනයක් සැමරුවේ ඔහුගේ මෙරට පැපිලියානේ නිවසේදීය. අර්නස්ට් සොයිසා ප්‍රමුඛ සංගීත කණ්ඩායමේ සංගීතයට ජෝති එදා එවකට තරුණ ගායකයෙකු වූ රෝහණ සිරිවර්ධනගේ ‘ඔබේ අතගෙන පෙර සැඳෑවක’ ගීතය යසට - රසට ගායනා කළේය.

“රෝහණ මල්ලී. මම අද ඔයා ඉස්සරහ ඔයාගෙ සිංදුව කියනවා..” යනුවෙන් පවසා ජෝති එය ගැයුවේ සාදයට එක්ව සිටි රෝහණ සිරිවර්ධන ඉදිරියේමය. එපමණක් නොව එදින ජෝති ‘රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ’ ගීතය ත්‍යාගා එන්. එඩ්වඩ් සමගම ගායනා කළේය. අවසන් දශකයේ බොහෝ උපන්දිනයන්ද ඔහු ගත කළේ මාලිගාවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමයේ B 10/1/1 පුංචි නිවසේ මිතුරු සමාගමයේමය. නිවසෙන් පිටතට සරම පිටින්ම පැමිණ පහළ මිදුලේ සිමෙන්ති පඩිය මත වාඩි වී මිතුරු ඇසුරේ පසු වීම තරු පහේ හෝටලයක උපන්දින සැමරීමට වඩා ඔහු අගය කළේය.

“ජෝති අවුරුදු පනහේ උපන්දිනේ වෙනුවෙන් ලොකු හෝටලේක ලොකු පාටියක් දාමු.. “ යනුවෙන් එවකට මාලිගාවත්තේම පදිංචිව සිටි සිනමා පුවත්පත් කලාවේදියෙකු යෝජනා කළා මට මතකය. ජෝති ඉළඟ තත්ත්පරයේදීම එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. පනස්වෙනි උපන්දිනයද සුපුරුදු පුංචි මිතුරන් සමඟ ගත කිරීම ඔහුට සතුටක් විය.

ජෝතිගේ පනස්වෙනි උපන්දිනය යෙදුණේ 1986 පෙබරවාරි 12ටය. ඇහැලියගොඩ ප්‍රදේශයේ ජ්‍යෝතිර්වේදියෙක් එකල බොහෝ කලාකරුවන්ගේ අත බලා ශාස්ත්‍ර කීය. ඔහු ජෝතිගේ අත බලා පැවසුවේ වසර පනහක් ජීවත් නොවන බවයි. එහෙත් එම අනාවැකිය පට්ටපල් බොරුවක් බවට පත් කරමින් තවත් වසරකුත් මාස හතරක් ජෝති යහතින් ජීවත් විය.

‘උපන්නොත් මැරේමයි - වළක්වන්න නම් බෑ’ යනුවෙන් කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ වදන්වලින් ‘සසරේ පිපාසේ’ ගීතයෙන් ගැයූ ජෝති ‘මැරුණුදාට ලෝකේ නෑ නැටුම් විනෝදේ - පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ’ යනුවෙන් චිත්‍රානන්ද අබේසේකර ශූරීන්ගේ වදන්වලින් ‍ ‘මෙලෝකේ සියල්ලෝ’ ගීතයෙන් ‘සත්‍යය’ ගැයුවේය. එම ලෝ නියාමය අනුව නික්ම ගිය ජෝති සුර සබා රස ගන්වද්දී ඔහු මෙහි ඉතිරි කර ගිය මෝහනීය ගීතාවලිය සුවහසක් රසික ජනී ජනයාට මතු මතුත් ආනන්දයම සදනු ඇත. එවන් ජෝතිමත් ගීයක් රැව් නැගෙන වාරයක් පාසා ජෝති ජන හදවත්හි යළි යළිත් උපත් ලබනු ඇත.

ආනන්ද පද්මසිරි

ආර්ථික නිදහස

$
0
0
පෙබ 6, 2018 01:00

 නිදහස යනු ලංකාව ආපසු ලංකාවට බාරදීමයි. ලංකාවේ වෙසෙන සියලුම ජනයාගේ දුක නැතිකර සැප වැඩි කරදීම නිදහසේ බලාපොරොත්තුවයි.”

එදා 1948 අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම ගැන නිදහස් සටනේ නායකයකු වූද, නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ ද, ඩී.එස්.සේනානායක මහතා මෙයට වසර 70කට පෙර එසේ ප්‍රකාශ කෙළේ ය.

ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේ නිල කටයුත්ත ඉටුකිරීම සඳහා මවු රට ලෙස සැලකුණු බ්‍රිතාන්‍යය වෙනුවෙන් ලංකාවට එදා පැමිණියේ ග්ලොස්ටර් ආදිපාදවරයාය. ග්ලොස්ටර් ආදිපාදවරයාට ස්තූතිය පුද කිරීමේ කතාව පවත්වන ලද්දේ එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක සභානායකවරයාය.

“අපට හිමි වූ මේ නිදහස නියම නිදහසක් අත්පත්කර ගැනීම සඳහා ලැබුණු නිදහසක්” යැයි එදා බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කෙළේ ය.

ඩී.එස්.සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය පිහිටුවාගත් නායකයාය. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත් නායකයාය. නිදහස ලබා ගතව ඇති වසර 70 ක කාලය තුළ ශ්‍රී ලංකාව වරින් වර පාලනය කෙළේ ඉහත සඳහන් නායකයන් දෙදෙනා විසින් පිහිටුවා ගන්නා ලද දේශපාලන පක්ෂ දෙක විසිනි. 2015 සිට එම පක්ෂ දෙක එක්ව ශ්‍රී ලංකාව පාලනය කරයි.

නිදහස සම්පූර්ණ වීමට ආර්ථික නිදහස ද අවශ්‍ය වේ. ගත වූ 70 වසරක ආර්ථික සංවර්ධනය ගැන අද වනවිට විවිධ අදහස් සමාජගතව තිබේ. රට දේශපාලන නිදහස ලැබූවද, දේශීය හා විදේශීය ණය උගුලක ශ්‍රී ලංකාව සිරගතව ඇත යන්න ප්‍රබලව නැගෙන හඬකි.

ශ්‍රී ලංකාවට සමකාලීනව නිදහස ලැබූ ඉන්දියාව සහ චීනය අද ආසියාවේ ආර්ථික බලවේග දෙකක් ලෙස හිස ඔසවා සිටිති. ඉන්දියාව 2018 වසරේ සියයට 7.2 ක ආර්ථික වර්ධනයක් ද, චීනය 6.4% ක ආර්ථික වර්ධනයක් 2018 දී අත්කර ගන්නා බවට ද දැනටම ප්‍රකාශයට පත්ව හමාරය. ශ්‍රී ලංකාව සියයට 5.5 ක ආර්ථික වර්ධනයක් 2018 දී අත්කර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ. 2017 ඉහළම ඍජු විදේශ ආයෝජනය වාර්තා විය.

ආර්ථීකවර්ධනය

ශ්‍රී ලංකාවට පසුපසින් 60 දශකයේ ආර්ථික දුෂ්කරතාවනට මුහුණ දෙමින් සිටි රටවල් අද වනවිට ප්‍රබල ආර්ථිකයන් බවට පත්ව සිටිති. එසේ නම් වසර 70ක ආර්ථික සංවර්ධනයෙන් ශ්‍රී ලංකාවට ධනාත්මකව සතුටු වීමට තරම් දෙයක් සිදුව නැද්ද? (ආර්ථික සමීක්ෂණයන්හි දී හෙළි වූ කරුණුවලට අනුව 1950 – 2017 දක්වා වූ වසර 67 ක කාල පරාසය තුළ ශ්‍රී ලංකාව බොහෝ වර්ෂයන්හිදී සිය ආර්ථික වර්ධනය සියයට 4 මට්ටමට පවත්වාගෙන ගොස් තිබේ. එය සතුටට කරුණකි.

දේශපාලන කලිකළහයනට මැදි වූ 1971,72 සහ 73 වසරවල ආර්ථික වර්ධන වේගය පිළිවෙළින් 0.2,3.2 සහ 3.7 වශයෙන් කඩා වැටුණි. එසේම 1987,88 සහ 89 වර්ෂයන්හි දී ආර්ථිකය 1.5,2.7 සහ 2.3 වශයෙන් අඩුවිය. සමස්තයක් වශයෙන් ගත් කල 1950 – 2017 කාලය තුළ ආර්ථිකය සියයට 4 මට්ටම තුළ පැවතිණ. අඩුවීම් පැවතුනේ කලාතුරකිනි.

1950 වනවිට රටේ ජනගහනය දසලක්ෂ 7 ක්ව තිබුණු අතර මේ ජනගහනය පිනවීම සඳහා අවශ්‍ය වූ සහල් අවශ්‍යතාවෙන් හරි අඩක්ම ආනයනය කරන ලදී. අද වනවිට ජනගහණය දස ලක්ෂ 21 දක්වා ඉහළ ගොස් තිබේ. මේ සමස්ත ජනගහණය සඳහා වූ සහල් අවශ්‍යතාව සපුරා ගනිමින් 2015 දී ශ්‍රී ලංකාව සහල් අතින් ස්වයංපෝෂිත විය. එවර ශ්‍රී ලංකාව සිය දැවැන්තම සහල් නිෂ්පාදනය වාර්තා කළේය. 2015 වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4819000 කි. වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 1254000 කි. මෙයට පෙර කිසිම වසරක එතරම් විශාල බිම් ප්‍රමාණයක් වී වගාවට යටකර නැත. එසේම හෙක්ටයාරයක පලදාව කිලෝග්‍රෑම් 4429 කි. මෙතරම් ඉහළ පලදාවක් මෙයට පෙර වාර්තා වූනේ ද නැත.

2016 – 2017 වසරවල ඇති වූ කාලගුණික විපර්යාස, ඉඩෝරය, ගංවතුර සහ නායයෑම් යන ස්වාභාවික විපත් නිසා 2015 න් පසු වී නිෂ්පාදනය අඩාල වී සහල් අපනයනයට මඟ සැලසුනේ කාගේවත් වරදකින් හෝ අතපසුවීමකින් හෝ නොවේ. එම කාලගුණික දුර්දසාව නිසා ඉන්දියාව, පාකිස්තානය සහ බංගලාදේශය යන සමස්ත ඉන්දීය උප මහාද්වීපයටම අස්වනු හානි සිදුවිය.

ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයෙන් පටන්ගෙන කඩිනම් මහවැලි ව්‍යාපාරය දක්වා වූ යෝධ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති රාශියක සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාවට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මේ පෙරළිය ඇතිකිරීමට හැකි විය. සමස්ත මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ නිසා හෙක්ටයාර 183513 ක ඉඩම් ප්‍රමාණයක වගාවට දියවර පහසුකම් සැපයුන අතර මොරගහකන්ද ව්‍යාපාරය නිසා තවත් ඉඩම් හෙක්ටයාර දහස් ගණනකට දියවර සැපයීමට නියමිතය.

නිදහස සම්පූර්ණ වීමට සාගින්නෙන් මිදීමේ නිදහස ද අත්‍යවශ්‍ය වෙයි. එසේම පානීය ජලය ජනතාවට සපයා දීම ද රාජ්‍යයක වගකීමකි. ජලය මිනිස් අයිතියකි. මොරගහකන්ද සහ මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතින්ගෙන් පානීය ජලය සැපයෙන්නේ යුද්ධයෙන් බැට කෑ දිළිඳු ජනතාවකටය. එසේම ඔවුහු බොහෝවිට සුළු ජන කොටස්ය. මේ අනුව ජාති ආගම් භේදයකින් තොරව සියලු ජනතාව සඳහා සමාන අවස්ථා සපයා දීමෙන් ශ්‍රී ලංකාව සුබ සාධන රාජ්‍ය අතර පෙරමුණේ සිටී.

ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලිදේශය යන රටවල් තවම ඒ තත්ත්වයට පැමිණ නැත. විශේෂයෙන් ඉන්දියාවේ නාග ගෝත්‍රික ජනතාව පදිංචි ප්‍රදේශ සහිත ප්‍රාන්තවලද, පාකිස්ථානයේ කඳුකර ගෝත්‍රික සුළු ජනයා පදිංචි ප්‍රදේශවල ද, බංගලි දේශයේ ඉන්දියා හා බුරුම මායිම් බද ප්‍රදේශවල ද සමානාත්මතාව විරහිත කරුණු එමටය.

එහෙයින් ශ්‍රී ලංකාවේ නිදහසේ අගය පසුගිය හැත්තෑ වසර තුළ තවත් වැඩිව තිබේ. එයට තවත් උදාහරණයක් නම් සුළු ජන කොටසක් ලෙස සැලකූ වතුකරයේ ජනතාව සඳහා ප්‍රදානය කර ඇති වරප්‍රසාද ඉන්දියාවේ තේ නිෂ්පාදන ප්‍රාන්තවල ජනතාවට අහිමිව තිබීමයි.

ගත වූ 70 වසර ඇතුළත රටේ සමාජමය දර්ශක අනුව රට ඉදිරියට ගමන් කර ඇත. නිදහස ලබන විට සියයට 57.8 ක් වූ සාක්ෂරතාව 1963 දී සියයට 79.4 දක්වා ඉහළ ගියේ ය. අද වනවිට ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව සියයට 92.5 දක්වා වර්ධනය ව තිබේ. මෙය කලාපීය වශයෙන් ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශ්, පාකිස්ථානය යන රටවල් ඉක්මවා යෑමකි.

2015 දර්ශකයට අනුව ඉන්දියාවේ සාක්ෂරතාව සියයට 72 කි. බංගලාදේශයේ 61.5% කි. නේපාලය 64% කි. පාකිස්ථානය 56% කි. 1963 වනවිට ග්‍රාමීය ජනගහණයෙන් සියයට 16ක් පාසල් අධ්‍යාපනය නොලද අතර අද වනවිට එය තනි ඉලක්කම් සංඛ්‍යාව කරා අඩුව තිබේ.

ගමවෙනස්වීම

ළමා මරණ සංඛ්‍යාව අඩුව ජනතාවගේ ආයුෂ කාලය දීර්ඝ වී තිබේ. ඒ සඳහා වන සෞඛ්‍ය පහසුකම් ඉතා විශිෂ්ට ලෙස වර්ධනයව, නිදහස ලබන විට රට පුරා හිස ඔසවා තිබූ මැලේරියාව, බරවා, ලාදුරු යන රෝගවලින් රට නිදහස්ව තිබේ. එසේම දරු උපතකදී මවුවරුනට සිදුවන මරණ සංඛ්‍යාව ද අවම තත්ත්වයට පත්ව මාතෘ සුව සේවා ඉහළ මට්ටමකට පැමිණ ඇත. එසේම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආදි සුබ සාධන කටයුතු ඉදිරියට ගෙන ගියේ ය.

1948 සහ 2018 කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ ගෘහ ජීවිත කටයුතුවල ද දක්නට ඇත්තේ විශාල සංවර්ධනයකි. නිදහස ලබා වසර 5ක් වූ 1953 දී රටේ නිවාසවලින් සියයට 59ක් ම නිමාව තිබුණේ වරිච්චි හා මැටි බිත්තිවලිනි. 2003 වන විට ඒ තත්ත්වය සියයට 12 දක්වවා අඩුවිය. 1953 දී රටේ නිවාසවලින් සියයට 56ක්ම පොල් අතු සෙවිලි කළ නිවාස වූ අතර 2003 – 04 වනවිට පොල් අතු සෙවිලි කළ නිවාස සංඛ්‍යාව සියයට 5 දක්වා අඩු වී උළු සෙවිලි කළ නිවාස සංඛ්‍යාව සියයට 58 දක්වා ඉහළ ගොස් තිබුණි. 1953 වනවිට උළු සෙවිලි කළ නිවාස තිබුණේ සියයට 27 කි. නිවාසයන්හි ගෙබිම තත්ත්වය කෙබඳුවීද? 1953 දී සිමෙන්ති බිම් සහිත නිවාස තිබුණේ සියයට 24 කි. නිවාසවලින් සියයට 50 ක බිම මැටි අතුරා තිබුණි. බංගලාදේශය සහ නේපාලය ද ඉන්දියාව සහ පාකිස්ථානය ද මේ තත්ත්වයට පත්ව නැත. අප්‍රිකානු සහ උප සහරා කලාපයන්හි තත්ත්වයද මේ අතින් ඉතා පසුගාමීය.

නිදහසින් පසු බිහි වූ සියලු ආණ්ඩු වෙළෙඳ පොළ ආර්ථික පිළිවෙළ අනුගමනය කළහ. අතරින් පතර ආර්ථික ප්‍රතිපත්තීන්හි වෙනස්කම් සිදුවුවද ට්‍රොට්ස්කිවාදි මුදල් ඇමැති ආචාර්ය එන්.එම්.පෙරේරා වැනි ආර්ථික විද්‍යාඥයනට පවා ලෝක බැංකුවේ පිහිට පැතීමට සිදුවිය. එහෙත් ඔහු අයවැය පරතරය අඩු කෙළේය. රාජ්‍ය මැණික් සංස්ථාව මගින් රටේ ඛනිජ සම්පත් ආදායම් මාර්ග බවට පත් කෙළේ ය.

අද වනවිට ඛනිජ සම්පත් ආර්ථික සමෘද්ධියට මග පාදා තිබෙන අන්දම වියට්නාමය සහ අප්‍රිකානු රටවලින් පැහැදිලි වේ. මෙය ඛනිජ කොල්ලයකැයි ද නව සූරාකෑමකැයි ද විස්තර වූ අවස්ථා ද තිබේ. නිදහස ලබන විට ව්‍යාපාරිකයන් කීප දෙනෙකු අත රැඳී තිබුණු දේශීය මැණික් කර්මාන්තය අද ලක්ෂ ගණනකට ජීවනෝපාය සලසයි. මැණික් අපනයනය 2016 වසරේ ඇ.ඩොලර් දස ලක්ෂ 149 ක ආදායමක් උපයා දුන්නේය. මේ ආදායම 1950 සමස්ත අපනයන ආදායමෙන් අඩකි.

ගත වූ වසර 70 තුළ අපනයන අංශයේ වූ වෙනස මෙමගින් පැහැදිලි වේ. 2016 වර්ෂයේ රටේ සම්පූර්ණ අපනයන ආදායම ඇ.ඩොලර් දස ලක්ෂ 10310 කි. නිදහසෙන් වසර දෙකක් ගත වන විට 1950 අපනයන ආදායම ඇ.ඩොලර් දස ලක්ෂ 296 ක් වූ අතර 1951 අපනයන ඇ.ඩොලර් දස ලක්ෂ 387 කි.

විධිමත් අපනයන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යොමු කරන ලද්දේ සටුවට් මැකන්සි ආණ්ඩුකාරයාගේ වාණිජ ප්‍රතිපත්ති සහ 1833 කෝල්බෲක් කොමිසන් සභාවේ නිර්දේශ මත ඉංග්‍රීසි ආණ්ඩුව කුරුඳු ඒකාධිකාරය අහෝසි කිරීමෙනි. මෙසේ වර්ධනය වූ අපනයන ක්ෂේත්‍රය නිදහස ලබන විට ‍භාණ්ඩ කීපයකට සීමාව තිබුණි. තේ,පොල්, රබර්, කුරුඳු,කුළුබඩු, කරුංකා, දුම්කොළ සහ මිනිරන් ඒ අතර ප්‍රධාන විය. එහෙත් අද වන විට ඇඟලුම් ක්ෂේත්‍රය ඉදිරියට පැමිණ ඇත. ආර්ථිකය ඩිජිටල්කරණය වී තිබේ.

අලුත්බලවේග

තේ අපනයනය උඩරට මැදරට සහ පහතරට වශයෙන් ද ග්‍රීන් ටී, සිනමන් ටී සහ තේ බෑග් වශයෙන් ද අපනයනය විවිධාංශකරණය ව ඇත. දිසිදි පොල්, පොල්තෙල්, කොප්පරා, පුන්නක්කු, පොල් ක්‍රීම්, පොල් කිරි, පොල් වතුර බෝතල් සහ පොල් ගෙඩි වශයෙන් ද එකතු කළ අගය සහිත නිෂ්පාදන වශයෙන් ද වර්ගීකරණයට ලක්ව ඇත. කෘෂි අපනයන බෝග , එළවළු හා පලතුරු අපනයනය, බුලත්, පුවක්, කෝපි, කජු ආදි වශයෙන් ද පුළුල් වපසරියක් පුරා අපනයනය ව්‍යාප්තව තිබේ. අපනයනය සඳහාම අපනයන සංවර්ධන මණ්ඩලයක් ක්‍රියාත්මක වේ.

නිදහස් යුගයේ ආර්ථිකයට ඇතුළත් නොවූ අංශ දෙකක් අද ආර්ථික බලවේග බවට ක්‍රියාකාරී වෙයි. එක අංශයක් සංචාරක කර්මාන්තයයි. අනෙක විදේශ රැකියා අංශයයි. සංචාරක කර්මාන්තය ඍජු හා වක්‍ර රැකියා 1,90,000 ක් නිර්මාණය කර ඇත. රුපියල් දස ලක්ෂ 512373 ක් 2016 දී එමගින් උපයා ඇත.

එසේම මේ වනවිට 2,42,500 ක් ලාංකිකයෝ එතෙර රටවල රැකියා කරති. 2017 වසර තුළ ඔවුහු රුපියල් බිලියන 926 ක් උපයා ගත්හ.

මේ ආදායම් මාර්ග දෙකම නිදහසින් පසු විවෘත වූ ධන උල්පත් ලෙස හඳුන්වා දීමට පිළිවන. නිදහසත් සමග ඇරැඹි ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ලද්දේ දේශීය අරමුදල්ය. එහෙත් ගත වූ වසර 70 තුළ ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, චීන අපනයන බැංකුව, මැද පෙරදිග මුල්‍ය ආයතන, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර බැංකුව, ජපාන මුල්‍ය ආයතන, නෙදර්ලන්ත රොබො බැංකුව, යුරෝපීය සංගමය, එංගලන්ත බැංකුව, ඩොයිස් බැංකුව,ජපාන මුල්‍ය සේවා, ස්පාඤ්ඤ සංවර්ධන මණ්ඩලය ආදි ජාත්‍යන්තර මුල්‍ය ආතයන නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ආධාර කර ඇත.

ජනතාවගේ දිළිදුකම පිටු දැකීම ජාතීන් අතර සුබ සාධනය නැංවීම හා සමගිය ගොඩනැගීම, පරිසරය රැක්ම , විදුලිබල සංවර්ධනය, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නංවාලීම, වතු වගා හා ස්වයං රැකියා නංවාලීම, ධීවර ප්‍රජා සංවර්ධන කටයුතු, ග්‍රාමීය ජනාවාස සංවර්ධනය, ගැටුම් සමනය කිරීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා විදේශ මුල්‍ය ආයතන අපට සහාය ව තිබේ.

හැත්තෑ වසරක කාලය තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදි පාලන ව්‍යූහයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයටද තර්ජන එල්ල විය. එම තර්ජන ජයගැනීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම ද ‘ජනතාවගේ දුක අඩුකර සැප වැඩිකිරීමට උත්සාහ කිරීම’ ද ගත වූ 70 වසරේ අමතක නොවන සිහිවටන ලෙස කැපී පෙනේ.

කරුණාරත්න අමරතුංග


ඡන්ද හා ඡන්ද ප්‍රතිඵල

$
0
0
පෙබ 6, 2018 01:00

 බඩුත් හාමුදුරුවන්ගේ ය. නඩුත් හාමුදුරුවන්ගේ ය. මෙය අප අසා පුරුදු කතාවකි. මිනිසුන් මෙසේ කියන්නේ පැමිණිලිකරුවාම නඩු තීන්දුව දෙන්නට කටයුතු කරන තැනක ය. විශේෂයෙන් ම විත්තියට ඉඩක් නොතබාම පැමිණිල්ලම තනිවම සියල්ල තීන්දු කරන අවස්ථාවක ය.

මගේ නඩුව මා විසින් නො ඇසිය යුතු ය. අධිකරණයේ සම්ප්‍රදාය නම්, තමන්ගේ පමණක් නොව තම හිතේෂියකු නඩුවක පාර්ශවකරුවකු වූ විට, විනිශ්චයකරු ඒ බව දන්වා ඒ නඩුවෙන් ඉවත් වීම ය. වෙන කෙනකු ලවා යුක්තිය පසිඳලීමට ඉඩකඩ සලසා දීම ය.

එසේ කරනු ලබන්නේ නීතිය සම්බන්ධයෙන් නිතර සඳහන් වෙන වැදගත් මූලධර්මයක් ද ඇති නිසා ය. යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නැත. එය ඉටු වන බව ලෝකයට ම පෙනිය යුතු ය. සැකයකින් තොරව පෙනිය යුතු ය.

මේ කතාව මතකයට ආවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ම, වෛද්‍ය සභාවට පත් වීම හේතුවෙන් ය. වෛද්‍ය සභාව තියෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන තීන්දු ගන්නට ය. එම ක්ෂේත්‍රය නියාමනය කරන්නට ය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තියෙන්නේ රජයේ නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ය. ඔවුන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට ය.ඒ ගැන පැමිණිලි කරන්නට ය. දැන් තියෙන්නේ පැමිණිලි කොට සභාව ඇතුළට ගොස් ඒ පැමිණිල්ල ගැන ම තීන්දුවක් ගැනීමට ය. එය පැමිණිල්ල ජය ගැනීමට නොවරදින මග බවට සැකයක් නැත. එහෙත් ඒ තුළ සෙසු පාර්ශ්වයන්ට අත්විය හැකි ඉරණම කුමක් ද? පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට එය කෙසේ බල පාවි ද? අඩු වශයෙන් එසේ වන බවට ලෝකයට පෙනෙයි ද? කොහොමටත් ඒ ගැන වගේ වගක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට ඇති බවක් පෙනෙන්නේ නැත. සමහර විට මේ අපේක්ෂා අතර ප්‍රතිවිරෝධතාවය ඔවුන්ගේ සැලකිල්ලට ලක් නොවූයේ ම ඒ නිසා විය හැකි ය.

වෛද්‍ය සභාවේ නිලවරණය

වෘත්තීය වගකීමක් ඇති සංගමයකින් අපි මීට වැඩි දෙයක් අපේක්ෂා කරමු. ඇත්තටම බොහෝ වෛද්‍යවරුන් පවා මේ කටයුත්ත නිසා තම වෘත්තීය හෑල්ලුවට ලක් වූ බවට මත පල කර තිබිණි. ඔවුන් ද ඒ තත්වය අයහපත් ලෙස පිළිගන්නා බව මූණුපොතේ සටහන්වලින් දැක ගන්නට ලැබිණි. එහෙත් දැන් සියල්ල සිදු වී හමාර ය. කළ හැකි එක් දෙයක් තිබේ. මේ පත් වූ අය සංගමයේ නිලතල වලින් ඉවත් වී වෙනත් අයට ඒවා බාර දීම ය. එය මේ කපේ සිදු වෙන එකක් නැත. ඒ මේ ලංකාව නිසා ය. අප රටේ බොහෝ දෙනකුට වෘත්තිකයන්ට ද ඇතුළුව විලි ලජ්ජාව නැති නිසා ය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වෛද්‍ය සභාව සඳහා පැවති නිලවරණයෙන් ඉවත් ව සිටිය යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක් ම ඇති නිසාත් වෙනත් අගතිගාමී පාර්ශවයන් ඒ ප්‍රශ්න තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරනු ඇතැයි යන සාධාරණ බිය නිසා ද වෛද්‍ය සභාවේ සංයුතිය ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උනන්දුවක් තිබීම යුක්ති යුක්ත ය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට කරන්නට තිබුණේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නමක් ඇති සංගමයේ නිලධාරියකු නොවන කෙනකුට සහය පල කරන්නට ය. ඒ හරහා වෙනත් අයට වෛද්‍ය සභාව හයිජැක් කරන්නට ඉඩ නොතැබීම ය.

ලැන්ටිස් බුද්ධ පූජාව තැබීමෙන් පසු බුදුන් අමතා මෙසේ ඇසුවේ ලු. ඔබ වහන්සේ කොහොමටත් මේවා වළඳන්නෙ නැහැ නේද? මම කන්න ද? ඉන්පසු ලැන්ටිස් ම බුදු පිළිමය පිටිපසට ගොස් වෙනත් කටහඬකින් බුදුන් මෙන් කතා කර මෙසේ කීවෙලු. නෑ. ලැන්ටිස් දන්නවනෙ මං කන්නෙ නෑ. ලැන්ටිස් ම කන්න. ඊට පසු ලැන්ටිස් හිතේ හැටියට වැළඳුවේලු. මේ වෙන්නට යන්නේ එහෙම වැඩකි.

අප ඉහත කතා කළේ පුංචි පහේ ඡන්දයක් ගැන ය. හෙට අනිද්දා රටට පොඩි වුව ද අප ඉහත කතා කළ ඡන්දය සමග සසඳන තරමක ලොකු ඡන්දයක් ද තිබේ. ඒ පැත්තේ ආරංචි ද මීට නොදෙවෙනි ය. වෙනදා මෙන් ම ඇතැම් තැනක ඇතැම් පක්ෂයක අපේක්ෂක ලයිස්තු ප්‍රශ්නකාරී අපේක්ෂකයන්ගෙන් පිරිලා ය. දූෂණ වංචා අපරාධවලට චෝදනා ලෑබූ අය ද ඒ අතර වෙතැයි කියවේ.

මේ ලයිස්තු සඳහා අනුමැතිය ලැබුවේ කෙසේ දැයි සිතෙන්නේ මේ හැම පිලකම ඉන්නා නායකයන්ගේ දූෂණ විරෝධී කතා ඇසෙන විට ය. ඔවුන් මේ අපේක්ෂකයන් සමග ගොඩනගන්නට යන සාමකාමී ගම නගරය ගැන සුන්දර කතා ඇසෙන විට ය.

අපේක්ෂක ලයිස්තුවල නුසුදුස්සන් ඉන්නා බව පිළිගන්නා බොහෝ පක්ෂ හා කණ්ඩායම්වල ප්‍රකාශකයින් කියා සිටින්නේ ඒ අය ව නොයැවීමට ඡන්දදායකයන් වග බලා ගත යුතු බව ය. වෙනත් විදිහකට කියන්නේ නම් ඕනෑම කෙනකු - දූෂිතයකු පවා- පත් කිරීමට අපට අයිතියක් ඇත. ඒ ගැන ඔබ ප්‍රශ්න නොකළ යුතු ය. එවැනි අය පත් නොවන බවට වග බලා ගත යුත්තේ ඡන්දදායක ඔබ ය. දැන් ඉතින් බෝලය තියෙන්නේ අපේ අතේ ය. වැරැද්දක් වුණොත් ඒ අපේ ය.

ප්‍රතිඵලය රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණයට වඩා වෙනස් වෙන එකක් නැත. ඒ එම සංගමයේ ඡන්දය දුන් සමාජිකයන් තරමට ම රටේ ජනතාව ද බුද්ධිමත් නිසා ය. ඒ නිසා ඔවුන් සුදුස්සන් ම, ඒ කියන්නේ තමන්ගේ සිල්ලර වැඩ ටික කර ගත හැකි වර්ගයේ සුදුස්සන්ව ම, පත් කර ගනු ඇත.

නුසුදුසු අපේක්ෂකයෝ

මේ නිලවරණ, මැතිවරණ, කොයික තුළත් මතු වන කාරණා අතර වැදගත් එක් කාරණයක් තිබේ. ඒ අපේක්ෂකයා අපේ මිනිහෙක් ද යන්න ය. අපේ මිනිහෙක් නම් අපට “කරන්නට“ ඔහු ඉදිරිපත් වන්නේ ය. සෙසු අයට සිදු වන දේ, මම නොවන, අප නොවන, අනෙකාට සිදු වන දේ, නගරයට ගමට රටට සිදු වන දේ, අපට එහෙමට වැදගත් නැත. වැදගත් වන්නේ මට - අපට - ඔහුගෙන් යහපතක් වෙයි ද යන්න ය.

සාමාජිකයන් තුළ හෝ ජනතාව තුළ එහෙම විශ්වාසයක් ඇති කළ හැක්කේ කාට ද ඔහු මේ තරගයෙන් ජය ගනු ඇත්තේ ය. ඔහු හොරෙකු වීම හෝ නොවීම හෝ ඔහු ගමට නගරයට රටට වැඩක් කරන්නේ ද නොකරන්නේ ද යන්න එවිට අදාළ වන්නේ ම නැත. මේ තුළ ඇත්තේ එක සටන් පාඨයකි. අපේ හොරා අපට හොඳා යන්න ය.

ඡන්දය දීම තුළ ඇත්තේ ඉතා කෙටි දැක්ම කි. අද, වැඩිම වුණොත් හෙට, පිළිබඳ දැක්මකි. අනිද්දා ගැන නොහිතන දැක්මකි. අනාගතය ගැන හිතන ඡන්ද දායකයෙකු තමන්ගේ පෞද්ගලික සුළු වාසිය උදෙසා සියල්ල වෙනස් කිරීමෙන් අනාගතයේ දී පළල් සාමාජිකත්වයට, ක්ෂේත්‍රයට, ගමට, නගරයට, රටට ඇති විය හැකි අති දරුණු විපාක ගැන හිතන්නේ ය. අද සහ වැඩිම වුණොත් හෙට පමණක් හිතන, මම සහ වැඩිම වුණොත් අප ගැන පමණක් හිතන, මිනිසුන්ට ලොකු පින්තූරය මග හැරෙන්නේ ය.

කෙටි දැක්ම

බොහෝ දෙනකුට ඕනෑ නීතිගරුක, ප්‍රතිපත්තිගරුක, වෘත්තියක්, ගමක් හෝ රටක් නොවේ. ඒ සඳහා කැපවුණු නියෝජිතයන් නොවේ. තමන් වෙනුවෙන් තම හිතේෂීන් වෙනුවෙන් නීතිය නැමිය හැකි, ප්‍රතිපත්ති පසෙකලා හැකි, නියෝජිතයින් ය. නායකයින් ය.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන බලන වෛද්‍ය සභාවක් වෙනුවට වෛද්‍යවරු බහුතරයකට අවශ්‍ය වන්නේ වෛද්‍යවරුන්ට දඬුවම් නොකරන වෛද්‍ය සභාවකි. හෙදියන්ගේ සහ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් පාගා දමා හෝ බහුතරයට අයත් වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ හැකි වෛද්‍ය සභාවකි. ගමේ දියුණුව ඇති කරන තීරණාත්මක යමක් කරන ප්‍රාදේශීය සභාවක් වෙනුවට ඡන්ද දායකයන්ට ඕනෑ තමන්ගේ ගෙදරට යන පාර හදා ගන්නට හැකි සභාවකි. මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන ගිය විට රටේ බහුතරයකට ඕනෑ රටේ ම පුරවැසියන් බලා කියා ගන්නා ආණ්ඩුවක් වෙනුවට බහුතර අපේ කට්ටිය, සිංහල බෞද්ධ කට්ටිය, බලා කියා ගන්නා ආණ්ඩුවකි.

මේ බහුතරයට අයිති නැති අයට සිදුවන්නේ රට පනින්නට ය. නැතිනම් කැරලි ගහන්නට ය. පළමුවැන්නට ඉඩක් ඇතත් දෙවැන්න බලය යොදා මැඩ පවත්වනු ඇත. ඒ සඳහා යහමින් මුදල් ද සම්පත් ද මිනිස් බලය ද වෙන් කිරීමට කැප කිරීමට මේ කවුරු කවුරුත් සූදානම් ය. ඒ නිසා රටක් හැටියට අප ආපස්සට ගියත් ඒ ගැන මේ කවරෙකුටවත් වගේ වගක් නැත. අපේ වැඩේ කෙරුණාට කමක් නැතැයි ඔවුහු සිතති.

අනෙකාගේ ඇස් දෙකම අන්ධ වන්නේ ඒ සඳහා තමන්ගේ එක ඇසක් අන්ධ කර ගැනීමට ඔවුන් සූදානම් ය. වෛද්‍ය සභා ඡන්දයේ දී ද රටේ වෙනත් ඡන්දවලදී තරමට ගුටි කෙළ ගැනීමට ආරම්භ කර තිබෙන්නේ ඒ නිසා ය.

අවාසනාව නම් රටට නායකත්වය දිය යුතු ව ඇති වෘත්තිකයන් රටට නරක ආදර්ශයක් දීම ය. ඔවුන් රටේ සාමාන්‍ය දේශපාලනඥයින්ගේ ගණනට ඔවුන්ගේ ගෝලබාලයින් ගණනට වැටීම ය.

බ්‍රිතාන්‍ය දුන් ව්‍යවස්ථාව

බ්‍රිතාන්‍යයන් මේ රටින් යන්නේ ව්‍යවස්ථාවක් හදා ඒ අනුව රට බාර දීමෙන් ය. ඔවුන් ඒ ව්‍යවස්ථාවට අපූරු වගන්තියක් ඇතුළු කිරිමට වග බලා ගත්තෝ ය. එය හැඳින්වූයේ 29 වගන්තිය ලෙස ය.

'මේ ආඥාවේ ඕනෑම විධිවිධානයක්‌ සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට පිළිවන.'කෙසේ වෙතත්, ඊට ව්‍යතිරේක කිහිපයක්‌ පනවා තිබුණි. ඒවා මෙසේ ය ‘( (අ) කිසි ආගමක්‌ නිදහසේ ඇදහීම තහනම් කිරීම හෝ සීමා කිරීම කිසි නීතියකින් නොකළ යුත්තේය. (ආ) කිසි ප්‍රජාවකට හෝ ආගමකට අයත් කිසි පුද්ගලයකු, වෙනත් ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයකු යටත් නැති කිසි සීමාවකට හෝ නොහැකියාවකට යටත් නොකළ යුතුය. (ඇ) කිසි ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයකුට වෙනත් ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයකුට අයත් නොවන කිසි වරප්‍රසාදයක්‌ හෝ වාසියක්‌ නොදිය යුතුය. (ඈ) කිසි ආගමික ආයතනයක ව්‍යවස්‌ථාවක්‌ එම ආගමේ පාලනාධිකාරයේ අනුමැතියකින් තොරව වෙනස්‌ නොකළ යුතුය.‘

බහුතරය විසින් මෙහෙයවනු ලැබ කිසියම් දිනෙක සුළු ජාතීන්ට අකටයුත්තක් වේය යන පදනම මත පිහිටා එය කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.

බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සුළුතරයට අකටයුතුකම් විය හැකිය යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන සංවාදයන්හි නිතර කියවෙන කාරණයකි. එය වැළැක්විය හැක්කේ ආචාරධාර්මික ප්‍රවේශයකින් සුළුතරයේ ප්‍රශ්න ගැන සංවේදී වීමෙනි. ඊට අමතරව අනාගත දෘෂ්ඨියකින්, හැම දෙනාගේම සහාය ලබා ගැනීම හරහා හැමට සෙතක් සැලසෙන්නේය යන දෘෂ්ඨියකින්, බැලීමට සැවොම ඉගෙන ගැනීමෙනි.

දැනුවත් සමාජයකට

ඒ නිසා ම ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ගැළපෙන්නේ දැනුවත් සමාජයකට යැයි මතයක් ද තිබේ. ඒ මතය ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් කියන්නේ එසේ දැනුවත් මිනිසුන් නැති මේ රටට ඒකාධිපතියකු අවශ්‍ය බව ය. ඒ අප බොහෝ දෙනකු අපේ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හොයන නිසා ය. ඒකාධිපතියකු කුමන දෙයක් කරන්නේ දැයි විශ්වාසයක් අපට තිබේ ද? ඒ ගැන වගේ වගක් නැතිව ඒකාධිපතියකු ඉල්ලන්නේ ක්ෂණික විසඳුම් හොයන කම්මැළියන් ය. ඔවුන්ට ලැබීමට නියමිත ඉඩි අමීන්ලා ය.

අප කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවත දැමීම නොවේ. එය හොඳින් භාවිතා කළ හැකි දැනුවත් සමාජයක් බවට පත් වීම ය.

තමන්ගේ හයිකාරකම් යොදා ගෙන හෙදියන්ගේ හා වෙනත් සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අභිලාෂයන් පාගා දැමීමට වෛද්‍යවරුන් කටයුතු නොකරන දිනයක මේ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත. තමන්ගේ පටු අරමුණුවලින් මෙහෙයවන්නේ නැතිව රටේ පළල් අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන් පමණක් නොව සෙසු සියලු වෘත්තිකයන් ද පෙනී සිටින දිනයක යුක්තියේ මූලික මූලධර්මවලට අනුව සියලු වෘත්තිකයන් හැසිරෙන දිනයක ඒ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත්තේ ය.

පොඩි එකා ජාතික පාසලටත් ලොකු එකා රස්සාවකටත් දමා ගන්නට පුළුවන් එකාට ඡන්දය දෙන්නේ නැතිව, බිරියට මාරුවක් ගැනීමේ හා තමන් වැලි පර්මිට් එකක් ගැනීමේ අභිප්‍රායෙන් බලය ලැබෙතැයි සිතන එකාට ඡන්දය දිමෙන් හා වැඩ කිරිමෙන් තොරව, පොදු අභිවෘද්ධීය ඇති කිරීමට දායක වන සේ ඡන්දය දෙන්නට මිනිසුන් ඉදිරිපත් වනදාකට ඒ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත.

තමන්ගේ ජාතියේ,ආගමේ,කුලයේ ගාම්භීරත්වය උදෙසා ද තමන්ට ලැබිය යුතු යැයි හිතන විශේෂ වරප්‍රසාද උදෙසා ද අයිතීන් උදෙසා ද සෙසු ජාතීන්, ආගම් හා කුල පාගා දමන්නට ඉදිරිපත් නොවන මිනිසුන් බිහිවුණු දිනයක මේ දැනුවත්භාවය අප කරා පැමිණෙනු ඇත.

එදාට අප වඩාත් ප්‍රබුද්ධ හා වඩාත් ඉදිරිගාමී නියෝජිතයන් පත් කර ගැනීමට කාගේවත් බලපෑමක් නැතිව ඉදිරිපත් වනු ඇත. එ දවස තව දුර ය. ඒ නිසා අපට සිදු ව ඇත්තේ දැනට මේ විගඩම් බලා සිටිමට ය. ඒ අතරේ බුද්ධීය අවදි කිරීමට කැමති සූදානම් මිනිසුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම ය.

නිශාන්ත කමලදාස

70 වැනි නිදහසේ නව ප්‍රවේශය

$
0
0
පෙබ 7, 2018 01:00
වසන්ත ප්‍රිය රාමනායක

රටක නිදහසත් සමඟ රට ගොඩනැගීමේ දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් දැමිය යුතු මූලික අඩිතාලම දමා හොඳ ව්‍යවස්ථාවක් ගොඩනඟා ගැනීමට නොහැකි වූ අර්බුදය පුරා වසර 70 තිස්සේ අපේ පසුබෑමට හේතු වී තිබේ. 30 අවුරුදු යුද්ධයෙන් පසුව වුවද අප ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී නොමැත.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70කි. ඒ 1948 පෙබරවාරි 04 වැනිදා සිට ගණන් බැලීමේ දී ය. 1956 හා 1972 වනතුරු එය පූර්ණ ද අර්ධ ද යන සංවාදයක් පැවැති නමුත් මූලික වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වූ දිනය ලෙසින් සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. ඒ අනුව ගණන් බැලීමේ දී 70 සපිරෙන්නේ පසුගිය පෙබරවාරි 4 වැනිදා ය. මේ සම්බන්ධයෙන් ගාලුමුවදොර දී අභිමානවත් නිදහස් සමරු උලෙළක් පැවැත්විණ.

යටත් විජිතයක්ව පැවැති රටකට නිදහස වැදගත්ය. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් තිබිය නොහැක. එහෙත් ලබන්නන්වාලේ ලබා ගෙන ඔහේ ගලාගෙන යන නිදහසකින් රටකට පලක් නොවේ. එසේම නිදහස ලැබූ දා සිට ගෙවී ගිය 70 වසරක කාල පරාසය තුළ රටක් වශයෙන් අප ඉදිරියට ගොස් තිබේද නැද්ද යන කාරණය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය යුතුය. ඊට හේතුව එතැන් සිට ඉදිරියට යන ගමන පසු විපරමක් ඔස්සේ සැලසුම් කිරීම උදෙසාය.

ලැබූ නිදහස සුද්දන්ගෙන් කළු සුද්දන් අතට බලය මාරුවීමක් ලෙසින් ද, ලේ බිඳක් නොසොල්වා ලබාගත් දෙයක් ලෙසින් ද සමහරු තර්ක කරති. මේ විග්‍රහයන් දෙකම පූර්ණ සත්‍යයෙන් තොරය. ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා වකවානුවේ නම් අරගලයක් දක්නට නොලැබුණු අතර 1918 කැරැල්ලේ සිටම මේ වෙනුවෙන් ඇරඹි අරගලයේ දී අපේ ජනතාව ජීවිත හා දේපළවලින් ගෙවූ වන්දිය අමතක කිරීම එම ඓතිහාසික සිදුවීම අවතක්සේරුවට ලක් කිරීමකි. ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකාව යටත් වූ දා සිට නිදහස ලැබූ දින දක්වා කාල පරාසය යටත් වැසියන් සේ නිසොල්මනේ ගෙවා දමා අවසානයේ නිදහස බන්දේසියක තබා දුන් ආකාරයක් කිසිම රටක දක්නට නොලැබේ. එහෙත් අවසානයේ අධිරාජ්‍යවාදීන් සමඟ සබඳතා පැවැත්වූ කණ්ඩායමක් අතට බල හුවමාරුවක් ලෙසින් නිදහස පිරිනැමීම වෙනම කතාවකි. ඒනිසාම අපේ රටේ නිදහස අරමුණු කරගත් අරගලයක් නොතිබුණාය යැයි සඳහන් කිරීමට පෙලඹීම යුක්තිසහගත නොවේ.

ඩී.එස්.ගේ. උපක්‍රමය

එහෙත් සුදු අධිරාජ්‍යවාදීන් සමඟ සහජීවනය කෙසේ වෙතත් යම් අවබෝධයක හිඳිමින් නිදහස දිනාගැනීමට මහාමාන්‍ය ඩී.එස්.සේනානායකයන් අතුළු පිරිස කටයුතු කිරීමේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් පැවැති බව අද දවසේ ඒ පිළිබඳ විමසිලිමත් වන ඕනෑම කෙනකුට වැටහේ. ඩී.එස්.ගේ උපක්‍රම හා ඔහු නායකත්වය දුන් ලංකා ජාතික සංගමය නොතිබෙන්නට සමහර විට ඉන්දියාවේ හා පාකිස්ථානය මෙන් ශ්‍රී ලංකා භූමියේ රාජ්‍යය දෙකක් නිර්මාණය කර බ්‍රිතාන්‍යයන් විසින් අපට නිදහස පිරිනැමීමට ද ඉඩ තිබුණි. ඒ වන විට සිංහල මහා සභාව මෙන්ම සර් පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම් නියෝජනය කළ දෙමළ සංවිධාන ද, ජාතික සංගමයට අනුගත වී එක් සංවිධානයක් ලෙසින් ගොනුවී තිබුණි. එය ලංකා ජාතික සංගමයයි. මේ නිසා ඩී.එස්. උපක්‍රමීය නායකයෙක් ලෙසින් අනෙක් සියලුම වාර්ගික පාර්ශ්ව හා ඒවා නියෝජනය කළ නායකයින් එක්කර ගනිමින් ලංකා ජාතික සංගමය යටතේ තනි රටක් ලෙසින් ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමට සමත් විය.

මෙහි පැවැති අනෙක් සත්‍යය ඉන්දියාවේ මෙන් ජනජීවිතයට කිඳා බැස ගිය ජාතික නිදහස් අරගලයක් අපේ රටේ නොතිබීමය. එය පිළිගත යුතුය. ඩී.එස්. බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගත් ආකාරයේ නිදහසක් ඉන්දියාව උදෙසා මහත්මා ගාන්ධිට අවශ්‍ය නොවීය. ඔහුට අවශ්‍ය වූයේ ඉන්දියානු නිදහස ඉන්දියානු ජනතාව විසින් සටන් කොට දිනාගනු ලැබූ අරගලයක ප්‍රතිඵලයක් ලෙසින් ජනසමාජයට කාන්දු කිරීමටය. එය සාර්ථක විය. මේනිසා පැති කීපයකින් ඉන්දියානු ජන සමාජය තුළ එරට නිදහස් අරගලය දියත් වෙමින් පැවතිණ. උපවාස, විරෝධතා, සත්‍යග්‍රහ, ස්වදේශිකත්වය තහවුරු කිරීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඒ තුළ විද්‍යාමාන විය. මේ අතර නිදහස් ඉන්දියාව තුළ ක්‍රියාත්මක විය යුතු ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවත නිදහස ලැබීමට වසර ගණනාවකට පෙර සිටම අරඹා තිබුණි. එහි මානව හිමිකම් කෙටුම්පත් එක්දහස් නවසිය තිස්ගණන්වලම කෙටුම්පත් වී තිබීම මීට හොඳම නිදසුනකි. මේනිසා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිදහසත් සමඟ හෝ ඒ වෙනුවෙන් කෙටුම්පත් වූවක් නොවේ. පූර්ව සූදානමක ප්‍රතිඵලයකි.

මේ ආදර්ශ, පසුවිපරම් අරගලයන් කිසිවක් අපේ නිදහසේ දක්නට නොලැබිණි. ඒ වෙනුවට සිදුවූයේ සෝල්බරිලා විසින් සකස් කරන ලද කෙටුම්පතක් යම් යම් කුඩා සංශෝධන සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් පිළිගැනීමය.

මේ නිසා අවැසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසා ගැනීමේ රික්තයක් ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිටම පැවැතිණ. දෙවැන්න ශ්‍රී ලාංකේය ජාතිය ගොඩ නගා ගැනීමය. දෙමළ හා මුස්ලිම් නායකයින් එක්කර ගනිමින් ජාතික සංගමය ලෙසින් නිදහස ලබා ගත් නමුත් සෑම ජාතියකටම අභිමානවත් ලෙසින් රට තුළ එකාමෙන් ජීවත් විය හැකි, රටේ සංවර්ධනයට දායක විය හැකි ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහිත ජාතියක් ගොඩ නඟාගැනීම අප විසින් හිතාමතාම අතපසු කර ඇත. පොදු පුරවැසිභාවය පිළිබඳ සංකල්පය අප වෙතින් බැහැර විය.

ශ්‍රී‍ ලාංෙක්ය අනන්‍යතාව

රටක ජීවත්වන සියලු දෙනාම මේ අපේ රටය, මේ අපේ නිජභූමියය යන කාරණය පදනම් කර ගනිමින් ජාතිකත්වය නිර්මාණය වේ. පසුගිය සමයේ මේ රටේ සුළුජාතීන් නියෝජනය කරන කොටසක් වෙනම රටක් වෙනුවෙන් ගැටුණේ නිදහසින් පසු නිර්මාණය කරගත යුතුව තිබූ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩනගා ගැනීමට නොහැකි වූ නිසාය.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හොඳ පිටිවහලක් ලැබේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුවූයේ එහි අනෙක් පැත්තයි. ඊට පටහැනි දේවල්ය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප ලැබූ නිදහස ප්‍රචලිත වුණි. අප උදම් ඇණුවේ එම අධිරාජ්‍ය විරෝධී මනසිනි. එහෙත් සියුම් ලෙසින් එමඟින් සුළු ජාතීන් නොසලකා හැරෙන තත්ත්වයක් නිර්මාණය වුණි. 1978 ව්‍යවස්ථාව මඟින් තනි පුද්ගලයෙක් අතට සියලු බලය ඒකරාශී කර තිබුණි. මේනිසා ජාතික සම්පත් දූෂිත ආකාරයෙන් තනි පුද්ගලයෙක් හා ඔහු නියෝජනය කරන කණ්ඩායම අත ඒකරාශී විය. මේ නිසා රාජ්‍ය බලය දරන්නාට අමතරව ඔහු නියෝජනය කරන ආණ්ඩුවට අයත් අයට වුවද රාජ්‍ය සම්පත් දූෂිත ආකාරයෙන් අත්පත් කර ගැනීමේ අවස්ථාව සැලසුනි. මේ නිසා කළු සල්ලිකාරයන් සහිත නව ධනපති පන්තියක් බිහිවුණි. අනෙක් අතට 1972 ව්‍යවස්ථාවටත් වඩා සුළු ජාතීන් රාජ්‍ය පාලනයේ වාටියට තල්ලුවීමක් දක්නට ලැබුණි.

මේ නිසා ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් බිහිකර ගැනීමට රුකුලක් විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමය තුළ දක්නට ලැබුණේ එවැන්නකට කිසිසේත්ම පිටිවහලක් නොලැබීමේ තත්ත්වයකටත් වඩා ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයකි.

වසර 70 පුරා මෙහි සමස්ත ප්‍රතිඵලය රටක් වශයෙන් අපි භුක්ති විඳිමින් සිටිමු. මේ නිසා තරුණ කැරලි දෙකකට හා වාර්ගික කැරැල්ලකට අපට මුහුණ දීමට සිදුවිය. තරුණ කැරලි දෙක මහජාතියෙන් පැනනැඟුන අතර අනෙක් කැරැල්ල සුළු ජාතික තරුණ තරුණියන් තුළින් මතුවිය. ඊට අමතරව ජනවාර්ගික භේදයකින් තොරව සියල්ලන්ටම ජීවත්වීමට සිදුවී තිබෙන්නේ දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යූහයක් තුළය. ගෙවීගිය 70 වසරේ අවසාන භාගය මේ සඳහා වැඩි නැඹුරුවක් දක්වා ඇති බව පෙනේ.

මේ දිනවල පැවැත්වෙන මැතිවරණ වේදිකාව උපයෝගී කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නගමින් සිටින්නේ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරගැනීමේ හඬ බව පැහැදිලිය. ඒ සඳහා එතුමා පක්ෂ භේදයකින් තොර ව්‍යාපාරයක් ගොඩනැගීමට ජනතාව පෙළගස්වමින් සිටින බව පෙනේ.

අවසානයේ අපට සිදුවී තිබෙන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ගොඩ නඟා ගැනීම කෙසේ වෙතත් ජාතීන් අතර සුහදත්වයකින් තොර දූෂිත පරිසරයක ජීවත් වීමටය.

මේ සියල්ල සමඟින් පසුගිය 70 වසර තුළ ආර්ථික හා සමාජයීය ක්ෂේත්‍රයේ සුබවාදී පරිසරයක් නිර්මාණය වී නොමැති ද යන කාරණය පැනනඟී. සියල්ල අසුබවාදී නැත. 1948 ට සාපේක්ෂව ආර්ථික හා සමාජයීය ක්ෂේත්‍රයෙන් අප යම් යම් ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව දේශපාලන භේදයකින් තොරව සෑම රජයක් මඟින්ම සුබසාධන කාර්යයක් ලෙසින් නඩත්තු කිරීමට අප සමත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුවට අනුව දියුණු සංවර්ධිත රාජ්‍යයක මට්ටමට අපේ සෞඛ්‍ය සේවාව පත්ව ඇත. මේ නිසා සාක්ෂරතාවය 95%ක් ලෙසින් ද, ආයු අපේක්ෂාව වයස අවුරුදු 72 දක්වා වැඩිදියුණු වී තිබේ. එසේම නිදහස ලබන විට ඇ.ඩො. 120ක්ව පැවැති ඒකපුද්ගල ආදායම මේ වන විට ඇ.ඩොලර් 4000 දක්වා වැඩිවී තිබේ. එසේම ජාතික ආදායමේ කෘෂිකාර්මික අංශයේ දායකත්වය ඉතා කුඩා වී සේවා හා කාර්මික අංශවල දායකත්වය මේ වන විට ඉහළ අගයක් ගෙන තිබේ. ඉන් සේවා අංශයේ දායකත්වය 50% ඉක්මවා ඇත. 1948 රට තිබූ තැනට වඩා සෑම ක්ෂේත්‍රයකම ඉදිරියට ගමන් කර ඇති බව අසුබවාදී නොවී පිළිගත යුතුය.

මන්දගාමී දියුණුව

එහෙත් අප නිදහස ලබන විට දෙවැනි වූයේ ආසියාකරයේ ජපානයට පමණි. ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩනැගීමේදී පවා ආදර්ශයට ගත යුතු රාජ්‍යය ලෙසින් නම් කළේ ශ්‍රී ලංකාවයි. එහෙත් එදා මෙදා තුර අපට පිටුපසින් සිටි ආසියානු රාජ්‍ය රැසක්ම ශ්‍රී ලංකාව පසුකර ගව් ගණනක් ඉදිරියට ගමන් කර තිබේ. සමහර කාරණා සම්බන්ධයෙන් අප දකුණු ආසියාවේ කුඩා රාජ්‍යයන්ට පවා පිටුපසින් සිටී.

මේ නිසා ලෝකය ගමන් කරමින් සිටින වේගයට සාපේක්ෂව අපේ ගමන සිදුවී තිබෙන්නේ ඉබිගමනින් බව පෙනේ. තිස් අවුරුදු යුද්ධය හා 1971 හා 88, 89 තරුණ කැරලි මේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වූ බව ද සත්‍යයකි. එහෙත් ඊට ද හේතුවක් වූයේ නිදහසින් පසු අප විසින් කළ යුතු මූලික කාර්යයන් අතපසු කිරීම හා ඒ පිළිබඳ දැක්මක්වත් නොතිබීමය. එහෙත් දේශප්‍රේමය, අධිරාජ්‍ය විරෝධය, සමාජවාදය, පන්ති සටන් හා වෘත්තීය අයිතිවාසිකම් සඳහා ගෙනගිය අරගලවලින් නම් අපට අඩුවක් නොතිබුණි.

රටක නිදහසත් සමඟ රට ගොඩනැගීමේ දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් දැමිය යුතු මූලික අඩිතාලම දමා හොඳ ව්‍යවස්ථාවක් ගොඩනඟා ගැනීමට නොහැකි වූ අර්බුදය පුරා වසර 70 තිස්සේ අපේ පසුබෑමට හේතු වී තිබේ. 30 අවුරුදු යුද්ධයෙන් පසුව වුවද අප ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී නොමැත.

ඉන්පසු දක්නට ලැබෙන 2015 ජනවාරි 8 ජයග්‍රහණයට ද මේ වන විට වසර 3ක් ගතවී තිබේ. තවමත් සිදුවිය යුතු මූලික වෙනස්කම් හා වසර 70ක් තිස්සේ නොවිසඳී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් ඇත්තේ සංවාදයක් පමණි. මේ ගැන අලුතින් කල්පනා කිරීමට 70 වැනි නිදහස් සැමරුම උපයෝගී කරගන්නේ නම් අපේ හෙට දවස ගැන මීට වඩා හොඳ බලාපොරොත්තු ඇතිකර ගැනීමට හැකිවනු ඇත. මේ නිසා නිදහසේ 70 වුවද නැවත සිතා බැලීමට හොඳ කඩඉමකි.

දිගේලි කළ නිදහස

$
0
0
පෙබ 7, 2018 01:00

ගමේ වෙදමහතාද තරාතිරම උස්මිටිකම් නොබලා රෝගියා සුවපත් කිරීම සිය මූලික අපේකෂාව ලෙස සිතා කටයුතු කළේය. එසේම ගුරුවරයාද දරුවන්ට නව ලෝකයක් විවර කරදීම පරම අපේක්ෂාවෙන් කටයුතු කළේය. අද වන විට කිසිදු ආගමික නායකයකු ස්වාධීන නැත.  වෛද්‍යවරයා මාසේ පඩිය හෝ චැනලින් සේවාව මගින් ලැබෙන මුදල මත සියල්ල සිදු කරයි. ගුරුවරයාද ඉහළට යෑම සඳහා දේශපාලන ගැත්තකු බවට පත්ව සිටී.

නිදහස යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සාවධාන වීමේදී, අපට පේනී යන්නේ ඉතිහාසය පුරා විවිධ කාලවල ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදී ඔවුන්ගෙන් රට මුදාගත් නිදහස් සටන්ය. ඒ සෑම අවස්ථාවකම අපි ජයග්‍රාහණය අත් කර ගත්තද ඒවා පුළුල් වශයෙන් සලකා බැලීමේදී ඒවා හුදු මහජනතාවගේ නිදහස දිනාගැනීම වෙනුවෙන් සිදු වූ සටන් නොවේ. මේ සටන් බොහොමයක් දේශපාලනික වශයෙන් ආක්‍රමණිකයාට එරෙහිව සිදු කළ සටන්ය. ඒ අර්ථයෙන් සලකන කල විවිධ කාල වකවානු තුළදී අප දේශපාලනික නිදහස වෙනුවෙන් අනේක වාරයක් සටන් වැද තිබේ.

මෑත සියවස් දෙකක පමණ කාලය සලකන විට අප අවසාන වශයෙන් යටත් වැසියන් බවට පත් වී සිටියේ ඉංග්‍රීසීන්ටය. 1818 නිදහස් සටන ද කිසියම් ආකාරයකට මහජන සටනක් වීමට නියමිතව තිබුණද අවසානයේ එය රදල ප්‍රභූන්ගේ බලය තහවුරු කරගැනීමේ සටනක් බවට පත් විය. ජෝන් ඩොයිලි හා රොබට් බ්‍රවුන්රිග්ගේ උපක්‍රම කෙසේවතුදු මේ රදළ බලමුළු සටන් වැදුණේ මෙරට ජනතාවගේ නිදහස දිනා දීම වෙනුවෙන් නොව තම දේශපාලන නිදහස වෙනුවෙනි. ඇතැම් රදළයින් තම පහත් ලිංගික සිතැඟි උදේසා තම මිතුරා පවා සතුරකු ලෙස සැලකූ අවස්ථා ඒ තුළ දැකිය හැකිය. අවසානයේ එය ඓතිහාසික ඛේදවාචකයකින් අවසන් විය.

වීරපුරන් අප්පු වැනි ජනතා නායකයින් පසුව 1848 නව නිදහස් සටනකට මුලපිරුවද එයද අධිරාජ්‍ය ගැති ප්‍රභූන් විසින් මොටකර දැමීය. අනතුරුව මෙම මහජන නැගීසිටීම් විටින් විට උත්පන්නවීම වැළකීම සඳහා සුදු පාලකයන් විසින් ඉතාමත් ශූක්ෂම ක්‍රියාන්විතයක් දියත් කෙරිණි. අපි 1948 නිදහස ලබා ගත්තෙමු. ඒ අනුව ගොඩනැගුණු නව ප්‍රභූන් පිරිසක් යටතේය. මේ වන විට ඊට වසර 70වක් සම්පූර්ණ වී අවසන්ය. එහෙත් තවම ලාංකේය ජන සමාජය ලෙස පූර්ණ නිදහසක් භුක්ති විදින්නේද යන ගැටලුව අප අභිමුඛයෙහි පවතී.

සදාචාරවාදය

අද මහත් උජාරුවෙන් බොහෝ දෙනා නිදහස් දිනය සැමරුවද, කතා කළ ද ඒ එකක්වත් මේ රටේ මහජනතාව භුක්ති විඳින නිදහස නොවන බව සහතිකය. එසේ නම් මේ අපි මහා උජාරුවෙන් සමරන්නේ කාගේ නිදහසක්ද? යන්න විමසා බැලිය යුතුය. නිදහස පුළුල්ව අර්ථගැන්වෙන්න නම් පළමුවෙන්ම අපි ස්වාධීන මිනිසුන් බවට පත් විය යුතුය. එනමුත් එවන් ස්වාධීනත්වය අප තුළ තිබේද යන්න නුවණින් මෙනෙහි කර බැලිය යුතුය. ඇත්තෙන්ම මේ සමරන නිදහස දිනා ගැනීමට ප්‍රථම අපට කිසියම් හෝ ස්වාධීනත්වයක් තිබුණි. නමුත් 1948න් පසුව ඒ නිදහස අපට මුලුමනින්ම අහිමි ව ගියේය.

ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය විසින් බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව බිහිවූ මෙරට ප්‍රභූ පන්තිය කොටස් තුනකට බෙදා දක්වයි. එනම් ගතානුගතිකවාදීන්, මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් යනුවෙනි. මින් ගතානුගතිකවාදීන්ට අයත් වූයේ මෙරට මධ්‍යම පන්තියට අයත්, ආර්ථික හා දේශපාලනමය වශයෙන් අධිරාජ්‍යවාදයේ දේශීය නියෝජිතයින් ලෙස සැලකිය හැකි පුද්ගලයින්ගෙන්ය. ඔවුහු බ්‍රිතාන්‍ය පාලනයට පක්ෂපාතී අය වූහ.(ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ නැගීම - පිටු 67) කතෝලික ආගම විසින් හික්මවනු ලැබූ මොවුහු ඉංග්‍රිසි සාහිත්‍ය හැදෑරූ, චතුරලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වූ රෙපරමාදු නැති නම් ඕල්කට් බෞද්ධයෝ වූහ. ඒ අනුව මෙරට විවාහය, ලිංගිකත්වය, සභ්‍යත්වය, විනෝදාස්වාදය තීරණය වූයේ වික්ටොරියානු සංස්කෘති මගිනි. පියදාස සිරිසෙන, ඩබ්.ඒ සිල්වා, අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වලිසිංහ හරස්චන්ද්‍ර,ජොන් ද සිල්වා, ...ආදීන් මේ මතවාදයෙහි නිල කසකරුවන් බවට පත්වූහ. ඒ අනුව අපේ සදාචාරාත්මක පිරිහීම ගැන මහත් බලපෑම් සහගත දෘෂ්ටිවාදීමය ක්‍රියාන්විතයක් ඔවුන් විසින් දියත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල ගැමි සමාජයෙත්,යම් දුරකට නාගරික මැද පන්තියෙත් සංස්කෘතික වටිනාකම් පිළිබඳ අධිපත්‍යධාරී ලෝක දෘෂ්ටිය සකස් කරනු ලැබුවේ ඔවුන් විසින් මහත්සේ අගය කළ රෙපරමාදු බෞද්ධ නැති නම් ඕල්කට් බෞද්ධ චින්තනය විසිණි.

ජාතිකවාදී චින්තනය

කලක් යන විට මෙය විවෘත්ත දේශපාලන ස්වරූපයක් ගත්තේය. යටත් විජිතවාදීන් විසින් මෙරට ඉතිරිකර ගිය ප්‍රතිගාමී සංස්කෘතික මූල බීජ විනාශ කර දැමිය යුතුය යන චින්තනධාරාව කැටුව ආ පශ්චාත් ජාතිකවාදි චින්තනය ඒ ඔස්සේ ආරම්භ වූ බව ආචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි . මේ අනුව ද්‍රවිඩ බලපෑමෙන් රට බේරාගැනීම හා දේශීය වටිනාකම් සිංහල බෞද්ධ අනන්‍යතාවක් සහිත නව ජාතික පුණර්ජීවන ව්‍යාපාරයක අවශ්‍යතාව මතු කෙරිණි. (අද ආචාර්ය ගුණදාස අමරසේකර වැන්නන් කැටුව එන සභ්‍යත්ව ශිෂ්ටාචාරයේ මූල බීජය එය වේ.) මෙහි ප්‍රතිඵලය වූයේ 1950 දශකය පමණ වන විට නව ජාතික ව්‍යාපාරයක් ආරම්භ වීමය. මෙම අදහස් එකල ජාතික සභාව හරහා ප්‍රකාශයට පත් වූ අතර, එය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා බලය සියතට ගැනීමට යොදාගත්තේය.

සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ සුධිමතෙක් වූ ඒ මහතාගේ අභිප්‍රාය වූයේ නැගී ආ මෙම සිංහල ජාතිවාදී බලවේගය තම දේශපාලනයට අවශෝෂණය කරගෙන ප්‍රතිසංස්කරණය කිරීමය. ඒ බව ඔහු බලයට පැමිණීමට ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රමයක් (ප්‍රජාවගේ කැමැත්තට මූලිකත්වය දෙන) ඇති කිරීම සම්බන්ධයෙන් කළ දේශන සාක්ෂිය. එහෙත් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම පිළිබඳ අදහස ප්‍රකාශයට පත්වීමත් සමඟ සිංහල ජාතිවාදී බලවේගය විසින් එතුමා ඝාතනය කළේය. මේ ආකාරයට බලන කල අප තවමත් රෙපරමාදු බෞද්ධ මතවාදයේ ගිලී සිටින නිවට වහල් ජාතියකි. ඒ බව මෙවර නිදහස් දිනයෙදී බ්‍රිතාන්‍ය රාජකීයන් පිළිගැනීමේ කමිටුව විසින් ඉදිරිපත් කළ ලේඛනය මනාව ඔප්පු කළේය. ඒ අනුව අප තවමත් බ්‍රිතාන්‍යයේ යටත් රාජ්‍යයකි. ඇතැම් නායකයින් පපුවට ගසාගෙන පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවු බිම යැයි කිවද එය එසේ දැයි ප්‍රශ්න කළ යුතුය.

රටක නිදහස නියම ආකාරයෙන් අර්ථ ගැන්වෙන්නේ නම් රටේ වසන සියලු ජනයා ස්වාධීන විය යුතුය. යම් අයුරකින් 48දී අපි රටකින් නිදහස ලැබුවද ආකල්පමය වශයෙන් අපි නිදහස් පුද්ගලයන් නොවූ බව දැන් අපි දනිමු.

තිස් වසරක යුද්ධය නිමාවීමත් සමග එසේ මානසික හා දේශපාලනික වශයෙන් පුළුල් සංවාදයක් ඇතිකර ආකල්පමය වශයෙන් අපට ස්වාධීන ජාතියක් ලෙස ගොඩනැගීමට තිබූණි. නමුත් සිදු වූයේ නැවත වතාවක් අපේ ස්වාධීනත්වය අහිමි කර ගෙන දේශපාලන වහලුන් බවට පත්වීමය. අවසානයේ උතුරේ දෙමළ ජනතාව මෙන්ම දකුණේ සිංහල ජනතාවද අසරණභාවයට පත් වූහ. ඇත්තට සිදු වී ඇත්තේ නැවත වතාවක් අපි සියල්ලන්ම එක්කරා ඊනියා ප්‍රභූ පන්තියක වහලුන් බවට පත්වීමය. එනිසා ඊනියා ප්‍රභූත්වයක් ආරෝපණය කරගත් ප්‍රභූ පැලැන්තියක වුවමනාව වෙනුවෙන් අදත් අපි නිදහස සමරමු.

නන්වැදෑරුම් නිදහස

ස්වාධීන මතයක් දැරීමට,කතා කිරීමට,දේශපාලනය කිරීමට,රැස්වීමට, තමන්ට අවශ්‍ය ආකාරයට ජීවත් වීමට, කැමති ආගමක් කැමති ආකාරයකට ඇදහීමට, කැමති වෘත්තියක් තෝරාගැනීමට, අධ්‍යාපනය ලැබීමට,...ආදී වශයෙන් නිදහසක් මේ රටේ කිසිදු සාමාන්‍ය පුරවැසියකුට තවමත් ලැබී නැත. මේ නිදහස වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමට නොහැකි වන්නේ ජනතාව ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී සිටින නිසාය. ජනතාව මෙලෙස බෙදා වෙන් කර තැබූ විට ප්‍රභූ දේශපාලන පැලැන්තිය තමන්ට අවශ්‍ය ආකාරයට ජනතාව හැසිරවීම පහසුය. එනිසා ඔවුන් එකිනෙකා හමුවන උත්සවවලදී සවුදිය පුරමින් එකිනෙකා හා සතුටු වන අතර, ජනතාව ඉදිරිපිටදී බැණ අඬගසා ගනිති. මේවා දකින ජනතාව විශේෂයෙන් ග්‍රාමිය ජනතාව පක්ෂ පාටවලට බෙදී දරුණු ගණයේ අපරාධවලට පවා පෙළඹෙති. ඒ අනුව නූතන ලාංකිකයා යනු දේශපාලනික වහලුන් පිරිසකි. ඔවුන් ක්‍රියා කරන්නේ තම ස්වාධීන සිතැඟි අනුව නොව කිසියම් දේශපාලනික මතයක් අනුවය. එවැනි ජාතියකට කිසිදා නිදහස් ජාතියක් බවට පත් විය නොහැකිය.

වගකීම කාගේද?

මේ ගැති දීන වල්භාවයෙන් මිදීමට නම් අපි නැවත සැබෑ මානව වටිනාකම්වලට ගෞරව කරන තැනකට යා යුතුය. ඒ සඳහා පුළුල් ආකල්පමය වෙනසක් රට තුළ ජනිත කළ යුතුය. මෙහි වගකීම මුලුමනින්ම පැවරෙන්නේ ආගමික නායකයින්ට හා ගුරුවරුන්ටය(පාසල් ගුරුවරයාගේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරයා දක්වා). මේ දීන වහල් භාවයෙන් ඔවුන් මුදාලිය හැකි විශාලතම කාර්ය පැවරී ඇත්තේ ඔවුන් අතය. නමුත් අද අපි දකින කටුක සත්‍ය වන්නේ මේ භූමිකා දෙක නියෝජනය කරන බොහෝදෙනා ද දේශපාලනික වහලුන් වී සිටීමය. අද බොහෝ ආගමික පූජ්‍ය ජුජක උතුමන් ස්වාධීන මතධාරීන් නොවේ. ගුරුවරුන්ද එලෙස ස්වාධීන මත දරන්නන් නොවේ. මේ දෙපිරිසම අපේ ජන සමාජය මහත් ඉහළින් අගය කළ ගෞරව කළ භූමිකා නියෝජනය කළ අයවෙති.

මෙරට තිබුණා යැයි සැලකෙන සංස්කෘතිය තුළ ගමේ පන්සලේ හාමුදුරුවන්ට, ගුරුවරයාට හා වෙදමහතාට විශාල ගෞරවයක් ආරෝපණය වී තිබුණි. රටේ නායකයා පවා දණනමස් කාර කිරීමට තරම් ඔවුහු ගෞරවණිය පුරවැසියන් වූහ. ඊට ප්‍රධාන ලෙසම හේතු වූයේ ඔවුන් තුළ පැවති වටිනා කම්ය. එහිදී ඔවුන් තුළ පැවති ස්වාධිනත්වය බෙහෙවින් ඉවහල් විය. ගමේ සිටින ඕනෑම පුද්ගලයකු හමුදුරුවන්ගේ කීමට උඩින් නොගිය අතර, එසේ සිටීමට හාමුදුරුවන්ද සිය සීමාව රැකගෙන කටයුතු කළේය. ගමේ වෙදමහතාද තරාතිරම උස්මිටිකම් නොබලා රෝගියා සුවපත් කිරීම සිය මූලික අපේකෂාව ලෙස සිතා කටයුතු කළේය. එසේම ගුරුවරයාද දරුවන්ට නව ලෝකයක් විවර කරදීම පරම අපේක්ෂාවෙන් කටයුතු කළේය. අද වන විට කිසිදු ආගමික නායකයකු ස්වාධීන නැත. වෛද්‍යවරයා මාසේ පඩිය හෝ චැනලින් සේවාව මගින් ලැබෙන මුදල මත සියල්ල සිදු කරයි. ගුරුවරයාද ඉහළට යෑම සඳහා දේශපාලන ගැත්තකු බවට පත්ව සිටී. විශ්ව විද්‍යාල ආචාර්යවරයාද එසේමය. මේ කිසිදු භූමිකාවක් අද ස්වාධීන නැත. ඔවුන්ට හිමිව තිබූ ප්‍රභූත්වය නායකත්වය අද අත් කරගෙන ඇත්තේ දේශපාලන ප්‍රභූ පැලැන්තියක් විසිණි. අද මේ රටේ සියලු දේ තීරණය වන්නේ මේ ඊනියා ප්‍රභූ නායකයින් හරහාය. ඉන් මිදීමට නම් මෙම භූමිකා දරන්නන් වහා තම ස්වාධීනත්වය අත්පත් කර ගත යුතුය. රටට මඟ පෙන්වන නායකයින් බිහි කර මෙරට ජන සමාජය මේ දීන වහල් මානසික බැම්මෙන් මුදාලිය හැක්කේ ඔවුන්ට පමණය.

අමතකක වූ නායකයෝ

නායකත්වය කුමක්ද යන්න දැන ගැනීමට අ‍ෙමරිකාවට හෝ ජපානයට යාමට අපට අවශ්‍යතාවක් නැත. මන්ද මේ රටේ නායකත්වය, වීරත්වය ප්‍රකට කළ සහ එය මුලු ලෝකටයම පෙන් වූ අප අගය නොකරන ජන නායකයින් ඕනෑතරම් සිටියහ. මද්දුම බණ්ඩාර කැප්පැටිපොළ, වීරපුරන් අප්පු,ගොන්ගාලේගොඩ බණ්ඩා..., සේනක බිබිලේ, සී.ඩබ්.ඩබ් කන්නංගර, ජෙෆ්රිබාවා, මහාචාර්ය කුලසිංහ, උපාලි විජේවර්ධන... ආදී විවිධ ක්ෂේත්‍රයන් හී කැපී පෙනෙන නායකයින් රැසක් අපට සිටියහ. අවාසනාවකට අපේ දරුවන් මොවුන් ගැන කිසිවක් දන්නේ නැත. දන්නේ නම් ඒ ඉතාම සුළු පිරිසකි. නමුත් අදවන විට මේ නායකත්වය පවතින දේශපාලන ක්‍රමය විසින් යටපත් කර තිබේ. අද නායකයින් ලෙස අපි දකින්නේ හොරුන්, මංකොල්ල කාරයින්, ස්ත්‍රී දුෂකයින්, පාතලය මෙහෙය වන්නන්, සහ ඉතාම අඩු අධ්‍යාපනයක් සහිත පිරිස්ය. ඔවුන්ගෙන් පාලනය වන අපට සාක්ෂාත් කරගත හැකි නිදහස කුමක්ද? අද කිසිවක් කළ නොහැකි කෙනකු විසින් තෝරාගනු ලබන පහසුම මාර්ගය වන්නේ දේශපාලනයයි. මෙනිසා අප වහාම මේ දේශපාලන වහල් භාවයෙන් පළමුව ගැලවිය යුතුය. එතෙක් තව කොපමණ කලක් ගියද අප සමරන මේ නිදහස කිසිදා අර්ථවත් නොවනු ඇත.

රසික කොටුදුරගේ

කවියේ තීරකයා පාඨකයා

$
0
0
පෙබ 7, 2018 01:00
මාධ්‍යවේදී ජයසිරි අලවත්ත

මාධ්‍ය‍ෙව්දියකු මෙන් ම විචාරකයකු ද වන ජයසිරි අලවත්තගේ ‘අරුමැසි ම කවි’ ගැන විශේෂ විමසුමක් මේ මස 14 වැනි දින සවස 3.00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මේ ‘අරුමැසි ම කවි’ ගැන කළ කතාබහකි.

කවි රචකයන් විවිධ අරමුණු ඔස්සේ කවි රචනයේ යෙදෙනවා. ඔබ කවි රචනා කරන්නේ ඇයි?

මෙහෙමයි, ඇත්තටම. වුවමනාවෙන් වාඩිවෙලා කවියක් ලියනවා කියලා ලියන්නේ නෑ. ජීවිතයේ ලබන විවිධ අනුභූති, විවිධ අවස්ථාවලදී කැටි කරනවා. එහෙම කැටි කරපු දේ කොතැනක හරි ලියනවා. ඒක කවියක්ද? නැද්ද? කියලා තීරණය කරන්නේ පාඨකයා.

කවියා සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් අර්ථ මතු වෙනවා. කවිය ගැන ඔබේ අර්ථය කුමක්ද?

අර්ථයක් තියෙනවා. මගේ කියවීම අනුව යම් පුද්ගලයකුට තමන්ගේ හෝ අන් අයගේ එහෙමත් නැත්නම් සමාජයේ අත්දැකීමක් තවත් කෙනකුට ඒත්තු ගන්වන්න පුළුවන් හොඳ ම ක්‍රමයක් හැටියට මම කවිය දකිනවා. එය වාර්තාකරණයෙන් ඔබ්බට ගිය, පරිකල්පනය සමඟ මුහුවෙච්ච ලියැවිල්ලක් වෙන්න ඕනේ. විදේශීය කවියෙක් වන ෂෙලී, කවිය ගැන මෙහෙම විග්‍රහයක් කරනවා. ‘ලස්සනම වචන ලස්සනට ගලපලා ලියන එක තමයි කවිය කියන්නේ’. කවිය ගැන විග්‍රහ ගොඩක් තියෙනවා. මෙතැන දී වැදගත් වෙන්නේ මගේ විග්‍රහයයි.

කවි රචනය සම්බන්ධයෙන් ඔබට දිගු ඉතිහාසයක් තිබෙනවා. එහෙත් ඔබේ ‘අරුමැසි ම කවි’ ප්‍රකාශයට පත් කරන්නේ මෑතකදීයි. කවි කෘතියක් ප්‍රකාශයට පත් කරන්න මෙතරම් ප්‍රමාද වුණේ ඇයි?

මම කවියෙක් කියලා දැනටත් මං පිළිගන්නේ නෑ. ඒක තීරණය කරන්න ඕනේ පාඨකයා. අදහස් කිහිපයක් විවිධාකාර තැන්වල ගොනු කරපු අවස්ථා තියෙනවා. ඒ අදහස් කවි විදිහට හඳුනා ගන්න, හිතමිත්‍ර රසික, කවියට ආදරය කරන කිහිප දෙනෙක් යෝජනා කළා. "අදහස් තැන් තැන්වල අවතැන් වෙන්න දෙන්න එපා . ඒවා කෘතියක් විදිහට සංගෘහිත කරන්න කියලා ඔවුන් කිව්වා."ඒ සඳහා වඩාත්ම උත්තේජනය සපයපු කාන්තාවන් තුන්දෙනෙක් ඉන්නවා. පළමු වැන්නිය උමා වික්‍රමනායක. දෙවැන්නිය පවිත්‍රා ඉරෝෂනී, තෙවැන්නිය අපේ හොඳ ම කිවිඳියක් වන අනුරාධා නිල්මිණි. ඇය තමයි විශේෂයෙන්ම මගේ කවිය අවතැන් කරන්න එපා කියලා මා දිරිමත් කළේ. අන්න ඒක තමයි කවි ගොන්න, කෘතියක් හැටියට සමාජයට එන්න බලපෑවේ.

ඔබත් මුහුණු පොත මත කවිය වපුරන්නෙක්. මුහුණු පොතේ කවිය සම්බන්ධයෙන් ඔබේ විග්‍රහය?

මුහුණු පොතේ කවි අතරේ සියයට දහයක් කවි තියෙනවා. ඒ සියයට දහය අගය කරන අතරම, අනෙක් සියයට අනූව කෙසේ වෙතත්, එයින් තවත් සියයට හතළිහක්වත් කවි ලෙස සංවර්ධනය කර ගන්න විචාරකයෙක් විදිහට මම මගේ උපරිම සහාය දෙනවා. මම එහෙම හදපු අයත් ඉන්නවා. ඒ වගේ අවස්ථාත් තියෙනවා.

කවියා කවිය රචනා කළ යුත්තේ ජනතාව වෙනුවෙන් යැයි පොදු මතයක් පවතිනවා. ඔබ කවිය රචනා කරන්නේ කා වෙනුවෙන්ද?

කිසි ම කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. මගේ වින්දනය වෙනුවෙන්. ඒක වින්දනය වෙන්නත් පුළුවන්. වේදනාව වෙනුවෙන් වෙන්නත් පුළුවන්. ප්‍රහර්ෂණය වෙනුවෙන් වෙන්නත් පුළුවන්. මගේ අතින් ලියැවෙච්ච යම් වචන ටිකක්, පද පේළියක් එකතු කරලා කියෙව්වට පස්සේ මට වින්දනයක් දැනුණා නම්, ඒක සමාජය වෙත මුදා හරිනවා. එය විඳීමේ, නොවිඳීමේ අයිතිය තියෙන්නේ කියවන්නාට. ඒක තීරණය කරන්නේ කියවන්නාගේ දැනුම සහ රුචිකත්වය අනුවයි.

කවිය සමාජය කණපිට පෙරළන්න භාවිත කළ හැකි බව ඇතැම් කවියන්ගේ මතයක්. ඔබ මෙයට එකඟ වෙනවාද?

කවියෙන් සමාජය සියයට සියයක් වෙනස් කරන්න බැහැ. ඒත්, යම් විදිහකින් ජනතාව පීඩාවට පත්වන පාලන ක්‍රමයක් සම්බන්ධයෙන්, කවියා හෝ කිවිඳිය තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමෙන්, ඒ අදාළ පාලන ක්‍රමයට එරෙහිව කුමක් හෝ කළ යුතුයි කියන අදහස , කවිය කියවන්නාගෙන් මතු වෙන්න පුළුවන්. ඒක හරියට වේයා තුඹසක් බඳිනවා වගේ. මේ වගේ අදහස් කීප දෙනෙක්ගේ ඔළුවට ආවහම, ඔවුන්ට පුළුවන් සමාජය වෙනස් කරන්න. ඒක බොහෝම සීරුමාරුවට සිද්ධ වෙන, කල්ගත වෙන වැඩක්. ඒ වුණත් ඒක කරන්න පුළුවන්.

ඔබ ?

මම එතැන ඉන්නවා.

කවියා, කවිය භාවිතාවේ යොදන්නේ දේශපාලනය, කම්කරුවා, කාන්තාව ගැන ප්‍රකාශ කරන්න. ‘අරුමැසි ම කවි’ තුළ ඇත්තේ ප්‍රේමය ගැන?

මෙහෙමයි, කෘතියේ දේශපාලන කවි හයක් හතක් අන්තර්ගත වෙනවා. අනිත් ඒවා ප්‍රේමය, විරහව ගැන ලියපුවා. ඔබ ඔය කියන දේශපාලන කවි වසර විස්සකට වැඩි කාලයක් මගේ අතින් ලියැවිලා තියෙනවා. ඒවා අස්ථාන ගත වුණා. දේශපාලන වශයෙන් අපි විවිධ අඩම්තේට්ටම්වලට ලක් වුණා. අපි තැන් තැන්වලට පැනලා යනවා. සිරගත වෙනවා. ඒ අවස්ථාවලදී මගේ කවි අස්ථානගත වෙනවා. කාලයක් යද්දී මගේ දේශපාලන පසුබිම පැළයක් නම්, ඒක පැළ කරන්න සුදුසු භූමියක් නැතුව යනවා. දැනටත් එහෙම භූමියක් නෑ. හැබැයි මිනිසාගේ ජීවිත පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ම අංගය ආදරය. ආදරය කියන එක කොතනටත් වලංගුයි. ඒ නිසා තමයි වැඩිපුර ඊට අදාළ නිර්මාණ ‘අරුමැසි ම කවි’ කෘතියට තෝරා ගත්තේ.

ඒ කවි, මුහුණු පොතේ පැළ කරන්න නොහැකිද?

වැඩක් නෑ. දේශපාලනය ග්‍රහණය කරගන්න පුළුවන් පිරිසක් ඇත්තටම මුහුණු පොතේ නෑ. ඉන්නවා නම් ඉන්නේ සියයට පහක් පමණ තමයි. මා ප්‍රසිද්ධියේ නොකිව්වට, ඒ පස්දෙනා හා මා අතරේ වුවමනා තරම් අදහස් හුවමාරු වෙනවා.

අජිත් තිලකසේන වැන්නන් සාහිත්‍යයේදී භාවිත කරන සමරූපිකරණය, ඔබේ කෘතියට අදාළ කර ගන්නේ ඇයි?

නවීන තාක්ෂණයත් එක්ක අකුරුකරණයේ දී මේ දේ හරි ම වැදගත්. හැබැයි, අපේ රටේ අධ්‍යාපනඥයෝ තමන්ගේ ආචීර්ණ කල්පිත අදහස් වෙනස් කිරීමට දක්වන නොකැමැත්ත නිසා ම, අපට එතැනට යන්න බැරි වෙලා තියෙනවා. කෙටි උදාහරණයක් හැටියට කෘතියේ ‘තුරුණු’ කියන වචනය දෙස බලන්න. මෙහි ශබ්ධාකරය සමානයි. රූපාකරය වෙනස්. අකුරු තුන වෙනුවෙන් පාපිල්ලක් සහ ඇලපිලි දෙකක් යොදන්න සිද්ධ වෙලා තියෙනවා. පරිගණක අකුරුකරණයේදී සමරූපිකරණය භාවිත කරනවා නම්, යතුරු පුවරුවේ එක ම යතුරකින් මේ වචනය නිම කරන්න පුළුවන්. මේ ක්‍රමය අජිත් තිලකසේන මහත්තයට ප්‍රථම, මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණ අංශයේ කළමනාකාර ආරිය වික්‍රම මහත්තයාගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා. ඒත්, ඔහුගේ යෝජනාව මෙරට කිසිදු අධ්‍යාපන බලධරයකුගේ අවධානයට ලක් වුණේ නෑ. අනතුරුව, අජිත් තිලකසේන මහත්තයා තමන්ගේ ලේඛන සඳහා මේ රටාව අනුගමනය කළා.

ඔහු විසින් රචිත ‘21 සියවසේ භාෂාවේ නවීකරණය’ නමැති කුඩා පොත් පිංචේ මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. මම එය කියැවීමෙන් අනතුරුවයි එහි ඇති විද්‍යාත්මක ප්‍රායෝගික බව වටහාගත්තේ. එතැන් සිට මගේ පුද්ගලික ලියැවිලි ඒ රටාවෙන් ලියන්න යොමු වුණා. විචාරයේ දී සමරූපිකරණය මා භාවිත කරන්නේ නෑ. හේතුව

තවකෙකුගේ සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමේදී, මේ ක්‍රමය අනුගමනය කරන්න බෑ. මොකද ඒ කෘතියේ කතුවරයා සමරූපිකරණය භාවිත නොකරනවා නම්, මට එය භාවිත කරන්න බෑ. ‘අරුමැසි ම කවි’කෘතිය මගේ නිසා, මා මේ ක්‍රමය අනුගමනය කළා.

මේ ක්‍රමය අනුගමනය කරන තවත් කවියෙක් ඉන්නවා. ඔහු ජනක මහබෙල්ලන. ඔහුගේ කෘති පහක් මුද්‍රණය වෙලා තියෙනවා. මේ රටාවෙන් ජනක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දි, සමස්ත විභාග පද්ධතියටම මුහුණ දුන්නේ මේ අකුරු රටාව පාවිච්චි කරලයි. ඔහු සිංහල භාෂා විශේෂවේදී උපාධියක් ලබනවා. මේ වනවිට ජනක පාසල් ගුරුවරයෙක්. ඊට අමතරව ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා.

විශ්වවිද්‍යාලයේදී වුණත් ඔහුගේ රටාව බැහැර කළේ නෑ. තමන්ගේ පෞද්ගලික ලිපි ලේඛන සඳහා මේ රටාව භාවිත කරන, මම දන්න තවත් නිර්මාණකරුවෙක් ඉන්නවා. ඔහු චතුර ජයතිලක.

කවියා ගැන සමාජයේ ඇත්තේ සුබවාදී අර්ථයක්. එහෙත් අද කවියෝ කල්ලිවාදි වෙලා.

එහෙම කල්ලි හැදිලා ඉන්නවා. ඒ කල්ලි මා පුද්ගලිකව පිළිගන්නෙත් නෑ. අනුගමනය කරන්නෙත් නෑ. ඒ පුද්ගලයෝ වපුරන දේ අනුව, ඒ අයට අස්වැන්න ලැබේවි.

‘අරුමැසි ම කවි’ කතිකාව සඳහා වැලන්ටයින් දිනය යොදාගන්නවා?

ඔබ ඔය විමසන්නේ එදාට යෙදී ඇති වැලන්ටයින් දිනය නිසා නේද?

එය හුදු ජනප්‍රියත්වයක් සඳහාම ද?

වැලන්ටයින් පිළිබඳ ලෝකයේ බොහෝ රටවල තබා ඇති සලකුණ වැරැදියි. වැලන්ටයින් නමැති සාධකය නිවැරැදිව අවබෝධ කර දෙන්න මම උත්සාහ කරනවා.ඒ නිසාමයි මහේෂ් හපුගොඩ විසින් ‘වැලන්ටයින් හඳුනා ගනිමු’ නමින් එදිනට දේශනයක් පවත්වන්නේ.

සංලාපය අනුසාර මාහිංගොඩ

අසිරිමත් තන්තිරිම‍‍ලේ රසවත් කෘතියක්

$
0
0
පෙබ 7, 2018 01:00

කර්තෘ - නිර්මලා පෙරේරා
ප්‍රකාශනය -සුරනි ප්‍රකාශකයෝ, කැලණිය
මිල - 300/=

තන්තිරිම‍‍‍ලේ පුදබිම පිළිබඳ ‍‍පොත් පත් කිහිපයක් පළ වී ඇතත්, 'අසිරිමත් තන්තිරිම‍‍ලේ'වැදගත් වන්‍‍නේ, වි‍ශේෂිත ‍හේතු කිහිපයක් නිසා ය. තන්තිරිමත‍ලේ පුදබි‍මේ හා තන්තිරිම‍ලේ ගම්මාන‍යේ අතීතය, වර්තමානය, ඉතා විරල ඡායාරූප රැසක් ‍මේ කෘතියට ඇතුළත්ව තිබීම එම වි‍ශේෂිත ‍‍‍හේතුව ය. මේ කෘතිය, ඉතා රසවත් භාෂා රටාවකින් ඉදිරිපත් කර ති‍බේ. ඡායාරූප ද ඉතා අග්‍රගන්‍ය ය.

අපවත් වී වදාළ තන්තිරිම‍‍‍ලේ හිටපු මහ නාහිමියන් ‍මේ රජමහා විහාරය ‍ගොඩනගන්නටත්, පාසල්, මංමාවත්, සමූපකාර, තැපැල්හල්, ‍රෝහල, බස් රථ ලබා ගැනීම, දුරකථන පහසුකම් ඇතිකර ගැනීම වැනි මානුෂික ‍මෙ‍‍හෙවරක් ඉටු කිරීමට කළ ‍‍කැප කිරීම ‍මේ ‍පොත පුරාවට රූපමය බස් වහරකින් සිත්තම් කර ති‍බේ. වර්තමාන තන්තිරිමලේ නායක හිමියන් ද, තන්තිරිමලේ සංවිධානය උදෙසා ඉටු කර ඇති සහ ඉටු කරමින් සිටින උතුම් සේවා ද මේ කෘතියෙන් මැනවින් විග්‍රහ කර තිබීමෙන්, ලේඛිකාව ඉටු කරන්නේ ජාතික යුතුකමකි.

තන්තිරිමලේ මුල් ම පුරවැසියා වූ පෑලිස් ගොවි මහතාගේ පුත්‍රයා, පළමු වැනි තැපැල් ස්ථානාධිපති, පළමු වැනි සමූපකාර කළමනාකාරතුමා, සිවිල් ආරක්ෂක නියාමක වරුසහ භටයෝ තම නිජබිම වූ තන්තිරිමලේ සබැඳිව මේ කෘතිය මඟින් කියන විස්තර, මතු පරපුරට ඉතා වැදගත් වන බව නම් ස්ථිර ය.

තන්තිරිමලේ රජ මහා විහාරය හෝ තන්තිරිමලේ ජනාවාස පිළිබඳ කිසිවක් නොදන්නා වත්මන් ඇතැම් කොටස්වලට, මේ පොත පරිශීලනය කිරීමෙන් තන්තිරිමලේ පිළිබඳ ඉතා හොඳ දැනුමක් ලබා ගත හැකි ය.

අපවත් වී වදාළ තන්තිරිමලේ මහා නා හිමියෝ උන්වහන්සේ මුලින් වැඩ සිටි ගල් ගුහාව, පොත් ගුල,බෝධිඝරය, බෝධි අංකුරය, වත්මන් විහාරය, ඡායාරූපවලින් නිරූපිත ය. දහම් පාසල්, පාසල්, සරසවි, උසස් අධ්‍යාපන ආයතනවලටත්, දේශීය සංචාරයේ යෙදෙන මෙරට සියලු ම වන්දනාකරුවන්ටත්, 'අසිරිමත් තන්තිරිමලේ'ඉතා වටිනා දැනුම් පුස්තකයකි.

මේ පොත කියවන පාඨකයා තන්තිරිමලේට කිසිදා ගමන් කර නැත්නම්, පොත කියවා අවසන් කළ විට හැඟී යන්නේ, තමා තන්තිරිමලේට ගමන් කර ආපසු පැමිණියා බඳු හැඟීමකි. බෞද්ධ අබෞද්ධ සියලු ම ශ්‍රී ලාංකේයයන් ට මේ කෘතිය කියැවීමෙන්, තන්තිරිමලේ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා "සැරදේ මරඳමඩු දේව මෑණියනේ"කෘතිය රචනා කළ ප්‍රකට ළමා හා යොවුන් ලේඛිකාවක ද වන ලේඛිකාව, අසිරිමත් තන්තිරිමලේ රචනා කිරීමෙන් ඉටු කර ඇත්තේ, ශ්‍රී ලාංකේය සමාජය වෙනුවෙන් ජාතික යුතුකමකි.

ආචාර්ය නීතා ප්‍රේමකාන්ති 

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>