Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ණය උගුල කාගේද?

$
0
0
පෙබ 1, 2018 01:00

 පසුගිය රජය ට්‍රිලියන දහයක ණය ලබාගෙන ඇති නමුත් ඒවායින් වත්කම් ලෙස පෙන්විය හැක්කේ ට්‍රිලියන එකක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශකොට තිබිණි. එහි තේරුම නම් ඉතිරි මුදල වත්කම් ලෙස ආර්ථිකයට එකතු වී නැති බවයි. එනම් ප්‍රයෝජනවත් වියදම් ලෙස යොදාගෙන නැති බවයි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ තමන් ණය ගෙන රට ණය උගුලක හිරකළ බව කීවද තමන් කළ දේ පෙනෙන්න තියන බව හා මේ ආණ්ඩුව ඊට වඩා ණය ගෙන ඇති නමුත් ඒවාට කළ දෙයක් නැති බවයි. මහින්ද මහතා කියන මේ වැඩ ගැන බැලූ විට ජනාධිපතිතුමා කියන කතාව ගැන ද අදහසක් ඇතිකරගත හැකිය. තමන් පෙනෙන දේ කළා කියා මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රී‍ඩාංගණය ආදිය ගැනය. මෙයට ගම්බද ඇතැම් පාරවල් කාපට් කිරීම ද ඇතුළත් කළ හැකිය. මේ බොහොමයක් ඉදිකිරීම් මේ දක්වා පැවතියේ ශත පහක ආදායම් නොලබන සුදු අලින් වශයෙනි. ඒවා ආර්ථික වශයෙන් ප්‍රයෝජන ලබන ව්‍යාපෘති බවට පත්කිරීමට කටයුතු කරමින් සිටින්නේ මේ ආණ්ඩුවයි. එවිට රාජපක්ෂලා කියන්නේ ජාතික සම්පත් විකුණනවා කියාය. ඇත්තටම කරන්නේ සම්පතක් නොවූ දෙයක් සම්පතක් බවට පත්කොට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට දායක කර ගැනීමයි. සූරියවැව ක්‍රීඩාංගණය වැනි ඇතැම් ඉදිකිරීම් එහෙමවත් යොදාගන්න බැරිය. කාපට් කළ ඇතැම් පාරවල් මහජනයා යොදාගන්නේ වී ටික, තල ටික වේලාගැනීමටය. මේවා වත්කම් ලෙස පෙන්වන්නට බැරි ඒ නිසාය.

රාජපක්ෂ රජය රට ණය උගුලක හිරකළාය කියා කියන විට ඔවුන් නැවත කියන්නේ මේ ආණ්ඩුව ඊට වඩා ණය ගෙන ඇති බවය. ණය ගනිමින් සිටින බවය. මෙහිදී රට සංවර්ධනයට ණය ගැනීම හා ණය උගුලක් නිර්මාණය වීම අතර වෙනස තේරුම් ගැනීම වැදගත්ය.

ණය උගුල් හැදෙන හැටි

මේ ආණ්ඩුව මහා ණය කන්දක් ගෙන ඇතැයි කීමේද එතරම් ඇත්තක් පෙනෙන්න නැත. 2015 අවසාන‍යේ මෙරට රාජ්‍ය ණය ඩොලර් බිලියන 64 ක් ලෙස වාර්තා වූයේ චීනයෙන් ගත් බිලියන අටක් ද සමඟය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.3 ක් වශයෙනි. නමුත් පසුව හෙළිදරව් වූයේ මෙයට ඇතැම් ණය මුදල් ඇතුළත්කොට නැති බවයි. එනම් රජයේ ආයතන මගින් ගත් ණයයි. එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.3 ක් ලෙස මුලින් කියැවුණද පසුව තව තවත් ණය සොයාගෙන ඒවාද රාජ්‍ය ණයට ඇතුළත් කළ බව වාර්තා වීය. ඒ සියල්ලෙන් පසුව 2017 අගදී රජයේ ණය වාර්තා වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 76.5 ක් වශයෙනි. අලුතින් ගත් මහා ණය කන්දක් මෙහි පෙනෙන්නට නැත.

අනෙක් අතට රටේ සංවර්ධනය ඇතිවන ප්‍රයෝජනවත් වැඩට ණය ගෙන වියදම් කිරීමෙන් ණය උගුල් නිර්මාණය වන්නේ නැත. ණය උගුල් නිර්මාණය වන්නේ ප්‍රයෝජනවත් නොවන ව්‍යාපෘති සඳහා ණය ගැනීමෙන් හා ව්‍යාපෘති මඟින් ගෙවන්න බැරි ආකාරයේ ආපසු ගෙවීමේ ක්‍රම යටතේ ණය ගැනීමෙනි. එනම් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබෙන්න පෙර අඩු කලෙකින් ගෙවන්න වැඩි පොලියට ණය ගැනීමෙනි. රාජපක්ෂ පාලන සමයේ ගත් ණයෙන් ණය උගුලක් ඇතිවී තිබෙන්නේ එම හේතු නිසාය.

රටක සංවර්ධනයට ණය ගැනීමෙන් ණය උගුල් නිර්මාණය නොවන බවට ලොව දියුණුම රටවල් උදාහරණ සපයයි. ජපානය ශ්‍රී ලංකාවට හා තුන්වන ලෝකයට ද ණය දෙන රටකි. මේ වන විට ජපන් රජයේ ණය එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250 කි. ඉතාලියේ එය සියයට 132 කි. අමෙරිකාවේ 106 කි. රාජගිරිය ගුවන් පාලමට හා තවත් ව්‍යාපෘති ගණනාවකට අපට ණය දුන් ස්පාඤ්ඤය දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 99 ක් ණය වී සිටියි. ප්‍රංශය 96 කි. කැනඩාව 92 කි. බ්‍රිතාන්‍යය 89 කි. යුරෝපා සංගමය 89 කි. මේ සියල්ල අප රටේ සියයට 76.5 ට වඩා වැඩිය. ඉහත කී රටවල් බංකොළොත් වී හෝ ණය උගුලක සිරවී හෝ නැත. ඒ ඔවුන් ලබාගත් ණය සම්පත බවට පත්කරගෙන ඇති නිසාය. ඒවායින් ඉහළ ආදායම් උපදවන නිසාය.

මෙයින් පෙනෙන්නේ රජයේ ණය ගැනීමේ හා එම ණය කළමනාකරණය කිරීමේ යම් ආර්ථික විද්‍යාවක් තිබෙන බවය. එය තේරුම්ගෙන කළමනාකරණය කිරීම අවශ්‍යය. එවිට ණය යනු සම්පතක් වනු ඇත.

රජය ණය ගන්නේ ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනයටය. බොහෝ දෙනා කල්පනා කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය යනු පහසුකම් සැපයීමත් පමණක් වශයෙනි. එයින් නිෂ්පාදනයේ සංවර්ධනයට හා මහජනයාගේ එදිනෙදා ගමන් බිමන් ආදිය පහසුවෙන් හා ඉක්මනින් කරගත හැකි වෙයි. ඉන් එහාට සිදුවන දෙයක් ගැන බොහෝ දෙනාට සිතාගත නොහැකිය. සිතන එකම දේ එයින් ආයෝජකයන්ට පහසුවක් සැලසෙන බව පමණකි.

යටිතල පහසුකම් සංවර්ධනය ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීමක් පමණක් බව සිතන මම ආකල්පය වැරදිය. යටිතල පහසුකම් සැලසීම ආර්ථික කටයුත්තකි. එමඟින් ධනය ඉපයීම ද සිදුවෙයි. එමෙන්ම එහි ඇති විශේෂිතා නිසා රජයේ මැදිහත්වීම අවශ්‍ය වනවා ‍ෙමන්ම එම ලාභයේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ද රජයට ඇත.

ධනපති ක්‍රමයේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි විග්‍රහයක් කර ඇති කාල් මාක්ස්ගේ Òපිරිවැටුම් කාලයÓ නම් සංකල්පය තේරුම් ගැනීම මෙහිදී වැදගත් වෙයි. Òපිරිවැටුම් කාලයÓ ලෙස මාක්ස් හැඳින්වූයේ නිෂ්පාදනයට ධනය යෙදීමත්, එහි ප්‍රතිලාභ ලැබීමත් අතර කාලයයි. එනම් යම් භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා යන කාලය හා එය විකුණා මුදල් කරගැනීමට යන කාලයේ එකතුවයි. ලාභය ලැබෙන්නේ ‍භාණ්ඩය විකුණාගත් පසුවය. එමෙන්ම යෙදූ ප්‍රාග්ධනය ද නැවත ලැබෙයි. නිෂ්පාදනය දිගටම පවත්වාගෙන යා හැක්කේ එවිටය.

යම් නිෂ්පාදනයක් සඳහා මාස හයක් ගතවන්නේ යැයි ද එම භාණ්ඩ විකුණා ගැනීම සඳහා මාස හතරක් ගතවන්නේ යැයි ද සිතමු. එවිට පිරිවැටුම් කාලය මාස දහයකි. මාස දහයක් නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා මුදල් යෙදවීමට ව්‍යාපාරිකයාට සිදුවෙයි.

පිරිවැටුම් කාලය අඩුකර ගත් විට ව්‍යාපාරිකයාගේ ලාභය වැඩිවෙයි. මෙම නිෂ්පාදනය මාස තුනකින් කරන්නට හා මාස දෙකකින් විකුණා ගැනීමට හැකිවුවහොත් පිරිවැටුම් කාලය මාස පහකි. ව්‍යාපාරිකයා යෙදිය යුත්තේ මාස පහක වියදම පමණි. වියදම අඩකින් අඩුකරගෙන එම ලාභයම උපයාගත හැකි වෙයි. ඉතිරිවන මුදල් ප්‍රාග්ධනය ලෙස නිෂ්පාදනය වැඩි කිරීමට හෝ වෙනත් නිෂ්පාදනයකට යෙදිය හැකිය. එවිට සිදුවන්නේ ලාභ අනුපාතය දෙගුණයකින් ඉහළ යාමයි.

යටිතල පහසුකම් සංවර්ධනය මඟින් මෙම පිරිවැටුම් කාලය අඩුකිරීම හා ලාභ අනුපාතය ඉහළ දැමීම සිදුවෙයි. යටිතල පහසුකම් සංවර්ධනයම ආර්ථික කටයුත්තක් වන්නේ එම නිසාය. එමඟින් ආර්ථිකයේ අලුත් වටිනාකම් නිපදවීමත් සිදුවෙයි.

බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට දුම්රිය සේවය සංවර්ධනය කරන්නට පෙර වතුකරයේ සිට කොළඹ වරායට තේ පෙට්ටි ප්‍රවාහනය කළේ කරත්තවලිනි. එයට සාමාන්‍යයෙන් සති දෙකක කාලයක් ගතවූ බව කියති. වතුකරයට අවශ්‍ය පොහොර හා වෙනත් සැපයුම් සඳහා ද එම කාලයම ගතවන්නට ඇත. දුම්රිය නිසා එම සති දෙක එක දිනකට අඩුවිය. ඒ අනුව බ්‍රිතාන්‍යයට තේ යවන්න ගතවන කාලය ද වතුවලට සැපයුම් ලැබෙන කාලය ද අඩුවිය. වතු හිමියාට තම සැපයුම් සඳහා ගෙවීම් කිරීමට තිබෙන කාලය සති දෙකකින් අඩු වී වෙ‍ළෙඳපළෙන් මුදල් ලැබීම ඉක්මන් විය. යොදන ප්‍රාග්ධනය අඩු වී ලාභ අනුපාතය ඉහළ ගියේය. ඔවුහු තව තවත් වතු සංවර්ධනය කළෝය.

යටිතල පහසුකම් සංවර්ධනයේ මූලික වගකීම ගන්න සිදුවන්නේ රජයටය. එයට ද හේතු ඇත. භූමියේ පාලනය රජයේය. සමාගම් කිහිපයකින් තරගයට මාර්ග හදන්න ද බැරිය. මේවායේ ‍යම් ඒකාධිකාරී ස්වරූපයක් ද ඇත. ඒ එක කාරණයකි.

දෙවැන්න නම් මෙම යටිතල සංවර්ධනයේ ප්‍රතිලාභ ආර්ථිකයට ලැබෙන්න කල් යාමය. ඒවා සිදුවන්නේ දිගුකාලීන ආයෝජන වශයෙනි. ඒ සඳහා දිගු කාලීන ණය ගැනීම අවශ්‍ය වෙයි. දිගුකාලීන ණය සඳහා වගකීම දැරිය හැක්කේ රජයටය. සමාගම් යම් කාලෙකදී වසා දැමිය හැකිය. බංකොලොත් විය හැකිය. එවිට ණය අයකරගන්න බැරිය. රජයකදී කවුරු ආණ්ඩු බලය දැරුවත් ණය ගෙවීමට වගකීමක් ඇත. ඒ අනුව රජය කටයුතු කළ යුත්තේ යම් යටිතල පහසුකමක ප්‍රතිලාභ ලැබෙන කාලය සලකා සුදුසු ණය ක්‍රම තෝරාගෙන ආයෝජනය කිරීමය.

තෙවැනි කරුණ නම් මෙම යටිතල පහසුකම් සඳහා ගන්නා ණය ගෙවීමට හැක්කේ ද රජයට වීමයි. යටිතල පහසුකම් සංවර්ධන‍ෙයන් ලාභ අනුපාත ඉහළ ගොස් ලාභ ලබන්නේ ව්‍යාපාරිකයෝය. එලෙස ඔවුන් ලාභ ලබන විට ඔවුන්ගෙන් රජයට ලැබෙන බදු මුදල් ද ඉහළ යයි. රජය ව්‍යාපාරිකයන්ගෙන් එම බදු අය කරගෙන ණය‍ ගෙවා දැමිය යුතුය. එවිට ණය උගුල් නිර්මාණය වන්නේ නැත.

යටිතල පහසුකම් සංවර්ධනයට ණය ගැනීමේ හා ණය ගෙවීමේ සාමාන්‍ය ආර්ථික විද්‍යාව ඒකය. මෙය හුදු පහසුකම් සැපයීමක් නොව අර්ථික කටයුත්තකි. එයට ප්‍රධාන වගකීම රජයක් දැරිය යුතුය. රජය ඒ සියල්ල කළ යුතු නැත. ප්‍රායෝගික ඉදිකිරීම, නඩත්තුව හා ඇතැම් විට පවත්වාගෙන යාම ද සමාගම් මඟින් කළ හැකිය.

දැන් කතාව පැහැදිලි විය යුතුය. හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපළට, සූරියවැව ක්‍රීඩාංගණයට ගත් ණය ගෙවන්නට සිදුව තිබෙන්නේ ඒවායින් ආදායම් උපදවන්නට කලිනි. මේවාට ණය ගත්තේ ගෙවිය හැකි කාලය නොසලකාය. උගුල තිබෙන්නේ මේ වසරේදී එම ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවීමත් ඉදිරි වසර කිහිපයේදී විශාල මුදලක් ගෙවීමට සිදුවීමත් නිසාය.

කේන්ස් නියායෙන් කියැවෙන දෙය

මේ රජයේ ණය ගැනීම් ගැන ද උදාහරණයක් දෙකක් සඳහන් කිරීම වැදගත්ය. විදුලියෙන් දුම්රිය දිවීමේ ව්‍යාපෘතියකට ඩොලර් මිලියන තුන්සියයක් ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇත්තේ සියයට එකයි දශම පහක තරම් සුළු පොලියකටය. ගෙවන්නේ අවුරුදු හතළිහකිනි. මාර්ග සංවර්ධනය සඳහා මිලියන 150 ක් හා සුළං විදුලි බලාගාරයක් සඳහා මිලියන 200 ක් ද එම බැංකුවෙන්ම එබඳුම කොන්දේසි යටතේ ලබාගෙන ඇත. ලබාගෙන ඇති මුළු මුදල බිලියන 1.5 ක් පමණ බව කියති. ජපාන‍ෙය් ජයිකා ආයතනයෙන් ද මෙබඳුම සහන ණය ලබාගෙන ඇත. මේවා ගෙවන කාලය ‍වන විට ආදායම් ලැබෙන්න පටන් අරගෙනය. එවිට ණය උගුල් නිර්මාණය වන්නේ නැත.

යටිතල පහසුකම් සංවර්ධනය ගැන මීට වෙනස් මත ද ආර්ථික විද්‍යාව තුළ විවාදයට ලක්ව ඇත. එයින් ප්‍රධාන අදහසක් වන්නේ ජෝර්ජ් මේනාඩ් කේන්ස් ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කළ අදහසයි. නවසිය තිස් ගණන්වල ඇතිවූ ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ඔහු කීවේ රජය වියදම් වැඩි කළ යුතු බවයි. යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වැඩියෙන් වියදම් කළ යුත්තේ ඒවා‍ෙය් අවශ්‍යතාව නොසලකා බව ඔහු කීවේය. එවිට ජනයා අතට මුදල් ලැබෙන බවත් එම මුදල් රැගෙන ගොස් භාණ්ඩ මිලදී ගත් විට නිෂ්පාදනය ඉහළ යන බවත් ඔහුගේ මතයකි. එයට එරෙහිව නැඟී සිටියේ වොන් හායෙක් නම් ආර්ථික විද්‍යාඥයාය. 1932 දී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ විවාදය විවිධ හැඩතල ගනිමින් තවමත් පවතියි. ඉන්දියාවේ ජග්ධීස් බගවතී සහ අමර්ත්‍යා සෙන් අතර පවතින්නේ ද එබඳුම විවාදයකි.

කේන්ස්ගේ ක්‍රම‍වේද සාර්ථක වන්නේ රටේ ආර්ථික අවපාතයක් පවතින්නේ නම් ය. එනම් මහජනයා අත මුදල් නැතිව ඉල්ලුම පහළ ගොස් බඩු මිල අඩුවීම නිසා නිෂ්පාදනය කඩාවැටීමේ තත්ත්වයකි. රජය මහජනයා අතට මුදල් යවා ආර්ථිකය ගොඩගත හැක්කේ එවිටය. අපේ රටේ තිබෙන්නේ අවපාතයක් නොව උද්ධමනය පාලනය කර ගැනීමේ ප්‍රශ්නයකි.

ප්‍රායෝගිකව බැලුවහොත් හම්බන්තොට වරාය, නොරච්චෝලේ විදුලි බලාගාරය වැනි ව්‍යාපෘතිවලින් මුදල් වැඩි ප්‍රමාණය ගලා ගියේ අපේ ජනතාව අතට නොව චීනුන් අතටය. එවිට භාණ්ඩ ඉල්ලුම ඇතිවන්නේ අපේ රටේ නොවේ. මහාමාර්ග වැනි ව්‍යාපෘති මගින් මෙරට ජනයා අතට යම් මුදලක් ලැබිණි. එවිට ඉල්ලුම වැඩිවන්නේ රටේ නිෂ්පාදන හැකියාවක් නැතිවය. එයින් සිදුවන්නේ භාණ්ඩ ආනයනය සඳහා ඉල්ලුම වැඩිවීමය. එවිට අපගේ විදේශ විනිමය පිටරටට ගලා යන අතර ආර්ථික සංවර්ධනය ඇතිවන්නේ ඒ රටවලය. ප්‍රතිඵලය නම් මෙරට රජය මුදල් වියදම් කරමින් චීනයේ, ඉන්දියාවේ හා වෙනත් රටවල ආර්ථික සංවර්ධනයට දායක වීමයි. රාජපක්ෂ රජයේ ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබුණේ එහෙමය.

වත්මන් රජය මේ සියල්ල කනපිට හරවා සිදුකරමින් සිටින්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවස්ථා වැඩිකර ගැනීමයි. ඩොලර් බිලියන 1.65 ක අපනයන කරමින් අපනයනයේ ඉහළම වර්ධනය පසුගිය වසරේ ලබාගත්තේ එම ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ වශයෙනි. දැන් රට තිබෙන්නේ ණය උගුලින් ගොඩඑන මාර්ගයේය. රට ණය උගුලේ හිරකළ උදවියට දැන් මෙය දරාගන්නට බැරිය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ආර්ථික සංවර්ධනය යනු පේන්න මොනවා හරි කිරීම නොවන වගයි. එමෙන්ම හොඳින් හිතාබලා හරි ‍ෙද් නොකළහොත් රට වළපල්ලට යන බවයි. රාජපක්ෂ පාලනය එලෙස රට අගාධයට රැගෙන යමින් තිබූ ගමන ආපසු හැරවීමට ලැබීම මහජනයාගේ ජයග්‍රහණයකි.

සී. ජේ. අමරතුංග


කොල්ලන් කුඹුරට නොයන හේතු

$
0
0
පෙබ 1, 2018 01:00

මාලතී රම්බොඩගෙදර පරීක්ෂණ නිලධාරිනී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

කෘෂිකාර්මික අංශය ඹ්නෑම රටක ආර්ථිකයේ වැදගත් ස්ථානයක් ගනී. කෘෂිකර්මාන්තය තුළින් රටකට ලැබෙන ආර්ථික වටිනාකම මෙන්ම ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. එනිසා ම නූතන ලෝකය තාක්ෂණය අතින් කොතරම් ඉදිරියට ගිය ද කෘෂිකර්මාන්ත යෙහි ඇති වැදගත්කම වෙනස් නොවේ.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ කෘෂිකාර්මික අංශයේ ශ්‍රම දායකත්වය සියයට 26 ක් වේ. මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත් වන අතර ඹවුන්ගෙන් වැඩි දෙනා කෘෂිකර්මාන්තය මත යැපේ. තවමත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට සම්බන්ධ බොහෝ ගොවියන් කුඩා පරිමාණ ගොවිපළ මත පදනම් වූ සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරතව සිටිති. ඒවා බොහෝ විට පවුල් ගොවිපළවල් ලෙස හදුනා ගැනීමට හැකි අතර රටේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ ග්‍රාමීය සුළු ගොවි ප්‍රජාව විසිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ මෙන්ම සංවර්ධනය වන බොහෝ රටවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ‍මෙම කුඩා පරිමාණයේ ගොව්බිම් ය. නිදහසට පසුව විශේෂයෙන් 1960 දශකයේ මැද කාල වකවානුව තුළ සුළු පරිමාණ කෘෂිකාර්මික අංශයේ විශේෂයෙන් වී ගොවිතැනෙහි විශාල වෙනසක් සිදු වන්නට මග පෑදුණි. වාරි ජලය යටතේ වැඩි වශයෙන් වී වගාව කිරීමට හැකි වීමත් අස්වැන්න වැඩි කර ගැනීමට හැකි ක්‍රමවලට ගොවිතැන නැඹුරු වීමත් මේ වෙනසට හේතු විය.

කෙසේ නමුත් වර්තමානය වන විට කෘෂිකර්මාන්තයට තරුණයන්ගේ ඇති නැඹුරුව කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. විශේෂයෙන් ගොවිතැන් කරන පුද්ගලයන්ගේ වයස් සීමාව ඉහළ මට්ටමක පැවතීමත් එසේත් නැත්නම් ගොවීන් වැඩි දෙනා වයස්ගත වීමත් ඒ සමඟ ම තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වීමත් දක්නට ලැබේ. මෙම තත්ත්වය කෘෂිකර්මාන්තය ඉදිරි පැවැත්ම පිළිබද අවිනිශ්චිතතාවක් ඇති කර ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවිය පිළිබඳ කරන ලද සමීක්ෂණයකට අනුව වී ගොවීන්ගෙන් සියයට 54.4 ක් අවුරුදු 50 ඉක්මවා සිටි අතර සියයට 5.1 ක් පමණක් අවුරුදු 20-30 වයස් කාණ්ඩය නියෝජනය කරන ලදී (දමයන්ති සහ බුලන්කුලම, 2005). එමෙන් ම ආයතනය විසින් 2007 දී සිදු කරන ලද වෙනත් අධ්‍යයනයකට අනුව වී ගොවීන්ගේ සාමාන්‍ය වයස් කාණ්ඩය අවුරුදු 52 ක් වූ අතර වී ගොවීන්ගෙන් සියයට 16 ක් වයස අවුරුදු 64 ඉක්ම වූවන් වූහ. (Gamage and Damayanthi,2012).

ශ්‍රී ලංකාව තුළ තරුණයන් ගොවිතැනින් ඉවත් වීමේ ප්‍රවණතාවයක් තිබුණ ද සමස්තයක් ලෙස තරුණ පරම්පරාව අතර විරැකියාව බහුල වශයෙන් දක්නට ලැබේ. ඇතැම් පර්යේෂකයන් පවසන අන්දමට ඉඩම් හිගය, කළමනාකරණ හා තාක්ෂණික නිපුණතාවයේ හිගය ගොවිතැන සම්බන්ධව ඇති ආකල්ප හා සුදු කරපටි රැකියාවක් සදහා වන කැමැත්ත කෘෂිකර්මාන්තයෙන් තරුණයන් ඇත්වීම කෙරෙහි බලපා ඇත.

කෘෂිකර්මාන්තයෙන් තරුණ පරපුර ඈත් වීමට හේතුවන ප්‍රධාන කාරණා ආදායම හා අලෙවිකරණය පිළිබඳ ගැටලු

ඕනෑම රැකියාවක ආර්ථික ලාභය යන්න රැකියාවේ තව දුරටත් නිරත වීම කෙරෙහි බලපායි. ගොවිතැනට ද එය එක සේ පොදු වේ. නමුත් අලෙවිකරණ ගැටලු සුළු ගොවියන්ගේ ජීවිකාව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි විශාල බලපෑමක් කරයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය විසින් 2012 වසර තුළ සුළු ගොවි අංශයේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම පිළිබද සිදුකරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ ද අස්වැන්න සඳහා ලැබෙන අඩු මිල හා වගා කටයුතුවලින් ලැබෙන ආදායම අඩුවීම තරුණ පරම්පරාව ගොවිතැන් කටයුතුවල නිරතවීමේ දී මුහුණ දීමට සිදුවන වඩා ප්‍රබලම ගැටලුවක් බවයි. අතිශය දුෂ්කරතා මැද ලබාගත් අස්වැන්නට සතුටුදායක මිලක් නොමැතිවීම නිසා තරුණයන් ගොවිතැන අතහැර දැමීමටත් වෙනත් රැකියා සඳහා යොමු වීමටත් හේතු වේ. ඇතැම් විට අස්වැන්න වෙළෙඳපොළට ගෙන ගිය ද ඒ සඳහා වැය වූ ප්‍රවාහන වියදම පවා පියවා ගත නොහැකි වන අවස්ථා ඇත.

විශේෂයෙන් රැකියාවක් ලෙස ගොවිතැනෙහි ඇති අවිනිශ්චිතතාවය ද ආදායම කෙරෙහි බලපෑමක් කරයි. එමෙන්ම නිසි වගා රක්ෂණයක් නොමැති වීම, යෝග්‍ය විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ගොවියන්ට නොමැති වීම නිසා පවුලේ ආර්ථිකය සම්පූර්ණ අවධානම් තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. ණයගැතිභාවයට පත්වීම ද ගොවියන් අතර සුලභ තත්ත්වයකි. මේ නිසා ද්විතියික ආදායම් මාර්ගයක් ලෙස ගොවිතැන් කිරීම පූර්ණකාලීන රැකියාවක් ලෙස ගොවිතැනෙහි නිරතවීම වඩා ප්‍රායෝගික බව ඇතැම් තරුණයන්ගේ අදහසයි.

මූලික පහසුකමක් වන ඉඩම් සම්බන්ධ ගැටලු

වෙනත් ඕනෑම වෘත්තියක් මෙන් ම කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ද මූලික පහසුකම් සැපිරිය යුතුවේ. ඒ අතුරින් ගොවිතැන් කිරීමට අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ ඉඩම්ය. ගොවිතැන් කිරීමට ප්‍රමාණවත් ඉඩම් නොමැති වීම වර්තමානයේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයේ රදවා ගැනීමට විශාල ගැටලුවක් ව තිබේ. ගොවි ප්‍රජාවට අයත් තරුණයන්ට ගොවිතැන් කටයුතුවල නිරත වීමට කැමැත්තක් තිබුණ ද පූර්ණකාලීන වගා කටයුතුවල නිරතවීමට පවතින ඉඩම් ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් උඩරට එළවළු වගාව මෙන්ම කෙසෙල් ගස්ලබු ආදී වගාවන්වලින් සාපේක්ෂව වැඩි ලාභයක් ගත හැකි වුවත් තරුණ පරපුරට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉඩම් නොමැති වීමය.

එමෙන් ම පවතින ඉඩම් කැබලි වීම නිසා ඉඩමේ ආර්ථික වාසිය උපරිම ලෙස ලබා ගැනීමට නොහැකි වීම තරුණ පරපුර ගොවිතැනින් ඈත් වීමට තවත් හේතුවක් වී ඇත. නිදහසින් පසු ඇරඹුණු ජනපද ව්‍යාපාර හරහා එවකට සිටි තරුණ පරම්පරාවට ගොවිතැන් කිරීමට ගොඩ මඩ ඉඩම් ලැබුණි.

තරුණ පරපුර ගොවිතැන කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට එය ප්‍රබල හේතුවක් විය. දැනට වෙසෙන තරුණයන් එකී ඉඩම් ලද පරම්පරාවේ තුන්වන පරම්පරාව එසේත් නැත්නම් හතරවන පරම්පරාව නියෝජනය කරන අතර අවම බෙදුමි සීමාව යටතේ මේ වන විටත් බහුතර ඉඩම් කැබලි වී ඇත. මීට අමතරව ඉඩම් අයිතියට හිමිකමක් නොමැති තරුණයන් ගොවි ප්‍රජාව තුළ විරළ නොවේ. මේ තත්ත්වය තරුණ පරම්පරාව ගොවිතැනින් ඈත් කිරීමට සෘජු බලපෑමක් කර ඇත.

කෘෂි යෙදවුම් ලබා ගැනීමේ දුෂ්කරතා

පොහොර, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘමිනාශක හා වල් නාශක ආදිය සාර්ථක වගාවකට අත්‍යවශ්‍ය සාධකයි. අවශ්‍ය කෘෂි යෙදවුම්වල හිඟය, මිල අධික වීම සහ ප්‍රමිතියෙන් යුතු කෘෂි යෙදවුම් ලබා ගැනීමේ දුෂ්කරතා යන කරුණු දැනට වගා කටයුතුවල නිරත ගොවියන් ට පවා මුහුණ දීමට ඇති ගැටලුය. කාලයක් පුරාවට ගොවිතැන් කටයුතුවල නිරත වූ ගොවි පරම්පරාවට මෙන් නොව තරුණයන්ට මෙම ගැටලු අතරේ ගොවිතැන් කරනවාට වඩා විකල්ප ජීවනෝපාය මාර්ගවලට යොමුවීමේ අවස්ථාව ඇත. එකී විකල්ප ජීවනෝපාය බොහෝ විට අවිධිමත් අංශයේ රැකියාවක් වුව ද ආර්ථික වශයෙන් ඇති අවධානම සාපේක්ෂව අඩුය.

එමෙන්ම වගාවට අවශ්‍ය යෙදවුම් මිල දී ගැනීමට යම් කිසි පිරිවැයක් අවශ්‍යය. අලුතින් ගොවිතැනට පිවිසෙන තරුණයන්ට එම පිරිවැය සපයා ගැනීම ද ගැටලුවකි.

ඔවුන්ට බොහෝ විට ඉඩම් අයිතිය නොමැති නිසා විධිමත් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීම පවා දුෂ්කරය. එමෙන්ම ම ගොවිතැනින් ලැබෙන ආදායම පිළිබද නිශ්චිතව කිව නොහැකිය. මෙම පසුබිම තුළ බොහෝ විට ගොවිතැනට පිවිසීමට නම් කෘෂි අමුද්‍රව්‍ය ඒවා මිලදී ගන්නා වෙළඳසැල්වලින් ණයට ගැනීමට සිදුවේ.

ණය ලබා ගන්නේ ඉහළ පොලී ප්‍රතිශතයකට වන අතර ඇතැම් විට අස්වැන්න එම වෙළෙන්දාට ම විකිණීම සඳහා අවිධිමත් ගිවිසුමක් ක්‍රියාත්මක වේ. නිසි මිලකට අස්වැන්න විකුණා ගැනීමට පවා නොහැකි වන්නේ යෙදවුම් වෙළෙන්දා අතර ඇති මෙම අවිධිමත් බලපෑම හේතුවෙනි. විශේෂයෙන් කලින් පරම්පරාවන් ගොවිතැන තුළින් අත්දකින ලද මෙවන් ගැටලු නිසා ග්‍රාමීය ගොවි ප්‍රජාවට අයත් තරුණ පරම්පරාවට මෙම තත්ත්වය පිළිබද අත්දැකීම් නොඅඩුව පවතී. මෙවැනි තත්ත්වයන් තරුණයන් ගොවිතැනට පිවිසීම කෙරෙහි නැඹුරුව අඩුවීමට බලපෑමක් කරයි.

තොරතුරු, නවීන තාක්ෂණය සහ ව්‍යාප්ති සේවාවන් හි හිගය

ලාබදායී හා නවීන තාක්ෂණය සමඟ ගොවිතැන් කිරීමට තරුණයන් කැමැත්තක් දැක්වුව ද ග්‍රාමීය තරුණයන්ට නවීන තාක්ෂණික වගා ක්‍රමවේද, ඒවා සපයන ආයතන, ව්‍යවසාය කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳ දැනුම සහ පුහුණුව නිසි පරිදි නොලැබීම ගැටලුවකි. එනිසා ගොවිතැන ලාභදායි රැකියාවක් ලෙස කරගෙන යාමට ඇති අවස්ථා තරුණයන් ට මගහැරේ. එමෙන් ම වගාව කරගෙන යාමේ දී අවශ්‍ය වන දැනුම උපදෙස්වල හිගය නිසා තරුණයන්ට ගොවිතැන් කටයුතු කරගෙන යාමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව හදුනාගත හැකිය. එනිසා වගාව තුළින් එළඹිය හැකි නව මාර්ග තිබුණ ද ව්‍යවසාය කාර්යයක් ලෙස ගොවිතැන කරගෙන යාම තරුණයන්ට අභියෝගයක් වී ඇත.

තරුණයන් නවීන තාක්ෂණය සමඟ කටයුතු කිරීමට හැම විටම පාහේ කැමති අතර නවෝත්පාදන මෙන්ම නව ආකල්පවලින් ද හෙබිය.නමුත් ශ්‍රී ලංකාවේ සුළු ගොවිතැන තවමත් නවීනත්වයට වඩා සාම්ප්‍රද්‍රායකත්වයට නැඹුරුකමක් දක්වයි. නව තාක්ෂණය භාවිතය තුළින් තවමත් අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගොස් නැත. මේ පසුබිම තුළ සාම්ප්‍රද්‍රායකත්වයට වැඩි නැඹුරුවක් ඇති ගොවිතැන් රටාව පමණක් නොව ගොවි ජීවන රටාව ද තරුණයන් කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ෂණය කිරීමට අසමත් වී ඇත.

ගොවිතැන පිළිබඳ ඇති සමාජ වටිනාකම්

ගොවිතැන තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවයට විශාල මෙහෙයක් කළ ද වර්තමාන සමාජ ආර්ථික වටපිටාව තුළ වෘත්තීයක් ලෙස ගොවිතැනට ඇති පිළිගැනීම යහපත් මට්ටමක නැති බව පිළිගත යුතු කරුණකි. අපේ ජන සමාජය තුළ මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි කියමනක් ඇත. ඒ තුළින් ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය තුළ ගොවියාට ඇති පිළිගැනීම හා ගෞරවය හොදින් පැහැදිලි වේ. එහෙත් වෘත්තීමය වශයෙන් ගොවිතැන දෙවන ගණයේ ලා සැළකීම තුළ තරුණ ප්‍රජාව ගොවිතැනට පූර්ණකාලීන රැකියාවක් ලෙස යොමු වීම අධෛර්යමත් කර ඇත. එය ඹවුන්ගේ ජීවිතයේ සෙසු අවස්ථාවලට ද බලපෑම් කරන බව හදුනාගත හැකිය.

විශේෂයෙන් විවාහය සදහා සහකරුවකු හෝ සහකාරියක් සෙවීමේ දී ගොවිතැනෙහි නිරත වීම සුදුසුකමකට වඩා නුසුදුසුකමක් වන බවට අත්දැකීම් තරුණ පරපුරට තිබේ. එනිසා ම සමහර අවස්ථාවල දී ගොවිතැන සදහා අවශ්‍ය ඉඩම් ඇතුළු මූලික පහසුකම් තිබුණ ද ගොවිතැනෙ හි නිරත වීම පිළිබද දැනුම අත්දැකීම් තිබුණ ද වඩා යහපත් යැයි සමාජය පිළිගන්නා රැකියාවක් කිරීමට තරුණ පරපුර රුචිකත්වයක් දක්වයි.

ගොවිතැන කෙරෙහි ඇති මෙකී සමාජ ආකල්ප තුළ ගොවි ප්‍රජාව නියෝජනය කරන තරුණ පරපුර කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ජීවිතවලට කොතරම් බද්ධ ව තිබුණ ද ගොවිතැනින් ඉවතට තල්ලු වීමට බලපා ඇත. එමෙන්ම ගොවිතැනට වඩා ආකර්ෂණීය වැටුපක් සහ යහපත් සමාජ තත්ත්වයක් ඇති වෙනත් රැකියා කෙරෙහි තරුණ පරම්පරාවේ ඉහළ කැමැත්තක් ඇත. බොහෝ වට සුදු කරපටි රැකියා මෙන් ම අවිධිමත් අංශයේ වුව ද සැළකිය යුතු රැකියාවලට වත්මන් ග්‍රාමීය තරුණ ප්‍රජාව ගොවිතැනට වඩා යොමු වේ.

ලෝකයේ සමාජ ආර්ථික ව්‍යූහය විවිධ වෙනස්කම්වලට නිරතුරුව යොමු වුණත් මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන ආහාර නිෂ්පාදනය කෙරෙහි කෘෂිකර්මාන්තයට ඇති වැදගත්කම වෙනස් නොවේ. මේ නිසා කෘෂිකර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා තරුණ සහභාගිත්වය අත්‍යාවශ්‍ය වේ. සංවර්ධිත රටවල මහා පරිමාණ ගොවිපොළ මෙන් නොව ශ්‍රී ලංකාව වැනි රටවල සුළු ගොවි අංශය තවමත් රටේ ආහාර නිෂ්පාදනයට පුමුඛ දායකත්වයක් සපයයි. මේ නිසා තරුණයන් කෘෂිකර්මාන්තයේ රදවා තැබීමට අවශ්‍ය පියවර ගත යුතු අතර එය සුළුගොවි අංශයේ තිරසාර බව රැක ගැනීමට උපකාරී වනු ඇත.

තරුණයන් දිනා ගැනීමට ගත යුතු පියවර

කෘෂිකාර්මික අංශයේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දුන්න ද වර්තමාන රැකියා වෙළෙඳපොළ තුළ ගොවිතැන යනු අවසාන විකල්පයන් අතර ඇති ජීවනෝපාය මාර්ගයක් ලෙස ආකල්පයන් සමාජය තුළ පවතී. මෙම සමාජ ආකල්පය වෙනස් කිරීමට වගකිව යුතු අංශයන් හි මැදිහත්වීම අවශ්‍ය වේ. විශේෂයෙන් කෘෂිකාර්මික අංශයට තරුණයන්ගේ අභිප්‍රේරණය වැඩි දියුණු කිරීමට පාසල තුළින් සිදු කරන මැදිහත් වීම වැදගත්ය. ඒ අනුව සෑම දරුවකුටම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට කෘෂිකාර්මික අංශය කෙරෙහි ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම දීම සිදුකළ හැකි අතර අතර එහි වැදගත්කම අවධාරණය කළ යුතුය.

තරුණයන්ට කෘෂිකර්මාන්තය සඳහා යොමු වීමට අවශ්‍ය ඉඩම්, මූල්‍ය පහසුකම්, කෘෂි යෙදවුම් හා වාරි ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු වගකිව යුතු අංශ මැදිහත් වී සිදු කිරීම.

මූලික පහසුකම් අතරින් වගා කිරීමට අවශ්‍ය ඉඩම් ගැටලුවට විසදුමක් ලෙස වගා කිරීමට සුදුසු එහෙත් වගා කල නොමැති හා ඌණ උපයෝජනයක් සහිත රජයට අයත් ඉඩම් තාවකාලිකව තෝරාගත් තරුණ ගොවි සමාජවලට හෝ තරුණ කණ්ඩායම්වලට බදු පදනම හෝ තරුණ ගොවීන් කෘෂිකර්මාන්තයට නැඹුරු කරගැනීමට සැකසූ වෙනත් විශේෂිත වැඩසටහනක් හරහා ලබා දිය හැකිය.

එමෙන්ම නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් පවතින කෘෂිකාර්මික ඉඩම් පූර්ණ‍ උපයෝජනයකින් භාවිත කිරීමට සැලැස්වීමෙන් සම්පත් ඌනතාවය මඟින් මතුවන ගැටලුවලට යම් පිළියමක් යෙදිය හැකිය. විශේෂයෙන් හරිත ගෘහ තුළ වගා කිරීම ප්‍රචලිත කිරීම සිදුකළ හැකිය.

කෘෂිකර්මාන්තය පදනම් කරගත් ව්‍යවසාය මාර්ග හා නව තාක්ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තය සිදු කිරීමට ඇති විභවතාවයන් කෙරෙහි තරුණයන් දැනුවත් කිරීම හා පහසුකම් සැළසීම මෙන්ම අවශ්‍ය පුහුණුව හා මග පෙන්වීම ලබාදිය හැකිය.

නිෂ්පාදන සඳහා වෙ‍ෙළඳපොළ සහතික කිරීමටත් අලෙවි ගැටලුව විසදීම සඳහාත් පූර්ව වෙළෙද ගිවිසුම් මඟින් තරුණ ගොවීන්ට නිෂ්පාදන විකුණා ගැනීමට අවස්ථාව සැලසිය හැකිය.

ගොවිතැන රැකියාවක් ලෙස කිරීමේ දී ඇති ආදායම පිළිබඳ අවිනිශ්චිතතාවය අවම කිරීම වස් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කෘෂි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීම, කෘෂි ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම සහ ගුණාත්මක බව වර්ධනය කිරීම තුළින් කෘෂිකර්මාන්තයේ නියැලෙන තරුණ ප්‍රජාවට එලදායී ලෙස තම වගාවන් කිරීමට පහසුකම් සළසා දීම වැනි පියවර ගත හැකිය.

එමෙන්ම කෘෂිකාර්මික අංශයට තරුණ සහභාගිත්වය වර්ධනය කිරීමට සිදුකරන සියලුම ක්‍රියාමාර්ග සහ දිරිගැන්වීම් යහපාලන මූලධර්මවලට අනුකූලව සාධාරණව විනිවිධභාවයකින් යුතුව ප්‍රතිලාභ ලබන තරුණයන්ගේ හා ක්‍රියාත්මක කිරීමට සහය දෙන සියලුම පාර්ශවකරුවන්ගේ විශ්වාසය රැකෙන පරිදි සිදු කිරීම ද මෙහි දී වැදගත් වනු ඇත.

මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය තුළ තරුණ සහභාගිත්වය අඩුවීමට බලපාන කරුණු පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයක් ඇසුරින් සකසා ඇත. 

 

පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය ශක්තිමත් වෙනවා

$
0
0
පෙබ 2, 2018 01:00
සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක

සම්මුතිවාදි ආණ්ඩුවේ අරමුණු ඉටුවීද? ආණ්ඩුවක් හැදීමට ජනපති ශ්‍රීලනිපයට ආරාධනා කළේ ඇයි? බැඳුම්කරය ගැන කතා කරන නමුත් ශ්‍රීලනිපය, වංචා දූෂණ පරීක්ෂණ වාර්තා 34 අමතක කරන්නේ ඇයි? පුංචි ඡන්දයෙන් පසුව ආණ්ඩුවට කුමක්වේද? ආදි ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්දඋඩරට උරුමයන් පිළිබඳ ඇමති එස්. බී. දිසානායක මැති හමුවට එක්වේ.

* දූෂිතයන්ට දඬුවම් දීම ප්‍රමාද කරන පිරිසක් ඉන්නවා
* 2020 වනතුරු ආණ්ඩුව යනවා
* දේශපාලනය කරන්න මහින්දට එපා කියන්නේ නැහැ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල මැතිවරණ වේදිකාවල බොහෝම සැර කතා පවත්වනවා. එහෙම කතා කිරීමට ඇති පසුබිම මොකක් ද?

එහෙම විශේෂ පසුබිමක් නම් නෑ. ඒත් ජනාධිපතිවරයාට ඕනෑකම ති‍යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඊට එකතුවෙලා හිටපු මිත්‍ර පක්ෂත් සම්පූර්ණයෙන්ම නැවත එකතු කරන්න. හැබයි විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් පරාජිත දූෂිත පිරිසක් මේ උත්සාහය වළක්වන්න හදනවා. ඒ පරාජිත දූෂිත පිරිසට තමයි ජනාධිපතිවරයා ඔහුගේ හඬෙන් පිළිතුරු දෙන්නේ.

නමුත් ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ ජනාධිපතිවරයාගේ මේ සැර කතා ඡන්ද දායකයන් ඉලක්ක කරගනිමින් කරන රංගනයක් කියලයි. ඒකෙ ඇත්තක් තියනව ද?

ජනාධිපතිවරයා අපේ පක්ෂයෙන් එළියට ගිහින් පොදු අපේක්ෂකයා බවට පත්වුණේ දූෂණය, වංචාව, නාස්තිය, ඒකාධිපති වියරුවට එරෙහිවයි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දූෂණයෙන් තොර යහපාලනයක් ඇති කරනවා කියන පොරොන්දුව ජනතාවට දුන්නා. ඒ විතරක් නෙවෙයි මැතිවරණයේදී ජනාධිපතිවරයා කිව්වා ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගන්නවා කියලා. හිටපු ජනාධිපතිවරයාමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගන්න කියලා කිව්වේ. ඉතිං ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගත්තා. ඒ විතරක් නෙවෙයි මහා ජාතික සම්මේලනයක් පොළොන්නරුවේදී පවත්වලා හිටපු ජනාධිපතිවරයා ළඟ තබාගෙන පක්ෂයටත් ජනතාවටත් ස්වර්ණමය යුගයක් ඇතිකරනවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දු වුණා. එදා පටන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම සම්මේලනයකදීම හැම මැයි දිනයකදීම මෛත්‍රීපාල ජනාධිපතිවරයා පක්ෂය ශක්තිමත් කළා. පක්ෂයෙන් වෙන්ව ගිය අය යළිත් එකතු කර ගත්තා. ග්‍රාමීය ජනතාව පක්ෂයෙන් ඈත්වෙලා හිටපු එක පුළුවන් තරම් අඩුකර ගත්තා. ඒ ක්‍රියාදාමයේම පියවරක් ලෙස තමයි ජනාධිපතිවරයා පක්ෂයෙන් පිටට ගිය අයට ආරාධනා කෙළේ. හුඟක් අය ඒ ආරාධනය පිළිගත්තා.

තොණ්ඩමන් මහතා, අතාවුල්ලා මහතා, හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා කොමියුනිට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය නායක හා හිටපු එකම මන්ත්‍රීවරිය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ආදී විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වුණා. ඒ විතරක් නෙවෙයි ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකතුවුණා. දැන් ඉතිරිවෙලා ඉන්න පිරිස් නගන බොරු සටන්පාඨවලට උත්තරදීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගටම ගෙනියනවා. මේ ඡන්ද ප්‍රචාරය පක්ෂය ශක්තිමත් කර ගැනීමේ එක වැඩපිළිවෙළක්.

ජනතාව මේ යහපාලන ආණ්ඩුව පත්කරගත්තේ ජනතා මුදල් ගසාකෑ, වංචා කළ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියලයි. ඒ ජනතා පැතුම ඉටුවෙලා තියෙනවාද?

ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග, ජනපති පරීක්ෂණ ක්‍රියාමාර්ග කෙරීගෙන යනවා. ජනපති කොමිෂන් සභා වාර්තා එළියට ඇවිත් තියනවා. නඩු කටයුතු දඬුවම් දීමේ කටයුතු ආණ්ඩුවේම කිසියම් පිරිසක් ප්‍රමාද කරන බව පේනවා. මේ අරගලය මත තමයි ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්නේ. අපි කවුරුවත් බේරන්න උත්සාහ කරන්නේ නෑ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ මහා හොරකම වගේම 2008 සිට සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා දූෂණ පිළිබඳවත් ඒවා කරපු අයට දඬුවම්දීම පිළිබඳවත් කටයුතු කරන්නේ. ඒ නිසා මේ නඩු කටයුතු ප්‍රමාද කරන්නේ රජයේම යම් කිසි පිරිසක් බවත් ජනපතිවරයා දන්නවා. මේක තමයි අරගලය. ඒක තමයි අපි ජනතාවට කියන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ වෙලාවේ අපිට ශක්තිය දෙන්න කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය බැඳුම්කර වාර්තාව ඉස්මතු කරනවා විනා බරපතළ වංචා දූෂණ ජනපති කොමිෂන් වාර්තාවලින් එළිවූ සිද්ධීන් 34 ගැන බලන්නේ නෑ කියන චෝදනාවක් තියනවා. මේ ගැන මොකද කියන්නේ?

ඒ ලිපිගොනු තවම හරියට එළියට ආවේ නෑ. දැන් තමයි ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත්වෙන්නේ. මේවා යටගහන්න හොරු බේරගන්න අපි කිසි දිනෙක කටයුතු කරන්නේ නෑ. ඒ නිසා තමයි ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු වෙන්නේ.

ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනාම තමා සමඟ සිටිනවානම් හෙට ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. එතකොට ඒ ආණ්ඩුව හදන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් සම්බන්ධ කරගෙන ද?

හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ බොරුව හෙළිදරව් කරන්න ඊට පහුවදාම ජනාධිපතිවරයා කිව්වා “ඔය ජී. ඇල්. පීරිස්ගේ කුණු කානුවේ ඉන්න ඇතැම් අයට මාත් එක්ක එකතුවෙන්න බෑ. ඒ අය හොරු දූෂිතයෝ කියලා ඒ එක්කම කීවා.

ඒත් මේ මන්ත්‍රීවරුන් 96ට මහින්ද රාජපක්ෂ මහත්තයත් අයිතියි නේද?

ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා හොරු වංචාකාරයෝ දූෂිතයන්ට ඔහුත් සමඟ එකතුවීමට බෑ කියලා.

එහෙමනම් ඉතිං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් දූෂණ වංචා තියන අය අඩු කරලනේ අඬගහන්න ඕනෑ.

මේක ඒකාබද්ධ විපක්ෂයේ සමහර අයගේ බොරුව, වංචාව හෙළිදරව් කරන්න කරපු අභියෝගයක්. ජනපතිවරයා 96 ගැන කියනවත් එක්කම කිව්වා හැබැයි ඕකේ ඉන්න සමහර හොරුන්ට මාත් එක්ක එකතුවෙන්න බෑ කියලා.

මාධ්‍ය ප්‍රධානින් කැඳවා කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියලා තියනවා මට දේශපාලනය නොකර ඉන්න බෑ කියලා. ඉතිං ‍එහෙමනම් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාටත් වලංගු වෙන්න ඕනෑ නේද?

පැහැදිලිවම. අපි කවුරුවත් මහින්ද රාජපක්ෂ මහත්තයාට දේශපාලනය නොකර ඉන්න කියලා කියන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානය බාරදීලා දැන් කකුලෙන් අදින්න එපා කියලයි අපි කියන්නේ.

ජනපතිවරයාගේ කඩුවෙන් කැපුණු කෙනෙක් එහෙම ඉන්නවා ද?

ඒක ජනපතිවරයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අධිකරණ ක්‍රියාදාම‍ෙය් ප්‍රශ්නයක් නේද? ජනපතිවරයාට කඩුව අරන් කපාගෙන, කපාගෙන යන්න බෑනේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නීතියක් අධිකරණ පද්ධයක් තියනවානේ. මේවා ඒකෙන් වෙන්න ඕනෑ දේවල්.

මැති සබයේ බහුතර බලය අරන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහි කරනවා කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා. 2020 දක්වාම ජනපතිවරයා සමඟ වැඩ කරන බවත් ඒ සමඟම කියනවා මේ ප්‍රකාශ ගැන මොකද කියන්නේ.

දැන් අපේ ආණ්ඩුව කියනවානේ ඒ ගැන වෙන්න ඇති අගමැතිවරයා කියන්න ඇත්තේ.

ඔබත් හිතන්නේ මේ ආණ්ඩුව 2020 දක්වා පවතීවි කියලද?

ඔව්. මේ ආණ්ඩුව 2020 දක්වාම පවතීවි. අතරමග ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒක 2020 දක්වා ආණ්ඩුව පවතින්න බාධා වෙන්නේ නෑ.

නමුත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා නම් කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියා තීරණය කළයුත්තේ ඡන්දයෙන් පසුව බවයි.

ඔව්. සුසිල්ටවත්, මටවත්, ජනාධිපතිවරයාටවත් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවද යනවද කියන එක තීරණය කරන්න බෑ. එහෙම තීන්දුවක් අපිට තනියම ගන්න බෑ. ඒ පිළිබඳව අපි පක්ෂයත් සමඟ සාකච්ඡා කරන්න ඕනෑ. අනික අපි සන්ධානයක් විදියටනේ කටයුතු කරන්නේ.

සිවිල් සංවිධාන නම් කියන්නේ 2015දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලයට ගෙනාවේ. ව්‍යවස්ථාව වෙනස් කරන්න, ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ස්වාධීන කොමිෂන් ඇතිකරන්න විධායක ජනාධිපති ධුරය අහෝසිකරන්න කියලයි. මේ සිවිල් සංවිධානවලට ඔබ දෙන පිළිතුර කුමක් ද?

නෑ... නෑ... ජනාධිපතිවරයා පැහැදිලිවම මැතිවරණ ප්‍රකාශනයේ කියලා තිබ්බා මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා ආඥාදායක අත්තනෝමතික බලතල ඉවත් කරනවා කියලා. හැබැයි එතුමා ඒ ගමන්ම කිව්වා ජනමත විචාරණයකට යා යුතු වෙනසකට යන්නේ නෑ කියලා. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා විශාල බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට කොමිසන් සභාවලට දුන්නා. සමහර බලතල අධිකරණයටත් දුන්නා. හැබැයි ජනාධිපතිවරයා ඊටත් වඩා බලතල මේ ආයතනවලට පවරන්න ගියා. ඒත් උසාවිය කිව්වා ඒ සඳහා ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා. එහෙම බලතල දෙන්න බෑ කියලා. ජනපතිවරයාට යා හැකි උපරිම දුර ගිහින් ආඥාදායක අත්තනෝමතික ලෙස ජනපතිවරයාට තිබූ බලතල තම කැමැත්තෙන්ම ඉවත්කරගත්තා. එහෙම කරපු ලෝකයේ එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන්න ඇති. ජනපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව සියයට සියයක්ම ඉටුකළා. ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය බාර ගත්තට පස්සේ ඔහු තවදුරටත් දේශපාලනයේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ පක්ෂය විසිනුයි. ඒක ජනපතිවරයාට තනිවම ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි. හැබැයි ජනපතිවරයා ඉදිරි ජනපතිවරණවලට තරග කළත් නැතත් ඉදිරියටත් දේශපාලනය කරනවා කියලා කියනවා. ඒක ඇත්ත. ජනපතිවරයාගේ මුළු ජීවිතයම දේශපාලන ජීවිතයක්. පක්ෂයේ අපේ මතය නම් ජනපතිවරයා ඉදිරි ජනපතිවරණවලටත් තරග කළ යුතු බවයි.

ඔබ ශ්‍රීලනිපයේ චතුර කථිකයෙක්. ඔබේ මතවාද සමාජයේ කතාබහට ලක්වෙනවා. එනමුත් ඒකාබද්ධ විපක්ෂය නිරතුරුවම ඔබව හඳුන්වන්නේ ‘පිං’ ඇමැති කියලයි.

අපේ පක්ෂය තුළ එදා අර්බුදයක් නොතිබුණානම් මම මහනුවරින් පළවෙනියා. ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා මාතරින් පළවෙනියා. මහින්ද සමරසිංහ මහතා කළුතරින් පළවෙනියා. විජිත් විජිතමුණි සොයිසා මොනරාගලින් පළවෙනියා. ඒක තමයි දිගටම තිබුණු දේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිසක් අපිට එරෙහිව වැඩ කළා. මේ නිසා සමහර ශ්‍රීලනිප සාමාජිකයන් අපි ද්‍රෝහීන් විදියට සැලකුවා. පක්ෂයට විරුද්ධවූ කණ්ඩායමක් ලෙසයි එදා අපි දිහා ඇතැම් පාක්ෂිකයන් බැලුවේ. සමහරු අපි යූ. එන්. පියට ගිය පිරිසක් ලෙස සැලකුවා. ඒක තේරුම් ගන්න එදා අපේ පාක්ෂිකයන්ට ශක්තියක් තිබුණේ නෑ. ඒ නිසයි සමහර පාක්ෂිකයන් අපිට ඡන්දය නොදුන්නේ. හැබැයි මේක ඉතාම තාවකාලිකයි. එදා අපිට විරුද්ධ වූ පාක්ෂිකයෝ අද දුක්වෙනවා. ඒ අය අපිට සමාවෙන්න කියනවා. පක්ෂය රැකගන්න තමයි අපි කටයුතු කළේ කියලා එයාලා දැන් දන්නවා. එදා අපිට විරුද්ධව හිටපු අය තමයි අද පොහොට්ටුවක් බදාගෙන ඉන්නේ කියලා පාක්ෂිකයන්ට අද හොඳින් තේරෙනවා.

මේ පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රීලනිපයට හිමිවන්නේ කවර තැනක් ද කියා තක්සේරුවක් තිබෙනවා ද?

අපි බහුතරය ජයග්‍රහණය කරයි. ඒ විතරක් නෙවෙයි වැඩිම ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගනීවි. තුන්කොන් සටනක් තියෙයි. හැබැයි මැතිවරණ සටනේදී දිනෙන් දින අපි සමඟ එකතුවන පිරිස වැඩියි. අපිට එජාපයෙන් එකතුවෙනවා. අපෙන් ඉවත්වෙ‍ලා පොහොට්ටුවට ගිය අයත් දැන් අපිට එකතුවෙනවා. ඒ නිසා අපි ශීඝ්‍රයෙන් වැඩෙන පක්ෂයක්. ඒ නිසා මැතිවරණයෙන් පසුව අපි ඉතාම ශක්තිමත් තැනක ඉඳියි.

ගාමිණී බණ්ඩාරනායක

කුකුළා පිටත් අශ්වයා පිටත් එන ජනපති මෛත්‍රී

$
0
0
පෙබ 2, 2018 01:00

මහින්ද පවුලේ උදේ කැබිනට්ටුව
* අජිත් පී පෙරේරා විපක්ෂයට පිටු පෙරළා දෙයි
* ගම්මන්පිලට තාම සැකයි
* විනාඩි දොළහකින් මැතිවරණ වේදිකාවක්

කිසිවකු නොසිතූ ආකාරයට පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනෙන ලෙස මෙහෙයවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල ක්‍රියා කළා. ජනාධිපතිතුමා කළ ප්‍රහාරාත්මක ප්‍රකාශ නිසා අනෙක් සියලු පක්ෂ තරමක් තැති ගැන්මකට ලක්වූ බවත් පෙනෙන්නට තිබුණා.

ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් කාගේත් අවධානයට ලක්වුණා. එනම්  ශ්‍රීලනිපයේ 96 දෙනාම තමා සමඟ එකට සිට ගන්නේ නම් තමන් ගේ ආණ්ඩුවක් හැදීමට වහාම කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ ප්‍රතිචාර දක්වන්නට වුණා. කෙසේ වෙතත් ජනාධිපතිතුමා පසුව තමා කීදේ පැහැදිලි කළා. එතුමා කීවේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ සිටින දූෂිතයන්ට තමා සමඟ එක්වන්නට බැරි බවකි. ශ්‍රී ලනිපයේ දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න එම පිරිස එකතු නොවන බව දැන දැනම තමා එම ප්‍රකාශය කළ බව ජනාධිපතිතුමා පැහැදිලි කළා.

මාතලේ ගොංගාවිල බස් නැවතුම්පළේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට ජනාධිපතිතුමා පසුගිය සඳුදා සහභාගී වුණා .සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නන්දිමිත්‍ර ඒකනායක, වීර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු පිරිසක්ද එයට සහභාගී වී සිටියා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සං‍ශෝධනය සම්මත කරගත්තේ රටේ රාජාණ්ඩු ක්‍රමයක් බිහිකිරීමට බවත් එයින් ජනාධිපතිට ඇමෙරිකාවේ ජනාධිපතිට වඩා බලයක් හිමිව තිබූ බවත් ජනාධිපතිතුමා එහිදී කීවා. තමා 19 වැනි සංශෝධනය මඟින් ජනාධිපති බලතල අඩුකොට ඒවා පාර්ලිමේන්තුවට ලබාදුන් බවත් ජනාධිපතිතුමා කීවා. බලය සමඟ දූෂණය ද වැඩි වන බවත්, බලය වැඩිවන විට දූෂණයද වැඩි වන බවත් කී ජනාධිපතිතුමා එය වළක්වන්න බැරි බව ලෝක ඉතිහාසයෙන් ඔප්පු කර තිබෙන බව පැවසුවා.

සන්ධානයේ වැඩ සියල්ල අවුල්කර පරාජයට ‍ගෙනගිය කෙනා රට හැර ගොස් පරාජයේ වගකීම භාරගෙන ලිපියක් එවූ බව ජනාධිපතිතුමා කීවේ කටුනායක පැවැති ජන රැලියකට සහභාගී වෙමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිතුමිය ද ‍මෙයට සහභාගි වී සිටියා. එදා පරාජයේ

වගකීම භාරගත් අය දැන් පැමිණ අලුත් පක්ෂ හදාගෙන ජයගන්නා බව කිව්වත් ඔවුන්ට ජනතාව නොරැවටෙන බවද ජනාධිපතිතුමා කීවා.

2015 රාජපක්ෂ ආණ්ඩුව පැරදුණේ දූෂණය නිසා බව කී ජනාධිපතිතුමා එකල රාජපක්ෂ පවුලේ උදවිය බදාදා උදේ කෑම ගත්තේ එකට බවත් තමන් ආණ්ඩුවේ හිටියත්, ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණය කරන්නේත්, රජයේ පත්කිරීම් තීරණය කරන්නේත් රාජපක්ෂ පවුලේ බදාදා රැස්වීමෙන් බවත් ජනාධිපතිතුමා මෙහිදී හෙළිදරව් කළා.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වන අතර ජනාධිපතිතුමා මාධ්‍ය සාකච්ඡාවකට බදාදා එක්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට ලකුණු හතරකින් තරග කරන බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා. අත ලකුණින්, බුලත් කොළය ලකුණින්, කුකුලා ලකුණින් හා අශ්වයා ලකුණින් තමන් තරග කරන බව ජනාධිපතිතුමා කීවා. කුකුළා තොන්ඩමන් මහතාගේ පක්ෂයටත්, අශ්වයා අතාවුල්ලා මහතාගේ පක්ෂයටත් හිමි ලකුණු වනවා.

බැඳුම්කර කොමිසමේ හා බරපතළ දූෂණ ‍කොමිසමේ වාර්තා ගැන 6දා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නේ තමන්ගේ අභියෝගය නිසා බව කී ජනාධිපතිතුමා එක් දිනක විවාදයකින් වැඩක් නැති බවත් කීවා. මෙය දින දෙක තුනක් විවාද කළ යුතු බවද ජනාධිපතිතුමා කීවා.

බදුල්ලේ පැවති ප්‍රචාරක රැලියකටද ජනාධිපතිතුමා එක් වුණා. නිමල් සිරිපාලද සිල්වා, ඩිලාන් පෙරේරා, ඇමැතිවරුන් හා ඌවේ මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාද මෙම රැස්වීමට එක්ව සිටියා.

බ්‍රහස්පතින්දා අම්පාරේ රැලියට එක් වීමට නියමිතව තිබූණද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උදේම අරලිය ගහ මැදුරට පැමිණියා.අගමැතිවරයා හමු වීමට මැති ඇමතිවරුන් පිරිසක් එහි පැමිණ සිටියා.

“ බැඳුම්කර හා බරපතළ දූෂණ වංචා කොමිසම් දෙකට පාර්ලිමේන්තු විවාදය ඡන්දයෙන් පස්සට දැම්මාය කියන බරපතළ චෝදනාවට උත්තර ලෙස ඡන්දයට කලින් එම විවාදයට දින නියම කිරීම කවුරුත් අගයනවා ” වජිර අබේවර්ධන මහතා මුලින්ම කථාවට මුල පිරුවා.

“ අගමැතිතුමා 08 දා පාර්ලිමේන්තුව කැදවමු කිව්වා. ඒක මැතිවරණයට ගැටලු සහිතයි කියල පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ කොමිසමේ මතය වුණා. පස්සේ 06 හෝ 07 විවාදය කරමු කියල අගමැතිතුමා කතානායකතුමාට ඇමතුමක් දීල කියල තිබුණා. ඊළග පක්ෂ නායක රැස්වීමේදී අගමැතිතුමාගේ අදහස එළි දුටුවා. 06 දා කැබිනට් එක කැන්සල් කරන්න ජනාධිපතිතුමා තීන්දු කරල තිබුණ නිසා එදිනට විවාදය යොදා ගත්තේ ජනාධිපතිතුමා හා ශ්‍රීලනිපය වෙනුවෙන් මහින්ද සමරසිංහ හරහා ආපු ඉල්ලීමටයි. එදින මුළු දවසම විවාද කරමු කියලත් අගමැතිතුමා කතානායකට කියල තිබුණා. එදින හවස 03 හා 07 අතර පැය කීපයේ විතරක් ඡන්ද රැලි නිසා තමාට විවාදයට එක්වෙන්න අමාරු බව අගමැතිතුමා දන්වලා තිබුණා. දැන් විවාදය පවත්වනවා ඡන්දයට පෙර විවාදය නොපවත්වන්න අපි උත්සාහ කළා කියන තර්කය දැන් නිශ්ප්‍රභා වෙනවා"සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුබිම විස්තර කළා.

අනික විවාදය ඡන්දයට කළින් නොතියාවි කියල හිතල මුලින් කියල විවාදයට සියල්ල සූදානම් කළාට පසු ඒක ඇස් බැන්දුමක් කියල කීමත් පුදුම දෙයක් බව ජනතාව කියනවා"පී හැරිසන් ඇමතිවරයා කිව්වා.

"ඕව ඔච්චර ලොකුවට හිතන්න එපා. සියලු පක්ෂ මේ වෙලාවෙ මැතිවරණයෙන් උපරිම වාසි ගන්නයි බලන්නෙ. ඒක සාමාන්‍ය දෙයක්"අගමැතිවරයා කීවේ ඉතා සැහැල්ලුවෙන්.

"මහින්ද යුගයේදී රු: ට්‍රිලියන 10ක් ණය අරන් ඉන් 09ක් ආගිය අතක් නැති බවටත් කතාවක් එළියට ආවා. විගණකාධිපති දෙපාර්තුමේන්තුවෙන් මේ සංඛ්‍යා ලේඛණ දුන්නා කියලයි කියන්නේ. 2016 බැඳුම්කරේ ගැනත් ඔය දෙපාර්තුමේන්තුව දීපු සංඛ්‍යා ලේඛණ නිවැරදි නැති බව බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව පෙනී යනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“ මේ රජය යටතේ ආපු මුදල් සමාගම් වලට ගියා කියලත් චෝදනාවක් එල්ල වුණා නේද” ගයන්ත කරුණාතිලක ඇසුවා.

“ මුදල් අමාත්‍යංශය පැත්තටයි ඒ චෝදනාව එල්ල වුණේ. එහෙම දෙයක් වෙලා නැති බවයි මට ආරංචි. ඒත් ඒ ගැනත් අපි සොයනවා. ” මගේ ගෙදර දූෂිතයෝ නෑ. ඉන්නවා නම් ඒ අයට පවතින්න ඉඩක් නෑ. ” අගමැතිවරයා වැඩි දුරටත් කිව්වා.

කොමිසම් වාර්තා පාර්ලිමේන්තුවට දැම්මම වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. ජනාධිපතිතුමාට වුණත් ඒකට බලපෑම් කරන්න තියෙන ඉඩ ඉතා අඩුයි. 06 දා විවාදයට ටී.එන්.ඒ හා මනෝ ගනේෂන්ගේ පක්ෂය එන්නේ නැති බව ඇගෙව්වා. ඡන්දය කටේ තියාගෙන කොයි පක්ෂයටත් අමාරුයි”ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“ මහින්ද මහත්තයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන නිර්දේශ වංචා හා දූෂණ කොමිසමේ පිටු එක්දහස් ගණනේම නැති බව ඒකාබද්ධය කියනවා. ඒත් පිටු අංක 138 ඉදල 151 දක්වා පිටුවල එය සඳහන් වෙන බව අජිත් පෙරේරා රටට පැහැදිලි කළා.” ගයන්තා කරුණාතිලක කීවේ එහිදී මතුවූ පැනයකට පිළිතුරු ලෙසයි.

“ මහින්ද මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන නිර්දේශ ගැන එජනිස හා ශ්‍රිලනිප මහ ලේකම්වරුන්ගේ ස්ථාවරය රටට එළි කරන්න කියල එජාප පසුපෙළ ඔවුන්ට ලියුමක් ලියන්න යනවා කියල මට දැන්වූවා. ඒවායේ පිටපත් ජනාධිපති හා අගමැතිටත් යොමු කරන බව මන්ත්‍රීවරු කිව්වා"ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

"එජාපය අපේ මැතිඇමතිවරුන්ට ඔප්පු නොවූ චෝදනා ආපු ගමන්ම පියවර ගත්තා. දැන් ශ්‍රීලනිප අනුශාසක මහින්ද ගැන එජනිස හා ශ්‍රීලනිපය ගන්නා පියවර ගැන මුළු රටම බලා ඉන්නවා කියලයි මිනිස්සු කියන්නේ"නවීන් දිසානයක මහතා කිව්වා.

"පළාත්පාලන මැතිවරණය එජාපය දිනනවා. යම් තැන්වල 50% ගන්න අමාරු වුණොත් විකල්ප විසඳුමක් බලමු. සමීක්ෂණ වාර්තා එජාපයට හොඳ මට්ටමේ තියෙන්නෙ"අගමැතිවරයා කිව්වා.

"මහින්දට චෝදනා එල්ල කළත් ඔහු ජනාධිපතිකම් කරන කාලෙ තිබුණු මුක්තිය ඊට හරස් වේ දැයි සමහරු අහනවා"පී.හැරිසන් ඇහුවා.

"ජනාධිපතිකම් නැතිවූ පසු ජනාධිපතිකම් කරන කාලෙ කළ වැරදි තිබේ නම් ඊට වගකියන්න වෙනවා. චන්ද්‍රිකා මැතිණියගෙ ජනාධිපතිකම නැතිවූ පසු වෝටර්ස් ඒජ් වලට අදාළ චෝදනාවෙදි වරද පැටවිලා එතුමියට වන්දි පවා ගෙවන්න වුණා"එජාප නීති අංශ ප්‍රධානියෙක් පැහැදිලි කළා

මැතිවරණ අපේක්ෂකයන් දිරිමත් කරමින්, තැනින් තැන යමින් ඉතා යුහුසුළුව සිටි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට පසුගියදා හදිසි දුරකථන ඇමතුමක් ආවා. “අපි ආසියා පැසිෆික් කලාපයේ රටක ආයෝජක කණ්ඩායමක්. අපට ඉතාම ඉක්මනින් ඔබතුමා හමුවීමට අවශ්‍යයි” දුරකථන පණිවුඩයෙන් කියවෙද්දි සජිත් ඇසුවේ “මොකක්ද හදිස්සිය” කියායි. “අපි ණය පැකේජයකුත් එක්ක ශ්‍රී ලංකාවේ ගෙවල් හදන ව්‍යාපෘතියක් අරන් ඇවිත් ඉන්නේ. ඔබතුමාටත් වාසියක් ලැබෙන විදියටයි ඒක හදලා තියෙන්නේ. ඒකට ඔබතුමාගේ ආශීර්වාදය, අනුමැතිය ලබාගන්න අවශ්‍ය නිසා පෞද්ගලිකවම හමුවෙන්න ඕනෑ”යි ඇමතුම්කරු කියද්දි සජිත් ඇසුවේ “මම කරගෙන යන නිවාස වැඩපිළිවෙළ හරියට හඳුනාගෙනද ඔහොම කතා කරන්නේ?” යනුවෙන්.

“මම දේශපාලනයට ආවේ මුදල්, ආර්ථික වාසි බලාගෙන නෙවෙයි. අවංක පිරිසුදු පරිණත සේවයක් කරන්නයි. ඔය කතා කරපු විදියෙන් ඔබ දැනටමත් අවලංගු කාසියක් වෙලා ඉවරයි” සජිත් කියද්දී අනිත් පැත්තෙන් කීවේ “නෑ නෑ එහෙම නෙවෙයි, අපට හමුවෙන්න අවස්ථාවක් ලබාදෙන්න” කියායි.

ඒ වනවිට රතු කට්ට පැන සිටි සජිත් කීවේ “පිංසිද්ධ වෙයි, මේ පැත්ත පළාතෙවත් එන්න එපා. පරිත්‍යාගයක් තිබෙනවා නම් නීත්‍යානුකූල “සෙවණ අරමුදල” තියෙනවා. ඒකට බැර කරලා රිසිට්පතක් ලබාගන්න. රජයේ බදු සහනත් ලබාගන්න පුළුවන්. හැමෝම පිංතාරු කරන පින්සලෙන් මාව පිංතාරු කරන්න විතරක් හදන්න එපා. ඔය කොන්ත්‍රාත්තුව ගැන තව එක වචනයක් කතා කළොත් මම වහාම අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා” කියායි. ඒ මොහොතේම සිය අමාත්‍යාංශය වෙත කතා කළ සජිත් නියෝග කළේ සංවර්ධන යෝජනා රැගෙන එන පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන එම යෝජනා ලිඛිතව පමණක් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

70 වැනි නිදහස් දින උත්සවයේ කටයුතුවලට මෙන් ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිසා ඉකුත් සතියම වජිර අබේවර්ධන ඇමතිවරයා දැඩි ලෙස කාර්යබහුල වී සිටියා.

නිදහස් දිනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවක් ඉකුත් 26 සිකුරාදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවතියේ ඇමති වජිරගේ ප්‍රධානත්වයෙන්. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොරදී අතිඋත්කර්ෂවත් අන්දමින් 70 වැනි නිදහස් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති වජිර සඳහන් කළේ ‘‘මෙවර නිදහස් දින තේමාව එකම දැයක්. ඒ නිමිති කර ගෙන විශේෂ ලාංඡනයක් ද නිර්මාණය කර තිබෙනවා. ඒ අතර සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතයි. එදින රාත්‍රියේදී කොළඹ නගර සභා භූමියේදී සංස්කෘතික හා සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි‘‘ යනුවෙනුයි.

27 සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග වජිර අබේවර්ධන ඇමතිවරයා ගාල්ලට ගියේ ගාලු ආහාර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමටයි. මෙහිදී අගමැතිවරයාගේ සුරතින් ගාල්ල මහ නගර සභාවට කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු වුණා. මේ සදහා මුල් වී ක්‍රියා කළේ ඇමති වජිරයි.

ඉකුත් සතියේදී උදෑසන කාලයේ අමාත්‍යංශයේ සිටිමින් නිදහස් දින උත්සවය සාර්ථක කර ගැනීමේ කටයුතු සඳහා වෙහෙසුන ඇමති වජිර සවස් කාලයේදී ගාලු ගියේ පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ප්‍රචාරක රැස්වීම් සඳහා එක්වීමටයි. මේ සඳහා ඉහළ ජන සහභාගීත්වයක් පැවතියා.

පසුගිය සතියේ ජවිපෙ නායකයා මැතිවරණය වෙනුවෙන් රැස්වීම් ගණනාවකට සහභාගි වූයේ උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වලයි. මොණරාගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල එක දිගට ජන රැුලි, ජනහමු සහ අපේක්ෂකයින්ගේ සුහද හමු සඳහා ජවිපෙ නායකයා සහභාගි වුණා. මෙම ගමනේදී මඩකලපුව විශේෂත්වයක් ගත්තා. මෙවර ජනතා විමුක්ති පෙරමුණ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවලට තරඟ කරන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. එම දිස්ත්‍රික්කයේ ජවිපෙ අපේක්ෂකයින්ට සහය පළ කරමින් වාලච්චේන, එරාවුර්, කාත්තන්කුඩි යන ප්‍රදේශවලදී පළමු වතාවට ජවිපෙ නායකයෙකුගේ සහභාගිත්වයෙන් මැතිවරණ රැස්වීම් 03ක්ද පැවැත්වුණා. මෙහිදී ජවිපෙ සංවිධායකයින් මැතිවරණ වේදිකාව කඩිනමින් ඉදිකර ගත හැකි පරිදි සකස් කොට රැස්වීම් සඳහා යොදා ගත්තා. එරාවුර් ජනහමුව සංවිධානය කළ වෙලාව ආසන්න වන විට ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් රැස් වුණා. නමුත් වේදිකාව තිබුණේ නැහැ. ජවිපෙ සාමාජිකයෝ විනාඩි 12ක් පමණ කාලයක් තුළදී වේදිකාව සකස් කොට ජවිපෙ නායකයාට රැස්වීම ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව සලසා දුන්නා. මෙම අත්දැකීම මීට පෙරදී අත්විඳ නොසිටි එරාවුර් ජනතාවට එය පුදුමයක් වුණා.

එරාවුර් ජනහමුවට ප්‍රදේශයේ ජනතාව දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියා. රැස්වීම සංවිධානය කිරීමට ගිය ජවිපෙ සාමාජිකයින්ට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු වුණා. ජවිපෙ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ භූමිය ආසන්නයේම ඇමති හිස්බුල්ලාගේ රැස්වීමක් සංවිධානය කර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා තිබුණේ ජවිපෙ රැස්වීමට බාධාවන ආකාරයෙන්. කෙසේ වෙතත් රැස්වීම් දෙකම එක වෙලාවන්වලදී පැවැති අතර හිස්බුල්ලා විසින් කියන ලද ප්‍රකාශවල ජවිපෙ එරාවුර් කණ්ඩායම් නායකයා උත්තර දීමට පටන් ගැනීමත් සමඟ ජනතාව ජවිපෙ රැස්වීමට ඇදී එන්නට වුණා.

මෙහිදී ජවිපෙ නායක අනුර දිසානායක පැය එකහමාරකට ආසන්න කාලයක් රැස්වීම ආමන්ත්‍රණය කළා. ඇතැම් පුද්ගලයින් ජවිපෙ නායකයාගේ සජීවී රැස්වීමක් දැක තිබුණේ එදිනයි. රටේ දේශපාලන තත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ජවිපෙ නායකයා ජාතිවාදය පිළිබඳ පැහැදිලි කිරීමක් ද කළා. ”දේශපාලන පක්ෂවල නායකයින් තමන්ට බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාව බෙදුවා. ජාතිවාදය ඇවිළුවා. සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජනතාව බෙදලා, දේශපාලන පක්ෂ හදලා ඡන්ද ටික අරගෙන උඩින් ආණ්ඩුව හදලා දෙගොල්ල ජනතාවගේ මුදල් කොල්ල කෑවා. ඒ අය උඩින් එකට ඉන්නවා. පහළින් අපේ ජනතාව බෙදිලා. ඒ නිසා අපි පහළින් එකතු වෙන්න ඕනෑ. අපි එකතු වුණොත් තමයි ජාතික සමගිය ඇතිවෙන්නේ. පාලකයින්ට පාඩමක් ඉගැන් විය හැක්කේ.” ජවිපෙ නායකයා කියා සිටියා.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක පැවසූ කතාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවේ පිරිස්ද හිත් වේදනාවට පත්ව තිබෙනවා. ”බැඳුම්කර වාර්තාව මෙන්ම මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති විමර්ශන වාර්තා පිළිබඳ විවාදයක් මෙන්ම නීතිමය පියවර ඕනෑ. මුලින් කියපු විදියට හොරුන්ට මංකොල්ලකාරයින්ට මඩු වලිගෙන් තැලූවෙත් නැහැ. අද කඩුවෙන් කොටන්නෙත් නැහැ. එක පැත්තකින් මේ තියන ආණ්ඩුවත් දුවන්නේ හොරුන් එක්ක. අලූතින් හදන ආණ්ඩුව දුවන්න වෙන්නෙත් හොරු ටික එකතු කරගෙන.” විජිත හේරත් කීවා. මෙම කතාවත් සමඟ විජිත හේරත් වාර්තා දෙක අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූණා. ”මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවට මහින්දගෙ කට්ටියට හොඳටම තරහ ගිහින්. ඔබතුමාලා එක්ක එකතු වුණු සුනිල් පෙරේරාටත් ගහනවා.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විජිතගෙන් විමසා සිටියේ දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවකදීය. ”ඔව්, ඔව්, මමත් දැක්කා. මහින්දගේ වලව්වේ වැඩ කරගෙන හිටපු අයට තමයි හොඳටම අමාරු. ජවිපෙ ඉන්නකොට ලෙනින්ගෙ පොත් කියවලා තියෙන කතාවකුත් කියලා තිබුණා. මහින්ද රාජපක්ෂගේ වලව්වේ වාල්වැඩ කරන්න ලෙනින්ගේ පොත් කියවන්න ඕන නැහැ. මේ මැතිවරණයේදී ඇත්තටම ජනතාවගේ පැත්තෙන් හිතලා කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥයෝ සහ වෙනත් වෘත්තිකයෝ විශාල ප‍්‍රමාණයක් අපිට සහය පළකරලා තියෙනවා. ඒ ජවිපෙ දිනවන්න නෙවෙයි ජනතාව දිනවන්න. ජවිපෙට තියෙන සහය නිසාම මහින්දගෙ කණ්ඩායම කලබල වෙලා.” විජිත හේරත් පිළිතුරු දුන්නා.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 96 දෙනාම තමා සමඟ එකට හිටගන්නේ නම් වහාම ආණ්ඩුවක් හදන්න තමා සූදානම් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවට මහින්ද රාජපක්ෂ මහතා වහාම පිළිතුරු දුන්නා. ජනමාධ්‍යයට ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිගේ කතාව රැවටිල්ලක් පමණක් බවයි. ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ප්‍රමාද වැඩි බවත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස දිගු ගමනක් ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා කීවා. ඒ මහතා කීවේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය මැතිවරණය අරමුණු කරගත් එකක් පමණක් බවයි.

ගල්කිස්සේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා කීවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පළාත් පාලන මැතිවරණය සඳහා රඟපෑමක යෙදී සිටින බවයි. දෙදෙනා දැන් ‘අපි තරහයි’ නාට්‍යය රඟපාන බව රාජපක්ෂ මහතා කීවා. මැතිවරණයෙන් පසු සියල්ල අවසන් බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මහරගම මහ නගර සභාව සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමත්, ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග අසාර්ථක වීමත් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් මහරගමට යතුරුපැදිය ලකුණින් තරග කරන ස්වාධීන කණ්ඩායමට සහය දී මැතිවරණ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා පසුගියදා මහරගම නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. හිටපු නගරාධිපතිනි කාන්ති ‍ෙකාඩිකාර ඇතුළු පිරිසක් එයට සහභාගි වී සිටියා. යතුරුපැදියෙන් තරග කොට ජයගන්නා පිරිස වෙනුවට පොදුජන පෙරමුණේ පිරිසක් පත්කර ගැනීම ඔවුන්ගේ අරමුණ බව ප්‍රකාශ වුණා. එසේ වූවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ වත්මන් නීතිය යටතේ එවැන්නක් කළ නොහැකි බවයි. කණ්ඩායමක සියලුදෙනාම ඉවත් වුණත් වෙනත් අය පත්කළ නොහැකි බව ඔහු කියා තිබුණා.

මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයට ලබාදුන් ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් නොගෙවීම නිසා මහජන මුදල් අවභාවිතය යටතේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පියවර ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති කොමිසම කර තිබූ නිර්දේශය ගැන ජනමාධ්‍යයට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කළා. ඔහු කීවේ මෙයට වරදකරුවන් වන්නේ ඒ වනවිට ශ්‍රීලනිපයේ සිටි නිලධාරින් හා ප්‍රචාරක සමාගම බවයි. මේ අතර උදය ගම්මන්පිල මහතා තවත් විවාදාත්මක ප්‍රකාශයක් කළා. ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට ලබාදී ඇත්තේ බැඳුම්කර කොමිසමේ සැබෑ වාර්තාවද කියා තමන්ට සැකයක් ඇති බවයි.

කතිරය ගැසීම තරම් ලේසි පහසු නැති නිල ඡන්ද පත්‍රිකා නිවසට බෙදීම

$
0
0
පෙබ 2, 2018 01:00

සර්වජන ඡන්ද බලය රටට ලැබුණේ 1931 වර්ෂයේදීය. එදා මැතිවරණ ක්‍රමය තුළ අදට වඩා විචිත්‍ර බවක් තිබුණු බැවින්. මැතිවරණ සටන කෙතරම් උණුසුම් වුවද එහි සාහිත්‍ය රසය කාව්‍ය රසය මෙන්ම අර්ථවත් දේශපාලන සංවාද පිරී තිබුණි. අලුත් අවුරුද්දට කොවුල් නද මෙන් මැතිවරණයේ උණුසුම ගමට තදින් දැනෙන්නට පටන් ගන්නේ ඡන්ද කොළය ලෙස පොදුවේ බොහෝ අය ව්‍යවහාර කරන නිල ඡන්ද පත්‍රිකාව තැපැල් මහත්තයා අතේ ගමේ ගෙදරට පැමිණි විටය. එදා ගමේ වැඩිහිටියන් පමණක් නොව ළමා ළපටීන්ද ඡන්ද කොළය ගෙදරට එන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි.

එදා සිට මැතිවරණ දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර පැවැතියේ ගහට පොත්ත මෙන් මනා සම්බන්ධයකි. තාක්ෂණය , සමාජය මෙන්ම ඡන්ද ක්‍රමයද වෙනස් වීම්වලට ලක් වුවද මේ දෙපාර්ශ්වය අතර සබඳතාවය දිනෙන් දින තර වූවා මිස බිඳී ගියේ නැත. මේ සබඳතාවයට මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි වී මැතිවරණ කොමිසම බල ගැන් වූ මේ කාලයේ කියා වෙනසක් සිදුව නැත. කලකට පසු කොට්ඨාස ක්‍රමයට මැතිවරණයක් පවත්වන අදත් මැතිවරණ කාර්ය භාරය වෙත මැතිවරණ කොමිසම සමග කරට කර උර දී සිටින්නේ තැපැල් දෙපාර්තමේන්තුවයි. නිල ඡන්ද පත්‍රිකා බෙදීම සරළ දෙයක් විදිහට බාහිරව බලන අපට පෙනුනද එම කාර්ය අතිශය සංකීර්ණ සහ වගකීමෙන් ඉටු කළ යුතු කාර්යකි. ජනාවාසවලින් පිරී ගිය අගනුවරද කඳු හෙල් බහුල කඳුකරයේද වන සතුන් ගහන වන්නි වන පෙතේද සිටින කෝටි එක හමාරක ඡන්ද දායකයන්ගෙ නිවාස වෙත නිල ඡන්ද පත්‍රිකාව ලබා දීම දුෂ්කර වැඩකි.

එහෙත් මෙම දුෂ්කර කටයුත්ත ඉතාමත් සාර්ථකව ඉටු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිවරයා ගේ සිට පහළ තලයේ තැපැල් බෙදන්නා දක්වා සියලු කාර්ය මණ්ඩලය ඇපකැප වී සිටිති.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මුද්‍රණය කරන මෙම නිල ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීමේ සිට එය ඡන්ද දායකයා අතට පත් කරන තුරු වගකීම පැවරි ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුව වෙතය. අද යම් පහසුකම් සහිතව මේ කාර්ය ඉටු කළද 50, 60 ,70 දශකවල රටේ තිබූ දුෂ්කර මාර්ග තත්ත්වය සහ ගම් ඇතුළත පිවිසුම් මාර්ග නොමැති කම නිසා තැපැල් කරුවන් අතිශය දුෂ්කරතාවට පත්වූ අවස්ථා එමටය. අද පාපැදියෙන් යතුරු පැදියෙන් තැපැල්කරු තම රාජකාරිය පහසුකර ගත්තද එදා කඳුකරයේ සහ වන මැද තිබු බොහෝ තැන්වලට තැපැල්කරුට යාමට සිදු වූයේ පාගමනෙනි නැතිනම් ගැලකිනි. නිල ඡන්ද පත්‍රිකා වැනි වැදගත් දේ ආරක්ෂිතව ප්‍රවාහනය කරමින් රාජකාරී ඉටු කිරීම අතුරේ යාම වැනි සීරුවෙන් කළ යුතු දෙයකි.

මේ අසීරු කාර්ය සීරුවට සහ වගකීමෙන් යුතුව කරන්නේ කෙසේද යන්න ගැන අප තැපැල්පතිවරයාගෙන් විමසීමක් කළෙමු.

“ අපි මේ රාජකාරිය වගකීමක් විදිහට විතරක් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් විදිහටයි හිතන්නේ. අපිට කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඉහළ තැනක් තියෙන්නේ. ඡන්ද පවත්වන්න සුහඳව බලය හුවමාරු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම ගැන අපට දෙපාර්තමේන්තුවක් විදිහට සතුටු වෙන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාවෙන් පසු මැතිවරණයකට වැඩිම කැපවීම සේවාව සපයන්නේ අපි.“ මේ වගකීම අවුරුදු පනහකට වැඩි කාලයක සිට අපි දෙපාර්තමේන්තුවක් විදිහට මේ නිල ඡන්ද පත්‍රිකා බෙදන කාර්යයට අත ගහලා තියෙනවා. ඇත්තෙන්ම අපේ දෙපාර්තමේන්තුවේ තැපැල් බෙදන්නන් සතියක් ඇතුළත රටේ තියෙන හැම ගෙදරකටම යනවා. මේක ලෙහෙසි දෙයක් නොවෙයි. අනෙක ඉහළ වගකීමක් එක්ක තමයි මේ දේ කරන්නේ. අද එතරම් ආරක්ෂාව ගැන ගැටලු නැතත් කලබලකාරී වාතාවරණයක් තිබු කාලවල අනතුරු අතේ තියාගෙන තමයි අපේ තැපැල්කරුවන් වැඩ කළේ. මම මේ දේ කීවෙ ඒ අයගෙ ඉහළ කැපවීම ගැන වර්තමාන තැපැල්පතිවරයා විදිහට අගය කිරීමක් ලබා දීමටයි.

“ මේ කාර්ය සඳහා වෙන් වූ නිලධාරින් පිරිසක් ඉන්නවාද.? අප තැපැල්පතිවරයාගෙන් අතුරු ප්‍රශ්නයක් විමසුවෙමු.“ මේක ටීම් වර්ක් එකක් ඒ නිසා තමයි නිල ඡන්ද පත්‍රිකා බෙදි‍්ම මෙතරම් සාර්ථකවත් ඉක්මනටත් කරන්න පුළුවන් කම ලැබෙන්නේ. මේ කාර්ය සඳහා ප්‍රධාන තැපැල් කන්තෝරුව විතරක් නොවෙයි රට පුරා ප්‍රධාන තැපැල් කන්තෝරුත් සම්බන්ධ කර ගන්නවා. අනෙක මේ බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුවට විතරයි කරන්න පුළුවන් කම වගේම පලපුරුද්ද තියෙන්නේ.“ “ මේ මහා වගකීම මග හැරුණුඅවස්ථා එහෙම නැද්ද.? "අප තවත් ප්‍රශ්නයක් තැපැල්පතිතුමා වෙත යොමු කළෙමු. “ නැහැ අපේ නිලධාරින් සියලු දෙනා ඉතාමත් දක්ෂ විදිහටත් වෘත්ති‍්යමය විදිහටත් වැඩ කරන පිරිසක් ඒ නිසා ඡන්ද පත්‍රිකා බෙදීම ගැන චෝදනා එල්ල වන්නේ ඉතාමත් අඩුවෙන්.

වැඩිම නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් බෙදා හරින තැපැල් මධ්‍යස්ථානය ලෙස හඳුන්වනු ලබන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවට අනුබද්ධව ඇති බැස්ටියන් මාවතේ පාවෙන වෙළෙඳසල් අසල පැරැණි ගොඩනැගිල්ලේ ඇති තැපැල් කාර්යාලයයි. මෙය තැපැල් කාර්යාලයකට වඩා තැපැල් මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වා දීම සාධාරණය. කොළඹ නගරයේ ඇති සියලු නිවාසවලට නිල ඡන්ද පත්‍රිකා බෙදන්නේ මෙතැනිනි. අප එතැනට යන විට පෙරවරු 9.00 ඉක්මවා තිබුණද එහි රාජකාරි ඉතාමත් වෙගවත් සහ කාර්යක්ෂම ලෙස සිදු වෙමින් තිබුණි. මේ දිනවල මෙහි ප්‍රධානම රාජකාරිය බවට පත්ව තිබෙන්නේ කොළඹට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමය. මෙහි කාර්ය භාර නිලධාරියා ලෙස රාජකාරි කරන්නේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතාය. “ කොළඹ නිල ඡන්ද පත්‍රිකා බෙදීම් ලේසි දෙයක් නෙවෙයි.“ පුෂ්පකුමාර මහතාට අනුව පත්‍රිකා බෙදීම දුෂ්කරම කටයුත්ත කොළඹ 14 වැනි ප්‍රදේශවල නිල ඡන්ද පත්‍රිකා බෙදීමය. නිල ජන්ද පත්‍රිකා බෙදීම මෙම ප්‍රදේශවල දුෂ්කර වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රදේශවල ඇති අධික ජනාවාස සහ වෙනත් සංස්කෘතික කරුණුය. “ අපි මේ පැතිවල ඡන්ද පත්‍රිකා බෙදන්න ලොකු මහන්සියක් ගන්නවා.සමහර තැන්වලදී විවිධ බාධා එල්ල වෙනවා. ඒ විදිහේ බාධා ඇති තැන්වල පොලිසියේ ආරක්ෂාව අපි ලබා ගන්නවා..“ අපි මැදිහත් වෙන්නෙ කොළඹ නගරයේ රාජකාරියට විතරයි. කොළඹින් පිට තැන්වල ඇති ප්‍රධාන තැපැල් කන්තෝරුත් මේ කාර්ය ඉටු කරනවා.එතකොට නිල ඡන්ද පත්‍රිකා තැපෑලට ලැබෙන්නේ කොහොමද.? අප පුෂ්පකුමාර මහතාගෙන් විමසුවෙමු. “ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නිලධාරීන් ඉන්නවා ඔවුන් අපට භාර දෙන පත්‍රිකා අප ඉතාමත් ආරක්ෂිතව අදාල නිවෙස්වලටම ගිහින් දෙනවා. අපි නිතරම උත්සාහ කරන්නේ ගෙදර ගෘහ මුලිකයාටම නිල ඡන්ද පත්‍රිකාව භාර දෙන්න. එහෙම නොවුනොත් අවම වශයෙන් ඡන්ද ලේඛණයේ සිටින කෙනෙකුට හෝ ඡන්ද පත්‍රිකාව භාර දෙනවා. මෙහෙම බාර දෙද්දි අයිඩෙන්ටි කාඩ් නොම්මරය සහ නම අපේ නිලධාරින් සටහන් කර ගන්නවා.

අප ඉන්පසු සොයා ගියේ ඡන්ද පත්‍රිකා බෙදා හරින තැපැල් කරුවෙකි. ඔහු අප සුනිල් ලෙස හඳුන්වමු. “ මේ වැඩේ අමාරුම වැඩේ කරන්නෙ අපි කාර්යාලයේ ඉඳන් කරන දෙයක් වගේ නොවෙයි ලියුම් බෙදන එකට වඩා ඡන්ද පත්‍රිකා බෙදන එක අමාරුයි.. උතුරු කොළඹ වගේ තැන්වල සමහර තැන්වලට යන්න බැහැ ඡන්ද පත්‍රිකා බෙදන එකට බාධා කරන අය ඉන්නවා අපි මෙහෙම තැන්වලට යන්නෙ බයෙන්..තවත් තැන්වලට බයිසිකලෙන් යන්නත් බැහැ කිලෝ මීටර් දෙක තුන පයින් යන අවස්ථා තියෙනවා.

තට්ටු ගෙවල්වල ගෙවල් හය හත්සියයක් තියෙනවා මේ තැන්වලට ගියාම දවසක් යනවා..වැඩ ඉවර කරන්න.

සුනිල් කියන විදිහට ඔවුනට ලොකුම බාධාව එල්ල වන්නේ සුනඛයන්ගෙනි.“ කොළඹ ඇතුළෙ තියෙන සමහර වතුවල වෙනම රාජ්‍ය වගේ තැන් තියෙනවා . ඒ අය විවිධ විෂමාචාරවල නියැලෙනවා. ඒ අය ආරක්ෂාවට වතුවල බල්ලො ඇති කරනවා. උන් වත්තෙ අයට කන්නෙ නැහැ පිටින් යන අයට කනවා. සමහර විට නිතරම වත්තට යන පෝස්මන්ට උන් කන්නෙ නැහැ අඳුනන නිසා. ඒත් අලුතින් කෙනෙක් ගියොත් අනිවාර්යෙන්ම කනවා. ගොඩක් වෙලාවට ඡන්ද පත්‍රිකා බෙදන්න යන්නෙ සුපුරුදු කෙනා නොවෙයි. ඒ නිසා ඒ අයට විවිධ අකරතැබ්බවලට ලක් වෙන්න වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමටනම් වැඩි මිලක් ගෙවිය යුතු බවට කියමනක් තිබේ. මැතිවරණයට පෙර ඡන්ද පත්‍රිකා බෙදීමේ කාර්ය සඳහා ලොකු මිලක් සහ වෙහෙසක් දැරීමට සිදුව තිබේ එය වෙහෙසක් සහ මිලක් ගෙවිය යුතු දෙයක් වුවද එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් ගුණදායක සහ යහපත් දෙයක් ලෙස සඳහන් කළ යුතුය.

ස්තුතිය තැපැල් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ කැළුම් තේනුවර මහතාට

සටහන - උදිත ගුණවර්ධන
ඡායාරුප - සිරිපාල හල්වල

ප්‍රාදේශීය සභාව ලයිට් නිවයි වනජීවිය කවුළු වසයි

$
0
0
පෙබ 2, 2018 01:00

සෆාරි වාහන එක පිම්මේ එක පෙළට වේගයෙන් ඇදී යයි. ඒ උඩවලව ජාතික වනෝද්‍යානයේ පිවිසුම වෙතය. කඩිනමින් වනෝද්‍යානයට ඇතුළුවීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි. සංචාරකයින් සතුටු වන්නේ ද වැඩිපුර සතුන් දැකිය හැක්කේ ද එවිටය.සංචාරකයින් සමඟ එක පිම්මේ දිව ගියද ඔවුනට බොහෝ වේලාවක් පිවිසුම් දොරටුව අසල රැඳී සිටීමට සිදුවේ. ඒ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නිසාය.

සෆාරි රියෙන් බිමට බසින සංචාරකයින්, ගස් ගල් යට වාඩි වී දැඩි අපහසුවකින් කල්ගත කරන්නේ ශ්‍රී ලංකාවේ සෞන්දර්යය කෙසේ හෝ නරඹන අටියෙනි. උඩවලවට ජාතික වනෝද්‍යානයේ දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවන බව උඩවලව හෝටල් සංගමයේ භාණ්ඩාගාරික වෙනුර එදිරිවීර මහතා අප සමඟ පැවසීය.

උඩවලව වැඩිපුර සංචාරකයින් පැමිණෙන්නේ අගෝස්තු - පෙබරවාරි කාලයේය. මේ කාලය තුළවත් උඩවලව වනෝද්‍යානයේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුන්ටර් දෙකක්වත් තිබිය යුතු බව සෆාරි රියැදුරන්ගේත් හෝටල් හිමියන්ගේත් අදහසය. මේ පිළිබඳව ඔවුන් අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණද ඊට තවමත් පිළියම් ලැබී නැත.

උඩවලව සංචාරක කලාපයක සිරිගනුයේ උඩවලව වනෝද්‍යානය මූලික කරගෙනය. සංචාරකයින් වැඩිපුර ගැවසෙන උඩවලව හන්දියේ සිට තණමල්විල පාරේ ආර්. ටී. හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය රාත්‍රී කාලයේ ඝන අඳුරේය. මෙකී මාර්ගයේ පමණක් සංචාරක නිකේතන පනහකට අධික සංඛ්‍යාවක් පිහිටා තිබේ.

නගරයේ වීථි පහන් දැමීමේ වගකීම ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවටය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේද සංචාරක හෝටල්ය. එහෙත් සංචාරක හෝටල් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඔවුන්ගේ අඩු සැලකිල්ල පිළිබඳව සංචාරක හෝටල් හිමියන් වරින්වර පෙන්වා දී ඇතත් ඊට ඔවුන්ගේ ප්‍රතිචාරය යහපත් නැත.

සංචාරක පුරවරයක රාත්‍රී කාලයේ සංචාරකයෝ ඔබමොබ සැරිසරති. බොහෝවිට ඔවුන් හිස පලඳිනා විදුලි පහන් රැගෙන යන බව සංචාරක හෝටල් හිමියෝ අප සමඟ පැවසූහ.

සංචාරක ව්‍යාපාරය හරහා සෆාරි ජීප්රථ හිමියන් මෙන්ම හෝටල් හිමියන් ද රජයට අතිවිශාල මුදලක් උපයා දෙති. එහෙත් ඔවුන්ගේ ගැටලු ද නිමක් නැත.

ලියාපදිංචිය නැති හෝටල් ද උඩවලවේ ප්‍රධාන ගැටලුවකි. ඔවුහු සංචාරකයින්ගෙන් හිතූ හිතූ ගණන් අයකරති. ප්‍රාදේශීය සභාව හෝටල්වල ප්‍රමිතිය නොසොයා ඔවුන්ගෙන් බදු පමණක් අයකර ගන්නා පිළිවෙතක සිටීම ගැන ද හෝටල් සංගමය අප්‍රසාදය පළකරයි. උඩවලව හෝටල්වලට කිසිදු ප්‍රමිතිකරණයක් නොතිබීම ද ගැටලුවලට හේතුවකි. පවුලේ දෙතුන් දෙනෙක් එකතුව කුඩා නිවසක Òනිවාඩු නිකේතනයÓ යන පුවරුව සවිකළ පමණින් ප්‍රාදේශීය සභාව ඔවුන්ගෙන් බදු එකතු කරගන්නා බව ලියාපදිංචි හෝටල් හිමියන්ගේ මැසිවිල්ලකි. ප්‍රාදේශීය සභාව බදු අයකර ගැනීමේදී හෝටලයේ ප්‍රමිතිය ගැන තැකීමක් නොකිරීම නිසාම හෝටල් කර්මාන්තය ඉදිරියේදී පවත්වාගෙන යාම ගැටලු සහතගත බව හෝටල් සංගමයේ භාණ්ඩාගාරික වෙනුර එදිරිවීර මහතා පැවසීය.

කාමර හතරකට අඩුවෙන් තිබෙන නිවාඩු නිකේතන සඳහා අනුමැතිය නොදීමේ තීරණයකට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවත්, උඩවලව සංචාරක හෝටල් සංගමයත් එකඟතාවකට පැමිණ තිබුණද එකඟතාව ක්‍රියාත්මක නොවේ. අඩුම තරමින් හෝටල් සංගමයේ රැස්වීම සඳහා ප්‍රාදේශීය සභා නිලධාරීවරයකු සහභාගිකරවීමටවත් ප්‍රාදේශීය සභාව කටයුතු නොකිරීම කැපී පෙනෙන්නකි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි නොකළ හෝටල් පවා තිබේ. ඒ පිළිබඳව කිසිවෙකුත් සොයා නොබලන බව හෝටල් හිමියෝ පවසති.

සංචාරකයින් දිනකට වඩා උඩවලවේ තබාගැනීමෙන් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකිය. ඒ සඳහා සංචාරක හෝටල් සංගමය යෝජනා කිහිපයක් අදාළ බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් ඒවා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් සූදානම් නැත. උඩවලව වැව ආශ්‍රිතව හංස බෝට්ටු, රුෆ්ටින් සේවාවක් ඇතිකිරීම, වලවේ ගඟ හරහා පාලමක් ඉදිකොට බලංගොඩ යාකිරීම මෙන්ම උඩවලව වනෝද්‍යානයට පිට ප්‍රදේශවලින් තවත් සතුන් ගෙනවිත් දැමීම ඒ අතර වේ.

උඩවලව බැරියර් හන්දියේදී සංචාරකයින්ට විවිධ බලපෑම් එල්ලවන බව තවත් මැසිවිල්ලකි. බස්රථවලින් පැමිණෙන සංචාරකයින්ට ත්‍රිරෝද රථවලින් එල්ලවන බලපෑම නතර කිරීම සඳහා උඩවලව ප්‍රදේශයට සංචාරක පොලිසියක් අවැසිය.

සංචාරක මඟපෙන්වන්නන් ලෙස හැසිරෙමින් බස් රියැදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීවීල් රියැදුරන් සම්බන්ධ මාෆියාවක් පවතින බවට ද චෝදනා තිබේ. මෙවැනි ක්‍රියා මැඬපැවැත්වීම සඳහා සංචාරක පොලිසියක අවශ්‍යතාව දැඩිව පවතී.

සංචාරකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකර ගන්නා සංචාරක හෝටල් පිළිබඳව කිසිවකු සොයා‍ නොබැලීම ද ගැටලුවකි. හෝටල් සංගමයේ ලියාපදිංචි හෝටල් සම්බන්ධයෙන් යම් ප්‍රමිතියක් තිබුණද අනෙක් හෝටල් ප්‍රමිතිගතව නැත.

සෆාරි ජීප්රථ සකසා ඇත්තේ විශේෂිත ක්‍රමවේදයකටය. පිටුපස යකඩ බට යොදා ඉහළට ඔසවා තිබීම හේතුවෙන් සෆාරි වාහන ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය තහනම් කොට ඇත. එම තහනම හේතුවෙන් සෆාරි රියැදුරෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

වනෝද්‍යානය ඇතුළතදී ද සෆාරි රියැදුරන්ට විවිධ අසාධාරණයන්ට ලක්වන්නට සිදුවේ. වාහනයෙන් ගමන් කරමින් සිටියදී සංචාරකයකුට සතකු පෙන්වීමට යාන්තමින් හිස වාහනයෙන් පිටතට දැමුවද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කරන බව සෆාරි රියැදුරන්ගේ චෝදනාවකි. එවැනි වරදකට වනෝද්‍යානයට සෆාරි රිය ඇතුළත් කිරීම සතියකට තහනම් කෙරෙන අවස්ථා ද තිබේ. එවැනි හේතු නිසා සෆාරි ජීප්රථ හිමියා ද, රියැදුරා ද දැඩි අපහසුතාවකට පත්වීම වැළැක්විය නොහැකිය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සෆාරි ජීප් රථය වීම නිසාය.

උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව නීතිවිරෝධී කටයුතු සිදුවෙමින් තිබේ. ගංජා වගාව, මැණික් පතල් කැපීම, සතුන් දඩයම, ගවයින් ඇතුළු කිරීම, අනවසර ඇතුල්වීම් ඉන් ප්‍රධානය. මේ සඳහා නඩු පැවරීම් ද සිදුකර ඇත. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් 2017 වසරේ පමණක් නඩු 65 ක් පවරා ඇත.

උඩවලව සංචාරක කලාපය ආශ්‍රිතව ඇතිව ඇති තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට එතරම් හිතකර නැත. වනෝද්‍යානය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය නිර්මාණය වී ඇති හෙයින් සංචාරකයනට පහසුකම් සැපයීම අදාළ බලධාරීන්ගේ වගකීමය. එසේ නොවුණහොත් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සෘජු හා වක්‍ර රැකියාවන්හි නිරතවන්නන්ගේ ආර්ථිකයට එල්ලවන බලපෑම සුළුපටු නොවේ.

ප්‍රාදේශීය සභාව බදු ගහනවා විතරයි

‍වෙනුර එදිරිවීර - භාණ්ඩාගාරික
උඩවලව හෝටල් හිමියන්ගේ සංගමය

පහසුකම් වැඩි හෝටල්වලට ප්‍රමිතියක් තියෙනවා. ඒවායේ මිල ගණන් ඉහළයි. ඒත් සාමාන්‍ය පහසුකම් තියෙන හෝටල්වලට ප්‍රමිතියක් නැහැ. කාමර දෙකක් තියෙන ගෙවල්වලටත් හෝටල් බලපත්‍ර දෙනවා. ඔවුන්ගේ අරමුණ ප්‍රාදේශීය සභාවට බදු අයකර ගැනීම පමණයි.

කාමර 04 ක් තියෙන ඒවාට පමණක් අනුමැතිය දිය යුතු බවට අපි ප්‍රාදේශීය සභාව එක්ක එකඟතාවකට ආවත් එය ක්‍රියාත්මක නැහැ. අපේ රැස්වීමකටවත් ප්‍රාදේශීය සභා නියෝජිතයෙක් එන්නෙ නැහැ. ඒ වුණාට වෙලාවට බදු අයකර ගන්නවා. අපේ කුණු ටිකටත් රුපියල් 1000 ක් අයකරනවා. පහුගිය දවසක ඇවිත් ලයිට් බලල ගියා.

උඩවලව වනෝද්‍යානය නිසා තමයි සංචාරකයො එන්නෙ. වනෝද්‍යානයෙ දවසක ආදායම රුපියල් ලක්ෂ 10 කට වැඩියි. මේ ඔක්කොම මහා භාණ්ඩාගාරයට යන්නෙ. උද්‍යානෙ අලුත්වැඩියාවට දෙන්නෙ සොච්චමයි.

සංචාරකයො වැඩි කාලයක් උඩවලවෙ තියාගන්න සැලසුමක් අවශ්‍යයි. අපි ඒකට උදව් කරන්න කැමතියි. අඩුම තරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචියවත් නැති හෝටල් තියෙනවා.

කර්මාන්තය නග්ගන්න උදව් කරන්නේ නැහැ

‍රුවන් රෝහණ - ලේකම්
උඩවලව සංචාරක හෝටල් සංගමය

සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් මේ ප්‍රදේශයේ නැහැ. වීථි ලාම්පු හරියට නැහැ. නගරයේ හොඳ ආකර්ශනයක් නැහැ. මේ ගැන දේශපාලන අධිකාරියත් සැලකිල්ලක් නැහැ. සංචාරකයින් වැඩිපුර ඉන්න මේ ප්‍රදේශයට සංචාරක පොලිසියක් අවශ්‍යයි. මාධ්‍යයෙ කොච්චර කිව්වත් මේ ව්‍යාපාරය ආශ්‍රිතව අයථා වැඩ නතර වෙන්නෙ නැහැ. ඇත් අතුරු සෙවණයි උඩවලව උද්‍යානයයි විතරයි සංචාරකයන්ට දැනට තියෙන්නෙ. දකුණු ඉවුරු ඇළ, උඩවලව වැව සංචාරකයින්ගෙ ජල ක්‍රීඩා සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම සංඛපාල කන්ද තරණය කරන්න සංචාරකයන්ට පහසුකම් දිය යුතුයි. සංඛපාල රජමහා විහාරයත් සංචාරකයින්ට පෙන්විය යුතුයි. මේ හරහා සංචාරකයන් ස්ථිරව නවාතැන් ගන්න තැනක් බවට උඩවලව පත්කරගන්න පුළුවන්.

පොලිසිය, වනජීවිය කරදර කරනවා

නම හෙළිකිරීමට අකමැති
සෆාරි ජීප්රථ රියැදුරෙක්

අපිට ප්‍රධාන පාරෙ යන්න බැහැ නීතිවිරෝධී කියල පොලිසියෙන් අල්ලනව. වනෝද්‍යානය ළඟ දිග පෝලිම්වල ඉන්න ඕන. සමහර අවස්ථාවල සංචාරකයො හැරිලත් යනවා. සෆාරි ජීප්වලට ප්‍රමිතියක් හදල ප්‍රධාන මාර්ගයෙ යන්න අවස්ථාව දෙනව නම් හොඳයි.

අපි රජයට විශාල ආදායමක් හොයල දෙනවා. රටට බරක් නැතුව මේ රැකියාවෙන් අපි ජීවත්වෙනවා. සංචාරකයින් වැඩි කාලෙටවත් වනෝද්‍යානයෙ ප්‍රවේශපත් කවුලු දෙකක් දාන්න ඕන.

වනෝද්‍යානය ඇතුළෙදි අපි යන්තම් ඔළුව එළියට දැම්මොත් වනජීවී නිලධාරීන් අපේ ජීප් එක තහනම් කරනවා. ඒකට තියෙන නීතිය පැහැදිලි නැහැ. වනෝද්‍යාන දොරටුව ළඟ කැසිකිළි වැසිකිළි පහසුකම් අවශ්‍ය තරම් නැහැ. ඒව අපිරිසුදුයි. අපි කියන්නෙ යාලට දෙන ප්‍රසිද්ධිය උඩවලවටත් දෙන්න. සංචාරකයන් කෑමබීම ගන්නෙත් ගස් ගල් යට. වනෝද්‍යානය අවට පහසුකම් වැඩි කරන්න.

ජනමාධ්‍යයට උත්තර දෙන්න බැහැ

උඩවලව වනෝද්‍යානයේ නිලධාරියෙක්

අපිට මාධ්‍යයට උත්තර දෙන්න බැහැ. උදේ 6.00 ට ඇතුළුවෙන්න තිබුණු වෙලාව අපි උදේ 5.00 කළා. දැන් එච්චර තදබදයක් නැහැ. අපිට තියෙන පහසු කම් අනුව තමයි අපි වැඩ කරන්නෙ. මෙතන මුදල් පිළිබඳ ගැටලු තියෙනවා. මේ කාලෙ දවසකට වාහන 300 ත් 500 ත් අතර උද්‍යානයට ඇතුළු වෙනවා. කවුන්ටර් දෙකක් දානවා නම් හොඳයි. ටොයිලට් පිරිසුදු කිරීම හැමදාම කරනවා. ටොයිලට් සංකීර්ණයක් හදන්න යෝජනා වෙලත් තියෙනවා. නීති විරෝධී ක්‍රියා කළාම වාහන නතර කරනවා. සමහර සෆාරි වාහන අපේ වනජීවී නිලධාරීන් එපා කියනවා. ඒ අය වනෝද්‍යානය ඇතුළෙදී වාහනේ බොනට් එක උඩ නැගලත් ඉන්නවා. ඒව නීති විරෝධියි. මෙතන සංචාරක මඟපෙන්වන්නොත් අඩුයි.

සංගමයක් ගැන අපි දන්නේ නැහැ

චින්තක කුමාර - ලේකම්
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව

තියෙන ප්‍රතිපාදන අනුව අපි වැඩ කරනවා. ඊයෙ පෙරේදත් ගිහින් අපි කැඩුණු විදුලි ලාම්පු හයි කළා. ඡන්දෙ නිසා අලුතෙන් විදුලි ලාම්පු දාන්න බැහැ. අපි හැමදාම විදුලි ලාම්පු පරීක්ෂා කරනවා. සංචාරක මණ්ඩලය අනුමත හෝටල් 04 ක් තියෙනවා. ප්‍රාදේශීය සභාවෙ ලියාපදිංචි හෝටල් 100 ක් පමණ තියෙනවා. හොරට හෝටල් කරන කට්ටිය ලියාපදිංචිය ගන්නෙ නැහැ. කාමර පහකට එහා ඒවට විතරයි අපි පරිසර බලපත්‍රය දෙන්නෙ. අනෙක් ඒව නීති විරෝධියි.

හෝටල් හිමියන්ට උදව් කරන්න අපි කැමතියි. උඩවලව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය ගැන අපි දන්නේ නැහැ. ඒ අය රැස්වීම්වලට කතා කරලත් නැහැ. ඒ අයට එන්න කියන්න. අපි උදව් කරන්න ලෑස්තියි.

සෆාරි වාහන අල්ලන කතාව බොරු

සෙනෙවිරත්න ගමගේ
උඩවලව පොලිස් ස්ථානාධිපති

සංචාරක පොලිස් ස්ථානයක් තියෙනව නම් වඩාත් හොඳයි. සංචාරක ම‍ාෆියාවක් ගැන නම් අපිට පැමිණිලි නැහැ. ත්‍රීවීල් කට්ටිය තමන්ගෙ හැකියාව මත සංචාරකයන් විවිධ හෝටල්වලට ගෙනයනවා. බලහත්කාරයෙන් සංචාරකයින් අරගෙන යන්නෙ නැහැ.

සෆාරි වාහන ප්‍රමිතියක් නැහැ. වාහනයක් වෙනස් කරනව නම් මෝටර් රථ ප්‍රවාහන එකේ අවසරය තියෙන්න ඕනා. සෆාරි වාහනවල පිටුපස වහල ඉහළට ඔසවල තියෙන්නෙ ඒක නීතිවිරෝධියි. හැබැයි සෆාරි වාහන අල්ලනව කියන කතාව බොරුවක්. ඒ අය ජීවත්වෙන්නෙ ඒ වාහනවලින් ඒක අපි දන්නවා. ඔය වාහන කට්ටිය සංචාරකයො ගෙනියන්න ගිහින් රණ්ඩු වෙනවා. ඒවගේ වෙලාවල්වලදී ඒ අයට ‍විරුද්ධව අපි කටයුතු කරනවා.

තදබදය තාවකාලිකයි

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයේදී එහි නිලධාරිනියක පැවසුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ දිනවල අසනීප තත්ත්වයේ පසුවන බැවින් නිවාඩු ලබා ඇති බවය.

වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයේ නම සඳහන් කිරීමට අකමැති නිලධාරිවරයෙක් පැවසුවේ උඩවලව ජාතික වනෝද්‍යානයේ තදබදය පවතින්නේ මේ දිනවල පමණක් බවය. ඉදිරියේදී සියලු සංචාරක අංශවල පහසුකම් වැඩිදියුණු කරන බවත් එහිදී උඩවලවටද පහසුකම් සපයන බවත්ය. 

පුංචි ඡන්දයේ ඇත්ත පැත්ත

$
0
0
පෙබ 2, 2018 01:00

පළාත් පාලන මැතිවරණ උණුසුමෙන් දිවයිනේ සෑම පළාතක්ම උණුසුම් වෙමින් පවතී. ප්‍රාදේශීය මට්ටමින් ප්‍රචාරක ව්‍යාපාරයන් ද මේ වන විට ඇරඹී ඇති අතර එකිනෙකා පරයමින් වාග් ප්‍රහාරයන් ද ඇරඹී තිබේ.

විවිධ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂක අපේක්ෂිකාවන් නානාප්‍රකාර වැකි හා වදන් යොදාගනිමින් ජනතාව අතරට ගොස් තමන්ගේ ගම්පළාත සුරපුරයක් කිරීම සඳහා තමනට ජනතාවගේ කැමැත්ත ලබාදෙන ලෙසට අයදිමින් වැඳ වැටෙන ආකාරයක් ද දක්නට ලැබේ.

සැබැවින්ම මෙම අපේක්ෂක අපේක්ෂිකාවන් සිය ප්‍රචාරක ව්‍යාපාරයන් තුළ කරන කියන දේවල් ග්‍රාමීය මට්ටමේ පවතින ප්‍රාථමික ආයතනයක් තුළින් කිසිසේත්ම කළ නොහැකිය. එහෙත් ජනතාව රැවටීම සඳහා විවිධ වදන් යොදාගනිමින් ඔවුහු සිය ප්‍රචාරක ව්‍යාපාරයන් පවත්වාගෙන යති.

නිදහසින් පසුව මේ දක්වා පළාත් පාලන මැතිවරණ කීයක් නම් රට තුළ පවත්වා ඇත්ද? ඒ සෑම මැතිවරණයකදී මේ ආකාරයට ඉදිරිපත් වූ අපේක්ෂක අපේක්ෂිකාවන් සුන්දර ලෝකයක් ජනතාව ඉදිරියේ මවාපෑ ආකාරය ද අපි දනිමු. එහෙත් එසේ පැවසූ හා පොරොන්දු වූ දේවල්වලින් අවම ලෙස සියයට පහක්වත් ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට මේ රට දිව්‍ය විමානයකි. නැතිනම් සියලු යස ඉසුරින් පිරි සුන්දර දේශයකි.

පළාත් පාලන ආයතනයන්ගෙන් සිදුවන ප්‍රධාන ඝනයේලා සැලකෙන සේවාවන් සේ කැළි කසළ බැහැර කිරීම, මදුරු උවදුර මර්දනය කිරීම, මාර්ග දෙපස කානු පද්ධති ඇතිකර නිසි පරිදි පවත්වාගෙන යාම, වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කිරීම, නගරය අලංකාරව පවත්වාගෙන යාම, ප්‍රාථමික සෞඛ්‍ය කටයුතුවලට දායකත්වය ලබාදීම වැනි කරුණු ද හඳුන්වාදිය හැකිය. මෙම කරුණු ජනතාවගේ එදිනෙදා දිවි පැවැත්මට බෙහෙවින් බලපාන බැවින් ප්‍රමුඛතාවය මේවාට හිමිවිය යුතුය. එහෙත් අපේ රටේ මෙම සරල ප්‍රශ්නයන් හා ගැටලුවලටවත් ස්ථිරසාර විසඳුමක් ලබා දීමට වසර හැත්තෑවක් තිස්සේ ලංකාවේ ස්ථාපිතව පවතින කිසිදු පළාත් පාලන ආයතනයකට හැකියාවක් ලැබී නැත. තිත්ත වුවද ඇත්ත එයයි. අවම ලෙස ලාංකික ජනතාවට මදුරු උවදුරින් තොරව නිදහසෙහි රාත්‍රියට නිදි සුවය ලබාගැනීමට හැකි වාතාවරණයක්වත් මෙතෙක් රට තුළ ස්ථාපිත කිරීමට කිසිදු පළාත් පාලන ආයතනයකට හැකියාවක් ලැබී නැත. එහෙත් වසර ගණනාවක්ම තිස්සේ අපි විටින් විට ඡන්දය ප්‍රකාශ කරමින් නියෝජිතයින් දහස් ගණන් පත්කරමින් ජාතික ධනය කෝටි ගණනින් වැයකර ඔවුන්ව නඩත්තු කරති.

එලෙසම රටේ තවත් දැවෙන ප්‍රශ්නයක් ලෙස කැළි කසළ ප්‍රශ්නය හඳුන්වා දිය හැකිය. අපේ පළාත් පාලන ආයතන බොහෝ විට කරනුයේ කසළ එක්රැස්කොට පහත්බිම් ප්‍රදේශයක් වෙත ගෙන ගොස් එහි දමා ඒවාට උඩින් පස් තට්ටුවක් දැමීමයි. පුරා වසර 70 ක් තිස්සේ අපි මෙම ක්‍රියාව නොකඩවා කරගෙන යනු ලබති. අවම ලෙස මේ සඳහාවත් ස්ථිරසාර වැඩපිළිවෙළක් මේ වන තෙක් රට තුළ ඇතිකරගෙන නැත. තවත් වසර 50 ක් ගතවුවද ස්ථිරසාර විසඳුමක් නැත.

එලෙසම ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරක ව්‍යාපාරයන් වෙනුවෙන් ලක්ෂ ගණනින් අත දිගහැර මුදල් වියදම් කරන ආකාරයක් ද දැකිය හැකිය. පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකුගේ මාසික වැටුප ප‍හළොස්දහස, විසිදහස වැනි සීමාවන්වල පවති. එසේ නම් ලක්ෂ ගණනින් මුදල් වැයකර ප්‍රචාරක ව්‍යාපාරයන් ගෙන යන ඇතැම් පිරිස් මේවා තුළට මෙතරම් කැපකිරීම් කර පැමිණෙන්නේ ඇයි දැයි යන්න ජනතාව වරක් දෙවරක් නොව කිහිප වාරයක්ම කල්පනා කළ යුතුය. සැබෑ ලෙසම ජනතාවට සේවයක් කිරීමට පැමිණෙන අය ද මේ අතර සිටිති. ඒ ගැන අපේ අකමැත්තක් හෝ කිසිදු විරෝධයක් ද නැති බව ප්‍රකාශ කර සිටිමු.

ගම හදන්නට ඉදිරිපත් වීමට පෙර තමන් හැදෙන්නේ නම් මෙවන් ගැටලු ඇතිනොවනු ඇත. ස්ත්‍රීන් සියයක් දූෂණය කර සාද පැවැත්වූ නියෝජිතයින් මහත් ඉහළින් යුතුව වැජඹුණු කැත ඉතිහාසයක් ද ඉකුත් සමයේ පැවතුණි. විවිධ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැලකිය යුතු පිරිස් ද එකල මෙන්ම මෙකලද මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව දැනගන්නට ලැබේ. එවන් අය ඉදිරිපත් කරන ලද දේශපාලන පක්ෂය කුමක් වුවද ඔවුනව පරාජයට පත්කර බුද්ධිමත් තීරණයක් ගැනීමේ වගකීම රටේ ජනතාවට අයත් වගකීමක්කොට අපි සලකමු.

ආර්. එම්. ජයන්ත - කෝට්ටේ

උපාධිය ගැන අදහසක්

$
0
0
පෙබ 2, 2018 01:00

විශ්වවිද්‍යාලයක ප්‍රමිතිය ඇගයීමේදී එහි පශ්චාත් උපාධි ගැන අවධානය යොමුකළ ද ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල බොහෝ පශ්චාත් උපාධි ක්‍රමානුකූල නොවීම කනගාටුවට කරුණකි. එමනිසා අදාළ අධ්‍යාපන බලධාරීන්ගේ ද විශ්වවිද්‍යාලයේ සෙනට් සභාවේද විශේෂ අවධානය යොමුකර එම උපාධි ද ක්‍රමවත් කිරීමට පියවර ගත යුතුය.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ (2015/ 2016) ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය නමින් පශ්චාත් උපාධියක් පැවැත්වෙන අතර මෙය හදාරන අපි බහුතරයක් සාමාන්‍ය පවුල්වලින් එන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබාගත් රජයේ හොඳ රැකියාවල නියුතු අය වෙමු. රැකියාවක් කරන ගමන් පවුල් ජීවිතය ද සමබර කරගනිමින් පශ්චාත් උපාධියක් හැදෑරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් ධෛර්යෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවීම ආරම්භ කළේ අවුරුදු දෙකකින් අවසන් වේයැයි ඉල්ලුම් පත්‍රයේ තිබුණු නිසාය. සම්පූර්ණ පාඨමාලා ගාස්තු පළමු වර්ෂයේදීම ගෙවා අවසන් කළ යුතු විය.

තවද රැකියා ස්ථානයට දැන්වූයේ ද අවුරුදු දෙකක් බවය. නමුත් දැන් උද්ගත වී ඇත්තේ වෙනස්ම තත්ත්වයකි. අපගේ අවසාන විභාගය 2017 වර්ෂයේ මුල පැවැත්වූයේ සෑහෙන ප්‍රමාදයකට පසුවය. දැන් අවුරුද්දක් ගෙවී ගියද එහි ප්‍රතිඵල තවම නැත. විභාගවලින් පසු උපාධි ප්‍රබන්ධය (thesis) භාරදීමට අවසන් දිනයක් ලබාදිය යුතු වුවද එය ද තවමත් නැත. අපෙන් පසු කණ්ඩායම ද මේ ජනවාරි මස අග ඔවුන්ගේ අවසාන විභාගය ලියනු ඇ. ඔවුන්ටද මෙතෙක් කිසිදු විභාගයක ප්‍රතිඵල නිකුත් වී නැත.

මේ කරුණු හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි සම්බන්ධ ගැටලු පිළිබඳව අවධානය යොමුකර කලට වේලාවට උපාධිය ලබාගත හැකි ලෙස ක්‍රමවත් කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ජයන්ත අමරතුංග


දඩය ගැන හිතන්න

$
0
0
පෙබ 2, 2018 01:00

අද අප රටේ ඇතැම් නාගරික ප්‍රදේශයන් හැරෙන්නට ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් මාර්ග පද්ධතියක් නොමැත. මෙවැනි ප්‍රදේශවල යෑමට ඊමට (වම දකුණ ලෙස) මං තීරු දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇතත්, එවායේ පරිමාණය අනුව මංතීරු එකකටවත් යෝග්‍ය වන අයුරින් වාහන ධාවනයේ යෙදවීමට තරම් ඉඩකඩක් නොමැත. විශේෂයෙන් කඳුරට මාර්ගයන්හි තදබද වංගු සහිත ස්ථානයන්හි පවතින මංතීරු දෙක ඇතුළත බරවාහන දෙකක් හුවමාරුවට ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. එයට හේතුව කඩඉරි සටහන රිය සක අනුව ප්‍රමාණවත් පළලින් නොමැති වීමය. මෙය කෙසේ වෙතත් පොලිස් රථවාහන අංශ නිලධාරීන්ට නම්, යම් රියැදුරෙක් එකී කඩඉරි කිසියම් අංශු මාත්‍රයකින් හෝ තැවරී ගමන් කළ විට එය මාර්ග නීති කඩකළ ක්‍රියාවක් වන්නේය. තද බෑවුම් හා කඳු සහිත ස්ථානයන්හි වංගු ගැනීමේදී කඩඉරි කැපීම නිසා ඇතැම් රියැදුරන්ට දඩ මුදල් ගෙවීමට සිදු වී ඇත්තේ, පවතින ප්‍රායෝගික තත්ත්වයේ තිබෙන අඩුපාඩු නිසාමය. කිසිවෙකු හෝ ඒ පිළිබඳව තර්ක විතර්කකොට තම නිදොස්භාවය සනාථ කිරීමට අධිකරණයේ පිහිට පැතීමට මැළිවනුයේ, මේ නිසාවෙන් අමතර නීතිඥ ගාස්තු මුදලක් වැය කිරීමට සිදුවීමත්, තම වටිනා කාලය අපතේ යෑම තුළින් පැන නැ‍ඟෙන අපහසුතාවයන් පිළිබඳව සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත් රියැදුරු ප්‍රජාව කියා සිටින්නේ පොලිස් රථවාහන අංශ නිලධාරීන් ඔවුන්ගේ එදිනෙදා දඩ මුදල් ආදායම් ඉලක්කය අනිවාර්යයෙන්ම තම අංශ ප්‍රධානීන්ට ඉදිරිපත් කළ යුතු නිසා මෙලෙස වැරදි නිර්මාණ‍යකොට මානුෂීය හැඟීමකින් තොරව දඩ මුදල් අය කරන බවය.

සමස්තයක් වශයෙන් ගත්කල අප රටේ සංවර්ධිත මාර්ග පද්ධතියක් කොහෙත්ම නැත. තවද පවතින අඩුපාඩු මධ්‍යයේ පමණ ඉක්මවූ වාහන සංඛ්‍යාවක් එදිනෙදා මාර්ගවල ධාවනය වීමත් නිසා, පොලිස් රථවාහන අංශය, මාර්ග නීති කඩකිරීම තුළින් දඩ මුදල් අයකිරීම පිළිබඳ මීට වඩා නම්‍යශීලී වූ ද, සාධාරණ වූ ද, ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම මැනවැයි සමස්ත රියැදුරු ප්‍රජාව පොලිස්පතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.

පීටර් විජේසූරිය
හිඳගොඩ, බදුල්ල

 

සාහිත්‍යයේ ජීවිත කැපුමේ ගාල්ලේ සමර පැහැය

$
0
0
පෙබ 2, 2018 01:00
කාංචනා අමිලානි

උත්කර්ෂවත් ලෙස පැවතුණු මෙවර ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ හොඳම සිංහල නවකතාව ලෙස අනුරසිරි හෙට්ටිගේ විසින් විරචිත පණ්ඩක පුත්‍ර වස්තුව'ගෞරව බහුමාන සම්මානයට පාත්‍ර විය. එසේම හොඳම දෙමළ නවකතාව වූයේ තේනියම් විසින් රචිත 'ඊතනම්'කෘතියටය.

මම රැජින වීදියෙන් මදක් ඉදිරියට ගොස් එතැන තාවර වෙමින් හුන් පොලිස් භටයන් පසුකර වම් නැම්මක් ගතිමි. සමර පාට බිත්තිවල සෙවණැලි ය. එකිනෙකා අත් අල්ලාගෙන සිටින අභිනය සහිත දිගැති ජනේල ය. උනුන් පිටුපා සිටුවා ඇති නිල් පාට පසුබිමේ පින්තාරු කළ සැවුල් රූපයකි. ඒ නිල් පැහැති ය. පාරේ වම් පාර්ශ්වයට අයිති කොඩි කණු මත ගාලු සාහිත්‍ය උළෙලේ දිගු, උසැති බැනර ය. ඒවා පාරේ දකුණු පාර්ශ්වයට අයත් බැනර සමඟ මදක් බද නවා කෙටි කතාබහක ය.

"ඔහේලා මොකෝ ඔය හැටි අව්වේ? මේ අපි ඉන්නේ මද හෙවණැල්ලේ"

"අපිව හිටෙව්වේ වෙන ඈයෝ. ඒකයි අව්වේ"

ගාලු කොටුවේ සමර බිත්ති සහිත ආරුක්කුවෙන් 'හෝල් ඩි ගෝල්'වෙත එලැඹුණෙන් එතැන ඇති සැණකෙළියට මුසු වීමි. නිල් පැහැ ටී ෂර්ට් ඇඟලූ වොලන්ටියර්වරු ලීෆ්ලට් සහ උළෙල අවසරපත්වලින් සන්නද්ධව එහා-මෙහා ඇවිදිති. උදෑසන 8 වන විටත් 'හෝල් ඩි ගෝල්'අසල දෙස්-විදෙස් සාහිත්‍ය ලෝලීන් ය. 'The lit fest cafe'අසල බිම හෙළූ බීන් බෑග් රාශිය වාඩි වෙන්නට එන ඕනෑම කෙනෙක් තුරුලු කර ගන්නට හදිස්සියකිනි. 'ලිප්ටන්'ටී කාමරය ඊට මදක් එපිටිනි. තේ පැහෙමිනි. මෑතින් බබ්ල් ටී ආගාරයකි. පොත් හලකි. හෝල් ඩි ගෝල් ශාලාව ඉදිරිපිට ගාලු සාහිත්‍ය උළෙලේ ටිකට් විකුණුම් කුටියත්, පොත් හලත් ය. අතරින් පතර මාධ්‍ය අවසරපත් සොයා එන්නෝ ය. එතරම් උදෑසන පොත් හලේ ඇලුණු කියවන්නෝ ය.

ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ තෙවැනි කාර්තුව මෙයයි. සාහිත්‍ය වෙනුවෙන් බරපතළ මැදිහත්වීම් අවම කාලයක විකල්ප සාහිත්‍ය උළෙලක් ලෙස එකතු වුණු හෙයින් මින් සමස්තයට ලැබෙන ආලෝකය අවම විය හැකිය. එහෙත් ලැබෙන ආලෝක කදම්භයේ පරිධිය විශාල හෙයින් නොසලකා හැරිය නොහැකි ය.

උදෑසන 9 ට හෝල් ඩි ගෝල් හි David Dabydeen විසින් තම දැක්ම සහ කලාව සහ සාහිත්‍ය පිළිබඳ අදහස් දැක්වීමෙන් සියල්ල පටන් ගති. උදෑසන 10 ට පැවැත්වීමට නියමිතව තිබූ Bachi Karkaria ගේ සංවාදය අවලංගු කෙරුණි.

ඉන් පසුව පැවතියේ කලින් මුදල් ගෙවා වෙන් කරවාගෙන සහභාගි විය යුතු වැඩමුළු කිහිපයකි. ඉවුම් පිහුම් පංතියකි. 'ෆ්ලෑෂ් ෆික්ෂන්'ගැන කදිම වැඩමුළුවකි. ලංකාවේ මුල් ඇති, කුඩා කල බිෂොප් කොලීජියෙන් උගත් Sallyanne Atkinson, 11 සිට 12 වන තෙක් ඇගේ 'No job for a women'නවකතාව පිළිබඳ සංවාදයකි. අශෝක් ෆෙරි විසින් මෙහෙයවූ මේ සංවාදයට අතුරු සිදුරු නැතිව පිරුණු සෙනඟකි. තමා බිෂොප් කොලීජියේ උගන්නා කාලයේ ලංකාවේ ජීවිතය පිළිබඳ රසාලිප්ත කතා සමඟ ඇරඹි සංවාදයේ මධ්‍යය ගැඹුරු ය. කාන්තාවක් ලිවීම තම ජීවිකාව කර ගත් පසු එළැඹන භීම සමය ඕනෑම ජාතිකයකුට පොදු බව පසුව පසක් කරගත හැකි විය.

ශන්කාරි චන්ද්‍රන් සහ නයෝමි මුනවීර මවුබිම හැරදා යාමේ ශෝකී තානය සමඟ යළිත් හෝල් ඩි ගෝල් සළිත කළේය. ශන්කාරි චන්ද්‍රන්ගේ 'Song of the sun god'මෙවර ෆෙයාර්වේ සම්මානයට නිර්දේශිත කෘතියකි. යුද්ධය නිසා ලංකාව අතැර ගොස් වෙනත් රටක ජීවත්වීමෙන් නොදැනීමෙන්ම ඔවුන් අත් කරගත් 'නොස්ටලජියානු'සාංකාව සිහින් මීදුමක් සේ අවට පැතිරෙනු මට දැනුණි. පන්කජ් මිශ්‍රා සමඟ 'welcome to the age of anger'පිළිබඳ සංවාදය වඩාත් උණුසුම් එකකි. වෙනත් රටවල් ආක්‍රමණය කිරීමේ නූතන යුද උපක්‍රම සහ ආර්ථික සිහින පිළිබඳ හේ කතාවේ ය. විශේෂයෙන්ම චීනය ලෝකයට කුමන බලපෑමක් කරනු ඇත්දැයි නොනවතින සංවාදයකි. ඉන්දියානු දේශපාලනය සහ ආසියාකරයේ රෙජීම පිළිබඳ ප්‍රශ්න කිරීම් ය. කෝපාග්නියෙන් පීඩිත යුගයක ජීවත් වීමේ බරපතළකම මනසින් ඉවත හෙළීමට නොදෙන ඒ සංවාදය සැබෑ උණුසුමකි.

හාත්පස කිචි-බිචියකි. 'The lit fest cafe'අසල බබ්ල් ටී බොමින්, රස කැවිලි කමින් ඉන්නෝ ය. ඒ අතර කෙළවරක පිහිටි කූඩාරමක කතුවරුන් සමරු සටහන් තබන්නට සූදානමකිනි. වටයක් කරකැවී 'ලිප්ටන් ටී රූම්'ඇතුළතට වැදුණොත් ප්‍රකට ගායකයන් සමඟ නැලැවිල්ලේ තේ බොන්නට හැකි ය. 'Fort bazaar and hotel and spa'වෙතට පිවිසියොත් 'ලිප්ටන් තේ සමඟ කවි'සන්ධ්‍යා කිහිපයක් අල්ලා ගත හැකි ය. වඩාත් සවස් වන තෙක් ‍රැදී සිටියහොත් Marie caroline senlis ගේ කළු-සුදු-රිදී ඡායාරූප ප්‍රදර්ශනය නැ‍රැඹීමට හැකි ය. එපමණක් නම් කමක් නැත; සවස 7.30ට හෝල් ඩි ගෝල් හි චිත්‍රපටයක් තිරගත වෙයි. මේ සියල්ලෙන් පසුවත් හුස්ම අල්ලාගෙන, කෙලින් සිටීමට හැකි නම් කතුවරයකු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ටිකැට්‍ටුවක් ගෙන සහභාගී විය හැකි ය.

සියල්ලේ එකතුව වර්ණවත් පසුබිමක කළු-සුදු චිත්‍රයක් මෙන් පැහැදිලි ය. සාහිත්‍ය සඳහා ලාලසාවක් ඇති කිරීමටත්, එය බොහෝ සුව පහසු එකක් කිරීමටත් මහන්සි වීමේ ප්‍රතිඵල නොබෝ දිනකින් ම නෙළා ගත හැකි වනු ඇත.

ගාලු කො‍ටුව ඇතුළත ෆොටෝ ඇල්ලීම පිණිස ඇවිදීමෙන් 'ගෝල් ආර්ට් ට්‍රේල්'කිහිපයක් ම පසු කර යාමටත්, පළමුව ඒවා නොතකා යාමත් සිදු විය. දෙවැනුව ආපසු හැරී ඒ පෞරාණික ගොඩනැගිලි ඇතුළට වැදීමි. බිත්තිවල කැමැත්තෙන් එල්ලී සිටින චිත්‍ර සහ ඡායාරූප මෙන්ම පිත්තල, දැව භාණ්ඩ ද බොහෝ ය. ඒ අතර ගැලැවූ මකර තොරණක ආකෘතියකි. පිත්තල ගිර ය. සෙම්බු ය. මිනිසුන් කිහිප දෙනෙකු බහාලිය හැකි තරමේ සුවිසාල පිත්තල කල්දේරම් ය. මොඩර්න් මොනාලීසා චිත්‍රයකි. චිත්‍රය පාමුලින් කැමරාවත් ගෙන ඇවිදින විට ඈ නොහික්මුණුකම් පාමින් කටාක්ෂ නිරීක්ෂණයක ය. තොල් සෙලවුමක ය. චිත්‍රවලට පණ ඒමෙන් සිදුවිය හැකි අනර්ථ බොහෝ ය. ලේන් බාන් වීදිය යැයි ලියූ නාම පුවරුවක් යට මෑතකදී වහලකින් ගලවා ගන්නා ලද පැ‍රැණි උළු ප්‍රවේසමකින් අඩුක් කිරීමකි. ඒ අසල උසාවියට ආ සේවාදායකින් ය. නීතිවේදීන් සොයා හිස ගිනිගෙන එහා-මෙහා දුව ඇවිදින බොහෝ දෙනා අතර මහලු වයසේ අය ප්‍රමාණාත්මකව වැඩි ය. මහලු මවක නීතිවේදී කාර්යාලයකට ඇතුළු වන දොර‍ටුවට අත තබාගෙන කල්පනාවක ය. ෆයිල් පිරුණු ඇතුළාන්තය ගූඪ ය. වරදකාරී බවකින් ඕනෑම අයකු කලබල කරවන සුළු ය. උසාවිය ඉදිරිපිට පෝලිම් ගැහුණු මිනිස් සිරුරු ය. උසාවියෙන් ඉදිරිපිට පාරේ කළුකබා ලාගෙන නීතිඥයන් උසාවිය දෙස බලාගෙන සිටින්නේ 'වැ‍රැදි'ගැන පාරේ ගමන් කරන අයට පවා තරව‍ටුවක් ඇති කරවන බැල්මකිනි.

සිකුරාදාවේ උදෑසන 10 ය හදිසියෙන්ම උදා වූයෙන් සියල්ල පසෙක තබා යළිත් 'හෝල් ඩි ගෝල්'වෙතට දිව්වෙමි. ශ්‍රබානි බාසු සහ සෙබස්තියන් ෆලූක්ස් ඉතිහාස කතාවක් සමඟ ඔට්‍ටු වීමට පටන් ගෙන ය. බාසු ගේ 'For king and another country'ඇතුළතින් වෙඩි හඬ සහ බර සපත්තු හඬ ඇසීම වැලැක්විය නොහැකි විය.

පර්සියානු කවි සහ සු‍ෆිවාදය ගැන බ්‍රීස් වෙනෙල් බාලදක්ෂ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ කතාබහක ය. ලයිට් හවුස් පාරේ නොම්මර 69 ඉවුම් පිහුම් සැසියකි. සුවඳ පතුරුවමින්, කීචි-බීචි හඬ නඟමින් 'එන්න, මේ සුවඳ උරා බොන්න....වාඩි වෙන්න, විලවුන් සුවඳ විහිඳුවන්න'යැයි කෙරෙන ආරාධනයකි. ප්‍රහසන නාටක ඇතුළත බරපතළ රංගන ගැන කතා කරන සැසියක් හෙවණ සහිත ප‍ටු පාරක පිහිටි ජෙට්වින්ග් ලයිට් හවුස් ඇතුළත ය.

මධ්‍යහනයට පෙර තල්පේ බලා යා යුතු ය. ‍ටුක් ‍ටුක්කරුවකු ගේ නයිට් රයිඩර් සැම්පලයේ රථ ධාවනයකින් 'Owl and the pussycat'හෝටලයට පිවිසීම හරිම නාට්‍යානුසාර ය. විප්‍රකාර නමකැයි සිතුවාට ඒ නමට ගැලැපෙන බොහෝ දේ මේ හෝටලය සතු ය. කාව්‍ය සඳහා පිදෙන එඩ්වර්ඩ් ලියර් ත්‍යාගය පිරිනැමෙන්නේ වයස 18-30ත් අතර තරුණ කවීන්ට ය. ප්‍රකට කවියකු වන එඩ්වර්ඩ් ලියර් වෙනුවෙන් මෙකී සම්මානය නම් කර තිබුණි. අවසන් වටය සඳහා කිවිඳියන් පස් දෙනෙකු තේරී පත් වී තිබුණු අතර ඔවුන් විසින් ම ඒ කවි කියවන්නට ද යෙදුණි.

ශානිකා රත්නායක විසින් රචිත The walrus and the elephant, අයේෂා රත්නායක විසින් රචිත The insatiable Ceylonese girl, සකුණි කුරේ විසින් රචිත The Sri Lankan Owl and the Pussycat, කදීජා සම්සුදීන් විසින් රචිත The Little Giant, ශාහිමා රාෂීඩ් විසින් රචිත A Little boy and his books අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණි. මේ සියල්ල අතරින් කදීජා සම්සුදීන් විසින් රචිත The Little Giant වෙනුවෙන් කවි සඳහා පිදෙන එඩ්වර්ඩ් ලියර් සම්මානය හිමි විය. දෙවැනි ස්ථානය ෂාහිමා රාෂීඩ් ද තෙවැනි ස්ථානය සකුණි කුරේ විසින් ද දිනාගනු ලැබූහ.

උත්කර්ෂවත් ලෙස පැවතුණු මෙවර ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ හොඳම සිංහල නවකතාව ලෙස අනුරසිරි හෙට්ටිගේ විසින් විරචිත පණ්ඩක පුත්‍ර වස්තුව'ගෞරව බහුමාන සම්මානයට පාත්‍ර විය. එසේම හොඳම දෙමළ නවකතාව ලෙස තේනියම් විසින් රචිත 'ඊතනම්'කෘතියට හිමි විය. හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය අමන්දා ජේ විසින් රචිත 'ද අදර් වන්'හිමි කර ගන්නා ලදී.

ගාලු සාහිත්‍ය උළෙලේ සිංහල දිනය බල ගැන්වූයේ කවිය, නවකතාව, කෙටිකතාව සහ නවකතාව සිනමාවට නැඟීම පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකිනි. සිංහල කාව්‍යයේ දෛනික ජීවිතය පිළිබඳ ආවර්ජනා මැයෙන් තිබූ කවි සංවාදය සඳහා ලක්ශාන්ත අතුකෝරල සහ සුහර්ශිනී ධර්මරත්න සහභාගී වූහ.. එසේම අනුරසිරි හෙට්ටිගේ, නිශ්ශංක විජේමාන්න, උදය හපුගොඩ ආරච්චි, කීර්ති වැලිසරගේ සහ දීප්ති මංගලා රාජපක්ෂ ආදීන් නවකතා සංවාදයට සහභාගී වූහ. නවකතාවේ සිට චිත්‍රපටය දක්වා අනුවර්තන ක්‍රියාවලිය පිළිබඳ සංවාදයට දිලීප අබේසේකර, අශෝක හඳගම, සමන් වික්‍රමාරච්චි සහ සුමිත්‍රා රාහුබද්ධ සහභාගී විය. සිංහල කෙටිකතාව: වර්තමානය කියවීම සඳහා වූ ආඛ්‍යාන කලාවක් මැයෙන් පැවැති සංවාදයට සහභාගි වූවෝ ආචාර්ය ලියනගේ අමරකීර්ති, සුදර්ශන සමරවීර සහ කාංචනා ප්‍රියකාන්ත ය.

දෙවැනි වරට පැවැත්වුණු 'සිංහල දිනය'ගාලු සාහිත්‍ය ක්‍රියාවලියේ පැතිරුම දීර්ඝ කරන්නක් මෙන් විය. සියලු සංවාද සඳහා ඇතුළු වීම නොමිලේ හෙයින් සහභාගීත්වය ඉහළ ගොස් තිබුණි. අවට පැතිරුණු අධික දාහය නොතකමින් බාලදක්ෂ මධ්‍යස්ථානයට එක්-රොක් වුණු සාහිත්‍ය ලෝලීන් ගේ ගුමු-ගුමුව විශාල ශබ්දයක් තෙක් පැතිරෙන්නට ඇතැයි සිතමි.

එමෙන්ම ඊට සමගාමීව (උදෑසන 10 ට) ෆෙයාර්වේ පැවිලිනයේ Shrabani Basu සහ ගනනාථ ඔබේසේකරයන් සහභාගි වූ 'Uneasy lies the head that wears the crown'යන මැයෙන් කදිම සංවාදයකි. සෙනසුරාදාවේ පැවැති චාරුලතා අබේසේකර සහ Chhimi Tenduf-La යුගළ සංවාදය ද අතිශය රසවත් ය. ප්‍රකට Coco Chanel කෘතියේ කර්තෘ Justine Picardie සමඟ සංවාදය හවස 4.00 ය. ඒ හෙවණැති හෙරිටේජ් විලා හි ය. ඉරිදාව උදා වූයේ The No.1 ladies Detective series හි කතුවරයා වූ Alexander McCall Smith සමඟ ය. මුළු සැසිය පුරාම සියල්ලන් සිනා සයුරේ ගිල්වමින් බුල්ඩෝසරයක් එලවාගෙන ගමනක් ගිය ආකාරය කියූ මේ මහලු මිනිසා මගේ ලිවීමේ සංතුෂ්ටිය ඇවිලවී ය.

මිනිසුන් සහ ස්ථාන ගැන සොයමින්, ලුහුබඳිමින් යන හෙයින්ම දින හතරක් නතර වීමට වැඩ සැලැස්වූ ගාලු කො‍ටුව සුළුප‍ටු නැත. ගාලු කො‍ටු පවුරට නැඟ, ෆොටෝ අල්ලා, මුහුදු වෙරළට බැස, ෆොටෝ අල්ලා 'යන්නම්'කියා එන්නට තරම් පහසු නැත. ඒ සා කාන්දම්ගත බලයකින් හෙබි හෙයින් 'නවතින්න'යැයි කියමින් සියොළඟ වෙළෙන හෙයින් අතෑර දා ඒම පහසු නැත. ඉතින් මම දුවන්නට වීමි. කන්තෝරුවට විත් නතර වීමි.

 

ඇබැග්නේල්ට අනංග දසාවක් !

$
0
0
පෙබ 2, 2018 01:00

පොරොන්දු වූ පරිදිම ඇබග්නේල් හෙන්ඩර්සන් හමු වූ විට ඔහු දැනුම් දුන්නේ සිසුවියන් තිස්දෙනෙක් ඇබග්නේල් හමුවීමට බලාපොරොත්තුව සිටින බවයි. ඇබග්නේල්ට කැමති පරිදි ඔවුන් සම්මුඛ පරික්ෂණයට ලක් කර තෝරාගැනීමට වෙනම කාමරයක්ද ඔහු සූදානම් කර තිබිණි. මුලින්ම සිසුවියන් දසදෙනා බැගින් කණ්ඩායමක් ලෙස අමතා පසුව එක් එක් සිසුවිය සම්මුඛ පරීක්ෂණයට ලක් කිරිම ඇබග්නේල් එහිදී අනුගමනය කළ ක්‍රමයයි..එය වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් බව හෙන්ඩර්සන්ට වුවද පිළිනොගෙන සිටිය හැකි වූයේ නැත.

ඇතැම් පුද්ගලයන් කොහේ යතත් ගමන් කළ යුතුව ඇත්තේ පිරිවරක් සමඟය. ජනපති, දෙවන එළිසබෙත් මහ රැජිණ, ෆ්‍රෑන්ක් සිනාත්‍රා, මොහොමඩ් අලි වැනි ජනප්‍රිය සුපිරි තරු මීට නිදසුන්ය. ඒ තරම්ම ප්‍රකට නොවුවද එම ලැයිස්තුවට ගුවන් නියමුවන්ද ඇතුළත්ය. නොයෙක්විට ඇබග්නේල් ව්‍යාජ ගුවන්නියමුවෙකු ලෙස එවන් පිරිවරක් නොමැතිකමින් අපහසුවට පත්විය.

“ මහත්මයා, ඔබගේ ගුවන් කාර්ය මණ්ඩලය කෝ ?“ ගුවන් නියමුවන් නවාතැන් ගන්නා හෝටල්වලදී මෙම ප්‍රශ්නය ඇබග්නේල් වෙත ඉදිරිපත් වූයේ වරක් දෙවරක් නොවේ. ඒ හැම විටෙකම ඔහුගේ පිළිතුර වූයේ එකකි.

“මම කාර්ය මණ්ඩලයක් එක්ක නොවේ, හදිසි‍යේ අසනීප වෙච්ච නියමුවෙක් වෙනුවෙන් රාජකාරිය ආවරණය කරන්නයි ආවේ.“ එලෙස පිළිතුරු දී ඇඟ බේරාගත්තද දිගින් දිගටම මෙම බොරුව ගෙන යා නොහැකි බව ඇබග්නේල්ට ඒ වන විටත් වැටහී තිබිණි. හුදකලා ගුවන් නියමුවෙක් කාගෙත් කුතුහලයට ලක්වන අතර එම කුතුහලය සැකයකට පරිවර්තනය වන්නට වැඩි කලක් ගත වන්නේ නැති බවද මෙනෙහි කළ ඇබග්නේල්ට, කදිම විසඳුමක්ද අත ළඟම විය.

හොර ගුවන් නියමුවෙකු ලෙස මෙතරම් දුරක් ආ තමාට තමාගේම ගුවන් සේවිකාවන් පිරිසකගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්ද ලබාගැනීමට බැරි ඇයි? ඇරත් එවන් සුරූපිනියන් පිරිසකගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමඟ සැරිසැරීමට ලැබීම ම කෙතරම් භාග්‍යයක්ද ? රූමත් ගුවන් සේවිකාවන් ඇබග්නේල්ගේ සිත්ගත් මාතෘකාවක් වුවද, එවන් කාර්ය මණ්ඩලයක හිමිකරුවකු වීමට ඇබග්නේල් පෙළඹ වූ ප්‍රධානම හේතුවක් වූයේ ගුවන් කාර්යමණ්ඩලයක් සමඟ ගමන් කරන ගුවන් නියමුවෙකුට සමාජයෙන් හිමිවන පිළිගැනීමයි. එවැන්නකු වෙතින් පළවන විශ්වාසනීයත්වය මීට ප්‍රධානම හේතුවයි. තමාටද සුරූපී කෙල්ලන් පිරිවරක් සමඟ ගමන් කිරීමට ලැබෙන්නේ නම් හොර චෙක්පත් වංචාව වඩාත් විශ්වාසනීය ලෙසත්, දැනටත් වඩා පුළුල් ලෙසත් කරගෙන යා හැකි බවට ඇබග්නේල්ට සැකයක් නොවීය. ඒ වන විටත් ඔහු සාර්ථකව හොර චෙක්පත් මුදල් කරමින් සිටියත්, ගුවන් සේවිකාවන් පිරිසක් සිටිනම් එකවර හොර චෙක්පත් කිහිපයක් වුවද මුදල් කරගැනීම ගැටලුවක් නොවන බව ඔහුගේ හිවල් මොළයට දැනී තිබිණි.

ඉස්තාන්බුල් නුවරින් යළි පැරිසියට පියාසර කළ ඇබග්නේල් යළිත් සිය හිතමිතුරු ලැවලියර් පවුල හමුවිය. “ඔයාත් එයාර් ෆ්‍රාන්ස් ගුවන් නියමුවෙක් වුණා නම් කොච්චර හොඳද ? මටත් ඔයාගේ ගුවන් කාර්යමණ්ඩලයට සම්බන්ධ වෙන්න තිබ්බනේ “ මොනික් එලෙස කියමින් ඇගෑලුම්කම් පාද්දි ඇබග්නේල්ට ගුවන් කාර්ය මණ්ඩලයක හිමිකරුවකු වීම සම්බන්ධයෙන් සුළු හෝ දෙගිඩියාවක් තිබුණා නම් එයද නැත්තටම නැති විය. නමුත් තමා වැනි කිසිදු ගුවන් සේවයක් විසින් නිල වශයෙන් පිළිනොගන්නා, පියාසර කිරීමට පවා නොදන්නා ව්‍යාජ ගුවන් නියමුවෙක්, ගුවන් සේවිකාවන් පිරිසක් තමාගේම කාර්ය මණ්ඩලයකට බඳවා ගන්නේ කෙසේද ? අවසානයේදි ඔහු තීරණය කළේ පෑන් ඇම් ගුවන් සේවයටම එහි වගකීමද භාර කිරිමටය. නිව්යෝක් නුවර බලා පියාසර කළ ඇබග්නේල් පෑන් ඇම් හි මානව සම්පත් කාර්යාලය අමතා එහි මානව සම්පත් ප්‍රධානියා හා සම්බන්ධ විය.

“හලෝ, මම ප්‍රෙස්කොට් ප්‍රෙස්බේටේරියන් නෝර්මල් විද්‍යාලයේ තනතුරු භාර අධ්‍යක්ෂවරයා. මට දැනගන්න ලැබුණා විශ්ව විද්‍යාල හා උසස් විද්‍යාලවල සිසුන් ඔබලාගේ සමාගමේ රැකියාවලට බඳවාගැනීමේ අරමුණින් රැකියා ප්‍රවර්ධන කණ්ඩායම් යවනවා කියලා. අපේ විද්‍යාලයටත් ඒ වගේ කණ්ඩායමක් එවන්න බලාපොරොත්තුවක් තියෙනවාද ? ඇබග්නේල් කියා සිටියේ තමාගේම මනංකල්පිත විද්‍යාලයක අධ්‍යක්ෂ ධුරයක්ද තමන්ට පිරිනමා ගනිමිනි. මෙවන් දේවලට ඔහු පළපුරුදුකාරයකු වී දැන් බොහෝ කල්ය.

“කණගාටුයි මහත්මයා, අපේ එහෙම සැලසුමක් නම් නැහැ. නමුත් අපේ කණ්ඩායමක් ඔක්තෝබර් මාසයේදි ඇරිසෝනා විශ්ව විද්‍යාලයට නම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහේ සිසුන්ව සම්මුඛ පරීක්ෂණයකට ලක්කරන්න. මට විශ්වාසයි එයාලා ම්ස්ටර්ගේ සිසුන්ටත් කතා කරන්න කැමති වේවි කියලා. ඒ අතර පෑන් ඇම් රැකියා අවස්ථා ගැන විස්තර පත්‍රිකා ටිකක් මම ඔබට එවලා තියන්නම්. එහෙම හොඳයිද ?“ පෑන් ඇම් මානව සම්පත් ප්‍රධානියා බෙහෙවින් සහයෝගශීලි යෝජනා කළේය.

“බොහොම ස්තූතියි. ඒක හොඳ සැලසුමක් කියලා මට විශ්වාසයි.“ එලෙස කියූ ඇබග්නේල් තම මනංකල්පිත විද්‍යාලයේ මනංකල්පිත ලිපියක්ද විස්තර පත්‍රිකා එවිම සඳහා ලබාදුන්නේය.

ඉන් අනතුරුව සිය ගුවන් නියමු නිල ඇඳුම ඇඟලාගත යළිත් කෙනඩි ගුවන් තොටුපළේ වූ පෑන් ඇම් දහහතර වැනි අංගනයට ගියේය. සිය නිල ඇඳුමේ එල්ලෙමින් තිබු ව්‍යාජ හැඳුනුම්පත නිසා මෙවර දහහතරවැනි අංගනයට ඇතුළු වීම ඔහුට මහා වැඩක් නොවීය. එහි ගබඩා සංකීර්ණයේ පැයක් පමණ කරක් ගැසු ඇබග්නේල් ඉන් පිටවූයේ පෑන්ඇම් ලාංඡනය සහිත ලිපිද්‍රව්‍යවලට අමතරව වර්ණවත් විස්තර පත්‍රිකා මිටියක්ද අතැතිවය. නිවසට පැමිණ ඇබග්නේල් මේසය අසල හරි බරි ගැසුණේ ලිපියක් ලියන්නටය. ඒ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ තනතුරු පිරිනැමීමේ කාර්යාලයේ අධ්‍යක්ෂවරයා අමතමිනි.

“හිතවත් මහත්මයාණනි,

ලොව වඩාත්ම පළපුරුදුකම් ඇති විශිෂ්ඨම ගුවන් සේවය වන පෑන් ඇම් එයාර්වේස් විසින් මෙම වසරේදි සිය රැකියා සඳහා නවකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදය නව මාවතකට යොමුකොට තිබේ. එහි එක් පියවරක් ලෙස සිරිත් පරිදි ලබන ඔක්තෝබර් මාසයේදි ඔබ විද්‍යාලයට පැමිණීමට නියමිත අප සමාගමේ රැකියා නියෝජිතයින්ට අමතරව අප ගුවන් නියමුවන් හා ගුවන් සේවිකාවන්ද එම ක්‍රියාවලියට අලුතෙන් එක් වනු ඇත.

ගුවන් නියමු ක්ෂේත්‍රයේ ලැබු අත්දැකීම් ඇසුරින් ඔබ සිසුන්ට පෑන් ඇම්හි අනාගත රැකියා අවස්ථා සඳහා වඩාත් හොඳ පෙරහුරුවක් ලබාදීම මෙම නවතම ක්‍රමවේදයේ අපේක්ෂාවයි. ඒ අනුව ලබන සඳුදා අපගේ ගුවන් නියමුවකු ඔබ විශ්ව විද්‍යාලයට පැමිණ තෙදිනක කාලයක් සිසුවියන් ගුවන් සේවිකා තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයන්ට ලක් කරනු ඇත. රැකියා අයදුම්පත්‍ර හා වැඩිදුර විස්තර ඇතුළත් පත්‍රිකා මේ සමඟ වෙනම කවරයක බහා ඇත.

මේ සඳහා ලැබෙන ඔබේ සහාය අගය කරමු.“

මානව සම්පත් ප්‍රධානි

පෑන් ඇම් එයාර්වේස්

පෑන් ඇම් මානව සම්පත් ප්‍රධානියා ලෙස අත්සන් තැබූ ඇබග්නේල් ලිපිය පෑන් ඇම් ලාංඡනය සහිත ලියුම් කවරයකම බහා තැපෑලට භාර දුන්නේය. ඒද පෑන් ඇම් එයාර්වේස්හි තැපැල් සේවය හරහාමය. ඒ සඳහා යළිත් වරක් ඔහුට සිය නිල ඇඳුමින් සැරසී පෑන් ඇම් කාර්යාලය වෙත යෑමට සිදු වූ නමුත් පෑන් ඇම් තැපෑල හරහා යැවීමෙන් ව්‍යාජ ලිපි ලේඛණවලට උසස් පෙනුමක් ලැබෙනු ඇති බවට හටගත් හැඟීම ඔහු උද්යෝගිමත් කළේය. ලිපිය තැපැල් කොට දින දහයකින් පමණ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය තනතුරු අධ්‍යක්ෂවරයා වූ ජෝන් හෙන්ඩර්සන් ඇමතුවේය.

“හෙන්ඩර්සන් මහත්මයා, මේ ෆ්‍රෑන්ක් විලියම්ස්. පෑන් ඇම් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්. තව සති දෙකකින් විතර මම ඔබව හමුවීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන දන්වලා ඔබට එවු ලිපියයි. විස්තර පත්‍රිකා ටිකයි ලැබුණාද කියලයි, අපි සැලසුම් කරපු දිනය ඔබට ගැලපෙනවාද කියලා දැනගන්නයි මම කතා කළේ.“

“ ඔව් ඇත්තෙන්ම විලියම්ස් මහත්මයා“ හෙන්ඩර්සන්ගේ උද්යෝගය දොරේ ගලමින් තිබිණි. ඇතැම්විට මෙබදු අවස්ථාවක් ඔහුගේ සිසුන්ට මේ හිමිවන්නේඑ පළමුවරට වන්නට ඇත. “අපිට ඔබේ තොරතුරු පත්‍රිකා ඔක්කොම ලැබුණා. ඒවා අපි විශ්ව විද්‍යාලය පුරා දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කළා. ඔබට අයදුම්කරුවන් විශාල පිරිසක් මුණ ගැහෙන්න ලැබේවි. ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙනුයි අපි මේ දවස්වල ඉන්නේ. “

“ඇත්තටම හෙන්ඩර්සන් මහත්මයා, අපේ ලිපියේන් කුමක් කියවුණාද කියන්න නම් මම දන්නේ නැහැ.“ ඇබග්නේල් බොරුවකින්ම කතාවට ගැම්ම ගත්තේය. “හැබැයි මගේ අධීක්ෂණ නිලධාරින් මට උපදෙස් ‘දුන්නේ කණිෂ්ට සිසුවියන් විතරක් සම්මුඛ පරික්ෂණයට ලක් කරන්න කියලයි. “

“අපිට ඒක තේරෙනවා විලියම්ස් මහත්මයා, ඇරත් මට ආපු ඇමතුම් ඔක්කොම වාගේ ආවේ කණිෂ්ඨ සිසුවියන්ගෙන්. ඒක ගැන වද වෙන්න කාරි නැහැ“

පොරොන්දු වූ පරිදිම ඇබග්නේල් හෙන්ඩර්සන් හමු වූ විට ඔහු දැනුම් දුන්නේ සිසුවියන් තිස්දෙනෙක් ඇබග්නේල් හමුවීමට බලාපොරොත්තුව සිටින බවයි. ඇබග්නේල්ට කැමති පරිදි ඔවුන් සම්මුඛ පරික්ෂණයට ලක් කර තෝරාගැනීමට වෙනම කාමරයක්ද ඔහු සූදානම් කර තිබිණි. මුලින්ම සිසුවියන් දසදෙනා බැගින් කණ්ඩායමක් ලෙස අමතා පසුව එක් එක් සිසුවිය සම්මුඛ පරීක්ෂණයට ලක් කිරිම ඇබග්නේල් එහිදී අනුගමනය කළ ක්‍රමයයි..එය වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් බව හෙන්ඩර්සන්ට වුවද පිළිනොගෙන සිටිය හැකි වූයේ නැත. පළමු සිසුවියන් දසදෙනාගේ කණ්ඩායම දුටු ඇබග්නේල් තම සිත පාලනය කර ගත්තේ අසීරුවෙනි. ළඳ බොළඳ රූමත් බාලිකාවන් පිරිස පෑන් ඇම් ගුවන් නියමු නිල ඇඳුමින් සැරසුණු ඇබග්නේල් දෙස දැහැනකට සමවැදුනා මෙන් බලා සිටි ආකාරය දුටු ඇතැමෙකුට, ඇබග්නේල් යනු තවත් එක් එල්විස් ප්‍රෙස්ලි කෙනෙක් යැයි සිතුණේ නම් එයද පුදුමයක් නොවේ.

තමාගේම ගුවන් සේවිකාවන් පිරිසක් සිටිය යුතුම බව ඇබග්නේල් දැඩිව අධිෂ්ඨානය කළේ මෙම යෞවනියන් පිරිස හමුවීමෙන් පසුය. රාජකාරිමය ස්වරූපයක් ආරූඪ කර ගනිමින් ඇබග්නේල් සිසුවියන් පිරිස ඇමතීය.

“තරුණියනි, මම මුලින්ම කියන්න ඕනෑ මේ කරන්න යන දේ ඔයාලට වගේම මටත් අලුත් දෙයක්. මම ගුවන් යානා මැදිරියට පුරුදුකාරයෙක් වුණාට පංති කාමරයට කෝඩුකාරයෙක්. නමුත් සමාගමෙන් මට පවරපු වගකීම ඔයාලගේ උදව්වෙන් හා තේරුම් ගැනීම ඇතිව මට සාර්ථක රක ගන්න පුළුවන් බව විශ්වාසයි.

මම ‘තේරුම් ගැනීම කියලා කිව්වේ ඔයාලා අතරින් සේවයට බඳවා ගැනෙන සාමාජිකයින් සම්බන්ධ අවසන් තීරණය තියෙන්නේ පෑන් ඇම් සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා අතේ නිසයි. මම කරන්නේ මට සුදුසුයි කියලා හැඟෙන තරුණියන්ව රෙකමාදාරු කිරීම විතරයි. ඔයාලා සමාගමට ස්ථීරව බඳවා ගන්නේ ඔයාලාගේ උපාධිය සම්පුර්ණ වුණායින් පස්සේ. ඒ අතර තෝරාගත් පිරිසට කිසියම් පුහුණුවක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම කියන දේ පැහැදිලිද ?“

කෙල්ලන් පිරිස එකාවන්ව හිස් සෙළවූහ. ඇබග්නේල් තරම් සාර්ථක ලෙස එම රඟපෑම සැබෑ පැන් ඇම් ගුවන් නියමුවකුට කරන්නට බැරි බව සහතිකය. එබඳු මහා පරිමාණ රැවටීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ඇබග්නේල් තරම් සමත් අන් ජගතකු සිටින්නටද නුපුළුවන. කෙල්ලන් කණ්ඩායම විසිරුවා හැරි හේ ඔවුන් එකිනෙකා වෙන් වෙන්ව ප්‍රශ්න කිරීම ඇරැඹිය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

සඳුදා : කාර්ය මණ්ඩලයට කෙල්ලන් 8ක්

නිදහස අර්ථවත් කර ගැනීමේ අභියෝගය

$
0
0
පෙබ 2, 2018 01:00

මේ සියලු ප්‍රතිගාමී ප්‍රවණතා සමඟ සිදු වුණේ “රාජ්‍යය නම් මමයි” යන යල් පැනගිය අදහස යළිත්, වෙනත් වේෂයකින් “රාජ්‍ය නම් රාජපක්ෂ පවුලයි” යන ලඝු ප්‍රවේශයට පටුවීමයි. මේ පටූත්වය සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජනවර්ග වෙත පීඩනයක් සේම අසහනයක් එල්ල කළා. 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්ෂයක් මෙරට පුරවැසියන් නොබියව ඡන්ද පොළට ගොස් ප්‍රකාශ කළේ “නිදහස” අහිමි වීම සම්බන්ධයෙන් වන තමන්ගේ විරෝධය බව අප වටහා ගත යුතුයි.

ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් තිබූ රාජපක්ෂ රෙජිමය ඡන්ද බලයෙන් පරාජය කිරීමට මෙරට ජනතාවට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 08 “දෙවන නිදහස” දිනා ගැනීමක් වශයෙන් බොහෝ දෙනකු සලකන්නේ මේ නිසයි. යම් ආකාරයකින් ජනාරි 08 පොදුජන විප්ලවය යථාර්ථයක් නොවුණා නම් ලංකාවේ ඉරණම අතිශය කනගාටුදායක සේම අමිහිරි එකක් වනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා. ඊට සර්ව සාධාරණ හේතු තිබුණා.

70 වැනි ජාතික නිදහස් දිනයට තව තිබෙන්නේ දින දෙකයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණයටත් සතියක් පමණයි. නිදහස් දිනය සහ පළාත් පාලන මැතිවරණය ආසන්නම අවස්ථාවක මේ දෙකම ගැනම කතා කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඊට හේතුව නිදහස දිනාගෙන අවුරුදු 70ක් ගත වන විට අප අත්පත් කරගත් දේ වගේම වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගෙවී ගිය වසර තුනක කාලය තුළ අප අත්පත් කරගත් දේ ගැන සමාජය තුළ විවිධ මතවාද පැවතීමයි.

ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා දිනාගත්තේ “ඩොමීනියම් තත්ත්වයේ නිදහසක්” බව අප කවුරුත් දන්නවා. ඒ අනුව අපට තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින අපේ රාජ්‍ය නායිකාව වශයෙන් පිළිගැනීමට සිදු වුණා. ඇය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරයෙක් ලංකාවේ රැජිනගේ බලය නියෝජනය කළා. ඒ වගේම බ්‍රිතාන්‍ය යුද කඳවුරු ඇතුළු යටත්විජිත පාලනයේ සංකේතාත්මක බලය පළකරන බොහෝ දේ තවදුරටත් ලංකාව තුළ තිබුණා. අපි මහ රැජිනගේ නායකත්වය පිළිගන්නා පොදුරාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකත්වය දැරීමට කැමැති වුණා.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීම සඳහා කළ දේශපාලන අරගලයේදී ජාති, ආගම්, කුල ආදි පටුභේද අමතක කර කටයුතු කළා. විශේෂයෙන් උතුරේ දමිළ නායකයන් මේ සඳහා ප්‍රබල සහායක් ලබා දුන්නා. ඉන්දියාව නිදහස දිනා ගන්නා අවස්ථාව වන විට ඉන්දීය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කළ මොහොමඞ් අලී ජින්නා වගේ බෙදුම්වාදී මානසිකත්වයක ලංකාවේ සුළුජාතීන්, විශේෂයෙන් බහුතර සුළුජන වර්ගය වන දමිළ ජාතිකයන් සිටියේ නැහැ. යම් ආකාරයකින් ඔවුන් බෙදුම්වාදී ස්ථාවරයක සිටියා නම් ලංකාවට ස්වාධීනත්වය ලබාගැනීම කල් යාමට හෝ මීට වඩා වෙනස් ආකාරයක නිදහසක් ලැබීමට අවස්ථාව තිබුණා.

ඒත් අප ලබාගත් නිදහස, ලේ බිඳක් නොසොල්වා ලබාගත් නිදහස අර්ථවත් කිරීමට, ඒ නිදහස මගින් ජනතාවට සැබෑ නිදහසක් ලබාදීමට අපට හැකියාව ලැබුණාද ? එය අදත් සමාජය තුළ තිබෙන පොදු ප්‍රශ්නාර්ථයක්. බැලූ බැල්මට පෙනී යන්නේ අපට ලැබුණු නිදහස ස්වර්ණමය අවස්ථාවක් කර ගැනීමට නොහැකි වූ බවයි. වර්ගවාදී, ආගම්වාදී සහ පන්තිමය වශයෙන් බෙදීමකින් තොරව දිනාගත් නිදහස ආරම්භක අවස්ථාවේ සිටම බරපතළ ලෙස අපයෝජනයට ලක් වූ බවයි.

ජාතියක් ලෙස නැගී නොසිටීම

මීට ඉහතින් සඳහන් කළ ආකාරයට ජාති, ආගම්, පන්ති භේදයකින් තොරව පොදු අරමුණක් වටා ගොනු වෙමින් දිනාගත් නිදහස ප්‍රථමයෙන්ම අප අතින් අපයෝජනයට ලක් වුණේ නිදහස ලබාගෙන එහි උණුසුම යාමටත් පෙර “බලය” උදෙසා වාර්ගිකත්වය පෙරට ගැනීමට අප ගත් පටු හා අවස්ථාවාදී ප්‍රවේශය නිසයි. ඒ අනුව මුලින්ම අප අතින් දඩයමට ලක් වුණේ මෙරට වැවිලි ආර්ථිකයට තමන් ලේ දහඩිය කඳුළු මුසු කරමින් අන්ත දරිද්‍රතාවෙන් බැට කමින් අර්ධ වහල් මෙහෙයක් කරමින් සිටි වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත කම්කරු ජනතාව වීම කනගාටුවට කරුණක්. ඔවුන්ගේ ඡන්ද බලය අහිමි කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ පුරවැසිභාවය අහිමි කිරීම දක්වා දිගු වූ මේ කතාව අදත් ලංකාවේ නොවිසඳී පවතින ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා.

මෙතැන් සිට ලංකාව ජාතියක් ලෙස ගොඩනැගීමේ ගමන සිදු වුණේ ජනවාර්ගික විභේදනය, ආගමික විභේදනය වගේම තව තවත් පුළුල් වූ ඇති නැති පරතරය, ගම සහ නගරය අතර සම්පත් බෙදී යාමේ විෂමතාව ආදි නිමක් නැති සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු මැද බව අපට නිරීක්ෂණය කළ හැකියි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ශ්‍රී අක්ෂරය මුල්කර ගෙන ඇති වූ ජාතිවාදී ගැටුම්, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට එරෙහි වීම, යළි ඩඩ්ලි - චෙල්වනාගයම් ගිවිසුමට එරෙහිවීම, 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල, 1971 පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ යළි සුළුජාතීන් නොසලකා හැරීම, අධ්‍යාපන ප්‍රමිතිකරණය, ආදි සිදුවීම් හරහා ජාතීන් අතර විභේදනය වගේම සිංහල සමාජයේ පන්ති විභේදනයත් අඛණ්ඩව පුළුල් වුණා.

මෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වුණේ දකුණේ සිංහල ග්‍රාමීය තරුණයන්ගේ සන්නද්ධ නැගිටීම ආදර්ශයක් කරගනිමින් උතුරේ තරුණයන් ද ක්‍රමයෙන් සන්නද්ධ අරගලය ගැන විශ්වාස කිරීමට යාම තුළයි. එහි න්‍යායාත්මක පසුබිම 1974 වඩුක්කෝඩෛයි ප්‍රකාශනය හරහා සිදු වුණා. ඒ අනුව තවදුරටත් “එක් රටක ජාතීන් ලෙස ජීවත්වීම වෙනුවට දමිළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිළිබඳ න්‍යායාත්මක ප්‍රකාශනය උතුරේ තරුණයන් අතින් ලියවුණා.

මෙතැන් සිට, 1975 යාපනය නගරාධිපති (ශ්‍රීලනිප) ඇල්ප්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ උතුරේ සන්නද්ධ අරගලය ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ද ගණනය කළ නොහැකි තරම් දේපොළ ද අහිමි කරමින් තවත් දශක තුනක කාලයක් පුරාවට ඇදී ගියා. ඒ අතර 1988-89 යළි දකුණේ තරුණ සන්නද්ධ නැගිටීමකට ද, නිමක් නැති ආගමික ගැටුම්වලට ද මුහුණදීමට අපට සිදු වුණා.

මේ සියලු කාරණාවලින් අවසානයේ අපට ලබාගත් නිදහස අර්ථවත් කර ගැනීමට නොහැකිවීම සේම තවදුරටත් ආර්ථික හා දේශපාලන පරාධීනත්වය මත ගිලී සිටීම සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කළා. විශේෂයෙන් ආර්ථික හා දේශපාලනික වශයෙන් අපට ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට නොහැකි වීම තුළ ජාතියක් වශයෙන් වන ආත්මාභිමානය අහිමි වූ තත්ත්වයක් නිර්මාණය වුණා. එමෙන්ම තරුණ පරම්පරා තුනක් (1971, 88 - 89 (ජවිපෙ) 1975 - 2009 උතුරේ) සමූල ඝාතනයකට ලක් වුණ ලෝකයේ එකම රාජ්‍ය බවට (මේ ගැන විධිමත් අවධානයක් තවම සිදුව නැති බව පෙනේ ) අප පත් වුණා.

බටහිරට, නැඟෙනහිරට අතපෑම

මෙහි ආර්ථික පරිහානය ගැන කතා කිරීම පවා අතිශය සංවේගයක් දනවන කරුණක්. බ්‍ර්තාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස දිනා ගන්නා විට ආසියානු කලාපයේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමිව තිබූ ශ්‍රී ලංකාවට මේ දක්වා ශක්තිමත් ආර්ථික ස්වාධීනත්වයක් අත්පත් කර ගැනීමේ අවස්ථාව උදාවෙලා නැහැ. අදත් අපට අපේ සංවර්ධන කාර්යයන් කර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ විදේශ රටවල ණය සහ සහනාධාර මතයි. රටේ සංවර්ධන කාර්යයන් සඳහා රජයට තම ආදායමින් ලබාදිය හැකි දායකත්වය තවමත් තිබෙන්නේ නොසැලකිය යුතු තත්ත්වයකයි. ඒ අතර රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාධ්‍ය නොනිමි භාණ්ඩ සහ ලාභ ශ්‍රමය මත පදනම්ව තිබීම තවදුරටත් දැකිය හැකියි.

මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ගෝලීය මූල්‍යාතනවලට සේම චීනය ආදි ණය හිමියන්ට ද අවැසි ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ප්‍රවේශයක තවදුරටත් ගොනුව සිටීමට අපට සිදුව තිබෙනවා.

පසුගිය කාලය පුරාම අපට රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අතපසුවීම් රැසකට මුහුණදීමට සිදු වුණේ ප්‍රධාන වශයෙන් ජාතික, ආගමික හා දේශපාලන සංහිඳියාව ගොඩනගා ගැනීමට නොහැකි වීම නිසා බව ඉතාම පැහැදිලියි. විශේෂයෙන් ජාතික හා ආගමික සංහිඳියාව ගොඩනගා ගැනීමේ ප්‍රවේශය මුළුමනින්ම කඩාකප්පල් කළේ දේශපාලන බලලෝභීත්වය හා දේශපාලන අවස්ථාවාදය බව පැහැදිලියි.

නිදහසේ 70 වැනි සමරුවට සූදානම් වන අප මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුත්තේ “අපට වැරදුණේ කොතැනද ?” යන්න වෙතටයි. එවිට අපට පහසුවෙන්ම වරද නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාව උදාවෙනවා.

එරෙහි වීමේ සංස්කෘතිය අවසන් කිරීම

ඉහතින් සඳහන් කළ ආකාරයට ලංකාවට ජාතියක් වශයෙන් නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය අහිමි කළේ දේශපාලන බලලෝභීත්වය නම් අප ප්‍රථමයෙන්ම අවසන් කළ යුත්තේ මේ සියලු ව්‍යාධීන්ට මූල බීජය වූ දේශපාලන බලලෝභීත්වය, නැතිනම් බලය අල්ලා ගැනීම උදෙසා කරන අවස්ථාවාදී අරගලය බව පැහැදිලියි. අප බොහෝ දෙනකුට මෙහිදී පැන නගින පහසු ප්‍රශ්නය වන්නේ අප මේ සඳහා සූදානම් ද ? යන්නයි. අපට මේ සඳහා හැකියාවක්, දැක්මක් තිබේද යන්නයි.

“අපි, ශ්‍රී ලංකා එක හොඳ දෙයක් කරන කොට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂය හොඳ දෙයක් කරන කොට අපි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණා. මේ දෙකම විරුද්ධ වෙන්නේ නැති නම් ජනතා විමුක්ති පෙරමුණ හරි තවත් කල්ලියක් හරි විරුද්ධ වුණා. හැමදාම වුණේ මේ විරුද්ධ වීම තමයි. අපි 2015 ජනවාරි 08 වැනිදා තිත තිබ්බේ මේ දේශපාලන සංස්කෘතියටයි” ඓතිහාසික ප්‍රකාශනයක් යැයි කිව හැකි මේ කතාව කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියයි. පසුගියදා පැවැති රැස්වීමකදී හිටපු ජනාධිපතිනිය මේ ප්‍රකාශය සිදු කළේ වත්මන් ආණ්ඩුව විසින් අත්පත් කොට ගෙන ඇති දේශපාලන හා ආර්ථික ජයග්‍රහණ ගැන ජනතාවට කරුණු පැහැදිලි කරමින්. හිටපු ජනපතිනියගේ මේ ප්‍රකාශය මේ මොහොතේදී ඉතාම වැදගත්. ඒ නිදහස දිනා ගැනීමේ 70 වැනි සමරුව සේම යහපාලන ආණ්ඩුවේ තෙවසරක කාලය ද මේ හා සමඟ සිදුවන නිසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම

2015 ජනවාරි 08 වැනිදා මෙරට ලක්ෂ 62ක ජනතාවක් ඡන්ද පොළට ගොස් ජීවිත පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම සඳහා තම ඡන්දය භාවිත කිරීම දේශපාලනික වශයෙන් සේම සමාජයීය වශයෙන් ද ඓතිහාසික සිදුවීමක්. මන්ද ඔවුන් එදා තම ඡන්දය භාවිත කළේ කිසිසේත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැති අවස්ථාවක නොවෙයි. රාජපක්ෂ රෙජිමය තමන්ගේ සියලු සම්පත් හා ශක්තිය උපරිමයෙන් මුදා හැරීම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය සේම ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධයෙන් ද අතිශයින් තීරණාත්මක එකක් වුණා.

කුප්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අසීමාන්තික ධූර කාලයක් ලබා ගැනීමට අමතරව මහින්ද රාජපක්ෂ විසින් මුළු රාජ්‍ය යාන්ත්‍රණයම තම අතට ගැනීමට හැකිවන ආකාරයට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්ද අහුරා දැමීමට පියවර ගත්තා. ඒ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අකාමකා දැමීම මගින්. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වුණේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගන්නා විට උරුම වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය මුළුමනින්ම අහුරා දමා ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා ලංකාව රැගෙන යාමේ ආරම්භ නෛතික පියවර තැබීමයි.

මෙය ලංකාවේ දේශපාලන නිදහසේ සේම ආර්ථික නිදහසේ ද අවසානය සනිටුහන් කළා. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පවුලක් වටා කෙන්ද්‍රගත වූ මේ යුගයේ සමස්ත ආර්ථිකය ද බැසිල් රාජපක්ෂ අතට පත්ව රාජපක්ෂ පවුලේ වුවමනා එපාකම් අනුව මෙහෙයවන තත්ත්වයට පත් වුණා. මේ සමඟ අඛණ්ඩව පුළුල් වෙමින් ආ ජනවාර්ගික ධ්‍රෑවීකරණය ද එහි උපරිමය සනිටුහන් කළේ දමිළ ජනතාව සමඟ කාලයක් පුරා පැවැති භූමිය සම්බන්ධ අර්බුදය තුළට මුස්ලිම් හා කතෝලික ආගමිකයන් සමඟ ද නොනිල, අප්‍රකාශිත යුද්ධයක් ප්‍රකාශයට පත්වීම සමඟයි. මේ සඳහා ඉතා පැහැදිලිව රාජ්‍ය යාන්ත්‍රණයේ නිල සහ නොනිල අනුග්‍රහය ලැබෙන විට ප්‍රසිද්ධියේ රාජ්‍ය ආශිර්වාදය නොඅඩුව ලැබුණා. වාර්ගික ධ්‍රෑවීකරණය පුළුල් වන වේගයට සමාන වේගයකින් ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පටු වුණේ භාෂණයේ, ප්‍රකාශනයේ හා අදහස් පළකිරීමේ අයිතිය රාජපාක්ෂික වීම තුළයි. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පහරදීම ප්‍රසිද්ධියේ සිදුවන විට ඔවුන් භීතියට පත් කිරීම ඉතාම ක්‍රමිකව සිදු වුණා.

මේ සියලු ප්‍රතිගාමී ප්‍රවණතා සමඟ සිදු වුණේ “රාජ්‍යය නම් මමයි” යන යල් පැනගිය අදහස යළිත්, වෙනත් වේෂයකින් “රාජ්‍ය නම් රාජපක්ෂ පවුලයි” යන ලඝු ප්‍රවේශයට පටුවීමයි. මේ පටූත්වය සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජනවර්ග වෙත පීඩනයක් සේම අසහනයක් එල්ල කළා. 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්ෂයක් මෙරට පුරවැසියන් නොබියව ඡන්ද පොළට ගොස් ප්‍රකාශ කළේ “නිදහස” අහිමි වීම සම්බන්ධයෙන් වන තමන්ගේ විරෝධය බව අප වටහා ගත යුතුයි.

නිදහස් අවකාශය පුළුල්වීම

2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනතාවගේ නිදහස සුරක්ෂිත කළ, නිදහස වඩාත් පුළුල් කළ සහ අර්ථවත් කළ විප්ලවීය ප්‍රකාශනයක් වශයෙන් පසුගිය කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වුණේ මහින්ද රාජපක්ෂ පාලනය තුළ වේගයෙන් හැකිළෙමින් පැවැති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ජනතාව විසින්, ඡන්දයෙන් යළි දිනාගත් නිසයි.

ඇතැමුන් මේ අවස්ථාව සලකන්නේ 1948 දී එකඳු ලේ බිඳක් හෝ නොසොල්වා දිනාගත් නිදහස සමානුපාතිකවයි. ඊට හේතුව අපට මෙසේ පැහැදිලි කළ හැකියි. ඉන්දියාව ප්‍රමුඛ බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් (සියලුම යටත් විජිත) තම නිදහස දිනා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත ජීවිත පරිත්‍යාග කළා. එහෙත් ලංකාවට එය ඉතාම පහසුවෙන්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබා ගැනීමට හැකි වුණා.

ව්‍යවස්ථාපිත ඒකාධිපතීන්ගෙන් තම රටවල් නිදහස් කර ගැනීම සඳහා ද ලෝකයේ සියලුම රටවල්වල පුරවැසියන්ට දස දහස් ගණනින් තම ජීවිත පරිත්‍යාග කිරීමට සිදු වුණා. ලතින් අමෙරිකාවේ, අප්‍රිකාවේ, නැඟෙනහිර යුරෝපයේ සේම දකුණු ආසියාවේ පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල මෙය සිදු වුණා. ඒ වගේම “අරාබි වසන්තය” නාමයෙන් මැදපෙරදිග කාලයේත් මේ ජීවිත පරිත්‍යාග සිදු වුණා.

ඒත් විස්මිත ලෙස, එසේ නැතිනම් කිසියම් ආශිර්වාදාත්මක කරුණක් හේතුවෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් තිබූ රාජපක්ෂ රෙජිමය ඡන්ද බලයෙන් පරාජය කිරීමට මෙරට ජනතාවට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 08 “දෙවන නිදහස” දිනා ගැනීමක් වශයෙන් බොහෝ දෙනකු සලකන්නේ මේ නිසයි. යම් ආකාරයකින් ජනාරි 08 පොදුජන විප්ලවය යථාර්ථයක් නොවුණා නම් ලංකාවේ ඉරණම අතිශය කනගාටුදායක සේම අමිහිරි එකක් වනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා. ඊට සර්ව සාධාරණ හේතු තිබුණා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා හකුලා දමන ලද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය, ගෝඨාභය රාජපක්ෂ හරහා පුළුල් වෙමින් පැවැති මිලිටරි ආධිපත්‍ය, බැසිල් රාජපක්ෂ හරහා පුළුල් වෙමින් පැවැති ආර්ථික ආධිපත්‍ය සේම බෞද්ධ ආගමික අන්තවාදීන් හරහා මුදාහැර තිබූ ෆැසිස්ට්වාදී බලවේග මේ අතර ප්‍රමුඛ වුණා. ඒ අතර වේගයෙන් පුළුල් වෙමින් පැවැති වාර්ගික හා අගමික ධ්‍රෑවීකරණය ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරමින්, ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් දක්වා රැගෙන ගොස් තිබුණා.

සම්මුතිවාදය සහ යහපාලනය

මෛත්‍රී - රනිල් දේශපාලන සුසංගයෝගය මගින් බිහි වූ වත්මන් ආණ්ඩුව මගින් යළි මෙරට පුරවැසියන් වෙත ලබා දුන් ප්‍රධාන තිළිණය වන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සංහිඳියාව” බව අද යම් පිරිසකට අමතක වෙමින් තිබෙනවා. ඔවුන් යළිත් සුපුරුදු ෆැසිස්ට් භාවිතයන් අත්හදා බලමින් ජනතාව මත යළි බලය පතුරුවා හැරීමට අවකාශ සොයමින් සිටිනවා. අප විසින් තීරණාත්මකව පරාජය කළ යුතු වන්නේ යළි බලය අල්ලා ගැනීමට තැත් කරන මේ අවස්ථාවාදයයි.

ඒ සඳහා තෙවැනි අවස්ථාව ජනතාව හමවට පැමිණ තිබෙනවා. ඒ පළාත් පාලන මැතිවරණය හරහායි. ජනවාරි 08, අගෝස්තු 17 තීරණාත්මකව පරාජය කළ රෙජිමයේ මූල පද්ධතිය ද ගලවා දමා ඒ භූමිය මත දේශපාලන, ජාතික, ආගමික හා ආර්ථික නිදහසේ බීජ රෝපණය කිරීම සඳහා අප සියලු දෙනා එක්සත්ව, එක්සිත්ව පෙරමුණ ගත යුතුයි. 70 වසරක නිදහස සැබෑ නිදහසක් කරගත හැකි වන්නේ, නිදහස අර්ථවත් කරගත හැකි වන්නේ එවැනි ප්‍රවේශයකින් පමණයි.

සටහන- භාතිය බරුකන්ද 

බය ගෙන දෙන තොරතුරු වෙළෙඳාම

$
0
0
පෙබ 3, 2018 01:00
තඹරු විජේසේකර

අපි බොහොම ළඟින් ආශ්‍රය කරන මිත්‍රයන් අපේ හැමදේම දන්නා නිසා සහ ඔවුන් සතුව අපේ ‘ෆයිල්ස්’ තිබෙන නිසා ඒවා පිටතට පැමිණේයැයි ද බියෙන් කාලය ගත කරනවා. හොඳම යහළුවා තරහ කර ගැනීම තරම් නරක දෙයක් තවත් නැහැ. මොකද උපන් දිනය දවසේ දී ගත වූ වසර තුළ ගන්නා ලද අවලස්සනම ඡායාරූපය සමඟ යහළුවාට සුබ පැතුමක් එක් කරන්නට හැම කෙනෙක්ම පාහේ සැදී පැහැදී සිටිනවා. මේ ආකාරයට අපේ කිසියම් දත්තයක් වෙනත් කෙනෙක් සතුව තිබීම එතරම් සුබදායී නොවේ. වෙනත් කෙනෙක්ගේ දත්තයක් අනවසරයෙන් තම සතුව තබා ගැනීමත් සදාචාරාත්මකව මෙන්ම නීතිමය වශයෙන් ද සාධාරණීකරණය වන්නේ නැහැ. කාලය ඉක්මවා යත්ම දත්තයක වටිනාකම අඩුව යතැයි යන ස්වර්ණමය නීතිය ජීව දත්තයකට අදාළ වන්නේ ජීවිත කාලය ද ඉක්මවා පරම්පරා ගණනාවක් ගත වී එවන් පුද්ගලයෙකු ජීවත් වූවාදැයි ලෝකයටත් අමතකවූ පසුවයි. ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් එම කාලය තවත් දීර්ඝ වෙනවා. අදටත් ප්‍රවෘත්ති හරහා මෑත අතීතයේ අයගේ ජීවිත කථා පරම්පරා ගණනාවකට පසු හෙළි වී ඔවුන් ගොඩනගාගත් ප්‍රතිරූපය දෙදරා යන්නට තරම් අගතිමය තත්ත්වයන් උදාවනු දකින්නට ලැබෙනවා. මේ අනුව අපි නිතර භාවිත කරන ගූග්ල් සහ ෆේස්බුක් සතුවත් අපේ සෑම දත්තයක්ම තිබෙන නිසා එම සමාගම් විසින් ඒවා අවභාවිත කොට අපට තර්ජන එල්ල කළ හැකි දැයි බොහෝ දෙනා කතා වෙනවා.

ගම්වල අවට නිවෙස්වල හැම තොරතුරක්ම දැනගන්නට හැම නිවසක්ම ප්‍රිය කරන්නා වගේ රට රටවල් අතරත් එවන් තත්ත්වයක් තිබෙනවා. කිසියම් රටක් අපව අභිබවා යනවා ද, න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ වෙනවාද, කුමන්ත්‍රණයක් සැලසුම් කරනවා ද, රටවල් අතර ඇති ව්‍යාපාරිකමය බැඳීම් පළුදු කොට ස්වාධීන වන්නට රටක් සූදානම් වෙනවා ද ආදී වශයෙන් තානාපතිවරුන් සහ රහස් ඔත්තු සේවා හරහා දැනගන්නට ඔවුන් උනන්දු වෙනවා. අතීත ලෝක යුද්ධ කාලවලදීත් CIA, KGB වැනි සේවාවන් බිහි වුණේ තමාට විරුද්ධව එල්ල විය හැකි අනිත් රටේ ඕපාදූප ටික දැන ගැනීමට සහ දුර්වල ස්ථාන හඳුනාගෙන ඒවා තම වාසියට පෙරළා ගැනීමටයි. මේ වෙද්දීත් ඇමරිකාව, රුසියාව, කොරියාව සහ වාසි පැත්තට හෝයියා කියන්නට බලා සිටින චීනය වැනි ලොව බලවත් රටකැයි පෙන්වා ගන්නට උත්සාහ දරන රටවල් සමූහය සීතල යුද්ධයක් ගෙනියන්නේ තමාට එල්ල විය හැකි අභියෝගයන්ට නොසැලෙන්නේ යැයි, ස්වාධීන වන්නේ යැයි පෙන්වීම සඳහායි. නමුත් මේ හැම රටක්ම ගහ බැණ ගන්නේ ඇමරිකාව තුළ ම ඇති සහ එය නිජබිම කරගත් සමාජ සේවා වෙබ් අඩවි භාවිත කරගනිමින්. ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් ආදී ප්‍රධාන සමාජ සේවා හැම එකක්ම පාහේ ඇමරිකානුවන්ගේ අතින් බිහිවී එරට සර්වර්වලම ස්ථාපනය කරන ලද ඒවා නිසා ඒ සියලු දත්ත තිබෙන්නේ ඔවුන් සතුවයි. එනිසා සදාචාරය ඉක්මවා ගිය ඒකාධිපතිමය අවස්ථාවකදී කිසියම් රටකට අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මාධ්‍යයන් සියල්ලට සීමා පණවන්නට ඊට හැකියාව තිබෙනවා.

අපේ අතේ තිබෙන ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නූතන හිමිකරුවා ගූගල් සමාගමයි. අප එය මත භාවිත කරන ගූගල් ගිණුම, කන්ටෑක්ට්ස්, ජීමේල්, ක්‍රෝම්, මැප්ස් ආදී ඇප්ස්වල නිර්මාතෘ වන්නේ ද ගූගල් සමාගමයි. ගූගල් ගිණුම සහ කන්ටෑක්ට්ස් සතුව අපේ ස්ත්‍රී/පුරුෂභාවය, උපන්දිනය, භාවිත කරන දුරකතන අංක ආදී ජීවන තොරතුරු සහ ෆෝන්බුක් එකේ ඇති මිතුරන්ගේ සියලුම දුරකතන අංක අඩංගු වෙනවා. ජීමේල් වෙත අපේ සියලු ගිණුම් සබඳා ඇති අතර අනිකුත් පෞද්ගලික හා රාජකාරී ලිපි පැමිණෙන්නේ එය වෙතයි. ගූගල් මැප්ස්වලට චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් ඔබ සිටිනා තැන පෙන්වන්නට හැකි නිසා ගූගල් සමාගමට ඒ හරහාම ඔබ සිටින ස්ථානය දැන ගැනීමේ අවස්ථාව ද ලැබෙන්නේ නිතැතින්. ක්‍රෝම් වෙබ් බ්‍ර‍වුසරය හරහා අන්තර්ජාලය ගවේෂණය කරන විටත්, වෙනත් බ්‍ර‍වුසරයක් භාවිත කොට ගූගල් සෙවුමක් සිදු කළත් අපි සොයන්නේ මොනවාද සහ පිවිසෙන වෙබ් අඩවි සියල්ල දැනගන්නට ගූගල් සමාගමට අවස්ථාව ලැබෙනවා. එම වෙබ් අඩවිවල වෙබ් අඩවි නිර්මාණකරුවන් තමන්ට ලයික්ස් ගැනීම සඳහා යොදා ඇති ෆේස්බුක් කොටු තිබෙන නිසා ෆේස්බුක් සමාගමට ද ඔබ එම වෙබ් අඩවියට පිවිසුණු බව දැන ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ඡායාරූප අරගෙන ඒවා ෆේස්බුක් හෝ ගූගල් ෆොටෝස් වෙත උඩුගත කළාම ඒවාද ඔවුන්ට ලැබෙනවා.

මේ ආකාරයට බලන කල අපි කරන කියන සියලු දේත්, ඡායාරූප හා වීඩියෝ මෙන්ම ඇසුරු කරන අයගේ විස්තර, අපි වැඩිපුර ප්‍රිය කරන දේවල් ආදී සියලුම දේ දැනගන්නට මේ සේවාවන්ට හැකියාව තිබෙන අතර ඒවායේ ගිණුම් සකසද්දී ඔවුන්ගේ නියමයන් හා කොන්දේසි සියල්ලටම අපි වැඩිදුර නොසොයාම එකඟ වෙනවා. එම නිසා ඔවුන්ට ඕනෑම දෙයක් කළ හැකැයි අපිට අනියත බියක් ඇති වුවත් මේ හැමදේම සිදු කරනු ලබන්නේ හුදෙක් වෙළෙඳ දැන්වීම් පෙන්වීම සඳහා ම පමණයි. අපේ වටිනා දත්ත නොමිලේම ගබඩා කර ගන්නට ඔවුන් ඉදිරිපත් වන්නේ අප ඒ වටා එක් රොක් කොටගෙන අපිව ඒ වෙත බැඳ තබා ගැනීමටයි. රසික සංඛ්‍යාව වැඩිවන විට වෙළෙඳ දැන්වීම් පළකරන ව්‍යාපාරිකයන්ට මේවා හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා.

එවිට ඔවුන් ගෝනි ගණනින් වෙ‍ෙළඳ දැන්වීම් පළ කරද්දී ඒවාට වැඩි මිලක් නියම කරමින් තම සේවා සැපයුම් වියදම් පියවාගෙන මඩිය තරකරගන්නටත් ගූගල්, ෆේස්බුක් වැනි සමාගම්වලට හැකියාව ලැබෙනවා. එනිසා අපේ දත්ත අවභාවිත කොට විශ්වාසය බිඳ දාගෙන තමන්ගේ ආදායම නැති කරගන්නට ඔවුන් කිසිදාක පෙළැඹෙන්නේ නැහැ. මෙසේ වෙළෙඳ දැන්වීම් පෙන්වීමේදීත් ආහාර ගැන ගූගල් සෙවුම් කරන, ඒ වර්ගයේ වෙබ් අඩවිවලට පිවිසෙන අයට ආහාර ගැන වෙළෙඳ දැන්වීම්, තාක්ෂණයට ප්‍රිය කරන අයට පරිගණකාශ්‍රිත වෙළෙඳ දැන්වීම් පෙන්වන්නට ඔවුන් කටයුතු කරන අතර අපේ ඕනෑ එපාකම් හඳුනාගන්නේ ඒ ආකාරයට වඩාත් උචිත වෙළෙඳ දැන්වීම් ගෙන ඒම සඳහායි. එවිට තාක්ෂණයට ප්‍රිය නොකරන කෙනෙක්ට බලෙන් පරිගණක උපාංග පෙන්වා කරදරයක් වීමට සහ වෙළෙඳ දැන්වීමට ලැබෙන ක්ලික් සංඛ්‍යාව අඩු කරගන්නට ඔවුන්ට සිදු වන්නේ නැහැ.

ගූගල් සහ ෆේස්බුක් මෙන්ම අන්තර්ජාලය හරහා නොමිලේ සේවාවන් සපයන බොහෝ සමාගම් අපගේ දත්ත තමයි අපෙන් මුදල් වෙනුවට ලබා ගන්නේ. ඒවා අපි එම සේවාවන්වල තැන්පත් කරන්නට නම් අන්‍යාන්‍ය අවබෝධයක්, විශ්වාසවන්තභාවයක් ගොඩනගා ගත යුතු වෙනවා. එවිට අපිට අපේ ගොනු, ඡායාරූප සහ කම්මැලිකම නිවා ගන්න වෙබ් සේවාවන් නොමිලේම ලැබෙනවා වගේම ඒවා සපයන ආයතනවලට තමන්ගේ වියදම් පියවාගෙන ව්‍යාපාරය කරගෙන යන්නටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා දෙපාර්ශවයටම මෙයින් වාසි සැලසෙන අතර කිසිසේත්ම මේ අරභයා අනියත බියක් ගොඩනගා ගත යුතු වන්නේ නැහැ.

අන්තර්ජාලය වසා දැමීම

$
0
0
පෙබ 3, 2018 01:00
මංජුලා විජයරත්න

උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට වැටෙන තුරුම මිනිසාට තොරතුරු අවශ්‍ය වේ. එක් එක් අයට ඒ ඒ අයගේ තරාතිරමේ සහ වෘත්තියේ හැටියට තොරතුරු වුවමණාය. කෙටියෙන් කිවහොත් කන බොන දේ, ආශ්වාස කරන වාතය තරමටම මිනිසාට තොරතුරුත් අවශ්‍යව ඇත. තොරතුරු ගලා එන ප්‍රධානම ප්‍රවාහන අන්තර්ජාලයයි. ඒ නිසා අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි මෙවලමක් වී තිබේ. එසේ වුවත් ලෝකයේ ඇතැම් රාජ්‍ය අන්තර්ජාල භාවිතය තම රට වැසියන්ට සීමා කරන බව ඔබ දන්නවාද?

2017 වසර තුළදී පමණක් අසූ වරක් අන්තර්ජාලය ක්‍රියා විරහිත කරන්නට ලෝකයේ විවිධ රටවල් පියවර ගත් බව සඳහන් වේ. එයට පෙර වසරේදී නම් අන්තර්ජාලය ක්‍රියා විරහිත කෙරුණේ 56 වරක් පමණි. මේ අනුව බලනවිට පෙනෙන්නේ අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීම එන්න එන්නම වැඩි වන බවකි. එයට එරෙහිව කටයුතු කරන්නෝ හෙවත් ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නෝ දැන් පෙළ ගැසී සිටිති. ඔවුන් පවසන්නේ අන්තර්ජාලය “ෂට් ඩවුන්” කිරීමේ හෙවත් ක්‍රියා විරහිත කිරීමේ ප්‍රවණතාව වැරදි දිශාවකට මේ වනවිට ගමන් ගනිමින් තිබෙන බවකි.

වාර්තාවන්හි සඳහන් වන තොරතුරුවලට අනුව කැමරොන් රජ්‍යයයේ ජනතාවට අන්තර්ජාලය භුක්ති විඳීමට ඇති ඉඩකඩ එරට බළධාරීන් අවස්ථා රාශියක දී සීමා කර ඇත. මේ අවහිර කිරීම්වලට තුඩු දී තිබෙන්නේ කැමරොන් රාජ්‍යයයේ ප්‍රදේශ කිහිපයක් පුරා හටගෙන ඇති නොසන්සුන්තාවයකි. ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා භාවිතය සම්බන්ධයෙන් එරට ප්‍රදේශ කිහිපයක මේ අර්බුදකාරී වාතාවරණය හට ගෙන තිබේ. මේ නිසා පසුගිය වසරේ අග භාගයේ සිට රට තුළ ප්‍රබල උද්ඝෝෂණ පැන නැඟෙමින් ඇත. උද්ඝෝෂණ පැන නැඟෙන්නට පටන් ගැනීමත් සමඟම එරටෙහි තොරතුරු ගලනයට වැට කොටු බැඳීමට බළධාරීහු පියවර ගත්හ. එරට ප්‍රදේශ කිහිපයක වෙසෙන ජනයාට සමාජ වෙබ් අඩවිවලට පිවිසීමේ අවස්ථාව පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා අහිමිව ගොස් ඇත. ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්අප් ද එහි අවහිර කර තිබේ. 2017 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී ද අන්තර්ජාල පහසුකම් එරටෙහි ක්‍රියාත්මක නොකෙරිණ. මිනිසුන්ට තොරතුරු දැන ගැනීමට ඇති ඉඩ මාස ගණන් අවහිර කර තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, මානව හිමිකම් සංවිධානත් දැඩි සේ හෙලා දකී. එසේ වුවත් එම වාරණය මඩින්නට ඉන් එහාට කළ හැකි දෙයක් නැත.

තම රට තුළ අන්තර්ජාලය අක්‍රිය කිරීමට පියවර ගත් එකම රට කැමරොන් රාජ්‍යය නොවේ. චීනය අන්තර්ජාල වාරණය පවත්වාගෙන යන්නේ නෛතික ආවරණයක් ද සහිතවය. මේ නිසා ඇතැම් විදෙස් වෙබ් අඩවිවලට පිවිසීම චීන ජාතිකයන්ට (චීනය තුළ වෙසෙන්නන්ට) අසීරු වී ඇත. ගූගල් පිවිසුම සහ ෆේස්බුක් පිවිසුම එහි අක්‍රිය කර තිබේ. චීනයේ ක්‍රියාත්මක විදෙස් සමාගම්ද මේ නීති රීතිවලට අනුගතව ක්‍රියා කළ යුතුය. “ග්‍රේට් ෆයර්වෝල් ඔෆ් චයිනා” නැමැති වැඩපිළිවෙල හරහා අන්තර්ජාල භාවිතය නියාමනය කිරීමේ වැඩපිළිවෙල එරට තුළ තව දුරටත් තදින් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.

සිරියාව, වසර හතකට ආසන්න කාලයක් පුරා යුද්ධයක පැටලී සිටින රාජ්‍යයකි. යුදමය වාතාවරණය ඇරඹීමත් සමඟම අන්තර්ජාලය වසා දැමීම එහිත් සුලභව සිදුවන්නක් බව සඳහන් වේ. ඒ හැරුණු විට ඉරානය, සුඩානය, මියැන්මාරය, ඉතියෝපියාව, ඊජිප්තුව ආදී රටවල ද අන්තර්ජාල වාරණයන් විටින් විට පනවන ලදී. මේ රටවල ජනයා උද්ඝෝෂණ පවත්වන්නට මහා මංවලට පිවිසි බොහෝ අවස්ථාවලදී ඒ රටවල බළධාරීන් කළේ අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමයි. ඔවුහු එමඟින් තම රටවල තොරතුරු වෙනත් රටවලට ගලා යෑම එක් පැත්තකින් නවතා දැමූහ. තවත් පැත්තකින්, තම රටේ ජනයා අතර තොරතුරු හුවමාරුවට වැට බඳිමින් උද්ඝෝෂණ සහ නොසන්සුන්තා ප්‍රබල තත්ත්වයකට පත්වීම වළක්වා ගත්හ. ලොව විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය ලෙස හැඳින්වෙන ඉන්දියාවත් අන්තර්ජාලය “ෂට් ඩවුන්” කරන රටකි. ඉන්දීය බලධාරීන් කාශ්මීරය සම්බන්ධයෙන් එවැනි තීරණ වැඩිපුර ගෙන තිබෙන බව අමතක කළ නොහැකිය. මතභේදයට තුඩු දුන් කැටලෝනියා ජනමත විචාරණයේ තොරතුරු මහජනයා අතට පත්වීම වැළක්වීමට ස්පාඥ්ඥය රාජ්‍යයත් වෙබ් අඩවි රාශියක් අක්‍රිය කර දැමුවේය. මේ අනුව, ලෝකයේ රාජ්‍යයන් රැසක් මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති මාර්ගයක් වන අන්තර්ජාලය වසා දැමීමට ක්‍රියාකර ඇති බව පෙනේ.

කිසියම් රාජ්‍යයක් අන්තර්ජාලය “ෂට් ඩවුන්” කරන්නට පියවර ගතහොත් එරට තුළ වසන ජනතාවට, එහි ඇති සමාගම්වලට මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවටත් ඒ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැති බව බොහෝදෙනෙකු පිළිගන්නා සත්‍යයකි. එහි අරුත, මිනිසාගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා පැනවෙන බව දැන දැනත් මුනිවත රකිමින්ම මිනිසා සිටිය යුතු බව නොවේද?

අල් ජසීරා ඇසුරෙනි

පෘථිවියේ මල් කළඹක්

$
0
0
පෙබ 3, 2018 01:00

සෝවියට් ලේඛක මිහයෙල් පොකොව්

1944 දී උපත ලැබූ පොකොව් මොස්කව් භෞතික සහ තාක්ෂණික ආයතනයේ පුහුණුව ලැබුවේය. ඔහුගේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ වූයේ 1968 දී ය. ඔහුගේ වැදගත්ම විද්‍යා ප්‍රබන්ධ කෘතිය පළ වූයේ 1977 දී ය. එම කෘතියේ එන කතා සියල්ලම පාහේ විදේශ භාෂාවලට පරිවර්තනය වී ඇත.

සිසිල් වාතයෙන් යුතු ආලින්දයේ කෙළවර ඉහළ මාලවලට නගින පියගැට පෙළ ඉහළින් ආයතන අධ්‍යක්ෂ යනුවෙන් සඳහන් පුවරුවක් එල්ලා ඇත. චර්නොව් දොර තල්ලු කර විවෘත කළේය. එහි ඇති විශාල කවුළුවෙන් පිටත පල්ලිවල ගෝලාකාර ශිඛර දක්නට ලැබුණේ ගස්වැල් අතරිනි. කවුළුව අසල මේසය ඉදිරිපිට අඳුරු උපැස් යුවළක් පැලඳගෙන තරුණයෙක් අසුන් ගෙන සිටියේය. ඔහු චර්නොව් දෙස අප්‍රසන්න බැල්මක් හෙළුවේය.

'ඔබට අවශ්‍ය මොනවාද?'

'මට අධ්‍යක්ෂවරයා සමඟ කතා කරන්න අවශ්‍යයි'

'ඔබට අවශ්‍ය මොනවාද?'තරුණයා නැවතත් ප්‍රශ්න කළේය. එම කාමරයට ඇත්තේ එකම දොර‍ටුවක් බවත් තමා ඇතුළු වූයේද එම දොර‍ටුවෙන් බවත් ඔහු වටහා ගත්තේ තරමක් ප්‍රමාදවයි.

'ඔබද මෙහි අධ්‍යක්ෂවරයා?'

'අධ්‍යක්ෂවරයා පිට ගිහින්. මේ නිවාඩු කාලය. ඒ නිසා හැම කෙනෙක්ම නිවාඩු ගිහින්. ග්‍රීෂ්ම උණුසුම.....ඔබට වැටහෙනවානෙ. මම ඔහුගේ සහායකයා. මගෙ නම් බුන්යාක්'ඔහු අතට අත නොදීම තමාව හඳුන්වා දුන්නේය. 'ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද?'චර්නොව් නිහඬ විය.

'වාඩිවෙන්න'බුන්යාක් පැවසුවේය. ඔහු අමුත්තන් සඳහා වෙන් කළ අසුනක සුවපහසු ලෙස වාඩි විය. බුන්යාක්ගේ මුහුණේ මිත්‍රත්වයේ සලකුණක්වත් නැත. 'රස්සාවක් හොයාගෙනද?'

චර්නොව් නිහඬවම ඔහු දෙස බැලුවේය. ඔහු තරුණයෙක් වුවත් දැනටමත් සහකාර අධ්‍යක්ෂ තනතුරකට පත්ව සිටියි. බොහෝ විට වෘත්තිකයෙක් විය හැකිය. මේ ගැන සිතන විට ඔහුට සිහිපත් වූයේ වර්තමානයේ සියල්ල අලුත් වී සහ උද්යෝගිමත් වී ඇති බවයි. බුන්යාක් බලා සිටියේය.

'නැහැ'අන්තිමේ චර්නොව් පැවසුවේය. 'මම ගගනගාමියෙක් මම......'

'දිගටම කියන්න අවශ්‍ය නැහැ. මම ඔක්කොම දන්නවා'බුන්යාක් බොත්තමක් ඔබා තිරය විවෘත කර ඒ දෙස බලා සිටියේය. එහෙත් චර්නොව්ට එය නොපෙනිණි. 'චර්නොව් ඇනටෝලි වසිලියාවිච් - ජාතිය: රුසියන්, උපත - 1996 , වෘත්තිය - ගගනගාමී, පෘථිවිය හැර ගියේ - 2020, ආපසු පැමිණියේ - මසකට පෙර. ඔවුන් ඔබට කියන්නට ඇති තමන්ගෙ ජීව දත්තත් ‍රැගෙන යා යුතු බව'

'ඒත් මම හිතුවේ ඒක අංකයක් විතරයි කියලා. අංකවල සම්බන්ධතාවක්. ඊට වැඩි දෙයක් නැහැ'

'ඔව්'බුන්යාක් සිනාසුනේය. 'මේවගෙ උපාංග හැම තැනම සවි සවිකරල තියෙනවා. ඒකෙ ඔබගෙ අංකය ලියාපදිංචි වෙලා තියෙනවා. දත්ත බැංකුවක වගේ තොරතුරු ගබඩා වෙලා තියෙනවා. පෘථිවියේ සෑම නගරයකම මේවා තියෙනවා. ඒත් ඔබ මා වෙත ආවෙ ඒ විස්තර අහන්න නෙවෙයිනේ'

'නැහැ'චර්නොව් කීවේය. බුන්යාක් බලා සිටියේය.

'මම දුෂ්කර ගමනකට පස්සෙයි ආපහු ආවේ.'චර්නොව් පැවසුවේය. 'පෘථිවියේ ශත් වර්ෂ දෙකක් ගතවෙලා තියෙනවා. අපි පෘථිවියෙන් පිටත් වෙලා යනවා දැකපු සියලු දෙනාම මිය ගිහින්'

'මට වැටහෙනවා'බුන්යාක් පැවසුවේය.

'මාම ආපහු ආවාහම ඔවුන් මාව ‍රැගෙන ගියා කෙටිකාලීන හදිසි පාඨමාලාවකට. එහිදී මා නොසිටි කාලේ ලබා තිබූ තාක්ෂණික ජයග්‍රහණ ගැන ඉගැන්වුවා'

'ඔව්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය'බුන්යාක් හිස සැලුවේය.

'දේශනවලදී මට දැනගන්න ලැබුණා ඒ කාලයේ අපි සිහිනයකින් නොසිතූ දේවල් කිරීමට නවීන විද්‍යාව සමත් වෙලා තියෙනවා කියලා'

'පුදුමයක් නෙවෙයි. ශත වර්ෂ දෙකක්ම ගත වෙලානේ'බුන්යාක් කීවේය.

'මට දැනගන්න ලැබුණා වෛද්‍ය විද්‍යාවෙ වෙනස්කම් ගැන. ඔවුන් පිළිකාවලට ප්‍රතිකාර සොයාගෙන. සුව කරන්න බැරි අසනීපයක් දැන් ඇත්තෙ නැහැ'

අමරණීයත්වය පිළිබඳ ගැටලුව විසඳන්න විද්‍යාව උත්සාහ කරනවා'බුන්යාක් හිස සැලුවේය. 'මියගිය අය නැවත පණ ගන්වන ක්‍රමයක් සංවර්ධනය කරන බව මට දැනගන්න ලැබුණා. අඳුරු උපැස් යුවළ යට සැඟවී ඇති ඇස් ඇති බුන්යාක් නිහඬ විය. 'මට දැනගන්න ලැබුණා නැවත පණ ගැන්වීමේ ආයතනයක් මෙහෙ පිහි‍ටුවා තියෙන බව'

'ඔව්. ගල් ගැහිලා තියෙන ඇටයකින් වුණත්'බුන්යාක් කීවේය. 'ඉන්ද්‍රියක තියෙන සෑම සෛලයකම සමස්ථ ඉන්ද්‍රිය පද්ධතිය ගැනම තොරතුරු අඩංගු වෙලා තියෙනවා. අපේ පණ ගැන්වීමේ ක්‍රමය පියවර දෙකකින් යුක්තයි. ඉතාම දුෂ්කර කාර්යය සෛලය නැවත පණ ගැන්වීමයි. දෙවන පියවර එයින් ඉන්ද්‍රිය පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. ඒක විශාල ශ්‍රමයක් සහ කාලය ගතවෙන කාර්යයක්. ඒත් සරලයි. ඇන්ටාර්ක්ටික්වල වාසය කළ මැමත්ලව නැවත පණ ගැන්වීමට අපි භාවිත කරන ක්‍රමය ඒකයි'

බුන්යාක් විරාමයක් ගත්තේය.

චර්නොව්ට නැවත කතා කිරීමට දිග වෙලාවක් ගත විය.

'මැමත්.....මට වැටහෙන්නෙ නැහැ. නැවත පණ ගැන්වීමට සුදුසු මීට වඩා වැදගත් දේවල් නැද්ද?'

'ඔබ එයින් අදහස් කළේ මොකක්ද?'

'මිනිස්සු.....ඔබගෙ දේශනයෙන් මට වැටහුණේ ඔබ නැවත පණ ගන්වන්න උත්සාහ කරන්නෙ විනාශ වෙලා ගිය අති විශාල සත්වයන් කියලා. නැවත පණ ගැන්වීම ගැන අහනවට වඩා මෙම කාරණය අහල මම තිගැස්සුණා. එහෙම නැත්නම් මම කිසිවක් වරදවා වටහා ගත්තද?'බුන්යාක් පිළිතුරු නොදුන්නේය.

'මම ආපහු ඇවිත් තාම ගතවෙලා තියෙන්නෙ මාසයයි'

චර්නොව් කීවේය. 'මම මෙහෙ තියෙන දේවලට කැමති නැහැ. ඒක ස්වාභාවිකයි. මැමත්ලව පණ ගැන්වීම ගැන මම වැ‍රැදි අදහසක් ඇති කර ගත්තද කියල මට කියන්න. මම යන්නම්'

බුන්යාක් උපැස් යුවළ ඉවත් කළේය. ඔහුට ඇත්තේ ගෙවී ගිය ඇස් දෙකකි. ඒවා කිසිසේත්ම තරුණ ඒවා නොවේ.

මතු සම්බන්ධයි.

අනුවාදය
බොබී ජී බොතේජු


තාක්ෂණයෙන් කේන්දර බැලීම

$
0
0
පෙබ 3, 2018 01:00

ඉස්සර නම් කාලගුණ ප්‍රවෘත්ති අහලා වහිනවා කිව්වොත් කුඩේ තියලා යන, වහින්නෙ නෑ කිව්වොත් කුඩේ අරගෙන යන පුරුද්දක් තිබුණට මේ පහුගිය කාලෙම අපරාදෙ කියන්න බෑ, හරි හරියට කාලගුණේ අනාවැකි කියනකොට ඇති වුණ හීන් ආඩම්බරකම නිසා අද කොලම වෙන්වෙන්නෙ තාක්ෂණයත් එක්ක අපි කොහොමද අනාවැකි කියන්නෙ කියලා කතා කරන්න.

මේ අනාවැකිවලට කාලගුණේ විතරක්ම නෙමෙයි අත බලලා සාස්තරේ කියනවාත් අදාළයි. ලංකාවට ආපු සුනාමිය ගැන අනතුරු ඇගවීම අපට නිවැරදිව එදා ග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණා නම් මාරයාට ඔය තරම්ම සෙනගක් බිලි අරගන්න බැරිවෙන්න තිබුණා. ඉන්දියාවට උඩින් එල්ලපු අලුත් චන්ද්‍රිකාවත් එක්ක අපිට දැන් හරි හරියට නිවැරදි කාලගුණ දත්ත වාර්තා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කෙටි පණිවිඩ, වට්සැප්, වයිබර් වැනි ක්‍රම මඟින් කාලගුණ විපර්‍යාස පිළිබඳ ඉස්සරට වඩා දැන් බොහෝ දැනුවත් කිරීම් සිද්ධ වෙනවා. මේ වගේ සක්‍රීය සහ වේගවත් දැනුවත් කිරීම් නැත්නම් අපි හැමදාමත් කැළැඹුණු බෙංගාල බොක්කෙ ගොදුරු බවට පත්වෙනවා. මේ උත්සාහයන්ගේ වටිනාකම සහ වැදගත්කම තමයි ඒ දැනුවත් කිරීම් නිවැරදිව සහ විධිමත්ව කරගෙන යාම.

අනාවැකි කිව්වම කාලගුණ අනාවැකිවලට වඩා කාටත් මතක් වෙන්නෙ ලෝක විනාශය ගැන කියන අනාවැකි, ලෝක පාපන්දු තරග කාලෙට මතුවෙන් අපූරු අනාවැකි, උදේ හවා අපේ කේන්දරේ ගැන කතා කරන අය කියන අනාවැකි වගේ දේවලුයි. ඔන්න කාට හරි ඕනෙ නම් තමන් ඉපදුණු දිනය වෙලාව අනුව කේන්දරේ විස්තර එහෙම දැනගන්න, ඉස්සර වගේ කේන්දර බලන කෙනෙක් ගාවට යන්න ඕනෙත් නැති තරම්. අපි තාක්ෂණයත් එක්ක, නව දැනුමත් එක්ක ඉදිරියට යද්දි ආදි කාලෙ ඉදන් පැවතගෙන එන කේන්දරය වගේ දේවලුත් කාලෙට තාලෙට වෙනස් වෙලා අපූරුවට අපේ ජිවිත තුළට පුනරාගමනය කරලා තිබෙනවා.

තමුන්ගේ උපන්දිනයත් උපන් වේලාවත් අරගෙන ඉන්ටර්නෙට් එක දිහාට රිංගලා බැලුවෝතින් තමුන්ගෙ කේන්දරය කියවා දෙන වෙබ් අඩෙවි ඕනෙ තරම්. මේ වෙබ් අඩවිවල විවිධ පහසුකම් සලසා දෙනවා. සතියට ලග්න පලාපල, දිනට ලග්න පලාපල විතරක් නෙමෙයි, ඔයා කැමති නම් චීන ක්‍රමේට ඔයාගෙ ලග්නය දැන ගන්න, එහෙම නැත්නම් මායා ශිෂ්ටාචාරයේ ක්‍රමයට ඔයාගෙ අනාගතය කොයි වගේ එකක් වෙයිද කියලා දැනගන්න ඒ පහසුකම් සේරම මේ වෙබ් අඩවි විසින් සපයනු ලබනවා. ඒ විතරක් නෙමෙයි, ඉන්දියානු ක්‍රමයට, අංක ගණිතය ක්‍රමයට, අල්ලෙ රේඛාවලින් වගේ නොයෙකුත් ක්‍රමවලින් ඔයාට අනාගතය කියන්න මේ වෙබ් අඩවි සූදානම්.

ටිකක් මිල මුදල් අතේ ගැවසෙන උදවියට නම් මුදල් ගෙව්වොත් පෞද්ගලිකවම කේන්දර විස්තර ඊමේල් කරන වෙබ් අඩවි තිබෙනවා. මේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ විදේශීය ෙජ්‍යාතිෂකරුවන් විසිනුයි. ඒවායේ ලියාපදිංචි වුණාම මාසෙකට සැරයක් ඊමේල් මඟින් අලුත් විස්තර දැනුම් දෙනවා. ඒත් කොටසක් විතරයි නොමිලේ සපයන්නෙ. ඉතිරිය අපි මිලදී ගන්න ඕනෙ. අපට නම් ග්‍රහ දෝස යන්න පාට හතෙන් මල් වට්ටි හතයි, සෙත් වේවා, දෝෂ දුරු වේවා කියලා කොඩි එල්ලන වත්පිළිවෙත් කරන්න කියලා රෙකමදාරු කරනකොට, ඉංග්‍රීසියෙන් කේන්දර බලන අය මොනවා මොනවා කරන්න කියනවා ඇත්ද කියා දැනගන්න තිබුණා නම් ඒ තොරතුරු බොහෝම රසවත් වෙන්න තිබුණා.

කේන්දර ගැන විස්තර කියන්න විතරක් නෙමෙයි, ඉංග්‍රීසියෙන් කේන්දර ගලපන්න පුළුවන් වෙබ් අඩවිත් තිබෙනවා. අදාළ පුද්ගලයෝ දෙන්නගෙ උපන්දින, වෙලාව සහ තව කරුණු කීපයක් ඒ මෘදුකාංගවලට ඇතුළත් කළාම, මේ ජෝඩුව කොයි තරම් අපූරුවට කැපෙනවද හතර කේන්දරේම පාලුද කියලා දැන කියාගන්න පුළුවන්. දැන් අපි හරි දියුණුයි කියද්දි, අපි දැන් ඉන්නෙ ස්මාට් ලෝකෙක කියද්දි ඉස්සර කාලෙ තරු බලලත් ඔය විස්තර ටිකම කියාපු සෘෂිවරු, නැකැතියෝ අපි දිහා කොහේ හරි ඉදන් බලාගෙන ඔලොක්කුවට වගේ හිනා වෙනවා නම් ඒ ගැන හිත රිදෝගත්තේ නැති වුණාට කමක් නෑ.

ඒ කොයි කෙසේ වෙතත් රටක ආපදා කළමණාකරනයේ සිට කේන්දරේ බලා ගැනීම දක්වා වැදගත් හැම කාරණාවකදිම අපි ළඟින් ඉන්න මේ තාක්ෂණික දියුණුව අපව ඉදිරියට ගෙනියනවාද එහෙම නැත්නම් එක තැන රවුමට රවුමට අරගෙන යනවාද කියන එක නම් අපේ ලෝක බෝලෙ කේන්දරෙන්ම බලාගත යුත්තක්.

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 

පොදු ප්‍රවාහනයේ දුෂ්කර ක්‍රියාව

$
0
0
පෙබ 3, 2018 01:00

ප්‍රේමය පසෙක හිඳ නිරීක්ෂකයෙකු ලෙස බැලීමේ දී ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය යනු අන් රටවල් හා සසඳන කල මෙලෝ රහක් නැති සේවයකි. සුදු මහත්වරුන්ගේ රටවල මේ යකඩ ගොඩවල් දෝ යි සිතා ගැනීමට බැරි තරම් හුරුබුහුටි බස් රථ සහ දුම්රිය ඇත. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහන සේවයට හැඟීම් දැනීම් ඇත. ඒ වටා නිර්මාණය වුණ අතිසුන්දර සංස්කෘතියක් ද ඇත. කීමට කතන්දරත් දැකීමට බොහෝ දේවලුත් ඇත. මේ සියල්ල තමන්ගේ කර ගැනීමට නිරීක්ෂකයාගේ භූමිකාවට සමුදිය යුතු ය.

සියල්ලෙහි ඇති අඳුරු පැතිවලට පමණක් සංවේදී වන ඇන්ටනා ඇති ලාංකිකයන් හට කීමට ඇත්තේ වෙනස් ම කතාවකි. සෙනග පිරුණු බසයක ඇති වේදනාව, කාන්තාවන්ට වන අකටයුතුකම්, කිසිවෙක් ආසනයක් නොදීම, ප්‍රවේශ පත්‍රවල මිල ඉහළ යාම, බස් කොන්දොස්තරවරයාගේ හැසිරීම යනාදී කණ්ණාඩිවලින් වැසුණු ඇසකට පියවි ඇසින් ලබන චමත්කාරය දැකිය නොහැකිය. පොදු ප්‍රවාහන සේවයේ මගීන් වීම දුෂ්කර ය. ව්‍යවහාරයේ එන ආකාරයට එය බුදු කට්ටකි. හිණෙන් පහළ ලෙඩක් නැති අයෙකු පවා වෙහෙසට පත් කරවන්නකි. නමුත් කළු-සුදු ලෝකයක කළු පාට පමණක් හුවා දැක්වීම යුක්ති සහගත නොවේ.

යකඩ ගොඩකට වඩා මනුෂ්‍යයකුට කළ හැකි තරමේ ප්‍රේමයක් බස් රථයකට දුම්රියකට කළ හැකිය. මිනිසුන් පටවාගෙන එහා මෙහා ගෙන යාමේ දේවකාරිය සිදු කරන යකඩ ගොඩකට ප්‍රේම කිරීමට නොසිතේ නම් ඔහුගේ හදවත යකඩ ය. බස් රථයේ නම් කොන්දොස්තර තැනත් රියදුරු මහත්මයාත් සේවය වෙනුවෙන් සැදී පැහැදී සිටිති. සුළු අතපසුවීමට පවා නෝක්කාඩු නො කියා ඔවුන්ගේ කාර්‍යය අගය කිරීමට දිව නැමෙන්නේ නැති ගති ඇත. බසයේ එහා කෙළවර සිට මෙහා කෙළවර දක්වා සෙනග අතර සිරවෙමින්, මුළු දවසට ම හිඳ ගැනීමට අවස්ථාවක් නො ලබා හෙම්බත් වන කොන්දොස්තරට අප දක්වන ප්‍රතිචාරය ඉතුරු රුපියල ඉල්ලීමට වඩා යමක් විය යුතු ය.

ගමනේ අතරමගදී බස් රථයේ රියදුරාගේ පටන් මගියා තෙක් සියල්ලන් අපේ නෑදෑයන් බවට පත් වෙයි. මින් පෙර දැක නොමැති සම්පූර්ණ ආගන්තුකයන් වුවත් බස් රථයකට ඥාතීත්වය ඇඟට ඒමට යන්නේ තත්පරයකි. අයියා, අක්කා, නංගි, මල්ලී, නැන්දා සහ මාමා යන වශයෙන් මෙහි වපසරිය පුළුල් වේ. කුමන සමාජ ස්ථරයකින් පැමිණිය ද බස් රථයක දී එක් පවුලක සමානයෙකි. ආගමික නායකයෙකු, ගැබිනියක, ආබාධිතයෙකු වයසක පුද්ගලයෙකු බසයට නැගි විට සිය අසුන පිරි නැමීමට තරම් පිටකොන්දක් සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම ඇත. එසේ කරනුයේ භාෂා ත්‍රිත්වයෙන් ආසන වෙන් කර ඇති බව දක්වන පාඨ නිසා නොව හදවතින් ම එන හැඟීමක් නිසා ය.

සුදු ජාතිකයන්ගෙන් අපට ලැබුණු හොඳ දෙයකි රේල්ලුව. ශ්‍රී ලංකාවේ පරිසරය අතින් මෙන් ම මිනිස්සුන්ගේ ද ලස්සන ඇති සැටියෙන් අත්විඳීමට නම් වරක් හෝ දුම්රියකට ගොඩ විය යුතු ය. බස් රථයක මෙන් ම දුම්රියට ගොඩ වන්නේ ද ආගන්තුකයන් ය. එය සාපේක්ෂව දිගු ගමනකි. ඒ කාලය මුළුල්ලේ ම එකට සිටින නිසා දුම්රිය ගමන යනු මිනිස් සබඳතාවල තෝතැන්නකි. කඳු පල්ලම් මැදින් යන ගමන පුරා රේල්පාර දෙපස සිටින අයට අත වැනීමෙන් ලබන ප්‍රීතිය නිම්හිම් නැත. ඒ සංස්කෘතියේ ඇති හෘදයාංගම බව හදවත කරුණාවෙන් බර කරවයි.

අඳුරකට ඉඩක් ඇත්තේ එළියක් ගැන බලාපොරොත්තු මාත්‍රයක්වත් නැති විට ය. පික්පොකට්කාරයන් සහ ලිංගික හිංසකයන් පොදු ප්‍රවාහන සේවයෙන් මුලිනුපුටා දැමිය හැක්කේ ප්‍රවාහන සේවය කෙරේ අපේ ඇති ආකල්පවලට ය. වැඩ ඇරී කොටුවෙන් කිටි කිටියේ කෝච්චි පෙට්ටියකට රිංගන ජීවිතය සැප පහසු වාහනයකට වඩා ජීවිතය කියා දෙයි. අවසානයේ ඒ සැප යථාර්ථයක් කරන්නේ ද ඒ ජීවිත පාඩම ම ය.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

චිකාගෝ සෙල්ලම්

$
0
0
පෙබ 3, 2018 01:00
චම්පිකා දීපානි රණසිංහ
පස්සට ගලන ගඟ

චිකාගෝ කී සැණින් අපේ මතකයට නැගෙන්නේ හොරකමට රුසියන්ය. එහෙත් විසිඑක් වැනි සියවසේදී එසේ සිතුවොත් එය චිකාගෝවට වැඩි සොරුන් සිටින දේශයක සිට කරන නිගරුවකි. එහි පාතාල ලෝකය හෙවත් පොළොවෙන් යට පිහිටි ලොව සොර තිප්පලක් නොවේ, කලාගාරයකි. එහි ආපන ශාලාවේදී කෝපි සුවඳ නාස් ඇති තරම් විඳිමින් ගමන් කරන්නකුට නෙතට රසඳුන් බඳු තැන් බොහෝය.

චිකාගෝවේ ව්‍යාපාරික නගරය වූ ලුප්හි භූගතව සැතපුම් 5 ක වංකගිරියක් ඇත. එහි නගර ශාලාව, චිකාගෝ සංස්කෘතික කේන්ද්‍රය ලෝ ප්‍රකටය. මේ මාර්ගය ඉදිකිරීම අරඹා ඇත්තේ 1951 දීය. එය කාලගුණයට ප්‍රතිරෝධී පෙදෙසකි. එක් එක් කොටස්වල වාතයේ වෙනස් උෂ්ණත්වයක් ඇති සේම වෙනස් ආලෝක තත්ත්වයන්ද පවතී.

පින්තාරු කළ වීදුරු සිතුවම් මෙහි ප්‍රදර්ශනය කෙරෙන්නේ වර්ෂ 2013 සිටය. බැට්මෑන් චිත්‍රපටයක් වූ ‘ද ඩාර්ක් නයිට්’ රූගතකර ඇත්තේ මෙහිදීය. මෙය පදික වේදිකාවකි. යන එන්නන් වීදුරුවල සිත්තම් වුණු ඩේසිමල්වල සුන්දරත්වය විඳ ගත්තේ ඩේසි සුවඳද විඳිමිනි. බොහෝ සිතුවම් ඇඳ ඇත්තේ අප්‍රකට චිත්‍ර ශිල්පීන්ය. නමුත් මකුළු දැල සිතුවම් කර ඇත්තේ සුප්‍රකට වීදුරු සිතුවම් අඳින්නකු වූ ලුවිස් කම්ෆෝට් ටිෆනිය. මෙහි පුස්තකාලයක්ද තිබේ. අවාසනාවකට චිකාගෝවේම වැඩි දෙනෙක් මේ චිත්‍රාගාරය ගැන දන්නේ නැත. එහෙත් මේ භූගත කලාගාරය එහි යන ඕනෑම සංචාරකයකු දැක බලාගත යුතු තැනකි. හොඳ දහසක් තිබියදී නරක එක් දෙයකට පමණක් චිර ප්‍රසිද්ධ වී ඇති චිකාගෝව ගැන ලොවම භූගත කලාගාරය තරමටම නොදන්නා තොරතුරු රැසක් තිබේ. ඉසින තීන්ත (ස්ප්‍රේ පේන්ට්) සොයා ගනු ලැබුවේ 1949 වසරේදී චිකාගෝවේදීය. චිකාගෝ ගඟ ලොව ආපස්සට ගලන එකම ගඟය.

අක්කර 35 ක පිහිටා ඇති ලින්කන් පාක් සත්වෝද්‍යානය උතුරු අමෙරිකාවේ ඉපැරැණිම සතුන් වත්තකි. එලෙසම එය ‍ෙලාව නිදහස් සත්වෝද්‍යාන අතරින් අවසන් සත්වෝද්‍යානයක්ද වේ. අමෙරිකාවේ ප්‍රථම ලේ බැංකුව නිර්මාණය වී ඇත්තේද 1937 දී අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරයි. මේ ලොව දීර්ඝතම වීදිය, සැතපුම් 23.5 ක් දිග මාවත වන ‘වෙස්ටර්න් ඇවිනිව්’ පිහිටි පුරවරය.

‘ටේස්ට් ඔෆ් චිකාගෝ’ ලොව විශාලම බාහිර එළිමහන් ආහාර උත්සවයයි. මිලියන 35 ක් වූ අමුත්තන් සංඛ්‍යාවක් වාර්ෂිකව මෙපුරවරයට පැමිණෙනි. ‘සෝප් ඔපෙරා’වල මූලාරම්භයත් මෙහිය.

ලොව පැරැණිම ජලජ ජීවියා සිටින්නේ චිකාගෝවේ ෂෙඩ් මින් මැදුරේය. ඔස්ට්‍රේලියාවේ ග්‍රෑන්ඩ්ඩැඩ් නම් ලන්ග්ෆිෂ් එම ජලජ ජීවියා වන අතර උගේ වයස අවුරුදු අනූවකට ආසන්නය.

1931 දී නොබෙල් ත්‍යාගය දිනා ගත් පළමුවැනි කාන්තාව ජේන් ඇඩම්ස් ජීවත් වූයේද චිකාගෝවේය. එපමණක් නොව අමෙරිකාවේ පළමු වැනි කළු ජාතික ජනාධිපති බැරැක් ඔබාමාගේ නිවහන ඇත්තේද චිකාගෝවේය. වෝල්ට් ඩිස්නි උපන්නේද මෙහිය.

පළමු සර්ව වර්ණ රූපවාහිනි මධ්‍යස්ථානය 1956 දී චිකාගෝවේ සාදන ලදී. වැකුම් ක්ලීනරය 1868 දී චිකාගෝවෙහිදී නිර්මාණය වූවකි.

මුලින්ම අහස සූරන මැදුරකට හිමිකම් කීවේ 1885 දී චිකාගෝවේ ඉදිවූ තට්ටු නවයකින් යුතු හෝම් ඉන්ෂුවරන්ස් ගොඩනැගිල්ලයි. රොටරි සමාජය බිහිවූයේද මෙහිය. පළමු ජංගම දුරකථනයේ නිර්මාතෘ මාටින් කූපර් චිකාගෝවේ උපත ලැබූවෙකි.

චිකාගෝ‍ව 1893 දී ලෝ ප්‍රකට වූයේ අමෙරිකාවේ ප්‍රථම විවෘත හදවත් සැත්කම සිදුකෙරුණු නිසයි. අද මුළු ලොවම එකසේ රසවිඳින පීසා රසයේ මුලද මෙතැනයි. ලොව විශාලම නාගරික පුස්තකාලය පොත් මිලියන 6.5 ක් පමණ ඇති 1991 විවෘත කළ හැරල්ඩ් වොෂින්ටන් පුස්තකාල මධ්‍යස්ථානයයි. එයද චිකාගෝ වැඩකි.

බිස්කට් හා අයිස්ක්‍රීම් ලෝලීන්ට චිකාගෝ අමතක කළ නොහැක්කේ නැබිස්කෝ කුකී, ක්‍රැකර් කම්හලක්, කීබ්ලර් අයිස්ක්‍රීම් කම්හලක් එහි පිහිටා ඇති නිසාය.

අවශ්‍ය විට දිග හැරිය හැකි ඇකිළිය හැකි පාලම් තිබෙන්නේද චිකාගෝවේය.

අපරාධවලට ප්‍රසිද්ධ චිකාගෝ මොන තරම් යහපත් දේ ඇති නගරයක්ද? ලුනු බිම චිකාගෝ නමේ අරුතයි. අමෙරිකාවේ මේ තෙවැනි විශාලම නගරයේ අලංකාරය නැරඹීමට වසරකට මිලියන 52 ක ජනකායක් ඇදී එති.

අන්තර්ජාලයනි.

කාබුල් හෙල්ලෙයි

$
0
0
පෙබ 3, 2018 01:00
මංජුලා විජයරත්න

පසුගිය දවස් නවයක, දහයක කාලය තුළ ලෝක ජනමාධ්‍ය සේවාවන් වැඩිම වාර ගණනක් වාර්තා කරන්නට ඇත්තේ ඇෆ්ඝනිස්ථානය සම්බන්ධ පුවත්ය. මේ පුවත්වලින් වාර්තා වුණේ කෙනකුට දරන්නට බැරි තරමේ ප්‍රසන්න සහ අමානුෂික කාරණා බව රහසක් නොවේ. එක දිගට කෙරුණු ත්‍රස්ත පහරදීම් ඒ වාර්තාවන්ට විෂයය වී තිබිණ. ප්‍රහාරවලින් බහුතරයක් සිදුවුණේ ඇෆ්ඝනිස්ථානයේ හදවත ලෙස සැලකෙන කාබුල් අගනුවර තුළ වීම තවත් අතකින් භීතිය වැඩි කරන්නට හේතුවන කාරණයකි. එකී වාතාවරණය තුළ ඇෆ්ඝනිස්ථානය ගමන් ගනිමින් තිබෙන්නේ කවර නම් දිශාවකටද? යන ගැටලුව ඇෆ්ඝන් බලධාරීන්ට පමණක් නොව ලොව සෙසු ප්‍රබලයන්ටත් මතුව තිබේ.

කාබුල් අගනුවර මාර්ෂල් ෆාහිම් මිලිටරි ඇකඩමියට කඩා වැදුණු සන්නද්ධකාමීන් පිරිසක් හමුදා සාමාජිකයන් 11දෙනකු ඝාතනය කර තවත් 16දෙනකුට තුවාල සිදු කළේ පසුගිය සතියේදී ය. සන්නද්ධකාමීන් අතින් මෙසේ අනතුරට පත් වූයේ ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂාව සහ ඇෆ්ඝන් වැසියන්ගේ ශුභ සාධනය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියාකරන හමුදා සාමාජිකයන් පුහුණු කරන විශ්වවිද්‍යාලයයි. මේ විශ්වවිද්‍යාලය ප්‍රහාරයකට ලක් වුණු පළමු අවස්ථාව මෙය නොවේ. පුපුරණ ද්‍රව්‍ය රැගත් මෝටර් රථයක් පදවා ආ මරාගෙන මැරෙන බෝම්බකරුවකු එය මේ ආයතනය ආසන්නයේදී පුපුරු හැරියේ පසුගිය ඔක්තෝම්බරයේදීය. එය තලේබාන් ක්‍රියාකාරිකයන්ගේ ප්‍රහාරයක් වුවත් එම ආයතනය මෙදා ප්‍රහාරයට ලක් වුණේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් අතිනි. මාර්ෂල් ෆාහිම් හමුදා ඇකඩමියට ප්‍රහාරය එල්ල කෙරෙන්නට දින කිහිපයකට පෙර කාබුල් නගරයේ තවත් බෝම්බ පිපිරීමක් සිදුවිය. බෝම්බ සහිත ගිලන් රථයක් පුපුරුවා හැර පුද්ගලයන් සිය දෙනකුට මරු කැඳවා තවත් සිය ගණනක් ගිලන් ඇඳට පත් කිරීමෙන් එය අවසන් විය. මෙය පුපුරුවා හැර තිබුණේ ඇෆ්ඝනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයෙහිය. එම ප්‍රහාරයට දින කිහිපයකට පළමුව කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල කෙරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප්‍රහාර දෙක තලේබාන් ක්‍රියාකාරිකයන් සිදු කළ බව අනාවරණය විය. මේ අතර ඇෆ්ඝනිස්ථානයේ නැඟෙනහිර ප්‍රදේශයේ ජලලාබාද් නගරයේ පිහිටි “සේව් ද චිල්ඩ්රන්” කාර්යාලයට දැනට දින කිහිපයකට පෙර ප්‍රහාරයක් එල්ල වූයේය. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් භාර ගෙන ඇත. මේ අන්දමට ප්‍රහාරවල වගකීම් භාර ගන්නා සන්නද්ධකාමීන් කවරකුදැයි කියන කාරණය දෙසට අවධානය යොමුකරන විට පෙනෙන්නේ ඇෆ්ඝනිස්ථානය තුළ මේ වනවිට ත්‍රස්ත සංවිධාන රාශියක් ක්‍රියාත්මක වන බවය. ඇෆ්ඝනිස්ථාන රජයේ හමුදා ප්‍රකාශ කරන අන්දමට, ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට පක්ෂපාතිත්වය දක්වන කණ්ඩායම් වැඩිපුරම සිටින්නේ නන්ගර්හාර්හි කඳුකර පෙදෙස්වලය. ඇෆ්ඝනිස්ථානය තුළ මේ සා ප්‍රබල ත්‍රස්ත සංවිධාන සංඛ්‍යාවක් මැඩලිය නොහැකි මට්ටමට පැමිණ තිබෙන්නේ ඇමෙරිකාවත් වසර 16කට අධික කාලයක් මුළුල්ලේ ත්‍රස්ත මර්දන මෙහෙයුම් එහි ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි.

ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථාන ත්‍රස්තයින්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළේ 2001 වසරේ සැප්තැම්බර් 11වැනිදා සිය රටට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවත් සමඟයි. එම ප්‍රහාර සිදු කළේ ඇෆ්ඝනිස්ථානයේ ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවැති අල්ඛයිඩා සංවිධානය බව පැහැදිලි විණ. අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් එම ප්‍රහාරවල වගකීම පළමුව භාර ගත්තේ නැත. එසේ වුවත් එම ප්‍රහාර තම සංවිධානයේ අනුදැනුම මත කෙරුණු බව 2004 වසරේදී හෙතෙම පිළිගත්තේය. ඒ සමඟම ඇෆ්ඝන් සන්නද්ධ කණ්ඩායම්වලට එල්ල කෙරෙන ඇමෙරිකා ප්‍රහාර දැඩි කෙරිණ. ඇමෙරිකාවේ මැදිහත්වීම් හේතුවෙන් ඔසාමා බින් ලාඩන්ට, 2011 වසරේ මැයි මස 2වැනිදා මරු වැළඳ ගන්නටත් සිදු විය. එයින් පසු එනම් 2012 වසරේ සිට තම හමුදා සිය රට ගෙන්වා ගන්නට ඇමෙරිකා බලධාරීහු ක්‍රියා කළහ. ඒ අනුව 2013 වසර අවසන් වනවිට ඇමෙරිකා භට පිරිස්වලින් සෑහෙන සංඛ්‍යාවක් ඇමෙරිකාවට ආපසු පිටත්ව ගොස් සිටියහ. පසු ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂාව භාර කෙරුණේ එරට හමුදා වෙතය. 2014 වසර අග භාගයේ සිට මේ තත්ත්වය ක්‍රියාත්මක වෙමින් තිබිණ. එසේ වුවත් ඇෆ්ඝන් සහ ඇමෙරිකා බලධාරීන් අද මේ වනවිට ප්‍රකාශ කරන්නේ ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂාව පමණක් නොව ඇෆ්ඝන් භූමියත් ත්‍රස්ත ක්‍රියාකාරිකයන් අතට පත්වෙමින් තිබෙන බවකි. එමෙන්ම ඇෆ්ඝනිස්ථාන මධ්‍යම රජය යටතේ පවත්නා පාලන ප්‍රදේශ එම පාලනයෙන් ගිලිහීයමින් තිබෙන බවකි. ඇමෙරිකා හමුදාවන්ගේ මූලිකත්වයෙන් ආරක්ෂා කෙරුණ ප්‍රදේශ දැන් දැන් ඇෆ්ඝන් හමුදාවන්ට තවදුරටත් රැක ගන්නට බැරිව ගොස් ඇත. මේ තත්ත්වය වඩාත් තදින් ඉස්මතු වන්නට පටන් ගත්තේ පසුගිය සිව් වසරක කාලයේදී බව සමහර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් 2014 වසරේදී මාධ්‍යට කියා සිටි ආකාරයට ඒ වනවිට ඇෆ්ඝනිස්ථානයේ සිටියේ තලේබාන් ක්‍රියාකාරිකයන් 20,000ක් පමණි. වසර හතරකට පසුව එම දෙපාර්තමේන්තුව පවසන්නේ තලේබාන් සංවිධානයේ සාමාජිකත්වය අඩු තරමින් 60,000 දක්වා වැඩි වී ඇති බවකි. සමහර ආරක්ෂක නිලධාරීන් කියන්නේ ඇෆ්ඝනිස්ථානයේ සිටින තලේබාන් ත්‍රස්තයන් ගැන මේ අන්දමට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම ඵල රහිත කාරියක් බවයි. එයට හේතුව සන්නද්ධ සටන්කාමීන් විටින් විට විවිධ ත්‍රස්ත කණ්ඩායම්වලට පක්ෂපාතීව කටයුතු කිරීමයැයි ඔවුහු පෙන්වා දෙති.

බී.බී.සී. ප්‍රවෘත්ති සේවය කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබෙන්නේ ඇෆ්ඝනිස්ථානයෙන් 70%ක භූමි ප්‍රදේශයක් වසා තලේබාන් ක්‍රියාකාරකම් ව්‍යාප්තව ඇති බවකි. මෙයින් පෙනෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ ත්‍රස්තවාදය මඩින්නට වැය කළ ඇමෙරිකා ඩොලර් බිලියන ගණනක ධන සම්භාරය වතුරේ ගසාගෙන ගොස් ඇති බව නොවේද?

ඇෆ්ඝනිස්ථානය තුළ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට මුල් වී ඇති ත්‍රස්ත කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීම පල රහිත බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. කාබුල් නුවර සිදු වුණු මනුෂ්‍ය ඝාතන දැඩි ලෙස හෙලා දුටු ට්‍රම්ප් ප්‍රකාශ කළේ “ඉවර කරන්න ඕන දේ අපි ඉවර කරන්නම ඕනෑ” යනුවෙනි. “මම හිතන්නේ නැහැ සාකච්ඡාවලින් වැඩක් වෙයි කියලා” කියා ද හෙතෙම මාධ්‍යවේදීන් වෙත පවසා තිබුණේය.

මේ අනුව ඇෆ්ඝනස්ථානයේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය මඩින්නට ට්‍රම්ප් පරිපාලනයත් අත පොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයට 9/11 ප්‍රහාරය එල්ල වූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ සමයේදී ය. ඒ නිසා ඇෆ්ඝනිස්ථානයේ ත්‍රස්ත ක්‍රියා මඩින්නට ඇමෙරිකා හමුදා පිටත් කර හැරියේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනයයි. ඇෆ්ඝනිස්ථානය තුළ ඇමෙරිකා හමුදාවේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවුණේ බැරක් ඔබාමාගේ ධුර කාලයේදී ය. එපමණක් නොව ඇමෙරිකා හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් යළි සිය රට ගෙවා ගන්නට කටයුතු කළේත් ඔබාමා ය. ට්‍රම්ප් දැන් අත පොවන්නට යන්නේ ඒ ජනාධිපතිවරුන් දෙදෙනා අතින්ම ඔද්දල් වුණු ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීමේ කාර්යයට ය. ඔහු ඊට අවතීර්ණ වන්නේ කෙසේද? ඇෆ්ඝන් ත්‍රස්තවාදය මඩින්නට ඔහුට හැකියාවක් ලැබේවිද? යන්න දෙස මුළු මහත් ලෝකයාම දැන් බලා හිඳී.

රෝසි ද රිවටර්

$
0
0
පෙබ 3, 2018 01:00

සටන් බිමට ගොස් සෘජුවම යුද්ධයට සම්බන්ධ නොවුණද, දෙවන ලෝක යුද සමයේදී ඔවුන්ගෙන් රටට වූ සේවය අමතක කිරීමට ඇමරිකානුවන්ට නොහැක. පිරිමින් යුද බිමට යත්දී, පිරිමින්ගෙන් හිස්වූ කම්හල්වල බර වැඩ කරට ගැනීමට ඉදිරිපත් වූයේ සුකොමළ ලලනාවන්ය. පිරිමින්ට සවියක් වෙමින්ද, ඇතැම් විටක පිරිමින්ට අභියෝගයක් වෙමින්ද ඔවුන් සිය රට වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දුන්හ. ඒ පිරිමින්ට පමණක් කළ හැකි යැයි සම්මත කම්හල්වල අවි ආයුධ නිපදවීමේ හා ගුවන්යානා හා නෞකා අංගනවල අබලන් යානා හා නෞකා අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නියැලෙමිනි.

මටසිලු අත් ඇති සුකොමළ හුරුබුහුටි, කාන්තාවන්ට එබඳු බරවැඩ කළ නොහැකි බවට වූ පුහු සම්මතය බිඳ දැමු මෙම සුන්දර කාන්තාවන්, එකල ඇමරිකානු ශ්‍රම බලකායේ ප්‍රධානම නියෝජනය වූහ. අර්බුදකාරී යුද වාතාවරණය මුවාවෙන් කම්හල්වල සිදුවන වර්ජන, සේවයට වාර්තා නොකිරීම් වැනි කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් අඩපණ කිරීමට මෙම ‘වැඩවලින් පිරිමින් වැනි කාන්තාවන්‘ පුරෝගාමී වූහ. එම කාන්තා ශක්තිය ජාත්‍යන්තරයට ගෙන ගියේ ‘රෝසි ද රිවටර්ය‘. සුදු තිත් වැටුණු රතු ජටාවක්( පට ‍ලේන්සුවක් ) හිස බැඳ පිරිමින් වැඩ කරන විට හඳින නිල් පැහැ තනිපළුවේ රලු ඇඳුමින් සැරසී, සිය බාහු මස්පිඩුවල ශක්තිය ප්‍රදර්ශනය කරන සේ දකුණත නවාගෙන සිටින එම ප්‍රකට කාන්තා රුව හැඳින්වෙන්නේ එනමිනි. ‘අපිට පුළුවන්‘ ( We can do it ) යන තේමා පාඨය සහිතව කහා පැහැති පසුබිමක නිරූපිත මෙම කාන්තා රුව එකල මෙන්ම මෙකලද විශේෂයෙන්ම ස්ත්‍රිවාදිනියන් අතර අතිශය ජනප්‍රිය ය. වැඩකරන කාන්තාවන්ගේ අභිමානය හා ශක්තිය කියාපාන්නාවූ රෝසි ද රිවටර්ගේ සැබෑ හිමිකාරිය වූයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ‘නයෝමි පාකර් ෆ්‍රේලිය‘. පසුගිය දිනවලදී රෝසි ද රිවටර්ගේ එම විජයග්‍රාහී පෝස්ටරය යළිත් කලඑළි බැස්සේ ෆ්‍රේලි නොහොත් සැබෑ රෝසි ද රිවටර්ගේ මරණය ජාත්‍යන්තරයට සැල වීමත් සමඟය.

රෝසිගේ සැබෑ හිමිකාරිය නයෝමි ෆ්‍රේලි වුවද, එහි ගෞරවය ඇයට ලැබුණේ දෙවන ලෝක යුද්ධයෙන් වසර ගණනාවකට පසු 2016 වසරේදීය. සැබෑ රෝසිට හිමිකම් කීමට කාන්තාවන් බොහෝ දෙනෙකු ඉදිරිපත් වීම මීට හේතුවයි. ඒ අතරින් මුල් තැන ගත්තේ ‘ජෙරාල්ඩීන් හොෆ් ඩොයිල්ය‘. රෝසි ද රිවටර් පෝස්ටරයේ දැක්වෙන්නේ තමාගේ රුව බව ෆ්‍රේලි දැන සිටියද ලෝකයා සිතා සිටින්නේ ඒ ජෙරාල්ඩීන් හොෆ් ඩොයිල් බවය යන්න ඇය දැන ගන්නේ 2011 වසරේදී ය. ඒ බව මහජනතාවට දැන ගැනීමට ලැබෙන්නේ ඊටත් වසර පහකට පසුය. ඒ රෝසි ද රිවටර් ගැන ෆ්‍රේලි සමඟ ‘පීපල්ස් සඟරාව‘ විසින් කළ සම්මුඛ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. එතෙක් කලක් ලෝකයට සිදුව තිබූ පටලැවිල්ල ගැන ඇය එහිදී සිය විමතිය පළකොට තිබුණි.

“ ඇත්තටම මට පුදුම හිතුණා. ඒ පෝස්ටරයට මුල්වෙච්ච පුවත්පත් ඡායාරූපයේ ඉන්නේ මමයි කියලා මම දැනන් හිටියා. නමුත් ඒක ගැන පුරාජේරු ගහලා, මට ප්‍රසිද්ධිය හෝ ධනය ලබා ගන්න ඕනෑ කළේ නැහැ. නමුත් මට ඕනෑ කළේ මගේ අනන්‍යතාව රැක ගන්නයි“

රෝසි ද රිවටර්ගේ සැබෑ අනන්‍යතාව ලොවට හෙළිකිරීමට මුල් වූයේ නිව් ජර්සිහි සෙටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් ජේ. කිම්බල්ය. සන්නිවේදනය හා කලාව පිළිබඳ මහාචාර්යවරයකු වන කිම්බල්ගේ 2010 වසරේදී සැබෑ රෝසි ද රිවටර් ‍සොයා ගිය ගවේෂනය නිසා නොවන්නට ෆ්‍රේලිගේ අනන්‍යතාව සදා රහසක්ව තිබෙන්නට හොඳටම ඉඩ තිබිණි. 2016 වසරේදී ඔහු සිය ගවේශනයේ ප්‍රතිඵල හෙළි කරමින් ‘Rhetoric and Public Affairs ‘ ජර්නලයේ ‘රෝසිගේ අනන්‍යතාවයේ අබිරහස‘ යන මැයෙන් පලකළ ලිපියෙන්, ෆ්‍රේලි ලෝකය හමුවට ආවාය. එසේම ජෙරාල්ඩීන් ඩොයිල්ගේ ව්‍යාජ කියාපෑම් යට ගියේය.

රෝසි ද රිවටර් ලෙස ලොව පුරා වැඩකරන කාන්තාවන්ගේ සංකේතාත්මක නිරූපණයක් බවට පත්වූ ෆ්‍රේලි උපන්නේ 1921 අගෝස්තු 26 දා ඔක්ලහෝමා නුවරය. ඒ පතල් ඉංජිනේරුවකු හා ගෘහණියකට දාව උපන් දරුවන් අටදෙනකුගෙන් යුතු පවුලක තෙවැන්නා ලෙසය. වයස අවුරුදු විස්සේදී ඇය සිය සොයුරියක වූ ‘ඒඩා‘ සමඟ ‘ඇලමේඩා‘ නුවර පිහිටි නාවුක හා ගුවන් අංගනයක සේවයට ගියේ පර්ල් වරායට එල්ලවූ බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් පසුය. ඒ දෙවන ලෝක යුද්ධය දරුණුවටම පැවති වකවානුවකි. අබලන් වූ ගුවන්යානාවලට කොටස් සවිකිරීම, කොටස් පෑස්සීම, රිවට් ඇණ සවිකිරීම වැනි කටයුතු ඇයට භාරව තිබිණි. දිනක් ෆ්‍රේලි ගුවන් යානා, අංගනය වෙත පැමිණි ඡායාරූප ශිල්පියකුගේ කැමරාවේ සටහන් වන්නේ, ගුවන්යානා පියාපතක් ලියවන පට්ටලයක් තුළින් යවමින් සිටි අතරවාරයකදී ය. එවෙලේ ඇය සිය වරලස ආවරණය වනසේ බැඳ සිටි රතු ජටාව පසුකලකදී, රෝසි ද රිවටර් පෝස්ටරයේ දැක්වෙන ඇගේ රුවෙහි අනන්‍යතාව තහවුරු කිරීමට හේතු විය. මෙම ඡායාරූපය 1942 ජුලී 5දා ‘පීට්ස්බර්ග් ප්‍රෙස්‘ පුවත්පතේ පළව තිබුණේ නයෝමිගේ නමද සඳහන් තේමා පාඨයක්ද සහිතවය. “සුන්දර නයෝමි පාකර්ගේ උනන්දුව කෙතරම්ද යත් පහළට බරවූ ඇගේ දිගැටි නාසය ඇගේ දෑතින් ක්‍රියාත්මක වන ලියවන පට්ටලයට හසුවීමට ඔන්න මෙන්න ය“ පුවත්පතෙන් කපාගත් ඡායාරූපය දශක ගණනාවක් යනතුරුම ෆ්‍රේලි සුරැකිව තබා ගත්තාය. දිර්ඝ ගවේෂණයක අවසානයෙදී රෝසි ද රිවටර් ෆ්‍රේලි බව මහාචාර්ය කිම්බල්ට තහවුරු කළේද මෙම ඡායාරූපයයි.

ඉපැරණි පුවත්පත්, පොත්පත්, හා ඡායාරූප පිරිවරා ගනිමින් සිදුකළ ගවේශනයේදී කිම්බල්ට ‘ඇලමේඩා‘ නාවික මධ්‍යස්ථානයේ සංරක්ෂණය කොට තිබු රතු ජටාව හිස පැලඳි තරුණියගේ ඡායාරූපය හමුවී තිබේ. ඒ ඡායාරූප ශිල්පියා විසින් සඳහන් කළ තේමා පාඨයද සහිතවය. එහි දිනය සටහන්ව තිබුණේ 1942 මාර්තු 24දා ලෙසය. පසුව එය ප්‍රකාශයට පත්වූයේ, රෝසි ද රිවටර් පෝස්ටරයේ නිර්මාතෘවරයා වන ‘ජේ. හොවාර්ඩ් මිලර්‘ විසු පිට්ස්බර්ග් ප්‍රදේශයේදී ය. ඒ 1942 ජූලි 5දාය. මේ නිසා මිලර්ට එම පෝස්ටරය නිර්මාණයට පිටුබලය ලැබුණේ ෆ්‍රේලිගේ ඡයාරූපයෙන් මිස අනෙකකින් නොවන බව කිම්බල් නිගමනය කළේය.

පසුව කිම්බල් කැලිෆෝනියා ප්‍රාන්තයේදී නයෝමි ෆ්‍රේලි හමුව ඇති අතර, සිය නිගමනය නිවැරදි බැව් එහිදී තහවුරු විය. තමා එතෙක් කල් සුරක්ෂිතව තබාගෙන සිටි කළු සුදු ඡායාරූපය ඇය ඔහුට පෙන්වා සිටියාය. ‘පීට්ස්බර්ග් ප්‍රෙස්‘ පුවත්පතේ පළවූ ‘ලියවන පට්ටල් තරුණිය‘ යනු නයෝමි ෆ්‍රේලි බව සැකයක් නැති බව තමාට එවෙලේ තහවුරු වූ බව කිම්බල් පසුව කියා තිබිණි. ඡායාරූපය හා පෝස්ටරය මුල්වරට ප්‍රදර්ශනය වූ දින වකවානු සසඳා බලන කල, රෝසි ද රිවටර් නිර්මාණය කරන්නට මිලර්ට පෙළඹවීම ලැබුණේ පීට්ස්බර්ග් ප්‍රෙස් පුවත්පතේ ඡායාරූපයෙන් බවට සැකයක් නැත. මිලර්ගේ එම රෝසි ද රිවටර් පෝස්ටරය මුල්වරට ප්‍රදර්ශනය කෙරුණේ 1943 ‘වෙස්ටින්හවුස්‘ කම්හලේදී ය.

දෙවන ලෝක යුද සමයේදී පිරිමින් නැති අඩුව පුරවමින් කාන්තාවන් කම්හල් කරා ගෙන ඒමට නිර්මාණය කළ රෝසි ද රිවටර්, පසු කලෙක ස්ත්‍රිවාදයේ සංකේතයක් බවට පත් වූවාය. එපමණක්ද නොව එහි විවිධාකාරයේ අනුවර්ථන, හා අනුකරණ දශක හැත්තෑවකට පසු අදටත්, කාන්තා නායකත්වයෙන් සිදු කෙරෙන ව්‍යාපෘති හා රැළිවලදී ජනප්‍රිය නිරුපණයකි. රෝසි ද රිවටර් සේම ඇගේ ජිවමාන නිරූපණය වූ නයෝමි ෆ්‍රේලිද මිය ගියේ කාන්තා ශක්තියේ හා කාන්තා භූමිකාවේ වැදගත්කම ලෝකයාට කියා දෙමිනි. පිරිමින් හා කරට කර සිටිමින් ඔවුන් කරන ඕනෑම දෙයක් තමන්ටද කළ හැකි බව ළාබල වයසකදී ලෝකයට ඔප්පු කළ නයෝමි ෆ්රේලි පසුගිය ජනවාරි 20දා මිය ගියේ රෝසි ද රිවටර්ගේ මතකය පමණක් ඉතිරි කරමිනි. ඒ වන විට ඇය අනූහය වන වියෙහි පසු වූවාය. තෙවරක් විවාහ වී සිටි ෆ්රේලිට තමාගේම කියා සිටියේ පුතෙක් පමණි.

රෝසි ද රිවටර් ලෙස තමාට ජනප්‍රියත්වයට පත් වීමට අවශ්‍යතාවයක් නොවුණද, කාන්තා ප්‍රජාවේ සංකේතයක් ලෙස ජාත්‍යන්තරයෙන් හිමිවූ පිළිගැනීම ඇය මැදහත් සිතින් ඉවසුවාය. “මේ රටේ කාන්තාවන්ට අද කාලයේ කාන්තා සංකේත අවශ්‍ය වෙලා තියෙනවා. එයාල හිතනවා නම් මම එහෙම සංකේතාත්මක චරිතයක් කියල මට සතුටුයි ඒ ගැන.” ෆ්රේලි අවසන් වශයෙන් ‘පීපල්ස් සගරාවට ප්‍රකාශ කර තිබුණි. අහිමි වන්නට ගිය ඒ අනන්‍යතාවය යළි ෆ්රෙලිට ලබා දුන් මහාචාර්ය කිම්බල්ට එහි ගෞරවය හිමි විය යුතුය.

රුක්ලන්ති පෙරේරා

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>