ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ ජනවාරි 28 අඟහරුවාදා විකාශය කළ මහජන දිනය වැඩසටහනට සහභාගී වෙමින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව හා පාරිභොගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදහස් දැක්වූ ආකාරය,
කුඹුරු ඉඩම් නීති ලිහිල් කරනවා
මමත් කුරුඳු රබර් පොල් වගා කළා
ප්‍රධාන ඉලක්කය වස විස නැති ආහාර ජනතාවට දීම
කුඹුරු ගොවියාට පොහොර හිඟ නැහැ
හැම දෙසැම්බරයෙම හාල් මිල වැඩි වෙනවා
සතොසෙ අපරාධ ගොඩක් තියෙනවා
ඔප්පු ප්‍රශ්නය ඉක්මනින් විසඳනවා
වී අලෙවි මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කරනවා
හදබිම අධිකාරියට නව පණක් දුන්නා
ඔබතුමාට පැවරිලා තියෙන විෂය කෘෂිකර්මාන්තයට පාරිභෝගිකයාට සම්බන්ධයි. කෘෂිකර්මාන්තය ඔබතුමාගේ විෂය වීම නිසාම නොවෙයි, කෘෂිකර්මාන්තය සහ ගොවිකම එක්ක සම්බන්ධ වුණ ජීවිතයක් ඔබතුමාට තිබෙනවා. කාලයකට පස්සෙ බැරෑරුම් කාර්යයකට අතපොවලා තිබෙනවා. ඔබතුමා කරගෙන ආපු කෘෂිකර්ම කටයුතු, ගොවිතැන් කටයුතු මේ දවස්වල කෙරෙනවද?
ඔව්. පළමුවෙන්ම රූපවාහිනි ආයතනයට ස්තූතිවන්ත වෙනවා මහජනයාගෙ ප්‍රශ්න පිළිබඳව සෘජුව අදාළ අමාත්‍යවරුන්ගෙන් විමසීමට අවස්ථාව ලබාදීම පිළිබඳව. කෘෂිකර්මාන්තය සාමාන්‍යයෙන් දකුණේ අපේ ඇඟේ තිබෙන දෙයක්. මම පාර්ලිමේන්තු සතියෙ විතරයි කොළඹ ඉන්නෙ. අනෙක් හැමදාම ඉන්නෙ ගමේ. උදේ පාන්දර මම හැමදාම කුඹුරට ගිහිල්ලා ගොවීන් සමඟ කතා කරනවා. අපේ ප්‍රදේශයේ වැඩියෙන් තියෙන්නෙ කුරුඳු වගාව ඒවගේම රබර් වගාව ප්‍රචලිත කළා. රබර් අක්කර දෙකක් විතර මමත් වගා කළා. තාම හැදෙනවා කිරි ගන්න වුණේ නෑ. ඒවගේම කුරුඳු. පොල් අතර කුරුඳු වගා කළා. ඒවා සරුවට හැදෙනවා. හැබැයි තාම ආදායමක් ගන්න වුණේ නෑ. ඒවගේම අපි කෘෂිකර්මාන්තයේ යෙදී ඉඳිමින් රටේ ජනතාවට කෘෂි කර්මාන්තය ගැන යමක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන මං සතුටුවෙනවා.
මේ වන විට අපේ රටේ සියයට හතළිහකට අධික පිරිසක් බෝ නොවන රෝගවලට ලක්වෙලා ඉන්නවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග ප්‍රධානයි. මේ සියල්ල ඇති වන්නේ ආහාරවල තිබෙන වස විස නිසාවෙන්. ඔබතුමාගෙ අමාත්‍යංශය ඉදිරි කාලයේදී වස විසෙන් තොර ආහාර රටේ ජනතාවට ලබා දෙන්න දියත් කර තිබෙන පියවර පිළිබඳ ජනතාව දැනුවත් කරන්නෙ කොහොමද?
දැන් අපි ප්‍රධානම දේ වස විසෙන් තොර ආහාර වේලක් අපේ රටේ ජනතාවට ලබා දීම.ඒ සඳහා වැඩපිළිවෙළක් අපි දැනටමත් ආරම්භ කරල තිබෙනවා. ඒ වගේම ඒ විෂය පිළිබඳ කතා කරන ඒ විෂය ක්ෂේත්‍රවල අය මුණගැහිලා ඒගොල්ලො එක්ක අදහස් හුවමාරු කරගන්නවා. අපි පළමුවෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොටසකට හෝ අනුරාධපුර දිස්ත්‍රික්කයේම ලබන කන්නයේ සිට රසායනික පෙහොර භාවිතය අවම කිරීමට ගොවීන් කැමති කරගෙන ගොවීන් දැනුවත් කරන්න කටයුතු කරල තිබෙනවා . නොච්චියාගම ප්‍රදේශයේ අක්කර 10,000කට විතර දැනට රජය මඟින් අතගහලා කරනවා. මෙය දිගටම කරගෙන ගියොත් අපට බෝ නොවන රෝග බොහෝදුරට අඩුකරගන්න පුළුවන් වෙනවා.
ඇමතිතුමා අපේ රට තුන්වේලටම බත් කාපු රටක්. බත් හැදෙන්නෙ හාල් වලින්. මේ දවස්වල හාල් මිල වැඩියි.
සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙ වන විට හාල්වල යම්කිසි හිඟතාවයක් නැත්නම් මිල වැඩිවීමක් ඉස්සර ඉඳලම තිබුණා. පසුගිය කාලෙ වී නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වෙන්න, අවශ්‍ය ප්‍රමාණය වගා කර ගන්න අපට පුළුවන් වුණා. මත්තල ගුවන් තොටුපළෙත් වී ගබඩා කළා. නමුත්, අද මේ තත්ත්වය මම දකින්නේ, අපේ කෘෂිකර්මය අංශය පැත්තෙන් ගත්තොත්; අපේ රටේ පසුගිය කන්න කිහිපයේ මාස දාහතරකට පමණ අවශ්‍ය සහල් තිබෙනවා. එයින් සියයට හැත්තෑවක් පමණ නිෂ්පාදනය කරල තියෙන්නෙ නාඩු හාල්. දැන් මේ ප්‍රශ්නය තියෙන්නෙ නාඩු හාල්වල. නාඩු හාල් වැඩි පරිභෝජනයක් තිබෙනවා. නාඩු හාල්වල මිල අඩු නිසා මෙය යම්කිසි සීමා කිරීමකින් තොරව සත්ව ආහාර සඳහා යොදාගෙන තිබෙන බවයි මට පෙනී යන්නේ. නමුත් අනෙකුත් සහල් වර්ග රතු හාල් සුදු කැකුළු මේ වගේ ඒවා අපේ ගබඩාවල තිබෙනවා. මේ හිඟය ඇතිවෙනකොටම අපේ සහල් ගබඩාවල තිබෙන වී, මණ්ඩලයෙ ගබඩාවල තිබුණු වී, කුඩා සහ මධ්‍යම පරිමාණයේ නිෂ්පාදකයින්ට ලබාදීලා නැවත සතොසට ලබා දීලා නැවත සතොසින් බෙදාහරින්න පටන් ගත්තා. එහෙම බෙදාහරින්න පටන් ගත්තත් යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා. සමහර කට්ටිය පිටරටින් හාල් ආනයනය කරන්න අපිව පොළඹවන්න උත්සාහ කළා. නමුත් අපිට පුළුවන් වුණා තනි තීන්දුවක් අරගෙන සහල් ආනයනය නොකර මේ තත්ත්වය පාලනය කරන්න. දැන් මේ කන්නයේ අස්වැන්න කපන්න පටන් අරගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නාඩු සහලුත් අම්පාර ප්‍රදේශයෙන් ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. වී අලෙවි මණ්ඩලය ඒ සඳහා සූදානමින් ඉන්නවා. හැම තැනම රුපියල් 84 ගාණෙ රතු හාල් තිබුණා. දැනුත් සතොසෙ 85ට තිබෙනවා. කීරි සම්බාවල ප්‍රශ්නයක් තිබුණා. ඒවට මිල පාලනයක් තිබුණේ නෑ. නමුත් කීරි සම්බා රුපියල් 125ට හෝ ඊට අඩුවට සතොසේ තිබෙනවා. පිට තැන්වල 185යි නැත්නම් ඒ හා සමානයි. නමුත් කීරි සම්බා පර්භෝජනය කරන්නෙ ඉතා සුළු පිරිසක්. අපි මේ පාර හරියටම ක්‍රමවේදයක් හැදුවා, ගොවීන්ගෙන් වී ටික මිලදී ගන්නකොටම එක් එක් වර්ගවල සහල් ගොව් ජනතාව නිෂ්පාදනය කරනවද? පරිභෝජනය සඳහා තියාගන්නවද, ගොවියා විසින් නිෂ්පාදනය කරන වී ටික ගන්නේ කවුද දැන ගන්න. ඒකට පොඩි රිසිට් එකක් දෙනවා. එතකොට අපි ළඟ තොරතුරු තිබෙනවා. අහවල් සහල් නිෂ්පාදකයා ළඟ මේ මේ වර්ගවල සහල් මෙපමණ ප්‍රමාණයක් තිබෙනවා. එවිට අවුරුද්ද මුළුල්ලේම ක්‍රමානුකූලව හිඟයකින් තොරව සහ මිල ඉහළ යාමකින් තොරව බෙදාහරින්න අපට පුළුවන්. පාරිභෝගිකයාටත් සාධාරණ විදහට බෙදාදෙන්න පුළුවන්.
ඔබතුමා වී අලෙවි මණ්ඩලය ගැන කතා කළා. හාල් මිල පාලනය සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයට ලොකු වගකීමක් සහ ලොකු කාර්ය භාරයක් තිබෙනවා. නමුත් වී අලෙවි මණ්ඩලයේ අවුරුදු ගාණක ඉඳලම හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ පාඩු ලබනවා. මෙහි මැදිහත්වීම දුර්වලයි. කළමනාකරණය හොඳ නෑ වැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අප පසුගිය කාලෙ දැක්කා ගොවියාගෙන් වී මිලදී ගන්න රුපියල් බිලියන 18ක් වී අලෙවි මණ්ඩලය ආණ්ඩුවෙන්, බැංකුවලින් ණය ලබාගෙන තිබෙනවා. තත්ත්වයෙන් හොඳ නෑ කියල හෝ මොකක් හරි ප්‍රශ්නයක් මත වී විකුණනවා, නමුත් මේ මුදල් නැවත බැංකුවලට ලබාදෙනවද? ඔබතුමාල මේ ගැන හොයල බලල තිබෙනවද? මේ මුදලට මොකක්ද වෙන්නෙ?
දැන් අපි කියමු වී අලෙවි මණ්ඩලය රුපියල් 40කට නැත්නම් 34කට විතර වි මිලදී ගත්තම පසුගිය කාලය පුරාම තිබුණේ ආපහු රුපියල් 18කට 20 කට විකුණපු එක. ඉතින් අනිවාර්යයෙන්ම අලාභයක් වෙන්න ඕන. අපි භාර අරගෙන මාස කිහිපයයි වෙන්නේ. ඉස්සරහට මේ තිබුණු අඩුපාඩු සහ දුර්වලකම් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා ඒ සඳහා වී අලෙවි මණ්ඩලය ඇති කිරීමේ පරමාර්ථය, අරමුණ ඒ ආකාරයෙන්හ ඉෂ්ට කරන්න අපි දැනටම සාකච්ඡා කරගෙන කටයුතු කරමින් ඉන්නවා.
සාමාන්‍යයෙන් කියන්නේ වී වේලනවා බර අඩුවෙනවා. එහෙම නැත්නම් වහල තෙමෙනවා ඒක නිසා වී දිරනවා. සත්ව ආහාරවලට විකුණන්න වෙනවා මේ නිසා පාඩු වෙනවා කියලා. ඒ විදියට ලබපු පාඩුව රුපියල් ලක්ෂ 30,000යි. ඇමතිතුමනි නිවැරදි කළමනාකරණයක් නැතිකම තමයි පාඩු ලබන්න හේතුවෙලා තියෙන්නෙ. අපි පසුගිය කාලෙ දැක්කා මේ අකාර්යක්ෂමභාවයට හේතුවුණ පුද්ගලයින් ඉන්නවා. ඒ පුද්ගලයින්ට දඬුවම් ලබාදීලා තිබෙනවා, විනය පරීක්ෂණ තියල තිබෙනවා. වැඩ තහනම් කරල තිබෙනවා. නමුත් පසුගිය දවස්වල මේ නැවත අලුතින් පත්වීම් ලබාගෙන ආපු සභාපතිවරු නැවත අර පුද්ගලයින්ට රැකියාව දෙනවා. මේකෙ තේරුම කුමක්ද?
ඒ අයට මෙහෙම චෝදනා තිබෙනවා. ලක්ෂ 96කට බිලක් ලියනවා. වී මිලදී ගන්න ආපු මෝල්කරුවකුට ඔහුගේ කළමනාකාරිත්වයෙන් ඔහු වී විකුණනවා. මෙවැනි කාරණා කිහිපයක් නිසා ඔහුගේ වැඩ තහනම් කරන්නේ. ඔහුට නැවත රැකියාව දියයුතු පුද්ගලයෙක් නෙමෙයි. වැරදි විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ දැනුවත්කම කොහොමද?
මම නම් දැනුවත් වෙලා හිටියෙ නෑ. නමුත් ඔබ දැන් කියපු කාරණා පිළිබඳව අද හෙටම සොයල බලලා මේ සියලු චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරල තියනව නම් වැඩ තහනම් කරන්න ඕන. පඩි ගෙවන්න අවශ්‍ය නැහැ. මෙතන විශාල අලාභයක් වෙලා තිබෙනවා. ඒ විගසින්ම විනය පරීක්ෂණයක් කරන්න ඕන. මාසයක් හෝ දෙකක් ඇතුළත එම විනය පරීක්ෂණයත් කරල ඉවර වෙන්න ඕන. ආපසු ඔහු නිර්දෝෂි වුණොත් සේවයෙ පිහිටුවන්නත් නැත්නම් සේවයෙන් ඉවත් කරන්නත් ඕන.
වී මිලදී ගැනීම සඳහා බෑග් ලක්ෂ 9ක් ඇතුළේ තියෙද්දි බෑග් ලක්ෂ 20ක් 19ත් වගේ ප්‍රමාණයක් වුවමණාය කියල මේ පුද්ගලයා විසින් ඇණවුම් කරල තිබෙනවා. රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් අවභාවිතා කරල තිබෙනවා. බෑග් ලක්ෂ 19ක් නම් ඕන ලක්ෂ 9ත් බෑග් තියෙද්දි බෑග් ලක්ෂ 20ක් ගෙනැත් තිබෙනවා. ඒ බෑග් ටිකට මොනා වුණාද දන්නේ නෑ. මත්තල වී ගබඩා කරන්න ගත්තා කිව්වා. මේ පුද්ගලයා මැදිහත් වෙලා රාජ්‍ය මුදල් ලක්ෂ 390 ක් පමණ වියදම් කරලා ප්ලාස්ටික් ආවරණ මිලදී ගත්තා. ඒවයින් කිසිම දෙයක් කළේ නැහැ. මේ වගේ තවත් පුද්ගලයින් ගණනාවක් ඉන්නවා.
චෝදනා ඉදිරිපත් කරන එක හොඳයි. මම නොදැනුවත් වුණු දේවල් තිබෙනවා. විමර්ශන කරන්න තිබෙන හැම දෙයකම විගණනය කරන්න අපි උපදෙස් දීලා තිබෙනවා. විමර්ශනයක් කරල තමයි වැඩ පටන් ගන්නත් ඕන. විජයවර්ධන මාවතේ තිබෙන සතොස තිබෙන ගොඩනැඟිලි බලන්න මම ගිය සතියේ පෞද්ගලිකවම ගියා . එතන මම දැක්කා සහල් ගබඩාවක් වහල තිබෙනවා. පකිස්තානයෙන් ආනයනය කරපු සහල්. පරිභෝජනයට සුදුසු නැතිව ගබඩාවෙ වහල තිබෙනවා. කන්ටේනර් 15ක තරම් සහල් ප්‍රමාණයක් ලැබී නැති බව එතනින් දැනගත්තා. මේ පිළිබඳව සොයා බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා. ඒවගේම එතන ජෙනරේටර්ස් 165ක් ගෙනැල්ල තිබෙනවා. එතනත් අපරාධයක් සිදුවෙලා තිබෙනවා. ඒ ඔක්කොම සුද්ධ කරගෙන තමයි මේ වැඩ ටික ඉස්සරහට ගෙනියන්න වෙලා තියෙන්නේ.
(දුරකතනයෙන්)
ඇමතිතුමනි මහවැලි ව්‍යාපාරය ආරම්භ කළාට පසුව අපේ ඉඩම් ඒ කාලෙම පවර ගත්තා. අද වෙනකම් මේ ඉඩම් නිදහස් කරල දීලා නැහැ. තවත් මේ වගේ කිහිප දෙනෙක්ම ඉන්නවා. වෙළෙඳ වටිනාකමට මේ ඉඩම් දෙනව කියල අපිට ඒ කාලෙ කිව්වා. නමුත් අපිට ඉඩම් ලබා දුන්නෙ නැහැ. අපි මානව හිමිකම්වලට ගියා. අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙය තවත් කෙනකුට පවරන්නෙ නැතුව අපිට ඉතාම සාධාරණ විසඳුමක් දෙන්න කියලා.
ඔබතුමාගෙ ප්‍රශ්නෙ පැහැදිලිව අපට ලියල එව්වොත් හැකි ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න පුළුවන්. මහවැලියෙන් ඉඩම් ඕන නම් ඉඩම් දෙන්න පුළුවන්. වන්දි ලබා දීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. මෙතෙක් කලක් ප්‍රමාද වීමට හේතුව හොයල බලල විසඳුමක් දෙන්නම්.
මහවැලි ව්‍යාපාරය අරම්භ කරල බොහෝ කාලයක්. නමුත් මේ ඉඩම්වල අයිතිය මහවැලි ජනපදිකයින්ට ලැබිලා නැහැ කියල චෝදනාවක් තිබෙනවා. ඔවුන්ට හිමිකම දෙන්න කෙටුම්පත් කරපු තැන් තිබෙනවා. මේ හිමිකම ඔවුන් නොලැබෙන්න කුමක් හෝ හේතුවක් තිබෙනවද?
මම පසුගිය කාලේ සොයා බැලුවා, අවුරුදු 30-40 ඉඩම්වල පදිංචි වෙලා ඉන්න ජනතාව ඉන්නවා. ඔවුන්ට ඔප්පුවක් ලබා දීලා නැහැ. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ඒ ඉඩමෙ අයිතිය. අපි ඒක ඉක්මනින් ලබා දෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා උපදෙස් දීලා ඒ සම්බන්ධව වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒකෙ කලාප 10ක් තියනවා. මම කිව්වා වලව කලාපයෙන් පටන් ගන්න කියලා. මාස 6ක් ඇතුළත ඉඩම් ප්‍රශ්න විසඳන්න කටයුතු සලස්වන්න කියල උපදෙස් දුන්නා. දැනටමත් ඒක ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඔප්පු 500-600ක් දැනටමත් සකස් කරල තිබෙනවා. ඒක අපිට කලාපයෙන් කලාපයට කරන්න පුළුවන්. අනෙක් කලාපවලත් මේ කටයුතු ඉක්මනින්ම කරන්න අප බලාපොරොත්තු වෙනවා.
දැන් ඔබතුමා දරන්නේ ඉස්සර 10 දෙනෙක් පමණ දරපු අමාත්‍යංශ. ඒ අතර ඔබතුමා සඳහන් කළා පාර්ලිමේන්තු දිනවල හැරෙන්න අනෙක් දිනවල ඉන්නෙ නිවෙසේ කියලා. කොළඹ තමයි අමාත්‍යංශ තියෙන්නේ ඔබතුමා ගෙදර ඉඳල මේක කරන්නෙ කොහොමද?
තනතුරු බාර ගන්න කලින් තමයි එහෙම කළේ.
හදබිම අධිකාරිය බොහෝ කාලයක් තිබුණේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ. පසුගිය රජය කාලෙදි ඒක ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පවරලා තිබුණා. දැන් ආපසු තියෙන්නෙ ඔබතුමා යටතෙ. ඔබතුමාගෙ ආයතන ලැයිස්තුවෙ ඒක සඳහන් වෙලා නෑ. ඒක තියෙන්නෙ ජාතික කෘෂිකර්ම හා ජනාවාස සංවර්ධන අධිකාරියේ. මේක පටන් ගත්තෙම ඒ නමින් මේකෙ ප්‍රශ්නයක් තිබෙනවා. මේ හදබිම අධිකාරිය පසුගිය රජය කාලෙදි වෙනස් කරල තිබෙනවා. මේක සමුපකාර දෙපාර්තමේන්තුවට පවරලා ඒකට විරුද්ධව සටන් කරපු නිසා සේවකයො 14 දෙනෙක්ගෙ වැඩ තහනම් කරලා තව අයගේ පඩි නැවැත්තුවා. මේ ගැන ඔබතුමා යමක් දන්නවද? මේ පිළිබඳව ඔබතුමාට වැඩපිළිවෙළක් තිබෙනවද?
මම හදබිම අධිකාරිය ගැන දන්නේ 2006 කෘෂිකර්ම සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරද්දි. හදබිම අධිකාරියෙ වෙළෙඳ සලෙන් විශාල කාර්ය භාරයක් සිදුවුණා. නමුත් මම ගිහින් බලන විට ගොවීන්ගෙන් නෙමෙයි මිලදී ගන්නේ. පොළට ගිහින් ගෙනැල්ලා මෙතන තියලා අලෙවි කරනවා. අපි නවීකරණය කරල ආකර්ශනීය විදියට ගොවීන්ගෙන්ම මිලදී ගන්න නැවත පටන් ගත්තා. හදබිම අධිකාරියෙන් ගන්න එළවළු, පළතුරු ටික සෝදලා පැකට් කරලා මේ අලෙවි සලේ විකුණනවා. මේ වැඩපිළිවෙළ පටන් ගත්තට පස්සෙ දවසක ආදායම ලක්ෂ 2-3-4 වුණා. නමුත් පසුගිය කාලෙදි මෙයට පත් වුණු නිලධාරීන් තවම ලියාපදිංචි කරලත් නැහැ සමුපාකාරය නමින් සමුපාකාරයක් හදාගෙන ඒ අයම ඒකෙම තනතුරු ලබාගෙන එතන තිබෙන සම්පත් සියල්ලම පාවිච්චි කරල තිබෙනවා.
හදබිම අධිකාරියෙ සභාපතිත් සමුපාකාර සමිතියෙ සභාපතිත් දෙන්නම එක්කෙනෙක්. මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නේ එකම සභාපතිවරයෙක් අතරෙ.?
නීත්‍යානුකූලව ඒ කටයුතු කෙරිල නැහැ. ඒ පිළිබඳව අපි විමර්ශනය කරල ඒ කටයුතු තරගෙන යනවා. ඒ වගේ රැකියා අහිමි වුණ 15 දෙනාව නැවත ගන්න කියල අපි සභාපති තුමාට කිව්වා. ඒවගේම සමුකාරයෙ තිබෙන දේවල් සියල්ල පවරගන්න කිව්වා. නීත්‍යානුකූලව ලියාපදිංචි වෙලා නැති නිසා. ඒවගේ ලොකු වංචාවක් වෙලා තිබෙනවා.
මිලියන 15ක පමණ මුදලක් එම ආයතනයේ තිබෙනවා. එම මුදල සුබසාධන අරමුදලක් ලෙස යොදාගන්න යන බවක් කියැවෙනවා. එයට ඔබතුමා ඉඩදෙනවද?
එහෙම කරන්න දෙන්න බැහැ.
ඇමතිතුමනි තාක්ෂණය එකතුවීමත් එක්ක ගොවීන්ට මේ තාක්ෂණය පිළිබඳ දැනුම කෘෂි කර්මාන්තය ගැන නව දැනුම ලබාදෙන්න ඔබතුමාගෙ අමාත්‍යංශෙ අලුත් වැඩපිළිවෙළක් සකස් කරල තිබෙනවද?
අපි ඕක පටන් ගෙන හුඟක් කල්. බටඅත කෘෂිකාර්මික සංචාරක තාක්ෂණික ගොවිපළවල් පටන් ගත්තා. මේවා තාරුණ්‍යය ආකර්ෂණය කරගෙන පටන් ගත්ත දේවල්.
හෙළ බොජුන් හල් පටන් ගත්තා. මේකෙ තියෙන ආකර්ෂණය අනුව දිගටම කරගෙන යනවා. කෘෂිකර්මාන්තයෙ යෙදෙනකොට අභිමානයක් ඇතිවෙනවා. තරුණයන්ටත් එහෙමයි. ගොවීන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා දීමේ සැලැස්මක් අපි ඒ කාලෙ පටන් ගත්තා. ඒක දිගටම කරගෙන යනවා. දැනටමත් රුහුණු විශ්වවිද්‍යාලය හා සම්බන්ධ තාක්ෂණික උද්‍යානයක් හම්බන්තොට තිබෙනවා. එතන යාපනය අම්පාර වැනි ප්‍රදේශවල 1000ක පමණ තරුණ ගොවි මහත්වරු හැදෑරීම් කරනවා. ඒ අනුව අපට හැකියාව තිබෙනවා තරුණයන් ආකර්ශනය කරගෙන සෞභාග්‍යයේ දැක්ම අනුව තාක්ෂණය යොදාගෙන තරුණ පිරිස නැවත වරක් කෘෂිකර්මාන්තයට එකතු කරගෙන අපේ රටේ අවශ්‍යතාවය පමණක් නොවෙයි අපට පුළුවන් වෙයි අතිරික්තය හරහා විදේශ විනිමයකුත් ලබාගන්න.
ඇමතිතුමනි ඹබතුමාලගෙ කාලෙ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 2ක් පටන් ගත්තා. මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘතිය. පසුව මේ දෙකම බොහොම හදිසියේ විවෘත කරනු ලැබුවා.
ඔබතුමාට දැනගන්න ලැබිල තිබෙනවද මේවා විවෘත කළේ සම්පූර්ණ කරලද කියලා?
අපට ඊළඟ පාර සම්පූර්ණ කරල විවෘත කරන්න පුළුවනි.
ඒ කියන්නේ දැනට ප්‍රශ්නයක් තිබෙනවද?
තව ප්ලග් එකකින් අපට මේක සම්පූර්ණ කරලා විවෘත කරන්න පුළුවනි. මොරගහකන්ද වැඩ පටන් ගත්තේ 2007 දී පමණ. මම එතකොට වාරිමාර්ග ඇමතිවරයා. මගේ අමාත්‍යංශෙ වාරිමාර්ග ඉංජිනේරුවො 30-40ක් අරගෙන එහේ ගිහින් මේක කරන්නෙ කොහොමද කියල අධ්‍යයනය කරල වැඩ පටන් ගත්තා. ඒක බාරගත්තේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා. භාණ්ඩාගාරයෙන්, අයවැයෙන් ඒකට ලබාදීපු ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති නිසා 2013 වෙනකොට ව්‍යාපෘතියෙ ඉතිරි ටික කරන්න චීනෙන් ණයක් ලබාගත්තා. ඉන්පස්සෙ චීනෙත් සමඟ වැඩටික කරගෙන ගියා. 2015 දී මෙහි කටයුතු නැවත නතර වුණා. නැවත වරක් ආරම්භ කළා. දැන් තව වැඩ කොටසක් කරන්න තිබෙනවා. මේ පිළිබඳව ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළා. මොරගහකන්දෙ තිබෙන වතුර ප්‍රමාණය බැලුවොත් ප්‍රමාණවත් නැති බවක් පෙනෙන්නට තිබෙනවා. උමං මාර්ගයෙන් කිලෝමීටර් 27ක් පමණ අරගෙන යන එක සුදුසු ද කියල දැන් අධ්‍යයනය කරගෙන යනවා.
යම්කිසි ව්‍යාපෘතියක් පටන් ගන්නා විට ඒ ප්‍රදේශයට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ජලාශ ව්‍යාපෘති වලදී සැතපුම් දහස් ගණනක් ඈත ප්‍රදේශවලට තමයි ප්‍රතිලාභ ලැබෙන්නෙ. මේ වගේ ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලැබෙන්නෙ පොලෙන්නරුව උතුර වගේ ප්‍රදේශවලට. නමුත් මේ ප්‍රදේශවලටත් යම්කිසි අතුරු ඇළ මාර්ගවලින් ජලය ලබා දීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ලග්ගල පල්ලෙගම ආශ්‍රිත ගොවීන්ට ජලය ලැබෙන්නෙ නෑ. ඒ තුළින් ඒ ප්‍රදේශයට ජලය ලබාදෙන්න හිරිගඩු ව්‍යාපෘතිය කියල එකක් තිබුණා. නමුත් තවමත් ඒක පටන් අරගෙන නැහැ. ඒ ගොවි ජනතාව දැඩි අර්බුදයකට ගිහින් තියෙන්නෙ.
ඔබතුමා මේකට ගන්න පිළියම කුමක් ද?
දැනට ඒවා පිළිබඳව අධ්‍යයනය කරලා කුඩා පරිමාණයේ ජල යෝජනා ක්‍රම ආරම්භ කරන්න පුළුවන් නම් අපිට ඒක කරන්න පුළුවන්. නමුත් විශාල දේවල් කරන්නත් ඕන. කුඩා ජල යෝජනා ක්‍රම ඒ ප්‍රදේශවලට ආරම්භ කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් වෙයි. ලංකාවෙ වාරිමාර්ග ක්ෂේත්‍රයේ රටපුරාම මෙය සිදුවෙලා තිබෙනවා.
වයඹ ඇළ ව්‍යාපෘතියත් ඉබි ගමනින් යන්නේ?
මම ඒ දවස්වල කළේ කෙළින්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ පළපුරුදු ඉංජිනේරු මහත්වරු සම්බන්ධ කරගෙන සෘජුවම ශ්‍රමිකයන් යොදාගෙන කටයුතු කරපු දේ ඉතාමත් සාර්ථක වුණා. වෙහෙරගල කළා. අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය රඹකැන් ඔය කළා. දැදුරු ඔය කළා. ඒක බොහොම ඓතිහාසිකයි. ඒක බලන්න ගිහින් කලබලයකුත් වුණා. නමුත් ඒක සාර්ථකයි. ඒවගේ කළොත් එම ව්‍යාපෘති ඉතාම සාර්ථක වගේම ඉක්මනින් කරගන්නත් පුළුවනි. එමගින් අපේ ගම්වල ඉන්න අයට අතට සල්ලි එන විදියටත් කරන්න පුළුවන්.
මේ වගේ ව්‍යාපෘතිවලදි ජනතාව පදිංචි වෙලා හිටපු අති විශාල භූමි ප්‍රමාණයක් අයිති කරගන්න වෙනවා. ඒ අයට කළු ගඟේ දෙවැනි අදියර යටතේ වන්දි ගෙවල නැහැ. ඒ අය ඉන්නෙ කමන්ගේ දුර බැහැර ඥාතීන්ගෙ ගෙවල්වල. ඒ අයට කිසිම පිළියමක් නැහැ.ඉඩම් ලබාදීමකුත් නැහැ. නිවාසත් නැහැ. වෙළෙඳ කුටිත් නැහැ. අවුරුදු ගාණක් අසරණ වෙලා ඉන්නෙ.
මම ඒ පිළිබඳව සොයා බලන්නම්. සාමාන්‍යයෙන් ජලාශයක් ඉදි කරනවිට කෘෂි කර්මාන්තය පිළිබඳව පමණක් නොවේ පානීය ජලය පිළිබඳවත් අපි බලනවා. පානීය ජලයට ප්‍රමුඛතාවය දෙනවා. වාරිමාර්ගයේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 60-70ක් ඇළවල් කැපුවම අවසාන ගොවි ජනපදවලට වතුර යන්නෙ නැහැ. අතරමගදි ඒ අය බට දාලා විවිධ ක්‍රම මගින් වතුර ගන්නවා. එවිට වතුර යන්නෙ නැහැ. ඒ අය ගිහින් පදිංචි වුණාම දිගටම ප්‍රශ්න.
නාගරික ප්‍රදේශවල පුරන් වුණු කුඹුරු ව්‍යාපාරකයෝ මිලදී අරගෙන ඒ ඉඩම් කට්ටි කරලා සාමාන්‍ය මිනිස්සුන්ට විකුණනවා. ඒක කුඹුරු ඉඩමක්. ඉඩම් ගන්නෙ නිවාස හදාගන්න. ඒ මින්ස්සුන්ට නිවාස හදාගන්න බැහැ කුඹරු පුරවලා නෙමෙයි දෙන්නේ. මෙවැනි ප්‍රශ්න එක්තරා කාලෙක ඉඳලා ක්‍රියාත්මත වෙනවා.
ඉඩම් ගොඩකිරීමේ ප්‍රතිපත්තිය කුමක් ද?
කුඹුරු ගොඩකිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද?
මෙවැනි කටයුතු සඳහා ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
දැනට කුඹුරු ගොඩකරන්න දෙන්නෙ නැහැ. නමුත් යම් යම් අවස්ථාවන් සඳහා කළ යුතුම නම් ඒවා නිදහස් කරනවා. සමහර වැවැ කණ්ඩිය පහළත් ගොඩනැඟිලි හදලා තිබෙනවා. හෝටල් හදලා තිබෙනවා. ඒකට අදාළ නිලධාරීන් සොයා බලා කටයුතු නොකිරීම නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ.
කුඹුරු ගොඩකිරීමේදී නිලධාරීන්ට අතයට ගනුදෙනු වෙනවා කියල තමයි කියන්නේ?
කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ ඉඳලා යම් ගනුදෙනුවක් වෙනවා කියල කියනවා.
කෙනකුට කුඹුරක් ගොඩකරගන්න ඕන නම් ඒකට කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවද?
ඒ ඉඩම කුඹුරක් කරන්න සුදුසු නැත්නම් එතන ගෙයක් හදන්න ඉඩ නෙදෙනවා නම් ඒක අසාධාරණයක්. ඒ වගේ ඒවට නීති ලිහිල් කරන්න වැඩපිළිවෙළක් අපි කරගෙන යනවා. නමුත් කුඹරු නම් වෙනත් කටයුත්තක් සඳහා යොදාගන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපේ ප්‍රධානම වගකීම ආහාර නිෂ්පාදනය.
වී ගොවියන්ට කලට වෙලාවට වතුර සහ පොහොර අවශ්‍යයි. රුපියල් 350ට නෙමෙයි 3500ට වත් ගන්න පොහොර නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව ඉදිරියේදී ගන්නා වැඩපිළිවෙළ කුමක්ද?
ඉස්සර වගා නිලධාරීන් හිටියා. ඒ අය ගම්වලට ගිහින් ගොවි ජනතාව හමුවෙලා කතා කරනවා. පසුගිය කාලෙදි ඒ මහත්වරු නැති වෙලා ගියා.
දැන් ඒ වගකීම් දරන්නෙ කවුද?
මේ දවස්වල පොහොර හිඟයක් ගැන කතා කරනවා. කුඹුරු ගොවිතැන් කරලා අවසන්. ඒ සඳහා අවශ්‍ය පොහොර තිබුණා. වී ගොවිතැන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 24000ක් පමණ තිබෙනවා. දැනට හිඟවෙලා තියෙන්නෙ පෞද්ගලික අංශයේ පොහොර. තේ රබර් පොල් අයත් වෙන්නෙ පෞද්ගලික අංශයට. එහිත් යම් ප්‍රමාණයකට පොහොර තිබෙනවා. ඇණවුම් කරල තිබෙනවා. ඒවා ටෙස්ට් කරන්නත් කාලයක් යනවා. මේ නිසා තමයි ගොවීන්ට නිසි වෙලාවට පොහොර ටික නැති වෙන්නේ.
වගා නිලධාරීන්ගෙ අඩුව පුරවන්න අපි හදලා තියෙනවා කෘෂිකර්ම නිෂ්පාදන සහ පර්යේෂණ සහකාර තනතුරක් ඒ අය ගොවිජන සේවා කාර්යාලවලට අනුයුක්ත කරල තිබෙනවා.
සටහන
චතුමි පිටිපන